Home Blog Page 11

විෂාදය කියන්නේ දුක හිතෙන එකටද?

ස්ට්‍රෙස්, ඩිප්‍රෙෂන් කියන වචන දැං ඉන්න පොඩි දරුවන් අතරත් අහන්න ලැබෙනවා. අවුරුදු නවය, දහය ව‍යසේ දරුවනුත් මේ වචන භාවිත කරනවා. අද වෙද්දී තොරතුරු සොයා බැලීමට දරුවන්ට ලැබෙන අවකාශය පුළුල් නිසාම ඔවුන් බොහෝ දේ ගැන දැනුවත්. ඒ අතින් වැඩිහිටියන් සතු දැනුම අල්පයි කියන්නත් බැරි නැහැ. මොකද විෂාදය කියන්නේ දුක හිතෙන එකට කියලා හිතන වැඩිහිටියෝ අදටත් සමාජයේ ඉන්නවා. ඒ වගේම ප්‍රශ්න තියෙන්නේ ආතතිය ඇති වෙන්නේ වැඩිහිටියන්ට විතරයි කියලත් ඇතැමුන් සිතනවා.

නැහැ.. පුංචි සිත්වලටත් ආතතිය දැනෙනවා. විෂාදය දරුවන්ටත් ඇති විය හැකියි. වැඩි වශයෙන්ම විෂාදය දැකිය හැක්කේ නව යොවුන් වියේ දරුවන් අතරයි. නව යොවුන් වියේ දරුවන් සියයක් ගත්තොත් ඒ අතරින් 13 – 16ක් අතර දරුවන් ගණනක් විෂාදයට පත්ව සිටිනවා. 

මොකද්ද මේ විෂාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙෂන් කියන්නේ

බොහෝ වැඩිහිටියන් සිතනවා විෂාදය එහෙමත් නැතිනම් ඩිප්‍රෙෂන් කියන්නේ දුක හිතෙන එකට කියලා. ඒ වගේම ඇතැම් අය සිතනවා විෂාදය කියන්නේ යමකුගේ පෞරුෂත්ව ගුණයක් කියලා. නමුත් විෂාදය කියන්නේ මේ දෙකම නොවෙයි. 

මට ටිකක් ඩිප්‍රෙස් වගේ. වැඩ කරගන්නත් බෑ කියලා කෙනෙක් කිව්වම එහෙම හිතන්න එපා උනන්දු වෙලා වැඩ කරන්න කියලා ඇතැමුන් උපදෙස් දෙන්නේ විෂාදය කියන්නේ යමෙකුගේ ගුණාංගයක් ලෙස ඔවුන් දකින නිසයි. අන්න ඒ වගේම වැඩිහිටියන් පමණක් විෂාදයට ගොදුරුවන බවට විශ්වාස කරන වැඩිහිටියන් නිසාත් මේ තත්ත්වයේදී කල්තියා හඳුනා ප්‍රතිකාර කළ හැකි තත්ත්වයෙන් ඔබ්බට ද දරුවෙකුගේ මනස ගමන් කළ හැකියි. දරුවෙක් වුවත් විෂාදයට ගොදුරු විය හැකියි යන දැනුම මව්පියන් තුළ නොමැති වීම නිසා නිකරුණේ දරුවෙකුගේ ජීවිතය නාස්ති වී යාමට හැකියි. ඒ නිසාම ඒ පිළිබඳව මව්පියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරණක්. මන්ද විෂාද තත්ත්වය ප්‍රතිකාරයකින් තොරව දිගින් දිගට පැවතීම තම ජීවිතයට හානි කරගැනීමේ සිතුවිලි දක්වාම වර්ධනය විය හැකි නිසයි.

දුක හිතෙන එක හෝ ගුණාංගයකුත් නෙවේ නම් විෂාදය කියන්නේ මොකද්ද? 

අපේ මොළයේ ඉදිරියෙන්ම ඇති කොටස පූර්ව මෂ්තිෂ්කය, මේ පූර්ව මස්තිෂ්කයේ අපේ මනෝභාවය පවත්වා ගැනීම සඳහා වෙන් වුණු ස්නායු ජාලා කීපයක් තියනවා. මේ ස්නායු ජාලාවල නොඇඩ්‍රනලින්, නොරැටඩීන් හා ඩ්‍රොපැමින් නමින් හැඳින්වෙන ස්නායු සම්ප්‍රේෂක ක්‍රියාත්මක වෙනවා. මේ ස්නායු සම්ප්‍රේෂකවල යම් කිසි වෙනසක් ඇති වුනොත් අපිට එපා වීම, කණස්සල්ල, කම්මැලිකම, ඇඟට පණ නැති ගතිය වැනි දේ ඇති වෙන්න පුළුවන්. විෂාදය ලෙස හඳුන්වන්නේ ඒ ආකාරයට ඇති විය හැකි විවිධ සායනික ලක්ෂණ වල එකතුවකි.

විෂාදය ඇති වීමට හේතු

  • විෂාදය නම් වූ මනෝ රෝග තත්ත්වය
  • ශාරීරික රෝග පීඩා නිසා (තෛරොයිඩ් ග්‍රන්ථායේ නිපදවෙන තෛරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතා)

විෂාදය ඇති අයෙක් සිටිනවා නම් අපි කිසිසේත්ම ඒ තැනැත්තාව හෝ දරුවාව කොන් නොකළ යුතුයි. සිරුරේ සීනි මට්ටම වෙනස් වූ විට අපිට දියවැඩියාව හැදෙනවා වගේම තමයි මොළයේ ස්නායු සම්ප්‍රේෂක වෙනස් වුණාම අපිට විෂාදය ඇති විය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ තරුණ දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට විෂාදය ඇති විය හැකි බවයි. 

විෂාදය ඇති අයෙක් වැඩිපුරම පෙන්නුම් කරන ලක්ෂණ 

  • දිගු කාලයක් පවතින එපාවීම 
  • කම්මැලි ස්භාවය 
  • අවධානය පවත්වා ගැනීමට ඇති නොහැකියාව (නින්ද අලසකම නිසා අධ්‍යයන කටයුතුවල ඇණහිටීම)
  • නින්ද වැඩිවීම/අඩුවීම (ඇතැමුන්ට රාත්‍රී නින්ද නොයෑම/ඇතැමුන්ට දවල්ට නිදිමත ඇති වීම) 

නව යොවු වියේ දරුවෙකු විෂාදයට ගොදුරු වූ විට එය හඳුනා ගැනීම අපහසුද?

සාමාන්‍යයෙන් මැදිවියේ අයෙකු විෂාදයට ගොදුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ මනෝභාවය අඩු වීම නිසා මුහුණේ වෙනස්කම්, හැසිරීමේ වෙනස්කම් මත ඔහුගේ තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි වුවත් යෞවනයන්ගේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. යෞවනයෙක් විෂාදයට පත්ව සිටිනවා නම් ඔහුගේ/ඇයගේ මනෝ ස්වභාවය වේගයෙන් වෙනස්ව වෙන නිසා එක් එක් මොහොතේ ඔහු/ඇය එක් එක් වෙනස්කම් පෙන්නුම් කරනවා. එක් අවස්ථාවක සිංදුවක් අහල හිනා වෙනවා, තවත් අවස්ථාවක පුංචි දේකටත් තරහ ගන්නවා වැනි වෙනස් වීම් ඔවුන් තුළින් දැකිය හැකියි. මෙසේ ඉක්මනින් ඇති වන වෙනස් මනෝභාවයන් නිසා තරුණ දරුවන්ගේ විශාදය මැදිවියේ අයෙක්ගේ විෂාදය හඳුනා ගැනීම තරම් පහසු නැහැ. අන්න ඒ නිසා තමයි දරුවෙකුට විෂාදය කියලා වෛද්‍යවරු මව්පියන්ට පැවසුවාම ඔවුන් දරුවට විෂාදය කියලා ඩොක්ටර් කොහොමද කියන්නේ එයා මේ දැනුත් හරි සතුටෙන්නේ හිටියේ කියලා කියන්නේ.

අයෙකුගේ මනෝස්වභායේ වෙනස් වීම සමස්තයක් හැටියට පහත වැටීමේදී විෂාදය හඳුනා ගත හැකියි. මෙතැනදී දෙමාපියන් වෙත විශාල වගකීමක් පැවරෙනවා. මෙවැනි තත්ත්වයකදී සාර්ථක ලෙස දරුවා එයින් මුදුවා ගැනීමට නම් දරුවාගේ නිවස තුළ පාසැල තුළ ආතතිය අවම කරන වටපිටාවක් ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මව්පිය හිතවතුන් දරුවා වටහා ගනිමින් දරුවාට ඉතා සමීපව කටයුතු කළ යුතුයි. 

පසුගිය කාලය අප කාටත් ව්‍යාකූලත්වයෙන් පිරුණු කාලසීමාවක් වුණා. එවැනි වටපිටාවන් තුළත් දරුවන් සතුටෙන් තබන්නට හැකි නම් දරුවන්ගේ මානසික ව්‍යාකූල තත්ත්වයක් අවම කරන්න පහසු වෙනවා. දරුවන් පසුගිය වසර කිහිපය තුළ නිවෙස්වලටම කොටු වුනත් ඔවුන් සතුටෙන් තබන්න නිවසේදීම කළ හැකි බොහෝ දේ තිබෙනවා. එවැනි ක්‍රියාකාරකම් මගින් මානසික දරුවෙකු ආතතියට ලක්වීඹ අවම කරගත හැකියි. 

ලිපියේ පෙර සඳහන් කළ පරිදිම රුධිර ගත සීනි මට්ටම වෙනස් වූ විට දියවැඩියාව ඇති වනවා සේම අපි එයට කිසිදු පැකිලීමකින් තොරව ප්‍රතිකාර වෙත යොමු වෙනවා. විෂාදය කියන්නෙත් මොළයේ ස්නායු සම්ප්‍රේෂක වෙනස් වීමෙන් ඇති වෙන තත්ත්වයක්. මෙය ලැජ්ජා වීමට හෝ සැඟවීමට කරුණක්‍ නොවෙයි. මොළය කියන්නෙත් අපේ සිරුරේම කොටසක්. මොළය රෝගී වීම කොන්වීමට හෝ ලැජ්ජාවට පත්වීමට කරුණක් නොවන බව අපේ වැඩිහිටියන් වටහා ගත යුතුයි. නැතිනම් ඉතා ලස්සන යොවුන් ජීවිත අපිට අහිමි වී යා හැකියි. විෂාදය තත්ත්වයේ අදුරු පැත්ත ලෙස මෙන්න මේ විදියට දෙමාපියන් දරුවාගේ තත්ත්වය පිළිනොගැනීම, සඟවාගෙන සිටීම වැනි කරුණු දැක්විය හැකියි. 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 දක්වා දරුවන්ට ප්‍රතිකාර ලබාදීමේදී මාපිය එකතාවය අවශ්‍ය නිසා මව්පියන් නොදැනුවත්කමින් හෝ දරුවාට ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කිරීම අභාග්‍යසම්පන්න තත්ත්වයක්. අන්න ඒ නිසාම තමන්ගේ දරුවාගේ ජීවිතයේ වටිනාකම හඳුනා එය තව තවත් වර්ධනය කිරීමට මෙවැනි තත්ත්වයකදී දරුවාට සහය වීම දෙමාපිය වගකීමක් මෙන්ම යුතුකමක් බව අමතක නොකළ යුතුය. සමාජය, වටපිටාව කුමන දේ පැවසුවත් දෙමාපියන්ට ඇති වටිනාම සම්පත තම දරුවන්ය. ඒ නිසාම ව‍ටපිටාවට බියෙන් තම දරුවාගේ අපහසුතා සඟවාගෙන සිට දරුවාගේ ජීවිතය අවදානමට ලක් කිරීම කිසිසේත්ම කළ යුතුතක් නොවේ. එසේම අපි සැම විටම අපේ දරුවන් සතුටෙන් තැබීමට උනන්දු විය යුතුමය. 

දරුවන් සතුටින් තබන්න නිවස තුළදී දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

  • සත්‍ය වසන් කරන්න එපා

දරුවන් දෙමාපියන් සතු ආර්ථික තත්ත්වය වටහා ගැනීම ඉතාම වැදගත්. අපි අපේ දරුවාට යමක් ගෙන එන්නට පොරොන්දු වුවත් එය මිලදී ගැනීමට අපිට හැකියාව නොමැති නම් අපි එය නොසඟවා දරුවාට පැහැදිලි කළ යුතුයි. මුදල් අපහසුතා ඇති අවස්ථාවකදී එය පහදා දීම ඊළඟ සතියේ අරන් දෙන්නම් යැයි පවසමින් බොරු කීමට වඩා උචිතය. දරුවා බොරුවට රැවටී සතියක් සතුටින් සිටීමට වඩා එය අහිමි වීම නිසා ඇති වෙන වේදනාව දරුවාට සුදුසුය. අන්න ඒ නිසා සත්‍ය වසන් නොකොට දරුවාට පහදා දෙන්න.

  • ප්‍රචණ්ඩත්වය දරුවන් ඉදිරියට ගෙන එන්න එපා

අඹුසැමියන් අතර ඇති වන යම් යම් ගැටුම් දරුවන් ඉදිරියේ දිගහැරීම අනිවාර්යෙන්ම නතර කරන්න. කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය දරුවන් ඉදිරියට ගේන්න එපා. එය දරුවන්ගේ මානසික සුවතාවයට විශාල පහරක් බව සිහි තබාගන්න.

  • පාසැල වෙත යැවීම නතර කරන්න එපා

කොපමණ බාධක ඇතත් දරුවාව පාසැල වෙත යවන්න. යම් අඩුපාඩුවක් ඇත්නම් පාසැල ඒ සම්බන්ධව දැනුවත් කර දරුවා පාසැලට යැවීමට ඔබට හැකියි.

  • ආගම දහමින් ඈත් වෙන්න එපා

එසේම තමා අදහන ආගම වෙනුවෙන් දවසේ යම් කාලයක් වෙන් කරන්න. උදාහරණයක් ලෙස ඔබ බෞද්ධයෙකු නම් ළඟ ඇති පන්සලට ගොස් දරුවා සමග බුදුන් වැඳ සිත සන්සුන් කර ගැනීමට උනන්දු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 

 

 


                

අධි රුධිර පීඩනය රෝග තත්වය ඇත්තටම නිහඬ මාරයෙක්

අධි රුධිර පීඩනය රෝග තත්වය ඇත්තටම නිහඬ මාරයෙක් කිව්වත් වරදක් නැහැ. ඔබ නොදැන සිටියට ලොව පුරා මිලියන අටක් අධි රුධිර පීඩනය නිසා මිය යනවා. ඒ වගේම අධි රුධිර පීඩනය නිසා ඇති වෙන මරණ වලින් 50 %ක්ම හෘදයාබාධ , ආඝාත තත්වය සහ අංශභාග රෝග තත්වය නිසා සිදු වෙනවා. 1990 වසරේ පටන් අද දක්වාම අධි රුධිර පීඩනය පාලනය වෙනුවෙන් අලුත් ඖෂධ හඳුනාගෙන නැහැ.  ඒ වගේම දැනට පවතින ඖෂධ වලිනුත් අධි රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාව ඇත්තේ 20 % ක් පමණයි.

මොකක්ද මේ අධික රුධිර පීඩනය…

රුධිරය දියරයක ස්වභාවයෙන් පහළට ගලා එනවා. හෘදයවස්තුවේ සංකෝචනය වීමෙන් මෙම පීඩනය ධමණීන් කරා යොමු කරවනවා.නැවත හෘදයවස්තුව ලිහිල් වෙන විට මේ පීඩනය අඩු වෙනවා. හෘදයවස්තුව සම්පූර්ණයෙන්ම සංකෝචනය වුන විට ධමනීවල ඇති වෙන උපරිම පීඩනයේ අගයත්, ධමනී ලිහිල් වුන වේලාවේ ඇති වෙන අවම පීඩනයේ අගයත්, රුධිර පීඩනය (BLOOD PRESSURE) යනුවෙන් හැඳින්වෙනවා. නිරෝගි වැඩිහිටි පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ආසන්න වශයෙන් 120/80 mmHg ක්  ලෙස සැලකෙනවා.

වැඩිහිටියන්ට ඇති වෙන අධික රුධිර පීඩනය

වයසත් සමග පුද්ගලයන්ගේ ධමණීන් ඝන වීම නිසා රුධිර නාලයන්හි  ඇති වෙන වෙනස්කම් නිසා අධික රුධිර පීඩන තත්වයක් ඇති වෙන්න පුලුවනි. මෙම රුධිර පීඩනය 140/90 mmHg ට වැඩි අගයක  තිබෙනවා නම් ඒ තත්වය අධි රුධිර පීඩනය (HIGH BLOOD PRESSURE) යනුවෙන් හැඳින්වෙනවා.

අධි රුධිර පීඩනය ගැන දැනෙන නිමිති මොනවාද…?

ඔබට මෙතෙක් අධි රුධිර පීඩන රෝග තත්වයක් නොතිබුනත් සමහර විට මෙවැනි රෝග ලක්ෂණ ඇති වුනොත් ඒ ගැන නොසලකා ඉන්නත් එපා.

  • හිසරදය
  • ඇස් පෙනීමේ බොඳ වීමක්
  • කැරකැවිල්ල
  • ක්ලාන්තය
  • හුස්ම ගැනීමේ අපහසුතාවය
  • පපුවේ වේදනාව.

අපි වෛද්‍යවරයා වෙත ගොස් මේ රෝග ලක්ෂණ ගැන සඳහන් කිරීමත් සමග ඔහු ඔබේ රුධිර පීඩනය මැන බලනවා. සමහර විට ඔබේ රුධිර පීඩනය අධි රුධිර පීඩනයේ අගයක පවතින්න පුලුවනි. නමුත් එක් වතාවක් රුධිර පීඩනය මැන බැලීමෙන් පමණක් ඔබ අධි රුධිර පීඩන තත්වයට පත් රෝගියෙක් බවට තීරණයක් ලබා දෙන්න බැහැ.

අධි රුධිර පීඩනය දැනගන්නේ කොහොමද…?

අධි රුධිර පීඩනය ඇති හැම දෙනාටම එය සිරුරට දැනෙන්නේ නැහැ. මේ නිසා ‘‘රුධිර පීඩන මානයකින් “ මැන බැලීම වැදගත්. ශරීරයේ රුධිර පීඩනය ඔබේ කායික මානසික ක්‍රියාකාකරම් නිසා වෙනස් වෙන්න පුලුවනි. ඒ නිසා එක් වරක් පමණක් රුධිර පීඩනය මැනීමෙන් පමණක් අධි රුධිර පීඩනය තිබෙන බවට නිගමනවලට එළැඹෙන්න බැහැ.

අධි රුධිර පීඩනය මැන ගැනීමට යනවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

  • ඔබ වෛද්‍යවරයා වෙත යන කාලය
  • රුධිර පීඩනය මනින අත
  • රුධිර පීඩනය මැනීමට යොදා ගන්නා උපකරණය
  • ඔබ ඇඳගෙන සිටින ඇඳාුම
  • මුත්‍රා බර
  • දුම්පානය හෝ මද්‍යසාර භාවිතය
  • මානසික ආතතිය

අධි රුධිර පීඩනය ඇති වීමට බලපාන හේතු 

අධි රුධිර පීඩනය ඇති වීමට  බලපාන ලද හේතු පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි ලෙසින් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවනි.

පාලනය කළ නොහැකි හේතු…

  • වයස
  • ජානගත සම්බන්ධතාවයන්
  • සංජානනීය හදවත් රෝග සහ වකුගඩු ආබාධ

පාලනය කළ හැකි හේතු

  • තරබාරුව
  • ක්‍රියාශීලි නැති ජීවන රටාව
  • ව්‍යායාම නැති වීම
  • ලුනු සහ තෙල් අධික ආහාර ( බර්ගර්, පිට්සා, වැනි මේද අධික ආහාර ) සීමා කරන්න.
  • තයිරොක්සින් හෝර්මෝනයේ වැඩි වීම
  • දියවැඩියාව / කොලස්ටරෝල් මට්ටම දිගු කාලයක් පාලනය නොවී පැවැතීම

“”මම බේහෙත් නැවත්තුවා””

ඔබ අධි රුධිර පීඩන තත්වය පාලනය කර ගැනීමට ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටි තැැනත්තෙක් නම් සමහර විට කාලයත් සමග ඔබගේ රුධිර පීඩන මට්ටම යහපත් අගයක පැවැතුනත් ඖෂධ ලබා ගැනීම නවත්වන්න එපා. රුධිර පීඩනයේ වෙනසක් ඇත්නම් වෛද්‍යවරයා විසින් ඖෂධ මාත්‍රාව වෙනස් කරන්න පුළුවනි.

බේත් ගන්න අතරවාරයේ ප්‍රවේසම

අධික රුධිර පීඩනය සමග දියවැඩියාව , කොලස්ටරෝල්, හන්දි ආශ්‍රිත රෝග , වකුගඩු රෝග ඇති වෙනවා.ඒ නිසා මෙම රෝග තත්වයන්ට නිවරැදි ප්‍රතිකාර ලබා ගැනීමෙන්  වෙනත් සංකුලතාවයන් ඇති වීම අවම වෙනවා.

අධි රුධිර පීඩනය නිසා අංශභාග තත්වයක් ඇති වීම.  

මොළයට රුධිරය සැපයෙන රුධිර වාහිනියක් හෝ අවහිර වීම හෝ පුපුරා යෑම නිසා  මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැහැ. රුධිරවාහිනිය හරහා රුධිරය සැපයෙන මොළයේ කොටස මිය යනවා.ඒ නිසා මොළයේ අක්‍රිය වූ කොටස මගින් පාලනය වෙන ශාරිරික ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. මේ ක්‍රියාවලිය අංශභාගය යනුවෙන් හැඳින්වෙනවා.

අධික රුධිර පීඩනය වෙනත් ඉන්ද්‍රියන්ට  බලපාන්නේ කොහොමද…?

  • හෘදයවස්තුවේ ඇති ධමනී නාල සිහින් වීම සමග ඇති වෙන රෝග 

හෘදයාබාධයකින් ක්ෂණික මරණයක් සිදු වෙන්න පුලවන්.

  • ඇස්වලට රුධිරය සැපයුම අඩාල වුනොත්..

රුධිර නාල පුපුරා ඇස තුළ ලේ ගැලීම.

එක් ඇසක හෝ ඇස් දෙකම පෙනීමේ දුර්වලතාවය හෝ සදහටම පෙනීම නැති වීම. 

  • වකුගඩුවලට රුධිරය සැපයුම අඩාල වුනොත්..

වකුගඩු අකර්මන්‍ය වී බද්ධ කිරීමේ තැනට පත් වීම සහ අකර්මන්‍ය වී මරණයට පත් වීම.

අධි රුධිර පීඩනයෙන්  ආරක්ෂා වීමට නම් ලැබෙන වෛද්‍ය උපදෙස්..

අධි රුධිර පීඩන තත්වයට පත් රෝගියෙකුට එම තත්වය පාලනය කර ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේ ඉතාම පහසුයි.

  • රෝගය කලින්ම හඳුනා ගන්න.
  • වෛද්‍ය පරීක්ෂණ අදාල දිනයන්හිදී ලබා ගන්න
  • දියවැඩියාව , බර සහ වෙනත් රෝග පාලනය කර ගන්න.
  • මානසික සුවතාවයෙන් ජීවත් වෙන්න

ඔබ අධි රුධිර පීඩන තත්වයට පත් රෝගියෙකු වුනත් රෝග තත්වයට බලපාන  හේතු සාධක පාලනය කර ගැනීමෙන් සහ ඔබේ ජීවන රටාව නිවරැදි ලෙසින් පවත්වා ගැනීම අධික රුධිර පීඩනයෙන් නිදහස් වීමෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව තිබෙන බවත්  අමතක කරන්න එපා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය නිළධාරී නාමල් විජේසිංහ මහතා

දිස්ත්‍රික් රෝහල, මීගමුව 

 

 

 

 


                

අපි වතුර බොන්නේ ඇයි…?

අපි ආහාර ගැන උනන්දු වුනත් ජලය පානය ගැන නම් ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා අපි පිපාසය දැනුනොත් මිසක වෙනත් අවස්තාවකදී ජලය පානය කිරීමට යොමු වීමක් නැහැ. ඒ වුනත් අපේ ජීවිතයේ නීරෝගී පැවැත්ම වෙනුවෙන් ජලය පානය කිරීමේ ඇති වැදගත්කම ගැන ඔබ දන්නවාද…?

අපේ රුධිරයේ ප්‍රධාන සංඝටකය ලෙස සැලකෙන ජලය මගින් පෝෂණ ද්‍රව්‍ය සහ ඔක්සිජන් සිරුර පුරා බෙදා හැරීම සිදු වෙනවා.

අපි ගන්නා ආහාර ජීරණයට වගේම මුඛය, ඇස, නාසය වැනි අවයවයන්හි තෙතමනය පවත්වා ගැනීමටත් ජලය ඉතා වැදගත්. 

අපේ සිරුරේ අපද්‍රව්‍ය මුත්‍රා සහ දහඩිය ලෙසින් සිරුරෙන් ඉවත් වෙනවා. ඒ නිසා මුත්‍රා පද්ධතියේ ක්‍රියාකාරිත්වයටත් ජලය ඉතා වැදගත්. 

අද බොහෝ දෙනෙක් මලබද්ධය රෝග තත්වයෙන් පීඩා විඳින බැව් ඔබ දන්නවා. මෙය දරුවන්ට වගේම පවුලේ වැඩිහිටියන්ටත් පොදු තත්වයක් වී තිබෙනවා. නමුත් ඔබ හොදින් ජලය පානය කරනවා නම් මලබද්ධය වැනි රෝග අපහසුතාවයන්ගෙන් ඉබේටම කිව්වොත් නිවරැදියි.

සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 2. 5 ක් පානය කිරීම සුදුසු බැව් නිර්දේශ වුනත් අපි වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථාවන් තිබෙනවා.

  • හොඳින් දහඩිය දමන උණුසුම් දිනක
  • ව්‍යායාමයන්හි නිරත විට
  • වැඩියෙන් හිරුරැසට නිරාවරනය වෙන විට
  • ඔබ යම් යම් රෝග තත්වයන්ගෙන් පසුවෙනවා නම් වැඩියෙන් ජලය පානය කිරීම වැදගත්. උදාහරණ විදිහට කිව්වොත් වකුගඩු රෝග, මුත්‍රා සහ වකුගඩු පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් පසුවෙනවා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ වෛද්‍ය උපදෙස් අනුව ජලය පානය කිරීම වැදගත්.
  • විදුලි පංකා යට සිටින විට
  • වායුසමීකරණ පරිසරයක සිටින විට
  • දැඩි සුලං තත්වයකට නිරාවරනය වන විට
  • උන රෝග තත්වයකදී
  • පාචනය වැනි රෝග තත්වයකදී

ක්‍රිඩා කරන විට ජලය පානය කිරීම…

ක්‍රිඩාවන්හි නිරත වෙන ක්‍රිඩකයෙකු විසින් නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීම ඉතා වැදගත්. ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පැයකට පෙරාතුව ජලය මිලි ලීටර් 500 ක් පානය කිරීම සහ එ් අතරතුර සෑම ක්‍රියාශීලී මිනිත්තු 15 කට වරක් ජලය මිලි ලීටර් 250 බැගින් පානය කිරීම වැදගත්.

ඔබ පානය කළ යුතු ජලය ගැන මිනුමක් ලබා ගැනීමට නම්…

ජලය පානය ගැන කියන විට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවනි. බොහෝ විට එය පුද්ගලයාගේ බර පිලිබඳ සාධකය මත රඳා පවතිනවා. ඒ නිසා ඔබේ ශරීර බර කිලෝග්‍රෑම් වලින් මනින්න. ඒ ලැබෙන අගය 0.003 න් ගුණ කරන්න. දැන් ලැබෙන පිළිතුර මගින් ඔබ දිනකට පානය කළ යුතු ජලය පිලිබඳව මිණුම ඔබටම ලැබේවි.

තවත් සරල ලෙස කිව්වොත්…මේ විදිහටයි.

උදාහරණයක් ලෙස ඔබේ සිරුරේ බර කිලෝග්‍රෑම් 70 ක් යැයි සිතන්න. දැන් ඒ අගය 0.003 න් ගුණ කරන්න. ඔබ දිනකට ජලය ලීටර් 2. 31 ක් පානය කිරීමට අවශ්‍ය බැව් දැන් ලැබී ඇති පිලිතුර මගින් ඔබට දැණුම් දෙනවා.

ජලය වෙනුවට ආදේශක නැතිද….?

නමුත් හොඳම පානය ජලය බව අමතක කරන්න එපා. ජලය වෙනුවට තැඹිලි වතුර, සුප්  පළතුරු යුෂ, කැඳ වැනි ආදේශක භාවිතා කරන්න පුලුවනි.ඒ වුනත් හැකි හැම විටම පිරිසිදු පානීය ජලය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දීම වැදගත්.ඒ හැර කාබනීකෘත බීම, පැනි බීම ජලය වෙනුවට ගත හැකි විකල්ප පාන වර්ග නොවන බවත් තරයේ මතක තබා ගන්න.

වතුර ගෙනියන්න බෝතලයක්…

අපට දැන් මේ ගැනත් යම් යම් ගැටලු තිබෙනවා. ගමනක් යන විට බොහෝ අය බෝතල්කළ ජලය පානයට උනන්දු වුනත් එතැනත් පුංචි ගැටලුවක් තිබෙනවා. මේ බෝතල් පානයෙන් පසුව පහසුවෙන් ඉවත දමන්න පුලුවන් වුනත් බෝතල් ගබඩා කර තබන පරිසරයේදී අව් රශ්මියට නිරාවරනය වුනොත් එය අහිතකර අන්දමින් බලපාන්න පුලුවනි.

වානේ බෝතල් ගැන…

වානේ බෝතල්වලත් ජලය ගබඩා කිරීම එතරම් සුදුසු නැහැ. ඊට හේතුව ඇලුමිනියම් ආලේපනය අපේ ශරීර සෞඛ්‍යට යෝග්‍ය නැති බවට විවිධ අධ්‍යනයන් මගින් කරුණු සොයා ගෙන තිබෙනවා.

වීදුරු බෝතල් සුදුසුද..?

ජලය ගබඩා කර ගැනීමට වීදුරු බෝතල් සුදුසුයි. මේ වීදුරු බෝතල්වලින් ලැබෙන වාසි කීපයක්ම තිබෙනවා.

  • පිරිසිදු කිරීම පහසුයි.
  • නැවත නැවත ජලය අසුරා ගෙන පාවිච්චි කරන්න පුළුවනි.

නමුත්..පුංචි ගැටළු කීපයක් තිබෙනවා..

පුංචි දරුවෙකුට වීදුරු බෝතලය රැගෙන යෑම අපහදුයි. බර දරා ගැනීමට නොහැකි නිසා පුංචි ගැටලුවක් තිබෙනවා. ඒ වගේම උණුසුම් ජලය නිසා බෝතලය පුපුරන්න පුලුවනි.

එහෙමනම් නිර්දේශ කරන බෝතල් මොනවාද…?

ජලය ගබඩා කරන බෝතල් ගැන කිව්වොත්  ඇතුලත හා පිටත මල නොබැඳෙන වානේ බෝතල් නැවත නැවත පාවිච්චි කිරීමට පුලුවනි.ඒ වගේම උණුසුම් වතුර වුනත් දැමීමට හැකියාවක් තිබෙන නිසාත්, රැගෙන යෑමේ පහසුව වැනි කරුණු කීපයක් නිසා මිලදී ගැනීමේදී වැඩි මිළක් ගෙව්වත් කාලයක් පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා.

ජලය පානය කිරීමට දවසේ ඕනෑම වේලාවකදී පුළුවනි.

බොහෝ දෙනා රාත්‍රි කාලයේදී විටින් විට මුත්‍රා කිරීමට සිදු වෙන නිසා හවස් කාලයේ වතුර බීමට කැමැති නැහැ. ඒ වුනත් ඔබට දවසේ ඕනෑම වේලාවක ජලය පානය කිරීමට කිසිම බාධාවක් නැහැ. හිස්බඩම ජලය පානය කරන්න. නින්දට පෙරාතුව, ස්නනායට පෙර, පරිගණකය සමග කටයුතු කරන විට වගේම රූපවාහිනිය නරඹන විට ජලය පානය කරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩගමගේ මහතා

ගම්පහ දිස්ත්‍රික් රෝහල

 

 

 

 


                

මන්ද පෝෂණය වළක්වා දරුවන් නිරෝගී කිරීමට ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිකාර හා නිවාරණ යන දෙඅංශයෙන් යුක්තයි. මින් ප්‍රතිකාර අංශය මඟින් රෝගී වූවන් සඳහා සත්කාර සේවාව, රැකබලා ගැනීම, ප්‍රතිකාර කිරීම ද නිවාරණ අංශය වූ කලී නිරෝගී ප්‍රජාව රෝග වලින් වළක්වාලීමට අවශ්‍ය පසුබිම සකසමින් සෞඛ්‍ය පද්ධතිය නංවාලීමට අවශ්‍ය පියවර ගනී. මින් ප්‍රතිකාර සේවය ආරෝග්‍යශාලා හා බෙහෙත් ශාලා ආදියෙන් ද නිවාරණ සේවය රැඳී පවතිනුයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිදු කෙරෙන කාර්යයන් මතයි. තිඹිරි ගෙයින් පටන් ගෙන ජීවිතයේ සියළු අවධීන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වයසට සරිලන සේ ගුණාත්මකව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබන්නේ එතැනිනි. 

අළුත උපන් දරුවාගේ උපත් බර, උපත් බරට අනුව වැඩිවීම සම්බන්ධව සොයා බැලීමත්, පළමු මාස 6 මව්කිරි පමණක් ලබාදී ප්‍රශස්ත වර්ධනය ලබාගැනීමටත් මාස 6 න් පසු අමතර ආහාර, නියමිත හා සුදුසු පරිදි ගුණාත්මක ආහාර වේලක් ලබාදීම සඳහා මව්වරු දැනුවත් කිරීම, ප්‍රායෝගික සැසි පැවැත්වීම මෙන්ම නිවසේදී මව විසින් පෝෂණය සම්බන්ධව දක්වන උනන්දුව සොයා බැලීමටත් අඩුපාඩු නිවැරදි කරගැනීමටත් උදව් කිරීම තුලින් දරුවාගේ මනා පෝෂණය පවත්වා ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩය මගින් සහය වනු ඇත.  

වර්ධනයට බලපෑම් එල්ල කරන බෝවන රෝග වලින් ආරක්‍ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමටත් මව්වරු දැනුවත් කර සායන වෙතට ගෙන්වා ගන්නේ පෝෂණය නිසි පරිදි පවත්වා දරුවාගේ වර්ධනය මෙන්ම සංවර්ධනයද ඇති කිරීමටයි. 

දරුවාගේ වයසත් සමඟ ලබාදිය හැකි ආහාර ලබාදිය යුතු ප්‍රමාණය, ආහාර වේල් ගණන, ආහාරයේ ගුණාත්මකබව මෙන්ම ප්‍රතිචාරාත්මකව ආහාර ලබාදීමේ වැදගත්කම පිළිබඳව මාපිය සැසි මඟින් ප්‍රායෝගික සැසි මෙන්ම ප්‍රදර්ශනාත්මකව සිදු කරන ක්‍රියාකාරකම් මඟින්ද දෙමාපියනට ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. 

ළදරුවෙකු පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක සිදු කරන සෑම ගෘහ පිවිසීමකදීම දරුවාගේ පෝෂණය පිළිබඳ මූලිකව විමසීම් සිදු කරන හෙයින් මව්වරුනට තම නිවසේදීම පෝෂණය පිළිබඳව දැනුම ලබාගැනීමට අවස්ථාව සැලසේ. උපතේ පටන් මුල් අවුරුදු පහ සපිරෙන තෙක් දරුවකුගේ සංවර්ධන ක්‍රියාවලි විමසිලිමත් ලෙසින් තක්සේරු කිරීම සඳහා මුල් වසර දෙක සපිරෙන තෙක් මාසයකට වතාවක් බර කිරා බැලීමටත් මාස 4, 9, 12, 18 දී දරුවාගේ දිග බැලිමටත් දිගට සරිලන උස පිළිබඳව සොයා බැලීම මඟින් පෝෂණය පිළිබඳව තක්සේරු කිරීමට හැකි වෙනවා. අවුරුදු 2 න් පසු වර්ධනය දුර්වලාතවයක් හෝ අඩාල වීමක් දක්වන හෝ අඩු බර, අඩු බරට අවධානමක් ඇති දරුවන් මසකට වරක් බරකිරා බැලීම මඟින් මන්ද පෝෂණයට ගොදුරු වීමට ඇති ඉඩකඩ අහුරා තැබීමට උත්සහ කරනවා. එසේ බර වැඩිවීම සාමාන්‍ය පරිදි සිදුවන දරුව් පවා මුල් වසර 2 න් පසුව මාස 3 කට වරක් බර කිරා ඔවුන්ගේ වර්ධන රේඛාව ගමන් ගන්නා අන්දම අනුව පෝෂණය පිළිබඳව තක්සේරු කිරීමක් කරනු ලබනවා. වර්ධනයේ දුර්වලතා දක්වන අය සඳහා ඔවුනගේ දිනයක එනම් (පසුගිය පැය 24) තුල දරුවාගේ ආහාර වේල් පිළිබඳ සොයා බැලීම තුලින් වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන අවස්ථා හෝ අන්දම සොයා බැලීමට මහන්සි ගන්නවා. ඒ මඟින් ලැබෙන ආහාර වේල් ගණන, වේලකදී ලබන ආහාර ප්‍රමාණය, ආහාරයේ ගුණතේමකභාවය, ආහාර වේල් අතර පරතරය ආදී ලෙසින් විමසා පෝෂණයට බලපෑම් එල්ලවන අයුරු තේරුම් ගැනීමට උත්සහ ගැනීම තුලින් ඒවාට මැදිහත් වීම් සිදු කිරීමටත් එම මැදිහත් වීම් අසාර්ථක නම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට (පෝෂණ සායනයට) යොමු කිරීමටත් එම පෝෂණ උපදෙස් හා වෙනත් ගැටළුවක් ඇතැයි සිතෙන සෑම අවස්ථාවකම ළමා රෝග විශේෂඥවරයෙකු වෙත යොමු කිරීමටත් පියවර ගන්නවා. 

ඉන්පසු විශේෂඥ උපදෙස් අනුව දරුවා පිළිබඳ පසු විපරම් කිරීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය ක්‍ෂෙත්‍ර කාර්ය මණ්ඩලය මඟින් සිදු කරනු ලබනවා. 

ආහාර පමණක් නොවී මන්ද පෝෂණයට බලපෑම් කල හැකි සමාජ වටපිටාවක නිවසේ වටපිටාව පිළිබඳව හෝ සංස්කෘතික බලපෑම් පවා විමසා බැලීමටත් ඒ අනුව පෝෂණය වැඩි දියුණු කිරීමට කල හැකි මැදිහත් වීම් සිදු කිරීමටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. 

පෙර පාසල් සමයේදී පෙර පාසල් ගුරුවරියන් දෙමාපියන් දැනුවත් කිරීම් හා පෝෂණ වැඩසටහන් මඟින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කරනු ලබනවා. 

වයස අවුරුදු 5 සපිරුණු පසු පාසලට ඇතුලත් වූ දරුවන් පිළිබඳව පාසල් සෞඛ්‍ය වැඩ සටහන් වලට සමගාමීව සොය බැලීමත් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය සඳහා උස බර, උසට සරිලන බර බැලීමත් අවශ්‍ය පරිදි වෛද්‍ය පරීක්‍ෂණයන්ට ලක් කිරීමටත් දරුවන්ගේ රෝගී ත්ත්තව හඳුනා ප්‍රතිකාර ලබාදීම හෝ විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමටත් එම වෛද්‍ය උපදෙස් වලින් පසු පසු විපරම් කිරීමත් කරනු ලබනවා. 

යොවුන් දරුවන් සඳහාද යෞවන සමාජ, ළමා සමාජ හෝ මව් හවුල් හරහා වැජසටහන් ක්‍රියාත්මක කරන අතරම එම වැඩසටහන් මඟින් දරුවන්ගේ ජීවන නිපුණතා ශක්තිමත් කිරීමටත් ඒ හරහා ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව තක්සේරු කිරීමටත් අවස්ථාව උදා කරගනු ලබනවා. 

තරුණවිය ස`මග යුග දිවියට එළඹෙන පවුල් හඳුනා ගැනීමත් ඔවුන් සඳහා ලබාදෙන නව දිවි සුව සත්කාර සේවාව මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කිරීමටත් ඔවුන්ගේ දරුවන් සඳහා ජානගත හෝ පෝෂණ ඌනතා/වැරදි ආහාර රටා හෝ ඩ්වන පුරුදු හෝ මඟින් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමටත් ඒ මඟින් ශරීරයේ පවත්වා ගත යුතු උසට සරිලන බර, ලේ වල හිමොග්ලොබින් ප්‍රමාණය, ලේ වර්ගය, රුධි පීඩනය, හෘදය/ශ්වසන සම්බන්ධ රෝග තත්ත්ව ආදී ලෙසින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමටත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමටත් හඳුනාගන්නා සෞඛ්‍ය ගැටළු නිරාකරණය කරගෙන දරුවකු ලැබීමට අවශ්‍ය සැලැස්මක් සකස් කරගැනීමට මඟපෙන්වීම සිදු කරනු ලබනවා. 

එසේම ගර්භනී වූ සෑම කාන්තාවක්ම ගර්භනී බව දැනගත් විගස ලියාපංදිංචිය සිදුකර ගර්භනී වන විට ඇති සෞඛ්‍ය තත්ත්වයන් ගර්භනීභාවය පවත්වා ගෙන යාමේදී ඇතිවන සෞඛ්‍ය ගැටළු අවම කිරීමට උපදෙස් ලබාදෙමින් හොඳ බරක් සහිත දරුවකුට උපත ලබාදීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කරනු ලබනවා. පූර්ව ප්‍රසව සායනය මඟින් වෛද්‍ය පරීක්‍ෂණය සිදු කරනු ලබන අතරම මාපිය සම්මන්ත්‍රණ, පූර්ව ප්‍රසව සැසි මෙන්ම සායන වලදී ලබාදෙන සෞඛ්‍ය අධ්‍යාපනය මඟින් නියමිත බරක් සහිතව නිරෝගී දරුවකු ලබාගැනීමට මව්වරුනට මඟපෙන්වනවා. හඳුනාගන්නා සෑම සෞඛ්‍ය ගැටළුවකටම මැදිහත් වීම් සිදු කරමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කරමින් මේ සියළු කටයුතු සිදු කරනු ලබන අතර හැකි සෑම අවස්ථාවකදීම මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදු කරනු ලබනවා. එයින් නොනැවතී නිවසට ගොස් නිවසේදීද පරීක්‍ෂා කරමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මවගේ පෝෂණයත් දරුවාගේ පෝෂණයත් සම්බන්ධව අවශ්‍ය මැදිහත් වීම් සිදු කරනු ලබනවා. 

ප්‍රසුතිය සඳහා මව සූදානම් කිරීමත් ප්‍රසූතියෙන් පසු මවගේ පෝෂණය හා අළුත උපන් දරුවාගේ පෝෂණය පිළිබඳවත් සොයා බලනවා. මේ මඟින් මවගෙන් දරුවාටත් එම දරුවා ගැහැණු දරුවකු නම් නැවත මවක වන දිනයේ ඇයගේ දරුවාටත් යා හැකි මන්ද පෝෂණය වළක්වා ගැනීමට හැකි වන සේ මෙය චක්‍රයක් ලෙසින් සලකා සෑම විටම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. 

එමෙන්ම මීට අමතරව ආහාර සෞඛ්‍ය පිළිබඳව විශේෂ මැදිහත් වීම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සිදු කරනු ලබන අතර ආහාර දූෂණය වීම්, ප්‍රමිතිය ආදී ලෙසින් වූ ආහාර සෞඛ්‍ය පිළිබඳ වගකීමද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත පැවරී තිබෙනවා. එමෙන්ම ආහාර හෝ ජලය පිළිබඳව මෙන්ම සනීපාරක්‍ෂාව පිළිබඳව වූත් පරිසර සෞඛ්‍යයත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුවන්ගේ අධීක්‍ෂණයට ලක්වෙනවා. මේ මඟින් ආහාර හෝ ජලය මඟින් බෝවෙන රෝග පාලනයට මෙන්ම රෝගී වීමට හේතු විය හැකි සෑම බෝවන රෝගයක්ම පාලනය පිළිබඳව වගකීම ඔවුන් දරණ අතරම ඒ පිළිබඳ අණ පනත් වලට අනුව කටයුතු කරමින් පරීක්‍ෂා කිරීම්, උපදෙස් දීම්, තහනම් කිරීම් මෙන්ම නඩු පැවරීම් වැනි ක්‍රියාමාර්ග මඟින් ප්‍රජාවේ සෞඛ්‍ය නංවාලීමට ඔවුන් විසින් කටයුතු කරනු ලබනවා. 

පාසැල් දන්ත චිකිත්සක මහත්මීන් විසින්ද පෙර පාසල් දරුවාගේ සිට පාසැල් යන දරුවන් සඳහාද දන්ත සෞඛ්‍ය, දන්ත සෞඛඨ පෝෂණයට දක්වන දායකත්වය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන අතරම දරුවන්ගේ දත් පරීක්‍ෂා කිරීම්, අවශ්‍ය පරිදි දත් කුහර වේ නම් ඒවා පිරවීම හෝ අවශ්‍ය නම් ගලවා ඉවත් කිරීම මඟින් ආහාර ගැනීමට ඇති හැකියාව ඇති කිරීමටත් ආහාර විකීම මඟින් ජීර්ණය පහසු කිරීමට ඇති හැකියාව ඇති කිරීමටත් උදව් කරනු ලබනවා. 

මෙසේ හෙයින් අළුත උපන් දරුවා ගෙන් ටන් ගෙන ජීවන චක්‍රයේ සියළු අවස්ථා වල සෞඛ්‍ය ප්‍රශස්ත නංවාලමින් මන්ද පෝෂණය වළක්වා නිරෝගී ජාතියක් බිහි කිරීමට හැකි උපරිම ලෙසින් දායක වීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. මෙසේ සෞඛ්‍ය යහපත් මට්ටමකට ලඟා කරගැනීමට මෙම මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉටු කරන සේවා මෙතෙකැයි කිව නොහැකියි. ඔවුන්ගේ එම සේවාව නිසා අද අපි දියුණු, සෞඛ්‍ය දර්ශක කරා ලඟා වී එනම් මාතෘ මරණ අනුපාතය අඩු, ළදරු මරණ අනුපාතය අඩු, ළමා මරණ අනුපාතය අඩු හා ආයු අපේක්‍ෂාව වැඩි ජනතාවක් බවට පත් වී ඇති බව කිව මනායි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අවුරුදු 12 දක්වා දරුවන්ට වඩාත් සුදුසු පෙති ද ? සිරප් ද?

අමන්දා පාමසියට ඇතුල් වෙද්දිම දැක්කේ දැකලා පුරුදු ඇස් දෙකක්. මේ මාස්ක් පළඳනාව නිසා මිනිස්සු අඳුනන්නත් අමාරුයිනේ. ඒත් පුරුදු ඇස් වලින් ටික වෙලාවකින් ඇය  තම මිතුරියව හඳුන ගත්තා.

ආ අමන්දා කොහොම ද ? මොකද මේ මූණත් එක්ක මැලවිලා

අනේ සචී ,මම ඔයා කතා කරන කල් දැක්කෙත් නෑ 

කොහෙ දකින්නද මුලු ලෝකෙම ඔයාගේ ඔලුව උඩ වගේනේ හිටියේ, ඇයි මේ දුකෙන් ?

අනේ දෙවෙනි පුතාට  ඊයේ රෑ ඉඳන් උණ, බෙහෙත් වගයක් ගන්න ආවා

 හ්ම්…මේ දවස්වල උණක් හැදෙනවා කියද්දි අම්මලාගේ හිතට දැනෙන බය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ තමයි. ඩෙංගු, කොවිඩ්, වෛරස් උණ  කීයක් නම් ලෙඩද ?

ඔය කොයි ලෙඩෙත් පෙන්වන්නේ උණත් එක්කමනේ, උණ එක දිගට එද්දි මට නම් බයේ බෑ නින්දක් අහලකට එන්නේ නෑ

දරුවො වෙනුවෙන් අම්මලගේ හිතේ තියෙන ආදරය, වගකීම, බය කියන හැඟීම්වලට සීමාවක් තියාගන්න අමාරුයිනෙ. ඉතින් මොකද්ද ‌ඩොක්ටර් කිව්වේ ?

බෙහෙත් දුන්නා, උණට ඉතින් පැරසිටමෝල් තමයි දෙන්න කිව්වේ. 

පුතාට අවුරුදු හයක් නේද?  පෙති දෙන්න බැරිද ?

අපෝ නැහැ, සාමාන්‍යයෙන් මාස 3 ඉඳන් වයස අවුරුදු 12 වෙන කල් දරුවන්ට පැරසිටමෝල් සිරප් දෙන ඒක තමයි වඩාත් සුදුසු කියලා ඩොක්ටර් කියන්නේ. ඒකට හේතුව තමයි දරුවගේ බරට ගැලපෙන්න පැරසිටමෝල් දෙන්න පුලුවන් හොඳම ක්‍රමය සිරප් විදිහට දෙන එක ලු. පෙති වලින් කොහොම ද හරිම මාත්‍රාව දෙන්නේ?  පෙති ‍කොටස් කරලා හරි කුඩු කරලා හරි ගත්තට නිවැරදිව ම මාත්‍රාව මැන ගන්න අමාරුයිනේ, අනික නියමිත මාත්‍රාවට වඩා පැරසිටමෝල් වුණත් දුන්නොත් පස්සේ කාලේ විවිධ සෞඛ්‍යමය ගැටලු ඇතිවෙන්න පුළුවන් වගේම අඩු මාත්‍රාවක් දුන්නොත් දරුවාට සහනයක් ලැබෙන්නෙත් නැහැනේ. අනික සිරප් බෝතලයේ අසුරණයේ දරුවගේ බරට ගැලපෙන නියමිත මාත්‍රාව සටහන් කරලා තියෙන නිසාත් නිවැරදිව මාත්‍රාව මැන ගන්න කප් එකක් තියෙන නිසාත්  බය නැතිව අවශ්‍ය පැරසිටමෝල් ප්‍රමාණය  දරුවට දෙන්න පුලුවන්.

ඒකත් ඇත්ත තමයි. පැරසිටමෝල් දෙන කොට දරුවගේ බරට වෛද්‍යවරයා කියන ප්‍රමාණය නියමිත කාල සීමාව අනුව දෙන්න ඕනේ. මගේ යාලුවෙක්ගේ දුවෙක්ට පැය හය යන්න කලින්ම පැරසිටමෝල් දීලා අවසානේ දරුවව හොස්පිට්ල් ගෙනිච්චේ අධි මාත්‍රාවක් ශරීරයට ඇතුල් වුණා කියලා.

අයියෝ!!! ඒකනේ බෙහෙත් එක්ක සෙල්ලම් කරන්න නරකයි. අවුරුදු 8, 9 වගේ ව‍යස් වල  දරුවන්ටත් අම්මලා පෙති දෙන්නේ එයාලට පෙති බොන්න පුලුවන් කියලනේ. ඒත් අවුරුදු 12 වෙන කල් බරට හරියන්න පැරසිටමෝල් දෙන්න නම් සිරප් ම තමයි දෙන්න ඕනේ. අපේ ගෙදරත් ලොක්කට අවුරුදු 11 ක්.. මම නම් දෙන්නෙම සිරප්.

ඔව් නේද ? පොඩ්ඩොන්ට පෙති  දුන්නම හිර වෙන්ත් පුලුවන්, අනික  කුඩු කරලා පොවද්දි තිත්ත නිසා  වමනය දාලා අවශ්‍ය ප්‍රමාණය පෙවෙන්නෙත් නැහැනේ, අසනීප දරුවගේ අමාරුව තවත් වැඩි වෙනවා විතරයි.

පැරසිටමෝල් අඩංගු ළමා පැනඩෝල් තමයි මම නම් දරුවට දෙන්නේ. මාස 3 ඉඳන් අවුරුදු 12 වෙන කල් දරුවන්ට ළමා පැනඩෝල් සිරප් එක ‍බය නැතිව දෙන්න පුළුවන්. විනාඩි 15 ඇතුළත දරුවාගේ වේදනාව, උණ නැති කරන්න පුලුවන් නිසා ඇත්තටම අම්මලගේ හිතට ඒක සහනයක්.

ඒක නම් ඇත්ත. කොයි අම්මත් බලන්නේ තමන්ගේ දරුවට සහනයක් සලසන්න නේ. ළමා පැනඩෝල් සිරප් එක රාස්ප්බෙරි රස නිසා කිසි කරදරයක් නැතිව දරුවාට පොවා ගන්නත් පුලුවන් නේද?

ඔව් මාත් දන්න විදිහට ළමා පැනඩෝල් සිරප් වල සීනී සහ මධ්‍යසාර මිශ්‍ර කරන්නේ නැහැ, පොඩ්ඩන්ගේ බණ්ඩියටත් ඒ නිසා කිසිම හානියක් නැහැ. ළමා පැනඩෝල් සිරප් කියන්නේ ඉතින් ලංකාවේ මීනිස්සුගේ විශ්වාසේ උපරිමයෙන් දිනාගත්ත වෙළඳ නාමයනේ. එදා අපිට අද අපේ දරුවන්ටත් ඉස්සරහට අපේ දරුවන්ගේ දරුවන්ටත් බය නැතුව විශ්වාසයෙන් ළමා පැනඩොල් සිරප් දෙන්න පුළුවන්. 

ආ…ගානේත් ලොකු වෙනසක් වෙලා නැහැ නේද? අද රටේ හැම දේකම මිල ගණන් අහස උසට නැග්ගට තාම අපේ අතේ ගානට ඕනම වෙළෙඳ සැලකින් ළමා පැනඩෝල් සිරප් ගන්න පුලුවන්.

හ්ම්… පැරසිටමෝල් කතාව ගිය දුරක්. එහෙනම් සචී මම යන්නම්

හරි අමා, එහෙනම් පොඩ්ඩට ඉක්මණින් සනීප වේවා කියලා මම හිතන්නම්කෝ…

 

කාල රාමුව වගේම වැඩ රාමුවත් වැදගත්.

අපි නිතරම දරුවන්ට කාලසටහනකට අනුව කටයුතු කිරීමට යොමු කිරීම ගැන කතා කරනවා. ඒ වගේම උනන්දු වෙනවා. දරුවන් පමණක් නොවෙයි, වැඩිහිටියන් පවා බොහෝ විට වැඩ කරන්නේ කාල රාමුවක් අනුවයි. උදාහරණයක් විදිහට කිව්වොත් කන්තෝරුවක කාල රාමුව උදේ අටයි තිහේ සිට හවස හතරයි පහලොව එහෙම නැත්නම් උදේ නවයේ සිට හවස පහ දක්වා විදිහට වෙන් වෙනවා. පාසල් කාලය උදේ හතයි තිහේ පටන් හවස එකයි තිහ දක්වා බැව් අපි දන්නවා. ඒ වගේම කාලපරිච්ඡේදයක් විනාඩි හතළිහකට සීමා වෙනවා. දරුවෙක් එක් විෂයක් වෙනුවෙන් රදවා ගැනීමේ කාලයක් විදිහට විනාඩි 40 වෙන් වීම සම්මතයක්.ඉතින් මේ කාලරාමුව තුළ අපේ වැඩ රාමුව ගලපා ගැනීමට හැකියාවක් තිබෙනවාද…?

වැඩක් පටන් ගත්තොත් එය අවසාන කිරීම වැදගත්….

පුද්ගලික අංශයේ නම් බොහෝ විට දවසේ ඉටු කළ යුතු වැඩ කොටසක් තිබෙනවා. දවස තුළ ඔවුන් අදාල වැඩ කොටස අවසාන කිරීම වැදගත්.එතැනදී ඔරලෝසු පැය එතරම් වැදගත් නැහැ.ඒ නිසාම අද දවසේ ඉටු කළ යුතු වැඩ කොටස හෙට දිනයට කල් තැබීම අවශ්ය වෙන්නේ නැහැ. ඒත් අපි ඔරලෝසු රාමුවට සිරගත වුනොත් අද දවස පස්වරු පහට අවසානයි නම් ඒ කියන්නේ ඔබ කන්තෝරුවෙන් පිට වීමේ කාලය නිසා අදාල වැඩ කොටස අවසාන කිරීමට නොහැකි වුනොත් හෙට දවස පටන් ගැනීමට සිදු වෙන්නේ අද ඉටු කිරීමට නොහැකි වුන තැනින් බැව් ඔබ දන්නවා. ඒ නිසා ඔබට දවස එතරම් නැවුම් බවක් නැහැ. ඉතින් කාල රාමුවට වඩා ඔබ විසින් අද කළ යුතු දේ හෙටට කල් තැබීමට වඩා එය අද දවසේම අවසාන කිරීම නිසා තවත් දවසකට අලුත් බවකින් මුහුණ දීමට හැකියාවක් ලැබෙනවා.

කාලරාමුව පටන් ගන්න…

පුංචි දරුවන්ට දවස යම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට ඔබ හුරුකරනවා. එය දරුවාගේ ජීවිතයේ යම් සැලසුමක් වෙනුවෙන් වැදගත්. එවිට දරුවාගේ වේලාවට වැඩ කිරීමට වගේම දවස විවිධාංගිකරණයකින් ගත කිරීමට පටන් ගන්නවා. නමුත් දෙමව්පියන් විදිහට ඔබ කාලරාමුව ගැන පමණක් වෙහෙසෙන්න එපා.දරුවාට කාල සටහනකට අනුව කටයුතු කිරීම වගේම අදාල කාල සටහන තුලින් නිම කළ යුතු වැඩ කොටස් නිම කර ගැනීමේ වැදගත්කම ගැනත් කියා දෙන්න.

වැඩ රාමුව ගැන උනන්දුවක් නැහැ…

නමුත් දරුවන් කාල රාමුවක් තුළ සිරගත වුනොත් ඔවුන් අදාල කාලය ගැන මිසක කළ යුතු වැඩ කොටස ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට දවසේ පාඩම් වැඩ වෙනුවෙන් පැයක කාලයක් ලබා දුන්නොත් දරුවා ඔරලෝසුවේ කටු අනුව පැය ගත කිරීමට වැඩි උනන්දුවක් දක්වනවා. ඒ නිසා අම්මා විසින් නියම කළ පැයක හෝ විනාඩි තිහක කාලයක් ගෙවා දැමීමෙන් ඔහු ජයග්රහණයක් ලබා ගත් බව දරුවා සිතනවා. සැබැවින්ම එය දරුවා ලද ජයග්රහණයක් නොව ඔවුන් විසින් දෙමව්පියන්ගේ අණසකට අනුකූලව කටයුතු කිරීමක් සිදු කලා පමණක් බැව් අමතක කරන්න එපා. 

අදාල වැඩ කොටස් ගැන අවධානයක් දැක්වීම

අපි වගේම දරුවන්ටත් අද කළ යුතු වැඩ කොටස අදම අවසාන කිරීමට උපදෙස් ලබා දෙන්න. බොහෝ විට දරුවන් නිදිමත, බඩගින්න, හිසරදය, බඩ රිදුම වැනි විවිධාකාරව නිදහසට කරුනු දක්වමින් ඔවුන් විසින් කළ යුතු වැඩ කොටස් හෙටට කල් තබන අවස්ථා තිබෙනවා. නමුත් ඒ අන්දමින් වැඩ කල් තැබීම හෙවත් වැඩ රාමුව නොසලකා හැරීම නිසා දරුවාගේ වැඩ කටයුතු පිලිබඳව ඇති වෙන පසුගාමී බව ගැනත් පැහැදිලිව කියා දෙන්න.

දරුවාගේ ඉගෙනුම් කටයුතුවලදී අදාල විෂය නිර්දේශයක් නියමිතව තිබෙනවා. එය එක් රැයකින් නොව කාලච්චේද අනුව බෙදා වෙන් කළ සහ එක් එක් විෂය වෙනුවෙන් නියමිත කාලයක් තිබෙනවා. පංති කාලසටහනට අනුව අදාල කාලය ලබා දෙනවා.මේ අන්දමින් සිදු වෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලියේදී දරුවා තමාගේ අදට නියමිත වැඩ කොටස අදම අවසාන කිරීමට හුරු කරන්න. අද බොහෝ දරුවන් විබාගයට මාස දෙක තුනක් තිබියදී පාඩම් කිරීමට සූදානම් වුනත් ඔවුන්ට විෂය නිර්දේශය සාර්ථක ලෙසින් අධ්යනය කිරීමට අදාල කාලය ප්රමාණවත් නොවනු ඇත. එහෙත් ඔවුන් දවසේ කළ යුතු වැඩ කොටස් නිසි ලෙසින් නිම කර ගෙන සිටියොත් විභාගය සහ සූදානම අතර කාලය ගලපා ගැනීම එතරම් අපහසු කාර්යක් නොවනු ඇත.

 

ඔබේ දරුවා ලිංගික අපයෝජකයන්ගේ ආරක්ෂා කර ගන්න.

හැම දරුවෙක්ම තමන්ගේ ලෙයින් මසින් උපන්නා හා සමාන ආදරයක්, දයාවක් දක්වන සංස්කෘතියක් අපේ අතීත සමාජයේ තිබුනා. ඒ වගේම අම්මා, තාත්තා ගෙදර නැතැත් මාමා, බාප්පා හෝ සීයාගෙන් ගැහැණු දරුවාගේ පවා ආරක්ෂාව ලැබුණා. කලුවර වැටෙන වේලාවක පාලු පාරක ගමන් කරන විට වුනත් ඉදිරියෙන් පිරිමියෙක් ගමන් ගන්නවා නම් එතැනදීත් තමන්ට විශාල ආරක්ෂාවක් ඇතැයි යන සිතුවිල්ල අපේ තරුණ දියණිවරුන්ගේ හිතේ එදා තිබුනත් අද…?

මේ ගැන කථා කරන විට අපේ සිතට ඇති වෙන්නේ සැබැවින්ම පසුතැවිල්ලක්. අද අපි ජීවත් වෙන්නේ  මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි හැමදාම යන එන කඩයටවත් පුංචි දියණියකට යන්න බැරි තරම් අනාරක්ෂිත සමාජයක බව ප්‍රසිද්ධ රහසක්.

ළමා ලිංගික අපයෝජනය සිදු වෙන්නේ ඇයි…?

ළමා ලිංගික අපයෝජනය අද ගෝලීය ගැටලුවක් කිව්වොත් නිවරැදියි. ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට ළමා ලිංගික අපයෝජන ලක්ස අටක් පමණ වාර්තා වෙනවා. දරුවන්ගේ අනාරක්ෂිත බව ලිංගික අපයෝජනයට ප්‍රබල හේතුව බව ඇත්ත. ඒ අතර දරුවන් මේ අන්දමින් අනාරක්ෂිත වෙන්නේ ඇයි…?

  • මව විදේශගත වීම
  • පියා හෝ පවුලේ එකට ජීවත්වෙන සාමාජිකයන් මත්වතුර හෝ මත්ද්‍රව්‍ය වෙනුවෙන්  ඇබ්බැහිවීම
  • තමා ලිංගිකව අපයෝජනය වීමට ඇති අවස්ථාවන් ගැන ඇති නොදැනුවත් බව
  • සංචාරක ව්‍යාපාර
  • හදිසි ආපදා නිසා සරනාගත කඳවුරුවල ජීවත් වීම

ලිංගික අපයෝජනය ගැන සුලුවෙන් සිතන්න එපා..

දරුවෙකු දැණුම් තේරුම් ඇති වයසේදී හෝ එවැනි දැනුමක් නොමැති වයසකදී වුව ලිංගිකව අපයෝජනයට පත් වීම සුලුවෙන් සැලකිය යුතු තත්වයක් නොවේ.වයස අවුරුදු දෙකක් වැනි ලාබාල අවධියේ දරුවෙකු පවා ලිංගික ලෙසින් අපයෝජනයට පත් වූ විට එය දරාගත නොහැකි ගැටලුකාරී මානසික තත්වයක් දක්වා වර්ධනය විය හැකියි.ඒ වගේම යම් දැණුම් තේරුම් ඇති වයසේ දරුවන් බොහෝ විට අපයෝජනයට පත් වන්නේ ඔවුන් ඇසුරු කරන සමීපතමයන්ගෙන් බවත් අමතක කරන්න එපා.දරුවෙකු දිගින් දිගටම අපයෝජනයට පත් වූ විට තමාගේ අනාගතය ගැන වගේම වටිනාකම් නොමැති චරිතයක්ය යන හීනමානයෙන් දරුවා පීඩාවට පත් වෙනවා. ඒ අතර ඇතැම් දරුවන් තුළ විකෘති වූ කාමාශාවන් වර්ධනය වීමේ අවදානමත් බාල කාලයේදී අපයෝජනයට පත් වීමේ ආදිනව ලෙසින් සලකන්න පුළුවනි.සමහර අවස්ථාවලදී ලිංගික අඩන්තේට්ටම් නිසා දරුවා තුළ දැඩි පීඩාකාරී මානසික තත්වයක් ගොඩ නැගෙන්නට පවා ඉඩ තිබෙනවා.දරුවාට ඇති වෙන අඩන්තේට්ටම් නිසා තමා අපයෝජනයට පත් වෙන බැව් වැඩිහිටියන්ට දැණුම් දීමට පවා නොහැකි නිසා ඇති වෙන කම්පනය දරා ගත නොහැකි තැන ඔවුන් සිය දිවි නසා ගැනීම වැනි දරුණු තීන්දු තීරණයන් පවා ගැනීමට යොමු වෙනවා.

ලිංගික අපයෝජනයට පත් දරුවන්ගේ ලක්ෂණ

ලිංගික අපයෝජනයට පත් දරුවන්ගේ චිත්තවේග තත්වයන්ද සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව බලන විට බෙහෙවින්ම වෙනස් විය හැකියි. ඒ නිසා සමහර විට දෙමව්පියන්ට නොකියා සඟවාගෙන සිටින මෙම මානසික ගැටුම දරුවා වෙතින් ප්‍රදර්ශනය වෙන ලක්ෂණ කීපයක් තිබෙනවා.

  • කනස්සලුගතිය
  • සමහර විට දරුවා පාසල් යෑමට පෙරතිබුන උනන්දුව නැති වෙන්න පුලුවනි.
  • ගුප්ත හැසිරීම
  • හුදෙකලාව ප්‍රිය කිරීම
  • නින්ද පිලිබඳ ගැටළු
  • කලහකාරී බව
  • සියදිවි නසා ගැනීමට දරණ උත්සාහයන් සහ ඒ ගැන උනන්දුවක් දැක්වීම

ලිංගික අපයෝන තත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම

සමාජය විෂමයි. විසකුරුයි. මේ සමාජය තුළ ඔබත් , මමත් අපේ දරුවනුත් ජීවත් විය යුතුයි. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගෙන ජීවත් වීමේ ක්‍රමවේදයන් ගැනත් දරුවන් දැණුවත් කිරීම ඉතාම වැදගත්.

දරුවාගේ සිරුරට යමෙක් අනවශ්‍ය ලෙසින් සමීප වීම හෝ සිරුර ප්‍රදර්ශනය කරන ලෙසින් ඉල්ලා සිටින්නේ නම් එවැන අවස්තාවන්හිදී ඔවුන්ගේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂෙප කළ යුතු බැව් දරුවාට පහදා දෙන්න. වරක් හෝ එවැනි ඉල්ලීමක් නොඑසේනම් ඉගියක් ලැබුන විට ඒ ගැන මව, පියා හෝ තමා සමීපයේ සිටින වැඩිහිටියෙකුට දැන්වීමට උපදෙස් ලබා දෙන්න.

වැඩිහිටියන්ට කීකරු වීම දරුවෙකුගේ ගති ලක්ෂණයක් විය යුතු වුනත් මෙවැනි ඉල්ලීමක් හමුවේ එවැනි දෙයක් ප්‍රතික්ෂෙප කිරීමට දරුවාට අයිතියක් ඇත. දරුවාගේ ජීවිතයට කොතරම් සමීප ( පියා, මාමා, බාප්පා, සීයා ගුරුවරයා විය හැක) වුනත්  අනවශ්‍ය ඉල්ලීම් ඉදිරියේ සෘජු ලෙසින් ප්‍රතික්ෂෙප කිරීමේ අයිතිය දරුවා සතුව ඇති බැව් කියා දෙන්න.

පාසල් මට්ටමින් පවා මෙවැනි අපයෝජන තත්වයන් ගැන දරුවන් දැනුවත් කිරීම ඉතා සාර්ථක ලෙසින් සිදු කිරීමට හැකියාව තිබෙනවා. මව හෝ පියා විසින් ලිංගිකත්වය සහ අපයෝජනය වැනි විෂයක් දරුවන් සමග කථා කිරීමට තවමත් දක්වන මැලිකම නිසා සමුහ උපදේශන මගින් මෙවැනි දැණුවත් කිරීම් ඉතා සාර්ථක ලෙසින් සිදු කළ හැක. සමූහ ලෙසින් දරුවන් මේ ගැන කථා නිසාත් ඔවුන් අපයෝජනය ගැන ලබන දැනීම නිසාම තමන්ගේ ජීවිතයට එය පාඩමක් ලෙසින් ආදේශ කර ගැනීම ඉතා පහසුවෙන් සිදු කරනු ඇත.

ඒ වගේම පාලු හුදෙකලා ස්ථානයන්හි ගැවසිම, එවැනි ස්ථානයක් වෙත කැඳවා ගෙන යන්නට යමෙකු උත්සාහ කරන බැව් දැනුන විගස එතැනින් දුරස් වීම හෝ සෙනග සිටින තැනකට යොමු වීමට උපදෙස් ලබා දෙන්න. ඒ වගේම යම් පුද්ගලයෙකු පමණට වඩා ඇය ගැන අනන්දුවක් දක්වනවා නම් ඔවුන්ගෙන් ප්‍රෙව්සම් වීමට උපදෙස් දෙන්න.

තරුණ වියට පත් ගැහැනු දරුවන් විලාසිතාවන් ප්‍රිය කරන පිරිසක් බැව් ඇත්ත. නමුත් අපි ඇඳුම් අඳින්නේ විලි බිය වසා ගැනීමට නම් අනවශ්‍ය ලෙසින් සිරුර ප්‍රදර්ශනය කිරීම අවදානම් සහිත බැව් කියා දෙන්න. බොහෝ විට සිරුර ප්‍රදර්ශනය විම් ඇතැම් පිරිසකගේ කාමුක සිතුවිලි අවදි වීමට හේතුවක් විය හැකියි. සෑම දෙනාම එක හා සමාන ලෙසින් සදාචාරාත්මක නැත.කමන්ගේ දියණියන් හා සමාන වුනත් ඔවුන් කාන්තාවන්ගේ ප්‍රදර්ශනය වන සිරුර ඉදිරියේ කාමුක සිතුවිලිවලට යොමු වීමේ අවදානමක් තිබෙන බැව් ගැහැනු දරුවන්ට කියා දෙන්න.

අපයෝජනයක් සිදු වූ පසුව ගහ මරා ගැනීමට වඩා එවැනි අපචාරයක් නොවන ලෙසින් දරුවා හදා වඩා ගැනීමට උත්සාහ කරන්න. වෙනවාට නොවුනත් නොවනවාමත් නොවන නිසා හදිසියේ හෝ ඔබේ දරුවාට මෙවැනි අවාසනාවන්ත අපචාරයක් සිදු වුනොත් දරුවාගේ චිත්තවේග සුරැකියාව ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් බව අමතක කරන්න එපා.

 

ආහාර සුරක්‍ෂිතතාවයේ වැදගත්කම සහ එහි ඇති ප්‍රයෝජන

වර්තමානයේ දැඩි ලෙස කතා බහට ලක්ව ඇති ආහාර අර්බුදය පිළිබඳව විමසා බැලීමේදී ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳව පැහැදිලි ලෙස හඳුනා ගැනීම කාලෝචිත මෙන්ම වටිනාකමකින් යුතු කාලීන මාතෘකාවකි.  මානවයාගේ මූලික අවශ්‍යතා අතර ප්‍රමුඛතම අවශ්‍යතාවයක් ලෙස ආහාර දැක්විය හැකියි. එසේ හෙයින් ආහාර සුරක්‍ෂිතතාව යනු සැමට ලැබිය යුතු මානව අයිතියකි. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සරලව පැහැදිලි කළොත් එය ආහාර වගා කිරීමේ සිට නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය හා පරිභෝජනය දක්වා දිවෙන්නා වු ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය සුරක්‍ෂිත සිදුවීම යනු ක්‍රියාදාමය තුලදී කිසිදු අයුරකින් සෞඛ්‍යාරක්‍ෂිත බව කඩවීම සිදු නොවීමයි. 

ආහාර සුරක්‍ෂිතතාව යනු

වගා කිරීමේ (නිෂ්පාදනයේදී) මෙන්ම ආහාර පරිභෝජනය දක්වා පවත්නා ක්‍රියාදාමය තුලදී විෂ වීමක්, විෂබීජ කලවම් වීමක්, කෘමි නාශක හෝ රසායනික වශයෙන් ශරීරයට අහිතකර වූ යම් යම් දෑ (ආසනික්, කැඩිමියම්, ඊයම් වැනි බැර ලෝහ හෝ විකරණශිලී ද්‍රව්‍ය) එකතු වීමක් සිදු නොවී ආහාරයේ ගුණාත්මක තත්ත්වය එනම් පෝෂණ අගයට හානියක් නොවී පවත්වා ගන්නා ක්‍රියාදාමයයි. 

සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්තමක් සඳහා ආහාරයේ පෝෂකාංගවල අවශ්‍යතාව මෙන්ම ප්‍රමාණවත් ලෙස ආහාර ලබාගැනීමත් අත්‍යවශ්‍ය වන අතරම ආහාරය කුසගින්න නිවන්නක් නොවී ඖෂධයක්ද විය යුතුයි. එසේ වන්නේ ජීවය, පැවැත්ම හා ඉන්‍ද්‍රිය පද්ධති සැකැස්ම පවත්වා ගැනීම, ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරීම මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්‍ෂා වීම සඳහා අවශ්‍ය ශක්තිය සැපයීම, වර්ධනය සිදු කිරීම මෙන්ම ආරක්‍ෂක පද්ධතියද ශක්තිමත් වීම මඟින් නිරෝගීතාවයට ලඟා වීම පහසු වේ. එසේම මේ ලබාදෙන්නා වූ සිලුය පෝෂකාංග වයස, ස්ත්‍රී/පුරුෂභාවය, නිරත වන ක්‍රියාවන් ආදී ලෙසින් ලැබිය යුතු ප්‍රමාණයන් වෙනස් වේ. ඒ අනුව ප්‍රමාණාත්මක ලෙස ආහාර ලැබීමද ආහාර සුරක්‍ෂිතතාවේ එක් අංගයකි. 

මෙසේ හෙයින් ඵලදායී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය වන ආහාර ප්‍රමාණවත් පරිදි සෑම කෙනෙකුටම ලැබෙන බවට සහතික වීමද ආහාර සුරක්‍ෂිතතාවයේම එක් අංගයකි. එසේ හෙයින් මේ සදහා සියලු දෙනාටම ප්‍රමාණවත් ආහාර ලබාගැනීමට අවශ්‍ය සම්පත් තිබිය යුතුයි. නිති පතා ප්‍රමාණවත්  තරම් ,ඒවා පෝෂණ ගුනය අතින් අවශ්‍ය ප්‍රමාණයට වීමත් වස විසෙන් දූෂණය නොවී තිබීමත් අත්‍යවශ්‍ය වේ. 

මෙසේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී ආහාරයේ ගුණාත්මක බවට මෙන්ම පවිත්‍රතාවයටද හානි කරන ක්‍රියාවලිවලින් බැහැර වීම මඟින් නිෂ්පාදන ක්‍රියාවලිය පොහොසත් කළ හැකියි. එනම් නිෂ්පාදන ගොවිපල තුලදී භාවිත කරන පොහොර, රසායනික යෙදුම්, කෘමි නාශක වැනි දේ හානිදායක වීමට ඉඩකඩ ඇති හෙයින් මිනිස් පරිභෝජනයට සුදුසු සේ සකස් කිරීම පිළිබඳ ගොවියා දැනුවත් කිරීම, ඒ දැනුම ක්‍රියාවට නැංවීමට හැකි පරිසරයක් ගොඩනඟා දීමත් කෘෂිකාර්මික විද්වතුන්ගේ වගකීමක් වේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුල දී ගොවියා දැනුමින්, අත්දැකීම් මඟින් මෙන්ම සම්පත් අතින්ද ශක්තිමත් වන්නේ ගොවියාට, ගොවිතැනට ලබාදෙන ශක්තිය මතයි. මෙසේ හෙයින් මිනිස් පරිභෝජනයට සුදුසු පොහොර භාවිතය, කෘමි උපද්‍රව වලදී ජෛව තාක්‍ෂණ ක්‍රමවේද මඟින් ශරීරයට, පරිසරයට හෝ කෘෂිකාර්මික පද්ධතියට හානි නොකරන පළිබෝධ විකර්ශක ක්‍රම පිළිබඳ දැනුමින් කෘෂිකාර්මික විද්වතුන් දැනුවත් වීමත්, ඔවුන් විසින් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් ලබාගන්නා දැනුම බිම් මට්ටමේ සිටින ගොවීන් වෙත ලබාදීමත් වහා සිදුවිය යුත්තකි. එය එසේ වන්නේ නම් පාරම්පරික ලෙසින් රටට, රටේ මනුෂ්‍ය ජාන පද්ධතියට, දේශගුණයට සරිලන ලෙසින් පවත්වාගෙන ආ දේශීය ගොවි කර්මාන්තය පිළිබඳ අධ්‍යයනය කරමින් ඒ දැනුම පවත්වාගෙන ආ පරම්පරාව ගොවි මහතුන්ගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් මෙම ගැලපෙන කෘෂිකාර්මික පද්ධතියක් ගොඩනැංවීම සමස්ත රටේම ආහාර සුරක්‍ෂිතතාවය ඉහළ නැංවීමට කළ යුතු මහඟුම කර්තව්‍යයයි. 

එසේම භාවිතා කරන පොහොර ,අපිරිසිදු ජලය ,මෙන්ම අහිතකර වූ කෘමිනාශක මගින් ආහාරයේ සුරක්ෂිත බව නැති වී යා හැකියි. එසේම ජලය අපිරිසිදු වීම නිසා මෙන්ම අනවශ්‍ය ලෙස බැක්ටීරියා වර්ග ,වයිරස් වර්ග , මෙන්ම වෙනත් දිලීර ආසාදන වලට ද ආහාරය ලක්විය හැකිවා මෙන්ම වගාවම විනාශ වීමට ද හැකියාව ලැබේ.එසේම ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක, කෘමිනාශක ආදිය අධික ලෙස භාවිතය ආහාර සුරක්‍ෂිත බව නංවාලීම සිදු නොවන බව අප තේරුම් ගත යුතු වන්නේ ඒවායේ අඩංගු ආසනික්, කැඩ්මියම්, ඊයම් වැනි බැර ලෝහ ආහාරයට මිශ්‍ර වීම මඟින් ආහාරය අපිරිසිදු වීම පමණක් සිදු වී මිනිස් ආහාර මාර්ග පද්ධතියට මෙන්ම අනෙකුත් මිනිස් අවයව වලටත් සිදු කරන හානිය හේතුවෙන් ආහාර සුරක්‍ෂිතතාව සම්පූර්ණයෙන්ම විනාශ වී දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ මෙන්ම පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා හේතු කාරක වීම නිසා මනුෂ්‍ය ජීවිත අසරණ තත්ත්වයට පත්වීමයි. 

එසේම නිෂ්පාදන ආහාරය කල්තබා ගැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේද හේතුවෙන්ද ආහාර සුරක්‍ෂිතතාව වැනසී තිබේ. එනමි කල්තබා ගැනීම සඳහා යොදන රසයානික ද්‍රව්‍ය, රසකාරක මෙන්ම වර්ණකාරක ප්‍රමිතියකින් තොරව භාවිතා කිරීමද ඉහත කී රෝගී තත්ත්ව වලට අත වනන තත්ත්වයකට පත්ව තිබේ. එසේම ඇසුරුම් කරණයේදී උෂ්ණත්වය/ වියලි බව/තෙත් බව නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්ද ආහාරයේ ගුණාත්මකභාවය විනාශවීමත් විෂ වීමත් දෙකම සිදුවිය හැකියි. 

නිෂ්පාදිත ආහාර පිළියෙල කිරීමේදීද නිසි පරිදි නොකිරීම ද ආහාරයේ පිරිසිදු බව නැතිකරලීමට හේතුවක් වේ. එසේ හෙයින් පිළියෙල කිරීමට පෙර පිළියෙල කරන්නා, පිළියෙල කරන ස්ථානය මෙන්ම භාවිතා කරන උපකරණද පිරිසිදුව තබා ගැනීම ආහාර සුරක්‍ෂිතතාවයට වැදගත් වේ. එසේ හෙයින් ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදු ජලයෙන් තෙවරක්වත් සේදීම, අවශ්‍ය නම් ලුණූ වතුරට කලවම් කර සේදීම, බීජ වර්ග පෙඟෙන්නට තැබීම හා පෙඟෙන අතරතුර තෙවරක් වත් සෝදා වතුර ඉවත් කිරීමත් ආහාර කල්තබා ගැනීමට යොදා ඇති දේවල් යම් පමණට හෝ ඉවත් කිරීමට පහසුවක් වේ. 

එමෙන්ම අමුවෙන් ආහාරයට ගන්නා පලාවර්ග පලතුරු වර්ග ආදිය හොදින් සේදීමත් සලාද වලට දෙහි එකතුකිරීමත් මගින් ආහාරයේ පැහැය ආරක්ෂා කල හැකිවා මෙන්ම එහි ගුනාත්මක භාවය වැඩි කිරීමට හැකියාවක් ලැබේ. එනම් ආහාරයේ ඇති යකඩ කොටස් උරාගැනීමට පහසු වන උත්ප්‍රේරකයක් ලෙස විටමින් C අඩංගු දෙහි ක්‍රියාකරන බැවිනි. එමෙන්ම ආහාර පිසගැනීමේදී ඒ ඒ ආහාරයට අවශ්‍ය උෂ්ණත්වය පිලිබදව  දැන සිටීමද ආහාරයේ සුරක්ෂිත භාව්යට වැදගත් වේ. එසේ හෙයින් ජලය නම් පිරිසිදු කිරීමේ දී නටන තුරු උතුරවා සිසිල් කර පානයට ගැනීමත් අනෙකුත් ආහාර පිසගැනීමේදී අවශ්‍ය පමනට පමණක් උයා ගැනීමත් පෝෂක ගුනා0ග මෙන්ම රසය පවත්වා ගැනීමට ද වැදගත් වේ. එසේම ආහාරයේ ගුණාත්මකභාවය පිසීම සඳහා උෂ්ණත්වය මෙන්ම, තෙල් එකතු කිරීම, කුළු බඩු එකතු කිරීම ආදිය මඟින් ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කල හැකියි. 

ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිලිබද තාක්ෂණික දැනුම ජනතාවට ලබාදීමත් සුලබ කාලවලදී ආහාර කල්තබා ගත හැකි ක්‍රමවේද නිසි පරිදි භාවිතා කිරීමත් මඟින් දුලබ කාල වලදී සිදු වන ආහාර හිඟතාවට පිළියමක් ලබාගත හැකියි. මේ අනුව වියලීම, ශීත කිරීම, සිනී යෙදීම, ලුණු යෙදීම, වැලි වල ගිල්වා තැබීම ආදී පාරම්පරික ක්‍රමවේද කිසිදු අහිතකර බවක් නොමැතිව ආහාර කල්තබා ගත හැකි ක්‍රමවේද වේ. එසේ හෙයින් නූතන පරම්පරාවට ඒවා පිළිබඳ දැනුම ලබාදීමත් ඒ සඳහා යොමු කිරීමත් මඟින් දුලබ කාල වලදී ආහාර හිඟතාවයට පිළියමක් යොදාගත හැකියි. එසේම එම ක්‍රමවේද නිසි තාක්‍ෂණික ක්‍රමවේද අනුව සිදු කිරීමට උත්සුක කිරීම මඟින් ආහාර සුරක්‍ෂිතතාවට පිළියමක් මෙන්ම ආර්ථිකයටද යහපත් අත්වැලක් වේ. 

පිසගන්නා ලද ආහාර පිසගත් විගස ආහාරයට ගැනීමටත්, පිසගත් ආහාර ආහාරයට ගන්නා තෙක් පිරිසදුව හා ආරක්‍ෂිතව තබාගැනීමටත් පියවර ගත යුතුය. එසේම ආහාරය අනුභවයට බෙදාගැනීමේදී කෑමට හැකි ප්‍රමාණය පමණක් බෙදා ගැනීමට පුරුදු පුහුණුවීම තුලින් ආහාර නාස්තිය අවම කරගත හැකිවේ. අවශ්‍යතාව හා ප්‍රමාණාත්මක බව පිළිබඳ වැටහීමක් ලබා ක්‍රියා කිරීමටත් පිඟන් පුරා ආහාර බෙදා කුණු කූඩයට හැලීමේ සම්ප්‍රදායෙන් ඉවත්වීම වහ වහා කළ යුතු වනවා පමණක් නොව කාර්යාලයට, වැඩ පලට කෑම රැගෙන යාමේදී කෑමට හැකි ප්‍රමාණයට පමණක් රැගෙන යාම තුලින්ද ආහාර අපතේ යාම වළක්වා ගැනීම අප සැමගේම වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ. එසේම අනවශ්‍ය ලෙස ආහාර තැන තැන ඉවත් කිරීම නිසා අනවශ්‍ය ලෙස කරදරකාරී සතුන් බෝවීම සිදු වීමෙන් ලෙඩ රෝග සෑදීම ඇති කිරීමේ අවධානමක් ඇති වේ. 

එසේම මුතුන් මිත්තන්ගෙන් පැවත එන මිටි හාල් කතන්දරයද අපිට ආහාර සුරක්‍ෂිතතාව මනාව පැහැදිලි කරයි. ගෙදර සිටින ගණනට අනුව අපතේ නොයන සේ ආහාර පිළියෙල කිරීම මඟින්ද ආහාර නාස්තිය අඩුකරවා ගත හැකිවා මෙන්ම ආර්ථිකයටද එය පිටුවහලක් වේ. එසේම ඉතිරි වන ආහාර පසුව ආහාරයට ගත හැකි ලෙස කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් භාවිතය මඟින් එනම් බත් වියලීම, වෙනත් ආහාර ශීතකරණයේ තැබීම මඟින්ද ආහාර නාස්තිය අඩුකරගත හැකියි. 

වෙළඳපල ආහාර සුරක්‍ෂිතතාවයේදී නිසි පරිදි ඇසුරුම් කිරීම, ගබඩා කිරීම පිළිබඳ දැනුවත් වීම වැදගත් වේ. කෘමින්ගෙන් සතුන්ගෙන් ආරක්‍ෂා වන පරිදි තබා ගැනීමත් එසේම විෂබීජ හෝ පුස් වැනි දිලීර ආසාදනයන්ට ලක් නොවන ලෙස තබාගැනීමත් වැදගත් වේ. මෙවන් අපිරිසිදු වන හෝ උවදුරුවලට ලක්වීම වළක්වා ගැනීමට ඇසුරුම් හා ගබඩා කරන ක්‍රම ශක්තිමත් කිරීම කල යුතු අතරම ඒ සඳහා රසායනික ද්‍රව්‍ය හෝ කෘමි නාශක යෙදීම මඟින් ආහාර සුරක්‍ෂිතතාව බිඳ වැටේ. මේ සඳහා පිරිසිදු බව නිරතුරු පවත්වා ගත හැකි ලෙස ඇසිරීමටත්, වියලිව තැබිය යුතු ඒවා ඒවාට සුදුසු පරිදිත්, තෙත් සහිත ඒවා ඒවාට සුදුසු පරිදිත් ගබඩා කිරීම ශීත කිරීමේදී පිසූ ආහාර හා නොපිසූ ආහාර එකට ගබඩා නොකිරීම එනම් මස් වර්ග, අයිස්ක්‍රීම් ආදිය එකට නොතැබීම කල යුතුයි. තෙත් සහිත පරිසරය හා වැඩෙන සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා ආහාර මත වර්ධනය වීම මඟින් බරපතල උදර රෝග තත්ත්ව ඇති වීම සිදුවිය හැකියි. 

එසේම වෙළඳපලදී පිසූ ආහාර අලෙවි කිරීමේදී අතින් නොඇල්ලීමත් ඒ සඳහා අඩුවක් භාවිතා කිරීමටත් අලෙවිකරුවන් දැන සිටිය යුතුවා මෙන්ම ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ද වැදගත් වේ. 

මෙසේ ආහාරයේ ගුණාත්මක බව සහ සෞඛ්‍යාත්මක බව සියලු අවස්ථා වලදී නිවැරදි ලෙස පැවතීම තුලින් මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේල් ගනනක් නිවැරදිව  ලැබීම තුලින් ආහාර සුරක්‍ෂිතතාව ඇති කල හැකි අතරම එය එක් පාර්ශවයකට පමණක් කල හැක්කක් නොවන හෙයින් නිෂ්පාදන, වෙළෙන්දා මෙන්ම පාරිභෝගිකයාටද ආහාර සුරක්‍ෂිතතාවයේදී හිමිව ඇති කාර්යභාරය මේ තුලින් පැහැදිලි වේ. 

එමෙන්ම ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා ආහාර පරීක්‍ෂකවරුන් මෙන්ම පාරිභෝගික අධිකාරිය මඟින්ද එක්වී ආහාර සුරක්‍ෂිතතාවේ පියවරයන් පිළිබඳව සොයා බැලීමේ අණපනත් ක්‍රියාත්මක කරමින් සිටින අතර වරින් වර සිදුකරන මැදිහත් වීම් තුලින් සෞඛ්‍ය තර්ජන සිදුවන අවස්ථා වලදී වැටලීම්, දැනුවත් කිරීම් මෙන්ම නීතය ක්‍රියාත්මක කිරීම් මඟින් ආහාර සුරක්‍ෂිතතාව නංවාලීමට කටයුතු කරනු ලබයි. 

රටක් ලෙස තිරසාර කෘෂිකාර්මික ප්‍රතිපත්ති හඳුන්වා දීමත්, කාලයට, දේශයට, පසට ගැලපෙන සේ හා දේශීය තාක්‍ෂණික දැනුම සම්පත් නිසි පරිදි කලමණාකරණය කරමින් රටට උචිත හා උනන්දුවක් ඇති වන පරිදි කෘෂිකර්මාන්ය නංවාලීමට අවශ්‍ය කටයුතු වහ වහා සම්පාදනය කිරීමත්, ආහාර වගා කිරීමේ සිට පරිභෝජනය දක්වා සියළු අවස්ථාවන් සඳහා සහනදායී සැලසුම් සහගත ක්‍රමවේදයන් පිළිබඳව අණපනත් මඟින් හෝ සජීවීකරණය කලහොත් ලංකාව වැනි සියළු සම්පත් වලින් ගහන වීමත් දරිද්‍රතාවය තුරන් වී ආහාර සුරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට ලඟා කර ගැනීමටත් අනාගත පරම්පරාව නිරෝගී සෞඛ්‍ය සම්පන්න බලගතු පරම්පරාවක් බවට පත්කර ගැනීමටත් හැකියාවක් ලැබේ. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ගර්භණීත්වය සහ අවදානම් සාධක කීපයක්…

මවක් වීම කාන්තාවකට සැබෑම ආශිර්වාදයක්. දරුවෙකු පිලිසිඳගත් නිමිත්ත දැන ගත් මොහොතේ පටන් පවුලේ සෑම දෙනාගේම අවදානය යොමු වෙන්නේ අම්මා වගේම දරුවාගේ ජීවිතය ගැන සුරක්ෂිතතාවය ගොඩ නැගීමයි.නමුත්…දරුවෙකු ගැබ් ගැනීමත් සමග ඇති අවදානම් සාධක ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්.

ගැබ් ගැනීමේ වයස

ප්‍රථම මල්වර වීමේ පටන් දැරියක් ගැබ් ගැනීමට ජීව විද්‍යාත්මකව සුදුසුකම් ලැබුවත් අඩු වයසේ දැරියන් දරු ප්‍රසුතිය සඳහා කායිකව සුදුසුකම් ලැබුවත් දරුවෙක් හදා වඩා ගැනීම වෙනුවෙන් වූ මානසික හැකියාව තුළ යම් පසුගාමිත්වයක් තිබේ. සම වයස් දැරියන් තවමත් විනෝදයෙන් සිටීම, සමාජයෙන් ඇති වෙන පීඩනය සහ අත්දැකිම් නොමැති කම නිසා බාල වයසේ මවක් වීම අනුමත කරන සිදු වීමක් නොවේ. බාල වයසේ මව්වරුන් දරු ප්‍රසුතියේදී විවිධ අවදානම් වලට ලක් වේ.

බාල වයසේ මව්වරු- Teenage pregnancy outcomes 

  • අඩු බර  සහිත දරු උපත්
  • ගර්භණීත්වයට අදාල සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව සිදු වෙන දරු උපත් preterm delivery ලෙසින් සැලකේ. 
  • රක්ත හීනතාවය
  • අධි රුධිර පීඩනය Gastational  hypertension ඇති වේ.
  • අධි රුධිර පීඩනය සමග  මුත්රා සමග ප්රෝටීන පිටවීමේ eclampsia සංකුලතාවයන්

වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවක් ගැබ් ගැනීමේදී ඇති වෙන සංකුලතාවයන් . Advanced maternal age

ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය කාන්තාවකගේ වෙනස්වීම් සිදු වෙන ලෙසින්ම වයස අවුරුදු 40 ක් පසුව කාන්තාවකගේ ඩිම්බවල සාරවත්බව ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. මදසරුභාවය සහ වර්ණදේහ විකෘතිතා සහිත දරුවන් උදාහරණ ලෙස Down”s syndrome බිහි වීමේ අවදානමක් ඇත. ඒ වගේම අඩු බර දරු උපත් ගබ්සා විම්, පසු ප්‍රසව රුධිරවහනය , මාතෘ මරණ වගේම දරුවා වැඩිහිටි වීමට පෙරාතුව මවගේ ස්වභාවික මරණය  ( වයස්ගත වීම ) සිදු වීම.

ගර්භණී අධි රුධිර පීඩනය- Gestational  hypertension

ගර්භණීත්වයෙන් සති 20 කට පමණ පසුව අධි රුධිර පීඩනය ඇති වෙනවා.   ගර්භණී අවස්ථාවේදී රුධිර පීඩනය ඇති වීම සාමාන්‍ය දෙයක් වුනත් එයින් කලලයට ඇති වෙන බලපෑම ගැනත් අවධානයෙන් සිටීම වැදගත්. නිදන්ගත අධි රුධිර පීඩනය ගර්භණීත්වයට පෙර හා පසුව තිබෙන තත්වයක් වුනත් අධි රුධිර පීඩනය නිසා ගර්භණී මව විවිධ සංකුලතාවයන්ට පත් වෙන්න පුලුවනි. 

  • දරුවාගේ වර්ධනය අඩාල වීම. ( IUGR ) (Intrauterine growth restriction සහ සති ගණන සම්පූර්ණ වීමට පෙරාතුව දරුවන් බිහි කිරීමට සිදු වීම. (preterm delivery)
  • වැදෑමහ ගැලවී යෑම (placental  abruption)
  • caesarean සැත්කම් මගින් දරුවා බිහි කිරීමට සිදු වීම.
  • මල දරු උපත්
  • මාතෘ මරණ

රෝග ලක්ෂණ

  • රුධිර පීඩනය වැඩි වීම
  • ඉදිමුම
  • ශරීර බර ඉතා ඉක්මනින් වැඩි වීම.
  • ඔක්කාරය සහ වමනය
  • දිගටම පවතින හිසරදය

අධි රුධිර පීඩනය නිසා අවදානම වැඩි වීමට බලපාන හේතු

  • අවුරුදු 20 අඩු  සහ වයස අවුරුදු 40 වැඩි මව්වවරු
  • වකුගඩු රෝග
  • නිදන්ගත අධිරුධිර පීඩනය
  • ත්රොම්බොෆීලියා තත්වය ( Thrombophilia )
  • නිවුන් දරු පිළිසිඳ ගැනීම
  • වැදෑ මහ විකෘතිතා
  • mවුලේ රෝග ඉතිහාසය

රෝග විනිශ්චය කර ගන්නේ කෙසේද…?

  • අවස්ථා දෙකකදී රුධිර පීඩනයේ අගය 140/90 mmHg අගයට වඩා වැඩි වීම.
  • මීට අමතරව මුත්රා සමග ප්රෝටීන පිටවීම–  මෙය pre eclampsia රෝග තත්වය ලෙසින් සැලකෙනවා.

HELLP  syndrome (hemolysis, elevated liver enzymes, and low platelets)

අක්මා එන්සයිම වැඩි වීම. රුධිර  පට්ටිකා අඩු වීම. රතු සෛල කැඩී ඇති වෙන රක්ත හීනතාවය යන ලක්ෂණ සියල්ල එකට ගත් විට  HELLP  syndrome ලෙස හැදින්වෙනවා . මෙය අවදානම් සහිත තත්වයක්.

අධි රුධිර පීඩනය නිසා නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සමග fit හෙවත් වලිප්පුව රෝග තත්වය eclampsia ඇති වෙන්න පුලුවනි. මෙයද අධි අවදානම් තත්වයක්.

ප්‍රතිකාර

  • කලලයට හානි නොවන අන්දමේ රුධිර පීඩනය අඩු කරන ඖෂධ ලබා දීම.
  • දරුවාට අවදානමක් ඇති අවස්ථාවලදී දරු ප්රසුතියට පෙරාතුව සිසේරියන් සැතaකමකින්  ( caesarean )  දරුවා ලබා ගැනීම.

රුධිරගත සීනි මටට්ම ඉහළ යෑම

කාන්තාවක් ගර්භණීත්වයට පත් වීමෙන් පසුව ඒ කාලසීමාව තුළ රුධිරයේ අඩංගු ග්ලුකෙසේ මට්ටම තාවකාලික ලෙසින් ඉහළ යෑම (Gestational Diabetes Mellitus) ලෙසින් හැඳින්වෙනවා.මේ තත්වය වැඩිහිටි වයසේ වැලඳෙන දියවැඩියාවට වඩා වෙනස්. ඊට හේතුව වන්නේ මේ දියවැඩියා රෝග තත්වය දරු ප්‍රසුතියෙන් පසුව නැවතත් සාමාන්‍ය තත්වයටප පත් වීමට ඉඩ තිබෙනවා. මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය හෝ ඉන්සියුලින් ස්‍රාවය අඩු වීම නිසා ඇති විය හැක.

ගර්භණි සමයේ දියවැඩියාව ඇති වීමට අවදානම් මව්වරු

  • ගර්භණී මවගේ ස්ථුලතාවය හෙවත් ශරීරයේ බර වැඩි වීම.
  • පෙර ගර්භණීත්වයේදී දියවැඩියා තත්වයට පත් වීම.
  • ජාන සම්බන්ධතාවය
  • පොලිසිස්ටික් ඩිම්බකෝෂ PCOS

රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ

ඔබ දියවැඩියා තත්වයට පත්ව සිටිනවාදැයි තහවුරු කර ගැනීමට සිදු කරන වෛද්‍ය පරීක්ෂණ කීපයක් තිබෙනවා.

  • සති 24 සිට 28 අතර කාලයේදී සිදු කරන  oral  Glucose tolerant test (OGTT) පරීක්ෂණය. මේ සඳහා මව පැය දහයක කාලයක් නිරාහාරව සිට Fasting blood sugar අගය ලබා ගනී. ඉන්පසු ජලය මිලිලීටර් 300 ක දියකර ගත් ග්ලූකෝස් ග්‍රෑම්  180 ක් පානයට ලබා දී පැයකින් සහ පැය බාගයකින් පසුව නැවතත් රුධිර පරීක්ෂාවකින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය මැන බැලීම සිදු වේ. එහිදි ලැබිය යුතු අගයන් මෙසේය.

මෙම පරීක්ෂනයේ සාමාන්‍ය අගයන්

  • නිරාහාර රුධිර පරීක්ෂාව  (Fasting blood sugar ) 100 අඩු <100 mg/dL
  • පළමු පැය -170 අඩු <100 mg/dL
  • පළමු පැය -140 අඩු <100 mg/dL

ගැබි ගෙන සති 12 කින් පසුව සිදු කරන PPBS රුධිර පරීක්ෂණය.ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසුව සිදු කරන පරීක්ෂනය

Gestational Diabetes ප්‍රතිකාර

මෙය ග්ලුකෝස් මට්ටම අනුව තීරණය වේ. ග්ලුකෝස් මටට්ම යන්තමින් වැඩි වී ඇති අයට සරල ව්‍යයාම සහ ආාහර පාලනය මගින් රෝගය පාලනය කෙරේ.ඉහත ක්‍රම මගින් පාලනය කළ නොහැකි මව්වරුන්ට ඖෂධ භාවිතා කෙරේ.මෙහිදී ‘‘ මෙට්ෆෝමින් ‘‘ ඖෂධය භාවිතා කෙරේ. පෙති මගිනුත් පාලනය කළ නොහැකි මට්ටමේ මව්වරු සඳහා ඉන්සියුලින් නික්ෂේපනය භාවිතා කෙරේ. රෝගය පාලනය වී ඇත්දැයි මසකට හෝ ඇතැම් විට සති දෙකකට වරක් ආහාරයට පැය දෙකට පසු රුධිර පරීක්ෂා ( blood sugar series ) වක් මගින් තහවරු කර ගත හැක.

ප්‍රසුතියෙන් සති හයකට පසුද blood sugar series කළ යුතුය.

ගර්භණීත්වය සමග ඇති වෙන දියවැඩියාව නිසා ඇති වෙන සංකුලතාවයන්

ගර්භණී කාලයේදී දියවැඩියාව ඇති සෑම මවක්ම සංකුලතාවයන්ට මුහුණ දෙන්නේ නැත. නිසි උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඉතා නිරෝගි දරුවන් බිහි කරන දියවැඩියා රෝග තත්වයට පත් මව්වරුන් සිටිති.නමුත් ඇති විය හැකි අවදානම් අවස්ථා කීපයක්ද තිබෙනවා.

  • දරුවාගේ බර වැඩිවීම නිසා සිසේරියන් සැත්කමක් හෝ අඬු භාවිතය.
  • නියමිත කාලයට පෙරාතුව බිහිවීම. .(preterm delivery )
  • මල දරු උපත් ඇති වීමේ අවදානම
  • නව ජන්ම ශ්වසන අපහසුතාවය (respiratory distress syndrome)
  • නව ජන්මයාගේ රුධිර ග්ලුකෝස් මටට්ම ඉතා පහළට යෑම (hypoglycaemia )
  • මවට නිදන්ගත දියවැඩියාව ඇති වීමේ හැකියාව  ( type 2 diabetes )
  • විකෘති දරු උපත්  (birth defects )

කල් ඉක්මවූ දරු උපත් සිදු වීම.

ගර්භණිත්වය ඔබේ අවසාන ඔසප් වූ දිනයේ පටන් දින 280 ක කාලයකදී සිදු විය යුතුය. අදාල දිනට වඩා වැඩි කාලයකදී දරු උපත සිදු නොවුනේ නම් එය කල් ඉක්ම වූ දරු උපතක් ලෙස සැලකේ. මෙහිදී දරුවාගේ චලනය වීමේ ක්‍රියාවලිය සහ හෘද ස්පන්ධනය පිලිබඳව නිරතුරුව පරීක්ෂා කිරිම සිදු වේ.

දරුවා තට්ටමෙන් සිටීම

ගර්භණී සමය අවසාන වෙන විට දරුවා සිටින්නේ පාද ප්‍රමුඛව තම සිරුර පහලට සිටින සේ නම් එය තට්ටමෙන් පිහිටීම breech position  ලෙස හැඳින්වේ. මෙහිදී වෛද්‍යවරුන් විසින් දරුවාගේ හිස පහලට සිටින සේ (External cephalic version-ECV)  සුදානම් කිරීම සිදු වේ.මේ ක්‍රියාවලිය නිසා සාමාන්‍ය දරු උපතක් වෙනුවෙන් සූදානම් කිරීමට හැකි වුනත් එය සාර්ථක නොවුනහොත් වෛද්‍යවරයා විසින් Vaginal breech birth  හෝ සිසේරියන් සැත්කම වෙනුවෙන් තීරණයක් ගනු ලැබේ.

මේ අනුව බලන විට මවක් වීම කාන්තාවකට ආශිර්වාදයක්  වුනත් දරුවෙකු පිලිසිඳ ගැනීමේ නිමිත්තේ පටන් දරුවා මොලොව එළිය දකින තෙක් ඇය ගෙවන්නා වූ අවදානම් සහිත කාලපරිච්චේදයේ සංකුලතාවයන් ගැනත් දැණුවත්ව සිටීම අනාගතයේ මවක් වීමට පෙරුම් පුරන සෑම කාන්තාවකට ඉතා වැදගත් වෙනවා.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිළධාරී තරංග හේරත් 

(ප්‍රසව හා නාරි )

කෑගල්ල මහ රෝහල

 

 

ස්වයං පියයුරු පරීක්ෂාව ගැන ඔබ දැනුවත්ද?

රටක පැවැත්ම උදෙසා පවුලේ කාර්යභාරය උසුලන්නී රටේ ජීවනාලීය කාන්තාවයි. බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙසින් මහඟු වූ කාර්යයක් ඉටු කරමින් පවුලේ අවශ්‍යතා සොයා බලමින් සියලු කාර්යයන් මනාව කළමණාකරණය කරමින් පවුලක අභිවෘද්ධිය සලසාලන අතරම සමාජය හා ගැටෙමින් සියලු කරදර බාධක ජයගැනීමට පවුල මෙහෙයවීමේ කටයුත්ත ඉටු කරනු ලබන්නේ කාන්තාවක විසිනි. 

එවැනි වූ කාර්යභාරයක් උසුලන කාන්තාව වයසින් මුහුකුරා යත්ම විවිධ වූ ලෙඩ රෝග වලට ලක්වීමේ නැඹුරුතාවයක් දක්වයි. එසේ වීමට බොහෝවිට හේතු පාදක වන්නේ කාන්තා ශරීරයේ සමතුලිතභාවයට නිරෝගී සෞඛ්‍යයට බලපෑම් එල්ල කරනු ලබන හෝමෝන යාන්ත්‍රණය අඩුවීමයි. මෙසේ හෙයින් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, අධික ස්ථූලතාව මෙන්ම පිළිකා තත්ත්වයන් කරා ලඟාවීම වයසින් මුහුකුරා යත්ම දක්නට ලැබේ. එසේම පිළිකා රෝග සම්බන්ධව සලකා බැලීමේදී කාන්තාවන් අතර බහුලතම පිළිකා රෝග වන්නේ පියයුරු පිළිකා හා ගැබ් ගෙල පිළිකාවයි. එසේම කල්තියා හඳුනාගැනීම මඟින් රෝගී තත්ත්වය වැඩි දියුණු වීම වළක්වා ගත හැකි හෙයින් මෙම රෝගී තත්ත්වය පාලනය කරගැනීමට අවස්ථාව ලැබේ. එසේ හෙයින් කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති වුවද රෝග හඳුනා ගැනීමේ ක්‍රමවේද භාවිත කිරීමෙන් වෙනත් පිළිකා තත්ත්වයනට වඩා පහසුවෙන් මෙම පිළිකා වළක්වා ගත හැකි වේ. 

ගැබ් ගෙල පිළිකාව සඳහා ප්‍රථම ලිංගික එක්වීමට පෙර හියුමන් පැපිලෝමා වෛරසය සඳහා එන්නත් ලබාදීමට හා ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කළ සෑම කාන්තාවක්ම ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කල පසු සෑම වසර 5 කට වරක් පැප් පරීක්‍ෂණය සිදු කරවා ගැනීම මඟින් පිළිකා සෛල ඇති වීම කල්තියා හඳුනා ගැනීමට මෙන්ම ප්‍රතිකාර සඳහා මුල් අවස්ථාවේදීම යොමු වීමට හැකි වීම තුලින් ගැබ් ගෙල පිළිකා අවධානමින් මිදිය හැකි වේ. ගැබ්ගෙල පිළිකා සඳහා ඇති එකම හා හොඳම පරීක්‍ෂණය පැප් පරීක්‍ෂණය වේ. 

එමෙන්ම පියයුරු පිළිකා සඳහාද ඊස්ට්‍රජන් හෝමෝනය බලපෑමක් සිදුවන බවට වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇති හෙයින් සෑම කාන්තාවක්ම තම වයස අවුරුදු 20 සිටම පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුතු වේ. 

ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරගත යුත්තේ කවුරුන්ද?

  • මෙය වසය අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම
  • ලිංගික හෝමෝන සක්‍රීයව පවතින සමයේ පසුවන එනම් මාසික ඔසප් වීම සිදුවන කාන්තාවන් මාසික ඔසප් වීම සිදුවී දින 7 – 10 ත් අතරදී
  • ආර්තවාහරණයට (Menopause) එනම් ඔසප් වීම නතර වී ඇති කාන්තාවන් සෑම මසකම නියමිත දිනයකදී 

පියයුරු පරීක්‍ෂාව කළ යුත්තේ කෙසේද?

  • පියයුර නිරීක්‍ෂණය කිරීම (කණ්ණාඩියක් ඉදිරිපිටදී)
  • පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම (ඝර්ෂණය මඟින්)

පියයුර නිරීක්‍ෂණය කිරීම

  • මේ සඳහා සුදුසු ස්ථානයක් (නාන කාමරය හෝ කාමරයේ කණ්ණාඩිය ඉදිරිපස වඩාත් සුදුසු වේ) තෝරා ගන්න.
  • උඩුකය ඇඳුම් ඉවත් කරගෙන කණ්ණාඩියක් ඉදිරියේ සිට ගන්න. එසේ සිට,
  • දෑත් දෙපසට සිටින සේ සෘජුව තබාගන්න
  • අත් දෙකම ඉහළට ඔසවන්න
  • අත් දෙක ඉණ මත තබාගෙන මඳක් ඉදිරියට නැමෙන්න

මේ ඉරියව් වලදී පියයුරු වල මීට පෙර නොදුටු වෙනස්කමක් ඇත්දැයි නිරීක්‍ෂණය කරන්න. එහිදී,

  • පියයුරු වල ප්‍රමාණයේ හෝ හැඩයේ වෙනස්කමක් හෝ අසමමිතික බවක් (ලඟදී ඇති වූ) ඇත්ද? 
  • පියයුරු වල සමේ වර්ණයේ වෙනසක්, ගැටිත්තක්, ගෙඩියක් හෝ ඉදිමුමක් ඇත්ද ඒවා වේදනා රහිතද?
  • පියයුරේ මතුපිට සම දොඩම් ලෙල්ලක් මෙන් ඝන ස්වභාවයක් වේද?
  • ලඟකදී ඇති වූ පියයුරේ වල කැසීමක් වේද?
  • මෑතකදී තන පුඩුව ඇතුලට ගිලී යාමක් සිදුව ඇත්ද?

මේ ලෙසින් දෑසට දැකිය හැකි වෙනස්කම් කලින් නුදුටු ලඟකදී ඇති වූ ඒවා තිබේදැයි නිරීක්‍ෂණය කරමින් එම නිරීක්‍ෂණය තුලින් දැකිය හැකි වෙනස්කම් හඳුනා ගන්න. 

පියයුර අතින් අල්ලා පරීක්‍ෂා කිරීම 

මෙය ඇඳක නිදා සිටින අයුරින්/වැතිරී සිටින ලෙසින් හෝ නාන කාමරය තුල ස්නානය කරන විට හෝ සිදු කළ හැකිය.

ඇඳක වැතිරී පියයුරු පරීක්‍ෂාව කරන අයුරු

  • ඇඳ මත උඩු අතට දිගාවෙන්න
  • පරීක්‍ෂා කරන පැත්තේ උරහිසට යටින් පැතිලි කොට්ටයක් හෝ ඝනකම් ලෙස නවාගත් බෙඩ් ෂීට් එකක් තබන්න. 
  • පරීක්‍ෂා කරන පැත්තේ අත්ල මත හිස තබා විරුද්ධ අතින් පියයුර පරීක්‍ෂා කරන්න. මෙවිට වම් අතින් දකුණු පියයුර ද දකුණු අතින් වම් පියයුර ද පරීක්‍ෂා කරන්න. 
  • අතේ ඇඟිලි එක්කොට ඇඟිලි වල ඇතුල් පැත්තේන් පියයුර මත පැතලි ලෙස තෙරපීම් පපු කුහරයට තද වන සේ කරමින් පරීක්‍ෂා කරන්න. එවිට 
  • පියයුරෙහි ගැටිති
  • සමට යටින් තද ගතියක්
  • වේදනාවක්

ඇත්දැයි බලන්න. එසේම පියයුරේ සෑම කොටසක්ම පරීක්‍ෂාවට හසුවන සේ එක් තැනකින් පටන් ගෙන ඔරලෝසු මුහුණතක කටු දිවෙන ආකාරයට රවුමෙන් රවුමට පියයුරේ පිටත සිට තන පුඩව දක්වා හොඳින් පරීක්‍ෂා කරන්න. කිසිදු විට ඇඟිලි එක්කර මිරිකමින් පරීක්‍ෂා නොකරන්න. මෙම පරීක්‍ෂාවේදී සැහැල්ලු බවෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් තද කරමින් පියයුර උරස් බිත්තිය දක්වා වඩාත් තද කරමින් පරීක්‍ෂා කරන්න. 

අනතුරුව මහපටඟිල්ල හා දබරඟිල්ල මඟින් පියයුරේ කළු කොටස එනම් ඇරියෝලාව මිරිකා බලන්න. අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවේ දැයි බලන්න. පසුව වම් අතින් දකුණු කිහිල්ලත් දකුණු අතින් වම් කිහිල්ලත් හොඳින් පරීක්‍ෂා කරන්න. ගැටිති ඇති දැයි විමසිලිමත් වන්න. 

මෙසේ පියයුරු තමන් විසින් පරීක්‍ෂා කරගැනීම එනම් ස්වයං පියයුරු පරීක්‍ෂාව කර ගැනීමෙන් තමන්ටම පියයුරු වල අසාමාන්‍යතාවයක් ඇත්නම් හඳුනා ගත හැකියි. 

එසේම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල පැවැත්වෙන සුවනාරී සායනයේදී, ප්‍රසව හා නාරී වේදීය විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රෝහලක නාරිවේදීය සායනයේදී හෝ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ලවා හෝ සැකයක් ඇති ඕනෑම අවස්ථාවක ඕනෑම කාන්තාවකට පියයුරු පරීක්‍ෂාවක් සිදු කරවා ගත හැකිවා මෙන්ම පුද්ගලික වෛද්‍ය ආයතන හෝ පුද්ගලික රෝහල් මඟින් ද රජයේ ඕනෑම රෝහලක බාහිර රෝගී අංශයේදී වුවද සැකයක් ඇති වූ ඕනෑම අවස්ථාවක ඔබට වෛද්‍ය උපදෙස් පැතිය හැකියි. එමෙන්ම අවශ්‍යතාව අනුව අදාල සායන වෙතට එනම් ලඟම රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමු කර ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගනු ලබනවා. 

මෙසේ හෙයින් පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ උදව් ලබාගැනීම මඟින් ඔබට ඔබගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගත හැකි සෞඛ්‍ය පද්ධතියක් පැවතීම අපේ වාසනාවයි. මේ නිසා ඔබටත්, ඔබගේ දෙමාපියන්, දරුවන් වෙනුවෙන් මේ සියළු සෞඛ්‍ය පහසුකම් සලසා ගනිමින් නිරෝගීතාවය අත්විඳීමට කාන්තාවකට ලැබෙන අවස්ථාව සමස්ත පවුලේ අභිවෘද්ධියට හේතු වනු නොඅනුමානයි. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල