Home Blog Page 134

උපතේ සිටම නිසි පෝෂණය ලබා දී දරුවන්ගේ පෝෂණ ඌනතා රෝග වළකමු.

මෙලොවට බිහි වන සෑම ළදරුවෙකුහටම උපතින් පැය භාගයක් ඇතුළත මවගෙන් කිරි උරා බීමට අවස්ථාව සලස්වයි. එතැන් සිට දරුවාට මාස හය සම්පූර්ණ වන තෙක් ලබා දෙන එකම ආහාරය වන්නේ මව්කිරිය. සියලූම පෝෂකාංගවලින් සපිරි මව්කිරි අමතර ආහාර සදහා ආමාශය හුරුවන තෙක් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය සියලූ පෝෂක සපයයි. මාස හය එනම් දරුවාට දින 180 සම්පූර්ණ වූ පසු වර්ධනයට අවශ්‍ය පෝෂක හා ශක්තිය මව්කිරිවලින් පමණක් ලබා ගත නොහැකිය. ඒ නිසා මාස හය සම්පූර්ණ වූ දරුවාට අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුතුය. කෙසේ වුවද දරුවන්ට උපරිම පෝෂකාංග ඇතුළත් වන පරිදි පරිපූර්ණ පෝෂණයක් ලබාදීම දෙමාපිය වැඩිහිටියන්ගේ වගකීමකි. මන්ද නිසි පෝෂණයක් නොලබන දරුවන් අනාගතයේදී පෝෂණ ඌනත රෝගවලට ගොදුරු වීමේ අවධානමකට ලක් විය හැකි බැවිනි.

පෝෂණ ඌනතාවය යනු සුවිශේෂී එක් පෝෂකයක හෝ පෝෂක කිහිපයක් හිඟ වීම නිසා දරුවන්ට ඇති විය  හැකි රෝගී තත්ත්වයන්ය. අද වන විට ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන එවැනි පෝෂණ ඌනතා රෝග ලෙස   රක්තහීනතාවය හෙවත් නීරක්තිය, අයඞීන් ඌනතාවය, මන්දපෝෂණය සහ විටමින් ඒ ඌනතාවය යන තත්ත්වය දැක්විය හැකිය.

රක්තහීනතාවය හෙවත් නීරත්කිය

සිරුරේ විවිධ කොටස් වෙත ඔක්සිජන් රැගෙන යාමට මෙන්ම හිමොග්ලොබීන් සැදීමට ද අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වන යකඩ ඌනතාවය මේ තත්ත්වයට හේතුවයි.

යකඩ අවම වීම හේතුවෙන්  : 

  • ඉක්මණින් රෝග වැළදේ
  • අලස බව ඇති වේ
  • මතක ශක්තිය සහ අවදානය අඩු වේ
  • ගැබිනි මව්වරුන්ට විවිධ සංකූලතා ඇති වේ
  • ශාරීරික හා මානසික සංවර්ධනය අඩාල වේ

සිරුරට පහසුවෙන් උරා ගන්නා යකඩ ලෙස මස්, මාලූ, හාල් මැස්සන් වැනි සත්ත්වමය ආහාරවලින් ලැබෙන යකඩ දැක්විය හැකි අතරම සිරුරට සෙමින් උරාගන්නා යකඩ වන්නේ තද කොළ පැහැති පලා වර්ග, කව්පි, කඩල, පරිප්පු වැනි ධාන්‍ය වර්ග මගින් ලබෙන යකඩ පෝෂණයයි.

යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරගැනීමට : 

  • විටමින් සී බහුල අලුත් එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගන්න
  • ආහාර පිසින විට දෙහි, සියඹලා වැනි දෑ එක් කරන්න
  • ආහාර වේලක් ලබාගෙන පැයක්වත් ගත වන තුරු තේ, කෝපි වැනි ටැනින් අඩංගු දෑ ගැනීමෙන් වළකින්න
  • නිසි කලට වෛද්‍ය උපදෙස් අනුව දරුවන්ට පණු ප‍්‍රතිකාරය ලබා දෙන්න

අයඩීන් ඌනතාවය

අයඩීන්, මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂකයක් වන අතරම තයිරොක්සීන් හෝමෝනය නිපදවීමට දායක වේ. සිරුරේත් මොළයේත් සාමාන්‍ය වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අයඞීන් වැදගත් වන අතරම සිරුරට ලැබෙන අයඩීන් ප්‍රමාණය අඩු වූ විට ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි තත්ත්වය ඇති වේ.

අයඩීන් ඌනතාවයේ ලක්‍ෂණ :

  • උදාසීන බව
  • වෙහෙසකාරී බව
  • බුද්ධි මට්ටම පහත වැටීම
  • ප්‍රජනක පද්ධතියේ ගැටලූ ඇති වීම

අයඩීන් ඌණතාවය හේතුවෙන් මිනිස් සිරුරට ඇති විය හැකි බලපෑම් : 

කුඩා දරුවන්ට :

  • ගණගන්ඩය
  • ශරීර වර්ධනය අඩු වීම
  • බුද්ධි මට්ටම අඩු වීම
  • කායික වර්ධන අඩාල වී යාම
  • මොළයේ වර්ධනය අඩුවීම
  • කථන හා ශ්‍රවණ ආබාධ

ගර්භණී කාන්තාවට :

  • මළදරු උපත්
  • හදිසි ගබ්සා

වැඩිහිටියන්ට : 

  • උදාසීන බව
  • ගලගණ්ඩය
  • අධික වෙහෙස
  • ශ්‍රම ඵලදායීතාව අඩුවීම
  • මානසික ක්‍රියාකාරිත්වය අඩුවීම

අයඩීන් ඌනතා රෝගවලින් මිදීමට නම් අයඞීන් මිශ්‍ර ලුණු මෙන්ම අයඞීන් පෝෂිත පසෙහි වැවෙන ශාකමය ආහාර වර්ග ද ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හාල් මැස්සන්, සාලයා, ඉස්සන්, පොකිරිස්සන් වැනි අයඞීන් බහුල ආහාර එදිනෙදා ආහාරයට ගත යුතු වේ.

සැ. යු.

අයඩින් අඩංගු ලුණු භාවිතයේදී :

  • සැමවිටම කල් ඉකුත් වීමේ දිනය පරීක්‍ෂා කර ලු ණු මිලදී ගන්න
  • අයඞීන් මිශ්‍ර ලුණු පමණක් පරිහරණය කරන්න
  • ලුණු සේදීමෙන් වලකින්න
  • ලුණු ඇසිරීම සදහා දුඹුරු පැහැති ඇසුරුම් යොදාගන්න
  • ලුණු ඇසිරූ බදුන අධික තෙතමනයට හෝ තාපයට නිරාවරණය නොවන පරිදි තබන්න

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණය  

නිසි පෝෂණය සපිරි ආහාර එනම් සමබල ආහාර වේලක් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් ආකාරයෙන් ලබා නොගැනීම හේතුවෙන් ප්‍රෝටීන් කැලරි මන්දපෝෂණ තත්ත්වය ඇති විය හැකිය. එනම් නිසි ආහාර ප්‍රමාණය නොලැබී යාමෙන් ගුණාත්මක ප්‍රෝටීන් (සත්ත්වමය ප්‍රෝටීන්) අඩංගු ආහාර හා ශක්තිජනක ආහාර (පිෂ්ඨය හා මේදය සහිත) ලබාගන්නා ආහාර වේලෙහි ප්‍රමාණවත් අයුරින් අඩංගු නොවීමයි.

ප්‍රෝටීන්  කැලරි මන්දපෝෂණයේ විවිධ අවස්ථා  : 

  • අඩු බර
  • කෘෂ බව
  • මිටි බව

විටමින් ඒ ඌනතා රෝගය

උපතේ සිටම සිරුර තුළ වැදගත් මෙහෙයක් ඉටු කරන විටමින් ඒ මනා දෘෂ්ඨියක් පවත්වා ගැනීමට, ඉහළ ප්‍රතිශක්තියක් ලබාගැනීමට, සෛල වර්ධනයට මෙන්ම සම, හිසකෙස් හා ශරීරයේ විවිධ කොටස්වල නිරෝගි පැවැත්මටත් ප්‍රජනන සෞඛ්‍ය රැකදීමටත් වැදගත් වේ. තවද ශරීරය තුළ ප්‍රතිඔක්සිකරකයක් ලෙස ක්‍රියාකරමින් විනාශකාරී සංඝටවලින් සෛල ආරක්‍ෂා කරයි.

විටමින් ඒ ඌනතාවය ඇති දරුවන් නිතර නිතර ස්වසන ආසාධනවලට ලක් වීමේ ප්‍රවණතාවය වැඩිය. සායන හරහා සෑම මාස හයකට වරක්ම විටමින් ඒ අධි මාත්‍රාව දරුවන්ට ලබා දෙන්නේ ඒ නිසාය.

විටමින් A වල වාසි :

  • සරම්ප, මැලේරියාව, පාචනය වැනි රෝග වලින් දරුවන් රැකගනී
  • ඇස් මතුපිට, ආහාර මාර්ගයේ හා ස්වසන මාර්ගයේ පවතින ශ්ලේෂ්මල පටලයන්හි තෙතමනය රැකදෙමින් දරුවන් ආසාදනවලින් රැක ගන්න
  • ආසාදන තත්ත්ව ඇති වුවද එම තත්ත්ව උග්‍ර බවට පත්වීමට ඇති අවදානම අවමකරයි

රාත්‍රී අන්ධතාවය විටමින් ඒ ඌනතාවයේ මුල් ලක්‍ෂණයකි. තවද බීටෝලප, කෙරටොමැලේෂියා වැනි රෝග තත්ත්වයන් ඇති වී පෙනීම අඩාල වී ක්‍රමයෙන් පූර්ණ අන්ධතාවයට ලක්වීමේ අවදානමක් ද විටමින් ඒ ඌනතාවය නිසා ඇතිවිය හැකිය. දරුවාට වසර පහක් සම්පූර්ණ වන තුරු සෑම මාස හයකට වරක්ම ක්‍ෂේත‍්‍ර සායන මගින් ලබා දෙන විටමින් ඒ අධි මාත්‍රාව ලබා දිය යුතුමය.

විටමින් ඒ බහුල ආහාර කිහිපයක්

  • කහ පැහැති එලවළු – කැරට්, කහ බතල, තක්කාලි, වට්ටක්කා
  • පහ පැහැති පළතුරු – අඔ, ගස්ලබු, ලාවුලූ, දොඩම්
  • තද කොළ පැහැති පලා වර්ග – කතුරුමුරුංගා, තම්පලා, නිවිති, කැරට් කොළ , බීට් කොළ, මුරුංගා කොළ වැනි පළා වර්ග
  • සත්ව ආහාර – බිත්තර කහ මදය, මස්, සත්ත්ව අක්මාව, මාළු තෙල්
  • කිරි ආහාර – මුදවපු කිරි, චීස්, බටර්, යෝගට්

සැ.යු.

විටමින් ඒ ඌනතාවය පාලනයට : 

  • මවගේ මුලින්ම එරෙන රන් කිරි හෙවත් කොලස්ට‍්‍රම් අනිවාර්යෙන්ම දරුවාට ලබාදෙන්න
  • ළදරුවාට මාස හය සම්පූර්ණ වන තුරු මව්කිරි ලබා දෙන්න
  • මාස හය සම්පූර්ණ දරුවාට මාස හයෙන් හයට සායන හරහා ලබා දෙන විටමින් ඒ අධි මාත‍්‍රාව ලබා දෙන්න
  • අමතර ආහාර ආරම්භ කළද අවුරුදු දෙක සම්පූර්ණ වන තෙක් දරුවාට මව්කිරි ලබාදෙන්න
  • විටමින් ඒ බහුල ආහාර දරුවාගේ ආහාර වේලට එක්කරන්න

දරුවන්ගේ පෝෂණය කෙරේ උපරිම අවදානය මෙන්ම අවබෝධය මව්වරුන් සතුවී ඉතා වැදගත් වේ. සැමවිටම නිසි පෝෂණයක් ලබාදීම ශාරීරික වර්ධනයට පමණක් නොව බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍ය කරුණකි. පාසැල් විවේක කාලය සඳහා වුවද ලබා දෙන කෙටි කෑම වේල පෝෂණීය ආකාරයට සකසා දෙන්නය මව්වරුන් කල්පනාකාරී විය යුතුය. නිසි පෝෂණය සමගින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරු පරපුරක් ලොවට දායාද කිරීමේ පූර්ණ වගකීම පැවරෙන්නේ මපියන් වන ඔබටය.

කොළඹ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සහ නව යොවුන් සෞඛ්‍ය ඒකකයේ ලේඛකාධිකාරී, ප්‍රජා වෛද්‍ය   එස් ජේ සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

දරුවන්ගේ නිර්මාණශීලීත්වයට දිරියක් වූ Surf excel රජ වැඩ පොඞ්ඩෝ

පුංචි දරුවන්ගේ සුන්දර ළමා ලෝකය අද වන විට තරගකාරී අධ්‍යාපන රටාවේ ගොදුරු බවට පත්වෙලා හමාරයි. ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් නිර්මාණ වෙනුවෙන් වෙන්කරන්න කාලයක් නැති තරම්. පොත් පත් එක්ක දවස ගෙවන දරුවන් හරියට යන්ත්‍ර වගෙයි. ඒත් දරුවන් තුළ නිර්මාණශීලී හැකියාවන් නෑ කියන්නේ කොහොමද? ඒ හැමදේම යටපත් වෙලා විතරයි. දෙමාපියන් වන ඔබට පුළුවන් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් දෙන්න. ඒ තුළින් ඔවුන්ගේ හැකියාවන් හඳුනාගන්න. නිර්මාණකරණයට ඔවුන් කොයිතරම් නම් දක්‍ෂයෝ ද යන්න වටහාගන්න.

එක එක දරුවෝ එක එක විදියේ දස්කම් පෙන්නනවා. හැම දරුවෙක්ටම කුමක් හෝ හැකියාවක් තියෙනවා. ඒ දක්‍ෂතා ඔවුන් ළඟ විතරක් තිබිලා මදි. ඒ දස්කම් රටටම පෙන්වන්න ඕනේ. ඒක දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවය ඔප් නංවන්න ඔවුන්ට හිමිවන වටිනා අවස්ථාවක්. නිර්මාණශීලී දරුවන් ආදරය, කරුණාව, දයාව පිරි හදවත් ඇත්තන් නිසාම අනාගත ලෝකය ඔවුන් නිසා සුන්දර වෙනවා. නිර්මාණකරණය තුළින් දරුවන්ගේ ජීවිතයට අගයක් ලැබෙනවා. තනිව සිතන්න, පරිසරයට, සතුන්ට ආදරය කරන්න නිර්මාණකරණය හරහා දරුවන් යොමුවෙනවා. මේ සඳහා අවශ්‍ය උපරිම සහය ලබාදීම දෙමාපියන්ගේ යුතුකමක්.

නිර්මාණශීලී දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel, අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගන්නට අත්වැලක් වුණා. දැයේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නංවන්නට අවස්ථාවක් ලබාදෙමින් දරුවන් වෙනුවෙන් තවත් මහඟු යුතුකමක් ඉටුකරන්නට Surf excel දැන් සූදානම්. පොඞ්ඩන්ගේ රජ වැඩ රටටම පෙන්වන්න Surf excel අවස්ථාව ලබාදෙන්නේ ඒ නිසයි. අලුතින් හිතන්න, අලුත් දේ කරන්න, අලුත් දේ සොයාගන්න Surf excel රජ වැඩ පොඞ්ඩන්ට හරිම පහසුයි.

ඔබේ දරුවා වයස අවුරුදු 5 – 11 අතර නම් එයා Surf excel රජ වැඩ පොඞ්ඩෙක්. දෙමාපියන් වන ඔබට පුළුවන් ඉවත ලන ද්‍රව්‍ය වගේම Surf excel පැක් යොදාගෙන දරුවන්ට අලුත් නිර්මාණයක් කරන්න පහසුකම් ලබාලා දෙන්න. ඉන් පස්සේ නිර්මාණයේ ඡායාරූප Surf excel ෆේස්බුක් පිටුවේ පෝස්ට් එකක් හෝ මැසේජ් එකක් විදියට අපිට ලැබෙන්න සලස්වන්න. නිර්මාණකරණයට වගේම පොඞ්ඩන්ට ඉවන දාන ද්‍රව්‍යවලින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳවත් දැනුවත් වෙන්න මේක අවස්ථාවක්. යමක් ඉවත දැමීමට පෙර මේ දෙයින් යමක් කළ හැකිද යන්න පිළිබඳ සිතා බැලීමට දරුවන් පෙළඹෙන අතරම ඔවුන් ඒ තුළින් දිගින් දිගටම නිර්මාණකරණයට යොමු වෙනවා. දවසට පැය පහක් හයක් රූපවාහිනිය ඉදිරයේ ගත කරනවාට වඩා නිර්මාණකරණය තුළින් දරුවෙකු තාර්කිකව සිතන්නත් පුරුදු වෙනවා. පුංචි දරුවන්ගේ දඟකම් වගේම ඔවුන්ගේ අනාගතය ලස්සන කරන්නේ කොහොමද කියලා දන්න නිසයි Surf excel දරුවන් වෙනුවෙන් මෙවැනි සුවිශාල වැඩසටහන් සූදානම් කරන්නේ.

තරග කොන්දේසි : 

වයස් සීමාව වයස අවුරුදු 5 – 11 අතර

නිර්මාණය සඳහා යොදා ගත යුතු අමුද්‍රව්‍ය :

  • ඉවත ලන ද්‍රව්‍ය
  • Surf excel පැකට්

නිර්මාණය යොමු කිරීම : 

නිර්මාණය කරන ලද සෙල්ලම් බඩුවේ ඡායාරූප Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පේජ් එකට පෝස්ට් කරන්න එහෙමත් නැත්නම් මැසේජ් කරන්න.

තෑගි දිනාගන්න : 

  • නිර්මාණ මුලින්ම පෝස්ට් කරන පොඞ්ඩෝ දස දහසකට මැජික් වොච් දස දහසක්
  • අවසාන තරගයේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ සවාරියක්

මෙවැනි නිර්මාණාත්මක තරග සඳහා දරුවන් යොමු කිරීම මගින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු වීමත් සමගම ඔවුන් යාන්ත්‍රික බවින් මිදී තම සිතැඟි අනුව යම් යම් නිර්මාණ සඳහා පෙළඹේ. අනාගතයේ අති දක්‍ෂ නිර්මාණකරුවන් රටට දැයට දායාද කළ ආඩම්බර මව්පියන් වීමේ සතුට ඔබට හිමිවේ.

අදම ඔබේ නිර්මාණය Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පිටුවට පෝස්ට් කරන්න.

අම්මාවරුන්ගේ සිතුවිලි බිඳක්

ජීවිතය අතීතය වර්තමානය හා අනාගතය නම් කාල පරාසයන් පසු කරමින් ,මුහුණ දෙමින් ,මුහුණ දෙන්නට සූදානමින් රිද්මයානූකූලව ගලා යයි. වර්තමානය ගෙවී යමින් අතීතයට එක්කාසු වන විට එයින් ලද අත්දැකීම් අනාගතයට බෙහෙවින්ම වැදගත්ය. ඒ ජිවිතය පෝෂණය වන්නේ අත්දැකීම් තුලින් නිසාවෙන්මය. කාලය යනු ආශ්චර්යකි.අතීතයේ දිනකදී මා අම්මාගේ අකැයෙහි උණුහුම විඳිමින් නැළවුන අම්මාගේ සුරතල් දඟකාර දෝණියයි. අද මා අකැයෙහි උණුහුම විඳිමින් සුරතල් වන පුතු පැටවුන්ගේ අම්මා මමය. එළඹෙන අනාගතයේදී මා ආදරණිය මිත්තණියක් වනු ඇත. ඉදින් මේ කාලය මවන වෙනසෙහි අරුමයය. දරුවන් නමින් සෙනෙහස දෝර ගලා යන සෑම මව් හදවතකම නැගෙන සිතුවිලි වල සමානාත්මකතාවයක් මා දකිමි.

විටෙක මා වික්ෂිප්ත වෙමි. මේ මමමද… ඔව් මේ මමමය. කාලය ගෙවී ගොස් අප වයසින් මුහුකුරා ගොස්ය.ළදැරිය, යුවතිය ,පතිනිය, මව ,මිත්තණිය ලෙස කාන්තාවක් ජිවිතයේ විවිධ අදියරයන් පසු කරන විට එහි සුවිශේෂීම සංධිස්ථානය මවක් වීම යැයි මට සිතේ. අම්මා මිහිපිට ඇති ජීවයේ මැවුම්කාරිය ඇයයි. අම්මා අහසක් සේය. අම්මා පොළවක් සේය.අම්මා මෙන් අහස සේ දරා ගන්නා පොළව සේ උසුලා සිටින්නියක් මට කෙදිනකවත් හමුවී නැත. නව ජීවයකට උපත සදන සොඳුරු නවා තැන අම්මාගේ කුසය. කුළුඳුලේම මවක් වීම ඉමහත් බැරෑරුම් කාරියකි. මා කුස තුල නව ජීවයක් නවාතැන් ගත් බව දැනගත් නිමේෂය අදද මට සිහිනයක සේයාවක් මෙන් හදවතේ ඇඳී යයි. අම්මාගේ විසේකාර දඟකාරිය, බඩ පිස්සී “අම්මා” යන සොඳුරු ආමන්ත්‍රණයට හිමිකාරියක් විය.ඉතින් එයින් මා කෙතරම් වික්ශිප්ත වූවාද? හිස් මුදුනෙන් ඇරඹුන විදුලි සැරයක් පාදාන්තය දක්වාම විහිද ගියා සේ දැනුනි. සතුට ,බිය මුසුව හදවත ස්පන්ධනය වන වේගය පවා වේගවත් විය. කෙසේ මම මේ අවස්ථාවට මුහුණ දෙන්නද උ? මම මගෙන් ඇසූවෙමි.

ගැබිණියක් වන විට තම සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ,ඇඳුම් පැළඳුම්, ගමන බිමන ආදී දෛනික ජීවිතයම වෙනසකට ලක් වන්නේ නිරායාසයෙන්මය. දසමසක්ම මේ නුදුටු අමුත්තා වෙනුවෙන් පේවෙන්නීය. අඩුම වශයෙන් උණක් හෙම්බිරිස්සාවක්වත් නොසෑදී ඉන්නට මාද වගබලා ගත්තා මට මතකය. ඒතරමටම මා මගේ සෞඛ්‍යය පිළිබඳ මා සැලකිලිමත් වූයේ මගේ අසනීප තත්ත්වයන් මගේ නූපන් දරු පැටියාට ගැටලුවක් වේ යැයි සිතූ නිසාවෙන්මය.

අබ ඇටයක් තරමින් ඇරඹි ජීවය මොහොතින් මොහොත කුස තුල වර්ධනය වන විට දැනෙන ශාරිරික වෙනස්කම් අසීමිතය. හෝමෝන වෙනස්වීම නිසා වමනය, හිසරදය, කරකැවිල්ල, ආහාර අරුචිය වැනි අපහසුතා ඇති වන්නාසේම නොයෙකු සුවඳ පවා ගන්ධයන් සේ දැනෙන්නට විය. ගර්භණීත්වය හා බැඳුනු බොහෝ ගැටළු මටද පොදු විය. සෑම මසකට වරක්ම සායන වලට මා නොවරදවාම ගියෙමි. දරුවා නීරෝගීව වර්ධනය බව වෛද්‍යතුමා පවසන විට මා අපරිමිත සතුටකින් දැඩි ස්නේහයෙන් මගේ කුස පිරිමැද්දෙමි. මා මවක් වූ බව දැන ගත් දිනයට පසු දිනයේම මගේ සැමියා මට “ඔබත් දැනුවත් මවක් වන්න” යන පොත තිළිණ කළේය. සත්තකින්ම එය මට මහා පිටුවහලක් විය. කළලය වර්ධනය වන විට ටිකෙන් ටික කුසද මෝරා වැඩෙන්නට විය. සති 18ක් 19 පමණ වන විට ප්‍රථම වරට මගේ පුංචි දඟයාගේ දැඟලීම මා අත්වින්ඳෙමි. කුස පිරිමදිමින් කවි ,ගී ගැයුවෙමි. පුංචි කතන්දර කියා දුන්නෙමි. කුස තුල සිටින්නේ දුවක්ද පුතෙක්ද යන්න ස්කෑන් පරික්ෂණයකින් දැන ගත හැකි වුවත් එය කලින්ම දැන ගන්නට මට ඇවසි වූයේ නැත. මා පැතුවේ ස්වභාවික දරු උපතක්මය. එහිදී දැනෙන හැඟුමන් සජීවීවම අත්විඳින්නට මා ආශා කළෙමි.

සති 34 ක් පමණ වන විට හිටි හැටියේ මගේ දඟයා රාත්‍රිය පුරාවටම දඟ නොකළාය. අම්මා කෙනෙකුගේ හදවතෙහි දරුවන් වෙනුවෙන් උපදින කප්පරක් සෙනෙහස නිසාවෙන් දරුවන්ට කරදරයක් වු විට දැනෙන හැඟුමන් මා ප්‍රථම වරට අත්වින්දෙමි.නොනවත්වාම දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. මුව ගොළු වී ඇත. සිත ගිණියම් වී ඇත. ඉතින් මා වෛද්‍යවරයාට කෙසේ පහදන්නද?

“මගේ බබා ඊයේ රෑ ඉඳලා දඟලන්නෙ නැහැ” සිතට වාරු ගත් මා අවසානයේ වදන් එකතු කොට පැවසුවෙමි. මා පරික්ෂා කර බලා අහවර කළ වෛද්‍යවරයි මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා උන්නාය. මා තවත්  බියට පත් වුණෙමි.

“අම්මලා ඔහොමම තමයිනේ… ප්‍රශ්නයක් නැහැ දරුවෝ ඔයාගේ පැටියට දැන් ටිකක් ඉඩ මදි දඟලන්න. එයා හොඳට නිදාගෙන ඊයේ රෑම”

හිස මත තිබූ මහා බරක් නිදහස් විය.

“අනේ මගේ පැටියෝ ඔයා මාව කොච්චර බය කළාද? ” කුස පිරිමදිමින් මා මිමිණීය.

සති 38 වන විට මගේ පැටියා මේ ලෝකයට වඩින්නට සූදානම් විය. ලොව ඇති උපරිම වේදනාව අත්විඳින්නට මා සුදානම් විය. දෑස් තරයේ වසාගත් මගේ සිත අභියසට ආවේ මගේ ආදරණීය අම්මාය. අම්මා අප පස්දෙනෙකු මෙළොවට ජනිත කරන්නට මේ තරමටම වේදනාවක් උහුලන්නට ඇත. අම්මා නමින් මගේ සිත ආදරයෙන් හා භක්තියෙන් පිරීගියේය. අම්මා… මගේ  වේදනාව අතරින් මිමිනූ එකම වදන විය. උං ඈ උං ඈ… ඒ මගේ පැටියාගේ ප්‍රථම හැඬුමය. මෙතෙක් මා ලද වේදනාව අතුරුදන් විය. මා හිස ඔසවන්නට තැත් දැරූවෙමි.

“ඔන්න ඔයාට පුතෙක් මෙන්න බලන්න, හරි ඉක්මණට එක්කරන් එන්නම් ” හෙදිය පවසද්දි මා සිනාසුනෙමි

ඔය රෝස කම්මුල් වල

හාදු හුඟක් තවරද්දි

නුඹ උන්නා සුව පහසුව ඔහේ…

සිහිනයෙන් නුඹ හිනැහෙද්දි

සිහිනයෙන් නුඹ හඬද්දි

මං උන්නා නුඹ දිහා බලා ස්නේහයෙන්…

දසමසක් පෙරුමන් පුරා

දෝතට වැඩිය වස්තුවේ

ආදරෙයි  නුඹට මං මහා හුඟක්…

 

පූර්ණ කාලීණ මව්වරුන්, නිර්මාණශීලී මුදල් උපයන්නියන් වන්නේ කෙසේද​?

මගේ මුල් ලිපිය එනම් “මව්වරුනි…ඔබ, ඔබේ රැකියාව අත් හැරියත්, ඔබ තුල ඇති ශක්තිය අත් නොහරින්න” ලිපිය කියවා, ඒ සදහා ප්‍රතිචාර ලබා දුන් මව්වරුන් එහි දෙවෙනි ලිපියක් ලෙස මෙය ලිවීමට මා පෙලබවීය. රැකියාව අතහැර නිවසේ නැවතුන මවකට නිවසේදීම කල හැකි දේ බොහෝය. දරුවන් ගේ, සැමියාගේ සහ නිවසේ වැඩ කටයුතු වලට පමණක් තම හැකියාව හා දැනුම සීමා නොකොට ඉන් තමන්ට මෙන්ම අනුන්ටද වැඩදායි කටයුත්තක නියැලෙන්නේ නම් ඉතා අගනේය. නිකම්ම නිකම් ගෘහනියක් පමණ්ක් නොවී ඉන් ඔබ්බට සිතා බැලීමට ඔබට දැන් කාලය එළබ ඇත.

පූර්ණ කාලීන මවක් හා ගෘහණියක් වූ ඔබ, නිවසේ සියලු වැඩ කටයුතු වලට සමගාමීව කිරීමට යන මෙම අමතර කටයුත්ත ඔබට ගතට මෙන්ම සිතටද සැනසීමක් සතුටක් ලබා දීමට සමත් විය යුතුය. එනිසා මේ සදහා ඔබ තෝරාගත යුත්තේ තමන් තෘප්තිමත් වන අයුරින් කළ හැකි දෙයක් වන බව මාගේ අදහසයි.

ඔබ සැමගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පෙළ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා එකිනෙකාට වෙනස් වේ. පෙරදී ඔබ කල රැකියාව ඒ සුදුසුකම් මත ලබා ගත් ඒකකි. එවන් වටිනා රැකියාව ඔබ මේ වන විට අත්හැර අවසන් ය. එනිසා පළමුව ඔබ විසින් කළ යුත්තේ ඔබ කළ රැකියාව සහ ඔබගේ ඉහත කී සුදුසුකම් මුලු හිතින්ම අමතක කර දැමීමයි. මක් නිසාද යත්,ඉහත කී කාරණා ඔබ නොදැනුවත්වම ඔබ තුල පුහු මානයක් ඇතිකරලන බැවිනි. ලජ්ජාවක් ඇතිකරලන බැවිනි. එම මානය, ලජ්ජාව නිසා ඔබට ඔබේ ඉදිරිය නිසියාකාරව නොපෙනේ. එය ඔබට ඔබෙ ඉදිරිය පිළිබද පැහැදිලි තීරණයක් ගැනීමට ඉඩ නොදෙයි. ඔබට, ඔබේ සිතට නිදහස්ව සවන් දීමට ඉඩ නොදෙයි. (මතක තබා ගන්න. මෙය තාවකාලික අමතක කිරීමක් බව. ඔබ උගත් දෑ, ඔබ ගන්නා කවර හෝ තීරනයක් ඉදිරියට ගෙන යාමට සහ එය අන් අයට රැකියාවන් ජනනය කරවීම දක්වා දියුනු වූ කර්මාන්තයක් බවට පත් කර ගැනීමට ඔබට අනිවාර්යයෙන් අනාගතයේදී උපකාරී වේවි.)

මේ වෙබ් අඩවියට සමගාමීව දිවෙන www.womanly.lk වෙබ් අඩවියේ පළවී තිබෙන එක ළිපියක් මට අහම්බෙන් මෙන් මුණගැසුනි. එය කියවීමෙන් ඔබට නිවසේදී කල හැකි, අමතර ආදායමක් ද ලබා ගත් හැකි විනෝදාංශ කීපයක් සදහන් කර තිබේ. එනම් සුබ පැතුම් පත් නිර්මාණය, ආභරණ නිර්මණය, ඇදුම් මැසීම, ඡායාරූපකරණය, කේක් සහ ආහාර වර්ග සැකසීම. මීට අමතරව තවත් බොහෝ විනෝදාංශ ද සහජ හැකියාවන්ද ඔබට තිබේ. රූපලාවන්ය, ලිවීමේ හැකියාව, භාණ්ඩ ගැනුම් සහ විකිණිම්, ස්ව නිර්මාණ(DIY Crafts), සේවා සැපයීම යනාදිය ඉන් කිහිපයක් වේ. එමෙන්ම ඔබගේ අධ්‍යාපන මට්ටම පසුබිම් කරගනිමින් නිවසේදී කල හැකි යමක් ඔබට ආරම්භ ක්ල හැකියි. උදා:- වෛද්‍ය සේවාවන්, උපදේශන සේවාවන්, ගිනුම් කටයුතු, ජනමාධ්ය ලිපිලේඛන, උපකාරක පන්ති මින් සමහරක් ය.

රැකියාව කරන සහ නොකරන සියලුම මව්වරුනි! අප, පුහුදුන් මනසකින් යුතුව ” අපව අගය කල යුතුයි, අපි තමා වඩාත් කැපකිරීම් කල  උදවිය, අපි තමයි කාල කලමනාකාරීත්වයෙන්  උසස්ම” යැයි එකිනෙකාට කියා නොගෙන ඉන් ඔබ්බට  පියවර කීපයක් ඉදිරියට තබමින් ඒකිනෙකාට උදව් දී ඔවුනොවුන් ගේ තත්වය ඉහලට දැමීම වඩා කාලෝචිතයැයි මම පිලිගනිමි. මේ පුංචි පනිවිඩය, දැනට රැකියාවේ නියලෙන දක්‍ෂ මව්වරුන්ටයි. නිවසේ වසන මව්වරුන් රැකියාව කරන මව්වරුන් මෙන් ආර්ථිකය අතින් ශක්තිමත් කරගැනීමට ඔවුන්ව දිරිමත් කරමු. ඔවුන්ද අන් අයට රැකියා මවන්නියන් බවට පත්කරමු. මේ සමාජයේ සියලුම කාන්තාවන් කෙසේ වෙතත්, බහුතරයක්වත්  තවෙකෙකුගෙන් පූර්ණකාලීනව යැපෙන්නේ නැති තත්වයට පත් කරමු.

අපේ කාන්තාවන් හරිම දක්‍ෂයි; හරිම නිර්මාණශිලීයි. නිදහසේ ඔවුන්ට සිතීමට ඉඩකඩක් ලැබුනොත් ඔවුන්ට ඉතා අලංකාර අදහස් පහල වේ. මම ද පූර්ණකාලීණ මවක් ව හිඳිමින් ඉතා සාර්ථකව Facebook හරහා මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. මේ කටයුත්ත කරගෙන යාම සඳහා මම දවසේ වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හා සම්බන්ධව සිටිමි. එවිට Facebok පසුබිම් කරගනිමින් දිවෙන ඉතා රසවත් පිටු මට මුනගැසෙයි. ඉන් කිහිපයක් මම මෙසේ සඳහන් කරමි. එක් මවක්, අද කාලයේ දෙමාපියන් ගේ කාර්‍ය බහුලත්වය හේතුවෙන් කර ගැනීමට ඉඩ නොලැබෙන  දරුවන් ගේ පාසල් පොත් වලට පිටකවර දැමීම සුලු කටයුත්තක් ලෙස කරගෙන යනු ලබයි; ඉන් ආදායමක් ද අැය උපයා ගනී . තවත් මවක් , අද පෙර පාසල් වලට සහ කුඩා ලමුන් ගේ ප්‍රීති උත්සව වලදී නිතරම භාවිතා කරගන්නා Play dough (පිටි වලින් සාදා ගන්න , දරුවන් ට සෙල්ලම් කිරීමට උපකාරී වන ගුලියක්) සෑදීම තමාගේ සුලු ව්‍යාපාරයක් ලෙස කරගෙන යයි. තවත් මවක් ඉතා අලංකාර සුභ පැතුම් පත් නිර්මාණයෙන් අරඹා දැන් සාර්ථක ලෙස අලංකාර උත්සව සැරසිලි නිර්මාණය දක්වා තම ව්‍යාපාරයක් දියුනු කරගෙන සිටී.

මෙවන් වූ උදාහරණ මා ඔබට ගෙන හැර දැක්වූවේ, මේ කියවන ගෙදර ඉන්න අම්මලාව දිරිමත් කිරීමටයි. නිකමට හිතන්න, ඔබත් කෙසේ හෝ කීයක් හරි උපයා ගන්නේ නම්, ඔබේ එදිනෙදා මෙන්ම අනෙකුත් විශේෂ අවශ්‍යතා සපුරා ගැනීම ඔබටම කරගත හැකිනේද? ඒ වගේම ඔබේ ස්වාමි පුරුශයාට ආර්ථිකමය වශයෙන් සුලු හෝ සහයෝගයක් ලබාදෙන වටිනා,ආදර්ශමත් බිරිඳක් විය හැකි නේද? මා හැම විටම පවසන පරිදි ඔබ, ඔබ තුල අැති ශක්තිය හඳුනා ගෙන එය ඉහලට ගෙන එන්න. ඔබ, ඔබේ හා දරුවන් ගේ, සිය පවුලේ අනාගතය හා අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා කිසිඳු තීරණයක් පිළිඹඳව පසු නොතැවෙන්න. ඉදිරියටම යන්න.

තවත් මෙවන් වූ ලිපියකින් නැවත ඔබ හා ඉක්මනින්ම සමීප වෙමි! ආයුබෝවන්!

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


                

සාර්ථක යුග දිවියක ළඟම ඉන්නා “මිතුරි”

සාර්ථක යුගදිවියකට සාර්ථක පවුල් සංවිධානයක් අත්‍යවශ්‍යයි. ඒ දරුවන් ඇති වීම සීමා කිරීමට පමණක් නොවේ. තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව අවශ්‍ය පරතරය ඇතිව තමන්ට අවශ්‍ය කාලයට සැලසුම් සහගත ලෙස ලබා ගැනීම සඳහායි.

පවුල් සැලසුමේ අරමුණු

  • පළමු දරු උපත පමා කිරීම
  • දරුවන් අතර පරතරයක් පවත්වා ගැනීම
  • දරු උපත්වලින් පසු ගැබ් ගැනීම සීමා කිරීම
  • දරුවන් නොමැති අය සඳහා දරුවන් ලබා ගැනීමට උපකාර වීම

පවුල් සැලසුම හරහා මවට, දරුවාට පමණක් නොව සමාජය වෙතද හිමිවන වාසි රැසකි. ඒ නිසාම පවුල් සංවිධානය සම්බන්ධ සාර්ථක කරම හා ඒ සඳහා සුදුසු නිෂ්පාදන පිළිබ`දව ඔබ දැනුවත් කිරීම අපගේ යුතුකමයි.

මාගේ   හොඳම තේරීමමිතුරි

ශ‍්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය මගින් අලෙවි කරනු ලබන ජර්මනියේ බෙයර් හෙල්ත් කෙයාර් සමාගමේ නිෂ්පාදනයක් වන මිතුරි ඉතා ආරක්‍ෂිත, විශ්වසනීය, තාවකාලික පවුල් සැලසුම් ක‍්‍රමයකි. මිතුරි අවශ්‍ය නොවන දරු ගැබක් ඇති වීමේ අවදානමින් ඔබ මුදාගනී. එබැවින් ”මිතුරි” විවාහ ජීවිතයට ඉතා වැදගත් වේ.

මිතුරි සුදුසු කාටද?

පළමු දරු උපත පමා කිරීමට දරුවන් අතර පරතරයක් තබාගැනීමට හෝ තවත් දරුවන් අවශ්‍ය නැති කාන්තාවන්ට ”මිතුරි” සුදුසුය. නිරෝගී කාන්තාවකට වයස අවුරුදු 50 තෙක් මිතුරි පෙති පාවිච්චි කළ හැකියි.

මිතුරි පාවිච්චිය ආරම්භ කරන්නේ කෙසේද?

මාසික ඔසප් වීම ඇති වී මුල් දින 5 ඇතුළත ලබාගැනීම වඩාත් සුදුසුය. කාඞ්පතෙහි ඊතල සළකුණු ස`දහන් පැත්තේ ඉහළ වම් කෙළවරේ ඇති ලා කහ පැහැති පෙත්ත ඉවතට ගෙන ගිලින්න. එයින් පසු දිනපතාම එකම වේලාවකදී දිනකට එක පෙත්ත බැගින් ගන්න. නිල් පාට ඊතලය අනුගමනය කරමින් පිළිවෙළට කාඞ්පතෙහි පෙති අවසන් වන තුරුම පාවිච්චි කරන්න. අන්තිම දුඹුරු පාට පෙත්ත ගත් දිනට පසු දින සිට අලූත් ”මිතුරි” පැකැට්ටුවකින් පෙති ගැනීම සිදු කරන්න. සෑමවිටම අමතර ”මිතුරි” පෙති පැකැට්ටුවක් ළ`ග තබාගැනීමට අමතක නොකරන්න.

පෙති ගැනීම අමතක වුණොත්?

එක පෙත්තක් අමතක වුවහොත් පසු දින පෙති දෙකක් ගන්න. පිට පිට දින දෙකක් පෙති ගැනීම අමතක වුවහොත් ඊළ`ග දින දෙකේදී දිනකට පෙති දෙක බැගින් ගන්න. ඊට පසු දිනයේ සිට දිනකට එක පෙත්ත බැගින් පාවිච්චි කරන්න. ඊට අමතරව දින 7 ක් යනතුරු කොන්ඩමයක් පාවිච්චි කරන්න.

වැඩි විස්තර දැනගැනීම සඳහා ”මිතුරි” පැකැට්ටුව තුළ ඇති පත‍්‍රිකාව කියවන්න.

දරු ප්‍රසූතියකට පසු මිතුරි පෙති ආරම්භ කළ යුත්තේ 

ළදරුවාට මව්කිරි ලබා නොදෙන මව්වරුන්ට සති හතරකට පසුව ද මව්කිරි ලබා දෙන මව්වරුන්ට මාස 6 කට පසුවද (මව්කිරි ප‍්‍රමාණය අඩු විය හැකි නිසා), මිතුරි පෙති ලබාගැනීම ආරම්භ කළ හැකිය.

ගබ්සා තත්ත්වයකට මුහුණ දුන් කාන්තාවක් මිතුරි පෙති ආරම්භ කළ යුතු ආකාරය

  • හෝමෝන පෙතිවලින් අරඹන්න
  • දිනපතා එකම වේලාවක එක් පෙත්ත බැගින් ලබාගන්න
  • පැකැට්ටුව පිටුපස ඇති ඊතල සලකුණු අනු පිළිවෙළට ගන්න
  • හෝර්මෝන පෙති 21 ට පසු සියලුම හෝර්මෝන නොවන පෙති 7 ගන්න (සමහර පැකැට්ටුවල හෝර්මෝන පෙති 21 පමණක් ඇත.  එවැනි අවස්ථාවල දින 7 ක් කැලැන්ඩරයේ සටහන් කර අටවන දින සිට නැවත හොර්මෝන පෙති ගන්න)
  • අතුරු ආබාධ අවම කර ගැනීම සඳහා රාතී‍්‍ර ආහාර වේලෙන් පසු ලබා ගැනීම වඩා සුදුසුය

මිතුරි පෙති ඉතා සාර්ථක පවුල් සංවිධාන ක‍්‍රමයකි. පෙති ලබාගැනීම ආරම්භ කළ මුල් අවස්ථාවේදී ඔක්කාරය, හිසරදය, කැරකිල්ල, පියයුරුවල වේදනාව, ඔසප් වීම අතරතුර මද වශයෙන් ඇතිවන රුධිර වහනය වැනි සුළු ආබාධ මාසකින් දෙකකින් ම`ගහැරී යයි. පවුල් සංවිධාන ක‍්‍රමයක් ලෙස මිතුරි පෙති භාවිතයේ තවත් වාසි රැසකි. පෙති  ලබාගැනීම නැවැත් වූ වහාම දරුවෙකු පිළිසිඳ ගැනීමට අවසථාව ඇත. එමෙන්ම මාසික රුධිර වහනය අවම වීමෙන් රක්තහීනතාවය ඇති වීමේ අවදානම ද අඩු වේ. ඔබේ ඔසප් චක‍්‍රය ක‍්‍රමවත්ව සිදුවේ. ඔසප් වීම සමග ඇතිවන උදර වේදනාව මෙන්ම ශාරීරික අපහසුතා අවම වේ. වෙනයම් රෝගාබාධ නැති කාන්තාවන් සඳහා වයස 50 වනතෙක් අඛණ්ඩව භාවිත කිරීමේ කිසිදු වරදක් නොමැත. ඔසප් වීම ප‍්‍රමාද කිරිම සඳහා ද භාවිත කළ හැකි ක‍්‍රමයක් ලෙස මිතුරි පෙති හඳුන්වා දිය හැකි අතරම ඩිම්බකෝෂ/ගර්භාෂ පිළිකාවලින් ආරක්‍ෂා වීමට ද ඔබට සහය වේ. ලිංගික සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම ගැන නොසලකා අඛණ්ඩව මිතුරි පෙති භාවිත කරන්න.

mithuri

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දැනුවත් කිරීමකි

 

 

මාපියන් බියට පත් කරන උණ වලිප්පුව

දරුවකුට අසනීපයක් වැළඳෙනවා කියලා හිතෙන කොටත් හිතට බයයි. මොකද පැටවු විඳින දුක අපිට දරා ගන්න අමාරු නිසා. කෙසේ වුවත් උණ වලිප්පුව කියද්දි අම්මලා ගොඩක් බය වෙනවා. දරුවට උණක් හැදුනොත් රෑ එළි වෙනතුරුම නිදිවරාගෙන උණ බැහැලා යනතුරු අපි ඉන්නෙත් ඔය බය නිසාමයි. අවුරුදු දෙකක් වයසැති මගේ පොඞ්ඩට පහුගිය දවසක උදේ ලා ඇඟ රස්නයක් තිබුන නිසා මම උණ බලද්දි මෙන්න කැස්ස හෙම්බිරිස්සාවක්වත් නැතිවම උණ හැදිලා. පැනඩෝල් නියමිත මාත්‍රාවට දුන්නත් පැය හය ඉවර වෙන්නත් කලියෙන් ආයේ උණ. හවස් වෙද්දි පැනඩෝල් දුන්නත් උණ අඩු නොවන නිසා මම ඇඳුම් ලිහිල් කරලා ඇල් මැරුණු වතුරෙන් පොඩ්ඩාගෙ ඉකිලි හා කිහිලි තෙතමාත්තු කරමින් උණ පාලනය කරන්න උත්සහ කළා. තෙතමාත්තුව නතර කළ ගමන් දරුවගෙ උණ වැඩිවෙනවා. රාත්‍රී අටට විතර කොයි එකටත් වෛද්‍යවරයා වෙත ගෙන යන්න සිතාගෙන පුතාව වඩා ගනිද්දිම දරුවා හොඳටම වෙව්ලලා දරදඬු වුණා. දත කට පූට්ටු වෙලා දරුවා සට සට ගාලා ගැහෙද්දි මම හොඳටෝම කලබල වුණා. හනිකට දරුවව අරගෙන වෛද්‍යවරයා වෙත යද්දි දරුවා කිසිම හැලහොල්මනක් නැහැ. විස්තරේ අහපු වෛද්‍යවරයා කිව්වේ දරුවට ෆිට් එක හැදිලා කියලා. කොහොම වුණත් හිතේ බය වැඩිකමටම දරුවව රෝහලට ගෙන ගියා. “ඉතින් අපට මොකටද ඔය විස්තර” කියලා ඔයාලා හිතන්න පු`ඵවන්. ඒත් මේ ලිපිය ලියන්න මම හිතුවෙ ඒ මොහොතෙදි මට මගේ නොදැනුවත්කම තදින්ම දැනුන නිසයි. රෝහලෙදී වෛද්‍යවරු උණ වලිප්පුව වැළඳුනාම ක්‍රියා කල යුතු ආකාරය ගැන දැනුවත් කළ කාරණා ඔබටත් වැදගත් වේවි කියලා මට හිතෙනවා.

උණ ගැනීම නිසා ඇතිවන වලිප්පු තත්ත්වයට උණ වලිප්පුව යැයි කියනවා. සාමාන්‍යයෙන් උණ වලිප්පුව මාස 6ත් අවුරුදු 5ත් අතර ගැහැණු පිරිමි භේදයකින් තොරව ළමා අවධියේ සුලබ ඇති වන තත්ත්වයක්ය. මෙම තත්ත්වය ඇති වෙන්න හේතුව මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම්ය. උණ වලිප්පුව මොළයේ උණ හෝ මොළයේ අසාමාන්‍යතාවයන් නිසා ඇති වන තත්ත්වයක් නොවේ.

උණ වලිප්පුව බොහෝ විට ඇති වන්නේ උණ සෑදුන පළමු දිනයේමය. ඇතැම් විට උණ ගැනී ඇති බව දැන ගැනීමට පළමුවත් ඇති විය හැකිය. දරුවාගේ ඇසේ කලු ඉංගිරියාව උඩට ගොස් ශරීරය දර දඬු වී නොදැනුවත්වම මළමුත්‍රා පිටවීමක් සිදු විය හැකිය. මෙම තත්ත්වය විනාඩි පහළොවකට වඩා අඩු කාලයක් තමයි පවතින්නේ. මෙම තත්ත්වයට පසු දරුවා සිහිමුර්ජා තත්ත්වයට පත් විය හැකිය.

දරුවාට උණ වලිප්පුව සෑදුන විට සිත සන්සුන් කර ගැනීම ඉතා වැදගත්ය. දරුවා ඉහළට ඔසවා වඩා ගැනීම නොකරන්න. දරුවා ජලයේ ගිල්වීම හා දරුවාගේ සිරුරට ජලය වක්කීරීම නොකරන්න. දරුවා තෙමීමට අයිස් වතුර හෝ උණුවතුර භාවිතා නොකරන්න. දතකට පූට්ටු වී ඇති විට හැඳි ලී හෝ වෙනයම් දෙයක් උපකාරී කරගෙන කට ඇරීමට උත්සහ නොකල යුතුඅතර දියර වර්ග පානය නොදිය යුතුය.

දරුවකුට උණ වලිප්පු ඇති වු විට කළ යුතු දේ : 

  • දරුවා බිම හෝ ඇඳක වම් ඇලයට දිගා කරවන්න
  • මුඛයේ සෙම ඇත්නම් රෙදි කඩකින් පිස දමන්න.
  • දරුවාගේ ඇඳුම් ලිහිල් කරන්න.
  • විනාඩි 5ක් පමණ ප්‍රථමාධාර දෙමින් අවධානයෙන් සිටින්න.
  • විනාඩි 5කට වඩා වැඩි වෙලාවක් මෙම තත්ත්වය පවතී නම් වහාම ළඟම ඇති රෝහල වෙත දරුවා රැගෙන යායුතුය.
  • දරුවා රැගෙන යන විට වම් ඇලයට හරවා රැගෙන යන්න.

උණ වලිප්පු සෑදුන දරුවන්ට පසුකාලීනව හැසිරීමේ වෙනස් කම් හෝ මන්ද මානසික තත්ත්වයන් ඇති වේ යැයි බිය විය යුතු නැත. මෙහිදී දරුවාගේ මානසික වර්ධනයට හෝ ස්නායු වර්ධනයට එමගින් දීර්ඝ කාලීන බලපෑම් ඇති වීමේ අවදානම අඩුයි. මරණයට පත් වීමේ අවධානමක්ද නැත.

නමුත් ඔබ සිහි තබාගත යුතු කාරණය වන්නේ එක් වරක් උණ වලිප්පුව වැළඳුන දරුවකුට අවුරුදු 05 දක්වාම නැවත උණ තත්ත්වයකදී උණ වලිප්පුව ඇති විය හැකි බවය. එනිසා නිරන්තර අවධානයෙන් පසු වීම වැදගත්ය.

දරුවන්ගේ කායික ක්‍රියාකාරකම්වල ප්‍රමාදයට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සහනය

සෑම මවකගේම ඒකායන පැතුම වන්නේ නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකිරීමයි. නමුත් සමාන්‍ය තත්ත්වයේ දරුවන් මෙන්ම කායික ක්‍රියාකාරකම්වල නොයෙකුත් අඩුපාඩු ඇති දරුවන් ද සමාජයේ අනන්තවත් දක්නට ලැබේ. ඇතැම් මව්වරුන් දරුවන්ගේ නොයෙකුත් අසාමාන්‍යතා හමුවේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වුවත් ඇතැමුන් නොදැනුවත්කම, ලැජ්ජාව යන හේතු මත එසේ යොමු වන්නේ නැත. මෙවැනි කායික දුර්වලතා වෙනුවෙන් පූර්ණ සුවය ලබාදිය නොහැකි වුවත් භෞත චිකිත්සක ප‍්‍රතිකාර කරම හරහා ඒවා පාලනය කළ හැකිය.

තාක්‍ෂණයේ දියුණුවත් සමගින් වෛද්‍ය විද්‍යාව ද ඉතා ඉදිරියට පැමිණ ඇති හෙයින් අතීතයේ දරුවන්ට වඩා අද වන විට මෙවැනි දරුවන් ඉතා වාසනාවන්තය. මන්ද අතීතයේදී කායික ක‍්‍රියාකාරකම් ප‍්‍රමාදයට හේතුව වූ මස්තිෂ්ක ආඝාතය (නොමේරු මොළයට වන හානියකි) ඇති දරුවන් බිහි වී ටික කාලයකින් මිය ගියද ඉතා දියුණු වෛද්‍ය තාක්ෂණය නිසා අද වන විට එවැනි දරුවන්ට ද ජීවත් වීමට වාසනාව ඇත.

දරුවෙකු මේ තත්ත්වයට පත් විය හැකි අවස්ථා :

  • පූර්ව ප‍්‍රසව අවධියේදී ඇති වන හානි
    උදාඃ කළල අවධියේදී මවට මවට ජර්මන් සරම්ප වැනි වෛරස් රෝග වැලඳීම වැනි අවස්ථාවන්
  • ප‍්‍රසූතියේදී ඇති වන හානි
    ප්රසූතිය ප්රමාද වීම, ප්රසූතියට පෙර දරුවාගේ හිස පහත හැරී නොතිබීම, ප්රසූතිය සඳහා අඬු භාවිතය යන තත්ත්වයන්හිදී දරුවාගේ මොළයට නියමිත ඔක්සිජන් ප්රමාණය නොලැබීමෙන් මොළයට හානි සිදු විය හැකිය.
  • දරුවා බිහි වූ පසු ඇති වන හේතු
    බිලිරුබින් වර්ණකය වැඩි වී කහ පැහැ ගැන්වීමෙන් ද දරුවාගේ මොළයට හානි සිදු වේ. දරුවාගේ මොළයට යන විෂබීජ නිසාද (Encephalitis) වැටීමෙන් හිසට වෙන අනතුරු නිසාද මේ තත්ත්වය ඇති විය හැක. මේවාට අමතරව ජානමය හේතු නිසාද තයිරොක්සින් වැනි හෝමෝනවල අසමතුලිතතා නිසාද දරුවන්ගේ කි්රයාකාරකම් ප්රමාද විය හැක.

පහත ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එම දරුවා කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද දරුවෙක් ලෙස සැලකිය හැකිය.

  • වයස මාස 4-5ක් ඉක්ම වූ දරුවාට හිස කෙළින් තබාගත නොහැකි නම්
  • වයස මාස 6-7 ඉක්ම ගියද දරුවාට තනිවම පෙරළීමේ හැකියාව නොමැති නම්,
  • වයස මාස 9-12 ඉක්ම ගියද දරුවාට තනිවම වාඩි වීමේ හැකියාව නොමැති නම්,
  • වයස මාස 12 ඉක්මවා ගියද ආධාරකයක් සහිතව හෝ සිටගෙන සිටීමට නොහැකි නම්,
  • වයස මාස 16-18 ඉක්ම වුවද ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි නම්,

මෙවන් දරුවන් පෙන්නුම් කරන වෙනත් ලක්‍ෂණ ලෙස :

  • අත් පා දරදඬු කරගෙන සිටීම
  • පේශීන් වඩා මෘදුබවින් යුක්ත වීම
  • අත් පා වෙව්ලීම
  • පාලනයකින් තොරව අත් කකුල් චලනය වීම
  • මන්ද බුද්ධික වීම
  • බිහිරි භාවය
  • අන්ධ භාවය
  • කතා කිරීමට ප‍්‍රමාද වීම
  • නිතර ඇඞීම
  • කෙළ ශ‍්‍රාවය වැඩි වීම හා කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද වීම පෙන්වා දිය හැක.

මස්තිෂ්ක ආඝාතය වර්ග 4කි.

  1. ස්පෑස්ටික් වර්ගය – මෙහිදී පේශින්වල තානය වැඩිය.
  2. ෆ්ලැසිඞ් වර්ගය – මෙහිදී පේශිවල තානය අඩුය.
  3. ඇතිටොයිඞ් වර්ගය – පාලයකින් තොර වූ චලන බහුල වර්ගයකි.
  4. මිශ‍්‍ර වර්ග – සියලූ වර්ග මිශ‍්‍රව ඇත.

රෝග ලක්ෂණ :

  • අනුදැනුම මත කරන චලන අඩු වීම
  • සංවේදන දුර්වලතා
  • විකෘතිතා
  • මන්ද බුද්ධික බව
  • මානසික අසමබරතාව
  • වලිප්පුව

මෙහිදී විශාල වශයෙන් දැක ගත හැකි වන ලක්‍ෂණය වන්නේ අනුදැනුමින් තොරව චලනයන් සිදුවීමයි. එනම් දරුවාගේ පාලනයක් ඇතිව සිදු කෙරෙන චලන අඩු වීමයි. එයට බලපාන ප‍්‍රධාන හේතුවක් වනුයේ දරුවාගේ පේශින්වල තානය වැඩි වීමයි. (Hypertonia) මෙම තත්ත්වය ස්පැස්ටිසිටි (Spasticity) ලෙස හඳුන්වයි. මෙම ස්පැස්ටිසිටි තත්ත්වය සමහර පේශීන්වල වැඩි වශයෙන් ඇති අතර සමහර විට විරුද්ධ පේශියේ තානය අඩු වීමක්ද දක්නට ලැබේ.

ස්පැස්ටිසිටි තත්ත්වය අඩු වැඩි වීමට බලපාන සාධක කීපයකි.

  • දරුවා නොසන්සුන් හෝ බය වීම
  • දරුවාව හසුරුවන වැරදි ඉරියව්
  • නිසි උපදෙස්වලින් තොරව උපකරණ භාවිතය හා නුසුදුසු ව්‍යායාම

සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයකු රෝගියා ඇගයීමකට ලක්කළ යුතුය. ඔහු භෞතචිකිත්සක ප‍්‍රතිකාර සහ ව්‍යායාම තීරණය කරයි. මෙම ව්‍යායාම ප‍්‍රතිකාරමය ව්‍යායාම (Therapeutic exercises) වේ.

රෝගියා ද සන්ධි චලනය කළ යුතු දිශාව, පේශියට දිය යුතු බලය, පේශියේ ස්පර්ශ කළ යුතු ස්ථානය, සන්ධි නැවිය යුතු කෝණය, ව්‍යායාමය කරන වේගය, ව්‍යායාමය එක් වරකදී කළ යුතු වාර ගණන, දිනකට කළ යුතු වාර ගණන භෞතචිකිත්සකවරයා තීරණය කරයි. රෝගියාගෙන් රෝගියාට එය වෙනස් වේ. රෝගියාගේ ධාරිතාව සහ රෝගී තත්ත්වය අනුව එය වෙනස් වේ. එකම රෝගී තත්ත්වයේ එනම් මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන් 100ක් ගතහොත් එම 100 දෙනාට කරන ක‍්‍රම වෙනස් වේ. ඒ මොළයට වී ඇති හානිය විවිධ වීමත් රෝග ලක්ෂණ විවිධ වීමත් නිසාය. මෙම ස්පැස්ටිසිටි තත්ත්වය පාලනය නොකළොත් සාමාන්‍ය නිවැරදි චලන රටාවලට බාධා ඇති වේ. එමෙන්ම සාමාන්‍ය රටාවට චලනය නොවන නිසා එසේ කිරීමට අවශ්‍ය පෙශීන් හරියාකාරව කි‍්‍රයා නොකිරීමෙන් එම පේශීන් සිහින් වී දුර්වල වී යා හැකිය. එවිට නියම චලනය ලබාගැනීමට තව තවත් අපහසු වේ.

එමෙන්ම ස්නායු පද්ධතියට හානි වී ඇති නිසා ප‍්‍රතීක කි‍්‍රයා ද අසාමාන්‍ය වී තිබේ. ස්නායු පද්ධතිය වැඩෙත්ම එක් එක් කාලවලදී අතුරුදහන් විය යුතු ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා පවතී. උදාහරණ ලෙස එසිමෙට්ටි‍්‍රකල් ටෝනික් නෙක් රිෆ්ලෙක්ස් (Asymmetrical tonic neck Reflex) පෙන්වා දිය හැක. මෙය සාමාන්‍ය දරුවෙකුගේ මාස තුනේදී අතුරුදහන් විය යුතු වුවත් මොළයට වන හානිය හේතුවෙන් මොළය සෙමින් වැඩෙන බැවින් මෙම ප‍්‍රතීක කි‍්‍රයාව අතුරුදහන් වීමට විශාල කාලයක් ගත වේ. මොළයට හානි වූ තරම අනුව අතුරුදහන් වීමට ගතවන කාලය වෙනස් වේ. මෙම ප‍්‍රතීක කි‍්‍රයාවේදී දරුවාගේ හිස එක් පැත්තකට හැරවූවොත් නිකට පිහිටා ඇති පැත්තේ අත වැළමිටෙන් දිග හැරී හිස පිටුපසට ඇති අත වැළමිටෙන් නැවේ. මෙම ප‍්‍රතීක කි‍්‍රයාව අතුරුදහන් වන තුරු දරුවාට තම අනුදැනුම ඇතිව අත චලනය කිරීමට අපහසු වේ. මෙම ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා අතුරුදහන් කරවීමට භෞතචිකිත්සකවරු විවිධ ඉරියව් හඳුන්වා දී ඇත. මෙලෙස ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා විශාල ප‍්‍රමාණයක් ඇත. ඒටැක්සියා (Ataxia) යනු ඉන් එක් ප‍්‍රතීක ක‍්‍රියාවකි. අනුමස්තිෂ්කයට වන හානි හේතුවෙන් මෙම තත්ත්වය ඇති වේ. රෝගියාගේ සමබරතාව සහ සමායෝජනය නැති වී යාම මෙහිදී සිදුවේ.

මෙම සියලූ තත්ත්වයන් සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකාර අත්‍යවශ්‍යය. භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලින් රෝගියා ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවට පත් වේ. එය සමහර විට ඉතා සෙමින් සිද්ධ වෙන බැවින් දෙමාපියන් එය ඉවසාගෙන එම ප‍්‍රතිකාර හොඳින් ඉගෙනගෙන ගෙදරදී කළ යුතු සියලූ ව්‍යායාම වර්ග, ඉරියව් ගත කරන ක‍්‍රම, වඩාගන්නා හැටි, වැනි සියලූ දේ නිසියාකාරව කළ යුතුය. මේ ස`දහා අවශ්‍ය වන්නේ සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමයි. ප‍්‍රතිකාරවල හරය නම් දරුවාගේ සාමාන්‍ය චලන සහ කි‍්‍රයාකාරකම් පහසු කිරීමේ ක‍්‍රමවේද පිළිබ`දව උනන්දු කිරීමයි. දරුවාගේ හිස කෙළින් තබාගැනීමට, මුණින් පෙරළීමට, බඩගෑමට, ආධාරකයක් රහිතව ඉඳගෙන සිටීමට, දණගෑමට, හිටගැනීමට සහ ඇවිදීමට අදාළ කි‍්‍රයාකාරකම්, ඉරියව් සහ ව්‍යායාම භෞතචිකිත්සකවරු විසින් කරවනු ලබයි. එමෙන්ම අතුරුදහන් කළ යුතු ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයාත්, වර්ධනය කළ යුතු ප‍්‍රතිකි‍්‍රයාත් විවිධ ඉරියව් ම`ගින් භෞතචිකිත්සකවරු විසින් කරවනු ලබයි.

එමෙන්ම එක් එක් දරුවාට අදාළ විකෘතිතා, මාංශ පේශි කෙටි වීම්, සන්ධි තද වීම්, ඇද වීම ආදි දේ සඳහා නොයෙකුත් විවිධ ව්‍යායාම වර්ග භෞතචිකිත්සකවරු විසින් හඳුන්වාදෙනු ලබයි. මෙම ව්‍යායාම අතර, සන්ධි චලනය කරවන ව්‍යායාම (Mobilizing exercises) මෘදු පටකවල දිග නියතව පවත්වා ගැනීමට ඇදීමට ලක්කරන ව්‍යායාම (Stretching exercises) සන්ධි අවට මාංශ පේශි ශක්තිමත් කරවන ව්‍යායාම (Strengthening exercises) සමායෝජන ව්‍යයාම (Co-ordination exercises) සහ ස්නායු ග‍්‍රාහක සහ පේශීන් උත්තේජන ව්‍යායාම (Proprio receptive Neuromuscular Facilitation) යන ව්‍යායාම ප‍්‍රධාන තැනක් ගන්නා අතර ප‍්‍රතිකාරමය ව්‍යායාම තව බොහොමයක් ඇත.

පේශීන් ඇදීමට ලක්කරන ව්‍යායාම කිරීම ගැන මේ දිනවල වෙනත් මතවාදයක් ඉදිරිපත් වී ඇතත් සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරුන්ට දරුවාගේ ස්පැස්ටිසිටි තත්ත්වය වැඩි නොවෙන සේ එය සිදු කිරීමේ හැකියාව ඇත. රිද්මයානුකූලව, දරුවාට නොරිදෙන ලෙස, විද්‍යානුකූලව කිරීමට භෞතචිකිත්සක පාඨමාලාවන්වලදී ඔවුන් නිසි පුහුණුව ලබා ඇති අතරම ඔවුන්ගේ මග පෙන්වීම අනුව නිවැරදිව එය සිදුකිරීමෙන් දරුවාගේ පේශිවල තිබිය යුතු දිග ඒ ආකාරයෙන්ම පවත්වාගත හැක. පේශී ඇදීමට ලක්නොකරන, ඉරියව් මගින් පමණක් ප‍්‍රතිකාර කිරීමෙන් විශාල රෝගීන් සංඛ්‍යාවක් නොයෙකුත් සංකූලතා ඇතිව එනම්, පේශි කෙටි වීම් (Contractures) සහිතව අපට හමුවී තිබේ. මෙවැනි තත්ත්ව යටතේදී දරුවාගේ ප‍්‍රමාද වී තිබෙන කි‍්‍රයාකාරකම් නැවත ලබාගැනීම අපොහොසත් වනවා පමණක් නොව සදාකාලිකවම දරුවා ඇඳට සීමා කිරීමට ද සිදු විය හැක. සැමවිටම ප‍්‍රතිකාරවලදී භාවිත කරනු ලබන විවිධ උපාංග පිළිබ`ද පූර්ණ දැනුමක් ඇති නිසි පුහුණුවලත් පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු යටතේ තම ප‍්‍රතිකාර ලබාගැනීමට උනන්දු විය යුතු වන්නේ ඒ නිසයි.

දෙමාපිය අවධානය උදෙසා

මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට ප‍්‍රතිකාර කරන කණ්ඩායමේ සාමාජිකයන් විය යුත්තේ,

  • ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්
  • වෛද්‍යවරුන්
  • භෞතචිකිත්සකවරුන්
  • වෘත්තීය චිකිත්සකවරුන්
  • භාෂා හා කථන චිකිත්සකවරුන්
  • විකලාංග කාර්මික
  • විශේෂ පුහුණු ගුරුවරු
  • හෙදිය
  • දෙමාපියන් යන අයයි.

මෙම එක් එක් විශේෂ වෘත්තිකයන්ට අයත් කාර්ය ඒ ඒ අය මනාව ඉටු කරන කල්හි රෝගියාට  සෙතක් සිදු වෙන අතරම අදාළ කාර්යය පිළිබඳව විශේෂ වෘත්තිකයන් මෙම කණ්ඩායම තුළ සිටිද්දී වෙනත් වෘත්තිකයන් තමන්ට අදාළ නැති කර්යයන්වල නිරත වෙමින් රෝගීන්ට වැරදි උපදෙස් දීම දැන් දැන් ලංකාව තුළ දක්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි. රෝගීන්ගේ දෙමාපියන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර තම දරුවාට නිසි උපදෙස්, ඉහත කී කණ්ඩායම තුළ සිටින ඒ පිළිබඳව අදාළ නිලධාරියාගෙන් පමණක් විමසීමට වග බලාගත යුතුය. උදාහරණ ලෙස භෞතචිකිත්සක උපදෙසක් වෘත්තිය චිකිත්සකයන්ගෙන් ද වෘත්තිය චිකිත්සක උපදෙසක් කථන චිකිත්සකයෙකුගෙන් ද බලාපොරොත්තු නොවන්න. තම තමන්ගේ රාජකාරී ලැයිස්තු අනුව තමන්ට අදාළ රාජකාරි හරියට ඉටු කළොත් රෝගියාට ගුණාත්මක ප‍්‍රතිකාරයක් ලැබෙන බව අවුරුදු 25ක වෘත්තිය අත්දැකීම් තුළින් අවධාරණය කිරීමට කැමැත්තෙමි.

– කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි 

අම්මේ… අම්මේ… ශිෂ්‍යත්වය ඉවරයි ඉවරයි

අද 2016 අගොස්තු 21දා. මම හිතන්නේ පහ වසර ඉගෙන ගන්න අපේ දුවලා පුතාල සැනසුම් සුසුමක් හෙලෙන්න ඇති.මොකද එයාලගේ ළමා කාලයම මේ ශිෂ්‍යත්ව හොරා සීරුවට අවුරුදු තුන හතරක්ම හොරා කෑම අද අවසන් වුන නිසා.හැබැයි ඉතිං ඉවරයි කිව්වට ඉවරමත් නැහැ. කී දෙනෙක් ගෙදර ඇවිත් ප්‍රශ්න පත්‍රය දරුවා ලවා නැවත කරවන්නට ඇත්ද? දරුවා ලියූ වැරදි පිළිතුරු වලට බැන වදින්නට ඇත්ද? කොහොම වුනත් ඊ ළඟ අභියෝගය ප්‍රතිඵල එන එකනේ. දෙමාපියන් හැමෝගෙම හීනය තමන්ගෙ දරුවන් සාර්ථකව ඉගෙන ගෙන රටේ පිළිගත් රැකියාවක් කරනවා දකින එකයි. පහ වසර ශිෂ්‍යත්වය එහි මූලිකම අඩිතාලම වෙලා. දක්ෂ දරුවන්ට පහසුකම් සහිත ජනප්‍රිය හොඳ පාසලක් හා ශිෂ්‍යාධාර ලබා දෙන්න පවත්වන මේ විභාගයෙන් තම දරුවන් සමත් කරවන්නට මව්වරුන් දරන්නේ සු`ඵ පටු වෙහෙසක් නම් නෙමෙයි. දරුවව ඒ පන්තියෙන් මේ පන්තියට ,මේ පන්තිනේ ඒ පන්තියටත් අරගෙන දුවන එකත් ලේසී වැඩක් නෙමෙයිනේ. බලනකොට වැඩිපුරම මහන්සි වෙලා තියෙන්නේ අම්මා. ඉතින් දරුවා ගැන අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන ඉන්න දෙමාපියන්ගෙ බලාපොරොත්තු කඩා වැටුනොත් මොකද වෙන්නෙ?

මට මතකයි පහුගිය වසරක ශිෂ්‍යත්වය අසමත් වුණ පුංච් පුතෙක්ව එයාගෙම තාත්තා අමානුෂික විදිහට පු`ඵස්සලා තිබුණා. විභාගය අසමත් වීමෙන් දරුවන්ට අමානුෂික ලෙස දඬුවම් කිරීමට දෙමාපියන් පෙළඹීම කොයි තරම් සාධාරණද යන්න සිතා බැලිය යුතුය. මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූ මෙන්ම අප්‍රසිද්ධව මෙවැනි තත්ත්ව කෙතෙක් සිදුවන්නට ඇත්ද? ශිෂ්‍යත්ව විභාගය යනු දක්ෂයන් තේරීමම යැයි කිව නොහැකිය. ලබා දෙන සීමිත කාලය තුල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම වනාහී දක්ෂතාවය මැනීමේ මිම්මක් වුවද ශිෂ්‍යත්වය විභාගයේ ඇති අධික බලාපොරොත්තු නිසාවෙන්ම මේ තීරණාත්මක වෙලාවේ දරුවාගේ මනස ව්‍යාකූල වුවුහොත් සියල්ල අවසන්ය. පන්තියේ දක්ෂම දරුවන් ඇතැම් විට විභාගය අසමත් වන්නේ මේ නිසා වන්නට හැකිය.

“ඉවරයි ඉවරයි අපිව කෑවා.පන්ති වලට කොච්චර යැව්වද? මම කොච්චර මහන්සි වුණාද කෝ ඒවයින් ප්‍රයෝජනයක් ගත්තද ? මීට වඩා හොඳයි වියදම් පු සල්ලි  වලින් හරක් පට්ටියක් ගත්ත නම්”

විභාගය අසමත් දරුවකුට එල්ල කරන මේ වගෙ චෝදනා අසාධාරණය. දරුවන්ගෙ සුන්දර ළමා කාලයම විභාගයක් අස්සෙ කොටු කරලා දරුවන් මතින් සිහින දැකීම නතර කළ යුතුයි නේද? ඔය ප්‍රශ්න පත්‍රයම සොයාගෙන දෙමාපියන්ට ලියන්නට දුන්නොත් හොඳ යැයි මට සිතේ. පහ වසර දරුවන්ට ඉගෙන ගන්නට තියෙන විෂය කරුණු ඉතා සංකීර්ණය. සීමීත කාලයක් තුල දරුවාගේ දැනුම කොළයකට ගොනු කරන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි.

විභාගයක් අසමත් වූවාට ජිවිතයම අසමත් වන්නේ නැත. ශිෂ්‍යත්ව විභාගය අසමත් වියතුන් කොතෙකුත් අප අතර ඇත. එනිසා ජීවිතයේ එක් විභාගයක් අසමත් වීම නිසා දරුවා මානසිකව කුඩු පට්ටම් කර නොදමන මෙන් දෙමාපියන්ගෙන් මා ඉල්ලා සිටිමි.

“පව් ඒ ළමයගේ අම්මා හුඟක් මහන්සි වුණා. පන්තියෙ හැමදාම පළවෙනියා. ඒත් ඉතින් විභාගේ පාස් නැහැ. පන්තියේ දහය එකොළහ වෙච්ච ළමයෙක් හොඳට පාස්වෙලා අම්මා පිස්සුවෙන් වගේ අඬනවා. ළමයා ඊටත් හයියෙන් අඬනවා.”

ඇත්තටම අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න දෙයක් අහිමි වුණාම අපට දැනෙන අපේක්ෂා භංගත්වය ගැන ඔබත් කවදාක හෝ අත්විඳ ඇති බවට සැකයක් නැහැ. ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට දරුවන්ට ඉගැන්විය යුත්තේ දෙමාපියන් විසින්ය. ජිවිතයේ ජය පරාජය සම සිතින් දරා ගැනීමට දරුවන් පුරුදු පුහුණු කළ යුතුය. නැතහොත් පරාජය දරාගත නොහැකි වූ තැන දරුවන් මානසිකව ඇද වැටී සිය දිවි හානී කරගැනීම දක්වා වර්ධනය විය හැකිය.

දරුවා ශිෂ්‍යත්වය අසමත් වුවහොත් බැන වැදී පලක් නැත. ඔබේ මෙන්ම දරුවාගේ හදවතද පලුදු වනු ඇත. දරුවකුගේ අනාගතය මනින මිම්ම පහ වසර ශිෂ්‍යත්වය නොවන බව තරයේම සිතට ගන්න. අති දක්ෂ දරුවන් ගම්බද දුෂ්කර පාසල් වලින් ද බිහිවෙයි. ජනප්‍රිය පාසල් සිහිනය මත්තෙම නොසිට දරුවන්ට ජීවිතය කියා දෙන්න.

කුඩා අවදියේ ඔබට නොහැකි වූ දෑ දරුවාගෙන් බලාපොරොත්තු වීම සැබැවින්ම විහි`ඵවකි. දරුවන් පිළිබඳ තීරණ ගන්නා විට මදකට ඔබේ ළමා කාලයට මනසින් ගොස් බලන්න. එවිට ඔබ කෙතරම් ආත්මාර්ථකාමීද යන්න වැටහෙනු ඇත. අපේ ළමා විය සැහැල්ලු සුන්දර ළමා වියකි. එහෙත් අද දරුවන්ට පන්ති යෑම හැර ළමා වියේ සුන්දරත්වය විඳින්නට අවකාශයක් නැත. ඉතින් ශිෂ්‍යත්වය ඉවරයිනේ, දැන්වත් ඉඩ දෙන්න. මේ පුංචි සමනල සමනලියන් නිදහසේ පියාසර කර ජිවිතය විඳින්නට ඉඩ හරින්න.

කාටුන් වලින් දරුවා ප්‍රවේශම් කර ගන්න

රූපවාහිනියෙන් බැහැර කල විට දරුවාට සිය විවේකය ගත කිරීමට විවිධ කාර්යයන් වල යෙදෙන්න පුළුවන්. පාසල් ඇරි එන දරුවන් හැන්දෑ වරුවේ නිවසින් එලියට බැස සෙල්ලම් කිරීමට කැමතිය. නමුත් රූපවාහිනිය විසින් දරුවාගේ ඒ අවස්තාව උදුරා ගෙන ඇත. ඔවුන් අද කල්පනා කරන්නේ සවස් වරුවේ කුමන කාටුන් වැඩසටහන බලනවාද කියාය. ළමයින් වෙනුවෙන් කාටුන් ඉදිරිපත් කිරීමට අද වන විට රූපවාහිනී නාලිකා අතර පවතින්නේ පුදුමාකාර තරගයකි. උදයේ පාසල් යෑමට සුදානම් වන ළමයා උදයේ කාලයේදී පවා කාටුන් නැරඹිය යුතු යැයි රූපවාහිනී වැඩසටහන් කළමනාකරුවන් තීරණය කොට ඇත. ළමයින්ට මේවායින් ගැලවීමක් නැත. ළමයාගේ ළමාකම හා නොමේරුකම හා කතාන්දරය කෙරෙහි දක්වන ඇල්ම මෙහිදී රූපවාහිනී නාලිකා වල වාසියට පවතී. අද වන විට සියල්ල විකිනෙන සමාජයක ළමයා සුක්ෂම ආකාරයට කාටුන් ඔස්සේ නාලිකා වලට ඇද බැද ගෙන ඇත.

ළමයින්ට සෙල්ලම් කරන්න, දුවන්න, පනින්න, නිදාගන්න තිබෙන කාලය තමයි මේ පුංචි දරුවෝ රූපවාහිනීය බලමින් සිදු කරන්නේ. මේ හරහා දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනය අඩාල වෙනවා. බොහෝ මවුවරුන් තම දරුවන් එක අරමුණක රදවා ගැනීමට රූපවාහිනීයට හුරු කර තිබෙනවා. මවට හෝ පියාට යම් කාර්යයක් සිදු කිරීමට තිබෙනවා නම් “ අනේ පුතේ මම ඔයාට ටීවී එක දාලා දෙන්නම්. කාටුන් එකක් බලන්න තාත්තාට වැඩ තියෙනවා.”

නමුත් ඔබ මෙමගින් සිදු කරන්නේ දරුවාට විශාල හානියක්. දරුවන්ට සැබෑ ලෝකය හා රූපවාහිනීය සිදු වන දේ අතර වෙනස වටහා ගැනීමට හැකියාවක් නෑ. රූපවාහිනීයේ සිදු වුනු දේ ඔහු සැබෑ ලෝකයේදී බලාපොරොත්තු වෙනවා. කාටුන් වැඩසටහනක යම් භාණ්ඩයක් පෙන්නුවා නම් ඔහු එය තමන්ට තිබුනා නම් හොද යැයි සිතනවා. කුඩා දරුවන් මෙම රූපවාහිනී වැඩසටහන් වල තිබෙන කාටුන් චරිත අනුකරණය කරන්න පුරුදු වෙනවා. මේ හරහා දරුවා ඉතා සැඩ පරුෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම් හෙයකින් කාටුන් චරිතයක් තමන්ට අනුකරණය කරන්නට නොහැකි වුවහොත් ඔහු මානසික වශයෙන් බිද වැටෙන්න පටන් ගන්නවා.

ළමයින්ගේ සංවේදීතාවය නැති කිරීමට මේ කාටුන් හේතු වන බව අද වන විට සොයා ගෙන තිබෙනවා. ඔබේ දරුවාගේ හැසිරීම් රටාව හොදින් නිරීක්ෂණය කර බලන්න. ඔහු කාටුන් නැරඹීමෙන් පසුව හැසිරෙන ආකාරය වෙනස් විය හැකිය. ඒ බව දරුවාට තේරෙන්නේ නැත. ස්පයිඩර් මෑන් , සුපර් මෑන් , වැනි කාටුන් වලින් දරුවාට ප්‍රබල හානි සිදු වෙනවා.

මෙකි කාටුන් නිර්මාණය කරන පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ මුදල්ය. ඔවුන්ට දරුවන්ට සිදු වන හානියෙන් පලක් නැත. මෙකී රූපවාහිනී කාටුන් සකස් කර තිබෙන්නේම දරුවන් ආකර්ශනීය කර ගන්නා ආකාරයටයි. ඔබේ දරුවා රූපවාහිනීය නරඹන විට ඔහු අසලම සිටින්න. රූපවාහිනීයෙන් විකාශනය වන දෑ පිලිබදව ඔහුට අවබෝදයක් ලබා දෙන්න. මවට හා පියාට දරුවා මොනාද නැරඹිය යුත්තේ යන්න අවබෝදයක් තිබිය යුතුය. රූපවාහිනීය අධ්‍යාපනය ලබා ගැනීමට ඉතාමත් හොද මාධ්‍යයකි. එම නිසා එවැනි වැඩසටහන් වලට දරුවාට යොමු කරන්න. රූපවාහිනීය නැරඹීමට දරුවා යොදවන කාලයේදී දරුවා සමග සෙල්ලම් කරන්න. රූපවාහිනීය ඉදිරියේ සිටිනවාට වඩා දරුවා සෙල්ලම් කිරීමට යෙදවීම ඉතාමත් හොදය. රූපවාහිනීය ඉදිරියේ සිටින විට දරුවා එක තැනට වී සිටින නිසා අධික ලෙස තරබාරු වීමේ අවධානමක් ද පවතී. එම නිසා පුළුවන් තරම් ඔබේ දරුවා රූපවාහිනීයෙන් ඈත් කර තබන්න.

මව්වරුන්ගේ කාර්ය බහුලත්වය දරුවන්ගේ සෞඛ්‍යයට අවධානමක්

මෑතකදී කරන ලද පර්යේෂණ වලට අනුව හෙළි වී ඇත්තේ මව්වරුන්ගේ කාර්ය බහුලත්වය නිසා දරුවන් අධික ලෙස තරබාරු වන බවයි. අද වන විට බොහෝ මවුවරුන් රැකියා වල යෙදෙන නිසා ඔවුන්ට තම දරුවන්ගේ සෞඛ්‍යය පිලිබදවවත් හිතන්න වෙලාවක් නැති තරම්. මව්වරුන්ගේ කාර්යබහුල බව නිසාම දරුවන්ට තුලින් වැඩිහිටියන් මෙන්  පෙනුමක් දිස් වේ.

අද වන විට බොහෝ මවුවරුන් තම පාසල් යන දරුවාගේ උදේ ආහාරය පවා පිළියෙළ කර නොදී ක්ෂණික ආහාර ලබා දෙන තත්වයක් ඇති වී තිබේ. මේ ක්ෂණික ආහාර දරුවන්ගේ සෞඛ්‍යය තත්වය පහල වැටීමට බල පා ඇත. මේ ක්ෂණික ආහාර නිසා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද ශරීර ක්‍රියාවලිය අඩපන වන බව සොයා ගෙන තිබේ. එමෙන්ම රුධිර නාල සිහින් වීම, මානසික ඒකාග්‍රතාව අහිමි වීම වැනි අහිතකර ප්‍රථිපල ගණනාවක් ඇති වේ.

මේ නිසාම මනා පෝෂණයක් අඩංගු ආහාර වේලක් ලබා දීම මවුවරුන්ගේ වගකීමයි. විශේෂයෙන්ම මේ පාසල් දරුවන් ක්ෂණික කෑම වලට අධික ලෙස පෙළඹී තිබේ. රෝල්ස්, පැටිස්, ප්‍රෙස්ටි , කඩ්ලට්, නුඩ්ලස් වැනි ක්ෂණික කෑම ඕනෑ තරම් විකිනීමට තිබේ. මෙම ආහාර වලට දරුවන් වැඩියෙන් පෙළඹෙන්නේ නිවසින් ප්‍රමාණවත් ආකාරයේ අහාර වේලක් නොමැති විටය. මව රැකියාවට යන නිසා උදය ආහාර වේලද දරුවන් නිවසින් පිට ස්ථානයකින් ගනු ලබයි. එසේම මව රැකියාව අවසන් වී නිවසට එන විට ද කුමන හෝ කෙටි ආහාරයක් ගෙන එනු ලබයි. ඉතින් දෙමවුපියන් හිතන්නේ දරුවන්ට හොදට කන්න බොන්න දෙනවා කියාය. නමුදු ඔවුන් නොදැනුවත්වම දරුවන් අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලට නතු වී හමාරය.

ක්ෂණික ආහාර වලින් ළමුන්ට නිවැරදි පෝෂණයක් ලැබෙන්නේ නැත. එවිට දරුවා කොතරම් අධ්‍යාපනය ලැබුවාද ඔහුට ධාරණය වීමේ ශක්තිය අඩුය. නිසි වයසේදී මොලය වර්ධනය නොවූ විට එය නැවත සකස් කල නොහැකිය. මෙහි ප්‍රථිපල අධ්‍යාපනය ලබන කාලයේ දී පමණක් නොව විවාහ ජීවිතයේදීත් බලපානු ලැබේ. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී නිසරු වීමට, පිරිමි ළමුන්ගේ පිරිමි ශක්තිය දුර්වල වීම වැනි දෑ සිදු වනු ඇත.

මවක් වූ විට තම දරුවාගේ ආහාර වේල පිලිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ඇතැම් දරුවන් මෙම ක්ෂණික ආහාර වලට පුරුදු වී ඇති හෙයින්ම පෝෂදායි ආහාර ප්‍රතික්ෂේප කරනු ඇත. දරුවාට තුන් වේලම එකම ආහාරය ලබා දෙන්න එපා. එකම ආහාර ලබා දෙන විට දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා. තුන් වේලටම බත් දෙන විට එය එපා වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසා ආහාර රටාව  වෙනස් කිරීම වැදගත්. උදෑසනට ධාන්‍ය වර්ග ලබා දීම ගොඩක් හොදය. ධාන්‍ය වර්ග සකස් කිරීමට එතරම් කාලයක් ගත වන්නේ ද නැත. එය ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හිතකරය. රාත්‍රී ආහාරයට වැඩි පුර එළවලු, පලතුරු එක් කල හැකිය. එසේම සුප් වර්ග ලබා දිය හැකිය.

ඔබ දිගින් දිගටම දරුවාට ක්ෂණික ආහාර ලබා දීමෙන් දරුවා නොදැනුවත්වම අකර්මන්‍ය පුද්ගලයෙක් බවට පත් වේ. ඔබ කොතරම් කාර්යබහුල මවක් වුවත් දරුවාගේ ආහාර වේල පිලිබදව සැලකිලිමත් වන්න. නිරෝගී දරුවන් රටකට අවශ්‍යය. දරුවාගේ සෞඛ්‍යය තත්වය පිරිහී නිතරම රෝග වැළදෙන පුද්ගලයෙක් බවට පත් වුවාට පසුතැවීමෙන් වැඩක් නැත.