නව යොවුන් දරුවන්ගේ හැසිරීම සමග දෙමව්පිය කාර්යභාරය

නව යොවුන් දරුවන්ගේ හැසිරීම සමග දෙමව්පිය කාර්යභාරය

ගැහැණු දරුවෙක් වගේම පිරිමි දරුවෙක් නව යොවුන් වයසට පත් වෙන විට ඇති වෙන ශාරිරික ලක්ෂණ ගැන අපේ දෙමව්පියන් ඉතාම හොඳාකාරව දන්නවා. ඒ නිසාම තමන්ගේ දියනිය මල්වර වෙන්නේ කවදාදැයි විමසිල්ලෙන් අම්මාවරු පසු වෙනවා. පිරිමි දරුවන්ගේත් ඇති වෙන ශාරිරික ලක්ෂණ අනුව ”අපේ පුතා දැන් ඉලන්දාරියෙක්..” කියන සතුටක් දෙමව්පියන්ගේ හිතේ ඇති වෙනවා. ඉතින් ශාරිරික ලක්ෂණ අනුව දෙමව්පියන් තෘප්තියට පත් වෙන අතර නව යොවුන් දරුවන්ගේ මානසික හැසිරීම ගැනත් අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

ඉස්සර වගේ දැන් කෝටුවෙන්..වචනයෙන් මට්ටු කරන්න බැහැ

ඇත්ත…පුංචි කාලයේ ඔබේ වචනයට එහෙම නැත්නම් වේවැලට බයෙන් සිටිය දරුවා නව යොවුන් වයසට පත් වුනාම ඒ විදිහට මට්ටු කරන්න අපහසුයි.ඔවුන් දැන් තර්කානුකූලව හිතනවා.

  • මේ…යාලුවොත් එක්ක රවුම් ගහන්න යන්න අවසර ගන්න එන්න එපා..මගෙන් ඕවාට ඉඩ නැහැ..නව යොවුන් දරුවාට ඔබ එහෙම කිව්වාම
  • ඇයි එපා කියන්නේ..මට යන්න ඕන..ඔහු ඒ විදිහට ප්‍රකාශ කිරීමෙන් ඇති වෙන ගැටුම දුරදිග යනවා.මේ වගේ ගැටුම් ඇති වීමට ඉඩ නොදී කටයුතු කිරීම ඉතා වැදගත්.

දරුවා දැන් තර්කානුකූලව හිතනවා..

නව යොවුන් වියට පත් ඔබේ දරුවා දැන් තර්කානුකූලව සිතන්න පටන් ගන්නවා. ඒ නිසා හැම දෙයක් ගැනම විමසිලිමත්  නිසා ඉස්සර වගේ නිහඩව සිටින්නේ නැහැ. ඒ නිසා ඔබ දරුවාට යම් දෙයක් එපා කියනවාට වඩා ඒ දෙය එපා කියන්නේ ඇයි යන තැනට හේතු කියා දෙන්න.

  • ඔයාගේ යාලුවා ඉන්නේ කොහෙද කියලවත් අපි දන්නේ නැහැ. එයා කොයි වගේද දන්නෙත් නැහැ. ඒ හින්දා මුලින්ම ඔයාගේ යාළුවා ගැන අපි දැන හදුනාගන්න ඕන..ඒ හින්දා මගෙ පුතා පස්සේ දවසක යන්න.  මේ දවස්වල එහෙ මෙහෙ ඇවිදන එකත් එච්චර හොද නැහැ..යනුවෙන් ඔබ එපා කියන දෙය සාධාරණ කරන කරුණු ගැනත් කියා දෙන්න.

විද්‍යාත්මකව සිතනවා..

නව යොවුන් දරුවන් පහසුවෙන් මුලා කිරීමත් අපහසුයි. අතීතයේදි ඔබ විවිධ මිථ්‍යාවන්ගෙන් දරුවා මුලා කළත් දැන් ඔවුන් විද්‍යාත්මකව සිතන්න පටන ගන්නවා. ඒ නිසා ඔබේ මිථ්‍යාවන් දැන් ඔවුන්ට ගැලපෙන්නේ නැහැ. අම්මා කියන්නේ බොරු ..ඒක කොහෙමද එහෙම වෙන්නේ කිව්වාම ….

  • මේ දෙමව්පියන් කියන දේ අහගෙන ඉන්නවා..ළමයි වුනාම ඒ විදිහටයි හැදෙන්නේ..කට ගහගෙන එනවා මෙතැන..යනුවෙන් චෝදනා කරන්න එපා. ඔබ අතීතයේ සිතුවාට වඩා ඔවුන් දැන් විදයාත්මකව සිතන යුගයක් ඇස් ඉදිරියේ තිබෙන නිසා දරුවන්ගේ විදයාත්මක චින්තනය ඔබේ ආධිපත්‍යයෙන් අහුරන්න එපා.

නිර්මානශීලියි..

දරුවා දැන් අලුත් ලෝකයකට විවෘතයි.ඔවුන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක ආරම්භ සමග නිර්මානශීලිත්වයත් නොදැනීම අවදි වෙනවා.ගැහැණු දරුවන් මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් වැනි කටයුතු වෙත යොමු වෙන අතරවාරයේදී පිරිමි දරුවන් විවිධ උපාංඟ නිපදවීම, විද්‍යුත් මෙවලම් වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන යුගයක්. ඒ නිසා ඔවුන්ගේ නිර්මානශීලිත්වය අවදි කිරීමට ඉඩ දෙන්න. ඒ නිසාම ඔවුන් අලුත් දේවල් අත්හදා බැලීමට වැඩි උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා.

නව යොවුන් වියේදී ඇති වෙන සාමාජයීය වෙනස්කම්..

නව යොවුන් වියේදී දරුවන් විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරට වැඩි කැමැත්තක් දක්වනවා. ඉස්සර අම්මා ,තාත්තා පමණක් ජීවත්වුන ඔවුන්ගේ ලෝකයේ දැන් ප්‍රේමය, ආදරය වැනි හැඟීම් අවදි වීමට පටන් ගන්නවා. මේ අවදියේදී දරුවා යම් ආදර ගැටුමකින් පරාජය වුනොත් එය දැඩි මානසික පීඩාවක් බවට පත් වීමේ ඉඩ කඩ ගැනත් ඇති අවදානම දෙමව්පියන්ගේ අවධානයට ලක් විය යුතු කරුණක්.

සමවයස් කණ්ඩායම් සමග ඇසුර..

දැන් දරුවා වඩාත් කැමැත්තක් දක්වන්නේ සමවයස් කණ්ඩායම් සමග ඇසුරු කිරීමටයි. නමුත් මේ අවස්ථාවන් සමග දරුවා නොමගට යෑමට ඇති ඉඩ කඩ වැඩියි. මේ සමවයස් කණ්ඩායම් අතරත් විවිධ සමාජවිරෝධී කටයුතුවල නිතර දරුවන් සිටින්නට ඉඩ තිබෙනවා.ඒ නිසා දරුවා ඇසුරු කරන සම යස් කණ්ඩායම ගැනත් දෙමව්පියන්ගේ දැඩි අවධානය ඉතා වැදගත්.

අසාධාරණයට එරෙහි වීම

නව යොවුන් වියේදී දරුවා තමා දැන් ස්වාධීන චරිතයක් ලෙසින් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා තර්කානුකූලව සිතන ඔවුන් අසාධාරණය, අයුක්තිය වැනි සංකල්ප ඉදිරියේ නැගී සිටින්න පටන් ගන්නවා. ඒ නිසා පවුල තුළ වුනත් යම් යම් අසාධාරණකම් ගැන දරුවා කතා කිරීම ඔවුන්ගේ යොවුන්වියේ ජවය සමග ඇති වෙන ලක්ෂණයක්.

නායකත්වය..

මේ අවධිය වෙත්ම දරුවා නායකත්වයෙන් කටයුතු කිරීමට සූදානම්. ඒ නිසා පවුල තුළ දරුවාට යම් නායකත්වයක් ලබා දෙන්න. නිවසේ තීන්දු තීරණ ගැනිමේදී ඔවුන්ගේ අදහස් විමසන්න. 

  • ඔයාට ඒවා තේරෙන්නේ නැහැ..ඔයා හම්බ කරන කාලෙක ඒ විදිහට කරන්න..දැන් මේ ගෙදර වැඩ වෙන්නේ අපට ඕන විදිහට..යනුවෙන් දරුවන්ගේ අදහස් ඉවත දමන්න එපා. ඒ අදහස් වෙතින් ගත යුතු යමක් වේ නම් එය බාර ගන්න. නොගත යුතු දේ නොගැනීමට හේතු පහදා දෙන්න.

පොදු කටයුතු වෙනුවෙන් කැමැත්ත..

නව යොවුන් වියේදී දරුවන් පොදු කටයුතු වෙනුවෙන් කැමැත්තක් දක්වන අවදියක්. පාසලේ සමිති සමාගම්වල පටන් ගමේ පොදු වැඩ කටයුතු දක්වා මේ කැමැත්ත විහිදී යනවා.එවැනි කටයුතු වෙත දරුවන්ගේ මැදිහත් වීම ඔවුන්ගේ අනාගත පෞරෂ තත්වයේ සංවර්ධනයට ඉතාම හිතකර තත්වයක්.ඒ නිසා දරුවෙක් පොදු කටයුත්තක් වෙනුවෙන් සහය දැක්වීමේ යෝජනාවක් පළ කළොත්.

  • ඇයි…? කාලා බීලා ගෙදර ඉන්න බැරිද..?. යන්නේ එහෙම  යන්නේ නෑ..මේ අවුරුද්දේ විභාගේ…ලෙසින් දරුවා පොදු කටයුත්තක් වෙනුවෙන් දක්වන කැමැත්ත ලත් තැනම ලොප් කරන්න එපා. එයට ඉඩක් දෙන්න.එවැනි කටයුතුවලින් දරුවා ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය බොහෝ දේ ඉගෙන ගන්නා බව අමතක කරන්න එපා.

එහෙමනම්…ගැහැනු දරුවෙක් වැඩිවිය පත් වූ තැනදී සතුටට පත් වෙන…පිරිමි දරුවාගේ ගැටවර විය ගැන ආඩම්බර වෙන දෙමව්පියන් ඔවුන්ගේ නව යොවුන් ජීවිතයේ මානසික සහ සමාජයීය වෙනස්කම්ද තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.

 

 

දරුවන් සමග චිත්තවේග සමබරව පවත්වාගෙන පවුලක් තුළ කටයුතු කරන්නේ කෙසේද..?

චිත්තවේගයක් යනුවෙන් අප හදුන්වන්නේ බාහිර හෝ අපේ හිතේ සැනින් ඇති වෙන මානසික ක්‍රියාවලියක්. ඒත් හැම දෙනාටම පොදු මේ මානසික තත්වයේදී විශේෂයෙන් මව්පියන් විදිහට ඔබ කටයුතු කරන්නේ කොහොමද…? 

ඔබ දරුවන් සමග මේ චිත්තවේග සමබරව පවත්වාගෙන පවුලක් තුළ කටයුතු කරන්නේ කෙසේද..? 

අනේ මට නම් තරහ යන්නේ නැහැ..කවුරුන් හෝ එසේ කියනවා නම් ඒ තරම් සාධාරණ නැහැ. අපි හැම දෙනාටම තරහ, සහ ආවේග ඇති වෙනවා. නමුත් එක් එක් අයගේ මෙම ආවේග පාලනය කිරීමේ හැකියාව වෙනස්. දෙමව්පියන් විදිහට ඔබ පවුල තුළ විශේෂයෙන් දරුවන් සමග කටයුතු කරද්දී ඔබේ චිත්තවේග පාලනය කර ගන්නේ කොහොමද…?

චිත්තවේග සමබරතාවයෙන් කටයුතු කරන්න පුලුවනිද…?

චිත්තවේග සමබරතාවය අපි මේ විදිහට හදුන්වමු. චිත්තවේගයක් ඇති වූ විට ඒ ගැන බුද්ධිමත්ව සලකා බලා යහපත්ව ප්‍රතිචාර දක්වමින් ඔබේ හැසිරීම හොදින් පවත්වා ගැනීමට ඔබට පුලුවනිද…? සමහර විට මේ ගැන ඔබත් නොදන්නවා ඇති.අපි මෙහෙම කිව්වොත්

හිතට ආවේගයක් ඇති වුනාම ඔබ කටයුතු කරන්නේ කොහොමද…?

  • කෑ ගහන්න පුලුවනි.
  • හඩන්න
  • පහරදීම
  • බඩු මුට්ටු පොළවේ ගහන්න

එහෙමනම් ඉහතින් ඇති කුමක් හෝ අවස්ථාවක් ඔබේ ජීවිතයේදී සිදු වී නැත්ද..? ඒ ගැන ඔබ දන්නවා ඇති.

දරුවෙක් වැරදි වැඩක් කරද්දී ඔබ මහත් සේ ගෝරනාඩු දෙමින් කෑ ගසන්න පුලුවනි. එය සමහර විට බැනීමක්..දොස් නැගීමක් වෙන්න පුලුවනි. මේ වේලාවේදී ඔබ පාවිච්චි කරන වචන ගැනත් හිතුවොත් ඒවා ඉතා දරුනු වෙන්නත් පුලුවනි.

දරුවන්ට ආමන්ත්‍රනය කරන වචන

ඔබට චිත්තවේගයක් ඇති වුනාම දරුවන්ට ඉතා දරුණු විදිහට වචනයෙන් පහර දෙන දෙමව්පියන් නැත්තේම නැහැ. නමුත් ඔවුන් දරුවන්ට ආදරේ නැතුවා නොවෙයි.එකම හේතුව හිතේ ඇති වුන චිත්තවේග පාලනය කර ගැනීමට දෙමව්පියන්ටත් හැකියාවක් නැහැ. ඒ නිසා දරුවාගේ ආත්මයටම පහර වැදෙන විදිහට කාලකණ්නියා..හිතුවක්කාරයා..මෝඩයා…වැනි විශේෂණයන්ගෙන් ඔබටත් නොදැනීම දරුවා ආමන්ත්‍රණය වෙන්න පුලුවනි. 

දරුවන්ට ආමන්ත්‍රණය කරන ආකාරය

ඔබේ චිත්තවේග දරුවන් මතින් පිටකිරීම ඉතාම පහසුයිනේ..ඒ නිසා දරුවෙකුගේ වරදට ඔබ ඉතාම තර්ජනාත්මකව ආමන්ත්‍රණය කරන්න පුලුවනි.ඒ වගේම අතීතය..වර්තමානය පාදක කර ගෙන දරුවන්ගේ අනාගතය ගැනත් සමහර විට ඔබ අනාවැකි කියන්න ඉඩ තියෙනවා.

මං දන්නවා කවදාවත් ඔයාට නම් ජීවිතයක් නැහැ. පාරේ හිඟා කන්න තමයි වෙන්නේ..කොච්චර වියදම් කළත් ගඟට ඉනි කපනවා වගේ..මෙතැනින් ප්‍රදර්ශනය වෙන්නේ දෙමව්පියන්ගේ චිත්තවේග වුනත් එයින් මානසිකට පීඩාවට පත් වෙන්නේ ඔබේම දරුවා බැව් නොදන්නවා වෙන්නත් පුලුවනි.

තවත් අයට සංසන්දනය කිරීම

අද සමාජයේ තියෙන්නේ පුදුමාකාර තරගයක්.මේ තරගයේදී දරුවන්ද කොටස්කාරයන් බවට නොදැනීම පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් තමන්ගේ සමාජ තරාතිරමට දරුවන්ගෙන් ආලෝකය ලබා ගැනීමට සූදානම්. ඒ නිසා නිතරම දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් දෙමව්පියන්ගේ මහත් වූ වෙහෙසක් දරනවා. ඒ නිසාම දරුවන්ගේ යම් යම් අසාර්ථකවීම් පරාජයන් ඉදිරියේදී මුලින්ම චිත්තපිඩාවට පත් වෙන්නේ දෙමව්පියන්. ඒ නිසාම දෙමව්පියන්ට තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට  හැකියාවක් නැහැ.

ඔවුන්ටත් නොදැනීම දරුවන්ට දොස් නගන්න පටන් ගන්නවා. මේ දොස් නැගීමේදී තවත් දරුවන් සමග සිදු කරන සංසන්දනය ඉතාම බරපතල විදිහට ඔබේ දරුවාට බලපානවා.

බලන්න අල්ලපු ගෙදර ගිම්හානි.. ගෙදර වැඩත් කර ගෙන, නංගිලා මල්ලිලාත් බලාගෙන ඒ සේරමත් එක්ක විභාගෙත් හොදටම පාස්..ඔයාලාට මොනවද පුලුවනි. ඒ වගේ දරුවෙක් අපට හිටියා නම් කොච්චර වාසනාවක්ද..හැම ළමයෙකුටම මොකක් හරි හැකියාවක් තිබෙනවා. ඔයාට මොනවද හරියට කරන්න පුලුවන්..? මේ අන්දමින් දොස් නැගීම සිදු වෙන්නේ ඔබටත් නොදැනීම ඔබේ චිත්තවේග මුදා හැරීමක්.

හැඬීම

අපි හිතන්නේ හඩන්නේ දරුවන් විතරයි කියලද..? නැහැ. දෙමව්පියන්ද හඬා වැටෙනවා. ඇතැමුන් හදවතින් හඬා වැටෙද්දී තවත් අය කඳුළු පිටකරමින් හඬා වැටෙනවා. ඔබේ හිතේ තිබෙන චිත්තවේග පාලනයට ඇති අපහසුතාවය නිසා මේ අන්දමින් හඬා වැටීම් සිදු වෙනවා. සැබැවින්ම කදුළු පිට කරමින් චිත්තවේග මුදා හැරීම චිත්තවේග හිතේ දරාගෙන දුක් විදිනවාට වඩා යහපත්. මේ නිදසා දරුවන්ගේ, සැමියාගේ කරදර ඉදිරියේ ඔබ හඬනවා කියන්නේ ඔබේ චිත්තවේග පිටකරන තවත් එක් ආකරයක්..

පහරදීම..

ඔබ දරුවන්ට පහර දෙන සෑම අවස්තාවක්ම ඔවුන්ගේ වරද නිවරැදි කිරීමට වඩා ඔබේ චිත්තවේග මුදා හැරීමට අවස්ථාවක් කර ගෙන ඇති. විටෙක දරුවාට දඬුවම් නොකළ යුතු දෙයට පවා ඔබ පහර දෙන්න ඇති. 

නිවසේ බඩු මුට්ටු පොළවේ ගැසීම

සිතට ඇති වෙන ආවේග ඉදිරියේ ඔබ නිවසේ බඩු මුට්ටු පොළවේ ගසන්න ඇති. දරුවාගේ පොත් පත්, සෙල්ලම් බඩු විසි කරන්න හෝ ඉරා දමන්න ඇති. චිත්තවේග ඉදිරියේ මේ අන්දමින් සිදු වුනත් ටික මොහොතකින් සිදු වී තිබෙන විනාශය ගැන ඔබ පසුතැවිලි වේවි.

එක් මවක් තම දියණිය සමග ඇති වුන කේන්තියට නිවසේ පිගන් කෝප්ප පොළවේ ගැසුවා. දියනිය කිසිවකුත් කතා නොකර සිට මෙහෙම කිව්වා..දැන් ඉතින් ඔය බිඳපු පිඟන් කෝප්ප වලට ඔයාම අලුත් ඒවා ගේන්න වෙයි..සැබැවින්ම එයිනුත් අලාබය සිදු වුනේ තමන්ටම බව අම්මාට ඒත්තු ගියේ එවිටයි.

ආවේග ඇති වුනොත් කාටවත් හානියක් නොවන විදිහට පාලනය කර ගන්නේ කොහොමද..?

ආවේග ඇති වුනාම ඒවා පිට කිරීමටයයි කියා අනවශ්‍ය ගැටළු ඇති කර ගැනීමට වඩා සාර්ථක වූත්, කිසිවෙකුටත් හානිකර නොවූත් පියවර කීපයක් තිබෙනවා..

  • අවස්ථාව මග හරින්න. යම් ගැටුමක් සිදු වෙන විට එතැනම රැදී තව තවත් බහින් බස් වෙනවාට වඩා එතැනින් වෙනස් වී වෙනත් කටයුත්තකට යොමු වෙන්න.
  • කඩදාසියක් අරගෙන එය කැබැලි කරන්න
  • 1 සිට 10 ට ගනින්න.
  • වතුර වීදුරුවක් ගෙන එය සෙමින් පානය කරන්න
  • ගීතයක් අසන්න
  • ජංගම දුරකථනයෙන් ක්‍රිඩාවක් හෝ නිතර වෙන්න.

චිත්තවේග පාලනය අපට අපහසු බව ඇත්ත. නමුත් ස්ථාවරයේ රැඳී ප්‍රශ්නය තව තවත් දිගු ගැස්සීම වෙනුවට කෙසේ හෝ ඔබේ ආවේග පාලනය කර ගැනීමට උත්සාහ කරන්න

 

බෝවන රෝගවලින් දරුවන් රැකගන්න ඔබේ වගකීම හඳුනාගන්න

අන් කවරදාටත් වඩා සෞඛ්‍ය වෙත විශේෂ අවධානයක් යොමුවීම පසුගිය වසර පුරාවට ලෝකය පුරාම දක්නට ලැබුණා. විශේෂයෙන්ම අපේ පුංචි දරුවන් රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නොයෙක් ආකාරයේ උපක්‍රම මව්පියන් සොයන්නට වෙහෙස වුණා. ඒ හෙට ලොව බාරගන්නට සිටින අපේ පුංචි පැටවුන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටි අපේ මූලිකම අරමුණ නිසයි 

දරුවන් යනු ඔබ අප සැමගේ වගකීමක් වන නිසාම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර සැලකිලිමත් වීම වැඩිහිටි සැමගේම වගකීමක්. වර්තමානයේ උද්ගත වී ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ දරුවන්ගේ සනීපාරක්ෂාව සහිත සුරක්ෂිත ඉගැනුම් පරිසරයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා ඉස්මතුවී ඇත.  විශේෂයෙන්ම පාසල් නැවතත් විවෘත වී ඇති පසුබිමක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ දෙමව්පියන්ගේ අවධානය වෙනදාටත් වඩා යොමුව ඇති බව පැවසිය යුතුමය. දරුවන් නිවසේ වෙසෙන කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව දෙමාපියන් අවධානයෙන් සිටියත් පාසැල තුළ, පෙර පාසැල තුළ ගත කරන කාලය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද තරමක අභියෝගාත්මක එකකි. එනිසාම දරුවන් පාසැල වෙත යැවීමට තවමත් දෙමව්පියන් තරමක මැලිකමක් දක්වන බව නොරහසකි. නමුත් දරුවන්ගේ අධ්‍යාපනය එලෙස මගහැරෙන්නට ඉඩදීමද නුදුරු දිනකදීම ඔබ සිතනවාටත් වඩා විශාල අවධානමකට දරුවා ඇද දමනවා විය හැකිය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන දැඩි අවධානයක් දෙන අතරතුරදීම අධ්‍යාපන කටයුතු අතපසු නොවන්නට ඔවුන් පෙළඹවීම දෙමව්පිය ඔබගේ වගකීමකි. 

බැක්ටීරියා ආසාදන යනු පාසල් යන වයසේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට දැඩි ලෙස තර්ජන එල්ල කරන රෝගවාහක තත්ත්වයකි. දුවන පනින වයසේ දරුවන් බොහෝවිට විෂබීජවලට නිරාවරණය වීම ඉහළ මට්ටමක පවතින නිසාම ඉක්මනින්ම බැක්ටීරියා අසාදනවලට ලක්වීමේ අවධානමක් ද පවතී. එලෙසම පාසල් කාලය තුළ දෙමව්පියන් ලෙස ඔබේ අවධානය දරුවා වෙනුවෙන් ලබා දීමේ හැකියාවක් නොමැති නිසාම ඔවුන් වෙත ළඟාවන අසාදන තත්ත්වයන් පිළිබඳව ඔබට අවබෝධයක් නොමැති වීම සාමාන්‍ය කරුණකි. එනිසාම පෙර සූදානම සෑම විටම ඔබේ දරුවා රෝග තත්ත්වයන්ගෙන් අරක්ෂා කරගනිමින් අවධානම අඩු කරවයි.

විශේෂයෙන්ම බෝවන රෝග බහුල මෙවැනි සමයක නිරන්තරයෙන්ම දරුවා ගැන අවධානයෙන් සිටීම වැදගත් වන අතර පාසලේ සිට නිවසට ආ මොහොතේම ඔවුන් පිරිසිඳු කිරීමට වගබලාගත යුතුය. එලෙසම ඔවුන්ගේ චර්යාවේ කිසියම් අසනීප සහගත බවක් දැනුනු වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම වැදගත් වන අතර දරුවා සමග එදිනෙදා පාසලේ තොරතුරු විමසමින් පිළිසඳරක යෙදීමටද අමතක නොකරන්න. යම් හෙයකින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිවක් වුවහොත් එය මුලදීම හඳුනා ගැනීමේ අවස්ථාව එවිට ඔබට හිමිවේ. එලෙසම ප්‍රතිශක්තිය වඩවන ආහර වෙත දරුවා යොමු කරවීමද වැදගත්ය.

පිරිසිඳුකමේ අගය ගැන සෑමවිටම දරුවා දැනුවත් කරන්න. පවතින තත්ත්වය හමුවේ සියලු පාසල් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම ඔබට තරමක් පහසුවක් වුවත් එහි ඇති වටිනාකම ගැන නිරන්තරයෙන් දරුවන් දැනුවත් කරන්න. පාසලට ඇතුළු වීම පෙර පාසලෙන් සපයා ඇති පහසුකම් යටතේ දෑත් පිරිසිඳු කරගැනීමට උපදෙස් දෙන්න. කෑමට පෙර, කෑමට පසු නිවැරදිව දෑත් සේදීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. විවේක කාලය තුළ සෙල්ලම් කිරීමෙන් අනතුරුව නැවතත් පන්තියට පැමිණීමට පෙර දෑත් හොඳින් පිරිසිඳු කරගන්න ලෙස කියාදෙන්න. සෑමවිටම තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීමේ වටිනාකම ඔවුන්ට පහදා දෙන්න. වෙනදාට වඩා අවට වටපිටාව රෝගකාරක විෂබීජවලින් පිරී ඇති බව කියාදෙන්න. 

දරුවන්ගේ අධ්‍යාපනය, අනාගතය හමුවේ මෙවැනි අභියෝගයකට මුහුණ දීමේ අවශ්‍යතාවය විනා ඊට බියව නිවසටම වී සිටීම ප්‍රයෝගික නොවන බව තේරුම්ගත් ඇට්ලස් ආයතනය දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සලකමින් දෙමුපියන්ගේ සිත් තුළ ඇතිවන්නා වූ බිය නැතිකර දමමින් කාලයට ගැළපෙන අගනා විසඳුමක් සොයාගෙන ඇති බව අපි සතුටින් මතක්කර සිටින්නෙමු. ඒ අනුව ඇට්ලස් සමගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැක්ටීරියා නාශක ලිපිද්‍රව්‍ය පෙළක් හඳුන්වාදී ඇත. ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය සන්නාමය ලෙස ඇට්ලස්  ආයතනය දරුවන්ට සුරක්ෂිත ඉගැනුම් පරිසරයක් නිර්මාණය කළ හැකි පාසල් උපකරණ රැසක් මෙලෙස හඳුන්වාදීමෙන් දරුවන් වෙනුවෙන් තවදුරටත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC) සමග අත්වැල් බැඳගනිමින් ඇට්ලස්  ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම පොත් සහ පෑන් පෙළ බැක්ටීරියා නාශක නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇත. ඇට්ලස් අභ්‍යාස පොත්වල පිට කවරයේ වානිෂ් ස්ථරයේ සහ ඇතුළත පිටුවල අඩංගු සුවිශේෂී බැක්ටීරියා නාශක සංයෝගය එම පෘෂ්ඨයන් මත ගැටෙන බැක්ටීරියාවන් පැය 24ක් ඇතුළත 99.9%ක්ම විනාශ කර දමන බව VERITAS පාරිභෝගික සහ නිෂ්පාදන කාර්යාංශය මගින් තහවුරු කර ඇති අතරම මෙම නිෂ්පාදන පෙළ පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්දර්ශනයේදී නිළ වශයෙන් හඳුන්වා දී ඇත. 

වසර 60කට අධික කාලයක් තිස්සේ මෙරට මිලියන ගණනක් වූ දරුවන්ගේ අධ්‍යාපනයට නිබඳ සවියක් වූ ඇට්ලස් සමගම විසින් හඳුන්වාදෙන මෙම නිෂ්පාදන පෙළ ඔබේ දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ඔබ තුල පවතී ගැටලුවට සහනයක් වන බව නොරහසකි. එනිසා අදම ඔබේ දරුවාත් බැක්ටීරියා වලින් අමතර ආරක්ෂාවක් ලබා දෙන මෙම පොත් සහ පෑන් පෙළ වෙත යොමු කිරීමට කටයුතු කරන්න. සෞඛ්‍යාරක්ෂිතව සිටිමු. බැක්ටීරියා ආසාදනවලින් වළකිමු.

දරුවාගේ කතාව සහ භාෂාව වර්ධනයට අවශ්‍ය වන ලෙස නිවසේ පසුබිම සකසමු.

දරුවන් තුළ පවතින කථන හා භාෂා වර්ධනයේ ප්‍රමාදය වර්තමානයේ සුලබ තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය පහසුවෙන් මග හරවා ගැනීමට හැකි අතර මෙවන් තත්ත්වයන් ඇති නොවන ලෙස පසුබිම සකසා ගැනීමටත් දෙමව්පියන්ට ලෙස ඔබට කළ හැකි දේවල් බොහොමයක් පවතී.

දරුවාගේ කතාව හා භාෂාව වර්ධනය ප්‍රමාද වීමට බොහෝ හේතු බලපාන අතර ඉන් ප්‍රධානම කාරණය වන්නේ කතාව හා භාෂා වර්ධනය ට  අවශ්‍ය නිසි උත්තේජන දරුවාට නොලැබි යාමයි. එමෙන්ම, දෙමවූපියන්ගේ අධික කාර්යබහුලත්වයත් සමඟ දරුවා සමඟ නිවස තුළ ගත කරන කාලය අවම වීමත් බොහෝ විට දරුවා රැක බලා ගන්නා අයෙක්  පමණක් නිවසේ රැදීමත් නිසා භාෂා භාවිතයෙන් පෝෂිත පරිසරයක් නිර්මාණය නොවීමත් ප්‍රධාන කාරණයක් බවට පත්ව ඇත. එමනිසා, කුඩා කාලයේ සිට සන්නිවේදනයේ  යෙදීමට සිටින පිරිස අවම වීම තුළින් දරුවාට කතාව හා භාෂාව නිතර ඇසෙන පරිසරයක් නිර්මාණය නොවීමත් හේතුකරගෙන දරුවාගේ භාෂා වර්ධනය ප්‍රමාදයක් ඇති වීමට ඉඩකඩ ඇත. එමනිසා, කුඩා කාලයේදී දරුවාට භාෂාව පිරුණු පසුබිමක් නිවස තුළ නිර්මාණය කර දීම දෙමාපියන් වශයෙන් ඔබට සිදු කිරීමට හැකි ප්‍රධානම කාර්යකි. 

තවද දරුවා කුඩා කාලයේ ඉගෙන ගනු ලබන්නේ පරිසරය හා බැඳී මෙන් හා ලබා ගන්නා අත්දැකීම් තුළිනි. දෙමවුපියන් වශයෙන්  ඔබගේ ළමා කාලය සිහිපත් කළ හොත් එය ඉතාමත් සුන්දර බව බොහෝ දෙනෙක් අවිවාදයෙන් පිළිගනු ඇත. මන්ද දඟකාරකම් වලින් පිරුණු, සෙල්ලම් ගෙවල් ඇතුලේ කෝම්පිට්ටු හදපු, ගස් වැල් සමඟ ගත කරපු කාලයක් ඔබට තිබෙන්නට ඇත. නමුත් අද වැඩෙන දරුවන්ට පරිසරය හා සමඟ බද්ධ වෙමින් ඉගෙනීමේ යෙදීමට තිබෙන ඉඩකඩ සීමා වී ඇත.  එමනිසා, ඔබත් ඔබේ දරුවාට පරිසරය හා සමඟ බද්ධ වෙමින් පරිසරයේ ඇති දේ හදුනා ගැනීමට, ඒ සමඟ විවිධ නිර්මාණශීලි ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාව ලබා දීම තුළින් දරුවාගේ භාෂාව උත්තේජනය නිසි අයුරින් සිදු වීමට තිබෙන බාධා ඉවත්වනු ඇත.

තවද, අද වන විට දරුවන් දුරකතන හා රූපවාහිනී තිරය ඉදිරියේ ඉතාමත් කාර්යබහුල වී කටයුතු කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක් වී ඇත. එමගින් දරුවාගේ චින්තනය මෙන්ම භාෂා වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඇතැම් කාරණා ගිලිහි යාමට ඉඩ කඩ පවතී. දරුවාගේ කුඩා කාලයේ ප්‍රධානම වෘත්තිය ලෙස සෙල්ලම් කිරීම සහ හඳුනාගත හැකි අතර දරුවා රූපවාහිනී තිර හා ජංගම දුරකථන තිරය ඉදිරියේ කාලය ගත කිරීමෙන් සිදු වන්නේ දරුවාගේ කුඩා කාලයේ වෘත්තිය ද වෙනස්කමක ට ලක්වීමයි. එමනිසා ඔබේ දරුවා ජංගම දුරකථන හා රූපවාහිනී තිරය ඉදිරිපත් ඉදිරිපිට කාර්ය බහුල වී සිටී නම් ඒ වෙනුවට ආදේශක හඳුන්වාදීම තුළින් දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයට අවශ්‍ය ලෙස ඔබගේ නිවසේ පසුබිම සකස් කර ගැනීමට හැකියාව පවති. ඒ සඳහා ආදේශක ලෙස ඔබට දරුවාට විවිධ වූ ක්‍රියාකාරකම් හඳුන්වාදීම, විවිධ වූ සෙල්ලම් බඩු හඳුන්වාදීම හා සෙල්ලම් කිරීම, දරුවා අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුළ නිරත කරවීම, දරුවා ට කතන්දර/ගීත කියා දීම හා ඒ ඇසුරෙන් ප්‍රශ්න ඇසීම මෙන්ම තිර වෙනුවට ආකර්ශනීය පොත පත හදුන්වා දීම ත් සිදු හැකි ය.

තවද, දරුවන් සෙල්ලමේ යෙදීම තුළින් බොහෝ අත්දැකීම් ලබා ගනිති.  ඒ තුළින් ඔවුන් භාෂාව වර්ධනය කර ගන්නා බව අද වන විට සොයාගෙන ඇත. එමනිසා, දරුවාගේ වයස ට සරිලන ලෙස සෙල්ලම් බඩු තෝරා ගැනීමත් දරුවා සමඟ සෙල්ලම් බඩු ආශ්‍රය කරගෙන සෙල්ලම් කිරීමත් ඒ තුලින් සන්නිවේදනයේ යෙදීමත් ඔබට සිදු  කිරීමට හැකියාව පවතී.

නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරිම කථන හා භාෂා වර්ධනය ප්‍රමාදයට හේතුවක් බව බොහෝ දෙනා සැලකුවත් නිසි ලෙස කතාව හා භාෂාව වර්ධනය වන දරුවෙකුට එය ගැටලුවක් නොවන බව වර්තමානයේ පිළිගන්නා කරුණකි. එම නිසා දරුවා හට එක හා සමාන මට්ටමින්  භාෂා දෙකේම උත්තේජන ලබා දීමට ඔබට හැකියාව පවති නම් නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරීම ගැටළුවක් නොවනු ඇත. නමුත් දැනටමත් ඔබේ දරුවාට කතාව හා භාෂා වර්ධනයේ ප්‍රමාදයක් පවතී නම් භාෂා දෙකක් භාවිතා කිරීම පිළිබඳ කථන හා භාෂා චිකිත්සකවරයෙකුගෙන් විමසා උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

 

 කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි.

රවින්ද්‍රනාත් තාගෝර් දරුවන් ගැන අපුරු සටහනක් තබා තිබෙනවා. එනම්…දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි. සැබැවින්ම මලක් සේ සුන්දර දරුවෙකුගේ සුන්දරත්වය තව තවත් ඔප් නැංවීමට මලේ සුවඳ ලෝකයට වහනය විය යුතුය. ඒත් මේ සුන්දර නෙළුම්මලේ පෙති විහිදවීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය දෙමව්පියන්ගෙන් ලබා දීමේ වගකීම සැබැවින්ම ඔවුන් දරණවාද..?එසේ නම් දරුවෙකු සුවඳ දෙමින් පිපෙන්නට රුකුල් දෙන ගුණදහම් මොනවාද…?

පරාර්ථකාමී වීම.

දරුවෙකුගේ පරාර්ථකාමි බව ඔවුන්ගේ ගුණ සුවඳ අලංකාර කරන යහ ගුණයකි. අද දරුවාගේ පරාර්ථකාමී ගති ගුණ මෝදු කලොත් ඔවුන් හෙට දිනයේ බෙහෙවින් සංවේදී චරිත ලෙසින් සමාජගත වෙනු ඇත.දෙමව්පියන් විදිහට ඔබ පරාර්ථකාමී ගති ගුණ දරුවාට ආරෝපනය  කිරීම මෙතැනදී ඉතා වැදගත්..

  • ඔයාගේ පොත කාටවත් දෙන්න එපා…
  • අනිත් අයට කියලා දෙනවා එහෙම නොවෙයි.
  • එතකොට ඔයාට තමයි ලකුණු අඩු වෙන්නේ..

මෙවැනි සංකල්පවලින් දරුවන්ගේ හිත පුරවන දෙමව්පියන්ද අද නැතුවා නොවේ. ඒ වෙනුවට 

  • ඔයාගේ පොත් අනිත් අයටත් දෙන්න..බෙදා හදා ගන්න..ඕවා දුන්නාම අකුරු අඩු වෙන්නේ නැහැ…

යන සංකල්පය දරුවාට දායාදා කරනවා නම් මොනතරම් අගෙයිද..?

රසඥතාවය..

සාහිත්‍යයෙන් වැඩැක් නෑ ගණිතය, විද්‍යාව ,ඉංග්‍රිසි තමයි වැදගත්.කවි, සින්දු අහල කාටද හරි ගියේ..මේ විදිහට දරුවාගේ සාහිත රසය හෙවත් වින්දනාත්මක රස වින්දනය උපන්ගෙයිම නැති කරන්න එපා. හිත නිවුන සංවේදී  සොදුරු මිනිසෙකු ලෙසින් හෙට දවසේ දරුවා  සමාජයේ පුරුකක් පවට පත් වීමට අද දවසේ ඔබ විසින් දරුවන්ට රසඥතාවය පුරුදු කළ යුතුය.එවිට හෙට දවසට පිවිසෙන්නේ  සැබෑම සුන්දර මිනිසෙක් බැව් අමතක කරන්න එපා.

ගරු කරන්න..

ඔබ ගරුත්වය ලබන්නට නම් ඔබ සෙසු අයට ගරු කළ යුතුය.එය නියතයක්. ඒ නිසා දරුවාටත් සමාජයේ ජීවත්වෙන විට අනිත් අයට ගරු කිරීමේ වැදගත්කම කියා දෙන්න.සෑම පුද්ගලයෙක්ම වටිනා බැව් කියා දෙන්න.ඔවුන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය කියා දෙන්න. බොහෝ දෙමව්පියන් දරුවන්ට ගරු කිරීම වෙනුවෙන් යම් යම් සීමාවන් පෙන්වා දෙනු ඇත.

  • රුවන්ගේ අත්තම්මා ඉස්සර අපේ අත්තම්මාගේ ගෙදර වැඩ කලා..

මේ පරම්පරා තුනකටත් පෙර සිදු වීමකි. එය මුල් කර ගෙන අද දවසේ රුවන්ගේ මව්පියන් සහ එම පවුල් මුල් කර ගෙන ඔබ මවන අවතක්සේරුව දරුවෙකුගේ සිතට එතරම් සුබදායක නොවේ.ඔබ විසින් පෙන්වන මග ඔස්සේ යන දරුවාද පුද්ගලයන් දෙස පාට පාට කණ්නාඩිවලින් බැලීම එතරම් සුබවාදී නැත එයින් දරුවා වැඩිහිටිය්ට ගරු කිරීම ගැන පාඩම ඔබෙන් ඉගෙන ගන්නේ නැත.

මානසිකව සමබර වීම

දරුවෙකුගේ කායික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැත.ඔවුන් සියලු හාරිරික රෝග ගැන දෙමව්පියන්ට පැමිණිලි කරනු ඇත.එහෙත් මානසික රෝග ගැන එවැනි විවෘත කතා බහ සිදු වෙන්නේම නැත.  විටෙක තමා පීඩා විදින්නේ මානසික ගැටුමකින් බැව් දරුවා පවා නොදන්නවා විය හැක.

දරුවෙකුගේ මානසික සමබරතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්.මානසික සමබරතාවය නොමැති නිසා අද දරුවන් පත්වෙන අවාසනාවන්ත ඉරණම් ගැන ඔබ ටත් නිතරම ඇසෙනවා ඇති.මේ වෙනස ගැන සිතන්න..

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටකට ඒ සාමාර්ථ ලබා ගත්තද, අහිමි වුන එක් ඒ සාමාර්ථයන් නිසා දරුවෙක් සියදිවි හානි කර ගනිද්දී…තවත් දරුවෙක් විෂයන් පහක් එකදු සම්මානයක් හෝ නොමැති ප්‍රතිඵලයක් ලබා ගෙන මම තවත් වතාවක් විභාගයට පෙනී සිටිනවා යන ශක්තිමත් තිරණය ගැනීමට සූදානම්ව සිටින්නේ ඇයි..

උසස් ප්‍රතිඵලයක් නොලද නමුත් මේ දරුවා මානසිකව සමබරතාවයෙන් යුක්තව සිටින නිසා ජීවිතයේ අභියෝග ඉදිරියේ ඔහු ශක්තිමත්ය.ඒ නිසා දරුවන්ගේ මානසික සමබරතාවය ගැන දෙමව්පියන්ගේ අවදානය දැක්වීම ඉතාම වැදගත් වේ. අධ්‍යාපන තරඟය නිසා අද බොහෝ දරුවන් මානසිකව බිද වැටෙන තත්වයට පත් වුනත් එවැනි අවාසනාවන්ත තත්වයකට ඔබේ දරුවා පත් නොවන්නටත් වග බලා ගැනීම ඉතාම වැදගත්.

චිත්තවේග පාලනය..

දරුවන්ගේ චිත්තවේගත් අප හිතන තරම් පහසු නැත විටෙක ආවේගශීලිය. තවත් විටෙක ප්‍රචණ්ඩය.තවත් තැනකදී බෙහෙවින් දොම්නසට පත්ව සිටින ස්වභාවයකි. මෙවැනි චිත්තවේග හොදින්ම හදුනන්නේ දෙමව්පියන්ය.ඒ නිසා මෙවැනි චිත්තවේග ඉදිරියේ ඒවා පාලනය කර ගෙන ජීවිතයට මුහුණ දෙන පාඩම දරුවා උගත යුත්තේ දෙමව්පියන්ගෙන්ය. යම් ලෙසකින් ඔබට දරුවා වෙනුවෙන් මේ පාඩම අද කියා දෙන්නට නොහැකි වුනොත් හෙට දවසේ ඔවුන් චිත්තවේගපාලනය කර ගත නොහැකි ව ජීවිතයේ විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙනු ඇත.

නිර්මානශීලිත්වයට අවස්ථාව දෙන්න..

දරුවන්ගේ නිර්මානශීලිත්වය ඔබ සෙමෙන් හදුනා ගත යුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ නිදා සිටින යෝධයෙකි. මේ යෝධයා සෙමෙන් අවදි කර ගත යුතුය. අවදි වෙන්නට  නොදී සිටියොත් එම හැකියාවන් නිදිගතවම සිටිනු ඇත.අවදි වෙන හැකියාවන් ඔබ ඇගයීමක් නොකළ විට නොදැනීම අහෝසි වෙනු ඇත.දරුවාගේ නිර්මානහීලිත්වය යනු ඔබ විසින් අපේක්ෂා කරන ආකෘතිය නොවේ. ඒ නිසා දරුවාගේ නිර්මානහීලිත්වය අවදි කර ගැනීමට ඔවුන්ට අවසර දෙන්න.ඔබට ඇත්තේ දරුවාට ධෛර්ය ලබා දීම පමණි.

පරිකල්පය

ජීවිතය දෙස සුන්දරව බැලීමට නම් පරිකල්පන හැකියාවෙන් දරුවා පොහොසත් විය යුතුය.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට අලුත් විදිහට සිතන්න ඉඩ දෙන්න. ඉර,හද,වලාකුලු..ගංගා ඇල දොළ ගලන රිද්මය..මලක සුවද මෙලෙක .සතා සිවුපාවාගේ හැසිරීම ගැන කියා දෙන්න. ඒ ගැන ඔවුන් සමග කතා කරන්න.දරුවාගේ අදහස් ඔබබ සමග හුවමාරු කරන්න.දරුවා සමග විවෘත සංවාදයක් ගොඩ නගන්න.සිංහල සාහිත්‍ය පෝෂණය කළ යුගයේ මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විටෙක සදහන් කළේ..

මගේ ප්‍රබන්ධ සාහිත්‍ය පෝෂණයට හේතු වූයේ කොග්ගල ගමේ සුන්දර පරිසරය බවයි.පුද්ගලයෙකුගේ පරිකල්පය දියුනු වීමට පරිසරයෙන් ලැබෙන දායකත්වය ගැන කථා කිරීමට තවත් වචන අවශ්‍ය නැත. වික්‍රමසිංහ ශූරින්ගේ මේ ප්‍රකාශය හොදින්ම සෑහේ..

එසේනම්..ඔබ අත ඇති නෙළුම් පොහොට්ටුවේ සෑම පෙත්තක්ම හෙට විකසිත විය යුතුය.එය විකසිත විය යුත්තේ ලෝකයට සුවඳ විහිදුවමින්ය. දරුවන් මල් මෙන් සුවදය යන්න වචනයට පමණක් සීමා විය යුතු නැත.එය දරුවන්ගේ ක්‍රියාවෙන්ම සත්‍යක් විය යුතුය. 

 

දරු පිළිසිඳ ගැනීමකට බාධා කරන කාන්තා පාර්ශවයේ ගැටලු

නොතේරෙන පුංචි වයසේ ඉඳලම බෝනික්කෙක් තුරුළු කරන් නලවන්න හුරතල් කරන්න පුංචි ගැහැනු දරුවන් ආසා කරන්නේ මව්පදවියට ස්වභාවයෙන්ම ඔවුන් වරම් ලබන නිසා වෙන්න ඇති. ඒත් වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් නිසි වයසේදී විවාහ දිවියට එළැඹිලා දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරද්දී ඒ හීනය දවසින් දවස දිග් ගැහෙද්දී ඒ දේ නම් දරාගන්න අමාරුයි. ඒ සඳහා හේතු වන කරුණු රුසක් තිබුණත් අද වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසාම බොහොමයක් ගැටලු නිරාකරණය කරගැනීමේ වාසනාව හිමි වී තිබීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. කෙසේ වුවත් දරු පිළිසිඳ ගැනීමකට බාධා වෙන කරුණු ඒ කියන්නේ කාන්තාවක් මද සරුභාවයට පත් වීමට හේතු පිළිබඳව අපි දැනුවත් වෙමු. 

මද සරුභාවය යනු ගැබ් ගැනීම ප‍්‍රමාද වීමයි. මෙහිදී ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව තිබුණත් ඒ සඳහා දීර්ඝ කාලක් ගත විය හැකියිත. එසේම වඳභාවය/ නිසරු භාවය (Sterile) යනු වසරක් පමණ උත්සහ කළද ස්වභාවික ලෙස ගැබ් නොගැනීමයි. පර්යේෂණවලට අනුව බොහෝ විවාහක යුවල් අනාරක්‍ෂිත ලිංගික එක්වීමකදී මාස 12 ක් (වසරක්) ඇතුළත ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාවක් පවතිනවා.

මද සරුභාවයට හේතූ

බොහෝ හේතූ වඳ භාවය/නිසරු භාවය සඳහා හේතු වන හේතුම වේ. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි තත්ත්වයන්ද තිබිය හැක. ගැබ් නොගැනීම සඳහා  කාන්තාවගේ පමණක් නොව ඇතැම් විට පිරිමියාගේ හේතූ ද බලපෑ හැක.  මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ කාන්තා පාර්ශවයට ඇති විය හැකි හේතු පිළිබඳවයි.

  1. ඩිම්බ මෝචනයේ ගැටලු

මෙය කාන්තාවන් සඳහා බහුලව බලපානු ලබන සුලබ ගැටලුවකි. ඩිම්බ මෝචනය නොවන විට සංසේචනය සඳහා ඩිම්බයක් නිදහස් නොවේ. මේ සඳහා හේතූ ගණනාවක් පවතී.

  • Polycystic Ovary Syndrome (PCOS) – මෙහිදී ඩිම්බ මෝචනය වැළැක්වීම හෝ අක‍්‍රමවත් ඩිම්බ මෝචනයක් සිදුවේ.
  • Diminish Ovarian Reserve (POR) – මෙහිදී කාන්තාවගේ ඩිම්බ ප‍්‍රමාණය අඩු කරන අතර මෙයට වෛද්‍යමය හේතූ, වයස හෝ ඩිම්බ කෝෂ ශල්‍යකර්ම හේතු වේ.
  • Premature Ovarian Insufficiency (POI) – ආර්තවාභාවය සාමාන්‍ය වයසට වඩා කලින් සිදුවීමය. මෙයට වෛද්‍යමය හේතු, පිළිකා තත්ත්ව සඳහා සිදුකෙරෙන ප‍්‍රතිකාර හේතුවෙන් ඩිම්බ මෝචනය ඇණ හිටිය හැක. 
  • හයිපොතැලමසේ හා පිටියුටරි ග‍්‍රන්ථියේ තත්ත්ව – සාමාන්‍ය ඩිම්බකෝෂ ක‍්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කිරීමේ හැකියාවට බාධා ඇතිවීම සිදු වේ.
  • පැලෝපීය නාල අවහිරතා – පැලෝපීය නාල අවහිර වීම මගින් ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් හමුවීම වළක්වයි. මෙයට පහත කරුණු හේතු වේ. 
  • Endometriosis
  • පෙර කරන ශල්‍යකර්ම වල කැළැල් පටක තිබීම. උදා: Ectopic pregnancy
  • ගොනෝරියාව, ක්ලැමීඩියා වැනි ලිංගිකව සම්පේ‍්‍රෂිත රෝග ඉතිහාසයක් තිබීම
  1. ගර්භාෂ අසාමාන්‍යතා

ගර්භාෂයේ ආබාධ හෝ අසාමාන්‍යතා ගර්භණීභාවය ඇති වීමට බාධා කරයි. මෙම ගැටලු උපතේ සිට  ඇතිවන හා පසුව ඇති වන ලෙස ආකාර 2 කි.

  • Septate uterus – කුඩා ආවාරයක්/පටියක් මගින් ගර්භාෂය කොටස් 2 කට බෙදීමයි.
  • Bicornuate Uterus – එක් කුහරයක් වෙනුවට කුහර 2 ක් තිබීමයි. ඒවා හෘදයක හැඩය ගනී.
  • Double Uterus – ගර්භාෂය කුඩා කුහර දෙකක් ලෙස පැවතීම හා ඒවාට වෙන වෙනම විවෘත වීම් පැවතීම.
  • Fibroids – ගර්භාෂය මත හෝ ඇතුළත අසාමාන්‍ය වර්ධනයන් ඇතිවීම.

මදසරුභාවයට හේතු වන අවදානම් සාධක 

  • වයස කාන්තාවන් අවුරුදු 35 ට වැඩිවීම
  • බර වැඩිවීම හා අඩුවීම
  • මත්ද්‍රව්‍ය (මර්ජුවානා), දුම්කොළ භාවිතය
  • අධික ලෙස මත්පැන් පානය
  • අධික ලෙස ශාරීරික හා මානසික ආතතිය
  • විකිරණවලට නිරාවරණය
  • සමහර ඖෂධ
  • පාරිසරික විෂවලට නිරාවරණය. උදා: ලෙඩ්, කෘමිනාශක

මදසරුභාවය හා සම්බන්ධ තත්ත්වය හඳුනා ගැනීම

මේ සඳහා සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍යය.

  • කාන්තාවගේ ලිංගික ඉතිහාසය
  • ශාරීරික පරීක්‍ෂණ
  •  ශ්‍රෝණි පරීක්‍ෂණ     

සිදුකරන පරීක්ෂණ

  • TVS Scan ලිංගික ප‍්‍රජනක පද්ධතිය ස්කෑනින් පරීක්‍ෂාව
  • රුධිර පරීක්‍ෂණ – හොමෝන මට්ටම පරීක්‍ෂාව (ඩිම්බ මෝචනයට අදාලව)
  • Hysterosalpingography (HSG)පැලෝපීය නාල හා ගර්භාෂයේ තත්ත්ව පරීක්‍ෂාව
  • Ovarian reserve test – මෙමගින් ඩිම්බවල ප‍්‍රමාණය හා ගුණාත්මකභාවය පරීක්‍ෂා කරයි.

මදසරුභාවය සඳහා ප‍්‍රතිකාර

ස්ත‍්‍රීන්ගේ සරුභාවය ඇති කිරීම සඳහා විවිධ වූ ප‍්‍රතිකාර ඇත. ඉන් එකක් හෝ නැතිනම් කිහිපයක් සම්බන්ධකර ප‍්‍රතිකාර ලබාදේ. 

  • සරුභාවය ඇති කිරීමේ ඖෂධ ප‍්‍රතිකාර
  • ගර්භාෂ ගත ගැටලුවලට ශල්‍ය ප‍්‍රතිකාර
  • IUI මගින් ශුකාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම
  • Assisted Reproductive Technique (ARI) – ශුකාණු හෝ ඩිම්බවල සරුභාවය ඇති කිරීම සඳහා ලබාදෙන ප‍්‍රතිකාර හා පිළිවෙත
  • IVF – වඩා සුලභ ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ශුකාණු හා ඩිම්බ පිටතදී සංසේචනය කර කළලය ගර්භාෂය තුල තැන්පත් කරයි. 

විවාහ වී වසරක් යනතුරු පවුල් සැලසුම් ක‍්‍රමයන් අනුගමනය නොකර ගර්භණීභාවයට පත් නොවීම ප‍්‍රාථමික මදසරුභාවය ලෙස හැඳින්විය හැකි අතරම අඩුතරමින් එක් දරුවෙකු සිටී නම් ඉන්පසුව දරුවන් නොමැති වීම එසේත් නැතිනම් ප‍්‍රමාදවීම ද්වීතියික මදසරුභාවය ලෙස හඳුන්වයි. කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් සඟවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත ‍යොමු නොවීම දරුවෙකු පිළිබඳ ඔබේ සිහිනය තව තවත් දුරට රැගෙන යන අතරම නිසි කාලය තුළ සුදුදුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරයෙකු හමු වීම වඩා වැදගත් බව සිහි තබාගන්න. 

 

කුරුණෑගල, පළාත් මහ රෝහලේ නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)  ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

බබා ලැබෙන්න එන්නත් කලින් ඉදලම ෆෝලික් ඇසිඩ් එක ගන්න ඕනෙමද?

දරු පිළිසිද ගැනීමක් පතන නව යුවලකට තමන්ට එක්වීමට පෙරුම් පුරන දරුවාගේ යහපත උදෙසා ගත යුතු තවත් වැදගත් පියවරක් අද වෛද්‍ය ලෝකය තුළ තහවුරු වී ඇත. දරු පිළසිද ගැනීමක් සිදුවනුයේ කවර මොහොතකදැයි කීමට කිසිවෙකුට නොහැක. සාමාන්‍යයෙන් මාසික ආර්තවය නතර වී ඇති බව දැණුන දින සිට දින 14 ට පෙර සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැක. මේ නිසා දරුවාගේ ස්නායු නාල අඩුලූහුඩුකම් (Neural tube defects) ඇති වීම වළක්වාලීමේ සූදානම් පියවරක් ලෙස දරු පිළිසිද ගැනීමට පෙර සිටත්, ඒ වෙනුවෙන් උත්සාහ කරන කාලය තුළත් ගැබ් ගැනීමෙන් පසුවත් ෆෝලික් අම්ලය දිනපතා ගැනීම කාන්තා ඔබේ ජීවිතයට එක්කර ගත යුතු පුරුද්දක් බදුය. 

මොකද්ද මේ ෆෝලික් අම්ල විටමිනය කියන්නේ

විටමින් B කාණ්ඩයට අයත් ප‍්‍රමුඛ විටමින් හතෙන් එකක් ලෙස ෆෝලික් අම්ලය සැලකෙයි. න්‍යෂ්ටික අම්ල ජෛව සංසේලෂණය සදහා ෆෝලික් අම්ලය අත්‍යවශ්‍ය බැවින් ශරීරයේ සෑම සෛලයකම සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය මූලිකාංගයක් බවට පත්වී ඇත. එසේම රතු ෙසෙල මේරීම හා ඒවායේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහාද ෆෝලික් අම්ලය අත්‍යාවශ්‍ය වේ. ටෙට‍්‍රා හයිඩ්‍රො, ෆෝලික් අම්ලයේ සහ එන්සයිමයක් ලෙසද ක‍්‍රියා කරයි.

ගර්භණී සමයේ මුල සති හතරක කාලය තුළ කුස තුළ වර්ධනය වන දරුවාට සුවිශේෂ වූ කාල පරිච්ජේදයකි. මොළය, සුසුම්නාව හා හිස් කබල වර්ධනය සිදුවන්නේ මෙම සමයේදී වීම ඊට හේතුවයි. ආර්තවය නැවතී ඇති බව දැනගන්නා විට කුස තුළ වැඩෙන දරුවාට අඩුම තරමින් සති 2 ක් වත් ගෙවී අවසන්ය. මේ නිසා පිළිසිදීමකට ලක් වන තුරු නොසිට ඒ අපේක්‍ෂා කරන දා සිට ෆෝලික් අම්ලය ගැනීම දරුවා සදහා කරන ආයෝජනයක් බදුය. ගැබ් ගැනීමෙන් සති 12 ක් පමණ යනතුරුවත් ෆෝලික් අම්ලය ගතහොත් 70% ක පමණ ස්නායු ආබාධ වළක්වා ගත හැක. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් රාශියකම සිය ප‍්‍රජනන වයසේ පසුවන කාන්තාවන් බොහෝ දෙනෙකු තුළ ඉතා ඉහළ මට්ටමක ෆෝලික් අම්ල විටමිනයේ ඌනතාවයක් ඇති බව හෙලි වී ඇත. කුඩා ළමුන්ද මේ අතර අවදානමට ලක්වී සිටිති. 

ස්නායු නාල ආබාධ යනු,

දරුවාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ගර්භණී කාලයේ මුල් මාසයේදී වර්ධනය ආරම්භ වේ. පළමුව ස්නායු ඵලක (Neural plate) ලෙස නිර්මාණය වී පසුව ඒවා නලයක් ලෙස වර්ධනය වේ. ස්නායු ආබාධයක් යනු සාමාන්‍යයෙන් ස්නායු නාලයේ විවෘත වීම් සති 6 කදී පමණ වැසී යන නමුත් මෙම අවස්ථාවේදී මෙම ස්නායු රජ්ජුවේ විවෘත වීම් එසේ වැසී නොයයි. පැහැදිලිව ඇතිවන ස්නායු නාල නිර්මාණයේ අඩුලූහුඩුකම් ලෙස පැහැදිලි වනුයේ මොළයේ හා සුසුම්නාවේ දුස්රූපණ තත්ත්වයන් මතුවීමයි. මේ හේතුව නිසා spina bifida, anencephaly (encephalocele) තත්ත්ව ප‍්‍රතිඵල වේ. 

Spina Bifia යනු සරල වශයෙන් දැක්වුවහොත් ස්නායු රජ්ජුව හා කශේරුකාවේ අසම්පූර්ණ වර්ධනයකි. මෙලෙස උපත ලබන දරුවන් අතරින් 7% ක් පමණ එතරම් ආබාධිත තත්ත්වයකින් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබුණද ඉන් වැඩිදෙනෙකුට 

  • මානසික ඌණ වර්ධනය
  • අපස්මාරය
  • අන්ධභාවය
  • මුත‍්‍රා ආසාධන
  • චලනයේ ගැටලු

ආදී සංකූලතා පැවතීමටත් රෝද පුටුවකට, ඇදකට, තොටිල්ලකට සීමා වූ ජීවිත ගත කරන්නට සිදුවීමටත් හැක.

anencephaly (encephalocele) යනු මොළයේ ප‍්‍රධාන කොටස් වල හිස්කබලේ අසම්පූර්ණ වර්ධනයකි. මෙහිදී නොවැඩුණු හිස්කබල හරහා මොළයේ පටක හිස්කබලේ විවෘත වීම් තුලින් පිටතට නෙරා ඒමයි. 

ගර්භනීභාවයට සති 16 – 19 ක් වන කාලයේ සිදු කරන මවගේ රුධිරය තුල පවත්නා ෆෝටෝ ප්‍රෝටීන මට්ටම මැනීම හා අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්‍ෂණ මගින් පූර්ව ප‍්‍රසව සමයේදී මෙම තත්ත්වය හදුනාගත හැක. උපද්‍රව්‍යමය පත් පූර්ව කළලයක් සොයා ගත්තද ලංකාවේ නීතිය මගින් ගබ්සාවක් කරගැනීමට ඉඩ සලසා නැත. මේ නිසා පූර්ව ප‍්‍රසව සමයේදී එම ආබාධිත කළල සොයා ගැනීමට වඩා ඇති වීම වළක්වා ගත යුතුය. 

ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් වන්නේ,

  • සහකරු හෝ සහකාරිය ලේ ඥාතීන් වීම
  • දියවැඩියාව, අපස්මාරය, අක්මා රෝග හෝ ප‍්‍රදාහිත ආන්ත‍්‍රික රෝග ඇතිවීම
  • ආමාශයේ ශල්‍යකර්ම කර තිබීම
  • අධික ලෙස මත්පැන් පානය
  • පෙර ගර්භණී අවස්ථාවල මල දරු උපත් සිදුවීම
  • වකුගඩු රෝග හා ඒ සදහා පරිතාන කාන්දු පෙරීම (Peritoneal dialysis), රුධිර කාන්දු පෙරීම (Haema dialysis) සිදුකරන කාන්තාවන්.
  • දෑකැති හැඩ රක්තහීනතාවය ඇති ස්ත‍්‍රීන්
  • පොතු කබර (Psorisis), සන්ධි රෝග, ඇදුම ආදී තත්ත්ව සහිත වීම. 

දැනට ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් 5mg වැනි අධි මාත‍්‍රාවක් ගත යුතු බවට වෛදවරුන් උපදෙස් ලබාදේ. 

ෆෝලික් අම්ලය ලැබෙන ආහාර

පෝෂණවත් ආහාර වේලක් තුලින් දෛනිකව ෆෝලික් අම්ලය ලබාගත හැකි බව පිළිගැනෙයි. පළා වර්ග හා කොළ පැහැති එළවළු, යෝගට්, තෙල් රහිත මස්, බිත්තර, මාළු, පිරිප්පු, කව්පි වැනි පියළි ඇට වර්ග, තිරිඟු, දොඩම් පවුලේ පළතුරු, අලිගැට පේර, යීස්ට්, පැපොල්, කෙසෙල්, තක්කාලි, සුදු සහල්, බෝංචි ආදියේ බහුලව පවතී. එසේම සාමාන්‍ය ප‍්‍රමාණයේ බිත්තර කහමදයක් තුළ ෆෝලික් අම්ලය 75mg (මයික්‍රෝ ග‍්‍රෑම්) පමණ අඩංගු වන බව පැවසේ. මාළු, පරිප්පු, කව්පි, මැල්ලුම් අඩංගු ආහාර වේලක් ගෙන අතුරුපසට යෝගට් එකක් ගැනීමෙන් ෆෝලික් අම්ලය අවශ්‍යතාවය ඉන් සපුරා ගත හැක. 

ආහාර බොහෝ වේලාවක් පිසීම නිසා මෙම සංවේදී විටමිනය විනාශ වී යා හැක. මේ නිසා මැල්ලූම් හෝ එළවළු බොහෝ වේලා ලිප මත තබා නොගත යුතුය. ඉහත දැක්වූයේ ගර්භනී නොවන සමයේ සාමාන්‍ය අයෙකුගේ ෆෝලික් අම්ලය අවශ්‍යතාවයකි. එහෙත් පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ දරු පිළිසිඳීමත් සමග මෙම අවශ්‍යතාවය තවත් 400mgකින් ඉහළ යන බවයි. එසේ නම් ස්නායු නාල දුස්සරූපණය වැළැක්වීම සඳහා 600mg ප‍්‍රමාණයක් ෆෝලික් අම්ලය පෙති ගත යුතු වේ. 

මේ නිසා දරු පිළිසිඳ ගැනීමකට පෙර ෆෝලික් අම්ලය පෙති නොගත් කාන්තාවක් ඒ බව දැනගත් වහාම ෆෝලික් අම්ල පෙති ගැනීම ආරම්භ කර ගර්භනීභාවයේ සති 12 දක්වා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ගර්භනී කාලයේ Multivitamin මගින්ද මෙම ෆෝලික් අම්ල අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක. ෆෝලික් අම්ලයය අඩංගු Multivitamin අහිතකර නොවූවද මිල අධික නිසා සාමාන්‍ය ෆෝලික් අම්ලය ප‍්‍රමාණවත් වේ. නමුත් මතක තබාගත යුතු කරුණ වන්නේ විටමින් A අඩංගු Multivitamin භාවිත නොකළ යුතුය. එසේම පීකුදු හෝ ඔමේගා 3 නොගත යුතුය. විටමින් A අධික මාත‍්‍රාව ගැනීම ගර්භනී සම‍යේ මුල් මාස තුන තුළ ගැටළු ඇති කරයි. එසේම ඔබ ගර්භනී වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් ෆෝලික් අම්ලය ගැනීම අතපසු වූ අයෙක් නම් ගැබ් ගැනීම මාස 3 – 4 ක් ප‍්‍රමාද කර ෆෝලික් අම්ලය ලබාගෙන ගැබ් ගැනීමක් පිළීබඳව සිතීම වඩාත් සුදුසුය. 

නිසි අයුරින් ෆෝලික් අම්ලය ලබාගත් මවකට දරුවාට ඇති විය හැකි විදිලිත තොල හා තල්ල (hair lip & cleft palate), නොමේරූ දරු උපත් ඇතිවීම, බර අඩු දරු උපත් ඇතිවීම, ගබ්සාවන් ඇති වීම, ගැබ තුල වර්ධනය දුර්වල වීම වැනි තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැකියි. 

එසේම ෆෝලික් අම්ලය මගින් මවට, ගර්භනී සම‍යේ සංකූලතා එනම් දෙවන, තුන්වන මාසයේ ඇති විය හැකි පූර්ව එක්ලැම්ප්ෂියාව (ගර්භ වලිප්පුව) සඳහා අවදානම, හෘද රෝග, අඝාත රෝග, ඇතැම් පිළිකා වර්ග, Alzheimer රෝගය ආදී ස්නායු රෝග වලින් වැළකීමට අවස්ථාව උදාවේ. 

එසේම ෆෝලික් අම්ලය පිරිමින්ගේ සරුභාවය සඳහා ද බලපායි. පිරිමියෙකුගේ ශරීරයේ සෑම තත්ත්පරයකදීම අලුත් ශූක‍්‍රාණු 1500 ක් පමණ නිපදවයි. මෙහිදී ශුක‍්‍රාණු සෛල ඇති වීමට දින 30 පමණ ගත වේ. එහිදී සෛල  බෙදීම හා DNA නිෂ්පාදනයට ෆෝලික් අම්ලය අවශ්‍ය වේ. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ අවධානම ඇත්තේ කාටද?

කාන්තාවක් මව්පදවිය වෙනුවෙන් ‍දකින සිහිනවල නම් නිමක් නැහැ. විවා‍හයෙන් පසු සෑම කාන්තාවක්ම දකින්නේ හව් පදවියේ සිහිනය යැයි කීවොත් එය නිවැරදියි. ඒත් ඇතැම් කන්තාවන්ට දරු පිළිසිඳ ගැනීමකදී නොහිතන ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ඒ සඳහා එක් උදාහරණයක් ලෙස අපිට නිතර අහන්න දකින්න ලැබෙන තත්ත්වයක් වන Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ තත්ත්වය (Extra uterine pregnancy) දැක්විය හැකියි. 

Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී 90% ක්ම මෙම පිළිසිඳ ගැනීම් සිදුවන්නේ පැලෝපීය නාලය තුළ වන අතර කලාතුරකින් ගැබ් ගෙල (Cervix) ඩිම්බ කෝෂ (Ovary) උදර කුහරය (abdomen) තුළ ද පිහිටන අවස්ථාත් දැක ගත හැකියි. පැලෝපීය නාල සාමාන්‍ය තත්ත්වයේ නොමැති වීම එනම් සැත්කම්, තුවාල, ආසාධන ඇති වීම වැනි අවස්ථාවලදී පැලෝපීය නාලය තුළ සංසේචිත සෛලය  තැන්පත් වීමේ ඉඩකඩ ඉතා වැඩිය

කලලයක් වර්ධන වීමට අවශ්‍ය ඉඩකඩ හා සුදුසු පෝෂණය ලැබෙන්නේ ගර්භාෂ කුහරය තුළදී පමණි. ගර්භාෂයෙන් පිටත කිසිදු ස්ථානයක කලලයක් වර්ධන වීමට අවශ්‍ය හවැනි පරිසරයක්, ඉඩක් හෝ පෝෂණයක් ලබාගැනීමට අවස්ථාව නොමැත. කෙසේ වුවද පැලෝපීය නාලය තුළ තැන්පත් වූ කළලය එතුළ වැඩෙන විට, යම් අවස්ථාවක ඉඩකඩ මදිවීම නිසා නාලය පුපුරා යා හැකි අතරම සාමාන්‍යයෙන් මෙසේ සිදුවිය හැක්කේ අවසාන ඔසප් වීමෙන් සති 8 – 10 ක් අතර කාලය තුළදීය. එය යම්තාක් දුරට අවදානම් තත්ත්වයක් වන්නේ නාලය පිපිරූ ස්ථානයෙන් අධික රුධිර වහනයක් සිදුවිය හැකි නිසාය. එය  රෝගියාගේ ජීවිතය පවා අවදානමට  ලක්විය හැකි අවස්ථාවකි.  මේ අවස්ථාවේ සිදු විය හැකි අනෙක් භයානක ලක්ෂණය වන්නේ ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම හා එය පුපුරා යෑමේදී පැහැදිලි රෝග ලක්ෂණ නොමැති වීම හෝ රෝග ලක්ෂණ ඉතා අඩු වශයෙන් පෙන්නුම් කිරීමයි. නිසා මෙම තත්ත්වය රෝග ලක්ෂණවලින් හඳුනා ගැනීම පහසු නොවේ. මෙම තත්ත්වයක් පිළිබඳව යම්තම් හෝ සැකයක් පවතී නම් පළපුරුදු වෛද්‍යවරයෙකු වහාම හමුවිය යුතුය. මෙය නාරිවේදීය ඉතා හදිසි (Gynaecological emergency) තත්ත්වයකි.

Ectopic Pregnancy තත්ත්වයට හේතූ

පැලෝපීය නාලයේ අවහිරතාවයක් නිසා සංසේචිත වූ ඩිම්බය ගර්භාෂය දක්වා පැමිණීමට නොහැකි වී පැලෝපීය නාලයේ හෝ වෙනත් ස්ථානයක රැදී එම ස්ථානයේ අධි රෝපණය (Implantation) වීම මේ තත්ත්වයට හේතුවයි.

Ectopic Pregnancy තත්ත්වයට පත්විය හැකි අවධානම් සාධක

  • වයස

ලිංගික වශයෙන් ක්‍රියාකාරී, ඩිම්බ මෝචනය සිදුවන කාන්තාවකට ඕනෑම වයසකදී ඇති විය හැකි නමුත් අධි අවධානමක් ඇත්තේ වයස අවුරුදු 35 – 44 කාන්තාවන් 

  • ඉතිහාසය 

Ectopic pregnancy තත්ත්වය සඳහා අධික අවධානමක් මීට පෙර පැවති කාන්තාවන් මෙන්ම පෙර Ectopic pregnancy තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන් 

  • පෙර  සිදුකරන ලද නාරීවේදීය ශල්‍යකර්ම

පැලෝපීය නාල ආශ්‍රිතව සිදු කරන ලද පැලෝපීය නාල හැඬ ගැසීම හෝ එසේ ගැට ගැසූ නාල යළි යථා තත්ත්වයට පත් කිරීම වැනි ශල්‍යකර්මවලින් පසුව නාලවල සිදුවිය හැකි ව්‍යූහමය වෙනස්කම් පැවතීම 

  • ආසාධන 

ශ්‍රෝනි කුහරය තුළ ඇති වන ආසාධන (Pelvic Inflammatory Disease – PID) තවත් අවධානම් සාධකයක් වන අතර ශ්‍රෝණී ආසාධනයක් සඳහා සාමාන්‍යයෙන් හේතූ වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණ ජීවීන් රෝග තත්ත්වයි. උදාහරණ ලෙස Chlamydia හෝ Nisseria gonorro දැක්විය හැකියි. මෙම ජීවීයා මඟින් ගොනෝරියා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය ඇති කරයි. මීට අමතරව ලිංගිකව සම්ප්‍රේෂණය නොවන බැක්ටීරියා මඟින්ද ශ්‍රෝණිය ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර Ectopic pregnancy ඇති වීමේ අවධානම වැඩි කරයි. මෙසේ ඇති වන ආසාධනයක් මඟින් පැලෝපීය නාලවලට අනතුරු හා අවහිරතා ඇති කරයි

තවද ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සමග සම්බන්ධ වීමත් කාන්තාවට ශ්‍රෝණී ආසාධන තත්ත්ව ඇති වීමට ඇති අවධානම වැඩි කරවන අතරම Ectopic pregnancy ඇති වීමට ලිංගික සහකරුවන් කිහිප දෙනෙකු සිටීමද හේතු විය හැකිය. 

සාමාන්‍යයෙන් පැලෝපීය නාලයේ ඇතුළු ආස්තරණයේ කුඩා රෝම වැනි ව්‍යූහයන් රාශියක් පවතී. මේවා පක්ෂම (cilia) ලෙස හඳුන්වන අතරම ගර්භාෂය දෙසට චලනය වන මෙම පක්ෂම මගින් ඩිම්බය, ඩිම්බ කෝෂයේ සිට පැලෝපීය නාලය හරහා ගර්භාෂය දක්වා (තල්ලු කර හැරීම) ගමන් කරවීම සිදු කරයි. ආසාධන මඟින් මෙම පක්ෂමවලට හානි වුවහොත් ඩිම්බය ගමන් කරවීමට නොහැකි වේ. එවිට ඩිම්බය සංසේචනය වීමෙන් පසු එය ගර්භාෂයට ළඟා නොවී පැලෝපීය නාලය තුළ තැන්පත් වේ. එසේම මෙම ආසාධන නිසා ඇති වන කැළැල් පටක නිසා පැලෝපීය නාල අර්ධ ලෙස අවහිර වි හැකි අතරම එමඟින්ද සංසේචිත ඩිම්බය ගර්භාෂය තුළට යාම වළක්වයි

  • නාරිවේදීය තත්ත්වයන්

Endometriosis, ගර්භාෂය තුළ ෆයිබ්‍රොයිඩ් ඇති වීම හෝ කැළැල් පටක පැවතීම නිසා සංසේචිත ඩිම්බය ගර්භාෂය දක්වා ගමන් කරවීමට බාධා ඇති කරයි

  • අන්තර් ගර්භාෂයික උපත් පාලන උපකරණ (Intrauterine Contraceptive Devices – IUCD)

උපත් පාලන ක්‍රම ලෙස ගර්භාෂය තුළ තැන්පත් කරන ලූප නියමිත ස්ථානයේ නොමැති වීමෙන් ගැබ් ගැනීම් සිදුවන අතරම එවැනි ගැබ්ගැනීම් Ectopic pregnancy තත්ත්ව‍යේ විය හැකිය. 

  • ඍජුව හෝ වක්‍රව සිගරට් දුමට නිරාවරණ වීම

සමහර කාන්තාවන් පුරුද්දක් ලෙස දුම්පානය කරයි. ඇතැමුන් වක්‍රාකාරව සිගරට් දුමට නිරාවරණය විය හැකියි. මෙහි අවධානම ගන්නා සිගරට් ප්‍රමාණය මත රඳයි. මෙම දුම මඟින්ද පැලෝපීය නාලය තුළ ඇති පක්ෂම (Cilia) විනාශ කරයි. ඒ හේතුවෙන් ගර්භාෂය තුළට සංසේචිත ඩිම්බ රැගෙන යාමේ හැකියාව අවම විය හැක.

  • වඳ භාවය – Infertility

වඳභාවය පිළිබඳව ඉතිහාසයක් ඇත්නම් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කලයක සිට දරුවන් නොමැති නම් එයද Ectopic pregnancy තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි කරයි.

  • සරුභාවය ඇති කිරීම සඳහා ගනු ලබන ඖෂධ (ඇතැම්) ලබාගන්නා කාන්තාවන් 
  • සාමාන්‍ය ක්‍රමයට පිළිසිඳ ගැනීමක් සිදු නොවන නිසා IVF ප්‍රතිකාර වෙත යොමු වූ කන්තාවන්

Ectopic pregnancy තත්ත්වයකදී පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව තවත් ලිපියකින් බලාපොරොත්තුවන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

පොරොන්දුවලින් පොඩ්ඩන් රවටන්න එපා.

පුංචි අය රවටන්න හරිම ලේසියි. ඉර,හඳ ගෙනත් ළගට දෙන්නම් කිව්වත් ඒවා ඔවුන්ට ඇත්ත.ඒ වගේම දෙමව්පියන් වුනත් බය සැක නැතුව පොඩ්ඩන්ට විවිධ පොරොන්දු ලබා දෙන්නේ ඒවා ඉටු වුනත් ,නැතැත් කිසිම ගැටළුවක් නැති නිසයි.නමුත් පුංචි පැටියාට නොතේරෙන නිසා ඔබ අද දවසේ මේ වගේ බොරු පොරොන්දු දුන්නත් එහි ආදිනව හෙට දවසේ ඔබ වගේම දරුවාටත් පෙරලා ලැබෙන බැව් මොහොතකට හෝ සිතුවාද…?

අපි පොඩ්ඩන්ට පොරොන්දු දෙන්නේ ඇයි…?

පුංචි අයත් සමග කටයුතු කිරීම එතරම් පහසු කාර්යක් නොවෙයි.අපි කියන දෙයට ඔවුන් එකහෙලාම අවනත වෙන්නේ නැහැ. ඒ දරුවන්ගේ ස්වභාවයයි.මේ වගේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විදිහට අපි කරන්නේ දරුවාට කුමක් හෝ පොරොන්දුවක් ලබා දෙනවා.මේ පොරොන්දු දෙන්නෙත් නිකම් නොවෙයි. දරුවා ප්‍රිය කරනම දෙයක් මුල් කර ගෙන පොරොන්දුව දෙන්න දෙමව්පියන් බොහොම උනන්දුයි.

  • මං ඔයාට අපේ ගෙදර තරම් ලොකු කාර් එකක් ගෙනත් දෙනවා…හැබැයි බත් ටික සේරම කන්න ඕන.

අම්මා දන්නවා..පැටියා දන්නේ නැහැ.

හැබැයි ගෙදර තරම් විශාල කාර් එකක් නැති බව අම්මා දන්නවා. ඒත් පැටියාට එය තේරෙන්නේ නැහැ. තවම ඔවුන්ගේ ලෝකයේ ලොකුම සමාජය දෙමව්පියන් පමණයි. ඒ නිසා අම්මා,තාත්තා විසින් ලබා දෙන පොරොන්දුව පිලිගන්නවා. ඒත් මේ පොරොන්දුව කවදාවත්ම ඉටු නොවන බැව් පැටියා දන්නේ නැහැ.

එහෙමනම් ඉටු කරන්න පුලුවන් පොරොන්දුවක් දුන්නොත්…?

ඔව් ඒක ඇත්ත. පොරොන්දුව නිතරම ලබා දිය හැකි අන්දමේ වුනොත් එය වටිනවා.දරුවා කැමැත්තක් දක්වන පුංචි දේවල් වගේම දෙමව්පියන්ට පහසුවෙන් ඉෂ්ට කිරීමට හැකියාව ඇති පොරොන්දුත් තිබෙනවා.ඒ වගේ පොරොන්දුවක් ලබා දෙන්න කිසිම අපහසුවක් නැහැ.

මම ඔයාව පාක් එකට එක්ක යනවා…එහෙම නැත්නම් ලස්සන පින්තූර පොතක් අරගෙන දෙනවා. මේ වගේ පොරොන්දු ලබා දීම අපහසු නැහැ. ඒ විතරක් නොවෙයි, ඒ පොරොන්දු ඉෂ්ට කිරීමත් පහසුයි.

පොරොන්දුව ඉටු කරන කාලය ගැනත් උනන්දු වෙන්න..

ඔබ දරුවාට පොරොන්දුවක් ලබා දෙනවා නම් එය ඉටු කිරීමට හැකි කාලය ගැනත් අවදියෙන් සිටින්න. ඒවා ”දැන් “, ”අද ” යනුවෙන් ඉක්මනින් ඉටු කරන්නට බැදෙන්න එපා.අම්මාට පුළුවන් දවසක..එහෙම නැත්නම් අම්මාට සල්ලි ලැබුන දවසක..වගේ අනාගතයට කල් තබන්න.

හැබැයි බොරු පොරොන්දුත් එපා..

නමුත් මේ පොරොන්දු හැමදාම අනාගතයට කල් තබන බාලගිරි දෝෂයක් නම් නොවිය යුතුයි.කවදා හෝ දිනක දෙමව්පියන් විසින් ලබා දුන් පොරොන්දුව ඉටු වෙන බවට විශ්වාසය දරුවාගේ හිතේ ගොඩ නැගෙනවා නම් ඔබ සාර්ථක චරිතයක්.

පොරොන්දු යනු වචන පමණක් නොවේ..

පොරොන්දුවක් යනු වචන කීපයක් පමණක් නොවේ. එය දරුවාගේ සතුට විතරක් නොවේ. දරුවා සහ මව්පියන් අතර විශ්වාසය තහවුරු කරන ශක්තිමත් අත්තිවාරමක්.

පොරොන්දු කඩවුනොත් මොකද වෙන්නේ…?

දෙමව්පියන් විසින් ලබා දෙන පොරොන්දු කඩ වුනොත් එය ඔබ නොසිතන අන්දමින් දරුවාට බලපානවා.

දරුවාගේ හිතේ සතුට නැති වෙනවා.ඔබ දරුවාට යමක් දෙන බවට පොරොන්දු වුනොත් එය නොලැබෙන ලකුණු ඇති විට දරුවාගේ හිතේ සතුට නොදැනීම පිරිහෙන්න පටන් ගන්නවා. ඒ වගේම යටිහිත විසින් තමාගේ අහිමි වුන පොරොන්දුව ගැන දැඩි ලෙසින් පීඩාවට පත් වීමත් සාමාන්‍ය ස්වභාවයක්.

දෙමව්පියන් ගැන ඇති විශ්වාසය-දෙමව්පියන් විසින් දරුවාට ලබා දෙන ලද පොරොන්දු ඉෂ්ට නොකිරීම නිසා දරුවාගේ හිතේ දෙමව්පියන් මුල් කර ගෙන කිසිම විශ්වාසයක් නොමැති තත්වයකට පත් වෙනවා. අම්මා/තාත්තා කිසිම දිනක තමාට වුන පොරොන්දු ඉටු නොකල බැව් දරුවා දන්නවා.

අද පොරොන්දු ඉටු නොවුන බැව් දන්නා දරුවා හෙට දවස ගැනත් උපකල්පනය ගොඩ නගා ගන්නවා. හෙටත් එය ඉටු නොවන පොරොන්දුවක් බැව් දරුවා විසින්ම තහවුරුවක් ගොඩ නගා ගන්නවා.

කේන්තිය

පුංචි අයටත් කේන්තිය සාධාරණයි. තමා වෙනුවෙන් වූ පොරොන්දුව ඉටු නොවන විට හිතේ ඇති වෙන කේන්තිය විවිධ ආකාරයෙන් පිට කරන්න පටන් ගන්නවා.සමහර විට මේ කේන්තිය පොරොන්දු කඩ වීම නිසා බැව් දෙමව්පියන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ තරම් සියුම් අන්දමින් දරුවා තමන්ගේ කේන්තිය පිට කරන්න පටන් ගන්නවා.

ඒ නිසා බැරි පොරොන්දු දෙන්න එපා..

එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ කවදාවත් දරුවන්ට ඉටු කිරීමට නොහැකි පොරොන්දු දෙන්න එපා.පොරොන්දුවක් ලබා දීමට පෙරාතුව ඒ ගැන හිතන්න.

යටිහිතේ තැන්පත් වෙනවා

දරුවාගේ ළමාකාලයේ අත්දැකීම් ඔවුන්ගේ යටිහිතේ තැන්පත් වෙනවා. සියල්ලම නොවුනත් තමාගේ ජීවිතයට ශාරිරික හෝ මානසික පීඩාවක් ඇති වුන සිදුවීම් මේ අන්දමින් හිතේ තැන්පත් වෙනවා. ඒවා දරුවා සමග අනාගතයටත් ගමන් කරනවා.

මං පුංචි කාලයේ අම්මා/තාත්තා බොරු පොරොන්දු දීලා මාව රැවට්ටුවා..කවදාවත් පොරොන්දු වුන දෙයක් මට ලැබුනේ නැහැ..මෙවැනි පරාජිත සිතුවිලි දරුවාගේ හිතේ ඇති වුනොත් එතරම් සුබවාදී නැහැ.ඒ නිසා බොරු පොරොන්දුවලට වඩා පොරොන්දුවක් නොවී සිටීම වඩාත් වටිනවා.

පොරොන්දුව කියන්නේ අල්ලසක්ද නොවේ..

ඔබ නිතරම දරුවාට යම් යම් පොරොන්දු ලබා දෙන විට එය අල්ලසක තත්වයකටත් පත් වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම පොරොන්දු මත යැපෙන තැනට දරුවා පත් වුනොත් එය මානසික අල්ලසක් බවට පත් වෙනවා.එතැන් පටන් කිසිම දෙයක් පොරොන්දුවක් නොමැතිව කරන්නට බැරි තරම් තත්වය දරුණු වෙන්නත් පුලුවනි.

ඒ නිසා ඔබ කිසිම දිනක දරුවාට කඩවුනු පොරොන්දු දෙන්න එපා.පොරොන්දුව සමග දෙමව්පියන් සහ දරුවා අතර විශ්වාසය තහවුරු වීම අවශ්‍යයි.ඒ නිසා ඔබ දෙපාර්ශවය අතර ගැටුමක් වෙනුවෙන් ඔබ දරුවාට ලබා දෙන පොරොන්දුව හේතු විය හැකි බවත් අමතක කරන්න එපා.

 

  

කොවිඩ් සමයේ අපේ පරෙස්සම

ගිනි පෙලෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කනාමැදිරියාටත් බයයි කියනවා කොවිඞ් වසංගතය ඉදිරියේ අපට ආහාරපාන.ගමන් බිමන්, යන හැම දෙයක් ගැනම යම් සැකයක් තිබෙනවා. ඒ නිසා මේ කාලයේදී අපේ ආහාර ගැන සුරක්ෂිතතාවය ඇති කර ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

කොවිඞ්  කියන්නේ ආහාරයෙන් බෝවන රෝගයක් නොවේ. ඒ වගේම ආහාර මත ගුණනය වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ වුනත් ශීත ආහාර මත මේ වෛරසය දිගු කාලයක් ජීවත් වෙන්න පුලුවනි.ඒ වගේම වායුසමීකරණය කරන ලද කාමරවල වෛරසයේ ස්ථායිතාවය ඉහළ මට්ටමක පවතිනවා.

දැන් කාලයේ වැඩි දෙනෙක් ආහාර මිලට ගන්නේ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වලින්…එවිට අවදානමක් තිබෙනවාද…?

ශීතකරණ හෝ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වල සීතල ප්‍රදර්ශනකුටිවල ගබඩා කර ඇති ආහාර මත වෛරසයේ අධික මාත්‍රාවක් තිබෙන්න පුලුවනි. ඒ වගේම බොහෝ ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශවල වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වල ශීත කළ ආහාර සහ ශීත කල ආහාර පැකේජ් මත වෛරසය පැවතීමේ හැකියාවක් තිබෙනවා.

මේ අවදානමෙන් අප ආරක්ෂා වෙන්නේ කොහොමද…?

ආහාර මගින් හෙවත් ශීත කරන ලද ආහාර මගින් අපට වෛරසයේ සම්ප්‍රේෂනය වලක්වා ගැනීමට නම් පියවර කීපයක් ගත හැකියි. ඒවා සාමාන්‍යයෙන් ඉතා සරල සහ පහසුවෙන් අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගැනීමට පුලුවනි.

ඔබ ආහාර මිලදී ගැනීමේදී අදාල වෙළඳ ආයතනයේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන තහවුරු වීම අවශ්‍යයි. විශේෂයෙන් මස්,කිරි, යෝගට් , අයිස්ක්‍රිම් මිළට ගන්නවා නම් නිසා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන වෙළඳසැල් වෙතින් පමණක් මිළට ගැනීම වැදගත්.

ඒ වගේම ඔබ නිවසට මෙම ආහාර ද්‍රව්‍ය ගෙන ආ පසුව සැනින් ඒවායේ දැවටුම් සහ ඇසුරුම් ගලවා නිසි පරිදි බැහැර කරන්න.

සාමාන්‍යයෙන් අසුරා ඇති භාජන නම් විෂබීජහරණය කිරීමට පුලුවනි. ඒ වෙනුවෙන් ඔබට ක්ලොරොක්ස්,පවර් බ්ලීච් වැනි ගෘහස්ත බ්ලීච් භාවිතා කරන්න පුලුවනි.ඊට පෙරාතුව මේ ඇසුරුම් පිටත ප්‍රදේශය නල ජලයෙන් සෝදන්න. අත්වැසුම් පළඳා ගන්න. දැන් බ්ලීච් ද්‍රාවනයෙන් තේ හැන්දක් : මිලි ලීටර් 5 ක් ) ජලය මිලි ලීටර් 250 කට එකතු කරන්න.දැන් ස්පොන්ජියක් තෙමා මේ ද්‍රාවණය ආහාරයට ඇතුළු නොවන සේ බහාලුම් පිටත පිරිසිදු කරන්න. මිනිත්තු පහකින් පසුව වතුරෙන් සෝදා ශීතකරණයේ ගබඩා කරන්න. පිරිසිදු කරන අවස්ථාවලදීත් ඔබේ මුහුණ,නහය ආදී ස්ථාන ස්පර්ශ නොකිරීමත් වැදගත්.
ආහාර හොඳින් පිසින්න..

කොවිඞ් 19 වසංගත කාලයේදී වඩාත් සුදුසු වෙන්නේ හොඳින් පිසින ලද ආහාරයි. තාපයේදී වෛරසය පහසුවෙන් විනාශ වෙනවා. ඒ නිසා මේ කාලයේදී මස්.මාලු ආහාරයට ගැනීමේදී හොඳින් පිස ගන්න. අඩක් පිසින ලද මස්.මාලු ආහාරයට ගැනීමෙන් ඈත් වෙන්න.

අමුවෙන් මාලු ආහාරයට ගැනීම..?

අමුවෙන් මාලු ආහාරයට ගැනීම චීනය සහ කොරියාව වැනි රටවල සිදු වුනත් ඒවා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස් කර තිබෙන නිසා ඒ රටවල්වලදී අමුවෙන් මාලු ආහාරයට ගැනීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ නැහැ.නමුත් නොපිසූ මාළු ආහාරයට ගැනීම අපේ සංස්කෘතියේ ආහාරපුරුද්දක් නොවෙයි.අපේ කොරෝනා පොකුරක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් පටන් ගත්තා.ඒ නිසා මේ වෛරසය මත්ස්‍යයන් සමග දූෂනය වී තිබෙන නිසා අමුවෙන් හෝ බාගෙට පිස මස් සහ මාලු ආහාරයට නොගත යුතුයි.

පිසින ලද සීත කළ ආහාර..

ඔබ ආපනශාලාවකින් පිසින ලද ආහරයක් මිලට ගන්නවා නම් නිවසට ගෙන ගොස් පරිභෝජනයට පෙරාතුව රත් කර ගන්න.බටහිර රටවල නම් සලාද, සැන්ඞ්විච්, පැස්ටා ආදිය ශීත කැබිනෙට්ටුවල ගබඩා කර තිබුනත් අපේ රටේ මෙවැනි ආහාර බහුලව දකින්න නැහැ. ඒ වගේම වන සතුන් වෙත කොවිඞ් 19 වෛරසයේ සම්ප්‍රේෂනය වීමේ අවදානමක් තිබෙන නිසා සම්ප්‍රදායික නොවන ඉබ්බා, ඉගුවානා,වවුලන් වැනි සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් ඉවත් වෙන්න.

විටමින් D අඩංගු ආහාර ගැනීමෙන් COVID -19 අපට ආරක්ෂාවක් ලැබෙනවාද…?

විටමින් D ඌනතාවය ඇති අයට COVID 19 රෝගය පහසුවෙන් වැලඳෙන බව විවිධ අධ්‍යනයන් මගින් සොයා ගෙන තිබුනත් විටමින් D ඌනතාවය සහ  COVID -19 රෝගය අතර පවත්නා සම්බන්ධතාවය ගැන තවම නිශ්චිත තහවුරු වීමක් නැහැ. විටමින් D මගින් ශ්වසන රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන බැව් තහවුරු වී තිබෙනවා. විටමින් D ප්‍රතිශක්තිය වැඩි කරන බැව් අප දන්නා කරුණක්. ඒ නිසා කොවිඞ් වසංගතයටමත් සීමා නොවී විටමින් D මට්ටම යහපත් පරිදි පවත්වා ගැනීම වැදගත්.

අපි විටමින් D ලබා ගන්නේ කොහොමද..?

සාමාන්‍යයෙන්  ආහාර නොමැතිව අපට අවශ්‍ය විටමින් D හිරු එළියෙන් ලබා ගන්න පුලුවනි. වැඩිහිටියෙකුට දිනකට  විටමින් D මයික්‍රොග්‍රෑම් 20 සිට 25 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.අපේ සිරුරේ ඇති කොලස්ටරෝල් මගින් හිරුඑළිය පවතින විට විටමින් D ජනනය කරනවා.වඩාත් නිවරැදිව කියනවා නම් අක්මාව තුළ ඇති කොලස්ටරෝල් 7 ඩි හයිඞ්රෝ කොලස්ටරෝල් බවට පරිවර්තනය වෙනවා. එයින්  පසුව එය විටමින් D -3(කොලකාල්සිෆෙරෝල් ) පරිවර්තනය වීම සූර්යාලෝකයේ පාරජම්බුලකිරණ ( UV ) මගින් සිදු වෙනවා.

ඒ නිසා අප උදෑසන හිරු එලියට නිරාවරනය වුනොත් විටමින් D නොමිලයේම ලබා ගන්න පුලුවනි.නමුත් කොවිඞ් සමග බොහෝ දෙනා නිවෙස්වලට සීමා වීම නිසා හිරු එලියට නිරාවරනය වීමත් සීමා වී තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50% ක් පමණ පිරිසකට ප්‍රමාණවත් පරිදි සූර්යාලෝකය නොලැබෙන බැව්  බැව් ගණන් බලා තිබෙනවා.

ආහාර මගින් විටමින් D ලබා ගැනීමට නම්….

විටමින් අඩංගු ආහර අතරට ගැනෙන සැමන්, බලයා, කෙලවල්ලා, බිත්තර කහමදය, කිරි සහ මාගරින් වැනි ආහාර මගින් ඔබට අවශ්‍ය විටමින් D ලබා ගත හැකියි.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

දෙමාපියන් වන අපේ සීමාවන් දරුවන්ගේ ජීවිතයට බලපෑම්කරන්නේ කොහොමද?

“අද දවසෙම සෙල්ලම. දැන් යන්න පොතක් පතක් බලා ගන්න” කොයි අම්මා තාත්තත් දරුවන්ට මේ ටික නම් කියනවාමයි. දෙමාපියෝ විදියට අපේ මේ කියමන දරුවෙකුට කොයිතරම් නම් දුරට සාර්ථකද කියලා අපි විමසමු.

දෙමාපියන් වන අපේ බලාපොරොත්තුවලට දරුවන් තල්ලු කිරීම හරිද?

දෙමාපියන් විදියට අපි හැමදෙයක්ම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ වගේම අපේ හැමදේම කැප කරන්නෙත් ඔවුන් වෙනුවෙන්. ඒත් වෙලාවකට මේ දේවල් පුන්චි හිත්වලට බර වැඩිද කියලත් හිතෙනවා. ඇත්තටම දෙමාපියන් වන අපේ බලාපොරොත්තුවලට දරුවන් තල්ලු කිරීම හරිද?