අලුත උපන් දරු පැටියාට වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ මෙවිටයි

අලුත් උපන් දරු පැටියෙක් ගෙදරක ඉද්දි අම්මලාට ගැටලු බොහොමයක් පණ නගිනවා. ඒ වගේම පුංචි පුංචි දේටත් අම්මලා බියට පත්වෙනවා. අන්න ඒ නිසාම අලුත උපන් දරුවෙකු වෙත වැඩිහිටියන්ගේ සුවිශේෂී අවධානය යොමු වුණු අවස්ථා පිළිබඳව දැනුවත් වීම නම් බොහොම වැදගත්.

ශරීරයේ කුමන ස්ථානයක හෝ රුධිර ගැලීමක් ඇත්නම්,

දරුණු රුධිර ගැලීමකදී පහත රෝග ලක්‍ෂණ ඇති වුවද, එවැනි ලක්‍ෂණ නොපෙන්වා නොපෙනෙන /පෙනෙන රුධිර වහනයක්ද සිදුවිය හැක. එවිටද දරුවා ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

  • දරුවා සුදුමැලි පැහැයක් ගැනීම
  • ස්වසන අපහසුවක් ඇතිවීම
  • රුධිර පීඩනය අඩුවීම
  • කම්පන තත්ත්වය

ඉහත ලක්‍ෂණ වලට අමතරව රුධිර වහනය සිදුවන ස්ථානය අනුව ලක්‍ෂණ වෙනස් වේ.

පැය 24 ක් ඇතුළත දරුවා අත්ල , විලුඹ පරයක ප‍්‍රදේශයේ ව්‍යථවේදීය කාමලාව (pathological Jaundice) පෙන්වයි නම්,
  • රුධිරයේ බිලි රුබින් මට්ටම 5m/dl/day (85mmol/day) හෝ පැයකදී 5mg / dl (8.5Mmol) වැඩිවීම
  • දරුවාගේ උදරය, අත් හා පාද කහපැහැවීම
  • නිදිබරගතිය (Drowsiness)
  • කිරි උරාබීම දුර්වල වීම
  • එකවර (හේතුවන් පෙනීමට නොමැතිව) හයියෙන් හැඞීම (High pitied cry)
පැය 24 ක් ඇතුළත මල හෝ මුත‍්‍රා පහ නොවීම

මෙහිදී විශේෂ ලක්‍ෂණයක් ඇති නොවේ. මල හෝ මුත‍්‍රා පහනොවීමක් දැකිය හැක. දරුවා මව්කිරි බීම අඩු වූ විටද මුත‍්‍රා පහවීම අඩුවිය හැකි නමුත් ඉපදී පැය 24 ක් තුළදී මුත‍්‍රා පහවීම සිදුවිය යුතුය. මල හෝ මුත‍්‍රා පිටවන මාර්ගයන්හි යම් ආබාධ ඇති වූ විටද මෙම තත්ත්වය ඇතිවිය හැක.

අඛණ්ඩව පවතින වමනය

වමනය සිදුකරන ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුය. උදා: එකවර විදීමක් ලෙස පිටතට පැමිණේද යන්න (projective vomiting)

වමනයෙහි පැහැය – කහ, කොළ, රතු ආදී

කිරි උරාබීම අඩුවීම (Poor Sucking)
  • ස්වසන ආසාධනයක් නිසා නාසය අවහිරවීම (උදා: සෙම්ප‍්‍රතිශ්‍යාව)
  • මුඛයේ ඇතිවන ආසාධන (Candida)
  • ප‍්‍රියතාවය අඩුවීම
  • දරුවා වේදනාවෙන් පෙළෙයි නම්
  • විජලනය වීම
  • කාමලාව තත්ත්වය උග‍්‍ර වීම
  • කිරිදීමේ නිවැරදි ක‍්‍රම භාවිතා නොකිරීම
හේතුවක් නොමැතිව ක‍්‍රියාකාරී බව අඩුවීම

බොහෝ විට මෙය රෝග තත්ත්වයක ලක්‍ෂණ විය හැක. උදා: ආසාධන, ප‍්‍රකිත තත්ත්වය, ආක්ෂේප තත්ත්වයක් ඇති වූ විට.

අධික ලෙස හැඞීම

මෙයට හේතු ලෙස,

  • අධික බඩගින්න
  • දරුවාට නිසි ලෙස කිරි නොපෙවීම
  • ආක්ෂේප ඇති වීමට පෙර
  • වරින් වර වේදනාවක් ඇති වීම
  • අධික උණුසුම හෝ සීතලකදී
  • මල මුත‍්‍රා පහකර ඇති විට
අධික ලෙස ඛේටය ශ‍්‍රාවය කිරීම
  • මුඛයේ හෝ උගුරේ ආසාධන
  • ශුණ්ඩිල දාහය (Tomsilitis)
  • යමක් උගුරේ සිරවූ විට
  • ආක්ෂේප
ස්වසන අපහසුතා
  • පෙනහලු තුල Surfactant නම් රසායනිකය නොමැති වීම / අඩුවීම
  • උපතේදී ඇතිවන නියුමෝනියාව
  • දරුවා සීතල වීම හෝ රුධිරයේ සීනි ප‍්‍රමාණය අඩු වූ විට
  • දරුවාගේ මළ (Surfactant) පෙනහලු තුළට ඇතුළු වීම (Meconium Aspiration)
  • හෘද රෝග
  • පිරවෘත්තීය ආබාධ
  • ස්වසනය නැවැත්වීම (Apnoea)
  • දරුවා නිල් පැහැවීම (Cyauosis)
හදිසියේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • ප‍්‍රතික තත්ත්වය (Septicemia)
  • ආසාධනය
  • කිරිබීම අඩුවීම (විජලනය නිසා)
ආක්ෂේප තත්ත්ව
  • දරුවා බිහිවීමේ ඔක්සිජන් අඩුවීම/නැතිවීම
  • පරිවෘත්තීය රෝග (උදා: මන්ද මධුරක්තිය, කැල්සියම් අඩුවීම)
  • අන්තර් කපාල ආසාධන
  • මොළය වර්ධන දුර්වලතා
රුධිරයේ සීනි ප‍්‍රමාණය අඩුවීම – Hypoglycemia
  • රුධිරයේ සීනි මට්ටම 40 mgldl ප‍්‍රමාණයට වඩා අඩුවීම
  • නොමේරූ බර අඩු (22kg ට වඩා) අඩුවීම
  • මවට මධුමේහය පවතී නම්
  • ප‍්‍රතික තත්ත්වය
  • කම්පනය
  • ස්වසන අපහසුව
  • මන්දතාපය (ශරීර උෂ්ණත්වය අඩුවීම)
  • උපන් විගස කිරිදීම ප‍්‍රමාද වීම

ඉහත රෝග ලක්‍ෂණවලින් එකක් හෝ කිහිපයක් පෙන්වයි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව මතකයේ රඳවා ගන්න.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය E.M.S. ඒකනායක මහතා සමග සකසන ලද ලිපියකි

 

පිරිමි දරුවන්ට වඩා ලියන, කියවන හැකියාවන් ගැහැණු දරුවන්ට වැඩියි

ගැහැණු පිරිමි දරුවන්ගේ ගති පැවැතුම් අතර අපි විවිධ වෙනස්කම් දකිනවා. අපි මතුපිටින් දකින මේ වෙනස්කම් පිටුපසින් දිවෙන ජෛව විද්‍යාත්මක සංසිද්ධීන් තිබෙන බවත් අමතක කරන්න හොඳ  නැහැ. සමහර විට එක බඩවැල කඩා ගෙන ආවත් ගැහැනු පිරිමි දරුවන් අතර විවිධ වෙනස්කම් තිබෙන්න පුලුවනි. මේ වගේ අවස්ථාවන් අපිට හොදින්ම හුරු පුරුදුයි.

“අපේ දුවට නම් ඔය වයස වෙද්දී පුංචි කතා පොතක් තනියම කියවන්න පුලුවනි. වචන කීපයක් එකතු කරල වාක්‍ය ලියන්නත් පුලුවනි. ඉස්සර අපේ නංගිලාටත් ලියුම් යවනවා. ඒ වුනාට අපේ පුතාට තවම අකුරු දෙක තුනක වචනයක්වත් තනියම කියවා ගන්න බැහැ…” දෙමව්පියන් විදිහට ඔබ මේ වගේ ප්‍රකාශයක් කරන්නේ බොහොම වේදනාවෙන් විය හැකියි. ඒත් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

පසුගිය දිනක “ඔස්ට්‍රෙලියාවේ ග්‍රෆිත් විශ්ව විද්‍යාලය” මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම අධ්‍යනය වෙනුවෙන් පර්යේෂකයින් කීප දෙනෙක් සම්බන්ධ වුනා. ඔවුන් ඩේවිඩ් රෙයිලි, ඩේවිඩ් එල් නිව්මන් සහ ග්ලැන්ඩා ඇන්ඩෘස් යන තිදෙනායි. මෙම අධ්‍යනය වෙනුවෙන් ද්විතියික අධ්‍යාපනය  ලබන දරුවන් මිලියන හතරක් සම්බන්ධ කර ගත්තා.

අධ්‍යාපනය ලබන දරුවෙකුට ඉගෙණුම් කාර්යට සම්බන්ධ වීමට නම් කියවීම, ලිවීම, සවන්දීම සහ කතා කිරීම යන කුසලතාවයන් හතරම සමබර විදිහට තිබෙනවා නම් වඩාත් හොඳයි. ඒත් මේ අධ්‍යනයට සම්බන්ධ වුන දරුවන් අතරින් පර්යේෂණ කණ්ඩායම යම් විශේෂයක් දැක්කා.

ඔවුන්ට පෙනී ගිය අන්දමට පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කියවීම සහ ලිවීම විෂයෙහි වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කලා.

පර්යේෂකයන්ට හේතුව සොයන්න අවශ්‍ය වුනා. මේ අන්දමින් පිරිමි දරුවන් කියවන ලියන කටයුතුවලදී ගැහැණු දරුවන්ට වඩා පසුගාමී වීමටත් හේතුවක් ඇති නේ… පර්යේෂකයින් කල්පනා කලා. ඔවුන්ට එහිදී පෙනී ගියේ ගැහැණු දරුවන් මොළයේ කලාප දෙකම ප්‍රයෝජනයට ගන්නා අතර පිරිමි දරුවන් මොළයේ එක් කලාපයක් පමණක් පරිහරණයට යොමුව සිටින බවයි.

ලියන්න කියන්න නොදැන සිටියොත් අපහසුතාවයක්

ලිවීම සහ කියවීම වෙනුවෙන් පසුගාමී වීම ප්‍රාථමික අධ්‍යාපනයට පමණක් නොව, ද්විතියික සහ එතැනින් පසුව උසස් අධ්‍යාපනයටත් විශාල ලෙසින් බලපානවා. අදහස් තවත් කෙනෙකුට සන්නිවේදනය වීමට හොඳම මාධ්‍ය විදිහිට ලිවීම සැලකෙනවා. විශේෂයෙන් අපේ රටේ වගේ ප්‍රශ්න පත්තරවලට පිළිතුරු  ලිවීමෙන් බුද්ධිය මැන බලන අවස්ථාවන්හිදී එයින් ඇති වෙන අවාසිය සුලු පටු නැහැ. ප්‍රශ්නයට ගැලපෙන විදිහට පිලිතුරු ලිවීමට වගේම විෂය සහ විෂය සමගාමී දැණුම සොයන, විමසන කටයුතු වෙනුවෙනුත් කියවීමට තිබෙන හැකියාව ප්‍රධාන වශයෙන් බලපානවා. මෙම අධ්‍යන වාර්තාව American Psychological Association මගින් ප්‍රකාශයට පත් කළ අතර ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන ප්‍රගතිය පිලිබඳ දත්ත පදනමටත් එකතු කර තිබෙනවා.

මොළයටත් ව්‍යායාම ටිකක්

මේ ගැන කරුණු කාරනා අතරට ලෝරන්ස් ජේ කැම්ප්ස් සහ මැනින්ග් රුවින් විසින් රචිත “කීප් යුවර් බ්‍රේන් යන්ග් (Keep your brain young)” ග්‍රන්ථයේ දැක්වෙන උපදෙස් අපිත් අත්හදා බලමුද…?

නුහුරු අතින් දත් මදින්න : 

ඹබට හොඳින් හුරුව තිබෙන්නේ දකුණතින් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෛකුත් කටයුතු , දකුණතින් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෙකුත් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෙකුත් කටයුතු දකුණතින් සිදු කිරීමයි. නුහුරු අතකින් මේ කටයුතු කරන විට මොළයේ විරුද්ධ පැත්ත උත්තේජනය වෙන බව පර්යේෂකයින්ගේ අදහසයි.

දෛනික කටයුතු රටාව වෙනස් කරන්න :

එකාකාර ජීවන රටාවෙන් අත් මිදුනේ නැත්නම් ජීවිතයේ කිසිම රසවත් බවක් නැහැ. අපි නිතරම විවිධ අත්දැකීම් ලබා ගත යුතුයි. එකාකාරව කටයුතු කරන විට මොළයේ සෛලත් ඒ විදිහට කටයුතු කරනවා. ඒත් අපි එකාකාර රටාවකින් මිදුන විට ජීවන රටාවේත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා.

චිත්‍ර අඳින්න :

ඔබට සිතුවම් අදින්න හැකියාවක් තිබෙනවා නම් විවිධ වර්ණ සහ හැඩතල සම්බන්ධ කර ගෙන සිතුවම් අඳින්න. පොතක් හෝ කවියක් හඬ නගා කියන්න. එසේත් නැත්නම් තවත් කෙනෙක් කියන විට අසාගෙන ඉන්න. මේ කටයුතු වලින් මොළයට මනා ව්‍යායාමක් ලැබෙන බව පර්යේෂකයින්ගේ අදහසයි.

නිතර පෙනෙන දෙයක් උඩුකුරුව තබන්න :

ඔබේ ආලින්දයේ තිබෙන ඡායාරූපයක් හෝ මේසය මත තිබෙන ඔරලෝසුව උඩුකුරුව තබන්න. මෙවැනි වස්තූන් ක්‍රමානුකූලව , පිලිවෙලකට තබන විට ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. එහෙත් අක්‍රමවත් විදිහට තැබීම නිසා මොළයේ දකුණු අර්ධයත් ඒ වෙත යොමු වෙනවා. ඒ නිසා මොලයේ සෛලවලට ව්‍යායාමයක් ලැබෙනවා.

හොඳින් නිරීක්ෂනය කරන්න :

යමක් දෙස අනවධානයෙන් බලනවාට වඩා තියුණු විදිහට නිරීක්ෂනයේ යෙදෙන විට ඔබට වාසි දෙකක් ලැබෙනවා. එයින් එකක් නම් ඔබට නිවරැදි තීරණයක් ලබා ගන්න පුලුවනි. ඒ ඇයි කිව්වොත් ඔබ තියුනු විදිහට නිරීක්ෂණය කිරීම නිසා ඒ වාසිය ලැබෙනවා. අනිත් අතට ඔබේ මොළයේ සෛල වෙනුවෙන් නොදැනීම ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

මානව සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්න :

දරුවන්ටත් හොඳ සමාජ සම්බන්ධතාවයන් කුඩා කාලයේ පටන්ම තිබීම ඉතාම වැදගත්. මානව සම්බන්ධතාවයන් ගොඩ නැගනෙ විට දරුවාට වුනත් තමා හුදෙකලා නැතැයි යන සංකල්පය හිතේ ගොඩ නැගෙනවා. මෙය ඉතාම සුබවාදී ආකල්පයක්. ඒ විතරක් නොවෙයි, ස්නායු සෛල වෙනුවෙනුත් ඉතා හොද ව්‍යායාමයක්.

Science News හි සඳහන් girls read and write better than boys ලිපිය සහ Keep your brain young කෘතිය ඇසුරින්

 

දරුවා නිර්මාණශීලී වීමට දෙමව්පිය දායකත්වය අවශ්‍යයි

දරුවෙක් නිර්මාණශීලියි කියන්නේ ඔවුන්ට චිත්‍ර , නැටුම්, සංගීතය ඉගෙන ගැනීමට දක්වන හැකියාව පමණක් නොවෙයි. ජීවිතයේ තමන් ඉදිරියේ ඇති වෙන ගැටළු ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට තෝරා බේරා ගෙන විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඇත්තටම එය නිර්මාණශීලියි. මේ නිර්මාණශීලීත්වය ගොඩ නගා ගන්නේ කොහොමද…?

නිදහසේ තීරණ ගන්න දරුවාට අවස්ථාව දෙන්න

දෙමව්පියන් හිතන්නේ දරුවන්ට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැහැ කියල වුනත් ඔවුන්ගේ තීන්දු ගැනත් යම් මැදිහත් සිතකින් බලන්න. සෘජුවම මේවා අපිට ඕන විදිහට කියනවාට වඩා දරුවාගෙනුත් ඒ ගැන විමසලා ඔවුන්ගේ අදහස් සමග ගලපා බලන්න. එය ක්‍රියාත්මක කිරීමට අපහසු නම් ඒ අපහසුතාවයන් ඔවුන්ට පහදා දෙන්න. යම් ලෙසකින් එහි නොහැකියාවක්ම ඇත්නම් තවත් විකල්ප ගැන දරුවාගෙන් විමසා සිටින්න. ඒ විදිහට දරුවාත් සම්බන්ධ කර ගෙන තීරණ ගැනීමට ගන්නා උත්සාහය නිසා ඔවුන්ගේ මනසේ යම් යම් නිර්මණාත්මක සිතුවිලි ගොඩ නැගෙන අතර එය දරුවාගේ නිර්මාණශීලීත්වයට බෙහෙවින් බලපානවා. ඒ නිසා පවුලේ තීන්දු තීරණත් ඉතාම නිර්මාණශීලී වේවි.

දරුවා ස්වාධීන චරිතයක් බව සිතන්න

අපි නිතරම හිතන්නේ දරුවන් ගේ කාර්යන් වෙනුවෙන් අපේ සම්මාදම අනිවාර්යෙන්ම තිබිය යුතයි කියලා. ඒ අදහස වැරැදියි. දරුවන් යම් කාර්යක නිරත විට ඒ මැදට පැන ඔබගේ උපදෙස් අනුව කටයුතු කිරීමට විධාන කරනවාට වඩා ඔවුන්ට ඒ කටයුත්ත නිදහසේ කිරීමට ඉඩ දෙන්න. යම් වැරැද්දක් වූ තැනදී  පමණක් මේ දෙය සිද්ධ වුනේ මෙන්න මේ වැරැද්ද නිසා බව පහදා දෙන්න.

නිර්මාණයක් කිරීමේදී අගය කරන්න

දරුවා යම් නිර්මාණයක් කළ විට එය අගය කරන්න. හැකි විටෙක තැග්ගක් ලබා දීමත් සිදු වුනත් හැම අවස්ථාකදීම තෑග්ගක් ලබා දීම සිදු විය යුතු නැහැ. ඒ හැම  අවස්ථාවකදීම තෑග්ගක් ලබා දීමට උනන්දු වෙන්න එපා. එසේ වුනොත් දරුවා තෑග්ගක් නොමැතිව කිසිම නිර්මාණයක් කිරීමට යොමු නොවන තත්වයකට පත් වෙනවා. ඒ නිසා හැම විටම නොව හැකි සහ අවශ්‍ය විටක පමණක් තෑග්ගක් ලබා දෙන්න.

අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්න

වයස අවුරුදු නවයක් සහ දොළහක් පමණ වෙන විට දරුවා තම මිතුරන්ගේද ආභාෂය ලබනු ඇත. වටපිටාව හොදින් හදුනා ගනී. මේ නිසා දැන් ඔහුට යමක් නිවරැදිව කළ හැකියි. ඒ නිසා දරුවාගේ නිර්මාණශීලී කටයුතුවලට අවශ්‍ය අමුද්‍රවය ලබා දෙන්නෙත්. අතීතයේ බොහෝ දරුවන් වෙසක් තොරන්, මිහිදු පෙරහැර වැනි කටයුතු ගමේ වැඩිහිටියන්ගේ සහ දානපතිනගේ සහයෝගයෙන් කළත් අද දරුවන්ට එවන් පරිසරයක් නැහැ. ඊට හේතුව ගම හෝ නගරය සමග දරුවන්ගේ සම්බන්ධතාවය බොහෝ දුරස් නිසා වෙනත් අයගේ සහයෝගය දරුවන්ට ලැබෙන්නේ නැහැ.

ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවන්ගේ නිර්මාණ කාර්යන් වෙනුවෙන් අවශ්‍ය දියසායම්, පදම්කල මැටි, ක්ලේ , වර්ණ ආදිය ලබා දීම ඉතාම වැදගත්.ඒ නිසා ඔවුන් විවිධ නිර්මාණ කාර්යන් වෙනුවෙන් යොමු වීමට අවශ්‍ය උත්තේජනය නොදැනීම ලබා ගන්නවා.

ඒ වගේම දරුවාගේ නිර්මාණ ප්‍රදර්ශනය වන සේ තබන්න. මේවා දරුවාගේම නිර්මාණ වීම වැදගත්. ඒ වගේම විවිධ ප්‍රදර්ශන වෙත දරුවා රැගෙන යන්න. කාලවේලාව නැතැයි කියමින් එම අවස්තාවන් අහිමි කිරීම දෙමව්පියන් විසින් ඔබ කරන අකටයුත්තක්. මෙම අවස්ථාවන්ගෙන් දරුවාට විවිධ මුල බීජ උපයා ගත හැකියි.

ඒ වගේම තරඟ ආදිය ඇති විට ඒවාට දරුවන් සහභාගී කරන්න. “අනේ ඕවායෙන් දිනන්න බැහැ…” කියමින් දරුවා අධෛර්යට පත් කරන්න එපා. ළමා පුවත්පත්, රූපවාහිනියේ ඇති වැඩසටහන් නරඹන්න ඉඩ දෙන්න. ඒ පිටුවලට දරුවාගේ නිර්මාණත් යොමු කරන්න.

පූර්වාදර්ශි චරිත ගැන කියාදෙන්න

නිර්මාණශීලීත්වයෙන් අද ඉහලින් වැජඹෙන චරිත ඒ තත්වයට පත් වීම වෙනුවෙන් පැමිණි ගමන්මග ගැනත් දරුවන්ට දැන ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

දරුවෙක් මිටි වෙන්න බලපෑ හැකි මේ හේතු ඔබ දන්නවාද?

මව්පිය ආරයට දැරුවන් ද ගමන් කළද ඇතැම් අවස්ථාවන්හිදී ඉන් ඔබ්බට පෙන්නුම් කරන ලක්ෂණ දරුවන් තුළින් දැක ගත හැකි වේ. මිටි බව එවැනි තත්ත්වයකි. දරුවෙකු මිටි බවට පත්වීමට හේතු විය හැකි රෝග තත්ත්වයන් 14 ක් පිළිබඳව අපි දැනුවත් වෙමු.

ක්වොෂියර්තෝර්  (Kwashiorkor)

ප්‍රෝටීන් ඌණතාවයක් නිසා ඇතිවන තීව‍්‍ර මන්දපෝෂණ තත්ත්වයකි. මෙය Oedematous Malnutrion ලෙසද හඳුන්වයි. තරලය රැඳිම නිසා ඉදිමාවන් උදරය, වළලුකර පාදය ආශ‍්‍රිතව දැකිය හැකි අතර ශරීරයේ අනෙක් අවයව කෘශ ස්වභාවයක් ගනී. (emaciated)

ට(ර්)නර් සහලක්‍ෂණය (Turner Syndrome)

ලිංගික හෝමෝනවල අසාමාන්‍යතාවයන් නිසා ඇතිවන ජානමය රෝග තත්ත්වයකි. මෙය Monosomy X ලෙසද හඳුන්වයි. X වර්ණ දේහයේ කොටසක් හෝ සම්පූර්ණයෙන් නොමැති වීම මෙහිදී සිදුවේ. කාන්තාවන් තුළ පමණක් ඇති වන තත්ත්වයකි. අත් හා පාද ඉදිමීම, කන් පහළින් පිහිටීම, තරබාරු බව, අඩවන් වූ ඇසිපිය, පැතලි පතුල ලක්‍ෂණ ලෙස දැකිය හැක.

වර්ධන හෝමෝනයේ ඌණතාවයන්

පිටියුටිරි ග‍්‍රන්ථියේ වර්ධන හෝමෝනය ප‍්‍රමාණවත් ලෙස ශ‍්‍රාවය නොවීම නිසා ඇතිවේ.

සංජානීය හෘද රෝග (Congenital Heart Disease)

උපතේ සිටම දැකිය හැකි හෘදයේ ඇතිවන අසාමාන්‍යතාවයකි. හෘද බිත්තියේ, හෘදයේ කපාට හෝ රුධිර වාහිනීවල ඇතිවිය හැක.

Achondroplasia

අස්ථිවල වර්ධනයේදී ඇතිවන අසාමාන්‍ය තත්ත්වයකි. වයස හා ස්ත‍්‍රී පුරුෂ භාවයට නියමිත ප‍්‍රමාණය වඩා අඩුවෙන් අස්ථි වර්ධනයක් පවතී. කෙටි අත් හා පාද විශේෂයෙන් ශරීරයේ උස හා සංසන්දනයේදී අතේ ඉහළ බාහුව හා කලව කෙටිවීම, අත්වල මුදු ඇඟිල්ල හා මැඳගිල්ල කෙටි වීමද මෙහිදී දැකිය හැකිය. ශරීරයට වඩා විශාල හිසත් අසාමාන්‍ය ලෙස විශාල නළලත් ආදී ලක්‍ෂණද  දැකිය හැක.

මන්ද පරාභතාවය (Hypothyrodism)

ශරීරයට ප‍්‍රමාණවත් තරම් තයිරොයිඞ් හෝමෝන නිපදවීම සිදු නොවේ. මෙම හෝමෝන නිසි පරිදි නොතිබීමෙන් ශරීරයේ පද්ධතිවල ස්වභාවික ක‍්‍රියාකාරීත්වය මන්දගාමී වේ. මෙහි ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. රෝග තත්ත්වයේ තීව‍්‍රතාවය අනුව ලක්‍ෂණ ඇතිවේ. තෙහෙට්ටුව, මළ බද්ධය, අවපීඩනය, සීතල දැනීම, වියළි සම, බර වැඩිවීම, පේශී දුර්වල වීම ආදී ලක්‍ෂණ ඇති වේ.

Rickets

විටමින් D කැල්සියම් හෝ පොස්පේට්වල ඌණතාවයක් නිසා ඇති වේ. මෙම සංඝටක අස්ථි ශක්තිමත් හා නිරෝගී වීමට වැදගත් වේ. මෙම රෝග තත්ත්වය ඇති පුද්ගලයන්ගේ දුර්වල, මෘදු අස්ථි දැකිය හැක. අත්, පාද, ශ්‍රෝණියේ හා සුෂුම්නාවේ අස්ථිවල වේදනාව, අස්ථි බිදීම්, මිටි සිරුර, දත්වල ආබාධ, පේශී පෙරලීම ආදිය ඇති වේ.

 Fanconi Aíemia

ඇට මිඳුළුවල ඇතිවන ආබාධිත තත්ත්වයකි. මෙහිදී රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා මිය යාම වෙනුවෙන් අලුත් සෛල නිෂ්පාදනය වීමත් සිදු නොවේ. උපතේ සිටම අස්ථි ආබාධ, ඇසේ ආබාධ, කනේ ආබාධ, සම අවපැහැවීම, වකුගඩු නොමැතිව ඉපදවීම ආදී ලක්‍ෂණ ඇති වේ.

Brittle Bone Disease

පහසුවෙන් බිඳෙන සුළු අස්ථි ඇති වේ. මෙම රෝගය සඳහා පවුල් ඉතිහාසයක් ඇති ළමුන්ට රෝග තත්ත්වය ඇති වීමේ අවධානම පවතී. කන් ඇසීම නොමැති වීම, හෘද අකරණීය, සුෂුම්නා රජ්ජුවේ ආබාධ ආදී ලක්‍ෂණ ඇති වේ.

Juvenile Idiopathic Arthritis

තරුණ කාලයේදී හේතුවක් නොමැතිව සන්ධි ආබාධ ඇති වේ. සන්ධිවල තද ගතිය, ඉදිමුම හා  වේදනාව ඇති වේ. මෙයට හේතුවක් තවමත් නොදන්නා නමුදු පර්යේෂණවලින් මෙය Auto Immunity Disease බව හඳුනාගෙන ඇත. ප‍්‍රතිශක්ති පද්ධතියට නිරෝගී සෛල හා ශරීරයට අහිතකර බැක්ටීරියා, වයිරස ආදිය වෙන්කර හඳුනාගැනීමට නොහැකි වේ. මෙම හේතුව නිසා ප‍්‍රතිශක්ති පද්ධතිය වැරදීමකින් හානිකර නොවන සෛල දරුණු ආක‍්‍රමණිකයන් ලෙස සලකා පහර දෙයි. මෙහිදී ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් Cytokines නම් රසයානිකයක් ප‍්‍රධාන ලෙස නිදහස් කරන අතර එමගින් ශරීරයේ නිරෝගී සෛලවලට හානි කරයි. මෙමගින් සන්ධිවල ප‍්‍රදාහයක්, වේදනාවක් ඇති වේ.

Hypogonadism

ලිංගික ග‍්‍රන්ථීන්ගෙන් ලිංගික හෝමෝන ඉතා සුළු ප‍්‍රමාණයක් ශ‍්‍රාවය වීම හෝ නොවීම නිසා ඇති වේ. කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ හා පිරිමින්ගේ වෘෂණ ලිංගික ග‍්‍රන්ථි වන අතර ඒවා මගින් ශ‍්‍රාවය වන හෝමෝනවලින් ද්විතියික ලිංගික ලක්‍ෂණ පාලනය කරයි.

Acrodysostosis

භ‍්‍රාජකයා සෑදෙන අවස්ථාවේදී ඇතිවන ජානමය විකෘතිතාවයක් නිසා උපතේදී දැකිය හැක.

තැලසිමියාව

රුධිරය හා සම්බන්ධ රෝගයකි. ශරීරය තුළ අසාමාන්‍යව හිමෝග්ලොබින් නිපදවීම නිසා ඇති වේ. හිමොග්ලොබින් යනු ප්‍රෝටීන අණුවක් වන අතර එමගින් ඔක්සිජන් ගෙනයාම සිදු වේ. අධික ලෙස රතු රුධිර සෛල විනාශ වීම නිසා නීරක්තිය තත්ත්වයක් ඇති වේ. තැලිසීමියාව රෝගී දරුවන්ගේ අස්ථි විකෘතිතා (විශේෂයෙන් මුහුණු), වර්ධනය හා සංවර්ධනය ප‍්‍රමාදවීම, අධික ලෙස වෙහෙසකර බව ආදී ලක්‍ෂණ කිහිපයකි.

Adreno Cortical Carcinoma

අධිවෘක්ත බාහිකයේ ඇතිවන පිළිකාමය තත්ත්වයකි. හේතුව නොදනී. මෙය වෙනත් ස්ථානයක ඇති පිළිකා තත්ත්වයකින් ද්වීතියිකව ඇතිවිය හැක. අවු.40-50 අතර අයට හා අවු. 5 අඩු දරුවන්ට ඇතිවිය හැක.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය E.M.S. ඒකනායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

අම්මලාගේ සිංහනාදය දරුවන්ට ඒතරම් ගුණ නැහැ

“අපි වින්ද දුක නම් අපේ දරුවන්ට විදින්න දෙන්නේ නැහැ…” මේ අද සෑම දෙමව්පියෙකුගේම  මුවින් නැගෙන සාමාන්‍ය වාක්‍ය කොටසක්. ඒ කතාව ඇත්ත. කාලයත් සමග අපි ලෝකයට විවෘත වුනාම අපේ දෙමව්පියන් නොදැක්ක ලෝකය අපි දකිනවා. ඒ වගේම අපි නොදැක්ක ලෝකය අපේ දරුවන් හෙට දවසේ දකීවි. එතකොට ඔවුන්ගේ දරුවන් මුල් කර ගෙනත් මේ විදිහට කිව්වොත් අපේ හිතටත් යම් සිත් රිදීමක් ඇති වේවි.

හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවා හැකි තරම් ඉහලින් ඔසවා තැබීමට හදවතින්ම සූදානම්. ඒත් මේ හැම දෙයක් තුලින්ම දරුවාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරයත් නිර්මාණය වීම වැදගත්.

අපි හිතුවත් අපේ දරුවන්ට සියල්ල සම්පූර්ණ කිරීම නිසා අපි දෙමව්පියන් විදිහට තෘප්ත මට්ටමට පත් වුණා කියලා ඔබ වැරැදියි. කිසිම කෙනෙකුගේ සියළු අවශ්‍යතාවයන් පිරිමසන්න කාටවත්ම බැහැ. අපි දකින වපසරියට එහා ලෝකයක් දරුවන් හෙට දවසේ දකින්න පුලවන්. ඒ වගේම අපේ අම්මලා නගන මේ සිංහනාදය දරුවන්ට බලපාන්නේ කොහොමද…?

දරුවන්ගේ ධෛර්ය බිඳ වැටෙනවා

අද දරුවන් තුළ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය බොහෝ දුරට පිරිහිලා. විභාග මුල් කර ගෙනම ජීවත්වෙන ඔවුන්ට එයින් එපිටට ලෝකයක් නැහැ. ඒ නිසා එදා වගේ අම්මලාගේ වෙහෙස. සහ කැපවීම දරුවන් දන්නෙත් නැහැ. තමන්ගේ අනාගතය වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් පමණක් මුල් කර ගෙන හදවත්ට නික්ෂේපනය කර තිබෙන අදහස් නිසා ඔවුන්ගේ ලෝකය ඉතාම පටුයි. මේ ලෝකය තුළත් අම්මලා හිතට දෙන සංකල්පය වී තිබෙන්නේ අපි දරුවන්ට අවශ්‍ය හැම සැප සම්පතක්ම ලබා දෙනවා යන උදාන වාක්‍යයි. ඒ නිසා දරුවන්ටත් මහන්සියෙන් උපයා ගත යුතු දෙයක් නැති බව ඔවුන් හිතන නිසා කිසිම ධෛර්යයක් උපදවා ගන්නේ නැහැ.

ඔබ මෙතැන සිටින්නේ

ඔබේ දෙමව්පියන්ගේ තරාතිරම සහ ආර්ථික ශක්තිය කොපමණ වුනත් අද සමාජයේ මේ තැනට පත් වෙන තෙක් ඔබේ දෙමව්පියන් ඔවුන්ගේ හැකියාවෙන් උර දුන් බවත් අමතක කරන්න එපා. එය ඉහලට ගිය තැනදී ඉනිමගට පයින් ගැසීමට සමාන කටයුත්තකි. තමන්ගේ දෙමව්පියන් ගැන නිතරම ඇගයීමෙන් කතා කරන්න. ඒ වගේම ඉතා දුක් මහන්සියෙන් ඔවුන් ඔබට යන මාර්ගය එලි පෙහෙලි කර දී තිබෙන බවත් සිහියේ තබා ගෙන දරුවන් ඉදිරියේ ඒ වටිනාකම් ගැන වඩා විශේෂ කර කතා බහ කිරීම වඩාත් යෝග්‍යයි.

වැඩිහිටියන් ගැන ඇගයීමක් නැහැ

මේ විදිහට අපි දරුවන්ට දක්වන ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අත්තම්මලා සීයලා ගෙන නොලැබුන බව කියන විට වැඩිහිටියන්ගේ හිත්වලත් යම් ආත්මානුකම්පාවක් ඇති ගොඩ නැගෙන්න පුලුවන්. හැම දෙමව්පියෙක්ම දරුවන් හැරුන විට වෙනත් සම්පතක් නැතැයි යන තැන සිටිනවා නම් භෞතික සම්පත් නොතිබුන පමණින්ම ඔවන්ගෙන් යුතුකම් ඉටු නොවුනා යැයි චෝදනා නගන්න බැහැ.

මේවා අහගෙන සිටින දරුවොත්

අපි තරම් දරුවන්ට සලකන දෙමව්පියන් නැතැයි යන අදහස නිතරම ඉස්මතු කරන විට දරුවන්ටත් වැඩිහිටියන් ගැන තිබෙන ගරුත්වය නොදැනීම බිඳ වැටෙනවා මේ නිසා ඔවුන්ගේ ලෝකයේ අත්තම්මා, සීයා යනු නොවටිනා චරිත විදිහට ගොඩ නැගීමත් එතරම් සුබවාදී දෙයක් නොවෙයි.

සකසුරුවමක් නැහැ

“දැන් ඔබ ස්වයංපෝෂිතයි…” යන සංකල්පය නිතරම දරුවන්ගේ හිතට ඇතුළු වුනාම ඔවුන්ගේ සකසුරුවම් බවත් නොදැනීම ඉවත් වෙනවා. ජීවිතය ගොඩ නගා ගෙන ඉදිරියට යන විට දැනෙන පිරිමැස්ම සහ සකසුරුවම සියල්ලම රිදී බන්දේසියක තබා පිලිගන්වන විට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අපි සියල්ල සපුරා තිබෙන දෙමව්පියන් යන සිංහනාදයෙන් දෙමව්පියන් මිදෙනවා නම් එය දරුවාගේ ජීවිතය ස්වාධිනව ඉදිරියට ගෙන යෑමේ හැකියාවට විශාල ජවයක් වෙනවා.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබේ හිතේ මේ සංකල්පය තිබෙන්න පුලුවනි. ඒත් දරුවන් මේ මත පිහිටා කටයුතු කිරීමට අනවශ්‍ය විදිහට බලගැන්වීම නම් එතරම් ගැලපෙන කටයුත්තක් නොවෙයි.

දරුවන්ගේ නිර්මාණ අගයන්න වැඩිහිටි ඔබ දන්නේ නැද්ද?

එදාට වඩා අද වෙද්දී දරුවා සහ ගුරුවරයා අතර තියෙන බැඳීම බොහෝසෙයින් දුරස් වී ඇති බවක් මා අවබෝධ කරගත්තේ මගේ මවත් ගුරුවරියක් නිසාත් දරුවන්ගේ එදි නෙදා කටයුතුවලදී මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් නිසාත්ය. විශේෂයෙන්ම පාසලට සම්බන්ධ වූ දිනයේ සිට දියණිය මුහුණ දෙන අත්දැකීම් අනුව ඇගේ සිතිවිලි ධාරාවන් වෙනස් වූ ආකාරය මා දකින්නේ පසුතැවීමක් ද සමගයි. පාට කූරක් අතට ගත්ත ඇය වෙනදා නම් යම් රටාවක් ගොඩ නගන්නට අම්මාගෙන් තාත්තාගෙන් හෝ විමසුවේ නැත. ඇය කුඩා වියේ සිටම බිත්ති මත හෝ ඇය ඇගේ සිතුවිලි චිත්‍රයට නගන්නට දෙවරක් නොසිතූ අයෙකි. ඇයගේ නිර්මාණවලට අන්‍යයන්ගේ අදහස්, යෝජනා, චෝදනා නොවීය. නමුත් අද වන විට තත්ත්වය හාත්පසින්ම වෙනස්ව ගොස් ඇත. එය අපිට මහත් කනගාටුවට කරුණක් සේම “ඇයි මේ දේවල් මේ විදියට වෙන්නේ..?” යන සිතිවිල්ල ද හිතට වද දෙයි.

අත් වැඩ, චිත්‍ර නිර්මාණ හෝ දරුවාට පැවරෙන වෙනත් කාර්යයකදී තමාම වෙහෙස වී ඒ කර්තව්‍ය ඉටු කිරීම එකම ආසාව වූ දරුවන් කොතරම් ඇතිද? නමුත් අද වන විට පරිගණකය, පොත් සාප්පු හෝ වෙනත් ස්ථාන වෙතින් පාසැලට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි නිසාම දරුවෙකු වෙහෙස වී කරනු ලබන යම් කර්තව්‍යයක් ඇගයීමට ගුරුවරුන්ට පවා අමතකව ගොස් ඇත. නිර්මාණකරණයේදී පවා දරුවන් තුළින් සියයට සියයක්ම අනවශ්‍ය පිළිවෙළ බලාපොරොත්තු වන ඇතැම් ගුරුවරුන්ගේ සිත්, පැය දෙක තුනක් පුරා දරුවෙකු වෙහෙස වී තම දෑතින්ම සකසන නවතම නිර්මාණයක් අගය කිරීමට නොනැවෙන ආකාරය නම් ශෝචනීයයි. අගය නොකළද කම් නැත. දරුවෙකුට දරා ගත නොහැකි වන්නේ පුංචි සිත් රිදවන වාග් ප්‍රහාරයන්ය.

“ඊයා … වට් ඉස් දිස් ? ” එය ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකුගේ ප්‍රතිචාරයක් විය හැකිද?

මේ ප්‍රතිචාර මැද හිතට නැගෙන හැම සිතුවිල්ලකටම “අපෝ ඒක හරි නැ… ටීචර් මෙහෙම කියයි… අරෙහෙම කියයි….” යන තර්කය තම සිතෙහි රඳවාන අදහස් ගොන්නක් අතර දරුවෙකු අසරණ වන්නේ නම් සැබවින්ම අප ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු නොවේද?

නිර්මාණකරණය යනු සැම දරුවෙකු තුළම එකසේ පිහිටන්නක් නොවන අතරම එක් එක් දරුවා තුළින් එක් එක් ආකාරයට ඉස්මතු වන්නකි. චිත්‍රයට අදක්ෂ දරුවෙකු නර්තනයට උපන් හපන්කම් ඇත්තෙකු විය හැකිය. නර්තනයට දුර්වල දරුවෙකු ගයන්න, වයන්නට හපනෙක් විය හැකිය. ඇතැම් විට මේ හැකියාවන් තුනම නොමැති දරුවන්ද හමුවිය හැකිය. මේ හේතුව අද වන විට ගුරුවරුන්ගේ මනසින් ඉවත්ව ගොස් ඇති සැටියක් පෙනී යන්නේ ඔවුන් යම් කාර්යයකදී දරුවෙකුගේ මනසට එල්ල කරන දරුණු පහර දීම් නිසයි.

තමන් කැමති චිත්‍රයක් අඳින්නට අවසර ලබා දී “කවුද මේ ලේසි එකක් ඇඳලා තියෙන්නේ…?” යැයි ගුරුවරයෙකු පන්තිය ඉදිරියේ දරුවෙකුගෙන් විමසද්දී පොඩි දරුවෙකු පත්වන අපහසුතාවය, තමන්ට හැකියාවක් නැතිද යන ගැටලුව හැ ඒ සමග එන පසුතැවීම, ලැජ්ජාව, ආත්ම අනුකම්පාව, තමා අදක්‍ෂයෙකු යැයි ඇති වන සිතුවිල්ල සැබවින්ම දරුවෙකුගේ මානසික සමතුලිත බව බිඳ දමයි. එහි අවසාන ප්‍රතිපලය ලෙස එතැන් සිට දරුවෙකු නිර්මාණකරණයට අත් පොවන්නේ ගුරුවරයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබීමට මිස තමන්ගේ හැකියාව නව අදහස් අනුව ක්‍රියාත්මක කරවීමට නොව. එය දරුවෙකුගේ අදහස් කප්පාදු කිරීමකි. එකම මාතෘකාවක් යටතේ දරුවන් සිව් දෙනෙකුගේ අදහස් අනිවාර්යයෙන් වෙනස්ය. ගුරුවරයා දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් විය හැකිය. මේ හේතුවෙන් දරුවෙකුගේ අදහසකට “ඒ මොකද්ද ඒ…” ලෙස බැන වැදීම හෝ සිනහවට ලක්කිරීම හෝ කළ හැකිද?

සමාජය වෙනස් කිරීම හෝ ගුරුවරුන් සමග මෙවැනි දේ පිළිබඳව සාකච්ජා කිරීම දරුවාගේ ඉදිරි ගමනට බාධාවක් වන්නේ අපි පොඩි කාලේ දරුවන්ට, දරුවන්ට ලෙස සලකන ගුරුවරු සිටියද අද වන විට එවන් මව්වත් ගුරුවරුන් අවම නිසාමය. නිවසේ ප්‍රශ්න හේතුවෙන් ඇති වන තම මානසික පීඩනය පවා පන්තියේ දරුවන් හරහා පිට කරන ගුරුවරුන් සිටින මෙවන් යුගයක අපි දරුවන්ට කියා දිය යුතුම යමක් ඇත. එනම්, “ඔයාට හිතුනෙ මොකද්ද, ඒක තමයි ඔයාගේ නිර්මාණය… ඒකට ලකුණු ඇතත් නැතත්, ටීචර් ගැහුවත් බැන්නත්, මුළු පන්තියම ඉදිරියේ ලෑජ්ජාවට පත් කළත් ඔයාගේ නිර්මාණය ගැන ඔයා සතුටු නම් ඒ ගැන පසු නොතැවෙන්න එපා….”

විද්‍යා, ගණිත විෂයයන් හා සම්බන්ධව දරුවෙකු ගුරුවරයෙකුගෙන් දොසක් ඇසුවත් දරුවෙකු අතින් නිමවෙන නිර්මාණයකට අදහසක් මිස අපහාසයට ලක් කිරීමක් හෝ බැන වැදීමක් කිසිසේත්ම සුදුසු නොවේ. තමන්ගේ හැකියාව මත පිටතට ගෙනන දරුවන්ගේ පිවිතුරු අදහස්වලට සීමා පනවන මේ සමාජය තුළ ස්වාධීනව ගොඩ නැගෙන්න අපි අපේ දරුවන්ට කියා දෙමු.

Mindfulness හෙවත් සතිය පිහිටුවා ගත් දරුවෙක්

අද දරුවන්ගේ විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන‍්නේ යම් දෙයක් වෙත අවධානය දැක්වීමට තිබෙන පසුගාමීත්වයයි. මේ වෙනුවෙන් අපි චෝදනා නගන්නේ විද්‍යුත් උපංගයන්ට වුනත් ඒ වෙනුවෙන් චෝදනා නැගීමට වඩා දරුවන් එයින් මුදවන මාර්ගය පිලිබඳව විමසිලිමත් වීම ඉතාම වැදගත්. භාවනාව නිසා මේ තත්වය බොහෝ දුරට මග හරවා ගැනීමට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන්ට යම් දෙයක් වෙනුවෙන් සිහිය පවත්වා ගැනීම හෙවත් අවධානය දැක්වීමට තිබෙන ශක්තිය නොදැනීම වර්ධනය වීම එක්තරා ආකාරයකින් දරුවන් ලද වාසනාවක් ලෙස සලකන්න පුලුවනි. මේ නිසා භාවනාව වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයක් ගැන අවධානය යොමු වෙන යුගයක්.

අණුක ජීව විද්‍යාඥයෙකු ලෙස ප්‍රකටව සිටින “එරික් ලෑන්ඩර්” විසින් අධි සංඛ්‍යාත ගැමා තරංගයන් සමග මොළයේ භාවනාවට සම්බන්ධ ( පූර්ව පාර්ශවික) කොටස අතර පවතින සම්බන්ධතාවය අද්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ භාවනාව මගින් දකින මොලයේ පිබිදීම ඉතාම අපූරු බවයි. මෙම මානසික ක්‍රියාකාරකමෙන් ලැබෙන පිබිදීම ගෝල්ෆ් හෝ ටෙනිස් ක්‍රිඩාවෙන් මොළයට ලැබෙන ප්‍රබෝධයට සමාන බව පර්යේෂකයන් සඳහන් කරනවා.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ “සාරා ලාසන්” විසින් MRI ස්කෑන් දර්ශනයක් ආශ්‍රිතව ලබා ගත් තොරතුරු පාදක කර ගෙන පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාවන් මගින් මානසික වෙහෙසකර තත්වයන් පවා නැති කර ගත හැකි බවයි.

සතිය පිහිටුවා ගැනීමේ වාසි

  • අධ්‍යාපනයේ ප්‍රගතියක් :

 ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගුරුවරුන්ගේ මෙන්ම දරුවන්ගේ සහභාගීත්වය කරත්තයක රෝද දෙක සේ සමාන්තරව අවශ්‍යි. මොනතරම් දක්ෂ ගුරුවරුන් සිටියත්, දරුවන් ඒ වෙනුවෙන් වූ සහභාගීත්වය සතුටුදායක නොවේ නම් මුනින් නවන ලද කළයක් ජලයෙන් පිරවීමට සමාන නිෂ්ඵල ක්‍රියාවක් බව අපි දනන්වා. ඒත් සතිමත් හෙවත් භාවනාවෙන් සිහිය පවත්වා ගන්නා දරුවෙකුගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඔවුන් දක්වන දායකත්වය ඉතාම සතුටුදායක බව විවිධ අධ්‍යනයන් මගින් දැන් හදුනා ගෙන තිබෙනවා.

  • අන්තර් සම්බන්ධතාවයන් :

“අනේ අපේ පුතා අල්ලපු ගෙදර මිනිස්සු එක්කවත් වචන දහයක් තව කථා කරල නැහැ…” මේ වගේ කතා බහ අපි අතර නැගෙන්නේ දරුවන්ගේ අන්තර් සම්බන්ධතාවයන්ගේ තිබෙන ඛේදාන්තය නිසයි. මෑතකදී වයස අවුරුදු 22 ක් පමණ වුන තරුණයෙකුගේ පියා අභාවප්‍රාප්ත වුණා. ඔහු පවුලේ එකම දරුවා. මේ මළගෙදරට දරුවා සේවය කරන ස්ථානයේ හිතවතුන් ආවාත් ඔහු ඒ තරම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සාමාන්‍යයෙන් දරුවන් පවුලේ නැදෑයින්ට කෙසේවුනත් සමවයස් කණ්ඩායම් සමග පවත්නා සම්බන්ධතාවයන් ඒ තරමටම පිරිහී නැති බවටත් අදහස් තිබෙනවා.

ඒත් මේ තරුණයා අවම වශයෙන් ඒ අයටවත් සංග්‍රහශීලව කතා බහ කළේ නැහැ. පවුලේ ඥාතීන් විසින් කාර්යාලයේ හිතවතුන්ට කතා බහෙන් සහ වෙනත් සංග්‍රහ කරද්දී මේ තරුණයා මුහුනු පොත ඔස්සේ කටයුතු කළ නිසා ඉතාම අප්‍රසන්නතාවයක් ඇති වුනා. එහෙත් සතිමත් දරුවෙක් පසුකාලයක තරුණයෙක් වුනත්, සමාජගත පුද්ගලයෙක් වුනත් ඔහුගේ පිරිසිදු මනස නිසා ඉතාම හෙඳ අන්තර් සන්නිවේදන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

  • තමන්ගේ අභ්‍යන්තරය කණ්නාඩියකින් දකිනවාට සමානයි :

සිහිය පිහිටුවා ගත් දරුවෙකුගේ සාමාන්‍ය හැසිරීම අපි කණ්නාඩියකින් අපේම අඩු පාඩු අපිම දකිනවාට සමාන බවයි. මේ අඩු පාඩු වෙන කිසිම ‍අයෙකුගේ පෙන්වා දීමක් නැතුව අපිම සකස් කර ගන්නවා වගේ මේ දරුවන්ටත් තමන්ගේ අඩු පාඩු සකස් කර ගැනීමට ඉබේටම හැකියාව ලැබෙනවා.

  • අනුන් මත වැරැදි පැටවීම අඩුයි :

අද බොහෝ දරුවන් වැරැද්ද පිලිගන්නේ නැහැ. එය වෙනත් අයෙකු මත පටවා තමන් නිවරැදි යැයි කියනවා මිසක වැරැද්දක් නිවරැද්දක් කර ගැනීමට සූදානම් නැහැ. මේ ගැන දෙමව්පියන්ද යම් දුරකට වග කිව යුතුයි. ඔවුනුත් මගේ දරුවා අර ළමයා නිසා නාස්ති වුනා යැයි චෝදනා නගනවා විනා දරුවා නිවරැදි කිරීමට මුල් අවස්තාවේදි උත්සාහ ගන්නේ නැහැ. නොමගට ගිය පසු පසුතැවිලිවීම හරියට අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසනවාට සමානයි. ඒත් භාවනාව ප්‍රගුණ කල දරුවෙකුට කිසිම විදිහකට අනුන් මත වැරැදි පැටවීම අවශ්‍ය නැහැ. ඊට හේතුව සිහියේ පිහිටුවා ගත් සන්සුන් මනස නිසා නිවරැදි දේ නිවරැදි ලෙසින් තෝරා ගැනීමට තරම් වාසනා ගුණයක් ඔවුන් තුළ නිර්මාණය වෙනවා.

  • පාසලේ විනය :

අද පාසල් දරුවන්ගේ විනය දැඩි ලෙස පිරිහී තිබෙන බවට අපට නිතරම ඇසෙන කරුණක්. අඩුම වශයෙන් ගුරුවරුයෙකුට පවා දරුවන්ගේ වරදක් වෙනුවෙන් අවවාදයක් කිරීමට නොහැකි තැන් පවතිනවා. ඒත් සිහිය පිහිටුවා ගත් දරුවෙක් තුළ ස්වයං විනය ඉබේටම ගොඩ නැගෙන නිසා පාසල තුළ ඔවුන්ගේ හැසිරීම ඉතාම සංයමයෙන් සහ සංවරයෙන් පවත්වා ගන්න පුලුවනි.

පාසල තුළ වුනත් දරුවා ලොකු සහ කුඩා පංතිවල දරුවන් අතර වගේම ගුරුවරුන් සහ වෙනත් පාසලේ කළමනාකාරිත්වය සමග ඉතාම හොඳ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. මේ නිසා පාසල් පරිසරය තුළ ඇති වෙන ගැටුම් ආරවුල් නොදැනීම පහව ගොස් “පාසලෙන් මග දකින හොඳම දරුවා මමය…” යන සංකල්පයේ සතිමත් දරුවා පිහිටන බව රහසක් නොවේ.

ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන්  මහනුවර ශික්ෂණ රෝහලේ  පවත්වන ලද දේශනයක් ඇසුරිනි.

 

දරුවන්ගේ කතා විශ්වාස කරන අම්මලාට උපදෙස්

අපේ දරුවා අපිට ඇත්තටම විශ්වාසයි. ආදරයේ අසීමිත සෙනහස ඇටමිදුලු , ලේ නහර ඔස්සේ දිවෙන නිසා මේ සංසිද්ධිය ඉතින් අමුත්තක් නොවෙයි. වෙන දෙයක් තබා මොන තරම් පාපකාරී වැඩ කටයුතු කළත් දෙව්දත් ඔහුගේ අම්මාට ඉතාම හොඳ පුතෙක්. “දෙව්දත් මවට මැනවි…” කියමන අපේ ජනවහරේ ඔබ අසා ඇති.

ඉතින් මේ විශ්වාසය නරක නැහැ. ඒත් අපි හැම දෙනාම මිනිස්සු නිසා මේ කියන විදිහටම විශ්වාසය නැති වෙන වේලාවන් තියෙන්න පුලුවන්. දරුවන්ගෙනුත් ඒ තත්වය අපිට ඇති වීම තවත් වැඩි වෙන්න බැරි කමක් නැහැ. ඊට හේතුව දරුවන්ට එතරම් අත්දැකීම් නැහැ. ඒ නිසා ඔවුන් බොහෝ විට දුර දිග නොසොයා නොබලා කරන කියන දෙය බොහෝ දෙනෙකුට අනතුරක් වෙන්නත් පුලුවනි. ඒ නිසා දරුවන් කියන හැම දෙයක්ම විශ්වාස කිරීම එතරම් හිතකර නැහැ.

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන අවස්ථා

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන විවිධ අවස්ථා තිබෙන්න පුලුවනි. විශේෂයෙන් මුදල් පිළිබඳ තත්වයන්හිදී මෙය ඉතාම සුලබයි. පංති ගාස්තු, විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාසලෙන් ඉල්ලන මුදල්, පංතියේ ලකුණු, වෙනත් දරුවන් සමග තිබෙන ඊර්ශ්‍යාව වැනි සියුම් ගති ,තමාටම අවධානය ලබා ගැනීමට මේ අන්දමට එක් එක් දරුවන් විවිධ දේ මුල් කර ගෙන විශ්වාසය බිඳවැටෙන අන්දමින් කටයුතු කිරීමට පුලුවනි. මේ සිදුවීම් මුලදී ඉතා සරල සහ අහිංසක සිදුවීම් වුනත් පසුකාලීනව විවිධ අන්දමින් එහි ආදීනව ඇති වෙන්න පුලුවනි.

දරුවාටත් හානියක්

දරුවා කියන කරන හැම දෙයම ඔබ විශ්වාස කිරීම නිසා ඔවුන් බිය නැතුව වැරැදි සිදුවීම් වෙත යොමු වෙන්න පුලුවනි. ඊට හේතුව තමා කරන හැම දෙයක්ම දෙමව්පියන්ට විශ්වාස හෙයින් වැරැද්ද පවා ඉතා පහසුවෙන් නිවරැදිව දෙමව්පියන්ට පෙන්වා දීමට දරුවාට අමුද්‍රව්‍ය තිබෙනවා. උදාහරණයක් විදිහට දරුවාට පංතියේ ලකුණු අඩුවුනොත් ඔහු ඒ වෙනුවෙන් නිදහසට කරුනු ලෙස කියන්නේ “අපිට සිලබස් එක ඉවර නැහැ…ඒත් මේවායින් ප්‍රශන දාලා..” දරුවා එසේ කිව්වත් ඔබට ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කලොත් මේ සියල්ල දරුවාට විෂය භාර ගුරුවරුන් විසින් උගන්වා අවසාන විය හැකියි.තමා විභාගයට සූදානම් නොවුනත් ඒ බව නොකියා මේ අන්දමින් වරද පටවන අවස්ථාවන්හිදී ඔවුන් විශ්වාස කළ විට දරුවා හෙටත් කරනුයේ මේ අන්දමින් වංචාවක් මිස තමාගේ විෂය නිර්දේශය ආවරනය වන සේ විභාගයට සූදානම් වන්නේ නැත.

දරුවෝ අවිශ්වාස කරන බව ඔවුන්ට පෙන්වන්නත් එපා

ඒ වුනත් දරුවා අවිශ්වාස කරන බව ඔවුන්ට දැනෙන්න හැරීමත් නොකල යුතුයි. එසේ වුනොත් අපේ අම්මට , තාත්තාට මාව අවිශ්වාසයි කියන සිතුවිල්ල ඇති වෙනවා. එහෙම වුනොත් එය දරුවාගේ පෞරෂයට හිතකර නැහැ.

අවිශ්වාස දෙයක් වුනොත්

දරුවාගේ විශ්වාසය බිඳ වැටෙන වගේම බඩුත් එකක්ම හොරු අහුවෙන දෙයක් වුනොත් ඉතාම බුද්ධිමත්ව එය විසඳන්න ඕන. අපේ ළමයි කියල සුද්දවන්තයින් වෙන්න බැහැ. ඊට හේතුව අපේ වුනත් ඔවුනුත් ළමයි නිසා. සැක කටයුතු දෙයක් දැනුනමා හොරාට පෙරාතුව වැට පනින්න අවශ්‍ය නැහැ. එය ස්ථිරවම දැන ගන්නා තෙක් විමසිල්ලෙන් ඉන්න. එතැනින් පසුව සාක්ෂි ඇතුව දරුවාට මේ බව පෙන්වන්න. ඔබ කරුණු කාරණා නොදැන යමක් කියන්න ගියොත් දරුවා ඉදිරියේ ඔබ අසරණ වේවි.

පවුල් ආරවුල්

බොහෝ පවුල් වල විශේෂයෙන් අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා… වැනි සම්බන්ධතාවයන් එක වහලක් යට පවතින විට ඇති වෙන අරගලයන්හි වාහකයා වන්නේ දරුවන්. ඊට හේතුව දරුවන් කියන දේ ගැන දෙමව්පියන් උපරිම විශ්වාසය තැබීමයි. දරුවන් යම් යම් දේවල් ඉතාම නිර්මාණාත්මකව ගොතා කියන්න පුලුවනි. ඒ නිසා දරුවන් කියන දේ මතම රැදෙන්න අවශ්‍ය නැහැ.

අසල්වැසියන් සමගත්

පවුලක පමණක් නොව අසල්වැසියන් අතර ඇති වෙන විවිධ ගැටුම්වල ප්‍රධාන චුදිතයා වන්නේ දරුවන්ය. ඒත් දරුවන් මේ සිදුවීම නිසා අමනාප වුනත් එය ටික වේලාවකින් එසේත් නැත්නම් ටික දිනකින් අමතක කරනු ඇත. එහෙත් මේ සිද්ධිය මුල් කර ගෙන අමනාප වෙන වැඩිහිටියන් සදාකාලික වෛරකාරයින් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන් කියන ගතු ඔවුන් කියන අන්දමටම විශ්වාස කරන්න එපා.

දරුවන් නොමග යනවා

නිතරම දරුවා කියන දේ විශ්වාස කරමින් ඔබ ඒ මත විවිධ ප්‍රතිචාර දක්වනවා නම් දරුවා මේ තත්වය ආයුධයක් කර ගන්න පුලුවනි. මේ නිසා තමාගේ වාසිය මුල් කර ගෙන ඔහුට දෙමව්පියන් නොමග යැවීම ඉතාම පහසුයි. දෙමව්පියන් තමන්ට අවශ්‍ය විදිහට හැසිරවීම ඉතාම පහසු බව දරුවාගේ විශ්වාසය නිසා ඔවුන් මේ ගැන දෙවතාවක් හිතන්නේ නැහැ.

තවත් අයගෙන් විමසන්න

දරුවා කියන දෙය ඔහු කියන නිසාම විශ්වාස කරන්න එපා. ඒ ගැන තවත් දෙතුන් දෙනෙක් ගෙන් විමසා සිටින්න. ඒ විමසා සිටීම දරුවාගේ අභිමානයට පලුද්දක් නොව විදිහට විමසා දැන ගැනීම වැදගත්. “අපේ පුතා මේ විදිහට කිව්වේ… අද මම එයාව අල්ලා ගන්නම්… කෝටු මස් කරන්න ඕන…” මේ විදිහට දරුවාට චෝදනා නගන්න එපා. තවත් අයගෙන් ඔබ විමසා දැන ගත් දෙය දරුවාට කියන්න. අම්මට තාත්තාට බොරු කරන්න ගියොත් කොහෙන් කොහොම හෝ එය එළිවෙන බව කියා දෙන්න.

මීට පස්සේ මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ

යම් සිදුවීමක් නිසා දරුවා මුල් කර ගෙන මෙතෙක් තිබුන විශ්වාසය බිඳ වැටුනත් අනාගතයේදීත් මේ සිදුවීම නිසා ඔහු ගැන විශ්වාසයක් නැතැයි සහතියක් නොදෙන්න. ආයේ මම හිතන්නේ ඔයා එහෙම කරන එකක් නැහැ… යනුවෙන් ඉදිරියේදී විශ්වාසය බි‍ඳෙ න කටයුතු නොවන සේ හැසිරීමට අවවාද ලබා දෙන්න.

දරුවන්ගේ හැසිරීම් වැඩිහිටි ඇහෙන් බලන්න එපා

එක්තරා මිශ්‍ර පාසලක හතර වසරේ දරුවන් අතර සිදු වුන එක් සිදුවීමක් මේ. එදා පාසලේ උත්සවයක්. ගුරුතුමියන් සේරම ඒ වෙනුවෙන් යෙසවුන නිසා පංතියේ ඉතිරි වුනේ දරු දැරියන් විතරයි. මේ පංතියේ සිටිය ලස්සන දුවකට ඒ පංතියේම පුතෙක් පුංචි ලියුමක් දීලා. ඒ ලියුමේ තිබුනේ “මම ඔයට ආදරෙයි කියලා…”

ඉතින් මේ සිද්ධිය පංතියේ ගුරුතුමියටත් පෙරාතුව කොහොම හෝ අම්මලා අතරට ගියා. අපේ අම්මලාට ඔය ටික හොදටම ඇති. ඔන්න පටන් ගත්තා. “අර ළමයාගේ තියෙන නැහැදිච්චකම බලන්න… ඔය වයසේ ඉදන්ම ඔය විදිහට හැසිරෙන්න ගත්තාම ඉස්සරහ ගැන නම් අනේ හිතාගන්න බැහැ….” තවත් මේ පුතාගේ පවුල් ගහත් බදා ගත්තා. අනේ “ඔය පවුලේ හැදියාවක් නැහැ…” අත්තම්මාගේ පටන් ඉතිහාසය දැන් ඈදිලා. මේ පුතා පාසලට යන එන විටත් “අම්මලා ආන්න…. අර නැහැදිච්ච දරුවා…” ලේබල් අලවලා ඉවරයි.

ඒත් මේ දුවගේ අම්මලා මේ සිද්ධිය ගැන එතරම් කලබල වුනේ නැහැ. “අම්මේ මට පංතියේ අය විහිලු කරනවා..” දුව කිව්වාම අම්මයි තාත්තයි දූට මේ විදිහට කිව්වා.

“ඉතින් පුතේ ආදරෙයි කියන එක නරක දෙයක්යැ. දැන් අපි ඔයාට ආදරෙයි…. අයියා ඔයාට ආදරෙයි.. ආයේ… පුංචිලා… නැන්දලා…ඒ වගේ යාළුවත්  ඔයාට ආදරෙයි කියන්න ඇති… බොහොම සරල විදිහට ඒ ප්‍රශ්නය ගැන දුවගේ අම්මලා කරුණු පැහැදිලි කළා.

ඇත්තටම පුංචි දරුවන්ගේ බොහොම වැරැදි සිද්ධ වෙන්නේ ඔවුන් නොදැණුවත්ම. මේවා වැරැදි කියල දන්නවා නම් කවදාවත් ඒ වගේ දේවල් ඔවුන් එළිපිට කරන්නේ නැහැ. ඒ නිසාම අපි දරුවන්ට විවෘතව කටයුතු කරන්න දුන්නොත් ඔවුන්ගේ මේ හැසිරීම් වලින් අපිට යම් යම් දේ ඔවුන් ගැනත් දැන ගන්න පුලුවනි.

දරුවන් ගැන නිරීක්ෂනයෙන් ඉන්න…

දරුවන්ගේ වැරැදි වෙනත් අය අතරට පත්වෙලා ඔවුන් ඒවා ඉතාම විනාශකාරී විදිහට බෙදන යුගයක් නිසා අපි දරුවන් ගැන සියුම් විදිහට නිරීක්ෂනය කිරීමත් ඉතාම වැදගත්. මේ නිරීක්ෂනයේදී අපිට ඔවුන් ගැන බොහෝ දේ දැනගන්න පුලුවනි. සමහර දරුවන් නිවසේ සිට යම් යම් දේවල් සොරෙන් රැගෙන එන්න පුලුවනි. එහෙම නැත්නම් පංතියේ මිතුරන්ගේ දේවල් හොරෙන් අරගෙන යන්න පුලුවනි. මේ අවස්ථාවලදී ඔවුන් “හොරු” කියල චෝදනා කළ යුතු නැහැ. ඉතාම සියුම් විදිහට මේ කරන වැරැද්දෙන් දරුවා මුදවා ගැනීම මිස මේ සොරකම් දිහා අපේ මට්ටමින් බැලීම එතරම් සුබ නැහැ. හැබැයි ම් සොරකම් වලින් දරුවා මුදවා ගන්නා තැනටත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

අපේ අම්මලාගේ සමාජයක් පාසලේ ගේට්ටුව ළග නිතරම හැදෙනවා. මේ සමාජයට සමහර විට අම්මලා විතරක් නොවෙයි, ආච්චිලාත් එකතු වෙනවා. ඉතින් මේ උදවියට දවස ගෙවන්න අතුරුපසකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට දරුවන්ගේ පුංචි පුංචි වැරැදි දිහා මහ පරිමාණයෙන් දකින්න පටන් ගන්නවා.

හැම දරුවෙක්ම වටිනවා..

දරුවන්ගේ හැසිරීම් බොහෝ අය දකින්නේ ඒ දරුවාගේ පවුල් පරිසරය පදනම් කර ගෙනයි. කිසිමි විදිහකින් අපිට ඒ තක්සේරුව ඇති කර ගන්න බැහැ. වැරැදීම සාමාන්‍ය දෙයක්. එයට පවුල්වාදය ගලපා ගන්න එපා. ප්‍රාථමික පංතියක දරුවෙකුගේ වතුර බෝතලයේ ඒ දරුවාගේ නමත් මුද්‍රණය කරල තිබුනා. ඒත් වෙන දරුවෙක් මේ බෝතලය සොරකම් කර ගත්තා. බෝතලයේ සැබෑ අයිතිකරු සාමාන්‍ය පවුලකයි. ඒත් සොරකම් කළ දරුවාගේ දෙමව්පියන් වෘත්තියෙන් ගුරුවරු. පංති භාර ගුරුතිමිය එක හෙලාම කිව්වේ… “මේ ළමයාගේ අම්මා. .තාත්තා දෙන්නාම ගුරුවරු…ඉතින් අපි ළමයා හොරක් කියල චෝදනා කරන්නේ කොහොමද..?”  ඒ වුනත් බෝතලයේ නමත් කපා තිබියදීම අයිතිකරුට බෝතලේ අහිමි වුණා.

ඉතින් දරුවන්ගේ හැසිරීම් වලදී කිසිම විටෙක පවුල් පසුබිම බලපාන්නේ නැහැ. ඒවා දරුවන් කරන්නේ ළමා වියේ ඇති වෙන පුංචි පුංචි ආසාවන් නිසයි. ඒත් සොරකම නරක නිසා ඔවුන්ට ඉතාම සෙමෙන් ඒ වැරැදද් ගැන කියා දීම වැදගත්. එහෙම නැති වුනොත් ඔවුන්ගේ සොරකම පිලිබඳව තිබෙන යොමු වීම ඉතාම අසුබ විදිහට ඔවුන් සමගම වැඩිදියුණු වෙන්න පුලුවනි.

ඒ නිසා දරුවන්ගේ හැසිරීම් දෙස බැලිය යුත්තේ දරුවන්ගේ ලෝකයේ සිට මිසක අපේ ලෝකයේ සිට නොවේ. අපේ ළමා කාලයේ සමහර විට මේ තත්වයට වඩා නරක හැසිරීම් තිබෙන්න පුලුවනි. ඒත් කාලය සමග ඒවා නැති වී යෑම සිදු වී තිබෙන නිසා දරුවන්ගේ බොහෝ වැරැදි ඔවුන් දැනුම් තේරුම් ලබන විට නැති විය හැකියි. එතෙක්… අපි මේ දෙස දරුවන් නිවරැදි කිරීමට මිස ඔවුන් බාල අපරාධකරුවන් විදිහට සැලකිය යුතු නැහැ.

බාලඅපරාධකරුවන් වෙන්නත් පුලුවන්..

සමහර විට දරුවන්ට සමාජයට මුහුන දෙන්න බැරි විදිහට මේ හැසිරීම් තැන තැන විවේචනය වෙනවා. ඒ නිසාම ඔවුන් හුදෙකලා චරිත බවට වගේම මානසිකවත් සමාජයෙන් පලිගන්න තරම් දරුණු වෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලයේදී මෙය ඉතාම දරුණු විදිහට බලපාන්න පුලුවනි. තමාගේ ආදර සම්බන්ධතාවය ගැන තැන තැන වපුරන පුද්ගලයෙක් නිසා තමා මිතුරියට ඇති වුන අවමානය නිසා පිහියක් රැගෙන මේ පුද්ගලයා එන මග රැක සිටියා. හදිසියේවත් ඒ අවස්තාවේ ඔහු පැමිණියා නම් අනිවාර්යෙන්ම අනින තරම් දරුවා දරුණු සේ කෝපයට පත්ව සිටියත් බොහෝ දෙනාගේ මැදිහත් වීමෙන් එය බේරුනා. මේ වගේ සිදුවීම් නිසා එක් පැත්තකින් දරුණු අපරාධකරුවෙක්ද, අනිත් පැත්තෙන් ඔහුගේ මිතුරුයව සිටි දියණියටද විශාල ලැජ්ජාවක් ඇති වුණා. ඒ නිසා හැම සිදුවීමක් දෙසම මනෝවිද්‍යාත්මක ඇසකින් බලන්න පුලුවන් නම් වඩාත් උචිතයි නේද…?

දරුවාගේ විනාශයට වෙන වැරැදි නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට කමක් නැහැ…

සමහර වෙලාවට දරුවන්ගේ ඇතැම් හැසිරීම් නිසා ඔවුන් නොමගට යන ප්‍රවනතාවයක් තිබෙනවා නම් ඒ ගැන වගකිව යුතු අයට කිව්වාට නම් කමක් නැහැ. එක් දරුවෙක් තමන්ගේ මිතුරා පාසලට මත්ද්‍රව්‍ය ගෙනෙන බව අම්මාට කිව්වා. මේ අම්මායි..මත් ද්‍රව්‍ය රැගෙන එන අම්මයි එකම කන්තෝරුවේ වැඩ කළ නිසා බොහොම වගකීමෙන් පුතුගේ වැරැදි හැසිරීම ගැන ඇය තම මිතුරියට කිව්වා. ඒ නිසා දරුවා මේ වැරැදි හැසිරීමෙන් බේරා ගන්න මුල් අවධියෙන්ම හැකියාව ඒ පවුලට ලැබුනා. දරවන්ට ආදරය කරනවා නම් ඔවුන් සුමගට යොමු කරන්න අවශ්‍ය නම් ඒ වැරදි හැසිරීම වගකිව යුතු විදිහට වගකීමෙන්ම කියනවා හැර දරුවන් දිහා වපර ඇසින් නම් බැලීම එතරම් හොඳ කටයුත්තක් නොවෙයි.

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැහැ

සෙල්ලම් බඩු වුනත් පමණට වඩා අවශ්‍ය නැති බව දැන් අලුත්ම සොයා ගැනීමක්. අපේ දෙමව්පියන් දරුවන්ට තිබෙන ආදරය ප්‍රදර්ශනය කිරීමට පමණටත් වැඩියෙන් ඔවුන්ට සෙල්ලම් බඩු අරගෙන දෙනවා. මේ නිසා ඇති වෙන ගැටළු දෙයාකාරයි. අපිට මතුපිටින් පෙනෙන විදිහට සුලබ ගැටලු විදිහට මේ අවස්ථාවන් ඔබට මට ඉතාම සාමාන්‍යයි.

  • අනවශ්‍ය විදිහට සෙල්ලම් බඩු ගෙදර ගොඩ වුනාම ඒවා පිළිවෙලට තබන්න අපහසුයි. මේවායේ දූවිලි මකුළුදැල් බැඳිලා දරුවන්ට ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි.
  • ප්ලාස්ටික් සහ බොහෝ සෙයින් අන්තර්ගත නොදිරන දේ නිසා බැහැර කිරීමත් අපහසුයි.
  • ඒ වගේම අපේ ආර්ථිකය අනුව දරුවන්ට මේ සෙල්ලම් බඩු වෙනුවෙන් වැය බරක් ඇති වුනාම වෙනත් අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් ප්‍රශ්නත් ඇති වෙනවා.

ඔය සේරම එක් පැත්තක තියලා මේ ගැනත් අපේ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.

නිර්මාණාත්මක හැකියාවන් නැති වෙනවා …

දරුවන්ට සෙල්ලම් බඩු ලබා දුන්නාම ඔවුන්ට සහජයෙන්ම ලැබී තිබෙන නිර්මාණශීලී හැකියාවන් නැති වෙන්නත් පුලුවනි. ඊට හේතුවක් තිබෙනවා. සෙල්ලම් බඩු මතම රැදී සිටිනවා මිසක යමක් දෙස නිර්මාණශීලීව බලන්න, අලුත් දෙයක් නිර්මාණය කරන්න කිසිම වෙහෙසක් ගන්නේ නැහැ. ඉස්සර කාලයේ දරුවන් සෙල්ලමට අවශ්‍ය සියලු ආම්පන්න, උපකරණ ඔවුන්ම නිර්මානය කර ගත්තා. පැපොල් බටයෙන් නලාවක්, පොල්පිත්තෙන් ගොනෙක්, කුරුම්බා ඇට්ටියෙන් මැෂිමක්… මේ වගේ දේවල් හදා ගන්න හැම දරුවෙකුටම යම් හැකියාවක් තිබුණා. ඒ ඔස්සේ තව තවත් අලුත් දේවල් පවා නිර්මාණය කරන්න දරුවන් යොමු වුණා. ඒත් අද දවසේ දරුවන්ට මේ හැකියාවක් නැහැ. තමන්ගේ සෙල්ලම්බඩු මත කොටු වෙනවා මිසක එතැනින් එපිටට හිතන්නත් අවශ්‍ය නැහැ. ඇයි ඉතින් සාගරේට සෙල්ලම් බඩු තිබෙන ලෝකයක පැපොල් බටයෙන් නලාවක් හදා ගන්න කිසිම අවශ්‍යතාවයක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ.

ප්‍රමාණයෙන් අඩු වුනොත් හොඳයි නේද…

සෙල්ලම්බඩු ප්‍රමාණයෙන් අඩු වුනාම දරුවාට ඒවා හසුරුවා ගන්නත් පහසුයි. තමන්ගේ සීමිත වපසරියේ සිට ඒවා පරිහරනයට යොමු වෙන නිසා කළමණාකරණය වගේම පරිස්සමින් පාවිච්චි කිරීමටත් යොමු වෙනවා. ලද පමණින් සතුටු වෙන ගුණයත් දරුවාගේ ඇති කරන්න මේ සුලු ප්‍රමණයක සෙල්ලම් බඩු ඉවහල් වේවි.

අවධානයත් නැහැ…

මනෝ විද්‍යාඥයින්ගේ අදහසට අනුව නම් වයස අවුරුදු එකට අඩු දරුවන් වෙනුවෙන් නම් බහුල විදිහට සෙල්ලම් බඩු ලබා දීම එතරම් සුදු නැහැ. ඊට හේතුව පාලනය කර ගැනීමට බැරි තරම් සෙල්ලම්  බඩු තිබුනොත් ඔවුන් ට මේ වෙනුවෙන් අවධානය දැක්වීම අපහසුයි. එක සෙල්ලම් බඩුවකින් පමණක් සෙල්ලම් කිරීමට යොමු වෙන්නේ නැහැ. ඒ නිසාම අවධානයෙන් කටයුතු කිරීමේ හැකියාව දරුවන්ගෙන් නොදැනීම දුරස් වෙනවා.

අන්තර් සම්බන්ධතාවයන් නැහැ…

දරුවා සෙල්ලම් බඩුවලින්ම පෝෂණය වුනොත් ඔවුන්ට බාහිර ලෝකයක් සමග සම්බන්ධතාවයක් අවශ්‍ය නැහැ. මගේ ලෝකය සෙල්ලම් බඩු විදිහට හිතනවා. මේ නිසා පවුලේ තමන්ගේම සහෝදරයන් සමග පවා තිබෙන සම්බන්ධතාවය දුරස් වෙනවා. පවුලක් තුළ මේ විදිහට සම්බන්ධතාවයන් දුරස්ථ වීම එතරම් හිතකර තත්වයක් නොවේ. සෙල්ලම් බඩු ප්‍රමානයෙන් අඩු වුනාම දරුවන් ඒ සෙල්ලම් බඩු සමග වගේම පවුලේ සහ වෙනත් සමීප දරුවන් සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගෙන සෙල්ලමට යොමු වෙන තත්වයක්ද ඇති වෙනවා.

පොත පතට අවධානය අඩුයි…

දරුවාගේ ලෝකය සෙල්ලම් බඩු වලින්ම විසිතුරු වුනාම පොත පතට තිබෙන ඇල්ම, බැල්ම ‍නොදැනීම අඩු වෙනවා. ඔවුන්ගේ ලෝකය සෙල්ලම් බඩු පමණයි. සමහර දරුවන් දිනපතා පාසලට පවා මෙම සෙල්ලම් බඩු රැගෙන ගොස් ඉගෙනුම් කටයුතු අතර පවා සෙල්ලම් කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා සෙල්ලම් බඩු සීමා කිරීම සමග චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සෞන්දර්ය පක්ෂය වර්ධනය වෙන ක්‍රියාකාරකම් මගින් දරුවන් පොත පත සමගත් සම්බන්ධ කිරීම වැදගත්.

සුහදතාවය…

දරුවාට සෙල්ලම් බඩු වැඩි වෙන තරමටම ඔහුගේ ඒවා බෙදා හදා ගැනීමේ ගැටළු ඇති වෙනවා. පුංචි කාලයේ පටන්ම දරුවන්ගේ හිතේ ඇති වෙන අත්පත් කිරීමේ දැඩි පීඩාව ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් එතරම් හිතකාමී නැහැ. “මගේය…” යන දැඩිව අල්ලා ගැනීමත් සමග බෙදා හදා ගැනීමේ ගති පැවැතුම් ඇති වෙන්නේ නැහැ. ඒත් යම් සීමාවක සෙල්ලම් බඩු තිබුනොත් තවත් අයෙක් සමග ඒවා සුහදතාවයෙන් බෙදා ගැනීමට දරුවාගේ හිතේ ස්වයං පෙළඹවීමක් ඇති වෙනවා.

පරිසරයට ඇළුම් කරන දරුවෙක් නිර්මානය වෙන්නේ නැහැ…

අපි අද දරුවන් මුල් කර ගෙන නගන ප්‍රධානම චෝදනාව වෙන්නේ පරිසරයත් සමග දරුවන්ගේ කිසිම ගණුදෙණුවක් නැති බවයි. මේ තත්වය දරුවන්ට විතරක් ගොඩ නගා ගැනීමට  බැහැ. ඒ සදහා දෙමව්පියන්ගේත් උදව් අවශ්‍ය වෙනවා. අද දෙමව්පියන් දරුවන්ට සෙල්ලම් බඩු ගෙනැවිත් දී ඔවුන් සන්සුන් කරනවා විනා ගෙයින් එළියටවත් බැහැර වීමට ඉඩ දෙන්නේ නැහැ. ප්ලාස්ටික් සහ විද්‍යුත් මෙවලම් අතර සිරගතව සිටින දරුවා ගහ, කොළ, සතා සිවුපාවුන් හදුනා ගන්නේ නැහැ. විවේක වේලාවට හද පායන හැටි බලන්න, තරු නැගෙන හැටි, කුරුල්ලන් ඉගිලෙන, සමනළයින් මල් පැණි සොයන විසිතුර ඔවුන්ට හමු වෙන්නේ නැහැ. ඒත් පිස්තෝලයෙන් වෙඩි තබන, වේගයෙන් දුවන මෝටර් රථ තරඟ, වෙනත් වීඩියෝ ක්‍රිඩාවන් අතරම රැදී සිටීම හැරුන කොට වෙනත් විසිතුරු ලෝකයක් දරුවන්ට නැහැ.

ඔබ දරුවන්ට ආදරය බව ඇත්ත… මේ ආදරය ප්ලාස්ටික් සහ රබර් උපාංගයන්ට සීමා කරන්න අවශ්‍ය නැහැ.අපි දරුවන් නිර්මාණය කළ යුත්තේ හෙට දිනයේ ලෝකය දකින මිනිස් ගුණදහමින් යුක්ත පිරිසක් විදිහටයි. ඒ නිසා දරුවාගේ බාල කාලයේ පටන්ම සුන්දර දරුවෙක් දකින සිහිනයෙන් සිටිනවා නම් සෙල්ලම් බඩු වුනත් පමණ දැන ලබා දීම වඩාත් සුදුසු යි. සරල මිනිසෙකු නිර්මාණය කිරීමේ මූලික අත්තිවාරම ඇතැම් විට එතැනින් ගොඩ නගා ගන්නත් පුලුවනි.

දෙමව්පියන්ගෙන් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි

අපි අම්මලා තාත්තලා වුනත් සාමාන්‍ය මිනිස්සු ලඟ තිබෙන ගති ගුණ අපිටත් බොහොම සාධාරණයි. අපි දැන් අත්දැකීම් තිබෙන උදවිය. දරුවන් හදන්න වඩන්න අපිට වෙන දැනමුතුකම් අවශ්‍ය නැහැ කියල හිතුවත් දෙමව්පියන් අතිනුත් දරුවන්ට නොදැනීම සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවා. මේ වැරැදි දෙමව්පියන් හිතා මතා කරන දේවල් නම් නොවෙයි. ඒත් ජීවිතයේ එදිනෙදාට සිද්ධ වෙන සිදුවීම් අනුව මේවා දෙමව්පියන් ඔවුන්ට සාධාරණ කර ගත්තත් දරුවන්ගේ පැත්තෙනුත් එහි ආදීනව බරපතල වෙන්න පුලුවනි.

දරුවාටම වැරැද්ද පැටවීම

අමම්ලා තාත්තලා වුනාම දරුවන් ඉදිරියේ තමා වැරැදිකරු වීමට කැමැති නැහැ. දෙමව්පියන්ට වුනත් වරදින අවස්ථා නැතුවාම නොවෙයි, මොකද ඒ අයත් මිනිස්සු නිසා වැරැදි වෙන්න ඇති අවස්ථාවන් ඉතාම සුලබයි. ඉතින් යම් වැරැද්දක් වුනොත් නිතරම ඒවා දරුවා වෙතටම පටවන්න එපා. එහි ඔබට කොටසක් තිබෙනවා නම් එය බාර ගැනීමට තරම් නිහතමානී වීම ඉතාම වැදගත්. එහෙම නැතුව හැම දෙයටම දරුවා වැරැදිකරු කරන්න ගියොත් දරුවා මානසිකව පීඩනයට පත් වෙන්න පුලුවන්.

දෙමව්පියන් අතර සමගිය

දෙමව්පියන් විදිහට ඔබ දෙන්නාට අවශ්‍ය විදිහට හැසිරෙන්න පුලුවන් වුනත් ඒ තත්වය දරුවන්ට විශේෂයෙන් බලපෑමක් ඇති කරන බව අමතක කරන්න එපා. අම්මයි තාත්තායි නිරන්තරවම අඩ දබර වෙමින්  සිටිනවා නම් එයින් වඩාත් අසරණ වෙන්නේ දරුවන් බව ඔබ නොදන්නවා ඇති. දරුවන්ට නිවස ඉතාම ප්‍රසන්න පරිසරයක් වීම වැදගත්. ප්‍රසන්න විදිහට දැන් දෙමව්පියන් බොහෝ විට අපේක්ෂා කරන්නේ සියලු භෞතික සම්පත් පමණයි. ඒත් මේ නිවහන “පසන් නිවසක්” බවට පත් වෙන්නේ අම්මා තාත්තා අතර ගොඩ නැගෙන සමගිය නිසා බව අමතක කරන්න එපා. දෙන්නා දෙමහල්ලන් නිතරම ආරෝ වියවුල් ඇති කර ගන්නවා නම් දරුවන්ට ඒ නිවස අපායක් තරම් අප්‍රසන්න තැනක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ නොදැන කරන මේ අඬදබර නිසා දරුවාගේ මානසිකත්වයට විශාල බලපෑමක් ඇති වෙනවා.

තීරණ බුද්ධිමත් වීම

මම තමයි තාත්තා… මගේ අණසකට එපිටින් කිසිම දෙයක් බැහැ. ඒ විදිහට ඉන්නවා නම් මේ ගෙදර ඉන්න පුලුවන්. නැත්නම් අන්න දොර … ඔය විදිහට අණසක යටතේ දැඩි තීන්දු තීරණ ගන්නා දෙමව්පියන් නැතුවාම නොවෙයි. එක් එක් අයගේ මානසිකත්වය අනුව තීරණ ගැනීමේ අයිතිය ඒකපාර්ශවිකව සිදු කිරීමට දක්වන නැඹුරුතාවය නිසා දරුවන් ඉතාම අසරණ වෙනවා. ඊට හේතුව මේ දැඩි තීන්දු තීරණ ඔවුන්ට දරා ගැනීමට තිබෙන අපහසුතාවයයි. ඒ නිසා තීරණ ගැනීමේදී ඔබ බුද්ධිමත් නොවුනොත් එය දරුවන් විෂයෙහි ඇති කරන දැඩි පීඩනයක් බව අමතක කරන්න එපා.

විවේකය එකට ගත කරන්න

වෙලාවක් කලාවක් නැහැ කියන පොදු සංකල්පය අද හැම තැනින්ම ඇහෙන කතාවක්. ඒ වගේම පවුලක වැඩිම වුනොත් ඉන්නේ හතර දෙනයි. මේ හතර දෙනාටවත් එකට විවේකයක් ලබා ගැනීමට අද අවස්ථාවක් නැහැ. හතරදෙනා හතර තැනක හුදෙකලාව ගත කරනවා. අපි හිතන්නේ හැම ගෙදරකම මේ වගේ නිසා අපේ ගෙදරත් ඒ විදිහට වුනාම කමක් නැති බවයි. ඒත් මිනිසුන් හුදෙකලා වීම එතරම් හොඳ ප්‍රවනතාවයක් නොවෙයි. අපි හැමෝටම පුංචි හෝ සමාජයක් අවශයි. එයිනුත් පවුල කියන සමාජය ඉතාම බලගතුයි. ඒ නිසා කෙසේ හෝ දරුවන් සමග එකට කාලය ගෙවන විවේකයක් ඔබ හදුනා නොගතහොත් දරුවන් හුදෙකලාවීමට පටන් ගන්නවා. එය මව්පිය දූදරු සම්බන්ධතාවය ගිලිහෙන මුල්ම අවස්ථාව බව අමතක කරන්න එපා. මේ හිදැස තව තවත් පුලුල් වෙලා අනාගත‍යේදී අම්මා , තාත්තා අමතක කරන තරමටම දරුවන්ගේ මානසික හිස්කම බලගතු වෙන්නත් පුලුවනි.

නව සිතුවිලි දකින්න

දරුවන් අනුකරනයට හරිම කැමැතියි. ඒ නිසා ඔවුන්ගේ ලෝකයේ සිටින ප්‍රදාන චරිත වෙන්නේ අම්මයි, තාත්තයි පමණයි. දරුවන් ඔබ දෙස බලා බොහෝ දේ  ආදර්ශයෙන් ඉගෙනගන්නවා. ඒ නිසා එකාකාර ජිවන රටාවකටම යොමු නොවී නව සිතුවිලි වෙතින් දරුවන්ටත් සතුටක් ලබා දීමට උත්සාහ ගන්න.

නිතරම ආවේශ වෙන්න එපා

ඇතැම් දෙමව්පියන් නිතරම සිටින්නේ දුම්මල වරම අතට ගත් විදිහටයි. සමහර උදවියගේ සාමාන්‍ය රටාවක් බවට මෙය පත්ව තිබෙනවා. ඒ නිසා පවුලක හොඳ සන්නිවේදනයක් ගොඩ නැගෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ සාමකාමී මනස දරුවන්ගේ ජීවිතයට ඇවැසි යහමග පමණක් නොව යායුතු මගත් පෙන්වා දීමට අවශ්‍ය වෙනවා. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්නා සේ අම්මාටත් කතා කරන්න බැරි නම්… තාත්තා නිතරම කෝපාවිෂ්ටව සිටිනවා නම් දරුවන්ට ඇහුම්කන් දෙන්නෙක් නොමැති නම් ඒ තරම් අවාසානාවක් දරුවෙකුට තවත් නොමැති බව විස්තර කිරීම අවශ්‍ය නැහැ.

පවුල ප්‍රධානයි

ඇතැම් විට මේ වගේ චෝදනාවන් ඔබ අසා ඇති. තාත්තාට කන්තෝරුව තමයි ජීවිතේ… ඒ වගේම අම්මාත් ප්‍රධාන ‍තැනට ලා සලකන බොහෝ දේ තිබෙන්න පුලුවනි. නමුත් ඔබ කන්තෝරුවට යන විට නිවසේ ප්‍රශ්න ගෙදර තබා යනවා සේම , නිවසට එන විට කන්තෝරු ප්‍රශ්න කන්තෝරුවේ තබා එන්න. එසේ නොමැතිව නිවසත් කන්තෝරුවක් කර ගත තැන අසරණ වෙන්නේ දරුවන් බව විවිධ පවුල් වෙතින් ලත් උදාහරණ මගින් පැහැදිලි වෙනු ඇති. මට දරුවන්ට වඩා වැදගත් කෙනෙක්… පවුල තරම් සම්පතක් නැතැයි යන සංකල්පයේ පිහිටා කටයුතු කරන්න. එවිට ඔබේ දරුවන්ද ලෝකයේ  සිටින ප්‍රිතිමත්ම දරුවන් බවට පත් වෙනු ඇත.

දරුවන්ට අත්දැකීම් ලබා දෙන්න

අපි දරුවන්ට තිබෙන ආදරය නිසා ඔවුන්ව ඉතාම ආදරයෙන් රැකබලා ගන්නවා වගේම සෙනහස / රැකවරණය අවශ්‍ය තරම් ලබා දෙන්න පසුබට වෙන්න් නැහැ. ඒත් මේ සියලු දේ අතරේම දරුවන්ට යම් විදිහකින් අත්දැකීම් ලබා ගැනීමටත් අවස්තාවක් ලබා දිය යුතු බවත් අමතක කරනන් එපා. ඒ ගැන ළමා මනෝ වෛද්‍ය විදයාඥයෙක් විසින් නිකුත් කරන ලද අපුරු කතාන්දරයක් මට මෑතකදී කියවන්න ලැබුනා.

එක්තරා නිවාස සංකීර්ණයක පවුල් දෙකක් ජීවත් වුණා. එක් නිවසක සිටි වැඩිමහල් තැනැත්තා සහ අනෙක් නිවසේ සිටි දරුවෙක් පැල දෙකක් රෝපණය කලා. වැඩිමහල් තැනැත්තා සාමාන්‍ය විදිහට පැලය රැකබලා ගත්තා. දරුවා ඉතා හොදින් වතුර සහ පොහොර යොදමින් පැලය බලා ගත්තා. බැලු බැල්මට දරුවාගේ පැලය බොහොම සරු සරෙට වැඩුනත් වැඩිහිටියාගේ පැලයේ එතරම් වර්ධනයක් තිබුනේ නැහැ.

එක දවසක් මේ පලාතට සුළඟක් හැමුවා. පහුවදා උදේ බලද්දී දරුවාගේ පැලය ඉදිරිලා ගිහින්. ඒත් වැඩිහිටියාගේ පැලය කිසිම වෙනසක් නැතුව තිබුනා. දරුවාට හරිම දුකයි. ඒ වගේම වැඩිහිටියාගේ පැලය කිසිම කරදරයක් නැතුව තිබෙන එක ගැන සතුටුයි. ඉතින් දරුවා මෙහෙම ඇහුවා..

“සීයේ… මගේ පැලය මේ තරම් හොඳට හැදිලා සුළගට කඩාගෙන ගියා. ඔබේ පැලය එතරම් සරුවටත් නැහැ. ඒත් ඔබේ පැලය හොදින් ඉතුරු වෙලා…ඇයි මේ වෙනස…? හරි නම් මගේ පැලය නේද ඉතුරු වෙන්න ඕන.. ?” දරුවා නොතේරුම් කමට ඇහුවා.

“නෑ පුතේ ඔබ වැරැදියි… මගේ පැලයේ මුල් හොදින් පොළවට සවි වෙලා. ඒ පැලය වතුර හා පාහොර හොයා ගෙන ගියා. ඔබේ පැලයට කිසිම මාන්සියක් නැතුව අවහ්‍ය සියළු දේ ඔබ දුන්නා. ඉතින් මගේ පැලය ‍ස්වභාවයෙන්ම ශක්තිමත් වුණා. පුතා කනගාටු වෙන්න එපා. ලෝකයේ හැටි ඔහොමයි. අපි ශක්තිමත් වෙන්නේ අපි විසින්ම හොයා කියාගෙන කරන දෙයින් මිසක අපිට ළගට ලැබෙන දෙයින් සැනසිලා හිටියාම නොවේ. දැන් මගේ  පුතාට තේරුනාද?” වැඩිහිටියා ඇහුවා.

ඉතින් මේ පුංචි කතාවෙන් ඉදිරිපත් වුන අදහස අපිටත් ඉතාම වැදගත්. අපි බොහෝ දෙනෙක් දරුවන්ට අත්දැකීම් ලබනන් ඉඩ දේනනේ නැහැ. ඉස්සර කාලයේ අම්මලාගේ අදහස වුනේ ගින්දරෙන් පිච්චෙනවා කියනවාට වඩා පිච්චෙන බව දැනගත්තාම දරවන් විසින්ම එයින් ආරක්ෂා වෙන මග හොයා ගන්නා බවයි. අද ඒ තත්වයක් නැහැ. දරුවන්ට සියළු දේ අතට පයට කර කියා දීම නිසා දරුවන් ගේ ජීවිතයේ අත්දැකීම් නැහැ.

සමහර අය බොහොම උජාරුවෙන් මේ විදිහිට කියනවා ඔබ අසා ඇති

අපේ පුතාට දැන් අවුරුදු විස්සකටත් කිට්ටුයි. ඒත් තවම කඩේට ගිහින් පාන් රාත්තලක් දන්නේ නැහැ. ඔබ මේ විදිහට කිව්වත් දරුවා‍ මෙතෙක් ජීවිතයේ කිසිම අත්දැකීමක් නොලද චරිතයක් වීම නිසා ඉතාම අපහසුතාවයට පත් වෙවා. එය හරියට හොදින් සාත්තු සප්පායම් කළ මල් පැලය සුලඟට පහසුවෙන්ම ඉදිරිලා ගියා වගෙයි.

පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න

දරුවන්ට පුංචි කාලයේ පටන් පුංචි පුංචි දේ කරන්න ඉඩ දෙන්න. එක්වරම මහත් වූ ප්‍රාතිහාර්යන් පාන දේ ඔවුන්ට කිරීමට නොහැකි වුනත් පියවරෙන් පියවර ඔවුන් කරන කියන දෙයින් අත්දැකීම් උපයා ගනු ඇත. ප්‍රායෝගිකව දරුවන් තමන් කරන කටුතු වෙතින් යම් අත්දැකීමක් ලබා ගන්නවා. එතැනින් ලබන ශක්තිය නිසාම ඉදිරියට බොහෝ සාර්ථකව ඒ සිදුවීම්වලට මුහුණ දීමේ හැකියාව ලබා ගන්නවා.