Home Blog Page 27

දරුවා සමඟ Puzzles භාවිතයේ වැදගත්කම ඔබ දන්නවාද?

දරුවාගේ වයසට සරිලන ලෙස අධ්‍යාපනික මෙවලම් සොයන ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවන් හට Puzzles මිල දී ගනිති. නමුත් එහි ඇති වටිනාකම හා වැදගත්කම ඔබ නොදන්නවා විය හැකිය. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ පිළිබඳවයි.

Puzzles යනුවෙන් හදුන්වන්නේ යම්කිසි පින්තුරයක් කොටස් කර තිබෙන හා එම කොටස් නැවත එකට එක් කර අරමුණු ගත පින්තුරය නැවත සෑදීමට හැකියාව පවතින මෙවලමකි. මෙම Puzzles ලී වලින්, ප්ලාස්ටික් වලින් හෝ කාඩ්බෝඩ් වලින් ද ඔබට තොරා ගත හැකිය. තවද බොහෝ Puzzles සරල සිට සංකීර් න දක්වා විහිදෙන අතර දරුවාගේ වයසට ගැලපෙන පරිදි ඔබට තෝරා ගත හැකිය. Puzzles මගින් දරුවාගේ දියුණු වන කුසලතා අතර,

  1. අවධානය දියුණු වීම

දරුවාගේ වයසත් සමඟ අවධානය පවත්වා ගත යුතු කාල පරාසයන් වෙනස් වේ. කුඩා දරුවන් මිනිත්තු 2-5 අතර කාලයක්, වයස අවුරුදු 03 පමණ වන විට මිනිත්තු 6-15 අතර කාලයක්, අවුරුදු 04 පමණ වන විට මිනිත්තු 8-20 අතර කාලයක් අවධානය පවත්වා ගත යුතු වේ. ඒ අනුව වයසත් සමඟ Puzzles තෝරා ගැනීම තුළින් දරුවා හට එම Puzzles සකසන විට ඊට අවධානය දී එම අවධානය පවත්වා ගැනීමට නිතැතින් ම පුරුදු කරවයි.

  1. අවකාශය පිලිබඳ අවබෝධය දියුණු වීම

Puzzles හදන දරුවා නිතැතින් ම තම අවකාශය පිලිබඳ ඇති අවබෝධය දියුණු කර ගනු ඇත. මන්ද, Puzzles වල ඇති කොටස් සකසන විට තැබිය යුතු නිවැරදි තැන පිලිබඳ අවබෝධය, එය නිවැරදි නොවන තැන තැබූ විට සිදුවන දෙය දරුවා මේ තුළින් අවබෝධ කර ගනු ලබයි.

  1. අරමුණු ගත දැනුම දියුණු වීම

ඇතැම් Puzzles යම්කිසි තේමාවක් යටතේ ගොඩ නැගුවකි. උදාහරණ ලෙස සිතියම්, ශරීර කොටස්, සත්ව ලෝකය ආදිය පෙන්වා දිය හැකි අතර මෙවන් Puzzles සැදීම තුළින් දරුවා ට Puzzles එක පදනම් කරගත් දැනුම ලැබෙනු ඇත.

  1. සියුම් චාලක කුසලතා දියුණු වීම

Puzzles සාදන විට එහි ඇති කොටස් කුඩා වීම, විශාල වීම හෝ ඇල්ලීමට කොටසක් (knob) තිබිය හැකිය. මේවා ඇල්ලීම තුළින් දරුවාගේ සියුම් චාලක කුසලතා දියුණු වීම, පන්සල ඇල්ලීමට හුරු වීම, දෑත් වලින් කුඩා චලන සිදු කිරීමට පුරුදු වීම ආදිය පුහුණු වේ.

  1. ඇස අත සමායෝජනය (Eye Hand Coordination) දියුණු වීම

දරුවන් පෙර පාසල් යන වයසට පැමිණෙන විට පැන්සලින් ලියන විට, පැන්සල සමඟ ඇස ගෙනයාම ට ඇති හැකියාව තිබිය යුතුය. මේ සඳහා අවශ්‍ය වන ඇස අත සමායෝජනය Puzzles සැදීම තුළින් දියුණු වනු ඇත.

  1. ගැටළු විසදීමේ කුසලතා (Problem solving skills) දියුණු වීම

Puzzles යනු එක් ආකාරයක ගැටළුවකි. මන්ද එහි කොටස් ඉවත් කල පසු නැවත සැදීම ගැටළුවකි. එහි කොටස් නිසි තැන නිසි අයුරින් තැබීම තුළින් එම ගැටළුව විසදා ගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා දරුවා නිවැරදි තීරණ ගත යුතුය. යම් හෙයකින් එය වැරදුනහොත් නැවත සැදිම ද තවත් ගැටළුවකි. ඒ අයුරින් Puzzles තුළින් දරුවන් ගැටළු නිරාකරණය ට නිතැතින්ම පුහුණු කරවනු ඇත.

  1. භාෂාව ගොඩ නගා ගැනීම

Puzzles විවිධය. ඒ හරහා දරුවාගේ වාග්  මාලාව දියුණු කිරීමට හැකියාව පවතී. උදාහරණ ලෙස පලතුරු, එළවලු, ශරීර කොටස්, හැඩතල, අකුරු, ඉලක්කම් ආදී එක් එක් කාණ්ඩ වලට අයත් වචන ඇතුලත් Puzzles දැක ගත හැකි අතර ඒ තුළින් දරුවා ට වචන ඉගැන්වීමේ හැකියාව පවතින අතර ම එය එක් ව සැදීම තුළින් සන්නිවේදනය කිරීමට කුඩා සංවාදයක් ද ගොඩ නගා ගැනීමට හැකියාව පවතී.

  1. දරුවාගේ මතකය දියුණු වීම

Puzzles දරුවාගේ මතකය ක්‍රියාකාරී කරවයි. මෙමගින් දරුවාගේ කෙටි කාලින මතකය දියුණු කරවයි. තවද Puzzles නැවත නැවත සෑදීම තුළින් දරුවා ඒ සදහා ගනු ලබන කාලය අඩු වීම හා වේගය වැඩි වීමද දරුවාගේ මතකය වැඩි වන බවට පෙන්නුම් කරන සාක්ෂි වේ.

  1. සාමාජිය කුසලතා දියුණු වීම 

දරුවන් එක් ව Puzzles සැදීම තුළින් එකිනෙක ට උදවු කිරීම, බෙදා හදා ගැනීම, යහපත් ලෙස තරගකාරිත්වයක් ගොඩ නගා ගැනීම ආදී සමාජීය කුසලතා ද දියුණු කර ගත හැකිය.

  1. දරුවාගේ ආත්ම විශ්වාසය දියුණු වීම

ඇතැම් විට දරුවා ට අපහසු Puzzle එකක් සෑදු විට  “ඔව් මම එක හැදුවා” (yes I did it) යන ආත්ම විශ්වාසය ද මේ තුළින් ගොඩ නැගෙනු ඇත.

ඒ අනුව දරුවන් හට Puzzles සෑදීමට දීම කොතරම් වටිනවාද යන්න දැන් ඔබට වැටහෙනු ඇත. ඒ නිසා දරුවාගේ සෙල්ලම් බඩු හා අධ්‍යාපනික මෙවලම් අතර ට Puzzles ද එකතු කර ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

ළමා වියේ ඇති විය හැකි ස්ථූලතාවය වළක්වා ගමු

දරුවන්ගේ ප‍්‍රශස්ත වූ වර්ධනයට සේම සංවර්ධන ක‍්‍රියාවලිය යහපත් වූ ලෙස සිදු වීම සඳහා ආහාර මෙන්ම ආදරය, රැකවරණය මෙන්ම යහපත් වූ සෞඛ්‍ය බලපානු ලබයි. බොහොමයක් හුරු පුරුදු වල අඩු පාඩු සකස් කරමින් රැකවරණය සලසමින් දරුවන්ගේ සමස්ත වර්ධනය ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒම අප සැමගේම වගකීමයි. දරුවන්ගේ අවශ්‍යතා වලට සංවේදී වෙමින් හා ඊට අනුගත වෙමින් දරුවන්ට ආහාර ගැනීමට උදව් කිරීම, උනන්දු කිරීම මෙන්ම අවශ්‍යතා හඳුනා ගනිමින් කටයුතු කිරීම අප විසින් කළ යුතුයි. 

මේ අනුව සලකා බලමින් දරුවන්ගේ කටයුතු සිදු කලද වර්තමානයේ දරුවන්ගේ ළමා වියේ ස්ථූලතාවය ඉහළ යාමක් දැකිය හැකිය. මේ පිළිබඳ විමසා බැලීම මෙන්ම අවබෝධ කරගැනීම තුලින් ඒ සඳහා යහපත් මග පෙන්වීමක් නොකළ හොත් දරුවන්ගේ අනාගතය අවාසනාවන්ත අවධියක් වනු නොඅනුමානයි. 

ස්ථූලතාවය යනු සිරුර තුල අධික ලෙස මේදය හෙවත් තෙල් තැන්පත් වීමයි. මෙය වෙනත් ලෙසකින් පවසහොත් අප විසින් ගන්නා ශක්ති ප‍්‍රමාණය හා වැය කරන ශක්ති ප‍්‍රමාණය අතර වෙනසයි. දරුවන්ගේ ස්ථූලතාවය හඳුනා ගැනීමට අප බොහෝ විට පාවිච්චි කරන්නේ දරුවාගේ වර්ධන සටහන් පතේ වයසට බර සටහන හා උසට/දිගට බර සටහනයි. උපත් බර ගත් විට ඊට අදාලව බර වැඩිවන අයුරු කලාප ලෙස සටහන් කර ඇත. සෑම දරුවෙකුගේම උපත් බරට අදාල කලාපයේ සිට කලාප දෙකක් ඉහළට නැගීමෙන් ස්ථූලතාවය හඳුනා ගැනීමට හැකියි. 

සෑම දරුවකුම උපත් බරට අදාල කලාපය තුල බර වැඩිවීම/වර්ධන වේගය පෙන්වන්නේ නම් එය නිරෝගී බව පෙන්වයි. එහෙත් උපත් බරට අදාල කලාපය ඉක්මවා යාමේදී ස්ථූලතාවය ඇති වන බවට ඉඟියක් පවසයි. මේ නිසා සෑම මවකම පියෙකුම දරුවාගේ වර්ධන සටහන හොඳින් අධ්‍යයනය කර බර වැඩි වීම නොව වර්ධන වේගය හඳුනාගනීම වැදගත් වේ. ලංකාවේ දරුවන් අතර 9% කට පමණ ප‍්‍රමාණයක් දැනට ස්ථූලතාවය බවට හඳුනාගෙන ඇති අතර එය ක‍්‍රමයෙන් ඉහළ යන බවක් දැකියි හැකියි. 

ස්ථූලතාවය ගැන කතා කිරීමේදී මෙතරම් සැලකිල්ලක් දැක්විය යුත්තේ මක්නිසාද යන්න ඉතා වැදගත් වේ. බොහෝ ස්ථූලභාවයට පත්වන දරුවන් අනාගතයේදී එනම් වැඩිහිටි වියේදී පහත දැක්වෙන රෝග තත්ත්වවලට අවදානමක් ඇත.

  • හෘද රෝග
  • ඇදුම
  • දියවැඩියාව
  • වකුගඩු අකර්මණ්‍ය වීම
  • අස්ථි දුර්වල වීම
  • ලිංගික ගැටලු/ මදසරු බව 
  • සීරෝසීස් 

වර්ධන සටහන් පතේ දිගට/උසට සරිලන බර ප‍්‍රස්ථාරයේ +26D හා -25D අතර කලාපය (කොළ හා සුදු) සාමාන්‍ය දරුවන්ගේ වන අතර -25D ට සහ -35D අතර තැඹිලි කලාපයේ තීව‍්‍ර මන්ද පෝෂණය වන අතර   -35D ට පහළ රතු කලාපය උග‍්‍ර තීව‍්‍ර මන්ද පෝෂණය වේ. මෙම ප‍්‍රස්ථාරයේ +25D ට ඉහළ දම් කලාපය තුල බර පිහිටීම අධි බර/ස්ථූල බව ලෙසින් හඳුනා ගත හැකියි. මේ 

ස්ථූලතාවයට දරුවන් ගොදුරු වීමට ප‍්‍රධානතම හේතු

  • කුඩා කල සිට කිරි පිටි ලබාදීම (සත්ව කිරිවල තිබෙන ප්‍රෝටීන ප‍්‍රමාණය අධික වීම නිසා)
  • සීනි මිශ‍්‍ර අධික ශක්තිජනක ආහාර වැඩි වශයෙන් දරුවන්ට ලබාදීම
  • මව්කුස තුළ දී ඇති වෙන බලපෑම්
  • ජානමය බලපෑම්
  • ළමාවියේ ඇති ආහාර රටාව

අලුත උපන් දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට අනවශ්‍ය ලෙසට සියලු අංගයන්ගෙන් සපිරි ආහාර මව් කිරි වේ. සෑම අවයවයකටම වර්ධනය හා සංවර්ධනය සඳහාම සුවිශේෂී ලෙස නිර්මිත නිසා එයින් වර්ධනය ප‍්‍රශස්ත මට්ටමට ඇති වේ. 

  • මව්කිරි පමණක් මුල් මාස 6 ගන්නා දරුවන් තුල ස්ථූලතාවය 1% ක් පමණ අඩු අගයක් ගනී. 
  • මව්කිරි හා පිටිකිරි දෙකම දෙන සිට ස්ථූලතාවය ඊට වඩා වැඩිවේ. 
  • පිටිකිරි පමණක් දෙන දරුවන් තුල ස්ථූලතාවය ඊටත් වැඩි වේ. 
  • මව්කිරි බෝතලයෙන් දෙන දරුවන් තුල ස්ථූලතාවය ඊටත් වැඩි වේ. 

මුල් මාස 18 තුළ වේගවත් වර්ධන වේගයක් ඇති දරුවන් අවුරුදු 3 – 4 දී ස්ථූලතාවයට ළඟා විය හැක. 

දරුවන් ස්ථූලතාවයට පත්වන්නේ ඇයි?

  • දරුවාගේ ආහාර ගැනීමේ රටාව මත ඇති මව්පිය බලපෑම් (අහිතකර ලෙස)
  • දරුවාගේ කුසගිනි පිළිබඳව මව හඳුනා නොගැනීම
  • දරුවන් නැලවීම සඳහා/රැවටීම සඳහා අධික සීනි/තෙල් සහිත ආහාර (හිස් කැලරි සහිත ආහාර) ලබාදීම. මෙහිදී වැඩි ශක්ති ප‍්‍රමාණයක් දරුවාට ලැබීම. 
  • අධික ලෙස පාලනයක් සහිත ලෙස ආහාර ලබාදීම. 
  • නිතර රූපවාහිනයට යොමු වීම නිසා සිදුවන පාරිසරික බලපෑම
  • අවශ්‍ය ප‍්‍රමාණයට, වයසට සරිලන සේ ව්‍යායාම නොමැතිකම
  • රාත‍්‍රී සුව නින්දක් නොලැබීම. 

මේ තත්ත්ව හැඳින මැදිහත් වීම තුලින් දරුවන්ට ළඟා කර දිය හැකි වාසි ලෙස අනාගතයේ බෝ නොවන රෝග සඳහා ලක්වීම අවම වීම, ළමා වියට අවශ්‍ය පරිදි ප‍්‍රශස්ත මට්ටමින් ප්‍රෝටීන ආහාර ලබාදීම, වැඩිහිටි වියේදී ස්ථූලතාවය වළකාලයි. මේ මගින් ශරීර වර්ධනය නිසි පරිදි සිදුවන අතර ප‍්‍රතිශක්තීකරණ පද්ධතියද ශක්තිමත් වේ. 

පූර්ව ප‍්‍රසව සමයේ මවගේ මන්ද පෝෂණතාවයන්ද දරුවන්ට සිදු කරන බලපෑම් නිසා දරුවන්ගේ සෞඛ්‍ය පිරිහේ. මේ නිසා සෑම කාන්තාවක්ම ගර්භනී වීමට පෙර තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්. එනම්, 

  • නියමිත උසට සරිලන බර පවත්වා ගැනීම
  • ෆෝලික් අම්ලය ලබාගැනීම
  • විටමින් අඩංගු ආහාර හිඟයකින් තොරව ලබාගැනීම
  • යකඩ ඌනතාවය වළක්වා ගැනීම

මීට අමතරව දෙමව්පියන්ගේ ජාන ගත බලපෑම්ද දරුවාගේ ස්ථූලතාවයට බලපෑමක් ඇති කරයි. 

  • මව ස්ථූල – දරුවා ස්ථූල – වැඩිහිටියා ස්ථූල A%
  • පියා ස්ථූල – දරුවා ස්ථූල – වැඩිහිටියා ස්ථූල Ax10%

මේ නිසා දරුවන් ස්ථූලතාවයට පවත්වන දෙමාපිය බලපෑම් හඳුනා ගැනීමද වැදගත් වේ. මේ නිසා සෑම අයෙකුම උසට සරිලන බරක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එසේම අධික කැලරි සහිත තෙල්/සීනි/පිටි අධිත ආහාර පරිභෝජනය අඩු කිරීමත් කැලරි අගය අඩු එළවළු/පළතුරු/ඇට වර්ග ආහාරයට ගැනීම වැඩි කිරීමත් වැදගත් වේ. අලුත් එළවළු/පළතුරු වැඩි ප‍්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමත් කෙටි ආහාර වේල් ලෙස එළවළු/පළතුරු/සලාද වැනි දේට යොමු වීමද ඉතා වැදගත් වේ. 

මේ සියලු කරුණු සමගින් කුඩා කල සිට දරුවාගේ වර්ධන තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා වර්ධන වේගය අවශ්‍ය පරිදි පවත්වා ගැනීමට සියළුම දෙමාපියන් කටයුතු කිරීම මීට වඩාත්ම කළ හැකි යුතුකම වේ. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ගැබ් ගැනීමට යුවළකගේ නිසි බර මට්ටම පවත්වා ගැනීමත් වැදගත් බව දැන සිටියාද?

බොහෝ විට අපේ සිරුරේ බර ගැන සිතද්දී අපිට ඇති මූලික ගැටලුවක් වන්නේ අධික බර හා තරබාරු බව සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඇති අවදානම වැඩි කරන බව පමණි. නමුත් අපි නොදන්නා කරුණක් වන්නේ අධික බර හා තරබාරු බව දරුවෙකු ලබාගැනීම ප‍්‍රමාද කරන බවයි. එසේම නිරෝගී දරුවෙකු ලැබීමේ අවස්ථාව ද අවම කරන බවයි. අන්න ඒ නිසාම දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන කාන්තාවක් පළමුව කළ යුත්තේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම බව අමතක නොකළ යුතුයි. 

දරු පිළිසිඳ ගැනීමක් සඳහා වඩාත් සුදුසු වන්නේ BMI (Basic Metabolic Index) අගය නිසි මට්ටමේ පවත්වා ගැනීමයි. මෙම අගය පුද්ගලයාගේ උස හා බර මත රඳා පවතියි. යම් පුද්ගලයෙකුගේ උස බරින් බෙදූ විට (උස/බර) මෙම අගය ලැබේ. වඩාත් සුදුසු BMI අගයෙහි පරාසය වන්නේ 18.5 – 24.9 දක්වා වේ. BMI අගය 25 – 29 අතර ඇත්නම් එය අධික බර ලෙස සලකන අතර BMI අගය 30 ට වැඩිවීම තරබාරු බව ලෙස සලකයි. 

කාන්තාවන්ගේ අධික බර, සරුභාවයට බලපානවාද?

නිරෝගී සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා නොගැනීම නිසා කාන්තාවන්ගේ දරුවන් ලැබීමේ හැකියාවට බලපෑම් ඇති කරන්නේ පහත ආකාරයට වේ.

  • හෝමෝන අසමතුලිතතාවයක් ඇති කිරීම.
  • ඩිම්බ මෝචනයේ ගැටලු (ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මුදා හැරීම)
  • ආර්තව චක‍්‍රයේ අසාමාන්‍යතා

අධික තරබාරු බව PCOS තත්ත්වය සමග ද බැඳී පැවතිය හැකි අතර එහිදී ද දරුවන් ඇති වීමේ හැකියාව අඩුවීම හෝ දරුවන් නොමැති වීම සිදුවිය හැක(Polycystic Ovary Syndrome)

පුරුෂයන්ගේ අධික බර සරුභාවයට බලපානවාද?

පිරිමින්ගේ අධික බර හා තරබාරු බව ඔවුන්ගේ දරුවන් ලැබීමේ හැකියාවට පහත ලෙස බලපෑම් ඇති කරයි. 

  • හෝමෝන අසමතුලිතතාවයන්
  • ශිෂ්ණය සෘජුවීම සම්බන්ධ ගැටලු
  • තරබාරු බව හා බැඳුණු අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග තත්ත්ව

අධික බර හෝ තරබාරු පිරිමියෙකු තමාගේ බර අඩු කරගත්තේ නම් එය විශේෂයෙන් ශුක‍්‍රානු වල පරිමාව හා එහි ගුණාත්මකභාවය වැඩි කිරීමට බලපායි. දරුවෙකු බලාපොරොත්තු වන පිරිමියෙකු ඔහුගේ බර ඊට මාස 3 කට කලින් අඩු කරගත යුතුය. ඊට හේතුව වන්නේ ශුක‍්‍රානු වල වර්ධනය, ගුණාත්මකභාවය හා සෞඛ්‍ය සම්පන්න බව ඇති වීමට මාස 3 ක් පමණ ගත වන නිසයි. 

අධික බර හා ගර්භනීභාවය

නිරෝගීමත් බරක් පවත්වා ගැනීම දරුවෙකු පිළිසිඳ ගැනීමට මෙන්ම දරුවා නිරෝගීමත් වීමටද බලපායි. 

තරබාරු බව හා අධික බර ගර්භණී කාලයේ ඇති කළ හැකි සංකූලතා 

  • ගබ්සා වීම
  • අධික රුධිර පීඩනය ඇති වීම
  • ගර්භණී දියවැඩියාව
  • දරුවා බිහි කිරීමට සිසේරියන් ශල්‍යකර්මයක් කළ යුතු වීම
  • මළ දරු උපත්
  • නැවත නැවත ගබ්සා වීම
  • රුධිර පීඩනය වැඩි වීම තුල අක්මාව, වකුගඩු ආදී ඉන්ද්‍රියන්ට හානි වීම (Pre-eclampsia)
  • හෘදයේ අකර්මණ්‍යතාවය
  • නින්දේදී ස්වසනය කෙටි වේලාවකට නැවතීම (Sleep apnoea)
  • ශල්‍ය ස්ථානය ආසාධනයට ලක්වීම 

දරු පිළිසිඳ ගැනීම අපේක්‍ෂා කරන පවුලේ ස්ත‍්‍රිය මෙන්ම පුරුෂයාද තරබාරු හෝ අධික බර නම් පළමුව තම බර පාලනය සහා අවශ්‍ය පියවර ගත යුතු වේ. ඒ සඳහා පළමුව සමබල ආහාර වේලක් ගැනීම ආරම්භ කළ යුතුය. එසේම ව්‍යායාම ද ඒ සඳහා වැදගත් වේ. එමගින් දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩි කරගත හැක.

දරුවන් ලබාගැනීම සඳහා භාවිත වන IUI, IVF වැනි ක‍්‍රමයන්ද අසාර්ථක වීමට මෙම තරබාරු බව, අධික බර හේතු වේ. දරුවෙකු එවැනි ක‍්‍රම මගින් පිළිසිඳ ගත්තද ඒවා ගබ්සා වීම අවදානමක් ඇති බව අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත. 

නිරෝගී සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට

  • එළවළු, පළතුරු, ධාන්‍ය, කිරි, යෝගට්, මස්, මාළු, බිත්තර, කුකුල් මස් ආදිය ආහාරයට එක් කිරීම. 
  • බිස්කට්, මේදය සහිත මස් වර්ග, පේස්ට්‍රි, පිටි ආහාර, කෘති‍ම ආහාර, ක්‍ෂණික බීම අවම කර ගැනීම. 
  • ආහාර වේල් අතර snack භාවිතය අවම කිරීම. 
  • සීනි සහිත බීම, ඇල්කොහොල් නොගත යුතු අතර ඒ සඳහා ජලය පානය කරන්න. දිවා රාත‍්‍රී ආහාර වලදී එළවළු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්න. 
  • කුඩා පිඟානක් භාවිත කරමින් ආහාර ගන්නා ප‍්‍රමාණය ක‍්‍රමයෙන් අඩු කර ගැනීම. 
  • කඩයට අවිද යාම, පඩි නැඟීම ආදියද යහළුවෙකු සමග ඇවිද යාම ආදිය ශාරීරික ක‍්‍රියාකාරකම් වල යෙදීම. 
  • පරිගණක, ජංගම දුරකථන ආදී නවීන මෙවලම් සමග වාඩි වී ගත කරන කාලය අඩු කරගැනීම. 
  • සතියකට 500g 1000g අතර ප‍්‍රමාණයක් අඩු කරගැනීමට උනන්දු වීම. 
  • සහකරු හා සහකාරිය සමග සාකච්ඡා කොට ව්‍යායාම සැලසුම් කිරීම. 

ගැබ් ගැනීමට පෙර බර BMI අගය

අඩු බර 18.5 වඩා අඩු වීම

සාමාන්‍ය බර 18.5 – 24.9

අධික බර 25.9 – 29.9

තරබාරු බව 30 වැඩි වේ

ඉක්මණින් දරුවෙකු පිළිසිඳ ගැනීමට නම්

  • සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න
  • දරු පිළිසිඳ ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න
  • දත් පරීක්‍ෂා කරවා ගැනීම. විදුරුමස් රෝග ම`ගින් අඩු බර, නොමේරු දරු උපත් ඇති විය හැක
  • ව්‍යායාම වල යෙදීම
  • නිරෝගීමත් බරක් පවත්වා ගැනීමේ අරමුණක් තිබීම.
  • ගර්භනී වීමට පෙර ෆෝලික් අම්ලය වැනි විටමින් ගැනීම. එම`ගින් සංසේචනය උන්නදු කරවයි. කලලය ආරක්‍ෂා කරයි. 
  • ඍජුව හෝ වක්‍රව දුම්පානය නතර කළ යුතුය. දුම්බීම මගින් ගබ්සා වීම, පැලෝපීය නාලයේ ගැබ් ගැනීම, ඊස්ට‍්‍රජන් හෝමෝන අඩු වීමෙන් ඩිම්බ මෝචනය අඩු වීම සිදු විය හැක. 
  • කැෆේන් අඩංගු ආහාර නතර කරන්න
  • ඇල්කොහොල් භාවිතය නතර කරන්න
  • සමබල ආහාර වේලක් ගැනීම – පළතුරු, එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රොජෙස්ටෙරෝන් මට්ටම වැඩි කරන අතර එමගින් ගර්භනීභාවය පවත්වාගෙන යයි. 
  • මානසික ආතතිය නිසරු භාවයට හේතුවක් විය හැකි නිසා සැමවිටම මානසික නිරෝගී බව ගැන සැලකිලිමත් වෙන්න. 
  • පුරුෂ පාර්ශ්වය ඇඟට තද යට ඇඳුම් ඇදීමෙන් වැළකිය යුත්තේ එමගින් ශුක‍්‍රානු වල ගුණාත්මකභාවය හා ප‍්‍රමාණය අඩු විය හැකි නිසයි. එසේම නිතර නිතර උණු වතුර භාවිතයෙන් ද ශුක‍්‍රානු ප‍්‍රමාණය අඩු විය හැකි බව කියවේ. 
  • ඩිම්බ මෝචනයේ ලක්‍ෂණ පිළිබඳ අවබෝධයක් කාන්තාව තුළ තිබීම වැදගත් වේ. (ආර්තවයේ දින 11 – 21 දක්වා සරු කාලය වන අතර ඉන් වඩාත් සුදුසු වන්නේ දින 12 – 19 දක්වා වේ) 

ඩිම්බ මෝචනයක ලක්‍ෂණ

  • රුධිර බිංදු කිහිපයක් යෝනි මාර්ගයෙන් පිටවීම
  • පැහැදිලි ඇලෙන සුළු ගැබ් ගෙල ශ්ලේෂ්මලය පැවතීම
  • ලිංගික සංසර්ගයට උනන්දුව ඇති වීම
  • පියයුරු වල සංවේදී බව හා අල්ලන විට වේදනාව
  • ශරීර උෂ්ණත්වය මද වශයෙන් (2.50C ක්‍  පමණ ) ඉහළ යාම

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

නව යොවුන් වියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත් වන්නේ ඇයි?

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ගැන මව්පියන් තුළ පවතින්නේ ඇතැම් විට ඍණාත්මක ආකල්පයක්. මේ පුංචි දරුවෝ දැන්ම ඕවා දැනගන්න ඕනේ නැහැ… ළමයින්ට මොකටද ඕවා වගේ අදහස් එක්ක සිටින මව්පියන් ඕනෑ තරම් අපේ සමා‍ජයේ සිටිනවා. ඇත්තටම එය එහෙමද? නැතිනම් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම වැදගත්ද කියන දේ ගැන අපි අද කතා කරමු.

නව යොවුන් වියේදී ඇතිවන හෝමෝන වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වයසේ දරුවන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වීම, ලිංගිකත්වය පිළිබඳ කුතුහලයක් ඇතිවීම හා විවිධ ලිංගික ක්‍රියා අත්හදා බැලීම සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. 

ඔබ දන්නවාද?

2017 වර්ෂයේදී කළ සමීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ පාසැල් යන නව යොවුන් වියේ පිරිමි ළමුන්ගෙන් 9% ක් පමණත්, ගැහැණු ළමුන්ගෙන් 1% ක් පමණත් ලිංගික සම්බන්ධතා පවත්වන බව සොයාගෙන ඇත. නමුත්, නව යොවුන් වියේ දරුවන් වැඩි දෙනෙක් උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නැති බවත් 25% ක් පමණ දෙනෙක් පළමු ලිංගික සංසර්ගයේදී වුවද ගැබ් ගත හැකි බව නොදන්නා බවත් තවත් සමීක්ෂණයකින් හෙළිවී ඇත.

උපත් පාලනය, ගැබ් ගැනීම හා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුමකින් තොරව ලිංගික ක්‍රියාවල නිරත වීම නිසා, නව යොවුන් වියේ දරුවන් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට ලක්වීම හා ලිංගාශ්‍රිත රෝග වලට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇත.

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගාශ්‍රිත රෝග වැලදීමේ අවදානම අඩු වෙනවා සේම, දරුවන්ට අනිසි ලිංගික බලපෑම් හා අපයෝජනවලට ලක්වීමද අවම කරගත හැකි බව දෙමාපියන් වශයෙන් ඔබ අවබෝධ කර ගත යුතු සත්‍ය කරුණකි.

ලිංගික අධ්‍යාපනයේ අරමුණු මොනවාද?

  • තමාගේ ශරීරය අගය කිරීමට හා ආරක්ෂා කිරීමට ඉගෙනීම
  • ලිංගිකත්වය පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගැනීම
  • ලිංගික ක්‍රියාවලදී, නිවැරදි තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීම
  • වගකීමක් සහිතව ලිංගික ක්‍රියාවල නිරත වීම
  • තමාට හෝ අන් අයට හානියක් හෝ කරදරයක් නොවන ලෙස තමාගේ ලිංගික ආශාවන් ඉ‍ටුකරගැනීමට ඉගෙනීම

මෙහිදී දරුවාගේ වයසට, මානසික වර්ධනයට, සංස්කෘතියට ගැළපෙන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීම වැදගත් වේ.

 ලිංගික අධ්‍යාපනයේදී ඇතුලත් කළයුතු කරුණු මොනවාද?

  • ශරීරයේ උස, බර ආදිය එකිනෙකා අතර වෙනස් වන්නා සේම ලිංගික අවයවවල (පියයුරු, ශිෂ්ණය)  ප්‍රමාණය හා හැඩය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතරම එම ලිංගික අවයවවල ප්‍රමාණය හෝ හැඩය ලිංගික ආස්වාදය කෙරෙහි බලපාන්නේ නැත.
  • ආදරය හා ලිංගික ආශාව යනු එකම දෙය නොවේ. ඔබට ආදරය කරන හෝ ඔබ ආදරය නොකරන කෙනෙකුට වුවද ලිංගික ආකර්ශනයක් ඇතිවිය හැකිය. කෙනෙකු ඔබට ලිංගික අශාවක් දක්වන්නේ නම්, එයින් සැමවිටම අදහස් වන්නේ ඔහු/ඇය ඔබට ආදරය කරන බව නොවේ. එමෙන්ම ආදරය ප්‍රකාශ කිරීමට සෑම විටම ලිංගික කටයුතුවල නිරත විය යුතු නැත.
  • ලිංගික අශාවන් ඇතිවීම සාමාන්‍යය දෙයකි. නමුත් ඔබට ඇතිවන සෑම ලිංගික ආශාවක්ම ඉ‍ටු කර ගත නොහැකි බව තේරුම් ගත යුතුය.
  • රූපවාහිනිය හා විවිධ විද්‍යුත් මාධ්‍යවලින් ආදරයා හා ලිංගිකත්වය පිළිබඳව පෙන්නුම් කරන/විකාශනය කරන සියලුම දේ නිවැරදි නොවේ. එම නිසා විද්‍යුත් මාධ්‍ය, චිත්‍රපට ආදිය ලිංගික අධ්‍යාපනය ලබාගැනීමට සුදුසු මාධ්‍යනොවේ. මෙවැනි මාධ්‍ය මගින් තොරතුරු ලබාගැනීමේදී වැරදි තොරතුරු දැන ගැනීමටත්, මිථ්‍යා මත විශ්වාස කිරීමටත් ඉඩ ඇත. එමනිසා ලිංගිකත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම්, තම දෙමාපියන් හෝ වෙනත් විශ්වසනීය වැඩිහිටියෙක් සමඟ කතා කරන්න.
  • ස්වයං වින්දනය සාමාන්‍ය දෙයකි. බොහෝ දෙනෙක් ස්වයං වින්දනයේ යෙදෙති. ස්වයං වින්දනයේ යෙදෙන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ස්වයං වින්දනය නිසා ශරීරය කෙට්‍ටු වීම හෝ ශක්තිය අඩු වීමක් සිදු නොවේ.
  • ලිංගික සංසර්ගයේ යෙදීමට පෙර ඔබ බොහෝ දේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ගැබ් ගැනීමට හෝ ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ අවදානම සැලකිල්ලට ගත යුතුය. ඔබගේ යහළුවන් හෝ පෙම්වතා/පෙම්වතිය ගේ පෙරැත්ත කිරීම නිසා ඔබ ලිංගික කටයුතුවල නිරත වීම සුදුසු නැතඔබ අකමැති ඕනෑම ලිංගික කටයුත්තකට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත. එමෙන්ම තව කෙනෙකුගේ කැමැත්ත නැතිව, බලහත්කාරයෙන් ලිංගික කටයුතු වල නිරත වීමට උත්සහ කිරීම වරදකි.
  • ශ්රී ලංකාවේ නීතියට අනුවවැඩිහිටියෙකු (වයස අවුරුදු 18  වැඩි අයෙකුවයස අවුරුදු 16  අඩු දරුවෙකු සමඟ දරුවාගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගික කටයුත්තක නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදකි.
  •  වැඩිවියට පත් වූ  ඇති ඕනෑම ගැහැනු දරුවෙකු ලිංගික සංසර්ගයකින් ගැබ් ගැනීමට ඉඩ ඇත. ගැබ් ගැනීම වලක්වා ගැනීමට නම්, උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම අත්‍යාවශ්‍ය වේ. ඔසප් චක්‍රය නියමිත දිනයට වඩා ප්‍රමාද වීම ගැබ් ගැනීමක් සිදුවී ඇති බවට ඇති පළමු සාක්ෂිය වේ.
  • විවිධ උපත් පාලන ක්‍රම ඇත. කොන්ඩම් හා උපත් පාලන පෙති මින් සමහරකි. කොන්ඩම් අනවශ්‍ය ගැබ් ගැනීම් හා ලිංගාශ්‍රිත රෝග යන දෙකෙන්ම ඔබව ආරක්ෂා කරයි. නමුත්, උපත් පාලන පෙති ඔබව ආරක්ෂා කරන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් පමණකි. උපත් පාලන පෙති ලිංගාශ්‍රිත රෝග වලින් ඔබ ආරක්ෂා නොකරයි.

දරුවන් හා සම්බන්ධ සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කරන්නට දෙමාපියන් වශයෙන් අපි බැඳී සිටින අතරම ලිංගික අධ්‍යාපනය ද එම වගකීම් සමුදායේ කොටසක් බව අමතක නොකරන්න. නොදැනුවත්කම මගින් නව යොවුන් ජීවිත අකාලයේ අනතුරට පත්වීම විනාශ වී යාමට මූලික එක් හේතුවක් ලෙස ද නිවැරදි ලිංගික අධ්‍යාපනය නොමැතිකම හඳුන්වා දිය හැකියි. ඒ නිසාම දුවා දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ලිංගිකත්වය පිළිබඳව අවශ්‍ය දැනුම දරුවාගේ වයසට සරිලන ආකාරයෙන් ලබා දීම දරුවන් හා සම්බන්ධව ඔබට පැවරුණු වගකීමේ  තවත් එක් ප්‍රධාන කොටසක් බව අමතක නොකරන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය

විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය

දකුණු කොළඹ ශික්ෂණ රෝහල


                

ඇයි මේ පොඩ්ඩෝ මේ තරම් දඟ? මේ තරම්ම මුරණ්ඩු?

ගොඩක් වෙලාවට අම්මලාගෙන් දරුවන් ගැන ඇසෙන පැමිණිලි මෙන්න මේ වගෙයි. දරුවන් දඟ කිරීමට හා මුරණ්ඩු වීමට බලපාන්නේ දරුවාගේ දුර්වලතාම පමණක් නොවෙයි. ඒ සඳහා දරුවාගේ පවුල් පරිසරයේ හෝ දෙමාපියන්ගේ ඇති දුර්වලතාද හේතු වෙනවා. විශේෂයෙන්මදරුවාගේ දඟ/මුරණ්ඩු හැසිරීම් පවතින්නේ ගෙදරදීම විතරක් නම් ඒ කියන්නේ ගෙදරින් පිටත පාසැලේදී/වෙනත් ස්ථාන්වල දඟ/මුරණ්ඩු හැසිරීම් නොපෙන්වනවා නම් දරුවෙකුගේ මේ හැසිරීම්වලට මූලිකවම දරුවාගේ නිවසේ පරිසරය හේතු වෙනබව අනුමාන කළ හැකියි. 

ඉතිං අපි, අපේ දරුවන්ගේ දඟකම් පාලනය කරන්නේ කොහොමද? 

දරුවාගේ දඟකම්/මුරණ්ඩුකම් අවම කරගැනීමට දරුවාගේ දෙමාපියන්ගේ හැසිරීම් වගේම ගෙදර පරිසරයත් වෙනස් කරගැනීම බොහොම වැදගත්. ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් ගැන අපි දැනුවත් වෙමු.

  • වැඩිහිටි ඔබ සැමවිටම ආදර්ශමත් වෙන්න

දරුවන් පහර දීමබඩු විසි කිරීමනරක වචන කීම වැනි දෑ ඉගෙන ගන්නේ කෙසේදබොහෝ විට ඔවුන්ගේ පවුලේ වෙනත් වැඩිහිටියෙක් කේන්ති ගිය අවස්ථා වලදී මෙසේ බඩු විසිකරනවාපහර දෙනවා හෝ නරක වචන භාවිත කරනවා ඔවුන් දැක ඇත. නිවසේ වැඩිහිටියන් තරහ ගිය විට මෙසේ හැසිරෙනවා දකින දරුවෙක් සිතන්නේ තරහ ගියවිට මෙසේ හැසිරීම සාමන්‍යය බවයි. ඒනිසා දරුවාට කේන්ති ගිය විටද මෙසේ හැසිරේ. එම නිසා තමා දරුවා  තුලින් යම් හැසිරීමක් දැකීමට අකමැතිනම්පළමුව ගෙදර වැඩිහිටියන් එවන් හැසිරීම්වල නිරත වීමෙන් වළකින්න. දරුවන් සැමවිටම වැඩිහිටියන් කියනා දෙයට වඩා ඔවුන්ගේ ක්‍රියාවන් අනුකරණය කරන බව මතක තබා ගන්න.

  • දඟ වැඩවලට අවධානය දීමෙන් වළකින්න

දරුවන්ගේ දඟ වැඩ වලට අවධානය දීම ඔවුන්ගේ එම හැසිරීම් තව දුරටත් වැඩි වීමට හේතුවේ. සාමාන්‍යයෙන් දරුවෙක් සන්සුන්ව කටයුත්තක යෙදෙන විට දෙමාපියන්/වැඩිහිටියන් එයට අවධානය නොදෙයි. නමුත් දරුවා යම් කිසි දඟ වැඩක් කරයි නම් (උස් ස්ථානයක නගියි නම්සහෝදරයින් සමඟ රණ්ඩු කරයි නම්) නිවසේ සියලුම වැඩිහිටියන් එතැනට ඇවිත් එයට අවධානය දෙයි. මෙසේ දඟ වැඩ වලට අවධානය දීමෙන් දරුවා ඉගෙන ගන්නේ තමාට වැඩිහිටියෙකුගේ අවධානය ලබාගැනීමට අවශ්‍ය නම් දඟ වැඩක් කළ යුතු බවයි. එවිට දරුවාට අවධානය අවශ්‍ය වූ විට ඔහු/ඇය දඟ කිරීමට පෙළඹෙයි. එමනිසා දරුවන් හොඳින් හැසිරෙන විට ඔවුන්ට හැකි තරම් අවධානය දෙන්න. ඔවුන්ගේ දඟ වැඩ වලට අවධානය දීමෙන් වළකින්න.

  • දඟකිරීමෙන්/මුරණ්ඩු වීමෙන් වාසි නොලැබීමට වගබලා ගන්න

බොහෝ දරුවන් තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුනු විට කෑ ගසයිබිම පෙරලෙයිහඬයිපහර දෙයි. දරුවන් මෙසේ මුරණ්ඩු ලෙස හැසිරුනු විට සමහර දෙමාපියන් දරුවාගේ කරදරයෙන් බේරීමට දරුවාට අවශ්‍යය දේ ලබාදෙයි. මින් දරුවා ඉගෙන ගන්නේ තමාට යමක් අවශ්‍ය වූ විට බිම පෙරලීහඬාපහරදීම මගින් තමන්ට අවශ්‍යය දේ ලබාගත හැකි බවයි. එමනිසා තමාට නැවත වතාවක් යමක් අවශ්‍ය වූ විට දරුවා මෙසේ මුරණ්ඩු ලෙස හැසිරෙනු ඇත. එමනිසා දරුවාගේ යම් ඉල්ලීමක් නොදීමට තීරණය කළහොත්දරුවා කොතරම් කරදර කළත්ඇඬුවත්රණ්ඩු කළත් එය ලබා නොදිය යුතුය. කලක් තිස්සේ හැඬීමෙන් හා රණ්ඩු කිරීමෙන් තම ඉල්ලීම් දිනා ගත් දරුවෙකුටමෙසේ තම ඉල්ලීම් ලබා නොදුන් විට මුලදී ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩි වැඩියෙන් රණ්ඩු කරනු ඇත. නමුත් ටික කලකින් මෙසේ රණ්ඩු කිරීමෙන් තම ඉල්ලීම් දිනා ගත නොහැකි බව වැටහුනු පසු දරුවා මෙසේ රණ්ඩුකර ඉල්ලීම් දිනාගැනීමට තැත්කිරීම අඩුවනු ඇත.

  • නිවසේ නීති රීති පැහැදිලි කරන්න

ඇතම් අවස්ථාවලදී ගෙදර සිටිනා වැඩිහිටියන් දරුවාගේ හැසිරීම පිළිබඳ වෙනස් මත දරයි. උදාහරණයක් ලෙස ඇතම් විට අම්මා දරුවා ඉල්ලන ඉල්ලන දේ නොදුන්නත්තාත්තා දරුවා ඉල්ලන ඉල්ලන දේ ගෙනැවිත් දෙයි. නැතහොත් දෙමාපියන් දරුවා තම මල්ලිට පහර දෙන විට දරුවාට දඬුවම් කලත්දරුවාගේ ආච්චී/සීයා එවිට දරුවා ඉදිරිපිටම දරුවාට දඬුවම් කිරීම පිළිබඳ දෙමාපියන්ට දොස් කියයි. මෙසේ ගෙදර සිටිනා වැඩිහිටියන් සමහරක් දරුවාගේ ක්‍රියාව වැරදියයි කියන අතරඅනෙක් වැඩිහිටියන් එම ක්‍රියාවම නිවැරදියයි කීම මගින් දරුවාට තම හැසිරීම වැරදිද නිවැරදිද යන්න වටහා ගන්නට නොහැකි වේ. එමනිසා ගෙදර සිටිනා සියලුම වැඩිහිටියන් එකතු වී දරුවාට දෙන්නේ/නොදෙන්නේ මොනවාදදඬුවම් දෙන්නේ මොනවාටද යන්න තීරණය කොට දරුවාට නිවසේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ නීති රීති පද්ධතියක් සකස් කරගත යුතුවේ. නිවසේ සෑම දෙනෙකුටම (අනෙක් සහෝදර සහෝදරියන්දෙමාපියන්) සියලු දෙනාටම එකම නීති පද්ධතියක් තිබිය යුතුය.

  • නිවසේ නීති පිළි පදින්නේ නැතිනම් අත්වන ප්‍රතිඵල පහදා දෙන්න

නිවසේ නීති කඩ කිරීමට දඬුවමක් ලැබිය යුතුය. මින් අදහස් කරන්නේ කායික දඬුවම් නොවේ. දඬුවමක් වශයෙන් නීති කඩ කළ දිනට දරුවා ඉතාමත්ම කැමති දෙයක් කිරීමට ඉඩ නොදෙන්න.

  • නීති කඩ කළොත් රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදීම
  • මිදුලේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීම
  • අනවශ්‍ය ලෙස දරුවාට උපදෙස් දීමෙන් වළකින්න

සමහර දෙමාපියන් දවස තිස්සේමදරුවා කරනා කියනා සෑම දෙයක්ම නිවැරදි කිරීමට උපදෙස් දෙයි. මෙසේ සැම විටම අධික ලෙස උපදෙස් දීමෙන් දරුවාට අවවාද වලට සවන්දීම එපාවෙයි. එවිට දරුවා දෙමාපියන් කියනා කිසිම දෙයක් පිළිපැදීමෙන් වැළකී සිටිය හැක. එමනිසා අවශ්‍ය දෙයට පමණක් උපදෙස් දෙන්න. දරුවෙකුගේ වෙනස් කිරීමට අවශ්‍ය හැසිරීම් ගනණාවක් තිබිය හැකිය. නමුත් මෙම හැසිරීම් සියල්ල එකවර වෙනස් කිරීමට උපදෙස් දීම සාර්ථක නැත. එක් වරකට වෙනස් කිරීමට අවශ්‍යය හැසිරීම් එකක් හෝ දෙකක් ‍තෝරාගෙන ඒවා වෙනස් කිරීමට උපදෙස් දෙන්න. එම හැසිරීම් නිවැරදි කරගත් පසු අනෙක් හැසිරීම් නිවැරදි කිරීමට උපදෙස් දෙන්න. අනවශ්‍යය ලෙස උපදෙස් දීමෙන් වළකින්න.

  • දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න

දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවයක් ඇත්නම්දරුවා දෙමාපියන් කියනා අවවාද පිළිපැදීමට වැඩි ඉඩක් ඇත. නමුත් දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවයක් නොමැති නම්දරුවා දෙමාපියන් තමාට ආදරය නැතැයි සිතන්නේ නම්තමාව දෙමාපියන් තේරුම් ගන්නේ නැතයි සිතන්නේ නම්දරුවා දෙමාපියන් කියනා අවවාද පිළිගැනීමට අකමැතිය. මේ නිසා සෑම විටම දරුවා හා යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්න. දරුවාට ආදරය දක්වන්නදරුවා සමඟ සෑම දිනම විනාඩි 30ක්වත් කාලය ගතකරන්න. මෙම කාලය දරුවාට පාසැල් වැඩ කරවීමටවත්අවවාද දීමටවත් නොවදරුවා කැමති ක්‍රියාවක් කිරීමට වෙන්කරගන්න.

  • දරුවාට නිවැරදි ලෙස උපදෙස් දෙන්න

දරුවාගේ අවධානය නැති විටදී උපදෙස් දීමෙන් වලකින්න. 

  • දරුවා නිවසේ එක් ස්ථානයක සිට යම් කාර්යයක නිරත වී සිටින විට (රූපවාහිනිය නරඹද්දීබයිසිකල් පදිද්දී) වැඩිහිටියෙකු නිවසේ වෙනත් ස්ථානයක සිට දරුවාට උපදෙස් දෙන්නේ නම් දරුවා එම උපදෙස් වලට දරුවා දෙන අවධානය අඩුය. අවධානය අඩු අවස්ථා වලදී දරුවා උපදෙස් පිළිපදිනවා අඩුය.
  • සමහර අවස්ථාවලදී දෙමාපියන් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එකවර උපදෙස් දෙයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් දරුවා උදෑසන අවදිවූ පසු දත් මැදලාමුහුණ සෝදලාඇඳුම් ඇඳලාකුස්සියට ඇවිත් තේක බීලාඋදේ කෑම කන්න වැනි දීර්ඝ උපදෙස් දුන්විට දරුවාට 

උපදෙස් සියල්ල එකවර මතක තබාගැනීමට අපහසුය. එමනිසා උපදෙස් කොටස් වලට කඩාවරකට එක උපදෙසක් පමණක් දෙන්න. ඉහත උදාහරණය ගතහොත්පළමුව දත් මදින්න කියන්න. දත් මැදීම අවසන් කළ පසු මුහුණ සෝදන්න කියන්න. එය අවසන් කළපසු ඇඳුම් අඳින්න කියන්න. එනම් දීර්ඝ ලෙස උපදෙස් දීමෙන් වලකින්න.

  • බොහෝවිට දෙමාපියන් දරුවන්ට නොකළ යුතු දේ කියන කියන නමුත් නිවැරදිව කළ යුතු දේ පැහැදිලි නොකරයි. සෑමවිටම නොකළ යුතු දෙය නොව කළ යුතු දේ කියන්න.

උදා:    “කිලිටි ඇඳුම් තැන තැන දාන්න එපා වෙනුවට කිලිටි ඇඳුම් රෙදි කූඩයට දාන්න

දොර හයියෙන් වසන්න එපා වෙනුවට දොර සෙමින් වහන්න

දුවන්න එපා වෙනුවට හෙමින් ඇවිදින්න

කෑම කාලා පිඟාන තියලා යන්න එපා වෙනුවට කෑම කලා පිඟාන හෝදන්න

  • දරුවාගේ හොඳ ක්‍රියා අගය කරන්න

දරුවා හොඳින් හැසිරෙන විට ඔහුට/ඇයට ප්‍රශංසා කරන්න. දරුවාගේ හොඳ හැසිරීම් දියුණු කිරීමට තරු සටහනක් භාවිත කරන්න.

  • පළමුව වෙනස්කිරීමට අවශ්‍ය එක් හැසිරීමක් ‍තෝරා ගන්න (උදා: ගෙදර වැඩ කිරීම)
  • තරුව දෙන්නේ කුමකටද යන්න දරුවාට පහදා දෙන්න (උදා: ගෙදර වැඩ සම්පූර්ණ කළොත් තරුවක් දෙනවා)
  • තරු පහක් එකතු වූ පසු කුඩා තිළිණයක්/ තෑග්ගක් දෙන්න. තිළිණය දරුවා කැමති දෙයක් විය යුතුයි. තරු පහක් ලැබුණු පසු දෙන තිළිණය දරුවා සමඟ සාකච්ඡා කොට තීරණය කරන්න. තිළිණය ලැබෙන්නේ කුමකටදැයි දරුවාට පැහැදිලි කරන්න (උදා: තරු පහක් ගත් නිසා තෑග්ග හම්බවෙනවා).
  • සෑමවිටම තරු 5ක් ගන්නා තෙක් තිළිණය දීමෙන් වැලකී සිටින්න
  • දරුවා දින චර්යාවකට හුරු කරන්න

දරුවා සමඟ එකතු වී නිවසේ වැඩ කටයුතු කිරීමට කාල සටහනක් සාදන්න. දරුවා මෙම කාල සටහනට අනුව වැඩ කිරීමට උනන්දු කරවන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය

විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය

දකුණු කොළඹ ශික්ෂණ රෝහල


                

කොවිඩ් 19 ගැබිනි මවට මෙන්ම දරු ප්‍රසූතියට බලපාන්නේ කෙසේද?

කොවිඩ් 19 පිළිබඳව මේ කාලය ඇතුළත ලිපි බොහොමයක් තුළින් සාකච්ඡා කළා ඔබට මතක ඇති. අද වන විට කොවිඩ් 19 හේතුවෙන් අවදානම් තත්ත්වයට පත්ව සිටින කොටසක් ලෙස ගැබිනි මව්වරුන් පිළිබඳව කතා බහ වෙනවා නිතර අසන්නට ලැබෙන නිසාම ගැබිනි සමයට දරු ප්‍රසූතියට කොවිඩ් 19 බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න සාකච්ඡා කිරීම කාලීන බව සිතුණු නිසාත් ගැබිනි මව්වරුන් බියට පත් වීම සාධාරණ ද යන්න විමසීමටත් මේ ලිපිය සැකසෙන බව කිව යුතුමය. ඒ වගේම තමයි කොවිඩ් 19 සම්බන්ධ සියලුම වෛද්‍ය සහ වෙනත් උපදෙස් 1999 අංකය අමතා ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

වෛද්‍යතුමනි, ගැබිනි බව කොවිඩ් 19 අවදානම් සාධකයක්ද?

ගැබිනි බව කියන්නේ කොවිඩ් 19 සඳහා අවදානමක් බව මෙතෙක් සනාථ වී නැහැ. නමුත් ගැබිනි සමය තුළදී කාන්තාව‍කගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස් වීම්වලට ලක්වෙනවා. අන්න ඒ නිසාම සෑම බෝවන රෝග තත්ත්වයකින්ම ආරක්ෂා වීමට ගැබිනි මව වගබලා ගත යුතුයි. කෙසේ වුවත් සෑම පුද්ගලයෙක් මෙන්ම ගැබිනි මවත් ආසාදනයෙන් වැලකීමට අදාල සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුමයි‍.

ගැබිනි මව,

  • පොදු ස්ථානවලට යෑම අවම කළ යුතුයි
  • නිසි ප්‍රමිතියේ මුඛ ආවරණයක් නිවැරදිව භාවිත කළ යුතුයි
  • සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම කළ යුතුයි
  • විෂබීජහරණ දුව්‍යයක් හෝ සබන් යොදා නිතර දෑත් පිරිසිදු කිරීම කළ යුතුයි 
  • මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි

අන්න ඒ වගේ සාමාන්‍යයෙන් කොවිඩ් 19 තත්ත්වයෙන් වැළකීමට ලබා දෙන සෑම සෞඛ්‍යාරක්ෂිත උපදෙසක්ම ගැබිනි මවත් අනුගමනය කළ යුතුමයි. ‍

ගැබිනි මවක් තමාට කොරෝනා ආසාදනය ඇති බවට සැක කරනවා නම් පළමුවෙන් සිදු කළ යුත්තේ කුමක්ද?

කොරෝනා ආසාදන තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ යම් ගැබිනි මවක් තුළින් පෙන්නුම් කරනවා නම් ඒ මව ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයට හේ වෛද්‍යවරයාට දැනුම් දීම අත්‍යවශ්‍යයි. ඒ වගේම යම් අපහසුතා ඒ කියන්නේ හුස්ම ගැනීම අපහසු වගේ දැනෙනවා නම් ඉතාම ඉක්මනින් ළඟම ඇති රෝහලට යා යුතුයි. 

වෛද්‍යතුමනි, යම් මහයකින් ගැබිනි මවක් කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වුණොත් කුස තුළ වැඩෙන දරුවාත් ආසාදිතයෙක් බවට පත් වෙනවාද? 

මේ දක්වා ලැබී ඇති වාර්තාවලට අනුව නම් කුස තුළදී දරුවා ආසාදිතයෙක් වන බව ස්ථිරව කිව නොහැකියි. 

රට තුළ මෙවැනි වසංගතයක් පවතින මේ අවස්ථාවේදී ගැබිනි මව්වරුන් වෙනුවෙන් සැලසෙන පහසුකම් මොනවාද?

රට වසා ඇති කාලයේදී වුවත් සායන සඳහා පැමිණීමට ගැබිනි මවට ලබා දෙන කාඩ්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ කෙසේ වෙතත් අපි ගැබිනි මවට උපදෙස් දෙනවා සායනවලට සහභාගී නොවුණත් අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙසටත් වෙනත් අවස්ථාවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනය හෝ වෛද්‍යවරයා දුරකතනය මගින් සම්බන්ධ කරගෙන හෝ ගැටලුවක් ඇති නම් දැනුම් දෙන ලෙස. එවැනි අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මව දැනුවත් කිරීම සිදු වෙනවා.

ඒ වගේම මේ වන විට ගැබිනි මව්වරුන් පිටතට පැමිණීම අවම කිරීම සඳහා සායනික ප්‍රතිකාර සීමා කරලා තියෙනවා. නමුත් නව ලියාපදිංචි වීම් ඇති ගැබිනි කාන්තාවන්, සති 32ට වැඩි ගැබිනි කාන්තාවන් වගේම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, ශ්වසන අබාධ, මානසික සෞඛ්‍ය ගැටළු ඇතුළු පෙර ගැබිනි සමයේදී යම් යම් සංකූලතා පෙන්නුම් කළ කාල්නාවන් මෙන්ම එවැනි සංකූලතා සම්බන්ධ ඉතිහාසයක් ඇති කානතාවන්ට සායන සඳහා සහභාගී වීමට උපදෙස් ලබාදෙනවා.

මේ පවතින වසංගත තත්ත්වය ගැබිනි මවකට මානසික පීඩාවක් විය හැකියි නේද?

ඔව්… සැමවිටම ගැබිනි මවක් තමන්ගේ මෙන්ම දරුවාගේ යහපත ගැන සිතිය යුතුමයි. මෙවැනි සමයක නිවසටම කොටු වී ඉන්න සාමාන්‍ය පුද්ගලයෙකුටත් මානසික නොසන්සුන්තාවයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් විය හැකියි. ඒ නිසා දරුවෙකුත් කුසේ දරා අපහසුතා මැද බියෙන් කාලය ගත කරන කාන්තාවකට එවැනි මානසික කඩා වැටීමක් ඇති වීම ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ. ඉතිං මේ තත්ත්වයේදී සෑම ගැබිනි මවක්ම සිත ශක්තිමත් කරගනිමින් මේ තත්ත්වයට බොහොම නිර්භීතව මුහුණ දිය යුතුයි. මොකද ඇය කුසේ රුවාගෙන සිටින්නේ සම්පතක්. ගැබිනි මව මානසික දුර්වල වීම කුසේ වැඩෙන දරුවාගේ වර්ධනයටත් බලපෑ හැකියි. ගැබිනි කාන්තාවන් තමන්ගේ මානසික සුවය වෙනුවෙන් සංගීතයට සවන් දීම, දරු ප්‍රසූතියට සූදානම් වීම, සාමාන්‍යයෙන් එදිනෙදා නිවසේ වැඩකටයුතුවල නිරත වීම, නිවැසියන් සමග කතා බහ කරමින් කාලය ගත කිරීම ඉතාම වැදගත්. ඒ වගේම අනවශ්‍ය ලෙස කොවිඩ් 19 හා සම්බන්ධව ඵල වන පුවත් නැරඹීම, තොරතුරු සෙවීම වැනි කටයුතුවලින් ඈත්වීමටත් මතක තබාගන්න.

කොවිඩ් 19 නිසා ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා මොනවාද?

ඇත්තටම කිව්වොත් කොවිඩ් 19 කියන්නේ අපිට අලුත් රෝග තත්ත්වයක්. මේ හා සම්බන්ධ පර්යේෂණ මේ වන වි‍ටත් සිදු වෙමින් පවතිනවා. ඒ නිසා ඇති විය හැකි සංකූලතා ගැන ඒවා පර්යේෂණ මගින් සනාථ වීමට පෙර පැවසීම අපහසුයි.

කොවිඩ් 19 ඇති ගැබිනි මවකගේ ප්‍රසූතිය සිදුවිය යුත්තේ සිසේරියන් සැත්කමක් හරහාද?

ගැබිනි බවට අදාල වෛද්‍යමය ගැටලු මත සිසේරියන් සැත්කමකට යොමු වුවහොත් හැරෙන්න කොවිඩ් 19, සිසේරියන් සැත්කමකට යොමු කිරීමට හේතුවක් නොවේ. සාමාන්‍යයෙන් මව කොරෝනා ආසාදිතයෙක් නම් පමණයි ප්‍රසූතිය සම්බන්ධව වෙනත් ක්‍රියාමාර්ග ගත යුතු වෙන්නේ. එසේ නැතිනම් නියමිත දිනට ප්‍රසූතිය සිදු කෙරෙනවා.

කොවිඩ් 19 සමග ප්‍රසූතිය සිදු කළ මවකට දරුවාට මව්කිරි ලබාදිය හැකිද?

ඔව්.. අනිවාර්යෙන්ම. නමුත් මව ඉතාම කල්පනාකාරීව තමන්ගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුමයි. මුඛ ආවරණය පැලඳීම වගේම දෑත් මෙන්ම පපු පෙදෙසත් මව්කිරි දීමට පෙර පිරිසිදු කිරීම වඩාත් සුදුසුයි. මව්කිරි හරහා රෝගය සම්ප්‍රේෂණය වන බවක් මෙතෙක් තහවුරු වී නැහැ. ළදරුවාට මව්කිරි දීම ඉතාම වැදගත්. මොකද දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමට එය වැදගත් වෙනවා වගේම එ් හේතුවෙන් ළදරුවා ‍බෝවන රෝගවලින් ආරක්ෂා වෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 


                

දවසේ වැඩි වේලාවක් දරුවෝ ඉන්නේ ස්ක්‍රීන් එකේද?

කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමත් සමගම අපි සැවොම නිවෙස්වලට කොටු වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ. පාසැල වසා දැමීමත් සමගම දරුවන්ගේ අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමයට ආරම්භ වූවා.මේ වන විට එය වසර දෙකකට පමණ ආසන්න කාලයකට සම වෙමින් තිබෙනවා. අපේ දරුවන් වැඩි වශයෙන් කාලය ගත කරන්නේ තිරය මත‍. හුරුපුරුදු වචනයෙන් කිව්වොත් අද වෙද්දී දරුවන්ගේ ස්ක්‍රීන් ටයිම් බොහෝ සෙයින් වැඩි වෙලා. ඒ වගේම ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකරකම් වල නියැලීමටත් දරුවන්ට අවස්ථාවක් නැහැ. තාක්ෂණයේ දියුණුව අපේ ඕනෑම ගැටලුවකට වාගේ කුමක් හෝ විසදුමක් ලබා දුන්නත් ඒ හරහා අප වෙත එන අහිතකර බලපෑමුත් නැතිවාම නොවෙයි. මෙවැනි වටපිටාවකදී විද්‍යුත් තිර මත එනක් වැඩි වේලාවක් ස්ක්‍රීන් මත සිටින දරුවන්ට ඇති විය හැකි සංකූලතා ගැන දෙමාපියන් ලෙස අපි දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා.

අධික ලෙස විද්‍යුත් තිර භාවිතයේ අහිතකර ප්‍රතිඵල මොනවාද?

ශාරීරික සංකුලතා

  • විද්‍යුත් තිර භාවිත කරමින් උදාසීන ලෙස කාලය ගත කිරීම නිසා ස්ථුලභාවය හා එහි සංකුලතා (දියවැඩියාව, අධික රුධිර පීඩනය) ආදිය ඇතිවීම
  • අක්ෂි ආබාධ – පෙනීම බොඳ වීම, ඇස් වලට අපහසුතාවක් දැනීම, පෙනීමේ දුර්වලතා ඇතිවීම
  •  මාංශපේෂී හා හන්දි කැක්කුම් ඇතිවීම
  • නින්දට බාධා ඇතිවීම – නින්ද නොයෑම, නින්ද යෑමට වැඩි කාලයක් ගතවීම

 මානසික සෞඛ්‍යය හා හැසිරීම කෙරෙහි ඇති බලපෑම

  • පවුලේ සාමජිකයින් හා යහළුවන්ගෙන් ඈත්වීම/සමාජ සම්බන්ධතා බිඳවැටීම
  • කාංසාව, විශාදය, අධි ක්‍රියාකාරී අඩු අවධානය වැනි මානසික රෝගවලට ඇති ප්‍රවණතාවය වැඩිවීම
  • විද්‍යුත් තිරවල ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුකරණය නිසා දරුවන් අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිවීම

 දරුවෙකු අධික ලෙස විද්‍යුත් තිර භාවිතයට හුරු වීමට හේතු විය හැකි කරුණු මොනවාද?

  • පවුල් සංස්ථාවේ ලක්ෂණ (දෙමාපියන් වෙන් වූ/දික්කසාද වූ පවුල්වල දරුවන්)
  • විද්‍යුත් තිර සම්බන්ධයෙන් නිවසේ කිසිදු නීති රීති පද්ධතියක් නොමැති වීම
  • දෙමාපියන් අධික ලෙස විද්‍යුත් තිර  භාවිතය
  • දරුවන්ට තම නිදන කාමරයේ පරිගණකයක්, රූපවාහිනියක් තබාගැනීමට ඉඩදීම
  •  දෙමාපියන් හා දරුවන් අතර යහපත් සම්බන්ධතාවයක් නොමැති වීම
  • දරුවාගේ ලක්ෂණ (පිරිමි දරුවන්, නව යොවුන් වියේ දරුවන්, තම හැඟීම් පාලනය කරගැනීමේ අපහසුතා ඇති දරුවන් හා ආත්ම විශ්වාසය අඩු දරුවන්) 

අධික ලෙස විද්‍යුත් තිර භාවිතය පාලනයට මව්පියන් මැදිහත් විය යුත්තේ කෙසේද?

දරුවන්ගේ විද්‍යුත් තිර භාවිතය පාලනය කිරීමේ වැඩිම වගකීම ඇත්තේ දෙමාපියන්ටයි. දරුවන්ගේ විද්‍යුත් තිර භාවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පහත් උපදෙස් ලබාදිය හැකිය.

  • දරුවන්ට දිනකට විද්‍යුත් තිර භාවිතා කළ හැකි කාල සීමාවන් පිළිබඳ නීති රීති පැනවීම.
  • නින්දට, කෑමට හෝ අධ්‍යාපන කටයුතු වල යෙදෙන වෙලාවන්හි (අද වන විට දරුවන් මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලබන නිසා අදාල උපාංගය අධ්‍යයන කටයුතුවලදී පමණක් ලබා දී ඉවත් කිරීමට ඔබට හැකියි) විද්‍යුත් තිර භාවිතයට ඉඩ නොදීම
  • රූපවාහිනිය, පරිගණකය හෝ අනෙකුත් විද්‍යුත් තිර පවුලේ සැම දෙනාටම පෙනෙන ස්ථානයක තැබීම. විද්‍යුත් තිර භාවිතයේදී පවුලේ සියලු දෙනාටම පෙනෙන ස්ථානයක සිට ඒවා භාවිත කිරීමට සැලස්වීම
  • දෙමාපියන් හැකි තරම් විද්‍යුත් මාධ්‍යය හා සමාජ ජාලා පිළිබඳ දැනුවත් වීම. දෙමාපියන් මේ පිළිබඳ දැනුවත් නම්, තම දරුවා විද්‍යුත් මාධ්‍ය හරහා නරඹන දෑ පාලනය කිරීමට පහසු වේ.
  • වයසින් වැඩි දරුවන්ට, විද්‍යුත් තිර/සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අවදානම් ගැන විවෘතව කතා කිරීම. (විද්‍යුත් තිර හරහා නාඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, නාඳුනන පුද්ගලයන්ට විද්‍යුත් තිර හරහා තම පින්තූර යැවීම වැනි දේ වලින් සිදුවිය හැකි හානි සාකච්ඡා කිරීම, තමාගේ සමාජ ජාලා ගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම)
  • දෙමාපියන් තමාගේ විද්‍යුත් මාධ්‍ය භාවිතය පාලනය කිරීම. නැතහොත් දරුවන් දෙමාපියන්ගේ හැසිරීම් අනුකරණය කර අධික ලෙස විද්‍යුත් තිර භාවිත වැලැක්වීමට අපහසුය.

ඔබේ දරුවා විද්‍යුත් තිර වලට ඇබ්බැහි වී ඇත්දැයි වටහා ගන්නේ කෙසේද?

  • කාලයත් සමඟ විද්‍යුත් තිර භාවිත කරන කාලය වැඩිවීම
  • විද්‍යුත් තිර භාවිත කරන කාලය පිළිබඳ දරුවා බොරු කීම
  • විද්‍යුත් තිර භාවිතයට අමතරව දරුවා වෙනදා ආසාවෙන් කළ ක්‍රියාකාරකම් මගහැරීම (පාසැල් වැඩ, ක්‍රීඩා, විෂය බාහිර ක්‍රිකාරකම්)
  • විද්‍යුත් තිරවලින් තමාට සිදුවන අහිතකර බලපෑම් ගැන දැනුවත් වුවත්, එය නොතකා විද්‍යුත් තිර දිගටම භාවිතය
  •  විද්‍යුත් තිර භාවිතය අඩුකිරිම හෝ පාලනය කිරීමට දරුවා අපොහොසත් වීම
  • තරහා, දුක වැනි හැඟීම වලින් මිදීම සඳහා දරුවා විද්‍යුත් තිර භාවිතය
  • විද්‍යුත් තිර භාවිතාව වලක්වන අවස්ථා වලදී කේන්තිය, දුක, නොසන්සුන්තාවය වැනි ලක්ෂණ පෙන්නුම් කිරීම

මෙවැනි ලක්ෂණ ‍ඔබේ දරුවාත් පෙන්නුම් කරනවා නම් හැකි ඉක්මනින් දරුවාව මනෝ වෛද්‍ය සායනයකට යොමු කර තත්ත්වය පිළිබඳව සැක හැර දැනගත යුතු අතරම වෛද්‍ය උපදෙස් මත ක්‍රියාක්මක වෙන්න.


විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය

විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය

දකුණු කොළඹ ශික්ෂණ රෝහල


                

කොවිඩ් 19 ගැන මව්පියන් දැනගත යුතුම කරුණු 12ක්

පසුගිය දිනවල වයස අවුරුදු තුනහාමාරක දැරියක් හිටි හැටියේ මිය ගිය පුවතක් මාධ්‍ය හරහා වාර්තා වූ ආකාරය ඔබට මතක ඇති. මේ දැරිය සෙල්ලම් කරමින් සිටිය අතරේ ඇද වැටී මිය ගිය බව එහි සඳහන් වුවා. මෙවැනි සිදුවීමක් මව්පියන් වන ඔබට මට කිසිසේත්ම දරාගන්නට බැහැ. අද දවසේ ඒ මාපියන් මුහුණ දුන් ඒ අත්දැකීම හෙට දවසේ තවත් මව්පියන් කී දෙනෙකුට නම් අත්දකින්නට සිදු වේද? මේ සිදුවීමට හේතුව කොරෝනා වෛරස ආසාදනය ද යන්න අපි සොයා බලමු.

  1. වෛද්‍යතුමනි, මේ රෝග තත්ත්වය මොකද්ද ?

ඔව් … මේ තත්ත්වය හඳුන්වන්නේ silent hypoxia එහෙම නැත්නම් happy hypoxia ලෙසයි.  කිසිම රෝග ලක්‍ෂණයක් නැතිව අපේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතාමත් අඩු අගයකට පත්වීමේ හැකියාවක් මේ කොරෝනා රෝගයත් එක්ක ඇති විය හැකියි. වෙනදා මේ තත්ත්වය බහුලව වැඩිහිටියන් තුළ නිතර නිතර දැක්කත් අද වෙද්දී දරුවන්ගෙත් මේ තත්ත්වය දැකගන්න ලැබෙනවා. 

මේ තත්ත්වයේදී කොරෝනා ආසාදිත වුණත් ඒක පිටතට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙහෙම දරුවෙක්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතාමත්ම අඩු අගයකට පත් වීමේ හැකියාවක් තියෙනවා. මෙය රෝග ලක්‍ෂණ නොපෙන්වන නියුමෝනියා තත්ත්වයක්. මේ හේතුවෙන් ඇතැම් විට රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ බහිනවා. සාමාන්‍යයෙන් රුධිරයේ ශඔක්සිජන් මට්ටම 100 – 95 අතර අගයක් තිබිය යුතුයි. මෙවැනි තත්ත්වයකදී ඒ මට්ටම ඉතාම පහළ බැසිය හැකියි. 

2. රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙද්දී දරුවෙක් යම් ‍රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැද්ද?

සාමාන්‍යයෙන් වෙනත් රෝග තත්ත්වවලදී අපේ සිරුරේ ඔක්සිජන් මට්ටම අඩු වෙද්දී සිරුර විසින්ම එය හඳුනා ගෙන යම් යම් ප්‍රතිචාර දක්වනවා. උදාහරණ විදියට ස්වසන අපහසුතා, හතිය, ඇවිදීමේ අපහසුතා වැනි තත්ත්ව පෙන්වනවා. ඒත් කොරෝනා නිසා ඇති වන මේ තත්ත්වයේදී කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ තත්ත්වය හරිම අවදානම් තත්ත්වයක්. 

3. ඉතිං කොහොමද දරුවෙක් කොරෝනා ආසාදිත බව මව්පියන් දැනගන්නනේ? 

කාලයක් තිස්සේ අපේ දරුවෝ ඉන්නේ ගෙදරමයි. නිවසේ අයෙකුට නැතිව දරුවෙකුට කොරෝනා ආසාදනය වීමේ හැකියාව අවමයි. ඒ නිසා ඔවුන්ට කොරෝනා වැළඳිය හැකි එකම මාර්ගය වෙන්නේ අම්මා/තාත්තා/වැඩිහිටියෙක්ට ආසාදනය වී තිබීමෙන්. ගෙදර හෝ ඒ දරුවා සමග සම්බන්ධතා පවත්වන කෙනෙකුට කොරෝනා ආසාදිත බව අපි දන්නවා නම් දරුවන් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. 

4. වෛද්‍යතුමනි, මේ තත්ත්වයේදී දරුවන් කිසිම ලක්ෂණයක් පෙන්වන්නේම නැද්ද?‍

මෙවැනි දරුවන්ගේ සමහර වෙලාවට තොල්වල පැහැය/සමේ පැහැය රතු/දම් පැහැයට හැරෙන බව විදේශ වාර්තා වල නම් සඳහන් වෙනවා. සෙල්ලම් කරද්දී සාමාන්‍ය තත්ත්වයේදීට වඩා වැඩි ප්‍රමාණයකින් දහඩිය දැමීමත් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක්. ඉතිං මෙතැනදී මේ වර්ණයන් ගැන වගේම දහඩිය දැමීම ගැනත් සැලකිය යුතු වෙනසක් අපිට හඳුනා ගත හැකිද කියන දේ ගැටලුවක්.

5. දරුවෙක්ට උණ ඇති වීම රෝග ලක්‍ෂණයක් නොවෙයිද?

ඔව්, උණ කියන්නේ රෝග ලක්‍ෂණයක්. අපි කොරෝනා ගැන බියෙන් පසුවුණත් මේ දිනවල විශේෂයෙන්ම ඩෙංගු රෝගය වගේම වෙනත් වෛරස රෝගත් තියෙනවා. ඒ නිසා උණ ඇති වීම කොරෝනා ආසාදනය නිසාම කියලා හරියටම කියන්න අමාරුයි. උණත් එක්ක කැස්ස, හෙම්බිරිස්සාව  තියෙනව නම් අනිවාර්යෙන්ම කොරෝනා සඳනා පරීක්ෂාවක් ඒ කියන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් හෝ ප PCR පරික්‍ෂණයක් සිදු කරන්න පුළුවන් නම් ඒක හරිම වැදගත්. ඒ මගින් අපේ සැකය දුරු කරගන්න පුළුවන්. 

6. යම් හෙයකින් කොරෝනා බව තහවුරු වුණොත් කළ යුත්තේ කුමක්ද?

ඔව්… පරීක්ෂණයෙන් පස්සේ කොරෝනා බව තහවුරු වුණොත් ඒ දරුවා වයස අවුරුදු දෙකට වැඩි නම් ගෙදරදීම රැක බලාගන්න අපි දෙමාපියන්ට උපදෙස් ලබා දෙනවා. ඒ වගේම හැකියාව තියෙනවා නම් දවසට දෙවතාවක්වත් රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්‍ෂා කරගැනීම වැදගත් වෙනවා. 

7. ඒ කියන්නේ අපි කා ළඟත් ඔක්සි මීටරයක් තිබීම වැදගත් බවද? 

සාමාන්‍යයෙන් ඔක්සි මීටර් සැකසිලා තියෙන්නේ වැඩිහිටියන් වෙනුවෙන්. වැඩිහිටියන් වෙනුවෙන් සැකසුණු මේ ඔක්සි මීටර දරුවන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමේ කොයිතරම් දුරට සාර්ථකද කියන එක ගැටලුවක්. සාමාන්‍යයෙන් දරුවන්ගේ වයසට අනුව සුදුසු ඔක්සි මීටර් තියෙනවා. උදාහරණ විදියට මාසයට අඩු දරුවන්ට වගේම ඊට වැඩි දරුවන්ට වෙන වෙනම භාවිත කරන්න විවිධ ඔක්සි මීටර් වර්ග තියෙනවා. අන්න ඒ නිසාම වඩාත් හොඳම විසදුම විදියට ළඟම රජයේ රෝහලට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරවා ගැනීමයි. 

8. වෛද්‍යතුමනි, රෝහල වෙත වෙනත් රෝග සඳහා හෝ එන දරුවන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරනවාද?‍

ඔව්… ආසාදිත දරුවෙක් කියලා පුංචිම පුංචි හරි සැකයක් තියෙනව නම් දරුවාගෙම වගේම දෙමාපියන්ගේත් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවක් ඇතැම් විට සි PCR පරීක්‍ෂාවත් සිදු කරනවා.  ඒ විදියට රෝහලට ගන්න සෑම දරුවෙක්ම පරීක්‍ෂාවකට භාජනය කරනවා.

9. වෛද්‍යතුමනි, වෙනත් රෝග සඳහා රෝහලට පැමිණීමට දෙමාපියන් බියක් දක්වනවා රෝහල තුළදී දරුවාට කොරෝනා ආසාදනය වේද යන සැකය නිසා. ඒ ගැන දෙමාපියන් දැනුවත් කළ හැකිද?‍ 

රෝහල තුලදී කොරෝනා නැති දරුවෙකුට කොරෝනා ආසාදනය වීමේ අවදානම අවමයි. ඒ කොරෝනා ආසාදිත දරුවන් වෙනම සිටින නිසා. ඒ නිසාම රෝහලට පැමිණීමට බිය විය යුතු නැහැ. දරුවාට යම් කිසි රෝග තත්ත්වයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලට යන්න දෙමාපියන්ට හැකියාව තියෙනවා. 

10. වයස අවුරුදු දෙකට අඩු දරුවෙක්ට කොරෝනා ආසාදන වූවොත් කළ යුත්තේ කුමක්ද? 

උදාහරණයක් විදියට ගත්තොත් කිරි බොන වයසේ දරුවෙක් ඉන්න ගෙදරක අයෙක් ආසාදනය වූවොත් දරුවත් ඒ තත්ත්වයේ බව සිතා කටයුතු කිරීම වැදගත් වෙනවා. කිරි බොන වයසේ  දරුවෙක්ට මව්කිරි දීම අවශ්‍යයි. ඒ නිසා වැඩිහිටි අයත් සමග ගැටීම වැඩියි. එවැනි දරුවෙක් උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි යම් රෝග ලක්‍ෂණයක් සුළුවෙන් හෝ පෙන්වනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිවේදනයට අනුව වයස අවුරුදු දෙකට අඩු දරුවන් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත කළ යුතුයි. 

11. කිරි බොන වයසේ සිටින දරුවන්ට මෙවැනි තත්ත්වයකදී මව්කිරි ලබාදීම නතර කළ යුතුද?

කිසිසේත්ම නැහැ. මව්කිරි දීම කිසිසේත්ම නතර කරන්නේ නැහැ. මව්කිරි ලබාදෙන විට මව මුඛ ආවරණයක් පැළදීම අනාවර්යයි. ඒ වගේම මව් කිරි දීමට පෙර සහ පසු මව දෙඅත් මෙන්ම පියයුරු පිරිසිදු කර ගැනීම වැදගත් වෙනවා.  කොරෝනා වෛරසය රුධිරය හරහා ගොස් දරුවාට කිරි මගින් බෝ විය හැකි බවට ඇතැම් අය විශ්වාස කරත් මෙතෙක් එවැන්නක් ගැන විද්‍යාත්මක තහවුරු වීමක් නැහැ. දැනට තියෙන වාර්තා අනුව රෝගය බෝ වෙන්නේ බිඳිති මගින් පමණයි. අන්න ඒ නිසයි මව්කිරි දෙන විටත් දරුවාගේ කටයුතු සිදු කරද්දීත් මවට මුඛ ආවරණය පැලඳීමට අපි උපදෙස් ලබා දෙන්නේ. 

12. ඇතැම් මව්වරුන් දරුවන් රෝග ලක්ෂණ පෙන්වූවත් නැතත් සුළු තත්ත්වයකදී පවා රෝහලට එන්න උත්සාහ කරනවා. එ් ගැන යම් උපදෙසක් ලබා දිය හැකිද?

කුඩා දරුවන් සම්බන්ධව යම් සැකයක් තියෙනවා නම් රෝහලට ඇවිත් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි. මොකද දරුවෙකුට තම අපහසුතා හෝ රෝග ලක්ෂණ පැවසීමට අවබෝධයක් නැහැ. ඒ වගේම මවටත් නිවැරදිව දරුවාගේ තත්ත්වය වටහා ගන්න අපහසු විය හැකියි. ඒ විතරක් නෙවෙයි නිවසේ කවුරු හෝ ආසාදිත තත්ත්වයේ සිටිනවා නම් දරුවා සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව අමතක කරන්න එපා. මොකද කිසිම රෝග ලක්‍ෂණයක් නැතුවත් කොරෝනා ආසාදිතව සිටිය හැකියි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා

රිජ්වේ ආර්යා ළමා රෝහල

 

 

 


                

කොරෝනා රෝගියෙකුට නිවසේදී කළ හැකි සහ නොහැකි දේ ගැන ඔබ දැනුවත්ද?

කොකොවිඩ් 19 පැතිර යාමත් සමග වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වුණු රෝගීන් කිහිප දෙනෙක්ම ඇද වැටී මිට ගිය බවට වාර්තා වුණා ඔබට මතක ඇති. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු රෝගාතුර වූ අවස්ථාවකදී මහමගදී එසේ අසරණ තත්ත්වයට පත් වූ විට, රෝහල වෙත ගෙන යාම‍ට, ප්‍රථමාධාර ලබාදීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් අද වන විට පවතින තත්ත්වය හේතුවෙන් එසේ ඇද වැටුණු අයෙක් වෙත ළං වීමට මිනිසුන් බියක් දක්වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒත් යම් පුද්ගලයෙකු එසේ අසරණ තත්ත්වයට පත් වීම අහක බලා සිටිය හැකි තත්ත්වයක්ද නොවේ. මෙම ලිපිය තුළින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කොරෝනා රෝගියෙකු හා සම්බන්ධව නිවසේ දී හෝ මහමගදී සාමාන්‍ය පුද්ගලයෙකුට සහය විය හැකි අවස්ථා මෙන්ම රෝහලින් පමණක් සිදු විය යුතු තත්ත්වයන් පිළිබඳවයි. 

දරුවෙක්/වැඩිහිටියෙක් නිවසේ/මහමගදී/කාර්යාලයේදී හෝ හදිසියේ ඇද වැටුණහොත් කළ යුත්තේ කුමක්ද?

මෙවැනි අවස්ථාවකදී අපි කළ යුතුතේ ඒ පුද්ගලයා ‍මග හැරීම නම් නෙවෙයි. ඔබේ ආරක්ෂාවත් තහවුරු කරගනිමින් රෝගියා ළඟම ඇති රෝහලට ගෙන යාමයි. යම් හෙයකින් ස්වසන පද්ධතිය හිරවීමක් ඇති බව වැ‍ටහෙනවා නම් රෝගියා කොරෝනා ආසාදිතයෙකු බවත් දන්නවා නම් සැලකිලිමත් වීම බොහොම වැදගත්. ඔබ නිසි ප‍්‍රතිමාධාර ලබාදීමේ පුහුණුවක් ලත් කෙනෙක් නම් හෝ එවැන්නෙක්ගේ සහය ලබාගැනීමට හැකියාව ඇත්නම් ප්‍රථමාධාර ලබා දීමට හැකියාව ලැබෙනවා. එවැනි අයෙක් මූලිකව කටයුතු කරන්නේ රෝගියාව බේරා ගැනීමටයි. 

ඇතැම් අවස්ථාවල සිහිය නැති වීමත් සමග මුඛයෙන් සෙම පිටවනවා දැකිය හැකියි. එවිට කළ යුතු කුමක්ද?

දරුවෙකු හෝ වේවා වැඩිහිටියෙකු හෝ වේවා සිහිය නැත්නම් ඒ වෙලාවේ නොකළ යුතුම දෙයක් තමයි කටට යම් යම් දේ ඇතුළු කිරීම හෝ යම් යම් දේ පෙවීමට උත්සාහ කිරීම. කොරෝනා තත්ත්වයේදී පමණක් නොවෙයි. මේ උපදෙස ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී හොඳින් සිහි තබා ගත යුතු කරුණක්. ඒ වගේම ඇතැම් විට කාර්යාලයේ පුද්ගලයෙක්/පවුලේ අයෙක්/දරුවෙක් මේ තත්ත්වයට පත් විය හැකියි. මෙවැනි සෑම අවස්ථාවක්ම කොරෝනා බවම අපිට නිෂ්චිතවම පැවසිය නොහැකියි. සිහි නැති වීම වෙනත් හේතුවක් නිසාත් විය හැකියි. ඒ වගේ අවස්ථාවකදී හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සැලැස්වීම බොහොම වැදගත්. සෙම හිරවුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා නම් රෝහලට ගෙන යන තුරු නම් හිස පැත්තට හරවලා  සෙම ටික ඉවත් කරලා ගලා යන්න සැලැස්සීමෙන් ජීවිත අවදානම අවම කරගත හැකියි. 

මෙසේ සිහිසුන් වී ඇද වැටීමට හේතුව ඔක්සිජන් මට්ටම පහත වැටීමද?

ඔව්.. හෘදය, පෙනහලු, ස්නායු පද්ධතිය, මොළය යන මේ සෑම අවයවයකටම ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඔක්සිජන් අඩු වෙලා පැයක් දෙකක් ගත වන විට ඒ පුද්ගලයාගේ හැම අවයවයක්ම අක‍්‍රීය වී තිබිය හැකියි. අපි සිතිය යුත්තේ ඉන් පසුව කළ යුතු දේ නෙවෙයි, මේ තත්ත්වය ඇති වීමට පෙර අප කළ යුතු මොනවාද යන්න පිළිබඳවයි. එලෙස පෙර සිටම සූදානමකින් ජීවත් වීම මෙවැනි කාලයක ඉතාම වැදගත් වෙනවා. 

රුධිරය කැටි ගැසීම කොරෝනා රෝගයට සම්බන්ධ රෝග ලක්ෂණයක්ද?

රුධිරය කැටි ගැසීම කොරෝනා රෝගයට සම්බන්ධ එක රෝග ලක්‍ෂණයක් එහෙමත් නැත්නම් එක කාරණයක් විතරයි. මේකෙදි ඇති විය හැකි තතත්ව අතරින් එකක් විදියට පොඩි පොඩි රුධිර කැටි ඇතිවීම දක්වන්න පුළුවන්. කොරෝනා වලදී රුධිරය කැටි ගැසීමේ හැකියාව යම් කිසි විදියකට වැඩියි කියන එක අපි හැමෝම දන්න දෙයක්. ලෝකේ සෑම රටකම පාහේ මාර්ගෝපදේශවල කොරෝනා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය අවස්ථාවලදී රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ ලබාදෙන ලෙස සඳහන් වෙනවා. ඒ වගේම ඇතැමුන් සිතනවා රුධිර කැටි ගැසීමට දෙන එක් එක් ඖෂධ වර්ග කල් තියා ලබාගැනීම සුදුසුයි කියලා. ඒත් එහෙම ඖෂධ ගැනීම තුලිනුත් තමන්ගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට රුධිර කැටි ගැසීම සිදු නොවී අනවශ්‍ය වෙලාවට රුධිර ගැලීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒක අවදානම් තත්ත්වයක්.  

අද වෙද්දී නිවෙස්වල ඔක්සිජන් සිලින්ඩර ගබඩා කර තබාගන්න ඇතැම් පිරිස් උනන්දු වෙනවා. එය සාර්ථක ක්‍රමයක්ද?

ඇත්තටම අවශ්‍ය නැහැ. මේ ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 65000 සිට 85000, 100,000 දක්වා මිලකටත් අලෙවි වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගෙදර ඔක්සිජන් ටික තියෙනවා නම් හදිසියකදී ඔක්සිජන් ටික ගන්න ලේසියි කියලා. ඒක් ඒක අසාර්ථකයි‍. මොකද රෝගියෙකුට ඔක්සිජන් ලබා දෙන්නේ වෛද්‍යවරයෙක්ගේ නිර්නායකයක් මත. හිතුමතේ ඔක්සිජන් ලබා දීම කළ නොහැකියි. වැරදි ආකාරයට ඔක්සිජන් ලබා ගැනීමට එක්තරා ආකාරයට අවදානමක් විය හැකියි. ඇතැම් අවස්ථාවල මරණ පරීක්ෂණවලින් සනාථ වෙලා තියෙනවා ඔක්සිජන් වැඩි ප‍්‍රමාණයක් දීම නිසා නියුමෝනියා තත්ත්වය නියුමෝනයිටීස් කියන තත්ත්වයට පත්ව ඇති බව. ඔක්සිජන් ලබාදීමත් කළ යුත්තේ ඉතාම ප්‍රවේසමෙන් බව අමතක කරන්න එපා. අන්න ඒ නිසයි ඔක්සිජන් සිලින්ඩර නිවෙස් වල ගබඩා කරගත යුතු නොවන්නේ. නිවසේ තබා ගෙන ඔක්සිජන් ලබා දීමට ඇති එකම අවස්ථාව විදියට දීර්ඝ කාලීන ස්වසන ආබාධ තියෙන COPD කියන තත්ත්වය දක්වන්න පුළුවන්. එතැනදීත් එය සිදු කළ හැක්කේ වෛද්‍ය නිර්දේශ මත පමණයි. 

ඒ වගේම ඔක්සිජන් දෙනවා කියන්නේ මාස්ක් එකක් ආධාරයෙන් ඔක්සිජන් සිලින්ඩරය විවෘත කර ලබා දීම නොවෙයි. සාමාන්‍යයෙන් ඔක්සිජන් ලබා දීමට සිදු වෙන්නේ නියුමෝනියා තත්ත්වයේදී. ඒ නිසා එවැනි අවස්ථාවක දී ඔක්සිජන් ලීටර් ප‍්‍රමාණය වගේම එහි පීඩනය ගැනත් දැනුවත් බවක් තිබිය යුතුයමයි. ඒ සියල්ල තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින්. ඔක්සිජන් නිවසේ ගබඩා කරගැනීමේ තවත් අනිසි ප්‍රතිඵලයක් විදියට දැක්විය හැකි තවත් දෙයක් තමයි අනවශ්‍ය විදියට ආරක්ෂිත බවක් (force security) ඇති වීම. ඒ තුළින්  ඔක්සිජන් නිවසේම තියෙනවා, ඒක ලබා ගැනීමට හැකියි යන අදහස එක්ක රෝහල්ගත විය යුතු අවස්ථාවේදීත් නිවසටම වී සිටීම නිසා ජීවිතය අවදානමට ලක්වීමේ හැකියාව වැඩියි. 

අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා සම්බන්ධව බොහොමයක් තොරතුරු සංසරණය වෙනවා. ඒ තොරතුරු අනුව ක්‍රියාත්මක වීමේ වරදක් නැතිද?

ඔව්..  සමාජ මාධ්‍ය ජාලා වල බොහොමයක් දේවල් සංසරණය වෙනවා. එකම දේ ගැන විවිධ මත ඉදිරිපත් වෙනවා. රෝහලක, දැඩි සත්කාර ඒකකයක ලබාදිය යුතු ඖෂධ ගැන සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. වෛද්‍ය අනුමැතියකින් තොරව මුහුණු පොතේ තිබුණා කියලා ඇතැම් අය මේ ඖෂධ පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒත් අනවශ්‍ය විදියට මේවා පාවිච්චි කරලා අතුරු ආබාධ ඇති විය හැකියි. ඒ විතරක් නෙවෙයි එවැනි ඖෂධ අත්‍යවශ්‍ය රෝගීන්ට ලබා දෙන්න අවශ්‍ය වෙද්දී ඖෂධය නැති වෙන්න පුළුවන්. ඖෂධ කීපයක් හා සමබන්ධවම මේ දේ සිද්ධ වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලා නිසා ඇති වන ගැටලු ඒවා තමයි. මහජනතාවට මේ සම්බන්ධයෙන් ලබාදිය යුතු උපදෙස් තමයි වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ලබාගන්න එපා කියන එක. මේ ගෙවෙන්නේ ඉතාමත් සිහි නුවණින් යුතුව ගත කළ යුතු කාලයක් බව අමතක නොකරන්න.

උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ හිතුමතේ ක්‍රියාත්මක වෙමින් දරුවන්ගේ මෙන්ම වැඩිහිටි ඔබේත් ජීවිත අවදානමකට ඇද දමන්නේ නැතිව නිසි ද්‍යෛ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් කටයුතු කිරීම වඩාත් වැදගත් බව සිහියේ රඳවා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් දරුවන්ට එන්නත් ලබා දීම සුදුසුද?

කොරෝනා වෛරසයේ පැමිණීමත් සමගම වසර දෙකකට ආසන්න කාලයක් අපේ දරුවන් නිවෙස් වලටම කොටු වී සිටිනවා. ඒ හේතුවෙන් අධ්‍යාපනය, සමාජ සම්බන්ධතා ඇතුළු බොහොමයක් අත්දැකීම් දරුවන්ට අහිමිව තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම වැළැක්වීම උදෙසා මාර්ගගත ක්‍රමය ඔස්සේ කටයුතු සිදු වුවත් පාසැලක් තුළ දරුවන් ලබන අධ්‍යාපනයට එය කිසිසේත්ම සම කළ හැකි නොවේ. කෙසේ වුවත් කොරෝනා වෛරස මුළුමනින්ම තුරන් කිරීමට මෙතෙක් ක්‍රමයක් නොමැති වුවත් සංකූලතා අවම කිරීමටත් මරණ අවදානම අවම කිරීමටත් එන්නත හරහා හැකියාව ලැබෙන බව වෛද්‍යවරු පවසනවා. මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වැඩිහිටියන්ට එන්නත ලබා දුන් අතරම නුදුරේදී දරුවන්ටත් එන්නත ලබා දීමට සූදානම් බව පැවසෙනවා. 

ඇතැම් රටවල් වල මේ වන විටත් දරුවන් එන්නත් කිරීමට ආරම්භ කර අවසන්. දරුවෙකුට එන්නතක් ලබාදීම හිතුමතේ කළ හැකි දෙයක් නොවන අතරම ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යයි. අද වන විට වයස අවුරුදු 3 – 12 අතර දරුවන්ට ලබා දිය හැකි එන්නත් ලෙස ෆයිසර්, මොඩර්නා, සයිනෝ වැක්ස් සහ සයිනෝ ෆාම් පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ වන විට ලොව පුරා වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ලබා දීමට හැකි එන්නත් ලෙස හඳුන්වන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් දෙකයි. ‍

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 න් ඉහළ පිරිසට පමණක් ප්‍රථමයෙන් එන්නත ලබා දුන්නේ ඇයි?

කොරෝනා රෝගයෙන් වැඩිම බලපෑම තියෙන්නේ අවුරුදු 60 ට වඩා වැඩි අයට. ඒ නිසා 60 වැඩි පිරිසට එන්නත ලබාදීම අනිවාර්යයි. මේ විදියට ක‍්‍රමානුකූලව එක එක වයස් කාණ්ඩ වලට මේ එන්නත් ලබාදී තියෙනවා. කොරෝනා ආසාදනයෙන් දරුවන්ට ඇති වන සංකූලතා වැඩිහිටියන්ට සාපේක්ෂව අඩුයි. අන්න ඒ නිසාම දරුවන්ට එන්නත ලබාදීම වැඩිහිටියන්ට ලබා දීමට පසු සිදු කෙරෙනවා. සාමාන්‍යයෙන් සෑම රටකම පාහේ තත්ත්වය එසේයි. 

මේ වන විට සැලසුම් කර ඇති ආකාරයට දරුවන්ට එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ කොයි ආකාරයෙන්ද?‍

ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ අදහසට අනුව මේ වන විට වයස අවුරුදු 12 ට වඩා වැඩි, නිධන් ගත රෝග (දියවැඩියාව, හෘද වස්තු සම්බන්ධ රෝග වැනි) ඇති දරුවන්ට ප්‍රථමයෙන් එන්නත ලබාදීමට නියමිතයි. 

දරුවන්ට වඩාත් සුදුසු සජීවී එන්නතක් (MRNA) ලබා දීමද? අජීවී එන්නතක් ලබාදීමද?

දරුවන්ට ලබාදෙන එන්නත සජීවී ද එහෙමත් නැත්නම් අජීවීද කියන ගැටලුවට වඩා වැදගත් වෙන්නේ සම්මත තත්ත්ව යටතේදී පරීක්‍ෂණ පවත්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දරුවන්ට ලබාදීමට සුදුසු බව තහවුරු කර තිබේද යන්නයි. අන්න ඒ විදියට පර්යේෂණ මගින් දරුවන්ට සුදුසු බවට අනුමත වෙලා තියෙන්නේ ෆයිසර්, මොඩර්නා එන්නත් දෙක පමණයි. 

ඇස්මා එහෙමත් නැතිනම් අසාත්මිකතා ඇති දරුවන්ට එන්නත් ලබාදීමට හැකිද?

ඇත්තටම කිව්වොත් ඒ අයට තමයි මේ එන්නත අත්‍යවශ්‍ය වෙන්නේ. නමුත් එන්නත ගැනීමේදී රෝහලකින්ම ලබා ගැනීම වැදගත්. එයට හේතුව යම් කිසි ආසාත්මිකතාවයක් ඇති වුණොත් රෝහලකදී නම් ප්‍රතිකාර ලබා දීම ඉතාම පහසු නිසයි. රෝග නොමැති අයට වඩා යම් යම් රෝග ඇති අයට එන්නත ලබා ගැනීම වැදගත්. 

එන්නත ගත්තත් රෝගය ඇති වෙන්න පුළුවන් නිසා ඇතැම් මව්පියන් දරුවාට එන්නත් ලබා දීමට මැලිකමක් දක්වනවා නේද?

ඒක අනුවණකමක්. එන්නත ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ රෝගය පැතිරීම අවම කිරීම වගේම සංකූලතා අවම කිරීම හා ජීවිත අවදානම අවම කිරීමයි‍. නිදන් ගත රෝග තියෙන අයට කොරෝනා වැළඳුනොත් මිය යාමේ හැකියාව ඉතාමත්ම වැඩියි. ඒ පිරිසත්  එන්නත ලබාගත්තොත් ඒ මිය යාමේ අවදානම අවම වෙනවා. එන්නත ලබාගත්ත අයයි ලබානොගත් අයයි ගත්තොත් මරණ සංඛ්‍යාව ඉතාම වැඩියි නිදන් ගත රෝග තියෙන අයගේ. නිදන් ගත රෝග තියෙන අය අනිවාර්යෙන්ම එන්නත් ලබාගත යුතුයි. 

කොරෝනා වැළඳුණු අයටත් එන්නත ලබා දෙනවද?

ඔව්.. එන්නත ලබා ගත යුතුයි. වෛද්‍ය උපදෙස් අනුව එන්නත ලබා ගත යුතු කාලය තීරණය කළ හැකියි. කොරෝනා ආසාදනයෙන් පසුව ඇතැමුන්ගේ යම් යම් ගැටලු ඉතිරිව තිබිය හැකියි‍. ඒ තත්ත්වයන් අනුව සලකා බලා වෛද්‍යවරු තීරණ්‍ය කරනවා එන්නත ලබාගත යුතු දිනය. 

දරුවන්ට පෞද්ගලික අංශයෙන් නිව්මෝනියා තත්ත්වයට ලබා දෙන එන්නත කොරෝනා ආසාදනයේදී යම් සහයක් ලබාදෙනවාද? 

නැහැ. ඒ එන්නත මගින් ආරක්ෂාව සැලසෙන්නේ නියුමෝකොකල් බැක්ටීරියාව හේතුවෙන් ඇති වන නිවුමෝනියා තත්ත්වයට පමණයි. එන්නතක තියෙන්නේ ඒකටම විශේෂ වූ වෛරසයකට හෝ බැක්ටීරියාවකට විරුද්ධව ප‍්‍රතිදේහ නිපදවීමක්. නියුමෝනියාව නැත්නම් නියුමෝකොකල් කියන එන්නත ලබාගෙන තිබුණත් කොරෝනා වලින් හැදෙන නියුමෝනියාවට එකේන් ප‍්‍රතිශක්තියක් හෝ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නියුමෝනියාව සඳහා ලබා දෙන එන්නත සහ කොරෝනා රෝගය අතර සම්බන්ධයක් නැහැ.

දරුවන්ට කොත්තමල්ලි, වෙනිවැල්ගැට වැනි ආයුර්වේද ඖෂධ ලබා දීම සුදුසුද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එවැනි දේ ලබා දෙන්න කියා උපදෙස් දෙන්නේ නැහැ. ඒ වගේම අද වෙද්දී දරුවන්ට නොයෙක් බෙහෙත් වර්ග විටමින් වර්ග (D, C) අම්මලා ලබා දෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව විශේෂයෙන් දරුවන්ට හිත්මතේට ඖෂධ හෝ විටමින් වර්ග ලබා නොදිය යුතුයි. කිසිදු පර්යේෂණයක් මගින් ඒ දේවල් සානාථ වී නැහැ. ඒ වගේම වැඩි වශයෙන් විටමින් වර්ග ඖෂධ ලබා ගැනීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ ගැන දෙමාපියන්ටත් වැටහීමක් නැහැ. දරුවා යම් සුවයක් නොපෙන්වනවා නම් රෝහල වෙත ගෙන එන්න. විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා දීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. දරුවාට උණ තියෙනවා නම් බරට අනුව නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබාදෙන්න. ඉන් එහා යමක් සිදුකරනවා නම් අනිවාර්යෙන්ම වෛධය උපදෙස් ලබාගන්න.

කොරෝනා සම්බන්ධව ඇති වන ගැටලු සහ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිය හැක්කේ කාගෙන්ද?

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය හරහා දැනට 247 අංකය විවෘත කර තිබෙනවා. ඕනම දුරකථන ජාලයක් හරහා 247 අංකය ඇමතීමෙන් ලංකාව පුරා ඉන්න  ඕනෑම අයෙකුට වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම එය ගිලන් රථ සේවාව සමගත් සම්බන්ධයි. මේ නිසාම අද වන විට කොරෝනා ආසාදිතයින් රැක බලාගැනීමට, අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට වගේම රෝහල් ගත වීම හා ඒ හා සම්බන්ධ ගැටලු ඉක්මනින් විසඳා ගැනිමට සැමටම අවස්ථාව උදා වී තිබෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා

රිජ්වේ ආර්යා ළමා රෝහල