අලුත් අම්මට කිරි මදි වෙන්න හේතු මොනවද?

මව්කිරි කියන්නේ හැම අම්මා කෙනෙකුටම දරුවා ලැබුණට පස්සේ දරුවා පෝෂණය කරන්න ස්වභාවිකවම ලැබුණු දායාදයක්. මේ සංසිද්ධිය විශ්වයේ විශ්මිත නිර්මාණයක්. මිනිසාගේ හැඟීම් දැනීම් හා බැඳුණු ඒ සමග උත්තේජනය ඇති කළ හැකි අපූර්වතම සිදුවීමක්. ඒ නිසා ආදරය නම් වූ හැඟීම මේ සංසිද්ධිය සාර්ථක ලෙස උත්තේජනය කරනවා වගේ ම සිතෙහි දැනෙන සෘණාත්මක වූ සංවේදන දුක ශෝකය කළකිරීම වැනි දුඛාන්ත දැකීම් නිසා එය අසාර්ථක විය හැකියි. 

සෑම අම්මා කෙනෙකුගේම ප්‍රසූතියත් සමග මව්කිරි යාන්ත්‍රණය ආරම්භ වෙන්නේ දරුවා පියයුර උරන්න පටන් ගන්නවාත් එක්කම. මේ ක්‍රියාවලිය ඉක්මන් වීම මත මේ යාන්ත්‍රණය සාර්ථක කර ගන්න පුළුවන්. මේ නිසා අම්මා කෙනෙකුට කිරි නැති වෙනවා නම් හෝ අඩු වෙනවා නම් බොහෝ විට ඒ අවස්ථාවේ දකින්න වෙන්නේ මේ ක්‍රියාවලියට ගතවන කාලය දීර්ඝ වීම හෝ මව තුළ ඇති වන ඍණාත්මක සිතුවිලි වෙන්න පුළුවන්. ඒ වගේම මව තුළ ඇතිවන පූර්ව සූදානම මේකට බලපාන්න පුළුවන්. ඒ වගේම ඕනෑම අම්මා කෙනෙකුට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළොත් මේ කාර්යය ජය ගැනීම ඉතාම පහසුයි.

මව්කිරි ක්‍රියාවලිය සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට බලපාන හේතු

අම්මාගේ හේතු

අම්මාගේ කායික රෝගී තත්ත්ව වගේම මානසික රෝග තත්ත්ව  – මව්කිරි දීම හෝමෝන ක්‍රියාවලියක් නිසාම  මවගේ කායික රෝග බල නොපාන තරමට විරලයි. කලාතුරකින් පියයුරු වල ඇති වූ බරපතළ රෝගී තත්ත්වයකදී (පිළිකා තත්වයක් වැනි) පියයුරු ඉවත් කිරීමක් සිදුව ඇත්නම් හැර කායික රෝග මව්කිරි දීම කෙරේ බලනොපාන තරම් බව කිව හැකියි. 

දරුවාගේ හේතු

දරුවාගේ රෝගී තත්ත්ව වලදී කිරි උරාබීමට නොහැකි තරමේ බරපතළ රෝගී තත්ත්වයකදී එහෙම නැතිනම් අසාමාන්‍ය (විකෘතිතා) තත්ත්වවලදී ඇතිවන තත්ත්වයන් හේතුවෙන් උරාබීම දුර්වල වී කිරි නිෂ්පාදනය අඩු වීම දිගින් දිගටම සිදුවීම නිසා කිරි අඩු විය හැකියි.

මවගේ හේතු යටතේ කතා කළ කායික රෝග සහ දරුවාගේ රෝග තත්ත්ව ඉතා කලාතුරකින් ඇති වන තත්ත්ව වන අතරම සුලබ ලෙස ඇති විය හැකි තත්ත්ව වන්නේ කිරි දීමේදී ඇතිවන ගැටලු වගේම මවගේ මානසික හේතු නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ය.

අලුත් අම්මාට කිරි මදි වීමට හේතු

  • ප්‍රසූතිය සිදුවී දරුවාට මව්කිරි දීමට ප්‍රමාද වීම ඒ වගේම නියමිත වෙලාවන්හිදී කිරි නොදීම නිසා
  • දරුවාට පහසුවෙන් කිරි උරා බීමට හැකි වන සේ නිවැරදි ලෙස සම්බන්ධ නොවීම එනම් මව හා දරුවා අතර දුර්වල සම්බන්ධතාවයක් පැවතීම නිසා
  • අසතුට, විශ්වාසය රහිත බව, කනස්සලු බව, ආතතිය වගේම වෙහෙස, අවිවේකී බව නිසා ඇති වන විඩාබර  බව පමණක් නොව මානසිකව ඇතිවන වියවුල් නිසා දරුවා ප්‍රතික්ෂේප කිරීම වගේම පවුලේ අඩදබර හෝ පවුල තුළ ඇති පිළිගැනීම අඩු බව නිසා ඇතිවන පසු ප්‍රසව ආතතිය 
  • මව ප්‍රසූතියෙන් පසුව හෝ ඊට පෙර යම් මානසික රෝගී තත්ත්වයකට ගොදුරු වීම හෝ ගොදුරු ව සිටීම නිසා ඇතිවන මානසික අවපීඩනය හෝ පසු ප්‍රසව ආතතිය වැනි තත්ත්වවලදී මව තුළ ඇතිවන කාංසාව නිසා මව කිරි දීම ප්‍රතික්ෂේප කිරීම හෝ දරුවා ප්‍රතික්ෂේප කිරීම නිසා 
  • වැඩි කාලයක් කිරි නොදී සිටීම හෝ ලඟ ලඟ කාලයකදී කිරි ලබා දීමේදී නිෂ්පාදනය වූ කිරි ප්‍රමාණය දිගින් දිගටම සම්පූර්ණයෙන් වැය නොවීම  නිසා
  • කෙටි වේලාවක් පමණක් කිරි දීම නිසා (එවිට දරුවාට නිතර පෙවෙන්නේ මුල් කිරි පමණි)
  • ක්‍රමවත් ලෙස මව්කිරි දීම සිදු නොකිරීම නිසා ළඟ ළඟ වාරවලදී කිරි බීමේදී වරකට බොන කිරි ප්‍රමානය අඩු වීම වගේම නිෂ්පාදිත කිරි ප්‍රමාණය සම්පූර්ණයෙන් හිස් නොවීම නිසා 
  • කිරි නිෂ්පාදනයට අවශ්‍ය හෝමෝන උත්තේජනය හොඳින් සිද්ධ වෙන්නේ රාත්‍රියේදී වන අතරම රාත්‍රියේ දී මව්කිරි නොදීම නිසා 
  • කුමන කාලගුණික තත්ත්වයකදී වුව ද දරුවාට අවශ්‍ය පෝෂණය මෙන්ම ජලය ප්‍රමාණය අවශ්‍ය තරම් මව්කිරිවල තිබුණත් මව්වරු නොදැනුවත්කම මත හෝ වෙනත් පාන වර්ග හෝ දියර වර්ග ලබා දීමත් බෝතල් සූප්පු යොදාගැනීමත් නිසා 

මේ සියලු කරුණු සලකා බැලීමේදී මව්කිරි යාන්ත්‍රණයට ඇතිවන බලපෑම හේතුවෙන් මව්කිරි අඩුවීම සිදුවිය හැකි බව අප කවුරුත් පිළිගත යුතුයි. එ සේ හෙයින් මවුකිරි දීමට අවශ්‍ය වටපිටාව වාතාවරණය පිළිබඳව සිතීම, ඉගෙනීම පූර්ව ප්‍රසව සමයේ සිටම ආරම්භ කිරීමත් අධිෂ්ඨානශීලීව මේ සඳහා උනන්දු වීමත් පවුලෙන් වගේම සෞඛ්‍ය සේවකයන්ගෙන් ලැබෙන සහායත් මේ තත්ත්වය ජය ගැනීමට හේතුවක් වන බව මව්වරුන් මෙන්ම පවුලේ සාමාජිකයන් අවබෝධ කරගත යුතුය. 

දරුවාගේ උරාබීමේ ගැටලු වැනි තත්ත්වයන් වලදී මව් කිරි දෙවීම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වන අතරම මේ නිසා මව්කිරි නිෂ්පාදනය වගේම එය ලබා දීමේ ක්‍රියා පිළිවෙළ පිළිබඳවත් කිරි ලබා දීම ආරම්භ කිරීම ප්‍රසූතිය සිදු වූ හැකි ඉක්මනින් එනම් පැය භාගයක් ඇතුළත සිදු කිරීමත් වැදගත් අමතක නොකළ යුතුය.

එමගින් කිරි යාන්ත්‍රණය උත්තේජනය කළ හැකිවා මෙන්ම ඉන්පසු එය නිසි පරිදි පවත්වා ගැනීම පිළිබඳව දැඩි විශ්වාසදායි ලෙස සිදු කිරීමට ගන්නා උත්සාහය තුළින් මේ අභියෝගය ජය ගත හැකියි. එසේම කිරි උරා බීමට නොහැකි දරුවන් සඳහා මව් කිරි දොවා දෙන පෙවීම තුළින් මව්කිරි යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කරවා ගැනීමට හැකියාව ලැබේ. එසේ හෙයින් සෑම මවකටම අප සැමගේ උදව් උපකාර වගේම පිළිගැනීම, ප්‍රශංසාව ඉතාම වැදගත්ය‍. සෑම විටම සුහදශීලීව ධනාත්මකව මවට තේරුම් ගනිමින් ඇයට ලබා දෙන සහය ඇයට මේ ගැටලුව ජය ගැනීමට හේතුවක් වේවි. ඒ වගේම කිරි හොඳට තිබෙනවා ඔබට පුළුවන් යන ශක්තිය ඇයට ලබා දීමත් ඇයගේ අපහසුතා තේරුම්ගෙන ලබාදෙන සහයෝගය අනිවාර්යෙන්ම ඇයට ජවයක් වනු ඇත.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

ඇබ්බැහි වීමේ මුල්ම ආදර්ශය මව/පියාගෙන් බව දැන සිටියාද?

සමතුලිත බව යනු ඕනෑම කාර්යයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් බව නොරහසකි. අප සමතුලිත වන විට සාර්ථක වන අපේ ජීවිත අප අසමතුලිත වන විට අසාර්ථක විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. පවුලක් තුළ මව/පියා/දරුවන් යන ඔබ සැමගේ ජීවිත සාර්ථකව ගලා යන්නට සලස්වන්නේ නම් එහි සමතුලිත බව රැක ගැනීම අනිවාර්ය කරුණකි. 

අපේ ජීවිත අසමතුලිත වන්නේ කොහොමද?

අපේ ජීවිත අසමතුලිත වීම තුළ ස්නායු සම්බන්ධව ලොකු කතාවක් තියෙනවා. අපි කෙනෙකුගේ යම්කිසි නිර්මාණයකට හුරුවෙලා එය අපි රසවිඳිනවා. මෙතැනදී මෙගා ටෙලි නාට්‍ය හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ඒ රසවිඳීම තුළින් අපි ඒකත් එක්ක ජීවත් වෙනවා. එ්කත් එක්ක අපේ මනස කැළඹෙනවා. ඒ කැළඹීම අපේ පවුල් සංස්ථාවේ සාමාන්‍ය භූමිකාවට බලපානවා. ඒ වගේම එතන සිද්ධ වෙන අනිත් කාරනේ තමා එක දිගට එක හා සමාන දෙයක් නරඹනවා නම් (විශේෂයෙන්ම කාන්තාවන්) ඒ හරහා ඔබ අත්දකින්නේ කැලඹීමක්/දුකක් නම් චරිතයේ අවසානය වේදනාවෙන් අවසන් වෙනවා නම් එයට ඔබ අඬනවා නම් ඇත්තේ ඇබ්බැහි වීමක් බව අමතක කරන්නට එපා. ඔබට එය අදත් හෙටත් ඒ වගේම ඉදිරියටත් නැරඹිය යුතුම වන්නේ අන්න ඒ නිසයි. ඔබට නොදැනීම ඔබ ඇබ්බැහි වීම තුළින් පෙන්නුම් කරන මානසික ක්‍රියාවලිය ඔබේ නිවසේ දරුවන්ගේ සැමියාගේ හෝ බිරිඳගේ සියලු කර්තව්‍යයන් අසමතුලිත කිරීමට බලපානවා. ඔබටත් නොදැනීම ඔබේ මොළය, ශරීරය පමණක් නොවෙයි යටි සිතත් එමගින් ග්‍රහණය කරගන්නා නිසා එම භූමිකාව ඔබේ ශරීරය තුළ සමාරෝපණය වීම සිදුවෙනවා. දැන් මේ ඍණාත්මක චරිතය වේගයෙන් ඔබේ බවට පත්වන නිසාම සෘණාත්මක රාමුවක් තුළට ඔබව සිරි වෙන නිසාම ඔබට ඔබ අහිමි වනවා සේම දරුවන්ට සැමියාට බිරිඳට පවුලට ඔබව අහිමි වෙනවා. මෙය අනන්‍යතා රෝගයක ලක්ෂණයක් ලෙස හැඳින් විය හැකියි. නමුත් ඔබ වැඩිහිටියෙක් ලෙස මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය උපදෙස් ගැනීමට හෝ ඔබට සිතා මෙයින් මිදීමට හැකියාව ලැබෙනවා. ඒත් ඔබ අහිමි වුණු පවුලේ අනිත් සාමාජිකයන් විශේෂයෙන්ම ඔබේ දරුවන් කාටූන්, වීඩියෝ ක්‍රීඩා, අන්තර්ජාලය වැනි දේට මේ අතර කාලය තුළ ඇබ්බැහි වී සිටිය හැකියි. නිවසේ මව/පියා ඉහත කී අයුරින් යමක් වෙත ඇබ්බැහි වී සිටින පරිසරයක දරුවෙක් වෙනුවෙන් ඔවුන්ගේ කාලය අවම විය හැකියි. අන්න ඒ හේතුවෙන් ඇතැම්විට යොවුන් දරුවන් තම ජීවිතයට පවා හානි සිදුකරගත් අවස්ථා අසන්නට ලැබෙනවා. අන්න ඒ නිසාම මව/පියා ලෙස ඔබට පැවරෙන වගකීමේ සීමාවක් නොමැත.

එවැනි පරිසරයක වැඩෙන දරුවෙක් යම් දේකට ඇබ්බැහි වීම නිසා ඇති වන තත්ත්වය කෙසේද?

දරුවාට ඔවුන්ගේ මව/පියා සමග කාලය ගත කරන්නට අවස්ථාවක් නොමැති වීම නිසා ඔවුන් තනි තනිව ඔවුන් කැමති කාර්යයන්වල යෙදෙමින් කාලය ගෙවා දමනවා විය හැකියි. එසේ ඔවුන් කාලය වැය කරන්නේ කුමක් සඳහා ද එය දරුවාගේ ජීවිතයට ඇති කරන බලපෑම එහි ධනාත්මක හෝ ඍණාත්මක බව මත රඳා පවතිනවා. විසිවන ශතවර්ෂයේ මැද භාගයේ දී සිදුකර ඇති පර්යේෂණ අතර ඉතා ප්‍රසිද්ධ පර්යේෂණයක් වන චර්යාවාදී නියාය ඇතුළු බොහොමයක් පර්යේෂණවල සාක්ෂි මගින් එක දිගට එක හා සමාන දෙයක් නරඹන දරුවාගේ භූමිකාව, ඒ දරුවාගේ චර්යාව බවට පත් වන්නේ කෙසේද යන්න පිළිබඳව මනාව පැහැදිලි කොට තිබෙනවා.

දරුවන් නිතර ප්‍රචණ්ඩකාරී, අන්‍යයන්ට හිංසා පමුණුවන දේ රසවිඳිනවා නම් ක්‍රමයෙන් ඔබගේ දරුවාගේ හැසිරීම තුළත් මෙවැනි යම් යම් වෙනස්කම් දැකිය හැකියි. එවැනි අවස්ථාවක් උද්ගතව ඇත්නම් මව්පියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. එසේ නොමැතිව එය ඔබ නොසලකා හැරියහොත් හෝ ඔබ එයට ප්‍රේරණයක් ලබා දුන්නොත් (පුතා ටිකක් බැට් මෑන් වගේ) තමාගේ මේ චර්යාව මව/පියා පිළිගන්නා බවත් ඒ නිසා තව දුරටත් මෙය කළ යුතු බවත් නොදැනුවත්වම දරුවාගේ මනසට ඇතුළු වෙනවා. නමුත් මේ චරිතය සෘණාත්මක/ප්‍රචණ්ඩකාරී/වෛරය/කණස්සල්ල සමග මුසු වූ චරිතයක් නම් ඉතාමත් වේගයෙන් ඔබේ දරුවා මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ ඉඩ කඩ වැඩිය. 

මව/පියාගේ අවධානයෙන් ගිලිහීම නිසා මෙවැනි තත්ත්වයට පත් වුණු දරුවෙක් යථා තත්ත්වයට ගන්නේ කොහොමද?

මේ තත්ත්වය තුළ ගත්තොත් දරුවෙක් මේ තත්ත්වයට පත් වෙන්නේත් දෙමාපියන් නිසයි. තමන්ගේ නිදහස වෙනුවෙන් පරිගණකය, ස්මාර්ට් ජංගම දුරකතනය දරුවාගේ අතට දී නිදහස සොයන මව්පියන් දරුවන් වෙනුවෙන් මේ සිදුකරන්නේ විශාල අසාධාරණයක්. දරුවෙකුගේ ජීවිතය ක්‍රමානුකූලව හැඩගස්සවා දරුවා ඉදිරියට රැගෙන ගොස් යහපත් දරුවෙකු සමාජයට බිහි කරන්නට දෙමව්පියන්ට අති විශාල වගකීමක් තිබෙනවා. ඒ සඳහා දෙමව්පියන්ට කැපකිරීමක් සිදු කරන්න වෙනවාමයි. හැමදේම අවසානයේ දරුවා මානසික රෝගියෙකුගේ තත්ත්වයට පත් වූ පසුව දරුවා මනෝ විශේෂඥවරු/උපදේශකවරු වෙත ගෙන යාමට වඩා පවුල තුළ පරිසරය සමතුලිතව පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. යම් දරුවෙක් හුදකලාව කාලය ගත කිරීමට පෙළඹෙනවා වැඩි නම් සමාජ සම්බන්ධතා අඩුයි නම් එවැනි දරුවෙක් වෙත අවධානය ලබාදිය යුතුමයි. 

සැමවිටම ක්‍රියාශීලී පුද්ගලයන් බවට පත් වීමට දරුවාට අවස්ථාව උදා කළ යුතුයි. එවැනි දේට අවස්ථාව අහිමි වනතාක් දරුවෙක් ‍මේ තත්ත්වයෙන් මුදා ගැනීමට නොහැකියි. මනෝවෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගත් විට මේ තත්ත්වය මගහැරෙනු ඇති බව බොහෝ දෙමාපියන් සිතනවා. නමුත් ඔබේ දරුවාට නිවස තුළ තුල ජංගම දුරකථන/රූපවාහිනිය/පරිගණකය යන උපාංග සියල්ලම විනයක්/සීමාවක් නැතිව දරුවාට ඒවා පාවිච්චි කිරීමට ඉඩ ලබා දෙනවා නම් මේ තත්ත්වය මගහැර ගැනීම අතිශයින්ම අපහසුයි. ප්‍රතිකාර මගින් සුව කළත් නිවසේ පරිසරය වෙනස් වෙන්නේ නැති නම් ඔබේ දරුවා නැවත පත් වන්නේ පෙර තත්ත්වයටම බව අමතක නොකළ යුතුය.

දීර්ඝකාලීනව යම්කිසි දේකට ඇබ්බැහි වුණු දරුවෙක්ගෙන් එක්වරම අදාල උපාංග/ක්‍රියාව ඉවත් කිරීම සුදුසුද?

කිසිසේත්ම නැහැ. යමක් දැන ගත් විගස අපේ දෙමාපියන් කලබල වී එක්වරම දරුවාගේ සියලු වරප්‍රසාද අහිමි කරනවා. නමුත් එමගින් දරුවන් තව තවත් ප්‍රචණ්ඩකාරී විය හැකියි. දරුවා කම්පනයට ලක්වෙලා මානසික ආබාධ තත්ත්වයන්ට පත්වෙන්න මේකත් හේතුවක් වෙනවා. මේ සඳහා මවට/පියාට මනා සැලස්මක් තිබිය යුතුයි. දරුවාගේ කාලය ක්‍රීඩා/සංගීතය/නර්තනය/පින්තාරු කිරීම වැනි මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වෙත වගේම මේ තත්ත්වයට පත් වීමට පෙර දරුවා දස්කම් පෑ අංශ සොයා බලා ඒවාට යොමු කළ හැකියි. ඒ වගේම දරුවා නිවසින් පිටතට රැගෙන යන්න, යහළුවන් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලබාදෙන්න, පාසැලේ ඇති සමිති සමාගම් වලට දරුවා යොමු කරන්න ඔබට හැකියි. එවැනි දේ හරහා ඔබේ දරුවා විනයානුකූලව ටිකෙන් ටික මේ පුරුදුවලින් ගලවා ගත යුතුය. 

මේ තත්ත්වයේ දරුවෙක් මේ ක්‍රියාකාරකම් වෙත සතුටින් අවතීර්ණ වෙයිද?

ඉතාමත් වැදගත් දේ දරුවා ඉන්නෙ සතුටින්ද කියන එකයි. ඔබ දරුවාගෙන් දුරකතනය ඉවත් කළොත් ඒ වෙනුවට එතැනට තැබිය යුතු වන්නේ දරුවා ඉතා කැමැත්තක් දක්වන වෙනත් දෙයකි. එයා ඉතා ඉක්මනින් කළ යුතුතකි. දුරකතනය ඉවත් කොට පාඩම් කිරීමට අණ කිරීමෙන් දරුවා තුළ කිසිදු වෙනසක් ඔබට දැකිය නොහැකියි. එවැනි ක්‍රියාකාරකම් තුළින් සතුටක් සැහැල්ලුවක් නොමැති වන දරුවා නිකරුණේ මානසික රෝගියෙක් බවට පත් විය හැකියි.  

මේ අවස්ථාව වන විට මව/පියාගේ වගකීම කුමක්ද?

මේ ආකාරයෙන් දරුවා මුදවාගන්න කටයුතු කරලා මව/පියා සෑම මොහොතේම දුරකතයේ සිටිනවා නම් අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි කියන්නා සේ දරුවා නැවත ඒ සඳහා පෙළඹිය හැකියි. දකින දේ අනුව දරුවා උත්තේජන වන නිසා මේ අවස්ථාවේදීවත් මව/පියා යම් විනයකට අනුව සකස් විය යුතුමයි. 

පාසැල තුළදී මෙවැනි දරුවෙක් වෙනුවෙන් සිදු විය යුත්තේ මොනවාද?

නිවස ඇරුණම දරුවෙක් වැඩි වේලාවක් ගත කරන්නේ පාසල තුළයි. මේ වන විට පාසල් අධ්‍යාපනය තුලත් අතීතයේදීට වඩා පරිසරය හා සමග බැඳී තිබුණු ක්‍රියාකාරකම් බොහෝදුරට අඩුවෙලා. දැන් දරුවෝ බොහෝ සෙයින් තාක්ෂණීකරණය වෙලා. මෙහිදී පාසැල් ගුරුවරුන්ටත් විශාල වගකීමක් පැවරෙනවා. අතීතයේදී මෙන් නොව අද වන විට ගුැරුවරු වැඩි පිරිසක් ඒ වගකීමෙන් බැහැර වෙලා.

‍මේ තත්ත්වයේදී ගුරුවරුන්ට පැවරෙන වගකීම මොකක්ද?

මෙතැනදී අපිට ගුරුවරුන්ට චෝදනා කරන්න බැහැ. පසුගිය කාලයේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඇරඹුණූ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය යම් කිසි ක්‍රමවේදයක් යටතේ යථා තත්ත්වයට පත්ව ඇත්තේ මේ වන විටයි. අන්න ඒ නිසාම මේ විෂය නිර්දේශය ආවරණය කිරීම පිළිබඳව ගුරුවරයාට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ නිසා අද වෙද්දී ගුරුවරුන් හැකි තරම් උත්සාහ කරන්නේ තම වැඩ කොටස සම්පූර්ණ කිරීමටයි. එය ගුරුවරුන්ගේ වරදක් නොවෙයි. එය අධ්‍යාපන ක්‍රමය තුළින් අධ්‍යාපනය පිළිබඳ අදාල බලධාරීන් විසින් කළ යුතුයි. දරුවන්ට ක්‍රීඩා/බාහිර ක්‍රියාකාරකම් සඳහා හැකි තරම් අවස්ථාව ලබා දිය යුතුයි. 

පාසල් පද්ධතිය තුළින් හැකි තරම් එළිමහන වැඩසටහන්, කුසලතා අත්හදා බැලීමට අවස්ථා, පරිකල්පනය මෙහෙයවන නිර්මාණ කිරීමට දරුවාට අවස්ථාව සැලසිය යුතුයි. නිර්මාණශීලී  ගුරුවරයෙක් අනිවාර්යෙන්ම මේ කඩඉම ජයගන්නවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor


                

ඔබටත්, පවුලටත් කාලය වෙන් කළොත් ආතතිය අවම වෙයිද?

කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපි ‍බොහෝ දෙනෙක් කාලය ගත කරන්නේ ආතතියත් එක්ක කිව්වොත් එය නිවැරදියි. අපි කොයි කොයි ක්‍රම උපයෝගී කරගිනිමන් ආකකිය කළමනාකරණය කරගන්නට උත්සාහ කළත් ඇතැම් විට ඒ සඳහා නිවැරදි මග පෙන්වීමකින් තොරව ප්‍රතිඵල ළඟා කර ගැනීමට අපහසු විය හැකියි. මින් පෙර ලිපියකදී ආතතිය කළමනාකරණය කර ගැනීමට කාල සටහනකට හුරු වීමෙන් අපිට හිමි වන වාසි ගැන කතා කළා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින සකච්ඡා කිරීමට සැරසෙන්නේද එම කාලසටහන සමගම බැදී පවතින තවත් වැදගත් කාරණා තුනක් සම්බන්ධවයි. 

  • ඔබ, ඔබ වෙනුවෙන් වෙන් කරන කාලය (My Time)
  • ඔබ, ඔබේ පවුල සමග ගත කරන කාලය (Family Time)
  • පවුලේ සාමාජිකයින් සමග කතාබහට වෙන් කරන කාලය (Sit-down Conversations)

ඔබ, ඔබ වෙනුවෙන් වෙන් කරන කාලය (My Time)

ගොඩක් වෙලාවට අපි හැමෝටම අනිත් හැම දෙනා වෙනුවෙන්ම ගත කරන්න කාලේ තියෙනවා. හැබැයි ඔබෙන් ඇහුවොත් ඔබ, ඔබ වෙනුවෙන් කාලය ගත කරනවා ද? කියා බොහෝවිට ඔබේ පිළිතුර නැහැ වෙන්න පුළුවන්. ඔබ දෙමාපියන්/දරුවන්/බිරිඳ/සැමියා/සමාජය/රැකියාව/යහළුවන් වෙනුවෙන් කාලය ගත කරනවා. ඒත ඔබේ දින චර්යාව ඇතුලේ ඔබට ඉඩක් නැහැ. ඇත්තටම මෙන්න මේ මම වෙනුවෙන් ගත කරන කාලය නැති වෙන්න, නැති වෙන්න මට මම පිළිබඳ තියෙන සතුට, මට මම පිළිබඳව තියෙන වටිනාකම නැති විය හැකියි. අන්න ඒ වගේ අවස්ථාවලදී මගේ ජීවිතෙන් කිසි වැඩක් නෑ.. හරිම නීරසයි.. මම ජීවිතය ඇතුලේ මොනවද කරලා තියෙන්නේ.. දැන් නං ඇති, මෙතනින් එහාට යන්න බෑ… වැනි  ඍණාත්මක සිතිවිලි ඔබ තුළ ඇති වෙනවා. අන්න එ් නිසාම ඔබේ කාලසටහන තුළ අනිවාර්යෙන්ම දවසකට පැය භාගයක්වත් ඔබ, ඔබ වෙනුවෙන් කාලය සොයා ගන්නට උත්සාහ කළ යුතුමය. 

ඔබ, ඔබ වෙනුවෙන් වෙන්කරගන්නා කාලය තවත් අයෙකු සමග බෙදා ගත නොහැකිය. ඔබ, ඔබ වෙනුවෙන් වෙන්කරගන්නේ සවස 4.00 – 4.30 දක්වා කාලය නම් මේ වෙලාවේ මම මේ කර්තව්‍යය කරනවා මට මේ වෙලාවේ බාධා කරන්න එපා ලෙස නිවසේ අනිත් අය වෙත කාරුණිකව දැනුම් දිය හැකියි. 

ඔබ ගෙදර මව නම් දරුවන්ව, නිවසේ අනිත් වැඩ කටයුතු ටික මේ කෙටි කාලය ඇතුළත ඔබේ සැමියාට පැවරිය හැකියි. මේ  වෙලාවේ මම පොතක් කියවනවා. මගේ මේ වැඩේ කරද්දී මැද්දෙන් ඇවිත් කරදර කරන්න, ප්‍රශ්න කරන්න එපා. බාධා කරන්න එපා යනුවෙන් ඉතා ආදරණීයව ඔබේ නිවැසියන්ගෙන් ඉල්ලන්න ඔබට හැකියි.  

ඔබ ඔබ වෙනුවෙන් වෙන් කළ කාලය තුළ එහෙමත් නැතිනම් my time එකේ අපි කරන කාර්‍යයන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. එක් අයෙක් වීඩියෝ බලද්දී තවත් අයෙක් පොත් කියවයි. එක් අයෙක් නර්තනයේ යෙදෙද්දී තවත් අයෙක් ගායනයක් හෝ වාදනයක් හෝ ගීත ඇසීම සිදුකරයි. නැතිනම් රූපවාහිනිය නරඹයි. එසේත් නැතිනම් අලුත් කෑම වර්ගයක් අත්හදා බලයි. මෙන්න මේ ආකාරයට ඔබ කැමති විවිධ විවිධ ආකාරයන් සමගින් ඔබේ කාලය ගත කළ හැකියි. ඔබ, ඔබ වෙනුවෙන් අනිවාර්යෙන්ම කාලසොයා ගත යුතුය. එය ඔබේ සතුට වෙනුවෙන් කරන විශාල ආයෝජනයක් බව සිහි තබා ගන්න. මේ මොහොතේ සිටම ඔබ වෙනුවෙන් පැය භාගයක හෝ පැයක කාලයක් වෙනු කරගන්න. ඒ වගේම ඔබ, ඔබේ මුළු දවසම ඔබ වෙනුවෙන්ම පමණක් වෙන් වූවක් බවට පත්කර නොගැනීමට වගබලා ගන්න. නැතිනම් ඔබේ පවුලේ අනෙක් සාමාජිකයන් ඔබ නිසා ආතතියට පත් විය හැකිය. 

ඔබ, ඔබේ පවුල සමග ගත කරන කාලය (Family Time)

බොහෝ වේලාවට වැඩත් එක්ක කාර්යබහුල වූ විට අපිට, අපේ පවුලේ අනිත් සාමාජිකයින් මග හැරෙනවා. එය එතරම් සුදුසු දෙයක් නොවේ. ඇතැම් අයට එක්වර යොමු වෙන්න හැකියාව ඇත්තේ එක් කාර්යකට පමණක් විය හැකි අතරම ඔවුන් ඒ කාර්යය ඉතා සාර්ථකව සිදු කරනවා. නමුත් ඒ කාර්යය අවසානයේ අපට අපේම බොහෝ දෙනෙක් මගහැරී තිබිය හැකියි. එවැන්නක් සිදු නොවන්නට නම් ඔබේ කාලසටහනේ ඔබේ පවුල/යහළුවන් වෙනුවෙනුත් කාලයක් වෙන් විය යුතුය. “අයියෝ ඕවට කොහෙද වෙලාව, ඕවට කොහෙද සල්ලි, කොහොමද මිනිස්සුත් එක්ක එළියට පහළියට ගිහිල්ලා කන්නනෙ බොන්නේ මේ කාලේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක” කියලා ඔබට හිතෙයි. ඒ දෙවලුත් අපට කළ හැකි නමුත් මෙයින් අදහස් කරන්නේ කෑම බීම හෝ ට්‍රිප් යෑම හෝ පමණක්ම නොවෙයි. විදුලිය විසන්දි වුණු අවස්ථාවක හෝ  එක එළියක ඉදගෙන නිවැසියන්ගේ එදිනෙදා අත්දැකීම් බොදාගන්න ඔබට හැකියි. දරුවන්ගේ පාසැල් වැඩ කටයුතු, බිරිඳගෙන් නිවසේ වැඩකටයුතු, සැමියාගෙන් කාර්යාලයේ වැඩකටයුතු ගැන විමසන්නට ඔබට හැකියි. එවැනි අවස්ථා හමුවේ ඔබේ ජීවිතයේ වගේම පවුලේ අනෙක් අයගේ පීඩනයන් හඳුනා ගැනීමටත් ඔබ/පවුලේ වෙනත් අයෙක් යම් පීඩනයක සිටිනවා නම් එය නිදහස් කරගැනීමටත් සහයෝගයක් ලැබෙනු ඇත. අන්න ඒ නිසාම ඔබේ කාල සටහන තුළ දරුවන් දෙමාපියන් යහළුවන් සමග ගතකරන්නටත් යම් වේලාවක් වෙන් කරගන්න.

පවුලේ සාමාජිකයින් සමග කතාබහට වෙන් කරන කාලය (Sit-down Conversations)

අතීතයේදී නම් කෑම මේසෙ වාඩි වෙලා, කෑම කන අතරේ පවුලේ හැමෝටම එකතු වෙලා කතා බහ කරන්න අපිට ගොඩක් අවස්ථාව ලැබුණා. නමුත් අද වෙද්දී රූපවාහිනිය, සමාජ මාධ්‍ය, දුස්මාර්ට් ජංගම දුරකතන නිසා දෝ වර්තමාන සමාජය තුළ එය බෝහෝ විට දකින් නැහැ. අපේ දරුවො පාසැල් අවසන් වී ඇවිත් ‍ගෙදර වැඩ කරනවා, ආහාර ගන්නවා, නිදා ගන්නවා. මව්පියන් රැකියාවට යනවා එනවා, ගෙදර දොරේ වැඩ ටික කරනවා, නිදාගන්නවා. මේ විදියට ගෙවෙන අපේ කාලය තුළ පවුලේ සාමාජිකයින් සමග කතා කරන්නට අවස්ථාව අඩුයි. ඒ නිසා ආහාර ගන්නා වේලාව/නින්දට පෙර හෝ සුළු වේලාවක් හෝ පවුලේ සාමාජිකයින් සමග වාඩි වී කතාබහ කරන්න.

ඒ කතාබහ තුලදී ඔබේ දරුවන් සමග අද දවසේ කොහොමද? පාසල ඉස්කෝලේ මොනවද වැඩ කටයුතු කළේකවුද ටීචර්ස්ලාඑයලා එක්ක ඔයා මොනවද කරපු වැඩ? ඒ වගේම අද ආව යාලුවෝ කවුදයාළුවොත් එක්ක මොනවද ඔයා කළේකලේ ඔයාට සතුටු හිතෙන දේවල් මොනවදඔයාට දුක හිතෙන දේවල් මොනවදවැනි දේ සාකච්ඡා කිරීමට ඔබට හැකියි. දරුවන් නිදා ගත් පසුව සැමියාට සහ බිරිඳට පුටුවකින් වාඩි වෙලා කෝපි කෝප්පයක් බොන ගමන් අද දවසේ ගෙවුණේ කොහොමද? ඒ වගේම අපේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද? මේ මාසේ ඉස්සරහට අපිට කරන්න තියෙන වැඩ කටයුතු මොනවද? වැනි කාරණා සාකච්ඡා කළ හැකියි. ඒ වගේම අතීතයේ රසවත් මතක අලුත් කරන්නටත් මෙය හොඳ අවස්ථාවක් වනු ඇත. මෙසේ ගතකරන කාලය ඔබේ බැඳීම සාර්ථකව ඉදිරියට රැගෙන යාමට විශාල අත්වැලක් වනු නිසැකය. මෙවැනි sit-down conversation එකක් හැමදාම පවත්වා ගැනීම මගින් ඔබට/පවුලේ අයෙකුට යම් පීඩනයක් ඇති විට එය අවම කරගන්නට සහය වීමට හැකියාව ලැබෙනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)

කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,

ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7


                

යන්නන් වාලේ නොයා වැඩක් ඇති විදියට ඩොක්ටර්ව හමුවෙන්න යන්නේ මෙහෙමයි

මේ රෑෂ් එකට දැං කී තැනකින් බෙහෙත් ගත්තද? ඒත් කිසිම අඩුවක් නෑ. සැරින් සැරේ මතු වෙනවා. කොළඹ ගිහින් ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නන්න ඕනේ. වෙනමම ගමනක් වුණත් දුවට මේ රෑෂ් එක නිසා තියෙන අපහසුතා මටත් බලාගෙන ඉන්න බැරි තැන අමායට හිතුණා.

බොහෝ දුර ගෙවාගෙන වෙලාවටත් කලින් රෝහලට පැමිණි අමායා තමන්ගේ වාරය එනතුරු බලා සිට වෛද්‍යවරයා වෙත ගියා. දියණියගේ කකුලේ ඇතිව තිබූ දදය ගැන අතීත තොරතුරු විමසද්දී අමායාටවත් දුවටවත් පෙර කළ ප්‍රතිකාර ගැන වැඩි මතකයක් තිබුණේ නැහැ. ඒ වගේම පෙර ලබා ගත් ඖෂධ පිළිබඳව කිසිදු සටහනක් ඔවුන් ළඟ තිබුණේත් නැහැ. වෛද්‍යවරයා ඒ සම්බන්ධව විමසූ විට ඒ කිසිත් රැගෙන නොආ බවත් ලබා ගත් ඖෂධවල නම් ගැන තමාට අවබෝධයක් නැති බවත් බෙහෙත් ලබාගෙන බොහෝ කලක් නිසා ඒවා වැදගත් වෙතැයි තමා නොසිතූ බවත් ඇය වෛද්‍යවරයාට පැවසුවා. එපමණක් නොව සිදු කළ රුධිර පරීක්ෂණ සම්බන්ධවත් ඇයට මතකයක් තිබුණේ නැහැ. 

දැරියගේ තුවාල පැසවා තිබූ නිසා ප්‍රතිජීවක ඖෂධයක් ලබා දිය යුතුව තිබුණත් අසාත්මිකතා පිළිබඳව ප්‍රශ්න කිරීමේදී පෙර ලබා ගත් ඖෂධ වර්ගයක් නිසා කැසීම හා පලු දැමීමක් ඇති වූ බව අමායාට මතක තිබුණත් කිසිදු වෛද්‍ය සටහනක් හෝ කාඩ්පතක් නොමැතිව පැමිණි නිසා එසේ අසාත්මිකතාවයක් ඇති වූයේ කුමන ඖෂධයක් හේතුවෙන්ද නොදැන ප්‍රතිජීවක ඖෂධ නියම කිරීමට වෛද්‍යවරයාට ඉතා අපහසු වූවා. භාවිත කළ ඖෂධ පිළිබඳව තොරතුරු නොගෙන ඒම සම්බන්ධව අමායාට ඇති වූයේ තමා කිසිදු වගකීමකින් තොරව කටයුුතු කළා නේද යන සිතිවිල්ලයි. 

වෛද්‍යවරුන් ලෙස ඔවුන් මෙවැනි අත්දැකීම්වලට නිරන්තරයෙන්  මුහුණ දෙන බවත් ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙක් හමුවීමට යනවා නම් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට අවශ්‍ය නම් රෝග ඉතිහාසය සම්බන්ධ ලියකියවිලි ඇත්නම් ඒවා සියල්ල රැගෙන එන ලෙස වෛද්‍යවරයා අමායාට උපදෙස් දුන්නා. 

ප්‍රතිකාර ලබාගැනීමට යාමට පෙර ඒ සඳහා සූදානම් වන්න.

  • රෝගය සඳහා පෙර ලබාගත් ප්‍රතිකාර සඳහන් ලියවිලි සූදානම් කරගන්න.
  • ලියවිලි නොමැති නම් පාවිච්චි කළ ඖෂධ වල හිස් පැකට් හෝ ටියුබ් රැගෙන යන්න
  • පෙර සිදු කළ රුධිර පරීක්ෂණ වාර්තා රැගෙන යන්න
  • ප්‍රතිකාර ලබාගන්නා වෙනත් රෝගයක් වේ නම් ඒ පිළිබඳ තොරතුරු රැගෙන යන්න.
  • යම් ඖෂධයකට අසාත්මිකතා පවතී නම් ඒ පිළිබඳ තොරතුරු රැගෙන යන්න.
  • සමෙහි ගැටළුව පළමුව ඇති වූ අවදියේ ඔබ ලබාගත් ඡායාරූප  දුරකථනයේ ඇත්නම් ඒවා පහසුවෙන් සොයාගත හැකි ලෙස තබාගන්න.
  • රෝගය පරීක්ෂා කිරීමට පහසුවන ඇඳුමක් (ඉකිලි පෙදෙසේ ඇති දදයකට ප්‍රතිකාර ගැනීමට යාමේදී එය පරීක්ෂා කිරීමට පහසු ඇඳුමක්) 
  • ඔබට රෝගය පිළිබඳව දැනගැනීමට ඇති කරුණු ගැන සිතා ඒවා කෙටියෙන් සටහන් කරගන්න
  • ප්‍රතිකාර ගන්නේ දෙවන/තෙවන වරට නම් පෙර වෛද්‍ය සටහන් සහ පරීක්ෂණ වාර්තා රැගෙන යන්න

වෛද්‍යවරයා හමු වූ විට 

  • ඔබ ගර්භණී/කිරි දෙන මවක් නම් ඒ බව කියන්න
  • වකුගඩු/අක්මා රෝග වලින් පෙලෙනවා නම් ඇතැම් ඖෂධ නුසුදුසු විය හැකි අතරම ඇතැම් ඖෂධ මාත්‍රා වෙනස් කළ යුතු විය හැකි අතරම එවැනි තත්ත්වයක් ඇත්නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න
  • සමහර ඖෂධ වර්ග දෙකක් (ආයුර්වේද ඖෂධ හා ඔබ ෆාමසියෙන් ලබාගෙන පාවිච්චි කරන ඖෂධද ඇතුළුව) එකවර භාවිතයේදී ගැටළු ඇතිවිය හැකි බැවින් ඔබ දැනටමත් ලබාගන්නා ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න. 
  • රෝගය පිළිබඳව වෛද්‍යවරයා පවසන කරුණු හොඳින් අසා සිටින්න.
  • සමට භාවිත කරන ආලේපන පාවිච්චි කරන ආකාරය පිළිබඳව වෛද්‍යවරයා ඔබට උපදෙස් දීමේදී නිසි අවධානය යොමු කරන්න. 
  • ඖෂධ භාවිත කළ යුතු නියමිත කාලය පිළිබඳව හා නැවත පැමිණිය යුතු  දිනය ගැන විමසන්න.
  • ඔබ සායනයකින් ප්‍රතිකාර ගන්නේ නම් නැවත පැමිණිය යුතු දිනය නොවරදවා සටහන් කරවා ගන්න.
  • ඖෂධ භාවිතයට අමතරව පිළිපැදිය යුතු කරුණු පිළිබඳව විමසන්න
  • ඔබේ රෝගය හා ප්‍රතිකාර පිළිබඳව දැනගැනීමට ඔබට අයිතියක් ඇත. එනිසා කරුණු විමසීමට බිය නොවන්න.

රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී පිළිපැදිය යුතු පොදු කරුණු 

  • ඔබේත් පවුලේත් සෞඛ්‍ය සම්බන්ධ වාර්තා සුරැකිව තබා ගන්න. 
  • එක් එක් සාමාජිකයාට වෙන් වෙන්ව ෆයිල් තබා  ගෙන වෛද්‍ය වාර්තා, සායන සටහන්, රෝහල් ගතවීම් පිළිබඳ තොරතුරු, එන්නත් වාර්තා ආදිය එහි බහා තබන්න.
  • මුදල් නැවත ලබාගැනීම (claim) වැනි අවශ්‍යතාවකට වාර්තාවල මුල් පිටපත් අවශ්‍ය නම්  ඡායා පිටපත් හෝ ඡායාරූප ඔබ ළඟ සුරැකිව තබා ගන්න
  • අත්‍යවශ්‍ය වාර්තා වල ඡායාරූප දුරකථනයේ තබාගැනීමෙන් හදිසි අවස්ථාවක වුවද ප්‍රතිකාර ගැනීමට පහසු වේ
  • ඔබට හෝ පවුලේ අයකුට ඖෂධයකට අසාත්මිකතාවක් ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් වී සිටීම අත්‍යවශ්‍ය වේ. එවැනි විටක අසාත්මිකතාව ඇති වූ ඖෂධයේ නම සඳහන් කාඩ් පතක් හෝ ලියවිල්ලක් වෛද්‍යවරයාගෙන් ලබා‍ගෙන සුරක්ෂිතව තබා ගන්න

ඔබගේ මීළඟ වෛද්‍ය හමුව වඩාත් ප්‍රතිඵලදායක එකක් බවට පත් කර ගැනීමට ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

දරුවොත් එක්ක සතුටින් ඉන්න නම් මේ 8 කරන්න එපා එපා එපා

මුළු ලෝකෙම නිවැරදි කරන්න වෙහෙසෙනවාට වඩා පළමුවෙන්ම තමන් නිවැරදි වෙන එක ගොඩක් වැදගත්. අපි ළඟ තියෙන සමහර පුරුදු නොදැනුවත්වම අපිත් එක්ක මුළු ජීවිත කාලෙම ගත කරනවා. නමුත් වැරදි දේ වැරදි ලෙස හදුනා ගත්තොත් පසුකාලීනව හෝ වැරදි පුරුදු ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න ඔබට පුළුවන්. නැතිනම් ඔබේ දරුවනුත් ඔබේ අඩිපාරේම ගමන් කරන බව ඔබ දන්නවා. අන්න ඒ නිසාම අපේත් දරුවන්ගේත් ජීවිතවලට ඍණාත්මක බව එක් කළ හැකි මෙන්න මේ පුරුදු 8 ගැන අපි දැනුවත් වෙමු.

  1. සර්ව සම්පූර්ණ වෙන්න යන්න එපා

සර්ව සම්පූර්ණ බව කියන්නේ අපේ මානසික සෞඛ්‍යයට සෘජු බලපෑමක් ඇති කරන දෙයක්. සමහර පුද්ගලයෝ හිතනවා තමන් සර්ව සම්පූර්ණ කෙනෙක් සහ තමන් කරන කියන සෑම දෙයක්ම සර්ව සම්පූර්ණ වීම ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යයි කියලා. මේකේ ධනාත්මක සහ ඍණාත්මක ලෙස පැති දෙකක් තියනවා. ඒත් මේ සමාජය තුළ අපිට බොහෝ විට දකින්නට ලැබෙන්නේ මේ සර්ව සම්පූර්ණ වීමට උත්සාහ දැරීම තුළ ඇති වන ඍණාත්මක අවස්ථාවන්. 

ධනාත්මක පැත්ත – සර්ව සම්පූර්ණ බවින් යුක්තව වැඩ කරන්න හදන පුද්ගලයා තමන් අතින් සිදුවන වැරදි අවම කරගන්නවා. ඒ වගේම තමන්ගේ ඉලක්ක වෙත ගමන් කිරීමට ලොකු උත්සාහයක් දරනවා.

සෘණාත්මක පැත්ත – සර්ව සම්පූර්ණ බවින් යුක්තව වැඩ කරන්න හදන පුද්ගලයා සර්ව සම්පූර්ණව ඒ කාර්යය කිරීමට ලැබුණොත් මිසක කිසිම දේකින් දෙයකින් සතුටට පත් වෙන්නේ නැහැ. අපේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුකරගැනීමට ලැබෙන අවස්ථා බොහොම අඩුයි. මෙතැනදී එවැනි පුද්ගලයෙක් සැමවිටම තමන් ගැනම අවතක්සේරුවට පත් වෙනවා. තමන්ව සංසන්දනය කරනවා. තමන් ගැන කලකිරීමට පත් වෙනවා. මොකද ඔහු අනිත් පුද්ගලයන්ට වඩා ඉතා සාර්ථක පුද්ගලයෙක් බව ඔහු දකින්නේ නැහැ. ඒ සැමවිටම ඔහුගේ අපේක්ෂාව කිසිදු හැලහැප්පීමකින් තොරව, කිසිම තැනක වරදක් නොවී ඔහු කරන කාර්යයන් සිදුවිය යුතුයි කියන සිතුවිල්ල ඔහු තුළ ඇති නිසයි. ජීවිතේ තුළ අපි තේරුම් ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ වැරදීම් සිද්ධ වෙනවා.. ඒත් වැරදි හදාගන්න ඕනේ.

ඔබ, ඔබ තුළින් සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් අපේක්ෂා කරනවා නම් එය ඔබට සිත්තැවුල් සදා දෙන උල්පතක් බව අමතක කරන්න එපා.

2. අනුන්ගේ වැරදිවලට ඔබ විඳවන්න එපා

අපිට කිසිදු සම්බන්ධයක් නැති සිදුවීම් පිළිබඳව නිස්කාරණේ වරදකාරී හැඟීමකින් අප පසුවනවා විය හැකියි. බොහෝ විට වරදකාරී හැඟීම කියන දේ ළමා කාලය ඔබට පුරුදු කළ දෙයක් විය හැකියි. නමුත් ඔබට අදාල නොවෙන සිදුවීමකදී පවා ඔබ වරදකාරී හැඟීම් සමුදායක සැරිසරනවා නම් එය ඔබගේ සතුට නැති කර ගැනීමේ එක මාර්ගයක් බව වැඩිහිටියෙක් වන ඔබට දැන් අවබෝධ කරගත හැකියි. එසේම ඔබේ දරුවාටත් කිසිම අවස්ථාවක අනවශ්‍ය විදිහට ඒ වරදකාරී හැඟීම නොදීමට ඔබ වගබලාගත යුතුයි. ඒ ඔබේ දරුවාටත් මුළු ජීවිතයේම ඔබට මෙන්ම පසුතැවීම් සහ අසතුට ඇති කරන පුර්ද්දක් බවට එය පත් විය හැකි නිසයි. 

3. ඍණාත්මක පුද්ගලයන් ජීවිතයට ළංකරගන්න එපා 

සෘණාත්මක පුද්ගලයන් සැමවිටම සිටින්නේ සෘණාත්මක ආකල්ප සමග. ඒ වගේම ඔවුන්ගේ ජීවිතය ඉතාම සෘණාත්මකයි. කොයිකරම් මිල මුදල් තිබුණත් කෙනෙක් ජීවත් වෙන්නේ සෘණාත්මක අදහස් තුලම නම් එවැනි පුද්ගලයන් තමා වටා සිටින සියලුම පුද්ගලයන් සෘණාත්මක බව කෙරේ ආකර්ෂණය කරගන්නා බව අමතක කරන්න එපා. යම්කිසි අවස්ථාවක ඔබත් මෙවැනි ඍණාත්මක මනසකින් සිටියා නම් මේ සෘණාත්මක මනස තමාගේ ධනාත්මක සිතුවිලි සියල්ල විනාශ කරනවා මෙන්ම මානසික සතුට අහිමි බව වටහා ගත යුතුයි. එවැනි සෘණාත්මක අදහස් වපුරන පුද්ගලයන් ඔබේ මහපත් මානසික සෞඛ්‍ය වෙනුවෙන් අත්හැරිය යුතුමය.

4. පසුතැවීම් කරපින්නාගෙන ඉන්න එපා

වර්තමානයේ මොනතරම් උසස් තැනක සිටියත් අතීතයේ අහිමි වූ යම් දෙයක් වෙත අපේ හිත දුවනවා. දුක්වෙනවා. පසුතැවෙනවා. ඒත් වර්තමාන මොහොතේ හොඳ ජීවිතයක් ගත කරන ඔබ අතීතයේ ඒ අහිමි වූ දෙය නිසා ඔබේ සතුට අහිමි කරගන්නවා නම් එමගින් අපේ මානසික සෞඛ්‍යයට විශාල ලෙස සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. සමහර සිද්ධි අයිති අතීතයට, ඒ දේවල් අද අපිට වෙනස් කළ නොහැකියි. මතකයන් ඉතාම වේදනාකාරී වුවත් ඒ වේදනාකාරී මතකයන් නැවත නැවත විඳවමින් නැවත නැවත ඔබ පසුතැවෙනවා නම් එය ඉතාම නිශ්ඵල දෙයක් බව ඔබ වටහා ගත යුතුයි. මන්ද ඒ පසු තැවීම් ඔබේ සාර්ථකත්වයට බාධාවකි. 

5. ඇබ්බැහි වීම් වගේම වැරදි පුරුදු එපා 

ඇබ්බැහි වීම් සහ පුරුදු කියන්නේ අපේ මානසික සෞඛ්‍ය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරන දේවල්. උදාහරණයක් විදියට ව්‍යායාම ගත්තොත් ව්‍යායාම කියන්නේ ශාරීරික සෞඛ්‍යයට ඉතාම වැදගත් දෙයිත ව්‍යායාම කියන්නේ  අපිට සතුට ගෙන දෙන හෝමෝන නිෂ්පාදනය කරන ක්‍රියාවලියක්. ව්‍යායාම කිරීමත් වැරදි ලෙස ව්‍යායාම කිරීමත් මෙතැනදී හරියාකාරව වටහා ගත යුතුයි. සමහර විට මම කොච්චර ව්‍යායාම කරත් ඔය කියන විදිහට මානසික සතුටක් මට ලැබිලා නැහැ කියලා ඔබට සිතෙයි. තමාගේ ශාරීරික හෝ මානසික තත්වයට නොගැලපෙන, තමාව ඉතාමත් වෙහෙසට පත් කරන, පිළිවෙළක් නැතුව ව්‍යායාම කිරීම නිසා ඔබට ඒ මානසික සුවය අහිමි විය හැකියි. අන්න ඒ විදියට අපි අපිට වැරදුණු තැන් සහ වැරදි පුරුදු අපෙන් ඉවත් කරගත යුතුමයි. 

6. නින්ද ගැන වුණත් වැරදියට හිතන්න එපා

පුද්ගලයෙකුට අඩුම වශයෙන් පැය හයක නින්දක් අවශ්‍යයි. නින්ද කියන්නේ මනස සුවපත් කරන ඖෂධයක් වැනි දෙයක්. නින්ද කියන්නේ පසුදා මුහුණ දෙන්නට තියෙන අභියෝග වලට ඔබව සූදානම් කරන දෙයක්. කොයිකරම් සිත් තැවුල් ඒ වගේම ශාරීරික වේදනා නින්දකින් පසුව කොයිතරම් මග හැරී තිබෙනවාද කියා අමුතුවෙන් කිව යුතු නැහැ. අපි නිදාගත්තත් මොළය ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නවා නම් ඔබ හිතනවාට වඩා ඔබට ඉතාම ක්‍රියාශීලිව සහ වඩාත් ප්‍රතිඵලදායක විදිහට ඔබගේ අරමුණු කරා ප්‍රබෝධමත් මෙන්ම ප්‍රාණවත් බවක් නින්දෙන් ඔබට හිමි වෙනවා. කිසිම අවස්ථාවක ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න පුළුවන් කාලය නින්ද වෙනුවෙන් යොදවන බව ඔබ සිත්නන්ට එපා.

7. සමාජ මාධ්‍යවලට ඔබව අසහනයට පත්කරන්නට ඉඩ දෙන්න එපා

සමාජ මාධ්‍ය තුළින් පුද්ගලයන් මොන තරම් මානසික අසහනයට, මානසික ගැටලු වලට යොමු කරනවා ද කියා අසන්නට දකින්නට ලැබෙන දේ හරහා ඔබත් මමත් හොඳින් දන්නවා. ඒ වගේම අපි භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකථන හරහාත් මේ වන විට අපිට බොහොමයක් පහසුකම් සැපයෙනවා. අපි වැඩි වේලාවක් ඒවත් එක්ක ගත කරනවා. ඒ නිසා අපේ දරුවෝ පවුලේ අය නෑදෑ හිතමිතුරන් එක්ක ගත කරන කාලය අපි සමාජ මාධ්‍ය වැනි දේ වෙනුවෙන් ගත කරනවා. යම්කිසි ප්‍රමාණයකට අපිට මේ දේවල් අවශ්‍ය වුණත් අපි හැමෝටම අනිකා සමග ජීවත්වීමට අවශ්‍යයි. අන්න ඒ නිසා අන්තර්ජාලය, දරුකතනය, සමාජ මාධ්‍ය වෙනුවෙන් පමණ ඉක්මවා වටිනාකමක් ලබා දෙනවා නම් ඔබ මෙන්ම ඔබේ ආදරණීයයන්ද අසහනයට පත් වෙනවා.

8.මානසිකව අනුන් මත යැපෙන්න එපා

ඇතැම් අය මානසිකව තව පුද්ගලයෙක් මත යැපෙන්න පුරුදු වෙලා. අනිත් පුද්ගලයාගේ අදහස් සහ ප්‍රමුඛතා තමන්ගේ අදහස් සහ ප්‍රමුඛතා බවට ඔවුන් පත් කර ගන්නවා. නමුත් ඒ දේවල් තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ නැති බව හොඳින් දැන සිටියත් අනිත් පුද්ගලයා සමග මානසිකව ජීවත්වීමට අවශ්‍ය නිසා තමා කැමති බව පෙන්වනවා. නමුත් එක් දිනක් හෝ ඔබ අකමැති දෙයක් අනෙකා කැමති නිසා කරනවා නම් ඔබට ඇති වන මානසික පීඩනය ඔබට සුදුසු නැහැ. දිගින් දිගටම මෙය සිදු වනවා නම් එය ඔබේ ජීවිතයේ අංගයක් බවට පත් විය හැකියි. මේ විදිහට යමෙක් අනෙක් පුද්ගලයාගේ අවශ්‍යතාවයන් ඔබේ අවශ්‍යතාවය විදිහට ගෙන වැඩ කරනවා නම් ඔබ දැඩි මානසික ආතතියකට ගොදුරු වී ඔබට ඔබව අහිමි වී ඔබේ විනෝදාශය, හැඟීම්, සතුට අහඅමි වී යයි. ඒ නිසා කිසිම විටෙක මානසිකව අනුන් මත යැපෙන්න එපා. 

සැමවිටම සියලු අභියෝග මැද ඔබට, ඔබ වෙන්න, ඔබේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කතා කරන්න, ඔබේ  හැඟීම් අඳුනගන්න, ඔබ වෙනුවෙන් පෙනී සිටින්න හැකි නම් අන්න එදාට ඔබ, ඔබේ මානසික සතුට හොයාගත්ත පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔබ, ඔබ වෙන්න. එය ඔබටත් ඔබේ දරුවන්ටත් ඔබ විසින් ලබා දෙන මහරු තිළිණයක් බව අමතක කරන්න එපා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය

 


                

ප්‍රශ්නයක් ආවම තනියම විසඳ ගන්නවද? උදව් හොයනවද?

එදිනෙදා ජීවිතයේදී අපි කාටත් ගැටලු ඇති වෙනවා. ඒ ගැටලු ඇතැම් විට අපේ මානසික සුවය අපිට අහිමි කරනවා. දින ගණන් සති ගණන් මාස ගණන් අපි මේ ගැටලුවල ජීවත් වෙනවා. ඒ හේතුවෙන් අපටත් නොදැනීම අපි ආතතියට පත් වෙනවා පමණක් නොවෙයි, අපේ පවුල දරුවෝ මතිනුත් කාර්යාලයක නම් ඒ කටයුතු මතිනුත් මේ මානසික අතෘප්තිමත් බව ගමන් කනරවා. ඒ හේතුවෙන් පවුල තුළ, කාර්යාලය තුළ ඇති වන ගැටුම් හේතුවෙන් අපි තව තවත් අසරණ තත්ත්වයටත් පීඩනයටත් පත්වීම වළක්වන්න බැහැ. එහෙම වුණත් ඇතැම් විට ඔබ, ඔබේ ගැටලුව තවත් අයෙක් එක්ක බොදාගන්න කැමැත්තක් නැති වෙන්නත් පුළුවන්. ඒත් සමහර ගැටලු අපිට තනිව විසඳ ගන්න අපහසුයි වගේම ඒ ගැටලු තනිව විසඳන්න යෑමෙන් අපි පීඩාවට පත් වෙනවා. 

උදාහරණයක් ලෙස ඔබ හිතන්න ඔබ ළිඳට වැටී සිටින කෙනෙක්. ඔබ ළිඳ ඇතුළේ ඉඳලා උඩ බලද්දී ඔබට පේන්නේ ලිඳ ඇතුළේ තියෙන ලෝකයම පමණයි. ඒ කියන්නේ ළිඳ උඩට ඔබට පේනවා. ළිදට උඩින් වැටෙන ආලෝකය පේනවා. ඊට අමතරව ළිඳ වටේ ට තියෙන බිත්තිය පේනවා. ඉතිං ඒ නිසා ළිඳ ඇතුලේ ඉඳගෙන ගොඩට යන්න අපි සැලසුම් කරන්නේ අපිට පෙනෙන මේ පුංචි කාරණා කීපය අනුව විය හැකියි. නමුත් ළිදෙන් උඩ ඉන්න කෙනෙකු ඔබට පිටතට පැමැණිය හැකි වෙනත් ක්‍රමයක් දකිනවා විය හැකියි. 

ඔබේ ගැටලු වුණත් අන්න ඒ ආකාරයට ඔබ දකිනවාට වඩා වෙනස් සරල ආකාරයකින් තවත් අයෙක් දකිනවා විය හැකියි. ඔහුට ඔබේ ගැටලුව සරලව විසඳීමට හැකි විය හැකියි. එසේත් නැතිනම් ඔබ හිතනවට වාඩා පුළුල්ව දැකිය  හැකි වනවා සේම ගැටලුව නිවැරදිව නිරීක්ෂණය කළ හැකි අයෙක් විය හැකියි. එවැනි අයෙක්ගෙන් ඔබට අවශ්‍ය නිවැරදි සහයෝගය ලබා ගත හැකියි. එවැනි පුද්ගලයෙකු සමග ඔබ ඔබේ ගැටලුව බෙදා ගැනීමෙන් ඔබට ඇති මානසික පීඩනය අවම කරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. 

නමුත් පිටස්තර අයෙක් සමග ඔබේ ගැටලුවක් බෙදා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් ඇති බව සිහි තබාගත යුතුය. ඔබේ ගැටලුව බෙදා ගන්නට සැරසෙන්නේ කා සමගද ? ඔබේ ගැටලුව කියන්න, විසඳුම් සොයන්න සහය ගන්න, විශ්වාසවන්ත අයෙක් ඔබට ඉන්නවාද? ඒ වගේම ඔබට, ඔබේ ප්‍ර ගැටලුවක් නිරාකරණය කර ගැනීමට පුද්ගලයින්ගෙන් උදව් ලබා ගත යුත්තේ කෙසේද යන්න ගැන අවබෝධයක් තිබෙනවාද?

  • වර්තමාන සමාජයේ බහුලව සිටින විෂ පතුරවන (toxic people) පුද්ගලයන් ඔබේ ගැටලුවට සවන් දුන්නත් එයින් අසංවේදී තෘප්තියක් ලබාගනියි.
  • ඔබේ ගැටලුවට සවන් දෙන්නා තම හිතේ ඇති වෙනස් වෙනස් බලාපොරොත්තු ඉටු කරගැනීඹට අවස්ථාව සලසා ගැනීමට උත්සාහ කළ හැකියි.
  • ඔබේ ගැටලුවට සවන් දෙන්නා අද යාහළුවෙක් වුවත් හෙට ඔබ සමග අමනාප වුහොත් ඔබේ චරිතයට අපහාස කිරීමට ඒ කරුණු යොදා ගත හැකියි.

ඔබේ ගැටලුව බෙදා ගැනීමට අයෙක් තෝරා ගැනීමේදී ඒ තැනැත්තා වඩාත් සූක්ෂම ව තෝරා ගත යුතු වන්නේ අන්න ඒ නිසයි. ඔබට තනිව විසඳුමක් සෙවිය නොහැකි ගැටලුවකදී ඔබ යොමු විය යුත්තේ සුදුසුකම් ඇති පුද්ගලයෙකු වෙතට පමණක් බව මතකයේ තබාගන්න. 

සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරු, සුදුසුකම් ලත් මනෝ උපදේශකවරු, මනෝ චිකිත්සකවරු ඔබ වෙනුවෙන් සිටින බව සිහි තබාගන්න. එවැනි සුදුසුකම් සහිත පුද්ගලයෙකු හමු වීමෙන් ඉතා සාර්ථක ලෙස ඔබට ඔබේ ගැටලුව නිරාකරණය කරගැනීමට අවශය උපදෙස් ලැබෙනු ඇත. එසේම රහස්‍යභාවය සුරකින බවට 100%ක් විශ්වාසය. 

සාමාන්‍යයෙන් මානෝ වෛද්‍යවරයෙක් වෙත යාමාට අපේ සමාජයේ බොහෝ දෙනක් ලැජ්ජාවක් ලෙස සැලකුවද එය එසේ සිතිය යුතු දෙයක් නොවන බව ඔබ අවබෝධ කරගන්න. කායික අසනීපවලදී කිසිදු පැකිලීමකින් වෛද්‍යවරු වෙත යන බොහෝ දෙනෙක් තම මානසික තත්ත්වය සුවදායී කරගැනීම වෙනුවෙන් මනෝ වෛද්‍යවරයෙක් වෙත යාමට සියවරක් සිතයි. නමුත් එය ඉතාමත් අනුවණ සිතිවිල්ලක් බව තිව යුතුමය.  සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙක්/මනෝවිශේෂඥවරයෙක්/මනෝවිද්‍යාඥයියෙක් හමුවී ඔබේ ගැටලුව සාකච්ඡා කොට මනස සැහැල්ලු කර ගැනීමට ඔබට අවශ්‍ය සහයෝගය ලබා ගන්න. 

නෑ.. මම කොහොම හරි මේක හදා ගන්නවා..එක එක්කෙනා එක කියන්න ඕනෙ නැහැ මට පුළුවන්කම තියෙනවා.. මම මේ තාක් කල් තිබ්බ ඔක්කොම ප්‍රශ්න මම තනියම විසඳ ගත්තෙ මට බැරි වෙන්නේ කොහොමද මේක විසඳගන්න

ඇතැම් විට ඔබට මෙසේ සිතෙනු ඇති.  නමුත් ඔබ, ඔබ පිළිබඳ අධිතක්සේරුවකට යෑමෙන් ඔබ ගැටලුව විසඳා ගැනීමට වෙහෙස වී පීඩාකාරී තත්ත්වයකට පත් වීම පමණයි. නමුත් ඔබ තනිව වෙහෙස නොවී සුදුසුකම් ඇති පුද්ගලයෙකුගේ සහය ලබා ගැනීමෙන් ඔබට නොසිතුණු කරුණු යෝජනා ඔහු හරහා ඔබට ලැබෙන්නට හැක. එවිට ඔබේ සංකීර්ණ ගැටලුව ඔබටත් නොදැනීම සරල ගැටලුවක් බවට පත් වීමට ඉඩ ඇත. එවිට ගැටලුව ඉක්මනින් සාර්ථකව නිරාකරණ කරගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත. අන්න ඒ නිසා ගැටලුවක් නිසා විෂාදය තත්ත්වයට පත් වනතුරු සිටිමින් අවාසනාවන්ත කතාවකින් ඔබේ ජීවිතය නිමා වන්නට ඉඩ නොදී නිවැරදි අවස්ථාවේ නිවැරදි පුද්ගලයා සමග එක් වී සාර්ථකව ඔබේ ජීවිතය ගැටලු ජයගත් අභිමානවත් පුද්ගලයෙක් වෙන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)

කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,

ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7


                

මොනතරම් ලොක්කෙක් වුණත් ගෙදරදී ඔබ තාත්තෙක්

අපේ ජීවිත කාලය තුළ විවිධ භූමිකා රඟපාන්නට අපිට සිදුවෙනවා. උදාහරණයක් ලෙස ගත් කළ ගැහැනු දරුවෙකු ලෙස මෙලොවට බිහිවන ඇය වයසින් වැඩෙත්ම වැඩිවියට පත්වෙලා පෙම්වතියක්, බිරිඳක් බවට පත්ව මවක් අත්තම්මා කෙනෙක් දක්වා විවිධ භූමිකා ඔස්සේ ජීවිතය ඉදිරියට ගෙන යනවා. එපමණක් නොවෙයි, රැකියාවේදීත් විවිධ නිලතල දරමින් ඉදිරියට ගමන් කරනවා. නමුත් මේ භූමිකා හෝ නිලතල අප තුළ අප කියලා කෙනෙක් සිටිනවා. අයෙක් ඒ පුද්ගලයාගේ වෘත්තියෙන් හෝ හැසිරෙන ආකාරයෙන් මැනිය නොහැකියි. ඇතැම් අවස්ථාවලදී අපේ ජීවිත තුල ගැටලු ඇති වෙන්නට හේතු වන්නේ මෙසේ අප රඟ දක්වන එක් එක්  භූමිකා අදාල නොවන  තැන්වලදී  රඟදැක්වීම හේතුවෙන් විය හැකියි. ඇතැම් විට අපේ ජීවිතේ ගොඩක් ගැටළුවට මුල අපේ රාජකාරිය, ගෙදර ගෙනයාම හෝ ගෙදර, රාජකාරි ස්ථානයට ගෙනයාම නිසා විය හැකිය. මේ හේතුව නිසා ඇතැම් විට අපේ සබඳතා බිඳ වැටෙන්න පවා ඉඩකඩ වැඩියි. අන්න ඒ නිසාම තමාට අදාල භූමිකාව අදාල ස්ථානය තුළ පමණක් පවත්වාගෙන යාමට මව්පියන් ලෙස අප උනන්දු විය යුතුමය. 

ජීවිතය තුළ භූමිකා රංගනය කියන්නේ මොකද්ද ?

භූමිකාවක් කියලා කියන්නේ චරිතයකට අදාල කාර්යභාරය. නැතිනම් චරිතයට අදාළ වගකීම. මවගේ චරිතයක් නම් ඊට අදාළ සිතුම් පැතුම් රටාවක්, වචන රටාවක්, හැසිරීමක් තියෙනවා. ඔබ ආයතනයක ප්‍රධානියෙක් නම් ඒ ප්‍රධානියකුට ඒ භූමිකාව තුළ ඒ නායකත්වය තුළ ඔබට අදාල භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව තුළ ඔබ ආයතනය තුල ඔබ අන් අය පාලනය කරනවා වෙන්න පුළුවන්. ඒ සඳහා යම්කිසි හැසිරීම් රටාවක් ඔබට තිබිය හැකියි. ඒ තුළ ඔබ යම්කිසි නීති පද්ධතියක් අනුව සිටිනාව විය හැකියි. 

උදාහරණයක් ලෙස ඔබ ගුරුවරියක් නම් ඒ භූමිකාවට අනන්‍ය වූ හැසිරීම් රටාවක් ඔබට තිබෙනවා. ඒ වගේම ඔබ මවක්. නිවසේදී මවගේ චරිතය තුළ ඔබට ආවේණික හැසිරීම් රටාවක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් භූමිකාවක් කියන්නේ හැමතිස්සෙම චරිතයකට අදාළ කාර්යභාරය ලෙස හැඳින්වීම නිවැරදියි. ඔබට චරිතයකට අදාල දෙබස්, වචන මාලාවක් වගේම අදාළ හැසිරිමකුත් ඇති නිසා ඔබ වෘත්තිය ජීවිතයේදීත් මවක ලෙස නිවසේ ගතකරන ජීවිතයේදී වෙනස්කම් පවතිනවා. මෙසේ විවිධ විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානයන් ට අනුව සමාජ සාරධර්ම සමග අපිට අනන්‍ය වූ හැසිරීම් රටාවක් වගේම සංවාද ඇතුළු සියල්ල නියම වී තිබෙනවා. ඒ ආකාරයෙන් භූමිකා විශාල සංඛ්‍යාවක් එක් දිනක් තුළ අපි රඟපානවා. නමුත් මේ භූමිකා රංගනයේ අසමතුලිතතා ඇති වූවොත් එය අපේ සියලුම කාර්යයන් අසමතුලිත කරන්නට හේතු විය හැකි බව අමතක නොකළ යුතුයි.

දෙමාපියන් තම රැකියාවේ භූමිකාව නිවසට රැගෙන ආවොත් පවුල තුළ ඇති වන්නේ කුමන ආකාරයේ තත්වයක්ද?

සමාජයේ තියෙන කුඩාම ඒකකය පවුල. උදාහරණයක් විදියට පියා, පොලිස් නිලධාරියෙක් මව, ගුරුවරියක් දරුවන් පාසල් අධ්‍යාපනය ලබන පවුලක් අපි ගනිමු. මේ නිවසේ මව නිවසට ආ පසුවත් ගුරුවරියම නම් පියා නිවසට ආ පසුවත් පොලිස් නිලධාරියාම නම් ඒ පවුල තුළ බැඳීම්වලට විශාල හානියක් සිදුවෙනවා. සැමවිටම ඔබ රඟපාන භූමිකාව තුල ඔබ ගනුදෙනු කරන්නේ කුමන පුද්ගලයන් සමග ද යන්න ඉතා වැදගත් වේ.

පොලිස් නිලධාරියෙකුට අනන්‍ය වූ ඒ ස්ථානය සහ ඒ පද්ධතිය තුළ ඒ ප්‍රපංච ලෝකය තුළ ඔහුට ආවේණික හැසිරීම් රටාවක්, ආවේණික විනය පද්ධතියක්, මේ සියල්ල ඔහුට දීර්ඝ කාලීනව පුහුණු කරනවා.ඔවුන් කතා කරන විලාසය/ හැසිරීම් රටාව වෙනස්. ඒ තුළ විධානාත්මක ස්වරූපයක් තිබිය හැකියි. ඒ ඔහුගේ රාජකාරිය වෙනුවෙන් ඔහු පුහුණුව ලැබූ ආකාරය නිසයි. ඔහුගේ චරිතය තුළ ඔහු එක්තරා ආකාරයකට ඔහුගේ චරිතය සකස් කරගත යුතුයි. ඒ පුහුණුවත් සමග ඇතැම්විට ඔහුගේ කතා විලාසය/හැසිරීම යම්තාක් දුරට විදානාත්මක ස්වරූපයක් ගන්නවා විය හැකියි. මේ තත්ත්වය මත ඇතැම් විට ඔහුගේ උණුසුම් සබඳතාවය ඔහුගෙන් ගිලිහී ගොස් විය හැකියි. මේ ආකාරයට පොලිස් නිලධාරියෙක් නිවසට පැමිණීමේදී දරුවන්ට තම පියා වගේම බිරිඳට ආදරණීය සැමියා අහිමි වෙනවා. මවගේ පැත්තෙන් ගත්තත් නිවස තුළදීත් ඇය රඟ දක්වන්නේ තම වෘත්තියේ චරිතයම නම් මේ තත්ත්වයම උත්දගත වෙනවා. එයට හේතුව එක් භූමිකාවකින් අනෙක් භූමිකාවට හරියාකාරව පරිවර්තනය/මාරු නොවීමයි. 

මව/පියා කියන්නේ වැඩිහිටියන්. මේ චරිතවලට හරියාකාරව මාරු වෙන්න ඔවුන්ට බැරිද?

උදාහරණ විදියට පෙර උදාහරණයම ගත්තොත් පොලිස් නිලධාරියෙක් වීමට ඔහු එය දීර්ඝකාලීනව පුහුණුවක් ලබනවා. ඒ පුහුණුව නිසා ඔහුගේ මනස ඒ  ක්‍රියාවලියකට වැඩසටහන්ගත වී අවසන්. අන්න ඒ නිසා ඔහුගේ චරිතය මාරු වුවත් ඔහු ඒ අවස්ථාවට රැගෙන යන්නේත් ඒ හැසිරීම් රටාවම විය හැකියි. ඒත් නිවසට එන ඔහු තුළ රැකියාවේ හැසිරීම් රටාව/ අණදෙන ස්වරූපය/ සැර පරුෂ ස්වභාවය පවතිනවා නම් නිවස තුළ දරුවන්ට බිරිඳට එය කිසිසේත්ම සුදුසු නැති බව අපි කලින්ත් පැවසුවා. අන්න ඒ නිසාම වැඩිහිටියන් ලෙස සිතමින් මම දැන් යන්නේ මගේ ගෙදර, මම ඒ ගෙදර දයාබර සැමියා/පියා කියන සිතුවිල්ල සතිය පිහිටුවා ගනිමින් පියාගේ /සැමියාගේ භූමිකාවට මාරු විය යුතුයි. ඒ ආකාරයට ඔබ පියාගේ/සැමියාගේ  චරිතයට අනුගත නොවුණොත් පවුල තුළ ගැටලු බොහෝමයක් නිර්මාණය විය හැකියි. තාත්තා ගෙදර එනවට දරුවන් අකමැති වෙන්නේ මෙවැනි ගැටලුවල ප්‍රතිඵලයක් විදියටයි. ඇතැම් අවස්ථාවල ඒ අකමැත්ත ලෙඩ රෝග ඇතිවීම/ පාසැල් යෑම ප්‍රතික්ෂේප කිරීම වැනි තත්ත්වයන් තෙක් වර්ධනය විය හැකියි. අන්න ඒ නිසාම මව්පියන් ලෙස අප නිවස තුළ හැසිරීම අපේ දරුවන්ගේ සුවැති මනසට ඉතා වැදගත් බව සිහිතබාගත යුතුයි. 

බිරිඳ ආයතනික ප්‍රධානියෙක්ගේ. ඉතිං එයා ගෙදර ඇවිත් මට අණ කරනවා. ගැහැනුකම/අම්මාකම එයා ළඟ  නැහැ. එයත් පිරිමියා වෙන්න යනවා……. මේ තම බිරිඳ ගැන සැමියෙක්ගේ පැමිණිල්ලක්. මෙතැනදී වෙන්නේ කුමක්ද?

මේ ගැටලුව මව/පියා කියන දෙදෙනාටම පොදුයි. කාන්තාවගේ තියෙන අනන්‍ය වූ ලක්ෂණ   වලට තමා පිරිමියෙක් ආදරේ කරන්නේ. ඒ ඇයගේ උණුසුම් බව, ලද බොළඳ බව, සැහැල්ලු බවට විය හැකියි. ඒත් අපි යම් යම් තලවල, යම් යම් ඉහළ නිලවල ජීවිතයේ යම් යම් සංවර්ධනයන් ඔස්සේ ඇය ඉදිරියට යද්දී යනකොට ඇයගේ මෙන්න මේ උණුසුම් බව, ලද බොළඳ බව, සැහැල්ලු බව ගිලිහී යන්න ඉඩ තියෙනවා. කාන්තාවක් සමාජයේ යම් නිලතල දරද්දී අදාල භූමිකාව තුළ ඇයට අනන්‍ය වූ චරිත ලක්ෂණ තියෙනවා. නමුත් වෘත්තීය භූමිකාව ඇඟට කා වැදුනම  ජීවිතය තුළ තමාට, තමාව අහිමි වෙනවා. ගැහැනියකගේ ඇති උණුසුම්, ලද බොළඳ බව, සැහැල්ලු බව කියන මේ සුන්දර කාරණා අහිමි වෙනවා. පෙර සිටිය ඇයට වඩා අද සිටින ඇය ‍බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ඇය, ඇයගේ රැකියාවට අදාල මේ භූමිකාවේ අංග තමන්ගේ පෞරුෂයටම අයිති ලක්ෂණය ලෙස සිතනවා. මෙය දිගින් දිගටම පැවතුණොත් එය අනන්‍යතා රෝගයක් ලෙස හැඳින්විය හැකියි.

තමා‍ට තමාව අහිමි වීම තුළ දරුවන්ටමව/සැමියාට බිරිඳ අහිමි වෙනවා නේද?‍

තමාට තමාව අහිමි වෙන්න හේතුව මනෝවිද්‍යාත්මක සාධකයක්. පෙර සඳහන් කළ ආකාරයට දීර්ඝ කාලීනව අපි අදාල භූමිකාව තුළ ජීවත් වීමේදී සමස්ත විඥ්ඥාණික මනස සහ මොලය කියන දෙකම එයට හැඩගැහෙනවා. එයට හේතු දෙකක් දැක්විය හැකියි.

  • මොලයේ ස්නායු පද්ධතිය එකම දෙයකට අනුව සැලසුම්ගත වීම
  • යටි සිත එකම දෙයකට අනුව සැලසුම්ගත වීම

සරලවම කිව්වොත් භූමික රංගනය කියන්නේ යම්තාක් දුරකට භයානක තත්ත්වයක්. ඒ භූමිකාව ඍණාත්මක නම් ඔවුන් නිතර කටයුතු කරන්නේ කේන්තිය, අණ දීම වැනි දේ සමග නම් එහි ඇතිතේ සෘණාත්මක පසුබිමක්. එහි කිසිදු ධනාත්මක කම්පනයක් නැති නිසා හැම‍ මෙ‍ාහොතකම කේන්තියෙන් අනිත් අයව පාලනය කිරීමට යාම නිසා අදාල පුද්ගලයාගේ මනුෂ්‍ය ස්වභාවය යටපත් විය හැකියි. මේ යටපත් වීම සමග ඔවුන් සැමවිටම කටයුතු කරන්නේ ආතති හෝමෝන සමගයි. ඔබ රඟපාන භූමිකා වල කිසියම් ආතතියක් ඇත්නම් ඒ ආතතිය සමග කණස්සල්ලක්, වෛරය, නොසන්සුන් බව මිශ්‍ර වෙලා නම් මේ භූමිකාව තුළ නිරන්තරයෙන් හිඳීම තුළ  ඔබ මානසිකව අසමතුලිත වෙනවා. එය ඔබේ පවුලේ දරුවන්ට සැමියාට බිරිඳට ඔබ කරන අසාධාරණයක් පමණක් නොව ඔවුන්ට ඔබේ ආදාරයට රැකවරණය උණුසුම ලැබීමට ඇති අයිතිය අහිමි කරවීමක් වන නිසාම ඔබ දරුවන් බිරිඳ සැමියා වෙත පැමි‍ණීමේදී ඔබ කුමන රැකියාවේ නිරත වුවත් පියා/මව/සැමියා/බිරිඳ නම් වූ ආදරණීය චරිතයට ආරෝපණය වීමට අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්යය කුමුදු ඒකනායක

නිර්මාණාත්මක මනෝ චිකිත්සක, මනෝ විද්‍ය උපදේශක

Dr. Kumudu Ekanayaka

Creative Psychotherapist and Psychological Counselor

 


                

දවස අන්තිමේ ඔයාටත් ස්ට්‍රෙස්ද? කාලසටහනක් තිබුණොත් නරකද?

පසුගිය සති කිහිපයේ ගොඩක් දෙනෙක් ඩිප්‍රෙෂන් ගැන පොස්ට් ෆේස්බුක් එකේ දිගින් දිගටම ෂෙයාර් වුණා. ඒ වගේම සිය දිවි නසා ගැනීම් කිහිපයකුත් වාර්තා වුණා. විශ්ව විද්‍යාල සිසුන්, නව යොවුන් දරුවන් මෙන්න මේ විදියට සිය දිවි නසා ගන්න පෙළඹෙන්නේ ඇයි කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. ඒ වගේම දෙමාපියන් තමන්ගේ දුව පුතා ගැන බියෙන් පසුවෙනවා. මොකද දරුවන්ට පාසැල් කටයුත්වලත් අද වෙද්දී දරාගන්න අපහසු තරමේ වැඩ කොටසක් පැවරී තිබෙන නිසා ගොඩක් දරුවන් තුළ එපා වීම කල කිරීම වගේ හැඟීම් ඇති දෙමාපියන්ට වැටහෙනවා. රට තුළ පවතින ආර්ථික අර්බුද හේතුවෙන් මව පියා මුදල් සෙවීම වෙනුවෙන් අසීමාන්තික ආකාරයට වෙහෙසීම නිසා දරුවන්ට දෙමාපියන් සමග ගත කරන්නට ඇති කාලයත් අහිමි වෙන අවස්ථාත් බොහොමයක් දැකගත හැකියි. මෙන්න මේ කරුණු විතරක් නෙවෙයි තවත් බොහොමයක් කරුණු හේතුවෙන් අද වෙද්දී පවුලක් තුළ පැවතුණු සම්බන්ධතා දුරස් වෙලාද කියලත් හිතෙනවා. මොන තත්ත්වයක් යටතේ වුණත් අපි අපේ දරුවන් සමග ජීවිතයට සතුටින් මුහුණ ‍දිය යුතුමයි. අපි ආතතියට පත් වුණොත් අපේ දරුවන්ට අත් වෙන ඉරණම බොහොම ඛේදනීය විය හැකියි. අන්න ඒ නිසා අපි ඒ තත්ත්වය මග හැරගන්නට කෙසේ හෝ උත්සාහ කළ යුතුමයි.

ඇත්තටම විෂාදය එහෙමත් නැත්නම් අපිට හුරු වචනයෙන් කිව්වොත් ඩිප්‍රෙෂන් කියන තතත්වයට එන්න කලින් එදිනෙදා ජීවිතය ඇතුළේ අපි මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන්, විවිධ පීඩාකාරී අවස්ථාවන් හොඳින් කළමනාකරණය කරගන්න ක්‍රම නැද්ද? නැති වෙන්න නම් බැහැ. එදිනෙදා දවසේ වැඩ කටයුතුත් එක්ක ඇතිවන මේ ගැටලුකාරී අවස්ථා නිවැරදි විදිහට කළමනාකරණය කරගන්න අපට සහය ලබාගත හැකි කාල සටහන් ක්‍රමය ගැන අද අපි කතා කරමු. 

මට නම් දවස් හතක් මදි, තව අමතර දවසක් තිබ්බනං හොඳයි 

අයියෝ තව පැය දෙකක් හරි තිබ්බ නම් කොච්චර හොඳයිද?

ඔක්කොම වැඩ ටික කරලා ඉවර උනහම නිදාගන්න තියෙන්නේ පැය දෙකයි 

ඔබත් මේ දේවල් අහලා ඇති. නැත්නම් ඔබත් මේ දේවල් කියලා ඇති. එදිනෙදා වැඩකටයුතු කරගෙන යද්දී ඒ වැඩ කටයුතු කරන්න තියෙන කාලයේ මදිකම අපිව ආතතියට පත් වෙන්න එක හේතුවක්. ඒත් අපිට අමතර තව දවසක්/පැයක් ලැබුණත් අපි මේ විදියටම කාලය මදිකම ගැන මැසිවිලි නගාවි. ඇත්තටම මේ ගැටලුව දෙස අපි නිවැරදිව බැලුවොත් අපි ආතතියට පත්වෙන්නේ දවසකට ඇති පැය ගණන හෝ සතියකට/මාසයකට ඇති  දින ගණන හෝ මදිකම නිසා නොවෙයි. අපට ලැබී ඇති මේ පැය ගණන, දින ගණන, අපි නිවැරදි ලෙස කළමනාකරණය න‍ොකිරීම නිසයි. නිසි ලෙස කාලය කළමනාකරණය කළහොත් ආතතියකින් තොරව දෛනික ජීවිතය ගත කළ හැකි බව මේ ලිපිය අවසානයේ ඔබට අවබෝධ වනු නිසැකය. 

වැඩකටයුතු එක්ක දවස කළමානාකරණය කරන්නේ කොහොමද ?

කාල සටහනකට හුරු වීම මේ සඳහා ඇති එකම විසදුමයි. සරලව කිව්වොත් daily schedule එකකට වැඩ කරන්න අපිට පුළුවන් නම් ඒ හරහා අපේ කටයුතු සාර්ථක කරගන්න වගේම මානසික ආතතිය අවම කරගන්නත් විශාල සහයෝගයක් එයින් ලැබෙනවා.

කාල සටහනකට හුරු වීම තුළින් ඔබේ ජීවිතයට හිමිවන වාසි

  • නියමිත වේලාවට ඔබේ කාර්යයන් ආරම්භ කරන්නත් අවසන් කරන්නත් හැකි වීම
  • කිසිදු කාර්යයක් අතපසු නොවීම
  • අදාල කාර්යය අදාල අවස්ථාවේදී නිම කිරීමට හැකි වීම 
  • අදාල කර්යයන් ගොඩ ගැසී ඔබව නොසන්සුන් වීම වැළකීම
  • කටයුතු සමබරව කරගෙන යා හැකි නිසා මානසිකව තෘප්තිමත් බවක් දැනීම

කාලසටහන සකස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කාල සටහන සකස් කිරීමේදී මූලිකවම ඔබ සැලකිලිමත් විය යුත් කරුණක් වන්නේ ඔබේ කාර්යයන් සඳහා ගත වන කාලය ගැන මනා අවබෝධයක් තබා ගැනීම සම්බන්ධවයි. 

උදාහරණයක් විදියට යම් කාර්යයක් ඔබ අද සවස 5 වන විට අවසන් කිරීමට නියමිත වුවත් එය අවසන් කිරීමට ඔබට නොහැකි වුවහොත් ඔබ ඒ කාර්යය වෙනුවෙන් හෙට 5 වන තෙක් කාලය යොදවන්නට තීරණය කරනවා නම් අද පහේ සිට හෙට දිනයේ 5 වන තුරු ඔබ යොදා ඇති අනෙක් වැඩ කටයුතු කල් දැමීමට ඔබට සිදු වෙනවා. 

අන්න ඒ නිසාම කාලසටහනක් සකස් කිරීමේදී කලබලයකින් තොරව ඔබේ වැඩ කටයුතු සහ සාමාන්‍යයෙන් ඒවා සඳහා ගත වන කාලය පිළිබඳව හොඳින් කල්පනා කර බලා සකස් කිරීම ඉතාම වැදගත් වෙනවා. 

ඉරිදා දිනයක සවසට සඳුදා සිට සෙනසුරාදා තෙක් ඔ‍බට යෙදී ඇති කටයුතු ‍පිළිබඳව හොඳින් අවධානය යොමු කොට යම් දළ සැලැස්මක් සකසන්න ඔබට හැකියි. 

උදාහරණයකට ඔබ උදෑසන අවධි වන වේලාව, අද ඔබට නියමිත කාර්යයන් කළ යුතු වෙලාවන් සහ අවසන් කළ යුතු වෙලාවන්, දරුවන්ගේ වැඩකටයුතු යෙදී ඇති වේලාවන්, දරුවන්ගේ අද්‍යාපන කටයුත් වෙනුවෙන් සහය දීමට සිදුවන වේලාවන් වශයෙන් ඔබට ඔබේ දිනය තුළ කාලය වෙන් කර ගත හැකියි. මෙසේ ඔබ දවස සැලසුම් කිරීමේදී ඒ ආදර්ශය ඔබේ දරුවාට ද අලුත් අත්දැකීමක් වනවා සේම දරුවාත් ඒ ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹෙනවා පමණක් නොව අනාගතයේ දිනක දරුවාට සාර්ථකව තම කාර්යයන් ඉටු කරගැනීමටත් හැකියාව ලබනවා. ඒ වගේම මෙන්න මෙදා වෙද්දි මම මේ කොටස ඉවර කරනවා කියන ඉලක්කයක් වෙත දරුවාත් යොමු කරන්න ඔබට පුළුවන්. 

කාලසටහනේ ඉඩ වෙන් විය යුත්තේ කුමන කටයුතු සඳහාද?

  • නිවසේ/පවුලේ එදිනෙදා වැඩ කටයුතු වෙනුවෙන්
  • දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු වැඩ කටයුතු වෙනුවෙන්
  • රාජකාරී කටයුතු වෙනුවෙන්
  • විනෝදාස්වාදය වෙනුවෙන්
  • පවුලේ සාමාජිකයන් වෙනුවෙන්
  • යහළු යෙහෙළියන් වෙනුවෙන් 

මේ ආකාරයට ඔබේ දෛනික කාර්යයන් කාලසටහනකට අනුව සිදු කිරීමේදී ආතතිය අවම කරගනිමින් ඉතා සතුටින් ඔබේ කටයුතු නිම කරගන්න ඔබට පුළුවන්. ඔබ අදම ඔබේ දවස වෙනුවෙන් වෙන් කර තබා ගත හැකි ආකාරයේ කාල සටහනක් සකසා ගැනීමට උනන්දු වෙන්න. සමහර විට ඔබ හදන පළවෙනි කාල සටහන අසාර්ථක විය හැකියි. දෙවෙනි තුන්වෙනි හතර වෙනි කාල සටහනත් අසාර්ථක විය හැකියි. නමුත් ඒ අත්දැකීම් අනුව යමින් ඔබ සකසන පස්වන කාල සටහන අනිවාර්යෙන්ම සාර්ථක වන බව මතක තබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)

කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,

ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7


                

ඔබේ දරුවාත් අත් යට, ඉකිලි නිතර නිතර කසනවා දැක්කොත් නොසලකා හරින්න එපා

පුතා හැම නිතරම වගේ මොනවා හරි අපහසුතාවයකින් ඉන්නවාද කියලා මට නිතරම හිතුණා. ඒ අතරේ තමයි මට මේ දරුවා නිතර නිතර ඉකිලි හරිය කසනවා නේද කියලා හිතුණේ. දැන් තරුණ දරුවෝ නිසා දෙයක් එකපාර අහන්නත් බෑ වගේ. ඒත් දරු‍වන්ගේ අපහසුතා ගැන අම්මලා තාත්තලා විදියට අපිට එයාලගෙන් අහන්නත් දරුවෝ විදියට දෙමාපියන්ට තමන්ගේ ඕනෙම දෙයක් කියන්නත් බැරි කමක් නැති නිසා මම පුතාගෙන් ඒ ගැන අහන්න හිතුවා.

පුතා මම දැක්කා ඔයා නිතරම වගේ  ඉකිලි හරිය කසනවා. ඇයි ඒ? ඔයා හොඳට පිරිසිදුවට ඉන්න දරුවෙක්නේ

ඔව් අම්මා.. දැන් ටික කාලයක් තිස්සේ මේක මට තියෙනවා. අපේ ටීම් එකේ කීපදෙනෙක්ටත් තියෙනවා. එයාලා ක්‍රීම් එකක් අරන් ඇවිත් තිබුණා. මමත් ඒක ගෑවා. ගෑවම අඩු වුණාට ආයේ එනවා.

අනේ අනේ පුතා.. අම්මට තාත්තට නොකිය එක එක්කෙනා දෙන බෙහෙත් ජාති පාවිච්චි කරන්නේ ඇයි ඔයා. අසනීපයක් තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක් හමුවෙලා බෙහෙත් ගන්න ඕනේ.. 

මේවා කියන්න පුළුවන්ද අම්මා ඩොක්ටර්ස්ලට..

ඒ මොකද බැරි.. හැම ලෙඩකටම ඩොක්ටර්ස්ලා ඉන්නවා‍. ‍ලෙඩ හැදෙන්නේ මිනිස්සුන්ට තමයි. ඉතිං ඒවාට බෙහෙත් ගන්න අපි ලැජ්ජ වෙන්න හොඳ නැහැ පුතා

අර අපේ ටීම් එකේ කසුන්ගේ ගෙදර අයටත් මේක හැදිලා. එයාලගේ මල්ලිගේ අගේ තැන් තැන් වල රතු පාට රෑෂ් එකක් වගේ ඇවිත්. ඒකේ හම ගැලවිලා යනවලු. හරියට කසන්නත් අරගෙන. එයාටත් මේ ක්‍රීම් එකම තමයි ගාලා තියෙන්නේ. ඒකට අඩු වෙලා ගිහින්. ඒ වුණාට නංගිගේ මූණේ ලප ආපු නිසා ඩොක්ටර් කෙනෙක් ලගට එක්ක යන්න ඕනේ කියලා කසුන්ගේ අම්මා කියලා තිබුණා.

බලන්න ඉතිං… වැඩිහිටියොත් ඔහොම නම් දේවල් කරන්නේ ඔයාලා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. 

එයාලගේ තාත්තට දියවැඩියාවත් තියෙනවා. තාත්තගෙත් මුළු ඇඟ පුරාම ලප හැදිලලු අම්මා.

මෙවැනි අවස්ථාවකදී අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කොහොමද කියලා බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැහැ. ලැජ්ජාව නිසා හෝ වෙලාවක් නැති නිසා හෝ ආර්ථික ප්‍රශ්න නිසා හෝ මෙවැනි තත්ත්ව වලට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම බොහෝ දෙනක් කල්දානවා. නමුත් ආසන්නම රජයේ රෝහලේ චර්ම රෝග සායනයට යොමු වුණොත් මේ තත්ත්වය මොකද්ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර මොනවද කියලා වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි. 

කසුන්ගේ නිව‍සේ අයට වැලදී තිබුණේ දිලීර රෝගයක් බව චර්ම රෝග සායනයේ වෛද්‍යවරු තීරණය කර තිබුණා. එයට ප්‍රතිකාර ලෙස ආලේපන වර්ගවලට අමතරව කරල් වර්ගයක් ලබා දී තිබූ අතරම ඒ සියලු දේ නොමිලේ රෝහල වෙතින් ලබා දී තිබීම අද පවතින ආර්ථික ගැටලු හමුවේ කසුන්ගේ මව්පියන්ට විශාල සහනයක් වී තිබුණා. 

දිලීර හේතුවෙන් ඇති වුණු මේ රෝග තත්ත්ව මොනවාද?

සමෙහි ඇතිවන දිලීර රෝග අතරින් රිංවර්ම් හෙවත් ටීනියා (ring worm/ Tinea) ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන රෝගය මේ දිනවල ඉතා සුලබව දක්නට ලැබෙනවා.

එයට අමතරව ඉතා සුලබ තත්ත්වයක් වන අලුහම් ඇතිවන්නේත් දිලීරයක් නිසායි. අලුහම් ඇතිකරන දිලීරය අපගේ සමෙහි ආරක්ෂාව සඳහා සාමාන්‍යයෙන් පවතින ක්ෂුද්‍ර ජීවීන්ගෙන්ම එකක්  නිසා සමහර අයට නිතර නිතරම අලුහම් ඇතිවීමේ අවදානමක් පවතිනවා. මෙනිසාමදෝ අලුහම් අතීතයේ සිටම රූප ශෝභාවේ අංගයක් ලෙස ගෝමර නමින් හැඳින්වුන අතර එයට ප්‍රතිකාර කළ යුතු ‍යැයි බොහෝ ශ්‍රී ලාංකිකයන් සිතන්නේ නැහැ.

ශ්ලේෂ්මල පටලවල (මුඛය සහ ලිංගාශ්‍රිත ප්‍රදේශවල) ඇතිවන දිලීර ආසාදන සාමාන්‍යයෙන් හටගන්නේ කැන්ඩිඩා නම් දිලීරය නිසා වන අතර මෙය ටීනියා ආසාදනයට වඩා තරමක් වෙනස් විය හැකියි. මෙහිදී මුඛය සහ දිවෙහි සුදු පැහැති පටලයක් ඇතිවීම, යෝනි මාර්ගයෙන් සුදු පැහැති ස්‍රාවයක් පිටවීම සමග කැසීම ඇතිවීම, පුරුෂ ලිංගය කෙළවර කැසීමක් සමග සම ගැලවී යාම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මෙවැනි ලක්ෂණ බොහෝ දුරට ඇතිවන්නේ දියවැඩියාව, ප්‍රතිශක්තියට බලපෑම් ඇතිකළ හැකි රෝග වැනි රෝගවලින් පෙළෙන අයටයි.

ටීනියා ආසාදන යනු මොනවාද?

ටීනියා ආසාදන ඇති වන්නේ සමෙහි මතුපිට ස්ථරය තුළ වර්ධනය වන දිලීර විශේෂයන් නිසායි. මෙම දිලීර වලට සම, හිසකෙස් සහ නිය යන සමෙහි අංග සියල්ලෙහිම ආසාදන ඇති කළ හැකි නමුත් වඩාම කරදරකාරී වන්නේ සමෙහි දිලීර ආසාදනයි. සාමාන්‍යයෙන් ශ්ලේෂ්මල පටලවල මෙම ආසාදනය ඇතිවන්නේ නැහැ. මෙම ආසාදන ස්පර්ශය මගින් අයකුගෙන් තව අයකුට බෝවීම සිදුවන අතර, ඇඳුම් සහ සමෙහි ස්පර්ශ වන වෙනත් ද්‍රව්‍ය මගින්ද බෝවීම සිදු විය හැකියි.

රෝග ලක්ෂණ 

සම මතුපිට රතු පැහැති කසන ලප ලෙස හටගන්නා මෙම ආසාදනය බොහෝ විට ඉකිලි, කිහිලි වැනි දහදිය දැමීම වැඩිපුර සිදුවන ස්ථාන වල පළමුව හටගත හැකියි. පසුව ශරීරයේ ඕනෑම ස්ථානයකට පැතිරිය හැකි වන අතරම මුහුණ, කන් වැනි ස්ථාන වල ඇති වූ විට හඳුනා ගැනීම තරමක් අපහසුයි.

ශ්‍රී ලංකාවේ චර්ම රෝග සායනවල ප්‍රතිකාර කරන රෝග තත්ත්ව අතුරින් දෙවැනියට සුලබම රෝග තත්ත්වය වන්නේ දිලීර ආසාදනයි. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ටීනියා ආසාදන ඇතිකරනු ලබන දිලීර ප්‍රභේදයේ වෙනසක් සිදුව ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. එයට අමතරව මෙම දිලීර සුලබව භාවිත වන දිලීර නාශක ඖෂධ වලට ප්‍රතිරෝධී වීමක් සිදුවී තිබේද යන්න පිලිබඳව පර්යේෂණ මේ වනවිට සිදුවෙමින් පවතිනවා. මෙම රෝගය ඉතා දීර්ඝ කාලයක සිට පවතින රෝගයක් වුවද කරදරකාරී වසංගතයක් ලෙස පැතිරී යන බවක් මෑතකදී දැකගන්නට ලැබුණා. 

ටීනියා ආසාදනය වසංගතයක් ලෙස පැතිරී යාමට හේතු

  • නිවැරදි ප්‍රතිකාරයකට යොමු නොවී නොයෙකුත් ආලේපන වර්ග භාවිතා කිරීම
  • යන්තම් සුවයක් දැණුනු වහාම ප්‍රතිකාර නවත්වා දැමීම 
  • කෘත්‍රිම රෙදිවලින් නිම කළ තද ඇඳුම් භාවිතය
  • පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව සැලකිලිමත් නොවීම
  • ඇඳුම් හවුලේ භාවිතය 

ඔබටත් ඉහත දැක් වූ රෝග ලක්ෂණ ඇත්නම්, 

  • චර්ම රෝග සායනයකින් හෝ චර්ම රෝග වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.
  • හිතුමතේ “කසනවාට බෙහෙතක්” ලෙස ෆාමසිවලින් ආලේපන වර්ග ලබා පාවිච්චි නොකරන්න (බොහෝ විට එවැනි ආලේපනවල ස්ටෙරොයිඩ වර්ග අඩංගු වන අතර ඒවා භාවිත කිරීමෙන් රෝග ව්‍යාප්තිය වේගවත් වීමත් රෝගය හරිහැටි හඳුනා ගැනීමට අපහසු වීමත් විය හැකියි) 
  • වෛද්‍යවරයා ලබා දෙන ආලේපන ලපය මතුපිට පමණක් නොව එය අවට අඟලක් පමණ ප්‍රදේශයකත් ආලේප කරන්න
  • වෛද්‍ය උපදෙස් අනුව අදාල වාර ගණන ආලේපන පාවිච්චි කරන්න
  • වෛද්‍යවරයා ලබා දෙන පෙති හෝ කරල් නියමිත කාලය තුළ භාවිත කරන්න. (සුවයක් දැනුනද සමෙන් රෝග කාරක දිලීර ඉවත් වීමට යම් කාලයක් ගත වන නිසා බොහෝවිට ප්‍රතිකාර ලබා ගත යුතු මුළු කාලය සති හයක් පමණ විය හැක)
  • ඇඳුම් අන්‍යයන් සමග මාරු කරමින් ඇඳීමෙන් වළකින්න
  • ඔබගේ ඇඳුම් වෙනම සෝදන්න. අන් අයගේ ඇඳුම් සමග එකට දමා සේදීමෙන් වළකින්න (ඇඳුම් සහ තුවාය නටන ජලයේ තම්බා/ තද අව්වේ වියලා/ තද රස්නයෙන් මැදීම වැනි ක්‍රියා මගින් ඇඳුම්වල තැවරී ඇති දිලීර ඉවත් කරගත හැක)
  • එක් අයෙකුට ලබා දුන් ඖෂධ හවුලේ පාවිච්චි කිරීමෙන් වලකින්න (පවුලේ කිහිප දෙනෙක්ම රෝගී වී ඇත්නම් සියලු දෙනාටම ප්‍රතිකාර ලබාගන්න. ගර්භණී/කිරිදෙන මවක් නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න)
  • දියවැඩියාව, ප්‍රතිශක්තියට බලපෑම් කරන රෝග ඇත් නම් ඒවා නිසිලෙස පාලනය කරගන්න.

දිලීර හේතුවෙන් ඇති වන ආසාදන බිය විය යුතු රෝග තත්ත්වයන් නොවේ. හිතුමතේ ආලේපන වර්ග භාවිත නොකොට නිසි වෛද්‍ය උපදෙස් හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පූර්ණ සුවය ලබා ගත හැකිය. එසේම ඔබ, ඔබේ පෞද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

බිලිඳු වි‍යේ සිටම දරුවාගේ කථන හා ප්‍රකාශන හැකියාවන් දියුණු කරන්‍නේ කොහොමද?

මොකද මේ අම්මයි බබයි දෙන්නම සද්ද දාන්නේ… දරුවා බය වෙයි..

අනේ නෑ අම්මේ… අපි එහෙම කළාම තමයි බබත් ඒවා ඉගෙන ගන්නේ…

අනේ දරුවෝ ඔය පුංචි පැටියට තේරෙනවද ඔයා ඔය කරන දේවල්….

මොන පැහැදිලි කිරීම් කළත් අම්මා එක්ක තර්ක කරලා දිනන්න බැරි නිසාම මේ ගැන හරියටම දන්න කෙනෙක්ගෙන් දැනගන්න ඕනේ කියලා සමන්තිට හිතුණා. 

වයස අවුරුද්දට අඩු දරුවෝ ඒ වගේම තාමත් හරි විදිහට තනි වචන පාවිච්චි නොකරන හෝ තාමත් ශබ්ද උච්චාරණය කරමින් වාචික ප්‍රකාශන කරන දරුවන්ගේත් කථන හා ප්‍රකාශන හැකියාවන් දියුණු කරන්නට අපිට කළ හැකි දේ වගේම දරුවන්ට වචන හඳුන්වා දීම ගැනත් දරුවන්ට වාක්‍ය සෑදීමට කියා දෙන ආකාරය ගැනත් මව්පියන් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි.

වචන කතා නොකරන ඒත් ශබ්දවලින් තම ප්‍රකාශන ඉදිරිපත් කරන දරුවන්ගේ වාචික හැකියාවන් දියුණ කරන්නට මවට පියාට කළ හැකි ක්‍රියාකාරකම් 

  1. මිරර් නියුරෝන්ස්

ඔබේ පුංචි පැටියාට ඔබේ මුහුණත් ඔබට පුංචි පැටියාගේ මුහුණත්  පෙනෙන සේ තබාගන්න. ඉන්පසු මුහුණේ ඉරියව්, දෑත් යොදා ගනිමින් නොයෙක් ආකාරයේ චලනයන් සිදු කරන්න.

උදාහරණ ලෙස බෘම් බෲම් කියද්දී ඔබේ තොල් සෙලවෙන ආකාරය, දෑත් සොලවන ආකාරය ඒ වගේම දිව පිටතට දැමීම සහ ඇත්ළට ගැනීම. ඒ අවස්ථාවේ ඔබට දෑස් විවර කිරීම හා වසා ගැනීමත් එයට සමාන්තරව කළ හැකියි‍. දෑත් චලනය කළ හැකියි. ඒ වගේම දරුවාගේ මුහුණ, අත් කිචි කැවීම ඔබට කළ හැකියි. එසේ කිචි කවන අතරේ ශබ්ද සෑදිය හැකියි. මෙවැනි දේ දකින දරුවා ඒවා අනුකරණය කිරීමට පෙළඹෙනවා. මේ අනුකරණයන් හරහා මුල් අවධියේ සිට වචන හදන මට්ටම දක්වා දරුවෙකු ගෙන යාමට සවිමත් අත්වැලක් සැපයෙනු ඇත.

  1. දරුවාව අනුකරණය කිරීම

දරුවා විසින් කරන ශබ්ද ඉරියව් මව/පියා අනුකරණය කිරීමයි. දරුවා ආාාාා කියන විට මව/පියා ද එය අනුකරණය කරන විට තමා කරන දේ මව/පියාත් කරන බව දරුවා වටහා ගන්නවා. එසේ නම් මව/පියාගේ ක්‍රියාකරකම් තමාද අනුකරණය කළ යුතු බවක් දරුවා ට දැනෙනවා. මේ ක්‍රියාව ආරම්භ කොට සතියක් දෙකක් ගත වන විට ඉතා හොඳ ප්‍රතිඵල ඔබට දැක ගත හැකියි. 

  1. දරුවාගේ ශබ්දවලින් වාක්‍ය ගොඩනැගීම

දරුවා අප දෙස බලා සාදන ශබ්ද යොදා ගෙන යම් රටාවකට අනුව වාක්‍යයක ආකාරයට විලාසය වෙනස් කරමින් ඉදිරිපත් කරන විට එය අර්ථවත් වාක්‍යයක් නොවුණත් දරුවා එය අනුකරණයට පෙළඹෙනවා. 

  1. දරුවා සමග ගීත ගැයීම 

ශබ්ද උච්චාරණය කරන අවධියේ සිටින දරුවෙකුට සුදුසු ගීත අපි තෝරා ගත යුතුයි. දොයි දොයි දොයි බබා වැනි එකම ශබ්දය කීප වතාවක් කියවෙන ගායනා වල විශාල අර්ථයක් නැති වුවත් ශබ්ද උච්චාරණය කරන අවධියේ සිටින දරුවාට ඒ හැකියාව වඩාත් දියුණු කිරීමට හැකියාව ලැබෙනවා.

ශබ්ද උච්චාරණය කරන අවධියේ සිටින ඔබේ දරුවා ක්‍රමක්‍රමයෙන් වචන හඳුන්වා දිය යුතු කාලයට එළැඹෙන විට වචන හඳුන්වා දී ම ඉතා වැදගත් වන්නේ ඉන් ඉදිරියට දරුවා කතා කිරීමට පටන් ගන්නා නිසාය. කතා කිරීමට නම් දරුවා වචන දැන සිටිය යුතු නිසයි. 

ඔබේ දරුවාට අලුත් වචන හඳුන්වා දීමේදී සැලකිලිමත් විය යුතු සුවිශේෂී කරුණු මොනවාද?

  • කුතුහලය දැන වීම

අපි කොයි කවුරුත් වැඩිහිටි/බාල/මහලු භේදයකින් තොරව කුතුහලයක් ඇති වෙද්දි අවධානයෙන් යුතුව ඒ දිහා බලනවා.  අපි අපේ දරුවන්ට අලුත් වචන හඳුන්වලා දෙද්දීත් කළ යුතු මූලිකම දේ වන්නේ කුතුහලය  කුතුහලය ඇති වෙන විදියට ක්‍රියාකාරකම් ආරම්භ කළ යුතුයි. 

උදාහරණයක් ලෙස සෙල්ලම් බඩුවක් හෝ දරුවා ආස කරන වෙනත් යමක් දරුවාට නොපෙන්වා අද මගේ ළග හොඳ දෙයක් තියෙනවා. අපි බලමු මොකද්ද ඒ කියලා… බබා ආසයිද? මේ මොකද්ද මේ… දරුවාට ඒ දෙය නොපෙන්වා සිටින තුරු දරුවා ඒ ගැන කතුහලයෙන් සිටිනවා. ඒ ගැන සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා. ඉන් පසුව දරුවාගේ සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු වූ පසුව එය දරුවාට පෙන්වීමට ඔබට හැකියි. නමුත් අපි සමග වාඩි වී සිටින අතරේ අද මොකද්ද අඳුන්වලා දෙන්නේ… ආ මෙන්න බබා තාරාවෙක් කියා හඳුන්වා දීම අසාර්ථකය. මන්ද එහිදී දරුවාගේ අවධානය හඳුන්වා දෙන දෙය කෙරේ යොමු වී නැත. ඒ නිසා අලුත් වචනයක්, දෙයක්, පින්තූරයක් අලුතෙන් හඳුන්වලා දෙන විට දරුවා තුළ කුතුහලය ඇති කරවා අවධානය දිනාගනිමින් ඉතා සරලව නමුත් නිවැරදි වචන (දරුවෙකුට නිවැරදිම වචනය හඳුන්වා දිය යුත්තේ කුමන කා‍ලයේදී යන්න පිළිබඳව අවබෝධයක් නොමැති නිසා කුඩා වියේ සිටම නිවැරදිම වචන භාවිතය වඩාත් සුදුසු වේ) යොදා ගනිමින් හඳුන්වා දීම ඉතා වැදගත් වේ. 

ඒ ආකාරයට ක්‍රමයෙන් දරුවාට ඔබ සඟවා සිටින දෙය පෙන්වීමටත් එය කුමක්දැයි කියා හඳුන්වා දිමටත් හැකි වනු ඇත. මේ මොකද්ද මේ   ආව්.. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි. එ් ආකාරයට දරුවාට එක වචනයක් හඳුන්වා දීමට ඔබට හැකියි. ඇතැම් විට මේ වචනය බර වැඩිය කියා ඔබට සිතෙයි. නමුත් දරුවා එය තමාට හැකි අයුරින් ප්‍රකාශ කරනු ඇත. මව්පියන් ලෙස අප කළ යුත්තේ නිවැරදිව සෙමින් සරලව වචන හඳුන්වා දීම පමණයි. 

  • අංග චලන/මුහුණේ යොදා ගැනීම

අංග චලන/මුහුණේ ඉරියව් යොදා ගනිමින් අදාල දුව්‍යය සමග සම්බන්ධ කළ හැකි අනෙක් වචන මොනවාද කියා දරුවාට අවබෝධ කළ යුතුය.

ස්ට්‍රෝබෙරි … රතු පාටයි නේ.. 

මොන පාටද? ඒක රතු පාටයි.

හරි සුවඳයි

හරිම රසියි නේද?

රසම රස ස්ටෝබෙරි එකක් 

ඒ ආකාරයට දරුවා සමග කතා කිරීමට අපිට හැකියි. ආයාසයකින් තොරව වචනයෙන් වචනය ඉතා සරලව දරුවාට හඳුන්වා දීමට ඔබට හැකියි. එක වචනයක් හඳුන්වා දී ඒ හා බැ‍ෙඳන අනෙක් වචන සරලව මුහුණේ ඉරියව් සමග තේරුම් ගත හැකි ආකාරයෙන් කියා දීමෙන් ක්‍රියාකාරකම වෙත දරුවාගේ අවධානය හොඳින් යොමු වනු ඇත.

ක්‍රියාකාරකම තුළ දරුවාගේ අවධානය රඳවා ගන්නේ කෙසේද?

  • මව/පියා ද දරුවාගේ වයසට ගමන් කිරීම

ඇතැම් දරුවෝ යම් ක්‍රියාකාකමක රඳවා ගත හැකි වන්නේ ඉතා කෙටි කාලයකි. එයට හේතුව ක්‍රියාකාරකම අප විසින් සිදු කරන ආකාරයයි. අපි වැඩිහිටියන් ලෙස මේ ක්‍රියාකාරකම් කළොත් දරුවා එයට ප්‍රියතාවයක් දක්වනනේ නැත‍. නමුත් වැඩිහිටියන්ද දරුවෙකුගේ මට්ටමට යමින් ආදාල ක්‍රියාකාරකමේ යෙදේ නම් දරුවා එහි රඳවා ගැනීම අපහසු නොවේ. අන්න එවිට ස්වභාවිකම වචන හඳුන්වා දීම සිදු කළ හැකියි. 

  • එකම වචනය නැවත නැවත හඳුන්වා 

උදේට එක වචනයක් දවල්ට තව වචනයක් රෑට තවත් වචනයක් ලෙස හඳුන්වා දීමට ගියහොත් දරුවා එකම වචනයක් හෝ නිවැරදිව ධාරණය කර නොගනු ඇත. අන්න ඒ නිසා මේ අවස්ථා තුනේදීම එකම වචනය යොදාගන්න. ඒ ආකාරයෙන් සතියක් මුළුල්ලේම වුවත් දරුවාට ඒ වචනය යොදා ගැනීමට ඔබට හැකියි. එවිට දරුවාට ඒ වචනය මතකයේ රඳවා ගැනීමටත් නැවත නැවත භාවිත කරන්නටත් උපරිම හැකියාවක් ලැබෙනු ඇත. 

  • දරුවාට හඳුන්වා දුන් වචන එදිනෙදා යොදා ගැනීම

ඔබ හඳුන්වා දෙන පළතුර හෝ එළවළුව ගෙදර ක්‍රියාකාකරම් ඇතුලේම දරුවට හඳුන්නවලා දෙන්න.

මේ බලන්න ස්ට්‍රෝබෙරි…තාත්තා ගෙනැත්… හරිම රසයි.

මේ වන විට රසයි කියන වචනය ඕනෑම තැනකදී යොදාගත හැකියි. මේ බලන්න අද අම්මා රසම රස කේක් එක්ක හැදුවා… ඒ ආකාරයට ඒ වචනය තවත් තවත් තැන් වලදී භාවිත කරන්න

දරුවාගේ ඇදුමේ ස්ට්‍රෝබෙරි ගෙඩියක රෑපයක් තිබේ නම් මේ මොකද්ද මේ…. ස්ට්‍රෝබෙරි…. රතු පාටයි. 

මේ පියවර කිහිපය සරලව මෙසේය.

  1. කුතුහලය සමගින් ක්‍රියාකාරකම් හඳුන්වා දීම
  2. වටහා ගැනීමට පහසු වන සේ සරලව වචන හඳුන්වා දීම
  3. එම වචනවලට අදාල හැඟීම් මුහුනේ ඉරියව්, අංග චලනවලින් (දරුවාගේ සම්පූර්ණ අවධානය රඳවා ගනිමින්) පෙන්වීම
  4. එක ක්‍රියාකරකමක් නැවත නැවත සිදු කර නැවත නැවත භාවිතයට (වචනයක් හදුන්වා දුන් විට ඒ හා බැදුණු අනෙක් සියලුම අවස්ථාවලදී ඒ වචන නැවත නැවත භාවිත කළ හැකියි) ) අවස්ථාව ලබා දීම 

මෙසේ තනි වචන ඉගෙන ගන්නා දරුවා ක්‍රමයෙන් වාක්‍ය කාතා කරන අවධියට ළඟා වෙනවිට දරුවාට වාක්‍ය තැනීමට වැඩිහිටි අප සහය විය යුතුය. තනි වචන කතා කරන දරුවන්ට වාක්‍ය කතා කිරීමට සහය ලබා‍දීමේදී සැලකිලිමත් විය යුතු පුධානම කරුණ දරුවාගේ වචන මාලාවයි. වාක්‍ය කතා කරන්න නම් දරුවාගේ වචන මාලාව පුළුල්ව පැවතිය යුතුයි. එම නිසා දරුවාගේ වචන මාලව දියුණ කළ යුතුයි.

දරුවෙකුට වාක්‍යයක් සෑදීමට වචන දෙකක් අවශ්‍ය වන අතර ඒ වචන දෙක එක්කෝ නාම පද දෙකක් විය හැකි වන අතරම එක්කෝ නාම පදයක් සහ ක්‍රියා පදයක් විය හැකියි‍. මේ වර්ග දෙකේම වාක්‍ය සඳහා දරුවා‍ගේ වචන මාලාවේ නාම පද මෙන්ම ක්‍රියාපද ද තිබිය යුතුය. දරුවාගේ වචන මාලාවට විවිධ වූ ක්‍රියා පද අදාල ක්‍රියාව සමගින්ම (කද්දි – කනාවා, බොද්දි – බොනවා) හඳුන්වා දීමට ඔබට හැකියි. 

තනි වචන කතා කරන දරුවෙක් නම් එයට තව වචනයක් එකතු කර දරුවා පියවරක් ඉදිරියට ගෙන යමින් කුඩා වාක්‍යයක් සෑදිය හැකියි

කෝ‍ප්පේ – තාත්තාගේ කෝප්පය/බබාගේ කෝප්පය/අම්මාගේ කෝප්පය. ඇතැම් විට බබා‍ගේ කියන වචනය නොමැතිව අම්මා කෝප්පය/තාත්තා කෝප්පය/බබා කෝප්පය ලෙස වචන දෙකේ වාක්‍ය කණ්ඩය ඇරඹිය හැකියි. මේ වයස් සීමාවේ දරුවෙකු කතාවත් සමග විවිධ අත්දැකීම් ලබා ගන්නා අතරම එවැනි සුළු සුළු අතපසු වීම් නොසලකා හැරිය යුතුයි. 

නාම පද සහ ක්‍රියා පද සහිතව වාක්‍ය  සෑදීමේදී ක්‍රියා පදයට දරුවා දන්නා නාම පදය එක් කර වාක්‍ය සැකසීමට සහය විය හැකියි. 

කනවා – බබා කනවා. අම්මා කනවා. තාත්තා කනවා

වචන තුනේ වාක්‍ය සැකසීමට දරුවාට සහය වීමේදී බබා කනවා කියන වාක්‍යය තුළට කන්නේ මොනවාද යන්න  ඇතුළත් කර බබා බත් කනවා ලෙස වචන තුනේ වාක්‍යයක් සකස් කළ හැකියි. 

දරුවෙකුට තනිව වාක්‍ය සෑදිය නොහැකියි. අපි දරුවාගේ පුංචි ප්‍රශ්න අසා ඒවාට දරුවා ලබා දෙන පිළිතුරු එක් කරමින් වාක්‍ය සෑදීමට හුරු කළ යුතුයි. මව්පියන් මතක තබා ගත යුතු ප්‍රධානම කරුණ වන්නේ දරුවාගේ වචන මාලාව දියුණු කළ යුතු පවයි. වාක්‍ය සෑදීමට අවශ්‍ය  ප්‍රමාණයට වචන දරුවා දැන සිටිය යුතුයි. 

එසේම සැමවිටම දරුවා සමග කතා කිරීමේදී කෙටි/සරල/නිවැරදි වචන/ කෙටි වාක්‍ය යොදා ගනිමින් දරුවා සමග කතා කිරීමේදී දරුවාට එය ග්‍රහණය කරගැනීමට පහසු වනු ඇත. කෙටි වාක්‍ය අඩු වේගයෙන් දරුවා සමග කතා කිරීම සාර්ථකව වාක්‍ය සෑදීමේ හැකියාව දරුවාට ලැබෙනු ඇත.

 


විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර සී වීරරත්න (PhD, UoC)

කථන-භාෂා ව්‍යාධිවේදී (SLMC, MAHC),
කථිකාචාර්ය,
ඇමරිකානු NLP මණ්ඩලයේ සහතික ලත් ස්නායු භාෂාමය වැඩසටහන්කරණය (NLP) පිළිබඳ වෘත්තීයවේදී,
සහතික ලත් අධිවේගී ඉගෙනුම් පුහුණුකරු,
සහතික ලත් පෞරුෂ සංවර්ධන පුහුණුකරු,
සහතික ලත් මෘදු කුසලතා පුහුණුකරු,

ප්‍රධාන විධායක නිලධාරී, සම-නිර්මාතෘ,
ද බ්‍රිජ් ජාත්‍යන්තර ආයතනය,
කොළඹ 7


                

ලෙග් ක්‍රෑම්ප්ස් නිසා ගැබිනි ඔබ අපහසුවෙන්ද?

මොකද දුව අමාරුවෙන් වගේ ඇවිදින්නේ?

අනේ මන්දා අම්මේ.. රෑට කෙණ්ඩ පෙරලෙනවා. වේදනාව ඉවසගන්න බෑ

ඔය කාලෙට ඔහොම තමයි..

ඉන්න මම උණු වතුර ටිකකින් තවලා බාම් ටිකක් ගාන්න

ඔයා පේරන්ටින් වෙබ් සයිට් එක බැලුවේ නැද්ද? මේ ලෙග් ක්‍රෑම්ප්ස්වලට ෆිසියෝතෙරපි ට්‍රීට්මන්ස්  තියෙනවා කියලා ආටිකල් එකක් තිබුණා. අනික මේ කාලේ අනවශ්‍ය විදියට වේදනා නාශක ගන්න හොඳත් නෑනේ දුව..

අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි නේද අම්මේ

ඒක නම් ඇත්ත. මොනවද අම්මේ ඒ ආර්ටිකල් එකේ තිබුණේ…

ප්‍රෙග්නන්ට් අම්මලා ගොඩ දෙනෙක්ට මේ ලෙග් ක්‍රෑම්ප්ස් තියෙනවා තියලා ඒකේ තිබුණා. මට මතකයි ඔයා ලැබෙන්න ඉද්දිත් මටත් කෙණ්ඩ පෙරලුණා. මම දන්නවා වේදනාව කොයි තරම්ද කියලා. 

ගැබිනි කාන්තාවන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයක් වන මේ කෙණ්ඩා පෙරලීම සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවන් දහ දෙනෙක් ගත්තොත් තුන් දෙනෙකුට පමණ ඇති විය හැකියි. මාංෂ පේශීය කෙටි වීම සහ තද වීම නිසා මාංෂ පේශීවල ක්ෂණිකව ඇති වෙන තියුණු වේදනාව කෙණ්ඩා පෙරලීම නමින් හඳුන්වනවා. සාමාන්‍යයෙන් මේ වේදනාව තත්පර කීපයක සිට විනාඩි දහයක් පමණ ගත වන තුරු තිබිය හැකියි. 

ප්‍රෙග්නන්ට් අම්මලාටම වැඩි පුර මේක වෙන්නේ ඇයි? මේ කාලෙදි අපි ඉන්නේ කොයි තරම් අමාරුවෙන්ද අම්මේ…

ඒක ඇත්ත. ඒත් ඒ ආටිකල් එකේ තිබුණු විදියට බත් කෙණ්ඩ විතරක් නෙවෙයි කළව හරියේ වගේම බඩේ මාංෂ පේශීත් පෙරෙනවලු. වැඩි පුරම වෙන්නේ නම් බත් කෙණ්ඩේ කියලා තමයි තිබුණේ.

අනික අම්මේ රෑට කෙණ්ඩ පෙරලුණාම එතන ඉඳලා නින්දක් නැහැ, වේදනාව නිසා. ආයේ ආයේ කෙණ්ඩ පෙරලෙයි කියලම බයෙන් තමයි මම නම් ඉන්නේ.

ඔව් දුව දැන් ඔයා ඉන්නේ බබා ලැබෙන්න දින ළග පැත්තටනේ. ඉතිං වේදනාව තිබුණට මේ අත්දැකීම් සාමාන්‍යයි. ඉවසගෙන ඉන්නම වෙනවා. මොකද දැන් ඔයාගේ බර එන්න එන්නම වැඩි වෙන නිසා කෙණ්ඩ පෙරලෙන්න බලනවා වැඩි ඇති. අනික වමනේ නිසා කෑම එහෙමත් හරියට ඇඟට වැටුණේ නෑනේ.. වතුර පෙවුණත් අඩුයි.

දැන් නං මට කකුල තියලා කකුල ගන්නත් බයයි. 

එහෙම බෑ දුව.. හොඳට ඇවිදලා කරලා ඉන්න ඕනේ මේ කාලේ.

ගැබිනි සමයේ දෙවන හා තෙවන ත්‍රෛමාසිකය තුළ මව්වරුන් මේ වේදනාකාරී අත්දැකීමට බහුලව මුහුණ දෙනවා විය හැකියි. ගැබිනි කාන්තාවන් මේ තත්ත්වයට ඇති වීමට හේතු මොනවාද?

  • බර වැඩිවීම 

දෙවන හෝ තෙවන ත්‍රෛමාසිකය ගත කරන මව්වරුන්ගේ බර වැඩි වීමත් සමගම මෙසේ කෙණ්ඩා පෙරලීම ඇති විය හැකියි. එයට ප්‍රධානතම හේතුව වන්නේ එයයි. එනම් බර වැඩිවීමයි. මවගේ බර වැඩි වන කාලය තුළ ඇයගේ පාදයේ රුධිර නාල, මාංශ පේශීන් වල ස්නායු වලට විශාල පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා නිසා ආපස්සට රුධිර ගමන් කිරීම අවම වන අතරම ඒ අඩු වීමත් සමග කෙණ්ඩා පෙරලීම ඇති වෙනවා. 

  • විටමින් ඌනතා‍

මැග්නීසියම්, කැල්සියම් විටමින් B සහ විටමින් C දේ අඩු වීම කෙණ්ඩා පෙරලීමට හේතු වෙනවා.

  • අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වීම

ගැබිනි මවක් අනවශ්‍ය ලෙස සිටගෙන සිටීම/ව්‍යායාමවල යෙදීම/වැඩ කිරීම නිසා මේ තත්ත්වය ඇති වීමේ අවදානම වැඩියි. 

  • ක්‍රියාකාරී නොවීම

ගැබිනි සමයේ කාන්තාවන් එක තැනකට වී ක්‍රියාශීලී නොවන දිනචර්යාවක් තුළ කටයුතු කිරීම මේ තත්ත්වයට හේතුවක් විය හැකියි. 

  • විජලනය

ගැබිනි මව ලබා ගන්නා ජලය ප්‍රමාණය අවම වීම කෙණ්ඩා පෙරලීමට හේතුවන බව සැක කරනවා.

කෙසේ වුවත් මේ තත්ත්වයට නිශ්චිත හේතුවක් මෙතෙක් අණාවරණය වී නොමැති බව කිව යුතුමය.

ගැබිනි මවක් මේ තත්ත්වය වළක්වා ගන්නේ කෙසේද?

  • නින්දට පෙර බත් කෙණ්ඩ මාංශ පේශිය සඳහා දිග ඇදුම් ව්‍යායාම කරන්න
  • දිනකට අවශ්‍ය ජල පරිමාව ලබාගන්න
  • උණුසුම් ස්නානයක් ලබාගන්න
  • සමබල ආහාර වේලක් ලබාගන්න

මේ වේදනාව අඩු කරගන්න විදියක් ඒ ආටිකල් එකේ තිබුණේ නැද්ද අම්මා… 

ෆිසියෝතෙරපි ට්‍රීට්මන්ස්  ගැන තමයි කියලා තිබුණේ. අපිට පුළුවන් ෆිසියෝතෙරපිිස්ට් කෙනෙක් හමු වෙලා මේකට උපදෙස් ගන්න.

කෙණ්ඩා පෙරලීම හා සම්බන්ධව ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර මොනවාද?

ගැබිනි කාන්තාවන් කෙණ්ඩා පෙරලීම ගැන පැමිණිලි කරද්දී අපි ඔවුන්ට ඒ සඳහා කළ යුතු දිග ඇඳුම් ව්‍යායාම පිළිබඳව දැනුවත් කරනවා. ඊට අමතරව අදාල මාංෂ පේශිය පෙරලෙන අවස්ථාවේදී කළ යුතු දේ පිළිබඳව දැනුවත් කරනවා. ඇවිදීම ක්‍රමානුකූලව, ප්‍රමාණාත්මකව කළ යුතු ආකාරය ගැන දැනුවත් කරනවා. එසේම වේදනාව අවම කර ගැනීම සඳහා තාප ප්‍රතිකාර ක්‍රම වගේම අයිස් මගින් කරන සම්භාහන ගැන දැනුවත් කරනවා. 

ඒ ලිපියේ අන්තිමට තිබුණා, කෙණ්ඩේ වේදනාව රුධිර කැටියක් තියෙන බවට සාක්ෂියක් වෙන්න පුළුවන්ලු. හැබැයි රුධිර කැටියක් තියෙනවා නම් වේදනාව විනාඩි 10කට වඩා වැඩි කාලයක් තියෙනවත්ලු. ඊට අමතරව රතුවෙලා, ඉදිමිලා එතන රස්නෙයි නම්  වෛද්‍ය උපදෙස් ගන්න කියලා. උදර මාංෂ පේශී වල මස්පිඪු පෙරලෙන එක සාමාන්‍ය උනත් දිගටම තියෙනවා නං වෙන ලෙඩක් නිසා එහෙම වෙන්න පුළුවන් කියලා ඩොක්ටර්ව හමු වෙන්න කියලා තමයි තිබුණේ.

අනේ මන්දා අම්මේ මට නං බයත් හිනතනවා

අයියෝ දරරුවෝ මොකටද බය වෙන්නේ… එක පාරක් දෙකක් කෙණ්ඩ පෙරලෙන එක ඕනෙම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට වෙන්න බැරි නැහැ. 

ඒ නිසා අපි බය නැතිව අපි මේකට මුහුණ දෙමු. දැන් ඔයා අම්මා කෙනෙක් වෙන්නනේ යන්නේ. හිත ටිකක් ශක්තිමත් කරගන්න ඕනේ. තේරුණාද?

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

සුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි

කාසල් වීදිය කාන්තා රෝහල

කොළඹ 08

 

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබාදීමට ඔබ අකමැති මේ නිසාද?

පුංචි දරුවෝ මල් වගේ කියලා අපිට හිතුනට එහෙම නොහිතෙන පිරිසකුත් අපේ සමා‍ජයේ ඉන්නවා. අන්න ඒ නිසයි පුංචි මල් කකැළු පරවෙලා යන්න පටන් අරන් තියෙන්නේ. පසුගිය කාලය පුරාම දරුවන්ට අපයෝජනය ලක් කිරීම, අපයෝජනය කර මරා දැමීම් වාර්තා වුණා ඔබට මතක ඇති. අද වෙද්දී අන්න ඒ විදියට ළමා අපයෝජන අහන්න ලැබෙන අවස්ථා වැඩි වෙලා. ගැහැනු පිරිමි භේදයකින් තොරව අපේ දරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා, අපයෝජනයට ලක් වෙනවා. ඒ කෙසේ වෙතත් ඇතැම් දරුවන්ට තමා අපයෝජනයට ලක් වෙනවාද යන්න පිළිබඳවවත් දැනීමක් නැහැ. ඔවුන් ඒ බව දැනගන්නේ තමන් වැඩිහිටි වූ විටයි. තමන්ට සිදුවෙන දෙයක් අඩු තරමේ ගෙදර ඇවිත් අම්මා තාත්තා සමග කියන්නවත් දරුවෙක් ඒ දෙය නුසුදුසු දෙයක් බව දන්නේ නැහැ. මෙවැනි වටපිටාවක දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන්ට ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වෙනුවෙන් දෙමාපියන් කළ යුත්තේ මොනවාද කියා සිතා ගත නොහැකි වුවත් දරුවන් අනාරක්ෂිත වෙන්න ඉඩ දී බලා සිටින්නත් නොහැකියි. මෙතැනදී දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් උනන්දු විය යුතුයි.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ද? එය දරුවන්ට ලබා දිය යුතුද ? 

ලිංගික අධ්‍යාපනය කියන්නේ වඩාත් පුළුල් පරාසයක් තුල පැතිරුණු බොහොමයක් පැතිකඩ ඇති විෂයක්. දරුවෙකුට නිවැරදි දැනුම ලබාදීමට වගේම දරුවාගේ ආරක්ෂාවටත් ලිංගික දැනුම ලබාදීම බොහොම වැදගත්.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ කොහොමද?

අපේ ඇතැම් වැඩිහිටියෝ ලිංගික අධ්‍යාපනය කියන වචනයටත් බයයි. ඒ විෂය අදාල වැඩිහිටියන්ට පමණක් බව සිතමින් ඔවුන් කටයුතු කරනවා. ඒත් තමන්ගේ පවුලේ සාරධර්ම වලට අනුව තමන් විශ්වාස කරන සංස්කෘතියට අනුව අපට පුළුවන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න. 

ලිංගික දැනුම සම්බන්ධව දරුවෙකුට අවබෝධ කළ යුත්තේ මොනවාද?

වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් ලිංගික අධ්‍යාපනය කුඩා වියේදීම දරුවාට ලබා දිය යුතුයි. දරුවාගේ වර්ධනයත් එක්ක අවුරුදු දෙක වෙද්දි තම ශරීරය අවයව හඳුනා ගන්නවා. ඒ අවස්ථාවේ සිට තමන්ගේ ශරීර අවයව, ලිංගික අවයව හඳුනා ගැනීම සිදු වෙනවා. වයස අවුරුදු තුන පමණ වෙද්දි තමන් ගැහැනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා දරුවාට අවබෝධ වෙනවා. සමාජ සම්මුතිවලට අනුකූලව අවුරුදු හතර, පහ වෙද්දි නංගි/මල්ලි කෙනෙක් ලැබුණොත් බබා ලැබෙන්නේ කොහොමද කියන ගැටලුව දරුවෙක්ට ඇති වෙනවා. 

මෙන්ම මේ විදියට දරුවෙක් නව යොවු වියට ළඟා වන විට ශරීරයේ වෙනස්කම්, හැගීම්, හැසිරීම් රටා ගැන දරුවෝ දැනුවත් වෙනවා. ඒ දැනුවත් වීමට නම් කුඩා වියේ සිටම දරුවෙක් තම ශරීරය හඳුනාගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම ගැන අවබෝධයක් ලබා සිටිය යුතුයි. 

ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීම ආරම්භ කරන්නේ කෙසේද?

දරුවෙකුට ලිංගික අධ්‍යාපනය ලබාදෙන පළමු ගුරුවරුන් වන්නේ දෙමාපියන්. අන්න ඒ නිසාම මූලිකවම දෙමව්පියෝ දැනුවත් විය යුතුයි.

ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබා දීමේදී මව්පියන් සැලකිලිමත් විය යුතු කරුණු‍

  • දරුවාගේ වයස
  • සිතුම් පැතුම්
  • තේරුම් ගැනීමේ හැකියාව
  • දරුවා කුතුහලයෙන් සිටිනවාද යන්න
  • විවිධ වර්ධන අවධි වලදී දරුවට ඇති දැනුම
  • දරුවාට වටහා ගත හැකි පරාසය කුමක්ද 
  • තමාට දරුවා සමග මේ ගැන කතා කළ හැකිද යන විශ්වාසය 

මේ සඳහා විශේෂයෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර මනා සම්බන්ධයක් ගොඩ නැඟී තිබිය යුතු වන අතරම කුඩා වියේ සිටම අවශ්‍ය කරුණු පියවරෙන් පියවර දරුවා වෙත ලැබා දී තිබිය යුතුයි. එසේ නොමැතිව යොවුන් වියේ සිටින දරුවා සමග එක්වරම ලිංගික සංසර්ගය සම්බන්ධව කතා කළ නොහැකි බව දෙමාපියන් වටහා ගත යුතුයි. 

ඒ වගේම දෙමාපියන්ගේ තවත් වැදගත් වගකීමක් වන්නේ ආදර්ශමත්ව ජීවත් වීමයි. එහිදී,

  • සම්බන්ධතා රැකගන්නා ආකාරය
  • අන්‍යෝන්‍ය අවබෝධය සාර්ථක සම්බන්ධතාවයකට වැදගත් වන ආකාරය
  • දෙදෙනකු අතර ඇති විශ්වසනීය සම්බන්ධයේ වැදගත්කම
  • සුහදශීලී සම්බන්ධයක වටිනාකම වැනි කරුණු ආදර්ශයෙන්ම ඔබට පෙන්විය හැකියි‍. 

මෙවැනි වටපිටාවක් තුළ දරුවාට ඇති ගැටලු අනුව පිළිතුරු ලබා දෙන්න ඔබට හැකියි. උදාහරණයක් ලෙස අපි අවුරුදු පහක දරුවෙක් ගනිමු. 

අම්මා බබෙක් ලැබෙන්නේ කොහොමද?

ඔබ කලබල නොවී දරුවාගේ වයසට අනුව එය පහදා දෙන්න. මේ දරුවා ඔබෙන් අහන්නේ දරුවෙක් ලැබෙන්න පවත්වන සංසර්ග සම්බන්ධතාවය ගැන නොවෙයි. ‍මේ වයසේ දරුවෙක්ගේ කුතුහලය බබා කොතැනදී ඉන්නේ? එන්නෙ කොහොමද? යන ගැටලුවන අතරම එය දරුවාගේ වයසට සරිලන ලෙස ඔබට අවබෝධ කරවිය හැකියි. 

පෙර පාසැල් වයසේ දී නංගි හෝ මල්ලි ලැබෙද්දී ඒ ගැන දරුවන් විමසනවා. කිසිවිටෙක දරුවාට  බොරු නොකියා සරලව අවබෝධ කරවන්න. එතකොට අපිට පුළුවන් ඇයි එකපාරටම එහෙම ඇහුවේ.. පුතා/දුවගෙන් කවුරු හරි බබා ගැන ඇහුවද? කියලා දරුවාගෙන් අහන්න. ඒ අහලා දරුවාට තියෙන ගැටලුව අනුව වයසක සරිලන පිළිතුරු ලබා දෙන්න. අපි අපේ දරුවාට බොරු කිව්වොත් දරුවා එය දැන ගන්නවා. ඉන්පසුව අපිට හොර රහසේ වෙනත් මාර්ගවලින් තොරතුරු සොයා යෑමට පටන් ගන්නා අතරම එය අවදානම් තත්ත්වයක් බව සිහි තබා ගන්න.

වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ට සිරුරේ පෞද්ගලික කොටස් ගැන කියා දිය යුතුයි. එසේම,

  • කකුල් අතර, පපු පෙදෙස, පිටුපස පෙදෙස කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදෙන ලෙසත් 
  • තමාට අපහසුවක් දැනෙන ආකාරයේ ස්පර්ෂයක් ඇති වුවහොත් එය ප්‍රතික්ෂේප කරන ලෙසත්
  • අම්මා/තාත්තාට කිසිවක් නොකියන ලෙස පැවසුවොත් ඔවුන් අනිවාර්යෙන්ම දැනුවත් කරන ලෙසත් දරුවාට පවසන්න
  • පෞද්ගලිකත්වය රැක ගැනීමට දරුවාට හුරු කරන්න.

නව යොවුන් දරුවන්ට වෙනුවෙන් ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී වැදගත් වන කරුණු මොනවාද?

අපේ දරුවන් නව යොවුන් වියට පා නගද්දීම දරුවෙක්ට කතා කළ යුතු එකම මාතෘකාව ලිංගික සංසර්ගය නොවෙයි. ඉන් එහා තවත් බොහෝ දේ මේ ලිංගික අධ්‍යාපනය යටතේ දරුවෙකුට ලබා දිය හැකියි. මේ සියලු කරුණු පිළිබඳව දරුවෙකු දැනුවත් කිරීම දරුවාගේ ජීවිතය සාර්ථක කරවීමට මනා සේ සහය වනු ඇත. 

  • තමන්ගේ සිරුරේ සිදු වන වෙනස්කම් 
  • සාර්ථක සම්බන්ධයක් පවත්වා ගන්නා ආකාරය
  • අන්‍යෝන්‍ය ගරුත්වය ආරක්ෂා කිරීම
  • නිවැරදි/හොඳ තීරණ ගැනීම 
  • යමෙකුගේ අනාරක්ෂිත ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම
  • අන්තර්ජාලය/සමාජ මාධ්‍ය ජාලා ආරක්ෂිතව භාවිතය (උදාහරණයක් ලෙස අවුරුදු 14, 15 පසු වන විට විරුද්ධ ලිංගිකයෙක් සමග ඇති වන සම්බන්ධයකදී ඡායාරූප/වීඩියෝ එවන ලෙස ඉල්ලීම් කර ඒවා යොදා ගනිමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවලින් ආරක්ෂා වීම දැක්විය හැකියි)

කෙසේ වුවද වයස අවුරුදු 12, 13 කාල සීමාවේදී පාසැල් විෂය නිර්දේශයට අනුව විද්‍යාත්මක පසුබිමක් යටතේ ලිංගික සංසර්ගය, ගැබ් ගැනීම, ප්‍රසූතිය හා සම්බන්ධව යම් අවබෝධයක් ලබා දුන්නද එය වටහා ගැනීමට ඇතැම් විට දරුවන්ට අපහසු විය හැකියි. 

ලිංගික අධ්‍යාපයට හිමි වීම තුළින් සමාජයක් වශයෙන් අපට හිමි වන වාසි මොනවාද?

  • අඩු වයස් ගැබ් ගැනීම් අවම වීම
  • නිකරුණේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීම
  • දරුවන් අපයෝජකයන්ට ගොදුරු වීමට ඇති අවස්ථා අවම වීම
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා වීමට හැකි වීම

අන්න ඒ නිසාම දෙමාපියන් දරුවන් සමග විවෘත වීම ඉතාම වැදගත් වේ. විවෘතව කතා නොකරන මේ මාතෘකාව සම්බන්ධව දරුවන් සමග විවෘතව කතා කිරීමට තරම් දෙමාපියන් තුළ විශ්වාසයක් තිබිය යුතුය. ශක්තියක් තිබිය යුතුය. එසේ නොවන විට දරුවා යහළුවන්/අන්තර්ජාලය/පිටස්තර වැඩිහිටියන් යන අනාරක්ෂිත ක්‍රම හරහා දැනුම සොයන්නට වෙහෙසෙන අතරම අපයෝජකයන් වෙත නොදැනුවත්වම ගොදුරු වීමට ඇති ඉඩකඩද වැඩිය. තමාගේ සිරුරේ ස්වභාවික ක්‍රියාවලින් පිළිබඳ දැනුවත් වීමට දරුවන්ට තිබෙන අයිතිය අප සුරක්ෂිත කළ යුතුයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය දුලංගි දහනායක මහත්මිය

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂ්‍ඥ වෛද්‍ය, දුලංගි දහනායක මහත්මිය

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්ය