දරුවන්ගේ හැසිරීම් වැඩිහිටි ඇහෙන් බලන්න එපා

එක්තරා මිශ්‍ර පාසලක හතර වසරේ දරුවන් අතර සිදු වුන එක් සිදුවීමක් මේ. එදා පාසලේ උත්සවයක්. ගුරුතුමියන් සේරම ඒ වෙනුවෙන් යෙසවුන නිසා පංතියේ ඉතිරි වුනේ දරු දැරියන් විතරයි. මේ පංතියේ සිටිය ලස්සන දුවකට ඒ පංතියේම පුතෙක් පුංචි ලියුමක් දීලා. ඒ ලියුමේ තිබුනේ “මම ඔයට ආදරෙයි කියලා…”

ඉතින් මේ සිද්ධිය පංතියේ ගුරුතුමියටත් පෙරාතුව කොහොම හෝ අම්මලා අතරට ගියා. අපේ අම්මලාට ඔය ටික හොදටම ඇති. ඔන්න පටන් ගත්තා. “අර ළමයාගේ තියෙන නැහැදිච්චකම බලන්න… ඔය වයසේ ඉදන්ම ඔය විදිහට හැසිරෙන්න ගත්තාම ඉස්සරහ ගැන නම් අනේ හිතාගන්න බැහැ….” තවත් මේ පුතාගේ පවුල් ගහත් බදා ගත්තා. අනේ “ඔය පවුලේ හැදියාවක් නැහැ…” අත්තම්මාගේ පටන් ඉතිහාසය දැන් ඈදිලා. මේ පුතා පාසලට යන එන විටත් “අම්මලා ආන්න…. අර නැහැදිච්ච දරුවා…” ලේබල් අලවලා ඉවරයි.

ඒත් මේ දුවගේ අම්මලා මේ සිද්ධිය ගැන එතරම් කලබල වුනේ නැහැ. “අම්මේ මට පංතියේ අය විහිලු කරනවා..” දුව කිව්වාම අම්මයි තාත්තයි දූට මේ විදිහට කිව්වා.

“ඉතින් පුතේ ආදරෙයි කියන එක නරක දෙයක්යැ. දැන් අපි ඔයාට ආදරෙයි…. අයියා ඔයාට ආදරෙයි.. ආයේ… පුංචිලා… නැන්දලා…ඒ වගේ යාළුවත්  ඔයාට ආදරෙයි කියන්න ඇති… බොහොම සරල විදිහට ඒ ප්‍රශ්නය ගැන දුවගේ අම්මලා කරුණු පැහැදිලි කළා.

ඇත්තටම පුංචි දරුවන්ගේ බොහොම වැරැදි සිද්ධ වෙන්නේ ඔවුන් නොදැණුවත්ම. මේවා වැරැදි කියල දන්නවා නම් කවදාවත් ඒ වගේ දේවල් ඔවුන් එළිපිට කරන්නේ නැහැ. ඒ නිසාම අපි දරුවන්ට විවෘතව කටයුතු කරන්න දුන්නොත් ඔවුන්ගේ මේ හැසිරීම් වලින් අපිට යම් යම් දේ ඔවුන් ගැනත් දැන ගන්න පුලුවනි.

දරුවන් ගැන නිරීක්ෂනයෙන් ඉන්න…

දරුවන්ගේ වැරැදි වෙනත් අය අතරට පත්වෙලා ඔවුන් ඒවා ඉතාම විනාශකාරී විදිහට බෙදන යුගයක් නිසා අපි දරුවන් ගැන සියුම් විදිහට නිරීක්ෂනය කිරීමත් ඉතාම වැදගත්. මේ නිරීක්ෂනයේදී අපිට ඔවුන් ගැන බොහෝ දේ දැනගන්න පුලුවනි. සමහර දරුවන් නිවසේ සිට යම් යම් දේවල් සොරෙන් රැගෙන එන්න පුලුවනි. එහෙම නැත්නම් පංතියේ මිතුරන්ගේ දේවල් හොරෙන් අරගෙන යන්න පුලුවනි. මේ අවස්ථාවලදී ඔවුන් “හොරු” කියල චෝදනා කළ යුතු නැහැ. ඉතාම සියුම් විදිහට මේ කරන වැරැද්දෙන් දරුවා මුදවා ගැනීම මිස මේ සොරකම් දිහා අපේ මට්ටමින් බැලීම එතරම් සුබ නැහැ. හැබැයි ම් සොරකම් වලින් දරුවා මුදවා ගන්නා තැනටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

අපේ අම්මලාගේ සමාජයක් පාසලේ ගේට්ටුව ළග නිතරම හැදෙනවා. මේ සමාජයට සමහර විට අම්මලා විතරක් නොවෙයි, ආච්චිලාත් එකතු වෙනවා. ඉතින් මේ උදවියට දවස ගෙවන්න අතුරුපසකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට දරුවන්ගේ පුංචි පුංචි වැරැදි දිහා මහ පරිමාණයෙන් දකින්න පටන් ගන්නවා.

හැම දරුවෙක්ම වටිනවා..

දරුවන්ගේ හැසිරීම් බොහෝ අය දකින්නේ ඒ දරුවාගේ පවුල් පරිසරය පදනම් කර ගෙනයි. කිසිමි විදිහකින් අපිට ඒ තක්සේරුව ඇති කර ගන්න බැහැ. වැරැදීම සාමාන්‍ය දෙයක්. එයට පවුල්වාදය ගලපා ගන්න එපා. ප්‍රාථමික පංතියක දරුවෙකුගේ වතුර බෝතලයේ ඒ දරුවාගේ නමත් මුද්‍රණය කරල තිබුනා. ඒත් වෙන දරුවෙක් මේ බෝතලය සොරකම් කර ගත්තා. බෝතලයේ සැබෑ අයිතිකරු සාමාන්‍ය පවුලකයි. ඒත් සොරකම් කළ දරුවාගේ දෙමව්පියන් වෘත්තියෙන් ගුරුවරු. පංති භාර ගුරුතිමිය එක හෙලාම කිව්වේ… “මේ ළමයාගේ අම්මා. .තාත්තා දෙන්නාම ගුරුවරු…ඉතින් අපි ළමයා හොරක් කියල චෝදනා කරන්නේ කොහොමද..?”  ඒ වුනත් බෝතලයේ නමත් කපා තිබියදීම අයිතිකරුට බෝතලේ අහිමි වුණා.

ඉතින් දරුවන්ගේ හැසිරීම් වලදී කිසිම විටෙක පවුල් පසුබිම බලපාන්නේ නැහැ. ඒවා දරුවන් කරන්නේ ළමා වියේ ඇති වෙන පුංචි පුංචි ආසාවන් නිසයි. ඒත් සොරකම නරක නිසා ඔවුන්ට ඉතාම සෙමෙන් ඒ වැරැදද් ගැන කියා දීම වැදගත්. එහෙම නැති වුනොත් ඔවුන්ගේ සොරකම පිලිබඳව තිබෙන යොමු වීම ඉතාම අසුබ විදිහට ඔවුන් සමගම වැඩිදියුණු වෙන්න පුලුවනි.

ඒ නිසා දරුවන්ගේ හැසිරීම් දෙස බැලිය යුත්තේ දරුවන්ගේ ලෝකයේ සිට මිසක අපේ ලෝකයේ සිට නොවේ. අපේ ළමා කාලයේ සමහර විට මේ තත්වයට වඩා නරක හැසිරීම් තිබෙන්න පුලුවනි. ඒත් කාලය සමග ඒවා නැති වී යෑම සිදු වී තිබෙන නිසා දරුවන්ගේ බොහෝ වැරැදි ඔවුන් දැනුම් තේරුම් ලබන විට නැති විය හැකියි. එතෙක්… අපි මේ දෙස දරුවන් නිවරැදි කිරීමට මිස ඔවුන් බාල අපරාධකරුවන් විදිහට සැලකිය යුතු නැහැ.

බාලඅපරාධකරුවන් වෙන්නත් පුලුවන්..

සමහර විට දරුවන්ට සමාජයට මුහුන දෙන්න බැරි විදිහට මේ හැසිරීම් තැන තැන විවේචනය වෙනවා. ඒ නිසාම ඔවුන් හුදෙකලා චරිත බවට වගේම මානසිකවත් සමාජයෙන් පලිගන්න තරම් දරුණු වෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලයේදී මෙය ඉතාම දරුණු විදිහට බලපාන්න පුලුවනි. තමාගේ ආදර සම්බන්ධතාවය ගැන තැන තැන වපුරන පුද්ගලයෙක් නිසා තමා මිතුරියට ඇති වුන අවමානය නිසා පිහියක් රැගෙන මේ පුද්ගලයා එන මග රැක සිටියා. හදිසියේවත් ඒ අවස්තාවේ ඔහු පැමිණියා නම් අනිවාර්යෙන්ම අනින තරම් දරුවා දරුණු සේ කෝපයට පත්ව සිටියත් බොහෝ දෙනාගේ මැදිහත් වීමෙන් එය බේරුනා. මේ වගේ සිදුවීම් නිසා එක් පැත්තකින් දරුණු අපරාධකරුවෙක්ද, අනිත් පැත්තෙන් ඔහුගේ මිතුරුයව සිටි දියණියටද විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඒ නිසා හැම සිදුවීමක් දෙසම මනෝවිද්‍යාත්මක ඇසකින් බලන්න පුලුවන් නම් වඩාත් උචිතයි නේද…?

දරුවාගේ විනාශයට වෙන වැරැදි නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට කමක් නැහැ…

සමහර වෙලාවට දරුවන්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔවුන් නොමගට යන ප්‍රවනතාවයක් තිබෙනවා නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට නම් කමක් නැහැ. එක් දරුවෙක් තමන්ගේ මිතුරා පාසලට මත්ද්‍රව්‍ය ගෙනෙන බව අම්මාට කිව්වා. මේ අම්මායි..මත් ද්‍රව්‍ය රැගෙන එන අම්මයි එකම කන්තෝරුවේ වැඩ කළ නිසා බොහොම වගකීමෙන් පුතුගේ වැරැදි හැසිරීම ගැන ඇය තම මිතුරියට කිව්වා. ඒ නිසා දරුවා මේ වැරැදි හැසිරීමෙන් බේරා ගන්න මුල් අවධියෙන්ම හැකියාව ඒ පවුලට ලැබුනා. දරවන්ට ආදරය කරනවා නම් ඔවුන් සුමගට යොමු කරන්න අවශ්‍ය නම් ඒ වැරදි හැසිරීම වගකිව යුතු විදිහට වගකීමෙන්ම කියනවා හැර දරුවන් දිහා වපර ඇසින් නම් බැලීම එතරම් හොඳ කටයුත්තක් නොවෙයි.

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැහැ

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැති බව දැන් අලුත්ම සොයා ගැනීමක්. අපේ දෙමව්පියන් දරුවන්ට තිබෙන ආදරය ප්‍රදර්ශනය කිරීමට පමණටත් වැඩියෙන් ඔවුන්ට සෙල්ලම් බඩු අරගෙන දෙනවා. මේ නිසා ඇති වෙන ගැටළු දෙයාකාරයි. අපිට මතුපිටින් පෙනෙන විදිහට සුලබ ගැටලු විදිහට මේ අවස්ථාවන් ඔබට මට ඉතාම සාමාන්‍යයි.

  • අනවශ්‍ය විදිහට සෙල්ලම් බඩු ගෙදර ගොඩ වුනාම ඒවා පිළිවෙලට තබන්න අපහසුයි. මේවායේ දූවිලි මකුළුදැල් බැඳිලා දරුවන්ට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි.
  • ප්ලාස්ටික් සහ බොහෝ සෙයින් අන්තර්ගත නොදිරන දේ නිසා බැහැර කිරීමත් අපහසුයි.
  • ඒ වගේම අපේ ආර්ථිකය අනුව දරුවන්ට මේ සෙල්ලම් බඩු වෙනුවෙන් වැය බරක් ඇති වුනාම වෙනත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් ප්‍රශ්නත් ඇති වෙනවා.

ඔය සේරම එක් පැත්තක තියලා මේ ගැනත් අපේ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.

නිර්මාණාත්මක හැකියාවන් නැති වෙනවා …

දරුවන්ට සෙල්ලම් බඩු ලබා දුන්නාම ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබෙන නිර්මාණශීලී හැකියාවන් නැති වෙන්නත් පුලුවනි. ඊට හේතුවක් තිබෙනවා. සෙල්ලම් බඩු මතම රැදී සිටිනවා මිසක යමක් දෙස නිර්මාණශීලීව බලන්න, අලුත් දෙයක් නිර්මාණය කරන්න කිසිම වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලමට අවශ්‍ය සියලු ආම්පන්න, උපකරණ ඔවුන්ම නිර්මානය කර ගත්තා. පැපොල් බටයෙන් නලාවක්, පොල්පිත්තෙන් ගොනෙක්, කුරුම්බා ඇට්ටියෙන් මැෂිමක්… මේ වගේ දේවල් හදා ගන්න හැම දරුවෙකුටම යම් හැකියාවක් තිබුණා. ඒ ඔස්සේ තව තවත් අලුත් දේවල් පවා නිර්මාණය කරන්න දරුවන් යොමු වුණා. ඒත් අද දවසේ දරුවන්ට මේ හැකියාවක් නැහැ. තමන්ගේ සෙල්ලම්බඩු මත කොටු වෙනවා මිසක එතැනින් එපිටට හිතන්නත් අවශ්‍ය නැහැ. ඇයි ඉතින් සාගරේට සෙල්ලම් බඩු තිබෙන ලෝකයක පැපොල් බටයෙන් නලාවක් හදා ගන්න කිසිම අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ.

ප්‍රමාණයෙන් අඩු වුනොත් හොඳයි නේද…

සෙල්ලම්බඩු ප්‍රමාණයෙන් අඩු වුනාම දරුවාට ඒවා හසුරුවා ගන්නත් පහසුයි. තමන්ගේ සීමිත වපසරියේ සිට ඒවා පරිහරනයට යොමු වෙන නිසා කළමණාකරණය වගේම පරිස්සමින් පාවිච්චි කිරීමටත් යොමු වෙනවා. ලද පමණින් සතුටු වෙන ගුණයත් දරුවාගේ ඇති කරන්න මේ සුලු ප්‍රමණයක සෙල්ලම් බඩු ඉවහල් වේවි.

අවධානයත් නැහැ…

මනෝ විද්‍යාඥයින්ගේ අදහසට අනුව නම් වයස අවුරුදු එකට අඩු දරුවන් වෙනුවෙන් නම් බහුල විදිහට සෙල්ලම් බඩු ලබා දීම එතරම් සුදු නැහැ. ඊට හේතුව පාලනය කර ගැනීමට බැරි තරම් සෙල්ලම්  බඩු තිබුනොත් ඔවුන් ට මේ වෙනුවෙන් අවධානය දැක්වීම අපහසුයි. එක සෙල්ලම් බඩුවකින් පමණක් සෙල්ලම් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසාම අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව දරුවන්ගෙන් නොදැනීම දුරස් වෙනවා.

අන්තර් සම්බන්ධතාවයන් නැහැ…

දරුවා සෙල්ලම් බඩුවලින්ම පෝෂණය වුනොත් ඔවුන්ට බාහිර ලෝකයක් සමග සම්බන්ධතාවයක් අවශ්‍ය නැහැ. මගේ ලෝකය සෙල්ලම් බඩු විදිහට හිතනවා. මේ නිසා පවුලේ තමන්ගේම සහෝදරයන් සමග පවා තිබෙන සම්බන්ධතාවය දුරස් වෙනවා. පවුලක් තුළ මේ විදිහට සම්බන්ධතාවයන් දුරස්ථ වීම එතරම් හිතකර තත්වයක් නොවේ. සෙල්ලම් බඩු ප්‍රමානයෙන් අඩු වුනාම දරුවන් ඒ සෙල්ලම් බඩු සමග වගේම පවුලේ සහ වෙනත් සමීප දරුවන් සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගෙන සෙල්ලමට යොමු වෙන තත්වයක්ද ඇති වෙනවා.

පොත පතට අවධානය අඩුයි…

දරුවාගේ ලෝකය සෙල්ලම් බඩු වලින්ම විසිතුරු වුනාම පොත පතට තිබෙන ඇල්ම, බැල්ම ‍නොදැනීම අඩු වෙනවා. ඔවුන්ගේ ලෝකය සෙල්ලම් බඩු පමණයි. සමහර දරුවන් දිනපතා පාසලට පවා මෙම සෙල්ලම් බඩු රැගෙන ගොස් ඉගෙනුම් කටයුතු අතර පවා සෙල්ලම් කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා සෙල්ලම් බඩු සීමා කිරීම සමග චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සෞන්දර්ය පක්ෂය වර්ධනය වෙන ක්‍රියාකාරකම් මගින් දරුවන් පොත පත සමගත් සම්බන්ධ කිරීම වැදගත්.

සුහදතාවය…

දරුවාට සෙල්ලම් බඩු වැඩි වෙන තරමටම ඔහුගේ ඒවා බෙදා හදා ගැනීමේ ගැටළු ඇති වෙනවා. පුංචි කාලයේ පටන්ම දරුවන්ගේ හිතේ ඇති වෙන අත්පත් කිරීමේ දැඩි පීඩාව ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් එතරම් හිතකාමී නැහැ. “මගේය…” යන දැඩිව අල්ලා ගැනීමත් සමග බෙදා හදා ගැනීමේ ගති පැවැතුම් ඇති වෙන්නේ නැහැ. ඒත් යම් සීමාවක සෙල්ලම් බඩු තිබුනොත් තවත් අයෙක් සමග ඒවා සුහදතාවයෙන් බෙදා ගැනීමට දරුවාගේ හිතේ ස්වයං පෙළඹවීමක් ඇති වෙනවා.

පරිසරයට ඇළුම් කරන දරුවෙක් නිර්මානය වෙන්නේ නැහැ…

අපි අද දරුවන් මුල් කර ගෙන නගන ප්‍රධානම චෝදනාව වෙන්නේ පරිසරයත් සමග දරුවන්ගේ කිසිම ගණුදෙණුවක් නැති බවයි. මේ තත්වය දරුවන්ට විතරක් ගොඩ නගා ගැනීමට  බැහැ. ඒ සදහා දෙමව්පියන්ගේත් උදව් අවශ්‍ය වෙනවා. අද දෙමව්පියන් දරුවන්ට සෙල්ලම් බඩු ගෙනැවිත් දී ඔවුන් සන්සුන් කරනවා විනා ගෙයින් එළියටවත් බැහැර වීමට ඉඩ දෙන්නේ නැහැ. ප්ලාස්ටික් සහ විද්‍යුත් මෙවලම් අතර සිරගතව සිටින දරුවා ගහ, කොළ, සතා සිවුපාවුන් හදුනා ගන්නේ නැහැ. විවේක වේලාවට හද පායන හැටි බලන්න, තරු නැගෙන හැටි, කුරුල්ලන් ඉගිලෙන, සමනළයින් මල් පැණි සොයන විසිතුර ඔවුන්ට හමු වෙන්නේ නැහැ. ඒත් පිස්තෝලයෙන් වෙඩි තබන, වේගයෙන් දුවන මෝටර් රථ තරඟ, වෙනත් වීඩියෝ ක්‍රිඩාවන් අතරම රැදී සිටීම හැරුන කොට වෙනත් විසිතුරු ලෝකයක් දරුවන්ට නැහැ.

ඔබ දරුවන්ට ආදරය බව ඇත්ත… මේ ආදරය ප්ලාස්ටික් සහ රබර් උපාංගයන්ට සීමා කරන්න අවශ්‍ය නැහැ.අපි දරුවන් නිර්මාණය කළ යුත්තේ හෙට දිනයේ ලෝකය දකින මිනිස් ගුණදහමින් යුක්ත පිරිසක් විදිහටයි. ඒ නිසා දරුවාගේ බාල කාලයේ පටන්ම සුන්දර දරුවෙක් දකින සිහිනයෙන් සිටිනවා නම් සෙල්ලම් බඩු වුනත් පමණ දැන ලබා දීම වඩාත් සුදුසු යි. සරල මිනිසෙකු නිර්මාණය කිරීමේ මූලික අත්තිවාරම ඇතැම් විට එතැනින් ගොඩ නගා ගන්නත් පුලුවනි.

දෙමව්පියන්ගෙන් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි

අපි අම්මලා තාත්තලා වුනත් සාමාන්‍ය මිනිස්සු ලඟ තිබෙන ගති ගුණ අපිටත් බොහොම සාධාරණයි. අපි දැන් අත්දැකීම් තිබෙන උදවිය. දරුවන් හදන්න වඩන්න අපිට වෙන දැනමුතුකම් අවශ්‍ය නැහැ කියල හිතුවත් දෙමව්පියන් අතිනුත් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවා. මේ වැරැදි දෙමව්පියන් හිතා මතා කරන දේවල් නම් නොවෙයි. ඒත් ජීවිතයේ එදිනෙදාට සිද්ධ වෙන සිදුවීම් අනුව මේවා දෙමව්පියන් ඔවුන්ට සාධාරණ කර ගත්තත් දරුවන්ගේ පැත්තෙනුත් එහි ආදීනව බරපතල වෙන්න පුලුවනි.

දරුවාටම වැරැද්ද පැටවීම

අමම්ලා තාත්තලා වුනාම දරුවන් ඉදිරියේ තමා වැරැදිකරු වීමට කැමැති නැහැ. දෙමව්පියන්ට වුනත් වරදින අවස්ථා නැතුවාම නොවෙයි, මොකද ඒ අයත් මිනිස්සු නිසා වැරැදි වෙන්න ඇති අවස්ථාවන් ඉතාම සුලබයි. ඉතින් යම් වැරැද්දක් වුනොත් නිතරම ඒවා දරුවා වෙතටම පටවන්න එපා. එහි ඔබට කොටසක් තිබෙනවා නම් එය බාර ගැනීමට තරම් නිහතමානී වීම ඉතාම වැදගත්. එහෙම නැතුව හැම දෙයටම දරුවා වැරැදිකරු කරන්න ගියොත් දරුවා මානසිකව පීඩනයට පත් වෙන්න පුලුවන්.

දෙමව්පියන් අතර සමගිය

දෙමව්පියන් විදිහට ඔබ දෙන්නාට අවශ්‍ය විදිහට හැසිරෙන්න පුලුවන් වුනත් ඒ තත්වය දරුවන්ට විශේෂයෙන් බලපෑමක් ඇති කරන බව අමතක කරන්න එපා. අම්මයි තාත්තායි නිරන්තරවම අඩ දබර වෙමින්  සිටිනවා නම් එයින් වඩාත් අසරණ වෙන්නේ දරුවන් බව ඔබ නොදන්නවා ඇති. දරුවන්ට නිවස ඉතාම ප්‍රසන්න පරිසරයක් වීම වැදගත්. ප්‍රසන්න විදිහට දැන් දෙමව්පියන් බොහෝ විට අපේක්ෂා කරන්නේ සියලු භෞතික සම්පත් පමණයි. ඒත් මේ නිවහන “පසන් නිවසක්” බවට පත් වෙන්නේ අම්මා තාත්තා අතර ගොඩ නැගෙන සමගිය නිසා බව අමතක කරන්න එපා. දෙන්නා දෙමහල්ලන් නිතරම ආරෝ වියවුල් ඇති කර ගන්නවා නම් දරුවන්ට ඒ නිවස අපායක් තරම් අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ නොදැන කරන මේ අඬදබර නිසා දරුවාගේ මානසිකත්වයට විශාල බලපෑමක් ඇති වෙනවා.

තීරණ බුද්ධිමත් වීම

මම තමයි තාත්තා… මගේ අණසකට එපිටින් කිසිම දෙයක් බැහැ. ඒ විදිහට ඉන්නවා නම් මේ ගෙදර ඉන්න පුලුවන්. නැත්නම් අන්න දොර … ඔය විදිහට අණසක යටතේ දැඩි තීන්දු තීරණ ගන්නා දෙමව්පියන් නැතුවාම නොවෙයි. එක් එක් අයගේ මානසිකත්වය අනුව තීරණ ගැනීමේ අයිතිය ඒකපාර්ශවිකව සිදු කිරීමට දක්වන නැඹුරුතාවය නිසා දරුවන් ඉතාම අසරණ වෙනවා. ඊට හේතුව මේ දැඩි තීන්දු තීරණ ඔවුන්ට දරා ගැනීමට තිබෙන අපහසුතාවයයි. ඒ නිසා තීරණ ගැනීමේදී ඔබ බුද්ධිමත් නොවුනොත් එය දරුවන් විෂයෙහි ඇති කරන දැඩි පීඩනයක් බව අමතක කරන්න එපා.

විවේකය එකට ගත කරන්න

වෙලාවක් කලාවක් නැහැ කියන පොදු සංකල්පය අද හැම තැනින්ම ඇහෙන කතාවක්. ඒ වගේම පවුලක වැඩිම වුනොත් ඉන්නේ හතර දෙනයි. මේ හතර දෙනාටවත් එකට විවේකයක් ලබා ගැනීමට අද අවස්ථාවක් නැහැ. හතරදෙනා හතර තැනක හුදෙකලාව ගත කරනවා. අපි හිතන්නේ හැම ගෙදරකම මේ වගේ නිසා අපේ ගෙදරත් ඒ විදිහට වුනාම කමක් නැති බවයි. ඒත් මිනිසුන් හුදෙකලා වීම එතරම් හොඳ ප්‍රවනතාවයක් නොවෙයි. අපි හැමෝටම පුංචි හෝ සමාජයක් අවශයි. එයිනුත් පවුල කියන සමාජය ඉතාම බලගතුයි. ඒ නිසා කෙසේ හෝ දරුවන් සමග එකට කාලය ගෙවන විවේකයක් ඔබ හදුනා නොගතහොත් දරුවන් හුදෙකලාවීමට පටන් ගන්නවා. එය මව්පිය දූදරු සම්බන්ධතාවය ගිලිහෙන මුල්ම අවස්ථාව බව අමතක කරන්න එපා. මේ හිදැස තව තවත් පුලුල් වෙලා අනාගත‍යේදී අම්මා , තාත්තා අමතක කරන තරමටම දරුවන්ගේ මානසික හිස්කම බලගතු වෙන්නත් පුලුවනි.

නව සිතුවිලි දකින්න

දරුවන් අනුකරනයට හරිම කැමැතියි. ඒ නිසා ඔවුන්ගේ ලෝකයේ සිටින ප්‍රදාන චරිත වෙන්නේ අම්මයි, තාත්තයි පමණයි. දරුවන් ඔබ දෙස බලා බොහෝ දේ  ආදර්ශයෙන් ඉගෙනගන්නවා. ඒ නිසා එකාකාර ජිවන රටාවකටම යොමු නොවී නව සිතුවිලි වෙතින් දරුවන්ටත් සතුටක් ලබා දීමට උත්සාහ ගන්න.

නිතරම ආවේශ වෙන්න එපා

ඇතැම් දෙමව්පියන් නිතරම සිටින්නේ දුම්මල වරම අතට ගත් විදිහටයි. සමහර උදවියගේ සාමාන්‍ය රටාවක් බවට මෙය පත්ව තිබෙනවා. ඒ නිසා පවුලක හොඳ සන්නිවේදනයක් ගොඩ නැගෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ සාමකාමී මනස දරුවන්ගේ ජීවිතයට ඇවැසි යහමග පමණක් නොව යායුතු මගත් පෙන්වා දීමට අවශ්‍ය වෙනවා. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්නා සේ අම්මාටත් කතා කරන්න බැරි නම්… තාත්තා නිතරම කෝපාවිෂ්ටව සිටිනවා නම් දරුවන්ට ඇහුම්කන් දෙන්නෙක් නොමැති නම් ඒ තරම් අවාසානාවක් දරුවෙකුට තවත් නොමැති බව විස්තර කිරීම අවශ්‍ය නැහැ.

පවුල ප්‍රධානයි

ඇතැම් විට මේ වගේ චෝදනාවන් ඔබ අසා ඇති. තාත්තාට කන්තෝරුව තමයි ජීවිතේ… ඒ වගේම අම්මාත් ප්‍රධාන ‍තැනට ලා සලකන බොහෝ දේ තිබෙන්න පුලුවනි. නමුත් ඔබ කන්තෝරුවට යන විට නිවසේ ප්‍රශ්න ගෙදර තබා යනවා සේම , නිවසට එන විට කන්තෝරු ප්‍රශ්න කන්තෝරුවේ තබා එන්න. එසේ නොමැතිව නිවසත් කන්තෝරුවක් කර ගත තැන අසරණ වෙන්නේ දරුවන් බව විවිධ පවුල් වෙතින් ලත් උදාහරණ මගින් පැහැදිලි වෙනු ඇති. මට දරුවන්ට වඩා වැදගත් කෙනෙක්… පවුල තරම් සම්පතක් නැතැයි යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට ඔබේ දරුවන්ද ලෝකයේ  සිටින ප්‍රිතිමත්ම දරුවන් බවට පත් වෙනු ඇත.

දරුවන්ට අත්දැකීම් ලබා දෙන්න

අපි දරුවන්ට තිබෙන ආදරය නිසා ඔවුන්ව ඉතාම ආදරයෙන් රැකබලා ගන්නවා වගේම සෙනහස / රැකවරණය අවශ්‍ය තරම් ලබා දෙන්න පසුබට වෙන්න් නැහැ. ඒත් මේ සියලු දේ අතරේම දරුවන්ට යම් විදිහකින් අත්දැකීම් ලබා ගැනීමටත් අවස්තාවක් ලබා දිය යුතු බවත් අමතක කරනන් එපා. ඒ ගැන ළමා මනෝ වෛද්‍ය විදයාඥයෙක් විසින් නිකුත් කරන ලද අපුරු කතාන්දරයක් මට මෑතකදී කියවන්න ලැබුනා.

එක්තරා නිවාස සංකීර්ණයක පවුල් දෙකක් ජීවත් වුණා. එක් නිවසක සිටි වැඩිමහල් තැනැත්තා සහ අනෙක් නිවසේ සිටි දරුවෙක් පැල දෙකක් රෝපණය කලා. වැඩිමහල් තැනැත්තා සාමාන්‍ය විදිහට පැලය රැකබලා ගත්තා. දරුවා ඉතා හොදින් වතුර සහ පොහොර යොදමින් පැලය බලා ගත්තා. බැලු බැල්මට දරුවාගේ පැලය බොහොම සරු සරෙට වැඩුනත් වැඩිහිටියාගේ පැලයේ එතරම් වර්ධනයක් තිබුනේ නැහැ.

එක දවසක් මේ පලාතට සුළඟක් හැමුවා. පහුවදා උදේ බලද්දී දරුවාගේ පැලය ඉදිරිලා ගිහින්. ඒත් වැඩිහිටියාගේ පැලය කිසිම වෙනසක් නැතුව තිබුනා. දරුවාට හරිම දුකයි. ඒ වගේම වැඩිහිටියාගේ පැලය කිසිම කරදරයක් නැතුව තිබෙන එක ගැන සතුටුයි. ඉතින් දරුවා මෙහෙම ඇහුවා..

“සීයේ… මගේ පැලය මේ තරම් හොඳට හැදිලා සුළගට කඩාගෙන ගියා. ඔබේ පැලය එතරම් සරුවටත් නැහැ. ඒත් ඔබේ පැලය හොදින් ඉතුරු වෙලා…ඇයි මේ වෙනස…? හරි නම් මගේ පැලය නේද ඉතුරු වෙන්න ඕන.. ?” දරුවා නොතේරුම් කමට ඇහුවා.

“නෑ පුතේ ඔබ වැරැදියි… මගේ පැලයේ මුල් හොදින් පොළවට සවි වෙලා. ඒ පැලය වතුර හා පාහොර හොයා ගෙන ගියා. ඔබේ පැලයට කිසිම මාන්සියක් නැතුව අවහ්‍ය සියළු දේ ඔබ දුන්නා. ඉතින් මගේ පැලය ‍ස්වභාවයෙන්ම ශක්තිමත් වුණා. පුතා කනගාටු වෙන්න එපා. ලෝකයේ හැටි ඔහොමයි. අපි ශක්තිමත් වෙන්නේ අපි විසින්ම හොයා කියාගෙන කරන දෙයින් මිසක අපිට ළගට ලැබෙන දෙයින් සැනසිලා හිටියාම නොවේ. දැන් මගේ  පුතාට තේරුනාද?” වැඩිහිටියා ඇහුවා.

ඉතින් මේ පුංචි කතාවෙන් ඉදිරිපත් වුන අදහස අපිටත් ඉතාම වැදගත්. අපි බොහෝ දෙනෙක් දරුවන්ට අත්දැකීම් ලබනන් ඉඩ දේනනේ නැහැ. ඉස්සර කාලයේ අම්මලාගේ අදහස වුනේ ගින්දරෙන් පිච්චෙනවා කියනවාට වඩා පිච්චෙන බව දැනගත්තාම දරවන් විසින්ම එයින් ආරක්ෂා වෙන මග හොයා ගන්නා බවයි. අද ඒ තත්වයක් නැහැ. දරුවන්ට සියළු දේ අතට පයට කර කියා දීම නිසා දරුවන් ගේ ජීවිතයේ අත්දැකීම් නැහැ.

සමහර අය බොහොම උජාරුවෙන් මේ විදිහිට කියනවා ඔබ අසා ඇති

අපේ පුතාට දැන් අවුරුදු විස්සකටත් කිට්ටුයි. ඒත් තවම කඩේට ගිහින් පාන් රාත්තලක් දන්නේ නැහැ. ඔබ මේ විදිහට කිව්වත් දරුවා‍ මෙතෙක් ජීවිතයේ කිසිම අත්දැකීමක් නොලද චරිතයක් වීම නිසා ඉතාම අපහසුතාවයට පත් වෙවා. එය හරියට හොදින් සාත්තු සප්පායම් කළ මල් පැලය සුලඟට පහසුවෙන්ම ඉදිරිලා ගියා වගෙයි.

පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න

දරුවන්ට පුංචි කාලයේ පටන් පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න. එක්වරම මහත් වූ ප්‍රාතිහාර්යන් පාන දේ ඔවුන්ට කිරීමට නොහැකි වුනත් පියවරෙන් පියවර ඔවුන් කරන කියන දෙයින් අත්දැකීම් උපයා ගනු ඇත. ප්‍රායෝගිකව දරුවන් තමන් කරන කටුතු වෙතින් යම් අත්දැකීමක් ලබා ගන්නවා. එතැනින් ලබන ශක්තිය නිසාම ඉදිරියට බොහෝ සාර්ථකව ඒ සිදුවීම්වලට මුහුණ දීමේ හැකියාව ලබා ගන්නවා.

Empty nest syndrome….. හෙවත් හිස්වුන කැදැල්ලේ ඛේදවාචකය

ලෝකය පුංචි ගම්මානයක් බවට පත් වීමත් සමග එදා දෙමව්පියන්ට වඩා දරුවන්ගේ දෙනෙතට ලෝකය පෙනෙන්න වුණා. ඒ නිසාම ඔවුන් අධ්‍යාපනය, රැකියාව එහෙම නැත්නම් පදිංචිය වෙනුවෙන් විදේශගත වෙද්දී දෙමව්පියන් අපේ රටේ තනිවීමේ ශෝකාකූල තත්වය අද පොදු ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ වුනත් කවා පොවා ඇති දැඩි කල මේ කුරුලු පැටවු රටෙත් නැතුව විදේශගත වුනාම මව්පියන් අසරණ වෙනවා. ඒ කියල දරුවන් තමන්ගේ තීරණ වෙනස් කරන්නෙත් නැහැ. දෙමව්පියන්ට ඔවුන්ගේ තීරණ වෙනස් කිරීමට හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ වුනත් අපේ දුව..පුතා අහවල් රටේ කියල තවත් කෙනෙක් සමග කියල සතුටු වීම හැර වෙනත් කිසිම තෘප්තියක් අද කාලයේ දෙමව්පියන්ට නැහැ.

ඒ අතරම අතීතයේ දරුවන් සමග ගත කළ මිහිරි අතීතය ගැන හිත හිතා ආත්මීය ශෝකයට පත් වෙන අතරම සුන්දර අනාගතයක් නොමැතිවීම නිසා පසුතැවෙන්න පටන් ගන්නවා. මේ නිසාම අද බොහෝ වැඩිහිටි දෙමව්පියන් මානසිකව ඩිමෙන්සියා අැල්සයිමර් වැනි රෝග තත්වයනගේ ගොදුරු බවට පත්ව සිටිනවා. නමුත් වැඩිහිටියන්බවට පත් වෙන විට ජීවිතය මේ විදිහට සැලසුම් කළොත් අපහසුවෙන් වුනත් මානසිකව නීරෝගීව සිටින්නට හැකියාව ඔවුන් උපයා ගනීවි.

වයසට යන බව සිතන්න

ජෛව විද්‍යාත්මකව වියපත්වීම මට පමණක් නොව හැම දෙනාටම සිදු වෙන පොදු ධර්මතාවයක් බව සිතන්න. දරුවන් වියපත් වීම සමග ඔවුන් කැදැල්ල හැර පියා යෑමේ සාමාන්‍ය තත්වය නොවලැක්විය හැකි‍ හේතුවක් නිසා ඒ වෙනුවෙන් කල් තබාම හිත සූදානම් කර ගන්න.

ගැටළුවක් ඇත්නම් කා සමග හෝ කතා කරන්න

බොහෝ දෙනෙක් තමන්ට ඇති ප්‍රශ්න දරා ගෙන සිටිනවා විනා කිසිම කෙනෙකුට ඒ ගැන කීමට මැලියි. මේ දරා ගැනීම එතරම් සුදුසු නැහැ. දරා ගැනීමට අපහසු ගැටළුවක් ඇත්තේ නම් ඒය කා සමග හෝ කියා හිත නිදහස් කර ගන්න. දරුවන් අසල නොමැති නම් ඔබට හිතවත් පවුලේ කවුරු හෝ හිතවතෙක් සමග මේ ගැටලුව කියා ඒ වෙනුවෙන් කිසියම් සහනයක් ලබා ගන්න.

උදව් ඉල්ලා සිටින්න

වියපත්වීම සමග හව්හරන පිලිබඳව ඇති වෙන අවශ්‍යතා බොහෝ තිබෙනවා. එවන් අවස්ථාවන්හිදී තමාට ලැදි කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීමට පසුබට වෙන්න එපා. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය පුද්ගලයෙකුගෙන් උදව්වක් ඉල්ලා සිටීම එතරම් ගැටලුවක් නොවේ. එහෙත් උදව් නොඉල්ලා සිටීමෙන් මේ ගැටලුව බරපතල ගැටලුවක් බවට පත් වීම තිබෙන ඉඩ කඩ විශාලය.

තවත් අයට සලකන්න

අනුන්ට උදව් කිරීම වියපත්බව අමතක කරන ක්‍රියාවක්. ඔබ තවත් කෙනෙකුට උදව් කිරීම නිසා ලබන සතුට ඔබේ ජීවිතයට බොහෝ සේ ආශිර්වාදයක් විය හැකියි. ඒ නිසා හැකි හැම විටම සුලුවෙන් හෝ තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනන්. එයින් ඔබේ ජීවිතයට විශාල ආලෝකයක් ලැබෙනු ඇති.

සමාජ සේවාවන්ට යොමු වෙන්න

දැන් ඔබේ කැදැල්ල හිස් බව ඇත්ත. ඒත් මේ හිස් වුන කැදැල්ල ගැන නොසිතා සමාජ සේවාවන්ට යොමු වෙන්න. එතැනින් ඔබට තවත් සමාජයක් ගොඩ නගා ගත හැකියි. සමාජ සත්කාර නිසා ලබන සතුට මනසේ නිරෝගීතාවයටත් හේතු විය හැකියි. අද විවිධ අධ්‍යනයන් මගින් පවා හඳුනාගෙන ඇති අන්දමට වියපත් පුද්ගලයන් සමාජ සත්කාර කටයුතුවල යෙදීම ඔවුන්ගේ මානසික නීරෝගීතාවයට හේතු වෙන අතර එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ආයුෂ පවා දිගු විය හැකි බව දැන් තහවුරුව තිබෙනවා.

ක්‍රියාශීලි වෙන්න

“මට මහලු වයසේ කිසිම දෙයක් පෙර සේ…” බැරි බවට මානසිකත්වයක් ගොඩ නගා ගෙන අලසව ජීවිතය ගත කිරීම ඔබ රෝගී පුද්ගලයෙක් බවට පත් කරන ඇති. ශාරිරිකව රෝගී වීමට වඩා මානසිකව රෝගී තත්වයට පත් වීම බරපතල ගැටලුවලට මුල පුරන බැවින් හැම විටම ක්‍රියාශීලී වෙන්න. නිවස අතුගෑම, මිදුල ඇමදීම, මල්පැල සිටුවීම වැනි ව්‍යායාම ලැබෙන කටයුතුවල යෙදීමෙන් සිරුරේ විවිධ රෝගාබාධයන් ඇති විය හැකි අවදානමෙන් ඔබ නිදහස් වෙනු ඇති. අක්‍රියශීලී ජීවිතය නිසා රුධිරගත අහිතකර කොලස්ටරෝල් වැඩි වෙන අතර රැදිරගත සීනි වෙනුවෙන්ද බලපානු ඇත. සිරුරේ ගොඩ නැගෙන මේ තත්වය නිසා හදවත් රෝග සංකුලතාවයන්,දියවැඩියාව, තරබාරුව, අක්මාරෝග, වකුගුඩු ආබාධ වැනි රෝග තත්වයන්ගේ ගොදුරක් නොවීමටත් වග බලා ගන්න.

තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න

වියපත් වීම සමග පුංචි අනතුරකින් පවා ජීවිතය එක්තැන් වෙන්න පුලුවනි. මේ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. කෙසල් පොතු වැනි ලිස්සන දේ ගැන අවධානය දක්වනන්. පඩිපෙලක නගින විට අත්වැල අල්ලා ගෙන යන්න. අදුරේ අතපාත ගානවාට වඩා විදුලි පන්දමක් හෝ වැනි දරුණු තත්වයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇති.

සැහැල්ලුවෙන් ඉන්න

හිත ලෙඩ වුනොත් එයින් ඇති වෙන අතුරු ආන්තරාවන් අවසානයක් නැත මේ නිසා නිතරම හිත සැහැල්ලුවෙන් සිටීමට නම් ආගමික වතාවත්, භාවනා වැනි ආධ්‍යාත්මික ශාන්තිය ගෙනෙන කටයුතුවල නිරත වෙන්න.

සතුට ලැබෙන දේ කරන්න

සතුට ලැබෙන දේ මේ යැයි කිසිම කෙනෙකුට ලැයිස්තුවක් ඉදිරපත් කිරීමට බැහැ. ඒ වුනත් ඔබට සතුට ලැබෙන්නේ කුමකින්ද යන්න ඔබට තේරෙනවා ඇති. ඇතැමෙක් පොත් පත් කියවීමෙන් සතුට ලබන අතර තවත් කෙනෙක් ඇදුමක් මැසීම, ඉවුම් පිහුම්, පත්තර බැලීම, ගෘහස්ථ ක්‍රිඩාවක යෙදීම වැනි විවිධ කටයුතු වලින් සතුට ලබනු ඇත. එසේ ඔබට හිතට සතුටක් ලැබෙන දෙයක් වේ නම් ඒ වෙනුවෙන් යොමු වෙන්න. සතුට ඇත්තේ එතැනය.

මේ අන්දමින් අනේ අපේ නිවස හිස් වුන හැටි කියමින් ලතනොවි නිවස හිස් වුනත් ඔබ පිරුණ මනසකින් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ජීවිතයට මුහුණ දෙන්න.

අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න ඕනෑද…?

“අද මට බත් කන්න බැහැ…කඩෙන් මොනවා හරි ගේන්න…
ඇයි කඩෙන්.. ගෙදර උයපු බතුත් තියෙනවා.. එළවළුවක් හදන්නම්…
අපෝ එපා… මට ගෙදර කෑම ඇති වෙලා… දෝනි කිව්වා..”

එහෙමනම් කඩෙන් මොනවා හරි ගෙනාවා නම් එක අතකට ලේසියි. දැන් ආයේ උයනවාට වඩා අම්මාටත් හිතුනා. මේ අපේ හැම ගෙදරකම දැන් සිද්ධ වෙන සුලබ සිද්ධියක්. ඒත් මේ පිටුපස දිවෙන ඛේදවාචකය ගැන සමහර විට අම්මලාවත් නොදන්නවා ඇති.

දරුවෝ නැති පවුල් …..

ඔන්න ඔය සිද්ධියටම මේ කතාවත් සම්බන්ධ කර ගන්නකෝ… ඉස්සර කාලයේ බොහෝ පවුල්වලට සිද්ධ වුනේ දරුවන් ලැබීම සීමා කර ගැනීමට විවිධ විධි විධාන අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒත් අද මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් අපිට නිතරම දරුවන් පිලිසිඳගැනීම් පිලිබඳ ගැටළු ගැන නිතරම අහන්න ලැබෙනවා. විවිධ ප්‍රතිකාර, ශාන්තිකර්ම ඔස්සේ ඔවුන් මේ වෙනුවෙන් විසඳුම් බලාපොරොත්තුව මහත් සේ වෙහෙසට පත් වෙනවා. ඒ අතරම පසුගිය දා ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද මේ අධ්‍යනය නිතරම කඩ කෑම හොයන දරුවන්ට යම් විදිහට හෝ සීමාවක් පැනවීම අවශ්‍ය බව තේරුම් ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම අම්මලා වුනත් තමන්ගේ දියණිය අනාගත මවක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා නම් පුංචි පුංචි සීමාවන් මගින් හෝ ඔවුන්ගේ මේ රැල්ල නැවැත්තුවොත් හොදයි නේද….?

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ජෙසිකා ග්‍රෙගර් විසින් ඇගේ අධ්‍යනය වෙනුවෙන් විවාහක ජෝඩු 6000 ක් සම්බන්ධ කර ගත්තා. මේ නියැදියට සම්බන්ධ වුනේ ඔස්ට්‍ර්ලියාව,නවසිලන්තය, අයර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය වැනි රටවල්වල අඹු සැමියන් පිරිසක්. ඒ අතරින් ජෝඩු 2204 ක් හනිමුන් බේබිලා හෙවත් විවාහයෙන් මාසයක් තුළ දරු පිලිසිඳ ගැනීම් වෙනුවෙන් වාසනාවන්ත නිමිති පහළ කර ගත්තා.මේ පිරිස තවත් වැදගත් ආහාර පුරුද්දක් අනුගමනය කර තිබුනා. ඔවුන් දිනකට අවම වශයෙන් පළතුරු පංගු තුනක්වත් ආහාරයට ගෙන තිබුණා.

දරු නිමිති නැති අයගේ ආහාරය…

දෙවනුව මේ අධ්‍යන කණ්ඩායමේ අවධානය යොමු වුනේ දරු පිලිසිඳ ගැනීම ප්‍රමාද ජෝඩු සම්බන්ධවයි. ඔවුන්ගෙන් ලබා ගත් ආහාර පුරුදු පිලිබඳ දත්ත අනුව මේ පිරිස සතියකට සකස් කළ ආහාර වේල් හතරක් හෝ පහක් ලබා ගත්තා පමණක් නොවෙයි, පළතුරු එළවලු ආහාරයට ගත්තේ ඉතාම අඩුවෙනුයි. පිට්සා, බර්ගර්, සහ සකස් කරන ලද කුකුලු මස් ආහාරයට ගැනීමෙන් දරු පිලිසිඳ ගැනීමට බාධාවක් වීමට ඇති අවස්ථාව 16 % කින් ඉහල යන බව මෙම අධ්‍යනය මගින් තහවුරු වුනා.

පිරිමි දරුවන්ටත් අවදානමක් තිබෙනවා…

දැන් ඉතින් පුතාලා ඉන්න  අම්මලා සැනසුම් සුසුම් හෙලයි.. මොකද… ගැහැණු දරුවන්ට නේද ?…මේ අනතුරු දැන්වීම අපි මොකට බයවෙනවාද ? කියලා… ඒත් මද සරුබවට ගැහැණු දරුවා විතරක් නොවෙයි, පිරිමි දරුවාටත් දායකත්වයක් තිබෙනවා.මේ  ආහාර ගැනීම නිසා පිරිමි දරුවන්ගේ ශුක්‍රාණු ගිණුමේ සක්‍රියතාවයට වගේම පරිමාවටත් බලපාන බව මෙහිදී පෙනී ගිය බව අධ්‍යනයේ කර්තෘ ජෙසිකා ග්‍රෙගර් (Jessica Grieger) විසින් සඳහන් කර තිබෙනවා.

දරු සම්පතක් ලබා ගන්න නම් හොදින් ආහාර ගන්න…

මේ අධ්‍යනයට තවත් අතුරු තොරතුරු එක් කරමින් නිව්යෝක් ලෙනොක්ස්හිල් රෝහලේ නාරි සහ ප්‍රසව වෛද්‍ය ජෙනිෆර් වූ සඳහන් කරන්නේ මනා පෝෂණය දරුවන් පිලිසිද ගැනීම වෙනුවෙන් බලපාන ප්‍රබල සාධකයක් බවයි. වෛද්‍ය ජෙනිෆර් සඳහන් කරන්නේ නිවරැදි ලෙසින් මේ සංසිද්ධිය තහවුරු කර ගැනීමට නම් නියැඳිය තව දුරටත් පුලුල් කළ යුතු බවයි. ඒ නිසා තවත් ගැබ්ගත් සහ මද සරු කාන්තාවන් මේ අධ්‍යනයට සම්බන්ධ කර ගත්තා.

තරබාරුවත් ගැටලුවක්…

වෛද්‍ය “ජෙනිෆර් වූ” විසින් ලබා ගත් දත්ත විශ්ලේෂනයේදී පෙනී ගියේ තරබාරු සහ අධික බර ඇති කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්ව පැවැති බවයි. ඔවුන්ගේ ආහාර රටාවත් උක්ත අධ්‍යනයට සම්බන්ධ කාන්තාවන්ගේ ආහාර රටාවටම සමාන වුනා.

ගැබ්ගත්තාට පසුව ආහාර ගැන සැලකිලිමත් වුනාට බැහැ…

මේ දත්ත විශ්ලේෂනය කරමින් වෛද්‍ය “ජෙනිෆර් වූ” සඳහන් කරන්නේ බොහෝ කාන්තාවන් පෝෂණය ගැන වෙහෙසෙන්නේ දරු පිලිසිඳ ගැනීම සිදු වුනාට පසුවයි. එතෙක් ඔවුන් තමන්ගේ ආහාර ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.එතෙක් මේ කාන්තාවන්ගෙන් අපි ඇහුවොත් මොනවද ආහාරයට ගන්නේ කියලා ඔවුන්ගේ පිලිතුර වෙන්නේ ෆ්‍රයිඩ් චිකන්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පිට්සා වැනි විවිධ ආකාරයේ මේද බහුල ආහාර ගැන විතරයි. කිසිම කෙනෙක් පළතුරු ,මාළු, අලුත් එළවලු ගැන කියන්නේම නැහැ.

අම්මලාටත් පණිවිඩයක් තිබෙනවා…

එක අතකින් ආහාර පුරුදු එක රැයකින් ගොඩ නගන්න බැහැ. ඒත් අහිතකර විදිහට ආහාර වෙනුවෙන් ආකර්ශනයට නම් කාලයක් යන්නේ නැහැ. අද තරුණ පරම්පරාව යොමු වෙලා තියෙන්නේ මේ අහිතකර තත්වයට පමණයි. ඔවුන්ගේ ආහාර ‍අතර පළතුරු, පලා සහ එළවලු ඇත්තේම නැහැ.ආහාර ගුණ දන්නා අම්මලාට වුනත් මේ රැල්ල නවත්වා ගන්න බැරි තැනට අද ඇවිත් තිබෙන වසංගතයක් වෙලා. අනුකරනයට වඩා අපේ තියෙන්නේ අන්ධානුකරනයක්. අපි කන්නේ බොන්නෙත් වැඩියෙන්ම අනුන්ට අවශ්‍ය විදිහට වගේම තවත් අයට ප්‍රදර්ශනය කරන්න. ඒත් අන්තිමට එයින් අමාරුවේ වැටෙන්නෙත් අපිම බව තවමත් අපි දන්නේ නැහැ. ඒ නිසා දරුවන් ඉන්න අම්මලා තාත්තාලාට අනාගතයේදී අත්තම්ලා, සීයලා වෙන්න අවශ්‍ය නම් දැන් ඉතින් මේ ගැනත් ටිකක් හිතල බැලුවොත් හොදයි. මේ අධ්‍යන වාර්තාව ඔවුන් “Human Reproduction” මගින් ප්‍රකාශයටත් පත් කර තිබෙනවා.

CNN පුවත් සේවයේ Want to increase fertility? Try dropping fast food ලිපිය ඇසුරින්

 

පරිස්සමින් තෝර ගන්න

ටියුෂන් කියන්නෙ අද රැල්ලක්. පෙර පාසල් යන දරුවන්වත් හවස් වරුවෙ ටියුෂන් ඇදගෙන යන අම්මලා මට කොතෙකුත් මුණ ගැහිලා තියෙනවා. ඒ වෙලාවට මම අහනවා,

“අනේ ඇයි මේ පොඞ්ඩන්ව පන්ති යවන්නේ…”

“අනේ ගෙදර පොතක්වත් අල්ලනෙ නැහැ මේ පැය දෙකවත් වැඩ කරනවනේ..”

“මොනවද අනේ ඔච්චරට ඉගෙන ගන්න තියෙන්නෙ මේ පොඞ්ඩන්ට අනික උදේට මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්නෙ…”

“ඔව් අනේ ඒ වුණාට ගොඩක් අම්මලා පන්ති යවනවනේ…”

එතනින් එහාට ඒ අම්මත් එක්ක කතා කරලා පලක් නැහැ. ඇත්තටම අම්මලා කියන්නෙ බුද්ධිමත්ව හිතන්න ඕනී පිරිසක්. බොහෝ විට මේ උපකාරක පන්තිය පවත්වන්නෙ පෙර පාසලේම ගුරුවරියන්ය. කුමක් හෝ දෙයක් වැඩිපුර උගන්වන බව කියා ඔවුන් දරුවන්ව උපකාරක පන්තියට ගෙන්වා ගනියි. එලකියුෂන්ද දැන් අවුරුදු 3 දරුවාගේ පටන්ම ඇති රැල්ලකි. අවුරුදු 3 පැටවුන්ව උපකාරක පන්තියට සහභාගී කරවන්න අම්මලා දෙවරක් නොසිතයි. උපකාරක පන්තියට සහභාගී වන දරුවන්ට විශේෂ සැලකිල්ලකුත් හිමිවෙනවාලු. ගුරුවරු දරුවන්ට එහෙම විශේෂත්වයක් කරන එක කොයි තරම් නම් අසාධාරණද?

මමත් අම්මා කෙනෙක්. මගේ පුතා ලබන වසරේ අම්මලගේ විභාගේ ඒ කියන්නෙ පහවසර ශිෂ්‍යත්වය ලියන්න ඉන්නෙ. පුතා යන්නෙ නිවසට කිට්ටු ප්‍රාථමික අංශය පමණක් තිබෙන පාසලකට. පහෙන් පස්සෙ පුතාව හොඳ පාසලකට ඇතුලත් කිරීමේ අභියෝගය මටත් තියෙනවා. ඉතින් ගිය වසරෙ අවසාන කාලයේ පුතාට ගැලපෙන පන්තියක් හොයන්න මමත් හැම අම්මා කෙනෙක් වගේම වෙහෙසුනා.

“ඒ සර් ෂොක්ලු ගණිත ගැටලු වලට විසඳුම් ළමයින්ට පොවනවා වගේ උගන්වන්නේ…” ඔය වගේ විවිධ තැන් වල ප්‍රසිද්ධ ගුරුවරු ගැන තොරතුරු හොයද්දි මට අහන්න ලැබුණා. කොහොම වෙතත් මගේ පුත්‍රයවත් ශිෂ්‍යත්වයෙන් එතෙර කිරීමේ අභිප්‍රායෙන් මම නම ගිය ගුරුවරයෙක් ළඟට පුතාව ඇතුල් කලා. පළමු දවසෙ මමත් පන්තිය පිටු පසට වෙලා හිටියා.

පැය දෙකකට විෂයන් තුනක්. ඔන්න දැන් ගණිත ගැටළු පොවන්න යන්නේ. බෝඞ් එකේ දැමු ගණන පිටපත් කරගෙන දරුවො ගණන හදනවා.

“හරි දැන් වෙලාව ඉවරයි. සසංක එන්න බෝඞ් එකේ මේකට පිළිතුර හදන්න…”

පොඞ්ඩත් ලැජ්ජාවෙන් ඉදිරියට ගිහිල්ලා ගාණ හදනවා.

දරුවන්ව ඉදිරියට ගෙනල්ලා සබකෝලය නැති කරන එක නම් හොඳයි මගෙ හිත කිව්වා.

“මේ මොකද්ද මේ කලිනුත් කියලා දීලා තියෙනවා නේද? මෝඩ ළමයා යනවා, යනවා” පුංචි සසංකගෙ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණා. අනිත් යාළුවොත් හිනා වෙනවා.

“ආ … තරුක එන්න බලන්න…”

පළවෙනි දවසෙම මගෙ පුතාගේ වාරය ආවා. ලොක්කා වගේ ඉස්සරහට ගිය මගේ පුතත් වැරදියට ගාණ හැදුවා. “වැරදියි , වැරදියි අද පළවෙනි දවස නිසා බේරුණා…”

“නිම්නා එන්න”

පුංචි කෙල්ල ගාණ නිවැරදිව හදනවා.

“හරියටම හරි මේ කෙල්ල විතරයි මම කියලා දීපුව ඔළුවට අරන් තියෙන්නෙ. ඔය ළමයි හරියට ඉගෙන ගත්තෙ නැතිවුනොත් මම හම්බ කරලත් ඉවරයි.”

මේ ඔවුගේ රැකියාවයි. එය රැදෙන්නෙ දරුවන් සමත්වීම මතය. ඔන්න දැන් චක්කර ගන්න වෙලාව. බැරි වුණ හැම දරුවෙක්ටම ගුරුතුමාගෙන් ගුටියක් ලැබුණා.

“නැතිව බැහැ”

පන්තියේ කෙළවර සිටිය මගේ දිහා බලලා එතුමා කියන්න ඇත්තෙ මගෙ මුහුණෙ තිබුණ නොරිස්සුම් බව නිසා වෙන්න ඇති. ඉදිරියට අරගෙන දරුවෙක්ව ලැජ්ජාවට පත් කලාම ඒ දරුවා මානසිකව ඇද වැටෙන බවවත්, අනාගතයේ දරුවගේ පෞරුෂත්වයටද බලපෑම් කරන බවවත් දරුවන්ට ගුටි බැට දීම හරියන්නෙ නැති බව වත් වටහා නොගත්ත ගුරුවරයෙක්ගෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබේවිද?

පන්තිය අවසන් වුණා. දරුවන්ගෙ අම්මලා ඇවිත් ගුරුතුමා වට කරගත්තා.

“අනේ සර් සර්ගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ කොහොම හරි ගොඩදාලා දෙන්න…”

“අනේ ඔව් ඔය ගුටියක් දුන්නට කමක් නැහැ…”

“හරි හරි අපි බලමුකො. තරුකගෙ අම්මාත් ලබන සතියේ පැය භාගයක් කලින් පුතාව ගේන්න.”

කිසිවක්ම නොකියා සිනාසුනු මම එතැනින් පිටවුනේ ආයේ නම් එතුමගෙ උපකාරක පන්තියට නොයවන්නට තීරණය කරමින්මයි. ඒත් ඉතින් මේ අම්මලා කියන විදිහට දරුවා ගොඩ දැමීම තියෙන්නෙ ගුරුතුමා අතේ. විභාගය ලියන්නෙ දරුවද ගුරුතුමාද? දරුවෙක්ට නිදහස් මනසක් නැත්නම් පැය දෙකක් දෙකාමාරක් ඉඳගෙන පිළිතුරු ලියන්නට හැකියාවක් ලැබෙනවා කියන්න නම් අමාරුයි.

ඔන්න මගේ දෙවන මෙහෙයුම. ඔහු තරුණ ගුරුවරයෙක් දරුවන්ට හරිම ආදරෙන් කතා බහ කරන්නෙ. විෂය කරුණුත් වේගයෙන් වුණත් සරලව කියා දෙනවා. වැඩිම ලකුණු වලට කප් එකක්. මගේ පුතත් සතුටින් යනවා. නමුත් මේ පොත් ආයේ මේසේ උඩට එන්නෙ පන්ති දවසට විතරයි. සතියෙ දවස් වල පාසලේ පොත් වලින් විතරයි පාඩම් කරන්නෙ. වාර විභාගයට පෙරම පන්තිය නතර කලා. මමත් ටිකක් වැඩිපුර මහන්සි වෙලා පුතාගේ පාඩම් වැඩ බැලුවා. පුතා වෙනදට වඩා ලකුණු වලින් ඉදිරියට ආවා. තැන් තැන් වලට දුවන එක නතර කරන්න මම හිතා ගත්තා. කොහොමින් කොහොම හරි පහු ගිය දිනෙක මම ප්‍රශ්න පත්‍ර වලට පමණක් පන්තියකට ඇතුලත් කලා.

“ළමයි ඔයාලා හැමෝම පන්තියේ ඉන්න අනිත් ළමයට වඩා ලකුණු ගන්න හිතන්න ඕනී. එයාට 95යි නම් මම එයාට වඩා ලකුණක් හරි ගන්නවා කියලා වැඩ කරන්න ඕනී. ඔයාලට අමාරු රචනාවනෙ මම අවුරුදු 15 ක රචනා ලියන විදිහ ලියලා ටියුට් එකක් දෙනවා ඒක හොඳට කටපාඩම් කරගන්න…”

දරුවන් විභාගයට ලකුණු ලබාගත යුතුයි. එහෙත් අනෙකා පරයා යන සිතුවිල්ල දැක්ම දරුවකු තුල වැපිරීමෙන් බිහිවන්නෙ ආත්මාර්ථකාමී දරුවෙක් නොවේද? දරුවන්ට සිතන්නට පුරුදු කරනවා හැර ගිරවුන් මෙන් කට පාඩම් කරවීමෙන් නිර්මාණශීලි දරුවකු බිහිවේවිද? කට පාඩම් කරන දරුවා එකම රාමුවකට හිරවෙනවා. වෙනස් විදහකට ගැටළුව ඉදිරිපත් කරලා තිබුණොත් දරුවට තමන් සතු දැනුම අදාල තැනට ආදේශ කරගන්නට තේරෙන්නෙ නැහැ. ඉතින් අපි කියනවා “අනේ හොඳට වැඩ කරපු ළමයෙක් ෆේල් වුණේ…” කියලා.

මේ උපකාරක පන්තියටත් නැවතීමේ තිත තබන්නට හිතා ගත් මම පන්තිය අවසන් වූ පසු ඉදිරි පස වූ පොත් හලින් පසුගිය විභාග ප්‍රශ්න පත්තර කට්ටලයක්ද රැගෙන නිවසට ගියෙමි.

ඇත්තටම දෙමාපියන් ලෙස දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපගේ යුතුකම් හා වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නවා. දරුවන්ට නොතේරෙන දෙමාපියන්ටද කියා දෙන්නට බැරි දෙයක් වේ නම් උපකාරක පන්තියකට දරුවා යොමු කලාට වරදක් නැත. එහෙත් මේ ගුරුවරුන් පිළිබඳ සැලකිලිමත්විය යුතුයි නේද? අපි ලෝකයට දායද කල යුත්තේ විභාග සමත් ආත්මාර්ථකාමී, පෞරුෂත්වයෙන් හීන, අනෙකාට සිනහා නගන දරුවෙක් නම් ඔබේ මහන්සියේ ප්‍රතිඵලයක් නැත. ගුරුවරයෙකුගෙන් විය යුත්තේ දරුවන්ට නුවණැස ලබා දෙමින් යහපත් පුරවැසියකු වීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීම නොවන්නේද? දෙමාපියනි එනිසා ඔබේ දරුවා යොමු කරන උපකාරක පන්තියෙ ගුරුවරයා පිළිබඳ හොඳ අධ්‍යයනකින් හා අවබෝධයකින් යුතුව දරුවාට යහපත් නම් පමණක් එම උපකාරක පන්තියට ඇතුලත් කරන්න.

 

පොඩ්ඩන්ගෙ ප්‍රශ්නවලට අත දාන්නෙ බලාගෙන

“බලන්නකො අම්මා නෙතුකිගෙ අම්මා අදත් මට බැන්නා…”
“බැන්නා… ඔයාට… නෙතුකිගෙ අම්මා”
“ඔව්”
“ඇයි ඒ?”
“එයා කොයි වෙලාවෙත් මට විහිළු කරනවා ඒක නිසා මම එයාට බැන්නා එයා ඒක එයාලගේ අම්මට ගිහින් කියලා”
“මොකද්ද ඔයාට කල විහිළුව ? ”
“මට වඩා එයා ලස්සනලු මම විභාගෙට ලකුණු ගන්නෙ කොපි කරලලු, ඉතින් එයා කියන්නෙ බොරු නිසා මම කිව්වා ඔයා බොරුකාරයෙක් කියලා එයා එක එයාගේ අම්මට ගිහින් කියලා. එයාගේ අම්මා ඇවිත් මට එයාගේ දුවට බොරුකාරයෙක් කියලා කියන්න එපා ආයෙත් ඒ විදිහට කිව්වොත් ටීචර්ට කියනවා කියලත් කිව්වා ඔය වගේ හැමදාම මොකක් හරි දේකට එයාගේ අම්මා ඇවිත් මට මොනා හරි කියලා යනවා මට මේක හරිම කරදරයක්…”

ඔබ මොකද සිතන්නෙ පිටස්තර දරුවෙකුට පිටස්තර කෙනෙක් තරවට්ටු කිරීම අනුමත කල හැකිද? දරුවන් සිටින අම්මලා බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් තමයි මේ. තමන්ගෙ දරුවට තවත් දරුවෙක් පහර දීම බැන වැදීම වගේම අරියාදු කිරීම. කවුද කැමති තමන්ගෙ දරුවට ඒ වගේ දෙයක් සිද්ධ වෙනවට. ඇත්තමයි කේන්තියක් හිතට එනවා නේද? ඒත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කෙසේද ? නෙතුකිගේ අම්මා වගේ හැසිරෙන එක නම් අනුමත කරන්න බැහැ.

ඇයි බැරි?

  • ඒ ඔබේම දරුවා නොවුනද ඔබේ දරුවාගේ වසසේම පසුවන පුංචි දරුවෙක්ය
  • දරුවන්ගෙ පුංචි පුංචි ගැටුම් පවතින්නේ ටික මොහොතක්ය
  • ඔවුන් වහා අමතක වන සුලු ප්‍රිතිමත් කොටසක්ය
  • ඔබේ දියණියගේ සිත මෙන්ම ඇගේ සිතද මෘදු මොලොක්ය
  • සියයට සීයයක් ඔබේ දියණිය නිවැරදි නැතිවා වන්නට පුලුවන්ය

එහෙනම් මොනවද කරන්නෙ…?

  • දරුවන්ගෙ ගැලවුම් කරුවන් දෙමාපියන නිසා දරුවාගේ මැසිවිල්ල ඉවසීමෙන් අසා සිටින්න
  • මුලින්ම පාසලේ ගුරුතුමියව දැනුවත් කරන්නට කියන්න

ඒත් ගැටලුව එසේම නම්…

බොහෝ විට අම්මලා අම්මලා දරුවන්ගෙ ගැටුම් වලට මැදිහත්වීම නියපොත්තෙන් කපන්නට තිබූ දෙයක් පොරවෙන් කපන්නා වගේ දෙයක් බවට පත් වෙන්න පුලුවන්. අපි අපේ දරුවන් හුරු කල යුත්තේ හැකිතාක් තමන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු තනිවම විසඳා ගැනීමටය. ඔවුන් අද ලබන අත්දැකීම් තුලින් නිර්මාණය කරගන්නේ ඔවුනගේ හෙට දවසය. පිහිනන්නට ඉගෙන ගත හැක්කේ දියට බැස පිහිනීමෙන්ය. බොහෝ විට දරුවන් තව දරුවකුට විහිළු කර සතුටක් ලබන්නට උත්සහා දරනවා. හැබැයි අපේ දරුවා විහිළුවට ලක් නොවී ඉන්න සමත් වුණොත් තව දුරටත් අර දරුවා විහිළුවට ලක් කරන්නට උත්සහ නොකරාවී.

උදාහරණයක් ලෙස මෙහෙම දන්වන්නම්කෝ මන්දිලට අලබෝලයා කියන විට ඔහුට කේන්ති යයි. ඉතින් ඔහු විහිළු කරන අයගෙ ඵසු පසු හඹා යයි. මෙය විහිළුවට ලක් වෙන දරුවාට හිරිහැරයක් වුවත් විහිලු විහිළු කරන දරුවන්ට තමන් පසු පස අර දරුවා හඹා ඒම සතුටක්. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමන්ගෙ යහළුවව විහිළුවට ලක් කරනවා. හැබැයි එය ගණනකට නොගෙන සිටියහොත් තමන්ගෙ අරමුණ ඉටු නොවන නිසා දිගින් දිගටම විහිළු කිරීම නතර කරාවී. එනිසා දරුවාව සිතීම අතින් සන්නද්ධ කරන්න. සෑම කෙනෙකු සමගම සුහදව සිටීම ගැටුම් අඩුවන්නට හේතුවක් වෙයි.

හිරිහැරයක් වන දරුවවා හමු වන්න. ආදරයෙන් ඒ දරුවා දෙස බලන්න. ඔබේ දරුවාට හිරිහැර කරන්නට හේතුව ආදරයෙන් විමසන්න. ඔහුටත් තිබේවි තමන්ගෙ නිදහසට කාරණා. ඔබ ඒවාටත් සවන් දෙන්න. ආදරයෙන් සිත නොරිදෙන පරිදි ඒ දරුවාට පහදා දෙන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොවන්නෙ නම් දොමාපියන් සමඟ සුහදව සාකච්ජා කර විසඳුමක් ලබා ගන්න.

මේ ලිපිය ලියාගෙන යද්දි මට සෝමරත්න දිසානායක මහතා රචනය කල එඩ්වඩ් මහතා සහ චරිතා මහත්මිය ගායනය කර ඇති මේ ගීතය මතකයට ආවා. ඔබත් රස විදින්නකො මේ යථාර්ථය…

මල් කැකුලූ පොකුරු වාගේ
අපි පුංචි පැටවු යාලූයි
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
අපි ඇති දැඩි වුණ පස්සේ ලොකු අය වාගේ
අපිටත් සැර වැර කම් පුරුදු වෙන්න වෙයිදෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
නැන්දෙ මාමේ අම්මෙ තාත්තේ කියා දෙන්නකෝ
එහෙනම් නපුරුකමද වැඩිහිටිකම කියන්නේ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි
තරහා වෙලා ඉන්න දන්නෙ නැහැ එහෙම ඉන්න බැහැ
මොහොතක් තරහා වුනත් අපි ආයේත් යාලූවෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි

 

බබාට කෑම හදමු – ලිපි අංක 2

බබාට බත් කවමු… කොහොමද ඒක කරන්නේ…?

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නේ. ඉතින් චූටි බබාට මුලින්ම කෑම පටන් ගන්නකොට දෙන්න කියන්නෙත් බත්. ඉතින් අද මේ ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ මම කොහොමද මගේ පැටියට බත් ආරම්භ කරලා වයසත් එක්ක ටික ටික ඒ බත් තලපය බබාට ආස වෙන විදියට වෙනස් කර ගත්තේ කියල.

බත් අපි දෙන්නේ ප්‍රධාන ආහාර වේලක් විදියටනේ. බබාගේ වර්ධන සටහන් පොතේ බබාට බත් කන්න දෙන්න ඕන ප්‍රමාණ වයසත් එක්ක දාලා තියෙනවා පැහැදිලිව. ඔයාලට ඒක මතක් කරලා දෙන්නම් මම මෙතන සාරාංශයක් විදියට.

chart-01

chart-02

මම නැවතත් ඕගොල්ලොන්ට ආදරයෙන් මතක් කරනවා “බබාගේ වර්ධන සටහන් පොත” හොඳින් කියවන ලෙස. ඉහත වගුවේ ඉතා කෙටියෙන් දක්වා ඇති කරුණු ඔබට වඩා විස්තරාත්මකව එම පොතෙන් බලා ගන්න පුළුවන්.

හරි…. දැන් මම කියන්නම් මේ උපදෙස් අනුව මගේ බබාට මුල් අවුරුද්ද ඇතුළත බත් විවිධ ආකාරයෙන් සාදා ගත් අන්දම​. මෙහිදී බබාගේ වයස අනුව බත්වලට එකතු කර ගන්නා දේවල් තීරණය කර ගැනීමේ වගකීම පැවරෙන්නේ ඔබට. එම වයස් සීමාවන් ගැන හෝ වෙනත් මේ ලිපිය සම්බන්ධ ඕනෑම කරුණක් ගැන වැඩි දුරට දැන ගැනීමට අවශ්‍ය නම් මේ ලිපිය යටින් කමෙන්ට් කරන්න​.

මූලිකව අපි බබාට දෙන බෙරි බත් තලපය මම සාදා ගත් ආකාරය මගේ “බබාට කෑම හදමු” ෆේස්බුක් පිටුවේ පින්තූර සහිතව පැහැදිලි කර තියෙනවා. එම පෝස්ට් එකේ ලින්ක් එක මෙහි ඔබ සැමගේ පහසුවට මම සඳහන් කරන්නම්.

Link : බබාට කෑම හදමු

මම නම් බබාට දුන්නේ රතු කැකුළු සහල්. තවත් ඉතා ගුණවත් දේශීය සහල් වර්ග  තියෙනවා බබාලට දෙන්න සුදුසු සුවඳැල්, කහවනු, පච්ච පෙරුමාල්, කුරුලුතුඩ ඒවායින් සමහරක්.

දැන් අපි බලමු බබාට බත් විවිධ ආකාරයෙන් සකසා දිය හැකි ආකාර. මට පුළුවන් මගේ අත්දැකීම් අනුව මේවා ප්‍රධාන ක්‍රම 3 කට වෙන් කරලා පෙන්වන්න​.

ක්‍රමය 1 :- මේ මූලික බත් තලපයට එහි රසය වෙනස් වෙන්න තව එක ආහාර වර්ගයක් සමග මිශ්‍ර කරලා දෙන්න පුළුවන්.

මෙන්න උදාහරණ කීපයක් :-

  1. බත් සහ පොල්කිරි එකතුව සාදා ගත් කිරිබත්
  2. බත් සහ ඇපල් / පෙයාස් / කෙසෙල් වැනි පලතුරක් සමග​
  3. බත් සහ පරිප්පු / මුං ඇට​/ කව්පි /කඩල/ කුරක්කන් වැනි ධාන්‍ය වර්ගයක් සමග​
  4. බත් සහ කැරට් / වට්ටක්කා වැනි එක් එළවළු වර්ගයක් සමග​
  5. බත් සහ අර්තාපල් / බතල වැනි අල වර්ගයක් සමග​
  6. බත් සහ යෝගට් / මී කිරි / චීස් වැනි කිරි ආහාරයක් සමග​
  7. බත් සහ නිවිති වැනි පලා වර්ගයක් සමග​
  8. බත් සහ මාළු/මස් / හාල්මැස්සෝ කරවල​/ බිත්තර වැනි සත්වමය ආහාරයක් සමග​

බලන්න​, ඉහත ආකාර සියල්ලම සැලකුවාම විවිධ රසවලින් යුතු බත් සාදා ගන්න පුළුවන් නේද?

ක්‍රමය 2 :- බත් සමග ආහාර වර්ග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හැකි පමණින් එකතු කිරීමෙන්

පෝෂණීය සමබර බත් වේලකට අඩංගු වෙන්න ඕනා ප්‍රධානම ආහාර කාණ්ඩ දැන් ඔබට පැහැදිලි ඇති. මම මූලිකවම හිතේ තබා ගත්තේ මේ ආකාරයටයි.

  1. සහල්
  2. එළවළු වර්ග 2 ක් (මෙහි මම එළවළු ගොඩටම අල වර්ගත් සලකා තියෙනවා)
  3. ධාන්‍ය වර්ගයක්
  4. සත්වමය ආහාරයක්
  5. පලා වර්ගයක්
  6. මේදය​

මේ මූලික දේවල් සියල්ලම නිසි වයසේදී ප්‍රධාන ආහාර වේලකට දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. නමුත් බබාලා ටික ටික ලොකු වෙන කොට කෑම ප්‍රතික්ශේප කරන අවස්ථා එනවනේ. ඒ වගේ වෙලාවල්වලට මේ ආහාර වර්ග ටික ටික​ එහා මෙහා කරමින්, බබා කැමති රස ඉස්මතු කරමින් බත් එක සාදා ගන්න උනන්දු වෙන්න​.

ඉහතින් සඳහන් කළ මූලික ආහාර වර්ග සඳහා උදාහරණ කිහිපයක් ද මම සඳහන් කරන්නම්, ඔබේ පහසුවට​.

  1. සහල් වර්ග – මම කිහිපයක් මෙම ලිපියේම කලින් සඳහන් කළා
  2. එළවළු වර්ග 2 – මෙහිදී මම එළවළු වර්ණ දෙකකින් තෝරා ගන්න උනන්දු වෙනවා. උදාහරණ ලෙස බීට් රූට් සහ දඹල , කැරට් සහ බෝන්චි, බතල සහ පතෝල යනාදී වශයෙන්. ඔබට කැමති ඕනැම එළවළුවක් බබාට හඳුන්වා දෙන්න පුළුවන්, එයට සීමාවක් නැහැ. කිසි දෙයක් තෝරන්න එපා. සියලුම එළවළු වර්ගවලට පොඩි කාලේ සිටන්ම පුරුදු වෙන බොහෝ දරුවන් ලොකු වුනාම ආහාර තෝරන්නේ නැහැ.
  3. ධාන්‍ය වර්ග – මුං ඇට​, පරිප්පු (විශේෂයෙන් තෝර පරිප්පු – වස විසවලින් අවම නිසා), රතු සහ සුදු කව්පි, කඩල​, කුරක්කන් වගේ ධාන්‍ය තමයි මම දුන්නේ. මේවා අපට ලේසියෙන් කල් තබා ගන්නා විදියට සකසා ගන්න පුළුවන්. මේවා හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා, කුඩු කර ගෙන බෝතල්වල අසුරලා තබා ගන්න පුළුවන්. මම නම් ශීතකරණයේ තබා ගත් නිසා මාස කීපයක්ම පාවිච්චි කළා. නමුත් තවත් සමහර අම්මලා නම් ශීත කිරීමකින් තොරවම එළියේ කාලයක් තබා ගෙන පාවිච්චි කළ බවත් මා සමග පවසා තිබෙනවා. මේ සියල්ල ඔබේ කැමැත්ත පරිදි සිදුකර ගන්න​.

මෙලෙස ධාන්‍ය ඇට ලෙසද​, පිටි ලෙස ද භාවිතයට අමතරව ධාන්‍ය පැල කර මුල් අද්දවා ආහාරයට එකතු කිරීමද කරන්න පුළුවන්. ධාන්‍ය ඔබට අවශ්‍ය ප්‍රමාණය හොඳින් සෝදා දවසක් වතුරේ පෙගෙන්න තිබ්බාම ඒවායෙහි මුල් ඇදීම සිදුවෙනවා. ඒවා බත් එකට එකතු කර කෙලින්ම උයා ගන්න පුළුවන්. වැඩිපුර සාදා ගත්තොත් ශීතකරණයේ තබා දින කීපයක් කල් තබා ගැනීම කර ගන්න පුළුවන්. මේ දිනවල සුපිරි වෙළඳ සැල්වල පැල කරන ලද මුං ඇට එහෙම ගන්න තියෙනවා. ඒත් මේවා ගෙදරම සාදා ගැනීම එච්චර දුෂ්කර කාර්‍යයක් නෙවෙයි.

  1. සත්වමය ආහාරයක් – මස්, සුදු මාළු, බිත්තර​, හාල්මැස්සෝ කරවල වගේ දේවල් තමයි.

මස් නම් කුකුළු මස් මුලින්ම හඳුන්වා දීම සුදුසුයි. අනෙක් මස් වර්ග දෙනවා නම් බොහොම කල්පනාවෙන් ටිකෙන් ටික හඳුන්වා දෙන්න​. මොකද ගොඩක් මස් වර්ගවලින් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. මම දුන්නේ නම් කුකුළු මස් පමණයි. ඒත් සතියකට හෝ දෙකකට වේලක් හෝ දෙකක් පමණයි. අද කාලේ නැවුම්, වස විස නැති කුකුල් මස් සොයා ගැනීමට හරි අපහසු නිසා. කාබනික (organic) මස් ලැබෙයි නම් නිතරම වුවත් බබාගේ බත් එකට එකතු කළාට කමක් නැහැ.

මාළු විදියට තෝරා, පරා, මී වැටි, තලපත් වගේ සුදු මාළු දෙන්න පුළුවන්. බබා ලොකු වෙද්දී අවශ්‍ය නම් කෙලවල්ලා, ඉස්සා, දැල්ලා වගේ මාළු ටිකෙන් ටික හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම දීපු අම්මලා ඉන්නවා. නමුත් මම නම් තාම ඉස්සා, දැල්ලා නම් දීලා නැහැ. මොකද ඒවා ටිකක් ආසාත්මිකතා ඇති කරන මාළු වර්ග නිසා.

බිත්තර නම් මුලින්ම කහ මදයෙන් පටන් අරන් මාස 10 වගේ වෙද්දී සම්පූර්ණ බිත්තරයක්ම දෙන්න මම කටයුතු කළා.

හාල්මැස්සෝ කරවල – බඩවත් අයින් කර, ඔළුව සමග හාල්මැස්සෝ අරගෙන​, හොඳින් සෝදලා, අව්වේ වේලලා, කබලේ බැදලා හොඳට කුඩු කර ගත්තාම කෙලින්ම බත් එකට එකතු කරගන්න පුළුවන්. කටු නැතිවෙන්න හොඳින් කුඩු කරගන්න වග බලා ගන්න​. මේවත් හොඳින් බෝතලයක අසුරලා කල් තබා ගන්න පුළුවන්.

(පීකුදු දෙන්න නියම කර තියෙන කෑමක් වුනත් මම ඒවා දුන්නේ නැහැ. කුකුළු අක්මාවේ වස විස බොහෝ රැඳෙන්න ඉඩ තිබෙන නිසා)

  1. පලා වර්ගයක් – ගෙදරම පොඩියට වවා ගත්ත ගොටුකොළ සහ නිවිති තමයි ගොඩක්ම මම බබාට දුන්නේ. ඊට අමතරව මුකුණූවැන්න​, කංකුං දුන්නා. තවත් ඕන තරම් පලා වර්ග තියෙනවා. විශේෂයෙන් කංකුං දෙද්දී දලු හරියෙන් දෙන්න​. ලොකු දඬු දෙන්න එපා. ඒවා ඇතුළේ සත්තු ඉන්න පුළුවන් නිසා හොඳින් පිරිසිදු කිරීමට වග බලා ගන්න​.
  2. මේදය – බටර්, එළගි තෙල් (ගී), සූරියකාන්ත තෙල්, ඔල්ව් තෙල්, පිරිසිදු පොල් තෙල් බබාට දෙන්න සුදුසුයි.
ක්‍රමය 3 :- බත් මගින් සාදා ගත හැකි වෙනත් ආහාර​ 

  1. කුරක්කන් කැඳ (බත්, පොල්කිරි, කුරක්කන් පිටි)
  2. කිතුල් කැඳ (බත්, පොල්කිරි, කිතුල් පිටි )
  3. කොළ කැඳ (බත්, පොල්කිරි, කොළ වර්ගයක්)
  4. එළවළු සුප් බත් (සුප් සාදා වතුර බේරා ගත් පසු ඉතුරු වන එළවළු, බත් සමග මිශ්‍ර කර​)
  5. කොහිල කැඳ (බත්, පොල්කිරි, කොහිල අල​)
  6. කිරිබත් සහ කෙසෙල්
  7. හාල් පිටි ඉඳි ආප්ප​
  8. හාල් පිටි ආප්ප මදය​
  9. හාල් පිටි පිට්ටු සහ පොල් කිරි

බලන්න .. ඕගොල්ලොන්ට පේනවා ඇති බත් (හෝ සහල්) ආශ්‍රය කරගෙන විවිධ විදියේ රසවලින් යුත් කෑම වර්ග ගණනාවක් සාදා ගන්න පුළුවන් නේද කියලා. කාගෙන්වත් අහ අහා ඉන්න අවශ්‍ය නැහැ. නිර්මාණශීලීව සිතීම පමණයි කරන්න ඕන​. ඒකට අම්මලා දක්ෂ වෙන්න ඕන​.

මම අවසාන වශයෙන් ඔයාලාට, බබාලට බත් ආහාරය සකස් කිරීමේදී වැදගත් වන ඉඟි (TIPS) කිහිපයක් කියන්නම්. ඒවා හොඳින් හිතේ තියා ගෙන බබා ගේ බත් එක සකස් කර ගන්න​.

  • බත් උයනකොට බත් සමගම එළවළු, ධාන්‍ය ඇට​, මස්/මාළු මුල සිටම එකට දමා උයා ගන්නවා නම් හොඳයි.
  • ඔබ බත් එකට දමන්නේ කුඩු කල ධාන්‍ය නම් බත් එක ඉදීගෙන එනවිට ඒවා එකතු කරන්න​.
  • පළා වර්ග බත් එක බාන්න කිට්ටුව එකතු කර ගන්න​
  • බිත්තර නම් වෙනම තම්බා ගෙන බත් එක බබාට කවන කොට බත් එකට මිශ්‍ර කරගන්න​
  • මාළු/මස් බත් එකට එකතු කරන විට අමුවෙන්ම කටු ඉවත් කරගෙන මාංශ කොටස් පමණක් බත් එකට දමන්න​.
  • පොල්කිරි එකතු කිරීමේදී කිරිබත් උයන ආකාරයට බත් එක ඉදුනාම එකතු කර ගන්න පුළුවන්. නැත්නම් මුල සිටම දිය කිරි සහ මිටි කිරි දෙකම දමා කිරෙන්ම බත් එක උයා ගන්නත් පුළුවන්
  • බටර්, ගී, තෙල් වර්ග කෙලින්ම බත් එක ඉදුනාට පසු බතටම එකතු කර අනා ගන්න පුළුවන්, නැත්නම් බත මේවායින් තෙම්පරාදු කර ගන්නත් පුළුවන්.
  • සමහර විට ඔබේ කාර්‍යබහුලකම නිසා ඔබ බත් වේල් දෙකක් සඳහා එකටම උයා ගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. එහිදී වේල් දෙකේම බත් එක, එකම වූවත් එහි රස මොන යම් හෝ ආකරයකින් වෙනස් කිරීමට ඔබ උත්සහ ගන්න​.

උදා :- තෙම්පරාදුවක් දැමීමෙන්, ඇපල්/පෙයාස්/මිදි/නාරන්/කෙසෙල් වැනි පලතුරක් එකතු කිරීමෙන්, තල/රුලන් වගේ දෙයක් බැදලා තෙම්පරාදුවක් දැමීමෙන්, යෝගට්/මීකිරි/චීස් වැනි දෙයක් එකතු කිරීමෙන්

  • පුළුවන් තරමින් බ්ලෙන්ඩ් කිරීමෙන් වලකින්න​. ඒ, බ්ලෙන්ඩ් කරන විට ඉතා සියුම් ක්‍රීම් එකක් බවට පත් වෙන නිසා බබා හපලා කන්න පුරුදු කර ගන්න අමාරු වෙන නිසයි. නමුත් සමහර ආහාර පොඩි කර ගැනීමට බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න සිදු වෙනවා. මස්/බෝන්චි/කොළ වර්ග වගේ දේවල්. මේ අවස්ථාවල බ්ලෙන්ඩ් කරද්දී අවශ්‍ය ලෙස වේගය පාලනය කර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගන්න අම්මා දක්ෂ වෙන්න ඕන.
  • බත් එක උණුසුම් ව තියෙද්දී බබාට කවන්න
  • බත් කන්න අදි මදි කරන බබෙක් නම් ඔබ සකස් කරගන්නා බත් වේල හොඳින් භාජනයක දමා අසුරා ටිකෙන් ටික අරගෙන බබාට සැරින් සැරේ කවන්න​. පොඩි ආහාර ප්‍රමාණයක් වැඩි වේල් ගනණක් කැවීම සුදුසුයි.
  • බබා කන්න අදි මදි කරන විට කළ හැකි තවත් දෙයක් විදියට බබා පැය කීපයක් නිරාහාරව තබා හොඳින් බඩගිනි දැනෙන විට සැලකිය යුතු ප්‍රමාණයක් බත් කවා ගැනීම කළ හැකියි.
  • උණුකර නිවාගත් වතුර කවන වෙලාවට ලඟින් තබා ගන්න​. බබාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවුනොත් වතුර ටිකක් බොන්නට දී එය ගිල ගැනීම පහසු කර දෙන්න පුළුවන්.
  • කහ​, තුනපහ​, ගම්මිරිස්, අබ වගේ වෙනත් කුළු බඩු ඔබේ කැමත්ත පරිදි බත් එකට එකතු කර ගන්න පුළුවන්. මම නම් අවුරුද්දක් යනකම් කිසිම කුළු බඩුවක් එකතු කළේ නැහැ. නමුත් වෙන අම්මලා නම් එකතු කරලා තියෙනවා.
  • අවුරුද්දක් පහු වෙනකම් බතට ලුණු හෝ සීනි එකතු කරන්න එපා.

මගේ “බබාට කෑම හදමු – Lets make Baby Food” පිටුවට පිවිසිලා මම මගේ බබාට සාදා දුන් බත් වර්ග ගැන වැඩි විස්තර පින්තූර සහිතව බලා ගන්න ඔයාලට පුළුවන් (https://www.facebook.com/pg/umibabyfoodblog)

මම මේ ලිපියෙන් කිව යුතු සියල්ල හැකි පමණින් ආවරණය කරන්න උත්සාහ ගත්තත් සමහර කරුණු මග හැරී තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට නැගෙන ගැටලු කමෙන්ට් කිරීමෙන් අපට දන්වන්න​. අපි  හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

ළඟම පාසල හොඳම පාසල ඒත්… අපි නගරයට

දරුවෙක් ගැබ් ගත් තැන පටන් අම්මලා තාත්තලාගේ ඊළඟ අරමුණ මේ දරුවා වෙනුවෙන් නම ගිය පාසලක් ලබා ගන්නේ කෝහොමද කියන ගැටළුවයි. ඒ නිසා ඇති හැකි හැම දෙමව්පියෙක්ම අදාල චක්‍රලේඛන අනුව ලියකියවිලි සකස් කරනවා. පළමු වසරට දරුවන් ඇතුලත් කර ගැනීමේදී ඒ වෙනුවෙන් නිර්ණායක කීපයක් තිබෙනවා.

  • පදිංචිය
  • ආදි ශිෂ්‍ය
  • රජයේ සේවක
  • ස්ථානමාරු

මේ විදිහට අවස්ථා තිබුනත් පළමුවසරට පංති කීපයක් වෙනුවෙන් බඳවා ගන්නා දරුවන්ගේ යම් සීමාවක් තිබෙනවා. මේ හැම නිර්නායකයක්  තුලින්ම දරුවා ප්‍රතික්ෂෙප වීමට තිබෙන අවස්ථාව ඉහලයි. එයිනුත් වැඩි ප්‍රතිශතයකින් දරුවන් බඳවා ගන්නේ පදිංචිය පදනම් කර ගෙනයි.

පදිංචියට අවශ්‍ය ලියකියවිලි

පදිංචියට අවශ්‍ය ලියකියවිලි නිසා අද සිද්ධ වෙන අසාධාරණය සුළුපටු නැහැ. දුර බැහැර හිටියත් කෙසේ හෝ පදිංචිය තහවුරු වෙන විදිහට ලියකියවිලි හදා ගත්තාම ඇත්තටම පදිංචි වෙලා ඉන්න අයගේ දරුවන් නොදැනීම ප්‍රතික්ෂෙප වෙනවා.

අම්මාගේ ගමේ දරුවා ලැබුණා..

මේ එක් උදාහරණයක්. අම්මාගේ ගම අම්පාරේ වුනත් ඇය විවාහ වුනේ මහනුවර ප්‍රදේශයටයි. හැබැයි සාමාන්‍ය පවුලකින්. ඒත් ලංකාවේම ජනප්‍රිය පාසලක වැට මායිමේ දරුවාගේ තාත්තා, සීයා විතරක් නොවෙයි, සීයාගේ තාත්තාත් පදිංචිව සිටියා. ඒත් ඔවුන්ට ඒ යුගයේ තිබුන පදනම අනුව මේ පාසලට යන්න ලැබුනේ නැහැ. දම්වැල් 22 ක් නොවෙයි, පාසලේ සීනුව නාදකරන හඩ පවා ඇසෙන මායිමේ හිටියට තාත්තා මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් නොවෙයි. ඒත් දැන් කාලයේ මේ පාසලට සාමාන්‍ය පවුල්වලින් දරුවන් ඇතුලත් කර ගැනීමට බාධාවක් තිබුනේ නැහැ. ඒ නාමිකව පමණයි. කෙසේ හෝ පදිංචිය සනාථ කිරීමට සියලු ලිපි ලේඛන තිබුනත් දරුවාගේ උප්පැන්නයේ උපත ලද රෝහල විදිහට අම්පාර සඳහන් වීමත් අම්මාගේ ඡන්ද හිමි නාමලේඛන උපුටන නොමැති වීමත් නිසා දරුවා බාර ගැනීම ප්‍රතික්ෂෙප වුනා.

දුර සීමාවන් තිබුනත් පාසල් බස් නම් අල්ලපු දිස්ත්‍රික්ක වලිනුත් ඇවිත්…

දරුවන් බවා ගැනීමේ චක්‍රලේඛනයේ දුර සීමාවන් තිබුනත් පාසලක් ඇරෙන වේලාවට අහල පහල දිස්ත්‍රික්කත් ආවරණය වෙන විදිහට පාසල් බස් සේවාවන් තිබෙන බව ඔබ 11.30 ට ප්‍රාථමික පංති ඇරෙන වේලාව නිරීක්ෂනය කලොත් පෙනේවි. ඉහළ පංති ගැන නම් මේ චෝදනාව නගන්න බැහැ. ඊට හේතුව 6 වරෙන් ඉහළට ශිෂ්‍යත්ව විභාගය, ඇතුලත්වීමේ විභාගය, සාමාන්‍ය පෙළ වැනි විවිධ විභාග සමත් අයට ඇතුලත් වෙන්න පුලුවනි. ඒත් ප්‍රාථමික පංතිවලට දුර සීමාව අදාල නම් මේ පාසල් බස්වලින් යනෙන දරුවන් ඇතුලත් වුනේ හොර පාරෙන් බව විවෘත රහසක්. ඒත් විදුහල්පතිවරුන්ටත් අදාල ලියකියවිලි නිවරැදි නම් එයින් ඔබ්බට ආයේ කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

ආදි ශිෂ්‍ය වෙද්දී තමන් ඉගෙන ගත්ත පාසල එතරම් සුදුසු නැති බව හිතෙනවාද…?

වර්තමාන අධ්‍යාපන රටාව තුළ අපි සීමිත පාසල් කීපයක් වෙනුවෙන් පොර බදිනවා මිස තමා උගත් පාසලට දරුවා ඇතුලත් කරන්න එතරම් මනාපයක් නැහැ. මම මේ පාසලේ ඉගෙනගෙන මේ තැනට ආවා නම් මගේ දරුවාට මේ පාසල වඩාත් සුදුසුයි කියල කාටවත් හිතෙන්නේ නැහැ.

ජනප්‍රිය පාසලේ ආදි ශිෂයන්ටත් තරගයක්…?

ඒ වගේම ජනප්‍රිය පාසලේ ආදි ශිෂ්‍යය බව තිබුනාටමත් දරුවා ඇතුලත් කරන්න එය සුදුසුකමක් වෙන්නේ නැහැ. ආදි ශිෂ්‍යයෙක් විදිහටත් ඔවුන් ලකුණු උපයා ගන්න ඕන. මේ නිසාම අද විවිධ විදිහට දරුවන් ඇතුලත් කිරීමේදී සාධාරණ පදනමක් ඇති වෙන්නේ නැහැ.

ළඟම පාසල හොඳම පාසල වුනත්….

අද “ළඟම පාසල හොඳම පාසල” ජනප්‍රිය කරන්න ගියත් එය ඉටු නොවන බව නම් කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා. අද ළඟම පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 33 ක් පමණ වෙන ඇතැම් පාසල් තිබෙන අමතක කරන්න එපා. ඒත් සුදුසුකම් ලත් ගුරුවරු මේ පාසල්වල පත්වීම් ලබා සිටින නිසා කිසිම විදිහකින් අධ්‍යාපනයේ ගුණාත්මක බව බාල වෙන්නේ නම් නැහැ. නමුත් අපේ මනස් සංකල්පය නගරයේ පාසල් මුල් කර ගෙන නිසා කරන්නන් වාලේ රැල්ලට යෑම නිසා දරුවන් හෙම්බත් වෙන බව දෙමව්පියන් කිසිම විටක හිතන්නේ නැහැ.

උපත ලබන විටම දරුවාගේ පාසලත් නම් කරන රටවල් තිබෙනවා. අපි උපත ලබන විට අපේ ආගම තීන්දු වෙනවා වගේ මේ රටවල් දරුවාගේ පාසල තීරණය කරනවා.එවිට පාසලේ අධ්‍යාපන බලධාරීන් එළැඹෙන වසරට මේ පාසලට ඇතුලත් විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව මෙපමණක් බවට තීරණ ලබා ගන්නවා.

ජනප්‍රිය පාසලට ඇතුළු කල පමනින්ම සෑහෙන්න පුලුවන්ද…?

ජනප්‍රිය පාසලකට කෙසේ හෝ ඇතුලත් කළ පමණින් සියල්ල ඉෂ්ට වූවා යැයි ඔබට සෑහීමට පත් වෙන්න බැහැ. ජනප්‍රිය පාසල්වල පංති තදබදය නිසා ගුරුවරුන්ටත් එක් එක් දරුවාට අවධානය දක්වන්න අසීරුයි. ළඟම පාසලේදී නම් දරුවාට ඒ වාසිය හොදින්ම ලැබෙනවා. පංතියක සිසු පිරිස සීමිත නිසා අවදානය ඉතා හොදින් දක්වන්න පුලුවනි. ගුරුවරුන් ගැන අද කිසිම ගැටලුවක් නැහැ. හැම පාසලක් වෙනුවෙන්ම දක්ෂ සහ වෘත්තිය ප්‍රායෝගික සුදුසුකම් ලත් ගුරුවරු අමාත්‍යාංශයෙන්ම පත්වීම්, මාරුවීම් ලබන නිසා ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් අපේ හිතේ මැවී තිබෙන සංකල්පය අනුව හොඳම ගුරුවරු ඉන්නේ ජනප්‍රිය පාසලේ පමණයි. ඒ වුනත් ඇතැම් අවස්ථාවලදී ප්‍රාථමික අධ්‍යාපනය ඉතාම හොඳින් ළඟම පාසලෙන් ලබා ගත් දරුවන් ඒ අත්තිවාරම ඔස්සේ පසුකාලීනව තමන්ගේ ද්විතියික අධ්‍යාපනය ඉතා සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලබනවා. මේ නිසා අම්මලා, තාත්තලා ඇත්තටම දිවිය යුතු වෙන්නේ ජනප්‍රිය පාසල වෙනුවෙන් නොව පොඩි දරුවාට ඉතාම හොදින් අධ්‍යාපනය ලබා ගත හැකි පරිසරය ඇති සහ ආරක්සාව වගේම පීඩනයක් නැති ළඟම පාසලට නොවේද…?

කූට ලේඛන හදාගෙන මලක් වගේ දරුවා දවස පුරාම පාසල් බස් රථවල තැලී පොඩි වෙනවාට වඩා ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසරයක් ලබා දිය හැකි පරිසරයක් නිර්මානය වෙනවා නම් මොන තරම් අගෙයිද ?

නරක වචන කියන දරුවන්ට වේවැල් කසාය දුන්නොත් හරිද?

“අනේ බලන්නකෝ මෙයාලා කියන වචන. මේ දරුවෝ මේවා කොහෙන් ඉගෙන ගන්නවද මම දන්නේ නැ. තැනකට ගෙනියන්න බෑ ලැජ්ජයි. අඩු තරමේ අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනේ, දෙයක් කියන්න කරන්න කලින්. පොඩියි කියල හැමදාමත් මෙහෙම කරන්න දෙන්න බැහැනේ…” ගමනක් බිමනක් අවසානයේ අම්මගේ සුපුරුදු දෝශාරෝපණයත් එක්ක ගෙදරට ගොඩ වැදුණු කවුරු කවුරුත් නිහඬව තම තමන්ගේ කටයුතුවලට යොමු වුණේ අම්මගේ හිත දුකටත් තරහටත් පත්ව ඇති වෙලේ තමන් අතින් තවත් වැරැද්දක් වුනොත් නිහඬව සිටින තාත්තගෙනුත් බේරිල්ලක් නැති බව දන්නා නිසාමය.

“අපි ඇහේ මූණේ තියාගෙන දරුවෝ හැදුවට එයාලට නම් අපි ගැන අබ මල් රේණුවක තරම්වත් හැඟීමක් නැහැ. ඒ නිසානේ කතා බහ කරන කොට කිසි සැලකිල්ලක් නැතිව කැත වචනම කියන්නේ, තැනකට යන්න කලින් කොච්චර කියලද එක්කන් යන්නේ, හොඳට හැසිරෙන්න කියලා…”

මෙන්න මේ විදියට දරුවන්ගේ භාෂා භාවිතය ගැන අම්මල මැසිවිලි නැඟුවත් කොහෙන්ද දරුවෝ මේ දේවල් ඉගෙන ගන්නේ ඒ වගේම මේ දේවල් නතර කරන්න අපි මොනවද කරන්න ඕනේ කියන කරුණ ගැන දැනුවත් බවක් නම් නැහැ.

ඇයි මේ පුංචි දරුවෝ නරක වචන කියන්නේ, ඒ ගැන හිතලා බැලුවද?

දරුවෝ කියන්නේ එයාලගේ වටපිටාවෙන් ලැබෙන හැමදේම ග්‍රහණය කරගන්න පිරිසක්. ඉතිං නිවසේ වටපිටාව කොයි තරම් හොඳින් පැවතුණත් බාහිර පරිසරයට නිරාවරණය වෙන මේ පුංචි දරුවන්ට උස් පහත් භේදයකින් තොරව භාවිත වෙන වචන අහන්න වගේම හැසිරීම රටා දකින්නත් ලැබෙනවා. එතැනදී තමන්ට නුහුරු අත්දැකීම් වෙතට දරුවෙක් නැඹුරු වෙන සම්භාවිතාවය බොහොම ඉහළයි. ඔන්න ඔතනදි තමයි “අපි සතෙකුටවත් නොකියන වචන තමයි මේ දරුවෝ අපිට කියන්නේ…” කියන දෝෂාරෝපණය අම්මලාගෙන් එල්ල වෙන්නේ.

විශේෂයෙන්ම වයස අවුරුදු පහ දක්වා කාලය දරුවෝ බොහොමයක් දේ ඔවුන්ගේ පරිසරයෙන් උකහා ගන්නවා. ඒ වගේම එදිනෙදා ක්‍රියාකාරකම්වලදී ඔවුන් ඒවා අත්හදා බලන්න පැකිලෙන්නේ නැහැ. එහෙමයි කියලා අපිට දරුවෝ සමාජයට යොමු නොකර ඉන්න බැහැ. පෙර පාසැල, පාසැල, පාසැල් වෑන් රථය, වෙළඳසැල වගේ බොහොමයක් ස්ථානවලදී එක් එක් පුද්ගලයන් භාවිතයට ගන්න වචන අපේ දරුවන්ට අහන්න ලැබෙනවා. ඉතිං අපේ නිවස තුළ පරිසරය කොයි තරම් හික්මුණු පරිසරයක් වුනත් මෙන්න මේ විදියට වට පිටාවෙන් දරුවෝ බොහෝ දේ ලබාගන්නවා නේද කියන දේ දැන් ඔබට වැටහෙනවා ඇති. ඒ වගේම පාසැලට පෙර පාසැලට එන එක් එක් සමාජ මට්ටම්වල දරුවෝ වගේම රූපවාහිනියත් දරුවන්ට මේ හා සම්බන්ධ නව අත්දැකීම් ලබාදෙන තවත් අවස්ථා. මෙන්න මේ දේවල් හරහා දරුවෝ ග්‍රහණය කරගන්නා දේ ඒ අත්දැකීම්වලට අනුව සුදුසු අවස්ථාවට භාවිත කරන්න දරුවෝ උත්සාහ කරනවා. මෙන්න මෙතැනදී තමයි අපේ අම්මල තාත්තලා කලබලයට පත්වෙන්නේ.

ඒ වගේම ඇතැම් වැඩිහිටියන් දුරකථන සංවාදවලදී දරුවන් අසලක රැඳෙන බව අමතකව තම යහළුවන් සමග කරන කතා බස්වලදී දරුවන්ගේ මුවෙන් ඔබ අසන්නට අකමැති වචන භාවිතයට ගැනෙන අවස්ථා ගැන අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ හරහා දරුවා ලබා ගන්නේ ඒ සාමාන්‍ය කතා බහට සුදුසු වාග් මාලාවක් ලෙස  විය හැකියි. අපි නොදැනුවත්වම වුවත් දරුවන්ගේ ශබ්ද කෝෂයට අපි හරහා වුවත් අනවශ්‍ය වචන මෙන්න මේ විදියට උනත් එකතු වෙන්න පුළුවන්.

දරුවෙකු හොඳ නරක ඉගෙන ගන්නේ තම වටපිටාවෙන් බව දැන් ඔබට පැහැදිලි ඇති. අපි අන්‍යයන්ට ගෞරව කරයිද දරුවාත් එය අපෙන් ඉගෙන ගන්නවා සේම අපි යමෙක්ට අගෞරවයෙන් යුතුව සලකයිද දරුවාද එය අනුගමනය කරයි.

ඉතිං මොකද්ද වැඩිහිටියෝ විදියට දැන් අපි කරන්න ඕනේ…?

දරුවෝ ගැන හොඳ අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් පුංචි දරුවෙක් නරක වචනයක් පාවිච්චි කළාම ඒ දරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ. නැති තැන දොස් කියන්නේ නැහැ. මොකද ඔවුන් තුළ තියෙන අවබෝධය නිසා ඔවුන් දන්නවා මේ වයසේ දරුවෝ වටපිටාවෙන් ගොඩක් දේවල් උකහා ගන්නවා කියලා. ඉතිං අම්මල මේක ලොකු ලැජ්ජාවක් කරගෙන දරුවට කෑකෝ ගහන්න ගියොත් නම් මේ වරද ලේසියෙන් හදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම සැලකිල්ලෙන් ඉවසීමෙන් මේ තත්ත්වය නිරාකරණය කරගන්න ඕනේ. ඉතිං මෙවැනි අවස්ථාවකදී දරුවෙකුගේ මෙවැනි ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත්.

දරුවා නරක වචනයක් කියද්දී එයට සිනාසෙමින් හොඳ ප්‍රතිචාර ලබා දීමෙන් සිදුවන්නේ දරුවා ඒ වෙනුවෙන් ලබන ප්‍රසාදය හේතුවෙන් ඒ වැරැද්ද දිගින් දිගටම සිදු කිරීමයි. මන්ද දරුවා සිතන්නේ තමා සිදු කරන දේ වරදක් ලෙස නොව, අන්‍යයන්ගේ පුදුමයටත් සිනහවටත් හේතුවක් වන බවය. එසේම එවිට දරුවාට ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ලැබෙන බව තහවුරු වන නිසා මෙවැනි ප්‍රතිචාර මත දරුවා මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට ඔබට නොහැකියි. ඉන්පසු දරුවා ඔබ ඉදිරියේ පමණක් නොව, පිටස්තරයන් ඉදිරියේත් නොපැකිලිව තම සුපුරුදු වචන මාලාව භාවිත කරයි. එහෙමයි කියලා මේ වගේ වරදකට දරුවාට දඬුවම් දෙන එකත් අනුමත කරන්න බැහැ. මොකද ඒ උත්සාහත් නිෂ්ඵලයි. ඒ දඬුවම හරහා දරුවා ඒ පිළිබඳව කුතුහලයෙන් සිතන්නට පෙළඹෙන නිසාම තව දුරටත් ඒ වචන භාවිතයට ගනිමින් ඔබේ ප්‍රතිචාර කෙබඳු දැයි බැලීමට උත්සාහ කරයි.

ඒ නිසා දඬුවම් මගින්ද මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයක් නොමැත. අන්න ඒ නිසාම මෙවැනි අවස්තාවලදී දරුවාට ප්‍රතිචාර නොදක්වා සිටීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඔබ කළ යුත්තේ, දරුවා නිදහසේ සතුටින් ගත කරන අවස්ථාවක මේ පිළිබඳව පැහැදිලි කිරීමත් දරුවා එසේ හැසිරුණහොත් අනෙක් පිරිස් ඔහුව ප්‍රතික්ෂේප කළ හැකි බවත් තේරුම් කර දීමයි. ඒ ආකාරයෙනුත් මේ තත්ත්වය වලක්වා ගන්න බැරි නම් ශාරීරික නොවන පුංචි පුංචි දඬුවම් කිහිපයක් දරුවට ලබාදෙන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ දරුවා කැමතිම දෙයක් දරුවාගෙන් ඈත් කිරීම වගේ දඬුවමක්. එහෙම නැත්නම් ඒ වෙනුවට වෙනත් වචනයක් හඳුන්වා දෙන්නත් ඔබට පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගත නොහැකි තත්ත්වයක් ලෙස නොසිතිය යුතු වන්නේ දැනුම් තේරුම් ඇති වයසට එන විට දරුවන් විසින්ම මේ තත්ත්වය මගහරවා ගන්න බැවිනි.

දරුවන්, වැඩිහිටියන් අනුකරණය කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරනැ නිසාම දරුවෙකුගේ හැසිරීමේ රටාවට වැඩි බලපෑමක් ඇති වෙන්නේ දරුවා ජිවත් වන වටපිටාවයි. ඒ නිසාම දරුවෙකුට නිසි වටපිටාවක් සැකසීමේ වගකීම පැවරෙන්නේ වැඩිහිටි ඔබටයි. ඒ වෙනුවෙන් හොඳ පැවැත්ම උදෙසා පැසසුමට ලක්වූ චරිත පිළිබඳව අලලා සැකසුණු වීඩියෝ, ගීත, පොත් පත් ආදිය දරුවාට ලබා දෙමින් ඔවුන් දිරිගැන්වීමට ඔබට හැකියි.

මෙම ලිපිය හරහා සාකච්ජා කළේ සාමාන්‍ය නිරෝගී දරුවන් සම්බන්ධවයි. නමුත් අඩු අවධානම් අධි ක්‍රියාශීලි (ADHD – Attention Deficit Hyperactivity Disorder) දරුවන්, මානසික සංවර්ධනය මන්දගාමී දරුවන් (Intellectual Developmental Disorder), Tourette Syndrome, Conduct Disorder නම් තත්ත්වවල සිටින දරුවන් වේ නම් ඔවුන් විශේෂිත ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුකළ යුතුය.

මනෝවෛද්‍ය විශේෂඥ වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

 

කෑම කන්නේ පරිස්සමෙන්…

2016 වසරේ ජූලි 17 වැනි දා “නතාෂා එඩ්නන් ලැපරෝස්” තම පියා සමග හීත්රෝ ගුවන්තොටුපොලට පැමිනියේ කෙටි නිවාඩුවක් වෙනුවෙන් ප්‍රංශයේ “නීස්” නගරයට යෑම වෙනුවෙන්. මේ වෙන විට නතාෂාගේ වයස අවුරුදු 15 යි. පුංචි වයසට මොනවා හෝ දෙයක් හපන්න තිබෙන සාමාන්‍ය ළමා ලෝකයේ ගති පුරුදු ඇයගෙන්ද ඉවත්ව ගියේ නැහැ.

හීත්රූ ගුවන්තොටුපොලේ පිහිටි “ප්‍රීට්” ආපනශාලාවකින් ඇය පාන් බගට් එකක් මිළට ගත්තා. මේ බගට් එක ඇතුලේ “තල ඇට” තිබුනත් ඇය ඒ බව දුටුවේ නැහැ. නතාෂා තල වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වන දැරියක්. පාන් බගට්ටුව පිටතින් තල ඇට නොතිබුන නිසා ඇය කිසිම සැකැක් නැතුව මෙය ආහාරයට ගත්තා.

අපි අතරත් එකිනෙක ආහාර වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන තත්වයන් තිබෙනවා. බොහෝ දරුවන් රටකජු, බිත්තර, අන්නාසි වැනි විවිධ ආහාරවලට ආසාත්මිකතාවයක් දක්වනවා. මේ ආහාර නිසා කැසීම, ඉදිමුම, වමනය වැනි තත්වයන් පමණක් නොව හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි තත්වයන්ද ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ආහාරයට පෙරාතුව ඒ ගැන දැනගැනීමට නම් ඒ පිලිබඳව ඇසුරුමේ සටහන්ව තිබීම ඉතාම වැදගත් බවයි.

මෙම මරණ පරීක්ෂන වාර්තාවට අනුව තීන්දු වුනේ එම බ්‍රෙඩ් නගට්ටුවේ ඇතුලත් සෙසමි සීඩ් හෙවත් තල ඇට ආසාත්මික තාවයෙන් මෙම මරණය සිදු වුන බවයි. එහි බරපතල චෝදනාව වන්නේ ඇසුරුමේ මෙම නිෂ්පාදනයේ අඩංගු දේ සටහන්ව නොතිබීමයි. ප්‍රිට් ආයතනයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීන්දු වුනා. ඒත් මේ ආයතනය නිදහසට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආහාර මිලට ගැනීමට පෙරාතුව එහි ඇතුලත තිබෙන දේ ගැන විමසා දැනගැනීමේ අයිතිය පාරිභෝගිකයන්ට තිබෙන නිසා මේ ගැන කල්තබා විමසා සිටියා නම් දැරිය මේ අවාසනාවන්ත ඉරණමට පත් නොවන බව කියා සිටියා.

ඔබ ආහාර ගැනීමේදී ඇසුරුමේ එම ආහාරයේ අඩංගු දේ සටහන්ව තිබීම වගේම ඇසුරුම සුරක්ෂිතව තිබීමත් වැදගත්. ඇසුරුම බිදී හෝ ඉරී ඇත්නම් එවන් ආහාර මිළට ගැනීමෙන් වලකින්න. කිරි සහ මස් එකට ගබඩා කර තිබෙනවානම් එවන් ස්ථානවලින් මිලට ගන්නා ආහාර පිලිබඳව සුරක්ෂිතතාවයක් නැහැ.

නිතරම මස් ගබඩා කළ යුතු වන්නේ අධි ශීතකරණයකයි. මේ අන්දමින් ගබඩා කර තිබෙන මස් මිළට ගැනීමේදී ඉහලින්ම සහ බිත්ති අසල තිබෙන මස් හෝ වෙනත් ආහාර වර්ග තෝරා ගන්න එපා. මස් වලින් ඇමෝනියා ගන්ධයක් යාන්තමින් හෝ දැනෙනවා නම් ඒවා මිලට නොගෙන සිටීම විතරක් නොවෙයි, අදාල ආයතනයටත් ඒ බව දන්වා සිටින්න. එසේ නොවුනොත් ඔබ මිලදී නොගත්තත් වෙනත් කෙනෙක් විසින් මෙම මස් / මාළු වර්ග මිළට ගත හැකියි. ඒවා ආහාරයට ගැනීමට සුදුසු නැහැ.

නිවසට ගෙනැවිත් අධි ශීතකරන කොටසේ තබන මස් වර්ගවලින් එදා ආහාරය පිණිස ගන්නේ සුලු කොටසක් විය හැකියි. ඉතිරි  කොටස ශිතල ඉවත් වුන පසුව නැවත ශීතකරනයේ තබන පුරුද්ද ඔබටත් ඇති නමුත් මෙය එතරම් සෞඛ්‍යාරක්ෂිත නැත. ඒ නිසා කොටස් ලෙසින් මස් වෙන් වෙන්ව තැන්පත් කර අවශ්‍ය වේලාවට අදාල කොටස ගෙන පිළියෙල කරගන්න.

ඔබේ දරුවන් තුළත් මෙවැනි පුරුදු ඇති .විශේෂයෙන් සුපිරි වෙළඳසැලකදී දරුවන් බිළ ගෙවීමටත් පෙරාතුව ශිතකළ ආහාර එසැනින්ම කටට ඔබා ගන්නා පුරුදුවලට හුරුවී ඇති. ඒත් මේ නිසා මුඛයේ සංවේදී සෛල විනාශ වෙනවා. ස්නායුවලටත් බලපෑමක් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා ශීත කරන ලද ආහාර වුනත් අනුභව කිරීමට පෙරාතුව ඒ වෙනුවෙනුත් පිළිවෙලක් අවශ්‍ය වෙනවා.

ඉතින් අම්මා තාත්තා විදිහට ආරක්ෂිත නොවන විදිහට ආහාර මිළට ගැනීම මොනතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙනවාද කියල දැන් ඔබට තේරෙයි. යුරෝපීය ළමා රෝග විශේෂඥයෙකු වන “ස්ටීව් රයන්” පවසන ආකාරයට දෙමව්පියන් විදිහට අනාරක්ෂිත ආහාර පුරුදු නිසා  නිසාම වර්තමාන පරම්පරාව තමන්ගේ දරුවන්ගේ සොහොන් කොත්වල පහන් දල්වන දෙමවුපියන් බවට පත්ව සිටින බවයි.