Home Blog Page 103

ජාතිවාදය දරු පරපුරට උරුම නොවන්නට, මේ සිමාවන් ඔබට පනවා ගන්න

අපි කාගෙත් සිරුරේ ලේ රතුපාටයි. ඒ ලේ වල සිංහල, දෙමළ, බර්ගර්, මුස්ලිම් විදිහට වෙන් වෙලා නැති වුනත් ජාතිවාදි අරගල වලින් අපි තරම් පීඩා වින්ද පිරිසක් තවත් නැහැ. ඒ නිසාම ජාතිවාදය සනාතනික අරගලයක් විදිහට අපි බද්ධ කර ගෙන සිටීම තරම් මිථ්‍යාවක් තවත් නැහැ. මේ තත්වය පරම්පරාවෙන් පරම්පරාවට අපි ඉදිරියට ගෙන යනවා නම් රටක් විදිහට නැගිටිනන්ට තිබෙන ශක්තිය අපි විහින්ම නැති කර ගන්නවා කිව්වත් වැරැදි නැහැ. අද දවසේ මේ සිදුවීම් දකින් දරුවන් එයින් ලබන අත්දැකීම් ඔවුන් සමගින්ම ඉදිරියට යා හැකි බැවින් අපි පරිස්සම් විය යුත්තේ ඒ ගැනයි. එසේ නම් අපි දරුවන්ට මේ ගැන කියා දිය යුත්තේ මොනවාද…?

කිසිම දවසක තවත් කෙනෙක් ගැන අවතක්සේරු නොකරන්න

මිනිසුන් විදිහට අපි සමානයි කිව්වට බැහැ. ඒ සමානකම දරුවන්ට අපි විසින්ම පෙන්වා දිය යුතුයි. මේ වැරැද්ද බොහෝ විට කරන්නේ අපේම දෙමව්පියන් විසින්. පාසලක, පංතියක වුනත් අහවලාගේ දරුවාගේ…අහවල් පැත්තෙන් ඉස්කෝලෙට එන ළමයි විදිහට වෙන් කරන්න එපා. ඒ වාගේ සිතුවිලි දරුවන්ගේ හිතට ඇතුල් කිරීම ඉතාම වැරදයි. එකට ඉගෙන ගන්නා, එකම පංතියේ, පාසලේ අපි හැම දනාම එකම බව ඔවුන්ට කියා දෙන්න. අපි හැම දෙනාගේ ලේ රතුපාට බව කියා දිය යුත්තේ ඒ පාඩමෙන්ම බව අමතක කරන්න එපා.

හැම කෙනෙකුටම වටිනාකමක් තිබෙනවා

මිනිසුන් විදිහට අපි හැම කෙනෙකුටම වටිනාමක් තිබෙන බව දරුවාට කියා දෙන්න. හැම දෙනා එකට ජීවත් වෙනවා මිසක කිසිම තැනකින් වැඩි කොටසක් ගැන අපිට කතා කරන්න බැහැ. ඒ නිසා හැම දෙනාටම ඇත්තේ සමාන අයිතියක් මිස වැඩි වරප්‍රසාද කිසිම කෙනෙකුට නැති බව කියා දෙන්න.

ජාතිවාදය ගැන දරුවන් ඉදිරියේ කතා නොකරන්න

අතීතයේ පටන්ම ඇති වුන හැලහැප්පීම් වෙනුවෙන් පාදක වුන ජාතිවාදය දරුවන් ඉදිරියේ ප්‍රසිද්ධියේ කතා කිරීම අපේම අනුවණකමකි. අපි රට, දැය, සමය වෙනුවෙන් ආදරය කළ යුතු බව සැබෑ වුනත් එක් එක් ජාතීන් ගැන හෙලා තලා කථා නොකල යුතුය. මේ පුංචි රටේ අපි හැම කෙනෙක්ම ජීවත්විය යුතු බව දරුවන්ටත් කියා දෙන්න. ගහට ගහක් මොරටුවේදී හමු වෙනවාය යන කියමන සේ අපිට කිසිම කෙනෙක් ප්‍රතික්ෂෙප කිරීමට නොහැකියි. මිනිසුන් වහයෙන් අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ය. ඒ නිසා දෙමළ, මුස්ලිම්,බර්ගර් වැනි ජාතීවාදී ලේබලය ගැන දරුවන් ඉදිරියේ කතා නොකරන්න.

සහජීවනය ගොඩ නගන්න

අද වඩාත් අවශ්‍යතාවයක් වී ඇත්තේ සහජීවනයයි. ඒ වෙනුවෙන් විවිධ සංස්කෘතින් ගැන ඔවුන්ට කියා දෙන්න. හැම ආගමික නායකයෙකුගේ ඉගැන්වීම සාමය නම් ගැටෙන්නේ ඇයිද යන තැනට ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීම ඉතාම වැදගත් වේ.

සමාජජාල වලින් බෙදා හරින දේ ගැන බුද්ධිමත් වීම

අද සමාජජාල සමග ඔබේ දරුවාද සම්බන්ධ වී ඇත.එහි කිසිදු වරදක් නැත. තොරතුරු සන්නිවේදනයේදී එබේ දරුවාට පමණක් හුදෙකලා වීමට නොහැකිය. එහෙත් මෙහිදී යා යුතු මග  නොමග තෝරා ගැනීම ගැන කියා දෙන්න. අනවශ්‍ය ලෙසින් සමාජය උණුසුම් කරන පුවත් කියැවීමෙන් පසුව එය බෙදා හදා ගත යුතුද නැත්ද ගැන බුද්ධිමත් වීම මෙන්ම ස්වයංවිනයක් මත කටයුතු කිරීමට උපදෙස් දෙන්න. බෙදාහැරීමට පෙරාතුව දෙවතාවක් හිතන්නට උපදෙස් දෙන්න. කපුටු තට්ටක් වමනය වූ  තැන කපුටන් හත් දෙනෙක් දක්වා එය වර්ධනය වූවා සේ මෙම තොරතුරු වල සත්‍යතාවය නොදැන ඒවා බෙදා හැරීමෙන් වලකින සේ දරුවා මෙහෙයවන්න. පෝස්ට් වෙනුවෙන් මනාප හෙවත් ලයික් සටහන් කිරීම, බෙදා ගැනීම වැනි කටයුතු බුද්ධියෙන් මෙහෙයවා කිරීම ඉතාම වැදගත් බව කියා දෙන්න. දෙමව්පියන් විදිහට ඔබ විසින් දරුවන්ට ලබා දෙන මේ මග පෙන්වීම ඉතාම යහපත් සමාජ මෙහෙවරක් වෙනු ඇත.

ආවේග අඩු කරන්න

බොහෝ දරුවන්ගේ ආවේගශීලිත්වය වගේම අනුකරණය බොහෝ  ආරෝවියවුල් වෙනුවෙන් හේතු වෙනු ඇත. ඇතැම් අවස්තාවලදී ජාතිවාදයේදී අප ආවේග ඇති කර ගන්නේ අපිට කිසිදු දිනක වරදක් නොකළ පුද්ගලයන් වෙනුවෙන්ය. මේ ආවේග නිසා ඇති වෙන ප්‍රතිඵල ඉතා දරුණුය. ඒ නිසා නිතරම දරුවන්ගේ ආවේග පාලනයවන සේ ඔවුන් බාල කාලයේදී පටන් හැඩගැසීම ඉතාමත් වැදගත්.

ළමා වියේ වර්ධන පියවර හදුනා ගනිමු – 3

වයස අවුරුදු හයත් එකොළහත් අතර කාලය තුල දරුවූ තමාගේ සමාජීය වටපිටාව හා ක්‍රමයෙන් වැඩි සම්බන්ධතා ඇතිකර ගැනීමට පටන් ගනී. පසු කලෙක වැඩිහිටියෙකු ලෙස ජිවත් වීමට අවශ්‍ය කුසලතා දියුණු වීම අරබන්න්නේද මේ අවධියේය.

බුද්ධිමය වර්ධනය ගැන සලකා බැලීමේදී මතකය , අවධානය යොමු කිරීම ආදී උසස් බුද්ධිමය කුසලතාවල කැපී පෙනෙන දියුණුවක් මේ කාලය තුල දක්නට ලැබේ. උදාහරණයක් ලෙස වයස පහක දරුවකුට එවෙනත් ළමුන් පිරිසක් එළියේ ක්‍රීඩාවක නිරත වෙද්දී කාමරය තුල සිට අධ්‍යාපනික වැඩකට අවධානය දීම ඉතා අපහසුය. නමුත් වයස අට නවය පමණ වන විට අවධානය දීමේ හැකියාව දියුණු වන බැවින් එසේ අවශ්‍ය දෙයට අවධානය යොමු කිරීමේ හැකියාව ලැබේ. අවධානය යම් දෙයකින් බිදුන ද යලිත් කරමින් සිටි දෙයට අවධානය යොමු කර එය නිම කිරීමට හැකියාව ඇත.

මතක ශක්තිය ක්‍රමයෙන් දියුණු වන බැවින් වයස අවුරුදු 10 පමණ වන විට පියවර කීපයක් සහිත උපදෙසක් මතක තබාගෙන ඊට අනුකුලව ක්‍රියා කිරීමට හැකියාව ලැබේ. නමුත්  වයස අවුරුදු හයක දරුවකුට මෙය අපහසු විය හැක. වයස් කාණ්ඩ දෙකක (උදාහරණ ලෙස වයස හයේ හා දහයේ) දරු දෙදෙනෙකු සිටින පවුල් වල මෙය පැහැදිලිව දැකිය හැකි අතර අතර එය කුඩා දරුවාගේ අවධානය අඩුකමේ ගැටළුවක් ලෙස සැලකීම සුදුසු නොවේ.

මේ කාලය තුල මතකය දියුණු කිරීමට විවිධ කුසලතා භාවිතා කිරීමෙන් (උදා : නැවත නැවත කිරීම , මතක තබා ගත යුතු දෑ යලි යලිත් මතක් කර ගැනීම , කාණ්ඩ වලට බෙදා මතක තබා ගැනීම , මනෝමය චිත්‍ර /සටහන් යොදා ගැනීම ආදී ) දරුවා  අලුත් දෙයක් ඉගෙනීමේදී ඉබේම එවැනි ක්‍රම යොදා ගැනීමේ පුහුණුව ඇතිවේ. මෙය අධ්‍යාපනික කුසලතා  දියුණු කිරීමට විශාල රුකුලකි.

වයස අවුරුදු හය පමණ වනවිට තමාගේ වම , දකුණ හදුනා ගැනීමටද , වයස හත, අට වනවිට අන් අයට සාපේක්ෂව වම, දකුණ හදුනා ගැනීමටද හැකියාව ලැබේ. එමෙන්ම මෙම කාලය තුල දිනය හා වෙලාව පිළිබද අවබෝධය ,තමාගේ වාරය එනතුරු ඉවසීම , හැඩය , විශාලත්වය , පාට ආදියෙන් ද්‍රව්‍ය වර්ග කිරීම ආදී හැකියාවන් දිය වර්ධනය වේ. මීට අමතරව ගැටළු විසදීම , යමකට හේතු දැක්වීම , තමාගේ සිතුවිලි පිළිබද අවබෝධය , අවශ්‍ය දෙයට පමණක් අවධානය දීමේ හැකියාව ආදී උසස් බුද්ධිමය කුසලතා වර්ධනය වීමෙන් කියවීම, ගණිත සංකල්ප අවබෝධ කර ගැනීම ආදී අධ්‍යාපනික කුසලතා දියුණු වීමේ පදනම වැටේ.

මේ කාලය තුල දරුවකු අලුතින් ඉගෙන ගන්නා වචන සංඛ්‍යාව ශීග්‍රයෙන් වැඩි වන අතර භාෂා හා සන්නිවේදන කුසලතා දියුණු වේ. අන් අයෙකු සමග සාර්ථකව දුරකථන  සංවාදයක  යෙදී මට ඔවුන්ට හැකිය.

මෙම කාලය බුද්ධි වර්ධනයට අමතරව ආත්ම විශ්වාසය ඇති කර ගැනීම , අවේග පාලනය කර ගැනීම අන් අයගේ අදහස් තේරුම් ගැනීම හා ඊට නිවැරදිව ප්‍රතිචාර දැක්වීම , සම වයසේ අන් අය හා යහපත් සබදතා ගොඩ නංවා ගැනීම ආදී මනෝ සමාජීය වර්ධන පියවරයන් දියුණු වීමටද එක සේ වැදගත් වේ. මේ වයස් කාණ්ඩයේ දරුවන්ට තමාගේ හැකියාවන් පිළිබද දෙමව්පියන් , ගුරුවරුන් ඇතුළු අන් අයගෙන් ලැබෙන ප්‍රතිචාර ආත්ම ශක්තිය වර්ධනය වීමට බල පායි. වැඩිහිටියන් දරුවා උපහාසයට ලක් කරයි නම්, දරුවා  කල සුළු දෙයක් හෝ අගය නොකරයි නම් එය දරුවාගේ ආත්ම විශ්වාසය අඩු වීමට හේතුවක් විය හැක.

මෙම අවධියේ දියුණු වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ තමාව පාලනය කර ගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස පෙර පාසල් වයසේ දරුවකු තමාට යම් අවශ්‍යතාවක් ඇති වූ විට එය අන් අය එවෙලේම ඉටු කර දෙතැයි බලාපොරොත්තු වේ. නමුත් පාසල් අවධියේදී තමාට අවශ්‍ය හෝ තම කැමති දෙයක් වෙනුවෙන් ඉවසා සිටීමේ හැකියාව ඇතිවේ. එසේම අන් අයගේ අවශ්‍යතා හා හැගීම් තේරුම් ගෙන ඊට නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමටද , වෙනස් අදහස් ඇති සම වයසේ දරුවන් හා එක්වී ක්‍රීඩා හෝ වෙනත් ක්‍රියාකාරකම්වල දීමටද හැකියාව ඇති වේ.පාසල් වයසේ දරුවන් අතර මෙම කුසලතා නිසි පරිදි දියුණු නොවීම  හැසි රීමේ  ගැටළු ඇති වීමට හේතු විය හැක.

වයස අවුරුදු අටේ පමණ සිට තමා විවිධ චිත්තවේග අත් විදින බව දරුවාට පැහැදිලිව තේරුම් ගත හැක. එමෙන්ම පෙර පාසල් වයසේ දරුවකුට වඩා එම අවේග පාලනය කිරීමේ හැකියාව ඇත. විවිධ චිත්තවේග එනම් තරහ , බය, දුක ආදිය නිසි ලෙස හදුනා ගැනීමට හා එනම් අවස්ථාවල නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම මේ වයසේ දරුවන් තුල දියුණු කල යුතු ගුණාංගයකි.

මෙම වර්ධන අවධිය තුල දරුවා තුල දියුණු වන තවත් වැදගත් ගුණාංගයක් වන්නේ නිවැරදිව ගැටළු විසදා ගැනීමේ හැකියාවයි.මෙම කුසලතාවය නිවැරදිව වර්ධනය කර ගැනීමට උදව් කිරීම මගින් යව්වන වියේ ඇති විය හැකි බොහොමයක් හැසිරීමේ ගැටළු මග හරවා ගත හැක.

මෙසේ සිදුවන බුද්ධිමය , මනෝ සමාජීය හා හැසිරීමේ වෙනස්කම් මගින් ඉන් පසුව එළබෙන යොවුන් විය ට දරුවා හැඩ ගැස්වෙන අතර , විශේෂයෙන්ම තමාගේ අනන්‍යතාවය හදුනා ගැනීමේ මුල් පදනමද වැටේ.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

දුවට පුතා වගේ පුතාට දුව වගේ ඇඳුම් ඇන්දවීම සුදුසු නැහැ

පවුලක් කිව්වාම ගැහැණු සහ පිරිමි දරුවන්ගේ මනා එකතුවක් විය යුතුයි කියන විශ්වාසයෙන් අපි පසු වෙනවා. ඒ නිසාම පවුලට ගැහැණු දරුවෙන් නැත්නම් සිටින පිරිමි දරුවන්ගෙන් අයෙක් ගැහැණු දරුවෙක් විදිහට සරසනවා. ඒ වගේම පිරිමි දරුවෙක් නැත්නම් පවුලේ සිටින ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක් විදිහට සරසනවා.

දැන් ඔබ මෙහෙම ඇහුවොත්…

ඉස්සර රජ කාලයේ වගේම ජාත්‍යන්තර යුද්ධ ඉතිහාසයේ විශේෂයෙන් නාසි ජාතිකයන් අතර වෙස්වලාගෙන ජාතිය, සමය වෙනුවෙන් යුද්ධයට ගිය කාන්තාවන් හිටියා. ඉතින් ඇයි මේ දරුවෙක් වෙනුවෙන් පිරිමි ඇදුමක් එහෙම නැත්නම් ගැහැණු ඇදුමක් ඇන්දුවාම මොකද වෙන්නේ…? මේ ගැන පසුගිය දිනක අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මියයි.

මීට අවුරුදු විස්සකට පමණ එපිට කාලයේදී පවුලේ ගැහැනු දරුවන් වෙනුවෙන් පිරිමි ඇඳුම් ඇන්දවීම වගේම පිරිමි දරුවන් වෙනුවෙන් ගැහැණු ඇදුමක් ඇන්දවීම ඉතා සුලබව තිබුනා. දැන් නම් ඒ තත්වය ඇත්තෙම නැහැ තරම්. කොහොම වුනත් මේ විදිහට අපිට අවශ්‍ය විදිහට දරුවන්ගේ ලිංග විපර්යාසයන් කිරීම නුසුදුසු බව ඇය අවධාරනයෙන්ම කියා සිටියා.

අම්මලාට මේ විදිහේ අවශ්‍යතාවයන් ඇති වෙන්නේ ඇයි…?

බොහෝ අම්මලා ගැහැණු දරුවන් වෙනුවෙන් ඇඳුම් ආයිතත්ම්වලින් සරසන්න ආසයි. ඔවුන්ගේ හැඩ බලන්න කැමැතියි. සමහර අවස්තාවදී වුනත් අපේ අම්මලාගේ කටින් කියැවෙන්නේ “දුවක් හිටියා නම් ඉතින් මෝස්තර ඇඳුම් මහන්න තිබුණා.අපිට ඉතින් ඉන්නේ පුතාලනේ…” මේ වගේ මානසික හිස් තැන් අපේ අම්මලාට තිබෙනවා.

ඒ වගේම පිරිමි දරුවෙක් නැති වුනොත් පවුලේ ඉන්න ගැහැණු දරුවා පිරිමි දරුවෙක් වගේ සරසනවා. කොණ්ඩය කොටට කපල, ගවුම් වෙනුවට කලිසම් කමිස පමණක්ම අන්දවනවා.

ඒත් කාලය සමග මේ දරුවන්ගේ පෞරෂයත් දුර්වල වෙන්න පටන් ගන්නවා. ගැහැණු ඇඳුම් ඇන්ද පිරිමි දරුවා ඉතාම ලැජ්ජාශීලී චරිතයක් විදිහට පෙනෙනන් පුලුවන්. පිරිමි දරුවන් සමග සහජීවනයෙන් කටයුතු කරන්න ඔහු පසුගාමී විය හැකියි.

ඒත් එක්කම අනිත් පාර්ශවයෙන් ගැහැණු දරුවා “මෙයාගේ හැසිරීම කොල්ලෙක් වගෙයි…” කියන තරමටම පිරිමි දරුවෙකුට සමාන වෙන්න පටන් ගන්නවා. ඇඳුම් පැළදුම් පමණක් නොව සෙල්ලම් බඩු, ගමන බිමන, කථා බහ හැසිරීම සියල්ලම පිරිමි දරුවෙකුට සමාන විය හැකියි. දරුවන්ගේ අනුකරණය අපි හිතන තරම් සරල නැහැ. එක්තරා මවක් සේවය කරනු ලැබුවේ මන්ද මානසික දරුවන්ගේ අධ්‍යාපන ඒකකයකයි. ඇයට සිටිය පිරිමි දරුවා ඉතාම හුරුබුහුටියි. සියයට සියයක්ම සාමාන්‍යයි. කාලයත් සමග මෙම ගුරුතුමිය අධයාපන ඒකකයේ පිහිටි නිල නිවාසයේ නැවතුනා. කාලයක් යද්දී ඇයට පුතාගේ ගමන, බිමන , වගේම ගති පැවැතුම් වෙනස් බව තේරුනා. මන්ද මානසික දරුවන් අනුකරණය කරමින් තමාගේ පුතුද ඒ විදිහට හැසිරීම් රටාවන් ගොඩ නගා ගෙන තිබුණා. අන්තිමේදී මේ ගුරුතුමිය නිල නිවාසය හැර දමා නැවත දුර බැහැර නොතකාම තමාගේ නිවසේ පදිංචියට පැමිණියා.

ඒ වගේම තත්වයක් මෙතැනදීත් ඇති වෙන්න පුලුවන්. අපේ මානසික හිස්බවට පිලියම් විදිහට දරුවන් අපට අවශ්‍ය විදිහට සරසා ගෙන හිත සනසා ගත්තත් එය ඔවුන්ගේ අනාගත පෞරෂය වෙනුවෙන් ඉතාම ප්‍රබල විදිහට බලපානවා.

මුලින් කී කතාවට ආයෙමත් යමුකෝ… සෙබල වෙස් අරගෙන යුද්ධයට ගිය කාන්තාවන්ගේ පෞරෂය මේ වෙන විට ගාඩ නැගී අවසානයි. ඒ නිසා ඔවුන්ට එයින් කිසිම බලපෑමක් ඇති වුනේ නැහැ. ඒත් හය හතර නොතේරෙන කිරි සපප්යන්ව මේ විදිහට ලිංග විපර්යාස වෙන විදිහට අන්දවා හැඩ බැලීම නම් එතරම් හොඳ නැති බව මනෝවෛද්‍ය විශේෂඥවරිය විසින් ඇගේ දේශනයේදී පෙන්වා දුන්නා. ඒ නිසා මේ වගේ ආසාවන් තිබෙන අම්මලා දැන් දෙවතාවක් හිතුවොත් හොදයි නේද…?

අපි අම්මලා විදිහට දරුවන් ගැන අවධානය දැක්විය යුතු දේ

දරුවෙක් ගැබ් ගත් පුවත ලද තැන පටන් අම්මා කෙනෙකුගේ හිතේ ඇති වෙන්නේ අහස උසට බලාපොරොත්තු .ඒ අතරම කුසේ ඉන්න දරුවා මුල් කර ගෙන පුංචි බයකුත් ඇති වෙනවා. අනේ මගේ දරුවා දුකක් කරදරයක් නැතුව මෙලොව එලිය දකියිද…? මේ සැකයත් හැම අම්මා කෙනෙකුගේම හිතේ තියෙනවා. එතැනින් නතර වෙන්නෙත් නැහැ. හැරෙන, පෙ‍රලෙන, බඩගාන,දණගාන හිටවැටෙන, මේ හැම අවස්ථාවක් වෙන තෙක්ම අම්මා , තාත්තා හරිම චකිතයෙන් ඉන්නවා. ඒ චකිතය එතැනින් අවසාන වෙන්නේ නැහැ. හාරිරිකව අපිට නොපෙනෙන, අපි නොදකින මානසික රෝගාබාධ තත්වයන් දරුවන් අතර තිබෙන්න පුලුවන්. මේ මහනුවර ශික්ෂන රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ එස්.සී.එස් අරඹේපොල මහත්මිය විසින් පෙන්වා දුන් කරුණු කීපයක්.

පුංචි දරුවන් අතර දකින ගැටළු ඇතැම් වෙලාවට අපිට පෙනෙන නොපෙනෙන තමට සියුම්. සාමාන්‍ය විදිහට හැසිරුනත් දරුවන්ගේ ඇතැම් දුබලතාවයන් අපිට දකින්න වෙන්නේ ඔවුන් සමාජය සමග ගණුදෙනු කරන විටයි. ගෙදරදී කිසිම වෙනසක් නැතුව හිටියත් පාසල් අධ්‍යාපනය ලබන විට පංතියේදී පසුගාමී දරුවෙක් වෙන්න පුලුවන්. එයින් අදහස් වෙන්නේ මේ දරුවාගේ බුද්ධිය එයාට සාපේක්ෂ අනිත් දරුවන් සමග වර්ධනය වීමේ පසුගාමීබවක් තිබෙන බවයි. ඒ වගේ දරුවන් වෙනුවන් විශේෂ අවධානයක් දැක්වීම අවශ්‍යයි.

ඒ වගේම සමහර දරුවන්ට ලිවීම අපහසුයි. අසා ලිවීමට තරම් මතකය සහ අකුරු ගලපා ගැනීමේ දුෂ්කරතාවයන් තිබෙනවා.

අධික්‍රියාශිලිත්වය

පුංචි කාලයේදී අපි හිතන්නේ දගකාරකමට කරන දේවල් කියල වුනත් දරුවාගේ වර්ධනය සමග හැසිරීමේ ප්‍රචණ්ඩත්වයක් දකින්න ලැබෙනවා. අතට අහුවෙන දේ කිසිම ඉවසිල්ලක් නැතුව කඩා බිඳිනවා. නොසන්සුන්ව හැසිරෙනවා. මේ වාගේ අධික්‍රියාශිලී දරුවන්ගේ හැසිරීම් දකින්න පුලුවන්. වයස අවුරුදු 6 ක් පමණ වෙලා පාසල් අධ්‍යාපනය ලබන විට සෙසු දරුවන් සමග සහජීවනය ගොඩ නගා ගැනීමේ ගැටලු තිබෙනවා නම් අම්මලා ටිකක් විමිසිලිමත් වීම අවශ්‍යයි.මේ අධිකි්‍රයාහීලිත්වය සමහර විට අවුරුදු 15- 16 වෙලත් අවසාන නොවී ප්‍රචණ්ඩත්වය ඉතාම දරුණු විදිහට ඇති වෙනවා. නිවසේ බඩු පොළවේ ගහන්න.. ඇතැම් වෙලාවට අම්මාට තාත්තාට පවා ගහන්න තරම් තත්වය දරුණු අතට පත් වෙනවා.

විශාදය

වැඩිහිටි අපිට විතරක් නොවෙයි. දරුවන්ටත් මානසික ගැටළු තිබෙනවා. ඒවා ඔවුන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ගේ හිත කියවන සාස්තරය දෙමව්පියන් දැනගෙන ඉන්න වෙනවා. වෙනදා බොහොම සතුටින් සෙල්ලමින් හිටිය දරුවා දැන් සෙල්ලම් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් කෑම කන්න උනන්දුවක් නැත්නම් හෝ වැඩි වැඩියෙන් ආහාර ගන්නවා නම් අම්මලා සැලකිලිමත් වෙන්න. කුමක් හෝ වෙනස් හැසිරීමක් ඇති වෙන්න හේතුව මොකක්ද කියල සොයා බැලීම වැදගත්. සමහර විට වෙනදා නැති මහන්සි ගතියක් අලස ගතියක් පෙන්වනන් පුලුවන්.සමහර වෙලාවට දරුවාගේම කටෙන් කියවෙන්න පුලුවන් “මට දැන් ජීවිතය එපා වෙලා..” වගේ වචන.. නොසලකා ඉන්න එපා. බොහෝ වෙලාවට අපි හිතන්නේ කොහෙන් හෝ අහුලා ගත් සංවාද කොටසක් කියල වුනත් එහෙම කියනවා නම් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.

දරුවන්ගේ හැසිරීම් සියුම් විදිහට නිරීක්ෂනය කළොත් විශාදය වැනි තත්වයට පත් වෙන්න පෙරාතුවම දරුවාගේ මානසික තත්වය යහපත් කර ගැනීමට පුලුවන්.

පෞරෂ ගැටළු

දරුවාගේ පෞරෂය ගොඩ නගා ගැනීමට නම් තොටිලි වැටේ පටන්ම අපි උනන්දු වීම වැදගත්. වයස අවුරැදු පහක් වැනි කාලයක් වෙද්දී දරුවාගේ පෞරෂ ගති ලක්සණ පෙනෙන් පටන් ගන්නවා. ළදරු පාසල් අධ්‍යාපනයට එකතු වුනාම සෙසු දරුවන් සමග එකට එක්වීම අපහසු දරුවන් ගැන ටිකක් විමසිලිමත් වීම වැදගත්. මේ අවධිය වෙන විට දරුවා සමාජගත වෙන කාලයයි.

මුත්‍රාපහ කිරීමේ ගැටළු

සාමාන්‍යයෙන් වයසත් සමග දරුවාට තමාගේ මල මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවයන් ප්‍රකාශ කරන්න පුලුවන්. මුල් කාලයේදී දිවා කාලයට තමන්ගේ ඇදිවතේ මල මුත්‍රා පහ කිරීම සිදු නොවුනත් රාත්‍රියේදී මුත්‍රා පහවීම සිද්ධ වෙනවා. ඒ තත්වය කාලයත් සමග මග හැරිල ඔවුන්ට රාත්‍රියේදී පවා තමන්ගේ අවශ්‍යතාවය කියන්න හැකියාව ඇති වෙනවා.

ඔටිසම්

ළමාවියේ ඇති වෙන ස්නායු වර්ධනීය මානසික ගැටළුවක්. වයස අවුරුදු එකහමාරක් පමණ වුනාම රෝග ලක්ෂණ ඇති වෙන්න පුලුවන්. දරුවා හැම අතින්ම සාමාන්‍ය වුනත්දෙවැනි උපන්දිනය පමණ වෙද්දී කථාබහ තුළ යම් පසුගාමී තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඔහු තනියම සෙල්ලම් කරන්න බලනවා. ඇසට ඇස බලන හැකියාව නැති වෙනවා වගේම ඇගිල්ලෙන් පෙන්වන දිසාව දරුවා තේරුම් ගන්නේ නැහැ. පරිසරයේ වෙනස්කම් දා ගැනීම අපහසුයි.

මේ නිසා අපි නිතරම දරුවන්ගේ කටයුතු. හැසිරීම් ගැන වඩාත් අවධානයෙන් සිටීම වැදගත්. ජීවිතයේ සාමාන්‍ය රිද්ම රටාවට ඔවුන් අනුගත නොවෙනවා නම් එතැනදී පෙනේනේ කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බවයි. ඒ අඩුපාඩුවට හේතුව මානසික කරුණක්ද එසේත් නැත්නම් පාරිසරික හෝ හාරිරිකද යන්න අඳුනා හදුනා ගැනීම වැදගත්. ඒ සියල්ලම අපිට කරන්න පුලුවන් වෙන්නේ දරුවා හැසිරෙන රටාව ගැන අපි අවධානයෙන් සිටියොත් පමණයි. අපි අම්මලා විදිහට එහෙමනම් දරුවා ගැන දැක්විය යුතු අවධානය හිතන තරම් සරල නැහැ.

සතුන්ගෙනුත් දරුවන්ට හානි වෙන්න පුළුවන්

පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයෙන් නිදහස් කරන ලද මෙම පුවත අපි අම්මලාටත් ඉතාම වැදගත් වෙන්න පුලුවන් කියල මට හිතුනා. ඕස්ට්‍රෙලියාවෙන් වාර්තා වුන මෙම පුවතේ සඳහන් වුනේ එක්තරා මවක් තම දරුවාගේ දිවා ආහාරය ගෙනියන කෑම පෙට්ටිය මුලුතැන්ගෙයි අඳුරු ස්ථානයක තබා තිබුන විට එයට සර්පයෙක් රිංගා ඇති බවයි.

අම්මා තම දරුවාගේ ආහාර ගෙන යන පෙට්ටියේ සර්පයා සිටිනු දැක සර්පයන් පාලනය කරන්නෙකු වෙත ඒ බව දැණුම් දුන්නා. සර්ප පාලක “රොලී බරේල් ” විසින් ලබා දුන් උපදෙස් අනුව මේ මවට කෑම පෙට්ටිය නිවසින් බැහැරට ගෙන යෑමට උපදෙස් ලැබුන අතර පසුව ඉතා ප්‍රවේසමෙන් සර්පයා මුදා හරිනු ලැබුවා.

කොහොම වුනත් “රොලී බරෙල්” පෙන්වා දෙන්නේ දරුවාගේ වාසනාවට මව විසින් මෙම සර්පයා කෑම පෙට්ටියේ සිටිනු දුටු බවයි. යම් හෙයකින් දරුවා කෑම පෙට්ටිය පාසලට රැගෙන ගියා නම් මෙම සර්පයාගේ දෂ්ටනයට ඔහු ලක්වීමට ඉඩ තිබුන බවයි. ප්‍රමාණයෙන් කුඩා වුනත් මේ සර්පයා උග්‍ර විෂ සහිත බවත් ඔහු සඳහන් කරනවා. ඔස්ට්‍රෙලියාවේ මුහුදු තීරයේ සහ රට අභ්‍යන්තරයේ මෙවන් විෂකුරු සර්පයින් හමු වෙන අතර 2000 වසරේ පටන් මේ වෙන විට මරණ 23 ක් සිදු වී ඇති  බව 2017 වසරේ ඔස්ට්‍රෙලියානු මරණ පරීක්ෂක දත්ත මගින් පෙන්වා දෙනවා.

මේ සිද්ධිය අපේ රටටත් ඉතාම සාමාන්‍යයි. අපේ රටේ වුනත් උග්‍ර විෂ සහිත සර්පයන්ගෙන් දරුවන්ට හානි සිදු වී තිබෙන බවට බොහෝ වාර්තා තිබෙනවා. ඇතැම් අවස්ථාවල නිදන ඇඳ, කොට්ටය වැනි ස්ථානයන්හි මෙම සර්පයින් රැඳී සිටිනවා.බොහෝ සර්පයින් ක්‍රියාශීලි වෙන්නේ රාත්‍රි කාලයටයි. ඒ නිසා ආලෝකයක් නොමැතිව අදුරු ස්ථානයන් වෙතට යෑම් ඊම් නොකල යුතුයි. ඒ වගේම නිදා ගැනීමට පෙරාතුව කොට්ටය, පොරවනය ආදිය පරික්ෂා කර බලන්න. දරුවාට මේ ගැන කියා දෙන්න. අද බොහෝ නිවෙස්වල දරුවන් නිදා ගැනීමට පෙරාතුව ඇඳ පිළියෙල කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් මදුරුදැල පවා අකුලා තැබීමක් නැහැ.උදේ අවදි වෙන විට මදුරුදැල අකුලා තැබීමට මෙන්ම රාත්‍රි නින්දට යෑමට පෙරාතුව හොදින් පරීක්ෂා කර බැලීමටත් දරුවන් දැණුවත් කරන්න.

එක්තරා තරුණ මවක් රාත්‍රි හතට පමණ බැල්කනියේ තිබුන මල්පෝච්චියක් නිවසට ඇතුළු කිරීමට සූදානම් වෙත්ව ඒ යට සිටි සර්පයෙකුගේ දෂ්ටනයට පත් වුණා. මේ සර්පයා පොල‍ගෙකු බව හදුනා ගත්තද විෂ හරීරගත වීම නිසා තරුණ මව අකාලයේම මියගියා.

සන්ධ්‍යා හෝ රාත්‍රි කාලයේදී එලියට පහලියට යන්නේ නම් ආලෝකයක් සමග යන සේ දරුවාට උපදෙස් ලබා දෙන්න.

තවත් සිද්ධියක් අනුව වියලි කලාපයේ එක් පාසල් දරුවෙකුගේ සපත්තුවේ රැදී සිටි සර්පයා නොදුටු දරුවා පාවහන් පැළඳ පාසලට යන අතරදී එහි සිරවී සිටි සර්පයා විසින් දෂ්ට කරන ලදුව දරුවා මිය ගිය බව වාර්තා වුනා. ඒ නිසා නිතරම සපත්තුව පයේ දැමීමට පෙරාතුව එය හොදින් පරීක්ෂා කර බැලීම වැදගත්.

සර්පයින් පමණක් නොව අදුරු අහුමුලුවල හැසිරෙන විවිධ සතුන්ද අපේ ජීවිතයට විවිධ හානි සිදු කරන්න පුලුවන්. එක්තරා පුවතක් අනුව මවක් විසින් උදේ පාන්දර දියනියට පළතුරු යුෂ බිලෙන්ඩ් කර ඇත්තේ ඒ ඇතුලත සිටි හූනාද ඇඹරී යන විදිහටයි. රයිස් කුකරයේ පවා හූනන් රැඳී සිටින්න පුලුවන්. භාජනය සේදුවත් ඔවුන් භාජනයේ ඇති කාණු වැනි තැන්හි රැදී සිටින්න පුලුවන්. ඒ නිසා භාජන සේදූ පමණින් ආරක්ෂාව ගැන සහතික වීමට බැහැ.

ඔබේ නිවසේ හරක්, බල්ලන් වැනි සතුන් ඇති කරන විට මෙම සතුන්ගේ මාර්ගයෙන් කිනිතුල්ලන් ඇතුලු වීමට තිබෙන ඉඩ ප්‍රස්තාවන්ද බොහොමයි. කිණිතුල්ලන් කණට රිංගා ගත් විට ඉතාම අපහසු අතර බොහෝ අවස්තාවන්හිදි කණ සේදීමට පවා සිදු වේ. මේ නිසා සතුන් පිරිසිදුව තබා ගැනීමට වගේම නිදන විට දරුවාගේ කණට මේ සතුන් ඇතුළුවීමට තිබෙන අවස්ථාවන් අවහිර කිරීමටත් වග බලා ගන්න.

ඒ වගේම නිවසේ සුරතලයට ඇති කරන බල්ලන්, බළලුන් , ලේනුන් වැනි කිරි බොන වර්ගයේ සතුන්ගෙනුත් සිදු වෙන හානි අඩුවක් නැහැ. මෙම සතුන් හපා කෑම නිසා හෝ කෙළ තැවරීම ජලභීතිකා රෝග තත්වය ඇති විය හැකියි.රෝගකාරක විෂබීජය ශරීරගත වීම නිසා මේ රෝග තත්වය ඇති වෙනවා. මුලින්ම මේ වෛරසය මාංශපේශින්ට බලපෑම් කරන අතර එතැන වර්ධනය වෙමින් වෛරසය ස්නායු ඔස්සේ මොළයට ගමන් කරනු ලැබේ. එහිදී පටකයන්ට සිදු වෙන හානිය ජලභීතිකාවේ උපරිම අවස්ථාව ලෙස සැලකේ.

ජලභීතිකා රෝග ලක්ෂණ

  • බැස නොයන උණ
  • නොනවත්තා ඇති හිසරදය හා තෙහෙට්ටුව
  • සීතල දරා ගැනීමේ අපහසුතාවය
  • ආලෝකය සහ ශබ්දය දරා ගැනීමේ අපහසුතාවය
  • ශ්වසන වේගය ඉහළ නැගීම
  • සැරපරුෂබව හා සංකාව
  • උගුරේ මාංශපේශින් සංකෝචනය වී ඇති නාසා ගිලීමේ අපහසුතාවය
ජලයට බියක් දැක්වීම

මේ නිසා ඔබ නිවැසි සුරතලුන් ඇති කරනවා නම් ඔවුන් වෙනුවෙන් Anti Rabies Vaccination  ලබා දීමත් වැදගත්. එන්නත ලබා ගැනීම වෙනුවෙන් අදාල පලාතේ පලාත් පාලන ආයතන සහ පලාත් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් ජනතාව දැණුවත් කරනවා. මේ දැණුවත් කිරීම හෝ සිහිපත් කිරීම නොසලකා හරින්න එපා.

අරියාදු (Bullying) සහ අඩන්තේට්ටම් (Harassment)

පාසල රන්දෙවොලක් විදිහට සැලකුනත් මේ දේවාලය ඇතුලත් පුංචි පුංචි කෙනෙහිලිකම් නැතුවාම නොවෙයි. අපි ඒ ගැන විවෘතව කතා නොකලොත් මේ සිද්ධින් කවදා හෝ කොතැනකින් හෝ පිපිරී යෑම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ පුංචි පුතා හෝ දුව පාසලේදී අරියාදු (Bullying) හෝ අඩන්තේට්ටම්වලට (Harassment) ලක් වෙන අවස්ථා ඔබ නොදැන සිටියාට ඕනෑ තරම් තිබෙන්න පුලුවන්.

ශාරිරිකව සිද්ධ වෙන අඩන්තේට්ටම්වලටත් වඩා මානසිකව සිදු වෙන තත්වයන් ඉතාම දරුණුයි. සමහර පාසල්වල ශිෂ්‍ය නායකයින් විසින් පුංචි පංතිවල දරුවන් අඩන්තේට්ටම්වලට පත් කරමින් ආධිපත්‍ය ගොඩ නගා  ගන්නා අවස්ථාවන් තිබෙනවා. විශේෂයෙන් දිවාආහාර වේලාවට කුඩා දරුවන් කැන්ටිමෙන් මිළට ගන්නා ආහාරපාන වැඩිහිටි දරුවන් අඩන්තේට්ටම් කරමින් ලබා ගන්නා අවස්ථාවන් තිබෙනවා.

මෙහිදී පොඩි දරුවා තමාගේ පාසලේ අයියලාට තිබෙන බිය නිසා කිසිම කෙනෙකුට මේ ගැන පැමිණිලි කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, පැමිණිලි කරන්න එපා යැයි කරන තර්ජනය නිසා එතැනින් ඔබ්බට ඔවුන් මේ සියළු දෙයම දරා ගෙන සිටින අවස්ථාවන් තිබෙනවා.

මේ තත්වය තව දුරටත් අපි සුලුකොට සැලකිය යුතු නොවන්නේ ඇයි කියල දෙමව්පියන් අවධාරනයෙන්ම සිතට ගැනීම වැදගත්. මේ අරියාදු සහ අඩන්තේට්ටම් ලිංගික අපචාර දක්වා දුර දිග යන බව අකමැත්තෙන් වුනත් සඳහන් කිරීමට සිද්ධ වෙනවා. වැඩිහිටි පිරිමි පමණක් නොවෙයි, ගැහැණු දරුවන් පවා ලිංගික අපචාර වෙනුවෙන් පහල පංතිවල දරු දැරියන් සම්බන්ධ කර ගැනීම ප්‍රසිද්ධ රහසක් වුනත් අපි කිසිම කෙනෙක් ඒ ගැන කතා නොකර ඉන්නේ හරියට කසාය බීපු ගොලුවන් වගෙයි. ඒ නිසා දරුවන් මානසිකව මේ පීඩන දරා ගෙන සිටිනවා පමණක් නොවයි, ඔවුන්ගේ මල් වගේ පිරිසිදු සහ අහිංසක හදවත් නිරන්තර පීඩාවට පත් වෙනවා.

මේ තත්වයට පත් වුන දරුවෙක් එතැනින් එපිටට කිසිම දෙයක් කරන්නේ නැහැ. කාගෙන්වත් උදව් ඉල්ලා සිටින්නෙත් නැහැ. විරුද්ධ වීමකුත් නැහැ. ඒත් හිතෙන් ඔවුන්ගේ විඳවීම නිසා කාලයත් සමග විශාදය (Depression) වැනි තත්වයට දරුවා නොදැනම ගොදුරු වෙන්න පුලුවනි.

එවන් මානසික තත්වයකට පත් වුන ඔබේ දරුවා වෙතින් මේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.

නින්ද නොයෑම

වෙනදා ඇඳට වැටුන පමාවෙන් නින්දට ගිය දරුවා දැන් ඔබට ඇහැරී බල හැම ‍විටකම ඇ‍ඳේ පෙරලි පෙරලි ඉන්නවා වෙන්න පුලුවන්. දෙමව්පියන් විදිහට මේ ගැන ඔබ එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඔබත් නින්දට වැටුනාම දරුවා ඇහැරී ඉන්නවාද නිදාගෙනද බව නොදන්නා නිසා වෙන්න පුලුවන්.

ආහාර අරුචිය

වෙනදාට කන්න දීලා ඉවරක් නැති දරුවා දැන් පෙරැත්තයෙන් මිසක ආහාර වෙනුවෙන් කිසිම රුචියක් දක්වන්නේ නැතුවා වෙන්න පුලුවන්.

විවිධ රෝග ගැන පැමිණිලි

වෙනදාට වඩා දරුවා ලෙඩ ගැන කරන පැමිණිලි වැඩි වෙන්න පුලුවන්. හිසේකැක්කුම, උදරාබාධ විතරක්‍ නොවෙයි විවිධ රෝගාබාධයන් ගැන පැමිණිලි කරන්න පුලුවනි. මේ විදිහට රෝග ගැන කියද්දී හොර ලෙඩ යැයි චෝදනා කරන්න එපා. හිතේ ලෙඩ නිසා දරුවාටත් නොදැනීම මේ වගේ අපහසුතාවයන් ශාරිරිකව ඇති වෙනවා. ඒ නිසාම දෙමව්පියන් විදිහට සන්සුන් මනසකින් මේ තත්වය දිහා බැලීම ඉතාම වැදගත්.

කතාව සිනාව අඩුයි

ගිරව් වගේ තොරතෝංචියක් නැතිව කතා බහ කරපු , සිගිති රන්ඩු සරුවල් මැද ගෙවුන ජීවිත වෙනුවට දරුවා හුදෙකලාවට යොමු වෙනවා නම් ඔබට හිතන්න යමක් දැන් ඉතිරි වෙලා තිබෙනවා. සමහර විට දරුවාට දොස් නගන්න පුලුවන්. ඒත් දොස් නගනවා වෙනුවට ඇයි මෙසේ හුදෙකලා වෙන්නේ යන්නෙහි නිදාන කතාව සොයා ගැනීම ඉතාම වැදගත්.

දැන් ඉතින් ගැටුමකටත් මුල පුරනවා

නොකා නොබී පැත්තකට වෙලා ඉන්න දරුවාට අම්මා තාත්තා චෝදනා නගන විට දරුවාටත් කේන්ති යනවා. ඔහුට සෙමව්පියන් ගැනත් ඇති වෙන්නේ තරහක්. ඒ නිසා නිතරම දරුවාගේ හැසිරීම දෙමව්පියන් විසින් විවේචනය කරද්දී. එහෙම නැත්නම් දරුවාට චෝදනා නගද්දී දරුවාටත් කේන්ති යෑම නොදැනීම සිද්ධ වෙනවා. දැන් දරුවා සිටින්නේ නිතරම දුම්මල වරම අතට ගත්තා වගේ හිතේ කේන්තියෙන්.

පාසල් යෑමට මැලිවීම

වෙනදා ලෙඩකට දුකකට නිවසේ රඳවා ගැනීමට නොහැකි වුන දරුවා දැන් විවිධ හේතු කියමින් පාසල් යන්න මැලිවීමට පුලුවන්. ඒ විදිහට පසුගාමී වෙද්දි දඩුවම් කරමින්, තර්ජනය කරමින් පාසලට යවනවා වෙනුවට ඇයි මේ විදිහට දරුවා පාසල් යන්න අදි මදි කරන්නේ යන හේතුව පිටුපසින් ඇති කරුණු ගැන විමිසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

ඉතින් සමහර විට ඔබේ දරුවාටත් පාසලෙන් ඇති වෙන කෙනහිලිකම් සහ අඩන්තේට්ටම් නිසා ඉහත සදහන් මානසික තත්වයන්ට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවා වෙතින් ඉහත ලක්ෂණ අඩු වැඩියෙන් වුනත් ප්‍රදර්ශනය වෙනවා නම් ඔවුන් සමග සාකච්ඡා කරල මුහුණ දෙන ගැටළු හදුනා ගැනීම ඉතාම වැදගත්.

ළමා වියේ වර්ධන පියවර හදුනා ගනිමු – 2

වයස අවුරු දෙක සහ පහ අතර කාලය තුල දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩවල ශිග්‍ර දියුණුවක් දක්නට ලැබේ. ස්වාධීනව තමාගේ වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේද, තමාගේ පවුලෙන් ඈත්ව පෙර පාසල ඇතුළු බාහිර සමාජයට හැඩ  ගැසීමේ මුල් පියවර් ඇරබෙන්නේද මෙම අවධියේය.

මෙම කාලය තුල පාසල් අධ්‍යාපනය ඇරබීමට අවශ්‍ය බුද්ධි වර්ධනයේ අංශ වන මතකය , යම් දෙයකට දිගු වෙලාවක් අවධානය දීම ,  විසදීමේ හැකියාව , සංවිධාන ශක්තිය ආදිය දියුණු වේ.මේ කාලය තුල හිතින් මවා ගත් යහළුවන්, චරිත ගැන කතා කිරීම හා හිතින් කතා හැදීම ආදිය සාමාන්‍ය තත්වයකි.මේ කාලය තුල වර්ධනය වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ සම වයසේ දරුවන් හා හිතින් මවාගත් සෙල්ලම් ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාවයි. සාමාන්‍ය ජිවිතයේ දරුවා අත්  දකින දෑ එනම්  මව කෑම ඉවීම, තේ හැදීම, දරුවා නෑවීම, බෙහෙත් ගැනීමට වෛද්‍යවරයා හමු වීම ආදී අවස්ථා සෙල්ලම් බඩු යොදාගෙන අන් අය හා අනුකරණය කිරීමට දරුවා පෙළබේ.

මෙම ක්‍රියාකරකම් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම මනෝ සමාජීය වර්ධනයටද මෙහෙවින් ඉවහල් වේ. එබැවින් මෙම කාලය තුල මෙබදු ක්‍රියාකාරකම් වල දරුවා යෙදවිමට දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් ගේ අවධානය යොමු විය යුතුය. කිසියම් දරුවකු ගේ හිතින් මවා ගෙන සෙල්ලම් වල දීමේ හෝ අනුකරණය කිරීමේ කුසලතාවය අඩුබව හැගේ නම් ඒ ගැන විශේෂ අවධානයක් දක්වා දරුවා එවැනි ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් යොදවා ගත යුතුය.එමෙන්ම මෙය ඕටිසම් තත්වයේ ලක්ෂණයක්ද විය හැකි බැවින් විමසිලිමත් වීම වටී.

මෙම කාලය තුල භාෂාව තව දුරටත් වර්ධනය වන අතර  වයස හතර/පහ  වන විට විවිධ සංකිර්ණ වචන , ව්‍යාකරණ, කාලය හගවන ක්‍රියා පද භාවිතයෙන් අන් අයෙකු හා සංවාදයේ යෙදිය හැකිවේ. පෙර පාසල් දරුවන් තනිව කතා කිරීමද සමහර විට දැකිය හැකි අතර එය සාමාන්‍ය තත්වයකි. ගණන් කිරීම, මුලික අකුරු  උච්චාරණය ආදී හැකියාවන් වර්ධනය මේ වයසේදී වර්ධනය වීම ඇරබේ. නමුත් මෙය පවුල් පසුබිම ,සංස්කෘතික පසුබිම, සමාජ තත්වය ආදිය මතද රදා පවතී.

මනෝ සමාජීය වර්ධනයේ ද වැදගත් වෙනස්කම් කිහිපයක් ම මේ කාලය තුල සිදුවේ. පෙර පාසල් වයසේ දරුවන් ස්වාධින විමට උත්සාහ දරන බැවින් වැඩිහිටියන්ගේ නීති වලට අවනත නොවීම , තමාට අවශ්‍ය දෙයක් නොලැබුණහොත් කලහකාරී ලෙස හැසිරීම ආදී ලක්ෂණ දැකිය හැක. විශේෂයෙන් නිවසෙන් පිට ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම දෙමව්පියන්ට අසීරු අත්දැකීමක් විය හැකි නමුදුබොහෝ විට වයසෙන් වැඩෙත්ම එය අඩු වී යයි. තමාගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවශ්‍ය භාෂා කුසලතා දියුණු නොවීම  හා ආවේග හදුනා ගැනීම හා පාලනය අපහසු වීම මේ හැසිරීම වලට බොහෝ විට හේතු වේ.

අනුකම්පාව, සහ කම්පනය වැනි වඩාත් සංකීර්ණ හැගීම් ක්‍රමයෙන් දියුණු වීම තවත් වැදගත් වර්ධන පියවරකි.උදාහරණයක් ලෙස මව කණගාටුවෙන් සිටිනු දුටුවහොත් ඒ ගැන ප්‍රශ්න කිරීමට හා වචනවලින් සැන සවිමට උත්සාහ දැරීම දැකිය හැක. නමුත් හැගීම් ප්‍රකාශ කරන ආකාර ය දරුවා වැඩෙන සංස්කෘතික පරිසරය  මත වෙනස් විය  හැකියි.

දරුවන්ගේ භාෂා කුසලතාවය දියුණු වනවාත් සමග ඔවුන්ට සම වයසේ අන් දරුවන්ගේ ගති ලක්ෂණ සරලව විස්තර කිරීමේ හැකියාව ලැබේ. එසේම වයස පහ වනවිට ආහාර ගැනීම , ඇදුමක් ඇදීම  ආදිය තනිව කර ගැනීමේ හැකියාව ලැබේ.

ගැහැණු පිරිමි වෙනස පිළිබද කුතුහලය, ඒ පිළිබද ප්‍රශ්න කිරීම,ජනක ඉන්ද්‍රිය ස්පර්ශ කිරීම ආදිය මේ වයසේදී දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයන්ය. නමුත් වැඩිහිටි සමීප සබදතා අනුකරණය කිරීම , බලහත්කාරයෙන් අන් අයට සමීප විමට උත්සහ දැරීම ආදිය අපචාර වලට ගොදුරු වූ දරුවන් තුල දැකිය හැකි බැවින් ඒ පිළිබද දෙමාපියන් විශේෂයෙන් සැලකිලිමත්  වියයුතු වේ.

ඇත්තෙන්ම මෙම අවධිය තුල සිදුවන වෙනස්කම්වලින් අපේක්ෂා කරන්නේ වයස අවුරුදු පහ පසු වූ විට පාසල් අධ්‍යාපනය සදහා දරුවා හැඩ ගැස්වීමයි. මේ කාලයේ ඉහත විස්තර කල පරිදී බුද්ධිමය ,භාෂා හා මනෝ සමාජීය වර්ධන පියවර සාර්ථකව පසු කරන දරුවන්ට පහසුවෙන් පාසල් ජිවිතයට හැඩ ගැසිය හැක. කෙසේ වුවද මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. සමහරවිට බුද්ධි වර්ධනය අදාළ ලෙස වර්ධනය වුවද වෙනත් අංශයක් උදාහරණය ලෙස මනෝ සමජිය අංශයෙන් යම් දරුවෙක් පසුගාමී විය හැක. විමසිලිමත් දෙමව්පියන්ට මෙවැනි දෑ කලින් හදුනා ගත හැකි අතර එමගින් දරුවාට අවශ්‍ය අමතර සහය ලබා දිම පහසු වේ.

ප්‍රථමික පාසල් අවධියේ දරුවන්ගේ වර්ධන පියවර ගැන ඉදිරියේ දී සලකා බලමු.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

ඔබේත් බිලිඳාගේත් සම පැහැපත් කරගන්න හොඳම උපදෙස් මෙන්න

හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරු පැටියා නිරෝගීව ඉන්නවා දකින්න ආසයි වගේම ලස්සනට ඉන්නවා දකින්නත් ආසයි. ඉතිං කෑම බීමවලින් හොඳ පෝෂණයක් ලබාදෙන්න වගේම විෂබීජවලින් දරුවා රැකගෙන ලෙඩ රෝගවලින් බේරගන්නත් හැම කෙනෙක්ටම ආසා හිතෙන විදියට ලස්සන කරන්නත් අම්මලා කැමතියි.

ඉතිං මෙතැනදී නම් අම්මා කෙනෙක් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.

ඔබ, ඔබේ දරුවන්ගේ ආහාර පාන ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවා ලස්සන කරන්න කියලා භාවිතයට ගන්න ආලේපන ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. මොකද බිලිඳු සම මල් පෙත්තකටත් වඩා, පිහාටුවකටත් වඩා පුළුන් රොදක් වගේ සිනිඳුම සිනිදු නිසා. මෙන්න මේ හේතුව නිසාම බිලිඳුන් වෙනුවෙන් ස්වභාවික දේවල්ම තෝරාගන්න අම්මලාට පුළුවන් නම් හරිම වටිනවා. රසායන ද්‍රව්‍ය, විෂ වර්ග ළදරු සම හා ගැටෙන්න කොහෙත්ම සුදුසු නෑ. මොකද බිලිඳු සම වැඩිහිටි අපේ සමට වඩා දස වරක් සංවේදී බවින් වැඩියි.

මේ කියන්න යන්නේ ස්වාභාවිකවම බිලිඳු සම පැහැපත් කළ හැකි ක්‍රම කීපයක් ගැනයි. මේ දේවල් එක්ක පැටියට විතරක් නෙවෙයි අම්මටත් ලස්සන වෙන්න පුළුවන්.

ඔබේ බිලිඳාට උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක්

උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් මගින් ඔබේ බිලිඳාගේ සම නිසැකවම පැහැපත් වනු ඇත. එසේම තෙතමනය රැකෙමින් සම වඩාත් සුමුදු කරවයි. මෙම උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනය මගින් අධි සංවේදී බිලිඳු සමේ සෛල තුළ තිබිය යුතු තෙල් ප්‍රමාණය සමබරව පවත්වාගෙන යාමට හැකියාව ලබාදේ. දිනපතා ඔබේ බිලිඳාට මේ ආකාරයෙන් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් ලබා දෙන්නේ නම් දිනෙන් දින බිලිඳු සමට වඩාත් පැහැපත් දිදුලන පෙනුමක් හිමිවනු නිසැකය.

baby-and-mom

සම්බාහනයක් මගින් බිලිඳාට හිමිවන ප්‍රතිලාභ

  • මාපියන් හා බිලිඳා අතර බැඳීම වර්ධනය කරයි

මුල් අවධියේ සිටම බිලිඳාත් මාපියන් අතරත් මනා බැඳීමක් ගොඩ නැංවීමට සම්බාහනය සහය වේ. දරුවා මෘදුව ස්පර්ශ කරමින්, යම් වෙලාවක් බිලිඳා සමග ගත කිරීමට මෙහිදී අවස්ථාව උදා වේ. මේ හරහා දරුවා මාපියන් හොඳින් හඳුනා ගනි. ආදරය වටහා ගනී.

  • යහපත් සෞඛ්‍ය තත්වයක් සඳහා මගපාදයි

සම්බාහනය මගින් ඔබේ බිලිඳාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා ඉතා වැදගත් වන අංගයකි.

  • සන්සුන් බව ඇති කරයි

සම්බාහනයකින් පසුව බිළිඳෙකු ඉතා සතුටින් කාලය ගත කරයි. සුව නින්දකට යොමු වේ.

  • ලිහිල් බව ඇති කරයි

සම්බාහනය හරහා බිලිඳාගේ මස්පිඬු ලිහිල් වීම සිදු වන අතරම ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. ආමන්ඩ් ඔයිල් හොඳින් සමට උරාගැනීම නිසා සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

  • සුව පහසුව සලසයි

උදර සම්බාහනය මගින් කොලික් තත්ත්වයන් සහ මලබද්ධය වැනි අපහසුතා පලවා හැරෙන අතරම බිලිඳාට සුව පහසුවක් ගෙන දෙයි.

බිලිඳු සමේ තෙතමනය රැකගන්න

ආමන්ඩ් ඔයිල් මේ සඳහා වඩාත් සුදුසු වේ. මන්ද ආමන්ඩ් ඔයිල් විටමින් E සාරයෙන් අනූනයි. විටමින් E සම තුළට අවශෝෂණය වෙමින් සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගනී. සම සුමුදු කරවන විටමින් E ආමන්ඩ් ඔයිල් මගින් ඔබේ බිලිඳාට ලැබෙනු ඇත.

almond-oil

ඔක්සිකාරකයක් වන විටමින් E,

  • සමෙහි සෛල රැක ගනී
  • වියලි බව දුරලා පැහැපත් පෙනුමක් සමට ලබා දේ
  • සම මත තෙතමනය රඳවා ගනී
උදෑසන හිරු එළිය ඔබේ බිලිඳාට ලබා දෙන්න

ඔබේ බිලිඳා උදෑසන හිරු එළියට නිරාවරණය කළ හැකි නම් ස්වාභාවිකවම විටමින් D නිෂ්පාදනයට එය විශාල සහයෝගයක් ලබාදේ. නමුත් එක එල්ලේ වැටෙන හිරු එළියට බිලිඳාගේ සම ඍජුව යොමු කිරීම නුසුදුසු බව තරයේ සිහි තබා ගත යුතුය. හිරු එළියට නිරාවරණය වූ බිලිඳා ඇල්මැරුණු ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකියි. ඉන් අනතුරුව මොයිස්චර්රයිසර් එකක් ලෙස ආමන්ඩ් ඔයිල් ආලේප කළ හැකියි.

පැටියට වගේම අම්මටත් ආමන්ඩ් එක්ක ලස්සන වෙන්න නිරෝගී වෙන්න පුළුවන්. ඔබේ බිලිඳාට මේ සත්කාර කරන අතරේම ඔබ වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න.


ගුණ දම් පිරි දරුවෙක් හදන්න, ඔබ කළ යුතු දේවල් මෙන්න

පොඩ්ඩො හැදෙන්නෙ අපි දිහා බලාගෙන.මේ කියමන කොයිතරම් ඇත්තක්ද කියල මේක කියෙව්වම ඔයාලටම තේරුම්ගන්න පුලුවන් වෙයි.

අද සමාජයේ දරුවො වැරදි කරනකොට අම්මල තාත්තල දරුවන්ට සැර වැර කරල ඒ වැරද්ද හදන්න උත්සාහ කරනව අපි ඕන තරම් දැකල තියනව නේද? ඒත් ඔයාල කාට හරි හිතුණද කිසිම දෙයක් නොතේරෙන පොඩි දරුවෙක් උපතින් මේ කිසිම දෙයක් අරගෙන එන්නෙ වත්, එයාල දැනගෙන කරන්නෙවත් නෑ කියල. ඇත්ත කතාවනම් බබාල මේ හැමදේම ඉගනගන්නෙ සමාජයෙන්.එයාල ඒ දේවල් අනුකරණය කරනව.

ඉතිං දෙමව්පියෝ විදියට අපි මූලික අඩිතාලම හරියට නොදැම්මොත් අපේ දරුවො හැදෙන්නෙත් ඉගනගන්නෙත් සමාජෙ එයාලට උගන්නන දේවල්. නොදරුවො කරන දේවල් නෙ කියල ඇස් කන් පියාගෙන හිටියොත් අපිට කවදාහරි ලොකු පසුතැවිල්ලකින් ජීවත් වෙන්න වෙයි.

ඒ නිසා මේ ගැන හිතන්න.එක පාරක් නෙවෙයි සිය දහස් වතාවක්.

thank-you

1. හොඳ පුරුදු පුරුදු කරන්න පුලුවන් ඔයාලට ම තමයි.

“මෙන්න පුතේ මේක කන්න” කියල බබාට කෑමක් දීල හැරිල යන්නෙ නැතුව බබා ඒක ගත්තම “පුතේ අම්මිට thank you කියන්න” බබා thank you කිව්වම පෙරලා අනිත් පැත්තට ඔයා කියන්න “you are welcome” කියල. එහෙම කියද්දී කොයිතරම් හුරතල් ද කියල බලන්නකෝ. දවසට කී වතාවක් නම් අවස්ථා ලැබෙයිද මේ හොද පුරුද්ද බබාට ඉගන ගන්න.

ඔයාගෙ අතින් බබාට හිත් රිදවීමක් හරි,අපහසුතාවයක් හරි වුණොත් මානය බිමින් තියල බබාට “sorry” කියන්න.ඔයාට අත්දකින්න පුලුවන් වෙයි බබා අතින් එහෙම දෙයක් වුණාම එයා ඔයාව අනුගමනය කරමින් පෙරලා සමාව ඉල්ලන දවසට.

අවුරුද්දයි මාස 11ක් වුණත් මට අමතක වෙන වෙලාවටත් ඒ හොද පුරුදු මතක් කරල දෙන්න තරම්,පොතක් වැරදීමකින් ඉරුනත් “I’ m sorry” කියල පොතට වදින්න තරම් මගෙ දුව මේ දේවල් එයාගෙ ඇතුළාන්තයටම ග්‍රහණය කරගෙන ඉවරයි.

drawing

2. බලි කුරුටු බිත්තියේ නොඇන්දොත් ?

ගොඩක් අම්මල ගෙ මතයක් තමයි බිත්තියේ බලිකුරුටු ඇන්දෙ නැත්තම් ළමයට ඒක වැරදියට බලපානව කියන එක.ඒත් ඒක අපිම හදාගත්ත දෙයක්. මගෙ දුව ඉස්සරලම පාට අරගෙන අදින්න පටන් ගත්ත දවසෙ මම එයාට පාට පෙට්ටිය ත් එක්කම ලොකූ චිත්‍ර පොතක් දුන්නා. ලොකු white board එකක් ගෙනත් දුන්නා.එයා දැන් අදින්නෙ ඒවගෙ.බිත්ති වල නෙවෙයි.ලියන්නෙ පොත් වල මිසක් බිත්ති වල නෙවෙයි කියන අවබෝධය එයාට තියනව.ඇයි අපි වැරදි දේවල් වලට අනුබල දෙන්නේ.බලන්න පුංචි බබාලා වටපිටාවෙන් නේද ඉගනගන්නෙ.

child-eating

3. කෑම කන්න නියමිත තැනක්.

ගොඩක් අම්මල බත් කවාගන්න ගම වටේ යනව බත් පිගානත් අරගෙන.ගමේම අය දන්නව ඔන්න අර ගෙදර බබා දැන් කෑම කන්නයි යන්නෙ කියල.ඊටත් වඩා බබා හිතන්නෙ කෑම කන්නනම් ගම වටේ යන්න ඕන කියල. එහෙම කරන්න එපා.කෑම කවන්න අපේ ලේසියට වැරදි දේවල් බබාලාට පුරුදු කරන්න එපා. මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් පස්සෙ බබාම තේරුම් ගන්නව කෑම කන්නෙ මෙතැනදී විතරයි කියල.

පුංචි කමට මගෙ දුව මම කෑම එක පිගානට බෙදනකොට එයාගෙ පොඩි feeding chair එකයි ,කෑම හැලෙනවට එලන mat එකයි සූදානම් කරනව.මේක මට කරන්න පුලුවන් වුණා නම් ඔයාලට බැරි වෙන්නෙ නෑ.

children-at-kitchen

4. බබාටත් වගකීම්.

අද සමාජයේ අම්මල ආදරේට කියල බබාලාට කරන ලොකු වැරද්දක් තමයි ඉතාම පුංචි වැඩ පවා අම්මලම කරල දෙන එක.ඒකෙන් බබාට යහපතකට වඩා වෙන්නෙ අයහපතක්. පුංචි පුංචි වගකීම් බබාලට දෙන්න.

– රෙදි වැලෙන් රෙදි ගේනකොට බබාටත් ටිකක් දෙන්න.
– එලවළු තෝරන්න දෙන්න.
– බබාගෙ සෙල්ලම් බඩු අස් කරන්න දෙන්න.

මේ පුංචි වයසට මගෙ දුව කරන වැඩ ටිකක් ඔයාල එක්ක් බෙදාගන්නම්.

– එයාගෙ සෙල්ලම් බඩු එයාම අස් කරනව.
– ඇඟ සෝදන්න කලින් මාරු කරපු ඇදුම් එයාම බාස්කට් එකට දානව.
– බිම කුණු තිබුණොත් ඒව කුණු කූඩෙට පවා දානව.කවදාවත් තැන තැන කුණු දාල නෑ.

ඉතිං බලන්නකෝ පොඩි දරුවනේ කියල ඔහේ බලාගෙන හිටියනම් මේ දියුණුව මට මගෙ බබාගෙන් දකින්න වෙන්නෙ නෑ නේද?

baby-in-the-toilet

5. වැසිකිළි යන්න නියමිත තැනක්.

අපි දැකල තියනව මොන්ට්සෝරි යන බබාල පවා ඇදුමෙ මූත්‍රා කරගන්නව.නමුත් උත්සාහ කළොත් අපිට ඒක පවා නිවැරදි කරන්න පුළුවන්.

මේ පුංචි වයසට මළපහ කිරීමට  වගේම මූත්‍රා කිරීමට  පවා මගෙ බබා වැසිකිළිය පාවිච්චි කරනව.රාත්‍රියටවත් ඇදේ මූත්‍රා කරන්නෙ නෑ.ඕන වුණා ම එයාම කියල ඇදුම් ඉවත් කරල වැසිකිළි යට යනව.මට තියෙන්නෙ එයාව පරෙස්සමට එක්කගෙන යන්න විතරයි.

මේ පුරුද්ද ඇති කරන්න මම කළේ පුංචි දෙයයි දවස් දෙකක් විතර පැයෙන් පැයට වගේ බබාව වැසිකිළියට එක්කගෙන ගියා.එයා දැම්මෙ නැතත් එක්කගෙන ගියා.ඒකෙන් එය තේරුම් ගත්ත මේ යන්නෙ මෙහෙම වැඩකට,ඒකට නියමිත තැන මෙතනයි කියල.

ඉතිං බලන්න , පුංචි කැපකිරීමකින් අපිට අපේ දරුවන්ගේ ජීවිත වල කොයිතරම් වෙනසක් ඇති කරන්න පුළුවන්ද කියලා.

මවක්, ගෘහණියක් ලෙස ඔබට ඇතිවන කලකිරීම් නැති කරගන්නා ක්‍රම

ගැහැණියක් විදියට ඔයා ගැන කොහොමද හිතාගෙන ඉන්නෙ? දුර්වලයි කියලද? බොළඳ යි කියල ද? එහෙමත් නැත්තම් ජීවිත් වෙන්නෙ ලොකු කළකිරීමකින්ද?

එහෙනම් මේ කතාකරන්නෙ ඔයාටමයි. අලුත් වෙන්න, වෙනස් විදියට හිතන්න, සරල වෙන්න , සතුටින් ජීවිතේ ගෙවන්න මේ ලිපිය උපකාරී වුණොත් ඒක තමයි මේ ලිපියෙන් මම බලාපොරොත්තු වෙන දේ.

ඔයා කියන්නෙ කව්ද?

ගෙදර වැඩයි, බබාලගෙ වැඩයි, හස්බන්ඩ් ගෙ වැඩයි, ඔෆිස් වැඩයි කර කර ජීවිතේ කළකිරීමෙන් මිරිකිලා ඉන්න  කෙන්කද?

එහෙමත් නැත්තම් උග්‍ර නැන්දම්මා ලේලි හබයකට මැදිහත් වෙලා විදවන කෙනෙක්ද?

එහෙමත් නැත්තම් ඔයා බලාපොරොත්තු වෙන ආදරය, රැකවරණය, අගය කිරීම ඔයාගෙ හස්බන්ඩ් ගෙන් ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්ද?

එහෙමත් නැත්තම් තමන්ගෙ කියල හිතින් අල්ලගෙන ඉන්න ඒත් ඔයා බලාපොරොත්තු වෙන මට්ටමටම ඔයා ගැන හොයල බලන, ඔයාට කතාකරන සහෝදර සහෝදරියන් නෑදෑයන් නැති කෙනෙක්ද?

බොහෝ දෙනෙකුට මෙයින් එකක් හෝ කීපයක් තමන්ගෙ ජීවිතයට සමීප ගැටලුවක් වෙලා ඇති.

ඔයා දන්නවද අපි පිලිගන්න කොයි තරම් අකමැති වුණත් ඔයාගෙ හිතේ තියන ඔය කළකිරීම නැතිකරන්න ඔය කළකිරීමට හේතු පාදක වුණ කරුණු වලටවත්, ඒවට මුල් වුණ අයටවත් පුලුවන් කමක් නෑ කියන එක තමයි ඇත්ත. ඒකට හේතුව එයාලගෙ දෝෂයක් වත් ඔයාගෙ දෝෂයක් වත් නෙවෙයි. කළකිරීමේ විදවීමේ ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔයා ඒක අල්ලගන්න විදිය අනුවමයි.

ටිකක් වෙනස් විදියට හිතන්න පුරුදු වුණොත් ඔයාට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලබෙනවාමයි. ඔයා හිතන්න ඔයාගෙ සතුට නිර්මාණය කරන්න පුලුවන් ඔයාටමයි. ඒක කරන හැටි තීරණය කරන්නත් ඕන ඔයාමයි.

හිතන්න ඕන එකම දේ මේ ලෝකෙ කිසිම කෙනෙක් වත්, දෙයක්වත් අපි කැමති විදියට වෙනස් වෙන්නෙ නෑ, අපියි වෙනස් වෙන්න ඕන.

මේ උදාහරණ එකින් එක කියවල ඒක ඔයාගෙ ජීවිතේට ගලපගන්න. බලන්න මේ විදියට එක සතියක් හිතල. කොයිතරම් සැහැල්ලුවක් ඔයාගෙ හිතට දැනෙනවද කියල.

හිතින් දුක් විද විද එක එක්කෙනාට චෝදනා කරන එක පොඩ්ඩකට නවත්තන්නකෝ.

මුලින්ම සතුටින් ඉන්න මාර්ග හොයාගනිමු.

ඔයා ඔෆිස් ගිහින් බබා නිසා අමාරුවෙන් හිත හදාගෙන ගෙදර නැවතුන කෙනෙක් නම් මේ විඩියට දුක හිතෙනව වෙන්න පුලුවන්.

“හස්බන්ඩ් වෙනද වගේ ආදරේ නෑ වගේ දැනෙන්න පුලුවන්”
“නිකන් කුස්සි අම්මෙක් වුණා වගේ හැගීමක් දැනෙන්න පුලුවන්”
“ඉගෙන ගත්ත සේරම වතුරෙ ගියා වගේ හිතෙන්න පුලුවන්”
“මිනිස්සු කවරුත් වෙනද වගේ ගනන් ගන්නෙ නෑ වගේ හිතෙන්න පුලුවන්”

උදේ ඉදන් රෑ වෙනකන් මේකම හිත හිත ඔහේ දුක් වෙනවනම් කවදාවත් සතුට නම් ලං කරගන්න වෙන්නෙ නෑ.

කුස්සි අම්ම කෙනෙක් වෙනවද එහෙම නැත්තම් සාම්ප්‍රදායික 8-5 රැකියාවෙන් ඉවත් වුණ එක විතරයි ජීවිතේ වුණ වෙනස කියල කියන්න පුලුවන්  වටිනාකමක් සහිත මවක් වෙනවද කියන එක තීරණය කරන්න පුලුවන් ඔයාටම විතරයි.

රස්සාවෙන් අයින් වුණා කියල කවුරු හරි ඔයාට කිව්වද උදේ ඉදන් රෑ වෙනකන් වැරහැලි දැලි රෙද්දක් ඇදගෙන, නොකා නොබී, කුණු ගාගෙන, හොටු පෙරාගෙන ඉන්න කියල නෑ නේද?

ගෙදර ඉන්නව කියල ඔහේ මොකක් හරි කර කර ෆෝන් එක ඔබ ඔබ, බබා එක්ක දවසම ඇදට වෙලා නිදියගෙන, ජීවිතේ කම්මැලිකම වගා කරන්න කියල කවුරු හරි කිව්වද? නෑ නේද?

හම්බකරන්නෙ හස්බන්ඩ් විතරයි ඒ හින්ද වෙනද වගේ ලස්සනට අදින්න කරන්න බෑ කියල හේතු හදාගත්තෙ ඔයාමයි නෙද? පිරිසිදුව ලස්සනට ඉන්න අලුත් ඇදුම්, මේක් අප් නැතුවට තියන එකක් හරි ලස්ස්නට ඇදල, ඔලුව පීරල මනුස්සයෙක් වගේ ඉන්න පුලුවන් නේද කියල අමතක කලේ ඔයාමයි නේද?

ගෙදර තියන දේවල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරල, අලුත් අලුත් ලෝකෙ සල්ලි ඉතුරු කරන්න මොනවද කරන්න පුලුවන් කියල හොයල බලල, සල්ලි හම්බනොකෙරුවත් සල්ලි පරෙස්සමට පාවිච්චි කරලත් හස්බන්ඩ් හම්බකරන එක නාස්ති නොකර ඉන්න පුලුවන් නේද කියලත් අමතක කලේ ඔයාමයි නේද?

තමන්ගේ ම අම්මගෙන් බලාපොරොත්තු වෙනව වගේම සමාන ආදරයක් ලේ නෑ කමක් වත් නැති පිටස්තර නැන්දම්මා කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙලා හිත රිද්වගන්න තරම් බොලද වුණේ ඔයාමයි නේද?

පොඩි පොඩි අතපසුවීම්, අමාරුකම්, හිත් රිදවීම් වුණත් ලෝකෙ ඉන්න දාහක් අතරින් තමන්වම කසාද බැදගත්ත හිතේ ඔයා ගැන කොයිතරම් ආදරයක් ඇතිද?, ඇයි මම මේ බොළඳ දේවල් පස්සෙ පන්නන්නෙ කියල හිතන්න බැරිවුණේ ඔයාටමයි නේද?

කාලසටහනකට, ඉලක්කයකට, සකසුරුවමින්, කඩිසරකමින් වැඩ කරල දවසේ වැඩ ටික එපා නොවෙන්න, පටලවාගන්නෙ නැතුව කරන්න බැරි නෑ නේද කියල හිතුනෙ නැත්තෙ ඔයාටමයි නේද?

අවශ්‍ය දේට කතාකරල,හොයල බලල, අනවශ්‍ය දේවල් කතා නොකර පාඩුවෙ තම්න්ගෙ දෙයක් කරගෙන හිටියනම් ඔය පවුල් ආරවුල් නෑදෑයන්ගෙ සහෝදර සහෝදරියන්ගෙ එක්ක තියන ගැටුම් ගොඩාක් අඩු කරගන්න පුලුවන්කම තිබුණ නේද කියල මතක් නොවුනෙ ඔයාටමයි නේද?

හිතින් හිත හිතා දුක හපයක් කරගෙන ඒකම හප හප රසවිදින එකට වඩා තමන් ආස විනෝදාංශයක් කරල, එහෙමත් නැත්තම් තමන් රස්සාව කරන් තැන පාඩුවෙ රස්සාව කරල, ගෙදර ඉන්නව නම් ගෙවල් දොරවල් ලස්සනට තියාගෙන, තැන් තැන් වල ඕප දූප කතාකරන කාලෙ ගෙදර ඉදන් හරි දෙයක් කරල සල්ලි කීයක් හරි හොයාගන්න පුලුවන් නේද කියල මතක් නොවුනෙ ඔයාටමයි නේද?

දකින දකින බඩුව, ප්ලාස්ටික් කෑල්ල, ඇදුම, මෙකී නොකී සියලු දේම අස්සක් මුල්ලක් නෑර ගොඩගහගෙන ගේ අපායක් කරගෙන කොච්චර අස් කලත් ඔච්චරයි කිය කිය, මූණ ත් එල්ලගෙන, ගෙදර මිනිස්සුන්ටත් බැන බැන ඉන්න වෙලේ ඇත්තටම තමන්ට ජීවත් වෙන්න , අදින්න පළදින්න, උයන්න පිහන්න, ඕන මොනවද කියල හිතල අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් පාවිච්චි කරල සරල ජීවිතයක් ගත  කළානම් ගේ අපායක් වෙන්නෙ නෑ නේද කියල හිතන්න බැරි උනේ ඔයාටමයි නේද?

මෙන්න මේ දේවල් ටික හිතල, කල්පනා කරල අද ඉදන් වෙනස් වෙන්න. අලුත් වෙන්න.

කුස්සි අම්මෙක් වගේ මොට නොවී ලෝකෙත් එක්ක හැප්පිලා, ඔප වැටිල ඉස්සරහටම යන යකඩ ගැහැණියක් වෙන්න. ඔයාටම අභියෝග දෙන්න. ඔයාගෙ සතුට ඔයාම හොයාගන්න. සතුටින් ඉන්න මේ ටික කරල බලන්න.

ඒ දැනෙන වෙනස අත්විඳින්න.