Home Blog Page 88

දරුවාට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුනොත්….

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත්  වුනා. දැන් ඉතින් දරුවන්ටයි දෙමව්පියන්ටයි බොහොම තීරනාත්මක කාලයක්. උසස් ලෙස සමත් වුන දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන සහතික වෙද්දී තවත් පිරිසක් බොහොම දෝලනාත්මක තත්වයට පත් වෙලා. තමන් ලබා ඇති ප්‍රමුඛතාවය අනුව අනාගතයේදී විහ්ව විද්‍යාල වරම තමන්ට ලැබෙයිද…? නොලැබෙයිද….? යන සැකයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ඒ වගේම යම් හෙයකින් මේ පිරිසට විශ්ව විද්‍යාල  අධ්‍යාපනය  නොලැබුනා කියමුකෝ…. ඒත් ඔවුන් අදක්ෂයින් නම් නොවෙයි.

විභාගයක පැය තුනක හෝ නියම කරන ලද කාලසීමාවකදී ඔවුන්ගේ දැණුම ආවර්ජනයෙන් ලබා දෙන මෙම ඇගයීම නිසා දරුවන්ගේ බුද්ධිය තීරණය වෙනවායැයි කියන්න බැහැ. දරුවා මේ සීමිත කාල සීමාවේදී හැසිරෙන සහ ඔවුන්ගේ ආවර්ජන හැකියාව මත ප්‍රතිපල රැදී තිබෙනවා.කොහොම වුනත් ශ්‍රී ලංකාවේ පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන්නේ, 14% ක් තරම් සුළු ප්‍රතිශතයකි.

උදාහරණයක් ලෙස ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2001 වසර සම්බන්ධයෙන් දක්වා ඇති දත්ත අනුව එම වසරේදී පළමු වසර සඳහා දරුවන් 330,385 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම වසරේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් සංඛ්‍යාව 48061 කි.

එසේ නම්, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන ඉතිරි 86% ක ප්‍රතිශතයක් නියෝජනය කරන දරුවන් බුද්ධිමත් නොවේද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ බී.බී.සී පුවත් සේවයට අදහස් ඉදිරිපත් කරමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට මොළය හෙවත් බුද්ධිය මැනීම සඳහා බොහෝ විට සිදු කරනුයේ, විභාග පැවැත්වීමයි. ලෝකයේ සෑම රටක ම විභාග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යන කඩඉම් විභාග සෑම වසරක ම පවත්වයි.මෙවැනි විභාගවලින් ජය ගැනීමට අපොහොසත් වන දරුවන් මානසික අවපීඩනයන්ට ලක්ව අධ්‍යාපනයෙන් පළා යන බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. විශේෂ ආබාධයක් නොමැති නම් බුද්ධියක් නොමැති කිසිදු දරුවෙකු ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ නොමැති බව ළමා මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. ඒ නිසා විභාගයකින් මනින්නේ දරුවා‍ගේ බුද්ධිය නොව ආවර්ජනයේ ඇති හැකියාව බැව් ඇය සඳහන් කරනවා.

හැම දරුවෙක්ම බුද්ධිමත්. ඔවුන්ගේ බුද්ධිය ප්‍රදර්ශනය වීමේදී යම් යම් වෙනස්කම් තිබෙනවා. දරුවන් අතර මේ තත්වය ඉතාම සුලබයි. සමහර දරුවන්ගේ බාල කාලයේදී පටන් පෙනෙන විශේෂ බුද්ධිමත් හැසිරීම් තිබෙනවා. ඒ නිසා අපිම වෙලාවකට මෙහෙම කියනවා.

පුංචි කාලේ ඉදලාම පුදුම මොළයක් තිබුනේ…

ඒත් සමහර දරුවන්ගේ බාල කාලයේදී නම් ඒ විදිහට විශිෂ්ට හැසිරීම් නොතිබුනත් කාලයත් සමග ඔවුන්ගෙනුත් යම් යම් විශේෂ හැසිරීම් ප්‍රදර්ශනය වෙනවා. මෙන්න මේ ‍කාලය ඉතාම වැදගත්. ඒ අන්දමින් විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කරද්දී අපෙනුත් දරුවන්ට යම් අභිප්‍රේරණයක් ලබා දීම වැදගත් එවිට ඔවුන්ගේ හැකියාවන් තව තවත් ඉස්මතු වෙන්න පුලුවනි. ඒ වගේම පුංචි කාලයේ විශිෂ්ට හැකියාවන් තිබුනත් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාර ඉදිරියේ මේ තත්වය වෙනස් වීමටත් ඉඩ තිබෙනවා. ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.

ඒ නිසා කිසිම දවසක පංතියේ ලකුනු අඩු වුනොත් “මේ ළමයා නම් උපන්ගෙයි මෝඩයෙක්…” කියල ලේබල් කරන්න එපා. “අනේ අපේ සල්ලි…” යැයි පසුතැවිලි වෙන්නත් එපා.පුංචි කාලයේදී නොපෙන්වූ හැකියාවන් කාලයත් සමග දරුවා හැදෙන වැඩෙන පරිසරයෙන් ලැබෙන උත්තේජන මගින් වැඩි දියුනු කර ගැනීමට පුලුවනි. උසස් පෙළ කඩඉමත් ඒ විදිහටම විසදා ගන්න පුලුවනි. අපේක්ෂිත ප්‍රතිඵලය තුන්වැනි වතාවටත් නොලැබුනොත් එතැනින් ජීවිතය පටන් ගත යුතුයි.

බොහෝ දෙමව්පියන් සහ දරුවන් මානසික බිඳ වැටිල මෙතැනින් ඔබ්බට ජීවිතයක් නැතැයි යන තරම් සංකුලතාවයන්ට පත් වෙනවා. ඒත් අපි නැවත මෙතැනින්ම නැගී සිටිය යුතුය යන සිතුවිල්ල ඇති කර ගැනීමට වෙහෙසෙන්නෙත් නැහැ. ඒත් එය ඉතාම වැරැදි සහ අනුවණ ක්‍රියාවක්.

ඒ නිසා උසස් පෙළ කඩඉමේදී යම් පසුබෑමක් තිබුනොත් එතැනින් සියල්ල අවසාන නැහැ. දරුවන්ට ඔවුන්ගේ කැමැත්තට අනුව වෙනත් විකල්පයක් වෙත යොමු වෙන්න පුලුවනි. නොලැබුන දෙය හොඳම දෙය යැයි නොසිතා ජීවිතය ජය ගැනීමට හැකියාව ඇති මාර්ගයක් වෙත යොමු වීම වඩාත් සුදුසුයි. සෝද සෝද මඩේ දානවා වගේ පෙර වැරැදි දැන් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ විශ්ව විද්‍යාලයට තේරීමේදී දැනෙන  අවදානමක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් යොමු විය යුතු මගක් තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීම මිස තව තවත් ලතැවෙමින් කාලය ගෙවීම නොවේ.

“සතුට” වැඩදායී දරුවෙක් බිහිකරන්නේ මේ විදියට

දරුවෙක් සතුටින් සිටිනවා නම් දෙමව්පියන් විදිහට අපි නොදැනීම ඔවුන්ගේ පෞරෂයේ බොහෝ සංවර්ධනයන් සිද්ධ වෙන්න පුලුවනි. ඒවා අවවාද වලටත්, දඬුවමටත් කළ නොහැකි වගේම දරුවෙකුගේ ජීවිතයට වඩාත් ශක්තිමත් අත්තිවාරමක් වගේම ඔවුන් මනසින් නීරෝගී පුද්ගලයන් බවට පත් වීමටත් හේතු වෙනවා.

සතුටින් සිටින දරුවාගේ මනස නිතරම නිරවුල්…

සතුටින් සිටින විට දරුවාගේ මනස බොහොම නිරවුල්. වැඩිහිටියන් විදිහට අපිටත් එහෙමයි නේ.ඔහුට කිසිම සංකාවක් හෝ ශෝකතුල බවක් නැහැ. දරුවන්ටත් දුක දැනෙ න අවස්ථාවන් නැතුවාම නොවෙයි.

  • දෙමව්පියන්ගේ දුරස් වීම හෝ මව එහෙම නැත්නම් පියාගේ මරණය
  • අපයෝජන
  • ලිංගික අපචාර

මව පියාගේ මරණය පාලනය කළ නොහැකි හේතුවක් වුනත් අපයෝජන, දෙමව්පියන් දුරස් වීම සහ ලිංගික අපචාර වැනි කටයුතුවලට දරුවා ගොදුරක් නොවෙන සේ කටයුතු කිරීම අපේ පැත්තෙන් සිදු විය යුත්තක්. ඒ නිසා නිතරම දරුවාගේ ආරක්ෂකයින් විදිහට දෙමව්පියන් ඔවුන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වැසීම කිසි සේත්ම පලක් නැහැ. දරුවා ලිංගික හෝ වෙනත් අපචාරයක ගොදුරක් වුනොත් ඒ පුද්ගලයා මරණ කොටන චේතනාවට වඩා තමන්ගේ දරුවා රැකබලා ගැනීම වැදගත්. එවිට ඔබේ දරුවා නිරවුල් මනාසිකත්වයකින් හෙට දවසට ලෝකයට එක් වේවි.

හොඳ පුරවැසියෙක් බවට පත් වීම…

අතීතයේදී යම් පුද්ගලයෙක් වැරැදි සහගත සේ හැසිරුන විට ඒ තැනැත්තා මුල් කර ගෙන දෙමව්පියන්ට චෝදනා නැගීම සාමාන්‍යයෙන් සිදු වුන දෙයක්. එහි වැරැද්දක් ඇත්තෙත් නැහැ. බාල කාලයේ පටන්ම දරුවාට හොඳ නරක කියා නොදුන් විට ඔවුන් නොමගට යෑමේ ප්‍රවනතාවයක් තිබෙනවා. ඒ නිසා දරුවන්ට යා යුතු මග නොමග කියා දෙන්න. එවිට ඔවුන් අනාගතයේදී ලෝකයටම ආශිර්වාදයක් වේවි.

මූලික පහසුකම් ලබා දෙන්න….

අම්මා තාත්තාට හැකියාව තිබෙනවා නම් ඔවුන් තමන්ගේ දරුවාට අවශ්‍ය හැම පහසුකමක්ම ලබා දෙනවා. එය ඇත්ත. ඒත් සමහර දෙමව්පියන් මේ ගැන වැඩිමනත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ආහාරපාන වුනත් එතරම් සැලකිල්ලකින් ලබා දීමට වගේම හැකියාව තිබුනත් දරුවාගේ අවශ්‍යතාවයන් ගැන මුල් තැන නොදෙන අවස්ථාවනුත් තිබෙනවා. පාසලේ වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ඇතැම් දෙමව්පියන්ගෙන් නොදැනීම මග හැරෙනවා. එවන් අවස්ථාවන් නිසා බොහෝ විට දරුවන් අසරණ වෙනවා. පංතියේදී ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය දේ නැති වුනාම වගේම සෙසු දරුවන් අතර ඒ දේවල් තිබෙනවා නම් ඔබේ දරුවා එතරනදී නොදැනීම අසරණබවට පත් වෙනවා. ඒ නිසා හිතට ඇති වෙන්නේ තමන් ගැනම අනුකම්පාවක්. පුංචි හිතට මේ වගේ මානසික තත්වයක් ඇති වීම එතරම් හොඳ තත්වයක් නොවෙයි. ඒ නිසා දරුවා සතුටින් තැබීමට නම් ඔබට හැකි අන්දමින් මූලික පහසුකම් ලබා දෙන්න. එසේ නොමැති නම් මේ පහසුකම් සලසා දීමට දෙමව්පියන් විදිහට ඔබ උනන්දුවක් දක්වන බව ඔවුන්ට ඒත්තු ගැනෙන සේ කටයුතු කරන්න.

එලිමහනේ සෙල්ලමට ඉඩ දෙන්න…

දරුවන්ට එලිමහනේ සෙල්ලම්  කිරීමට හැකි හැම විටම ඉඩ දෙන්න. ඒ තරම් සැහැල්ලුවක් දරුවාගේ මනසට තවත් නැහැ. ගස් කොල සෙලවෙන අන්දම, කුරුළු ගී නාදය, ඇල දොල ගලන හඬ මේවා දරුවන්ගේ මනසට මහත් වූ වින්දනාත්මක අත්දැකීම් ලබා දෙන ස්වභාවධර්මයේ දායාදයන් බව අමතක කරන්න එපා. ඒ නිසා අවස්ථාවක් ඇති විකෙවත් එලිමහනට දරුවන් කැටුව ගොස් රිසි සේ දුව පාන ඇවිදීමට අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න.

මිතුරනුත් එපා කියන්න එපා…

වයස අවුරුදු දහතුනක් පමණ වෙන විට දරුවන්ට මිතුරන්ට වඩා හොඳ සමාගමක් නැති වෙන්න පුලුවනි. ඒ නිසා අම්මා, තාත්තා නිතරම දරුවන් සමග සමීපව සිටින අතරම ඔවුන්ටත් මිතුරු සමාගමක් වෙනුවෙන් යම් අවස්ථාවක් ලබා දෙන්න.මිතුරු සමාගමක කටයුතු කරන විට ඔවුන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගෙන ගන්නා බැවින් ඔබේ අවධානය යටතේ හෝ මිතුරන් ඇසුරටත් දරුවන්ට ඉඩ දෙන්න. එය දරුවාගේ සතුටට හේතුවක්.

හැම ජන කොටසක් සමගම සහ‍යෝගයෙන්…

අද පාසලක එහෙම නැත්නම් පංතියක හැම ජන කොටසකම දරුවන් එකට ඉගෙන ගන්නා යුගයක්. ඒත් මේ දරුවන්ට මාලයක මුතු ඇට වගේ කිසිදු භේද බින්න  වීමක් නොමැතිව සහජීවනයෙන් කටයුතු කිරීම වැදගත් බැව් පහදා දෙන්න. මෑතකාලයේ ගොඩ නැගී ඇති විවිධ වාද භේද බොහොමයකට හේතුව වී තිබෙන්නේ අපේ හිත් සාමකාමී නොවීමයි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ඇසුරු කරන අය අතර වර්ගීකරනයන් ගොඩ නගා ගැනීම සුදුසු නොවන කටයුත්තක් බැව් පහදා දෙන්න. එයින් සමාජයේ ජීවත්විය යුත්තේ කෙසේදැයි දරුවා තේරුම් ගනු ඇත.

දරුවා රටේ සම්පතක්…

දරුවා රටේ සම්පතක් බැව් අපේ දෙමව්පියන්ටත් වැටහිමක් නැහැ. එහෙම තිබුනත් ඒ ගැන වැඩි අවධානයක් ලබා දීමටත් දෙමව්පියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දරුවා හෙටට ලෝකයේ වටිනාම සම්පත බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගිය දිනකදී තමා වැදගත් යන සංකල්පයෙන් කටයුතු කිරීමට දරුවාගේ හිතේ යම් පෙළඹවීමක් ඇති වෙනවා. ඒ නිසා දරුවා හෙට දවසේ සම්පත බැව් ඔවුන්ට දැනෙන සේ දෙමව්පියන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

අවුරුද්දකට දිනපොත් කැලන්ඩර කීයක් ඕනෙද?

මොනවද ඔය බරටම…. පුතාට පොත් ගත්තද….? ඇගේ මල්ල පිරී තිබුනේ පිලිවෙලක් නැති කඩදාසි රෝල් වලින්. ඒ අතර තවත් පොත් කීපයකුත් තිබුනා. දැනට පාසල් යන වයසේ දූ දරුවනුත් නැති මේ කාන්තාවගේ මේ තරම් කඩදාසි ගොන්නක්  මොකටදැයි මට හිතුනා. ඒත් මේ ප්‍රශ්නය ඇහුනේ ඇය මහත් අසීරුවෙන් මේ කඩදාසි ගොන්න සමග තිබුන අරගලය නිසයි.

නෑ අනේ කැලැන්ඩරයි…දින පොතුයි.

සමහර විට කැලැන්ඩර් සහ දිනපොත් ව්‍යාපාරයක් කරනවාදැයි අහන්න හිතුනත් මැදිවියත් ඉක්මවා සිටින ඇයගෙන් එවන් ප්‍රශ්නයක් ඇහුවොත් එය ඇගේ ගරුත්වයට හානියක් වෙන්න පුලුවන් නිසා මම නිහඩ වුණා.

ඒත් මේ තරමටම දිනපොත් සහ කැලැන්ඩර් මොකටදැයි මට තනියම හිතුනා. එක් දිනපොතක් වසරටම ඇති. ඒ වගේම උපරිම විදිහට කැලැන්ඩර් දෙකක් හෝ තුනක් නිවසකට මදිද…? නමුත් අද මේ වෙනුවෙන් ඇති අරගලය ඔබටත් මේ දිනවල සුලබ දසුනක් වෙන්න පුලුවනි.

සමහර විට හොඳ හිතත් නැති වෙනවා…

විශේෂයෙන් කන්තෝරුවල නම් මේ තත්වය ඉතාම සුලබයි. ගණුදෙණුකරුවන් ඒ ආයතනයට කැලැන්ඩර් සහ දිනපොත් ගෙනැවිත් දෙන්නේ කාර්යාලයේ හැම දෙනාටම බෙදා හදා ගන්න. ඒත් මේවා බොහොම වටිනා විදිහට සලකමින් සමහ අය තවත් කෙනෙකුට ඒවා බෙදා දීමක් කරන්නේම නැහැ. රහසේම සගවා ගෙන තුමූ පරිභෝජනයට පමණක් යොදා ගන්නවා. එය හෙලිදරව් වූවොත් එකම ආයතනයේ සේවයේ යෙදෙන අය අතර පවා මත ගැටුම් ඇති වෙනවා කියන්නේ වසර පුරාවටම කටයුතු කිරීමට සිද්ධ වෙන්නේ මේ නොහොඳ නෝක්කාඩු හිතත් සමගයි.

එකතු කිරීමටත් යනවා…

විශේෂයෙන් රජයේ කන්තෝරුවල උදවිය වසර අවසානයේදී සැපයුම්කරුවන් වෙතට ගොස් දිනපොත් සහ කැලැන්ඩර් ඉල්ලා සිටිනවා. එය එක් තැනකින් නවතින්නේ නැහැ. සියලු සැපයුම්කරුවන් වෙතට යන අතර ඒ වෙනුවෙන් වැය වෙන්නේ රජයේ ඉන්ධනයි. මෙසේ ලබා ගන්නා දිනපොත් සහ කැලැන්ඩර් ආයතනයේ අය අතර බෙදා  දීමකුත් නැහැ.

මේ වගේ ප්‍රශ්නත් අහනවා…

සමහර අය අනවශ්‍ය විදිහට කැලැන්ඩර් එකතු කරන විට “ගෙදර බිත්තිවල හිදැස් වහන්නද….?” වැනි උපහාසාත්මක ප්‍රශ්නත් නැගෙනවා. ඒත් එකතු කරන අයට නම් ලැජ්ජාවක් නැහැ. සාමාන්‍ය කට වහරට කියනවා වගේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා වැඩියිනේ… හැබැයි යාන්තමින් හෝ විනයක් තිබෙනවා නම් මේ එකතුකිරීම එතැනින් නවත්වනවා. ඒත් මේ කැලැන්ඩර් සහ දිනපොත් එකතු කරන අයගේ ඇබ්බැහිවීම නිසා උපහාස සහ අපහාස ඉදිරියේ වුනත් ඔවුන් තමන්ගේ පුරුද්ද නවත්වන්නේ නැහැ.

මේ තරම් කැලැන්ඩර් සහ දිනපොත් පුරවාගෙන මොකද කරන්නේ….

කැලැන්ඩරයක් සහ දිනපොතකින් ලැබෙන ප්‍රයෝජනය ඒ අවුරුද්ද ගෙවුනාම අවසානයි. අනවශ්‍ය විදිහට මේ ගොඩගැසීම නිසා කාලයත් සමග නිවසේ කුණු කසල ගොඩ ගැසෙනවා.. ඒ නිසා කෘමි සතුන් විතරක් නොවෙයි, අඳුරු අහු මුළු නිසා මදුරුවනුත් බෝවෙනවා. අනවශ්‍ය විදිහට ගොඩ ගසා ගැනීම් නිසා විශ්ව ශක්තියටත් බාධා ඇති වෙන බවටත් යම් යම් අදහස් තිබෙනවා. ඒ කොහොම වුනත් වටපිටාවේ තිබෙන කුණු කසලත් නිවසේ පුරවා ගෙන ඇති වෙන්නේ ඉතාම අපිළිවෙලක්.

දිනපොත් දරුවන්ට කුරුටු බලි අදින්න…

සමහර නිවෙස්වල පුංචි දරුවන්ට කුරුටු බලි අඳින්න, කෙටි සටහන් ලියන්න, කටුවැඩවලට කළමනාකරණ දිනපොත් පවා ලබා දෙන අවස්ථා තිබෙනවා. වසර මුලින් බොහොම දුක් කරදර විදගෙන ලබා ගත්තු දිනපොත් පාවිච්චියට ගත නොහැකි තැනට පත් වුනාම රුපියල් දහය දොළහකින් සිද්ධ වෙන කටයුතු වෙනුවෙන් ආදේශක විදිහට යොදා ගන්නවා.

ඒත් මේ වෙනුවෙන් වැය බරක් දරනවා…

ඉවක් බවක් නැතුව දකින දකින තැනින් දිනපොත් කැලැන්ඩර් එකතු කර ගෙන අන්තිමේදී නිකම්ම කුනු බක්කියට එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට විනාස කිරීම එතරම් හොඳ දෙයක් නොවෙයි, ඊට හේතුව මේ වෙනුවෙන් ආයතන විසින් වැයක් දරනවා. ඔවුන් මේ විදිහට දිනපොත් සහ කැලැන්ඩර් පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ බොහාම සද්බාවයෙන් ඔවුන් වෙනුවෙන් යම් ඇගයීමකින්. ඒ නිසා අපි ආයතන හිමියන්ගේ පාර්ශවයෙනුත් හිතන්න අවශ්‍ය වෙනවා.

නරක ආදර්ශයක්…

සමහර අවස්ථාවලදී තමන්ගේ දරුවන් සමග මේ තැන්වලට ගිහින් කැලන්ඩර් , දිනපොත් ඉල්ලමින් ආයතනවලට කරදර කරන වැඩිහිටියනුත් සිටිනවා. ඒත් මේ ආදර්ශය එතරම් සුදුසු නැහැ. සීමාවක් නැතුව මේ විදිහට කරන ලුහුබැඳීමට අනාගතයේදී දරුවනුත් හුරු වෙනවා. ඒ නිසා දිනපොත්, කැලැන්ඩර් සිඟමන ඔබේ අභිමානයටත් ගැලපෙන දෙයක් නොවෙයි. ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට වුනොත් එතැනින් නවතින්න. එක දිනපොතක් … උපරිම කැලැන්ඩර් දෙකක් හොඳටෝම ඇති.

දරුවාගේ අධ්‍යාපනයට උදව් වීමට දැන් හොඳම කාලයයි

අලුත් පාසල් වාරයක් විතරක් නොවෙයි, අලුත් පංතියක්… අලුත් පංතියේ වැඩ මුල පටන්ම ආරම්භ කළොත් කිසිම කරදරයක් නැතුව අවුරුද්ද අවසානයේ විතරක් නොවෙයි, කඩඉම් විභාග වුනත් පහසුවෙන්ම ජයගන්න පුලුවනි. මේ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ අධ්‍යාපනයට සහයෝගය ලබා දෙන්න. එවිට ඔබේ දරුවා අධ්‍යාපනයට ඇල්ල බැල්ම ඇති දරුවෙක් බවට නොදැනීම පත් වේවි.

අපි කිසිම කෙනෙක් නිරතම ඇනුම් බැණුම් මැසවිලි අහන්න කැමැති නැහැ. දරුවන්ටත් මේ තත්වය සාධාරණයි. ඒ නිසා නිතරම පාඩම් කරනන් යන විධානයට වඩා ඉගෙනීමේ අගය දරුවාගේ හදවතට ඒත්තු ගන්වන්න. අද දවස ඉගෙණුම වෙනුවෙන් කැප නොවුනොත් හෙට දවස ඔවුන් බලාපොරොත්තු වෙන ලෝකයට යෑම අපහසු බවත් සෙමින් සීරුවට කියා දෙන්න.

නිර්මාණශීලිත්වය ඇගයීම…

දරුවන්ගේ නිර්මාණශීලීත්වය සැගවී තිබෙන්නේ ඉතාම සියුම් අපිට නොපෙනෙන විදිහටයි. නිවසේ ඇති මෝටර් රථයේ දෝෂ ඔබට වඩා දරුවා දනන්වා ඇති. එවන් අවස්ථාවලදී දරුවාටත් යම් තක්සේරුවක් ලබා දෙන්න. දරුවාගේ පැවරුම් වෙනුවෙන් ඔබත් සහයෝගය ලබා දෙන්න. අවශය පොත් පත් සහ කරුණු පමණක් නොව අමුදද්‍රව්‍ය පවා සපයා දෙන විට එවැනි අධ්‍යන කාර්යන් වෙනුවෙන් දරුවාට නොදැනීම ධෛර්යක් ලැබෙනු ඇති.

අධ්‍යාපනයට බාධා…

අපි නොදකින විදිහට ඉගෙනුම් කටයුතු තුළ දරුවාටත් හැලහැප්පීම් ඇති. සමහර විෂයන් ඔහුට ගැටලු සේ දැනෙනවා මෙන්ම පෙනිම, ඇසිම සහ තේරුම් ගැනීමේ දෝෂ පවතිනන් පුලුවනි. නිතරම ලකුණු වෙනුවෙන් ඔට්ටු නොවී දරුවාට ඇති අපහසුතාවයන් ගැනත් විමසා දැන ගන්න. එවිට මුලින්ම මේ ගැටලු වලට පිලියම් ලැබුනොත් දරුවාට ඉදිරියට යෑම එතරම් අපහසුවක් වෙන්නේ නැහැ.

පොත් පත් කියවන්න…

කියවීම මිනිසා සම්පූර්ණ පමණක් නොව සර්ව සම්පූර්ණ මිනිසෙක් බවට පත් කරනු ඇති. ඒ නිසා නිතරම අතිරේක කියවීම් වෙනුවෙන් පොත් ,පත් සඟරා ලබා දෙන්න. විද්්‍යුත් මාද්‍ය මගින් පවා ඉගෙනුමට අවශ්‍ය ඇප්, සිඩී සහ වෙනත් විවිධ මෘදුකාංග අද තිබෙන නිසා ඒවා වුනත් දරුවාට ලබා දීමෙන් ඔවුන්ගේ දැණුම් වපසරිය පුලුල් කිරීම ඉතා පහසුවෙන් සිදු වේ. විශේෂයෙන් ධම්මපද නිදාන කථාවන් අද බාගත කර ගැනීමට තිබෙන පහසුකම් හා සමානවම වෙනත් විෂයන්ටත් තිබෙන පහසුකම් ගැන විපරම් කොට දරුවාටත් ඒ පහසුකම් සලසා දීම ඉතාම වටිනවා. එවිට ස්වයං ඉගෙනුම වෙනුවෙන් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

දරුවන්ටත් ඉලක්ක…

මිනිසුන් ජීවත් කරන්නේ බලාපොරොත්තු නිසා දරුවාටත් අරමුණු අනුව කටයුතු කිරීමට හුරු කරන්න. ඒත් ඉලක්ක ගොඩ නගා ගැනීමෙන් පමණක් සැහීමට පත් වෙන්න බැහැ. එය දීකිරි වෙළෙන්දියගේ සිහිනයට සමානයි. ඒ නිසා දරුවා ගොඩ නගා ගත් ඉලක්කයට සෙමෙන් සීරුවට සම්බන්ධ වීමට අවශ්‍ය මාර්ගය පාදා දීමටත් ඔබට සහයෝගය දක්වනන් පුලුවනි.

සාර්ථකත්වය අගයන්න… දුර්වලතාවයන්ට දොස් එපා… 

දරුවාගේ සාර්ථකත්වයක් දකින විට එය අගය කරන්න. ඔබේ ඇගයීම නිසා දරුවා විශාල ශක්තියක් ලබනු ඇති. නිවරැදි  දෙයට “හරි” ලකුණ තරු සහ හිනා මුහුණු දරුවාගේ ප්‍රගමනය වෙනුවෙන් යොදා ගත් සරල උපක්‍රමයකි. මේ නිසා නිතරම කිසියම් සංවර්ධනයක් වෙතොත් එම ඇගයීම දරුවා දිරිගැන්වීමට හේතු වෙන බව අමතක නොකරන්න.

ඒ වගේම දරුවාගේ දුර්වලතාවයන්ට දොස් නැගීමත් එතරම් සුබවාදී නැහැ.පොතක වැරැදි ලකුණට , පංති‍ මට්ටමින් ලකුණු අඩු වුන විට දොස් නගනන් එපා. ඒ පසුගාමීත්වයට හේතුව කුමක්දැයි සොයා ගන්න. එයින් අනතුරුව සොයා ගත් හේතුව වෙනුවෙන් පහසුකම් සලසා දෙන්න.

සාර්ථක ඉගෙනුම් ක්‍රම සොයනන්න…

දරුවන්ගේ ඉගෙණුම් පුරුදු එක් එක් අයට වෙනස්. ඇතැම් දරුවන් සවන්දීමෙන් බොහෝ දේ උගනී. ඇතැම් දරුවන් කෙටි සටහන් තබා ගනිති. තවත් අය එලිමහනේ පාඩම් කටයුතු කිරීමට කැමැත්තක් දක්වති. මේ අන්දමින් සාර්ථක ක්‍රම දරුවාට සොයා ගැනීමට ඉඩ දෙන්න.

නිවසේ බාධාවන්…

සමහර විට දරුවාගේ ඉගෙණුමට බාධාව ඔවුන් ජීවත්වෙන නිවසේ නම් ඒ ගැනත් යම් අවධානයක් දැක්වීම ඉතා වැදගත්. අම්මාගේ නාට්‍ය… තාත්තාගේ සංවාද සහ වෙනත් වැඩසටහන් නිසා දරුවාට පාසලේ වැඩ කටයුතු වුනත් නිදහසේ කර ගැනීමට නොහැකි පරිසරයක් ඇති වීමට පුලුවනි. රාත්‍රි ආහාරය වුනත් කල් තබා සකස් කර දීම වැනි පහසුකම් පවා ඔබට දරුවාගේ ඉගෙණුමට විශාල පිටුවහලක් වේවි. බොහෝ නිවෙස්වල රාත්‍රි ආහාරය ප්‍රමාද වෙන විට දරුවාට අදාල කටයුතු කිරීමට අපහසු වෙනු ඇති.

දරුවාගේ ඇසුර ගැනත්…

දරුවා ඇසුරු කරන සමාගම අනුවත් ඉගෙනුමට තිබෙන අනන්දුව අවදානය නැති වීමට පුලුවන්. ඒ නිසා නිතරම දරුවා ඇසුරේ සිටින සමවයස් කණ්ඩායම් ගැනත් සොයා බලන්න. එවන් නොමග යෑම් වලින් දරුවා මුලින්ම මුදවා ගැනීම ඉතාම වැදගත්.

පරිසරය සමබර වීම…

දරුවන් පොත පතටම ඇලී ගැලී සිටිය යුතු යැයි දෙමව්පියන්ගේ සිතුවිල්ල වුනත් එය සාධාරණ නැහැ. ඔවුන්ට නිදහසේ ජීවත්වීමට අවසර දෙනන්. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියන දරුවන් නිවසේ සිරකරුවන් බවට පත් වෙන බව නොරහසක්. ඒත් දරුවන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්න.

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය  නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.

ඔස්ට්‍රෙලියාවේ  (University of Queensland Technology  ) ප්‍රජා වෛද්‍ය එස්. ජේ. සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

 

බබාට කෑම හදමු – ලිපි අංක 5

මම බබාට වට්ටක්කා දුන්නේ මෙහෙමයි…


ඔව්, මේ ලිපියෙන් මම වට්ටක්කා ගැන ලියන්න හිතුවා. ඔයාලා දන්නවනේ වට්ටක්කා කියන්නේ මාස 6 න් ඉහළ ඕනෑම බබෙක්ට දෙන්න පුලුවන් එළවලුවක් කියලා. එහෙමත් නැත්නම් මාස 6 පහුවෙලා මූලික ඝණ ආහාර හඳුන්වා දෙන බබාලට මුලින්ම දෙන්න කියන දෙයක් තමයි වට්ටක්කා. සමහර රටවලනම් මේවා පළතුරක් විදියට සලකනවා. අපේ රටේ නම් මේක හොඳ එළවලුවක්. ඇටයේ ඉඳලා පොත්ත වෙනකම් ම ගුණ සපිරි දෙයක්.

වට්ටක්කා වල විටමින් A සහ බීටා කැරොටීන් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම යකඩ​, පොටෑසියම් සහ ප්‍රෝටීන් අන්තර්ගතයි. තන්තුමය ගතිය වැඩි එළවලුවක් වන වට්ටක්කා වල කැලරි සහ මේදය අඩුයි. ඔබේ දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් වට්ටක්කාවල අඩංගු වෙනවා. මෙය බබාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට එයාගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි මම හිතනවා.

වට්ටක්කා වර්ග කීපයක් අපේ වෙළඳ පොලේ තියෙනවා. ඒ ඕනෑම වර්ගයක් බබාලට සුදුසුයි. ලංකාවේ වැවෙන කාබනික වට්ටක්කා හොයා ගන්න පුලුවන් නම් තවත් හොඳයි. වට්ටක්කා ඇට වලත් යකඩ සහ ප්‍රෝටීන් ගොඩක් අන්තර්ගත නිසා ඉතා ගුණදායකයි. විශේෂයෙන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණ දායකයි කියා කියනවා. මම සොයා බැලූ තොරතුරු අනුව වට්ටක්කා ඇට පුංචිම බබාලට ඒ කියන්නේ ආහාර මුලින් හඳුනා ගමින් ඉන්නා බබාලට එතරම් සුදුසු නැති බව කියනවා. ඒත් එහි වැඩි යකඩ ප්‍රමණය නිසා ටිකක් ලොකු බබාලට නම් සුදුසු බව කියනවා. කොහොම වුනත් පුංචි බබාලට ඒ වගේ අලුත්, මතභේදාත්මක දෙයක් කවන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මම අම්මලා තාත්තලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දැන් මම කියන්නම් වට්ටක්කා බබාට හදල දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක්:-

වට්ටක්කා තලපය වට්ටක්කා හොඳින් සෝදා පුංචියට කෑලි කපල වාශ්පයෙන් තම්බා , පොඩි කරගෙන බබාට කවන්න​. මෙම තලපයේ ඝනකම වෙනස් කිරීමට ඔබට වතුර හෝ කිරි භාවිතා කරන්න පුලුවන්. මෙය හොඳ උදාසන ආහාරයක් ලෙසද නැතිනම් අමතර ආහාරයක් ලෙසද දෙන්න පුලුවන්. කිරි භාවිතා කරන්නේ නම් බබාගේ වයස අනුව මව් කිරි, ළදරු පිටි කිරි හෝ නැවුම් එළකිරි භාවිතා කරන්න​.

වට්ටක්කා බත් සමග එකට උයා ගන්න​.

වට්ටක්කා බේක් කරලා – මේ ක්‍රමය මාස 9 න් වගේ බබාලට අතින් අල්ලන් කන්න පුරුදු කරන්න සුදුසුයි. වට්ටක්කා හොඳින් සෝදලා කෑලි කපලා අවන් එකේ බේක් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය රසයට වඩා වැඩි රසයක් වට්ටක්කා වලට ලැබෙනවා. මේවා හොඳින් නිවලා, බබාට අතින් අල්ලා කන්න දෙන්න​. හැබැයි බබාගේ ළඟින්ම ඉන්න ඕන.

වට්ටක්කා සුප් මේක වට්ටක්කා තම්බලා හදන්නත් පුලුවන්. නමුත් හුඟක් රස වෙන්නේ වට්ටක්කා බේක් කරලා ගත්තොත්. මේ ඕන ක්‍රමයකට මෙලෙක් කර ගත්ත වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා, මස්/මාලු/එළවලු තම්බපු වතුර එක්ක මිශ්‍ර කරලා (පොඩි තෙම්පරාදුවක් දා ගන්නවනම් තවත් රසයි) වට්ටක්කා සුප් හදන්න පුලුවන්. අම්මා කෙනෙක් එයා සුප් හදා ගත්ත විදිය කියලා එවපු රෙසිපියක් ඇති..ඒකත් ඔයාලා මේ සටහනෙන් පස්සේ දීලා ඇති ලින්ක්ස් ක්ලික් කරලා බලන්න.

වට්ටක්කා , තවත් එළවලුවක් හෝ කීපයක් සමග – වෙනත් එළවලු සමඟ වට්ටක්කා තම්බලා පොඩි කරලා බබාට කවන්න පුලුවන්.. කැරට්, කෝලිෆ්ලවර්, අල​, බීට් රූට්, බතල මේ වගේ ඕනැම එළවලුවක් සුදුසුයි.

වට්ටක්කා , තවත් පළතුරක් සමඟ – ඇපල්, පෙයාස් වගේ පළතුරු සමඟ වට්ටක්කා දෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් ඇපල් සහ වට්ටක්කා එකට තම්බාගෙන , පොඩි කරල සාදික්කා/කුරුඳු කුඩු ටිකකුත් දාලා රසවත් කෑමක් හදලා බබාට දෙන්න පුලුවන්.

වට්ටක්කා සම්ඟ බිත්තර , මස්, මාලු වැනි දෙයක් එකතු කරලා බබාට කවන්න​.

වට්ටක්කා වලින් පෑන් කේක් හදලා දෙන්න පුලුවන්

වට්ටක්කා රොටි – පූර්ණ තිරිඟු පිටි වලට​, පොඩියට ලියා ගත් ඉදුනු වට්ටක්කා එකතු කරලා රොටී සාදා ගන්න පුලුවන්. මේවා ලොකු බබාල ආසාවෙන් කාවි.

Article No 23:-බේක් කල වට්ටක්කා කෑලි – baked pumpkin pieces as a finger foodඔන්න අද බබාට අමතර ආහාරයක් විදියට වට්ටක්කා…

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Monday, September 3, 2018

Pumpkin soup option- for babies over 6 months

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Tuesday, September 4, 2018

මේ වගේ, වෙනස් වෙනස් විදියට හිතලා අපිට එක එක විදියට බබාලට මේ ගුණදායක එළවලුව ලබා දෙන්න පුලුවන්. අනේ අපේ බබා වට්ටක්කා කන්නේ නැහැනේ කිය කිය ඉන්න එපා අම්මලා..ඔන්න මම අදහස් ගොඩක් ඔයාලට කියලයි තියෙන්නේ.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

තනිව ආහාර ගන්න දවසට මේ ගැන හිතන්න…

මිළ මුදල් විය පැහැදම් කරල උයා පිහා ගත්තු දේ කන්න බොන්න තවත් සම්මාදමක් ඕනයැ…කෙනෙක් එහෙම කිව්වත් සමහර උදවියට තනියම ආහාර බුදින්න අපහසුයි. ඒත් තමන්ගේ කැදැල්ල නොදැනීම විසිරෙන විට තනියම කන්න බොන්න සිද්ධ වෙන දවසකුත් උදා වෙනවා.

ඒ නිසා අපි පෙරලුන පිට හොඳයි කියල හිත හදාගෙන තනියම කාලා බීලා ජීවිතයට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න ඕන. පසුගිය වසර දෙක තුළ තනිව ආහාර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව “Open Table” නම් ජාත්‍යන්තර අවන්හල් සමාගම සිදු කළ සමීක්ෂණයක සඳහන් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සහ යුරෝස්ටැට් දත්ත අනුව ලෝකය පුරා තනියම ජීවත් වෙන පිරිස මිලියන 300 ක්. කවදා හෝ දිනක ඔබත් මේ කාණ්ඩයට ඇතුලත් වුනොත් ඒ ගැන හිත හදා ගන්න බී.බී.සී පුවත් සේවයේ “ශිලා ඩිලාන්” විසින් පෙන්වන මේ කරුණු හේතු වේවි.

තනියම ආහාර ගනිද්දී අපි කැමැති තැනක ඉන්න කන්න බොන්න පුලුවන්…

තනියම ආහාරපාන බුදින විට අපේ කැමැත්ත අනුව ආහාර පිලියෙල කර ගන්න පුලුවනි. සමහර විට ඔබ පැස්ටාවලට වැඩි කැමැත්තක් තිබෙනවා නම් තවත් අය ඒ වෙනුවෙන් කැමැත්තක් නොදැක්වුවත් ඔබේ මනාපය අනුව මේ ආහාරය වෙනුවෙන් යොමු වීමට ඔබට බාධාවක් නැහැ. සමහර විට දූරියන් සමහර කරවල වර්ග වැනි අපුල ගන්ධයක් විහිදෙන ආහාර මේ විදිහට තනියම කන බොන වේලාවට කිසිම බාධාවක් නැතුව බුදින්න නිදහස ලැබෙනවා.

ඒ වගේම සමහර උදවියගේ විවිධ එකතු තිබෙනවා. උදාහරණයක් විදිහට කිරිබත්, ඉදිආප්ප සමහර අය කිරි සහ සීනි සමග ආහාරයට ගනින්දී තවත් කෙනෙක් ඒ ගැන අප්‍රියතාවය පෙන්වන්න පුලුවනි. තනියම ආහාර ගනිද්දී  මේ වගේ බාධාවන් නැහැ.

ඔබට ප්‍රමාණවත් තරම් සකස් කර ගන්න පුලුවනි…

කීප දෙනෙක් සමග ආහාර ගනිද්දී එහි ප්‍රමාණ ගැන තක්සේරුවක් කිරීම අපහසුයි. ඒත් තනියම ආහාර පිසින විට හාල්, එළවලු සහ වෙනත් අතිරේක ගැන වුනත් දල ඇස්තමේන්තුවක් ඔබටම තිබෙන නිසා අපතේ යෑම් බොහෝ දුරට අඩු වෙන්න පුලුවනි.

සෞඛ්‍ය සම්පන්න විදිහට සකස් කර ගන්න පුලුවනි..

ඇමරිකානු හදවත් සංගමය පෙන්වා දෙන අන්දමට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙල කර ගැනීමේදී තමන් විසින් තනියම එය බුත්ති විදීමට තිබෙනවා නම් වඩාත් යහපත්. තවත් අයටත් ආහාර පිලියෙළ කරන විට මේ අවස්ථාවේ මග හැරීම 60%ක් ඉහලයි. ඒකට හේතුව ඔබ දනන්වා. තෙල්, පොල්කිරි ඔබට අගුණ වුනත් අනිත් අයගේ ආහාර රස ගැන්වීම නිසා මේවා මග හැර ආහාර පිසින්න බැහැ. ඒ නිසා රසයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙන අන්දමට බොහෝ දෙනෙක් වෙනුවෙන් පිලියෙළ කරන ලද ආහාර ඔවුන් සමග එක්ව ගැනීමේදී සාමාන්‍ය තරමටත් වඩා 40 % කින් ඒ ප්‍රමාණය වැඩි වෙන්න පුලුවනි.

තැනැක් ගැන…

අපි සාමාන්‍යයෙන් පිරිසක් සමග ආහර ගැනීමේදී විධිමත්බවක් තිබෙනවා. මේසයකට සූදානම් කරල , යම් පිළිවෙලකට අනුව ආහාර ගැනීමේ රටාව අපි අතර තිබෙනවා. ඒත් තනියම ආහාර ගනිද්දී වෙනත් වැඩක් කරන, ගමන්ම ආහාර ගැනීමට පුලුවනි. යම් පුද්ගලයෙකුට තනිව ආහාර ගැනීමට පුරුදු වීම අපහසු වනු ඇත. නමුත් එම පුරුද්ද වැඩි දියුණු කරගත් පසු නිවසට කොටු නොවී, සැබෑ ලෝකය තුළ සිදුවන දෑ නරඹමින් ආහාර ගැනීමට අවස්ථාව සැලසේ.

වෙනත් අයගේ අශෝභන පුරුදු නිසා හිරිහැරයක් නැහැ…

සමාජයක කන බොන විට වෙනත් අයගේ අප්‍රසන්න පුරුදු ඔබට හිරිහැරයක් වෙන්න පුලුවනි. තලු ගසන විට, ශබ්ද නගමින් කන බොන විට එය අප්‍රසන්න විය හැකියි. සමහර අය මේ විදිහට අප්‍රසන්න ශබ්දවලට දක්වන අකැමැත්ත “මිසොෆෝනියා (misophonia)” නැමැති මානසික රෝග තත්වය විදිහට හැඳින්වෙනවා. තනියම ආහාර බුදින විට මේ වගේ අපහසුතාවයනුත් බොහෝ දුරට අඩු වෙන්න පුලුවනි.

වෙලාවත් ගැටළුවක් නැහැ…

පිරිසක් සමග ආහාර ගනිද්දී අපි ඒ හැම දෙනාම එකතු වෙන තුරු රැඳී සිටින්න වෙනවා. ඒ නිසා සමහර අවස්තාවලදී ඔබේ බඩගින්නත් මග ඇරෙන්න පුලුවනි. තනියම ආහාර ගනිද්දී මේ වගේ අතුරු ගැටළු නැහැ. බඩගිනි වුනා නම් තවත් ප්‍රමාද නොවී ඔබේ ආහාරය ඔබට බුදින්න නිදහස තිබෙනවා.

හැබැයි මේ සියලු අදහස් ගැලපෙන්නේ සාමාන්‍යයෙන් වයස සමග පවුලේ තනියම ජීවත් වෙන උදවියටයි. දරු මල්ලන් ඉන්න. පිරිසක් නම් එකතු වෙලා ආහාර ගැනීම තමයි වඩාත්ම ගැලපෙන්නේ…පවුල විතැන් වුනාම ඉතින් තව දුරටත් ඒ ගැන මැසවිලි නගනවා වෙනුවට ඉහත දැක්වෙන විදිහට හිත හදා ගැනීම මිසක වෙන මොනවා කරන්නද නේද….?

– බී.බී.සී ඇසුරිනි –

 

ළදරු පාසැලක් තෝරද්දී බැලිය යුතුම කරුණු

මෙතෙක් කාලයක් අම්මා තාත්තාගේ සෙවනේ සිටි සුරතල් පැටියා දැන් ළදරු පාසලට ඇතුලත් කිරීමට කාලය ඇවිත්. තවත් වසරකින් දෙකකින් දිනපතා පාසලට ඇතුලත් කිරීමේ පෙරහුරුව දරුවා ලබන්නේ අද දවසේ ළදරුපාසල තුලින්. ඇතැම් දෙමව්පියන්ට ළදරු පාසල තෝරා ගැනීමත් දිනපතා පාසල තෝරා ගැනීමට සමාන මහමෙරක බරක් දැනෙන කටයුත්තක්. ඒ වගේම තවත් අයගේ අනුමානයක් වී තිබෙන්නේ ජනප්‍රිය පාසලක් ආසලක පිහිටි ළදරු පාසලකට දරුවා ඇතුලත් වුනොත් එය ජනප්‍රිය පාසලට ඇතුලත් කිරීමට වඩාත් වාසිදායක විය හැකි පියවරක් බවයි. මේ නිසා ඇතැම් ළදරු පාසල්ද ජනප්‍රිය ලැයිස්තුගතව තිබෙන අතර ඒ ලැයිස්තුවේ ළදරු පාසලකට දරුවා ඇතුලත් කිරීමට දෙමව්පියන් මහත් සේ වෙහෙසක් දරනවා. නමුත් අපි දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

ළදරු පාසලේ ගුණාත්මකබව…

ළදරු පාසලකින් සිද්ධ වෙන පූර්ව ළමා විය සංවර්ධනය නිසි පරිදි සිදු නොවුනහොත් ඇති වෙන තත්වය බරපතලයි. ඒ නිසා දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුණාත්මක බව ගැන සැලකිලිමත් වීම වැදගත්. ළමාමනෝවිද්‍යා ගැන කිසිම අවබෝධයක් නැති ව්‍යාපාරික අරමුණු මත පවත්වා ගෙන යන ළදරුපාසලේ පිටතින් තිබෙන වෛවාර්ණබවට පමණක් රැවටෙන්න එපා. එවැනි පාසලකින් දරුවාගේ මානසික සංවර්ධනයට කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුනාත්මක බව ගැන කල් තබා ඔබට තොරතුරු විමසා දැන ගැනීමට කලාය තිබෙන නිසා නිතරම ගුණාත්මක ළදරු පාසලක් වෙත යොමු වීම වැදගත්.

ළදරුවන්ගේ මනස ගැන හිතන…

දරුවාගේ ඉගෙනුම් කටයුතු ගැන ඔබ එතරම් හිත කලබල කර ගත යුතු නැහැ. අකුරු දරුවාට ක්‍රමයෙන් ඉගෙන ගැනීමට ඉඩ හරිනවා විනා ආයාසයෙන් ඒවා ඇතුලු කිරීමට වෙහෙස නොවන්න. ඊට වඩා ඔබ අවධානය දැක්විය යුත්තේ ළදරු මනස කොතරම් දුරට තේරුම් ගැනීමට මේ ළදරු පාසලෙන් ලැබෙන පිටුවහල ගැනයි. බ්‍රතාන්‍ය විල්කොන්ස් ළදරු (Willcockes) පාසලට දරුවා ඇතුලත් කළ දිනයේදී අම්මා හෝ තාත්තාට ඔවුන් සමග නැවතී සෙල්ලම් කිරීමටත් ඉඩ ලැබෙනවා. එදිනට සෙල්ලමට කැමැති ක්‍රිඩා භාණ්ඩයක් රැගෙන ආ යුතු අතර දරුවා නිවසට යන විට ගුරුතුමියගේ ඡායාරූපයක් ඔවුන්ට ලබා දෙනවා. දරුවා සහ ගුරුතුමිය අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට එයින් බලාපොරොත්තු වෙනවා.මෙහිදී දරුවන්ට උගන්වන්නේ  මැටි වැඩ, කවි, ගීත ගායනාවන් වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම් පමණයි.

පරිසරය…

ළදරු පාසලක් තෝරා ගන්නා විට එහි පරිසරයත් දරුවාගේ මනසට විවේකයක් ලැබෙන සේ තිබෙනවා නම් හොදයි. ගස් කොලං පිරි පරිසරයක් දරුවාගේ දවස ගෙවන්නට ඉතා වටිනා තෝතැන්නක්. අද හැම දරුවෙක්ම ජීවත්වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල නිසා අවම වශයෙන් මේ සීමිත කාලයේදීවත් හීල් හෙවනක ඔවුන්ට කාලය ගෙවන්න ඉඩ ලැබෙනවා නම් මොන තරම් අපූරුදැයි ඔබටත් හිතේවි.

ආසන්නබව…

දරුවෙක් වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නා විට එය සමීප ස්ථානයක පිහිටා තිබීම ඉතාම වැදගත්. අනවශ්‍ය ලෙසින් දුරකතර ගෙවනවාට වඩා සමීප වූද ගුණාත්මක පාසලක් තිබෙනවා නම් එට බොහෝ සේ වටිනවා. දරුවාට වෙහෙසක් නැතුවා වගේම ඉතා සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ලැබෙන්නේ ඉතාම සීමිතවයි. ඒ නිසා බොහොම ආසන්නයෙන් ළදරු පාසලක් තෝරා ගැනීමත් නුවණට හුරුයි.

නිල ඇඳුමක් තිබුනොත්…

ළදරු පාසලක් තෝරා ගන්නා විට නිල ඇඳුමක් තිබෙනවා නම් එය එක්තරා ආකාරයක වාසියක්. ඒත් නිල ඇඳුම ළදරු පාසල තෝරා ගැනීමේදී අනිවාර්ය නිර්ණායකය ‍නොවෙයි. නමුත් විවිධ තරාතිරම් ඇති දරුවන් අතර ඇදුම් පැලදුම් ගැන වෙහෙස ඇති වෙන්නේ අම්මලාටනේ… ඒ නිසා අනවශ්‍ය වැය බරක් නැතුව තමන්ගේ ආර්ථිකයට ගැලපෙන විදිහට වගේම දරුවන් අතරත් සමානතාවයක් ඇති වීමට නිල ඇඳුමක් තිබුනොත් ඉතාම අගෙයි.

දවසේ සිදුවීම් ගැන දරුවා සමග කතා කරන්න…

“ඔන්න ඉතින් හොඳම ළදරුපාසලට දරුවා දැම්මා….” කියන මානසිකත්වයෙන් දැන් සෑහීමට පත් වෙන්න එපා. මේ ආගන්තුක පරිසරයේදී දරුවා විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනු ඇති. සමහර විට ඇතැම් සිදුවීම් නිසාම දරුවාට ළදරු පාසල අප්‍රියජක පරිසරයක් වේවි. ඒ නිසා නිතරම අද දවසේ සිදුවීම් ගැන දරුවා සමග කතා බහ කරන්න. එවිට ඔහුගේ මානසිකත්වය ගැන තේරුම් ගැනීමට වගේම ළදරු පාසල් පරිසරයේදී ඇති වෙන විවිධ හැලහැප්පීම් ගැන තොරතුරු දරුවා වෙතින්ම ලබා ගැනීමට පුලුවනි.

ගුරුවරුන් සමග සන්නිවේදනය…

දැන් ඉතින් කාර්යය තිබෙන්නේ ගුරුවරයාටයි කියා දෙමව්පියන්ට නිහඩ වෙන්න බැහැ. දරුවාගේ හැකියාවන් සමග නොහැකියාවන්ද, වෙනත් විවිධ හැසිරීම් රටාවන්ච හොඳින්ම දන්නේ ගුරුවරයාය. දරුවා ගැන ඔබ දැන සිටියත් සමවයස් කණ්ඩායම් අතර ඔවුන්ගේ හැසිරීම් ඉතා හොදින් හදුනන්නේ ගුරුවරයාය. ඒ නිසා නිතරම ඔවුන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න. එය ගුරුවරුන්ටත් ඉතා පහසු කටයුත්තක් වෙන්නේ යම් තොරතුරක් දෙමව්පියන්ට දැණුම් දීම ඇවැසි නම් එය ඉතා පහසුවෙන්ම කර ගැනීමට ඔබ ගුරුවරුන් සමග ගොඩ නගා ගත් සම්බන්ධතාවයන් හේතු වෙනු ඇත.

ආයේ අලුත් අවුරුද්දක්…

අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අලුත් අවුරුද්දක් ලැබුවා. ඒත් හරියට ගෙවුන අවුරුද්ද ගැන මතක අද ඊයේ වගෙයි.සමහර විට ගෙවුන වසර ඔබට විවිධ අප්‍රසන්න සහ අමිහිරි සිදුවීම් සහිත වසරක් වෙන්න ඇති. ඒත් කලබල වෙන්න එපා. මේ අමිහිරි සිදුවීම් සියල්ලම අමතක කරන්න. එය අපි කියන තරම් පහසු දෙයක් නොවෙන්න පුලුවනි.

අමිහිරි දේ අමතක කරන්න…

බොහෝ දේ මතකයේ රඳවා ගැනීමට උත්සහ කරන විට, එම මතකයන් සියල්ල එකිනෙකට විරුද්ධ ආකාරයෙන් අප මනසේ තැන්පත් වෙනවා. ඒ වගේම අනවශ්‍ය පරණ තොරතුරුවලින් මනස පුරවා ගත් විට අපට අවශ්‍ය තොරතුරු භාවිත කර අදහස් නිර්මාණය කිරීමට දැඩි බාධාවක්.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්ලේක් රිචර්ඩ්ස් සහ ගවේෂක පෝල් ෆ්‍රෑන්ක්ලෑන්ඩ් පවසන අන්දමට මතක ශක්තියේ අරමුණ විය යුත්තේ, “අනවශ්‍ය දේ ඉවත් කර, අවශ්‍ය දේ පමණක් මතකයේ තබාගෙන, බුද්ධිමත් තීරණ ගැනීම වැඩි දියුණු කර ගැනීමයි.”

සැලසුමක් අවශයි…

මාස දොළහක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙන විට අවසානයි. ඒත් මේ කෙටි කාළය අපි විසින් ඉතාම හොදින් සැලසුම් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් ලැබූ වසර සැලසුම් කරන්න. එහිදී අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. එයින් අනතුරුව අවශ්‍ය සහ අවස්ථාවක් ලැබුන විට කිරීමට හැකි දේවල්ද පෙල ගසන්න.එය කාලරාමුව සහ අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවය අනුව සිදු වෙන්නක්.

සමාජශීලීත්වයත් අවශ්‍යයි…

පවුලක් විදිහට ඔබ පමණක් නොව තවත් සමාජගත සම්බන්ධතාවයන්ද පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සමාජගත සම්බන්ධතාවයන් ගැනත් උනන්දුවක් දැක්වීමට අමතක කරන්න එපා. ඉදිරි වසරේ දැනටමත් ඇරයුම් ලත් මංගල්‍ය හෝ වෙනත් උත්සව ඇති. “අනේ නිවාඩු නැහැ…” යන සම්ප්‍රදායික වගන්තිය වෙනුවට ඒ වෙනුවෙන් කාළය උපයා ගන්න. හදිසියේ සිදු වෙන අවමංගල්‍යකදී වුව ඒ වෙනුවෙන් සහභාගීත්වය ඔබේ මානුෂිකත්වයට විශාල ආලෝකයක් වෙන බවත් හිතන්න. නොදැන සිටියාය යන පැවසුමට වඩා ඔවුන්ගේ දුක්බර අවස්ථාවට සහභාගීත්වය දැක්වීමෙන් ඔබ සංවේදී අයෙකු බව ඒත්තු ගැනීමට තවත් අතුරු කථා අවශ්‍ය නැත.

විනෝදයකටත් කාලයක්…

ජීවිතය ගැන බොහොම වෙහෙසකරව හිතනවාට වඩා කිසියම් විනෝදයකින් සහ සැහැල්ලුවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. අනවශ්‍ය විදිහට බරක් ගැනීම නිසා හිතේ සැහැල්ලුව නොදැනීම නැති වීම නිසා මානසිකවත් මහත් වෙහෙසකර තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි සේ එළැඹෙන වසර සැලසුම් කරන්න.

නිවාඩුවක් ගත කරන්න…

දවස් තුන්සිය හැට පහම රාජකාරි… දරුවන්ට පංති… විභාග යන යාන්ත්‍රික රාමුවෙන් දැන් මිදෙන්න. මාස තුනකට වරක් දරුවන්ට ලැබෙන පාසල් වාරාවසාන නිවාඩුවේදීවත් ඔවුන් සමග නිවාඩුවක් නිවාඩුවක් සේ ගෙවන්න. එය ඔබේ මනසටත් සැහැල්ලුවක්. ඒ වගේම පාසල, අතිරේක පංති, නිවස යන කොටු රාමුවෙන් මිදී දරුවන්ටත් යම් මානසික අස්වැසිල්ලක් ලැබීමට හැකි පරිසරයක් නිර්මානය වෙනු ඇති.

ව්‍යායාම…

අපිට ලැබෙන ව්‍යායාම හොඳටම ඇති. ඔබ එහෙම හිතුවට මොළයට රුධිරය සැපයෙන ව්‍යායාමයන්හි යෙදීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් යෝග ව්‍යායාම ඉතා සාර්ථක බැව් දැන් පිලිගෙන තිබෙනවා. මේ ව්‍යයාම මගින් මොළයට නිසි පරිදි ඔක්සිජන් පරිවහනය වෙන නිසා මානසික නීරෝගීතාවයටත් ඉතාම වැදගත්. දරුවන්ට වුනත් යෝග ව්‍යායාම වඩාත් හිතකර ප්‍රතිඵල ලබා දෙන නිසා ඒ වෙනුවෙන් දරුවන්ගේ අවධානයත් යොමු කිරීමට ඉටා ගන්න.

ආගමික කටයුතු…

සෑම ආගමක් මගින්ම මිනිසාට ලබා දෙන්නේ යහ පැවැත්මයි. මේ නිසා ආගමික පසුබිමක් තුල ජීවිතය හැඩ ගසා ගැනීම ඉතාම වැදගත්. භාවනාව විද්‍යාත්මක ලෙසින් පවා මිනිසාගේ මානසික වෙහෙස පාලනය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා.

කනස්සල්ලෙන් මිදෙන්න…

අප කිසිම කෙනෙකුට අපට අවශ්‍ය හැම දෙයක්ම ලැබන්නේ නැහැ. සපත්තුවක් නැතුව කෙනෙක් හඬන විට තවත් අයෙක් පාදයක් නැතුව සිටින්නට පුලුවනි. ඒත් මේ සියල්ල කනස්සල්ලට පත් වූ පමණින් සපුරා ගැනීමට බැහැ. ඒ නිසා නොලැබුන දෙයට වඩා තමාට දැනට ලැබී ඇති දේ ගැන සෑහීමට පත් වෙන්න. ඒ තරම් සැනසිල්ලක් තවත් නැත.

සුබවාදීව සිතන්න…

වසරක්ගෙවීම අපට වලක්වා ගත නොහැක. වසරක් ලැබීමත් ඒ සමග බැදුන අනිවාර්ය සංසිද්ධියකි. මේ අවස්ථාවන් වෙනුවෙන් සුබවාදීව බලන්නට අපට හැකි විය යුතුයි. හැම දෙයක්ම අනේ අපිට බැහැ…වෙනුවට නෑ අපිටත් එය කළ හැකියි යන සිතුවිල්ලේ රැඳීම සිදු විය යුතුයි. එවිට ජීවිතය ජයගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත. අතීතයට එක් වෙන හැම දවසක්ම ජයග්‍රාහී දවසක්ය යන සිතුවිල්ලෙන් සමන්විත නම් සැබැවින්ම අපි දිනුවෝ වෙන්නෙමු.

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.