Home Blog Page 82

අනතුරු නැති අවුරුදු

බක් මාසය හෙවත් භාග්‍යවන්ත  වූද, මුළු ලංකාව පුරාම සැනකෙලි සිරියක් ගන්නා කාලයක්. ලොකු කුඩා වෙනසක් නැතුව හැම දෙනාම සතුටු වෙන මේ කාලයේදී හදිසියේ සිදු වෙන අනතුරු ගැනත් අවදියෙන් සිටිය යුතු බව කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා. ඉස්සර කාලයේ නම් අවුරුදු කාලයට වැඩියෙන් පාවිච්චි වුනේ උණ වෙඩි, රබන්, සහ බීරංග පත්තු කිරීම වැනි කෙලි සෙල්ලම් වුනත් අද අවුරුදු සමග ගිනිකෙලි පාවිච්චියත් බොහොම සම්බන්ධයි. ඒ නිසා උත්සව කාලයේදී හදිසි අනතුරු නිසා රෝහල්ගත වෙන පිරිස ගැනත් දැන් වෛද්‍යවරුන් පවා වැඩි සූදානමකින් සිටිනවා.

ඉතින් අපිත් මේ ගැන අපේ අවදානම් සාධක හඳුනා ගනිමු…

නිලා සහ රතිඤ්ඤා අද අවුරුදු කාලයට ඉතා බහුලව පාවිච්චි වෙනවා.රතිඤ්ඤාවල තිබෙන්නේ පුපුරන වෙඩි බෙහෙත් නිසා අපි වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. මේවා ගබඩා කිරීමේදීත් අපේ පමාව නිසා අනතුරු සිද්ධ වෙන්න පුලුවනි. පුංචි දරුවන් සිටින විට ඒ අයට මේවායේ බරක් පතලක් තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් මේ රතිඤ්ඤා ආදිය අහුවුනොත් ඒවායේ වෙඩිබෙහෙත් පවා ආහාරයට ගැනීමට තරම් ඉක්මන් වෙනවා. ඒ  නිසා ඔබ අවුරුදු වෙනුවෙන් කල් තබාම රතිඤ්ඤා මිළට ගෙනැවිත් තබනවා නම් ඒවා දරුවන්ගේ අත සහ නෙත නොගැටෙන විදිහට තබා ගැනීමත් ඉතාම වැදගත්.

රතිඤ්ඤා පත්තු කරන විටත් කාටවත් කරදරයක් නොවෙන විදිහට කලොත්…

අද කාලයේ නම් ඇත්තටම රතිඤ්ඤා පත්තු කිරීමට සුදුසු වටපිටාවක් ඇත්තේ නැහැ. එදානම් අස්වැන්න නෙලා ගත් කුඹුරු කොටස්වල ඇති විදිහට පුපුරන දේ  පත්තු කිරීමට නිදහස තිබුනත් අද හැම තැනම තිබෙන්නේ කොටු වුන පරිසරයක්. ඒත් අපේ බොහොම දෙනෙක් මේ ගැන හිතන්නේ නැහැ. සමහර විට අල්ලපු ගෙදර රෝගියෙක් සිටින්න පුලුවනි. පාඩම කරන දරුවෙක් ඉන්න පුලුවනි. ඒ අයට මේ පුපුරන හඩ දරා ගැනීමත් අපහසුයි. ඒ ගැන නම් අද කිසිම කෙනෙක් වගකටවත් ගන්නේ නැහැ. නොනගතය වගේම අවුරුදු උදාවට පුපුරන රතිඤ්ඤා ශබ්දය ගැන අපිටත් අත්දැකීම් තිබෙනවානේ. මේවා පුපුරා ගියාම හැම තැනම කඩදාසි විසිරිලා. ඒ ගැන කිසිම මායිමක් නැතුව අල්ලපු ගෙදර ඉදිරියට රතිඤ්ඤා විසි කලාම ඒ නිවසේ අයට අවුරුදු උදාවත් සමග ඇති වෙන්නේ කලකිරීමක්. එක් පැත්තකින් ශබ්දය…අනිත් පැත්තෙන් සුද්ද පවිත්‍ර කර ගෙන තිබුන තමන්ගේ නිවස ඉදිරිපිට දැන් විසිරුන කඩදාසි නිසා අපිරිසිදු වෙලා.

නිවසේ සුරතලුන්ටත් අපහසුවක්..

අපි හිතන්නේ රතිඤ්ඤා ශබ්දය දරා ගන්න බැරි අපිට විතරක් කියල වුනත් ඔබ නොහිතුවාට සතුන්ටත් මේ ශබ්දය නිසා කම්පන ඇති වෙනවා. ඇතැම් නිවෙස්වල ගෙවැසි බල්ලන්, බලලුන් නිවස හැර යන් තරමටම ශබ්දය නිසා කම්පනයට පත් වෙනවා. නිවසේ ඇති කරන මාළුවන් මේ කම්පනය දරා ගන්න අපහසුව  මරණයට පවා පත් වෙන්න පුලුවනි. ඒ නිසා ඔබ ගැන වගේම අහිංසක සතුන්ටත් මේ ශබ්ද දරා ගැනීමට අපහසු බව අමතක කරනන් එපා.

පත්තු කරන ක්‍රමයේ  ඇති වැරදි…

රතිඤ්ඤා වගේම නිලා පත්තු කරන විටත් අනතුරු සිදු වීමට ඇති අවස්ථාව බොහොම වැඩියි. සමහර අය රතිඤ්ඤා කරල අතේ තබා ගෙන වෙඩි නූල දල්වා ඉවතට විසි කරනවා. ඒත් මේ නූල අතේම දැල්වී පුපුරනන් තිබෙන අවස්තාවන් නැතුවා නොවෙයි. ඒ නිසා රතිඤ්ඤා කරල බිම තබා ඔබ ඈතින් සිට වෙඩි නූලට ගිනි පෙලෙල්ලක් තබා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වීම ආරක්ෂිත ක්‍රමයක්. ඒ වගේම නිලා පත්තු කරන විටත් ගිනි පුපුරු ඇවිත් සිරුරේ වදින්න පුලුවනි. නිලා කූර අගටම යන තෙක් අතේ තබා ගෙන සිටීමත් නිසා අතට ගිනි රස්නය දැනෙන්න ඉඩ තිබෙනවා. එක අවස්ථාවක අපේම ඥාති සහෝදරියකගේ පපුවට නිලා කුරුවලින් නිකුත් වුන ගිනිපුපුරු  ඇගේ ගවුමට ඇලී පපුව පිලිස්සී ගියා. ඇය හැඳ සිටියේ පොලියෙස්ටර් ගවුමක් නිසා ඇවිත් ඇලුන ගිනි පුපුරු ගවුමට ඇලී ඇගේ සිරුරට ඇළුනේ හමටත් තුවාල කරමිනුයි.

අවුරුදු ක්‍රිඩා ගැනත්…

පසුගිය දිනක කතුරු ඔන්චිල්ලාවක් කඩා වැටී ඉතාම අවාසනාවන්ත ලෙසින් මියගිය මව සහ දියනිය ගැන ශෝකජනක පුවත ඔබට තවමත් අමතක නැහැ. ඒ සිද්ධිය අපිටත් මනා වූ පාඩමක්. කතුරු ඔන්චිල්ලාව පමණක් නොව වැල් ඔන්චිල්ලාව වුනත් ආරක්ෂිතව සකස් කර නොගහොත් අනතුරු වීමට ඇති අවස්ථාව ඉතාම  ඉහලින් තිබෙනවා.ඒ වගේම කනා මුට්ටි බිඳින තැන වුනත් ඒ අසල සිටින අයට පොල්ලේ පහර වැදී තුවාල වීමට ඉඩ තිබෙනවා. ක්‍රිඩාවට සම්බන්ධ වෙන පුද්ගලයාගේ ඇස් බැඳ තිබෙන නිසා ඔවුන්ට අවට පරිසරයේ සිටින අය ගැන වැටහීමක් නැහැ. ඒ නිසා ඇස් පෙනෙන උදවිය තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත්.

ග්‍රිස් ගහේ නැගීමේදී වුනත් ඇතැම් පුරුෂ පක්ෂයේ උදවිය මත්පැන් බී ක්‍රිඩාවට සම්බන්ධ වෙන නිසා තමන් ගැන පාලනයක් කර ගැනීමත් අපහසුයි. ඒ නිසා සිහි බුද්ධියකින් තොරව කටයුතු කරන නිසාත් අනතුරු වීමට ඇති අවදානම ඉතාම ඉහලයි.

එහෙමනම් සිංහල අලුත් අවුරුද්ද ඉතා ආසන්නයේ ඇති මේ කාලයේදී අනතුරු අවදානම ගැනත් සලකා සූදානමින් සිටියොත් අගෙයි..

මහන්සිද? නිදිමතද? කම්මැලිද? කෙට්ටු වෙලාද? මහත් වෙලාද?, එහෙනම් මේ ලිපිය කියවන්න

ඔය කිව්වත් වගේ එක එක විදියේ අපහසුතා දිගින් දිගටම ඔබටත් පවතිනවා නම් මේ ලිපිය සමහර විට ඔබේ ඒ අපහසුතා ගැන ඔබටම අවබෝධ කරගන්න උදව්වක් වේවි. තයිරොයිඩ් කියන එක අපි අහලා තිබුනට ඒ ග්‍රන්ථිය අපිට කොයිතරම් වැදගත්ද කියන දේ දන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසාම ඇද අපි ඒ ගැන කතා කරමු. මොකද නිසි වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වුණොත් කිසිදු ගැටලුවක් නොවන මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ නොසලකා හැරියොත් නම් ජිවිතේ අවදානම් තත්ත්වයක් දක්වා ගෙනියන්නත් බැරි කමක් නැහැ.

තයිරොයිඞ් ග්‍රන්ථිය කියන්නේ බෙල්ලේ පිහිටන (ඉදිරිපසින්) අන්තරාසර්ග ග්‍රන්ථියක්. ඒ හරහා තමයි  T4 – Tetra Iodo Thyroxin සහ  T3 – Tri Iodo Thyroxin  කියන හෝමෝන දෙක ශ්‍රාවය කරන්නේ. අපේ ශරීරයේ සියලුම පරිවෘත්තීය ක්‍රියා පාලනය වෙන්නේ ඒවා මගින්.

සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති විය හැකි රෝග තත්ත්ව

  • මන්ද පරාභතාවය (Hypothyroidism) – ප්‍රමාණවත් තරම් තයිරොයිඩ් හෝමෝන නොමැති වීම
  • අතිපරාභතාවය (Hyperthyroidism) – නිදහස් තයිරොයිඩ් හෝමෝන වැඩිපුර ශ්‍රාවය කරයි
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ව්‍යුහයේ ඇති වන අසාමාන්‍යතා – බහුල ලෙස ගලගණ්ඩය (Goiter) ඇති වේ. එනම් තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමාන්‍ය ලෙස විශාල වීමයි.
  • අර්බුද (Tumors) – පිළිකා හෝ පිළිකා කාරක අර්බුද ඇති වේ

මන්ද පරාභතාවය (Hypothyroidism)

ඒ කියන්නේ TSH, T4, T3 හෝමෝන සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වීමයි.

මන්ද පරාභාතාවයේ ලක්‍ෂණ

  • තෙහෙට්ටුව
  • බර වැඩිවීම
  • සීතල දරාගත නොහැකි වීම
  • වියළි, කැඩෙන හිසකෙස්
  • මතකයේ ගැටළු
  • නොසන්සුන් බව
  • මානසික අවපීඩනය
  • කොලෙස්ටරෝල් වැඩිවීම (රුධිරය)
  • නාඩි වේගය අඩු වීම
  • මළ බද්ධය
  • පේශී පෙරලීම
  • ආර්තව ගැටළු

මන්ද පරාභාතාවය ඇති වීමට හේතූ

  • Auto immune disease

උදාහරණ : Thyroid its තත්ත්වය දැක්විය හැකියි. මෙහිදී ස්වයං ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් නිපදවන ප්‍රතිදේහවලින් පටකවලට පහරදීම සිදු වේ. එවිට තයිරොයිඞ් පටකවලටද මෙම පහරදීමට ලක්වීමට සිදු වේ. මෙයට ආරයේ හෝ පාරසරික තත්ත්ව බලපායි. මෙම ප්‍රතිදේහ මගින් හෝමෝන නිපදවීමේ ක්‍රියාවලිය අඩු කරයි.

  • අති පරාභතාවය සඳහා විකිරණශීලී අයඩීන් ප්‍රතිකාරය හා ප්‍රති ඖෂධ ප්‍රතිකාරය
  • තයිරොයිඞ් ග්‍රන්ථියේ ශල්‍යකර්ම
  • විකිරණ ප්‍රතිකාර
  • ඖෂධ
  • ආරය
  • පිටියුටරි ග්‍රන්ථියේ ආබාධ

මන්ද පරාභාතාවය තත්ත්වය සඳහා ප්‍රතිකාර නොකළහොත්

වැඩිහිටියන්ගේ

  • කටහඬ ගොරෝසු වීම
  • මුහුණෙහි ඉදිමාව
  • ඇහි බැම නැති වීම හෝ කුඩාවීම
  • නාඩි වේගය අඩු වීම
  • ඇසීමේ දුර්වලතා
  • නීරක්තිය

දරුවන්ගේ

  • වර්ධනය දුර්වල වීම
  • දත් ඒම ප්‍රමාද වීම
  • මානසික වර්ධනය දුර්වල වීම
  • වැඩිවියට පත්වීම ප්‍රමාද වීම

දරුවන්ගේ මෙම තත්ත්වයන් වැළැක්වීම සඳහා උපන් විගස පැය 24-72 ඇතුලත විලුඹෙන් රුධිර සාම්පලයක් (ඉදිකටුවකින් විදීමෙන්) වෛද්‍ය පර්යේෂණායතනයට යවයි. එහිදී ප්‍රතිඵල දෙමාපියන් වෙත දැනුම් දී ප්‍රතිකාරවලට යොමු කරයි. එම දිනය මඟහැරී ගියහොත් ඉපදී 10 වන දිනයේදී ශිරා රුධිරය සාම්පලයක් ගෙන වෛද්‍ය පර්යේෂණායතනයට යවා ප්‍රතිඵල ලබාගනී.

ප්‍රතිකාර

  • තයිරොයිඞ් හෝමෝන ලබාගැනීම
  • තයිරොක්සින් නිපදවීමට අවශ්‍ය අයඩීන් ලබාදීම
  • ගර්භනී කාලයේදී විටමින් ගැනීම

අතිපරාභතාවය – Hyper thyroidsm

මේ තත්ත්වයේදී තයිරොයිඞ් හෝමෝනය තයිරොක්සින් අධික ලෙස නිපදවීම නිසා පරිවෘත්තීය වේගය වැඩි වේ.

අතිපරාභතාවයට හේතූ

  • Grave’s disease

ස්වයං ප්‍රතිශක්තීකරණ පද්ධතිය මඟින් නිපදවන ප්‍රතිදේහ මඟින් තයිරොයිඞ් ග්‍රන්ථි උත්තේජනය කර T4 වැඩිපුර නිපදවයි.

  • Plummer disease (Hyper function thyroid nodule – toxic adenoma)

මස් දල්ලක (Polup) ආකාරයට එකක් හෝ කිහිපයක් ඇති වේ. T4 හෝමෝනය වැඩිපුර නිපදවයි.

  • Thyroiditis

ගර්භනීභාවයෙන් පසු තයිරොයිඞ් ග්‍රන්ථියේ ප්‍රදාහයට පත්විය හැක. ස්වයං ප්‍රතිශක්තීකරණ පද්ධතියේ හෝ හේතුවක් නොදන්නා හේතූ නිසා විය හැකි තත්ත්වයකි.

අතිපරාභතාවය නිසා ඇති විය හැකි සංකූලතා

  • හෘද රෝග
  • අස්ථි බිඳීම
  • ඇස් පෙනීම දුර්වල වීම
  • රතු ඉදිමුණ සම

ගලගණ්ඩය – Goitve

තයිරොයිඞ් ග්‍රන්ථිය අසාමාන්‍ය ලෙස විශාල වීම සිදු වේ. වේදනා රහිත වුවද විශාල ගලගණ්ඩය මඟින් ගිලීමේ හා ස්වසන අපහසුතා ඇති වේ.

ලක්‍ෂණ

  • හැමවිටම ලක්‍ෂණ නොපෙන්වයි
  • බෙලේලේ පැහැදිලිව පෙනෙන ඉදිමුම
  • උගුරට තද ගතියක් දැනීම
  • කැස්ස
  • කටහඬ ගොරෝසු වීම
  • ස්වසන අපහසුව
  • ගිලීමේ අපහසුව

හේතූ

  • අයඩීන් ඌණතාවය
  • අතිපරාභතාවය
  • මන්ද පරාභතාවය
  • විශාල ගැටිති ප්‍රමාණයක් ඇති ගලගණ්ඩය
  • හුදකලා වූ එක් ගැටිත්තක් සහිත ගලගණ්ඩය
  • පිළිකා තත්තව
  • ගර්භනීභාවය – HCG හෝමෝනය නිසා
  • ප්‍රදාහය –

අවදානම් සාධක

  • ආහාර වල අඩංගු අයඩීන් ප්‍රමාණය අඩුවීම
  • කාන්තාවක් වීම
  • වයස අවු.40 ට වැඩිවීම
  • ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග ඉතිහාසයක් තිබීම
  • ගර්භනී භාවය හා ආර්තවභාවය
  • ඖෂධ නිසා
  • හෘද රෝග සඳහා – Amidarene
  • මානසික රෝග – Lithium
  • විකිරණ වලට නිරාවරණය

ප්‍රතිකාර – ඖෂධ ප්‍රතිකාර/ශල්‍ය ප්‍රතිකාර

තයිරොයිඞ් ග්‍රන්ථි අර්බුද Tumour in thyroid gland

ග්‍රන්ථියේ ඇති වන කුඩා ගැටිත්තක් අසාමාන්‍ය ලෙස වර්ධනයක් වේ. අවු.40 වැඩි පිරිමි 95% කට ඇති වේ. මේවා පිළිකා හෝ පිළිකා නොවන ඒවා වේ.

පිළිකාවක නම් පහත ලක්‍ෂණ හමුවේ.

  • ඉක්මණින් වර්ධනය වන බෙල්ලේ ඇති වන ගෙඩියක්
  • බෙල්ලේ ඉදිමුම
  • බෙල්ලේ ඉදිරිපස වේදනාව – කන දක්වා පැතිරේ
  • කටහඬ ගොරෝසුවීම
  • ගිලීමේ අපහසුව
  • ස්වසන අපහසුව

ප්‍රතිකාර

  • ශල්‍යකර්ම
  • පිළිකා නාශක ඖෂධ
  • විකිරණ ප්‍රතිකාර
  • විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය

හේතූ

  • පැහැදිලි හේතුවක් නැත
  • ආරය
  • අයඩීන් ඌණතාවය
  • විකිරණ වලට නිරාවරණය වීම

තයිරොයිඞ් ග්‍රන්ථියේ ගැටිති – Thyroid Nodules

  • කාන්තාවන්ට ඇති වීමේ ප්‍රවණතාවය පිරිමින්ට වඩා තුන් ගුණයකි
  • 30% අවු.30 කාන්තාවන්ට ඇති වේ
  • 40% තරුණ පිරිමින්ට ඇති වේ
  • සමහර ඒවායේ දියර පිරී ඇති අතර පටකවල වඩා වැඩිපුර ඇත. මේවා පිළිකා නොවන තරම්ය
  • බෙහෝ කාන්තාවන්ට මෙම තත්ත්වය ඇතිවන්නේ අවු.50 දීය
  • 50% කාන්තාවන්ට අවු.50 අඩු තරමින් එක ගැටිත්තක්වත් පිහිටයි.

බොහෝ විට ලක්‍ෂණ ඇති නොවේ

  • පරීක්‍ෂණ වලදී අතට හසු නොවේ
  • CT Scan, MRI Scan, USS මඟින් නීරික්‍ෂණය කළ හැක.
  • කලාතුරකින් ඇති වන වේදනාව ගිලීමේ අපහසුව සමඟ පිළිකාවක් නොවුනද එහි සෛල කොටසක් ගෙන පරීක්‍ෂා කරයි (Biopsy)

ශල්‍යකර්ම අවශ්‍ය වන්නේ

  • ග්‍රන්ථිය විශාල නම්
  • ගිලීමේ හා ස්වසන අපහසුතා ඇත්නම්
  • FNA ffවීක්‍ෂාව මඟින් පිළිකා සෛල ඇති බව දැනගත් විට
  • ගැටිති කිහිපයක් ඇති විට ශල්‍ය කාර්ම වෙත යොමු වීමට සිදුවේ.

||කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.||

සහයෝගයෙන් ඉගෙන ගන්න

දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලදී වුනත් සහයෝගයෙන් වැඩ කිරීම ඉතා සාර්ථක බැව් දැන් විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දෙන කරුණක්.විෂය කරුණු කාරනාවන් සාකච්ඡා මගින් සිදු වෙන විට එය තනියම ඉගෙන ගන්නවාට වඩා සාර්ථකව ධාරනය කර ගැනීමට පුලුවන්.නමුත් අපේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට බාල කාලයේදීම ලබා දෙන බලපෑම නිසා අද හැම දරුවේම වගේ පාඩම් වැඩ කටයුතුවලදී හුදෙකලාව සිටින්නනට කැමැත්තක් දක්වනවා.බෙදා හදා ගැනීම දරුවන්ගේ ජීවිතයට ඉතාම ඵලදායක ලෙසින් බලපාන බවට වූ මේ අධ්‍යනය  සිදු කරනු ලැබුවේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය ‘‘Patricia K. Kuhl “ඇය විසින් මේ අධ්‍යනය නම් කරනු ලැබුවේ ‘‘Two are better than one  “යනුවෙනුයි.

මෙහිදී ඔවුන් දරුවන් කොටස් දෙකකට බෙදුවා. එක් කොටසක් වෙනුවෙන් වීඩියෝ දර්ශනයක් ප්‍රදර්ශනය  කිරීමෙන් පසුව තවත් අයගේ සහභාගීත්වයෙන් මේ වීඩියෝව නැරඹීමට අවස්ථාව දුන්නා. සෙසු පිරිසට තනිවම නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. දැන් ප්‍රශ්න  වාරය ආවා…සාමුහිකව මේ වීඩියෝව නරඹන ලද දරුවන් විසින් ඉතා සාර්ථකව අදාල පිලිතුරු ලබා දුන් අතර තනිවම වීඩියෝව නැරඹූ දරුවන් එතරම් සතුටුදායක ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

ඒ අනුව පර්යේෂකයින්ට  පෙනී ගියේ දරුවන්ගේ චාලක ක්‍රියා වර්ධනයට සමුහයක් විදිහට කටයුතු කිරීම හුදෙකලාව කටයුතු කරනවා වඩා සාර්ථක බවයි.ඒත් අද පංතිකමරයක් තුළ දරුවන්ට මේ පුරුදු වගා කිරීමට ඉඩක් නැහැ. අම්මා තාත්තා උදේට දරුවා පාසලට එවන්නේ ඔයාගේ පොත අනිත් අයට පෙන්වන්න එපා යන අවවාදයත් සමගයි. ඒ වුනත් සහයෝගයෙන් සහ සාකච්ඡාවෙන් කටයුතු කලොත් අසීරු විෂය කරුනු වුනත් බොහාම සරලව හිතට වැටහේවි.අපේ දරුවන් අතර ඉගෙනුම් කටයුතුවලදී සහයෝගය මොන තරම් දුර්වලද කිව්වොත් අඩුම වශයෙන් තම දරුවාගේ හොඳම යහළුවාටවත් නොපැමිනි දනක සටහනක් හෝ වෙනත් අවශ්‍ය දෙයක් හුවමාරු කර ගැනීමට එතරම් උනන්දුවක් නැහැ.ඒත් මේ වගේ අම්මලාත් සිටිනවා.

තම දරුවාගේ මිතුරන් පාසලට නොපැමිනි දිනට ඇය දුරකථනය ඔස්සේ එදින පංතියේ ඉටු කරන ලද විෂය තොරතුරු දැනුම් දීමට දරුවා උනන්දු කරනවා වගේම සටහන් වැනි දේ ඡායාපිටපත් කර එදින නොපැමිණි මිතුරියට ලබා දෙනවා. ඒ තරම් මේ අම්මා අනිත් දරුවන්ගේ ඉගෙනුම් කටයුතු ගැනත් සංවේදී වුනා. මේ සත් ක්‍රියාව ඇගේ දරුවන්ටත් ඇස් පනා පිටම ලැබී තිබෙනවා. ඇගේ දියණිවරුන් දැන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා.ඉතින් අධ්‍යාපනයේදී සහයෝගයෙන් කටයුතු කරද්දී අනවශ්‍ය විදිහට පීඩනයක් නැහැ.ඒ නිසා දරුවාටත් සැහැල්ලු මානසිකත්වයකින් තමන්ගේ අධ්‍යාපනය කර ගැනීමට බාධාවක් ඇති වෙන්නේ නැහැ.සාමුහිකව කටයුතු කරන නිසා වෙහෙසකර තරඟයෙන් දරුවා ඉවත් වෙනවා. හැම දෙනාම අදාල ඉලක්කය ජයගන්නවා ඒක පුද්ගල උත්සාහයන් අවම වෙනවා.

මේ නිසා අනෙකා පරදවා දුවන වෙහෙසක් නැහැ.ඔවුන් දිව්වත් දුවන්නේ තම කණ්ඩායමත් සම්බන්ධ කර ගෙනයි.සහයෝගය පිලිබඳ සංකල්පය අපේ හිතේ ගොඩනැගෙන්නේ ක්‍රිඩාව මුල් කර ගෙන වුනත් එය අධ්‍යාපනයටත් ඉතා සාර්ථක ලෙසින් ආදේශ කර ගැනීමට පුලුවනි.එවිට දරුවා මෙය දකින්නේ ප්‍රබලයා නැගී සිටීම නොව සාමුහික උත්සාහයෙන් දුර්වලයාද සමග ඉදිරියට යන ගමනක් ලෙසින්ය.අම්මා, තාත්තා එහෙමත් නැත්නම් වැඩිමල් සහෝදරයන්ටත් ඉගෙනුම් කටයුතුවලදී බෙදා හදා ගෙන කටයුතු කිරීමට අවසර දෙන්න..‘‘Patricia K. Kuhl “ගේ  ‘‘Two are better than one ‘‘ අධ්‍යන වාර්තා පත්‍රිකාව ඇසුරිනි

පුතුගේ ජයග්‍රහණයට අම්මාගෙන් ලැබුන දායකත්වය අගෙයි

උදේ පටන් කන්තෝරුවේ රාජකාරි සමග ගැටිල , හැන්දෑවට වෙහෙස මහන්සියෙන් ගෙදරට ඇවිත් ඔබ රාත්‍රියට ආහාර පිලියෙල කරද්දී පුංචි දරුවා බිත්තියේ කුරුටු බලි ඇන්දොත් ඇත්තටම ඔබට කේන්ති යනවා නේද…? දරුවාගේ මේ සිරිත ඔබේ පැත්තෙන් සාධාරණ කළත් එහි පසුවිපාක ගැන ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුලුවනි. බත්තරමුල්ල ප්‍රෙද්ශයේ පදිංචි සිටින දිනුග මෙම චිත්‍ර තරගයට ඉදිරිපත් වූයේ, පෙර පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීය

 

“අවුරුද්දයි මාස දෙකේ විතර ඉඳල පුතා ඩේ කෙයා එකක හිටියෙ, අපි දෙන්න ම ඔෆිස් යන හින්දා. ඊට පස්සේ ඩේ කෙයා එකේ ඉඳන් ඇවිල්ලා මං හවස උයනකොට එයාට වෙන වැඩක් කෙරෙන්නේ නෑනේ. මට බලන්න වෙන්නෙත් නෑ. බිම, බිත්තිවල ඒ ඔක්කොගේ ම කුරුටු ගානවා. ඊට පස්සේ පොත්වල. සමහර දවස්වලට එක දවසට මුළු පොතක ම කුරුටු අඳිනවා,” චමිලා එදිරිසූරිය සඳහන් කළා..

 

චමිලා එදිරිසූරිය නැමැති මේ අම්මාගේ වැඩිමහල් පුතා දිනුග ද සිල්වාගේ වයස අවුරුදු පහයි.හැබැයි තම පුතු බිත්තියේ කුරුටු බලි ඇන්දාට මේ අම්මා පුතුට ඒ ගැන තහනම් නියෝග පැනවුයේ නැහැ. ඒ නිසාම දරුවා අත දිග ඇරලා හිතේ හැටියට බිත්තියේ සිතුවම් ඇන්දා. ළමා මනෝ වෛද්‍ය විද්‍යාව අනුව ද දරුවන් බිත්තිවල කුරුටු ගෑම ආදී ක්‍රියාකාරකම් නතර කිරීමට උත්සහ කිරීම ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට බාධාවක් වන බව හඳුනාගෙන තියෙනවා..

ඒ වගේම පුතාගේ චිත්‍රවලත් යම් වටිනාකමක් තියෙන බව අම්මාටත් තේරුම් ගිහින් තිබුනා. දරුවාගේ හැකියාවන් ගැන සියුම් විදිහට හඳුනන ඥානය අම්මාට තිබුන නිසාම දෝ අද දිනුග ද සිල්වා ජාත්‍යන්තර තලයේ චිත්‍ර ශිල්පියෙක් විදිහට සම්මාන ලබා තිබුනා.

ඒ වගේම චමිලා පුතුගේ හැකියාවන් ඉදිරියට ගෙන යෑමට ලබා දුන් සහයෝගයත් ඉතාම ප්‍රශංසනීයයි. කැලේ පිපුන මල් කැලේම පරවෙනවා වගේ තම පුතුගේ හැකියාවන් උපන් ගෙයිම නැති කිරීමට ඉඩ දිය යුතු නැහැ. ඒවා  ආරක්ෂා කර ගැනීමට අම්මාගෙන් ලැබුන දායකත්වය පුංචි පැටියාගේ වාසනාවක්…

එක් දවසක් චමිලා කන්තෝරුවේ රාජකාරි කටයුතුවල අවශ්‍යතාවයකට අන්තර්ජාලයට සම්බන්ධ වෙද්දී  කවුදෝ කෙනෙක් FAO Poster contest වෙබ් අඩවියට ගොස් තිබුණා.පුතාගේ හැකියාවත් දන්න නිසා අම්මා නිකමට වගේ මේ වෙබ් අඩවිය ගවේශනය කලා. එහි තිබුනේ වයස අවුරරුදු 5 සිට 8 අතර දරුවන් සඳහා පෝස්ටර් චිත්‍ර තරඟයක්. ඇයට තම පුතු සිහියට ආවා. චිත්‍ර මාතෘකාව විදිහට “Our Actions are Our Future. A Zero Hunger World by 2030 is possible,” යන තේමාව ලබා දී තිබුණා.

එදා හවස චමිලා තම පුතුට මේ අදහස ගැන කිව්වා.මේ තරඟය පැවැත්වුයේ ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. දිනුගගේ පෝස්ටර් නිර්මාණයේ දැක්වෙන්නේ, ලෝකයට ආහාර සපයන පලතුරු සහ එළවළු බීජ ලෝකයේ ම සිටුවා කුසගින්න තුරන් කිරීමය. වළාකුළු අතරින් එළවලු සහ පළතුරු වැටෙන අන්දම ඉතා වර්ණවත්ව වගේම ගස්වැල්, සහ නිල්පාට දිය පිරුන තැනක සතුටින් සිටින පවුලකුත් මේ චිත්‍රෙය් ඉතා අපුරුවට සිතුවමට නගා තිබෙනවා.

මේ තරඟයට රටවල් 118 කින් චිත්‍ර අටදහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුනා. ඒ සියල්ලම අභිබවා ප්‍රථම ස්ථානයට පත් වීමට දිනුග පුංචි පුතා සමත් වුණා.

ඔහුගේ මේ ජයග්‍රහණය අපේ රටටත් අභිමානයක්. එහි පංගුකරුවන් විදිහට මේ දෙමව්පියන්ද දායකත්වයක් ලබා දුන්නා. අන්තර්ජාලය ඔස්සේ තිබූ මේ අවස්ථාවට පුතුගේ සහභාගීත්වය ලබා දීමට මවගෙන් ලැබුන උනන්දුව ඉතාම වැදගත්. ජයග්‍රහණය ගැන අපට සහතික වෙන්න බැරි වුනත් දරුවාට මෙවන් අවස්ථාවක් ලබා දීමට දෙමව්පියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතාම වැදගත් බොහෝ දෙමව්පියන් මෙවන් අවස්ථාවන් දුටුවත්

‘‘ අනේ අපේ ළමයින්ට ඔය තරඟත් එක්ක හැප්පෙන්න බැහැ….“ කියන ස්ථාවරය ඔවුන් විසින්ම සහතික කර ගන්නවා. සමහර වෙලාවට දරුවා උනන්දු වුනත් දෙමව්පියන්ගෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. නමුත් දිනුගට මේ හැකියාවෙන් උපරිම ප්‍රෙයා්ජන  ගැනීමට අවශ්‍ය මග අම්මාගෙන් ලැබුනා. මේ ගැන අදහස් දක්වන දිනුගගේ මව කියා සිටියේ..ඉතා කුඩා කාලයේදී ම සිය දරුවා තමන්ට ගෞරවයක් අත් කර දුන් බවය.

“හැම අම්මා කෙනෙකු ම හිතන්නේ තමන් ඉන්න තැනට චුට්ටක් හරි තමන්ගේ දරුවා උඩට ගෙනියන්න ඕන කියලා නේ. දැන් මට හිතෙනව මෙයා මං ඉන්න තැනට වඩා ආඩම්බරයක් එයා මට දීලා තියෙනවා, අවුරුදු පහේදී ම.”

ඉතින් දිනුග පුතාට වාසනාවන්ත අනාගතයකට සුබ පතන ගමන් අපේ අම්මලා , තාත්තලාටත් මේ ජයග්‍රහණය ඉතා වටිනා පසුබිමක් වේවි. ඔබේ දරුවාගේ හැකියාවන් තිබෙනවා නම් ඒ ගැන හඳුනා ගන්න. පොත් පත්, පාට පැන්සල් විනාශ කරනවා කියන චෝදනාව නගන්න එපා.

ඒ වගේම දරුවාගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථාවන් ඔහුට සොයා දෙන්න. ඒ වෙනුවෙන් දරුවාගේ සහභාගීත්වය අගය කරන්න. එවිට ඔබේ දරුවාගේ සැඟවී තිබෙන හැකියාවන් ඉස්මතු වෙනවා වගේම දැනට ඔබ හඳුනාගත් හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමටත් පුලුවනි.

මානසික පීඩනයෙන් මිදී සතුටින් ජීවත් වන්නේ මෙහෙමයි

සතුටින් සිටින්න අපි හැම කෙනෙක්ම බොහොම කැමැතියි. ඒත් සතුට වුනත් අපිව සොයා ගෙන එන්නේ නැහැ. අපි සතුට සොයා ගෙන යා යුතුයි.”සතුටු වෙන එක ඉබේ සිද්ධ වෙන දෙයක් නොවෙයි, ඔබ ඒ සඳහා පුහුණු විය යුතුයි,” ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ලෝරී සැන්ටෝස් යේල් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ” “මනෝ විද්‍යාව සහ යහපත් දිවිය” ” නමැති පාඨ මාලාව එම විශ්වවිද්‍යාලයේ වසර 317ක ඉතිහාසයේ ඉතාම ජනප්‍රි වුනා. ඇය විසින් පවත්වන ලද මේ පාඪමාලාවට සිසු සිසුවියන් 1200 දෙනෙකු ලියාපදිංචි වූ ණා.

ඉතින් සතුට කියන්නේ විශ්ව සාධාරණ සිතුවිල්ලක්.අපි වුනත් වචනයට හෝ කියන්නේ සතුට තිබෙන්නේ හිතේ බවයි. සතුටින් සිටින්න නම් මානසික උත්සාහයක් අවශ්‍ය බව මේ මහාචාර්යවරියත් පෙන්වා දෙනවා. අනේ ඉතින් සතුටින් ඉන්නේ කොහොමද කියන සිතුවිල්ල ඔබට සිතේ ඇති වුනත් එය ඒ තරම් අපහසු දෙයක් නොවෙයි. නමුත් අපි සතුට සොයා ගෙන යා යුතුයි. දැන් අපි බලමු ලෝරි සැන්ටෝස් ගේ සතුට ලබා දෙන උපදෙස් ගැන…

  • ස්තුති කරන්න අවශ්‍ය පුද්ගලයන් ගැන ලේඛනයක් …...

අපිට දවස තුළ මොනම විදිහකින් හෝ උදව් කළ අය සිටින්න පුලුවනි. උදාහරණයක් විදිහට බස් රථයකදී ආසනයක් දුන් කෙනෙක් පවා අපිට කරන්නේ උදව්වක්. ඒ නිසා ඔබ දවස තුළ ඹබට කුමන හෝ විදිහකින් උදව් කළ අය ගැන ආවර්ජනය කරනන්. එවිට ඔබේ හිතට ඇති වෙන්නේ සතුටක්. නමුත් අද බොහෝ දෙනෙක්ගේ හිතේ යම් යම් අය ගැන අමනාපකම් පැසව පැසවා සිටීම නිසා හිතේ නිතරම තිබෙන්නේ නොමනාපයක් සහ ආවේගයන් පමණයි. ඔන්න අද පටන් ඔබට දවසේ ස්තුති කරන් න අවශ්‍ය අයගේ ලේඛනයක් ඔබ විසින්ම හිතින් පිලියෙල කර ගෙන එය ආවර්ජනය කරන්න.

  • පැය අටක නින්ද

නින්ද ගැන අපි ඒ තරම් සැලකීමක් නොකලත් නින්ද අපේ ජීවිතයට අවශ්‍යයි. දවල් වුනත් කෙටි නින්දක් ලැබීම මානසිකව යම් පිබිදීමකට හේතු වෙන බව දැන් විවිධ අධ්‍යනයයන් මගින් තහවුරුව තිබෙනවා.අද අපි අතර සමාජගතව තිබෙන තවත් මිථ්‍යාවකුත් තිබෙනවා. අපි හැමදෙනෙක්ම තමන්ගේ දවස බොහොම කාර්ය බහුල බව ප්‍රදර්ශනය කිරීමට කැමැතියි. ඒ නිසාම ඔවුන් තමන්ගේ වැඩ කටයුතු කල් තබා අවසාන කර ගන්නෙත් නැහැ. නිවාඩු දවසක වුනත් රාත්‍රි ආහාරය කලින් පිලියෙල කර ගෙන කා බී අවසාන කරන්න හැකියාව තිබුනත් ඔවුන් ඒ ගැන නොතකා සිටිනවා. ඒ නිසාම වේලාව නිකරුනේ ගෙවී යනවා. නමුත් අපි හැම දෙනකුටම පැය අටක නින්දක් අවශ්‍ය බැව් මේ මහාචාර්යවරිය සඳහන් කරනවා. ඉස්සර කාලයේ කාන්තාවන් වේලාසනින් තමන්ගේ වැඩ කටයුතු අවසාන කර ගෙන කලින් නින්දට ගියා. ඒ නිසා ඔවුන්ට උදෑසන අවදි වීම එතරම් ගැටළුවක් වුනෙත් නැහැ. ඒ වුනත් අද කාන්තාවන් මධ්‍යම රාත්‍රිය වෙන තෙක්ම විවිධ වැඩ කටයුතුවල නිරත වෙන නිසා ඔවුන්ට අළුයම පිබිදීමට තරම් හැකියාවක් නැහැ. ඒ නිසා සැපදායක නින්දත් ජීවිතයේ සතුට වෙනුවෙන් ඉතාම වැදගත්. වෛද්‍ය විද්‍යාත්මකව පවා වැඩි වේලාවක් නිදා ගැනීමෙන් විෂාදයෙන් (Depression) මිදෙන්න වගේ ම ධනාත්මක ආකල්ප වැඩි කර ගන්නත් පුළුවන් බව දැන් පිලිගත් සත්‍යක්.

  • භාවනාවක යෙදෙන්න.

භාවනාව කිව්වාම අපේ හිතේ ඇති වෙන්නේ ආගමික සංකල්පයක් වුනත් භාවනාවේ යෙදීමෙන් මානසිකව ඇති වෙන ඒකාග්‍රතාවය හිතේ සතුට වෙනුවෙන් හේතු වෙනවා. ලෝරී සැන්ටෝස් පවසන්නේ, තමන් අධ්‍යාපනය ලැබූ කාලයේ නිරන්තරයෙන් භාවනාවේ යෙදීම නිසා ඇයට වඩාත් පහසුවක් දැනුණු බවය.ඇය ලබා දෙන උපදෙස වන්නේ සෑම දිනක ම මිනිත්තු 10ක් භාවනාවේ යෙදෙන්න. එයින් ඔබේ හිත එකඟ කර ගැනීමට හැකි බවයි.ඒ වගේම භාවනාවේ යෙදීම සහ වෙනත් ක්‍රියාකාරකම් මගින් යම් කාර්යයක් සඳහා පූර්ණ අවධානය යොමු කළ හැකි ආකාරය ඇය සිය සිසු සිසුවියන්ට පෙන්වා දෙයි. එමගින් වඩාත් සතුටට පත් විය හැකි බව ඇය පවසයි.

  • මිතුරන් සහ පවුලේ අය සමග කාලය ගත කරන්න...

අද බොහෝ දෙනාගේ මිතුරන් බවට පත්ව සිටින්නේ සමාජ ජාලයේ මිතුරන් වුනත් ප්‍රියයන් සමග කාලය ගත කිරීම හෝ “සාර්ථක අන්තර් පුද්ගල සබඳතා සහ සමාජ සබඳතා” පවත්වාගෙන යාමෙන් යහපත් දිවි පෙවෙතක් වගේම සතුට උපයා ගැනීමට හැකියාව ලැබෙන බව ඇය පෙන්වා දෙනවා. මේ අධ්‍යනයටම සම්බන්ධ තවත් පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙන්නෙත් සමාජාල වලින් දුරස්වීම විශාදය වැනි මානසික රෝගවලින් දුරස්ථව ජීවත්වීමට හේතු වෙන බවයි.පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ ‘‘මෙලිස්සා හරට් “ විසින් සිදු කරන ලද මේ අධ්‍යනයෙන් පෙන්වා දෙන්නේ සමාජාල සමග සම්බන්ධතාවයන් වෙනුවෙන් සීමිත කාලයක් වෙන් කර ගෙන එය පාලනයකින් පවත්වා ගැනීම වඩාත් හිතකර බවයි. මහාචාර්ය ලෝරී සැන්ටෝස් පවසන්නේ, සමාජ මාධ්‍ය හරහා පවත්වන සබඳතාවලින් අපට ලැබෙන්නේ ව්‍යාජ සන්තෝෂයක් බවය. ඉන් ඈත් විය යුත්තේ ඒ හේතුවෙනි.

ඇගේ අධ්‍යනයට මානසික රෝගවලට ගොදුරුව සිටි පුද්ගලයින් 143 ක් දෙනා සම්බන්ධ කර ගත්තා. මේ රෝගීන්ට උපදෙස් ලබා දුන් පරිදි ස්නැප් චැට්, ෆේස් බුක්, සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙනුවෙන් එක් සමාජ ජාලයක් වෙනුවෙන් දිනකට විනාඩි 10 බැගින් සමස්ත විනාඩි 30 ක කාලයක් ලබා දුන්නා. සති තුනක් අවසානයේදී පෙනී ගියේ මේ රෝගීන්ගේ මානසික රෝග තත්වයේ සතුටුදායක ලෙසින් අඩු වෙන ප්‍රවනතාවයකට පත්ව තිබුන බවයි. ඇගේ පර්යේෂණ ප්‍රතිඵල මේ වෙන විට මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.මේ අනුව අපිට පෙනී යන්නේ සැබෑ සතුට රැඳී තිබෙන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් මත බවයි.

ඊවා ඔන්ටිවිරෝස් (බීබීසී ලෝක සේවය)

නොදන්නා සහ අනුන් කරන නිසාම සිදු වෙන ආහාර නාස්තිය

ඉස්සර කාලයේ අම්මලා දරුවන් බත් ඇටක් බිම දමනවා දුටුවොත් කතා බහ කරන්නේ එය පාපයක් විදිහටයි. ඔවුන් ඒ වෙනුවෙන් පසුබිම් සාධකත් පෙන්වා දුන්නා. වී වපුරපු තැන පටන් අපේ පිගානට බත් ටික එන තෙක් වූ කාර්යන් වෙනුවෙන් තමන්ගේ දහඩිය මහන්සිය කැප කරන පිරිස බොහොමයි. ඒ නිසා අපි ඔවුන්ගේ දහඩිය ගැන නොතකා ආහාර ඉවත දැමීම පාපයක් විදිහට සාධාරණීය කරනු ලැබුවා.

හයක් හතරක් නොතේරෙන පොඩි එකෙකුට වඩා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන යෞවනයන් අතරත් ආහාර නාස්ති කිරීමේ පුරුද්ද නොඅඩුවම දකින්න ලැබෙන බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ මානව පෝෂණ අංශයේ පර්යේෂකයින් පිරිසක් විසින් මේ අධ්‍යනය සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් තෝරා ගත්තේ වයස අවුරුදු 18 සිට 24 අතර වයස් කාණ්ඩයේ සරසවි සිසුන් පිරිසක්. ඉතින් මේ තරම් බුද්ධිමත් පිරිසක් දුන්න පිලිතුරු නම් ඉතාම ලාමකයි.

ඉලිනොයිස් විහ්ව විද්‍යාලයේ කසල බඳුන් ඉවත දමන ආහාර වලින් පිරී ඉතිරෙන නිසා මේ විදිහට ආහාර අපතේ හරින්නේ ඇයිද යන ප්‍රශ්නය ශිෂ්‍යින් වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. ඔවුන්ගෙන් ලද පිළිතුර ඇහුවොත් ඔබ විමතියට පත් වේවි…

  • ආහාර අපතේ දැමීම නුසුදුසු බව අපි දන්නේ නැහැ…
  • ඇයි ඉතින් හැම දෙනෙක්ම අපතේ දාන නිසා අපිත් ඒ විදිහට ඉවත දමනවා…

මේ කතාවේ සුල මුල කොහොම වුනත් තමන්ට අවශ්‍ය පමණට වඩා ආහාර බෙදා ගැනීමේ නරක පුරුදු ගැන අපිටත් ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. උත්සව අවස්ථාවකදී බොහෝ දෙනෙක් ආහාර බෙදා ගන්නේ වේල් හත් අටකට සෑහෙන විදිහට වුනත් ඔවුන්ට මේ ප්‍රමාණය ආහාරයට ගන්න අපහසුයි. ඒ නිසාම ඔවුන් බොහෝ සේ අපතේ දමනවා. ඔබට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගෙන තවත් උවමනා නම් නැවත බෙදා ගන්න පුලුවනි. ඒත් බොහෝ දෙනෙක් කියන්නේ ‘‘ අනේ ආයේ වතාවක් යන්න බැහැ…මං එකවරම බෙදා ගත්තා…ඒත් එකවර බෙදා ගත් ප්‍රමානය ආහාරයට ගැනීමට නොහැකිව ඉවත දැමීම ගැන නම් අපිත් ඔවුන්ට චෝදනා කළ යුතුමයි. ඒ ඇයි කිව්වොත් නිදහසේ තමන්ගේ අවශ්‍ය පමණට බෙදා ගැනීමට නිදහස තිබියදී මේ විදිහට අපතේ යැවීම ගැන නම් නිදහසට කරුණු නැහැ.

මුලින් කී මාතෘකාවට නැවත ගියොත් මේ අධ්‍යනය සිදු කරනු ලැබුවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ  උක්ත අධ්‍යනයේ ප්‍රධාණී Cassandra Nikolaus සඳහන් කරන්නේ වැඩිහිටි දරුවන්ගේ මෙම පුරුද්ද ඇමරිකා එක්සත් ජනපදයේ අනවශ්‍ය ලෙසින් ආහාර නාස්තියට බලපෑ ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි. මෙම අධ්‍යන වාර්තාවට සම්බන්ධව සම කර්තෘත්වය දරණ Ellison says. පෙන්වා දෙන්නේ මේ වැඩිහිටි ශිෂ්‍යයින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර පිසගැනීමට තරම් දැනුවත්වීමක් ලබා නැති බවයි. තමන්ගේ වේලට අවශ්‍ය එළවලු, පළතුරු පංගුව ගැනවත් වැටහීමක් ඔවුන්ට නැති බැව් පර්යේෂකයින් විසින් හඳුනා ගත් තොරතුරු ලෙසින් ඉදිරිපත් කර තිබේ.

ඒ වගේම මේ පුරුදු කුඩා කාලයේ පටන්ම දරුවන්ට පුරුදු කිරීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් දරුවන්ගෙන් වගේම දෙමව්පියන්ගේත් දායකත්වය අවශ්‍ය වෙනවා. අම්මලා වුනත් දරුවන්ගේ කෑම පෙට්ටියට වැඩියෙන් ආහාර තැන්පත් කරන්නේ ‘‘ අනේ මදි වුනොත්…කියන අනුකම්පාවෙන්. ඒත් ඔබ දරුවා ගැන වගේම දරුවාගේ කුස ගැනත් අවබෝදයෙන් සිටින මවක් විය යුතුයි. සමහර අවස්ථාවලදී නම් ආහාර නැති කෙනෙුට බෙදා ගෙන කන්නත් යම් අතිරේක පංගුවක් එවන්නත් පුලවනි. ඒ නිසා ආහාර අපතේ නොයන විදිහට මේ සිදුවීම් ගලපා ගැනීමත් ඉතාම වැදගත්.

ඇතැම්  පාසල්වල ගුරුවරුන් ආහාර නාස්තියට වගේම දරුවා පාසට ගෙනෙන ආහාර පංගුව ඉවත දැමීමට දෙන්නේ නැහැ. ආහාර ගෙන කෑම පෙට්ටිය ගුරුතුමාට පෙන්වීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ නිසා ආහාර ඉවත දැමීමට අවසරයක් නැහැ. පුංචි පංතිවල පටන් මේ සිරිත වගා කෙරුනොත් ඔවුන් උස් මහත් වෙද්දී මේ පුරුදුත් ඔවුන් සමග වර්ධනය වෙනවා. ඒ නිසා පුංචි කාලයේ පටන්ම ආහාර නාස්තිය නොකල යුතුය යන්න ගැන දරුවන්ට පැහැදිලි කර දීම ඉතාම වැදගත්.

ඒ විතරක් නොවෙයි, සාමාන්‍ය ආපනශාලාවකින් ආහාර මිලට ගනින්දී වුනත් තමාට අවශ්‍ය වන්නේ එකක්ද එසේ නැත්නම් දෙකක්ද යන්නවත් හඳුනා ගැනීමට තරම් හැකියාවක් මේ පිරිසට නොමැති බැව් පෙනී ගොස් තිබේ. ඒ නිසාම ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කසල බැහැර කිරීමත් පාලනය කිරීමට අපහසු තරම් ගැටලුවක් බවට පත්ව තිබෙන බැව් ඔවුන් අධ්‍යනයෙන් හඳුනා ගත් තොරතුරු ලෙසින් දක්වා තිබෙනවා. ඔවුන්ගේ මෙම වාර්තාව Appetite [DOI: 10.1016/j.appet.2018.07.026] මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ACES NEWS.වෙබ් අඩවියේ Why are young adults wasting so much food? Study looks at perceptions and food behaviors

සිංහල අලුත් අවුරුද්ද

කොහාගේ ගී නාදයත් එරබදු මල් වියනත් සමග තවත් අලුත් වසරක් එළැඹෙන බවට වූ පනිවිඩය අපට ලැබෙනවා. එදා ගැමි ජීවිතයේදී ගස් , වැල් , මල් පලින් බරවීමත් ,අස්වනු නෙලා ගෙන අටු කොටු පුරවා ගැනීමත් සමග වූ සමෘද්ධියත් නිසා අලුත් අවුරුද්ද බොහොම ප්‍රිතිමත් වුනා. ඒ වගේම මහපොළව සමග හැපෙන ඔවුන්ට යම් හාරිරික විවේකයක් ලැබෙන මේ කාලයේදී මානසිකවත් අලුත් වීමටක මුල පුරන බක්මහ වසන්තය ඉතාමත් සතුටුදායක කාලයක් වුණා.

අවුරුද්දට පෙර සූදානම

අවුරුදු ලැබීමට පෙරාතුව තිබෙන පෙර සූදානම ඉතාමත්ම සුන්දරයි. ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම අද දවසේ නම් තීන්ත ආලේප කිරීම සහ සුද්ධ පවිත්‍ර කිරීමේ යුහුසුලුව නිසාම ඇති වෙන්නේ නවතම සුන්දරත්වයක්. තවත් පැත්තකින් තුන්සිය හැට පහක් දින ගෙවා එළැඹෙන මේ අලුත් අවුරුද්ද පිලිගැනීමට වූ සූදානමක් විදිහට නිවෙස් පිරිසිදු කිරීමට අනිවාර්යෙන්ම යොමු වෙන නිසා අපිරිසිදු බව නිසා අපේ සාමාන්‍ය ජීවිතයට විය හැකි රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබුණා.

අලුත් ඇදුම් ලැබෙනවා…

දැන් අම්මලා බොහොම උනන්දුවෙන් දරුවන්ට විතරක් නොවෙයි, ඔවුන්ගේ මව්පියන්ටත් , සහෝදරයන්ටත් වගේම සමීප ඥාතීන් වෙනුවෙනුත් ඇදුම් පැළදුම් මිලදී ගන්නවා. ඒ නිසා අන්තර් සමාජ සම්බන්ධතාවයන් නොදැනීම අලුත් වෙනවා. අනේ අපේ අම්මාට අලුත් ඇදුමක් අරගෙන දෙන්න ඕන කියන සිතුවිල්ල අපේ හිතේ තිබුනත් එය යථාර්ථයක් විදිහට ඉෂ්ට වේනනේ අලුත් අවුරුදු කාලයටයි. මේ කාලයේදී අපි බැඳී සිටින්නේ යුතුකම් සමග නිසා කර අරින්න වෙන්නේම නැහැ.පොඩි අයටත් අලුත් ඇඳුම් පැළඳුම් සහ තෑගි බෝග ලැබෙන නිසා අලුත් අවුරුදු කාලය මානසිකව බොහොම ප්‍රිතිමත් කාලයක්.

කැවිලි හදනවා…

තෙල් පැණි ඇත්නම්….කැවුම්ද පඤ්ඤං කිව්වත් ඇති නැති හැම දෙනෙක්ම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චිය ලිප තබනවා. කැවුම් ගැන බොහොම දෙනෙක් කොලස්ටරෝල් නිසා බියක් ඇති කර ගත්තත් කැවුම් ඉතා පෝෂණීය රසකැවිල්ලක්. හාල් සහ මුංඇට ප්‍රතිඔක්සිකාරක සහ පයිටොඊස්ට්‍රජන් රසායනයන්ගෙන් යුක්තයි.

කෝඳුරු කැවුම

මේ කාලයට කෝඳුරුවන් බහුලයි. මේ කුඩා සතුන් රෝග වාහකයන් නිසා අපේ පරිස්සමත් අවශ්‍යයි. ඒ නිසාමදෝ කෝඳුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන් කරනවා. එය වහලේ යටලීයේ එල්ලා තබනවා. දැන් කෝඳුරුවන් අපේ ඇස්වල නොවෙයි අර එල්ලා තිබෙන කැවුමේ ගිහින් වසනවා. ඒ නිසා ඇස් ලෙඩ වැනි සමිප්‍රේෂණ රෝග බෝවීමේ අවදානම නැති වෙනවා. මොන තරම් සූක්ෂම විදිහට කෝඳුරුවන්ගෙන් ආරක්ෂා වුනා නේද…?

අවුරුදු උදාවනොගතය හෙවත් සුර්යයා සංක්‍රාන්තියෙන් පසුව අවුරුදු උදාවේ මුල්ම සුබ කටයුත්ත ලිප ගිනි මෙලවීමයි. මේ වෙනුවෙන් වගකීම නිවසේ ගෘහණියට ලැබී තිබෙනවා. ඇය නැකැත් කරුවන් විසින් නියම කර තිබෙන වර්නයෙන් යුක්ත වස්ත්‍රෙයන් සැරසිලා අදාල දිශාව බලා ලිප ගිනි මොලවනවා. එයින් පසුව මුලින්ම පිස ගන්නේ කිරිබතක්. මේ කිරිබතට මුං, තල, උක්හකුරු, සහ කිතුල් හකුරු එකතු කර ගෙන පිස ගන්නවා.

ගණුදෙණු කිරීම සහ වැඩ ඇල්ලීම

ආහාර අනුභවයෙන් පසුව සිදු වෙන වැඩ ඇල්ලීමේදී  පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනවා. කාන්තාවන් ‘‘ වං මෝල් ඇල්ලීම ‘‘ කියන අන්මේ චාරිත්‍රයක් සිදු කරනවා. මෝල්ගස ගෙන වංගෙඩියේ යමක් කොටන චාරිත්‍රයක් වැඩ ඇල්ලීමේදී සිදු වෙනවා.ළිඳ සමග ගණුදෙණු කිරීමේදී කහ, දුරු, වී, සහල් බෙහෙත් බඩු, අගුරු කැට, තඹ කාසි, සහ සමන්පිච්ච මල් කීපයක් ළිදට දමා නැවුම් කළයකට දිය පුරවා ගන්නවා. මේ සිරිත සමග බැඳුන විද්‍යාත්මක සම්බන්ධතාවයකුත් තිබෙනවා. අගුරුවල ජලය පිරිසිදු කිරීමේ ගුණයක් තිබෙනවා. ඒ වගේම තඹ ජලය සමග සංයෝග වීමෙන් සිරුරට ගුණ ලැබෙනවා.

ආහාර අනුභවය

අපේ ලංකාවේ සතර කොනම හැම නිවසකම අවුරුදු සමරන උදවිය එකම වේලාවක් ආහාර ගන්නවා. අදාල නැකැත් වේලාවට කිරිබත් සහ කැවලි තබා ඇති මේසයේ පවුලේ පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර කැවීම සංකේතවත්ව සිදු කරනවා. සමහර ප්‍රෙද්ශවල කිරිබත වගේම හත් මාලුවක් පිලියෙල කරනවා. සාමුහිකව හැම දෙනාම එකම වේලාවක, එකම මේසයක වාඩිවී ආහාර ගැනීම අද සමාජවිද්‍යාඥයින් විසින් අගයන ක්‍රියාවක්. අපේ සිංහල ජන සංස්කෘතියේ මේ සිදුවීම අනාදිමත් කාලයක පටන්ම පැවැතුනා.

හිසතෙල් ගෑම

හිස මිනිස් සිරුරේ උතුම් බාගය සේ සැලකෙනවා. හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය, කෝවිල හෝ වෙදමහතෙක් වැනි ප්‍රභුවරයෙකුගේ නිවස මුල් කර ගෙන සිදු වෙනවා. හිස තෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනන්වා. තෙල් ගෑමේ ස්ථානයේ සුදු වියනක් බැඳ, බිමට පිරුවට දමා  ඒ මත පුටුවක් තබා තිබෙනවා. මේ වෙනුවෙන් ඇඳීමට වර්ණ හා දිහාවන් කල් තබා සකස් කර තිබෙනවා. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු වෙනවා. තෙල් නානු ආලේපයෙන් සිදු වෙන ස්නානයෙන් පසුව ඊළග නැකැත යෙදී තිබෙන්නේ රැකී රක්ෂාවන්ට පිටත්ව යෑම සඳහායි. එතැනින් පසුව නැවත සාමාන්‍ය ජනජීවිතයට අවතීරණය වීම සිදු වෙනවා.

සිංහල අලුත් අවුරුද්ද මුලුමනින්ම මානව සම්බන්ධතාවයන්ගේ බන්ධනය මත ගොඩ නැගී තිබෙනවා. හොඳ සිත් ඉදිරියට ගෙන යන, නොහොඳ සිත් හොඳ කරන සිංහල අලුත් අවුරුද්ද නිසා මානව සහජීවනයට විශාල ආලෝකයක් ලැබෙනු ඇත.

සිංහල අලුත් අවුරුද්දට කල් තබා සූදානම් වෙන්න

අපේ සාමාන්‍ය ජනවහරට අනුව නම් යම් දෙයක් වෙනුවෙන් අපේ පෙර සූදානම ඉතාම වැදගත්. කිසිම දෙයක් ආසන්න අවස්ථාවට එන තෙක් බලා සිටීම නුවණට හුරු නැහැ. ඊට හේතුව අන්තිම අවස්ථාවේදී අපි අපේක්ෂා නොකරන අන්දමේ විවිධ ගැටළු සහ කරදර ඇති වෙන්න පුලුවනි. ඒ නිසා හැම දෙයක් වෙනුවෙන්ම පෙර සූදානම ඉතාම වැදගත්. සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුත් අපේ කල් තබාම සූදානම් වීම ඉතාම වැදගත්.

  • ඒ කොහොමද…තවකල් තියෙනවානේ..

කල් තියෙන බව ඇත්ත.කාලය ගෙවෙන්නේ අපිට උවමනා විදිහට නොවෙයි. ඊටත් අවුරුද්දක් කියන්නේ අපිට අහඹුවෙන් ඇති වෙන අවස්ථාවකුත් නොවෙයි. ඒ නිසා සිංහල අලුත් අවුරුදු සිරිත් ඔබ දන්නවා නම් ඒ වෙනුවෙන් සූදානම මේ වෙන විටත් පටන් ගෙන අවසාන විය යුතුයි.

මුලින්ම ඔබට අවශ්‍ය තෑගි බෝග තෝරා ගන්න. බොහොම දෙනක් මේ අවස්ථාවන් ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.තව කල් තියෙනවානේ…කියමින් හිත හදා ගන්නවා.

ඒත් අන්තිමට කටයුතු ගොඩයි. සේරම එකට එකතු වෙලා. දැන් හුස්ම ගන්නවත් වේලාවක් නැහැ කියන මැසවිල්ල නගන්න පටන් ගනන්වා. අනේ තවම අවුරුදුවලට අඳින්නවත් දෙයක් ගන්න ලැබුනේ නැහැ. පොඩි අයටවත් මුකුත්ම ගන්න බැරි වුණා.

ඒත් අපිට අවුරුදු වෙනුවෙන් අලුත් නොවී ඉන්න බැහැ. ඒ නිසා අවුරුදු මිලදී ගැනීම අන්තිම මොහොතේ පටන් ගන්නවා. ඒ වෙනවිට හොඳ ඇඳුම් සේරම අලෙවි වෙලා අවසානයි. අපිත් යන්නේ හදිසියේ බවත් මොනවා තිබුනත් දැන් මිළට ගන්න බවත් වෙළෙඳ ප්‍රජාවත් දන්නවා. ඒ නිසා මිළ වුනත් නොවටිනා විදිහට ගෙවන්න සිදු වෙනවා.

අවුරුදු කටේ තියලා ඇඳුම් මිළට ගත්තොත් ඒවායේ යම් වෙනසක් වුනොත් මාරු කරගනන්වත් බැහැ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපේ ජාතික මහෝත්සවයක් නිසා සතියක් විතර කාලයක් අවුරුදු සමරන කොට නැවත මේ ආයතන විවෘත වෙන්නේ ටිකක් දින ගෙවී ගියාමයි. ඒ නිසා ඔබට යම් වෙනසක් වුනොත් ඒවා මාරු කර ගන්නත් අවස්ථාවක් නැහැ.

  • අවුරුදු වෙනුවෙන් කැවිලි හදනවා නම්

ඔබ සමීපයේ ඒ වෙනුවෙන් සැලසුමක් තිබෙනවා. කැවුම් බදිනවා නම් තෙල්, පැණි… වෙනත් කැවිලි හදනවා නම් ඒ වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය තිබෙනවා. අන්තිම මොහොත වෙන තෙක් සිටින විට සමහර අවස්ථාවලදී මේවායේ මිළ ඉහළ යෑම්, අමුද්‍රව්‍ය හිගයක් වැනි නොහිතන සිදුවීම් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබේ සැලසුමට අනුව කැවිලි පිළියෙල කරන දේවල් වුනත් නිවසේ ගබඩා කර ගැනීමත් ඉතාම වැදගත්.

  • කෙසෙල්කැන් ඉදවන්න..

අවුරුදු මේසයට කෙසල්කැන් අනිවාර්යයි. ඒ වගේම කෙසෙල් බොහොම ගුණ පළතුරක්. නමුත් අද කෙසෙල් ඉදවීමට යොදා ගන්නා කාබයිට් නිසා කෙසෙල් ගැනත් තියෙන්නේ බියක්. ඒ නිසා නිවසේදීම කෙහෙල්කැන් ඉදවා ගන්නත් පුලුවනි. එදා මේ කෙසෙල්කැන් ඉදවීම බොහොම විනෝදයක් වුණා. ඒ වෙනුවෙන් දුම් ගැසීම පුංචි අයගේ කටයුත්තක්. එයින් විශාල විනෝදයකුත් ඔවුන්ට ලැබුණා.කෙසෙල්කැනේ ප්‍රමාණයට වලක් සකස් කරලා ඒ වලේ අඩියටම පිදුරු දානවා. දැන් කෙසෙල්කැන මේ වලට බහා එහි මතුපිටට කෝටු වලින් කොටු කොටු වැටෙන සේ කෙසෙල්කැනට පස් නොවැටෙන විදිහට තබනවා. දැන් මේ කෝටු මතට පස් දමන අතර මැදින් මුට්ටියක හිලක් සාදා එය වල මැදින් තබනවා. පිදුරු ආදිය දමා මේ මුට්ටියට දුම් පත්තු කරල ඒවා කෙසෙල්කැන ඇති වලට යන සේ පිඹිනවා. වලෙන් පිටට දුම් එන්නේ නැති විදිහට සකස් කරන්න ඕන. දුම් එන තැන් තිබෙනවා නම් ඒවා නැවත පස් දමමින් වසනවා. මේ විදිහට උදේ හවස දුම් පිඹලා කෙසෙල්කැන ගොඩ ගනිද්දී කහපාට වෙලා. එතැන් පටන් කෙසෙල් කැන ඉක්මනින්ම ඉදෙනවා.

  • සමහර යුතුකම් කලින්ම කිරීමටත් පුලුවන්..

අවුරුද්ද වුනත් අපිට කාලය සමග ගණුදෙණුව ඉතාම වැදගත්. ඒ නිසා පවුලෙන් දුරස්ව සිටින දරුවන්ට තමාගේ නිවසේ කටයුතු සමග දුර සිටින දෙමව්පියන් බැලීමට යෑමත් අනිවාරයෙන්ම සිදු විය යුතු වුනත් මේ යුතුකම නොදැනීම මග ඇරෙන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ මව්පියන් දැක බලාගෙන ඔවුන් වෙනුවෙන් අවුරුදු තෑගි බෝග ලබා දීමට දැන් කාලය තිබෙනවා. අවුරුදු අවසානයේදී ඇති තදබදය සම පාරට බහිනවාට වඩා මේ සතිඅන්තවල දෙමව්පියන් බැහැ දකින්න අවස්ථාවක් තබා ගැනීම වඩාත් අගෙයි.

සහතික තිබුනාට සම්මුඛ පරීක්ෂණ අසමත්… ඒ ඇයි?

උසස් පාසලකට ගියත්, උසස්ම විදිහට විභාග සමත් වුනත් ඇතැම් දරුවන් සම්මුඛ පරීක්ෂණවලදී ඉතාම අසාර්ථක බව බ්‍රිතාන්‍යෙය් වාණිජ මණ්ඩලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා. එරට පුද්ගලික සමාගම් ආශ්‍රය කර ගත් මෙම අධ්‍යනය සඳහන් කරන්නේ ඔවුන්ගේ ආයතනයන්හි රැකියා වෙනුවෙන් ඉදිරිපත් වුන අපේක්ෂකයින්ගෙන් 78% ක්ම සම්මුඛ පරීක්ෂණයන්හිදී බෙහෙවින් අසාර්ථක ප්‍රතිචාර දක්වා ඇති බවයි. ඉල්ලුම් කරන සුදුසුකම් උපරිමයටත් ඉහලින් සසපුරා තිබුනත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ මෙම තරුණ කණ්ඩායම් සතුටුදායක ප්‍රතිචාර නොදක්වන බව අධ්‍යනයේ ප්‍රධාණී ‘‘ ජෝන් ලෝන්ඩර්න් “ සඳහන් කරනවා. තරුණ වයසේ සිටින මෙම දරුවන්ට සම්මුඛ පරීක්ෂණයන් වෙත සාර්ථකව මුහුණ දීමට නොහැකි වීමට බලපාන හේතු කීපයක් ඇති අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ යොමු කිරීම බාලේ පටන්ම අවශ්‍ය බැව් අමතක නොකල යුතුයි.

දරුවන්ගේ හුදෙකලා ජීවිතය

ඉස්සර කාලයේ දරුවන් හැදුනේ වැඩුනේ ලොකු සමාගමකයි. අම්මා , තාත්තා වගේම නැන්දා , මාමා , පුංචි අම්මා, බාප්පා සමගයි. ඒ නිසා ඔවුන්ට ලොකු කණ්ඩායමක් සිටියා. ඒත් අද මේ පවුල විතැන් වෙලා. ඒ නිසා දරුවන්ගේ සාජයත් බොහොම සීමිතයි. ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ බොහොම සීමිත පිරිසක්. මේ හුදෙකලා මානසිකත්වය නිසා ඇති වෙන පෞරෂ දුර්වලතාවය සමාජයේ වෙනත් පිරිසක් ඉදිරියේද මුහුණ දීමට නොහැකි දුර්වලතාවයන් ගොඩ නගනවා.

 

සෙල්ලමක් ඇත්තේම නැහැ

පොතේපතේ වැඩකට කාලය ගෙවනවා මිසක සෙල්ලම ජීවිතයට අවශබ දෙයක් නොවේය කියන මග පෙන්වීම නිසා අද දරුවන්ගේ ජීවිත ඉතාම යාන්ත්‍රිකයි. පාසලෙන් අමතර පංතියට, අමතර පංතියෙන් නිවසට යන රටාව හැර වෙනත් රටාවක් ඇත්තේම නැහැ. නමුත් දරුවන් එලිමහනේ සෙලල්මේ යෙදෙන විට අදහස් ඉතාම හොදින් සන්නිවේදනය වෙනවා.එලිමහනේදී ඔවුන්ට කටේ හිරි ඇරලා කතා කරන්න පුලුවනි. නමුත් සිරවී ජීවත්වෙන දරුවාට ඒ හැකියාව නොමැති නිසා ඔවුන්ගේ සන්නිවේදන දුර්වලතාවයන් ඉතා පැහැදිලි විදිහට කැපී  පෙනෙනවා.

නිර්මානශීලී නැහැ

අද වගේ වෙවර්ණ සෙලල්ම්බඩු නොතිබුන යුගයක දරුවන් ඉතාම නිර්මානශීලි වුනා. ඔවුන් කාටුන් ලෝකයක අතරමං වුනේ නැහැ.පොල්පිත්තකින් ගොනෙක් කපා ගන්න,පැපොල් බටයකින් නලාවක් හදා ගන්න වගේ තැනට ඔබින විදිහට ඔවුන් සෙල්ලම් බඩු සාදා ගත්තා. අද බොහෝ කළමනාකරුවන් තමාගේ ආයතනයට සම්බන්ධ කර ග්නනා නවකයන්ගෙන් නිර්මාශීලීත්වයක් අපේක්ෂා කළත් ඔවුන් වෙතින් මේ හැකියාවන් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් තමන්ගේ ආයතනයේ තැනැක් ලබා දීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.කඩදාසියෙන් සුදුසුකම් පෙන්වා සිටියත් මේ තරුණ කණ්ඩායම් වෙතින් නිර්මානශීලී අදහස් පිලිඹිමු නොවන බව වාණිජ මණ්ඩලය පෙන්වා දනවා.

දරුවන් ස්වාධීන නැහැ

අපි අපේ දරුවන්ට උපරිම විදිහට සලකනවා යන සංකල්පයෙන් බොහොම දෙමව්පියන් තෘප්තිමත්. ඔවුන් කවා, පොවා පොත පතේ වැඩටත් මග පෙන්වලා දරුවන් ලොකු මහත් කරන බව හැබෑවක්. ඒත් මේ පිටුපසින් දිවෙන අහිතකර තත්වයක්ද තිබෙනවා. අම්මා , තාත්තා දරුවන් වෙනුවෙන් හැම දෙයක්ම ඉටු කිරීම නිසා දරුවන්ගේ පාර්ශවයෙන් ඔවුන් දුර්වලයින් බවට පත් වෙනවා.ස්වාදීනව කටයුතු කිරීමට නොහැකි නිසා මේ දුරවලතාවයන් සම්මුඛ පරීක්ෂන මණ්ඩල ඉදිරියේදී පැහැදිලිව පෙනෙන නිසා ඔවුන් තමන්ගේ ආයතනයට ගැලපෙන චරිත විදිහට සලකන්නේ නැහැ.මේ විදිහට දරුවාගේ චරිතයටම සම්බන්ධව තිබෙන විවිධ අඩු පාඩු මග හැරෙන විදිහට කටයුතු කළොත් අනාගතයේදී ඔවුන්ට තරගකාරී අවස්ථාවකදී කිසිම ගැටළුවක් නැතුව ඉදිරියෙන්ම සිටීම පහසුයි.

British Chambers of Commerce මගින් ප්‍රකාශයට පත් Tips For Interview Preparation ලිපිය ඇසුරිනි

මේ රස්නේ කාලේ තිබහ නිවන්න ඇඟට ගුණ දෙයක් බොමුද?

අව්ව වැස්ස මිනිසාගේ පැවැත්මට අවශ්‍ය පරිසර සාධක තත්වයක් වුනත් විටෙක මේ තත්වය නිසා ඇති වෙන පීඩාව බොහොම බලවත්. සෙබලෙක් පවා මේ උණුහුම් කාලගුණය නිසා මරණයට පත් වුන බව ඔබට මතක ඇති. එයින් දැඩි උණුහුම අපේ ජීවිතයට සිදු කරන බලපෑම ගැන අතුරු කතා තවත් අවශ්‍ය වෙන එකක් නැහැ.

රස්නයට බොහෝ දෙනා වතුරට වඩා වෙනත් පැණි බීම වර්ගවලට යොමු වෙනවා. පැණි බීම මේ වෙනුවෙන් එතරම් ගැලපෙන විකල්පයක් නොවෙයි. සිසිල් කරන ලද බීම ඊටත් වඩා අහිතකරයි. දරුවන් අතර පැණිබීමට තිබෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. බ්‍රිතාන්‍ය වැනි රටවල නම්  මිලිලීටර් 100ට සීනි ග්‍රෑම් පහකට වඩා අඩංගු පැණි බීම වෙනුවෙන් බද්දක් පැනවීමට පවා කටයුතු කර තිබෙනවා. අපේ නොදැණුවත්කම නිසා උණුහුමෙන් විපාක වින්දත් කිසිම අපහසුවක් නැතුව සහ අතමිටත් අමාරු නොවන විදිහට අපේ සිරුරට අවශ්‍ය ජලය සපයා ගන්න පුලුවනි.

රස්නය අපිට බලපාන්නේ කොහොමද…?

රස්නය නිසා අපේ සිරුරට දහඩිය දමන විට සිරුරට අවශ්‍ය ජලය නොලැබෙන නිසා ඇති වෙන ප්‍රතිඵල අපි නොදැනීම අපේ ජීවිතයට බලපානවා. රුධිරය මගින් සෛලවලට අවශ්‍ය පෝෂණ පදාර්ථ සහ ඔක්සිජන් සපයන අතර ඒ වෙනුවෙන් සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය අවශ්‍ය වෙනවා.

රස්නය වෙනුවෙන් යුෂ

පිපාසය දැනෙන විට ජලය පානය කිරීමට අපි පුරුදුව සිටියත් සිරුර විජලනය හෙවත් අවශ්‍ය පරිදි ජලය පවත්වා ගැනීමට කැරට් ඉතාම යෝග්‍යයි.  කැරට් විටමින් ‘ ඒ ‘ බහුල එළවලුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ( සිරුරේ විෂ සංයෝග උරා ගැනීමේ හැකියාව ) ගුණය මගින් සිරුරට අවශ්‍ය ජලය පමණක් නොව හමේ පැහැය ඉතා පහසුවෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පෝෂණවේදීන් සදහන් කරනවා.

තක්කාලි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පළතුරක්. හමේ වර්ණය වගේම හිරු එලියෙන් ඇති වෙන හම රැළි වැටීම වලක්වා ගැනීමට තක්කාලි සතුව තිබෙන හැකියාව අපි ඉවත දැමිය යුතු නැහැ.

දෙහි යුෂ ගැන අපි දන්නේ හොද්දට, සම්බෝලයට සහ සලාදයට ඇඹුල් එක් කරන කාර්යය ගැන පමණයි. එහෙමත් නැත්නම් උදරාබාධයට, අජීර්ණ අවස්තාවන්ට දෙහි යුෂ පානයෙන් ලැබෙන වාසිය බොහොමයි. නමුත් දෙහිවල අඩංගු විටමින් ‘‘ සී “ මගින් සමේ කොලැජන් ගොඩ නගන අතර තරුණ පෙනුම රැක ගැනීමට විශාල පිටුවහලක් සපයනවා.

දෙහි කුලයේම කොටස්කාරයෙක් විදිහට සැලකෙන දොඩම් පානයෙන්ද ලැබෙන ගුණය එසේ මෙසේ නැහැ. සිරුරට අවශ්‍ය දියර ගතිය විතරක් නොවයි, එක් දොඩම් වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ විෂ සංයෝග දුරු කරන අතර සමේ පැහැපත් බවත් ආරක්ෂාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.

පිපිඤ්ඤා කී සැනම දියර එළවළුවක් පිලිබඳ සටහනක් අපේ හිතේ ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය පරිදි ජලය ලබා දෙන අතරම සමේ දිලිසෙන ගතියත් ආරක්ෂා වෙනවා.

දෙළුම් යුෂ බොහොම මිහිරි පානයක් රුව රකින්නට සමත් දෙළුම් යුෂ මගින් රුධිරය පිරිසිදු කරන අතර සමේ දීප්තිය ඇති කරනවා.

මිදි යුෂවලත් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහලයි. තුවාල වියලීම සහ වයස්ගත වෙන විට ඇති වෙන සමේ රැලි ගතිය සහ අවර්ණවත් බවට එරෙහිව සිරුර සූදානම් කිරීමේ හැකියාවෙන් යුක්තයි.

නිවසේ පොල් ගෙඩිය බිඳලා වතුර  ටික අහකට දමනන් එපා. පොල් වතුරත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ඒ වතුර ඔබට ලබා දෙන ප්‍රයෝජන වචනයෙන් විස්තර කරන්න බැහැ.

කොමඩු යුෂ බොහොම ප්‍රණීතයි. සීනි නැතුව වුනත් පානය කිරීමට තරම් මිහිරි රසයකින් යුක්තයි. තදින් පිපාසය දැනෙන වේලාවක කොමඩු ආහාරයට  ගත්තොත් ඔබට එයින් දැනෙන සහනය අත්දැකීමෙන්ම දැනගන්න  පුලුවනි. චීනයේ දැඩි උණුහුම් කාලයට පුංචි දරුවන්ට කොමඩු ගෙඩිය ඇඳුමක  හැඩයට කපා අන්දවා තබනවා. එයින් දරුවා විජලනයෙන් ආරක්ෂාව ලබනවා.

ඒ නිසා මේ පායනා කලයේදී ඔබේ දරුවාගේ පිපාසයට ගුණ ලබා දෙන බොහෝ යුෂ වර්ග නිවසේදීම පිළියෙල කර ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. වෙරළු වුනත් සිහින්ව සූරා ගෙන යුෂ ලෙස දරුවාට වගේම වැඩිහිටියන්ටත් පානයට අපහසුවක් නැහැ.

styles at life ඇසුරෙන්