Home Blog Page 104

ඔබේ දරුවා කුඩා කාලයේම පොත් කියවීමට හුරුකරන අයුරු

පොත් කියවන චූටි දඟයෙක් නුඹටත් ඉන්නවාද ……..?

මාතෘකාව දුටු සැනින් මුවගට සිනහා නැගුණේ නුබේ දඟයා මතක් වීද? ඇතැම් විට පොත් මග හරිනා චූටි පැටියා නිසා ඔබ විඩාපත් වෙලාද? මගේ බොහෝ යෙහෙළියන්ගේ මැසවිල්ලද පොත් නොබලනා දරුවන් ගැන වේ.

කුඩා විශිෂ්ට කියවන්නකු, නුඹට අවැසි නම් පහත කරුණු අනුගමනය කල හැක.

  1. දරුවාගේ කුඩා වයසට ගැලපෙන පොත්පත් ලබාදෙන්න.
  2. – කුඩාම අවදියේදී කලු සුදු රූප අඩංගු සැන පත් (flash cards) හා පොත්
    – Board books, Waterproof books, වර්ණවත් රූප අඩංගු පොත්
    – විවිධ සංගීත, ශබ්ද, අඩංගු පොත්
    – විවිධ රෙදි වර්ග හා කඩදාසි අලවා අලංකාර කල පොත්
    – විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් වූ පොත්

    මෙමගින් දරුවා තුල පොත් කියවීමට ආශාවක් ඇති කළ හැකිය. පොත් කියැවීම දරුවාගේ පලමු මාසයේ සිටම අරඹන්න.

  1. දරුවාට පොත් බැලීමට, පිටු පෙරලීමට අවස්ථාවක් ලබා දෙන්න. එමඟින් ඔහු තුල ආත්ම විශ්වාසය ගොඩ නැගේ, පොතපතට නැඹුරු වේ.
  1. දරුවාගේ කාමරයේ ඔහුගේ උසට සරිලන පොත් රාක්කයක් තබා එහි ළමා පොත් තබන්න. සිත් ඇද ගන්නා පුටුවක්, ඡායාරූපයක් එහි ප්‍රියජනක බව වැඩි කරාවී. ඉවතලන පෙට්ටි, ලී ආධාරයෙන් පහසුවෙන් මෙය සාදා ගත හැකිය. එසේම ඔහු කැමති පොතක් තෝරා ගැනීමටත් ඔබ ලබා දෙන පොත කියවීමටත් දරුවා යොමුකල හැකිය.
  1. දවසේ නිශ්චිත වේලාවක එහි රැඳී සිටීමටත් දරුවා සමඟ එක්වී පොත් බැලීමටත් ඔබේ කාලය වෙන් කර ගන්න. පොත් කියවීම අතරතුර දරුවාගේ හිස අත ගෑම, සිප ගැනීම තුලින් දරුවාට සුන්දර කාලයක් ලබාදීමට උත්සහ කරන්න.
  1. පොතේ ඇති චරිත රඟ දැක්වීම, කවි සින්දු ගායනය, කටහඩ වෙනස්කිරීම් ආදියෙන් දරුවාගේ පූර්ණ අවධානය ඔබ වෙත ලබා ගත හැක. මෙවැනි ක්‍රියාකාරකම් තුළින් දරුවා පොත් කෙරෙහි නැඹුරුවක්  පෙන්වයි.
  1. ඔබේ දරුවාගේ රුචිකත්වයට අදාළ පොතපත මිලදී ගැනීමෙන්ද, දරුවා පොත් වලට ලැදි කළහැක.
    – දරුවා සතුන්ට කැමති නම් එවැනි රූප ඇතුලත් පොත්
    – වාහනවලට කැමති නම් එවැනි රූප ඇතුලත් පොත්
  1. කුඩා දරුවන් නිතරම වැඩිහිටියන් අනුකරණය කිරීමට උත්සාහ කරන බැවින් ඔබද අවස්ථාවක් ලද විට පොත් බැලීමට උනන්දු වන්න. නිතරම ඔබේ අතේ ඇත්තේ ජංගම දුරකතනය නම් දරුවාට අවශ්‍ය වන්නේද එයයි. පොතපතට නිවසේ වැදගත් සථානයක්  ලබා දීම තුලින් දරුවා නිරායාසයෙන් ඒ කෙරෙහි නැඹුරු වේ.
  1. පොත් කියවීමට හෝ එවැනි ක්‍රියාකාරකමකට කිසිවිටක දරුවාට බලපෑම් නොකරන්න. ඔහු ඒ සඳහා පොලබවා ගැනීම ඔබගේ ඉවසිලිවන්තබව හා ධනාත්මක චර්යාව මත රඳා පවතී.
  1. දරුවා කිසියම් දෙයකට මුරණ්ඩු වී සිටිනා විට දඬුවමක් ලෙස පොත්පත් සමඟ තනි නොකරන්න. එවිට දරුවා පොත් වලට ආදරේ නොකරාවී.ඔහු ප්‍රීතියෙන් සිටිනා විට පොත් බැලීම ප්‍රියජනක  අවස්ථාවක්  කරගන්න.
  1. දරුවා පොත් ඉරා දැමීම කලහොත් එයට දඬුවම් කිරීම නොව ඔබ ඒ පිලිබඳව කනගාටුවන බව පවසන්න.

    “ඔයා වගේ හොඳ ළමයෙක් මේ පොත ඉරුවම මට ගොඩාක් දුක හිතුණා… , ඔයා පොතට ආදරේ කරනවනම් මං හරි කැමතියි…”

    දරුවාට ඇති ආදරය නොවෙනස්ව තබාගෙන වරද තේරුම් කිරීමෙන් ඔබ නොසිතූ හොඳ ප්‍රතිපලයක් ලැබෙනු ඇත. එසේම ඉරුනු පොත් ඇලවීම සඳහා ඔහුගේ සහය ලබාගන්න. එය අමාරු කාර්යක් බවත් හැගීමට ඉඩ දෙන්න.

    දිගින් දිගටම පොත් ඉරීම සිදු කරනා විට පොත් ඉවත් කර හැඩුවත් නැවත ලබා නොදෙන්න. ඔහුටම වැරැද්ද අවබෝධ කර ගැනීමට ඉඩ දෙන්න. පොත් ඉරා දැමීම පොඩි දරුවන් කරන ක්‍රියාවක් බව සාධාරනීකරනය නොකරන්න. නිසි වයසට ගැලපෙන පොත් ලබා දීම තුලින් එය මගහරවාගත  හැක. කුඩා කල සිටම පොත පත කෙරෙහි ගෞරවයක් ගොඩ නැගිය යුතුය.

බොහෝ දෙමව්පියන් දරුවන්ට ඉතා මිල අධික සෙල්ලම් බඩු ලබා දී ලාබ පොත්  ගෙනවිත් දෙනු මා අත් දැක   ඇත. නමුත් කුඩා අවදියේදී පොත් සමඟ මනා සබඳතාවයක් පෙන්වන දරුවන් තුල කියවීම පිලිබඳ යහපත් හැඟීම් ජනිත වේ.  එමගින් දරුවා වර්ධනය වීමේදී කියවීම පුරුද්දක් බවට පත් වෙයි.

ඉතින් ඔබගේ දරුවාට වටිනා පොත් කට්ටලයක් තෑගි දීමටත් ඔබගේ කාලයෙන් මදවේලාවක් දීමටත් මැලි නොවන්න….

මවගේ මුළුතැන් ගෙයත් පාසලකි…

දරුවාගේ පිළිසිඳ ගැනීමේ සිටම දරුවාගේ සංවර්ධනය කෙරෙහි උපරිම දායකත්වක් සැපයිය හැක්කේ දරුවාගේ දෙමාපියන්ටය. එයිනිදු  ඔහුගේ දයාබර මවටය. මන්ද යත් දරුවෙකු කුස දරන්නී ද, ලෝකය ගැන කිසිදු අවබෝධයක් නොමැති පුංචි ජිවියෙකු වැඩිම කාලයක් දෑත් දරන්නී ද මව වන හෙයිනි. දරුවා යනු බිජයක් නම් නිසි පොහොර හා වැඩීමට අවශ්‍යත්ව ලබා දීමේදී මවකට කල හැකි දේ බෙහෝය, මන්ද යත් මුල් අවුරුදු 5ක කාලය තුලදි දරුවාගේ බුද්ධි වර්ධනයේද උපරිම වර්ධනයක් සිදු වන බැවිනි.

මාගේ ලිපි පෙලින් අද කතා කරන්නේ  මවගෙ මුළු තැන් ගෙයින් දරුවාගේ පංචෙන්ද්‍රිය දියුණුවට කල හැකි දේ ගැනය. දියුණු ලෝකයේ පිලිගන්නා හා දැන හෝ නොදැන අපගෙ මවුවරුන් හා මිත්තණියන්ද භාවිතා කරන ලද සරල උපක්‍රම ගැනය.

දරුවාගේ බුද්ධි වර්ධනයට තම ගෙතුලින්ම වැඩි මහන්සියකින් තොරවම මෙවැනි ඉගෙනුම් උපකරන සපයා ගත හැකි නම් දරුවා වෙනුවෙන් සුළු කාලයක් යෙදවීමට මවකට හැකියාව  ඇත්තේ  නොවේද?

උදාහරණයකට , එලවළු හා පලතුරු මිලදී ගන්නා අවස්ථාවක් පිළිබද සලකා බලමු.(මෙහිදි මිලදී ගැනීමට යාම සදහා ද දරුවා සහභාගි කරගත හැකි අතර ඒ පිළිබදව පසුව කතා කරමු.)

ඔබ ගෙනා බෑගයේ ඇති දෑ වෙන් කිරිමට, වර්ග කිරිමට දරුවාට අවස්ථාවක් ලබා දෙන්න.මෙහිදි පළමු දින වල දරුවා සිදු කරන දෑ ගැන කලබලකාරි නොවන්න. ක්‍රමයෙන් වර්ග කිරීමට ඔහු ඉගෙන ගනී (එතෙක්, සාලයේ පුටු යටින්ද එලවළු හෝ පළතුරු මතු විය හැකිය.)

ඔහුට / ඇයට  භාජන කිපයක් දී කැරට්, බටු, බෙංචි, හෝ ඇපල් ,අඹ, කෙසෙල් වෙන් කිරීමට අවස්ථාව ලබා දිය හැක. එම අවස්ථාවේදි දරුවාට අදාල එලවලු හෝ පළතුරු වල නාමයන් (nomenclature) නොදැනුවත් විම ගැටළුවක් නැත. මෙසේ වර්ග කිරීමට ඉතා කුඩා කල සිටම දරුවාට හැකියාව ඇත.(මාස 10-11 සිට)

දැන් මවට කල හැකි දේ බොහෝය.

දරුවා නිවැරදිව වෙන් කල පසුව ඔබට එලවළු පලතුරු නාමයන් හදුන්වා දිය හැක.

“පුතේ මේ  තැඹිලි පාට කැරට්” (ඔබට අවශ්‍ය භාෂාවෙන් නිවැරදිව උච්චාරණය කරන්න)
“මේ බෝල වගෙ දෙහි…”
“මෙන්න බබා ආසම කෙසෙල්”

දරුවාගෙ උච්චාරණය ළදරු වුවත් , මව නිවැරදිව උච්චාරනය කිරීම වැදගත් වේ.

දරුවාට දැනීමේ සංවේදනය හදුන්වා දීම සදහා

“පුතේ මේ බලන්න කැරට් – හයියයි නේද…?”
“මෙ අර්තාපල් ම් ම් ……. හයියයි”
“මෙන්න තක්කාලි හරිම මෘදුයි (soft)”
“මෙ බලන්න අන්නාසි පොත්ත හරි රළුයි නේද…?”

ගඳ හා සුවඳ හඳුනා ගැනීමට

“පුතේ අපි අද පළතුරු වල සුවද බලමු… මේ අන්නාසි සුවද ….. ම් ම් හරිම සුවදයි නේද ?”
“මේ බලන්න ඇපල්…. හරිම මිහිරි සුවදක් නේද…?”

(දරුවාට පිළිතුරු දීම් හැකියාව තිබුණ ද, නොතිබුනද  මෙම සංව්දනය දැනේ. ඒ නිසා දරුවාට සුවද විදිමට කුඩා අවධියේ උවද අවස්ථාව ලබා දෙන්න.)

පාට පිළිබද අවබෝධයක් ලබා දීමට

“පුතාට අද හදන කැරට් තැබිලි පාටයි…….මේ බලන්නකෝ මේ තමයි තැඹිලි පාට”
“මේ බලන්න රතු පාට බීට්….. හරි ලස්සන රතු පාටක් නේද?”
“ඔයා අද කන නිවිති නම් කොල පාටයි හොදේ …..”

මුලික ගණිත සංකල්ප දියුණුව

බොහෝමයක්  මව්වරුන් 1-10 දක්වා ගණන් කිරීමට කුඩා දරුවන්ට හුරු කරයි. මුලික ගණිත සංකල්ප දියුණුව සදහා අවබෝධයෙන් ඉගෙනීම ඉතා වැදගත් වේ.

උදාහරණයක් ලෙස :

“පුතේ අපි බලමු අද තාත්ති බඩ ඉරිගු කියක් ගෙනාවද කියලා ඒකයි ,දෙකයි ,තුනයි……. අද තාත්ති බඩ ඉරිගු තුනක් ගෙනල්ලා නේද …?”
“මෙතන ඇපල් ගෙඩි දෙකක් තියෙනවා නේද ?……මේ බලන්නකෝ , එකයි ,දෙකයි ,………”

ප්‍රමාණය පිළිබද අවබෙධයක් ලබා දීමට

“අද තාත්ති ගෙනාපු ඇපල් ගෙඩි දෙක මේ බලන්න එකක් ලොකුයි අනික් එක පොඩියි… ඔන්න පොඩි බබාට පොඩි ගෙඩිය ……”
“මේ කැරට් අලය අනිත් ඒවාට වැඩිය ලොකුයි නේද? හ්ම් …… මේක නම් පොඩි කැරට් අලයක්.”

රස සංව්දනය

“පුතේ අද ඔයාගේ අතුරු පසට පළතුරු….. මේ ඇපල් කෑල්ල කන්නකෝ හරි රසයි නේද… ?”
“මේ බලන්න මේ මිදි වල රස …. ම්  හරිම රසයි නේද ?”

හැඩ තල පිළිබද ,සරල අදහසක් ලබා දිමට හැක

“මේ බලන්නකෝ පුතේ මේ දොඩම් ගෙඩිය රවුම් නේද… ?”
“ආ … මේ බලන්න මේ කාමරංගා කැපුවම තරු හැඩය නේද …?” (star shape)
“මෙන්න මේ අල ගෙඩිය ඕවලාකාරයි…” (oval shape)

දිග ,කොට පිළිබද අවබෝධයක් ලබා ගැනීමට

“මේ මුරුංගා කරල හරිම දිගයි නේද… ?”
“මේ බෝන්චි කරල කොටයි නේද පුතේ..?”

එසේම දරුවාගේ වාග් මාලාව පුළුල් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගැනීමට හැකියාව තිබේ.

“ඔන්න පුතේ මං මේ තැඹිලි පාට කැරට් ගෙඩිය කපනවා, මෙන්න මගේ පුතාට චුටිම චුටි කෑල්ලක් පරිස්සමින් හපන්න ඔනේ හොදද…?”
“පුතේ මෙන්න මං මේ රවුම් දොඩම් ගෙඩිය මිරිකුවා, මෙන්න දොඩම් යුෂ වලට මං සිනි හා ලුණු මිශ්‍ර කරනවා…..මිශ්‍ර කරන්නේ මේ හැන්දෙන් හරිම රසයි දොඩම් යුෂ මගේ දුව බීලා බලන්නකෝ…”

දරුවාගේ සියුම් මාංශ පේශි ක්‍රියාකාරිත්වයට

දොඩම් බෑවකින් යුෂ මිරිකීමට දරුවාට ඉඩ දීමට හැකිය.මෙහිදි දරුවාගේ මුළු අතේම සියුම් හා විශාල මාංශප්ෂි ක්‍රියාකාරිත්වය වැඩි වේ. දරුවකුගේ බුද්ධි වර්ධනයට, අතැඟිලි වල ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ.

එසේම ළුණු පොතු සුද්ධ කිරිම ආදි ක්‍රියාවන් මගින් ඔබේ දරුවාගේ සියුම් මාංශපේෂි ක්‍රියාත්මක වේ.

දරුවාට හොඳ පුරුදු උගැන්වීම

“මේ ළුණු පොතු කුණු කුඩයට දාමු නේද පුතේ…?”
“මේ පොඩි කොස්සෙන් අපි කුණු අතු ගාමුද…?”
“එලවළු සෝදලා අතත් හොදට සොදමු හොදේ…?”

කවි හා ගීත ගායනය

දරුවා සමග එක්වී ගායනය කොතරම් මනරම් වේ ද…. ? එලවළු හා පලතුරු ගැන ඉංග්‍රීසි හෝ සිංහල ළමා ගී ගයන්න.

“Water melon, Water melon, Papaya…..
Peel Banana…..”

එසේ නැතහොත් ඔබ විසින්ම සාදා ගත් ගීත ගායනා කරන්න.

“කැරට්, කැරට්, කැරට්
තැබිලි පාට කැරට්
රසයි ගුනයි කැරට්
කන්න කන්න කැරට්..”

චිත්‍ර අදින පුන්චි සිත්තරා

ඔබත් මමත් කුඩා කල, කල පරිද්දෙන්ම බන්ඩක්කා, ලීක්ස්, අල, ළුණු පොතු හා සුදු ලූනු වැනි මාධ්‍ය මගින් නිර්මාණ කිරීමේ අවස්ථාවක්, ඔබේ දරුවාට ලබා දෙන්නත් පුලුවන් නේද?

ආදරණිය මව්වරුනි ඔබගේ පලතුරු / එළවළු කූඩයට මෙතරම් දෙයක් කිරීමට පුඑවන් බව ඔබ දැන සිටියාද? බොහෝ දෙනෙකු මේ ක්‍රියාකාරකම් සියල්ල හෝ කිහිපයක් දරුවා සමඟ අත්හදා බලා ඇති බව නිසැකය. එසේ නොමැති වුවත් අද සිටම ආරම්භ කල හැක.

ඔබේ මුළුතැන් ගෙයින් දරුවාගේ නැණ මඬල ආලෝකමත් වේවා යනු මගේ පැතුමයි.

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – තෙවන කොටස

වයසින් වැඩෙන්න වැඩෙන්න බබාලගෙ මොළයේ වර්ධනය වගේම කරන ක්‍රියාකාරකම් පවා වෙනස් වෙනව.ඉතිං අපි අපේ පැටවුන්ගේ වයසට අදාළව ක්‍රියාකාරකම් තෝරා බේරා ගන්න ඕන.ඉතිං අද කතාකරන්න යන්නෙ අවුරුදු 1ත් 2ත් අතර පොඩ්ඩො එක්ක ගෙදරදී කරන්න පුලුවන් සරල ක්‍රියාකාරකම් ටිකක්.

මේව සරලයි වගේ පෙනුනට බබාලට මේවගෙන් ලැබෙන පන්නරය නම් නිමක් නෑ. මම මේ කියන්නෙ අත්දැකීමෙන් සහ විශ්වාසයෙන්.

අපි දැන් එකින් එක කතාකරමු.
pic-01

අරුම පුදුම “බිල්ඩින්ග් බ්ලොක්ස් ”

හැම ගෙදරකම බබාල ළඟ මේ බිල්ඩින්ග් බ්ලොක්ස් තියනව.එත් බලන්න ඔයාල කවදාවත් හිතල තිබුනද අපේ පැටවුන්ගේ මොළය වර්ධනයට මේව මේ තරම් වැදගත් කියල.

ගොඩක් අය බබාලාට මේව අරගෙන දීල බබාලට කැමති දෙයක් කරන්න දීල බලාගෙන ඉන්නව .ඒත් මම ඒක පොඩ්ඩක් වෙනස් කරල මෙන්න මේ වගේ දේවල් ටිකක් මගෙ දූත් එක්ක කලා.

වර්ණ හදුනාගැනීමේ ක්‍රියාකාරකම :

  • පාට පාට බිල්ඩින්ග් බ්ලොක්ස් එක ගොඩකට දාල ඒ ඒ පාට වලට අදාළ වර්ණයෙන් යුතු කෝප්ප වලට ඒ ඒ වර්ණයෙන් යුතු බ්ලොක්ස් දැම්මා.
  • ඒ වර්ණය දාන ගමන්ම මම ඒකට අදාළ වර්ණ උච්චාරණය කලා.
  • දිගින් දිගටම මගෙ දුව හරි ආසාවෙන් මේ සෙල්ලම කලා.

ටික දවසක් යනකොට එයාම ඒ වර්ණය කිය කිය දාන්න ගත්තා.දැන් කියන්න සතුටුයි අවුරුදු 2ක් වෙන්නත් කලින් මගේ දුව වර්ණ 10කත් වඩා ප්‍රමාණයක් නම් වශයෙනුත් ,වර්ණ අනුවත් අදුනාගැනීමේ හැකියාවෙන් යුත් දරුවෙක්.

ලොකු පොඩි බේදය: 

ගොඩාක් බබාලාට මොන්ට්සෝරි යන වයසෙදි පවා අදුනගන්න අසීරු දෙයක් තමයි ලොකු පොඩි බේදය වෙන්කරල අදුනගන්න එක.ඉතිං මේ සරල ක්‍රියාකාරකම බබාට සතුටක් වගේම ඉගැන්වීමේ සරල ක්‍රමයක්.

  • එක එක ප්‍රමාණයන්ගෙන් ලොකු පොඩි ගොඩනැගිලි හදල බබාගෙන් අහන්න “බබා කැමති කොයි එකටද? ලොකු එකටද පොඩි එකටද ? ”කියල. කතාකරන්න පුලුවන් බබෙක්නම් අවශ්‍ය එක කියලා ඉල්ලයි.කතාකරන්න අසීරු බබෙක් නම් ඉරියව් වලින් පෙන්නයි.
  • එතකොට ඔයාට පුලුවන් ඒක ලොකු එකද පොඩි එකද කියල කියල දීල බබාට ඒක දෙන්න.ටික දවසක් යනකොට ඉබේම ලොකු පොඩි අදුනගන්න බබාට පුලුවන් වෙනවා.
  • ඊට පස්සෙ බලන්නකෝ බබාල ගෙදර තියන හැමදේම ඒ විදියට වෙන් කරනව.”ලොකු පුටුව , පොඩි  පුටුව , ලොකු පිගාන ,පොඩි පිගාන” යනාදී වශයෙන්.

හසුරු කුසලතා වර්ධනය:

  • බිල්ඩින්ග් බ්ලොක්ස් ඔක්කෝම ලොකු භාජනයකට දාල තවත් පොඩි භාජන කීපයක් ,හැන්දක්  අරගෙන අර ලොකු භාජනයේ තියන බ්ලොක්ස් හැන්දෙන් පොඩි භාජන වලට දාන්න දෙන්න.

මේ ක්‍රියාකාරකම මගින් යම් දෙයකට අවධානය දීල ,ඉවසීමෙන් වැඩක් කරන්න සහ තනිවම තීරණ ගන්න ,ඒව ක්‍රියාත්මක කරන්න බබාලා පුරුදු වෙන්නෙ නිරායාසයෙන්මයි.

හැඩතල හදුන්වා දීම:

  • බබාත් එක්ක එකතු වෙලා ත්‍රිකෝණ,සමචතුරස්‍ර,වෘත්ත,සෘජුකෝණාස්‍ර,වගේ හැඩතල මේ බ්ලොක්ස් වලින් හදන්න.
  • ඒවට කියන නම් කියවන ගමන්ම හදන්න.

පොත් බලාගෙන උගන්නනවට වඩා අති සාර්ථක ක්‍රමයක් තමයි මේක.අම්මල මැසිවිලි නගන්නෙ බබාල ක්‍රියාකාරකම් කරන්න එන්නෙ නෑ කියලනෙ.ඉතිං මේ විදියට සෙල්ලමක් වගේ කරන්න.

pic-02

කුස්සියෙ බඩු එක්කත් ඉගන ගන්න පුලුවන්

හැම අම්ම කෙනෙක්ම බබාලට කුස්සියෙ බඩු එක්ක සෙල්ලම් කරන්න දෙනවනෙ.ඒක මේ විදියට කරල බලන්නකෝ.

  • වෙන් කරන්න බබාටම කියල හාල් ටිකක්,පරිප්පු ටිකක්,පිටි ටිකක්,තේ කුඩු ටිකක්.
  • විවිධ ප්‍රමාණයන්ගේ විවරයන් සහිත බෝතල් ,කෝප්ප ,බාස්කට් වගේ දේවල් වලට හැන්දෙන් පුරවන්න දෙන්න මම මුලින් කියපු කුස්සියෙ තියන හාල්  වගේ දේවල්.
  • අපි නොදනුවත්වම මේකෙන් දියුණු වෙන්නෙ බබාගෙ හසුරු කුසලතාවයන් කියල ඔයාලටම අත්දකින්න පුලුවන් වෙයි.

pic-03

විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බෝල සෙල්ලම්

  • එක එක ප්‍රමාණයන්ගෙන් බෝල ටිකක් එකතු කරගෙන දුර ප්‍රමාණය වෙනස් කර කර බබාට බෝලය විසිකරන්න.බලන්නකෝ එයාල ඒක අල්ලගන්න උත්සාහ කරන ලස්සන.
  • මෙහෙම ටික කාලයක් කරනකොට ඒක බබාට ප්‍රියජනක දෙයක් වගේම ඕනම ප්‍රමාණයක දෙයක් දුරක ඉදල විසිකලාම අල්ලා ගැනීමේ හැකියාව ලැබෙනව.මගේ දුවගෙන් මම ඒක අත් දකිනවා.

pic-04

පිටි බෝලෙයි ,ස්පැගටියි

රෑට කන්න ගෙනාපු ස්පැගටි වලින් පොඩ්ඩකුයි,පාන් පිටි ටිකකුයි අරගෙන ලෑස්ති වෙන්නකෝ.

  • මුලින්ම බබා එක්කම එකතු වෙලා පිටි ටිකට වතුර ටිකක් දාල ගුලියක් හදාගන්න.ඊට පස්සෙ ස්පැගටි කූරු ටික බබාට දීලා අර පිටි ගුලිය වටේට ගහන්න දෙන්න.
  • ඔන්න බලන්නකෝ පිටි ගුලියෙ හිස් තැන් හොය හොය ලස්සනට ස්පැගටි කූරු ටික ගහන හැටි.

මේකෙන් බබාගෙ මොළය වර්ධනය වෙන්නෙ මේ විදියට.

මුලින්ම එයා කුතුහලයෙන් පිටි ගුලිය හදන්න උදව් වෙනව.ඊටප්ස්සෙ ස්පැගටි වලින් මොකක්ද කරන්න යනව ඇත්තෙ කියල චූටි මොළෙන් අනුමාන කරන්න ගන්නව.ඒකෙන් කරන්න යන වැඩේ දැනගත්තම එයා ඒක හිත හිත ඉඩ හොය හොය කරන්න ගන්නව.බලන්න පුංචි ක්‍රියාකාරකමක් වුනාට බබා කොයිතරම් මොළය පාවිච්චි කරනවද කියල.

pic-05

කොල බෝලයි ,බකට් එකයි

පොඩි බකට් එකකුයි පරණ පත්තර පිටු ටිකකුයි අරගෙන වැඩේට ලෑස්ති වෙමුකෝ.

  • මුලින්ම පත්තර පිටුව පිටුව අරගෙන බබාත් එක්ක එකතු වෙලා ගුලි කරල කොල බෝල ටික හදාගන්න.
  • ඊටප්ස්සෙ බකට් එක දුරකින් තියල අර හදාගත්ත බෝල එකින් එක බකට් එකට වැටෙන්න විසිකරන්න,මුලින් බැරි වුනාට, එක එක බකට් එකට  කොල බෝල වැටෙන කොට බබාලා ඉතා උනන්දුවෙන් සහභාගී වෙනව.ඊටප්ස්සෙ බකට් එකේ තියන කොල බෝල හැන්දෙන් අරගෙන ඇවිත් වට්ටන්නෙ නැතුව මුලින් තිබුණ භාජනයටම දාන්න දෙන්න.
  • බලන්නකෝ හරි පරෙස්සමින් කොල බෝලෙ වට්ටන්නෙත් නැතුව හැන්දෙන් අරගෙන එන ලස්සන.

බබාලට බල කරන්නෙ නැතුව එයාලගෙම කැමැත්තෙන් මේ වගෙ ක්‍රියාකාරකම් කරන්න ඕන වෙන්නෙ පුංචි කැපකිරීමක් විතරමයි.තවත් මේ වගේ ක්‍රියාකාරකම් ගැන ඉදිරියේදී කතාකරමු.

මාතෘ නිවාඩු

මාතෘත්වය යනු මෙළොව ඇති උතුම්ම පදවියයි. දරුවකු කුස පිළිසිඳ ගත් දා සිට අනේක විධ ශාරීරික හා මානසික වෙනස්කම් දරාගනිමින් මෙලොවට නීරෝගී දරුවකු දායාද කිරීම සෑම මවකගේම පැතුමය. නූතන සමාජය තුල රැකියා කේෂත්‍රය තුල කාන්තාවගේ භූමිකාව ක්‍රමයෙන් පුළුල්ව ඇත. දරුවන් ලැබුන පසුද තම රැකියාව කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසාවෙන්ම  රැකියා වල නියුතු මව්වරුන් උදෙසා රජය විසින් නොයෙකුත් අණපනත් හඳුන්වා දී ඇත. මෙම අණපනත් පිළිබඳ ඔබ අවබෝධයෙන් සිටීම වැදගත්ය. එනිසාවෙන්ම ඔබටත් ඔබේ දරුවා වෙනුවෙනුත් මෙම අණපනත් හරහා ලැබෙන් ප්‍රතිලාභ පිළිබඳව අප ඔබ දැනුවත් කරන්නෙමු.

සජීවී දරු ප්‍රසූතීන් සඳහා නිවාඩු

පළමු හා දෙවන සජීවී දරු ප්‍රසූතීන් සඳහා වැටුප් සහිතව මාතෘ නිවාඩු දින 84 ක් එනම් සති 12ක් සම්මත කොට ඇත. මෙම නිවාඩු දින 84 හිමිවන්නේ වැඩ නොකරන දින, පෝය නිවාඩු සහ ව්‍යවස්ථාපිත නිවාඩු දිනයන් හැරය. මෙම සති 12න් සති 2 ක් දරු ප්‍රසූතිය සිදුවන දිනයද ඇතුළුව දරු ප්‍රසූතියට පෙර ලබා ගත හැකි අතර ඉතිරි සති 10 දරු ප්‍රසූතිය සිදු වූ දිනයෙන් පසු ලබා  ගත හැකිවේ.

මළදරු උපතකදී හෝ කළල රූපයක් බිහි වූ විට

මෙබඳු දරු ප්‍රසූතියක් සිදුවූ අවස්ථාවක ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණයි. මෙම කාලය ද ගණනය කරන්නේ ඉහත සඳහන් දින ගණනය කල පරිද්දෙන් සියලූම නිවාඩු දිනයන් ඉවත්වන ලෙසයි.

ආයනයේ ස්ථිර තාවකාලික සහ අභ්‍යාසලාභීන් වෙතද මෙම නිවාඩු හිමිවේ. රාජ්‍ය අංශයේ නියුතු  මවකට ඉහත දින අවසන් වූ පසුව අඩ වැටුප් සහිතව දින 84ද වැටුප් රහිතව තවත් දින 84ද ලබා ගත හැකිය. එහිදි දින ගණනය කරනු ලබන්නේ සියලු නිවාඩු දිනයන්ද ඇතුලත්වය.

මාතෘ ප්‍රතිලාභ ආඥා පනත අනුව දරුවාට වයස අවුරුදු 1 ක් වන තුරු වැඩ කරන දිනයක පැය 9 ක කාල පරිච්ඡේදයක් තුළදි අවම වශයෙන් විනාඩි 30 ක් බැගින් කාල පරිච්ඡේද 2ක් කිරි දීම සඳහා ලබා දෙනු ලැබේ.දරුවන්ට කිරි දීම සඳහා අවශ්‍ය පහසුකම් සේවා යෝජකයා විසින් සේවිකාවන් හට ලබා දිය යුතු වේ. සේවායෝජකයා විසින් ඒ සඳහා සුදුසු ස්ථානයක් සපයා දිය යුතුය. ආහාර හෝ විවේකගැනීම සඳහා ලබා දෙනු ලබන විරාම කාලයට අමතරව කිරි විවේක කාලය ලබා දිය යුතු අතර එම කාලය, සේවය කළ කාලයන් ලෙස සලකනු ලැබේ.

අණපනත් වලින් ලැබෙන වෙනත් සහන

  • ගැබිණි බව හේතු කොටගෙන ලබා ගන්නා ප්‍රසූතිකාධාර නිවාඩු කාලය තුලදී සේවයට නොපැමිණීම හෝ වෙනත් කිසිඳු කරුණක් මත සේවායෝජකයා විසින් එම සේවිකාවට සේවයෙන් පහ කිරීමේ නිවේදනයක් දීමද කල නොහැක්කකි.
  • තමන් ගර්භණියක් බව සේවායෝජකයා වෙත දැන්වූ විට, දරු ප්‍රසූතියකට මාස 3 කට පෙර ඇයට හෝ ඇයගේ දරුවාට හානි සිදු විය හැකි ආකාරයේ කිසිදු ක්‍රියාවක ඇයව යෙදවීම තහනම් වන අතර දරු ප්‍රසුතියෙන් මාස 3ක් ගත වන තුරු ඇයව හානිදායක කාර්යයන් වල යෙදවීමද කල නොහැකිය.
  • ප්‍රසූතිය හෝ දරුවෙකු පිළිසිද ගැනීම නිසා ඇතිවන රෝගී තත්වයක් නිසා සේවයෙන් පහ කිරීම තහනම් වේ. එසේම ප්‍රසූත නිවාඩු සිටින කාලය තුලදී සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් දැන්වීම තහනම්වේ.

මෙම ප්‍රතිලාභ  සියල්ල හිමිවන්නේ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත හා සාප්පු හා කාර්යාල සේවක පනත යටතේය.

ළමා වියේ වර්ධන පියවර හඳුනා ගනිමු

දරුවන්ගේ වර්ධනය යනු බොහෝ දෙමව්පියන් දැනගැනීමට උනන්දුවන මාතෘකාවකි. උපතේ සිට දරුවන්ගේ වර්ධනය පිළිබද නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් දරුවාට උදව් කිරීමට අවස්ථාව සැලසෙනවා පමණක් නොව වර්ධනයේ ප්‍රමාද වීම් හෝ ගැටළු හදුනා ගැනීමට අවස්ථාව උදාවේ. එමගින් ප්‍රමාද වීමකින් තොරව වර්ධන ගැටළු සදහා අවශ්‍ය පිළියම් /ප්‍රතිකාර දීමට අවස්ථාව සැලසේ.

දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩ වලට වැඩිපුරම බලපාන්නේ ජානමය බලපෑමද එසේ නැතහොත් පවුල් පරිසරයද යන්න කලක පටන් විවාදයන්ට තුඩු දුන් මාතෘකාවකි. නමුත් විද්‍යාත්මක සාධක වලට දැනට පිළිගත් මතය වනුයේ උපතේදී දරුවකුට ලැබෙන ජානමය පසුබිම හා උපතින් පසු පවුලෙන් හා අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් අතර අන්තර් ක්‍රියාවන් මේ සදහා බලපාන බවයි. මොලයේ වර්ධනය කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියකි. එබැවින් ඉතා කුඩා කල දක්නට ලැබෙන සමහර ගති ලක්ෂණ හා ගැටළු පසු කලෙක වෙනස් වීමේ හැකියාව ඇත.

අනෙක් අතට සමහර වර්ධන පියවර ජිවිතයේ මුල් අවධියේදී දියුණු නොවුනහොත් පසු කලෙක එය දියුණු කර ගැනීමට අපහසු වේ.උදාහරණයක් ලෙස භාෂාව වර්ධනය වීමට ජිවිතයේ මුල් අවුරුදු පහ අතිශයින් වැදගත් වේ. එම කාලය තුල භාෂා හැකියාව වර්ධනය විමට අවශ්‍ය උත්තේජන නොලැබුණහොත් පසු කලෙක එම හැකියාව දියුණු කිරීම අපහසු විය හැක.

මෙහිදී කායික වර්ධනයට අමතරව භාෂාව හා සන්නිවේදනය , ප්‍රජනන/බුද්ධිමය වර්ධනය හා මනෝ සමාජීය වර්ධන පියවරයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල යුතු වේ. බුද්ධිමය වර්ධනය යන්නෙන් අදහස් කෙරෙන්නේ බුද්ධි මට්ටම පමණක් නොවේ. ඊට තර්කානුකුලව සිතීම, ගැටළු විසදීමේ හැකියාව , මතකය හා ආවර්ජනය , සංවිධානාත්මක හැකියාව හා පරිකල්පන හැකියාව ආදියද ඇතුලත්ය.

මනෝ සමාජීය වර්ධනය යන්නෙන් අන් අය හා යහපත් සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව , අවේග හදුනා ගැනීම හා පාලනය කිරීම , අන් අයගේ හැගීම් හදුනා ගැනීම හා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම හා සමාජයේ පොදු අදහස් අවබෝධ කර ගැනීම ආදී කුසලතා අදහස් වේ.

උපතෙන් පසු ජිවිතයේ මුල් මාස හය තුල දරුවාට ලැබෙන විවිධ සංවේදන එනම් රස, පෙනීම, ස්පර්ශය , ශබ්ද ආදිය හා  දරුවාට ඉතා සමීප වැඩිහිටියන් හා පවත්වන අන්තර් සම්බන්ධතාවයන් දරුවාගේ භාෂා හා බුද්ධිමය වර්ධනයට අඩිතාලම සපයයි.මේ කාලය තුල දරුවාට  සමීප මුහුණු හදුනාගැනීමටද , මුහුණින් ප්‍රකාශ කරන ඉරියව් අනුකරණය කිරීමටද හැකියාව ලැබේ.මේ කාලය තුල දරුවා තම අවශ්‍යතාවයන් හෝ අපහසුකම් ප්‍රකාශ කරන්නේ හැඩීම මගිනි. ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමෙන් දරුවා තුල විශ්වාසය ඇතිවේ.ඊට නිසි පරිදි  ප්‍රතිචාර දැක්වීම එය හදුනා ගැනීම මත පමණක් නොව මවට බලපාන බාහිර සාධක ( එනම් අධික ආතතිය , අමතර සහයක් නොලැබීම )  මතද රදා පවතී. එබැවින් මෙම කාලය තුල මවට අවශ්‍ය  අමතර සහයෝගයද , මානසික සහනයද ලබා දීම පවුලේ අන් අයගේ වගකීමකි.

එසේම මව සමග යම් දෙයකට පොදු අවධානය යොමු කිරීමේ හැකියාවද මේ කාලයේ දියුණු වන වැදගත් වර්ධන පියවරකි.එමෙන්ම මාස හයට කිට්ටු වනවිට “බා බා බා” වැනි මුලික ශබ්ද, ශබ්ද කිරීමට දරුවා පටන් ගනී.මෙය භාෂා වර්ධනයේ මුලික අවස්ථාව ලෙස සැලකේ.

මාස හතේ සිට වයස අවුරුදු දෙක දක්වා කාලය තුල මතකය,අවධානය යොමු කිරීම වැනි කුසලතා ක්‍රමයන් වර්ධනය වීම ඇරබේ. මේ කාලය තුල සිදුවන තවත් වැදගත් වර්ධන අවස්ථාවක්  වනුයේ කිසියම් භාණ්ඩයක්  ආවරණය කලද (කෙලින්ම දරුවාට පෙනීමට නොමැති වුවද ) එය එතන ඇති බව දරුවා තේරුම් ගැනීමයි. සෙල්ලම් බඩුවක් සගවා නැවත සෙවීම වැනි ක්‍රීඩා වල ට මේ වයසේදී දරුවා යොමු කර ගත හැක්කේ මෙම හැකියාව නිසාය.

මේ කාලයේදී විවිධ ශබ්ද කිරීමෙන් හා ඇගිල්ල දිගු කර පෙන්වීමෙන් තම අවශ්‍යතා දැක්වීමට ඔවුන්ට හැකිය. සාමාන්‍යයෙන් වයස අවුරුද්ද පහු වන විට තනි වචනයක් කතා කිරීමේ හැකියාවද ලැබේ. මෙය සන්නිවේදනයේ වැදගත් මුලික වර්ධන පියවරකි.

වයස අවුරුදු එක හමාර පමණ වනවිට  දරුවාට තමාට නොපෙනෙන සෙල්ලම් බඩුවක්  වෙනත් තැන කිහිපයක (පුටුව යට, වෙනත් කාමරයක ආදී ) සෙවීමේ හැකියාව ලැබේ. මේ නිසා වඩාත් සංවිධානාත්මක ක්‍රීඩා වල දරුවා යොදවා ගැනීමේ හැකියාව ලැබේ.එසේම තමා දුටු දෙයක් අනුකරණය කිරීමේ හැකියාව මේ කාලය තුල ඇතිවේ. මතකය ක්‍රමයෙන්  දියුණු වන බැවින් දෛනිකව සිදුවන ක්‍රියාකාරකම්වල  වෙනස්කම් හදුනා ගනියි. මේ කාලය තුල දරුවකුට අලුත් වචන ශීග්‍රයෙන් හදුනා ගත හැක. නමුත් වචන  වචන මාලාව කොතරම් දුරට දියුණු වන්නේද යන්න පාරිසරික උත්තේජන මත රදා පවතී.

වයස අවුරුදු දෙක වනවිට මතකය ,එක දෙයකට අවධානය දීමේ හැකියාව, ගැටළු විසදීමේ හැකියාව තවත් දියුණු වේ. එබැවින්  “බිල්ඩින් බ්ලොක්ස්” භාවිතයෙන් කිසියම්  සැකිල්ලක් නිර්මාණය කිරීම වැනි හැකියාවන් ලැබේ. එසේම සම වයසේ දරුවකු හා සෙල්ලම් කිරීමට මේ වයසේදී පුළුවන. මේ කාලය තුල දෙමව්පියන් අනුකරණය කිරීමෙන් සිතින් මවා ගත්   ක්‍රියාකාරකම්වල  නිරත වීමේ හැකියාව ලැබේ (උදාහරණයක් ලෙස සෙල්ලම් බඩු  භාවිතයෙන් ඉවීම, ආහාර  ගැනීම ,බෝනික්කන් නැලවීම ,සුරතල් සතුන්  බලා  ගැනීම වැනි ) වයස අවුරුදු දෙක වන විට වචන දෙකක් එකතු කර තම අවශ්‍යතාවයක්  ප්‍රකාශ  කල හැක.

ජිවිතයේ මුලික අවධියේ මනෝ සමාජීය වර්ධනය ගැන සැලකීමේදී ඉතා වැදගත් පියවරක් වන්නේ මව සමග (නැතහොත් දරුවාට ඉතා සමිප වැඩිහිටියකු සමග ) ඇති කරගන්නා  මානසික සබදතාවයයි. දරුවකුට පසුකාලීනව පවා ශක්තිමත් සබදතා ඇති කර ගැනීමට අඩිතාලම වැටෙන්නේ මෙම මුලික සබදතාව පදනම් කර ගෙන ඇති වන විශ්වාසය මතය.

ජීව්තයේ මුල් මාස හය තුල දරුවා තම හැගීම් හා හැසිරීම පාලනය හුරු වීමට පටන් ගනී. දෛනිකව ආහාර දීම , නිදි කරවීම වැනි ක්‍රියාකාරකම් එකම වෙලාවකට කිරීමෙන් මෙය පහසු කරවයි.වයස සති හය හය පමණ වනවිට දරුවා මව සමග සිනා සේ. මවගේ හැගීම් වලට ක්‍රමයෙන්  සංවේදී වේ.මාස හය වන විට තරහ ,දුක වැනි විවිධ හැගීම් ප්‍රකාශ කිරීම ඇරබේ.

වයස මාස හයේ පමණ සිට මව තනි කර ගියහොත් නොසන්සුන් වීමට පෙළබේ.ක්‍රමයෙන් විවිධ අලුත් අත්දැකීම් හා අවස්ථාවන්ට මුහුණ දෙන හැටි ඉගෙන ගනී. වයස අවුරුදු එක හමාර වනවිට දරුවාට අන් අයගේ හැගීම් හදුනා ගැනීම ඉගෙන ගනී. උදාහරණයක් ලෙස මව දුකින් සිටින බව හැගේ නම් එය දැනී මව සැනසීමට උත්සහ දරයි.

අවුරුදු එක හමාරේ සිට දෙක අතර කාලය තුල හැගීම් වචන මගින් ප්‍රකාශ කිරීමට හා පාලනය කිරීමට උත්සාහ දරයි.වඩාත් සංකීර්ණ හැගීම් එනම් ලැජ්ජාව , තමා වරදක් කලා යන හැගීම ආදිය දැනේ. මව තනි කර දමා යාමේදී කලබල වීම අඩු වන අතර මව ලග නැති විට වෙන අයෙකුට හුරු කර වීම තරමක් පහසු වේ.

මේ වයසේදී අනුකරණය කරන ක්‍රීඩා වල වැඩි වශයෙන් නිරත විය හැකි අතර ගැහැණු පිරිමි වෙනස්කම් වලට අනුව ක්‍රීඩා භාණ්ඩ තෝරා ගන්නට පටන් ගනී. මේ කාලය තුල ස්වයං පාලනය (උදාහරණයක් ලෙස තමන්  ආසා  කරන ක්‍රියාකාරකම් කල් දැමීමට) ඉගෙන ගනී.

මෙබදු වර්ධන පියවර ගැන නිසි අවබෝධයක් තිබීමෙන් දෙමාපියන්ට තම දරුවාගේ වයසට ගැලපෙන ක්‍රියාකාරකම්වල යෙදිය යුත්තේ කෙසේද,  දරුවාට ලැබිය යුතු උත්තේජන කවරේද , දරුවා බලා ගන්නා අයෙකුට දියයුතු උපදෙස් මොනවාද යන්න පිළිබද තීරණ ගැනීම පහසුවේ. වයස අවුරුදු දෙකත් පහත් අතර දරුවන්ගේ වර්ධන පියවර හා වර්ධන ගැටළු හදුනා ගන්න අයුරු ඉදිරියේදී සාකච්ඡා කරමු.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

අම්මාගේ අවශ්‍යතාවය නිසා දියණිය අසරණයි…

මට හිතුනා මේ සිද්ධිය මේ විදිහට පටන් ගන්න. එක නගරයක පහවසරේ පුංචි දුවක් හිටියා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නාම රජයේ රැකියාවල  නිරත වුණා.

ඉතිං අපි දන්නවානේ ශිෂ්‍යත්වය කියන්නේ අම්මලාගේ විභාගය කියලා. ඒ නිසා මේ අම්මාටත් අවශ්‍ය වුනේ තමන්ගේ දියණිය ඉතාම ඉහලින් සමත් කරගන්නයි. ඒකේ ඉතින් කිසිම වැරැද්දක් නැහැ. ඊටත් මේ ප්‍රශ්නය ඔවුන්ට ඉතාම බරපතල විදිහට බලපෑවේ දරුවාට ඒ වෙන විටත් ජනප්‍රිය පාසලක් ලැබී තිබුනේ නැහැ. අම්මයි, තාත්තයි මේ සිද්ධිය නිසා මානසික්වත් හෙම්බත් වුණා. ඒත් ශිෂ්‍යත්වය පාස් වුනාම අපිට පුලුවන් දුව ජනප්‍රිය හෝ ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යාධාරත් නොලැබෙන එකේ අඩුම ගනනේ ඒ අවස්ථාවවත් ලැබුනොත් කියල දෙන්නා හිත සනසා ගත්තා. දියණියටත් නිරන්තරවම බලකරලා කියා හිටියේ  කොහොම හරි ශිෂ්‍යත්වය පාස් කර ගෙන අපි නගරයේ පාසලකට යමු කියන උත්තේජනයයි.

අම්මයි , තාත්තයි දුව හොදින් මෙහෙයවා හිටියත් දුවට සමත් වෙන්න නම් බැරි වුණා. ඒත් අම්මාට මේ අසමත්වීම නිසා මහත් පසුතැවිලල්ක් ඇති වුණා. ඇය නිකම් හිටියේ නැහැ.දරුවා සමත් විදිහටම රඟපාන්න පටන් ගත්තා. කාර්යාලයේ අයට පාටියකුත් දුන්නා. කාර්යාලයේ අය තෑගිත් යැව්වා.

මේ විදිහට රගපෑම් කළ අම්මා ශිෂ්‍යත්වයේ ලකුණු අනුව දියනියට ජනප්‍රිය පාසලකුත් ලැබුන බවට කන්තෝරුවේ කියා තිබුණා. මේ විදිහට කාලය ගෙවෙද්දී දියනියටත් සිද්ධිය මහත් ගැටළුවක් වුනේ ඇය ඒ වෙන විටත් ඉගෙනුම ලැබුවේ තමාගේ පරණ පාසලේ වීමයි. බසයෙන් බැහැල අත්තම්මා සමග එන ඇය ටයි පටිය ගලවලා බෑගයේ දා ගන්නවා.

ඔන්න එක දවසක් හදසියේ ටයි පටිය ගලවා ගෙන එන්න අමතක වෙලා. අත්තම්මා සමග එන දියණියට අම්මාගේ හොදම මිතුරියක් හමු වුණා. අත්තම්මාට ගණදෙවි නුවණ පහල වුණා. ඇය දියනියට ටයි පටිය වසා ගන්න උපදෙස් දුන්නා. ඇය වහාම කරේ තිබුන බෑගය අරගෙන ගවුමේ ඉදිරිපස වසා ගත්තා.

මිතුරියට හරිම දුකක් ඇති වුනේ මේ පුංචි දියණිය ගැනයි. අම්මාගේ පුහු මානය නිසා පුංචි දුව මොනතරම් අසරණ වෙනවාද ඇය තනිවම හිතුවා. ඇතත්ටම බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු කීයක් අවශ්‍ය වෙනවාද..දැන් මේ බොරුව එලි වීම නිසා අම්මා විතරක් නොවෙයි, පුංචි දුවත් අසරණ වෙනවා.

ඊටත් මේ බොරුව ඉතාම මෝඩ විදිහට ඔවුන් සැලසුම් කළේ. හදිසියේවත් ඔවුන් දැන පෙන්වන ජනප්‍රිය පාසලට දන්නා හඳුනන අයත් ඇතුලත් වුනොත්..එහෙම නැත්නම් ඒ පාසලට සම්බන්ධ කෙනෙත් කන්තෝරුවට ආවොත් අර අම්මා හරියට ප්‍රසිද්ධියේ නිරුවත් වුනාට සමාන වෙන්නේ නැද්ද..?

මේ අපිට අත්විඳින්නට වුන එක සිදුවීමක් පමණයි. අපි නොදන්නා විදිහේ සිදුවීම් තව මොනතරම් තිබෙන්න පුලුවන්ද..? දරුවාට සමත් වීමට අවශ්‍ය ලකුණු මට්ටමම නැතැයි කිව්වොත් කවුරුවත්ම දඩ ගහන්නේ නැහැ. එතැනින් සිද්ධිය ඉවරයි.

ඇත්තටම අද කාලයේ අම්මලාට අවශ්‍ය වෙලා තියෙන්නේ දරුවන් ඔසවා තබා ඔවුන්ට අභිමානය ගොඩ නගා ගැනීමයි. ඒ නිසා දරුවන් බාල කාලයේ පටන්ම බොරුවට යොමු වෙනවා පමණක් නොවෙයි, මේ විදිහට රගපාන්න ගිහින් මහත් මානසික වධයකට පත් වෙනවා.විභාගයක් කියන්නේ ඉතාම අවදානම් කඩඉමක්. එහි ප්‍රතිඵල තීරනය වෙන්නේ දරුවා අදාල කාලසීමාවේදී විභාගයට මුහුණ දෙන අන්දම අනුවයි. පංතියේ දක්ෂ හැම දරුවෙක්ම සමත් වෙන්නෙත් නැහැ. අදක්ෂයි කියල හඳුනාගෙන සිටි දරුවන් සමත් වෙන්නත් පුලුවන්. ඒ නිසා දීප්තිමත් නොවුනත් ඇතැම් දරුවන් සමත් වුනොත් ඔවුන්ට මඩ ව්‍යාපාර ගෙනියන්න හොඳ නැහැ.

බොරුවට ආයුෂ නැති නිසා කිසිම දිනක බොරුව සමාජගත කරන්න එපා. අද හුගක් අම්මලා විභාග ප්‍රතිඵල මුල් කර ගෙන බොරු ගොඩක් කියනවා. උසස් පෙල ඉදිරියේදිත් එහෙමයි. ඉහල ප්‍රතිඵල ගැන සඳහන් කරල මේ බොරුව වහන්න ඔවුන් කියන්නේ,”අපේ දුව කැම්පස් යන්න ආස නැහැ.”

එහෙම නැත්නම් කැම්පස් ගිහින් කාලය ගෙවෙනවා.වෙන මොනවා හරි කරනවා.මෙතැන ඇත්තේ කාලය නොව බොරුව මුල් කර ගත් රහස් හැසිරීමයි.එය සගවා ගැනීමට බොරු දහසක් කියමින් පවුලම මහත් අසීරුතාවයට පත් වෙනවා.

ඒ නිසා දරුවන්ගේ මටට්ම සමාජය දැන ගැනීම ඔබට නින්දාවක් නොවෙයි. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් නොවන සේ අපි කටයුතු කලොත් හොදයි නේද…?

පුංචි බබා ලෙඩ වෙලාද? එහෙනම් මේ දේවල් ඔබට වැදගත් වේවි

පුංචි බබෙක් ලෙඩ වෙනව කියන එක තරම් හිතට දරාගන්න බැරි තවත් දෙයක් දෙමාපියන්ට නෑ. ඒත් උණක් හෙම්බිරිස්සාවක් කියන දේ උනත් අපිට නොසලකා හරින්න බෑ. ඉතිං අපි කතා කරමු ඒ ගැන.

වැඩිහිටි කෙනෙකුට වඩා ගොඩක් ඉක්මනින් පුංචි බබාල ලෙඩ වෙනව.එත් දෙමව්පියෝ විදියට අපි මේ මම කියන දේවල්  ගැන මීට කලින් හිතල තිබුණද?

මේ දේවල් අපි කවුරුත් දන්න හැබැයි ගොඩක් වෙලාවට මග ඇරෙන දේවල්.

මේව මම අත්දැකීමෙන්ම කරන දේවල් නිසා ඔයාලට කියන්න හිතුවා .මොකද මේ මම කරන දේවල්  නිසා මගේ දරුවා අසනීප වුණ වෙලාවට මට වගේම බබාගෙ ඩොක්ටර් ටත් පහසුවක් වුණා රෝග විනිශ්චය කරන්න.

වැඩිපුර විස්තර නොකරම කියන්නම්කෝ මොනවද මේ කියලා.

  • දන්නවද “උණ චාට්” ගැන

    මම ඉස්සර ඉදලම මගෙ දුවට උණ හැදුනම “උණ චාට්” එකක් අදිනවා. බබාට උණ ගත්ත පලවෙනි වතාවෙම මම උණ සටහන් කරනව.වෙලාවත් එක්කම. ඊටප්ස්සෙ පැයෙන් පැයට උණ බලලා ඩොක්ටර් ලගට යනකන් උණ සටහන් කරනව. ඒත් එක්කම පැය හයෙන් හයට පෙනඩෝල් දුන්න වෙලාව මම ඒකෙම ලියනව. ඊටප්ස්සෙ ඩොක්ටර් ලගට යනකොට ඒ ලියපු උණ සටහන් ප්‍රස්ථාරයකට පිටපත් කරගන්නව.

    එතකොට ගිය ගමන්ම ඩොක්ටර් ට ඒක දුන්නම හරිම පැහැදිලියි. උණ නැගීම බැසීම ප්‍රස්ථාරයෙන් බලාගන්න පුලුවන්. ඒකෙන් ඩොක්ටර් ගෙ වටිනා කාලයත් ඉතිරි වෙනව.

    ඒ වගේම තමයි කියන්න ඕන ඩොක්ටර් බෙහෙත් දුන්නත් “උණ චාට්” ලියන එක නතර කරන්න එපා.
    මොකද උණ හොදවෙන්නෙ කොයි වෙලාවෙද කියල අපි දන්නෙ නෑනෙ. අනිත් එක තමයි ඒ සටහනේම කොනක බබාට උණ හැදෙන්න කලින් කන්න දීපු දේවල් බොන්න දීපු දේවල් කෙටියෙන් ලියන්න.

    නැත්තම් ඩොක්ටර් ලගට ගියාම ඔක්කොම අමතක වෙනවනෙ.

  • තවත් විශේෂම කාරණයක් තමයි හැම උණක්ම සමාන නෑ.ඒ නිසා ගෙදර රෝග විනිශ්චය නොකර හැකි ඉක්මනින් බබාව ඩොක්ටර් ලගට ගෙනියන්න. ඒක හිතට සහනයක්  වගේම  අවදානම අඩු කරනව.පොඩ්ඩන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න අපට බැහැ. ඉතිං අත් බෙහෙත් ,ගොඩ බෙහෙත් නොකර ඩොක්ටර් ලගට යන එක තමයි කල යුතුම දේ.
  • අපේ පොඩ්ඩො ගැන වගේම අනිත් පොඩ්ඩො ගැනත් හිතන්න. ඩොක්ටර් ලගට ගියත්,ගෙදර හිටියත් තවත් පොඩ්ඩෙකුට ලෙඩේ බෝ නොවන විදියට කටයුතු කරන්න.අපේ පොඩ්ඩන්ට ලෙඩ වුණා ම අපි කොයිතරම් දුක් වෙනවද. අනිත් දෙමව්පියෝ ත් එහෙමයි. ඒ නිසා අසනීප දවස් වලට පාක් වලට, මොන්ට්සෝරි වලට, බබාලා ගැවසෙන තැන්වලට බබාව එක්කගෙන යන්න එපා.ඒකෙන් වෙන්නෙ අපේ බබාව අනිත් අම්මල මග අරිනව වගේම, ලෙඩක් නැති බබාලට අපි ලෙඩ බෝ කරනව. ඉතිං මින් ඉදිරියට අපි ඒ ගැනත් හිතමු.
  • අනිත් දේ තමයි ලෙඩ උණාම බබාල කෑම කන්න හොර වෙනව.ඉතිං අම්මලට දුකයි. මටත් එහෙමමයි. එහෙම කියල බලෙන් කැව්වට වැඩක් නෑ. ඒ නිසා ඒ දවස් වලට බබා ආස දේවල් දෙන්න. බබා කැද බොන්න ආස නැත්තම් කැද පොවන්න එපා. බබා ආස පලතුරු වලට නම් පලතුරු දෙන්න. ඒකෙන් කායිකව දුර්වල බබාගෙ හිත සතුටින් තියන්න පුලුවන් අපට.
  • අපි හැමෝටම අමතක වෙන ඒත් හැමෝම ගොඩක් වෙලාවට මූහුණපාන දෙයක් ගැනයි මේ මතක් කිරීම. අසනීප බබෙක් ඩොක්ටර් ලගට යනකොට වුණත් වමනෙ දාන්න පුලුවන්. ඒ නිසා අම්මල විදියට අපි ඒ හැමදේටම පෙර සූදනමක් තියෙන්න ඕන. යන්නෙ බස් එකේ හෝ කාර් එකේ හෝ වේවා අදින් පස්සෙ මේ ටිකත් මතක තියාගන්න පුලුවන්නම් හොදයි.
  • මම නිතරම ගමනක් යනකොට විශේෂ බෑග් දෙකක් ගෙනියනව. ඒ ගැන ආයෙත් දවසක කියන්නම්කෝ. ඉතිං මේ එක බෑග් එකක තියනව බබාට අමතර ඇදුමකුයි, උණ කටුවයි, පැම්පර් එකකුයි, නැප්කින් එකකුයි, සැනිටයිසර් බෝතලයකුයි, වෙට් ටිෂූ පැකට් එකකුයි, සිලි සිලි බෑග් එකකුයි.
  • ඒක මගෙ ලගමයි තියෙන්නෙ. මේ ලගදි උණ හැදිල බෙහෙත් ගන්න බබාව ඩොක්ටර් ලගට ගෙනියන අතරමග වාහනේ ඇතුලෙම බබා වමනෙ දැම්ම. ඒ වෙලාවෙ මට පිහිට වුණේ මේ බෑග් එක. මම ඉක්මනට සිලි සිලි බෑග් එක අරගෙන ඒකට වමනෙ දැම්මුවා. හැබයි පොඩ්ඩක් ඇදුමෙත් ගෑවුනා.ප්‍රශ්නයක් නෑ.අමතර ඇදුම අරගෙන අන්දවගෙන ගියා. වතුරෙන් බබාගෙ අතපය ,මගෙ අත පය සෝදගෙන වෙට් ටිෂු වලින් වැඩිදුර පිහදගෙන,නැප්කින් එකෙන් තෙත මාත්තු කරල ,සැනිටයිසර් එකෙන් අත පය පිරිසිදු කරල ගමන පිටත් වුණා. යන අතරමග උණ කටුවෙන් උණ පවා බල බල ගියෙ.ඉතිං හිතන්න මේ බෑග් එක මගෙ ළග නොතිබුණා නම්.

දැන් පේනව නේද අපි නොහිතන ඒත් අපිට හරිම වැදගත් දේවල් කොයිතරම් අපිට හිතන්න තියනවද කියල.

මේ වගේ විශේෂ දෙවල් අපි ඉදිරියටත් කතා කරමු.

ඔබ දරුවන් ගැන සොයනවාද?

දහසය හැවිදිරි සමාරා දියණියන් දෙදෙනෙකු සිටින නිවසක වැඩිමල් දියණියයි. ඇය මවට ඉතා සමීපය, විවෘතය. සුන්දරත්වයෙන් පරිපූර්ණ ඇයගෙන් ප්‍රේමය පතා ආ තරුණයන්ගේ ද අඩුවක් නොවීය. ඇය මේ හැම කාරණයක් පිළිබඳවම මව දැනුවත් කරයි. ඇයට සිටියේද යෙහෙළියන්ය. ඇයගේ මේ විවෘතබාවය මවටද අස්වැසිල්ලක විය. සාමාන්‍ය පෙළ අවසන් කල පසු ඇය පරිඝණක හා ඉංග්‍රීසී පාඨමාලාවක් හදාරන්නට යොමු විය. ඇගේ මේ සෑම කටයුත්තකටම ඇගේ යෙහෙළියද සම්බන්ධ විය. දැන් දැන් ඇය හුදකලාවන්නට උත්සහ කරන බවක් ඇගේ මවට දැනී ගිය හෙයින් ඇය දියණිය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය නැගණීය සමඟද නිතර නිතර ඇතිවන ගැටුමද වැඩිය. මවගේ ජංගම දුරකනය හෝ පියාගේ දුරකනය තැබූ සැනින් සමාරා එය සොරාගෙන කෙටි පණිඩවිඩ යවයි. එවා යැවූ පසු මකා දමනනටද ඇය අමතක නොකරයි. දිනක් මවගෙ දැඩි අධීක්ෂණය තමන් වෙත යොමුව ඇති බව නොදත් ඇය මවගෙ ජංගම දුරකනය රහසින් ගෙන සයනය වෙත යන තුරු සිටි මව ඇයට කෙටි පණිවිඩය යවන්නට හැර ඇය අසලට ගියාය.

“සමාරා මගෙ ෆෝන් එක ඔයා ළඟ නේද ?”

“ඔව් අම්මා, මම මේ …මේ… ගේම් එකක් ගහන්න ගාත්තා.”

“කෝ දෙන්න”

මව දුරකනය අතට ගත්විටම කෙටි පණිවිඩයක් ලැබුණි.

“මට පාලුයි අනේ ඔයාවමයි මතක් වෙන්නෙ ලව් යූ” එහි සටහන විය.

“කවුද දොණි මේ”

“සකුන්තලා මගෙ හොඳම යාලුවා”

මව එම අංකයට ඇමතුමක් ගෙන ඇය සකුන්තලා බව තහවුරු කරගත්තාය.

එහෙත් දියණිගෙ හැසිරීම පිළිබඳව තව දුරට ඇයට කුකුසක් ඇති කලාය. සකුන්තලා සමාරාගේ හොඳම මිතුරියයි.බොහෝ විට සමාරා අම්මා නැගණිය සමඟ උපකාරක පන්ති ගොස් එනතුරු සකුන්තලාගේ නිවසේ තබා යන්නට දෙවරක නොසිතුවේය . එදිනද සමාරාගේ නැගණිය  උපකාරක පන්තියට ඇරලවා වෙනදා මෙන් එහි නොරැඳී සමාරාගේ මව සකුන්තලාගෙ නිවසට පැමිණියාය. නිවසේ කිසිඳු හැල හොල්මනක් නැත. දොරද වසා ඇත. චන්දිමා දෙවරක් දොරට තට්ටු කලද පිළිතුරක් නොලද හෙයින් කාමරයක හැර තිබු ජනෙල් රෙද්ද මදක් මෑත් කොට බැලුවාය. දියණිය යෙහෙළිය සමඟ සයනය මත  අඩ නිරුවතින් සිටින දසුනින් ඇය විකෂිප්ත වූවාය. ලොවම ඇය වටා භ්‍රමණය වන බවක් ඇයට දැනෙන්නට විය. ඇය එතැනම හිඳ ගත්තාය. ඇගෙ සියොළඟම වෙව්ලයි. කල යුත්තේ කුමක්දැයි ඇයටම සිතා ගන්නට නොහැකි විය. පැය කාලක් පමණ ගත වූ පසුව ඉදිරි පස දොර අරින හඬ ඇසුනු ඇය යුහුසුලුව ඉදිරියට පිය මැනනාය.

“ආනේ ආන්ටි අද නංගි දාලා ආවද?” සකුන්තලා චකිතයෙන් විමසීය.

“ඔව් මම ආවා” චන්දිමා වෙනසක් නොපෙන්වාම  පැවසුවාය.

සකුන්තලා මව ද මේ පිළිබඳව දැනුවත් කල චන්දිමා දියණියන්ගෙන් තොරතුරු විමසා දියණියන් දෙදෙනාම ළමා හා යොවුන් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර සමලිංගිකත්වයෙන් මුදුවා ගැනීමට කටයුතු කරන ලදි.

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ද සමලිංගික සේවනයට පෙළඹීම වර්ධනය වී ඇත. සමාජය විපරීත වී ඇත. දරුවන්ට ලිංගිකවය පිළිබඳ ඇති දැනුම අල්පය. එහෙයින් ඔවුන් ලිංගික දැනුම සොයන්නට උත්සුක වෙයි.

සමාජ ජාලය ඔස්සේ විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරුතුරු මත ඔවුන් ඒවා ක්‍රියාවට නංවා බලන්නට උත්සහ දරයි. දරුවන් සමඟ ගණුදෙනු කිරීමෙදී බෙහෙවින් කල්පනාකාරී විය යුතුය. ඔවුන් ඇසුරු කරන යහලු යෙහෙළියන්, පුද්ගලයන් පිළිබඳව මනා අවබෝධයකින් සිටීම වැදගත්ය. සමාරා මවගෙ විශ්වාසය දිනා සිටියද මව ඇය පිළිබඳ විමසිලිව සිටි නිසා ඇයට මෙම අසම්මත ක්‍රියාවෙන් දියණියන් ගලවා ගන්නට හැකිවිය. ආදරණිය දෙමාපියනි එහෙයින් ඔබේ දරුවා වෙත පූර්ණ අවදානයෙන් සිටින්න.

තාත්තාට දුව… අම්මාට පුතා…, ස්පෙෂල්ද..?

අම්මාට තාත්තාට තමන්ගේ කොයි දරුවත් එකයි. නුඹ දුවක වුනත්..නුඹ පුතෙකු වුනත් සැබෑම සෙනහස ආදරයයි..කියන්නේ නිකමටම නොවෙයි. ඒත් සාමාන්‍ය ජීවිතයේදී අපි නිතරම තාත්තලාට චෝදනා නගන්නේ දුවට වැඩි සැලකිල්ලක් දක්වනවා කියන චෝදනාවයි. මේ නිසා බොහොම පවුල්වල විවිධ හැලහැප්පීම් ඇති වෙනවා.ඒ වගේම අම්මලා වැඩි ආදරය අවධානය දක්වන්නේ පුතාලට කියල නිතරම දියණිවරුන් චෝදනා නගනවා.බොහෝ පවුල්වල දූවරු චෝදනා නගන්නේ අම්මා ඉතින් අයියට..එහෙම නැත්නම් මල්ලීටනේ වැඩි සැලකිල්ල කියලා. ඒත් එක්කම පුතාලාගෙන් විශාල චෝදනාවක් එල්ල වෙන්නේ තාත්තාට.

“අක්කා කිව්වොත් ඕන දෙයක් කරයි. නංගිට තමයි තාත්තාගගේ වැඩි සැලකිල්ල”. ඇයි මේ නංගි එහෙම නැත්නම් අක්කා තාත්තාට විතරක් ස්පෙෂල්ද..?

එක් දනක් දියණිය පැමිණ බත් පිගාන අතට ගනිද්දී එහි එදා තිබුන ආහාරවලට අමතරව එක් බිත්තරයක් තිබුණා…දියණිය එය ගනිද්දී අම්මා වහාම ඉක්මන්ව “හා..හා..ඔය බිත්තරය මල්ලිට” අම්මා කිව්වා..

“ඇයි…මල්ලිට විතරක්..”

“බිතත්ර ගෙදර තිබුනේ එකයි…ඉතින් මං ඒක මල්ලිට හැදුවා..”

“එතකොට මට..”

“ඔයාට තව එළවලු තියෙන්නේ…අම්මා කිව්වා..”

දියණිය නුරුස්නාගතියෙන් බත් පිගානත් බිම තබා පිටව ගියේ. “මම එහෙම නම් අල්ලපු ගෙදර වෙන්නැති..” කියමින්ය.

ඒත් මේ කතාවේ මනෝවිද්‍යාත්මක ඇත්තක් තිබෙනවා. සිග්මන් ප්‍රොයිඩ් “ඉඩිප්පස් සංකල්පය” ඉදිරිපත් කරමින් කියා සිටියේ කුඩා ගැහැණු දරුවා පියාටද, කුඩා පිරිමි දරුවා මවටද ලෙසින් විරුද්ධ ලිංගිකයන් මුල් කර ගෙන කාමාශාව මුල් කර ගෙන බවයි.

පසුගිය දිනක ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි පලවී තිබෙන මෙම අධ්‍යන වාර්තාව කියවන ඔබට ඔබේ දූ දරුවන්ගෙන් නැගෙන මේ චෝදනාවට පිලිතුරු ලැබේවි.

ඇමරිකාවේ මනෝවිද්‍යාත්මක සංගමය මගින් දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ හැසිරීම තුල තිබෙන මනෝවිද්‍යාත්මක   ප්‍රතිචාර මුල් කර ගෙන අධ්‍යනයක් පවත්වනු ලැබුවා. එහිදී පියවරු 52 ක් තෝරා ගෙන තමන්ගේම පිරිමි දරුවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ හැසිරීම ඉදිරියේ තාත්තාගේ මානසික චිත්‍රය එම්. ආර්. අයි  වාර්තාවක සටහන් කර ගත්තා.එහිදී පෙනී ගියේ පිරිමි දරුවන්ගේ හැසිරීම් ඉදිරියේදී නොමැති සංවේදී සහ හැඟීම්බර ගතියක් ගැහැණු දරුවන්ගේ කටයුතු ඉදිරියේදී තාත්තාගේ හිතේ ඇති වෙන බවයි.

ඒ වගේම තොටිල්ලේ සිටින දරුවන් වෙනුවෙනුත් තාත්තාගේ  ප්‍රතිචාර මෙහිදී අධ්‍යනය කරනු ලැබුවා. දුවක් තොටිල්ලේ සිටියදී ඇඩුවොත් තාත්තා හරියට කලබල වෙනවා. සමහර වෙලාවට අම්මාටත් දොස් කියනවා. “අර දරුවා අඩනවා ඔයාට ඇහෙන්නේ නැද්ද..?” මේ වගේ චෝදනාවනුත් ඇති වෙන්නේ නැත්තේම නැහැ. මේ වගේම හැඟීම්බර ගතියක් පුතා ඇඬුවාම නම් තාත්තාට දැනෙනවා අඩු බවයි මනෝවිද්‍යාඥයින්ගේ අදහස වෙලා තියෙන්නේ.

ඒ වගේම තවත් අපූරු සිදුවීමක් තියනවා. අර කෑමොර දෙමින් අඩපු දූ සිඟිත්තට තාත්තා ලං වුනා විතරයි ඇඬීම නවතිනවාලු. පරක් කරගන්න අපහසු අවස්ථාවන්හි තාත්තා ටිකක් දුව තුරුලට ගත්තොත් කරදරයක් නැතුව නලවා ගන්නත් පුලුවන්. ඒ තරමටම දුවලා තාත්තාගේ හදවතට ඉතාම සමීප බව මෙම අධ්‍යනයන් මගින් පෙන්වා දෙනවා.

මනෝවිද්‍යාත්මක චිත්‍රය මෙසේ වුනත් මේ තත්වය දරුවන් අතර සන්නිවේදනය වුනොත් එය එතරම් හොඳ දෙයක් නොවෙයි. සමහර පවුල්වල වැඩිවියපත් දරුවන් වුනත් කියන්නේ “තත්තා මට එදා ඉදලම හෙව්වේ බැලුවේ නැහැ…මම හරියට අහසින් පාත් වුණා වගෙයි මට සැලකුවේ..ඒ වුනාට නංගිට , අක්කාට තාත්තා බැලුවේ කොහොමද..? ” මෙවන් සිතුවිලි වලින් දරුවන්ගේ මනස අවුල් විය යුතු නැහැ.

ඒ නිසා මව්පියන් විදිහට ඔබ දරුවන් සමග ඉතාම ප්‍රවේසමෙන් ගණුදෙණු කිරීම වැදගත්. දරුවන්ගේ හිත් මල් වගේ මල් වගේ මෙලෙකයි. එය දුව, පුතා විදිහට වෙනසක් නැහැ.ඒ නිසා නිතරම දරුවන්ගේ මානසිකත්වය ගැන සලකා බලමින් කටයුතු කරනවා නම් ඉතාම වැදගත්.

දරුවෙකුගේ හොඳම සවන්දෙන්නා ලෙස මවකගේ වගකීම ගැන ඔබ සිතුවාද?

මවක් හා දරුවෙක් අතර බැඳීම ආරම්භ වන්නේ මව්කුස තුළදීමය. මවගේ සිතුවිලි දරුගැබ තුළ සිටින දරුවා අවබෝධ කරගනී. එසේම දරුවාගේ හැසීරීම ද මවට දැනේ. එනම් දෙදෙනා තුළ සන්නිවේදනයක් පවතිනව බවත් මගින් ඔවුන් අතර බැඳීම තවත් තහවුරු වන බව අපට අවබෝධ කරගත හැක.මෙම සන්නිවේදනය දරුවා බිහිවූ පසුත් ඔහු හැදීවැඩී වැඩිහිටියෙක් වන තෙක් රඳවා ගැනීම ඉතා වැදගත් කරුණක් වුවත් එය තරමක් අපහසු දෙයක්. දරුවා වැඩිවියට පත්වන විට ගිලිහි යන සන්නිවේදන සම්බන්ධතාව ආරක්ෂා කරගැනීමට මවටකට කළ හැකිදේ බොහෝය.

දරුවන් වයසින් වැඩෙත්ම විශේෂයෙන්ම ඔවුන් නව යෞවනයට පා තබද්දී බොහෝ මානසික හා කායික විපර්යාස ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරනවා. මේ අවදියේ දී දරුවා අවබෝධ කරගැනීම සහ තේරුම් ගැනීමට නොහැකි වීම මත මව සහ දරුවා අතර ගැටුම් ඇතිවන අවස්ථා සුලබයි. එහෙත් දරුවාට හොඳ සවන් දෙන්නෙකු වීම තුළින් මවට තම දරුවා සමග ඇති බැදීම තව දුරටත් පවත්වාගෙන යාමට පුළුවන්. මේ සඳහා මව කළයුතු දෑ මොනවාද යන්න සිතා බලමු

  • දරුවා යම් කිසි කාරණයක් පිළිබඳ ඔබට පැවසීමට උත්සාහ දරණ අවස්ථාවක ඔබ කිසිදු අවස්ථාවක “ඔයා මෙහෙම කරන්න..” යනුවෙන් උපදෙස් දෙන්නට පටන් ගන්න එපා. නැතහොත් කතාව අතර මගින් නවතා “මම කියන්නම් කරන්න ඕන දේ” යනුවෙන් අවවාද අනුශාසනා දීමට උත්සාහ නොකරන්න. එසේ උපදෙස් දීමට පටන් ගතහොත් දරුවා වහාම කතාව නැවැත්වීමට හෝ අවශ්‍ය දේ නොකියා සිටීමට ක්‍රියා කරනු ඇත. දරුවාට ඒ අවස්ථාවේ අවශ්‍ය වන්නේ තමා විශ්වාස කරන්නෙකු සමඟ විවෘත වීමට පමණක් බව සිතන්න.
  • දරුවාට ආරම්භයේ දී හෝ කතාව අවසානයේ දි දෝෂාරෝපණය නොකිරීමට මව සිහිතබා ගතයුතුයි. මෙය දරුවන් බොහෝ දෙනෙක් තම මව්වරු පිළිබඳව දරන අදහසක් බව අවධානයට ගන්න. “කියන්න ඉස්සර අම්මා කඩා පනිනවා…” යනුවෙන් ඔවුන් දරණ ආකල්පයකි. කොතෙක් ආවේග පැමිණිය ද දරුවා කියන දේ අවසන් වන තුරු ඔබගේ චිත්තවේගය පාලනය කරන්න. සාවදානව සවන් දෙන්න. ඔබ සමඟ යමක් පැවසීමට දරුවා තුළ පවතින විශ්වාසය හෝ අවංකභාවය පමණක් අගයන්න. සමහර විට දරුවාගේ කතාව අවසානයේ දී එය ඉතා සුබදායක ලෙසින් විඳසා ගත් සිද්ධියක් ඔබට වාර්තා කිරීමක් පමණක් වන බව වැටහේවි.
  • කිසිදු අවස්ථාවක දරුවා කතාව හමාර කරන තෙක් මාතෘකාව අතර මැදදී වෙනස් කිරීමට කටයුතු නොකරන්න. “ඕක නෙවේ… මට කියන්න අනිත් ළමයි මොකද ඒ වෙලාවේ කලේ කියලා?” වැනි ප්‍රශ්ණ ඇසීමෙන් දරුවාගේ අවධානය වෙනස් වන අතර අවසානයේ දී ඔහු මවගේ ප්‍රශ්ණ සඳහා උත්තර දුන්නා මිස ඔහුගේ ගැටළුව හෝ අපහසු තාවය පිළීබඳව සාකච්ඡා නොකළාවීමට බොහෝ ඉඩ තිබේ.
  • කතාව අවසාන වන තෙක් “ඔයා ඒ කරපු දේ වැරදියි…” නැතහොත් “වෙන කාගේවත් නෙවේ වැරැද්ද ඔයාගේ…” වැනි විනිශ්චය කිරීම් වලට පැමිනෙන්න එපා. එය ඔබ හා දරුවා අතර පවතින සන්නිවේදනය අධෛර්යමත් කරයි. දරුවා කියන දේ පළමුව තේරුම් ගන්න. විනිශ්චය කිරිම අවශ්‍ය නම් පසුව කළ හැකි දෙයක්.
  • ඔබ ඉතා කාර්යබහුල මවක් වීමට පුළුවන. රැකියාවට ගොස් පැමිණ දරුවන්ගේ දහසකුත් එකක් ගැටලු වලට මුහුන දෙමින් දෛනික කටයුතුවල යෙදෙනවා වන්නට පුලුවන. ඒ අතර ඔබේ දරුවා යමක් පැවසීමට උත්සාහ දරන බව අවබෝධ වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? සියළුම කාර්යයන් පසෙක ලා දරුවාට සවන් දිමට උත්සාහ දරනවාද? එසේ නම් ඔබ සවන්දීමට සූදානම් මවක්. එය දරුවාට මහත් රැකුලක් ලබා දෙනවා කතා කිරීමට. වෙනත් කාර්යයක් කරමින් සවන් දීමට උත්සාහ කිරීම තුළින් දරුවා ලබා ගන්නා පණිවිඩය වන්නේ මවට වඩා වැදගත් වන්නේ ඒ කරමින් සිටින කාර්යය මිස තමා පැවසීමට යන දේ නොවේ යන්නයි. මෙය දිගින් දිගටම සිදුවන විට දරුවා කිසිත් නොකියා සිටීමට හුරුවේවි.
  • තම අත්දැකීමක් හෝ හැඟීමක් ඉදිරිපත් කරන දරුවා මව තරම් පරිණත කෙනෙකු නොවේ. එබැවින් ඒ කතාවට පිටුපසින් ඇති චිත්තවේග ඔබට තේරුම් ගැනීමට පුළුවන්. එතනදී අවශ්‍යවන්නේ තාර්කික , සර්ව සාධාරණ මවකගේ භූමිකාව නොවේ. දරුවාගේ හැඟීම් තේරුම්ගත හැකි මවක් වන්නට ඔබට පුළුවන්. “ඔයාගේ හිතේ ඇතිවුනු දුක මට තේරෙනවා…” වැනි වචන ටිකකින් දරුවාට විවෘතව කතා බහ කිරිමට දිරි දෙන්න.
  • කිසිම විටක දරුවාගේ අත්දැකීම ලඝු කොට තකන්න එපා. “අපි ඔයිට වඩා දේවලට අපේ කාලේ මුහුණ දීලා තියනවා…” වැනි දෙයක් දරුවා පසුගාමී අයෙක් කිරිමට තරම් ප්‍රබල බව වටහා ගන්න. එකම අත්දැකීම ලබන ඔබ සහ ඔබේ දරුවා යනු පෞර්ෂ දෙකකට හිමිකම් කියන දෙදෙනෙක් වන බැවින් එහි අත්දැකීම ද ලැබෙන්නේ දෙයාකාරයකට බව ඔබ දැන සිටිය යුතුයි. සැබැවින්ම දරුවාට ඇහුම්කන් දුනහොත් එම සිද්ධීයේ ගැබ්වී ඇති සතුට , දුක නැතහොත් කෝපය ඔබට ද එලෙසම අත්විඳීමට පුළුවන.

මවක් ලෙස ඔබ සවන්දෙන්නාගේ කාර්යය හරියාකාරව ඉටුකිරීමට සමත් වේ නම් ඔබ හා දරුවා අතර ගොඩනැගෙන්‍නේ මිත්‍රශීලී සම්බන්ධතාවකි. ‍ දෙදෙනා අතර නිහඬතාවය තුළින් පවා කතාකිරීමට හැකි බවත් ඊට සවන් දීමට හැකි බවත් ඔබ නිසැකයෙන්ම වටහා ගන්නවා. එවිට කිසිදාක ඔබට දරුවාගේ ජංගම දුරකතන පිරීක්සීමටවත්, දරුවාගේ මුහුණු පොතේ ගිණුම් පිරික්සිමටවත් අවශ්‍යවන්නේ නෑ. හොඳ සවන්දෙන මවක් සිටින දරුවෙක් තාක්ෂණය සමඟ හුවමාරු කරගත නොහැකි, තමා පමණක් දැනගත යුතු අතිශ්‍ය පෞද්ගලික දේ පිළිබඳ සටහන්   සිය මවගේ සිත  තුළ ගබඩා කිරීමට මැළි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුක තෙන්නකෝන් මහත්මිය වීසින් සකසන ලද ලිපියකි.