Home Blog Page 122

ළමයි බයයි බෙදාගන්න – ඒත් ඕනේ හුරුකරන්න

හුවමාරු කරගන්න,බෙදාගන්න ඉගෙනගැනීම පුංචි දරුවන්ට ඇත්තටම ලොකු අභියෝගයක්.නමුත් එය ළමා කාලය තුලදී දරුවන් පුහුණු කරගත යුතු අත්‍යවශ්‍ය පුරුද්දක්.ඇතිතරම් කාලය දෙමින්,ඇතිතරම් දේවල් ලබාදී ඔබට දරුවාට බෙදාහදාගැනීම පුරුදු කරන්න පුළුවන්.ප්‍රශංසාව සහ දිරිගැන්වීමෙන් දරුවකුගේ යහගුණ වර්ධනය කරගන්න හැකි බව ඔබ දන්නවද?

ඇයි බෙදාහදා ගන්න එක ඔච්චරටම වැදගත් ?

බෙදාගැනීම කියන්නේ හුඟක් වැදගත් හැකියාවක්.දරුවන්ට යුහුසුළුව මිතුරන් හා සබඳතාවන් ගොඩනගා ගැනීමට,පවත්වාගෙන යාමට ඉන් ලැබෙන්නේ ලොකු උදවුවක්.ඔබේ දරුවා සමාජගත වන පළමු පියවර වන පෙර පාසල,පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුලදී අනෙක් දරුවන් හා සෙල්ලම් කරන්න,සුහදශීලි වෙන්න නම් මේ බෙදාහදා ගැනීම හරිම වැදගත්.

බෙදාගැනීම දරුවන්ට තමන්ට ඇතිවන ඕනෙම ගැටලුවකදී හොඳ සම්මුතියකට එළඹෙන්න ස්ථාවර අඩිතාලමක් දාලා දෙනවා.මූලිකවම ඔවුන් ඉගෙනගන්නේ අප ලබාදෙන යම් කුඩා දෙයක් වේද..පෙරලා අපට ඉන් ප්‍රතිඵල ලැබෙනවා කියලයි.ඒත් මෙහි පැති කිහිපයක් තියෙනවා.මවක්,පියෙක්,ගුරුවරයෙක්,වැඩිහිටියෙක් විධියට අප මෙහිදී කියාදිය යුත්තේ අප කරන ඕනෑම අයහපත් දෙයක් හෝ යහපත් දෙයක් හෝ වේවා ඉන් පෙරලා අපට හොඳ හෝ නරක ප්‍රතිපල ලැබෙන බවත් නරක දේවලින් ලැබෙන්නේ නරක බවත් හොඳ දේවලින් ලැබෙන්නේ හොඳ බවත්ය.බෙදාගැනීම තුල ළමුන් අන් අය  සමඟ කතාකරන්නේ කොහොමද? හිත නොරිදවා වැඩ කරන්නේ කොහොමද?සහයෝගය කියන්නේ මොකක්ද?සහයෝගෙන් එකට එකතුවෙලා වැඩ කරන්න ඕනේ කොහොමද කියන දේවල් ඉගෙනගන්නවා.එය වැඩිහිටි අපට හොදින්ම පෙනෙන්නේ ළමයා දිනෙක අප මෙන්ම වැඩිහිටියෙක්,මවක්,පියෙක් වූ දවසටයි.මෙය ඇත්තටම ජිවන කුසලතාවයකි.

බෙදාගන්න ඉගෙනගන්න දරුවාට උදවු කරන්න

දෙමව්පියන් කරන කියන හැම දෙයක්ම ඒ දෙස බල සිටින දරුවන් ද ඉගෙන ගන්නා බව මෙතැනදී මතක තබගතයුතුම වැදගත්ම කරුණයි.යහපත් බෙදාගැනීම තුල ඔබේ ක්‍රියාකාරකම්,සිතුවිලි හඳුනාගන්න ඔබේම දරුවා ඒවා පහසුවෙන්ම ග්‍රහණය කරගන්නවා.බෙදාගන්න ඉගෙනගන්න හොඳ ක්‍රම ටිකක් තමයි මේ.

බෙදාගන්නා අවස්ථා ගැන දරුවා දැනුවත් කරන්න,අගයන්න.අන් දරුවන් ද එසේ කරන විට එය අගයන්න.ඔයාගේ යාළුවා එයාගේ සෙල්ලම් බඩු අනික් අයටත් දෙනවා.එහෙම අනික් යාළුවොත් එක්කත් බෙදාගෙන වැඩකරන එක කොච්චර හොඳ දෙයක්ද? කියලා දරුවාට ඇහෙන්න කියන්න.

ළමයි ගොඩාක් වෙලාවට බෙදාගන්න බයයි.දුන්නොත් ආපහු දෙන එකක් නැතිවෙයි.නැතිවුනා කියල අම්ම බනියි.ඒක කාටවත් දෙන්න නෙමෙයි අම්මා මට දුන්නේ.ඒක මගේ විතරයි.කියල පොඩි කාලෙදිම එයාල ආත්මාර්ථකාමී ව හිතන්න ගන්නවා.ඒක ඇතිවෙන්නේ බයකුත් එක්ක.ඒ නිසා ලොකු වුනාමත් හැමදෙයක්ම තමන් සතු කරගන්න,අනික් අයටත් නොදී ඉන්න,කොටින්ම කිව්වොත් බෙදාගන්න නෙමේ බදාගන්නයි ඔවුන් පුරුදුවෙන්නේ….ඒ නිසා ඔවුන් තමා සතු දේවල් නැති අයකුට දුන්නොත්,හුවමාරු කරගත්තොත් මාපියන් හැටියට ඔබ කල යුතුම දෙය ඔවුන්ව අගයන එකයි.

මෙතැනදී අනිකාටත් ඉඩදීම කියන සංකල්පයත් මතුවෙනවා.බෙදාගන්නවා කියන්නේ සාමුහික බවේ ලක්ෂණයක්.ඔබට දරුවා සමඟ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.බිල්ඩින්ග් බ්ලොක්ස් අරගෙන මුලින්ම ඔයාගේ වාරය.ඊලඟට මගේ වාරය…අපි හැමතිස්සෙම අනික් අයටත් තැන දෙන්න ඕනේ කියමින් සෙල්ලම් කරන්න.එකවගේ සෙල්ලම් බඩු කිහිපයක් ගන්න ඔබට ඒවා නැති බව පවසන්න.දරුවා සතුව එවැනි සෙල්ලම් බඩු ගොඩාක් තියෙන බවට හඟවන්න.එහෙනම් නැති කෙනෙක්ට තමන් ළඟ තියෙන දෙයක් දෙන එකේ වටිනාකම කියල දෙන්න ඔබට මින් පුළුවන් නේද? “ඔයාගේ රතු පාට බිල්ඩින්ග් බ්ලොක්ස් මට දෙන්න..මගේ කොළ පාට බිල්ඩින්ග් බ්ලොක්ස් දෙන්නම් ඔයාට” මේ වගේ සහයෝගය පෙන්වන ක්‍රියාකාරකම් නිතර දරුවාට ඇහෙන්න දකින්න සලස්වන්න.දරුවා පෙර පාසලට යන්න කලින් බෙදාගැනීම තුල ඇති වැදගත්කම පහදන්න.යාලුවෙක් පැන්සලක් ඉල්ලුවොත් ඔයාට  තියෙන්නේ එක පැන්සලක් නම් පුළුවන් න, පැන්සල දෙකට කඩා හරි කොටසක්  යාළුවාට දෙන්න තරම් ඔයා කරුණාවන්ත වෙන්න .ඔයාට වැඩිපුර තියෙන දෙයක් යාළුවාට නැත්නම් එයාට ඕනේ වේලාවකදී දෙන්න.මේවගේ දේවල් දරුවාට තේරෙන විධියට ඉතා සරලව පැහැදිලි කරන්න ඔබට පුලුවන්.

ඔබේ දරුවා බෙදාගැනීමට අකමැත්තක් දක්වයි නම්


මුලදී බෙදාගැනීම අභියෝගාත්මක විය හැකියි.මේ හැකියාව වර්ධනය කරගන්න බොහෝ දරුවන්ට යම් සහයෝගයක් සහ ඇගයීමක් අවශ්‍යමයි.ඔබේ දරුවා බෙදාගන්න අකමැතියි නම් නිවසේදී පුංචි ක්‍රියාකාරකම් ඒ සඳහා ඔබට කල හැකියි.උදාහරණයක් විධියට “අපි මේ පලතුරු බෙදාගමු ද? කෑල්ලක් මට කෑල්ලක් ඔයාට”…මේ විධියට බෙදාගැනීම ටික ටික පුරුදු කරන්න ඔබට පුළුවනි.බෙදාගන්න කැමති නැහැ කියලා දරුවා ව සෙල්ලමට නොයවා ඉන්නත් එපා.බෙදාගන්න එක කොච්චර වටිනවද කියල උගන්නන්න  අන් දරුවන් එක්ක ක්‍රියාකාරකම් වල නිරත වීම ම අවස්ථාවක් කරගන්න.

බෙදාගැනීමට දරුවන් හුරුවන විවිධ වයස් ඛාණ්ඩ

ළදරු අවධිය :

මුල් අවුරුදු තුන ඇතුලත ඇත්තෙන්ම කිසිම දරුවෙක් දන්නේ නැහැ බෙදාගෙන වැඩකරන්න ඕනෙද නැද්ද කියලවත්.ගොඩක් වෙලාවට මේ වයස්වල දරුවන් හිතන්නේ ඔවුන් ලෝකයේම ඉන්න ප්‍රධානියා කියලයි.ඔවුන්ට තමයි හැමදෙයක්ම අයිති කියලයි.මේ කාලයේදී බෙදාහදා ගන්න එකට දරුවා ව දිරිමත් කිරීම වටිනවා.

අවුරුදු 3 ඉඳලා ගොඩක් දරුවන් තේරුම්ගන්නවා ගනුදෙනු කරන්න ඕනේ කියල.නමුත් ඔවුන් අන් අය සමඟ  බෙදාගන්න කියන සංකල්පයට  තවමත් සම්පූර්ණයෙන්ම නම් සූදානම් නැති බව වැඩිහිටි අප  මතකයේ තියාගන්න ඕනේ.ඔබේ දරුවා කැමති යමක් තවත් අයකු ළඟ තිබේ නම් එය ලැබෙන තුරු ඉවසන්න ත් දරුවන් ටික ටික ඉගෙනගන්නේ මේ කාලයේදී.ඒ තුල සුහදව  ගනු දෙනු කරන්නේ කොහොමද කියල ගුරුවරයා දරුවන්ට කියා දීම වැදගත්.මන්ද පාසල් කාලයේදී දරුවන් ලඟින් ඉන්නේ දෙමාපියන් නොව ගුරුවරුන් නිසා.

පෙර පාසල් අවධිය :

මේ කාලයේදී තමයි දරුවන් සම්පූර්ණයෙන්ම වගේ බෙදාහදාගැනීමේ සංකල්පයට ප්‍රවිෂ්ට වෙන්නේ.ඒ නිසා විවිධ සාමුහික ක්‍රියාකාරකම් මෙහිදී ඔවුන්ට ලබාදීම ගුරුවරයාගේ වගකීමක්.ඒ තුල හැමදේම තනිව කල නොහැකි බව,අන් අයගෙත් උදවුව කොතනකදී හෝ අවශ්‍ය බව,සාමකාමිව,සුහදව,අන්‍ය මත ගරුකරමින්,එකට එක්ව,එක අරමුණක් ඇතුව,සහයෝගයෙන් වැඩ කරන්න,අනික් අයට උදව් කරන්න,අනික් අයත් කියන දේවල් අහන්න දරුවා ක්‍රමයෙන් ඉගෙනගන්නවා.ඒ තුල අනාගත යහපත් නායකයන් පවා බිහිවේවි.

පාසල් අවධිය :

මේ කාලයේදී දරුවා ඉවසීමට පුරුදුවෙනවා.මා ඉහත කී කරුණු මනාව පුහුණු කල දරුවකුට පාසල යන සමාජයට එකතු වීම එතරම් අපහසු නැහැ.යහළුවන් ඇතිකරගන්න,සතුටින් ඉගෙනගන්න,සුහදව ඉන්න,උදවු කරන්න… බෙදාගැනීම හොඳින් පුරුදු වුනු දරුවකුට හුඟාක් පහසු දේවල්.මෙය දරුවා වැඩිහිටියෙකු වූ පසුවත් ඔහු හෝ ඇය සමඟ ගමන් කරාවි. ඒ නිසා දෙමව්පිය,වැඩිහිටි ඔබ අප හැමෝම දරුවාට බෙදාගැනීම පුරුදු කල යුතුයි.අද සමාජය ගොඩක් ඉන්නේ ගන්න මිසක් දෙන්න නෙමේ.මේ සිතුවිල්ල මත අද ලෝකය කෙතරම් අයහපත් වී තිබේදැයි ඔබටම පෙනෙනවා ඇති නේද?

ඔබේ දරුවාගේ හිසරදය දරුණු රෝගයක, ලක්ෂණයක් විය හැකියි

“අනේ අම්මා ඔලුව රිදෙනවා”

“බොරු කියන්නෙ නැතිව ඉන්න ළමයෝ ”

“නැහැ අම්මා ඇත්තමයි.”

බොහෝ විට දරුවෝ හිසරදය යැයි පවසන විට අපි දක්වන්නේ එවැනි ප්‍රතිචාරය. එහෙත් හිසරදය කියන්නෙ වැඩිහිටියන්ට පමණක් හැදෙන රෝගයක් නම් නොවේ. ළමා රෝග සායනවලට පැමිණෙන දරුවන් අතර බහුලව පවතින තවත් රෝගයක් ලෙස හිසරදය හැඳින්විය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය. වයස අවුරුදු පහට වඩා අඩු කුඩා දරුවන්ද හිසරදයෙන් පීඩා විඳින අවස්ථා ඇත.එහෙත් තමන්ට දැනෙන මේ වේදනාව වැඩිහිටියන්ට ප්‍රකාශ කරන්නට පුංචි පැටවුන්ට තේරුමක් නොමැති නිසා ඔවුන් නිතර හැඬීම හා නුරුස්නාගතියෙන් පසුවීමකුත් දකින්නට හැකිය.අදහස් ප්‍රකාශ කළ හැකි වයසේ දරුවො නම් තමන්ට හිසරදය ඇති බව වැඩිටියන්ට ප්‍රකාශ කරයි.

හිසරදය ඇති වන්නේ එක හේතුවක් නිසා නම් නොවෙයි. දරුවන්ට හිසරදය ඇති වන්නට හේතු කාරණා කිහිපයක්ම ඇත. ඒ අනුව  හිසරද මෙසේ වර්ග කළ හැකිය.

  • ආතතිය නිසා ඇති වන හිසරදය (Tension type headache)
  • ඉරුවාරදය (migraine)
  • කෝඨර ප්‍රධාහය නිසා ඇතිවන හිසරුදාව (sinusitis)
  • ඩෙංගු උණ සමග ඇති වන තද හිසරදය
  • ඇස් ආබාධයන් නිසා ඇති වන හිසරදය.
  • මොළයට විෂ බීජ ඇතුල් වීම හෝ මොළයේ පිළිකා හෝ ගෙඩි හටගැනීම නිසා ඇති වන හිසරදය.
ආතතිය නිසා ඇති වන හිසරදය

දරුවකුට නීරෝගීව වැඩීමට නම් කායික මෙන්ම මානසික වශයෙන් නිදහස් බාවයක් අවශ්‍යවේ. එහෙත් අද අධ්‍යපන රටාව අනුව දරුවන්ට ඇත්තේ විභාග පසු පස හඹා යාමේ දැවැන්ත සටනකි. පාසලින් නිවසටත් නිවසින් උපකාර පන්ති වෙතත් දිව යන දරුවන්ට ස්වභාව ධර්මය විඳගන්නටත් එහි සැරිසරන්නටත් කාලවේලාව අහිමිව ඇත. ඇතැම් දරුවන් විභාගයට ඇති බිය නිසා මානසික ආතතියට ලක් වේ. තමන් බලාපොරොත්තු වන පරිදි ලකුණු ලබා ගත හැකිවේද? සමත්වන්නට හැකිවේද? යැයි අනවශ්‍ය ලෙස බියට පත් වීම එයට හේතුවයි. එසේම දෙමාපියන්ගේ කාර්්‍යය බහුලත්වය නිසා දරුවන් සමග ගත කරන්නට, ඔවුන්ට සවන් දෙන්නට කාල වේලාවක් නොමැති වීම නිසා හුදකලා වීම නිසාවෙන්ද දරුවන් ආතති හිසරදයට ගොදුරු වේ. බොහෝ විට ආතති හිසරදයට ගොදුරුවන්නේ ගැහැණු දරුවන්ය.

ආතති හිසරදය ඇති විට දක්නට ලැබෙන ලක්ෂණ

  • නිතර නිතර හිසරදය ඇති වීම
  • පාසල් කටයුතු අඩාල වීම,
  • පාඩම් අමතක වීම
  • අධික තරහා ඇතිවීම
ආතති හිසරදය සඳහා ප්‍රතිකාර

දරුවන්ට ඇති වන ආතති හිසරදයට බොහෝ විට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත. ආතති හිසරදයට හේතු වූ කාරණය සොයාගෙන එයට පිළියම් යෙදීම තුලින්ම මෙම තත්ත්වයෙන් දරුවන් මුදාවා ගතහැකිය.

  • දරුවාගේ පාසල් වැඩවලට හැකි පමණ උදව් කිරීම
  • දරුවා වෙනුවෙන්ම දවසට පැය කිහිපයක් වෙන්කිරීම
  • දරුවාට සවන්දීම
  • අත්‍යාවශ්‍යම උපකාර පන්ති වලට පමණයක් යැවීම
  • විනෝදවන්නට සෙල්ලම් කරන්නට ඉඩ කඩ ලබා දීම
  • විභාගය සිතට බරක් නොකර ගෙන පාඩම් කරන ලෙස දරුවාට උපදෙස් දීමට
ඉරුවාරදය (migraine)

ඉරුවාරදය හෙවත් මිග්්‍රරේන් යනුවෙන් හඳුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. හිසේ එක් පැත්තක පමණක් ඇති වන  ඉරුවාරදය බොහෝ විට තද හිරු එළියට නිරාවරණය වීම නිසා ඇති විය හැකි බව සත්‍යයක් වුවද හිරු එළියට නිරාවරණය නොවී වුවද ඉරුවාරදය  ඇති විය හැකිය. ඉර අව්වට නිරාවරණය වීමත් සමග ඉතා ඉක්මණින් උත්තේජනය වන ආකාරයේ ලක්ෂණ පෙන්වන හෙයින් ඉරුවාරදය ලෙස හඳුන්වන හිසරදය  මොළය තුල රසායනික ක්‍රියාකාරීත්වයෙ වෙනස්කම් නිසා ඇති වන තත්ත්වයකි. ඉරුවාරදය දරුවකුට වැළඳුන විට ඉතාමත් අධික ලෙස දැනෙන හිසේ වේදනාව නිසා ඔවුන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු මෙන්ම අධ්‍යපන කටයුතු අඩපණ වේ.

ඉරුවාරදය නිසා හටගන්නා වේදනාව ඇති වීමට පෙර පූර්ව රෝග ලක්ෂණ පහල විය හැකිය.
  • තරු වැනි ආලෝකධාරා පෙනෙන ස්වරූපයක් දැනීම
  • අසාමාන්ය  ගඳ හෝ සුවඳ වර්ග දැනීම
  • අධික ඈණුම් යෑම
  • අකුරු ඇදවී මෙන් පෙනීම
  • කතාවේ වෙනසක් සිදු වන බව දැනීම
  •  තමන්ට අවට පරිසරයේ සංවේදන දැනෙන ආකාරයේ වෙනසක් සිදු වන බව දැනීම
  • ඇඟ හිරිවැටෙනවා වැනි ස්වභාවයක් දැනීම
  • කලාතුරකින් ඇතිවන ශරීරයේ පැත්තක් පණ නැති වී ඇති ස්වභාවයක් දැනීම.

දරුවාගෙන් දරුවාට මෙම පූර්ව රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව මතක තබා ගත යුතු අතරම පූර්ව සංඥාවකින් තොරව වුවද ඉරුවාරදය ඇති විය හැකිය.

ඉරුවාරදය ඇති වන්නේ ඇයි?

  • ජානම හේතු සාධක මත පරම්පරාවෙන්
  • අධික ලෙස නිදිවර්ජිතව සිටීම
  • කුසගින්නේ සිටීම
  • අධික හිරු එළියේ සිටීම
ඉරුවාරදය සඳහා ප්‍රතිකාර

ඉරුවාරදය නිට්ටාවට සුවකිරීම සඳහා ප්‍රතිකාර මේවන තෙක් සොයා ගෙන නොමැත. ඖෂධ මගින් ලබා දීම තුලින් රෝගය බොහෝ දුරට පාලනය කිරීම සිදු කරයි. සාමාන්‍යයෙන් ඖෂධ නිර්දේශ මාස හයකට පමණය. ඊට හේතුව මෙම ඖෂධ මගින් අතුරු ප්‍රතිඵල ඇති විය හැකි නිසාවෙන්ය.

ඉරුවාරදයෙන් පෙළෙන දරුවකු සිටිනවා නම් මේ පිළිබඳ සැලකිලිමත්වන්න.

  • දරුවාට හිසරදය ඇති වන්නේ කවර හේතූන් නිසා දැයි අවබෝධ කර ගැනීමට දින පොතක් තබා ගන්න. එහි හිසරදය ඇතිවන අවස්ථා හා හේතුව සඳහන් කිරීම තුලින් ඉදිරියේදී හිසරදය සෑදීමට හේතුව දන්නා නිසා එවැනි අවස්ථා වලින් බැහැරව කටයුතු කිරීම තුලින් හිසරදය මගහරවා ගත හැකිය.
  • සාමාන්‍යයෙන් කෝපී, මාමයිට්, රටකජු, චොකලට්, අයිස්ක්‍රීම් වැනි ආහාර නිසාද මෙම රෝග තත්ත්වය උත්තේජනය විය හැකිය. නමුත් සෑම දරුවකුටම එකම ලෙස එය බලනොපායී. මෙම හඳුනාගත් ආහාර වලට අමතරව වෙනත් ආහාර වලින් වුවද දරුවාගේ හිසරදය උග්‍ර විය හැකි බැවින් මව්වරුන් විශේෂයෙන් අවධාන යොමු කර එම ආහාර හඳුනා ගැනීම කළ යුතුය. විශේෂයෙන් ක්ෂණික ආහාර හා රසකාරක යෙදූ ආහාර ගැන සැලකිලිමත් විය යුතුය.
  • බොහෝ විට පාසල් යන දරුවන්ට තම උදෑසන ආහාරය අතපසු වේ. එනිසා අනිවාර්්‍යයෙන්ම දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීම තුලින්ම පමණක් ඉරුවාරදය තත්ත්වය මග හැරී ගිය අවස්ථා ඇත.
  • දරුවන්ව හොඳින් පිරිසිඳු ජලය පානය කිරීමට යොමු කිරීමත් ඉතා වැදගත්ය.
කෝඨර ප්‍රදාහය නිසා ඇතිවන හිසරුදාව

අපගේ හිසේ නාසය අවට හා නළල ආශ්‍රිතව වායූ කුටීර හෙවත් කෝඨරය පිහිටා ඇත.කෝඨර පදාාහයේදී සිදුවන්නේ නාසය අවට හා හිස තුල පිහිටි  හිස් අවකාශ වාතයෙන් පිරී හිසට සැහැල්ලුවක් ගෙන දිය යුතු කෝඨර තුල ඝණ දියර, මස් දළු හෝ දිලීර එකතු වීමයි. මෙසේ කෝඨර අවහිරයට පත්වූ විට දරුවන්ට හිසරදය ඇතිවේ.

කෝඨර ප්‍රදාහය ඇති වන්නේ ඇයි ?

  • නිතර නිතර පවතින පීනසය හෝ අධික සෙම්ප්‍රතිශ්‍යව වැළඳීම
  •  නාසයේ ඇතුලත කෝඨර අවට ඇති වන ඇතැම් ව්‍යුහමය වෙනස්කම් පැවතීම
ඇස් වල ඇති වන ආබාධයන් හේතුවෙන් හිසරදය

දරුවන්ට හිසරදය ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ඇස්වල දෘෂ්ඨි ආබාධයි. කුඩා දරුවන් බොහෝ විට ගොදුරු වන්නේ අවිදුර දෘෂ්ඨිකත්වයට වේ. වර්තමානයේ අක්ෂි වෛද්‍ය විද්‍යවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය.

මොළයේ පිළිකා හෝ ගෙඩි හටගැනීම නිසා ඇති වන හිසරදය

මොළයේ ගෙඩියක් වැනි යමක් ඇතිවීම ඉතාම දුර්ලභ හේතු වේ.

  • පාසලේ වැඩ කටයුතුවලදී පෙරට වඩා දුර්වල ස්වභාවයක් පෙන්වීම
  • බර ටිකින් ටික අඩුවීම
  • නිතර උණගැනීම
  • වමනය ඇතිවීම

වැනි රෝග ලක්ෂණ දරුවා වෙතින් පෙන්නුම් කෙරෙයි නම්, දරුවාගේ මොළය සහ හිස ආශ්‍රිතව කිසියම් ගෙඩියක් ඇති බව නිගමනය කළ හැකිය. හිසේ ස්කෑන් පරීක්ෂාවකින් මේ බව තහවුරු කරගත හැකිය. අධික විකිරණශිලීත්වය දරුවන්ට සුදුසු නොවන නිසා දරුවකුට CT ස්කෑන් පරික්ෂණයක් සිදු කරන්නේ ඉතාමත් අත්‍යාවශ්‍ය වුවහොත් පමණි.

වෙනත් හේතූන් නිසා ඇති වන හිසරදය

කන තුළ ඇතිවන යම් යම් ආබාධ නිසා ද දරුවන්ට හිසරදය ඇති විය හැකිය. ඩෙංගු උණ,වෛරස් උණ ,උගුරේ ඇතිවන ආසාදන, දත් නරක්වී මුඛය තුළ ඇතිවන ආසාදන, මෙනින්ජයිටිස්, නිසාද දරුවන්ට නිතර හිසරදය ඇති වේ.

හිසරදය වැඩිහිටියන්ට සීමා වූ තත්ත්වයික් යැයි නොසලකන්න. ඔබේ දරුවා දිගින් දිගට හිසරදයෙන් පීඩා විඳින බව පවසනවා නම්, ඔබට දැනෙනවානම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුතුය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්්‍යය, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ,
වෛද්‍ය සරාජී විජේසේකර මහත්මිය සමග සිදු කල සාකච්ජාවක් ඇසුරිනි.

 

දරු ප්‍රසුතියට සුදානම් වන ඔබ නොහිතපු පැතිකඩක්

නදිනිට ගෙවී ගිය රාත්‍රිය පුරාවට නින්ද හරි ලැබුණේ නැත. හිමිදිරියේම අවදි වූ ඇය ගර්භණීත්ව පරික්ෂණ තීරුවත් ගෙන ලහි ලහියේම නාන කාමරය වෙත පිය නැගුවාය. ඇගේ හදවත වේගයෙන් ස්පන්ධනය වෙයි.ගතම සීතලව ගොස්ය. ඇයගේ සිහිනය ඉටු කරමින් ගර්භණීත්ව පරික්ෂණ තීරුවේ දක්වා ඇති ඉරි දෙකම රතු පැහැගැන්විනි. කියාගත නොහැකි ප්‍රීතියකින් ඇය කවිශ්ක වෙත දිව ගියාය.

“නැගිටින්න, නැගිටින්න”

“ඇයි නදිනි මොකද මේ පාන්දරම ?”

“මේ බලන්න මේ , පුංචි පැටියෙක් ඇවිත් අපි ළඟට”

සතුටින් වෙව්ලමින් නදිනි වදන් ගොනු කලාය.කවිශ්ක ආදරයෙන් නදිනිගේ නළලත උණුසුම් හාදුවක් තැවරීය.

ජීවිතේ මෙතරම් සුන්දරදැයි යැයි නදිනිට සිතුනි. ලොව දැරිය හැකි වටිනාම කිරුළට උරුම කම් කියන්නට කවිශ්කටත් තමන්ටත් හැකිවීම පිළිබඳ නදිනි දෙනෙත් පියාගෙන්ම සතුටු වූවාය. නදිනිත් කවිශ්කත් දෙදෙනාම රැකියා වල නිරත විය.

“ගුඩ් මෝනිග් නයෝමී”

“මෝනිග් ”

“ඇයි අනේ මොකද්ද ප්‍රශ්නේ ඔයා මේ දවස් ටිකේම හිතේ කරදරෙන් වගේ නේද ඉන්නේ?”

“ඔව් අනේ මට තේරෙන්නේ නැහැ නදී කොච්චර හම්බ කරත් මදි. පුතා හම්බ වෙන්න ගියේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකටනේ ඉතින් වියදම් සේරම ගෙව්වේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. නොහිතපු වියදමුත් ගියානේ. කොහොම හරි වෙලාවට ගෙවා ගන්න බැරිව පොළියත් එකතු වෙලා. ඒ මදිවට ලබන මාසේ ඉන්න ගෙදර කුලිය අලුත් කරන්නත් ඕනී. බබා බලාගන්න එක්කෙනාටත් ගෙවන්න ඕනී. මන්දා නදී මොනවා කරන්නද කියලා.”

“ඇයි ඉතින් ඔයා ප්‍රයිවට් හොස්පිට්ල් එකකටම ගියේ. යන්න කලින් යන වියදම් එහෙම බැලුවෙ නැද්ද? ”

”  කලින් යන වියදම් ගැන බැලුවෙ නැහැනේ, අනවශ්‍ය වියදම් හරියට වුණා”

“ඒ කියන්නේ?”

“ඇයි අනේ අපි කුලියට ඉන්න ගෙදර ඒ තරම් ඉඩ කඩක් නැති නිසා සෑහෙන්න ගානක් දීලා ගත්තට කොට් එක අරගෙන මාස තුන හතරකින් ගලවලා දැම්මා. ඒකට විදයම් වුන සල්ලි ගේ මුල්ලක. අනික ආසාවටත් එක්ක මම බබාට ඇඳුම් ,සපත්තු ගත්තා. බාගෙට බාගයක් අන්දන්න කලින් පැටියා ලොකු වෙලා. ඔයා නම් අනවශ්‍ය වියදම් කරන්න එපා.”

“ඒක නම් ඇත්ත නදිනි. වියදම් කරන තරම් ලේසී නැහැ හම්බ කරන්න. අනික අපි මාස් පඩිකාරයෝ. ඔයා සේරටම ඉස්සර වෙලා තීරණය කරන්න බබා ලැබෙන්න යන්නේ පෞද්ගලික රෝහලකද රජයේ රෝහලකද කියලා. “රන්දිමත් ඔවුන්ගේ කතා බහට එක් වුණා.

“ඔව්, මොකද දන්නවද රජයේ රෝහලක නම් හැම දේම නොමිලේ වුණාට පෞද්ගලික රෝහලක පැනඩෝල් පෙත්තේ ඉඳලා හැමදේටම සල්ලි ඕනී. සමහර වෙලාවට හදිසියෙවත් බබා ලැබෙන්න ඉන්න කාලේ රෝහල්ගත වෙන්න වුණොත් කොච්චර මුදලක්  යනවද කියලත් බලන්න ඕනී. මට මාස හතේදී බබා දඟලන්නෙනැතිව ඇඩ්මිඩ් වුණ වෙලාවෙත් සෑහෙන්න ගානක් ගියා. ”

“ඒක නම් ඇත්ත අපේ අක්කා කෙනෙකුත් සාමාන්‍ය දරු ප්‍රසූතියක් කියලා අවසාන මොහොතේ බබා හිරවෙලා කියලා සිසේරියන් සැත්කමක් කරලා තමයි බබා ගත්තේ. එයාලා සල්ලි ලෑස්ති කරගෙන තිබිලා තියෙන්නෙත් සාමාන්‍ය දරු ප්‍රසූතියකට නිසා අවසානේ හිතුවට වඩා වියදමක් ගියා. ඒක නිසා කොයිකටත් වැඩිපුර ගානක් අතේ තියාගෙනම තමයි ඉන්න ඕනී.”

කොහොම හරි නයෝමීගෙ මුල්‍ය අර්බුද නිසා නදිනිටත් තම දරු ප්‍රසූතියේදී ගත යුතු වැදගත් තීරණ කිහිපයකටම නිරායාසයෙන්ම පිළිතුරු ලැබුණා.

“නදී ”

“හ්ම් ”

“ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනී නේද?”

“ඔව් අපි රජයේ රෝහලකට යමු.”

“ඇයි ? අපි බබා ලැබෙන්න ප්‍රයිවට් හොස්පිටල් එකකට යමු.”

“ඒත් අපිට ලොකු වියදමක් දරන්න බැහැනේ කවී.”

“ඇයි මගේ ඔෆිස් එකෙන් ඉන්ෂුවරන්ස් කරලනේ තියෙන්නේ. එතකොට ඒකෙන් වියදම ගෙවනවා.”

“එකත් එහෙමද එහෙනම් කමක් නැහැ, දන්නෙම නැහැ ඔෆිස් එක ළඟටම ඇවිත්. මම යනවා පරිස්සමින් යන්න කවී. බුදුසරණයි.”

“බුදුසරණයි නදී”

කවිශ්කගෙන් සමුගත් නදිනි කාර්්‍යාගය වෙත පිය නැගුවාය.

“ආ නයෝමී අද උදේම ඇවිත් ”

“ඔව් අනේ අද ටිකක් වේල පහ ආවා. ආ ඔයාට මම බඩුවක් හදාගෙන ආවා.”

“ම්… ම්  සුවඳේ බැහැ, පොළොස් නේද?”

‘ඔව් ,රොටිත් එක්ක”

“යමුද කන්න. අන්න රන්දිත් එනවා”

තිදෙනාම කාර්්‍යාලයේ කෑම කාමරය වෙත පියනැගුවෝය.

“කොහෙටද නදී බබා ලැබෙන්න යන්නේ?”

“තවම ගියේ නැහැ . කවිශ්ක නම් කියනවා ඉන්ෂුවරන්ස් එක තියෙන නිසා ප්‍රයිවට් යමු කියලා”

“ආ මම හිතන්නෙ සාමාන්‍ය දරු ප්‍රසුතී වලට ගෙවන්නෙ නැහැ, සමහර ඒවයේ සියයට ගානක් ගෙවන්නේ එක නිසා ඒක නිසා ඉන්ෂුවරන්ස් කවරේජ් එක කොහොමද කියලා බලලම තීරණය කරන්න.”

“ඔව් සමහර ඉන්ෂුවරන් කවරේජ් වලදී  වෛද්‍ය ගාස්තු ස්කෑන් පරික්ෂණ ලේ පරික්ෂණ මුත්‍රා පරික්ෂණ වලට යන මුදලත් ගන්න පුලුවන්.”

“ඔයා ඒක කියපු එක හොඳයි මම දැනගෙන හිටියේ නැහැ ඒ බවක්”

“බබාට බඩු ගනිද්දි එකම තරමේ ඇඳුම් ගන්නත් එපා. එක එක සයිස් වලින් ගන්න. අනික බඩු ගන්න යන්න කලින් අවශ්‍ය බඩු ලැයිස්තුවක් හදාගෙනම යන්න. නැත්නම් ඔය ලස්සන ලස්සන දේවල් දැක්කම ගන්න හිතෙනවා. ඒවා ගත්තට පස්සේ ඒවයෙන් ප්‍රයෝජනයකුත් නැහැ.”

“දැන් අනේ හැම එකටම ඉන්ටනෙට් තියෙන්නේ. පොඩි සර්ච් පාරක් දැම්මම පුලුවන් ගණන් ගැන දැන ගන්න. දැන් ඇණවුම් කරලා බඩු ටික ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්නේ.”

“ආ… කටිටිය වැඩ පටන් ගන්න අදහසක් නැහැ වගේ.”

“ආනේ ඇත්තමයි කතාවෙන් කතාව අටත් වෙලා යමු ,යමු”

අපි තාම පොඩි ළමයිනේ අම්මේ

දරුවන් සමග කාලය ගත කරන විට කොයිතරම් වේගයෙන් කාලය ගතව යනවද? ඇතැම් විට ඔරලෝසුවට වැරදිලාද කියලත් හිතෙන වාර අනන්තයි. උදෑසන අවදි වූ තැන පටන්ම මව්වරුන් වන අප දරුවන්ගේ වැඩ කටයුතු වලට අමතරව නිවසේ එදිනෙදා වැඩකටයුතු වගේම නිවසේ සිටම යම් රැකියාවක නියුතුවනවා නම් ඒ වැඩකටයුතුද සිදු කරගත යුතුය. ඉතින් රාජකාරී රැසක් දවස තුල සිදු කරද්දි දරුවන්ගේ වැඩකටයුතු වලට මුල්තැන දෙන්න නම් සිදු වෙනවා. ඉතින් ඉතිරි අනිත් වැඩ කරගන්නට නොහැකි වූ තැන අපට දරුවන්වත් රුස්සනේ නැතිවෙනවා.

“තරූ මොනවද කරන්නේ ළමයෝ ඔය පොත් ටික ඉක්මණට පිළිවෙලක් කරන්න මාව කේන්ති ගස්සන්නෙ නැතිව”

“අනේ අම්මේ ඔච්චර තරහින් කියන්න එපා අපි පුංචි ළමයිනේ. එතකොට අපිට දුක හිතෙනවනේ”

“තරහින් උන්න මගේ මුවේ හිනාවක් ඇඳුනේ ඉබේමයි. ”

“අන්න එහෙම හිනා වෙලා කියන්නකෝ”

“හිනා වෙලා කියන්න… දැන් මම තුන් හතර පාරක් හොඳින් කිවිවා ඇහුනේ නෑ වගේ හිටියෙ එහෙනම්”

එවර නම් මට පිළිතුරක් ලැබුණේ නැහැ. හ්ම් ඇත්ත වෙලාවකට අපි දරුවන්ට කොයි තරම් සැරෙන් කතා කරනවද? ඒත් වැඩිහිටියන් වූ අපට කවුරුත් සැරෙන් කතා කලොත් නම් වැඩිහිටි වුණත් අපට දුක හිතෙනවා. බලන කොට අපේ ගේ ඇතුලෙම ළමා හිංසනය සිදුවෙනවා. ඒත් ඒ දේවල් අපි ගණනකට ගන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපට ඒක ළමා හිංසනයක් කියලා හිතෙන්නෙ නැහැ. කොහොම වුණත් අපි වැඩිහිටියෝ වුණාම ආත්මාර්ථකාමියො වෙනවා. දරුවො ළමා හිංනයට ගොදුරුවීම ශාරීරිකව  මෙන්ම මානසිකවත් සිදු වෙනවා. අපේ කාර්්‍යය බහුලත්වයත් එක්කම අම්මලා විදිහට අපි පුරුදු වෙලා ඉන්නේ දරුවන්ට කෑ ගහන්නමයි. බොහෝ විට දරුවො මානසික හිංසනයට ගොදුරු වෙන්නේ අපි බනින නිසාමයි. අපේ සැර වදන් හමුවේ දරුවන්ගේ මල් වගේ හිත් රිදෙන බව අපි අමතක කරනවා.

“අම්මේ මේ අඹ කෑල්ලේ මේ පැත්ත තැලිලා”

“ඉතිං… ඒ කෑල්ල නොකා ඉතිරි ටික කන්න.” මම පුතාට කිව්වේ නොරිස්සුම් ස්වරයෙන්.

“ගේන්න පුතේ තාත්තා ඔය කෑල්ල අයින් කරලා දෙන්නම් ”පුතා තාත්තා ළඟට ගියේ කෘතඥ පූර්වකයි.

“ඇත්තටම මම පුතාට නොරිස්සුම් ස්වරයෙන් කතා නොකර තාත්තට කියලා අයින් කරගන්න පුතේ කියලා ආදරයෙන් කිව්ව නම් කියලා මටම හිතුනා.

“අයියෝ ළමයෝ තාම දත මැදලත් නෑ බාත්රූම් එකට ගිහින් කොච්චර වෙලාද”

පුතාගේ සද්දයක් නැහැ. තවත් විනාඩි දෙක තුනක් ගත වුන තැන මගේ ඉවසීමත් අහවර වේගෙන එද්දි ම ආයෙමත් බාත්රූම් එකට එබුණා. මෙන්න ෂවර් එකත් ඇරගෙන් රෑ වතුර අනනවා

“තරූ මොනවද කරන්නේ දැන් වෙලාව 8.15 යි. නට නට ඉඳලා හෙට උදේට ඉස්කෝලේ යන්න නැගිට්ටවද්දි නාහෙන් අඬනවකො බලන්න. ඒ මදිවට කැස්සත් තියාගෙන් වතුරෙ නටනවා.මම ආවොත් දෙනවා දෙකක්.එන්නයි කිව්වේ ඉක්මණට එළියට”

ඔහොම කෑ ගහපු මම එතනින් පිටවුණා.

“අම්මා කියන ඒවාට මට නම් හිනා තමයි යන්නේ”

නානකාමරට ළඟට ගිය ආච්චි අම්මට පුතා හිමිහිට කිව්වත් මට ඒ චවන ඇහුණා. ඇත්තටම මම විහිලුවක් වෙලා අර කම්මලේ බල්ලාගෙ කතා මට සිහිපත් වුණේ නිතැතින්මයි. මොකද එකම දේ එකම විදිහට ඇහෙනකොට ඒක ගානක් නැතිව යනවානෙ. අපි නොහිතන විදිහට දරුවො අපිව මග හරින්න සුක්ෂමයි. හිතට නොසන්සුන් බවක් තිබුණත් නිවසේ ඉතිරි වැඩ ටිකත් කඩිමුඩියේ අහවර කරපු මම කාමරටුයට ගියා. මම කාමරයට ඇතුල් වන බව දැකපු ගමන්ම මගේ පුත්‍රයා ඇස් තදින් පියා ගත්තා.

“අනේ පව් හොඳටම නින්ද ගිහින් මම ඔලුව අතගාන ගමන් කියද්දි පුතාට හිනා ගියා”

“හොරා මම රැවටුනා කියලා හිතුව නේද? මේ ඒක නෙමේ ඔයාට මොකද මම බැන්නම හිනා යන්නේ. ඔයාට හිනා වෙන්න නෙමේනේ මම බනින්නේ”

“අම්මා ඉතින් හැම තිස්සේම එකමනෙ කියන්නේ ඒකයි”

“ඉතින් මම එකපාරක් කිව්වම ඒක ඔයා ඇහුව්ව නම් මම ඔයාට බනින්නෙත් නැහැනේ”

“ඔව් ඉතින් ”

“ඔව් ඉතින් නෙමේ, ඔයා දන්නවද තරහා ගියාම මිනිස්සු ඉක්මණට ලෙඩ වෙනවා. මටත් හැම තිස්සෙම කේන්ති ගියාම මමත් ඉක්මණට ලෙඩ වෙලා මැරිලා යාවී. එතකොට ඔයාලට අම්මා කෙනෙක් නැති වේවී.මමත් කැමති නැහැ ඔයාලට බනින්න. ඔයාලට බැනලා මට ඉතිරි වෙන්නෙත් දුක විතරයි. හරි දැන් නිදා ගන්න. හෙට උදේ සතුටින් නැගිටින්න”

පහුවදා උදේ නම් පොඩි වෙනසක්. උදේම නැගිටලා තනියම වැඩ කර ගෙන පුතා පාසල් ගියා.

“අද නම් මට කෑ ගහන්න බැහැ පුතේ ” පාසල නිම වී නිවසට ආ හැටියෙම මම පුතුට කිව්වා.

“හරි හරි මම මේ ඒක හිතාගෙනම තමයි ආවේ”

“ඒ මොකද්ද?”

“අම්මව කෑ ගස්සන්නෙ නැතිව ඉන්න.”

“ඉලංදාරී තාලෙට කියද්දි මට සිනහා පහල වුණා.

“ඔය වගේ කීප වතාවක්ම මීට කලින් ඔයා කිව්වට හවස් වෙද්දි ඒවා අමතක කරලා කන ඇහෙන්නෙත් නැහැ වගේ ඉඳන් මාව කෑ ගස්සනවනේ”

“අපි තාම පොඩි ළමයිනේ අම්මේ , ඉතින් ටිකකින් අම්මා කියපුව ,මම පොරොන්දු වුණ දේවල් අමතක වෙනවා. අම්මට තියෙන්නෙ තරහා ගන්නෙ නැතිව ඒ වෙලාවට මට.මතක් කරන්න. ”

වදන් ගොලු වුණ මම පුතා දිහාම බලා උන්නා.“ අම්මට තියෙන්නෙ තරහා ගන්නෙ නැතිව මට මතක් කරන්න ” වදන් පෙළ මගේ සිත තුල නින්දට යනතුරුම රැව් දුන්නා.

ඔයා දැක්කද අරයගෙ ඇඳුම , ගැලපෙන්නෙ නැහැ නේද?

අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසී පහසු කටයුත්තක් නෙමෙයිනේද? මවක් වන්නට පෙර ගර්භණී සමයෙහි පසුවන ඔබට මෙන්න මේ කරුණු බෙහෙවින්ම වැදගත් වෙයි කියලා මට හිතුනා. විලාසිතා වලට කවුද අකමැති නේද? මවක් වුනාම විලාසිතා තෝරා ගන්නට පෙර ඒ විලාසිතා කොයි තරම් දුරට ගැළපෙනවද කියන දේ ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද? අපි ජීවිතේ විවිධ අදියරයන් පසු කරමින් ඉදිරියට ඇදෙනවා. ඒ වයසත් සමගයි. ඉතින් අපි වයසින් පියවරෙන් පියවර ඉදිරියට යන විට කායිකව වෙනස් වෙනවා වගේම වයසට ඔබින විදිහට සිතන්න පතන්න කටයුතු කරන්නත් පුරුදු වෙනවනම් ප්‍රශ්නයක් වන්නේ නැහැ. දරුවකු මෙළොවට බිහි කළ පමණකින් වචනයේ පරිසමාප්තයෙන්ම අම්මා කෙනෙක් වන්නට නම් බැහැ. ඇත්තටම දරුවකු කුස දරා සිටින මවක් දුටු විට දැනෙන්නේ සෙහෙසක්. ගර්භණියක් පිළිබඳ පැහැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඇගේ ඇඳුමයි . අද වෛවාරණ විලාසිතා අතර ගර්භණි මව්වරුන් මුලා වෙලා වගේ. බොහෝ විට ගර්භණී සමයේ මවකට ගැලපෙන්නෙ සිරුරට සැහැල්ලු ලා වර්ණ ඇඳුම්.

“බලන්න අනේ මෙච්චර දුර හිටගෙනමයි ආවේ කිසිම කෙනෙක් සීට් එක දුන්නේ නැහැනේ.” තුන් මස් ගැබිණියක වූ අවිශ්කා කාර්්‍යාලයට ගොඩ වුණේ තෙහෙට්ටුවෙන්ය.

“ඇත්තද? ”

“ඇත්තද කියන්නේ ඔයා නම් මාරයි තමාරා”

“මේකනේ වැඬේ දැන් ඔයා ඔය ඇඳගෙන ඉන්න ජීන්ස් එකයි බ්ලවුස් එකයි දැක්කම කවුද හිතන්නේ අපේ අවිශ්කාට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා. ”

“ඒ ඇයි මේකේ වැරුද්ද මොකද්ද?”

“ඇයි කියන්නේ එකක් තමයි මිනිස්සුන්ට ඔය බඩ සැබෑ බඩක්ද දරුවකු දරා ගෙන ඉන්න බඩක්ද කියලා පැහැදිලිවම හඳුන ගන්න බැරිවීම, අපිත් අසරණ වෙනවා. ඇයි සීට් එක දෙන්න ඕනී තත්ත්වයක්ද නැද්ද කියලා අහලා දැන ගන්නයැ. මේ ළඟඳී දවසක මගේ ළඟින් හිටගත්තා ඔය වගේම ඇඳුමක් ඇඳගෙන ගෑණු ළමයෙක්. බඩත් තිබුන නිසා මමත් දඩිබිඩි ගාලා නැගිටලා සීට් එක දුන්නා. මෙන්න ඒ කෙල්ල මට ඔරවලා නෝ තෑන්ක්ස් කියලා ඉස්සරහට ගියා . අනිත් එක් සුදුසු කාලයට ඔබින් ඇඳුම් නාඳින එක ඔය කාලෙට අඳින ගවුමක් ඇන්දනම් කිසි කරදරයක් නැහැනේ.” අහල පහළ සිටි විශ්වත් කතාවට එක් වුණා.

“ඒක නම් ඇත්ත අනික ඒ ඇඳුම් හැමදාම අඳින්න බැහැනේ. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විතරක් අඳින්න ලැබෙන්නේ ඒවා. ඔය ඇඳුම් නම් ඕනෙම වෙලාවක් අඳින්න බැරියැ.”

“හ්ම් එකත් ඇත්ත තමයි. ”

“මේ ළඟදී දවසක් බස් එකට නැග්ගා දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් එයා ඇඳලා හිටිය ගවුමෙ අතත් නැහැ දණ හිසෙනුත්  වියතක් විතර කොටයි. ඒකට විනිවිද පේන රේන්දයක් අල්ලලා. කැතේ බැහැ. බස් එකේ මිනිස්සු මුණට මුණ බලනවා. එතකොටම වගේ ලස්සනට දිගට චාම් ගවුමක් ඇඳගත්තු දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් බස් එකට නැග්ග ගමන් සීට් එක දුන්නා. කොහොම හරි ඉතින් කොට ගවුම් අම්මට සීට් එක ලැබුනෙ කොන්දොස්තරගෙ ඉල්ලීමට.”

අපේ රට ආසියාතික රටක්. අපි අතර අපටම අනන්‍යවූ සංස්කෘතියක් ගතානුගතික සිතුම් සමුදායක් තිබෙනවා. අපි මොන තර්ක ගෙන හැර පෑවත් මේ සාම්ප්‍රදාය අපේ හිත් වලින් ඈත් වෙලා නැහැ.

“අර බලන්නකෝ අම්මා කවුද දුව කවුද කියලා හොයා ගන්න බැහැ. දෙන්නම කිටි කිටියේ ඩෙනිම් ඇඳගෙන ඒ මදිවට අර ටී ෂර්ට් එකෙන් ඇඟත් පේනවා”

ඔබට සිතෙන්නෙ කුමක්ද? දුව අඳින ඇඳුම් අම්මට ගැලපෙන්නේ නැහැනේ. ඒ ගැන අම්මට අවබෝධයක් තියෙන්න ඕනී. අද සමාජය විෂමාකාරයි. ඉතිහාස ග්‍රන්ථ වල නම් සඳහන් වන්නෙ කාන්තාවකට තනියම වුනත් දෙවුන්දර තුඩුවෙ සිට පේදුරු තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරිමේ හැකියාවක් පැවති බවයි. ඒත් අද තනියම කිලෝ මීටරයක්වත් දරුවකු තනිවම යවන්නට නොහැකි බව කනගාටුවෙන් වුවත් කිව යුතුයිනේ. බොහෝ විට මග තොටදී අඟ පසඟ කැපී පෙනෙන ලෙස ඇඳුම් විලාසිතා තෝරා ගන්නා විටදී දෙවරක් නොව කිහිප විටක්ම සිතිය යුතුය. මන්ද යත් අද කාමාශාවෙන් පෙළෙන වියරු මිනිසුන් ගහණ බැවින් ඔබ හෝ ඔබගේ දියණිය ඔවුන්ගෙ ගොදුරක් වන්නට හැකිය.

” විලාසිතා මන බඳිනා විලාසිතා – විලාසිතා නෙතු රැදෙනා විලාසිතා ”

නෙතු රැදෙනා විලාසිතා ඔබට හෝ දියණියට කරදරයක් හිරි හැරයක් නොවන්නට ඔබේ විලාසිතා තෝරා බේරා ගන්නට අම්මාවරුන් සිතට ගත යුතුමය.

පොඩි එවුන්ට මොන විනෝදංශද ?

පොඩි එවුන්ට මොන විනෝදංශද….? විටෙක ඔබ මෙහෙම හිතනවා ඇති. පුංචි කාලයේ හොඳට ඉගෙන ගන්නවා මිසක, විනෝදයට හිත යොදවන්න ඕන නැහැ. අම්මා තාත්තා මේ විදිහට හිතනවා නම් ඇත්තටම ඔබ වැරැදියි. අතීතයේදී නම් දරුවන්ට අමුතුවෙන් විනෝදාංශ අවශ්‍ය වුනේ නැහැ. ඇලේ දොලේ දුව පැන නටමින්, පොල්පිති ගොනුන්, කරත්ත දක්කමින් දවස පුරා කෙළි දෙලෙන් ගෙවපු දරුවන්ට තිබුන මානසික සැහැල්ලුව අද දරුවන්ට ඇත්තේම නැහැ. මේ නිසා මනසට කුමන අන්දමකින් හෝ සතුටක් ලබා ගැනීමට නම් විනෝදාංශයක් අවශ්‍යම බව අවධාරනයෙන්ම කියන්න වෙනවා.

විනෝදාංශයකින් දරුවන්ගේ මනසට ලැබෙන සතුට නිසා නිතරම ජීවිතය දෙස ධනාත්මකව බැලීමට දරුවා හුරු පුරුදු වෙනවා. ඉගෙනුමෙන්ම සියල්ල සපුරා ගන්න බැහැ. දිනපතා පාසල් අධ්‍යාපනය වගේම අතිරේක සහ උපකාරක පංති නිසා ඇති වෙන වෙහෙසකර බවට හොඳම පිළියමක් ලැබෙන්නේ විනෝදංශයකින් නිසා දරුවා වෙනුවෙන් විනෝදාංශ කටයුතු අකැප යැයි මව්පියන් විදිහට ඔබ නොසිතිය යුතුයි.

විනෝදාංශ කටයුතු නිසා දරුවා තුළ නිර්මානශීලිත්වය වර්ධනය වෙන්නේ ඔබත් නොදැනමයි. සමහර දරුවන් අත්වැඩ වෙනුවෙන් කාලය යොදනවා. තවත් දරුවන් විනෝදාංශ විදිහට ඉවුම් පිහුම් එහෙම නැත්නම් මැහුම් ගෙතුම්වල යෙදෙනවා. ඒ වෙලාවට දැන් ඕවා කරල හරියන්නේ නැහැ. විභාග වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන වෙලාව නාස්ති කරනවා යැයි ඔබ උදහස් වුනත් , විනෝදයට කරන මෙම කටයුතු නිසා දරුවාගේ නිර්මානශීලිත්වය නොදැනම දියුණුවට පත්වෙනවා.

විනෝදාංශයක් නිසා ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා. මට මේ දෙය කරන්න පුළුවන්…යන අදහසින් දරුවා පන්නරය ලබනවා. සරුංගලයක පට්ටමක් හදා ගත් දරුවා එය කොළ අලවා සරසා ගන්නවා. මෙම අවසාන නිර්මානය දකින විට තමාට යමක් කළ හැකිය යන විශ්වාසය නොදැනම ගොඩ නැගෙනවා. ප්‍රායෝගිකව ලබන මෙම දැනුම ජීවිතයටත් ආලෝකයක් ,ලබා දෙනවා.

දරුවාගේ විනෝදාංශ තීරනය කළ යුත්තේ ඔබ නොව දරුවාමයි. මේ වෙනුවෙන් ඔබට යම් දායකත්වයක් ලබා දීමට පුලුවන්. ඒ අතරම දරුවාගේ විනෝදාංශ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. මුද්දර එකතු කරන දරුවාට ඔබට හැකි ලෙසින් ඔහුගේ මුද්දර සංඛ්‍යාව පමණක් නොව එහි විවිධත්වය ඇති වෙන අන්දමට මුද්දර සොයා ගැනීමට උදව් වෙන්න.

ඇතැම් මව්පියන් දරුවාගේ විනෝදාංශ වෙනුවෙන් දැඩි සීමා බන්ධන පනවා ඇත. මේ සියල්ල කරන්නේ විනෝදාංශවලට යොමු වෙන දරුවා  තමන්ගේ අධ්‍යාපනයෙන් දුරස් වෙනු ඇතැයි වූ මිථ්‍යාව නිසාය. මේ තත්වය නිසා දරුවාට තම විනෝදාංශය සිදු කළ යුත්තේ හොර රහසේය.

බනින්නෙපා පොඩි දෝණිට…ගහන්නෙපා….
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ…සෙල්ලම් බත් උයන්නයි.

හාල් මිටක් නාස්ති කළා යැයි විනෝදාංශයක නිරත දරුවාට ඒ වෙනුවෙන් චෝදනා කළ යුතු නැත මේ කටයුත්තේන් පුංචි මනසට ලැබෙන වින්දනය ආර්ථික කෝදුවෙන් තක්සේරු කළ නොහැකියි.. ගැහැණු දරුවන් බෝනික්කන්ට ඇඳුම් මසන විට නොදැනුවත්කමට වටිනා රෙදි කපා නාස්ති කිරීම වැනි කටයුතු සිද්ධ වෙනවා. මේ ගැන විවෘතව කතා බහ වෙනවා නම් දරුවාට නොබියව ඔබගෙන් අදහස් විමසා සිටින්නට පුලුවන්.ඒත් මෙ බෝනික්කන් සමග ලබන විනෝදය නිසා ගැහැණු දරුවන් අනාගතයේදී ගෘහ පාලනය, දරුවන් නඩත්තුව ගැන බොහෝ දේ ඉගෙන ගන්නවා. ඉස්සර කාලයේ කඩදාසි බෝනික්කන් මුල් කර ගෙන (පේපර් ඩෝල්) ඔවුන්ට ඇදුම් නිර්මානය කළ දැරියන් කාලයත් සමග ඉතා දක්ෂ ඇඳුම් මෝස්තර නිර්මානය කිරීමට හැකියාව ලබා ගත්තා.

මව්පියන් හා දරුවන්ගේ විනෝදාංශ මුල් කර ගෙන ඔවුන් දෙපාර්ශවය අතර සන්නිවේදනය අවශ්‍යයෙන්ම තිබෙන්න ඕන. එසේ නොමැති විට දරුවාගේ ආත්මානුකම්පාවත් ඔවුන්ගේ මානසිකත්වයට බලපානවා. විසිතුරු මල් සහ පත්‍ර වගාවට කැමැත්තක් දක්වන දරුවෙකුට ඒ වෙනුවෙන් අවශ්‍ය පැල පොහොර සහ වෙනත් පහසුකම් නොලැබෙන්නේ නම් දරුවා මහත් අසරණතාවයට පත් වෙනවා. ” මට කවුරුත් උදව්වට නැහැ …” යන පසුගාමීබවෙන් තදින්ම පීඩාවට පත් වෙනවා.

ඒ වගේම විනෝදාංශ ගැන අවතක්සේරුවෙන් කතා නොකරන්න. මෙය ඔබට නොවටිනා වුනත් දරුවාට බොහෝ වටිනා දෙයකි.

හොඳට ඉගෙන ගන්න දක්ෂතාවය තිබෙන දරුවන් එකපාරටම බොහොම පසුගාමීත්වය විතරක් නොවෙයි මානසිකවත් යම් යම් ගැටළුවලට පත් වෙනවා. මේ වෙහෙසකර හෝර්මෝන හෙවත් මානසික වෙහෙසකර තත්වයට දරුවන් පත් වීම එතරම් සුබ තත්වයක් නොවෙයි. පමණට වඩා කාර්යබහුලත්වය සහ මනසට විවේකයක් නොමැතිවීම නිසා ඇති වෙන වෙහෙස කල්යන විට දරුවා මානසික රෝගීයෙක් බවට පත් කරනවා. මේ නිසා දරුවන්ට විනෝදාංශයක නිරත වෙන්න අවස්ථාව සලසා දෙන්න. ඒ වගේම ඔහු නිරත විනෝදාංශයක් වේ නම් එය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහයෝගයත් මව්පියන් විදිහට ඔබගෙන් ලැබීම දරුවාට විශාල ශක්තියක් වෙනවා.

විනෝදංශය නිසා දරුවන්ගේ ජීවිතයේ පසුගාමීත්වයක් ඇති වෙතැයි සිතන වැරැදි ආකල්පයෙන් මව්පියන් ඉවත් වීමට දැන් කාලය එළැඹ ඇත. ලෝකය දිනා ගත් චරිත දෙස ඔබ බලන්න. ඔවුන් හැම දෙනෙක් වෙනුවෙන්ම කුමන හෝ විනෝදංශයක් තිබී ඇත. 2016 වසරේ ලෝකයේ ප්‍රබලයා වූයේ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පූටින්ය. ඔහුගේ විනෝදාංශය ජූඩෝ ක්‍රිඩාවයි. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ස්පයිඩර් මෑන් සහ හාස්‍යමය කථාන්දර කියවීමට බෙහෙවින් ප්‍රිය කළේය. ඉන්දීය ව්‍යවසායකත්වයේ ඉහළ පෙලම සිටින විධායක නිළධාරී අනිල් අම්බානීගේ විනෝදාංශය දිවීමයි. ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලොස් සර්කෝසිගේ විනෝදාංශය මුද්දර එකතු කිරීම වූ අතර අදටත් ඔහු එම විනෝදාංශයෙන් ඉවත්ව නැත. රිචඩ් බ්‍රැන්ඩ්සන් යනුවෙන් හැඳින්වෙන ලෝක ප්‍රකට ව්‍යාපාරිකයා සරුංගල් ඇරීම විනෝදාංශයක් ලෙසින් සිදු කරන ලද්දෙකි. විනෝදාංශය නිසා මේ කිසිම කෙනෙකුගේ ජීවිත ආපස්සට ගියේ නැත ඔවුන් තම ජීවිතය ජයගත්තා පමණක් නොව ලෝකයටම ආදර්ශ සපයා දුන් උදවියයි.

එයා දැන් ලොකු ළමයෙක්

ගැහැණු දරුවෙක් මල්වර වීම සමග ඇයට වගකීම් සම්භාරයක් පවරා දීම අපේ රටේ සිරිතක්ව තිබෙනවා. ඔවුන් මව්පියන් හිතන්නේ මල්වර වීම යනු වගකීම් දරන්නට සූදානම් වෙන කඩඉම විදිහටයි. ඒත් ජීවවිද්‍යාත්මකව මල්වර වීම යනු දරුවන් ලබන්නට ගර්භාෂය සූදානම් වීමක්. අතීතයේදී නම් වයස අවුරුදු 14 සිට 16 ක් දක්වා වූ කාලයකදී මල්වර වීම සිද්ධ වුනත් අද වයස අවුරුදු 8 ක් වැනි කුඩා වයසේදී පවා මල්වර වීම සිද්ධ වෙනවා. ඇත්තටම මේ වයසේ දැරියක් මල්වර වුනොත් ” එයා දැන් ලොකු ළමයෙක් ” කියන ලේබලයෙන් ඇයට අනවශ්‍ය වගකීම් පවරා දීම සාධාරණද….?

ගැහැණු දරුවන් ගෙදර දොර කටයුතු වෙනුවෙන් වගකීම් ලැබිය යුතුයි. ඒ වගේම යුතුකම් ඉටු කිරීමටත් ඔවුන් සූදානම් විය යුතුයි. ඒ වුනත් සෙල්ලම් වයසේ සිටින ඔවුන්ට අනවශ්‍ය විදිහට වගකීම් පවරා දී වයසටත් කලින්  ඔවුන් වියපත් කිරීම ගැන ඇත්තටම සතුටු වෙන්න බැහැ. ළමා වයස ජීවිතයේ ඉතාම සුන්දර කාලයක්. නැවත කිසිම දිනක මේ ළමා කාලය අපට ලබා ගන්න බැහැ. බල්ලන්ට පිහිනන්න…උගන්වන්න අවශ්‍ය නැතුවා වගේම ගැහැණු දරුවන්ද අත්දැකීමෙන් ගෘහ කටයුතු ගැන දැණුම ලබා ගන්නවා. එය ඉතාම සාමාන්‍ය සිද්ධියක්.

ඒත් අපේ අම්මලා ගැහැණු දරුවා මල්වර වීමත් සමග පනවන තහංචි නිසා ඇගේ ජීවිතයේ විශාල පසුබෑමක් ඇති වෙනවා. මෙතෙක් පැවැති සැහැල්ලු ජීවිතය අවසාන වීම නිසා ඇති වෙන ආත්මීය ශෝකය විවිධාකාර විදිහට ඔවුන්ගේ පෞරෂය දුර්වල කරනවා.

ඔබ ජපානය ගැන අසන හැම මොහොතකම සිහියට නැගෙන එක් සිද්ධියක් ඇත. පරමාණු බෝම්බ හෙලා දැවී අළුව ගිය හිරෝෂිමා, නාගසාකි නගර ජපනුන් විසින් වැඩි කාලයක් ගෙවෙන්න පෙරාතුව නැවත යතා තත්වයට පත් කර ගත්තා. ඒ තරම්ම ඔවුන් ආත්ම ශක්තියෙන් යුක්ත පිරිසක්. ජපානයේ එතෙර සහයෝගිතා ව්‍යාපෘතියේ නියෝජිත ටොෂිකි කමාඩා සඳහන් කරන්නේ ඔවුන්ගේ රටේ දරුවන්ට මුලින්ම පුහුණු කරන්නේ ආකල්ප බවයි. අපේ රටේ මුලට ඇත්තේ දැණුමයි. අපි දැණුම, කුසලතා සහ ආකල්ප පදනම් කර ගත්තත් ඔවුන්ගේ ප්‍රමුඛතාවය ඇත්තේ ආකල්පවලට බව ඔහු සඳහන් කරනවා.

ඒ වගේම අපේ රටේ වගේ දැරියක් වෙනුවෙන් වගකීම් පවරන්න මල්වර වෙන වයස කොහෙත්ම බලපාන්නේ නැහැ. ජපන් දැරියක් ස්වාධීනව , නිදහස් ජීවිතයක් වෙනුවෙන් සූදානම් වීමට වයස අවුරුදු විස්ස කඩඉම කර ගෙන තිබෙනවා. ඒහි සාධාරණත්වයක් තිබෙනවා. අවුරුදු විස්සක් වෙන විට දැරියට යම් අදයාපයක් ලබා ගෙන සිටිනවා. ඒ වගේම නිවස සහ අසලැවිසියන් සමග ගොඩ නගා ගෙන තිබෙන සමාජ සම්බන්ධතාවයන් අනුව අත්දැකීම් බොහොමයි. මේ නිසා වයස අවුරුදු විස්ස ඔවුන් හඳුන්වන්නේ comming to age  යනුවෙන්. එතෙක් මව්පිය සෙවනේ හැදුන වැඩුන ඔවුන්ට එතැන් පටන් මිතුරන් ඇසුරට, ජීවිතය ගැන තීන්දු තීරණ ලබා ගැනීමේ ස්වාධීනත්වය තිබෙනවා.

මෙම සිද්ධිය ජපානයේ ඉතාම උත්සවාකාරයෙන් පැවැත්වෙනවා. ජපන් දැරියක් මුල්ම වරට කිමෝනාවෙන් සැරසෙන්නේ එදාටයි. කිමෝනාව ජපානයේ සංස්කෘතිය සමග බැඳුන සංවර ඇඳුමක්. සමාජය තුළ ස්වාදීනව හැසිරෙන ඇයගේ ඇඳුම් පැලඳුම් පවා මෙම අවස්ථාවට සම්බන්ධ කර ගන්නවා. මේ උත්සවය සැම වසකම මාර්තු 31 වැනි දිනට පෙරාතුව පැවැත්වීම බොහෝ පුරාණයේ පටන් ජපානයේ පැවැතෙන සිරිතක්. පසුගිය වසරේ මාර්තු 31 වැනි දිනට පසුව විසි වැනි වසර සපුරන ලද සියළුම ජපන් දැරියන් මෙම උත්සවය නව වසරේ මාර්තු 31 වැනි දිනට පෙරාතුව පැවැත්වීම සිරිතක්.

මේ comming to age  අවස්ථාව මුල් කර ගෙන ඔවුන්ගේ ජීවිතයේ ඇති වෙන්නේ අලුත් බවක්. ඒ වගේම ප්‍රබෝධයක්. එතැනින් පසුව ඔවුන් දකින ලෝකය බොහොම සුන්දරයි. තහංචි ඇත්තේම නැහැ. තහංචි ඉවත් වෙන්නත් බලපාන හේතුවක් තිබෙනවා. විසිවසරක් තුළ ලබා තිබෙන අත්දැකීම් නිසා ඔවුන්ට ස්වාධීනව ජීවිතය පටන් ගැනීම අපහසුවක් නොවෙයි. ඒත් අපේ රටේ මල්වර වෙන වයස මුල් කර ගෙන කටේ කිරි සුවඳ නැති වෙන්නත් පෙරාතුව ” එයා දැන් ලොකු ළමයෙක් ” කියන ලේබලය නිසා අපේ රටේ දැරියන්ට ඇති වෙන මානසික ගැටුම අපි හිතන තරමටම සරල නැහැ.

දරුවට ගැලපෙන සින්දුවක්

පළමු වසරට ඇතුලත් කරන දරුවෙකුට පුතා දන්න සින්දුවක් කියන්න කිව්වාම ඔහු ගායනා කළ ගීතය සම්මුඛ පරීක්ෂන මණ්ඩලයට අහගෙන ඉන්න තරම් අප්‍රසන්නයි. ඒත් දරුවාගේ මානසිකත්වයට බලපාන නිසා ඔහු ඉදිරියේ කිසිම දෙයක් කිව්වේ නැහැ. පසුව මවට කතා කරල මෙහෙම කිව්වා

දරුවෙක් මේ වගේ තැනකට කැඳවා ගෙන එද්දී කියන්න දරුවට ගැලපෙන සින්දුවක් කතන්දරයක් කියල දෙන්න…

අපි කියල දුන්න සින්දු වගේම මොන්ටිසෝරියේ ඉගෙන ගත්තු සින්දු හුඟක් තියෙනවා . ඒ තියෙද්දී තමයි මේ සින්දුව කිව්වේ…අම්මා විනිශ්චය මණ්ඩලය ඉදිරියේ අසරණ වුණා.

තවත් අවස්ථාවක දහම් පාසල් මාසික සමිති වාරයේදී දෙක වසරේ දරුවෙක් සමිතියට ගායනා කළ ගීතයත් ගුරුවරුන්ට අසා ගෙන ඉන්නත් අසීරු තරම්ටම නොගැලපෙන ගීතයක් වුණා. සමිතිය වෙනුවෙන් ගායනා කරන ගීත සහ කවි කතන්දර ලැයිස්තුව මුලින් ලබා ගත්තත් අහඹු ලෙස සිද්ධ වුන මේ සිදුවීමෙන් අපේ දරුවන්ගේ රසවින්දනය මොන තරම් පහළට ඇද වැටිලද යන්න අපිටම තේරුම් ගන්න පුළුවන්.

මේ ගැන අපි නිතරම අවලාද නගන්නේ දරුවන්ටයි. දරුවන්ගේ රසවින්දනය හොඳටම පහල ගිහින් යන චෝදනාව නැගුවත් එහෙම වෙන්නේ ඇයි යන තැනටත් අපි පිළිතුරු සොයන්න වෙනවා. දරුවන් ඉතාම ඉක්මනින් යමක් ඩැහැ ගන්නා පිරිසක් . මේ නිසා නිරන්තරව ඔවුන් ඇසෙන දකින දෙයින් මෙම අවශ්‍යතාවය ඔවුන් පිරිමසා ගන්නවා. අද බසයකට නැගුනත් එයින් බහින තුරුම ඇසෙන්නේ කිසිම අර්ථයක් නැති වේග රිද්මයේ ගීත පමණයි.

ඒ වගේම ඉස්සර කාලයේ පාසලේ නිවාසන්තර මළල ක්‍රීඩා උත්සව වෙනුවෙන් පැවැති ආචාර පෙළපාලි සහ සරඹ සංදර්ශන වෙනුවෙන් වාදනය වුනේ ” හෙල ජාතික අභිමානේ”….” ලෝකෙන් උතුම් රට….” වැනි ගීත අනුවාදන. නමුත් අද කන් පැලෙන ශබ්දයට වාදනය වෙන්නේ හින්දි ගීත තනු විතරයි. ඒ වගේම සංගීත පුටු තරගවලදී ගැයෙන ගීත හෝ වාදන පවා කිසිම ලෙසින් සංයමයක් හෝ රසයක් නැති විදිහට වාදනය වෙන්නේ මේ අනාගත පරම්පාව ඉදිරියේමයි. එතැනින් පසුව අනේ…අපේ දරුවන්ගේ රසවින්දනය යන චෝදනාව නැගුනත් අපි දරුවන්ට ගැලපෙන ගීත සහ කවි සින්දු වෙනුවෙන් අවස්තාවක් ලබා දෙන්නේ නැත්තේ ඇයි යන ප්‍රශ්නය අපෙන්ම විමසා සිටීම අවශ්‍යයි.

එදා අම්මා හෝ අත්තම්මා ඉර බහින විට , ස ඳ නැගෙන විට තම දරුවන් ළග තබාගෙන අහසේ සඳ පායන හැටි, තරු එකිනෙක නැගෙන න්දම , මාවවුලන් ආහාර සොයා යන හැටි පෙන්වා දුන්නා. ඒ සියල්ල වෙනුවෙන් ගැයුන පුංචි කවි සින්දුත් තිබුනා.

” සමන් පිච්ච මල් ඉහිරුන-නිල් තණකොල පිට්ටණියක්
වගෙයි අහස අන්න බලනු- කොච්චර ලස්සනද රෑට ( එස් මහින්ද හිමි ) ”

බොහෝ කවි සින්දු පරිසරය මුල් කර ගෙන රචනා වී තිබුනි.

” ගස වතුසුදු- වී පිරිසිදු
පොහොය නැතිදු- සිල් ගත් බඳු  (කුමාරතුංඟ මුනිදාස) ”

මේ කවි , ගීත මගින් පරිසරයේ වෙනස්කම් දරුවන් දැන උගත්හ. ඒවා ප්‍රායෝගිකවම අත්වින්දාහ. අද නගරයේ පාසල්වල දරුවන්ට ඉතා අසීරු විෂය වී ඇත්තේ පරිසරයයි. පරිසරය වෙනුවෙන් ඔවුන්ට කිසිම අත්දැකීම් නොමැති වීම ඊට බලපාන ප්‍රධානම හේතුවයි.රාත්‍රියේ හැසිරෙන කුරුල්ලන් ගැන , අහසේ තරු , සඳ වැනි සංකල්ප ඉතාම පහසුවෙන් දරුවාට හඳුනා ගත හැකිය.

” කජු පේර වරකා
ජම්බු ජම්බල නරකා
ලැබුන දේ හරකා
වගේ කන බොන ළමයි නරකා…. ”

වචන දහසකින් ලබා දෙන අවවාදය මෙම පද පේලි හතරකින් ලබා දීමට එදා ළමා සාහිත්‍යය වෙතින් විශාල අනුග්‍රහයක් ලැබිණි. මව්පියන් තම දරුවන් සමීපයේ තබා ගෙන මේ අන්දමින් කටවහරට ඉතා පහසු කවි පැදි කියා දුන්නේ එයින් ලබන ශික්ෂනය ගැන නොසිතා වුනත් දරුවන්ද මව්පියන්ද නොදැනුවත්ම ඔවුන් බොහෝ දේ උගත්හ.

දශක ගණනාවක් ගෙවුනද තවමත් එදා දරුවන් වෙනුවෙන් ලියැවුන කවි අපේ රසවින්දනයෙන්ද ඈත්ව ගොස් නැත.

” හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැ ලෑවා…. ”

හාවාගේ ගති පැවැතුම් දරුවාගේ මනසට ගෝචර අන්දමින් හදවතේ චිත්‍රනය කිරීමට කුමාරතුංඟ මුනිදාසයන් දක්වන ලද අපුර්ව හැකියාව නිනාම අදටත් මෙම කවි අපේ හදවතේ ජීවමානව පවතී.

” කොළ දෙකටක් කෑවා
පැන් උගුරක් බීවා
ඉතින් ඇතැයි කීවා
ඉතින් ඇතැයි කීවා… (කුමාරතුංඟ මුනිදාස) ”

හාවාගේ හැසිරීම ගැන දරුවාගේ හිතේ මැවෙන අහිංසක සිතුවිල්ල බෙහෙවින් චමත්කාරය.

දරුවෙකු මුල් කර ගෙන මේ දෙය කරන්න….මේ දෙය නොකරන්න යන අවවාදය ලබා දුන් මෙම කවි අදටත් නොගැලපෙන්නේ නොවේ.

” සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවනැත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි ”
” උදයෙම පිබිදී- මුහුණට දිය දී
ගේ දොර අමදී- කුලදෙවි නමදී ”

පුතේ උදෙන්ම නැගිටින්න….ගේ දොර අතුගාන්න…යන ගෝරනාඩුවට වඩා මේ කවි මගින් දරුවාට ලැබෙන ශික්ෂනය වචන දහසකට වඩා අගනේය.

දරුවන් වෙනුවෙන් ළමා ගීත රචනා කළ කවියන් අතර ඇස් . මහින්ද හිමි, ආනන්ද රාජකරුණා සහ කුමාරතුංග මුනිදාසයන් අපට අමතක කළ නොහැක. ඔවුන් දරුවන්ගේ හදවත ඉතාම අපුරු ලෙසින් ස්පර්ශ කළහ. මේ නිසාම එදා දරුවන් කැලේ කොලේ සතා සිවුපාවන්ට ආදරය කළහ. අම්මා , තාත්තා නිවසේ බුදුවරුන් සේ සැලකූහ. ඒ වෙනුවෙන් ඇත්තටම හේතු වූයේ බාල කාලයේ පටන් ඔවුන්ට ඇසෙන ගැයෙන කවි ගීත වෙතින් ලැබුන අපූර්ව බලයයි. මේවා දිව මන්තරයක් ලෙසින් ඔවුන්ගේ ජීවිතයට ආහිර්වාදයක් විය.

ඒත් අද අපේ දරුවන් වෙනුවෙන් ගැලපෙන ගී කව් රචනා වන්නේද නැත. මෙතෙක් තිබෙන වටිනාකම් සහිත කව් ගී දරුවන්ට සමීප කරවන උත්සාහයක්ද නැත. මෙම අපුරු කවි නව තාක්ෂනයෙන් සී. ඩී. ලෙසින් ඇතැත් ඒවා නිවසේ දරුවන්ට ඇසෙන සේ වාදනය කරන උත්සාහයක් මව්පියන් වෙතින්ද දැක ගන්නට නොලැබේ. එහෙත් ඉතාම පහසුවෙන් මෙම කවි ගීත දරුවන්ට ඇසෙන සේ නිවසේ ශ්‍රව්‍ය- දෘශ්‍ය මාධ්‍ය වෙතින් දරුවන්ට සමීප වූ විට ඔවුන් නොදැනම තම ජීවිතයට එයින් ශික්ෂනයක් ලබා ගනු ඇත. මේ වෙනුවෙන් මව්පියන් ලෙසින් ඔබ දැනටත් ප්‍රමාද නැත. රස වින්දනය වෙනුවෙන් ඔබ දරුවාට ලබා දෙන දායකත්වය සමග ඔවුන්ද වැඩෙනු ඇත. සාහිත රසය හඳුනන යුග පුරුෂයන් බිහිකිරීමේ ව්‍යායාමය වෙනුවෙන් එවිට ඔබ දුන් දායකත්වයද සුලුපටු නොවනු ඇත.

දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

පොඩි දරුවන්ට විතරක් නොවෙයි, අපි කාට වුනත් ලෙඩක් දුකක් වුනාම ‍ප්‍රතිකාර ලබා ගත් වෛද්‍යවරයාගේ නමේ පිටුපසින් තිබෙන උපාධිවලින් පමණක් රෝග සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරයා අපේ රෝග තත්වය තේරුම් අරගෙන ඖෂධ නියම කිරීමෙන් පසුව ඒ ඖෂධ නිසා විදිහට ලබා ගැනීමට අපි වග බලා ගත යුතුයි. මෙහිදී අපි අතින් සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවා. දරුවන් ඇති දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දැනුවත් වීම අවශ්‍යයි.

ඖෂධ මාත්‍රාව තේරුම් ගන්න

අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයි. එය මිලිග්‍රෑම් පහක් , දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවා. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා අපිට නියම කරන්නේ මිලිග්‍රෑම් පහක් නම් පෙත්ත මිලිග්‍රෑම් දහයකින් යුක්ත නම් අපි ලබා ගත යුත්තේ එයින් බාගයක් පමණයි. ඒ වගේම මිලි දහයක් ලබා ගත යුතු අවස්ථාවක ඖෂධ ලැබෙන්නේ මිලිග්‍රෑම් පහක පෙති විදිහට නම් අපි එයින් පෙති දෙකක් ලබා ගත යුතුයි. ඇතැම් අවස්ථාවල මිලිග්‍රෑම් දහයක පෙත්තකින් අවශ්‍ය මිලිග්‍රෑම් පහ වෙනුවෙන් බාගයක් කඩා ගන්න වෙන අවස්ථාවන්ද තිබෙනවා. එහිදී ඇසුරුමේ තිබෙන බේත් ලබා දෙන පිළිවෙල හොඳින් කියවා බලන්න. මෙම කියවා බැලීමෙන් ලබන සහතිකයෙන් පසුව දරුවාට අවශ්‍ය බේත් ටික ලබා දෙන්න.

අවශ්‍ය මාත්‍රාව අඩු වුනොත් රෝග සුවය ගැන සහතික වෙන්න බැහැ. මාත්‍රාව අධික වුනොත් ඇති වෙන අතුරු ප්‍රතිඵලත් දරුණු වෙන්න පුළුවන්. මේ නිසා නිතරම ඔබ බෙහෙත් දීමට ‍පෙර මාත්‍රාව ගැන සහතික වීම අවශ්‍යයි.

ඖෂධයේ ස්වභාවය

අද ඉන්හේලර් මගින්ද ඖෂධ ලබා දෙන නිසා මේ ගැන දැඩි අවධානයක් දක්වන්න. කරල් ලෙස මේවා  පෙනුමෙන් බොන බෙහෙත්වලටම සමානය. එහෙත් මේ ගැන ඔබට දැණුවත්බව ලබා දී ඇත. ඒ නිසා බොන සහ උරන කරල් අතර වෙනස පැහැදිලිව හ ුනා ගත හැකි සේ වෙන් වෙන්ව තබන්න. මේ ගැන බේත් දෙන විට මතකයට නගන සේ නිවසේ තවත් උදවිය හෝ දැනුම් තේරුම් ඇති වයසක නම් දරුවාටත් දැණුවත්බව ලබා දෙන්න.

ප්‍රතිජීවක ලබා ගැනීම

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේදී  කාල අන්තරයක් තිබෙනවා. එය පැය, හයකට වරක්  විදිහට දිනකට වාර ගණන හතරක් . මේ වාර හතර  පැය හයෙන් හයට වුනත් ඇතැම් අවස්ථාවලදී උණ හෝ වේදනාව අනුව පැරසිටමෝල් ප්‍රතිජීවකයක් විදිහට පැය හතරකට නිර්දේශ වුනත් පැය විසිහතරක කාලයේදී වාර ගනන ප්‍රතිජීවක ලබා නොගත්තොත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දරුවාට නින්ද ගියා, බොන්න බැහැ කිව්වා, ඉස්කෝලෙ යන නිසා දුන්නේ නැහැ ආදි ලෙසින් නිදහසට කරුණු කිව්වාම ප්‍රතිජීවක මගින් ලැබෙන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අදාල වෙලාවට ප්‍රතිජීවක ලබා දීම අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් වේලාව දැනගන්න එලාම් ඔරලෝසුවක් හෝ භාවිතා කරන්න. අද ජංගම දුරකථනයෙන් වුනත් මේ සන්නිවේදනය ලබා ගන්න පුළුවන්.

දරුවා‍ට බෙහෙත් පොවන්න

දරුවාට ඖෂධ පෙවීම එතරම් පහසු නැහැ. එක අතකට යුද්ධයක්. ඒත් දරුවා අඬනවා කියල බේත් ටික නොදී හිටියොත් රෝගය එතැනම තිබෙන්න පුළුවන්. මේ නිසා බේත් පොවන විට දරුවාගේ කලබලය නිසා බේත් හැලෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් බින්දුබටයක් හෙවත් ඩ්‍රොපර් එකක් ‍යොදා ගන්න. දරුවාට අත පය විසි කරමින් ඖෂධ හලන්න ඉඩ නොදී අත් පා හො ඳින් ඔතාගන්න. කට අරින්නේ නැත්නම් නිකට පහතට ඇද හැන්ද යටිතොල මත තබන්න. එවිට බේත් මුඛය තුලට ගමන් කරනු ඇත. ඒ වගේම හිස තරමක් ඔසවා තබන්න. පැතැලි තලයක තිබීමෙන් පිටඋගුර යෑමේ අවදානම විශාලයි.

තිත්ත බේත් වෙනුවෙන් පැණිරස දෙන්න

දරුවාට ඉතා අමිහිරි ඖෂධයක් ලබා දීමත් සමග පැණිරස යමක් දෙන්න. මෙයින් දරුවා බේත්වලින් ලද අපහසුවට විසඳුම් ලබනු ඇත. අතීතයේ තිත්ත කසායෙන් පසුව දරුවන්ට හකුරු හෝ මීපැණි ලබා දුන්නා. පැණිරස බෙහෙත් සමග ගත් විට ඖෂධ අවශෝෂනය ඉක්මන් වෙනු ඇත. කනේරු ඇට කෑමෙන් පසුව සීනි ආහාරයට ගැනීම නිසා ඉතා ඉක්මනින් අවශෝෂනය වේ.

තේ හැන්ද එපා

ඖෂධ ලබා දීමේදී අපේ දෙමව්පියන් බොහෝ විට පාවිච්චි කරන්නේ නිවසේ තිබෙන තේ හැන්දයි.  මෙම තේ හැඳිවල අඩංගු වෙන ධාරිතාවය එකිනෙකට වෙනස්. ඒ නිසා හැන්දෙන් දරුවාට අවශ්‍ය ඖෂධ මාත්‍රාව ලැබෙන්නේ නැහැ. තේ හැන්දක අඩංගු විය යුතු ධාරිතාවය මිලිලීටර් පහක් විය යුතුයි. අද දවසේ තේ හැන්දකින් මේ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. නිව්යෝක් විශ්ව විද්‍යාලයේ වරලත් මහාචාර්ය වෛද්‍ය ඇලන් මෙන්ඩිල්සෝන් සඳහන් කරන්නේ අවශ්‍ය ඖෂධ මාත්‍රාව නොලැබුනොත් රෝගය සුව වීමේ ප්‍රවනතාවය අඩකින් පහල බසින බවයි. මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ගේ මව්පියන් තුන්සියයක් දෙනා තෝරා ගත්තා. ඔවුන් ඖෂධ දියර ලබා දීම වෙනුවෙන් යොදා ගන්නා උපාංගයන් ගැන විමසා සිටියා. එහිදී ලබා ගත් තොරතුරු අනුව මව්පියන්ගෙන් තුනනේ දෙකක්ම යොදා ගෙන තිබුනේ වැරැදි මිනුමක්. ඇතැම් අය නිවසේ තිබෙන කුඩා මේස හැන්ද යොදා ගෙන තිබුනා. නිසි ප්‍රමිතියේ තේ හැන්දක් යොදා ගත් පිරිස 28 % ක් වුණා.

මෙම තොරතුරු පාදක කරගත් මහාචාර්ය ඇලන් මෙන්ඩිනල් කියා සිටින්නේ ඖෂධ දියර සමග නිසි මාත්‍රාව සහිත තේ හැන්දක් නිකුත් කිරීම අනිවාර්ය බව නිවේදනය විය යුතු බවයි. ඒ සඳහා ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අවධානය යොමු නිරීම මෙම අද්‍යනයෙන් බලාපොරොත්තු විය.

අතට අසු වෙන මායිමේ තියන්න එපා

පොඩි දරුවන්ට තමන්ට අවශ්‍ය හා අනවශ්‍ය යැයි විකල්ප නැහැ. දකින දකින දෙය වෙනුවෙන් ඔවුන්ගේ දෙනෙත් යොමු වෙනවා. කැස්සට ලබා දෙන ඖෂධ පැහැයෙන් වගේම රසයෙන්ද මිහිරියි. එහි රසය දන්නා නිසා දරුවන් මෙම දියර පානයට යොමු වීමේ ප්‍රවනතාවය වැඩියි. එය ඉතා අහිතකර විදිහට දරුවාට බලපාන්න  පුළුවන්. ඒ වගේම වැඩිහිටියන්ගේ ඖෂධ වුනත් දරුවන්ට අත ගැටෙන මායිමේ තිබීම ඉතාම අන්තරාදායකයි. මේ නිසා බෙහෙත් ගබඩා කරන විටත් ඉතා ප්‍රවේසමෙන් එය කළ යුත්තක්. මව්පියන්ගේ සුලු පමාව වුනත් දරුවාගේ ජීවිතයට අනතුරක් වීමට විශාල අවස්ථාවක් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය අම්මලාටද? දරුවන්ටද?

ශිෂ්‍යත්වය විභාගය යනු,

”හොඳ පාසැලකට දරුවා ඇතුළත් කරගැනීමට ඇති එකම මගයි”

”දරුවන්ට ළමා කාලය අහිමි කරවන විභාගයයි”

”අම්මලාගේ විභාගයයි”

ශිෂ්‍යත්වය විභාගය පිළිබඳව මම අසා ඇති අර්ථකතනයක් කිපිහයකි මේ. මේ සඳහා තවත් බොහෝ අර්ථකතනයන් තිබිය හැකිය. අද වන විට මව්වරුන් අමතර පන්ති කිහිපයකටම දරුවන් රැගෙන යන බව කවුරුත් දන්නා කරුණකි. අමතර පන්තියකින් දරුවෙකුට අවැඩක් වන්නේ නැත. දරුවෙකු ශිෂ්‍යත්වයය සඳහා අමතර පන්තියකට සහභාගී වීමේ වරදක් මා නොදකින්නේ එබැවිනි. එය ශිෂ්‍යත්වය විභාගය සමත් නොවුණද සුදුසුකම් සහිත ගුරුවරයෙකු යටතේ ඉගෙනීම තුළින් දරුවන්ගේ රසඥතාවය වැඩි දියුණු වීමත් දැනුවත් වීමත් නිසාය.

මාගේ වැඩිමහල් දියණිය දැන් සිව්වන වසරේය. මම ඇයද කැටුව අද වන විට ශිෂ්‍යත්වය පන්ති සඳහා ඉතා සුප්රසිද්ධ ගුරුවරයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන අමතර පන්තියක් වෙත ගියෙමි. මා එහිදී බලාපොරොත්තු වූයේ ශිෂ්‍යත්වයය අම්මා වන මාගේ විභාගයක් කරගැනීමටවත් දියණියගේ ළමා කාලය ඇයට අහිමි කරවීමටවත් නොව. මෙසේ අමතර පන්තියකට සහභාගී වීම තුළින් ඇයට ලැඛෙන දැනුවත් බව පිළිබඳව මෙන්ම පොතක් පතක් නොඅල්ලා මුළු දවසම ගතකරන ඇය ඒ කාලය තුළදී හෝ අධ්යපාන කටයුත්තක් කෙරේ යොමුවේය යන සිතුවිල්ලයි. එසේම හොඳ පාසැලකට යාමට ශිෂ්‍යත්වය විභාගය අවශ්ය බවත් යටි සිතේ නොතිබුණා යැයි කීවොත් මම බොරුකාරියක් වනු ඇත.

කෙසේ හෝ දියණිය පන්තියට ඇතුළත් කළ මාහට කාර්යාලය වෙතින් පැවසූවේ සිව්වන මහල වෙත දියණිය ද රැගෙන යන ලෙසටයි. දරුවන්ට ඉගෙනීමට අවශ්ය මනා වටපිටාවකින් සැකසුණු පහසුකම් සහිත ශාලාවක ඉදිරි පෙළ අසුන් අප එතැනට යන විටත් පිරී හමාරය. විශාල ශාලාවේ අවසාන පුටු පේලිවල වාඩි වී සිටින්නේ මව්වරුන්ය. දියණිය වාඩි කරවූ මම ද පළමු දිනය නිසා රැඳී සිටින්නට සිතා, ”මෙතැන අම්මලාට ඉන්න දෙනවාද?”යැයි තවත් මවකගෙන් විමසීය. ”ඔව්.. ඉන්න දෙනවා. අපි පන්තිය ඉවර වෙනකන්ම මෙතැන තමයි ඉන්නේ.” ඒ ඇයගේ පිළිතුරයි.

මම අසුන් ගත්තෙමි. ශාලාවේ පිටුපස සිට දියණිය ඇය ආසන්නයේ අසුන් ගෙන සිටි දැරියක් සමග නොනවත්වා කතාකරන ආකාරය මම බලා සිටියෙමි. පැය භාගයක් වැනි කාලයකට පසුව මව්වරුන් එක්වරම නිහඬ විය. ලා රෝස පැහැ අත් දිග කමිසයකින් සහ කලූ කලිසමකින් සැරසී ප්රශ්න පත්ර මිටියක් ද අතැතිව ශාලාවේ දකුණු පසින් ගුරුතුමා ඉදිරියට ඇදෙන්නට විය. දරුවෝ නැගිට ඔහුට ආචාර කළහ. එසැණින් මා දුටුවේ මා අවට සිටින මව්වරුන් ඉතා කලබලයෙන් තම අත් බෑග් තුළින් කුඩා සටහන් පොත් සහ පෑන් ඉවතට ගන්නා ආකාරයයි. මේ මන්දැයි යන ගැටලූවත් සමගින් මම දෙපසට හැරෙමින් මව්වරුන් දෙස බැලූවෙමි. සියලූම මව්වරුන් සටහන් පොත හා පෑන අතැතිව සිටී. මව්වරුන් මෙසේ ශිෂ්‍යත්වය පන්තියේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවද දරුවන් නම් මේ වන විටත් ගුරුවරයා සමග සිනාසෙමින් කතාබහ කරමින් සිටිනවා මිස පොත් පත් අතට ගැනීමට කිසිදු සූදානමක් නොවීය. ය.

ගුරුතුමා පාඩම ආරම්භ කළේය. ගම්බද පරිසරය බොහොම සුන්දරව දරුවන් ඉදිරියේ මවා පෑ මේ ගුරුවරයා සැබවින්ම දකෂයෙකි. ඉතා සංයමයෙන් පාඩම රසවත්ව දරුවන්ගේ සිත් තුළට කාවද්දවන්ට ඔහු සැබෑ සමතෙකි. විටින් විට දරුවන්ගේ වැරදිවලට එසැණින් දඬුවම් ලබාදීමට ඔහු පසුබට නොවීය. මා වටහා ගත් පරිදි ඒ ඔහු තුළ දරුවන් කෙරේ වූ සැබෑම ලෙන්ගතකම නිසාමය.

මේ සියලූ සිදුවීම් අතරේ මව්වරුන් විශාල කාර්යයක නියැලී සිටී. එනම්, හිස නමාගනිමින් ගුරුවරයා කියන සෑම වචනයක්ම සටහන් කරගැනීමයි. මෙහිදී ගැටලූ රැසක් එකින් එක මගේ සිතට ගලා එන්නට විය.

මෙය අවශ්‍ය දෙයක්ද? 

මව්වරුන් මෙලෙස සටහන් කළ යුත්තේ ඇයි?

පොතක් පෑනක් ගෙනෙන්නට නොසිතුණේ මම, මගේ දරුවා ගැන සිතනවා මදිද?

ගුරුවරයා එසේ කරන ලෙස පවසා ඇතිද?

ගුරුවරයා පවසන දේ මව්වරුන්ට සිහි තබාගත නොහැකිද? එසේ නම් දරුවන් එය සිහි තබාගන්නේ කෙසේද?

ශිෂ්‍යත්වයය මේ තරමටම බැරෑරුම් විභාගයක්ද?

දයාබර මව්වරුනි, මෙය මෙසේ සිදුවන්නේ ඇයි දැයි මාහට අවබෝධයක් මේ වන විටත් නොදනිමි. පෙර අර්ථකතනය කළ පරිදිම දරුවාට හොඳ පාසැලක් ඔබේත් මගේත් එකම සිහිනය විය හැකිය. මව්වරුන් මෙසේ සටහන් කරගන්නා සියල්ල නැවත නැවත නිවසේදී උගන්වමින් කුඩා මනසට ඔරොත්තු දෙන සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් එය දරුවාගේ අනාගතය අඳුරේ ගිල්වීමට ඔබ ගත් පළමු පියවර ලෙස හැඳින්වීමේ වරදක් නැත. දැනුවත් බවින් හෝ නොදැනුවත් බවින් හෝ සටහන් කරගත් සියල්ල නැවත නැවත දරුවාට ඉගැන්වීමට ඔබට හැකියාවක් නොමැති කමින් දරුවා වැරදි කරුණු මනසට කාවද්දවා ගැනීමට ඉඩ ඇත.

ඇතැම්විට පන්තියේ කියාදුන් පාඩම ඇසුරෙන් දරුවාට යම් ගැටලූවක් ඇති වුවහොත් එය වටහා දීම, මෙසේ සටහන් තබාගන්නා ඔබේ අරමුණ නම් එහි වරදක් නොමැත. එය සැබවින්ම ඔබ දරුවාට ලබාදෙන සහයෝගයකි.

දරුවන්ට ඉගැන්වීම කොයි කාටත් කළ හැකි දෙයක් නොවේ. එසේ නම් අපි සැමට ප්රාථමික අංශයේ ගුරුවරුන් ලෙස පත්වීමට සුදුසුකම් තිබිය යුතුය. ගුරු වෘත්තිය වෙත පිවිසෙන ගමන් මග දිගේ ඔවුන් පුහුණුව ලබන බොහෝ ක්ෂේත්‍ර ඇති අතරම ළමා මනෝ විද්යාවද එයට ඇතුළත් අංගයකි. දරුවන්ගේ මනස හොඳින් හඳුනන ඔවුන් දරුවන්ට ගැලපෙන පරිදි ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ එබැවිනි. මව්වරුන් ලෙස අපේ වගකීම වන්නේ දරුවන්ට ඇවැසි සහයෝගය, පෝෂණය, ආදරය, කරුණාව මෙන්ම නිසි මගපෙන්වීම ලබාදෙමින් ඉගෙනීමට සුදුසු පරිසරයක් ගොඩනඟා දීමයි. ඒ කාර්යයන් ගුරුවරයාට කළ නොහැකි සේම ගුරු වෘත්තිය අපට ද කළ නොහැක.