Home Blog Page 123

සෙල්ලම් බඩු තෝරා ගන්නේ කෙසේද?

සෙල්ලම් බඩු… අද වන විට දරුවන් හා බැඳී පවතින මේ සෙල්ලම් බඩු සෑම දරුවකුම ඒවා සමඟම විනෝද වෙමින් වැඩි කාලයක් ගත කිරීමට කැමති වේ. හුදු විනෝදයට ඔබෙන් ගිය වටිනාකමක් සෙල්ලම් බඩු වලින් ලබා ගත හැකිද?  ඔව් දරුවාගේ  බුද්ධි වර්ධනයට සෙල්ලම් බඩු වලින් අපට දායකත්වයක් ලබා ගන්න පුලුවන්. එසේ සෙල්ලම් බඩු තෝරා ගැනීමේදී දරුවාගේ වයස නම් බෙහෙවින්ම වැදගත්ය.

දරුවකු උපන් දාසිටම තම පරිසරය තුලින් දැනුම උකහා ගැනීමට උත්සහා ගනියි. සාමාන්‍යයෙන් දරුවකු ඉපදී මාස හයක් පමණ වන තුරු වර්ණ හා ශබ්ද සඳහා වැඩි අවදානයක් යොමු කිරීමත්, තනිවම යමක් අල්ලා ගැනීමටත්, තම ස්වශක්තියෙන් හිඳ ගැනීමටත් උනන්දුවක් දක්වයි.  එනිසා දරුවකුට මාස හයක් පමණ වන තුරු විවිධ වර්ණයන්ගෙන් යුත් හා අල්ලා ගැනීමට පහසු අල්ලන විට මිරිකෙනවිට හා තද කරන විට ශබ්දය නැගෙන සෙල්ලම් බඩු සිඟිත්තාට විනෝදයත් සතුටත් ඇති කරන්නට සමත්ය. දරුවාගේ කොට් එකට ඉහළින් තද පැහැති සංගීතයක් පිටවන සෙල්ලම් බඩු එල්ලා තැබිය හැකිය. එවිට දරුවාගේ ඇස් වලට ඇති වන උත්තේජනයක් ඇති වන අතර දරුවා විවිධ ප්‍රතිචාරද දක්වනු ඇත. එසේම නොබිඳෙන කැඩපතකින් දරුවාට දරුවා දෙසම බලා සිටින්නට අවස්ථාවක් ලබා දෙන්න. එසේම පු`ඵන් පිරවූ සුරතල් සතුන් සතුන්ටද දරුවන් ඇල්මක් දක්වයි. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට යම් යම් දෑ අල්වා ගත හැකි වන හෙයින් සෙල්ලම් බඩු කටේ රුවා ගැනීමට උත්සහ දරනු ඇත. එහෙයින් නාසයේ හෝ උගුරේ හිර නොවන  සෙල්ලම් බඩු තෝරා ගැනීමට සිහි තබා ගන්න.

මාස හය පසුවූ පෙරා වඩා දරුවා ක්‍රියාශීලීයි නේද?  දැන්  පුංචි පැටවු සෙල්ලම් බඩු අතින් අතට මාරු කරන්නත්, ඒවා තදින් අල්ලා විසි කරන්නට ඒවායේ  විවිධ කොටස් ගැන විපරම් කර බලන්නටත් ඒවා  ක්‍රියාත්මක කර බැලීම වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමුවේ .මාස 6 ත් අවුරුද්දත් අතර ඔබේ දරුවාට පෙරට වඩා සංකීර්ණ සෙල්ලම් බඩු ලබා දිය හැකිය. ප්ලාස්ටික් හෝ ලී වලින් තැනූ සතුන් පළතුරු වැනි දෑ  ලබා දීමෙන් දරුවාගේ සිරුර අත්පා මෙන්ම දැනුම වර්ධනයට අත්වැලක් වේ.

දරුවාගේ වයස අවුරුදු 1 ත් 2 ත් අතර කාලය තුල දරුවාගේ බුද්ධි වර්ධනය ඉතා සීග්‍රව සිදුවේ. යම් දෙයක ප්‍රමාණය, වර්ණය එහි හැඩය සහ පරිමාව පිළිබඳව අවධානය යොමු කරයි. රූ කැට (Building blocks ) වැනි සෙල්ලම් බඩු දරුවාට ලබා දීමෙන් වර්ණ හදුනා ගැනීමටත් එකම හැඩය සහිත ඒවා එකට සවි කිරීම මගින් හැඩ පිළිබඳව දරුවා දැනුවත් වේ. සෙල්ලම් ගෙවල්, විවිධ හැඩ සහිත භාජන, බෝනික්කන් . සෙල්ලම් වාහන වැනි දේ කෙරෙහි දරුවා වැඩි අවධානයක් යොමු කරයි.

අවුරුදු 2 න් පසු දරුවා තව දුරටත් ඉතා ක්‍රියාශීලීය. විවිධ අත්හදා බැලීම් සිදු කරන්නටත් සෙල්ලම් බඩු කඩා ඒවායේ සැකස්ම පිළිබද අධ්‍යනය කරන්නටත් පෙළඹෙයි. මේ අවදියේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ බුද්ධිය වර්ධනය වන ක්‍රියාකාරකම් වලින් දරුවා කාර්ය බහුල කරන්නටය. වයස අවුරුදු 2 පසු වන විට ප්‍රහේලිකා (puzzle) වර්ගයේ සෙල්ලම් බඩු ලබා දිය හැකිය. සෙල්ලම් ගෙවල් කට්ටල.වෛද්‍ය නලා වැනි සෙල්ලම් කට්ටල ලබාදිය හැකිය.

සෙල්ලම් කිරීමට අමතරව දරුවා විනෝදයටත් සතුටටත් පත් කළ හැකි හොඳම ක්‍රමයක් ලෙස කියා ්දීම සිදු කළ හැකිය. එසේම මෙම අවදියේදී දරුවාට කියවීමට හුරු කිරීම ඉතා සුදුසුය. දරුවාට අකුරු පිළිබඳත අවබෝධයක් නොමැති වුවත් දරුවාට පෙනෙන ලෙස වර්ණවත් රූප ඇති කතන්දර පොත් දරුවා සමග කියවන්න. දරුවන් මෙම වයසේදී යමක් තේරුම් ගැනීමත් පිළිතුරු ලබා දීමටත් හැකියවක් ඇත. ඒ තුලින් දරුවාගේ සවන් දීමේ කුසලතාවය හා අවබෝධ කරගැනීමේ හැකියාවට මහඟු පිටුවහලක් හිමිවේ.

කතන්දර පොත් කියවීම තුලින් දරුවන් තුල නිර්මාණශීලීත්වය වර්ධනය වේ. ඔවුන් විසින්ම කතන්දර පොත් වල ඇති රූප වලට අනුකූලව කතන්දර තනිවම ගොත කියන්නට උත්සහ දරනු ඇත.

දරු ප්‍රසූතියෙන් පසු සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් තෝරාගන්න

ප්‍රසූතියෙන් පසුව සෑම කාන්තාවක්ම ශාරීරිකවත් මානසිකවත් විඩාවට පත්ව සිටිය හැකි වුවද දිනෙන් දින සුපුරුදු ජීවන රටාවට හැඩගැසිය යුතුය. දැන් ඔබ  ඉදිරි ජීවිතයට මුහුණ දෙන්නේ උතුම් මව්පදවියේ කිරුළ පැලදූ අම්මා නම් ගෞරවනීය පදවියත් සමගිනි. ඔබ, ඔබේ නිවසේ සිරිදුවයි. පවුලේ දියුණුව, සමගිය, ආදරය, එකමුතු බව රැකගැනීමට මෙන්ම සියලූ දේ සමබරව පවත්වා ගැනීමට ද සිදුවන්නේ ඔබටයි.

දරුවෙක් මල්ලෙක් නැතිව පවුලක් සම්පූර්ණ වෙන්නේ නෑ’‘ යන කියමන අතීතයේ සිටම පැවතෙන්නේ දරුවා යනු මව සහ පියා අතර බැඳීම තව තවත් ශක්තිමත් කරන නිසාවෙනි. දරුවෙකු ලැබීම නිසා මව සහ පියා තව තවත් සමීප වනු ඇත.

දරුවා ලැබී සති හයක් ගත වූ පසු ඔබ නැවතත් සාමාන්‍ය තත්ත්වයේ කාන්තාවකි. සැමියාගේත් ඔබේත් සුපුරුදු ලිංගික ජීවිතය ගත කිරීමේ හැකියාව ඔබ සතුය. නමුත් ඔබ සිහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ලිංගික සබඳතාවයන්හිදී සුදුසු, ආරක‍ෂාකාරී පවුල් සැලසුම් ක්‍රමයක් තෝරා ගැනීම පිළිබඳවයි. තම දරුවාට මව්කිරි පමණක් ලබාදෙන මවක් නැවත ගැබ්ගැනීමට ඇති හැකියාව 2%ක් තරම් අවම මට්ටමේ පැවතුණද එය නිශ්චිතවම නිගමනය කළ නොහැක. සාමාන්‍යයෙන් දරුවන් අතර පරතරය අවුරුදු දෙකකට වඩා වැඩියෙන් තබාගැනීම වඩා සුදුසු වන බැවින් ආරක‍ෂිත පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතය වඩාත් සුදුසුය. මන්ද ළඟ ළඟ සිදුවන දරු පිළිසිඳ ගැනීම් නිසා අලූත උපන් දරුවාට මව්කිරි දීම අඩාල වේ. කෙසේ වුවද මවක් එක් දරු ප්‍රසූතියකින් පසුව තවත් ගැබ් ගැනීමක් සඳහා ශාරීරිකවත් මානසිකවත් සුදුසු තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍ය බැවින් දරුවන් දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් වසර දෙකක කාලයක්වත් වීම වඩාත් සුදුසුය. (අවුරුදු 35 කට වැඩි මවක් නම් මීලඟ දරුවා අතර පරතරය අවුරුදු 2 කට වඩා වැඩි විය යුතුය යන්න එතරම් සැලකිල්ලට ගත යුතු නැත.)

කිරිදෙන මවකට භාවිත කළ හැකි පවුල් සැලසුම් ක්‍රම

තාවකාලික ලෙස දරුවන් ලැබීම පමා කරනවා නම්, ඔබට මේ ක්‍රම ගැන සිතා බැලිය හැක.

  • ලුපය තැන්පත් කිරීම
  • ඩිපෝ එන්නත
  • සමට යටින් තැන්පත් කරන හෝර්මෝන කරල්
  • පිරිමි කොණ්ඩමය

ඔබ මව්කිරි ලබා නොදෙන කාන්තාවක් නම් ප්‍රසූතියෙන් සති හයකට පසුව ගිලින පෙත භාවිත කිරීමේ වරදක් නොමැත.

ලුපය තැන්පත් කිරීම

මෙය ඉතා හොඳ ජීවානුහරිත තත්ත්වයක් යටතේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. මෙය ප්ලාස්ටික්වලින් නිම කරන ලද තඹ අඩංගු කුඩා ඔ හැඩයේ නැමෙන සුළු එකකි.

මෙහි ක්‍රියාකාරීත්වය 
  • ගර්භාෂය තුළ ඇති කරන ප්‍රදාහ තත්ත්වය හේතුවෙන් ඩිම්බ සහ ශුක්‍රාණු විනාශයට පත් කරයි.
  • ගර්භාෂයේ බිත්ති පටකවල සිදුවන වෙනස්කම් නිසා කලල රෝපණය සිදු නොවේ.
ලුපය තැන්පත් කිරීමට සුදුසු කාලය
  • ඔසප් වීම ආරම්භ වී පළමු දින 7 ඇතුළත
  • දරු ප්‍රසූතියෙන් පසු පළමු පැය 48 ඇතුළත හෝ ප්‍රසූතියෙන් සති 4-6 කට පසුව
ලුපය භාවිතයේ වාසි
  • මෙය ඉතා සාර්ථක ක්‍රමයකි
  • වසර 10-12 දීර්ඝ කාලයකට ක්‍රියාකාරීත්වය ඇත
  • කිරි දෙන මව්වරුන්ට භාවිත කළ හැකියි
  • මෙහි හෝමෝන බලපෑමක් නැත
  • ඔසප් චක්‍රයේ ක්‍රමවත් බවට බලපෑමක් නැත
  • මෙය ඉවත් කළ වහාම නැවත සරු භාවය ලැබේ
ලුපයේ අතුරු ආබාධ
  • උදරයේ වේදනාව
  • මුල් කාලයේ රුධිර වහනය වැඩිවීම
  • අතර මැද ඇතිවන සුළු රුධිර වහනය
  • යෝනි මාර්ගයේ ශ්‍රාවයන් ඇතිවීම
හෝර්මෝන අඩංගු ලුපය (LNG IUS)

මෙම ලූපය ද පෙර සඳහන් කරන ලද පරිදි ප්ලාස්ටික්වලින් නිපදවන ලද කුඩා T හැඩැති නැමෙන සුළු මෙහි යම් වෙනසකට ඇත්තේ මෙහි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිකුත් කිරීමයි.

මෙහි වාසි නම්,

  • වසර පහක සාර්ථකත්වය
  • රුධිර වහනය අවම වීම
  • රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම වීම
  • ඔසප් වීම නතර වීමට එන කාලය තුළ ඇතිවන අධික රුධිර වහනය අවම කරගත හැකි වීම
ඩිපෝ එන්නත 

මෙම එන්නතෙහි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය අඩංගු වේ. මෙය මාස තුනෙන් තුනට ලබාගත යුතු එන්නතකි. මාස තුනකට වරක් පමණක් ලබා දෙන මෙම එන්නතේ පළමු වැන්න ප්‍රසූතියෙන් සති 6 කට පසුව හෝ ඔසප් ඇරඹී දින 7ක් ඇතුළත පසු ලබාගත යුතුය. එන්නත ලබා දුන් පසු එම ස්ථානය සම්භාහනය කිරීමෙන් වැළකිය යුතුය.

එන්නත භාවිතයේ වාසි
  • ඉතා සාර්ථක ක්‍රමයකි
  • මව්කිරි නිෂ්පාදන වැඩිවන නිසා කිරිදෙන මව්වරුන්ට යෝග්‍ය වේ
  • ඔසප් චක්‍රය ආශ්‍රිතව ඇති වන උදර වේදනාව අඩු වේ.
  • රුධිර වහනය වීම අවම වන නිසා රක්තහීනතාවය ඇතිවීම අවම වේ
  • වෙනත් ලෙඩ රෝග නොමැති අවස්ථාවක වයස 50 තෙක් අඛණ්ඩව භාවිතා කළ හැකිය
එන්නත භාවිතයේ අවාසි
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • කරකැවිල්ල
  • හිසරදය
  • පියයුරු වේදනාව/විශාල වීම
  • සිරුරේ බර වැඩිවීම
  • එන්නත නැවැත්වීමෙන් පසු සමහර අවස්ථාවල දරුවෙකු පිළිසිඳ ගැනීමට මාස 7-9 ක් අතර කාලයක් ගතවීම
කොපුව (කොණ්ඩම්)

නිවැරදි අන්දමට භාවිතයෙන් 97% කට වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් වන මෙය පුරුෂ පාර්ශවය මගින් භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමයකි. ප්‍රාණවත් වූ ශිෂ්ණයට පැළද ගැනීමට හැකි අයුරින් ලේටෙක්ස් රබර්වලින් නිපදවන ලද කොපුවකි. මෙය ශුක්‍රාණු යෝනි මාර්ගය තුළට ඇතුළු වීම වළක්වන භෞතික සාධකයක් ලෙස ක්‍රියා කරයි. සරු භාවයට කිසිදු බලපෑමක් නොකරන අතර අනපේක‍ෂිත ගැබ් ගැනීම් වළකයි. එමෙන්ම HIV වැනි ලිංගික සම්ප්‍රෙක‍ෂණ රෝගවලින් ආරක‍ෂා කිරීමේ හැකියාව ද මෙය සතුය. ඉතාමත් කලාතුරකින් යම් ආසාත්මිකතාවයක් ඇති වන්නේ මෙහි ඇති ලේටෙක්ස් රබර් හෝ ලිහිසි ද්‍රව්‍ය නිසාය.

සමට යටින් තැන්පත් කරන හෝර්මෝන කරල් – දීර්ඝ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රෙජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයක් වන මේ ක්‍රමයේදී දැනට ලංකාවේ භාවිත වන කරල් වර්ග නම් ජඩෙල් හා ඉම්ප්ලනෝන් වේ. මෙහි ක්‍රියාකාරී කාලය පිළිවෙළින් අවුරුදු 5 ක් හා අවුරුදු 3 ක් වේ.

භාවිතයෙන් ඇති වාසි,
  • දිගු කාලීන ක්‍රියාකාරීත්වයක් ඇත
  • මව්කිරි නිෂ්පාදනය වැඩවේ
  • තැන්පතු ඉවත් කළ වහාම නැවත සරු බව ලබාගත හැක
  • හෘද රෝග වැනි ආබාධ ඇති කාන්තාවන්ට ද වඩාත්ම සුදුසු ක්‍රමයකි
  • වයස 55 වන තෙක් භාවිත කළ හැක
අතුරු ආබාධ
  • කරකැවිල්ල
  • හිසරදය
  • ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව

දරුවෙකු බිහිකළ මවක් දරු ප්‍රසූතියෙන් සති හයකට පසු මෙයින් වඩාත් සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් වෛද්‍ය උපදෙස් මත තෝරාගැනීම වඩාත් සුදුසුය. ළඟ ළඟ සිදුවන දරු පිළිසිඳ ගැනීම් වළක්වා ගැනීමට මෙන්ම අඹු සැමියන් අතර බැදීම වර්ධනය කරගැනීම සඳහාත් වැදගත් වනු ඇත. එසේම ආර්ථීකමය වශයෙන් සහ සමාජීය වශයෙන් ද එය වැදගත් කරුණකි.

ඔබ, අවශ්‍ය දරුවන් ගණන සිටින වෙනත් දරුවන් බිහිකිරීමට බලාපොරොත්තු නොවන කාන්තාවක් නම් ඔබට හෝ සැමියාට ගැහැණු හෝ පිරිමි සැත්කම සිදුකිරීමේ හැකියාව පවතින අතරම දරු ප්‍රසූතියෙන් දින හතක් ඇතුළත හෝ සති හයකින් පසුව කාන්තාව ඒ සඳහා යොමු විය යුතු අතරම පිරිමි පාර්ශවයට ඕනෑම අවස්ථාවක සැත්කම වෙත යොමු විය හැකිය.

වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය
වින්දන ප්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානය, කොළඹ 07

 

කිරිදත් මෝදු වූ දා සිටම ඇරඹිය හැකි පූර්ව ළමාවිය දන්ත ව්යසනය (Early childhood caries)

දස මසක් පුරා තම කුස තුළ වැඩෙන කිරි කැටියා දැක ගන්නට මවක් ලක ලෑස්තිවිය යුතු ආකාරය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාදීමේදී මවගේ මුඛ සෞඛ්‍ය පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවට ගර්භණී සමය පුරා ඔබව දැනුවත් කරන්නට ඇති. එයට හේතුව වන්නේ මවගේ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වය, ළදරුවාගේ මුඛ සෞඛ්‍යය කෙරේ බලපෑම් ඇති කළ හැකි වීමයි. ළදරුවා බිහිවන මොහොත වන විට මවකගේ මුඛ සෞඛ්‍ය උපරිම හොඳ තත්ත්වයේ පැවතිය යුතු යැයි පැවසෙන්නේ එබැවිනි.

සෑම මවක්ම තම ළදරුවාගේ පිරිසිදු බව, පෝෂණය ආදී දේ පිළිබඳව පූර්ණ අවධානය යොමු කළද ඒ හා සමානවම වැදගත් වන ළදරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව යොදවන අවධානය පිළිබඳව අද වන විට පවතින්නේ එතරම් සතුටුදායක තත්ත්වයක් නොවේ. අද වන විට ළමාවියේ දරුවන් වැඩි කොටසක් පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (ECC) නම් වූ තත්ත්වයට ගොදුරු වීම එයට කදිම නිදසුනයි. ළදරුවෙකුගේ පළමු කිරිදත මෝදු වූ දිනයේ පටන්ම මව්වරුන්ගේ විශේෂ අවධානය යොමු වීම ඉතා වැදගත් බව පැවසූවේ එබැවිනි.

ළදරුවෙකුගේ දත් මෝදු වීමේ කාල සීමාව එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එනම් ඇතැම් දරුවන්ගේ මාස හය සම්පූර්ණ වූ පසුව දත් මෝදුවීම ඇරඹුණ ද ශ්‍රී ලංකාවේ ළදරුවන් වැඩි කොටසකගේ දත් මෝදු වීම ඇරඹෙන්නේ මාස නවය සම්පූර්ණ වීමත් සමගයි. එසේම ඇතැම් දරුවන්ගේ වයස අවුරුද්ද සම්පූර්ණ වූ පසුවද දත් මෝදු වීම ආරම්භ විය හැකිය. කුමන වයස් සීමාවේදී දත් මෝදුවීම ඇරඹුණද පළමු කිරි දත මෝදු වූ දිනයේ පටන්ම ඒ සඳහා ආරක‍ෂාව සැපයීම මවකගේ වගකීමයි.

ඔබ දන්නවාද ?

දත් දියවී යාම ඇරඹෙන්නේ සීනි සහිත ආහාර මුඛයේ තැම්පත් වීම නිසා ලැක්ටො බැසිලස් ( lacto bacillus), ස්ටේ‍රප්ටොකොකස් (streptococcus) යන බැක්ටීරියා මගින් ලැක්ටික් ඇසිඩ් නිපදවෙන නිසාය. එසේ නිපදවෙන ලැක්ටික් ඇසිඩ් මගින් දතේ බාහිරයේ ඇති එනමලයේ සිට දත තුළට දියවී යාම දන්ත ව්‍යසනය ලෙස හැඳින්වේ. පළමු දත මෝදු වූ දිනයේ පටන් මාස 71ක් (දළ වශයෙන් අවුරුදු හයක් පමණ) සම්පූර්ණ වන තෙක් දරුවන්ට ඇති වන දත් දිරා යාමේ මෙම තත්ත්වය පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය ලෙස හැඳින්වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) දත් මෝදු වූ කාලයේ පටන්ම ආරම්භ විය හැකි වුවද එහි ලක‍ෂණ පිටතට පෙන්නුම් කිරීම දැකගත හැකි වන්නේ මස කිහිපයක් ගතවීමෙන් පසුවය. මේ තත්ත්වය පළමුවෙන්ම බාහිරයට දිස්වන්නේ උඩු ඇන්දේ ඉදිරි පෙළ දත්වල පිට පැත්තේනි. රෝගී තත්ත්වය බරපතල වෙත්ම යටි ඇන්දේ ද දත්වල දැකගත හැකි වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) සඳහා මූලිකවම බලපානනේ රාත්‍රී නින්දේදී මව්කිරි/පිටිකිරි ලබාදීමයි. දත් දිරායාම සඳහා සිරුර තුළින් දක්වන ප්‍රතිරෝධයක් කේඨයේ (කේඨයේ අන්තර්ගත භාෂ්මිකතාවය) අන්තර්ගත වුවද අවධිව සිටින විට මෙන් නින්දේදී මුඛය තුළ කේඨය ස්‍රාවය සිදුනොවන නිසා සෑදෙන අම්ල නිෂ්ක්‍රීය කළ නොහැක. එවිට කිරි පානය කොට නින්දට වැටුණ ළදරුවාගේ මුව වියළී යන අතරම කිරිවල අන්තර්ගත වූ සීනි දත් මතුපිට තැම්පත් වී පෙර සඳහන් කළ පරිදිම ලැක්ටික් ඇසිඩ් නිපදවී දත් දිරායාම ආරම්භ වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයේ රෝග ලක‍ෂණ

  • දත් බාහිරින් තනි සුදට හුරු ලප ඇති වී ඒවා දුඹුරු පැහැයට හැරේ
  • දුඹුරු පැහැ ලප කැඩී බිඳී යයි
  • දත් කැඩී ගොස් කුහර ඇති වේ

වයස අවුරුදු හය පමණ වන විට දරුවන්ගේ කිරිදත් හැලී ගොස් ස්ථීර දත් පැමිණයද ඒ තාක් දරුවෙකුගේ නිරෝගී දත් දෙපළක් පැවතීම ඉතාම වැදගත් වේ. ආහාර අනුභවයට, සුන්දරත්වය රැකගැනීමට පමණක් නොව වචන නිවැරදිව උච්ඡාරණය කිරීමටත් දරුවාගේ පෞරුෂත්වයටත් නිරෝගී දත් දෙලළක් පැවතීම අත්‍යවශ්‍යය. එබැවින් කිරිදත්වල රැකවරණය පිළිබඳව මව්වරුන් පූර්ණ අවධානය යොමු කිරීම වැදගත් වේ.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනය (Early childhood caries) තත්ත්වය කල්තියා හඳුනා ගනිමින් වෛද්‍ය උපදෙස් කරා යොමු වීමට නම් මව්වරුන්ට ඒ පිළිබඳව දැනුවත් බවක් තිබිය යුතුමය. සතියකට වරක් ස්වභාවික ආලෝකය හොඳින් ඇති ස්ථානයකට දරුවා රැගෙන මුඛය පරීක‍ෂා කළ යුතු අතරම දත්වල ලප, අඳුරු පැහැවීම් හෝ යම් වෙනසක් දිස්වේ නම් තත්ත්වය කල්තියා හඳුනා සුදුසුකම්ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවී ඒ අවස්ථාවේ සිටම පාලනය කිරීම සඳහා මව්වරුන් දැනුවත් විය යුතුය.

කල් තබා දන්ත වෛද්‍යවරයෙකු හමුවීම තුළින් දත්වල කුහර ඇති වීමට පෙර තත්ත්වය පාලනය කිරීමට ඔබට අවස්ථාව සැලසේ. ෆ්ලොරයිඩ් අධි සාන්ද්‍රණයක් සහිත ජෙල්, වානිෂ් වැනි ප්‍රතිකාර ක්‍රම මගින් දත් නරක්වීම වළක්වා ගත හැකිය. නමුත් දරුවා වයසින් අඩු නම් එනම් මෙවැනි ප්‍රතිකාර සඳහා දරුවා නියමිත වයස් සීමාවේ නොමැති නම් සුදුසු වයස තෙක් ප්‍රතිකාර පමා කොට නිසි වයසේදී ප්‍රතිකාර ක්‍රම ආරම්භ කළ හැකියි. මන්ද කුඩා දරුවන්ගේ මුඛයේ ආලේපනය කරන ඛෙහෙත් වර්ග කෙළ සමග මිශ්‍ර වූවිට ඒවා පිටතට දැමීමට කුඩා දරුවන්ට අවබෝධයක් නොමැති නිසාය. මෙම ප්‍රතිකාර ක්‍රම එක් එක් දරුවාගේ රෝග තත්ත්වය අනුව වෙනස් වේ.

සෑම දරුවෙකුගේම පළමුව ඇති වන කිරිදත් 20 හැලී යන අතරම ඊට පෙර දත් ගැලවීම අද වන විට සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඇතැම් දරුවන්ගේ දත් දිරාපත් වී කැඩී බිදී ගිය පසුව ඇති වන මුවහත් පෘෂ්ඨයන් නිසා සිදුවිය හැකි තුවාල වළක්වා ගැනීමට, කිසිසේත්ම පිරවීමක් රැඳවිය නොහැකි දත් ඇති අවස්ථාවල මෙන්ම නිතර නිතර සැරගෙඩි ඇතිවීම වැනි වූ අවස්ථාවලදී දත් ගැලවීම සිදුකරයි. අතරින් පතර දත් ගැලවීම නිසා හනුවේ කෙළවර ඇති ස්ථීර දත් එනම් හක්කේ කෙළවර මතු වූ ස්ථීර දත් ඉදිරියට පැමිණීම හේතුවෙන් අදාල ස්ථානයට නියමිත ස්ථීර දත් මෝදුවීමට හනුවේ ඇති ඉඩ කඩ ප්‍රමාණය අවම වී නල දත් ඇති විය හැකි බැවින් ඉහත දැක්වූ අවස්ථාවකදී හැර දරුවන්ගේ දත් ගැලවීම සිදු නොකරයි. ඒ නිසාම මව්වරුන් කිසිදු විටෙක දතක් ඉවත් කිරීමට සිදුවන තෙක් සිටීම නුසුදුසු බව තරයේ සිහිතබාගන්න.

පූර්ව ළමාවිය දන්ත ව්‍යසනයෙන් ඔබේ දරුවා රැකගන්නට නම්,

  • නින්දේ පසුවන ළදරුවාට මව්කිරි/පිටිකිරි ලබාදුනහොත් ලබා දෙන සෑම වාරයකදීම තෙත රෙදි කැබැල්ලකින් දත් පිසදමන්න. වයසෙන් වැඩෙත්ම කිරිවාර ගණන අඩු කළ හැකි සේම කිරි ලබාදීමෙන් අනතුරුව සූප්පුව සහිත බෝතලයකින් ජලය ලබාදීමට ඔබට හැකියි.
  • දරුවා වයසින් වැඩෙත්ම රෑ නින්දෙන් මව්කිරි/පිටිකිරි ලබාදීම යම් තාක්දුරට පාලනය කරන්න. (පෙර පාසැල් විය ආසන්න වන විට බොහෝ දරුවන් නින්දෙන් කිරි බීම අත්හැර දමයි)
දරුවන්ගේ දත් පිරිසිදු කිරීම

දරුවාගේ පළමු කිරි දත මෝදු වූ දිනයේ සිටම දත් පිරිසිදු කිරීම අරඹන්න. මුල්ම අවධියේදී වියළි පිරිසිදු ගෝස්/රළු රෙදි කැබැල්ලක් උපයෝගී කරගනිමින් පළමු දත පිරිසිදු කිරීමට මව්වරුන්ට හැකියි. ඇඟිල්ලේ රඳවන බුරුසුව භාවිත කිරීමේ ප්‍රතිඵල විරහිත අතරම දරුවා වයසින් වැඩෙත්ම ඒ සඳහා ළමා දත් බුරුසුවක් භාවිත කරන්න.

දරුවන්ට දන්තාලේප

දරුවන් සඳහා සුදුසු දන්තාලේප වර්ග බටහිර රටවල කොතෙකුත් තිබුණද ශ්‍රී ලංකා වෙළඳ පොළේ දරුවන්ට සුදුසු තත්ත්වයේ දන්තාලේප තිබේද යන්න සැක සහිතය. එබැවින් නිවසේ ඔබ භාවිත කරනු ලබන ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයම දරුවාගේ දත් බුරුසුවේ පළමු කෙඳි පොකුරේ යන්තම් තවරා, දත් මැදීමට ඔබට හැකියි. නමුත් දරුවාට එය ගිලීමට නොදෙන්නට වගබලා ගත යුතුය. මන්ද එසේ වුවහොත් දරුවාගේ ස්ථීර දත් මත ෆ්ලෝරයිඩ් ලප හටගැනීමේ අවදානමක් ඇති විය හැකිය. දරුවා වයසින් මුහුකුරායත්ම දන්තාලේප ප්‍රමාණය ටිකෙන් ටික වැඩිකිරීමට ඔබට හැකියි. පෙර පාසැල් වයසේ දරුවෙකුට ලබා දිය යුත්තේ මුංඇටයක් තරම් වූ ප්‍රමාණයකි.

මව්වරුනි,
  • දන්ත වෛද්‍යවරයෙකු හමුවී මාස හයකට වරක්වත් දරුවන්ගේ දත් පරීක‍ෂා කරවන්න
  • දරුවන්ගේ පැණි රස පාව්ච්චිය අවම කරන්න. (බිස්කට්, කේක්, චොක්ලට්, ටොෆි, චුයින්ගම්, පෙබල්ස්, ස්මාර්ටීස්, මුරුක්කු, බයිට්, පැණි බීම වර්ග, මයිලෝ, ටිපි ටිප්, රස්ක් වර්ග, අයිස්ක්‍රීම්, අයිස් පැකට්)
  • ළදරුවාට පිටි කිරි අත්‍යවශ්‍ය නම් සීනි නොදමා ලබාදෙන්න
  • දවසට දෙවරක් වරකට විනාඩි දහයක් දොළහක් බැගින් දරුවාගේ දත්මැදීම සිදුකරන්න
  • පැණි රස ආහාර ගත් පසු අඩුතරමේ ජලය යොදා මුඛය සේදීමට යොමු කරන්න
  • අනිවාර්යෙන් රාත්‍රී නින්දට පෙර දත් මදින්නට දරුවා පුරුදු කරවන්න
  • උදේ හා සවස තේ වේලාවට බිස්කට්/කේක් වර්ග ලබාදීමෙන් වළකින්න
දන්තශල්‍ය වෛද්‍ය පුබුදු ලියනගේ
බාහිර රෝගී අංශය
දන්තායතනය, කොළඹ

 

ඔබේ දරුවාත් ”ඇස් කණ්නාඩි” පළදිනවාද ?

” ආනේ… දුව කණ්නාඩි දානවද ?”  දැන් නම් ඔයා වෙදාටත් වඩා ලස්සනයි. කණ්නාඩි පළඳින දරුවන්ට වැඩිහිටි කාන්තාවන් මෙසේ පවසන ආකාරය මට කිහිපවිටක්ම කන වැටී ඇත. ඒ සෑම අවස්ථාවකදීම මා සිතින් සිතුවේ එය දරුවෙක්ට ආභරණයක් ද යන්නයි. නමුත් ඇස්වල යම් දුර්වලතාවයක් නිසා දුකට පත්ව සිටින යමක් තේරුම් ගත හැකි වයසක දරුවෙකුට නම් එය යම් ආකාරයක සිතට සතුටක් දනවන කියමනකි. කෙසේ වුවද ඇස් කන්නාඩි පැළඳීමට ඔබේ අක‍ෂි වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළේ නම් ඒ දරුවාට එය අත්‍යවශ්‍ය නිසාම විය යුතුය. මව්පියන්ට එය හිතට ගෙනෙන්නේ දුකක්, කණගාටුවක් වුවද මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නේ ඔබේ දරුවා ඇස් කණ්නාඩි භාවිත කරයි නම් වැඩිහිටි ඔබ විසින් අවධානයට යොමු කළ යුතු කරුණ කිහිපයකි. දරුවා ඒ සඳහා හුරුකරවීමට සහ අවශ්‍ය පහසුව සලසා දීම පිළිබඳවයි.

දරුවාට උපැස් යුවළක් මිලදී ගැනීමේදී මේ කරුණු පිළිබඳව සැළකිලිමත් වන්න

  • තත්ත්වයෙන් උසස් නිෂ්පාදයක් ද යන්න
  • ඔබ තෝරා ගන්නා උපැස් යුවළෙහි ප්‍රමාණය, බර දරුවාගේ දෛනික කටයුතු කෙරේ බාධාවක් වේද යන්න
  • රාමුව සකසා ඇත්තේ ලෝහවලින් ද ප්ලාස්ටික්වලින් ද යන්න

උපැස් යුවළ පළදින මුල් අවස්ථාවේදී එය දරුවාට නුහුරු බවකින් යුතුය. එසේම එය දරුවාට ගෙන එන්නේ අපහසුතාවයකි. ඒ පිළිබඳව දරුවාට සරලව පහදා දෙන්න. පළමු දින කිහිපය අපහසුවක් හිරිහැරයක් සේ දැණුනද දින කිහිපයකින් එය දරුවාට හුරු වන බවත් එතැන් සිට එය පළඳා ඇති බව ඔබටම අමතකව යන තරමටම නොදැනෙන බවද වටහා දෙන්න. එසේම මෙය අවශ්‍යතාවය මත පැළදීම ඉතා වැදගත් බවත් දරුවාට පැහැදිලි කරන්න. යහළු යෙහෙළියන්ගේ උසුළු විසුළුවලට ලක්වුවහොත් ඒවා නොසළකා හරින ලෙසත් දෑස්වල දුර්වලතාවයන් සහිතව සිටින්නේ ඔබ පමණක් නොවන බවත් වටහා දෙන්න. උපතින්ම අන්ධ දරුවන් සිටින අතරම ඔවුන්ද ඉතා ඉහළට ඉගෙන ගනිමින් සමාජයේ ඉහළ තලයට පැමිණ ඇති බව දරුවාට පවසන්න. සිත ශක්තිමත් කරන්න. කැඩෙන, බිදෙන මෙවැනි දේ පාවිච්චිය පිළිබඳව දරුවන්ට අවබෝධයක් නොමැති නිසා ඉතා සංයමයෙන් ඒ පිළිබඳව අවබෝධ කරවන්න.

උපැස් යුවළ පාවිච්චි කිරීමේදී,

  • කාච පිරිසිදු කිරීම සඳහා සිනිඳු රෙදි කඩක් භාවිත කරන ආකාරය දරුවාට කියාදෙන්න
  • උපැස් යුවළ එක් අතකින් ඉවත් කිරීම නුසුදුසු බැවින් ඒ සඳහා නිවරදිම ක්‍රමය දරුවාට කියාදෙන්න
  • උපැස් යුවළ නිසි ලෙස ඇසිරීමට උපදෙස් ලබාදෙන්න
  • අන් දරුවෙකුගේ උපැස් යුවළක් සමග මාරු වී යා හැකි බැවින් ඔබේ දරුවාගේ උපැස් යුවලේ හඳුනාගැනීම සඳහා යම් සළකුණක් යොදන්න
  • උපැස් යුවළ නැතිවීම/කැඩී යාම නිසා දරුවාට ඇති විය හැකි අපහසුතා වළක්වාගැනීමට අමතර උපැස් යුවළක් ළඟ තබාගන්න
  • පන්තිභාර ගුරුවරයා වෙත ඔබේ දරුවාගේ නවතම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්න

නිරෝගී හෙට දවසක් උදෙසා ”ආහාර විප්ලවය” සමගින් එක්වන්නට ඔබටත් ඇරයුම්

තාක‍ෂණයේ දියුණුවත් සමගම වෛද්‍ය ක්‍ෂේත්‍රය වේගයෙන් ඉදිිරියට ඇදී යයි. අද වන විට ශ්‍රී ලංකාව තුළද සෞඛ්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධ උපරිම පහසුකම් මෙන්ම සුදුසුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරුන්ගේ උපරිම සේවාව මත රෝගීන් වෙත වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවස්ථාව සැලසී ඇත. මේ තත්ත්වය මෙසේ පැවතිය ද දියවැඩියාව, ස්ථූලතාවය හා අධිරුධිර පීඩන තත්ත්වය නිසා පීඩාවට පත්වන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම සැබවින්ම කණගාටුවට කරුණකි. එපමණක් ද නොව එම රෝගාබාධ හේතුවෙන් සමීපතමයන් අහිමි වීමද දුකට කරුණකි. සැබවින්ම ආහාර හා සම්බන්ධව ඇති වන මෙවැනි රෝග තත්ත්වයන් අවම කිරීමට අද සිටම ඔබ දැනුවත් විය යුත්තේ අපේ සමීපතමයන් මෙවැනි රෝග තත්ත්වයන් හේතුවෙන් අකාලයේ අපට අහිමි විය හැකි බැවිනි. ආහාර හා සම්බන්ධ රෝගාබාධ, ලොව වෙසෙන දරුණුතම ඝාතකයා ලෙස හැඳින්වීමේ වරදක් නොමැති බව ඔබව මේ ලිපිය තූළින් දැනුවත් කරනු ඇත. මන්ද අප මේ සිට්න්නේ ඒ හා සම්බන්ධව ඍජු තීරණයකට එළැඹිය යුතු ප්‍රබලතම අවස්ථාවකයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන දියවැඩියාව හා ආහාර සම්බන්ධ රෝගාබාධ සහිත රෝගීන් වෙනුවෙන් වසරකට මිලියන ගණනක් වැය වන බව ඔබ දන්නවාද? වසර දහයක් ඉදිරියට මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඒ සඳහා වැය වන මුදල දෙගුණයක් විය හැකි අතරම එය රටේ ආර්ථීක තත්ත්වයට ද අහිතකර ලෙස බලපෑ හැකිය.

මිනිසුන්ගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා වූ සෑම සැමරීමක් හා සමගම මූලික ස්ථානය ගන්නා ආහාර නිසි ලෙස පරිභෝජනය කිරීම පිළිබඳව නිවැරදි අවබෝධය නොමැතිකම, අද වන විට උද්ගතව ඇති මේ තත්ත්වයට හේතුවයි. දියවැඩියාව මෙන්ම ආහාර හා ඇති විය හැකි රෝගාබාධ කෙමෙන් කෙමන් සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමට හේතු වන්නේ එයයි. අන්න ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට අප සියලූ දෙනාම හුරුවී ආහාර හේතුවෙන් ඇති විය හැකි රෝග වළක්වා ගැනීම පිළිඳව දැනුවත් විය යුතුය. එය අනිවාර්යෙන්ම ඔබට කළ හැක්කකි.

අපි, ආහාර සහ ඒවායේ ගුණාගුණ පිළිබඳව දැනුවත් වෙමු

පසුගිය වසර 30 කාලයක පමණ සිට ක‍ෂණික ආහාර වර්ග වෙත අපේ රටේ මුල් තැන හිමිව ඇති බව ඔබ පිළිගන්නවාද? ආර්ථීක අරගලය හා සටන් වදින පියවරුන්ගේ සහයාට බොහෝ මව්වරුන් ද සහය ලබාදෙමින් රැකියාවල නියුක්ත වීම හේතුවෙන් ඇති වූ කාර්ය බහුලත්වය එයට මූලික එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. එසේම ලබන ආදායම අනුව ඉහළ යන ආහාර මිලට ඔරොත්තු දීමේ නොහැකියාව මතද ක‍ෂණික ආහාර කෙරේ ජනතාව යොමු වීම සිදු විය.

මේදය, සීනි හා කාබෝහයිඩ්රේට්වලින් පරිපූර්ණ ක‍ෂණික ආහාර අධි කැලරි ආහාර ලෙස නම් කළ හැකිය. නමුත් එම ආහාර වර්ග පෝෂණ ගූණයෙන් ඇත්තේ ඉතා ඉතාම පහළ තලයකයි.

අපි, අප ලබාගත යුතු ආහාර ප්‍රමාණය ගැන දැනුවත් වෙමු

අප එක් වේලක් සඳහා ලබාගත යුතු ආහාර ප්‍රමාණය පිළිබඳ බොහෝ පිරිස් තුළ ඇත්තේ අනවබෝධයකි. එනම් ලබාගන්නා ආහාර වේලේ ඇතුළත් කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය ප්‍රමාණයන් පිළිබඳව දැනුවත් පිරිස විරලය. බොහෝ නිවෙස්වල කාබෝහයිඩ්රේට් අඩංගු දේ වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කරගන්නා අතරම ප්‍රෝටීන, තන්තු අඩංගු ආහාර ද්‍රව්‍ය එක්කරගන්නේ මද වශයෙනි.

ප්‍රමාණය ඉතා බහළ වන අතරම ප්‍රෝටීන ප්‍රමාණය අවමය. සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන පිළිබඳ සංකල්පය ජනතාව අතරට ගෙන යා යුතු වන්නේ ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ලබාදීමටයි.

අපි, අපට නැතිවම බැරි සීනි පිළිබඳව දැනුවත් වෙමු

”සීනි එපා” යැයි පැවසීමට තරම් ඔබ බලසම්පන්න අයෙක්ද?

ඔබේ නිරෝගී බව උදෙසා ඒ හැකියාව ඔබ සතු විය යුතුමය. අද සිටම ඔබත් අහාර සඳහා සීනි එක්කිරීම අවම කළ යුතුය. වැඩි දෙනෙක් අධික ලෙස සීනි භාවිතයට හුරුව තිබේ. නිවසේදී පවා සකසන පලතුරු සලාදයට, පලතුරු යුෂ වීදුරුවට අධික ලෙස සීනි මෙන්ම ලූණු එක්කිරීම තුළින් ඔබ විසින් සැකසූ එම පානයේ ඇති පෝෂණ ගූණයට ද හානි වේ. සීනි රසයට හුරු වූ පසු එය ඔබට දිගින් දිගටම අවශ්‍ය වන අතරම එය පාලනය කරගැනීම තුළින් ඔබට ලැඛෙන ප්‍රතිලාභ පිළිබඳ අවබෝධ කරගන්නට උත්සාහ කරන්න.

උදාඃ පාසැලේදී පන්තියේ ආපන ශාලාවේදී සිසුන් කිරි පැකට් මිලදී ගැනීමට පුරුදුව සිටී. ඒවාට යොදන වර්ණක, රසකාරක මෙන්ම සීනි නිසා ඉතා රසවත් පානයක් වන එයට දරුවන් හුරුවේ. එහි ප්‍රතිඵලය වන්නේ නිවසේදී පවා කිරි වීදුරුවට සීනි මිශ්‍ර නොකළහොත් දරුවා කිරි වීදුරුව ප්‍රතික්ෂේප කිරීමයි. සැබවින්ම දරුවන් හා සම්බන්ධ පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි. කුඩා වියේ සිට දරුවන් මේ තත්ත්වයෙන් මුදා ගැනීමට මව්වරුන් වශයෙන් ඔබ අද සිටම ක්‍රියාත්මක විය යුතුය.

සෑම වැඩිහිටියෙකුම තමාට මෙන්ම දරුවන්ට ද ලබාදෙන ආහාර පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වේ. ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබන සමාගම් මගින් ජනතාව වෙත අදාල නිෂ්පාදනයේ අඩංගු දේ පිළිබඳ සියලූ නිවැරදි තොරතුරු ඇසුරුමේ සඳහන් කොට තිබිය යුතු අතර එය ඔවුන් සතු වගකීමකි. එසේම පාරිභෝගිකයා සතු අයිතිවාසිකමකි. මේ තත්ත්වය ඇතැම් නිෂ්පාදනවල සැකසෙමින් පැවතුණද නිෂ්පාදන වැඩි ප්‍රතිශතයක් තුළ තොරතුරු ඇත්තේ ජනතාව නොමග යවන අයුරිනි. ඇතැම් නිෂ්පාදවල කිසිදු තොරතුරක් ඇතුළත් නොවේ.

අපිටම වළක්වා ගත හැකි මේ රෝග තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව නිසි ලෙස දැනුවත් වීම තුළින් නිරෝගී හෙට දවසක් කොයි කාටත් උදාවනු නිසැකය. නිරෝගී හෙට දවසක් උදෙසා ආහාර විප්ලවය හා එක්වන්ට සැමට ඇරයුම් කරන්නේ එබැවිනි. ඒ තුළින් විශාල වෙනසක් ඇති කළ හැකි අතරම නිරෝගි බව ඔබට, ඔබගේ ඥාති හිතමිත්‍රාදීන්ට පමණක් නොව රටට දැයටද අභරණයකි. ආඩම්බරයකි. ඉතිං ඒ සඳහා පළමු පියවර ඔසවමු.

  • අද සිටම ක‍ෂණික ආහාරවලින් ඈත් වී කාර්ය බහුලත්වය නම් වූ අභියෝගය ජයගනිමින් ඉක්මණින්, රසවත් ආහාර වේලක් සකසා පවුලේ සැවොම සමග ආදරයෙන් ඛෙදා හදාගැනීමට මව්වරුන් සැරසෙන්න.  මේ සඳහා ඔබට විශාල මුදලක් වැය නොවේ. වැදගත් වන්නේ කැපවීමයි.
  • පාසැල් යන ඔබේ දරුවාට සීනි, ලුණු සහ මේදය අවම කොට ඉහළ පෝෂකාංගයන්ගෙන් සපිරි පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා දීමට උනන්දු වන්න.
  • ඔබ ආහාර ලබාගන්නා පිඟාන ”සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන”නම් වූ සංකල්පය ඇතුළත් කරන්න.

ඔබේ ආහාර පිඟානේ

1/4ක් – බත් (කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග – බත්)

2/4ක් – එළවළු වර්ග සහ මැල්ලම් 

1/4ක් – සත්ත්ව ආහාර (ප්‍රෝටීන අඩංගු ආහාර – මස්, මාළු, බිත්තර, හතු, සෝයා වැනි)

මේ නිරෝගී පරපුරක් බිහිකරන්නට අවැසි සෞඛ්‍ය සම්පන්න ආහාර පිඟාන නම් වූ සංකල්පයයි. කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වර්ග පිඟානේ 1/4කට සීමා කළ යුතු අතරම පිඟානේ හරි අඩක පමණ ප්‍රමාණයක එළවලූ වර්ග තිබිය යුතුය. ඒ මගින් පෝෂණය පමණක් නිස සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය නිසි ලෙස ලැබීම හේතුවෙන් උදරය තුළ යහපත් පරිසරයක් සැකසීමට සහය වේ. එසේම පිඟානේ ඉතිරි 1/4 කොටස මස් මාංශ බිත්තර හෝ ශාක ආහාර පමණක් ආහාරයට ගන්නේ නම් හතු, සෝයා වැනි ප්‍රෝටීන සහිත ද්‍රව්‍ය විය යුතුය.

ශ්‍රී ලංකා රජය අද වන විට ආහාර හේතුවෙන් ඇති වන රෝග සහ වසංගත රෝග තත්ත්ව වළක්වා ගැනීම උදෙසා පියවර රැසක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇත. සෑම පානයකම අඩංගු සීනි ප්‍රමාණය නිරූපනය වන ලෙස වර්ණ ලේබල් යෙදීම, අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල් තුළ ඇති ආපනශාලා වෙත ප්‍රතිපත්ති මත නිති පද්ධතියක් ක්‍රියාත්මක කර තිබීම ඒ අතරට ඇතුළත්ය. සෑම නිවසකම පෝෂණයෙන් ඉහළ ආහාර පිසීමට මෙන්ම ආහාර පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා මේසා ක්‍රියාමර්ග දියත් කර ඇත්තේ ආහාර හේතුවෙන් ඇති වන රෝග තත්ත්ව වළකමින් නිරෝගි පුරවැසියන්ගෙන් සපිරි රටක් දැකීමේ අරමුණෙනි. ඒ සඳහා ඔබ, ඔබ වෙතම ඔබගේ උපරිම සහයෝගය ලබාදෙන්න.

වෛද්‍ය සමන්ති කුරේ,
දියවැඩියාව හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශික‍ෂණ රෝහල, කුරුණෑගල

 

හැදෙන ගහ දෙපෙත්තෙන් නොපෙනේ

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් සමහර ගස් දෙපෙත්ත තුල හැදෙන ගතියක් නොපෙන්නුවත් කාලයකදී ඉතා සරුවට වැඩෙන්න පටන් ගන්නවා. තවත් සමහර ගස් දෙපෙත්ත තුන්පෙත්ත හොඳින් තිබුනත් හදිසියේම වෙනස් තැනකට පත් වෙනවා. දරුවන් ගැන වුනත් අපිට මේ සත්‍යය ආදේශ කරගන්න පුලුවන්.

ඇතැම් දරුවන් බාල කාලයේදී ඉතාම නොහික්මුන ගති පැවැතුම් පෙන්වුවත් කාලයත් සමග මේ දරුවන් ඉතාම හොඳ තත්වයට පත් වෙනවා. මේ නිසා අපිට බාල කාලයේදීම දරුවන් ගැන සහතික දෙන්න අපහසුයි.

සාපේක්ෂතාවාදය ලෝකයට හඳුන්වා දුන් ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේ කතා බහ කළේම නැහැ. දෙමව්පියන් හිතුවේ ඔහු උපන් ගෙයි ගොලුවෙක් කියලයි. එහෙත්…අවුරුදු තුනක් වෙද්දී දවසක් කෑම මේසයේදී ඇල්බට් මෙසේ කිව්වා. ” මේ සුප් එකට ලුණු මදි…. ” දෙමව්පියන් පුදුම වුණා.

ඇයි පුතේ මෙච්චර කාලයක් කතා නොකර ගොලුවෙක් වගේ හිටියේ….සතුට ඉවසා ගත නොහැකි දෙමව්පියන් ඔහුගෙන් ඇහුවා.මේ ගෙදර මට මෙච්චර කාලයක් කතා කරන්න අඩු පාඩුවක් තිබුනේ නැහැ. ඔහු කිව්වා.

අසාමාන්‍ය බුද්ධියකින් හෙබි ඔහු පාසල් කාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වුනේ නැහැ. ඔහුගේ වයසේ අනිත් දරුවන්ට සාපේක්ෂව ඔහු බොහොම දුර්වලයි.ලෝකය ගැන නොදන්න මෝඩ කොල්ලා..කම්මැලියෙක් නොවී මිනිහෙක් වෙන්න ඉගෙන ගනින්…ගුරුවරු කිව්වා…

ඔවුන් එදා ඒ විදිහට දැක්කත් ඇල්බට් අයින්ස්ටයින් පසුකාලෙක භෞතික විද්‍යාවට විශිෂ්ට සේවාවක් කළ බුද්ධිමතෙක් වුණා.

අද  ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටින  පූටින් හෙවත් රුසියානු ජනාධිපතිවරයා පාසල් කාලයේ ඉතා දාමරික චරිතයක්. ” වොලද්යා ” ලෙසින් එදා ඔහු හැඳින්වුණා. වයස අවුරුදු දහහයේ පටන් බොක්ෂිං ක්‍රිඩාවට යොමු වෙන ඔහු කිහිප වතාවක්ම තමන්ගේ නාසය මේ ක්‍රීඩාව නිසා බිඳ ගත්තා. ” සම්බෝ” යනුවෙන් හැඳින්වෙන අවි ආයුධ නැති ආත්මාරක්ෂාව පිළිබඳ ක්‍රිඩාවට  සම්බන්ධ වෙනවා. නිරන්තරවම රණ්ඩු සරුවල් වෙනුවෙන් පැටලුන හිතුවක්කාර චරිතයක්.

වොරන් බුෆේ පාසලේ ඉතාම කරදරකාර චරිතයක්.දවසක් පංතියේ ගුරුවරුයා ඔහුට චෝදනා කරමින් කියා සිටියේ තමුසේ කවදා හරි හිරේ යනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි.

මේ චරිත පිළිබඳ අතීතාවර්ජනයේ යෙදෙන විට පෙනෙන්නේ ඔවුන්ගේ අනාගතය බාල කාලයේදී පෙන්නුම් නොකල බවයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ බිය විය යුතු නැත.

දරුවාගේ අද හැසිරීම දෙස බලමින් ඔබ කිසිම විට අනාගතය ගැන තක්සේරු ගොඩ නගා ගත යුතු නැහැ. බාල කාලය අයහපත් වුනොත් ජීවිතය එයින් අවසාන වන්නේ නැහැ. දරුවාගේ ඔබ දකින හැකියාවන් තුලින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න.

බොහෝ දෙමව්පියන් දරුවන්ට චෝදනා නගන්නේද උඹ හැදෙන හැටි ම‍ට පේනවා…පුදුම කාලකණ්ණියෙක්…අනාගතයක්නම් ඇත්තේම නැහැ….ආදි ලෙසින් ඉතාම දරුණු විදිහටයි. දෙමව්පියන් විසින් ඔබ කිසිම දිනක මේ අන්දමින් දරුවාට අසාර්ථක අනාගතයක් ගැන අනාවැකි ඉදිරිපත් කළ යුතු නැහැ.ඇතැම් අවස්ථාවන්හිදී මව්පියන්ගේ මෙම දරුණු අපවාද සහ අපහාස නිසාම දරුවාගේ මානසිකත්වය ඉතා ප්‍රබල අන්දමින් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් විදිහට ඔබ දරුවන්ට ආශිර්වාද ගයනු මිස ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ යුතු නැත. දැන්මම පේනවා කවදාවත් හැදෙන එකෙක් නම් නොවෙයි….යනුවෙන් චෝදනා නගන විට දරුවාගේ හිත තුලින් ලබා දෙන මා පරාජිතයෙක්ය යන සංකල්පය නිසා අනාගතය වෙනුවෙන් ඔවුන් තුල කිසිම හීනයක් හෝ ඉලක්කයක් ගොඩ නැගෙන්නේ නැත. අම්මා තාත්තා නිතරම කතා බහ කරන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යන සංකල්පය මත පිහිටා ගෙන පමණි.

එහෙත් දෙපෙත්ත හැදෙන වැඩෙන ස්වභාවයක් නොමැත්තේ නම් හැදෙන වැඩෙන අන්දමින් නිසි මගට පත් කර ගැනීමට කටයුතු සලසා ගත යුතුයි. ඒ වෙනුවෙන් අද බොහෝ මාර්ග ඇත. ඉගෙනුමට අසමත් නම් ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ගයට අවතීරණය වෙනුවෙන් ඉගෙනුම වෙනුවෙන් සහයෝගය ලබා දීම මව්පියන්ගේ යුතුකමකි.

හිතමිතුරන් සමග අනිසි හැසිරීම් රටාවන්ට යොමු වෙන බවට ඉවක් දැනේ නම් වහාම එම ඇසුරෙන් දරුවා මුදවා ගන්න. වැරැදි හැසිරීම් රටාවේ ආදීනව ඔවුන්ට පහදා දෙන්න. සාර්ථක අනාගතයක් ගොඩ නගා ගැනීමට නම් අද දවස කැප කළ යුතු බව ඔවුන්ට දන්වා සිටින්න. මේ නිසා නොවැඩෙන පෙති දෙස බල බලා චෝදනා එල්ල කිරීම වෙනුවට දෙපෙත්තට වින කරන හැදීම බාල කරන කරුණු කාරණාවන් තේරුම් ගන්න. එවිට නියපොත්තෙන් කඩන්නට ඇති දෙය වෙනුවෙන් පොරව අවශ්‍ය නැත.

බාල කාලය අයහපත් ලෙසින් ගෙවා අනාගතය සාර්ථක කරගත් පුද්ගලයන් මෙන්ම බාල කාලයේදී ඉතා හොඳ හැසිරීමකින් යුක්ත වුනත් , අනාගතය විනාශ කර ගත් චරිත නොමැත්තේම නැත ඒ නිසා දෙපෙත්ත හොඳින් හැදෙන වැඩෙනවා දැක දැන් අපේ දරුවාගේ අනාගතය සාර්ථකය යන උපකල්පනයේ සිටින්නට බැහැ. දරුවෙක් නොමග යන්නට ඉතා සුලු ඇසිල්ලක් ප්‍රමාණවත්ය. දරුවා කොතරම් ගුණධර්මයන්ගෙන් යුක්ත වුනත් විෂම සමාජය විසින් ඔහු නොමගට ඇද ගැනීමට ප්‍රයත්න දරනු ඇත. දරුවන් ලෝකය නිසි පරිදි අවබෝධ කර ගෙන නැත එබැවින් දරුවා ගැන පසුවිපරම හිතින් ඉවත් කළ යුතු නැත.

මේ නිසා දරුවා මුල් කර ගෙන පූර්ණ විශ්වාසය හෝ අවිශ්වාසයෙන් කටයුතු නොකරන්න.සෑම දෙමව්පියෙකුගේම ප්‍රාර්ථනය ඉතා යහපත් ලෙසින් දරුවා ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. මව්පියන්ගේ අරමුණු තේරුම් ගැනීමට තරම් දරුවාගේ බුද්ධිය මුහුකුරා නැත දරුවන්ද පුංචි පැලයක් සේය. ඉතා සුලු දෙයින් පවා සහමුලින්ම විනාශ වෙන අවදානමින් යුක්තය . ගෙවත්තේ තිබෙන මල් පැලයක් දෙස බලන්න. දින කිහිපයක් ඒ ගැන සොයා නොබලා සිටින විට නොදැනම විවිධ ආපදාවන්ට පත් වීමේ ඉඩ කඩ බොහෝය. නිරන්තර විමසිල්ලෙන් සිටින විට මල් පැලයට ලැබෙන රැකවරනය නිසාම එහි පැවැත්ම ආරක්ෂා වේ.

මේ නිසා ඔබ කිසිම දිනක හැදෙන ගහේ දෙපෙත්ත මත විශ්වාසය තබන්නට සූදානම් නොවන්න. විටෙක මේ දෙපෙත්ත හොදින් වැඩී ඔබ නොදැනම විනාශ වෙනු ඇත. තවත් විටෙක දෙපෙත්ත ‍ගැන විශ්වාස තැබිය නොහැකි වුනත් ඔබේ ධෛර්යෙන් මල් පිපුන ගසක් නිර්මානය කර ගැනීම අපහසුවක් නොවෙනු ඇත. දරුවන් මුල් කර ගත් සිද්ධාන්තයද එසේම නිසා කිසිදු දිනක වර්තමානය මුල් කර ගෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් තීන්දු තිරණ ලබා දීම බෙහෙවින්ම අසාර්ථක ක්‍රියාවක් වේ.

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරකෂාව සළසා ගැනීම පිළිබඳවයි

ලොව සුන්දරත්වය නසන්නේ කුරුරි සිත් ඇති මිනිසුන්මය. අද වන විට හයක් හතරක් නොදන්නා සුරතල් දරු දැරියන්ට නිදහසේ තම ජීවිතය විඳින්නට ඉඩක් නැත්තේ ද ඒ කුරිරු සිත් ඇති මිනිසුන් නිසාය. ඔවුන්ගේ සුරක‍ෂිත බව කෙරෙහි ඔබේ අවධානය 200%ක් අවැසි වන්නේ ඒ නිසාමය.

ශ්‍රී ලංකා නීති පද්ධතියට අනුව වයස අවුරුදු 16 අඩු දරුවන් අකමැත්තෙන් පමණක් නොව ඔවුන්ගේ කැමැත්ත ඇතිව වුවද ලිංගික ක්‍රියාකරකම්වල යොදවා ගනීම හැඳින්වෙන්නේ දූෂණයක් ලෙසටයි.

කුඩා දරු දැරියන්ට මේ ලෝකය පිළිබඳව අවබෝධයක් නැති වුවද වැඩිහිටි ඔබ තම වටපිටාව පිළිබඳව මනා දැනුවත් බවකින් සිටිය යුතුමය. අද වන විට සමාජයේ සිදුවන, අසන, දකින දේ අනුව ඕනෑම අයෙකු කෙරේ 100% විශ්වාසයක් තැබීම මල් කැකුළු වැනි වූ මේ දරුවන්ගේ ජීවිත අනාරක‍ෂිත තත්ත්වයට පත්වීමට මූලික හේතුවක් විය හැකි බව ඔබ සිතුවාද? සැබවින්ම එය ඔබ විසින් සිදුකරනු ලබන පළමු වරදයි. අද වන විට පියා, සහෝදරයා අතින් සිය නිවසේදීම අතවරයට ලක්වන පුංචි දරුවන් පිළිබඳව ද ඔබ කොතෙකුත් අසා ඇති. අතවරයට ලක් වූ කුඩා දරුවන් 95%ක් පමණ අතවර ලක් වූ ආකාරය පිළිබඳව සොයා බැලීමේදී එය සිදුවූ බවට වාර්තා වී ඇත්තේ දරුවාගේ පවුලට වඩාත් හිතවත්ව සිටින පුද්ගලයන් අතින්මය.

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරක‍ෂාව සළසා ගැනීම පිළිබඳවයි…

ප්‍රථමවරට තම පෞද්ගලිකත්වය පිළිබඳව දරුවෙකු තුළ හැඟීමක් ජනිත වන්නේ මාස හයක් වැනි වයස් සීමාවේදී පමණය. එවැනි වයසේ පසුවන බිළිඳුන් මව/රැකබලාගන්නා නොමැති විට හඬා  වැටේ. මන්ද ළදරු අවධියේ සිටම ඔවුන් තමාගේ දේ හඳුනා ගනි. එතැන් සිට වයස අවුරුදු දෙක පසුවන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව ඇති වේ. කුඩා අවධියේ සිටම දරුවෙකුහටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු අතරම තම බඩු බාහිරාදිය පිළිබඳව පමණක් නොව තම සිරුරේ අයිතිය මෙන්ම එය රැකගැනීමේ වගකීම ද තමා සතු කාර්යයක් බව දරුවාට අවබෝධ කළ යුතුය. එය වැඩිහිටි ඔබ ඉතාම ඥානාන්විතව සිදු කළ යුතු කාර්යයකි.

මේ සඳහා සුදුසුම අවස්ථා ඔබ දන්නවාද ?

දරුවා නහවන/ඇඟ සෝදන/ඇඳුම් මාරු කරන අවස්ථාවන්ය

සතියකට වරක්වත් ඉතා සරලව ස්වයං ආරක‍ෂාව පිළිබඳව අදහසක් දරුවාට ලබාදෙන්න.

” මේ පුංචි ඇඟ  මගේ පැටියගේ. නාවද්දි, ඇඟ සෝදද්දි හරි කක්කි/චූ දාද්දි විතරයි ඔන්න පැටියා මේ කලිසම ගලවන්නේ… තේරුණා නේද මගේ පැටියට? ඒ වගේම මගේ චූටි පැටියගේ කලිසම ගලවලා අතගාලා සෝදන්නේ අම්මා/තාත්තා/රැකබලාගන්නා විතරයි. වෙන කාටවත් මේ හරිය අල්ලන් දෙන්න එපා හොඳද? කවුරු හරි එහෙම කළොත් ඉක්මණට අම්මට කියන්න. ”

දෙමාපියනි,

දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගන්න

ළදරුවියේ සිටම දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගැනීම තුළින් දරුවා වැඩිවියට පැමිණ පසුව වුවද දෙමාපියන් සමග තම අත්දැකීම් සහ සිතුවිලි ඛෙදාහදා ගැනීමට මැලි නොවේ. මාපියන් සමග දැඩි බැඳීමක් ඇති දරුවන් ඔවුන්ට හමුවන පුද්ගලයන්, ඔවුන් සමග කතා බහ කරන දේ, තමාගේ සතුට/වේදනාව වැනි සියලු දේ පිළිබඳව තොරතෝංචියක් නොමැතිව නිවසට ආ විගස මව හෝ පියා සමග කියවන්නට පටන්ගනී. එය දරුවාගේ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මාපියන්ට විශාල සහයෝගයක් ලබාදේ. එමගින් ඉදිරියේදී දරුවාට මුහුණ දීමට සිදුවිය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳව කල්තියා දැනුවත් වීමට වැඩිහිටි ඔබට හැකියාව ලැබෙයි.

දරුවාට හොඳින් සවන් දෙන්න 

කුඩා අවධියේ සිටම ඉස්පාසුවක් නොමැතිව තම අත්දැකීම්, මනඃකල්පිත අදහස් ඇතුළු සියලූ දේ දරුවන් මාපියන් ඉදිරියේ ප්‍රකාශයට පත් කරයි. ඒ සඳහා අවස්ථාව ලබා දීම ඉතාම වැදගත් වන්නේ දරුවාට කුඩා වියේ සිටම සවන් දෙන්නෙකු සිටින බැවින් කිසිවක් නොසඟවා නිවැසියන්ට පැවසීමට හුරුවීමයි. එය වැඩිහිටියන්ගේ වැඩකටයුතු සඳහා බාධාවක් වුවද දරුවාගේ ආරක‍ෂාව සැපයීම උදෙසා අවැසි සෑම තොරතුරක්ම දැනගැනීමට ඔබට අවස්ථාව සැලසේ.

නොකරන ලෙස අණ කළ යමක් සිදු කොට එයින් ලැබුණු අමිහිරි අත්දැකීම විස්තර කිරීමේදී දරුවාට බැන වැදීමෙන් වළකින්න

මන්ද බියට පත්වන දරුවන් ඔබ සමග කිසිවක් නොපවසා සිටීමට තීරණය කරනු ඇත. එබැවින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා තෙක් හෝ ඉතා ඉවසිලිවන්තව දරුවාට සවන් දෙන්න.

කුඩා දරුවෙකු දිගු කාලීනව අපයෝජනයට ලක්විය හැකි අවස්ථා,

  • අපයෝජකයා දරුවා හෝ නිවැසියන් මරා දමන බවට දරුවාට තර්ජනය කොට බියට පත්කරමින් තම අවශ්‍යතා ඉටුකරගැනීම
  • දෙමාපියන් බැන වදී යැයි බියෙන් දරුවා කිසිත් නිවසට නොපැවසීම
  • සිදුවන අතවරය පිළිබඳව ඇති අනවබෝධය නිසා සාමාන්‍ය දෙයක් යැයි සිතා දරුවා එය නොපවසා සිටීම
  • දරුවා ලබන මෙම අත්දැකීම පිළිබඳ ඇති අනවබෝධය නිසා කුඩා දරුවන්ට ඒ කෙරෙහි කැමැත්තක් ඇතිවීම

දරුවාට කියන්න,

  • තමාට කවරෙකුගෙන් හෝ හිංසනයක් සිදු වේ නම් වහාම මව්පියන්ට දැනුම් දෙන ලෙස
  • තොරතුරු සඟවා සිටීමෙන් විශාල කරදරවලට පත්විය හැකි බව
  • නාඳුනන පුද්ගලයන් සමග කතාබහ නොකරන ලෙස
  • මාපියන්ගේ අවසරය නොමැතිව කිසිවෙකු සමග නොයන ලෙස
  • දරුවෙකුට මව්පියන්ට පැවසිය නොහැක්කක් නොමැති බව

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්විය හැකි ආකාර කිහිපයකි.

  • ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීම
  • දරුවෙකු ලවා අපයෝජකයාගේ සිරුර ස්පර්ශ කරවීම
  • ඇසැබි දර්ශන පට හෝ ජායා රූප පෙන්වීම
  • සිප වැළඳ ගැනීම
  • ලිංගික සංසර්ගය

මාපියනි, අද වන විට දරුවන් දරුවන් අතරද යම් යම් අපයෝජනයන් පිළිබඳව වාර්තා වන බව ඔබ දන්නවාද? දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන් අතින් පමණක් නොව. ඇතැම් පාසැල්වල සීග්‍ර ලෙස පැතිර යන සමලිංගික ක්‍රියාවන් හේතුවෙන්ද කිසිත් නොදන්නා කුඩා දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවේ. දරුවන්ගේ යහළු, යෙහෙළියන් පිළිබඳවත් ඔවුන් එක්ව යන ස්ථාන පිළිබඳවත් සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.

වයස අවුරුදු දහය දොළහ වැනි වයස් සීමාවන්වල දරුවන් මෙවැනි අවස්ථාවකදී සූක‍ෂමව එවන් අවස්ථාවන් මඟහැරීමට දැනුවත් කරන්න.

  • කෑ ගසා අවටින් උදව් ඉල්ලීමට ඔවුන් කියා දෙන්න
  • කිසිවෙකුත් නැති ස්ථානයකදී නම් ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කරගනිමින් උපක්‍රමශීලීව අවස්ථාව මගහරින්නට කියාදෙන්න

දෙමාපියනි, අද වන විට ඇසේ මුහුණේ තබාගනිමින් රැකගත යුත්තේ ගැහැණු දරුවන් පමණක්ම නොව. පිරිමි දරුවන්ටද ඒ රැකවරණය අවැසිමය. පසුතැවීමට ඉඩ නොතබා දරුවන්ගේ රැකවරණය උදෙසා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම අද සිටම අරඹන්න. ඒ වගේම දරුවන්ට සිදු වන ලිංගික හිංසනයන් සඟවා සිටීම ඔබේ දරුවාගේ මෙන්ම තවත් දරුවන්ගේ අනාරක‍ෂිත බව තව තවත් වැඩිකරවයි.

ළමා අපයෝජනයකදී පහත අංකවලට දැනුම්දෙන්න
– දුරකතන අංක –
ක්‍ෂණික ඇමතුම්         :           1929
ළමා හා කාන්තා කාර්යාංශය       :            0112 44 44 44
ජාතික ළමා රක‍ෂණ අධිකාරිය         :            0112 77 89 11- 4
– කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේඛකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. – 

දරුවා තියන්න දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සොයන ඔබට

අද සමාජය තුල පවුල කියන ඒකකය න්‍යෂ්ටික පවුල් රටාවට අනුගතව ඇත. එනිසා පවුල් වශයෙන් හුදකලා වන අපට සියලුම කටයුතු සිදු කරගන්නට සිදුවන්නේ තනිවම හෝ සේවක සේවිකාවන්ගේ සහයෙන්ය. එහෙත් එදා සමාජය තුල පැවති විස්තෘත පවුල තුළ දරුවන්,ඔවුන්ගේ දරුවන් හා දෙමාපියන් වශයෙන් පරම්පරා තුනක සාමාජිකයින් සිටි නිසාවෙන් එකිනෙකා අවශ්‍යතාවන් පවුල තුලින් සපුරා ගත හැකි විය.න්‍යෂ්ටික පවුල් බිහිවීමත් සමග අනෙකුත් ඥාතීන්ගෙන් දුරස්වීම සිදුවිම නිසාත් රැකියා කටයුතු වලින් කාර්ය්‍ය බහුල වන දෙමාපියන්ට දහවල් කාලයේ තම දරුවන් රැකබලා ගැනීම ගැටලුවකි. ඇතැම් දරුවන් අත්තම්මලා අත්තලාගේ රැකවරණයට පත් වේ. තවත් දරුවන් ආයම්මලා යටතට පත් වේ. ඒ පිළියම් දෙකම නැති තැන දරුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරන්න සිදු වේ. එක් අතකින් එය රැකියාවක නිරත දෙමාපියන්ට සහනයකි. එහෙත් ළමා අපයෝජන වගේම ළමා හිංසනයත් වැඩි වෙලා තිබෙන නිසාවෙන්ම දරුවා දිවාසුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරනවා නම් දෙමාපියන් වශයෙන් තම දරුවාගේ පූර්ණ සුරක්ෂිතබාවය, සෞඛ්‍යාරක්ෂිතබව හා සැපපහසු බව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුමය.

දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට සැලසුම් කරනවා නම් ඔබේ හිත මිතුරන් ඔවුන්ගේ දරුවන් දිවාසුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත්නම් ඔවුන්ගෙන් උපදෙස් හා නිර්දේශ ලබා ගත හැකිය.ඒ කෙසේ වුවත් අවම වශයෙන් මාස දෙක තුනක්වත් හොඳ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සොයා ගැනීමට ඔබේ කාලය මිඩංගු කල යුතුමයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කරන්නට ඔබ යන්නේ නම් කිසිඳුූ විටක එම ආයතනය පෙර දැනුම් දීමකින් තොරව යන්න. එවිට ඔවුන්ට පෙර සූදානමක් නොමැති නිසා ඔවුන්ගේ ආයතනයේ පාලන රටාව, එම මධ්‍යස්ථානයේ සුරක්ෂිතතාවය වගේම පිරිසිඳුකම ගැනත් ඔබට නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය.

දරුවාට දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගැනීමේදී ඔබ දෙදෙනා සේවය කරන කාර්්‍යාල වලට ආසන්න ස්ථානක් වීමද ඉතා වැදගත්ය. එවිට හදිස්සි අවස්ථාවක පහසුවෙන් හා ඉක්මණින් ඔබේ දරුවා වෙත යාමට මෙන්ම ඔබට අවශ්‍ය විටෙක දරුවා බලන්නට යන්නත් පහසුය.

දිවාසුරැුකම් මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් ලෙස දරුවන් රැක බලාගැනීම සඳහා කාර්්‍යය මණ්ඩලයක් සිටිනවාද යන්න සොයා බලන්න. සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට අවුරුද්දකට පහළ දරුවන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු රැක බලා ගත හැකි අතර අවුරුදු 2 ත් 3 අතර දරුවන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු එක් අයෙකුට රැක බලා ගත හැකිය. එසේම ඔබේ දරුවා භාර ගන්නා පුද්ගලයාගේ සුදුසුකම් පිළිබ`ුදවද අවදානය යොමු කරන්න. ඔබේ දරුවා බලාගන්නා පුද්ගලයා හැරෙන්නට සහයක කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව හා ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයත් තම දරුවාට ප්‍රවේශ විය හැකි පුද්ගලයන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්ය.

එසේම දිවාසුරැකුම් මධ්‍යස්ථාන වල අය කරනු ලබන ගාස්තුද ඉතා වැදගත්ය. එය ඔබට දැරීමට හැකි විය යුතුය.

ඔබ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගැනීමට ගිය විට, කිසිඳු පැකිලීමකින් තොරව ඔබට අවශ්‍ය සෑම කාරණාවක් පිළිබඳවම ප්‍රශ්න කරන්නට ඔබට අයිතියක් ඇත. එවැනි අවස්ථාවක ඔවුන්ට ඔබව කරදරයක් ලෙස හැසිරෙනවා නම් වහාම එම දිවාසුරැකුම් මධ්‍යස්ථානය කපා හරින්න. තොරතුරු විමසීමේදී දරුවාට හදිස්සි අවස්ථාවකදී ආරක්ෂාව සඳහා අනුගමනය කරන ක්‍රියාපටිපාටිය හා ප්‍රථමාධාර සඳහා පිළියෙල කර වැඩ පිළිවෙල පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. ඇතැම් දිවාසුරැකුම් මධ්‍යස්ථාන ජංගම වෛද්‍ය සේවා ආයතන සමග ගිවිසුම් අත්සන් කර ඇත. එවැනි දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගන්නවා නම් වඩාත් සුදුසුය.

දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ නිවාඩු පිළිබඳ තොරතුරු පිළිබඳවද විමසීම වැදගත්ය. එවිට නිවාඩු දිනවල ඔබේ දරුවාගේ රැකවරණය කල් තියාම සැලසුම් කල හැකිය.

අදාල දිවාසුරැකුම් මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගත් හා සේවය ලබා ගන්නා පුද්ගලයන්ගේ එම මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ලබා ගැනීම ඔබට ඉතා වැදගත් වනු ඇත. එනිසා ඒ පිළිබඳව අවදානය යොමු කරන්න.

ප්‍රථම නිරීක්ෂණයෙන්ම තීරණයක් නොගන්න. කිහිප වාරයක් ඔබ එම ආයතනය වෙත ගොස් නිරීක්ෂණය කරන්න. ඒ සෑම විටම එම ආයතනයට නොදන්වා යන්න.

හොඳ නිර්දේශ හා ස්ථාන පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමෙන් ඔබේ දරුවාට ගැලපෙන හොඳ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් තෝරා ගත හැකිවනු ඇත. දිවාසුරැකුම් මධ්‍යස්ථානයට ඇතුලත් කල පසු සෑම විටම දරුවා සතුටින් හා සුරක්ෂිතව කාලය ගෙවනවා දැයි අවබෝධයක් ලබා ගැනීමට දරුවාගේ හැසිරීම දිනපතාම නිරීක්ෂණය කරන්න. නිවසට පැමිණි පසු දරුවා වෙනුවෙන් පමණක්ම කාලයක් වෙන් කරගන්න. එහිදී දරුවාගෙන් සුහදව ආදරයෙන් තොරතුරු ලබා ගන්න.

මතක හිටින්නෙම නැද්ද?

අද අධ්‍යාපනය හරිම තරඟකාරීයී. පෙර පාසල් වියේ පටන්ම දරුවන් අධ්‍යාපන ඉලක්ක තියෙනවා.මේ අධ්‍යාපන රටාව තුල විෂය කරුණු මතක තබා ගැනීම නම් බෙහෙවින්ම වැදගත්. ඒත් විෂය කරුණු බොහෝමයක් මතකයේ ගබඩා කර ගන්න එක නම් ලේසි පහසු නැහැ. කොහොම වුණත් මෙම කාරණා විෂය කරුණු පාඩම් කරන ඔබේ දරුවාගේ අධ්‍යපයෙදී  මතක තබා ගැනීමට ඉවහල් වනු ඇති.

පාඩම් කරන විෂය කරුණු පමණක් අවධානය යොමු කරන්න

කොයි තරම් පොත අතේ තියාගෙන කියවගෙන ගියත් පලක්නැහැ එම කරුණු නිසියාකාරව අවධාරණය වුණේ නැත්නම්. විෂය කරුණු අවධාරණය වන්නට නම් මනස ඒකාග්‍ර කරගත යුතුය. ඒසඳහා අවට පරිසරයෙන් ඇති වන බාධා අවම කළ යුතුය. රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න.

දීර්ඝ කාලයක් එක දිගට පාඩම් කිරීම අත් හරින්න

ගොඩක් වෙලාවට අපි එක දිගට පාඩම් කරපු විෂය කරුණු අපි මතකයේ රැදෙන්නෙ ැහැ. ප්‍රශ්න පත්‍රය අතට ගත්තම මේ වගේ දෙයක් පාඩම් කලා කියලා මතකයේ තිබුණට පිළිතුරු ගලපගන්න බැරි වුණ අවස්ථා අපටත්  උදා වෙලා තියෙනවා.සෙමහරුන් විභාග ලං වුණාම වතුර බේසම් වල කකුල දමාගෙන් නිදිමරාගෙන පාඩම් කරනවා.ඒත් නීරෝගී වැඩිහිටියෙකුට පවා එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටිය හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉතින් ඒ කාලය ඉක්ම වූ  පාඩම් කිරීම නිශ්ඵල උත්සහයක්. එනිසා පාඩම් කරන අතර තුර  5ක 10ක කෙටි විවේකයක් ගන්න. ඔබ ප්‍රිය කරන ගීතයක් ඇසීම, ගායනය කිරීම,පරිසරය විඳ ගන්න, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කරගෙන නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න. එක දිගට පාඩම් කිරීමට වඩා පාඩම් කරන අතර කෙටි විවේකයක් ගෙන පාඩම් කිරීම වඩාත් ඵලදායී බව පර්යේෂණයන් මගින් ද තහවුරු කර ඇත.

තොරතුරු මතකයේ තබා ගැනීමට සරල උපක්‍රම භාවිත කරන්න

හායි හීලී නැන්සි පෝලන්තේ රුබී සිසි එංගලන්තේ මතකද අපි ආවර්තිතා වගුව මතකයේ තබා ගන්න පාඩම් කරපු ගීතය. ඉතින් අපට පුළුවන් විෂයකරණු මතකයේ තබා ගන්නට මේ වගේ කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ගොඩ නගාගන්න.

අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න

අපි කරනඕනෑම කටයුත්තක් අවබෝධයක් නොමැතිව කලොත් එහි කිසිඳු ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නැහැනේ. ඉතින් පාඩම් කරන විටත් විෂය කරණු  මතකයේ රැඳෙන්නට නම් අවබෝධයෙන් ඒ කටයුත්ත කළ යුතුයි. අපේ මොළයත් දත්ත ගබඩාවක්. ඉතින්  අද මතකයේ තැන්පත් කල දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. අවබෝධයකින් තොරව පාඩම් කරන දේවල් මතකයෙ රැදෙන්නෙ නැහැ. විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යයනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.

මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න

විෂය කරුණු විශාල ජේද ලෙස මතකයේ තබා ගන්නවාට වඩා විෂය කරුණු චිත්‍රණය කිරීම තුලින් මතකයේ රඳවා ගැනීම පහසුය. ඒ සඳහා වගු ,රූප සටහන් ,ප්‍රස්ථාර ආදිය භාවිතයට ගත හැකිය. එසේම ඔබේ සටහන් තුල ඇති  වැදගත් කරුණු වෙනත් වර්ණවත් පෑනකින් ලිවීම හෝ හයිලයිට් කිරීම තුලින් විශේෂීකරණය කිරීමෙන් ද  එම විෂය කරුණු මතකයේ රඳවා ගැනීමට පහසු වෙනවා.

 ඉගෙන ගන්නා විෂය කරුණු හඬ නගා කියවන්න

පර්යේෂණ මගින් පෙන්වා දෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි.

ඉගෙන ගන්නා විෂය කරුණු තවත් අයෙකුට උගන්වන්න

මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. එමගින් ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් වන අතරම මතකයද වර්ධනය වනු ඇත.

කාර්යබහුල මව්වරුනි, මේ ඔබටයි

අද අපි ජීවත් වෙන්නේ හරිම කාර්යබහුල වටපිටාවක. දරුවන් රැක බලා ගැනීම අද බරපතල ප්‍රශ්නයක් වෙලා. ඇතමෙක් තම ආදරණීයයන්ගේ සහාය ලබාගන්නවා. තවත් අයෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සෙවණ සොයනවා. තවත් අයෙක් සේවක සේවිකාවන්ගේ උදව් පතනවා. මේ කොහොම කලත් ඔබේ සැලකිල්ල යොමු විය යුතු කරුණු කීපයක් මෙහි දක්වනවා.

අද මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්නේ වැඩිපුරම මධ්‍යම පාන්තික මව්වරුන්. එයාලට හිතේ හැටියට වියදම් කරන්න ආර්ථීක ශක්තියක් නැහැ. ඒත් අපේක‍ෂා ගොඩයි. ඒ නිසා බොහෝ මව්වරු රැකියාවක් කරනවා. මේ නිසා ප්‍රශ්නය තවත් බරැරුම්. ධනපති පන්තියේ අයට ආර්ථීක ප්‍රශ්න නැහැ. සේවක සේවිකාවන් තබාගෙන දරුවන්ගේ වැඩ කටයුතු කරනවා. කම්කරු පන්තියේ අපේක‍ෂා ගොඩක් නැහැ. දරුවන් අරගෙනම මව රැකියාවට යනවා. අමාරුවෙන් හැමදේම කරගන්නවා.

අතීතයේ තිබි විස්කෘත පවුල අද නැහැ. ඒ පවුලේ මවත් පියාත් දරුවනුත් සමග තවත් ආදරණීයයන් රැසක් හෝ කීපදෙනෙක් හිටියා. ආච්චි, සීයා, නැන්දා, මාමා, ලොකු තාත්තා, පුංචි අම්මා ආදීන්ගෙන් කවුරුන් හෝ ඉතාමත් ආසන්නයේ හිටියා. දරුවන්ගේ වගකීම මොහොතකට හෝ පවරන්න ඔවුන්ට ආදරය දෙන්න කවුරුන් හෝ හිටියා. ඒත් අද තියෙන්නනේ සංවෘත පවුල්. මවත් පියාත් දරුවනුත් හුදකලා වෙලා. රැකවරණයක් ආදරයක් දෙන්න කෙනෙක් නැහැ. ඉතින් මේ මව්වරු පියවරු හරිම අසරණ වෙලා.

අතීතයේ ගෘහ සේවිකාවන් හිටියත් එයාලා පවුලට හරිම ලෙන්ගතුයි. පවුලේ සාමාජිකාවක් වගේ දරුවන්ට ආදරය කරනවා. රැකබලා ගන්නවා. ඒත් අද ඉන්න අය රොබෝවරු වගේ. ආවා, වැඩ කොටස කළා, වැටුප ගත්තා ගියා. එයාලගේ කිසිම සමීප බවක් නැහැ.

එහෙත් රැකියාවකට යන මවකට එහෙමත් නැත්නම් ගෙදර සිට රැකියාවක් කරන මවකට දරුවන් රැක බලා ගැනීමේදී කාගේ හෝ සහායක් අවශ්‍ය වෙනවා. තමන්ගේ අම්මා, තාත්තා නැත්නම් සමීප ඥාතියෙක් තබාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම ඉන්න ඇතැම් මව්වරු කියනවා මම අහලා තියෙනවා අම්ම ළඟ දාලා ආවේ. අම්මා ඉතින් මට වඩා හොඳට බලාගන්නවා. තාත්තා මට වඩා හොඳට බලාගන්නවා. මේ වගේ දරුවෝ ඇස් දෙක වගේ බලාගන්න ඒ අදාරණීයයන් ගැන ඔබත් සැලකිලිමත් වෙන්න ඕන. දරුවන් ඔවුන්ට ආදරය දැක්වීම අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. ඔවුන්ට ඔබේ දරුවාගේ භාරකාරත්වය දෙන්න. ඔවුන් සමීප කරගන්න. ඔවුන් කරන්නේ විශාල කැප කිරීමක් බව සිතන්න.

ඔවුන්ගේ ආදරය ඔබේ දරුවාට මානසික ශක්තියක්. කාර්යබහුල ඔඛෙන් ඉටු නොවෙන කාරණා බොහෝ දේ ඔවුන්ගෙන් කෙරෙනවා. කතාන්දර කියා දෙනවා. චිත්‍ර අන්දනවා. හොඳ නරක කියා දෙනවා. සෙල්ලම් බතක් උයනවා. ඒ නිසා ඔබේ දරුවාට ඒ රැකවරණය ඉතාමත්ම වටිනවා.

ඇතැම් ගෘහ සේවිකාවන් ඉන්නවා දරුවන්ට හරිම ලෙන්ගතුයි. දරුවොත් ඒ අයට ලෙන්ගතුයි. මා දන්නා සමහර දරුවෝ ඉන්නවා ගෘහ සේවිකාව ගෙදර යනකොට එයාට දණගහලා වඳිනවා. මේවා ගැන උරණ වෙන දෙමව්පියොත් ඉන්නවා. අපි කොතරම් දේ දුන්නත් දරුවා සේවිකාව පස්සෙමයි කියලා මැසිවිලි නඟනවා. එහෙම හිතන්න එපා. භෞතික සම්පත්වලට වඩා දරුවන්ට දැනෙන්න ආදරය දෙන්න ඕන.

ඒත් ඔබ, අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනවා. දරුවාගේ රැකවරණය බාරදෙන අය ගැන හොඳ තක්සේරුවක් ඔබ තුළ තියෙන්න ඕන. අපට සමහරවිට අහන්න ලැඛෙනවා ගෙදර මිදුලේ වතුර බේසමේ වැඩිලා කුඩා දරුවකු ජීවිතයට සමුදෙන ආකාරය ගැන, හොඳ රැකවරණයක් දරුවාට ලැඛෙනවාද කියන එක ඔබ තහවුරු කරගන්න ඕන. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගැන වුවත් ඔබ දෙවරක් සිතන්න ඕන. දරුවෙකුගේ ස්වභාවය නිතරම අවදානම් දේ කෙරෙහි යොමු වීම. ඒ නිසා විශේෂයෙන්ම රැකවරණය ලැඛෙනවාදැයි ඔබ තෘප්තිමත් වෙන්න ඕන. ඒ වගේම දවසෙම රූපවාහිනිය ඉදිරියේ දරුවා තබාගන්නවාද, දරුවාට හොඳ නරක පෙන්නලා දෙනවාද නැද්ද ඒ ඔබේ අවධානය යොමු විය යුතු තැන්. කෑම බීම නිසි වේලාවට දරුවාට ලැඛෙනවාද සොයා බැලිය යුතුයි.

ඔබට වැටහෙනවා ඇති දරුවකු රැකබලා ගැනීමේ සෑම පියවරකම ඔබ සෙවනැල්ලක් සේ සිටිය යුතු බව. මුළු හිතින්ම දරුවා පැවරිය හැක්කේ කෙබඳු  අයෙකුටදැයි ඔබට වැටහෙනවා ඇති. කාර්යබහුල ජීවන රටාවක ඔබේ කටයුතු පහසු කරගත්තාට ඒ වගේම දරුවා තෘප්තිමත්ව තබන්නට බුද්ධිමත් ගුණවත් ඥාතියකුගේ හෝ සේවිකාවකගේ සහාය ලබාගැනීම ඔබේ මනසත් සහනයක් වනු නොඅනුමානය.