ඕටිසම් (Autism) තත්ත්වයේ පසුවන දරුවෙකු ගැන වැඩිහිටියන් අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු 20ක්

අද අප්‍රේල් 2, ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ ජ්‍යාත්‍යන්තර දිනයයි. මොළයේ සෛලවල ඇතිවන සංකූලතාවයන් හේතුවෙන් ඇති වන තත්ත්වයක් වන ඕටිසම් පිළිබඳව නිවැරදිව ඔබව දැනුවත් කිරීම උදෙසා ඕටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්යන්තර දිනය වන අද දින Parenting.lk අපේ වෑයමයි. මන්ද ඒ තුළින් දරුවන්ගේ යම් අසාමාන්ය තත්ත්වයන් ඇත්නම් ඒ පිළිබඳව හඳුනා ගැනීම ඔබට පහසු විය හැකි බැවින්ය.

ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙකු සාමාන්ය ජීවිතයට හැකිතාක් දුරට හුරුකරවීම සඳහා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු, මනෝ වෛද්‍යවරයෙකු, වාග් චිකිත්සකවරුන්, වෘත්තිය චිකිත්සකවරුන් සිය දැනුම, කාලය, ශ්‍රමය උපරිමයෙන් යොදවන අතරම මෙසේ දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ භාරදූර කර්තව්‍යයේදී දෙමාපියන්හට පැවරෙන වගකීම ද සාර්ථකව ඉටු කිරීම දරුවා හැකිතාක් දුරට සමාජය තුළ ස්වාධීන කරවීමට මහත් සේ රුකුල් වේ. එසේම අද වන විට මෙවැනි දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ක්ෂේශ්ත්‍රයද ඉතා දියුණු තත්ත්වයකට පත්ව තිබේ. මොවුන් වෙනුවෙන් විශේෂිත පුහුණු ගුරුවරුන් මෙන්ම අධ්‍යාපන ආයතන, පෙර පාසැල් අපේ රට තුළද ක්‍රියාත්මකව පවතී. මේ හේතුවෙන් අතීතයේදීට වඩා අද වන විට ඕටිසම් සහිත දරුවන්ගේ අනාගතය වාසනාවන්ත තත්ත්වයට පත්ව තිබේ.

ඔබ දන්නවාද?

ඕටිසම් තත්ත්වය සහිත දරුවන් තුළ පවත්නා දුර්වලතා ප්‍රධාන කොටස් තුනක් යටතේ හඳුනා ගත හැකි බව. එනම්, සන්නිවේදන දුර්වලතා, සමාජීය සම්බන්ධතා සම්බන්ධ දුර්වලතා සහ සිතුවිලි ආශ්‍රිතව ඇතිවන දුර්වලතා වශයෙනි.

දෙමාපියනි,

දරුවන් එකිනෙකාට වෙනස් වේ. එක් දරුවෙකුට දෙනු ලබන ප්‍රතිකාර මෙන්ම ව්‍යායාම තවත් දරුවෙකුට සුදුසු නොවිය හැක. මන්ද මෙවැනි තත්ත්වයකදී ඇතැම් සමාන ලකෂණ පෙන්නුම් කළද දරුවන්ගේ හැකියාවන් මත ඔවුන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වියහැකි බැවිනි. අන්න ඒ නිසාම ඔබ විසින් සැලකිලිමත් විය යුත්තේ ඔබේ වෛද්‍යවරුන්/චිකිත්සකවරුන් ලබාදෙන සහ උපදෙස් දෙන කාර්යයන් පමණක් මෙවැනි දරුවන් වෙත නිවැරදිව ඉටුකිරිමයි.

සන්නිවේදනය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

• ඕටිසම් දරුවන් සන්නිවේදනයට එතරම් ඇල්මක් නොදක්වන අතරම බොහෝ විට තම අවශ්‍යතා පමණක් සන්නිවේදනය කරයි
• කතාවේ සහ භාෂාව වර්ධනයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබේ
• ඇසට ඇස බලා කතා නොකරයි
• නිවැරදිව සංවාදවල යෙදීම අසීරු නිසා සංවාද පවත්වාගෙන යාම ගැටලුකාරීය
• සංවාදය ඇරඹුම, අවසානය පිළිබඳව හැඟීමක් නොමැත
• තමන් කැමති දේ පිළිබඳව පමණක්ම කතා කරයි
• එකම දෙය කිහිපවරක් නැවත නැවත පවසයි
• අන් අයගේ කතාවලට ඇහුම්කන් දීමක්/ප්රතිචාර දැක්වීමක් නොමැත
• තමන්ට සිතන/දැනෙන දේ පිළිබඳ අන්‍යන් දන්නා ලෙස සිතා කටයුතු කරයි.
• විහිළු තහළු/උපමා/ව්‍යංගාර්ථ වැනි දෑ තේරුම් ගැනීම අපහසුය.

සමාජීය සම්බන්ධතාවලදී ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

• සමාජීය සබඳතා පවත්වාගෙන යාමට ඇති කැමැත්ත ඉතා අඩුය.
• තමන්ට කැමති අවස්ථාවන්වලදී තමා කැමති අයෙකු සමග පමණක් සබඳතා පවත්වයි.
• නිවැරදි වෙලාවට නිවැරදි ලෙස අන් අය සමග සම්බන්ධතා පැවැත්වීමට අපොහොසත්ය.
• තනිව සිටීමට බොහෝ ප්‍රිය කරයි
• සමාජීය රිතීන් පිළිබඳ ඔවුන් තුළ ඇති අවබෝධය අවමය.
• නිර්මාණාත්මක ක්‍රීඩාවල නොයෙදෙන මොවුන් බොහෝවිට සෙල්ලම් කිරීම වෙනුවට සෙල්ලම් බඩු පේළියට තැබීම හෝ ඒවා ද්‍රව්‍ය ලෙස භාවිත කරයි
• එකම ක්‍රීඩාව එකම ආකාරයෙන් නැවත නැවත සිදු කරයි. මෙවැනි තත්ත්වයකදී යම් බාධාවක් පැමිණයහොත් ඉතා ඉක්මණින් කෝප වේ.

සංවේදී/දැනීම ආශිත ගැටලූ සහිත ඕටිසම් දරුවන් පෙන්නුම් කරන ලකෂණ

වර්ණ/ශබ්ද/රස/සුවඳ/ස්පර්ශ යන සන්වේදනවලට අදාලව මෙවැනි දරුවන් තුළ අධි ක්‍රියාකාරීත්ව මෙන්ම අවක්‍රියාකාරීත්ව තත්ත්වයන් දක්නට ලැබේ. එනම් මෙවැනි ඇතැම් දරුවන් අධිසංවේදී වන අතරම ඔවුන් කුඩා උත්තේජනයකදී ඉක්මන් ප්‍රතිචාර දක්වන අතරම අවසංවේදී දරුවන් ප්‍රබල උත්තේජනයකින් පමණක් ප්‍රතිචාර දක්වයි.

• නින්ද අවමය.
• එකම රස/නමකින් යුතු ආහාර පමණක් ලබාගනී
• සියුම් චාලක හැකියා පෙන්වීමේ හැකියාව අවමය
• ආරක්ෂාව පිළිබඳ ස්වාධීනව කටයුතු කිරීම අපහසුව
• අනුමාන කිරීම් හෝ සංසන්දනාත්මකව තීරණයකට එළැඹිය නොහැකි මොවුන්ට යම් දෙයක සුළු කොටසකට පමණක් අවධානය යොමු කරන අතරම සම්පූර්ණ තත්ත්වය අවබෝධ කරගැනීම අපහසුය.

අද වන විට සිදු කෙරෙන සමීකෂණ වාර්තාවලට අනුව ලොව සෑම දරුවන් හැට අට දෙනෙකු අතරින් එක් අයෙකු ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන බව පැවසේ. ඕටිසම් තත්ත්වය ඇති වීමට නිෂ්චිත හේතුවක් හෙළි වී නොමැති වුවද සමීකෂණ වාර්තාවලට අනුව ජානමය හේතූන් සහ පාරිසරික හේතූන්වල යම් බලපෑමක් ඇති බව අනාවරණය වී ඇත.
එසේම අධි රසායන හේතුවෙන් ඕටිසම් තත්ත්වය ඇති වේද යන්න පිළිබඳව සොයා බැලීමට පරීකෂණ සිදුකෙරෙමින් පවතින අතරම වාහන දුම, කෂණික/කෘතිම ආහාරවල අධිරසායන ද්රව්ය ඇති බැවින් ගැබිනි සමයේ මෙන්ම කිරි දෙන අවධියේ එවැනි දේට නිරාවරණය නුසුදුසු බවට මව්වරුන්ට උපදෙස් ලබාදේ. එසේම ගැබිනි මව සහ කිරි දෙන මව වෛද්ය නිර්දේශයට අනුව නිසි පරිදි යකඩ ලබාගැනීම තුළින් ද මෙම තත්ත්වය වළක්වා ගැනීමට හේතු වන බවද පැවසේ. නිරෝගී දරුවෙකු පිළිබඳ සිහින දකින ඔබ මෙවැනි තත්ත්වයන්ගෙන් ආරකෂා වීමට වග බල ගත යුතුය.

කථන හා භාෂා ව්‍යාධිවේදී නිමීර චතුරංග වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි.

 

උසස් පෙළ …. ඉදිරියේ තීරණය දරුවන්ටයි

සාමාන්‍ය ප්‍රතිඵල නිදහස් වෙන්නත් පෙරාතුවම දරුවන් යොමු වෙන්නේ අම්මා තාත්තාගේ ඉලක්ක සපුරා ගැනීමටයි. ඇත්තටම මේ අවස්ථාව දරුවන්ට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව ලබා දිය යුතු කාලයක්.

බාල කාලයේදී දරුවාගෙන් අපි මේ වගේ ප්‍රශ්න අහනවා. පුතා ලොකු වුනාම මොනවද කරන්නේ….

දරුවා වෙනුවෙන් අපි හුරු කරන්නේ දොස්තර කෙනෙක් යන වචනය පමණයි. හය හතර නොතේරෙන දරුවා රැකියා ධුරාවලිය ගැන නොදැන හිටියත් අම්මා අප්පච්චිගේ මෙහෙයවීම නිසා  මං ලොකු වුනාම දොස්තර කෙනෙක් වෙනවා… කිව්වත් දැන් අනාගතය ගැන ඉතාම හොඳින් තීරණ ගත හැකි වයසක්. අපි දරුවාට ඉඩ දිය යුත්තේ ඔහුගේ හැකියාවටයි. පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ ප්‍රතිඵළ අනුව කලා අංශයේ දිවයිනේ මුල් තැන ලබා ගත් දියනියගේ පියා වෛද්‍ය වෘත්තියේ යෙදුනත් කිසිම දිනක මේ දියනිය වෙනුවෙන්  ඔවුන් බලපෑම් ඇති කළේ නැහැ. ගණිත අංශයෙන් මුල්තැනට පත් දියණිය මුල් කාලයේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙණුම ලබන අතරවාරයේ නැවත ගණිත අංශයට යොමු වුනා. ඒ අවස්ථාවේදී ඇගේ මව නම් මේ තීරණය වෙනුවෙන් සතුටු වුනේ නැහැ. ඒත් ඇය දියණියට බලපෑම් ඇති කළේ නැහැ. දිවයිනේ ගණිත අංශයෙන් තම දරුවා වාර්තා තැබූ දිනයේ මව කියා සිටියේ දියණියගේ තීරණය ගැන ඇය ඇත්තටම සතුටු වෙන්නේ අද දිනයේ බවයි.

ඉහත හැම අවස්ථාවකින්ම පෙනෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි  ඔවුන්ගේ ස්වාධීන තිරණයන්ට ඉඩ ලබා දීම වැදගත් බවයි. පවුල් පරම්පරාවේ දොස්තරවරුන් , ඉංජිනේරුවන් කිසිම හිගයක් නැති බව ඇත්ත. ඒත් ඔබේ දරුවා වෙනම අයෙක්. දරුවාටම ආවේණික ස්වාධීනත්වයක් තිබෙනවා. හැකියාවක් තිබෙනවා. ඒ අනුව ඉදිරියට යන නිදහස ඔවුන්ට තිබීම අවශ්‍යයි.

බොහෝ මව්පියන්ගේ ආකල්පය වෙන්නේ විද්‍යාව හැර වෙනත් විෂය ධාරාවකින් ඉගෙණුම නොකලහොත් අනාගතයක් නැති බවයි. එහි කිසිම පදනමක් නැත. විද්‍යා විෂය ධාරාවෙන් ඉහලට යා හැකි බව ඇත්ත. ඒත් හදිසියේවත් මෙම විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබන විට ඇති වෙන අසීරුතාවයන් නිසා විභාගය සමත්වීමේ අපහසුතාවයක් ඇති වුනොත් වැඩිදුර අධ්‍යාපනයට අවහිරතාවයක් ඇති වෙනවා. මේ නිසා තීරණ ගැනීමට දැන් කාලය එළැඹ ඇත.

දැන් දරුවන් උසස් පෙල වෙනුවෙන් පංති ආරම්භ කරන්නේ සාමාන්‍ය පෙළ අවසානවීමත් සමගයි. මාස හතරක පමණ කාලයක් දැන් ගෙවී ඇත. තමා උසස් අධ්‍යාපනය ලබන්නේ කුමන විෂය ධාරාවෙන්ද යන සංකල්පයක දරුවා පිහිටා ඇත. ප්‍රතිඵලයක් ගැන ලිඛිතව අතට ලැබෙන තෙක් විශ්වාස කිරීම අපහසුයි. මොනතරම් දක්ෂ දරුවෙක් වුනත් අදාල විභාග ශාලාවේදී ගෙවන කාලසීමාවේදී ඔහුගේ ප්‍රතිඵල ගැන තීරණය ලැබෙනවා. එවිට මානසිකව බිඳ වැටෙන්නට ඉඩ දිය යුතු නැහැ.

අනවශ්‍ය විදිහට දරුවා ලුහු බඳිමින් ඔබට අවශ්‍ය විෂය ධාරාව වෙනුවෙන් යොමු කිරීම නොකළ යුතුම දෙයක්. ප්‍රතිඵල ඉදිරියේ ගත යුතු තීරණය ගැන තේරුම් කර දීම වරදක් නැත. දැන් දරුවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් ඇති අත්පොත පරිශීලනය කොට තමාගේ අනාගත ඉලක්කය තෝරා ගත හැකියි. මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවෙයි කියන්නා සේ අනාගතය වෙනුවෙන් ඔබ වර්තමානය කැප කරන්නේත් වියදමක් දරන්නේත් අනාගතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණ වෙනුවෙන්ය. ඒ වෙනුවෙන් අද දවසේ ගනු ලබන තීරණය ඉතාම වැදගත් වේ.

1980 දශකයේ විද්‍යා විෂය ධාරාවට යොමු වීමේ ප්‍රවනතාවය බොහෝ සෙයින් අඩු වුනත් 2010 දශකයේ පටන් නැවතත් විද්‍යා විෂය ධාරාවට ඇති යොමු වීම ඉහලය. ඒ අතරම අසමත් ප්‍රතිශතයත් ඉහල යන ලකුණු දැන් දැන් ඉහල නගිමින් පවතී. ඒ අතරම කලා සහ වෙනත් තාක්ෂණ විෂය ධාරාවන්ගෙන් උසස් ප්‍රතිඵල ලබන සමවයසේ දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයට පත් වෙන විට ඔබේ දරුවාගේ කනස්සල්ල තවත් වැඩි වේ.

කිසිම දෙයක් බැරුව හිටිය අය දැන් විශ්ව විද්‍යාලයේ…අපේ දරුවෝ ගෙදර…රස්සාවකුත් නැහැ..අපේ අවාසනාව තමා..මේ අන්දමට සිත් වේදනාවෙන් කතා බහ කරන මව්පියන් බොහෝ දෙනෙක් ඔබේ ඇසුරේදීත් මුණ ගැසෙන්නට ඇත.ඇතත්ටම වරද ඇත්තේ මෙතැනයි. අද ජීවිතය ජය ගෙන ඇති දරුවන් පහළ  පංතියේදී  පසුගාමී වුනත්  උසස් අධ්‍යාපනය ඉදිරියේ ඔවුන් තමන්ගේ හැකියාවට ගැලපෙන විෂය ධාරාවට යොමු වී ඇත. එතැන් පටන් ඔවුන් අලු ගසා නැගිට ඇත. ගොඩ සිටන් පීනනන්ට බැරි බව ඇත්ත වුනත් පීනන විට අසීරු නම් නැවත හැරීම වරදක් නැත

දරුවන්ට දැන් කාලය ඇත. යම් හෙයකින් ඔබ කරගෙන යන විෂය ධාරාව අපහසු නම් ගැලපෙන හෝ පහසු විෂයධාරාවක් මුලින්ම තෝරා ගන්න. බොහෝ දෙනා මේ වෙනුවෙන් සිතන්නේද අවසාන අදියරේදීය. එවිට කළ යුත්තක් නොමැත. තමාගේ හැකියාව ගැන දන්නේ තමන් පමණි. බාහිරව බලන අයෙකුට දක්ෂයෙකු ලෙසින් පෙනුනද ප්‍රායෝගිකව ඒ කටයුතු වලින් තෘප්තිමත් බවකින් කටයුතු කළ නොහැකි නම් අධ්‍යාපනය නීරස වෙනු ඇත.

දැන් ප්‍රතිඵල ඔබ ඉදිරියේ ඇත. ඉදිරියට යා යුතු බව ගැන නිදහසේ තීරණ ගැනීමට දරුවාට අවසර දෙන්න. අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවට බලපෑම් මගින් මව්පියන්ගේ අරමුණු වෙනුවෙන් දරුවා යොමු කිරීම නිසා ඇති වෙන ප්‍රතිඵල එතරම් සුබදායක නැත. අනවශ්‍ය විදිහට බලපෑම් කොට මව්පියන්ට අවශ්‍ය අන්දමින් විෂය ධාරා තෝරා ගත් දරුවන් යම් හෙයකින් එහිදී අසාර්ථක වුවහොත් ඔවුන් දොස් නගනවා පමණක් නොව මව්පියන්ට වෛර කිරීමට පවා තත්වය දුනු අතට හැරෙනු ඇත. මේ නිසා කරුණු කාරණා මේ යැයි තෝරා දීමෙන් පමණක් ඔබ නිහඩ වෙන්න. යා යුතු මග ඔවුන් ඉදිරියේ ඇත. පාර වැරදෙන විට තෝරා දීම මිස දුෂ්කර මාර්ගයට ඔවුන් යොමු කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවන්නේය.

අපි ඇත්තටම අද අවස්ථාව දිය යුත්තේ මතු රැකෙන ශිල්පය ඉගෙනගැනීමටය. එබැවින් දැන් කාලය එළැඹ ඇත. තීන්දුව දරුවන්ටය. කරුණු පෙන්වා දීම මව්පියන්ටය. ලබන ජයග්‍රහහණය දෙගොල්ලන්ටමය. ඉතාම බුද්ධිගෝචරව අනාගතය දකින මේ තීරණය දරුවාගේ ජිවිතයේ තීරනාත්මක සාධකයක් බව අමතක නොකරන්න.

ලෝක ජලදිනය මාර්තු 22 වැනි දා

ජලය මිනිසාගේ ජීවයයි. ආහාර ‍නොමැතිව ජීවත්වීම අපහසු වුනත් අපිට ජලය නොමැතිවිම ජීවත්වීම ඉතා අසීරුයි. මේ නිසා ජලය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන දරුවන් දැණුවත් කළ යුතු අතරම මව්පියන් නිතරම ඔවුන්ට ආදර්ශයක් වීම අවශ්‍ය වේ.ජලය දරුවන්ට ඉතා ප්‍රබල ලෙසින් බලපාන බව අමතක කළ යුතු නැතබොහෝ අවස්ථාවල දරුවන් මරණයට පත්වන්නේ විජලනය හෙවත් ජලය නොමැති වීමේ අතුරු විපාකයක් ලෙසින්ය. වමනය , පාචනය වැනි අවස්ථාවන්හිදී දරුවාට අවශ්‍ය ජලය ලබා නොදුනහොත් ඔවුන් විජලනයට පත්ව මරණය වැනි අවාසනාවන්ත තත්වයක ගොදුරු බවට පත් වේ. මේ නිසා වමනය , පාචනය වැනි අවස්ථාවලදී දරුවා විජලනයට පත් නොවන සේ ජලය ලබා දීම වැදගත් වෙනවා.

අපිරිසිදු ජලය පරිහරණය සහ ප්‍රමාණවත් මූලික සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම නිසා වසරකට ලෝකය පුරා මිලියන 2. 2 ක් දෙනා මිය යන අතර ජලය නිසා වැළ‍ෙඳෙන රෝගාබාධයන්ගෙන් සෑම සතියකම මිනිසුන් 42,000 ක් මිය යන අතර එයින් 90%ක්ම  වයස අවුරුදු පහට අඩු දරුවෝ වෙති.ඒ වගේම අවුරුදු පහට අඩු වයසේ දරුවන්ගේ මරණයන්ට හේතු වෙන තුන්වැනි රෝගය අතීසාරයයි.

ජලය නිසා දරුවන්ට රෝග වැළඳීමට තිබෙන අවදානම ඉහලයි. ජලය මොනතරම් ගුණදායක වුනත්, සිරුරට අවශ්‍ය වුනත් ජලයෙන් වැළ‍ඳෙන රෝගාබාධයන්ද අධිකයි. මේ නිසා දරුවන්ට ජලය ලබා දෙන විට පිරිසිදු පානීය ජලය ලබා දීම ඉතාම වැදගත් වෙනවා. ලෝක ජනගහනයෙන් මිලියන දෙදහසකට අධික පිරිසක් පිරිසිදු පානීය ජලය නොමැතිවීමේ අ‍ඳෝනාවෙන් හඬ නගනවා. මේ පිරිසට දරුවන්ද ඇතුලත් වෙනවා. මේ විදිහට අපිරිසිදු ජලය නිසා අපට වැළ‍ඳෙන රෝග සහ ඒ වෙනුවෙන් වූ රෝග කාරක ක්ෂුද්‍ර ජීවින් සිටිනවා.

  • බැක්ටීරියා – සැල්මොනෙල්ලා, ෂිගෙල්ලා, කොලරාවෛරස්-ඇඩ්නොවයිරස්, පෝලියෝ වෛරස්, එකොවෛරස්, හා හෙපටයිටිස්වෛරස්
  • ප්‍රොටසෝවා – ඇමීබා,ගියාර්ඩියා,ක්‍රිස්ටොස්පිරීඩියම්
  • හෙල්මින්ග් – කොකු පණුවා, වටපණුවා, කිරිපණුවා

ඊකෝලායි බැක්ටීරියාව ජලයට එක් වීමෙන් රෝග බෝවෙන අතර ජලයේ තිබෙන ‍‍ෆොලරයිඩ්, සයනයිඩ්,නයිට්රේට,කැඩිමියම්, රසදිය, ක්‍රෝමියම් , ආසනික්, තඹ ආදි බැර ලෝහ අධි සාන්ද්‍රණයක් තිබුනොත් එයින්ද සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති වෙනවා.

මෙම බැක්ටීරියා වෛරස මගින් වැළ‍ඳෙන රෝග මේ විදිහට දක්වන්න පුළුවනි.

  • බැක්ටීරියා උණ සන්නිපාතය, බඩවැල් රෝග, අතීසාරය, කොලරා
  • වෛරස්-පෝලියෝ , මොලයේ උණ, බෝවෙන සෙංගමාලය, පාචනය
  • ප්‍රොටසෝවා-රක්තාතීසාරය
  • කැඩ්මියම්– වකුගඩු හානි
  • ෆ්ලොරයිඩ්– දත්දිරා යෑමමේ නිසා දරුවන් මුල් කර ගෙන පානීය ජලය ලබා දෙන විට ඉහත කරුණු ගැනත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

ඒ වගේම දරුවන්ට බාල කාලයේ පටන්ම ජලය පිරිමැස්මෙන් පරිහරණය කිරීමට උපදෙස් ලබා දෙන්න.

නිවසේ වතුර කරාමයක් ඇරී වතුර ගලනවා නම් එය වහන්නට උපදෙස් දෙන්න. එවිට ජලය අපතේ යෑම වෙනුවෙන් ඔවුන්ට හදවතෙන්ම හැඟීමක් ඇති වේ.

නිවසේ නාන කාමරයේ ස්නානය කරන අතර එම ජලය අනවශ්‍ය ලෙසින් ඉවතට යෑමට නොදෙන්න. සබන් ගාන තෙක් වතුර මල හෝ ජල කරාමය වසන්න.

ජලය ගබඩා කරන ටැංකියේ වතුර උතුරා යෑම ආසන්න වෙත්ම නැවතුම් කරාමය වසන ලෙස දරුවා දැණුවත් කරන්න.

නිතරම උතුරවා නිවා ගත් ජලය පානයට දරුවා දැණුවත් කළ යුතු අතර නිවසේ තේ පැන් වෙනුවෙන් උතුරවන ලද කේතලයේ ඉතිරි ජලය නැවත වාරයක් උතුරවනු වෙනුවට එම ජලය පානය වෙනුවෙන් වෙනම ඉවත් කොට තබන ලෙස දරුවා දැණුවත් කරන්න.

වැසි කාලයේදී ජලය ගබඩා කර ගෙන මල් සහ එළවළු පාත්ති වලට මෙන්ම රෙදි සෝදා ගැනීමට භාවිතා කළ හැකි බව කියා දෙන්න. වැසි ජලයෙන් රෙදි සේදූ විට එහි දීප්තිමත් පැහැයක්ද ලැබෙනවා.

ඒ වගේම මල් පැල සහ එළවළු පැල වෙනුවෙන් වතුර දමන විට මල්බාල්දියක් හෝ හෝස් පයිප්පයක්  පාවිච්චි කිරීමට උපදෙස් දෙන්න. හෝස් පයිප්පයේ ජලය අපතේ නොයන සේ නිතරම ජල කරාමය ගැන අවධානයෙන් සිටින්නට දරුවා දැණුවත් කරන්න.රෙදි සෝදන මැෂිමට අවශ්‍ය තරම් රෙදි නොමැති නම් කෙසේ හෝ එහි ධාරිතාවට ගැලපෙන රෙදි සූදානම් කර ගැනීමට උපදෙස් දෙන්න. ගවුමක් , කමිසයක් වෙනුවෙන් මැෂිම ක්‍රියාත්මක කිරීම නිසා බොහෝ සෙයින් ජලය අපතේ යන බව දරුවාට තේරුම් කර දෙන්න.

දරුවා කේලම් කීමෙන් මුදවාගන්න

ඒ තුන්වන වසරේ ඉගෙනගන්නා හරිනි ගේ අවසාන වාරයේ නිවාඩු දෙන දිනය.හැබැයි හරිනි ගෙදර ආවේ නම් සතුටින් නෙමේ.එයාගේ පන්තියේ යාලුවෙක්  එයාට තියෙන අකමැත්තක් නිසා පාසල ත් මාරු කරන්න යනවා කියලා එයාට අනික්  යාලුවන්ගෙන් දැනගන්න ලැබුනා.හරිනි ගේ අම්මා මේ ගැන කිව්වේ වෙනම කතාවක්.“මම මගේ දුවට පැහැදිලි කරන්න කොච්චර උත්සාහ කලාද ඒ දරුවා පාසල මාරු කරන්නේ එයාගේ දෙමව්පියෝ ගේ මාරු කරන නිසා කියල.කෝ ඒත් මේ ළමයා පිළිගන්නෙම නැහැනේ ඒක”

නරක හෝ හොඳ වේවා  කටකතා කියන දේ හුඟක්ම පතුරුවන්න පටන් ගන්නේ  ළමා කාලයේ වයස අවුරුදු 8 ත් 10 ත් අතර පටන් කියලා ඔබ දන්නවද? මේ වයස්වල ළමුන් හුඟක්ම මේ වගේ කේලම්,කටකතා පතුරුවන්න හිතන්නේ එයාලට අනික් අය අතරේ තියෙන බලය,ශක්තිය කොයිතරම් ද කියල පෙන්වන්නයි.අන් අයගේ අවධානය දිනාගන්න ඕනේ වුනාමත් මේ  විධියට ඔවුන් වවිධ කටකතා පතුරුවන්න බොහෝ උත්සාහ ගන්නවා.එහෙත් මෙවැනි මවාපෑම්,රඟපෑම් ආදිය දෙමව්පියන් වන ඔබට යි නැවැත්විය හැක්කේ…

කටකතා සහ හානිදායි නොවන දිගු කතා වෙනකොට හඳුනාගන්න

සාමාන්‍යයෙන් ළමයා යන පුද්ගලයා බොහෝ අනික් යහළුවෝ එක්ක එදිනෙදා වන දේවල් සහ සිය අත්දැකීම් බෙදාහදා ගන්න එක පාසලට හෝ පන්ති කාමරයට පමණක් සීමා කරන්නේ නැහැ.එක් පර්යේෂණයකදී හතර වසරේ ඉගෙනුම ලබන ගැහැණු ළමුන් 60 දෙනෙකු යුගල බැගින් බෙදා විනාඩි 15ක් නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දීලා තිබෙනවා.ඒ වෙලාව තුල ඔවුන් විවිධ පුද්ගලයන් 24 දෙනෙකුටත් වැඩි ප්‍රමාණයක් ගැන විවිධ ඕපාදුප කතාකර තිබෙනවා.එයින් බොහෝ කාරණා කිසිවකුටවත් හානිදායි ඒවා වුනේ නැහැ. (උදාහරණ විධියට අද මම භානු ලඟින් තමයි ඉන්ටර්වල් එකේදී වාඩි වුනේ)ඒ වගේම අන් අයව අගය කරන අවස්ථා ත් බොහෝ තිබුනා.නමුත් ඒ අතරේම සෘණාත්මක සිතුවිලි ඇතිකරන කතාත් සිදු නොවුනාම නෙමේ.(අනේ එයා හිතන් ඉන්නේ නම් එයා ලොක්කා කියලා ) මෙන්න මේ වගේ කතාබහ අතරදී වන වචන හිත් රිදවීම් වෙන ඒවාද නැද්ද කියන දේ ගැන ටිකක් හෝ හඳුනාගන්න ඔබේ දරුවාට ඔබ කියා දීම වැදගත් දෙයක්.ඔබේ දරුවා පවසන යමකදී හෝ වෙනත් දරුවකු ඔබේ දරුවාට පවසන යමකදී හෝ තවකකුට හෝ තමන්ට හෝ අවැඩක් වන යමක් තිබේදැයි බලන්න දරුවාට පුරුදු කරන්න.”පුතේ,කාගේවත් දේවල් කාත් එක්කවත් කියන්න එපා…ඔයා ගැන වෙන කවුරුහරි නරකක් කිව්වොත් ඒක ඔයා දැනගත්ත දවසට ඔයාට ටිකක් හරි දුකක් එනවා නේ.අන්න ඒ වගේ තමයි අනික් අයත්.ඒ වගේම කිසි කෙනෙක් කාගේවත් දේවල් ඔයා එක්ක කිව්වා කියල ඔයා ඒවා ඔලුවට ගන්න එපා.ඔයාට බැන්න අරයා කියල කියන් ආවත් ඔයා ගණන් ගන්න එපා.මොකද අපි ඇත්ත බොරුව හරියට දන්නේ නැති නිසා.ඒක නිසා හොඳම දේ තමයි තමන්ගේ පාඩුවේ සුහදව අනික් යාළුවො එක්ක ඉන්න එක.මෙන්න මේ වගේ සරල,පුංචි දේවල් තමා ඔබේ දරුවා ව යහපත් කරන්නේ.ඒත් ජිවිතේ මේ පුංචි දේවල් අපට මඟහැරී යාම නිසා මානසික අවපාත වලට ගොදුරු වී රෝගී වන දරුවන් ද සිටින බව ඔබ දන්නවාද?

පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඔබ දරුවාට ආදර්ශයක් වෙන්න

ඕනෙම දරුවෙක් හැමදෙයක්ම දකින්නේ,ඉගෙනගන්නේ එයාගේ අම්මා තාත්තාගෙන්.මොකද ඉපදුන දවසේ ඉඳන් එයා හොඳින් දන්නේ,විශ්වාස කරන්නේ,අනුගමනය කරන්නේ..කොටින්ම කිව්වොත් අනුකරණය පවා කරන්නෙත් එයාගේ දෙමාපියන් ව ම තමයි.ඒ නිසා අනුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා නොකරන ඔබ කෙසේද ඔබේ දරුවාට ආදර්ශවත් වෙන්නේ?

“මේ ඔයා දන්නවද අනේ.අර චන්දි? එයා එච්චර හොඳ කෙනෙක් නෙමේලු අනේ.යන යන තැන ප්‍රශ්න.එයාට මම හිතන්නේ මොකක්හරි අප්සට් එකක් තියෙනවා.එහෙම කතාවක් මට රම්‍යා කිව්වා.කියන්නත් එපා කිව්වා කාටවත්.ඒත් ඉතින් මම ඔයාට කිව්වේ නොකියා බෑ වගේ නිසා” චන්ද්‍රිකා සිය යෙහෙළියට මෙහෙම කියද්දී ඔය කතාව අහන් ඉන්නේ ඇගේ දරුවා.ඉතින් ඇය සිතන්නේ තව කෙනෙක්ගේ දේවල් කිව්වා කියලා ප්‍රශ්නයක් නොවන බවයි.ඒ වගේම තව අයෙකුගේ පෞද්ගලිකත්වයට හානි කරන එක දරුවා ත් වැඩිවියට ආවම පුරුද්දකට වගේ පටන් ගැනීම  තුල ඔබ බිහිකරන්නේ සාමජයට යහපත් ආකල්පයක් බව ඔබ සිතනවද?
ඇත්තටම පාසලේදී වුනත් යහළුවකුට ලැබුණු දඬුවමක් ගැන,යහළුවෝ රණ්ඩු කරගැනීම ගැන ළමුන් අතරේ කතාවිම ඔවුනට සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන්න පුළුවන්.ඒත් දෙමව්පියන් විධියට,ගුරුවරුන් විධියට ඔබ මෙය සරලව හිතල බැහැ.මන්ද හැමවිටම අපි තව අයකුට කියන නරකක්,කරන අයහපතක් අපට වුනොත් දැනෙන හැඟීම හා සමාන හැඟීමක් අනිකා ට ත් දැනෙන බව දරුවන්ට දැනවීම අවශ්‍ය වන්නේ දරුවා තුල මානුෂීය හැඟීම් වර්ධනය වීම රටක අනාගතයට සෘජුවම බලපාන බැවිනි.

යහපත් ලෙස යහළුකම් වර්ධනය කරගන්න දරුවාට උපදෙස් දෙන්න…

ඔබට කේන්ති යාවි.ඇත්තටම යහළුවන් නැති තැන ඔවුන්ගේ වැරදි කියන එකෙන් අන් අය අතරේ විශේෂ අවධානයක් තමන් වෙත යොමුවෙනවා යයි ළමුන් සිතීම වරදක් වුනත් ඒ අවධානය ඔවුන්ට ලැබීම ප්‍රයෝගිකව සිදුවන දෙයක්.වැඩිපුර ගොසිප් හදන ළමයින්ට අනික් අය ලංවෙනවා.යහළුකම් ඇතිකරගන්න උත්සාහ කරනවා.ඉතින් මෙය හොඳ වැඩක් යයි සිතා දරුවන් එසේ කටකතා පැතිරවීමට උත්සාහ කරන එක අතිශය සාමාන්‍ය දෙයක්.නමුත් දැනුම් තේරුම් තිබෙන වැඩිහිටි වූ අපට හැකිවෙන්න ඕනේ ඕනෙම දෙයක හොඳ නරක දෙපැත්තම දරුවාට කියා දෙන්න.

මෙතැනදී ඔබ දරුවාට පැහැදිලි කලයුතු දේ තමයි යහළුකම් ඇතිකරගැනීම කෙසේ හෝ කල යුතු නැති බව.නිසි යහළුවෙක් නැතත් යහළුකම් හදාගන්න තව අයකුගේ ඕපාදුපයක් කියා යහළුවන් ලං කරගත්තත් ඒ වැනිම කටකතා තමන් ගැනත් අන් අයට පැතිරවිය හැකි බව.තමන් කියූ කටකතා ව ම තමන්ට කැරකිලා එන්න පුළුවන් බව.යහළුකම් හදාගත යුත්තේ ඕපාදුප,කටකතා හෝ කරදර කිරීම් වලින් නොවන බව.මෙන්න මේ පුංචි දේවල් ටික ඔබට පුළුවන් නේද දරුවන්ට කියල දෙන්න?

පැතිරවීම නවත්වන්න

ඇතැම් දරුවන් කලාතුරකින් කටකතා පැතිරුවත් ඔවුන් ඒවා අහන් ඉන්න විශේෂ කැමැත්තක් දක්වනවා වෙන්න පුළුවන්.ඇහුම්කන් දුන්නත් කටකතා කිව්වත් වරදේ කිසිදු වෙනසක් නැති බව පහදන්න ඔබට හැකියි.ඒනිසා තවකෙකු පිලිබඳ කියන හොඳ හෝ නරක වේවා අන් අය අතරේ එය පැතිරවීමෙන් වැලකි තමන්ගේ වගකීම් ඉෂ්ට කිරීම ට සහ අධ්‍යාපනය ට ක්‍රීඩාවට සහ විශේෂයෙන්ම ගුණධර්ම වලට මුල් තැන දී කටයුතු කිරීමයි වැදගත් වන්නේ.අප පතුරුවන යම් කටකතා වෙයිද,එයින් අන් අයට අපහාස සිදුවිය හැකි බවත් කටකතා නිසා කෙනෙකු මානසිකව අවපීඩනයට ලක්වෙන්න හැකි අවස්තාව වැඩි බවත් සරලව ඔබේ දරුවාට කියා දෙන්න ඔබට හැකියි.කොච්චර කාර්යබහුල වුනත් මවක්,පියෙක්,ගුරුවරයෙක් විධියට දරුවන්ට මේවා ගැන අවවාද උපදෙස් දීම තුල අනාගතය යහපත් වන්නේ ඔවුන්ගේ පමණක් නොවේ මුළු සමාජයේමයි.ඒ නිසා ඔබ දරුවා වෙනුවෙන් සොයන වෙලාව තුලදී මේවා කියා දෙන්න අමතක කරන්න එපා.

දරුවන් අපේ අනාගතයයි. ඔවුන් ගේ යහපත ලෝකයේම යහපතයි….

 

ගැබිණි අවදියේ දියවැඩියා අවදානම ගැන ඔබ දැනුවත්ද?

අද වන විට ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග අතරින් දියවැඩියාවට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයන් දක්වාම දිනෙන් දින මේ තත්ත්වයට ගොදුරු වෙමින් පවතී. ජීවන රටාවේ නොයෙක් වැරදි ක්‍රියාකාරකම් මත ඇති කරගන්නා දියවැඩියාව තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු කාලය දැන් එළැඔ ඇත. මේ තත්ත්වයේදී අවධානය යොමු කළ යුතු වැදගත් අවස්ථාවක් වන්නේ ගැබිනි මවක් දියවැඩියා තත්ත්වයට මුහුණ දීමයි. එවැනි තත්ත්වයකදී තම රෝග තත්ත්වය පිළිබඳව නිසි අවබෝධය නොමැති වීම ගැබිනි සමයේ සංකූලතා රැසක් ඇති වීමට හේතු වනු ඇත.

ගැබිනි සමයේ දියවැඩියාව පැවතීම අවස්ථා දෙකක් යටතේ සාකච්ඡා කළ හැකියි. එනම්,

  • දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවක් ගැබ්ගැනීම

•  ගර්භණී බව හේතුවෙන් මවකට දියවැඩියා තත්ත්වය (Gestational Diabetes Mellitus / GDM)

දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන මවක් ගැබ්ගැනීම

අද වන විට බහුතරයක් තරුණ පිරිස් දියවැඩියාවෙන් පෙලෙන බැවින් එවැනි කාන්තාවන් ගැබ් ගැනීම සුලබව අසන්නට ලැඛෙන තත්ත්වයකි. අන්න ඒ නිසාම ගැබ් ගැනීමට පෙර ඔබේ දියවැඩියාව තත්ත්වය පාලනය කරගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීමට මව්වරුන් දැනුවත් විය යුතුය.

ඔබ මෙම කාණ්ඩයට අයත් මවක් නම් දරු පිළිසිඳ ගැනිමකට පෙර,
  • පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී වී රෝගය පිළිබඳව දැනුවත් වී අවශ්‍ය උපදෙස් ලබාගන්න
  • වෛද්‍ය උපදෙස් පරිදි නිසි ඖෂධ වෙත මාරු වී දියවැඩියා තත්ත්වය පාලනය කරන්න
  • ෆෝලික් ඇසිඩ් විටමිනය 5mg ලබාගන්න
  • දියවැඩියා තත්ත්වය නිසි ලෙස පාලනය වන තුරු ගැබ් ගැනීමෙන් වැළකීමට ආරක‍ෂාකාරි පවුල් සැළසුම් ක්‍රමයක් තෝරාගන්න
  • මානසික සෞඛ්‍ය තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගන්න
ගැබ් ගැනීමෙන් පසුව ඇති වන දියවැඩියා තත්ත්වය

මෙයද සුලබ තත්ත්වයකි. ගැබිනි සමයේ ඇති වන දියවැඩියා තත්ත්වය ඇති වන්නේ 16 වන සතියට පසුවයි. ඒ නිසාම පෙර දියවැඩියාව ඇතැයි සනාථ නොවුණු මව්වරුන්ට නැවත 24- 28 යන සති තුළ දියවැඩියාව තත්ත්වය ඇත්දැයි පරීක‍ෂා කෙරේ.

ගැබිනි සමයේ දියවැඩියාව ඇති වීමේ අවදානම පවතින්නේ 
  • දකුණු ආසියානු කලාපිකයකු වීම
  • වයස අවුරුදු 30ට වැඩි වීම
  • ස්ථූලතාවයෙන් පෙළීම/BMI අගය 25ට වැඩිවීම
  • දියවැඩියා තත්ත්වය පවුලේ පවතින රෝගයක් වීම
  • 4Kg ට වැඩි එනම් අධි බර දරු උපත් සිදුකළ මවක් වීම
  • පෙර ගැබ් ගැනීම්වලදී දියවැඩියා තත්ත්වය තිබීම කලින් දරු උපත්වලදී දියවැඩියාව වැළඳිී තිබීම
  • Polycystic Ovarian Syndrome තත්වයෙන් පෙළීම වැනි තත්ත්වයන් හමුවේය

ගැබිනි සමයේ දියවැඩියාව ඇති වීම මගින් මවට මෙන්ම ළදරුවාටද යම් යම් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවිය හැකිය. නිසි වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරමින් එවැනි සංකූලතා මගහරවා ගැනීමට මව්වරුන් උනන්දු විය යුතුය.

දියවැඩියාව හේතුවෙන් මවට ඇති විය හැකි සංකූලතා
  • මළ දරු උපත්
  • ගබ්සා වීම
  • අධි රුධිර පීඩනය
  • දරු ප්‍රසූතියේදී යම් යම් සංකූලතා ඇති වීම
ළදරුවාට ඇති විය හැකි සංකූලතා
  • ස්නායු ආබාධ ඇතුළු නොයෙකුත් ආබාධ සහිත දරුවන් බිහිවීම,
  • ළදරුවාගේ වර්ධනය අධික වීම
  • මලදරු උපත්/නොමේරු ළදරුවන් බිහිවීම

ගැබිනි ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන බව හඳුනාගැනීමමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් පරිදි තත්ත්වය පාලනය කිරිම ඉතා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ගැබිනි සමයක් මෙන්ම නිරෝගී දරුවෙකු දායාද කරන්නට නම් ඔබ සැමවිටම සැළකිලිමත්ව වෛද්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ. දියවැඩියාව පාලනය කිරීම/දියවැඩියාව සහ ආහාර රටා, ව්‍යායාම/ ප්‍රතිකාර ක්‍රම මෙන්ම ප්‍රසූතියෙන් පසු මවකට අවශ්‍ය දැනුම පිළිබඳව ඉදිරි ලිපි පෙළක් හරහා ඔබට දැනුවත් කිරීමට නියමිතය.

වෛද්‍ය සමන්ති කුරේ,
දියවැඩියාව හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශිකෂණ රෝහල, කුරුණෑගල

 

රතගායට, රත කල්කය

දෙසඳුන් කල්කය හෙවත් රත කල්කය යනු :

අලූත උපන් දරුවන්ට මෙන්ම වැඩුණු දරුවන්හට ඇති වන විවිධ රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ලබාදෙන වටිනා ඖෂධයක් ලෙස රත කල්කය හැඳින්විය හැකිය. සුදු සඳුන් සහ රත් සඳුන් අන්තර්ගත බැවින් මෙය දෙසඳුන් කල්කය ලෙස හැඳින්වෙන අතරම ඊට අමතරව කොල්ලූ, වද කහ, වැල්මි, සහිඳ ලූණු යන ආදී ද්‍රව්‍යයන්ද මෙහි අන්තර්ගත වේ. දරුවන් තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නිරෝගී දරුවන්ටද ලබාදෙන රත කල්කය ළදරුවන්ට ඇති වන වලිප්පුව මෙන්ම උග්‍ර රතගාය වැනි අවස්ථාවලදී විශේෂයෙන් ලබාදේ.

රත කල්කයේ සුවිශේෂි ගුණාංග : 
  • කුසගින්න ඇති කරයි
  • මලබද්ධය නැති කරයි.
  • ආහාර රුචිය වැඩි කරයි
  • රක්ත ශෝධක ගුණය
රත ගායට රත කල්කය

රත කල්කය බහුලවම භාවිත කරන්නේ කුඩා දරුවන්ට අතිවෙන රතගාය තත්ත්වයටයි.

රතගාය ඇති වීමට හේතු අපවිත්‍ර බව මෙන්ම මව්කිරි හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් දැක්විය හැකිය. ළදරුවන් සැමවිට ඉතා පිරිසිදුව තබා ගත යුතු අතරම මව්කිරි දෙන මවක් සැමවිටම ඇයගේ ආහාර පාන පිළීබඳව සැලකිලිමත් විය යුතුය. ආයුර්වේදයට අනුව උෂ්ණ සීත ලෙස ආහාර වර්ග නම් කෙරෙන අතරම මව්කිරි දෙන මවක් උෂ්ණ අධික ආහාරවලින් ඈත් වීම වැදගත් වේ. ගල් රත, දුවන පනින රත, ලේ රත, ගෙඩි රත, කරප්පන් රත ආදි වශයෙන් රතගායේ විවිධ ප්‍රභේද පෙන්නුම් කරන ලක‍ෂණවලට අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇත.

මේ තත්ත්වයේදී ළදරුවාට මෙන්ම මවට ද ප්‍රතිකාර සිදුකරන අතරම ඇතැම් අවස්ථාවලදී ගැබිනි සමයේ සිටම මවට රත ප්‍රතිශේද ඖෂධ ලබාදීම තුළින් දරුවාට රතගාය ඒම වැළැක්වීමට පියවර යොදයි. එසේම මවක් මලබද්ධය, මුත්‍ර බද්ධය ඇති නොවන පරිදි තම ආහාර රටාව මෙන්ම පැවැත්ම සකස් කරගත යුතුය.

රතගායේ බාහිරින් පෙන්නුම් කරන පොදු ලක‍ෂණ : 
  • සම රතු වීම
  • සම යට රතු පැල්ලම්/ලේ පැල්ලම් මතුවීම
  • වැලමිට/උදර ප්‍රදේශවල රත් පැහැ කුඩා බිබිලි මතුවීම
  • කම්මුල්/තට්ටම්/ උදර ප්‍රදේශවල රත් පැහැ පැල්ලම් සහිත බිබිලි මතුවීම
 රතගාය වළක්වා ගැනීම සඳහා :
  • රතගාය මතුවීමට පෙර සිටම රතකල්කය ලබාදෙන්න
    රත කල්කය ළදරුවෙකුහට උපතින් සති දෙකකට පසුව ලබා දිය හැකි අතරම එහි සාමාන්ය මාත්රාව ලෙස වෛද්යවරුන් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයක ප්රමාණයයි. එය මව්කිරි සමග දියකර ළදරුවාට ලබා දිය හැකිය. මෙම මාත්රාව ඇතැම් විට වෙනස් විය හැකිය. එබැවින් සැමවිටම වෛද්ය උපදෙස් මත ලබාගැනීමට කටයුතු කළ යුතු වේ. තවද නොමේරූ ළදරුවන්ට මෙන්ම අඩු බර ඇති දරුවන්ට රත කල්කය ලබාදිමේදී වෛද්ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.
  • දරුවන් ඖෂධී ජලයෙන් සෝදන්න
    වෙනිවැල් ගැට, නිදි කුම්බා, ගංසූරිය කොළ/පොතු, මදටිය වැනි ඖෂධීය ශාක තැම්බු ජලයෙන් දරුවා නාවන්න.
රතගාය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් :
  • පීනස
  • මොළයේ ආබාධ
  • තොල්, කට වණ වීම
  • මුත්‍රාබාධ වැනි තත්ත්ව ඇතිවිය හැක
ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර
ගම්පහ ආයුර්වේද විද්‍යාතනය,
යක්කල

 

ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයි?

එක් එක් වයස් සීමාවන්හිදී එක් එක් ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග ලබාදීම නිසා අතීතයේ පැවති බොහොමයක් බෝවන රෝග තත්ත්වයන්ගෙන් ආරක‍ෂා වීමට අද වන විට දැයේ දරුවන් වාසනාවනත්ය. එසේ නොවන්නට අනාගත පරපුරට නොයෙක් රෝගාබාධ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා පමණක් නොව ආබාධිත සහ ආයුෂ අවම පිරිසක් බවට වුවද පත්වීමට ඉඩ ඇත.

හෙට දින ලොව බාරගන්නට සිටිනා දැයේ දුවා දරුවන්ගේ අද දවස භාරව සිටින ඔබ භයානක රෝග තත්ත්වයන්ගෙන් දරුවන් රැකගැනීමට ප්‍රතිශක්තීකරණ ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ඒ තුළින් වැලකී ඇති රෝග පිළිබඳවද දැනුවත් වීම වැදගත්ය. පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව දරුවන්ට ලබාදීමට නියමිත එන්නත් මාලාව ඇරඹෙන්නේ උපතෙන් පැය විසිිහතරක් ඇතුළත ලබා දෙන බීසීජී එන්නතෙනි. දරුවා ඉපදී රෝහලෙන් පිටව යන අවස්ථාවේදී මව වෙත ලබා දෙන සෞඛ්‍ය වර්ධන සටහන් පොතෙහි පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩ සටහනට අනුව උපතේ සිටම දරුවන්හට ලබාදිය යුතු එන්නත් සහ ලබාදිය යුතු වයස් සීමාවන් නිවැරදිව ඇතුළත් කොට තිබේ.

ළදරුවා ඉපදී පැය 24ක් ඇතුළත රෝහලෙන් පිටව යන්නට පෙර :

බීසීජී එන්නත : 

ටී බී මෙනෙන්ජයිටීස් සහ මිලියරි ටී බී යන ක‍ෂයරෝගය සඳහා පවතින අවධානම් තත්ත්වයන් මගහරවාලයි. මාස හය සම්පූර්ණ වන විට බීසීජී එන්නතේ කැළල ඇති වී නැතිනම් වෛද්‍ය උපදෙස් මත නැවත එන්නත ලබාදීම සිදු කෙරේ.

ළදරුවාට මාස 2, 4, 6 යන වයස් කාණ්ඩවලදී : 

ත්‍රිත්ව එන්නත, හිබ් එන්නත, හෙපටයිටීස් බී සහ පෝලියෝ මුඛ එන්නත

ත්‍රිත්ව එන්නත – ගලපටලය, කක්කල්කැස්ස මෙන්ම පිටගැස්ම යන රෝගී තත්ත්වයන් තුන මැඩපවත්වයි.

පෝලියෝ මුඛ එන්නත – පෝලියෝ රෝගී තත්ත්වයට පත්වුවහොත් එම දරුවා ජීවිත කාලය පුරාම ආබාධිත තත්ත්වයට පත්විය හැකිය. එම නිසා මව්වරුන් ඒ පිළිබඳව තම අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. පෝලියෝ තත්ත්වය සඳහා දැනට ලබා දෙන එන්නතේ ප්‍රභේද දෙකකි.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයේ පෝලියෝ තුරන් කිරීමේ වැඩසටහන මේ වන විටත් ක්‍රියාත්මකව පවතින අතරම ඒ අදහසට අනුව පෝලියෝ මුඛ එන්නතත් සමග මාස හතර සම්පූර්ණ දරුවන් වෙත ලබාදෙන අජීවී පෝලියෝ එන්නත ලබාදීම සිදුකරයි.

හෙපටයිටීස් බී – අක්මාවේ ආසාදන වැළැක්වීමට දෙන අත්‍යවශ්‍ය එන්නතකි. මෙම එන්නත පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මාස 2, 4, 6 යන වයස් සීමාවන්හිදී ත්‍රිත්ව එන්නත හා සමගම ලබා දේ.

හෙපටයිටීස් රෝගී තත්ත්වයේ පෙලෙන මවකගෙන් බිහිවන දරුවාට රෝගය බෝ විය හැකි අතරම ඔබ එවැනි මවක් නම් පළමු පූර්ව ප්‍රසව සායනයේදීම ඒ පිළිබඳව වෛද්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය බව සිහිතබාන්න. ගැබිනි සමයේ හෝ ප්‍රසූතියේදී මවගේ රුධිරය හරහා දරුවාට මේ රෝගකාරක වෛරස බෝවිය හැකි වීම එයට මූලික හේතුවයි. කල්තියා වෛද්‍යවරු දැනුවත් කිරීම මගින් ඔබගේ දරුවාට ඇති විය හැකි මෙම භයානක රෝගය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර වෛද්‍යකාර්ය මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ඇත.  එහිදී දරුවාගේ රුධිර  සාම්පල රසායනාගාර පර්යේෂණ සඳහා යොමුකොට රෝගය දරුවාට බෝවීම වැලැක්වීම සඳහා  දිය යුතු එන්නත් ලබා දීම සිදු කරයි.

රෝග ලක‍ෂණ පෙන්නුම් නොකරමින් කාලයක් පුරා සිරුරේ පවතින මෙම වෛරසය නිසා ක්‍රමක්‍රමයෙන් අක්මාව අක්‍රිය තත්ත්වයට පත්ව මිය යාමට වුවද හැකයි.

හිබ් එන්නත  –   හිමොෆිලස් ඉන්ෆලූවෙන්සි බැක්ටීරියාවට එරෙහිව ලබා දෙන හිබ් එන්නත පෙන්ටා වේලන්ට් එන්නතේ අඩංගු වේ. උගුරේ අමාරු, මොලේ පටක වල අසාදාදන (මෙනෙන්ජයිටීස්), කනෙන් සැරව ගැලීම් වැනි මැද කනේ ආසාදන වැනි තත්ත්වයන් මේ වයස් සීමාවන් තුළ බහුලව ඇති විය හැකි අතරම හිබ් එන්නත මගින් එවන් තත්ත්වයන් ඇතීවීම වළක්වාලයි.

ළදරුවාට මාස 9 සම්පූර්ණ වූ පසු 

එම් එම් ආර් එන්නත :

සරම්ප, කම්මුල්ගාය, ජර්මන් සරම්ප (රුඛෙල්ලා) යන ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන බෝවන රෝග තුනකට එරහෙිව එම් එම් ආර් එන්නත ලබාදේ. එම් එම් ආර් එන්නතෙහි පළමු මාත්‍රාව වයස මාස 9 සම්පූර්ණ වූ පුසවද දෙවන මාත්‍රාව අවුරුදු තුන සම්පූර්ණ වූ පසුව ද ලබාදේ.

සරම්ප :

සරම්ප රෝගය ද කම්මුල්ගාය මෙන්ම ”පැරමික්සෝ” වෛරස පවුලට අයත් වෛරසයක් මගින් ඇතිවන ස්වසන පද්ධතිය හරහා බෝවන රෝගී තත්ත්වයකි. කුඩා දරුවන්ට ඇති වූ විට තද උණ, කැස්ස, ඇස් රතු පැහැ වී කදුළු ගැලීම, රතු පැහැති ලප ඇතිවිය හැකිය. සරම්ප රෝග තත්ත්වය නිසා බ්‍රොන්කොනිව්මෝනියා නැමති ස්වසන පද්ධතියේ සංකූලතා ඇති විය හැකියි. එසේම දෘෂ්‍යාබාධ, ශ්‍රවණාබාධ, ස්නායු පද්ධතියේ ආසාදන මෙන්ම උදරයේ අසාදනයන් ද දැකිය හැක. දරුවකුගේ මානසික වර්ධනය අඩාල කිරීමට මෙන්ම ඇසීමේ පෙනීමේ දුර්වලතා ඇති කරමින් දරුවන් මන්දපෝෂණය තත්ත්වයට පත්කරන රෝගයකි.

සරම්ප රෝගය වැළදුණහොත් ස්වසන පද්ධතියේ ආසාදන මත මාංශ පේශීන් අක්‍රීය වී දරුවා මිය යාමට වුවත් ඉඩකඩ ඇති බැවින් සෑම දරුවෙකුහටම සරම්ප රෝගයට අදාල එන්නත ලබාදිය යුතුය. මීට පෙර මාස නමය සම්පූර්ණ වූ දරුවනට තනි එන්නතක් ලෙස සරම්ප එන්නත ලබා දී ඇත. නමුත් අද වන විට මාස නමය සම්පූර්ණ දරුවනට ලබා දෙන එම් එම් ආර් එන්නතෙහි සරම්ප එන්නතද අන්තර්ගත බැවින් සරම්ප සඳහා වෙනම එන්නතක් ලබාදීම අවශ්‍ය නොවේ.

කම්මුල්ගාය :

පැරාමික්සෝ වෛරස පවුලට අයත් වෛරසයක් හේතුවෙන් වයස භේදයකින් තොරව ඇති විය හැකි කම්මුල්ගාය රෝග තත්ත්වය ස්වසන පද්ධතිය හරහා පිටවන බිඳිති මගින් බෝවේ. කේඨ ග්‍රන්ථී ආසාදනය මගින් 30%- 40%  කම්මුල් දෙපස පිහිටි පැරොටිඩ් ග්‍රන්ථීය ආසාදනය වී මුව විවර කිරීමට අපහසු වේ. පැරොටිඩ් ග්‍රන්ථීයට අමතරව වෘෂණකෝෂ සහ මොළයේ ආසාදන, හෘදයේ අසාදන, සුසුම්නාවේ ආසාදන, කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල ආසාදනයන් මෙන්ම ඉතාම කලාතුරකින් පිරිමි දරුවන් වඳභාවයට පත්වීම ද මේ තත්ත්වය මත ඇති විය හැකිය. තවද කලාතුරකින් අග්න්‍යාෂය වැනි අවයව ආසාදනයට ලක් වීම නිසා උදරයේ වේදනාවක් ඇතිවිය හැකියි. ඇතැම් විට ශ්‍රවණ ඉන්ද්‍රිය වෙත ගමන්කරන ස්නායුවක් ආසාධනයට ලක්වීම හේතුවෙන් කම්මුල්ගාය ඇතිවූ රෝගීන් 20,000ක් අතරින් එක් අයෙකු සදහටම බිහිරිභාවයට පත්වීමට ඉඩ ඇත. ළදරුවියේ සිටම නිසි කලට නිසි එන්නත් ලබාදී මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් මුදවාගන්න.

ජර්මන් සරම්ප හෙවත් රුඛෙල්ලා රෝගය :

මෙම රෝගය ඇති වන්නේ ”ටෝගා” නම් වූ වෛරස පවුලට අයත් වෛරසයක් මගිනි. ස්වසන පද්ධතියේ කුඩා බිඳිති මගින් බෝවීම සිදුවේ. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට වැළදුණහොත් කම්මුල්ගාය තරම්ම දරුණු නොවූ රෝගී තත්ත්වයක් වන ජර්මන් සරම්ප රෝගයේ ලක‍ෂණ ලෙස මද උණ ගතිය, ගෙල දෙපස සහ කන පිටුපස ඇති වසා ග්‍රන්ථීවල ඉදිමුම සහ ඛෙල්ල අවට රතු පැහැති ලප දැකිය හැකිය.

මෙම එන්නත ලබාගැනීම වඩා වැදත් වන්නේ ගැබිනි සමයේ ඇති වුවහොත් කලලයට ඇති විය හැකි හානි වළක්වා ගැනීමටයි. කෙසේ වුවද ගැබිනි සමයේ පළමු මාස තුන ඇතුළත සිටින කාන්තාවක් මේ තත්ත්වයට ගොදුරු වුවහොත් කලල මොළයේ, හෘදවස්තුවේ, ස්නායු පද්ධතියේ විකෘතිතා ඇතිවිය හැකියි. ඒ වගේම ශ්‍රවණ ආබාධ මෙන්ම ඇසේ සුද ඇති වීම වැනි සංකූලතාවයන් ද බොහොමයක් ඇතිවිය හැකිය. ඇතැම්විට ගබ්සා වීම් සිදුවේ. දරුවෙකු පිළසිඳ ගැනීමට මාස තුනකට පෙර රුඛෙල්ලා සඳහා වූ එන්නත ලබා ගැනීමට වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ ඒ නිසාය.

අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්ට

ජපන් එන්සෙපලයිටීස් පළමු මාත්‍රාව :

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමය. රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30% දක්වා ප්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථීර ස්නායු දුර්වලතා ඇති විය හැකිය.

ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොඳින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි. ඩෙංගු රෝගය බෝ කරන වෛරස පවුලටම අයත් වන දින 5ත් 15ත් අතර බීජෞසන සමයක් ඇති ෆ්ලේවි වෛරසය මගින් ඇති වුව ද මේ තත්ත්වය බෝවන ආකාරය ඩෙංගු රෝගය බෝවන ආකාරයට වඩා වෙනස් වේ. වෛරසය ආසාදිත ඌරන්, ජලාශ්‍රිතව වෙසෙන කුරුල්ලන් දෂ්ඨ කර රුධිරය උරා බොන මදුරුවන් නැවත පැමිණ මිනිසුන් දෂ්ඨ කළ විට රෝගය බෝ වීම සිදු වේ. මේ සඳහා කියුලෙක්ස් නම් වූ මදුරු විශේෂය රෝග වාහකයා ලෙස ක්‍රියා කරයි.

මෙම ජපන් එන්සෙපලයිටීස් ෆ්ලේවී වෛරසය ආසාදනය වී රෝගී වූ මෙවැනි සතුන් වෙතින් රෝග ලක‍ෂණ පිටතට පෙන්නුම් නොකරන අතරම වෛරසය ගුණනය වෙමින් පවතී. මිනිසුන්ට මෙම රෝගය බෝ වන්නේ අහම්ඛෙනි. මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ රෝගය බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එනම් මෙම රෝගය ඇති මිනිසෙකු දෂ්ඨ කළ මදුරුවෙක් වෙනත් මිනිසෙකු දෂ්ඨ කිරීමෙන් රෝගය බෝ නොවේ. අසාදිත සතෙකු දෂ්ඨ කළ මදුරුවෙකු මිනිසෙකු දස්ඨ කළ විට පමණක් රෝගය බොවේ.

රෝගයට ගොදුරු වන්නේ, කුඹුරු අශ්‍රිතව සහ ඒ ආශ්‍රිත දිය කඩිතිවල නිතර නිතර ගැවසෙන, ඒ ආශ්‍රිතව තම ජීවනෝපාය මාර්ගය සිදුකරගෙන යන පිරිස්ය. මොළේ උණ රෝගයට බඳුන් වූ බවට බහුලව වාර්තා වී ඇත්තේ එවැනි ස්ථානවල නිතර ගැවසෙන පිරිස්ය.

වෛරසය ශරීරගත වී මුල් අවස්ථාවේ තද උණ, වමනය, හිසේ කැක්කුම ද වෛරසය ශරීරගතවී දින කිහිපයක් ගත වූ පසු වලිප්පුව, අත් පා අප්‍රාණික බව, සිහි මුර්ජා වීම වැනි ලක‍ෂණ දැක ගත හැකිය.

මෙහි එන්නත වර්ග 2කි. එනම්,

  • පටක රෝපිත ජීවී SA 14-14-2 (2009 වසරේ සිට අද දක්වා ලබා දෙයි.)
  • අජීවී එන්නත (මීයන්ගේ මොළයේ සාදනු ලබන) – අජීවී එන්නත, නකයාමා (1988 සිට 1992 දක්වා ලබා දෙන ලදී) සහ බේජින් (1982 සිට 2008 දක්වා ලබා දෙන ලදී)  ලෙස වර්ග දෙකකි.

අජීවී එන්නතතේ අතුරු ආබාධ වාර්තා වීම සහ මිල අධික නිසා 2011 වසරේ සිට චීනයේ නිපදවුණු ආරක‍ෂාකාරී සහ ක්‍රියාකාරී පටක රෝපිත ජීවී එන්නතක් SA 14 – 14 – 2 ප්‍රභේදය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලදී.

වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේ. අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ.

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ සඳහා එන්නත් ලබා නොගත් වැඩිහිටියන්ට රෝගය වැළදුණු බව කලාතුරකින් වාර්තා වුවද එන්නත් ලබාදුන් දරුවන්ට රෝගය වැළදුණ බවට වාර්තා නොමැත.  කලින් අජීවී එන්නතෙන් එන්නත් මාත්‍රා සම්පූර්ණ නොකළ දරුවන්ට ජීවී එන්තෙන් එක මාත්‍රාවක් ලබාගැනීම ප්‍රමාණවත්ය.

සැමවිටම ඔබත් ඔබේ දරුවාත් භයානක රෝග තත්ත්වයන්ගෙන් වැළකෙමින් නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්න. ඒ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ උපදෙස් පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ලබා ගැනීමට කල්පනාකාරී වන්න.

එන්නත් සහ වෛරස් රෝග පිළිබඳ ජ්යෙෂ්ඨ විශේෂඥ
වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙනි.

 

උණ තත්වයෙන් පෙළෙන ඔබේ පැටියව රැක බලා ගන්නා අයුරු

උණ යනු සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළයාමයි. එසේම සිරුර තුළ පවතින යම් රෝග තත්ත්වයක් පිටතටපෙන්නුම් කෙරෙන ප්‍රධාන රෝග ලක‍ෂණයයි. දරුවෙකුගේ සිරුරේ උෂණත්වය මවගේ අතට දැනෙන ආකාරයටනිගමන තීරණ වෙත එළැඹීම කිසිසේත්ම නිවැරදි නොවේ. දරුවාගේ නළල, ඛෙල්ල, අත්ල පරීක‍ෂා කරමින් උණ තත්ත්වය පිළිබඳව සොයා බැලූවද උෂ්ණත්වමානයෙන් පරීක‍ෂා කළ විට දරුවාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයක් විය හැකිය. දරුවන් සිටින සෑම නිවසකම පාහේ උෂ්ණත්ව මානයක් තිබිය යුත්තේ එබැවිනි.

කුඩා දරුවන් සිටින නිවසකට උෂ්ණත්වමානයක් තෝරාගැනීමේදී රසදිය උෂ්ණත්වමානයකට වඩා ඩිජිටල්උෂ්ණත්වමානයක් තෝරාගැනීම වඩාත් සුදුසු වේ. මන්ද යම් හෙයකින් රසදිය උෂ්ණත්වමානය බිදී ගියහොත්දරුවා අධික විෂ සහිත රසදිය වාෂ්පයට නිරාවරණය විය හැකි බැවිනි.

ඉතා සංකීර්ණ මිනිස් සිරුර රෝගී වූ විට රෝගියාගේ ආරක‍ෂාව වෙනුවෙන් සිරුර තුළ රසායන ද්‍රව්‍ය ක්‍රියාත්මක වීම ආරම්භ වන අතරම ඒ මගින් රෝග ලක‍ෂණයක් ලෙස සිරුරේ උෂ්ණත්වය ඉහළ යයි. එසේ ශරීර උෂණත්වය ඉහළ යාම එනම් උණ ඇති වීම රෝග ලක‍ෂණයක් පමණකි. සැබවින්ම උණ ඇති වීම සිරුරේ රෝගී තත්ත්වයක් පිළිබඳ අප වෙත දැනුම් දීමක් යැයි පැවසීමේ වරදක් නැත.

පාචනය, අතීසාරය, මුත්‍රාබාධ, සෙම්ගෙඩි වැනි අවස්ථා වලදීදල මැද කනේ ආසාදන, ආසාදිත තුවාල, ශ්වසන පද්ධතියේ ඇති විය හැකි නිව්මෝනියාව රෝගී තත්ත්වය, ක‍ෂය රෝගය, හන්දි අමාරු වැනි රෝග පමණක් නොව පිළිකා වැනි දරුණු රෝගවලද රෝග ලක‍ෂණයක් ලෙස උණ ඇති වේ. මේ නිසා උණ යනු, රෝගී තත්ත්වයක් ලෙස නොව සිරුරේ පවතින යම් රෝගයක ලක‍ෂණයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි වේ.

එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ඈත්ව කාලය ගතකරන විට, සාමාන්‍ය දිනයන්හිදීට වඩා නිදිමතගතියෙන් සිටින විට, වමනය, දරුවා වේදනාවකින් පසුවන අවස්ථාවලදී දරුවාගේ උණ පරීක‍ෂා කිරීම වැදගත් වේ. එසේම දරුවන්ගේ උණ පරීක‍ෂා කරන ආකාර ද කිහිපයකි. එනම් අත යට හෝ දිව යට උෂ්ණත්ව මානය තබාය.

උණ තත්ත්වයෙන් පෙලෙන ඔබේ දරුවා පහත සඳහන් රෝග ලක‍ෂණ පෙන්නුම් කරයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • තද හිසරදය
  • උගුරේ වේදනාව සහ ඉදිමුණු ස්වභාවය
  • උණ ඇති වීමෙන් පසුව සම මත දදයක ස්වභාවයක් මතුවීම
  • තද ආලෝකයට සන්වේදී වීම
  • හිස ඉදිරියට නවන විට ගෙලෙහි දැඩි වේදනාවක් ඇතිවීම
  • මානසික ව්‍යාකූල බව
  • දිගටම පවතින වමනය
  • හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ වේදනවා
  • උදාසීන බව සහ නුරුස්නාගතිය
  • උදර වේදනාව හෝ මුත්‍රා පිටකිරීමේදී වේදනාවක් ඇති වීම
  • මාංශ පේශීවල දුර්වල බව
  • ඉහත සඳහන් නොවූ වෙනත් අනපේක‍ෂිත සංඥා හෝ රෝග ලක‍ෂණ

උණ තත්ත්වයෙන් පෙලෙන දරුවා රැකබලාගැනීමේදී :

  • සුව පහසු සරල ඇඳුමක් දරුවාට අන්දවා පහසුවෙන් ඉන්නට සැලස්වන්න
  • ඇල් මැරුණු ජලයෙන් සිරුර තෙතමාත්තු කර විදුලි පංකාව අසල දරුවා රඳවන්න
  • දියර වර්ග වැඩිපුර ලබාදෙන්න
  • දරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි නම් බල කිරීමෙන් වළකින්න
  • දරුවා පිළිබඳව සුපරික‍ෂාකාරීව සිටින්න

දරුවෙකුට දින දෙකකට වඩා වැඩි කාලයක් උණ තත්ත්වය පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.

දරුවාගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 99 ට වඩා වැඩි නම් පමණක් දරුවාගේ බරට අනුව නියමිත පැරසිටමෝල් ප්‍රමාණය ලබාදිය හැකිය.

  • දිනකට පැරසිටමෝල් පැය හයකට වරක් බැගින් දිනකට පැරසිටමෝල් වේල් හතරක් පමණි. මන්ද අනවශ්‍ය පරිමාවක් ලබාදීම දරුවාගේ අක්මාවට බලපෑම් ඇති කළ හැකිිය.
  • උණ අවම කිරීම සඳහා පැරසිටමෝල්වලට අමරව වෙනත් ඖෂධ ලබාදීමෙන් වළකින්න. මන්ද උණ ඇති වීමට හේතුව ඩෙංගු වෛරසය ද නැතිද යන්න නිෂ්චිතව නොදැන උණ අවම කිරීමේ ඖෂධ ලබා දීම නිසා දරුවාගේ ජීවිතය අවදානමට ලක්විය හැක.
  • බොහෝවිට දරුවන්ට උණ ඇතිවීමට හේතුව වන්නේ වෛරසයක් බැවින් තත්ත්වය සිරුර විසින්ම පාලනය විය යුතු අතරම ඒ සඳහා දින කිහිපයක් ගත වන බව මව්වරුන් සිහිතබාගන්න.
  • වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳින්න.

දරුවාට උණ ඇති වීම මව්වරුන් බියට පත්වන හේතු තුනකි.

  • උණ වැඩිවීම නිසා දරුවාට උණ වලිප්පුව ඇති වේය යන බිය
  • දරුවාට ඩෙංගු වැළඳී ඇතැයි යන සැකය
  • මොළයට හානි සිදුවේයයි යන සැකය
උණ වලිප්පුව

අධික උණ ඇති වන සෑම අවස්ථාවකදීම උණ වලිප්පුව ඇති වීම හෝ මොළයට හානි සිදුවීම හෝ සිදු නොවේ. උණ වලිප්පු හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදු නොවේ. අධික උණ තත්ත්වය අවම කළද පෙර උණවලිප්පුව ඇති වූ දරුවෙකුට නැවත ඇති විය හැකිය. මව්වරුන් මේ පිළිබඳව අසාමාන්‍ය බියක් ඇති කරගත යුතු නොවන්නේ එය විනාඩි පහකට වඩා වැඩි කාලයක් නොපවතින අතරම තත්ත්වය සිරුර තුළින්ම පාලනය කරගන්නා බැවිනි. ඉතා කලාතුරකින් විනාඩි පහකට අධික කාලයක් පැවතිය හැකි අතරම එවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ. පෙර උණ වලිප්පුව තත්ත්වයට මුහුණ දුන් හෝ මව්පියන්ට කුඩා කාලයේදී උණ වලිප්පුව තිබුණු දරුවනහට මේ තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී.

බොහෝවිට අවුරුදු පහෙන් පහළ දරුවන්ට උණ ඇති වී පැය 24ක් ඇතුළත උණ වලිප්පුව ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වුවද උණ ඇති වී පැය 24කින් පසු උණ වලිප්පුව ඇති නොවේ යැයි නිශ්චිතව තහවුරු කිරීමට ද නොහැකිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මංජුල අතුකෝරාල සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ (ලේඛකාධිකාරී) වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

උපතින්ම දරුවන්ට උරුම විය හැකි පාදවල විකෘතිතා හඳුනා ගනිමු

දරුවන්ගේ පාදවල බකල තත්ත්වය පිළිබඳව මීට පෙර ලිපියකදී අප ඔබ වෙත තොරතුරු සැපයූවා මතක ඇති. බොහොමයක් මව්වරුන්ට තම ළදරුවන්ගේ පාද හා සම්බන්ධව යම් යම් ආකාරයේ ගැටලූකාරී තත්ත්වයන් පැන නැගී ඇති බව ඔවුන් අපෙන් විමසන තොරතුරුවලට අනුව පැහැදිලි වූවා. ඒ නිසාම ළදරුවන්ගේ පාදවල ඇති විය හැකි යම් යම් විකෘතිතා පිළිබඳව මව්වරුන් දැනුවත් කිරීම උදෙසා එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම.

ටැලිපීස් ඉක්වයිනො වේරස්

උප්පත්තියෙන්ම පාදවල ඇති විය හැකි විකෘතිතා අතර මේ තත්ත්වය බහුල වශයෙන්ම දක්නට ලැබේ. පාදයේ පතුල පහතට වැටී ශරීරය තුළට හැරී පිහිටීම මෙහි ස්වභාවයයි. මෙම දරුවන්ගේ පතුල සහ විලූඹ කුඩා වන අතර කෙණ්ඩ ප්‍රදේශයේ මාංශ පේශීන් සිහින්ය. තවද පතුලේ ඇතුළු පැත්තේ සමේ රැලි පිහිටන අතර ශරීරයේ බර පතුලට වැටෙන්නේ එම පිටත දාරය ඔස්සේය.

මේ තත්ත්වය සඳහා පමා නොකර සුදුසුකම්ලත් පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු යටතේ ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් විකෘතිය නිවැරදි කරගත හැකයි. (නැතිනම් ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු වේ) මෙහිදී පතුල ශරීරයෙන් ඉවතට හරවමින් ඉහළට ඔසවන ව්‍යායාමයක් සහ පතුරු බැඳීමක් සිදුකළ යුතුය. පතුරු බැඳීමේදී ඉංග්‍රීසී L හැඩයට පතුරක් (L Splint) සාදා එය පුළුන් වලින් ඔතා නින්දේදී දරුවාගේ පතුලට යටින් තබා ක්‍රේප් බැන්ඩේජයකින් බැඳීමට මෙහිදී උපදෙස් ලබාදේ.

මෙසේ භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී භෞත චිකිත්සකවරයා ලබා දෙන උපදෙස් අකුරට පිළිපැදිය යුතු අතරම යොදන බැන්ඩේජය පතුලේ ඇඟිලි නිරාවරණය වන සේ දැමීමට කල්පනාකාරී විය යුතුය. තවද බැන්ඩේජය ඉතා තදින් යෙදුවහොත් ලේ ගමනාගමනයට බාධා ඇති වී දරුවාගේ ඇඟිලි නිල් පැහැයට හැරෙන අතරම සීතල වී ඉදිමේ. එසේ වුවොත් වහාම බැන්ඩේජය ඉවත් කිරීමට කල්පනාකාරී වන්න.

”ටැලිපීස් කැල්කේනියෝ වැල්ගස්” (Talepees Calcaneo Valgus)

මෙයද උපතින්ම  දක්නට ලැඛෙන විකෘති තත්ත්වයක් වන අතරම මෙහිදි පාදය ඉහළට එසවී ශරීරයෙන් ඉවතට හැරී පිහිටයි. එනම් ටැලිපීස් ඉක්වයිනො වේරස් තත්ත්වයට විරුද්ධ දෙසටයි. ඒ සඳහා ද සුදුසුකම් සහිත පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් අනුව ව්‍යායාම සහ පෙර සඳහන් කළ ”L පතුර” (L Splint) පැලැඳීම සුදුසුය.

දණහිස් එකට ගැටීම හෙවත් ”නොක් නී” (Knock knee”

වෛද්‍ය විද්‍යාවේදී ජීනු වැල්ගස් (Genu Vaglus) ලෙස හැඳින්වෙන මෙම තත්ත්වයේ ලක‍ෂණ අතරට පතුල පැතලි (Flat Feet) වී තිබීම මෙන්ම පතුල ශරීරයෙන් ඉවතට හැරී පිහිටීම හෙවත් රිවර්ටඩ් ෆුට් (Reverted Foot) තත්ත්වයද දැක ගත හැකිය.

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතු : 

  • මූලිකව ශරීරයේ බර අධික වීම
  • පතුල් දෙක අතර දණහිස් නවාගෙන ඉඳ ගැනීම
  • දරුවන් නියමිත වයසට පෙර සිටුව තැබීම (දරුවන් ස්වෝත්සාහයෙන් සිට ගැනීමට පෙර සිටුවා තැබීමෙන් වළකින්න)
  • දණහිස් අවට මාංශ පේශීන් ආඝාතයට ලක්වීම

දණහිස් එකට ගැටෙන තත්ත්වය නිවැරදි කිරීම

  • පතුරු තබා බැඳීමද සිදු කෙරේ ”ලැටරල් ස්ප්ලින්ටිස් ” (lateral splints) ඒ සඳහා භාවිත කරයි.
  • රාත්‍රී කාලයේදී දරුවා නින්දට ගිය විට දණ හිස් දෙක අතරට තුවායක් වැනි දෙයක් නවා තබා පතුල් නිරාවරණය වන සේ දෙපා එකට තබා රෙදිපටිවලින් වෙලීම සිදුකෙරේ.

පෙර සඳහන් කළ පතුල ශරීරයෙන් ඉවතට තැබීම (Reverted Foot) –  සඳහා විශේෂිත සපත්තුවක් පැළඳිය යුතුය. එම සපත්තුව ”ෂූ විත් මීඩියල් එලිවේෂන්” : (Shoe with medial elevation)  නමින් හඳුන්වයි.

මෙවැනි දරුවන්හට ට්‍රයිසිකලයක් පැදීම ඉතාම සුදුසු වේ. තවද බර නියමිත වයසට වඩා වැඩි නොවන සේ පාලනය කළ යුතුය.

”නොක් නී” තත්ත්වය කොපමණදැයි මැන ගැනීමට දරුවාගේ දණහිස් එකට සිටින සේ තබා පතුල් දෙක අතර දුර මැනීමෙන් එම අගය ලබා ගත හැක. මෙම අගය දරුවාට ප්‍රතිකාර කරන විට ක්‍රම ක්‍රමයෙන් අඩු විය යුතුය.

තවද දණහිස් එකට ගැටීමේ ප්‍රධාන ගැටලූවක් වන්නේ දුවද්දි දණහිස් එකිනෙකට වැදී දරුවන් බිම ඇද වැටී නොයෙකුත් අනතුරු සිදුවීමයි. එසේම දරුවාට යම් අවලස්සන පෙනුමක්ද එක්කරයි.

පේස් කේවස් (Pescavus)

උපතින්ම පාදවල දක්නට ලැඛෙන විකෘතිතා අතර මෙයද බහුල තත්ත්වයකි. එනම් පේස් කේවස් (Pescavus) නැතහොත් හොලෝ ෆුට් (Pescavus) තත්ත්වයයි.

මෙම විකෘතියේදී පාදයේ පතුල වඩාත් උත්තලව පිහිටන අතර පාදයේ ඇඟිලි උස්ව කුරුව පිහිටයි. ඇඟිලි පොළව හා නොගැටෙන අතර යටිපතුල ද වක්‍රව පිහිටයි. මේ නිසා ශරීරයේ බර පොළොවට ලබා දීමේදී ඇඟිලිවල උපකාරයක් නොලැඛෙන අතර ගමන් කිරීමේදී අපහසුතා ඇතිවේ.

මෙම විකෘතිය, එක් පාදයක හෝ පාද දෙකේම හෝ ඇති විය හැකි අතරම මෙයට ස්නායු ආබාධ සමග ඇති වන මාංශ පේශී අසමතුලිතතාවය හේතු විය හැකිය. මෙහිදී පාද දෙක එකකට එකක් වෙනස්ව පිහිටීම ද දැකිය හැක. පේස් කේව්ස් විකෘතිය ස්පයිනා බිෆිඩා (Spina Bifida) පෝලියෝ මයලයිටිස් වැනි රෝග සමග ද ඇති විය හැකිය.

පැතලි යටිපතුල් (Flat Feet )

පැතලි පතුල යනු  ඉහත සඳහන් කළ විකෘතියට විරුද්ධ තත්ත්වයේ ආබාධයකි. පාදයේ හා පොළොව අතර සම්බන්ධයේදී යම් දුරක් පොළව හා දැඩිව සම්බන්ධ වීම සිදු වේ. පාදයේ මස්පි අසමතුලිත වීම, මස්පිඩු දුර්වල වීම, මස්පිඩු ආඝාතයට ලක්වීම යන කරුණු හේතුවෙන් මෙම තත්ත්වය දැකිය හැක.

සෑම කුඩා දරුවෙක්ම නැගී සිටීමට උත්සාහ කරන කාලයේ සිට අවුරුදු දෙකක් ඇතුළත මේ තත්ත්වය පැවතිය හැකි වුවත් ඉන්පසු පවතින පැතලි පතුල් සඳහා ප්‍රතිකාර ගත යුතුය. දරුවෙකුට වයස අවුරුදු තුනෙන් පසුව පැතලි පතුල්වලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.

පැතැලි පතුල් දිගටම පැවතීම වයසටයත්ම කකුලට වේදනාවක් ගෙන දෙයි. එමෙන්ම පතුලේ ටාර්සල් සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය දක්වාම වර්ධනය විය හැකිය. මෙසේ පතුල් විකෘතිතාව දරුවන්ගේ ශරීරයේ හැඩයට ද බාධාවකි. පාදයේ ඉන්ට්‍රින්සික් මාංශ පේශී සඳහා ශක්ති ජනක ව්‍යායාම ලබා දීම හා විශේෂිත සපත්තු පැලදීම මේ සඳහා සිදුකරන ප්‍රතිකාර වේ.

භෞතචිකිත්සක උපදෙස් අනුව යම් යම් විකෘතිතා සඳහා පතුරු බැඳීමේ ක්‍රමය යොදාගන්නේ නම් මේ පිළිබඳව සැළකිලිමත් වීම අනිවාර්ය බව සිහිතබාගන්න.

පතුරු තදින් බැඳීම හේතුවෙන් ලේ ගමනාගමනය අවහිර වූවොත් පතුල ඉදිමීම, සීතල වීම හා නිල් පැහැගැන්වෙන අතරම එවැනි තත්ත්වයක් ඇති වී නම් වහා රෙදි පටි ගලවා දැමිය යුතුය. මේ පිළිබඳව මව්වරුන් තම පූර්ණ අවධානය යොමුකර සිටීම ඉතා වැදගත් වේ.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රධාන භෞත චිකිත්සක,
වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති,
ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

දියණියන් සිටින මව්වරුණී , මේ ලිපිය ඔබ‍ටයි

ජිවිතේ අභියෝග රැසකින් සමන්විතයි. මෙළොවට බිහිවන්නට මව්කුස තුල පිළිසිඳ ගත් මොහොතේ සිටම එම අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවේ. තීරණාත්මක සාධක අතර ගැටෙන්නට නොහැක්කන් ජීවිතයෙන් පලා යයි. විශේෂයෙන්ම ආසියාතික රටක් වන අපට අපටම උරුම වූ සංස්කෘතියක් ඇත. කාලයත් සමඟම ඇතැම් දෑ අප සමාජයෙන් බැහැරව ගියද පවුල යන ඒකකය තුල ගැහැණියකට ඇති භූමිකාවේ බරපතල බව නම් අඩු වී නැත. දියණියක් සිටින ඔබ ඇයව බෙහෙවින්ම ප්‍රවේසම් කරගත යුත්තේ එහෙයින්ය. පසුගිය දිනක අප ප්‍රදේශයේ පවුල් සෞඛ්‍යය නිළධාරිණිය මා හට මුණ ගැසුනි.

“කොහෙද මේ ඉර මුදුන් වෙච්ච වෙලාවෙ මිස් ගියේ?”

“අනේ හරිම වැදගත් වැඩකට.”

“ඇය පැවසුවේ ඉතාමත් බැරෑරුම්වය.”

“ඇයි මිස් මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“මට නෙමේ අම්මා කෙනෙකුට, එයා දික්කසාද වෙලා ඉන්නේ. ඒ අතර වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වලා දැන් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. දැන් ඒ කෙනත් දරුවව භාරගන්න බැහැ කියනවලු. දරුවා ලැබෙන්න තියෙන්නේ ලබන සතියේ. අම්මටත් ඒ හැටි වයසක් නැහැ. අවුරුදු විසිතුනයි. ඒ අම්මා මානසිකව හොඳටම ඇද වැටිලා ඉන්නේ. ”

“අයියෝ පව්. ඉතින් දැන් මොකද්ද කරන්නේ ?”

“අපිට ඉතින් නීතී උපදෙස් දෙන්න නම් බැහැනේ. මම පුලුවන් තරම් හිත හැදුවා. වෙන කරන්න දෙයක් නැහැනේ. ගැහැණු වුණාම ආවට ගියාවට වැඩ කරලා බැහැනේ. ඒ ළමයට මේවා කලින් හිතන්න තිබුණා.”

හෙට අනිද්දා මෙළොව එළිය දකින පුංචි කිරි කැටියාට පිය සෙනෙහස අහිමි වන්නේත්, සමාජයේ මතු දිනක ගැරහුමට ලක් වන්නට සිදුවන්නේත් , දරුවා බිහි කරන්නට සිටින ඒ කාන්තාවට සමාජයෙන් කොන් වන්නට සිදුවන්නේත් සුලු මොහොතක සුවය වෙනුවෙන් ඇය තම හැඟීම් වලට අවනත වූ නිසාවෙන්මය.

වීදුරුවක් බිඳුන පසු කොතරම් පිළියම් කළත් එහි පලුද්ද මකන්නට නොහැකිය. ගැහැණියත් විදුරුවක් ලෙස සලකන අපේ සමාජය තුල ඉතින් කොයි තරම් නම් ප්‍රවේශම් විය යුතුද යන්න කාන්තාවන් වශයෙන් අපේ දියණිවරුන්ට කුඩා අවදියේ පටන්ම කියා දිය යුතුය.

සමාජය පිළිබඳ හයක් හතරක් නොතේරෙන දරුවන් මුලාවන්නට , මුලා කරවන්නට ඒ හැටි අපහසු නොවේ. රූපවාහිනියේ විකාශනය වන ප්‍රේමාන්විත ටෙලි කතාන්දර වල චිත්‍රපට වල රඟපාන ප්‍රේමවන්තියන් වන්නට පෙරුම් පුරන අපේ දියණිවරුන්ද ඉතාමත් ඉක්මණින් මුලාවට පත්වෙයි. අද සමාජය තාක්ෂණික වශයෙන් දියුණු වුවත් සාරධර්ම අතින් පිරිහීමකට ලක්ව ඇත. ඒ හොඳ දෙයෙහි නරක උකහා ගැනීම නිසාවෙන්මය. අද වන විට ජංගම දුරකථනය පාසල් දරුවන්ට කෙළි බඩුවක්ය.ෆේස් බුක් මෙන්ම අන්තර්ජාලයේ නොයෙකුත් සමාජ වෙබ් අඩවි තුල සැරිසරන ඔවුන් නන්නාඳුන පුද්ගලයන් හා සබඳතා පවත්වයි.  කිසි දිනක දැක නොමැති පුද්ගලයන් හා සයිබර් අවකාශය තුලින් ගොඩ නගා ගත් සබඳතාවයක් දැඩි ලෙස විශ්වාස කරන්නට දෙවරක් නොසිතයි.

නව යොවුන් දරුවන් කායිකව හා මානසිකවද දැඩි විපර්යාසයන්ට ලක්වේ. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වීමද බොහෙවින්ම සාමාන්‍ය තත්ත්වයකි. සෙනසුරාදා,ඉරිදා දිනයන් වලදී මග තොටදී හමුවන පාසල් වියේ පෙම්වතුන් බොහෝමකි. බොහෝ විට තම සදාදරණීය පෙම්වතා පෙම්තිය හා තනි වන්නට ඇරයුම් කරයි. පෙම්වතාගේ සිත රිදවන්නට නොහැකි පෙම්වතියද ඔහුටඅවනත වෙයි. ඉතින් කුලී කාමරයක පැයක් දෙකක් තනි වන නව යොවුන් යුවලක් අතර සිදු විය නොහැක්කේ කුමක්ද? ආදරය අන්ධ යැයි කියමනක් ඇත්තේ නිකමට නොවේය.ආදරය යනු කායීක ස්පර්ශයකින් හැඟීම් සන්තර්පනය කර ගන්නා තත්ත්වයකට පත්ව ඇත.

ලිංගිකත්වය යනු අප සමාජය තුල එළිපිට කතා කරන්නට පැකිලෙන මාතෘකාවකි. එහෙත් අවම වශයෙන් දියණියක් මල්වර වූ පසුවවත්  ඇගේ ශරීරයේ සැකැස්ම පිළිබඳවත් ඇය ප්‍රවේශම් වියයුතු ආකාරය මවක් විසින් දැනුවත් කළ යුතුමය. ඇය මල්වර වීමෙන් පසු මවක් වන්නට ශරීරිකව සූදානම් වු බවත් මවක් වන්නේ කෙසේද යන්නත් පැකිලීමකින් තොරව  දියණියට කියා දිය යුතුය. නව යොවුන් වියේ දරුවන් අත්හදා බලන්නට රුසියෝය. ඉතින් තම දියණියට පරික්ෂණ භාණ්ඩයක් නොවන්නට වග බලාගත යුතු ආකාරය  කියා දිය යුතුය. කුඩා අවදියේ සිටම දියණියකට තම ආරක්ෂාව පිළිබඳ කියා දිය යුතුය. ඒ අද පුංචි ළදැරියන්ද තලා පෙලා දමන මනුෂ්‍ය වෙසින් සිටින අමානුෂික තිරිසන් ගති ඇති පුද්ගලයන්ද අප අතර සිටින නිසාවෙන්ය.

දියණිය මලකි. එහි රුවට.පැහැයට. සුවඳට වශී වී මත් බඹරුන් රොනට වඩිනු ඇත. රොන් බී උන් පලා යනු ඇත. අම්මාවරුනි යුහුසුලු වන්න. ඔබේ දියණිය පර නොවන්නට ඔබ නිරතුරුම ඇය සුරකින්න, ඇයට ඇගේ සුරක්ෂිතබාවය තහවුරු කරගන්නට අත් වැල වන්න.

ළමයි බයයි බෙදාගන්න – ඒත් ඕනේ හුරුකරන්න

හුවමාරු කරගන්න,බෙදාගන්න ඉගෙනගැනීම පුංචි දරුවන්ට ඇත්තටම ලොකු අභියෝගයක්.නමුත් එය ළමා කාලය තුලදී දරුවන් පුහුණු කරගත යුතු අත්‍යවශ්‍ය පුරුද්දක්.ඇතිතරම් කාලය දෙමින්,ඇතිතරම් දේවල් ලබාදී ඔබට දරුවාට බෙදාහදාගැනීම පුරුදු කරන්න පුළුවන්.ප්‍රශංසාව සහ දිරිගැන්වීමෙන් දරුවකුගේ යහගුණ වර්ධනය කරගන්න හැකි බව ඔබ දන්නවද?

ඇයි බෙදාහදා ගන්න එක ඔච්චරටම වැදගත් ?

බෙදාගැනීම කියන්නේ හුඟක් වැදගත් හැකියාවක්.දරුවන්ට යුහුසුළුව මිතුරන් හා සබඳතාවන් ගොඩනගා ගැනීමට,පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ ලොකු උදවුවක්.ඔබේ දරුවා සමාජගත වන පළමු පියවර වන පෙර පාසල,පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුලදී අනෙක් දරුවන් හා සෙල්ලම් කරන්න,සුහදශීලි වෙන්න නම් මේ බෙදාහදා ගැනීම හරිම වැදගත්.

බෙදාගැනීම දරුවන්ට තමන්ට ඇතිවන ඕනෙම ගැටලුවකදී හොඳ සම්මුතියකට එළඹෙන්න ස්ථාවර අඩිතාලමක් දාලා දෙනවා.මූලිකවම ඔවුන් ඉගෙනගන්නේ අප ලබාදෙන යම් කුඩා දෙයක් වේද..පෙරලා අපට ඉන් ප්‍රතිඵල ලැබෙනවා කියලයි.ඒත් මෙහි පැති කිහිපයක් තියෙනවා.මවක්,පියෙක්,ගුරුවරයෙක්,වැඩිහිටියෙක් විධියට අප මෙහිදී කියාදිය යුත්තේ අප කරන ඕනෑම අයහපත් දෙයක් හෝ යහපත් දෙයක් හෝ වේවා ඉන් පෙරලා අපට හොඳ හෝ නරක ප්‍රතිපල ලැබෙන බවත් නරක දේවලින් ලැබෙන්නේ නරක බවත් හොඳ දේවලින් ලැබෙන්නේ හොඳ බවත්ය.බෙදාගැනීම තුල ළමුන් අන් අය  සමඟ කතාකරන්නේ කොහොමද? හිත නොරිදවා වැඩ කරන්නේ කොහොමද?සහයෝගය කියන්නේ මොකක්ද?සහයෝගෙන් එකට එකතුවෙලා වැඩ කරන්න ඕනේ කොහොමද කියන දේවල් ඉගෙනගන්නවා.එය වැඩිහිටි අපට හොදින්ම පෙනෙන්නේ ළමයා දිනෙක අප මෙන්ම වැඩිහිටියෙක්,මවක්,පියෙක් වූ දවසටයි.මෙය ඇත්තටම ජිවන කුසලතාවයකි.

බෙදාගන්න ඉගෙනගන්න දරුවාට උදවු කරන්න

දෙමව්පියන් කරන කියන හැම දෙයක්ම ඒ දෙස බල සිටින දරුවන් ද ඉගෙන ගන්නා බව මෙතැනදී මතක තබගතයුතුම වැදගත්ම කරුණයි.යහපත් බෙදාගැනීම තුල ඔබේ ක්‍රියාකාරකම්,සිතුවිලි හඳුනාගන්න ඔබේම දරුවා ඒවා පහසුවෙන්ම ග්‍රහණය කරගන්නවා.බෙදාගන්න ඉගෙනගන්න හොඳ ක්‍රම ටිකක් තමයි මේ.

බෙදාගන්නා අවස්ථා ගැන දරුවා දැනුවත් කරන්න,අගයන්න.අන් දරුවන් ද එසේ කරන විට එය අගයන්න.ඔයාගේ යාළුවා එයාගේ සෙල්ලම් බඩු අනික් අයටත් දෙනවා.එහෙම අනික් යාළුවොත් එක්කත් බෙදාගෙන වැඩකරන එක කොච්චර හොඳ දෙයක්ද? කියලා දරුවාට ඇහෙන්න කියන්න.

ළමයි ගොඩාක් වෙලාවට බෙදාගන්න බයයි.දුන්නොත් ආපහු දෙන එකක් නැතිවෙයි.නැතිවුනා කියල අම්ම බනියි.ඒක කාටවත් දෙන්න නෙමෙයි අම්මා මට දුන්නේ.ඒක මගේ විතරයි.කියල පොඩි කාලෙදිම එයාල ආත්මාර්ථකාමී ව හිතන්න ගන්නවා.ඒක ඇතිවෙන්නේ බයකුත් එක්ක.ඒ නිසා ලොකු වුනාමත් හැමදෙයක්ම තමන් සතු කරගන්න,අනික් අයටත් නොදී ඉන්න,කොටින්ම කිව්වොත් බෙදාගන්න නෙමේ බදාගන්නයි ඔවුන් පුරුදුවෙන්නේ….ඒ නිසා ඔවුන් තමා සතු දේවල් නැති අයකුට දුන්නොත්,හුවමාරු කරගත්තොත් මාපියන් හැටියට ඔබ කල යුතුම දෙය ඔවුන්ව අගයන එකයි.

මෙතැනදී අනිකාටත් ඉඩදීම කියන සංකල්පයත් මතුවෙනවා.බෙදාගන්නවා කියන්නේ සාමුහික බවේ ලක්ෂණයක්.ඔබට දරුවා සමඟ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.බිල්ඩින්ග් බ්ලොක්ස් අරගෙන මුලින්ම ඔයාගේ වාරය.ඊලඟට මගේ වාරය…අපි හැමතිස්සෙම අනික් අයටත් තැන දෙන්න ඕනේ කියමින් සෙල්ලම් කරන්න.එකවගේ සෙල්ලම් බඩු කිහිපයක් ගන්න ඔබට ඒවා නැති බව පවසන්න.දරුවා සතුව එවැනි සෙල්ලම් බඩු ගොඩාක් තියෙන බවට හඟවන්න.එහෙනම් නැති කෙනෙක්ට තමන් ළඟ තියෙන දෙයක් දෙන එකේ වටිනාකම කියල දෙන්න ඔබට මින් පුළුවන් නේද? “ඔයාගේ රතු පාට බිල්ඩින්ග් බ්ලොක්ස් මට දෙන්න..මගේ කොළ පාට බිල්ඩින්ග් බ්ලොක්ස් දෙන්නම් ඔයාට” මේ වගේ සහයෝගය පෙන්වන ක්‍රියාකාරකම් නිතර දරුවාට ඇහෙන්න දකින්න සලස්වන්න.දරුවා පෙර පාසලට යන්න කලින් බෙදාගැනීම තුල ඇති වැදගත්කම පහදන්න.යාලුවෙක් පැන්සලක් ඉල්ලුවොත් ඔයාට  තියෙන්නේ එක පැන්සලක් නම් පුළුවන් න, පැන්සල දෙකට කඩා හරි කොටසක්  යාළුවාට දෙන්න තරම් ඔයා කරුණාවන්ත වෙන්න .ඔයාට වැඩිපුර තියෙන දෙයක් යාළුවාට නැත්නම් එයාට ඕනේ වේලාවකදී දෙන්න.මේවගේ දේවල් දරුවාට තේරෙන විධියට ඉතා සරලව පැහැදිලි කරන්න ඔබට පුලුවන්.

ඔබේ දරුවා බෙදාගැනීමට අකමැත්තක් දක්වයි නම්


මුලදී බෙදාගැනීම අභියෝගාත්මක විය හැකියි.මේ හැකියාව වර්ධනය කරගන්න බොහෝ දරුවන්ට යම් සහයෝගයක් සහ ඇගයීමක් අවශ්‍යමයි.ඔබේ දරුවා බෙදාගන්න අකමැතියි නම් නිවසේදී පුංචි ක්‍රියාකාරකම් ඒ සඳහා ඔබට කල හැකියි.උදාහරණයක් විධියට “අපි මේ පලතුරු බෙදාගමු ද? කෑල්ලක් මට කෑල්ලක් ඔයාට”…මේ විධියට බෙදාගැනීම ටික ටික පුරුදු කරන්න ඔබට පුළුවනි.බෙදාගන්න කැමති නැහැ කියලා දරුවා ව සෙල්ලමට නොයවා ඉන්නත් එපා.බෙදාගන්න එක කොච්චර වටිනවද කියල උගන්නන්න  අන් දරුවන් එක්ක ක්‍රියාකාරකම් වල නිරත වීම ම අවස්ථාවක් කරගන්න.

බෙදාගැනීමට දරුවන් හුරුවන විවිධ වයස් ඛාණ්ඩ

ළදරු අවධිය :

මුල් අවුරුදු තුන ඇතුලත ඇත්තෙන්ම කිසිම දරුවෙක් දන්නේ නැහැ බෙදාගෙන වැඩකරන්න ඕනෙද නැද්ද කියලවත්.ගොඩක් වෙලාවට මේ වයස්වල දරුවන් හිතන්නේ ඔවුන් ලෝකයේම ඉන්න ප්‍රධානියා කියලයි.ඔවුන්ට තමයි හැමදෙයක්ම අයිති කියලයි.මේ කාලයේදී බෙදාහදා ගන්න එකට දරුවා ව දිරිමත් කිරීම වටිනවා.

අවුරුදු 3 ඉඳලා ගොඩක් දරුවන් තේරුම්ගන්නවා ගනුදෙනු කරන්න ඕනේ කියල.නමුත් ඔවුන් අන් අය සමඟ  බෙදාගන්න කියන සංකල්පයට  තවමත් සම්පූර්ණයෙන්ම නම් සූදානම් නැති බව වැඩිහිටි අප  මතකයේ තියාගන්න ඕනේ.ඔබේ දරුවා කැමති යමක් තවත් අයකු ළඟ තිබේ නම් එය ලැබෙන තුරු ඉවසන්න ත් දරුවන් ටික ටික ඉගෙනගන්නේ මේ කාලයේදී.ඒ තුල සුහදව  ගනු දෙනු කරන්නේ කොහොමද කියල ගුරුවරයා දරුවන්ට කියා දීම වැදගත්.මන්ද පාසල් කාලයේදී දරුවන් ලඟින් ඉන්නේ දෙමාපියන් නොව ගුරුවරුන් නිසා.

පෙර පාසල් අවධිය :

මේ කාලයේදී තමයි දරුවන් සම්පූර්ණයෙන්ම වගේ බෙදාහදාගැනීමේ සංකල්පයට ප්‍රවිෂ්ට වෙන්නේ.ඒ නිසා විවිධ සාමුහික ක්‍රියාකාරකම් මෙහිදී ඔවුන්ට ලබාදීම ගුරුවරයාගේ වගකීමක්.ඒ තුල හැමදේම තනිව කල නොහැකි බව,අන් අයගෙත් උදවුව කොතනකදී හෝ අවශ්‍ය බව,සාමකාමිව,සුහදව,අන්‍ය මත ගරුකරමින්,එකට එක්ව,එක අරමුණක් ඇතුව,සහයෝගයෙන් වැඩ කරන්න,අනික් අයට උදව් කරන්න,අනික් අයත් කියන දේවල් අහන්න දරුවා ක්‍රමයෙන් ඉගෙනගන්නවා.ඒ තුල අනාගත යහපත් නායකයන් පවා බිහිවේවි.

පාසල් අවධිය :

මේ කාලයේදී දරුවා ඉවසීමට පුරුදුවෙනවා.මා ඉහත කී කරුණු මනාව පුහුණු කල දරුවකුට පාසල යන සමාජයට එකතු වීම එතරම් අපහසු නැහැ.යහළුවන් ඇතිකරගන්න,සතුටින් ඉගෙනගන්න,සුහදව ඉන්න,උදවු කරන්න… බෙදාගැනීම හොඳින් පුරුදු වුනු දරුවකුට හුඟාක් පහසු දේවල්.මෙය දරුවා වැඩිහිටියෙකු වූ පසුවත් ඔහු හෝ ඇය සමඟ ගමන් කරාවි. ඒ නිසා දෙමව්පිය,වැඩිහිටි ඔබ අප හැමෝම දරුවාට බෙදාගැනීම පුරුදු කල යුතුයි.අද සමාජය ගොඩක් ඉන්නේ ගන්න මිසක් දෙන්න නෙමේ.මේ සිතුවිල්ල මත අද ලෝකය කෙතරම් අයහපත් වී තිබේදැයි ඔබටම පෙනෙනවා ඇති නේද?

ඔබේ දරුවාගේ හිසරදය දරුණු රෝගයක, ලක්ෂණයක් විය හැකියි

“අනේ අම්මා ඔලුව රිදෙනවා”

“බොරු කියන්නෙ නැතිව ඉන්න ළමයෝ ”

“නැහැ අම්මා ඇත්තමයි.”

බොහෝ විට දරුවෝ හිසරදය යැයි පවසන විට අපි දක්වන්නේ එවැනි ප්‍රතිචාරය. එහෙත් හිසරදය කියන්නෙ වැඩිහිටියන්ට පමණක් හැදෙන රෝගයක් නම් නොවේ. ළමා රෝග සායනවලට පැමිණෙන දරුවන් අතර බහුලව පවතින තවත් රෝගයක් ලෙස හිසරදය හැඳින්විය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය. වයස අවුරුදු පහට වඩා අඩු කුඩා දරුවන්ද හිසරදයෙන් පීඩා විඳින අවස්ථා ඇත.එහෙත් තමන්ට දැනෙන මේ වේදනාව වැඩිහිටියන්ට ප්‍රකාශ කරන්නට පුංචි පැටවුන්ට තේරුමක් නොමැති නිසා ඔවුන් නිතර හැඬීම හා නුරුස්නාගතියෙන් පසුවීමකුත් දකින්නට හැකිය.අදහස් ප්‍රකාශ කළ හැකි වයසේ දරුවො නම් තමන්ට හිසරදය ඇති බව වැඩිටියන්ට ප්‍රකාශ කරයි.

හිසරදය ඇති වන්නේ එක හේතුවක් නිසා නම් නොවෙයි. දරුවන්ට හිසරදය ඇති වන්නට හේතු කාරණා කිහිපයක්ම ඇත. ඒ අනුව  හිසරද මෙසේ වර්ග කළ හැකිය.

  • ආතතිය නිසා ඇති වන හිසරදය (Tension type headache)
  • ඉරුවාරදය (migraine)
  • කෝඨර ප්‍රධාහය නිසා ඇතිවන හිසරුදාව (sinusitis)
  • ඩෙංගු උණ සමග ඇති වන තද හිසරදය
  • ඇස් ආබාධයන් නිසා ඇති වන හිසරදය.
  • මොළයට විෂ බීජ ඇතුල් වීම හෝ මොළයේ පිළිකා හෝ ගෙඩි හටගැනීම නිසා ඇති වන හිසරදය.
ආතතිය නිසා ඇති වන හිසරදය

දරුවකුට නීරෝගීව වැඩීමට නම් කායික මෙන්ම මානසික වශයෙන් නිදහස් බාවයක් අවශ්‍යවේ. එහෙත් අද අධ්‍යපන රටාව අනුව දරුවන්ට ඇත්තේ විභාග පසු පස හඹා යාමේ දැවැන්ත සටනකි. පාසලින් නිවසටත් නිවසින් උපකාර පන්ති වෙතත් දිව යන දරුවන්ට ස්වභාව ධර්මය විඳගන්නටත් එහි සැරිසරන්නටත් කාලවේලාව අහිමිව ඇත. ඇතැම් දරුවන් විභාගයට ඇති බිය නිසා මානසික ආතතියට ලක් වේ. තමන් බලාපොරොත්තු වන පරිදි ලකුණු ලබා ගත හැකිවේද? සමත්වන්නට හැකිවේද? යැයි අනවශ්‍ය ලෙස බියට පත් වීම එයට හේතුවයි. එසේම දෙමාපියන්ගේ කාර්්‍යය බහුලත්වය නිසා දරුවන් සමග ගත කරන්නට, ඔවුන්ට සවන් දෙන්නට කාල වේලාවක් නොමැති වීම නිසා හුදකලා වීම නිසාවෙන්ද දරුවන් ආතති හිසරදයට ගොදුරු වේ. බොහෝ විට ආතති හිසරදයට ගොදුරුවන්නේ ගැහැණු දරුවන්ය.

ආතති හිසරදය ඇති විට දක්නට ලැබෙන ලක්ෂණ

  • නිතර නිතර හිසරදය ඇති වීම
  • පාසල් කටයුතු අඩාල වීම,
  • පාඩම් අමතක වීම
  • අධික තරහා ඇතිවීම
ආතති හිසරදය සඳහා ප්‍රතිකාර

දරුවන්ට ඇති වන ආතති හිසරදයට බොහෝ විට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත. ආතති හිසරදයට හේතු වූ කාරණය සොයාගෙන එයට පිළියම් යෙදීම තුලින්ම මෙම තත්ත්වයෙන් දරුවන් මුදාවා ගතහැකිය.

  • දරුවාගේ පාසල් වැඩවලට හැකි පමණ උදව් කිරීම
  • දරුවා වෙනුවෙන්ම දවසට පැය කිහිපයක් වෙන්කිරීම
  • දරුවාට සවන්දීම
  • අත්‍යාවශ්‍යම උපකාර පන්ති වලට පමණයක් යැවීම
  • විනෝදවන්නට සෙල්ලම් කරන්නට ඉඩ කඩ ලබා දීම
  • විභාගය සිතට බරක් නොකර ගෙන පාඩම් කරන ලෙස දරුවාට උපදෙස් දීමට
ඉරුවාරදය (migraine)

ඉරුවාරදය හෙවත් මිග්්‍රරේන් යනුවෙන් හඳුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. හිසේ එක් පැත්තක පමණක් ඇති වන  ඉරුවාරදය බොහෝ විට තද හිරු එළියට නිරාවරණය වීම නිසා ඇති විය හැකි බව සත්‍යයක් වුවද හිරු එළියට නිරාවරණය නොවී වුවද ඉරුවාරදය  ඇති විය හැකිය. ඉර අව්වට නිරාවරණය වීමත් සමග ඉතා ඉක්මණින් උත්තේජනය වන ආකාරයේ ලක්ෂණ පෙන්වන හෙයින් ඉරුවාරදය ලෙස හඳුන්වන හිසරදය  මොළය තුල රසායනික ක්‍රියාකාරීත්වයෙ වෙනස්කම් නිසා ඇති වන තත්ත්වයකි. ඉරුවාරදය දරුවකුට වැළඳුන විට ඉතාමත් අධික ලෙස දැනෙන හිසේ වේදනාව නිසා ඔවුන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු මෙන්ම අධ්‍යපන කටයුතු අඩපණ වේ.

ඉරුවාරදය නිසා හටගන්නා වේදනාව ඇති වීමට පෙර පූර්ව රෝග ලක්ෂණ පහල විය හැකිය.
  • තරු වැනි ආලෝකධාරා පෙනෙන ස්වරූපයක් දැනීම
  • අසාමාන්ය  ගඳ හෝ සුවඳ වර්ග දැනීම
  • අධික ඈණුම් යෑම
  • අකුරු ඇදවී මෙන් පෙනීම
  • කතාවේ වෙනසක් සිදු වන බව දැනීම
  •  තමන්ට අවට පරිසරයේ සංවේදන දැනෙන ආකාරයේ වෙනසක් සිදු වන බව දැනීම
  • ඇඟ හිරිවැටෙනවා වැනි ස්වභාවයක් දැනීම
  • කලාතුරකින් ඇතිවන ශරීරයේ පැත්තක් පණ නැති වී ඇති ස්වභාවයක් දැනීම.

දරුවාගෙන් දරුවාට මෙම පූර්ව රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව මතක තබා ගත යුතු අතරම පූර්ව සංඥාවකින් තොරව වුවද ඉරුවාරදය ඇති විය හැකිය.

ඉරුවාරදය ඇති වන්නේ ඇයි?

  • ජානම හේතු සාධක මත පරම්පරාවෙන්
  • අධික ලෙස නිදිවර්ජිතව සිටීම
  • කුසගින්නේ සිටීම
  • අධික හිරු එළියේ සිටීම
ඉරුවාරදය සඳහා ප්‍රතිකාර

ඉරුවාරදය නිට්ටාවට සුවකිරීම සඳහා ප්‍රතිකාර මේවන තෙක් සොයා ගෙන නොමැත. ඖෂධ මගින් ලබා දීම තුලින් රෝගය බොහෝ දුරට පාලනය කිරීම සිදු කරයි. සාමාන්‍යයෙන් ඖෂධ නිර්දේශ මාස හයකට පමණය. ඊට හේතුව මෙම ඖෂධ මගින් අතුරු ප්‍රතිඵල ඇති විය හැකි නිසාවෙන්ය.

ඉරුවාරදයෙන් පෙළෙන දරුවකු සිටිනවා නම් මේ පිළිබඳ සැලකිලිමත්වන්න.

  • දරුවාට හිසරදය ඇති වන්නේ කවර හේතූන් නිසා දැයි අවබෝධ කර ගැනීමට දින පොතක් තබා ගන්න. එහි හිසරදය ඇතිවන අවස්ථා හා හේතුව සඳහන් කිරීම තුලින් ඉදිරියේදී හිසරදය සෑදීමට හේතුව දන්නා නිසා එවැනි අවස්ථා වලින් බැහැරව කටයුතු කිරීම තුලින් හිසරදය මගහරවා ගත හැකිය.
  • සාමාන්‍යයෙන් කෝපී, මාමයිට්, රටකජු, චොකලට්, අයිස්ක්‍රීම් වැනි ආහාර නිසාද මෙම රෝග තත්ත්වය උත්තේජනය විය හැකිය. නමුත් සෑම දරුවකුටම එකම ලෙස එය බලනොපායී. මෙම හඳුනාගත් ආහාර වලට අමතරව වෙනත් ආහාර වලින් වුවද දරුවාගේ හිසරදය උග්‍ර විය හැකි බැවින් මව්වරුන් විශේෂයෙන් අවධාන යොමු කර එම ආහාර හඳුනා ගැනීම කළ යුතුය. විශේෂයෙන් ක්ෂණික ආහාර හා රසකාරක යෙදූ ආහාර ගැන සැලකිලිමත් විය යුතුය.
  • බොහෝ විට පාසල් යන දරුවන්ට තම උදෑසන ආහාරය අතපසු වේ. එනිසා අනිවාර්්‍යයෙන්ම දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීම තුලින්ම පමණක් ඉරුවාරදය තත්ත්වය මග හැරී ගිය අවස්ථා ඇත.
  • දරුවන්ව හොඳින් පිරිසිඳු ජලය පානය කිරීමට යොමු කිරීමත් ඉතා වැදගත්ය.
කෝඨර ප්‍රදාහය නිසා ඇතිවන හිසරුදාව

අපගේ හිසේ නාසය අවට හා නළල ආශ්‍රිතව වායූ කුටීර හෙවත් කෝඨරය පිහිටා ඇත.කෝඨර පදාාහයේදී සිදුවන්නේ නාසය අවට හා හිස තුල පිහිටි  හිස් අවකාශ වාතයෙන් පිරී හිසට සැහැල්ලුවක් ගෙන දිය යුතු කෝඨර තුල ඝණ දියර, මස් දළු හෝ දිලීර එකතු වීමයි. මෙසේ කෝඨර අවහිරයට පත්වූ විට දරුවන්ට හිසරදය ඇතිවේ.

කෝඨර ප්‍රදාහය ඇති වන්නේ ඇයි ?

  • නිතර නිතර පවතින පීනසය හෝ අධික සෙම්ප්‍රතිශ්‍යව වැළඳීම
  •  නාසයේ ඇතුලත කෝඨර අවට ඇති වන ඇතැම් ව්‍යුහමය වෙනස්කම් පැවතීම
ඇස් වල ඇති වන ආබාධයන් හේතුවෙන් හිසරදය

දරුවන්ට හිසරදය ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ඇස්වල දෘෂ්ඨි ආබාධයි. කුඩා දරුවන් බොහෝ විට ගොදුරු වන්නේ අවිදුර දෘෂ්ඨිකත්වයට වේ. වර්තමානයේ අක්ෂි වෛද්‍ය විද්‍යවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය.

මොළයේ පිළිකා හෝ ගෙඩි හටගැනීම නිසා ඇති වන හිසරදය

මොළයේ ගෙඩියක් වැනි යමක් ඇතිවීම ඉතාම දුර්ලභ හේතු වේ.

  • පාසලේ වැඩ කටයුතුවලදී පෙරට වඩා දුර්වල ස්වභාවයක් පෙන්වීම
  • බර ටිකින් ටික අඩුවීම
  • නිතර උණගැනීම
  • වමනය ඇතිවීම

වැනි රෝග ලක්ෂණ දරුවා වෙතින් පෙන්නුම් කෙරෙයි නම්, දරුවාගේ මොළය සහ හිස ආශ්‍රිතව කිසියම් ගෙඩියක් ඇති බව නිගමනය කළ හැකිය. හිසේ ස්කෑන් පරීක්ෂාවකින් මේ බව තහවුරු කරගත හැකිය. අධික විකිරණශිලීත්වය දරුවන්ට සුදුසු නොවන නිසා දරුවකුට CT ස්කෑන් පරික්ෂණයක් සිදු කරන්නේ ඉතාමත් අත්‍යාවශ්‍ය වුවහොත් පමණි.

වෙනත් හේතූන් නිසා ඇති වන හිසරදය

කන තුළ ඇතිවන යම් යම් ආබාධ නිසා ද දරුවන්ට හිසරදය ඇති විය හැකිය. ඩෙංගු උණ,වෛරස් උණ ,උගුරේ ඇතිවන ආසාදන, දත් නරක්වී මුඛය තුළ ඇතිවන ආසාදන, මෙනින්ජයිටිස්, නිසාද දරුවන්ට නිතර හිසරදය ඇති වේ.

හිසරදය වැඩිහිටියන්ට සීමා වූ තත්ත්වයික් යැයි නොසලකන්න. ඔබේ දරුවා දිගින් දිගට හිසරදයෙන් පීඩා විඳින බව පවසනවා නම්, ඔබට දැනෙනවානම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්්‍යය, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ,
වෛද්‍ය සරාජී විජේසේකර මහත්මිය සමග සිදු කල සාකච්ජාවක් ඇසුරිනි.