හැම බබෙක්ම බෝලේ වගේ මහත් වෙන්න ඕනෙමද?

“පුංචි දරුවෙක් චබී බෝලේ වගේ ඉද්දි හරිම හුරතල්… ලස්සනයි…. ආදරේ හිතෙනවා”  අපේ සමාජයේ බහුතරයකගේ අදහස තමයි මේ. අම්මලා වෙනත් දරුවන් එක්ක තමන්ගේ දරුවාගේ බර, මහත කෙට්ටු බව සංසන්දනය කරනවා. බරින් වැඩි, මහත දරුවන් නිරෝගී දරුවන් ලෙසත් කෙට්ටු සිරුරක් සහිත බරින් අඩු දරුවන් නිරෝගී නොවන අතර කිසියම් අඩුපාඩුවක් සිදුවී ඇති බවටත් වැඩිහිටි පරම්පරාව විශේෂයෙන්ම දරුවන්ගේ ආච්චි සහ සීයා විසින් නිතර ආඬපාලි කියනව ඔබත් අහලා ඇති. ඒත් එක නම් වැරදි මතයක්. වැඩිහිටියෝ මෙහෙම අදහස් දරද්දී ඇතැම් දෙමාපියෝ අනවශ්‍ය විදියට මානසික පිඩනයට ලක්වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේ හැමදේටම හේතුව බර ගැන හරි දැනුමක් නොමැතිකම තමයි.

සාමාන්‍යයෙන් දරුවෙකුගේ උපත් බර තීරණය වෙන්නේ මවගේ උස, පෝෂණ තත්ත්වය, රෝගී තත්ත්වයන් වගේ කරුණු මත. අලුත උපදින ළදරුවෙකුගේ උපත් බර සාමන්‍යයෙන් 2.5 kg ට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම මවගේ හෝ දරුවාගේ නොයෙක් රෝග තත්ත්වයනුත්  උපත් බර අඩු / වැඩි වෙන්න හේතු වෙන අවස්ථා තියෙනවා. දරුවෙකුගේ උස හා බර තීරණය වෙන්නේ දරුවාට ලැබෙන පෝෂණයත් දෙමව්පියන්ගෙන් උරුම වූ ජාන අනුවත් කියල ඔබට පැහැදිලි ඇති.

ශාරීරිකව, මානසිකව හා සමාජීය වශයෙන් වර්ධනය වෙන අතරතුර සිටින මේ දරුවන්ගේ වර්ධනය අඩාළ වුවහොත් එය දිගු කාලීන මන්ද පෝෂණයහේතුවෙන් ශරීරයේ මිටි බව ඇති කළ හැකි අතරම එය කායිකවත් මානසිකවත් තවදුරටත් බලපෑම් ඇති කළ හැකියි. අන්න ඒ නිසයි සැමවිටම දරුවෙකුගේ උසට සරිලන බර (BMI) පවත්වා ගැනීමට වැඩිහිටි අපි සැලකිලිමත් විය යුතු වන්නේ. දරුවෙකුගේ වර්ධනය නිසියාකාරව සිදුවෙනවාදැයි දැනගැනීමට ඇති හොඳම මිනුම් දණ්ඩ වන්නේ එයයි. මේ නිසා දරුවන්ගේ වර්ධනය ක්‍රමවත්ව මිනුම්ගත කිරීම ඉතා වැදගත් වේ. මෙම මිනුම් දණ්ඩට අනුව විටින් විට ක්‍රමානුකූල මැනීමක් සිදුකරගත යුතු අතර එය දරුවාගේ වයසට සරිලනවාද නැද්ද යන්න තීරණය කළ යුතුය.

දරුවාගේ උස සහ බර නිවැරදිව මැන සෞඛ්‍ය වර්ධන සටහනක ක්‍රමානුකූලව සටහන් කිරීම මගින් දරුවාගේ වර්ධන වේගය නිසි ලෙස සිදුවනවාද අඩු බර තත්ත්වයක්ද? නැද්ද? යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට දෙමව්පියන්ට හැකියි. සාමාන්‍යයෙන් මන්දපෝෂණය, විටමින් සහ ඛනිජ ඌනතා, පණු රෝග, වෛරස හෝ වෙනත් අසාදනවලට නිරන්තර ගොදුරු වීම දරුවෙකුගේ අඩු බර තත්ත්වයන් ඇති වීමට ප්‍රධාන ලෙසම බලපායි. මීට අමතරව දෙමව්පියන්ගේ වැරදි ආකල්ප සහ අවිද්‍යාත්මක මතභේද ද මෙම තත්ත්වයට හේතු වේ. උදාහරණයක් ලෙස ළදරුවෙකුට මුල් ආහාර පටන් ගැනීමේදී දියාරු අඩු බත් තලපයක් ලෙස කැවීම වැඩිපුර පෝෂණයක් ලබා දේ.

ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ දරුවාගේ ශරීර වර්ධනයට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි. දරුවාට අවශ්‍ය ආහාර වර්ග තෝරාගැනීමේදී සහ ඒවා පිළියෙල කිරීමේදී විශේෂ අවධානයක් ලබා දිය යුතු වන්නේ ඒවා පිසීමේදී අත්‍යවශ්‍ය පෝෂක විනාශ නොවන ලෙස සකස් කළ යුතු නිසාමය. අඩු බර සහිත දරුවන්ට අවශ්‍ය කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා පිරිසිදු පොල්තෙල් හෝ වෙනත් එළවළු තෙල් වර්ගයක් යොදාගත ආහාර සකස් කිරීම සුදුසුය.

ඔබේ පැටියාටත් සමබල ආහාර වේලක්

එනම් කබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, මේද කොටස්, යකඩ, විටමින්, අයඩින්, ඛණිජ ලවණ අවශ්‍ය පමණට ඇතුළත් ආහාර වේලකි.  ඒ සඳහා සුදුසුම ක්‍රමය ආහාරවල විවිධත්වය වැඩි කරගැනීමයි. ගෙවත්තේ වැවිය හැකි සහ පහසුවෙන් මිලදී ගතහැකි එළවළු සහ පලා වර්ග දරුවාගේ ආහාරයට එකතු කරගැනීම වඩා ලාභදායක වගේම පෝෂණීය ගුණයෙන් අනූන වනවා සේම වස විසෙන් තොරය.එසේම දරුවා රෝගී අවස්ථාවකදී ශරීරයේ පවතින අනිවාර්ය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය නිසා හැකිතාක් ගුණාත්මක ආහාරම ලබාදීම වඩාත් සුදුසුය.

දරුවන්ට විශේෂිත පෝෂක වර්ග අවශ්‍ය වන විවිධ වූ වයස් ඛාන්ඩයන් පවතී. සාමාන්‍යයෙන් දරුවෙකුගේ මුල් අවුරුද්ද තුළ වර්ධන වේගය ඉහළ වේ. නමුත් ළදරුවාට පවතින්නේ ඉතා කුඩා ආමාශයකි. එනිසා වර්තමානයේ බොහෝ දෙමව්පියන් බඩ පිරුණ විට දරුවා දෙන ඉඟි තේරුම් ගැනීමට නොහැකිව දරුවාට බලෙන් කෑම කැවීමට උත්සහ දරයි. එය නුසුදුසු ක්‍රියාවක් වන අතර එතුළින් දරුවාට ආහාර අප්‍රිය වීමක් සිදුවිය හැක. එනිසා දරුවෙකුට එක වර ආහාර ලබාදීමට වඩා යෝග්‍යවන්නේ විටින් විට ආහාර සුළු වශයෙන් ලබාදීමයි. මීළඟට පැමිණෙන අවුරුදු 1ත් 5ත් දක්වා වයස් සීමාවේදී දරුවන් ඉතා ක්‍රියශීලීය. එමෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට ද කැමැත්තක් දක්වයි. එබැවින් තනිව ආහාර ගැනීමට ද ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු වේ. ඉන් පසුව ඔබ කැවීමට ගැනීම වඩාත් සුදුසුයි. ප්‍රධාන ආහාර වේලකට පසුව ගුණාත්මක අතුරුපසක් ලබාදීමද මෙහිදී වඩාත් හොඳයි. ආහාර වර්ග සීත හෝ උෂ්ණ යැයි සිතා වර්ග කිරීම නොකළ යුතුය.

ලිංගික පරිණත භාවයන් සමග ශීඝ්‍රයෙන් දරුවෙකුගේ උස සහ බර වැඩිවීමට පටන් ගන්නා වයස නව යොවුන් වියයි. කුඩා ළදරු සමයේ මෙන්ම මෙම වයසේදීද ඇතිවන පෝෂණ අවශ්‍යතා නිසි ලෙස හඳුනා නොගැනීමෙන් ඔවුන් තුළ අඩු බර තත්ත්ව ඇති වීම මෙන්ම විවිධ රෝග තත්ත්ව සහ අසාදනවලට ගොදුරු වීමේ අවධානමක් ද පවතී. විශේෂයෙන්ම මෙම කාලය ගැහැනු දරුවන්ගේ මාසික ඔසප් වීම ඇරඹෙන සමයක් බැවින් වැඩිපුර යකඩ සහිත ආහාර ලබාදීම සුදුසු වේ. මස්, මාළු, එළකිරි, බිත්තර නම් ඒ සඳහා වඩාත් සුදුසුයි. නමුත් නිර්මාංශ ආහාර ගන්න දරුවෙක් නම් එළවළු, ධාන්‍ය වර්ග, පලා වර්ග වැනි ආහාර ලබාදිය හැක. එමෙන්ම ආහාරවල ඇති යකඩ අවශෝෂණය වැඩි කිරීම සඳහා විටමින් සී සහිත දෑ එනම් දෙහි යුෂ ආහාරවලට එකතු කිරීමද වඩාත් යෝග්‍ය වේ. නව යොවුන් වියේ දරුවන්ගේ අස්ථි ශක්තිමත් වීම සඳහා කිරි ආහාර වර්ග, කටු සහිත පුංචි මාළු වර්ග, ඇට වර්ග සහ පලාවර්ග වැනි කැල්සියම් බහුල ආහාර ගැනීමද ඉතා වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි.

 

නවජ දරුවකුගේ මුත‍්‍රාවල අසාමාන්‍යතා ගැන ඔබ දැනුවත්ද?

නව ජන්මයා ඉපදී පළමු කොටම ඇත් කරගන්නා ප‍්‍රතීක ක‍්‍රියා අතර ඉරීම හා ගිලීම ප‍්‍රතීක‍්‍රීය ප‍්‍රමුඛ වේ. මේ අනුව දරුවා මව්කිරි උරාබීමත් ඒ මගින් තම ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් ලබාගැනීමට මෙන්ම ඉන්ද්‍රීයයන් නිසි පරිදි ක‍්‍රියා කිරීමටද අවස්ථාව සැලසේ.

මව්කිරි වල 80% ක ප‍්‍රමාණයක් ඇත්තේ ජලය නිසා හොඳින් කිරි උරා බිව් දරුවකුගේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් මෙන්ම ජලයද අවශ්‍ය පමණට ලැබේ. මෙම ජල කොටස් වකුගඩු මගින් පෙරා බහිස‍්‍රාවීය ඵල ශරීරයෙන් පිට කිරීමේදී හොඳින් ක‍්‍රියාත්මක වීමට නම් වකුගඩුවලින් පෙරීමේදී එහි සාන්ද්‍ර තත්ත්වය නියමිත මට්ටමක ළඟා  වීමට ඒ හා සම්බන්ධ ලවණ දියවීමට ප‍්‍රමාණවත් තරමට ජලය ශරීරයට ලැබිය යුතුමයි. මේ සඳහා අවශ්‍ය පමණ ජලය මව්කිරිවල අඩංගුව නිෂ්පාදනය වන නිසා හොඳින් මව්කිරි ලබාදීම සිදුකළ යුතුයි. එසේ නොවන විට අවශ්‍ය පමණට ජලය නොලැබීම නිසා මුත‍්‍රාවල සාන්ද්‍රතා ප‍්‍රමාණය වෙනස් වී මුත‍්‍රාවල පැහය ලා කහ සිට තද කහපාට  දක්වා වැඩි වීමට හැකි අතර මේ සමග ජන්මයාද විජලනයට පත්වේ.

හොඳින් කිරි උරා බිව් දරුවෙකු දිනකට හයහත් වතාවකට වඩා වැඩි ප‍්‍රමාණයක් මුත‍්‍රා පිටකරන අතර පිටවන මුත‍්‍රා අවර්ණ පැහැයක් ගනී. කිරි බීම අඩුවන විට මුත‍්‍රා කහ පැහැවීම මෙන්ම පිටවන මුත‍්‍රා වාර ගණනද අඩුවේ. මුත‍්‍රා වල කහ පැහැවීමට දරුවා බොන කිරි ප‍්‍රමාණය බලපාන අතරම මවගේ හා දරුවාගේ ලේවල නොගැලපීමක් වේ නම් එයද බලපෑ හැකියි. මීට අමතරව වකුගඩු හෝ අක්මාවේ පැවතිය හැකි ක‍්‍රියාකාරීත්වයේ ගැටලු මතද මෙවන් තත්ත්ව ඇතිවිය හැකියි. මෙවන් විටකදී හොඳින් කිරි උරා නොබොන දරුවකු නම් ඔහුට මව්කිරි දීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කළ යුතු මෙන්ම හොඳින් කිරි බොන දරුවකු නම් වෙනත් රෝග තත්ත්ව කිසිවක් ඇත්දැයි වෛද්‍ය පරීක්‍ෂාවක් සඳහා යොමු කිරීම වැදගත් වේ.

මීට අමතරව සාමාන්‍ය දරුවකු මුත‍්‍රා පිටකිරීමේදී හොඳින් විද පිට කිරීම සිදු කරන අතර මුත‍්‍රා මාර්ගයේ යම් යම් අසාමාන්‍යතා හෝ ගැටලු අවස්ථාද තිබිය හැකි හෙයින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම වැදගත් වේ. පිරිමි දරුවකුගේ නම් මුත‍්‍රා මාර්ගික විවරයක් හෝ ආසන්නයේ පවතින ඝන වීමක්/පටුවීමක් නිසාද මුත්‍රා පිටකිරීමේ අපහසුතා ඇති විය හැකි අතරම ශිෂ්නයේ පෙර සිට මුත‍්‍රා මාර්ගික විවරය ආවරණය වී තිබීම නිසාද මුත‍්‍රා පිට කිරීමේ අපහසුතා ඇති විය හැකි හෙයින් මෙවන් අවස්ථාවලදී සෞඛ්‍ය සේවකයෙකුගේ මැදිහත් වීමක් මගින් හෝ වෛද්‍ය උපදෙස් වෙත කෙලින්ම හෝ යොමු වීම වැදගත් වේ.

අලුත උපන් බිළිදකුගේ නිරෝගී පැවැත්ම හඳුනාගැනීමට මුත‍්‍රාවල පැහැය සේම පිටකරන වාරගණනද අපහසුවකින් තොරව පිටකරන්නේද යන්න පිළිබඳව සැලකිල්ල යොමු කළ යුතු අතරම හඳුනාගන්නා තත්ත්ව ඉක්මණින් නිවැරදි කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමද ඉතා වැදගත් වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

පියයුරුවල කිරි තැම්පත් වීමෙන් මව්වරුන් මුහුණ දෙන පීඩාකාරී තත්ව

දරුවකුගේ ප‍්‍රශස්ත වර්ධනය සහ විකසනය සඳහා ප‍්‍රධානම ලෙස වැදගත් සාධකය වනුයේ මව්කිරිය. විද්‍යාත්මක සාක්‍ෂි මත පදනම් වූ ජගත් මහජන සෞඛ්‍ය නිර්දේශයක් වන්නේ මෙම ප‍්‍රශස්ත වර්ධනය දරුවා වෙත ලඟා කරවීමට නම් ඉපදී මුල් මාස 6 මව්කිරෙන්ම පමණක් දරුවා පෝෂණය කළ යුතුය යන්නයි. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට සෑම මවක් විසින්ම දරු ප‍්‍රසූතියෙන් පසු ඉක්මණින් මව්කිරිය දීම ආරම්භ කළ යුතුමයි.

මව්කිරි ලබාදීමට ප‍්‍රමාද වීම හේතු කොටගෙන දරුවා හා පියයුර අතර සම්බන්ධතාවය දුර්වල වීමත් පියයුරු තුළ ඇති කිරි නිසි ලෙස හිස් නොවීමත්, කිරි ඉවත් කිරීමේ යාන්ත‍්‍රණය ක‍්‍රමවත් නොවීමත් හේතු කොටගෙන පියයුරු තුළ කිරි එකතු වී තද වීමට ලක්වේ. මෙය සිදු නොවීමට නම් ප‍්‍රසූතිය සිදු වී වහාම දරුවා පියයුර වෙතට ගෙන ඒමත්, කිරිදීමේ ඉරියව් හා සම්බන්ධතාවය නිවැරදි වීමත් සිදුවිය යුතුමය. එසේ නිවැරදි නොවන විට පියයුරු තුළ නිෂ්පාදිත කිරි ඉවත් වීමේ ක‍්‍රියාවලිය සිදු නොවන නිසා කිරි නාලවල හිරවී පැවතීමත් කිරි කැටි ලෙස හිරවී පැවතීමත් සිදුවේ. මෙවිට පියයුරු තද ගතියකින් යුක්ත වන අතර මොලොක් ගැට ලෙස අසුවීම දැකිය හැකි අතරම පියයුරු ඉදිමීම, රතුවීම හා දිලිසීම දක්නට ලැබේ. මේ තත්ත්වය මවට වේදනාකාරි වන අතරම මේ කිරි නාල තුළ ඇතිවන අවහිරතාවය තුවදාහය හෙවත් මැස්ටයිටීස් නම් ලෙසින් හඳුන්වනවා. මේ තත්ත්වය මතම බැක්ටීරියා වැනි ආසාදන තත්ත්වයක්ද ඇති වුවහොත් මවගේ වේදනාව වැඩි වන අතරම මවට උණ ඇතිවීමටත් පුළුවන. මෙවන් විටකදී වෛද්‍ය උපදෙස් කරා යාමද අනිවාර්ය වන්නේ ඇති වූ තත්ත්වය තවදුරටත් ආසාදිත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් එම ආසාදිත තත්ත්වය ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවන හෙයින් එම තත්ත්වය ආසාදිත කුඩදාහය ලෙසින් හඳුන්වනු ලබනවා.

කිරි තද වීම ඇතිවන විටම තේරුම්ගත යුතු වන්නේ කිරි නිෂ්පාදනය හොඳින් සිදුවන බව හා එම නිෂ්පාදිත කිරි පිට කිරීම හොඳින් සිදු නොවන බවයි. මේ තත්ත්වයට හේතු සොයා බැලීම මවගේ මෙන්ම දරුවාගේද සෞඛ්‍යයේ පළමු පියවරයි.

සෑම ප‍්‍රසූත මවක්ම දරුවාට කිරි දීම සඳහා දරුවා ඉරියව් කරගැනීමත්, නිවැරදි සම්බන්ධයක් ගොඩනගා ගැනීමත් අවශ්‍ය වෙයි. මේ සඳහා පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ සහය ලබාගැනීම වැදගත් වේ. මවගේ නොදැනුවත්කම මත ගලායන කිරි සඳහා බාධක වන සේ තන මඩල මත ඇඟිලි තබාගෙන ඇති නම් හෝ මව තදට තනපටක් භාවිත කරයි නම් එම වැරදි වහා නිවැරදි කිරීමෙන් මව හා දරුවා ස්ථාපිත කිරීම නිසි ලෙස සිදුකර දරුවාට හොඳින් කිරි උරා බීමට සැලැස්වීමත් කළ යුතුයි. එසේම දරුවාට කිරි උරාගැනීමට නොහැකි ලෙසට කිරි තදවී ඇත්නම් මද රස්නය ඇතිව පියයුර තැවීමත් තද වී ඇති කිරි දොවා ඉවත් කිරීමෙන් අවහිර වූ ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කිරීමත් කළ හැකි අතරම කිරි දෙවීමෙන් හෝ දරුවාට බීමට දීමෙන් පසු සිසිල් වෙළුමකින් ඔතා පියයුරු වේදනාවට සහනයක් ලබාදිය හැකියි. තද වී ඇති ප‍්‍රදේශයේ සිට තන මඩල දෙසට සම්බාහනය කරන විට කිරි කැටි ලෙසම පහළට ගලාවිත් පිට වීමක් වුවද සිදුවිය හැකියි.

එසේම හේතුවක් සොයාගැනීමට අපහසු අවස්ථාවලදී වුවද මව හා දරුවා ආසන්නයේම සිටීමට සැලැස්වීමෙන් දරුවාට අවශ්‍ය වූ විට කිරි දීමට හැකි පසුබිමක් සකසා දීමද සුදුසු පියවරකි.

වේදනාවට පත් පියයුරෙන් කිරි දීමට ඇරඹීමත් සමග ඔක්සිටොක්සින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීම ඇරඹීම නිසා මේ තත්ත්වය මගහරවා ගත හැකියි.

දරුවාට කිරි උරාබීමට අපහසු තරම් තද වී ඇති විට එම කිරි ඉවත් නොකිරීම නිසා සැරව ගෙඩි හෝ තුවාල වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි. පියයුරේ පිරී ඇති කිරි ගලායාම දියුණු තත්ත්වයට පත් වූ විට මෙම තත්ත්වය පහවී යනු ඇත.

මව මුල් අවස්ථාවේ සිටම දරුණු ලෙස රෝග ලක්‍ෂණ පෙන්වයි නම් හෝ විෂබීජ ඇතුළු විය හැකි තුවාලයක් හෝ පැල්මක් ඇත්නම් කිරි ගලා ඒමට සලස්වා පැය 24 කට පසු සුව තත්ත්වයට පත් නොවේ නම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

සායනයෙන් ලබාදෙන විටමින් A අධි මාත‍්‍රාවේ වැදගත්කම මෙන්න

ශ‍්‍රී ලංකාවේ හඳුනාගත් සෞඛ්‍ය ගැටලු අතර මූලික තැනක් හිමිවන්නේ පෝෂණ තත්ත්වයේ ගැටලු මත ඇති කරන සෞඛ්‍ය ගැටලුය. මේවා දෙස විමසුම් සහගතව බැලීමේදී ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අවශ්‍ය පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පැහැදිලි වේ. මෙහිදී සාමාන්‍ය පරිදි දරුවන්ගේ හෝ අන් අයගේ උස මැනීම, බර මැනීම හා උසට සරිලන බර ගණනය කිරීම මගින් වර්ධනය පිළිබඳ තක්සේරුවකට එළඹිය හැකි වුවද ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා පිළිබඳව මීට වඩා වෙනස් විදියකට බැලිය යුත්තේ උසට සරිලන නිවැරදි බරක් පවතින්නන් තුළ පවා ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා හේතු කොටගෙන ඇති කරන දුර්වලතා දීර්ඝ කාලීනව ජීවිතයට එල්ල කාරන තර්ජන නිසාවෙනි.

ජීවිතයේ ක‍්‍රියාශීලි යහපැවැත්මට බාධා එල්ල කරන ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා අතර යකඩ ඌණතාවය, අයඞීන් ඌණතාවය මෙන්ම විටමින් A ඌණතාවයද සැලකිය යුතු මට්ටමක පැවතීම රටක් ලෙස අප මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයකි. මේ ක්‍ෂුද්‍ර පෝෂක ඌණතා වළක්වා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අතර විටමින් A ඌණතාවය වළක්වා ගැනීම සඳහා ද සඵලමත් ක‍්‍රමවේදයක් අප රටේ භාවිත වේ. ඒ නම් ළදරු ළමා සෞඛ්‍ය කටයුතු නංවාලන සියලු රජයේ සායන හා සත්කාරක සේවාවන් සපයන රෝහල් හරහා උපතේ සිටම විටමින් A අධි මාත‍්‍රාවක් ලාබදීමට පහසුකම් සලසා තිබීමයි.

උපතේදී දින 7 ක් ඇතුළත මවට විටමින් A අධි මාත‍්‍රාව ලබාදීමෙන් මව්කිරි හරහා දරුවාට විටමින් A ලබාදීම ද දරුවනට මාස 6 පංච සංයුජ එන්නත, වසරක් සපිරුණු විට ජපන් නිදිකර්පර ප‍්‍රදාහ එන්නත, මාස 18 දී ති‍්‍රත්ව එන්නත, වසර 3 ක් සපිරුණු විට සරම්පල රුබෙල්ලා හා කම්මුල්ගාය එන්නත හා අවුරුදු 5 දී ද්විත්ව එන්නත සමග විටමින් A අධි මාත‍්‍රාවක් ලබාදීමද මීට අමතරව වයස අවුරුදු 2, 2 1/2, 4 හා 4 1/2 දී ද  විටමින් A අධිමාත‍්‍රාව වසර 5 දක්වාම ලබාදේ.

මෙසේ විටමින් A ලබාදීම වැදගත් වන්නේ කෙසේදැයි විමසුමට ලක් කිරීමේදී ශරීරයේ සෛල බෙදීම හා විශ්ලේෂණය කිරීම නිසි පරිදි සිදු කිරීමටත්, ඇස්වල පෙනීම සම්බන්ධවත්, හිස කෙස් හා ශ්ලේෂ්මවල පටලවල නිරෝගී පැවත්මටත් සෘජුවම සම්බන්ධතා දක්වන්නේ විටමින් A බවත් මෙන්ම ශරීරය තුළ ප‍්‍රති ඔක්සිකාරකයක් ලෙසද එය ක‍්‍රියාත්මක වේ. මේ කාර්ය භාරය ඉටු කිරීමට අවශ්‍යතා සම්පූර්ණව නොමැති වීම නිසා ශ්වසන රෝග, පාචනය, සරම්ප හා මැලේරියාව වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යාමක් සිදු වේ.

සත්ව ආහාර වල විටමින් A වැඩිපුරම අඩංගු වන අතර තද කොළ හා පහ පැහැති එළවළුවලද බහුලව පවතී. සත්ව ආහාරවල ඇති විටමින් ශරීරයට උරාගැනීම පහසුවෙන් සිදුවනවා සේම තෙල්වල දියවන විටමිනයක් හෙයින් ආහාර සැකසීමේදී තෙල් එකතු කිරීමෙන් ද අවශෝෂණය වැඩි කරයි.

ආරම්භක මව්කිරිවල එනම් මුලින්ම එරෙන කිරි වන කොලෙස්ටෙ‍්‍රම් වල විටමින් A බහුලව අඩංගු හෙයින් මෙය දරුවාට ලබාදීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රියාවලිය ප‍්‍රශස්ත වනවා සේම රෝගවලට  එරෙහිව ප‍්‍රතිශක්තියද වඩවාලයි. මේ හෙයින් දරුවාට මුල් මාස 6 මව්කිරි පමණක් මෙන්ම ඉපදී මුල් වසර 2 තුළ අමතර ආහාර සමග මව්කිරි ලබාදීම දරුවාගේ ශරීරයේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු නංවාලයි.

විටමින් A නිසා ඇතිවන ඇස්වල අන්ධභාවය ලංකාවේ දැකිය නොහැකි වුවද ශ්වසන රෝග බහුල ලෙස දක්නට ලැබෙන හෙයින් දරුවාට මෙම ක්‍ෂුද්‍ර පෝෂක වන විටමින් A නිසි ක‍්‍රමවේදයක් අනුව ලබාදීමෙන් පෝෂණ ඌණතාවය අවම කළ හැකි වේ.

මෙම සුවිශේෂි වැඩසටහන්වල ඵලදායීතාවය ඇති වීමට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම දෙමාපිය භාරකරුවන්ද සෑම විටම මෙම වැසටහන් හා සක‍්‍රීය ලෙස සම්බන්ධ වී නියමිත පරිදි දරුවාට විටමින ලැබෙන බවට වගබලා ගැනීමෙන් මෙන්ම ආහාරයේ පෝෂණීය අගය පිළිබඳවද දැනුවත්ව සැලකිලිමත් වීම දරුවාගේ අනාගතය වෙනුවෙන් සිදුකරන මහඟුම ආයෝජනයක් වන්නේය.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනී ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අලුත උපන් දරු පැටියාට වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ මෙවිටයි

අලුත් උපන් දරු පැටියෙක් ගෙදරක ඉද්දි අම්මලාට ගැටලු බොහොමයක් පණ නගිනවා. ඒ වගේම පුංචි පුංචි දේටත් අම්මලා බියට පත්වෙනවා. අන්න ඒ නිසාම අලුත උපන් දරුවෙකු වෙත වැඩිහිටියන්ගේ සුවිශේෂී අවධානය යොමු වුණු අවස්ථා පිළිබඳව දැනුවත් වීම නම් බොහොම වැදගත්.

ශරීරයේ කුමන ස්ථානයක හෝ රුධිර ගැලීමක් ඇත්නම්,

දරුණු රුධිර ගැලීමකදී පහත රෝග ලක්‍ෂණ ඇති වුවද, එවැනි ලක්‍ෂණ නොපෙන්වා නොපෙනෙන /පෙනෙන රුධිර වහනයක්ද සිදුවිය හැක. එවිටද දරුවා ප‍්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

  • දරුවා සුදුමැලි පැහැයක් ගැනීම
  • ස්වසන අපහසුවක් ඇතිවීම
  • රුධිර පීඩනය අඩුවීම
  • කම්පන තත්ත්වය

ඉහත ලක්‍ෂණ වලට අමතරව රුධිර වහනය සිදුවන ස්ථානය අනුව ලක්‍ෂණ වෙනස් වේ.

පැය 24 ක් ඇතුළත දරුවා අත්ල , විලුඹ පරයක ප‍්‍රදේශයේ ව්‍යථවේදීය කාමලාව (pathological Jaundice) පෙන්වයි නම්,
  • රුධිරයේ බිලි රුබින් මට්ටම 5m/dl/day (85mmol/day) හෝ පැයකදී 5mg / dl (8.5Mmol) වැඩිවීම
  • දරුවාගේ උදරය, අත් හා පාද කහපැහැවීම
  • නිදිබරගතිය (Drowsiness)
  • කිරි උරාබීම දුර්වල වීම
  • එකවර (හේතුවන් පෙනීමට නොමැතිව) හයියෙන් හැඞීම (High pitied cry)
පැය 24 ක් ඇතුළත මල හෝ මුත‍්‍රා පහ නොවීම

මෙහිදී විශේෂ ලක්‍ෂණයක් ඇති නොවේ. මල හෝ මුත‍්‍රා පහනොවීමක් දැකිය හැක. දරුවා මව්කිරි බීම අඩු වූ විටද මුත‍්‍රා පහවීම අඩුවිය හැකි නමුත් ඉපදී පැය 24 ක් තුළදී මුත‍්‍රා පහවීම සිදුවිය යුතුය. මල හෝ මුත‍්‍රා පිටවන මාර්ගයන්හි යම් ආබාධ ඇති වූ විටද මෙම තත්ත්වය ඇතිවිය හැක.

අඛණ්ඩව පවතින වමනය

වමනය සිදුකරන ස්වභාවය ගැන සැලකිලිමත් විය යුතුය. උදා: එකවර විදීමක් ලෙස පිටතට පැමිණේද යන්න (projective vomiting)

වමනයෙහි පැහැය – කහ, කොළ, රතු ආදී

කිරි උරාබීම අඩුවීම (Poor Sucking)
  • ස්වසන ආසාධනයක් නිසා නාසය අවහිරවීම (උදා: සෙම්ප‍්‍රතිශ්‍යාව)
  • මුඛයේ ඇතිවන ආසාධන (Candida)
  • ප‍්‍රියතාවය අඩුවීම
  • දරුවා වේදනාවෙන් පෙළෙයි නම්
  • විජලනය වීම
  • කාමලාව තත්ත්වය උග‍්‍ර වීම
  • කිරිදීමේ නිවැරදි ක‍්‍රම භාවිතා නොකිරීම
හේතුවක් නොමැතිව ක‍්‍රියාකාරී බව අඩුවීම

බොහෝ විට මෙය රෝග තත්ත්වයක ලක්‍ෂණ විය හැක. උදා: ආසාධන, ප‍්‍රකිත තත්ත්වය, ආක්ෂේප තත්ත්වයක් ඇති වූ විට.

අධික ලෙස හැඞීම

මෙයට හේතු ලෙස,

  • අධික බඩගින්න
  • දරුවාට නිසි ලෙස කිරි නොපෙවීම
  • ආක්ෂේප ඇති වීමට පෙර
  • වරින් වර වේදනාවක් ඇති වීම
  • අධික උණුසුම හෝ සීතලකදී
  • මල මුත‍්‍රා පහකර ඇති විට
අධික ලෙස ඛේටය ශ‍්‍රාවය කිරීම
  • මුඛයේ හෝ උගුරේ ආසාධන
  • ශුණ්ඩිල දාහය (Tomsilitis)
  • යමක් උගුරේ සිරවූ විට
  • ආක්ෂේප
ස්වසන අපහසුතා
  • පෙනහලු තුල Surfactant නම් රසායනිකය නොමැති වීම / අඩුවීම
  • උපතේදී ඇතිවන නියුමෝනියාව
  • දරුවා සීතල වීම හෝ රුධිරයේ සීනි ප‍්‍රමාණය අඩු වූ විට
  • දරුවාගේ මළ (Surfactant) පෙනහලු තුළට ඇතුළු වීම (Meconium Aspiration)
  • හෘද රෝග
  • පිරවෘත්තීය ආබාධ
  • ස්වසනය නැවැත්වීම (Apnoea)
  • දරුවා නිල් පැහැවීම (Cyauosis)
හදිසියේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම
  • ප‍්‍රතික තත්ත්වය (Septicemia)
  • ආසාධනය
  • කිරිබීම අඩුවීම (විජලනය නිසා)
ආක්ෂේප තත්ත්ව
  • දරුවා බිහිවීමේ ඔක්සිජන් අඩුවීම/නැතිවීම
  • පරිවෘත්තීය රෝග (උදා: මන්ද මධුරක්තිය, කැල්සියම් අඩුවීම)
  • අන්තර් කපාල ආසාධන
  • මොළය වර්ධන දුර්වලතා
රුධිරයේ සීනි ප‍්‍රමාණය අඩුවීම – Hypoglycemia
  • රුධිරයේ සීනි මට්ටම 40 mgldl ප‍්‍රමාණයට වඩා අඩුවීම
  • නොමේරූ බර අඩු (22kg ට වඩා) අඩුවීම
  • මවට මධුමේහය පවතී නම්
  • ප‍්‍රතික තත්ත්වය
  • කම්පනය
  • ස්වසන අපහසුව
  • මන්දතාපය (ශරීර උෂ්ණත්වය අඩුවීම)
  • උපන් විගස කිරිදීම ප‍්‍රමාද වීම

ඉහත රෝග ලක්‍ෂණවලින් එකක් හෝ කිහිපයක් පෙන්වයි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව මතකයේ රඳවා ගන්න.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය E.M.S. ඒකනායක මහතා සමග සකසන ලද ලිපියකි

 

පිරිමි දරුවන්ට වඩා ලියන, කියවන හැකියාවන් ගැහැණු දරුවන්ට වැඩියි

ගැහැණු පිරිමි දරුවන්ගේ ගති පැවැතුම් අතර අපි විවිධ වෙනස්කම් දකිනවා. අපි මතුපිටින් දකින මේ වෙනස්කම් පිටුපසින් දිවෙන ජෛව විද්‍යාත්මක සංසිද්ධීන් තිබෙන බවත් අමතක කරන්න හොඳ  නැහැ. සමහර විට එක බඩවැල කඩා ගෙන ආවත් ගැහැනු පිරිමි දරුවන් අතර විවිධ වෙනස්කම් තිබෙන්න පුලුවනි. මේ වගේ අවස්ථාවන් අපිට හොදින්ම හුරු පුරුදුයි.

“අපේ දුවට නම් ඔය වයස වෙද්දී පුංචි කතා පොතක් තනියම කියවන්න පුලුවනි. වචන කීපයක් එකතු කරල වාක්‍ය ලියන්නත් පුලුවනි. ඉස්සර අපේ නංගිලාටත් ලියුම් යවනවා. ඒ වුනාට අපේ පුතාට තවම අකුරු දෙක තුනක වචනයක්වත් තනියම කියවා ගන්න බැහැ…” දෙමව්පියන් විදිහට ඔබ මේ වගේ ප්‍රකාශයක් කරන්නේ බොහොම වේදනාවෙන් විය හැකියි. ඒත් ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

පසුගිය දිනක “ඔස්ට්‍රෙලියාවේ ග්‍රෆිත් විශ්ව විද්‍යාලය” මගින් සිදු කරන ලද අධ්‍යන වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම අධ්‍යනය වෙනුවෙන් පර්යේෂකයින් කීප දෙනෙක් සම්බන්ධ වුනා. ඔවුන් ඩේවිඩ් රෙයිලි, ඩේවිඩ් එල් නිව්මන් සහ ග්ලැන්ඩා ඇන්ඩෘස් යන තිදෙනායි. මෙම අධ්‍යනය වෙනුවෙන් ද්විතියික අධ්‍යාපනය  ලබන දරුවන් මිලියන හතරක් සම්බන්ධ කර ගත්තා.

අධ්‍යාපනය ලබන දරුවෙකුට ඉගෙණුම් කාර්යට සම්බන්ධ වීමට නම් කියවීම, ලිවීම, සවන්දීම සහ කතා කිරීම යන කුසලතාවයන් හතරම සමබර විදිහට තිබෙනවා නම් වඩාත් හොඳයි. ඒත් මේ අධ්‍යනයට සම්බන්ධ වුන දරුවන් අතරින් පර්යේෂණ කණ්ඩායම යම් විශේෂයක් දැක්කා.

ඔවුන්ට පෙනී ගිය අන්දමට පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කියවීම සහ ලිවීම විෂයෙහි වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කලා.

පර්යේෂකයන්ට හේතුව සොයන්න අවශ්‍ය වුනා. මේ අන්දමින් පිරිමි දරුවන් කියවන ලියන කටයුතුවලදී ගැහැණු දරුවන්ට වඩා පසුගාමී වීමටත් හේතුවක් ඇති නේ… පර්යේෂකයින් කල්පනා කලා. ඔවුන්ට එහිදී පෙනී ගියේ ගැහැණු දරුවන් මොළයේ කලාප දෙකම ප්‍රයෝජනයට ගන්නා අතර පිරිමි දරුවන් මොළයේ එක් කලාපයක් පමණක් පරිහරණයට යොමුව සිටින බවයි.

ලියන්න කියන්න නොදැන සිටියොත් අපහසුතාවයක්

ලිවීම සහ කියවීම වෙනුවෙන් පසුගාමී වීම ප්‍රාථමික අධ්‍යාපනයට පමණක් නොව, ද්විතියික සහ එතැනින් පසුව උසස් අධ්‍යාපනයටත් විශාල ලෙසින් බලපානවා. අදහස් තවත් කෙනෙකුට සන්නිවේදනය වීමට හොඳම මාධ්‍ය විදිහිට ලිවීම සැලකෙනවා. විශේෂයෙන් අපේ රටේ වගේ ප්‍රශ්න පත්තරවලට පිළිතුරු  ලිවීමෙන් බුද්ධිය මැන බලන අවස්ථාවන්හිදී එයින් ඇති වෙන අවාසිය සුලු පටු නැහැ. ප්‍රශ්නයට ගැලපෙන විදිහට පිලිතුරු ලිවීමට වගේම විෂය සහ විෂය සමගාමී දැණුම සොයන, විමසන කටයුතු වෙනුවෙනුත් කියවීමට තිබෙන හැකියාව ප්‍රධාන වශයෙන් බලපානවා. මෙම අධ්‍යන වාර්තාව American Psychological Association මගින් ප්‍රකාශයට පත් කළ අතර ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන ප්‍රගතිය පිලිබඳ දත්ත පදනමටත් එකතු කර තිබෙනවා.

මොළයටත් ව්‍යායාම ටිකක්

මේ ගැන කරුණු කාරනා අතරට ලෝරන්ස් ජේ කැම්ප්ස් සහ මැනින්ග් රුවින් විසින් රචිත “කීප් යුවර් බ්‍රේන් යන්ග් (Keep your brain young)” ග්‍රන්ථයේ දැක්වෙන උපදෙස් අපිත් අත්හදා බලමුද…?

නුහුරු අතින් දත් මදින්න : 

ඹබට හොඳින් හුරුව තිබෙන්නේ දකුණතින් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෛකුත් කටයුතු , දකුණතින් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෙකුත් බුරුසුව ගෙන දත් මැදීමට සහ ඒ වෙනුවෙන් වූ අනෙකුත් කටයුතු දකුණතින් සිදු කිරීමයි. නුහුරු අතකින් මේ කටයුතු කරන විට මොළයේ විරුද්ධ පැත්ත උත්තේජනය වෙන බව පර්යේෂකයින්ගේ අදහසයි.

දෛනික කටයුතු රටාව වෙනස් කරන්න :

එකාකාර ජීවන රටාවෙන් අත් මිදුනේ නැත්නම් ජීවිතයේ කිසිම රසවත් බවක් නැහැ. අපි නිතරම විවිධ අත්දැකීම් ලබා ගත යුතුයි. එකාකාරව කටයුතු කරන විට මොළයේ සෛලත් ඒ විදිහට කටයුතු කරනවා. ඒත් අපි එකාකාර රටාවකින් මිදුන විට ජීවන රටාවේත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා.

චිත්‍ර අඳින්න :

ඔබට සිතුවම් අදින්න හැකියාවක් තිබෙනවා නම් විවිධ වර්ණ සහ හැඩතල සම්බන්ධ කර ගෙන සිතුවම් අඳින්න. පොතක් හෝ කවියක් හඬ නගා කියන්න. එසේත් නැත්නම් තවත් කෙනෙක් කියන විට අසාගෙන ඉන්න. මේ කටයුතු වලින් මොළයට මනා ව්‍යායාමක් ලැබෙන බව පර්යේෂකයින්ගේ අදහසයි.

නිතර පෙනෙන දෙයක් උඩුකුරුව තබන්න :

ඔබේ ආලින්දයේ තිබෙන ඡායාරූපයක් හෝ මේසය මත තිබෙන ඔරලෝසුව උඩුකුරුව තබන්න. මෙවැනි වස්තූන් ක්‍රමානුකූලව , පිලිවෙලකට තබන විට ඒ වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. එහෙත් අක්‍රමවත් විදිහට තැබීම නිසා මොළයේ දකුණු අර්ධයත් ඒ වෙත යොමු වෙනවා. ඒ නිසා මොලයේ සෛලවලට ව්‍යායාමයක් ලැබෙනවා.

හොඳින් නිරීක්ෂනය කරන්න :

යමක් දෙස අනවධානයෙන් බලනවාට වඩා තියුණු විදිහට නිරීක්ෂනයේ යෙදෙන විට ඔබට වාසි දෙකක් ලැබෙනවා. එයින් එකක් නම් ඔබට නිවරැදි තීරණයක් ලබා ගන්න පුලුවනි. ඒ ඇයි කිව්වොත් ඔබ තියුනු විදිහට නිරීක්ෂණය කිරීම නිසා ඒ වාසිය ලැබෙනවා. අනිත් අතට ඔබේ මොළයේ සෛල වෙනුවෙන් නොදැනීම ඉතා හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.

මානව සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්න :

දරුවන්ටත් හොඳ සමාජ සම්බන්ධතාවයන් කුඩා කාලයේ පටන්ම තිබීම ඉතාම වැදගත්. මානව සම්බන්ධතාවයන් ගොඩ නැගනෙ විට දරුවාට වුනත් තමා හුදෙකලා නැතැයි යන සංකල්පය හිතේ ගොඩ නැගෙනවා. මෙය ඉතාම සුබවාදී ආකල්පයක්. ඒ විතරක් නොවෙයි, ස්නායු සෛල වෙනුවෙනුත් ඉතා හොද ව්‍යායාමයක්.

Science News හි සඳහන් girls read and write better than boys ලිපිය සහ Keep your brain young කෘතිය ඇසුරින්

 

දරුවා නිර්මාණශීලී වීමට දෙමව්පිය දායකත්වය අවශ්‍යයි

දරුවෙක් නිර්මාණශීලියි කියන්නේ ඔවුන්ට චිත්‍ර , නැටුම්, සංගීතය ඉගෙන ගැනීමට දක්වන හැකියාව පමණක් නොවෙයි. ජීවිතයේ තමන් ඉදිරියේ ඇති වෙන ගැටළු ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට තෝරා බේරා ගෙන විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඇත්තටම එය නිර්මාණශීලියි. මේ නිර්මාණශීලීත්වය ගොඩ නගා ගන්නේ කොහොමද…?

නිදහසේ තීරණ ගන්න දරුවාට අවස්ථාව දෙන්න

දෙමව්පියන් හිතන්නේ දරුවන්ට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැහැ කියල වුනත් ඔවුන්ගේ තීන්දු ගැනත් යම් මැදිහත් සිතකින් බලන්න. සෘජුවම මේවා අපිට ඕන විදිහට කියනවාට වඩා දරුවාගෙනුත් ඒ ගැන විමසලා ඔවුන්ගේ අදහස් සමග ගලපා බලන්න. එය ක්‍රියාත්මක කිරීමට අපහසු නම් ඒ අපහසුතාවයන් ඔවුන්ට පහදා දෙන්න. යම් ලෙසකින් එහි නොහැකියාවක්ම ඇත්නම් තවත් විකල්ප ගැන දරුවාගෙන් විමසා සිටින්න. ඒ විදිහට දරුවාත් සම්බන්ධ කර ගෙන තීරණ ගැනීමට ගන්නා උත්සාහය නිසා ඔවුන්ගේ මනසේ යම් යම් නිර්මණාත්මක සිතුවිලි ගොඩ නැගෙන අතර එය දරුවාගේ නිර්මාණශීලීත්වයට බෙහෙවින් බලපානවා. ඒ නිසා පවුලේ තීන්දු තීරණත් ඉතාම නිර්මාණශීලී වේවි.

දරුවා ස්වාධීන චරිතයක් බව සිතන්න

අපි නිතරම හිතන්නේ දරුවන් ගේ කාර්යන් වෙනුවෙන් අපේ සම්මාදම අනිවාර්යෙන්ම තිබිය යුතයි කියලා. ඒ අදහස වැරැදියි. දරුවන් යම් කාර්යක නිරත විට ඒ මැදට පැන ඔබගේ උපදෙස් අනුව කටයුතු කිරීමට විධාන කරනවාට වඩා ඔවුන්ට ඒ කටයුත්ත නිදහසේ කිරීමට ඉඩ දෙන්න. යම් වැරැද්දක් වූ තැනදී  පමණක් මේ දෙය සිද්ධ වුනේ මෙන්න මේ වැරැද්ද නිසා බව පහදා දෙන්න.

නිර්මාණයක් කිරීමේදී අගය කරන්න

දරුවා යම් නිර්මාණයක් කළ විට එය අගය කරන්න. හැකි විටෙක තැග්ගක් ලබා දීමත් සිදු වුනත් හැම අවස්ථාකදීම තෑග්ගක් ලබා දීම සිදු විය යුතු නැහැ. ඒ හැම  අවස්ථාවකදීම තෑග්ගක් ලබා දීමට උනන්දු වෙන්න එපා. එසේ වුනොත් දරුවා තෑග්ගක් නොමැතිව කිසිම නිර්මාණයක් කිරීමට යොමු නොවන තත්වයකට පත් වෙනවා. ඒ නිසා හැම විටම නොව හැකි සහ අවශ්‍ය විටක පමණක් තෑග්ගක් ලබා දෙන්න.

අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්න

වයස අවුරුදු නවයක් සහ දොළහක් පමණ වෙන විට දරුවා තම මිතුරන්ගේද ආභාෂය ලබනු ඇත. වටපිටාව හොදින් හදුනා ගනී. මේ නිසා දැන් ඔහුට යමක් නිවරැදිව කළ හැකියි. ඒ නිසා දරුවාගේ නිර්මාණශීලී කටයුතුවලට අවශ්‍ය අමුද්‍රවය ලබා දෙන්නෙත්. අතීතයේ බොහෝ දරුවන් වෙසක් තොරන්, මිහිදු පෙරහැර වැනි කටයුතු ගමේ වැඩිහිටියන්ගේ සහ දානපතිනගේ සහයෝගයෙන් කළත් අද දරුවන්ට එවන් පරිසරයක් නැහැ. ඊට හේතුව ගම හෝ නගරය සමග දරුවන්ගේ සම්බන්ධතාවය බොහෝ දුරස් නිසා වෙනත් අයගේ සහයෝගය දරුවන්ට ලැබෙන්නේ නැහැ.

ඒ නිසා දෙමව්පියන් විදිහට දරුවන්ගේ නිර්මාණ කාර්යන් වෙනුවෙන් අවශ්‍ය දියසායම්, පදම්කල මැටි, ක්ලේ , වර්ණ ආදිය ලබා දීම ඉතාම වැදගත්.ඒ නිසා ඔවුන් විවිධ නිර්මාණ කාර්යන් වෙනුවෙන් යොමු වීමට අවශ්‍ය උත්තේජනය නොදැනීම ලබා ගන්නවා.

ඒ වගේම දරුවාගේ නිර්මාණ ප්‍රදර්ශනය වන සේ තබන්න. මේවා දරුවාගේම නිර්මාණ වීම වැදගත්. ඒ වගේම විවිධ ප්‍රදර්ශන වෙත දරුවා රැගෙන යන්න. කාලවේලාව නැතැයි කියමින් එම අවස්තාවන් අහිමි කිරීම දෙමව්පියන් විසින් ඔබ කරන අකටයුත්තක්. මෙම අවස්ථාවන්ගෙන් දරුවාට විවිධ මුල බීජ උපයා ගත හැකියි.

ඒ වගේම තරඟ ආදිය ඇති විට ඒවාට දරුවන් සහභාගී කරන්න. “අනේ ඕවායෙන් දිනන්න බැහැ…” කියමින් දරුවා අධෛර්යට පත් කරන්න එපා. ළමා පුවත්පත්, රූපවාහිනියේ ඇති වැඩසටහන් නරඹන්න ඉඩ දෙන්න. ඒ පිටුවලට දරුවාගේ නිර්මාණත් යොමු කරන්න.

පූර්වාදර්ශි චරිත ගැන කියාදෙන්න

නිර්මාණශීලීත්වයෙන් අද ඉහලින් වැජඹෙන චරිත ඒ තත්වයට පත් වීම වෙනුවෙන් පැමිණි ගමන්මග ගැනත් දරුවන්ට දැන ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

දරුවෙක් මිටි වෙන්න බලපෑ හැකි මේ හේතු ඔබ දන්නවාද?

මව්පිය ආරයට දැරුවන් ද ගමන් කළද ඇතැම් අවස්ථාවන්හිදී ඉන් ඔබ්බට පෙන්නුම් කරන ලක්ෂණ දරුවන් තුළින් දැක ගත හැකි වේ. මිටි බව එවැනි තත්ත්වයකි. දරුවෙකු මිටි බවට පත්වීමට හේතු විය හැකි රෝග තත්ත්වයන් 14 ක් පිළිබඳව අපි දැනුවත් වෙමු.

ක්වොෂියර්තෝර්  (Kwashiorkor)

ප්‍රෝටීන් ඌණතාවයක් නිසා ඇතිවන තීව‍්‍ර මන්දපෝෂණ තත්ත්වයකි. මෙය Oedematous Malnutrion ලෙසද හඳුන්වයි. තරලය රැඳිම නිසා ඉදිමාවන් උදරය, වළලුකර පාදය ආශ‍්‍රිතව දැකිය හැකි අතර ශරීරයේ අනෙක් අවයව කෘශ ස්වභාවයක් ගනී. (emaciated)

ට(ර්)නර් සහලක්‍ෂණය (Turner Syndrome)

ලිංගික හෝමෝනවල අසාමාන්‍යතාවයන් නිසා ඇතිවන ජානමය රෝග තත්ත්වයකි. මෙය Monosomy X ලෙසද හඳුන්වයි. X වර්ණ දේහයේ කොටසක් හෝ සම්පූර්ණයෙන් නොමැති වීම මෙහිදී සිදුවේ. කාන්තාවන් තුළ පමණක් ඇති වන තත්ත්වයකි. අත් හා පාද ඉදිමීම, කන් පහළින් පිහිටීම, තරබාරු බව, අඩවන් වූ ඇසිපිය, පැතලි පතුල ලක්‍ෂණ ලෙස දැකිය හැක.

වර්ධන හෝමෝනයේ ඌණතාවයන්

පිටියුටිරි ග‍්‍රන්ථියේ වර්ධන හෝමෝනය ප‍්‍රමාණවත් ලෙස ශ‍්‍රාවය නොවීම නිසා ඇතිවේ.

සංජානීය හෘද රෝග (Congenital Heart Disease)

උපතේ සිටම දැකිය හැකි හෘදයේ ඇතිවන අසාමාන්‍යතාවයකි. හෘද බිත්තියේ, හෘදයේ කපාට හෝ රුධිර වාහිනීවල ඇතිවිය හැක.

Achondroplasia

අස්ථිවල වර්ධනයේදී ඇතිවන අසාමාන්‍ය තත්ත්වයකි. වයස හා ස්ත‍්‍රී පුරුෂ භාවයට නියමිත ප‍්‍රමාණය වඩා අඩුවෙන් අස්ථි වර්ධනයක් පවතී. කෙටි අත් හා පාද විශේෂයෙන් ශරීරයේ උස හා සංසන්දනයේදී අතේ ඉහළ බාහුව හා කලව කෙටිවීම, අත්වල මුදු ඇඟිල්ල හා මැඳගිල්ල කෙටි වීමද මෙහිදී දැකිය හැකිය. ශරීරයට වඩා විශාල හිසත් අසාමාන්‍ය ලෙස විශාල නළලත් ආදී ලක්‍ෂණද  දැකිය හැක.

මන්ද පරාභතාවය (Hypothyrodism)

ශරීරයට ප‍්‍රමාණවත් තරම් තයිරොයිඞ් හෝමෝන නිපදවීම සිදු නොවේ. මෙම හෝමෝන නිසි පරිදි නොතිබීමෙන් ශරීරයේ පද්ධතිවල ස්වභාවික ක‍්‍රියාකාරීත්වය මන්දගාමී වේ. මෙහි ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. රෝග තත්ත්වයේ තීව‍්‍රතාවය අනුව ලක්‍ෂණ ඇතිවේ. තෙහෙට්ටුව, මළ බද්ධය, අවපීඩනය, සීතල දැනීම, වියළි සම, බර වැඩිවීම, පේශී දුර්වල වීම ආදී ලක්‍ෂණ ඇති වේ.

Rickets

විටමින් D කැල්සියම් හෝ පොස්පේට්වල ඌණතාවයක් නිසා ඇති වේ. මෙම සංඝටක අස්ථි ශක්තිමත් හා නිරෝගී වීමට වැදගත් වේ. මෙම රෝග තත්ත්වය ඇති පුද්ගලයන්ගේ දුර්වල, මෘදු අස්ථි දැකිය හැක. අත්, පාද, ශ්‍රෝණියේ හා සුෂුම්නාවේ අස්ථිවල වේදනාව, අස්ථි බිදීම්, මිටි සිරුර, දත්වල ආබාධ, පේශී පෙරලීම ආදිය ඇති වේ.

 Fanconi Aíemia

ඇට මිඳුළුවල ඇතිවන ආබාධිත තත්ත්වයකි. මෙහිදී රතු රුධිරානු, සුදු රුධිරානු හා රුධිර පට්ටිකා මිය යාම වෙනුවෙන් අලුත් සෛල නිෂ්පාදනය වීමත් සිදු නොවේ. උපතේ සිටම අස්ථි ආබාධ, ඇසේ ආබාධ, කනේ ආබාධ, සම අවපැහැවීම, වකුගඩු නොමැතිව ඉපදවීම ආදී ලක්‍ෂණ ඇති වේ.

Brittle Bone Disease

පහසුවෙන් බිඳෙන සුළු අස්ථි ඇති වේ. මෙම රෝගය සඳහා පවුල් ඉතිහාසයක් ඇති ළමුන්ට රෝග තත්ත්වය ඇති වීමේ අවධානම පවතී. කන් ඇසීම නොමැති වීම, හෘද අකරණීය, සුෂුම්නා රජ්ජුවේ ආබාධ ආදී ලක්‍ෂණ ඇති වේ.

Juvenile Idiopathic Arthritis

තරුණ කාලයේදී හේතුවක් නොමැතිව සන්ධි ආබාධ ඇති වේ. සන්ධිවල තද ගතිය, ඉදිමුම හා  වේදනාව ඇති වේ. මෙයට හේතුවක් තවමත් නොදන්නා නමුදු පර්යේෂණවලින් මෙය Auto Immunity Disease බව හඳුනාගෙන ඇත. ප‍්‍රතිශක්ති පද්ධතියට නිරෝගී සෛල හා ශරීරයට අහිතකර බැක්ටීරියා, වයිරස ආදිය වෙන්කර හඳුනාගැනීමට නොහැකි වේ. මෙම හේතුව නිසා ප‍්‍රතිශක්ති පද්ධතිය වැරදීමකින් හානිකර නොවන සෛල දරුණු ආක‍්‍රමණිකයන් ලෙස සලකා පහර දෙයි. මෙහිදී ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් Cytokines නම් රසයානිකයක් ප‍්‍රධාන ලෙස නිදහස් කරන අතර එමගින් ශරීරයේ නිරෝගී සෛලවලට හානි කරයි. මෙමගින් සන්ධිවල ප‍්‍රදාහයක්, වේදනාවක් ඇති වේ.

Hypogonadism

ලිංගික ග‍්‍රන්ථීන්ගෙන් ලිංගික හෝමෝන ඉතා සුළු ප‍්‍රමාණයක් ශ‍්‍රාවය වීම හෝ නොවීම නිසා ඇති වේ. කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ හා පිරිමින්ගේ වෘෂණ ලිංගික ග‍්‍රන්ථි වන අතර ඒවා මගින් ශ‍්‍රාවය වන හෝමෝනවලින් ද්විතියික ලිංගික ලක්‍ෂණ පාලනය කරයි.

Acrodysostosis

භ‍්‍රාජකයා සෑදෙන අවස්ථාවේදී ඇතිවන ජානමය විකෘතිතාවයක් නිසා උපතේදී දැකිය හැක.

තැලසිමියාව

රුධිරය හා සම්බන්ධ රෝගයකි. ශරීරය තුළ අසාමාන්‍යව හිමෝග්ලොබින් නිපදවීම නිසා ඇති වේ. හිමොග්ලොබින් යනු ප්‍රෝටීන අණුවක් වන අතර එමගින් ඔක්සිජන් ගෙනයාම සිදු වේ. අධික ලෙස රතු රුධිර සෛල විනාශ වීම නිසා නීරක්තිය තත්ත්වයක් ඇති වේ. තැලිසීමියාව රෝගී දරුවන්ගේ අස්ථි විකෘතිතා (විශේෂයෙන් මුහුණු), වර්ධනය හා සංවර්ධනය ප‍්‍රමාදවීම, අධික ලෙස වෙහෙසකර බව ආදී ලක්‍ෂණ කිහිපයකි.

Adreno Cortical Carcinoma

අධිවෘක්ත බාහිකයේ ඇතිවන පිළිකාමය තත්ත්වයකි. හේතුව නොදනී. මෙය වෙනත් ස්ථානයක ඇති පිළිකා තත්ත්වයකින් ද්වීතියිකව ඇතිවිය හැක. අවු.40-50 අතර අයට හා අවු. 5 අඩු දරුවන්ට ඇතිවිය හැක.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය E.M.S. ඒකනායක මහතා සමග සකසන ලද ලිපියකි.

 

අම්මලාගේ සිංහනාදය දරුවන්ට ඒතරම් ගුණ නැහැ

“අපි වින්ද දුක නම් අපේ දරුවන්ට විදින්න දෙන්නේ නැහැ…” මේ අද සෑම දෙමව්පියෙකුගේම  මුවින් නැගෙන සාමාන්‍ය වාක්‍ය කොටසක්. ඒ කතාව ඇත්ත. කාලයත් සමග අපි ලෝකයට විවෘත වුනාම අපේ දෙමව්පියන් නොදැක්ක ලෝකය අපි දකිනවා. ඒ වගේම අපි නොදැක්ක ලෝකය අපේ දරුවන් හෙට දවසේ දකීවි. එතකොට ඔවුන්ගේ දරුවන් මුල් කර ගෙනත් මේ විදිහට කිව්වොත් අපේ හිතටත් යම් සිත් රිදීමක් ඇති වේවි.

හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවා හැකි තරම් ඉහලින් ඔසවා තැබීමට හදවතින්ම සූදානම්. ඒත් මේ හැම දෙයක් තුලින්ම දරුවාගේ ජීවිතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය පරිසරයත් නිර්මාණය වීම වැදගත්.

අපි හිතුවත් අපේ දරුවන්ට සියල්ල සම්පූර්ණ කිරීම නිසා අපි දෙමව්පියන් විදිහට තෘප්ත මට්ටමට පත් වුණා කියලා ඔබ වැරැදියි. කිසිම කෙනෙකුගේ සියළු අවශ්‍යතාවයන් පිරිමසන්න කාටවත්ම බැහැ. අපි දකින වපසරියට එහා ලෝකයක් දරුවන් හෙට දවසේ දකින්න පුලවන්. ඒ වගේම අපේ අම්මලා නගන මේ සිංහනාදය දරුවන්ට බලපාන්නේ කොහොමද…?

දරුවන්ගේ ධෛර්ය බිඳ වැටෙනවා

අද දරුවන් තුළ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය බොහෝ දුරට පිරිහිලා. විභාග මුල් කර ගෙනම ජීවත්වෙන ඔවුන්ට එයින් එපිටට ලෝකයක් නැහැ. ඒ නිසා එදා වගේ අම්මලාගේ වෙහෙස. සහ කැපවීම දරුවන් දන්නෙත් නැහැ. තමන්ගේ අනාගතය වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන් පමණක් මුල් කර ගෙන හදවත්ට නික්ෂේපනය කර තිබෙන අදහස් නිසා ඔවුන්ගේ ලෝකය ඉතාම පටුයි. මේ ලෝකය තුළත් අම්මලා හිතට දෙන සංකල්පය වී තිබෙන්නේ අපි දරුවන්ට අවශ්‍ය හැම සැප සම්පතක්ම ලබා දෙනවා යන උදාන වාක්‍යයි. ඒ නිසා දරුවන්ටත් මහන්සියෙන් උපයා ගත යුතු දෙයක් නැති බව ඔවුන් හිතන නිසා කිසිම ධෛර්යයක් උපදවා ගන්නේ නැහැ.

ඔබ මෙතැන සිටින්නේ

ඔබේ දෙමව්පියන්ගේ තරාතිරම සහ ආර්ථික ශක්තිය කොපමණ වුනත් අද සමාජයේ මේ තැනට පත් වෙන තෙක් ඔබේ දෙමව්පියන් ඔවුන්ගේ හැකියාවෙන් උර දුන් බවත් අමතක කරන්න එපා. එය ඉහලට ගිය තැනදී ඉනිමගට පයින් ගැසීමට සමාන කටයුත්තකි. තමන්ගේ දෙමව්පියන් ගැන නිතරම ඇගයීමෙන් කතා කරන්න. ඒ වගේම ඉතා දුක් මහන්සියෙන් ඔවුන් ඔබට යන මාර්ගය එලි පෙහෙලි කර දී තිබෙන බවත් සිහියේ තබා ගෙන දරුවන් ඉදිරියේ ඒ වටිනාකම් ගැන වඩා විශේෂ කර කතා බහ කිරීම වඩාත් යෝග්‍යයි.

වැඩිහිටියන් ගැන ඇගයීමක් නැහැ

මේ විදිහට අපි දරුවන්ට දක්වන ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අත්තම්මලා සීයලා ගෙන නොලැබුන බව කියන විට වැඩිහිටියන්ගේ හිත්වලත් යම් ආත්මානුකම්පාවක් ඇති ගොඩ නැගෙන්න පුලුවන්. හැම දෙමව්පියෙක්ම දරුවන් හැරුන විට වෙනත් සම්පතක් නැතැයි යන තැන සිටිනවා නම් භෞතික සම්පත් නොතිබුන පමණින්ම ඔවන්ගෙන් යුතුකම් ඉටු නොවුනා යැයි චෝදනා නගන්න බැහැ.

මේවා අහගෙන සිටින දරුවොත්

අපි තරම් දරුවන්ට සලකන දෙමව්පියන් නැතැයි යන අදහස නිතරම ඉස්මතු කරන විට දරුවන්ටත් වැඩිහිටියන් ගැන තිබෙන ගරුත්වය නොදැනීම බිඳ වැටෙනවා මේ නිසා ඔවුන්ගේ ලෝකයේ අත්තම්මා, සීයා යනු නොවටිනා චරිත විදිහට ගොඩ නැගීමත් එතරම් සුබවාදී දෙයක් නොවෙයි.

සකසුරුවමක් නැහැ

“දැන් ඔබ ස්වයංපෝෂිතයි…” යන සංකල්පය නිතරම දරුවන්ගේ හිතට ඇතුළු වුනාම ඔවුන්ගේ සකසුරුවම් බවත් නොදැනීම ඉවත් වෙනවා. ජීවිතය ගොඩ නගා ගෙන ඉදිරියට යන විට දැනෙන පිරිමැස්ම සහ සකසුරුවම සියල්ලම රිදී බන්දේසියක තබා පිලිගන්වන විට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අපි සියල්ල සපුරා තිබෙන දෙමව්පියන් යන සිංහනාදයෙන් දෙමව්පියන් මිදෙනවා නම් එය දරුවාගේ ජීවිතය ස්වාධිනව ඉදිරියට ගෙන යෑමේ හැකියාවට විශාල ජවයක් වෙනවා.

ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබේ හිතේ මේ සංකල්පය තිබෙන්න පුලුවනි. ඒත් දරුවන් මේ මත පිහිටා කටයුතු කිරීමට අනවශ්‍ය විදිහට බලගැන්වීම නම් එතරම් ගැලපෙන කටයුත්තක් නොවෙයි.

දරුවන්ගේ නිර්මාණ අගයන්න වැඩිහිටි ඔබ දන්නේ නැද්ද?

එදාට වඩා අද වෙද්දී දරුවා සහ ගුරුවරයා අතර තියෙන බැඳීම බොහෝසෙයින් දුරස් වී ඇති බවක් මා අවබෝධ කරගත්තේ මගේ මවත් ගුරුවරියක් නිසාත් දරුවන්ගේ එදි නෙදා කටයුතුවලදී මුහුණ දෙන්නට සිදුවන අත්දැකීම් නිසාත්ය. විශේෂයෙන්ම පාසලට සම්බන්ධ වූ දිනයේ සිට දියණිය මුහුණ දෙන අත්දැකීම් අනුව ඇගේ සිතිවිලි ධාරාවන් වෙනස් වූ ආකාරය මා දකින්නේ පසුතැවීමක් ද සමගයි. පාට කූරක් අතට ගත්ත ඇය වෙනදා නම් යම් රටාවක් ගොඩ නගන්නට අම්මාගෙන් තාත්තාගෙන් හෝ විමසුවේ නැත. ඇය කුඩා වියේ සිටම බිත්ති මත හෝ ඇය ඇගේ සිතුවිලි චිත්‍රයට නගන්නට දෙවරක් නොසිතූ අයෙකි. ඇයගේ නිර්මාණවලට අන්‍යයන්ගේ අදහස්, යෝජනා, චෝදනා නොවීය. නමුත් අද වන විට තත්ත්වය හාත්පසින්ම වෙනස්ව ගොස් ඇත. එය අපිට මහත් කනගාටුවට කරුණක් සේම “ඇයි මේ දේවල් මේ විදියට වෙන්නේ..?” යන සිතිවිල්ල ද හිතට වද දෙයි.

අත් වැඩ, චිත්‍ර නිර්මාණ හෝ දරුවාට පැවරෙන වෙනත් කාර්යයකදී තමාම වෙහෙස වී ඒ කර්තව්‍ය ඉටු කිරීම එකම ආසාව වූ දරුවන් කොතරම් ඇතිද? නමුත් අද වන විට පරිගණකය, පොත් සාප්පු හෝ වෙනත් ස්ථාන වෙතින් පාසැලට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි නිසාම දරුවෙකු වෙහෙස වී කරනු ලබන යම් කර්තව්‍යයක් ඇගයීමට ගුරුවරුන්ට පවා අමතකව ගොස් ඇත. නිර්මාණකරණයේදී පවා දරුවන් තුළින් සියයට සියයක්ම අනවශ්‍ය පිළිවෙළ බලාපොරොත්තු වන ඇතැම් ගුරුවරුන්ගේ සිත්, පැය දෙක තුනක් පුරා දරුවෙකු වෙහෙස වී තම දෑතින්ම සකසන නවතම නිර්මාණයක් අගය කිරීමට නොනැවෙන ආකාරය නම් ශෝචනීයයි. අගය නොකළද කම් නැත. දරුවෙකුට දරා ගත නොහැකි වන්නේ පුංචි සිත් රිදවන වාග් ප්‍රහාරයන්ය.

“ඊයා … වට් ඉස් දිස් ? ” එය ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකුගේ ප්‍රතිචාරයක් විය හැකිද?

මේ ප්‍රතිචාර මැද හිතට නැගෙන හැම සිතුවිල්ලකටම “අපෝ ඒක හරි නැ… ටීචර් මෙහෙම කියයි… අරෙහෙම කියයි….” යන තර්කය තම සිතෙහි රඳවාන අදහස් ගොන්නක් අතර දරුවෙකු අසරණ වන්නේ නම් සැබවින්ම අප ඒ වෙනුවෙන් මැදිහත් විය යුතු නොවේද?

නිර්මාණකරණය යනු සැම දරුවෙකු තුළම එකසේ පිහිටන්නක් නොවන අතරම එක් එක් දරුවා තුළින් එක් එක් ආකාරයට ඉස්මතු වන්නකි. චිත්‍රයට අදක්ෂ දරුවෙකු නර්තනයට උපන් හපන්කම් ඇත්තෙකු විය හැකිය. නර්තනයට දුර්වල දරුවෙකු ගයන්න, වයන්නට හපනෙක් විය හැකිය. ඇතැම් විට මේ හැකියාවන් තුනම නොමැති දරුවන්ද හමුවිය හැකිය. මේ හේතුව අද වන විට ගුරුවරුන්ගේ මනසින් ඉවත්ව ගොස් ඇති සැටියක් පෙනී යන්නේ ඔවුන් යම් කාර්යයකදී දරුවෙකුගේ මනසට එල්ල කරන දරුණු පහර දීම් නිසයි.

තමන් කැමති චිත්‍රයක් අඳින්නට අවසර ලබා දී “කවුද මේ ලේසි එකක් ඇඳලා තියෙන්නේ…?” යැයි ගුරුවරයෙකු පන්තිය ඉදිරියේ දරුවෙකුගෙන් විමසද්දී පොඩි දරුවෙකු පත්වන අපහසුතාවය, තමන්ට හැකියාවක් නැතිද යන ගැටලුව හැ ඒ සමග එන පසුතැවීම, ලැජ්ජාව, ආත්ම අනුකම්පාව, තමා අදක්‍ෂයෙකු යැයි ඇති වන සිතුවිල්ල සැබවින්ම දරුවෙකුගේ මානසික සමතුලිත බව බිඳ දමයි. එහි අවසාන ප්‍රතිපලය ලෙස එතැන් සිට දරුවෙකු නිර්මාණකරණයට අත් පොවන්නේ ගුරුවරයාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබීමට මිස තමන්ගේ හැකියාව නව අදහස් අනුව ක්‍රියාත්මක කරවීමට නොව. එය දරුවෙකුගේ අදහස් කප්පාදු කිරීමකි. එකම මාතෘකාවක් යටතේ දරුවන් සිව් දෙනෙකුගේ අදහස් අනිවාර්යයෙන් වෙනස්ය. ගුරුවරයා දරන්නේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් විය හැකිය. මේ හේතුවෙන් දරුවෙකුගේ අදහසකට “ඒ මොකද්ද ඒ…” ලෙස බැන වැදීම හෝ සිනහවට ලක්කිරීම හෝ කළ හැකිද?

සමාජය වෙනස් කිරීම හෝ ගුරුවරුන් සමග මෙවැනි දේ පිළිබඳව සාකච්ජා කිරීම දරුවාගේ ඉදිරි ගමනට බාධාවක් වන්නේ අපි පොඩි කාලේ දරුවන්ට, දරුවන්ට ලෙස සලකන ගුරුවරු සිටියද අද වන විට එවන් මව්වත් ගුරුවරුන් අවම නිසාමය. නිවසේ ප්‍රශ්න හේතුවෙන් ඇති වන තම මානසික පීඩනය පවා පන්තියේ දරුවන් හරහා පිට කරන ගුරුවරුන් සිටින මෙවන් යුගයක අපි දරුවන්ට කියා දිය යුතුම යමක් ඇත. එනම්, “ඔයාට හිතුනෙ මොකද්ද, ඒක තමයි ඔයාගේ නිර්මාණය… ඒකට ලකුණු ඇතත් නැතත්, ටීචර් ගැහුවත් බැන්නත්, මුළු පන්තියම ඉදිරියේ ලෑජ්ජාවට පත් කළත් ඔයාගේ නිර්මාණය ගැන ඔයා සතුටු නම් ඒ ගැන පසු නොතැවෙන්න එපා….”

විද්‍යා, ගණිත විෂයයන් හා සම්බන්ධව දරුවෙකු ගුරුවරයෙකුගෙන් දොසක් ඇසුවත් දරුවෙකු අතින් නිමවෙන නිර්මාණයකට අදහසක් මිස අපහාසයට ලක් කිරීමක් හෝ බැන වැදීමක් කිසිසේත්ම සුදුසු නොවේ. තමන්ගේ හැකියාව මත පිටතට ගෙනන දරුවන්ගේ පිවිතුරු අදහස්වලට සීමා පනවන මේ සමාජය තුළ ස්වාධීනව ගොඩ නැගෙන්න අපි අපේ දරුවන්ට කියා දෙමු.

Mindfulness හෙවත් සතිය පිහිටුවා ගත් දරුවෙක්

අද දරුවන්ගේ විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන‍්නේ යම් දෙයක් වෙත අවධානය දැක්වීමට තිබෙන පසුගාමීත්වයයි. මේ වෙනුවෙන් අපි චෝදනා නගන්නේ විද්‍යුත් උපංගයන්ට වුනත් ඒ වෙනුවෙන් චෝදනා නැගීමට වඩා දරුවන් එයින් මුදවන මාර්ගය පිලිබඳව විමසිලිමත් වීම ඉතාම වැදගත්. භාවනාව නිසා මේ තත්වය බොහෝ දුරට මග හරවා ගැනීමට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන්ට යම් දෙයක් වෙනුවෙන් සිහිය පවත්වා ගැනීම හෙවත් අවධානය දැක්වීමට තිබෙන ශක්තිය නොදැනීම වර්ධනය වීම එක්තරා ආකාරයකින් දරුවන් ලද වාසනාවක් ලෙස සලකන්න පුලුවනි. මේ නිසා භාවනාව වෙනුවෙන් දරුවන් යොමු කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයක් ගැන අවධානය යොමු වෙන යුගයක්.

අණුක ජීව විද්‍යාඥයෙකු ලෙස ප්‍රකටව සිටින “එරික් ලෑන්ඩර්” විසින් අධි සංඛ්‍යාත ගැමා තරංගයන් සමග මොළයේ භාවනාවට සම්බන්ධ ( පූර්ව පාර්ශවික) කොටස අතර පවතින සම්බන්ධතාවය අද්‍යනය කරනු ලැබුවා. එහිදී පෙනී ගියේ භාවනාව මගින් දකින මොලයේ පිබිදීම ඉතාම අපූරු බවයි. මෙම මානසික ක්‍රියාකාරකමෙන් ලැබෙන පිබිදීම ගෝල්ෆ් හෝ ටෙනිස් ක්‍රිඩාවෙන් මොළයට ලැබෙන ප්‍රබෝධයට සමාන බව පර්යේෂකයන් සඳහන් කරනවා.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ “සාරා ලාසන්” විසින් MRI ස්කෑන් දර්ශනයක් ආශ්‍රිතව ලබා ගත් තොරතුරු පාදක කර ගෙන පෙන්වා දෙන්නේ සිහිය පිහිටුවාගෙන සිදු කරන භාවනාවන් මගින් මානසික වෙහෙසකර තත්වයන් පවා නැති කර ගත හැකි බවයි.

සතිය පිහිටුවා ගැනීමේ වාසි

  • අධ්‍යාපනයේ ප්‍රගතියක් :

 ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් ගුරුවරුන්ගේ මෙන්ම දරුවන්ගේ සහභාගීත්වය කරත්තයක රෝද දෙක සේ සමාන්තරව අවශ්‍යි. මොනතරම් දක්ෂ ගුරුවරුන් සිටියත්, දරුවන් ඒ වෙනුවෙන් වූ සහභාගීත්වය සතුටුදායක නොවේ නම් මුනින් නවන ලද කළයක් ජලයෙන් පිරවීමට සමාන නිෂ්ඵල ක්‍රියාවක් බව අපි දනන්වා. ඒත් සතිමත් හෙවත් භාවනාවෙන් සිහිය පවත්වා ගන්නා දරුවෙකුගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ඔවුන් දක්වන දායකත්වය ඉතාම සතුටුදායක බව විවිධ අධ්‍යනයන් මගින් දැන් හදුනා ගෙන තිබෙනවා.

  • අන්තර් සම්බන්ධතාවයන් :

“අනේ අපේ පුතා අල්ලපු ගෙදර මිනිස්සු එක්කවත් වචන දහයක් තව කථා කරල නැහැ…” මේ වගේ කතා බහ අපි අතර නැගෙන්නේ දරුවන්ගේ අන්තර් සම්බන්ධතාවයන්ගේ තිබෙන ඛේදාන්තය නිසයි. මෑතකදී වයස අවුරුදු 22 ක් පමණ වුන තරුණයෙකුගේ පියා අභාවප්‍රාප්ත වුණා. ඔහු පවුලේ එකම දරුවා. මේ මළගෙදරට දරුවා සේවය කරන ස්ථානයේ හිතවතුන් ආවාත් ඔහු ඒ තරම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සාමාන්‍යයෙන් දරුවන් පවුලේ නැදෑයින්ට කෙසේවුනත් සමවයස් කණ්ඩායම් සමග පවත්නා සම්බන්ධතාවයන් ඒ තරමටම පිරිහී නැති බවටත් අදහස් තිබෙනවා.

ඒත් මේ තරුණයා අවම වශයෙන් ඒ අයටවත් සංග්‍රහශීලව කතා බහ කළේ නැහැ. පවුලේ ඥාතීන් විසින් කාර්යාලයේ හිතවතුන්ට කතා බහෙන් සහ වෙනත් සංග්‍රහ කරද්දී මේ තරුණයා මුහුනු පොත ඔස්සේ කටයුතු කළ නිසා ඉතාම අප්‍රසන්නතාවයක් ඇති වුනා. එහෙත් සතිමත් දරුවෙක් පසුකාලයක තරුණයෙක් වුනත්, සමාජගත පුද්ගලයෙක් වුනත් ඔහුගේ පිරිසිදු මනස නිසා ඉතාම හෙඳ අන්තර් සන්නිවේදන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

  • තමන්ගේ අභ්‍යන්තරය කණ්නාඩියකින් දකිනවාට සමානයි :

සිහිය පිහිටුවා ගත් දරුවෙකුගේ සාමාන්‍ය හැසිරීම අපි කණ්නාඩියකින් අපේම අඩු පාඩු අපිම දකිනවාට සමාන බවයි. මේ අඩු පාඩු වෙන කිසිම ‍අයෙකුගේ පෙන්වා දීමක් නැතුව අපිම සකස් කර ගන්නවා වගේ මේ දරුවන්ටත් තමන්ගේ අඩු පාඩු සකස් කර ගැනීමට ඉබේටම හැකියාව ලැබෙනවා.

  • අනුන් මත වැරැදි පැටවීම අඩුයි :

අද බොහෝ දරුවන් වැරැද්ද පිලිගන්නේ නැහැ. එය වෙනත් අයෙකු මත පටවා තමන් නිවරැදි යැයි කියනවා මිසක වැරැද්දක් නිවරැද්දක් කර ගැනීමට සූදානම් නැහැ. මේ ගැන දෙමව්පියන්ද යම් දුරකට වග කිව යුතුයි. ඔවුනුත් මගේ දරුවා අර ළමයා නිසා නාස්ති වුනා යැයි චෝදනා නගනවා විනා දරුවා නිවරැදි කිරීමට මුල් අවස්තාවේදි උත්සාහ ගන්නේ නැහැ. නොමගට ගිය පසු පසුතැවිලිවීම හරියට අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසනවාට සමානයි. ඒත් භාවනාව ප්‍රගුණ කල දරුවෙකුට කිසිම විදිහකට අනුන් මත වැරැදි පැටවීම අවශ්‍ය නැහැ. ඊට හේතුව සිහියේ පිහිටුවා ගත් සන්සුන් මනස නිසා නිවරැදි දේ නිවරැදි ලෙසින් තෝරා ගැනීමට තරම් වාසනා ගුණයක් ඔවුන් තුළ නිර්මාණය වෙනවා.

  • පාසලේ විනය :

අද පාසල් දරුවන්ගේ විනය දැඩි ලෙස පිරිහී තිබෙන බවට අපට නිතරම ඇසෙන කරුණක්. අඩුම වශයෙන් ගුරුවරුයෙකුට පවා දරුවන්ගේ වරදක් වෙනුවෙන් අවවාදයක් කිරීමට නොහැකි තැන් පවතිනවා. ඒත් සිහිය පිහිටුවා ගත් දරුවෙක් තුළ ස්වයං විනය ඉබේටම ගොඩ නැගෙන නිසා පාසල තුළ ඔවුන්ගේ හැසිරීම ඉතාම සංයමයෙන් සහ සංවරයෙන් පවත්වා ගන්න පුලුවනි.

පාසල තුළ වුනත් දරුවා ලොකු සහ කුඩා පංතිවල දරුවන් අතර වගේම ගුරුවරුන් සහ වෙනත් පාසලේ කළමනාකාරිත්වය සමග ඉතාම හොඳ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා. මේ නිසා පාසල් පරිසරය තුළ ඇති වෙන ගැටුම් ආරවුල් නොදැනීම පහව ගොස් “පාසලෙන් මග දකින හොඳම දරුවා මමය…” යන සංකල්පයේ සතිමත් දරුවා පිහිටන බව රහසක් නොවේ.

ලෝක මානසික සෞඛ්‍යය දිනය වෙනුවෙන්  මහනුවර ශික්ෂණ රෝහලේ  පවත්වන ලද දේශනයක් ඇසුරිනි.

 

දරුවන්ගේ කතා විශ්වාස කරන අම්මලාට උපදෙස්

අපේ දරුවා අපිට ඇත්තටම විශ්වාසයි. ආදරයේ අසීමිත සෙනහස ඇටමිදුලු , ලේ නහර ඔස්සේ දිවෙන නිසා මේ සංසිද්ධිය ඉතින් අමුත්තක් නොවෙයි. වෙන දෙයක් තබා මොන තරම් පාපකාරී වැඩ කටයුතු කළත් දෙව්දත් ඔහුගේ අම්මාට ඉතාම හොඳ පුතෙක්. “දෙව්දත් මවට මැනවි…” කියමන අපේ ජනවහරේ ඔබ අසා ඇති.

ඉතින් මේ විශ්වාසය නරක නැහැ. ඒත් අපි හැම දෙනාම මිනිස්සු නිසා මේ කියන විදිහටම විශ්වාසය නැති වෙන වේලාවන් තියෙන්න පුලුවන්. දරුවන්ගෙනුත් ඒ තත්වය අපිට ඇති වීම තවත් වැඩි වෙන්න බැරි කමක් නැහැ. ඊට හේතුව දරුවන්ට එතරම් අත්දැකීම් නැහැ. ඒ නිසා ඔවුන් බොහෝ විට දුර දිග නොසොයා නොබලා කරන කියන දෙය බොහෝ දෙනෙකුට අනතුරක් වෙන්නත් පුලුවනි. ඒ නිසා දරුවන් කියන හැම දෙයක්ම විශ්වාස කිරීම එතරම් හිතකර නැහැ.

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන අවස්ථා

දරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන විවිධ අවස්ථා තිබෙන්න පුලුවනි. විශේෂයෙන් මුදල් පිළිබඳ තත්වයන්හිදී මෙය ඉතාම සුලබයි. පංති ගාස්තු, විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් පාසලෙන් ඉල්ලන මුදල්, පංතියේ ලකුණු, වෙනත් දරුවන් සමග තිබෙන ඊර්ශ්‍යාව වැනි සියුම් ගති ,තමාටම අවධානය ලබා ගැනීමට මේ අන්දමට එක් එක් දරුවන් විවිධ දේ මුල් කර ගෙන විශ්වාසය බිඳවැටෙන අන්දමින් කටයුතු කිරීමට පුලුවනි. මේ සිදුවීම් මුලදී ඉතා සරල සහ අහිංසක සිදුවීම් වුනත් පසුකාලීනව විවිධ අන්දමින් එහි ආදීනව ඇති වෙන්න පුලුවනි.

දරුවාටත් හානියක්

දරුවා කියන කරන හැම දෙයම ඔබ විශ්වාස කිරීම නිසා ඔවුන් බිය නැතුව වැරැදි සිදුවීම් වෙත යොමු වෙන්න පුලුවනි. ඊට හේතුව තමා කරන හැම දෙයක්ම දෙමව්පියන්ට විශ්වාස හෙයින් වැරැද්ද පවා ඉතා පහසුවෙන් නිවරැදිව දෙමව්පියන්ට පෙන්වා දීමට දරුවාට අමුද්‍රව්‍ය තිබෙනවා. උදාහරණයක් විදිහට දරුවාට පංතියේ ලකුණු අඩුවුනොත් ඔහු ඒ වෙනුවෙන් නිදහසට කරුනු ලෙස කියන්නේ “අපිට සිලබස් එක ඉවර නැහැ…ඒත් මේවායින් ප්‍රශන දාලා..” දරුවා එසේ කිව්වත් ඔබට ඔවුන්ගේ පොත් පත් පරීක්ෂා කලොත් මේ සියල්ල දරුවාට විෂය භාර ගුරුවරුන් විසින් උගන්වා අවසාන විය හැකියි.තමා විභාගයට සූදානම් නොවුනත් ඒ බව නොකියා මේ අන්දමින් වරද පටවන අවස්ථාවන්හිදී ඔවුන් විශ්වාස කළ විට දරුවා හෙටත් කරනුයේ මේ අන්දමින් වංචාවක් මිස තමාගේ විෂය නිර්දේශය ආවරනය වන සේ විභාගයට සූදානම් වන්නේ නැත.

දරුවෝ අවිශ්වාස කරන බව ඔවුන්ට පෙන්වන්නත් එපා

ඒ වුනත් දරුවා අවිශ්වාස කරන බව ඔවුන්ට දැනෙන්න හැරීමත් නොකල යුතුයි. එසේ වුනොත් අපේ අම්මට , තාත්තාට මාව අවිශ්වාසයි කියන සිතුවිල්ල ඇති වෙනවා. එහෙම වුනොත් එය දරුවාගේ පෞරෂයට හිතකර නැහැ.

අවිශ්වාස දෙයක් වුනොත්

දරුවාගේ විශ්වාසය බිඳ වැටෙන වගේම බඩුත් එකක්ම හොරු අහුවෙන දෙයක් වුනොත් ඉතාම බුද්ධිමත්ව එය විසඳන්න ඕන. අපේ ළමයි කියල සුද්දවන්තයින් වෙන්න බැහැ. ඊට හේතුව අපේ වුනත් ඔවුනුත් ළමයි නිසා. සැක කටයුතු දෙයක් දැනුනමා හොරාට පෙරාතුව වැට පනින්න අවශ්‍ය නැහැ. එය ස්ථිරවම දැන ගන්නා තෙක් විමසිල්ලෙන් ඉන්න. එතැනින් පසුව සාක්ෂි ඇතුව දරුවාට මේ බව පෙන්වන්න. ඔබ කරුණු කාරණා නොදැන යමක් කියන්න ගියොත් දරුවා ඉදිරියේ ඔබ අසරණ වේවි.

පවුල් ආරවුල්

බොහෝ පවුල් වල විශේෂයෙන් අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා… වැනි සම්බන්ධතාවයන් එක වහලක් යට පවතින විට ඇති වෙන අරගලයන්හි වාහකයා වන්නේ දරුවන්. ඊට හේතුව දරුවන් කියන දේ ගැන දෙමව්පියන් උපරිම විශ්වාසය තැබීමයි. දරුවන් යම් යම් දේවල් ඉතාම නිර්මාණාත්මකව ගොතා කියන්න පුලුවනි. ඒ නිසා දරුවන් කියන දේ මතම රැදෙන්න අවශ්‍ය නැහැ.

අසල්වැසියන් සමගත්

පවුලක පමණක් නොව අසල්වැසියන් අතර ඇති වෙන විවිධ ගැටුම්වල ප්‍රධාන චුදිතයා වන්නේ දරුවන්ය. ඒත් දරුවන් මේ සිදුවීම නිසා අමනාප වුනත් එය ටික වේලාවකින් එසේත් නැත්නම් ටික දිනකින් අමතක කරනු ඇත. එහෙත් මේ සිද්ධිය මුල් කර ගෙන අමනාප වෙන වැඩිහිටියන් සදාකාලික වෛරකාරයින් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවන් කියන ගතු ඔවුන් කියන අන්දමටම විශ්වාස කරන්න එපා.

දරුවන් නොමග යනවා

නිතරම දරුවා කියන දේ විශ්වාස කරමින් ඔබ ඒ මත විවිධ ප්‍රතිචාර දක්වනවා නම් දරුවා මේ තත්වය ආයුධයක් කර ගන්න පුලුවනි. මේ නිසා තමාගේ වාසිය මුල් කර ගෙන ඔහුට දෙමව්පියන් නොමග යැවීම ඉතාම පහසුයි. දෙමව්පියන් තමන්ට අවශ්‍ය විදිහට හැසිරවීම ඉතාම පහසු බව දරුවාගේ විශ්වාසය නිසා ඔවුන් මේ ගැන දෙවතාවක් හිතන්නේ නැහැ.

තවත් අයගෙන් විමසන්න

දරුවා කියන දෙය ඔහු කියන නිසාම විශ්වාස කරන්න එපා. ඒ ගැන තවත් දෙතුන් දෙනෙක් ගෙන් විමසා සිටින්න. ඒ විමසා සිටීම දරුවාගේ අභිමානයට පලුද්දක් නොව විදිහට විමසා දැන ගැනීම වැදගත්. “අපේ පුතා මේ විදිහට කිව්වේ… අද මම එයාව අල්ලා ගන්නම්… කෝටු මස් කරන්න ඕන…” මේ විදිහට දරුවාට චෝදනා නගන්න එපා. තවත් අයගෙන් ඔබ විමසා දැන ගත් දෙය දරුවාට කියන්න. අම්මට තාත්තාට බොරු කරන්න ගියොත් කොහෙන් කොහොම හෝ එය එළිවෙන බව කියා දෙන්න.

මීට පස්සේ මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ

යම් සිදුවීමක් නිසා දරුවා මුල් කර ගෙන මෙතෙක් තිබුන විශ්වාසය බිඳ වැටුනත් අනාගතයේදීත් මේ සිදුවීම නිසා ඔහු ගැන විශ්වාසයක් නැතැයි සහතියක් නොදෙන්න. ආයේ මම හිතන්නේ ඔයා එහෙම කරන එකක් නැහැ… යනුවෙන් ඉදිරියේදී විශ්වාසය බි‍ඳෙ න කටයුතු නොවන සේ හැසිරීමට අවවාද ලබා දෙන්න.