ඔබේ දරුවා බොරු කියනවාද…..?

දරුවන් ඉතාම නිර්මානශීලියි.  ඒ් නිසාම ඒවුන් අැත්තට වඩා බොරු කීයන්නට  වැඩි ප්‍රවනතාවයක් දක්වනවා. අැත්තටම දරුවන් බොරු කියන්න පෙළඹෙන්නේ ඇයි…

  • අවධානය ලබා ගැනීමට

සමහර දරුවන්ට අවශ්‍ය වෙන්නේ සම වයස් කන්ඩායමක් තුළ තමා ඉහලින් සිටිනු දැකීමටයි. මේ නිසා එවුන් විවිධ විදිහට බොරු ගොතනවා. සමහර අය තම දෙමව්පියන්ගේ රැකියාවන් ගැන බොරු කියමින් ඔවුන්ට නොතැමිත සමාජ තත්වයක් ආරෝපනය කර ගැනීමට උත්සාහ දරනවා. අපේ තාත්තා දොස්තර කෙනෙක්…පොලිසියේ ලොක්කෙක්… මේ විදිහට කියන බොරු මගින් තමන්ට නොමැති සමාජ තත්වයක් ආරෝපනය කර ගැනීමට උත්සාහ දරනවා.

  • අවශ්‍යතාවය ඉ‍ටු කර ගැනීමට

සමහර දරුවන් පාසල් යෑමට එහෙම නැත්නම් පාසලේ වැඩ කටයුතු කිරීමට කම්මැලි වූ විට බොරු බඩේ කැක්කුම් එහෙම නැත්නම් හිසේ කැක්කුම් ගැන පැමිණිලි කරනවා. මේ රෝග තත්වයන් අපිට බාහිරව හදුනා ගැනීමට අපහසුයි. ඒ වුනත් දෙමව්පියන් සහ ගුරුවරුන් නොමන යවමින් ඔවුන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට විශාල උත්සාහයක් දරනවා.

බොරු කියන දරුවාට සමාජයේ ඇති වන ගැටළු

  • පිලිගැනීමක් නැත

බොරු කියන දරුවෙක් ගැන ඔහුගේ කුඩා සමාජයේ වුවද පිලිගැනීමක් ඇති වෙන්නේ නැත. ඒ ළමයා හරියට බොරු කියනවා… බොහෝ වැඩිහිටියන් මේ අන්දමින් දරුවන් වර්ග කිරීමක් කරනු ඔබත් අසා ඇති.

  • වටිනාකම අඩු වේ

දරුවන් කී විට සමාජයේ තිබෙන පිළිගැනීම වන්නේ ඉතා අහිංසක සහ පිරිසිදු චරිත ලෙසයි. ඒ වුනත් බොරු කියන දරුවෙක් මුල් කර ගෙන ඒ අන්දමින් පිරිසිදු සංකල්පයන් ගොඩ නැගනේනේ නැත.

  • ආශ්‍රයට නොගැලපේ

බොරු කියන දරුවන් සමග තමාගේ දරුවා ඇසුරේ සිටීම ගැන දෙමව්පියන් තුළ එතරම් මනාපයක් නොමැත. ඊට හේතුව වන්නේ බොරු කියන දරුවා සමාජයට හානිකර චරිතයක් වීමයි.

  • බොරු කියන දරුවෙකුට කළ නොහැකි දුසිරිතක් නැත

බොරුව මොන තරම් සමාජයට අහිතකරද යත් බොරු කියන දරුවෙකුට ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් කළ හැකි පරිද්දෙන් ලැජ්ජාව සහ බිය පහව යනු ඇත.

  • බොරුව දරුවා සමග වර්ධනය වේ

ඔබේ දරුවා බොරු කියන්නේ නම් “අනේ ඉතින් හය හතර ‍ නොතේරෙන පොඩි එකා නේ… යන සංකල්පයේ පිහිටා සිටින්න එපා. බොරු කීමට ඔහු දක්වන නැඹුරුතාවය දරුවා සමග වර්ධනය ලබනු ඇත. මේ නිසා දරුවා බොරු කියන්නේ නම් බාල කාලයේ පටන්ම එය වලක්වා ගැනීම ඉතා වැදගත් වේ.ඇතැම් වැඩිහිටියන් අතර පවා වැදගැම්මකට නොමැති සේ බොරු කියන ගති පුරුදු ඔවුන් සමගම වර්ධනය ලබා ඇත. මේ නිසා ඔබේ අත්දැකීම් අනුවත් කාර්යාලයේ, අසල්වැසියන් අතර , නෑදෑයින් අතර මේ විදිහට කියන චරිත ගොඩ නැගී ඇති….” අනේ…ඕවා බොරු ඔය මනුස්සයා කිසිම දවසක ඇත්තක් කියන්නේ නැහැ. ඒ හින්දා අපි නම් කිසිම විශ්වාසයක් නැහැ.

දරුවා බොරු කියන්නේ නැතැයි සහතික වෙන්න පුලුවන්ද….?

කිසිම විදිහකින් බැහැ. මගේ දරුවා බොරු කියන්නේ නැතැයි වූ ස්තාවර උපකල්පනයක ඔබ සිටියද දරුවන්ට බොරුවක් කීමට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. මේ නිසා නිතරම දරුවා කියන කරන දේ ගැන ඔහුට හෝ ඇයට නොදැනෙන සේ පසුවිපරම් කරන්න. එය දරුවාට නොදැනෙන සේ කළ යුතු අතර යම් විදිහකින් දරුවා කරනුයේ බොරුවක් බව ඔබට ඒත්තු ගියොත් දරුවා බොරුවෙන් මුදවා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත්.

  • බොරුවේ ආදීනව ගැන කියා දෙන්න

බොරු  කීම යහගුණ සපිරි දරුවෙකුට නොගැලපෙන දෙයක් බව ඔවුන්ට කියා දෙන්න. මේ වෙනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ වටිනා කවි , කථන්දර බොහෝ සේ ඇත. ලෝවැඩ සඟරාවේ එන මේ පද්‍යය ඔබේ දරුවාට බොරුවේ ආදීනව පිලිබඳව ඉතා වටිනා අදහසක් ලබා දෙනු ඇත.

ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා
පොලොව පලාගෙන ගොස් වැටුණි නරකයා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා

 

මෙම කවි පද මගින් බොරුව නිසා ඇති වෙන හානිය ඔබට මනා සේ කියා දෙනු ඇත. බොරු කීමේ ආදීනව නිසා කපිල මාලුවාගේ කට දුර්ගන්ධයෙන් යුක්ත වූ බවට බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මේ අන්දමින් විවිධ ආගමික වටපිටාවෙන් මෙන්ම ජනකතා මගින් දරුවන්ට බොරු කිමේ ආදීනව කියා දෙන්න.

  • වැඩිහිටියන්ද වග කිව යුතුයි

දරුවන් බොරු කීමෙන් වලක්වා ගැනීම අද අපහසු කාර්යක් වී ඇත. ජනප්‍රිය පාසලකට දරුවා ඇතුලත් කිරීම නිසා පාසලට සමීප ලිපිනයක් තෝරා ගෙන එහි පදිංචි බවට සනාථයක් ලබා ගැනීමට දරුවාට බොරුව සනාථ වන සේ කියන්නට උපදෙස් ලබා දෙන්නේ වැඩිහිටියන්ය. එයින් දරුවා බොරුවට  අත්පොත් තබනු ඇත. මේ නිසා වැඩිහිටියන් වශයෙන් ඔබ නිතරම දරුවාට ආදර්ශමත් වන සේ හැසිරීම ඉතා වැදගත්ය.

ශ්වසන රෝගවලින් දරුවන් මුදවන්න භෞත චිකිත්සාවට හැකි බව ඔබ දැන සිටියාද?

ශ්වසන රෝග හෙවත් ශ්වාස නාල පද්ධතිය සම්බන්ධව ඇති වන රෝග තත්ත්වයන් වලට ප්‍රධාන හේතු වෛරසයක් හෝ නියුමොකොකස් නියුමෝනියේ, ස්ටේ‍රප්ටොකොකස් නම් වූ බැක්ටීරියාවක් වැනි විෂබීජයක් ශ්වසන නාල පද්ධතියට ඇතුළු වීමයි. තවද මේ තත්ත්වය රසායනික ද්‍රව්‍ය, විෂ වායු  සහ ආසාත්මිකතා ද දූවිලි ආඝ්‍රාණ වීමෙන් හෝ වෙනත් රෝගී පුද්ගලයෙකුගෙන් හෝ නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකියි.

ශ්වසන රෝග

  • නිව්මෝනියාව (Pneumonia) – විෂබීජයක්/යම් විෂක් පෙනහලු කරා ගොස් එම පෙනහලු පටක ආසාදනය වීම
  • බ්‍රොන්කයිටීස් (Bronchitis) – ශ්වාසනාල ආසාදනයකට හෝ ආසාත්මිකතාවයට ලක්වීම
  • බ්‍රොන්කියෝලයිටිස් (Bronchiolitis) – වයස අවුරුද්දට අඩු ළදරුවන්ට විශේෂයෙන්ම ඇති විය හැකි අනුශ්වාසනාලික ආසාදනයට කල්වීම
  • බ්‍රොන්කියෙක්ටේසිස් (Bronchiectasis) – ශ්වාසනාලවල අසාමාන්‍ය පලල්වීම නිසා ඇති වන නිදන්ගත රෝග තත්ත්වයක්
  • ඇදුම (Asthma) – විවිධ දේවලට ආසාත්මිකතා නිසා ශ්වාසනාලවල පේශී දරදඩු වී එම නාල සිහින්වීම
  • ප්ලූරල් එෆියුෂන් (Plural effusion) – පෙනහලූ වටා ඇති හිස් අවකාශය නැතහොත් ප්ලූරල් කුහරය ආසාදනයට ලක් වී තරලයකින් පිරී යාම
  • පෙනහලූ හැකිලීම (Atelectasis) – ස්‍රාවයන් නිසා හෝ වෙනත් සිරවීමකදී හෝ ප්ලූරල් එෆියුෂන් තත්ත්වය නිසා පෙනහලූ හැකිලී යාම සිදු විය හැකිය.
ශ්වසන රෝග ඇති වීමට බලපෑ හැකි වෙනත් හේතු

  • අනතුරුවලට මුහුණ දී එක්තැන් වී සිටීමයි.
    (උදා.. අංශභාගය වැනි රෝග/කැඩුම් බිදුම්වලට ලක්වීම/ශල්‍යකර්මවලට මුහුණ දීම මත එක්තැන් වී සිටීම නිසා)
  • ශ්වසන පද්ධතියේ ඇති අර්බුද (Tumour) නිසා
  • ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා
  • මානසික හේතු
ශ්වසන රෝග තත්ත්වයන්වලදී පෙන්නුම් කරන රෝග ලක‍ෂණ

  • වියළි හෝ බුරුල් කැස්ස
  • හතිය නැතහොත් මහන්සිය
  • හුස්ම ගැනීමේදී පපුවේ ඇති වන වේදනාව
  • උණ
  • වමනය
  • කෑම අරුචිය
  • බඩේ වේදනාව
  • හිසේ කැක්කුම

මෙම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ.

භෞත චිකිත්සක ප්‍රතිකාර

පොස්වරල් ඩ්‍රේනේජ් ˜ (Postural drainage) ක්‍රමය – රෝගියා ගුරුත්වාකර්ෂණය උපයෝගී වන ලෙස ඉරියව්වල තබා පෙනහලූවල සෙම තිඛෙන තැන අනුව එම ස්ථානයට අතින් තට්ටු කර සෙම ඉවත් කිරීමයි. රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිඛෙන ස්ථානය අනුව වෙනස් වේ. මෙම ප්‍රතිකාරයට පෙර සමහර රෝගීන්ට වතුර වාෂ්ප අඝ්‍රාණයද අත්‍යවශ්‍ය වේ.

හුස්ම ගැනීමේ ව්‍යායාම – බොහෝ දෙනෙක් අතර බහුලව දක්නට ලැඛෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් පාලනය කර ගත හැක. ඔවුන් සඳහා හුස්ම පිට කිරීමේ ව්‍යායාම වැදගත් වේ.

හුස්ම පිටකරන වේගය මනින උපකරණ උපයෝගී කරගෙන දල මිනුමක් ලබාගනිමින් හුස්ම ගැනීමේ ව්‍යායාම වෙනස් කරමින් සිදුකළ යුතු වේ. පෙනහලූවල ඇති එක් එක් කණ්ඩිකා පිම්ඛෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞත චිකිත්සකවරු අතින් සිදුවේ. සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර සමහර රෝග සඳහා කෙටි හුස්ම ගත යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇත . ශ්වාස නාලිකා සිහින් වී ඇති අවස්ථාවල හුස්ම පිට කිරීම රෝගියාට අපහසුය. එවිට රෝගියාගේ ඇතුළත කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවී ශ්වසන වේගය වැඩි වේ. රෝගියාගේ පපු කූඩුව ඇතුළට තෙරපීම මගින් පෙනහලූවල ඇති වැඩි කාබන්ඩයොක්සයිඩ් පිට කළ හැක. තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කිහිපයක්ද භෞත චිකිත්සාවේදී උගන්වනු ලැබේ. භෞත චිකිත්සක ප්‍රතිකාර කෑමට පෙර කල යුතුය. නැතහොත් වමනය ඇති විය හැකිය.

කුඩා දරුවන්ට අධික ලෙස සෙම ඇති විටදී ඒවා ඉවත් කිරීමට කැස්ස ඇති කිරීම – ඒ සඳහා උත්තේජන ක්‍රම තිබේ. දරුවාට කැස්සක් ඇති වූ විට කලබල නොවිය යුතුය. එය ශරීරයේ ඇති මහගු ප්‍රතික්‍රියාවකි. එමගින්  පෙනහලූවල ආරක‍ෂාව සැලසෙන බව සිහි තබා ගත යුතුය. බොහොමයක් දෙමාපියන්ගේ මතය වන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා රෝගී තත්ත්වය අඩු නොවන බවයි. දරුවා කැස්සත් සමග සෙම ගිල දැමූ විට ඒවා ආමාශයට ගොස් මල සමග පිටවේ. ඒ නිසා කුඩා දරුවන් ඒවා ගිල දැම්මාට බිය විය යුතු නැත . දරුවා සෙම ශ්‍රාවයන් ගිල දමන නිසා ආමාශය ඒවායින් පිරී ගෙස් කෑම රුචිය අඩු වීයයි. තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැකිය.

කුඩා දරුවන්ගේ නහස් කුහර ශ්‍රාවයන්ගෙන් පිරී යා හැකිය. එවිට හුස්ම ගැනීමට මුඛය විවෘත කරයි. එවිටද දරුවා කිරි උරා බීම ප්‍රතිෙක‍ෂ්ප කරයි. මෙවැනි අවස්ථාවලදී සක්ෂන් උපකරණයක් මගින් සෙම ශ්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරුවී යයි.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

දරුවන්ට සාරධර්ම හුරු කරමු

අද දරුවන්ගේ කිසිම සදාචාරයක් නැහැ…අපිට නිතරම ඇහෙන මේ තත්වයට ඇඟිල්ල දිග් කළ යුත්තේ කාටද…දරුවෙක් බිහි කළ පමනටම  ඔබ සර්ව සම්පූර්ණ දෙමව්පියන් බවට පත් වෙන්නේ නැහැ. “හිටියොත් හොඳට හැදී…දෙවියොත් නමට වඳී…” යන යහ සිත-විල්ලට ගැලපෙන විදිහට ඔබ දරුවෙක් ලෝකයට දායාද කරන්නේ නම් සැබැවින්ම ඔබ වාසනාවන්ත මව්පියන්ය.. ඒ වගේම ඔබේ දරුවා ලෝකයට ආශිර්වාදයකි.

අපි හැම දෙනෙක්ම සාරධර්ම ගැන කතා කරනවා. ඇත්තටම සාරධර්ම යනු මොනවාද…සාරධර්ම විදිහට අපි හඳුන්වන්නේ සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් අපි හැම දෙනෙක් තුළම පැවැතිය යුතු ශික්ෂනයක්. දරුවා සදාචාරාත්මකව හැඩගැසුනොත් ලෝකය ඉබේටම යහපැවැත්මෙන් යුක්ත වෙනවා. ඒ නිසා දරුවා සදාචාරාත්මකව හැඩගස්වන්නේ කොහොමද….?

අතීතයේදී මවක් දරුවාගේ සාරධර්ම ගැන හිතුවේ කුස තුළ සිටියදී පටන්. ඇය බෙහෙවින්ම සීලවන්ත හැසිරීමක් ගොඩ නගා ගත්තා. මහමායා දේවිය පවා දරු ගැබ පිලිසිඳ ගන්නා දිනයේ සිටියේ පෙහෙවස් සමාදන් වී බව අපි දන්නවා. දරුවෙක් ගැන පතන හැම සිහිනයක් පිටුපසින්ම තිබුනේ ධාර්මික ගති පැවැතුම්. ඒ නිසාම දරු කලලයත්  දැහැමි සිතුවිලි වලින් පෝෂණය වුනා.

විද්‍යාව පවා පිලිගෙන තිබෙන විදිහට ගැබිණි මවකගේ හැසිරීම දරු කලලයට බලපානවා. ඒ නිසා මවක් විදිහට ඔබ නිරන්තරවම දැහැමි විදිහට හෙවත් සාර්ධර්ම අනුව ගති පැවැතුම් ගොඩ නගා ගන්න. ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ කියන්නා සේම දෙමව්පියන් විදිහට ඔබ සදාචාරාත්මක නොවන විදිහට හැසිරෙමින් දරුවාගෙන් සාරධර්ම බලාපොරොත්තු වෙන්න බැහැ.

අවවාදයට වඩා ආදර්ශය උතුම්බව

ඔබේ දරුවා සාරධර්ම තුළ හැඩගැස්වීමට නම් අවවාදයට වඩා ආදර්ශයෙන් ඒ බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගැන්වීම ඉතා වැදගත්ය. කකුලුවා හරහට යමින් දරුවන්ට කෙලින් යෑමට පාර කිව්වත් අර්ථයක් නොවන සේ ඔබ දරුවන්ට ඒ පිලිබඳව ආදර්ශයෙන් කියා දීම වැදගත්ය. එක්තරා ජනකතාවක දැක්වෙන අන්දමට තම පියාට වලං කටුවක ආහාර පාන දෙමින් ඔවුන් සුවසේ ජීවත් වූහ. දිනක් මෙම මැටි වලං කැබැල්ල දක්නට නොවුයෙන් පියා ඒ පිලිබදව විමසා සිටියදී කුඩා දරුවා කියා සිටියේ තාත්තා වයසට ගියාම කන්න දෙන්න මම වලං කැබැල්ල අරගෙන තිබූ බවයි. මේ අන්දමට මව්පියන්ගේ හැසිරීමත් දරුවන්ගේ සාරධර්ම ගොඩ නැගීමට වඩාත් වැදගත් වෙන බැව් නොරහසක්.

ඔවා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන
ඔවා වැද්දන් දෙසන බණ වැනි…”

මෙම කවියෙන් කියවෙන්නා සේම දෙමව්පියන් වන ඔබත් පූර්වාදර්ශ චරිත නොවුනොත් ඔබේ අවවාද අනුශාසනාවන්ද වැද්දන් දෙසන බණ තත්වයට පත් වෙනු ඇත. නිතරම දරුවන්ට අම්මා…තාත්තා වගේ හැදෙන්න කීමට තරම් ඔබ ආදර්ශමත් චරිතයක් විය යුතුමය.

ඒ වගේම සාරධර්ම මේවා යැයි අවවාද ලබා දීමටත් වඩා සාරධර්ම නිසා ඇති වෙන යහ ප්‍රතිඵල පිලිබඳව දරුවන්ටම අවබෝධ විය යුතුයි. මේ වෙනුවෙන් ඉතාම රසවත් කවි, කතාන්දර අප අතර ඇත. සාම ජාතකය වැනි ජාතක කතා මගින් මව්පියන්ට සැලකීමේ වටිනාකම දරුවන්ට කියා දීම එතරම් අපහසුවක් නොවේ.

සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි ”

මේ අන්දමින් පරමාදර්ශි චරිත ගැන දරුවන්ට සාහිත්‍ය මගින් කියා දීම අපහසුවක් නැත.එවිට ඔවුන්ගේ හදවතට මෙම යහගුණ අනුගමනය කිරීමේ වටිනාකම ඉතාම හොදින් ඒත්තු යනු ඇත.එය වචන දහසකින් ලබා දෙන අවවාදයන්ට වඩා දරුවන්ට අගනේය.

ආගමික වටපිටාවට දරුවා හුරු කරන්න

ඔබ අදහන ආගම කුමක් වුනත් මේ හැම ආගමකින්ම කියා දෙන්නේ සමාජයේ ජීවත්වමට අවශ්‍ය යහගුණ බව අමතක නොකරන්න. ඒ නිසා බාලකාලයේ පටන්ම පන්සල,පල්ලිය, කෝවිල මේ කුමන ආගමික ස්තානයකට වුව දරුවා කැටුව යන්න. උදේ හවස තමන් අදහන ආගම දහමට අනුව ජීවිතය හැඩ ගසන්න.

දහම්පාසල් අධ්‍යාපනය

ඔබ කුමන ආගමක වුනත් දහම්පාසලක් වෙත දරුවා යවන්න අමතක නොකරන්න. අද ඉරිදා දිනයන්හි පංති තහනම් කිරීමේ නියෝගයන් පැනවීමට තරම් අවශ්‍යතාවයනක් ගොඩ නැගී ඇත්තේ දරුවන් දහම් අධ්‍යාපනයට ඇති පසුගාමී බවයි. ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේද උනන්දුව ඇති වීම ඉතා වැදගත්. බොහෝ මෙව්පියන් කල්පනා කරන්නේ ඉරිදා දිනයටත් දරුවන් දහම්පාසල් වෙත කැඳවා ගෙන යෑමට ගිය විට ඔවුන්ගේත් කාලය සහ විවේකය නැති වෙන බවයි. ඒ වුනත් දහම් අධ්‍යාපනයෙන් දරුවා හැඩගැසීම යනු අනාගත ආයෝජනයක් බව හිතන්න.

දිනපතා පාසලෙන් දරුවා ලබන අධ්‍යාපනයට වඩා දහම්පාසලකින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නවා ඇත. සමගිය, සාමය වගේම අනුකම්පාව, ගිලනුනන්ට උපස්තානය, බෙදා හදා ගැනීම වැනි බොහෝ යහගුණ ඉගෙන ගැනීමට හොඳම තෝතැන්න දහම්පාසලයි.අද දරුවන් තුළ බදා ගැනීම විනා බෙදා හදා ගැනීමක් නැත. ඒත් දහම්පාසලකදී ප්‍රායෝගිකව සිදු වෙන දන්සල්, දානමය පිංකම් නිසා දරුවන් තුළ දීමට පුරුද්ද ඇති වේ. අනුන්ගේ දුක වේදනාව ඉදිරියේදී සහකම්පනය වගා වීමටත් මෙවැනි කටයුතුවලින් නොදැනීම ඇති වෙන පුරුදු බවට පත් වේ.

වැඩිහිටි සහ ළමා නිවාස වෙත දානමය කටයුතු සඳහා සහභාගී වෙන දරුවා තමාට තිබෙන පහසුකම් ගැන නොවන තවත් දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් පිලිසරණක් නොමැතිව සිටින බව දැකීමෙන්ම ඒ ගැන යම් වැටහීමක් ලබා ගනු ඇත.

මව්පියන් විදිහටත් යහගුණ වගා වෙන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න

දරුවන්ගේ උපන්දින උත්සවයන්හිදී ඉහළ පෙලේ හෝටලයක සාද පවත්වනවාට වඩා සමාජයේ සිටින අසරණ දරුවන්ට හා වැඩිහිටියන්ට සරණක් වීමට මගක් දරුවාට පෙන්වන්න. ඉගෙණුම් උපකරණ නැති පාසලක, පංතියක හෝ අසල්වැසි දරුවන්ට ඒ වෙනුවෙන් උපකාර වෙන්න. වාර්තා තබන කේක් කපනවා වෙනු‍වට එම වැය බර යහපත් කටයුත්තක් වෙනුවෙන් යොදවන්න. එහිද සමාජය සමග එකට එක්ව ජීවත් විය යුතු අන්දම දරුවා හඳුනා ගනු ඇත.

බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වී ඇත්තේ දරුවා තමාට වඩා ඉහල සමාජ තත්වයට ඔසවා තැබීමයි. ඒ වෙනුවෙන් වෙර දරනවා විනා හැම දෙනෙක් සමගම එකට එක්ව ජීවත්වෙන අන්දම කියා දීමට මැලිය. එය මැලිකමට වඩා උනන්දුවක් නොදැක්වීක් යැයි කිව හැකිය. එහෙත් දරුවන් තුළ සාරධරම ගොඩනැගුනොත් ඔහු තුළ සමානාත්මතාවය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම එතරම් අපහසුතාවයක් නොවේ.

දරුවන්ට ඉලෙක්ට්‍රොනික් උපකරණ සීමා කරන්න

සමහරක් වෙලාවට තාක්ෂණයේ දියුණුව නිසාම මිනිස්සුන් අමාරුවෙ වැටෙනවද කියලත් හිතෙනවා. බලන්නකො දැන් අඬන දරුවා නළවගන්නත් ස්මාට් ෆොන් ටැබ් වලට පුලුවන්. කෙටියෙන්ම කිව්වොත් දරුවො සන්සුන් කරන එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ ස්මාට් ෆොන් ටැබ් පරිඝණක රූපවාහිනිය වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණයි.

පසු ගිය දිනෙක මගේ දඟයා අසනීප වුන නිසා ප්‍රතිකාර ගන්නට වෛද්‍යවරයා වෙත ගියා.ඉතින් මගේ වාරය එන තෙක් රැඳී සිටින්නට සිදු වුනා.ඔය අතර සිදු වුන සිද්ධි කිහිපයක් තමයි මේ ලිපිය අකුරු කරන්නට හේතුව. මවත් පියාත් සමග පැමිණ සිටි  අවුරුදු හතක හා පහක පමණ වයසැති දියණියන් දෙදෙනාගෙන් කුඩාම දියණිය අත තිබුණේ ස්මාට් ෆෝනයකි. කාලය ගත වෙලා යන්නේ පුදුම වේගයකින්නේ. ඔන්න දැන් විනාඩි හතලිස් පහකුත් ගත වෙලා. තාමත් නොනැවතිල්ලෙම දැරිය ෆෝනය දෙස නෙතු යොමාගෙනඇඟිලි තුඩු ෆෝනයේ ඒ මේ අත මෙහෙයවනවා . ඔය අතර එතනට තවත් පුද්ගලයකු ආවා.දියණියන් දෙදෙනාගෙ පියා සමග කතා බහ කල ආකාරයෙන් ඔවුන් දන්නා හඳුනන අය බව මට හිතුනා.

“ආ මොකද මේ ෆෝන් එක දිහාම බලාගෙන චූටී බබෝ. මේ ඔය ෆෝන් දරුවන්ගේ ඇස් වලටයි මොළයටයි දෙකටම හොඳ නැහැ, එක දිගටඉන්න දෙන්න එපා”

ඔහු දියණියන්ගේ දෙමාපියන්ටඅවවාද කලා.

“ෆෝන් එක නිසා ඔය ඉන්නේ නැත්නම් මෙතන විසුමක් නැහැ”

ඒ දරුවන්ගේ පියාගේ පිළිතුර විය.

තවත් වයස අවුරුදු හයක පමණ දියණියක් මවක් සමග අප අසලින්ම හිඳ ගත්තාය. ඉඳ ගත් තැන සිටම මව ඇය අත තිබූ ස්මාට් ෆෝනයට මද හදහසක් පාගෙනම යම් කාරියකි. පුංචි දියණියගේ දෑස් වල කඳුලුය ඒ ඇයට උණ නිසා වන්නට ඇත. ඇය උන්නේ දැඩි අපහසුතාවයකින්ය.

“අම්මා වතුර”

“අර ෆිල්ටර් එකෙන් වතුර එකක් අරන් බොන්න”

දියණිය ඊට මැලි වුවාය.

“අම්මා වතුර”

තවත් ටික වේලාවකට පසු දියණිය කීව්වා

“හ්ම් එන්න… එන්න … බොන්න පැටියෝ”

නැවත අසුන් ගත් මව ස්මාට් ෆොනයට මදහස පායී. ඒ මොහොතේ ඒ මව ස්මාට් ෆෝනය පැත්තකට දමා දියණියව ළඟට ගත්තා නම් කියා මට සිතුනේ දැරිය ඒ තරම්ම අපහසුවෙන් සිටි නිසාවෙන්ය. අවසානයේ දියණි මවගේ පැත්තකින් මවගේ අතකට හේත්තු වූනා.

ඔන්න දැන් තවත් වයස අවුරුදු එකහාමාරක විතර බබෙක් තාත්තගේ උකුලට වෙලා ටැබ් එකේ සින්දු බලනවා. එක සින්දුවක් ඉවර වුන ගමන් තවත් එකක් දමන්නට කියමින් අඬනවා.

“බේරන්නම බෑ නේද?”

“ඔව් කොයි වෙලෙත් සින්දු බලන්න ඕනී”

දරුවගෙ මව අසල සිටි කාන්තාවට පිළිතුරු දුන්නා.

මම මේ බලන්නේ අනුන්ගේ ඔපා දූප වුනත් අපි නොදැනුවත්ව අපි අතින් අපේ දරුවන්ට සිදු වන්නේ නපුරක්  නිසාවෙන්ම ඔබ වෙනුවෙන් මේ සටහන් තබන්න මට හිතුනා. ඇත්තටම දරුවන් දඟයන්ය. අලින්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියන්නේ එකනේ. අපේ පොඩිත්තෝ සන්සුන් කරවන්න, කෑම ටික කවා ගන්න හොඳම විකල්පය ස්මාටි ෆෝනය, රූපවාහිනිය ,පරිඝනකය වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණ නම් …

දැනට ලොව පුරා කෙරී ඇති සමීක්ෂණ වලට අනුව දරුවන් ස්මාටි ෆෝනය රූපවාහිනිය පරිඝනකය හා විඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී ඇත. මෙම උපකරණ සෘජුවම බලපෑම් කරනුයේ දරුවන් මොළයට බව ඔවුන් පවසනවා. දරුවකුගේ මොළයේ සීඝ්‍ර වර්ධනයක් සිදු වන්නේ ළමා අවදියේ. දරුවකුගේ බුද්ධිය වර්ධනය කිරීමට නම් ඔවුන්ගේ මොළයේ ස්නායු සෛල වර්ධනය කළ යුතුය. දරුවාට ඇති අඩු ස්නායු සෛල වර්ධනය වීමට නම්  ස්නායු සෛල උත්තේජනය කළ යුතුයි.  ඒ නිසා ඇස, කන, නාසය, දිව හා ශරීරය කියන පංචේන්ද්‍රයන් නිසියාකාරව ක්‍රියාකරවීම තුලින් ස්නායු සෛල වර්ධනය කරවන්න පුලුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට ඇබ්බැහිවීම නිසාවෙන් බුද්ධිවර්ධනයද අඩාල වෙනවා.  දරුවාගේ අවධානය, මතකය, ස්වයං පාලනය, සිතිමේ හැකියාව, නිර්මාණශීලීත්වය යන අංශ සඳහා සෘජුවම බලපෑම් එල්ල කරනවා.

ස්වභාවික පරිසරය ගවේෂණය කර ලබා ගන්නා දැනුම ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය නිසා හීනවෙනවා. දරුවන් එකිනෙකා එක්ව සෙල්ලම් කරන විට ඇති වන ගැටුම් නිරාකරණය කරගනිමින් ජීවිත අත්දැකීම් ලබමින් ගොඩනැගෙන අන්තර් පුද්ගල සබඳතාවයන්ට දරුවන් යොමු නොවීම නිසාවෙන් ඔවුන් සමාජය හා ගැටෙන වයස වන විට  සමාජ සබඳතාවයන් පිළිබඳ අවබෝධයක් නැති නිසාවෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑමටත් සිදුවෙනවා.

එසේම ඉලෙක්ට්‍රොනික් උපකරණ සමග දවසේ වැඩි කාලයක් දරුවා ගත කිරීම නිසාවෙන් කය වෙහෙසා සෙල්ලමි වල නිරත නොවන නිසා බෝ නොවන රෝග වලට දරුවන් ගොදුරු වීමේ අවධානමක්ද ඇත.

ඕනෑම දෙයක් අනවශ්‍ය ආකරයට පාවිච්චි කලොත් වෙන්නේ විනාශක් නේ. සීමාව දැනගෙන කටයුතු කලොත් ඒවායෙන් නිවැරදිව ප්‍රයෝජන ගන්න පුලුවන්. එ නිසා දරුවන්ගේ වයස අනුව ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිතය පිළිබඳ අවධානය යොමු කලයුතුයි. අවුරුදු දෙකට අඩු දරුවන්ට ඉලෙක්ට්‍රොනික් උපකරණ කිසිසේත් නුසුදුසු බවත් දෙකත් හයත් අතර දරුවන්ට පැයක් හෝ පැය භාගයක් පමණත් හයත් දොළහත් අතර දරුවන්ට පැයක් හෝ දෙකකට පමණක් සීමා කල යුතු බව පර්යේෂකයෝ අවධාරණය කර ඇත. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ඉලෙක්ට්‍රොනික් උපකරණ භාවිත කරන්නේ නම් ඒ සඳහාද කාල සීමා පැනවීම අවශ්‍යවේ.

ආහාර ගැනීමේ හොඳ පුරුදු ඔබේ දරුවාටත් තිබෙනවාද

අද කාලයේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට අවශ්‍ය විවිධ ආහාරපාන ලබා දීමට කිසිසේත්ම මැලි වෙන්නේ නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඔවුන්ගේ රැචි අරැචිකම් අනුව විවිධ ආහාර ලබා දීමට ඔවුන් සූදානම්. ඒත් තමන්ගේ දරුවා මුල් කර ගෙන කවුරුන් හෝ මේ විදිහට කිව්වොත්…..දරුවන්ට කන්න බොන්න දෙනවා කියලා උජාරුවෙන් කිව්වට වැඩක් නැහැ…කන බොන හැටිවත්  හරියට උගන්නලා නැහැ…මේ විදිහට ඔබේ දරුවා මුල් කර ගෙන කාට හෝ කීමට ගැලපෙන නිමිති ඔබේ දරුවා වෙතත් සමහර විට තිබෙන්න පුලුවන්. ඒ නිසා ආහාර ගැනීමේදී දරුවාට ඒ පිලිබඳව වූ සිරිත් විරිත් හොඳින් කියා දීම වැදගත්.

ශබ්ද නගා ආහාර විකන්න එපා

ආහාර ගැනීමේදී දරුවාට ශබ්ද නගා ආහාර විකන්න එපාය යන අවවාදය ලබා දෙන්න. ඇතැම් දරුවන් ශබ්ද නගනවා පමණක් නොව අසල සිටින අයට අවහිර වෙන සේ ආහාර අනුභව කිරීමට පවා යොමුව සිටිති. එක්තරා පිරිමි දරුවෙක් නිතරම කෑමමේසයේදී ඉදිරියේ සිටින අයගේ පිඟානට කෙළ ගසල පුරුද්දට යොමු ව සිටියේය. මෙය ඉතාම අප්‍රියජනක කරුණක් විය. පංතියේදී පවා සෙසු දරුවන්ගේ කෑම පෙට්ටියට පවා කෙළ ගැසීම නිසා බොහෝ දෙනක් මේ දරුවා අප්‍රිය කරන්නට වූයේ ඔහුගෙන් තිබුන හිරිහැරය නිසාය.

ඉඳුල් අතින් අල්ලන්න එපා

ආහාර ගැනීමේදී ඉඳුල් අතින් වීදුරුව , හැන්ද ඇල්ලීම වැරැදි බව කියා දෙන්න. නිතරම වම් අතින් වීදුරුව අල්ලන්න උපදෙස් දෙන්න.

අවශ්‍ය පමණට බෙදා ගන්න

ආහාර බෙදා ගැනීමේදී තමාට අවශ්‍ය පමණට බෙදා ගෙන තවත් අවශ්‍ය නම් නැවත බෙදා ගන්නවා මිස අනවශ්‍ය විදිහට ආහාර බෙදා ගෙන ඉවත දැමීම එතරම් හොඳ පුරුද්දක් නොවන බව කියා දෙන්න.

මස්, මාලු බිත්තර අතරින් එක් දෙයක් පමණක් ගන්න

මස්, මාලු බිත්තර අතරින් එක් දෙයක් පමණක් බෙදා ගැනීමට උපදෙස් දෙන්න. සමහර දරුවන් මේ සියල්ලම බෙදා ගෙන අපතේ දමන අවස්ථා ඇත. ඒ නිසා බෙදා ගැනීමට පෙරාතුව ඒ ගැන කියා දෙන්න.

පිඟානෙන් ඉවත දමන දේ පිඟාන පැත්තක තබන්න

පිඟානෙන් ඉවත දමන දේ වීසි නොකොට පිගාන පැත්තක තබන්නට උපදෙස් දෙන්න. සමහර දරුවන් තමා නොකන දේ හැම තැනම විසිරෙන සේ ඉවත දමන අතර තවත් දරුවන් බත් කෑ තැන බිම සී සී කඩව විසිරුන බත් ඇට බොහෝය. බත් කන විට බිම හෙලීම හොඳ පුරුද්දක් නොවන බව ඔවුන්ට කියා දීම ඉතා වැදගත්.

ඇඟිලි සියල්ල කටේ දමා ගැනීම නුසුදුසුය

අනුභව කරන විට ඇගිලි සියල්ල කටේ දමා ගැනීම නුසුදුසු බව කියා දෙන්න. සමහර දරුවන් ඇඟිල්ලක් එසැවී සිටින සේ ආහාර මුවට දමා ගැනීමට හුරුව සිටිති. එය අශෝභන බවත් දරුවන්ට තේරුම් කරන්න.

අප්‍රියජනක සිදුවීම්

සමහර දැනුම් තේරුම් තිබෙන අය පවා කෑම ගැනීමේදී අප්‍රියජනක සිදුවීම් ගැන කතා බහ කරති. එවිට තවත් අයගේ ආහාර රුචිය නැති වීමේ පමණක් නොව ඔවුන් මුල් කර ගෙන ඇති වෙන්නේ ඉතාම අප්‍රසන්න බවකි.

ආහාර ගැනීමට පෙරාතුව අත් සේදීම

ආහාර ගැනීමට පෙරාතුව අත් සේදීම වගේම අත්පිස්නාවන් බාවිතා කිරීම ගැන දැනුවත් කරන්න.ආහාර ගැනීමේදී මේසයේ සිටින සහ එකට ආහාර ගත් අය ආහාර ගෙන අවසාන වෙන තෙක් මේසයේ සිටින්න.අනවශ්‍ය විදිහට කලබල ඇති නොවන සේ සංන්සුන්ව සිටින්නනට දරුවා හුරු කරන්න.

හැදි ගෑරුප්පු හරඹය

හැදි ගෑරුප්පු හරඹය අපිට අවශ්‍ය නැතැයි යන ස්ථාවරයේ සිටිනු වෙනුවට අවශ්‍ය විටෙකදී හැදි ගෑරැප්පු භාවිතා කිරීමටත් දරුවා යොමු කරන්න. එවිට රෝමයට ගිය විට රෝමයේ විදිහට කියන්නා සේ දරුවාද යම් හැඩගැස්මක් ලබනු ඇත.බොහෝ දරුවන්ගේ ආහාර අනුභව කරන විට හැසිරෙන ආකාරය ගැන දෙමව්පියන් නොදැන සිටීමට බලපාන හේතු කීපයක් ඇත. ඒවා අතර ඔබත් එම පුරුදු තුළ සමහර විට සිටින්නනට ඉඩ ඇත.

  • දරුවාට ආහාර ගැනීමට තනිවම ඉඩ නොදී ඔබ බත් කැවීමමේ නිසා දරුවා ආහාර අනුභව කරන්නේ කොහොමද යන්න ගැන අවබෝධයක් ඇති කර ගන්නේ නැත.
  • සමහර දෙමව්පියන් දරුවා ආහාර ගන්නා විට බලන්නේ බත් සේරම කෑවාද යන්න පමනි. ඔහු කන විදිහ ගැන අවබෝධයක් ඇති කර ගන්නේ නැත. දරුවා ඔහුට අවශ්‍ය විදිහට ආහාර අනුභවයේ යෙදෙනු විනා ආහාර සිරිත් විරිත් ගැන වැටහීමක් ලබන්නේ නැත.
  • දරුවාටත් ආහාර මේසයට වාඩි වීමට ඉඩ දෙන්න. එවුන් සමග ඔබත් ආහාර ගැනීම පුරුද්දක්ව තබා ගන්න. එවිට දරුවන්ගේ අඩුපාඩු ඔබට තේරුම් ගැනීම එතරම් අපහසු නැත.

පිටස්තර තැනකදී ආහාර ගැනීමේදී සීමාවන් තබා ගැනීමටත් දරුවන්ට උපදෙස් දෙන්න. ආගන්තුකයෙකු ලෙසින් ඔබ වෙනත් නිවසකට ගිය විට ඒ නිවසේ හැලියේ ප්‍රමාණය ගැන ශබට වැටහීමක් නැත. මේ නිසා අනවශ්‍ය විදිහට නැවත නැවත ඉල්ලීම මෙන්ම පමණට වඩා ආහාර ගැනීම විනයක් නොවන බව දරුවාට කියා දෙන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කළ පරිද්දෙන්ම ආහාරයෙන් පසු සෙසු කොටස ජලයෙන් පුරවා ගැනීම වැදගත්ය. හය හතර තේරෙන කාලය වෙන විට දරුවන්ට ඒ බව කියා දෙන්න. පිටස්තර නිවසකදී ඔවුන් අපහසුතාවයට පත් නොවන සේ ඔබේ දරුවා හැසිරෙන්නේ නම් එයින් වඩාත් ප්‍රංශසා ලබන්නේ ඔබයි.

“බලන්න…දරුවන් හදල තියෙන හොඳ …” ඔවුන් එසේ කියනු ඇත. ඒ කියන්නේ හදවතින්ම බව නොරහසක්. ඊට හේතුව වන්නේ ඔබේ දරුවා නිසා ඔවුන්ට කිසිම අපහසුතාවයන් ඇති නොවීමයි.

දියණියට විලාසිතා තෝරන විට අම්මාගේ වගකීම

අපි ඇඳුම් අඳින්නේ ඇයි ඇහුවොත් ඕනෑම කෙනෙක් ගෙන් ලැබෙන පිලිතුර වන්නේ විලි වසා ගැනීමට විය හැකියි. මෙම කරුණු වලින් ඔබ්බට ගොස් හිතුවොත් ඇඳුම නිසා අපට අලංකාරය, සදාචාරය වගේම සෞඛ්‍යය ආරක්ෂා වෙනවා. එහෙමනම් අපි ඇඳුමෙන් අලංකාරය ඉස්මතු කර ගැනීම ඉතාම වැදගත්. විලාසිතාවන් ඇඳුමට පමණක් සීමා වෙන්නේ නැහැ. හිසකෙස් සැකසුම්, පාවහන්, අත්බෑග්  සහ වෙනත් ආයිත්තම් ආදියත් ඇතුලත්. රටක ජීවත්වෙන හැම දෙනාටම විලාසිතා කිරීමට අයිතිය ඇතැත් විලාසිතාවන් තෝරා ගැනීමේදී මවකගේ කාර්යභාරය කුමක්ද?.

වරද ඇඳුමේ නොව අඳින විදිහටයි

විලාසිතාවන් කිරීමේදී වඩාත් වැදගත් වන්නේ එම ඇඳුම අඳින විදිහයි. සාය, කලිසම, කලිසම, ළමා සාරිය, සාරිය හෝ ඔසරිය මේ අතර ඕනෑම ඇඳුමක් සංවරව අදින්නට බැරි කමක් නොමැත.උදාහරණයක් විදිහට කිවහොත් ළමා සාරිය ඉතා සංවර ඇදුමක් වුනත් එය අදින ආකාරයේදී පෙකණිය පවා පෙනෙන විදිහට අඳින්නේ නම් සමාජය විසින් ඒ පිලිබඳව දෝෂාරෝපනය කරනු ඇත. මේ නිසා ඔබ දරුවාට ඇඳුම් අඳින විට එහි සංවරයක් තිබෙන සේ අදින්නට උපදෙස් දෙන්න. එසේ නැතිව ගිය විට දරුවා අනාගතයේදී අනවශ්‍ය ලෙසින් චෝදනා ලබනු ඇත. නූතන පරම්පාරාව අතර සාරිය අඳින පිලිවෙල පවා බොහෝ සේ වෙනස්ව ඇත. මේ නිසා මවක ලෙස ඔබ දරුවාට විලාසිතා වෙනුවෙන් තෝරා ගන්නා ඇදුම පිළිවෙලකට අදින්නට උපදෙස් ලබා දෙන්න. එවිට ඇය මතු දවසකදී අසංවර ලෙසින් විලාසිතාවන්ට යොමුව ඇතැයි වූ චෝදනාවෙන් නිදහස් වෙනු ඇත.

තැනක් නොතැනක් අවශ්‍යයි

මවක ලෙසින් ඔබේ තරුණ දරුවන් විලාසිතා අනුගමනය කළත් ඒවා හැඳ පැලඳ යා යුතු ස්ථාන තිබෙනවා. පන්සල, පල්ලිය, කෝවිල, මගුල සහ අවමගුල ලෙසින් විවිධ භුමිකාවන් ඇත.මේ එක් එක් ස්ථානයට යන විට තැනට ගැලපෙන ලෙසින්  ඇඳුමක් වැදගත් වේ.

අනුකරණය එපා

බොහෝ තරුණ දරුවන් විලාසිතාවන් කරනුයේ රැල්ලට යමින් මිස තමාගේ අවශ්‍යතාවය මත නොවේ. 1980 දශකයේ බොහෝ දෙනා “ඩයනා කට්” අනුව තමාගේ හිසකෙස් සකසා ගත්හ. කේට් කුමරිය අඩි උස පාවහන් පළඳන නිසා අපේ දියනිවරුන්ද එම අඩි උස පාවහන් සොයන්න වූහ. කේට් කුමරිය පයින් ගමනක් නොමැති නිසා අඩි උස පාවහන් ඇයට කිසිම පීඩාවක් ඇති කරනු නොලැබේ. එතේ අපේ දියනිවරුන්ට ගමන් කිරීමට ඇත්තේ පටු මාවත්ව ගල් බොරළු සහිත පටු මාවත්වලය.  මෙම පාවහන් පැළඳ යෑම නිසා විලුඹට ඇති වෙන බර පසුකාලීනව විවිධ පාද ආබාධ සඳහා හේතු වෙන බවත් ඔවුන්ට මතක් කර දෙන්න.

අපචාරවලටත් හේතුවෙන්න පුලුවන්

මස් ඉපිලෙන විදිහට සහ අනවශ්‍ය විදිහට කෙටි ඇඳුම් ඇද ගෙන මහමග යෑම අපචාරවලට හේතු වෙන බව එක් පැත්තකින් කියන විට තවත් අය කියා සිටින්නේ ඇඳුමකින් ඉපිලෙන මස් දුටු පමණටම එය අපචාර සඳහා හේතු නොවන බවයි. එහෙත් මේ තත්වය නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටළු කීපයක් ඇත. පොල්තෙල් ගා ගලවන සේ කිටි කිටියේ අඳින ඩෙනිම් කලිසම් නිසා රුධිරනාල අවහිර වීම්  වැනි අපහසුතාවයන් ඇති වේ. අනවශ්‍ය විදිහට හිර ඇඳුම් නිසා ඇති වෙන මාංශපේශි තදවීම් සිරුරට අපහසුතාවයක් වේ. එමෙන්ම සමාජයේදී ඇති වෙන අපහසුතාවයන් බොහෝය. කෙටි සායක් හැඳගෙන බසයක පාද එක්තැන් කර ගැනීම අපහසුය. හදිසියේවත් වැටක් පැනීමට නොහැක. එවන් අපහසුතාවයන් ගැනත් විලාසිතාවන් කිරීමට පෙරාතුව සිතන්නට දරුවන්ටත් අදහස් ලබා දෙන්න.

සරල බව

විලාසිතාවක් වුනත් සරල සහ ප්‍රසන්නවීම ඉතාම වැදගත්ය. අනවශ්‍ය විදිහට වූ තොරොම්බෝල කරත්තයක තත්වයට පත් විය යුතු නැත. දකින්නන් තුළ ප්‍රසන්නතාවයක් ඇති වෙන්නේ චාම් සහ සරල විලාසිතාවන් වෙතය. ඒ නිසා නිතරම අනවශ්‍ය ලෙසින් විලාසිතාවන් කියා දියණියගේ පවතින සුන්දත්වයට හානි නොවන සේ විලාසිතාවන් කිරීමට ඇයට උපදෙස් දෙන්න.

විලාසිතා යනු ජීවිතය නොවේ

අද තරුණ දූ දරුවන් විලාසිතාවන් වෙනුවෙන් දක්වන දැඩි ආකර්ශනය නිසා මව්පියන්ට ඔරොත්තු නොදෙන තරම් ආර්ථික ගැටළු ඇති වී තිබේ. වර්තමානයේදී එය මව්පියන්ට ගැටලුවක් වන්නා සේම අනාගතයේදී ඔවුන්ගේ ජීවිතටයත් එයින් ඇති වෙන ආර්ථික අපහසුතාවයන් බොහෝය. අලුත රැකියාවන් ලබන තරුණ දරුවන් තම ආදායමෙන් වැඩිම කොටස විලාසිතාවන්ට යොදවන ප්‍රවනතාවයක් ඇත. ඔවුන් කියන්නේ තරුණ වයසට නොමැති විලාසිතාවන් කවදාටද….? යන්න වුනත් තරුණ වයසේ පටන් අනාගත ජීවිතය ගොඩ නගා ගත යුතුව ඇත.

එක් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ තරුණ දියණිය බැංකු නිලධාරිනියක ලෙසින් රැකියාවක නියුතුව සිටියදී ඇයට ලැබුන විවාහ යෝජනාව මල් ඵල දරා විවාහයට දින නියම වීමට ඔන්න මෙන්න කියා තිබියදී මනාලයා විසින් මෙම මංගල්‍යය සඳහා අකමැත්ත ප්‍රකාශ කලේය. මහත් අපහසුතාවයට පත් තරුණ දියණියගේ පවුලේ උදවිය මේ ගැන තොරතුරු සොයන විට ආරංචි වුනේ මෙම දියණිය කිසිම ආර්ථික කලමනාකරනයක් නොමැති අතර ඇගේ පමණක් නොව විවාහ වීමට අපේක්ෂිත තරුණයාගේ මුදල් පවා විලාසතා වෙනුවෙන් වැය කරන නිසා අනාගතය පිලිබඳව තිබෙන අවදානම මත විවාහයට අකමැති බවයි. මේ නිසා තරුණ දූවරුන්ට පමණ හෙවත් තමාගේ මුදල් පසුම්බියේ හැටියට වියදම් කිරීමට උපදෙස් දෙන්න.

ඔවා දෙනු පරහට-තමා සම්මතෙහි පිහිටා සිට

ඇතැම් මව්වරුන් පවා තමාට ලොකු මහත් දරුවන් සිටින බව පවා විලාසිතාවන් කිරීමේදී අමතක කරන තැනට පත්ව ඇත. දරුවන් ලද පමණින් විලාසිතාවන්ගෙන් බැහැර වම අවශ්‍ය නැති වුනත් කළ යුතු සහ නොකළ යුතු සීමාවන් ඇත. වයස විස්සක තරුණියකගේ තත්වයට අවුරුදු හතලිහක මව පත් විය යුතු නැත. දරුවන්ද පෙරටු කර ගෙන ඇය යනෙනා විට බොහෝ  දෙනෙක් වෙනත් අය මුල් කර ගෙන හෝ මෙසේ කියනු ඇත. “අඩුම ගනනේ ලොකු මහත් වුන දරුවොත් සමග නේද මේ යන්නේ කියල හිතනන් එපායැ…” මේ වචනම ඔබටත් පෙරලා පැමිණෙන්නේ අම්මෙක් විදිහට ඔබ නොගැලපෙන අන්දමේ විලාසිතාවන් මත යැපුනොත් පමණි. ඒ නිසා දියනියට වගේම මවක ලෙසින් ඔබත් විලාසිතාවන් තෝරා ගැනීමේදී මෙය මට ගැලපෙන්නේද…? මගේ දරුවන්ට ගැලපෙන සහ නොගැලපෙන විලාසිතාවන් මොනවාදැයි හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එවිට ඔබ පමණක් නොව ඔබේ ආදරණීය දියණියත් රටෙන් ලෝකයෙන්  චෝදනා නොලබනු ඇත.

මල්වර උත්සව

දැරියක් මල්වරවීම කියන්නේ කියන්නේ ඔසප්වීම චක්‍රයේ ආරම්භ වීමයි. වෛද්‍ය විද්‍යාත්මකව නම් මෙම සංසිද්ධිය මේ විදිහට හඳුන්වන්න පුලුවන්. ඇඩම්සන් හොබෙල් නැමැති සමාජ විද්‍යාඥයා පවසන්නේ මල්වර වීම යනු තාරුණ්‍යයේ හිමිදිරියෙන් වියපත්වීමේ උදාවයි.

දැරියකගේ මල්වර වීම මුල් කර ගෙන උත්සවයක් සංවිධානය කරන්නේ ඇයි…ඒ වෙනුවෙන් සාධාරණීකරණයටත් බොහෝ හේතු දැක්වීමට දෙමව්පියන් සූදානම්.

  • මේ අවස්ථාව ඇති වෙන්නේ ජීවිතයටම එක් වතාවක් පමණයි.
  • ගැහැණු දරුවෙක්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
  • අලුත් ජීවිතයක් පටන් ගන්න අවස්ථාවක්.

ඒ වුනත් මල්වර සිරිත් අපිට බැහැර කිරීම අපහසුයි. ගැහැණු දරුවාගේ ජීවිතයේ සංක්‍රාන්ති කාලයක්. මේ කාලයේදී “දැරිය” හා “ළමිස්සිය” යන අවස්ථා දෙකටම අයිතියි. මෙම කාලසීමාව තුළ තිබෙන අපල උපද්‍රව නිසා ඇයට ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා මේ කාලයේදී දැරිය වෙනුවෙන් තනියට තවත් කාන්තාවක් නවත්වනවා. ඒ වගේම පිරිමි කටහඩක් ඇසීමටවත් දෙන්නේ නැහැ.

ඒ වුනත් අද මේ චාරිත්‍රය සිද්ධ කිරීම අපහසුයි. ඊට හේතුව කාර්ය බහුල ජීවිතයේ ඇය ආරක්ෂා කිරීම වෙනුවෙන් රඳවා තබන්නත් කාන්තාවන් ඇත්තේ නැහැ.ඒ නිසා අතීතයේදී සතියක් හෝ දින දහයක් පමණ නිවසේ වෙන් කර ගෙන සිටියත් අද දින දෙක තුනකට මේ තත්වය සීමා වෙනවා.

අපේ රටේ බොහෝ ප්‍රදේශවල මල්වර චාරිත්‍ර හා උත්සව උත්කර්ෂවත්ව සිද්ධ වුනත් බොහෝ දෙනාගේ අදහස වන්නේ එය දැරිය අපහසුතාවයට පත් කිරීමක් බවයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ බො‍හෝ දෙනෙක් මල්වර උත්සව ප්‍රසිද්ධියේ ගැනීම අනුමත කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ එය හරියට මල පිපිලා තිබෙනවා…බඹරුන්ට ආරාධනා කිරීමකට සමාන බවයි.

ඒ වගේම මල්වර වීම සමග බැඳී තිබෙන සිරිත් සහ සම්ප්‍රදායන් බොහොමයක් තිබෙනවා. ඒ හැම දෙයකින්ම දැරියගේ ජීවිතයට සුබ ශාන්තිය ඇති වෙනවා වගේම ඇය මානසිකවත් අලුත් වෙනවා. ජීවිතයේ තිබෙන විවිධ අපල සහ දෝෂ දුරු වෙන විදිහටත් මල්වර සිරිත් සකස් වී තිබෙනවා. එහෙම නම් මේ සියල්ල තුළ තවත් අන්දමින් පුංචි මගුල් ගෙවල් වගේ උත්සව සංවිධනය කිරීම අවශ්‍යද…?

මල්වරවීමට පසුව ඇයට තුන්මාසයක්ම සුබ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වීමට අවසර නැහැ. ඒ මේ දැරිය කිල්ලට හෙවත් අපිරිසිදුතාවයට පත්ව ඇති නිසයි. ඒ වගේම ඇයට මස් , මාලු , බිත්තර ලබා දෙන්නේ නැහැ. අමනුෂ්‍ය දෝෂ ඇති වෙන නිසා මේ විදිහට ආහාර තහංචි තිබුනත් ඇතැමුන් කියන්නේ මෙම ආහාර නිසා පිටවෙන රුධිරයේ දුර්ගන්ධය ඇති වෙන අතර හදිසියේ හෝ අජීර්ණ තත්වයක් ඇති වුනොත් අද මෙන් ඇතුලත වැසිකිලි නොමැති නිසා මේ තත්වය ඉතා අපහසුතාවයට පත් වෙන බවයි.

ඒ වගේම මස්, මාලු වැනි ආහාර තෙලෙන් බැද නොදී කිරට පිළියෙල කර දීම අවැඩක් නොවන බව ආයුර්වේද හා ‍ජෙය්‍යාතිෂවේදිනී හිමාලි හේරත් මහත්මිය සඳහන් කරයි. මේ කාලසීමාවේදී දැරියගේ  පෝෂණය වැදගත් නිසා තැම්බුම් හොද්ද ලබා දීමත් සිද්ධ වෙනවා. ඒ වගේම හිමාලි හේරත් මහත්මිය සඳහන් කරන්නේ තෙල් බැදුම් වෙනුවෙන් අමනුෂ්‍ය බැල්ම ඇති වීම තවත් හේතුවක් බවයි.

රජරට ප්‍රදේශවලදී  නිවසින් පිටත තිබෙන පැඟිරි කඩුල්ලෙන් දැරිය පැනීමට නියමිතයි. එයින් අර්ථවත් කරන්නේ දැන් ඇය ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළ වගයි.

මල්වර සිරිත් එදා ඉටු කරනු ලැබුවේ රෙදි නැන්දා විසින්. වැඩිවිය පත් දැරිය හැඳ සිටි ඇඳුම් සහ ආභරණ මුට්ටියකට දමන අතර එය “වස්හැලිය” යනුවෙන් හැඳින්වුනා. මෙය ඉවත් කරන්නේ දැරිය නාවන දිනයටයි. ඒත් අද මේ කාර්යය කිරීමට රෙදි නැන්දාවරුන්  නොමැති නිසා එම සිරිත් අභාවයට යමින් තිබෙනවා.

හින්දු සිරිත් අනුව දැරියක් මල්වර වූ විගසම අඟුරුවලින් එම ප්‍රදේශය සීමා කරනවා. දැරිය ලිඳක් වෙතට ගොස් සිරැර පිරිසිදු කොට නැවත නාවන තෙක් ඇයට මස් , මාලු ආහාරයට දෙන්නේ නැහැ. එළගිතෙල් හා බිත්තර වැඩියෙන් ලබා දෙන්නේ දැරියගේ ප්‍රජනන ශක්තිය වැඩි වීමටයි. කොහොඹකොළ, ගම්මිරිස් , ඉඟුරු, සුදුළූණු සහ කහ අඹරා හකුරු සමග ලබා දෙනවා. එයින් ඔසප් වේදනාව දුරු වෙන බවටත් විශ්වාස කරනු ලැබුවා.ජලය පානය කිරීම නිසා උදරය ඉදිරියට එතැයි විශ්වාස කල බැවින් ජලය වෙනුවට කෝපි ලබා දුන්නා.

හින්දු ජාතිකයන් විසින් දැරිය නාවන දිනයේදී ඇයට පිලියල කරනු ලබන ඇදුම් කහ වතුරෙන් සෝදනවා. යාපන ප්‍රදේශයේදී නම් දැරියගේ කාමරයේ අඳින සෘජුකෝනාඝ්‍රාකාර කාමරයේ දින හතක් ඇය රඳවා තබනවා. හින්දු මල්වර සිරිත් අතර ආලත්ති තටු සකස් කරන අතර මේ වෙනුවෙන් මල්, පළතුරු, කැවිලි, පිට්ටු, කිරිබත් , සූකිරි හා වී වැනි ද්‍රව්‍යයන් අයත් වෙනවා. මෙම කටු නවය දැරියගේ හිස වටා කරකවා රෙදි නැන්දාට ලබා දෙනවා. වී ටිකකට මන්නයක් දමා එයත් දැරියගේ හිස වටා කරකවමින් ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා.හින්දු වැසියන් මල්වර වුන දැරියට අයියර් ලවා ආහිර්වාද ලබා ගනී. ” මනවර”” යනුවෙන් හැදින්වෙන මෙම සිරි‍තේ  ප්‍රාදේශීය වශයෙන් වෙනස් වීම් තිබෙනවා.

ඉස්ලාම් සිරිත්

දැරිය මල්වර වූ නිමිති දැනගත් විට ඇය නාවා දින හතක් වෙන් කර තබනවා.පිරිමින්ගෙන් මුවාකර තබන අතර යකඩයක් අතට දී ආරක්ෂාව සපයනවා. ඌරු මස් හැර වෙනත් මස් වර්ග ඇයට ආහාරයට ලබා දෙනවා.  පිට්ටු සහ පොල් යොදා ගෙන තනන ලද ආහාර වැඩියෙන් ලබා දෙන්නේ එයින් ඔසප් වේදනාව සමනය වෙනු ඇතැයි වූ විශ්වාසය නිසයි. ඇතැම් අය ලෙබ්බේ ලවා නැකැත් සාදා ගන්නා අතර අම්මා , ආච්චි හෝ නැන්දා විසින් දැරිය නාවා ගෙට ගන්නවා. ඒ අවස්ථාවේදී මුට්ටියක් බිඳීම හෝ ඇය පිටුපසට බිත්තරයක් බිඳීම සිද්ධ වෙනවා. දැරිය මුලින්ම දකින්නේ පහනවක් එයින් පසුව පසෙක තබා ඇති කුරානයේ කොටසක් කියවනවා. උත්සව ගැනීමක් සිද්ධ නොවුනත් එතැන් පටන් ගැහැණු දරුවා පන්ජාබ් හෙවත් සිරුර වැසෙන සේ ඇදුම් ඇඳීම අවශ්‍යයි.

මල්වර සිරිත් තුළ තිබෙන බොහෝ දේ කිසියම් විදයාත්මක ගැලපීමක් සමග සම්බන්ධයි. ඒ නිසා මේ සිරිත් අපිට ඉවත දැමීමට අපහසුයි. එහෙත්…අනවශ්‍ය විදිහට උත්සව පැවැත්වීම ගැන තීන්දු තීරණ ගැනීමට පෙරාතුව දෙවරක් හිතුවොත්…?

ලෝක ළමා දිනය බිහිවුණේ මෙන්න මෙහෙමලු

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ඔක්තෝබර් මාසයේ පළමු වැනි දිනට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසාම දරුවා සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.

දරුවා ගැන දාර්ශනික අදහස් :


ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි.දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනියි. මුල් කාලයේදී එය ඉතා පිරිසිදුයි. මෙහි මුල්ම සටහන තබන්නේ මව , පියා සහ සහෝදර සහෝදරියන් විසින්ය.රුසියාවේ ‍නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවයි.

ලෝක ළමා දිනය ආරම්භ වුනේ කොහොමද…..?

1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී.හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනයම තෝරා ගන්නේ නැහැ.

රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනටයි. එදිනට  මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුලු වී විනෝද වෙන්න පුලුවන්. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගෙන තිබෙනවා.බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනි දින ළමා දිනය සමරනු ලබනවා. ඉන්දියාව මේ සඳහා තෝරා ගන්නේ ජවහල්ලාල් නේරු තුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනි දිනයි. පකිස්ථානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගත්තා.

ළමා දිනය වැදගත් ඇයි ?….

දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත්  වෙනවා.  ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි….?

දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.

ළමා පරපුර සහ වැඩිහිටි පරපුර අතර ඇති හිදැස ගොඩ නැගෙන්නේ ඇයි ?….

  • පරම්පරා අතර ඇති ගැටුම
    අද බොහෝ වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ටත් වඩා මුනුපුරන් නිසා ඇති වෙන ගැහැට දරා ගැනීමටත් අපහසුයි. එදා දරුවන් සමග මව්පියන් එක නිවසක් තුළ කාලය ගත කළා. අදහස් උදහස් අතර පැහැදිලි වෙනස්කම් ඇති වුනේ නැහැ. අද තත්වය ඊට වෙනස්. මේවා වැඩිහිටියන්ට නොගැලපීම නිසා ඇති වෙන ගැටුම බොහෝ දුර යා හැකියි. මේ නිසා වැඩිහිටියන් නිරන්තරව තම දෙවැනි පරම්පරාව දෙස නොරිස්සුම් සහගතව සිතීම නොදැනම ගැටුමක් ගැටුමක් වෙනුවෙන් මුල පුරනවා. ඔවුන් කියන්නේ අත්තම්මා , සීයා යනු කෝපි කාලයේ චරිත බවයි.
  • වැඩිහිටියා අවලංගු කාසියක් වීම
    එදා පවුල මුල් කරගෙන දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ඉතා යහපත් පරිදි ගත් තීන්දු තිරණ නිසා අත දරුවන්ගේ ජීවිතය බෙහෙවින් ආලෝකමත් වී ඇත. ජීවිතය තුලින් ඔවුන් උපයා ගත් දේ බොහෝය. එම අත්දැකීම් පාදක කර ගෙන දරුවන්ගේ ජීවිතයට මග පෙන්වීම ලබා දිය හැකිය. එහෙත් අද ඔවුන් අවලංගු කාසියක් බවට පත්ව ඇත. ඔවුන්ගේ අදහස් පිලිබඳව කිසිදු ඇගයීමක් නැත. දරුවන් විසින් තමාට ලබා දෙන ‍නොවැදගත්කම නිසා අනේ මටත් ගිය කලක් යනුවෙන් වූ කම්පනය වැඩිහිටියන්ට දැනෙනු ඇත.
  • පුංචි පවුල රත්තරන්
    පවුලක් කී විට එදා දරුවන් හය හත් දෙනෙක් සිටියා. මේ නිසා දරුවන්ගෙන් කවරෙක් හෝ මව්පියන් ආරක්ෂා කළ අතර ඔවුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. අද පවුලක සිටින්නේ දරුවෙක් හෝ දෙදෙනෙක් පමනි. අද ඔවුන් ගම හැර නගරයට සංක්‍රමනය කිරීමත් සමග දෙමව්පියන් මහගෙදර තනි වෙනු ඇත. ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නොවන නිසා අද වැඩිහිටියන්ගේ සමාජගත ගැටලු බෙහෙවින් උග්‍ර තත්වයට පත්ව ඇත.
  • දෙමව්පියන් නඩත්තුව බරක් වීම
    දරුවන්ට බාල කාලයේදි ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඇදුම් පැළඳුම් ලබා දීමට මව්පියන් උපරිමයෙන් උත්සහ දරනු ඇත. ආර්ථික ප්‍රශ්න ඉදිරියේ පවා දරුවන්ගේ බත්පත වැරදුවේ නැත. ඒත් අද දරුවන් විසින් මව්පියන්ගේ ආහාරපාන ගැන නොව වෙහෙසෙන්නේ තමාගේ දරුවන් වෙනුවෙන් වූ ආහාරපාන ගැනමය. දරුවන්ට ගැලපෙන දෙය මිස වැඩිහිටියන්ට ගැලපෙන දෙයක් ගැන සිතීමක් මෙන්ම තැකීමක් නැත. මේ නිසා තමන්ගේම දරුවන් වෙතින් අවතැන් වෙන මව්පියන්ගේ ශෝචනීය ඉරණම ගැන සිතන්නට කාලය එළැඹ ඇත. පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීම වැඩිහිටියන් මහත් සේ කැපවීමකින් කරන කටයුත්තක් වේ. ඒ නිසා දරුවන්ද පෙරලා ඔවුන් වෙනුවෙන් හදවතින් බැඳීමක් ගොඩ නගා ගැනීම ඉතා වැදගත්.මෙම අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි සිද්ධ වන්නේ නම් දරුවා සහ වැඩිහිටියන් යන සංකල්ප එකම කාසියක දෙපැත්ත සේ ජීවිතයට සම්බන්ධ පුද්ගලයන් බවට නොදැනීම පත් වෙනු ඇත.

දරුවාගේ කථන හැකියා වර්ධනයට මව්පියන්ට සරල ක්‍රම 9ක්

අද වන විට වෙනවාදාට වඩා වැඩි දරුවන් පිරිසක් කතාව සම්බන්ධව යම් යම් පසුබෑම් පෙන්නුම් කරයි. මේ තත්ත්වයට මූලිකව බලපාන හේතුවක් ලෙස පවුලේ සාමාජියකයන්ගෙන් දරුවාට ලැඛෙන සක්‍රීය දායකත්වය අවම වීම දැක්විය හැකියි. කාර්යබහුල ජීවන රටාව සමග දරුවන් සමග ගතකිරීමට දෙමාපියන්ට ලැඛෙන කාලය අවම වී ගොස් ඇති අතරම ඒ තත්ත්වය වක්‍රාකාරව දරුවන් කෙරේ බලපෑම් ඇති කරන්නේ මෙවැනි ගැටලූකාරී තත්ත්වයන් මතු කරමිනි. දරුවා ඉතා උද්යෝගයෙන් ක්‍රියාශීලීව ගත කරන අවස්ථාවන්වලදී අඩුම තරමේ පැයක පමණ කාලයක්වත් දරුවා සමග ඒ අවස්ථාවට එක්වන්න මව්පියන් වන ඔබ සැලකිලිමත් විය යුතුයි. දරුවෙකු තම භාෂාව ඉගෙනීම අරඹන්නේ මව්කුස තුළ සිටින කාලයේ සිට වන අතරම මොලොවට බිහිවීමත් සමග මොහොතින් මොහොත ඒ දැනුම වැඩිදියුණු කරගනී. තම වටපිටාව තුළින් දරුවන් යම් යම් දේ තමා වෙත ග්‍රහණය කරගන්නා ආකාරය පුදුමය දනවන සුලූය. කතාව හා සම්බන්ධයෙන්ද මේ තත්ත්වය මෙසේමය. වටපිටාවෙන් මොහොතින් මොහොත ග්‍රහණය කරගන්නා වචන අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය අයුරින් භාවිත කිරීමට ඕනෑම දරුවෙකුට හැකියාව පවතී. අන්න ඒ නිසාම දරුවෙකුගේ වටපිටාව තුළින් අසන්නට දකින්නට ලැඛෙන දේ සැමවිටම දරුවාට උත්තේජනයක් සපයන ආකාරයේ දේවල්ම විය යුතුය. කාටූන් වැනි වැඩසටහන් හරහා කිසිදු විටෙක දරුවෙකුගේ කතන හැකියාවන්ගේ සංවර්ධයක් ඇති වන්නේ නැත.

දරුවෙකුගේ කථන හැකියාව සංවර්ධනය උදෙසා වැදගත් සරල, සක්‍රීය ක්‍රම : 

දරුවාට සරල බසින් අමතන්න 

කුඩා දරුවෙකුට කතා කිරීමේදී භාවිත වන බස සැමවිටම සරල භවිය යුතුය. කතාවේ හෝ භාෂාවේ ඌනතාවයක් නොමැති දරුවෙකුහට එක් භාෂාවක් පමණක්ම කතා කිරීම අනිවාර්ය දෙයක් නොවන අතරම කතාවේ හෝ භාෂාවේ ඌනතා සහිත දරුවෙකු සිටින මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ එවැනි දරුවෙකුට භාෂාවන් කිහිපයක් ඉගැන්වීමට යාම කථන හා භාෂා ඌණතාවය වර්ධනය වීමට හේතුවක් විය හැකි බවයි. ඒ හේතුව මත ඕනෑම දරුවෙකුට මූලිකව එක් භාෂාවකින් කතා කිරීම වඩා උචිතය. දරුවා වයසින් වැඩෙත්ම වෙනත් භාෂාවක් ඉගැන්වීම අපහසු නොවන බව සිහිතබාගන්න.

දරුවා සමග කතා කිරීමේදී කෙටි වාක්‍ය භාවිතයට ගන්න 

ඔබ පවසන දේ වචන ගණනාවක් සහිත දීර්ඝ වාක්‍යයක් නම් එය වටහා ගැනීම කුඩා දරුවෙකුට අපහසුය. කෙටි වාක්‍ය යොදාගනිමින් දරුවාට කතා කළ විට භාෂාව වටහා ගැනීමටත් වචන මාලාව පිළිබඳව දැනුවත් වීමටත් අවශ්‍ය තැනට අවශ්‍ය වචනය යෙදීමටත් දරුවා දරුවත් වනු ඇත.

ඔබේ හඬ නිසි අයුරින් පාලනය කරන්න

සැමවිටම ඔබ පවසන වාක්‍යයේ ප්‍රධාන වචනය තීව්‍ර වන අයුරින් කතා කිරීම ඉතා වැදගත් කරුණකි. මිනිස් මොළය වඩා හොඳින් උත්තේජනයට නිසි අයුරින් හඬ පාලනය වීම ඉතා වැදගත් වේ. එබැවින් දරුවා සමග කතාකරන හැම අවස්තාවකදීම මේ කරුණ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න.

ඔබේ හැඟීම් මුහුණේ ඉරියව් තුළින් පෙන්නුම් කරන්න

දරුවා සමග කතා කරන හැම වෙලාවකදීම අදාල අදහසට, හැඟීමට අදාල ඉරියව්ව වෙනස් කරන්න. ඇස් කුඩා කිරීම/විශාල කිරීම/නලල රැලි ගැන්වීම/සිනහව/දුක වැනි හැඟීම් මුහුණේ ඉරියව් සමගින් පෙන්නුම් කරමින් දරුවා සමග කතා කරන්න.

අදාල අවස්ථාවේදී අදාල අංගචලනයන් භාවිත කරන්න

උදාහරණයක් ලෙස ලොකු බෝලයක් ගැන දරුවාට විස්තු කරන අවස්ථාවකදී දෙඅත් විහිදුවා එහි ප්‍රමාණාත්මක බව පෙන්වීමට ඔබට හැකියි.

යම් යම් දේ සහ පින්තූර භාවිතයෙන් දරුවාට කියාදෙන්න

ඔබත් දරුවාත් අතර සිදුවන කතාබහට අදාල රූප යොදා ගන්න ඔබට හැකියි. පින්තූර භාවිතයේදී ත්‍රිමාණ රූප භාවිතය වඩාත් සුදුසුය.

සරල ගීත ගයමින් ඒ සඳහා වූ සරල අංග චලන ඉදිරිපත් කරන්න

දරුවා සමග දරුවාගේ වයසට යමින් ගී ගයමින් රංගනයේ යෙදෙන්න වැඩිහිටි වුවත් ඔබටත් සිදුවනු ඇත. උදාහරනයක් ලෙස “අලියා හොඬවැල පද්දනවා…” මේ පද පෙළ සරල අංග චලනයන් සමගින් දරුවාට කියාදෙන්නටත් ඒ සඳහා දරුවා සම්බන්ධ කර ගැනීමටත් ඔබට හැකියාව ඇත.

සෙල්ලම් බඩු සමග දරුවාව තනි නොකරන්න

සෙල්ලම් බඩු සමග වුවද සල්ලම් කිරීමේදී ඒ සඳහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න. දරුවා සමඟ කතා කරමින් ඔබත් සෙල්ලම් කරන්න.

රූපවාහිනියට හෝ පරිගණක ක්‍රීඩා වෙත දරුවා යොමු කිරීමෙන් වලකින්න

මෙවැනි දේ හරහා කිසිදු ආකාරයක උත්තේජනයක් දරුවෙකුට හිමි වන්නේ නැත. ඒ නිසා බහතෝරන වියේ දරුවන් සමග එක්ව සිටීම ඉතා වැදගත් වනු ඇත. මන්ද දරුවා හා එක්ව ක්‍රියාකාරකම්වල යෙදෙන්න යෙදෙන්න දරුවා භාෂාව ඇතුළු බොහොමයක් දේ ඔඛෙන් අවශෝෂණය කරගනු ඇත.

කථන හා භාෂා ව්‍යාධිවේදී  නිමිර චතුරංග වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි.

 

දරුවන්ට හැමදේටම “එපා එපා” කියද්දී මෙහෙම වෙන්නත් බැරි නැ

උණහපුලුවාට උගේ දරුවා මැණිකක් සේම ඔබට ඔබේ දරුවා තරම් වටිනා වස්තුවක් තවත් නැත. ඒවගේම අනේ හරිම යහපත් දරුවෙක් විදිහට යන හැඳින්වීමෙන් ඔබේ දරුවා ගැන සමාජයේ පිලිගැනීමක් ඇත්තේ නම් එය සැබෑම වාසනාවකි. ඒ වුනත් ඇතැම් දරුවන්ගේ ගති පැවැතුම් අනුව ඒ හැදින්වීම ලබා දීමත් එතරම් පහසු නැත.දෙමව්පියන් විදිහට දරුවන්ගේ විවිධ හැසිරීම් ඔබට පුරුදු වුනත් පිටස්තර තැනකදී මේ ස්වභාවික හැසිරීම පාරාවලලලක් සේ ඔබ වෙතටම එල්ල වීමට පුලුවන්. ඒ නිසා පිටස්තර තැනකදී දරුවාගේ හැසිරීම ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් සිතන්න දේ බොහෝ ඇත.

සමහර දරුවන් පිටස්තර තැනකදී නිවසට වඩා වෙනස් ගති පැවැතුම් ප්‍රදර්ශනය කරනු ඇත. නිවසේ ඉතාම කීකරු දරුවන් තමන්ගේ සියලු දඩබ්බරකම් ප්‍රදර්ශනය කරන්නේ පිටස්තර ස්ථානයන්හිදීය. අද විවිධ ආයතනයන්හිදී මේ තත්වය බෙහෙවින් දක්නට ඇත. පාසල් ඇරී තම දෙමව්පියන් සමගම හවස නිවසට යන අදහසින් ආයතනයන්හි කාලය ගෙවන ඇතැම් දරුවන් නිසා බොහෝ අයට තමන්ගේ දෛනික කටයුතු පවා කර ගැනීමට අපහසුතාවයන් පැන නැගී ඇත.

 ඇතැම් දරුවන් කෙලින්ම පැමිනේනේ පරිගණකය වෙතටයි. ඔවුන්ගේ පරිගණක ක්‍රිඩාවන් නිසා සමහර අවස්ථාවන්හිදී සෙවයේ යෙදී සිටින නිළධාරි මහත්ම මහත්මින්ට ලිපියක් සකස් කර ගැනීමටවත් අවසර නැති තරම් හිරිහැරකාරීය. ඒත් ඔවුන් මුවින් නොබැන සිටියත් දරුවන්ගේ මේ ගති පැවැතුම් නිසා දෙමව්පියන් චෝදනා ලබනු ඇත. හැම දෙනාගේම අදහස වන්නේ නිසි පරිදි දරුවන් හැඩ ගසා නොමැති වීමෙන් කාර්යාලයටත් හිරිහැරයක්  බවයි.

මේ දරුවන් විටෙක නිවසේදී ඉතාම කීකරු දරුවන් විය හැකියි. ඒ කීකරුබවටත් හේතු තිබෙන්නට පුලුවන. සමහර දෙමව්පියන් දරුවන්ට නිවසේ භාණ්ඩ පරිහරනයට අවසර නොදෙන්නේ  ඒවායේ ආරක්ෂාවට ඇති වෙන හානි නිසාය. ඒත් කාර්යාලයේදී එම භාන්ඩම පරිහරනය කරන විට දරුවන්ට ඒ වෙනුවෙන් අවවාද ලබා නොදෙන විට ඔවුන්ගේ බිය සැක දුරුව අනවශ්‍ය විදිහට ඒවායේ පරිහරනයට යොමු වීම නිසා දෙමව්පියන්ටත් පසුතැවිල්ලක් ඇති වෙන තරමටම ගැටළුව උග්‍ර වෙනු ඇත.

 මේ නිසා ඔබ දරුවාට යම් ඇල්මක් සහ උනන්දුවක් ඇති දෙයකදී තහංචි නොපනවා ඔබගේ අධීක්ෂනය යටතේ ඒ වෙනුවෙන් දරුවාට අවසර ලබා දෙන්න. ඒ සමගම නිවසේ භාණ්ඩයක් කැඩී බි‍ඳෙනවාට වඩා කාර්යාලයේ යමකට අලාබයක් වුනොත් ඇති වෙන අන්තරායකාරි බවත් ගැන දරුවාට කරුණු කාරණාවන් පහදා දෙන්න.

ඇතැම් දරුවන් නිවසේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේම කියන අවස්ථාවන් ඇත. පවුලක කිව යුතු සහ නොකිව යුතු දේ ඇති බැවින් ඒ ගැන පාලනය දරුවන් නොදනිති.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම ප්‍රවේසම් වීම අවශ්‍ය වන්නේ නොකිව යුතු යමක් දරුවාගෙන් පිට වීම යනු එතරම් සුබ දෙයක් නොවන නිසාය. දරුවන් විවෘතව කියන දෙය නිසා පවුල් අරගල පවා ඇති විය හැකි තරම් තත්වය දරුනු වීමටත් ඉඩ ඇත.

නිවසේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට තරම් මුදලක් සමග යන ඔබට දරුවා අනවශ්‍ය යමක් ඉල්ලමින් කරදර කිරීම නිසා මහත් සේ අපහසුතාවයක් මෙන්ම පීඩනයක් ඇති විය හැකියි. දරුවාගේ හැසිරීම ඔබ දන්නා නිසා මෙවැනි අවස්ථාවන් ඇති වනවා නම් අදාල ප්‍රදේශ වෙතට දරුවා සමග යන ගමන් සීමා කරන්න. මුදලේ වටිනාකම ඔහු දන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවට ඇස ගැටෙන දේ පමණි. ඒ නිසා ඔබ දරුවා ගැන ඉතා හොදින් දන්නා නිසා අත මිට නොමැති නම් හැකිතාක් දරුවන් සමග නොගොස් අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ පමණක් යෑම ප්‍රමාණවත් වේ.

 හෝටලයකට තේපැන් පානයට යන අවස්ථාවන්හිදීත් ඇතැම් දරුවන් කැවිලි හෝ මේසයට ගෙනෙන සියලුම දේ අවශ්‍ය බැව් කියා සිටිනු ඇත. එයින් ඔබට අනවශ්‍ය වැය බරක් දැරීමට සිදු වේ. මෙම කරුණු දරුවාට පැහැදිලි කිරීමට යම් වයස මට්ටටමකට පැමිණීම අවශ්‍ය නිසා එතෙක් මේ වෙනුවෙන් ඔබ දරුවාගේ රටාවට හැඩ ගැසෙන්න. අවන්හලකින් දරුවා සමග ‍ගොස් ආහාරපාන මිළයට ගැනීම ඒ වෙනුවෙන් එක් විකල්පයකි. එතැනදී ඔහුගේ අවශ්‍යතාවයට පමණක් ඉඩ ලබා දීම අපහසු නැත.පිටස්තර නිවසකට ගිය විටත් සංග්‍රහ කරන දෙයින් එකකට වඩා නොගන්නා බවට දරුවා දැනුවත් කරන්න.

දරුවන්ට ආහාර පිලිබදව අවශ්‍යතාවයන් ඇති බව ඇත්ත වුනත් ඉතාම කෑදර අන්දමින් දරුවා කටයුතු කිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වෙන අතරම දරුවා ගැනත් ඇති වන්නේ අප්‍රසන්නතාවයකි.

පිටස්තර තැනකදී ඒ නිවසේ භාණ්ඩ වලට හානියක් නොවන සේ මෙන්ම දකින දකින දෙය ඉල්ලා සිටීමත් එක්තරා ආකාරයක හිරිහැරයක් බව අත්දැකීම් ඇති දෙමව්පියන් දන්නවා ඇති. කුඩා දරුවෙක් ඉල්ලා සිටින සේ පිටස්තරයන් ලබා දුන් විට බි‍ඳෙන හෝ අක්‍රිය වෙන තත්වයට පත් වීමට පුලුවන. ඔබ සමග ඇති සුහදතාවය සහ දරුවා මුල් කර ගෙන ඇති  ආදරය නිසා ඔවුන් අලාබය ඉවසනු ඇත. එහෙත් ඔබේ දරුවා නිසා ඇති වුන ආර්ථික හානිය ඔවුන් ඉවසා සිටියද ඒ ගැන ඔබ තුල ඇතිවෙන පසුතැවිල්ල සුලුපටු නැත.

මගේ දියණිය කුඩා කාලයේදී යම් පිටස්තර තැනකට ගිය විට ඒ නිවසේ තිබෙන යම් දේ ඉල්ලා සිටීමට පුරුදුව සිටියාය. මේ තත්වය හොදින් දන්නා නිසාම පිටස්තර තැනකට යෑමට පෙරාතුව එසේ ඉල්ලීම හොඳ නැති බව ඇයට කියා දී ඇයව පොරොන්දු කරවාගෙන යෑම පුරුද්දක් විය. මගේ මිතුරියකලග් අලුත උපන් දරුවා බලන්නට යන ගමනට මා ඇය සම්බනධ කර ගත්තේ ඔවුන්ගේ වැඩිමහල් දියනිය මගේ දියණියගේ මිතුරියක් නිසාය. ටික වේලාවක්ම කිසිවක් නොඉල්ලා සිටි ඇය මද වේලාවකින් එතැනින් නැගිට ගියත් ඒ ගැන මා විමසිලිමත් නොවුනේ මෙතෙක් කිසිම දෙයක් වෙනුවෙන් ඉල්ලුමක් නොවුන නිසාය.

මට ඇගේ කටහඬ ඇසුනේ කාමරයක් ඇතුලින්ය. අත්තම්මා වෙතට ගිය ඇය අල්මාරිය උඩ තිබෙන සෙල්ලම් අහ්වයා ඇගෙන් ඉල්ලා සිටින හඩ ඇසෙත්ම මා කියා සිටියේ “ගෙදරදී මොකද වුන පොරොන්දුව අමතකද…?” ඇගේ පිළිතුර වුනේ “ඉතින් මට උඩින් තියෙන දේවල් ඉල්ලන්න එපා කිව්වේ නැහැනේ…” යන්නයි.

දරුවන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉතාම සියුම් විදිහට හැසිරෙන නිසා වැඩිහිටියන් වශයෙන් අපේ සැලකිල්ලත් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත් බවයි. ඔවුන්ගේ සියුම් හැසිරීම් වැඩිහිටියන් විදිහට අපට පසුතැවිල්ලට හේතු වෙන බැවින් ඒ ගැන විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ.

යහළුවන් එක්ක සෙල්ලමට යන ඔබේ දරුවා මේ දේවල් නොදැන හිට්යොත් නම් අමාරුවේ

සෙල්ලම කියන්නේ අපේ ශාරිරික සහ මානසික පෝෂණය වෙනුවෙන් අපිට ඉතාම වැදගත් ක්‍රියාකාරකමක්. යාන්තම් හය හතර තේරෙන තැන පටන් කෙලි සෙල්ලමින් ජීවිතය ගෙවන්න අපි කැමැතියි. ඒ නිසාම සෙල්ලම අපේ ජීවිතයේ අවශ්‍ය සහ වටිනාම අයිතියක්. ඒත් සෙල්ලම කිසිම විටෙක අනවශ්‍ය හිරිහැරයක් පීඩාවක් නොවන ලෙසින් සිදු කිරීමට සිත තබා ගත යුතුයි. විටින් විට අපිට ඇසෙන පුවත් අනුව වැඩිහිටියන් පවා ක්‍රීඩා කටයුතුවලදී විහාල වශයෙන් මතබේද සහ ආන්දෝලනයන් ඇති කර ගන්නා අන්දම ගැන ඔබටත් අත්දැකීම් ඇති එහෙම නම් අපි දරුවන්ට සමූහයක් සමග සෙල්ලම් කරන විට ලබා දිය යුතු දැණමුතුකම් මොනවාද…

නායකත්වයට ගරු කරන්න

අතීතයේදී නම් සෙල්ලමට ගියාම දරුවන් තමන්ගේ ක්‍රීඩාව වෙනුවෙන් නායකයෙක් ‍තෝරා ගෙන ඔහුගේ අණසකට අනුව කටයුතු කලා. ඒ කාලයේ සෙල්ලම් සකස් වෙලා තිබුනෙත් ඒ විදිහටයි.

“කං කං බූරු

සිං සිං ඤෝරු

මං කියන දේ අහනවාද….? ”

ඔව්…” මේ විදිහට ක්‍රීඩාව පුරාම නායකත්වය පිලිගන්නා ස්වරූපයක් තිබුණා. ඒ වුනත් අද දරුවන් අතර ඒ ගුණාංගය බොහොම අඩුයි. ක්‍රීඩාවේදී වුනත් නායකත්වයට ගරු නොකරන දරුවාගේ ගති පැවැතුම් ගැන ඔවුන්ට පහදා දීම ඉතාම වැදගත්.

විරුද්ධ මත ඉවසන්න

සෙල්ලම් කරන්න ගියාම දරුවන් අතරත් විවිධ මතගැටුම් ඇති වෙනවා. අපි හිතන විදිහටම හැම දරුවෙක්ම විරුද්ධ මත ඉවසන සාමකාමී ගති පැවතුම්වලින් යුක්ත නැහැ. සෙල්ලම් පිටිය තුළ විවිධ මතවාද ඇති වෙනවා. ඒ ඉතාම සාමාන්‍ය තත්වයක්. ඒත් මේ අදහස් විසංවාද වෙලා මත ගැටුම් උග්‍ර තත්වයට පත් නොවන විදිහට බුද්ධිමත්ව හැසිරෙන අන්දම ගැන ඔබ දරුවා දැණුවත් කිරීම ඉතාම වැදගත්. සමහර වේලාවට වැඩිහිටියන්ගේ ක්‍රිඩාවන්හි පවා විරුද්ධ මත ඉවසන ගති පැවැතුම් අද දැක ගැනීමට නොමැත්තේත් මේ නිසාම වෙන්න ඇති.සෙල්ලම් කිරීමෙන් පසුව ඔබේ දරුවත් ගතු කියමින් ඔබවෙත පැමිනෙනු ඇති. ඒත් මේවායේ ඔබ කිසිම විටෙක පාර්ශවකරුවෙක් නොවන්න. සම වයස් කණ්ඩායම් අතර ඇති වෙන ගැටුම් විසඳා ගැනීමට මගක් ලබා දෙනු මිසක ඒවා වෙනුවෙන් වැඩිහිටියන් විදිහට ඔබ මැදිහත් නොවන්න. ඇතැම් අම්මලා තාත්තලා සිතන්නේ මෙය ක්‍රිඩාවක් ලෙසින් නොවේ. දරුවාට යම් අකටයුත්තක් වුනොත් එය මහත් අපරාදයක් සේ සලකන තරමටම දෙමව්පියන්ගේ මානසිකත්වය දුර්වල වී ඇත.දරුවන්ගේ සෙල්ලම දරුවන්ට මිස ඔබට නොවේ.

පරාජය පිලිගන්න

සෙල්ලම් කිරීමෙන් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. එහිදී ඉතාම වැදගත් දෙය වන්නේ ජය පරාජය සම සිතින් විඳ ගැනීමයි. ඒත් අපි නිතරම ජයග්‍රහනයේදී වඩාත් සතුටු වුනත් පරාජය ඉවසන්නේ නැහැ. ඒත් ඔබ දරුවාට මේ දෙය කියා දෙන්න. සෙල්ලමකින් ජය වගේම පරාජයත් ලැබෙනවා. ඒ වුනත් පරාජයෙන් බොහෝ පාඩම් ඔවුන්ට ඉගෙන ගත හැකි බව කියා දෙන්න. හැම විටම දරුවාට ජයග්‍රහනයම යන පෙරැත්තය නොදී පරාජය ඉදිරියේදිත් හැසිරෙන අන්දම බුද්ධිමත් ලෙසින් පහදා දීම මව්පියන් විදිහට ඉතාම වැදගත් කටයුත්තක්. අද ජාත්‍යන්තර තරගයන්හි පවා පරාජය ඉදිරියේ එම ක්‍රිඩකයන් පවා ඉතාම අසීරුතාවයට පත් වන්නේ සමාජගතව තිබෙන පරාජය නොඉවසන තත්වය නිසාම බව අමතක නොකරන්න.ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට තම කණ්ඩායම පරාජයට පත් වුවහොත් පෞද්ගලික දේපල පවා හානි කරන තත්වයට සමාජය යොමු වී ඇත්තේ ඔවුන් තුළ පරාජය පිලිගැනීමට තරම් ශික්ෂනයක් ක්‍රිඩාව වෙතින් නොලබා ඇති නිසාම බැව් කිව යුතුයි.

ක්‍රිඩාවටත් විනයක් තිබෙනවා

ක්‍රිඩාවකින් අපි බොහෝ දේ ඉගෙන ගන්නවා. හැම ක්‍රිඩාවක් වෙනුවෙන්ම සැකසුන නීති රීති තිබෙනවා. ඒ නීති රීති අනුව අපි කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒත් බොහෝ දෙනෙක් මේ නීති රීති නොසලකා කටයුතු කිරීම මගින් තමන්ගේ ජයග්‍රහනය තහවුරු කර ගැනීමට යොමු වෙන අවිනීත තත්වයක් දැන් නිර්මානය වෙමින් තිබෙනවා. ඒ වුනත් ඔබ දරුවාට මේ දේ කියා දෙන්න…ක්‍රිඩාවකදී වුනත් ස්වයංවිනයක් පනවා ගන්න. අදාල ක්‍රිඩාවේ සම්මත නීති රීති අනුව කටයුතු කරන්න. එයින් පරාජයක් ලැබුවද එය විනය විරෝධීව ක්‍රිඩාවෙන් ලබන ජයග්‍රහනයට වඩා  බෙහෙවින් අගනා බැව් ඔවුන්ට කියා දෙන්න. අද බොහේ ක්‍රිඩකයන් තහනම් උත්තේජක ලබා ගෙන ක්‍රිඩා තහනම්වලට පවා යොමු වන්නේ ඔවුන් වෙතින් මෙම ස්වයංවිනය පිරිහීම නිසාම බව කිව යුතුය.

සෙල්ලම් පිටියේ විරෝධතාවයන් එතැනට පමණයි

සෙල්ලම් කරන විට අපි පිල් බෙදා ගන්නවා. එහෙම නැත්නම් නිවාසාන්තර ක්‍රිඩාවන්හිදී වගේ නිවාස තිබෙනවා. එහිදී එකම ඉලක්කය තමාගේ කන්ඩායම, පිල, එහෙමත් නැත්නම් නිවාසය ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරියට ගෙන යෑමයි. පාසලක වුනත් තමන්ගේ නිවාසය දිනවන්න උගුර ලේ රහ වෙනකම් අපි කැ කෝ ගසන අන්දම අද දෙමව්පියන් වුනත් ඔබට මතක ඇති. ඒ කාලයේදී එකම ලෝකය තමන්ගේ නිවාසය වුනත් නිවාසාන්තර ක්‍රිඩාව අවසාන වුනාට පසුව සියලු විරසක අවසානයි.

විදුලිපුර විදුලි එලිය සේ විරුදාවලි ලත් මලල ක්‍රිඩක සුගත් තිලකරත්නගේ පුහුණුකරුව කටයුතු කළ ජේ. ජයලත් මහතා වරක් සඳහන් කලේ එවක කලාප තරගවලට පාසල් අතර ක්‍රිඩකයන් පුහුණු කිරීමේදී කොත්මලේ ප්‍රදේශයේ පාසල් දරුවන් එකම පිටියක පුහුණුව ලැබූ බවයි. කලාපීය තරඟවලදී පමණක් ඔවුන් අතර තරඟයක් තිබුනත් ඒ හැරුන විට මේ හැම දෙනාම ඉතාම සුහදතාවයෙන් කටයුතු කළ බව ජයලත් මහතා සදහන් කරයි. අම්මා , තාත්තා විදිහට ඔබේ දරුවන්ටත් මේ ගුණාංගය කියා දෙන්න. සෙල්ලම් පිටියෙන් ඉවතට එන්නනටත් පෙරාතුව මිතුරන් මිසක සතුරන් ඇති කර ගැනීම ඉතාම අනුවණ කටයුත්තක් බැව් ඔවුන්ට ඒත්තු ගන්වන්න.

කෝම් පිට්ටුවට වඩා ස්මාර්ට් ෆෝන් එකට දරුවෝ ආදරේ මෙන්න මේ නිසයි

අද වෙනකොට ජීවන අරගලය සමග ගැටෙන මව්පියන් බොහොම කාර්යබහුලයි. ඉස්සර නම් අම්මා දරුවන් එක්කම ගෙදර හිටියා. අද වෙන කොට අම්මත් රැකියාවට යනවා. ඉතිං මේ කාර්යබහුල වටපිටාව ඇතුළේ දරුවන්ගේ මොළය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය වෙනස් වෙනස් දේ කෙරේ දරුවන්ව යොමුකිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඉතිං දරුවොත් ලෝකය දිහා බලන්නේ එයාලට පුරුදු කෝණයෙන්ම තමයි. උදාහරණ විදියට එදා අපිට කෝම්පිට්ටු හදන එක බොහොම රසවත් වුණාට වටපිටාව එක්ක අපේ දරුවෝ අද හුරුවෙලා තියෙන්නේ ගෙවල්, වාහන, ලොකු ඉස්කෝල වගේ මුදල්මය වටිනාකමක් තියෙන දේවලට. ඒ නිසාම බහුතරයක් දරුවෝ එකතු වුණාම කතා වෙන්නෙත් මේ දේවල් ගැනම තමයි. මොකද ඒ හැමකෙනෙක්ම ඇති දැඩි වෙන්නේ ඉහත සඳහන් කරපු වටපිටාවන් ඇතුළේ. මේ කාණ්ඩයට ඇතුළත් නොවෙන දරුවෙක් වුණත් තමන්ගේ යහලූවන්ගේ අදහස්වලට අනුව හැඩගැහෙන්නටයි වැඩි නැඹුරුතාවයක් පවතින්නේ.

මොකද වයස අවුරුදු 10 පස්සේ දරුවන් වැඩිපුරම අහන්න කැමති එයාලගේ යහලූවන් කියන දේවල් ගැනයි. පාසැලේ සිටින වත්පොහොසත්කම් අවම දරුවා වුවද හිතන්නේ පතන්නේ මේ මානසිකත්වයෙන් තමයි. මොකද එක එක ළමයා තමන්ගේ තත්ත්වය පවත්වා ගන්නේ එක එක විදියට. සමහරවිට පන්තියේ ඉන්න වත්පොහොසත්කම්වලින් අඩුව දරුවා අධ්යාපන කටයුතු හොඳින් කරන නිසා පන්තියේ ඉහළ තත්ත්වයක සිටිනවා විය හැකියි. තවත් දරුවෙක් ක්රීඩාව නිසා එසේ ඉහළ තලයක වැජඹෙනවා විය හැකියි. තවත් දරුවෙකු රැගෙන එන බඩු බාහිරාදිය හේතුවෙන් ඉහළින් සිටිනවා විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි රටවල්වල දරුවන්ට/මව්පියන්ට දරුවාගේ විෂය සඳහා ලැඛෙන ලකුණුවල අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් සැලකිලිමත් වන්නේ ක්‍රීඩා අංශය තුළින් දරුවාගේ සාර්ථකත්වයයි.

මොකද්ද මේකට හේතුව ?

ඉස්සර අපිට ස්මාට් ෆෝන් එකක් ඕනේ වුණේ නෑ, ඒක නෑ කියලා දුකෙන් හිටියෙත් නෑ. ඒත් අද දරුවෝ ස්මාර්ට් ෆෝන් එකක් නැති එක ගැන දුක් වෙනවා. මොකද යහළුවන්ට/අක්කට/අයියට තියෙන නිසා.

එහෙම නම් මොකද්ද මේ තත්ත්වයට හේතුව ?

Reward Pathway තමයි මේකට හේතුව. ඒ කියන්නේ ලෝකය රස විඳින්න අපිට ස්නායු පද්ධතියක් තියෙනවා. Reward Pathway කියන්නේ ඒකට. මෙන්න මේ Reward Pathway එක ක්‍රියාත්මක වෙන්නේ අපි ජීවත් වෙන පරිසරය අනුව. දැන් දරුවෝ ඉස්සර දරුවන්ගෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙතනින්.

මේ පිළිබඳව තවත් පැහැදිලි කළොත්, හිතන්න අනූව දශකයේ වයස අවුරුදු 15ක දරුවෙකුට නොකියා වර්ගයේ ජංගම දුරකතනයක් ලබා දුන්නොත් ඒ දරුවා ඒ පිළිබඳව බොහොම සතුටට පත්වෙනවා. නමුත් අද කාලයේ අවුරුදු 15ක දරුවෙකුට එවැනිම නොකියා දුරකතනයක් ලබාදුන්නොත් කිසිසේත්ම ඒ පිළිබඳව සතුටට පත්වෙන්නේ නැහැ. එකම වයසේ දරුවන් දෙදෙනෙකුහට එකම දේ ලබාදුන්නත් දෙදෙනාම ඒකෙන් සතුටු වූණේ නැහැ. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා නේද අද පවතින වටපිටාව තුළ දරුවෙකු ලෝකය රස විඳින ආකාරය, එදා දරුවෙකු ලෝකය රසවිඳි ආකාරයට වඩා බොහෝ සෙයින් වෙනස් බව. එනම් අද දරුවන්ගේ වටපිටාව ඛෙහෙවින් වෙනස් අතකට හැරි පවතින නිසා දරුවෙකු වින්දනය ලබන්නේ අද පවතින දේ සමගයි. අනූව දශකයේ වයස අවුරුදු 15 වූ දරුවාට වඩා අද වයස අවුරුදු 15 සම්පූර්ණ වූ දරුවෙකු දියුණු වූ ලෝකයට විවරව ඇති බැවින් ඔවුන්ගේ Reward Pathway එදා පැවති දේ සමග ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. දියුණු වෙමින් පවතින මේ ලෝකය තුළ අද වන විට දරුවෙකුට සාමාන්‍ය සතුටක් ලබන්න විශාල උත්තේජනයක් ලබාදිය යුතුව තිඛෙනවා. ඔන්න ඔතනදි තමයි අපිට හිතෙන්නේ අපේ ළමයින්ට අපිට වගේ සුන්දර ළමා කාලයක් නෑ නේද කියලා. ඒත් ඒ තත්ත්වයේ වරදක් දකින්න අපිට බෑ. මොකද අපේ දරුවෝ ඇති දැඩි වෙන්නේ අපි ඇති දැඩි වූ වටපිටාව තුළ නම් නොවෙයි. මේ තත්ත්වයට වගකිව යුතු කිසිවෙකුත් නොවේ. දියුණු වෙමින් ඉදිරියට යන ලෝකය තුළ ඉබේම මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු ඇත.

හැබැයි.. මව්පියන් වන ඔබටත් යුතුකමක් තියෙනවා

දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමු කිරීමට උත්සාහ දැරිය යුතුයි. දියුණු වන ලෝකය සමග අපි සැවොම ඉදිරියට යා යුතුව තිබුණද දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමුකිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස ඔබේ දරුවා මුහුදු වෙරළට ගොස් පැමිණ ඔබට පවසන තොරතුරු අතරට එහි සුන්දරත්වය, සිප්පි කටු ගැන, ඔබ කුඩාවියේදී මුහුදු වෙරළේ විනෝද වූ ආකාරය ගැන දරුවන් සමග කතා කරන්න. සත්තු වත්ත, උද්භිද උද්යාන වැනි ස්වභාවික සුන්දර ස්ථාන වෙත දරුවන් රැගෙන යන්න. කෙසේ වුවද වෙනස් වන ලෝකයේ නොවෙනස්ව අපේ ළමා විය අපේ දරුවන්ගෙන් දකින්නට නොහැකි බව අවබෝධ කරගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය