Home Blog Page 88

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය  නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.

ඔස්ට්‍රෙලියාවේ  (University of Queensland Technology  ) ප්‍රජා වෛද්‍ය එස්. ජේ. සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

 

බබාට කෑම හදමු – ලිපි අංක 5

මම බබාට වට්ටක්කා දුන්නේ මෙහෙමයි…


ඔව්, මේ ලිපියෙන් මම වට්ටක්කා ගැන ලියන්න හිතුවා. ඔයාලා දන්නවනේ වට්ටක්කා කියන්නේ මාස 6 න් ඉහළ ඕනෑම බබෙක්ට දෙන්න පුලුවන් එළවලුවක් කියලා. එහෙමත් නැත්නම් මාස 6 පහුවෙලා මූලික ඝණ ආහාර හඳුන්වා දෙන බබාලට මුලින්ම දෙන්න කියන දෙයක් තමයි වට්ටක්කා. සමහර රටවලනම් මේවා පළතුරක් විදියට සලකනවා. අපේ රටේ නම් මේක හොඳ එළවලුවක්. ඇටයේ ඉඳලා පොත්ත වෙනකම් ම ගුණ සපිරි දෙයක්.

වට්ටක්කා වල විටමින් A සහ බීටා කැරොටීන් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම යකඩ​, පොටෑසියම් සහ ප්‍රෝටීන් අන්තර්ගතයි. තන්තුමය ගතිය වැඩි එළවලුවක් වන වට්ටක්කා වල කැලරි සහ මේදය අඩුයි. ඔබේ දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් වට්ටක්කාවල අඩංගු වෙනවා. මෙය බබාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට එයාගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි මම හිතනවා.

වට්ටක්කා වර්ග කීපයක් අපේ වෙළඳ පොලේ තියෙනවා. ඒ ඕනෑම වර්ගයක් බබාලට සුදුසුයි. ලංකාවේ වැවෙන කාබනික වට්ටක්කා හොයා ගන්න පුලුවන් නම් තවත් හොඳයි. වට්ටක්කා ඇට වලත් යකඩ සහ ප්‍රෝටීන් ගොඩක් අන්තර්ගත නිසා ඉතා ගුණදායකයි. විශේෂයෙන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණ දායකයි කියා කියනවා. මම සොයා බැලූ තොරතුරු අනුව වට්ටක්කා ඇට පුංචිම බබාලට ඒ කියන්නේ ආහාර මුලින් හඳුනා ගමින් ඉන්නා බබාලට එතරම් සුදුසු නැති බව කියනවා. ඒත් එහි වැඩි යකඩ ප්‍රමණය නිසා ටිකක් ලොකු බබාලට නම් සුදුසු බව කියනවා. කොහොම වුනත් පුංචි බබාලට ඒ වගේ අලුත්, මතභේදාත්මක දෙයක් කවන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මම අම්මලා තාත්තලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දැන් මම කියන්නම් වට්ටක්කා බබාට හදල දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක්:-

වට්ටක්කා තලපය වට්ටක්කා හොඳින් සෝදා පුංචියට කෑලි කපල වාශ්පයෙන් තම්බා , පොඩි කරගෙන බබාට කවන්න​. මෙම තලපයේ ඝනකම වෙනස් කිරීමට ඔබට වතුර හෝ කිරි භාවිතා කරන්න පුලුවන්. මෙය හොඳ උදාසන ආහාරයක් ලෙසද නැතිනම් අමතර ආහාරයක් ලෙසද දෙන්න පුලුවන්. කිරි භාවිතා කරන්නේ නම් බබාගේ වයස අනුව මව් කිරි, ළදරු පිටි කිරි හෝ නැවුම් එළකිරි භාවිතා කරන්න​.

වට්ටක්කා බත් සමග එකට උයා ගන්න​.

වට්ටක්කා බේක් කරලා – මේ ක්‍රමය මාස 9 න් වගේ බබාලට අතින් අල්ලන් කන්න පුරුදු කරන්න සුදුසුයි. වට්ටක්කා හොඳින් සෝදලා කෑලි කපලා අවන් එකේ බේක් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය රසයට වඩා වැඩි රසයක් වට්ටක්කා වලට ලැබෙනවා. මේවා හොඳින් නිවලා, බබාට අතින් අල්ලා කන්න දෙන්න​. හැබැයි බබාගේ ළඟින්ම ඉන්න ඕන.

වට්ටක්කා සුප් මේක වට්ටක්කා තම්බලා හදන්නත් පුලුවන්. නමුත් හුඟක් රස වෙන්නේ වට්ටක්කා බේක් කරලා ගත්තොත්. මේ ඕන ක්‍රමයකට මෙලෙක් කර ගත්ත වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා, මස්/මාලු/එළවලු තම්බපු වතුර එක්ක මිශ්‍ර කරලා (පොඩි තෙම්පරාදුවක් දා ගන්නවනම් තවත් රසයි) වට්ටක්කා සුප් හදන්න පුලුවන්. අම්මා කෙනෙක් එයා සුප් හදා ගත්ත විදිය කියලා එවපු රෙසිපියක් ඇති..ඒකත් ඔයාලා මේ සටහනෙන් පස්සේ දීලා ඇති ලින්ක්ස් ක්ලික් කරලා බලන්න.

වට්ටක්කා , තවත් එළවලුවක් හෝ කීපයක් සමග – වෙනත් එළවලු සමඟ වට්ටක්කා තම්බලා පොඩි කරලා බබාට කවන්න පුලුවන්.. කැරට්, කෝලිෆ්ලවර්, අල​, බීට් රූට්, බතල මේ වගේ ඕනැම එළවලුවක් සුදුසුයි.

වට්ටක්කා , තවත් පළතුරක් සමඟ – ඇපල්, පෙයාස් වගේ පළතුරු සමඟ වට්ටක්කා දෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් ඇපල් සහ වට්ටක්කා එකට තම්බාගෙන , පොඩි කරල සාදික්කා/කුරුඳු කුඩු ටිකකුත් දාලා රසවත් කෑමක් හදලා බබාට දෙන්න පුලුවන්.

වට්ටක්කා සම්ඟ බිත්තර , මස්, මාලු වැනි දෙයක් එකතු කරලා බබාට කවන්න​.

වට්ටක්කා වලින් පෑන් කේක් හදලා දෙන්න පුලුවන්

වට්ටක්කා රොටි – පූර්ණ තිරිඟු පිටි වලට​, පොඩියට ලියා ගත් ඉදුනු වට්ටක්කා එකතු කරලා රොටී සාදා ගන්න පුලුවන්. මේවා ලොකු බබාල ආසාවෙන් කාවි.

Article No 23:-බේක් කල වට්ටක්කා කෑලි – baked pumpkin pieces as a finger foodඔන්න අද බබාට අමතර ආහාරයක් විදියට වට්ටක්කා…

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Monday, September 3, 2018

Pumpkin soup option- for babies over 6 months

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Tuesday, September 4, 2018

මේ වගේ, වෙනස් වෙනස් විදියට හිතලා අපිට එක එක විදියට බබාලට මේ ගුණදායක එළවලුව ලබා දෙන්න පුලුවන්. අනේ අපේ බබා වට්ටක්කා කන්නේ නැහැනේ කිය කිය ඉන්න එපා අම්මලා..ඔන්න මම අදහස් ගොඩක් ඔයාලට කියලයි තියෙන්නේ.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

තනිව ආහාර ගන්න දවසට මේ ගැන හිතන්න…

මිළ මුදල් විය පැහැදම් කරල උයා පිහා ගත්තු දේ කන්න බොන්න තවත් සම්මාදමක් ඕනයැ…කෙනෙක් එහෙම කිව්වත් සමහර උදවියට තනියම ආහාර බුදින්න අපහසුයි. ඒත් තමන්ගේ කැදැල්ල නොදැනීම විසිරෙන විට තනියම කන්න බොන්න සිද්ධ වෙන දවසකුත් උදා වෙනවා.

ඒ නිසා අපි පෙරලුන පිට හොඳයි කියල හිත හදාගෙන තනියම කාලා බීලා ජීවිතයට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න ඕන. පසුගිය වසර දෙක තුළ තනිව ආහාර ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව “Open Table” නම් ජාත්‍යන්තර අවන්හල් සමාගම සිදු කළ සමීක්ෂණයක සඳහන් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සහ යුරෝස්ටැට් දත්ත අනුව ලෝකය පුරා තනියම ජීවත් වෙන පිරිස මිලියන 300 ක්. කවදා හෝ දිනක ඔබත් මේ කාණ්ඩයට ඇතුලත් වුනොත් ඒ ගැන හිත හදා ගන්න බී.බී.සී පුවත් සේවයේ “ශිලා ඩිලාන්” විසින් පෙන්වන මේ කරුණු හේතු වේවි.

තනියම ආහාර ගනිද්දී අපි කැමැති තැනක ඉන්න කන්න බොන්න පුලුවන්…

තනියම ආහාරපාන බුදින විට අපේ කැමැත්ත අනුව ආහාර පිලියෙල කර ගන්න පුලුවනි. සමහර විට ඔබ පැස්ටාවලට වැඩි කැමැත්තක් තිබෙනවා නම් තවත් අය ඒ වෙනුවෙන් කැමැත්තක් නොදැක්වුවත් ඔබේ මනාපය අනුව මේ ආහාරය වෙනුවෙන් යොමු වීමට ඔබට බාධාවක් නැහැ. සමහර විට දූරියන් සමහර කරවල වර්ග වැනි අපුල ගන්ධයක් විහිදෙන ආහාර මේ විදිහට තනියම කන බොන වේලාවට කිසිම බාධාවක් නැතුව බුදින්න නිදහස ලැබෙනවා.

ඒ වගේම සමහර උදවියගේ විවිධ එකතු තිබෙනවා. උදාහරණයක් විදිහට කිරිබත්, ඉදිආප්ප සමහර අය කිරි සහ සීනි සමග ආහාරයට ගනින්දී තවත් කෙනෙක් ඒ ගැන අප්‍රියතාවය පෙන්වන්න පුලුවනි. තනියම ආහාර ගනිද්දී  මේ වගේ බාධාවන් නැහැ.

ඔබට ප්‍රමාණවත් තරම් සකස් කර ගන්න පුලුවනි…

කීප දෙනෙක් සමග ආහාර ගනිද්දී එහි ප්‍රමාණ ගැන තක්සේරුවක් කිරීම අපහසුයි. ඒත් තනියම ආහාර පිසින විට හාල්, එළවලු සහ වෙනත් අතිරේක ගැන වුනත් දල ඇස්තමේන්තුවක් ඔබටම තිබෙන නිසා අපතේ යෑම් බොහෝ දුරට අඩු වෙන්න පුලුවනි.

සෞඛ්‍ය සම්පන්න විදිහට සකස් කර ගන්න පුලුවනි..

ඇමරිකානු හදවත් සංගමය පෙන්වා දෙන අන්දමට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පිළියෙල කර ගැනීමේදී තමන් විසින් තනියම එය බුත්ති විදීමට තිබෙනවා නම් වඩාත් යහපත්. තවත් අයටත් ආහාර පිලියෙළ කරන විට මේ අවස්ථාවේ මග හැරීම 60%ක් ඉහලයි. ඒකට හේතුව ඔබ දනන්වා. තෙල්, පොල්කිරි ඔබට අගුණ වුනත් අනිත් අයගේ ආහාර රස ගැන්වීම නිසා මේවා මග හැර ආහාර පිසින්න බැහැ. ඒ නිසා රසයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙන අන්දමට බොහෝ දෙනෙක් වෙනුවෙන් පිලියෙළ කරන ලද ආහාර ඔවුන් සමග එක්ව ගැනීමේදී සාමාන්‍ය තරමටත් වඩා 40 % කින් ඒ ප්‍රමාණය වැඩි වෙන්න පුලුවනි.

තැනැක් ගැන…

අපි සාමාන්‍යයෙන් පිරිසක් සමග ආහර ගැනීමේදී විධිමත්බවක් තිබෙනවා. මේසයකට සූදානම් කරල , යම් පිළිවෙලකට අනුව ආහාර ගැනීමේ රටාව අපි අතර තිබෙනවා. ඒත් තනියම ආහාර ගනිද්දී වෙනත් වැඩක් කරන, ගමන්ම ආහාර ගැනීමට පුලුවනි. යම් පුද්ගලයෙකුට තනිව ආහාර ගැනීමට පුරුදු වීම අපහසු වනු ඇත. නමුත් එම පුරුද්ද වැඩි දියුණු කරගත් පසු නිවසට කොටු නොවී, සැබෑ ලෝකය තුළ සිදුවන දෑ නරඹමින් ආහාර ගැනීමට අවස්ථාව සැලසේ.

වෙනත් අයගේ අශෝභන පුරුදු නිසා හිරිහැරයක් නැහැ…

සමාජයක කන බොන විට වෙනත් අයගේ අප්‍රසන්න පුරුදු ඔබට හිරිහැරයක් වෙන්න පුලුවනි. තලු ගසන විට, ශබ්ද නගමින් කන බොන විට එය අප්‍රසන්න විය හැකියි. සමහර අය මේ විදිහට අප්‍රසන්න ශබ්දවලට දක්වන අකැමැත්ත “මිසොෆෝනියා (misophonia)” නැමැති මානසික රෝග තත්වය විදිහට හැඳින්වෙනවා. තනියම ආහාර බුදින විට මේ වගේ අපහසුතාවයනුත් බොහෝ දුරට අඩු වෙන්න පුලුවනි.

වෙලාවත් ගැටළුවක් නැහැ…

පිරිසක් සමග ආහාර ගනිද්දී අපි ඒ හැම දෙනාම එකතු වෙන තුරු රැඳී සිටින්න වෙනවා. ඒ නිසා සමහර අවස්තාවලදී ඔබේ බඩගින්නත් මග ඇරෙන්න පුලුවනි. තනියම ආහාර ගනිද්දී මේ වගේ අතුරු ගැටළු නැහැ. බඩගිනි වුනා නම් තවත් ප්‍රමාද නොවී ඔබේ ආහාරය ඔබට බුදින්න නිදහස තිබෙනවා.

හැබැයි මේ සියලු අදහස් ගැලපෙන්නේ සාමාන්‍යයෙන් වයස සමග පවුලේ තනියම ජීවත් වෙන උදවියටයි. දරු මල්ලන් ඉන්න. පිරිසක් නම් එකතු වෙලා ආහාර ගැනීම තමයි වඩාත්ම ගැලපෙන්නේ…පවුල විතැන් වුනාම ඉතින් තව දුරටත් ඒ ගැන මැසවිලි නගනවා වෙනුවට ඉහත දැක්වෙන විදිහට හිත හදා ගැනීම මිසක වෙන මොනවා කරන්නද නේද….?

– බී.බී.සී ඇසුරිනි –

 

ළදරු පාසැලක් තෝරද්දී බැලිය යුතුම කරුණු

මෙතෙක් කාලයක් අම්මා තාත්තාගේ සෙවනේ සිටි සුරතල් පැටියා දැන් ළදරු පාසලට ඇතුලත් කිරීමට කාලය ඇවිත්. තවත් වසරකින් දෙකකින් දිනපතා පාසලට ඇතුලත් කිරීමේ පෙරහුරුව දරුවා ලබන්නේ අද දවසේ ළදරුපාසල තුලින්. ඇතැම් දෙමව්පියන්ට ළදරු පාසල තෝරා ගැනීමත් දිනපතා පාසල තෝරා ගැනීමට සමාන මහමෙරක බරක් දැනෙන කටයුත්තක්. ඒ වගේම තවත් අයගේ අනුමානයක් වී තිබෙන්නේ ජනප්‍රිය පාසලක් ආසලක පිහිටි ළදරු පාසලකට දරුවා ඇතුලත් වුනොත් එය ජනප්‍රිය පාසලට ඇතුලත් කිරීමට වඩාත් වාසිදායක විය හැකි පියවරක් බවයි. මේ නිසා ඇතැම් ළදරු පාසල්ද ජනප්‍රිය ලැයිස්තුගතව තිබෙන අතර ඒ ලැයිස්තුවේ ළදරු පාසලකට දරුවා ඇතුලත් කිරීමට දෙමව්පියන් මහත් සේ වෙහෙසක් දරනවා. නමුත් අපි දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නේ කොහොමද…?

ළදරු පාසලේ ගුණාත්මකබව…

ළදරු පාසලකින් සිද්ධ වෙන පූර්ව ළමා විය සංවර්ධනය නිසි පරිදි සිදු නොවුනහොත් ඇති වෙන තත්වය බරපතලයි. ඒ නිසා දරුවා වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුණාත්මක බව ගැන සැලකිලිමත් වීම වැදගත්. ළමාමනෝවිද්‍යා ගැන කිසිම අවබෝධයක් නැති ව්‍යාපාරික අරමුණු මත පවත්වා ගෙන යන ළදරුපාසලේ පිටතින් තිබෙන වෛවාර්ණබවට පමණක් රැවටෙන්න එපා. එවැනි පාසලකින් දරුවාගේ මානසික සංවර්ධනයට කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ළදරු පාසලක් තෝරා ගැනීමේදී එහි ගුනාත්මක බව ගැන කල් තබා ඔබට තොරතුරු විමසා දැන ගැනීමට කලාය තිබෙන නිසා නිතරම ගුණාත්මක ළදරු පාසලක් වෙත යොමු වීම වැදගත්.

ළදරුවන්ගේ මනස ගැන හිතන…

දරුවාගේ ඉගෙනුම් කටයුතු ගැන ඔබ එතරම් හිත කලබල කර ගත යුතු නැහැ. අකුරු දරුවාට ක්‍රමයෙන් ඉගෙන ගැනීමට ඉඩ හරිනවා විනා ආයාසයෙන් ඒවා ඇතුලු කිරීමට වෙහෙස නොවන්න. ඊට වඩා ඔබ අවධානය දැක්විය යුත්තේ ළදරු මනස කොතරම් දුරට තේරුම් ගැනීමට මේ ළදරු පාසලෙන් ලැබෙන පිටුවහල ගැනයි. බ්‍රතාන්‍ය විල්කොන්ස් ළදරු (Willcockes) පාසලට දරුවා ඇතුලත් කළ දිනයේදී අම්මා හෝ තාත්තාට ඔවුන් සමග නැවතී සෙල්ලම් කිරීමටත් ඉඩ ලැබෙනවා. එදිනට සෙල්ලමට කැමැති ක්‍රිඩා භාණ්ඩයක් රැගෙන ආ යුතු අතර දරුවා නිවසට යන විට ගුරුතුමියගේ ඡායාරූපයක් ඔවුන්ට ලබා දෙනවා. දරුවා සහ ගුරුතුමිය අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට එයින් බලාපොරොත්තු වෙනවා.මෙහිදී දරුවන්ට උගන්වන්නේ  මැටි වැඩ, කවි, ගීත ගායනාවන් වැනි සෞන්දර්ය ක්‍රියාකාරකම් පමණයි.

පරිසරය…

ළදරු පාසලක් තෝරා ගන්නා විට එහි පරිසරයත් දරුවාගේ මනසට විවේකයක් ලැබෙන සේ තිබෙනවා නම් හොදයි. ගස් කොලං පිරි පරිසරයක් දරුවාගේ දවස ගෙවන්නට ඉතා වටිනා තෝතැන්නක්. අද හැම දරුවෙක්ම ජීවත්වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල නිසා අවම වශයෙන් මේ සීමිත කාලයේදීවත් හීල් හෙවනක ඔවුන්ට කාලය ගෙවන්න ඉඩ ලැබෙනවා නම් මොන තරම් අපූරුදැයි ඔබටත් හිතේවි.

ආසන්නබව…

දරුවෙක් වෙනුවෙන් ළදරු පාසලක් තෝරා ගන්නා විට එය සමීප ස්ථානයක පිහිටා තිබීම ඉතාම වැදගත්. අනවශ්‍ය ලෙසින් දුරකතර ගෙවනවාට වඩා සමීප වූද ගුණාත්මක පාසලක් තිබෙනවා නම් එට බොහෝ සේ වටිනවා. දරුවාට වෙහෙසක් නැතුවා වගේම ඉතා සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ලැබෙන්නේ ඉතාම සීමිතවයි. ඒ නිසා බොහොම ආසන්නයෙන් ළදරු පාසලක් තෝරා ගැනීමත් නුවණට හුරුයි.

නිල ඇඳුමක් තිබුනොත්…

ළදරු පාසලක් තෝරා ගන්නා විට නිල ඇඳුමක් තිබෙනවා නම් එය එක්තරා ආකාරයක වාසියක්. ඒත් නිල ඇඳුම ළදරු පාසල තෝරා ගැනීමේදී අනිවාර්ය නිර්ණායකය ‍නොවෙයි. නමුත් විවිධ තරාතිරම් ඇති දරුවන් අතර ඇදුම් පැලදුම් ගැන වෙහෙස ඇති වෙන්නේ අම්මලාටනේ… ඒ නිසා අනවශ්‍ය වැය බරක් නැතුව තමන්ගේ ආර්ථිකයට ගැලපෙන විදිහට වගේම දරුවන් අතරත් සමානතාවයක් ඇති වීමට නිල ඇඳුමක් තිබුනොත් ඉතාම අගෙයි.

දවසේ සිදුවීම් ගැන දරුවා සමග කතා කරන්න…

“ඔන්න ඉතින් හොඳම ළදරුපාසලට දරුවා දැම්මා….” කියන මානසිකත්වයෙන් දැන් සෑහීමට පත් වෙන්න එපා. මේ ආගන්තුක පරිසරයේදී දරුවා විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනු ඇති. සමහර විට ඇතැම් සිදුවීම් නිසාම දරුවාට ළදරු පාසල අප්‍රියජක පරිසරයක් වේවි. ඒ නිසා නිතරම අද දවසේ සිදුවීම් ගැන දරුවා සමග කතා බහ කරන්න. එවිට ඔහුගේ මානසිකත්වය ගැන තේරුම් ගැනීමට වගේම ළදරු පාසල් පරිසරයේදී ඇති වෙන විවිධ හැලහැප්පීම් ගැන තොරතුරු දරුවා වෙතින්ම ලබා ගැනීමට පුලුවනි.

ගුරුවරුන් සමග සන්නිවේදනය…

දැන් ඉතින් කාර්යය තිබෙන්නේ ගුරුවරයාටයි කියා දෙමව්පියන්ට නිහඩ වෙන්න බැහැ. දරුවාගේ හැකියාවන් සමග නොහැකියාවන්ද, වෙනත් විවිධ හැසිරීම් රටාවන්ච හොඳින්ම දන්නේ ගුරුවරයාය. දරුවා ගැන ඔබ දැන සිටියත් සමවයස් කණ්ඩායම් අතර ඔවුන්ගේ හැසිරීම් ඉතා හොදින් හදුනන්නේ ගුරුවරයාය. ඒ නිසා නිතරම ඔවුන් සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න. එය ගුරුවරුන්ටත් ඉතා පහසු කටයුත්තක් වෙන්නේ යම් තොරතුරක් දෙමව්පියන්ට දැණුම් දීම ඇවැසි නම් එය ඉතා පහසුවෙන්ම කර ගැනීමට ඔබ ගුරුවරුන් සමග ගොඩ නගා ගත් සම්බන්ධතාවයන් හේතු වෙනු ඇත.

ආයේ අලුත් අවුරුද්දක්…

අවුරුද්දක් ගෙවිල ගිහින් තවත් අලුත් අවුරුද්දක් ලැබුවා. ඒත් හරියට ගෙවුන අවුරුද්ද ගැන මතක අද ඊයේ වගෙයි.සමහර විට ගෙවුන වසර ඔබට විවිධ අප්‍රසන්න සහ අමිහිරි සිදුවීම් සහිත වසරක් වෙන්න ඇති. ඒත් කලබල වෙන්න එපා. මේ අමිහිරි සිදුවීම් සියල්ලම අමතක කරන්න. එය අපි කියන තරම් පහසු දෙයක් නොවෙන්න පුලුවනි.

අමිහිරි දේ අමතක කරන්න…

බොහෝ දේ මතකයේ රඳවා ගැනීමට උත්සහ කරන විට, එම මතකයන් සියල්ල එකිනෙකට විරුද්ධ ආකාරයෙන් අප මනසේ තැන්පත් වෙනවා. ඒ වගේම අනවශ්‍ය පරණ තොරතුරුවලින් මනස පුරවා ගත් විට අපට අවශ්‍ය තොරතුරු භාවිත කර අදහස් නිර්මාණය කිරීමට දැඩි බාධාවක්.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්ලේක් රිචර්ඩ්ස් සහ ගවේෂක පෝල් ෆ්‍රෑන්ක්ලෑන්ඩ් පවසන අන්දමට මතක ශක්තියේ අරමුණ විය යුත්තේ, “අනවශ්‍ය දේ ඉවත් කර, අවශ්‍ය දේ පමණක් මතකයේ තබාගෙන, බුද්ධිමත් තීරණ ගැනීම වැඩි දියුණු කර ගැනීමයි.”

සැලසුමක් අවශයි…

මාස දොළහක් කියන්නේ බොහොම කෙටි කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත හැරෙන විට අවසානයි. ඒත් මේ කෙටි කාළය අපි විසින් ඉතාම හොදින් සැලසුම් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් ලැබූ වසර සැලසුම් කරන්න. එහිදී අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. එයින් අනතුරුව අවශ්‍ය සහ අවස්ථාවක් ලැබුන විට කිරීමට හැකි දේවල්ද පෙල ගසන්න.එය කාලරාමුව සහ අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවය අනුව සිදු වෙන්නක්.

සමාජශීලීත්වයත් අවශ්‍යයි…

පවුලක් විදිහට ඔබ පමණක් නොව තවත් සමාජගත සම්බන්ධතාවයන්ද පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සමාජගත සම්බන්ධතාවයන් ගැනත් උනන්දුවක් දැක්වීමට අමතක කරන්න එපා. ඉදිරි වසරේ දැනටමත් ඇරයුම් ලත් මංගල්‍ය හෝ වෙනත් උත්සව ඇති. “අනේ නිවාඩු නැහැ…” යන සම්ප්‍රදායික වගන්තිය වෙනුවට ඒ වෙනුවෙන් කාළය උපයා ගන්න. හදිසියේ සිදු වෙන අවමංගල්‍යකදී වුව ඒ වෙනුවෙන් සහභාගීත්වය ඔබේ මානුෂිකත්වයට විශාල ආලෝකයක් වෙන බවත් හිතන්න. නොදැන සිටියාය යන පැවසුමට වඩා ඔවුන්ගේ දුක්බර අවස්ථාවට සහභාගීත්වය දැක්වීමෙන් ඔබ සංවේදී අයෙකු බව ඒත්තු ගැනීමට තවත් අතුරු කථා අවශ්‍ය නැත.

විනෝදයකටත් කාලයක්…

ජීවිතය ගැන බොහොම වෙහෙසකරව හිතනවාට වඩා කිසියම් විනෝදයකින් සහ සැහැල්ලුවෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. අනවශ්‍ය විදිහට බරක් ගැනීම නිසා හිතේ සැහැල්ලුව නොදැනීම නැති වීම නිසා මානසිකවත් මහත් වෙහෙසකර තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි සේ එළැඹෙන වසර සැලසුම් කරන්න.

නිවාඩුවක් ගත කරන්න…

දවස් තුන්සිය හැට පහම රාජකාරි… දරුවන්ට පංති… විභාග යන යාන්ත්‍රික රාමුවෙන් දැන් මිදෙන්න. මාස තුනකට වරක් දරුවන්ට ලැබෙන පාසල් වාරාවසාන නිවාඩුවේදීවත් ඔවුන් සමග නිවාඩුවක් නිවාඩුවක් සේ ගෙවන්න. එය ඔබේ මනසටත් සැහැල්ලුවක්. ඒ වගේම පාසල, අතිරේක පංති, නිවස යන කොටු රාමුවෙන් මිදී දරුවන්ටත් යම් මානසික අස්වැසිල්ලක් ලැබීමට හැකි පරිසරයක් නිර්මානය වෙනු ඇති.

ව්‍යායාම…

අපිට ලැබෙන ව්‍යායාම හොඳටම ඇති. ඔබ එහෙම හිතුවට මොළයට රුධිරය සැපයෙන ව්‍යායාමයන්හි යෙදීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් යෝග ව්‍යායාම ඉතා සාර්ථක බැව් දැන් පිලිගෙන තිබෙනවා. මේ ව්‍යයාම මගින් මොළයට නිසි පරිදි ඔක්සිජන් පරිවහනය වෙන නිසා මානසික නීරෝගීතාවයටත් ඉතාම වැදගත්. දරුවන්ට වුනත් යෝග ව්‍යායාම වඩාත් හිතකර ප්‍රතිඵල ලබා දෙන නිසා ඒ වෙනුවෙන් දරුවන්ගේ අවධානයත් යොමු කිරීමට ඉටා ගන්න.

ආගමික කටයුතු…

සෑම ආගමක් මගින්ම මිනිසාට ලබා දෙන්නේ යහ පැවැත්මයි. මේ නිසා ආගමික පසුබිමක් තුල ජීවිතය හැඩ ගසා ගැනීම ඉතාම වැදගත්. භාවනාව විද්‍යාත්මක ලෙසින් පවා මිනිසාගේ මානසික වෙහෙස පාලනය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබනවා.

කනස්සල්ලෙන් මිදෙන්න…

අප කිසිම කෙනෙකුට අපට අවශ්‍ය හැම දෙයක්ම ලැබන්නේ නැහැ. සපත්තුවක් නැතුව කෙනෙක් හඬන විට තවත් අයෙක් පාදයක් නැතුව සිටින්නට පුලුවනි. ඒත් මේ සියල්ල කනස්සල්ලට පත් වූ පමණින් සපුරා ගැනීමට බැහැ. ඒ නිසා නොලැබුන දෙයට වඩා තමාට දැනට ලැබී ඇති දේ ගැන සෑහීමට පත් වෙන්න. ඒ තරම් සැනසිල්ලක් තවත් නැත.

සුබවාදීව සිතන්න…

වසරක්ගෙවීම අපට වලක්වා ගත නොහැක. වසරක් ලැබීමත් ඒ සමග බැදුන අනිවාර්ය සංසිද්ධියකි. මේ අවස්ථාවන් වෙනුවෙන් සුබවාදීව බලන්නට අපට හැකි විය යුතුයි. හැම දෙයක්ම අනේ අපිට බැහැ…වෙනුවට නෑ අපිටත් එය කළ හැකියි යන සිතුවිල්ලේ රැඳීම සිදු විය යුතුයි. එවිට ජීවිතය ජයගැනීම එතරම් අපහසුවක් නොවනු ඇත. අතීතයට එක් වෙන හැම දවසක්ම ජයග්‍රාහී දවසක්ය යන සිතුවිල්ලෙන් සමන්විත නම් සැබැවින්ම අපි දිනුවෝ වෙන්නෙමු.

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.

ගැබිනි ඔබත් කොන්දේ වේදනාව ගැන බියෙන්ද?

ගර්භණී සමයේදී කාන්තාවක් තම එදිනෙදා කටයුතුවලදී වෙනදාට වඩා පරිස්සම් සහගත බවක් දක්වයි. එය දරුවා මෙන්ම මව ද ශාරීරිකව හා මානසික වශයෙන් වැඩි පහසුවකින් ගත කළ යුතු කාලයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන්නට යන වග සැලවූ වහාම පවුලේ සියලු දෙනාද ඒ වෙනුවෙන් කටයුතු සම්පාදනය කරදීම ආරම්භ වෙයි. සැබවින්ම දරුවාගේ වර්ධනය වෙනුවෙන් එම කාලය තුළ මවගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය ඉතා ප්‍රබල සාධකයක් වන අතර මවගේ ශාරීරික සහ මානසික ක්‍රියාකාරකම් එයට තදින් බලපායි. කෙතරම් පහසුව සැලසුවද ගර්භණී සමයේ මව්වරුන් බොහොමයකට විවිධාකාරයේ ශාරීරික සංකුලතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය කරුණකි. ඒ අතරින් ගර්භණි සමයේ ඇතිවන කොන්දේ වේදනාව බොහෝ මව්වරුන්ට බලපෑ ඇති ගැටලුවක් ලෙස නම් කළ හැකිය. මේ සූදානම ඒ පිළිබඳව ඔබව වැඩි වශයෙන් දැනුවත් කිරීමටයි.

ගර්භණී සමයේදී මෙලෙස කොන්දේ වේදනාවන් ඇතිවන්නේ ගර්භාෂය විශාල වීම නිසා හෝ හෝමෝන වෙනස් වීම නිසා යයි බොහෝවිට මව්වරුන් සිතයි. එහි එක්තරා සත්‍යතාවයක්ද පවතී. ගර්භණී කාලය තුළ විශාල වූ ගර්භාෂය නිසා ඍජුව නිවැරදිව සිට ගැනීමට මව්වරුන්ට අපහසුවන අතරම පහසුවෙන් සිට ගැනීමට ඔවුන් උදරය ඉදිරියට දමා සිටගන්නට පටන් ගනියි. එය මෙවැනි කොන්දේ වේදනා සඳහා බලපාන ප්‍රධාන සාධකයකි. එසේම වෙනදාට වඩා වැඩි බරක් ඉසිලීමට සිදුවීම නිසා මව්වරුන්ගේ පේශිවලට අමතර වෙහෙසක් ඇති කරන අතර ඒ හරහා ඔවුන් උසුලා සිටින සන්ධිවලටද එම වේදනාව දැනීමට පටන්ගනියි.

වැඩි වශයෙන් ගර්භණී සමයේ පිට කොන්දේ වේදනාව වැළඳිය හැකි අවස්ථා හතරක් මේ වනවිට හඳුනාගෙන තිබේ. ඒ අතරින් පෙර ගර්භණී සමයේදී පිට කොන්දේ වේදනාව වැළඳුණු මව්වරුන් ප්‍රධාන තැනක් ගනියි.

එසේම බහුල ලෙසම මෙම තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින තවත් තත්ත්වයන් වන්නේ,

  • ඉතා විවේකී ජීවිත ගත කරන මව්වරුන්
  • ගර්භණී භාවය හා අධික තරබාරු මව්වරුන්
  • ගර්භයේ දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින මව්වරුන්

ගර්භණී සමයේ ඇතිවන හෝමෝන වෙනස් වීම් නිසා ශ්‍රෝණි අස්ථි සහ බන්ධනී ඉහිල් වීමක් සිදුවන අතර මේවා කශේරුකාවට සම්බන්ධ වී ඇත. මෙම හේතූන් නිසා බොහෝවිට මව්වරුන් ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, බොහෝ වේලාවක් එකදිගට හිඳගෙන සිටීමේදී, ඇඳේ දී හැරෙන විට, උස අඩු පුටුවකින් නැගිටින විට, නැමෙන විට සහ යමක් ඔසවන විට මෙම වේදනාව දැනීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් මෙම වේදනාව කටී කශේරුකා පෙදෙසේ මෙන්ම ඊට පහළ කොටසේද ඇතිවිය හැක. සමහර කාන්තාවන් ගර්භණී තත්ත්වයට පත්වීමට පෙර සිටම මෙලෙස කටී කශේරුකා පෙදෙසේ වේදනාවෙන් පෙළෙන්නට පුළුවන්. මෙය ඉනට ඉහළින් වක්‍රාකාර ලෙස ඉණ පෙදෙසින් ඔබ්බට විහිදී යයි. පසුව මෙම වේදනාව දෙපා දක්වා විහිදී යන ලෙස දැනෙන්නට පටන්ගන්නා අතරම බොහෝ වේලාවක් සිටගෙන සිටීම, හිඳගෙන සිටීම සහ බරක් ඉසිලීම වැනි ක්‍රියාකාරකම් නිසා එය තවදුරටත් වර්ධනය වීමක් සිදුවිය හැකිය. බොහොමයක් ගර්භණී මව්වරුන් අතරේ මෙය සාමාන්‍ය තත්ත්වයකි. පඩිපෙළක් නැගීම, පුටුවක හිඳ ගැනීම සහ නැගිටීම, ඇඳේ දී එහා මෙහා හැරීම සහ බරක් ඉසිලීම වැනි අවස්ථාවන්වලදී මෙම වේදනාව දැඩිව දැනෙන්නට පටන් ගනියි.

මෙම කොන්දේ වේදනා තත්ත්වය වළක්වා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් සහිතව ව්‍යායාම ආරම්භ කිරීම අතිශය වැදගත් කාරණාවකි. පිහිනීම, යෝග ව්‍යායාම මගින් කශේරුකාව අවට ඇති පේශි ශක්තිමත් කරයි. මෙය තවත් කෙනෙකුගේ උදව් ඇතිව දියේ පාවෙමින් කරන ව්‍යායාම ලෙසද සිදුකළ හැකි අතර එමගින් යහපත් මානසික සුවයක් ගෙනදේ. මෙලෙස දියේදී සිදුකරන ව්‍යායාම මගින් පිට කොන්දේ වේදනාව අවම කරගත හැකි බව වෛද්‍ය විද්‍යාවේ ද තවුරුකර තිබේ. අනෙක්‌ වැදගත්ම ප්‍රතිකාරය වන්නේ ඇවිදීමයි. කටී ප්‍රදේශයේ වේදනාවට ශරීරය නැංවීමේ සහ හැරවීමේ ව්‍යායාම ද සුදුසු වේ.

සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී ජීවිතයේ එදිනෙදා පුරුදු පුහුණු වූ යම් යම් ක්‍රිකාරකම්වල වෙනසක් සිදු කිරීමට මව්වරුන් වගබලා ගතයුතුය. එක්වරම ඇඳෙන් නැගිටීම, උඩු අතට නිදාගැනීම, ශරීරය අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීමට ද සැලකිලිමත් වියයුතුය. ගර්භණී සමයේ මව්වරුන් සෑම විටම කෙලින් සිට ගැනීමට උත්සහගත යුතුය. ඉඳගෙන සිටින විට පවා පිට ඍජුව තබා ගැනීම වඩාත් සුදුසු වන අතරම කකුල් තබා ගැනීමට කුඩා බංකුවක් වැනි යමක් භාවිත කිරීමේ හැකියාවක්ද පවතී. වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකීමටද මව්වරුන් උත්සහ ගැනීම වඩාත් යහපත් වේ. නිදා ගැනීමේදී ද වම් පසට හැරී උදරයට සහ කකුලට කොට්ට තබා ආධාර කර ගැනීම ද වඩාත් යෝග්ය  වේ. මෙලෙස දිගින් දිගටම නිවැරදි ඉරියව් පවත්වාගැනීම ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාවලින් ඔබව ඈත් කිරීමට උපකාරීවන බව මතක තබාගැනීම වඩාත් යහපත් වේ. ගර්භණී සමයේදී උස අඩි සහිත පාවහන් පැළඳීම ඇද වැටීම්වලට පමණක් නොව මෙවැනි කොන්දේ වේදනාවලටද හේතුවන බව මතක තබා ගත යුතුය. බිම ඇති යමක් ගැනීමට නැමෙන අවස්ථාවකදී නම් නැමිය යුත්තේ දණිස් දෙකෙන් පහළට මිස කොන්දෙන් නොවේ. නැවත නැගී සිටීමේදී පළමුව බර උඩට ඔසවා නැගී සිටිය යුත්තේ දෙවනුවයි. ගර්භණී මවක් නම් මොප් කිරීම, වැකියුම් කිරීම වැනි කාර්යන් තනිව නොකිරීමට වගබලා ගත යුතු අතර ඒ සඳහා අන් අයගේ උපකාර ලබා ගත යුතුය.

ගර්භණී සමයේ ඇතිවන කොන්දේ වේදනා තත්ත්වයේ තවත් එක් සංකීර්ණ අවස්ථාවක් පවතී. එය කශේරුකාවේ පහළ කොටසේ අස්ථියක් පහතට ඇදීම නිසා හට ගන්නා අතර ,සයිටිකා වේදනාව, ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය උද්ගතවන්නේ ගර්භණී මව්වරුන්ගෙන් 1‍%කට පමණි. මෙම සයිටිකා තත්ත්වය ඇතිවූ විට දෙපා දිගේ ඇතිවන වේදනාව ඉතා අධිකය. එය කෙතරම් වේදනා සහගතද කිවහොත් පිට කොන්දේ වේදනාවට වඩා දෙපාවල වේදනාව දැනෙන මට්ටමට එය සංකීර්ණ වේ. කිසියම් මවකට තම පාදයේ සංවේදන නොදැනීම, පාදවල දුර්වල බවක් දැනීම, ඉකිළි ප්‍රදේශයේ, ගුදයේ සහ මුත්‍රාශයේ සංවේදන නොදැනීම නිසා නොදැනුවත්වම මුත්‍රා පහවන්නේ නම් හැකි ඉක්මනින් ඒ බව තම වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

සාමාන්‍යයෙන් ගර්භණී මවකට ඇති වන කොන්දේ වේදනා තත්ත්වයන් ගර්භණී තත්ත්වය වර්ධනය වීමත් සමග ටිකෙන් ටික වැඩිවීමට පටන් ගනියි. නමුත් පූර්ව ප්‍රසව සමයේ ඇතිවන මෙම සාමාන්‍ය පිට කොන්දේ වේදනා තත්ත්වයන් දරු ප්‍රසූතියෙන් ටික දිනකට පසු පහව යන නිසා ඒ සම්බන්ධව අනිසි ලෙස කලබල වීමක් සිදුවියයුතු නැත.

dr-Jaliya.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

අපි නොදන්නවා උනාට දරුවන්ට මේ දේවලුත් වෙන්න බැරි නැහැ…

පුංචි දරු පැටියෙක් ගෙදර ඉද්දි කොයි අම්මා තාත්තත් බොහොම සැලකිලිමත්. ඒත් අපි නොහිතන වෙලාවක නොහිතන විදියේ දේවල් මෙන්න මේ පුංචි පැටවුන්ට වෙන්න පුළුවන්.

කිරි හිරවීම – මෙයට බොහෝ විට හේතු වෙන්නේ වැරදි ඉරියව්වෙන් කිරි ලබාදීම තමයි. එහෙම කිරි උරා බොද්දි පෙවෙන වාතය පිටවීමේදී (ගුඩුස් යාමේදී) ඒ වාතය සමග ඉහළට එන කිරි ස්වසන මාර්ගයට ඇතුළු වීම නිසා දරුවෙකුට බරපතල හානි ඇති වෙන්න පුළුවන්. පැටියා නිදාගද්දී හිස ඉහළට එසවෙන විදියට කොට්ට තියන නිසාත් මේ දේ වෙන්න පුළුවන්.

නැපි රෑෂ් – නපි රෑෂ් ඇති වෙන්නේ ඩයපර නිසා විතරක් කියලයි බහුතරයක් අම්මලා හිතාගෙන ඉන්නේ. ඒත් ඩයපර වුනත් නැපි උනත් නියමිත අවස්ථාවේ මාරු නොකළොත් නැපි රෑෂ් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රබර් ෂීට් භාවිතයත් ඒ මත සිල්ක් වැනි රෙදි වර්ග දමා දරුවා තැබීම නිසාත් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකියි.

බෙල්ල වණ වීම – කිරි උරා බීමේදී කිරි බෙල්ලට වැගිරීම හෝ සේදීමෙන් පසු තෙත මාත්තු නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. බෙල්ලේ වගේම ඉකිලිද මුත‍්‍රා රැඳීම නිසා හෝ තෙත රැඳීම නිසාත් ඒ ස්ථානවල මේ තත්ත්වය දැකිය හැකියි.

කන පැසවීම – අනවශ්‍ය ලෙස කන පිරිසිදු කිරීම මේ තත්ත්වයට හේතු විය හැකියි.

කෘමි දෂ්ඨනය – දරුවා සිටින කාමරය හොඳින් පිරිසිදු නොකිරීම, මුත‍්‍රා හෝ මලපහ සහිත නැපි නිසි ලෙස ඉවත් නොකිරීම, කාමරය තුළ කෑම/ඉඳුල් විසිරීම, ඉර එළිය කාමරයට නොවැටීම, මදුරු දැල් භාවිත නොකිරීම වැනි හේතූන් නිසා කෘමීන් බෝ වීමෙන් මෙවැනි අවස්ථාවන්ට දරුවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

සම තුවාල වීම – මවගේ ඇඳුම්වල ඇති තද බොත්තම් වැනි දේ මෙන්ම ඇඳුම්වල ආලේපිතව ඇති දිලිසෙන කුඩු වර්ග නිසා ඇතිවන ආසාත්මිකතා, කෘමි දෂ්ඨන මගින් සම මත තුවාල ඇති විය හැකිය.

පෙකණිය පැසවීම – තෙතමනය රඳා පැවතීම නිසා හෝ දරුවාගේ මුත‍්‍රා/මව්කිරි තැවරීම නිසා, දරුවා නෑවීමෙන්/සේදීමෙන් පසු තෙත මාත්තු නොකිරීම නිසා පෙකිණිය පැසවීම සිදුවිය හැකිය.

පියයුරේ ගෙඩි ඇති වීම – පියයුරුවල කිරි ඇතැයි සිතා පියයුරු මිරිකීම නිසා විෂබීජ ඇතුළු වී පැසවීමට ලක්වීම. ශල්‍යකර්ම කිරීමට සිදුවන අවස්ථා ද ඇත.

දිව තුවාල වීම – කිරි මැලියම් ඉවත් කිරීමට විවිධ දේ භාවිත කිරීම හෝ තදින් ඇතිල්ලීම.

අජීර්ණ හෝ බඬේ අමාරු – මව්කිරි වෙනුවට ආදේශක පිටිකිරි හෝ වෙනත් පාන වර්ග ලබාදීම.

ආසාත්මිකතා : 

  • පිටිකිරිවල ඇති ප්‍රෝටීන දිරවීමට අපහසු වීම
  • විවිධ ක‍්‍රීම් වර්ග, පවුඩර් වර්ග, සබන් භාවිත කිරීම නිසා ඇතිවන ආසාත්මිකතා
  • කපු ඇඳුම් භාවිත නොකිරීම නිසා තෙතමනය උරා ගැනීමට නොහැකිව සමට වන හානි
  • ඉටි රෙදි, රබර් ෂීට් භාවිතය
  • බෙල්ලට, අතට යොදන නූල් වර්ගවලට ආසාත්මිකතා ඇති වීම
  • කිරි පමණක් දිය යුතු කාලය තුළ දී වෙනත් ආහාර වර්ග ලබාදීම
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී අයිරාංගනී ගගලගමුව මහත්මිය විසින් සකසන ලද ලිපියකි.

 

කිරි කැටියෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවන තවත් හේතු 5ක්

නව ජන්ම ළදරුවෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට සිදුවන හේතු පිළිබඳව අපි මිට පෙර ලිපියකදිත් සාකච්ජා කල ඔබට මතක ඇති. මේ ම ලිපියෙන් දැක්වෙන්නේත් එසේ වීමට බලපෑ හැකි තවත් අවස්ථා පහක් පිළිබඳවයි.

01). වලිප්පුව – Convulsion ඇති වීම

හදිසියේ ඇතිවන ස්නායු ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙයට හේතූ ලෙස,

  • උපත් අනතුරු Birth Injuries
  • ආවෘති දාහය (මොළයේ පටල ප‍්‍රදාහය – Ineninrtics)
  • මොළය තුල රුධිර ගැලීම
  • පරිවෘත්තීය රෝග
  • රුධිරයේ සීනි අඩුවීම
  • රුධිරයේ කැල්සියම් අඩුවීම හෝ
  • රුධිරයේ සෝඩියම් අඩුවීම හෝ වැඩිවීම

මීට අමතරව ශරීර උෂ්ණත්වය වැඩිවූ විටද මෙවැනි තත්ත්වයක් සමහර ළදරුවන් තුළ දැකිය හැක.

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,

i) අවශ්‍ය නම් කෘත‍්‍රීම ශ්වසනය ලබාදීම :

  • වා මග පැහැදිලි කිරීම. ශ‍්‍රාවයක් ඇත්නම් ඉවත් කිරීමට ඵලදායී ස්වසනයක්, ප‍්‍රමාණවත් රුධිර සැපයුමක් ඇති දැයි නිරීක්‍ෂණය. අවශ්‍ය නම් ඔක්සිජන් ලබාදීම
  • කැනියුලාවක් ඇතුළු කරගැනීම හා රුධිරය සම්පූර්ණ වාර්තාවක් සඳහා (Full Blood Count), රුධිරයේ සීනි පරීක්‍ෂාව (Random blood sugar), රුධිර කැල්සියම් හා විද්‍යුත් ශ්ලඵක (සෝඩියම්, පොටෑසියම්) පරීක්‍ෂාව සඳහා ගැනීම

ii) රුධිරයේ සීනි මට්ටම 45mg/dl වඩා අඩු නම් 10% Dextrose ආම්ලයිකය බර අනුව ලබාදීම 

iii) කැල්සියම් ප‍්‍රමාණය අඩු නම් Calcium gluconate මගින් නිවැරදි කිරීම

iv) තවදුරටත් ආක්ෂේප පවතී නම් ප‍්‍රති ආක්ෂේප ඖෂධ (Anti Convulsire drug) ලබාදීම (උදා: Phenobarbitone IV, Levateracetum IV)

v) ප‍්‍රති ආක්ෂේප මගින් ද මෙම තත්ත්වය අඩු නොවුනි නම් Midazalam ඖෂධය N.Salin හා එකතු කර ශිරාවක් ඔස්සේ ආම්ලයිතයක් ලෙස ලබාදීම

තීව‍්‍ර අවස්ථාව සමනය වූ පසුව මොළයේ ස්කෑන් පරීක්‍ෂණය (USS brain)  හා (ECG) පරීක්‍ෂණය කරගැනීම වැදගත් වේ.

02). කාමලාව (Jaundice)

සම හා ඇසේ සුදු පැහැ කොටසේ  (Sclera)  කහ පැහැයක් ගැනීමයි. මෙය ආකර 2 කි.

i) භෞතවේදීය කාමලාව (Physiological Jaundice)

පැය 24-72 කහ පැහැය ඇති වේ. මේරූ දරුවෙකුගේ නම් දින 4-5 දී ද නොමේරූ දරුවෙකුගේ නම් දින 7 දී ද නොපෙනී යයි.

ii) ව්‍යථවේදීය කාමලාව (Pathological Jaundice) මුල් පැය 24 තුලදී ඇති වේ

මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,

  • ප‍්‍රභා ප‍්‍රතිකාරය (Phototherapy)  :CFL, LED  බල්බ යොදා ගනිමින් Florescent Light Phototherapy Machine ආධාරයෙන් ප්‍රභා ප්‍රතිකාර ලබාදීම සිදුවේ.

බිලිරුබින් මට්ටම පරික්ෂා කරමින් එය වැඩි නම් ප්‍රභා ප්‍රතිකාරය දෙගුණ කරනු ඇත.ඉන් ද සුවය නොලැබුනහොත් රුධිර හුවමාරුව (Blood exchange) සිදු කරයි.

03). නවජ සුති ප‍්‍රතිය (Neonatal Sepsis)

ශරීර ගතව සිටින බැක්ටීරියා රුධිරයට එක්වීම නිසා ඇතිවන ආසාධන තත්ත්වයකි. මේ තත්ත්වය ඇති කිරීමට වැඩිපුරම බලපාන බැක්ටීරියා වර්ග ලෙස E-Coli, B Streptococci, staphylococci  යන බැක්ටීරියා වර්ග හැඳින්විය හැකිය. මෙසේ  මෙම බැක්ටීරියාවන් රුධිරයට එක්වීම නිසා එම රුධිරය සංසරණය වන සෑම අවයවයකම හානිදායක තත්ත්ව ඇති කරයි.

මෙම තත්ත්වය හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්‍ෂණ :

  • රුධිර වගා කිරීම (Blood Culture)
  • සම්පූර්ණ රුධිර පරික්ෂාව (Full blood count)
  • C-Reactive Protein (CRP)
  • මුත‍්‍රා වගාව (Urine culture)
  • සුසුම්නා තරලය පරීක්‍ෂාව (Cerebro Spinal Fluid)
  • Chest X-ray

ප‍්‍රතිකාර ලෙස :

  • වා මඟ පැහැදිලිව තබාගැනීම
  • ස්වසන අපහසුතා ඇත්නම් කෘතීම ස්වසන යන්ත‍්‍රයකට සවි කිරීම
  • රුධිර සංසරණය පවත්වා ගැනීම
  • රුධිරයේ සාමාන්‍ය සීනි මට්ටම පවත්වා ගැනීම
  • රුධිර ගැලීමක් ඇත්නම් විටමින් K iv ලබාදීම
  • තරලය ශිරා මගින් ශරීර ගත කරන අතර තීව‍්‍ර අවස්ථාව මගහැරෙන තුරු මුඛයෙන් කිසිවක් නොදේ
  • රුධිරයේ ඔක්සිජන් මට්ටම පවත්වා ගැනීම (90% – 94%)
  • රුධිරය වගා කිරීම හරහා සුදුසු ප‍්‍රතිජෛවක ලබාදීම
04). ආජන්මන හෘද රෝග (- Congenital Heart Disease )

දරුවා උපදින විට හෘද බිත්තියේ හෘද කපාට, රුධිර වාහිනීවල ආබාධ සහිතව උපදී. විවිධ රෝග තත්ත්ව සඳහා විවිධ ප‍්‍රතිකාර ඇත.

ප‍්‍රතිකාර ලෙස :

  • ඖෂධ ලබාදීම
  • හෘදය විවෘත කිරීම හරහා කරන ශල්‍යකර්ම
  • හෘද කැතීටරකරණය Cardiac Catheterization
  • බාහිර උපකරණ සම්බන්ධ කිරීම (උදා: Pace Maker – අසාමාන්‍ය හද ගැස්ම පාලනය කරයි)

Implantable cardioverter defibrillator – ජීවිතයට තර්ජනය විය හැකි හද ගැස්ම පාලනය කරයි

05). දරුවන් තුළ ඇතිවන ශල්‍ය තත්ත්ව – Surgical Conditions of New Born

  • ගුදය නොපැවතීම (Imperferated Anus)
  • අන්තක කොටස් මිය යාම (NEC – Necrotizing Entero Colitis)
  • මහා ප්‍රාචීරය හරහා උදර කුහරයේ අවයව උරස් කුහරයට පැමිණීම (Diaphragmatic Hernia)
  • ග‍්‍රහනියේ පටුවීම (Duodenal Atreshia)
  • ස්වාසනාලය හා අන්ත ශ්‍රෝතය අතර සම්බන්ධතාවයක් ඇති වීම (TOF (Tracheo Oesophageal Fistala)

ඉහත ශල්‍ය තත්ත්වයන් සඳහා ශල්‍යකර්ම සිදු කරයි.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය E.M.S ඒකනායක මහතා සමග සුතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරීනි ක්‍රිෂාන්ති ගංගා මහත්මිය විසින්  සකසන ලද ලිපියකි.

 

බබාට කෑම හදමු – ලිපි අංක 4

චූටි බබාලට වගේම ලොකු පොඩ්ඩන්ටත් දිය යුතුම, බතල​….


පුංචි බබාලගේ කෑම ආරම්භය ගැන කතා කරනකොට දෙන මූලික ආහාර වර්ගයක් විදියට බතල හරි ප්‍රසිද්ධයි. ගොඩක් අම්මලා කහ බතල තම දරුවන්ට ලබා දෙන්න උත්සහ කරනවා. නමුත් දරුවන් ටික ටික ලොකු වෙනකොට බතල වලට තියෙන ඉල්ලුම සැලකිල්ල චුට්ටක් අඩු වෙන බවක් අපිට පේනවා. දරුවන් විතරක් නෙමෙයි අම්මලා තාත්තලත් බතල කන්න මැලි වෙනවා. ඒ බතල පිළිඹඳ අපිට තියෙන්නේ අඩු දැනුමක් නිසා. ඒ නිසා අපි අද ලිපියෙන් බතල ගැන ටිකක් කතා කරමු. මම සොයාගත් තොරතුරු සංක්ශිප්ත ලෙස මේ ලිපියේ සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙන අතරම බබාලට බතල වලින් හදා ගන්න පුලුවන් කෑම පිළිඹඳ අදහස් ටිකකුත් කියන්නම්.

බතල කියන්නේ පිශ්ඨය එහෙමත් නැත්නම් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක්. එනිසා දරුවන් ගේ ශරීරයට හොඳින් ශක්තිය සපයන ආහාරයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම බීටා කැරොටින්, විටමින් A, C හා E, පොටෑසියම්, කැල්සියම්, යකඩ වැනි තවත් පෝශ්‍ය කොටස් බහුල ආහාරයක් තමයි බතල​. තවත් විශේෂ දෙයක් තමයි බතල කියන්නේ අනෙක් අල වර්ග වලට වඩා තන්තුමය ගතිය වැඩි ආහාරයක්. ඉතින් ඔයාලට පේනවනේ, බතල කියන්නේ ලොකු පොඩි කාටත් ඉතා ගුණදායක දෙයක්.

sweetpotetos

අපි ගොඩක් අය දන්නේ රතු පොත්ත සහිත සුදු පාට මදය සහිත බතල වර්ගය සහ සුදු පොත්ත සහිත කහ පාට මදය  සහිත බතල වර්ගය විතරයි. නමුත් ඕගොල්ලෝ දන්නවද​, නිර්දේශිත බතල වර්ග 10ක් පමණ වෙළඳ පොලේ ඇති බව? ඒවායේ මදය සහ පොත්ත පාටවල් වල වෙනස්කම් තියෙනවා. කොහොම නමුත් මේ ඕනෑම බතල වර්ගයක් ගුණදායකයි.

නිර්දේශිත බතල ප්‍රභේද…

නිර්දේශිත ප්‍රභේද අලයේ පිට පොත්ත හා මදයේ පැහැය
වාරියපොල රතු රතට හුරු දම් පාට පිට පොත්ත හා මදය සුදු පැහැති
වාරියපොල සුදු සුදු පාට පිට පොත්ත හා මදය සුදුපාටය
රණ බිම (HORDI.P.2) ලා රෝස පාට පිට පොත්ත, මදය ලා කහ පාටය
ශාන්ති (B.W 08) ක්‍රීම් පාට පිට පොත්ත, මදය සුදු පාටය
චිත්රා (B.W 21) ක්‍රීම් පාට පිට පොත්ත, මදය සුදු පාටය
CARI 426 රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත තැබිලි පාට
CARI 9 රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට
CARI 273 රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට
ධවල සුදු පාට පිට පොත්ත, ඇතුලත කහ පාට වේ
අමා අලවල පොත්ත රෝස පැහැය වන අතර ඇතුලත තැබිලි පාට වේ

(උපුටා ගත්තේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය​, ගන්නෝරුව​ web පිටුවෙන්)

ඔන්න අපේ අම්මලටත් හොඳ ආරංචියක් කියන්නම්. ඔයාලා කැරට් ජූස් එහෙම බොනව නේද සම පැහැපත් වෙන්න​? ඔයාලා දන්නවද​, බතල වල කැරට් වලට වඩා බීටා කැරටින් තියෙන බව​, කහ බතල වල ඒවා ගොඩක් වැඩියි. බතල වලිනුත් ජූස් හදාගෙන අම්මලාට බොන්න පුලුවන්. මම අන්තර්ජාලයේ සැරිසරද්දී දැක්කේ මේ තොරතුර​ බතල​,කැරට්, ඇපල්, ඉඟුරු චුට්ටක් එක්ක එකට බ්ලෙන්ඩ් කරලා ජූස් හදලා බොන්න පුලුවන් පැහැපත් වෙන්න​.

බතල කොහොමද අපි අපේ පැටියන්ට දෙන්නේ..? පුංචි බබාලට ආහාර ආරම්භ කරන මුල් කාලයේ සිටම බතල කවන්න පුලුවන්. බතල පොත්තේ ගුණය ඉතාමත් වැඩි යි. ඒ කියන්නේ අපි මේ ලිපියේ මුලින් කතා කල පෝශ්‍ය කොටස් වැඩි ප්‍රමාණයක් බතල පොත්තේ අඩංගු වෙනවා. ඒ නිසා බතල හොඳට සෝදා, පිරිසිදු කරගෙන පොත්ත සම්ඟ කෑමට ගන්නවනම් අපි හැමෝටම හොඳයි. කාබනික බතල ඔබට හොයාගන්න තියෙනවනම් වඩාත් හොඳයි. අද කාලයේ කොයි දේටත් රසායනික පොහොර භාවිත කරන නිසා, අපිට අකමැත්තෙන් උනත් පොත්ත ඉවත් කරන්න වෙනවා.. අම්මලා මොකද ඒක ගැන හිතන්නේ? ඔයාලගේ අදහසුත් අපිට කියන්න​. කොහොම වුනත් බතල පොතු ඇරලා, පොඩියට කපලා ජල වාශ්පයෙන් තම්බා ගන්න පුලුවන් ඉක්මනින්ම​. මම මගේ පැටියට බතල ලේසියෙන් හදා ගත්තේ ඒ විදියටයි.

බතල වලින් හදා ගන්න පුලුවන් කෑම වර්ග සඳහා අදහස් කීපයක් මම ඉදිරිපත් කරන්නම්. ඔයාලත් හදලා බලන්නකෝ…

  1. බතල තලපය – බතල තම් බා පොඩි කර වතුර හෝ කිරි සමග මිශ්‍ර කර තලපයක් ආකාරයෙන් බබාට දෙන්න පුලුවන්.
  2. බතල සමඟ එළවලු එකක් හෝ කිහිපයක් – වට්ටක්කා, කැරට් වගේ කහ පාට එළවලු විතරක් නෙමෙයි රාබු, අල, කෝලිෆ්ලවර් වගේ ඕනැම එලවලුවක් හෝ කීපයක් එකට තම්බාගෙන කවන්න පුලුවන්
  3. සත්වමය ආහාරයක් සමග බතල – මස්, මාලු, බිත්තර සමග බතල තම්බා කවන්න පුලුවන්
  4. බතල සමග පළතුරු – මිදි, ඇපල්, පෙයාස් වැනි ඕනෑම පළතුරක් හෝ ඒවාහි යුෂ සම්ඟ බතල කවන්න පුලුවන්
  5. පළා වර්ගයක් සමග බතල – බතල සමග නිවිති, ගොටුකොල වැනි පළා එකතු කර ගන්න පුලුවන්
  6. බත් සමග බතල – ඔයාලා බබාලාට හදන බත් එකට බතල එලවලුවක් විදියට එකතු කර ගන්න පුලුවන්
  7. බතල වලින් පෑන් කේක් – බිත්තර​, කිරි, පාන්පිටි සමගම තම්බා පොඩි කරගත් බතල ද යොදා ගෙන රසවත් පෑන් කේක් සාදා ගත හැකියි.
  8. බතල කූරු – බතල තීරු ලෙස කපා කහ ලුනු අතගා ගැඹුරු තෙලේ බැදලා ලොකු පොඩ්ඩන්ට දෙන්න පුලුවන්.
  9. බතල බයිට්ස් – තම්බාගත් බතල පොඩිකරගෙන​, එයට තමුන් කැමති ධාන්‍ය කුඩු, ත්‍රිපෝශ වැනි දෙයක් එකතු කර​, තෙල් සහ වතුරෙන් ඝන මිශ්‍රණයක් ලැබෙන තෙක් අනා ගන්න​. පසුව ඒවායින් බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න පුලුවන්.
  10. බතල සුප් – කුකුල් මස් වතුර , එළවලු සමඟ සුප් ආකාරයෙන් සකසා ගන්න පුලුවන්.
  11. බතල සමඟ යෝගට් / මී කිරි

තවත් ඔබ දන්නා රෙසිපි තිබේනම් කමෙන්ට් කරන්න​.

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණීන් ආවරණය කරන්න උත්සාහ ගත්තා. ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .