Home Blog Page 81

දරුවන්ට දඬුවම් කිරීමට පෙර දෙමව්පියන්ගේ තරහ නිවාගන්න

දරුවන් සමග ගනුදෙනු කරද්දී දෙමව්පියන්ටත් ඉතින් තරහ හිත් ඇති වීම පුදුමයක් නොවෙයි. ඒ නිසා සමහර වේලාවට දරුවන්ට පමණට වඩා එහෙම නැත්නම් ඔවුන්ට ඔරොත්තු නොදෙන විදිහට පවා දඬුවම් කිරීමට සිද්ධ වෙනවා. සමහර  අවස්ථාවලදී  දෙමව්පියන්ගේ සියලුම ආවේග පිට වෙන්නෙත් දරුවන් වෙතින්. ඇයි ඉතින් ලේසියට පහසුවට ඉන්නෙත් මේ පුංචි උදවියනේ. ඒත් මේ තත්ත්වය ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසාම සමහර අවස්ථාවලදී දඬුවම් නොකළ යුතු සුළු සිදුවීමකට පවා අනවශ්‍ය විදිහට දඬුවම් පමුණුවන අවස්ථාවන් තිබෙනවා. ඒ සේරටම මුල්වන්නේ දෙම්ව්පියන්ටත් ඔවුන්ගේ කෝපය පාලනය කර ගැනීමට තිබෙන අපහසුවයි. ඒ හින්දා පුංචි පැටවුන්ට ඔවුන්ගේ පමණට ඔරොත්තු නොදෙන විදිහට ඇනුම්, බැණුම් විතරක් වගේ නොවෙයි, දෙමව්පියන්ගේ කෝපය නැති වෙනතුරම කෝටු පාර කන්නත් වෙනවා.

  • දරුවන්ට දඬුවම් අවශ්‍යයි…

වයස අවුරුදු 10 ට අඩු දරුවන්ට දඩුවම් දිය යුත්තේ ඔවුන්ගේ වයසට අනුවයි. ඒ නිසා ඔවුන්ට බොහෝ විට දිය හැකි දඬුවම් විදිහට රූපවාහිනිය බලන වේලාව අඩු කිරීම, ගෙදර වැඩක් පැවරීම වැනි විවිධ විදිහට පුළුවනි. ඒ වගේම මේ දඬුවම දුන්නේ වරදට බැව් දරුවාට ඒත්තු ගැන්විය යුතුයි.

  • එහෙමනම් දරුවන්ට දඬුවම් පමුණුවන්න පෙරාතුව අම්මා , තාත්තා තමන් පාලනය කර ගන්නේ කොහොමද…?

ඔබ බොහොම ලොකු කේන්තියකින් සිටිනවා නම් ඒ වේලාවට දරුවන්ට දඬුවම් කරන්න සූදානම් වෙන්න එපා. ඒ මොකද කිව්වොත් කොතැනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා කල් තබාම මේ වේලාවේ පොඩි කාට දඬුවම් කිරීම ගැලපෙනවාද…නැත්ද කියන තීරණය ගන්න පුළුවනි.

  • ටිකක් කාලය ගන්න…

ඒ හින්දා දඬුවමට පෙරාතුව කාලයක් ගන්න. කාලයත් සමග ඔබේ කෝපය සමනය වෙනවා. මේ වගේ කතන්දර ඔබටත් ඇහිලා ඇති නේද? ”මට ඉන්න තැන නොතැන පේන්නේ නැතුව ගියා” ඒත් පුංචි අයට ඔබේ ජවය සහ කෝපය හිඳෙන තුරු දඬුවම් ලබන්න බැහැ. ඒ නිසාම හොඳම විසදුම තමයි පුංචි හෝ කාලයක් ගන්න එක. එවිට ඔබට ආවේශ වෙලා හිටිය යක්ෂයා ටිකක් මෙල්ල වේවි.

  • තවත් කෙනෙක් ඉන්න වේලාවක දඬුවම් දෙන්න…

ඔබ දරුවාට දඬුවම් දෙනවා  නම් ඒ වෙනුවෙන් අම්මා , තාත්තා දෙදෙනාම දැනුවත්ව සිටිය යුතුයි. බොහෝ නිවෙස්වල තාත්තා බොහෝ දේ දන්නේ නැහැ. ඊට හේතුව වී තිබෙන්නේ සමහර වේලාවට පියාගේ දඬුවම් ඉතාම අමානුෂික විදිහට වගේම ඔහුගේ ඉවසීමේ සීමාවක් නැතුව ලබා දෙන නිසා අම්මා වුනත් ඒ ගැන යම් බියක් දැක්වීමයි.

”මම සේරම වහගෙන හිටියේ තාත්තා ගහන්න ගියාම දරුවා මැරණත් පේන්නේ නැහැ, ඒ තරමටම කේන්ති යනවා” නමුත් එහෙම තමන්ව පාලනය කර ගැනීමට නොහැකි නම් ඔබ, මව/පියා කියන තැනට ගැලපෙන්නේ නැහැ. අපි දරුවන්ට දඬුවම් කරද්දී ටිකක් හිතන්න ඕන.

  • මේ මගේ දරුවා..
  • දරුවාට මේ තරම් දැඩි දඬුවමක් ඔරොත්තු දෙයිද?
  • අපිට ඕන දරුවා සුමගට ගන්න…
  • සත්තුන්ට වගේ දරුවන්ට ගහන්න ඕනද….
  • දඬුවමට පස්සේ…මොකද කරන්නේ…

ඒ නිසා ඔබ කේන්තිය පාලනය කර ගත නොහැකි දෙම්විපිය චරිතයක් නම් දරුවාගේ ආරක්ෂාවට කවුරුන් හෝ සිටීමත් වැදගත්. එහෙම නැතුව පන්න පන්නා ගහන තැනට පත් වුනොත් දරුවා ඉතාම අසරණයි.

කේන්තිය පාලනය කර ගැනීමට දැන් මනෝවිද්‍යාත්මක උපදෙස් කීපයක් තිබෙනවා. මේවා විශේෂයෙන්ම දරුවන් සිටින දෙමව්පියන්ට ලබා දෙන උපදස් කීපයක්…

  • ඔබ දරුවන් ගැන තදින් කේන්තියෙන් සිටිනවා නම් එකේ සිට 10 ට ගණන් කරන්න. ඔබේ කෝපය ක්‍රමයෙන්  අඩු වෙන්න පුළුවනි.
  • කඩදාසියක් අරගෙන එය කපන්න. එවිටත් ඔබේ ආවේග ක්‍රමයෙනන් අඩු වේවි.
  • මුහුණ සෝදන්න. කේන්තිය වැඩියි වගේ දැනෙනවා නම් නානා කාමරයට ගොස් මුහුණ සෝදන්න. එවිට මුලින් තිබුණු පුපුරු ගහන කේන්තිය දැන් අඩු වේවි. එතැනින් පසුව දඩුවමට සුදුසු මානසික පරිසරය දෙමව්පියන්ගේ හිතේ ගොඩ නැගේවි.

දරුවාගේ මානසික ගැටුම් අපි දැනගන්නේ කොහොමද..?

ඔබේ දරුවාට මොන තරම් භෞතික සැප සම්පත් තිබුනත් සමහර අවස්ථාවලදී දරුවාගේ මානසික සතුට බොහෝ සේ පිරිහී තිබෙන්න  පුළුවනි. එහෙම වුනාම අපි දැනගන්නේ කොහොමද..?

  • නුරුස්නා බවක්

මීට ඉස්සරින් බොහොම සතුටින් ඔබ සමග සිටි දරුවාට දැන් නිතරම හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහට යම් නොරිස්සම් බවක් දැනෙනවා නම් ඔහුගේ මානසික සතුට පිරිහෙන තත්ත්වයට පත් වී බව අමතක කරන්න එපා. ඒ ගැන දරුවා සෘජුව අපිට කියන්නේ නැහැ. අපිට කියන්න සමහර විට ඔහුටත් මේ ගැන දැනුමක් නැහැ. ඒ නිසා මේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ දරුවාගේ මානසික සතුට පිරිහෙන ලකුණු ක්‍රමයෙන් පහළ වෙන බවයි.

  • හඬන්න පටන් ගන්නවා..

සමහර දරුවන් වෙනදාට වඩා පුංචි දෙයක්  වෙනුවෙන් පවා හඬන්න පටන් ගැනීමේ ස්වභාවයක් ඇත්නම් ටිකක් විමසිලිමත් වෙන්න. එහෙම නැතුව ”කොච්චරවත් ඇඬියාව…අලි හුරතලයක් පටන් අරගෙන” යනුවෙන් චෝදනා නගන්න එපා. ඔහුගේ හෝ ඇගේ හිතේ කොතැනක හෝ කුමන හෝ හිස්තැනක් දැනෙන නිසා මේ අන්දමින් ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා.

  • ඉගෙනුමට උනන්දුවක් නැහැ…

”ඉස්සර පන්තියේ වැඩට…බාහිර වැඩට මොනතරම් ආසාවෙන්ද ගියේ. මේ සේරමත් කර ගෙන පන්තියෙත් හොඳට ලකුණු ගත්තා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ පංතියේ වැඩ ටික..ඒකත් නැහැ” මේ විදිහට හොඳින් ඉගෙනුම කර ගෙන ගිය දරුවෙක් හිටි හැටියේම අධ්‍යාපනයට සහ වෙනත් විෂය බාහිර කටයුතු සඳහා තිබුණු පෙර උනන්දුව නොදක්වනවා නම්, ඒ ගැන චෝදනාවට වඩා ඔහුගේ හැසිරීම මේ විදිහට වෙනස් වුණේ ඇයි යන තැන කරුණු හොයන්න. එහෙම නැතුව පය බරවාට පිටිකර බේත් බඳිනාව වගේ අනවශ්‍ය විදිහට දොස් නගමින් ඔවුන් තවත් අගාධයට පත් කරන්න එපා.

  • හුදෙකලාව ඉන්න කැමැතියි…

දැන් දරුවන් හුදෙකලා වුනාම හැම දෙමව්පියෙක්ම ඒ වෙනුවෙන් හිත හදා ගන්නේ ඔය මොබයිල් ෆොන් එක  නිසා තමයි…ඒ වුනාට වෙනදා නැති විදිහට දරුවා හුදෙකලා වෙන්නේ ඔහුගේ හිතේ තිබෙන යම් අඩුපාඩුවක් එහෙම නැත්නම් සතුට පිරිහී ගිය නිසයි.

  • නින්දට උනන්දුව වැඩියි…

මානසිකව සතුටක් නැති විට දරුවන් නිදා ගැනීමට වැඩියෙන් උනන්දුයි. ඊට හේතුව දැන් වෙනදා වගේ සමාගමත් නැහැ…ඉගෙනුම් වැඩ සහ බාහිර වැඩත් නැහැ…කෑම බීමටත් සමහර විට ප්‍රිය නැහැ. සමහර විට වෙනදාට වඩා වැඩියෙන් ආහාර ගැනීමෙන් ඇති වෙන සිරුරේ තෙහෙට්ටුව මේ වගේ හේතු නිසා නින්දට වැටෙන වේලාව වැඩියි. ඉතින් දරුවාට ”කුම්භකරණයා” යනුවෙන් චෝදනා නගනවාට වඩා මේ නිදාගැනීමට හේතුව විමසා බලන්න.

ඉතින් මානසික සතුට නැති වුනාම දරුවා කාලය ගෙවන්නේ දුකින්..සතුටක් කියන හාංකාවිසියක්වත් ඔහුගේ හිතේ නැහැ. හෙටක් ගැන දරවාට ලොකු බලාපොරොත්තු ඇති නොවෙනවා විතරක් නොවෙයි, සමහර විට ජීවිතය ඇතියි වගේ සිතුවිලි පවා ගොඩ නැගෙන්න පුළුවන්. මේ අයට ජීවිතය දිහා හැම වේලාවේම ඇති වෙන්නේ අසුබ සිතුවිලි පමණයි. ජීවිතය දිනා ගත යුතුයි යන අභියෝග හිතේ නැහැ. ඒ තරමටම ඔවුන් ජීවිතයෙන් හෙම්බත්ව සිටින නිසා ධනාත්මක බවක් ඇත්තේම නැහැ..

  • ඉතින් කලබල වෙන්න එපා…

ඔබේ දරුවාගේ මේ අන්දමින් මානසික හැසිරීම් තිබෙනවා නම් කලබල වෙන්න එපා. හැකි තරම් ඔහුගේ මේ පැවැත්ම ඔහුට වධයක් නොවන සේ වෙනස් කිරීමට උත්සාහ ගන්න. හැබැයි දෙසතියකට වඩා මේ විදිහට සිටිනවා නම් මොළයේ සමතුලිතබව වෙනස්ව ඇති නිසා යම් විදිහකට ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.මේ තත්ත්වය දරුවන්ට විතරක් නොවෙයි, පවුලේ කාට වුනත් ඇති වෙන්න පුළුවනි. අම්මා, තාත්තා, අත්තම්මා, සීයාට වුනත් වෙනසක් නැහැ.

ඒ නිසා ඔබ සමග ජීවත් වෙන අයගේ ගති පැවැතුම් ඉතාම හොඳින් ඔබ දන්නවා. ඒ හැසිරීමට වඩා යම් අන්දමකින් වෙනසක් වෙතොත් ටිකක් විමසිලිමත් වෙන්න. කොතැනක හෝ අඩුවක් නිසා මේ අයගේ මොළයේ රසායනික සමතුලිතතාවය වෙනස්ව තිබෙන්න පුළුවනි. දෙසතියක් ඉක්ම යන තැනැත් හැසිරීමේ වෙනසක් නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම වරදක් නැහැ. එය ඔබේ සමීපතයාට කරන ලොකු උදව්වක්. ඒ නිසා දරුවා පමණක් නොවු පවුලේ එකට ජීවත්වෙන කා වෙතින් හෝ උක්ත ලක්ෂණ දකිනවා නම් දෙසතියකට වඩා කල් දාන්න එපා.

දරුවන්ට බත් කැවීම තරම් යුද්ධයක් තවත් නැහැ

දරුවන්ට බත් කැවීම තරම් යුද්ධයක් තවත් නැහැ. මෙය ඔබට පමණක් සීමා වුන තත්වයක් නොවෙයි. එය ළමාකමේ ලක්ෂණයක්.

ප්‍රංශයේ වර්සල්ස්හි ස්ටාර්ටර් ආයතනයේ මනෝ වෛද්‍ය විද්‍යාඥ බෙරෙන්ජර් රුබියෝ විසින් මේ ගැන අධ්‍යයනයක් පවත්වනු ලැබුවා. එහිදී ඔහු විසින් හඳුනා ගත් තොරතුරු අනුව පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙකක් වූ දරුවන්ගෙන් 50 % ක්ම ආහාර ලබා දීම හිරිහැරයක් විදිහට සලකන ලද බවයි. වයස අවුරුදු තුන සපිරුන දරුවන්ගෙන් 17 % පමණ දෙනා මේ අන්දමින් ආහාර  ගැනීමමත් හිරිහැරයක් සේ සලකන ලද බව වෛද්‍ය බෙරෙන්ජ් විසින් පෙන්වා දෙනවා.

එහිදී ඔවුන් විසින් හඳුනා ගත් කරුණු කීපයක් තිබෙනවා.

  • දරුවන් හැම විටම ප්‍රතික්ෂෙප වීම කරන්නේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේලක්. අතිරේක ආහාර අවස්ථාවන් එක්ක ඒ තරම් යුද්ධයක් නැහැ.
  • පලා, සහ පළතුරු දැඩි විදිහට ප්‍රතික්ෂෙප කරනවා.
  • තෑගි දුන්නොත් ආයුධයක් කර ගනීවි..

නිවසේ දකින්න නැති ආහාර ගැන ඔවුන් උනන්දුවක් දක්වනවා. මේ පර්යේෂකයින් සඳහන් කරන්නේ ‘‘ පුතා බත් ඔක්කොම කෑවොත් මම තෑග්ගගක් දෙනවා කියල කිසිම විටෙක කියන්න එපා…එහෙම වුනාම හැම විටකම ඔවුන් තෑගි අපේක්ෂාවෙන් සිටින බවත් යම් ලෙසකින් එසේ නුදුන් විට ඔවුන්ගේ ප්‍රතික්ශේප වීම දැඩි වීමට පුළුවන් බවයි. ඒ නිසා දරුවන් මෙය ආයුධයක් බවට පත් කර ගැනීමටත් පුළුවනි. ඒ විතරක් නොවෙයි, දෙමව්පියන්ගේ ඇස් වසා ආහාර සියල්ල අනුභව කළ බවට මවා පාමින් දෙමව්පියන් නොමග යවන්නත් මේ තත්වය හේතු වේවි.

ආහාර පිසින්න දරුවන් සම්බන්ධ කර ගන්න..

ඔන්න අම්මා දැන් උයනන් යනවා. ඔයාත් එන්න. හය හතර තේරෙන වයසේ දරුවන් එක්ක මේ විදිහට සම්බන්ධ වුනාමත් ආහාර ගැන රුචියක් සහ උවමනාවක් ගොඩ නැගනේන පුළුවන් බව මේ අධ්‍යයනයේදී හඳුනාගත්තා.

දරුවාගෙන් විමසා සිටින්න..

ආහාර පිළියෙල කරන විට ඔවුන්ගෙන් ඒ ගැන විමසා සිටින්න. සමහර දරුවන් බිත්තර තම්බා පිලිකෙව් කළත් ඔම්ලට් හෝ බුල්-අයි වැනි අන්දමකින් ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වන්න පුළුවන්. ”නෑ..නෑ..බිත්තර තම්බලාම කන්න ඕන..” කියනවාට වඩා දරුවාගේ කැමැත්තටත් ඉඩ දෙන්න.

ආහාර සංයෝග කරන්න.

ආහාර සංයෝග කිරීමෙනුත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවනි. කොළ පැහැති එළවළු අතරට තැඹිලි, රතු වගේ වර්ණ සංකලනයන් කරන්න. ජපන් ජාතිකයින් වගේ ආහාර දිවට නොව ඇසට යන සංකල්පයේ පිහිටා විවිධ වර්ණ එකතු කිරීමෙන් පෝෂණීය ගුණයකුත් ලබා ගන්න පුළුවනි.

විවිධත්වයක් දෙන්න..

හැමදාම පාන් සහ බටර්, ආපප් සහ කෙසෙල් ගෙඩි වෙනුවට පාන් වෙනුවෙන් බිත්තර, මාමයිට්, මිරිස් අඩු සම්බෝලයක් විදිහට වෙනසක් ඇති කරන්න. බත්වලටත් කැරට්, ලීක්ස් එකතු කරමින් එළවළු හෝ වර්ණ බතක් සකස් කර දෙන්න. ගොටුකොළ කන්නම බැහැ කියනවා නම් කට්ලට් එකක්ට හෝ සලාදයක් විදිහට එහෙමත් නැත්නම් කැඳ , සුප්වලට සංයෝග කරන්න.

ආහාරවලටත් හැඩතල දෙන්න…

ආහාරවලින් මවන කලාත්මක බව නිසා දරුවාගේ ආහාර සඳහා වූ ආකර්ෂණය පමණක් නොව රුචියද වර්ධනය වෙනවා. බිත්තරයට ඇස් දෙකක් හා කටක් මවා ලස්සන බිත්තර මාමා කෙනෙක් මවන්න. කැරට් අලයකින් මල් පෝච්චියක හැඩය ගෙන බිත්තර කහමදය එහි පුරවන්න. රටඉදි ඇට ඉවත් කර බටර් පුරවන්න. එවිට වෙනදා පිලිකෙව් කළ කැරට් ඔවුන් නොදැනීම ආහාරයට ගනු ඇත.

 

හරි හරියට විසේ කරන පුංචි දරුවෝ ඉද්දි අම්මලා මේ දේවල් ගැනත් දැනන් හිටියොත් වටිනවා නේද?

දරුවන් විතරක්ම නෙවෙයි එදිනෙදා වැඩකටයුතුවලදී පුංචි අත්වැරදීමකින් හෝ අනතුරු කියන දේවල් අපිට ලග වෙන්නේ නොහිතපු විදියට. පරිස්සම් කරනවා කියලා පොඩි දරුවෝ එකම තැන තියාගන්නවත් වැඩිහිටි අපිට අපේ එදිනෙදා වැඩ කටයුතු නතර කරන්නවත් බැහැනේ. නිවසේදී හෝ රැකියාවේදී හෝ එහෙමත් නැතිනම් ඇද වැටීමකින්හෝ දරුවන්  ක්‍රීඩාවක නියැලීමේදී වගේ එක් එක් අවස්ථාවන්වලදී අපිට මුහුණ දෙන්න සිදු වෙන ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න බැරි නැහැ. මේ ගැන අපි කතා කරන්න හිතුවේ අනිවාර්යයෙන් වෙනවා කියනවාට වඩා වුණොත් මොකද කරන්නේ කියලා කවුරු කවුරුත් දැනුවත් කරන අදහසින්. යම් යම් අවස්ථා අනුව ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන දැනුවත් වෙමු.

රයිස් (RICE)  ප‍්‍රතිකාරය

ශරීරයේ යම් පටකයක් ඇදීමක්, ඉරීමක්, තැලීමක් හෝ අස්ථි භග්න වීමක් හෝ සන්ධි විසන්ධි වීමක් යන තත්ත්වයකට පත්වන රෝගියෙකුට පහසුවෙන් කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස රයිස් (RICE)  ප‍්‍රතිකාරය හඳුන්වා දිය හැකියි. මෙය මතක තබාගැනීමේ පහසුව පිණිස මෙලෙස දක්වමු.

R – Rest – විවේකය

I – Ice අයිස්

C – Compression – සම්පීඩනය

E – Elevation – ඔසවා තැබීම

ප‍්‍රථමයෙන් රෝගියාගේ අනතුරට ලක්වූ ප‍්‍රදේශයට විවේකය ලබාදිය යුතුය. එනම් මෙම ප‍්‍රදේශය නොසොල්වා තැබිය යුතුය. දෙවනුව අයිස් කැබලි කීපයක් ගෙන රෙදි කැබැල්ලක ඔතා වරින් වර අනතුරට ලක් වූ පටකය තැවීම කළ යුතුය. මෙවිට රෝගියාගේ බාහිරව හෝ අභ්‍යන්තරව රුධිරය වහනය වීමක් වන්නේ නම් එය නතර වේ.

අපගේ ශරීරයේ ස්වභාවය නම් ශීතලට රුධිරවාහිනි සංකෝචනය වීමයි. එවිට රුධිරය ගැලීම නතර වේ. බොහෝ දෙනා ශරීරයේ තැලීමක් සිදු වූ විට උණු වතුරෙන් තැවීම සිදු කරයි. මෙය වැරදිය. මෙහිදී රුධිරවාහිනී විස්ථාරණය වී පටකය තුළට තවත් රුධිරය ගලා ලේ කැටිය විශාල වේ. නමුත් අනතුර සිදු වී දින 3ට පසුව උණු වතුරෙන් තැවීම සිදු කළ හැක. එහදී අනතුරේ දී වහනය වූ කැටි වී ඇති රුධිරය පටක තුළ තැන්පත් වී ඇත්නම් එය නැවත රුධිරවාහිනීවලට උරාගැනීමට උදව් දේ.

අනතුර සිදු වූ වහාම අයිස්වලින් තැවූ පසූ අදාළ පටකය වෙත යම් පීඩනයක් ඇති කළ යුතුය. එනම් අදාළ ප‍්‍රදේශය කේ‍්‍රප් බැන්ඩේජයකින් හෝ රෙදි පටිවලින් බැඳීම කළ යුතුයි. එවිට අදාළ අවයවය ඉදිමුමට ලක්නොවේ. පටක තරලය එක් රැස් නොවේ. කේ‍්‍රප් බැන්ඩේජය මගින් එල්ල කරන සම්පීඩනය යම් පමණකට දිය යුතුය. ලබාදෙන තෙරපුම වැඩි වුවොත් රුධිර ගමනාගමනයට බාධා ඇති විය හැක.

ඉන් පසු අදාළ ස්ථානය හැකි නම් රෝගියාගේ හෘදයට වඩා ඉහළන් තබාගත යුතුය. ගුරුත්වාකර්ෂණය නිසා එවිට අනතුරට ලක්වූ පටකය දෙසට රුධිරය ගැලීම අඩු වේ. ශිරා රුධිරය එම ස්ථානයෙන් පිට වේ. රුධිර වහනයක් වේ නම් එයද අඩු වේ.

අස්ථි බිඳුමක් ඇතැයි සැක නම් එම ස්ථානය නොසෙල්වන ලෙස පතුරක් බැඳ හැකි ඉක්මනින් රෝගියා වෛද්‍යවරයකු හමුවට ගෙන යන්න. යම් ආකාරයකින් බිඳුණු අස්ථි කැබලි 2න් රුධිරවාහිනිය සහ ස්නායු කැපී ගියහොත් රෝගියාගේ තත්ත්වය සංකිර්ණ වනු ඇත. එසේ වූවොත් සෛල මිය ගොස් එම ප‍්‍රදේශයේ සංවේදනද නොමැති වී යයි. තවද කිසිම විටක කැඩුණු ඇට හෝ විසන්ධි වූ සන්ධි ගෙදරදී නිවැරදි කිරීමට නොයන්න. එමෙන්ම කොඳු ඇට පෙළ අතර අස්ථිවල කැඩිමක් ඇති බවට සැක සහිත නම් එම රෝගියා ලෑල්ලක් මත තබා රෝහලට රැගෙන යන්න. එවැනි රෝගීන්ට ඉඳගැනීමට සැලැස්වීමෙන් වළකින්න. මෙවැනි රෝගීන් හැසිරවීමේදී පුද්ගලයන් සතර දෙනෙකුගේ සහය ලබාගන්න.

අස්ථි භග්නය සුව වීමට වෛද්‍යවරයා විසින් දමන ලද ප්ලාස්ටරය ඉවත් කළ පසු රෝගියා නොසොල්වා සිටි සන්ධියේ චලනය සීමා වී තිබිය හැක. එමෙන්ම එය අවට පේශි සිහින් වීමද දක්නට ලැබේ. මෙය වළක්වා ගැනීමට රෝගියා ප්ලාස්ටරය දමාගෙන සිටින විටද භෞතචිකිත්සක උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතුය. එහිදී රෝගියාගේ අස්ථි භග්නයට හානි නොවන සේ අස්ථි නොසෙල් වන සේ පේශි පමණක් සංකෝචනය කරන ස්ථීති ව්‍යායාම  (Static exercises) කළ යුතුය. එසේම ප්ලාස්ටරය ඉවත් කළ පසුත් පේශි සිහින් වී ඇත්නම් පේශී ශක්තිමත් කරන ව්‍යායාම (Strengthening exercise) කළ යුතුය. තවද  සන්ධිය වලනය වන පරාසය සීමා වී ඇත්නම් භෞතචිකිත්සාවේ යෙදෙන සස්පෙන්ෂන් තෙරපි ලෙස හැඳින්වෙන ගුරුත්වය නොදැනෙන ලෙස ඉරියව් ගත කර කරන ප‍්‍රතිකාරය කළ යුතුය. ව්‍යායාම කළ යුතුය. සන්ධිය ඉතා තද වී ඇත්නම් ඊට පෙර තාප ප‍්‍රතිකාරද ලබාදිය යුතුය.

[වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.]

හයක් හතරක් නොතේරෙන පුංචි දරුවෝ මල්වර වෙන්න විශේෂ හේතු තියෙනවද?

මල්වර වීම යනු ගැහැනු මෙන්ම පිරිමි දරුවන්ටත් පොදු සාමාන්‍ය තත්ත්වයකි. නමුත් අද වන විට පෙර පාසල්වියේ පසුවන දරුවන් පවා මල්වර වන බව අපට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබෙනවා. එනම් ඉතා අඩු වයසින් මල්වර වීම අද වන විට නිතර අහන්නට ලැබෙන තත්වයක් බවට පත්වෙලා. මෙන්න මේ හේතුව නිසාම ගැහැණු දරුවන් ඉන්න මව්වරුන් මේ තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටීම බෙහෙවින්ම වැදගත් වනවා.

නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children)

ගැහැණු සහ පිරිමි දරුවන් මල්වර වීම සාමාන්‍ය තත්ත්වයක් වනවා සේම සාමාන්‍යයෙන් ගැහැනු දරුවන් අවුරුදු 13-18 දක්වාත් පිරිමි දරුවන් අවුරුදු 10-15 දක්වාත් කාලයේදී මෙම සංසිද්ධියට මුහුණදෙයි. අසාමාන්‍ය ලෙස ඉතා කුඩා අවධියේදී මල්වර වීම Precocious Puberty ලෙස හඳුන්වයි. මෙහිදී ගැහැනු දරුවන් අවුරුදු 8 පෙරද පිරිමි දරුවන් අවුරුදු 9 පෙරද මෙම තත්ත්වයට මුහුණ දෙනු ලබයි. මෙහිදී සාමාන්‍ය වයසට වඩා කලින් ලිංගික ලක්‍ෂණවල වර්ධනයක් ඇති වේ. මෙම තත්ත්වයේදී බොහෝ දරුවන් වේගයෙන් වර්ධනය වීම පළමුව සිදුවන අතර ආරය මගින් තමාට නියමිත උසට වර්ධනය වීමට පෙර වර්ධනය නවතී. මෙම තත්ත්වය ආකාර 02 කි.

  1. Central precocious puberty (Gonadotropin Dependent)
  2. Peripneral precocious puberty (Gonadotropin independent)

Central precocious puberty (Gonadotropin Dependent)

මෙයබොහෝ දරුවන්ට බලාපන තත්ත්වය වන අතර පොදු තත්ත්වයකි. මෙහිදී ගොනැඩොට්‍රොපින් හෝමෝනයන් මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් නිදහස් වී ඩිම්බ හා වෘෂණවලට බලපෑමෙන් ලිංගික හෝමෝන ශ්‍රාවය කිරීමයි. මෙමගින් දරුවා ලිංගිකව වර්ධනය හා මේරීම සිදු වේ. මේ සඳහා හේතූ ලෙස 90%-95% ගැහැනු දරුවන්ට ඇති වීමට හේතුව නොදන්නා අතර පිරිමි දරුවන් සඳහා හඳුනාගත් හේතූ පවතී.

කලින් මල්වර වීම හා ලිංගික වර්ධනය බලපෑ හැකි හේතු

  • මධ්‍ය ස්නායු පද්ධතියේ අසාමාන්‍යතා
  • මෙවැනි තත්ත්ව පිළිබඳ පවුල් ඉතිහාසය
  • කලාතුරකින් ඇතිවන සමහර ආජන්මජ රෝග (ජාන මගින් ඇතිවන)
  • පිටියුටරි ග්‍රන්ථියේ හෝ මොළයේ ඇති වන අර්බුද (Tumours)
  • මොළයේ ආසාධන උදාහරණ ලෙස ආවෘතිදාහය (Meningitis)

Peripneral precocious puberty (Gonadotropin independent)

මොළයෙන් ගොනැඩොට්‍රොපින් හෝමෝනය කලින් නිදහස් කිරීමේ සම්බන්ධයක් මේ සඳහා බලනොපායි. නමුත් ඇන්ඩ්‍රජන් හා ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය ශරීරයේ අනෙක් කොටස්වලින් සිදු වේ. මේ සඳහා හේතූ වෙන්නේ,

  • ජානමය ලෙස කලාතුරකින් ඇති වන රෝග තත්ත්ව
  • වෘෂණ හා ඩිම්බ කෝෂවල අර්බුද (ගෙඩි)
  • HGC හෝමෝනය ශ්‍රාවය වන වෙනත් අර්බුද
  • අධිවෘක්ක ග්‍රන්ථියේ රෝග තත්ත්ව
  • තීව්‍ර මන්ද පරාභාවතාවය (Severe Hypothroidism)
  • Mc- Cune – Albright Syndrome – මෙය කලාතුරකින් ඇතිවන ජානමය රෝගයකි. හෝමෝන ගැටලු හේතුවෙන් අස්ථි හා සමේ පැහැයට බලපෑම් ඇති වේ.
  • උපතේදී මොළයේ ඇති වන ආබාධ තත්ත්ව
  • අධික ලෙස තරලය එක්වීම (Hydrocephalus)
  • පිළිකා නොවන ගෙඩි (Hematoma)
  • මොළයට හෝ සුෂුම්නා රජ්ජුවට අනතුරු වීම, විකිරණ ප්‍රතිකාර ලබාදීම
  • මොළයට හෝ ස්නායු රජ්ජුවට අනතුරු වී

නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) කෙරෙහි ඇති අවධානම් සාධක

  • ගැහැනු දරුවෙකු වීම
  • ඇමෙරිකානුවෙකු හෝ අප්‍රිකානුවෙකු වීම. අන් ජාතීන්ට වඩා මොවුන් අතර මෙම තත්ත්වය වැඩිය.
  • තරබාරු බව
  • ලිංගික හෝමෝනවලට නිරාවරණය (ටෙස්ටොස්ටෙරොන්, ඊස්ට්‍රජන් අඩංගු ආලේපන, ක්‍රීම්, ඖෂධ, ආහාර)
  • වෛද්‍යමය තත්ත්ව

උදා:  Mc- Cune – Albright Syndrome, අධිවෘත්ත ග්‍රන්ථි අධි වර්ධනය

  • මධ්‍ය ස්නායු පද්ධතියට ලබාදුන් විකිරණ ප්‍රතිකාර

ගැහැනු දරුවන් මල්වර වීමේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • පියයුරු වර්ධනය
  • ශරීරයේ රෝම වර්ධනය (ලිංගික පෙදෙස සහ අතයට පෙදෙස)
  • සමෙහි හා රෝමවල වෙනස්කම්
  • ලිංගික අවයවවල වර්ධනය
  • ශ්‍රාවයන් ඇති වීම
  • පළමු ආර්තවය – යෝනිය මගින් රුධිරය වහනය
  • අධික ලෙස දහදිය දැමීම (මෙහිදී දහදිය ග්‍රන්ථි විශාල වී ක්‍රියාකාරීත්වය අධික වේ. මේ නිසා වැඩිපුර දහදිය දමයි)
  • සමේ, විශේෂයෙන් මුහුණේ තෙල් ගතිය වැඩිවීමෙන් කුරුලෑ (Acne) ඇති වේ.

පිරිමි දරුවන් මල්වර වීමේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • ශිෂ්ණය, වෘෂණ විශාල වීම
  • මුහුණ, ලිංගික පෙදෙස, අතයට රෝම වර්ධනය
  • ඉබේම ශිෂණය සෘජු වීම
  • ශුක්‍රාණු නිපදවීම
  • කුරුලෑ ඇති වීම
  • කටහඬ ගැඹුරු වීම

කලින් වැඩිවියට පත්වීම සඳහා ආහාරවල බලපෑම ගැන සැලකුවහොත් මේදය අධික ආහාර ගැනීම මගින් උස හා අධික තරබාරු බව ඇති වීම නිසාද මෙම තත්ත්වය ඇති විය හැක.

නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) යන තත්ත්වයට ඇතැම් විට දරුවන් ප්‍රතිකාර වෙත යොමු කළයුතු අවස්ථාද වේ. එසේ ප්‍රතිකාර කිරීම අර්බුද (Tumors), ලිංගික හෝමෝන වැඩිවී තිබීම යන තත්ත්වයන් මත රඳා පවතී.

නිසි වයසට පෙර මල්වර වීම (Early puberty of Children) යන තත්ත්වය මත ඇතිවිය හැකි සංකූලතා

  • උස අඩුවීම (මල්වර වීම අවසන් වන විට උසින් වර්ධනය වීම ඇණ හිටී. ඔවුන්ගේ සැකිල්ල මේරීම හා අස්ථි වර්ධනය අන් අයට වඩා කලින් නැවතීම නිසා මොවුන් ඔවුන්ගේ නියමිත උසට නොපැමිණේ)
  • හැසිරීමේ ගැටලු
  • ලිංගික ක්‍රියාකාරීත්වය කලින් ආරම්භ කිරීම
  • මානසික ආතතිය
  • පසු කාලවලදී පියයුරු පිළිකා අවදානම
  • හෘද රෝග, ආඝාතය (Stroke) වැනි තත්ත්ව පසු කාලවලදී වැඩිවීම

මෙවැනි දරුවන්ගේ මානසික අවවිධන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඔවුන්ව ප්‍රවේසමෙන් රැකබලා ගැනීමේ වගකීම දෙමාපිය වැඩිහිටියන් සතුය. සම වයස් දරුවන් සමග සංසන්දනයේදී කලින් වැඩිවියට පත් දරුවන් තුළ මානසික ගැටලු ඇති වේ. මේ නිසා දරුවාට ඇති වී ඇති තත්ත්වය ඉතා සරලව පැහැදිලි කරදිය යුතුය. රෝම ඇති වීම, මාසිකව ඔසප් වීම ආදිය දරුවන් තුළ ගැටලු ඇති කරයි. පියයුරු වර්ධනයද එසේමය. සම වයස් දරුවන්ට නොමැති ගැටලු තමාට ඇති වීම නිසාද මෙම මානසික අවපීඩනය වැඩිවිය හැක. තවද කුඩා කලම නොයෙකුත් ලිංගික අපචාරවලටද ගොදුරු වීමේ අවදානමක්ද පවතී. බොහෝ දරුවන් කලින් වැඩිවියට පත්වීම සිදු වුවද, ශාරීරික වෙනස්කම් ඇති වීම අවුරුදු 15-16 සිදු වේ. ගැහැනු දරුවාගේ අනාරක්‍ෂිත බවක්ද මේ සමගම ඇති වේ. වයසින් අඩුවීම හා මොළයේ නොමේරූ බව නිසා අනවශ්‍ය ලිංගික උත්තේජන ලැබීම තුළින් දරුවා කුඩා අවදියේ සිටම ලිංගික ඇබ්බැහි වීම්වලට පවා ලක්විය හැක.

 

[අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.]

ජපනුන් වගේ දීර්ඝායුෂ විඳින ජනතාවක් වෙන්න ශ්‍රී ලාංකික අපිට බැරිද?

දවසින් දවස අපි යන්නෙත් වයසට… ඒ නිසා මේ ලිපිය කියවමු . අද පුංචි දරුවෝ ඉන්න අම්මල තාත්තලා වෙලා ඉන්න අපි දරුවන්ගේ දරුවන්ට ආච්චිලා සීයලා වෙන්නත් ලොකු කාලයක් යන එකක් නැහැ. ඒ තරමටම කාලය වේගවත්. අද අපේ දරුවන්ගේ ආච්චිලා සීයලා ඉන්න තත්ත්වයට හෙට අනිවාර්යෙන්ම අපිත් යනවා. ඉතින් අද ඔබට ඔබේ මහලු මව පියා බලාකියා ගන්නත් මේ කරුණු බොහොම වැදගත් වේවි. ඒ ඔස්සේ ඔබේ දරුවනුත් අත්දැකීම් ලබාගනිවී.

සාමාන්‍යයෙන් මහලු විය ලෙස වෛද්‍ය විද්‍යාවේදී සැලකෙන්නේ වයස  අවුරුදු 75ට ඉහළ වයස් කාණ්ඩයයි. ලෝකයේ සාමාන්‍යයෙන් ආයු අපේක්ෂිත කාලය පිරිමින් සඳහා අවුරුදු 69ක් සහ ස්ත‍්‍රීන් සඳහා අවුරුදු 75ක් ලෙස තමයි සැලකෙන්නේ. නමුත් සියලු දෙනා පිළිගන්නා කාලය වනුයේ මනුෂ්‍යාගේ පරම ආයුෂ අවුරුදු 120ක් බව තමයි.

දීර්ඝායුෂ විඳින ජනතාවක් සිටින රටක් ලෙස ජපානය හැඳින්විය හැකි වන්නේ එහි බොහෝ පිරිසක් වයස අවුරුදු 100 ඉක්මවා ජීවත් වන නිසාමය. සැබවින්ම ජපනුන් දීර්ඝායුෂ ලැබීමට හේතුව නම් ඔවුන් සියලු දෙනා වෙහෙස වී වැඩ කිරීමයි. ජපානයේ ජනතාව නිකරුණේ තේ බිබී කතා කරමින් සතුටු සාමීචියේ යෙදෙන්නේ නැත. ඔවුන්ගේ සතුට වැඩ කිරීමය. ඔවුහු දවස අවසානයේ වැඩ නිම කිරීමේ සතුට ලබති. අපේ ශරීරය හැඩගැසී ඇත්තේ වැඩ කිරීමටය. එවිට එම වැඩවලට ඔරොත්තු දෙන ලෙස පේශි ශක්තිමත් වීමද රුධිර ගමනාගමනය නිසියාකාරව සිද්ධ වීමද, බහිස්ස‍්‍රාවය නිසි පරිදි සිදු වීමද, මනස නිරෝගීව තිබීමද සිදු වේ. එම වැඩ කිරීමට ශරීරය අනුවර්තනය වේ. අප වැඩ නොකර සිටින විට පේශි සිහින් වේ. එකතැන සිටීම නිසා ශ්වසන ආබාධ ඇති වී, සෙම වැඩි වී නියුමෝනියා තත්ත්ව පවා ඇති විය හැක. එමෙන්ම දැන් තමා අවලංගු කාසියක් යැයි සිතා නිරතුරු මනස කඩා වැටේ. මානසික අසමතුලිතතාව ඇති වී තව තවත් රෝගී වේ.

දීර්ඝායුෂ හිමි වීමට තවත් ප‍්‍රධාන හේතුවක් වනුයේ නිරතුරු මනස තරුණව තබාගැනීමයි. නිරතුරු තමන්ට පුළුවන් යන හැඟීම ඇතිව සියලු දේ කළ යුතුය. එවිට මනස සැහැල්ලු වී ප‍්‍රබෝධමත් වී එදිනෙදා වැඩ පහසුවෙන් කළ හැකි වේ. සමාජයෙන්ද ”දැන් ඉතින් වයසයි නෙ….. ටිකක් තැන්පත් විදියට හිටියොත් තමා හොඳ” ලෙස පවසා හිතේ ඇති ප‍්‍රබෝධය අඩු කර දමයි. සමහර රෝහල් කාර්යමණ්ඩල පවා ඇතැම් විට වයස 80ක පමණ රෝගියෙකු ප‍්‍රතිකාරවලට පැමිණි පසු ”දැන් ඉතින් වයසයිනේ, ඔය ලෙඩවල හැටි ඔහොම තමයි. දැන් ඉතින් උපරිම හිටියනේ” ලෙස කියනවා ඔබ අසා ඇත. පරමායුෂ හා සංසන්දනය කරන විට වයස අවුරුදු 80ක පුද්ගලයෙක් ගෙවා දමා ඇත්තේ තම ආයු කාලයෙන් 2/3ක් පමණි. අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින්  ඔවුන්ට සහය වුවහොත් තම ආයු කාලයේ ඉතිරි 1/3කද ඔවුන්ට සම්පූර්ණ කළ හැකි විය හැක. මෙසේ සිතන කල දැනට වාර්තා වන පරිදි ශ‍්‍රී ලංකාවේ අවුරුදු 60න් ඉහළ ජනගහනය බෙහෙවින් වැඩි වී ඇති නිසාම අප රටට මහලු වියේ රෝග (Geriatrician) සඳහා විශේෂඥ වෛද්‍යවරුද අත්‍යවශ්‍යය.

අපේ සංස්කෘතියට නොගැලපුනද ජපානයේ දීර්ඝායුෂ විඳින මිනිසුන් ඔවුන්ගේ ආහාර වශයෙන් අලුත් අමු පලතුරු, එළවළු, කොළ වර්ග, මුහුදු ආහාර, අමු මාළු වැනි ස්වාභාවික ඒවා ලබා ගනී. මා ඔවුන් සමග ගත කළ කාලය තුළ ලැබූ අත්දැකීම් මත මා වටහා ගත්තේ පිසින ලද ආහාර ගුණයෙන් අඩු බව ඔවුන්ගේ අදහස බවයි. කෙසේ වෙතත් නොපිසූ ආහාර හේතුවෙන් නොයෙකුත් විෂබීජ ආසාදනවලට ලක්වීමට ඉඩ නැතිවා නොවෙයි.

ජපනුන්ට දීර්ඝායුෂ හිමි වීමට ප‍්‍රධාන හේතු ලෙස දියවැඩියාව සහ රුධිර පීඩනය නොමැති වීම, සියලු දෙනා තම ජීව ස්කන්ධ දර්ශකය (BMI Value) ගැන එනම් උසට ගැලපෙන බර සැලකිලිමත් වීම යන කරුණු දැක්විය හැකියි. ස්වභාව ධර්මයෙන් කෙනෙකුගේ ශරීරය අභ්‍යන්තරය සැකසී ඇත්තේ එම උසට සහ බරට සරිලන සේ කි‍්‍රයා කිරීමටය. තරබාරු අයට තමන්ගේ එම වැඩි බරත් සමග ඇවිදීමේදී ඉක්මනින් පීඩාවට පත් වේ. එවිට ඔවුන් බලන්නේ නිතර විවේකීව ඉඳගෙන සිටීමයි. මෙහිදී ශක්තිය වැය නොවන නිසා තව තවත් ශරීරය ස්ථුල වේ. එවිට රුධිර පීඩනය, දියවැඩියා තත්ත්ව පහසුවෙන් ඇති වේ. තවද ඔස්ටියෝ ආතරයිටිස් වැනි සන්ධි රෝග ඇති වේ. තවත් කාරණයක් නම් එක් ආකරයකට සිටීම නිසා පෙණහලුවල සෙම වැඩි වේ. නියුමෝනියා වැනි තත්ත්ව ඇති වී මරණය පවා සිදු විය හැක.

වැඩිමහලු පුද්ගලයෙකුට ව්‍යායාම කිරීමට අවස්ථාවක් ලැබුණොත්,

  • ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමකට පත් වේ.
  • අක‍්‍රීයතාව මගහැරී කි‍්‍රයාශීලි භාවයක් ඇති වේ.
  • සිරුරේ සියලුම ඉන්ද්‍රීය කි‍්‍රයාකාරිත්වය ඉහළ යයි.
  • සමාජශීලි බව ඉහළ යයි.
  • ආත්මාභිමානය ඉහළ මට්මකට පත් වේ.
  • ශරීරයේ වේදනාවන්   හා  අනෙකුත්  රෝගීතාවන් අඩු වේ.
  • කේන්තියාමේ ප‍්‍රවණතාව අඩු වේ.
  • ශ්වසනය/රුධිර ධාවනය/මල මූත‍්‍ර පිටකිරීමේ පාලනය ඉහළ යයි.
  • සුහදශීලි බව වැඩි වේ.
  • සිරුරේ නම්‍යශිලි භාවය ඇති වේ.
  • ආහාර රුචිය වැඩි වේ.
  • ආයු කාලය වැඩි කර ගැනීමේ හැකියාව ලැබේ.

මහලු වියේ ඇතිවන රෝග

  • කැඩුම්-බිඳුම් සහ වෙනත් අනතුරු
  • රක්තවාත රෝග
  • ශ්වසන රෝග, හෘද රෝග, ස්නායු රෝග

කැඩුම්-බිඳුම් රෝග

කැඩුම්-බිඳුම් රෝග අතර,  Neck of Femur – ඌර්වස්ථියේ ගෙල ප‍්‍රදේශය භග්න වීම, Surgical Neek of Hummerus – භග්න වීම, මෘදු පටක, අනතුරු, කණ්ඩරා ආසාදන, උරහිසේ කැප්සියුලර් ප‍්‍රදාහය දක්නට ලැබේ. විකෘතිතා අතර Hallux valgus දක්නට පුළුවනි.

රක්තවාත රෝග

සන්ධි දිරාපත් වීමෙන්, ආසාදනය වීමෙන් සහ පරිවෘත්තීය කි‍්‍රයාවල අසමතුලිතතාව නිසා ගැටලු ඇති වේ. ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයද බහුලව ඇති වේ.

ශ්වසන රෝග

බ්‍රොන්කයිටිස්, ඇදුම සහ නියුමෝනියා තත්ත්ව නිතර ඇතිවන අතර ජීවිතය ගළපා ගැනීමට වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

හෘද රෝග

කොරිනරි ධමනි ආශ‍්‍රිත රෝග, කපාට සම්බන්ධ රෝග, එන්ඩොකාඩයටිස් වැනි තත්ත්ව ඇති විය හැකිය.

ස්නායු රෝග

අංශභාගය, පාකින්සන් රෝග බහුලව දකින්නට ඇත.

අප රටේද විශ‍්‍රාම ගිය පසුව රෝගි වී ඉක්මනින් මිය ගිය අයගේ වාර්තා බොහෝය. විශ‍්‍රාම යන වයස අවුරුදු 65ක් පමණ විය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. වරක් මා හමුවීමට පැමිණි ප‍්‍රවීණ රංගධර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා කියා සිටියේ ඔහු තම ජීවිතය පටන් ගත්තේ අවුරුදු 60න් බවය. එතුමා එය විග‍්‍රහ කළේ යමෙක් ජීවිතයට විවිධ අත්දැකීම් එකතු කරගෙන ජීවිතය කුමක් දැයි හරියටම අවබෝධ කොට ගනුයේ අවුරුදු 60න් බවයි. වයසින් මුහුකුරා ගියද සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් සමගින් නිරතුරු මනසින් තරුණ වන්න.

 

[වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.]

දරුවන්ට ශක්තියේ දෑත දිගු කරමු..

පසුගිය පාස්කු ඉරිදා සිදු වුන අවාසනාවන්ත සිදුවීම කොහොත්ම සරලව හිතන්න අපිට බැහැ. ඒකට එක් හේතුවක් තමයි නැති වුන භෞතික සම්පත් අපිට කවදා හෝ දිනක නැවත උපයා ගන්න පුලුවනි. ඒත් දරුවන්ට අහිමි වුන දෙමව්පියන්…දෙමව්පියන්ට අහිමි වුන දරුවන් අතර තිබෙන ලේ , මස්, ඇටමිදුලු තුලට වැදුන බන්ධනය ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. ඒත් මේ කම්පනයසමග දරුවන් ජීවත්වීම එතරම් ගැලපෙන දෙයක් නොවෙයි.

  • ඒ ඇයි කිව්වොත්….

වැඩිහිටියන්ගේ ජීවිතයේදී යම් යම් හැලහැප්පීම් සිදු වෙලා ඒ අත්දැකීම්වලට ඔවුන් මුහුණ දීමෙන් පන්නරය ලබා ගෙන සිටින පිරිසක්. ඒ නිසා නැවත කෙසේ හෝ පවතින ජීවිතයට අකමැත්තෙන් හෝ අනුගත විය යුතු බව ඔවුන් දන්නවා. නමුත් දරුවන් කියන්නේ ඒ වගේ වපසරියක අත්දැකීම් ඇති පිරිසක් නොවෙයි. ඒ නිසාම ඔවුන්ට නැවත නැගී සිටින්න පහසු නැහැ.මෙයින් අදහස් වෙන්නේ සිදු වුන සියල්ල අතීතයට එක් කරල හෙට වෙනුවෙන් ජීවත්වෙන්න කියන උපදෙස ඔවුන්ට දිය යුතුය කීම නොවෙයි. පවුලක තිබුන ශක්තිය නැති වීමේ කම්පනය පිටස්තර සිටින අපටත් දැනෙනවා නම් දරුවන්ට ඒ ගැන ඇති පසුබිම ගැන කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ නගා සිටුවීම බොහොම අසීරු කටයුත්තක්…

  • එහෙමනම් දරුවන් සමග මේ දුක බෙදා ගන්නේ කොහොමද…?

තමන්ගේ සමීපතයින් අහිමි වීමේ වේදනාව නිසා ඔවුන්ට ජීවිතය පවා එපා වෙන තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා මේ දරුවන් සමීපයේම සිටින්න දැන් කාලය ඇවිත්. සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල එය හිතේ ඇති වී පැය ගනනකින් නැවත නැති වෙන මානසික තත්වයක් තිබෙන නිසා දරුවන් කිසිම විටෙක තනි කරන්න එපා. ඔවුන් සමීපයේම සිටින්න. එවිට එවන් සිතුවිල්ලක් ඇති වුනත් ඔබගේ අවධානයෙන් දරුවා මුදවා ගැනීමට හැකියාව ලැබෙනවා.

  • අඞන්න දොඞන්න ඉඩ දෙන්න…

මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් දරුවන්ට ඔවුන්ගේ දුක තුනී වෙන තෙක් අඞන්න වැලපෙන්න ඉඩ දෙන්න. ඒ සදහා බාධා කරන්න එපා. කඳුල නිසා දුක දිය වෙන්න පුලුවනි. එහෙම නැතුව හිර කර ගෙන සිටියොත් අනාගතයේදී  විවිධ මානසික ගැටළුවලට මුහුණ දීමට පුලුවනි.

  • ජපානය දරුවන්ට සැලකුවේ මෙහෙමයි…

හිරෝෂිමා බෝම්බ ප්‍රහාරයෙන් ජපානයේ දරුවනුත් අපේ රටේ වගේම මහත් වූ අසරණතාවයට පත් වුණා. එහිදී ඔවුන් දරුවන් මුල් කර ගෙන ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි.

ජපන් ජාතිකයින් දරුවන් වෙනුවෙන් සුදොකු , චෙස්, වැනි ක්‍රිඩාවන් වගේම දෑලිස වැන ගණිත ක්‍රියාකාරකම් හඳුන්වා දුන්නා. ඒ නිසා දරුවන්ගේ කාලය නිකරුනේ ගෙවුනේ නැහැ. අදික විවේකයටත් මානසික ප්‍රශ්න නැවත නැවත ආවර්ජනයට  පරිසරය සකස් කරනවා. සුදොකු ක්‍රිඩාව නිසා තවත් පැත්තකින් මොළයටත් ව්‍යායාමයක් ලැබුණා. චෙස් ක්‍රිඩාව මගිනුත් දරුවන්ගේ මොළයට හොඳ ව්‍යායාමයක්. ඒ නිසා දරුවන්ගේ හිතේ පැවැති මානසික හිස්කම නොදැනීම නැති වී ගියා.

ඒ වගේම ජපානයේදී තවත් ක්‍රමයක් අනුගමනය කලා. ඔවුන් ළදරු පාසල් දරුවන්ටත් වැසිකිළි සහ කැසිකිලි පිරිසිදු කිරීමට උපදෙස් දුන්නා. මේ පුංචි පැටවුන්ට මේ වගේ කටයුතු කිරීම අපහසු යැයි ඔවුන් හිතුවේ නැහැ. ඒත් මේ දරුවන්ගේ ජීවිතය එතැනින් පටන් ගත්තා. මේ අපේ පාසලයි…කියන සංකල්පයෙන් පටන් ගත්තු හැඟීමෙන් දරුවන් පමණක් නොවෙයි, ජපානයත් ඉදිරියටම ගියා. ඉතින් අපේ දරුවන්ටත් ඉදිරියට යන අත්වැලට ශක්තිය අපේ වැඩිහිටියන් වෙතින් ලැබිය යුතුමයි

  • .වෛද්‍ය උපදෙස් නොසලකා ඉන්නත් එපා…

දරුවන්ගේ හිතේ හයිය අපිට සමාන මිණුමකින් මනින්න බැහැ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස්. වරක් එංගලන්තයේ හැරී කුමරු ඔහුගේ මව ඩයනා කුමරියගේ වියෝව ගැන කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ජීවිතයේ හිස්කම නිසා තමා මානසිකම බිඳ වැටුන බවත් ඒ නිසා මානසික උපදේශන පවා ලබා ගැනීමට සිදු වුන බවත්ය. පවුලේ බැදීමක් තමන්ගෙන් නොසිතූ අවස්ථාවකදී අහිමිවීම මතුපිටින් නොපෙනුනත් දරුවන්ට තදින්ම බලපාන්න පුලුවන්. ඒ නිසා දරුවෙකුගේ හැසිරීමේ යම් යම් වෙනස්කම් තිබෙනවා නම් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීමත් වැදගත්. එවිට දරුවාගේ කඩා වැටුන හිත නැවත ගොඩ නැගීමට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

දෙමව්පියන් විදිහට අත් හළ යුතු කරුණු

දරුවන්ගේ ලෝකයේ වැදගත්ම චරිත දෙමව්පියන් ….. ඒ ආශිර්වාදයෙන් දරුවන් දිනා ගෙන ජීවිතය වාසනාවන්ත විදිහට ගෙවන ඔබ අනාගතයේදී දරුවාගේ ගේ ජීවිතයත් වාසනාවන්ත විදිහට ගොඩ නැගීමේ වගකීමත් භාරගත යුතුයි. එහෙම නැති වුනොත් ඔබේ දරුවා අනාගතයේදී තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැති දුර්වල චරිතයක් බවට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ට ආදරය කරන, දයා කරුණාවෙන් සලකන , ඔවුන්ගේ දියුණුවම අපේක්ෂා කරනවා නම් ඔබ විසින් ඔවුන්ට අද දවසේ සලකන අන්දම ගැනත් කරුණු කාරණාවන් සහ ඒ විදිහට දරුවාට සැලකිය යුත්තේ ඇයි කියන හේතු කාරණාවනුත් දැන ගැනීම ඉතාම වැදගත්.

  • මම ඔයාට ආදරේ නැහැ…මහ නරකම ළමයෙක්…

දරුවෙක් වරදක් කළ විට ඔබ මේ විදිහට චෝදනා නගනවා ඇති. වේවැල් පාරක් වෙනුවට මේ විදිහට ඔබ නගන චෝදනාව නිසා දරුවාගේ හිතේ ඇති වෙන්නේ තමා ගැනම සෘණ සිතුවිලි මාලාවක්. තමන් අසරණයි කියන සිතුවිල්ල හිතට පීඩා කරන්න පටන් ගන්නවා.ඒ නිසා දරුවා කිසිම දිනක කලු චරිතයක් විදිහට හඳුන්වා දෙන්න එපා. නරක වුනත් ඔවුන්ගේ යම් යම් හොඳ ගතිගුණත් තිබෙනවා. ඒත් ඔබ දරුවා නරකම විදිහට හැඳින්වීම ඔවුන්ගේ පෞරෂයට දැඩි විදිහට බලපාන්න පුලුවනි.

  • අයියා හරිම හොඳයි….ඔයා වගේ නොවෙයි…

එක බඩවැල කඩාගෙන ඉපදුනත් දරුවන් අතර විවිධ වෙනස්කම් තිබෙනවා. හැඩ රුව වගේම ඉගෙනුම, කලා මහ වෙනත් තාක්ෂණ හැකියාවන් අනුව විවිධ විදිහට දක්ෂකම් තිබෙන්න පුලුවනි. ඒත් පවුලේ සෙසු දරුවන් අතරට එක් දරුවෙක් ඉස්මතු කරමින් සෙසු අයට ඔහු ආදර්ශ කරන්න එපා. එය ඒ තරම් සතුටුදායක නැහැ

  • පංතියේ අනිත් ළමයින්ගේ ලකුණු බැලුවාම මට ලැජ්ජයි…

දරුවන්ගේ බුද්ධි මටට්ම එක් එක් අයගේ විවිධයි. ඒ නිසා මොනතරම් භෞතික සැප සම්පත් තිබුනත් ඒ කිසිම පහසුකමක් නැති දරුවා ඉගෙනුම් කටයුතුවලදී ඔබේ දරුවාට වඩා ඉදිරියෙන් සිටින්න පුලුවනි. එය ඉතාම සාධාරණයි. ඒ ගැන දෙමව්පියන් විදිහටත් දුක් ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ මේ විදිහට දරුවාට දොස් නගන විට   ඔබේම දරුවා නොදැනීම ඊර්ශ්‍යාව පටන් ගන්නේ මෙතැනින්. ඒ නිසා කිසිම දිනක තවත් අයට දරුවා සාපේක්ෂ  කරමින් දොස් නගන්න එපා.

  • බැරි වැඩ නොකර අයින් වෙන්න…කරදර නොකර..

පුංචි අය ලොකු වැඩ කරන්න හරිම කැමැතියි. ඒ නිසා ඔබ යම් කටයුතත්ක් කරද්දී දරුවාත් එතැනට පැමිණෙන්නේ මටත් මේ වැඩට හවුල් වෙන්න පුලුවනි යන මානසිකත්වයෙන්. නමුත් පුදන කොටම කාපි යකා කියනවා වගේ ඔබ දරුවා පලවා හැරියොත් ඔහුගේ හැකියාවන් උපන් ගෙයිම මියැදෙනවා. ඒ නිසා ඔවුන්ගේ හැකියාවේ පමණට ඒ කටයුතු කිරීමට ඉඩ දෙන්න. කිසිම දවසක ඔබට කරදරයක් වුනත් යම් කාර්යක් කිරීමට අර අඳින දරුවා පලවා හරින්න එපා.

  • අනේ ඔය ප්‍රශ්න පත්තරෙත් අරගෙන පැත්තකට වෙන්න….මට වැඩ තියෙනවා

පුංචි දරුවන්ට ප්‍රශ්න ගොඩයි. සමහර ප්‍රශ්නවලට දෙමව්පියන්ටත් උත්තර නැහැ.ඒ වගේම සමහර උත්තර දැන ගත්තත් ඒවා දරුවන්ට පැහැදිලි කරන්න දෙමව්පියන්ට හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ‘‘ අම්මේ….මල්ලී අම්මගේ බඩට ආවේ කොහොමද…? මේ ජීව විද්‍යාත්මක ප්‍රශ්නයට දරුවාට උත්තර දීම පහසු නැහැ. ඒත් දෙමව්පියන් විදිහට දරුවා සැනසෙන අන්දමින් පිලිතරක් ලබා දෙනවා විනා ඔවුන් පලවා හරින්න එපා.කුතුහලය කියන්නේ දරුවෙකු තිබිය යුතු වැදගත් ගුණයක් නිසා කිසිම දිනක කුතුහලයෙන් නගන ප්‍රශ්න වලට සැර වැර කරමින් ඒවා වලක්වන්න එපා.

  • නම් වනම් හදන්න එපා…

සමහර දරුවන්ට බාල කාලයේදී දෙමව්පියන් විසින්ම පටබඳින නම් ඔවුන්ගේ උප්පැන්නයේ නමටත් වඩා ප්‍රබලයි. එහෙත් යම් කාලයකදී මේ විදිහට තමන් හඳුන්වන නම නිසා දරුවා අපහසුතාවයට පත් වෙන්න පුලුවනි. දුව හෝ පුතා යනු දරුවෙක් ආමන්ත්‍රණයට තිබෙන වටිනාම වචන. එතැනින් ඔබ්බට ගිය නම් වනම් ගොඩ නගන්න එපා. ඇතැම් අවස්ථාවලදී මේ නම් ගොඩ නැගුනේ දරුවාගේ ශාරිරික ආබාධ මුල් කර ගෙනයි. එහෙත් එය කිසිම විටෙක නොකල යුත්තක්. නොදැන සිදු කළ වරදක් වුනත් අද මනෝ විද්‍යාවට අනුව මේ විදිහට නම් පටබැඳීම මානසික අපයෝජනයක්…

  • හුදෙකලාවත් නරකයි.

දරුවන් කැමැති සමාජයක ජීවත් වෙන්න. ඔවුන් හුදෙකලාවට කැමැත්ක් නැහැ. ඒ වුනත් අද තිබෙන කාලරාමුවව අනුව වැඩ වපසරිය ගලපා ගැනීමේ අපහසුතාවය නිසා දරුවන් නිතරම දුරස්ව තබා ගැනීමට දෙමව්පියන් උත්සාහ ගන්නවා.නමුත් එයින් දරුවා මානසිකවත් හුදෙකලා චරිතයක් බවට පත් වෙන නිසා කිසිම දිනක ඔවුන් හුදෙකලා කිරීම නොකළ යුතුයි. දෙමව්පියන් විදිහට ඔබට හැකි හැම විටම දරුවා ඔබේ සමීපයේ තබා ගැනීම අනාගත පෞරෂ වර්ධනයට හිතකරව බලපානවා.

[බී.බී.සී පුවත් සේවයට ‘ළමා හිංසනයට තිත’ සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

ළමා අපයෝජනය යනු ලිංගික අපයෝජනය පමණක් නොවෙයි

ළමා අපයෝජනය ගැන වූ සඳහනත් සමග අපේ හිතේ නැගෙන්නේ දරුවන්ට එරෙහිව සිදු වෙන ලිංගික අපයෝජනයන් ගැනයි.

පියා නිවසට පැමිණි පසු තමන්ට පහර දෙයි ද? එසේ නැතහොත් කුමන දඬුවමක් දෙයි ද? යනුවෙන් සිතීමෙන් එම කුඩා දරුවාගේ මනස පැය ගණනක් ව්‍යාකූලව පැවතිය හැකි බව ළමා මනෝ චිකිත්සකයින්ගේ අදහසයි.

ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ වචනවලින්, ක්‍රියාවෙන් තමන්ගේ ම දරුවන් අපයෝජනය ලක් වෙන බව. ළමා අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය විතරක් නෙවේ. ලිංගික අපයෝජන බොහෝ විට සිද්ධ වෙන්නේ, පවුලෙන් පිට පුද්ගලයින්ගෙන්. ඒත්, ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් කියන අපයෝජන බොහෝවිට පවුලෙන් හෝ පාසලෙන් සිද්ධ වෙන්නේ. බොහෝ විට දෙමාපියන්, ගුරුවරුන් අතින් නොදැනුවත්ව ම දරුවන් අපයෝජනයට ලක් වෙනවා

ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි සිද්ධි නිරන්තරයෙන් සිදුවීම නිසා දරුවාගේ හිත තුළ ඇති වන කාංසාව වැනි හැඟීම් නිසා වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බවය.

ළමා අපයෝජනය යනු කුමක් ද?

ළමා අපයෝජනය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකු තුළ පවතින අදහසක් වන්නේ, ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික අපයෝජනයන්ය. එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ළමා අපයෝජනය සිදු වන බවය.

  1. ශාරීරික අපයෝජනය-23 % ක්
  2. මානසික අපයෝජනය- 36 % ක්
  3. ලිංගික අපයෝජනය-18 %
  4. නොසලකා හැරීම- 16 % ක්

විදිහට හඳුන්වා දෙන්න පුලුවනි.. ඉහත දත්ත විශ්ලේෂණයේදී පැහැදිලිව පෙනී යන්නේ, ලෝකයේ සමස්ත දරුවන්ගෙන් 75%ක ප්‍රතිශතයක් ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වන බවය.

එසේ නම්, ලිංගික අපයෝජනය තරමට ම සෙසු අපයෝජන නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

ශාරීරික අපයෝජනය හුනා ගනිමු…

උක්ත වචනය කී විටම ඔබට ඒ ගැන නැවත නැවැත පැහැදිලි කිරීමට අටුවා ටීකා අවශ්‍ය නැති වුනත් ඔබ හිතනවාට වඩා වැඩි පරාසයක මේ අදහස ව්‍යාප්ත වෙනවා. ඒ අනුව

දරුවන් ශාරීරික හිංසනය මගින් පීඩාවට ලක් කිරීමය. පහර දීම, දණ ගැස්සවීම, අව්වේ සිටවා තැබීම, දඬුවමක් ලෙස ආහාර නොදීම ආදී ක්‍රියා ශාරීරික අපයෝජන ලෙස හැඳින්වේ.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, සෑම වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු ම ළමා කාලයේදී ශාරීරික අපයෝජනයට ලක්ව තිබේ.ළමා කාලයේදී දරුවෙක් ශාරිරිකව අපයෝජනයට ලක් වුනොත් ඒ පීඩනය මේ දරුවා තමාගේ අණසකට යටත්ව සිටින පුද්ගලයින් වෙනුවෙන් නොදැනීම මුදා හරින මානසිකත්වයකට පත් වෙන බැව් ‘ළමා හිංසනයට තිත’ නමැති සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට සඳහන් කර තිබෙනවා.

ඒ නිසා ඇය පෙන්වා දෙන්නේ “කෙතරම් සියුම් වුණත්, දරුවෙකුට යහපතක් වෙයි කියලා හිතලාවත් ශාරීරික දඬුවම් කිරීම ළමා අයිතීන් උල්ලංඝණය කිරීමක්. දඬුවම් මේ ගැන වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කරන ඇය පෙන්වා දෙන්නේ දරුවාට එරෙහිව වූ කෘරත්වය ඇති වෙන්නේ ඔවුන්ගේම ආදරණීයන් අතිනුයි. මේ තත්වය අපි හිතන තරම් සරල නැහැ. 2018 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 9512න් 2413ක් ළමුන්ට එරෙහි කෲරත්වය සම්බන්ධව බැව් වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඉහත පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

මානසික අපයෝජනය

ශාරිරික අපයෝජනය වගේම දරුවන් මානසිකවත් අපයෝජනයට පත් වුනත් ඒ ගැන අඩුම වශයෙන් දෙමව්පියන්වත් දන්නේ නැති බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙනවා.

අපි දරුවන් ගේ වැරැදි හැසිරීම් ඉදිරියේ ඔවුන් මෙල්ල කිරීමට ඉන්න…අද තාත්තා අවාම හොඳවායින් වේවැල් පාර දෙකක් ඉල්ලලා දෙන්නම්…දරුවාගේ වැරැදද්ක් ඉදිරියේ ඔබේ මේ සඳහනත් ඔවුන්් මානසික අපයෝජනයට පත් කිරීමක් බැව් සමහර විට ඔබ තවමත් දන්නේ නැතුවත් ඇති.මේ විදිහට දරුවන් මානසික අපයෝජනයට පත් වුනොත් අනාගතයේදී ඔවුන් තුළ විවිධ දුබලතාවයන් ප්‍රදර්ශනය වීමට පුලුවනි.

  • හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම (අධික කෝපය)
  • බොරු කීම, සොරකම් කිරීම, වංචාවන්ට පුරුදු වීම
  • දෙමාපියන්ට එරෙහි වීම (අධ්‍යාපන කටයුතුවල නිරත වීම ප්‍රතික්ෂේප කිරීම)
  • කළකිරීමකින් සහ කනස්සල්ලෙන් ජීවත් වීම

නොසලකා හැරීම

වැඩිහිටියන් නොදැණුවත්ව වුනත් දරුවන් නොසලකා හැරීම නිසා ඔවුන් මානසික අපයෝජනයට පත් වෙනවා.නොසලකා හැරීම සිදු වෙන අවස්ථා කීපයක් තිබෙනවා.මේවා ඔබ නොසලකන තරමටම සුලු වුනත් එයින් දරුවාට සිදු වෙන මානසික බලපෑම එතරම් සුලුවෙන් නම් හිතන්න එපා.

  • දරුවන්ට ඇහුම්කන් නොදීම
  • දරුවන් පෝෂණය නොකිරීම
  • දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරීම
  • දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීම
  • අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවීම
  • දරුවන්ට අවශ්‍ය රැකවරණය නොදීම
  • දරුවන් සමග යහපත් සබඳතාවක් නොපැවැත්වීම

[බී.බී.සී ඇසුරිනි]

පුන්‍යා චාන්දනී ද සිල්වා

අවිධිමත් අහාර රටාව නිසා ඇතිවන අකල් මරණ වලකා ගන්නේ කෙසේද?

අම්මලා හොඳම දේ දෙන්නේ දරුවන්ට වුනත් අපි නොදැනම කොතැන හෝ වැරදිලා තිබෙනවා. අද ලෝකයේ සිදු වෙන මරණ සංඛ්‍යාව ගැන අධ්‍යනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන 11 ක්ම අකාලයේ මියැදෙන බවයි.ඔවුන්ට අවශ්‍ය වුනේ මේ විදිහට අකල් මරණ සිද්ධ වෙන්නේ ඇයි කියන තැනට පිලිතුරු සෙවීමටයි. ඔවුන් මේ අධ්‍යනයය මෙහෙයවනු ලැබුවේ ලෝක ප්‍රජාව අකාලයේ මියයාමට හේතු ගැන විමසා බැලීමේ  යුගයේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමටයි.

ඒ වගේම අපේ රට ලෝකයේ පුංචි තිතක්  වුනත් අපිටත් මේ අධ්‍යනය අදාල වෙනවා. ඊට හේතුව දියවැඩියාව, වකුගඩු අකර්මන්‍ය වීම, හදවත් රෝග වැනි බෝ නොවන රෝග වලින් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් මරණ රැසක් වාර්තා වන අතර ඩෙංගු වැනි බෝ වන රෝග ද අකාලයේ සිදුවන මරණ රැසකට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල දැක්වේ. මෙලෙස අකාලයේ මියයන මිලියන 11 අතුරින් මිලියන 10 ක පමණ මරණ වලට හේතුව හදවත් රෝග බව ද වාර්තා වෙනවා. අධික ලුණු භාවිතය ඉහළ රුධිර පීඩනයට හේතුවී හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලට මුලික විය හැකි බවද පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

අකාලයේ මිය යෑමට හේතුව ගැනත් දැනගනිමුද…?

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර හේතුවෙන් සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම අකාලයේ මියයන අතර ඔවුන්ගේ අනාවරනයන්ට අනුව මේ අකල් මරණයන්ට හේතුව වී තිබෙන්නේ ලුණු, පාන්,සෝයා සෝස් වැනි අහිතකර ආහාර ආහාරයට එකතු කර ගැනීම නිසයි. මේ ආහාර නිසා මිනිසාගේ හෘදය වස්තුවට සිදු වෙන හානිය වගේම පිලිකාවන් වැළඳීමටත් වැඩි බලපෑමක් ඇති වෙනවා.

ලොව විවිධ රටවල පුද්ගලයින් වසරක් තුළ මියයන ආකාරය පිළිබඳව ගෝලීය රෝග අධ්‍යයන වාර්තාවක් හෙළිකළ කරුණු අනුසාරයෙන් එදිනෙදා පරිභෝජනය කරන ආහාරවල ස්වභාවය අනුව සිදුව ඇති මරණ ලැයිස්තුගත කරනු ලැබුවා.

ආහාර වර්ගය  සහ මරණ සංඛ්‍යාව අතර සම්බන්ධතාවය
ලුණු අධික පරිභෝජනය – මිලියන තුනක්
ධාන්‍ය අඩු පරිභෝජනය – මිලියන තුනක්
පලතුරු අඩු පරිභෝජනය -මිලියන දෙකක්
අපේ අඩුපාඩු….

අම්මලා ආහාර පිසින විට එලවලු, මුහුදු ශාඛ වගේම ධාන්‍ය වර්ග වැඩියෙන් ආහාරයට එකතු කර ගන්නවා නම් මේ අවදානමෙන් මිදෙන්න පුලුවන් බවත් අධ්‍යනයේදී පෙනී ගියා. අකල් මරණ සිදු වුන බොහෝ පවුල් පරිසරයන්හිදි ඔවුන්ට පෙනී ගියේ . මුලින් සඳහන් කළ ආහාර ඔවුන් තම ආහාරයට එකතු කර ගෙන තිබුනේ ඉතාම අඩුවෙනුයි.

දැන් තේරෙනවා ඇති නේද..?.

අධ්‍යනයේ ප්‍රධානී ලෙසින් කටයුතු කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතිය සහ ඇගයීම් අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ මෙහිදී කියා සිටියේ දැන් ඉතින් අකල් මරණවලට හේතුව හොඳාකාර වැටහෙනවා ඇති නේද යන්නයි.

එහෙමනම් ගුණ මොනවාද….?

අකල් මරණයන්ගෙන් ආරක්ෂාව ලැබීමට නම් එලවලු, පළතුරු සහ තන්තු බහුල ආහාර ගැන වැඩියෙන් අවධානයක් දක්වන්න. එහෙම වුනොත් මුලින් සඳහන් කළ විදිහට අධි රුධිර පීඩනයට වගේම  හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින්ද ආරක්ෂාව ලැබීමට හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මෙම සමීක්ෂණ වාර්තා අනූව එළවළු පලතුරු, සහ කෙඳි සහිත අහාර මීට ප්‍රතිවිරුද්ධ ප්‍රථිඵල ලබා දෙන අතර ඒවා හදවතට හිතකර ආහාර ලෙස සැලකෙනවා.ඒ වගේම ඔවුන්ගේ පෙන්වා දීමට අනුව ලෝකයේ කිසිම රටක් අනිකුත් රටවලට සාපේක්ෂව පෝෂ්‍යදායක ආහාර ලබා නොගන්නා බවත් මෙහිදී තහවුරු වුන කරුණක්.

ධාන්‍ය වලට අපි අකමැති ඇයි….?

ධාන්‍ය ආහාරයට ගන්න කිව්වත් බොහෝ  දෙනෙක් ධාන්‍ය තමන්ගේ ආහාර රටාවට එකතු කර ගැනීමට වැඩි කැමැත්තක් නැහැ. මේ ගැන අදහස් ඉදිරිපත් කරන ,” කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීටා ෆ්රෝහී“ පෙන්වා දෙන්නේ”සමහර විට ඇටවර්ග නැත්නම් ධාන්‍ය වර්ග වැඩිපුර ලබාගැනීම නිසා තරබාරු වීමේ ප්‍රවණතාව ටිකක් වැඩියි. ඒ වගේම මිල අධික බවත් මෙවැනි ආහාර අඩු පරිභෝජනයට හේතුවක්…

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව ගැන තබා ඇති සටහනක්..

2011 පටන් අපේ ලංකාවේ මධ්‍යස්ථාන 700 කටත් අධික සංඛ්‍යාවක යහපත් ආහාර පුරුදු ඇති කිරීමේ වැඩ සටහන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භ කරනු ලැබුවා. එහිදී මෙම සංවිධානය පෙන්වා දෙන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයින් කෘෂිකාර්මික දිවි පෙවෙතින් නාගරික සංස්කෘතියට යොමුව ඇති අතර එමගින් සිදුව ඇති ආහාර රටාවේ වෙනස ලාංකිකයින් මුහුණදෙන තරබාරු බව, දියවැඩියාව මෙන්ම තවත් බෝ නොවන රෝග රැසකට හේතුවක් බවයි.

මේ උපදෙස් අම්මලාටයි…

සීනි සහ මස් පරිභෝජනයෙන් දරුවන් ටිකක් ඈත් කරන්න. මේ දුර්වල ආහාර නිසා ඔබේ දරුවා තරුණ කාලයේදීම තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවල ගොදුරක් බවට පත් වෙන්න පුලුවනි.අපේ රටේ සිදු වෙන මරණ වලින් 65% ක්ම බො නොවන රෝග නිසා සිදු වෙන බවත් අමතක කරන්නඑපා. ඒ වගේම දරුවන්ට ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමටත් වැඩි බලපෑමක් දෙමව්පිය පාර්ශවයෙන් වුනොත් වඩාත් වැදගත්

[බී.බී.සී පුවත්]