Home Blog Page 101

රජ පවුලේ පස්වැනි උරුමය…

2010 වසරේ ඔක්තෝබර් 10 වැනි දින විලියම් සහ කේට් කුමරියගේ විවාහ මංගල්‍යය සිද්ධ වුන අතර එදින කේට් කුමරිය විසින් පළඳනු ලැබුවේ ඇගේ නැන්දණිය හෙවත් ඩයනාගේ මගුල් මුදුවයි. 2011 වසරේ අප්‍රේල් 29 වැනි දින කේට් සහ විලියම් කුමරුගේ විවාහ මංගල්‍යය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පවත්වන ලද අතර මිලියන 26 ක ජනතාව මෙම විවාහ මංගල්‍යය සජීවි ලෙසින් දැක බලා ගන්නට පැමිණ සිටියා.

එතැන් පටන් ලෝකයා බලා සිටියේ ඇය දරුවෙක් ලොවට දායාද කරන්නේ කවදාද යන්නයි. ඒ සිහිනය සැබෑ වීමටත් එතරම් කාලයක් ගත වුනේ නැහැ. 2013 වසරේ ජූලි 22 වැනි දින  ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී ඇය කුලුඳුල් දරුවා බිහි කරනු ලැබුවා. ඒ පුතෙක්… රජපැටියාගේ උපත් බර කි.ග්‍රෑම් 3. 80 ක් වුණා. දරුවා උපත ලබන විට ආචාර වෙඩි මුර 21 ක් පවත්වා ‍බ්‍රිතාන්‍ය වැසියන් රජ පවුලේ අලුත් අමුත්තා ඉතාම අභිමානයෙන් පිලිගත්තා.

2013 වසරේ ජූලි වැනි දින කෙන්සින්ග්ටන් මාලිගාවෙන් මේ දරුවාගේ නම “ජෝර් ජ් ඇලෙක්සැන්ඩර් ලුවී” යැයි නිල ප්‍රකාශය ලබා දුන්නා.රාජකීය බිළිදා උපත ලද දිනයේ පටන් තෑගි බෝග බොහොමයක් ලැබුණා. ඔස්ට්‍රෙලියාවේ උතුරු ටෙරිටෝනි ප්‍රාන්තයේ මහ ඇමති විසින් ජෝර්ජ් කුමරා නමින් කිඹුලෙක් නම් කරනු ලැබුවා. ඩඩ්ලි සත්වෝද්‍යානයේ උපත ලද මීර් බලලුන් තුන්දෙනක් වෙනුවෙන් ජෝර්ජ්, ඇලෙක්සැන්ඩර් සහ ලුවිස් යනුවෙන් ඔහුගේ නමේ කොටස් ඇතුලත් කළා.කෙන්යාවේ සම්බාරු ගෝත්‍රිකයන් විසින් කලු ගවයෙක් සහ එළුවෙක් ත්‍යාග විදිහට ලබා දුන්නා. මේ ගවයා මුල් කර ගෙන ලෙවා වන සත්ව සංරක්ෂිතයේ රාජකීය ගව රංචුව ලෙසින් අලුත් කොටසක් ඇතුලත් වුණා.

නැවතත් ඇය ගැබ් ගත් බවට ආරංචියක් ලැබුනා. 2015 වසරේ අප්‍රෙල් මාසයේදී ඇයගේ දෙවැනි දරුවා ප්‍රසුත වන බවට වෛද්‍යවරුන් නිර්දේශය ලබා දුන්නත් දින පිළිබඳව පුංච් වෙනසක් වෙලා 2015 වසරේ මැයි දෙවැනි දින ශාන්ත මරියා රෝහලේදී රජපවුලේ හතරවැනි උරුමය ලෙසින් දියණියක් රජපුරුකට එක් වුණා. ඇයට ඔවුන් නම් තැබුවේ චාර්ලට් යනුවෙන් නම් තැබුවා. මේ අතර බටහිර ජපානයේ ඔයිටා සත්වෝදයානයේ හැම වසරකදීම මහජන විමසීම් අනුව සත්වෝද්‍යානයේ උපත ලබන වානර පැටවෙකුට නමක් තබනවා. 2015 වසරේදී චාර්ලට් කුමරියගේ උපත සමග වානර පැටවා වෙනුවෙන් යෝජනා වුනේ “චාර්ලට්” යන නමයි. පැය 24 ක් ගෙවෙත්ම දුරකථන ඇමුතුම් මගින් චෝදනා නැගෙන්නට වුණා.

මේ දරුවන්ගෙන් සීයාට කිසිම කරදරයක් නැති බව චාල්ස් කුමරු සෙබලුන් සිහිකිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී සඳහන් කර තිබුණා. මුණුබුරා වන ජෝර්ජ් කුමාරයා නම් බිලිදු අවධියේදී නිදි නොමැතිව රාත්‍රියේදී පුංචි පුංචි කරදර කළත් චාර්ලට් කුමරියගෙන් ඒ විදිහට කිසිම කරදරයක් නැති බව චාල්ස් කුමාරයා කියා තිබෙනවා.

2017 වසරේ නැවතත් කේට් කුමරිය ගැබ් ගත් බව කෙන්සින්ටන් මාලිගාවෙන් නිවේදනය කරනු ලැබුවා. පළමු දරු උපත් දෙකේදී මෙන්ම මේ වතාවේදිත් කේට් කුමරිය උදෑසන අසනීප ගතියෙන් පසු වුණා. හෝර්මෝන මට්ටමේ වෙනස්කම් නිසා ඇති වෙන උදෑසන ඔක්කාරයෙන් human chorionic gonadotropin මේ තත්වය ඇති වෙනවා. ඇය මේ වතාවේදී තම දරුවා මාලිගාවේදී ප්‍රසුත කරන බවට කල් තබා දැණුම් දුන්නා. ඒ තම සහෝදරයාට සහ සහෝදරියාට අලුත් අමුත්තා අලුත් විදිහට දැක ගැනීමේ අත්දැකීම ලබා දීමටයි. නැත්නම් මුලින්ම මාධ්‍යයන්ට නිරාවරනය වන නිසා දරුවන්ට මේ නැවුම් අත්දැකීම නොලැබෙන බව ඇගේ අදහස වී තිබුණා.

ඒත් අදහස වෙනස් වුණා. 2018 වසරේ අප්‍රෙල් 23 වැනි දින ලන්ඩන් නගරයේ ශාන්ත මේරි රෝහලේදී කේට් කුමරිය තෙවැනි දරු ප්‍රසුතිය සිදු කලා. ඔහු පුතෙක්. අම්මාත් පුතාත් සෞඛ්‍ය තත්වයෙන් පසු වෙන බව රෝහල් ආරංචි මාර්ග වෙතින් පනිවිඩ ලබා දුන්නා. පුත් කුමරාගේ උපත් බර රාත්තල් අටකුත් අවුන්ස හතක් බවත් වාර්තා වෙනවා.

අලුත් සාමාජිකයාගේ රජ පවුලේ පස්වැනි උරුමයයි. 2013 වසරේ හඳුන්වා දෙන ලද නෛතික වෙනස්කම් අනුව ගැහැණු දරුවන්ටත් රාජ්‍යත්වය වෙනුවෙන් පෙලගැසීමට අයිතිය තිබෙනවා. ඉස්සර මේ අයිතිය තිබුනේ එම පවුලේ පිරිමි දරුවන් නොසිටියොත් එම පවුලේ සිටින ගැහැණු දරුවාටයි. දැන් පෝලිමේ පිලිවෙලට රජකම ලැබෙනවා. ඒ අනුව චාර්ලට් කුමරිය රජ පුරුකේ හතරවැන්නිය වන අතර අලුත් අමුත්තා පස්වැනි උරුමයයි. රජපැටියාට තවමත් නමක් යතබා නැහැ. ඒත් නම් කීපයක් යෝජනා වී තිබෙනවා. ආතර්, ඇල්බට්, ෆෙඩ්රික්, පිලිප් සහ ජෝර්ජ් ඒ නම් අතරට එක්ව තිබෙනවා.

රජපවුලට පුතෙක් ලැබීම ගැන බොහෝ දෙනා සතුටට පත්ව සිටින මොහොතක බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ලන්ඩන් නගරාධිපති විසින් කේම්බ්‍රිජ් ආදිපාද කේට් කුමරියට සහ විලියම් කුමරාට සුබපැතුම් එක් කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා.

“දුවට මවක මිස…” මෙයින් මවකට මිදිය හැකිද?

දරුවන් විවාහ කර දීම බොහෝ දෙමව්පියන්ගේ වදන් වලින්ම පැවසුවහොත් බරින් නිදහස් වීමක්. තම දරුවා දියණියක් නම් මේ ප්‍රකාශය තවත් බරසාර එකක්. එසේ කටවහරට පැවසුවත් තම සෙවනේ ජීවත් වූ දියණිය එසේ විවාහ කර දුන් පමණින් දෙමව්පියන් විශේෂයෙන් මවක් ඇයගේ සියලු වගකීම්වලින් නිදහස් වූවායැයි සිතිය නොහැකියි. විශේෂයෙන්ම ආසියාතික රටවල පරම්පරා දෙක තුනක් එකට ජීවත් වීම එහි සංස්කෘතියේ ලක්ෂණයක්. එහෙත් සමහර මව්වරු දියණිය විවාහ වූ දින සිට ඉදිරි ජීවිතයේ සියලුම වගකීම් ඇය විසින් දැරිය යුතුය යන පදනමේ සිට ක්‍රියා කරති.

සැබවින්ම මවක් විසින් කළ යුත්තේ එයද? දරුවන්ට ස්වාධීන වීමට, තම තමන්ගේ කටයුතු ඉටුකර ගැනිමට මෙන්ම නව වගකිම් දැරීමට ඉඩ හැරිය යුතු බව අවිවාදයෙන් පැවසිය හැකි කරුණකි. එහෙත් මෙතක් දිවියේ සැපයු අත්වැල හදිසියේම අතහැරිය යුතුද?

අලුත විවාපත් වුනු තරුණියක් ඇගේ ජීවන අත්දැකීමක් එක්තරා මනෝ විද්‍යාත්මක සායනයක දී මෙසේ පවසා තිබුණා.

“මම විවාහ වුණේ මගේ ඥාතියෙක් සමග. නමුත් ඒක දෙමාපියන් ගෙනා යෝජනාවක්. මගේ අම්මා කිව්ව දේ තමා විවාහ වුණාම සියලුම වගකීම් අපි දෙන්නා බෙදාගෙන කරලා දෙම්පියන්ට නිදහස දෙන්න කියලා. නමුත් මම ගෙදර ඉන්න කාලේ මගේ අම්මා මට ස්වාධීනව තීරණ ගන්න දුන්න කෙනෙක් නෙවේ. විවාහ වෙලා අපි අලුත් ගෙදරට ආවා. මට අමාරු වුණා අලුත් වගකීම් දරන්න. අපි කොහොම හරි අම්මලාට බරක් නොවී කටයුතු කරගෙන ගියා. මම  මගේ පළවෙනි දරුවා ලැබෙන්න ඉද්දි මගේ අම්මාට කිව්වා මට තියන අපහසුකම් නිසා ඇවිත් ටික කාලෙකට මාත් එක්ක නවතින්න කියලා. අම්මා කිව්ව දේ තමා  “අපිව ඒ වගකිම් වලට බැඳලා තියන්න එපා” කියන එක. මම දරුවා ලැබුණාට පස්සේ සේවිකාවක් අරගෙන ඉතාම අපහසුකම් මැද ඒ කටයුතු කරගෙන රැකියාවට ගියා. හැමදාම දරුවාගේ ප්‍රශ්න, සේවිකාවගේ ප්‍රශ්න නිසා මම මගේ මහත්තයා එක්කත්, පවුල් ජීවිතේ එක්කත් කළකිරුණා. ඒත් එක්කම මම දැක්කා මගේ අනික් යාළුවන්ට එයාගේ අම්මලා උදව් කරන විදිහ. ඒ නිසා මම මානසික ගොඩක් ඇදගෙන වැටුණා. මගේ මහත්තයාගේ අම්මා හිටියේ ලෙඩින්. ඒ නිසා ඒ පැත්තෙනුත් උදව්වක් නැහැ. අන්තිමට මම දරුවා හදා ගත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තියලා. මට ඒ නිසා ආපහු දරුවො හදන එක හරිම අප්‍රසන්න අත්දැකීමක් වුණා. නමුත් මට හිතෙනවා මගේ මහත්තයා තව දරුවෙක් බලන්න කැමැත්තෙන් ඉන්න බව. මට මේ පවුල් ජීවිතේට ඇති වෙලා තියන අකමැත්ත නිසා ගොඩාක් ප්‍රශ්න වලට මම මුහුණ දෙනවා……….”

මෙවැනි අවස්ථාවන්ට අපට එදිනෙදා ජීවිතයේ දී නොයෙක් විට මුහුණ පෑමට සිදුවනවා. දියණියක් තමාට අසීරු සෑම අවස්ථාවකම මවගේ පිහිට පැතීම ඉතා සාමාන්‍ය සිද්ධියක්. ඒ ඇයට වඩාත්ම සමීප, වඩාත්ම හිතවත් තැනැත්තිය මව වීම නිසායි. දරු උපතක් යනු කාන්තාවකගේ ජීවිතයේ මෙතෙක් ගලාගෙන ගිය රිද්මය වෙනස් කරන අවස්ථාව.  එය මානසික හා කායික විපර්යාසයක් ඇති කරන අවස්ථාවක්. ඇය ජීවිතයේ වඩාත්ම පිළිසරණ පතන, රැකවරණය පතන සහ අත්දැකීමෙන් පරිණත මවගෙන් උපදෙස් ලැබිය යුතු අවස්ථාව එයයි. දාරක උපතක දී මෙන්ම ඉන් පසුව ටික කලක් ගතවන තෙක් ඇයට මනා රැකවරණයක් සහ පිටුවහලක් පවුලේ අය විසින් ලබා දීම කළ යුතුම දෙයක්.

ප්‍රසූතියෙන් පසුව ඇති වන ශාරීරික සංකූලතා මෙන්ම මානසික සංකූලතා ද සුළුවෙන් සැලකිය නොහැකියි. මානසික පීඩන තත්ත්වයන් හේතුවෙන් ළදරුවා සමගම මව දිවි නසා ගන්නා තත්ත්වයන් ඇති වන බව අප අත්දැක තිබෙනවා. නිසි  රැකවරණයක් නොලැබීම  හේතුවෙන් ඇතිවන එවැනි අවස්ථාවන් වලක්වාගෙන  තම මැදිහත් වීමෙන් දියණිය සහ ඇගේ අලුත උපන් ළදරුවා ලබන සහනය සෑම මවක් විසින්ම අත්විඳිය යුත්තකි.

මවකගෙන් විමසා සිටියහොත් තමන්ට දරු ප්‍රසූතියේ දී වඩාත්ම සිහිවුයේ කවුරුන්දැයි නිසැකයෙන්ම කියනු ඇත්තේ ඇයගේ මව බවයි. ඒ තමා වෙනුවෙන් ඒ උතුම් කාන්තාව කර ඇති කැපවීම හරියාකාරව හඳුනාගන්නේ ඒ අවස්ථාවේ වීමයි. බොහෝ විට එම අවස්ථාවට මුහුණ දීමට මානසික ශක්තිය ලබා දෙන්නේ ද මවයි. දියණියක් යටි සිතින් හෝ බලාපොරොත්තු වන්නේ ද එයයි. එවැනි අවස්ථාවක තමාගේ භූමිකාව හඳුනා ගන්නේ සැබවින්ම බුද්ධිමත් මව්වරුන් පමණකි.  දරුවන් හැදීමේ න්‍යායන් පිළිබඳ දැනුම් සහගත කාන්තාවන් තම දියණියට සහාය දෙන්නේ  එම න්‍යායන්ට ගැලපෙන කොන්දේසි සහිතවයි. ඒ කොන්දේසි තම දියණියගේ අපහසුතා සමග කෙසේ සැස‍දෙන්නේ කෙසේදැයි කල්පනා කිරීමට ඉහත සඳහන් කල තරුණ දියණියගේ මව දෙවරක් සිතා බැලුවේ නම් ඇයට මෙවැනි ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. මෙය කිසිසේත්ම දියණියගේ දරුවාගේ වගකීම තමා පිට පටවා ගැනීමක් නොවන බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය  කටයුත්තකි.

ජීවිතයේ අත්දැකීම් ලැබිය යුත්තේ වගකීම් දැරීමෙන් බව කෙනෙකුට තර්ක කළ හැකි කරුණක්. ඒ අනුව විවාපත් යුවළකට තම දරුවන්ගේ කටයුතු යනු අත්දැකීමක් මෙන්ම, වගකීමක් දැරීමකි. ඒ වෙනුවෙන් තම දෙමව්පියන්ගේ සහාය පැතීමට කටයුතු කිරිම දෙමව්පියන්ගේ නිදහස අහිමි කිරීමක් ලෙස ඇතැම් අයට නිගමනය කළ හැක. එහෙත් මනුෂ්‍ය සබඳතාවයන්හි සීමාව මෙයයැයි ළකුණු කොට ඒ සීමාවන් මත සිට කටයුතු  නොකර දියණියට ඔබගේ සහාය වඩාත්ම අත්‍යවශය මොහොත තේරුම් ගෙන කටයුතු කරන මවක ලබන නිරාමිස ප්‍රීතිය ලැබිය හැකි අයෙක් තවත් වේද?

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාරිනී රේණුකා තෙන්නකෝන් මහත්මිය සකසන ලද ලිපියකි.

 

නව යොවුන් දරුවාගේ මොළයේ වර්ධනය හදුනා ගනිමු

යොවුන් විය යනු ඕනෑම අයෙකුගේ ජිවිතයේ ඉතා වැදගත් වර්ධන අවස්ථාවකි.ළමා වියෙන් වැඩිහිටි වියට ක්‍රමයෙන් පියමනින දරුවා එහි අභියෝගයන්ට මුහුණ දිමට මේ කාලය තුල ඉගෙන ගනී.මේ අවධියේදී  කායික වර්ධනයේ පමණක් නොව මනෝ සමාජීය වර්ධනයේද වැදගත් වෙනස්කම් රාශියක් සිදු වේ.ඒවා නිවැරදිව හදුනා ගැනීම  දෙමව්පියන්ට ඉතා වැදගත් වන්නේ එමගින් තම දරුවාගේ විවිධ හැසිරීම් නිවැරදිව අවබෝධ කර ගැනීමටද , දරුවාට අවශ්‍ය මග පෙන්වීම ලබා දිමටද එය මනා රුකුලක් වන බැවිනි.

මොළයේ වර්ධනය ශීග්‍රයෙන් සිදුවන්නේ මුල් අවුරුදු 3-4 තුලය.ඉන් පසු මොලයේ විවිධ කොටස් ක්‍රම ක්‍රමයෙන් විවිධ වයස් වලදී වර්ධනය වේ.අවසානයටම වර්ධනය වන්නේ අපේ මොළයේ නළල පිටුපස ඇති pre frontal cortex  නම් කොටසය.මෙය යොවුන් විය තුල සිදු වී වැඩිහිටි වියේ දී සම්පූර්ණ වේ.ඇත්තෙන්ම පුද්ගලයෙකුගේ වයස 30 පමණ වන තෙක්ම මොළයේ වර්ධනය සිදු විය හැකි බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත.Pre frontal cortex නම් කොටසින් ඉතා වැදගත් කාර්ය රැසක් ඉටුවේ. එනම් යමකට නිවැරදිව අවධානය දීම , තීරණ ගැනීම , ගැටළු විසදීමේ හැකියාව , ආවේග පාලනය ආදියයි.

නමුත් යව්වනයකුගේ යව්වනයකුගේ මෙම කොටසේ වර්ධනය සම්පුර්ණ වී නැති බැවින් ඔවුන්ට ආවේග පාලනය කිරීමේ හැකියාව අඩුය. යොවුන් වියේ දරුවන් බොහෝ විට ආවේගශීලි වන්නේද , වැඩි දුර සිතීමකින් තොරව හැගීම් මත පදනම්ව තීරණ ගැනීමට පෙලබෙන්නේද මේ නිසාය. එමෙන්ම නිතරම උත්තේජනයන් සොයා යාමටද , අවධානම් කටයුතුවල දීමටද ඔවුන් පෙළබේ.

මේ කාලය තුල දරුවකුගේ කායික වර්ධනයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුවේ. සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය අධික වේ. මිට සමාන්තරව සිදුවන මානසික වෙනස්කම්ද හේතුවෙන් ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම්ද දෙමව්පියන්ට දැකිය හැකිවේ.

මේ කාලය තුල මොළයේ වර්ධන වෙනස්කම් හේතුවෙන් යොවුන් දරුවා තමාගේ සිතුවිලි හා හිතීමේ ක්‍රියාවලිය  ගැන වැඩි අවධානයක් යොමු කරයි. අන් අයගේ අවධානය තමා වෙත නිරතුරුවම යොමු වී ඇතැයි සිතයි. එබැවින් පිරිසක් සිටින තැනක තමා අදින පළදින ආකාරය , හැසිරෙන ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කරයි.

යොවුන් වියේදී දරුවෝ දෙමව්පියන් හා ජිවත් වුවද තමාගේ අනන්‍යතාවය වර්ධනය කර ගැනීමට වෙහෙසෙති.ඉහල ආත්ම විශ්වාසයක් හා වටිනාකමක් තමා කෙරෙහි ඇති කර ගනිති. එසේම අනිත් අතට ස්වයං විවේචනයේ යෙදීමද , ඉක්මනින් දුකට හා අපේක්ෂා භංගත්වයට පත් වීමටද හැක. මේ කාලය තුල දෙමව්පියන්ට වඩා සම වයසේ මිතුරු කණ්ඩායම් ප්‍රිය කිරීම සාමාන්‍ය තත්වයකි. හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ වැඩි ආකර්ෂණයක් දැක්වීමද දැකිය හැක.

මේ කාලය තුල මොළයේ වර්ධනය නිසි පරිදි සිදු වී සාර්ථක වැඩිහිටියකු ලෙස සමාජයට පිය නැගීමට දෙමාපියන් ඇතුළු පවුල් පරිසරයෙන් නිසි සහය ලැබීම අත්‍යවශ්‍ය වේ.දෙමව්පියන් තමා කෙරෙහි විශ්වාසය තැබීම ඔවුන්ගේ ආත්ම ශක්තිය දියුණු වීමට අත්වැලකි. ඔවුන්ට නිවසේ පැහැදිලි , වෙනස් නොවන නීති මාලාවක් තිබීම අත්‍යවශ්‍යය.

යොවුන් දරුවන්ට දඩුවම් කිරීම කිරීම සුදුසු නොවේ. ඔවුන් කිසියම් අහිතකර දෙයක නියලුනහොත් , ඔවුන් කැමති දෙයක් නොදී සිටීම හෝ තහනම් කිරීම වැනි ක්‍රම වඩා සුදුසුය. මේ වයසේදී  යහපත් ජිවන රටාවකට හුරු කරවීමද ඉතා වැදගත් වේ.

මේ වයසේ දරුවන් හැගීම් මත ක්‍රියා කිරීම , ආවේගශීලි වීම හා අවදානම් ක්‍රියාවල නිරතවීමට වැඩි නැඹුරුතාවයක් ඇති බැවින් ඔවුන් හා වැඩ කිරීමේදී දෙමාපියන් සුපරික්ෂාකාරී හා නැණවත් විය යුතුය. දෙමව්පියන්ද අවෙගශීලි වීමෙන් දරුවන් හා දෙමාපියන් අතර ගැටුම් ඇතිවීම අපි ප්‍රයෝගිකව සුලබව දකිමු. මෙයින් දරුවන් හා දෙමව්පියන් අතර සබදතාවය බිද වැටෙයි.

වත්මන් සමාජයේ ඇති දැඩි තරගකාරිත්ව හේතුවෙන් යොවුන් දරුවන් විවිධ ගැටළු වලට මුහුණ පානු අපි දැක ඇත්තෙමු. විශේෂයෙන් අධ්‍යාපනික පීඩනය , මිතුරු කණ්ඩායම්වල බලපෑම් , පවුලේ ගැටළු , ආදර සබදතා පිළිබද ගැටළු ආදිය නිසා  ඔවුන් අධික මානසික ආතතියට ලක්විය හැක. මෙබදු ගැටළු වලට මුහුණ දුන් දරුවන් ගැටළු විසදා ගැනීමේ හැකියාව අඩුකම හා ආවේග ශිලිකම හේතුවෙන් තමාටම හානි සිදුකර ගැනීම , මත්පැන් , මත්ද්‍රව්‍ය වලට යොමුවීම වැනි අහිතකර ක්‍රම වලට යොමු විය හැක.

එබැවින් විශේෂයෙන් යොවුන් දරුවකු  මානසික පීඩාවෙන් පෙලේ යයි සිතේ නම් ඔහුට හෝ ඇයට අවශ්‍ය සහය ඉක්මනින් ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමකි.මෙබදු අවස්ථාවක දෙමව්පියන්ගේ වැරදි ප්‍රතිචාර (එනම් දැඩි දඩුවම් , අධික ලෙස විවේචනය කිරීම , උපහාසයට ලක් කිරීම ) ආදිය හේතුවෙන් තත්වය තවත් උග්‍ර විය හැක.

තවද යොවුන් දරුවන් අතරද විෂාදය වැනි සුලබ මානසික ගැටළු දැකිය හැක.නමුත්  බොහෝ විට ඒවා හදුනා නොගැනේ. විශේෂයෙන්  නුරුස්ස්සන බව , අධික කේන්තිය වැනි ලක්ෂණ විශාදයේ ලක්ෂණ විය හැකි අතර ඒවා යොවුන් වියේ සාමාන්‍ය දේ යයි සිතා නොසලකා හරිනු දක්නා ලැබේ .මෙය දරුවාගේ අධ්‍යාපනයට පමණක් නොව  අනාගතයටද අසතුටුදායක ලෙස බල පෑ හැක.

යොවුන් වියේ දරුවකුගේ මොළයේ වර්ධන වෙනස්කම් හා සමබර මනසක් පවත් වා ගැනීමට ඔහුට හෝ ඇයට සහය විය හැක්කේ කෙසේද යන්න පිළිබද නිවරදි දැනුම ලබා ගැනීමෙන් ඔවුන්ට සාර්ථක වැඩිහිටියෙක් ලෙස සමාජයට පිවිසීමට ඔබට අත්වැලක් විය හැක.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

දරුවා සමාජයේ අප්‍රසාදයට ලක් නොවීමට ඔබේ අවධානය යොමු විය යුතු කරුණු 5ක්

පුංචි දරුවෝ කියන්නේ දැනුම් තේරම් ඇති අය නම් නෙවෙයි. ඔවුන් කාගෙවත් පාලනයකින් තොරව බොහොම නිදහසේ ඔවුන්ගේ වැඩ කටයුතු වල නිරත වෙන පිරිසක්. ඒත් හැමදාමත් ඔවුන් ජිවත් වෙන්නේ අම්මා තාත්තා ලගම පමණක් නොවෙයි. ඔවුන්ට නෑදෑ හිතමිතුරන් හා සමග ගැටෙන්නට අනිවාර්යෙන්ම සිදු වෙනවා. තමන්ගේ අම්මා තාත්තා ළඟ කොයි විදියට හිටියත් පිරිසක් අතරට යද්දී අපේ දරුවන්ට යම් සංයමයක් තිබිය යුතුමයි. අන්න ඒ නිසාම මේ කරුණු කීපය ගැන මව්පියන් දන ගත යුතුමයි කියලා parenting.lk අපිට හිතුණා.

01) දරුවාට සුදුසු ඇඳුමක් අන්දන්න

පුංචිම පුංචි දරුවෙක්ට හැර සාමාන්‍යයෙන් දුවලා පැනල සෙල්ලම් කරන පුංචිම දරුවෙක්ට උනත් පිරිසක් අතරේ ඉන්නවා නම් සුදුසු ඇඳුමක් ඇන්දවීම අනිවාර්යයි. දරුවා තාම පොඩියිනේ, අනික හරිම රස්නෙයි. ඒ නිසා උඩ ඇඳුමක් ඕනේ නැ, ඇතැම් විට ඔබ හිතන විදිය වෙන්න පුළුවන්. ඒත් අම්මා තාත්තා සමග නිවසේ රැදෙන විට පවා දරුවාට සුදුසු ඇඳුමක් ඇන්දවීම වඩාත් සුදුසුයි. උණුසුම් දිනයකදී නම් උර පටි සහිත කපු රෙද්දෙන් නිම වූ ඇඳුමක් ඔබට තෝරා ගත හැකියි. එසේම මේ දුවටද පුතටද කියා වෙනසක් තිබිය යුතු නැත.

02) පිරිසක් ඉදිරියේ හැසිරෙන ආකාරය කියා දෙන්න

අපි කවුරුත් කැමති අපේ දරුවන්ට කොයි කවුරුත් ආදරය කරනවට. ඒ වගේම අපේ දරුවන්ගේ වැරදි අඩුපාඩු කතා කරනවා අහන්න අපි කොයි විදියකටවත් කැමති නැ. ඒ වගේම තවත් දරුවෙක් එක්ක අපේ දරුවා සංසන්දනය කරනවට අපි කැමතිත් නැ. ඒ විතරක් නෙවෙයි, අපේ දරුවෝ නිසා අපිව අපහසුතාවයට පත් වෙනවට අපි කැමතිත් නැහැ.

මෙන්න මේ නිසාම අපි අපේ දරුවන්ට ඒ දේවල් ගැන කියල දෙන්න ඕනේ. ලස්සනට ඉන්න, ලස්සනට කන්න බොන්න, ලස්සනට කතා බහ කරන්න, අනෙක් අයට හිරිහැරයක් නොවෙන විදියට ඉන්න, කාගේත් හිත දිනාගෙන ආදරය ලබාගන්න. අපි මෙහෙම කියද්දී මව්පියන් විදියට ඔයාලට හිතෙන්න පුළුවන් “අපේ දරුවට කාගෙවත් ප්‍රසාදයක් මොකටද?” කියලා. ඒත් මතක තියාගන්න, දරුවෝ හැමදාම ජිවත් වෙන්නේ අපිත් එක්කම නෙවෙයි. එයාලා සමාජයට යනවා. ඒ තැන්වලදී ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ සාමුහිකවයි. එයාලගේ කාර්යයන් බාධාවකින් තොරව සුහදව කරගන්න නම් මේ කියූ යහ පැවැත්ම පුංචි කලේ ඉඳලම දරුවෙකු තුළ වර්ධනය කර ගත යුතුමයි. ඒ වෙනුවෙන් ඔවුන්ට අපි සහයෝගය ලබා දිය යුත්තේ ඒ නිසයි.

03) කතා කළ නොකළ යුතු දේ ගැන දරුවාට අවබෝධයක් ලබාදෙන්න

සමහර දරුවෝ ගිරවු වගේ කියවනවා. ඒ අතරේ ඕනේ දේ වගේම එපා දේත් කියවෙනවා. ඉතිං දරුවන්ට ඒ ගැන අවබෝධයක් ලබා දිය යුතුමයි. මොකද අපේ නිවසේ අපේ කටයුතු පිළිබඳව පිටස්තර පිරිස් දැනගත යුතු දේ වගේම දැන ගත යුතු නොවන දේත් තියෙනවා. ඒ ගැන ඔබේ දරුවාගේ වයස මට්ටම අනුව පුංචියට හරි අවබෝධයක් ලබා දෙන්න ඔබට පුළුවන් නේද?

මේකේ තව පැත්තකුත් තියෙනවා, සමහර වැඩිහිටියෝ ඉන්නවා හාර හාර දරුවන්ගෙන් පෞද්ගලික විස්තර අහන. ඒ දේවල් අපිට වෙනස් කරන්න බැරි නිසාම අපි අපේ දරුවන්ට ඒ වගේ අවස්ථාවන්වලදී ස්ථානෝචිතව හැසිරිය යුත්තේ කොහොමද කියන දේ කියා දිය යුතුයි. ගෙදර බොන පිටි වර්ගය, අම්ම උයනවද? අම්මයි තාත්තයි රන්ඩු වෙනවද? අම්මා වැඩිපුර ආදරේ නංගිට නේද? මෙන්න මේ වගේ මෝඩ ප්‍රශ්න දරුවන්ව පැත්තකට කරගෙන අහන අය ඕනෙ තරම් ඉන්නවා. මෙන්න මේ දේවල්වලදී පුංචි දරුවෙක් පත්වෙන්නේ හරිම අසරණ තත්ත්වයකට කියලා හිතන්න තරම් සමහර වැඩිහිටියන්ගේ මොළේ වර්ධනය වෙලා නැ. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී මගහරින්න ඔවුන්ට කියා දෙන්න.

03) කෑම මෙසේදී සන්සුන්ව ආහාර ගන්න ඔබේ දරුවා පුරුදු කරන්න

පිරිසක් එක්ක ආහාර වේලක් ගනිද්දී අපේ දරුවෝ බොහොම සතුටෙන් ඒ අවස්ථාවට සහභාගී වෙනවා. ඒත් සමහර දරුවන්ට කෑම මේසේ සිරිත් විරිත් ගැන නම් කිසිම අවබෝධයක් අදහසක් නැ. කෑම කන ගමන් කැ ගාහනවා, කෑම කන ගමන් කට අරිනවා, දිව එළියට දානවා, මුළු මේසේම කෑම හලනවා. මේ වගේ අවස්ථාවකදී අන් අයට මේ දරුවා අප්‍රියජනක විය හැකියි. ඒ ඔබේ දැරුවා නම් ඔහුට/ඇයට ඒ තත්ත්වයට පත් නොවීමට අවශ්‍ය සැලසුම සකසා දිය හැකිවන්නේ ඔබටම පමණයි. “පුංචි ළමයිනේ, ලොකු වෙද්දී ඇරිලා යාවි” කියා ඔබේ සිතට නැගෙන සිතුවිල්ල ඔබේ දරුවාගේ අනාගතයට හානියක් බව ඔබ මතකයේ රඳවා ගන්න.

04) මේකප් පුංචි දරුවෙකුට අත්‍යවශ්‍යමද?

හැම දරුවෙක්ම ලස්සනයි. දරුවෙක් කියන්නේ මේකප්වලින් හැඩ ගැන්විය යුතු අයෙක් නෙවෙයි. පුංචි නියපොතු පාට ගන්වලා, තොල් රතු කරලා, ඇස් හැඩ ගන්වලා මව්පියන් පුංචි ගැහැණු දරුවෙක්ගෙන් දකින්න උත්සහ කරන සුන්දරත්වය මොකද්ද කියලා අපිට වටහා ගන්න නම් අමාරුයි. ඒ වගේ දරුවෙක් දැක්කම ඇත්තටම දැනෙන්නේ අනුකම්පාවක්. අපිට ඒ විදියට දැනුනත් අපේ වටපිටාවට ඒ විදියට දැනෙන්නේ නැහැ. නූගත් අවස්ථාවාදී පිරිස් අපි අතරේ ඕනේ තරම් ඉන්නවා. එවැනි පිරිස් මෙවැනි දරුවෙකු තුළින් අනවශ්‍ය  අසාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් ලබාගන්න උත්සහ කළ හැකියි. දරුවෙකුගේ සුරතල් ළමා කාලය ඒ ආකාරයෙන් විඳ ගන්න ඉඩ තියන්න. ඔබේ අසාවන් දරුවන් තුළින් ඉටු කරගැනීමට උත්සහ නොකරන්න.

05) වැඩිහිටියන්ට ගෞරවනීයව කතා බහ කරන්නට දරුවන් හුරු කරන්න

අපි කවුරුත් කැමති ඕනෙම කෙනෙක් අපිට ආදරෙන් කතා කරනවට. ඉතිං අපි අපේ දරුවන්ටත් ඒ ගැන කියා දෙන්නම ඕනේ. වැඩිහිටියන්ට ගරු කරන්න ඔවුන් හුරු කළ යුතුමයි. සීයලා ආච්චිලට ගරු සරු ඇතිව කතා කරන්න, ඔවුන් යමක් විමසු විට ඒ පිළිබඳව උනන්දුවෙන් පිළිතුරු දෙන්න, උදව්වක් අවශ්‍ය අවස්ථාවේදී සහය ලබාදෙන්න දරුවන්ට පුංචි කාලේ ඉඳලම හුරු කළ යුතුයි.

තමාට යමක් ලැබුණු විට ස්තුතිවන්ත වී එය පිළිගන්න හුරු කරන්න

තමා වෙනුවෙන් යම් දෙයක් කරන්නෙකුට ස්තුතිවන්ත වෙන්නට ඔබේ දරුවාට කියාදෙන්න. ත්‍යාගයක් ලබා දුන් විට, උපකාරයක් කළ විට වැනි අවස්ථාවලදී “ස්තුතියි / Thank you” කියන්නට දරුවෙකුට පුරුද්දක් තිබිය යුතුමය. තමා වෙනුවෙන් තවත් අයෙකු අතින් කෙරෙන පුංචිම පුංචි කැප කිරීමක් වුවද හෙළා දැකීමට නොව ඇගයීමට හැකි මානසිකත්වයක් දරුවෙකු තුළ ගොඩ නැංවීමේ හැකියාව ඇත්තේ මව්පියන් වන ඔබටමය.

අවුරුදු සහ එහි අද වෙනස…

සිංහල අලුත් අවුරුද්ද අපේ ජන ජීවිතය සමග බද්ධ වුන සංස්කෘතික මංගල්‍යක් වුනත් කාලයත් සමග ඇතැම් සිරිත් විරිත් නොදැනීම දුරස් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන්ද අලුත් අවුරුදු සිරිත් අතර වෙනස්කම් පවතිනවා. මේවායින් ඇතැම් සම්ප්‍රදායන් අද දක්නට නැතැත් අනාදිමත් කාලයක පටන් පැවැති චාරිත්‍ර කීපයකි මේ..

කෝන කෑම

අලුත් අවුරුදු වෙනුවෙන් වූ කැවිලි පිළියෙල කිරීමටත් තෙල් තාච්චිය ලිප තබන්නේ සතියේ සුබ දවස් අතරින් එකක් තෝරා ගෙනය. තාච්චිය ලිප තබා තෙල් පුරවා ගෙන කැවුම් හැන්ද සහ තවත් ලී කෝටුවකින් තාච්චිය හතරට බෙදනවා. “හතර දිසාවෙන් පැමිනෙන උපද්‍රව වලකා, දෙවියන්ගේ ආශිර්වාදය ලබා, හතර පේරුවට බෙදන්න කැවුම් මුට්ටිය පිරෙන්න කැවුම් පිසින්න ලැබේවා..” යැයි ආශිර්වාද කරනවා. මුලින්ම පිසින කැවුම් තුන ලිප්ගල මත තබා එය නිවසේ වහලේ එල්ලා තබනවා. එය හදුන්වන්නේ “කෝඳුරු කැවුම” යනුවෙන්. මේ කැවුම වටා කෝඳුරුවන් වසන නිසා නිවසේ අයට කෝඳුරුවන්ගෙන් කරදරයක් නැහැ.

දර දිය ඇදලා ගොම මැටි ගාලා මහ‍ගේ කළ එලි කර ගන්නේ
බොර දඟ කවලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල්මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගෙ බලා කියා ගෙන පෙර අවුරුදු කාලය එන්නේ

 

සිංහල අලුත් අවුරුද්ද සමග පරණ අවුරුද්ද වෙනුවෙන් වූ චාරිත්‍රත් තිබෙනවා. ඒ අතරින් මහනුවර රජසමයේ පටන් පැවැති කෝන කෑම පරණ අවුරුද්ද දිනයේ පවත්වනවා. එදිනට හත්මාලුවක් පිස අහල පහල උදවිය සමග බුත්ති විඳීම මහනුවර රාජධාණි සමයේ පැවැති සිරිතක්. හත්මාලුවත් පළාතෙන් පළාතට වෙනස්. ඒ අනුව පිසින හත්මාලුවටත් වෙනස් වෙනස් එළවලුබෝග එක් කරගන්නා නිසා හත්මාලුවට මේ එලවළුම අයත් විය යුතුයි කියල නියමයක් නැහැ.

හත්මාලුව

සබරගමුව පළාතේ… කජු, තිබ්බටු, කොස් ඇට, වට්ටක්කා, ලපටි කහට ගෙඩි, අමුකෙසෙල්, සහ වට්ටක්කා දළු, කොහිල දළු තම්පලා හෝ නිවිති යන වර්ගවලින් එකක්.කජු වැඩියෙන් ගන්න. කලින් තම්බා ගන්නත් ඕන. කහට ගෙඩිත් කපා උනුවතුරෙන් තම්බා ගන්න. දැන් තෙල් ලිප තබා මේ මිශ්‍රණය දමා දියකිරි , මිටිකිරි එක් කර තබ්බා ගන්න.

සම්ප්‍රදායික හත්මාලුව

  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, ආනම, පැලහුම සහ බැදුම යන වර්ග හතයි.
  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, බැදුම ගොඩමස් හා දියමස් වට්ටක්කා දළු, කිරි අල, තෝරකොළ, පැසුන අමු පැපොල්, අමු කෙසෙල් ගෙඩි ( ඇඹුල් හෝ සීනි ) වැලිකොස් ඇට, තිබ්බටු ( ආයුර්වේද පත්‍රිකාවක් ඇසුරින් )
බුලත්දීම

තරහ මරහ අමතක කරන වගේම ගරු බුහුමන්ලෙ සින් පිදිය යුත්තන් පිදීමේදී එය සංකේතවත් කරන්නේ බුලතින්. අද වගේ වෛවාරණ ආරාධනාපත් නොතිබුන යුගයක උත්සව වෙනුවෙන් ආරාධනා ලැබුනේ බුලත්දීමෙනුයි. බුලත් කොළයක් නොමැතිව කට වචනයෙන් උත්සවයකට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂෙප කරන තරමටම සමාජයේ බුලතට වැදගත්කමක් ලැබුනා. පරණ අවුරුදු දිනයේදී  බුලත් රැගෙන ගමේ පන්සලට ගොස් ඉෂ්ට දේවතාවන් නැමද සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන පැමිණීමෙන් අනතුරුව දෙමමව්පියන් ඇතුළු ගමේ වැඩිහිටියන් වෙතට බුලත් රැගෙන ගොස් ආචාර කිරීම සිරිතක්. පහතරට පළාත්වලදී මෙය බුලත් දුංකොළදීම යනුවෙන් හැදින්වෙන අතර අද ඒ වෙනුවෙන් දුංකොළ එක් කර ගැනීම සෞඛ්‍ය හේතුන් මත විවාදයට ලක් වී තිබෙනවා. මෙහිදී දුංකොළය ආහාරයට නොගත්තද සම්පූර්ණ දුංකොලයක් සමග බුලත් අතක් යොදා ගැනෙනවා.උඩරට පළාත්වලදී බුලත් දී දෙපාවල තෙල් ගල්වා වැඳීම අතීතයේදී පැවැතුන බවට මෙම පළාතේ වැඩිහිටියන් සඳහන් කරනවා.

නොනගතය

නොනගතය වේලාව උපවාස කාලයක් පමණක් නොව කිසිම ගණුදෙනුවක් සිදු නොවන කාලයක්. වෙනතක් තබා නිවසේ අතන තිබෙන දෙයක් මෙතැනට හෝ ලබා දෙන්නේ නැහැ. නැකත් නැති නිසා මෙය එතරම් සුබ නොවන විදිහට සැලකෙනවා. සමහර උදවිය නම් මේ කාලයේදී කෙළි සෙල්ලම්වලින් ගෙවන අතර ඒ වෙනුවෙන් අපේ ජනක්‍රීඩාවන් වැදගත්.

ඛණ්ඩ ස්නානය

මහනුවර රජ දවස සංඝරත්නය අපේ ජන ජීවිතයේ සෑම කටයුත්තක් වෙනුවෙන්ම සම්බන්ධව සිටියා. තෙල් ඇඹුල්ගෑම පන්සලේදී සිද්ධ වෙන නිසා ඊ‍ට පෙරාතුව තෙල් ඇඹුල් පන්සලට රැගෙන යනවා. මෙම තෙල් උගුරේ ආලේප කිරීම “ඛණ්ඩ ස්නානයයි”. අවුරුදු සංක්‍රාන්තියෙන් පසුව එළැඹෙන්නේ ලිප ගිනි මෙලවීමයි. ලිප ගිනි මොළවා කිරි උතුරවන විට සංඝයා වහන්සේලා විසින් මෙම තෙල් උගුරේ ආලේප කර ගෙන මිහිරි හඬින් පිරිත් සජ්ජායනා කරනු ලැබේ.

ලිප ගිනි මෙලවීම

ලිප ගිනි මෙලවීමෙන් පසුව කිරි උතුරවා ගෙන කිරිබතක් පිළියෙල කර ගනු ලැබේ. මෙම කිරිබතට තල, ගිතෙල් ආදිය මිශ්‍ර කරනවා. සත් කෝරලයේදී මෙම කිරිබතට “බේත් පැහි” එකතු කරන අතර එය ගමේ වෙදමහතා විසින් සකස් කර දෙනු ලැබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය බේත් දලු වර්ග පවා සෙත් පිරිත් ගැයීමෙන් පසු ආහිර්වාද කොට තබා ගැනේ. කිරිබත් අනුභවයට පෙරාතුව අවුරුදු දේවතාවාට කොටසක් ඉතිරි කරන අතර එයින් පසුව පවුලේ වැඩිමහල් තැනැත්තා විසින් පවුලේ සාමාජිකයන්ට කිරිබත් ගුලි වශයෙන කවනු ලැබේ.

කැති උදලු ඇල්ලීම

අවුරුදු චාරිත්‍ර අතර පවතින වැඩ ඇල්ලීම එදා හදුන්වනු ලැබුවේ “කැති උදලු ඇල්ලීම” යනුවෙනුයි. නොනගතයට පෙරාතුව මිදුලේ කොනක කදුරු අත්තක්,කොස් අත්තක්, කැත්තක්, උදැල්ලක් සහ පිහියක් තබනවා. වැඩඅල්ලන නැකතට තබන ලද අතු සමග පොළවත් කෙටෙන සේ මුලින් තබන ලද උපකරණ ආශ්‍රයෙන් කෙටීම කැති උදලු ඇල්ලීම යනුවෙන් හැදින්වුණා. කාන්තාවන් නම් වංගෙඩියට හාල් ටිකක් දමා මෝල ගහෙන් කෙටීම සිදු කළා. එම චාරිත්‍රය “වං මෝල ඇල්ලීම” යනුවෙන් හැදින්වුනා.

වියදම් මුල

එදා ගමේ ගණුදෙණු සිද්ධ වුනේ ළිඳ සමගයි.මෙය ළිඳ අලෙවි කිරීම යනුවෙන් හැඳින්වෙනවා. තමාගේ ජීවිතය පවත්වා ගැනීමට වසරක් පුරා ජලය දුන් ළිඳට කෘතගුණ දැක්වීම මෙහි අරමුණයි. කාන්තාව විසින් කහ, මිරිස්, තඹ කාසියක් සහිත පොට්ටනියක් රැගෙන ගොස් එය ළිඳට වතුර ඛලයක් රැගෙන එයි. ඒ වගේම ඇතැම් පලාත්වල පවුලේ මේස ඉදුල් කිරීමට ගමේ සුබ යැයි පිළිගත් තැනැත්තෙක් ගෙන්වා ගනී. ඒ තැනැත්තා හාල්, තුනපහ සහිත මල්ලක් රගෙන එන අතර ආහාර මේසයෙන් යමක් කා බී යන විට ඒ තැනැත්තාටත් එවන් හාල් තුනපහ මල්ලක් ලබා දෙයි. එය “වියදම් මුල” යි.

ඔසප් චක්‍රය ගැන දැනගන්න

දැරියක් මල්වර වූ තැන පටන් ඔසප් වීම සාමාන්‍ය සංසිද්ධියක් වුනත් , ඔසප්වීම මුල් කර ගත් විවිධ සංකුලතාවයන් ගැන අම්මා දැනගැනීම ඉතාම වැදගත්. අද දියණියන් තබා ඇතැම් විවාහ වුන කාන්තාවන් පවා ඔසප්වීම ගැන නිවරැදි අවබෝධයක් නැහැ. ඔසප්වීම හා ඒ සමග සම්බන්ධ  වුන ගැටලු ගැන යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. මේ පිලිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර පරණ මාතලේ පාර ඩොලායෝ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිළධාරිණී අයෝමි ශානිකා දොලපිහිල්ල (BAMS) මහත්මියයි.

ඔසප්වීම කැලැන්ඩර් චක්‍රය විදිහට නම් දින 28 ක රටාවකට සිද්ධ වෙනවා. මෙය ඇතැම් විට දින 28 සිට 30 ත් අතර වෙන්න පුලුවන්. චන්ද්‍ර මාසය අනුව මාසයකට දින 28 යි. දින 30 ක් වුනත් එය සාමාන්‍ය තත්වයක්. ඒත් දින 35 ක් තරම් පමාවක් වනවා නම් එය අනුමත කරන්න බැහැ.ඒ වගේම හමෝන අසමතුලිතතාවයක් සහ ඩිම්බමෝචනයේ ප්‍රමාදයන් නිසාත් ඔසප්වීම පමා වෙන්න පුලුවන්.

ඔසප්වීම වේදනාකාරී නැහැ…

සාමාන්‍යයෙන් ඔසප්වීම වේදනාකාරී නැහැ. ඔසප්වීමට දින දෙක තුනකට පෙරාතුව අත් පා රිදීම, හිසරදය, ඔක්කාරය වගේ තත්වයන් ඇති වෙනවා. ඒ අපහසුතාවයන් ඔසප්වීම සමගම නැති වී යනවා.ඩිම්බකෝෂ, පැලෝපීය නාල ගැටළු , ගර්බාශගත සංකුලතාවයන් සහ මෙම ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්ය පිළිබඳ ගැටළු නිසා දරා ගත නොහැකි අන්දමේ වේදනාවක් ඇති වෙන්න පුලුවන්. ඇතැම් අවස්ථාවලදී Chocolate cyst රෝග තත්වය නිසාත් වේදනාකාරී විදිහට ඔසප්වීම සිද්ධ වෙනවා. එවිට රුධිරය දුඹුරු පැහැති කැටි කැටි විදිහට පිටවෙනවා.

නීරෝගී ඔසප් චක්‍රයක තිබෙන ලක්ෂණ මොනවාද…?

  • දින 28 – 30 අතර සිද්ධ වීම
  • පිරිසිදු රතු රුධිරය පිටවීම
  • දින 3- 5 ක අතර කාලයක් තුල සිදු වෙන රුධිර වහනය
  • වේදනාකාරී නොවීම
  • ඇඳුමක තැවරුන විට පැල්ලමක් ඇති නොවී සේදී යෑම

මේ විදිහට ආර්ථව චක්‍රය සිද්ධ නොවෙනවා නම් හෝ වෙනත් අපහසුතාවයක් දැනෙනවා නම් ඒ ගැන විමිසිලිමත් වීම වැදගත්. මේ විදිහට ඇති වෙන අපහසුතාවයන් වෙනුවෙන්  ආයුර්වේදයේදී “ආර්ථව ව්‍යාපද්” යනුවෙන් කොටසක් තිබෙනවා. වාතය, පිත, කථ යන තුන්දොස් අතර තිබෙන තුලිතාවය වෙනස් වුනාම ආර්ථව දෝෂ ඇති වෙනවා. ඒ වගේ තත්වයන්හිදී ඔසප් වීමේ වෙනස් කම් ඇති වෙනවා. මෙම දෝෂ අපිට මේ වගේ දකින්න පුලුවන්.

  • ඔසප්වීමේදී පිටවෙන රුධිරය ගඳයි
  • ඔසප්වීම වේදනාකාරියි
  • සැරව වැනි තත්වයන් තිබෙන්න පුලුවන්

ඒ නිසා ඉහත අපහසුතාවයන් හෝ වෙනස්කම් තිබෙනවා නම් ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. ඔසප් වේදනාව වෙනුවෙන් ප්‍රතිකාරයක් විදිහට කොත්තමල්ලි කබලේ බැදලා කුඩු කර ගෙන රාත්‍රියට උණු වතුරෙන් දමා තියල පහුවදා උදේට වතුර පානය කරන්න. මෙය ඔසප් වීමට දින කීපයකට පෙරාතුව කිරීමෙන් ඔසප් වේදනාව සමනය කර ගන්න පුලුවන්. ඔසප්වීම අතිශය වේදනාකාරී නම් ඒ තත්වය වැනි endometrosis සංකුලතාවයක් විය හැකියි.

PCOD හෙවත්  Polycystic Ovârian  Disease

ඔසප්වීමේ හමෝන චක්‍රය අනුව ඩිම්බකෝශයෙන් ඩිම්බ පිට වෙන්නේ එක් මාසයක වමෙන් සහ අනෙක් මාසයේ දකුනින් විදිහට මාරුවෙන් මාරුවට යි.සමහර අයගේ බිත්තර එකටෙක ඇලී තිබෙනවා. මේ රෝග තත්වය අද ඉතාම සුලබයි.

Fibroid අර්බුද නිසාත් ඔසප් ගැටළු ඇති වෙන්න පුලුවන්

ඒ වගේම බාල කාලයේදී ඒ කියන්නේ වයස අවුරුදු 12 ක් වගේ බාල කාලයේදී මල්වර වුන දියණියට ආර්තවය සිද්ධ වෙන්නේ නැති වුනාම අම්මලා කලබල වෙනවා. අවුරුදු 12 දී නිමිති පෙන්නුම් කරල නැවත ඔසප්වීමක් නැති වෙන්න පුලුවන්. මේ වයසේ දරුවන්ගේ ධාතු වර්ධනයේ අඩුපාඩු ති‍බෙනවා. ඩිම්බ මෝරා නැති වීම,තවත් හේතුවක්. ඒ නිසා වැඩිවියට පත් වෙලා අවුරුද්දක් ගෙවුනා ඔසප් වුනේ නැහැ කියල කලබල විය යුතු නැහැ.

පෝෂණ ඌනතාවයක් තවත් හේතුවක්

පෝෂණ ඌනතාවය නිසා ආර්තවය පිලිබඳ ගැටළු ඇති වෙන්න පුලුවන්.විටමින් සහ යකඩ ඌනතාවය මේ වෙනුවෙන් බලපානවා. වෛද්‍ය උපදෙස් ලබන්න ඉස්සර අම්මා හොයන්න ඕන මගේ දුව පලා වර්ග කනවාද…? එළවලු, පළතුරු ආහාරයට ගන්නවාද…? මේ සියලු දේ ගැනම විමිසිල්ලෙන් සිටීම වැදගත්. දරුවාගේ උසට සරිලන විදිහට බර තිබෙනවාද…? මේ සියලු කරුණු ඔසප් චක්‍රයේ නීරෝගිතාවය වෙනුවෙන් බලපානවා.

ඔසප් දිනවල හැසිරීම

මේ කාලයේ පිරිසිදු බව අනිවාර්යයි. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ පිහිටීම අනුව විෂබීජ ඉතාම පහසුවෙන් ඇතුලු වෙන්න පුලුවනි. සමහර කාන්තාවන්ට මේ ප්‍රදේශයේ බිබිලි, දැවිලි සහ කැසීම වැනි තත්වයන් ඇති විය හැකියි.මේ තත්වය ඇති වෙන්නේ රුධිර දෝෂ නිසා.දියණිය අතරත් මේ වගේ අපහසුකම් තිබෙන්න පුලුවන්.

ඔසප්චක්‍රය නවතින විට ඇති වෙන අපහසුතාවයන්

වයස අවුරුදු 50 ක් වැනි කාලය්දී ඔසප්වීම නවතින්න පටන් ගන්නවා. මේ කාලයේදී ලිංගික හමෝන අඩුවෙන්න පටන් ගන්නවා. සමහර අයට විවිධ අපහසුතාවයන් ඇති වෙනවා. ආර්තවහරනය හෙවත් ඔසප්චක්‍රය නවතින බවට විවිධ සලකුණු ලැබෙනවා. මෙතෙක් අක්‍රමවත්ව තිබුන ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් ඇති වෙනවා. මාස දෙකකට වරක් වගේ සිද්ධ වෙනවා. ඒ වගේම දේහය උෂ්ණාධික වෙනවා.අධික ලෙස දහදිය දැමීම,නින්ද නායෑම, අනිත් අය නුරුස්නා බව වැනි ලක්ෂණ පහල වෙනවා.මේ කාලයේදී දරුවන් වගේම ස්වාමිපුරුෂයා වුනත් මේ තත්වය තේරුම් ගැනීම වැදගත්. අම්මා එහෙම නැත්නම් බිරින්දෑ දැන් ඔසප් නැවතීමේ සීමාව ඉදිරියේ සිටින නිසා මේ වගේ අපහසුතාවයන් ඇති වෙලා. අපි ඒවා උපේක්ෂාවෙන් ඉවසා සිටීම අවශ්‍ය තේරුම් ගන්න ඕන.

මේ අපහසුතාවයට ප්‍රතිකාරයක් විදිහට..

මේ අපහසුතාවයට ප්‍රතිකාරයක් විදිහට නෙල්ලි ගෙඩි දහයක් පමණ අරගෙන ඇට ඉවත් කරල හොදින් බ්ලෙන්ඩ් කර ගෙන පානය කරන්න පුලුවන්.නැවතුන ඔසප් චක්‍රය ඇති කාන්තාවකට විටින් විට ආර්තවය ඇති වුනොත් ඒ තත්වය නොසලකා සිටිය යුතු නැහැ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.

 

dr-ayomi-pro

මහනුවර පරණ මාතලේ පාර ඩොලායෝ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිළධාරිණී අයෝමි ශානිකා දොලපිහිල්ල මහත්මිය සමඟ සකසන ලද ලිපියකි.

 

ළදරුවන් නොනවත්වා හඬවන COLIC තත්වය මගහරින්න උපදෙස්

“බබා හරියට අඬනවා … කිරි දුන්නත් එයා නැලවෙන්නෙම නෑ.. ඇත්තටම දැන් නම් බයත් හිතෙනවා… ඇයි මගේ බබා මේ තරමටම අඬන්නේ …?”

අලුත උපන් දරුවෙක් සාමාන්‍යයෙන් මව්කිරි අවශ්‍ය වූ විට, මල මුත‍්‍රා පිට කළ විට, නිදිමත නිසා හඬා වැටෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. ළදරුවාගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ පසු නැවත ඔවුන් සන්සුන් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කිසිසේත්ම හැඬිම නතර කරගත නොහැකි තත්ත්වයට හඬා වැටෙන දරුවන් ද දැක ගත හැකියි. මේ ලිපියේ අරමුණ වන්නේ ඒ ආකාරයට නොනවත්වා ඉතා තදින් හඬා වැටෙන දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීමයි.

උපතෙන් පළමු සති දෙක තුන ගෙවී ගිය පසුව මව්කිරි/පිටිකිරි ලබාදෙන සමහර ළදරුවන් සවස් කාලයේ අසාමාන්‍ය ලෙස හැඬිම මව්වරුන් මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයකි. මෙම හැඬිම දෙමව්පියන්ට කිසිසේත්ම පාලනය කළ නොහැකි විය හැකියි. මෙසේ ළදරුවෙකු පාලනය කරගත නොහැකි සේ අසාමාන්‍යව හඬා වැටීමට හේතුව ලෙස ඇතැම් විට COLIC නම් වූ තත්ත්වය දැක්විය හැකියි. මෙය ප‍්‍රායෝගිකව ගත් කළ නිවසක සාමාන්‍ය වටපිටාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවෙන තත්ත්වයකි.

COLIC (කොලික්)

සාමාන්‍යයෙන් බඩවැලේ ඇති විය හැකි යම්කිසි තෙරපුමක් මේ තත්ත්වයට හේතුව ලෙස පැවසූවද ඒ තෙරපුම ඇති වීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී මේ හැඬිමට හේතුව කොලික් තත්ත්වයද නැතිනම් වෙනත් තත්ත්වයක්ද යන්න සැක හැර දැනගන්න.

දරුවා අසාමාන්‍ය ලෙස හඬා වැටෙන්නේ කොලික් තත්ත්වය නිසා බව තහවුරු වූ පසුව අවශ්‍ය පිළියම් වෙත යොමු විය හැකිය. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනවාට වඩා ඖෂධ වර්ග නොමැතිව පාලනය කිරීමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වේ.

ඖෂධ වර්ගවලින් තොරව කොලික් තත්ත්වය පාලනය කිරීමට නම්…

සාමාන්‍යයෙන් ළදරුවා හඬන විට උඩු අතට වඩාගෙන ළදරුවාගේ උදරය අපේ උරහිසට/පපුවට තෙරපා තබාගනිමින් ඒ මේ අතට ඇවිදීම මගින් තත්ත්වය යම්තාක් දුරට සමනය කරගත හැකිය.

නැතිනම් ළදරුවා වාහනයක රැගෙන යාමෙන් ළදරුවා රිද්මයානුකූලව පැද්දීමෙන් හෝ වෙනත් ආකාරයකින් ළදරුවාගේ අවධානය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරට මගහරවා හැඬිම පාලනය කරගත හැකියි. මේ ක‍්‍රමයකින් ළදරුවාගේ හැඬිම නවතා ගතහොත් ළදරුවා ඇඳක් මත මුනින් අතට තබා රිද්මයානුකූලව පිට පිරිමැදීම මගින් දරුවා නින්දට යොමු කළ හැකිය. ළදරුවාගේ හැඬිම පාලනය කරගැනීම සඳහා බොහෝවිට මෙම ක‍්‍රමය ප‍්‍රයෝජනවත් වනු නිසැකය.

මේ ආකාරයෙන් ඖෂධ රහිත ක‍්‍රම හරහා ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අපහසු නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වේ.

නමුත් හැකි හැමවිටම ඖෂධ ප‍්‍රතිකාරවලින් තොරව දරුවාගේ හැඬිම පාලනය කරුනීමට උත්සාහ කිරීම වඩා සුදුසු බව සිතට ගන්න.

ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ නව ජන්ම සහ ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳුන ක්‍රීඩාවන්

සිංහල අලුත් අවුරුද්ද සමග බැදුන ක්‍රිඩාවන් බොහොමයක් තිබෙනවා. මේ ක්‍රිඩාවන් ඉස්සර නම් සිංහල අලුත් අවුරුදු කාලයට කල එලි බැස්සා. ඒත් අද අපේ දරුවන්ට මේ ජනක්‍රිඩාවන් ගැන වැඩි වැදගත් වගේම දැණුවත්කමක් ඇත්තෙත් නැහැ. වත්තේ පිටියේ වෙලේ කමතේ දුව පැන නටමින් මේ සෙල්ලම්වල යෙදෙන්නත් කාලයක් වගේම ඉඩ වපසරියත් නැහැ. හැබැයි මේ සෙල්ලම්වලින් අපේ සිරුරට හොඳ ක්‍රියාකාරිත්වයක් ලැබෙනවා. අවුරුදු කැවිලිවලින් සිරුරේ ගබඩා වෙන සීනි සහ මේදය ඉතාම පහසුවෙන් දහනය කර ගැනීමට මෙම ක්‍රිඩාවන් උපකාරී වෙනවා. වැඩිමහල්ලාගේ පටන් දරුවා‍ දක්වා වූ වයස් පරාසයන්ට ගැලපෙන ජනක්‍රිඩාවන් අපේ සිංහල අවුරුදු කාලයට කල එලි බහිනවා. ඒත් දැන් දැන් පාසලේ අවුරුදු උත්සවයට පමණක් දැන් මේ ජනක්‍රිඩාවන් සීමා වෙලා අපේ ජනක්‍රිඩාවන් මොනවාදැයි ටිකක් දැනගත්තොත් වඩාත් වැදගත් වෙනවා.

ජන ක්‍රීඩාවන් අතර ගෘහස්ථ ක්‍රිඩා, එලිමහන් ක්‍රිඩා, ආගමික ක්‍රිඩා, කණ්ඩායම් ක්‍රීඩා ලෙසින් විවිධාකාරයි. නිවසේ ඇතුලත කරන ක්‍රීඩාවන් ගෘහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පංච දැමීම, ඔලිඳකෙලිය වැනි ක්‍රීඩාවන් ගාහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා.

පංච දැමීම 

මෙය පත්තිනි දේවියගේ ක්‍රිඩාවක් ලෙසින් හැදින්වෙනවා. ගැහැණු පිරිමි වෙනසක් නැතුව මෙම ක්‍රීඩාවට හැම දෙනාම සම්බන්ධ වේ.

ඔළිඳ කෙලිය

ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙසින් සැලකෙන ඔළිඳ කෙලිය සිංහල රජදවස රජ කුමරියන් අතර පවා ප්‍රචලිතව පැවැති ක්‍රිඩාවකි. මේ වෙනුවෙන් පිලියෙල කරන ලද “ඔලිඳපෝරුව” වටිනා දැවයෙන් නිර්මානය කර තිබේ. ගමේ අය ඔලිඳ ඇට යොදා ගත්තත් එදා රජකුමරියන් මේ ක්‍රිඩාවට මුතු ඇට යොදා ගත් නිසා මෙය “මුතුපෝරුවේ ක්‍රිඩා” යනුවෙන්ද හැදින්වේ.

එලිමහන් ක්‍රීඩා 

එලිමහනේ කරන ක්‍රිඩාවන් එලිමහන් ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. අවුරුදු ක්‍රීඩාවන් අතර බොහොමයක්ම එලිමහන් ක්‍රීඩා විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේවා තවත් ආකාරයකින් කන්ඩායම් ක්‍රීඩාවන් අතරටත් එක් වෙනවා.

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ළමා ලපටින් එක්ව සිංහල අලුත් අවුරුදු කාලයට මෙම ක්‍රීඩාවේ යෙදෙන අතර මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගැහැණු දරුවන් අතරයි. දහයක් හෝ විස්සක් ලෙසින් වූ ගැහැණු ළමයින් රවුමට වාඩි වෙති. එක් දැරියක් අත කොළ අත්තකි. මෙහිදී ගායනා කරන පද්‍ය පංතිය ඔබට හොදින් අසා පුරුදු ඇත.

කොප්පර කොප්පර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා…

 

මේ අන්දමින් කවි ගායනා වෙන අතර “බෝතල , බෝතල” කියා වට යන දැරිය කියනු ලැබේ. මේ වෙන විට කොළ අත්ත රවුමේ වාඩි වී සිටින අයෙකු අසල නොදැනෙන සේ දිව යන අතර කොළ අත්ත තමාගේ පිටුපස තිබුන දැරිය වහා දුව ගොස් මේ කොළ අත්ත තිබූ දැරිය අල්ලා ගත යුතුය. එසේ නොහැකි වුනොත් මුලින් රවුමේ ගිය දැරිය විත් කොළ අත්ත තිබූ තැන හිස්වූ ඉඩේ වාඩි වෙනු ලැබේ.

එළුවන් කෑම

ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිංහල අලුත් අවුරුදු කාලයට සිදු වෙන මෙම ක්‍රීඩාව “එළුවන් කෑම , එළු කොටු බිදීම” යනුවෙන්ද හැදින්වේ. විසිපහක් තිහක් පමණ පිරිසක් මෙම ක්‍රිඩාවට සම්බන්ධ වේ. එළුවන් ලෙස දරුවන් කිහිප දෙනෙක්ද,එළුකොටු හිමියෙක්ද තෝරා ගැනේ. එළුවන් සහ එළුකොටු හිමියා මැදි කර ගෙන දරුවන් අත්වැල් අල්ලා ගෙන ආරක්ෂාව තර කරති.මෙහිදී ගායනා කරන කවි අතර…

එළුවන් කන්නයි මං ආවේ
එළුබෙටි කාපන් තුන්දීරේ…
බුලත් කොටන්නම් රාලහාමි දෙනවද එළුවා…
කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා…

 

අන්තිමේදී කොටියා  අත්වැල් බිඳ ඇතුලට යන අතර කොටියා විසින් එළුවන් අල්ලා ගැනේ.

රබන් ගැසීම

සිංහල අලුත් අවුරුදු සමග වැයෙන රබන් සුරල් හඩ සිංහල අලුත් අවුරුදේ අනිවාර්ය අංගයක් විය. අතින් වැයෙන රබන් ක්‍රීඩාවේ දක්ෂයින්  කාන්තාවන් සේ සැලකුනත් පිරිමින්ද රබන් වයන අවස්ථා ඇත. තරඟයට රබන් වැයීම බලා සිටින පිරිසට මහත් ආශ්වාදයක් ලබා දෙනු ඇත.

මේවර කෙලිය

පත්තිනි දේවිය සමග සම්බන්ධව තිබෙන මේවර කෙලියේ  තේමාව වන්නේ නැති වුන පළදනාවක් සෙවීමයි. ක්‍රීඩිකාවන් රවුමට හිද සිටින අතර එක් අයෙක් මේ අන්දමින් කවියක් ගායනා කරයි.

සාර සදිසි පෙත හේන නෙලන කල
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹපල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…
කොස්වතු කන්දේ කොස් කපනා දා
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…

 

අවසාන කවිය ගායනා කිරීමෙන් පසුව ඇය පළදනාව ගැනීමට නැමෙයි. එවිට එය පාගා ගෙන සිටින ක්‍රීඩිකාවෝ කණ්ඩායමක් දෙකක් වෙන අතර පළමුවෙන් පළඳනාව ලබා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජය ලබා ගනී.

ගොන් තරඟ

සිංහල අලුත් අවුරුදු කාලයේදී සිද්ධ වෙන මෙම ක්‍රීඩාව අතීතයේ හැදින්වූයේ “තිරික්කල රේස්” යන නමින්ය. මේ තරග වෙනුවෙන් ගොනා පමණක් නොව තිරික්කලයද යොදා ගෙන ඇත.

කොට්ටා පොර

වැඩිහිටි පිරිමින් වෙනුවෙන් වූ කොට්ටාපොර ගැසීම සිහල අවුරුදු ක්‍රීඩා අතර අනිවාර්ය අංගයකි. වෙල් එලියක හෝ සමතලා බිමක පිහිටුවන ලද පුවක්කොට මත සිට මෙම ක්‍රිඩාව සිදු වේ.

කඹ ඇදීම

කඹ ඇදීම ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිදු වෙන අවුරුදු ක්‍රීඩාවකි.කණ්ඩායම් ලෙසින් තරග කරන අතර ජවය ඇති කණ්ඩායම ජය ලබා ගනී. ජයගන්නා කණ්ඩායම පැත්ත මාරු කොට දෙවනුව තරග කරනු ලැබේ.

ඔන්චිලි පැදීම

කුඩා දරුවන් අතර ඉතා ප්‍රචලිත ඔන්චිලි පැදීම සිංහල අලුත් අවුරුදු කාලයේදී දරුවන්ට සතුට ලබා දෙන ක්‍රිඩාවකි.

ආගමික ක්‍රීඩා 

පොරපොල් ගැසීම

සිංහල අලුත් අවුරුදු කාලයට සිද්ධ වුනත් මෙය ආගමික පූජෝත්සවයක් බවට පත් ක්‍රීඩාවකි. ලෙඩ දුක් ස්වභාවික උවදුරු දුරු වෙන සේ දේවාශිර්වාදය ලබමින් සිදු වෙන ක්‍රීඩාවකි.

ඔන්චිල්ලාවේ ඉතිහාසය දන්නවාද…?

ඉස්සර කාලයේ අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන විටම ගේ අසල ඔන්චිල්ලාව බදින්න තාත්තා අමතක කරන්නේ නැහැ. මේ ඔන්චිල්ලාව ලිහන්නේ මැයි මාසයේ අලුත් පාසල් වාරය පටන් ගනිද්දී. අද නම් ගෙවල් ළග ඔන්චිල්ලා බඳින්න තරම් ශක්තිමත් ගස් නැහැ. ඒ නිසා ඇති වෙන අනතුරුත් තිබෙනවා. තවත් වතාවක ඔන්චිල්ලාවේ ලනුවට ගෙල හිර කර ගෙන පුංචි දැරියක් මරණයටත් පත් වුණා. මේ වගේ තත්වයක් තිබුනත් ඔන්චිල්ලා පැදීම සිරුරට ව්‍යායාම ලබා දෙන ක්‍රිඩාවක්. ඒ වගේම ඔන්චිලි පදින්නේ නිකම් නොවෙයි. ඒ වෙනුවෙන් වාරම් කවිත් ගායනා වෙනවා. මේ නිසා දරුවන්ගේ ගායනීය හැකියාවන්ද දියුණු වෙනවා.

ඔන්චිල්ලාවේ ඉතිහාසය

ඊශ්වර දෙවියන්ගේ අත්උදව්වට සිටි අසුර නැමැත්තා ඉතාම හිතවත්ව ඊශ්වර දෙවියන්ට සැලකීම් සිදු කළා. මේ අතර ඔහු දිනක් ඊශ්වර දෙවියන්ගෙන් තමන්ට වරයක් ඉල්ලා සිටියා. තමාට හොදින් උපස්ථාන කරන අසුරට ඔහු කැමැති වරයක් ඉල්ලා සිටින්නැයි ඊශ්වර දෙවියන් කියා සිටියා. අසුර ඉල්ලා සිටියේ අමුතුම වරයක්. ඔහු යම් කෙනෙකුගේ හිසට අත තැබූ විට ඔහු විනාශ වී යන වරයක් ඉල්ලා සිටියා. තමාට හිතවත් සේවකයා වෙනුවෙන් ඒ වරය ඊශ්වර දෙවියන් ලබා දුන්නා. ඒත් සිද්ධ වුනේ නොසිතූ දෙයක්. වරය ලබා ගත් අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තබන්න සූදානම් වුණා. එයින් පසුව සිද්ධ වෙන දේ ඊශ්වර දෙවියන් දන්නා නිසා වහාම අසුරගෙන් මිදී දුවන්න පටන් ගත්තා. ඊශ්වර දෙවියන් අපහසුවට පත්ව සිටින අන්දම දුටු සක්දෙවියන්, ඔන්චිල්ලාවක් බැද ගෙන කාන්තාවක් විදිහට එහි පදින්න පටන් ගත්තා. අසුර එන මග තිබුන කාන්තාවක් පදින ඔන්චිල්ලාව දැක අසුර එතැන නැවතුනා.අනේ මේ කාන්තාවක් මෙහෙම ඉන්නේ ඇයි තමාගේම හිසට අත ගසා ගෙන අසුර ඔහුගෙන්ම ප්‍රශ්න කළා. අසුර එතැනම දැවී අලු වුණා. ඊහ්වර දෙවියන්ගේ ජීවිතය බේරුනා.

උංචිල්ලාව, අඃසිල්ලාව යන විවිධ නම් වලින් හැඳින්වෙන ඔන්චිල්ලා වර්ග කීපයක් තිබෙනවා.

වැල් ඔන්චිල්ලා

එලිමහනේ බදින වැල් ඔන්චිල්ලාව බිමින් ඉහලට අඩි 20 සිට 25 ක් උස ගසක බදිනවා. ශක්තිමත් කඹ දෙපොටක් යොදා ගෙන ඉදිකරන වැල් ඔන්චිල්ලාවේ ක්‍රිඩා කරන්නේ දරුවන් සහ යෞවනියන් වීමත් විශේෂයි. පත්තිනි දෙවියන් සිහිපත් කරමින් කවි ගායනා කරන අතර වැල් ඔන්චිල්ලාවේදී වාරු ගැනීම හැදින්වෙන්නේ “රුකුල් ගැනීම” විදිහටයි.

කතුරු ඔන්චිල්ලාව

කතුරු ඔන්චිල්ලාව බැඳීමට ශුද්ධ භුමියක් තෝරා ගන්නා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා.කිලි හෙවත් අපිරිසිදු අයට මෙම ස්ථානයට ඇතුලු වීමට අවසර නැහැ.මේ ඔන්චිල්ලාව වෙනුවෙන් නියමිත දිග පළල තිබෙන අතර එය දින හතක් ඇතුලත සාදා අවසාන කරන්න ඕන. යම් විදිහකින් ඒ දින හත ඇතුලත සාදා අවසාන කර ගැනීමට බැරි වුනොත් පඩුරක් ගැට ගසා තව දින හතක් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතුරු ඔන්චල්ලාව සකස් කිරීමට පුවක් පටි සහ හොර ලෑලි යොදා ගන්නවා. හොර ලෑලි කතිරයක් වන සේ තබා පොලු වලින් ඒවා සම්බන්ධ කර ගෙන පුවක්පටි රවුමට සිටින සේ තබා ගැට ගසා ගන්නවා. හරහට බදින ලද පොලු පාගන විට ඔන්චිල්ලාව කැරකෙනවා. එක් වතාවකට අට දෙනෙකුට කතුරු ඔන්චිල්ලාවේ ගමන්ගත හැකියි. ඒ අතර දෙදෙනෙක් විසින් ඔන්චිල්ලාව කරකවනවා. පදින විට බුදුගුණ කවි, තුන්සරණ කවි සහ දෙවියන්ට පිං දෙන කවි ගායනා කරන අතර ඒවාට අත්වැල් අල්ලන අයද  සිටිති. කතුරු ඔන්චිල්ලාව දින සතකින් ගලවනවා. පත්තිනි දෙවියන් මුල් කර ගෙන සිදුවෙන මෙම කතුරු ඔන්චිල්ලා පැදීමේ අවසානයේදී වස් දොස් නැසීමක් විදිහට කෝලම් රංගනයක්ද ඉදිරිපත් කරනවා.

බඹර ඔන්චිල්ලාව

කුඩා දරුවන් වෙනුවෙන් ඉදි කරන මෙම බඹර ඔන්චිල්ලාව ඉදි කරන්නේ  කෙලින් සිටවනු ලබන ලී කොටයක දෙපැත්තට යන සේ ලෑල්ලක් සවි කරනවා. එම ලෑල්ල දෙපැත්තේ ඔන්චිල්ලාව බදිනවා. පුද්ගලයෙක් විසින් මෙය කරකවන විට දෙපස ඔන්චිල්ලාවේ දෙන්නා දෙපැතත්ට කැරකැවෙනවා.ඔන්චිල්ලා පදින විට ගැයෙන වාරම් කවි මගින්ද පෙනී යන්නේ පදින අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිතරම ආගම ධර්මය මුල් කර ගෙන කටයුතු කළ බවයි.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි…

 

ජීවිතයේ රිද්මය අම්මාගේ නැළවිලි ගීතයයි…

ජංගම දුරකථනයක් හෝ ටැබ් එකක් අතට දුන්න ගමන් අද කාලේ හැදෙන බොහෝ දරුවන් නළවා ගන්න පුළුවන්. පුංචි දරුවන්ට බත් කවද්දී අද හුඟක් දෙමාපියන් පාවිච්චි කරන්නේ ටැබ් එකක් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයක්. ලෝකය ගැන නොසංසිඳුනු කුතුහලයක් ඇති පොඩි දරුවනුත් මේ උපකරණ පාවිච්චි කරන්නේ හරියට ඒවාටම වශී වුණු ගානටයි.

පසුගිය දවසක මහනුවර ශික්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මිය විසින් දෙමව්පියන්ට ඉතාම වැදගත් කරුණු ටිකක් ප්‍රකාශ කලා. ඇය කියා සිටියේ අපේ දෙමව්පියන් විසින් දරුවන්ට ජංගම දුරකථන, ටැබ් වැනි දුරකථන මෙවලම් දීම ඉතාම අහිතකර බවයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මේ වගේ මෙවලම් ලබා දෙන්නේම නැති බව ඇය සඳ හන් කළා. ඉතින් මේ සිද්ධියට සම්බන්ධ තවත් තොරතුරු කීපයක් ඩේලි මේල් වෙබ් අඩවියෙන්ද ලබා ගැනීමට හැකි වුනා.

රජපැටවුන්ට ජංගම දුරකථන තහනම්…

රාජකීය දරුවන් කිව්වාම අපි හිතන්නේ හැම සැප සම්පතක්ම තිබෙන මෙහෙකාරයන්ගෙන් සියලු දේ සිද්ධ වෙන පවුලක් බවයි. ඒත් ඔබ එහෙම හිතනවා නම් වැරදියි. ඩේලි මේල් වෙබ් අඩවියේ සදහන්ව කිබුන එක් කාරනාවක් අපේ අම්මලාටත් ඉතාම වැදගත් වෙනවා. කේට් කුමරිය විසින් ඇගේ දරුවන්ට කිසිම දවසක ජංගම දුරකථනයක් අතට දීලා නැති බව එහි සදහන්ව තිබුණා. ඒ විතරක් නොවෙයි, දරුවන් නලවා ගන්න ඇය ටෙඩ්බෙයාර්, සෙලල්ම් කෝච්චි, මල් , කාර් සහ සතුන් වැනි දේ යොදා ගන්නා බවත් එහි සඳහන්ව තිබුණා. කේට් කුමරිය කියන්නේ “මම දරුවන්ට ආදරෙයි…ඒ නිසා හිතාමතාම මේ දේවල් මම දරුවන්ට දෙන්නේ නැහැ…”

දැන් ඔබට මෙහෙම කියන්න පුලුවන්.. අපේ සමාජයේ දරුවන් වෙනුවෙන්ම නැලවිලි තිබියදී ඔය වෙන වෙන මෙවලම් මොකටද…? ඒක ඇත්ත..

අපේ ජනසාහිත්‍යයේ නැලවිලි ගී වල රිද්මයට දරුවාට නින්ද යනවා . ඒ විතරක් නොවෙයි, මේ නැලවිලි ගී මගින් අනාගත අභියෝගයන්ටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා.කොටින්ම කියනවා නම් දරුවෙකුගේ කණහෙව වැකෙන මුල්ම ගීතය අම්මාගේ නැලවිලි ගීතය බව ඔබ නොදන්නවා විය හැකියි. නැලවිලි ගීතයේ තිබෙන නාද රටාවේ මිහිරියාවට දරුවා ඉබේටම සුවදායක නින්දක් ලබා ගන්නවා.

දුරකථන දුන්නොත් මොකද වෙන්නේ..?

දුරකතන මගින් නිකුත් වෙන සංඥා කිරණ වැඩිහිටියන්ගේ මොළයට ඇති කරන බලපෑමට සාපේක්ෂව බලන විට එයින් දරුවෙකුට ඇති වෙන බලපෑම විසි ගුණයකින් ඉහලයි. අපි මේ ගැන නොදැන දරුවාට ජංගම දුරකථනය අතට දෙනවා. දරුවා ඒ සමග හැසිරෙන විට අම්මාට කරදරයක් නැතුව දරුවා නින්දට යනවා. ඒ වෙලාවේ අම්මා නිවසේ වැඩපොල සේරම කර ගන්නවා. ඉතින් අම්මාත් බලන්නේ තමන්ගේ පහසුව බව ඇත්ත. ඒ මේ අහිතකර තත්වය ගැන නොදන්නා නිසා …ඒ වුනත්  ඇත්ත තත්වය ගැන නම් දැනගන්නම අවශ්‍ය වෙනවා.

දරුවන්ට ජංගම දුරකථන ලබා දීම නිසා අනාගතයේදී මදසරුබව, ප්‍රතිශක්තිය හීන වීම, මොළය සහ ස්නායු ආබාධ ඇති වෙන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි, දරුවා ජංගම දුරකථනය දෙස දිගු වේලාවක් බලා ගෙන සිටීම නිසා ඔවුන්ගේ ධාරණය සහ බුද්ධි වර්ධනය පිළිබද ගැටළු ඇති වෙනවා.

සමාජගත වෙන්න අකමැතියි..

ජංගම දුරකථනය සමග බද්ධ වුන දරුවන් අනාගතයේදී සමාජය සමග සම්බන්ධ වෙන්න කැමැති නැහැ. ඊට හේතුව ඔවුන්ගේ හොඳම මිතුරා ජංගම දුරකථනය පමණයි. මේ නිසා අන්තර් සම්බන්ධතාවයක් ඔවුන් අතර ඇත්තේම නැහැ. තවත් කෙනෙකුට ආදරය දක්වන්න වගේම සමාජය සමග ගණුදෙණු කිරීමට පුරුදු නැති නිසා ඉවසීම වැනි ගුණාංග නොදැනීම දරුවන්ගෙන් ඉවත් වෙනවා. ආවේගශීලී හැසිරීම නිසා දරුවා ඉතාම හිරිහැරකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නෙත් ජංගම දුරකථනය සමග එදා පටන් පැවැතුන සම්බන්ධතාවය නිසයි.

දරුවාගේ අසමතුලිතබව..

ජංගම දුරකථනයත් සමග පමණක් සම්බන්ධ වෙමින් ගෙවන ජීවිතය නිසා දරුවා පරිසරය සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ. පරිසරයට සංවේදී නැහැ. පරිසරය විදින්න දන්නේ නැහැ. මේ අසමතුලිත දරුවන්ගෙන් සමාජය සමන්විත වුනාම අනාගතයේදී බිහි වෙන අසමතුලිත මිනිසුන් නිසා මේ ගැන අම්මා වඩාත් අවදියෙන් සිටීම වැදගත්.

මේ ගැන අදහස් දක්වන ළමා මනෝවිද්‍යාඥයින් සදහන් කරන්නේ වතුර සීතල බව, ගින්දරට පිච්චෙන බව, අත්දැකීමෙන්ම තේරුම් ගැනීම වැදගත්. සෙල්ලම් බඩුවක් කොටස් විදිහට කඩල එය නැවත සකස් කරන්න දරුවා ඉගෙන ගන්න ඕන..ඒ අත්දැකීම දරුවාට අවශ්‍යයි. කොටින්ම කියනවා නම් දරුවාගේ මොළය වියලි ස්පොන්ජ් එකක්. පරිසරයෙන් මේ ලපටි මනසට බොහෝ දේවල් උරා ගනන්වා. ඒ වෙනුවෙන් පරිසරයෙන් ලැබෙන දායකත්වය ඉතාම වැදගත්.

ඉතින් අන්තර්ජාලය නැතුව ඉදිරියට යන්නේ කොහොමද..?

අන්තර්ජාලය තොරතුරු ගවේෂණයේ වැදගත් මාධ්‍යක් බව ඇත්ත. වෛද්‍ය අරඹේපොල මහත්මිය පෙන්වා දෙන අන්දමට අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීමට තිබෙන ඉඩ ප්‍රස්තාව ඉහලයි. ඒ නිසා කිසිම දවසක දරුවා තනියම නිවසේ සිටිනවා නම් අන්තර්ජාල පහසුකම් විවෘත කිරීම එතරම් සුදුසු නැහැ. මේ පහසුකම් ලබා දිය යුත්තේ මව්පියන්ගේ අධීක්ෂනය යටතේ බව ඇය අවධාරනයෙන්ම පෙන්වා දෙනවා.

ජංගම දුරකථන සහ ටැබ් දරුවා අතට දෙමින් ඔවුන් නිදිකරවන දෙමව්පියන්ට මෙම අධ්‍යනය මගින් පෙන්වා දුන්නේ මේ ක්‍රියාව දරුවාගේ මොළය විදුලි පෝරණුවක දැමීමට සමාන බවයි.ඉතින් ඔබත් මේ තත්වයට සම්බන්ධ නොවී දරුවා ඔබේම නැලවිලි ගීයකින් නලවා ගැනීම මොනතරම් වැදගත්ද බව දැන් ඔබටම හිතේවි…