Home Blog Page 5

රටක් ලෝකයක් සුවපත් කරන බලය ඇයටය…

පවුල කියන්නේ අපේ සමාජය් පුංචිම ඒකකය. නමුත් මේ පුංචි පවුල තුලින් ඇති වෙන සාමය, සහජීවනය අනාගතයේදී සමාජයේ සංහිඳියාව ඇති කිරීමට තරම් ප්‍රබල ශක්තියක් වෙනවා. ඒ නිසාම පවුලක බිරිඳ , අම්මා…සහෝදරිය…මිත්තනිය…ලේලිය..නැන්දම්මා කියන කාන්තා චරිත ඉතාම වැදගත්.

ගැටුමක මූලාරම්භයත් ඇය විය හැකියි…..

සාමාන්‍යෙයන්  අපි කියමනට වුනත් නැන්දා , ලේලි ගැටුම ඒ වගේම නෑනාලා අතර ඇති වෙන ගැටුම් ගැන සදහන් කරනවා. නමුත් ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යා යුතු සම්ප්‍රදායන් නොවේ.කොහොම වුනත් අද වෙන විට නම් පවුල් අතර තිබෙන නැන්දම්මා ලේලි අරගල බොහෝදුරට අඩු වී තිබෙනවා. බොහෝ නැන්දම්මලා ලේලියත් තමන්ගේ දියණිය වගේම පිළිගන්නා අවස්ථාවන් තිබෙනවා. ඒ අතරම සහෝදරයාගේ බිරිද සමග ඉතාම සමීප සම්බන්ධතාවයන් පවත්වා ගෙන යන නෑනා වරුන්ද අප අතර ඕනෑ තරම් සිටිනවා. ඒ නිසා මෙම චිරාගත සම්ප්‍රදායට අනුව කාන්තාවන් විසින් වෛරය සහ ගැටුම ඉදිරියට ගෙන යා යුතු නැහැ.

කාන්තාවගේ ප්‍රතිචාර ඉතාම වැදගත්…

පවුල තුළ ඔබ තවමත් නව යොවුන් වියේ පසුවෙන දියණියක් විය හැකියි. එසේත් නැත්නම් බිරිඳක මවක හෝ නැන්දණියකගේ භුමිකාවේ සිටිනු ඇත. මේ කොතැනක සිටියත් ඔබ පවුල සමග ගොඩ නගා ගන්නා සංහිදියාව ඉතාම වැදගත්. නිතරම ඔබ ගැන පමණක් නොසිතා මේ වහල යට ජීවත්වෙන, සාමාජිකයන් ගැනත් අවධානය දක්වන්න.

ඇහුම්කන් දෙන්නිය විය යුත්තේ ඔබයි…

පවුලක වැදගත් චරිතයක් ලෙසින් ඔබ හොඳ සවන් දෙන්නියක් වෙන්න. ඔබගේ ඇහුම්කන් දීම පවුලේ අයට වචනයෙන් කියා ගත නොහැකි බොහෝ ප්‍රහ්න වලට පිලිතුරු සපයනු ඇති. පවුලේ ප්‍රශ්නවලදී ඔබත් එහි හවුල්කාරියක් වෙන්න. ඒවාට විකල්ප විසදුම් ගැනත් ඔබගේ මට්ටමින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න. සක්‍රිය සවන් දීම නිසා පවුලක බොහෝ ගැටුම් පුපුරා යෑමට පෙරාතුවම විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

සවන්දීම සක්‍රිය විය යුතුයි…

පවුලක් තුළ ඔබ සවන්දෙන්නියක් වූවාට බැහැ. එය සක්‍රිය සවන් දීමක් වීම වැදගත්. තවත් කෙනෙකු කියන දෙය මේ කනින් අසා අනිත් කනින් පිට කරන්නේ නම් ඔබ සැබෑම සවන් දෙන්නියක් වන්නේ නැත. සමහර විට ඔබ සවන්දෙන්නියක් ලෙසින් සිටියත් ඒ වෙනුවෙන් වූ සක්‍රිය දායකත්වයක් නැත්නම් පවුලක් තුළ සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම අපහසු වේ.

සවන්දීමෙන් ප්‍රතිචාර…

පවුලේ සාමාජිකයෙක් ඔබට යමක් කියන්නේ සැබැවින්ම ඒ ගැන ඔබෙන් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බව මතක තබා ගන්න. ඒ නිසා නිතරම ඔබේ ප්‍රතිචාර යහපත් වීම වැදගත්. ඔබගේ සවන්දීම තවත් පුද්ගලයෙකුට යහපත් මානසික ප්‍රතිචාරයක් වෙනු ඇත. ඉතාම සරලව කිවහොත් සියදිවි නසා ගැනීමේ අදහස් ඇති පුද්ගලයෙකු පවා යහපත් සවන් දෙන්නෙකු සමග සමීපව සම්බන්ධ වුනොත් ඒ පුද්ගලයාගේ සිය දිවි හානි කර ගැනීමේ සිතුවිලි පවා නොදැනීම දුරස් වෙන තරමටම යහපත් වූ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය වසරේ විශ්ව විද්‍යාල සිසුවෙක් ඔහුගේ කාමරයේ තබා ගිය සටහනක මෙසේ ලියා තිබුණි.

මගේ කතාව අසන්නට කවුරුන් මුණ නොගැසුනොත් මගේ සිරුර මහවැලි ගගෙන් හමු විය හැක…ඔහු නේවාසිකව සිටියත් සමහර විට පවුලේ අය සමග එදා කතා බහ කිරීමට අවස්ථාවක් ලැබුනේ නම් මේ මානසික සිතුවිල්ල ඔහු වෙතින් දුරස් වීමට ඉඩ තිබුණා.

එදා ඔහුට වුන දෙය අද හෝ හෙට අපට අපේ පවුලේ අයෙකුට වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ ක්‍රියව සවන් දීම සමග ප්‍රතිචාර දැක්වීමටත් සූදානමින් සිටින කාන්තා චරිතයක් වන්න.

සන්නිවේදනය වැදගත්…

අද බොහෝ කාන්තාවන් ඔවුන්ගේ සන්නිවේදනය පවත්වා ගෙන යන්නේ මුහුණු පොත සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවලින් පමනි. මුහුණු පොතට අදහස් ලියමින් පනිවිඩ හුවමාරු කරන ඔවුන් නිවසේ සිටින මව්පියන් සමග හෝ සැමියා සමග කිසිදු ලෙසින් වාචික සන්නිවේදනයක් පවත්වන්නේ නැත. මේ නිසා ඇය පවුලෙන් විතැන් වුන හුදෙකලා චරිතයක් බවට පත් වෙනු ඇත. එපමණක් නොව ඇගේ සමීපබව ගිලිහී යෑම නිසා දූ දරුවන්ද හුදෙකලා වුන චරිත ලෙසින් වර්ධනය වීම අද දවසේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.

නමුත් බිරිදක, මවක ලෙසින් ඔබට වගකීම් සම්භාරයක් ඇත. ඒ සියලු දෙය වෙනුවෙන් පවුල අතර පවත්නා සන්නිවේදනය ඉතාම වැදගත්. උදේ පාසල් යන්නට සූදානම් වී දරුවා කොපි පොත , පෑන පැන්සල ඉල්ලා සිටින්නේද ඔබ සහ පවුල අතර පවත්නා දුර්වල සන්නිවේදනය නිසාම බැව් සමහර විට ඔබ නොසිතනු ඇත.හෙහ අවශ්‍ය දේ ගැන දරුවන් ගෙන් ඔබ විමසා දැන ගත යුතුය. ඒ වගේම දෛනික අවශ්‍යතාවයන් ගැන කල් තබා දැණුවත් කිරීමක් ඇති වෙන්නේ පවුලක් තුළ ක්‍රියාකාරී සන්නිවේදනයක් පැවැතුනොත් පමණි.

සාකච්ඡාව ඉතා වැදගත්…

පවුලක් වුනොත් සාකච්ඡා මණ්ඩපයක් අවශයයි. ඒ මණ්ඩපයේ  සම්බන්ධීකාරක පුරුක විය යුත්තේ මවයි. ඇය දරුවන්ට එක් පාර්ශවයකින් සහ සැමියාට අනෙක් පාර්ශවයෙන් වග කිව යුතු චරිතයකි. ඇගේ හෝ සැමියාගේ මව්පියන් එකට එක්ව වාසය කරන්නේ නම් ඔවුන් ගැනත් ආරක්ෂාව සහ රැකවරණය ලබා දීම කාන්තාවගේ යුතුකමයි. ඒ නිසා පවුලක් තුළ සාකච්ඡාව බෙහෙවින් වැදගත්.මේ සඳහා බොහෝ විට ආහාර ගන්නා කාලය වෙන් කර ගැනීමට පුළුවන්. එක වහලක් යට ජීවත් වෙන සියලු දෙනා එකම වේලාවට එකම මේසයක ආාහර ගන්නේ නම් තොරතුරු සාකච්ඡාවට ගැලපෙනම තැන එතැනයි.නමුත් අද බොහෝ පවුල් තුළ එකට එක්ව ආාහර ගැනීමේ පුරුදු පවා ගිලිහී ගොස් ඇත. ඒ නිසාම තොරතුරු සාකච්ඡා කිරීමට ගැලපෙනම භුමිකාව නොදැනීම දුරස්ව ගොස් ඇති නිසා පවුලක් තුළ කාන්තාවගේ වැදගත්කම ගැනත් අමතක වී යන තැනටත් කරුනු යෙදී තිබේ. 

සමාජ සම්බන්ධතාවයන් යහපත්ව තබා ගන්න.

ඔබ නිවසේ ගේට්ටුවෙන් ඉදිරිය බලන්න. ඒ නිවස සමග සමහර විට ඔබ අමනාප ඇති. පිටුපසින් සිටන්නේද අමනාප සිත් ඇත්තන්ය. මේ අමනාපයන්ට හේතුව කුමක්ද..එක්කේ කොස් කොළ ඔබේ මිදුලට වැටීමයි. එසේත් නැතම් ඔබේ වැට මායිමේ තිබෙන පොල් ගසක ගෙඩි ඒ පැත්තට වැටීමයි. එසේත් නැත්නම් ඔබේ බල්ලා ඔවුන්ගේ ගෙවත්තේ මළ පහ කිරීමයි. මෙවැනි සිදුවීම් අපට මනා සේ කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ තිබියදී කොස් කොළයට..පොල් ගෙඩියට අසල්වැසියන් සමග අමනාප සිත් ගොඩ නගා ගැනීම අවශ්‍ය නැහැ.

එදා වැඩිහිටි මව්පියන් අපට උපදෙස් දුන්නේ හදිසයේවත් ලෙඩක් දුකක් මරණයක් ුවුනොත්  දුර සිටින නෑදෑයින්ට වඩා අසල්වැසියාගෙන් මුලින්ම උදව් ලැබෙන නිසා සාමයෙන් සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයයි. නමුත් අද ඒ වෙනුවෙන් විකල්ප තිබෙන බැව් ඔබ කියනු ඇත. ලෙඩක් වුනොත් ඇම්බියුලන්ස් එක නිවසට..මරණයක් වුනොත්  මල් ශාලාවේ තැබීම..මේ සියල්ල වෙනුවෙන් අවශ්‍ය මුදල් මිස මිනිසුන් නොවන බැව් ඔබ කිව්වත් මිනිසෙකුගෙන් මිනිසෙකුට ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. එසේ උදව් ලබන්නේද ඔබ ජීවත් වෙන රටාවට ලැබෙන ප්‍රතිචාර අනුවයි.

එසේ නම් කාන්තාවක ලෙසින් ඔබ පවුලක, ගමක වැදගත් චරිතයක් වුනොත් එහි අනුසස් නිසා රටක් ලෝකයක් සුවපත් වෙන බැව් අවසාන වශයෙන් කිව යුතුමය.

 

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට පුළුවනි..

20 වන සියවස තෙක් ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර  නොතිබුන අතර 1944 වසරේදී ප්‍රංශ ජාතික වෛද්‍යවරුන්  වන කාල්මට් සහ ගුවේනි විසින් BCG එන්නත සොයා ගැනීමත් සමග මෙම එන්නත භාවිතා කිරීම සිදු විය. අදටත් දරුවෙකු වෙනුවෙන් ලබා දෙන මුල්ම ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ BCG එන්නතයි. 

BCG එන්නත

දරුවෙකුගේ උපත ලැබීමත් සමග මුලින්ම ලබා දෙන BCG එන්නත මගින් ක්ෂය රෝගයට එරෙහිව දරුවාගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය ගොඩ නගනවා. නව ජන්ම දරුවා රෝහලෙන් පිටත් වී යෑමට පෙරාතුව මෙම එන්නත ලබා දෙනවා.වම් අත උඩට ලබා දෙන මෙම එන්නත දරුවාට වේදනාවක් නැහැ. උණ තත්වයක් ඇති වෙන්නේ නැහැ.සති 4-8 ක් අතර කාලයේදී පැසවා හෝ පැසවන්නේ නොමැතිව ගැටිත්තක් ලෙසින් දකින්න ලැබෙනවා. මෙම එන්නත ලබා දීමෙන් පසු දරුවා නාවන්නත් වුනත් පුලුවනි. සමහර දරුවන්ගේ මේ එන්නත ලබා දුන් ස්ථානය පැසවන්නේ නැහැ. නමුත් ඒ ගැන අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමත් අවශ්‍ය  නැහැ. මේ ස්ථානය පැසවීමක් සිදු නොවුනොත් මාස අටකින් පමණ නැවතත් BCG එන්නතක් ලබා දෙනවා.

BCG එන්නත ලබා නොදෙන අවස්ථා තිබෙනවාද…?

සමහර දරුවන්ගේ උපතේදී ඇති වෙන විවිධ සංකුලතාවයන් තිබෙනවා. එවැනි දරුවන්ට ප්‍රතිජීවක (^ antibiotic & ලබා දෙන අවස්ථාවන්හිදී බී.සී.ජී එන්නත ලබා දීම ප්‍රමාද  කරනවා.

අඩු බර දරු උපත් සහිත දරුවන්ට එන්නත ලබා දීමට බාධාවක් නැහැ.

ක්ෂය රෝග විෂබීජය

ක්ෂය රෝග විෂබීජය “ මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලොල්සිස් නොහොත් AFB යනුවෙන් හැඳින්වෙනවා. වාතය මගින් බෝවන මෙම රෝගය නිසා නිරෝගි පුද්ගලයෙක් වුනත් ඉතා ඉක්මනින් ආසාදිත වීමට හැකියාව තිබෙනවා. විෂබීජය ශරීරගත වූ පමනින් ආසාදිතයෙක් වෙන්නේ නැහැ. සමහර පුද්ගලයන්ට විෂබීජයට  ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. නමුත් සමහර විට ශරීරගත විෂබීජය යම් අවස්ථාවක මතු වෙන්න පුළුවනි. සමහර විට ජීවිත කාලයටම මෙම විෂබීජයෙන් ඒ පුද්ගලයා ආසාදිත නොවන්නත් පුළුවනි.

ක්ෂය රෝගය කී විට අපේ සිහියට නැගෙන්නේ පෙනහැල්ල මුල් කර ගෙන යම් රෝග තත්වයක් වුනත් අපේ ශරීරයේ පහත දැක්වෙන ඉන්ද්‍රියන් මුල් කර ගෙනත් ක්ෂය රෝග තත්වය ඇති වෙන්න පුළුවනි.

  • ස්නායු පද්ධතිය ( මොළය සහ සුෂුම්නාව )
  • වකුගඩු
  • මුත්‍රාශය
  • වසා ගැටිති
  • බඩවැල්
  • සම

සමහරුන් ක්ෂය රෝගයට ඔරොත්තු දෙන්නත් තවත් අය ආසාදිත වෙනනත් ඇයි…?

ක්ෂය රෝග වෛරසය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අඩු වුන විටයි. ඒ නිසා ක්ෂය රෝගය ඇති වීමට අවදානම් පුද්ගලයන් මේ අන්දමින් දක්වන්න පුළුවනි.

  • දුම්පානය
  • ප්‍රතිශක්ති ඌනතාවය සහිත පුද්ගලයින්
  • දියවැඩියාව වැනි නිදන්ගත රෝග
  • ඒඩ්ස් ආසාදිතයන්
  • මන්ද පෝෂණය

රෝග ලක්ෂණ මොනවාද…?

ක්ෂය රෝග තත්වය ඇති විට රෝගියා වෙතින් දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා…

  • සති තුනකට වඩා පවතින කැස්ස
  • සවස් කාලයේ ඇති වෙන මද උණ
  • කැස්ස සමග ලේ පිටවීම
  • ශරීර බර අඩු වීම
  • ආහාර අරුචිය
  • වෙහෙසකර බව

රෝගය හඳුනා ගැනීම…

ඉහත රෝග ලක්ෂන ඔබ වෙතින් හෝ පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් ඇසුරු කරන පුද්ගලයෙකු වෙතින් දක්නට ලැබෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. වෛද්‍යවරයා විසින් සිදු කරන යම් යම් පරීක්ෂණ මගින් රෝග තත්වය තහවුරු කර ගැනීමට පුළුවනි.

ක්ෂය රෝග විෂබීජය විසින් ආසාදනය කරන අවයවය අනුව රෝග ලක්ෂණ ඇති වෙනවා.ස්නායු පද්ධතිය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් ඇති වුනොත්..

  • හිසරදය
  • ආලෝකය දෙස බැලීමේ අපහසුතාවය
  • වලිප්පුව
  • වමනය
  • සිහිමද ගතිය

කොඳු ඇට පෙළ…

ඒ වගේම යම් රෝගියෙක් නිතරම කොන්ද වේදනාව ගැන පැමිණිලි කරනවා නම් හෝ කොන්ද ක්‍රමයෙන් ඇද වෙන තත්වයක් දක්නට ලැබෙනවා නම් එය කොන්ද ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් විය හැකියි.

මුත්‍රාශය සහ වකුගඩු…

අපේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයක් ඇති විට මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමග රුධිරය පිටවීම සහ මුත්‍රා කිරීමේ අපහසුතාවය වැනි රෝග ලක්සණ ඇති වෙනවා.

උදරයේ නම්

යම් රෝගියෙක් උදරය ආශ්‍රිත ක්ෂය රෝග තත්වයකින් පසුවෙනවා නම්

  • පාචනය සහ රුධිරය මිශ්‍ර පාචන
  • උදරය ඉදිමීම
  • උදරයේ ගෙඩි ඇති වීම

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කිරීමට පුළුවනි…

ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝග තත්වයක්. ඒ නිසා වෛද්‍ය  උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. ක්ෂය රෝග තත්වයේදී මාස හයක් පුරා ප්‍රතිකාර ර ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම ඉතාම වැදගත්. යම් ලෙසකින් අදාල කාලයේදී නිසි ප්‍රතිකාර  ලබමින් සිට අතරමගදී නවතා දැමු විට යලිත් රෝග තත්වය ඇති වීමට පුළුවනි. ප්‍රතිකාර ලබන කාලයේදී බොහෝ විට රෝග ලක්ෂණ නොමැති වන නිසා බොහෝ රෝගීන් ප්‍රතිකාර නවතා දැමීම සිදු කළත් එය සුදුසු නැහැ.

බොහෝ අවස්ථාවලදී ක්ෂය රෝගයට ගොදුරු වන්නේත් ප්‍රතිශක්ති ඌනතාවය සහිත පුද්ගලයින් වීම බැව් මුලින් සඳහන් කළා. ඒ වගේම ප්‍රතිකාර ලබා ගැනීමේදීත් මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදන, සමාජ විරෝධී කටයුතුවල නිරත , බන්ධනාගාරගතව සිටින සහ වෙනත් විවිධ හේතූන් නිසා ප්‍රතිකාර මග හරින රෝගින් සිටිනවා.

ප්‍රතිකාර අවසාන කරන විට නැවත එක්ස්රේ පරීක්ෂණයක් සහ සෙම් පටල පරීක්ෂණයක් සිදු කරනවා. රෝග කාරක තත්වයක් නොමැති නම් ප්‍රතිකාර නතර කිරීමට වෛද්‍යවරුන් විසින් තීරණය කරනවා. එතෙක් ප්‍රතිකාර ලබා ගැනීම රෝගියාගේ වගකීමක්.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරි රවින්ද උඩගමගේ මහතා.

ගම්පහ දිස්ත්‍රික් රෝහල

පුතු පැටියාගේ ඇඳුම් පිරිසිදු කිරීම මට ගැටලුවක් නොවුනේ මේ නිසයි

පුතා ලැබෙන්න ඉද්දි හැම අම්මා කෙනෙක්ගේ හිතේ වගේම මගේ හිතේත් දාහක් ගැටලු තිබුණා. එයා මගේ පළවෙනි දරු පැටියා. ප්‍රසූතිය ගැන මගේ හිතේ තිබුණෙත් පුංචි බයක්. ඒත් සැමියාගේ සහයෝගයත් සොයා බැලීම් ආදරය එක්ක මගේ හිත වැටෙන හැම වෙලාවකම මම හිත හයිය කරගත්තා. අපි දෙන්නත් එක්ක එකතු වෙලා පුතාට අලුතෙන්ම ගත්ත රෙදි පිළි සේරම සෝදලා, පිරිසිදු කරලා,  මැදලා බොහොම  පිළිවෙළට රෝහලට ගෙන යන බෑග් එක සූදානම් කරගත්තා. ඒ වගේම මගේ ඇඳුම් බෑග් එකත් අපි සූදානම් කරගත්තා. 

පුතා ලැබිලා මුල් සති දෙක තුන මට රෙදි සෝදන්න අයන් කරන්න අපහසු වෙයි කියලා දන්න නිසාම ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු කළමනා සූදානම් කළා. මොකද මට අපහසු වෙලේ ඒ වගකීම දරන්න වෙන්නේ එක්කෝ මගේ සැමියට, නැත්නම් අපි දෙන්නාගේ අම්මලාට සහ තාත්තලාට. ඉතිං එයාලට මේ කාර්යය වෙහෙස කර වුණත් එයාලා බොහොම ආසාවෙන් පැටියා වෙනුවෙන් ඒ දේවල් කරන්න බලාගෙන හිටියා. අත්තම්මලා සීයලා කෙහොමත් මුණුපුරු මිණිපිරියන්ගේ වැඩ එයාලා අතින්ම කරන්න ආසයිනේ. ඒ නිසා මම එයාලට අවශ්‍ය සියලු දේ රෝහල්ගත වෙන්න කලින්ම සූදානම් කළා. ඒ වගේම මිඩ්වයිප් මිස් කියලා දීපු විදියට දරුවාගේ රෙදි හෝදද්දි දැන ගන්න ඕනේ කරුණු ගැනත් නිකං කතා බහ කරන වේලාවල්වල එයාලට කිව්වා. ඕනෙම අලුත උපන් දරුවෙක්ගේ ඇඳුම් ටික හොඳින් පිරිසිදු කරලා මැදලා ආරක්ෂිතව අසුරන්න විශ්වාසවන්ත කෙනෙක් නම් ඉන්නම ඕනේ. 

මගේ පුංචි පුතාගේ ඇඳුම් සෝදන්න මම සූදානම් කළ දේවල්

  • සේදුම්කාරක

මම සබන් කුඩු ගෙනාවේ නැහැ. මොකද සබන් කුඩු කොයිතරම් හේදුවත් රෙදි වල රැදෙනවද කියලා සැකයක් තියෙනවා. ඉතිං එ්වා  නිසා පුතාගේ සමට ආසාදනයක් ඇති වුණොත් කියලා බයක් මට දැණුනා. ඒ නිසා මම පුතාගේ රෙදි හෝදන්න ගත්තේ බේබි සබන් සහ දරුවන් වෙනුවෙන්ම සැකසුණු රෙදි සෝදන දියර.  එ් වගේම මම රෙදි සුමුදු කරන කන්ඩිෂනර් එකක් ගත්තත්, ඒක නම් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න හිතුවේ. මොකද සුවඳ තියෙනවා කියන්නේ යම් රසායනිකයක් තියෙනවා කියන එක කියලා මම අහලා තිබුණු නිසා මම අම්මලාටත් කිව්වා රෙදි වල සුවඳ යනකම්ම හොඳින් සෝදන්න කියලා. 

  • පියන සහිත භාජන දෙකක්

පුතාගේ චූ රෙදි සහ කක්කා රෙදි වෙන වෙනම දාන්න තමයි මම මේවා දෙකක් ගත්තේ. පියන තියෙන නිසා කූඹි වගේ පොඩි පොඩි සතුන්ට ඇතුළු වෙන්න බැහැ. මේ විදියට වෙන් කරලා දැම්මම ඒවා සෝදද්දි හරිම පහසුයි. කොහොමත් රෙදි සේරම එකට දාලා සෝදන්න හොඳ නැහැ. 

  • රෙදි සෝදන්න බේසම් දෙකක්

රෙදි සෝදද්දී නම් බේසම් කීයක් තිබුණත් මදි කියලා හිතුණේ පුංචි පුතාගේ ‍රෙදි මුලින්ම සෝදන්න ගත්ත දවසේ. වතුර දාලා රෙදි ටික තෙමන්න බේසමක් වගේම සබන් ගාලා දාන්න බේසමක් මට ඕනේ වුණා. බබාගේ නැපි හොඳට දිග ඇරලා සෝදන්න ඕනේ. එකම බේසමේ තියාගෙන ඒක කරන්න බැහැ. ඒ නිසා මම බේසම් දෙකකුත් ගත්ත. ඒක කරන කෙනාගේ අවශ්‍යතාවය මත තමයි තීරණය වෙන්නේ.

  • රෙදි වේලන්න රැක් එකක් සහ අයන් කළ රෙදි අසුරන්න කබඩ් එකක්

අපි ජීවත් වෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල. ඉතිං ගමේ ඉන්න කාලේ වගේ ගස් අතර වැල් බැඳලා ඉර අව්ව හොඳට වැටෙන මැස්සෝ වගේ සත්තු නැති තැන් සොයාගන්න මෙහේ නම් ටිකක් අමාරුයි. ඒ නිසා පුතාගේ රෙදි වේලන්න මම රැක් එකක් මිලට ගත්තා. තාප්පේ උඩ, ගස් අතු උඩ, ගල් උඩ විතරක් නෙවෙයි පුටු උඩ දාලා පුංචි පැටියාගේ රෙදි වේලන්න හොඳ නැති නිසා තමයි මම එයා වෙනුවෙන් ඒක ගත්තේ. මොකද පුංචි දරුවෙක්ගේ රෙදි හරිම පරිස්සමට වේලගන්න ඕනේ. මම රැක් එකක් ගන්න තීරණය කළේ ඉර එළිය බොහෝ විෂබීජ ඉවත් කරන නිසා හොදින් ඉර එළිය වැටෙන තැනක පුතාගේ රෙදි ටික හොඳින් වේලගන්න රැක් එක අපට අවශ්‍ය තැනට ගෙනියන්න පුළුවන් නිසයි. ඒ විතරක් නෙවෙයි, රැට වගේම වැස්සක් ආවත් ඉක්මනින් ගේ ඇතුළට ගන්න පහසුත් නිසයි. රෑට දරුවෙක්ගේ රෙදි නිවසින් පිටත තියන්න සුදුසු නැහැ. මොකද අපි දන්නේ නැති වුණාට එක එක කෘමි සත්තු, කුරුල්‍ලෝ මේ රෙදි රැක් එක උඩට එනවා වෙන්න බැරි නැහැ. ඉතිං ඒ නිසා ඒ සතුන් අරන් එන විෂබීජ දරුවාගේ රෙදි වලටත් එනවා. ඒක අවදානමක් නිසා රැක් එක රෑට ගෙට ගන්න එක හැම අතින්ම හොඳයි කියලා මම හිතනවා. පුංචි දරුවන්ගේ විතරක් නෙවෙයි වැඩිහිටි අපේ වුණත් රෙදි රෑට ගෙට ගන්නවා නම් ඒක වඩාත් සුදුසුයි. 

ඒ වගේම පුතාගේ සෝදලා අයන් කළ රෙදි අසුරන්න මම එයා වෙනුවෙන් පුංචි කබඩ් එකක් ගත්තා. එහෙම බැරි නම් හොඳ තත්ත්වයේ ටිකක් ලොකු ප්ලාස්ටික් බොක්ස් එකක් එහෙමත් නැත්නම් බෑග් එකක් ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත සහ හැකියාව මත කරන්න පුළුවන් දෙයක්. මේ හාහාපුරා කියලා අපේ පවුලට එන පුංචි පැටියා නිසා ආච්චිලා සීයලා විතරක් නෙවෙයි මාමලා නැන්දලා පුංචිලත් හරි හරියට හැම පැත්තෙන්ම උදව් කළා.

දැන් ඉතිං පුතා ගෙදර ආවම තාත්තට වගේම අත්තම්මලා සීයලාටත් මේ රෙදි වගකීම පැවරෙනවා. ඉතිං මම එයාලට සායනයේදී කියා දුන්නු මේ කරුණු ගැනත් කිව්වා. කොහොමින් කොහොම හරි පුත‍ා ලැබිලා  ගෙදර ආවම තමා තේරුණේ රෙදි කොයිතරම් ප්‍රමාණයක් එයා වෙනුවෙන් දවසකට වුවමනා වෙනවද කියලා. රෑට වැඩි ප්‍රමාණයක් රෙදි එකතු වුණා. චු රෙදි කක්කා රෙදි වෙන් වෙන්ව දාපු නිසා හෝදද්දි අයෙම කාලේ ගත කරගෙන රෙදි වෙන් කරන්න අවශ්‍ය වුණේ නැහැ. චූ තැවරුණු ඇදුම් සෝදන එක අපහසු නැති වුණත් මලපහ තැවරුනු නැපිවල කහට පැල්ලමක් වගේ තියෙන නිසා ඒවා ටිකක් අතුල්ලන්න වෙනවා. ඉතිං උදේම චූ රෙදි ටික පිරිසිදු කරලා රැක් එකට දාද්දිම අර කක්කා තැවරුණු රෙදි ටික කක්කා ඉවත් කරලා පෙ‍ෙඟන්න දාලා ටික වේලාවකින් තමයි අම්මා සේදුවේ. ඒ භාජනයට විශබීජ නාශක දියර බිංදු කීපයක් දාන්න මම යෝජනා කළත් අපේ අම්මා ඒ ගැන වැඩි කැමැත්තක් දැක්වුවේ නැත්තේ හිතකර විෂබීජත් ඒකෙන් විනාෂ වෙයිද කියලා අදහසක් එකතු කරමින්. කොහොම වුණත් සායනවලදීත් විෂබීජ නාෂක යොදන්න කියලා නම් අපට උපදෙස් දුන්නේ නැහැ. ඒ නිසා රෙදිවලට උණු වතුර ටිකක් දාන්න හිතුවා. 

බබාගේ රෙදි සෝදන එක ලොකුම ලොකු වැඩක් වුනු නිසාද මන්දා බබාගේ තාත්තට නම් ඕනේ වුණේ වොෂින් මැෂින් එකට දාලා රෙදි ටික ඉක්මනින් සෝදලා ගන්න. ඒත් මේ පුංචි පැටියෙක්ගේ සුමුදු රෙදි හරිම ඉක්මනට නාස්ති වෙන්න පුලුවන් වොෂින්මැෂින් එකට දැම්මොත්. ඒ අතරේ රෙදි ඇඹරුවොත් බබත් ඇඹරෙන්න ගන්නවා කියලා කතාවකුත් ඇදිලා ඇවිත්. විද්‍යාත්මක සත්‍යයක් නැති වුණත් බබාගේ රෙදි තදින් මිරිකන්න, අඹරන්න එපා කියනවා ඇත්තේ නම් ඒ සිනිදු රෙදි නාස්ති වෙන නිසා වෙන්න පුළුවන්. බබෙක් ඉතිං කොහොමත් ඇඹරෙනවනේ. එයාට වෙන දෙයක් කරන්න බැහැනේ. මම ඒක ගැන හිතුවේ ඒ විදියට.

ඒ කොහොම වුණත් ඉතිං අපි තිරණය කළා බබාට මාස හයක්වත් වෙනකන් එයාගේ රෙදි ටික අතේ සෝදන්න. මොකද එන්න එන්නම මමත් සුව අතට හැරෙන නිසා මේ වැඩ කටයුතු මටම කරගන්නත් ඉදිරියේදී පුළුවන්කම ලැබෙනවානෙ. 

ඉතිං මම මගේ රෙදි සේදුවෙත් බබාගේ සේදුම්කාරකවලින්ම තමයි. පුතා මගේ ඇඟට තුරුළු වෙලා ඉන්න නිසා මගේ ඇඳුම් එයාගේ සමේ තැවරෙනවනේ. එතැනදී ඒක පුතාට නරකක් නොවෙන්න ඕනේ නිසා මම මගේ ඇඳුම් ටිකටත් පුතාගේ සබන්ම පාවිච්චි කළා. ඇඳ ඇතිරිලි, කොට්ට උර, නෙට් එක, දොර රෙදි, ජනෙල් රෙදි හරිම පිරිසිදුවට පිළිවෙළට තියාගන්නත් ඕනේ. ඒ විතරක් ද ජනෙල් දොරවල්, කාමරේ බිම  දූවිලි පිසදමලා පාපිසි අව්වට දාලා පිරිසුදුවට තියාගන්න එක පුංචි පුතාගේ නිරෝගී පැවැත්මට හරිම වැදගත් වෙනවා. අම්මලා තාත්තලා විදියට අපි හැමදේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. අපිට කිසිම දවසක එයාලගේ අත් අතහරින්න බැහැ. අපේ පුතා ලැබුණු මේ වෙලාවෙත් අපි දෙන්නාගේම අම්මලා තාත්තලා අදටත් අපිත් එක්ක සිටීම ඒකට හොඳ උදාහරණයක්. ඉතිං අපිත් කවදාහරි ඒ වගේම වෙයි. හැම නිතරම පසුතැවීමක් ඇති නොවෙන විදියට වැඩකටයුතු සැලසුම් කරගත හැකිනම් නිදුක් නිරෝගී ජීවිතයක් අපි කාටත් උරුම කරගත හැකියි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

පසු ප්‍රසව මවගේ මානසික මට්ටම පරීක්ෂා කරන්න තියෙන මෙවලම මොකද්ද?

ප්‍රීතිමත් හා වේදනාත්මක අත්දැකීමක් වන ප්‍රසූතියට මවක් මුහුණදීමට සූදානම් වන්නේ පූර්ව ප්‍රසව සමයේ ඉඳන්. දරු පිළිසිඳ ගැනීමක් කියන්නේ කාන්තාවකට තම ස්වාමිපුරුෂයාට වගේම පවුලට අසල්වැසි ඥාති මිත්‍රාදීන්ට ඒ කියන්නේ වර්ග පරම්පරාවටම ප්‍රීතිමත් කරුණක්. මේ සඳහා පූර්ව සූදානම වගේම එතැන් සිට අත්දකින සියලු දේ සහ මවක අත්දකින මිහිරි හෝ අමිහිරි අත්දැකීම් ප්‍රසවයට පමණක් සීමා නොවී ප්‍රසූතියට පසුව එළඹෙන පසු ප්‍රසව සමය දක්වා ඉන් ඔබ්බට විහිදී ගොස් ජීවිත කාලෙටම බලපාන්නක් විය හැකිය. එසේ හෙයින් පූර්ව ප්‍රසව තුළ මවකට ලබා දෙන අත්දැකීම් ඇගේ ජීවිතයට ධනාත්මක සිතුවිලි වලින් පිරුණු එකක් කරනට උත්සාහය දැරිය යුතුය. ඒ සඳහා මවට උදවු කිරීම උනන්දු කිරීම වගේම ජීවිතයට යහපත් ලෙසින් මුහුණ දීම අගය කිරීම යන්නත් ඇයට වැදගත් වගේම එය ඇයගේ ප්‍රබෝධයට හේතුවනවා නිසැකයි.

ගර්භනී කාලය තුල සිදුවන ශාරීරික වෙනස්කම් සඳහා හේතුවන හෝමෝන ක්‍රියාවලි පිළිබඳ මව මෙන්ම පවුලේ සමීපතමයන් දැන සිටීම මගින් ඇයට ඇයගේ ශාරීරික වෙනස්කම් සහ අත්දැකීම් සිදුවන අපහසුතා වේදනා විඳ ගැනීමට ඒවා සදහා ශක්තියෙන් යුතුව මුහුණ දීමට ඇති හැකියාව වර්ධනය වනවා. මේ ශක්තිය මගින් ඇය ප්‍රසූතියට මුහුණ දෙනවා. ප්‍රසූතිය කියන්නේ මිහිරි වුවත් විඳ දරා ගත යුතු ප්‍රබලතම වේදනාත්මක අත්දැකීමක්. මේ වේදනාව සමගින් ඇයට හිමිවන ප්‍රතිඵලය අලංකාර එකක් වුන එයින් පස්සේ ඇයගේ සිතට දැනෙන හැඟීම් වගකීම් කාර්යභාර අතර ඇය බරපතළ ලෙස අතරමං වනවා. මේ මොහොත දරා ගන්නට ඇයට ලැබෙන ශක්තිය අවස්ථාවන් අනුව ඇය එය දරාගන්න උත්සාහ කළත් මුහුණ දෙන්නට සිදුවන සිදුවීම් හෝ බලාපොරොත්තු බිඳ වැටීම් වැනි කරුණු හේතු කොට ගෙන ඇයගේ මානසික සෞඛ්‍ය  බිඳ වැටීම සිදු විය හැකියි.  පිටතින් සිටින අප දකින තරමට එය එතරම් බරපතල හේතුවක් නොවුණත් ඇය එය බරපතළ තත්ත්වයක් ලෙස දකිනවා වන්නට පුළුවන්. ප්‍රසූතියෙන් පසු ඇති වන කායික අපහසුතා මැද ඇයට එය දරා ගැනීමට අපහසු විය හැකියි. 

එසේම ගබ්සා වීමක්, මළ දරු උපතක් වැනි බරපතළ තත්ත්වයක් වගේම මවට පැවති අධික රුධිර පීඩනය, හෘද රෝග තත්ත්වයක් හෝ ගර්භ වලිප්පුව වැනි තත්ත්වයක් වුවත් මවට තාවකාලික හෝ ස්ථිර වශයෙන් වුවද  මෙසේ මවගේ මානසික තත්ත්වය දුර්වල වීමට හේතුවක් විය හැකිය. තවද මෙවන් මොහොතක පවුලේ සමීපතමයෙක්ගේ වියෝවීමකට බලාපොරොත්තු රහිත අවස්ථාවකදි මුහුණ දීමට සිදු වීම වැනි තත්ත්වයකදී වුවද මවට තදබල මානසික තර්ජනයක් එල්ලවිය හැකි අතරම පවුලෙන් ලැබෙන සහය, සැලකිල්ල අඩු බවක් දැනීම වගේම මේ සමයේ වෛද්‍ය කාර්ය මණ්ඩල හා නිවැසියන් අතර ඇතිවන මත ගැටුම් ද මවගේ මානසික තත්ත්වයට බරපතර තර්ජනයක් එල්ල කළ හැකි තත්ත්වයන් ය.

එසේ හෙයින් වගකීම් සම්භාරයක් පැවරී ඇති මොහොතක ඇයට සමීපව කටයුතු කිරීම ඇගේ අඩුපාඩු ඉවසා ඇය සමඟ ළඟින් සිටීම වගේම ඇගේ සිතැඟි තේරුම් ගෙන කටයුතු කිරීම වටී. දහසක් රාජකාරි මධ්‍යයේ සිටිය ද රෝහල් කාර්ය කාර්යමණ්ඩලය වෙතින් මවකට ලැබෙන කාරුණික වචන පවා ඇයගේ පිඩනය අවම කිරීමටත් මානසික තත්ත්වය ප්‍රබල ලෙස නංවන්නටත් හේතුවක් වෙනවා. මෙසේ ඇය ගැන දක්වන ආදරණීය බව ඇයට ලැබෙන මානසික සහනයට ප්‍රබල හේතුවකි.

මෙවන් වටපිටාවක් තුළ පසු ප්‍රසව සමයට පිවිසි ඇය තුළින් සතුට සැනසුම දැකිය හැකිද යන්න විමසා බැලීම අප සැමගේ වගකීමකි. මෙසේ හෙයින් ඇයට කරදරයක් නොවන ලෙසට ඇයට සහාය දීම ,උදව් කිරීම වගේම අවශ්‍ය තැන්වලදී දැනුමින් සන්නද්ධ කරමින් ඇය අසල රැඳී සිටීම ඉතා වැදගත් වේ. 

කෙසේ වුවද ප්‍රසූතියත් සමඟම මවක් මානසික පීඩනයකට ලක් වීම විය හැකියි. එහෙත් එක් එක් මව්වරුන්ගේ දරාගැනීමේ ශක්තිය හා ඇයට සැපයෙන පහසුකම්, උදව් අනුව ඇය එයට අනුගත විය හැකියි. එය එසේ වුවත් ප්‍රසූතියෙන් පසුව මවකගේ මානසික මට්ටම මැන බැලීමට එඩින්බරෝ පසු ප්‍රසව අවපීඩන මාපකය උදව්කර ගැනෙනවා. ප්‍රසුතියෙන් මුල් දිනවල මවක් තුළ යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි වුවත් ටික දිනකින් ඒ සියලුල වෙනස් වන්නේ ඇය එයට මුහුණ දීමට ගොඩනගා ගන්නා ශක්තිය අනුවයි. එසේ හෙයින් මුල් දිනවලට වඩා පසුව ඇගේ මෙම තත්ත්වයේ යහපත් වෙනස්වීමක් දැකිය හැකි වෙනවා. එහෙත් එසේ නොවන මව්වරු හඳුනා වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමත් අවශ්‍ය ප්‍රතිකාර උපදෙස් ලබාදෙන බවට වග වීමත් අප සැමගේ යුතුකමක් මෙන්ම මවගේ තත්ත්වය පරික්ෂා කිරීම සඳහා සති 4 – 6 අතර කාලය වඩාත් සුදුසු වේ. 

එඩින්බරෝ පසු ප්‍රසව අවපීඩන මාපකය 

මෙහි ප්‍රශ්න 10ටම පිළිතුරු ලබාදිය යුතුයි. මෙයින් ලැබෙන ලක්ණු මට්ටම අනුව අදාල මව මනෝවෛද්‍ය උපදෙස් වෙත යොමු කරන්නේද යන්න තීරණය කෙරේ.  ඊට අමතරව දහවන ප්‍රශ්නය යනු බරපතල ලෙස මව අවපීඩනය ඇති අවස්ථාවක් පෙන්නුම් කරන එනම් මවට ජීවිතේ එපා වන, සියදිවි නසා ගැනීමේ අදහසක් ඇතිව සිටින විට හැඟවෙන ප්‍රශ්නයක් හෙයින් මෙම ප්‍රශ්න ප්‍රශ්නයට පිළිතුර ලෙස නිතරම පාහේ හෝ සමහරක් විට ඇති වූවා යැයි ලකුණු කර ඇත්නම් එම මව පිළිබඳ ඉතා ඉක්මනින් විමසිලිමත් වී ඇයගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතුයි‍. එසේ හෙයින් එම මව මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කිරීමත් අවශ්‍ය පරිදි පසුවිපරම් කිරීමත් කළ යුතුමය. 

එඩින්බරෝ පසුප්‍රසව අවපීඩන මාපකය 

  1. පසුගිය සතිය තුළ, ඔබට සිනාසීමටත්‌, යමක සිනහව උපදවන සුලු පැත්ත දැකීමටත්‌ කොපමණ දුරට හැකිවූයේද??
  • මට මීට පෙරත්‌ හැකිවූ පමණින්ම
  • ඉස්සර තරම්ම හැකිවූයේ නැත
  • කොහෙත්ම ඉස්සර තරම්ම හැකිවූයේ නැත
  • නැත, කිසිසේත්ම හැකිවූයේ නැත

2. යමි යම්‌ දේවල්‌ ගැන සතුටු සිතින්‌ පුල පුලා බලාසිටීමට පසුගිය සතිය තුළදී ඔබට කොපමණ දුරට හැකිවූයේ ද?

  • මා මීට පෙර සිටි තරමටම
  • වෙනදාට වඩා අඩුවෙන්‌
  • ස්ථීරවම වෙනදාට වඩා අඩුවෙන්‌
  • නැත, කොහෙත්ම නැති තරම්

3.පසුගිය සතිය තුළ යමක් වැරදුණු විට ඔබ අනවශ්‍ය ලෙස ඔබටම දොස්‌ පවරා ගත්තෙහි ද?

  • ඔව්‌, සැමවිටම වාගේ
  • ඔව්‌, සමහරවිටෙකදී
  • ස්ථ්රවම වෙනදාට වඩා අඩුවෙන්‌
  • නැත, කොහෙත්ම නැත

4.පසුගිය සතිය තුළ, ඔබ හේතුවක්‌ නොමැතිව හිත කරදර කර ගනිමින්‌ හෝ කුමක්‌ හෝ වෙයිදෝ යන සැකයෙන්‌ පසුවුනෙහි ද?

  • නැත, කොහෙත්ම නැති තරම්
  • බොහෝම කලාතුරකින්‌ පමණි 
  • ඔව්‌, සමහර විටෙක
  • ඔව්‌, නිතරම වාගේ 
  1. පසුගිය සතිය තුළ, ඔබ කිසිම සැලකිය යුතු හේතුවක්‌ නොමැතිව බියටත්‌ කලබලයටත්‌ පත්වූයෙහි ද?
  • ඔව්‌, විශාල වශයෙන්‌ 
  • ඔව්‌, සමහර විට 
  • නැත, එතරම්‌ නැත 
  • නැත, කිසිවිටකත්‌ නැත 

6.පසුගිය සතිය තුළ ඔබ එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලට මුහුණ දුන්‌ ආකාරය ගැන ඔබට කුමක්‌ කිව හැකි ද?

  • බොහෝ විට මට ඒවාට සාර්ථකව මුහුණදීමට හැකිවී නැත. 
  • සමහර විට වෙනදා තරම්‌ හොඳින්‌ මා එච්වාට මුහුණ දුන්නේ නැත. 
  • මම බොහෝ විට ඒවාට හොඳින්‌ මුහුණ දුන්නෙමි. 
  • මම වෙනදා මෙන්ම හොඳින්‌ ඒවාට මුහුණ දුන්නෙමි. 
  1. පසුගිය සතිය තුළ, ඔබ නින්දට වැටීමට පවා අපහසු වන තරමට අසතුටෙන් පසුවූයෙහි ද?
  • ඔව්‌, බොහෝවිට
  • ඔව්‌, සමහරවිට
  • ඔව්, ඉඳහිට අවස්ථාවල දී පමණක්‌ 
  • කිසිවිටෙක එසේ වූයේ නැත 
  1. පසුගිය සතිය තුළ, ඔබ දුකෙන්‌ හෝ සිත්තැවුලෙන්‌ හෝ සිටියෙහි ද?
  • ඔව්‌, නිතරම වාගේ
  • ඔව්‌, බොහෝ විට
  • කලාතුරකින්‌ පමණක්‌
  • නැත, කිසිවිටක නැත 

9. පසුගිය සතිය තුළ, ඔබ අසතුටින්‌ සිටීම නිසා හැඬූ අවස්ථා තිඛේ ද?

  • ඔවි, නිතරම වාගේ
  • ඔව්, බොහෝවිට
  • ඉඳහිට පමණයි.
  • නැත කිසිවිටෙක නැත

10. පසුගිය සතිය තුළ ඔබටම හානියක්‌ කර ගැනීමේ සිතුවිලි ඔබට කොතෙක්‌ ඳුරට ඇතිවූයේ ද?

  • ඔව්‌, නිතරම වාගේ ඇතිවිය 
  • ඔව්‌, සමහර විට පමණක්‌ ඇතිවිය
  • ඉතාමත්‌ කලාතුරකින්‌ පමණක්‌ ඇතිවිය
  • නැත, කිසිවිටක ඇති වූයේ නැත

ප්‍රශ්න 10 කින් සමන්විත මෙම පත්‍රිකාව මවට ලබා දී ඇයට එය කියවා සෑම ප්‍රශ්නයකටම වඩාත් සුදුසු පිළිතුර තේරීමට පහසුකම් ලබා දිය යුතුය. අන් අයගේ උදව් නොමැතිව ඇයගේ ම සිතැඟි අනුව මෙය ලකුණු කරන්නට ඉඩ ලබාදී පසුව ඒ සඳහා ඒ ලබාදුන් උත්තර අනුව ඊට ලකුණු ලබා දීමක් සිදු කරයි.

අදාල මවගේ මානසික මට්ටම හොඳ නම් ලකුණු 0 ලෙසින් ලකුණු දමා දීම සිදු කෙරෙනවා. රෝග ලක්ෂණවල උග්‍ර බව වැඩි වීමේ පිළිවෙළ අනුව පිළිතුරු සඳහා 0, 1, 2, 3 ආදී ලෙසින් ලකුණු ලබා දීම සිදු කෙරෙනවා. මෙය ලකුණු කිරීමට සාමාන්‍යයෙන් කාලය විනාඩි 5ක් පමණ කාලයක් ගතවිය හැකි අතරම ලකුණු කිරීමෙන් අනතුරුව ලකුණු ලබා දීම සිදු කෙරෙනවා. ඒ අනුව අවසාන ලකුණු එකතුවෙන් ඇගේ මානසික මට්ටම පිළිබඳ අදහසක් ලබා ගත හැකිය‍.

සෑම ප්‍රශ්නයකටම පිළිතුරු හතරක් ලබා දී ඇති අතර ඒ පිළිතුරුවලට යම් මවක් නමයක් හෝ ඊට වැඩි වශයෙන් ලබා ගත් විට මව මානසික ගැටලුවක් සිටින බව තහවුරු වන අතරම ඇයව මානසික වෛද්‍ය සායනයක් වෙත යොමු කළ යුතුය. ඊට අමතරව අවසාන ප්‍රශ්නය යනු බරපතළ මානසික ගැටලුවක සිටින අවස්ථාවක් පෙන්නුම් කරන එනම් පිළිතුර අනුව මවට ජීවිතේ එපා වන ජීවිතය අහිමි කර ගැනීමට සිතෙන බව හඟවන ප්‍රශ්නයයි. 

මෙය මවගේ මානසික අවපීඩනය හඳුනාගත හැකි පූර්ව මෙවලමකි. මානසික රෝග හඳුනාගැනීමට අපහසුය. කෙසේ වෙතත් මවකගේ ජීවිතේ වටිනාකම හැඳින පවුලේ සතුට රඳා සිටීමට මවගේ සෞඛ්‍ය නංවා එහි කොටස් කාරයකු වෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

පුංචි බබාට කිරි හිර වෙනකොට කොයි අම්මද බය නැත්තේ?

උත්තරීතර මාතෘත්වය හා බැඳුණු මව්කිරි කියන්නේ අති උතුම් මවු සෙනෙහසක බැඳීම තිර කරන හා ළදරුවාගේ පෝෂණය සම්පූර්ණයෙන් හිමිකර දෙන ප්‍රබලම සාධකය යි. මේ මගින් වර්ධනය ප්‍රශස්ත කරනවා පමණක් නොව මව් දරු සබඳතාව වගේම සුරක්ෂිතභාවය තුළ මුල් ළමා වියේ සත්කාරය තුළ වූ ප්‍රබලම බලපෑම එල්ල කළ හැකි වූ හැකියාවෙන් යුක්තයි. මේ නිසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබන මව්කිරි අලුත උපන් දරුවන් එක්ක ගලපගන්න කොට අම්මලාට ඇතිවන ප්‍රශ්න ගැටලු බොහොමයි. ඒ අතරින් එකක් තමයි මේ කිරි හිරවීම කියන්නේ.

කිරි හිරවීමට විශේෂිත හේතුවක් විදියට දරුවාගේ තල්ලේ පිහිටි අසාමාන්‍යතාවයන් දැක්විය හැකියි. ඒ කියන්නේ තල්ල ඇතුළතින් බෙදී පවතින නිසා දරුවා උරා බොන කිරි උගුර දක්වා ගමන් කරන විට හිර වීමකට ලක් විය හැකිය. මේ තත්ත්වය දැක ගත හැකි වන්නේ දරුවා මුඛය විවෘත කර අඬන විටකදීය. එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එවිට වෛදයවරයා විසි දරුවා පරීක්ෂ කර අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කරනු ඇත. වෛද්‍ය උපදෙස් මත එය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය ශල්‍යකර්ම සඳහා යොමු විය හැකිය.

මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් හැරුණු කොට  කිරි හිරවිම සඳහා විශේෂයෙන් බලපාන්නේ කිරි දීමේදී ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන ගැටලුය. 

කිරි දෙන ඉරියව්ව – දරුවාට කිරි උරා බීමට හැකි වුවද ඉතා වැදගත් වන්නේ පියයුරට දරුවා ස්ථාපිත වන ක්‍රමයයි. වැරදි ඉරියව්වේ පිහිට කිරි බොන විට දරුවාට හොඳින් කිරි ලැබෙන්නේ නැහැ. එසේ වන්නේ නිෂ්පාදනය වූ කිරි ගබඩා වී ඇති ඇරියෝලාව කොටස දරුවාගේ මුඛයට ඇතුළු නොවීම නිසා කිරි පිටතට එ්ම හොඳින් සිදු වන්නේ නැහැ. මෙසේ හෙයින් දරුවා පියයුර පුඩුව පමණක් ඉරීම නිසා දරුවාට කිරි පෙවෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ. වැඩි වශයෙන් දරුවාට පෙවෙන්නේ වාතය නිසා උදරය පිපී වාතය පිටවන විට ඒ සමග කිරි පිටවීම නිසාත් කිරි හිර වීම සිදු විය හැකිය. මෙහි ඇති භායානක තත්ත්වය වන්නේ කිරි ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා හුස්ම ගැනීම අපහසු වී  ජීවිත අවදානමකට වුවද ලක්විය හැකි වීමයි. ඒ නිසා මව්කිරි දෙන සෑම මවක්ම දරුවා නිවැරදි ස්ථාපිතයේ පිහිටිව මව්කිරි ලබාදීම ගැන අවධානය යොමු කළ යුතුය. 

දරුවා හඬද්දි කිරි දීම – බොහෝ දරුවන් හඬන විට මව්වරුන් සෑම විටම සිතන්නේ කුසගින්නේ දරුවා සිටින බවයි. ඒ සිතුවිල්ල නිසා හඬන සෑම විටම කිරිදීමට මව්වරුන් පෙළඹෙනවා. මෙවන් අවස්ථාවක දරුවා හඬමින් සිටිය දී කිරි දීමේදී කිරි ස්වසන මාර්ගයේ ගමන් කිරීමට ඉඩ තියෙනවා. එසේ හෙයින් එවන් අවස්ථාවක දරුවා සන්සුන් කර ගැනීමෙන් තොරව කිරි දීමට යාමෙන් දරුවාට කිරි හිරවීමට හැකි හෙයින් දරුවා නොසන්සුන්ව සිටින සෑම විටදී කිරි දීමට පෙර දරුවා සංසුන් කර ගැනීම වැදගත් වෙනවා.  කෙසේ වුවද දරුවා බඩගින්න නිසා හඬන අවස්ථා හඳුනා ගැනීමට මවුවරුන් සමත් විය යුතුය. දරුවා කිරි ඉල්ලන වාර ගණන, වේලාවන් මෙන්ම කිරි අවශ්‍යතාවලදී දරුවාගේ හැසිරීම යන කරුණු අධ්‍යයනය කර තිබීමෙන් හඩන සෑම අවස්තාවකදීම දරුවාට කිරි ලබා දිමට සිදු නොවන නිසාත් මේ තත්ත්වය වළක්වා ගත හැකිය.

සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවිම – සෑම කිරිවැල් අවසානයේදීම දරුවාට පෙවුණු වාතය නිවැරදි ස්ථාපිතයක තබා ඉවත් කළ යුතුය. එසේ නොවන විට දරුවා කිරි බොමින් සිටි අතර  ගුඩුස් යාමක් සිදු වීම නිසාත් කිරි බොමින් සිටි දරුවාට කිරි හිරවීමට ඉඩ ඇත. ඒ නිසා සෑම කිරි වේලක් අවසානයේදීම ගුඩුස් යැවීම නිවැරදිව කරමින් පෙවුනු වාතය ඉවත් කළ යුතුය. එසේ නොමැති නම් ඊට අමතරව නින්දේදී වුවද පෙවුණු වාතය පිටතට පැමිණීමේදී ඒ සමග කිරිත් පිටතට පැමිණිය හැකියි. එවිට නින්දෙන් දරුවාට කිරි හිර වීමට අවධානමක් ඇත. 

ආහාර මාර්ග පද්ධතියේ ඇති අසාමාන්‍යතා –   sඇතැම් අවස්ථවල කිරි වමනය ඇති වීමට හේතු විය හැකි තත්ත්වයකි. එහිදී කිරි වමනය වන විට කටින් බේරී ඉවත් නොවී යම් පීඩනයකින් විඳින ආකාරයට කිරි වමනය ඇති වේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුමය. මෙවන් තත්ත්වයකදී දරුවා පැත්තට හරවා තැබීම උචිතය. එවිට ස්වසන මාර්ගය තුළට කිරි ගමන් කිරීම පාලනය වීමට ඉඩකඩ ඇත. 

මව අවිවේකී වීම – ප්‍රසූතියෙන් පසු මවක් ගත කරන්නේ අවිවේකී  වගේම අපහසුතාවලින් පිරිණු කාලයකි. ඒ නිසාම මව නිදන ඉරියව්වේ සිට දරුවාට කිරි ලබාදීමට පෙළඹිය හැකිය. එසේ හෙයින් ප්‍රසූතියෙන් පසු මවකට සුවපහසු බව මෙන්ම ‍විවේකය උපරිමයෙන්ම සලසා දිය යුතුය. එවිට මවට තම නින්ද පාලනය කරගනිමින් ආරක්ෂාකාරී නිවැරදි ඉරියව්වල හිදිමින් දරුවාට කිරි ලබාදිය හැකිය. එහෙයින් මව ගේ කටයුතු සඳහා මවට උදව් කිරීමත් මවට විවේකය ලබා ගැනීමට හැකි ආකාරයෙන් උදව් කිරීමත් මවට අවිවේකය මහන්සිය මගින් ඇතිවන නින්ද පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙසේ හෙයින් දරුවෙකු ප්‍රසූත කළ මවක් සම්බන්ධයෙන් අප සලකා බැලීමේදී ඇයට මව හා දරුවා අතර කාර්යභාරයට එහා ගොස් කිරීමට සිදුව ඇති නිවසේ අනෙකුත් වැඩ කටයුතු කෙරෙහිද අපගේ අවධානය යොමුවිය යුතුය. එසේ හෙයින් ගර්භනී කාලයේ සිටම ප්‍රසූතිය සැලසුම් කිරීමත් ප්‍රසූතියෙන් පසු මවගේ දරුවාගේ මෙන්ම පවුලේ කටයුතු වලදී මවට සහනයක් සලසන අයුරින් කටයුතු කිරීමට නිතැතින්ම නෑදෑ හිතමිතුරන් උනන්දු විය යුතුය.

වේගයෙන් කිරි ගලා ඒම – දරුවන් පමණට වඩා කිරි උරා බීම හෝ මවගේ කිරි ගලා ඒමේ වේගය වැඩි නිසා මුවට ගත් කිරි ගිල ගන්නට නොහැකි වීම නිසා කිරි හිරවීමට ලක්වෙන ආකාරය ඇතැම් අවස්ථාවලදී දැක ගත හැකියි. එවැනි අවස්ථාවකදී කිරි ගලා ඒමේ වේගය පාලනය කර ගැනීමට පියුර මත යම් පීඩනයක් යෙදිය හැකිය. 

පමණට වඩා කිරි උරා බීම – පමණට වඩා කිරි උරා බීම නිසා පමණට වඩා බර පිරී කිරි වමනය සේ පිටවන අවස්ථාවේදී වුවද එම වමනය නිසා කිරි හිරවීම සිදුවෙනවා.

මෙසේ සලකා බැලීමේ දී කිරි හිරවීමට හේතු වන සියලු කාරණා පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ පූර්ව ප්‍රසව සමය තුළ දී සිටයි.

  • කිරි දීමේ ඉරියව් හා ස්ථාපිත වල වැදගත්කම
  • කිරි දෙන කාලය තුළ මවගේ ඉවසීම
  • කිරි දීමට ගත කරන කාලය
  • කිරි වේල් අතර පරතරය 
  • අවශ්‍ය පමණට කිරි බීමට අවස්ථා සැලසීම 
  • කිරි බීමේදී ඇති වන අඩුපාඩු නිසා ඇතිවන තත්ත්වයන් වළක්වා ගැනීම
  • දරුවාගේ මුඛය තුළ හෝ ආහාර මාර්ග පද්ධතිය තුළ ඇතිවිය හැකි අසාමාන්‍යතා
  • කිරි නිෂ්පාදනය හා කිරි ගලා ඒම 

යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීම වගේම අවශ්‍ය සියලු අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එසේම ඒ පිළිබඳ පුහුණු සෞඛ්‍ය නිලධාරියෙකුගේ මගපෙන්වීම යටතේ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. තවද ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ ද සහය ලබාගැනීම මගින් නිරතුරුවම ඔබට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හිමි වන අතර එයද මහත් පිටිවහලක් වනු ඇත.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

බය නැතිව පුංචි පැටියා නාවන්න, නාවන හැටි සරලවම ඉගෙන ගමු

පුංචි පැටියෙක් කුසට ආ බව දැනගත් මොහොතේ සිටම කියා ගන්න බැරි සතුටකින් හිටියත් මුල වරට අම්මා කෙනෙක් වෙන්න යන කාන්තාවකට දරුවාගේ වැඩ කටයුතු නිවැරදිව පරිස්සමෙන් කරගන්න පුළුවන්ද කියන බය හිත පුරාම තියෙනවා. මොකද අද වෙද්දී අපි ජීවත් වෙන්නේ අම්මා, තාත්තා, නැන්ද, මාමා , පුංචි බාප්පා එකට ජීවත් වෙන ලොකු පවුලක නෙවෙයි. එහෙම වුනානම් අම්මට තියෙන්නේ දරුවට කිරි ටික දීලා ආදරයෙන් තුරුළු කරන් ඉන්න විතරයි. අනිත් හැමදේම වැඩිහිටියන්ගේ අනුදැනුම ඇතිව කරන්න අවස්ථාව ලැබෙනවා. මොන දේ කරගත්තත් දරුවා නාවන්න නම් අලුත් අම්මා කෙනෙක් හරිම බයයි. සබන් නිසා දරුවා ලිස්සලා යාවිද? කන්වලට වතුර යයිද? වගේ ගොඩක් දේ වල් ගැන අලුතින් අම්මා කෙනෙක් වෙන්න යන කාන්තාවක් කල්පනා කරනවා. ඒත් ඇත්තටම පුංචි පැටියෙක් නාවන එක හිතෙන තරම් භාරදුර කාර්යයක් නෙවෙයි. අපි හරිම ක්‍රමය ඉගෙන ගත්තොත් පැටියා නාවන්න හැම අම්මා කෙනෙක්ටම පුළුවන්. බබා ලැබිලා රෝහලෙන් පිටවෙන්න කලින් බබාව නාවන හැටි අම්මාට බලන් ඉන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය දේ හෙදියන්ගෙන් අසා දැනගන්නත් පුළුවන්. මුළු ගැබිනි සමය තුළම තමාගේ වෙනැල්ල වගේම ළගින්ම හිටිය සැමියාත් ඉද්දි අම්මා කෙනෙක් මේ දේවල්වලට බය වෙන්න නම් ඕනේ නැහැ. මොකද දෙන්නත් එක්කම එකතු වෙලා පුංචි පැටියා නාවන්න පුළුවන්.

පුංචි පැටියා නාවන්නේ කොයි වෙලාවටද?

අලුත උපන් බිළිදෙක් නාවන්න සුදුසුම වෙලාව උදේ වරුව. හොඳින් එළිය වැටෙන ස්ථානයක් මේ සඳහා තෝරාගත යුතුයි. මොකද ඉපදුණු ගමන් පුංචි පැටව් කහ පැහැ වෙන අවස්ථා ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා අපිට පැටියව නාවන මේ වෙලාව එයාව හොඳින් පරීක්ෂා කරන්නත් අවස්ථාවක් කර ගත හැකියි. ඒහෙම වෙනස් පැහැයක් නිරීක්ෂණය වුණොත් අපිට වෛද්‍යවරයාගේ උපදෙස් කරා යොමු විය හැකියි. ඒ වගේම නාවන්න පැය භාගයකට කලින් වගේ පුංචි බණ්ඩිය පිරෙව්වා නම් නාන අතරේ කුක්කු ඉල්ලලා එයා අඬන එකක් නැහැ.

පුංචි පැටියා නාවන්න අවශ්‍ය වෙන්නේ මොනවද?

  • ලොකු සහ කුඩා ප්‍රමාණයේ බේසම් දෙකක්
  • දරුවාගේ හිසට වතුර දාන්න කුඩා භාජනයක් (වැඩිහිටියන් නම් මේ සඳහා හිල් පොල්කට්ටක් යොදා ගන්නවා)
  • ළදරු සමට උචිත Ph අගයකින් යුතු සබන් කැටයක් (මෙය වෛද්‍ය නිර්දේශය මත ලබා ගන්නේ නම් වඩාත් සුදුසුයි)
  • පුළුන් බෝල
  • ළදරු තුවායක් (මල්පීස්/බැන්ඩේජ් රෙද්දෙන් නිමවා ඇති නම් වඩාත් හොඳින් ජලය උරාගනී.)
  • නෑවීමෙන් පසු දරුවා උණුසුම් කිරීමට අවශ්‍ය ඇඳුම්  (නැප්කින්, ළදරු ගවුමක් සහ ප්ලැනල් රෙද්දක්, අත් සහ පා ආවරණ, තොප්පයික්)

පුංචි පැටියට නාවන්න වතුර ?

ඉන්න ඉන්න … අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. පැටියා නාවන්න වතුර සූදානම් කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ. වැඩි උණුසුම වගේම වැඩි සීතලත් පැටියට දරාගන්න අමාරුයි. ඒ නිසා මද රස්නේ වතුර තමයි පැටියට සුදුසුම. අපි අපේ වැලමිට වතුරට දාලා තමයි වතුරේ උණුසුම පරීක්ෂා කරන්නේ. 

අපි දැන් බබාව නාවන්න පටන් ගනිමු නේද?

පුංචි පැටියෙක් නාවද්දි වැඩිහිටි අපි නානවා වගේ මුළු ඇඟටම වතුර වැටෙන්න සලස්වන්නේ නැහැ. අපි මුලින්ම සෝදන්නේ දරුවාගේ හිස. හිස සෝදලා පිහදලා අවසන් වෙනතුරු පැටියාගේ ඇඟ හොඳින් උණුසුම්ව තබා ගැනිමට ඔතා ගන්න ඕනේ. මොකද බබාගේ මුළු ඇඟම නිරාවරණය වුණොත් අම්මාගේ කුස ඇතුළේ උණුසුමු පරිසරයක වැඩුණු මේ පුංචි පැටියට සීතල දරා ගන්න බැරි වෙනවා. 

   

ඒ වගේම තමයි අපි පුංචි පැටියවි අල්ලගන්න විදිය. අලුත උපන් පැටියෙකුගේ කොඳු ඇට පෙළ, බෙල්ල ශක්තිමත් නැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඉතිං එයාව නාවද්දි ඒ බෙල්ලට වගේම කොන්දට හොඳ ශක්තියක් ලබා දිය යුතුයි. ඒ නිසා අපි පැටියගේ කොන්ද අපේ අතේ වැලමිටේ සිට අලුල දක්වා එන පරිදි රඳවා ගැනිම කළ යුතුයි. එවිට දරුවාගේ කොන්දට වගේම අපේ අත්ලෙන් හිසට ලැබෙන සහය නිසා දරුවා පරිස්සම්. 

මුලින්ම පැටියාගේ ඇස්දෙක 

පුංචි වුණත් බබාගේ ඇස්වලත් කබ එනවා. ඉතිං අපි ඒවා පිරිසිදු කරන්නම ඕනේ. ඉතිං ඒ සදහා පිරිසිදු කපු පුලුං බෝල තමයි වඩාත්ම සුදුසු. මුලින්ම බබාගේ ඇහේ ඇතුළු පැත්ත පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඇහේ ඇත්ළත කොනේ සිට පිටතට එන විදියට තමයි අපි ඇහැ පිරිසිදු කරගන්නේ. ඊට පස්සේ අත තෙමමින් පැටියගේ පුංචි මූණ තෙත මාත්තු කරලා වගේ පිරිසිදු කරගන්න අපිට පුළුවන්. 

දැන් පැටියගෙ හිස  

පුංචි මූණ පිරිසිදු කරගතතට පස්සේ පැටියාගේ කන් දෙකට වතුර යන්නේ නැති වෙන්න අපේ මාපට ඇඟින්ලෙන් සහ සුළැගිල්ලෙන් වසා ගෙන (සමහර අය පුංචි පුළුං බෝල දෙකකින් කනේ සිදුර වසනවා. ඒත් බොහෝ දෙනෙක් එහෙම කරන්න නම් බයයි) පුංචි කෝප්පයෙන් හිසේ ඉදිරි කොටසට වතුර බේරී පහතට යන ආකාරයට වතුර ටිකෙන් ටික වත්කරන්න. මෙසේ වතුර වතකරද්දී බබාගේ කන්වලට නහයට වතුර නොයන්නට වග බලාගත යුතුමයි.සමහර අත්තම්මලා කියනවා වතුර කෝප්ප ගාන ගණන් කරන්න ඕනේ කියලා. නමුත් වෛද්‍යවිද්‍යාත්මකව ගත්තම නම් කළ යුත්තේ දරුවාගේ හිස හොදින් පිරිසිදු වනතුරු ඔබ යොදන සබන් හෝ ෂැම්පූ වර්ගය හොඳින් ඉවත් වන තුරු ඉතා සෙමින් සුමුදුව (අලුත් පැටියෙක්ගේ හිසකබල ශක්තිමත් නැති නිසා) සේදීම පමණයි. ඉන් පසුව හොදින් තෙත මාත්තු කිරිමෙන් පසුව පුංචි පැටියාගේ සිරුර පිරිසිදු කර ගැනීමට හැකියි.

දැන් පුංචි පැටියාගේ ඇඟ 

පැටියාගේ සිරුර පිරිසිදු කරද්දී අපි විශේෂයෙන්ම පෙකෙණිය ගැන සැලකිලිමත් විය යුතුමයි. සාමාන්‍යයෙන් පුංචි පැටියා ඉපදිලා සතියක් පමණ ගත වෙද්දී පෙකෙණිය හැලිලා යන බව ඔබ දන්නවා. එතෙක් වියළී යන තුරු අප එය ඉතා පරිස්සමෙන් බලා ගත යුතුයි. යම් විදියකින් පැසවීමක් හෝ ඒ හරහා විෂබීජයක් ඇතුළු වීම නිසා හෝ යම් යම් ගැටලු මතු විය හැකියි. ඒ නිසා පැටියාගේ පෙකෙණියේ පැහැය සාමාන්‍ය තත්ත්වයේ පවතිනවාද? දුර්ගන්දයක් තිබේද? සැරව ගතියක් තිබෙනවාද යන කරුණු ගැන සැලකිලිමත් වෙන්න. 

දැන් පුංචි පැටියගේ ඇදුම් ඉවත් කරලා වතුරට බස්සලා ඇඟ හෝදන්න ඔබට පුළුවන්. මුල් දින ටිකේ බබා ඇඩුවත් ඒක ටික දවසකින් හරියනවා. 

දැන් පුංචි පැටියාගේ ඇඟ හොදින් පිරිසිදු කරගන්න ඕනේ. බෙල්ල යට, අත් යට, කකුල් අතර, යෝනි පෙදෙස, පසු පෙදෙස ඉතා මෘදුව සෙමින් පිරිසිදු කරගත යුතුයි. වෛද්‍ය නිර්දේශය මත ඔබ පැටියා වෙනුවෙන් ලබා ගත් පිරිසිදු කාරක යොදනවා නම් ඒවා හොඳින් ඉවත් වන තුරු දරුවා පිරිසිදු කළ යුතුයි. කිසි විටෙක දරුවා තදින් ඇතිල්ලීම නම් කරන්න එපා. 

දැන් ඔන්න පුංචි පැටියා නාවලා ඉවරයි

එහෙම නම් ඉක්මනින්ම පැටියා හොඳින් තෙතමාත්තු කරලා පෙකෙණිය හොඳින් වියළා ඇඳුම් අන්දවන්න. පෙකෙණිය වෙනම පිරිසිදු කිරීමක් හෝ කොලෝන් වර්ග/ස්ප්‍රීතු වර්ග යෙදීම හෝ කිසිසේත්ම නොකළ යුතුයි නැවීමෙන් පසු පෙකෙණිය හොඳින් තෙත මාත්තු කිරීම (ඒ සඳහා හොඳින් පිරිසුදු කර අයන් දරගත් මල්පීස් වැනි සිනිදු රෙදි කැබිල්ලක් යොදාගත හැකියි) පමණක් ප්‍රමාණවත් බව අම්මා මතක තබා ගන්න. මේ සියලුම කාර්යයන් විනාඩි 10 -15 අතර කාලය තුළ අවසන් කරගන්නත් අම්මා සැලකිලිමත් විය යුතුයි.

 පුංචි පැටියට ඇඳුම් අන්දවද්දිත් අම්මා සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා. එකක් තමයි නැපි කටුව. අපේ රටේ බොහොමයක් අම්මලා දරුවා ලැබුණු ගමන් ඩයපර් අන්දවන්නේ නැහැ. නැප්කින් එක තමයි පාවිච්චි කරන්නේ. අපි පැටියට නැප්කින් එක හෝ ඩයපර් එක හෝ කියන මේ දෙකන් කුමන එක පාවිච්චි කළත් ඒක අන්දවද්දී පෙකෙණිය නොවැසෙන ආකාරයට ඇන්ද වීමට වග බලාගන්න. එහෙම නැතිනම් මුත්‍රාවලින් නැපි එක තෙත් වෙද්දී පෙකෙණිය අසාදනවලට ලක්වීමට ඉඩ තියෙනවා. 

ඒ වගේම පුංචි පැටියාට අනතුරු නොවන ආකාරයට (පැටියාගේ සම මත නැපි කටුව නොඇනෙන ලෙස නැපි එක ඔසවා ඔබේ අත  යටින් තබාගන්න) නැපි කටුව රදවන්න. නැතිනම් නැපිය පැටියාගේ උදරයට තද නොවන සේ ගැට ගසන්න. දැන් ඔබට පුළුවන් පුංචි පැටියව හොඳින් උණුසුම් වන විදියට ඇඳුම් අන්දවලා අත් පා ආවරන පලදලා උණුසුම රැකෙන රෙද්දකින් ඔතන්න. ඔන්න දැං පැටියා පිරිසිදු කරලා ඉවරයි. දැන් පැටියව අම්මා‍ගේ තුරුලට අරන් පුංචි බණ්ඩිය පිරෙන්න කුක්කු දුන්න නම් පැය කීපයක්ම පැටියා සුවසේ නිදියනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරන ඔබ කල්තියා දැනුවත් විය යුතු කරුණු 9ක්

හාහාපුරා කියලා පුංචි පැටියෙක් කුසට ආ බව දැනගත්තම බොහොම සතුටින් ඒ සුබ පණිවිඩය දෙපාර්ශවයේ මව්පියන්ට ලබා දෙන එක තමයි ඕනෙම යුවළකගේ පළවෙනිම කාර්යය. අනිත් හැම කටයුත්තක්ම ඉන්පස්සේ. මේ ඉන් පස්සේ කළ යුතු කටයුතු සියල්ල ගැන පළමු දරු ප්‍රපිළිසිඳ ගැනීමේදී මව්පිය යුවළට වැඩි අදහසක් නැහැ. ගැබිනි මවක් සායනයට හෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වන තැන සිට සිදු විය යුතු දේවල් ගැන අපි අද කතා කරමු.

    1. ගැබ් ගත් බව දැනගත් වහාම ඔබ කළ යුත්තේ මොනවාදකාන්තාවක් ගැබ් ගෙන ඇති බව දැනගත් වහාම කලලයට සති අට සම්පූර්ණ වීමට පෙර ගැබිනි මවක් තමාට අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව ඇය මුලින්ම හමුවන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි. ඉන් පසු සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයෙක් වෙත ඇයව යොමු කෙරෙන අතරම ඇයගේ තත්ත්වය පරීක්ෂා කොට අවශ්‍ය නම් ඇය විශේෂඥ වෙද්‍ය සානයනකට යොමු කෙරෙනවා. සාමාන්‍ය ක්‍රියා පිළිවෙළ ඒ ආකාරයෙන් වුවත් රැකියාව නිසා හෝ වෙනත් හේතු නිසා ඇතැම් මව්වරුන් රජයේ සායනයට සහභාගී නොවී ගැබ්ගත් වහාම හොඳම නාරි හා ප්‍රසව වෛද්‍යවරයා සොයා බලා ඒ වෛද්‍යවරයා පෞද්ගලිකව හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගන්නවා. 
  • ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙන පැමිණි විට ඇයගේ මූලික සායන වාරයේදී සිදු වන්නේ මොනවාද?

ගැබිනි කාන්තාවගේ සායනික ඉතිහාසය පරීක්ෂා කිරීම මෙහිදී මූලිකව සිදු වෙනවා. එනම් පෙර පැවති රෝගී තත්ත්ව, පෙර පැවති ගර්භනී බාවයන් (මීට පෙර ගැබ් ගැනිමක් සිදුව ඇත් නම් ප්‍රසූතිය සිදු වූ ආකාරය, ඒ ගැබ්ගැනීමේදී ඇති වූ සංකූලතා වැනි දේ) පිළිබඳව වගේම යම් යම් දවද්‍ය පරීක්ෂණ වෙතත ගැබිනි මව යොමු කෙරෙනවා. 

  • ගැබිනි කාන්තාවක් නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන පළමු දිනයේ රැගෙන ආ යුත්තේ මොනවාද?

මූලික සායනයට පැමිණෙන කොට පෙර ලබා ගත් වෛද්‍ය වාර්තා, එනම් සැත්කමකට යොමු වූවා නම් ඒ කාඩ්පත්, පෙර ප්‍රසූතියේ වාර්තා ඇතුළු වෙනත් ලෙඩ රෝග සම්බන්ධව ඇති වාර්තා වමන්ම ලබා ගන්නා ඖෂධ වර්ග ඇත්නම් ඒ පිළිබඳව තොරතුරු රැගෙන ඒම ඉතාම වැදගත්. සරලවම කිව්වොත් මොනයම් ආකාරයේ වෛද්‍ය වාර්තා ඔබ ළඟ තිබේ නම් ඒවා ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. ගැබිනි සමයේ මුල් කාලයේදී නාරි හා ප්‍රසව වෛද්‍යවරයා හමුවන්නේ මසකට වරක් පමණයි. පළමු හමු වීමේදීම සියලු වාර්තා රැගෙන ඒමෙන් නැවත හමුවීමට පැමිණීම යෙදන දින තෙක් ප්‍රමාද නොවී ගැටලු කාරී තත්ත්ව ඇතිනම් ඒ සඳහා මුල් අවධියේදීම අවශ්‍ය පියවර වෙත යොමු වෙන්න අපට හැකියාව ලැබෙනවා. 

  • ගැබිනි මවක් වෛද්‍යවරයෙක් හමු විය යුත්තේ මසකට වරක් පමණද?

ගැබිනි මවගේ ඇති සංකූලතා මත වෛද්‍යවරයා හමුවන දිනය වෙනස් විය හැකියි. කිසිම සංකූලතාවයක් නොමැති මව්වරුන් සාමානයයෙන් විශේෂඥ සායනයට පැමිණීමට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන පරීක්ෂණ වාර්තා ලබාගැනීමට හෝ යම් ගැටලුවක් මතු වුවොත් පමණයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝ රෝහලේ දී පැවැත්වෙන සායනයට මව්වරුන් සහභාගි වෙනවා. නැවත විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්නේ අවසාන මාසයේදීයි. නමුත් සායනවලට සහභාගී නොවන මව්වරුන් එනම් පෞද්ගලිකව වෛද්‍යවරයා හමුවෙන මව්වරුන් මුල් කාලය තුළ මසකට වරක් වශයෙනුත් අවසාන කාලයේදී මසකට දෙවරක් වහයෙනුත්පරීක්ෂා කෙරෙනවා. එතැනදීත් සංකූලතා ඇති මව්වරුන් නිතර පරීක්ෂාවට බදුන් විය හැකියි.

  • ගැබිනි මවක් යොමු විය යුතු පරීක්ෂණ මොනවාද? ඒවා සිදු කිරීමේ වැදගත්කම කුමක්ද?

රුධිර පරීක්ෂණ මගින් රුධිර ඝනය, හිමොග්ලොබින් මට්ටම මැන බැලීම, රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලීම, රුධිර පීඩනය මැන බැලීම වැනි පරීකෂණ වෛද්‍ය නිර්දේෂ මත සිදු කළ යුතුයි. ඒ වගේම ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනය හා යම් සංකූලතා පවතීය යන්න පිළිබඳව සොයා බැලීම සිදු කෙරෙනවා. 

  • රුධිර ඝනය පරීක්ෂා කිරීමේ වැදගත්කම කුමක්ද?

ඔව්. මවගේ රුධර ගණය (-) එනම් නෙගටිව් වෙලා පියාගේ රැධිර ගණය (+) වුනොත් දරුවාගේ රුධිර ගණය (+) වීමට ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම අවස්ථාවකදී මවගේ යම් ප්‍රතිදේහ මගින් දරුවාට නොයෙක් සංකූලතා ඇති විය හැකියි. එවැනි තත්ත්ව වළක්වා ගන්න නම් අපි කල්තියා ඒ පිළිබදව දැනුවත් විය යුතුමයි. ඒ විතරක් නෙවෙයි, මවට රුධිරය ලබාදීමට අපිට සිදු වුනොත් එහිදීත් රුධිර ගණය දැන සිටිම වැදගත්. යම් හදිසි තත්ත්වයක් මත රුධිර ගණය පරීක්ෂා කිරීමට කාලය මදි විය හැකියි. ඒ ප්‍රමාදය මවට පමණක් නොවෙයි කුස සිටින දරුවාටත් ගැටලු ඇති කළ හැකියි. 

  • ගැබිනි මවගේ ප්‍රසූති දිනය සැකසෙන්නේ කෙසේද?

කාන්තාවට අවසන් වරට ඔසප් සිදු වූ දිනය මත තමයි සාමානයයෙන් ප්‍රසූත දිනය අපි නිර්ණය කරන්නේ. එනම් අවසාන වරට ඔසප් වූ දිනයේ සිට සති 40ක් (දින 280) ගත වූ පසු ප්‍රසූතිය සිදු වෙන බවට ගනනය කෙරෙනවා. නමුත් ඒ දිනය වෙනස් වෙන ඉඩකඩ වැඩියි. නමුත් ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ වර්ධනය පරීක්ෂා කොට එයට අනුව ප්‍රසූතිය සිදුවන නිවැරදි දිනය අනුමාන කළ හැකියි.

  • ගැබිනි මවක් තම ආහාර රටාව සකස් කරගත යුත්තේ කෙසේද?

නිරෝගී දරු පැටියෙක් බිහිකරන්න නම් ගැබිනි මවගේ පෝෂණය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා දරුවෙකු ලැබෙන්නට පෙර සිටම කාන්තාවක් හොඳ පෝෂණයක් ලබා ගැනීම ඉතාම වැදගත්. දරුවා කුස පිළිසඳ ගන්නා විට මවක් නිසි පෝෂණ මට්ටමක සිටීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගැබිනි සමයේ වැඩි පුර ආහාර ගැනිම වගේම අඩුවෙන් ආහාර ගැනීම කියන දෙවිදියම නුසුදුසුයි. වැඩිපුර ආහාර ගැනීම නිසා ස්තූලතාවයට පත්වීම වගේම අඩුවෙන් ආහාර ගැනීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති විම විය හැකියි. සාමාන්‍යයෙන් මුල් සති 20 – 25 අතර කාලය තුළ දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගත් ආහාර රටාවටම යොමු වීමේ ගැටලුවක් නැහැ. නමුත් ඉන්පසුව ක්‍රමයෙන් ආහාර රටාවේ කැලරි 200ක පමණ වැඩි කිරීමක් සිදු කරන්න අපි උපදෙස් දෙනවා.  

  • ගැබිනි මව්වරුන්ට ඖෂධ වර්ග ලබා දෙනවාද? ඒ කුමන හේතු මතද?එමගින් කුස සිටින දරුවාට බලපෑමක් නැතද?

සාමාන්‍යයෙන් ගැබිනි මවකට නිර්දේශ වෙන්නේ අවශ්‍ය විටමින් වර්ග (යම් පෝෂක අඩුපාඩුවක් ප්‍රතිස්තාපනය කිරීමට) කිහිපයක් පමණයි. ඒවා කිසිදු විටෙක මවට හෝ දරුවාට හානිකර වන්නේ නැහැ.

දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිටම පෝලික් අම්ල විටමිනය – දරුවන්ගේ කොදුඇට පෙළ ආශ්‍රිතව ඇති විය හැකි සුසුම්නාව හා ස්නායු පටක පිටතට පැමිණීම, හිස් කබලේ කොටස් නැති දරුවන් බිහි වීම වැනි දරුණු රෝග තත්ත්ව වළක්වාගන්නට මෙය දරු පිළිසිඳ ගැනීමට පෙර සිටම ලබා ගන්නා ලෙස මව්වරුන්ට නිර්දේශ කරනවා.

යකඩ පෙති – ගැබිනි මව්වරුන් ඉන්නවා ගැබ් ගැනීමට පෙර සිටම යකඩ ඌනතාවයෙන් පෙලෙන. ඒ වගේම ගගැබ් ගැනීමත් සමගම යකඩ ඌතාවයට ගොදුරු වෙන. ගැබිනි මව නීරක්තියට පත් වීම වළක්වා ගැනීමට යකඩ පෙති නිර්දේශ කිරීම සිදුකරනවා. ඒත් එක්කම යකඩ හොඳුනි අවහෝෂණය වීම සදහා විටමින් සී ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරු උපදෙස් ලබා දෙනවා. 

කැල්සියම් පෙති – මෙය යකඩ පෙති සහ විටමින් පෙති සමග එකට ලබා නොගත යුතුයි. කැල්සියම් කියන්නේත් විටමිනයක් මිස ඖෂධයක් නොවේ. 

යම් යම් සංකූලතා මත ඇතැම් මව්වරුන්ට මව්වරුන්ට අවශ්‍ය ඖෂධ (යම් රෝගයක් මර්දනය කිරීමට හෝ පාලනය කිරීමට) වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා. මව දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය වැනි රෝග තත්ත්වයක සිටිනවා නම් හෝ මුත්‍ර ආසාදන, අසාත්මිකතා හෝ පැපොළ වැනි වෙනත් බෝවන රෝග ඇති වුවහොත් දරුවාට කිසිදු හානියක් නොවන ආකාරයේ ඖෂධ නිසි මාත්‍රාව ගැබිනි මවට වෛද්‍යවරු නියම කරනවා. නමුත් කිසිදු විටෙක වෛද්‍ය නිර්දේශයකින් තොරව ගැබිනි මවක් ඖෂධ ලබා නොගත යුතු බව කිව යුතුමයි. ගැබිනි මවකට යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වුවොත් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍ය බව අමතක නොකළ යුතුයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

අත්තම්මේ, බබා ගැන වගේම අම්මා ගැනත් ලොකු වගකීමක් ඔබ සතු බව දන්නවා නේද?

විවාහයක් කියන්නේ  දෙන්නෙක් එක් වෙනවා කියන එක විතරක් නෙවෙයි. දෙපාර්ශවයේම නෑදෑ හිත මිතුරන් එක් රැස් වීමත් විවාහයකදී අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ වගේම දරු උපතක් කියන්නෙත් පරම්පරා දෙකක් එක් වනවා වගේම තමන්ගේ දරුවාගේ දරුවා කියන්නේ අත්තම්මලා, සීයලාට පුදුම ආඩම්බරයකාර හැඟීමක්. ඒ වගකීම ඔවුන් බාරගන්නේ ඉහටත් උඩින්. අන්න ඒ නිසාම පවුල් සංස්ථාවන් ඇතුළෙ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න ලැබෙන මේ අවස්ථාවට හැම අත්තම්මා කෙනෙක්ම ලප ලෑස්ති වෙන්නේ තමන්ට ඒ බලය තමන් විසින්ම පවරගෙන.

මේ මගේ දරුවාගේ දරුවා. මගේ දරුවා ලැබුණු දවස මට තාම මතකයි. එදා මම විඳපු වේදනාවන්, මගේ දූ මේ ලෝකෙට ඇවිත් අඬනවා ඇහුණු වෙලාවෙ අමතක  වෙලා ගියා. මට දැනුණේ මම සම්පූර්ණ වුණා වගේ. මාස නවයක් තිස්සේ විඳපු අපහසුතා වේදනාවල් හැමදේම දුවගේ කටහඬ ඇහුණු ගමන් අමතක වුණා. 

අද වෙද්දී තමන්ගේ දරුවෝ උස් මහත් වුණත් අම්මා කෙනෙක්ට ඒ දරුවා තමන්නේ පුංචි දරුවාට තමයි. අන්න ඒ නිසාම ඔවුන් තමන්ගේ දරුවාට දරුවෙක් ලැබුණුමත් තමන් විසින් සියල්ල සිදු කළ යුතුයි කියා සිතනවා. ඒ දරුවා තමන්ගේ අනුදැනුම ඇතිව උස් මහත් වෙනවා දකින්න ඔවුන් බොහෝ සේ ප්‍රිය කරනවා. 

දරුවා පිළිසිඳ ගැනීම දැන ගත්තහම මහත්තයා වගේම ඊළඟට සතුටු වන දෙන්න තමයි අම්මා හා නැන්දම්මා. මේක එයාලට ලැබෙන ලොකුම ගෞරවය හැටියටයි එයාලට දැනෙන්නේ. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් නොවුනොත් ඒක සනුහරේට ම ඇති වන කැලලක් හැටියට දකින්නෙත් ඔවුන්මයි. නමුත් අද වන විට ඒ තත්ත්වය බොහෝ දුරට අඩු වී තිබෙනවා. 

මේ ආකාරයට ඔවුන් තමන් අත්දැකපු අත්දැකීම් දරුවන් තුළින් දකින්න බලාපොරොත්තු වෙනවා වගේම නිරතුරු දරුවන්ගේ ලෝකය සුන්දරව ගොඩනගන්න එයාලා ලොකු උත්සාහයක් දරනවා. මේ නිස බෙහේ දේ ඔවුන්දරුවගේ අම්ම වෙනුවෙන් ඉටු කරනව.

බබා ලැබුන අම්මගේ කෑම වේල ගැන ලොකුවට හිතනවා

මවගේ කිරි ටික වැඩි කරන්න හොඳ ආහාර වේල් සකසා දෙනවා. හැමතිස්සෙම කියන්නෙ කිරි අම්මාට හොද කෑම කියලා. එහෙම කියලා කරවිල, පොලොස් ආදී ලෙසින් ආහාර තෝරලා සකස් කර දෙනවා. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙනවා අම්මට කිරි වැඩි වේවි කියලා. ඒ ‍වගේම අම්මට ආහාරයක් හෝ පානයක් සූදානම් කරද්දිත් උණුසුම්ව ලබා දීමට ඔවුන් උනන්දු වෙනවා. ඒවා ඇත්තටම කිරි යාන්ත්‍රණය උත්තේජනය කරන්න හරිම වැදගත්. ඒක නිසා දරුවාට කිරි උරන්න පහසු වෙනවා වගේම හොඳින් කිරි උරන නිසා ඊළඟ කිරිවේල නිෂ්පාදනය හොඳින් සිදු වීමටත් ඉවහල් වෙනවා. ඒකෙ කියන්නේ මව්කිරි දීමේ ක්‍රියාවලිය එයාලගේ වගකීම් නිසා සාර්ථක වෙන බව ඔවුන් සිතනව.

බබා ලැබුන අම්මට නාන්න කොළ වර්ග තම්බලා වතුර රත් කරනවා.

මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අම්මගේ ඇද වුනු කොදු ඇටපෙල අස්ථි වලින් නැගෙන වේදනාව වගේම අතපය වේදනාව නැති කිරීම. දේශීය වෙද වෙදකම තුළ මේවා පල දරනවා. දේශීය වෙදකම් වල කැඩුම් බිඳුම් වලදීත් කරන්නේ මෙවැනි ප්‍රතිකාර. ඒ නිසා මේ ක්‍රම නිසා අම්මට ඇත්තටම සහනයක් ලැබෙනවා. ඇඟ උණුසුම් වෙනවා. වේදනාවන් වල දී සහනයක් ලැබෙනවා. මේවා ඉතින් අම්මලා නැන්දම්මලාගේ වගකීම් තමයි.

අලුත ලැබුණු බබා නාවන්නත් වතුර රත් කරනවා

අලුත් සමට විසබීජ නාශක ලබා දෙන්න තමයි එහෙම කරන්නේ. ඒ වගේම දරුවා නාවනකොට එකවර ඔළුවට වතුර වක් නොකර ටික ටික දාන්නේ. ඒකත් ඉතින් ක්‍රමයෙන් දරුවාට දරා ගැනීමේ හැකියාව හුරු කරන්න ඇත්තටම හොඳයි. ඒ වගේම ගණන් කරලා නෑවීම තුළිනුත් නාන්න ගත කරන කාලය ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා ඒවායේ යම් යම් ප්‍රමිතියක් ඇති වෙනවා.

අලුත් බබාගේ ඇඳුම් සෝදන්නෙත් හරිම සැලකිල්ලෙන්

දරුවාගේ ඇඳුම් ටික හේදුවත් ඒක තදින් මිරිකන්න එපා කියනවා. එහෙම කියන එකේ සත්‍යය සොයා බැලුවහම ළදරු ඇදුම් නිම කරලා කරල තියෙන්නෙ මල්පීස් කියන තුනී සිනිදු රෙදි වලින්. මේවා ගොඩක් ඇඹරුවහම නූල් ඈත නිසා ඇදිල ඉරෙන්න බලනවා. එහෙම නැත්නම් වෙන්න ඉක්මනට ඒවා අයින් කරලා අලුතින් මිලදී ගන්න සිදු වෙනවා. මේ නැපි අවශ්‍ය වෙන්නේ ටික කාලයකට නිසා අරපිරිමැස්මෙන් ඒවා පාවිච්චි කරන්න ඔවුන්ගේ මේ අදහස් ඉතාම වැදගත් වෙනවා. නමුත් දරුවාගේ ඇඳුම් මිරිකුවහම දරුවා ඇඹරෙන්න් බටන් ගන්නවා කියලා ඇතැම් වැඩිහිටියන් විශ්වාස කළත් ඒවාගේ විද්‍යාත්මක පදනමක් නම් නැහැ. 

දරුවන් නිදි කරවන හැටි අම්මාට කියා දෙනවා

දරුවෙක් නිදි කරන විට ඒ දරුවාට සුව පහසුව උණුසුම් දැනෙන එක බොහොම වැදගත්. ඒ වගේම අත්තම්මා ඉතාම ලයාන්විතව නැලවිලි ගීත ගායනා කරනවා. නැලවිලි ගීත කියන්නේ සෞන්දර්ය රසාස්වාදය වැඩිදියුණු කරනවාට වගේම හිතට දැනෙන භාවනාවක්. මේ නිසා දරුවාගේ මොළයට දැනෙන ඒ සංයමය සිත නිවනවා. ඒ වගේම භාෂා හැකියාව චිත්තවේග වගේම තාර්කික හැකියාවත් වැඩි දියුණු වෙනවා. මේවා තමයි දරුවාගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම. එනිසා දරුවාගේ සංයමය වැඩි වෙලා හොඳ නින්දකට නැලවිලි ගීත උපයෝගී වෙනවා වගේම චිත්තවේගය ශක්තිමත් භාවයත් වැඩි වෙනවා.

මේ විතරක් නෙමෙයි හැම ක්‍රියාවකදීම දරුවන් අගය කරන්නේ අත්තම්මලා. හපන් පුතා.. ආව් ආව්…ආදී ලෙසින් අත්පුඩි ගහලා දරුවා උනන්දු කරනවා. මේ නිසා දරුවන්ට දැනෙන අගය කිරීම ඔවුන්ගේ ඊළඟ පියවරට තෝතැන්නක්. මේ නිසා දරුවාට දැනෙන ආත්ම විශ්වාසය නිසා හැකියාවන් වැඩිදියුණු වෙනවා වගේම ආරක්ෂාකාරී හැඟීම් වැඩි දියුණු වෙනවා. 

මේ ආදී ලෙසින් අලුත උපන් දරුවෙකු වගේම මවක රැකබලා ගැනීමේදී පාරම්පරික දැනුම වගේම විශ්වාසනීය ලෙසින් ශක්තිය සපයන්නට අත්තම්මලා ට හැකි වෙනවා. ඒ වගේම දරුවා ලැබුණු අම්මට තමන්ගේ මව වගේම මව මෙන් තමා රැකගන්නා නැන්දම්මාත් හිතට අරන් එන්නේ ශක්තියක්. ජීවිතේ ඕනෑම වෙලාවක දුකට සැපට දෙකටම කියවෙන පළමු වචනය අම්මෙ කියන එක. එනිසා තමයි සෑම කෙනෙකුගේම ජීවිතයට ශක්තියක් ගෙන එන එකම වචනය මේ වෙලා තියෙන්නෙ. මේ නිසා අලුත් අම්මටත් බබාටත් ආදරය රැකවරණය විශ්වාසනීයව පිරුණු තැන තමයි මෙතැන. එසේ නම් හැම මොහොතකදීම මූලිකත්වය, වගකීම යන දෙකම අත්තම්මාට යන එක අරුමයක් නොවෙයි.

පරම්පරාගතව රැකගෙන එන චාරිත්‍ර වගේම ජීවිතේට අත්වැලක් සපයන්නට අම්මගේත් නැන්දම්මාගේත් වගකීම කොයි තරම් ශක්තියක් ධෛර්යයක් ගෙන එනවාද රැකවරණයක් සපයනවා ද යන්න ගැන තවත් කතා අවශ්‍යද?

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

මාපියන් ලෙස, දරුවන් වෙනුවෙන් ඔබ සලකිලිමත් විය යුතු කරුණු 11ක්

Parenting.lk අපි, වසර ගණනාවක් මුළුල්ලේ වෘත්තිමය සුදුසුකම් ඇති ප්‍රවීනයන් සමග ජීවිතය, සෞඛ්‍ය, සතුට ඇතුලු බොහෝ දේ සාකච්ඡා කළා. අද වන විටත් ඒ දියුණු වන ලෝකය සමග එක්ව ගමන් කරමින් යාවත්කාලීන තොරතුරු රැගෙන ඒම සිදු කරන්නේ සැබවින්ම සාර්ථක මව්පිය යුවළක් ලෙස ඔබ සාර්ථක දරුවෙක් දැයට දායාද කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරමිනුයි. දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් සතු වගකීමේ දිගක් පළලක් නැහැ. ඒ වගේම එක මෙසේයි විග්‍රහ කළ හැක්කෙක්ද නැහැ. එය ඉතා වගකීමෙන් සහ ප්‍රවේශමෙන් ඉටුකළ යුතු භාරදූර කටයුත්තක් බව කිව හැකිය. ලංකාව වැනි රටක ඒ හා සම්බන්ධව දෙමාපියන් දැනුවත් කිරීමේ වගකීම අප පවරාගෙන සිටින්නේ සැබවින්ම එය වැඩිහිටි ඔබේ සහ මගේ මෙන්ම ඔබේත් මගේත් දරුවන්ගේ ජීවිත අර්ථවත් කරගැනිමට විශාල සහයක් වන නිසාමය.

  1. දරුවෙක් උස්මහත් කිරීම අභියෝගයක් වුණත් අපි එය ජය ගනිමු.

දරුවකු කුස පිළිසිඳ ගැනීම, දරුවෙකු මෙලොවට බිහිකිරීම මෙන්ම දරුවෙකු කායිකව, මානසිකව නිරෝගී පුද්ගලයෙකු ලෙස සංවර්ධනය කිරීමත් පෙර සඳහන් කළ පරිදිම පහසු කටයුත්තක් නොවේ. දරුවන් වෙත අප සතු වගකීම අපෙන් ගිලිහෙන්නට නම් මේ ජීවිතය අවසන් විය යුතුමය. හැම අම්මෙක් තාත්තෙක්ම ඒ වගේමය. එතෙක් ගමන් මග අභියෝග රැසකි. ආර්ථීක ගැටලු මෙන්ම සහායට ඇයෙක් නොමැති වීමේ සිට රැකියාව ගෙදර දොර වැඩ දරුවන්ගේ අධ්‍යාපන වැඩ ඇතුළු බොහොමයක් දේ සම්බන්ධව ගැටලු තිබුණත් දරුවන් සම්බන්ධ වගකීම පැහැර හැරිය නොහැක. අන්න ඒ නිසාම දරු සෙනෙහසම සවියක් කරගනිමින් සැලසුම් සහගතව කටයුතු කළමනාකරණය කරගනිමින් සාර්ථකව අභියෝග ජයගැනීමට මව්පියන් ලෙස අප දිරිමත් විය යුතුය. 

2. දරුවා පිළිබඳ ඔබේ සිහිනය 

මව්පියන් ලෙස අපේ අපේක්‍ෂාව වන්නේ දරුවාගේ අනාගත වෘත්තීමය හෝ ජයග්‍රහණයන් හෝ පමණක් නොව දරුවා ස්වයං විනයක් සහිත, සාර්ථක පෞරුෂත්වයක් සහිත ගෞරවණීය මෙන්ම තමාට මෙන්ම සමාජයට ආදරය කරන සංවේදී පුදගලයෙකු ලෙස සමාජගත කිරීම විය යුතුය. කිසිදු විටෙක ඔබේ සිහින දරුවාගෙන් සාක්ෂාත් කරගන්නට උත්සාහ නොකරන්න. 

3. දෙමාපියන්ගේ යුතුකම්

දරුවන්ට ආහාර ලබාදී පෝෂණය කිරීම, ඇඳුම් හා අනෙකුත් අවශ්‍යතා ඉටුකිරීම හෝ අධ්‍යාපනය ලබාදීම තුළින් පමණක් මව්පියන් වන අපගේ යුතුකම් කියා නොසිතන්න. එදිනෙදා ජීවිතය තුළ යුතුකම් ඉටුවන ආකාරයට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය. දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ යුතුකම් වෙසෙන පරිසරයට, සංස්කෘතියට අනුව වෙනස්විය හැකි වුවත් පොදුවේ ගත් කළ සෑම දරුවෙකු වෙතම දෙමාපියන් විසින් ලබාදිය යුතු දේ සරලව මෙසේය.

  • කායික මෙන්ම මානසික සුවපහසු බව සහ නිරෝගී බව
  • අවධානය යොමු කිරීම, මඟ පෙන්වීම, උපදේශනය සහ දරුවාටත් සවන් දීම 
  • රැකවරණය 
  • පෞරුෂ වර්ධනයට ඇවැසි සහයෝගය ධෛර්යය ලබාදීම.
  • ප්‍රශංසාව හා අගය කිරීම තුළින් ආත්ම විශ්වාසය ගොඩනැගීම.
  • තම වටිනාකම හා වැදගත්කම අවබෝධ වන්නට සැලැස්වීම තුළින් ආත්ම අභිමානය වර්ධනය කිරීම
  • සහකම්පනය වැනි ගුණාංග වර්ධනය කිරීම
  • දරුවාගේ ස්වාධීනත්වයට ගරු කිරීම.
  • පවුල තුළ දරුවාට හිමි තැන ලබා දීම
  • කොන්දේසි විරහිතව දරුවාට ආදරය කිරීම

4. දඩුවම් කිරීමේදී සැලකිලිමත් වෙන්න

දරුවන් අතින් වැරදි සුදු වන්නේ හොඳ හෝ නරක තාර්කිව අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසාය. එය සාමාන්‍ය තත්ත්වයකි. එවන් අවස්ථාවල දරුවන් නිවැරදි කිරීම කායික/මානසික දඬුවම් දීම, බිය වැද්දීම, ලැඡ්ජාවට පත් කිරීම, කොන් කිරීම නොකළ යුත්තේ එවැනි දෑ දරුවා බියගුළු චරිත බවට පත් කරන නිසාය. හොඳ දෙයින් ලැබෙන හොඳ ප්‍රතිඵල දරුවාට භුක්ති විඳින්නට සැලැස්වීම සහ නරක දෙයින් ලැබෙන නරක ප්‍රතිඵල දරුවාට විඳින්නට සැලැස්වීම දරුවාට තත්ත්වය වටහා ගැනීමට හැකියාව සලසන ක්‍රමයකි. හොඳ නරක තෝරාගන්නා ආකාරය වගේම වැරදි දේ නිවැරදි දේ තෝරාගන්නා ආකාරයත් දරුවාට පැහැදිලි කර දෙමින් යමක් තාර්කිකව සිතා බලා තීරණ ගැනීමට දරුවා හුරු ළ යුතුය. සැමවිටම ඔබ ආදර්ශමත් චරිතයක් වෙමින් එම ආදර්ශ දරුවාට ලබා දිය යුතුය.

5. දරුවන් ද ස්වාධීන ඒකකයක් බව හැඳිනගන්න

මොලොවට දරුවා ජනිත කරන්නේත් ජීවත් කරවන්නේත් පවුල තුළ ඔවුන් වුවද ස්වාධීන පුරුක්ය. පවුල් පරිසරය තුළ ස්වාධීන ඒකකයක් ලෙස වැඩෙන්නට ඔබ, ඔබේ දරුවාට ඉඩ නොදෙන්නේ නම් අනාගතයේ දිනක සමාජය තුළ ස්වාධීන චරිත ලෙස ක්‍රියාකාරී වීමට දරුවාට ඇති හැකියාව ගිලිහී යා හැකියි. දරුවන්ට ඔවුන්ගේ කටයුතුවලදී අවශ්‍ය තීන්දු, තීරණ ගන්නට සහය වෙන්න. නමුත් ඔවුන්ට තිරණ ගන්නට ඉඩ තියන්න. ඇඳුම් පැළඳුම්, ආහාර පිළිබඳව ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ක්‍රියා කිරීමට අවසර ලබා දෙන්න. ඉගෙනීමේදී විෂයයන් මෙන්ම බාහිර ක්‍රියාකාරකම් හෝ ක්‍රීඩාවන් තෝරාගැනීමට අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න. එයින් තම තීරණවල ප්‍රතිඵල තමන්ගේම බව දරුවාට වැටහෙන අතරම තමා විසින් ලබාගන්නා තීරණවල හොඳ නරක තමාට උරුම වන බව දරුවා අවබෝධ කරගන්නා අතරම තීරණ ගැනීමේදී වගකීම් සහගතව වැඩිහිටි උපදෙස් සැලකිල්ලට ගෙන ඒවා ගත යුතු බව දරුවාට නිතැතින්ම අවබෝධ වන අතරම ඒ හරහා දරුවාට ස්වයං විනය වර්ධනය කරගැනීමටද සහයෝගය ලැබේ. 

6. දරුවා සමග කතාබහ කරන්න

මව්පියන් වන අපට දරුවා හැඳිනගැනීමට ලැබෙන හොඳම අවස්ථාව දරුවා සමග කතාබහේ යෙදෙන අවස්ථාවන්ය. කෑම මේසයේදී හෝ නිවසේ සියලු දෙනා එක්ව ගත කරන මෙහොතක දරුවන් සමග කතාබහේ යෙදෙන්නට අප උනන්දු විය යුතුයි. ඔවිට ඔබ සමග දරුවාට තම අත්දැකීම්, අදහස් හා හැඟීම් බෙදාහදා ගැනීමට අවස්ථාව හිමිවන අතරම එවැනි දරුවන් කිසිදු අපහසුවකින් තොරව දෙමාපියන් වෙත නොපැකිලිව සියලු දේ පැවසීමට යොමු වන නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙනුත් එය විශාල සහයෝගයක් වන්නේ දරුවාගේ යහළු යෙහෙළියන් ඇතුලු බොහෝ දේ සවිස්තරාතමකව දරුවා මව්පියන්ට පවසන නිසාය.

7. සමාජශීලී බව වර්ධනය කිරීම

ඔබ, ඔබේ දරුවා යොමුකරන සමාජ වටපිටාව මත යම් දිනක වැඩිහිටි වන ඔබේ දරුවා සමාජය වෙත ඉටු කරන මෙහෙවර එනම් දරුවාගෙන් සමාජයට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙයි. එතැනදී අත්තම්මා සීයා පමණක් නොව නෑ හිතමිතුරන්‍ගේ ඇසුර ලබාදීම ඉතා වැදගත් වේ. අත්තම්මා/සියාගේ රසබර කතා තුළ දේශීය සිරිත් විරිත් මෙන්ම සංස්කෘතික හරයන්ද නොදැනුවත්වම වාගේ ඇතුළත්ය. සතුන්ට, මිනිසුන්ට ආදරය කරන්න දරුවන්ට අත්තම්මා‍ගේ ජීවිතය තුළින්ම අත්දැකීම් ලබාදෙයි. පරිපූර්ණ පෞරුෂත්වයක් දරුවෙකුහට හිමිවන්නට නම් අනුන් වෙනුවෙන් සංවේදී වන සිතක් තිබිය යුතුමය. 

8. වචන භාවිතය කෙරෙහි අවධානය යොමු කරන්න

දරුවන් රිදවන, කෝප ගන්නව, බිපත් වන වචන කිසිසේත්ම භාවිත කිරීම සුදුසු නැති බව මව්පියන් ලෙස අප මතක තබා ගත යුතුය. එවැනි වදන් දරුවෙකුගේ ආත්ම ශක්තිය හීන කරවන අතරම මව්පියන් කෙරේ ඇති ආදරය හා විශ්වාසය බිඳ දමනවා පඹනක් නොව දරුවාට තම ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසය ද ගිලිහී යයි. ප්‍රීතිමත්, මනා  පෞරුෂයකින් හෙබි ආත්ම විශ්වාසය ඇති පුද්ගලයෙකු දැයට දායාද කරන්නට නම් වාචිකව දරුවාට ඇති වන සිතු රිදීම් ඉවත් කළ යුතුය. 

9. හැගිම් මුදා හරින්න ඉඩ දෙන්න

දරුවන්ටත් ප්‍රශ්න තියෙන බව අප වටහා ගත යුතු සත්‍ය කරුණක්. තරහව, බිය, දුක, කලකිරීම ආදී හැඟීම් දරුවන්ටත් ඇති විය හැකියි. ඒවා මුදා හරින්නට දරුවාට හඬන්නට අවශ්‍ය වුවත් ඔබ එයට ඉඩ නොදෙනවා නම් එය ඉතාම අසාධාරණ බව මතක තබාගන්න. දරුවාට දුක හෝ සතුට හෝ තරහ යන ඕනෑම හැගිමක් මුදා හරින්නට අවස්ථාව ලබා දෙන්න. හැඟීම් ප්‍රකාශනයට දරුවාට ඉඩ දෙන්න. එය ඔබත් දරුවාත් අතර බැඳීම වර්ධනයටත් ඉවහල් වනු ඇත.

10. දරුවන් තවත් දරුවෙක් සම සංසන්දනයෙන් වළකින්න

සෑම දරුවෙක්ම සුවිශේෂීයි. දරුවාගේ අනන්‍යතාවයට ගරු කරන්නට අප පුරුදු විය යුතුය. අක්කා මෙන් මල්ලී ත්‍රීඩාවට හෝ නංගී මෙන් අයියා සංගීතයට හෝ දක්ෂ නොවේ. ඔවුන් එක් එක් දේ වෙනුවෙනු වෙන් වෙන්ව දක්ෂ විය හැකියි‍. ඒ ඔවුන්ගේ හැකියාවන් විවිධාකාර නිසයි. දරුවාට ඇති සැටියෙන් ඔබ, ඔබේ දරුවා පිළිගන්න. දරුවාගේ විශේෂතා හඳුනා දුර්වලකම් අවම කරගනිමින් හැකියාවන් වර්ධනය කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම, සහයෝගය හා දිරිමත් කිරීම ලබාදෙන්න. දරුවා අන්‍යයන් හා සංසන්දනය කර දුර්වලතා පෙන්වීමෙන් ආත්ම දුර්වල නොකරන්න.

11. ඔබ, ඔබ ගැනත් සිතන්න

ඔබ සතුටෙන් නම් ඔබේ දරුවනුත් සතුටෙන් බව අමතක නොකරන්න. ඒ නිසා පළමුව ඔබ, ඔබ කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්ය. මව්පියන්ගේ මානසික සුවතාවය ගැටලු සසහගත වීම දරුවන්ගේ මොළයේ වර්ධනය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු ඇතිවේ. ඒ වගේම දෙමාපියන්ට තමන් සමග වැඩි වේලාවක් ගත කිරීමට හැකියාවක් ලැබෙනවා නම් දරුවන් ඉතා ප්‍රිය කරනු ඇත. මව්පියන් වන ඔබගේ සිතෙහි සැනසීම, සතුට දරුවන්ට කොතරම් බලපාන්නේදැයි යන්න අප වටහා ගත යුතුය. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

අම්මලාට ප්‍රශ්න ගොඩයි. ඩොක්ටර්ගෙන්ම අහමු

අප වෙබ් අඩවිය පරිශීලනය ඔබට ඇති ගැටලු ඉන්බොකස් හරහා හෝ කමෙන්ට් හරහා හෝ අප වෙත යොමු කරන්නේ අප කෙරේ තැබූ විශ්වාසය නිසාම බව දන්නා බැවින් එක් එක් මව්වරුන්ට දරුවන් ගැන ඇති ගැටලුවලට විස්තරාත්මකව පිළිතුරු ලබාදීමට අපි අදහස් කළෙමු. අන්න ඒ නිසාම මේ ලිපිය තුළින් මව්වරුන් විසන් අප වෙත එවා තිබූ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමට සැරසෙමු.

වෛද්‍යතුමනි, මගේ බබා ගොඩක් වෙලා කිරි බොනවා. ඒත් පියයුරෙන් ඉවත් කළ විගස කිරි වමනය කරනවා. මෙය රෝගී තතත්වයක්ද?

දරුවාට කිරි බොන අතර වාරයේ හුළං පෙවීම නිසා බොහෝ විට මේ තත්ත්වය ඇති වීමට හේතු විය හැකියි. ඒත් කිරි වමනය කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. වැදගත් වෙන්නේ දරුවා කිරි වමනය කරන අවස්ථාවේ ඔබ ක්‍රියාත්මක වන ආකාරයයි. ඒ කියන්නේ කිරි වමනය කරන දරුවෙක් කිසි විටෙක උඩට ඔසවන්න එපා. මොකද ඒ කිරි ටික නැවත පහළට ගියොත් ස්වසන මාර්ගය හරහා පෙනහලුවලට ගමන් කළ හැකියි. එය අවදානම් තත්ත්වයක් නිසා මෙවැනි අවස්ථාවකදී කලබලයට පත් නොවි දරුවා පැත්තට හරවා කිරි ටික ඉවත් වන්නට ඉඩ සලස්වන්න. කිරි වමනෙ සාමාන්‍ය තත්ත්වයක්. දරුවා පියයුරට නිවැරදිව සම්බන්ධ කරගනිමින් නිවැරදි ස්ථාපිතයේ පවත්වා ගැනීම මගින් දරුවාට හුළං ඇතුළු විම අවම කරගැනීමෙන් මේ තත්ත්වය අවම කරගත හැකියි. ඔබට හැකි නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ බබාගේ වෛද්‍යවරයාගෙන් දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන දැනුවත් වෙන්න. 

වෛද්‍යතුමනි, මගේ බබාට මේ වන විට මාස හතර සම්පූර්ණ වී අවසන්. බබා දිනපතා මලපහ කරන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල දින දහයක් වනතුරුත් මලපහ කරන්නේ නැතිව ඉන්නවා. සමහර වෙලාවට දින හතරක් පහක් වගේ ඇතුලත මලපහ කරනවා. මේ සඳහා දරුවාට ප්‍රතිකාර ලබා දිය යුතුද?

දරුවෙක් ටිකෙන් ටික ලොකු වෙද්දී මලපහ කරන වාර ගණන වෙනස් වෙන්න පුළුවන්. දරුවා දින හතරක් පහක් ඇතුළත මලපහ පිටකරනවා නම් ගැටලුවක් නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක්.  ඒත් දින 10 ක් වන තුරුත් දරුවා මලපහ පිටකරන්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ පුතාට දැන් වයස අවුරුදු තුන අවසන් වී ගෙනයි යන්නේ. මේ වන විට දරුවා පෙර පාසැලක ප්ලේ ගෲප් එකකටත් දැම්මා. ඒත් පුතා අදටත් මගෙන් කිරි බොනවා. මේකට මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් දරුවෙකුට වසර දෙකක් යන තුරු මව්කිරි ලබාදීම හොඳයි කියලා තමයි අපි කියන්නේ. අවුරුදු දෙකෙන් පස්සෙත් දරුවා කිරි බොනවා කියලා ඒකෙන් හානියක් වෙන්නෙත් නැහැ. දරුවා විසින්ම කිරි අත්හරින තුරු ඔබට එය ලබා දෙන්න පුළුවන්. නමුත් මව්කිරි ප්‍රධාන ආහාර වේලට බාධාවක් කර නොගත යුතුයි.  ප්‍රධාන ආහාර වේලත් මව්කිරි වේලත් අතර පැයකවත් පරතරයක් නැති වුණොත් දරුවා ආහාර ප්‍රතික්ෂේප කළ හැකියි. 

ඒ වගේම මෙතැනදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් විදියට දරුවාගේ දත් ගැන කිව යුතුමයි. මේ වයසේ දරුවන්ගේ දත් තියෙන නිසා රාත්‍රී කාලය පුරා කිරි බොන්න පුරුදු වීම නම් සුදුසු නැහැ. එහෙම වුණොත් ඔබ අසා ඇති පූර්ව ළමා විය දන්ත ව්‍යසන තත්ත්වයට දරුවා පත් විය හැකියි. අන්න ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ තත්ත්වය දරුවාගේ ස්ථිර දත් වලටත් බලපෑම් ඇති කරන නිසා රාත්‍රී කාලය පුරා දරුවාට කිරි ඉරීමට නොදී සිටීම වැදගත්. එය වළක්වා ගැනීමට දරුවාට කුස පිරෙන්න රස, ගුණ පිරි රාත්‍රී ආහාර වේලක් ලබා දෙන්න හුරු කරන්න. 

වෛද්‍යතුමනි, මගේ දුවට දැන් මාස නවයක් වෙනවා. ඇය සෑම ආහාර වේලකටම පසුව කිරි බොනවා. රාත්‍රියට ආහාර ගත්තත් මව්කිරිත් බීලා තමයි නින්දට යන්නේ. මේක ගැටලුවක්ද? එමගින් යම් යම් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිද?

මෙය කිසිම ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. මේ වයසේ දරුවෙක් අමතර ආහාරයට පසු මව්කිරි බීම, නින්දට පෙර මව්කිරි බිම බොහොම සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ තමන්ගේ ආහාර වේලට පසු වතුර බොනවා වගේ මේ පුංචි පැටව්න්ට මුල ඉදලම අමතර ආහාර වේලට පසුව ලබා දෙන්නේ මව්කිරි. දරුවන් ඒ ක්‍රමයට හුරු වෙලා. හැබැයි කෑම කෑවට පස්සෙ කිරි බොනවා කියන්නෙ හොද ලක්ෂණයක් වුණත් කෑමට පෙර කිරි බොන එක නම් ගැටලුවක්. මොකද දරුවා කෑමට පෙර මව්කිරි ලබා ගත්තොත් එයින් කුස පිරීම නිසා අමතර ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ වැඩියි. ඒ කෙසේ වෙතත් වසර දෙකක් යනතුරු ඔබට දරුවාට මව්කිරි ලබා දීම කල හැකියි. නමුත් දරුවාගේ කිරි දත් මෝදු වී ඇත්නම් ඒ ගැන සැලකිමත් වීම නම් අත්‍යවශ්‍යයි.

වෛද්‍යතුමනි, මගේ බබා දැන් අමතර ආහාර පටන්ගත්තා. ඒත් දෙන්න ඕනේ ආහාර වර්ග ගැන මට අදහසක් නෑ. බත් තලපය විතරක් බබාට මදි කියලා මට හිතෙනවා. මොකද එයා කිරි බොන කාලෙත් ගොඩක් කිරි බිව්වා. දවසක් තුළ දරුවෙක්ට අනිවාර්යෙන් දිය යුතු ආහාර වර්ග තියෙනවද? 

එහෙම අවශ්‍ය නැහැ. ඔතන තමයි අපේ බොහොමයක් මව්වරුන් වරද්දා ගන්නා තැන. මොකද අම්මා හිතනවා බිත්තර, මස්/මාළු, පලතුරු, චිස්, යෝගට් වැනි ආහාර වර්ග සියල්ලම එකම දවසේ ලබා දිය යුතුයි කියලා. ඒත් ඒ විදියට අපි දීර්ඝ කාලීනව දරුවාට දේවල් ලබා දෙද්දි කාලයත් සමග දරුවා ඒ ආහාර ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. මොකද හැමදාම එකම රස. අද මස් දෙනවා නම් ඔබට පුළුවන් හෙට බිත්තර හෝ මාළු වගේම අද යෝගට් දෙනවා නම් හෙට චීස් දෙන්න. ඒ ආකාරයට අවශ්‍ය පෝෂණය දිනපතා ලැබෙන ආකාරයට විවිධත්වයක් ඇතිව ආහාර වේල සකස් කරගැනීමෙන් ආහාරය ප්‍රතික්ෂෙප වෙන්නේ නැහැ. නැතිනම් ඒකාකරී රසය රටාව දරුවාට එපා වෙනවා. වැඩිහිටි අපිට වුණත් එකම දේ හැමදාම කන්න ලැබුණොත් එපා වෙනවා වගේ දරුවටත් එපා වෙනවා. අන්න ඒ නිසා අනිවාර්යයෙන් දිය යුතුයි කියා හිතන ආහාර වට්ටෝරුවෙන් මිදී විවිධත්වයක් ඇතිව ආහාර ලබාදීම අනිවාර්ය කරගත යුතුයි. එහෙම නැතිව යම් ආහාරයක් හදුන්වා දුන් මුල් දවසෙ දරුවා ඉතා ආසාවෙන් ආහරය ගත්ත නිසා ඊලඟ දවසේත් ඒ ආහාරයම ලබා දිමත් එදිනත් හොඳින් ආහාරයට ගත් නිසා තුන් වෙනි දිනයේත් එයම ලබා දීමත් කරන්න එපා. අනිවාර්යෙන්ම ආහාරයේ රසයේ පැහැයේ විවිධත්වයක් ඇති කළ යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම දරුවා‍ට දිය හැකි ආහාර පමණක් නොවෙයි ආහාර සකස් කරන ආකාරය ගැනත් සවිස්තරාත්මකව දරුවාගේ වර්ධන සටහන් පොතේ ඇතුළත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ පවුල් සේඛ්‍ය සේවා නිලධාරිනියගෙන් හෝ දරුවාගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන හොඳින් දැනුවත් වෙන්න.

වෛද්‍යතුමනි, දැන් මගේ බබාට වයස මාස 10 සම්පූර්ණයි. එයා දැන් ටික ටික කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මට හිතෙනවා බබාගේ කෑම එකට ලුණු/සීනි ස්වල්ප වශයෙන් හෝ එකතු කළොත් රසය වැඩි වෙන නිසා බබා ආසාවෙන් ආහාර ගනී කියලා. එ්කට කමක් නැද්ද?

එය කිසිසේත්ම නොකළ යුත්තක් බව තරයේ මතක තබාගන්න. දරුවාට ලුණු/සීනි වසරක්වත් පමා කල යුතුයි. ඇතැම් විට ඔබට හිතෙයි ලුනු නොදිම නිසා දරුවාට අයඩින් ඌනතාවයක් ඇති විය හැකියි කියා. නමුත් මව්කිරිවල වගේම එළවළු, පලතුරු, මාළු වැනි දේ හරහා ස්වභාවිකවම දරුවාට අයඩීන් ලැබෙනවා. ඒ වගේම දරුවෙක් ලුණු/සීනි රසයන්ට හුරු වුවොත් එයින් මුදවා ගැනීමටත් අපහසුයි. එවිට දරුවාගේ නිරෝගී බවට බලපෑම් ඇති වෙනවා. අනාගතයේ අපේ දරුවන් බෝ නොවන රෝගවලින් රැක ගැනීමට නම් අද සිටම අපි අපේ දරුවන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් විය යුතු බව අමතක කරන්න එපා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි දරුවාට ආහාර වේල ලබා දීමට පැයක සිටවත් මව්කිරි හෝ වෙනත් දේ ලබා දෙන්න එපා. මව්කිරි වලින් කුස පිරුණම දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක මහතා 

මහරගම අපේක්ෂා රෝහල