Home Blog Page 100

අම්මලාට හිතන්න යමක්…

පුංචි දරුවෙක් කියන්නේ සුවඳ මලක් වගෙයි. අම්මගේ කිරි සුවඳ එක්ක මුසු වෙලා ඉන්න පුංචි පැටියෙකුගේ සුවඳ විඳින්න විඳින්න ආසයි. මේ පුංචි පැටවු අපේ ලෝකෙට එන්නේ සුරංගනා ලෝකේ සුරංගනාවියන් මැද්දේ ඉඳලා තමයි කියන්නේ ඇත්තක්ද කියලත් වෙලවකට හිතෙන තරම්. කාගේ වුනත් දරු පැටියෙක් දැක්කම තුරුළු කරන් ඉඹින්න හිතෙන එකට වරදක් කියන්න බැරිත් ඔන්න ඕකයි. පුංචි දරුවෝ ළඟ තියෙන්නේ පුදුම හිතෙන විදියෙ  ආකර්ෂණයක්. ඒත් අපිට හිතුණු හිතුණු පලියට වෙන අම්මෙක්ගේ දරුවෙක් තුරුළු කරගන්න, ඉඹින්න එහෙම නම් හොඳ නැති බව තදින්ම සිහියේ තියාගන්න ඕනේ. හැම නිතරම අපි අපිව පාලනය කර ගන්න ඕනේ. අපේම දරුවා උනත් ගමනක් බිමනක් ගිහින් ආපු හැටියේ පිරිසිදු නොවී අතට ගන්න එක නරකයි.

මේ මතක් කිරීමත් එක්ක මම ඔයාලට කියන්න යන කතාව පටන් ගන්නයි මේ සූදානම. පුංචි දරුවෙක් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් තියෙන අයෙක් නම් නෙවෙයි. පොඩ්ඩක් හිතන්න, අවුරුදක් තරම්වත් වයසක් නැති දරුවෙක් කොච්චර නම් අසරණයිද? තමන්ගේ අපහසුවක් ගැනවත් කියන්න තේරුමක් නැ. අම්මා දුන්නොත් කිරි බොනවා, නැත්නම් හති වැටෙනකම්ම අඬලා නින්ද යාවී. ඉතිං එයාල ගැන හොයල බලලා අවශ්‍ය දේ කරන්න ඕනේ අම්මලා වුණු අපිම තමයි. දරුවාගේ බඩගින්න, අපහසුතා ගැන අපිට අවබෝධයක් තිබිය යුතුමයි. ඒ මේ නොදරුවන්ගේ අසරණකම නිසාම විතරක් නෙවෙයි. අපේ කැඳ වීමෙන් මේ ලෝකෙට ආ ඔවුන් වෙනුවෙන් අපේ උපරිමය කැප කළ යුතුමයි. ඒ වගකීම් වෙනුවෙන් හරියට කැපවෙන්න අපිට බැරි නම් අම්මෙක් වෙනවද නැද්ද කියලා අපි මුලින්ම හිතන්න ඕනේ කියලයි මගේ අදහස. රටේ ලෝකේ මිනිස්සුන්ගේ කතාවලට බයේ හෝ දරුවෙක් ඉන්න එපැයි කියන අදහසින් හෝ දරුවෙක් මේ ලෝකෙට බිහිකරන එක නම් හරිම ශෝචනීයයි.

ඒ දේවල් කොහොම වුණත් දරුවන්ගේ පෝෂණය වගේම සනීපාරක්ෂාව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක් වීම අනිවාර්යෙන්ම සිදු වෙන්න ඕනේ. පුංචි දරුවෙකුගේ පිරිසිදු බව දරුවාගේ සෞඛ්‍යයටත් ගොඩක් බලපාන නිසාම දරුවෙක්ව පිරිසිදුවට තියන එක අම්ම කෙනෙක්ට මග හරින්න බැරි අනිවාර්ය වගකීමක් වෙනවා.

අපේ අම්මල දරුවොන්ට ආදරේ නෑ කියනවා නෙවෙයි, ඒත් සමහර අම්මල අතින් අතපසුවීම් ගොඩක් වෙනවා මේ දරුවෝ සම්බන්ධයෙන්. අම්ම කෙනෙක්ට පුළුවන් උපරිමයක් තියෙනවා තමයි. ඒත් මම මේ කියන්න යන දේ නම් තියෙන්නේ අවම මට්ටමේ. මේ කියන්න යන්නේ දරුවෝ ඔන්න ඔහේ හැදෙන්නන් වාලේ හැදෙන්න ඇරලා ඉන්න අම්මලා ගැනයි. ඒ නොදැනුවත්කමම කියල කියන්නත් අමාරුයි.

දරුවෙක් කියන්නේ කලින් කිව්වා විදියටම සුවඳ මලක්. ඒත් සමහර දරුවෝ ඉන්නවා, ආසාවට අතට අරගෙන හුරතල් කරන්න බෑ. සුදු මූණ ඉඳුල් වගේම එක එක දේවල් තැවරිලා ඒවා වේලිලා අඳුරු පාට වෙලා. දරුවා ළඟ පිලී ගඳයි. ඇඟ පත ඇලෙනවා දාඩියට. බෙල්ලේ වගේම අත් නැවෙන තැන්වල කුණු ඉරි වගේ පේනවා. වඩා ගෙන ඉද්දි පිටුපස පැත්තට යට වෙන අපේ අත තෙත් වෙනවා. මොකද පැම්ප්ර් එක පැය ගානකින් මාරු කරලා නැහැ. අනේ කොච්චර දුක හිතෙනවද?

හදන්නන් වාලේ දරුවෝ හදන අම්මලාත් ඉන්නවා කියලා කිව්වට එහෙම අත්දැකීමක් මට ලැබිලා තිබුනේ නැ. හරිම හුරතල් බෝලේ වගේ ලස්සන පුංචි පැටියෙක් වඩාගන්න නොහිතෙන තරමටම අපිරිසිදු වෙලා, ගඳ වෙලා ඉන්නවා දැක්කම කාටද දුක නොහිතෙන්නේ.

ඇත්තටම පුංචි බේසමකට වතුර ටිකක් අරගෙන හොඳට පිරිසිදු කරා නම් ඒ දරුවට කොයි තරම් සහනයක් ලැබෙයිද දරුවා ළඟ නැවුම් සුවඳක් දනෙයිද කියල හිතද්දී මට ලෝබ හිතුණා. අපේ කැඳ වීමට මේ ලෝකෙට ඇවිත් දුක් විඳින මේ වගේ පුංචි දරුවෝ කොයි තරම් ඇතිද කියල හිතුණා. ඒත් ඒ අග හිඟකම් නිසා නෙවෙයි නේද කියල හිටද්දී වගකීම් විරහිත අම්මලා ගැන තරහකුත් හිතට දැනෙනවා.

මාතෘත්වය අපි හඳුන්වන්නේ උත්තරීතර කියන වචනෙත් එක්කමයි. ඒ අපි එය උතුම් කියලා හිතන නිසාමයි. තමන්ට ලැබෙන දරුවා මහා පාරේ, වලවල් වල දාලා අසරණ කරන අම්මලා වගේම අවශ්‍ය අනවශ්‍ය හැමදේටම නිකරුණේ සල්ලි වියදම් කර කර, දරුවෙක්ට හරියට බතක් මාළුවක් කටට රසට උයා නොදී ෆෝන් එක මුළු දවසෙම අතේ තියාගෙන හරිම පොෂ් විදියට ජිවත් වෙන මෝඩ පහේ අම්මලත් ඉන්නවා. මෙන්න මෙතැනදීත් උත්තරීතර මව්පදවියට නිගා වෙනවා.

පවුලේ ගැටුම් දරුවාට බලපානවා…

පවුලක් කියන්නේ අම්මා, තාත්තා, දුවා දරුවන් වගේම මේ පවුලට සම්බන්ධ සහ ලේ නෑදෑයින් ජීවත් වෙනවා නම් ඒ හැම දෙනාගෙන්ම සුසැදි ඒකකයක්. පවුලක් තුළ තිබෙන සතුට, සමගිය, සමාදානය වඩාත්ම බලපාන්නේ දරුවන්ට බව ඔබ නොදන්නවා විය හැකියි.

අපි දරුවන් ගැන බාල කාලයේදී ඒ තරම් දුරට හිතන්නේ නැහැ. ඔවුන්ට වේලාවට කන්න බොන්න දිම, මළ මුත්‍රා ඉවත් කර නාවා පිරිසුදු කිරීම ගැන අපි උනන්දු වුනත් දරුවන් ඉදිරියේ මව්පියන් සහ පවුලේ අයගේ ගැටීම් පුංචි බිළිඳාගේ මානසිකත්වයට බලපාන බව අපි නොදන්නවා විය හැකියි.

මව්පියන්ගේ ගැටීම් දරුවන්ට බලපාන්නේ කොහොමද මුල් කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මේ අධ්‍යනය වෙනුවෙන් මාස පහළොවක් වයසැති දරුවන් 150 ක් තෝරා ගත්තා. ඒ නියැඳියට ගැහැණු සහ පිරිමි දරුවන් යැයි වර්ග කිරීමක් සිදු වුනේ නැහැ.

මුලින්ම මේ පර්යේෂකයන් කණ්ඩායම දරුවා මවගේ උකුලේ සිටියදීම විවිධ සෙල්ලම් බඩු චලනය කරනු ලැබුවා. මේ සෙල්ලම් බඩු ඇතුලතින් විවිධ ශබ්ද නැගෙන උපාංග ඇතුලත් කර තිබුණා. උදාහරණයක් විදිහට සමහර සෙල්ලම් බඩුවල ප්ලාස්ටික් ඇට වර්ග, තවත් අවස්ථාවක සිහින් ශබ්ද නැගෙන උපාංග විදිහට විවිධ දේ ඇතුලත් කලා.දැන් මේ ශබ්දවලට දරුවා දක්වන ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා.

එහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ  මිහිරි ලෙසින් හඬවන ශබ්ද වෙනුවෙන් දරුවාගේ මුහුනේ තිබුනේ ඉතාම ප්‍රසන්න බවක්. ඒත් එක්කම තරහ සහ ආවේග වලදී දරුවාගේ ප්‍රතිචාර එතරම් සුබවාදී වුනේ නැහැ.

මෙම සංසිද්ධිය පාදක කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ මෙම අධ්‍යනයේ ප්‍රධානී “බෙටී රැපොචාලි” පෙන්වා දෙන්නේ දරුවන් සමාජයේ මානව ප්‍රතිචාර ඉතා හොදින් හඳුනා ගන්නා බවයි.මේ අවබෝධය ඔවුන් ලබා ගන්නේ මාස පහලොවක කාලයේ පටන බවත් ඔහු පෙන්වා දෙනවා.

දරුවන්ට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න අපහසු වුනත් ඔවුන් දකින දෙයින් සහ ඇසෙන දෙයින් යම් යම් දේ සිතේ තැන්පත් වෙනවා. සමහර දරුවන් වැඩිහිටියන් වෙද්දී ආත්ම පාලනයක් නැහැ.මේ විදිහට දුර්වලතාවයන් ඔවුන්ගෙන් පෙනෙන්නේ බාලකාලයේදී මුහුණ දුන් විවිධ සිදුවීම් නිසා බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. අධ්‍යනයේ උපකර්තෘ ඇන්ඩෘ මෙලට්සොප්ට් සඳහන් කරන්නේ දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු තුනක කාලය ආත්ම පාලනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කරන බවයි. මේ තත්වය දරුවාගේ පාසල් ජීවිතයටත් බලපානවා.

සමහර දරුවන් බොහොම සංවේදියි. විටෙක මේ සංවේදී බව නිසා ඔවුන්ට අභියෝග ඉදිරියේ මුහුණ දීමට තරම් ශක්තියක් නැහැ.

කවුද වග කියන්නේ….?

එහෙනම් තොටිල්ලේ ලී වැටෙන් පනින්න පෙරාතුව දරුවාගේ මානසිකත්වයට බලපාන මේ පරිසරය ගොඩ නගන්නේ කවුද..? දරුවන්ගේ මේ කාලයේ ඇසෙන දකින දේ පවුල මුල් කර ගෙනම සිදු වෙන්නක්. බොහෝ පවුල්වල ගැටුම ඉදිරියේ විෂය වෙන්නේ දරුවා. දෙන්නා දෙමහල්ලන් ආරෝ විවුල් ගොඩ නගා ගන්නා හැම විටම ඇතැම් අම්මාවරු කියන්නේ,

“මම දරුවෝ අරගෙන ආවේ නැහැ… ඔහේගේ දරුවා තියල මම යනවා යන්න…”

ඒ වගේම ඇතැම් තාත්තලා හිතන්නේ දරුවන්ගේ වගකීම අම්මලාට පමණක් බවයි. මේ නිසා පවුලේ පුංචි පුංචි සිදුවීම්වලදි වුනත් ඇති වෙන ගැටුම් දරුවාගේ මානසිකත්වයට බලපානවා. නිතරම ඇහෙන දකින ගැටුම් නිසා දරුවාගේ ඉදිරි අනාගතයේදී සමාජ ගනුදෙණුව එතරම් යහපත් පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඔහු අසමතුලිත දරුවෙක් බවට පත් වෙනවා.

හොඳම දේ….?

දරුවා ලැබෙන්න ඉද්දී අම්මා තමා ඉදිරියේ ලස්සන පින්තූර එල්ලා ගන්නවා. ඒ වගේම නපුරු සිතුවිලිවලින් දුරස් වෙනවා. ඒ විදිහටම තොටිලි වැටේ ඉන්න දරුවා ඉදිරියේදීත් පරිසරය ගොඩ නගා ගැනීම වැදගත්. අම්මා හඬා වැලපෙනවා නම්,තාත්තා නිරන්තරව ගැටෙනවා නම්, එහෙම නැත්නම් ආත්තම්මා ,සීයා සමග අම්මා ,තාත්තා ගැටෙනවා නම් මේ හැම සිදුවීමක්ම තොටිල්ලේ සිටින පොඩි දරුවාගේ හිතට වැදෙන නිසා එය අනාගතයට බලපාන බව දැන් හදුනාගත් සත්‍යක්.අපි හොඳම දේ දරුවාට නම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරනවා නම් නිතරම පවුලේ සමගිය ගැන දැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍යයි. මේ වාර්තාව සංජානනය journal Cognitive Development සංවර්ධනය පිලිබඳ සඟරාව මගන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

දරුවාගේ දත් රැකගන්න…

දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන් තරම් උනන්දු විය යුතු පිරිසක් නැහැ. මෙහිදී අපි හිතන්නේ සෑම ආහාර වේලකින් පසුව දත් මැදීමෙන් පමණක් දරුවාගේ දත් ආරක්ෂා වෙන බවයි. ඒත් දන්ත සෞඛ්‍යය වෙනුවෙන් වැදගත් ආහාර වගේම දත් දිරාපත් වීමට හේතු වෙන ආහාරත් තිබෙන නිසා දරුවනගේ දත්වල ආරක්ෂාව වෙනුවෙන් ඔබ විසින් සීමා කළ යුතු ආහාර ගැනත් රීඩර්ස් ඩයිජස්ට් සගරාවේ තිබුණා. එහි සිංහල පරිවර්තනයයි මේ…

පොප් කෝන්ස්

අපේ දරුවන් පොප්කෝන්ස් වලට පුදුම කැමැත්තක් දක්වනවා. මේ ආහාර සාදා ගන්නේ බඩඉරිගු පොරි විදිහට පුපුරවා ගෙනයි. නිව්යෝර්ක්හි දන්ත වෛද්‍ය ජොනතන් නේමන් සදහන් කරන අන්දමට පොප්කෝන් නිසා විදුරු මස් තුවාල වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මෙවැනි ආහාර වලදී සීමාවක් තිබුනොත් හොදයි නේද…?

වියලි පළතුරු

පළතුරු වියලෙන විට එහි සීනි ප්‍රතිශතය ඉහළ යනවා. උදාහරණයක් විදිහට වියලි මිදි , අන්නාසි වියලෙන විට සීනි ප්‍රතිශතය ඉහලයි. ඒවා දත් දිරා යෑමට හේතුකාරකයන් වෙන බව වෛද්‍ය නේමන් පෙන්වා දෙනවා.

සීනි සහිත පාන වර්ග

පැණි බීම වගේම කිරි පානය කිරීමෙන් දත් අතර රැදෙන සීනි නිසා දත් දිරාපත් වීමට තිබෙන අවස්ථාව ඉහලයි. කෙළ නිපදවීමට ජලය පානය ඉතාම අවශ්‍ය බව අපි දන්නවා. මුඛයේ කෙළ නොමැති වුනාම සීනි සමග ප්‍රතික්‍රියා කරමින් අම්ල නිපදවන බැක්ටීරියා දත් දිරාපත් කිරීමට හේතු වෙන බව වෛද්‍ය නේමන් පෙන්වා දෙනවා. මේ කතාවටම තවත් අතුරු කතාවක් එකතු කලොත් අපේ අම්මලාට හොදයි කියල හිතුනා.පේරදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ ශ්‍රි ලංකා පෝෂණ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා පෙන්වා දෙන අන්දමට සීනි නිරන්තරව ආහාරයට ගන්නා විට රුධිරගත සීනි සාන්ද්‍රනය ඉහල යෑම නිසා ශරීරය මගින් නිපදවන ඉන්සියුලින්වලින් රුධිරගත සීනි ඉවත්කර සෛලවලට යොමු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන නිසා  type 11  Diabetes Mellitus  දියවැඩියා රෝග තත්වයන්ටත් ගොදුරු වීමේ අවදානම ඉහලයි. මේ නිසා වෙඝදපොලේ පැනීබීම, පළතුරු බීම එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව කොළ, තැමිලි හා රතු (Trafic Light System ) යනුවෙන් නම් කිරීමට උපදෙස් ලැබුනත් ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ගේ පාර්ශවයෙන්ද එතරම් උනන්දුවක් නැහැ.

ආම්ලික පාන

ආම්ලික ආහාර නිරන්තරව ගැනීම නිසා දතේ එනැමලයට හානි සිදු වෙනවා. ඒ වගේම දත් කහ පැහැ ගැනීමටත් හේතු වෙනවා. එනැමලයට හානි වීම නිසා දත් සංවේදී වීමත් සිදු වෙනවා.

අයිස්කැට

කුඩා දරුවන් අයිස්කැට වෙනුවෙන් බොහොම උනන්දුයි. මේ නිසා සමහර අම්මලා ශීතකරනයේ අයිස්කැට තියන්නේවත් නැහැ. අයිස්කැට හපන විට දත්වල සංවේදීතාවය වැඩි වෙනවා පමණක් නොවෙයි, දතේ පැලීම් ඇති වීමටත් හේතු වෙනවා.

ශක්තිජනක පානයන්

අද දරුවන් අතර මෙම පාන වර්ග ඉතාම ජනප්‍රියයි. පාඩම් කරන දරුවන් මෙම පාන වර්ග වෙනුවෙන් යොමු වුනත් ඒ පිටුපසින් තිබෙන දත් දිරා යැමේ කතාන්දයත් දැන ගත්තොත් හොදයි. මෙම පාන වර්ගවල සීනි ප්‍රතිශතය ඉහල නිසා අනිවාර්යෙන්ම මෙම පානයන්ගෙන් පසුව මුඛය සෝදා ගන්න.

රසකැවිලි

ටොපි, ලොසින්ජර්, අයිස්ක්‍රම් වැනි රසකැවිලි දත්වලට අහිතකර බව අපි හොදාකාර දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් නොකිව්වත් සිහිතබා ගැනීම හොදයි.

පිලිස්සූ මස්

මස් පුලුස්සන විට ඒ වෙනුවෙන් සීනි සහ සෝස් එකතු කරනවා. මස් විකීම අපහසු බව අපි අත්දැකීමෙන්ම දන්නවා. මස්වල සීනි නිසා වගේම විකන විට ඇති වෙන පිපිරීම් දන්තාබාධ සඳහා හේතු වෙන බවත් මතකයේ තබා ගෙන දරුවන්ගේ දන්ත සෞඛ්‍යය නිවසේදීම පටන් ගැනීමට පුලුවන්.

බදුන් කළ ආහාර

බදුන් කරන ලද ආහාර කල් තබා ගැනීමට ආම්ලික ද්‍රව්‍ය එක් කරනවා. මස්. මාලු, පළතුරු සිරප් වර්ග මේ සෑම බදුන් කළ ආහාර වලම තිබෙන සාන්ද්‍රණ යුෂ දත් දිරාපත් වීමට හේතු වෙන නිසා එම යුෂ ඉවත් කිරීමෙන් ආහාරයට ගැනීම වඩාත් යහපත්.

පොඩ්ඩාගේ ප්‍රතිචාර අත්විඳලා බලන්නකෝ…

පාසල් යන පුංචි දරුවන්ගෙන් තිබෙන ලොකුම කරදරය තමයි දිවා ආහාරයට රැගෙන යන ආහාර නැවත කෑම පෙට්ටියෙන්ම නිවසට පැමිණීම. මේ නිසා අම්මා ආවේශ වීම පුදුමයක් නොවෙයි. මොකද කිව්වොත් රසට, ගුණට උදෙන්ම නැගිටලා සකස් කරල දෙන ආහාර දරුවා බුත්ති වින්දේ නැති බව දැක්කාම ඒ ගැන හිත් තැවුලක් ඇති වීම සාමාන්‍ය මනුස්ස ගතියක්.

දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් බත් පිළියෙල කර යැවීම ඉතාම සුදුසුයි. ඒත් දරුවා බත් ප්‍රතික්ෂෙප කරන අවස්ථා බොහොමයි. ඔවුන් ඉල්ලන්නේ කඩෙන් ගත් විවිධ කෙටි කෑම වර්ග. මේවායේ බැදුම් තෙල් ගැන අපිට සහතික වීමටත් බැහැ. ඒ නිසා දරුවාගේ කෑම පෙට්ටියට බත් වලට අතිරේක වෙනත් යම් යම් දේ ඇතුලත් කිරීම වැදගත්. එතකොට බත් නැතැත් එහි තිබෙන විවිධ කෑම වර්ග දරුවා ආහාරයට ගනීවි.

පළතුරු

දරුවාගේ කෑම පෙට්ටියේ බතට අතිරේකව කෙසෙල් ගෙඩියක්, දොඩම් බික් දෙක තුනක්, අන්නාසි කැබැල්ලක් හෝ ඇපල් ගෙඩියක් තබන්න. බත් කෑමෙන් පසුව ඔහු මෙය ආහාරයට ගනීවි. එසේ නැත්නම් බත් වෙනුවට මේ පළතුරෙන් සැනසෙන්නත් පුලුවනි. බතින් පසුව විටමින් සී අන්තර්ගත අතිරේකයක් ආහාරයට ගත් විට ඉක්මනින් පෝෂණය අවශෝෂනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා පළතුරු කීපයක් කෑම පෙට්ටියේ තබන්න. ඒවා විවිධ වර්ණයන්ගෙන් යුක්ත වීමත් ඉතා වැදගත්. එවිට දරුවාට ලැබෙන පෝෂණය විවිධ විදිහට ලැබෙනවා.

එලවළු

එලවළු පිස දෙනවාට අමතරව හුමාලයෙන් තම්බා ගෙන කෑම පෙට්ටියේ තබනන්. තක්කාලි පෙති නම් අමුවෙන් පුලුවනි. කැරට් , බෝංචි හුමාලයෙන් තම්බලා බිත්තර පලුවක් හෝ සලාද කොලයක් සමග තබන්න. බතට වඩා මෙය පහසුවෙන් ආහාරයට ගන්නත් පුලුවනි. දඩිබිඩියේ වුනත් තම්මා ගත් එළවලු වෙනුවෙන් දරුවා යොමු වීම සාමාන්‍ය දෙයක්.

කිරි

කුඩා බෝතලයකට රස කරන ලද කිරි ප්‍රමාණයක් තබන්න පුලුවනි. හැබැයි කිරි සිසිල් නොවී බොහෝ දෙනෙක් බීමට එතරම් ප්‍රිය නැහැ. කාලය සමග කිරි නරක් වීමටත් තිබෙන ප්‍රවනතාවය වැඩියි.ශීතල ආරක්ෂා වෙන කෑම පෙට්ටියක නම් කිරි මිලිලීටර් ප්‍රමාණයක බෝතලයක් තබන්න පුලුවනි. එහෙම නැත්නම් යෝගට්, හෝ පළතුරු යෝගට් එකක් වුනත් වරදක් නැහැ. හැබැයි ආරක්ෂිතව නම් පමණයි.

චීස් සහ බිස්කට්

අපේ රටේ නම් එහෙම සිද්ධ නොවුනත් බොහෝ රටවල නම් දරුවන් වෙනුවෙන් චීස් නිවසේම නිපදවා ගන්නවා. ඒ විදිහට නිවසේ පිළියෙල කර ගත් චීස් පෙත්තක් වගේම බිස්කට් දරුවාගේ කෑම පෙට්ටියට ගැලපෙනවා. විශේෂයෙන් දරුවන් කැමැත්තක් දක්වන ලුණු සහ මිරිස් අධික බිස්කට් වෙනුවට නිවසේ තනා ගත් බිස්කට් වෙතින් ඔවුන්ට සංග්‍රහ කරන්න. අධික ලුණු සිරුරට අහිතකර නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ දිව මේ අහිතකර රසයන්ගෙන් මුදවා ගන්න.

ක්ලබ් සැන්ඩ්විච්

පාන් දරුවාගේ ආහාරය වෙනුවෙන් අනුමත කරන්න බැරි වුනත් ක්ලබ් සැන්ඩ්විච් විදිහට පිළියෙල කළොත් යම් ගුණයක් ලබා ගැනීම අපහසු නැහැ. බීට්, කැරට්, සලාද කොළ සහ බිත්තරයක් වෙන වෙනම ගම්මිරිස් සහ ලුණු සංයෝග කර ගෙන සකස් කර ගන්න. දැන් පාන් වල බටර් තවරා එක් තටට්ුවක බීට්, අනිත් පෙත්ත මත කැරට්, අනිත් පෙත්තට බිත්තර සහ සලාද කොළ ලෙසින් තබන්න. එය දරුවාගේ ආහාරයේ ඉතා ආකර්ශනයක් ලැබෙනවා වගේම කාබොහයිඩ්ට්‍රෙට සමග එළවළුවලින් පෝෂණයක් ලබා ගනන් පුලුවනි.

කට්ලට් , පැටිස්, රෝල්ස්

ඉහත ආහාර ඔබ නිවසේදීම පිළියෙල කර ගැනීම නිසා අහිතකර තත්වයන්ගෙන් මිදෙන්න පුලුවනි. මේවායේ පිරවුමට සැමන්, සලාද කොළ, අල, බිත්තර , මස්, මාලු යොදා ගන්න පුලුවනි. ඒ වගේම බැදීම වෙනුවට ඇතැම් ආහාර බේක් කර ගෙන පිළියෙල කර ගත හැකියි.

කේක්

නිවසේ සකස් කර ගත් රටඉඳි කේක්, පළතුරු කේක් වැනි ආහාර දරුවා ඉතා මනාපයෙන් බුත්ති විඳින්න පුලුවනි. මේවා අතිරේක මිසක දරුවාගේ සම්පූර්ණ දිවා ආහාරය වෙනුවෙන් නම් නොවෙයි.

රොටී, පිට්ටු

රොටී , පිට්ටු පිළියෙල කරන විට පිටි සහ පොල්වලට අතිරේකව ගොටුකොල වැනි සිහින්ව ලියා ගත් පළා වර්ග, කැරට් , ලීක්ස්, ළූණු කොල සහ බෝංචි එකතු කර ගන්න පුලුවන්.

එහෙම නම් මේ විදිහට පුංචි පුංචි අතිරේක වෙනස් වෙනස් විදිහට කෑම පෙට්ටියට එකතු කරල පොඩ්ඩාගේ ප්‍රතිචාර අත්විඳලා බලන්නකෝ… පොඩ්ඩාට විතරක් ‍නොවෙයි, ලොකු බබාලටත් අගුණයක් වෙන්නේ නැහැ.

අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීම වලක්වා ගැනීමට

අද බොහෝ මව්පියන් නගන චෝදනාවක් තිබෙනවා. ඒ තමයි අපේ දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වෙලා කිසිම දෙයක් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න කැමැති නැහැ. “හැම තිස්සේම ‍ඉන්ටර්නෙට් එකේ…” මේ චෝදනාව අද හැම පවුලකටම බලපාන තත්වයක්.ඇත්තටම දරුවන් මේ තත්වයට පත් වීමට බලපාන හේතු තිබෙනවා.

ඉස්සර කාලයේ පවුලක් අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඊට බලපාන ලද එක් හේතුවක් තිබෙනවා. අද වගේ විද්‍යුත් සන්නිවේදන තාක්ෂනයක් එදා තිබුනේ නැහැ. තොරතුරු බෙදා හැරුනේ ගමේ කඩපිලේ… නාන තොටුපොලේ.. මේ වගේ පොදු තැන්වලයි. ඒ විදිහට පෙරා ගත්තු තොරතුරු නිවසේ උදවිය අතර හුවමාරු වුනා. ඒ වෙනුවෙන් බොහෝ වේලාවට වෙන්වුනේ රෑ ආහාරය බුක්ති විදින අවස්ථාවයි. අද මේ අවස්ථාව පවුලකට අහිමි වෙලා. රාත්‍රි ආහාරය වුනත් ඔවුන් වෙන් වෙන්ව බුත්ති විදින්නත් එක හේතුවක් තිබෙනවා. සේරටම වඩා මුලට එන්නේ අන්තර්ජාලයේ සැරිසැරීමයි. ඉතින් අපි මේ තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල කුඩා දරුවන්ට තාක්ෂණ මෙවලම් දෙන්නේම නැහැ.

ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු පහට අඩු දරුවන්ටට තාක්ෂණ මෙවලම් හසුරුවන්නට අවසරයක් ඇත්තේම නැහැ.ඔවුන් ඒ තරමටම දරුවන්ගේ මානසික තත්වය ගැන උනන්දුවක් දක්වනවා. මේ කාලයේදී දරුවන්ට තාක්ෂණ මෙවලම් සමග ගණුදෙණු කිරීමට අවසර ලබා දීම අහිතකර තත්වයක් විදිහ ඔවුන් පෙන්වා දෙනවා.

සතා නපුරු නම් පෝෂණය කරන්න එපා…

2005 වසරේ මාක් සකර්බර්ග්ගේ ෆේස් බුක් ආයතනයට සම්බන්ධව කටයුතු කළ චමත් පලිහපිටිය අද ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට එක්ව සිටින ශ්‍රි ලාංකිකයෙක්. ඔහු මුහුණුපොත ගැන දක්වන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයි. විශේෂයෙන් දරුවන් මුහුණුපොත පරිශීලනය කිරීම ඔහු අනුමත කරන්නේ නැහැ. චමත් පලිහපිටිය සඳහන් කරන විදිහට ෆේස්බුක් කියන්නේ “ඩෝපමින් උත්තේජන” (dopamine driven feedback loops) ප්‍රතිචාර චක්‍රයක් බවයි. මුහුණුපොත සමග ගණුදෙණු කරන විට Likes, Comments, Hearts, Thumbs Up වැනි බෙදා හදා ගැනීම් නිසා ඇබ්බැහි වීමට සමාන රසායනයන් මොළයෙන් නිදහස් වෙන බවයි. ඒ නිසා නැවත නැවත මේ ප්‍රතිචාර මතම යැපෙන නිසා මේ පුරුද්දෙන් මිදීම අවශ්‍ය බැව් ඔහු පෙන්වා දෙනවා. ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රවර්ධනයට අත් හිත දුන් තැනැත්තෙක් විදිහට ඔහු විසින්ම මෙම ප්‍රකාශය කිරීම මහත් සේ ආන්දෝලනයට තුඩු දුන්නා ඒත් ඔහුගේ අදහස වෙන්නේ ” යම් සතෙක් නපුරු නම් , අනර්ථකාරී නම් අපි ඒ සතා පෝෂණ්‍ය කළ යුතුද යන්නයි. එහෙම නැත්නම් අපි එයින් ඉවත් විය යුතුයි. ඒ විතරක් නොවෙයි, අපි ඉවත්වීම සමග ඒ වෙනුවෙන් විකල්ප සෙවීමත් වැදගත්…”

සීමාව දන්නෙත් නැහැ…

අද බොහෝ දරුවන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ යා යුතු සීමාවන් ගැන දැනීමක් නැහැ. අලුත් පරම්පරාව මෙන් වැඩිහිටි පරම්පරාවට මේ කුසලතාවය නැති නිසා ඔවුන්ටත් දරුවන්ට සීමාවන් කියා දීමට හැකියාවක් නැහැ. ඒ නිසා අද අන්තර්ජාලය ඔස්සේ විවිධ අපහසුතාවයන්ට පත් වුන දරුවන් සිටිනවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැණුවත්බව ලබා සිටීම වැදගත්.

දරුවන් හුදෙකලා කළ යුතු නැහැ..

අද හැම පවුලකම සිටින්නේ දරුවන් දෙදෙනෙක් එහෙමත් නැත්නම් එක්කෙනෙක්. ඒ නිසා සහෝදර සමාගමක ඇසුර දරුවන්ට නැහැ. ඔවුන් නිතරම හුදෙකලා පිරිසක් බවට පත්ව සිටිනවා. නිවසේ තමාගේ ඇසුරට සිටින්නේ සේවකයෙක්. සමහර විට කිසිම කෙනෙක් නැතිවෙන්නත් පුලුවන්. අම්මා තාත්තා දෙන්නාම රාජකාරි කටයුතුවල නිතර නිසා දරුවන් නිවසේ හුදෙකලා වුනාම ඔවුන්ට කුමන හෝ මගක් කාලය ගෙවන්න අවශ්‍යයි. ඒ නිසා අන්තර්ජාලය සමග සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට දරුවන් ඉබේටම යොමු වෙනවා. කාලයත් සමග මේ මාධ්‍ය ගණුදෙණුව ඉතාම අහිතකර විදිහට දරුවන්ට බලපානවා.

නිතරම දරුවන් සමග ඉන්නදෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවන් සමග සිටින්න. ඔවුන්ගේ අවශ්‍යතාවයන් විමසා සිටින්න. තොරතුරු බෙදා හදා ගන්න. දරුවන්ගෙන් ඔබ දුරස්ථ වූ විට ඔවුන්ගේ හිතේ ඇති වෙන හුදෙකලා බව නිසා කුමන හෝ අන්දමකින් මෙම හිස්තැන පුරවා ගැනීමට දරණ උත්සාහය නිසා දරුවන් නොදැනීම මෙම සමාජාල වෙත ඇබ්බැහි වීමට ඉඩ තිබෙනවා.

හොඳ වගේම නරකත් තිබෙනවා…

අන්තර්ජාලය සහ සමාජ ජාල මගින් යහපත් වගේම අයහපත් ප්‍රතිඵල ඇති වීමට තිබෙන ඉඩ කඩ ගැන දරුවාටත් කියා දෙන්න. යම් වයස් සීමාවකදී වුනත් දරුවන්ගේ අධ්‍යාපණික කටයුතු වෙනුවෙන් මෙම ජාල පහසුකම් වඩාත් වැදගත් මෙහෙයක් ඉටු කළත් එයින් අනර්ථකාරී ප්‍රතිඵලත් ලැබෙන්නනට තිබෙන හැකියාව ගැනත් දරුවාට අවබෝධ කර දීම ඉතාම වැදගත්.

අද ලෝකය පුරාම මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු වෙමින් තිබෙනවා. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටී. බී.බී.සී පුවත්සේවයේ සඳහන් අන්දමට වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ. යුරෝපා සංගමයේ නව විධිවිධානයන්ට අනුව සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි මේ නිසා දරුවන් මාධ්‍යජාල පරිශීලනයේදී වඩාත් සුරක්ෂිත විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

බුද්ධියේ කඩුලු පනින්න දරුවාට අවසර දෙමු

ළමා බුද්ධි වර්ධනය පිළිබඳව කතා කරන විට ජීන් පියාජේ පිලිබඳව කතා නොකරම බැරිය.දරුවන්ගේ මානසික වර්ධනය පිලිබඳව ඔහු විසින් ඉදිරිපත් කරන න්‍යායන් පාදක කර ගෙන අපිටත් අපේ දරුවන්ගේ හැසිරීම් රටාවන් ගැන ප්‍රායෝගිකව අධ්‍යනය කරන්න පුලුවන්.දස මාසයක් කුස තුල හිඳ ලෝකයේ ආලෝකය දකින දරුවාගේ බුද්ධියේ වර්ධනය ජීන් පියාජේ විසින් කඩුලු හතරක් විදිහට හඳුන්වා දී තිබෙනවා. ඉතින් සමහර විට මේ කඩුලු සෙමෙන් පනින දරුවනුත් ඉන්න පුලුවන්. ඒ ගැනත් කලබල නොවී ඔබේ දරුවාගේ ක්‍රියාකාරිත්වය සමග පියාජේගේ හදුනා ගැනීම් ආදේශ කර බලන්නකෝ…

අවුරුදු දෙකක් පමණ වෙන තෙක් මානසික වර්ධනය ඉතා සෙමින්…

වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාගේ මානසික වර්ධනය ඉතා සෙමෙන් සිද්ධ වෙන බව ජීන් පෙන්වා දෙනවා.මේ කාලයේදී දරුවන් පරිසරයේ වෙනස්කම්වලට ඒ තරම්ම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ගැන හිතන්න. දරුවාගේ අත තිබුන සෙල්ලම් බඩුවක් හෝ වෙනත් දෙයක් ඔබ ඔහුගෙන් ඉවත් කර කොට්ටය යටින් තබන්න. තමාට මේ දෙය අහිමි වීම නිසා දරුවා අඬන්න පුලුවන්. ඒත් එය සොයන්නනට තරම් විමසිලිමත් බුද්ධියක් මේ පළමු කඩුල්ලේදී දරුවාට ඇත්තේ නැහැ. හරිම ලේසියි නේද…? අනවශ්‍ය දේ දරුවාගෙන් ඉවත් කලාට එය ඉල්ලමින් ගෝරනාඩු දැමීමට තරම් බුද්ධිමත් බවක් මේ කාලයේදී නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට දරුවා හසුරුවන්න පුලුවනි.

දෙවැනි කඩුල්ල

දැන් දරුවාට වයස අවුරුදු දෙක සහ හතර කාලයයි. ඒ කියන්නේ ජීන් පියාජේගේ දෙවැනි කඩුල්ල පනින්න සූදානම් අවධියයි.දැන් දරුවාගේ හිතේ සංකල්ප රූප මැවෙනවා. බෝලය කිව්වාම ඔහු එහි හැඩය දන්නවා. බල්ලා, බළලා හදුනනවා. ඒ වගේම ඔවුන් මේවාට තමන්ගේ වචන ගොඩ නගා ගන්නවා. හරකාට දූවා විදිහට… බල්ලාට බව්වා විදිහට කථා කරනවා..මල් වලට ආදරේ කරනවා. අවුරුදු හතරක් පමණ වෙද්දී ඔන්න ප්‍රශ්න ගොඩයි. වලාකුළු යන්නේ කොහාටද…? තරු දවල්ට ඉන්නේ කොහේද…? මල් පිපෙන්නේ කොහොමද….? ඒවාට පාට කොයින්ද…? අම්මට තාත්තාට වෙනම ඉගෙන ගන්න වෙලා. හැබැයි දරුවන් අහන මේ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්න ඕන. බොහෝ දෙමව්පියන් මේ වෙලාවට දරුවන් පන්නා ගන්නේ අනේ මේ වැඩක ඉන්නේ..මං දන්නේ නැහැ කියල බොහොම නුරුස්නාවෙන් කියන ගමන්. ඒ විදිහට දරුවන් පලවා හරින්න එපා. ඔවුන් මේ පනින්න යන්නේ බුද්ධියේ දෙවැනි කඩුල්ලයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ සූදානම් ශරීරයෙන් ඉන්න..

තුන්වැනි කඩුල්ල

බුද්ධියේ තුන්වැනි කඩුල්ල පනින දරුවාගේ වයස අවුරුදු 6 සහ 11 අතර වෙනවා. අපේ රටේ නම් දරුවාගේ ඉතාම අවාසනාවන්ත කාලයක්. ඇයි…. ශිෂ්‍යත්වයේ කඩුල්ලත් දැන් ඇවිත්. ඒත් දරුවාගේ ජීවන රටාවේ තුන්වැනි කඩුල්ල පැනීමට ස්වාධීන අවස්ථාවක් තිබෙනවා නම් අනාගතයේ ඇති ඕනෑම බුද්ධියේ අභියෝග ඔහු බාර ගනීවි. මේ කාලයේදී තර්ක බුද්ධියෙන් හිතන්න තරම් දරුවා දියුණු නැහැ. යකඩ රාත්තලයි…පුලුන් රාත්තලයි..අතරින් වැඩි බරක් යකඩද..එහෙම නැත්නම් පුලුන්ද ඇහුවොත් ගොඩක් දරුවන්ට නිවරැදි පිලිතුර ලබා දීමට අපොහොසත් වේවි. ශීෂ්‍යත්වය ඉදිරියේ වුනත් තර්ක බුද්ධිය වඩාත් වැදගත් නිසා ඒ නිපුනතාවයට පත් වෙන පිරිසත් සීමා වෙන්න පුලුවන්. තුන්වැනි කඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ ස්වාදීනත්වයෙන් ගලා යෑමට ඉඩ දෙන්න. ඒ වගේම මේ කාලයේදී ඔබට දරුවාගේ ජීවිතයට බොහෝ දේ පරිසරයෙන් එකතු කරන්න පුලුවන්. යන එන විට ඇසෙන දකින දේ සහ ඒවායේ තිබෙන තර්කානුකූල බව පෙන්වා දීමට පුලුවන්. එවිට අනාගතයේදී තර්කානුකූලව බලන්න දරුවා පුරුදු වේවි.

හතරවැනි කඩුල්ල

දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාවන් දැන් වර්ධනය වීමට පටන් ගන්නවා.එය ඉතාම තීරනාත්මක අවධියක්. ජීන් පියාජේගේ මෙම සංකල්ප අධ්‍යාප විද්‍යාවට ආදේශ කර ගෙන බොහෝ රටවල් තමන්ගේ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවන විදිහට සකස් කිරීමට පටන් ගත්තා. බොහෝ රටවල අධ්‍යාපනය දරුවන්ට බරක් නැහැ.

පින්ලන්තය 2020 වන විට පාසල් අද්‍යාපනය විෂය නිර්දේශයක් වෙනුවට “සංසිද්ධි හා අවස්ථා” විදිහට තෝරා ගැනීමට (phenomenons & events) අවස්ථාව ලබා දී තිබෙනවා. එවිට දරුවා තෝරා ගන්නේ තමාට අවශ්‍ය සංසිද්ධියක්. උදාහරණයක් විදිහට මල් වගාව ගැන දරුවා තෝරා ගත්තොත් ඊට අදාල අවස්තාවන් සියල්ල ඔහුට කැමැත්තෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ නැතුව කෘෂිකර්මය, ජීව විදයාව විදිහට වෂය නැහැ. හැබැයි කැමැත්තෙන් ඉගෙන ගන්නා දේ පිටුපස මුලින් කී විෂයයන් ඇතුලත් වෙන්නේ විෂයබරක් නැතුවයි. ඒ නිසා දරුවා ආසාවෙන් ඉගෙන ගන්නවා. පින්ලන්තය මේ රටාව මුලින්ම ආදේශ කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 16 ඉක්ම වූ දරුවන්ටයි. ජීවිතයේ කුනාටු කාලයේදී අධයාපනය ඉතාම රසවත් අත්දැකීමක් බවට පත් වෙන්න මේ අවස්තාවෙන් හොදටම ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම ඉගෙනුම රසවත් අත්දැකීමක් වේවි. දැනටත් පින්ලන්තය ලෝකයේ සාර්ථක අධයාපන ක්‍රම භාවිතා කරන රටවල් දහය ඇතුලට ඇතුලත් වෙනවා.

මේ ගැන අදහස් දක්වමින්  පින්ලන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාණී “මජ්රා කිලොනෙන්” සඳහන් කරන්නේ ඉස්සර කාලයේ තිබුන සම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් අපි බොහොම කාලයක පටන් නිදහස්. පාසල් කාලය ඉතාම නිදහසින් ගත කර පින්ලන්ත දරුවන්ට ගෙදරවැඩ නැහැ. විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගෙවන්න ඉඩක් මිස විෂයබරක් පවරන්න අපි කැමැති නැහැ.

එහෙම නම් ජින් පියාජේ පෙන්වා දෙනඅ න්දමට දරුවන්ට නිදහසේ හිතන්න, කටයුතු කරන්න අවශ්‍ය පරිසරය සකස් විය යුතු මේ කාලය හෙවත් බුද්ධි වර්ධනයේ හතරවැනි කඩුල්ල නිදහසේ පැන යන්න  අපිත් අවසර දෙමු.

jean-piaget
ජින් පියාජේ (jean piaget)

දරුවන් ඉල්ලන හැම දෙයක්ම දෙනවාද…?

පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වී තිබුන පුවතක් ඔබත් කියවන්නට ඇති. තම දෙමව්පියන් සමග බාලි දූපත් සංචාරයේ යෙදෙන්නට සිටි පවුලක දරුවෙක් තනියම බාලි දූපතට ගිය බව ඒ පුවතයි. ඔහුගේ වයස අවුරුදු 12 යි. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ  මුලින් පොරොන්දු වුන විදිහට දෙමව්පියන් විසින් එම සංචාරය කිරීම මග හැර ඇති නිසා බවත් පළ වී තිබුණා.මෙහි තවත් පැත්තක් වුනේ ඒ දරුවා මව්පියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් මුදල් හොරෙන් ලබා ගෙන මෙම සංචාරය තනිවම යෑමයි. ඔහු විදේශ ගමන් සේවය පවා නොමග යවා තිබෙනවා.

මේ පුවත උලුප්පා දැක්වීම නිසා සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී දරුවන් සිතන්නේ ඔහු වීරයෙක් බවයි. ඒ වගේම මෙම ගමන වෙනුවෙන් ඔහු අනුගමනයට කරන ලද ක්‍රමවේදයන් ඉස්මතු කිරීම නිසා දරුවන්ටත් එවැනි තීන්දු තීරණ ගැනීමට හොඳ අවස්ථාවක්. එහෙමනම් අපි දෙමව්පියන් විදිහට මේ ගැන හිතන්නේ කොහොමද…?

දරුවන් ඉල්ලන හැම දෙයක්ම දෙනවාද…?

 බාල කාලයේදී දරුවන් ඉල්ලන හැම දෙයක්ම ඔබ ඇත්තටම ලබා දෙන්නේ ඔවුන්ට තිබෙන ආදරය නිසයි.සමහර විට එය දරුවාට අනවශ්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. එහෙත් ඔහුගේ ඇඩිල්ලට, පොලවේ හැපිල්ලට බියෙන් ඔබ දරුවාගේ එම ඉල්ලීම ඉටු කරනවා. සමහර විට මේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විදිහට ඔබ ආර්ථික වශයෙන්ද දුෂ්කරතාවයන් විඳ දරා ගෙන දරුවාගේ ඉල්ලීම ඉටු කරනවා විය හැකියි. ඒ නිසා දරුවා ඉල්ලන හැම දෙයම නොව නිතරම ඔහුට අවශ්‍ය දෙය පමණක් ලබා දෙන්න.

බැහැ කිව්වාට අහන්නේ නැත්නම්…

ඔබට එය අනවශ්‍ය දෙයක් ලෙසින් හිතුනත් දරුවා හිතන්නේ එය තමාට අවශ්‍ය බවයි. එය දරුවන්ගේ ස්වභාවයයි. ඒ නිසා සෘජු ලෙසින්ම දරුවාගෙන් ඉල්ලීම ප්‍රතික්ෂෙප නොකොට එහි තිබෙන අනවශ්‍යතාවය ඔවුන්ට පෙන්වා දෙන්න. එය දරුවාට ඒත්තු යන විදිහට මිසක දැඩි සේ ප්‍රතික්ෂෙප ස්වරයෙන් නොකියන්නත් වග බලා ගන්න. එසේ නොමැතිව ඔබ දරුවාගේ ඉල්ලන ඉල්ලන හැම දෙයම ඉවක් බවක් නොතබා ඉටු කරන විට අනාගතයේදී ඔහු සුපිරි මෝටර් රථයක් ඉල්ලා කරදර කළොත් එයත් මිළට ගැනීමට සිදු වේවි.එවන් ඉල්ලීමක් ඉටු කිරීමට ඔබට නොහැකි බව ඔහු තේරුම් ගන්නේ නැත. ඊට හේතුව බාල කාලයේ පටන්ම ඉල්ලන හැම දෙයින්ම ඔවුන් පෝෂණය වූ නිසයි.

ආදර්ශමත් සාහිත්‍යය දරුවන්ට ලබා දෙන්න..

 බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් ආදර්ශමත් චරිත කථා සහ සාහිත්‍ය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න. සමාජයේ දඩබ්බරයන් ඔවුන් විසින්ම වැනසෙන බව පහදා දෙන්න. ඉස්සර කාලයේ අත්තම්මා, අම්මා දරුවා තමාගේ උකුලේ තබා ගෙන කියා දෙන “කොටියා ආවා” කියා මිනිසුන් රවටා අසීරුවට පත් වීම , අනවශ්‍ය ලෙසින් කථාවට ගොස් ඉබ්බා විනාශ වීම වැනි පුංචි පුංචි කතාන්දර දරුවන්ගේ චරිත සංවර්ධනයට බෙහෙවින් හේතු වුණා. ඒ වගේම

“සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි …”

වැනි දරුවන්ගේ යහගුණ ඉස්මතු කරන කවි නිරන්තරවම ඔවුන්ට කියා දෙන්න.

වැරැද්දේ ආදීනව පහදා දෙන්න..

 අම්මා , තාත්තා ‍කියන දේ නාහන දරුවා අනාගතයේදී අසීරුතාවයට පත් වෙන බව ඉතාම තදින් දරුවන්ට කියා දෙන්න. මෙවන් සමාජ සිද්ධියකින් පවා ඒ ගැන පැහැදිලිව කියා දීමට පුලුවනි.දරුවන් චරිත අනුකරනයට ඉතා කැමැත්තක් දක්වන පිරිසකි. මඩොල්දූවේ ජින්නා ගේ චරිතය තමාට ආරෝපනය කර ගැනීමට , අඹයහළුවෝ හි චරිත වීමට දරුවන් කැමැත්තක් දක්වති. අවදානම් කටයුතු ගැන විමසිල්ලෙන් සිටින දරුවන් සිටිති. ඔස්ට්‍රෙලියාව වැනි රටවල හැරී පෝටර් ප්‍රබන්ධ පවා දරුවන්ට නුසුදුසු බව පිලිගෙන එම සාහිත්‍යයට පවා තහංචි පනවා ඇති රටකි. ඒත් මේ දරුවාද ඔස්ට්‍රෙලියානු ජාතිකයෙක් වීම තුලින් පෙනෙන්නේ ඔහු ඉදිරියේ ඇති අවදානම ගැන නොතකා මෙම වැරැදි කටයුත්ත වෙනුවෙන් යොමු වී ඇති බවයි. ඒ නිසා දරුවන්ට ඔබ කියා දිය යුත්තේ ඔහු වීරයෙක් නොව අකීකරු සහ වංචා සහගත දරුවෙක් බවයි. මෙම කටයුත්ත පිටුපසින් තිබෙන අවදානම සහ වැරැදි සහගත බව දරුවන්ගේ මනසට කා වදින අන්දමින් කියා දීම ඉතාම වැදගත් වෙනවා.

දරුවා ගැනත් විමසිල්ලෙන් සිටින්න..

 දරුවා මව්පියන් සමග අමනාපව බාලි දිවයිනට පිටත්වීම තෙක් ඔහු බොහෝ දේ සැලසුම් කරන්නට ඇති. මව්පියන් සමග බහින් බස් වීමක් සිදු වීම සහ එහිදී දෙපාර්ශවයේම ප්‍රතිචාර මෙතැනදී වැදගත්. දරුවා ආවේග සහිත නම් ඔහු පිළිබඳව මව්පියන් වඩාත් පසුවිපරමින් සිටිය යුතුව තිබුණි. ඔහුගේ හැසිරීම තුලින් ඔහු සැරසෙන්නේ කුමකටද බව ඒත්තු ගැනීමට තිබුණි. එමෙන්ම මෙම සංචාරය කල් තැබීමට වූ හේතු සාධාරණීයකරනය කිරීමෙන් දරුවා අස්වසන්නට තිබුණි. එහෙත් මව්පියන් එතෙක් මෙතෙක් කිසිවක් දැන නොසිටියා යනු ඔවුන්ගේ පාර්ශවයෙන්ද යම් දුර්වලතාවයක් වීමට තිබුණි. තවත්  ඔහු බාලි දිවයිනට යෑම අනතුරක් නොමැතිව සිදු වුනත් එසේ නොවුනා නම් විය හැකි බොහෝ දේ තිබුණි. මේ තරම් තීන්දුවක් ගැනීමට ආවේඝ තිබෙන දරුවෙක් ගැන මීට වඩා විමසිල්ලෙන් සිටිමත් වැදගත්.

කළ හැකි දේ පමණක් කියන්න

 දෙමව්පියන් වශයෙන් ඔබ නිතරම දරුවාට යම් ආශ්වාදයක් , විනෝදයක් ලබා දෙන කටයුත්තක් සංවිධානය කරනවා නම් එහි සියල්ලම සැලසුම් කිරීමෙන් පසුව ඔවුන්ට කියන්න. එසේ  නොමැතිව දරුවන්ගේ මනසේ සිහින පමණක් ගොඩ නැගීම එතරම් සුදුසු නැත.මනසේ මවා ගත් සුන්දර සිහිනය ඉටු නොවෙන විට දරුවන් විදිහට ඔවුන්ටත් යම් පසුතැවිල්ලක් ඇති වීම සාධාරනයි. ඒ නිසා නිතරම බො‍රු පොරොන්දු ලබා දීමෙන් වලකින්න. කළ හැකි දෙය පමණක් කියන්න.

මිතුරන් අතර විවිධ අදහස් ඇති අයත් සිටීම වැදගත්…

සමාජයේ ජීවත්වෙන අපිට වගේම අපේ දරුවන්ටත් තනිවම ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මිතුරන්ගේ ඇසුර අවශ්‍යයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ.ඒත් අපි මෙච්චර කාලයක් හිතා ගෙන හිටියේ අපි ඇසුරු කළ යුත්තේ සමාන අදහස් ඇති උදවිය පමණක් බවයි. එක වර්ගයේ කුරුල්ලන් එකට ලගිනවා කියන කියමන  අනුව අපි හිතන්නේ යාලුවන් අතර තිබිය යුත්තේ සමාන ගති පැවතුම් කියලයි. ඒත් දැන් ඒ අදහස වෙනස් වෙමින් තිබෙනවා.

පර්යේෂකයන්ගේ අදහස අනුව ඔවුන් පෙන්වා දෙන්නේ අපි අතර සිටිය යුත්තේ විවිධ ගති පැවතුම් ඇති මිතුරු පිරිසක් බවයි. එහෙම නම් මිතුරන් ඇසුරු කිරීමේ වාසිය අපිත් හදුනා ගෙන දරුවන්ටත් එහි ප්‍රතිඵල ලබා දෙමු…

නිර්මාණශීලිත්වය

මිතුරන් ඇසුර නිසා නිර්මාණශීලිත්වය ඇති වෙන බව පර්යේෂකයනගේ අදහසයි. එය ඇත්ත. ඔබ තනිවම සිටිනවාට වඩා යමක් මිතුරන් සමග සිටියදී කරන්න පුලුවනි. උදාහරණයක් විදිහට ඔබ යම් ස්ථානයකට තනියම යනවාට වඩා මිතුරන් සමග යන විට එහි ‍ඇති වෙන වෙනස්කම් බොහොමයක් තිබෙනවා. මේ ගමනේදී සින්දු, නැටුම් පමණක් නොවෙයි, ඡායාරූප ගැනීම් පවා සිදු වෙනවා. හුදෙකලාව ගන්නා සෙල්ෆි ජායාරුපයකට වඩා කණ්ඩායමක් සමග ගනු ලබන ඡායාරූපය පිරිසක් සමග ඉතාම නිර්මාණශීලිත්වය. එහි වැඩි වැදගත්කමක් අදට වඩා හෙට දවසේ ලැබෙනවා.ගනු ලබන ඡායාරූපය ඉතාම නිර්මාණශීලියි.

ලැබෙන වාසි

දරුවන්ට වගේම වැඩිහිටියන් වන ඔබටත් විවිධ තරාතිරම්වල මිතුරන් ඇසුරු කරන විට සමාජ සම්බන්ධතාවයන් පුලුල් වෙනවා. තනිවම කර ගැනීමට අපහසු කාර්යන් විවිධ මිතුරන් ඇසුරු කිරීමෙන් පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. පංති මට්ටමින් වුනත් ගණිතයට අදක්ෂ දරුවෙකුට ඒ විෂයට හැකියාව ඇති මිතුරෙකුගෙන් උදව් ලබා ගත හැකියි. චිත්‍රවලට අපහසුතාවයක් තිබෙන දරුවෙක් ඒ වෙනුවෙන් තම මිතුරාගේ සහය ලබා ගනීවි. වැඩිහිටියන්ගේ ලෝකය මීටත් වෙනස්. ඔවුන්ගේ වපසරිය පුලුල්. ඒ නිසා විවිධ විදිහට විහිදී ගිය කටයුතු ඉටු කර ගැනීමේදී විවිධ මිතුරන්ගෙන් විවිධ විදිහට උදව් උපකාර ලැබේවි.

විරුද්ධ අදහස් ඉවසීම

සමාන අදහස් තිබෙන අය පමණක් එකට එක් වීම නිසා නිවරැදි දෙය අවබෝධ කර ගැනීම අපහසුයි. එකම අතකට ගමන් කරනවා විනා එහි විවිධ පැතිකඩ දෙස බැලීමක් නැහැ. ඒ නිසා විවිධ අදහස් තිබෙන මිතුරන් ඇසුර අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ දරුවා දෙවැනි වතාවට විභාගය කිරීමට අකමැත්තක් දක්වනවා නම් යන අතට පාර නොතබා එහි ආදීනව කියා දෙන අන්දමේ මිතුරන් පිරිසක් සිටීම වැදගත්. එවන් අවස්තාවක දරුවාගේ හිතට ධනාත්මක ලෙසින් නැවත වතාවක් විභාගයට පෙනී සිටීමේ වටිනාකම් කියා දෙන මිතුරෙක් සිටීම ඉතාම වැදගත්. ඒ නිසා එකම අන්දමේ සිතුවිලි සහ ආකල්ප වලට වඩා වෙනස් වෙනස් සිතුවිලි සහිත පිරිසකගේ ඇසුර වැදගත් බව පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

නොගැලපෙන තොරතුරු මග හරින්න එපා

සමහර අවස්ථාවලදී ඔබට නොගැලපෙන තොරතුරු මිතුරන් ඉදිරිපත් කරන විට ඔබට නොගැලපෙන විට ඔවුන් මගහැර සිටින්නට උත්සාහ කරනු ඇත. එහෙත් ඔබ කළ යුත්තේ එය නොවේ. මෙම අදහස් විවිධ පැතිකඩ ඔස්සේ සලකා බලන්න. එයින් යම් දෙයක් ඔබට ලබා ගත හැකි බව වැටහේ නම් එම තීන්දුව ලබා ගන්න.

අන් අයට ගරු කිරීම

විවිධ අදහස් ඇති මිතුරන් සමග ඇසුරේ සිටින විට අනිත් අයගේ අදහස් වෙනුවෙන් පමණක් නොව එම පුද්ගලයන් වෙනුවෙන් ගරු කිරීමේ ගති ලක්ෂණ ඇති වේ. මෙය ආකල්පමය ලෙසින්ද ඉතා සුබදායී ක්‍රියාවකි. ඒ නිසා බාල කාලයේ පටන්ම ඔබ දරුවාටත් අන් අයගේ අදහස් වෙනුවෙන් ගරු කිරීමේ ආකල්ප හුරු කරන්න.

අධිමානසිකත්වයෙන් මිදීම

එකම කණ්ඩායමේ පිරිසක් එකට සිටින විට ඔවුන් අතර ඇති වෙන්නේ තමා මුල් කර ගත් අධිමානසිකත්වයකි. පංතියක වුනත් වෛද්‍යවරුන්ගේ දරුවන් පමණක් මිතුරු ඇසුරක්  පවත්වා ගන්නේ නම් අපි වෛද්‍යවරුන්ගේ දරුවන්ය යන අධිමානසිකත්වයකින් කටයුතු කිරීම එතරම් සුදුසු නැහැ. ඒනිසා පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මේ අන්දමින් විවිධ මානයන් ගොඩ නැගෙන විට අධිමානසිකත්වය එතරම් සුබවාදී නොවන බවයි. ඒ නිසා දරුවන්ගේ මිතුරන් අතරත් ඔබ විවිධ තරාතිරම් අනුව මිතුරන් වර්ග කිරීම එතරම් සුබවාදී නැහැ. මේ තත්වය නිසාම පංතියක වුනත් පුංචි කණ්ඩායම් ඇති වෙලා දරුවන් අතර තිබෙන සහජීවනය නැති වෙන්න පුලුවන්.

සහකම්පනය ගොඩ නැගීම

එකම ප්‍රශ්නය දිහා විවිධ කෝනයන්ගෙන් බලන විට මධ්‍යස්ථ තැනක නවතින්න පුලුවන්. ඒ නිසා විවිධ අදහස් ඇති මිතුරන්ගේ ඇසුර වඩාත් වැදගත් වෙනවා. එකම විදිහට බලන පිරිසකින් සාධාරණ බවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මිතුරන් අතරත් විවිධ අදහස් තිබෙන අය සිටීම වැදගත්.

විවිධ අදහස් ඇති අය ඇසුරු කිරීමෙන් ආකල්ප තුළ වෙනසක් ඇති වෙන බව දැන් හදුනාගෙන තිබෙනවා. මුල් කාලයේදී මෙම අධ්‍ය්‍යනය සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයේය. එහිදී පෙනී ගියේ සුදු ඇමරිකානුවන් සහ අප්‍රිකානු සම්භවයක් ඇති කලු ජාතිකයන් එකම පාසලක අධ්‍යාපනය ලැබීම ඉතාම සාර්ථක වූ බවයි. මහා බ්‍රිතාන්‍යයේත් මේ පිලිබඳව අධ්‍යාපනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියෙත් මෙම විවිධ ජන කණ්ඩායම් අතර මිතුරු ඇසුර වඩාත් වැදගත් මෙන්ම ප්‍රතිඵලදායක බවයි. ඒ නිසාම මෙම තේමාව මුල් කර ගෙන විවිධ රූපවාහිනී සහ සිනමාවන් පවා නිර්මාණය කරනු ලැබුවා. වසර හැටක් පමණ කාලයක් පුරා සිදු කරන ලද අධ්‍යනයන් මගින් පෙනී ගියේ විවිධ වර්ගයේ පුද්ගලයන් ඇසුරු කිරීමෙන් සහ එකට ජීවත්වීමෙන් සාමකාමී සහ ධනාත්මක අදහස් ඇති ලෝකයක් නිර්මාණය කළ හැකි බවයි.

අම්මාවරුන්ගේ දිනය

මව්ගුණ කඳ නිමක් නැතැයි වූ පිලිගැනීම පපු කුහර ඔස්සේ පවා නිදන්ගතව තිබුන යුගයක අම්මාවරුන්ට උපහාර දැක්වීමට වෙන්වුන දිනයක් තිබුනේ නැහැ. ඒත් නිවසේ බුදුන් එමහම නැත්නම් දෙවැනි බුදුන් තරමටම අම්මා සම්භාවනාවට පාත්‍ර වුණා. කාලයක් ගෙවෙද්දී අම්මා පවුලට බරක්. ඒ නිසාම මහමග එහෙම නැත්නම් අනාථ නිවාසයකට සීමා වෙන අම්මා ගැන මව්වරුන්ගේ දිනයේදී නම් ඉතාම ඉහලින් ගුණ ගායනා වෙනවා. මහා සාගරය බඳු නිමක් නැති ගුණ කඳක් ඇති මව්ගුණ ගායනාවට අවුරුද්දේ එක් දිනක් පමණක් සීමා වෙනවාද යන්න වෙනත් පැත්තක තබා අපි අම්මාවරුන්ගේ දිනයේ ආරම්භය ගැන ටිකක් කතා කලොත්…

එක් අදහසක් අනුව නම් අනුමාන කරන්නේ සුළු ආසියාවේ “කිබලේ” නැමැති මාතෘ දිව්‍ය වන්දනාවත් , රෝමයේ පැවැති “හිලේරියන්” උත්සවයේ කොටස් හෝ “රිආ”  නම් මාතෘ දේවතාවිය වන්දනා කිරීමේ ආභාෂයත් මෙම දිනය බිහිවෙන්නට පාදක වී ඇති බවයි. බුදුදහමේත් මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා ලෙසින් සලකනවා. මේ අනුව අතීතයේ පටන්ම මාතෘත්වය වෙනුවෙන් සුවිශේෂී වටිනාකම් ලැබී තිබුනා.

සමහර රටවල් විසින් මේ දිනය සමරන්නේ කන්‍යා මරියතුමියගේ දිනයේ වෙන අතර තවත් සමහර රටවල් ජාත්‍යන්තර කාන්තා දිනයේදීම අම්මාවරුන්ගේ දිනයත් සමරනවා. කිතුණු බැතිමතුන් අළු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින හතලිහක කාලයක් මරියතුමියට ගෞරව දැක්වීමට යොදා ගෙන ඇති අතර එතැනින් පසුව එළැඹෙන ඉරිදා දිනය උත්කර්ෂවත් විදිහට සමරනවා. ධනවත් වංශාධිපතිවරුන් තමාගේ සේවකයන්ට මව්වරුන් සමග ගත කරන්න ඔවුන්ගේ නිවෙස්වලට යෑමට අවසර ලබා දෙනවා. එදාට අම්මා වෙනුවෙන් රැගෙන යන කේක් ගෙඩිය හැදින්වුනේ “මාතෘ කේක් ගෙඩිය” විදිහටයි. මෙය වංශාධිපතිවරුන් විසින්ම සකසා දීමට තරම් කාරුණික වුනා.

ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමට අනුව “Mothering Sunday” නමින් උත්සවයක් සමරනවා. එහිදී මාතෘත්වය සමරන්නේ නැහැ.අම්මාගේ ගුණ ගයා කියා අවසානයක් නැත… යන සංකල්පය අත්තිවාරම විදිහට තිබුන නිසාම මේ දිනය ජාත්‍යන්තරව පිලිගැනීමට කිසිම ගැටුමක් ඇති වුනේ නැහැ. 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ විසූ “ඇනා ජාර්විස්” ඇගේ අම්මාගේ මියගිය දිනය අලලා ගුණගායනා උත්සවයක් පැවැත්වුවා. ඒ මවගේ දෙවැනි ගුනානුස්මරණ දිනයයි. ශාන්ත ඇන්ඩෘ පල්ලියේ පවත්වන ලද මෙම උත්සවය පසුකාලයක ජාත්‍යන්තර සැමරුම වෙනුවෙන් ජවය ලබා දුන්නා. අද මෙම පල්ලිය ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය (International Mother’s Day Shrine) ලෙස හැඳින්වෙනවා.1908 වසරේ අම්මාවරුන් වෙනුවෙන් දිනයක් ස්ථාපිත කරන යෝජනාවට පුංචි මතවාද ඇති වුනා. අම්මාට දිනයක් නම් නැන්දම්මාටත් දිනයක් අවශ්‍ය වෙනු ඇතැයි කියමින් මේ යෝජනාව බැහැර වුනා.1911 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ අම්මාවරුන් වෙනුවෙන් නිල උත්සවයක් පැවැත්වුනත් එදා ඒ සැමරුම සීමා වුනේ තමන්ගේ අම්මාට පමණයි. හැම අම්මා කෙනෙක්ම වෙනුවෙන් ඒ ඇගයීම ලැබුනේ නැහැ. 1914 වසරේ වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා විසින් මේ දිනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එතැන් පටන් ලෝකයේ බොහෝ රටවල් මව්වරුන්ගේ දිනය සමරන්න පටන් ගත්තා. අද වෙන විට ලෝකයේ බොහෝ රටවල් මේ දිනය සමරන අතර පින්ලන්තය,ඉතාලිය, තුර්කිය,ඔස්ට්‍රෙලියාව,ඩෙන්මාර්කය අම්මාවරුන්ගේ දිනය සමරන රටවල් ජාලයට ඇතුලත් වෙනවා.

බොහෝ දෙනෙක් අද කියන්නේ බටහිර රටවල අම්මා තම පවුලෙන් මිදී වෙනම නිවාසයන්හි ගෙවන නිසා අනිවාර්යෙන් මව බැලීමට යෑම සඳහා ලබා දෙන යුතුකමක් විදිහට මේ සංකල්පය ගොඩ නැගුන බවයි. ඒත් අපේ රටට මේ තත්වයක් නොමැති නිසා අම්මාවරුන්ගේ දිනය අනවශ්‍ය බවට මතවාද තිබුනත් අද අපේ රටේ අම්මාගේ චරිතය ඉතාම ශෝචනීය තතත්වයකට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.එක වහලක් යටතේ ජීවත් වුනත් අම්මා අද අවලංගු කාසියක් තරමට පත්ව සිටිනවා. දරුවන් හදා වඩන ඇය එයින් පසුව මුණුපරන්ගේද ආරක්ෂකයාය. එහි වරදක් නැත. අත්තම්මා , සීයා තරම් මුණුපුරන්ට රැකවරනය ලබා දෙන්නෙක් වෙනත් නැත. ඒ අතර අම්මාට පවුලෙන් ලැබෙන රැකවරනය ගැන නම් සැක සහිතය.පුවත්පතක් ගෙන යාන්තම් ඇස ගැටුනත් පෙනේනේ අම්මා පත්ව ඇති ඉරණමයි. දවල් බත පමා වුනාම, මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් නොදුන්නාම, පෙම්වතියට තෑගි ගන්න මුදල් ඉල්ලා නොදී සිටිය විට අම්මා මරා දමන්නට තරම් දරුවන් සැහැසිව ඇත. එහෙමත් නැත්නම් අම්මා වාහනයක දමාගෙන ඇවිත් මහමග දමා සමහර අය නම් රුපියල් පන්සියයක්ද මිට මොලවා ගොස් ඇත. අම්මාගේ තක්සේරුව අද රුපියල් පන්සියයකට සීමා වී ඇත.

“මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට…” යැයි අසන්නටවත් අම්මාගේ හඩ අවදි වී නැත. නිවසක පහන අම්මාය. ඒ පහන් එලියෙන් දරුවන්ට යන එන පාර නොපෙන්නුවා නම් අද ඔවුන්ට ජීවිතයක් නැත. ගමට කලින් හිරු උදා වෙන්නේ මුලුතැන්ගෙට යන්න සැබෑය. වනසතුන් අතර පවා උත්තරීතර මව් සෙනෙහස ඉතා අරුමයක්ව ඇත. ඇත් පැටවකු බිහි වුන විට රැලටම කිරි එරෙන්නේ මව් ටසනහසේ අරුමය නිසාමය. මැක්සිම් ගෝර්කි සිය “අම්මා” කෘතියේ දක්වා ඇති අන්දමට “ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරි වලින් බව සැබෑය”.

මේ නිසා අම්මාවරුන්ගේ දිනය මුල් කර ගෙන සංකේතාත්මකව තිලිනයක් පිලිගැන්වූ පමනින් ඇයට එය උපහාරයක් වන්නේ නැත. මව් ගුණ ඔබේ හදවතේ ආත්මීය බන්ධනයක් විය යුතුය. දරුවන් නිවසට එන තෙක් අම්මාගේ ඇස පියවෙන්නේ නැත. දරුවන්ගේ කුස රස අහරින් පුරවා ඇය ඇල් වතුරෙන් කුස පුරවා ගන්නා තරමටම පරිත්‍යාගශීලීය. අම්මාගේ එකම ප්‍රාර්ථනය දරුවන් පමනි. එසේ නම් දරුවන්ගේද ප්‍රාර්ථනය විය යුත්තේ එයම නොවන්නේද…? මල් පොකුරක් සහ සුබපැතුම්පතකින් පමණක් අම්මාට වියපත් වූ විට ලැබෙන ඇගයීම සෑහීමක් නොවේ. ඇයගේ දුක සැප විමසා බලන්නට, අවශ්‍ය ආහාරපාන සපයා දෙන්නට, බේත් හේත් බිව්වාද බැලීමට කාලය කෙසේ හෝ ලබා ගන්න. වෙලාවක් නැතැයි… යන්න සියල්ලටම ගැලපෙන පාඨයක් නොවේ.

ඒ වගේම ඔබ මව්පියන්ට සලකන අන්දමින් දරුවාද මව්පිය ගුණ හදුනා ගනු ඇත. අම්මා තාත්තාට ඔබ නොසලකමින් දරුවන්ට ඒ ගැන ලබා දෙන අවවාද අනුශාසනාවන් කොහෙත්ම අදාල නැත. ඒවා ප්‍රායෝගික නොවන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසාය. ඔබ අම්මාට සලකන තරමින් දරුවා බොහෝ දේ උගනිනු ඇත. එවිට අම්මාවරුන් වෙනුවෙන් එක් දිනයක් නොව තමාගේ ජීවිතය අම්මාය … තරමටම මව්ගුණ හදවතට සමීප ජීවිතයේ ගීතය බවට පත් වෙනු ඇත.

ඔයාගෙ පැටියටත් තියෙන්නෙ කූ..චි කූ..චි සොෆ්ට් සමක්ද?

ඔබේ සමට වඩා ඔබේ පැටියාගේ සම සුමුදුයි කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඉපදිලා මාස කිහිපයක් නැතිනම් යම් කාලයක් යනකම් පැටියගෙ සම හරිම සංවේදී ඒ වගේම හරිම සුමුදුයි. ඉතිං, පැටියගෙ සමට හොදම දේ ලබාදෙන එක ඔබේ වගකීමක්. ඒ වගකීම දන්න නිසයි Pears අලූත් වුණේ. විශේෂ සංයෝග එකතු කරලා අපේ Pears නිෂ්පාදන පෙළ අලූත් වුණේ ඔබේ පැටියාගේ සංවේදී සම සුරැකීමට උදව් කරමින් පැටියගෙ සම කූ..චි කූ..චි සොෆ්ට් ගතියෙන් තියෙන්නයි.

අලූත් Pears වල තියෙන එක් සංයෝගයක් තමයි ඔලිව් ඔයිල්. දශක ගණනක් තිස්සේ ලොව පුරා සිටින අම්මලා එයාලගේ බබාලට දිදුළන සමක් ලබා දෙන්න පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. එය සමේ තෙතමනය සුරකීමට උදව් කරන නිසා නිරෝගී, දිදුලන, සුමුදු සමක් ඔබේ පැටියට ලැබෙනවා.

අලූත් Pears වල තියෙන තවත් එක් ප්‍රධාන සංයෝගයක් තමයි රිච් මොයිෂ්චර්. පැටියගෙ සමේ තියෙන තෙතමනය රැකගැනීමට රිච් මොයිෂ්චර් උදව් වෙනවා. එය ගොඩක් වැදගත් වෙන්නෙ වැඩිහිටියෙකුගේ සමට වඩා පස් ගුණයක වේගයෙන් ඔබේ පැටියගෙ සමේ තෙතමනය සුරැකෙන ගුණය නිසයි. මේ සංයෝග දෙවර්ගය සමග අලූත් Pears විශේෂයෙන් වැඩි දියුණු කරලා තියෙන්නෙ ඔබේ පැටියගෙ සමේ තෙතමනය පැය 24 පුරාම සුරකිමින් සම සුමුදු බවින් තියන්නයි.

අලූත් Pears නිෂ්පාදන පෙළ බිලිඳු සමට සුදුසු බව විද්‍යාත්මකවත් තහවුරු කරලයි තියෙන්නෙ. එය සමේ pH අගය පැටියගේ සමට වඩාත් සුදුසුයි.

මේ හැම දෙයක්ම නිසා දැන් ඔබේ පැටියගෙ සමට විශේෂඥයෙකුගේ සත්කාරය ලැඛෙන බව නම් සහතිකයි.

අපගේ අලූත් Pears නිෂ්පාදන පෙළ ගැනත් පැටියගෙ කූ..චි කූ..චි සොෆ්ට් සම ගැනත් දැනගන්න, පිවිසෙන්න www.pearsbaby.com 

pearsbaby-products