Home Blog Page 28

ළදරුවන් තුළ සුලබව දැකිය හැකි හෘද රෝග තත්ත්ව – 2 කොටස

දරුවෙක් කියන්නේ අම්මා තාත්තට මහමෙරක්. බතිං ඒ දරුවා නිදුක් නිරෝගීව ජීවත් වීම තරම් දෙමාපියන්ට වටින වෙනත් දෙයක් නම් නැහැ. ඒත් ඇතැම් අවස්ථාවලදී අපට අහන්න දකින්න ලැබෙන අවාසනාවන්ත සිදු වීම් ජීවිතයට සවියක් කරගෙන මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ රෝග තත්ත්වවලදී දරුවන්ට දෙමාපියන් හැර වෙන කිසිවෙකුත් නැහැ. අන්න ඒ නිසාම හැම අම්මෙක් තාත්තෙක්ම අවශ්‍ය අවස්ථාවේදී බොහොම ශක්තිමත්ව ඒ දේට මුහුණ දෙන්න ඕනේ. 

ලෙඩ රෝග කිව්වට හදවත ආශ්‍රිත යම් රෝග තත්ත්වයක් තමන්ගේ දරුවට තියෙනවා කියලා අහන්න කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැ. ඒ වචනයත් එක්ක හැම කෙනෙක්ගේම හිතට එන්නේ බියක්. ඒත් අපි මුහුණ දෙන්න ඕනේ. දරුවෙක්ට ජීවිතේ හරිගස්සවා ගන්න දෙමාපියන් විදියට අපි ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒ නිසාම දරුවන්ගේ රෝග තත්ත්ව ගැන කල් තියා දැනුවත් වීම බොහොම වැදගත්‍. මේ දරුවන් තුළ ඇති වන ‍හෘද රෝග සම්බන්ධව ලියවුණු ලිපියේ දෙවන කොටසයි

නිලායනය රහිත හෘද රෝග 

මෙහිදී ඔක්සිජන් සහිත හා රහිත රුධිරය මිශ‍්‍ර වීමක් සිදු නොවේ. අවහිරයක් හේතුවෙන් කෝෂිකාවෙන් පිටවන රුධිර පරිමාව අඩු වේ. මේ තත්ත්වයේදී ඇති විය හැකි රෝග තත්ත්ව 8ක් පිළිබඳව දැනුවත් වෙමු. 

1)පුප්පූශීය සංකෘෂ්ඨිය – Pulmonary Stenosis

අපිරිසිදු රුධිරය, පිරිසිදු කිරීම සඳහා පෙනහලු කරා යන ධමනියක් වන පුප්පුශීය ධමනිය ආරම්භ වන ස්ථානයේ විවරය පටුවීම මෙහිදී සිදු වේ. දකුණු කෝෂිකාවෙන් රුධිරය ගලායාම අවහිර කරන  ඕනෑම තත්ත්වයක් පුප්පූශීය සංකෘෂ්ඨිය ලෙස හඳුන්වයි. මෙහිදී අවහිර වූ පුප්පූශීය ධමනියට රුධිරය ගැලීම සිදු වේ. හෘදයේ රුධිරය බෙදා හරින ප‍්‍රමාණය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට දකුණු කෝෂිකාවේ පීඩනය වැඩි වේ. මේ නිසා දකුණු කෝෂිකාව විශාල වීමක්  සිදු වේ. 

මෙම රෝග තත්ත්වයේදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ නොපෙන්වයි. ඇතැම් විට ව්‍යායාම දරාගත නොහැකි (Exercise intolerance) වීම, විශාල අවහිරයක් ඇත්නම් ස්වසන අපහසුව හා ශරීරය නිල් පැහැ වීම හෝ හෘදයේ පිටත ආවරණයක වේදනාව (Pericardial pain) ඇති විය හැකිය.

2)මහා ධමනි සංකෘෂ්ඨිය – Aortic Stenosis

මහා ධමනියේ කපාට ඝන වී සිදුර පටු වීම මෙම තත්ත්වයේදී සිදු වේ. බොහෝ විට මෙය ඇති වන්නේ මහා ධමනිය හෘදයෙන් ආරම්භ වන ස්ථානයේය. එවිට වම් කෝෂිකාවෙන් රුධිරය පිටවීමට බාධා ඇති වේ. වම් කෝෂිකාවේ සිට අවහිරය ඇති ධමනි කපාටය තුලින් මහා ධමනියට රුධිරය ගලා යයි. අවහිර වූ කපාට ප‍්‍රතිරෝධනය මගහරවා ගැනීම පිණිස එම කෝෂිකාව විශාල වන විට එයට අවශ්‍ය පමණ ඔක්සිජන් නොලැබීම නිසා හෘදයේ මධ්‍ය ආවරණයට රුධිර නොලැබීමෙන් එහි පටක මිය යාමට ඉඩ ඇත. 

මෙම රෝග තත්ත්වවලදී Aortic Valvotomy/ Prosthetic Valve Replacement (කෘති‍ම කපාටයක් දැමීම) වැනි ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේ. ළදරු කාලයේදී රෝග ලක්‍ෂණ පෙන්වන්නේ ඉතා කලාතුරකින් වන අතරම 

පහත ලක්ෂණ ගැන සැලකිලිමත් විය යුතුය . 

  • පපුවේ වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුව
  • ව්‍යායාම වලදී වෙහෙස ඇති වීම (දරුණු අවහිරතාවයකදී)
  • නාඩි පීඩනය අඩු වේ                                                                                             
  • 3)මහා ධමනි සමාඛණ්ඩනය – Co-arcatation of aorta

මහා ධමනියේ  කුහරය (ලූමනය) පටු වීමය. මෙය ධමනි ප‍්‍රනාලය සම්බන්ධ වන ස්ථානයට ඉදිරියෙන් හෝ පිටු පසින් ඇති විය හැක. ධමනි නාලයේ පටුවීම නිසා රුධිර ගමනයට බාධා ඇති වේ. එවිට වම් කෝෂිකාවේ පීඩනය ඉහළ යයි. වම් කෝෂිකාවේ කාර්ය වැඩි වේ. උපකුංචික (Subclavian) හෝ අන්තර් පර්ශුක ධමනි (Inter costal arteries) මගින් සමාන්තරව රුධිර නාල වර්ධනය වී සංකෝචනය වූ කොටසින් ඈතින් පිහිටි කොටස් වලට රුධිරය සපයයි. 

මෙම රෝග තත්ත්වයේදී ශල්‍ය ප‍්‍රතිකාර මෙන්ම හදවතේ තරල වැඩි වශයෙන් එකතු වීම නිසා හදවතේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමේ තත්ත්වයට (සංචයන හෘද අකරණීය තත්ත්වය – ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත) ප‍්‍රතිකාර ලබා දෙයි. ළමා කාලයේදී රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර වර්ධනය හා විකසනය සාමාන්‍ය පරිදි සිදු වේ. 

සමහර විට පහත රෝග ලක්‍ෂණ පෙන්වීමට ඉඩ ඇත. 

  • කලාතුරකින් ඇති වන වෛහස
  • හිසරදය 
  • නාසයෙන් රුධිරය ගැලීම
  • පාදවල මස්පිඬු පෙරලීම
  • ඉකිලියෙන් නාඩි (ඌර්වීය) බැලීමේදී නාඩි නොදැනීම හෝ දුර්වල ලෙස දැනීම
  • දෑත්වල රුධිර පීඩනය වැඩි වීම, දෙපාවල රුධිර පීඩනය අඩු වීම. 

තත්ත්වය දරුණු අතට හැරුණු පසු ළදරුවන් පෙන්වන ලක්‍ෂණ

  • වර්ධනය බාල වීම
  • වේගවත් ස්වසනය
  • ස්වසන අපහසුව
  • අත් පා ඉකෙළවර දිමුම 
  • දරුණු සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 4)කර්ණික ආවාර පළුද්ද (Atrial Septal)

වම් හා දකුණු කර්ණිකා අතර බිත්තිය (ආවාරය) අසාමාන්‍ය විවරයක් පිහිටයි. වම් කර්ණිකාවේ පීඩනය, දකුණු කර්ණිකාවේ පීඩනයට වඩා වැඩි වී රුධිරය වම් කර්ණිකාවේ සිට දකුණු කර්ණාකිවට ඇතුළු වේ. මෙහිදී ඔක්සිජන් සහිත රුධිරය (පිරිසිදු රුධිරය) පෙනහලු කරා නැවත නැවත ගමන් කරයි. මේ නිසා පෙනහලු තුලින් ගමන් කරන රුධිර ප‍්‍රමාණය වැඩි වේ. මෙවිට පුප්පූශීය ධමනි විස්තාරණය වේ. පුප්පූශීය ප‍්‍රතිරෝධය ඉතා වැඩි නම් එමගින් දකුණු කර්ණිකා පීඩනය ඉහළ ගොස් රුධිර ගමන් මග වෙනස් වී ඔක්සිජන් රහිත රුධිරය අසාමාන්‍ය විවරය තුලින් දකුණු කර්ණිකාවේ සිට වම් කර්ණිකාවට යැවේ. 

මෙම රෝග තත්ත්වවලදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • බර වැඩි වීම මන්දගාමීව සිදු වේ
  • වෙහෙස දැනීම
  • වෙහෙස වූ විට සුවසන අපහසුතා 
  • නිතර ස්වසන ආසාධන
  • සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 5)තුන්දිකා ආචාර පළුද්ද – Ventricular Septal defect

වම් හා දකුණු කෝෂිකා අතර බිත්තිය (ආවාරය) අසාමාන්‍ය විවෘත වීමක් පිහිටයි. එය කුඩා සිදුරක් හෝ විශාල සිදුරක් වීමට ඉඩ ඇත. ආවාරයේ පටලමය කොටසේ පමණක් හෝ පේශිමය කොටසද ඇතුලත්ව ඇති විය හැක. මෙම තත්ත්වයේදී එම කෝෂිකාවේ පීඩනය දකුණු කෝෂිකාවේ පීඩනයට වඩා වැඩි වේ. මේ නිසා ඔක්සිජන් සහිත රුධිරය අසාමාන්‍ය විවරය තුලින් වම් කෝෂිකාවේ සිට දකුණු කෝෂිකාවට පැමිණේ. මෙම රුධිරය දකුණු කර්ණිකාවෙන් එන රුධිරය සමග මිශ‍්‍ර වී නැවත නැවත පෙනහලු තුලින් ගමන් කිරීමෙන් වීමෙන් පෙනහලු තුලින් ගමන් කරන රුධිර පරිමාව වැඩි වේ. මෙහිදී දකුණු කෝෂිකාවේ හා පුප්පූශීය ධමනි වල පීඩනයද ඉහළ යයි. පෙනහලුවල ප‍්‍රතිරෝධය ඉහළ ගියේ නම් දකුණු කෝෂිකා පීඩනය වැඩි වී රුධිර ගමන් මග වෙනස් වී ඔක්සිජන් රහිත රුධිරය විවරය හරහා වම් කෝෂිකාවට පැමිණේ. 

මෙම රෝග තත්ත්වවලදී විවරය වසා දැමීම සඳහා ශළ්‍ය ප්‍රතිකාර ද සංචයන හෘද අකරණීයට ප‍්‍රතිකාර ද අවශ්‍ය වන අතරම ඉතා කුඩා විවරයක් නම් රෝග ලක්‍ෂණ නොපෙන්වයි. බොහෝ විට වර්ධනයත් සමගම විවරය වැසී යයි. විශාල පළුද්දක් ඇති විට දරුවාට මාස 1 – 2 පමණ වන විට පහත ලක්‍ෂණ පෙන්වයි. 

  • බර වැඩි වීමේ වේගය අඩු වීම
  • කිරි පෙවීමේ ගැටලු
  • සුදුමැලි බව
  • නිතර ස්වසන ආසාධන
  • අධික ලෙස දහදිය දැමීම
  • සංචයන හෘද අකරණියේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)
  • 6)උපතින් පසු සිදුරු වැසී නොයාම (විස්තීර්ණ ධමනි නායකය) – Patent Ductus Arteriosus

භ‍්‍රෑණ කාලයේදී මහා ධමනිය හා පුප්පූශීය ධමනිය අතර සම්බන්ධ වන ධමනි නායකය උපතින් පසු සිනිඳු පේශී සංකර්ශණය හේතුවෙන් වැසී යයි. මෙම ධමනි නායකය උපතින් පසු වැඩි නොයාම මෙසේ හඳුන්වයි. 

භ‍්‍රෑණ කාලයේදී දකුණු කෝෂිකාවේ ඇති රුධිරයෙන් වැඩි කොටසක් ක‍්‍රියාකාරී නොවන පෙනහලු හරහා නොගොස් මෙම විවරය හරහා පුප්පූශීය ධමනියෙන් මහා ධමනියට යවයි. උපතින් පසු ස්වසනය ආරම්භවීමත් සමග ධමනි නායකයෙහි ක‍්‍රියාකාරීත්වය නතර වන අතර සති කිහිපයකදී ව්‍යුහමය වශයෙන්ද වැසී යයි. ධමනි නායකයේ බිත්තියෙහි සිනිඳු පේශී සංකෝචයෙන් ඇතුලත කුහරය (ලූමනය) පටු වේ. සති කිහිපයකින් එය තන්තුමය පටක රැහැනක් බවට පත් වේ. 

මෙම විවරය නොවැසී දිගටම පවතින විට වැඩි පීඩනයක් සහිතව මහා ධමනිය තුලින් ගලන රුධිරය එම විවරය තුලින් අඩු පීඩනයක් සහිත පුප්පූශීය ධමනි රුධිරය හා මිශ‍්‍ර වේ. මේ නිසා අත් පාවලට (පර්යන්තයට) අවශ්‍ය පමණ රුධිරය සැපයීමට හෘදය තුලින් පොම්ප කළ යුතු රුධිර පරිමාව වැඩි වේ. මේ නිසා පෙනහලු තුලට යැවෙන රුධිර පරිමාව මෙන්ම වම් කෝෂිකාවේ රුධිර පරිමාවද වැඩි වේ. 

මෙම රෝග තත්ත්වයේදී විවරය වැසීම සඳහා ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේ. ඉතා කුඩා විවරයක් නම් රෝග ලක්‍ෂණ නොපෙන්වන අතරම විවරය විශාල නම් රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • බර වැඩි වීමේ වේගය අඩු වීම
  • කිරි පෙවීමේ ගැටලු
  • නිතර ස්වසන ආසාධන
  • සංචයන හෘද අකරණීයේ ලක්‍ෂණ (ලිපියේ අවසානයේ මේ පිළිබඳව පැහැදිලි කර ඇත)

7)සංචයන හෘද අකරණිය – Congestive cardiae failure

ශරීරයේ පරිවෘත්තීය අවශ්‍යතාවයන්ට ප‍්‍රමාණවත් වන පරිදි රුධිරය පොම්ප කිරීමේ හැකියාවක් හෘදයට නොමැති වූ විට මෙම තත්ත්වය ඇත වේ. මෙවිට සංචයන හා පුප්පූශීය ශිරා පද්ධතියේ අතිරේක ලෙස රුධිරය එක්රැස් වේ. උපතින් ඇති වන හෘදයාබාධ/හෘදයෙන් පිටතට ලබා දෙන රුධිර ප්‍රමාණය අඩු වීම/නීරක්තිය/රූමටීෂීයා හෘද රෝග මෙන්ම හදවතේ මධ්‍ය ස්ථරයේ ඇති වන අසාදන හෝ ව්‍යහමය වෙස්කම් (වහිර් කන්තුක අසාධන) වැනි තත්ත්ව මෙයට හේතු විය හැකිය.

මෙම රෝග තත්ත්වයේදී ඖෂධ ප‍්‍රතිකාර, ඔක්සිජන් ලබාදීම සිදු කෙරෙන අතරම ළදරුවන් හා ළමුන් පෙන්වන රෝග ලක්ෂණ පහත පරිදි වේ.

ළදරුවන් පෙන්වන ලක්ෂණ

  • කිරි පෙවීමේ ගැටලු
  • බර වැඩි වීම දුර්වල වීස
  • වැඩිපුර හැඬීම
  • අධික ලෙස දහදිය දැමීම
  • හෘදය විශාල වීම
  • ස්වසන වේගය වැඩි වීම
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • ශරීරයේ ඉදිමීම  

ළමුන් පෙන්වන ලක්ෂණ 

  • විවේකයේදී, වෙහෙස වීමේදී ස්වසන අපහසුව
  • නාඩි වේගය වැඩි වීම
  • ශිරා වල පීඩනය වැඩි වීම
  • අක්මාව විශාල වීම
  • ඉදිමාව
  • අත්,පා, නිය, තොල් නිල් පැහැ වීම
  • හෘදය විශාල වීම
  • රුධිර පීඩනය අඩුවීම
  • හතිය  (Wheezing)
  • වියළි කැස්ස

8)තීව්‍ර රුමටීෂියා උණ (Acute Rheumatic Fever)

අපිචන්ද පටකය හා සම්බන්ධ පටක වල ප‍්‍රදාහමය තත්ත්වයන් පෙන්නුම් කරන මුළු ශරීරයටම බලාපාන රෝග තත්ත්වයකි. හෘදයට, සන්ධි වලට මධ්‍ය ස්නායු පද්ධතියට හා සමට යටින් ඇති පටකයට (උපත්වචීය පටකය) බලපෑම් ඇති වේ. ඇතිවීමට හේතු ස්ථිර ලෙස නොදනී. උගුරෙහි ආසාදයකින් පසුව ඇති වේ. හෘදයෙහි, සන්ධි වල රුධිර නාල වල හා සමට යටින් ඇති පටකයේ (පත්වචිය පටක) මධ්‍ය ශ්ලේෂ්මල ආධාරක පටකයෙහි ප‍්‍රදාහමය තත්ත්වයක් ඇති වේ. මේ තත්ත්වයට හේතු වන්නේ බැක්ටීරියාවකි.

මෙම රෝග තත්ත්වයේදී ප්‍රතිකාර ලෙස ආසාධන පාලනය සඳහා ප‍්‍රතිජෛවක ලබාදීම (Penicillin ඖෂධය භාවිත කරන අතරම එයට ආසාත්මිකතා පෙන්නුම් කරන දරුවන්ට Erythromycin නම් ඖෂධය ලබාදේ)/ප‍්‍රදාහක ක‍්‍රියාවලිය පාලනය කර වේදනාව සහ උණ අඩු කිරීමට ඇස්ප්‍රින් කාණ්ඩයේ ඖෂධ භාවිතය සහ පෙන්වන රෝග ලක්‍ෂණ අනුව වෙනත් ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙන අතරම මෙම රෝගීන් පහත ලක්ෂණ පෙන්නුම් කරයි. 

සුළු රෝග ලක්‍ෂණ

  • සන්ධි වේදනාව
  • උණ
  • ESR වැඩිවීම
  • සුදු රුධිර සෛල වැඩිවීම
  • ASOT අගය ඉහළ යාම (Streptococcal නම් බැක්ටීරියා ආසාධනයක් බවට සාධකයකි)
  • උණ සමග ඇති වන අනෙක් ලක්‍ෂණ (වෙහෙස, උගුර වේදනාව, පාදවල වේදනාව)

ප‍්‍රධාන ලක්‍ෂණ

  • හෘද ප‍්‍රදාහයේ ලක්‍ෂණ – හෘදයෙන් රුධිරය පොම්ප කිරීමේදී  මුරු මුරුව (Murmer) හෘදයේ සිදුරක් ඇති බවට ලක්‍ෂණයකි. එසේම හෘදය විශාල වීම, හෘදයේ බාහිර ආවරණයේ ප‍්‍රදාහය (පරිකන්තුක දාහය – Pericarditis), සංචයන හෘද අකරණිය, හෘදයේ රුධිර ගැලීම් නිසා පළුදු ඇති වීම (මෙම පළුදු Aschoff bodies ලෙස හඳුන්වයි. මෙමගින් හෘදයේ සම්බන්ධික පටක වල වෙනස්කම් ඇති කරවයි)
  • රුමිටීෂියා බහු පර්වදාහය (Rheumatic Polyarthritis) – සන්ධි ඉදිමී ප‍්‍රදාහයට පත් වේ. අල්ලන විට වේදනාව ඇත. එක් සන්ධියක වේදනාව දින 2 – 4 ක් තිබී නැවත වෙනත් සන්ධි කිහිපයක වේදනාව ඇති වේ. 
  • රූමටික කෝරියාව (Rheumatic Chorea) – ස්නායු පද්ධතිය ආශ‍්‍රිත අසාමාන්‍යතාවයකි. ඉච්ඡානුග පේශී (හිතා මතා පාලනය කළ හැකි පේශි) වල අනිච්ඡුානුග (හිතා මතා පාලනය කළ හැකි පේශිවල පාලනය කළ නොහැකි චලන ඇති වීම ) ලෙස හේතුවක් රහිතව අක‍්‍රමවත් ලෙස හා ගැස්සෙන සුළු ලෙස ඇති වන චලන ඇති වීමයි. 
  • Erythema Marginatum – සිරුරේ හා අත් වල සමෙහි පළු හෝ ලප ඇති වීමයි. මෙහි මධ්‍යය හා දාරය පැහැදිලි රත් පැහැ ලප දැකිය හැක. 
  • උපත්වචිය ගැටිති (Subcutaneous needle) – දණහිස, මැණික් කටුව හා වළලුකර සන්ධි අවට වේදනා රහිත කුඩා ගැටිති ඇති වීම. මේවා දිගු කලක් පවතී. 

එක් සායනික ලක්‍ෂණයකින් පමණක් හෝ රසායනාගාර පරීක්‍ෂණ වාර්තාවකින් පමණක් මෙම තත්ත්වය රෝග විනිශ්චය කළ නොහැකි බැවින් ඇමෙරිකානු හෘද සංගමය මගින් රෝග විනිශ්චය සඳහා Jones Criteria හඳුන්වා දී ඇත. එනම් ප‍්‍රධාන රෝග ලක්‍ෂණ දෙකක් සමග එක් සුළු රෝග ලක්‍ෂණයක් ඇති විට හෝ ප‍්‍රධාන රෝග ලක්‍ෂණ එකක් සමග සුළු රෝග ලක්‍ෂණ දෙකක් ඇති විට මෙම තත්ත්වය රෝග විනිශ්චය කළ හැක. මේ අවස්ථා දෙකේදීම Streptococcus ආසාධනයක් පැවති බවට ඉතිහාසයක් තිබිය යුතුය. 

දරුවන් තුළ උපතින්ම ඇති විය හැකි හෘද රෝග තත්ත්ව අතරින් ඇතැම් ඒවා බොහ‍ොම සුළු මට්ටමේ වන අතරම ඒවා ජීවිතයට කිසිදු බලපෑමක් හෝ අවදානමක් නොමැති ඒවා වන අතරම ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒ වගේම ඇතැම් තත්ත්ව සඳහා දරුවන් සැත්කම් වෙත යොමු කිරීමට අවශ්‍ය විය හැකියි. එසේ නොවන්නට යම් යම් බලපෑම් ඇති වීම මත තත්ත්වය උත්සන්න විය හැකියි. දෙමාපියන් ලෙස ඔබේ වගකීම නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ළදරුවන් තුළ සුලබව දැකිය හැකි හෘද රෝග තත්ත්ව – 1 කොටස

අපේ සිරුරේ මධ්‍ය රේඛාවෙන් වම් බසට බරව වම් පෙනහැල්ලට අවපාතයක් ඇති කරමින් උරස් කුහරය තුළ පිහිටි හෘදය වස්තුවේ ප්‍රමාණය ලෙස සැලකෙන්නේ  තම අත මිට මෙලවූ විට ඇති ප්‍රමාණය ලෙසයි. සාමාන්‍ය හදවතේ කුටීර හතරක් ඇති අතරම ඉහළ කුටීර කර්ණිකා ලෙසත් පහළ ඇති කුටීර කෝෂිකා ලෙසත් හඳුන්වනවා.මෙම කර්ණිකා මෙන්ම කෝෂිකා අතරත් බිත්ති ඇති අතරම එමගින් පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීම වලකනවා.

හෘද රෝග හේතුවෙන් සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන්ට පවා බලපෑම් ඇති විය හැකි අතරම එසේ බලපෑමට ලක්විය හැකි ප්‍රධානතම ඉන්ද්‍රියයක් ලෙස පෙනහලු දැක්විය හැකියි. හදවතේ සිදුරු පැවතීම නිසා පෙණහලුවලට රුධිරය ගමන් කිරීම වැඩි වීමෙන් පෙනහලුවල රුධිර පීඩනය වැඩි වීමටත් රුධිර ගමනය අඩු වූ විට සිරුරේ අනෙත්  ඉන්ද්‍රියයන් වෙත ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමටත් අවදානමක් පවතී. ඒ නිසාම හෘද රෝග තත්ත්ව කල් තියා හඳුනා ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. 

සාමාන්‍යයෙන් හෘද රෝග ගැන සාකච්ඡා කිරීමේදී ඒවා වැඩිහිටියන් අතර පමණක් පවතින රෝග තත්ත්ව ලෙස බොහෝ දෙනෙක් සිතුවක් නව ජන්ම ළදරුවන් පවා හදවත ආශ්‍රිත රෝග තත්ත්වලට උපතේ සිටම මුහුණ දෙන අවස්ථා ද ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. සත්‍ය වශයෙන්ම ඛේදනීය තත්ත්වයක් වන මේ දරුවන් තුළ ඇති වන හෘද රෝග තත්ත්ව පිළිබඳව අපි දැනුවත් වෙමු. 

සංජානීය හෘද රෝග (Congenital Heart Disease) කියන්නේ මොනවද?

මව් කුස තුළ දරුවෙක් ඇති දැඩි වෙද්දී එ් දරුවාගේ හෘදය සෑදීම සිදුවන්නේ සංකීර්ණ ක්‍රියවලියක ප්‍රතිඵලයක් විදියට. ඒ ක්‍රියාවලිය තුළ යම් යම් ගැටලු ඇති වුවහොත් හදවතේ යම් යම් ගැටලුකාරී තත්ත් ව ඇති විය හැකියි. අන්න ඒ ආකාරයට උපතේදීම දක්නට ලැබෙන හෘදයේ හෝ ප‍්‍රධාන රුධිර නාලවල ව්‍යුහයේ වෙනස් වීම් සංජානනීය හෘද රෝග විදියට හඳුන්වනවා. මෙම තත්ත්ව ළදරු මරණවලට ද හේතු විය හැකියි. සංජානනීය හෘද රෝග ඇති වීමට ස්ථිර හේතුවක් නොදන්නා නමුත් පහත සාධක ඉවහල් වන බව විශ්වාස කෙරේ. 

  • පූර්ව ප‍්‍රසව සමයේ මවට ඇති වන වෛරස ආසාදන (ජර්මන් සරම්ප)
  • මවගේ පෝෂණ ඌණතා
  • මවගේ පාලනය නොකළ දියවැඩියාව
  • මත්පැන් සහ දුම්වැටි වලට ඇබ්බැහි වීම
  • ගර්භණී කාලයේ මවට ලබා දෙන ඖෂධවල බලපෑම (අපස්මාරය සඳහා) 
  • වර්ණදේහ අසාමාන්‍යතා හා ජානමය සාධක
  • ඩවුන්ස් සහ ලක්ෂණය (උපතින්ම ඇතිවන හදවත් ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි)

සංජානීය හෘද රෝග ප‍්‍රධාන කොටස් 2 කි. එනම්,

  • නිලායන හෘද රෝග (Cyanotic Heart Disease
  • නිලායන රහිත හෘද රෝග – Acyanotic Heart Disease

1.නිලායන හෘද රෝග

පිරිසිදු සහ අපිරිසිදු රුධිරය එකිනෙක මිශ්‍ර වීම නිසා ඇති වන හෘද රෝග තත්ත්ව නිලායන හෘද රෝග නමින් හැඳින්වේ. නිලායන හෘද රෝග වර්ග තුනක් මේ ලිපිය තුළින් සාකච්ඡා කිරීමට කෙරේ. 

  • පැලෝචතුස්තවේදය – Fallot’s Tetralogy

මේ රෝගයට හිමි නාමය එය සොයා ගත් පුද්ගලයාගේ නමින් සැකසී ඇත. මේ තත්ත්වයේදී  මූලිකව අසාමාන්‍යතා 04 ක් දැකිය හැක. 

  • Pulmonary Stenosis (පුෂ්පූශීය සංකෘෂ්ධිය) 
  • Ventricular septal Defect (තුන්දිකා ආචාර පළුද්ද) 
  • Overriding of the aorta – ශරීරය පුරා ඔක්සිජන් අධිකව ඇති රුධිරය ගෙන යන ධමනිය (මහා ධමනිය) නියමිත ස්ථානයෙන් පිටත පිහිටීම නිසා වම් කෝෂිකාවට ඉහළින් පිහිටනවා වෙනුවට වම් හා දකුණු කෝෂිකා දෙකට ඉහළින් පැන නැ`ගීමය. මේ නිසා මහා ධමනිය තුලට ඔක්සිජන් අඩු රුධිර ප‍්‍රමාණයක් ඇතුළු වේ. නමුත් ඇතුල් විය යුත්තේ පෙනහළු කරා යන පුෂ්පූශීය මහා ධමනියට වේ. 
  • දකුණු තුන්දිකා අතිභරණය – දකුණු කෝෂිකා පේශී ඝනකම් වීමයි. 

මෙම රෝග තත්ත්වවලදී ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂණ පෙන්නුම් කරයි. 

  • රෝගියා නිල් පැහැ වීම
  • හෘදයේ වම්පස විශාල වීම
  • සෙමින් බර වැඩිවීම
  • වෙහෙස වන විට ස්වසන අපහසුව
  • ශාරීරික හා මානසික වර්ධනය දුර්වල වීම
  • වරින් වර ඔක්සිජන් අඩුවීම (මන්ද ඔක්සීමියා තත්ත්වය ඇති වීම)
  • අත් හා ඇඟිලි කෙළවර නිල් පැහැවීම. 

2.ත්‍රිතුණ්ඩ කපාට අදෘතන්‍ය 

මෙහිදී දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පවතින ත‍්‍රී තුණ්ඩු කපාටය නොපිහිටිමෙන් දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර සම්බන්ධතාවයක් නොමැති වේ. කර්ණිකා දෙක අතර (වම හා දකුණ) සිදුරක් ඇති වන අතර දකුණු කෝෂිකාව ප‍්‍රමාණයෙන් කුඩා වේ.

මේ රෝග තත්ත්වයේදී ද ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂන පෙන්නුම් කරයි. 

  • දරුවා නිල් පැහැය
  • ස්වසන අපහසුතා 
  • ඇඟිලි (අත්, පා) කෙළවර නිල් පැහැවීම
  • වරින් වර ඇති වන ඔක්සිජන් අඩුකම
  • බර ක‍්‍රමානුකූල ලෙස වැඩි නොවීම

3.විශාල ධමනි අනෝන්‍ය විස්ථාපනය – Transposition of great  

සාමාන්‍ය නිරෝගී දරුවෙකුගේ වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනි ද දකුණු කෝෂිකාවෙන් පූප්පූශීය මහා ධමනිය ද ආරම්භ වේ. මෙහිදී දැකිය හැක්කේ එම තත්ත්වය මාරු වීමයි. එනම් වම් කෝෂිකාවෙන් පුප්පූශීය මහා ධමනිය ද හා දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ද ආරම්භ වීමයි. මෙහිදී මෙම සංසරණයන් දෙක අතර සම්බන්ධතාවයක් නොමැති වේ. 

මේ රෝග තත්ත්වයේදී ද ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන අතරම රෝගියා පහත ලක්ෂන පෙන්නුම් කරයි. 

  • නිල් පැහැ වීම (ඉපදී කෙටි කාලයක් තුල)
  • හෘදය විශාල වීම
  • අක්මාව විශාල වීම
  • වෙහෙසට පත් වීම
  • අත්, පා, ඇඟිලි කෙළවර නිල් පැහැවීම
  • ඉතා සෙමින් බර වැඩි වීම

ඇතැම් විට මේ වන විට ඔබේ දරුවා යම් හෘද රෝග තත්ත්වයක් නිසා පීඩා විඳිනවා විය හැකියි. දෙමාපියන් ලෙස දරුවා නිසි කලට වෛද්‍ය උපදෙස් කරා යොමු කිරීම, වෛද්‍ය උපදෙස් පරිදි දරුවාට නියමිත ඖෂධ වර්ග ලබාදීම, අදාල සායන වෙත හරියාකාරව සහභාගී කරවීම මෙන්ම සැත්කමක් සඳහා නිර්දේශ කර ඇත් නම් ඒ සඳහා සූදානම් වීම මග නොහැරිය යුතුයි. එසේම ඔබ මතක තබා ගත යුතු තවත් වැදගත්ම කරුණක් වන්නේ එකම රෝග තත්ත්වයේ සිටින දරුවන් දෙදෙනෙකු වුවත් ඔවුන්ගේ සිරුරේ තත්ත්වය, වෙනත් සෞඛ්‍ය කාරණා අනුව ගත් කළ ලබා දෙන ප්‍රතිකාර ක්‍රම මෙන්ම ව්‍යායාම ද වෙනස් විය හැකි බවයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් නොතකා හිතුමතේ ක්‍රියාකිරීම ඔබේ දරුවාට යහපතක් උදා නොකරන බව සිහි තබාගන්න. සැම විටම ඔබේ දරුවා වෙත වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින්න

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

මොනවද මේ ස්ටිමියුලේෂන් කාඩ් කියන්නේ ? ඒවා ඕන මොන වයසේදීද?

මුල් ළමාවිය සංවර්ධනය හා සත්කාරය විමසුම් ඇසින් බැලීමේදී පැහැදිලි වන ප‍්‍රමුඛතම කරුණ වන්නේ දරුවකුගේ පංච ඉන්ද්‍රියයන් උත්තේජනය තුලින් සංවර්ධනයේ වේගවත් බව ඇති කළ හැකි බවයි. සෑම දරුවකුම සංවර්ධනය වන ආකාරය නිශ්චිත රටාවකට අනුව සිදු වුවද දරුවාගෙන් දරුවාට සංවර්ධනය වන වේගය වෙනස් වේ. මේ වෙනස් වන වේගය හඳුනා ප‍්‍රශස්ත සංවර්ධනයක් කරා දරුවා ගෙන යාමට උත්තේජනය අවශ්‍ය වේ. මෙම උත්තේජනයන් ඉලක්ක කරගත යුත්තේ පංච ඉන්ද්‍රියන් මූලික කරගෙනයි. මේ අනුව උපතේ සිටම යම් යම් ක‍්‍රියාකාරකම් හරහා මේ කාර්යය ඉටු කළ හැකි අතර අවශ්‍යතාවය අනුව කුමන ඉන්ද්‍රිය උත්තේජනය කළ යුතු දැයි අවබෝධ කර ක‍්‍රියාත්මක වීම වැදගත් වේ.

දරුවකුගේ සෞඛ්‍ය සම්පන්නභාවය, මනා වූ පෝෂණය, යහපත් වූ චිත්ත වේගයන් සහිත සමාජීය වශයෙන් සංවර්ධිත පෞරුෂයක් සහිත දරුවකු සමාජ ගත කිරීම වැඩිහිටි අපේ අවසන් ඉලක්කයයි. මෙම ඉලක්කය කරා යන ගමනේ එම ගති ලක්‍ෂණ දරුවන්ට කාවැද්ද වීම සඳහා උත්තේජනයන් දීම අවශ්‍යයි. මේ වැදගත් වූ උත්තේජනයන් සඳහා භාවිත කරන උපකරණ අපි ස්ටිමියුලේෂන් කාඩ්ස් කියා හැඳන්වීම වරදකුත් නොවේ. මෙම ස්ටිමියුලේෂන් කාඩ් පාවිච්චි කරන වසස් සීමාවන් අනුව පාවිච්චි කරන උපකරණය, එහි වර්ණය, හැඩය, ප‍්‍රමාණය, චලනය ආදිය වෙනස් වේ.  උපතේ සිටම මේවා උත්තේජනයන් සඳහා භාවිත කළ හැකි අතරම ස්ටිමියුලේෂන් කාඩ් මගින් බුද්ධි ඵලය වැඩි කිරීමේ මූලිකම කටයුතු සිදු වේ. 

දරුවෙකුගේ ළදරු අවධියේ සිට මොළයේ බුද්ධිමත් බවට අදාල ස්ථාන සඳහා උත්තේජන සැපයීමට අපි උනන්දු විය යුතුයි. බුද්ධි ඵලය වැඩිවීම පසු කාලීනව බුද්ධිමත්භාවය හා ධාරන ශක්තිය වර්ධනය සඳහා මනා වූ අත්තිවාරමක් සපයයි. ළදරු මොළය වඩා හොඳින් උත්තේජනය සඳහා භාවිත කරන ස්ටිමියුලේෂන් කාඩ්වල වර්ණය, හැඩය, ප‍්‍රමාණය ආදිය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. 

ඉපදුණු මුල් දින වලදී

කළු, සුදු වර්ණ වලට පමණක් සංවේදී වන අතර අලුත උපන් දරුවන් ආලෝකයට සංවේදී බව හඳුනාගත හැක්කේ ආලෝක ප‍්‍රභවයක් දෙස නෙත් හරවා බලන විලසිනි. එහෙත් දීප්තිමත් ප‍්‍රභවයන් වලදී ඇස් තදින් පියාගනී. දුරට අනුව ඇස් දෙකම එක එල්ලේ යොමු කිරීම මාස 3 ක් යන තෙක් අපහසුය. මේ නිසා සෙන්ටිමීටර 30 ක් පමණ දුරකින් තිබෙන දෙයක් දෙසට දරුවනට යොමු විය හැකි සේ ස්ටිමියුලේෂන් කාඩ් පත ස්ථාන ගත කිරීම කළ යුතුයි. 

ඉපදී සති 3 ක් පමණ වන විට

කිරි බොන අවස්ථාවේදී මවගේ මුහුණ දිහා බලා සිටීම තුලින් දෘෂ්ටිය හොඳින් ක‍්‍රියාත්මක බව වටහා ගත හැකියි. 

මාසයක් පමණ වන විට

දරුවාට විසිරුණු ආලෝකයක් බැලීමේ හැකියාව ලබයි. මේ නිසා මාසයක් සපිරුණු දරුවන් සඳහා මුහුණට ඉදිරියෙන් දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩු තැබීමෙන් හෝ චලනය කිරීමෙන් උත්තේජන ලබාදිය හැකියි. මේ සඳහා භාවිත කළ හැකි හොඳම උපකරණ කුරුළු කොට්ටයයි. මීට අමතරව වර්ණවත් දේ (සමනළයින්, මල්, ගස්, කුරුළු රූප.. ආදී) භාවිත කර ළදරු කාමරය සැකසීම. කාමරය සඳහා වර්ණවත් තිර රෙදි, බිත්ති වල වර්ණය, ඇඳ රෙඳි, කොට්ට උර, කොට් ෂීට් ආදිය සඳහා වර්ණවත් දේ භාවිතය හා ජනේල තුලින් 10W වැනි රතු පාට බල්බයකින් ආලෝකය සැපයීම තුලින් දරුවාට උත්තේජනය ලබාදිය හැකියි. මේ වන විට රතු, කහ, නිල් වැනි මූලික වර්ණ සඳහා සංවේදීතාවය දක්වන හෙයින් ඒවා භාවිතය වැදගත් වේ. මූලික පැහැදිලි වර්ණයන් මෙන්ම ශබ්දයන්ද සහිත උපකරණ මගින් ඇස්වලට පමණක් නොව ශ‍්‍රවණ ඉන්‍ද්‍රියයන් වලටද උත්තේජන ලබාදිය හැකියි.

මාස 3 පමණ වන විට

දෑත් දිගු කර ඇල්ලීමට උනන්දු වන නිසා ඉහත ලක්‍ෂණවලට අමතර රළු, සුමට බව ද අත් විඳිය හැකි වන උපකරණ ලබාදීම කළ හැකියි. 

ක‍්‍රමයෙන් වර්ධනය වන දරුවා සඳහා

හැඩ තල, පළතුරු, එළවළු, මල්, සතුන්, කෑම බීම ආදී රූප සහිත කාඩ්පත් භාවිත කිරීම තුලින් දරුවාට ඉගෙනුම් අවස්ථා වැඩි කරගත හැකියි. මෙසේ භාවිත කරන කාඩ් පත් වල පැහැදිලි වර්ණ, පැහැදිලි රූප, පැහැදිලි හැඩ තල ආදී ලෙසින් හඳුනා ගැනීම සඳහා නිවැරදි ලෙසින් උපකරණ සැකසීම වැදගත් වේ. මෙහිදී වර්ණ, හැඩ ආදිය හඳුනාගැනීම සමගම එකකින් තව දෙයක් වෙන් කර හඳුනා ගැනීමට හැකි තාර්කික හැකියාව සහිත ගණිත සංකල්ප දියුණු වීමද උත්තේජන අවස්ථා තීව‍්‍ර කරයි. 

එසේම ත‍්‍රිකෝණය, රවුම, කොටුව වලින් වන හැඩතල ප‍්‍රමාණය, ලොකු/පොඩි, දිග/කොට, උස/මිටි ආදී ලෙසින් මෙන්ම සිනිඳු/ගොරෝසු ලෙසින් සමට දැනෙන සංවේදන හඳුනා ගැනීම ආදියද සඳහා සැපයෙන උත්තේජන සැපයීම මේ ස්ටිමියුලේෂන් කාඩ් හරහා සිදු කළ හැකි වීම තුලින් දරුවන්ගේ සංවර්ධන කුසලතා ප‍්‍රශස්ත කළ හැකියි. එසේම විවිධ අවස්ථාවන් සඳහා භාවිත වන උපකරණ හඳුනා ගැනීමේ අවස්ථාද මේ තුලින් ළඟා කළ හැකියි. 

පුළුල් පරාසයන් තුල විහිදුනු මේ ස්ටිමුලේෂන් කාඩ් මගින් වයසින් වැඩෙත්ම සංකීර්ණ ලෙසින් නිර්මාණ කිරීම මගින් එනම් ප‍්‍රහේලිකා, චිත‍්‍ර මගින් කතන්දර, අකුරු, ඉලක්කම් හඳුනා ගැනීම ආදී ලෙසින් ඉගෙනුම් අවස්ථාවන් විවිධ ලෙසින් නිර්මාණය කිරීමට මේවා යොදා ගත හැකිවා මෙන්ම කෙලිදෙලෙන් ඉගෙනුම් සඳහා අවස්ථා සැපයීම මගින් ක‍්‍රීඩාවෙන් ඉගෙනුම, ගීත රචනා ලෙසින් ලබාගන්නා සෞන්දර්ය රසය තුලින් ඉගෙනුම ආදී ලෙසින් ප්‍රීතිජනක අවස්ථාවන් සහිතව දරුවන්ට ලබාදෙන අවස්ථා දරුවන්ගේ කායික, මානසික හා සමාජීය මෙන්ම චිත්තවේගී අගය වැඩි දියුණු වීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත කරයි. 

දරුවන් වැඩෙත්ම ඔවුන්ගේ සංවර්ධන පියවරයන් ඉහළ අගයක් ගන්නා නිසා ඊට සමාන්තරව උත්තේජන අවස්ථාවන් පිළිබඳව එකින් එක කතා කිරීම දීර්ඝ ලෙස සාකච්ඡුා කළ යුතු හෙයින් තවදුරටත් ඒවා වයස් අනුව කාණ්ඩ කර, කළ හැකි ක‍්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීම වෙනත් ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 

වැඩි ඉගෙනුම් අවස්ථා නිර්මාණය කරදීම සඳහා ස්ටිමියුලේෂන් කාඩ් භාවිත කළ හැකි වීම පිළිබඳව ඔබට යම් අදහසක් මේ තුලින් ලබාගන්නට හැකි වන්නට ඇති. මේවා නිර්මාණය කිරීමේදී පැහැදිලි වර්ණ, පැහැදිලි රූප, නිවැරදි වචන භාවිත කිරීමත් දරුවන් සමග නිවැරදි වචන උච්චාරණය වැදගත් බවත් මේ සියලුම කරුණු කාලයත් සමග වැඩෙන දරුවාගේ චිත්තවේගී ක‍්‍රියාවලි උත්තේජනය තුලින් සංවර්ධන ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත ලෙස සිදුවන බවත් අවිවාදාත්මක කරුණකි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන්ගේ ඇඟිලි හුරු කරවීමට දෙමාපියන් වන ඔබට කළ හැකි දේ

 මිනිස් දිවියේ මානව කුසලතා, උපතට පෙර සිටම එනම් කුස පිළිසිඳ කලලයේ චලනයන් මගින් අපට හඳුනා ගන්නට හැකියි. සති 18 ක් වැඩුණු භ්‍රෑණයකුගේ අත් පා චලනය කිරීමේ හැකියාව මවට දැනේ. මෙසේ අත් පා චලනය කිරීමේ හැකියාව ඔවුන්ගේ කුසලතා සංවර්ධනයේ ආරම්භක අවධිය වේ. කුස තුල සිටිනා පුරාවට දෑත් දෙපා චලනය කරමින් දඟලන දරුවා මෙලොව උපත ලබද්දී, දෑත් මිට මොලවා සිටී. 

අලුත උපන් දරුවෙකුගේ අතේ යමක් ගැටුනු විට එය තදින් ග‍්‍රහණය කර ගනී. එසේම අත්ලට සෙමෙන් තට්ටු කරන විට එය මුදා හැරීමටද දරුවා සමත් වේ. මෙම අතින් ග‍්‍රහණය කර ගැනීමේ ප‍්‍රතීකය palm grasp reflex නම් වේ. වයස මාස 3 දී පමණ වන විට මේ ප‍්‍රතීකය නැති වේ. 

මාස 3 පසු කරන විට අතේ ඇඟිලි සමග සෙල්ලම් කිරීමටත් මුනින් අතට තබා ආසන්නයේ වර්ණවත් යමක් තැබූ විට එය ලබා ගැනීමට උනන්දුවක් දක්වන අතරම දෑතින්ම බෝලයක් වැනි යමක් අල්ලා ගැනීමට ද දරුවෙකු උත්සහ කරයි. අතට යමක් දී අල්ලා ගත් පසු සෙමින් ඇදීමෙන් ග‍්‍රහණය තද කිරීමට උනන්දුව ඇති කළ හැකිය.

මාස 6 පසු කරන දරුවන්ගේ අතට යමක් දුන් විට එය අතින් අතට මාරු කිරීමට හැකියාව ලබයි. මෙසේ සිදු නොකරන්නේ නම් දරුවා අතට ලබාදුන් වස්තුව අතේ තබා නැවත රැගෙන ආයෙත් දීම ලෙසින් කීප වරක් සිදු කිරීමේදී එය අල්ලා ගැනීමට උනන්දු වන අතරම එමගින් එම කුසලතාව ඇති කළ හැකියි. එසේම දරුවා ඉදිරියේ පැහැදිලිව පෙනෙන ලෙස වියලි මිදි, කඩල ඇටයක් වැනි කුඩා දෙයක් තබා පෙනෙන්නට සැලැස්වීම තුලින් එය අල්ලා ගැනීමට උනන්දු කළ හැකියි. 

මානව පරිණාමයේ සුවිශේෂී ම හැකියාව ලෙස හැඳින්වෙන මාපටඟිල්ල හා දබරඟිල්ල පිලිමල් කිරීමේ හැකියාව දරුවා තුල වර්ධනය වීම මොළයේ සංවර්ධන ක‍්‍රියාවලි උත්තේජනයට ඉතා වැදගත් හෙයින් දරුවන්ගේ හසුරු කුසලතා සඳහ කල හැකි ක‍්‍රියාකාරකම් පිළිබඳව මව්වරු දැනුවත් වීම ඉතා වැදගත් වේ. 

දරුවෙකුගේ අතෙහි ක‍්‍රියාකාරීත්වය හොඳින් දැකිය හැකි අවස්ථා වනුයේ ඇසේ ගැටුනු වස්තූන් සඳහා අත් වලින් දක්වන ප‍්‍රතිචාරයෙනි. මේ සඳහා අත් දිගු කිරීමත් එම ද්‍රව්‍ය අල්ලා ගැනීමත් තුලින් මොළයට ගමන් ගන්නා පණිවුඩය හරහා ද්‍රව්‍ය හඳුනා ගැනීම, අල්ලා ගැනීම, එහි ස්වභාවය තේරුම් ගැනීම, වර්ණ, ගඳ, සුවඳ ආදී කරුණු මගින් මොළයේ සංවේදන ඉන්‍ද්‍රිය ගණනාවක් උත්තේජනය වීම සිදු වේ. 

මාස 9 වන විට මිට මොලවා තදින් යමක් අල්ලා ගැනීමට හැකියාව ලබන අතර මේ සඳහා ඇඟිලි ලං වී නැවී අත්ල හා ඇඟිලි අතර එම වස්තුව තද කර අල්ලා ගැනීමේ හැකියාව සියුම් චාලක හැකියාවකි. 

එසේම කොළ ගුලියක් වැනි යමක් අල්ලන විට මාපටඟිල්ල හා අනෙක් ඇඟිලි අග යොදාගෙන සිදු කරන ක‍්‍රියාවලියද සියුම් චාලක ක‍්‍රියාවලියකි. මෙසේ යමක් ඇඟිලි, අත්ල භාවිත කර අල්ලා ගැනීම, බෝලයක්, ඝන වස්තුවක්, කඩල ඇටයක්/ක‍්‍රීඩා භාණ්ඩයක් අල්ලා ගැනීම, අතහැරීම වැනි ක‍්‍රියාකාරකම් නිතර සිදු වීම තුලින් දරුවාගේ සියුම් චාලක හැකියාවන් හොඳින් වර්ධනය වේ. 

ඇ`ගිලි දිගුකර යමක් පෙන්වීමේදී දරුවා හ`දුනා ගනීදැයි බලන්න. මේ ස`දහා දබර`ගිල්ල දික්කර මලක්, පින්තූරයක් පෙන්වන්න. එහි නම කියමින් නැවත නැවත පෙන්වීම තුලින් දරුවා එය ප‍්‍රගුණ කරයි. 

මිටෙන් අල්ලා ගැනීමට හැකිවන සේ අණ්ඩ සහිත කෝප්පයක්, හැන්දක් ඇල්ලීමට බඩදෙන්න. එවිට දරුවා ක‍්‍රමයෙන් ඊට හුරු පුරුදු වේ. එසේම අතින් අල්ලා කන කෑමක් ලබාදීම තුලින්ද දරුවාගේ ඇඟිලි හැසිරවීම හුරු කළ හැකියි. 

මේ සඳහා බත් ඇට, තැම්බූ කඩල වැනි ඇට වර්ග, පාන් කැබලි, ආප්ප වැනි ආහාරද, ඉදුණු පලතුරු, අල වර්ග වැනි දෑ අතින් අල්ලා කෑමට ගැනීමට හුරු කළ හැකියි. ආහාර කැබලි සිරකර ගැනීමට ඉඩ ඇති හෙයින් ආරක්‍ෂාව සමග මේ සඳහා දරුවාට ඉඩ හසර ලබාදිය යුතුයි. අඹ වැනි ඇටයක් දෑතින් අල්ලා සූප්පු කිරීමට දීමද දරුවාට හොඳ ව්‍යායාමයකි. 

මෙලෙස අතින් අල්ලාගෙන කෑමට ආහාර ලබාදීමෙන් ආහාරයේ ස්වභාවය, පිටි ගතිය, ඇලෙන සුලු බව, කෙඳි ගතිය, රස, සුවඳ, තල්ලට සපා සපන විට සිදුවන දේ ගැන මෘදු බව ආදී ලෙසින් මොලයට දැනවිය හැකි සංවේදනා බොහෝ ගණනාවක් එකවර ලැබීම තුලින් පංච ඉන්‍ද්‍රියයන්ට උත්තේජනය වන අතරම ඒ ඒ ඉන්‍ද්‍රියයන් සංවර්ධනයට අදාල ස්නායු ජාල සම්බන්ධතා ගොඩනැඟීම සිදුවන හෙයින් දරුවාගේ මොළයේ සංවර්ධනය ශක්තිමත්ව සිදු වේ. 

කුඩා අවධියේ සිට ඇඟිලි එක් කර ගනිමින් යමක් අල්ලන්නට, ගුලි කරන්නට, ඉරන්නට, තලන්නට ආදී ලෙසින් සිදු කරන ක‍්‍රියාකාරකම් හරහා අතේ ඇඟිලි ආශ‍්‍රිත පේශී ශක්තිමත් වේ. එසේම මේ සඳහා අත ක‍්‍රියා කිරීම නිසා අත ඒ මේ අතට නැමීම, දිග හැරීම ආදී ක‍්‍රියාකාරකම් සිදු කිරීම නිසා ඉක්මණින් නිවැරදි ලෙස පෑන පැන්සල ඇල්ලීමට හැකියාව දරුවා අත් කරගනී. 

ඇඟිලිවල සෑම පුරුකක්ම මෙන්ම ඇඟිලි තුඩු ආශ‍්‍රිතව බැඳ ඇති පේශී ශක්තිමත් කිරීම තුලින් ඇඟිලි නැමීම දිග හැරීම අවශ්‍ය පරිදි සිදු කිරීමට හැකි වීම තුලින් සියුම් හසුරු කුසලතා සංවර්ධනය වේ. 

මෙම හසුරු කුසලතා වර්ධනය වෙනුවෙන් මව්වරුන් තම එදිනෙදා කරන සියලු ක‍්‍රියාකාරකම් වලදී දරුවා හවුල් කරවා ගත යුතුයි. එලෙස දායක වන දරුවන් විවිධ අවස්ථා වලදී භාවිත කරන උපකරණ, ද්‍රව්‍ය හඳුනා ගැනීම, ඒවායේ දිග පලල ස්වභාවය, හැකියාව, වෙනස් කිරීමට ලක් කල හැකි අයුරු, වර්ණය, ගඳ/සුවඳ ආදිය පිළිබඳ අවබෝධය ලබාගනී. 

මේ සඳහා නිවසේ ක‍්‍රියාකාරකම් කීපයක් බැලූ විට හළවළු බෑගය ගත් විය එය නම් අනුව, දිග/කො අනුව, පාට අනුව, හැඩය අනුව, කරල්/ගෙඩි/අල අනුව ආදී ලෙසින් ගොඩවල් කිරීම/වෙන් කිරීම යනු සංවර්ධනය වූ ගණිත සෙල්ලමකි. 

එසේම එළවළු කැපීම, කපන එළවළු වල හැඩයන් හඳුන්වා දීම, ඒවා අල්ලන්නට/කපන්නට අවස්ථාව ලබාදීම තුලින් එැඩතල හඳුනා ගැනීමට ගෙඩියක පිට පැත්ත, ඇතුලත පැහැය, මෙන්ම ඇතුලත පිහිටන ඇට, රේණු ආදී වෙනස් වූ දෑ දරුවාට හඳුනාගැනීමට අවස්ථාව ලබාදීම නිවස මිස වෙනත් පාසැලක් කොහේද?

එසේම පරිප්පු, මුං ඇට, කඩල, රට කජු ආදී ලෙසින් හඳුනා ගන්නට අවස්ථාව ලබාදීමත් අවස්ථාව හිමි වෙනවා. එසේම වයස අවුරුදු 2 සිට පොල් කුඩු මිරිකීම, එළවළු කැපීම වැනි සෙල්ලම් ගෙයි ක‍්‍රියාකාරකම් ඉතාමත් වැදගත් වනුයේ ඇඟිලි හා පේශී ක‍්‍රියාකාරීත්වය ඉතාමත් සුවිශේෂී ලෙස වර්ධනය වන හෙයිනි. 

සියලුම දෙමාපියන්ගේ සුබ සිහිනය වනුයේ පාසැල් අධ්‍යාපනය තුල පෑන, පැන්සල අතර දරුවන් ඉහළින් වැජඹෙනු දැකීමයි. මේ සඳහා හොඳම අත්තිවාරම වනුයේ පෙර සඳහන් කළ පරිදි දරුවාගේ ජීවිතය බිළිඳු  වියේ සිටම අත්දැකීම් සපිරි ලෙසින් ගෙවෙන්නට ඉඩ දීමයි. හොඳින් පෑන පැන්සල ඇල්ලීමට හැකි ලෙසින් පේශී ශක්තිමත් වීම සඳහා ඇඟිලිවලට අතට ව්‍යායාම ලැබිය යුතුමයි. අතට, අතේ පේශීවලට ව්‍යායාම ලැබීම තුලින් අත ක‍්‍රියා කරවීම ශක්තිමත් වීම යනු අධ්‍යාපනය අභියෝග ජය ගැනීමට මූලික අත්තිවාරම වැටුණු බවයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

කොරෝනාවට බියෙන් ක්ෂය රෝගය සඟවා ගෙන ඔබත් අවදානමේද?

ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මේ කාලය තුළ අපි කොයි කවුරුත් පරිස්සම තුළින් නිරෝගීව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නිරෝගීකම කියන්නේ උතුම්ම සැපත බව දන්න නිසයි. ඇත්තටම කිව්වොත් මේ අපි ගෙවන්නේ පුංචි කැස්සක් ආවත් කිවිසුමක් ආවත් ඒ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද කියලා හිතෙන තත්ත්වයක. විශේෂයෙන්ම කැස්ස ඇති වීම මූලිකවම අපි හිතන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නිසා ද කියලයි. ඒත් කැස්ස මූලික කරගෙන ඇති විය හැකි වෙනත් රෝග තත්ත්ව ඇති බව අපි අමතක කරනවා. කැස්සට එකම හේතුව කොවිඩ් 19 පමණක් නොවන බව ද අප සිතිය යුතුය. ක්ෂය රෝගය කියන්නේ එහෙම තත්ත්වයක්. ඉස්සර නම් ක්ෂය රෝගය කිව්වම බොහෝ දෙනෙක් බියට පත් වෙනවා. ඒත් අද වෙද්දී එවැනි භයානක තත්ත්වයක් දැක ගන්න නැහැ. මොකද ක්ෂය රෝගය කියන්නේ ඖෂධ ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් නිසා. 

අන්න ඒ නිසාම මේ කාලය තුළ කොරෝනා ව්‍යාප්තිය ගැන විතරක් නෙවෙයි අනෙකුත් රෝග තත්ත්ව වුවත් ඇති විය හැකි බව සිතා බලා කල්පනාකාරීව ජීවත් වීම ඉතාම වැදගත් වෙනවා.  

2035 වසර අපේ රටෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ ජාතික සැලසුම බවට පත්ව ඇති නිසාම මේ පිළිබඳව දැනුවත් කිරීම අපේ වගකීමක් සහ යුතුකමක් වන අතරම නිසි දැනුවත් වීම් තුළින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම ඔබේ වගකීමක් සහ යුතුකමක් බව මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. 

වෛද්‍යතුමියනි, මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ක්‍ෂය රෝගීන් වාර්තා වීම ආරම්භ වූයේ කොයි කාලේ පටන්ද?

ඉතාමත් ඈත අතීතයේ සිටම ලෝකයේ ක්‍ෂය රෝගීන් වාර්තා වීමක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාව තුළ ගත්තත්එ ඈත අතීතයේ ගල් යුගයේ සිට මිනිස්සු ගල්  ආයුධ වලින් වැඩ කරන කාලයේ සිටම ක්‍ෂය රෝගය අපි අතර තිබුණා. ලංකාවේ ක්‍ෂය රෝග ව්‍යාප්තිය සෑම දිස්ත‍්‍රික්කයකම වාගේ දකින්නට ලැබෙනවා. කොරෝනා වෛරසයට පෙර ක්ෂය රෝගය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව දෙවෙනි වුණේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට පමණයි. ඉතා විශාල මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නයක්ව පවතින තත්ත්වයක් තමයි ක්‍ෂය රෝගයට තියෙන්නේ. එයිනුත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර කියන ප‍්‍රදේශවල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් වසරක් තුළ රෝගීන් 8000 ක් 9000 ක් වගේ ප‍්‍රමාණයක් අපිට හමු වෙනවා. ඒත් නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් වුවත් මෙහි ඇති දුක්ඛිතම කරුණ වෙන්නේ නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර වෙත යොමු නොවීම හේතුවෙන් වසරකට 500 ක් 600 ක් පමණ රෝගීන් ක්‍ෂය රෝගය හේතුවෙන් මිය යාමයි. 

කොවිඩ් 19 පැතිරීමත් සමග මේ කාල සීමාව මුළු ලෝකයටම අභියෝගාත්මක කාල සීමාවක්. ඒ තත්ත්වයත් සමගම සෞඛ්‍ය වෘත්තිකයන් ක්‍ෂය රෝගය වැළඳුණු රෝගීන් වෙනුවෙනුත් කාලය වෙන්කළ යුතුයි. එහෙම නේද?

මේක ලංකාවට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම බලපාන කාරණයක්. එතකොට මුළු ලෝකයම ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට 2020 සහ 2025 වසර වල් අතර කාලය තුළදී මිලියන 6.3 කින් පමණ ක්‍ෂය රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2018 ට සාපේක්‍ෂව ක්ෂය රෝගය පැත්තෙන් වන මරණ ගත්තත් මුළු ලෝකයේම ලක්‍ෂ හතරකින් පමණ මරණ ප‍්‍රමාණය වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මේ විදියටම ඇත්තටම ලංකාවටත් බලපානවා. 2019 සහ 2020 අතරේදි වාර්තා වෙච්ච රෝගීන් ප‍්‍රමාණය අනුව අපට එය දැකගත හැකියි. 2019 වර්ෂයේදී ක්‍ෂය රෝගීන් අපට වාර්තා වනවා 8434 ක්. 2020 දී වාර්තා වෙන්නේ රෝගීන් 7258 ක් පමණ. එතකොට තවත් දිගට කියනවා නම් උදාහරණයක් විදියට කොළඹ දිස්ත‍්‍රික්කය ගත්තොත් 2020 පළමු කාර්තුවෙදී රෝගීන් 564 දෙනෙක්, එතකොට 2021 වසරේ ප‍්‍රථම කාර්තුවේදී 300 ක් වගේ රෝගීන් ප්‍රමාණයක් හමුවුණා. මේකට හේතුව කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා රෝගීන් නිසි කලට ප්‍රතිකාර ලබා ගැනීමට නොපැමිණීමයි. ඒ මගින් නිසි පිළිවෙළට බෙහෙත් නොකිරීම නිසා රෝගය උත්සන්න වීම පැතිරීම වැඩි විය හැකියි. සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ ක්ෂය රෝගයට ඖෂධ ලබාගන්නා අයෙක්ට උපදේශන මාලාවක් සමග තමයි ඖෂධ ආරම්භ කරන්නේ. ඔවුන් සාමාන්‍යයෙන් සායනවලට සහභාගී වෙනවා. ඒත් කොවිඩ් 19 ව්‍යාප්තියත් එක්ක පිළිවෙළට සායන සඳහා සහභාගී වීමක් සිදු වෙන්නේ නැහැ. පිළිවෙළට ඖෂධ නොලැබීම නිසා සාමාන්‍යයෙන් ක්ෂය රෝගයට දෙන ඖෂධ ලබා දිය නොහැකියි. එවිට බහු ඖෂධ ප‍්‍රතිරෝධී ක්‍ෂය රෝගය (multi drug resistance TB) හේතුවෙන් ජීවිතය අවදානමට පත් විය හැකියි. ඉතිං අද වෙද්දී රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ට ලොකු අභියෝගයක් බවට පත් වෙලා.

වෛද්‍යතුමියනි, ඒ කියන්නේ ඖෂධ ලබා ගැනීම අතරමැද ඇණහිටීම ජීවිතය අවදානමකට ලක් විය හැකි බවද?

ඔව්. මම කලිනුත් කිව්වා වගේම් අතර මැද බෙහෙත් ගැනීම ඇණ හිටීම නිසා සාමාන්‍යයෙන් දෙන ඖෂධවලට වඩා විශේෂ වර්ගයේ බෙහෙත් වර්ග (MDR TB) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම වැඩි ඖෂධ ප‍්‍රමාණයක් තවත් දීර්ග කාලයක් පුරා ලබා දෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ටිකක් දීර්ග කාලීන ප‍්‍රතිකාර. ඒ කියන්නේ අඛණ්ඩව මාස හයක් හෝ අවුරුද්දක් වගේ. අතර මැද ඖෂධ ලබාගැනීම ඇණ හිටීම නිසා ඒ කලාය තවත් දිගු වෙන්න පුළුවන් වගේම ජීවිතය අවදානමකට ලක්වෙන්නත් ඉඩ තියෙනවා. 

තමන්ට ක්ෂය රෝගය ඇති බවට සැකයක් තියෙනවා නම් සායනයකට ගොස් පරීක්‍ෂා කරවා ගැනීම හරිම වැදගත්. එහෙම නොවෙන්න සමාජය තුළ මේ රෝගය පැතිරීම සිදු වෙනවා. කොරෝනා ඉවර වුණාම යනවා කියන පසුගාමී අදහස එක්ක නිවසට වෙලා ඉඳලා ඔබේ ජීවිතය අවදානමට පත්කරගන්න එපා. ඒ වගේම තමන්ගේ ගෙදර ඉන්න පුංචි දරුවන් ගැනත් සිතිය යුතුමයි. 

වෛද්‍යතුමියනි, කොහොමද මේ ක්‍ෂය රෝගය හැදෙන්නේ? පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද?

ඔව්, ක්‍ෂය රෝගය කියන්නේ මයිකෝ බැක්ටීරියම් ටියුබර්කියුලෝසිසස් කියන බැක්ටීරියාව මගින් බෝවන රෝගයක්. ඒක ශ්වසන මාර්ගයෙන් තමයි බෝවෙන්නේ. හරියට කොරෝනා රෝගය වගේමයි. එතකොට රෝගී පුද්ගලයෙකු කහින විට, කිවිසින විට රෝග කෙළ බිඳිති, සෙම බිඳිති වාතයට මුසු වෙනවා. එතකොට නිරෝගී කෙනෙක් ඒක ආශ්වාස කළ විට ශ්වසන මාර්ගයෙන් පෙනහලු ඔස්සේ ගිහිල්ලා තමයි මේ රෝගය ඇති වෙන්න පටන් ගන්නේ. ඇත්තටම බැලුවොත් කොරෝනා රෝගය එක්ක ලොකු සමාන කමක් තියෙනවා. මේක පෙනහලු මූලික කරගෙන සිරුරේ ඕනම ඉන්ද්‍රියකට (සාමාන්‍යයෙන් පැවසෙන ආකාරයට කෙස් හා නිය හැර) ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක්.

ඔව්,  ඕනම අවයවයකට,  ඕනම ස්ථානයකට ඇති විය හැකියි. ඒ ඒ ස්ථානය අවයවය අනුව රෝගියෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. රෝග ලක්ෂණ මතු වන්නේ මූලිකව කැස්සත් සමගයි.

  • හවස් වන විට ඇති වන මද උණ ගතිය
  • රාත‍්‍රියට අධික ලෙස දහඩිය දැමීම
  • කෑම අරුචිය
  • ඇඟ කෙට්ටුවීම
  • අධික තෙහෙට්ටුව
  • හුස්ම ගැනීමට අපහසු වීම

කෙසේ වුවත් මේ රෝග ලක්‍ෂණ සියල්ලම පෙන්නුම් කරන තෙක් ප්‍රතිකාර ප්‍රමාද කිරීම සුදුසු නැහැ. මොකද තත්ත්වය නරක අතට හැරීමට එය හේතුවක් විය හැකියි. පෙනහලු බොහෝ සෙයින් හානියට පත්ව තිබිය හැකියි. ඇතැම් විට එ‍වැනි අවස්ථාවලදී ඖෂධ ප්‍රතිකාර මගින් සුව කරන්න අපහසු විය හැකියි. 

ක්‍ෂය රෝගයේ මුල්ම රෝග ලක්‍ෂණය සුළු කැස්සක් නිසා ඇතැම් විට විටින් විට එක් එක් වෛද්‍යවරු හමු වී උපදෙස් ලබාගන්නවා විය හැකියි. එය තරමක් නුසුදුසු තත්ත්වයක්. රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙලා නිසි උපදෙස් ලබා ගැනීම තුළින් නිසි ප්‍රතිකාර වෙත යොමු වී රෝගය නිට්ටාවටම සුව කරගන්න. 

වෛද්‍යතුමියනි, තමන් ‍ක්ෂයරෝගයට ගොදුරු වූවෙකු ලෙස හඳුනා ගැනීමට හැකි වන්නේ කොහොමද?

ඔව්… ඒක ක්‍ෂය රෝගයේ ලක්‍ෂණ හැදිලා තියෙන අවයවයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් බව මම කලිනුත් පැවසුවා.

  • සාමාන්‍යයෙන් සති දෙකකට වඩා වැඩි කැස්ස
  • කැස්සත් එක්ක මද උණ ගතියක් (රාත‍්‍රියට)
  • දාඩිය දැමීම (රාත‍්‍රියට)
  • ශරීරයේ බර අඩු වීම
  • ආහාර අරුචිය
  • රෝග තත්ත්වය උත්සන්න වන විට කැස්ස සමග ලේ පිටවීම 

වෛද්‍යතුමියනි, ඔබ පැවසූ ආකාරයට කෙස් සහ නියවලට හැර මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ විදියට වෙනත් අවයව හෝ ස්ථානවලටත් ඇති වුණාම රෝග ලක්ෂණ මතු වන්නේත් කැස්ස මූලික කරගෙනද?

නැහැ, උදාහරණයක් විදියට අපිට මෙහෙම කියන්න පුළුවන්. 

  • වසා ගැටිති ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – වසා ගැටිති ඉලිප්පීම
  • කොන්ද ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – කොන්දේ වේදනාව/ඇවිදීමේ අපහසුතා/දෙපා හිරි වැටීම
  • ස්ත‍්‍රියකගේ පැලෝපීය නාලය ආශ‍්‍රිත ක්‍ෂය රෝගය – මද සරු භාවය 
  • මොළයේ මස්තිෂ්ක, සුෂුම්නා තරල ආශ‍්‍රිත ක්‍ෂය රෝගය (TB meningitis) – කල්පනාවේ වෙනස්කම්/උණ සමග වමනය 

ක්ෂය රෝගය පරම්පරාවෙන් එන රෝගයක් නේද?

කිසිසේත්ම නැහැ. පරම්පරාවෙන් පරාම්පරාවට මේ රෝග තත්ත්වය එන බව ඉස්සර කාලයේ සිට පැවති මිත්‍යා මතයක් විතරයි. මේ රෝගය බැක්ටීරියාවක් හේතුවෙන් ඇති වන රෝග තත්ත්වයක්. තම සමීපතමයන්, ආශ‍්‍රිතයින් හැමදෙනෙක්ටම මේ රෝගය තිබිය හැකියි. ඒ හින්දා ඔවුන්වත් පරීක්‍ෂා කරන එක බොහෝම වැදගත්. මෙහිදී විශේෂයෙන් කියන්නේ වයස අවුරුදු පහට අඩු දරුවෝ වයස්ගත වැඩිහිටියෝ සහ වෙනත් රෝග ඇති අයෙක් ගෙදර සිටී නම් (පාලනය නොවූ දියවැඩියා රෝගීන්/පිළිකා රෝගීන්/HIV ආසාදිතයෙක්/ වෙනත් නිදන් ගත රෝග/ වකුගඩු රෝග) මේ කාණ්ඩ ටඉතාමත්ම අවධානම්. 

මේ තත්ත්වයන්වල ඉන්න සියල්ලන්ටම සංකූලතා ඇති විය හැකියි. ඔවුන් ලක්ෂණ පෙන්නුම් කොනළත් නිවසේ රෝගියෙක් හෝ ආශ්‍රිතයෙක් සිටිනවා නම් ලය සායනය වෙත පැමිණ ආශ්‍රිතයින් සඳහා සිදු කරන පරීක්ෂණ මගින් ආසාදිත ද නැතිද යන්න තහවුරු කරගත හැකියි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


                

ක්ෂය රෝගයෙන් පෙලෙන ඔබ සායනවලට සහභාගී වීම අනිවාර්ය බව අමතක කරන්න එපා

ක්ෂය රෝගය යනු නිට්ටාවටම සුව කළ හැකි රෝග තත්ත්වයක් බව සෑම අවස්ථාවකදීම අපි දැනුවත් කළා. ලොව පුරා පවතින තත්ත්වයත් සමග නිසි කලට නිසි පුතිකාර ලබා නොගැනීම නිසා ජීවිතය අවදානමට පත්කරගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයකි. නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම යටතේ සායනවලට සහභාගී වීමට උනන්දු වීම ඉතා වැදගත් වේ. එක්වරක් සායනයට සහභාගී වූ විට රෝගියෙකුට නැවත පැමිණිය යුතු දිනය දැනුම් දෙන අතරම එය කාඩ් පතේද සඳහන් කරනවා. නිසි වෙලාවට සායනට පැමිණීම රෝගියාගේ වගකීමක්

කොවිඩ් 19 තත්ත්වය නිසා රෝගීන් නිවසින් පිටතට පැමිණීමට බියක් දක්වනවා. එවැනි තත්ත්වයකදී ඔවුන් වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ඔව්….මේ දිනවල පවතින තත්ත්වයත් සමග ආර්ථික අපහසුතා, ප්‍රවාහන අපහසුතා ඇති රෝගීන්ට ලය චිකිත්සාගාරය බාරව සිටින දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරිතුමා හෝ ලය සායනය දුරකතනය මගින් සම්බන්ධ කරගැනීමෙන් අදාල ඖෂධ ලබා ගැනීමට යම් ක‍්‍රමවේදයක් සකසා ගත හැකියි. ඇතැම් විට අදලා ලය සායනයේ කාර්ය මණ්ඩලය, PHI මහත්වරුන් මාර්ගයෙන් නිවෙසටම ඖෂධ ලබාදීම සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි ඖෂධ දෙන්නේ දින 28 කට මාසයකට වැනි කාලයකට වුවත් මේ දිනවල තත්ත්වය සලකා බලා පැමිණීමට අපහසු රෝගීන්ට මාස දෙකකට පවා ඖෂධ ලබාදීම සිදු කරනවා. මෙතනදී වැදගත්ම කරුණක් වෙනනේ අදාල රෝගීන් සම්බන්ධ කරගත හැකි නිවැරදි ලිපිනය වගේම නිවැරදි දුරකතන අංකය ලබාදීම ඉතාම වැදගත් බවයි. 

වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය සඳහා ලබා දෙන ඖෂධ මිල අධිකද?

නැහැ.. මේ සියලුම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝගීන් වෙත ලබා දෙන්නේ නොමිලේ. මේ ඖෂධ ඉතාම හොඳම ප්‍රමිතියේ උසස් තත්ත්වයේ ඖෂධ. ක්‍ෂය රෝගය සඳහා ලබාදෙන ඖෂධ මුදල් ගෙවා වෙනත් ඖෂධහල් වලින් පෞද්ගලිකව ලබාගත නොහැකියි. 

සාමාන්‍යයෙන් ‍ක්ෂය රෝගයට ගොදුරු වූවෙක් කොපමණ කලක් ඖෂධ ලබා ගත යුතුද/ රෝග ලක්ෂණ පහව ගිය පහසු ඖෂධලබාගැනීම නතර කළ හැකිද?

ක්‍ෂය රෝගයට ඖෂධ ලබා ගත යුතු ආකාරය රෝගියාට තීරණය කළ නොහැකියි. ඒ සඳහා ලය සායනයේ විශේෂඥයින්, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ප‍්‍රමුඛ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් අදාල ප්‍රතිකාර හා ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය කරන අතරම ඖෂධ ලබාදීම සිදු වන්නේ රෝගියාගේ බරට අනුවයි. 

මෙහිදී වෛද්‍යවරු නියම කරන මාත‍්‍රාව අඛණ්ඩව ඒ විදියටම ලබා ගත යුතුයි. ඒ සඳහා නිසි කාලය පුරා නිර්දේශිත මාත්‍රා ලබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් අපි කවුරුත් ඕනෙම ලෙඩකට බෙහෙත් ගත්තම රෝග ලක්ෂණ පහ වූ විගස ඖෂධ ලබාගැනීම නතර කරනවා. අනිත් රෝග තත්ත්වවලදීට වඩා ක්ෂය රෝගයේදී මෙසේ සිදුකිරීම අවදානම් සහගතයි. වෛද්‍ය උපදෙස් අනුව අඛණ්ඩව ඖෂධ ලබාගැනීම ක්ෂය රෝගයේදී අනිවාර්යයි. මොකද ක්ෂය රෝගය හදන බැක්ටීරියාව විශේෂිත බැක්ටීරියාවක් නිසා එය සිරුරින් සම්පූර්ණයෙන් ඉවත් කිරිමට නිසි ලෙස නොකඩවා නිසි මාත්‍රාවෙන් ඖෂධ ලබා ගත යුතුයි. ක්ෂය රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීමට නම් නොකඩවා ඖෂධ ලබාගැනීමට සමගේ සහයෝගය ලබා දිය යුතුයි.

වෛද්‍යතුමියනි, ලය සායන හරහා සිදු කෙරනෙ තවත් සේවා තියෙනවද?

ඔව්… ලය සායනයෙන් සිදු කෙරෙන තවත් විශේෂිත සේවාවක් විදියට ආශ්‍රිතයන් හඳුනා ගැනීම (contact tracing) සිදුකරන පරීක්ෂණ දැක්විය හැකියි. ක්‍ෂය රෝගියෙක් ඔබේ නිවසේ සිටිනවා නම් ඒ රෝගියාගේ ආශ්‍රිතයන් ලය සායනට කැඳවා පරීක්ෂා කිවීම ලය සායනය හරහා සිදුකෙරෙනවා. ක්ෂය රෝගය කියන්නේ අපි නොහිතන තරම් වේගයකින් පැතිර යා හැකි ‍රෝගයක්. සාමාන්‍ය ක්‍ෂය රෝගියෙකුට (ප‍්‍රතිකාර නොගත් ක්‍ෂය රෝගියෙක්) අවුරුද්දකදී තමන්ගේ රෝගය සාමාන්‍ය පුද්ගලයන් 10 දෙනෙකුට 15 දෙනෙකුට බෝ කිරීමේ හැකියාවක්. ක්‍ෂය රෝගය බෝවෙන්නේ රෝගියෙකු කහින විට හෝ කිවිසින විට පිටවන බිඳිති සමග මේ රෝග කාරක විෂබීජය හුස්ම ගැනීමේදී ශරීර ගත වීමෙන්. ඒ නිසා මේ රෝගය බෝ වීමේ වැඩිම අවදානම තියෙන්නේ තමන්ගේ සමීපතමයන්ට. ඒ සඳහා 80% ක පමණ අවදානමක් තියෙනවා. ඒක නිසා පෙර සිටම විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු දරුවන්/වයස්ගත වැඩිහිටියන්/නිදන්ගත රෝගවලින් පෙලෙන්නෙන්/නිසි පරිදි පාලනය නොවූ දියවැඩියා රෝගීන්/HIV ආසාදිතයින් පරීක්ෂාවට ලක් කිරීම සිදු කළ යුතුයි. ක්‍ෂය රෝගය වැළඳුණු පසු තමන්ගේ නිවැසියන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ආශ‍්‍රිතයන්වත් දිස්ත‍්‍රික් ලය සායනයට ගෙනවිත් පරීක්‍ෂා කරගත යුතුයි.

නිවසේ ඉන්න ඉතාම වයස්ගත පුද්ගලයන් සහ පුංචි දරුවන් කොතරම් ප‍්‍රායෝගික අපහසුතා තිබුණත් ක්‍ෂය රෝගය සඳහා පරීක්‍ෂා කරගත යුතු බව අමතක කරන්න එපා. තම සමීපතයින් සුරකිමු. ක්‍ෂය රෝගය පැතිරීම වළකමු. ක්‍ෂය රෝගය තවදුරටත් බිය වීමට හෝ ලැජ්ජා වීමට කාරණයක් නොවේ. ක්‍ෂය රෝගය පරම්පරාවෙන් පරම්පරාවට එන රෝගයකුත් නෙවෙයි. නිසි ප‍්‍රතිකාර මගින් ක්‍ෂය රෝගය නිට්ටාවටම සුව කරගත හැකියි. 

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න

  • කොළඹ දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0112673460
  • කොළඹ දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරි, නයනා ද සිල්වා මහත්මිය – 0774839797
  • ගම්පහ දිස්ත‍්‍රික් ලය චිකිත්සකාගාරය – 0112071940
  • ගම්පහ දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, කෞෂල්‍ය රාජපක්‍ෂ මහතා – 0716850253
  • කළුතර දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0342222677
  • කළුතර දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, ජී.එච්. අමරසිරි මහත්මයා – 0777902348

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


                

අපේ පුංචි පැටවුන්ටත් ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්ද?

 ක්ෂය රෝගය සම්බන්ධව බොහෝ දැනුවත් කිරීම් මීට පෙරත් අප සිදු කළා ඔබට මතක ඇති. බොහෝ විට අපි ක්ෂය රෝගය වැළදුණු අයෙකුගේ ආශ්‍රිතයෙකු හෝ වූයේ කුඩා දරුවන් ඇතුළුව නිවසේ සිටින සෑම අයෙක්ම ලය සායනය හරහා පරීක්ෂාවට ලක් වී තමා රෝගයට ගොදුරු වී ඇතිය යන්න සැක හැර දැන ගත යුතුමය. මේ ලිපිය වෙන්වන්නේ විශේෂයෙන්ම පුංචි දරුවන් සිටින මව්පියන් දැනුවත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධවයි. ‍

වැඩිහිටි ඔබ විතරක් නොවෙයි, පුංචි දරුවොත් පරීක්‍ෂා කරවාගැනීම ඉතාම වැදගත්. බොහෝ විට ඇතැම් වැඩිහිටියෝ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් රෝගය ගැන හිතේ තියෙන මිත්‍යා මත හේතුවෙන් හෝ ලැජ්ජාව නිසා හෝ ඒ ගැන පරීක්ෂා කරගැනිම අතපසු කරනවා. ඒත් වැඩිහිටි ඔබට වගේම පුංචි දරුවන්ටත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමියනි, ක්‍ෂය රෝගය පුංචි දරුවන්ටත් බෝ වෙන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම ඔව්. ක්‍ෂය රෝගය හැම තිස්සෙම කුඩා දරුවෙක්ට බෝවෙන්නේ නිසි ප‍්‍රතිකාර නොගන්නා  ක්‍ෂය රෝගියෙකුගෙන්. ඒ නිසා ගෙදර ක්‍ෂය රෝගියෙක් ඉන්නව නම් ප‍්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවිට අවුරුදු  5 ට අඩු දරුවන් නිවසේ ඉන්නවා නම් පරීක්‍ෂා කොට ක්‍ෂය රෝගය නැතිනම් ඒ දරුවා සුරක්‍ෂිත කිරීමට රෝග නිවාරණ ඖෂධ එහෙමත් නැත්නම් ප්‍රොෆිලැක්සිස් ඖෂධය ආරම්භ කරනවා. 

වෛද්‍යතුමියනි, ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්, 

ඔව්, දරුවට ලෙඩක් නැහැ, නිරෝගී දරුවෙක්. ඒත් ක්‍ෂය රෝගියෙක් ගෙදර ඉද්දී විෂබීජය නිවසේ තිබෙනවා. එවැනි අවස්ථාවලදී එම නිරෝගී දරුවට සාමාන්‍යයෙන් මාස 6 ක් වගේ දීර්ඝ කාලයකට රෝග නිවාරණ ඖෂධ ලබා දීම ආරම්භ කරනවා. ඉතින් මේ දරුවන්ට ලබාදෙන ඖෂධත් අඛණ්ඩව ලබාගත යුතුමයි. 

පුංචි දරුවන්ට ක්ෂය රෝගය හැදෙන්නේ කොහොමද?

බොහෝවිට පුංචි දරුවන්ට මේ රෝගය ගමන් කරන්නේ වැඩිහිටියන් හරහායි. පුංචි දරුවන් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වැඩිහිටියන් පෙන්නුම් කරන රෝග ලක්ෂණවලට වඩා වෙනස් විය හැකියි. 

ක්ෂය රෝගය වැලඳුණු පුංචි දරුවෙක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • සති 2 කට වඩා පවතින උණ
  • දිගුකාලීන කැස්ස
  • බර අඩුවීම/නියමිත ලෙස බර වැඩි නොවීම
  • ප‍්‍රතිජීවක වලට සනීප නොවන නියුමෝනියාව
  • සනීප නොවන ඇදුම
  • මහන්සිය/කම්මැලි/ක්‍රියාශීලී අඩුකම

මේ ලක්‍ෂණ ඔබේ දරුවාත් පෙනුනුම් කරනවා නම් ඉතා ඉක්මනින් දිස්ත‍්‍රික් ළය සායනයට හෝ ළඟම රජයේ රෝහලට රැගෙනයන්න. මේ දිනවල ප‍්‍රායෝගික අපහසුතා තිබුණත් නිසි සෞඛ්‍ය උපදෙස් මත සායන සඳහා සහභාගී විය හැකියි. ඒ සඳහා ඔබේ කාඩ්පත අවසර පත්‍රයක් ලෙස යොදා ගැනීමට හැකියාව පවතිනවා. මේ දිනවල දරුවෝ ගෙදරින් එළියට එක්ක යන්න මව්පියන් අකමැති වුවත් ඔවුන්ගේ පරීක්‍ෂා කිරීම් අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍යයි. ලය චිකිස්තාගාරයේ කිසිදු රස්තියාදුවකින් තොරව සේවාය ලබාගැනීමට හැකියාව පවතිනවා. ඒ නිසා ආරක්ෂාකාරීව දරුවන් රැගෙන එන්න. 

මොන ගැටලුව තිබුණත් මව්වරු නිසි කලට අදාල රෝගවලට අවශ්‍ය දරුවන්ගේ එන්නත් කාඩ් පතේ ඇති එන්නත් ලබා දීම සඳහා දරුවන් රැගෙන යාම සිදු කරනවා. ඒ, අදාල මාසයට අදාල එන්නත් ලබා නොදීමෙන් දරුවන්ට ඇති විය හැකි අහිතකර තත්ත්ව ගැන ඇති දැනුවත්භාවය නිසයි. එය වසංගත සමයේ පවා සෞඛ්‍ය නීති අනුගමනය කරමින් අදාල එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා මව්වරුන් සායනයට දරුවා රැගෙන ගියත් ක්ෂය රෝගය වැනි තත්ත්වයකදී ප්‍රතිකාර හෝ පරීක්ෂණ වෙනුවෙන් ලය සායනයට දරුවන් රැගෙන යාම සිදු නොකරන්නේ ඒ ගැන හරිහැටි අවබෝධයක්, අවදානම ගැන හැඟීමක් නොමැති නිසයි. නිසි දැනුවත්භාවයක් තියෙනව නම් ඒවගේ මූලිකත්වයක් ඔවුන් මේ රෝගය සඳහාත් ලබා දෙන බව විශ්වාසයි. 

වෛද්‍යතුමියනි, මේ දිනවල පවතින කොවිඩ් 19 රෝගයේ අවදානම වැඩිහිටි හෝ පුංචි දරුවන් හෝ කියා වෙනසක් නැතිව බලපානවා. ක්ෂය රෝගය ඇති දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම අවදානම් සහගතද?

ක්‍ෂය රෝගයට නිසි පරිදි ප්‍රතිකාර ලබාගන්නා දරුවෙකුට නම් යම් පාලනයක් තියෙනවා. කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මණට ඒ පුංචි දරුවන්ගේ සිරුරට ඇතුළු විය හැකියි. විශේෂයෙන්ම අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප‍්‍රතිශක්තීකරණය ඉතාම අඩු නිසා, විශේෂයෙන්ම මාස හයට අඩු දරුවෙකුට ක්‍ෂය රෝගය තියෙනව නම් ඒ දරුවාට කොරෝනා රෝගයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන් ක්‍ෂය රෝගී දරුවෙකු රැකබලා ගන්නව නම් ඔවුන්ගේ බෙහෙත් වේල අඛණ්ඩව ලබාදීම ඒ කටයුතු සිද්ධ කරන්නම  ඕන. 

මේ කොරෝනා සමයේ ක්ෂය රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අංශවලට වැඩපිළිවෙළක් තියෙනවද? 

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකම දිස්ත‍්‍රික් ලය චිකිත්සාගාර එක බැගින් තියෙනවා. විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන මධ්‍යම ලය චිකිත්සාගාරය බොරැල්ලේ පිහිටා තිබෙනවා. ඒ වගේම කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා මුල්ලේරියාව රෝහල ආශ‍්‍රිතවත්, කළුබෝවිල රෝහල ආශ‍්‍රිතවත් තව වැඩිපුර සායන දෙකක් පිහිටුවා තිබෙනවා. ඉතින් ඒ සායන මේ වසංගත සමයේදීත් අඛණ්ඩව මේ රෝගීන් වෙනුවෙන් විවෘතයි. රටා වසා දමා ඇති කාලය තුළත් අදාල සායන පෙර පරිදිම පැවැත්වෙනවා. සදුදා සිට සෙනසුරාදා දහවල් 12 වෙනකන් සායන විවෘතයි. සියලුම පරීක්‍ෂණ සියලුම බෙහෙත් සහ සියලුම අනිකුත් සේවාවන් නොමිලේ ඔවුන්ට ලබාගත හැකියි. ඒ නිසා ඔබේ දරුවා නිසි කලට අදාල සායන වෙත රැගෙන යාම අමතක කරන්න එපා.

වෛද්‍යතුමියනි, අපේ දරුවන් නිරෝගීව හෙට දවසට යොමු කිරීම අපේ ‍වගකිමක් වගේම යුතුකමක්. ඒ නිසාම 2035 වන විට ඔබ සැමගේ  ඉලක්කය ශ්‍රී ලංකාවෙන් ක්‍ෂය රෝගය තුරන් කිරීම නේද?

අපි රෝගයට මූලික තැනක් දෙනව නම් මේ රෝගයේ ලක්‍ෂණ මොනවද? මේක සනීප කරන්න පුළුවන් නේද? කියන ආකල්පය හැඟීම අප තුළ තියෙනව නම් රෝගයෙන් බේරෙන්න පුළුවන්. මේ රෝගයත් එක්ක බැදිච්ච ගොඩක් වැරදි ආකල්ප, මිත්‍යා මත අපේ සමාජයේ තියෙනව.කෙටියෙන්ම කිව්වොත් ක්ෂය රෝගය හැදුණු නිවසකින් විවාහයක් කරගැනීම පවා ප්‍රතික්ෂේප කළා. ඇතැම් විට නිවස තුළම රෝගියෙක් අසරණ විය හැකියි. මෙවැනි ආකල්පවලින් මිදිලා නිසි කළට නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් වැඩිහිටි අපි වගේම අපේ දරුවනුත් මේ රෝගයෙන් මුදවා ගත හැකියි. 

ප‍්‍රතිකාර නොගත් ක්‍ෂය රෝගියෙකු කහින විට හෝ කිවිසුම් අරින විට රෝග කාරක විෂබීජ වාතයට මුසු වෙනවා. නිරෝගී පුද්ගලයෙකු හුස්ම ගන්නා විට ඒ විෂබීජ අපිට ඇතුළු වෙන්න පුළුවන්. විෂබීජ ඇතුළු වෙච්ච පමණින් අපි හැමෝටම රෝගය වැළදෙන්නේ නැහැ. එහෙම වැළඳුනත් මාස හයක් නොකඩවා බෙහෙත් ගැනීමෙන් සම්පූර්ණයෙන් සුව කරගත හැකියි. 

වැඩිහිටි අපි මෙන්ම කුඩා දරුවනුත් ක්ෂය රෝගයෙන් ආරක්ෂා කරගැනීමට නම්,

  • ක්‍ෂය රෝගය අන් අයට බෝ වීම වළක්වා ගැනීමට කහින විට, කිවිසුම් යන විට ලේන්සුවකින් හෝ වැලමිටෙන් මුහුණ ආවරණය කරගැනීම ඉතාම වැදගත්. 
  • සෙම්, කෙළ බදුන් නිසි පරිදි බැහැර කළ යුතුය
  • නිවසට හොඳින් වාතාශ‍්‍රය, හිරු එළිය ලැබීමට සැලැස්විය යුතුය (ක්‍ෂය රෝග විෂබීජය හිරු එළිය හමුවේ විනාශ වී යන නිසා)

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න

  • කොළඹ දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0112673460
  • කොළඹ දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිළධාරි, නයනා ද සිල්වා මහත්මිය – 0774839797
  • ගම්පහ දිස්ත‍්‍රික් ලය චිකිත්සකාගාරය – 0112071940
  • ගම්පහ දිස්ත‍්‍රික් ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, කෞෂල්‍ය රාජපක්‍ෂ මහතා – 0716850253
  • කළුතර දිස්ත‍්‍රික්ක ලය චිකිත්සකාගාරය – 0342222677
  • කළුතර දිස්ත‍්‍රික්ක ක්‍ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී, ජී.එච්. අමරසිරි මහතා – 0777902348

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශය 

 

 


                

දරුවාගේ භාෂාව දියුණු වීමට අවශ්‍ය වන ක්‍රියාකාරකම් තෝරා ගනිමු. සකසා ගනිමු.

දරුවන් භාෂා ඉගෙනීම ආරම්භ කරනුයේ මවු කුස පිළිසිඳ ගත් දා පටන් ය. තවද දරුවා මෙලොව එලිය දුටු දා සිට දරුවාගේ කුසලතා දියුණුව සඳහා අවශ්‍ය වන ලෙස පසුබිම සකසා දෙනු ලබන ඔබ දරුවාගේ කතාව, භාෂාවට උදවු දෙන ක්‍රියාකාරකම් සකසා ගැනීමට උනන්දු වනවා නොඅනුමානයි. එමනිසා දරුවාට වයසට  සුදුසු ලෙස ක්‍රියාකාරකම් හා සෙල්ලම් බඩු තොර ගන්නා ආකාරය හා සකසා ගන්නා ආකාරයත් එහි වැදගත්කමත්  අපි අද සාකච්චා කරමු.

අලුත උපන් බිළිඳාට

ඔබ ඔබේ අලුත උපන් බිළිඳා ට ශබ්ධ නගන සෙල්ලම් බඩු තොරා ගනු ලබන්නේ එහි වටිනාකම නොදැන විය යුතුය. එමගින් බිළිඳාගේ ඇහුම්කන් දීම, ශබ්ධ වලට සවන් දීම වැනි කුසලතා දියුණු වීමට මේවා රුකුල් වනු ඇත. එමනිසා දරුවා හට මෙම සෙල්ලම් බඩු ලබා දීමට උනන්දු වන්න.

තවද දරුවා සිටින ඇඳ ආසන්නයේ පින්තුර එල්ලීම, බිත්තියේ පින්තුර රැදවිම ද ඔබට සිදු කල හැකි දේ අතර වේ. ඒ සදහා  ඔබට අවශ්‍ය පින්තුර සකස් කර ගත හැකිය. එමගින් දරුවාගේ  පෙනීම, පින්තුර හදුනා ගැනීම උපකාරී වේ. 

මාස 06 පමණ වන දරුවාට 

මාස 06 පමණ වන විට දරුවා ශබ්ධ නැගීම ආරම්භ කරන අතර දරුවා හට ශබ්ධ නගන සෙල්ලම් බඩු ලබා දීම තුලින් දරුවා ඒ සඳහා උනන්දු කල හැකිය. තවද දරුවාගේ පෙර භාෂා කුසලතා දියුණු වීමට  අවශ්‍ය වන ලෙස Pop up toys, සංවේදී අවයව උත්තේජනය වන ලෙස සකසා සෙල්ලම් බඩු මෙම කාලයේදී ලබා දිය හැකිය. ඒවා දරුවාගේ සංවේදී අවයව උත්තේජනය ට උපකාරී වනු ඇත.

මාස 08 පමණ වන දරුවාට

දරුවා මස 08 පමණ වන විට වචන පිලිබඳ අවබෝධය ආරම්භ වන අතර සරල තනි වචන ප්‍රකාශ කිරීම ද ආරම්භ කල හැකිය. මෙම කාලයේදී ඔබට පින්තුර පොත්, පින්තුර කාඩි පත් සකසා ගත හැකිය. මෙම පින්තුර සැබෑ පින්තුර වීම වැදගත් වන අතර ඒවා චිත්‍ර, කාටුන් පින්තුර නොවීම ඉතා වැදගත් වේ. තවද මෙම පින්තුර කාඩි පත් ව්ශාල වීමද, පාට සහිත වීමද ඔබ සිහි තබා ගත යුතු දෙයකි. මේ ආකාරයට ඔබට විවිධ කාණ්ඩ වලට අයත් පින්තුර දරුවාට හදුන්වා දිය හැකිය. උදාහරණ ලෙස සත්තු, පලතුරු, පවුලේ අය, කෑම ආදී දේ ඊට ඇතුලත් කර ගත හැකි අතර ඒවා දරුවාට සමීප වචන වීම සුදුසු වේ.

අවුරුදු 1-2 අතර දරුවාට

දරුවා අවුරුද්ද පමණ වන විට තනි වචන කතා කරන අතර අවුරුදු දෙක පමණ වන විට සරල වචන 2-3 ක් එකතු කර වාක්‍ය තැනීම ට දරුවා උත්සහ කරනු ඇත. ඒ සඳහා දරුවාට උදවු වන ලෙස ඔබට ක්‍රියාකාරකම් සකසා ගත හැකිය. ඒ සඳහා ඔබ හා දරුවා අතර සන්නිවේදනය ගොඩ නගා ගැනීමට හැකියාව ඇති වන සෙල්ලම් බඩු තෝරා ගත යුතුය. ඒඅතර බෝනික්කන්, වාහන, tea cup set, cooking set ආදී දේ තිබිය හැකිය. මෙහි ඇති වැදගත්කම නම් ඔබ හා දරුවා අතර වාචික සන්නිවේදනය මෙම සෙල්ලම තුලින් සිදු කල හැකිද යන්න සිතීමයි.

අවුරුදු 3-4  අතර දරුවාට

දරුවා අවුරුදු 03 පමණ වන විට වචන 3-4 ඇතුලත් වාක්‍ය ප්‍රකාශ කල යුතු අතර භාෂා අවබෝධය ද දියුණු විය යුතුමය. එමනිසා දරුවා හට එම කුසලතා කරා ලගා වීමට උදවු වන ලෙස ඔබට සෙල්ලම් බඩු තොරා ගත හැකි අතර සරල කතන්දර පොත්, දරුවා හට විවිධ සෙල්ලම් සිදු කල හැකි දේ එනම් shopping cart, doctor set, ring tower toys මෙන්ම කැපිය හැකි එළවලු පලතුරු ආදී දේ ඔබට තොර ගත හැකිය. එමගින් දරුවා හට සෙල්ලම් කරන අතරතුර අවස්තානුකුල ව භාෂාවක් භාවිතා  කිරීම දියුණු කර ගත හැකිය. 

මිට අමතර දරුවාගේ උසස් භාෂා කුසලතා (Higher language skills) දියුණු කිරීමට අවශ්‍ය වන ක්‍රියාකාරකම් දෙමවුපියන් වන ඔබට සකස් කර ගත හැකිය. ඒ සඳහා සමාන පින්තුර තේරීම ට පින්තුර කාඩ්පත් සැකසීම, පාට හැඩතල, හා වචන වලට අදාළ පින්තුර තොර ගැනීමට දරුවා පුහුණු කිරීමට ඔබට පින්තුර පත් සකස් කර ගත හැකිය. ඒවගේම Puzzles ද දරුවාගේ වයස අනුව ඔබට තොර ගත හැකිය. එමගින් දරුවාගේ ගැටළු විසදීම (problem solving), logical thinking, සිතීම හා දරුවාගේ ඉගෙනුම් කුසලතා ද දියුණු කර ගත හැකිය. එමනිසා දරුවාගේ භාෂා කුසලතා දියුණු කිරීමට අවශ්‍ය වන ලෙස සරල ක්‍රියාකාරකම් සකසා ගැනීමටත් නිවැරදිව තෝරා ගැනීමටත් ඔබට හැකියාව පැවතීම ඉතා වැදගත් වේ.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

 

දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන මව් කුස පටන්ම උනන්දු වෙන්න.

ප්‍රතිශක්තිය කියන්නේ ආගන්තුක දෙයක් වෙනුවෙන් අපේ සිරුර විසින් දක්වන ප්‍රතිචාර .. සියළුම වෛරස සහ බැක්ටීරියා අපේ සිරුරට ආවත් ඒ සියලුම විෂබීජ වෙනුවෙන් ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව අපේ සිරුරට තිබෙනවා. උපතින්ම අපේ සිරුරට ලැබී තිබෙන ප්‍රතිශක්තිය ඉහළයි. නමුත් අපට හිමිව තිබෙන මේ සුවිශේෂී හැකියාව නැති කර ගන්නේ ඇයි…? අපේ ප්‍රතිශක්තිය රැක ගෙන පවත්වා ගෙන යන්නේ කොහොමද..?

අපේ ප්‍රතිශක්තිය කොටස් දෙකකට බෙදෙනවා

  • innate immunity-සහජ ප්‍රතිශක්තිය 
  • Adaptive immunity– අත්කර ගත් ප්‍රතිශක්තිය

innate immunity- සහජ ප්‍රතිශක්තිය

ඕනෑම පුද්ගලයෙකුට උපතින් ලැබෙන ප්‍රතිශක්තිය සහජ ප්‍රතිශක්තිය (innate immunity ) යනුවෙන් හැදින්වෙනවා. 

Adaptive immunity

අත්කර ගත් ප්‍රතිශක්තිය  (Adaptive immunity ) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙහිදී අපේ සිරුරට ඇතුළු වෙන විෂබීජයට එරෙහිව සිරුර ක්‍රියාත්මක වෙනවා.ප්‍රතිශක්ති එන්නතකින් ලැබෙන්නේ එවැනි ආරක්ෂාවක්. උදාහරණයක් විදිහට සරම්ප,පිටගැස්ම වැනි රෝග තත්වයන්හිදී සිරුරට ලබා දුන් ප්‍රතිශක්තිය මතක තබා ගෙන නැවත වෛරසයක් ඇතුළු වූ විට ඒ වෙනුවෙන් ඇති මතකය උපකාර කර ගෙන ඒ රෝග තත්වයෙන් ආරක්ෂාව ලබා දෙනවා.

සෞඛ්‍ය සමීකරනය…

අපේ සෞඛ්‍ය ගැන එහෙමත් නැත්නම්  නිරෝගි ජීවිතයක් පවත්වා ගැනීමේදී සෞඛ්‍ය සමීකරනය ගැන කතා කිරීමට අවශ්‍යයි. මෙම සමීකරණය නිර්මානය වෙන්නේ මේ විදිහටයි.

පරම්පරා ලක්ෂණ + ආහාර, , මානසික සෞඛ්‍ය සහ වයස

කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න කලින් පටන්ම තමාගේ දරුවාගේ නිරෝගිව හදා වඩා ගැනීමට පියවර ගත යුතුයි. 

පරම්පරා ලක්ෂණ

ඩෙනි ජොන්සන් විසින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන අන්දමට පරම්පරා දෙකක් අතර කාලයක් පුරා යම් වෛරයක් කාලයක් තිබිලා මේ පරම්පරා දෙකින් ගැහැනු පිරිමි දෙන්නෙක් විවාහ වුනොත් මේ අඹු සැමියන්ට දාව උපත ලබන දරුවන්ට බොහෝ විට ස්වයං ප්‍රතිශක්තිකරණ ඌනතාවයක් ඇති වෙන්න පුලුවනි. මේ ගැන තව දුරටත් අධ්‍යනයන් සිදු වෙමින් පවතිනවා. අපේ රටේ වුනත් සමීප ලේ ඥාතීන්ගේ විවාහය  , ඇවැස්ස නෑනා මස්සිනා විවාහයත් නිසා විවිධ ආබාධ සහිත දරුවන් උපත ලබන බැව් සදහන් වෙනවා.

අම්මාගේ පෝෂණය ලබා දීමත්

ගර්භණී කාලයේදී මව ලබන පෝෂණය නිරෝගී දරු උපතකට හේතු වෙනවා. මේ වෙන විට හැම ගර්භණී මවක්ම ඒ ගැන දැනුවත් වගේම සායන මගින් ඔවුන් දැණුවත් කිරීමත් සතුටට හේතුවක්.

මානසික සෞඛ්‍යයත් වැදගත්..

දරුවෙක් මව්කුස පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන්ම අම්මා තාත්තාගේ බලාපොරොත්තුව තමන්ගේම ලෙයින් මසින් ලැබෙන පැටියා නිරෝගී වගේම පෞරෂයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත් කරන සිහිනයක පසු වෙනවා. ඒ හැම මව් කෙනෙකුටම පොදුගුණයක්.දරුවෙක් ගැබ් දරණ කාලයේදී කාන්තාවක් ඉතාම යහපත් සිතුවිලිවලින් ජීවත්වීම අවශ්‍යයි. විශේසයෙන්ම ආගමික කටයුතුවලින් යම් මානසික සුවතාවයක් ලැබෙනවා. අතීතයේ පටන්ම අපේ වැඩිහිටියන් ගැබ් දරණ කාන්තාවකගේ මානසික සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. අතීතයේදී දරුවෙක් ලැබෙන්න සිටින අම්මාට අසුබ සහ අවලස්සන දර්ශන නෙත ගැටෙන්න දුන්නේ නැහැ.වෙන දෙයක් තබා තමන්ගේ නිවසේ අළුත්වැඩියා කටයුත්තක් පවා කරන්න ඔවුන් පෙළඹුනේ නැහැ. ආයුධ සහ දැව එකටෙක ගැටෙන ශබ්ද පවා ගැබිණි මවට ඇසෙන්න ඉඩ දුන්නේ නැහැ.

කුස සිටින දරුවාට ආමන්ත්‍රණය කිරීම..

අපි නොසිතුවත් කුසේ සිටින දරුවාට අම්මාගේ සිතුවිලි හොදින් තේරුම් ගන්න පුලුවනි.ඒ නිසා කුසේ සිටින දරුවාට මවගේ ආදරණීය ආමන්ත්‍රණය වැදගත්. ගැබ මෝරන විට තමන්ගේ දරුවා සමග කථා කරන්න ඕන. දරුවා ඒ හඩ අදුනනවා. තමන්ට කතා කරන බව තේරුම් ගන්නවා. අම්මා වගේම තාත්තාත් මෙලොව එළිය දකින්න සුදානමින් සිටින පැටියාට ආමන්ත්‍රණය කිරීම අවශ්‍යයි. මව්පියන් සහ දරුවා අතර සමීප සම්බන්ධතාවය එතැනදී ගොඩ නැගෙනවා.එය දරුවාගේ ප්‍රතිශක්තියටත් බලපාන අපි නොහිතන පැත්තක්.

ප්‍රතිශක්තිකරණය සහ සාමාන්‍ය දරු ප්‍රසුතිය..

අද බොහෝ මව්වරුන් සාමාන්‍ය දරු ප්‍රසුතියකට වඩා සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරන්න කැමැත්තක් දක්වනවා.

සිසේරියන් සැත්කමකින් බිහිවෙන දරුවෙකුට වඩා සාමාන්‍ය දරු ප්‍රසුතියකින් උපත ලබන දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත්. නමුත් විවිධ හේතුන් නිසා වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් ගැන තීරණය කරනවා නම් ඒ උපදෙස් පිලිපැදීමට අවශ්‍යයි

මුල් මාස තුන..

අතීතයේ වැඩිහිටිව් අලුත උපන් දරුවා මාස තුනක් ගෙවෙන තෙක් නිවසෙන් පිටතට ගත්තේම නැහැ. දරුවා බැලීමට පැමිනෙන නෑ හිත මිතුරන් පවා දරුවා සමග වැඩි වේලාවක් රදවා ගත්තේ නැහැ.මෙම සිදුවීමෙත් යම් සත්‍යක් තිබෙනවා.

අපේ මුතුන් මිත්තන් මාසයක් ගණනය කරන්නේ දින 28 කින්. වසරකට මාස දොළහක් තිබෙනවා. මව් කුසේ සිටින මාස දහයක් සිටින දරුවා  මව්කුසෙන් බිහි වීමෙන්  පසුව අලුත් පරිසරයක ජිවත් වෙනවා. ඒ නිසාම මේ පරිසරයට හුරු වීමට දරුවාට යම් කාලයක් අවශ්‍යයි.ඒ නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය මේ මාස තුනක කාලයේදී පවත්වා ගැනීම වැදගත්. අම්මා තම දරුවා සමග මුල් තුන් මාසය ගත කිරීම නිසා දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. බාහිර පරිසරයට ඔරොත්තු දෙන හැකියාව ලබා ගන්නවා.

මේ සම්ප්‍රදාය නිසා දරුවා සහ මව අතර සම්බන්ධතාවය වැඩි වුණා. මව සහ පවුලේ එකම වහලක් යට ජීවත්වෙන පිරිස හැර වෙනත් බාහිර පුද්ගලයන්ට දරුවා නිරාවරණය වුනේ නැහැ.නෙමුත් අද පවුල් පසුබිම සහ සමාජ රටාව තුළ අතීතයේදී සම්ප්‍රදායක්ව පැවැති මේ ඇවැතුම් පැවතුම් දුරස් වෙලා. මවක් ප්‍රසුති නිවාඩුවෙන් පසුව නැවත සේවයට යා යුතුයි. ඒ වගේම දැන් පවුලක් තුළ එදා වගේ අත්තම්මලා..නැන්දා.. එකට ජිවත් වෙන්නෙත් නැහැ. බොහෝ දුරට වැටුප් ගෙවා ලබා ගන්නා සේවිකාවක් දරුවා රැකබලා ගන්නවා. මෙවැනි වටපිටාවන් නිසා මවක් ලෙද අතීතයේ මවක් දැක්වු දරු සෙනහස සහ රැකවරණය අද දරුවන්ට අහිමි වීමකුත් සිදු වෙනවා. ඒ නිසා අම්මාට හැකි හැම විටම දරුවා සමග රැදී සිටීම, මව්කිරි ලබා දීම වැනි දරුවා රැකබලා ගැනීමේදී දක්වන උනන්දුවත් දරුවාගේ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වීමට බෙහෙවින් හේතු වෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

තරිදු ප්‍රනාන්දු  CCII (IIPA) – USA

Iridologist

Integrated health practitioner

Iridologist of the year-2019

 

 


                

ක්ෂය රෝගීන්ට කොවිඩ් 19 රෝග‍යේ බලපෑම ගැන දැනුවත් වෙමු

ක්ෂය රෝගය  පිටට කොරෝනත් ආවොත් ඔබත් කබලෙන් ලිපට……

මේ දිනවල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 රෝගය සම්බන්ධව අපි කවුරුත් පසුවන්නේ තරමක බියකින්. ඒ නිසාම නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් එයින් වැළකෙන්නට කවුරුත් උත්සාහ කරනවා. ක්ෂය රෝගයත් කොවිඩ් 19 මෙන්ම පෙනහලු ආශ්‍රිතවත් ඇති විය හැකි රෝග තත්ත්වයක් නිසා මේ පිළිබඳව සකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඒ නිසාම ක්ෂය රෝගය හා කොවිඩ් 19 නිසා ක්ෂය රෝගීන්ට ඇති බලපෑම ගැන අපි දැනුවත් වෙමු.

ක්ෂය රෝගය මෙන්ම කොවිඩ් 19 රෝගය කල් තියා හඳුනා ගැනීම සහ ඒ තුළින් රෝගය වළක්වා ගැනීමට පියවර ගැනීම වඩාත් වැදගත් වන්නේ රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන නිසාත්ය. 

වෛද්‍යතුමියනි, ක්ෂය රෝගය හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?

කොවිඩ් 19 රෝගයේදී මෙන්ම ක්ෂය රෝග හඳුනා ගැනීම සඳහාත් සිදුකරන්නේ PCR පරීක්ෂණයක්. ක්ෂය රෝගය සඳහා විශේෂිත වූ TB PCR පරීක්‍ෂණයක් එනම් GeneXpert නමින් හඳුන්වන පරීක්ෂණයක් සිදුකරනවා. එය ඉතාමත් මිලෙන් අධික පරීක්‍ෂණයක්. නමුත් රජය මගින් සියලුම ලය චිකිත්සාගාර ආශ‍්‍රිතව හා සමහර රෝහල් ආශ‍්‍රිතව මේ පරීක්‍ෂණය මුළු දිවයින පුරාම නොමිලේ ලබාදෙනවා. ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ ලිපියක් අවශ්‍ය නොවන අතරම ඕනෑම ලය චිකිත්සාගාරයක් මගින් පරීක්ෂණයට යොමු වීමට හැකියාව පවතිනවා. 

ප්‍රධාන වශයෙන්ම මේ TB PCR පරීක්‍ෂණය එහෙමත් නැත්නම් GeneXpert පරීක්‍ෂණය සිදු කරන්නේ සෙම සාම්පල මගින්. ඒ වගේම අනිකුත් තරල වලටත් සිදු කළ හැකියි. ඒ පරීක්‍ෂණය සහ පපුවේ X-ray පරීක්‍ෂණය  මූලිකවම සිදුකරනවා. ඒත් රෝගය ඇති වී ඇති ස්ථානය අවයව අනුව සාම්පල් ලබාගන්නා ස්ථාන වෙනස් විය හැකියි. සාමාන්‍යයෙන් කුද්දැටියක් ඉදිමීම වැනි අවස්ථාවකදී එහි ඇති තරලය ලබාගැනීම, මොළයේ මස්තිෂ්ක, සුෂුම්නා තරලය ආශ‍්‍රිතව ඇත්නම් එහි තරලය ලබා ගැනීම උදාහරණ විදියට දැක්විය හැකියි.  මෙතැනදී කොන්ද ආශ‍්‍රිතව ඇති වීම යම් අවදානම් සාධකයක් විය හැකියි. එවැනි අවස්ථාවලදී තරලය ලබාගැනීම ටිකක් අපහසු වුවත් එය ඉතාමත් ආරක්‍ෂිත ලෙස සිදු කරනවා. 

ක්‍ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වූවොත් ඇති වන තත්ත්වය කුමක්ද?

ඔව්, ඇත්තටම ක්‍ෂය රෝගියෙක්ටගේ සිරුරේ ප‍්‍රතිශක්තිකරණය ඉතාමත්ම අඩු මට්ටමක පවතින නිසා ඉක්මනින් කොරෝනා වෛරසය අසාදනය විය හැකියි. මේ කොරෝනා රෝගයත් ක්‍ෂය රෝගය වගේම පෙනහලු පටක ආශ‍්‍රිතව ඇති වෙන රෝගයක්. එය lung parenchyma නමින් හඳුන්වනවා. මේ රෝග දෙකේදිම බලපෑම් කරන්නේ පෙනහලු පටකයට. ක්‍ෂය රෝගියෙකුගේ පෙනහලුවල කැලැල්, කුහර වැනි දේ පවතින නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මෙන් පෙනහලුවල ශක්තිය නැහැ. එක්වරම මේ තත්ත්වය අඩු නොවුණත් නිසි ප්‍රතිකාර ගද්දී මේ තත්ත්වය අඩු වී යනවා. කොරෝනා වෛරසය ආසාදිත වූවෙක්ගේත් පෙනහලුවල ඔය ආකාරයේ කැලැල්/කුහර ඇති වෙනවා. ඒ නිසා කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇති වන ලක්ෂණ සහ සංකූලතා ටිකක් වැඩි වශයෙන් ක්‍ෂය රෝගින් තුළ දැකිය හැකියි. උදාහරණයක් විදියට ක්‍ෂය රෝගය ඇති අයෙකුට කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ස්වසන අපහසුතා වැඩි වශයෙන් දැකගත හැකියි. ඒ වගේම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය වුවත් ක්ෂය රෝගියෙකුට වැඩි සංකූලතා පෙන්නුම් කළ හැකියි. ඇතැම් විට මරණයෙන් පවා කෙළවර විය හැකියි. 

මේ විතරක් නෙවෙයි, ක්ෂය රෝගියෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වීම මගින් ද්විතියික බැක්ටීරියා ආසාදන තත්ත්වයක් (secondary bacterial infections) ඇති වීම මගින් වෙනත් ආසාදන තත්ත්වත් පෙනහලු තුළ ඇති විය හැකියි. අන්න ඒ නිසාම ඔබ ක්ෂය රෝගියෙක් නම් මෙවැනි වසංගත තත්ත්වයකදී ඉතාම පරිස්සම් විය යුතු බව සිහිතබාගන්න. 

කොරෝනා වෛරසය ආසාදනය වී උත්සන්න වන විට ඇතිවන ස්වසන අපහසුතා ක්ෂය රෝගය උත්සන්න වූ විටත් ඇති වෙනවාද?

ඔව්. නිසි ප්‍රතිකාර නොගැනීම නිසා ක්‍ෂය රෝගියෙක්ගේ පෙනහලුවලට හානි සිදු වෙනවා. ඒ තත්ත්වය උත්සන්න වූ විට ස්වසන අපහසුතා ඇති වෙනවා.

වෛද්‍යතුමියනි,ක්ෂය රෝගියෙන් කොරෝනා වෛරස ආසාදනයෙන් වැලකීමට කළ යුත්තේ මොනවාද?

  • ඔබ, සිරුරේ ප්‍රතිශක්තිය අඩු නිසා ඉතා ඉක්මනින් ආසාදිත වීමේ හැකියාවක් ඇති අතරම සියලුම සෞඛ්‍ය නීති රීතී අනුගමනය කිරීම අනිවා‍ර්යයි. 
  • ඔබ, ඖෂධ ලබාගන්නා රෝගියෙක් නම් එය අඛණ්ඩව ලබාගන්න. ඖෂධ ලබා ගැනීමට මොන යම් හෝ අපහසුතාවයක් ඇත්නම් දිස්ත‍්‍රික් ක්ෂය රෝග මර්දන වෛද්‍ය නිලධාරී තුමා සහ දිස්ක්‍රික් ලය චිකිත්සාගාරය අමතා ඖෂධ ලබා ගැනීමට යොමුවන්න 
  • ඔබ, කැස්ස අලුත් වන බවක් හෝ කොරෝනා ආසාදනය වූ ඇත්දැයි සැකයකින් සිටී නම් කල් නොයවා කොවිඩ් රෝගය සඳහා PCR පරීක්‍ෂණයකට හෝ අන්ටිජන් පරීක්ෂාවක් සඳහා ඉතා ඉක්මණින් රජයේ රෝහලකට යොමු වෙන්න.

අන්න ඒ නිසයි මම කිව්වේ ක්‍ෂය රෝගිය පිටට කොරෝනත් ආවොත් අපේ රෝගීන් කබලෙන් ලිපට කියලා. ඇත්තටම ක්‍ෂය රෝගය කියන්නේ නිට්ටාවට සුව කළ හැකි ඖෂධ තියෙන රෝගයක්. ඒත් කොවිඩ් 19 නිසි ඖෂධයක් තවම නැහැ. ඒ නිසා ඔබ ක්ෂය රෝගියෙක් නම් මේ වසංගත කාලය තුළ ඉතාමත්ම පරිස්සමින් සෞඛ්‍ය නීතිවල අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි. 

ඒ විතරක් නෙවෙයි, අවුරුදු 5 ට අඩු දරුවෙක්/ HIV ආසාදිතයෙක් හෝ වේවා රෝග නිවාරණ ඖෂධ මාත‍්‍රාවන් අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කළ යුතුමයි. 

කොවිඩ් 19 මෙන්ම ක්ෂය රෝගයටත් නිදන් ගත රෝග නිසා ඇතිවන සංකූලතා වැඩිද?

ඔව්.. සාමාන්‍යයෙන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අඩුවන දියවැඩියාව, වකුගඩු රෝග, HIV ආසාදනය, පිළිකා වැනි රෝගවලදී ක්‍ෂය රෝගය මතුවීමේ අවධානම වැඩි වගේම ඇති විය හැකි සංකූලතාත් වැඩියි. ඒ නිසා කළින්ම රෝගය හඳුනාගැනීම වැදගත්. එමගින් ක්ෂය රෝගය නිට්ටාවටම සුව කරගත හැකියි.

මේ දිනවල කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. ක්‍ෂය රෝගියෙක්ට මෙම එන්නත් ලබා දීම සුදුසුද?

ඇත්තටම කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ලබා දෙන එන්නත් ක්‍ෂය රෝගය තියන පුද්ගලයෙකුට ලබාගැනීමට බාධාවක් නෙවෙයි. පැහැදිලි ලෙසම නිදන් ගත රෝග දියවැඩියාව, අධි රුධිර පීඩනය වගේ සාමාන්‍ය තත්ත්වවලදීත් කොරෝනා එන්නත ලබාගන්න පුළුවන්. ඒ වගේම ක්‍ෂය රෝගය කියන්නේ තවත් එක් බැක්ටීරියාවකින් බෝ වෙන ලෙඩක්. ඒක නිසා ක්‍ෂය රෝගීන්ට ඒ එන්නත ලබාගන්න පුළුවන්. ඔවුන්ට විශේෂිත වූ ආසාත්මිකතාවයක් ඇත්නම් ඒ ගැන  එන්නත්කරණයේදී දැනුවත් කළ යුතුයි.  එවිට අදාල වෛද්‍යවරු අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සූදානමක් ඇතිව එන්නත සාමාන්‍ය නිරෝගි පුද්ගලයන්ට මෙන්ම ලබා දීම සිදු කරනවා. එහි කිසිම ගැටලුවක් නැහැ. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් වන්නේ තමා එන්නත ගත්තා කියලා කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන් මෙතෙක් පිළිපැදි සෞඛ්‍ය මාර්ගෝපදේශ එනම් මුඛ ආවරණ/දුරස්ථභාවය /නිතර අත් සේදීම වැනි පුරුදු අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි. 

ක්‍ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජේ. සේනානායක මහත්මිය