Home Blog Page 26

මුල් ළමා විය සත්කාරය හා සංවර්ධනය

දරුවකු කුස පිළිසිඳි දිනයේ පටන් සෛල ගොනු බෙදෙමින් කලලය වැඩෙමින් සංකීර්ණ වූ සෛල ගොනුවක් ලෙසින් මිනිස් ජීවියෙකුගේ වැඩීම ආරම්භ වේ. මේ වර්ධනය ඇරඹී සති පහක් පමණ අවසන් විට මේ කලලයේ ස්නායු පද්ධතිය වර්ධනය ආරම්භ වේ. එසේම සති නවයක් පමණ වන විට අත්, පා, කන්, නාසය ආදී ඉන්‍ද්‍රියන් හඳුනා ගැනීමට හැකි පමණ වර්ධනය වී ඇත. මෙසේ විවිධ ඉන්‍ද්‍රියන් වැඩීම ආරම්භ වීම සමගින් එම ඉන්‍ද්‍රියන් මගින් ලබාගන්නා සංවේදනවල වර්ධනය ද ආරම්භ වේ.

මෙසේ හෙයින් කුස පිළිසිඳි කලලයේ ඉන්‍ද්‍රියන් සංවේදනවලට ප‍්‍රතිචාර දක්වන හෙයින් මේ කාලයේ සිටම පංච ඉන්‍ද්‍රියන් උත්තේජනය ආරම්භ කල හැකිය. මේ නිසා ගර්භනී මවක් ශ‍්‍රවණයට ගෝචර වූ ශබ්ද ඇසීම, නෙතට ප‍්‍රිය උපදවන දසුන් දැකීම, මිහිරි සුගන්ධයන් ආඝ‍්‍රාණය, දිවට ප‍්‍රණීත රස දැනීම තුලින් මෙන්ම සෙනෙහෙවන්ත ස්පර්ශයන් තුලින් ප‍්‍රබෝධනය වන ඉන්‍ද්‍රියන්ගේ විඳ දරා ගැනීම කුස තුල සිටින දරුවාද ග‍්‍රහණය කරගනියි. මෙසේ යහපත් මා පිය දරු සබඳතාවක් ගොඩනැඟීම ජීවිත කාලය පුරාවට විහිදුණු සෙනෙහෙවත් අත් වැලක් වේ. මෙසේ කුස තුළ වැඩෙන දරුවෙකු මෙලොව එළිය දුටු දිනයේ සිටද මේ පංච ඉන්‍ද්‍රියන් ප‍්‍රබෝධනයට අවස්ථාව ලැබීම තුලින් සංවර්ධනයේ කඩ ඉම් පසුකර යන්නේ සෙනෙහසින් හා වේගයෙනි. 

කුඩා කල සිට දෙමාපිය දරු සබඳතාව හොඳින් ඔපවත් වීම සඳහා දරුවන් හා දෙමාපියන් අතර ශක්තිමත් බැඳීමක් මනාව තැනිය යුතුයි. මේ සඳහා දරුවන්ගේ සියලු අවශ්‍යතා පරිපූර්ණ වීමට නම් ආහාර, ඇඳුම් පැළඳුම්වලට එහා ගොස් සියලු කටයුතු වලදී දරුවන් හා එකට බැඳුණු ජීවිතයකට හුරු වීම තුලින් සහජීවනය හුරු පුරුදු වන්නාසේම වඩාත් ප‍්‍රතිඵලදායී දිවි පෙවෙතකට දරුවා පමණක් නොව පවුලම අවතීර්ණ වීමේ හැකියාව ලැබේ. 

දරුවා සමග කතා කිරීම, දරුවාට දැනෙන ලෙස ආදරය කිරීම දරුවා තුල මව හා පවුලේ අය කෙරෙහි බැඳීමක් එකමුතුවක් ගොඩනැගීමට සමත් වේ. කුඩා කල සිටම දරු නැලවිල්ලෙන් නැලවීමම දරුවා තුල සෞන්දර්යය හැඟීම් ඇති කිරීමට හේතුවක් වේ. වැඩෙන දරුවා සමගම ඔහුගේ ක‍්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලා සිට ඊට අනුබල දැක්වීම, උදව් කිරීම හා අගය කිරීම තුලින් වඩාත් ඉදිරි පියවරයන් සඳහා දරුවා යොමු වීම නිරන්තරයෙන් සිදු වේ. 

මාස 3 දී පමණ දරුවාට යමක් අල්ලන්නට හැකියාව ලැබනවා සේම දෑතේ ක‍්‍රියාකාරීත්වය සංකීර්ණ ක‍්‍රියාවලි දක්වා ක‍්‍රමයෙන් ක‍්‍රියාත්මක වන්නේ දරුවාට ක‍්‍රියාකාරකම් සඳහා ලැබෙන අවස්ථාව අනුවයි. දෑතට දැනෙන ස්පර්ශය තුලින් මෙන්ම ඇසට පෙනෙන හැඩය, පැහැය වගේම අත් විඳින සියලු අත්දැකීම් මොළය තුල ගබඩා වන හෙයින් නැවත නැවත එම ක‍්‍රියාකාරකම්වලදී ඒවා මතකයට ඒමක් සිදුවන බැවින් ඒවා සඳහා ලබාදෙන අත්දැකීම් සංවර්ධන ක‍්‍රියාවලි සඳහා ලැබෙන උත්තේජනයන් වනු නොඅනුමානයි. 

නිවස තුලදී මෙන්ම එළිමහනේදීත් දරුවාට දකින්නට ලැබෙන දේ කතා කිරීමට නොහැකි වුවත් මතක තබාගැනීමට හැකිවනවා. එසේම නිරන්තර අවධානයට ලක්වන දේ දරුවා විමසිලිමත්ව ගවේෂණය කරන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකියි. ගස්වල සෙලවීම, සුලඟ, මල්, කුරුල්ලන්, හඳ ආදී දේ පිළිබඳව දරුවන්ට කුඩා කල සිටම හඳුනාගැනීමට සැලැස්වීම, එම වචන දරුවාට ඇසෙන සේ පැවසීම නිරන්තර සිදුවන විට වචනය ඇසුණු තැනින් එහි රූපය සෙවීමට දරුවා පෙළඹෙන්නේ ඔහුගේ මොළයේ සංවර්ධනය හොඳින් සිදුවන නිසයි. 

දරුවා සමග කරන සෑම ක‍්‍රියාකාරකමක් කතා කරමින් කිරීම මගින් වැඩි වචන ප‍්‍රමාණයක් දරුවාට ඉගෙනීමට ලැබෙනවා.

  • ස්නානයේදී 

නානවිට, වතුර ශබ්දය, ගලායන විට ඇඟට වැටෙන විට දැනෙන සංවේදන හරහා දරුවා ඒ පිළිබඳ අධ්‍යයනය කරනවා. එසේම සබන් පෙණ, සබන් සුවඳ, සබන් සමග සම මත ඇතිවන ලිස්සීම පවා දරුවාට අත්දැකීම් ගෙන දෙනවා. වසර දෙකක් තුනක් පමණ වන විට මේ ක‍්‍රියාවලිය ඉතාමත් ප‍්‍රීතිමත් අත්දැකීමක් වනවා. නාන තැන අනුව අවශ්‍ය උපකරණ රැස් කිරීම, ඒවා රඳවා තබන තැන් පිළිබඳ අවබෝධය තුලින් ක‍්‍රියාත්මක වීමට දරුවාට හැකියාව ලැබෙනවා. ඒ අනුව නෑමට පාවිච්චි කරන උපකරණ එක් රැස් කිරීමට ඉඩ හසර ලබාදීම කළ යුතුයි. එසේම ජලය සමග ක‍්‍රීඩා කිරීමටත් පාවෙන ගිලෙන දේ හඳුනා ගැනීමටත් මේ සමග අවකාශ ලැබෙනවා. භාජන වලට වතුර පිරවීම ආදියට ආරක්‍ෂාවන් මැද දරුවාට ඉඩ ලබාදීම කළ යුතුයි.

  • ආහාර ගැනීමේදී

දරුවාට ආහාර ලබා දෙන විට ආහාර වර්ග හඳුනා ගැනීමට ඒවායේ පාට, රස පිළිබඳව දරුවා සමග කතා කරන්න. ඊට පෙර කෑම පිළියෙල කරන අවස්ථාවේදී පවා දරුවා සමග කතා කරමින් එය කරන්න. ඔබ කරන සියලු දේ දරුවා නිරීක්‍ෂණය කරමින් ඉගෙන ගන්නා නිසා දරුවාට ඒ සඳහා උදව් කරන්න. කැරට් අලයක් කපන්නට ගත්තේ නම් ශුද්ධ කිරීමට පෙර එය දරුවාට පෙන්වන්න. නම කියන්න. එය ශුද්ධ කල පසුත් ඒ ගැන කියන්න. එහි පාට ගැන කියන්න. එය හොඳින් සේදිය යුතු බවත් ඊට පසු කපන බවත් කියමින් කරන්න. කපන හැඩය පිළිබඳව පවා දරුවා සමග කතා කිරීමෙන් හැඩතල පිළිබඳව දරුවාට අදහසක් ඇති වේ. එසේම අල්ලා බලන්නටත් අවස්ථාවක් දෙන්න. උයන විට ඒ ගැනත් ඒ සඳහා යොදා ගන්නා අනිත් දේවල් ගැනත් දරුවා සමග කතා කරමින් කරන්න. මේ ලෙසින් වෑංජන සඳහා ගන්නා ආහාර ද්‍රව්‍ය පිළිබඳව අදහසක් දරුවාට ඇති කරගත හැකියි. එසේම ආහාර කවන විටත් එම ආහාරය පිළියෙල කිරීමට පෙර තත්ත්වය නැවත මතකයට නැගීමටත් එහි රසය පිළිබඳව කතා කරමින් කෑම කැවීමත් දරුවාගේ බුද්ධි වර්ධනයට ඉඩ හසර ලැබේ. 

  • වෙළඳ පොලට ගිය විට

මේ අයුරින් වෙළඳපලට ගිය විටද දරුවා සහභාගි කරවා ගැනීමෙන් එළවළු, පළතුරු, පලා ආදී ලෙසින් ද්‍රව්‍ය හඳුනා ගැනීමටත් හොඳ නරක ලෙස තේරීමටත්, මුදල් හදල්, කිරුම් මිනුම් ආදී සෑම දෙමක්ම දරුවාට ඉගෙනීමට ඇති අවස්ථාවන් වේ. එසේම නිවසට ගෙනා එළවළු වර්ග කිරීමටත්, ඒවා ඇසිරීමටත් දරුවාට ඉඩ ප‍්‍රස්ථා ලබාදීම තුලින් ඒවායේ දිග, කොට, මහත, ගෙඩි, කරල්, ලපටි, මෝරපු, ඉදුනු ආදී ලෙසින් ගණිත ක‍්‍රියාකාරකම් සඳහා වැදගත් වන  තේරීමේ ක‍්‍රියාකාරකම් දරුවාට නිරන්තර ලැබීම තුලින් මොළයේ සංවර්ධන ක‍්‍රියාවලී මෙන්ම තර්කන හැකියාවද වැඩි දියුණු වේ. 

  • බෝගයක් රෝපණය කිරීමේදී‍

දරුවාට ඇටයක් පැල කිරීමට අවස්ථාව ලබාදීම එය පැලවෙන පියවරයන් අධ්‍යයනයට අවස්ථාව ලබාදීම, මල් ඵල හටගන්නා අන්දම ඉගෙනීමට අවශ්‍ය පොහොර, ජලය පිළිබඳ අවබෝධය ලබාගැනීමට ඉඩදෙන්න. ගසක් පැලවීමේ සිට එය වර්ධනය වන අන්දම පිළිබඳව කාල පරාසයන් පවා ඒ තුලින් දරුවා උගනීවි. 

ඉහත දැක්වූ ක්‍රියාකාරකම් ඇතුළුව දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන් දරුවාට ඉගෙනුම් අවස්ථාවන් කිරීම තුලින් දරුවා‍ගේ අත්දැකීම් සපිරි අනාගතය බුද්ධිමත්, ශක්තිමත් වනු නොඅනුමානයි. මේ සඳහා ඉඩහසර ලබාදීම ඔබට කරදරයක් සේ පෙනනුද සැබෑ ඉගෙනුම් ක‍්‍රියාවලිය සිදුවන්නේ දෑතේ ක‍්‍රියාකාරකම්, දෑසේ පෙනීමෙන්, කනට ඇසීමෙන්, දිවෙන් රස බැලීමෙන්, නාසයට දැනෙන ගඳ සුවඳ තුලින් හා ස්පර්ශය තුලින් දැනෙන සංවේදන මත පාදක කරගෙන හෙයින් දරුවාට මේ පංච ඉන්‍ද්‍රියන්උත්තේජනය වන අයුරින් ඉගෙනුම් අවස්ථාවන් ලබාදම ඔබේත්, මගේත් යුතුකම හා වගකීමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ට උපතින් පිළිකා ඇති වන්නේ කෙසේද?

පුංචි දරුවෙක්ට පිළිකාවක් කියලා අහන්න ලැබුණම කොයි කාගෙත් ඇඟ හිරිවැටෙනවා. ඒත් ඒ තත්ත්වය අපේ සමාජයෙන් මේ වෙද්දී නිතර නිතර අහන්න ලැබෙනවා. ඇත්තටම ඇයි මේ හය හතර නොදන්න පුංචි දරුවන්ටත් පිළිකා කියන රෝගය ඇති වෙන්නේ. පිළිකාව ගැන කියද්දි බොහෝ දෙනෙක්ගේ කටින් පිටවෙන්නේ කැන්සර් එකක් කියලයි. කැන්සර් කියන්නේ කකුළුවාට කියන තවත් ඉංග‍්‍රීසී වචනයක්. පිළිකාවට ඒ නම හැදෙන්න හේතු වෙන්න ඇත්තේ  කකුළුවාගේ අඬු ආකාරයට අවට පටක අල්ලාගෙන ඒවයේ සාරය උරාබොන නිසා විය හැකියි.

සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෑදී ඇති සෛල ක‍්‍රමානුකූලව වර්ධනය, බෙදීම පාලනයක් සිදුවන්නේ යම් පාලනයක් යටතේයි. නමුත් පිළිකා සෛල වර්ධනය, බෙදීම සිදුවන්නේ පාලනයකින් තොරවයි. විවිධ වර්ගයේ පිළිකා පවතින අතර ඒවායේ පවතින්නේ එකම ස්වභාවයකි. 

පිළිකා සෛලවල, 

  • වර්ධනය පාලනයෙන් තොරයි
  • අසාමාන්‍ය ප‍්‍රමාණ හා හැඩයක් ගනී
  • වේගයෙන් අනෙක් සෛල අතර බැඳීම් ඇති කරමින් ඒවායේ පෝෂක කොටස් උරාගන්නා අතරම අවසානයේ අවට සෛල මිය යයි. 

උපතත් සමග දරුවෙකුට පිළිකාවක් ඇතිවීම එතරම් සුලබ තත්ත්වයක් නොවුණත් ඒ තත්ත්වය අපිට අහන්න දකින්න ලැබෙන තත්ත්වයක්. වඩාත් බහුලම පිළිකා වර්ගය වන්නේ ස්නායු සෛල හා සම්බන්ධ Neuroblastoma වර්ගයයි. මෙය වර්ධනය වන ස්නායු පද්ධතියේ කලාතුරකින් ඇති වන තත්ත්වයකි. මෙය පිටතට පෙන්නුම් කරන්නේ සුෂුම්නාවේ හෝ ඒ ආසන්නයේ ගෙඩියක් ආකාරයටයි. සමහරවිට මෙම ගෙඩි උදරය තුල හෝ අධි වෘක්ක ග‍්‍රන්ථිය ආශ‍්‍රිතවද ඇති විය හැක. 

මීට අමතරව ඇති වන තවත් වර්ගයක් වන්නේ Teratoma තත්ත්වයයි. Teratoma යනු කලාතුරකින් ඇති වන අර්බුදයකි/ගෙඩියකි. මේවා විවිධ පටක වල එනම් අස්ථි, දත්, පේශී, හිසකෙස් අතර ඇති පටක වල දැකිය හැක. මේවා බොහෝ විට ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ ආදියේ දැකිය හැක. සමහරවිට මෙම පිළිකා වර්ගය ස්නායු පද්ධතිය තුල හා උදරය තුලද දැකිය හැක. මේවා පිළිකා වීම හෝ නොවීම නිශ්චිතව කිව නොහැකිය. ශරීරයේ ඇති සෛල වෙනස්වීමේ ක‍්‍රියාවලියට ලක් වන අවධියේදී එහි ඇති වන සංකූලයන් ලෙස මේවා හැඳින්විය හැක. විශේෂයෙන් මේවා ඇති වන්නේ ජන්මානු සෛල තුළයි. දරුවා වර්ධනය වන විට ඔවුන්ගේ ජන්තරා සෛල, ශරිරයේ විවිධ ස්ථාන වලට ගමන් කිරීමට පටන් ගන්නා අතර ඒවා වෙනස්වීම් වලට බඳුන් වේ. එනම් ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බද වෘෂණය තුල ඇති ශුක්‍රාණු  ද මෙසේ වෙනසට බඳුන් වන සෛල වේ. මෙම ගෙඩිය තුල කෙස්, දත්, ඉටි, තෙල් හා සම දැකිය හැක. මේවායේ සාමාන්‍ය ලක්‍ෂණ වන්නේ ඉදිමුම, රුධිර වහනය හා වේදනාව යන ලක්ෂණයි. 

බෙහෝ පිළිකා වලට හේතුව නොදන්නා නමුත් උපතේදී ඇති වන ජානමය වෙනස්කම් හේතු විය හැකි අතරම බොහෝ විට ඒවා ඇති වන්නේ උපතට පෙරයි. ස්ථිර හේතුවක් දැක්විය හැකි නොවුණද අවධානම් සාධක ලෙස පහත ඒවා සැලකිය හැක. 

  1. ජීවන රටාවේ හා පාරසරික අවධානම් සාධක
  • විකිරණ වලට නිරාවරණය
  • දෙමාපියන් දුම්පානය කිරීම                                                                                                                                                                                                                           

2.ජානමය සාධක

සෛල තුලදී DNA වල ඇති වන වෙනස්කම් නිසා සමහර පිළිකා වර්ග ඇති වේ. DNA යනු අපේ ජාන සඳහා වූ රසායනිකයයි. ජාන මගින් අපේ සියළු ක‍්‍රියාවලියන් පාලනය කරන්නා මෙන්ම සමහර රෝග වර්ධනය කිරීම සඳහාද දායක වේ. දරුවෙකුට තම මවගේ හෝ පියාගේ පෙනුම/රූපය ලැබෙන ආකාරයටම විවිධ පිළිකා වර්ග ද ඇති වේ. සමහර ජාන මගින් අපේ සෛල වර්ධනය, සෛල විභේදනය හා මියයාම පාලනය කරයි. 

  • සෛල වර්ධනය, බෙදීම හා සජීවී ලෙස සෛල පවත්වා ගැනීම – Oncogenes වේ. 
  • සෛල බෙදීම සෙමින් සිදුවීම, සෛල වල ජාන, අළුත් වැඩියාව, වැරදි ලෙස සිදුවීම හෝ සෛල මිය යාමට හේතුවන ජාන tumour suppressor genes ලෙස හඳුන්වයි. 

ළමුන් අතර බහුල වශයෙන් පහත පිළිකා වර්ග  

  • ලියුකේමියාව
  • Lymphoma
  • මොළයේ පිිළිකා
  • නව යොවුන් වියේදී ඔස්ටියෝසාර්කෝමා (Osteosarcoma) 

අළුත උපන් දරුවන්/කුඩා දරුවන්ට ඇති වන පිළිකා ජානමය වෙනස්කම් නිසා ඇති වන බවට විශ්වාස කෙරේ. එසේම ජාන විකෘතිතාවයක ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන 21 වන ජානයේ අසමාන්‍යතාවයන් (21 trisomy) ලෙස ඇති වන Down syndrome සහිත ළමුන්ට මෙම පිළිකා අවදානම් වැඩිය. 

ළමුන් අතර ඇති වන පිළිකා වල ලක්‍ෂණ 

  • අසාමාන්‍ය ඉදිමුමක් හෝ ගෙඩියක්
  • දරුවා තුල අසාමාන්‍ය, විස්තර කළ නොහැකි ලෙස සුදුමැලි බව, ශක්තිය හීන වීම, බර අඩු වීම 
  • සමේ පහසුවෙන් සිරීම් හෝ රුධිර වහනය
  • ශරීරයේ එකම ස්ථානයක දිගටම පවතින වේදනාව. 
  • නොනැවතී පවතින උණ
  • නිතර පවතින හිසරදය හා වමනය
  • හදිසියේ ඇති වන ඇස් වල පෙනීමේ වේගය අඩුවීම
  • තෙහෙට්ටුව

මීට අමතරව පහත තත්ත්වයන්ද දරුවන් අතර දැකිය හැක. ඒවායේ ලක්‍ෂණ පහත දැක්වේ. 

ලියුකේමියාව

  • සුදුමැලි බව
  • රුධිර ගැලීම හෝ සම තුලට රුධිර ගැලීම් (රතු පැහැති ලප ලෙස), නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීම
  • තෙහෙට්ටුව, දුර්වලභාවය, සීතල දැනීම
  • කරකැවිල්ල
  • හිසරදය
  • ස්වසන අපහසුතා/ කෙටි හුස්ම
  • නිතර ඇති වන දීර්ඝ කාලීන ආසාධන

මොළයේ පිළිකා

ළමා පිළිකා අතරින් 27% පමණ මෙම පිළිකා වැළඳීම සිදු වේ. බොහෝ පිළිකා ඇති වන්නේ මොළයේ සෛල කොටසේ එනම් මොළයේ කඳ මෂ්තිස්කය (brain stem cerebellum) කොටසේ වේ. මෙහි බහුලව දැකිය හැකි  ප‍්‍රධාන ලක්‍ෂණ පහත පරිදි වේ. 

  • හිසරදය
  • කරකැවිල්ල
  • ශරීර සමබරතාවයේ ගැටළු
  • දෘෂ්ඨි, ශ‍්‍රවණ හෝ කථන ගැටළු
  • නිතර වමනය ඇති වීම

Neuroblastoma

ළදරුවන් හා ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය නොමේරූ ස්නායු සෛල වලින් ඇති වේ. මූලිකවම අවුරුදු 5 වඩා අඩු දරුවන් තුල දැකිය හැක. මෙය නිතරම ආරම්භ වන්නේ අධිවෘක්ක ග‍්‍රන්ථියෙන් වේ. ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුල වැඩිය. 1 – 2% පමණ දරුවන්ට මෙය පවුල් ආරය නිසා ඇති වේ. 

  • ඇවිදීමේ හැකියාව නොමැති වීම
  • ඇස් වල වෙනස්කම් (ඇස් ඉදිරියට නෙරීම, ඇස් වටා කළු/අඳුරු රවුම් ඇතිවීම, ඇහිපිය කඩා වැටීම)
  • ශරීරයේ විවිධ ස්ථාන වල ඇති වන වේදනාව
  • පාචනය
  • අධික රුධිර පීඩනය

Wilms Tumour

ළමුන් අතර ඇති වන පිළිකා අතරින් බහුලව ඇති වන පිළිකා වර්ගයක් වන අතර වකුගඩු වලින් ආරම්භ වේ. බහුල වශයෙන් ඇති වන්නේ එක් වකුගඩුවක වන අතර කලාතුරකින් වකුගඩු දෙකටම ඇති විය හැක. අවුරුදු 3 – 4 දරුවන් අතර බහුල වේ. 

  • උදරය ඉදිමීම හෝ ගෙඩියක් ලෙස දැනීම
  • උණ
  • වේදනාව
  • ඔක්කාරය
  • කෑම අරුචිය අඩුයි

Lymphoma

මෙම පිළිකා තත්ත්වය ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වසා සෛල වල ඇති වේ. මෙම පිළිකාව මගින් වසා ගැටිති මෙන්ම වසා පටකද ආක‍්‍රමණය කරයි. උදාහරණ ලෙස ටොන්සිල් ග‍්‍රන්ථිය, තෛරොයිඩ් ග‍්‍රන්ථිය දැක්විය හැකිය. එසේම ඇට මිදුළු හා වෙනස් අවයව වලද ඇති විය හැක. ඇති වන ස්ථානය අනුව ලක්‍ෂණ වෙනස් වේ. ප‍්‍රධාන ලෙස ආකාර 2 කි. 

  1. HodgKin Lymphoma

අවුරුදු 5 ට අඩු දරුවන්ට ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මෙය වැඩිහිටියන්ගේ පිළිකා වලට සමානය. 

2.Non HodgKin Lymphoma

HodgKin Lymphoma ඇති වන දරුවන්ට වඩා අඩු වයසේ දරුවන්ට ඇති වේ. අවුරුදු 3 ට වඩා අඩු දරුවන්ට කලාතුරකින් ඇති වේ. ළමුන් අතර ඇති වන මෙම පිළිකා වර්ගය වැඩිහිටියන් අතර ඇති වන වර්ගයට වඩා වෙනස් වේ. ඉතා වේගයෙන් වර්ධනය වන පිළිකා වර්ගයක් වන අතර දැඩි සත්කාර සාත්තුව අවශ්‍ය වේ. වැඩිහිටියන්ගේ මෙම පිළිකා වර්ගයට වඩා දරුවන්ගේ මෙම පිළිකා වර්ගය ප‍්‍රතිකාර වලට හොඳින් ප‍්‍රතිචාර දක්වයි. 

  • බෙල්ලේ, කිහිල්ලේ හෝ ඉකිලියේ වසා ගැටිති ඉදිමීම
  • බර අඩුවීම
  • උණ
  • දහදිය දැමීම
  • ශරීරය දුර්වල වීම

ළමුන් අතර ඇති වන පිළිකා ඉක්මනින් හඳුනා ගැනීම තුල ප‍්‍රතිකාර සාර්ථක වේ. මේ සඳහා,

  • පවුලේ සාමාජීකයන් හෝ දෙමාපියන් හෝ දරුවන් රැකබලාගන්නන් රෝග ලක්‍ෂණ පිළිබඳව දැනුවත් වීම
  • නිවැරදි ලෙස නියමිත වේලාවට සායනික ලෙස රෝගය විනිශ්චය වීම රෝගය හදුනාගැනීම හා දැනට සිටින මට්ටම (stage) හඳුනාගැනීම. 
  • ප‍්‍රතිකාර කළ හැකි විවිධ මාර්ග පිළිබඳ අවබෝධය

වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ට ඇති වන පිළිකා වලදීද ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රම සමාන වේ. 

  • chemotherapy – ඖෂධ ප‍්‍රතිකාර
  • Radiotherapy – විකිරණ ප‍්‍රතිකාර
  • Surgery – ශල්‍යකර්ම ප‍්‍රතිකාර
  • Bone marrow transplantation – ඇටමිඳුළු බද්ධ කිරීම

එසේම වැළ‍ෙඳන පිළිකා සියල්ලම සුව නොවන නමුත් ඒවායේ ලක්‍ෂණ වලින් මිදීමට හා ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිකර ගැනීම උදෙසා ලබාදෙන සාත්තුව (palliative care) ඉතා වැදගත් වන අතරම දරුවෙකුට ඉහත ප‍්‍රතිකාර ක‍්‍රම ලබාදෙන අතරේම පෝෂණය, මානසික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

වැඩිහිටියන්ගේ පෝෂණය කෙරෙහි බලපාන ශාරීරික හා මානසික හේතු

 අප සමග වෙසෙන අපේ දෙමාපියන් එනම් දරුවන්ගේ ආදරණීය ආච්චාලා සීයලා වෙනුවෙන් ඉටුකළ යුතු වැදගත්ම කොටසක් ලෙස ඔවුන්ගේ පෝෂණය කෙරේ අවධානය යොමු කිරීම දැක්විය හැකියි. වියපත් වීමේ ක්‍රියාවලිය  හා බැඳුනු ශාරීරික හා මානසික හේතු ඔවුන්ගේ ආහාර රටාව කෙරෙහි බලපෑම් ඇති කරවයි. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි‍.

දත් වැටීම 

ියපත්වීමත් සමඟ ස්වභාවයෙන්ම ඇති වන තත්ත්වයකි දත් වැටීම. සමහර වැඩිහිටියන් හට දත් තිබුණ ද විදුරුමස් ආසාදන වැනි තත්ත්වයන් ඇති වීම හේතුවෙන් ඝන ආහාර සැපීම අපහසු වේ. නියමිත පරිදි ආහාර සැපීමට නොහැකි බැවින් ආහාර ගිලීම සහ දිරවීම අපහසු වේ. වැඩිහිටියන්හට ආහාර ලබා දීමේ දී ඔවුන්ට සැපීමට හා ගිලීමට පහසු ආකාරයෙන් ආහාර පිළියෙල කර දිය යුතු අතර එසේ පිළීයෙල කළ නොහැකි ආහාර වෙනු‍වට විකල්ප ආහාර ලබා දීම කළ හැක. ආහාර පිළියෙල කරන ක්‍රම විවිධාංගීකිරීමෙන් මෙම පහසුව ඇති කර ගත හැක.  

කන් ඇසීම සහ ඇස් පෙනීම දුර්වල වීම

ූලික වශයෙන් සංවේදී ඉන්ද්‍රියන් දුර්වල වීම හේතුවෙන් ආහාර මගින් ඇති කරන උත්තේජනය වැඩිහිටියන් තුල දක්නට ලැබෙන්නේ අඩුවෙනි. ආහාරය කෙතරම් ප්‍රසන්න ආකාරයෙන් පිළිගැන්වුව ද එය දුර්වල ඇස් පෙනීම හේතුවෙන් වැඩිහිටියා තුළ ආහාර ගැනී‍මට පෙළඹවිමක් ඇති නොකරයි. එසේම ආහාරයක් සැපයීමේ දි එය ගැන උත්තේජනයක් ඇති වන ආකාරයෙන් විස්තර කිරීම කන් ඇසීම දුර්වල වූ වැඩිහිටියෙක් කෙරෙහි ප්‍රතිඵලදායක‍ නොවේ.

සුවඳ හා රස දැනීමේ සංවේදීතාව අඩු වීම

ියපත් වීමත් සමග ඇති වන ස්වභාවික තත්ත්වයකි ආහාරයක සුවඳ සහ රස අඩු දැනීමේ හැකියාව අඩු වීම. එය ඉන්ද්‍රිය දුර්වලතා හේතුවෙන් සංවේදීතාව අඩුවීමක ප්‍රතිඑලයකි. සුවඳ සහ රස යන සාධක දෙක ආහාරයක් කෙරෙහි උත්තේජනය ඇති කරන ප්‍රධානම සාධක දෙක‍ වේ.

ඇනෝරෙක්ෂියා රෝගය

ෙය බර අඩු කර ගැනීම‍ සඳහා සිතා මතා ආහාර වර්ජනය කිරිමේ මානසික තත්ත්වය මේ නමින් හඳුන්වන නමුත් වැඩිහිටියන් තුල මෙය හඳුනා ගන්නේ වෛද්‍යමය හේතු මත ආහාර කෙරෙහි ඇති රුචිය අඩු වීම හෝ නැති වී යාම ලෙසය. මෙය කෙටි කාලීන ‍හෝ දීර්ඝ කාලීන වශයෙන් පැවතිය හැකිය. මෙය වැඩිහිටියන්ගේ පෝෂණ තත්ත්වය කෙරෙහි ඉතා අයහපත් බලපෑමක් ඇති කරයි

ශාරීරික වේදනා

ිවිධ රෝගාබාධ හේතුවෙන් සහ අස්ථි දුර්වලතා හේතුවෙන් ඇතිවන වේදනාවන් නිසා වැඩිහිටියන් කොතෙක් ආහාර රුචිය පැවතිය ද ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්ම මුඛ ආශ්‍රිත පිළිකාආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා වැනි රෝග ආහාර  ගැනීමේ දී  වැඩිහිටියාට තද වේදනාවක් ඇති කරයි.

වැඩිහිටියාගේ ශරීරයේ ඇතුලත සිදුවන වෙනස් කම්

  • ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන වෙනස්කම්

ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා ආහාර ජීිර්ණ අපහසුතා වැඩිහිටියන් අතර සුලබ වේ. මේ හේතුවෙන් සමහර ආහාර වර්ග ගැනීමට ඔවුන් මැලි වෙති. එම ආහාර මගින් ලැබෙන පෝෂක කොටස් ප්‍රමාණවත් පරිදි නොලැබීම ඔවුන්ගේ පෝෂණ තත්ත්වය පහළ දමයි

  • හෘදය ආශ්‍රිත රෝග තත්ත්වයන්

මෙම රෝග තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කිරීමට සිදුවන අතර ලබා ගන්න ඖෂධ හේතුවෙන් ආහාර  රුචිය අඩු විය හැක.

  • වකුගඩු ආශ්‍රිත රෝග

ආහාර පාලනය කිරීමට හේතුවන වකුගඩු රෝග තත්ත්වය හේතුවෙන්  වැඩිහිටියන්ගේ පෝෂණ තත්ත්වය පහළ යයි. විශේෂයෙන්ම පළා වර්ග ආහාර ගැනීම සීමා කිරීමට වන නිසා විටමින් ඌණතා ඇතිවේ

  • ආහාර රටා සහ පුරුදු 

වැඩිහිටියන්ගේ ආහාර පිළියෙල කරන සහ අනුභව කරන රටා සහ පුරුදු එකිනෙකාට වෙනස් විය හැක . සමහර වැඩිහිටියන් විවිධ සංස්කෘතිකමය හේතු නිසා සමහර ආහාර ප්‍රතික්ෂේප කරයි. එසේම ඔවුන්ගේ ආහාර රටා වියපත් බව සමඟ වෙනස් කළ යුතු අවස්ථා ඇති විය හැක

  • ආර්ථික තත්ත්වයන්

කෙතරම් පෝෂණය පිළිබඳ දැනුමක් තිබුණ ද ආහාර ගැනීමේ අවශ්‍යතාවය තිබුණ ද ආහාර මිලදී ගැනීමේ හැකියාව නොමැති  ව‍ැඩිහිටිියන් තමාගේ ආර්ථික ශක්තියට ගැලපෙන අයුරින් ආහාර රටාවකට පුරුදු වේ. මෙහිදී ආහාර වල පෝෂණ ගුණයට වඩා ඔවුන් සලකා බලන්නේ එහි මිලයි.

  • හුදකලා බව/ විෂාදය

මෙම සමාජමය සහ මානසික තත්ත්වයන් වැඩිහිටියන්ගේ ආහාර රටාවන් වෙනස් කරයි. ආහාර නොගෙන සීටීමට හෝ ආහාර විශාල වශයෙන් ගැනීමට වැඩිහිටියා පෙලඹෙන අතර ඇති වන අතර ආහාර ලබා ගැනීමේ ක්‍රමවත් බව ද ඔවුන්ගෙන් ගිලිහී යයි. මෙය සමාජයේ අඩු අවධානමක් ලබන තත්ත්වයකි

  • පෝෂණය පිළිබඳව දැනුම මද බව

ම වයසට සහ රෝගාබාධ වලට ගැලපෙන අයුරින් පෝෂණය සහිත ආහාර වේලක් සකස් කරගැනීමට අවශ්‍ය අවබෝධය නොමැති කමින් ඒකාකාරී ආහාර රටාවක් පුරුදු වී සිටින වැඩිහිටියන් දැකිය හැකිය. පෝෂණ ඌණතා ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නෙ මෙයයි

  • ඖෂධ සහ ආහාර සමඟ ඇතිවන ප්රතික්රියා

වැඩිහිටියා ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ආහාර අරුචිය ඇතිවනවා පමණක් නොව ආහාර වල විටමින් ආදිය ශරීරයට උරා ගැනීම ද වලක්වා ලයි. එවිට එම ඌණතා මගහරවා ගැනීමට එම ආහාර වැඩි වශයෙන් ලබා ගත යුතු වේ.

වැඩිහිටි පුද්ගලයන්ගේ පෝෂණ තත්ත්වය මැන ගැනීම

මේ සඳහා ශරීර ස්කන්ධ දර්ශකය භාවිතා කෙරේ. මෙයින් මැන බලන්නේ තම ශරීරයේ උසට සරිලන බරක් තිබේද යන්නය. මෙය බී. එම්. අයි. අගය (Body Mass Index –BMI) ලෙස කෙටියෙන් හැඳින්වේ.

ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම

පහත වගුවෙන්  ශරීර ස්කන්ධ දර්ශකය අනුව ඔබට උසට සරිලන බරක් තිබේදැයි පහසුවෙන් ගණනය කළ හැක

වැඩිහිටියන්ගේ බර අඩුවීමට හේතු 

අවුරුදු 50 පමණ වන තෙක් පුද්ගලයන්ගේ  බර වැඩිවේ. අවුරුදු 70ක් පමණ වනතෙක් සාපේක්ෂව ස්ථිර වශයෙන් එම බර ප්‍රමාණය පවතී. ඉන්පසුව ක්‍රමයෙන් බර අඩුවීමට පටන් ගනී. මාංශ  ස්කන්ධය අවුරුදු 20 න් පසුව එක් අවුරුද්දකට කිලෝ ග්‍රෑම්  0.3 කින් අඩුවීමට පටන් ගනී. මෙයට සාපේක්ෂව ශරීරයේ මේද ප්‍රමාණය ඉහල යන අතර එම තත්ත්වය අවුරුදු 65 – 70 දක්වා පවතී

වැඩිහිටියන්ගේ බර අඩුවීම වියපත් බවෙහි සාමාන්‍ය ලක්ෂණයක් නොවේ. එයට බලපාන ප්‍රධාන හේතු පහත දැක්වේ.

  • ශාරීරික රෝගාබාධ
  • දන්ත සෞඛ් ගැටළු
  • විෂාදය
  • ඖෂධ
  • ශරීරයේ ක්රියාකාරීත්වය දුර්වල වීම
  • ඩිමෙන්ෂියාව
  • පාචනය
  • ගිලීමේ අපහසුතා

පෝෂණය සඳහා බලපාන සාධක

  • වයස
  • ස්ත්‍රී පුරුෂ බව
  • සෞඛ්‍ය තත්ත්වය
  • ශාරීරික ක්‍රියාකාරකම්
  • ආගම සහ සංස්කෘතිය

හාර සහ පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීමේ දී ආහාර පිරමීඩය මගින් දක්වා ඇති ආහාර ගැනීමේ රටාව ඉතා වැදගත් වේ.             

මෙහි පළවෙනි කොටසෙන් දක්වා ඇත්‍තේ වැඩිම වශයෙන් ආහාරට එකතු කරගත යුතු ආහාර කොටස් වන කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර වේ. බත් , පාන් බතල සහ රොටී වැනි දෑ.ශරීර ශක්තිය ලබා දෙන්‍නේ කාබෝහයිඩ්‍රේට් මගිනි.

දෙවන කොටස විටමින් සහ ඛනිජ ලවණ අඩංගු ආහාර කොටස් වන අතර ඒවා මීළඟට වැඩි වශයෙන් ආහාරයට එක් කර ගත යුතු වේ. එළවළු සහ පලතුරු වල මේ පෝෂ්‍ය කොටස් අඩංගු වේ. ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම විටමින් සහ ඛණිජ ලවණ වල ප්‍රධානම කාර්යය වේ. මෙම ආහාර බොහෝ විට තන්තු බහුල ආහාර වන බැවින් වැඩිහිටියන් සඳහා ඉතා වැදගත් වේ. මෙමගින් ආහාර ජීර්ණය පහසු කරන අතර වැඩිහිටියන් අතර බහුල වශයෙන්ම ඇති මළ බද්ධය වැනි ගැටළු සඳහා විසඳුම් ලබා දේ

තුන්වෙනි කොටස අඩු වශයෙන් ආහාරයට එක් කර ගත යුතු කාණ්ඩයක් වන ප්‍රෝටීන්ය. මෙම ශරීරය වැඩීමට සහ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාමට උපකාරී වේ. මාළු, මස්, කිරි බිත්තර ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයන් වන අතර ශාක ප්‍රභවයන් ලෙස කඩල , මුං ඇට , ‍සෝය සහ බඩ ඉරිගු දැක්විය හැක

හතරවන කාණ්ඩයෙන් ඉතා මද වශයෙන් ආහාරයට එක් කර ගත යුතු ආහාර වන මේදය, සීනි බහුල ආහාර සහ ලුණු දැක්වේ . මේ ආහාර මගින් පෝෂණයක් ලබා‍ නොදෙනවා පමණක් නොවේ බෝ නොවන රෝග සඳහා ප්‍රබල ආකාරයෙන් දායක වීමක් ද වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන 

රේණුකා තෙන්නකෝන් මහත්මිය

කථිකාචාර්ය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

අපේ වැඩිහිටියන්ට ගැලපෙන පෝෂණීය ආහාර වේලක් සකසා ගන්නේ කෙසේද?

නිවසේ සිටින වැඩිහිටියන් ඒ කියන්නේ අපේ දරුවන්ගේ ආච්චිලා සීයලාගේ පෝෂණ තත්ත්වය සම්බන්ධව වඩාත් කල්පනාකාරීව සිතිය යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්. වැඩිහිටියන් මුහුණ දෙන රෝග තත්ත්ව අනුව ඔවුන්ගේ ආහාර වේල විශේෂයෙන් සැකසීමට සිදු වන අවස්ථාවන් ඇත. 

  • අධික තන්තුමය ආහාර‍ වේලක් 

අධික ස්ථූලතාවය , මල බද්ධය , අධි කොලෙස්ට්‍රෝල්  සහ හෘදය ආශ්‍රිත රෝග පවතින වැඩිහිටියන් සඳහා මෙම වර්ගයේ ආහාර වේලක් ලබා දීම යෝග්‍ය වේ. සාමාන්‍ය  ආහාර වේලක් සඳහා ලබා දෙන එළවළු ප්‍රමාණය දෙගුණ කිරීම මෙම ආහාර වේලක් සකසා ගැනීමේ සරලම ක්‍රමයයි. සුදු පාන් වෙනුවට පරළු පාන් ලබා දීම තවත් එක් ක්‍රමයකි. ධාන්‍යමය ආහාර ලබා දීමට නිර්දේශ වී ඇත්නම් සඳහා වඩාත් සුදුසු වන්නේ ඕට්ස් නැමති ධාන්‍ය වර්ගයයි. එහි තන්තු ප්‍රමාණය අධිකය. පළතුරු ලබා දෙන විට වියළි පලතුරු වෙනුවට තන්තු අධික අඹ , කෙසෙල් වැනි දේ තෝරා ගන්න. 

  • සැහැල්ලු ආහාර වේලක්

ආමාශයික ප්‍රදාහ වලින් පීඩා විඳින වැඩිහිටියන් වෙනුවෙන් මෙම කාණ්ඩයේ ආහාර වේලක් නිර්දේශ කළ හැක. පොත්ත රහිත පළතුරු , කුළුබඩු නොදැමූ ආහාර, ගැඹුරු තෙලේ නොබඳින ලද ආහාර ලබා දිය යුතු අතර පරළු පාන් , ධාන්‍යමය ආහාර (සීරියල්) , කෝපි , තේ හෝ සිට්‍රික් අම්ලය අධික දෙහි , දොඩම් වැනි පාන වර්ග අයත් වන්නේ ලබා දිය නොහැකි ආහාර වර්ග ඝනයටයි. 

  • ලුණු / සෝඩියම් අඩු ආහාර වේලක් 

අධි රුධිර පීඩනය , හෘද රෝග සහ වකුගඩු ආශ්‍රිත රෝග පවතින වැඩිහිටියන් සඳහා ලබා දිය යුතු වර්ගයේ ආහාර වේලක් වෛද්‍ය නිර්දේශ මත ලුණු නොයොදා හෝ ලුණු ඉතා අඩුවෙන් යොදා ආහාර සකස් කළ යුතු වේ. එසේම එම් එස් ජී ( මොනෝසොඩියම් ග්ලූතමේට්) හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින රස කාරක  හෝ සෝස් වර්ග එක් නොකල යුතු වන්නේ එම ආහාර වල ලුණු අධික වන බැවිනි. සකස් කර ඇති ආහාර අතුරින් ලුණු දමා  ඇති මස් , මාළු, බිත්තර , සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් , ටින් කරන ලද ආහාර , අල පෙති වැනි දෑ ආහාර එක් කර ගැනීමෙන් වැලකිය යුතුය. 

  • අඩු මේද  ආහාර වේලක්

කෑම දිරවීමේ අපහසුතා සහ අගන්‍යාශ සංකූලතා ඇති වැඩිහිටියන් සඳහා නිර්දේශ කෙරෙන්නේ මේදය අවම ආහාර වේලකි. මේ සඳහා පොල් කිරි, බටර් , මාගරින් වැනි දෑ භාවිත නොකරයි. කුකුළු මස් ආහාරයට ලබා දෙන්නේ  නම් එහි හම කොටස් අයින් කර හොඳින් පිසිය යුතුය. එළවළු තෙල් මද වශයෙන් භාවිත කර ආහාර පිසින්න. වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ හුමාලයෙන් පිසීමයි.

  • කොලෙස්ට්‍රෝල් අඩු ආහාර වේලක්

හෘද රෝග වැළදී ඇති හෝ අවධානමක් ඇති පුද්ගයන් සඳහා නිර්දේශ කරන ආහාර වේලකි. බිත්තර කහ මදය, බටර් , හරක් මස්, එලු මස් , පොල් කිරි භාවිත නොකළ යුතු අතර ඉස්සන් සහ දැල්ලන් වැනි අධික කොලෙස්ට්‍රෝල් සහිත ආහාර සීමා සහිතව එක් කළ යුතුය.

  • අඩු ප්‍රෝටීන්  ආහාර වේලක් 

මෙම වර්ගයේ ආහාර වේලක් නිර්දේශ වන්නේ වකුගඩු සහ අක්මාව ආශ්‍රිත ගැටළු ඇති වැඩිහිටියන් වෙනුවනි. කිරි හෝ ආශ්‍රිත ආහාර , කුරුට්ට සහිත ධාන්‍ය , ක්‍රීම් සුප්, මාංශ සහිත සුප්, මුහුදු ආහාර , ඇට වර්ග ආහාරයට එක් කිරීම නොකළ යුතුය.  එසේම ආහාර කුඩා වේල් වශයෙන් ලබා දීම වැදගත් වේ.

  • දියවැඩියා රෝගීන් සඳහා 

සීනි, පැණී හෝ ග්ලූකොලින් රහිත ආහාර වේලක් සෑම විටම දියවැඩියා රෝගයෙන් පෙලෙන වැඩිහිටියෙක් වෙත ලබා දිය යුතු වේ. අතුරුපස, බීම, ටින් කල පළතුරු ආදිය පිරිනැමීමේ දී ඒවා සීනි රහිත වන්නේ දැයි බැලිය යුතුය.  එසේම ලබා දෙන ආහාර ප්‍රමාණය සීමා සහිත වේ. උදාහරණ ලෙස එක් වේලක් සඳහා බත් කෝප්ප – 1/නූඩ්ල්ස් කෝප්ප ½/පාන් පෙති – 1/කුඩා කෙසෙල් ගෙඩි – 1/පැපොල් කෑලි ½  වශයෙන් ආහාර සීමා කළ යුතු වේ.

  • කැලරි අඩු ආහාර වේලක් 

ස්ථූලතාවයෙන් යුක්ත පුද්ගලයන් සඳහා සෑම විටම ලබා දිය යුත්තේ කැලරි අඩු ආහාර වේලකි. එහෙත් පෝෂණයේ සමබර බව ආරක්ෂා කළයුතු වේ. කැලරි වැඩි ආහාර මෙන්ම ගැඹුරු තෙලේ බදින ලද ආහාර ලබා දීමෙන් වැලකිය යුතුය. එසේම තෙල් සහිත ආහාර පාලනය කළ යුතුය. ස‍ීනි සහ සීනි සහිත ආහාර අවම කළ යුතු අතර තන්තුමය ආහාර වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කර ගත යුතු වේ. කාබෝහයිඩ්‍රේට් සහිත ආහා‍ර සීමා සහිතව ලබා දිය යුතුය. එයට පිළියමක් ලෙස ලබා දෙන ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුළුවන.

වැඩිහිටියකුගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය

දෛනික කැලරි අවශ්‍යතාව 2000 kcal පදනම මත
ශක්තිය 2000
මේදය ග්‍රෑම් 70 ට නොවැඩි
සංතෘප්ත මේදය  ග්‍රෑම් 20 ට නොවැඩි
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 270 
සීනි ග්‍රෑම් 90 ට නොවැඩි
ප්‍රෝටින් ග්‍රෑම් 50 
තන්තු අවම වශයෙන් ග්‍රෑම් 25 
ලුණු  ග්‍රෑම් 6 ට නොවැඩි

 

වැඩිහිටියාට රැකවරණ දෙන පුද්ගලයාට පෝෂණ අවශ්‍යතා පිළිබඳ දැනුමක් තිබීම සැබවින්ම වැඩිහිටියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවීමට උපකාර වේ. 

වැඩිහිටියන්ට ආහාර ලබා දිය හැකි විවිධ ඉරියව්

  • සාමාන්‍ය ක්‍රමය
  • වැඩිහිටියා ඇඳ මත කොට්ට ආධාරයෙන් හාන්සි කරවීම
  • රෝද පුටුවේ හිඳුවා කෑම මේසය වෙතට ගෙන ඒම
  • දියරමය ආහාරයක් බෝතලයක් සහ සූප්පුවක් මගින්
  • ඝන ආහාරයක් ඇඳේ නිදා සිටින ඉරියව්වෙන්

ආහාර පිළියෙල කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු 

  • කෑම පිළියෙල කිරීමට පෙර සහ පසු අත් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීම

දෑත් සේදීමේ සම්මත ක්‍රමය – ආහාර පිළියල කිරිමේ දී හා පිලිගැන්‍වීමේ දී දෑත් වල පිරිසිදු බව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එය වැඩිහිටියාට මෙන්ම ඔබට ද‍ බෝවන රෝග වලින් සහ විෂබීජ වලින් ආරක්ෂා වීමට සුදුසු මගක් වනු ඇත. දෑත්   සේදීමේ සම්මත ක්‍රමය පහත රූප සටහන් වල දක්වා ඇත.

  • පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකට  ගබඩා  නොකිරිම 
  • පිසින ලද ආහාර වැඩිහිටියාට ලබා දෙන තෙක් හොඳින් වසා තබන්න
  • කලින් පිසින ලද ආහාර උණුසුම් කිරීමේ දී නියමිත උෂ්ණත්වයට නියමිත කාලසීමාවක් දක්වා උණුසුම් කිරීම
  • වරක් අනුභව කරන ලද ආහාර ආහාර කොටස් නැවත වතාවක් සඳහා නොපිළිගන්වන්න. එම ආහාර වල කෙළ මිශ්‍ර වී තිබීම නිසා ඉක්මනින් බැක්ටීරියා සමඟ ප්‍රතික්‍රියා කර නරක් විය හැක.
  • පළතුරු සහ එළවලු කැපීමට ගන්නා පිහි මස් , මාළු කැපීම සඳහා භාවිතා නොකිරීම. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන 

රේණුකා තෙන්නකෝන් මහත්මිය

කථිකාචාර්ය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

 

පසු ප‍්‍රසව සමය හා ලිංගික සබඳතා ඇරඹීම ගැන මේ කරුණු ඔබ දන්නවාද?

දරු ප‍්‍රසූතිය ඉතාමත්මත් ප‍්‍රීතිජනක අවස්ථාවකි. එසේම ස්වභාවික වූ සංසිද්ධියකි. මේ සඳහා සෑම මවක්ම සූදානම් වීම වැදගත් වන අතරම එය මවගේත් දරුවාගේත් මෙන්ම පවුලේම යහපැවැත්මට ද හේතූ වේ. 

දරු ප‍්‍රසූතියෙන් පසු ගෙවෙන මුල්ම සති හයක කාලය පසු ප‍්‍රසව කාලය ලෙස හැඳින්වේ. එසේ හැඳින්වීමට හේතූ වී ඇත්තේ දරුවා ලැබීමෙන් පසු මවගේ වෙනස් වීමට ලක් වූ කායික අවයවයන් මෙන්ම මානසිකවද ආපසු යථා තත්ත්වයට පත්වීමටත් දරුවාගේ ශීඝ‍්‍ර වර්ධනයත් සමග සංකූලතා ඇති විය හැකි අවස්ථාවන් තිබීමත් යන කරුණු මූලික කරගෙනයි. එසේම දරුවාගේ හා මවගේ ජීවිතවලට එක්වූ පවුලේම ජීවන රටාව වෙනසකට ලක්ව තිබීමත් මේ සමය වැදගත් වීමට හේතු වේ. 

සාමාන්‍ය දරු ප‍්‍රසූතිය සමග යෝනි මාර්ගය ඉහිල් වීමක් සිදුවන අතරම දරුවාට කරදරයකින් තොරව බිහි වීමට උදව්වක් ලෙසින් යෝනි මුඛය අවට සිදු කරන එසියිපෝටම් නම් කැපුමක් කරනු ලබයි. මේ මගින් දරුවා බිහිවීමේදී පහසුවක් සලසනු ලබන අතරම දරුවා බිහිවූ වහා එම කැපුම මැහුම් යොදා සකස් කරනු ලබයි. මේ මැහුම සාමාන්‍ය ලෙස සුව වීමට සතියක් දෙකක් පමණ කාලයක් ගතවෙයි. දරුවා ලැබුණු මුල් දින වල මෙම මැහුම් නිසා මවට අපහසුතාවයක් දැනෙන මුත් එම මැහුම් වියළී යාමත් සමග එම අපහසුතා පහව යයි. 

සීසර් ශල්‍යකර්මය මගින් දරුවා බිහිකළේ නම් මවගේ උදරයේ තුවාලයක් පවතී. මෙහිදී ද මැහුම් යොදා ඇති අතරම එයද සාමාන්‍ය ලෙස සතියක් පමණ කාලයකදී සුව වීම සිදු වේ. මෙම තුවාල අපහසුතා හැරුණු විට මවට ඇති කාර්යභාරය වැඩිවීම අලුත් ජීවීතයකට හුරුවීමට සිදු වීම ආදී කරුණුද හේතුවෙන් මානසික සුවය/විවේකය මවට ඉතා වැදගත් වේ. මේ සමග මවට සැපයෙන උදව් සංග‍්‍රහ සත්කාර මානසික සුවයට ද සෘජුව බලපෑම් ඒල්ල කරයි. 

පසු ප‍්‍රසව සමය තුලදී මවගේ සියලු කාර්යයන් හිදී පවුලේ අයගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහය මගපෙන්වීම ඉතා වැදගත් වේ. මේ අවශ්‍යතා සපුරන අතරම මවට ලිංගික ජීවිතයට එකතු වීමේ හැකියාවද පවතී. දිනයක් නොමැති වුවද මවගේ අවශ්‍යතා අපහසුතා අනුව ඒ සඳහා කාලය තීරණය වේ. 

ප‍්‍රසූතියෙන් සති හයක් වූ පසු ප‍්‍රසව කාලය තුල නැවත දරු පිළිසිඳීමක් සිදු නොවේ. මවගේ එපිස් තුවාලය/සීසර් තුවාලය වියලීම සිදු වූ පසුව ලිංගික සබඳතා පැවැත්වීම හානිදායක නොවේ. එහෙත් එම තුවාල නිසා ඇති වේදනාව, යෝනි ශ‍්‍රාවයන් නිසා ඇති අපහසුව මවට නොමැති වූ විට මවට පහසුවක් ඇති කරයි. එසේ වුවද දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත මවට වේදනා සහගත නොවන ලෙසින් ලිංගික කාර්යයන් වල නිරත විය හැකියි. 

තුවාල වලට අමතරව එම කාලය තුල ඇති වූ පේශී වල හැකිලීම්/මාර්ගය පටු බවක් පෙන්නුම් කරන නිසා මවට අපහසුතා ගෙන දිය හැකියි. මෙම කායික අපහසුතා තේරුම් ගෙන ලිංගික උත්තේජනයක් ඇති කර ගැනීමෙන් මෙන්ම අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ලිහිසි ක‍්‍රීම් වර්ගයක් භාවිතා කිරීමටත් හැකියාව පවතී. 

නැවත දරු පිළිසිඳීමක් සති 6 කින් පසුව සිදුවන නිසා සති 6 ට පෙර සිදුවන ලිංගික එක්වීම ආරක්‍ෂිත වේ. සති 6 ට පසු පිළිසිඳ ගැනීමක් ඇති විය හැකි හෙයින් සුදුසු පවුල් සංවිධාන ක‍්‍රමයකට යොමු වීම අත්‍යාවශ්‍ය වේ. 

සීසර් ශල්‍යකර්මය සිදු වුවද ප‍්‍රසූතියෙන් පසු ලිංගික ක‍්‍රියාවන් සඳහා නියමිත වූ කාලයක් නොමැත. සීසර් තුවාලයේ වේදනාව/යෝනි ස‍්‍රාවයන්ගේ අපහසුතා පහව ගිය පසු ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකියි. ඒ අයටද සති 6 න් පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති විය හැකි හෙයින් සති 6 න් පවුල් සංවිධාන ක‍්‍රමයක් ආරම්භ කළ යුතු වෙනවා. 

සෑම විටම ප‍්‍රමුඛතාවය ලබාදිය යුත්තේ මව ගර්භනී සමය තුලදී විඳි අපහසුතා/වේදනා හා පසු ප‍්‍රසව සමය තුල මවගේ සෞඛ්‍යමය කරුණු පමණක්ම වන අතර මවගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම පිළිබ`ද අවධානය යොමු කර ක‍්‍රියාත්මක වීම සියළු දෙනාගේ වගකීමයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ප‍්‍රසූතියෙන් පසු මව්කිරි නිපදවීම වෙනුවෙන් පියයුරු වෙත ලබාදිය හැකි සම්භාහන ක‍්‍රම/උත්තේජන

මෙලොව එළිය දකිනා නවජ දරුවාගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබාදීම අප සැමගේම වගකීම හා යුතුකමයි. අලුත උපන් දරුවකුගේ වර්ධන හැකියාවන් ප‍්‍රශස්ත කිරීමටත් ඔහු ජීවත් කරවීමටත් යන කරුණු දෙකම සඳහා ලබාදිය යුතු මූලිකම ඇරඹීම මව්කිරියි. මව්කිරි යනු මෙලොව පැවැත්වේ ප‍්‍රබලතම සාධකයයි. මෙම සාධකයට කොතරම් බලපෑමක් කළ හැකිද යන්න විමසා බැලීමේදී, මෙලොව උපදින ක්‍ෂීරපායී සියලු සත්වයකුගේම ආරම්භක මොහොතේ සිටම ජීවය පවත්වා ගැනීම සඳහා ප‍්‍රබල වූ මෙහෙයක් ඉටු කරනු ලබයි. මිනිස් පැටියකුගේ උපත් බර මාස පහකදී දෙගුණ කිරීමේ හැකියාව මව්කිරි වල ඇති මෙම ශක්තිය මොනවට සාක්‍ෂි දරයි. එසේම දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂකාංගයන්ගෙන් සපිරුණු මව්කිරි තුල රෝග බෝවීමට එරෙහි ප‍්‍රතිශක්තියක්ද ගැබ්ව පවතී. එහෙත් මෙම මව්කිරි නිෂ්පාදනයට බලපෑ හැකි කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ ලැබෙන අවධානය, උනන්දුව වැනි ප‍්‍රතිචාර මේ සඳහා ඇති කරන බලපෑම් හඳුනාගැනීමටයි. 

දරුවකු ඉපදී හැකි විගස දරුවා පියයුරු වෙත ගෙන ඒමෙන් මව්කිරි ආරම්භ කිරීම සිදු කරනු ලබන අතර මේ සඳහා ගත කරන කාලයද බලපෑමක් ඇති කරන හෙයින් විය යුත්තේ දරුවා ඉපදී විනාඩි  30ක් ඇතුලත හෝ අවම වශයෙන් පැයක් ඇතුලත වත් පළමු කිරි වේල ලබාදීමයි. මෙය මව්කිරි සඳහා පළමු උත්තේජනය වන අතරම ඒ සඳහා ගත වන කාලය වැඩි වීමෙන් කිරි නිෂ්පාදනයට බාධා එල්ල වේ. 

දරුවා කිරි ඉරිමේදී මොළයට ලැබෙන සංවේදන මගින් කිරි නිෂ්පාදනය උත්තේජනය වේ. මේ හෙයින් දරුවා කිරි ඉරීමත් ඒ සඳහා ගතවන කාලයත් අනුව කිරි නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදු වේ. පියයුරෙහි නිෂ්පාදනය වූ කිරි සියල්ල ගලා ඒමට අවශ්‍ය තරම් කාලයක් දරුවා නොඋරන්නේ නම් එයද කිරි නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩු වීමට හේතුව වේ. මේ නිසා එක දිගට එක පියයුරකින් විනාඩි  විස්සක කාලයක් කිරි උරා බීමට දරුවා හුරු කරගත යුතුයි. වරකට දරුවා කිරි උරා බොන ප‍්‍රමාණය අඩු වුවහොත් ඊලඟ වර එරෙන්නේ පියයුරෙහි හිස් වූ ප‍්‍රමාණයට වන බැවින් දරුවා වැඩෙත්ම දරුවාට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නොලැබී යා හැකියි. මේ නිසා මුලදී දරුවා උරන ප‍්‍රමාණය අඩු වුවහොත් පියයුරේ ඉතිරි ප‍්‍රමාණය දොවා හෝ හිස් කිරීම මගින් ඊලඟ වාරයට එරෙන කිරි ප‍්‍රමාණය වැඩි කරගත හැකියි. 

එසේම මව තුල ඇති වන ආදරණීය හැඟීම් පවා කිරි එරීමට හේතුවක් වේ. දරුවා අඬන විට මවට ඇතිවන ආදරණීය සිතුවිලි කිරි සඳහා උත්තේජනයක් වේ. 

  • මවගේ සමට දරුවාගේ සම ගැටීමට හැකි ලෙස දරුවා ඇකයේ තබාගැනීමෙන් ස්පර්ශය නිසාද උත්තේජනයක් ඇති විය හැකියි. 
  • මව මව්කිරි දීමට පෙර උණුසුම් පානයක්/උණු වතුර පානය කිරීමත්
  • පියයුර උණුසුම් කිරීම/උණු වතුරින් තැවීම/උණු වතුර නෑම මගින්ද
  • මෘදු ලෙස ඇඟිලි තුඩු වලින් පියයුරු තුඩුව රෝල් කිරීම/ඉදිරියට ඇදීම
  • මෘදු ලෙස පියයුර සම්භාහනය කිරීම. මේ සඳහා ඇඟිලි තුඩු/පනාවක් මගින් පියයුර සෙමෙන් පිරිමැදීම. 
  • අතමිට මොලවා ගෙන පියයුර දිගේ තන පුඩුව දෙසට තෙරපීම වැනි ක‍්‍රම මගින් පියයුරු සඳහා සම්භාහන ලබාදීම මගින් කිරි නිෂ්පාදනය වැඩි වීමට හේතුවක් විය හැකියි. 

කිරි දෙවීමට පෙර පියයුර උත්තේජනය කරන අන්දම

  1. තන පුඩුව මෘදුව ඉදිරියට අදින්න
  2. තන පුඩුව රෝල් කරන්න
  3. පියයුර මෘදුව පිරිමදින්න
  4. මිට මොලවා ගත් අතින් පියයුර මෘදුව තෙරපන්න
  5. ඇඟිලි තුඩින් පියයුර මෘදුව පිරිමදින්න. 

ඔක්සිටොසීන් ප‍්‍රතීකය උත්තේජනය කිරීම ස`දහා උදව්කාරියක් විසින් මවගේ පිට පිරිමැදීම

උදව්කාරියක් මගින් උදව් ලබාගෙන පිට පිරිමැද්ද වීමද කළ තවත් ක්‍රමයකි. මව උඩුකය නිරුවත් කර මේසයක් මත අත් තබා ඇයගේ හිස අත් මත තබා ගනියි. පියයුරු එල්ලා වැටීමට සලස්වයි. මෙවිට ආධාර කාරිය පිටේ කොඳු ඇටය දෙපස පහතට පිරිමදියි. මහපටඟිල්ල ඉදිරියට එන ලෙස අත මිට මොලවා ගෙන මහපටඟිල්ලෙන් වෘත්තාකාර ලෙස බෙල්ලේ සිට උරපතු ඇටය දක්වා පිට දෙපසටම, ඉහළ හා පහළට මිනිත්තු දෙකක් තුනක් මේ සම්බාහනය කළ යුතුයි. මේ මගින් කිරි එරීමේ යාන්ත‍්‍රණය උත්තේජනය වේ. 

මීට අමතරව මව්කිරි සඳහා දරුවා මව එකම කාමරයක සිටීම, කිරි දෙන විට මවගේ හා දරුවාගේ සමට සම සප්ර්ශ වීම, දරුවා කෙරෙහි ඇති වන මවගේ ආදරයද මව්කිරි සඳහා හොඳ උත්තේජනයකි. 

මවගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ගර්භණී කාලයේ සිටම, මගේ දරුවාට මව්කිරි දෙන්න මට පුළුවනි යන සිතුවිල්ල සිතට කා වැද්දීමද මවගේ වේදනාව, මානසික අසහනය අඩු කරගැනීමට උදව් කිරීම, පවුලේ ආදරය හිමිවීම තුලින් ද මව්කිරි දීම හොඳින් පවත්වා ගැනීමට හොඳ පිටුවහලක් වේ. 

යටට ගිළුණු තන පුඩුවකට ප‍්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීමට සිරින්ජරයක් පිළියෙල කරගැනීම හා පාවිච්චි කිරීම

පියයුරේ පුඩුව පැතලි හෝ ගිළුණු විටක දරුවාට පියයුර අල්ලා ගැනීමට අපහසු නිසා තන පුඩුව සකස් කරගැනීම ප‍්‍රසූතියෙන් පසු කිරි දෙන විටම කරගත හැකිවේ. පුඩුවක් නොතිබීම කිරි දීමට බාධාවක් නොවේ. කිරි ගබඩා වී ඇත්තේ තනපුඩුව වටා ඇති ඇරියෝලා නම් කළු කොටසේයි. දරුවා මේ ප‍්‍රදේශය ඔහුගේ මුඛය තුලට ගෙන උරයි නම් කිරි නිදහස් වේ. එහෙත් මවගේ සහයට මෙවැනි ගිළුණු තනපුඩුව සකස් කරගැනීමට සිරින්ජරයක් එකක් භාවිත කිරීමට හැකියි. 

සිරින්ජරයක් ගෙන පහත රූපයේ පරිදි බැරලයේ කටුව සවිවන පැත්තෙන් කපන්න. ඊට පසු පිස්ටනය කැපූ පැත්තෙන් ඇතුල් කර අනිත් පැත්ත තන පුඩුව මත තබා ඇදීමෙන් තන පුඩුව සකස් කරගත හැකියි. මෙය දරුවා කිරි උරන විට පසුව හරියයි. 

සෑම විටම කිරිදීමේදී දරුවා සිරුරට සමාන්තර වන ලෙස අල්ලා ගැනීමත් නිකට පියයුර එකම මට්ටමක තබාගැනීමටත් හිස, කඳ එකම තලයක තබාගැනීමත් මවගේ හා දරුවාගේ නෙතට නෙත ගැටීමත් වැදගත් වේ. මෙම ඉරියව් හා ස්ථාපිත නිවැරදි වීම තුලින් දරුවා හොඳින් කිරි උරාබොන බැවින් හෝමෝන යාන්ත‍්‍රණයද හොඳන් ක‍්‍රියාත්මක වීම සිදුවන නිසා කිරි නිෂ්පාදන ක‍්‍රියාවලියත් උත්තේජනය වේ. 

දරුවෙකුගේ වර්ධනය මෙන්ම සංවර්ධනයද සොඛ්‍යමත් ලෙස ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට හැකි එකම විශ්මිත වූ නිපැයුම මව්කිරි වේ. එසේ හෙයින් මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් හා මව් කිරි වලින්ය යන්න යථාර්තයක්ම වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

නිවසේ සිටින වැඩිහිටියන්ගේ පෝෂණ අවශ්‍යතා සැකසිය යුතු ආකාරය ගැන දැනුවත්ද?

වියපත් වීමත් සමඟම පුද්ගලයෙකුට අවශ්‍ය ශක්ති ප්‍රමාණය පහළ බසී. මෙයට එක් හේතුවක් ලෙස ශාරීරික ක්‍රියාශීලි බව අඩුවීම දැක්විය හැක. ශරීර අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් සමඟ ආහාර දිරවීමේ වේගය 15% – 20% අතර ප්‍රමාණයකින් අඩුවන අතර ශරීරයේ මේද සෛල ඉහල යාමක් සිදුවේ .

තවද කා‍බෝහයිඩ්‍රේට් සඳහා ඇති ශාරීරික ඉල්ලුම වියපත් වීමත් සමඟම පහළ යයි. ශරීරයේ සීනි පාලන හැකියාව අඩු වීම හේතුවෙන් ශරිරයේ සීනි මට්ටම පහළ  සහ ඉහල යාම යන තත්ත්වයන් ඇත‍ි වේ. වියපත් වූවන්ගේ ශරීරයේ ඉන්සියුලින් සංවේදීතාව වර්ධනය කිරීම කිරීම සඳහා සමබල ශක්ති ජනක ආහාර වේලක් ගැනීම, බර පාලනය සහ දෛනික ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීම යෝග්‍ය වේ. ශක්තියෙන් 50% කොටසක් අප ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට් වලිිනි.

ශරීර අභ්‍යන්තරයේ ප්‍රෝටීන් නිශ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වීම හේතුවෙන් ඇතිවන ප්‍රෝටීන් මද කම සපුරාලීම සඳහා ශරීරයේ ගබඩා කරගෙන ඇති ප්‍රෝටීන් සංචිතයේ පහළ යාමක් සිදුවේ. දෛනිකව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කිරි සහ මුදවන ලද කිරි වඩාත් යෝග්‍ය ආහාර ලෙස පෙන්වා දිමට හැක්කේ එම ආහාරවල ලැක්ටික් අම්ලය අඩංගු වන හෙයිනි. වියපත් වීමත් සමඟ ඇතිවන ආහාර රුචිය අඩු වීම, ජීර්ණ අපහසුතා නිසා පුද්ගලයන් බොහෝ විට ප්‍රෝටීන් සහිත ආහාර පරි‍භෝජනයට ගැනීම අඩු කරන ‍නිසා ඔවුන්ට ආසාදන තත්ත්වයන්ට සහ රක්තහීනතාව යන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

තවද ආහාරයේ ඇති ලිපිඩ ප්‍රමාණය ඉහල නම් එය වැඩිහිටියන්ට ඩිමෙන්ෂියා සහ හෘදය ආශ්‍රිත රෝග වලට අවධානමක් ඇති කරයි. ඔවුන්ට ලබා දෙන ආහාර වල අසංතෘප්ත මේදය පාලනය කොට සංතෘප්ත මේදය ලබා දීමට අවධානය යොමු කල යුතුය. ‍ඔමේගා – 3 සංඝටකය බහුල ආහාර ප්‍රමාණවත් පරිදි ලබා දීමෙන් පෙනීමේ අපහසුතා , හිසකේ ගැලවී යාම, ජීර්ණ අපහසුතා , වකුගඩු ආශ්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය පාලනය කර ගැනීමට ද හැකිවේ. 

වැඩිහිටියන් බොහෝ විට විටමින් ඩී ඌණතාවයට ලක් වීමේ අවදානමකට මුහුන දෙන අතර ඊට හේතුව වන්නේ ඔවුන් හිරු එළියට නිරාවරණ වීම අඩු වීම සහ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවීමයි. කැල්සියම් සහ විටමින් සහිත ආහාර ලබා දීමෙන් ඔවුන්ගේ ඇටකටු ශක්තිමත් වන අතර අස්ථි බිඳී යාම වැලක්විය හැකිය. පාකින්සන් වැනි රෝග තත්ත්වයන් ඇති වැඩිහිටියන්ගේ ද විටමින් ඩී ඌණතාව දැකිය හැකිය.  දුම්පානය, ආතතිය සහ ඖෂධ භාවිතය සහිත වැඩිහිටියන්ගේ විටමින් සී අවශ්‍යතාව ප්‍රබල වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් විටමින් ඊ සහ විටමින් සී වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට උපකාරී වේ. දෛනිකව විටමින් සී මිලි ග්‍රෑම් 150 – 250 ත් අතර ලබා ගන්නා වැඩිහිටි පුද්ගලයෙකුට ඇසේ සුද මතුවෙීමේ අවධානම අවම කර ගැනීමට හැකිය. වියපත්වීමේ ඇති වන ශරීර ප්‍රතිශක්තිකරණය පහළ යාමට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල හැකියාවක් විටමින් ඊ සතුවේ. දෛනිකව විටමින් ඊ  මිලි ග්‍රෑම් 200 ක් පරි‍භෝජනයට ගන්නා වැඩිහිටියකුට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන සංකූලතා වලක්වා ගත හැක. ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයෙන් පීඩා විඳින පුද්ගලයකුට විටමින් බී 6 අවශ්‍යතාවය ඇත. මධ්‍යසාර භාවිතය සහ අග්‍යනාශයේ දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විටමින් බී 6 අවශ්‍යතාව වැඩි විය හැක. එසේම ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම උදෙසා ද විටමින් බී උපකාර වේ.

පෝෂණය සම්බන්ධයෙන් වැඩිහිටියන් තුල ඇතිවන සෞඛමය ගැටළු

  • ස්ථූලතාවය 
  • මන්ද පෝෂණය සහ මද පෝෂණය
  • ඔස්ටියෝපොරෝසීස් 
  • හෘදය ආශ්‍රිත රෝග
  • දියවැඩියාව
  • පිළිකා

වැඩිහිටියන්ට ලබා දිය හැකි ආහාර වට්ටෝරු 

  • දියරමය ආහාර වේලක්

පෙරා ගත් සුප්, කිරි සහ චොක්ලට් පානයන් දියරම ආහාර වශයෙන් වැඩිහිටියෙකුට ලබා දිය හැක. ආහාර සැපීමේ සහ ගිලීමේ අපහසුතා පවතින පුද්ගලයන් සඳහා මෙන්ම ඝන ආහාර ජීරණ අපහසුතා ඇති පුද්ගලයෙකුට මේ ආකාරයේ ආහාර වේලක් ලබා දිය යුතුය. මෙම වර්ගයේ ආහාර වේල් ලබා දිය යුත්තේ කෙටි කාලීනව වන අතර එමඟින් නිසි පෝෂණයක් වැඩිහිටියාට නොලැබෙන බව සිහි තබා ගත යුතුය. පෙරකී අපසුතා ඉවත් වූ සැනින් මෘදු ආහාර වේලක් සැපයීමට වැඩිහිටියා වෙනුවෙන් ආහාර  පිළිගන්වන ‍පුද්ගලයාට අවබෝධයක් තිබීම වැදගත්ය.

  • තලපමය ආහාර වේලක්

කුකුළු මස් , මාළු හෝ කැඳ හෝ එළවළු සුප් හොඳින් බ්ලෙන්ඩරයක් මගින් කැබලි කර හෝ මතගා තලපයක් වශයෙන්  ලබා දීමට පුළුවන. ආහාර සැපීමේ අපහසුතා ඇති, දත් නොමැති , ආහාර ගිලීමේ අපහසුතා ඇති වැඩිහිිටියන් සඳහා නිර්දේශ කිරීමට පුළුවන. මෙම ආහාර සැකසීමේ දී කුළුබඩු අවම වශයෙන් භාවිතා කළයුතු අතර ආහාරයේ පෝෂණ තත්ත්වය වැඩි කිරීම සඳහා ආහාර බ්ලෙන්කිරීමේ දී වතුර වෙනුවට සුප්  එකතු කළ හැක. ආහාරයට බිත්තර එකතු කරන්නේ නම් එය වෙනම බ්ලෙන්ඩ් කර පිළිගැන්විය යුත්තේ එමගින් සම්පූර්ණයෙන්ම ආහාරයේ රසය වෙනස් හෙයින් සහ අප්‍රසන්න දුඟඳක් ඇතිවීම වැලැක්වීම සඳහාය. පළතුරු පිළිගන්වන්නේ නම් එය පොතු සහ ඇට ඉවත් කර ද පොඩි කර  ලබා දෙන්න. 

  • මෘදු ආහාර වේලක් 

බත් කැඳ, හුමාලයෙන් තම්බන ලද මාළු, පුඩින්, චීස්  සහ යෝගට් මෙම ආහාර වේලට ලබා දිය හැක. ආහාර සැපීමේ සහ ගිලීමේ අපහසුතා ඇති වැඩිහිටියන් සඳහා මෙම ආහාර ලබා දීමට පුලුවන. කෙටි කාලීන රෝගී තත්ත්වයන්ට ගොදුරු වී සිටින , ශෛල්‍ය කර්මයකින් පසු සුවය ලබන , ඇඳ ගතවී සිටින  හෝ වමනය , පාචනය වැනි තත්ත්වයන්ට ලක් වී සිටින වැඩිහිටියන් සඳහා මෙම වර්ගයේ ආහාර නිර්දේශ කිරීමට පුළුවන. ආහාර වල දියර ස්වභාවය මද වශයෙන් තිබිය යුතු වන අතර ප්‍රෝටීන් සහිත ආහාර ලබා දීම වැදගත් වන අතර මස් , මාළු කටු ඉවත් කර ඉතා හොඳීන් පොඩි කර ගැනීම අත්‍යාවශය වේ. එළවළු පමණක් ලබා දෙන අවස්ථාවල විවිධ එළවළු යොදා ගැනීමෙන් පෝෂණ ඌණතා ඇති වීම වලක්වා ලිය හැකිය. 

  • සාමාන්‍ය ආහාර වේල 

විශේෂ පෝෂණ අවශ්‍යතා නොමැති ‍නිරෝගී වැඩිහිටියෙකු උදෙසා කිසිදු ආහාර වර්ග සීමාවක් නොමැතිව ලබා දිය හැකිය. එසේ වුවද සමබල ආහාර වේලක් ලබා දීම සහ අනවශ්‍යාකාරයෙන් ලුණු , සීනි සහ මේදය භාවිතා නොකර ආහාර පිළියෙල කිරීම වැඩිහිටියාගේ නිරෝගී බව දීර්ඝ කාලීනව ආරක්ෂා කර දීමට ඉවහල් වේ.

  • නිර්මාංශ ආහාර වේල

වැඩිහිටියෙකු තම රුචිය හේතුවෙන් හෝ ආගමික  හේතු නිසා  නිර්මාංශ     ආහාර වේලක් ලබා ගැනීමට යොමු විය හැක. මෙම ආහාර පිළියෙල කිරීමේ ද ලූණු වර්ග යොදා නොගනීම සම්මතයකි. එසේම මාංශ සහිත කිසිදු ආහාරයක් හෝ රස කාරකයක් යොදා නොගත යුතු වේ. පූර්ණ නිර්මාංශ නොවන කෙනෙකුට බිත්තර සහ කිරි ආශ්‍රිත ආහාර ලබා දිය හැකිය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන 

රේණුකා තෙන්නකෝන් මහත්මිය

කථිකාචාර්ය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

විද්‍යුත් තිර සමඟ කාලය ගත කරන දරුවා ඉන් මුදවා ගන්නේ කෙසේද?

දරුවන්ගේ screen time පිළිබඳ බොහෝ දෙමව්පියන් දැන් දැනුවත්. නමුත් ඇතැම් විට දැනටමත් ඔබේ දරුවා screen සමඟ  කාර්‍යබහුල වී සිටී නම් ඉන් මුදවා ගැනීමට ඔබ වෑයම් කරනු ඇත. ඇතැම් විට ඒ හේතුවෙන් ඔබ තවත්ගැටළු වලට මුහුණ දෙනවා විය හැකිය. එපමණක් නොව ඉන් ඔබේ දරුවා මුදවා ගැනීමට ඔබ ගනු ලබන පියවර ඒ අයුරින්ම සිදු නොවුණා විය හැකිය. අද අප සාකච්චා කරනු ලබන්නේ ඒ පිළිබඳවයි.

සාමාන්‍ය ජීවිතය සමඟ ඩිජිටල් තිර සමීපව බැඳී පවතී. කුඩා කාලයේ දී දරුවන් හට කෑම කවා ගැනීමට, දරුවා නළවා ගැනීමට, අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහා දරුවාට ඔබ screen හඳුන්වාදී තිබුණා විය හැකිය.  නමුත් දරුවා පසු පසුකාලීනව screen දිගින් දිගටම ඉල්ලා සිටීමත් සමඟ  පැන නැගෙන ගැටළු සමඟ  දෙමව්පියන් වශයෙන් ඔබ කළ යුත්තේ කුමක්ද? මේ සඳහා ඔබට ගත හැකි පියවර හතරක් හඳුන්වා දිය හැකිය. 

  1. පවුලේ නීති රීති (family rules) 
  2. දෛනික පිළිවෙල වෙනස් කිරීම  (routines)
  3. මාරුවීම් හා සීමා කිරීම්  (transitions) 
  4. තෝරා ගැනීම් (choices)

පවුලේ නීති රීති

වැඩිහිටියන් වශයෙන් ඔබ නිවසේ ඇතැම් නීති රීති අනුගමනය කරනවා විය හැකිය. ඒ අනුව දරුවා දැනටමත් screen සමඟ  කාර්‍යබහුල වී සිටී නම් ඒ සඳහා සීමා දැමීම (limitation) ඔබට නීතිරීති වලට යටත්ව සිදුකළ හැකිය. ඒ නිසා දරුවා මේ පිළිබඳ තේරුම් ගැනීම ආරම්භ කරනු ලබයි. තමා screen සමඟ කාර්‍යබහුල වීම දෙමව්පියන් බලාපොරොත්තු නොවන බව දරුවාට වැටහෙනු ඇත.

එපමණක් නොව මේ සදහා ඔබට කාල සටහනක්, සුවිශේෂී වෙලාවක් පළමු කොට හඳුන්වාදිය හැකිය. එයට අමතරව දරුවාට පසුව කල්යත්ම පනවනු ලැබූ සීමා යාවත්කාලීන කිරීම ඔබට සිදු කළ හැකිය. තවද නිවසේ සියලු දෙනාම මෙම නීති නීතිවලට අනුගත වීම ඉතාමත් වැදගත්ය. 

දෛනික පිළිවෙල වෙනස් කිරීම 

ඔබ උදෑසන අවදි වූ පසු රාත්‍රි නින්දට යන තුරුම ඔබ යම්කිසි පිළිවෙලකට අනුකූලව කටයුතු කරනු ලබයි. එයට screen time එකතු කිරීම තුලින් එම වේලාව අවසන් වූ පසු screen time තම දවසේ පිළිවෙල තුළ නොමැති බව දරුවාට වැටහෙනු ඇත. මේ සඳහා ඔබට රූප එකතු කර ගනිමින් දින සටහනක්ද පිළියෙළ කර දීම තුළින් දරුවාට වඩාත් වැඩි අවබෝධයක් ලබා දීමට හැකියාව පවතී. 

මේ තුළින් දරුවා අවිධිමත් ලෙස screen time භාවිතා කිරීම ඔබට අවම කරගත හැකි අතර ඔබට ඒ පිළිබඳව යම් පාලනයක් තබාගත හැකිය. 

මාරුවීම් හා සීමා කිරීම්  

ඔබේ දරුවා කැමතිම දෙයක් ටීවී එකේ බලන විට හෝ ගේම් එකක් play කරනවා නම් ඒ සඳහා තිබූ කාලය අවසන් වුවද Screen එක ඔබට ලබා ගැනීමට හෝ එය නතර කිරීමට තරමක් අපහසු විය හැකිය. ඒ නිසා දරුවා හට මාරුවීමට අවස්ථා හඳුන්වා දී තිබීම ඔබට පහසුවකි. 

තවද සීමා කිරීම් ලෙස ටීවී බලන්නේ නම් එක් program එකකට සීමා කිරීමට, game play කරනවා නම් එහි level එකක් හඳුන්වා දීම ආදිය ඔබට සිදු කළ හැකි දේ අතර වෙයි.

තෝරා ගැනීම් 

ඔබ ඉදිරිපත් කරනු ලබන සීමා වලට අමතරව දරුවාට තෝරා ගැනීම සිදු කිරීමට ද ඉඩකඩ ලබා දෙන්න. උදාහරණ ලෙස ටී වී බලනවා නම් ඔබ දැන් X යන වැඩසටහන ද Y යන වැඩසටහන දැන් නැරඹිය යුත්තේ යන්න දරුවාගෙන් විමසීම ට ඔබ කටයුතු කරන්න. 

මෙමගින් ගැටලුවකින් තොරව තීරණයක ට එළඹීමට හැකියාව පවතී. තවද දරුවාට පෙනෙන ආකාරයට timer එකක් තැබීම තුළින් දරුවාට screen time එක පිළිබඳ හා ඒ සඳහා ලබාදී ඇති කාලය පිළිබඳ අවබෝධය ලැබෙනු ඇත. එමගින් ගැටලුවකින් තොරව දරුවා ඉන් ඉවතට ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. 

තවද මෙය දරුවන්ගේ screen time  සීමා කිරීමට හඳුන්වාදී ඇති තවත් එක් ක්‍රමවේදයක් බව approach කිව යුතුමය.

 

කථන හා භාෂා චිකිත්සක සචිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

කුඩා කල සිට දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩ නගමු.

දරුවා වැඩෙත්ම දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීම එම දරුවා මනා පෞරුෂකින් යුතු දරුවෙකු බවට අනාගතයේදී පත් කරනු ලබයි. දරුවන් මහා වෘක්ෂයක් සේ වැඩීමට අවශ්‍ය වන්නා වූ මූලිකම සාධක ගොඩනැගීම දරුවාගේ කුඩා කාලයේදීම සිදු කිරීම සෑම දෙමාව්පියෙකුගේ ම වගකීමකි.

කුඩා කල සිට දරුවා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් හා එම ක්‍රියාකාරකම් සමඟ ඔබ දක්වන ප්‍රතිචාර වගේම ඔබ විසින් දරුවාට දෙනු ලබන අවස්ථාවන් දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට ඉවහල් වනු ඇත. එමෙන්ම ඔබ විසින් නොදැනුවත්ව සිදු කරන ඇතැම් දේවල් හේතුවෙන් දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටීමට හේතු විය හැකිය. එමනිසා කුඩා කල සිට දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට ඔබට කළ හැකි දේ අතර ,

  1. ඔබ පියවරක් පසුපසින් සිටින්න. (Step back)

දරුවා සිදු කරනු ලබන සෑම දෙයකටම අනවශ්‍ය ලෙස උදව් දීම දෙමව්පියන් විසින් සිදුකරනු ලබන අනවශ්‍ය ක්‍රියාවකි. නිතරම දරුවාට තනිව දෙයක් කිරීමට උත්සාහ කිරීමට ඔබ ඉඩ දෙන්න. උදව් අවශ්‍ය වූ විට පමණක් උදව් කිරීමට පසුබට නොවන්න. 

  1. අනවශ්‍ය ලෙස අගය කිරීමෙන් වලකින්න. (Over praising) 

දරුවා යම්කිසි ක්‍රියාකාරකමක් සිදු කළ පසු දරුවා අගය කිරීම ඉතාමත් යහපත් දෙයකි. නමුත් ඇතැම් විට සුදුසු නොවන ලෙස අගය කිරීම හේතුවෙන් දරුවාගේ ආත්ම විශ්වාසය ද බාධා ඇති කරන බව මනෝවිද්‍යාවේ සඳහන් වේ. තවද ඔබේ ඇගයීම ලබා ගැනීමට දරුවා පෙළඹවීම තුළින් දරුවාගේ ආත්ම විශ්වාසය දියුණු වේ.

  1. ආරක්ෂිත ලෙස අවදානම් ලබා ගැනීමට ඉඩකඩ ලබා දෙන්න. 

බොහෝ දෙමාපියන් දරුවන් හට අවදානම් ගැනීමට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැත. නමුත් ඔබගේ අධීක්ෂණය යටතේ දරුවාට වයසට සුදුසු ලෙස අවදානම් ගැනීමට උදව් දෙන්න. උදාහරණ ලෙස දරුවගෙන් වීදුරු බඳුන් ඔබ ඈත් කරනුයේ දරුවා එය බිඳ තුවාල කරගනු ඇතැයි යන බිය නිසාවෙනි. නමුත් ඔබගේ අධීක්ෂණය යටතේ විදුරු බඳුනක් දරුවාට ඇල්ලීමට, එසවීමට දීම තුළින් දරුවා වීදුරු පිළිබඳ ඉගෙනීමත්, ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමත් කරනු ලබයි. ‘එපා’ කීමට වඩා ප්‍රායෝගික ක්‍රියාවන් වඩාත් සුදුසු වන ඇත.

  1. දරුවාට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට දෙන්න. 

දරුවා සිදුකරන ක්‍රියාවලට දරුවාගේ කැමැත්ත විමසා තෝරා ගැනීම සිදු කිරීමට අවස්ථා දෙන්න. උදාහරණ ලෙස ඔබ දරුවා සමඟ park යන විට සුදු පැහැති ඇඳුම් තෝරා නොගන්නවා ඇත. නමුත් දරුවාට ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දුනහොත් දරුවා සුදු පැහැති ඇඳුමක් තෝරා ගත්තා යැයි සිතන්න. නමුත් එය එපා කීමට වඩා දරුවා ගේ කැමැත්තට එම ඇඳුම අද එය කිලුටු වූ විට දරුවා හට එය පෙන්වා දරුවාට ම එය සේදීමට ඔබේ (අධීක්ෂණය මත) දීම තුළින් දරුවා එය සුදුසු තෝරා ගැනීමක් බව තේරුම් ගනු ඇත. මෙවන් කියා දරුවන්ගේ ආත්ම විශ්වාසය දියුණු වීමට මහඟු  රුකුලක් වේ.

  1. නිතර අන් අයට උදව් කිරීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. 

දරුවන්ට තමන්ගේ ආත්ම අභිමානය දියුණු වීමට අවස්ථා තිබිය යුතුය. එමනිසා ඔවුන් සමාජයත් සමඟ ගැටීම හා  සමාජයට ඔවුන්ගේ ඇති වටිනාකම ඒ තුළින් තුළින් ඉගෙන ගනු ඇත.

  1. දරුවාට සරල මිලදී ගැනීම් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන්න.

ඔබ වෙළඳසැල් වලට යන විට දරුවාට ද රැගෙන යන්න ඔහුට ඇයට වෙනම බඩු තම කූඩයට දමා ගෙන බිල් ලබා ගැනීමට මුදල් ගෙවීම ට අවස්ථාව ලබා දෙන්න. මෙමගින් දරුවා වැඩෙත්ම සමාජය සමඟ ගනුදෙනු කිරීම, මුදල් භාවිතය ආදී බොහෝ දේ ඉගෙන ගනු ලබයි.

  1. දරුවාගේ කඩා කඩාවැටීම්, අපහසුතා වලදී ධනාත්මකව මුහුණදීමට පුහුණු කරවන්න. 

දරුවාට අපහසු අවස්ථා පැමිණිය හැකිය. දෙමාපියන් වශයෙන් ඔබ ඒ අවස්ථාවල දී දරුවාට ධනාත්මකව ඒවාට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්.  ඔබ ඔවුන්ගේ සෙවනැල්ල මෙන් සිටින බව නිතර පෙන්වන්න.

  1. දරුවාගේ අරමුණ ඉලක්ක දරුවාගේ කුසලතා සමඟ ගැලපෙනවාද යන්න නිතර සිතන්න. 

මෙවන් දේ කිරීම  තුළින් කුඩා කල සිට ගැටළුවකින් තොරව දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට ඔබට උදව් විය හැකිය. 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දෙමවුපියන් හා දරුවා අතර ඇති සබඳතාවයේ ඇති වැදගත්කම

 දරුවන් යනු දෙමවුපියන් හට ඇති වටිනාම වස්තුවයි. ඒ නිසාවෙන් ම අද වන විට දෙමවුපියන් දරුවන්ගේ කුසලතා පිලිබඳ අවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු පිලිබඳ වඩාත් දැනුවත්. දෙමවුපියන් හා දරුවා අතර ඇති සබඳතාවය ද (Parent Child Interaction) එවන් එක් වැදගත් කරුණක් බව කිව යුතුය.

ඔබේ දරුවා හා ඔබ අතර ඇති සම්බන්ධතාවය කෙබදුද? ඇතැම් විට දෙමවුපියන් දෙදෙනාම ඉතාමත් කාර්‍යබහුල විය හැකිය. දරුවා සමඟ ගත කිරීමට ඇති කාලය ඉතාමත් අල්ප විය හැකිය. නමුත් දරුවාගේ කුසලතා දියුණු වීම කෙරෙහි මෙම සම්බන්ධතාවය වැදගත් වන බව පරියේෂණ වලින් සොයා ගෙන ඇත. තවද මේ පිළිබද ව සුවිශේෂී ක්‍රමවේද (Approach) ද හදුන්වා දී ඇත.විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා දියුණු කිරීම සදහා ද මෙම ක්‍රමවේද වඩාත් සුලබව යොදා ගනු ලබයි.

  1. දෙමවුපියන් හා දරුවා අතර ඇති සබඳතාවය යනු කුමක්ද?

මෙය පරියේෂණ මත පදනම් ව ගොඩ නැගු තවත් එක් ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය හරහා දරුවා පදනම් කර ගනිමින් දරුවා හා දෙමවුපියන් අතර සබඳතාවය ගොඩ නගා ගන්නා ආකාරය සවිස්තරව විස්තර කරනු ලබයි. මේ තුලින් දෙමවුපියන් ට Parenting techniques වගේම දරුවන් තුල ඇති විය හැකි ගැටළු ආදියට කටයුතු කල යුතු ආකාරයත් සවිස්තරව විස්තර කරනු ලබයි.

  1. මෙම ක්‍රමවේදය වැදගත් වන්නේ අයි?

මේ තුලින් දෙමවුපියන් හට තම දෙමවුපියභාවය ට අවශ්‍ය වන වැදගත් කරුණු දන ගත හැකි අතර තම දරුවා සමඟ වඩාත් හොදින් කටයුතු කිරීමට අවශ්‍ය ලෙස පසුබිම සකසා ගැනීමට පහසුවක් සලසයි. උදාහරණ ලෙස දරුවා රැකබලා ගන්නා අකාරය, දරුවාගේ කුසලතා දියුණුවට අවශ්‍ය ලෙස දරුවාගේ පරිසරය සකස් කරන ආකාරය, විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු නම් එම දරුවා සමඟ කටයුතු කරන ආකාරය හා දෙමවුපියන්ගේ වගකීම ද මේ හරහා විස්තර කරනු ලබයි.

  1. දෙමවුපියන් හා දරුවා අතර ඇති සබඳතාවය ගොඩ නගා ගැනීමට මෙම ක්‍රමවේදයේ විස්තර කර ඇති  techniques මොනවාද?

මෙම සම්බන්දතාවය නිවැරදි ලෙස ගොඩ නගා ගනීමට අවශ්‍ය ලෙස දෙමවුපියන් විසින් අනුගමනය කල යුතු techniques මෙම Parent Child Interaction Approach හි  මනාව විස්තර කර ඇත.

  • අගයන්න. (Praise)

දරුවා කරන සෑම හොද දෙයක්ම ඇගයීමට ලක් කිරීම හා දරුවා ධනාත්මකව ප්‍රශංසා කිරම පළමු පියවරයි.

  • නැවත බලන්න. (Reflection)

දරුවා සමඟ හොද සන්නිවේදනයක් ගොඩ නගා ගැනීමට මෙය වැදගත් වේ. දරුවාගේ වචන දෙමවුපියන් විසින් නැවත ප්‍රකාශ කිරීම, ඊට දේවල් එකතු කිරීමට ද මෙහිදී දෙමවුපියන් ව උනන්දු කරවයි.

  • අනුකරණය කරන්න. (Imitation)

දරුවා අනුකරණයෙන් බොහෝ දේ උගනි. එමෙන්ම ඔබ දරුවා අනුකරණය කිරීම දරුවා හට ඔබ අනුකරණය කිරීමට මඟ පාදයි. එමනිසා එකිනෙකා අනුකරණය කිරීම ද ඔබට කල හැකි දෙයකි.

  • විස්තර කරන්න. (Description)

දරුවා කරන දෙය සරලව පිළිවෙලට විස්තර කිරීම, දරුවා කරන දෙයට අදාළ ව ඊට අදාළ කරුණු සාකච්චා කිරීම තුලින් දරුවා හා ඔබ අතර සබඳතාවය ගොඩ නැගෙන අතර දරුවාගේ වාග් මාලාව දියුණු වීමට ද එය උපකාරී වේ.

  • සතුටින් කල් ගත කරන්න.(Enjoyment)

දරුවා කරන සෑම හොද දෙයක් ම අගයනවා මෙන්ම දරුවා සමඟ ගත කරන කාලය ඉතාමත් ප්‍රීතිමත් ව ගත කරන්න. නිත ඔබේ සතුට දරුවාට පෙන්නුම් කරන්න.

  1. මෙම ක්‍රමවේදය විශේෂයෙන් ම දෙමවුපියන් ට වැදගත් වන්නේ ඇයි?

මේ තුල ධනාත්මකව දෙමවුපියන් හා දරුවා අතර සබඳතාවයක් ගොඩනගා ගන්නා ආකාරය විස්තර කරන අතර ඒහරහා දරුවාගේ කුසලතා දියුණු කරගන්නා අකාරයද විස්තර කරනු ලබයි. විශේෂයෙන් ම හැසිරීම් ගැටළු ඇති දරුවන්ගේ දෙමවුපියන් හට එම හැසිරීම් ගැටළු මග හැර ගැනීමට ද මෙම ක්‍රමවේදය ද උදවු වෙයි. 

  1. මේ පිලිබඳ දැනුම ලබා ගත හැක්කේ කාගෙන් ද?

ළමා රෝග පිලිබඳ වෛද්‍යවරුන්, කථන හා භාෂා චිකිත්සකවරුන් ආදී බොහෝ සෞඛ්‍ය වෘත්තීකයන් මේ පිලිබඳ දැනුවත් බැවින් ඔබට ගැටලුකාරී අවස්ථා වල ඔවුන්ගෙන් ඔබට දැනුවත් විය හැකිය. 

තවද විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හට බහුලව භාවිත කරන ක්‍රමවේදයක් වුවද සාමාන්‍ය දරුවන් සමඟ ද කටයුතු කරන දෙමවුපියන් වශයෙන් මෙම සංකල්ප පිලිබඳ දැනුවත් වීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.