Home Blog Page 101

අවුරුදු සහ එහි අද වෙනස…

සිංහල අලුත් අවුරුද්ද අපේ ජන ජීවිතය සමග බද්ධ වුන සංස්කෘතික මංගල්‍යක් වුනත් කාලයත් සමග ඇතැම් සිරිත් විරිත් නොදැනීම දුරස් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන්ද අලුත් අවුරුදු සිරිත් අතර වෙනස්කම් පවතිනවා. මේවායින් ඇතැම් සම්ප්‍රදායන් අද දක්නට නැතැත් අනාදිමත් කාලයක පටන් පැවැති චාරිත්‍ර කීපයකි මේ..

කෝන කෑම

අලුත් අවුරුදු වෙනුවෙන් වූ කැවිලි පිළියෙල කිරීමටත් තෙල් තාච්චිය ලිප තබන්නේ සතියේ සුබ දවස් අතරින් එකක් තෝරා ගෙනය. තාච්චිය ලිප තබා තෙල් පුරවා ගෙන කැවුම් හැන්ද සහ තවත් ලී කෝටුවකින් තාච්චිය හතරට බෙදනවා. “හතර දිසාවෙන් පැමිනෙන උපද්‍රව වලකා, දෙවියන්ගේ ආශිර්වාදය ලබා, හතර පේරුවට බෙදන්න කැවුම් මුට්ටිය පිරෙන්න කැවුම් පිසින්න ලැබේවා..” යැයි ආශිර්වාද කරනවා. මුලින්ම පිසින කැවුම් තුන ලිප්ගල මත තබා එය නිවසේ වහලේ එල්ලා තබනවා. එය හදුන්වන්නේ “කෝඳුරු කැවුම” යනුවෙන්. මේ කැවුම වටා කෝඳුරුවන් වසන නිසා නිවසේ අයට කෝඳුරුවන්ගෙන් කරදරයක් නැහැ.

දර දිය ඇදලා ගොම මැටි ගාලා මහ‍ගේ කළ එලි කර ගන්නේ
බොර දඟ කවලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල්මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගෙ බලා කියා ගෙන පෙර අවුරුදු කාලය එන්නේ

 

සිංහල අලුත් අවුරුද්ද සමග පරණ අවුරුද්ද වෙනුවෙන් වූ චාරිත්‍රත් තිබෙනවා. ඒ අතරින් මහනුවර රජසමයේ පටන් පැවැති කෝන කෑම පරණ අවුරුද්ද දිනයේ පවත්වනවා. එදිනට හත්මාලුවක් පිස අහල පහල උදවිය සමග බුත්ති විඳීම මහනුවර රාජධාණි සමයේ පැවැති සිරිතක්. හත්මාලුවත් පළාතෙන් පළාතට වෙනස්. ඒ අනුව පිසින හත්මාලුවටත් වෙනස් වෙනස් එළවලුබෝග එක් කරගන්නා නිසා හත්මාලුවට මේ එලවළුම අයත් විය යුතුයි කියල නියමයක් නැහැ.

හත්මාලුව

සබරගමුව පළාතේ… කජු, තිබ්බටු, කොස් ඇට, වට්ටක්කා, ලපටි කහට ගෙඩි, අමුකෙසෙල්, සහ වට්ටක්කා දළු, කොහිල දළු තම්පලා හෝ නිවිති යන වර්ගවලින් එකක්.කජු වැඩියෙන් ගන්න. කලින් තම්බා ගන්නත් ඕන. කහට ගෙඩිත් කපා උනුවතුරෙන් තම්බා ගන්න. දැන් තෙල් ලිප තබා මේ මිශ්‍රණය දමා දියකිරි , මිටිකිරි එක් කර තබ්බා ගන්න.

සම්ප්‍රදායික හත්මාලුව

  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, ආනම, පැලහුම සහ බැදුම යන වර්ග හතයි.
  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, බැදුම ගොඩමස් හා දියමස් වට්ටක්කා දළු, කිරි අල, තෝරකොළ, පැසුන අමු පැපොල්, අමු කෙසෙල් ගෙඩි ( ඇඹුල් හෝ සීනි ) වැලිකොස් ඇට, තිබ්බටු ( ආයුර්වේද පත්‍රිකාවක් ඇසුරින් )
බුලත්දීම

තරහ මරහ අමතක කරන වගේම ගරු බුහුමන්ලෙ සින් පිදිය යුත්තන් පිදීමේදී එය සංකේතවත් කරන්නේ බුලතින්. අද වගේ වෛවාරණ ආරාධනාපත් නොතිබුන යුගයක උත්සව වෙනුවෙන් ආරාධනා ලැබුනේ බුලත්දීමෙනුයි. බුලත් කොළයක් නොමැතිව කට වචනයෙන් උත්සවයකට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂෙප කරන තරමටම සමාජයේ බුලතට වැදගත්කමක් ලැබුනා. පරණ අවුරුදු දිනයේදී  බුලත් රැගෙන ගමේ පන්සලට ගොස් ඉෂ්ට දේවතාවන් නැමද සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන පැමිණීමෙන් අනතුරුව දෙමමව්පියන් ඇතුළු ගමේ වැඩිහිටියන් වෙතට බුලත් රැගෙන ගොස් ආචාර කිරීම සිරිතක්. පහතරට පළාත්වලදී මෙය බුලත් දුංකොළදීම යනුවෙන් හැදින්වෙන අතර අද ඒ වෙනුවෙන් දුංකොළ එක් කර ගැනීම සෞඛ්‍ය හේතුන් මත විවාදයට ලක් වී තිබෙනවා. මෙහිදී දුංකොළය ආහාරයට නොගත්තද සම්පූර්ණ දුංකොලයක් සමග බුලත් අතක් යොදා ගැනෙනවා.උඩරට පළාත්වලදී බුලත් දී දෙපාවල තෙල් ගල්වා වැඳීම අතීතයේදී පැවැතුන බවට මෙම පළාතේ වැඩිහිටියන් සඳහන් කරනවා.

නොනගතය

නොනගතය වේලාව උපවාස කාලයක් පමණක් නොව කිසිම ගණුදෙනුවක් සිදු නොවන කාලයක්. වෙනතක් තබා නිවසේ අතන තිබෙන දෙයක් මෙතැනට හෝ ලබා දෙන්නේ නැහැ. නැකත් නැති නිසා මෙය එතරම් සුබ නොවන විදිහට සැලකෙනවා. සමහර උදවිය නම් මේ කාලයේදී කෙළි සෙල්ලම්වලින් ගෙවන අතර ඒ වෙනුවෙන් අපේ ජනක්‍රීඩාවන් වැදගත්.

ඛණ්ඩ ස්නානය

මහනුවර රජ දවස සංඝරත්නය අපේ ජන ජීවිතයේ සෑම කටයුත්තක් වෙනුවෙන්ම සම්බන්ධව සිටියා. තෙල් ඇඹුල්ගෑම පන්සලේදී සිද්ධ වෙන නිසා ඊ‍ට පෙරාතුව තෙල් ඇඹුල් පන්සලට රැගෙන යනවා. මෙම තෙල් උගුරේ ආලේප කිරීම “ඛණ්ඩ ස්නානයයි”. අවුරුදු සංක්‍රාන්තියෙන් පසුව එළැඹෙන්නේ ලිප ගිනි මෙලවීමයි. ලිප ගිනි මොළවා කිරි උතුරවන විට සංඝයා වහන්සේලා විසින් මෙම තෙල් උගුරේ ආලේප කර ගෙන මිහිරි හඬින් පිරිත් සජ්ජායනා කරනු ලැබේ.

ලිප ගිනි මෙලවීම

ලිප ගිනි මෙලවීමෙන් පසුව කිරි උතුරවා ගෙන කිරිබතක් පිළියෙල කර ගනු ලැබේ. මෙම කිරිබතට තල, ගිතෙල් ආදිය මිශ්‍ර කරනවා. සත් කෝරලයේදී මෙම කිරිබතට “බේත් පැහි” එකතු කරන අතර එය ගමේ වෙදමහතා විසින් සකස් කර දෙනු ලැබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය බේත් දලු වර්ග පවා සෙත් පිරිත් ගැයීමෙන් පසු ආහිර්වාද කොට තබා ගැනේ. කිරිබත් අනුභවයට පෙරාතුව අවුරුදු දේවතාවාට කොටසක් ඉතිරි කරන අතර එයින් පසුව පවුලේ වැඩිමහල් තැනැත්තා විසින් පවුලේ සාමාජිකයන්ට කිරිබත් ගුලි වශයෙන කවනු ලැබේ.

කැති උදලු ඇල්ලීම

අවුරුදු චාරිත්‍ර අතර පවතින වැඩ ඇල්ලීම එදා හදුන්වනු ලැබුවේ “කැති උදලු ඇල්ලීම” යනුවෙනුයි. නොනගතයට පෙරාතුව මිදුලේ කොනක කදුරු අත්තක්,කොස් අත්තක්, කැත්තක්, උදැල්ලක් සහ පිහියක් තබනවා. වැඩඅල්ලන නැකතට තබන ලද අතු සමග පොළවත් කෙටෙන සේ මුලින් තබන ලද උපකරණ ආශ්‍රයෙන් කෙටීම කැති උදලු ඇල්ලීම යනුවෙන් හැදින්වුණා. කාන්තාවන් නම් වංගෙඩියට හාල් ටිකක් දමා මෝල ගහෙන් කෙටීම සිදු කළා. එම චාරිත්‍රය “වං මෝල ඇල්ලීම” යනුවෙන් හැදින්වුනා.

වියදම් මුල

එදා ගමේ ගණුදෙණු සිද්ධ වුනේ ළිඳ සමගයි.මෙය ළිඳ අලෙවි කිරීම යනුවෙන් හැඳින්වෙනවා. තමාගේ ජීවිතය පවත්වා ගැනීමට වසරක් පුරා ජලය දුන් ළිඳට කෘතගුණ දැක්වීම මෙහි අරමුණයි. කාන්තාව විසින් කහ, මිරිස්, තඹ කාසියක් සහිත පොට්ටනියක් රැගෙන ගොස් එය ළිඳට වතුර ඛලයක් රැගෙන එයි. ඒ වගේම ඇතැම් පලාත්වල පවුලේ මේස ඉදුල් කිරීමට ගමේ සුබ යැයි පිළිගත් තැනැත්තෙක් ගෙන්වා ගනී. ඒ තැනැත්තා හාල්, තුනපහ සහිත මල්ලක් රගෙන එන අතර ආහාර මේසයෙන් යමක් කා බී යන විට ඒ තැනැත්තාටත් එවන් හාල් තුනපහ මල්ලක් ලබා දෙයි. එය “වියදම් මුල” යි.

ඔසප් චක්‍රය ගැන දැනගන්න

දැරියක් මල්වර වූ තැන පටන් ඔසප් වීම සාමාන්‍ය සංසිද්ධියක් වුනත් , ඔසප්වීම මුල් කර ගත් විවිධ සංකුලතාවයන් ගැන අම්මා දැනගැනීම ඉතාම වැදගත්. අද දියණියන් තබා ඇතැම් විවාහ වුන කාන්තාවන් පවා ඔසප්වීම ගැන නිවරැදි අවබෝධයක් නැහැ. ඔසප්වීම හා ඒ සමග සම්බන්ධ  වුන ගැටලු ගැන යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත්. මේ පිලිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර පරණ මාතලේ පාර ඩොලායෝ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිළධාරිණී අයෝමි ශානිකා දොලපිහිල්ල (BAMS) මහත්මියයි.

ඔසප්වීම කැලැන්ඩර් චක්‍රය විදිහට නම් දින 28 ක රටාවකට සිද්ධ වෙනවා. මෙය ඇතැම් විට දින 28 සිට 30 ත් අතර වෙන්න පුලුවන්. චන්ද්‍ර මාසය අනුව මාසයකට දින 28 යි. දින 30 ක් වුනත් එය සාමාන්‍ය තත්වයක්. ඒත් දින 35 ක් තරම් පමාවක් වනවා නම් එය අනුමත කරන්න බැහැ.ඒ වගේම හමෝන අසමතුලිතතාවයක් සහ ඩිම්බමෝචනයේ ප්‍රමාදයන් නිසාත් ඔසප්වීම පමා වෙන්න පුලුවන්.

ඔසප්වීම වේදනාකාරී නැහැ…

සාමාන්‍යයෙන් ඔසප්වීම වේදනාකාරී නැහැ. ඔසප්වීමට දින දෙක තුනකට පෙරාතුව අත් පා රිදීම, හිසරදය, ඔක්කාරය වගේ තත්වයන් ඇති වෙනවා. ඒ අපහසුතාවයන් ඔසප්වීම සමගම නැති වී යනවා.ඩිම්බකෝෂ, පැලෝපීය නාල ගැටළු , ගර්බාශගත සංකුලතාවයන් සහ මෙම ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්ය පිළිබඳ ගැටළු නිසා දරා ගත නොහැකි අන්දමේ වේදනාවක් ඇති වෙන්න පුලුවන්. ඇතැම් අවස්ථාවලදී Chocolate cyst රෝග තත්වය නිසාත් වේදනාකාරී විදිහට ඔසප්වීම සිද්ධ වෙනවා. එවිට රුධිරය දුඹුරු පැහැති කැටි කැටි විදිහට පිටවෙනවා.

නීරෝගී ඔසප් චක්‍රයක තිබෙන ලක්ෂණ මොනවාද…?

  • දින 28 – 30 අතර සිද්ධ වීම
  • පිරිසිදු රතු රුධිරය පිටවීම
  • දින 3- 5 ක අතර කාලයක් තුල සිදු වෙන රුධිර වහනය
  • වේදනාකාරී නොවීම
  • ඇඳුමක තැවරුන විට පැල්ලමක් ඇති නොවී සේදී යෑම

මේ විදිහට ආර්ථව චක්‍රය සිද්ධ නොවෙනවා නම් හෝ වෙනත් අපහසුතාවයක් දැනෙනවා නම් ඒ ගැන විමිසිලිමත් වීම වැදගත්. මේ විදිහට ඇති වෙන අපහසුතාවයන් වෙනුවෙන්  ආයුර්වේදයේදී “ආර්ථව ව්‍යාපද්” යනුවෙන් කොටසක් තිබෙනවා. වාතය, පිත, කථ යන තුන්දොස් අතර තිබෙන තුලිතාවය වෙනස් වුනාම ආර්ථව දෝෂ ඇති වෙනවා. ඒ වගේ තත්වයන්හිදී ඔසප් වීමේ වෙනස් කම් ඇති වෙනවා. මෙම දෝෂ අපිට මේ වගේ දකින්න පුලුවන්.

  • ඔසප්වීමේදී පිටවෙන රුධිරය ගඳයි
  • ඔසප්වීම වේදනාකාරියි
  • සැරව වැනි තත්වයන් තිබෙන්න පුලුවන්

ඒ නිසා ඉහත අපහසුතාවයන් හෝ වෙනස්කම් තිබෙනවා නම් ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. ඔසප් වේදනාව වෙනුවෙන් ප්‍රතිකාරයක් විදිහට කොත්තමල්ලි කබලේ බැදලා කුඩු කර ගෙන රාත්‍රියට උණු වතුරෙන් දමා තියල පහුවදා උදේට වතුර පානය කරන්න. මෙය ඔසප් වීමට දින කීපයකට පෙරාතුව කිරීමෙන් ඔසප් වේදනාව සමනය කර ගන්න පුලුවන්. ඔසප්වීම අතිශය වේදනාකාරී නම් ඒ තත්වය වැනි endometrosis සංකුලතාවයක් විය හැකියි.

PCOD හෙවත්  Polycystic Ovârian  Disease

ඔසප්වීමේ හමෝන චක්‍රය අනුව ඩිම්බකෝශයෙන් ඩිම්බ පිට වෙන්නේ එක් මාසයක වමෙන් සහ අනෙක් මාසයේ දකුනින් විදිහට මාරුවෙන් මාරුවට යි.සමහර අයගේ බිත්තර එකටෙක ඇලී තිබෙනවා. මේ රෝග තත්වය අද ඉතාම සුලබයි.

Fibroid අර්බුද නිසාත් ඔසප් ගැටළු ඇති වෙන්න පුලුවන්

ඒ වගේම බාල කාලයේදී ඒ කියන්නේ වයස අවුරුදු 12 ක් වගේ බාල කාලයේදී මල්වර වුන දියණියට ආර්තවය සිද්ධ වෙන්නේ නැති වුනාම අම්මලා කලබල වෙනවා. අවුරුදු 12 දී නිමිති පෙන්නුම් කරල නැවත ඔසප්වීමක් නැති වෙන්න පුලුවන්. මේ වයසේ දරුවන්ගේ ධාතු වර්ධනයේ අඩුපාඩු ති‍බෙනවා. ඩිම්බ මෝරා නැති වීම,තවත් හේතුවක්. ඒ නිසා වැඩිවියට පත් වෙලා අවුරුද්දක් ගෙවුනා ඔසප් වුනේ නැහැ කියල කලබල විය යුතු නැහැ.

පෝෂණ ඌනතාවයක් තවත් හේතුවක්

පෝෂණ ඌනතාවය නිසා ආර්තවය පිලිබඳ ගැටළු ඇති වෙන්න පුලුවන්.විටමින් සහ යකඩ ඌනතාවය මේ වෙනුවෙන් බලපානවා. වෛද්‍ය උපදෙස් ලබන්න ඉස්සර අම්මා හොයන්න ඕන මගේ දුව පලා වර්ග කනවාද…? එළවලු, පළතුරු ආහාරයට ගන්නවාද…? මේ සියලු දේ ගැනම විමිසිල්ලෙන් සිටීම වැදගත්. දරුවාගේ උසට සරිලන විදිහට බර තිබෙනවාද…? මේ සියලු කරුණු ඔසප් චක්‍රයේ නීරෝගිතාවය වෙනුවෙන් බලපානවා.

ඔසප් දිනවල හැසිරීම

මේ කාලයේ පිරිසිදු බව අනිවාර්යයි. කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතියේ පිහිටීම අනුව විෂබීජ ඉතාම පහසුවෙන් ඇතුලු වෙන්න පුලුවනි. සමහර කාන්තාවන්ට මේ ප්‍රදේශයේ බිබිලි, දැවිලි සහ කැසීම වැනි තත්වයන් ඇති විය හැකියි.මේ තත්වය ඇති වෙන්නේ රුධිර දෝෂ නිසා.දියණිය අතරත් මේ වගේ අපහසුකම් තිබෙන්න පුලුවන්.

ඔසප්චක්‍රය නවතින විට ඇති වෙන අපහසුතාවයන්

වයස අවුරුදු 50 ක් වැනි කාලය්දී ඔසප්වීම නවතින්න පටන් ගන්නවා. මේ කාලයේදී ලිංගික හමෝන අඩුවෙන්න පටන් ගන්නවා. සමහර අයට විවිධ අපහසුතාවයන් ඇති වෙනවා. ආර්තවහරනය හෙවත් ඔසප්චක්‍රය නවතින බවට විවිධ සලකුණු ලැබෙනවා. මෙතෙක් අක්‍රමවත්ව තිබුන ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් ඇති වෙනවා. මාස දෙකකට වරක් වගේ සිද්ධ වෙනවා. ඒ වගේම දේහය උෂ්ණාධික වෙනවා.අධික ලෙස දහදිය දැමීම,නින්ද නායෑම, අනිත් අය නුරුස්නා බව වැනි ලක්ෂණ පහල වෙනවා.මේ කාලයේදී දරුවන් වගේම ස්වාමිපුරුෂයා වුනත් මේ තත්වය තේරුම් ගැනීම වැදගත්. අම්මා එහෙම නැත්නම් බිරින්දෑ දැන් ඔසප් නැවතීමේ සීමාව ඉදිරියේ සිටින නිසා මේ වගේ අපහසුතාවයන් ඇති වෙලා. අපි ඒවා උපේක්ෂාවෙන් ඉවසා සිටීම අවශ්‍ය තේරුම් ගන්න ඕන.

මේ අපහසුතාවයට ප්‍රතිකාරයක් විදිහට..

මේ අපහසුතාවයට ප්‍රතිකාරයක් විදිහට නෙල්ලි ගෙඩි දහයක් පමණ අරගෙන ඇට ඉවත් කරල හොදින් බ්ලෙන්ඩ් කර ගෙන පානය කරන්න පුලුවන්.නැවතුන ඔසප් චක්‍රය ඇති කාන්තාවකට විටින් විට ආර්තවය ඇති වුනොත් ඒ තත්වය නොසලකා සිටිය යුතු නැහැ. ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.

 

dr-ayomi-pro

මහනුවර පරණ මාතලේ පාර ඩොලායෝ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිළධාරිණී අයෝමි ශානිකා දොලපිහිල්ල මහත්මිය සමඟ සකසන ලද ලිපියකි.

 

ළදරුවන් නොනවත්වා හඬවන COLIC තත්වය මගහරින්න උපදෙස්

“බබා හරියට අඬනවා … කිරි දුන්නත් එයා නැලවෙන්නෙම නෑ.. ඇත්තටම දැන් නම් බයත් හිතෙනවා… ඇයි මගේ බබා මේ තරමටම අඬන්නේ …?”

අලුත උපන් දරුවෙක් සාමාන්‍යයෙන් මව්කිරි අවශ්‍ය වූ විට, මල මුත‍්‍රා පිට කළ විට, නිදිමත නිසා හඬා වැටෙන බව අපි කවුරුත් දන්නා කරුණක්. ළදරුවාගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කළ පසු නැවත ඔවුන් සන්සුන් වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී කිසිසේත්ම හැඬිම නතර කරගත නොහැකි තත්ත්වයට හඬා වැටෙන දරුවන් ද දැක ගත හැකියි. මේ ලිපියේ අරමුණ වන්නේ ඒ ආකාරයට නොනවත්වා ඉතා තදින් හඬා වැටෙන දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීමයි.

උපතෙන් පළමු සති දෙක තුන ගෙවී ගිය පසුව මව්කිරි/පිටිකිරි ලබාදෙන සමහර ළදරුවන් සවස් කාලයේ අසාමාන්‍ය ලෙස හැඬිම මව්වරුන් මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයකි. මෙම හැඬිම දෙමව්පියන්ට කිසිසේත්ම පාලනය කළ නොහැකි විය හැකියි. මෙසේ ළදරුවෙකු පාලනය කරගත නොහැකි සේ අසාමාන්‍යව හඬා වැටීමට හේතුව ලෙස ඇතැම් විට COLIC නම් වූ තත්ත්වය දැක්විය හැකියි. මෙය ප‍්‍රායෝගිකව ගත් කළ නිවසක සාමාන්‍ය වටපිටාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවෙන තත්ත්වයකි.

COLIC (කොලික්)

සාමාන්‍යයෙන් බඩවැලේ ඇති විය හැකි යම්කිසි තෙරපුමක් මේ තත්ත්වයට හේතුව ලෙස පැවසූවද ඒ තෙරපුම ඇති වීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී මේ හැඬිමට හේතුව කොලික් තත්ත්වයද නැතිනම් වෙනත් තත්ත්වයක්ද යන්න සැක හැර දැනගන්න.

දරුවා අසාමාන්‍ය ලෙස හඬා වැටෙන්නේ කොලික් තත්ත්වය නිසා බව තහවුරු වූ පසුව අවශ්‍ය පිළියම් වෙත යොමු විය හැකිය. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනවාට වඩා ඖෂධ වර්ග නොමැතිව පාලනය කිරීමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වේ.

ඖෂධ වර්ගවලින් තොරව කොලික් තත්ත්වය පාලනය කිරීමට නම්…

සාමාන්‍යයෙන් ළදරුවා හඬන විට උඩු අතට වඩාගෙන ළදරුවාගේ උදරය අපේ උරහිසට/පපුවට තෙරපා තබාගනිමින් ඒ මේ අතට ඇවිදීම මගින් තත්ත්වය යම්තාක් දුරට සමනය කරගත හැකිය.

නැතිනම් ළදරුවා වාහනයක රැගෙන යාමෙන් ළදරුවා රිද්මයානුකූලව පැද්දීමෙන් හෝ වෙනත් ආකාරයකින් ළදරුවාගේ අවධානය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරට මගහරවා හැඬිම පාලනය කරගත හැකියි. මේ ක‍්‍රමයකින් ළදරුවාගේ හැඬිම නවතා ගතහොත් ළදරුවා ඇඳක් මත මුනින් අතට තබා රිද්මයානුකූලව පිට පිරිමැදීම මගින් දරුවා නින්දට යොමු කළ හැකිය. ළදරුවාගේ හැඬිම පාලනය කරගැනීම සඳහා බොහෝවිට මෙම ක‍්‍රමය ප‍්‍රයෝජනවත් වනු නිසැකය.

මේ ආකාරයෙන් ඖෂධ රහිත ක‍්‍රම හරහා ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අපහසු නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසු වේ.

නමුත් හැකි හැමවිටම ඖෂධ ප‍්‍රතිකාරවලින් තොරව දරුවාගේ හැඬිම පාලනය කරුනීමට උත්සාහ කිරීම වඩා සුදුසු බව සිතට ගන්න.

ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ නව ජන්ම සහ ළදරු විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳුන ක්‍රීඩාවන්

සිංහල අලුත් අවුරුද්ද සමග බැදුන ක්‍රිඩාවන් බොහොමයක් තිබෙනවා. මේ ක්‍රිඩාවන් ඉස්සර නම් සිංහල අලුත් අවුරුදු කාලයට කල එලි බැස්සා. ඒත් අද අපේ දරුවන්ට මේ ජනක්‍රිඩාවන් ගැන වැඩි වැදගත් වගේම දැණුවත්කමක් ඇත්තෙත් නැහැ. වත්තේ පිටියේ වෙලේ කමතේ දුව පැන නටමින් මේ සෙල්ලම්වල යෙදෙන්නත් කාලයක් වගේම ඉඩ වපසරියත් නැහැ. හැබැයි මේ සෙල්ලම්වලින් අපේ සිරුරට හොඳ ක්‍රියාකාරිත්වයක් ලැබෙනවා. අවුරුදු කැවිලිවලින් සිරුරේ ගබඩා වෙන සීනි සහ මේදය ඉතාම පහසුවෙන් දහනය කර ගැනීමට මෙම ක්‍රිඩාවන් උපකාරී වෙනවා. වැඩිමහල්ලාගේ පටන් දරුවා‍ දක්වා වූ වයස් පරාසයන්ට ගැලපෙන ජනක්‍රිඩාවන් අපේ සිංහල අවුරුදු කාලයට කල එලි බහිනවා. ඒත් දැන් දැන් පාසලේ අවුරුදු උත්සවයට පමණක් දැන් මේ ජනක්‍රිඩාවන් සීමා වෙලා අපේ ජනක්‍රිඩාවන් මොනවාදැයි ටිකක් දැනගත්තොත් වඩාත් වැදගත් වෙනවා.

ජන ක්‍රීඩාවන් අතර ගෘහස්ථ ක්‍රිඩා, එලිමහන් ක්‍රිඩා, ආගමික ක්‍රිඩා, කණ්ඩායම් ක්‍රීඩා ලෙසින් විවිධාකාරයි. නිවසේ ඇතුලත කරන ක්‍රීඩාවන් ගෘහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පංච දැමීම, ඔලිඳකෙලිය වැනි ක්‍රීඩාවන් ගාහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා.

පංච දැමීම 

මෙය පත්තිනි දේවියගේ ක්‍රිඩාවක් ලෙසින් හැදින්වෙනවා. ගැහැණු පිරිමි වෙනසක් නැතුව මෙම ක්‍රීඩාවට හැම දෙනාම සම්බන්ධ වේ.

ඔළිඳ කෙලිය

ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙසින් සැලකෙන ඔළිඳ කෙලිය සිංහල රජදවස රජ කුමරියන් අතර පවා ප්‍රචලිතව පැවැති ක්‍රිඩාවකි. මේ වෙනුවෙන් පිලියෙල කරන ලද “ඔලිඳපෝරුව” වටිනා දැවයෙන් නිර්මානය කර තිබේ. ගමේ අය ඔලිඳ ඇට යොදා ගත්තත් එදා රජකුමරියන් මේ ක්‍රිඩාවට මුතු ඇට යොදා ගත් නිසා මෙය “මුතුපෝරුවේ ක්‍රිඩා” යනුවෙන්ද හැදින්වේ.

එලිමහන් ක්‍රීඩා 

එලිමහනේ කරන ක්‍රිඩාවන් එලිමහන් ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. අවුරුදු ක්‍රීඩාවන් අතර බොහොමයක්ම එලිමහන් ක්‍රීඩා විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේවා තවත් ආකාරයකින් කන්ඩායම් ක්‍රීඩාවන් අතරටත් එක් වෙනවා.

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ළමා ලපටින් එක්ව සිංහල අලුත් අවුරුදු කාලයට මෙම ක්‍රීඩාවේ යෙදෙන අතර මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගැහැණු දරුවන් අතරයි. දහයක් හෝ විස්සක් ලෙසින් වූ ගැහැණු ළමයින් රවුමට වාඩි වෙති. එක් දැරියක් අත කොළ අත්තකි. මෙහිදී ගායනා කරන පද්‍ය පංතිය ඔබට හොදින් අසා පුරුදු ඇත.

කොප්පර කොප්පර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා…

 

මේ අන්දමින් කවි ගායනා වෙන අතර “බෝතල , බෝතල” කියා වට යන දැරිය කියනු ලැබේ. මේ වෙන විට කොළ අත්ත රවුමේ වාඩි වී සිටින අයෙකු අසල නොදැනෙන සේ දිව යන අතර කොළ අත්ත තමාගේ පිටුපස තිබුන දැරිය වහා දුව ගොස් මේ කොළ අත්ත තිබූ දැරිය අල්ලා ගත යුතුය. එසේ නොහැකි වුනොත් මුලින් රවුමේ ගිය දැරිය විත් කොළ අත්ත තිබූ තැන හිස්වූ ඉඩේ වාඩි වෙනු ලැබේ.

එළුවන් කෑම

ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිංහල අලුත් අවුරුදු කාලයට සිදු වෙන මෙම ක්‍රීඩාව “එළුවන් කෑම , එළු කොටු බිදීම” යනුවෙන්ද හැදින්වේ. විසිපහක් තිහක් පමණ පිරිසක් මෙම ක්‍රිඩාවට සම්බන්ධ වේ. එළුවන් ලෙස දරුවන් කිහිප දෙනෙක්ද,එළුකොටු හිමියෙක්ද තෝරා ගැනේ. එළුවන් සහ එළුකොටු හිමියා මැදි කර ගෙන දරුවන් අත්වැල් අල්ලා ගෙන ආරක්ෂාව තර කරති.මෙහිදී ගායනා කරන කවි අතර…

එළුවන් කන්නයි මං ආවේ
එළුබෙටි කාපන් තුන්දීරේ…
බුලත් කොටන්නම් රාලහාමි දෙනවද එළුවා…
කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා…

 

අන්තිමේදී කොටියා  අත්වැල් බිඳ ඇතුලට යන අතර කොටියා විසින් එළුවන් අල්ලා ගැනේ.

රබන් ගැසීම

සිංහල අලුත් අවුරුදු සමග වැයෙන රබන් සුරල් හඩ සිංහල අලුත් අවුරුදේ අනිවාර්ය අංගයක් විය. අතින් වැයෙන රබන් ක්‍රීඩාවේ දක්ෂයින්  කාන්තාවන් සේ සැලකුනත් පිරිමින්ද රබන් වයන අවස්ථා ඇත. තරඟයට රබන් වැයීම බලා සිටින පිරිසට මහත් ආශ්වාදයක් ලබා දෙනු ඇත.

මේවර කෙලිය

පත්තිනි දේවිය සමග සම්බන්ධව තිබෙන මේවර කෙලියේ  තේමාව වන්නේ නැති වුන පළදනාවක් සෙවීමයි. ක්‍රීඩිකාවන් රවුමට හිද සිටින අතර එක් අයෙක් මේ අන්දමින් කවියක් ගායනා කරයි.

සාර සදිසි පෙත හේන නෙලන කල
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹපල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…
කොස්වතු කන්දේ කොස් කපනා දා
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…

 

අවසාන කවිය ගායනා කිරීමෙන් පසුව ඇය පළදනාව ගැනීමට නැමෙයි. එවිට එය පාගා ගෙන සිටින ක්‍රීඩිකාවෝ කණ්ඩායමක් දෙකක් වෙන අතර පළමුවෙන් පළඳනාව ලබා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජය ලබා ගනී.

ගොන් තරඟ

සිංහල අලුත් අවුරුදු කාලයේදී සිද්ධ වෙන මෙම ක්‍රීඩාව අතීතයේ හැදින්වූයේ “තිරික්කල රේස්” යන නමින්ය. මේ තරග වෙනුවෙන් ගොනා පමණක් නොව තිරික්කලයද යොදා ගෙන ඇත.

කොට්ටා පොර

වැඩිහිටි පිරිමින් වෙනුවෙන් වූ කොට්ටාපොර ගැසීම සිහල අවුරුදු ක්‍රීඩා අතර අනිවාර්ය අංගයකි. වෙල් එලියක හෝ සමතලා බිමක පිහිටුවන ලද පුවක්කොට මත සිට මෙම ක්‍රිඩාව සිදු වේ.

කඹ ඇදීම

කඹ ඇදීම ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිදු වෙන අවුරුදු ක්‍රීඩාවකි.කණ්ඩායම් ලෙසින් තරග කරන අතර ජවය ඇති කණ්ඩායම ජය ලබා ගනී. ජයගන්නා කණ්ඩායම පැත්ත මාරු කොට දෙවනුව තරග කරනු ලැබේ.

ඔන්චිලි පැදීම

කුඩා දරුවන් අතර ඉතා ප්‍රචලිත ඔන්චිලි පැදීම සිංහල අලුත් අවුරුදු කාලයේදී දරුවන්ට සතුට ලබා දෙන ක්‍රිඩාවකි.

ආගමික ක්‍රීඩා 

පොරපොල් ගැසීම

සිංහල අලුත් අවුරුදු කාලයට සිද්ධ වුනත් මෙය ආගමික පූජෝත්සවයක් බවට පත් ක්‍රීඩාවකි. ලෙඩ දුක් ස්වභාවික උවදුරු දුරු වෙන සේ දේවාශිර්වාදය ලබමින් සිදු වෙන ක්‍රීඩාවකි.

ඔන්චිල්ලාවේ ඉතිහාසය දන්නවාද…?

ඉස්සර කාලයේ අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන විටම ගේ අසල ඔන්චිල්ලාව බදින්න තාත්තා අමතක කරන්නේ නැහැ. මේ ඔන්චිල්ලාව ලිහන්නේ මැයි මාසයේ අලුත් පාසල් වාරය පටන් ගනිද්දී. අද නම් ගෙවල් ළග ඔන්චිල්ලා බඳින්න තරම් ශක්තිමත් ගස් නැහැ. ඒ නිසා ඇති වෙන අනතුරුත් තිබෙනවා. තවත් වතාවක ඔන්චිල්ලාවේ ලනුවට ගෙල හිර කර ගෙන පුංචි දැරියක් මරණයටත් පත් වුණා. මේ වගේ තත්වයක් තිබුනත් ඔන්චිල්ලා පැදීම සිරුරට ව්‍යායාම ලබා දෙන ක්‍රිඩාවක්. ඒ වගේම ඔන්චිලි පදින්නේ නිකම් නොවෙයි. ඒ වෙනුවෙන් වාරම් කවිත් ගායනා වෙනවා. මේ නිසා දරුවන්ගේ ගායනීය හැකියාවන්ද දියුණු වෙනවා.

ඔන්චිල්ලාවේ ඉතිහාසය

ඊශ්වර දෙවියන්ගේ අත්උදව්වට සිටි අසුර නැමැත්තා ඉතාම හිතවත්ව ඊශ්වර දෙවියන්ට සැලකීම් සිදු කළා. මේ අතර ඔහු දිනක් ඊශ්වර දෙවියන්ගෙන් තමන්ට වරයක් ඉල්ලා සිටියා. තමාට හොදින් උපස්ථාන කරන අසුරට ඔහු කැමැති වරයක් ඉල්ලා සිටින්නැයි ඊශ්වර දෙවියන් කියා සිටියා. අසුර ඉල්ලා සිටියේ අමුතුම වරයක්. ඔහු යම් කෙනෙකුගේ හිසට අත තැබූ විට ඔහු විනාශ වී යන වරයක් ඉල්ලා සිටියා. තමාට හිතවත් සේවකයා වෙනුවෙන් ඒ වරය ඊශ්වර දෙවියන් ලබා දුන්නා. ඒත් සිද්ධ වුනේ නොසිතූ දෙයක්. වරය ලබා ගත් අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තබන්න සූදානම් වුණා. එයින් පසුව සිද්ධ වෙන දේ ඊශ්වර දෙවියන් දන්නා නිසා වහාම අසුරගෙන් මිදී දුවන්න පටන් ගත්තා. ඊශ්වර දෙවියන් අපහසුවට පත්ව සිටින අන්දම දුටු සක්දෙවියන්, ඔන්චිල්ලාවක් බැද ගෙන කාන්තාවක් විදිහට එහි පදින්න පටන් ගත්තා. අසුර එන මග තිබුන කාන්තාවක් පදින ඔන්චිල්ලාව දැක අසුර එතැන නැවතුනා.අනේ මේ කාන්තාවක් මෙහෙම ඉන්නේ ඇයි තමාගේම හිසට අත ගසා ගෙන අසුර ඔහුගෙන්ම ප්‍රශ්න කළා. අසුර එතැනම දැවී අලු වුණා. ඊහ්වර දෙවියන්ගේ ජීවිතය බේරුනා.

උංචිල්ලාව, අඃසිල්ලාව යන විවිධ නම් වලින් හැඳින්වෙන ඔන්චිල්ලා වර්ග කීපයක් තිබෙනවා.

වැල් ඔන්චිල්ලා

එලිමහනේ බදින වැල් ඔන්චිල්ලාව බිමින් ඉහලට අඩි 20 සිට 25 ක් උස ගසක බදිනවා. ශක්තිමත් කඹ දෙපොටක් යොදා ගෙන ඉදිකරන වැල් ඔන්චිල්ලාවේ ක්‍රිඩා කරන්නේ දරුවන් සහ යෞවනියන් වීමත් විශේෂයි. පත්තිනි දෙවියන් සිහිපත් කරමින් කවි ගායනා කරන අතර වැල් ඔන්චිල්ලාවේදී වාරු ගැනීම හැදින්වෙන්නේ “රුකුල් ගැනීම” විදිහටයි.

කතුරු ඔන්චිල්ලාව

කතුරු ඔන්චිල්ලාව බැඳීමට ශුද්ධ භුමියක් තෝරා ගන්නා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා.කිලි හෙවත් අපිරිසිදු අයට මෙම ස්ථානයට ඇතුලු වීමට අවසර නැහැ.මේ ඔන්චිල්ලාව වෙනුවෙන් නියමිත දිග පළල තිබෙන අතර එය දින හතක් ඇතුලත සාදා අවසාන කරන්න ඕන. යම් විදිහකින් ඒ දින හත ඇතුලත සාදා අවසාන කර ගැනීමට බැරි වුනොත් පඩුරක් ගැට ගසා තව දින හතක් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතුරු ඔන්චල්ලාව සකස් කිරීමට පුවක් පටි සහ හොර ලෑලි යොදා ගන්නවා. හොර ලෑලි කතිරයක් වන සේ තබා පොලු වලින් ඒවා සම්බන්ධ කර ගෙන පුවක්පටි රවුමට සිටින සේ තබා ගැට ගසා ගන්නවා. හරහට බදින ලද පොලු පාගන විට ඔන්චිල්ලාව කැරකෙනවා. එක් වතාවකට අට දෙනෙකුට කතුරු ඔන්චිල්ලාවේ ගමන්ගත හැකියි. ඒ අතර දෙදෙනෙක් විසින් ඔන්චිල්ලාව කරකවනවා. පදින විට බුදුගුණ කවි, තුන්සරණ කවි සහ දෙවියන්ට පිං දෙන කවි ගායනා කරන අතර ඒවාට අත්වැල් අල්ලන අයද  සිටිති. කතුරු ඔන්චිල්ලාව දින සතකින් ගලවනවා. පත්තිනි දෙවියන් මුල් කර ගෙන සිදුවෙන මෙම කතුරු ඔන්චිල්ලා පැදීමේ අවසානයේදී වස් දොස් නැසීමක් විදිහට කෝලම් රංගනයක්ද ඉදිරිපත් කරනවා.

බඹර ඔන්චිල්ලාව

කුඩා දරුවන් වෙනුවෙන් ඉදි කරන මෙම බඹර ඔන්චිල්ලාව ඉදි කරන්නේ  කෙලින් සිටවනු ලබන ලී කොටයක දෙපැත්තට යන සේ ලෑල්ලක් සවි කරනවා. එම ලෑල්ල දෙපැත්තේ ඔන්චිල්ලාව බදිනවා. පුද්ගලයෙක් විසින් මෙය කරකවන විට දෙපස ඔන්චිල්ලාවේ දෙන්නා දෙපැතත්ට කැරකැවෙනවා.ඔන්චිල්ලා පදින විට ගැයෙන වාරම් කවි මගින්ද පෙනී යන්නේ පදින අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිතරම ආගම ධර්මය මුල් කර ගෙන කටයුතු කළ බවයි.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි…

 

ජීවිතයේ රිද්මය අම්මාගේ නැළවිලි ගීතයයි…

ජංගම දුරකථනයක් හෝ ටැබ් එකක් අතට දුන්න ගමන් අද කාලේ හැදෙන බොහෝ දරුවන් නළවා ගන්න පුළුවන්. පුංචි දරුවන්ට බත් කවද්දී අද හුඟක් දෙමාපියන් පාවිච්චි කරන්නේ ටැබ් එකක් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයක්. ලෝකය ගැන නොසංසිඳුනු කුතුහලයක් ඇති පොඩි දරුවනුත් මේ උපකරණ පාවිච්චි කරන්නේ හරියට ඒවාටම වශී වුණු ගානටයි.

පසුගිය දවසක මහනුවර ශික්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මිය විසින් දෙමව්පියන්ට ඉතාම වැදගත් කරුණු ටිකක් ප්‍රකාශ කලා. ඇය කියා සිටියේ අපේ දෙමව්පියන් විසින් දරුවන්ට ජංගම දුරකථන, ටැබ් වැනි දුරකථන මෙවලම් දීම ඉතාම අහිතකර බවයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මේ වගේ මෙවලම් ලබා දෙන්නේම නැති බව ඇය සඳ හන් කළා. ඉතින් මේ සිද්ධියට සම්බන්ධ තවත් තොරතුරු කීපයක් ඩේලි මේල් වෙබ් අඩවියෙන්ද ලබා ගැනීමට හැකි වුනා.

රජපැටවුන්ට ජංගම දුරකථන තහනම්…

රාජකීය දරුවන් කිව්වාම අපි හිතන්නේ හැම සැප සම්පතක්ම තිබෙන මෙහෙකාරයන්ගෙන් සියලු දේ සිද්ධ වෙන පවුලක් බවයි. ඒත් ඔබ එහෙම හිතනවා නම් වැරදියි. ඩේලි මේල් වෙබ් අඩවියේ සදහන්ව කිබුන එක් කාරනාවක් අපේ අම්මලාටත් ඉතාම වැදගත් වෙනවා. කේට් කුමරිය විසින් ඇගේ දරුවන්ට කිසිම දවසක ජංගම දුරකථනයක් අතට දීලා නැති බව එහි සදහන්ව තිබුණා. ඒ විතරක් නොවෙයි, දරුවන් නලවා ගන්න ඇය ටෙඩ්බෙයාර්, සෙලල්ම් කෝච්චි, මල් , කාර් සහ සතුන් වැනි දේ යොදා ගන්නා බවත් එහි සඳහන්ව තිබුණා. කේට් කුමරිය කියන්නේ “මම දරුවන්ට ආදරෙයි…ඒ නිසා හිතාමතාම මේ දේවල් මම දරුවන්ට දෙන්නේ නැහැ…”

දැන් ඔබට මෙහෙම කියන්න පුලුවන්.. අපේ සමාජයේ දරුවන් වෙනුවෙන්ම නැලවිලි තිබියදී ඔය වෙන වෙන මෙවලම් මොකටද…? ඒක ඇත්ත..

අපේ ජනසාහිත්‍යයේ නැලවිලි ගී වල රිද්මයට දරුවාට නින්ද යනවා . ඒ විතරක් නොවෙයි, මේ නැලවිලි ගී මගින් අනාගත අභියෝගයන්ටත් අවශ්‍ය ශක්තිය ලැබෙනවා.කොටින්ම කියනවා නම් දරුවෙකුගේ කණහෙව වැකෙන මුල්ම ගීතය අම්මාගේ නැලවිලි ගීතය බව ඔබ නොදන්නවා විය හැකියි. නැලවිලි ගීතයේ තිබෙන නාද රටාවේ මිහිරියාවට දරුවා ඉබේටම සුවදායක නින්දක් ලබා ගන්නවා.

දුරකථන දුන්නොත් මොකද වෙන්නේ..?

දුරකතන මගින් නිකුත් වෙන සංඥා කිරණ වැඩිහිටියන්ගේ මොළයට ඇති කරන බලපෑමට සාපේක්ෂව බලන විට එයින් දරුවෙකුට ඇති වෙන බලපෑම විසි ගුණයකින් ඉහලයි. අපි මේ ගැන නොදැන දරුවාට ජංගම දුරකථනය අතට දෙනවා. දරුවා ඒ සමග හැසිරෙන විට අම්මාට කරදරයක් නැතුව දරුවා නින්දට යනවා. ඒ වෙලාවේ අම්මා නිවසේ වැඩපොල සේරම කර ගන්නවා. ඉතින් අම්මාත් බලන්නේ තමන්ගේ පහසුව බව ඇත්ත. ඒ මේ අහිතකර තත්වය ගැන නොදන්නා නිසා …ඒ වුනත්  ඇත්ත තත්වය ගැන නම් දැනගන්නම අවශ්‍ය වෙනවා.

දරුවන්ට ජංගම දුරකථන ලබා දීම නිසා අනාගතයේදී මදසරුබව, ප්‍රතිශක්තිය හීන වීම, මොළය සහ ස්නායු ආබාධ ඇති වෙන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි, දරුවා ජංගම දුරකථනය දෙස දිගු වේලාවක් බලා ගෙන සිටීම නිසා ඔවුන්ගේ ධාරණය සහ බුද්ධි වර්ධනය පිළිබද ගැටළු ඇති වෙනවා.

සමාජගත වෙන්න අකමැතියි..

ජංගම දුරකථනය සමග බද්ධ වුන දරුවන් අනාගතයේදී සමාජය සමග සම්බන්ධ වෙන්න කැමැති නැහැ. ඊට හේතුව ඔවුන්ගේ හොඳම මිතුරා ජංගම දුරකථනය පමණයි. මේ නිසා අන්තර් සම්බන්ධතාවයක් ඔවුන් අතර ඇත්තේම නැහැ. තවත් කෙනෙකුට ආදරය දක්වන්න වගේම සමාජය සමග ගණුදෙණු කිරීමට පුරුදු නැති නිසා ඉවසීම වැනි ගුණාංග නොදැනීම දරුවන්ගෙන් ඉවත් වෙනවා. ආවේගශීලී හැසිරීම නිසා දරුවා ඉතාම හිරිහැරකාරී විදිහට හැසිරෙන්න පටන් ගන්නෙත් ජංගම දුරකථනය සමග එදා පටන් පැවැතුන සම්බන්ධතාවය නිසයි.

දරුවාගේ අසමතුලිතබව..

ජංගම දුරකථනයත් සමග පමණක් සම්බන්ධ වෙමින් ගෙවන ජීවිතය නිසා දරුවා පරිසරය සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ. පරිසරයට සංවේදී නැහැ. පරිසරය විදින්න දන්නේ නැහැ. මේ අසමතුලිත දරුවන්ගෙන් සමාජය සමන්විත වුනාම අනාගතයේදී බිහි වෙන අසමතුලිත මිනිසුන් නිසා මේ ගැන අම්මා වඩාත් අවදියෙන් සිටීම වැදගත්.

මේ ගැන අදහස් දක්වන ළමා මනෝවිද්‍යාඥයින් සදහන් කරන්නේ වතුර සීතල බව, ගින්දරට පිච්චෙන බව, අත්දැකීමෙන්ම තේරුම් ගැනීම වැදගත්. සෙල්ලම් බඩුවක් කොටස් විදිහට කඩල එය නැවත සකස් කරන්න දරුවා ඉගෙන ගන්න ඕන..ඒ අත්දැකීම දරුවාට අවශ්‍යයි. කොටින්ම කියනවා නම් දරුවාගේ මොළය වියලි ස්පොන්ජ් එකක්. පරිසරයෙන් මේ ලපටි මනසට බොහෝ දේවල් උරා ගනන්වා. ඒ වෙනුවෙන් පරිසරයෙන් ලැබෙන දායකත්වය ඉතාම වැදගත්.

ඉතින් අන්තර්ජාලය නැතුව ඉදිරියට යන්නේ කොහොමද..?

අන්තර්ජාලය තොරතුරු ගවේෂණයේ වැදගත් මාධ්‍යක් බව ඇත්ත. වෛද්‍ය අරඹේපොල මහත්මිය පෙන්වා දෙන අන්දමට අන්තර්ජාලයට දරුවන් ඇබ්බැහි වීමට තිබෙන ඉඩ ප්‍රස්තාව ඉහලයි. ඒ නිසා කිසිම දවසක දරුවා තනියම නිවසේ සිටිනවා නම් අන්තර්ජාල පහසුකම් විවෘත කිරීම එතරම් සුදුසු නැහැ. මේ පහසුකම් ලබා දිය යුත්තේ මව්පියන්ගේ අධීක්ෂනය යටතේ බව ඇය අවධාරනයෙන්ම පෙන්වා දෙනවා.

ජංගම දුරකථන සහ ටැබ් දරුවා අතට දෙමින් ඔවුන් නිදිකරවන දෙමව්පියන්ට මෙම අධ්‍යනය මගින් පෙන්වා දුන්නේ මේ ක්‍රියාව දරුවාගේ මොළය විදුලි පෝරණුවක දැමීමට සමාන බවයි.ඉතින් ඔබත් මේ තත්වයට සම්බන්ධ නොවී දරුවා ඔබේම නැලවිලි ගීයකින් නලවා ගැනීම මොනතරම් වැදගත්ද බව දැන් ඔබටම හිතේවි…

වපුරන දේ තමයි ලැබෙන්නේ කියා කිව්වේ කට කහනවට නෙවෙයි

මතිෂ, හය වසරේ ඉගෙන ගන්න දරුවෙක්. එයාගේ පන්තියේම ඉගෙන ගන්න සේසත් හැමදාම වගේ මතිෂ ගැන ගෙදර ඇවිත් පැමිණිලි කරන්න පටන් ගත්තා.

“අම්මා, මතීෂ නම් හරිම නරකයි. එයාට ඕනේ විදියට තමයි අපි හැම දේම කරන්න ඕනේ. එයා අපිට කතා කරන්නේ හරිම තරහෙන් වගෙයි. අනික එයා හිතන් ඉන්නේ අපි එයාගේ වැඩ ටික කරන්න ඉන්න අය කියලා…”

“ඕවා ගණන් ගන්න එපා පුතා… එක එක ළමය එක එක විදියයි. එයා ඔයාට කොයි විදියට කතා කළත් ඔයා ඔයාගේ විදිය වෙනස් කරන්න එපා. ඔයා ඔයාගේ ගති ගුණ එයාගේ විදියට වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. පුළුවන් හැම වෙලේම අනිත් අයට ආදරෙන් කතා කරන්න එයාට කියලා දෙන්න.”

“අම්මෝ… අම්මා නම් කියයි… මට ගුටිත් කාලා එන්න වෙයි එයාට කතා කරන හැටි උගන්නන්න ගියොත් නම්. අපිත් දැන් එයාව එච්චර ගණන් ගන්නේ නැ.”

“එහෙම නෙවෙයි පුතා, එය ඒ විදියට හැසිරෙන්න හේතුවක් ඇති. ඔයාට එයාව හදන්න බැ තමයි. ඒත් ඔයා එයාට කාරුණික උනොත් එයාට කවදාවත් බෑ ඔයාට අකාරුණික වෙන්න…”

අපි වැඩිහිටියෝ විදියට මෙහෙම කිව්වත් දරුවන්ට මේ වගේ අවස්ථාවක් කළමනාකරණය කර ගැනීම එතරම්ම පහසු කටයුත්තක් නෙවෙයි.  මොකද ඕනෙම පුංචි දරුවෙක්ගේ හිත රිදෙනවා වගේම තමන්ට තරහෙන් සලකද්දී ඒ විදියටම අනෙක් කෙනාට සලකන්න පොඩි නම් දරුවෙක් දෙපාරක් හිතන්නේ නැ. ඉතිං මේ දෙයින් වෙන්නේ අනෙක් දරුවන් අතරේ ඒ වගේම හුරතල් තවත් දරුවෙක් තනි වෙන එක. එතනින් එහාට දවසින් දවස තමා යහළුවන්ගෙන් ඈත් වෙන නිසාම යහළුවන්ගේ පැමිණිලි නිසා දවස පුර තමන් ගුරුවරුන්ගේත් දඬුවමට ලක්වීම වගේ හේතු නිසා ඒ දරුවට පාසැල, පන්තිය අප්‍රසන්න ස්ථාන බවට පත්වෙන්නත් බැරි නෑ.

අන්න ඒ නිසාම අපි මේ දේවල් ආරම්භ කළ යුත්තේ ගෙදරින්මයි කියලා මව්පියන් සිතිය යුතුමයි.

ආදරය කරුණාව ගෞරවය අත්දකින දරුවා සමාජයට ආදරය, කරුණාව, ගෞරවය පුද කරයි. වෛරය, අගෞරවය අත්දකින දරුවාගෙන් පවා සමාජයට ලැබෙන්නේ වෛරය හා අගෞරවයම පමණි.

ඕනෑම මවක්/පියෙක් තමන්ගේ දරුවන්ට බැන වැදීම/කෑ කෝ ගැසීම/වරදට දඬුවමක් දීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් මව්පියන් දරුවන් කෙරේ තම ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට ආදරණියව කතා බහ කිරීමෙන් වගේම ආදරණියව සැලකීමෙන්ද ඈත්ව සිටී.

ආදරණීය, බොහොම නිහතමානී ඒ වගේම අනෙකාට ගරු කරන ගොඩක් දරුවෝ අපිට අපේ දරුවන්ගේ යහළු යෙහෙලියන් අතරේ අනන්තවත් මුණ ගැහෙනවා. ඒ හා සමානවම යහළුවන් පහත් කර සලකන, කිසිම ගෞරවයක් ඇති වන පරිද්දෙන් අනෙකාට කතා බහ කරන සැර පරුෂ දරුවනුත් මේ අතරේ මුණ ගැහෙනවා. ඇතැම් දරුවෝ මම තමයි සේරම දන්නේ, මට තමයි හොඳම අත්දැකීම් තියෙන්නේ කියන හැඟීමෙන් තමන්ගේ යහළු යෙහෙලියන් අතරේ රජා වෙලා අනවශ්‍ය ලෙස කැපී පෙනෙන්න උත්සාහ ගන්න අවස්ථා මට නම් ඕනෙවටත් වඩා මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම තමන් යන එන ලොකු ලොකු තැන් ගැන අනෙක් දරුවන් ඉස්සරහා වර්ණනා කරමින්  අනෙක් දරුවන්ට ඒ අවස්ථා නැති බව හඟවන දරුවොත් මේ අතරේ ඉන්නවා.

මේ තත්ත්වයන් ඇත්තටම ඇති වෙන්නේ මේ දරුවන්ගේ වරදක් නිසාද? නැහැ, ඔවුන්ට වටපිටාවෙන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. පුංචි මල් පෙති වගේ මේ ලෝකෙට බිහිවෙන අපේ දරුවෝ හැම හොඳක් වගේම හැම නරකක්ම ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්.

පුංචි දරුවෝ මේ සමාජයට අලුත්. ඉතිං එයාලගේ වැරදි මේ සමාජයෙන් ඔවුන්ට ලැබුණු ඒවා කියල යමෙක් කියනවා නම් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි.

තාපස තුමා ළගට වැටුණු ගිරවාගෙයි හොරා ළගට වැටුණු ගිරවගෙයි වෙනස අපි කවුරුත් දන්නවනේ. දරුවන්ටත් මේ දේ ආදේශ කරගත යුතුමයි. අපි අපේ දරුවෙකුට ආදරෙන් කතා කරන තාක් කල් දරුවෙක්ට බෑ අපිට සැර පරුෂ විදියට කතා බැහැ කරන්න. අපි අපේ ගෙදරින්ම ඒ දේ දරුවට ලබා දෙනවා නම් දරුවාගෙන් සමාජයට ලැබෙන්නෙත් ඒ දේම තමයි. ආදරය, කරුණාව විතරක් නෙවෙයි පුංචි දරුවෙක් උනත් ගෞරවය පවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් නොලැබෙන තැන දරුවගෙනුත් ඒ දේවල් තවත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි තමන් වපුරන දේ තමයි අස්වැන්න විදියට ඔබට ලැබෙන්නෙත්.

ආදරය විඳින දරුවා අනෙකාට ආදරය ලබා දෙනවා. වෛරය ලබන දරුවා අනෙකාට වෛර කරනවා. සැලකිල්ල ලබන දරුවා අනෙකා කෙරේ සැලකිල්ල දක්වනවා. පිළිගැනීම, ගෞරවය ලබන දරුවා අනෙකාට පිළිගැනීම වගේම ගෞරව ලබා දෙනවා. ඒ නිසා ඔබේ දරුවාට හැමවිටම ආදරය, කරුණාව, පිළිගැනීම ලබාදෙන්න. දරුවාටත් ආත්ම ගෞරවයක් ඇති බව වැටහ ගන්න.

අපේ කාලයේ අවුරුදු අද දරුවන්ට නැතැත්….

අද බොහෝ දෙමව්පියන් සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගෙන කතා බහ කරන්නේ බොහොම පශ්චත්තාපයෙන්. ඊට හේතුව එදා ඔවුන් වගේම ඔවුන්ගේ මව් දෙමව්පියන් විසින් වින්දනීය කරනු ලබන සිංහල අලුත් අවුරුද්ද අද ඔවුන්ගේ දරුවන්ට නොමැති වීමේ පසුතැවිල්ල හිතේ කොනක තිබෙනවා.සිංහල අලුත් අවුරුද්ද කිව්වාම අපිට අදින දශක තුනකට පමණ පෙරාතුව තිබුන අවුරුදු සිරිය අද ලබා ගන්න බැහැ. පරිසරයේ වගේම මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වුන නිසා ඒ අතීතය අද නැති වුනත් පවතින තත්වයේ වුනත් අපි අලුත් අවුරුද්දක ආශ්වාදය ඒ අයුරින්ම වින්දනය කිරීමට පුලුවන් වෙන විදිහට පරිසරය සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව එදා අවුරුදු මෙහෙමයි… කිව්වාටම අපිට මේ නැවුම් අත්දැකීම වින්දනය කරන්න බැහැ.

නිවස පිරිසිදු කිරීම

එදා අවුරුදු කාලයට ගොම මැටි ගාලා , බිත්ති හුනු ආලේප කරල සූදානම් කරනවා.  අපි වගේම එදා උදවියත් නිරන්තරව තමන්ගේ නිවස හොදින් පිරිසිදුව තබා ගත්තා. ඒත් අලුත් අවුරුදු උණුසුම ඉදිරියේ ඔවුන් තම තමන්ගේ නිවෙස් සුද්ද පවිත්‍ර කර ගත්තේ මානසිකව අලුත් බවක් ලැබීමටයි.අද දවසේ මේ තත්වයක් නැහැ. ඔබ මෙහෙම කියාවි..අපේ ගෙවල් ඉතින් හැමදාම මොප් කරනවා. සතිපතා මකුළුදැල් කඩනවා…ඒ වුනත් අපි අවුරුද්දට ගෙවල් පිරිසිදු කර ගැනීම  අවශ්‍යද..? මේ පිරිසිදු කිරීම් රටාව ඇත්ත වුනත් අපි මේ සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දක් අලුත් විදිහට පිලිගන්න. ඒ  මානසික සතුට ඇති වෙන්නේ ඒ වෙනුවෙන්ම වූ සූදානම නිසයි.

කැවිලි පිලියෙල කිරීම

අවුරුදු ලං වෙත්ම හැම ගෙදරකම තෙල් තාච්චිය ලිප තිබ්බේ කැවුම්, කොකිස් පිළියෙල කරන්නයි. අවුරුදු කැවිලි අතර මේවා ප්‍රධාන වුණා. ඒත් අද අවුරුද්ද වෙනුවෙන් කැවිලි පිළියෙල කරන්නත් බොහෝ දෙනක් දැන් කම්මැලියි. එක් අතකට සීනි, කොලස්ටරෝල් නිසා කැවුම්, කොකිස් අගුණයි. ඒ එක පැත්තක්. තවත් පැත්තකින් ගින්දර කාගෙන කැවිලි පිළිලෙ කිරීමත් එතරම් පහසුව වැඩක් නොවෙයි. ඒ නිසා කේක්, බිස්කට් ටිකක් ගෙනත් අවුරුදු මේසය සකස් කලාම අවුරුදු වෙනුවෙන් අපේ සූදානම සිද්ධ වුණාය යන සහනය ඇති කර ගන්නවා. ඉස්සර නම් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චියක් ලිප නොතිබීම අඩුපාඩුවක් විදිට සැලකුනා. හැම නිවසකම තෙල් තාච්චිය අලුත් අවුරුද්ද වෙනුවෙන් ලිප තිබ්බා. අදට වුනත් අපේ දරුවන්ට සිංහල කැවිලි ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් මේ කැවලි නිවසේ පිලියෙල විය යුතුමයි.

ඔබ පහසුව තකා වෙළදපොලෙන් මේ කැවලි මිලදී ගැනීම සිදු කලාට එයින් අවුරුදු සිරියක් ඇති වෙන්නේ නැහැ. ඔබේ දරුවා පවා බාල කාලේ අත්දැකීම් උපයා ගන්නේ අම්මා එහෙම නැත්නම් නිවසේ වැඩිහිටියන් විසින් කැවිලි පිළියෙල කිරීම නිසා බව තරයේම සිතට ගන්න.

තෑගි බෝග

අවුරුදු වෙනුවෙන් තෑගි බෝග ගැනීමත් අද බොහෝ දුරට සීමා වෙලා.තැග්ගක් නිසා ලබන්නා සතුටට පත් වෙනවා ‍වගේම දෙන අයටත් සතුටක්.ඒත් අද මේ තෑගි බෝග දීම බෙහෙවින්ම මග ඇරිලා. එක අතකට පුද්ගලයන්ගේ රුචි අරුචිකම් අනුව තෑගි තෝරන්න තිබෙන අපහසුවත් එක් හේතුවක්. ඒ වුනත් දිය යුතු අය වෙනුවෙන් කුමන හෝ යමක් ලබන තැනැත්තාට වැදගත් වන සේ ලබා දිය හැකි නම් එය ඉතාම වැදගත්.

අවුරුදු පිඟන් හුවමාරුව

අවුරුද්ද මුල් කර ගෙන සෑම ගෙදරකම අවුරුදු කැවිලි හදන බව ඇත්ත.හදන කැවිලි එකාකාර බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ ගැනත් විවිධ අදහස් තිබෙනවා. හැම ගෙදරකම කෑම බීම තිබෙන නිසා මුස්ලිම්, සහ කතෝලික ගෙවල්වලට විතරක් අවුරුදු කැවිලි දුන්නාම ඇති කියන මතයක් අපි ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් අපි මේ කැවිලි හුවමාරු කර ගන්නේ සුහදතාවයටයි.ඒ නිසා තමන්ගේ වාසියට සීමාවන් පනවා ගැනීම වගේම මේ සිරිත් නොවැදගත් යැයි තර්ක විතර්ක වෙනුවට ගමේ සහජීවනයෙන් ජීවත්විය හැකි පරාසරයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්.

පරණ කෝන්තර අමතක කිරීම

ඉස්සර කාලයේත් අහල පහල උදවිය අතර පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා. අපි මිනිස්සු නිසා‍ මේ තත්වය අමුතු නැහැ. ඒ වුනත් ඒ හැම තරහ, මරහ, සිත්  අමනාපකම් අවුරුද්දට බුලත් දුංකල දීම හෝ කැවිලි හුවමාරුව සමග අවසාන වුණා. අද මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වෙලා. පුංචි අමනාපය වුනත් මනාපයක් බවට පත් කර ගැනීමට සූදානම් නැහැ. සිංහල අලුත් අවුරුද්දක් නොව මරණයක් වුනත් නිවසට නොයන තරමටම තරහ මරහ ප්‍රබලයි. ඒවා අමතක කරන්න කිසිම සූදානමක් නැහැ. ඒ නිසා අද සිංහල අලුත් අවුරුද්ද එදාට වඩා වෙනස් වෙන්නේ අපේ හිත්වල කිසිම තෙතෙමනයක් නැති නිසයි. මිනිසුන් විදිහට තවත් කෙනෙක් සමග කෝන්තර දිගින් දිගටම ගෙන යෑම නුසුදුසුයි යන බව තේරුම් නොගැනීම නිසා මානව දයාව අපෙන් නොදැනීම ඇතට ගිහින්.

වැඩිහිටියන් පිදීම

එදා සිංහල අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් විදිහට වැඩිහිටියන්ට පිදීම සිද්ධ වුනා. අම්මා, තාත්තා, නැන්දා මාමා යන සෑම වැඩිහිටියෙක් වෙතටම බුලත් අතක් අරගෙන ගිහින් වැද ආශිර්වාද ලබා ගත්තා. අද නම් පවුලක මේ සම්බන්ධතාවය ඉදිරියට ගෙන යෑම අසීරුයි. එදා ගමේම ජීවත්වුන පවුල්වලට නෑදෑකම් වෙනුවෙන් අවුරුදු සිරිත් ඉටු කිරීම අපහසු වුනේ නැහැ. අද මේ සිරිත බොහෝ විට කෙටි පනිවිඩයකට සීමා වෙලා. අඩුම තරමින් තමන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන්වත් යුතුකම් ඉටු කිරීමට කාලය නැතැයි කියන තැනට දරුවන් පත්වීම නම් එතරම් සුදුසු නැහැ.මොන තරම් කාර්ය බහුල වුනත් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අලුත් අවුරුද්දේ පුංචි හෝ ඉඩක් ලබා ගැනීම ඉතාම වැදගත්.

අපේ ළමයි පරිප්පු කන්නේම නැහැ…

“අපේ ළමයි පරිප්පු තිබ්බොත් බත් පිගාන දිහා බලන්නෙත් නැහැ. ඔව් ඉතින් හැම එකටම පරිප්පුනේ අපි හදන්නේ…”

ඇත්තටම පරිප්පු අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පත්ව තිබෙන්නේ විවිධ හේතුන් නිසා. පරිප්පු ඕනෑම ආහාරයක් සමග ගැලපෙනවා. කොටින්ම කිව්වොත් පාන්, බත්, ඉදිආප්ප, රොටී වැනි ඕනෑම ආහාරයක් සමග පරිප්පු ගැලපෙනවා. ඒ වගේම පිළියෙල කර ගන්නත් පහසුයි. වියදම පැත්තෙන් බැලුවත් බොහොම සාධාරණ මුදලකින් ආහාර වේලක් සම්පූර්ණ කර ගන්න පුලුවන්.මේ හැම දෙයටම වඩා පරිප්පු වලඇතිපෝෂණ ගුණය ගැන ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුලුවන්.

පරිප්පු රනිල කුලයට අයත් අතර “lens esculenta” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. මෙහි ඉතිහාසය දිගු අතීතයකට හිමිකම් කියන අතර චරක සංහිතාව වැනි වේද ග්‍රන්ථයන්හි පවා පරිප්පු ගැන සදහන් වෙනවා.මයිසූරයේ ද්‍රවිඩ වෙළෙන්දන් විසින්ලංකාවට එවන ලද රතු පරිප්පු විශේෂය අපි “මයිසූර්” යනුවෙන් හැදින්වුවත් එහි නියම උච්චාරනය “මසූර්” ලෙසින් වෙනස් විය යුතුයි.

කිරට, මිරිසට, සුදට වගේම මැල්ලුමක් විදිහට පවුලේ අයගේ රුචි අරුචිය අනුව පරිප්පු පිලියෙල කර ගන්න අම්මාට නිදහස තිබෙනවා. කුඩා දරුවන්ට පිළියෙල කරන විට මිරිස් නොදමා අමුමිරිස්, කහ, කරපිංචා සහ තුනපහ යොදා ගෙන කිරට පිසගගන්න පුලුවන්.පතෝල, නිවිති, සාරණ සහ කොහිල දලු වැනි එළවලු සමග සංයෝගයක් විදිහටත් පරිප්පු යොදා ගන්න පුලුවනි. සුප් පිලියෙල කරන විට පරිප්පු එක් කර ගැනීමෙන් රසය වගේම ගුණය ඉහලින්ම ලබා ගත හැකියි.

පරිප්පු ග්‍රෑම් 100 ක පෝෂණය

පෝෂණය ප්‍රතිශතය
ශක්තිය ග්‍රෑම් 343
තෙතමනය ග්‍රෑම් 12.4
මේදය ග්‍රෑම් 0.7
කාබොහයිඩ්රේට ග්‍රෑම් 59.0
ඛණිජ මිලිග්‍රෑම් 4.8
කෙදි මිලිග්‍රෑම් 1
කැල්සියම් මිලිග්‍රෑම් 69
පොස්පරස් මිලිග්‍රෑම් 295
කැරොටින් මයික්‍රොග්‍රෑම් 275
තයමින් මයික්‍රොග්‍රෑම් 450
රිබොක්පැක්ස් මයික්‍රොග්‍රෑම් 200
නයසින් මිලිග්‍රෑම් 2.6

මීට අමතරව කහ පැහැයෙන් යුක්ත තෝර පරිප්පු විශේෂය නිවර්තන හා උපනිවර්තන කලාපයන්හි වගා වෙනවා. රතු පරිප්පු ඉක්මනින් තැම්බුනත් තෝර පරිප්පු තම්බා ගැනීමට කාලය ගත වෙන නිසා පිසින්නට පෙරාතුව තෝර පරිප්පු පොගවා ගන්නවා.ඒත් පීඩන උදුනක ඉතාම පහසුවෙන් තැම්බෙන නිසා පොඟවා  ගැනීම අවශ්‍ය නැහැ.

මෑතකදී පරිප්පු පිලිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ මැනිසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යනයේදී පර්යේෂකයන් විසින් මීයන්ට පරිප්පු ආහාරයට ලබා දුන් අතර එම මීයන්ගේ අධිරුධිර පීඩන රෝග තත්වය පාලනය වීමට අවශ්‍ය පරිසරය ඔවුන්ගේ සිරුරෙන්ම ඇති වී තිබුනා. එහිදී රෝගී මීයන්ගේ වෙනස්කම් පාදක කර ගෙන පරිප්පුවල ගුණ පිලිබදව සහතිකය පහසුවෙන් ලබා ගැනීමට හැකි වුණා. මෙම අධ්‍යනයට සම්බන්ධ වුන මීයන්ගේ පාද වෙත රුධිරය ගමන්ගන්නා ධමණියක් අවහිර වී තිබුන අතර පරිප්පු මිශ්‍රණයක් සමග ආහාර ලබා දීමෙන් අනතුරුව එම රෝගී මීයන්ගේ පාද දක්වා රුධිරය ගමන් කිරීමේ තිබුන අවහිරතාවයන් ඉවත් වුණා.මෙම අධ්‍යනයේ ප්‍රධානී විදිහට කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පීටර් සහරංකා විසින්. ඔවුන් විසින් අනාවරනය කර ගත් තොරතුරු ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඇමරිකානු හෘද රෝග සංගමය් වාර්ෂික සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුවා.

අධිරුධිර පීඩනය නිහඩ මාරයෙක් සේ සැලකෙන නිසා අපි කවුරුත් මේ ගැන අවධානයෙන් සිටීම වැදගත්. ඒ නිසා පරිප්පු ආහාරයට ගැනීමෙන් කිසියම් සහනයක් ලැබෙනවා නම් අපි ඒ ගැන අමතක කිරීමට අවශ්‍ය නැහැ. පරිප්පු කන්න බැහැ කියලා ගෝරනාඩු තිබෙනවා නම් සුප් පිළියෙල කරන විට පරිප්පු එක් කරන්න අමතක කරන්න එපා. එයින් පෝෂණ ගුණය දරුවාට නොදැනෙන විදිහට ලබා දෙන්න පුලුවන්.පවුලේ දරුවන්ගේ ආහාරයට පරිප්පු එක් කර ගැනීමට අම්මලා ටිකක් උනන්දු වුනොත් හොදයි නේද…?

-Daily Express ඇසුරින්-

පවුලේ බහින් බස්වීම් අඩු කරගනිමු

දොඩා දොඩා බස් බෝවේ යන සිතුවිල්ලේ  පිහිටා එදා අම්මා පවුලේ ගැටුම් වලදී ඉතාම අපූරු විදිහට කට පරිස්සම් කර ගත්තා.ඒත් අද අම්මා ඊට ටිකක් වෙනස්. පවුලක් වුනාම අඹු සැමියන් සහ දූ දරුවන් අතර පුංචි පුංචි මතවාද, අදහස් හුවමාරු ඇති ‍නොවෙනවාම නොවෙයි. මේවායේදී සමහර වේලාවට වචනත් ටිකක් සැරපරුෂ වෙන්න පුලුවන්. මේ තත්වය බොහොම සාමාන්‍ය වුනත් අපි ඒවා බහින් බස් වීම් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු නැහැ.ඇත්තටම ගෙදර ඇතුලේ ඇති වෙන පුංචි හබයක් දුර දිග යන්නේ කොහොමද..?

වරද පිලිගන්න කැමැතිම නැහැ…

පවුලක් වුනාම අපි අතින් පුංචි පුංචි වැරදි සිද්ධ නොවෙනාම නොවෙයි. සමහර වේලාවට ඔබෙන් සිද්ධ වුනේ වැරැද්දක් බව ඔබත් දන්නවා ඇති. ඒ වුනත් එතැන තිබෙන එකම අඩුපාඩුව එය ඔබෙන් වුන අතපසුවීම වැරැද්දක් විදිහට පිලිගැනීමට තිබෙන මැලිකමයි.ඒත් පවුලක් වුනාම ඔබ සියලුදෙනා අතර විවිධ මානයන් තිබෙන්න බැහැ. එක් වහලක් යට ජීවත් වෙනවා නම් ඔබ හැම දෙනාම එකම පවුලක්. ඒ නිසා මේ වාගේ හිතේ අහංකාරකම් නොතබා වරද දුටු විට එය පිළිගන්න. එවිට කිසිම විදිහකින් ප්‍රශ්න දුරදිග යන්නේ නැහැ.බොහෝ දෙමව්පියන් මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී ඔබේ වැරැදි ඔබට නොපෙනෙන්න පුලුවනි.දරුවන් එය පෙන්වා දුන් විට ඇත්තටම එතැන වරදක් තිබෙන බව තේරුම් යනු ඇති. එය දරුවන් පෙන්වා දුන් නිසා පිලිගැනීමට මැලි වෙන්න එපා.

දරුවන්ටත් අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න…

බොහෝ විට අපි කල්පනා කරන්නේ යම් වරදක් ඉදිරියේ දරුවන්ගේ අදහස් ඉදිරිපත් කිරීම කියන්නේ ඔවුන් විසින් එකටෙක කීමක් විදිහටයි. ඒත් දරුවන්ටත් තමන්ගේ නිදහසට කරුනු තිබෙන නිසා ඒවා විවෘතව ඉදිරිපත් කිරීම එතරම් වැරැදද්ක් නොවෙයි. එයින් පසුව දරුවන්ගේ පැත්තටත් යම් වාසියක් ලබා දීලා නිවරැදි තීරණයක් ගැනීමට අම්මා තාත්තාට ඕනෑ තරම් නිදහස තිබෙනවා. ඒ නිසා දරුවන්ට සම්පූර්නයෙන්ම කටවහ ගෙන සිටීමට ලබා දෙන අණසක එතරම් ගැලපීමක් නැහැ. ඇත්තටම ප්‍රශ්න ඉදිරියේ අපි නොදකින පැත්තක් ඔවුන් තර්ක බුද්ධියෙන් බලනවා. ඒ නිසා දරුවන්ගේ තර්ක අම්මලා තාත්තලාගේ නිර්මාණශීලීත්වයෙන් සකසා ගන්න පුලුවනි.

මීට පෙර අවස්ථා මොකටද දැන්…

සමහර මව්පියන් ප්‍රශ්නයක් හෝ ගැටුමක් ඇති වුන විට ඒ වෙනුවෙන් අතීත සිදුවීම් වැලක් පාදක කර ගන්නවා. එදත් එහෙමයි…අදත් එහෙමයි…ඒ නිසාම ඔබ හෙටත් එහෙමයි…මේ තීන්දුව අම්මා තාත්තා ලබා දෙන විට දරුවාගේ හිතට නැගෙන්නේ මගේ වෙනස්වීමක් එහෙමනම් අවශ්‍ය නැති බවයි. ඒ නිසා ඔබ දරුවාට කියා දිය යුත්තේ ඔබ එදා සහ අද මේ වරද කරන්නේ නම් හෙට අනිවාර්යෙන්ම නිවරැදි වීම අවශ්‍ය බවයි.

වෙනත් අය සම්බන්ධ කර ගන්න එපා…

ප්‍රශ්නයක් ඇති  වුනොත් වෙනත් කිසිම කෙනක් ඒ වෙනුවෙන් සම්බන්ධ කර ගන්න එපා. සමහර දරුවන්ට දොස් නගන්නේ “ගහේ කටු උල් කරන්න ඕනැයැ..තාත්තා වගේම ගතිගුණ…සැමියා මුල් කර ගෙන නම්” අම්මා..නංගී වගේමයි..ඒ විදිහට පවුල් ගහ අවශ්‍ය නැහැ. ප්‍රහ්නයක් නම් ඒ ගැන විතරක් කතා කරන්න. එයින් ඔබ්බට තවත් චරිත සම්බන්ධ කර ගැනීම කියන්නේ මුල් ප්‍රශ්නය වෙනුවට වෙනත් වෙනත් ප්‍රශ්න ඇවිත් ගැටුම තව දුරටත් ඉදිරියට යෑම පමණයි. අන්තිමේදී ඔබේ විසඳා ගත යුතු ප්‍රශ්නය එතැනම ඉතිරි වෙනවා.

ගැටුම එතැනින් අවසාන කරන්න…

සමහර අම්මලා තාත්තාලාට කිසිම දෙයක් එතැනින් අවසාන කරනන් බැහැ. සමහර විට ඇති ප්‍රශ්නයකුත් නැහැ. ඒත් ඔවුන් බුම්මාගෙන සිටින්නේ මුලින් ඇති වුන සහ විසදුම් ලබා ගත් ප්‍රශ්නයේ පසු පසුතැවිම නිසයි. එය කිසිම විටෙකත් නොවිය යුතු දෙයක්. ප්‍රශ්නයක් සිද්ධ වුන විට එය එතැනින් අවසාන කරන්න. පවුලක සතුට තිබෙන්නේ එවිටයි. එහෙම නැතුව නිතරම මුහුණූ නරක් කර ගෙන ගෙවන ජීවිතය නිසා කිසිම දවසක පවුලක ප්‍රසන්න පරිසරයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම විසදා ගෙන ඉදිරියට යනු විනා ඒවායේ අස් කොන් ඉතිරි කර ගෙන ජීවිතය හෙම්බත් කර ගැනීම අවශ්‍ය නැහැ.