Home Blog Page 4

සිංහල අලුත් අවුරුද්ට ඉමෝජියකින් ඔබ්බට යමු..

මනෝරි ගමගේ කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇය ගැන පසුගිය දා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ කථා බහ ගොඩ නැගුනා. උඩුගුවනේදී අසනීප වුන කාන්තාවක් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වීම මුල් කර ගෙන ගොඩ නැගුන මේ කථා බහ තුළ ඇය අපූරු අදහසක් ඉදිරිපත් කළා.

අද පරම්පරාව මිනිසුන් සමග ගණුදෙනු කරන්නේ ඉමෝජි වලින්…ඔවුන් තවත් කෙනෙකුගේ හදවත කියවන්න දන්නේ නැහැ.. මේ අදහස ගැන අපි තව දුරටත් කථා කරන්න හොඳම කාලය දැන් ඇවිත්…

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික මංගල්‍යක්. ඒ වගේම අපේ ජීවන රටාව තුළ යම් මානසික විවේකයක් ලබා දෙන, අපේ බැඳීම් තහවුරු කරන කාලපරිච්චේදයක්. නමුත් අද දවස වෙන විට මේ සහජීවනය අපෙන් නොදැනීම ගිලිහී ගිහින්.

එදා සිංහල අලුත් අවුරුද්දට බුලත් දුංකොළ දීම යන චාරිත්‍රය අද ක්‍රමයෙන් ඈත් වෙන රටාවක් ගොඩ නැගෙනවා. පවුලේ වැඩිහිටියන්ට බුලත් දුංකොල දිලා ඔවුන්ගේ දෙපා වැඳ නමස්කාර කරලා ලබන්නා වූ අලුත් නව වසරට ආහිර්වාද ලබා ගන්නවා. නමුත් අද වෙන විට එවැනි සිරිත් අපටත් නොදැනීම අභාවයට යන රටාවක් අප අතර තිබෙනවා.

එදා පවුලක් කිව්වොත් එක වහලක් යට කීප දෛනක් ජීවත් වුණා. ඒ අතරම අල්ලපු සහ ඉහළ පහළ ඉඩම් කට්ටිවල මාමා, ලොකුතාත්තා වගේ සහලේ ඤාතීන් ජීවත් වුණා. ඒ නිසා ඥාති සම්බන්ධතාවයන් ඉතා හොදින් පවත්වා ගැනීම අපහසු වුනේ නැහැ. ඒ වුනත් අද වෙන විට පවුල් පිටින් ගමෙන් නගරය ඇදී යන ප්‍රවනතාවයක් ගො නැගී තිබෙනවා. එතැනින් නවතින්නෙත් නැහැ. බොහෝ දරුවන් විදේශගත වීම ඉලක්කය කර ගෙන අධ්‍යාපනය ලබන නිසා නුදුරු දිනක ඔවුන්ද විදේශයන්හි පදිංචියට යාවි. ඒ නිසා මහගෙදර තනි වෙන්නේ වියපත් මව්පියන් පමණක් වෙන තත්වයක් උදා වෙන දවසත් වැඩි ඈතක නැහැ.

මේ සියල්ල තුළ අද සැබැවින්ම අපේ සම්බන්ධතාවයන් පවතින්නේ ඉමෝජි මත පමණක් බව වචනයේ පරිසමාප්තියෙන්ම ඇත්ත. තවත් කෙනෙකු වෙනුවෙන් අකුරක් ලියා සතුට හෝ හෝකය ප්‍රතිචාර ලෙසින් දැක්වීමට තරම්වත් සම්බන්ධතාවයක් අප අතර නැහැ. කෙනෙකුගේ දුකකට හඩන මුහුණක් සතුටට හිනා මුහුණක් එකතු කිරීමෙන් සියල්ල හරි යන අදහසක් තිබුනත් ඇත්තටම ඒ වෙනුවෙන් අකුරක් සටහන් කරන්න තරමටවත් දරුවන් කාලයක් තවත් පුද්ගලයෙක් වෙනුවෙන් දරුවන් වැය කරන්නේ නැහැ.  මෙවැනි ඉමෝජියක් තුළ යාන්ත්‍රික බවක් මිස කිසිදු සංවේදීතාවයක් ගොඩ නැගෙන්නේ නැහැ.

සමාජයේ තවත් එක් පුද්ගලයෙක් විදිහට  අපි තවත් කෙනෙකුගේ හිත කියවන කලාව උගත යුතුයි. ඒ වගේම තවත් කෙනෙකුගේ දුකකට ඇහුම්කන් දීමට තරම් සංවේදී විය යුතුයි. නිවසෙන් පිටට යෑමට පෙරාතුව එක වහලක් යට ජීවත් වෙන පුංචි සමාජය දෙස බැලුවොත් අපි අතර හිර කර ගෙන සිටින ප්‍රහ්න කොතරම් තිබෙනවාද…? මේ දුක් කන්දරාව තනියම දරා ගෙන සිටිනවා මිසක ඒ ගැන කියා හිත නිදහස් කර ගැනීමටවත් කෙනෙක් නොමැතිව අසරණ වෙන මව්පියන් කොතරම් සිටිනවාද..?

උදේ පටන් නිවසේ වැඩ කටයුතුවලටම සිරගතව සිටින අම්මා හවසට දරුවන් නිවසට එන තෙක් මග බලා ගෙන සිටියත් ඇය සමග හදවතින් සමීප වෙන දරුවන් අද නැති තරම්. වචන දෙක තුනක් හෝ ඔවුන් සග කථා කිරීමට කාලයක් නැහැ.

අම්මාට මහන්සිද…? අම්මා අද මොකද දුකින් වගේ.. අසන්නට නම් දරුවන් විසින් මවගේ මුහුණ කියැවීමට හැකියාවක් තිබිය යුතුය. එහෙත් ඔබේ මව පියාගේ පරම්පරාව මුහුනු පොත සමග ගනුදෙණු කලේ නැත. එහෙත් ඔබේ මුහුණ කියැවීමට ඔවුන් ඉතා හොඳින් දැනුවත්ව සිටි බැව් ඔබට මතක ඇති.

පුතාගේ මුහුණ මැලවිලා…බඩගිනි ඇති

අනේ  ඇස් පියවෙනවා නිදිමත වෙලා…මේ අන්දමින් ඔබ මුවින් නොකී දේ ඔබේ මුහුණේ  ලියැවී තිබෙන්න ඇති. එය කියවන හොදම හැකියාව ඔබේ දෙමව්පියන්ට තිබුණ බැව් රහසක් නොවේ.අද ඔබ වැඩිහිටි වයසේ දරුවෙක් විය හැක. අද ඔබේ මවගේ, පියාගේ මුහුණේ නිදිමත බඩගින්න පමණක් නොව මානසික හුදෙකලාව, වේදනාව වැනි බොහෝ දේ සටහන්ව තිබෙනු ඇති. එය මුහුණු පොතේ ඉමෝජියක් සන්තර්පනය කළ නොහැක. ජීවිතය පුරාවට දරුවන් හදා වඩා ගෙන ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කළ මව්පියන්ගේ ආත්මීය කථාව ඔවුන්ගේ සැබෑ මුහුණක සටහන් වී තිබෙනු ඇති. එය කියැවීම දරුවන්ගේ යුතුකමකි. නමුත් අද දරුවන් සහ වැඩිහිටි පරම්පරාව අතර ඇත්තේ දුරස් බවකි. දරුවන්ගේ පරම්පරාවේ සාමාජිකයන් අතර ඉමෝජියකින් හෝ දුක වේදනාවට දක්වන ප්‍රතිචාරය මව්පියන්ට ලැබෙන්නේ නැත. ඊට හේතුව ඔවුන් මුහුණු පොත් සාමාජිකයන් නොවීමයි. තවමත් අපේ මව්පියන් සියල්ල විඳ දරා ගෙන සිටින කණ්ඩායමක් නිසා ඔවුන් තමන්ගේ දුක වේදනාව සමූහයක බෙදා ගන්නේද නැත.

මේ එළැඹෙන්නේ සිංහල අලුත් අවුරුදු සමයයි. ඔබට මග හැරී ගිය යුතුකම් අලුත් වෙන කාලයයි. දරුවන් මහගෙදර තනිවුන මව්පියන් බැලීමට ගමට එන වාරයයි. ඒ වගේම අත්තම්මා , සීයා වැනි වැඩිහිටියන්ගේ දුක සැප විමසන බුලත් හුරුලු දි ඔවුන්ගේ දෙපා නමදින අවස්ථාවයි. ඒ නිසා ඉමෝජියකින් ඔබබ්ට ගිය හදවත් කියවන සංවේදී චරිතයක් ලෙසින් දරුවන්ට ගෙඩ නැගෙන්නට මේ හොඳම කාලයයි.

ලස්සන ලස්සන ඉමෝජි දිනපතා එකතු වෙනු ඇති. එහෙත් ඔබ සමග ගණුදෙණු කළ සුන්දර මිනිසුන්ට වචනයකින් ආමන්ත්‍රණය කරන්න. එහි වටිනාකම ශවුන්ට ඉතා හොඳින් දැනෙනු ඇත.

 

 

අලුත උපන් බබාගේ කොණ්ඩේ අඩුද?

සෑම මවකගේ බලාපොරොත්තුව සියලු අංග සපිරි දරුවෙක්. ඒ වගේම නිරෝගි හොඳ ක්‍රියාශිලි බබෙක්. මේ හින්දා ගර්භනී කාලය තුල අම්මා තාත්තා වගේම නිවැසි ඥාති හිත මිත්‍රාදින්ගේත් බලාපොරොත්තු සමානය. ඒ වගේම ඒ වෙනුවෙන් හැම දෙයක් පිලිබඳවම වැඩි සැලකිල්ලක්. 

ඉතින් කලලයක්  පිලිසිඳ ගන්න දවසේ ඉදන් මේ කලලය වර්ධනය වෙන්න පටන් ගන්නවා . එතකොට මේ වර්ධනය කියන්නේ මොකක්ද ? 

වර්ධනය කියන්නේ වැඩි වීම. දරුවගේ අඟපසඟ හැදෙන්න එහෙම නැත්නම් සියලු ඉන්ද්‍රීයන් විකසනය වීමත් ඒ විකසනය වූ ඉන්ද්‍රීයන් වර්ධනය වීමත් නිසා තමයි නිරෝගි අඟ පසඟ ඇති දරුවෙක් බිහිවෙන්නේ.

මේ ඉන්ද්‍රීයන් විකසනය බොහෝ වෙලාවට මුල් මාස තුන තුළ දී සිදුවෙනවා. එහෙම විකසනය වූ ඉන්ද්‍රියයන් ඒ කියන්නේ හිස, කඳ , ගාත්‍රා ඒ වගේම අභන්තර ඉන්ද්‍රියන් මොලය, ඇස්, කන්, නාසය, දිව, හෘදය, පෙනහලු, ආහාර මාර්ගය, වකුගඩු, අක්මාව ආදී ලෙසින් වූ සියලු ඉන්ද්‍රියන් විකසනය සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයන් මත සිදුවන සේ වර්ධනය විම එහෙමත් නැතිනම් මේරීම සිද්ධ වෙනවා. ඊලගට මේ අභන්තර ඉන්ද්‍රියයන් වගේම නියපොතු හිස කෙස් ශරීරයේ රෝම ආදියත් සැකසෙනවා. මේවා සඳහාත් අවශ්‍ය පරිදි පෝෂණය දරුවා විකසන අවස්තාවේදීම ලැබිය යුතු වෙනවා. මේ නිසා මේ සියලු ඉන්ද්‍රියන්ගේ වර්ධනයට මවගේ පෝෂනය බලපානවා.

එසේ හෙයින් කාන්තාවක ගර්භනියක වන විටත් ගර්භනි වූ දිනයේ පටන් දරුවා බිහිකරන තෙක් හා බිහිවූ දරුවාගේ පෝෂනය සම්බන්ධයෙන්ද සියලු දෙනාගේ අවදානය යොමුවිය යුතු වෙනවා. මන්ද යත් දරුවාගේ වර්ධන සංවර්ධනය ක්‍රියාවලිය සඳහා අවැසි වූ පෝෂක සියල්ල මවගෙන් ලැබෙන පෝෂණය මත තීරණය වන්නක් හෙයින් මවගේ පෝෂනය නිසි පරිදි පැවතීම එනම් මව හොඳ පෝෂනයකින් යුක්ත වීම සිදුවිය යුතුමයි.

මවගේ පෝෂන තත්වය මත දරුවාගේ වර්ධන ක්‍රියාවලිය තීරණය වන හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විම වැදගත්. අන් ඉන්ද්‍රියන් වර්ධනය සේම දරුවාගේ හිසකෙස් වර්ධනයටද මෙය ඒ අයුරින්ම බලපානු ලබනවා . හිස කෙස් වල පැහැය ස්වාභාවය ආදිය සඳහා මවගේ පෝෂණය බලපානවා. පෝෂකාංග සැලකිමේදි වර්ධනයට අවැසි වන ප්‍රෝටීන වල අවශ්‍යතාවය හිසකෙස් වලට බලපාන අයුරින්ම ඒ හා සම්බන්ධ අනෙකුත් පෝෂන වර්ග ද මේ සමඟ බැදී තිබෙනවා.

ප්‍රෝටීන හා සම්බන්ධවන කැල්සියම් ලවණයද ඒ හා සම්බන්ධ විටමින් ඩී ලැබීමද මෙම අවයවයන් වර්ධනය සඳහා වැදගත් වෙනාව. අස්ති, නිය, දත් හා කෙස් සම්බන්ධව මෙම විටමින් මෙන්ම කැල්සියම් පොස්පරස් වැනි ලවණද මහගු කාර්යයක් ඉටුකරන ලබන හෙයින් ගර්භණී සමයේ මවගේ පෝෂනයේ මෙවැනි පෝෂක සංඝටක අඩුවක් නොමැතිව පැවතීම දරුවාගේ හිසකෙස්, දත්, නිය හා අස්ති වර්ධනයට මහඟු බලපෑමක් එල්ල කරනු ලබනවා . එසේ හෙයින් අඩුපාඩු විය හැකි ලවණ ලබාගන්නා ආහාර මඟින් මෙන්ම ලබාගන්නා අමතර විටමින් මඟින්ද සම්පූර්න කරගැනිමට හැකියාවක් ලැබෙනවා.

එසේ හෙයින් කිරි ආහාර, කුඩා කටු සහිත මාලු කරවල මෙන්ම රනිල ඇට වර්ග මඟින් මෙම පෝෂක කොටස් බහුල ලෙස ලබාගත හැකි අතරම ඒවා අවශෝෂණය සඳාහා හැකි අයුරින් ලබා ගැනිමද වැදගත් වෙනවා . එසේ වන්නේ ආහාරයේ යකඩ උරා ගැනිමට විටමින් සී හා විටමින් බී වැදගත් වන්නේ යම්සේද ඒ හා ලෙසින් විටමින් ඩි හා කැල්සියම් අතර බැදී පවතින බැදියාවද වැදගත් වෙනවා. එසේම මේ සියලු කාර්යයන් මවගෙන් දරුවා වෙත පරිවහනය කිරිමට මව තුල ඇති රුධිරයේ හිමොග්ලොබින්ද බලපෑමක් එල්ලකරනු ලබන හෙයින් මවගේ රුධිරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිකර ගැනීමද වැදගත් වනෙවා. මෙසේ ජීවිතයක පැවැත්මට මෙන්ම මෙවැනි වූ සියලු පෝෂකාංග සපිරි පරිසරයක් දරුවෙකුට දායාද කිරිමට අප සියලු දෙනා උත්සුක වීම වැදගත්.

මේ පෝෂණ ක්‍රියාවලියේ දුර්වලතා ඇති වු විට එය දරුවාගේ අන් ඉන්ද්‍රියයන් වලට වගේම හිස්කබලේ වර්ධනයට බලපෑමක් එල්ල විය හැකියි . එසේ හෙයින් ලැබෙන පෝෂන ඌනතා හේතුකොටගෙන දරුවන්ගේ හිසකෙස් වර්ධනය නොවන නිසා අලුත උපන් දරුවන්ගේ හිසෙහි කෙස් අඩුවීම හෝ කොන්ඩය දකින්නට නැතිවෙනවා. අවශ්‍ය පමණට පෝෂනය ලැබුනු දරුවන් තුල හොඳින් වැඩුනු කෙස් වගේම දිගට වැඩුනූ නියපොතු අපිට දක්නට ලැබෙනවා. එසේ හෙයින් පෝෂනය පිළිබඳව සැලකිලිමත් විම ඉතා වැදගත් වෙනවා.  

පෝෂණය පැත්තෙන් එසේ වුවද ජානමය ගති ලක්ෂන නිසාද මෙවැනි අවස්තා අපිට දක්නට හැකියි. එසේ වන්නේ පරම්පාරමය ලක්ෂණ වශයෙන් කොණ්ඩය වැඩි නොමැති දරුවන් සිටීමයි. එසේම එම පරම්පරා තුල ඇති ලක්ෂන අනුව කෙස් නොමැති වීම, තිබෙන කෙස් තුනී වීම, බොකටු වීම, පැහැයේ වෙනස්කම් ආදිය දරුවන් තුල දක්නට ලැබනෙවා. එසේම විටමින් කැල්සියම් හෝ ප්‍රෝටීන ඌනතා නිසා කෙස් කුරු ගතියෙන් යුක්ත වීමද සමහර සහජ අසාමාන්‍යතා වලදීද උපතින්ම ඇතිවන තත්ව වලදීද කෙස් වල අසාමාන්‍ය බවක් දක්නට ලැබිය හැකියි.

නිෂ්චිත වශයෙන් හේතු පැවසිය හැකි නොවුනද පරම්පරාගත වන මේ ලක්ෂන හරහා සිතන්නට හැක්කේ පෝෂණ ඌනතා ලක්ෂන මෙන්ම බොහෝවිට පෝෂනය ලැබුනද ආවේනික හෝ පරම්පරාගත ලක්ෂන හේතුවෙන් එම පෝෂන ද්‍රව්‍ය ජීර්ණ ක්‍රියාවලියේ යම් යම් දුර්වලතා තිබිය හැකි බවයි . මෙසේ බලන විට කෙලින්ම හෝ වක්‍රාකාරව හෝ සිතිය හැක්කේ මේ සියල්ලටම හේතුව පෝෂණ දුර්වලතා බවයි.

එසේම කෙස් ඝනව නැතිව හෝ සුළු ප්‍රමාණයක් සහිතව උපදින දරුවන්ගේද ටික දිනක් යනවිට මේ කෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දැකිය හැකි අවස්තාද දක්නට ලැබෙනවා. එයද පෝෂන ඌනතාවයක් මෙන්ම යම් දිලීරමය ආසාදන තත්වයක් විය හැකි අවස්තාද පවතිනවා. එසේම කුඩා දරුවන්ගේ කෙස් තදින් ඇතිල්ලීමට අපහසු අතර කෙස් මත රැදී ඇති දෑ එකතු වී කබොලු බැදීම වැනි තත්ව වලදිද එම කබලු සමඟ කෙස් ගැලවී යනු දක්නට හැකියි.

එවන් විටකදි දරුවන් නෑවීමේදි හිසට නොගැලපෙන කිසිදු සබන් හෝ ෂැම්පූ වර්ගයක් යොදා සේදීමත් සිනිදු පනාවකින් සෙමින් පිරීම මගින් මේවා ක්‍රම ක්‍රමයෙන් (එකවර ඉවත් නොකර) ඉවත් කිරිමට කටයුතු කිරිමත් කලහැකි වෙනවා. මෙවන් තත්ව වලදිද දරුවාගේ කොන්ඩය නැති වීමට පුළුවන්. තදින් කබොලු බැඳී ඉවත් කිරීමට අපහසු අවස්තා වලදි තදින් ඒවා ඉවත් කිරිමට නොගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනිමද වඩා වැදගත් වෙනවා. එසේ නොවී තදින් ඉවත් කිරිමට ගිය හොත් හිස කෙස් ගැලවි යාම පමණක් නොව හිසෙහි සමට හානි සිදුවිම නිසා දරුවා අපහසුතාවයටද පත්විය හැකිවෙනවා මෙන්ම දරුවාට වේදනාවක් ඇති වීමටද එය හේතුවිය හැකියි.

එසේම හිස් කබලේ සම මත ඇතිවෙන දිලිර ආසාදනද මෙවන් තත්ව වලට හේතු විය හැකි හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුය. සියල්ල මෙසේ සලකා බැලිමේදි ජීවිතයට පෝෂනය වැදගත් යම්සේද හිසකෙස් සඳහාද පෝෂණය, රැකවරණය අත්‍යාවශ්‍ය කරුණක් බව ඔබට වැටහෙනවා ඇති. එසේම මනුෂ්‍ය ජිවිතයේ සියලු අවස්ථාවන් සඳහා පෝෂණය වැදගත් වන්නේ යම්සේද සමහර පරම්පරාගත හෝ ආවේනික ලක්ෂන පවා ජයගැනිමට සාර්ථක පෝෂනයක් ලබාදීම තුලින් හැකි බව අවබෝධ වේ.

මීට අමතරව දරුවන් තබන විට එකම පැත්තට තැබිම නිසාද එම පැත්තට සැපයෙන වාතය, රැධිර සැපයුම වැනි හේතු මත මෙන්ම නිතරම ඔලුව ඇතිල්ලීම වැනි ක්‍රියා නිසාද හිසේ පවතින කෙස් ගැලවියාමට පුළුවන්. එසේ හෙයින් කුඩා දරුවන්ගේ හිස හැරවිම හිස අතුල්ලන විට එය සිනිදු මතුපිටක් සකසා තිබීම මගින්ද හිසකෙස් ගැලවී හැලියාම වලකා ගැනිමට හැකිවෙනවා. සියලු දෙය විමසා බැලිමේදි සෑම කටයුත්තකටම මිනිස් දිවියේ පෝෂණය මූලික වන බවත් ඒ හා සම්බන්ධ හුරු පුරුදු හෝ සිරිත් විරිත් අනුව පරම්පරාගත වීමට ඇති ඉඩකඩක් ඇති බවත් අපට ගම්‍ය වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

බබා හැරිලද කියලා අම්මට දැනගන්න බැරිද?

දරුවෙකු කුස පිළිසිඳ ගත් බව දැනගත් මොහොතෝ ඇතිවන හැගිම වචන වලට පෙරලන්නට නොහැකි වන්නේ එය එතරම් ප්‍රීතිමත්ම හා ආදරනිය දැනීමක් හෙයිනි. එමෙන්ම ඒ බව දැනගත් මොහොතේ සිට ඊලග අපේක්ෂාව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන වග මෙන්ම බබා දඟලනවා දැනීම ආදි ලෙසින් දැන ගැනිමේ අවශ්‍යයතාවයයි.

එමෙන්ම දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම මවගේ උදරය විශාල වෙන්නට පටන් ගනී. ඒ දරුවාගේ වැඩීමත් සමඟ අවශ්‍ය ඉඩකඩ සැපයීමට, දරුවාට ජීවය සපයන අපරාවේ වැඩීමට සහ දරුවාට ආරක්ෂාව සපයන උල්බ තරලය ආදි සියල්ලේම එකතුවෙනි. මෙසේ උදරය විශාල වන විට ගර්භාෂය ඇදී විශාල වෙනවා. එසේම ඒ ආශ්‍රිත අනෙකුත් ඉන්ද්‍රීයන්ද පීඩනයට ලක්වේ. මෙසේ හෙයින් වෙනදා මෙන් දිගු වේලාවක් මුත්‍රා දරා සිටීමට නොහැකි විම ආදී ලෙසින් මෙය ගම්‍ය වේ. එසේම ඉහලින් ආමාශය තෙරපිම නිසා වෙනදා මෙන් බඩපුරා කන්නට අපහසු වේ. එසේ හෙයින් වරන් වර කුඩා ප්‍රමාණ වලින් ආහාර ගැනීම සිදුවේ. දරුවාගේ වර්ධනය සතියකට 1 CM  වන සේ බුදනය ඉහලට එසවෙයි. මෙසේ වැඩෙනා දරුවන් මුල්කාලයේ කුඩා නිසා මෘදු පැටියෙකු සේ කුසපුරා පීනමින් සිටින ආකාරයක් වගේ දකින්න පුළුවන්. සති විසිඅටෙන් පස්සේ දරුවාගේ සියලු අවයවයන් වර්ධනය වෙලා අවසන් . ඊට පස්සේ සිද්ධ වෙන්නේ හමයට මේද තැන්පත් වෙමින් අවයව මේරීමයි.

කුස තුළ සිටින දරුවා මෙසේ දිනෙන් දින වර්ධනය වෙත්ම කුස තුළ දරුවාට ලැබෙන ඉඩ ප්‍රමාණය මත දරුවාගේ හැරීම සිදු වේ. ප්‍රසූතියට ආසන්න වනවිට බොහෝ දරුවන් 97 % ක් පමණම හිස ප්‍රමුඛ ඉරියව්වක සිටිනවා. මෙසේ සිටින දරුවාගේ හිස ක්‍රමයෙන් යෝනි කුහරය තුලට යනවා . එය අපි හෙඩ් එන්ගේජ් ලෙසින් හදුන්වනවා. බොහොවිට සති තිස් හයෙන් පසුවත් එය සිදු විය හැකියි. එය අම්මාට පහසුවක් දනවනවා. සමග පපු කුහරය දෙසට ඇති වන තෙරපුම වැඩි නිසා හුස්ම ගැනීමට යම් අපහසුතාවයක් අම්මාට දැනෙනවා. ඒ්ත් බබා හැරුණු පසු ඒ් අපහසුව යම් තාක් දුරට මගහැරී යනවා. ඒ මඟින් දරුවා පහත් වෙලා කියලා අම්මාටම යම් අවබෝධයක් ලබා ගත හැකියි. වෙනදට වඩා සැහැල්ලුවක් නොමැතිව අම්මට එක දිගටම වෙනිදා තිබුණු අපහසුකම් දැනෙනවා බාබා හැරී නැති වෙන්න පුළුවන්. ඒය ඒසේ අම්මාට දළ අවබෝධයක් ලබා ගත හැකි ලක්ෂණ වුවත් ඒමගින් බබා හැරී ඇතිද යන්න ගැන 100%ක්ම ස්ථිරව පවසිය නොහැකියි. ඒ නිසා වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පරීක්ෂා කිරීමේදී ස්ථිරව ඒය හඳුනා ගත හැකියි. 

බොහෝ විට 95% – 97 % දරුවො හිස ප්‍රමුඛව ඉරියව්ව පවත්වා ගන්නා ආකාරය දිස් වුවත් ඇතැම් දරුවන් හිස ප්‍රමුඛ නොවී පිහිටිය හැකියි. ඇතැම් දරුවන් ප්‍රසූති අවස්ථාවේදී හැරිය හැකියි. 

හිස ප්‍රමුක නොවී දරුවෙක් සිටිය හැකි ආකාර 

  • තට්ටම ප්‍රමුඛව 
  • උරහිස් පුමුඛව 
  • පාද ප්‍රමුඛව 
  • පාද ප්‍රමුඛව 
  • දණහිස් ප්‍රමුඛව 
  • මුහුණ ප්‍රමුඛව

දරුවෙකු හිස ප්‍රමුඛ නොවන ඉරියව්වට පත්වීමට බලපෑ හැකි හේතු 

  • නොමේරු ළදරුවෙකු ප්‍රසූතියේදී
  • කුමක් හෝ හේතුවක් මත සිදුවන හදිසි ප්‍රසූතියකදී දරුවාට හැරෙන්න කාලයක් අවම වීම
  • නිවුන් දරුවන් සිටින විට ගර්භාෂය තුළ ඉඩ අවම වීම 
  • පෙකනි වැල දිගින් අඩු වීම (පෙකෙනි වැල අධිකව දිගු වීම නිසා දරුවා දගලන විට ඒය ගෙල වටා ඒතිතී කෙටි වීම නිසාත් දරුවාට හැරීමට නොහැකි විය හැකියි)
  • ගර්භාෂයේ ඉඩකඩ අවම වීම නිසා 
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි වල වර්ධනය නිසාත් ගර්භාෂයේ ඇති වූ ආසාදන තත්ත්වයන් නිසා
  • වැදෑමහ ගර්භාෂයේ පහළ ඛන්ඩයේ පිහිටා තිබීම 
  • ගර්භාෂයේ පිහිටි තරල ප්‍රමාණය වැඩිවිම හෝ අධික ලෙස අඩුවීම නිසා ගර්භාෂය තුල දරුවාගේ චලනයට ඒය බලපෑම නිසා
  • පලමු ප්‍රසූතිය නම් මවගේ උදරයේ හෝ ගර්භාෂයේ දැඩි ගතිය හෝ අධික ලිහිල් බව නිසා
  • මවගේ වයස අවුරුදු 18 ට අඩු අවස්ථාවකදි ශරීර වර්ධනය අඩුවීම හෝ ඉඩ අඩුවීම නිසා යෝණි කුහරයේ පළල් අඩු වීම
  • පෙර ප්‍රසූතියක් නොමේරු ලෙසට සිදු වූ මවක් වීම
  • කුසේ සිටින දරුවාගේ වර්ධනයේ දුර්වලතා, හිස් කබල නොපිහිටිම හෝ වෙනත් ආබාධ නිසා

මෙසේ සලකා බැලීමේදි සාමාන්‍ය පිහිටීමෙන් වෙනස් වන 3% සඳහා තිබිය හැකි හේතු කාරණා ඔබට පැහැදිලි වන්නට ඇති. සාමාන්‍යෙයන් කුසේ සිටින දරුවෙකු මුල් කාලයේ සිටින ස්ථාපිතයෙන් මෙය තීරණය කල නොහැකි වුවද සාමාන්‍යයයෙන් සති තිස් හතර පමණ වනවිට එය පැහැදිලි ලෙස අදහසක් ගත හැකියි . මුල් කාලයේ සිදුකරන ස්කෑන් පරික්ෂනයකදී හිස ප්‍රමුඛ නොවේ යැයි පැවසුවද ඔබ කලබලයට පත්විය යුතු නොවේ. මන්ද සති තිස්හතරින් පසුව පමණක් ඒ පිළිබඳව පැහැදිලි තීරණයක් ගත හැකි හෙයිනි.

මෙසේ හිස ප්‍රමුඛ නොවන දරුවන් පෙර කාලයේදි විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහල තුලදී පිටතින් හැරවීම සිදුකරනු ලැබුවත් අද වන විට ඒසේ කිරීම අවම වි ඇත්තේ දරුවා නොහැරිමට බලපා ඇති හේතු හා ගලපා බලා දරුවාට මවට ඇතිවිය හැකි සංකූලතා වලක්වා ගැනීමේ අරමුනිනි. එසේ හැරවීම සිදුකලද නැවත එම දරුවන් පෙර සිටි ඉරියව්වටම පිවිසීමටද බොහෝ විට දක්නට ලැබෙන්නකි. මෙසේ හිස ප්‍රමුඛ නොවී සිටින දරුවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑමෙන් දරුවාගේ අත් පා උරහිස් ආදීය හරස් වීම හේතු කරගෙන දරුවාට උග්‍ර සංකූලතා මෙන්ම මවටද දීර්ඝ ප්‍රසවයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් යෝනී මාර්ගය ආශ්‍රිතව ඇති විය හැකි ඉරීම් මෙන්ම තදබල රක්තපාතයකට ලක්වීම හෝ ප්‍රසූත වේදනාව සමඟ ඇතිවන සංකෝචන හා ලිහිල් විම් තදබල ලෙස බලපෑම හේතුවෙන් ගර්භාෂය පිපිරීමට ලක්වීම පවා ඉඩ ඇත. ඒවැනි සංකූලතා හේතුවෙන් නව ජන්ම ළදරු මරණ මෙන්ම මාතෘ මරණ අවදානමක් පවතී.

එසේ හෙයින් බොහෝ විට මෙවන් මව්වරුන්ට සැලසුම් සහගත සීසර් ශල්‍ය කර්මය මගින් ප්‍රසූතිය සිදුකිරීමට විශේෂඥ වෛද්‍ය වරුන් තීරණය කරනු ලබනවා. මව මෙන්ම ළදරුවා සිටින අවදානම වේලාසන හඳුනාගෙන මවගේත් දරුවාගේත් ජීවිත අනතුරට ලක්නොකර ශල්‍ය කර්මයක් මගින් ප්‍රසූතිය සිදුකිරිම මගින් මවටත් දරුවාටත් ලැබෙන සැනසීම සැහැල්ලුව මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයටද ලැබෙන අස්වැසිල්ල අති මහත්ය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගනිමු

මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා කරනවිට එහි ප්‍රවණතාවන් කලින් කලට වෙනස් වෙමින් පවතින අතර මෑතකදී සමාජය තුළ කතිකාවතකට ලක් වී තිබෙන මත්ද්‍රව්‍යයක් ලෙස අයිස් හෙවත් මෙතැම්පිටමින් හඳුන්වා දෙන්න පුළුවන්. එය අපේ රට තුළ ව්‍යාප්තිය ආරම්භ කර ඇත්තේ 2020 පමණ සිටය. 2017 දී හෙරොයින් භාවිතයට අමතරව වන ප්‍රවණතාවක් ලෙස වෙවද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ අවභාවිත කිරීමේ ප්‍රවණතාවක් ද හඳුනාගත හැකිවිය. හෙරොයින් මිදලී ගැනීමට නොමැතිවීම හෙරොයින් සඳහා ආදේශකයන් ලෙස මෙම ඖෂධ අවභාවිත කිරීම සිදු කරන ලදි. විශේෂයෙන්ම මානසික රෝගවලට ලබාදෙන ඖෂධ අවභාවිතය එකළ විශාල වශයෙන් සිදු වූවක්. අයිස් නමින් හඳුන්වන මතුද්‍රව්‍යය 2020 වසරේ සිට භාවිතය කෙමෙන් වැඩිවෙමින් එය තව තවත් සීග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. මේ වන විට පාසැල් දරුවන් සඳහා ද අභියෝගයක් වී තිබෙන මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කරමු. 

පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ යොමුවන්නේ කෙසේද?

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු දරුවන් සමග කතා කරද්දී ඔවුන් බොහෝ දෙනෙක් සදහන් කරන කාරණාව තමා මත්ද්‍රව්‍ය භාවිතයට තමා යොමුවුනේ යහලුවන්ගේ/සමකාලීනයන්ගේ බලපෑම මත යන්නයි. ඒ වගේම අපි පර්යේෂණ තුළින් තහවුරු කරගෙන තියනවා ගොඩාක් තරුණ පිරිස් පාසල් යන වයසෙ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වෙන්නෙ යාලුවන්ගෙ බලපෑම මත කියලා. හැබැයි කුතුහලයට වින්දනයක් ගන්න වගෙත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවුණු දරුවනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේම ලංකාවේ විතරක් නෙමේ ජ්‍යත්‍යන්තර පර්යේෂණ විමසා බැලීමේ දීත්  අපිට පේනවා ප්‍රධානම හේතුව මිතුරන්ගේ බලපෑම කියලා. ඒ වගේම සමාජ විද්‍යාත්මකව සාධක කීපයක් වගේම මනෝවිද්‍යාත්මක සාධකත් මේ මත්ද්‍රව්‍ය මුල්වරට භාවිතයට පෙලබීමට හේතුවෙලා තියනවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන අය සමග කතා කරද්දි ඔවුන් තුළින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද?

එය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගේ ජීවනරටාව අනුව වෙනස් වෙන්නත් පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතා කරනවා කියලා එහෙම අසාමාන්‍ය ලක්ෂණ ඔවුන් පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට එවැනි අය තුළ ඉතාම හොඳ ගති ලක්ෂණ තියෙනවා. එයාලගෙ තියන එකම ගැටලුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම පමණයි. ඇතැම් අයගේ කතා හරිම දුක්ඛිතයි. ඔවුන් මේ ඇබ්බැහියට යොමුවෙන්නත් ජීවිතයේ යම් යම් හේතු තියෙනවා. බොහෝදෙනෙක් පසුතැවෙනවා ඔවුන් මේ දෙයට යොමු වීම සම්බන්ධව. ඔවුන් එයින් මිදෙන්න උත්සාහ කරනවා.

යම් හෙයකින් පාසැල් දරුවෙකු සතුව මත්ද්‍රව්‍ය තිබී සොයා ගතහොත් ඒ සදහා ක්‍රියාත්මක වන නීතිමය  ක්‍රියාමාර්ග මොනවාද?

පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් විය යුතුයි.‍ පාසලේ විදුහල්පති තුමාට මෙතනදි ලොකු කාර්යයක් පැවරෙනවා. අපි එක් පන්තියක් ගත්තොත් ඒ ඉන්න හැම දරුවෙක්ම මෙයට යොමු වෙන්නේ නැහැ. මෙතනදි මුරණ්ඩු, ප්‍රශ්නකාරී (problem behavior) දරුවා හෝ කණ්ඩායම ගැන අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතුයි.‍ ඒ වගේම ගුරුවරයා විසින් පන්තිය කලමනාකරණය කර ගත යුතුයි. මේ කණ්ඩායම හදුනගන්න ඕනෙ. 

මේ වන විට ලංකාව පුරා ඉන්න ගුරු උපදේශකවරු පුහුණු කරගෙන යනවා..ඉතින් ඒ කළමනාකරණය තුලින් ගුරුවරයාට හැකිවෙන්න ඕනෙ මෙන්න මේ ළමයගෙ වෙනසක්/අවදානමක් තියනවා, මෙයා මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමෙ අවස්ථාවක් තියනවා කියලා ඒ වෙනස් හදුනගන්න. ඉතින් ඒ ගුරුවරයාගෙ හදුනා ගැනිම තුලින් යම්කිසි දරුවෙක් විදුහල්පතිවරයා වෙත ආවොත් විදුහල්පති විසින් උපදේශනය සඳහා පුහුණුව ලැබූ ගුරුවරයෙකු වෙත යොමු කළ යුතුයි. ඉතාම වැදගත් අනෙක් කරුන වන්නේ දරුවෙකු සතුව මත්ද්‍රව්‍යක් තිබිලා හමුවුනොතින් මුලු පාසලක් ඉදරියේ දඬුවම් දීම හෝ ලැජ්ජාවට පත්කිරීම හෝ නොකොට රහස්‍ය බව සුරකිමින් අවශ්‍ය ඉදිරි පියවර වෙත යොමු විය යුතුයි. 

සාමාන්‍යයෙන් පාසල් යන වයසේ දරුවෙක් මත්ද්‍රව්‍ය සමග පොලිසියට අසුවුනොතින් ඔහු/ඇය අධිකරණයට යොමුකරනවා. ඇබ්බැහියේ මට්ටම අනුව ඔවුන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය වුවහෝත් අධිකරණය මඟින් 2007 අංක 54 මත්ද්‍රව්‍යට වෙත ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන සම්බන්ධව පනතට අනුව අදාල මහේස්ත්‍රාත්වරයා දරුවා පුනරුත්ථාපනයට යොමුකරනවා. අපේ අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් නුවර මධ්‍යස්ථානයෙන් අවුරුදු 21 ට අඩු දරුවන් නොමිලේ පුනරුත්ථාපනය හා ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. 

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමව්පියන් සම්බන්ධව ඔබට ඇති අත්දැකීම් මොනවාද?

පර්යේෂණ  කටයුතු සිදුකරගෙන යද්දි අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන්ගෙ දෙමව්පියෝ සමගත් කතාබහ කරනවා. ගොඩක් දෙමව්පියෝ මේ පිලිබදව දන්නෙ දරුවා ඇබ්බැහි උනාට පස්සෙ. සමහර දෙමව්පියෝ  දරුවා මේ වගේ දේකට යොමුවෙලා කියලා දැනගත්ත ගමන්ම අන්තරාදායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය යටතේ තියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඔවුන්ට දරුවා මෙයින් ගලවා ගැනීමට අවශ්‍යයි. නැත්තම් අපේ දිස්ත්‍රික් නිළදාරින් හමුවෙලා උපදේශනයට එනවා. සමහර දෙමව්පියෝ ඇවිත් කියනවා මගෙ සේසතම වියදම් උනත් කමක් නෑ මගෙ දරුවව මේකෙන් ගලවලා දෙන්න කියලා. හරි සංවේදීයි. ඒවගේම සමහර දෙමව්පියෝ වැරදියට හැසිරෙන අවස්තාවලුත් තියනවා. තමන්ගෙ දරුවා ඇබ්බැහි වෙලා කියලා දැන දැනත්ම මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඉල්ලද්දි දෙන දෙමව්පියොත් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වෙට එන්න කලින් දරුවට අවශ්‍ය ආදරය ලබා දීලා සෙනහස දීලා දරුව මේ වගේ භයානක තත්ත්වෙකට පත්වෙන එක නවත්තගන්න දෙමව්පියන්ටත් විශාල වගකීමක් තියනවා.

මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වුණු දරුවෙක් පුනරුත්තාපනයට‍ යොමු කරනවා නම් දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

දැන් අපට සෘජුවම කතාකරන්න පුලුවන් 0112868794 අංකය ඔස්සේ. ඒ වගේම 1927 ක්ෂණික දුරකථන අංකයට කතා කරලා ඔබේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුව කතා කරලා කියන්න පුළුවන්. ඒ හරහා ගැටලුව යොමු කළ විට අදාල අංශයට යොමු කිරීම සිදු වෙනවා. එසේත් නැතිනම් රාජගිරිය අපේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. එසේ පැමිණෙන දරුවා/පුද්ගලයා අනාවරණ පරීක්ෂණයකට යොමුකරනවා. එමගින් භාවිත කරන මත්ද්‍රව්‍ය, අදාල තැනැත්තා සිටින තත්ත්වය වැනි දේ හඳුනා ගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණිය නොහැකි නම් අදාල උපදේශන අදියර කිහිපයක් යටතේ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව අවබෝධය ලබා දෙනවා. 

මෙසේ ඔබ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ රහස්‍යබාවය සුරැකෙනවාද?

අනිවාර්යයෙන්ම. කිසිදු පුද්ගලයෙකුගේ හෝ දරුවෙකුගේ හෝ කිසිදු තොරතුරක් වෙනත් කිසිදු පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ. නමුත් අධිකරණ මාර්ගයෙන් ඉල්ලීමක් කලොත් පමණක් අපිට තොරතුරු ලබාදීමට සිදුවෙනවා.

ඔබ ඇතුළු මේ හා සම්බන්ධව ක්‍රියාත්මක වන සැම සමාජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?

ඇත්තටම මේ කාර්යය ජය ගන්න අපිට විතරක් බැහැ. මේ උවදුරෙන් රට ගලවා ගන්න නම් මේ වෙලාවෙ අපි රටක් විදියට එකතු වෙන්න ඕනෙ. තමන්ගේ දරුවාට මෙහෙම ගැටලුවක් නැති නිසා ඇතැම් පිරිස් මේ හා සම්බන්ධව කතා කරන්න පවා අකමැතියි. නමුත් හැම දරුවෙක්ම කාගේ හෝ අම්මෙක්ගේ දරුවෙක්. ඒ අපේ අනාගතය. ඒ නිසා රටේ සෑම දරුවෙක්ම මෙයින් මුදවා ගන්න අපි හැමෝම දායක විය යුතුමයි. ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නවා වගේම රටේ දරුවන් ආරක්ෂා කිරීමටත් ඔබට යුතුකමක් පැවරෙනවා. ඒ නිසාම අපි පවුලක් වශයෙනුත් සමාජයක් වශයෙනුත් රටක් වශයෙනුත් මතට එරෙහිව නැගී සිටිය යුතුමයි. එක ඔබේ වගකීම ඒ වගේම මේ දරුවන් රටේ අනාගතය ඒක නිසා සමාජීය වශයයෙනුත් වගකීමක් තියනවා මත්ද්‍රව්‍ය වලින් දරුවන්ව මුදාගැනීම සම්බන්දව.ඉතින් අපි හැමෝම එකතු උනොතින් මේ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන එකට උත්සහයක් දරන්න පුලුවන් මොකද මේක සුලුපටු කාරනාවක් නෙමේ මෙය රටක් වෙලාගත්ත ජාලයක් ඉතින් විශාල ජාලයකට එරෙහිව සටන් කරන්න ඕනෙ සමාජයක් විදියට එකට ඉතින් එහෙම කලොත් අපිට අපේ දරුවන්ව මෙයින් මුදවාගන්නට පුලුවන් වේවි.

 


නිලානි අලුත්ගේ මහත්මිය

පර්යේෂණ නිලධාරිනී 

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය 


                

මොළේ ගැන ‍නොදැන මොළේ ඇති කිසි වැඩක් කරන්න බැරි බව දන්නවද?

මොළය කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද කියලා අපි කවුරුත් දන්නවා. අපි හිතන් ඉන්නේ අපිට මොළය තියෙනවා කියලා වුණත් ඇතැම් විට වෛද්‍ය විද්‍යාත්මකව ඒ ගැන අවබෝධයක් අපිට නැහැ. ඒ නිසා රැකියාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම අපේ පවුල, අපේ දරුවෝ  සම්බන්ධ වැඩ කටයුතු වලදී හරි විදියට මොළය පාවිච්චිය පාවිච්චි කළ යුතුමයි. මොකද මොළය පිළිබඳව මූලික අවබෝධය නැතිව දරුවන්ගේ ජීවිත ‍නිවැරදිව ගොඩනගන්න අපිට බැහැ. ඒ විදියට දරුවෝ හදද්දී තමයි දරුවන්ට මානසික රෝග හදන්න මූලික වෙන්නේ දෙමාපියන් සහ ගුරුවරු කියලා කියන්නේ. 

උදාහරණයක් විදියට අපි මව්පියන් විදියට අපේ දරුවන්ගේ ගුරුවරුන්ගෙන් දරුවාගේ අධ්‍යාපන මට්ටම විමසනවා. එතැනදී ගුරුවරයා දරුවා ගැන දෙන අදහසට අනුව අපි එතැන් සිට ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කොහොමද ටීචර් දැන් දුව… දුවට නම් කිසිම උනන්දුවක්, ඕනේ කමක් නැ … හොඳට වැඩකරන්න පුලුවන් දරුවෙක් වුණාට දැන් කරන්නෑ.. එයාට උනන්දු උනොත් කරන්න බැරි දරුවෙක් නෙවෙයි…

ඉතිං මෙතැන් පටන් ඕනෙම අම්මා කෙනෙක් දරුවාට ඉගෙන ගන්න උනන්දු කරවන්න බලපෑම් කරනවා කිව්වොත් වැරදිද? නැහැ. අම්මා කෙනෙක් නිතරම හිතන්නේ දරුවා ට හොඳින් උගන්වන්න. ඒකනේ අපේ සමාජයේ කතාවක් තියෙන්නෙත් කවද හරි ඉතිං ‍ඉගෙන ගත්ත දෙයක් තමයි කියලා. ඒක ඇත්ත වුණත් අපි අපේ දරුවන් ඒ දේ වෙත යොමු කරන ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ සැලකිලිමත් වෙන්න නම් මව්පියන්ට වගේම ගුරුවරුන්ටත් මොළය පිළිබඳව විද්‍යාව (Brain science) ගැන යම් දැනුමක් තිබිය යුතුයි. 

එහෙමනම් මොළේ කියන්නෙ මොකක්ද? ඒක ඇතුලෙ වෙන්නෙ මොකක්ද? මොළේ හැදිලා තියෙන්නෙ කොහොමද? ඒක නිවැරදිව සකසන්න අපි කළ/නොකළ යුතු දේ මොනවද? කියන මේ මූලික අඩුතාලම දෙමාපියන් වශයෙන් අප සතු විය යුතුමයි. ඒක හරියට ලැප්ටොප් එකක් ජංගම දුරකතනයක් භාවිතයේදී ඒක ගැන අපි දැනුවත් වෙනවා හා සමාන දෙයක්. 

අපේ මොළය සැකසිලා තියෙන්නේ නියුරෝන සෛලවලින්. දරුවෙක් බිහිවෙන්නේ මේ නියුරෝන සෛල බිලියන 100ක පමණ ප්‍රමාණයක් එක්ක. දරුවා ඉපදුණු දා ඉඳන්ම මේ මොළයේ සංවර්ධනය සිදු වෙනවා. ඒ කියන්නේ දරුවෙක් භාෂාව, සංස්කෘතිය, සාරධර්ම, ආකල්ප, ආවේග පාලන හැකියාව, සංවිධානාත්මක හැකියාව වගේ ගොඩක් කරුණු ඉගෙන ගත යුතුයි. දරුවෙක් උපදින විට මේ කිසිවක් දරුවා තුළ නැහැ. ඉතිං ඒ පරිසරයේ තියෙන හැමදෙයක්ම දරුවා ග්‍රහණය කර ගත යුතුයි. ඒ දේවල් හරි විදියට දරුවා ග්‍රහණය කර නොගත්තොත් අද වන විට අහිමි වුණු පෙම්වතිය මරා දමන තතත්වයේ දරුවන් වගේම තමන්ගේ ජීවිතයට හානි කරගන්නා දරුවන් නිර්මාණය වෙන එක ගැන අමුතුවෙන් සිතිය යුතු නැහැ. මොකද ඒ දරුවන්ගේ ආවේග පාලනය, සංවිධානාත්මක හැකියාව, නම්‍යශීලී චින්තන රටාව කියන කරුණුවල සංවර්ධනයක් සිදුව නැහැ. දරුවා තරුණ වියට එළැඹෙන විට මේ අඩුපාඩුකම් පෙන්නුම් කරනවා. අන්න ඒ හින්දා මුල් අවුරුදු 5 – 12 අතර කාලය දරුවෙකුගේ මොළයේ ස්වර්ණමය අවධියක්. දරුවෙක්ගේ අනාගතය තීරණ්‍ය වෙන්නේ ඒ අවධිය ගත කරන සාර්ථක/අසාර්ථක බව මතයි.

හුරතල් පොඩි දරුවෙක් දැක්කම ‍වඩා ගන්න, තුරුල් කරගන්න, සිපගන්න අපි කවුරුත් ආසයි. මේ සොබාදහම කියන අති විශේෂ නිර්මාණ කරුවා ඒ දේවල් ඒ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ අන්තර්පුද්ගල සබදතාව වැඩි දියුණු කිරීමේ උපක්‍රමයක් විදියටයි. ඒ ‍වගේම දරුවෙක් කියන්නේ අපිට ඕනේ විදියට රඳවගන්න පුළුවන් අයෙකුත් නෙවෙයි. දරුවා හරිම ක්‍රියාශීලීයි. ඒ සොබා දහම දරුවාව සෙල්ලම් කිරීම කියන දේත් එක්ක නිර්මාණය කරලා ඒකෙන් දරුවාට පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරන්න උත්තේජනයක් සපයලා තියෙනවා. 

සොබා දහමෙන් දරුවාට ලැබෙන මේ අවස්ථා වැඩිහිටියෝ විදියට අපි එයාට අහිමි කළොත් දරුවා හිර කළොත් බය කළොත් එය දරුවාගේ ක්‍රියාකාරකම් අතරමග ඇණහිටවීමක්. ඒක දරුවාගේ සංවර්ධනයට ඍණාත්මකව බලපානවා. දරුවාගේ කුසලතා සංවර්ධනය ඇණ හිටිනවා. මව්පියන් මේ විදියට දරුවාගේ චර්යා පාලනය කරන්න ගියොත් දරුවන්ගේ ක්‍රියාකාරකම් මට්ටම පහත වැටෙනවා. අපි මේ වෙනුවෙන් කළ යුතු දේවල් ගැන මූලිකවම දැනුවත් විය යුතුයි.

දරුවාගේ චර්යා පාලනය කිරීම

දරුවාට සෙල්ලම් කරන්න කාලයක් දෙන්න ඕනෙ වගේම පුළුවන් තරම් තනියම එයාගෙ වැඩටික කරගන්න ඉඩදෙන්න. අම්මයි තාත්තයි කියන්නෙ ළමයට පලංචියක්. දරුවාට බැරි කාලේ සහය වූවාට වයස අවුරුදු එකහමාරෙන් පස්සෙ දරුවාට තනිව තමන්ගේ දේ කරගන්න ඉඩ හැරිය යුතුයි. නැතිනම් දරුවාගේ පෞරුෂය පිළිබඳව ගැටලු පැන නගිනවා. අහිංසක, කීකරු, සන්සුන් දරුවෙක් බිහි වුවත් ඉදිරියට එන්න ශක්තිමත් පෞරුෂයක් ඒ දරුවා තුළ ගොඩ නැගෙන්නේ නැහැ.  ඒ නිසා මනෝවිද්‍යාවෙ මූලදර්මය තමයි, දරුවෙක් පොඩි කාලෙ ඉදලා තමන්ගෙ වැඩ කරගැනීමට හුරු වීම අවශ්‍යයි.

වයස අවුරුදු තුනේදීට දරුවෙක් කරන දේ වයස අවුරුදු 15 දී දරුවෙක් කරන්නේ නැහැ. උදාහරනයක් විදියට අවුරුදු තුනේදී පුටු අඩ මේස උඩ නගිනවා. ඒ ඒ වයසට අදාලව ඒ ඒ ක්‍රියාකාරකම් තමයි දරුවන් කරන්නේ. මේ විදියට දරුවෙක්ගේ මොළය සංවර්ධනය වෙනවා.

දරුවාගේ භාෂාව 

ලෝකයේ දැන් පැවතෙන ආකාරයට දරුවෙකුගේ මුල් අවුරුදු 6 හා 7 වන තුරු මව්භාෂාව හොඳින් ඉගැන්විය යුතුය. භාෂාවක් නතුකර ගැනීමෙ උපරිම ධාරිතාව මොළයට තියෙන්නෙ මාස 8 හා 9 කාලයේදීයි. එය සිංහල ද ඉංග්‍රීසි ද දෙමළ ද කියලා වෙනසක් නැහැ. උදාහරණයක් විදියට අපිට දැන් අලුත් භාෂාවක් ඉගෙනීමට අවශ්‍ය වුවත් ඒක එතරම් සාර්ථක නැහැ. නමුත් කුඩා වියේ සිටම එය දරුවෙක්ට ලැබෙනවා නම් ඉතා ඉක්මනින් දරුවා එයට යොමු වෙනවා. 

අපි අපේ දරුවන් මේ රටේ ජීවත් කරමින් ඔවුන්ට මව්භාෂාව ලබා නොදී ඉංග්‍රීසි භාෂාව පමණක් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ දරුවන් හැමදේම ග්‍රහණය කරගන්නේ ඉංග්‍රීසි භාෂාවට අදාලව. ඔබ ඔබේ දරුවාවෙනත් රටක තැබීමට බලාපොරොත්තු වෙනවා නම් පමණක් මාස 9 සිටම ඒ අදාල භාෂාව දරුවාට ලබා දෙන්න. ඒත් ඔබ ලංකාවේ ඔබේ දරුවා තියන්න අදහස් කරනවා නම් මව්භාෂාව දරුවාට හොින් උගන්වන්න. 

දරුවෙකුගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇති බව දැනගන්නේ කොහොමද?

ඒකට අපි කියනවා Resilience කියලා. ඒ කියන්නේ ඔරොත්තු දීමේ හැකියාවයි. දරුවෙකුගේ මොළය නිවැරදිව සකස් වූවා නම් ජීවිතේ අභියෝග වලදි, ගැටලු වලදි, ශෝකාන්තයන් වලදි, තර්ජන වලදි දරාගෙන හැඩගැසීමේ විශාල ප්‍රවණතාවක් පෙන්නනවා. ඒ කියන්නෙ ජිවිතයේ බරපතළ ගැටලුවක් ආවම ඒක කොයිතරම් දුරට දරාගෙන ඒකට හැඩගැහිලා තමන්ගේ සාමාන්‍ය මානසික ස්වාභාවය පවත්වා ගන්නවාද කියන එක එයින් අදහස් වෙනවා. 

උදාහරණයක් ලෙස යොවුන් දරුවෙකුගේ ප්‍රේමය බිඳ වැටනම නින්ද යන්නෙ නැහැ, රැවුල් කපන්න හිතෙන්නෙ නෑ, කන්න හිතෙන්නෙ නෑ, කාමරෙන් එලියට එන්න හිතෙන්නෙ නෑ, කතාබහ කරන්නෙ නැහැ. දැන් දරුවාගේ මොළය මනා ලෙස සංවර්ධනය වී ඇත්නම් ඔරොත්තු දීමේ හැකියාව හොඳ නම් මේ තත්ත්වයන් දරාගෙන දරුවා ජීවිතයට හැඩ ගැහෙනවා. එයට හැඩගැහෙන්න නොහැකි වූ විට දරුවන් ආතතියට පත් වෙලා සියදිවි නසා ගන්නා තත්ත්වයට වුවත් ‍පත් විය හැකියි. අන්න ඒ නිසාම ජීවිතයට යම් ගැටලුවක් තර්ජනයක් ආ විට එය සන්සුන්ව මුහුණ දීමේ හැකියාව අපි දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. 

දරුවෙකු සතු ඔරොත්තු දීමේ හැකියාව resilience අඩු නම් ඒ දරුවාට ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව අවම වන බව අමතක කරන්න එපා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී


                

අලුත උපන් බිළිදාට මව්කිරි ආසාත්මික විය හැකිද ?

උත්තරීතර මාතෘත්වය වගේම උත්තරීතර මාතෘත්වයේ සෙනෙහස පෙරදැරි කොටගත් එකම නිෂ්පාදනය මව්කිරි ය. මව්කිරි නිෂ්පාදනය සිදුවෙන්නේ මව් සෙනෙහස නිසාමයි . මව් සෙනෙහස කොතෙක්ද යත් මෙලොවට බිහිකරණ දරුවාගේ සියලු පෝෂණිය සාධකයන් සියල්ල මෙහි ගැබ් වී ඇත . මව්කිරි යනු ජීවි සෛල එනම් ජීවිතයක් ජීවත් කිරීමට අවැසි රුධිර සෛල මෙන්ම අනෙකුත් ජීවි සෛල අඩංගු සජීවි දියරකි .

කුස තුලදී දරුවාගේ පෝෂණය අවශ්‍ය සියලු දේ මවගෙන් පෙකනි වැල හරහා ලබාගන්නා දරුවා මෙලොව එළිය දැකීමත් සමඟම මේ සජීවි දියරය එනම් පණ ඇති දියරය මවගේ පියයුරු තුල නිෂ්පාදනය වී දරුවා පෝෂනය කිරිමේ කටයුත්ත ආරම්භ කරයි . ඉපදුණු සැනෙන් එනම් පැය බාගයක් පැයක් වැනි සුළු කාලයකින් මව් කිරි ආරම්භ කරන අතරම දරුවාගේ දෙතොලට පියයුරේ තනපුඩු ස්පර්ශ වීමත් සමඟම මොලයේ පිහිටි පිටියුටර් ග්‍රන්තියට දැනෙන මේ සංවේදනය හරහා පියයුරු උත්තේජනය සිදුවේ . ඒ සියල්ල සිදුවනුයේ පිටියුටරි ග්‍රන්තියේ අපර භාගයෙන් නිපදවන ප්‍රෝලැක්ටීන් හෝමෝනය ස්‍රාවය වීමෙනුයි. ප්‍රෝලැක්ටීන් හෝමෝනය ස්‍රාවය වීම නිසා මව්කිරි නිපදවීම ආරම්භ වේ . මෙම ප්‍රෝලැක්ටින් නිපදවීම දරුවාගේ පෝෂන කටයුත්ත උපරිම ලෙස සිදුකරන හෙයින් එය දරුවාගේ සියලු ඉන්ද්‍රීයයන් හා ක්‍රියාකාරිත්වයන් වර්ධනයට මාස හයක් පුරාවටම වැදගත් වේ. මෙසේ හෙයින් මව්කිරි යනු උස් පහත් හෝ වෙනත් කිසිදු භේදයක් නොමැතිව මිනිස් පැටියාගේ සියලු ක්‍රියාකාරිත්වයන් මෙන්ම වර්ධනය ප්‍රශස්ථ අයුරින් සිදුකිරීමට හැකියාව ඇති ජීවි ආහාරයයි.

මේ මගින් දරුවාගේ සියලු පෝෂන කටයුතු ඉටුකරන අතරම අලුත උපන් දරුවා වෙනුවෙන් මව්කිරි තවත් සුවිශේෂී තත්වයකින් සැකසි තිබේ එනම් අරම්භක අවස්ථාවේදි මවකට එරෙන කිරි එනම් කොලස්ට්‍රම් නම් ද්‍රවයයි. ව්‍යවහාරයේ රන්කිරි ලෙසින් හඳුන්වන මෙම කිරෙහි ප්‍රතිශක්තිකරණ ගුණය හොඳින්ම පවතී. ලා කහපැහැති මෙය ස්‍රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයකිනි. එය අධික ප්‍රෝටීන ප්‍රමාණයකින් යුක්තයි. මෙම කොලස්ට්‍රම් මගින් දරුවා රෝග වලින් ආරක්ෂා කරන අතරම නොමේරු ආහාර මාර්ගය ආස්තරණයක් ලෙස පැතිරී ආහාර මාර්ගය තුල ඇති බැක්ටීරියා විනාශ කරයි . එමෙන්ම කුසතුල විරේකයක් ලෙස ක්‍රියා කර කුස තුල ඇති මිකොනියම් (කලු පැහැති මල )පිටකිරීමට මෙම කොලස්ට්‍රම් ක්‍රියාකරයි.

ආහාර මාර්ගය එනම් අන්ත්‍ර පිරිසිදු වීමේ නැතහොත් විරේක විම මගින් ආහාර මාර්ගය ක්‍රියාත්මක වීම හොඳින් සිදුවන හෙයින් මව්කිරි එයට ඇති ලොකුම බලපෑමයි . එසේම ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවීම මගින් දරුවාගේ කිරි අවශ්‍යතාවය වැඩිවේ.

මෙසේ හෙයින් මව්කිරි නිෂ්පාදනයද හොඳින් සිදුවේ . එසේම පිත්ත ලවණ අවශෝෂනය හොඳින් සිදුවන හෙයින් දරුවා කහ වීමද වැලකේ.

මෙසේ දරුවාගේ ආහාර මාර්ගය හොඳින් ක්‍රියාත්මක වන හෙයින් මව්කිරි අවශ්‍යතාවය වැඩිවීමත් අවශ්‍යතාවයට අනුව කිරි නිෂ්පාදනය වැඩි වීමත් සිදුවන හෙයින් ද කිරි ගලා ඒමද සාර්තකව සිදුවේ. මෙසේ කිරි යාන්ත්‍රණය සාර්ථකව සිදුවනවිට දරුවා සුවෙන් පහසුවෙන් සිටින අතරම බහිස්‍රාවිය ක්‍රියාවන්ද හොඳින් සිදුවේ. මෙසේ බලන කල මව්කිරි මගින් දරුවාගේ ආහාර මාර්ගය ශක්තිමත් කිරීමත් හොඳින් වර්ධනයත් සිදුවන හෙයින් කිසිදු විටක දරුවාට ආසාත්මිකතා ඇති නොවේ.

යම් හෙයකින් අසාත්මිකතාවයේ ලක්ෂණ ලෙස හඳුනා ගන්නේ පාචනය, වමනය, උදර වේදනාව, පලු දැමීම ආදී ලක්ෂණයි. එවන් ලක්ෂණ යම් යම් අවස්ථාවලදී අපට දක්නට හැකි වුවද ඒවා ආසාත්මිකතාවය නිසා හට ගත්තක් නොවේ.

වමනය – වමනය ඇති වන්නේ කිරි උරාබීම සඳහා දරුවා නියමිත ස්ථාපිතයේ තබා නොගැනීම හෝ සම්බන්ධය දුර්වල වීම නිසා පෙවෙන වාතය පිටවිමේදි හෝ කිරි වේල් වලින් පසු ගුඩුස් නොයැවීම නිසා හෝ පිටවන වාතය සමඟ කිරි පිටවීම නිසාය. මෙය කිරි දීම සඳහා මව පුරුදු පුහුණු විම හෝ දැනුවත්ව සිටිම මඟින් කිරි උරා බීමට පහසු ලෙසින් දරුවා පියයුරට සම්බන්ධ කිරීම මගින් පාලනය කරගත හැකි තත්වයකි. එසේ හෙයින් එය කිසිදු විටක ආසාත්මිකතාව නිසා ඇතිවන්නක් නොවේ .

දියර ලෙස මල පිටවීම – ස්ථාපිතයේ හෝ සම්බන්ධයේ දුර්වලතා නිසා පෙවෙන වාතය හේතුවෙන් ආහාර මාර්ගයට කිරි වැටෙන විට වරින් වර දියර ලෙස මලපහ පිටවීම සිදුවේ. මේ නිසා මෙම දියර මලපහ මඟින් ගුද මාර්ගය අවට සම රතු වීම, හම යාම වැනි තත්වයන් ඇති විය හැකියි. එයද ආසාත්මිකතාව නිසා ඇතිවන්නක් නොවන අතර කලින් ස්ථාපිතයේ හෝ සම්බන්ධයේ දුර්වලතාව නිසාම ඇති වාය හැකි තත්ත්වයකි. 

උදර වේදනාව – එයද දරුවාට ඇති වන්නේ කලින් පැවසූ හේතු නිසාම වන හෙයින් බඩට වැටෙන වාතය පිටවීමට උදරයට ලැබෙන පීඩනය හෝ තවත් ස්ථාපිතය අනුව එම වාතය පිටවූ විට දරුවාට ලැබෙන සහයනය හේතුවෙන් උදර වේදනාව වැලකේ. මෙසේ හෙයින් දරුවා වේදනාවෙන් අඩන එක නැති වේ . එසේ නොවුන හොත් කිරි සමඟ උදරයට ලැබෙන වාතයේ පීඩනය නිසා ඇතිවන අසහනය හේතුවෙන් දරුවා අසහනකාරි ලෙස හඩන්නට වෙයි. මෙය කිසිසේත්ම ආසාත්මිකතාවයක් ලෙස වැරදි ලෙස වටහාගත යුතු නොවේ.

මෙසේ සලකා බැලිමේදි අලුත අපන් දරුවන්ගේ අහාර මාර්ගය හොඳින් මේරීමටත් ක්‍රියා කිරීමටත් මව්කිරි යාන්ත්‍රණය ප්‍රබල ලෙස බලපෑම් එල්ල කරන අතරම මව්කිරි හොඳින් ලබන දරුවාගේ වර්ධන වේගය ප්‍රශස්ත මට්ටමක පවතියි. එසේ වන්නේ මව්කිරිවල කිසිදු ආසාත්මිකතාවයක් නොමැති හෙයිනි. හොඳින් නිවැරදිව කිරි උරා බොන දරුවෙකු නිවැරදි ලෙස ප්‍රශස්ත වර්ධන වේගයක් ලබාගන්නේ මව්කිරි පිලිබඳව මව තුල ඇති ආකල්මය සුබවාදි හේතු නිසාවෙන් නොමැතිනම් ඇතිවන ගැටලු ආසාත්මිකතා ලෙස තිරණය කිරීම සුදුසු නොවේ . 

දරුවෙකු නිවැරදි වර්ධන වේගයක් ලබා ප්‍රශස්ත මට්ටමකින් කායිකව මානසිකව පෝෂණය ලබන්නේ මව්කිරි ලබන කාලසීමාවේදි හෙයින් පැහැදිලි ලෙසට මව්කිරි මගින් ආසාත්මිකතා ඇති නොවන බව අවිවාදයෙන් පිලිගතයුතු වේ.

මනාව පුරුදු පුහුනු කල දැනුම දක්ෂතා හා ආකාල්පමය තත්වයන් මගින් මවකිරි කළමනා කරණය පිළිබඳව ඇතිකර ගන්නා ශක්තිය සෑම මවකටම මෙම අභියෝගය ජය ගැනීමට හැකි අවස්තාවන් උදාකරනවා. එමෙන්ම සැහැල්ලු මනසින් අලුත උපන් දරුවා සමඟ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සැපයෙනවා නොඅනුමානය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී මව්පියන්ට වැරදුණේ මෙතැනද?

එදිනෙදා ජීවිතයේදී දරුවන් සමග ගනුදෙනු කරද්දී දරුවන් මෙන්ම මව්පියන් යන දෙපාර්ශවයම පීඩාවට පත් වන මාතෘකාවක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනය හඳුන්වා දිය හැකියි‍. මේ ළමයා ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැහැ කියන වාක්‍යය අම්මා තාත්තාගේත් කටින් පිටවෙන්නේ ඔවුන්ව නොදැනුවත්ව වීමට තරම් එය පවුලක් තුළ ගැටලුවක් වෙලා අවසන්. ඇතැම් අවස්ථාවලදී දරුවා මහන්සි වුවත් ඉගෙනීම වෙනුවෙන් කැප වුවත් ඒ තරමට ප්‍රතිඵල දරුවාට හිමි නොවනා වෙන්නත් බැරි නැහැ. 

වෛද්‍යතුමනි, මනෝ විද්‍යාවට අනුව අධ්‍යාපනය යනු කුමක්ද?

මෙය ලෝකයේ ඉතා පුළුල් ලෙස දකින කාරණාවක්. අධ්‍යාපනය තුළි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ සමාජය තුල යහපත් පුරවැසියෙක් බිහිකිරීමයි. බර්ටම් රසල් කියන දාර්ශනිකයා දක්වන් අදහස වන්නේ විද්‍යාව යම්තාක් දුරට දියුණුවන්නේද ප්‍රඥාවද ඒ හා සමානව දියුණුවිය යුතුය. යම්තාක් දුරකට එය එසේ නොවන්නේද ඒ හා සමානව විද්‍යාව මිනිසාට අහිතකරය යන්නයි. කෙටියෙන් සඳහන් කළොත් විද්‍යාවෙන් සකසා දෙන ආයුධය කෙසේ භාවිත කළ යුතුද යන්න අපට කියා දෙන්නේ ප්‍රඥාව තුලිනුයි. මේ ආකාරයට අධ්‍යාපනය පිලිබදව විවිධ නිර්වචන තියනවා.

මනෝවිද්‍යාත්මක පැත්තෙනුත් ඒ ආකාරයේ බොහෝ නිර්වචන පවතිනවා. මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන්ගේ පොතක සඳහන් වන ආකාරයට අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා, ස්වකීය අනාගතය පරපුරට පවරා දීමට තෝරාබේරා ගත් ඥාන සම්බාරයයි.  එහි ඇති වැදගත් කරුණ ‍වන්නේ රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාමට නිශ්චිත ක්‍රමයක්, දැනුම් සම්බාරයක් දරුවන්ට පැවරෙන අතරම ඒ සමාජ ක්‍රමය ඇතුලෙ සාරදර්ම, සංස්කෘති, යහපැවැත්ම, රාජ්‍ය පාලනය ආදී කාරණා රාශියක් ඇතුළත් වන බවයි. මේ සමාජ ක්‍රමය පුරවැසියාට යහපත්, හිතකර විදියට රැගෙන යාමට අවශ්‍ය මූලික කාරණා අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලෙස හැඳින්විය හැකියි. ඒ ගනුව ගත් විට අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියෙකු බිහිකිරීමයි.

සාර්ථක පුරුවැසියෙක් බිහි කිරීම යන කරුණ තුළ අධ්‍යාපනය විසින් කළ යුත්තේ කුමක්ද?

දරුවෙක් මෙලොවට බිහිවෙද්දී ඒ දරුවාගේ මොළය හිස්. ස්නායු විද්‍යාවට අනුව වයර් කෑලි වගේ දේවල් ටිකක් පමණක් ඒ තුළ තියෙන්නේ. අපි ඒවා නියුරෝන ලෙස හඳුන්වනවා. මේවා තුළ සදාචාරය, සංස්කෘතිය කියන කරුණු කිසිවක් අන්තර්ගත නැහැ. නමුත් ඒ කරුණු ගොඩ නැගීමට අවශ්‍ය විභවය ඒ තුළ පවතිනවා. දරුවෙක් මේ ලෝකයට බිහිවන්නේ කුසලතා විශාල ප්‍රමාණයක් ගොඩනැගිය හැකි විභවයක් මොළය තුළ තබාගෙනයි. අන්න ඒ දරුවා රැගෙන එන විභවය තුළ අප විසින් නිවැරදිව ගොඩ නැගිය යුතු කරුණු රැසක් පවතිනවා. ජානමය වශයෙන් ගත්තොත් මේ විභවය තුළ උස යාම සම්බන්ධව ජානමය වශයෙන් විභවයක් චරුවා රැගෙන එනවා‍. ඒ වගේම භාෂා කුසලතාවයන් ඇතුළු විවිධ දේ සඳහා දරුවා තුළ විභවයන් පවතිනවා. 

උදාහරණයක් ලෙස දරුවාගේ පියා සංගීතය පිලිබඳ දක්ශයෙක් නම් ඔහුගේ දරුවන් තුලත් ඒ සංගීතමය හැකියාව වර්ධනයට අවශ්‍ය ජානමය විභවතා පවතිනවා. එතැනදී දරුවාට ඒ වටපිටාව සැකසුණොත් දරුවා ක්ෂණිකව එයට යොමු වෙනවා. උපතේදීම අපේ මොළය යම් යම් දේ ගොඩනගා ගැනීමට අවශ්‍ය ජානමය විභවතාවන් (Potential) සහිතව පැමිණෙන බව කිව යුතුයි. වැඩිහිටියන් ලෙස අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය සාධනීය පරිසරය ලබා දීමයි. 

ඒත් දරුවන්ට හිමිව තිබෙන විෂය නිර්දේශයන්ට අනුව ඔවුන්ගේ දක්ෂතා අනුව කටයුතු කිරීමට ලැබෙන අවස්ථාව අවමයි නේද?

අනිවාර්යෙන්ම. ඒක අපේ අම්මලා තාත්තලා  වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක්. බොහෝ දෙනෙක් හිතන්නේ දරුවාට විෂය කරුණු ලබාදීම ඇර වෙනත් දෙයක් නැහැ කියලා. අද වෙද්දී විද්‍යාව, ගණිතය වගේ විවිධ විෂයයන්වලට මුල් තැන දෙන්න අපේ මව්පියන් හුරු වෙලා. මේ විදියට විෂය කරුණු දරුවන්ට පෙවීම වෙනුවෙන් දැන් වෙළඳ පොක් නිර්මාණය වෙලා කිව්වොත් නිවැරදියි. පෞද්ගලික පන්ති මේ තරම් ප්‍රමාණයක් විවෘතව ඇත්තේ ඒ නිසයි. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක් විදියටයි මම දකින්නේ‍.

ඒ කියන්නේ දරුවෙක්ට විෂය කරුණු ඉගැන්වීම නුසුදුසුද ?

අත්‍යවශ්‍යයි. විෂය කරුණු දැනගැනීම තුල මොළේ යම් වෙනසක් වෙනවා. මොකද මේ විෂය කරුණු වල තියෙන්නෙ ලෝකෙ සිදුවන දේවල්වල යතාර්තය. විද්‍යාව, ආර්ථිකය, භූ ගෝලය, දේශපාලනය වැනි විෂය කරුණු දරුවෙක් දැන ගත යුතුයි. ඒත් විෂය කරුණු ගැන දැනුවත් වූ පමණින් සාර්ථක දරුවෙක් බිහි වෙනවා කියන කාරණය ගැන විශ්වාසය තැබිය නොහැකියි. 

අපේ රටේ අධ්‍යාපනය යම් රාමුවකට නාභිගත වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට මායිම් ගම්මාන ගත්තොත් බොහෝ විට කියන්නේ ඒ පැතිවල ප්‍රතිඵල මදියි ඒවා වැඩි කළ යුතු බව කියනවා ඒ වගේම වැඩිම ලකුණු ගත් දරුවන් මාධ්‍ය රට ඉිදිරියට රැගෙන එනවා. අන්න ඒ විදියට අධ්‍යාපනය, ප්‍රතිඵල මතම තීරණය වන්න පටන් අරගෙන. ඒත් දියුණු රටවල ගත්තොත් දරුවෙක්ගේ ප්‍රතිපල ලබාදෙන්නේ තැපැලෙන්. නමුත් අපේ රට තුළ ප්‍රතිඵල මතම යැපෙමින් ඒ මගින් තරගකාරීත්වයක් ගොඩනගලා හොඳම ප්‍රතිඵල ලබා ගන්නේ කියන අදහස ඇතිව තරගකරුවන් රැසක් බිහිකර අවසන්. ඒ නිසා අද වෙද්දී අධ්‍යාපනය කියන්නේකරගයක් බවට පත්වෙලා. අන්න ඒ තරගකාරී අධ්‍යාපන රටාව තුළ බිහි වෙන්නේ අසහනය සහිත දරුවෝ පිරිසක්. එය සමාජයට බලපාන කරුණක්. නමුත් අධ්‍යාපනය කියන්නේ සමාජය සුවපත්ව පවත්වා ගැනීම. මනෙ නමුත් මේ ක්‍රමෙන් වෙන්නෙ සමාජ අසහනය ඉහල යන එක. කිසිවෙකුටත් උදුරාගත නොහැකි සම්පතක් ලෙස හඳුන්වන අධ්‍යාපනය සමාජ අසහනය ඇති කිරීමට හේතුවක් බවට පත් වන්නේ මේ තරගකාරීත්වය නිසයි.

වෛද්‍යතුමනි, එසේ නම් මේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථකද?

ඔව්.. උදාහරණයක් විදියට උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වූ විගස බොහෝ දරුවන් පිරිසක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ආකාරය මම මගේ අත්දැකීමෙන් දකිනවා. මොකද ඒ දරුවන්ගේ බලාපොරොත්තු කඩ වෙලා. නොසිතූ ප්‍රතිඵලයක් ලැබිලා. අම්මා තාත්තා අහන්නෙත් හොඳන වැඩ කළා නම් ප්‍රතිඵල මෙහෙම වුණේ කොහොමද කියලා.  ඒත් මව්පියන් වැඩිහිටියන් ලෙස අපිත් වටහා ගත යුතු කරුණු රැසක් මෙතැනදී තියෙනවා. අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි වන්නේ ඉතාම සුළු පිරිසකට බව අද ලෝකය පිළිගන්න කරුණක්. අනෙක් පිරිසටත් තමාට ඉහළට යා හැකි හැකියාවන් බොහොමයක් තිබෙනවා. ඉගෙනීමට දක්ෂ දරුවෝ ඒ පැත්තෙන් ඉදිරියට යද්දී අනිත් දරුවන්ට ඔවුන්ගේ විභවයෙන් ඉදිරියට යාමට එය මතුකර ගැනීමට සහය ලබා දිය යුතුතේ දෙමාපිය වැඩිහිටියන් විසින් බව අමතක කරන්න එපා. 

සියලුම දෙනා දැනුම ගොඩ නැගිය යුතු නැහැ. බොහෝ දෙනා අවශ්‍ය වෙන්නේ ලෝකය ගොඩ නැගීමටයි. ආහාර නිශ්පාදනයට, යන්ත්‍ර නිශ්පාදනයට, ඇගලුම් නිශ්පාදනයට වගේ ගොඩක් දේවල් වලට දක්ෂයින් අවශයි. ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයයන් නොහැකි වීම නිසා අද සමාජයේ කෙතරම් දක්ෂයින් පසුබෑමට ලක්ව සිටිනවාද? ඒ අපේ සමාජය තුළ අපේ වැඩිහිටියන් තුළ පවතින මත නිසයි. ඒ දරුවන්ට ඔවු‍න්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න අවස්ථාව අහිමි වන නිසයි. දරුවෙකු සතු හැකියාව එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට පිහිටා ඇත්තේ එක එක විදියට, එක එක හැඩයට, එක එක් තැන්වලින්. ඒ එක එක තැන්වල එක ස්වරූපයන්ගෙන් පිහිටලා තියන විබවය මතුකිරීම අධ්‍යාපනයේ පරමාර්තයක්. 

ඒත් දරුවෝ ඉගෙන නොගන්නේ උනන්දු නැති නිසා කියලා මව්පියන් තරයේ විශ්වාස කරනවා නේද?

ඒක අපේ සමාජයේ තියෙන වැරදි මතයක්. හැම අම්මා කෙනෙක්ම හිතනවා මේ ළමයා හිතුවොත් උනන්දු උනොත් මේ වැඩේ කරගන්න පුලුවන් කියලා. අපිට පුළුවන් දරුවෙකුගේ බුද්දි මට්ටම පරීක්ෂා කරන්න. ඒ සහා උපකරණ තිබෙනවා. දරුවෙකුගේ හැකියාව පවතින්නේ ඒ දරුවාගේ බුද්ධි මට්ටම අනුව බව දෙමාපියන් වටහා ගත යුතුමයි. බුද්ධි මට්ටම අඩු දරුවෙකුට අම්මා බලාපොරොත්තු වෙන උපරිමය ලබා දෙන්න නොහැකි වීම අම්මා වටහා ගත යුතුයි. දරුවන්ට විෂය කරුණු ලබා දීම මනා ශාස්ත්‍රීය දැනුමක් සහිතව ඉතාම පරිස්සමින් කළ යුතු කාරණාවක්.

දරුවෙක් ඉගෙනීමට අදක්ෂ වීම මව්පියන්ට යම්තාක් දුරකට වේදනාවක් නේද?

වෙන්න පුළුවන්. ඒත් එ දරුවා වෙනත් දෙයක් හා සම්බන්ධව අති දක්ෂයෙක් නම් අපේ මව්පියන්ට ඒ ගැන සතුටු වෙන්නත් ඒ වෙනුවෙන් සහය වෙන්නත් බැරි ඇයි? සංගීතයට, නර්තනයට එහෙමත් නැත්නම් කාර්මික අංශයට ඒ දරුවා අති දක්ෂයෙක් විය හැකියි. අන්න ඒ නිසා දරුවෙකුට විෂය කරුණු පෙවීමට පෙර දරුවා හොඳින් වටහා ගෙන ඉතා සූක්ෂමව ඒ දරුවාට හැකියාව ඇති මගට යොමු කිරීමට තරම් දෙමාපියන්න සාර්ථක විය යුතුයි. එසේ නැතිනම් එවැනි දෙමාපියන් සමාජයට දායාද කරන්නේ අසහනයෙන් පිරුණු දරුවෙක් බව අමතක කරන්න එපා. 

දරුවෙකුට විෂය කරුණු ලබාදීම පමණක් අධ්‍යාපනය නොවේ නම් අධ්‍යාපනයට ඇතුළත් විය යුතු අනෙක් කරුණු මොනවාද?

ඔව්. එතැනදී වටිනාකම් පද්ධතියක් අපි  දරුවන් තුල ගොඩනැගිය යුතුයි. විශය කරුණු ලබා දෙනවා වගේම එයත් විශාල ව්‍යාපෘතියක් විදියට හඳුන්වන්න පුළුවන්. සදාචාරය, සංකල්ප වැනි දේවල් දරුවෙක් තුළ ඉබේ ඇති වෙන්නේ නැහැ. විෂය කරුණු වලට වගේම ඒ වටිනාකම්වලටත් අපි යම් වහෛසක් දැරිය යුතුයි. දරුවෙකුට දවසේ පැය 15ක් පමණ විෂය කරුණුම ලබා දීලා ඒ දරුවාට අවුරුදු 18ක් වගේ වෙද්දී ව‍ටිනාකම් සෙවීමේ ඵලක් නැහැ. 

අද අපේ සමාජයෙන්ම උදාහරණ ගත්තොත් තරුණ දරුවෙක් විවාහ වෙද්දී වටිනාකම් දෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා හිතලා බැලුවොත් සාමාන්‍යයෙන් නම් විවාහ වෙලා ප්‍රශ්න සතුටිනි නිරාකරණය කරගෙන දරුවන් හදාගෙන ඉිදිරියට යාමක් වුවත් අද වෙද්‍දී දරුවෝ ප්‍රී ෂූට් වගේ දේවල්වලට විශාල තැනක් වටිනාකමක් ලබා දෙනවා. අන්න එතැනදී අපිට අවබෝධ කරගත හැකියි අධ්‍යාපනයට වටිනාකම් එකතු නොකිරීම නිසා ඇති වන ගැටලු මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දී මුදලට කළ නොහැකි දෙයක් නැහැ. මේ කරුණු අද වෙද්දී අපේ සමාජයෙන් ගිලිහී යනවා. එය රටක් ලෙස සමාජයක් ලෙස පවුලක් ලෙස මව්පියන් දෙස මෙන්ම දරුවන් ලෙසත් අපේ අවාසනාවක්. 

එසේ නම් දරුවන්ට අපි ලබා දිය යුත්තේ මොනවාද? 

ජීවන කුසලතා. අද වන විට ලෝකයේ නව සොයා ගැනීම් අතර 4H model of life skills කියන දේ කතා වෙනවා. එහිදී  H හතරක කුසලතා ඒ කියන්නේ,

  • හෘදය ආශ්‍රිත කුසලතා (HEART)
  • අත ආශ්‍රිතව තියන කුසලතා (HAND)
  • ඔලුව ආශ්‍රිත කුසලතා (HEAD)
  • සෞඛ්‍ය ආශ්‍රිත කුසලතා (HEALTH)

රිය පැදවීම කුසලතාවයක්. මොකද අපි උපතින්ම ඒ දේ රැගෙන එන්නේ නැහැ. මෙන්ම මේ විදියට අපි රිය පැදවීමේ කුසලතාවය ප්‍රගුණ කළත් අපි ආවේග පාලන කුසලතාව දියුණු කරලා නැතිනම් ඒ කා්ර්යය සමාජයට පමණක් නොවෙයි අපේ ජීවිතවලටත් ගැටලු ඇති කරනවා. එතැනදී අපි දරුවෙකුට ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතා (soft skills) දියුණු කර ගැනීමට මග පෙන්වීම ඉතාම වැදගත්. එතැනදී කෙනෙක් එක්ක ගණුදෙණු කරන්න, කෙනෙක් එක්ක කතාකරන්න, ඉදිරියට යන්න අවශ්‍ය කුසලතා තියනවා. ඒ හැම කුසලතාවයක්ම දියුණු කළ යුතුයි. අන්න ඒ වෙනුවෙන් විභාග ප්‍රතිඵල ඉහළ නිංවිම කියන අදහසින් ඉවත් වෙලා සමස්ත පුරවැසියා හැදීම කියන මූලික ව්‍යාපෘතියට අධ්‍යාපන අමාත්‍යාංශය අවතීර්ණ විය යුතු කාලය දැන් එළැඹ තියෙනවා කිව්වොත් නිවැරදියි. එසේ නොවන්නට අපි එය අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කරන අසාධරණයක් වනු ඇත. 

වෙද්‍යතුමනි අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය කුමක්ද?

අධ්‍යාපනයේ සැබෑ පරමාර්තය සංස්කෘතිය පැවරීම දැක්විය හැකියි. ශ්‍රී ලංකාව කියන්නෙ වැඩිහිටියන්, මව්පියන් රැකබලා ගැනීම,දරුවන් රැකබලා ගැනීම, ආහාර රටාව ඇදුම් රටාව ගත්තත් ඉතාම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක ගති ලක්ශණ වලින් පෝෂිත රටක්. අපේ භාෂාව,සිරිත් විරිත් කියන මේ සියලුම කරුණුවලින් පෝශණය වෙච්ච සංස්කෘතිය පැවරීම කියන එක අධ්‍යාපනයේ පරම පරමාර්ථයක්. ඒත් අපි බටහිර සංස්කෘතියේ විවිධ විකෘතිතා වැලඳ ගැනීම නිසා සංස්කෘතිය පැවරීම අසාර්ථකයි.

සංස්කෘතිය තුලින් අපේ දරුවන් ආරක්ෂා වෙනවාද?

මෙතැනදී සදාචාර සංවර්ධන කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. සදාචාරය, අවදි 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි. 

  • සදාචාරාත්මක දැනුම – ගැබැනි මවක් බසයට නැග්ග විට ඉඩ දිය යුතුයි කියන දැනුම අපට තියෙනවා. ඒ දැනුම අපි අපේ දරුවාට ලබා දිය යුතුයි. 
  • සදාචාරාත්මක හැගීම – පළමු කරුණ වුණු සදාචාරාත්මක දැනුම, හැගීමක් බවට පත් වෙනවා
  • සදාචාරාත්මක චර්යාව – දැනුම හැඟීමක් බවට පත් වීමෙන් පසුව එය ක්‍රියාවක් බවට පත් වෙනවා. 

මේ කරුණු තුනම පෝෂණය වීම සදාචාර සංවර්ධනය ලෙස හඳුන්වනවා. අවාසනාවකට අපේ රටේ අධ්‍යාපනය විෂය කරුණුවලට පමණක් සීමාවී තිබුණත් සාර්ථක පුරවැසියෙකු බිහි කිරීමට විෂය කරුණු ඉගැන්වීම හා සමාන විශාල ව්‍යාපෘතියක් ලෙස මේ සදාචාර සංවර්ධනය කිරීමත් වැදගත් වෙනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන

මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී


                

ඇත්තටම රචනා ලියන්න දරුවන් කම්මැලි ඇයි…?

ගණිතය, විද්‍යාව ඉංග්‍රිසි මිසක් රචනා ලියන්නේ මොකටද..?

සමහර දරුවන් රචනා ලියන්න හරිම කම්මැලියි. කොටින්ම ගණිතමය බුද්ධිය ඉහළ මටට්මක ඇති දරුවෙක් පවා රචනාවක් ලියන්න කිව්වාම ටිකක් අදි මදි කරනවා. නමුත් රචනා ශෛලීය බාල කාලයේ පටන් ප්‍රගුණ කර නොගතහොත් උසස් අධ්‍යාපනය ලබන අවධියේදී පවා මේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවළිය සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇති වෙනවා.

ඇත්තටම රචනා ලියන්න දරුවන් කම්මැලි ඇයි…?

රචනාවක් ලියන්න කිව්වට දරුවා රචනාව ලියන්න කම්මැලි ඇයි කියන මූල බීජය ගැනත් අපි ටිකක් අවධානය යොමු කරමු. බොහෝ දරුවන්ට රචනාවක් ලියන්න තරම් කරුණු ඔවුන්ගේ දැණුමේ නැහැ. වට පිටාවෙන් ලබා ගත් දැණුම නැති නිසා ඔවුන්ට රචනාවක් ලියන්න ගිය විටෙක සෑහෙන ගැටලුවක් ඇති වෙනවා.

ලේඛන හැකියාව නැති නිසාත් දරුවන් රචනා ලියන්න උදාසීනතාවයක් දක්වයනවා. ලේඛන හැකියාව ලිවීමෙන්ම ප්‍රගුණ කර ගැනීම අවශ්‍යයි. ලේඛනයට පසුගාමී වුනොත් එවැනි දරුවන් තුළ ලියන කලාව නිර්මානය වෙන්නේ නැහැ.

සමහර දරුවන් දිගින් දිගට ලියන්න කම්මැලියි. ගණිතමය සමීකරණයක් විසඳනවාට වඩා රචනාවක් ලියන්න ඔවුන් කම්මැලියි. ගණිතමය සමීකරණයක තිබෙන ආදේශ කිරීමේ ක්‍රිවාවලිය රචනාවක් වෙනුවෙන් යොදා ගැනීමට අපහසුයි. ඒ නිසා රචනාවක් කියන සැනින්ම මුහුණ පුළුටු කර ගන්නා දරුවන් සිටිනවා.

ඒ වගේම අකුරු ලිවීමේ ඇති පසුගාමී බව නිසාත් රචනාවක් ලියන්න කම්මැලි දරුවන් සිටිනවා. ඔබ අතරත් එවැනි දරුවන් ඇති. ඔවුන් සමග කථා කරන විට අපුරු අදහස් තිබෙනවා. ඒවා ඉතාම නිර්මානශීලියි. ඒ වුනත් රචනාවක් ලියන විට අකුරු ලිවීමේ ඇති අපහසුතාවය නිසා එවැනි දරුවන්ට ඔවුන්ගේ නිර්මානශීලී අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ.

රචනාවකදී කාලකළමනාකරණය අවශ්‍ය වෙනවා. අදාල වචන හෝ ලබා දෙන කාලය තුළ තුළ තමන්ගේ අදහස් නිර්මානශීලීව ඉදිරිපත් කිරීම වැදගත්. සමහර දරුවන්ට කාලය තුළ ලියන්න දෙයක් නැති නිසා පෑන කටේ ගහගෙන කල්පනා කරනවා මේ අතර සමහර දරුවන්ට කාලයට අනුව අවශ්‍ය දේ ගලපා ගෙන ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා ඔවුන් ප්‍රශ්නයෙන් පිට පිලිතුරු ලිවීම නිසා සාර්ථක නිර්මානයක් බිහි වෙන්නේ නැහැ.

ඉතිං රචනා ලියන්න අවශ්‍යද…?

අපේ දෙමව්පියන් වුනත් ගණිතය, විද්‍යාව වැනි විෂයන්ට දරුවන්ගේ අවධානය යොමු කරනවා විනා රචනා ලියන්න වැඩි අවධානයක් දක්වන්නේ නැහැ. ගණිතය, ඉංග්‍රිසි සහ විද්‍යාව වගේ උසස් අධ්‍යාපනයේදී රචනා ලියන්න අවශ්‍ය නැහැ කියලා ඔබ හිතනවා නම් එය අදම සිතින් ඉවත් කර ගන්න.

උසස් අධ්‍යාපනයේදී මොකද වෙන්නේ….?

රචනා ශෛලීය අධ්‍යාපනය සමග බද්ධයි. පුංචි පංතිවල ලියන වගන්තියේ පටන් උසස් අධ්‍යාපනයේදී ඔබ විසින් සපයන රචනා ශෛලියේ ප්‍රශ්න පිලිතුරුවල දක්වාම රචනා තුළින් ඔබ ලබා ඇති හැකියාව වැදගත්. නමුත් අද දවසේ පශ්චාත් උපාධිය හදාරන සිසුන් අතර පවා රචනා ලිවීමේ හැකියාව නොමැති බැව් අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.

මේ පිලිබඳව අධ්‍යනයක් මලාවි විහ්ව විද්‍යාලයේ පැවැත්වූවා. ‘‘ඇප්ටා සෙලිමාමි “එහි ප්‍රධානී ලෙසින් කටයුතු කළා.පශ්චාත් උපාධි නිබන්ධන ඉදිරිපත් කරන සිසුන්ගේ නිබන්ධන ඇසුරින් මෙම දත්ත ලබා ගත්තා. එහිදී පෙනී ගිය අන්දමට මෙම සිසුන්ගෙන් 85% ක්ම මීට ඉහත සිදු කරන ලද නිබන්ධනයන්ගේ තොරතුරු cut & paste ක්‍රමයට ලබා ගෙන තිබුණා. බොහෝ සිසුන් තමන්ගේ ස්වාධීනව අදහස් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වා තිබුනේ නැහැ. අනුන්ගේ නිගමන සහ යෝජනා ලබා ගෙන නිබන්ධනය සම්පූර්ණ කොට විභාගයේ ප්‍රතිඵල ලබා ගත්තා මිසක අලුත් යමක් සමාජයට ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වා තිබුන් නැහැ.

නිර්මානශීළී නැහැ…

පශ්චාත් උපාධියක් ලබා ගැනීම දක්වා යන ගමනේදී සියලු කඩඉම් ජය ගැනීමට තරම් මෙම සිසුන්ගේ බුද්ධි මටට්ම ඉහළින් තිබෙන බැව් අවිවාදයෙන්ම පිලිගත යුතුයි. නමුත් ඔවුන් අනුන්ගේ අදහස් සොරකම් කර ගැනීමට යොමු වුනේ ඇයි කියන සිදුවීම ගැනත් පසුවිපරම් කිරීමේදී මෙම තොරතුරු අනාවරනය කර ගැනීමට හැකි වී තිබෙනවා.

  • ලියන්න වෙලාවක් නැහැ
  • ලියන්න කම්මැලියි
  • ලිවීමේ හැකියාව නැහැ.

ඉතින්..අනාගතයේදී එබේ දරුවා උසස් අධ්‍යාපනය ලබන දිනක් එනු ඇති. එදාට ඔහු හෝ ඇය ක්‍රමයට අනුගත වීමට ඉඩ දෙන්න එපා. ඒ නිසා බාල කාලයේදී පටන්ම රචනා ලියන හැකියාව ගැනත් දරුවා උනන්දු කරන්න.

  • දවසේ සිදුවීම් අලලා පුංචි පුංචි වගන්ති ලියන්න දෙන්න.
  • ළමා පුවත් පතකට හෝ වෙබ් පිටුවක දරුවාගේ නිර්මාණ පළ කරන්න
  • නිතරම පොත් පත් ඇසුරින් දැනුම ලබා දෙන්න.
  • අසා ලිවීම සහ පිටපත් ලිවීම මගින් දරුවාගේ අකුරු ලියන හැකියාව ටිකෙන් ටික දියුනු කරන්න.
  • පුස්තකාල පාඪක සමාජ මගින් සංවිදානය කරන සාහිත්‍ය ඉසව් වෙනුවෙන් දරුවා සම්බන්ධ කරන්න.

කිසිම දිනක දරුවන්ගේ කියන ලියන කලාව ඔවුන්ගෙන් දුරස් කරන්න එපා. නිර්මානශිලී සිතුවිලි දරුවාගේ පැවැත්මට වගේම ඔවුන්ගේ අධ්‍යාපනයටත් හේතු සාධක වෙන බැව් දැන් ඔබට හොඳින්ම ඒත්තු ගැනෙනු ඇති.

 

 

කෙස් කලඹේ නිරෝගී බව රැකගන්න ඔබට වටිනා කරුණු 5ක්

කාන්තා රූ සපුව ගැන කතා කරද්දි පංච කාල්‍යාණයට ඇතුළත් වන එක් කල්‍යාණයක් හිස කෙස්. අද වෙද්දි තරුණ දරුවෝ එක් එක් විලාසිත පසු පස යමින් හිස කෙස් අලංකාර කරගන්නට උත්සාහ කරත් ඇතැම් විට ඒ මගින් සිදු වන්නේ හිස කෙස්වල සෞඛ්‍ය සම්පන්න බව ගිලිහී යාම විය හැකියි. හිසකෙස් රිලැක්ස් කිරීම, ස්ට්‍රේට් කිරීම, වර්ණ ගැන්වීම ඇතුලු බොහොමයක් දේ අද වන විට රූපලාවන්‍යාගාර තුළ සිදු කෙරෙනවා. බොහොමයක් තරුණ ගැහැනු දරුවන් මෙවැනි විලාසිතා කෙරේ දැඩි ඇල්මක් දක්වනවා වගේම ඇතැම් ගැහැනු මෙන්ම පිරිමි දරුවනුත් තම හිසකේ ගැලවී යාම ගැන කණස්සල්ලෙන් පසුවන අවස්ථාත් බොහෝ සෙයින් තිබෙනවා. මේ බොහොමයක් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා කරුණු හතරක් මත අපි හිසකෙස් පිළිබඳව දැනුවත් වෙමු. 

  • හිසකේ වැඩෙන්නේ කෙසේද?

සමෙහි ගැඹුරින් පිහිටි චර්ම ස්ථරයේ පවතින රෝම කූප වලින් කෙස් හෙවත් රෝම හටගන්නා අතරම සියලුම රෝම හෝ හිසකෙස් වර්ධන චක්‍රයකට අනුව වර්ධනය වේ. වර්ධන අවදියේදී හිසකෙස් දිගින් වැඩෙන අතර කාන්තාවකගේ හිසකෙස් සදහා මෙම කාලය වසර දෙකක සිට දහයක් පමණ දක්වා විය හැකිය. ශරීරයේ වෙනත් ස්ථාන වල පවතින රෝම සදහා මෙම කාලය බෙහෙවින් කෙටි විය හැක.  වර්ධන අවදිය පසු කළ  කෙස්/රෝම මාස තුනක පමණ විවේක කාලයක් ගත කර හැලී යනු ඇත. ඕනෑම වේලාවකදී යම් අයකුගේ හිසේ පවතින කෙස් වලින් 1% පමණ හැලී යන අවදිය පසු කරණ බැවින් දිනකට හිස්කෙස් පනහේ සිට සියයක් පමණ දක්වා ගැලවී යාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

  • හිසකෙස්වලට දිනපතා කළ හැකි සත්කාර මොනවාද?

සමබල ආහාර වේලක් – එය අත්‍යවශ්‍ය වේ. හිසකෙස් යනු අප සිරුරේ පවතින ඉතා වේගයෙන් වැඩෙන අංගයක් වන බැවින් පෝෂණ ඌණතා වලදී ඉක්මනින්ම හිසකෙස් වර්ධනය බාල වනු ඇත.

හිසකේවල පිරිසිදු බව පවත්වා ගැනීම – දිනපතා නෑම/ හිස්කෙස් සේදීම කළ හැකි වුවද දිනපතා සබන්/ ෂැම්පු භාවිතය සුදුසු නොවේ. දිනපතා නෑම කරන අයෙකු සතියකට දින දෙකක් පමණ ජලයෙන් පමණක් හිස සේදීම සුදුසුය

හිස්කබලේ සම ගැන සැලකිලිමත් වීම – සබන් වල පවතින ඉහල pH අගය නිසා හිස් කබල වියලි වීමක් සිදු විය හැක. වියලි සමක් ඇති අයකුට ෂැම්පු වඩා සුදුසු විය හැකි වුවද දිනපතා භාවිතය නුසුදුසුය. එසේම ෂැම්පු හිසකෙස් වල මුලට ආලේප කර සම්පූර්ණයෙන්ම සෝදා හැරිය යුතුය.

කන්ඩිෂනර් භාවිතය – කන්ඩිෂනර් මගින් හිසකෙස් වඩා මෘදු බවට පත් කර සේදීමේදී, වියලීමේදී හා පීරීමේදී සිදු විය හැකි හානිය අවම කරයි. කන්ඩිෂනර් භාවිත කිරීමට පෙර හිසකෙස් වල ඇති වැඩිපුර ජලය ඉවත් කරන්න. හිසකෙස් මුලට නොව, කෙස් වල අග කොටසට ඉතා සුළු ප්‍රමාණයක් කන්ඩිෂනර් තවරා විනාඩි දෙකක් තුනක් පමණ ගතවූ පසු සම්පූර්ණයෙන් සෝදා හරින්න.

තෙල් භාවිතය – කෙස් වලට තෙල් ආලේප කිරීමෙන් දිනපතා හිසකෙස් හසුරුවා ගැනීම පහසු වේ. හිස් කබලට තෙල් ආලේප කරන්නේ නම් වඩාත් සුදුසු වන්නේ නෑමට පැයකට පමණ පෙර ඇගිලි තුඩු වලින් හිස් කබල පුරා ආලේප කිරීමයි. එය තමන් කැමති පරිදි සිදු කළ හැකිය. පොල්තෙල් හිසට ආලේප කිරීමට සුදුසු වන අතර වෙළඳපොළේ ඇති බොහෝ තෙල් වර්ග හිසට භාවිත කිරීමටම නිපදවා ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති සලකුණ ඇති ආලේපන භාවිත කිරීම සුදුසුය.

හිස කේ අග කපා ඉවත් කිරීම – ඔබට දිගු කෙස් කලඹක් ඇත්නම් මාස කිහිපයකට වරක් හිසකෙස් අග පැලුණු කොටස් කපා දමන්න. එම කොටස් හිසකෙස් වල වඩාත්ම පැරණි කොටස බැවින් හානි වීමට ඇති ඉඩකඩ අධිකය.

හිස කේ  සැකසීමේදී සැලකිලිමත් වෙන්න – හෙයා බෑන්ඩ් මගින් කොණ්ඩය හසුරුවා ගන්නා විට ඉතා තදින් ගැට ගැසීමෙන් වලකින්න. එසේ තදින් ගැට ගැසුවහොත් හිසකෙස් අධික ඇදීමකට ලක්වී කැඩී යාමට ඉඩ ඇත.

හිසකේ වියලනය සහ ආලේපන – නිතරම හිසකෙස් වියලන භාවිතය, වියලනය කෙස් වලට ඉතා ළඟින් පාවිච්චි කිරීම, නිතර සැර අධික රසායන ද්‍රව්‍ය හිසකෙස් වල ආලේප කිරීම වැනි දේ මගින් හිසකෙස් වල ශක්තිය අඩුවී කැඩී යාමට ඉඩ ඇත

  • හිසකෙස් ගැලවී යන්නේ ඇයි?

හිසකෙස් වැටීමක්ද, හිසකෙස් තුනී වීමක්ද යන්න පිළිබඳව අප මූලිකව දැනුවත් විය යුතුයි‍. හිසකෙස් තුනී වීමේදී දිනකට ගැලවී යන කෙස් ප්‍රමාණය සාමාන්‍ය වුවද හිස මැදින් කෙස් තුනී වීමක් දැකිය හැකියි. දිනකට කෙස් සියයකට වඩා ගැලවී යාම සිදු වන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

  • ඉස්සොරි, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, රක්තහීනතාව, සමහර විටමින් ඌණතා සහ ශරීර අභ්‍යන්තරයේ සමහර රෝග නිසා හිසකෙස් ගැලවී යාම සිදු විය හැක.
  • පිළිකා ප්‍රතිකාර සිදු කරන විට
  • හිසකෙස් වලට සිදු කරන සත්කාර ක්‍රම නිසි ලෙස සිදු නොකිරීම නිසා මෙන්ම එවැනි සත්කාර වලට පසු නිසි ලෙස කෙස් කළඹ නඩත්තු නොකිරීම නිසාද කෙස් ගැලවී යාම සිදුවේ.
  • සමහර රෝගී තත්ත්ව වලදී හිසේ සමහර තැන් වල පමණක් කෙස් ගැලවීම දැකිය හැක.
  • හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑම නිසා හිස මැද කොටසේ කෙස් තුනී වීම කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු ගැටලුවකි. මෙය බොහෝ විට මැදි විය පසු කරන අයට ඇති වන අතර මෙහිදී පවුලේ අනෙකුත් අයට මෙවැනි තත්ත්වයක් පවතීද යන්න වැදගත්ය.
  • හිසකෙස් ස්වභාවිකවම තුනී වීම නිසා හෝ හිසකෙස් කැඩී යාම නිසා කෙස් කළඹ සිහින්ව පෙනීම තවත් සුලබ ගැටලුවකි. 
  • බරපතල රෝගී තත්ත්වයකින් පසු හිස කේ ගැලවෙන්නේ ඇයි?

ඩෙංගු, කොවිඩ් වැනි තදබල උණ රෝග/ ජීවිත අවදානමක් ඇති රෝග/ තදබල මානසික පීඩා වැනි තත්ත්ව / දරු ප්‍රසූතිය වැනි තත්ත්වවලින් පසුව අධික ලෙස හිසකෙස් ගැලවී යාම සිදු විය හැක. මෙවැනි තත්ත්වවලදී හිසකෙස් වර්ධනය වැනි අධිකව ශක්තිය වැය වන ක්‍රියාවලි තාවකාලිකව නවතී. මෙහිදී සිදු වන්නේ වර්ධනය වෙමින් පැවති හිසකෙස් විශාල ප්‍රමාණයක් විවේක ගැන්වීමකි. මෙසේ විවේක ගැන්වූ කෙස් මාස තුනක් පමණ කාලයකට පසුව ගැලවී යයි. රෝගය සුව වූ පසුව ශරීරය සාමාන්‍ය තත්ත්වයට පත් වීමත් සමග හිසකෙස් වැඩීම නැවත යථා තත්ත්වයට පත් වෙයි. එනමුත් හිසකෙස් දිගින් වර්ධනය වීමට යම් කලක් ගත වන නිසා පෙර පැවති කෙස් කලඹ ලබා ගැනීමට කාලයක් ගත වනු ඇත. ශරීරයට නිසි ලෙස පෝෂණය ලබා දීම මගින් හිසකෙස් වර්ධනයට උදව්වක් ලබා දීම හා මේ පිළිබඳ ආතතියට පත් වීමෙන් වැළකීම මෙහිදී වැදගත්ය.

  • හිසකේවලට විලාසිතා සිදු කිරීම නුසුදුසුද?

හිසකෙස් වලට කරනු ලබන රීබොන්ඩින්, රිලැක්සින් වැනි විලාසිතා වලදී සිදු කරන්නේ රසායනික ද්‍රව්‍ය මගින් හිසකෙස් වල ව්‍යුහය වෙනස් කර එහි පෙනුම වඩා ආකර්ශණීය කිරීමයි. රසායනික භාවිතය හා හිසකෙස් වල කරනු ලබන වෙනස්කම් නිසා කෙස් වඩාත් පහසුවෙන් හානි වීමට ඉඩකඩක් පවතී. මෙවැනි විලාසිතා කරන ලද කෙස් “හානිවූ හිසකෙස්” ලෙස හඳුන්වන්නේ එබැවිනි.

එහිදී අප සැලකිලිමත් විය යතු කරුණු ඇත. එනම්, මෙවැනි විලාසිතාවක් සිදු කළ යුත්තේ පළපුරුදු අය ලවා උසස් ප්‍රමිතියෙන් යුතු ද්‍රව්‍ය භාවිත කරමිනි. එම සත්කාරයට පසු පිළිපැදිය යුතු සියලුම උපදෙස් නිවැරදිව පිළිපැදීමෙන් පසු කාලීනව සිදු විය හැකි හානි වළක්වා ගත හැක. උදාහරණයක් ලෙස මෙවැනි ප්‍රතිකාරයකට පසුව යම් කාලයක් යනතුරු නිර්දේශිත ෂැම්පු භාවිතය, ගෙතීමෙන් හා ගැට ගැසීමෙන් වැළකීම යනාදිය පිළිපැදිය යුතුය. මෙවැනි උපදෙස් නොපිළිපැදීම නිසා පසු කාලීනව හිසකෙස් ගැලවී යාම සිදු විය හැක.

කාන්තා මෙන්ම පිරිමි පාර්ශවය අද වන විට හිසකේ පිළිබඳව විශාල ගැටලු රැසකට මුහුණ පා සිටින්නේ සැබවින්ම නොසැලකිලිමත්කම නිසා සහ නුසුදුසු ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරන විලාසිතා හේතුවෙන් බව විශේෂයෙන්ම පෙනී යන කරුණකි. අන්න ඒ නිසාම හිසකේවලට සුදුසු සත්කාර ලබා දෙමින් එය රැක ගැනීමට උනන්දු වීම අප කාගේත් සොදුරු පෙනුම රැක ගැනීමට අවස්ථාව උදා කර දෙයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

මත්ද්‍රව්‍ය, ඔබේ දරුවා බිලිගනීවි යැයි ඔබත් බියෙන්ද?

වර්තමානය වනවිට පාසැල් දරුවන් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි වීම යන කාරණාව නිසා බොහෝ දෙමව්පියන් සිටින්නේ බියෙන්. දරුවන් එවැන්නකට ඇබ්බැහි වීද නැතිද යන්න නිශ්චිතව හඳුනා ගන්න තරම් ඔවුන් සතුව ඇති දැනුම ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම සමාජයේ විවිධ නම්වලින් ව්‍යාප්ත වී තිබෙන මේ මත්ද්‍රව්‍ය දරුවන් බිලිගනී යැයි සැකයෙන් සෑම මවක් මෙන්ම පියෙක්ම පීඩාවෙන් සිටින බව කිව යුතුමය. 

පසුගිය දිනවල කතා බහට ලක් වූ  අයිස් කියන්නේ මොනවද?‍

අයිස් කියන්නේ සත්‍ය නාමය නොවෙයි. එය වීදි නාමය ලෙස හඳුන්වන්න පුළුවන්. එහි තාක්ෂණික නාමය Methamphetamine යන්නයි. එය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ අයිස් යන නමින්.

අයිස්, එය ලබාගන්නා පුද්ගලයාගේ සිරුරට බලපෑම් කරන්නේ කොහොමද ?

ඕනෑම මත්ද්‍රව්‍යක් අපේ ශරීරයට බලපාන විදියක් තියනවා. අනිවාර්යෙන්ම පුද්ගලයාගේ කායික, මානසික සහ ජෛව රසායන ක්‍රියාවලියට බලපෑමක් කිරීමේ හැකියාවක් එහි තිබෙනවා. අයිස් දුර්භාවිත කළහොත් එය සෘජුව බලපාන්නෙ අපේ මධ්‍ය ස්නායු පද්ධතියට. මේ අයිස් එහෙමත් නැත්නම් Methamphetamine කියන්නෙ උත්තේජකයක්. එමගින් අපේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය උත්තේජනයට ලක්කරනවා. එහෙත් එහි ක්‍රියාකාරීත්වය සෘජු ලෙස ශරීරය‍ට බලපෑම් කරනවා. 

අද වෙද්දී බොහොමයක් දෙමාපියන් තම පාසැල් යන දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේවි යන සැකයෙන් පසුවෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාසල් දරුවන් ඉලක්ක කරගන්නේ ඇයි?

වර්තමානය වන විට මත්ද්‍රව්‍ය අලෙවිකරන්නන්ගේ ප්‍රධානතම ඉලක්කය වෙන්නේ පාසල් දරුවන්. මොකද මේ දරුවන් කියන්නෙම අලුත් සද්වල් අතහදා බලන්න කැමති දැඩි කුතුහලයකින් සිටින කොටසක්. සාමාන්‍යයෙන් දරුවෙක් පොඩි කාලෙ ඉදලම විශේෂයෙන්ම නවයොවුන් වියට පා තැබූ ගමන්ම අපි හැමෝම උත්සහ කරන්නෙ අලුත් දෙයක් අත්හදා බලන්න. අලුත් දෙයක් කුතුහලය දනවන දෙයක් විදින්න, ලබන්න ඒ වයසෙ දරුවෝ ගොඩක් කැමතියි. ඉතින් ඒකත් එක්ක මේ මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් උත්සහ කරනවා දවසින් දවස මේ කණ්ඩායම ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය භාවිතය එක දවසකට එක පුද්ගයලයෙක්ගෙන් හරි වැඩිකරගන්න.

සාමාන්‍යයෙන් වර්ෂයකට දුම්කොල හා මද්‍යසාර භාවිතය නිසා පුද්ගලයින් 4,0000 ක් පමණ මිය යන බව දැනට සොයාගෙන තිබෙනවා. වර්ෂයකට ඒ අඩුව පිරවීමට නව කණ්ඩායමක් ඇතුළත් කර ගැනීම තමයි අලෙවිකරුවන්ගේ ඉලක්කය වී තිබෙන්නේ. ඒ නිසා එහි දී පාසල් දරුවන් ඔඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක කණ්ඩායමක් බවට පත් වෙනවා. 

ඒ කියන්නේ  සමාජය තුළ අපේ දරුවෝ අනාරක්ෂිතයි කියන එක නේද?

ඔව් වර්තමානය වනවිට දරුවන් සමාජය තුළ විවිධ හේතූන් මත අනාරක්ෂිත වෙලා තිබෙනවා. රටේ මාධ්‍ය තුලත් සමාජය තුලත් සමාජ මාධ්‍ය තුළත් මත්ද්‍රව්‍ය පිළිබඳ සාකච්ඡා වෙනවා. සමාජය තුළ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ගොඩනගා තිබෙන්නේ මිථ්‍යා මතයක්. ඒ කියන්නේ එහි එහි සත්‍ය නම් 

කුමන මත්ද්‍රව්‍යයක් ගත්තත් ඕනෑම අයෙක් ඉන්නේ අමාරුවෙන් සහ වේදනාවෙන් සහ අපහසුවෙන්

නමුත් සමාජයේ මේ මතයට වෙනස් වූ ආකර්ෂණීය මතයක් ගොඩනඟා තිබෙනවා. එම රැවටීම්වලට දරුවන් හසු කරගන්න උත්සාහ කරනවා.  ඒ වගේම තමයි දරුවන්ගෙ පාසල් පරිසරය විශේෂයෙන්ම පාසලෙන් පිටත පරිසරය. පාසල් අවට පුංචි පුංචි කඩ තියනවා. මේ දරුවෝ බොහෝවිට මේ ආශ්‍රිතව ගැවසෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් වඩාත් සූක්ෂ්ම ලෙස  දරුවන් ඒ සඳහා යොමු කරවා ගන්නට කටයුතු කරනු ලබනවා. බොහෝ වෙලාවට මුල් දවස් දෙක තුනෙ මේවා නොමිලේ ලබාදෙන්නත් පුළුවන්. දරුවන් ඒ ආකාරයෙන් මෙයට පොළඹවා ක්‍රමක්‍රමයෙන් අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒක තමයි ඔවුන්ගේ උපාය මාර්ගය. අන්න ඒ නිසා වයස අවුරුදු 12 සිට 19 දක්වා වයස් කාණ්ඩය මෙයට යොමුවීමේ වැඩි අවදානමක් වර්තමානයේ තියනවා.

මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් ගැහැනු දරුවන්ව විශේෂයෙන් ඉලක්ක කරනවා කියන කතාවේ සත්‍යයක් තිබෙනවාද?

නැහැ. එහෙම විශේෂත්වයක් නැහැ. අපේ රටේ සංස්කෘතිය සමාජ වාතාවරණය එක්ක කාන්තාවන්/පාසල් දැරියන් මත්ද්‍රව්‍ය වලට යොමුවෙනවා හරිම අඩුයි. හරිම සුළු ප්‍රමාණයක් සිටිය හැකියි. නමුත් සමාජය තුළ ගැහැණු දරුවන් නැතිනම් කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ද සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළත් එම තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තමයි ති‍බෙන්නේ. අපි අර කලින් කතා කළා වගේම ගැහැනු හෝ පිරිමි හෝ දරුවෙක් මේ සඳහා යොමු වෙන්නේ ඔවුන් පසු කරන වයස් සීමාව නිසයි. 

තමන්ගේ දුව/පුතා මත්ද්‍රව්‍ය භාවිත කරන බව මව්පියන්ට හඳුනාගත නොහැකිද?

දරුවාගේ ශරීර ලක්ෂණ, හැසිරීම හෝ වෙනයම් වෙනසක් මත සැක ඇති කරගෙන සොයා බලන්න මව්පියන්ට පුළුවන්. අපේ දරුවෝ ඉන්නේ අපි හෝ අපිට විශ්වාසවන්ත අයෙක් ළඟ පමණයි. 

දරුවෙක් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වෙලා නම්,

  • ක්‍රමක්‍රමයෙන් මාපිය ග්‍රහණයෙන් මිදී ඈත්වන්නට උත්සාහ කරනව‍ා

අද වෙද්දී බෝහෝ නිවෙස්වල දරුවන්ට වෙනම කාමර තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඒත් දරුවො මොකද කරන්නෙ, මොන වගේ තත්ත්වෙකද ඉන්නෙ කියන එක නිතර හොයලා බලන එක දෙමව්පියන් විදියට ඔබේ වගකීමක් 

  • උපාංග සමග රැ‍‍දෙමින් මව්පියන්ගෙන් ඈත් වීමට උත්සාහ කරනවා

කොවිඩ් වසංගතයත් එක්ක online අධ්‍යාපනයට යොමු වෙන්න දරුවන්ට සිදු වුණා. ඒ නිසා දරුවන්ට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් වගේම උපාංග සැපයීමට මව්පියන්ට සිදුවුණා. සමහර වෙලාවට ස්මාර්ට් ජංගම දුරකතනවල වැඩකටයුතු ගැන මව්පියන් දැනුවත් නැහැ.  අන්න ඒ වගේ තත්ත්වයන් එක්ක දරුව දෙමාපියන් එක්ක සම්බන්දතාව අඩු කරන්න උත්සාහ කරනවා විය හැකියි.

  • අධ්‍යාපන කටයුතු අඩපණ වෙනවා
  • පාසල් යාමට වෙනදා මෙන් අකැමැත්තක් දක්වනවා
  • සුවබර නින්ද අහිමි වෙනවා 

බොහෝමයක් මත්ද්‍රව්‍ය බලපෑම් කරන්නෙ අපේ මද්‍ය ස්නායු පද්ධතියට. මේ මත්ද්‍රව්‍ය වල තියන රසායන මගින් නින්ද මහන්සිය මගහරිනවා. එය  අපේ ශරීරයට දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් සිදුකරනවා. 

අයිස්වලට ඇබ්බැහි වුණු අයෙක්ගේ ජීවිත කාලය අවුරුදු දෙකකට පමණක් සීමා වෙන බව සත්‍යයක්ද?

අපිට කිසිසේත්ම කියන්න බැහැ මෙච්චර කාලෙකින් ජීවිතක්ෂයට පත්වෙනවා කියලා. ඒක තීරණය වෙන්න පුද්ගලයා මත. සමහර කෙනෙක් භාවිතයට අරන් විනාඩි කීපයකින් උනත් ජීවිතක්ෂයට පත්වෙන්න පුලුවන්. අනික් මත්ද්‍රව්‍ය වලට සාපෙක්ක්ශව අයිස් නැමති මත්ද්‍රවයයේ ප්‍රතිඵලයක් තමා එය. අනිත් අතට ඒ ඒ පුද්ගලයා ගන්න ප්‍රමාණය වෙනස්. ඒ ගන්න ප්‍රමාණය මත ශරීරය ඇතුලෙ සිදුවන ජෛව්‍ය රසායනික ප්‍රතික්‍රියා ප්‍රමාණය වැඩිවෙනවා. ඒක නිසා භාවිතයට අරන් පැය කීපයකින් හෝ කෙටි කාලෙකින් මරණයට පත් විය හැකියි. කෑම අරුචිය, කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට මිය යා හැකියි.

තමන්ගේ දරුවා මතට ඇබ්බැහි වී ඇති බව දැනගත්තොත් මව්පියන් කළ යුත්තේ මොනවාද?

දරුවන්ගේ මව/පියා/සහෝදරයෙක් මත්ද්‍රව්‍ය හෝ දුම්කොළ ආශ්‍රිත දෙයකට හුරුවෙලා ඉන්නවනම් තමයි දරුවනුත් ඒකට ගොඩක් දුරට යොමු වෙන්නේ. පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට අලුතින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙලබෙන කෙනෙක්/දරුවෙක් මුලින්ම බොහොම දෘඩ මත්ද්‍රව්‍යයකට (heavy drug) යොමුවන්නේ නැහැ. ඔවුන් ආරම්භය ගන්නේ දුම්කොළ වගේ (gateway drug) එකකින්. ඉතින් ඒ වගේ දුම්කොළ ආශ්‍රිත දෙයක් නිවෙස තුල කව්රු හරි භාවිත කරනවා නම් දරුවනුත් ඒ දෙයින් මේකට ආරම්භයක් ගන්න පෙළබෙනවා. ඒ වගේම තමයි මේකෙන් මුදවා ගන්න එකත් ඒ ඒ පවුල් වල තත්ත්වය, පසුබිම අනුව තමා තීරණය වෙන්නෙ. 

තරවටු කිරීම මගින් සමහර දරුවෝ මෙවැනි දෙයකින් මුදවා ගත්තත් සමහර දරුවන් එසේ මුදවා ගත නොහැකියි. ඒ නිසා තරවටු කිරීමකට යන්න කලින් දෙමව්පියන් ආදර්ශමත් වෙලා දරුවන් ගැන හොයලා බලලා දරුවන්ට නිසි ආදරේ දෙනවා නම් දරුවො මේ වගේ මත්ද්‍රව්‍යයකට පෙලබෙන්නෙ නැහැ.

දරුවාට අවශ්‍ය සමාජ කුසලතාවය පවුල තුලින් වර්ධනය කරන්න ඕනෙ. පවුල තුල සෙනහසින් ආදරයෙන් ඉද්දි දරුව මේවට පෙලෙබෙන අවස්තා ඉතාම විරලයි. ඒ වගේම තමයි පාසල තුලිනුත් දරුවගේ සමාජ කුසලතා වර්ධනය කරන්න ඕනෙ. ගුරුවරයගේ දෙමව්පියන්ලේ ඉදලා සියලු දෙනාම මේකට දායක වෙන්න ඕන.

දරුවන්ට තරවටු කිරීමට පෙර ඔවුන්ව දැනුවත් කර තිබීම ඉතාම වැදගත්. එක එක පාටින් එක එක වර්ණ වලින් ලොසින්ජර්, ලොලිපොප් තියනවා. මේවා සමහර විට ළමයි ගන්නවා. ඒ නිසා ඊට කලින්ම අපි පවුල තුලින් හා පාසල තුලින් දරුවා දැනුවත් කළ යුතුයි. පුතේ මේවා ගන්න එපා… සමහර මාමලා අයියලා අක්කලා නොදන්න අය දෙන ඒවා ගන්න එපා… කියලා අපි අපේ දරුවන්ව දැනුවත් කළ යුතුයි. 

දරුවන් මත් උවදුරින් මුදවා ගැනීමට අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයේ වැඩසටහන්ද?

නිවාරන අධ්‍යාපන අංශය මගින් ලංකාව පුරාම විසිර සිටිමන් පාසල් වල හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි වැඩසටහන් පවත්වලා දරුවන්ගෙ සමාජ කුසලතා වර්ධනය සඳහා දායක වෙනවා වගේම දැනුවත් කිරීම වැඩසටහන් පවත්වනවා. මත්ද්‍රව්‍ය  කියන්නේ මොනවද ඒවා ගත්තම මොකද වෙන්නේ කියලා අපි ඒ දරුවන් එක්ක කතා කරන්නේ නැහැ. මොකද එතනින් වෙන්නෙ තවත් පෙලඹවීමක්. ඒ නිසා දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය කරමින් මත්ද්‍රව්‍ය කෙරේ ඇබ්බැහි නොවන මට්ටමට දරුවාගේ ආකල්ප, මානසිකත්වය සංවර්ධනය කරනවා. 

අනෙක් අතට මත්ද්‍රව්‍ය කියන්නෙම භාවිතයට යොමු වුවොත් එය මෝඩ පාඩු වේදනාකාරී දෙයක් කියන අදහස දරුවාට ඇති කරන්න ඕනි. 

දරුවන් මත්ද්‍රව්‍ය වෙත පෙළඹීමට පවුලෙ දෙමව්පියෝ,සාමාජිකයෝ යම් මත්ද්‍රව්‍ය ගැනීම හේතුවක් වන නිසාම දෙමාපියන් දැනුවත් කිරීමෙ වැඩසටහනුත් පවත්වනවා‍. දෙමව්පියන්ගෙ කුසලතා වර්දනය කරන්න වගේම දරුවන්ව මේකට යොමුනොවෙන තැනට වැඩකරන්න කළ යුතු දේවල් ගැන දෙමව්පියන්ව දැනුවත් කරන්න අප ආයතනයේ නිළදාරීන් කටයුතු කරනවා.

දරුවන් කියන්නෙ දෙමාපියන්ගෙ වටිනාම සම්පත වගේම රටේ අනාගතය. අද වන විට මත් රකුසා අපේ සම්පත එහෙමත් නැතිනම් අපේ අනාගතය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. අපි තනි තනිව මෙන්ම සාමූහිකවත් අපේ සම්පත රැකගන්නට ඇප කැප විය යුතුමයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

නිලානි අලුත්ගේ මහත්මිය

පර්යේෂණ නිලධාරිනී 

අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය