Home Blog Page 38

BCG එන්නත ලබා දුන් ස්ථානයේ කැලලක් හට නොගත්තොත් මොකද කරන්නේ?

BCG එන්නත සාමාන්යැයෙන් දරුවෙකු බිහිවී රෝහලෙන් පිටවීමට පෙර ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් මව්පියන්ට බොහොම ගැටලු තියෙනවා. එන්නත ලබා දුන් ස්ථානයේ කැලල නැති වීම, එන්නත ලබා දුන් පසු දරුවා අපහසුවෙන් පසු වීම වැනි තත්ත්වයන් මව්පියන් කලබලයට පත් කරනවා. අපි මේ ගැන දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

ක්ෂය රෝගය ගැබිනි මවකට වැළදුණොත් මොකද වෙන්නේ?

ගැබිනි කාන්තාවක් එහෙමත් නැත්නම් ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් වගේම කිරි දෙන මවක් රෝග තත්ත්ව ආරක්ෂා වීම බොහොම වැදගත්. මොකද එයාලා තවත් ජීවිතයක් සමග සම්පූර්ණයෙන්ම වගේ බැඳී පවතින නිසා. අම්මාගේ කුසේ ඉන්න දරු පැටියට හෝ කිරි බොන පුංචි පැටියට අම්මා ක්ෂය රෝගී තත්ත්වයට ගොදුරු වීම බලපාන්නේ කොයි විදියටද?

වෛද්‍ය R.J.M. අමාලි ජේ. සේනානායක සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන නාරාහේන්පිට

පුංචි දරුවන්ට ක්ෂය රෝගය වැළඳුණහොත් එය හඳුනාගන්නේ කොහොමද?

පුංචි දරුවෙක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති බව හඳුනා ගන්න තරම් මව්වරුන් වශයෙන් අපිට ඇති දැනුම අල්පයි. නමුත් නම් සැකයක් මතු වුවහොත් වෛද්‍ය උපදෙස් අනුව මේ තත්ත්වය යම් යම් පරීක්ෂණ මගින් හඳුනා ගැනීම සිදු කළ හැකියි.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

මොකක්ද මේ ADHD තත්ත්වය කියන්නේ?

“ඌන අවධාන හා අධික්‍රියාකාරී තත්ත්වය” හෙවත්  Attention Deficit Hyperactive Disorder (ADHD) යනු ස්නානු  සංවර්ධනය (neurodevelopment)  හා බැඳී පවතින සුවිශේෂී තත්ත්වයකි. මේ දරුවා ගේ කුඩා කාලයේ දී හඳුනා ගැනීම ට හැකියාව පවතී. ADHD තත්ත්වය හඳුනා ගැනීම ට හැකි සුවිශේෂී ලක්ෂණ ලෙස අවධානය දීමේ අපහසුතාවය, සිතීමෙන් තොරව ක්‍රියාත්මක වීම හා අධි ක්‍රියාකාරී බව හදුන්වා දිය හැකි ය.

කුඩා කාලයේදී දරුවන් තුළ පවතින සාමාන්‍ය දඟකාරකම මෙම තත්ත්වයෙන් වෙනස් වේ. සෑම දරුවෙකු ම කුඩා කාලයේ දී ක්‍රියාශීලී වීම අත්‍යවශ්‍ය වන අතර එය ඔවුන්ගේ වර්ධන අවදියෙන් පසු කර යාම ට අත්‍යවශ්‍ය වේ. නමුත් සාමාන්‍ය දඟකාරකමින් එහා ගිය තත්වයක් ලෙස ම ADHD තත්ත්වයන් හදුනා ගත හැකිය.

තවද ඇතැම් විට ඇතැම් ක්‍රියාකාරකම් සඳහා අවධානය නො දීම සාමාන්‍ය තත්වයක් විය හැකිය.  නමුත් ADHD තත්ත්වය සහිත දරුවකුගේ මෙම ලක්ෂණය වර්ධනය වීම හා එම ලක්ෂණ හේතු කර ගෙන දෛනික ක්‍රියාකාරකම් එනම් නිවසේ,  පාසලේ, තම යහළුවන් හා සමාජය සමග මුසු වීමේ දී තවදුරටත් ගැටලු ඇති කරනු ලබයි. 

ADHD තත්වය සහිත දරුවෙකු තුළ දැක ගත හැකි ලක්ෂණ:

  • ශාරීරික ව යම් ක්‍රියාකාරකමක යෙදී සිටිය ද මානසිකව වෙන යම් දෙයක් ගැන සිතමින් හෝ සිහින මවමින් සිටීම (day dreamer) 
  • නිතර අමතක වීම හෝ දේවල් නැති කර ගැනීම 
  • අධික ලෙස කතා කිරීම හෝ භාෂා භාවිතයේ ගැටලු 
  • නිතර නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හා අවදානම් සහිත ක්‍රියාකාරකම් වල අවධානය වන නොතකා කටයුතු කිරීම 
  • තමන්ගේ වාරය ලැබෙන තුරු රැඳී සිටීම ට අපහසු වීම 
  • යම් ක්‍රියාකාරකමක් සඳහා එල්බගත් අවධානය දීම අපහසු වීම 
  • සමාජයේ හෝ අවට සිටින පිරිස් සමග සමාජානුයෝජනය වීම අපහසු වීම ප්‍රධාන ලක්ෂණ ලෙස අතර වේ.

තවද ADHD තත්වයේ ලක්ෂණ පදනම් කරගෙන කාණ්ඩ තුනකට බෙදනු ලබන අතර එම කාණ්ඩ දරුවා පෙන්නුම් කරන ලක්ෂණ අනුව වෙන් කරනු ලබයි.

ADHD තත්වය ඇති වීමට බලපාන හේතු:

ADHD තත්ත්වය ඇති වීමට බලපාන හේතු හා අවදානම් සාධක පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කර ඇති අතර එහි ප්‍රධාන එක් අරමුණක් වන්නේ දරුවන් තුළ ADHD තත්ත්වය ඇති වීම ට ඇති හැකියාව පාලනය කිරීමයි. මෙම තත්ත්වය සඳහා බලපාන එක් සාධකයක් තවමත් නිශ්චිතව සොයා ගෙන නොමැති අතර ඇතැම් ජානමය ලක්ෂණ බලපාන බවට විශ්වාස කරනු ලබයි. ජානමය ලක්ෂණ වලට අමතරව ADHD තත්ත්වය ඇතිවීමට හේතු විය හැකි අවදානම් සාධක ද පර්යේෂණ වලින් හඳුනා ගෙන ඇත. ඒ අතර, 

  • මොළයට සිදුවන හානි 
  • මව ගර්භණී සමයේ මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතා කිරීම 
  • දරුවා අඩු මාසයෙන් ඉපදීම 
  • උපත් බර අඩු වීම 
  • පාරිසරික සාධක හඳුන්වා දිය හැකි ය. 

තව ද මේ හා බැඳී පවතින හේතු ලෙස ඇතැමුන් පෙන්වා දෙන දුප්පත්කම, නරක දෙමව්පිය රැකවරණය, නිතර අධික ලෙස සීනි ආහාරයට ගැනීම ආදී දේ පර්යේෂණ මගින් තහවුරු නොකරන අතර ඇත්තට ම ADHD තත්ත්වය පවතින දරුවාගේ තත්වය අවම වීමට හා වැඩි වීමට ඉහත ලක්ෂණ බලපෑ හැකි බවට පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

ADHD තත්ත්වය ඔබේ දරුවා ටත් තිබේ දැයි විනිශ්චය කර ගනු ලබන්නේ කෙසේද? 

බොහෝ දෙමවුපියන් තම දරුවා ගේ අධික දඟකාරකම ADHD තත්ත්වය යැයි සිතන අවස්ථා හා ඇත්තටම ඒ දරුවා හට ADHD තත්ත්වය පවතින අවස්ථාවල එය සාමාන්‍ය දඟකාරකමක් යැයි සිතන අවස්ථා සුලබව දැක ගත හැකි ය. වඩා වැදගත් වන්නේ ඒ පිළිබඳ දැනුවත් වීම හා අදාළ වෛද්‍යවරයකු වෙත යොමු වීමයි. ADHD තත්ත්වය හඳුනා ගැනීම ට කිසියම් හෝ පරීක්ෂණයක් තවමත් නොමැති අතර ළමා රෝග වෛද්‍යවරුන් විසින් මෙම තත්වය සමග බැඳී ති පවතින කරුණු නිරීක්ෂණය කර තක්සේරුකරණයක් සිදු කිරීමෙන් අනතුරුව ADHD තත්ත්වය පවතිනවා ද නැද්ද යන්න විනිශ්චය කරනු ලබයි. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දරුවෙකු ට “ඇසට ඇස බැලීම” (Eye contact) වැදගත් වන්නේ ඇයි ?

දරුවාගේ පූර්ණ වර්ධනය සෑම දෙමව්පියෙකුගේ ම සිහිනයකි. වර්තමානයේ බොහෝ දෙමව්පියන් “ඇසට ඇස බැලීම”  (Eye contact)  පිළිබඳව දැනුවත්ව සිටිනුයේ ඔටිසම් තත්වය පිළිබඳ ඇති දැනුවත් භාවයත්  සමඟයි. පූර්ණ වර්ධනය උදෙසා ඇසට ඇස බැලීම  සෑම දරුවෙකුට ම වැදගත් වන බව වර්තමානයේ පිළිගන්නා මතයයි. 

සන්නිවේදනය නිතරම ද්වි පාර්ශවීය වේ…

එම පාර්ශවය දෙක සන්නිවේදනයේ දී පුද්ගලයන් දෙදෙනකු යැයි සිතමු. එම පුද්ගලයන් දෙදෙනා එකිනෙකාට කතා කරන විට ඔවුන් එකිනෙකාගේ ඇස් දෙස බලමින් සන්නිවේදනය යෙදෙමින් වාචික මෙන්ම අවාචික සන්නිවේදනය ද සිදු කරනු ලබයි.  මෙය සරලව ම ඇසට ඇස බැලීම ලෙස හඳුන්වා දිය හැකිය. 

ඇසට බැලීම ඉතා වැදගත් වන්නේ කුඩා අවධියේදි මවුපියන්ට තම දරුවා සමඟ සන්නිවේදනය කිරීමටයි. දරුවා හට ශාරීරික, මානසික හා සමාජයීය වශයෙන් දුර්වලතා ඇත්නම් ඇස් බලා සන්නිවේදනය කිරීමේ අපහසුතා තිබිය හැකි ය. තවද දෘශ්‍ය ආබාධ තත්ත්වයක් නිසා ඇති වන ඇසට ඇස නොබැලීමෙන් වෙනස් වන බව කිව යුතුමය. 

දරුවන් බොහෝ දේ ඉගෙන ගනු ලබන්නේ, ග්‍රහණය කර ගනු ලබන්නේ තම දෘශ්‍ය සංවේදන උපයෝගී කර ගනිමිනි. ඔවුන් බොහෝ දේ දැකීම තුළින් ඊට අවශ්‍ය තොරතුරු රැස් කර ගනිති.  තවද ඇස ට ඇස බැලිම වැදගත් වන්නේ දරුවා කුඩා කාලයේ දී තම මව සමග සන්නිවේදනය කිරීම සිදුවන්නේ මේ හරහා වීම නිසාවෙනි. ඉතා කුඩා කාලයේ පටන් වර්ධනය වන මෙම කුසලතාවය දරුවන්ගේ මනා භාෂා වර්ධනයත් සමාජ සංවේදී භාෂා භාවිතයටත් මනා රුකුලක් වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. 

වර්තමානයේ දරුවන් ඇසට ඇස බැලීම වර්ධනය අඩාල කරණ කරුණු ද පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. 

ඒ අතර,  දරුවා හට කුඩා අවධියේ ම ජංගම දුරකථන, ටැබ් පරිගණක ආදිය ලබා දීම තුළින් දරුවා  සමාජානුයෝජනය  අඩු වීම හා සමාජ සම්බන්ධතා පදනම් කරගත් භාෂාවක් භාවිතා නොකිරීම දැකගත හැකි වන අතර එම නිසා දරුවා සන්නිවේදනය කරන විට ඇසට ඇස බැලීමේ කුසලතා ද අවම වන බව සොයාගෙන ඇත.  ඊට හේතුව වන්නේ දරුවා නොකඩවා තම අවධානය හා ඇස් මට්ටම ජංගම දුරකථන තිරයට ලබාදීම දීමයි. එමගින් ඔබ දරුවාට කතා කළ ද ඔබගේ දරුවා ජංගම දුරකථන තිරය දෙස බලමින් ඔබ සමග සන්නිවේදනය කිරීම හා ඔබගේ ඇස් දෙස බලමින් සන්නිවේදනය නොකිරීම හරහා මනා සමාජ අන්තර් පුද්ගල සන්නිවේදනය සිදු නොවන බව ට හඳුනාගෙන ඇත. 

මෙම තත්ත්වය දෘෂ්‍යාබාධ තත්ත්වයක් දැයි බොහෝ දෙමව්පියන් අසන වාර දැක ගත හැකිය. සරලව ම ප්‍රකාශ කළ හැක්කේ දෘශ්‍ය ඉන්දීය අපහසුතා නොමැතිව ඇසට ඇස බැලීමේ අඩු කම දෘශ්‍යාබාධිත තත්ත්වයක් නොවන බවයි. නමුත් දෘශ්‍යාබාධිත තත්ත්වයක් හෝ යම්කිසි සුවිශේෂී තත්ත්ව එනම් ඔටිසම් වැනි තත්ත්ව නිසා ද ඇසට ඇස බැලීම අවම වීම දැකගත හැක. 

ඇසට ඇස බැලීම අවම වීම දරුවා වැඩෙත් ම දරුවාගේ පෞරුෂ වර්ධනයට බලපාන්නේ කෙසේද? 

වැඩෙන දරුවාගේ පෞරුෂ වර්ධනය මෙම කුසලතාව ඉතා වැදගත් වේ. මන්ද, 

  • පිරිසක් ඉදිරියේ කතා කිරීම ට 
  • සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීමට 
  • යම් ඉදිරිපත් කිරීම සාර්ථක ලෙස ඉදිරිපත් කිරීමට (presentation skills) 
  • තමා ඉදිරිපත් කරන තොරතුරු ග්‍රාහකයන්ට අවබෝධ කිරීමට 
  • ග්‍රාහකයාගේ විශ්වාසය තහවුරු කර ගැනීමට 
  • අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කර ගැනීම ට 
  • සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දීමට 
  • තමන් කතා කරන තොරතුරු පිළිබඳ අසන්නා ට විශ්වාසය ගොඩ නගා ගැනීමට  
  • සන්නිවේදනය කරන අතරතුර මුහුණෙන් ප්‍රකාශ වන අවාචික සන්නිවේදන ඉරියව් තේරුම් ගැනීමට ආදී බොහෝ කාරණා වලදී දරුවාට ඇසට ඇස බැලීම ඉතා වැදගත් වේ.

එම නිසා කුඩා කාලයේ සිට දරුවාගේ මුහුණ දෙස බලමින් කතා කිරීම, peek a boo සෙල්ලම් කිරීම, ජංගම දුරකථන තිර වලින් ඉවත් කරමින් මුහුණ දෙස බලමින් සන්නිවේදනය කිරීම හා නිතර දරුවා අනිකුත් පුද්ගලයන් සමඟ සන්නිවේදනය ට යොමු කිරීම වැනි දේ තුළින් දරුවාගේ ඇසට ඇස බැඳීම ගැටලුවකින් තොරව වර්ධනය කර ගැනීම ට ඔබට හැකියාව ඇත. 

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

අපේ පුතුට නංගියෙක්…ගේනවා..

පවුලක් වුනාම දරුවෝ දෙතුන් දෙනෙක් වුනොත් බොහොම ආලෝකයක් ලැබෙනවා. ඒ නිසාම දෙමව්පියන් තම කැදැල්ලට තවත් අමුත්තෙක් බලාපොරොත්තු වෙනවා. කාලයත් සමග ඒ සුබ ආරංචිය ලැබෙනවා. ඉතින්..තවත් ගැටලුවක් ඇති වෙනවා..

අම්මාට දැන් ටිකක් අපහසුයි…

කුළුදුලේ දරුවා ලැබෙද්දී නම් අම්මාට එතරම් ගැටලුවක් වුනේ නැහැ. දැන් පුංචි පුතෙක් හෝ දුවෙක් ඉන්න නිසා එයාගේ වැඩ කටයුතුත් සමග කාලය ගෙවන්නත් ඕන. මුල් කාලයේදී ඇති වෙන ශාරිරික අපහසුතාවයන් නිසා තමන් මෙච්චර කාලයක්ම දැඩි ආදරයෙන් සහ අවධානයෙන් සිටි දරුවා ගැන පුංචි හෝ අතපසුවීම් ඇති වෙනවා. මේ තත්වය දැන් පැටියාට ගැටලුවක්.දරුවාත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අම්මාටත් ඒ තත්වය ටිකක් අපහසුයි. 

අම්මාට කරදර කරන්න එපා…

ඔන්න දැන් හැම තැනින්ම පැටියාට ලැබෙන පණිවිඩය ඒකයි.මම නිවස තුළම ප්‍රතික්ෂෙප වෙලා කියන සිතුවිල්ල දරුවාට ලැබෙනවා. ඒ නිසා දෙවැනි දරුවා ලැබෙන පණිවිඩය ලැබුනාම පුංචි අමුත්තෙක් නිවසට එන බව වැඩිමහල් දරුවාට බොහොම ආදරයෙන් සහ ප්‍රවේසමෙන් කියා දෙන්න.ඔබ දරුවාට ලබා දෙන පණිවිඩය අනුව තමන්ගේ ප්‍රතිචාර දරුවා ගොඩ නගා ගන්නවා.

දරුවාගේ හිතේ ඊර්ශ්‍යාව ඇති වෙන්නේ ඇයි..?

දරුවන්ගේ හිත් බොහොම සංවේදියි. ඔවුන්ට හැම දෙයක් දෙසම සාධාරණ ඇසකින් බලන්න බැහැ. ඒ නිසා පවුල තුළ අලුත් අමුත්තෙකුගේ ආගමනය ඉතා දැඩි විදිහට බලපාන මානසික තත්වයක් වෙන්න ඉඩ තිබෙනවා.

  • මෙතෙක් දෙමව්පියන්ගේ පැවැති ආදරය සහ අවධානය අඩු වීම.
  • සෙල්ලම් බඩු බෙදා ගැනීමේදී තමන්ට අසාධාරණයක් වෙතැයි වූ සිතුවිල්ල
  • ”ඔයා දැන් ලොකුයි..” කියමින් බාල දරුවාට වැඩි අවධානයක් දැක්වීම

නිවස තුළ ඇති වෙන මේ පරිසරය නිසා වැඩිමහල් දරුවා බෙහෙවින් මානසික පසුබැසීමකට පත් වෙනවා. එය දරුවෙකු සම්බන්ධයෙන් එතරම් ගැලපෙන තත්වයක් නොවෙයි.

දරුවාගේ මානසික තත්වය ගැන දැන ගන්නේ කොහොමද..?

  • ඉස්සර වගේ නොවෙයි, දැන් අපේ ලොකු පුතාට හරියට කේන්ති යනවා..
  • ගිහින් සෙල්ලම් කරන්න…ඇයි මේ පැත්තකට වෙලා.
  • දැන් කී සැරයක් කිව්වද..? ඇවිත් බත් කන්න.
  • ඔලුව රිදෙනවා…බඩ රිදෙනවා…හැමදාම ‍එක එක ලෙඩ..

ඔන්න ඔය විදිහට වැඩිමහල් දරුවා විවිධ හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය කරන්න පුලුවනි. ඒ සේරමටත් වඩා දැඩි ගැටුමක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා. බාල දරුවාට රහසේම හිරිහැර කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ මානසික තත්වය සමග දෙමව්පියන් බොහොම ප්‍රවේසමෙන් කටයුතු කරන්න අවශ්‍යයි.

ඉතින්..වැඩිමිහල් දරුවාටගේ හිත නොරිදෙන විදිහට අලුත් අමුත්තා පිලිගන්නේ කොහොමද..?

පුතාට නංගියෙක් ගේන්නයි යන්නේ…

ඔන්න අම්මා පුතාට නංගියෙක් ගේන්නයි යන්නේ..අම්මාගේ බන්ඩියේ දැන් නංගියෙක් ඉන්නවා. පුතා කැමැතියි නේද..? එතකොට පුතාට සෙල්ලම් කරන්න පුලුවනි..පුතා අයියා කෙනෙක් වුනාම නංඟියාව හොදට බලාගන්න ඕන.. නංඟිත් ඔයාට ආදරෙයි නේ..

මේ අන්දමින් දරුවාගේ මානසිකත්වය අලුත් අමුත්තා පිලිගන්නා ලෙසින් සූදානම් කිරීම ඉතාම වැදගත්.

එසේ නොමැතිව නිතරම දරුවා ප්‍රතික්ෂෙප වන අන්දමින් කටයුතු කරත්ම ඔහු අම්මා විසින් අනාගතයේදී කැදවා ගෙන එන අලුත් නංඟියා හෝ මල්ලියා ගැන සිතේ අමනාපයක් අද දවසේ පටන්ම ගොඩ නගා ගන්නවා.

වැඩිමහල් දරුවාටත් අවධානය දෙන්න..

දෙවැනි දරුවාගේ ප්‍රසුතිය වෙනුවෙන් සූදානමින් සිටින දෙමව්පියන් වැඩිමහල් දරුවාටත් හැකි අන්දමින් අවදානය ලබා දෙන්න.මෙතෙක් පවුලේ රජා ලෙසින් සිටි ඔහු දැන් නොදැනීම අවතැන් වුනොත් එය දරුවාට දැඩි මානසික ප්‍රශ්නයක් විය හැකියි.ඒ නිසා වෙනදා මෙන් නොහැකි වුනත් ඉඩ ලද සෑම විටම අවදානය, ආදරය දක්වමින් ඔහු පවුලේ වැදගත් චරිතයක්ය යන ශක්තිය ගොඩ නගා ගැනීමට හැකි ලෙසින් පවුලේ වටපිටාව සූදානම් කරන්න.

අළුත් අමුත්තා පැමිණි විට..

අලුත් අමුත්තාගේ පැමිනීමත් සමග නිවසේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට පටන් ගන්නවා. වෙනදා නොමැති කලබලයක් වගේම අලුත් පැටියා බලන්න එන නැදෑ හිත මිතුරන් සමග නිවසේ පැවැති පරිසරය සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා. මේ වෙනස තුළ වැඩිමහල් දරුවා අවතැන් නොවන සේ කටයුතු කිරීම ඉතාම වැදගත්.අළුත් දරුවාට තෑගි බෝග ලැබෙන විට එය යම් අන්දමකින් වඩිමහල් දරුවාගේ හිතට දැනෙන්න පුලුවනි.ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබ වැඩිමහල් දරුවාගේ හිතේ ඊර්ශ්‍යාවක් ගොඩ නැගෙන්නට ඉඩ නොමැති ලෙසින් නිවස සූදානම් කරන්න.ඒ නිසා බාල දරුවාට තෑග්ගක් දෙන විට ඒ නිවසේ වැඩිමහල් දරුවෙකු සිටිනවා නම් පුංචි හෝ යමක් ඔහුටත් ලබා දීම වඩාත් සුදුසුයි.

වෙනදා තාත්තා එන තෙක් මග බලා සිටි වැඩිමහල් දරුවා ගෙන තවමත් ඔබේ අවධානය ලබා දෙන්න.මුලින්ම ඔහු සිප සනසන්න. නංගි හෝ මල්ලි ගන තොරතුරු ඔහුගෙන් විමසන්න.

මල්ලි කිරි බිව්වද..? මල්ලි අද ඇඬුවද..? ඔයා මල්ලි බලා ගත්තද..? මේ විදිහට යම් වගකීමක් ලබා දුන් විට තමාත් මේ පවුලේ වැදගත් චරිතයක් බැව් වැඩිමහල් දරුවා විසින් තේරුම් ගනු ඇත.

බාල දරුවාගේ වැඩ කටයුතුවලට සහය කර ගන්න

බොහෝ දෙමව්පියන් බාල දරුවාගේ වැඩ කටයුතුවලදී වැඩිමහල් දරුවාගේ සහයෝගය ලබා ගන්නේ නැහැ. සමහර විට එයින් එක වැඩය දෙගුණයක් බවට පත් වෙන්නත් පුලුවනි. නමුත් නිතරම එපා..එපා…කියනවාට වඩා පුතා නංගිගේ රෙදි ටික ගෙට ගේන්න… නංගාට අන්දවන්න ලස්සන ගවුමක් පුතු තෝරලා දෙන්න..

මෙවැනි පුංචි පුංචි කටයුතු පැවරීම සමග අලුත් අමුත්තා සමග තමාද ගනුදෙණු කරන බැව් ඒත්තු ගැනුනොත් පුංචි වුනත් මටත් නිවසේ යම් වගකිමක් තිබෙන වැදගත් චරිතයක් බැව් වැඩිමහල් දරුවා විසින් තේරුම් ගනු ඇති.

ඒ නිසා අලුත් අමුත්තෙකුගේ පැමිනීමත් සමග තිබෙන මාස ගණනාව පුරා ඔබට වැඩිමහල් දරුවාගේ මානසිකත්වය ඉතාම යහපත් අන්දමින් ගොඩ නගන්න පුලුවනි.කිසිම දිනක ”ඔයා දැන් ලොකුයි..දැන් අපට නංගියෙක් ඉන්නවා..ඔයා දගයි..ඔයා අපට දැන් වැඩැක් නැහැ…නංගා හොදයි..යනුවෙන් විවිධ අන්දමින් ඔබේ වැඩිමහල් දරු පැටියා අවතැන් කරන්න එපා. ඔබ නොදැන සිදු කරන මේ තත්වය නිසා වැඩිමහල් දරුවා නොදැනීම තමාගේ සහෝදරයා සමග විරසකබවක් හිතෙන් ගොඩ නගා ගැනීම අනාගතයේදී සහෝදරත්වයට පවා බලපාන තත්වයක්..ඒ නිසා අලුත් අමුත්තා පිලිගන්නා මානසිකත්වය දරු පැටියාගේ මානසිකත්වයේ ගොඩ නගන්න.

 

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ගේ වගීකීම මව්පියන්ට විතරක්ද?

තමන්ගේ පුංචි දරු පැටියට ඕටිසම් කියලා කිව්වොත් අම්මා තාත්තා හැටියට ඔබ විතරක් නෙවෙයි මමත් පිළිගන්න එකක් නැහැ. එක් වෛද්‍යවරයෙක්ගෙන් තවත් වෛද්‍යවරයෙක් වෙතට එතැනින් තවත් තැනකට එතැනින් පන්සල් පල්ලි දේවාලවලට දරුවා රැගෙන යන්න අම්මා තාත්තා කෙනෙක් පෙළඹෙනවා නම් ඒ ඇත්තටම දරුවාගේ තත්ත්වය ගැන නිවැරදි අබෝධයක් නොමැතිකම නිසා විතරක්ම නෙවෙයි මේ තත්ත්වය පිළිගැනීමට හිතේ තියෙන අකමැත්ත, විශ්වාස කළ නොහැකිකම කියන හේතු නිසයි. ඇත්තටම දෙමාපිය යුවළකට මෙවැනි තත්ත්වයකට එක්වරම මුහුණ දීම අසීරුයි. ඒත් අපි කවුරුත් ජීවිතය තුළ අපට හිමි වන සියලුම දේට මුහුණ දිය යුතුමයි. 

ඒ අතරේම ඕටිසම් තත්ත්වයේදී දරුවා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම නිසා ඇතැම් දෙමාපියන් මෙය මානසික රෝග තත්ත්වයක් විදියට දකින්නත් පෙළඹෙනවා. ඔටිසම් කියන්නේ ස්නායු සම්බන්ධ තත්ත්වයක් මිස මානසික රෝග තත්ත්වයක් නොවන බව අප පළමුව වටහා ගත යුතු කරුණක්. ඔටිසම් තත්ත්වය ඇති වූ දරුවෙකුට ප්‍රතිකාර කිරීමේදී බහුවිද කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය වන අතරම ඒ අතර මනෝවෛද්‍යවරයෙකුගේ කාර්යභාරයත් අත්‍යවශ්‍ය වෙනවා. 

දරුවෙක් ඕටිසම් තත්ත්වයට පත්ව ඇත්ද යන්න හඳුනා ගැනීමේ සිට පසු විපරම දක්වාම මනෝ වෛද්‍යවරයෙකුගේ සේවාව අත්‍යවශ්‍යයි. ඕටිසම් තත්ත්වය හා අනෙකුත් චර්යා නිසි සේ අධ්‍යයනය කොට හෝ ස්නායු ආබාධ වලින් වෙන්කරලා හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදී මනෝ වෛද්‍යවරයෙකුට සුවිශාල වී කාර්යභාරයක් පැවරෙනවා. දරුවා නිවසේදී, පාසැලේදී මෙන්ම සමාජයේදීත් හැසිරෙන ආකාරය පිළිබඳව නිවැරදිව තක්සේරු කොට නිවැරදිම තීරණය ගැනීම සඳහා මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගය අත්‍යවශ්‍යයි. දරුවෙකුට මෙවැනි තත්ත්වයක් ඇති බව හොඳින් නිරීක්ෂණය නොකොට තීරණය කළ හොත් ඒ දරුවාගේ ජීවිතය මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේද ජීවිත අසරණ තත්ත්වයට පත්වනවා. බහුවිද කාර්ය මණ්ඩලයට සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙකු ඇතුළත් වීම හරහා දරුවාට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ක්‍රම සැලසුම් කිරීම, චර්යාවන් හැඩගැස්ස වීම, අධ්‍යාපනය ලබා දීම හා සම්බන්ධව අවශ්‍ය උපදෙස් හිමිවෙනවා.

මේ තත්ත්වයේදී මනෝ වෛද්‍ය උපදෙස් වැදගත් වන්නේ දරුවාට විතරද?

නැහැ.. ඒ උපදෙස් මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින ඕනෑම මවකට පියෙකුට අවශ්‍ය වෙනවා. මොකද දරුවාට මෙවැනි තත්ත්වයක් ඇති බව කන වැකෙන පළමු අවස්ථාවේදී ඕනෑම මාපිය යුවළකගේ සිත සසල වෙනවා. ඔවුන් ඒක කිසිසේත්ම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඔවුන් මානසිකව පහළට ඇද වැටෙනවා. මොකද මේ ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් නිසා. එවිට ඔවුන් තවත් වෛද්‍යවරුන් පසු පස යන්න, වෙදහෙදකම් කරන්න, පන්සල් දේවාල වෙත යන්න පෙළඹෙනවා. ඒවා සාර්ථක පිළියම් විදියට දකින්න බෑ වගේම දරුවාගේ ප්‍රතිකාර ආරම්භ කරන්න මේ හේතු නිසා තවත් කල් ගත වෙනවා. මෙවැනි තත්ත්ව මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් දරුවා සාමාන්‍ය ජීවිතයට හුරුකරවීමට යම් පහසුවක් ලැබෙනවා. මෙන්න මෙතැනදී මව්පියන්ට මනෝ වෛද්‍ය සහය උපරිමයෙන්ම අවශ්‍ය වෙනවා.

මෙවැනි තත්ත්වයකදී මාපියන් හැසිරිය යුත්තේ කෙසේද?

මාපියන් දරුවෝ සම්බන්ධව සංවේදියි. මෙවැනි තත්ත්වයකදී ඒ නිසාම ඔවුන් කලබලකාරීයි. නොසන්සුන්. ආවේගශීලීයි. ඒත් ඔටිසම් තත්ත්වයේ සිටින මව්පියන් වශයෙන් ඔවුන් ඉතාම ශක්තිමත්ව මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. එසේ නොවුණහොත් දරුවා පත්වන්නේ ඉතාම අසරණ තත්ත්වයකට. මෙවැනි දරුවෙකුට සන්සුන්ව කාලය ගත කරන්න මව්පියන් සහය විය යුතුය. මාපියන් වන අපිට, අපිව පාලනය කරගත නොහැකි වූවොත් මේ ගැටලුව විසඳා ගැනීමට තියෙන අවස්ථාවන් ගිලිහී යා හැකියි. ඒ වගේම අම්මාගේ වරදින් මේක වුණා තාත්තාගේ වරදින් තමයි මේක වුණේ කියමින් එකිනෙකා මත වරද පටවා ගැනීම කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද මේ තත්ත්වය ස්නායු සම්බන්ධ ගැටලුවක්. ඒ වෙනුවෙන් කිසිවෙක් වගකිව යුතු වෙන්නේ නැහැ. ඇත්තටම ඔටිසම් දරුවෙකුගේ මව්පියන් විදියට ඒ දෙන්නා එක් පැත්තක සහයෝගීව සිටීම බොහොම වැදගත්. මේක අභියෝගයක්. මේ වගේ සුවිශාල අභියෝගයත් සොබාදහමෙන් වුණත් ලබා දෙන්නේ ශක්තිමත් අයෙක්ට කියලා අපි හිතන්න ඕනේ. ඒ නිසා අභියෝගය බාරගත යුතුමයි. අතීතයේදී මෙවැනි තත්ත්වයකදී සැවොම අසරණ වුවත් අද වන විට ඇති පහසුකම් වගේම සුදුසුකම් සපිරි වෘත්තිකයන් නිසා එවැනි තත්ත්වයන්ට පත්වන්නේ නැහැ. මෙවැනි දරුවන් ජීවිතයට මුහුණ දීමට සුදුසු තත්ත්වයට පත්කර ගනිමින් අභියෝගය ජයගත් ධෛර්යවන්ත මව්පියන්ගේ ඉතා සුන්දර කතා බොහොමයක් තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ කැපවීම, සාර්ථකත්වය සහ සිය දරුවාගේ දියුණුව දැක ඉතා සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.

මෙවැනි දරුවෙක් සිටින පවුලක අනෙක් දරුවන් කළමනාකරණය කළ යුත්තේ කොයි ආකාරයෙන්ද?

මේ තත්ත්වය අනෙක් දරුවන්ගේ වයස අනුව වෙනස් වෙනවා. දරුවාගේ වයසට ගැලපෙන අයුරින් අවබෝධ කරවීම සිදුකළ යුතුයි. අනෙක් දරුවන් මේ තත්ත්වයේ දරුවාට සහයෝගය ලබා දීමට හුරු කළ යුතුයි. සමහර දරුවෝ ඉන්නවා මේ වගේ දරුවන්ව බුලී කරන, නමුත් එවැනි තත්ත්වයන් නිවස තුළ ඇති වීම වැළැක්විය යුතුයි. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සිටිද්දී දෙමාපියන්ට පවුලේ අනිත් දරුවන් මඟඇරෙන්න පුළුවන්. ඒ දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. තම සහෝදරයා පිළිබඳව වගකීමක් තමාටත් ඇති බව වයසට අනුව අනෙක් දරුවන්ට වටහා දිය යුතුයි. මේ කාර්යයේදී ඒ සඳහා ඔවුන්වද සම්බන්ධ කර ගැනීම මගින් ඔවුන් මඟ හැරීමද අවම කරගත හැකියි. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති සහෝදරයෙකු හෝ සහෝදරියක සිටීම ලැජ්ජා විය යුතු කරුණක් නොවන බවත් ඔහු/ඇය නිසි ප්‍රතිකාර ක්‍රම හමුවේ සුව අතට හැරී ජීවිතයට මුහුණ දෙන බවත් වටහා දීම වැදගත් වේ. සමාජය දකින විදිය වෙනස් වුණත් ලැජ්ජාවට පත්විය යුතු නැති බව වටහා දිය යුතුය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු දෙස සමාජය දකින විදිය වෙනස් කළ නොහැකිද?

සමාජයට විශාල වගකීමක් තියෙනවා. ඒත් ඒ වගකීම හැම පුද්ගලයෙක් අතින්ම හරියටම ඉටු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගම්බද මිනිසුන් මෙවැනි දරුවෙක් දකින ආකාරයත් නගරබද මිනිසුන් දකින ආකාරයත් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා මේ තත්ත්වයේ දරුවෙකු අතහරින්න බැහැ. අන්න ඒකයි අභියෝගය කියන්නේ. මෙවැනි දරුවෙක් නිසා පොදු ස්ථානයකදී යම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. දරුවාගේ මව/පියා/භාරකරුට දොස් පවරන්න පුළුවන්. ඒත් සමාජය විදියට අප කළ යුතුතේ එය නෙවෙයි. සහයෝගයක් දෙන්න බැරි නම් අඩුම තරමේ මෙවැනි තත්ත්වයක් ඉවසීමෙන් දරා ගැනීමට අපේ සමාජය කටයුතු කළ යුතුයි. ඒත් එහෙම නොවුණා කියලා මෙවැනි දරුවෙකුගේ මව්පියන් දරුවා සායන වෙත රැගෙන යාම නතර කරලා නිවසටම කොටු කළ යුතු නැහැ. එහෙම යම් දරුවෙකුට සිදු වෙනවා නම් ඒක වෙන්නේ සමාජයේ වරදින්. හැම නිතරම සාමාජය විදියට අපි හිතන්න ඕනේ මේ තමන්ගේම දරුවා වුණා නම් කියන සිතුවිල්ලෙන්. ඒ කොහොම වුණත් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සිටින මව්පියන්ට සමාජය තුළින් මේ යුතුකම් ඉටු වේවි කියා බලාපොරොත්තු වෙන්න අපහසුයි. ඒ නිසා ඔබ සිතිය යුතු‍ වන්නේ මේ ඔබේ දරුවා, ඔබ වෙහෙසෙන්නේ ඒ දරුවා සාමාන්‍ය තත්ත්වයට හුරු කර ගැනීමට. වටපිටාවෙන් එන නින්දා අපහාසවලින් නොසැලී බොහොම ශක්තිසම්පන්නව දරුවා වෙනුවෙන් මව්පියන් පෙනී සිටීමයි.

ඔබේ දරුවා පාසැලේදී අපහසුතාවයට පත් වූවොත්,

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඔවුන්ටම විශේෂ වූ පාසැල්වල ඉගෙනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. නමුත් අපේ රටේ එවැනි දරුවන් සාමාන්‍ය පාසැල්වලත් සිටිනවා. එතැනදී ගුරුවරයාට විශාල වගකීම් පැවරෙනවා. පන්තියේ අනෙක් දරුවන්ගෙන් මේ දරුවාට හානිකර තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ගුරුවරයාගේ වගීමක්. ඒ සඳහා දෙමාපියන් විසින් ගුරුවරයා නිසි ලෙස දැනුවත් කළ යුතුයි. මෙවැනි දරුවෙකුගෙන් සාමාන්‍ය මට්ටමේ ඉගෙනීම් රටාවක්, හැසිරීමක් බලාපොරොත්තු වීම අපහසුයි. අන්න ඒ නිසාම ගුරුවරයෙකුගේ සුවිශේෂී අවධානය පන්ති කාමරය තුළදී මෙවැනි දරුවන්ට හිමි විය යුතුයි. 

අච්චිලා සීයලා මේ තත්ත්වය පිළිගන්න අකමැති නම්,

දරුවන්ට තියෙන ආදරේ නිසාම ආච්චා/සීයා මෙවැනි තත්ත්වයක් පිළිගන්න කිසිසේත්ම කැමති නැහැ. ඒත් ඒ ආදරේ නිසාම පිළිගග යුතු තත්ත්වයක් මේක. ඒ නිසා ඔවුන්ගේ උපරිම සහයෝගය දරුවන්ට ලබා දිය යුතුමයි. 

දරුවා වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවෙන්නේ අම්මා විතරක් නම්,

සායනවලදී බොහෝ විට දකින්න ලැබෙන්නේ අම්මා විතරයි. ඉතිං දරුවාගේ තාත්තාට මේ පිළිබඳ මනා අවබෝධයක් නොමැති විය හැකියි. ඒ නිසාම ඔවුන් මේ දරුවා සම්බන්ධව හොඳ බලාපොරොත්තුවක් නැතිව කටයුතු කරනාවා විය හැකියි. මේ විදියට සහයෝගයක් නොමැතිකම මත අම්මා එයාට කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස් සිටිය හැකියි. අනෙක් දරුවන්ගේ වැඩ, ඉවුම් පිහුම්, රෙදි සේදීම වගේ නිවසේ කටයුතු සියල්ලත් එක්කම අම්මා කෙනෙක් උපරිමයෙන් වෙහෙසට පත්ව සිටිනවා. අන්න ඒ නිසාම ඇයට විවේකය අත්‍යවශ්‍යයි. සැමියාගේ වගේම නිවසේ අනෙක් වැඩිහිටි සාමාජිකයන් සිටී නම් ඇයට ඒ විවේකය ලබා දීමට උනන්දු විය යුතුයි. ඩුම තරමේ දවසට පැය භාගයක් එසේ නැතිනම් සති අන්තයේ හෝ ඇයව මේ භාරදූර වගකීම්වලින් නිදහස් කළ යුතුමයි. එසේ නොවුණහොත් අම්මා මානසික ආතතියට ලක්වීම වැළැක්විය නොහැකියි. 

ඔටිසම් දරුවන් වැඩිහිටි තත්ත්වයට පත් වූ පසු,

උපතින් ලැබෙන හැකියාවන් අපි කාටත් තියෙනවා. මේ වගේ දරුවෝ ඉන්නවා විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා උපාධිය ලබාගත්. ඔටිසම් කියන්නේ සම්පූර්ණ අකර්මණ්‍ය තාවයක් නොවෙයි. මෙවැනි දරුවන්ගේ හැකියාවන් හඳුනා ඒවා වැඩිදියුණු කිරීම කළ යුතුයි. ඔවුන්ට සමාජය තුළ ජීවත් වන ආකාරය, ගැටලුවලට මුහුණ දෙන ආකාරය මෙන්ම ඒවාට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කළ යුතුයි. ජීවිතයට හුරු වීමට අසීමිත සහයෝගයක් ලබා දිය යුතුයි. 

 

බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍ය සංගමයේ, වරලත් සායනික මනෝවිද්‍යාඥ, කොතලාවල ආරාක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නාවික හමුදාව නියෝජනය කරමින් සිය සේවාව සපයන ආචාර්ය කාන්ති හෙටටිගොඩ මහත්මිය සමගින් භාෂා හා කථන ව්‍යාධිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් සකසන ලද ලිපියකි

දරුවා කේන්තිකාරයෙක් නම් මව්පිය ආරය කියා සිත නිදහස් කර ගන්න එපා..

පුංචි දරුවන්ටත් කේන්ති යනවා. ඒ තත්වය සාමාන්‍යයි.නමුත් ඊට සමානව දෙමව්පියන්ටත් තරහ ගියොත් නම් මේ තත්වයට විසදුමක් ලැබෙන්නේ නැහැ.

ඒත් දරුවන්ට බය වෙලා ඉන්න පුලුවන්යැ..

සමහර විට ඔබටත් මේ විදිහට හිතෙන්න පුලුවනි.ඒත් ඔබ දරුවාට කේන්ති යන්නේ ඇයි වගේම කේන්තියේ ස්වභාවය ගැනත් හිතන්න අවශ්‍යයි. සමහර විට දරුවන්ගේ මානසික රෝග තත්වයන් නිසාත් මේ විදිහට කේන්ති යන අවස්ථා තිබෙනවා…

ඒත් කේන්ති ගන්න හැම දරුවෙක්මත් මානසික රෝග තත්වයකින් පෙලෙනවාත් නොවෙයි.දරුවන් කේන්තිය පෙන්වන විවිධ ආකර තිබෙනවා..

  • කෑ ගසනවා
  • වාචිකව දොස් නගනවා
  • නිහඬ අමනාපයක් පෙන්වනවා.
  • කථා නොකර සිටිනවා.
  • අතින් පයින් ගැසීම වැනි කායික ප්‍රචණ්ඩත්වය
  • භාණ්ඩවලට හානි කිරීම

මේ මොන ආකාරයකින් වුනත් දරුවා කේන්තිය පෙන්වනවා නම් ඔබත් ඊට සමගාමිව කේන්තිකාරයෙක් වෙන්න එපා. දෙමව්පියන්ගේ මානසික තත්වය අනුවත් ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සමගත් තිබෙන හැල හැප්පීමත් සමග මේ තත්වය දරා ගැනීමටත් අපහසුයි.ඒ වුනත් අපි දොගෙිල්ලන්ම කැත්තට පොල්ල වගේ සිටියොත් නම් වැඩේ දුර දිග යාවි.

කේන්තියත් දරුවන්ගේ ප්‍රයෝගයක්…

දරුවන් අතරත් විවිධ ප්‍රයෝග තිබෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට අවශ්‍ය වුනොත් කේන්තියකින් ඒ බව ප්‍රදර්ශනය කරන්න දරුවන් සූදානම්. සමහර අවස්ථාවලදී දෙමව්පියනුත් තමන්ගේ පහසුවට වගේම දරුවාගේ කේන්තිය නිසා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරනවා ඒත් මෙය නොකළ යුත්තක්..

දරුවන් ඉල්ලන හැම දෙයම ඔබට දෙන්න පුලුවනිද…?

දරුවාගේ කේන්තිය නිවන්න පිලියමක් ලෙස ඔබට දරුවා ඉල්ලන ඉල්ලීම් ඉටු කරන්න පුලුවන් සීමාවක් තිබෙනවා.ඒත් එය දරුවා ආයුධයක් කර ගත් දිනට ඔබ අපහසුතාවයට පත් වෙනවා. උදාහරණයක් විදිහට දරුවා ඉර, හඳ ඉල්ලා සිටියොත් අපට ඒ ඉල්ලීම ඉටු කරන්න බැහැ.ඒ නිසා කේන්තියම දරුවාට ආයුධයක් කර ගැනීමට ඉඩ දිය යුතු නැහැ.

කේන්ති ගන්නේ ඇයි…?

ඔබ දරුවා කේන්තිකාරයෙක් යැයි පසුතැවිලි වෙනවාට වඩා දරුවා කේන්ති ගන්නේ ඇයිදැයි යන්න ගැනත් අවධානයක් දැක්විය යුතුයි. සමහර විට එය ඔබගේ ප්‍රමාදය නිසා වෙන්නත් පුලුවනි.දරුවාට බඩගිනි වේලාවට අවශ්‍ය ආහාර නොලැබුන විටෙක කේන්ති ගන්න පුලුවනි. එය දරුවාගේ පැත්තෙන් සාධාරණයි. තවත් විටෙක ඔබ දරුවා ගැන අවධානයක් නොදක්වන විටත් තමා වෙතට අවධානය ගබා ගැනීමටත් කේන්තිකාර ගති පැවැතුම් පෙන්වන්න පුලුවනි.

දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමටත් දරුවන් දන්නවා…

දරුවන් පවුලේ හැම දෙනාගේම ගති පැවැතුම් දන්නවා. සමහර විට කේන්තියෙන් අම්මාගෙන් යමක් ඉටු කර ගන්න ලැබුනත් තාත්තාගෙන් නම් කේන්තිය පෙන්වලා තමාගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි බව ඔවුන් දන්නවා. ඒ නිසා මව ඉදිරියේ දැඩි කේන්තිකාරි ගති පැවැතුම් පෙන්වන දරුවා පියා ඉදිරියේ බොහොම හික්මුන අයෙකු වෙන්න පුලුවනි.ඊට හේතුව දරුවාගේ කේනිතය ඉදිරියේ මවගේ වගේම පියාගේ ප්‍රතිචාර ඔවුන් ඉතාම හොදින් දන්නා නිසයි.

දරුවාගේ කේනිතියට ඔබ ප්‍රතිචාර දක්වන්නේනේ කොහොමද…?

ඔබේ දරුවා කේන්තියෙන් සිටින විට ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්න එපා.නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවය සෙමෙන් ඉටු කර දෙන්න. සමහර විට දරුවා ආහාර ඉල්ලමින් කේනිතායෙන් සිටිනවා නම් එය ලබා නොදි නොහැකි බැව් ඇත්ත. ඒත් ආහාරය ලබා දේනනේ කේන්තියට ප්‍රතිචාරයක් නිසා නොවන බැව් පෙන්වන්න.

කේන්තියෙන් සිටින විට අවවාද නිෂ්ඵලයි…

දරුවන් කේන්තියෙන් සිටින විට ඒ ගැන අවවාද කිරීම එතරම් ඵලදායී නොවේ.එයින් සිදු වෙන්නේ දරුවාගේ කේන්තිය තව තවත් වර්ධනය වීම පමණි.එවැනි අවස්ථාවලදී අවවාද දීමට වඩා නිහඩව සිටීම වඩාත් වැදගත්.

අදහස් ප්‍රකාශ කරන ආකාරය කියා දෙන්න..

දරුවන්ට තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන විනීත ආකරය ගැන කියා දෙන්න. තරහ, ද්වේශය සහිතව කථා කරන දරුවන්ට මෙන් නොව තමන්ගේ අවශ්‍යතාවයන් විනීතව ඉදිරිපත් කරන දරුවන්ට ලෝකයම ආදරය කරන බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගන්වන්න. අනවශය අන්දමින් කෝප වීමෙන් ඉල්ලීම් ඉටු වෙනවාට වඩා හැම දෙනාගේම අප්‍රසන්නතාවය ඇති වෙන බවත් දරුවාට දැනෙන සේ තේරුම් කර දෙන්න.

අම්මා…තාත්තාගේ ආදර්ශයත් වැදගත්

බොහෝ දරුවන් තම දෙමව්පියන් ආදර්ශයට ගෙන හැසිරෙනවා. එය ඔබත් මේ විදිහට සාධාරණ කරනවා. තාත්තා වගේම කේන්තිකාරයෙක්..දරුවන් ඉදිරියේ කේන්තිය ඒ අන්දමින් සාධාරණ නොකළ යුතුයි.ඒ වගේම ඔබ ආවේගශීලි චරිතයක් වුනත් දරුවන් ඉදිරියේ ඔබේ හැසිරීම් රටාව පාලනය කර ගැනීම ඉතා වැදගත්එවිට දරුවන්ද සමකාමී චරිත ලෙසින් ගොඩ නගා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවේ.

පවුල තුළත් යම් නීති මාලාවක් පවත්වා ගන්න…

ඔබේ නිවස පුංචි සමාජ ඒකකයක්. මේ සමාජ ඒකකය තුළත් යම් කිසි විනයක් අවශ්‍යයි. නිවස තුළ ගොඩ නැගෙන විනය අනාගතයේදී සමාජයටත් ඉතාම සුබවාදි ලෙසින් ගලපා ගැනීමට දරුවාට හැකියාව ලැබෙනවා. ඒ නිසා නිවස තුළ යම් යම් නීති මාලාවක් පනවා ගන්න. දරුවන් නිතර ගැටෙන කටයුතු වෙනුවෙන් නීති රීති ඇති විට ඔවුන්ට දෙමව්පියන් සමග ගැටීම් බොහෝ දුරට අවම වෙනු ඇත. ආහාර ගැනීමේදී වේලාවක්….රූපවාහිනිය නරඔන්න යම් කාලයක්..සෙල්ලමට  කාලයක් ලෙසින් ඔබ විසින් පනවන නීති රීතිවලට අනුගතව වීමෙන් පවුලක් තුළ අනවශ්‍ය අන්දමින් කෝප වීමට තිබෙන අවස්ථාවන් බොහෝ සෙයින් සීමා වෙනු ඇත.

දරුවා අගය කරන්න

දෙමව්පියන් ලෙස ඔබ දරුවාගේ යහපත් දෙය අගය කරන්න. අයහපත් දරුවන් අනාගතයේදී ලබන විපාක ගැන සමකාමී මනසකින් සිටින අවස්ථාවන්හිදී කියා දෙන්න. අවවාද දරුවන්ට කර්කශ වුනත් සැබෑ සෙනෙහසින් දරුවන්ගේ මන ආමන්ත්‍රණය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

දරුවන් සමග කාලය ගත කරන්න

අද බොහෝ දරුවන් ගෙවන හුදෙකලා ජීවිතය නිසාම ඔවුන් නොදැනුවත්ව හෝ දෙමව්පියන්ගේ අවධානය ලබා ගැනීමට දැඩි වෙහෙසක් දරනු ඇත.ඔවුන් එය කේන්තියෙන් පෙන්නුම් කරන අවස්තාවන්ද බොහෝය. දිවා කාලයේදී වෙනත් අයගේ රැකවරණයේ වැඩෙන දරුවා සවස් කාලයේ දෙමව්පියන් ඉදිරියේ චන්ඩියන් බවට පත් වන්නේත් ඒ නිසාය. දිවා කාලයේදී ගෙවු හුදෙකලා ජීවිතය සමග ලද පීඩනය දරුවන් සිය දෙමව්පියන් ඉදිරියේ නිදහස් කරන්නේ ඒ අන්දමින්ය. ඒ නිසා ඔබට හැකි හැම විටම දරුවන් සමග කාලය ගෙවන්න.

 

”ආත්ම මානය ” හෙවත් narcissistic personality disorder

දරුවන් අතර ගැවසෙන විට අපිට ඒ අයගේ විවිධ ගති පැවැතුම් ගැන හොඳ වැටහීමක් ලැබෙනවා.සාමාන්‍යයෙන් දරුවන් තුළ ආත්මාර්ථකාමී ගති පැවැතුම් දක්නට ලැබෙනවා. ඒ වගේම ටිකක් ආවේගශීලි වෙන අවස්ථාවනුත් නැතුවාම නොවෙයි. ඒත්..දරුවාගේ ආත්මාර්ථකාමීබව, ආවේගශීලිත්වය තවත් අයටහිරිහැරයක් හෝ පීඩාවක් වෙන අන්දමින් හැඩ ගැසී තිබෙනවා නම් එතැනදී දෙමව්පියන් සැලකිලිමත් වීම වැදගත්. දරුවා වෙතින් ගොඩ නැගෙන මේ පෞරෂ ඌනතාවය ”ආත්ම මානය ” හෙවත් narcissistic personality disorder ලෙසින් නම් කර තිබෙනවා.

  • ඉතින් මෙවැනි දරුවන්ගේ ගති පැවැතුම් ගැන ඔබ දැණුවත්ව සිටියොත් හොදයි නේද…?

අනුන් පීඩාවට පත් කිරීම

මෙම පෞරෂ ඌනතාවයට පත් දරුවන් අනුන් පීඩාවට පත් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. එයින් ඔවුන් තෘප්තියක් ලබන්න සූදානම්. සතුන්ට පවා හිංසා කිරීමේ මානසිකත්වයකින් මේ දරුවන් පසුවෙනවා. ඇතැම් නරුම පාලකයන් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයන්ගේ බාල කාලයේදී මේ අන්දමින් අනුන් පීඩාවට පත් කරන ගති පැවැතුම් තිබෙන බැව් ඔවුන්ගේ චරිතාපදානයන්හි පවා සඳහන්ව තිබේ.

කෙසේ හෝ තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම

ආත්ම මානය ලෙසින් හැදින්වෙන මෙම දුර්වල පෞරෂ තත්වයට පත්ව සිටින දරුවන් කෙසේ හෝ තමාගේ අරමුණ ඉටු කර ගැනීමට වෙහෙස දරති.ඔවුන්ට දෙමව්පියන්ගේ අපහසුතාවයන් ගැන තැකීමක් නොමැත. තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට වුනොත් එය ප්‍රමාණවත්ය.ඒ නිසාම පවුලේ දෙමව්පියන්.සහෝදරයන් පීඩාවට පත් කරමින් හෝ තමාගේ අරමුණ ඉටු කර ගැනීමට මේ දරුවන් නිරන්තරව උත්සාහ දරති.

බොරු කීමට මැලි නැහැ

මේ පෞරෂ ඌනතාවයට පත් දරුවන් අනවශ්‍ය අන්දමින් පවා බොරු කීමට වැඩි නැඹුරුතාවයක් දක්වති.ඔවුන්ගේ අරමුණ ඉටු කර ගනු වස් බොරුවෙන් හෝ මව්පියන් මුලාවට පත් කිරීමට පසුබට නොවෙති.

විවේචනයේදී දරුණුයි

ආත්ම මානය පෞරෂ දුර්වලතාවයට පත්ව ඇති දරුවන්ට හොඳක් නරකක් පැහැදිලි කිරීම ඉතාම අපහසුයි.ඔවුන් එවැනි අවස්ථාවන්හිදී දැඩි විදිහට කිපෙනවා.ආවේගශීලිත්වයට පත් වෙනවා. වචන පවා ඉතාම දරුණු විදිහට හසුරුවනවා. 

අනුන් මත වැරදි පැවරීම

පුංචි පැටව් බොහොම සුන්දර වුනත් මේ අන්දමේ ආත්ම මානය නැමැති පෞරෂ දුර්වලතාවයට පත් දරුවන් කිසිම දිනක තමන්ගේ වරද පිලිගන්නේ නැහැ. කිතුල් ගහට ගිය මිනිසාටත් කියන්න කරුණු තිබුනා වගේ මේ දරුවන් නිතරම වරද අනුන් මත පටවන්න හරිම දක්ෂයි. අම්මා නිසා තමයි වුනේ…එහෙම නැත්නම් තාත්තා නිසා තමයි…යනුවෙන් අනුන් මත වරද පටවා තමා නිදොස් වීමේ ගති පැවැතුම් බාල කාලයේ පටන්ම මේ දරුවන් වෙතින් ප්‍රදර්ශනය වෙනවා.

සහයෝගයක් නැහැ…

මේ දුර්වල ගති පැවැතුම් ඇති දරුවන් කිසිම දෙයකදී සහයෝගයක් දක්වන්නේ නැහැ.ඒ වෙනුවට කඩාකප්පල් කිරීමට වැඩි නැඹුරුතාවයක් දැක්වීම මෙවැනි දරුවන්ගේ සිරිතයි.

ඉතින්…මේ ගති පැවැතුම් සමග දරුවාට වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ..

දරුවෙකුගේ මොළයේ සැලකිය යුතු වර්ධනයක් මුල් පස් වසර තුළ සිදු වේ.දරුවාගේ නළල ඉදිරිපස හෙවත් කොටසේ වර්ධනය සිදු වන්නේ වයස අවුරුදු විස්සක් වැනි අවධියකදීය. ගැටවර අවධියේදී දරුවාගේ අනිසි හැසිරීම් වෙනුවෙන් බාල කාලයේදී ලබන අත්දැකීම් වඩාත් සමීප බලපෑමක් ලබා දෙන නිසා ඔබ දරුවා හැඩගැස්වීමේදී මේ ගැනත් සලකා බැලීම ඉතා වැදගත්.

අනාගතයේදී ඔබේ දරුවා ”ආත්ම මානය ” නැමැති දුර්වල පෞරෂ තත්වයෙන් ආරක්ෂා කර ගැනීම ඔබ වැඩි අවදානයක් දැක්වීම ඉතාම වැදගත්. එසේනම් 

  • දරුවාගේ ගති පැවැතුම් සමග ඔබ කටයුතු කරන්නේ කෙසේද…?

නිතරම දරුවාගේ ආත්මාභිමානය ගොඩ නගන්න

දරුවන් කුඩා වුනත් ඔවුන්ටත් ආත්මාභිමානයක් තිබෙන බව අමතක නොකරන්න. ඒ නිසා කිසිම දිනකදී ඔබ විසින් දරුවාට ප්‍රසිද්ධියේ අපහාස කිරීමෙන් වලකින්න.

ඒ වගේම සෑම දෙනා අතින් යම් යම් වැරදි සිදු වෙන බැව් පහදා දෙන්න.වැරැද්දක් සිදු වූ විට එය පිලිගැනීමට සහ යලිත් එම වරද නොකර සිටීම වඩාත් සුදුසු බැව් පහදා දෙන්න.

කිසිම දිනක දරුවා තවත් අයෙකු සමග සංසන්දනය කිරීම නම් නොකලම යුතුය.එයින් දරුවා ගොඩ නගා ගත හැකියැයි ඔබ සිතුවත් එයින් සිදු වෙන්නේ දරුවාගේ පෞරෂය දුර්වල වීම පමණි.

දරුවාගේ සහයෝගය ලබා ගන්න. 

නිවසේ මෙන්ම අසල්වැසියන් සමග කටයුතු කරන විට දරුවාගේ සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත්. සහයෝගයේ පාඩම දරුවා එතැනින් උගනිනු ඇත.සමාජයේ ජීවත් වෙන විට සහයෝගය අවශය පැව් දරුවා එහිදී තේරුම් ගනු ඇත.

තීන්දු තීරණ ගැනිමේදී දරුවාගේ අදහස් යෝජනා භාරගන්න.

නිවසේ යම් කටයුත්තක් සිදු කරන විට දරුවාගේ අදහස් විමසන්න.ඇදුම් අඳින විටත් පුතා කැමැති ඇඳුමක් තෝරා ගැනීමට අවසරය දෙන්න.බාල කාලයේ පටන්ම පාවහන් දමා ගැනීම, කමිසය තනියම ඇඳ ගන්න අවස්ථාව ලබා දෙන්න.මෙය ළදරු පාසල් අවස්ථාවේ පටන් අනුගමනය කරන්න පුලුවනි. එවිට අනාගතයේදී දරුවා තවත් අයෙකු මත යැපෙන මානසිකත්වයෙන් නිදහස් වෙනු ඇත.

අනවශ්‍ය ඇගයීමත් සුදුසු නැහැ.

දරුවාට යම් ඇගයුමක් ලබා දිය යුතු බැව් ඇත්ත. ඒත් අනවශ්‍ය අන්දමින් ඔවුන් අගයන්න එපා. එවිට දරුවා අනාගතයේදීත් සමාජයෙන් බලාපොරොත්තු වන්නේද ඇගයීම පමණි. විවේචනය ඉදිරියේදී ඔහු දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙසින් ආවේශ විය හැක.

දරුවාගේ ආත්ම පාලනය ගොඩ නගන්න..

දරුවන් එකිනෙකාට වෙනස් බැව් ඇත්ත. ඇතැම් දරුවන් දැඩි ලෙසින් ආවේගශීලි වේ. එවැනි දරුවන් තුළ බාල කාලයේදී පටන්ම ආත්ම සංයමය ගොඩ නැගීමට කටයුතු කරන්න.

දරුවන් ඉදිරියේ මව්පියන්ගේ පාලනය අවශ්‍යයි.

දරුවන් ඉදිරියේ මව්පියන්ගේ ආවේගශීලි හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය වුනොත් දරුවන්ද ඒවා අනුකරණය කිරීමට පුරුදු වීමට පටන් ගනී. ඒ නිසා ඔවුන් ආවේගශීලී රටාවක් සමග වැඩෙනු මිස ආත්ම සංයමයකින් කටයුතු කිරීමට කිසිම දිනක යොමු නොවනු ඇත.

පවුල තුළ සහජිවනය

දරුවෙකු මව්කුස සිටින කාලයේදී පටන් මව සහ පියා ගැන අවබෝදයක් ලබන බැව් පර්යේෂකයන් පෙන්වා දී තිබේ. මාස දෙකක් පමණ වෙත්ම දරුවා මව්පිය, සහෝදර සහ නිවසේ එකට ජීවත්වෙන පුද්ගලයන්ගේ මුහුනු හදුනා ගනී.ළදරු පාසල් අවධිය වෙන විට දරුවා තවත් පුංචි සමාජයකට සම්බන්ධ වෙන අතර මේ සෑම දෙනා සමග එකට එක්ව ජීවත්වීමේ පාඩම දරුවාට කියා දීම ඉතාම වැදගත්.

සහකම්පනය උගන්වන්න

දරුවෙකුට ඔබ ලබා දිය යුත්තේ පොත පත පාඩම් පමණක් නොවේ.ඔවුන් තුළ සංවේදී සිතුවිලි ගොඩ නගන්න. කුරා කුහුඹුවාගේ පන් පාරේ යන එන අසරන, රෝගි පුද්ගලයන් වෙත පිහිට වීමේ අවස්ථාවන්හිදි උදව් වීමට හුරු කරන්න.සහකම්පනය නොමැති දරුවා අසම්පූර්ණ චරිතයකි.

එසේනම් මතු අනාගතයේදී ඔබේ දරුවා වෙතින් ”ආත්ම මානය ” නැමැති දුර්වල පෞරෂ ගති පැවැතුම් දුරස් කිරීමට නම් අද සුදානම් වෙන්න.

 

 

දරුවන්ගේ වර්ධනයට විටමින්වල අවශ්‍යතාවය ගැන දැනුවත්ද?

දරුවන්ගේ වර්ධනය සඳහා ප‍්‍රමාණාත්මකව විටමින හා ඛනිජ ලවණ අවශ්‍ය බව මව්පියන් වශයෙන් අප හොඳින් දන්නා කරුණක්. බොහෝ දරුවන්ට සමබල ආහාර වේලක් මගින් ප‍්‍රමාණවත් පෝෂක ලැබුණත් ඇතැම් විශේෂ තත්ත්වවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ බාහිරින් ගැනීමට සිදු විය හැකියි.

දරුවෙකුගේ පෝෂක අවශ්‍යතා ස්ත‍්‍රී පුරුෂභාවය, වයස, වර්ධනය, ක‍්‍රියාකාරී මට්ටම අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ගත් විට අවුරු 2 – 8 දරුවන් සඳහා දිනකට කැලරි 1000 – 1400 පමණද අවුරුදු 9 – 13 දරුවන් සඳහා දිනකට කැලරි 1400 – 2000 පමණද අවශ්‍ය වේ.

වයසට අනුව අවශ්‍ය වන විටමින් හා ඛනිජ ලවණ කිහිපයක ප‍්‍රමාණ 

පෝෂක වයස අවු. (1-3) වයස අවු. (4-8)

කැල්සියම් 700μg 1000μg

යකඩ 7mg 10mg

විටමින් A 300μg 400μg

විටමින් B12 0.9μg 1.2μg

විටමින් C 18mg 25mg

විටමින් D 600Iu (15μg) 600IU (15μg)

 

වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද මෙම ක්‍ෂුද්‍ර මූල පෝෂක අවශ්‍ය වුවද අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප‍්‍රමාණ වලිනි. 

උදාහරණ ලෙස කැල්සියම්  සහ විටමින් අස්ථිවල ශක්තිමත් වර්ධනයට ඉවහල් වන අතරම යකඩ, සින්ක්, අයඩින්, විටමින් A, B3, B12,Vit B මොළයේ වර්ධනයට ඉවහල් වේ.

විශේෂ රෝග තත්ත්ව වලදී හැර අනෙක් දරුවන්ට විටමින් විශේෂයෙන් ලබාදිය යුතු නොවන නමුත් පහත අවස්ථාවලදී දරුවන්ට විටමින් හා ඛනිජ ලවණ ඌනතාවයක් ඇතිවීමේ අවදානමක් ඇත. 

  • ශාකමය ආහාර පමණක් ගැනීම 
  • අන්තකවල රෝග තත්ත්ව (පිළිකා, Celiac disease, cystic fibrosis)
  • අන්තකවල ප‍්‍රදාහමය තත්ත්ව නිසා විටමින් අවශෝෂණයට බලපෑම් ඇති වේ 
  • අන්තක හෝ ආමාශයේ ශල්‍යකර්ම

ශාකමය ආහාර පමණක් ගන්නා අයට කැල්සියම්, අයඩින්, සින්ක්, විටමින් B12, විටමින් D හි ඌනතාවය ඇති වීමේ අවදානම වැඩිය. ශාකමය ආහාර පමණක් ගැනීමේ අවාසිය/අවදානම වන්නේ එහි විටමින් B නොමැති වීමයි. විටමින් B ඇත්තේ සත්වමය ආහාරවල පමණක්ය. ඒ සඳහා ආදේශක ද නැත. 

Celaic රෝග හෝ ප‍්‍රදාහිත අන්තක රෝග තත්ත්වවලදී යකඩ, සින්ක්, විටමින් D වැනි විටමින වර්ග කිහිපයක් හා ඛනිජ ලවණ අවශෝෂණයෙහි ගැටලු ඇති වේ. Celiac රෝගය යනු ස්වභාවික ප‍්‍රතිශක්ති පද්ධතියේ රෝගයකි. මෙමගින් කුඩා අන්තකවල ආස්තරයට බලපෑම් ඇති කරයි.  මේ තත්ත්වයේදී සමහර පෝෂක උරා නොගනී. මේ නිසා පාචනය, බර අඩුවීම, බොහෝවිට නීරක්තිය ආදිය ඇතිවිය හැක.

Cystic fibrosis තත්ත්වවලදී මේදය අවශෝෂණය වීමේ ගැටලු ඇති කරයි. එවිට මේදයේ දියවන KADE විටමින් ප‍්‍රමාණවත් ලෙස අවශෝෂණය නොකරයි. අවුරුදු 13 – 19 දක්වා දරුවන්ට විටමින් D හා ෆෝලේට් ඌනතාවය වැඩි වශයෙන් ඇති වේ. සංවර්ධිත රටවලද මෙම වයසේ දරුවන් අතර විටමින් A ඌනතාවය බහුල වේ. 

පහත ආහාර මගින් ඒ ඒ විටමින් ඌනතාවයන් පූරණය කරයි. 

  • විටමින් B1 – ඌරුමස්, මුහුදු ආහාර, සූරියකාන්ත ඇට, ධාන්‍ය වර්ග
  • විටමින් B2 – අවයව සහිත මස්, පියලි කල ධාන්‍ය, කිරි ආහාර, බිත්තර, බිම්මල්, මුහුදු ආහාර, කුකුළු මස්
  • විටමින් B3 -එළු මස්, කුකුළු මස්, කළුකුං මස්, මුහුදු ආහාර, හරක් මස්, පියිළි කළ ධාන්‍ය, රටකජු, කැකිරි ඇට,
    සූරියකාන්ත ඇට
  • විටමින් B5 –  බිම්මල්, මස් වර්ග, ඇලිගැට පේර, සූරියකාන්ත ඇට, මුහුදු ආහාර, අල, බිත්තර, යෝගට්, පිසූ ධාන්‍ය
  • විටමින් B6 – හරක් මස්, කුකුල් මස්, කෙසෙල්, අල, මුහුදු ආහාර
  • විටමින් B7 – බිත්තර, මුහුදු ආහාර, අවයව සහිත මස්, බතල, නිවිති
  • විටමින් B9 -අවයව මස්, නිවිති, බෝංචි, අලිගැට පේර, බ්‍රොකොලි
  • විටමින් B12 – මුහුදු ආහාර, අවයව මස්, කිරි නිෂ්පාදන, බිත්තර, කුකුළු මස්
  • විටමින් C – ගම්මිමිරිස්, පැ`ගිරි කුලයේ පළතුරු, ගෝවා, ගෝවා මල්, අල
  • විටමින් A – සත්ව ආහාර, චීස්, මස් වර්ග, බිත්තර
  • ප්‍රෝ විටමින් A – කැරොටිනොයිඩ, බලත, නිවිති, 
  • විටමින් D –කෙල් සහිත මාළු, හරක් මස්, පීකුදු, කිරි
  • විටමින් E – සූරියකාන්ත ඇට, රටකජු,, බටර්, නිවිති, බ්‍රොකලි
  • විටමින් K –සත්ව ආහාර

 

cystic fibrosis

ආරයෙන් ඇති වන රෝගයකි. පෙනහලු හා ආහාර ජීර්ණ පද්ධතියට බලපායි. ශරීරය තුළ ඝනකම් ඇලෙන සුලු ශ්ලේෂ්මල නිෂ්පාදනය වේ. එමගින් පෙනහලු සහ අග්න්‍යාශය අවහිර කරයි. ජීවිත තර්ජනයක් පවා පවතී.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල