Empty nest syndrome….. හෙවත් හිස්වුන කැදැල්ලේ ඛේදවාචකය

ලෝකය පුංචි ගම්මානයක් බවට පත් වීමත් සමග එදා දෙමව්පියන්ට වඩා දරුවන්ගේ දෙනෙතට ලෝකය පෙනෙන්න වුණා. ඒ නිසාම ඔවුන් අධ්‍යාපනය, රැකියාව එහෙම නැත්නම් පදිංචිය වෙනුවෙන් විදේශගත වෙද්දී දෙමව්පියන් අපේ රටේ තනිවීමේ ශෝකාකූල තත්වය අද පොදු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ වුනත් කවා පොවා ඇති දැඩි කල මේ කුරුලු පැටවු රටෙත් නැතුව විදේශගත වුනාම මව්පියන් අසරණ වෙනවා. ඒ කියල දරුවන් තමන්ගේ තීරණ වෙනස් කරන්නෙත් නැහැ. දෙමව්පියන්ට ඔවුන්ගේ තීරණ වෙනස් කිරීමට හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ වුනත් අපේ දුව..පුතා අහවල් රටේ කියල තවත් කෙනෙක් සමග කියල සතුටු වීම හැර වෙනත් කිසිම තෘප්තියක් අද කාලයේ දෙමව්පියන්ට නැහැ.

ඒ අතරම අතීතයේ දරුවන් සමග ගත කළ මිහිරි අතීතය ගැන හිත හිතා ආත්මීය ශෝකයට පත් වෙන අතරම සුන්දර අනාගතයක් නොමැතිවීම නිසා පසුතැවෙන්න පටන් ගන්නවා. මේ නිසාම අද බොහෝ වැඩිහිටි දෙමව්පියන් මානසිකව ඩිමෙන්සියා අැල්සයිමර් වැනි රෝග තත්වයනගේ ගොදුරු බවට පත්ව සිටිනවා. නමුත් වැඩිහිටියන්බවට පත් වෙන විට ජීවිතය මේ විදිහට සැලසුම් කළොත් අපහසුවෙන් වුනත් මානසිකව නීරෝගීව සිටින්නට හැකියාව ඔවුන් උපයා ගනීවි.

වයසට යන බව සිතන්න

ජෛව විද්‍යාත්මකව වියපත්වීම මට පමණක් නොව හැම දෙනාටම සිදු වෙන පොදු ධර්මතාවයක් බව සිතන්න. දරුවන් වියපත් වීම සමග ඔවුන් කැදැල්ල හැර පියා යෑමේ සාමාන්‍ය තත්වය නොවලැක්විය හැකි‍ හේතුවක් නිසා ඒ වෙනුවෙන් කල් තබාම හිත සූදානම් කර ගන්න.

ගැටළුවක් ඇත්නම් කා සමග හෝ කතා කරන්න

බොහෝ දෙනෙක් තමන්ට ඇති ප්‍රශ්න දරා ගෙන සිටිනවා විනා කිසිම කෙනෙකුට ඒ ගැන කීමට මැලියි. මේ දරා ගැනීම එතරම් සුදුසු නැහැ. දරා ගැනීමට අපහසු ගැටළුවක් ඇත්තේ නම් ඒය කා සමග හෝ කියා හිත නිදහස් කර ගන්න. දරුවන් අසල නොමැති නම් ඔබට හිතවත් පවුලේ කවුරු හෝ හිතවතෙක් සමග මේ ගැටලුව කියා ඒ වෙනුවෙන් කිසියම් සහනයක් ලබා ගන්න.

උදව් ඉල්ලා සිටින්න

වියපත්වීම සමග හව්හරන පිලිබඳව ඇති වෙන අවශ්‍යතා බොහෝ තිබෙනවා. එවන් අවස්ථාවන්හිදී තමාට ලැදි කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීමට පසුබට වෙන්න එපා. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය පුද්ගලයෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීම එතරම් ගැටලුවක් නොවේ. එහෙත් උදව් නොඉල්ලා සිටීමෙන් මේ ගැටලුව බරපතල ගැටලුවක් බවට පත් වීම තිබෙන ඉඩ කඩ විශාලය.

තවත් අයට සලකන්න

අනුන්ට උදව් කිරීම වියපත්බව අමතක කරන ක්‍රියාවක්. ඔබ තවත් කෙනෙකුට උදව් කිරීම නිසා ලබන සතුට ඔබේ ජීවිතයට බොහෝ සේ ආශිර්වාදයක් විය හැකියි. ඒ නිසා හැකි හැම විටම සුලුවෙන් හෝ තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනන්. එයින් ඔබේ ජීවිතයට විශාල ආලෝකයක් ලැබෙනු ඇති.

සමාජ සේවාවන්ට යොමු වෙන්න

දැන් ඔබේ කැදැල්ල හිස් බව ඇත්ත. ඒත් මේ හිස් වුන කැදැල්ල ගැන නොසිතා සමාජ සේවාවන්ට යොමු වෙන්න. එතැනින් ඔබට තවත් සමාජයක් ගොඩ නගා ගත හැකියි. සමාජ සත්කාර නිසා ලබන සතුට මනසේ නිරෝගීතාවයටත් හේතු විය හැකියි. අද විවිධ අධ්‍යනයන් මගින් පවා හඳුනාගෙන ඇති අන්දමට වියපත් පුද්ගලයන් සමාජ සත්කාර කටයුතුවල යෙදීම ඔවුන්ගේ මානසික නීරෝගීතාවයට හේතු වෙන අතර එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ආයුෂ පවා දිගු විය හැකි බව දැන් තහවුරුව තිබෙනවා.

ක්‍රියාශීලි වෙන්න

“මට මහලු වයසේ කිසිම දෙයක් පෙර සේ…” බැරි බවට මානසිකත්වයක් ගොඩ නගා ගෙන අලසව ජීවිතය ගත කිරීම ඔබ රෝගී පුද්ගලයෙක් බවට පත් කරන ඇති. ශාරිරිකව රෝගී වීමට වඩා මානසිකව රෝගී තත්වයට පත් වීම බරපතල ගැටලුවලට මුල පුරන බැවින් හැම විටම ක්‍රියාශීලී වෙන්න. නිවස අතුගෑම, මිදුල ඇමදීම, මල්පැල සිටුවීම වැනි ව්‍යායාම ලැබෙන කටයුතුවල යෙදීමෙන් සිරුරේ විවිධ රෝගාබාධයන් ඇති විය හැකි අවදානමෙන් ඔබ නිදහස් වෙනු ඇති. අක්‍රියශීලී ජීවිතය නිසා රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැඩි වෙන අතර රැදිරගත සීනි වෙනුවෙන්ද බලපානු ඇත. සිරුරේ ගොඩ නැගෙන මේ තත්වය නිසා හදවත් රෝග සංකුලතාවයන්,දියවැඩියාව, තරබාරුව, අක්මාරෝග, වකුගුඩු ආබාධ වැනි රෝග තත්වයන්ගේ ගොදුරක් නොවීමටත් වග බලා ගන්න.

තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න

වියපත් වීම සමග පුංචි අනතුරකින් පවා ජීවිතය එක්තැන් වෙන්න පුලුවනි. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. කෙසල් පොතු වැනි ලිස්සන දේ ගැන අවධානය දක්වනන්. පඩිපෙලක නගින විට අත්වැල අල්ලා ගෙන යන්න. අදුරේ අතපාත ගානවාට වඩා විදුලි පන්දමක් හෝ වැනි දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇති.

සැහැල්ලුවෙන් ඉන්න

හිත ලෙඩ වුනොත් එයින් ඇති වෙන අතුරු ආන්තරාවන් අවසානයක් නැත මේ නිසා නිතරම හිත සැහැල්ලුවෙන් සිටීමට නම් ආගමික වතාවත්, භාවනා වැනි ආධ්‍යාත්මික ශාන්තිය ගෙනෙන කටයුතුවල නිරත වෙන්න.

සතුට ලැබෙන දේ කරන්න

සතුට ලැබෙන දේ මේ යැයි කිසිම කෙනෙකුට ලැයිස්තුවක් ඉදිරපත් කිරීමට බැහැ. ඒ වුනත් ඔබට සතුට ලැබෙන්නේ කුමකින්ද යන්න ඔබට තේරෙනවා ඇති. ඇතැමෙක් පොත් පත් කියවීමෙන් සතුට ලබන අතර තවත් කෙනෙක් ඇදුමක් මැසීම, ඉවුම් පිහුම්, පත්තර බැලීම, ගෘහස්ථ ක්‍රිඩාවක යෙදීම වැනි විවිධ කටයුතු වලින් සතුට ලබනු ඇත. එසේ ඔබට හිතට සතුටක් ලැබෙන දෙයක් වේ නම් ඒ වෙනුවෙන් යොමු වෙන්න. සතුට ඇත්තේ එතැනය.

මේ අන්දමින් අනේ අපේ නිවස හිස් වුන හැටි කියමින් ලතනොවි නිවස හිස් වුනත් ඔබ පිරුණ මනසකින් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ජීවිතයට මුහුණ දෙන්න.

අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න ඕනෑද…?

“අද මට බත් කන්න බැහැ…කඩෙන් මොනවා හරි ගේන්න…
ඇයි කඩෙන්.. ගෙදර උයපු බතුත් තියෙනවා.. එළවළුවක් හදන්නම්…
අපෝ එපා… මට ගෙදර කෑම ඇති වෙලා… දෝනි කිව්වා..”

එහෙමනම් කඩෙන් මොනවා හරි ගෙනාවා නම් එක අතකට ලේසියි. දැන් ආයේ උයනවාට වඩා අම්මාටත් හිතුනා. මේ අපේ හැම ගෙදරකම දැන් සිද්ධ වෙන සුලබ සිද්ධියක්. ඒත් මේ පිටුපස දිවෙන ඛේදවාචකය ගැන සමහර විට අම්මලාවත් නොදන්නවා ඇති.

දරුවෝ නැති පවුල් …..

ඔන්න ඔය සිද්ධියටම මේ කතාවත් සම්බන්ධ කර ගන්නකෝ… ඉස්සර කාලයේ බොහෝ පවුල්වලට සිද්ධ වුනේ දරුවන් ලැබීම සීමා කර ගැනීමට විවිධ විධි විධාන අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒත් අද මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් අපිට නිතරම දරුවන් පිලිසිඳගැනීම් පිලිබඳ ගැටළු ගැන නිතරම අහන්න ලැබෙනවා. විවිධ ප්‍රතිකාර, ශාන්තිකර්ම ඔස්සේ ඔවුන් මේ වෙනුවෙන් විසඳුම් බලාපොරොත්තුව මහත් සේ වෙහෙසට පත් වෙනවා. ඒ අතරම පසුගිය දා ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය නිතරම කඩ කෑම හොයන දරුවන්ට යම් විදිහට හෝ සීමාවක් පැනවීම අවශ්‍ය බව තේරුම් ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම අම්මලා වුනත් තමන්ගේ දියණිය අනාගත මවක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පුංචි පුංචි සීමාවන් මගින් හෝ ඔවුන්ගේ මේ රැල්ල නැවැත්තුවොත් හොදයි නේද….?

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ජෙසිකා ග්‍රෙගර් විසින් ඇගේ අධ්‍යනය වෙනුවෙන් විවාහක ජෝඩු 6000 ක් සම්බන්ධ කර ගත්තා. මේ නියැදියට සම්බන්ධ වුනේ ඔස්ට්‍ර්ලියාව,නවසිලන්තය, අයර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල්වල අඹු සැමියන් පිරිසක්. ඒ අතරින් ජෝඩු 2204 ක් හනිමුන් බේබිලා හෙවත් විවාහයෙන් මාසයක් තුළ දරු පිලිසිඳ ගැනීම් වෙනුවෙන් වාසනාවන්ත නිමිති පහළ කර ගත්තා.මේ පිරිස තවත් වැදගත් ආහාර පුරුද්දක් අනුගමනය කර තිබුනා. ඔවුන් දිනකට අවම වශයෙන් පළතුරු පංගු තුනක්වත් ආහාරයට ගෙන තිබුණා.

දරු නිමිති නැති අයගේ ආහාරය…

දෙවනුව මේ අධ්‍යන කණ්ඩායමේ අවධානය යොමු වුනේ දරු පිලිසිඳ ගැනීම ප්‍රමාද ජෝඩු සම්බන්ධවයි. ඔවුන්ගෙන් ලබා ගත් ආහාර පුරුදු පිලිබඳ දත්ත අනුව මේ පිරිස සතියකට සකස් කළ ආහාර වේල් හතරක් හෝ පහක් ලබා ගත්තා පමණක් නොවෙයි, පළතුරු එළවලු ආහාරයට ගත්තේ ඉතාම අඩුවෙනුයි. පිට්සා, බර්ගර්, සහ සකස් කරන ලද කුකුලු මස් ආහාරයට ගැනීමෙන් දරු පිලිසිඳ ගැනීමට බාධාවක් වීමට ඇති අවස්ථාව 16 % කින් ඉහල යන බව මෙම අධ්‍යනය මගින් තහවුරු වුනා.

පිරිමි දරුවන්ටත් අවදානමක් තිබෙනවා…

දැන් ඉතින් පුතාලා ඉන්න  අම්මලා සැනසුම් සුසුම් හෙලයි.. මොකද… ගැහැණු දරුවන්ට නේද ?…මේ අනතුරු දැන්වීම අපි මොකට බයවෙනවාද ? කියලා… ඒත් මද සරුබවට ගැහැණු දරුවා විතරක් නොවෙයි, පිරිමි දරුවාටත් දායකත්වයක් තිබෙනවා.මේ  ආහාර ගැනීම නිසා පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු ගිණුමේ සක්‍රියතාවයට වගේම පරිමාවටත් බලපාන බව මෙහිදී පෙනී ගිය බව අධ්‍යනයේ කර්තෘ ජෙසිකා ග්‍රෙගර් (Jessica Grieger) විසින් සඳහන් කර තිබෙනවා.

දරු සම්පතක් ලබා ගන්න නම් හොදින් ආහාර ගන්න…

මේ අධ්‍යනයට තවත් අතුරු තොරතුරු එක් කරමින් නිව්යෝක් ලෙනොක්ස්හිල් රෝහලේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ජෙනිෆර් වූ සඳහන් කරන්නේ මනා පෝෂණය දරුවන් පිලිසිද ගැනීම වෙනුවෙන් බලපාන ප්‍රබල සාධකයක් බවයි. වෛද්‍ය ජෙනිෆර් සඳහන් කරන්නේ නිවරැදි ලෙසින් මේ සංසිද්ධිය තහවුරු කර ගැනීමට නම් නියැඳිය තව දුරටත් පුලුල් කළ යුතු බවයි. ඒ නිසා තවත් ගැබ්ගත් සහ මද සරු කාන්තාවන් මේ අධ්‍යනයට සම්බන්ධ කර ගත්තා.

තරබාරුවත් ගැටලුවක්…

වෛද්‍ය “ජෙනිෆර් වූ” විසින් ලබා ගත් දත්ත විශ්ලේෂනයේදී පෙනී ගියේ තරබාරු සහ අධික බර ඇති කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ව පැවැති බවයි. ඔවුන්ගේ ආහාර රටාවත් උක්ත අධ්‍යනයට සම්බන්ධ කාන්තාවන්ගේ ආහාර රටාවටම සමාන වුනා.

ගැබ්ගත්තාට පසුව ආහාර ගැන සැලකිලිමත් වුනාට බැහැ…

මේ දත්ත විශ්ලේෂනය කරමින් වෛද්‍ය “ජෙනිෆර් වූ” සඳහන් කරන්නේ බොහෝ කාන්තාවන් පෝෂණය ගැන වෙහෙසෙන්නේ දරු පිලිසිඳ ගැනීම සිදු වුනාට පසුවයි. එතෙක් ඔවුන් තමන්ගේ ආහාර ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.එතෙක් මේ කාන්තාවන්ගෙන් අපි ඇහුවොත් මොනවද ආහාරයට ගන්නේ කියලා ඔවුන්ගේ පිලිතුර වෙන්නේ ෆ්‍රයිඩ් චිකන්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පිට්සා වැනි විවිධ ආකාරයේ මේද බහුල ආහාර ගැන විතරයි. කිසිම කෙනෙක් පළතුරු ,මාළු, අලුත් එළවලු ගැන කියන්නේම නැහැ.

අම්මලාටත් පණිවිඩයක් තිබෙනවා…

එක අතකින් ආහාර පුරුදු එක රැයකින් ගොඩ නගන්න බැහැ. ඒත් අහිතකර විදිහට ආහාර වෙනුවෙන් ආකර්ශනයට නම් කාලයක් යන්නේ නැහැ. අද තරුණ පරම්පරාව යොමු වෙලා තියෙන්නේ මේ අහිතකර තත්වයට පමණයි. ඔවුන්ගේ ආහාර ‍අතර පළතුරු, පලා සහ එළවලු ඇත්තේම නැහැ.ආහාර ගුණ දන්නා අම්මලාට වුනත් මේ රැල්ල නවත්වා ගන්න බැරි තැනට අද ඇවිත් තිබෙන වසංගතයක් වෙලා. අනුකරනයට වඩා අපේ තියෙන්නේ අන්ධානුකරනයක්. අපි කන්නේ බොන්නෙත් වැඩියෙන්ම අනුන්ට අවශ්‍ය විදිහට වගේම තවත් අයට ප්‍රදර්ශනය කරන්න. ඒත් අන්තිමට එයින් අමාරුවේ වැටෙන්නෙත් අපිම බව තවමත් අපි දන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඉන්න අම්මලා තාත්තාලාට අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න අවශ්‍ය නම් දැන් ඉතින් මේ ගැනත් ටිකක් හිතල බැලුවොත් හොදයි. මේ අධ්‍යන වාර්තාව ඔවුන් “Human Reproduction” මගින් ප්‍රකාශයටත් පත් කර තිබෙනවා.

CNN පුවත් සේවයේ Want to increase fertility? Try dropping fast food ලිපිය ඇසුරින්

 

පරිස්සමින් තෝර ගන්න

ටියුෂන් කියන්නෙ අද රැල්ලක්. පෙර පාසල් යන දරුවන්වත් හවස් වරුවෙ ටියුෂන් ඇදගෙන යන අම්මලා මට කොතෙකුත් මුණ ගැහිලා තියෙනවා. ඒ වෙලාවට මම අහනවා,

“අනේ ඇයි මේ පොඞ්ඩන්ව පන්ති යවන්නේ…”

“අනේ ගෙදර පොතක්වත් අල්ලනෙ නැහැ මේ පැය දෙකවත් වැඩ කරනවනේ..”

“මොනවද අනේ ඔච්චරට ඉගෙන ගන්න තියෙන්නෙ මේ පොඞ්ඩන්ට අනික උදේට මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්නෙ…”

“ඔව් අනේ ඒ වුණාට ගොඩක් අම්මලා පන්ති යවනවනේ…”

එතනින් එහාට ඒ අම්මත් එක්ක කතා කරලා පලක් නැහැ. ඇත්තටම අම්මලා කියන්නෙ බුද්ධිමත්ව හිතන්න ඕනී පිරිසක්. බොහෝ විට මේ උපකාරක පන්තිය පවත්වන්නෙ පෙර පාසලේම ගුරුවරියන්ය. කුමක් හෝ දෙයක් වැඩිපුර උගන්වන බව කියා ඔවුන් දරුවන්ව උපකාරක පන්තියට ගෙන්වා ගනියි. එලකියුෂන්ද දැන් අවුරුදු 3 දරුවාගේ පටන්ම ඇති රැල්ලකි. අවුරුදු 3 පැටවුන්ව උපකාරක පන්තියට සහභාගී කරවන්න අම්මලා දෙවරක් නොසිතයි. උපකාරක පන්තියට සහභාගී වන දරුවන්ට විශේෂ සැලකිල්ලකුත් හිමිවෙනවාලු. ගුරුවරු දරුවන්ට එහෙම විශේෂත්වයක් කරන එක කොයි තරම් නම් අසාධාරණද?

මමත් අම්මා කෙනෙක්. මගේ පුතා ලබන වසරේ අම්මලගේ විභාගේ ඒ කියන්නෙ පහවසර ශිෂ්‍යත්වය ලියන්න ඉන්නෙ. පුතා යන්නෙ නිවසට කිට්ටු ප්‍රාථමික අංශය පමණක් තිබෙන පාසලකට. පහෙන් පස්සෙ පුතාව හොඳ පාසලකට ඇතුලත් කිරීමේ අභියෝගය මටත් තියෙනවා. ඉතින් ගිය වසරෙ අවසාන කාලයේ පුතාට ගැලපෙන පන්තියක් හොයන්න මමත් හැම අම්මා කෙනෙක් වගේම වෙහෙසුනා.

“ඒ සර් ෂොක්ලු ගණිත ගැටලු වලට විසඳුම් ළමයින්ට පොවනවා වගේ උගන්වන්නේ…” ඔය වගේ විවිධ තැන් වල ප්‍රසිද්ධ ගුරුවරු ගැන තොරතුරු හොයද්දි මට අහන්න ලැබුණා. කොහොම වෙතත් මගේ පුත්‍රයවත් ශිෂ්‍යත්වයෙන් එතෙර කිරීමේ අභිප්‍රායෙන් මම නම ගිය ගුරුවරයෙක් ළඟට පුතාව ඇතුල් කලා. පළමු දවසෙ මමත් පන්තිය පිටු පසට වෙලා හිටියා.

පැය දෙකකට විෂයන් තුනක්. ඔන්න දැන් ගණිත ගැටළු පොවන්න යන්නේ. බෝඞ් එකේ දැමු ගණන පිටපත් කරගෙන දරුවො ගණන හදනවා.

“හරි දැන් වෙලාව ඉවරයි. සසංක එන්න බෝඞ් එකේ මේකට පිළිතුර හදන්න…”

පොඞ්ඩත් ලැජ්ජාවෙන් ඉදිරියට ගිහිල්ලා ගාණ හදනවා.

දරුවන්ව ඉදිරියට ගෙනල්ලා සබකෝලය නැති කරන එක නම් හොඳයි මගෙ හිත කිව්වා.

“මේ මොකද්ද මේ කලිනුත් කියලා දීලා තියෙනවා නේද? මෝඩ ළමයා යනවා, යනවා” පුංචි සසංකගෙ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණා. අනිත් යාළුවොත් හිනා වෙනවා.

“ආ … තරුක එන්න බලන්න…”

පළවෙනි දවසෙම මගෙ පුතාගේ වාරය ආවා. ලොක්කා වගේ ඉස්සරහට ගිය මගේ පුතත් වැරදියට ගාණ හැදුවා. “වැරදියි , වැරදියි අද පළවෙනි දවස නිසා බේරුණා…”

“නිම්නා එන්න”

පුංචි කෙල්ල ගාණ නිවැරදිව හදනවා.

“හරියටම හරි මේ කෙල්ල විතරයි මම කියලා දීපුව ඔළුවට අරන් තියෙන්නෙ. ඔය ළමයි හරියට ඉගෙන ගත්තෙ නැතිවුනොත් මම හම්බ කරලත් ඉවරයි.”

මේ ඔවුගේ රැකියාවයි. එය රැදෙන්නෙ දරුවන් සමත්වීම මතය. ඔන්න දැන් චක්කර ගන්න වෙලාව. බැරි වුණ හැම දරුවෙක්ටම ගුරුතුමාගෙන් ගුටියක් ලැබුණා.

“නැතිව බැහැ”

පන්තියේ කෙළවර සිටිය මගේ දිහා බලලා එතුමා කියන්න ඇත්තෙ මගෙ මුහුණෙ තිබුණ නොරිස්සුම් බව නිසා වෙන්න ඇති. ඉදිරියට අරගෙන දරුවෙක්ව ලැජ්ජාවට පත් කලාම ඒ දරුවා මානසිකව ඇද වැටෙන බවවත්, අනාගතයේ දරුවගේ පෞරුෂත්වයටද බලපෑම් කරන බවවත් දරුවන්ට ගුටි බැට දීම හරියන්නෙ නැති බව වත් වටහා නොගත්ත ගුරුවරයෙක්ගෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබේවිද?

පන්තිය අවසන් වුණා. දරුවන්ගෙ අම්මලා ඇවිත් ගුරුතුමා වට කරගත්තා.

“අනේ සර් සර්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ කොහොම හරි ගොඩදාලා දෙන්න…”

“අනේ ඔව් ඔය ගුටියක් දුන්නට කමක් නැහැ…”

“හරි හරි අපි බලමුකො. තරුකගෙ අම්මාත් ලබන සතියේ පැය භාගයක් කලින් පුතාව ගේන්න.”

කිසිවක්ම නොකියා සිනාසුනු මම එතැනින් පිටවුනේ ආයේ නම් එතුමගෙ උපකාරක පන්තියට නොයවන්නට තීරණය කරමින්මයි. ඒත් ඉතින් මේ අම්මලා කියන විදිහට දරුවා ගොඩ දැමීම තියෙන්නෙ ගුරුතුමා අතේ. විභාගය ලියන්නෙ දරුවද ගුරුතුමාද? දරුවෙක්ට නිදහස් මනසක් නැත්නම් පැය දෙකක් දෙකාමාරක් ඉඳගෙන පිළිතුරු ලියන්නට හැකියාවක් ලැබෙනවා කියන්න නම් අමාරුයි.

ඔන්න මගේ දෙවන මෙහෙයුම. ඔහු තරුණ ගුරුවරයෙක් දරුවන්ට හරිම ආදරෙන් කතා බහ කරන්නෙ. විෂය කරුණුත් වේගයෙන් වුණත් සරලව කියා දෙනවා. වැඩිම ලකුණු වලට කප් එකක්. මගේ පුතත් සතුටින් යනවා. නමුත් මේ පොත් ආයේ මේසේ උඩට එන්නෙ පන්ති දවසට විතරයි. සතියෙ දවස් වල පාසලේ පොත් වලින් විතරයි පාඩම් කරන්නෙ. වාර විභාගයට පෙරම පන්තිය නතර කලා. මමත් ටිකක් වැඩිපුර මහන්සි වෙලා පුතාගේ පාඩම් වැඩ බැලුවා. පුතා වෙනදට වඩා ලකුණු වලින් ඉදිරියට ආවා. තැන් තැන් වලට දුවන එක නතර කරන්න මම හිතා ගත්තා. කොහොමින් කොහොම හරි පහු ගිය දිනෙක මම ප්‍රශ්න පත්‍ර වලට පමණක් පන්තියකට ඇතුලත් කලා.

“ළමයි ඔයාලා හැමෝම පන්තියේ ඉන්න අනිත් ළමයට වඩා ලකුණු ගන්න හිතන්න ඕනී. එයාට 95යි නම් මම එයාට වඩා ලකුණක් හරි ගන්නවා කියලා වැඩ කරන්න ඕනී. ඔයාලට අමාරු රචනාවනෙ මම අවුරුදු 15 ක රචනා ලියන විදිහ ලියලා ටියුට් එකක් දෙනවා ඒක හොඳට කටපාඩම් කරගන්න…”

දරුවන් විභාගයට ලකුණු ලබාගත යුතුයි. එහෙත් අනෙකා පරයා යන සිතුවිල්ල දැක්ම දරුවකු තුල වැපිරීමෙන් බිහිවන්නෙ ආත්මාර්ථකාමී දරුවෙක් නොවේද? දරුවන්ට සිතන්නට පුරුදු කරනවා හැර ගිරවුන් මෙන් කට පාඩම් කරවීමෙන් නිර්මාණශීලි දරුවකු බිහිවේවිද? කට පාඩම් කරන දරුවා එකම රාමුවකට හිරවෙනවා. වෙනස් විදහකට ගැටළුව ඉදිරිපත් කරලා තිබුණොත් දරුවට තමන් සතු දැනුම අදාල තැනට ආදේශ කරගන්නට තේරෙන්නෙ නැහැ. ඉතින් අපි කියනවා “අනේ හොඳට වැඩ කරපු ළමයෙක් ෆේල් වුණේ…” කියලා.

මේ උපකාරක පන්තියටත් නැවතීමේ තිත තබන්නට හිතා ගත් මම පන්තිය අවසන් වූ පසු ඉදිරි පස වූ පොත් හලින් පසුගිය විභාග ප්‍රශ්න පත්තර කට්ටලයක්ද රැගෙන නිවසට ගියෙමි.

ඇත්තටම දෙමාපියන් ලෙස දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපගේ යුතුකම් හා වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නවා. දරුවන්ට නොතේරෙන දෙමාපියන්ටද කියා දෙන්නට බැරි දෙයක් වේ නම් උපකාරක පන්තියකට දරුවා යොමු කලාට වරදක් නැත. එහෙත් මේ ගුරුවරුන් පිළිබඳ සැලකිලිමත්විය යුතුයි නේද? අපි ලෝකයට දායද කල යුත්තේ විභාග සමත් ආත්මාර්ථකාමී, පෞරුෂත්වයෙන් හීන, අනෙකාට සිනහා නගන දරුවෙක් නම් ඔබේ මහන්සියේ ප්‍රතිඵලයක් නැත. ගුරුවරයෙකුගෙන් විය යුත්තේ දරුවන්ට නුවණැස ලබා දෙමින් යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීම නොවන්නේද? දෙමාපියනි එනිසා ඔබේ දරුවා යොමු කරන උපකාරක පන්තියෙ ගුරුවරයා පිළිබඳ හොඳ අධ්‍යයනකින් හා අවබෝධයකින් යුතුව දරුවාට යහපත් නම් පමණක් එම උපකාරක පන්තියට ඇතුලත් කරන්න.

 

පොඩ්ඩන්ගෙ ප්‍රශ්නවලට අත දාන්නෙ බලාගෙන

“බලන්නකො අම්මා නෙතුකිගෙ අම්මා අදත් මට බැන්නා…”
“බැන්නා… ඔයාට… නෙතුකිගෙ අම්මා”
“ඔව්”
“ඇයි ඒ?”
“එයා කොයි වෙලාවෙත් මට විහිළු කරනවා ඒක නිසා මම එයාට බැන්නා එයා ඒක එයාලගේ අම්මට ගිහින් කියලා”
“මොකද්ද ඔයාට කල විහිළුව ? ”
“මට වඩා එයා ලස්සනලු මම විභාගෙට ලකුණු ගන්නෙ කොපි කරලලු, ඉතින් එයා කියන්නෙ බොරු නිසා මම කිව්වා ඔයා බොරුකාරයෙක් කියලා එයා එක එයාගේ අම්මට ගිහින් කියලා. එයාගේ අම්මා ඇවිත් මට එයාගේ දුවට බොරුකාරයෙක් කියලා කියන්න එපා ආයෙත් ඒ විදිහට කිව්වොත් ටීචර්ට කියනවා කියලත් කිව්වා ඔය වගේ හැමදාම මොකක් හරි දේකට එයාගේ අම්මා ඇවිත් මට මොනා හරි කියලා යනවා මට මේක හරිම කරදරයක්…”

ඔබ මොකද සිතන්නෙ පිටස්තර දරුවෙකුට පිටස්තර කෙනෙක් තරවට්ටු කිරීම අනුමත කල හැකිද? දරුවන් සිටින අම්මලා බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් තමයි මේ. තමන්ගෙ දරුවට තවත් දරුවෙක් පහර දීම බැන වැදීම වගේම අරියාදු කිරීම. කවුද කැමති තමන්ගෙ දරුවට ඒ වගේ දෙයක් සිද්ධ වෙනවට. ඇත්තමයි කේන්තියක් හිතට එනවා නේද? ඒත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කෙසේද ? නෙතුකිගේ අම්මා වගේ හැසිරෙන එක නම් අනුමත කරන්න බැහැ.

ඇයි බැරි?

  • ඒ ඔබේම දරුවා නොවුනද ඔබේ දරුවාගේ වසසේම පසුවන පුංචි දරුවෙක්ය
  • දරුවන්ගෙ පුංචි පුංචි ගැටුම් පවතින්නේ ටික මොහොතක්ය
  • ඔවුන් වහා අමතක වන සුලු ප්‍රිතිමත් කොටසක්ය
  • ඔබේ දියණියගේ සිත මෙන්ම ඇගේ සිතද මෘදු මොලොක්ය
  • සියයට සීයයක් ඔබේ දියණිය නිවැරදි නැතිවා වන්නට පුලුවන්ය

එහෙනම් මොනවද කරන්නෙ…?

  • දරුවන්ගෙ ගැලවුම් කරුවන් දෙමාපියන නිසා දරුවාගේ මැසිවිල්ල ඉවසීමෙන් අසා සිටින්න
  • මුලින්ම පාසලේ ගුරුතුමියව දැනුවත් කරන්නට කියන්න

ඒත් ගැටලුව එසේම නම්…

බොහෝ විට අම්මලා අම්මලා දරුවන්ගෙ ගැටුම් වලට මැදිහත්වීම නියපොත්තෙන් කපන්නට තිබූ දෙයක් පොරවෙන් කපන්නා වගේ දෙයක් බවට පත් වෙන්න පුලුවන්. අපි අපේ දරුවන් හුරු කල යුත්තේ හැකිතාක් තමන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු තනිවම විසඳා ගැනීමටය. ඔවුන් අද ලබන අත්දැකීම් තුලින් නිර්මාණය කරගන්නේ ඔවුනගේ හෙට දවසය. පිහිනන්නට ඉගෙන ගත හැක්කේ දියට බැස පිහිනීමෙන්ය. බොහෝ විට දරුවන් තව දරුවකුට විහිළු කර සතුටක් ලබන්නට උත්සහා දරනවා. හැබැයි අපේ දරුවා විහිළුවට ලක් නොවී ඉන්න සමත් වුණොත් තව දුරටත් අර දරුවා විහිළුවට ලක් කරන්නට උත්සහ නොකරාවී.

උදාහරණයක් ලෙස මෙහෙම දන්වන්නම්කෝ මන්දිලට අලබෝලයා කියන විට ඔහුට කේන්ති යයි. ඉතින් ඔහු විහිළු කරන අයගෙ ඵසු පසු හඹා යයි. මෙය විහිළුවට ලක් වෙන දරුවාට හිරිහැරයක් වුවත් විහිලු විහිළු කරන දරුවන්ට තමන් පසු පස අර දරුවා හඹා ඒම සතුටක්. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමන්ගෙ යහළුවව විහිළුවට ලක් කරනවා. හැබැයි එය ගණනකට නොගෙන සිටියහොත් තමන්ගෙ අරමුණ ඉටු නොවන නිසා දිගින් දිගටම විහිළු කිරීම නතර කරාවී. එනිසා දරුවාව සිතීම අතින් සන්නද්ධ කරන්න. සෑම කෙනෙකු සමගම සුහදව සිටීම ගැටුම් අඩුවන්නට හේතුවක් වෙයි.

හිරිහැරයක් වන දරුවවා හමු වන්න. ආදරයෙන් ඒ දරුවා දෙස බලන්න. ඔබේ දරුවාට හිරිහැර කරන්නට හේතුව ආදරයෙන් විමසන්න. ඔහුටත් තිබේවි තමන්ගෙ නිදහසට කාරණා. ඔබ ඒවාටත් සවන් දෙන්න. ආදරයෙන් සිත නොරිදෙන පරිදි ඒ දරුවාට පහදා දෙන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොවන්නෙ නම් දොමාපියන් සමඟ සුහදව සාකච්ජා කර විසඳුමක් ලබා ගන්න.

මේ ලිපිය ලියාගෙන යද්දි මට සෝමරත්න දිසානායක මහතා රචනය කල එඩ්වඩ් මහතා සහ චරිතා මහත්මිය ගායනය කර ඇති මේ ගීතය මතකයට ආවා. ඔබත් රස විදින්නකො මේ යථාර්ථය…

මල් කැකුලූ පොකුරු වාගේ
අපි පුංචි පැටවු යාලූයි
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
අපි ඇති දැඩි වුණ පස්සේ ලොකු අය වාගේ
අපිටත් සැර වැර කම් පුරුදු වෙන්න වෙයිදෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
නැන්දෙ මාමේ අම්මෙ තාත්තේ කියා දෙන්නකෝ
එහෙනම් නපුරුකමද වැඩිහිටිකම කියන්නේ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
තරහා වෙලා ඉන්න දන්නෙ නැහැ එහෙම ඉන්න බැහැ
මොහොතක් තරහා වුනත් අපි ආයේත් යාලූවෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි

 

බබාට කෑම හදමු – ලිපි අංක 2

බබාට බත් කවමු… කොහොමද ඒක කරන්නේ…?

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නේ. ඉතින් චූටි බබාට මුලින්ම කෑම පටන් ගන්නකොට දෙන්න කියන්නෙත් බත්. ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මම කොහොමද මගේ පැටියට බත් ආරම්භ කරලා වයසත් එක්ක ටික ටික ඒ බත් තලපය බබාට ආස වෙන විදියට වෙනස් කර ගත්තේ කියල.

බත් අපි දෙන්නේ ප්‍රධාන ආහාර වේලක් විදියටනේ. බබාගේ වර්ධන සටහන් පොතේ බබාට බත් කන්න දෙන්න ඕන ප්‍රමාණ වයසත් එක්ක දාලා තියෙනවා පැහැදිලිව. ඔයාලට ඒක මතක් කරලා දෙන්නම් මම මෙතන සාරාංශයක් විදියට.

chart-01

chart-02

මම නැවතත් ඕගොල්ලොන්ට ආදරයෙන් මතක් කරනවා “බබාගේ වර්ධන සටහන් පොත” හොඳින් කියවන ලෙස. ඉහත වගුවේ ඉතා කෙටියෙන් දක්වා ඇති කරුණු ඔබට වඩා විස්තරාත්මකව එම පොතෙන් බලා ගන්න පුළුවන්.

හරි…. දැන් මම කියන්නම් මේ උපදෙස් අනුව මගේ බබාට මුල් අවුරුද්ද ඇතුළත බත් විවිධ ආකාරයෙන් සාදා ගත් අන්දම​. මෙහිදී බබාගේ වයස අනුව බත්වලට එකතු කර ගන්නා දේවල් තීරණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. එම වයස් සීමාවන් ගැන හෝ වෙනත් මේ ලිපිය සම්බන්ධ ඕනෑම කරුණක් ගැන වැඩි දුරට දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න​.

මූලිකව අපි බබාට දෙන බෙරි බත් තලපය මම සාදා ගත් ආකාරය මගේ “බබාට කෑම හදමු” ෆේස්බුක් පිටුවේ පින්තූර සහිතව පැහැදිලි කර තියෙනවා. එම පෝස්ට් එකේ ලින්ක් එක මෙහි ඔබ සැමගේ පහසුවට මම සඳහන් කරන්නම්.

Link : බබාට කෑම හදමු

මම නම් බබාට දුන්නේ රතු කැකුළු සහල්. තවත් ඉතා ගුණවත් දේශීය සහල් වර්ග  තියෙනවා බබාලට දෙන්න සුදුසු සුවඳැල්, කහවනු, පච්ච පෙරුමාල්, කුරුලුතුඩ ඒවායින් සමහරක්.

දැන් අපි බලමු බබාට බත් විවිධ ආකාරයෙන් සකසා දිය හැකි ආකාර. මට පුළුවන් මගේ අත්දැකීම් අනුව මේවා ප්‍රධාන ක්‍රම 3 කට වෙන් කරලා පෙන්වන්න​.

ක්‍රමය 1 :- මේ මූලික බත් තලපයට එහි රසය වෙනස් වෙන්න තව එක ආහාර වර්ගයක් සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්.

මෙන්න උදාහරණ කීපයක් :-

  1. බත් සහ පොල්කිරි එකතුව සාදා ගත් කිරිබත්
  2. බත් සහ ඇපල් / පෙයාස් / කෙසෙල් වැනි පලතුරක් සමග​
  3. බත් සහ පරිප්පු / මුං ඇට​/ කව්පි /කඩල/ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක් සමග​
  4. බත් සහ කැරට් / වට්ටක්කා වැනි එක් එළවළු වර්ගයක් සමග​
  5. බත් සහ අර්තාපල් / බතල වැනි අල වර්ගයක් සමග​
  6. බත් සහ යෝගට් / මී කිරි / චීස් වැනි කිරි ආහාරයක් සමග​
  7. බත් සහ නිවිති වැනි පලා වර්ගයක් සමග​
  8. බත් සහ මාළු/මස් / හාල්මැස්සෝ කරවල​/ බිත්තර වැනි සත්වමය ආහාරයක් සමග​

බලන්න​, ඉහත ආකාර සියල්ලම සැලකුවාම විවිධ රසවලින් යුතු බත් සාදා ගන්න පුළුවන් නේද?

ක්‍රමය 2 :- බත් සමග ආහාර වර්ග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හැකි පමණින් එකතු කිරීමෙන්

පෝෂණීය සමබර බත් වේලකට අඩංගු වෙන්න ඕනා ප්‍රධානම ආහාර කාණ්ඩ දැන් ඔබට පැහැදිලි ඇති. මම මූලිකවම හිතේ තබා ගත්තේ මේ ආකාරයටයි.

  1. සහල්
  2. එළවළු වර්ග 2 ක් (මෙහි මම එළවළු ගොඩටම අල වර්ගත් සලකා තියෙනවා)
  3. ධාන්‍ය වර්ගයක්
  4. සත්වමය ආහාරයක්
  5. පලා වර්ගයක්
  6. මේදය​

මේ මූලික දේවල් සියල්ලම නිසි වයසේදී ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් බබාලා ටික ටික ලොකු වෙන කොට කෑම ප්‍රතික්ශේප කරන අවස්ථා එනවනේ. ඒ වගේ වෙලාවල්වලට මේ ආහාර වර්ග ටික ටික​ එහා මෙහා කරමින්, බබා කැමති රස ඉස්මතු කරමින් බත් එක සාදා ගන්න උනන්දු වෙන්න​.

ඉහතින් සඳහන් කළ මූලික ආහාර වර්ග සඳහා උදාහරණ කිහිපයක් ද මම සඳහන් කරන්නම්, ඔබේ පහසුවට​.

  1. සහල් වර්ග – මම කිහිපයක් මෙම ලිපියේම කලින් සඳහන් කළා
  2. එළවළු වර්ග 2 – මෙහිදී මම එළවළු වර්ණ දෙකකින් තෝරා ගන්න උනන්දු වෙනවා. උදාහරණ ලෙස බීට් රූට් සහ දඹල , කැරට් සහ බෝන්චි, බතල සහ පතෝල යනාදී වශයෙන්. ඔබට කැමති ඕනැම එළවළුවක් බබාට හඳුන්වා දෙන්න පුළුවන්, එයට සීමාවක් නැහැ. කිසි දෙයක් තෝරන්න එපා. සියලුම එළවළු වර්ගවලට පොඩි කාලේ සිටන්ම පුරුදු වෙන බොහෝ දරුවන් ලොකු වුනාම ආහාර තෝරන්නේ නැහැ.
  3. ධාන්‍ය වර්ග – මුං ඇට​, පරිප්පු (විශේෂයෙන් තෝර පරිප්පු – වස විසවලින් අවම නිසා), රතු සහ සුදු කව්පි, කඩල​, කුරක්කන් වගේ ධාන්‍ය තමයි මම දුන්නේ. මේවා අපට ලේසියෙන් කල් තබා ගන්නා විදියට සකසා ගන්න පුළුවන්. මේවා හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා, කුඩු කර ගෙන බෝතල්වල අසුරලා තබා ගන්න පුළුවන්. මම නම් ශීතකරණයේ තබා ගත් නිසා මාස කීපයක්ම පාවිච්චි කළා. නමුත් තවත් සමහර අම්මලා නම් ශීත කිරීමකින් තොරවම එළියේ කාලයක් තබා ගෙන පාවිච්චි කළ බවත් මා සමග පවසා තිබෙනවා. මේ සියල්ල ඔබේ කැමැත්ත පරිදි සිදුකර ගන්න​.

මෙලෙස ධාන්‍ය ඇට ලෙසද​, පිටි ලෙස ද භාවිතයට අමතරව ධාන්‍ය පැල කර මුල් අද්දවා ආහාරයට එකතු කිරීමද කරන්න පුළුවන්. ධාන්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණය හොඳින් සෝදා දවසක් වතුරේ පෙගෙන්න තිබ්බාම ඒවායෙහි මුල් ඇදීම සිදුවෙනවා. ඒවා බත් එකට එකතු කර කෙලින්ම උයා ගන්න පුළුවන්. වැඩිපුර සාදා ගත්තොත් ශීතකරණයේ තබා දින කීපයක් කල් තබා ගැනීම කර ගන්න පුළුවන්. මේ දිනවල සුපිරි වෙළඳ සැල්වල පැල කරන ලද මුං ඇට එහෙම ගන්න තියෙනවා. ඒත් මේවා ගෙදරම සාදා ගැනීම එච්චර දුෂ්කර කාර්‍යයක් නෙවෙයි.

  1. සත්වමය ආහාරයක් – මස්, සුදු මාළු, බිත්තර​, හාල්මැස්සෝ කරවල වගේ දේවල් තමයි.

මස් නම් කුකුළු මස් මුලින්ම හඳුන්වා දීම සුදුසුයි. අනෙක් මස් වර්ග දෙනවා නම් බොහොම කල්පනාවෙන් ටිකෙන් ටික හඳුන්වා දෙන්න​. මොකද ගොඩක් මස් වර්ගවලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මම දුන්නේ නම් කුකුළු මස් පමණයි. ඒත් සතියකට හෝ දෙකකට වේලක් හෝ දෙකක් පමණයි. අද කාලේ නැවුම්, වස විස නැති කුකුල් මස් සොයා ගැනීමට හරි අපහසු නිසා. කාබනික (organic) මස් ලැබෙයි නම් නිතරම වුවත් බබාගේ බත් එකට එකතු කළාට කමක් නැහැ.

මාළු විදියට තෝරා, පරා, මී වැටි, තලපත් වගේ සුදු මාළු දෙන්න පුළුවන්. බබා ලොකු වෙද්දී අවශ්‍ය නම් කෙලවල්ලා, ඉස්සා, දැල්ලා වගේ මාළු ටිකෙන් ටික හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම දීපු අම්මලා ඉන්නවා. නමුත් මම නම් තාම ඉස්සා, දැල්ලා නම් දීලා නැහැ. මොකද ඒවා ටිකක් ආසාත්මිකතා ඇති කරන මාළු වර්ග නිසා.

බිත්තර නම් මුලින්ම කහ මදයෙන් පටන් අරන් මාස 10 වගේ වෙද්දී සම්පූර්ණ බිත්තරයක්ම දෙන්න මම කටයුතු කළා.

හාල්මැස්සෝ කරවල – බඩවත් අයින් කර, ඔළුව සමග හාල්මැස්සෝ අරගෙන​, හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා හොඳට කුඩු කර ගත්තාම කෙලින්ම බත් එකට එකතු කරගන්න පුළුවන්. කටු නැතිවෙන්න හොඳින් කුඩු කරගන්න වග බලා ගන්න​. මේවත් හොඳින් බෝතලයක අසුරලා කල් තබා ගන්න පුළුවන්.

(පීකුදු දෙන්න නියම කර තියෙන කෑමක් වුනත් මම ඒවා දුන්නේ නැහැ. කුකුළු අක්මාවේ වස විස බොහෝ රැඳෙන්න ඉඩ තිබෙන නිසා)

  1. පලා වර්ගයක් – ගෙදරම පොඩියට වවා ගත්ත ගොටුකොළ සහ නිවිති තමයි ගොඩක්ම මම බබාට දුන්නේ. ඊට අමතරව මුකුණූවැන්න​, කංකුං දුන්නා. තවත් ඕන තරම් පලා වර්ග තියෙනවා. විශේෂයෙන් කංකුං දෙද්දී දලු හරියෙන් දෙන්න​. ලොකු දඬු දෙන්න එපා. ඒවා ඇතුළේ සත්තු ඉන්න පුළුවන් නිසා හොඳින් පිරිසිදු කිරීමට වග බලා ගන්න​.
  2. මේදය – බටර්, එළගි තෙල් (ගී), සූරියකාන්ත තෙල්, ඔල්ව් තෙල්, පිරිසිදු පොල් තෙල් බබාට දෙන්න සුදුසුයි.
ක්‍රමය 3 :- බත් මගින් සාදා ගත හැකි වෙනත් ආහාර​ 

  1. කුරක්කන් කැඳ (බත්, පොල්කිරි, කුරක්කන් පිටි)
  2. කිතුල් කැඳ (බත්, පොල්කිරි, කිතුල් පිටි )
  3. කොළ කැඳ (බත්, පොල්කිරි, කොළ වර්ගයක්)
  4. එළවළු සුප් බත් (සුප් සාදා වතුර බේරා ගත් පසු ඉතුරු වන එළවළු, බත් සමග මිශ්‍ර කර​)
  5. කොහිල කැඳ (බත්, පොල්කිරි, කොහිල අල​)
  6. කිරිබත් සහ කෙසෙල්
  7. හාල් පිටි ඉඳි ආප්ප​
  8. හාල් පිටි ආප්ප මදය​
  9. හාල් පිටි පිට්ටු සහ පොල් කිරි

බලන්න .. ඕගොල්ලොන්ට පේනවා ඇති බත් (හෝ සහල්) ආශ්‍රය කරගෙන විවිධ විදියේ රසවලින් යුත් කෑම වර්ග ගණනාවක් සාදා ගන්න පුළුවන් නේද කියලා. කාගෙන්වත් අහ අහා ඉන්න අවශ්‍ය නැහැ. නිර්මාණශීලීව සිතීම පමණයි කරන්න ඕන​. ඒකට අම්මලා දක්ෂ වෙන්න ඕන​.

මම අවසාන වශයෙන් ඔයාලාට, බබාලට බත් ආහාරය සකස් කිරීමේදී වැදගත් වන ඉඟි (TIPS) කිහිපයක් කියන්නම්. ඒවා හොඳින් හිතේ තියා ගෙන බබා ගේ බත් එක සකස් කර ගන්න​.

  • බත් උයනකොට බත් සමගම එළවළු, ධාන්‍ය ඇට​, මස්/මාළු මුල සිටම එකට දමා උයා ගන්නවා නම් හොඳයි.
  • ඔබ බත් එකට දමන්නේ කුඩු කල ධාන්‍ය නම් බත් එක ඉදීගෙන එනවිට ඒවා එකතු කරන්න​.
  • පළා වර්ග බත් එක බාන්න කිට්ටුව එකතු කර ගන්න​
  • බිත්තර නම් වෙනම තම්බා ගෙන බත් එක බබාට කවන කොට බත් එකට මිශ්‍ර කරගන්න​
  • මාළු/මස් බත් එකට එකතු කරන විට අමුවෙන්ම කටු ඉවත් කරගෙන මාංශ කොටස් පමණක් බත් එකට දමන්න​.
  • පොල්කිරි එකතු කිරීමේදී කිරිබත් උයන ආකාරයට බත් එක ඉදුනාම එකතු කර ගන්න පුළුවන්. නැත්නම් මුල සිටම දිය කිරි සහ මිටි කිරි දෙකම දමා කිරෙන්ම බත් එක උයා ගන්නත් පුළුවන්
  • බටර්, ගී, තෙල් වර්ග කෙලින්ම බත් එක ඉදුනාට පසු බතටම එකතු කර අනා ගන්න පුළුවන්, නැත්නම් බත මේවායින් තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.
  • සමහර විට ඔබේ කාර්‍යබහුලකම නිසා ඔබ බත් වේල් දෙකක් සඳහා එකටම උයා ගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. එහිදී වේල් දෙකේම බත් එක, එකම වූවත් එහි රස මොන යම් හෝ ආකරයකින් වෙනස් කිරීමට ඔබ උත්සහ ගන්න​.

උදා :- තෙම්පරාදුවක් දැමීමෙන්, ඇපල්/පෙයාස්/මිදි/නාරන්/කෙසෙල් වැනි පලතුරක් එකතු කිරීමෙන්, තල/රුලන් වගේ දෙයක් බැදලා තෙම්පරාදුවක් දැමීමෙන්, යෝගට්/මීකිරි/චීස් වැනි දෙයක් එකතු කිරීමෙන්

  • පුළුවන් තරමින් බ්ලෙන්ඩ් කිරීමෙන් වලකින්න​. ඒ, බ්ලෙන්ඩ් කරන විට ඉතා සියුම් ක්‍රීම් එකක් බවට පත් වෙන නිසා බබා හපලා කන්න පුරුදු කර ගන්න අමාරු වෙන නිසයි. නමුත් සමහර ආහාර පොඩි කර ගැනීමට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න සිදු වෙනවා. මස්/බෝන්චි/කොළ වර්ග වගේ දේවල්. මේ අවස්ථාවල බ්ලෙන්ඩ් කරද්දී අවශ්‍ය ලෙස වේගය පාලනය කර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගන්න අම්මා දක්ෂ වෙන්න ඕන.
  • බත් එක උණුසුම් ව තියෙද්දී බබාට කවන්න
  • බත් කන්න අදි මදි කරන බබෙක් නම් ඔබ සකස් කරගන්නා බත් වේල හොඳින් භාජනයක දමා අසුරා ටිකෙන් ටික අරගෙන බබාට සැරින් සැරේ කවන්න​. පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වේල් ගනණක් කැවීම සුදුසුයි.
  • බබා කන්න අදි මදි කරන විට කළ හැකි තවත් දෙයක් විදියට බබා පැය කීපයක් නිරාහාරව තබා හොඳින් බඩගිනි දැනෙන විට සැලකිය යුතු ප්‍රමාණයක් බත් කවා ගැනීම කළ හැකියි.
  • උණුකර නිවාගත් වතුර කවන වෙලාවට ලඟින් තබා ගන්න​. බබාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවුනොත් වතුර ටිකක් බොන්නට දී එය ගිල ගැනීම පහසු කර දෙන්න පුළුවන්.
  • කහ​, තුනපහ​, ගම්මිරිස්, අබ වගේ වෙනත් කුළු බඩු ඔබේ කැමත්ත පරිදි බත් එකට එකතු කර ගන්න පුළුවන්. මම නම් අවුරුද්දක් යනකම් කිසිම කුළු බඩුවක් එකතු කළේ නැහැ. නමුත් වෙන අම්මලා නම් එකතු කරලා තියෙනවා.
  • අවුරුද්දක් පහු වෙනකම් බතට ලුණු හෝ සීනි එකතු කරන්න එපා.

මගේ “බබාට කෑම හදමු – Lets make Baby Food” පිටුවට පිවිසිලා මම මගේ බබාට සාදා දුන් බත් වර්ග ගැන වැඩි විස්තර පින්තූර සහිතව බලා ගන්න ඔයාලට පුළුවන් (https://www.facebook.com/pg/umibabyfoodblog)

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණින් ආවරණය කරන්න උත්සාහ ගත්තත් සමහර කරුණු මග හැරී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි  හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ළඟම පාසල හොඳම පාසල ඒත්… අපි නගරයට

දරුවෙක් ගැබ් ගත් තැන පටන් අම්මලා තාත්තලාගේ ඊළඟ අරමුණ මේ දරුවා වෙනුවෙන් නම ගිය පාසලක් ලබා ගන්නේ කෝහොමද කියන ගැටළුවයි. ඒ නිසා ඇති හැකි හැම දෙමව්පියෙක්ම අදාල චක්‍රලේඛන අනුව ලියකියවිලි සකස් කරනවා. පළමු වසරට දරුවන් ඇතුලත් කර ගැනීමේදී ඒ වෙනුවෙන් නිර්ණායක කීපයක් තිබෙනවා.

  • පදිංචිය
  • ආදි ශිෂ්‍ය
  • රජයේ සේවක
  • ස්ථානමාරු

මේ විදිහට අවස්ථා තිබුනත් පළමුවසරට පංති කීපයක් වෙනුවෙන් බඳවා ගන්නා දරුවන්ගේ යම් සීමාවක් තිබෙනවා. මේ හැම නිර්නායකයක්  තුලින්ම දරුවා ප්‍රතික්ෂෙප වීමට තිබෙන අවස්ථාව ඉහලයි. එයිනුත් වැඩි ප්‍රතිශතයකින් දරුවන් බඳවා ගන්නේ පදිංචිය පදනම් කර ගෙනයි.

පදිංචියට අවශ්‍ය ලියකියවිලි

පදිංචියට අවශ්‍ය ලියකියවිලි නිසා අද සිද්ධ වෙන අසාධාරණය සුළුපටු නැහැ. දුර බැහැර හිටියත් කෙසේ හෝ පදිංචිය තහවුරු වෙන විදිහට ලියකියවිලි හදා ගත්තාම ඇත්තටම පදිංචි වෙලා ඉන්න අයගේ දරුවන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.

අම්මාගේ ගමේ දරුවා ලැබුණා..

මේ එක් උදාහරණයක්. අම්මාගේ ගම අම්පාරේ වුනත් ඇය විවාහ වුනේ මහනුවර ප්‍රදේශයටයි. හැබැයි සාමාන්‍ය පවුලකින්. ඒත් ලංකාවේම ජනප්‍රිය පාසලක වැට මායිමේ දරුවාගේ තාත්තා, සීයා විතරක් නොවෙයි, සීයාගේ තාත්තාත් පදිංචිව සිටියා. ඒත් ඔවුන්ට ඒ යුගයේ තිබුන පදනම අනුව මේ පාසලට යන්න ලැබුනේ නැහැ. දම්වැල් 22 ක් නොවෙයි, පාසලේ සීනුව නාදකරන හඩ පවා ඇසෙන මායිමේ හිටියට තාත්තා මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් නොවෙයි. ඒත් දැන් කාලයේ මේ පාසලට සාමාන්‍ය පවුල්වලින් දරුවන් ඇතුලත් කර ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. ඒ නාමිකව පමණයි. කෙසේ හෝ පදිංචිය සනාථ කිරීමට සියලු ලිපි ලේඛන තිබුනත් දරුවාගේ උප්පැන්නයේ උපත ලද රෝහල විදිහට අම්පාර සඳහන් වීමත් අම්මාගේ ඡන්ද හිමි නාමලේඛන උපුටන නොමැති වීමත් නිසා දරුවා බාර ගැනීම ප්‍රතික්ෂෙප වුනා.

දුර සීමාවන් තිබුනත් පාසල් බස් නම් අල්ලපු දිස්ත්‍රික්ක වලිනුත් ඇවිත්…

දරුවන් බවා ගැනීමේ චක්‍රලේඛනයේ දුර සීමාවන් තිබුනත් පාසලක් ඇරෙන වේලාවට අහල පහල දිස්ත්‍රික්කත් ආවරණය වෙන විදිහට පාසල් බස් සේවාවන් තිබෙන බව ඔබ 11.30 ට ප්‍රාථමික පංති ඇරෙන වේලාව නිරීක්ෂනය කලොත් පෙනේවි. ඉහළ පංති ගැන නම් මේ චෝදනාව නගන්න බැහැ. ඊට හේතුව 6 වරෙන් ඉහළට ශිෂ්‍යත්ව විභාගය, ඇතුලත්වීමේ විභාගය, සාමාන්‍ය පෙළ වැනි විවිධ විභාග සමත් අයට ඇතුලත් වෙන්න පුලුවනි. ඒත් ප්‍රාථමික පංතිවලට දුර සීමාව අදාල නම් මේ පාසල් බස්වලින් යනෙන දරුවන් ඇතුලත් වුනේ හොර පාරෙන් බව විවෘත රහසක්. ඒත් විදුහල්පතිවරුන්ටත් අදාල ලියකියවිලි නිවරැදි නම් එයින් ඔබ්බට ආයේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

ආදි ශිෂ්‍ය වෙද්දී තමන් ඉගෙන ගත්ත පාසල එතරම් සුදුසු නැති බව හිතෙනවාද…?

වර්තමාන අධ්‍යාපන රටාව තුළ අපි සීමිත පාසල් කීපයක් වෙනුවෙන් පොර බදිනවා මිස තමා උගත් පාසලට දරුවා ඇතුලත් කරන්න එතරම් මනාපයක් නැහැ. මම මේ පාසලේ ඉගෙනගෙන මේ තැනට ආවා නම් මගේ දරුවාට මේ පාසල වඩාත් සුදුසුයි කියල කාටවත් හිතෙන්නේ නැහැ.

ජනප්‍රිය පාසලේ ආදි ශිෂයන්ටත් තරගයක්…?

ඒ වගේම ජනප්‍රිය පාසලේ ආදි ශිෂ්‍යය බව තිබුනාටමත් දරුවා ඇතුලත් කරන්න එය සුදුසුකමක් වෙන්නේ නැහැ. ආදි ශිෂ්‍යයෙක් විදිහටත් ඔවුන් ලකුණු උපයා ගන්න ඕන. මේ නිසාම අද විවිධ විදිහට දරුවන් ඇතුලත් කිරීමේදී සාධාරණ පදනමක් ඇති වෙන්නේ නැහැ.

ළඟම පාසල හොඳම පාසල වුනත්….

අද “ළඟම පාසල හොඳම පාසල” ජනප්‍රිය කරන්න ගියත් එය ඉටු නොවන බව නම් කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා. අද ළඟම පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 33 ක් පමණ වෙන ඇතැම් පාසල් තිබෙන අමතක කරන්න එපා. ඒත් සුදුසුකම් ලත් ගුරුවරු මේ පාසල්වල පත්වීම් ලබා සිටින නිසා කිසිම විදිහකින් අධ්‍යාපනයේ ගුණාත්මක බව බාල වෙන්නේ නම් නැහැ. නමුත් අපේ මනස් සංකල්පය නගරයේ පාසල් මුල් කර ගෙන නිසා කරන්නන් වාලේ රැල්ලට යෑම නිසා දරුවන් හෙම්බත් වෙන බව දෙමව්පියන් කිසිම විටක හිතන්නේ නැහැ.

උපත ලබන විටම දරුවාගේ පාසලත් නම් කරන රටවල් තිබෙනවා. අපි උපත ලබන විට අපේ ආගම තීන්දු වෙනවා වගේ මේ රටවල් දරුවාගේ පාසල තීරණය කරනවා.එවිට පාසලේ අධ්‍යාපන බලධාරීන් එළැඹෙන වසරට මේ පාසලට ඇතුලත් විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව මෙපමණක් බවට තීරණ ලබා ගන්නවා.

ජනප්‍රිය පාසලට ඇතුළු කල පමනින්ම සෑහෙන්න පුලුවන්ද…?

ජනප්‍රිය පාසලකට කෙසේ හෝ ඇතුලත් කළ පමණින් සියල්ල ඉෂ්ට වූවා යැයි ඔබට සෑහීමට පත් වෙන්න බැහැ. ජනප්‍රිය පාසල්වල පංති තදබදය නිසා ගුරුවරුන්ටත් එක් එක් දරුවාට අවධානය දක්වන්න අසීරුයි. ළඟම පාසලේදී නම් දරුවාට ඒ වාසිය හොදින්ම ලැබෙනවා. පංතියක සිසු පිරිස සීමිත නිසා අවදානය ඉතා හොදින් දක්වන්න පුලුවනි. ගුරුවරුන් ගැන අද කිසිම ගැටලුවක් නැහැ. හැම පාසලක් වෙනුවෙන්ම දක්ෂ සහ වෘත්තිය ප්‍රායෝගික සුදුසුකම් ලත් ගුරුවරු අමාත්‍යාංශයෙන්ම පත්වීම්, මාරුවීම් ලබන නිසා ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් අපේ හිතේ මැවී තිබෙන සංකල්පය අනුව හොඳම ගුරුවරු ඉන්නේ ජනප්‍රිය පාසලේ පමණයි. ඒ වුනත් ඇතැම් අවස්ථාවලදී ප්‍රාථමික අධ්‍යාපනය ඉතාම හොඳින් ළඟම පාසලෙන් ලබා ගත් දරුවන් ඒ අත්තිවාරම ඔස්සේ පසුකාලීනව තමන්ගේ ද්විතියික අධ්‍යාපනය ඉතා සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලබනවා. මේ නිසා අම්මලා, තාත්තලා ඇත්තටම දිවිය යුතු වෙන්නේ ජනප්‍රිය පාසල වෙනුවෙන් නොව පොඩි දරුවාට ඉතාම හොදින් අධ්‍යාපනය ලබා ගත හැකි පරිසරය ඇති සහ ආරක්සාව වගේම පීඩනයක් නැති ළඟම පාසලට නොවේද…?

කූට ලේඛන හදාගෙන මලක් වගේ දරුවා දවස පුරාම පාසල් බස් රථවල තැලී පොඩි වෙනවාට වඩා ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසරයක් ලබා දිය හැකි පරිසරයක් නිර්මානය වෙනවා නම් මොන තරම් අගෙයිද ?

නරක වචන කියන දරුවන්ට වේවැල් කසාය දුන්නොත් හරිද?

“අනේ බලන්නකෝ මෙයාලා කියන වචන. මේ දරුවෝ මේවා කොහෙන් ඉගෙන ගන්නවද මම දන්නේ නැ. තැනකට ගෙනියන්න බෑ ලැජ්ජයි. අඩු තරමේ අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනේ, දෙයක් කියන්න කරන්න කලින්. පොඩියි කියල හැමදාමත් මෙහෙම කරන්න දෙන්න බැහැනේ…” ගමනක් බිමනක් අවසානයේ අම්මගේ සුපුරුදු දෝශාරෝපණයත් එක්ක ගෙදරට ගොඩ වැදුණු කවුරු කවුරුත් නිහඬව තම තමන්ගේ කටයුතුවලට යොමු වුණේ අම්මගේ හිත දුකටත් තරහටත් පත්ව ඇති වෙලේ තමන් අතින් තවත් වැරැද්දක් වුනොත් නිහඬව සිටින තාත්තගෙනුත් බේරිල්ලක් නැති බව දන්නා නිසාමය.

“අපි ඇහේ මූණේ තියාගෙන දරුවෝ හැදුවට එයාලට නම් අපි ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් නැහැ. ඒ නිසානේ කතා බහ කරන කොට කිසි සැලකිල්ලක් නැතිව කැත වචනම කියන්නේ, තැනකට යන්න කලින් කොච්චර කියලද එක්කන් යන්නේ, හොඳට හැසිරෙන්න කියලා…”

මෙන්න මේ විදියට දරුවන්ගේ භාෂා භාවිතය ගැන අම්මල මැසිවිලි නැඟුවත් කොහෙන්ද දරුවෝ මේ දේවල් ඉගෙන ගන්නේ ඒ වගේම මේ දේවල් නතර කරන්න අපි මොනවද කරන්න ඕනේ කියන කරුණ ගැන දැනුවත් බවක් නම් නැහැ.

ඇයි මේ පුංචි දරුවෝ නරක වචන කියන්නේ, ඒ ගැන හිතලා බැලුවද?

දරුවෝ කියන්නේ එයාලගේ වටපිටාවෙන් ලැබෙන හැමදේම ග්‍රහණය කරගන්න පිරිසක්. ඉතිං නිවසේ වටපිටාව කොයි තරම් හොඳින් පැවතුණත් බාහිර පරිසරයට නිරාවරණය වෙන මේ පුංචි දරුවන්ට උස් පහත් භේදයකින් තොරව භාවිත වෙන වචන අහන්න වගේම හැසිරීම රටා දකින්නත් ලැබෙනවා. එතැනදී තමන්ට නුහුරු අත්දැකීම් වෙතට දරුවෙක් නැඹුරු වෙන සම්භාවිතාවය බොහොම ඉහළයි. ඔන්න ඔතනදි තමයි “අපි සතෙකුටවත් නොකියන වචන තමයි මේ දරුවෝ අපිට කියන්නේ…” කියන දෝෂාරෝපණය අම්මලාගෙන් එල්ල වෙන්නේ.

විශේෂයෙන්ම වයස අවුරුදු පහ දක්වා කාලය දරුවෝ බොහොමයක් දේ ඔවුන්ගේ පරිසරයෙන් උකහා ගන්නවා. ඒ වගේම එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ඔවුන් ඒවා අත්හදා බලන්න පැකිලෙන්නේ නැහැ. එහෙමයි කියලා අපිට දරුවෝ සමාජයට යොමු නොකර ඉන්න බැහැ. පෙර පාසැල, පාසැල, පාසැල් වෑන් රථය, වෙළඳසැල වගේ බොහොමයක් ස්ථානවලදී එක් එක් පුද්ගලයන් භාවිතයට ගන්න වචන අපේ දරුවන්ට අහන්න ලැබෙනවා. ඉතිං අපේ නිවස තුළ පරිසරය කොයි තරම් හික්මුණු පරිසරයක් වුනත් මෙන්න මේ විදියට වට පිටාවෙන් දරුවෝ බොහෝ දේ ලබාගන්නවා නේද කියන දේ දැන් ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම පාසැලට පෙර පාසැලට එන එක් එක් සමාජ මට්ටම්වල දරුවෝ වගේම රූපවාහිනියත් දරුවන්ට මේ හා සම්බන්ධ නව අත්දැකීම් ලබාදෙන තවත් අවස්ථා. මෙන්න මේ දේවල් හරහා දරුවෝ ග්‍රහණය කරගන්නා දේ ඒ අත්දැකීම්වලට අනුව සුදුසු අවස්ථාවට භාවිත කරන්න දරුවෝ උත්සාහ කරනවා. මෙන්න මෙතැනදී තමයි අපේ අම්මල තාත්තලා කලබලයට පත්වෙන්නේ.

ඒ වගේම ඇතැම් වැඩිහිටියන් දුරකථන සංවාදවලදී දරුවන් අසලක රැඳෙන බව අමතකව තම යහළුවන් සමග කරන කතා බස්වලදී දරුවන්ගේ මුවෙන් ඔබ අසන්නට අකමැති වචන භාවිතයට ගැනෙන අවස්ථා ගැන අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ හරහා දරුවා ලබා ගන්නේ ඒ සාමාන්‍ය කතා බහට සුදුසු වාග් මාලාවක් ලෙස  විය හැකියි. අපි නොදැනුවත්වම වුවත් දරුවන්ගේ ශබ්ද කෝෂයට අපි හරහා වුවත් අනවශ්‍ය වචන මෙන්න මේ විදියට උනත් එකතු වෙන්න පුළුවන්.

දරුවෙකු හොඳ නරක ඉගෙන ගන්නේ තම වටපිටාවෙන් බව දැන් ඔබට පැහැදිලි ඇති. අපි අන්‍යයන්ට ගෞරව කරයිද දරුවාත් එය අපෙන් ඉගෙන ගන්නවා සේම අපි යමෙක්ට අගෞරවයෙන් යුතුව සලකයිද දරුවාද එය අනුගමනය කරයි.

ඉතිං මොකද්ද වැඩිහිටියෝ විදියට දැන් අපි කරන්න ඕනේ…?

දරුවෝ ගැන හොඳ අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් පුංචි දරුවෙක් නරක වචනයක් පාවිච්චි කළාම ඒ දරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නැති තැන දොස් කියන්නේ නැහැ. මොකද ඔවුන් තුළ තියෙන අවබෝධය නිසා ඔවුන් දන්නවා මේ වයසේ දරුවෝ වටපිටාවෙන් ගොඩක් දේවල් උකහා ගන්නවා කියලා. ඉතිං අම්මල මේක ලොකු ලැජ්ජාවක් කරගෙන දරුවට කෑකෝ ගහන්න ගියොත් නම් මේ වරද ලේසියෙන් හදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් ඉවසීමෙන් මේ තත්ත්වය නිරාකරණය කරගන්න ඕනේ. ඉතිං මෙවැනි අවස්ථාවකදී දරුවෙකුගේ මෙවැනි ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත්.

දරුවා නරක වචනයක් කියද්දී එයට සිනාසෙමින් හොඳ ප්‍රතිචාර ලබා දීමෙන් සිදුවන්නේ දරුවා ඒ වෙනුවෙන් ලබන ප්‍රසාදය හේතුවෙන් ඒ වැරැද්ද දිගින් දිගටම සිදු කිරීමයි. මන්ද දරුවා සිතන්නේ තමා සිදු කරන දේ වරදක් ලෙස නොව, අන්‍යයන්ගේ පුදුමයටත් සිනහවටත් හේතුවක් වන බවය. එසේම එවිට දරුවාට ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ලැබෙන බව තහවුරු වන නිසා මෙවැනි ප්‍රතිචාර මත දරුවා මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට ඔබට නොහැකියි. ඉන්පසු දරුවා ඔබ ඉදිරියේ පමණක් නොව, පිටස්තරයන් ඉදිරියේත් නොපැකිලිව තම සුපුරුදු වචන මාලාව භාවිත කරයි. එහෙමයි කියලා මේ වගේ වරදකට දරුවාට දඬුවම් දෙන එකත් අනුමත කරන්න බැහැ. මොකද ඒ උත්සාහත් නිෂ්ඵලයි. ඒ දඬුවම හරහා දරුවා ඒ පිළිබඳව කුතුහලයෙන් සිතන්නට පෙළඹෙන නිසාම තව දුරටත් ඒ වචන භාවිතයට ගනිමින් ඔබේ ප්‍රතිචාර කෙබඳු දැයි බැලීමට උත්සාහ කරයි.

ඒ නිසා දඬුවම් මගින්ද මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයක් නොමැත. අන්න ඒ නිසාම මෙවැනි අවස්තාවලදී දරුවාට ප්‍රතිචාර නොදක්වා සිටීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඔබ කළ යුත්තේ, දරුවා නිදහසේ සතුටින් ගත කරන අවස්ථාවක මේ පිළිබඳව පැහැදිලි කිරීමත් දරුවා එසේ හැසිරුණහොත් අනෙක් පිරිස් ඔහුව ප්‍රතික්ෂේප කළ හැකි බවත් තේරුම් කර දීමයි. ඒ ආකාරයෙනුත් මේ තත්ත්වය වලක්වා ගන්න බැරි නම් ශාරීරික නොවන පුංචි පුංචි දඬුවම් කිහිපයක් දරුවට ලබාදෙන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ දරුවා කැමතිම දෙයක් දරුවාගෙන් ඈත් කිරීම වගේ දඬුවමක්. එහෙම නැත්නම් ඒ වෙනුවට වෙනත් වචනයක් හඳුන්වා දෙන්නත් ඔබට පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගත නොහැකි තත්ත්වයක් ලෙස නොසිතිය යුතු වන්නේ දැනුම් තේරුම් ඇති වයසට එන විට දරුවන් විසින්ම මේ තත්ත්වය මගහරවා ගන්න බැවිනි.

දරුවන්, වැඩිහිටියන් අනුකරණය කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරනැ නිසාම දරුවෙකුගේ හැසිරීමේ රටාවට වැඩි බලපෑමක් ඇති වෙන්නේ දරුවා ජිවත් වන වටපිටාවයි. ඒ නිසාම දරුවෙකුට නිසි වටපිටාවක් සැකසීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි. ඒ වෙනුවෙන් හොඳ පැවැත්ම උදෙසා පැසසුමට ලක්වූ චරිත පිළිබඳව අලලා සැකසුණු වීඩියෝ, ගීත, පොත් පත් ආදිය දරුවාට ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමට ඔබට හැකියි.

මෙම ලිපිය හරහා සාකච්ජා කළේ සාමාන්‍ය නිරෝගී දරුවන් සම්බන්ධවයි. නමුත් අඩු අවධානම් අධි ක්‍රියාශීලි (ADHD – Attention Deficit Hyperactivity Disorder) දරුවන්, මානසික සංවර්ධනය මන්දගාමී දරුවන් (Intellectual Developmental Disorder), Tourette Syndrome, Conduct Disorder නම් තත්ත්වවල සිටින දරුවන් වේ නම් ඔවුන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුකළ යුතුය.

මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

 

කෑම කන්නේ පරිස්සමෙන්…

2016 වසරේ ජූලි 17 වැනි දා “නතාෂා එඩ්නන් ලැපරෝස්” තම පියා සමග හීත්රෝ ගුවන්තොටුපොලට පැමිනියේ කෙටි නිවාඩුවක් වෙනුවෙන් ප්‍රංශයේ “නීස්” නගරයට යෑම වෙනුවෙන්. මේ වෙන විට නතාෂාගේ වයස අවුරුදු 15 යි. පුංචි වයසට මොනවා හෝ දෙයක් හපන්න තිබෙන සාමාන්‍ය ළමා ලෝකයේ ගති පුරුදු ඇයගෙන්ද ඉවත්ව ගියේ නැහැ.

හීත්රූ ගුවන්තොටුපොලේ පිහිටි “ප්‍රීට්” ආපනශාලාවකින් ඇය පාන් බගට් එකක් මිළට ගත්තා. මේ බගට් එක ඇතුලේ “තල ඇට” තිබුනත් ඇය ඒ බව දුටුවේ නැහැ. නතාෂා තල වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වන දැරියක්. පාන් බගට්ටුව පිටතින් තල ඇට නොතිබුන නිසා ඇය කිසිම සැකැක් නැතුව මෙය ආහාරයට ගත්තා.

අපි අතරත් එකිනෙක ආහාර වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන තත්වයන් තිබෙනවා. බොහෝ දරුවන් රටකජු, බිත්තර, අන්නාසි වැනි විවිධ ආහාරවලට ආසාත්මිකතාවයක් දක්වනවා. මේ ආහාර නිසා කැසීම, ඉදිමුම, වමනය වැනි තත්වයන් පමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ආහාරයට පෙරාතුව ඒ ගැන දැනගැනීමට නම් ඒ පිලිබඳව ඇසුරුමේ සටහන්ව තිබීම ඉතාම වැදගත් බවයි.

මෙම මරණ පරීක්ෂන වාර්තාවට අනුව තීන්දු වුනේ එම බ්‍රෙඩ් නගට්ටුවේ ඇතුලත් සෙසමි සීඩ් හෙවත් තල ඇට ආසාත්මික තාවයෙන් මෙම මරණය සිදු වුන බවයි. එහි බරපතල චෝදනාව වන්නේ ඇසුරුමේ මෙම නිෂ්පාදනයේ අඩංගු දේ සටහන්ව නොතිබීමයි. ප්‍රිට් ආයතනයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීන්දු වුනා. ඒත් මේ ආයතනය නිදහසට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආහාර මිලට ගැනීමට පෙරාතුව එහි ඇතුලත තිබෙන දේ ගැන විමසා දැනගැනීමේ අයිතිය පාරිභෝගිකයන්ට තිබෙන නිසා මේ ගැන කල්තබා විමසා සිටියා නම් දැරිය මේ අවාසනාවන්ත ඉරණමට පත් නොවන බව කියා සිටියා.

ඔබ ආහාර ගැනීමේදී ඇසුරුමේ එම ආහාරයේ අඩංගු දේ සටහන්ව තිබීම වගේම ඇසුරුම සුරක්ෂිතව තිබීමත් වැදගත්. ඇසුරුම බිදී හෝ ඉරී ඇත්නම් එවන් ආහාර මිළට ගැනීමෙන් වලකින්න. කිරි සහ මස් එකට ගබඩා කර තිබෙනවානම් එවන් ස්ථානවලින් මිලට ගන්නා ආහාර පිලිබඳව සුරක්ෂිතතාවයක් නැහැ.

නිතරම මස් ගබඩා කළ යුතු වන්නේ අධි ශීතකරණයකයි. මේ අන්දමින් ගබඩා කර තිබෙන මස් මිළට ගැනීමේදී ඉහලින්ම සහ බිත්ති අසල තිබෙන මස් හෝ වෙනත් ආහාර වර්ග තෝරා ගන්න එපා. මස් වලින් ඇමෝනියා ගන්ධයක් යාන්තමින් හෝ දැනෙනවා නම් ඒවා මිලට නොගෙන සිටීම විතරක් නොවෙයි, අදාල ආයතනයටත් ඒ බව දන්වා සිටින්න. එසේ නොවුනොත් ඔබ මිලදී නොගත්තත් වෙනත් කෙනෙක් විසින් මෙම මස් / මාළු වර්ග මිළට ගත හැකියි. ඒවා ආහාරයට ගැනීමට සුදුසු නැහැ.

නිවසට ගෙනැවිත් අධි ශීතකරන කොටසේ තබන මස් වර්ගවලින් එදා ආහාරය පිණිස ගන්නේ සුලු කොටසක් විය හැකියි. ඉතිරි  කොටස ශිතල ඉවත් වුන පසුව නැවත ශීතකරනයේ තබන පුරුද්ද ඔබටත් ඇති නමුත් මෙය එතරම් සෞඛ්‍යාරක්ෂිත නැත. ඒ නිසා කොටස් ලෙසින් මස් වෙන් වෙන්ව තැන්පත් කර අවශ්‍ය වේලාවට අදාල කොටස ගෙන පිළියෙල කරගන්න.

ඔබේ දරුවන් තුළත් මෙවැනි පුරුදු ඇති .විශේෂයෙන් සුපිරි වෙළඳසැලකදී දරුවන් බිළ ගෙවීමටත් පෙරාතුව ශිතකළ ආහාර එසැනින්ම කටට ඔබා ගන්නා පුරුදුවලට හුරුවී ඇති. ඒත් මේ නිසා මුඛයේ සංවේදී සෛල විනාශ වෙනවා. ස්නායුවලටත් බලපෑමක් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ශීත කරන ලද ආහාර වුනත් අනුභව කිරීමට පෙරාතුව ඒ වෙනුවෙනුත් පිළිවෙලක් අවශ්‍ය වෙනවා.

ඉතින් අම්මා තාත්තා විදිහට ආරක්ෂිත නොවන විදිහට ආහාර මිළට ගැනීම මොනතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙනවාද කියල දැන් ඔබට තේරෙයි. යුරෝපීය ළමා රෝග විශේෂඥයෙකු වන “ස්ටීව් රයන්” පවසන ආකාරයට දෙමව්පියන් විදිහට අනාරක්ෂිත ආහාර පුරුදු නිසා  නිසාම වර්තමාන පරම්පරාව තමන්ගේ දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන දෙමවුපියන් බවට පත්ව සිටින බවයි.

පිළිවෙලකට උයමුද?

ඉක්මණින්ම මුහුණ කට සෝදා ගත් දුලීකා හිතුවෙ මොනවද අද උයන්නෙ? කියලා. ඇඳුම් මාරු කරමින්ද ඇය සිතුවෙ මොනවද උයන්නෙ? ශිතකරණයෙන් එළවළු දමන කූඩය මේසය මතින් තැබූ ඇය සිතුවෙ මොනවද අද උයන්නේ ? ශීතකරණයේ තිබූ මාළු පෙට්ටියත් එළියට තබමින් ඇය සිතුවෙ මොනවද අද උයන්නෙ? එළවළු කූඩයම පෙරලා බෝංචි ටික ගත්ත ඇය… තව මොනවද? පරිප්පු උයනවා, මාළුවකුත් හදනවනේ මැල්ලුමකුත් හදනවා. ඇයට හිතන්නම පැය කාලකටත් වඩා ගතවෙලා, දැන් ඉතින් ඇය ලහි ලහියේ උයනවා.

“ළමයින්ගේ කෑම පෙට්ටි වලට දාන්නේ මොනවද?” ආයෙත් ප්‍රශ්නයක්. “යන ගමන් මොනවා හරි අරන් දෙන්න කියනවා…” වෙලාවට තටු ඇවිල්ලා වගේ ගත වෙලා ගිහින්. තේ ටික පිළියෙල කර සැමියවත් දරුවන් දෙදෙනාවත් ඇය අවදි කලා.

“අනේ රෝහිත යන ගමන් මෙයාලට ඉස්කෝලෙට ගෙනියන්න මොනවා හරි අරන් දෙනවද? මට ටිකක් නින්ද ගියා ඊයේ ටිකක් රෑ වෙනකල් ළමයින්ගේ පොත් බලපු නිසා…” ඇය නිදහසටත් කරුණු කිව්වා.

“හා..”

“අයියෝ අම්මා… කඩ කෑම ගේන්න එපා කියලා ටීචර් කියනවා”

“අදට ගෙනියන්න”

රෝහිතට දහවල් ආහාරයද බෙදා අවසන් කර තැබූ ඇය දියණියටත් පුතාටත් බත් කවන්නට පටන් ගත්තා.

“අනේ අම්මා ලුණුත් නැහැ පරිප්පු වලට…, අර නතාරාගෙ අම්ම නම් එක එක දවසට එක එක කෑම හදලා එවනවා හරිම රසයි.”

දඩිබිඩිය නිසා පරිප්පුවට ලුණු දමන්නට තමන්ට අමතක වන්නට ඇත. කුමක් කරන්නද දැන් රෝහිතගෙ කෑම පෙට්ටියද සූදානම් කර අවසන්ය. කිසිදා මැසිවිලි නොනගන රෝහිත අදත් ලුණු නැති පරිප්පු සමඟ බත් රසවිඳිනු ඇත. එහෙත් පොඩ්ඩන්ගෙන් නම් දූලීකාට මේ මැසිවිල්ල හැම දිනකම අසන්නට සිදු වෙන නිසා ඇයට ඇය පිළිබඳම දැනුනේ තරහකි. සියළු දෙනාම නිවසින් පිටව ගිය පසු ඇය පුටු වේ හිඳ ගත්තේ හිතේ තියෙන නොසන්සුන් බව නිසාමය. පෙර පාසලක ඉගැන්වීම් කටයුතුත් කරන අතර ගෙදර කප්පරක් වැඩ තනිවම කරන ඇයට තමන් පිළිබඳව දැනුනේ ආත්මානුකම්පාවකි. සුසුමක් හැර ලය සැහැල්ලු කරගන්නට වෙර දරමින් ඇය පෙර පාසලට යන්නට සූදානම් වූවාය.

“ගුඞ් මෝර්නිග් දූලීකා…. මොකද මේ මුණ තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ.. ?”

මලීෂා ගුරුතුමී අසද්දි දුලීකා හිනා වුණා.

“මොකද කියන්නකො…?”

“අනේ මන්දා මේ උයන එක නම් මට එපා වෙලා. උදේට නැගිටලා හිතන්නම පැයක් විතර යනවා ඊට පස්සෙ වෙලා මදි වෙනවා. අදත් බබාලට කඩෙන් කෑම යැව්වේ…”

“අයියෝ ඕකද ගැටලුව මම දෙන්නම් ඔයාට විසඳුම. හැමදාම නිදියන්න කලින් පහුවදාට උයන්නෙ මොනවද කියලා හිතලා ඒවා වෙනම තියන්න. පුලුවන් නම් රෑට පොල් ටික ගාලා එළවළු ටික සුද්ධ කරලා තියන්න. කට්ටියම ගෙදර ඉන්න වෙලාවනේ ගෙදර කට්ටියවත් වැඩේට එකතු කරගන්න. උදේට හිතන්න යන කාලයත් ඉතිරියි, වැඩෙත් පහසු නිසා කූල් එකේ උයන්න පුළුවන්.”

“ඒක නම් ඇත්ත..”

යෙහෙළියගේ අවවාදය තදින් හිතට ගත්ත දූලීකා. එදා රාත්‍රී ආහාර පිළියෙල කරන්නට පෙර තීරණයක් ගත්තා. ඒ සතියටම වේල් තුන සහ දරුවන්ගේ කෑම පෙට්ටි වලට දමන්න ආහාරත් අමතර ආහාරත් කල් තියාම සැලසුම් කරන්න.

  • මුලින්ම ඇය නිවසේ සාමාජිකයන් කැමතිම ආහාර ලැයිස්තුවක් සකස් කලා.

කිරි බත්, ෆරයිඞ් රයිස් ,රොටි, නූඞ්ලස් ,පැස්ටා ,පාන්, කහ බත්, ඉඳි ආප්ප, පිට්ටු, බිරියානි, තෝසේ, පරාට,සමෝසා ආප්ප, කඩල ,කවුපි, මුං ඇට

  • අනතුරුව සඳුදා සිට ඉරිදා දක්වා මෙම ආහාර වර්ග බෙදුවා. වේල් තුනට බෙදා වෙන් කලා.

chart1

  • කල් තබා ගත හැකි ආහාර ටිකක් සකස් කර තබා ගත්තොත් තවත් පහසුවක් බව ඇයට සිතුනා. ඇය වෙනමම කල් තබා ගත හැකි ආහාර වර්ග ලෙස කූණිස්සන් චිලි පේස්ට්, වම්බටු මෝජු, අච්චාරූ, සීනී සම්බෝල, මාලු ඇඹුල් තියල්, රටකජු හාල් මැස්සන් බැදුම, කෙසෙල් මුව සීනී සම්බෝල සටහන් කරගත්තා.

“ආ දැන්නම් හිතට නිදහසක් දැනෙනවා හෙට ඉඳලා පිළිවෙලට වැඩ ටික කරන්න දැන් පුලුවන්… ” දුලීකා සිතුවා. පසු දිනට අවශ්‍ය කලමණා ලෑස්ති කල ඇය කවරදාකවත් නැති නිදහස් සිතකින් සතුටින් නින්දට ගියා.

මෙම ලිපිය සකස් කරන්නට කමනි සිරිවර්ධන සොයුරියගේ අදහස්ද බෙහෙවින්ම උපකාරී වූ බැවින් ඇයට විශේෂ ස්තුතිය පුද කරමි.

ගෙදර ලස්සනට පිළිවෙළ කරන පුංචි පුංචි ට්‍රික්ස්

පවුලේ හැමෝටම සහනය, විවේකය, නිදහස, ආරක්‍ෂාව වගේම දහසක් සිත් පීඩා නිවාලන එකම තැන නිවසයි. අපගේ නිවස තුළ පවතින ආදරය හා සාමකාමී පරිසරයට නිවසෙහි පිරිසිදු බව හා පිළිවෙළ සෘජුවම බලපාන සාධකයි. නිවසක් අපිරිසිදුව, අපිළිවෙළට තිබෙන විට නම් හිතට මහා බරක් වගේම නොසන්සුන් බවකුත් දැනෙනවා. එන්න අපි නිවස පිළිවෙලක් කරගමු.

  • නිවස පිළිවෙළට තබා  ගැනීම  සඳහා  අපේ අවධානය හා උනන්දුව නිරන්තරයෙන් යොමු  කළ  යුතුයි. නිවස පිළිවෙලට තබා ගැනීම සෑම දිනකම අපේ දින චරියාවෙ කොටසක් බවට පත්  කරගන්න උත්සහ කරන්න. ඒ සඳහා කැමැත්තක්  ඇති  කරගන්න.
  • අපට දිනකට වැඩ රාශියක් ඉටු කරන්න සිදු වෙනවා. මේ නිසා කලයුතු යම් යම් දේ අමතක වීම හා අතපසු වීම සමාන්‍ය දෙයකි. එනිසා කළ යුතු වැඩ කටයුතු සියල්ල ලියා තබා ගැනීම වඩා පහසු වේවී. ඉවර කරන සෑම වැඩක්ම ලෑයිස්තුවේ ලකුණු කර ඔබට කිරීමට ඉතිරිව ඇති වැඩ මොනවාදැයි මතක තබා ගත හැක. මෙලෙස ලියා තැබීමෙන් අපට ඒවා නිසි වෙලාවට සම්පුර්ණ කර ගන්නට පුළුවන්.
  • කාන්තාවන් වන අපි ලස්සන දෙයක් දැක්කොත් දෙවරක් නොහිතාම ගෙදර ගේනවා. නිවසේ අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ තබා ගැනීමෙන් නිවසේ ඉඩකඩ ඇහිරී යනවා. එනිසා අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමෙන් වලකිමු. අතිරේක මේස පුටු ආදිය තිබෙන්නේ නම් ඒවාද ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න. ගෙදර පොළව හැකිතාක් නිදහසේ තියෙන කොට අපට පිරිසිඳු කරන්න ගත වෙන කාලය මෙන්ම බඩු එහාට මෙහාට අදිමින් පිරිසිදු කරන්න යන වෙහෙස අඩුයි. අපේ ඇඳුම් අල්මාරියේ තියෙන ඇඳුම්, දරුවන්ගේ ගවුම්, පරණ පොත් පත්තර, ඔබේ කුස්සියේ තිබෙන කැඩුණු පරණ බඩු වගේ දේවල් සියල්ල ඉවත් කරමු.
  • අපි මුළුතැන්ගෙය තුළ වැඩ කරන විට අවශ්‍යම දේවල් පමණක් භාවිත කරමු. සීමිත භාජන ප්‍රමාණයක් අපේ කටයුතු සඳහා යොදා ගමු. ඉවුම් පිහුම් අතරම භාජන පිරිසිඳු කරන්න අමතක කරන්න එපා. ඉඳුල් භාජන නිතර රෑස්  කරලා තියන්න පුරුදු වන්න එපා. එයින් නිවස අපිළිවෙලට පත් වෙනවා වගෙම අපිරිසිඳු නිසා අනවශ්‍ය මැස්සෝ, කැරපොත්තෝ වගේ කෘමි සතුන් බෝ වෙනවා. මුළුතැන් ගෙයද වැඩ අවසන් කල සැනින් පිරිසිඳු කරන්න
  • ඒ ඒ වැඩය ඒ වෙලාවෙම අවසන් කරන්න. උදාහරණයක් ලෙස රෙදි සේදු පසු එවෙලේම වේලෙන්නට දමන්න. වේලුනු පසු එවා නවා නිවැරදිව අසුරන්න. නැතහොත් පස්සට කල් දැමීමෙන් අපට වැඩ ගොඩ ගැසී නිවස අපිළිවෙලට පත් වෙනවා.
  • නිවසේ සෑම දෙයකටම නිශ්චිත ස්ථානයක් වෙන් කර ගන්න. ඉතා කුඩා දෙයක් වුනත් එය නොසලකා හරින්න එපා. උදාහරණයක් ලෙස යතුරු වෙනම තැනක එල්ලන්න. බෙහෙත් පෙට්ටිය ,අවු කන්නාඩි, තොප්පි, ෆෝන් චාජර්, කතුරු පිහි වැනි දෑ සඳහා නිශ්චිත ස්ථානයක් වෙන් කරන්න. එවිට අවශ්‍ය විට හැම තැනම සොයමින් කාලය අපතේ යැවීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
  • කිළුටු ඇඳුම් සඳහා භාජන තබන්න. කිළුටු ඇඳුම් තැන් තැන් වල නොදමන්නට නිවැසියන් පුරුදු කරවා ගන්න. එවිට කිළුටු ඇඳුම් සෑම තැනම දැමීම වළක්වා නිවස පිරිසිඳුව, පිළිවෙළට පවත්වා ගන්න හැකියි.
  • නිවස පිළිවෙලට තබා ගැනීමට දරුවන් අතර වැඩ පවරා දෙන්න. එක් එක් අයට නිවසේ විවිධ කොටස් බෙදා දී පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න. දරුවන්ගෙ සෙල්ලම් බඩු පොත් පත් ඔවුන්ටම නිසි පිළිවෙලට තැබීමට උනන්දු කරවන්න. සුලූ දේටත් ඔවුන්ව අගය කරන්න. මෙයින් දරුවන්ටද සිතට සතුට ලැබෙනව වගේම දරුවන්ද පිළිවෙලට සිටීමට ද පුරුදු වෙනවා වගේම නිරායාසයෙන්ම ඔබට උදව් කරන්නත් සැදී පැහැදේවී.

මේ කාරණා හිතේ තියා ගන්නකො අපි ඊළග ලිපියෙන් නිවස පිළිවෙල කරන ආකාරය ගැන කතා කරමු.

බබාට කෑම හදමු – ලිපි අංක 1

අදින් ඇරඹෙන මෙම ලිපි මාලාව සියලුම අම්මාවරු වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඉතා ආදරයෙන් සකස් කරන ලද්දක්. සාම්ප්‍රධායික මාතෘකා වලින් ඔබ්බට ගොස් ආහාර ගැන පමණක් කතා කරන ලිපි පෙලක් වේවි මෙය​. මා මෙහි සටහන් කිරීමට බලාපොරොත්තු වන්නේ මගේ දරුවන් තිදෙනා වෙනුවෙන් මම දෙන මූලික ආහාර වර්ග මොනවාද ?​, ඒවාහි ගුණ මොනවාද සහ එම ආහාර වර්ග වලින් සැකසිය හැකි විවිධ කෑම වර්ග සඳහා අදහස් මොනවාද යන්නයි. විශේෂ කෑම වට්ටෝරු පිළිඹඳ සවිස්තරාමකව දැන ගන්න ඔබට මගේ https://www.facebook.com/umibabyfoodblog/ පිටුවට පිවිසෙන්න පුලුවන්.

සියල්ලටම කලින් මම සඳහන් කල යුතු කාරණා කීපයක් තියෙනවා. ඒවා සියල්ල මෙම ලිපි පෙලට ආරම්භයක් ලෙස මෙලෙස සැකෙවින් සටහන් කරන්නට සිතුවා.

ළදරුවන්ට  මාස 6 ක් වෙනකම් මව්කිරි විතරයි

අපේ ළදරුවන් මාස 6 ක් වෙනකම් ආහාර ලෙස ගන්නෙ මව් කිරි විතරයි. අපිට අමතර ආහාර ආරම්භ කරන්න කියන්නේ මාස 6 න් පසු. නොයෙකුත් හේතූන් නිසා සමහර ළදරුවන්ට මාස 4-6 අතර ආහාර පටන් ගන්න සිදු වෙනවා. ඒ අම්මගෙ කිරි සැපයුම අඩු නිසා හෝ බබාගේ බර හුඟක් අඩු නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ විය හැකියි. මේ විදියට මාස 6 ට පෙර ආහාර පටන් ගැනීම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව පමණක් සිදු කල යුතුයි.

රජයෙන් සහ සායන වලින් ලබා දෙන පොත් අවතක්සේරු නොකරන්න

මාස 6න් පස්සේ අම්මා සූදානම් වෙනවා එයාගේ බබාට මුලින්ම ඝණ ආහාර පුරුදු කරන්න​. බබාට ලැබෙන වර්ධන සටහන් පොතේ අග කොටසේ පහැදිලිව උපදෙස් ලබා දී තියෙනවා අපි කොහොමද බබාට ක්‍රම ක්‍රමයෙන් කෑම පටන් ගන්නේ කියලා. මීට අමතරව ගමේ සායනයෙන් ද ඔබට විශේෂ වූ පොත් පිංචක් ලබා දෙනවා බබාට කවන විදිය ගැන පියවරෙන් පියවර ලියලා. නමුත් මම වැඩි වශයෙන් දකින දෙයක් තමයි අම්මලා මේ පොත් එතරම් පරිශීලනය කරන්නේ නැති බව​. මේවාට මුල් තැනක් නොදෙන බව​. සමාජජාලා වල දරුවන් සම්බන්ධ සමූහ වලට ඔවුන් බොහෝ දෙනෙක් යොමු කරන ප්‍රශ්ණ වලින් අපට ඒ බව හොඳින් තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා මේ ලිපිය කියවන අම්මලගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබට නොමිලේ ලැබී ඇති මේ වටිනා පොත් හොඳින් පරිශීලනය කරන ලෙසයි. එවිට ආහාර දීම සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලු වලට පිළිතුරු ඉක්මණින් සොයා ගන්න පුලුවන් වේවි.

අලුත් ආහාරයක් හඳුන්වා දීමේ දින 3නේ පියවර

ඝන ආහාර පටන් ගත් ගමන් දරුවන්ට අලුත් ආහාර හඳුන්වා දීමේ ක්‍රමය ගැන ඔබ මේ වෙනකොට දැනුවත් යැයි සිතනවා. අලුත් මූලික අහාරයක් එක දිගට දින 3 ක් ලබා දී දරුවාගේ සිරුර ඒ ආහාරය සඳහා දක්වන ප්‍රතිචාරය නිරික්සිය යුතුයි. එවිට දරුවා යම් ආහාරයකට ආසාත්මිකතාවක් පෙන්වයි ද යන්න අපට සොයා ගන්න පුලුවන්. පලමු දවසේ සිට තුන් වන දවස දක්වා දරුවාට හඳුන්වා දෙන අලුත් ආහාරයේ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කල යුතුයි. එමෙන්ම අලුත් ආහාරයක් දිය යුත්තේ උදෑසන සහ දහවල් කාලයේදීය​. මුල් මාසය හෝ දෙක පුරාම අප කාලය වෙන් කල යුත්තේ අපි මුලින් දිය යුතු යයි සායන වලින් උපදෙස් දී ඇති මූලික එලවලු, පළතුරු, පලා වර්ග​, ධාන්‍ය, සත්ව ආහාර සහ මේදය ක්‍රම ක්‍රමයෙන් දරුවාට හුරු කිරීමටයි. එසේ කිරීමෙන් මුල් මාසය හෝ දෙක අවසානයේදී දරුවා අහාර ගණනාවක් හඳුනා ගෙන තිබෙන අතර ඒ හේතුව නිසා දරුවාට දෙන වේල් ගණන ඉන් ඉදිරියට ක්‍රමානුකූලව සැලසුම් කර ගන්නට අපට පුලුවන් වේවි.

දරුවාට කෑම කවන ස්ථානය තීරණය කරන්න

දරුවාට කැවීමට සුදුසුම ස්ථානය ලෙස මම නම් දකින්නේ ගෙදර සියලු දෙනාම ආහාර ගන්නා ස්ථානයයි. එම කෑම කාමරයේම දරුවා සමග තනිවී , දරුවා කෙරෙහිම සම්පූර්ණ හිතම යොමු කරගෙන දරුවා සමඟ කථා කරමින් විනෝදයෙන් මෙය සිදු කරන්න ඕන​. සමහර අවස්තාවලදී දරුවා නොයෙක් හේතු නිසා නොසන්සුන් විය හැකියි. එවන් අවස්ථාවක අපිට ආහාර කැවීමට අපහසු නම් දරුවා සතුටින් තබා ගැනීමට මේ නියමයෙන් පිට පැනීමට සිදුවේවි. මටත් එහෙම සිදු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට වතුර කරාමය ලඟට ගොස් වතුර අල්ලන්න දෙන්න​, සෙල්ලම් බඩු තියෙන තැනට ගොස් සෙල්ලම් කරන්න දෙන්න​, වත්තේ තණකොල ගොඩේ දණ ගාන්න දෙන්න මට සිදු වෙනවා. නමුත් කමක් නෑ. අපේ මූලික අරමුණ දරුවාව සතුටින් තබාගෙන ආහාර ටික කවා ගන්න එකනේ… ඒ නිසා පුලුවන් සියලු උපක්‍රම යොදන්න අපිට සිදු වෙනවා. නමුත් එය පුරුද්දක් වශයෙන් සිදු නොකර දරුවා පෙර කියූ පරිදි පිළිවෙලකට ආහාර ගැනීමේ පුරුද්දට ගෙන එන්න අපි උනන්දු වෙන්න ඕන​.

බබාට කෑම හදන සහ කෑම කවන බඩු ටික

අාහාර පිසීමට පොඩි භාජනයක් : මෙය මළ නොබඳෙන වානේ හෝ නොඇලෙන බඳුනක් හෝ මැටි බඳුනක් විය හැකියි. ඔබට ලේසියෙන් පරිහරනය කලහැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ඕනෑම භාජනයක් මේ සඳහා හොඳයි.

බබාට කවන්න සිලිකන් හැන්දක් : වෙළඳ පොලේ විවිධ වර්ගයේ ද්‍රව්‍යන් ගෙන් සාදන ලද හැඳි මිලදී ගන්න තියෙනවා. එවායින් මම විශ්වාස කරනවා සිලිකන් හැන්ද වඩාත් සුදුසුයි කියලා. මොකද එහි නම්‍යශීලී බව නිසා බබාට කවද්දී කටේ ඇනිලා තුවාල වෙන්නේ හෝ බබාට රිදෙන්නේ හෝ නැති නිසා. ප්ලාස්ටික් වලින් හදපු හැඳිත් තියෙනවා. ඒවායින් ඔබ උසස් ත්ත්වයේ ප්ලස්ටික් එකකින් සාදපු හැන්දක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න​. මුකුත් ම නැත්තම් පුන්චි ප්‍රමාණයේ සුදු යකඩ හැන්දක් වුනත් කමක් නෑ හැබයි කවද්දි සීරුවට කවන්න​.

ආහාර මත් ගෑමට උපකරණයක් :  මම ගත්තේ මළ නොබැඳෙන වානේ පෙරනයක්. එයින් ඉතා සියුම් ලෙස ආහාර පොඩි කර ගන්න පුලුවන්. මීට අමතරව දැති සහිත භාජනයක් ද සුදුසුයි.

මත් ගාන්න පැතලි හැන්දක් : මම මේ සඳහා ප්ලාස්ටික් හැන්දක් තමයි හොයා ගත්තේ.

පුංචි ජෑම් බෝතල් : මේවා නම් මට සෑහෙන්න උදව් වෙනවා වැඩිපුර ආහාර පසු ප්‍රයෝජනය සඳහා ඇසිරීමට. ඒ වගේම ගමනක් යන කොටත් මේවා වල තමයි මම කෑම අරගෙන යන්නේ.

බිබ් එකක් : බබාට කවන විට කෑම ඇගට හැලීම වැළැක්වීමට.

බබාට කැවීමට පුටුවක් : එය ඔබට හැකියාවක් තිබේ නම් පමනක් මිලදී ගත හැකියි. සමහර විට ඔබට පෙර පාවිච්චි කරන ලද ලදරු පුටු ඉතා අඩු මිලට ලබා ගන්න පුලුවන් වේවි. නැතිනම් ගෙදර තියෙන විදියට තියෙන පුටුවක් හෝ ස්ථානයක් සකස් කර ගන්න​.

හැම විටම බබාව කෙලින් අතට හිඳවාගෙන කෑම කවන්න

මාස 4-6 කාලයේදී ඔබ ආහාර පටන් ගත්තත්, මාස 6 සිට ආහාර පටන් ගත්තත් ඉහත කාරණය ඔබ හොඳින් හිතට ගත යුතුයි. ඉතා කුඩාම කාලයේ කොඳු ඇට පෙල එතරම් වාරු නැති නිසා කොට්ට වල ආධාරය ඇතුව බබාව ඉහල අතට ආනත කර කෑම කවන්න පුලුවන්. මාස 6 සිට පුලුවන් තරම් සිරස් අතට බබාව තබාගෙන කවන්න බලන්න​. පුටුවක ඉන්දවීමට අපහසු නිසා ඔබේ ඔඩොක්කුවේ ඉන්දවා තියා ගන්න පුලුවන්. මුල් කාලයේ අවශ්‍ය නම් ඔබේ උදව්වට කෙනෙකු ලඟින් තබාගෙන දරුවාව කෙසේ හෝ නියම ආහාර ගැනීමේ ක්‍රමයට පුරුදු කර ගන්න​. ඔව්, ඔබේ දරුවා මුලින් කෑම ටික එළියට දමාවි.. නමුත් ඔබ පසුබට වෙන්න එපා.. කාලයත් සමඟ සියල්ල හරි යාවි.

කෑම සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත බැහැර කර අලුත් ආහාර හැම විටම බබාට හඳුන්වා දෙන්න​

හැම අම්මා කෙනෙක්ටම මේ ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා. බේරෙන්නම අමාරු තමා ලඟින්ම ඉන්න අයගේ අදහස් පිළිගැනීමට සිදු වෙන නිසයි. මේ ආහාරය සීතලයි, මේක උශ්ණයි, මේකෙන් බඩ වේලෙනවා, මේකෙන් බඩ බුරුල් වෙනවා, මෙකෙන් බර අඩු වෙනවා, මේවා හවසට දෙන්නේ නෑ යනාදී එකී මෙකී නොකී සියල්ල අපි අහන්න පිළිපදින්න ගියොත් අම්මලාට දරුවොන්ට දෙන්න ආහාරයක් නැති වේවි. මේ මත පිළිබඳ සොයා බලා මේවාට එරෙහිව උඩු ගං බලා පිහිනන්න අම්මලාට දැඩි මානසික ශක්තියක් තියෙන්න ඕන​. මේ හැම මතයක් ගැනම ඔබට ඔබේ වෛද්‍යතුමාගෙන් විමසා සියලු කරැණු සැක හැර දැන ගැනීමට පුලුවන්.

එසේනම් ඊළඟ ලිපියේ සිට ඉදිරියට එක් එක් ආහාර වර්ග ගැන අපි වෙන වෙනම කථා කරමු. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතය ‍නොවේ…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිත්… මේ නිසා සතුටට පත් වෙන පිරිස ඉතා සීමිත වෙන අතර පුංචි කැකුළු හිත් නොදැනීම පීඩාවට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි, මව්පියන් හඬා වැටෙනවා. මේ පසුබිම තුළ දරුවා මානසිකව බිඳවැටෙනවා.

ඒත් ශිෂ්‍යත්වය කියන්නේ ජීවිතයේ එකම අවස්ථාව නොවේ. ශිෂ්‍යත්වය සමත් වූ පමණටම සුපිරි දරුවන් බිහි වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය අසමත් වූ නිසා ඔවුන්ගේ අනාගතය ආපස්සට යන්නෙත් නැහැ. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සදහන් කළේ අද ශ්‍රි ලංකාවේ අධ්‍යාපනයෙන් යට පත් පුද්ගලයන්ගෙන් 72 % ක්ම ශිෂ්‍යත්වය අසමත් බවයි. අපි හිතන විදිහට ශිෂ්‍යත්වය සමර්ථයින් අනාගතයේ ඉහළම තලයට පත් වෙනවා නම් ඉහලම වෘත්තීන් හි නිරත පිරිසේ ප්‍රතිශතය ශිෂ්‍යත්වය සමතුන්ගෙන්ම බැබැලෙන්න ඕන නේද…? ඒත් ශිෂ්‍යත්වය සමත් කිරීමට නොව දරුවාගේ ඉගෙනුමට අවශ්‍ය සහයෝගය ලබා දීමට නම් දෙමව්පියන් මේ විදිහට කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉගෙණුම් පරිසරයක් අවශ්‍යයි

දරුවන්ට බාලකාලයේ පටන්ම ඉ‍ගෙණුමට ගැලපෙන පරිසරයක් නිර්මානය කිරීම ඉතාම වැදගත්. ඒ ශිෂ්‍යත්වය ඉලක්ක කර ගෙන නොවේ. ඉගෙණුමට ඇවැසි පරිසර තත්වයක් බාල කාලයේ පටන්ම නොලැබුනොත් ඔවුන්ගේ අධ්‍යාපනයට තිබෙන උනන්දුව නොදැනීම ගිලිහෙනවා. ඒ විතරක් නොවෙයි. ප්‍රාථමික පංතියේදී අකුරු ලිවීම, කියවිම, සවන්දීම වැනි හැකියාවන් ගොඩ නගා නොගතහොත් අනාගතයේදී අධ්‍යාපනය වෙනුවෙන් වූ අත්තිවාරමක් නොමැති තත්වයකට දරුවා පත් වෙනවා. ඒ නිසා පුංචි කාලයේ පටන්ම ඉගෙනුම් පරිසරයක් නිවසේදීම ගොඩ නැගීම වැදගත්. එය පහ වසරේ ශිෂ්‍යත්වය වෙනුවෙන් වු සිඝ්‍රගාමි ව්‍යපෘතියක් නොව එදිනෙදා ජීවිතය් බොහොම හෙමින් සීරුවේ දරුවාටත් දෙමව්පියන්ටත් නොදැනෙන අන්දමේ සරල පසුබිමක් වීම වැදගත්. එක වසරේදී දරුවාගේ අසා ලිවිම, සවන්දීම වැනි කුසලතාවයන් දියුනු නොවුනොත් පහ වසරේදී මේ සියල්ල සමග ඉදිරියට යැම දරුවාට අපහසුයි.

දෙමව්පිය හමුවට යන්න

දරුවා කුස පිලිසිදගත් අවස්ථාවේ පටන් දෙමව්පියන්ගේ දෙවැනි ඉලක්කය දරුවා වෙනුවෙන් පාසලක් තීරණය කිරීමයි. කෙසේ හෝ ලියකියවිලි සූදානම් කර ගෙන ඉහල පරිපාලකයන්ගේ සහයෝගයෙන් දරුවා පාසලට ඇතුලත් කර ගත් තැන පටන් අම්මලා කියන්නේ යාන්තම් දැන් හුස්ම ගන්න පුලුවන් බවයි… ඔවුන්ගේ අවශ්‍යතාවය වෙන්නේ දරුවා සමාජයේ ඉහළ කීර්තිනාමයක් ලබා සිටින පාසලක ඉගෙනුම ලැබීමෙන් ඔවුන්ට ආලෝකයක් ලබා ගැනීමයි.

එතැන් පටන් නැවත පාසල පැත්ත පළාතට නොයන දෙමව්පියන් සිටිනවා. ඔබ දෙමව්පිය හමුවකට නොයනවා කියන්නේ ඔබ දරුවා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වනවාය කිව්වත් සාධාරණයි. ඔබ නිතරම හිතන්නේ “මගේ දරුවා දක්ෂයෙක් බවයි…” කූඹියාට උගේ මුත්‍රා ගංගාවක් සේ පෙනෙනවා වගේ ඔබේ සිතුවිල්ලත් සාධාරණයි. ඒත් තරඟකාරිත්වයේදී ඔබේ දරුවා අසාර්ථක චරිතයක් වීමට පුලුවන්. එවිටත් ඔබ හිතන්නේ මං හිතාගෙනම හි‍ටියේ “අපේ පුතා හොඳ ලකුණක් ගනී කියලා…” යන අපේක්ෂා භංගත්වයට පත් විය හැකියි. දෙමව්පිය හමුවේදී ඔබේ දරුවා පංතියේ සිටින තැන ගැනත් දැන ගන්න පුලුවනි. දරුවාගේ නොහැකියාවන් වගේම ඔවුන්ට උදව් අවශ්‍ය වෙන ආකාරය, ඒ උදව් වෙනුවෙන් කටයුතු කරන අන්දම ගැන ගුරුවරුන් සමග විවෘත සාකච්ඡාවකට මෙතැනදී අවස්ථාව ලැබෙනවා.

නිතරම පාසලට යවන්න

අද දෙමව්පියන් දරුවා පාසල් යැවීම ගැන තීන්දු තීරණ ගැනීමට හරිම දක්ෂයි. ඔවුන් නිවසේ සිටම ඒ වෙනුවෙන් නයාය පත්‍ර පිළියෙල කරනවා. අද ඉස්කොලේ යවල වැඩක් නැහැ… ශ්‍රමදාන තියේවි… එහෙම නැත්නම් අද අහවල් දේ වෙනුවෙන් ඉස්කෝලේ උත්සවයක් තියෙයි. ඒ වගේම තමන්ගේ පුද්ගලික කටයුතු තිබෙන විටත් ළමයි ගන්නයි මේ වැඩ කර ගන්නයි වෙලාවක් නැහැ. ඒ නිසා අද දරුවා ගෙදර නවත්වා ගන්නවා. මේ විදිහට ගන්නා තීරණ නිසා දරුවාට පාසල් යෑමට තිබෙන අවස්ථාවන් දෙමව්පියන් විසින්ම කප්පාදු කරනවා.

ඒත් දෙමව්පියන් විදිහට ඔබ නොදැන සිටියට පාසලේ අධ්‍යාපන කටයුතුවලට සමගාමීව බාහිර වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට දරුවන්ගේ සම්බන්ධතාවය ඉතා වැදගත් වෙන්නේ මේ වැඩසටහන් මගින් දරුවා ප්‍රායෝගිකව බොහෝ දේ ඉගෙනගන්නා නිසාය. එය පොත පතින් ලබන දැණුමටත් වඩා වැදගත්. ඒ නිසා ශිෂ්‍යත්ව ඉලක්කය හඹා දුවනවා වෙනුවට දරුවා දිනපතා පාසල් යැවීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

අවතක්සේරුව වගේම අධි තක්සේරුවත් එපා

අපේ දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් මේ අන්තවාදී හැසිරීම අනුගමනය කරනවා. ඇතැම් දෙමව්පියන් නිරතම තම දරුවා ගැන හිතන්නේ අවතක්සේරුවකින්. “ඔයාට බැහැ…ඔයා අලසයි…” එක් කාණ්ඩයක් මේ විදිහට කියද්දී තවත් පිරිසක් තමාගේ දරුවා මුල් කර ගෙන අධිතක්සේරුවක් ගොඩ නගා ගෙන “මගේ දරුවා සැබෑ දක්ෂයා” යන සංකල්පය දරුවාගේ හිතටත් කාවද්දවනවා. මේ දෙපැත්තම එතරම් සුබවාදී නැහැ. එක් පැත්තකින් තමා අදක්ෂයි යන සිතුවිල්ලෙන් දරුවා මානසිකව බිඳ වැටෙන අතර අධි තක්සේරුවකින් දරුවා ඔසවා තබන විට ඔහු වෙහෙසවී කටයුතු කිරීමට උනන්දු වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ මධ්‍යස්ථ තැනක සිටින්න. දක්ෂතාවය අගය කරන්න. අදක්ෂතාවයට උදව් කරන්න. “ඔව්..ඔබට පුලුවන්” යන සිතුවිල්ලෙන් දරුවා දිරි ගන්වන්න.