“ඩවුන් සින්ඩ්‍රොම තත්ත්වය” සහිත දරුවෙකු ගේ කථාව හා භාෂාව වර්ධනයේ ඇතිවන ගැටළු මොනවාද?

ඩවුන් සින්ඩ්‍රොම් (Down syndrome / Trisomy 21) යනු ජානමය විකෘතිතාවක් නිසා දරුවන් තුළ ඇතිවන තත්ත්වයක් ලෙස සරලව ම විග්‍රහ කළ හැකිය. මෙම තත්ත්වය සහිත දරුවන් ගේ භාෂා වර්ධනය, කතාව හා සන්නිවේදනය කෙබඳු ද? ඔවුන්ට ඇති විය හැකි ගැටළු මොනවාද? යන්න දැන ගැනීම මෙම තත්වය සහිත දරුවන් සිටින දෙමවුපියන් ට බොහෝ වැදගත් වේ.  

සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය දරුවන්ගේ මාංශ පේශීන් ඉතාමත් මෘදු (Hypotonic) වන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ මුහුණ, මුඛය ආශ්‍රිත මාංශපේශි  ද මෘදු තත්ත්වයේ පැවතීම හේතුවෙන් විවිධ වූ ගැටළු ඇති කරනු ලබයි. ඉන් ප්‍රධාන වන්නේ කතාවේ ගැටළු, උච්චාරණ දෝෂ හා ආහාර ගැනීමේ අපහසුතාවයි. මේ සදහා විවිධ වූ සම්භාහන ක්‍රම හා ව්‍යායාම් කථන චිකිත්සාව තුළින් ලබා ගත හැකිය.

තවද බොහෝ ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය සහිත දරුවන් මුහුණ දෙන ගැටළුවක් ලෙස “ශ්‍රවණ තානක සැකසුම් ගැටළු”  ( Auditory Tonal Processing Problems) හඳුන්වා දිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ මෙම දරුවන්ගේ මැද කණ හා උගුර සම්බන්ධ වන යුෂ්ටේකීය නාල ඉතාමත් පටු (Narrow)  වීමයි. එමගින් දරුවා ට  මැද කන හි ඇතිවන දියර ගැලීම, ශ්‍රවණ අපහසුතා වැනි ගැටළු ඇති විය හැකි අතර දරුවාගේ කතාව හා භාෂාව වර්ධනය වීමේ ගැටළු, ශබ්ධ නිවැරදි ලෙස ඇසීම හා ග්‍රහණය කර ගැනීමේ ගැටළු මෙන් ම නිවැරදි නොවන ශබ්ධ හා උච්ඡාරණ දෝෂ  වැනි ගැටළු ඇති වීම ට පුළුවන. එම නිසා ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය සහිත දරුවන්ගේ කන හා  ශ්‍රවණය ආශ්‍රිත ගැටළු  නිතර පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් වේ. 

සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය සහිත දරුවන් කතාව, භාෂාව වර්ධනය මෙන් ම ශබ්ද නැගීමට ද ප්‍රමාද වීම සුලබ තත්වයකි. ඔවුන් සාමාන්‍යයෙන් මාස 24 36 පමණ වන විට කතාව ආරම්භ කිරීම සිදුවිය හැකිය. නමුත් මෙය දැරුවා ගෙන් දරුවාට වෙනස් විය හැකිය. එමනිසා කුඩා කාලයේ සිටම භාෂා උත්තේජනයක් ලබා දීම, කථන චිකිත්සාව ලබාදීම ඉතාමත් වැදගත් වේ. 

තවද මෙම දරුවන් ගේ භාෂා වර්ධනය හා කතාව ආරම්භ කිරීමත් සමඟ ම ඇතිවිය හැකි තවත් ගැටළු  කිහිපයකි.

  • වැරදි ව්‍යාකරණ භාවිතයන් පැවතීම 
  • අපැහැදිලි ලෙස කතා කිරීම 
  • කතා කරන වේගය වෙනස් වීම
  • ශබ්ධ උච්ඡාරණ දෝෂ 
  • නොගැළපෙන ලෙස වචන හඬ නැගීම, තාල එකතු කිරීම හෝ වචන බර කර කතා කිරීම ප්‍රධාන වේ. මෙම ගැටළු චිකිත්සක ක්‍රම මගින් නිවැරදි කර ගැනීමට හැකියාව පවතී.

තවද ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය සහිත දරුවෙකු කථන හා භාෂා චිකිත්සකවරයෙකු වෙත යොමු වීම ඉතාමත් වැදගත් වන අතර එමඟින් දරුවා නිසි තක්සේරුකරණය කට ලක් කර දරුවාගේ අවශ්‍යතාවය ට ගැලපෙන අයුරින් චිකිත්සනය ලබා දීම සිදු කරනු ලබයි. 

එහිදී සම්පූර්ණයෙන්ම අවාචික දරුවන් හට පින්තූර භාවිතා කරමින් සන්නිවේදනයේ යෙදීමට  ඉගැන්වීම (AAC/ PECS ආදී ක්‍රම ), දරුවාගේ උච්චාරණ දෝෂ පවතී නම් ඒවා නිවැරදි කර වීම, දරුවාගේ කතාවේ වේගය ආශ්‍රිත ගැටළු වලදී ඊට අදාළ චිකිත්සක ක්‍රම හඳුන්වාදීම ( Clap out syllables / Taping techniques ආදි ), මුඛය ආශ්‍රිත මාංශ පේශීන් හට විවිධ වූ සම්බාහන ක්‍රම හා ව්‍යායාම්  ලබා දීම ආදී බොහෝ ක්‍රම වේද කථන චිකිත්සාව තුළින් ලබාගත හැක.

තවද ඔබ දෙමව්පියන් වශයෙන් කථන හා චිකිත්සකවරයකු ගේ උපදෙස් මත නිවසේ  දී දරුවා සමග විවිධ වූ චිකිත්සන ක්‍රම ආශ්‍රය කර ගත් ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් දරුවාගේ කතාව, භාෂාව වර්ධනය හා සන්නිවේදන කුසලතා වඩාත් යහපත් ලෙස වර්ධනය කරගත හැකිය.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

පොඩ්ඩන්ගේ ආහාර මේ විදිහට පිලියෙල කරමු..

දරුවන්ට කවන්න පොවන්න දෙමව්පියන් බොහොම උනන්දුයි.ඒ වුනත් අම්මාට අවශ්‍ය විදිහට කන්න බොන්න පොඩ්ඩා සූදානම් නැහැ.රසට,ගුණට උයල පිහලා දුන්නත් දරුවා ඒ ගැන උනන්දු නැහැ.අන්තිමේදී අම්මයි පොඩ්ඩයි හැලහැප්පිලා කෑමත් අවසානයි. අම්මාටත් තරහ යනවා..පොඩ්ඩා කන්නෙත් නැහැ.අම්මාගේ හිතේ තවත් කනස්සල්ලක් ඉතිරි වෙනවා.ඒ විතරක් නොවෙයි…දරුවාට පෝෂණය නැති වීම නිසා විවිධ ගැටළු ඇති වෙන්නත් පුලුවනි.ඉතින් අම්මයි, පොඩ්ඩයි ගැටුමක් නැතුව කන බොන දේ සකස් කර ගන්න බැරිදි..? 

වෙනස් විදිහට උයන්න…

පොඩ්ඩන්ට එකකාරව ආහාර පාන ලබා දෙන විට එපා වීමක් ඇති වෙනවා. හැමදාම එකම රසය..එකම විදිහ..ඉතින් පොඩ්ඩා ඉවසන්නේ නැහැ.ඒ නිසා දවස් තුන්සිය හැට පහේම එකම රටාවට උයන බත ටිකක් වෙනස් කරන්න. බතට එළවලු ටිකක් එකතු කරලා වර්ණවත් කරන්න. එහෙම නැත්නම් බිත්තරයක් සහ කහ ටිකක් එකතු කරලා ලස්සන කහ පැහැයක් ගන්වන්න.අද කාලයේ වගේ ආහාර පිසින කලාව ගැන දැනුම් තේරුම් නැති වුනත් අම්මලා බීට් යුෂ එකතු කරල බත් වර්ණවත් කලා. එදාට අපි වුනත් බොහොම උනන්දුවෙන් බත් කෑවා. අද ලෝකය ඊට වඩා බොහොම ඉදිරියෙන් සිටින නිසා අම්මලාට රස කාරක ,වර්ණ කාරක නැතුව ලස්සන රටාවකට බත් පිසින්න පුලුවනි‍.

සමහර විට පොඩ්ඩා බත් කෑම දරුණු විදිහට ප්‍රතික්ෂෙප කරනවා නම් නූඩ්ල්ස්, පැස්ටා වැනි දේවල් ආහාරය වෙනුවෙන් ලබා දෙන්නත් පුලුවනි. ඒ වෙනුවෙන් හොඳින් එළවළු සහ ප්‍රෝටීන එකතු කරන්නත් පුලුවන්.ඒ නිසා බත් දෙන අතරවාරයේ මෙවැනි ආහාර මගිනුත් දරුවාගේ පෝෂණය ලබා ගන්න පුලුවනි. හැබැයි රසකාරක නොව හොඳාකාර එළවළු සහ මස්, මාළු නම් එකතු කිරීම වැදගත්.

සංයෝගත් වැදගත්..

පොඩ්ඩන්ගේ දිව රවටන කලාවත් අම්මා දැන සිටීම වැදගත්.ඒ නිසා ව්‍යංජන වෙනුවෙන් යම් යම් දේවල් කලවම් කරන්න පුලුවනි. පරිප්පු පිසින විට නිවිති සාරණ වගේ දේවල් එකතු කරන්න පුලුවන්. දෙල් වැනි දේ  පිසින විට නිවිති, දෙහි යුෂ එකතු කිරීමෙන් එහි උෂ්ණය මැකෙනවා. ඒ විතරක් නොවෙයි, කිසිම දවසක මඤ්ඤොක්කා වසා තම්බන්න එපා.ඒ වගේම මඤ්ඤොක්කා පිසින විට මුරුංගා කොළ එකතු කිරීමෙන් එහි විස ගතිය නැති කර ගන්නත් පුලුවනි.මැල්ලුමක් පිළියෙළ කරද්දි පොඩ්ඩා ගොටුකොළ වර්ජනය කරනවා නම් පලා වර්ග කීපයක් එකතු කරල කලවම් පලාවක් සාදා දෙන්න.ඒ වෙනුවෙන් ගොටුකොළ විතරක් නොවෙයි, මුකුනුවැන්න, කතුරු කොළ ටික්ක, කූර තම්පලා එකතු කරන්න. රසයේ වෙනස නිසා පොඩ්ඩාගේ විරෝධය නවතී.

උත්සව අවස්ථාවකදී පෝෂණය දෙන්න..

අපේ නිවසේ උත්සව අවස්ථාවක් තිබෙනවා නම් එතැනදී පවුලේම පෝෂණය තියෙන්නෙත් අම්මා අතේ. අදටත් උත්සවයක් වෙනුවෙන් කිරිබත වරදින්නේ නැහැ.හින්දු සංස්කෘතියේදී පොංගොල්බත, මුස්ලිම් බැතිමතුන් පිළියෙළ කරන බත පෝෂණයෙන් ඉහලයි.ඒ වගේම අතීතයේදී හත්මාළුව ඉතාම ජනප්‍රියයි.අදටත් පහතරට පලාත්වල සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හත්මාළුව පිලියෙල කරනවා.ඉතින් මේ උත්සව අවස්ථාවන්හි පිලියෙළ කරන ආහාර වුනත් දරුවාට සකස් කර දෙන්න අම්මාට අවසරය තිබෙනවා. 

පුංචි උදරාබාධයක් ඇති වෙලාවට..

සමහර අවස්ථාවල දරුවන්ට වගේම නිවසේ වැඩිහිටියන්ටත් ආහාර අරුචිය,අජීර්ණ තත්වයන් ඇති වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවලදී තැම්බුම් හොද්දක් වගේ දෙයක් සකස් කර දෙන්නත් අම්මාට පුලුවනි.

සුප්..

පොඩ්ඩන්ට ඉඳහිටවත් සුප් කෝප්පයක් දෙන්න බැරිකමකුත් නැහැ. යහමින් එළවලු එකතු කර ගෙන කැමැත්තේ හැටියට මස් ,මාළු එකතු කර ගෙන සකස් කර ගන්න සුප්වලට දෙහි යුෂ එකතු කරගත්තාම අපුරු රසයක්.ඒ වගේම පෝෂණය හොදින් අවහෝෂනය කර ගන්නත් පුලුවනි.දැන් කාලයේ ප්‍රෙෂර් කුකර් හැම නිවසකම තිබෙන නිසා අම්මාට ගත වෙන්නේ එළවලු සුද්ධ කරන සහ කපන කාලය පමණයි.

කැඳ

පුංචිම අයට බත් කැඳ වගේම සාමාන්‍ය වයසේ දරුවන්ටයි වැඩිහිටියන්ටයි කොළ කැද ලබා දෙන්න එතරම් අපහසුවක් නැහැ.කැඳ පිළියෙළ කරන විට පාරම්පරික සහල් යොදා ගැනීමත් ඉතාම වැදගත්.බත් තලප දෙන වයසේ අයට නිවුඩු සහිත සහල්වලින් බත් තලපය හසා ගන්න වගේම ඉදෙන බතෙන් කැඳවතුර ටිකක් පෙරා ගන්නත් හැකියාව තිබෙනවා. 

සලාද වර්ග

අමු එළවලු වර්ග යොදා ගෙන විවිධ සලාද සකස් කර ගන්න පුලුවනි.තක්කාලි, බීට්රූට්, කැරට් , බිත්තර එකතු කර ගෙන එයටම සලාද කොළ කීපයක් එකතු කළ විට ප්‍රසන්න පෙනුමක් තිබෙනවා.එය දරුවාට ආකර්ශණීයයි.

අතුරුපස

ප්‍රධන ආහාරවේලට පසුව දරුවාට කෙසෙල් ගෙඩියක්, පේර කැබැල්ලක් කවන්න අපහසුනම් කදිම විසදුමක් තිබෙනවා.පළතුරු වර්ග කීපයක් සංයෝග කර ගෙන සැලඩ් එකක් සකස් කර ගන්න.

සැරසිලි තිබුනොත් අගෙයි..

දරුවන්ට ආහාර සරසලා දෙන්න ඔබට පුළුවනි. ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් නැහැ. ඔබට බත් කෝප්පයක් ගෙන එය කෝම්පිට්ටුව සේ පිඟානක මුනින් නවා එහි බිත්තර පලු වලින් ඇස් තබන්න. කැරට් පලුවක් ගෙන කට ලෙසින් සරසන්න. බත් කෝප්පයෙන් මිනිස් හැඩ රුව මවන්න. දරුවාට එය මහත් ආකර්ශනයක් ඇති කිරීමට පුලුවන්.

ඔබ ජපානය, කොරියාව වැනි ආසියාතික රටවල දරුවන්ට ලබා දෙන ආහාරවේලක තිබෙන වර්ණවත් බව දැක තිබෙනවාද..?වර්ණවත්බව නිසා ආකර්ශනය වගේම තවත් අතකින් පෝෂණය ලැබෙන අන්දමින් ඔවුන් මේ ආහාර රටාව සකස් කරනවා. ”හරි පුදුම ඉස්කෝලේ ” පොත කියවන විටත්  ගුරුතුමා පාසල් දරුවන්ගේ දිවා ආාහරය මාලු සහ එළවලුවලින් ඉතා අපුරුවට සංයෝග කළ ආකාරය ඔබට මතක ඇති.

ප්‍රධන ආහාර වේලට පෙරාතුව අතිරේක ආහාර එපා.

දරුවන්ගේ බන්ඩියෙත් ලොකු ධාරිතාවයක් නැහැ.ඒ නිසා ප්‍රධාන ආාහර වේල ලබා දීමට ආසන්නයේදී කිරි, බනිස් වැනි අතිරේක ආහාර ලබා දෙන්න එපා. බබාට බඩගිනි නම් ප්‍රධාන ආහාරවේල ඉක්මනින් ලබා දෙන්න

නිතරම තරහ සිත් එපා

දරුවා ආහාර ප්‍රතික්ෂෙප කරන හැම වඅස්ථාවකදීම අම්මා කේන්ති ගත යුතු නැහැ. සමහර විට දරුවාගේ උදරාබාධයක්, ඒවගේම අලුතෙන් දත් එන විට ඇති වෙන අපහසුතාවය නිසා දරුවා ආහාර එපා කියනවා නම් කෝටුව ගන්න සූදානම් වෙන්නත් එපා.

  • මෙහෙම ප්‍රශ්නයකුත් තිබෙනවා…

පුංචි කාලයේදී කාපු සමහර දේවල් දරුවා වැඩිහිටි වයසේදී ප්‍රතික්ෂෙප කරනවා. ඒ වගේම ඒ කාලයේදී ආහාරයට නොගත් ආහාර ගැන දැන් දරුවාගෙන් ඉල්ලුමක් ලැබෙන්න පුළුවනි මේ තත්වය වැඩිහිටි අපටත් පොදුයි. ඒකටත් හේතුවක් තිබෙනවා. අපේ දිවේ තිබෙන රස අංකුර අවුරුදු හතෙන් හතට වෙනස් වෙනවා. ඉතින් ඉස්සර කාපු දේ එපා කියන එකත්, ඉස්සර එපා කියපු දේ දැන් අවශ්‍යයි කීමත් පුදුමයක් නොවෙයි..

 

ඔබේ දරුවා තුළ සිටින සැගවුන යෝධයා අවදි කරන්න

දරුවෙකු ලෝකයට සම්ප්‍රාප්ත වෙන්නේ හිස් දෑතින් නොවේ. ඔවුන්ගේ අත මිට මොළවාගෙන එන කුසලතාවයන් බොහොමයක් තිබෙනවා. මේවා එකවර දිගහැරෙන්නේ නැත. මලක් බොහොම සෙමින් පෙත්තෙන් පෙත්ත විකසිත වන්නා සේ  දරුවන්ගේ නිර්මානශීලීත්වයත් සීරුවට අවදි විය හැකියි.

මොනවද මේ කුසලතා..

දරුවෙකු තුළ සැගවුන කුසලතාවයන් බොහොමයක් තිබෙන්න පුලුවනි.ඒවා චිත්‍ර,නැටුම්, සංගීතය , නිවේදන හෝ වෙන ඕනෑම ආකාරයක විශේෂ හැකියාවක් විය හැකියි.සමහර දරුවන් තුළ බොහෝ හැකියාවන් සැඟවී තිබෙන්න පුළුවනි. ඒත් සමහර දරුවන් තුළ කුමන හෝ එක් හැකියාවක් සැගවී තිබෙන්න පුලුවනි.

වැදගත් වෙන්නේ කුසලතාවයන් මිස ප්‍රමාණය නොවේ..

මව්පියන් විදිහට ඔබ දරුවාගේ සැඟවුන කුසලතාවයන් හඳුනා ගැනීම මිස ඒවායේ සංඛ්‍යාව ගැන ප්‍රමුඛතාවය ලබා දිය යුතු නැත.ඔබේ දරුවාට නැටුම්, චිත්‍ර ,සංගීතය ගැන කිසිදු හැකියාවක් නොමැති වුනත් නිවේදන කටයුතු ගැන යම් හැකියාවක් ඇති.ඔබ නැවතිය යුත්තේ එතැනයි.

  • “අපේ පුතාට කිසිම හැකියාවක් නැහැ..” කියනවා වෙනුවට පුතාගේ හැකියාව ඔබ වටහා ගත යුතුයි.

කුසලතාවය දරුවාට අනන්‍ය වෙන්න පුලුවනි..

ඔබේ දරුවාගේ හැකියාව අසල්වැසි දරුවාට හෝ ඔබේ සහෝදරයන්ගේ දරුවාට හෝ සමාන වෙන්නේ නැත.ඒ වගේම ඔබට ඇවැසි දක්ෂතාවය දරුවාට පිහිටන්නේත් නැහැ.දරුවෙකුට කුසලතාවයන් කීපයක් හෝ එකක් තිබිය හැකියි. ඒවා ඔවුන්ට අනන්‍යයි.ඒ නිසා දරුවා සතුව පවතින මෙම ශක්තීන් එකක් හෝ කීපය දෙමව්පියන් ලෙස ඔබ හදුනා ගන්න. එය ඔබේ වාරයයි.

කුසලතාවයන් සංවර්ධනයේ වාසි මොනවාද..?

විද්‍යාව ,ගනිතය,ඉංග්‍රිසි මිසක හෙට දවස ජයගන්න නටලා සින්දු කියලා බැහැ… සමහර විට මේ ඔබේ තර්කය විය හැකියි.ඒත් පාසල් අධ්‍යාපනයේදී ලබන හර විෂයන් සමග දරුවන්ට සෞන්දර්ය විෂයන් එකතු කර තිබෙන්නේ ඇයිදැයි ඔබ සිතුවාද..? වෙහෙසකර අධ්‍යාපන රටාවේදී මෙම සෞන්දර්ය විෂයන් ඉගෙනීම මගින් දරුවා යම් විනෝදයක් හා සතුටක් ලබනු ඇත.සතුට කිසිදු දිනක මුදලින් ලබා ගැනීමට බැහැ. දරුවන්ගේ සියුම් සංවේදනයන් අවදි කිරීමට සෞන්දර්යාත්මක රස වින්දනය ඉතා වැදගත් නිසා නිතරම ඔවුන්ගේ කුසලතාවයන් දිග හැරෙන්න ඉඩ දෙන්න.

චිත්තවේග පාලනය..

දරුවන්ට මොන පීඩනයක්දැයි ඔබ හිතුවත් ඔවුන්ගේ හිතේ පිඩනයක් නැත්තේම නැහැ. ඒවා පිට කරන අවස්ථාවන් සමහර විට දරුණු විය හැකියි. ඒ නිසා දරුවන්ගේ සිතට සතුටක් ලබා දෙන අන්දමේ සෞන්දර්යාත්මක පැත්තට ඔවුන් යොමු කරන්න.මේ වෙනුවෙන් උදාහරණ ඔබේ ජීවිතයේදීම ඇති..

දරුවෙකුට පාට පැන්සල් කුරක් ලබා දෙන්න..ඔහු ඒ මත විටෙක වේගයෙන් කුරුටු ගාන්න පුලුවනි. සමහර විට කඩදාසිය ඉරී යන තරම් එහි වේගය දරුණු වෙන්න පුලුවනි.ඒ දරුවා තමාගේ චිත්තවේගය පිට කළ අන්දමයි.

තවත් අවස්ථාවක ඔබ දරුවාට කඩදාසියක් සහ පාට පැන්සලක් ලබා දුන් විට ඔහු කුමන හෝ සිතුවමක් අදින්න පටන් ගනීවි. එතැනදී දරුවාගේ ඇත්තේ බොහොම සංයමයකි. හැම දරුවෙකුම සිතුවමෙන් සෑහීමට පත් නොවන්න පුලුවනි. ඒත් දෙමව්පියන් ලෙස දරුවා වඩාත් කැමැත්ත දක්වන අංශය සොයා ගන්න.ඒ වෙනුවෙන් නිතර වෙන්න ඉඩ දෙන්න.

හැකියාවන් ප්‍රදර්ශනයට අවස්ථාව දෙන්න..

ඔබේ දරුවාට හැකියාව තිබුනත් ඒවා කැලයේ පිපුන මල් මෙන් කැලයේම පරවෙන්න ඉඩ දෙන්න එපා.ඒවා සංවර්ධනය කර ගැනීමට ඉඩ දෙන්න.දරුවා වාදනයට දක්ෂ නම් ඒ වෙනුවෙන් අවශ්‍ය සංගීත භාණ්ඩ ලබා දීම වැනි කටයුතුවලින් ඔවුන් දිරිමත් කළ හැකියි.වාදනයට අවශ්‍ය සංගීත ප්‍රස්ථාර වැනි දේ දැන් අන්තර්ජාලය ඔස්සේ පවා බාගත කර ගැනීමේ අවස්ථාවන් තිබෙනවා. එවැනි පහසු අවස්තාවන් මග හරින්න එපා.

නිර්මාන එළි දක්වන්නට අවස්ථාවන්..

දරුවාගේ කුසලතාවයන් හොඳින් හඳුනන්නේ ඔබයි. ඒ නිසා දරුවන්ට ඒවා එලි දක්වන වේදිකාව සකස් කර දෙන්න. ඔබේ නිවාස සංකීර්ණයේ දරුවන් වෙනුවෙන් ළමා සමාජයක් ආරම්භ කරන්න. අසල්වැසි දරුවන්ගේ හැකියාවන් එළි දක්වන විවිධ ප්‍රසංගයක්…චිත්‍ර ප්‍රදර්ශනයක්..නව නිර්මාන එලි දැක්මක් වැනි ඉසව් සංවිධානය කිරීමට අවස්ථාවන් තිබේ.මහජන පුස්තකාලයක ළමා සමාජයට දරුවා සම්බන්ධ කරන්න.එහිදී  සංවිධානය කරන විවිධ වැඩසටහන් ඔස්සේ දරුවාට තමාගේ හැකියාවන් සංවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.ඔබ ජීවිතය ජයගත් පුද්ගලයන්ගේ චරිතකතා කියවන්න.ඔවුන්ට ජාත්‍යන්තර තලයේ ආලෝකය ලැබුනේ එක්රැයකින් නොවේ.බාලකාලයේ පටන් තමන්ගේ හැකියාවන් දියුණු කර ගැනීමට බොහෝ සෙයින් වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙසින් බැව් ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනයන්හි පවා සඳහන් වී තිබේ.

විවේක වේලාවක ඔබගේ සහයෝගය ලබා දෙන්න..

ඔබ දරුවාගේ කුසලතාවයන් හදුනා ගත් පසුව එතැනින් ඒ පරිච්ඡේදය අවසාන නැත.කුසලතාවය සමග ඉදිරියට යෑමට ධෛර්ය ලබා දෙන්න.ඔබටත් දරුවාට යම් දායකත්වයක් ලබා දීමේ හැකියාව ඇති.මවක් ලෙස ඔබ ඉවුම් පිහුම් කලාවට දක්ෂ නම්,ඔබේ දරුවන්ටත් ඒ හැකියාව ඇත්නම් විවේක වේලාවන්හිදී දරුවන්ට ඒ වෙනුවෙන් යම් සහයෝගයක් ලබා දෙන්න.එය දරුවාගේ කුසලතා සංර්ධනයට මහත් ශක්තියක් සපයනු ඇත.

එහෙමනම්…දරුවන්ගේ කුසලතාවයන් මුලින්ම හඳුනාගත යුත්තේ දෙමව්පියන් වන ඔබය. එතැන් පටන් කුසලතා සංවර්ධනයට අත හිත ලැබෙන්නේද ඔබගෙන්ය.මේ සියල්ල සංකලනය වී රටට ලෝකයට වැඩදායක දරුවෙකු ලෙසින් ඔවුන්ගේ අනාගතය ජය ගැනීමට නම් ඔවුන් තුළ සැගවුන යෝධයා ඔබ අවදි කළ යුතුය.

 

පවුලක් තුළ ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වැදගත් ඇයි..?

පවුලක් කියන්නේ අපේ සමාජයේ පුංචිම සමාජ ඒකකයක්.එක වහලක් යට ජීවත්වෙමින් එකම ආහාර අනුභව කරමින් ජීවිතයේ බැඳීම් සමග ගෙවන පවුලක් තුළ අදහස් සන්නිවේදනය ඉතාම වැදගත්. අද අපි හැමදෙනාගේම ජීවන රටාව කාර්ය බහුල බව ඇත්ත. දැන් එය විලාසිතාවක් තරමටම පොදු තත්වයකට ඇවිත්. හැම දෙනාම කියන්නේ ” අනේ වැඩ..වැඩ…හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ..” ඒ වුනත් පවුලක් තුළ ඵලදායී විදිහට අදහස් සන්නිවේදන වීම නම් ඉතාම වැදගත්.එහෙමනම් අපි පවුලක් තුළ ඵලදායී සන්නිවේදනයක් ගොඩ නගා ගන්නේ කොහොමද…?

ඵලදායී සන්නිවේදනය  කියන්නේ තොරතෝංචියක් නැති කතා බහ නොවේ..

ඵලදායී සන්නිවේදනයකදී පවුල තුළ ඉතා හොදින් අදහස් ගලා යෑමක් සිදු වීම වැදගත්. අපි මෙහෙම කියමු…දරුවන් කතා කරද්දී ඒ වෙනුවෙන් සාවධාන ඇහුම්කන් දෙන්නෙක් නොමැති නම්..ඒ වගේම දෙමව්පියන් කතා කරද්දී දරුවන් ජංගම දුරකථනය සමග ගනුදෙණු කරමින් ඕනෑවට එපාවට ඒවාට ”හ්ම්” කියනවා නම් එතැන ඵලදායී සන්නිවේදනක් ගොඩ නැගෙන්නේ නැහැ.එහෙමනම් මේ පුංචිම තැනුම් ඒකකය අතර අදහස් බෙදා ගැනීම සිදු විය යුත්තේ කොහොමද..?

අදහස්වලට සවන් දෙන්න…

ඔබට තවත් අයෙකුට ඇහුම්කන් දීමට විශේෂ වේලාවක් අවශ්‍ය නැහැ.උයන පිහන අතරවාරයේ වුනත් දරුවාට ඇහුම්කන් දෙන්න,ඒ වගේම වෙනත් වැඩක නිරත වෙමින් වුව දෙමව්පියන්ට ඇහුම් කන් දෙන්න අපහසුවක් නැහැ.ඒ නිසා නිතරම දරුවා යමක් කියනවා නම් ඒ වෙනුවෙන් අවධානයෙන් ඇහුම්කන් දෙන්න. ඔවුන් කියන නිසාවෙන්ම ඒ උදාසීනව ඇහුම්කන් දෙන බවක් ඇගවීමෙන් ප්‍රයෝජනයක් නැහැ.

සුහදවෙන්න

ඵලදායී සන්නිවේදනයක් සඳහා සුහදතාවය ඉතා වැදගත්.ඔබ ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට දරුවා බියක් දක්වනවා නම් සැබැවින්ම එවැනි දෙමව්පියන් සහ දරුවන් අතර සුහදතාවයක් නැහැ.එතැන ඇත්තේ ඒකපාර්ශවීය හෙවත් දෙමව්පියන්ගේ අණසක පමණක් සන්නිවේදනය වෙන පවුල් පසුබිමක්. නමුත් නිතරම හොදින් අදහස් සන්නිවේදනය වීමට නම් සුහදතාවය ඉතාම වැදගත්.

අදහස් පැහැදිලිව කියන්න..

ඵලදායී සන්නිවේදනයකදී අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. ඔබ යමක් එපා කියනවා නම් එය එපා කියන්නට හේතු කියා දෙන්න. ගින්දරට අත දාන්න එපා කිව්වාට දරුවාට වැටහීමක් නොමැති නිසා ඔහු ගින්දරට අත දාන්න බියක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඵලදායී ලෙසින් අදහස් සන්නිවේදනය වීමට නම් යම් දෙයක් එපා කියන්නට පසුබිම් වෙන හේතුඵල සාධකයත් කියා දීම ඉතාම වැදගත්.

අදහස් හසුරුවා ගන්න..

ඵලදායී සන්නිවේදනය නිතරම සුබවාදීත් නැහැ. සන්නිවේදනයෙන් යම් විසංවාදී අදහස් වුනත් දෙපාත්තට ගමන් කිරීමට පුලුවනි. දරුවෙකුට අවවාද කිරීමේදී ඔබේ ආවේගත් සමග එය සන්නිවේදනය  විය හැකි නිසා නිතරම ඔබේ අදහස් හසුරුවා ගන්න.

  • පුංචි වුනත් පවුලක් තුළ ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා…

අන්තර් පුද්ගල සම්බන්ධතාවය

අන්තර් පුද්ගල සම්බන්ධතාවය ගොඩ නැගෙන්නට නම් සන්නිවේදනය ඉතා වැදගත්.අතීතයේදී ගමක වුනත් ලිද ළග ඕපාදූප මණ්ඩපය නිසා අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් ගොඩ නැගුනා. ඕපාදූප තෝරා බේරා ගෙන කටයුතු කිරීමෙන් අන්තර් පුද්ගල සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වා ගත හැකියි.පවුලක වුනත් අන්තර් පුද්ගල සන්නිවේදන යහපත් නම් අනිවාර්යෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතාවයත් ශක්තිමත්. 

සහකම්පනය..

ඔබේ පවුලේ ඉතා හොදින් අදහස් සන්නිවේදනය වෙනවා නම් එතැන හොඳ සහකම්පනයක් ගොඩ නැගෙනවා.ඒ නිසා විශේෂයෙන් නව යොවුන් දරුවන්ගේ ගැටළුවලදී දෙමව්පියන් විසින් දක්වන සහකම්පනය හෙවත් දරුවාගේ ගැටළුවට දෙමව්පියන්ගේ ක්‍රියාකාරි සවන්දීම නිසා ඇති වෙන සහකම්පනය පවුලේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම වැදගත්.

හිතේ සැහැල්ලුව

ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වීම නිසා දරුවන්ගේ හිත් සැහැල්ලුවක් ඇති වෙනවා. මගේ ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් කතා කරන්න, මගේ හිත නිදහස් කර ගන්න මගේ ශක්තියට දෙමව්පියන් හෝ සහෝදරයන් සිටින බවට ඇති ශක්තිය නිසා හිතේ සැහැල්ලු සිතක් ඇති වෙනවා.

චිත්තවේග නිදහස් වීම

අද තරුණ දරුවන් අතර සියදිවි නසා ගැනීම පරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.ඔවුන්ගේ මරණයේ පශ්චාත් පරීක්ෂනයේදී සාක්ෂි දෙන පවුලේ උදවිය කියන්නේ ” අපි දන්නා තරමටම නම් මෙයාට සිය දිවි නසාගන්න තරම් හේතුවක් තිබුනේ නැහැ…..නමුත් ඒ ඔබ දකින ආකාරයයි.

ඕනෑම අයෙකුට චිත්තවේග පාලනය කර ගැනීමට නොහැකි තැන ඔවුන් සියදිවි නසා ගැනීමට උත්සාහ කළත් එවැනි අවස්ථාවකදී වුව චිත්තවේග මුදාහරින්නට අවස්ථාවක් වෙතොත් ඔවුන්ගේ තීරණය වෙනස් වෙන්න පුලුවනි. මේ දරුණු මානසික තත්වය පවා යම් වේලාවකින් පසුව වෙනස් විය හැකියි. ඒ නිසා පවුලක් තුළ යහපත් අන්දමින් සන්නිවේදනයක් සිදු වෙනවා නම් සියදිවි නසා ගැනීමේ සිතුවිලි පවා පාලනය කර ගනීමට හැකියාව තිබෙනවා.

ආතතිය අවම වීම

පවුලක් ලෙසින් ඔබේ නිවසේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය යහපත් අන්දමින් පවත්වා ගෙන යන්නේ නම් ගැටලු,හිතේ දරාගෙන විදවීමට අවශ්‍ය නැහැ. ඒවා පොදු සංවාදයක් මගින් තේරුම් බේරුම් නර ගැනීමට අවස්ථාව ලැබෙනවා. බොහෝ ප්‍රහ්න විටෙක ප්‍රශ්නත් නොවෙයි. ඒත් තනි හිතකින් දරන විට ඒවා ගැටලු ලෙසින් පෙනුනත් පොදු කතිකාවතකදී සරලව විසදා ගත හැකියි. ඒ නිසා කෝටිසෝල් හෝර්මෝන නිදහස් නොවී ආතතිය දුරස් කර ගැනීමටත් යහපත් ලෙසින් අදහස් සන්නිවේදනය ඉතාම වැදගත්.

කතා කරන්න වේලාවක් කෝ..

ඔය සේරම ඇත්ත. ඒත් අපට කතා කර කර ඉන්න කෝ වෙලාවක්..? ඔබ නගන අතුරු ප්‍රශ්නය එයයි.දරුවන් පාසල් යන දෙමව්පියන් රැකියාවන්හි නිතර පවුලක් නම් උදේ සහ දිවා ආහාරය එක්ව එකට ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් රාත්‍රියට ඔබ සියලු දෙනාම නිවසේ සිටින නිසා එක මේසයක ආහාර ගැනීමට අවස්ථාව තිබෙනවා. ආහාර ගන්නා වේලාව රූපවාහිනියට, ජංගම දුරකථනයට සම්බන්ධ නොවී ඒ වෙනුවෙන් වේලාව සකස් කර ගන්න.ඔබ නරඹන නාට්‍ය ඇත්නම් ඒවාට පෙර හෝ පසුව ආහාර ගැනීමට කාලසටහන සූදානම් කරන්න.සති අන්තය, වෙනත් නිවාඩු දිනයන්හිදී ඔබට එක්ව ආහාර ගැනීමට අවස්ථාව තිබෙනවා.දරුවන් සමග පාසලට යන අතරවාරයේ වුනත් සුහදව කතා කිරීමට අපහසුවක් නැහැ.ඒ නිසා වෙලාව කිසිම දිනක පවුලක් තුළ යහපත් ලෙසින් අදහස් සන්නිවේදනයට ගැටළුවක් කර ගත යුතු නැහැ.

 

 

පුංචි පැටියා සුවෙන් තියන අම්මලාගේ අලුත්ම ක්‍රමය ගැන දන්නවාද?

මල් පෙත්තක් වගේ සුසිනිදු චූටි පැටියාගේ සම සිනිඳු විතරක් නෙවෙයි, හරිම සංවේදීයි. මෙන්න මේ අධි සංවේදී බව නිසාම පුංචිම පුංචි දේකින් වුණත් ඒ සමට හානිදායක තත්ත්වයන් ඇති විය හැකියි. අම්මාගේ කුසේ බොහොම ආරක්ෂිතව වැඩෙන මේ චූටි පැටියාගේ සම Vernix caseosa නමින් හඳුන්වන ඉටි වැනි ද්‍රව්‍යයකින් වැසී පවතිනවා. ඒ ස්වභාවයෙන්ම සමේ ආරක්ෂාව වෙනුවෙන්මයි. පැටියා ඉපදිලා සතියක් පමණ ගත වෙද්දී මේ ඉටි වැනි ද්‍රව්‍ය ඉවත් වෙලා යනවා. අපිට නොපෙනුනත් ඔන්න ඔය විදියට තමයි අම්මාගේ කුසේදීත් වූටි පැටියාගේ සම ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතිං චූටි පැටියා අපේ දෝතට ලැබුණම අපි එයාට ගැටලුවක් නොවෙන විදියට ආරක්ෂා කර නොගෙන කොහොමද?

දෙමාපියන් වන අපේ නොදැනුවත්කම නිසා තෝරාගන්නා ඇතැම් නිෂ්පාදන හේතුවෙන් පුංචි පැටවුන්ගේ සුමුදු සමට නොයෙක් හානිකර තත්ත්වයන් ඇති විය හැකියි. ඒ ඇතැම් විට අසාත්මිකතා හේතුවෙන් විය හැකියි. ඇතැම් විට අවබෝධයක්, දැනුවත් බවක්, නොමැතිකම මත අප තෝරාගන්නා සබන් වර්ග නිසාත් විය හැකියි. මේ හේතුවෙන් සමේ කුඩා මෙන්ම විශාල බිබිලි ඇති වීම, සම වියළි ස්වභාවයක් ගැනීම, ඉරි තැලීම වගේම අවපැහැ ගැන්වීම වැනි ලක්ෂණත් පෙන්නුම් කළ හැකියි. අන්න ඒ නිසාම බිළිඳු සමට සුදුසු පිරිසිදුකාරක යොදා ගැනීමට සැමවිටම සැලකිලිමත් විය යුතුයි. හැම විටම තමන්ගේ පුංචි පැටියට හොඳම දේ දෙන්න  අපේ අම්මලා තාත්තලා වෙහෙසෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද තමන්ගේ පුංචි පැටියාට පුංචිම පුංචි හෝ අපහසුතාවයක් වේදනාවක් ඇති වෙනවා දකින්න කිසිම අම්මා තාත්තා කෙනෙක් කැමති නැහැ. අන්න ඒ නිසාම දරුවා වෙනුවෙන් මිලදී ගන්න ඕනෙම දෙයක් සම්බන්ධයෙන් සැකහැර දැනගන්න එයාලට උවමනායි.

අම්මාගේ කුස තුළත් ස්වභාවික රැකවරණයම ලබා, මෙලොවට බිහිවන පුංචි පැටියා වෙනුවෙන් හැකි සැමවිටම ස්වභාවිකත්වයට මුල් තැන දෙමින්  තෝරාගැනීම වඩාත් උචිතය. අතීතයේ සිටම පුංචි දරුවන් ස්වභාවික ශාකසාර උපයෝගී කරගනිමින් පිරිසිදු කරගත් බව අපේ වැඩිහිටි පරම්පරාව පවසනවා ඔබත් අසා ඇති. ඒවා මිත්‍යා විශ්වාස ලෙස සිතා ඇතමෙක් බැහැර කළත් වැඩිහිටි පරම්පරාව යොදා ගත් බොහොමයක් අමුද්‍රව්‍යවල වටිනාකම අද වන විට නවීන පර්යේෂණ හරහා සනාථ වී හමාරයි. ඒ නිසා එවැනි වැදගත් කරුණු මිත්‍යා මත ලෙස බැහැර කළ නොහැකියි.

කෙසේ වුවත් අද වන විට බොහෝ දෙනා ස්වභාවික ශාකසාර අන්තර්ගත කොට නිපදවා ඇති නිෂ්පාදන භාවිතයට පෙළඹීම සතුටට කරුණක්. අපේ අතීත පරම්පරාවන් සැමවිටම සමේ, හිසකෙස්වල පෝෂණය මෙන්ම රැකවරණය වෙනුවෙන් යොදාගත් ස්වභාවික අමුද්‍රව්‍ය අතරින් පොකුරු වදමල් වගේම සඳුන් ඉතාම වටිනා අමුද්‍රව්‍යයන් බව සඳහන් වෙනවා. 

පොකුරු වදමල් 

හිසේ සම ආශ්‍රිතව මෙන්ම හිස කෙස් ගැලවී යාම වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේදී සුවිශේෂී තැනක් හිමිකරගත් අමුද්‍රව්‍යයක්. හිරු එළියෙන් සම පිළිස්සීම, කුරුළෑ, ලප කැලැල්, දහදිය බිබිලි, උෂ්ණ බිබිලි, දද, කුෂ්ඨ සුවපත් කිරීම වෙනුවෙන් යොදාගන්නා ලදී. එසේම මෙය රසවත් පානයක් ලෙස සකස් කරගත් බවත් එමගින් මලබද්ධය වැනි රෝග තත්ත්ව වළක්වා ගත් බවත් වැඩිහිටි පරම්පරාව නිතර පවසනා.

සඳුන් 

සම සුරකින්න වගේම නොයෙකුත් රෝග තත්ත්වයන් සඳහා ඖෂධ සකස් කිරීමේදීත් යොදාගත් සඳුන් රත් සහ සුදු ලෙස වර්ග දෙකක්. මෙමගින් සමට මනා පෝෂණයක් හිමි කරගැනීමට අවස්ථාව උදා වෙනවා. රැලි වැටුණු සම යථා තත්ත්වයට පත් කිරීමට, සම මත ඇති වන ආසාධන වළක්වා ගැනීමට, කුරුලෑ, අඳුරු ලප වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අතීතයේ සිටම සඳුන් යොදාගන්නා බව නොරහසක්. ඒ වගේම සමේ ඇති වන ලප කැලල් ඉවත් කොට සම පැහැපත් කිරීමටත් සඳුන්වලින් විශාල සහයෝගයක් ලැබෙන බව පවසනවා. ඒ විතරක් නෙවෙයි, විෂ බීජ නාශකයක් ලෙසත් යොදාගන්නා සඳුන් මගින් සම පෝෂණය කරනවා. 

අතීතයේ සිට පැවත එන මෙවන් විශ්වාස අත්දැකීම් හමුවේත් සනාත වී ඇති නිසාම අපේ පුංචි පැටවුන්ගේ සමටත් මෙවැනි අමුද්‍රව්‍ය මගින් ලැබෙන පෝෂණය හා රැකවරණය ලබාදිය හැකි නම් කියා ඔබටත් සිතුණු අවස්ථා ඕනෑ තරම් ඇති. ඒ විතරක් නෙවෙයි පුංචි පැටවුන් වෙනුවෙන් සැකසෙන සබන් කැටේට මෙවැනි අමුද්‍රව්‍ය අන්තර්ගත වූවා නම් කියාත් ඔබට සිතෙනවා ඇති. ඒ දෙමාපියන් වශයෙන් ඔබ, ඔබේ දරුවාට සෑම අතින්ම ඉහළම සත්කාරය ලබා දෙන්නට සිතන නිසායි. බේබි ෂෙරමි සබන් කැටය දැන් පොකුරු වදමල් සහ සඳුන් සාරය මුසු කොට සැකසී එන්නේ දරුවන්ගේ සුව පහසුව වගේම ආදරය වෙනුවෙන් සැමවිටම හොඳම දේ තෝරන මව්පියන්ගේ අවශ්‍යතාවය නිසාමයි. 

ස්වභාවික පොකුරු වද මල් සහ සඳුන් සාරය නොඅඩුව මුසු කොට ඔබේ පැටියාගේ මෘදු සමට ගැලපෙන සේ සුවිශේෂීව නිපදවන ලද බේබි ෂෙරමි සබන් කැටයට ‍‍යොදාගන්නා සුවඳ විලවුන් IFRA ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමයයේ ප්‍රමිතීන්ට අනුකූල වන අතරම ළදරු සමට සුදුසු බව සායනිකව සනාථ කර ඇත. 

ඝර්ම කලාපී රටක් ලෙස උෂ්ණාධික දේශගුණික තත්ත්වයක් හමුවේ ජීවත්වන අප, සෑම අතින්ම අපේ දරුවන්ගේ සුවපහසුව වෙනුවෙන් වෙහෙස වෙනවා. කපු ඇඳුම් දරුවන් වෙනුවෙන් තෝරාගන්නේත් දරුවා සිටින වටපිටාව සැමවිටම පිරිසිදු වාතාශ්‍රායක් පවතින සේ සකස් කරන්නේත් දරුවාගේ සුව පහසුව වෙනුවෙන්මයි. පුංචි පැටියාට, සිසිල් සුව ගුණ හිමිකර දෙන්නට  සඳුන් සහ පොකුරු වදමල් සාරය සහිත බේබි ෂෙරමි සබන් කැටයම ඔබ තෝරාගත යුත්තේ සඳුන්, සම පිරිසිදු කර සුවපත් කරමින් බිලිඳු සමේ සුමුදු බව සහ පෙනුම රැකදෙන අතරම පොකුරු වදමල් මගින් සම සිසිල් කොට තෙතමනය රකිමින් සමට සුවදායක බවක් එක්කරන නිසාම පමණක් නොවේ අපේ රටේ පුංචි පැටවුන්ගේ සමට උචිත අයුරින් එය ඉතා විශ්වසනීයව අපේ රටේ නිපදවෙන නිසාත්ය.

අත්තම්මලා දරුවන්ගේ පැත්ත ගන්නේ ඇයි…?

අපේ දෙමව්පියෝ අපි පුංචි කාලයේදී අපට සැර වැර කළත් දැන් අපේ දරුවන්ට සැර වැර කරද්දී ඔවුන් ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇයි ඔය නොදරුවන්ට කෑ ගහන්නේ…ඔයාලත් පුංචි කාලයේ ඔහොම තමයි කිව්වත් එදා නම් අපේ වැරදි ඔවුන් ඉවසුවේ නැහැ.ඉතින් එහෙම පරම්පරාව අද මුණුපුරු  පරම්පරාව ගැන බොහොම සංවේදීව කතා කරනවා. මේ වගේ වෙලාවට දෙමව්පියන්ගේ හිත රිදෙන විදිහට කතා කරන දරුවනුත් ඉන්නවා. 

  • ඔව්..ඔව් අපිට තෙල් ගාලා හැදුවේ.. එහෙම කියන්න කට ඉස්සර වුනත් වැඩිහිටි දෙමව්පියන්ට ඒ විදිහට ප්‍රකාශ කිරීම කොහෙත්ම සුදුසු නැහැ.

අපේ වැඩිහිටි දෙමව්පියන් මුනුපුරන්ගේ වැරදි ඉදිරියේ මේ විදිහට සංවේදී වෙන්නේ ඇයි…?

දැන් ඔවුන් අවස්ථාව හඳුනනවා…

ඔව්..දැන් කාලයේ දෙමව්පියන් බොහොම කාර්ය බහුලයි. ඒ නිසා දරුවන්ගේ පුංචි වරදක් පවා  දුටු තැනදී වහා කිපෙනවා.නමුත් පරිණත දෙමව්පියන් දැන් අවස්ථාව හොදට අඳුනනවා. උදාහරණයක් විදිහට මෙහෙම කියමු.

ඔබ ආදරයෙන් ආරක්ෂා කළ මල් පෝච්චියක් හය හතර නොතේරෙන පොඩ්ඩා අතින් බිඳුනොත්…සැබැවින්ම ඔබ ආවේශ වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවකදී වැඩිහිටි දෙමව්පියන් මේ විදිහට ඔබට උපදෙස් දේවි..

දැන් ඔය නොදරුවාට තලන්න එපා. ඔය කැඩුන දේ ආයේ හදන්න බැහැ. පොඩි එකා දැනගෙන කළ වැරැද්දකුත් නොවෙයි.. පරිස්සමින් වැඩ කරන හැටි කියලා දෙන්න…මේ විදිහට අවස්ථාව බොහොම හොදින් වටහා ගැනීමේ හැකියාව වැඩිහිටියන්ට තිබෙන නිසා ඔවුන්ගේ කියමන් බොහොම සාධාරණයි නේද…?

අවබෝධය..

සාමාන්‍යයෙන්  ඔබේ  වැඩිහිටියන් නිතරම මේ විදිහට කියනවා අසා ඇති. අපේ කෙස් පැහුනේ  ගියේ නියඟට නොවෙයි..ඇත්ත . කාලය සමග වයස ගෙවී යද්දී ඒ තුලින් ජීවිතයට ගැන අවබෝධයක් ලබා ගන්නවා. එය ඉතා වටිනා දෙයක්. මේ අවබෝධය නිසාම නිවරැද්ද සහ වැරැද්ද අතර වෙනස හොඳාකාර තේරුම් ගන්න වැඩිහිටියන් දන්නවා. ඒ නිසාම සමහර විට මේ වැඩිහිටියන් විසින්ම මේ වගේ කිව්වොත්…?

  • පොඩි දුවගේ හැසිරීම නම් මට ඒ තරම් හිතට ඇල්ලුවේ නැහැ…දැන් ඉස්සර වගේ නොවෙයි…

මේ අන්දමින් දරුවන්ගේ හැසිරීම ගැනත් යම් යම් ඉගි ඔවුන්ගෙන් ලැබෙන්න පුලුවනි. ජීවිතය ගැන ලබා ගත් අවබෝධයෙන් කියන මෙවැනි තොරතුරු ගැන නොසලකා ඉන්නත් එපා. ඒ තොරතුරු තුලින් ඔබට නොමග යන දරුවා ගේ ජීවිතය සුමගට යොමු කරන්න පුලුවනි.

පෞරුෂය

පුද්ගලයාගේ පෞරෂය යනු උසට සරිලන මහත නොවේ.පුද්ගලයෙකු ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඉදිරියේ ගනුදෙනු කරන ආකරයෙන් ඔවුන්ගේ පෞරෂය ගැන තේරුම් ගත හැකියි. වැඩිහිටි දෙමව්පියන් තුළ විවිධ පෞරෂ ගති ලක්ෂණ තිබෙනවා. ඉවසීම, එඩිතරබව, ගැටලු ඉදිරියේ උපකේෂා සහගත බව ඔවුන් ජීවිතයේ ලබා ගත් පෞරෂ ලක්ෂෂයි. ඒ නිසා ඔබේ දරුවන් සමග කටයුතු කරද්දී වැඩිහිටියන්ගේ පෞරෂයෙන් ඔබට ප්‍රයෝජන ගන්න පුලුවනි.

  • කලබල වෙන්න එපා.. අපි බලමු ඔය කියන තරම් දෙයක් මෙතැන වෙලා තියෙනවාද..? නිකං බොරුවට දරුවාට තලන්න එපා. මුලින්ම හොයලා බලන්න..

ඔබේ ආවේග ඉදිරියේ වැඩිහිටියන් විසින් ලබා දෙන උපදෙස් බොහෝ විට දරුවන් සම්බන්ධ ගැටලු විසදීමේදී ප්‍රයෝජනවත් වෙන්න පුලුවනි.

අත්දැකීම්

අපි හැම කෙනෙක්ම අත්දැකීම් ලබා ගන්නේ ජීවිතයෙන්. ජීවිතය තරම් අත්දැකීම් ලබා ගැනීමට තෝතැන්නක් තවත් නැහැ.රැකියාවකදී වුනත් අපේ ජීවිතයේ රැකියාව වෙනුවෙන් ගෙවෙන කාලය අනුව අපට ලැබෙන අත්දැකීම් සමග අපි ශක්තිමත් වෙනවා. ඒ නිසා ගැටළුවක් එලැමුන විට එය විසදා ගැනීමට අපි ලබා ගත් අත්දැකීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වේවි.

පොඩි පැටියෙකුට ලෙඩක් හැදුනත් අත්තම්මලාට ඒ ගැන අත්දැකීම් තියෙනවා..

  • ඉඟුරු කෑල්ලක් මිරිකලා ඉස්ම ටිකක් දෙන්න..ඔය අමාරුවට හොඳයි…එහෙම නැත්නම් දරුවාගේ ඇඳුම් ඉර බහින්න කලින් ගෙට ගන්න.. රෙදි හෝදන කොට පොඩි කරන්න එපා..දරුවා ඇඹරෙන්නේ ඒකයි..

මනස්ගාත යැයි කියමින් ඒවා ප්‍රතික්ෂෙප කරන්න එපා.අත්දැකීම් ඔවුන් සොයා ගත්තේ ජීවිතයෙන්. අද විද්‍යුත් මාධ්‍ය ඉදිරියේ ඔබ අන්තර්ජාලය පීරමින් සොයන තොරතුරු වැඩිහිටියන් අත්දැකීමෙන්ම උපයා ගෙන තිබෙන්න පුලුවනි.

වයස

ඔබ ගැන හිතන්න…වයස අවුරුදු විස්සකදී ඔබ දැන සිටියාට වඩා බොහෝ දේ දැන් ඔබ දන්නවා ඇති. විටෙක ඇඳුමක් නිසි පරිදි ඇඳගන්නවත් නොහැකිව සිටි ඔබ දැන් මෝස්තර පවා නිර්මානය කරන්න හැකියාව ඇති අයෙක්. ඒ නිසා යම් පුද්ගලයෙකු ඇඳගෙන සිටින ඇදුම ඔබට දැන් මනසින් නිර්මානය කරන්න පුලුවන් තරම් ඔබ දියුණුයි.

වැඩිහිටියන්ද එහෙමයි.දරුවෙකු හඬන විට දැන් කිරි වෙලාව…කිරි ටිකක් දෙන්න..ඇත්තටම දරුවාගේ හැඬීම නවතී. සැබැවන්ම දරුවා හඬා ඇත්තේ බඩගින්නටයි.

බලන්න තෙමාගෙන ඇති…අත්තම්මා දුටු දේ ඇත්තය. පැටියාගේ සිරුර මුත්‍රාවලින් තෙතබරිතව ඇත. මෙවැනි කරුණු කාරනාවන් අතැඹුලක් සේ දකින්නට ඔවුන්ගේ වයස සමග ජීවිතයේ ලැබූ දැණුම ඉතාම වැදගත්. ඒවා ළමාරක්ෂණය පිළිබදව විශ්වකෝෂයකිවත් උපයා ගැනීමට නොහැකි තරම් ප්‍රබලය.

එහෙමනම් අපි වැඩිහිටි දෙමව්පියන්ට සවන් දිය යුකුද..?

බොහෝ දෙමව්පියන්ගේ චෝදනාවක් තිබෙනවා. අම්මා තාත්තා නිසා අපේ දරුවන් අපට ඕනෑ විදිහට හදා ගන්න නැහැ. මෙතැනදී දරුවන් හැදිම තුළ ආධිපත්‍යක් අවශ්‍ය නැත ඔබේ පවුල තුළ අත්තම්මා,සීයාද ජීවත්වෙනවා නම් මුනුපුරන්ගේ ජීවිතයේ ආලෝකය ඔවුන්ටත් අයිතිය. ඔවුන්ද එහි කොටස්කරුවන්ය.ඒ නිසා අම්මා,තාත්තා වගේම අත්තම්මා සහ සීයාටත් දරුවන් නිසි මග යවා ඇකි දැඩි කිරීමේ යම්  දායකත්වයක් ලබා දීමට අවසර දිය යුතුය.

මේ අම්මලාගේ කාලයෙ නොවෙයි…

ඔබේ වැඩිහිටි දෙමව්පියන් යස් අදහසක් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් පාදක කර ගෙනයි.

අම්මලාගේ කාලයේ වගේ නොවෙයි..දැන් වෙනස්. ඒ විදිහට දැන් ළමයි හදන්න බැහැ.මේ අන්දමින් සෘජු නිශේධනයන් ලබා දිම එතරම් සුදුසු නැහැ.සැබවින්ම අත්තම්මා හෝ සීයා කියන දෙය අදට නොගැලපෙන්නට ඉඩ ඇති. ඒත් ඒ බව ඔවුන්ගේ හිත රිදෙන්න අන්දමින් හෝ මානසිකව මේ දෙමව්පියන් කඩා වැටෙන සේ ප්‍රකාශ කරන්න එපා.ඒ නිසා වැඩිහිටි දෙමව්පියන්ගේ අත්දැකීම් සම්බාරයෙන් මනාව ප්‍රයෝජන ගනිමින් ඔබේ දරුවා රටට ලෝකයට වැඩදායක දරුවෙකු ලෙසින් තිලින කිරීමේ පසුබිම ඔබේ නිවසේම තිබෙනවා. එහෙමනම් වැඩිහිටි දෙමව්පියන්ගේ අදහස්  වෙතින් ප්‍රයෝජන ගනිමින් ඔවුන් සමග සහජීවනයෙන් කටයුතු කරන්න.

 

 

බාල කාලයට වඩා වැඩි අවධානයක් නව යොවුන් වියේ දරුවාට ලබාදෙන්නේ කොහොමද ?

ගැහැණු දරුවෙකු වැඩිවිය පත් වුනාට පසුව ඇගේ සමීපතම මිතුරිය බවට පත් විය යුත්තේ අම්මා. පුතෙකුට නම් තාත්තා ….ඔහුට  වඩාත්ම සමීප වීම වැදගත්.දියනියකගේ මල්වර වීම සමග ඇය දරුවන් ලැබීමේ සුදුසුකම් ලබනවා. එය ප්‍රසිද්ධියේම මහත් උත්සවාකාරයෙන් සිදු වුනත් පිරිමි දරුවන්ගේත් වැඩිවිය පත්වීමක් සිදු වෙනවා.

කායික සූදානම..

පිරිමි දරුවන්ගේත් සිරුරේ ද්විතියික ලක්ෂණ පහල වෙනවා. මේ කාලයේදී ”ටෙස්ටොස්ටොරොන් “හෝර්මෝනය නිකුත් වීම සිදු වෙනවා. ඒ නිසා පිරිමි දරුවන්ගේත් මෙවැනි ලක්ෂණ පහළ වීම සාමාන්‍ය තත්වයක්.

  • වෘෂණවලින් ශුක්‍රානු පිපදවීම
  • උස,බර වැඩි වීම සහ උරහිස් පුළුල් වීම
  • කටහඩ වෙනස් වීමපප;, ස්වාරලය ප්‍රදේශය විශාල වීම
  • රැවුල වැඩීම
  • මුහුණේ කුරුලෑ ඇති වීම
  • ශිෂ්ණය,වෘෂණ කෝෂ සහ පුරස්ථි ග්‍රන්ථි විශාල වීම
  • ශුක්‍ර මෝචනය වීම.

දියණියගේ මල්වර වීම කියන්නේ ඇගේ ඔසප් චක්‍රය ආරම්භ වීමයි. වෛද්‍ය විද්‍යාත්මකව නම් මෙම සංසිද්ධිය විදිහට හැදින්වෙන්නේ කාන්තාවකගේ ලිංගික හෝර්මෝන චක්‍රයේ ආරම්භය හෙවත් ස්ත්‍රි ලිංගික ලක්ෂණ බිහි වීමයි.

පෝෂණය ලබා දීම..

නව යාවුන් වියේ පසුවෙන දරුවාට පෝෂණය ලබා දීම ඉතා වැදගත්. අතීතයේදී නම් දෙමව්පියන් පෝෂණය ගැන වැඩි අවධානයක් දුන්නේ පිරිමි දරුවන්ට. පවුලේ මුදුන්බත වුනත් තාත්තාට පසුව බෙදුවේ පුතාට. ඒ වුනත් පුතාට වගේම දියනියටත් පෝෂණය එක සේ වැදගත්. මේ කාලයේදී නිසි පෝෂණය නොලැබුනොත් අනාගතයේදී ඒවා දැඩි අන්දමින් බලපාන්න ඉඩ තිබෙනවා. පරම්පරාව ගෙන යෑමේ අයිතිකරුවා පුතා පමණක් නොවෙයි. දියනියටත් එහි සෑහෙන කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා නව යොවුන් වියේ පසුවෙන දරුවන්ට නිසි පෝෂණය ලබා දීම ඉතාම වැදගත් ඒ නිසා ආහාර රටාව සැලසුම් තිරීමේදී එහි පංගුව පමණක් නොව අන්තර්ගත පෝෂණය ගැනත් සැලකිලිමත් වෙන්න. හැකි තරම් සකස් කළ ආහාර වගේම නිසරු ආහාරවලිනුත් දරුවන් දුරස් කරන්න. මෙවැනි ආහාර වෙනුවෙන් නව යොවුන් දරුවන්ගේ ඇබ්බැහි වීම ඉතාම අහිතකර අන්දමින් සිදු විය හැකි නිසා නිවස තුළදී දරුවන්ගේ පෝෂනයට වැදගත් තැනක් ලබා දීම ඉතාම වැදගත්.

සෙල්ලම් කිරීම නිසා ව්‍යායාම ලැබෙනවා..

වැලිපොල්කටුවෙන්, බෝනික්කන් නැලවීමෙන් මිදුනත් නව යොවුන් වියේ දරුවන්ටත් සෙල්ලම  ඉතාම වැදගත්.ඒත් අපේ දෙමව්පියන් මේ අවදියේදී දරුවන්ට වැඩි පීඩනයක් ලබා දෙමින් සෙල්ලමට තහංචි පනවනවා.

  • පොතක් පතක් අල්ලන්න එපා..සෙල්ලම..සෙල්ලම..බැට් පිත්තයි … බෝලයයි ..තමා..

පිරිමි දරුවන්ට එහෙම දෝෂාරෝපනය කරමින් හෝ සෙල්ලමට ඉඩක් දුන්නත් දියණියට නම් සෙල්ලමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ..

  • දැන් සෙල්ලම් කරන වයසක් නොවෙයි..ඔයා ලොකු ළමයෙක්..ඉස්සර වගේ දිවිලි පැනිලි බැහැ..

මේ විදිහට තහනම් නියෝග පැනවුනත් ඇයටත් ශාරිරික සහ මානසික ව්‍යායාමයන් අවශ්‍ය වෙනවා.ගැහැණු දරුවෙකුගේ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳ සීමාවන් අවශ්‍ය වුනත් ඒ මතම සීමා පනවමින් ඇයට සෙල්ලම වෙනුවෙන් හෙවත් කායික ක්‍රියාකාරි කටයුතු වෙනුවෙන් තහංචි පනවන්න එපා. එදා ගැහැනු දරුවා නිවසේ වැඩකටයයුතු තුලින් ඇයට අවශ්‍ය ශාරිරික වයායාම මනා සේ ලබා ගත්තා. නමුත් අද වතුර බාල්දියක්වත් එහා මෙහා නොකරන ගැහැණු දරුවන්ට ව්‍යායාම වෙනුවෙන් අවස්ථාවක් ලබා ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා සෙල්ලමට හෝ ඉඩක් ඔවුන්ට අවශ්‍ය වෙනවා.

 ගැහැණු දරුවන් ශාරිරික ව්‍යායාමයන්හි නිරත නොවුනොත් තරබාරුව වැනි ගැටලු නිසා අනාගතයේදී බෝනොවන රෝගවල ගොදුරක් බවට පත් වීම සහ දරුවන් ලැබීමේ විවිධ ගැටළු ඇති වීමට ඉඩ තිබෙනවා.

දුරස් වෙන්න දෙන්නත් එපා…

සාමාන්‍යයෙන් දරුවෙකුගේ නව යොවුන් අවදිය කුනාටු කාලයක් විදිහට හදුන්වා තිබෙනවා. ඒ නිසා කුනාටුවට අසු වී දරුවාගේ ජීවිතය විනාශයට පත් වෙන්න පුලුවනි.  මේ අවධියේදී විරුද්ධ ලිංගිකයන් වෙත ඇති වෙන ආකර්ශනයට වඩා බරපතල තත්වයන් දැන් තියෙනවා. අතීතයේදී නම් පිරිමි දරුවෙකු කුමන ආකරයේ වැරැදද්ක් කළත් පය සෝදා ගෙට ගන්න පුලුවන් කිව්වත් අදට එය ගැලපෙන්නේ නැහැ.මත්ද්‍රව්‍ය, ලිංගික අපයෝජනය වැනි විවිධ දුරාචාරයන්ට දියනිවරුන් වගේම පිරිමි දරුවනුත් යොමු වීමට පුලුවනි. ඒ නිසා නව යොවුන්වියේදී ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට වඩා නව යොවුන් දරුවන්ගේ ජීවිත විනාශ වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවන් බොහොමත්ම දරුණුයි.

  • තරුණ දරුවන් නොමග යෑම ගැන මහත් වූ ආන්දෝලනාත්මකව කතා කරන අපි නිකමටවත් එහෙම වෙන්නේ ඇයි කියල හිතුවොත්…

දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වීමටත් අපි නොදන්න මානසික පසුබිමක් තිබෙනවා. දරුවන් මානසිකව හුදෙකලා වීම නිසා මේ තත්වය ඇති වෙනවා.අම්මා,තාත්තා රාජකාරිය මත්තේම නැහෙනවා. ආහාර පාන කිසිම අඩුවක් නැහැ. ඇඳුම්වලත් අඩුපාඩුවක් නැහැ. නමුත් දරුවා සමග කාලය බෙදා ගෙන ඇසුරට හිතවත් අයෙක් ජීවිතයේ නැහැ. ඒ නිසා ඔවුන් වැරැදි කටයුතුවලට යොමු වෙනවා.තරුණ දරුවන් සිටින දෙමව්පියන්ට ඔවුන් සමග වැඩි කාලයක් ගෙවන්න නොහැකි බව ඇත්ත.ඒ නිසා දරුවන්ගේ කාලය යහපත් අයුරින් ගෙවන්න හැකි පහසුකම් සලසා දීම වැදගත්.ඔවුන්ගේ මනසට සතුටක් ලැබෙන විනෝදාංශ හදුන්වා දෙන්න.ඒවා සමග දරුවා කාලය ගත කරන බැව් තහවුරු කර ගන්න. තමන්ගේ දවසේ කාලය ගෙවන්න හිතට සතුටක් දෙන ගණුදෙණුවක් වෙතොත් දරුවා අනවශ්‍ය අය සමග ඇසුරක් ගොඩ නගා ගැනීම සිදු වෙන්නේ නැහැ.මත්ද්‍රව්‍ය , අනවශ්‍ය ලිංගික ඇසුර වැනි කටයුතුවලට ඇබ්බැහි වුන දරුවන්ගේ පසුබිම ගැන සලකා බලන විට ඔවුන්ගේ දෙමව්පියන් උසස් වෘත්තින්හි නිරත, හොද පවුල් පසුබිමක් ඇති,ආර්ථිකව ශක්තිමත් දරුවන් බැව් සමීක්ෂණ මගින් පවා පෙනී ගිය කරුණක්. ඒ නිසා නිතරම දරුවන් මානසිකව හුකෙලා චරිත බවට පත් කරන්න එපා.

පෞද්ගලික සනීපාරක්ෂාව..

ගැහැණු දරුවෙකු වැඩිවිය පත් වීමෙන් පසුව ඇගේ සනීපාරක්ෂාව ගැන මවගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්.මාසික ඔසප් චක්‍රය සිදු වීම, අදාල කාලයේදී සනීපාරක්ෂාව, ඔසප් වෙන දිනයන් ගැන අවධානයෙන් සිටිම වැනි කරුණු ගරන දියණියට කියා දීම ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රසිද්ධියේ කතා නොකලත් පිරිමි දරුවන්ගේශුක්‍ර තරලයේ පිටවී සිදු වෙනවා. නින්දෙන් ශුක්‍ර තරලය පිටවීම සාමාන්‍ය සිදුවීමක්. ඒ නිසා අනාගතයේදී ලිංගික දුබලතාවයන් ඇති වෙනවාය යන මිථ්‍යාවන් තිබෙන නිසා මේවා ගැන දරුවන් දැණුවත් කිරීමත් පියාට බාරයි. එසේ නැති වූ විට දරුවා මෙවැනි තත්වයන් නිසා මානසිකව අසහනකාරී තත්වයකට පත් වෙන්න පුලුවනි.

එහෙමනම්..දරුවන් හිටවැටෙන කාලයට වඩා දැඩි අවධානයක්  නව යොවුන් වියේදී දැක්වීමේ වැදගත්කම ගැන දැන් ඔබටත් තේරුම් යන්න ඇති.හිටවැටෙන කාලයේදී දරුවන්ට ඇති වෙන කායික අනතුරු සුව කර ගත හැකි වුනත් නව යොවුන් වයසේදී ඔබෙන් සිදු ප්‍රමාදයට දරුවා ඔවුන්ගේ ජීවිතයෙන්ම වන්දි ගෙවනු

 

බබාට සෙම්ගෙඩි

ඔබේ පුංචි දරුවා නින්දෙන් ගොරවනවා නම්..එහෙම නැත්නම් රාත්‍රි නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුවෙන් විටින් විට අවදි වෙනවා නම්…ඔබ මෙතෙක් ඒ ගැන සැලකිලිමත් වුනේ නැත්ද..? මේ ගැන අදහස් ඉදිරිපත් කළේ  මහනුවර ජාතික රෝහලේ කණ, නාසය, උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.සෙල්වරත්නම් මහතා..

ටොන්සිල් එහෙම නැත්නම් “සෙම්ගෙඩි ” යනුවෙන් හැඳින්වෙන්නේ උගුරේ පිටුපස ඇති පටකවල ගැටිතියි. මේවා උගුර දෙපැත්තේ පිහිටා තිබෙනවා. Adenoid  කියන්නේ නාසික කුහරයේ පිටුපසින් පිහිටි පටකවල කොටසක්. ඇඩිනොයිඞ් වගේම සෙම්ගෙඩි වසා පද්ධතියේ කොටසක් .ඇඩිනොයිඞ් සාමාන්‍යයෙන් වයස අවුරුදු පහක් පමණ වයසකදී හැකිලී යන අතර දරුවාගේ වර්ධනය සමග නැති වී යනවා.

පුංචි දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඇති වුනාම සෙංගෙඩි විශාල වීම නිසා නාසය හිර වෙන්න පුලුවනි. මේ රෝග තත්වය Adenoid hypertrophy යනුවෙන් හැඳින්වෙනවා.  

Adenoid විශාල වීම නිසා ඇති වෙන අපහසුතාවයන්..

  • හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා දරුවා කටෙන්  (Mouth –breathing) හුස්ම ගැනීම.
  • නින්දෙන්  හුස්ම හිරවී අවදි වීම හෙවත් Sleep apnoea රාත්‍රියට කීපවතාවක් මෙය සිදුවීම
  • රාත්‍රි නින්දේදී ගෙරවීම-සාමාන්‍යයෙන් පුංචි දරුවන් නින්දෙන් ගොරවන්නේ නැහැ. ඒත් ඇඩිනොයිඞ් විශාල වීම නිසා දරුවන් නින්දෙන් ගොරවන්න පුලුවනි.

දරුවෙකුගේ උගුර ආශ්‍රිතව සෙම් ගෙඩි ඇති වීම බැක්ටීරියා නිසා වගේම වෛරස නිසාත් ඇති වෙන්න පුලුවනි. මේ උගුර ආශ්‍රිතව සෙම්ගෙඩි ඇති වෙන්නේ Streptococcus pyogenes බැක්ටීරියාව නිසයි.  වෛරස තත්වයක් නම් සාමාන්‍ය ඖෂධීය ප්‍රතිකාර ලබා දෙනවා.බැක්ටීරියාවක් නම් ඒ වෙනුවෙන් Antibiotic හෙවත් ප්‍රතිජීවක ලබා දීමට සිදු වෙනවා.

සෙම්ගෙඩි ඇති වීමට හේතු

  • ප්‍රතිශක්තියේ දුර්වලතාවයන්
  • සීතල පරිසරයක ජීවත් වීම.
  • සීතල ආහාර පාන. 
  • බැක්ටීරියා
  • වෛරස

ළදරු පාසල් යන විට සම වයස් කණ්ඩායම්වලින් රෝගය බෝ වෙන්න පුලුවනි. විශේෂයෙන් බිඳිතිවලින් බෝ වෙන්න පුලුවන් නිසා මුව ආවරණ පැළඳීම ඉතා වැදගත්.

  • උගුරේ වේදනාව
  • උගුර රතු වීම, ඉදිමුම
  • ආහාර ගිලීමේ අපහසුතාවය
  • සෙම් ගෙඩි වටා කහ හෝ සුදු ශ්ලේස්මල 
  • බෙල්ල ප්‍රදේශය ඉදිමුම
  • උණ
  • හුස්ම ගැනීමේ අපහසුතාවය

බැක්ටීරියා නිසා ඇති වෙන සෙම්ගෙඩි සමග ඇති  අතුරු ආබාධ…

සෙම් ගෙඩි තත්වය දිගින් දිගටම ඇති වෙනවා නම් එය නොසලකා සිටිය යුතු නැහැ. සෙම් ගෙඩි  නිසා දරුවාට විවිධ රෝග තත්වයන් ඇති වෙන්න පුලුවනි. 

සෙම්ගෙඩි නිසා ඇති වෙන සන්ධි ප්‍රදාහය නිසා ඇති වෙන රුමටික් ආත්රයිටිස් (Rheumatic- arthritis)  සහ රුමටික්උණ (Rheumatic-Fever) වැනි රෝග තත්වයන් ඇති වෙනවා.

මේ නිසා කිරීටක ධමණීන්ගේ අවහිරතාවයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. එය Cardities යනුවෙන් හැඳින්වෙනවා.

ඒ වගේම දරුවන්ගේ වකුගඩුවලටත් සෙම්ගෙඩි නිතර නිතර ඇති වීමේ බලපෑම දැඩි විදිහට බලපාන්න පුලුවනි. වකුගඩු ආශ්‍රිතව ඇති වෙන මේ රෝග තත්වය Aquceet Nephritis යනුවෙන් හැඳින්වෙනවා.

වකුගඩුවල සංකුලතාවයන් ගැන දැන ගන්නේ…

  • මුත්‍රා රතු පැහැති වීම.
  • මුත්‍රා කිරීමේදී පීඩනය අඩු වීම.
  • උණ
  • දරුවන්ට වුවත් අධි රුධිර පීඩන තත්වයක් ඇති වීම.

සෙම්ගෙඩි ඉවත් කිරීමේ ශල්‍ය කර්ම…

 සෙම්ගෙඩි වෙනුවෙන් සිදු කරන  ඖෂධීය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙනවා නම් වගේම නිතර නිතරම ආසාදනය වෙනවා නම් සෙම්ගෙඩි ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදු කරනවා.

ඒ අවස්ථාවේදී adinoid ඉවත් කරන්න පුලුවනි.

adinoidඉවත් කිරීම නිසා දරුවාට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ.මෙය ප්‍රතිශක්තියට බාධාවක් කිව්වත් දරුවාගේ ඇඩිනොයිඞ් ග්‍රන්ථිය විශාල වීම නිසා විවිධ

adinoid ඉවත් කිරීමෙන් දරුවාට වාසි බොහොමයක් ලැබෙනවා..

  • දරුවාට රාත්‍රියේ සුවදායක නින්දක් ලබා ගැනීමට පුලුවනි. ඒ නිසා දරුවාගේ ශාරිරික ක්‍රියාකාරිත්වය වගේම සුවදායක නින්ද නිසා දරුවාට ඉගෙනුම් කටයුතුවලදී කිසිම අපහසුවක් නොමැතිව ප්‍රබෝධයෙන් අධ්‍යාපනය ලබන්න පුලුවනි.
  • කටින් හුස්ම ගැනීම නිසා කිරි දත්වල ඇති වෙන විකෘතිතාවයන් නැති වීම.
  • දත් ඉදිරියට නෙරා ඒමේ අවස්ථාවන් නැති වීම.
  • ශ්‍රවණය සහ කථනය පිලිබඳ ගැටළු නැති වීම

ඒ නිසා ඔබේ දරුවා නිරන්තරව සෙම්ගෙඩි රෝග තත්වයට ගොදුරු වෙනවා නම්…එහෙමත් නැත්නම් රාත්‍රි නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට පත් වෙනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

මහනුවර ජාතික රෝහලේ කණ, නාසය, උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.සෙල්වරත්නම් මහතා
 

 

 

 


 

දරුවන් ගේ “වචන පැටලීම” එනම් “ගොත ගැසීම ” (Stuttering/ Stammering) හදුනා ගනිමු.

“ගොත ගැසීම ” යනු කථනයේ ඇතිවන එක ගැටලුවකි. එහිදී සිදුවන්නේ කතාව සියුම් ලෙස ගලා යාම සිදු නොවීමයි (Disruption of normal flow of speech). මෙම තත්වය දරුවන් වචන ඉගෙන ගැනීමේදී ශබ්ද පුන පුනා කීමට වඩා එහා ගිය තත්වයක් වන අතර ගොතය සහිත දරුවෙකු ට තවත් කෙනෙකු සමග සන්නිවේදනයේ දී ද ගැටළු ඇති කරයි.

“ගොත ගැසීම ” හි වර්ග කිහිපයකි.

  1. වර්ධනයත් සමග ඇති වන ගොත ගැසීම
  2. ස්නායු හා සම්බන්ධ ගොත ගැසීම
  3. මනෝ විද්‍යාත්මක හේතුන් නිසා ඇති වන ගොත ගැසීම
  1. වර්ධනයත් සමග ඇති වන ගොත ගැසීම  යනු,

මෙය දරුවන් අතර බහුලවම දැක ගත හැකි තත්වයකි. මෙය වයස අවු 2 -5 අතර දරුවන් තුලින් පෙන්නුම් කරයි. මෙම තත්වය බොහෝ පවුල් ආශ්‍රය කරගන ඇති විය හැකි අතර පරම්පරාවෙන් පරම්පරාව ට යාමේ හැකියාවක් ද පවතී. මෙහි අනු කොටස් ප්‍රමාණයක් ම පවතී. 

  1. ස්නායු හා සම්බන්ධ ගොත ගැසීම යනු,

මෙම තත්වය ඇති වන්නේ ස්නායු හෝ මොලයට සිදුවන හානියක් මගින් කතා කිරීමට අවශ්‍ය වන්නා වූ මාංශ පේශි වලට අවශ්‍ය නිවැරදි ස්නායු සංවේදන/ signals නොලැබී යාම නිසාවෙනි. මෙය බොහෝ විට වැඩිහිටියන් ට අංශභාගය හෝ මොලයට සිදුවන හානියකින් පසුව ඇතිවම සුලබව දක්නට හැකිය.

  1. මනෝවිද්‍යාත්මක හේතුන් නිසා ඇති වන ගොත ගැසීම යනු,

මෙහි දී ගොත ගැසීමට හේතුව වන්නේ මානසිකව ඇති වන ගැටළු එනම් හැගීම් සමග ඇති වන ගැටළු , අධික ලෙස සිතීම ආදී හේතු කාරණාය.

තවද, දෙමවුපියන් වශයෙන් දරුවා ගේ ගොත ගැසීමත් සමඟ මෙවන් සාධක ද පෙන්නුම් කරයි නම් වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුය.

  • පවුලේ කෙනෙකුට හෝ පවුල හා සම්බන්ධ කෙනෙකුට මෙම තත්වය පැවතීම
  • දරුවාගේ ගොත ගැසීම මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් පැවතීම
  • දරුවා ට වෙනත් කථන හෝ භාෂා ගැටළු පැවතීම
  • මානසික, චිත්තවේග, බය  හෝ පෞෂය ගැටළුත් දරුවාගේ ගොත ගැසීම සමග සම්බන්ධ යැයි සිතීම

ගොත ගැසීම ඇතැම් අවස්ථා වල සාමන්‍ය තත්වයක් විය හැකි අතර එය තහවුරු කර ගත හැක්කේ කථන හා භාෂා චිකිත්සකවරයෙකු විසින් කරනු ලබන නිවැරදි තක්සේරුවකින් ය. මන්ද, ඇතැම් දරුවන් භාෂා වර්ධනයේ කොටසක් ලෙසින් ම මෙම ගොත ගැසීම පෙන්නුම් කරන නිසාවෙනි. ඇතැම් දරුවන් ගේ ගොත ගැසීම ඇති වීම දිනයේ වේලාවන් අනුව, විවධ වූ අවස්ථා වල, විවධ පුද්ගලයන් සමග අඩු වීම මෙන්ම වැඩි වීමක් ද නිරීක්ෂණය කර ගත හැකිය. ඒ අනුව, පහත සදහන් කර ඇත්තේ ඉන් ප්‍රධානව ම දැක ගත හැකි ලක්ෂණ කිහිපයකි.

1.වචනයක ශබ්දයක්, අකුරක් හෝ වචනයම පුන පුන කියවීම

උදා: අ -අ -අම්මා

2.වචනයක ශබ්දයක් ඇදගෙන කතා කිරීම

උදා: අ …………..ම්මා

  1. කතා කරන විට වචන හිරවීම හෝ එකවර කතාව නැවතීම

4.කතා කරන විට ඒ අතරතුර අනවශ්‍ය ලෙස /හ්ම්/, /ආ/ ආදී ලෙස විරාම ගැනීම

5.නැවතීම් සහිත ව කතා කිරීම

6.කතා කරන විට වේගයෙන් ඇස් ගැසීම හෝ තොල් වෙව්ලීම ආදී බාහිරින් ලක්ෂණ පෙන්නුම් කිරීම

7.කතා කිරීම් මග ඇරීම හෝ ඒ සදහා බියක් දැක්වීම

ඒ අනුව මෙවන් ලක්ෂණ පවතී නම් කථන හා භාෂා චිකිත්සකවරියක වෙත යොමු වීම ඉතාමත් වැදගත් වන අතර එමගින් දරුවා තක්සේරුවක ට ලක් කර මෙය සාමන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් ගොත ගැසීම් තත්වයක් ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.

ගොත ගැසීම් තත්වයට මග හරවා ගැනීමට චිකිත්සක ක්‍රම බොහොමයක් පවතී. ඒවා දරුවාගේ වයස, ගොත ගැසීමේ ප්‍රමාණය, එහි ස්වාභාවය ආදිය පදනම් කර ගනියි. වඩා වැදගත් වන්නේ නිසි වයස ට නිවැරදිව හදුනා ගැනීම හා ඒ සදහා මැදිහත් වීමයි.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දරු පිළිසිඳ ගැනීමට බාධා විය හැකි පුරුෂ පාර්ශවයේ හේතු

පුරුෂ මූලික සමාජයක් වන අපේ රටේ විවාහක යුවළකට දරුවන් නොමැති වුවහොත් සමාජයෙන් නෑ හිත මිතුරන්ගෙන් එන සියලු චෝදනා එල්ල වන්නේ කාන්තාව දෙසටයි. එය එසේ වුවත් දරු පිළිසිද ගැනීමකට බාධා විය හැකි හේතු කාරණා ඒ කියන්නේ මද සරුභාවයට හේතු ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකටම පැවති හැකියි. මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ මද සරුභාවයට හේතු විය හැකි පුරුෂ පාර්ශවයේ ගැටලු පිළිබදවයි. 

ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු

මෙහිදී අසාමාන්‍ය ශුකාණු නිෂ්පාදනය වගේම අසාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයත් මද සරුභාවයට හේතු ලෙස දැක් විය හැකියි. මේ සදහා හේතු ලෙස ගොනෝරියාව, ක්ලැමීසියාව, ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්ත්ව මෙන්ම දියවැඩියාව, කම්මුල්ගාය, පිළිකා වැනි රෝග තත්ත්වත් පිළිකා තත්ත්වයන්වලදී ලබා දෙන ප‍්‍රතිකාරත් හේතු විය හැකිය. 

එසේම දරු පිළිසිඳ ගැනීමක් සිදු වීමට නම් ශුක්‍ර තරලය මිලිලීටරයක් තුළ ශුක්‍රාණු මිලියන 15ක පමණ ප්‍රමාණයක් පැවතිය යුතු අතරම එය ඒසේ නොපැවතීම, ශුක්‍රාණුවේ ව්‍යූහයේ වෙනස්කම් සහ ගමන් කිරීමේදී ඇති දුර්වලතාත් බාධා විය හැකිය. තවත් අයුරකින් ගත් කළ නොදැනුවත්කමද මේ සඳහා හේතු වීමට ඉඩ කඩ පවතී.

ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු ඇති වීමට හේතු විය හැකි කරුණු

  1. varicocele (VAR-ih-koe-seel) – වෘෂණ වල ශිරාවන් විශාල වීමයි. 
  • ජානමය ආබාධ – Klinefelter Syndrome 

පිරිමින්ගේ 47 වන වර්ණ දේහයේ වැඩිපුර X වර්ණ දේහ පැවතීමයි. මෙහි මූලික ලක්‍ෂණය වන්නේ වඳභාවය, වෘෂණ කුඩා හා ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමයි.

  • ශුකාණු බෙදාහැරීමේ ගැටළු

ශුකාණු බෙදාහැරීමේ ගැටළු නිසා සංසේචනය අසීරු වේ. මෙයට හේතු ලෙස

  • ජානමය තත්ත්ව (Cystic fibrosis) බහුල වශයෙන් පෙනහලුවලට බලපාන අතර අගන්‍යාශය, අක්මාව, වකුගඩු හා අන්කත වලට බලපායි. මෙහිදී ස්වසන අපහසුව, කැස්ස, නිතර ඇතිවන පෙනහලු ආසාධන වේ.
  • නොමේරු ශුක්‍රාණු මෝචනය
  • වෘෂණවලට හානි වීම
  • වෘෂණ කෝෂවල ව්‍යූහමය අවහිරතා

පුරුෂ පාර්ශවයේ මදසරුභාවයට හේතු වන අවදානම් සාධක  

මදසරුභාවයට හේතු වන අවදානම් සාධක බොහෝමයක් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදු වේ.

  • වයස අවුරුදු 40 ට වැඩිවීම.
  • බර වැඩිවීම හා අඩුවීම
  • මත්ද්‍රව්‍ය (මර්ජුවානා), දුම්කොල භාවිතය
  • අධික ලෙස මත්පැන් පානය
  • අධික ලෙස ශාරීරික හා මානසික ආතතිය
  • විකිරණවලට නිරාවරණය
  • ඇතැම් රෝග තත්ත්ව සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධ
  • පාරිසරික විෂ වලට නිරාවරණය. උදා: ලෙඞ්, කෘමිනාශක

පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාවයට හඳුනා ගැනීමට සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් උචිතය. එහිදී පුරුෂයාගේ ලිංගික ඉතිහාසය, ශාරීරික පරීක්‍ෂණ එනම් ලිංගික අවයව පරීක්‍ෂාව සිදු කරනු ලබයි. එසේම, ශුකාණු තරල විශ්ලේෂණය (Semen Analysis), ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පරීක්‍ෂාව යන පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කෙරේ. 

පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාව‍යට වෛද්‍ය පරීක්ෂණ‍ වෙත යොමු වීමේදී තමාගේ සැබෑ තොරතුරු නොසඟවා පැවසීම වැදගත් වන අතරම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම , උෂ්ණත්වය රැ‍‍දෙන යට ඇඳුම් භාවිතයෙන් වැලකීම ඉතා වැදගත් වන්නේ එවැනි කරුණු ශුකාණු නිෂ්පාදනය හා ශුකාණුවල චලන හැකියාවට බලපෑම් කළ හැකි බැවිනි. එසේම දුම්පානය, විෂ දුම, දූෂිත වාතය මෙන්ම අද වන විට අපට මිලදී ගන්නට සිදු වී ඇති අධික ලෙස රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ද්‍රව්‍ය හේතුවෙන් ශුක්‍රාණුවල ගුණාත්මක බව අවම විය හැක. මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමෙන් ලබා ගත හැකි වන අතරම වෛද්‍යවරයාගේ උපදෙස් මත අවශ්‍ය ඖෂධ මෙන්ම ප‍්‍රතිකාර ක්‍රම තීරණය වේ. 

මදසරුභාවය සඳහා පුරුෂ පාර්ශවය වෙත ලබාදෙන ප‍්‍රතිකාර ක්‍රම

  • මදසරුභාවයට හෝ නිසරුභාවයට මුල් වූ හේතු සාධක ඉවත් කිරීම
  • ශල්‍යකර්ම මගින් වෘෂණවල අවහිරතා ඉවත් කිරීම හා අලුත්වැඩියාව
  • වෘෂණවල ක‍්‍රියාකාරීත්වය, ශුකාණු ප‍්‍රමාණය හා ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ප‍්‍රතිකාර ලබාදීම
  • ශුකාණු විසර්ජනයේ ගැටලු හෝ ශුක‍්‍ර තරලයේ ශුකාණු අඩංගු නොවීම සඳහා ප‍්‍රතිකාර (Sperm retrieval technique) වෙත යොමු කිරීම
  • Assisted Reproductive Technique (ARI) – ශුකාණුවල සරුභාවය ඇති කිරීම සඳහා ලබාදෙන ප‍්‍රතිකාර 
  • IVF – වඩා සුලභ ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ශුකාණු හා ඩිම්බ පිටතදී සංසේචනය කර කළලය ගර්භාෂය තුල තැන්පත් කරයි
  • IUI මගින් ශුකාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද වන විට දරුවෙකු පිළිබඳ සිහිනයක් සෑම යුවළකටම හදෙහි රඳවා ගැනීමට ඇති හැකියාව ඉහළ ගොස් ඇති බව කිව යුතුමය. අවශ්‍ය වන්නේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්ත්වය හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ස්ක්‍රීන් ටයිම් වැඩි දරුවන් වර්චුවල් ඕටිසම් තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ

අද කාලේ දෙමාපියන් බොහොම කාර්ය බහුලයි. ආර්ථික සටනත් එක්ක හරිහරියට තරග වදින්න තාත්තට විතරක් බැහැ. ඉතිං අම්මලත් ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. මේ කාර්ය බහුල බවත් එක්ක අපේ දරුවෝ ස්මාර්ට් දුරකතනයට, පරිගණකට එහෙමත් නැත්නම් ටීවී එකට වැඩිපුර ආදරය කරන්න පටන් අරගෙන. ඒ වගේම තමයි දරුවන්ට කාටූන් එකක් දාලා දීලා වැඩ ටික ඉවර කරගන්න සමහර අම්මලත් පුරුදු වෙලා. නොදැනුවත්ව උනත් වැඩිහිටි අපි අතින් මේ සිද්ධ වෙන්නේ කොයි තරම් නම් ලොකු වරදක්ද කියලා මේ ලිපිය කියවගෙන යද්දී වැටහේවී. 

ස්ක්‍රීන් ටයිම් ඒ‍ කියන්නේ ටීවී, පරිගණක, දුරකතන තිරයේ සිටින කාලය වැඩි වීම වර්චුවල් ඕටිසම් ((Virtual Autism)) තත්ත්වයට හේතු විය හැකියි. මේ හරහා දරුවන්ගේ සන්නිවේදයේ භාෂාවේ හැසිරීමේ ගැටලු ඇති විය හැකියි. පැය තුනකට වැඩි කාලයක් තිරයේ ගත කරන දරුවෙකුට බොහොමයක් සංකූලතාවලට මිහුණ දීමට සිදුවි හැකියි.

මේ සංකූලතා‍ හේතුවෙන් සුව නින්දක් සඳහා අවශ්‍ය මෙලටනීන් හෝමෝනය වගේම සතුට සඳහා අවශ්‍ය  ඩොපමීන් හෝමෝනය ශ්‍රාවය වන ප්‍රමණයේ අඩු වැඩි වීම් සිදු වනවා වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අවශ්‍ය ඇසිටයිල් කෝලීන් හෝමෝන‍ය ශ්‍රාවයේත් යම් යම් වෙනස් වීම් ඇති විය හැකියි. 

මේ හෝමෝන ශ්‍රාවයන්ගේ සිදුවන වෙනස්කම් හේතුවෙන් අපේ දරුවන් තුළ …

  • ආවේගශීලී හැසිරීම් රටා 
  • යමක් විමසූ විට එය වටහා ගෙන නිවැරදි ප්‍රතිචාරය දැක්වීමේ නොහැකියාව
  • යමක් විමසූ විට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

‍මෙවැනි දරුවන් කොටස් කිහිපයකම ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි.

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු

යමෙක් සමග ඇසට ඇස බලා කතා කිරීමේ (eye contact) නොහැකියාව වගේම වාචික හෝ අවාචික සන්නිවේදනය අවම (තමාගේ අවශ්‍යතාවයන් අන් අය ලවා ඉටුකරගැනීමට උත්සාහ කළත් එය වාචිකව/අවාචිකව පැවසීමට උත්සාහ නොකරයි) තත්ත්ව‍යේ පැවතීම යන සන්නිවේදනයේ ගැටලුකාරී තත්ත්ව නිසා මෙවැනි දරුවන්ගේ හැසිරීම් රටාවේ ගැටලු බොහොමයක් ඇති විය හැකියි. සමස්ථයක් ලෙස ගත් කළ භාෂාව වටහා ගැනීමේ නොහැකියාව සහ තැනට ගැලපෙන අයුරින් භාවිතයට ඇති නොහැකියාවයි. උදාහරණක් ලෙස ඇතැම් දරුවන්ගෙන් යමක් විමසූ විට එයට පිළිතුරු දෙනවා වෙනුවට ඒ ප්‍රශ්නයම නැවත නැවත පවසනවා. ඒ ඔහුට/ඇයට විමසන දේ වටහා ගැනීමට නොහැකි නිසායි.

සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු

වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ පාඩුවේ තනිව තමාගේ ලෝකයේ වෙන්වෙලා කාලය ගත කිරීමටයි. ඒ සමාජ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට ඔවුන් කැමැත්තක් නොදක්වන නිසයි. උදාහරණයක් විදියට මෙවැනි දරුවන් තමගේ සෙල්ලම් බඩුවක් ගෙන ඒ හරහා තනිව විනෝද වීමට ප්‍රියතාවයක් දක්වයි. පිරිසක් හමුවේ වුවත් මෙවැනි දරුවන් කැමැත්තක් දක්වන්නේ අන්‍යයන්ගෙන් වෙන්ව තනිව කාල ගත කිරීමටයි. මොවුන් තුළ සමාජශීලී බව අඩුයි. ඔවුන්ට යමෙක් කතා කළත් සිනාසී ප්‍රතිචාර දක්වන්න ඔවුන් තුළ රුචියක් නැහැ. එසේම මොවුන් යමක් තවත් අයෙකු සමග බෙදා හදා ගන්න, යහළු යෙහෙළියන් ඇති කරගන්න කැමැත්තක් දක්වන්නේ නැත. මේ තත්ත්වය මත පෙර පාසැලකදී එහෙමත් නැත්නම් පාසැලකදී වුණත් මෙවැනි දරුවන් කිසිවෙකු සමග සම්බන්ධ නොවනවා සේම මෙවැනි දරුවන් යහළුවන් ලෙස තෝරා ගැනීමට අනෙක් දරුවනුත් කැමැත්තක් දන්වන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දරුවන්ට යහළු යෙහෙළියන් ඇති වන්නේ නැහැ.

 හැසිරීමේ ගැටලු පෙන්නුම් කරනවා. 

මෙවැනි දරුවන් සෙල්ලම් කිරීමේදී එකම දේ එක දිගටම කිරීම ‍විශේෂයෙන් දැකිය හැකියි. උදාහරණයක් ලෙස සෙල්ලම් වාහනයක් මෙවැනි දරුවෙක් අත ඇති විට ඒ සමග එකම ආකාරයකට සෙල්ලම් කරයි. උදාහරණක් විදියට රෝද කරකැවීම වැනි දෙයක්. ඒත් සාමාන්‍ය දරුවෙක් එම භාණ්ඩයම තෝරා ගත හොත් එ නිර්මාණාත්මකව ‍‍යොදාගන්නා ආකාරය දැක ගත හැකියි. නමුත් වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක්ගේ හැකියාවන් සීමාසහිත නිසා ඔවුන් සැමවිටම එකම ක්‍රියාව දිගින් දිගටම සිදුකරනවා. 

  • හැසිරීම සහ සිතුවිලි සම්බන්ධ ගැටලු

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු නිසාත් සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු නිසාත් මේ තත්ත්වයේ සිටින දරුවෙකුගේ හැසිරීමේ මෙන්ම සිතුවිලි සම්බන්ධ වෙනස්කම් පැන නැගිය හැකියි. එසේම මෙවැනි දරුවන් පෙර සඳහන් කළ පරිදිම ආවේගශීලී හැසිරීම් රටා පෙන්නුම් කරන අවස්ථාවන් දැකගත හැකියි. උදාහරණයක් ලෙස කුඩා ශබ්දයකට විශාල ලෙස ප්‍රතිචාර දැක්වීම එනම් එවැනි අවස්ථාවකදී කලහාකාරී හැසිරීම් රටා පෙන්වීම දැකිය හැකියි. ඒ වගේම මෙවැනි ඇතැම් දරුවන් මුදු පිරිමැදීම් රුචි කරන අතරම ඇතැම් දරුවන් දැඩි පිරිමැදීම් ප්‍රියකරනවා. ඇතැම් දරුවන් සුවඳ සම්බන්ධවත් වෙනස් ගති පැවතුම් පෙන්නුම් කරන අවස්ථා දැක ගත හැකියි. එය සරලවම පැවසුවහොත් මොවුන් දෙයකට ඇලුම් කරන්නේ ප්‍රියකරන්නේ එක් අන්තයක සිට පමණක් බවයි.  මේ මගින් ද හැසිරීමේ ගැටලු ඇති වේ. 

ඔබේ දරුවාත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ කළ යුත්තේ බියට පත්වීම හෝ ‍කණගාටුවට පත්වීම නොවන බව තර‍යේ සිතට ගන්න. පළමුවෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී දරුවාගේ තත්ත්වය පවසා ඔහු/ඇය පත්ව සිටින තත්ත්වය පිළිබදව සැක හැර දැනගන්න. ඉන්පස්ව ඔබ කළ යුතු දේ පිළිබඳව නිසා මාර්ගෝපදේශනය ලැබෙන නිසා එතැන් සිට ඒ අනුව ක්‍රියාත්මක වන්න. දරුවා පත්ව සිටින තත්ත්වයට අනුව කතාව හා සම්බන්ධ ගැටලුවක් නම් කතන හා භාෂා ව්‍යාධිවේදීවරයෙක් වෙත ද සංවේදී බව ආශ්‍රිත ගැටලුවක් නම් වෘත්තීය චිකිත්සකවරයෙකු වෙතද හැසිරීමේ ගැටලු නම් චර්යා චිකිත්සකවරයෙකු වෙතටද වශයෙන් නියමිත අංශ වෙත ඔබට ‍යොමු කෙරෙනු ඇත. එහිදී ලබා දෙන උපදෙස් අනුව යමින් කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.

මෙවැනි තත්ත්වයකදී ‍වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ 

  • ඔබේ දරුවා තිරය ඉදිරියෙන් ඉවත් කරන්න
  • හැකි උපරිම වේලාවක් දරුවා සමග කාලය ගත කිරීමට වෙන්කරගන්න
  • දරුවා සමග සෙල්ලම් කරන්න (බිල්ඩින් බ්ලොක්ස්වලින් දරුවාගේ මට්ටමට යමින් එක්ව සෙල්ලම් කරන්න)
  • ගීත ගායනය, කතාන්දර කීම, පින්තූර පොත් හරහා වචන හඳුන්වා දීම

අද වන විට අපි කවුරුත් ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක් නිසා බාහිරින් අප වෙත උදව් උපකාර ලබාගැනීමේ හැකියාව අවමයි. ඒ කෙසේ වුවත් ඔබේ දරුවාගේ යහපත වෙනුවෙන් තාක්ෂණික මෙවලම් ඔවුන්ගෙන් ඈත් කළ යුතුම දෙයක් බවත් එය දෙමාපියන් වන ඔබට පැවරෙන විශාල වගකීමක් බවත් සිත්හි තබාගන්න. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී පෙන්නුම් කරන ලක්‍ෂණ ගැන ඔබ දැනුවත්ද?

පෙර ලිපි තුළින් ගර්භාෂයෙන් පිටත සිඳුවන පිළිසිඳ ගැනීම් එසේත් නැතිනම්  Ectopic pregnancy තත්ත්ව‍ය පිළිබඳව ඔබ මනාව දැනුවත් බවක් ලබන්නට ඇති බව අපගේ විශ්වාසයයි. Ectopic pregnancy තත්ත්ව‍යේදී පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව මේ ලිපිය තුළින් දැනුවත් වෙමු. Ectopic pregnancy තත්ත්ව‍යේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය වන්නේ කලල වර්ධන වීමත් සමගම ඇති වන ඉඩ කඩ අවම වීමෙන් අදාල ස්ථානය පුපුරා යාමයි. Ectopic pregnancy තත්ත්ව‍යට මුහුණ දුන් කාන්තාවක් එම පිපිරීමට පෙර සහ පසු පෙන්නුම් කළ හැකි ලක්ෂණ වෙන්වෙන්ව හඳුනා ගනිමු.

Ectopic pregnancy තත්ත්ව‍යේදී (පිපිරීමකට පෙර) පෙන්නුම් කරන ලක්ෂණ

  • ගැබ් ගත් බව හඟවන ලක්ෂණ

මෙහිදී බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණවලට උදාහරණ ලෙස ඔපස් වීම නතර වීම, ඔක්කාරය, වමනය මෙන්ම නිතර නිතර මුත්‍රා පහවීම දැක්විය හැකි අතරම ඊට අමතරව යෝනි මාර්ගය හා අවට ප්‍රදේශය නිල් පැහැවීම, ගර්භාෂය මඳ වශයෙන් විශාල වීම, ගැබ්ගෙල මෘදු වීම වැනි ලක්ෂණත් ඇති වේ.

  • යෝනි මාර්ගයෙන් මඳ වශයෙන් රුධිරය වහනය
  • යටි බඩ පෙදෙසේ වේදනාව/බඩ කොරවීම

Ectopic pregnancy තත්ත්ව‍යේදී පිපිරීමක් සිදු වූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • හදිසියේ ඇති වන උදර හෝ යටි බඩ ප්‍රදේශයේ වේදනාව/කොරවීම දිගින් දිගටම ඇති වේ 
  • ශරීරය දුර්වල වීම හා සිහිසුන් වීම/ක්ලාන්තව ඇද වැටීම.
  • නාඩි දුර්වල වීම හා වේගවත් වීම (විනාඩියට වාර 100 වැඩි)
  • රුධිර පීඩනය අඩුවීම
  • සිරුරේ රුධිර ප්‍රමාණය අඩුවීම
  • සුදුමැලි වීම
  • උදරය ඉදිමීම
  • උදරය පරීක්ෂාවේදී තද වේදනාවක් ඇති වීම
  • උරහිවල වේදනාව
  • යෝනි මාර්ග පරීක්ෂාවේදී ගැබ් ගෙල ප්‍රදේශයෙන් තද වේදනාවක් ඇති වීම

ගබ්සා වීම, ගර්භාෂයේ හා ඒ ආශ්‍රිතව ඇති වන විවිධ ආසාධන තත්ත්ව, ඩිම්බ කෝෂ තුළ ඇති ගෙඩියක් පුපුරා යාම හෝ ඩිම්බ කෝෂ ඇඹරීම (Ovarian torsion) මෙන්ම උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (Appendicitis) වැනි තත්ත්වවලදීත් ඉහත ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.

Ectopic pregnancy තත්ත්ව‍ය හඳුනා ගැනීම

  • රුධිරයේ B-HCG මට්ටම පරීක්ෂාව

පළමු පරීක්ෂණයෙන් පැය 48ක් ඇතුළත නැවත පරීක්ෂා කිරීමේදී මුල් අගයට වඩා අඩු නම් හෝ දෙගුණ නොවේ නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් බවට සැක කළ හැක

  • Ultra Sound Scanning

වඩා සාර්ථක වන්නේ උදරය මඟින් සිදු කරන ස්කෑනින් පරීක්ෂණය නොව යෝනි මාර්ගය හරහා සිදු කරන ස්කෑනින් පරීක්ෂණයයි. එහිදී ගර්භාෂය තුළ ගර්භයක් ඇතිද යන්න හඳුනාගත හැක.

Ectopic pregnancy තත්ත්ව‍යේදී සිදුකරන ප්‍රතිකාර 

  • ඖෂධ ප්‍රතිකාර
  • ශල්‍යමය ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර

පැලෝපීය නාලය පුපුරා නොමැති නම් ගර්භණීභාවය සඳහා කාලයක් ගත නොවී ඇත්නම් (ගර්භණීභාවයට සති ගණන අඩු නම්) Methotrexate ඖෂධ මාත්‍රාවක් ලබාදී එමඟින් සෛල වර්ධනය නවත්වයි. පසුව එම කොටස් ශරීරය තුළටම අවශෝෂණය වේ

ශල්‍ය ප්‍රතිකාර

මෙහිදී ලැපරොස්කොපි මෙන්ම ලැපරටොමි (උදර විච්ඡේදනය) න ක්‍රම දෙකම ‍යොදා ගන්නා අවස්ථාවන් තිබේ. 

උදරයේ ඉතා කුඩා කැපුම් කිහිපයක් සිදු කර එය තුළින් සිහින් නැවෙන සුලු laparoscope නම් උපකරණය ඇතුළු කර එමගින් ගර්භය ඉවත් කිරීම සිදු කරයි. මෙසේ කළ හැක්කේ රුධිර වහනය අඩුවෙන් ඇති විට පමණි. 

නාලය පිපිරී යාම නිසා අධික රුධිර වහනයක් සිදු වී ඇත්නම් උදර කැපුමක් මගින් නාලය හා කලල කොටස් ඉවත් කරයි. ඇතැම් විට මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය අනුව අවශ්‍ය නම් රුධිරය පාරවිලයනය කිරීමට වුවද සිදු විය හැකිය. පැලෝපීය නාලයට හානි සිදුවී නැතිනම් කලල කොටස පමණක් ඉවත් කර නාලය අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇත. මෙසේ අලුත්වැඩියා කිරීමෙන් පැලෝපීය නාලයේ කැලලක් ඇති වේ. නැවත වරක් ගැබ් ගැනීමේදී කලලය ගර්භාෂයෙන් පිටත පැලෝපීය නාලයේ කැලල පිහිටි ප්‍රදේශයේ තැන්පත් වීමට ඇති අවදානම වැඩිය. නිසා පැලෝපීය නාලය සම්පූර්ණයෙන් ඉවත් කර දැමීම ආරක්ෂාකාරී වේ. එහෙත් එක් පැලෝපීය නාලයක් අහිමි වූ විට නැවත දරුවෙකු ලැබීමේ හැකියාව තරමක් දුරට අඩු වේ

ලැපරස්කොපි මෙන්ම ලැපරටොමි යන ක්‍රම දෙකේදීම සිදු කළ හැකි නමුත් ඉතාම කලාතුරකින් සිදුවන තවත් ප්‍රතිකාරයක් වන්නේ අදාල සෛලය මිරිකමින් පිටතට රැගෙන ඒමයි. 

රෝහලෙන් පිටව යාමට පෙර කාන්තාවට තිබූ රෝග තත්ත්වය, සැත්කමේ ස්වභාවය, පසු කලෙක ඉන් ඇති විය හැකි අතුරුඵල පිළිබඳව පැහැදිලි කරදීම කළ යුතුය. නැවත මෙවැනි ගර්භනීභාවයක් ඇති වීමේ හැකියාව හා සරුභාවයේ අඩුවීම පිළිබඳව දැනුවත් කිරීමද අවශ්‍ය වේ. කාන්තාව හොදින් සුව වන තෙක් සුදුසු උපත් පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නම් මාස 6 ක් යනතුරු යකඩ පෙති භාවිතයට උපදෙස් දිය යුතුය

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල