Home Blog Page 141

දරුවාගේ කිරි දත් සමඟ කටයුතු කරන ආකාරය

මුතු කැට වන් දත් කැකුළු කුඩා දරුවාගේ මුවින් දිස් වීම දෙමාපියන්ට සතුටක් ගෙන දෙන අවස්ථාවක් වූවත් දරුවාට එය වේදනාකාරි හා අසහනකාරි අත්දැකීමක් විය හැකිය. ඔබගේ දරුවා දත් එන කාලයේදි හැසිරෙන්නේ කෙසේද? දත් එන්නට පෙර දකින්නට ලැබෙන ලක්ෂණ හා වේදනාව සමනය කර ගැනීම සඳහා අනුගමනය කල හැකි ක්‍රම සියල්ලක්ම ඉගෙන ගන්න.

බොහෝ දෙමාපියන් දත් එන කාලය පිළිබඳව හෝ පළමු දත දිස්වන සමය පිළිබඳ අවබෝධයකින් පසු නොවේ. සාමාන්‍යයෙන් දරුවාට මාස 6දි පළමු දත දිස් වේ. දත් එන බව හැඟෙන සඥා මාස තුනේදි පටන් හෝ මාස දාහතරේදි පවා ආරම්භ වේ. මෙය බොහෝ විට විවිධ වූ හේතු නිසා වෙනස් වේ. (උදාහරණයක් ලෙස දරුවා “ප්‍රීමී” Preemie  තත්තවයේ පසුවන්නේ නම් ,”ප්‍රීමී” යනු ප්‍රමාද වී දත් ඒම හෝ දෙමාපියන්ගේ දත් වර්ධනයේ ප්‍රමාදයක් තිබීම.)

සමහර දරුවන් දත් ඒමට පෙර අසහනයෙන් පෙළෙයි. දත් ඒමට සති කිහිපයකට පෙර දරුවන් කෙඳිරි ගෑම, කෙල පෙරීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් සමහර කුඩා දරුවන් තුල කිසි සේත් මෙවැනි සඥා දිස් වන්නේ නැත.

මුව තුල දත් දිස්වන්නේ කෙසේද? කුමන කාලයේද? – දත් එන කාල රේඛය.

දත් එන මුල් අවධියේදි දරුවාගේ යටි ඇන්දේ දත් හතරක් ද උඩු ඇන්දේ කිසිම දතක්ද දක්නට නොලැබීම සාමන්‍ය දර්ශනයකි. දත් එන නිශ්චිත රටාවක් නැති නමුත්, සාමාන්‍යයෙන් යටි ඇන්දේ මැද ඇති දත් දෙක මුලින්ම එන අතර මාසයකට පසු දෙපැත්තෙන් අනෙත් දත් දෙක වැඩේ. සාමාන්‍යයෙන්, දත් එන්නේ යුවලක් ලෙසය. පහත දැක්වෙන්නේ කිරි දත් දිස්වන කාල රේඛාවයි.

මාස 6දී පමණ අපර මධ්‍යම කෘන්තක දත් දෙක පැමිණේ.

මාස 8දී පමණ පූර්ව කෘන්තක දත් දෙක පැමිණේ.

මාස 10දී පමණ පුරස්චාර්වක දත් උඩු හා යටි ඇන්දේ දිස්වේ.

පලමු චාර්වක දත් මාස 14දී පමණ දිස් වේ.

රදනක දත් මාස 18දී පමන දිස්වීමට පටන් ගනියි.

හක්කේ සිට හට ගන්නා වේදනාව කෙමෙන් කර්ණ නාලය දෙසට ගොස් දරුවාට කණේ අමාරුව ඇති කරයි. නමුත් මෙම ලක්ෂණය සෑම විටම දත් ඒමේ සඥාවක් නොවිය හැකි අතර කණේ වෛරස් ගත වීමක් විය හැකි බව සලකන්න.

දත් එන විටදී ඇතිවන කැක්කුම සමනය කරන්නේ කෙසේද?

මෙම අසහනකාරි අවධිය සමනය කිරීම සඳහා ඔබට අනුගමනය කල හැකි ක්‍රම කිහිපයක් ඇත.

සම්බාහනය.

දත විදුරු මස් තුල ගැඹුරින් පිහිටන්නේ නම් හෝ කිසිදු ලේ ගලනයක් හෝ ඉදිමීමක් නැත්නම් ඔබට පිරිසිදු පුළුන් කෑල්ලකින් හෝ ඇඟිල්ලකින් එම ස්ථානය පිරිමැදිය හැකිය.

හක්කේ සිට හට ගන්නා වේදනාව කෙමෙන් කර්ණ නාලය දෙසට ගොස් දරුවාට කණේ අමාරුව ඇති කරයි. නමුත් මෙම ලක්ෂණය සෑම විටම දත් ඒමේ සඥාවක් නොවිය හැකි අතර කණේ වෛරස් ගත වීමක් විය හැකි බව සලකන්න.

ශීතකල තෙත රෙදි කඩක්.

රෙදි කඩක එක් කොනක් හොඳින් ග්‍රහණය කල හැකි වන සේ වියලා ගන්න. ඝන රෙදි කඩක් හොඳ  තෙරපුමක් ලබා දෙන අතර අධික ශීතල දරුවාගේ වේදනාකාරි විදුරුමස්වලට නිර්වින්දන, සැහැල්ලු සහනයක් ගෙන දෙන අත්දැකීමක් ලබා දේ.

දත් එන කාලයේදි මුඛයේ රැඳවිය හැකි සීතකල සෙල්ලම් බඩු ද මේ සඳහා යෝග්‍ය වන නමුත් ඒවා දරුවාගේ මෘදු විදුරු මස් වලට හානිකර විය හැකිය.

වේදනාව සමනය කරන බෙහෙත්.

තාවකාලික සහනයක් සඳහා ඔබට ibuprofen හෝ acetaminophen වැනි වේදනා නාශක භාවිතා කල හැකි අතර එය වෛද්‍ය උපදෙස් අනුව අනුමත කල ප්‍රමාණයකින් ලබා ගත යුතුය.

දන්ත වෛද්‍යවරයෙකු හමුවන කාලය පැමිණ ඇත.

අසනීපයක් හේතු කොට ගෙන දත් ආශ්‍රිත වේදනා ඇතිවිය හැක. දරුවාට මද උණ ගැනීමක් හට ගත් අවස්ථාවකදී ශරීර උෂ්ණත්වය 101 හෝ ඊට වැඩි වූ විට හා එම තත්ත්වය දින දෙකකට වැඩියෙන් පැවතුනේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්ය වේ. පහලොස් මස වන තෙක් දරුවාගේ මුඛයේ දත් දිස් නොවන්නේ නම්, නිසි ප්‍රතිකාර සඳහා ළමා සෞඛ්‍ය විශේෂඥවරයෙකු හෝ දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.

පහත දැක්වෙන දෑ කිරීමෙන් වැළකිය යුතුය.

විදුරු මසෙහි බ්‍රැන්ඩි ගැල්වීම. මද්‍යසාර අල්ප ප්‍රමාණයක් වුවද දරුවාට අහිතකර විය හැකිය.

ටෝස්ට් කරන ලද, ශීත කරන ලද කැරට්, පේස්ට්‍රි, කෙසෙල්, ක්‍රැකර් ආදි ඝන ආහාර දීමෙන් වළකින්න. දරුවා මෙම ආහාර බොහෝ කාලයක් පුරා විකීමට ඉඩ ඇති අතර විශාල ප්‍රමාණයකින් දරුවාට කැවීම යෝග්‍ය නොවේ.

දත් එන කාල පරිච්ඡේදය වසර දෙකක් දක්වා දීර්ඝව පවතියි. කෙසේ වෙතත්, මුල වරට දත් කිහිපයක් පැමිණෙන විට, වේදනාව යම් තරමකට සමනය වන අතර, දරුවන් ඊට හුරු වේ. අලුතෙන් දත් නිසි ලෙස ආරක්ෂා කර ගත යුතුය. පළමු දත දිස් වන විට, එය දිනකට දෙවතාවක් තෙත රෙදි කඩකින් පිරිමදින්න. කිරි දුන් විගසම දරුවාව නිදි කරවීමෙන් වලකින්න. මන්ද එය දත් දිරා යාමට හා කුහර ඇතිවීමට බලපායි. දත් එන කාල පරිච්ඡේදය දරුවාට මෙන්ම මවට අපහසු කාලයක් වූවත්, එය නිසි පරිදි අවබෝධ කර ගැනීමෙන් හා ආරක්ෂා කර ගැනීමෙන් දරුවාට නීරෝගි හා ප්‍රීතිමත් දත් දෙපලක් සහිත සිනාවක් ලබා දිය හැකිය.

ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද?

ඩිජිටල් තාක්ෂණයේ විප්ලවාකාරි දියුණුවත් සමඟ දැන් ලෝකය එක් විශ්ව ගම්මනායක් බවට පත්වී ඇත. පෙර නිවසේ සාලේ තිබූ PC පරිගණකය වෙනුවට දැන් smart phone හා ටැබ්ලට් භාවිතා වේ.

නව යොවුන් වියේ පසුවන දරුවන් මෙම තාක්ෂණයේ වර්ධනය ඉදිරියේ හැඩ ගැසෙන්නේ කෙසේද? අනාගත පරම්පරාව බුද්ධිමත්ව තාක්ෂණය හසුරුවන අතර ඔවුන් විවිධ වූ උපාංග මිලදී ගැනීමටත් සමාජ ජාලා තුලින් සම්බන්ධතා ගොඩ නැගීමටත් ඇල්මක් දක්වයි. ඔබේ දරුවා අන්තර්ජාලයේ චැට් කරන්න්නේ කවුරුන් සමඟද යන්න ඔබ දන්නවාද? මෙය වයස අවුරුදු 8-14ත් අතර වයසේ පසුවන දරුවන් සිටින දෙමාපියන් තුල පවතින සැලකිල්ලකි.

වර්තමානයේ, දරුවා යාන්තමින් අවුරුදු 9 හෝ 10 කරා ලඟා වන විට ඔවුන් දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැතිව අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තම මිතුරන් සමඟ චැට් කිරීමට පුරුදු වී සිටීයි. OfCom මඟින් කරල ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 8-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් දහයට එකක් අන්තර්ජාලයේ යම් නුසුදුසු දෙයක් අත් දැක ඇත. මෙය අසභ්‍ය හෝ අහිතකර  කිසියම් දෙයක් විය හැකිය.

දෙමාපියන් තම දරුවන්ගේ අන්තර්ජාල හැසිරීම පිළිබඳ සැලකිලිමත් වනවා සේම දරුවන්ද දෙමාපිය අධීක්ෂණයක් නොමැතිව අන්තර්ජාලය වෙත යාමට කැමැත්තක් දක්වයි. අන්තර්ජාලය සම්බන්ධ මෙම ප්‍රශ්න සඳහා දැනට ගෙන ඇති විසඳුම් කිහිපයක් පහත දැක්වේ.

අපි එයින් කිහිපයක් සැලකිල්ලට ගනිමු.

-සමහර දෙමාපියන් තම නිවසේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයට යම් සීමා කිරීම් (ෆිල්ටර ) පනවයි. මෙයින් දරුවන් අහිතකර දේවල් අත් දැකීමෙන් ආරක්ෂා කරයි.නමුත් මෙම ක්‍රියාවලිය පිටස්තරයින් අන්තර්ජාල ක්‍රීඩා, සමාජ ජාලා හෝ දුරකතන ඇප් හරහා දරුවන් සමඟ සම්බන්ධ වීමේ ඉඩකඩ සඳහා සීමා නොපනවයි.

-NSPCC වයස අවුරුදු 16ට අඩු අයගේ ගිණුමේ පෞද්ගලික තොරතුරු පිටතට යාම වැලක්වීමෙන් ආරක්ෂා කරයි. තවද නන්නාඳුනන්ගෙන් පණිවිඩ අවහිර කරන අතර දරුවන්ගේ සමාජ ජාලා ප්‍රොෆයිලය අන් අයට දිස්වේ නම් ඒ ගැන ඔවුන්ට දැනුම් දේ.

-තාක්ෂණික විසඳුම් වලට අමතරව, දෙමාපියන් දරුවන් සමඟ කතා බස් කොට අන්තර්ජාලයේ ඇති විය හැකි අවදානම් තත්ත්ව පිලිබඳ පහදා දිය යුතු වේ. අන්තර්ජාල සන්නිවේදනය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලු හා ප්‍රශ්න පැන නැගෙන සෑම අවස්ථාවකදීම දෙමාපියන් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුන්ට පවසන්න.

-පෙරටත් වඩා දැන් දෙමාපියන් අන්තර්ජාලයෙන් තම දරුවාට ඇතිවිය හැකි අවදානම් පිලිබඳ දැඩි විමසිල්ලකින් පසුවේ. ජනවාරි මස NSPCC මඟින් සංවිධානය කල සමීක්ෂණයකින් හෙළිවී ඇති ප්‍රතිඵල අනුව මිලියන 400 ක් පමණ දෙමාපියන් තම දරුවන් සමඟ අන්තර්ජාලයේ අවදානම් පිලිබඳ සාකච්ඡා කොට ඇත.

-කෙසේ වෙතත් මෙම අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා විස්තරාත්මක විය යුතුය. ඔබ මේ විෂය සම්න්බධයෙන් ඇති සියලුම වැදගත් කරුණු දරුවන් හට පහදා දිය යුතු වේ.ඔබ ඔවුන් සමඟ පෞද්ගලිකත්වය (privacy) හා තමා අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී ඇති ස්ථානය (location) පිලුබඳ වූ පාලන (settings) ගැන කතා නොකරන්නේ නම් ඔබේ දරුවන් අන්තර්ජාලයේ අවදානම් වලට හා අනාරක්ෂිත අධීක්ෂණයට බඳුන් වේ.බොහෝ අපරාධකරුවන් හා අපචාරකයින් ලාබාල පුද්ගලයෙකුගේ වේශයෙන් අන්තර්ජාලයේ පෙනි සිට ළමයින් රවටන බව හඳුනා ගෙන ඇත.

මෙවැනි අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට කල හැකි එකම දේ වන්නේ ඔබ අවට සිදුවන දේ පිළිබඳ විමසිල්ලෙන් පසුවීම හා කාලීන තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වීමයි.

ඩිජිටල් ලෝකය සීඝ්‍රයෙන් වර්ධයන වෙමින් පවතියි. තම දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීම සම්බන්ධයෙන් පසු තැවෙනවාට වඩා ඔවුන්ට ආරක්ෂිතව, විමසිල්ලෙන් හා ආත්ම විශ්වාසයකින් එහි කටයුතු කරන ලෙස දිරිමත් කිරීම යහපත් ය. ඔබ කුඩා අවධියේදි, ඔබේ දෙමාපියන් පාර මාරුවන සැටි කියා දුන්නා මතකද? එලෙසෙම ඔබත් තම ඔබේ දරුවන්ට ඩිජිටල් ලෝකයේ ගැවසෙන සැටි කියා දෙන්න.

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද?

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද? එසේත් නැත්නම් ප්‍රතික්ශේප කරනවාද?

“මට අද ඉස්කෝලේ යන්න බෑ, මට ඉස්කොලේ පේන්න බෑ” යනුවෙන් ඔබේ දරුවා පැවසූ විටකදී, ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?
බොහෝ දෙමාපියන් මෙවන් තත්ත්වයකදී ඉමහත් පසුතැවීමටකත්, අපහසුතාවයකටත් පත් වන්නේ තම දරුවාව ලෑස්ති කොට පාසල් යැවීම තමන් සතු බලවත් වගකීමක් වන නිසාවෙනි. සත්‍ය වශයෙන්ම මෙම අරගලය, කෙසේ හෝ ජයග්‍රහණය කල යුතු අභියෝගයක් බවට පත් වේ. මදක් සිතා බලන්න. මෙවැනි අවස්ථාවල ආවේගශීලිව හෝ කලහකාරිව ප්‍රතික්‍රියා කරනවාට වඩා සංයමයෙන් හා බුද්ධිමත්ව දරුවා සමඟ කටයුතු කිරීම ඔහුව/ඇයව නිසි මාර්ගය කරා යොමු කිරීම සඳහා උපකාරි වේ.

මෙවැනි නොසන්සුන්කාරි අවස්ථාවල බොහෝ දෙමාපියන් බලහත්කාරයෙන් දරුවාගේ අතින් ඇද ඔහුව කාරය වෙත රැගෙන යයි. දෙමාපියන්ට දරුවාව පාසල තුලට පවා රැගෙන යාමට සිදුවන්නේ අරගල, හඬා වැලපීම් මධ්‍යයේ වඩා ගෙනය. රැකියාවට නියමිත වේලාවට සිටිය යූතු හෙයින් දරුවාව මෙසේ පාසල වෙත භාර දුන් පසු කරදර සියල්ල නිමා වී ඇති බව ඔවුන්ට සිතෙන්නට පුළුවන. නමුත් ප්‍රශ්නයේ බරපතල බව කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන් අරගල කෙරෙහි ශරීර ශක්තිය වැය කිරීම නිෂ්ඵල දෙයකි. දරුවාට අරගල වලට මැදිහත් වීම තුලින් කිසිදු පාඩමක් ඉගෙන ගත නොහැකි බවත්, ඒයින් සිදුවන්නේ තත්ත්වය තවත් උත්සන්න වීමත් බව දෙමාපියන් ලෙස ඔබ මතක තබා ගත යුතු කරුණකි.

සමහර දෙමාපියන් දරුවන්ගේ මෙම කලහකාරි, ප්‍රචණ්ඩ හැසිරීමෙන් වෙහසට පත්ව දරුවාගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිදු උනන්දුවක් නොගනී. ඉවසීමේ සීමාව ඉක්මවූ පසු දෙමාපියන් තම දරුවාගේ අධ්‍යාපනය අත් හිටුවන තත්ත්වයකට වුවද පැමිණේ.

තම දරුවා පාසල් යාමට මැලි කමක් දැක්වූ විට ඊට ප්‍රතිචාරයක් වශයෙන් නව යොවුන් වියේ පසුවන අකීකරු දරුවන්ගේ දෙමාපියන් විටෙක කෑමොර දෙමින් ඔවුන්ට බැණ වදී. ඔවුන්ට සෙල්ලම් කිරීම හෝ තමන් කැමති විනෝදජනක ක්‍රීඩා වල නිරත වීමේ තහංචි පනවයි. මෙයින් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවාට පාසල් යාමේ ඇති වැදගත්කමත්, හොඳින් ඉගෙන ගැනීමේ වගකීමත් පහදා දීමය. එකෙත් මෙහි ප්‍රතිවිපාකය වන්නේ දරුවා තුල ඍණාත්මක ආකල්ප හටගැනීමය. එනම් තමාට තවත් නැති වීමට දෙයක් නැති නිසා මට ඕනෑම දෙයක් කල හැකියි යන ප්‍රචණ්ඩකාරි සිතුවිලි දරුවා තුල හට ගන්නට ඉඩක් ඇත.
එබැවින් ප්‍රශ්නයේ බරපතල බව තේරුම් ගෙන එයින් දරුවාව ගලවාගෙන නිවැරදි මග කරා යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමයි.

දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට හේතු සොයා බලන්න.

ළමා මනෝවිද්‍යාවේ ප්‍රවීණයන්ට අනුව, පාසල් යාම ප්‍රතික්ෂේප කරන ළමයින් කාණ්ඩ 4කට බෙදිය හැක.

-සම වයසේ දරුවන් සමඟ එකට එක්වී කටයුතු කල නොහැකි දරුවන් හා කිසියම් දෙයක් සම්බන්ධයෙන් දිගු කාලින හා කෙටි කාලිනව යම් බියකින් පසුවන දරුවන්.

-පාසලේ වැඩ කටයුතු වල මන්දගාමි වර්ධයක් පෙන්නුම් කරන දරුවන්.

-නීති අනුගමනය කිරීමට හා එක් පාලකයෙකු යටතේ (පාසලේ නම්, විදුහල්පති හෝ ගුරුවරයා) කීකරුව හැසිරීමට අපහසුතා ඇති දරුවන්.

-වෙන් වීමෙන් අතිවුණු මානසික අසහනය, විභාග යනාදිය නිසා හට ගන්නා ආතතිය දරුවන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි.

ඔබගේ දරුවා මානසික ආතතියෙන් පීඩා විඳින බව දැන ගත් වහාම හැකි ඉක්මණින් මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ වෛද්‍ය උපදේශකයෙකුගේ සහාය පතන්න.

දරුවා මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන බව දැන ගත් විට දෙමාපියන් කිසිම හෙයකින් කලබලයට පත් විය යුතු නැත. මෙහිදී ප්‍රශ්නයට අවධානය යොමු කර ඒ සඳහා දිගු කාලීන විසඳුමක් සොයා ගැනීම අනිවාර්ය වේ. යහපත් හැසිරීම් රටාවක් සඳහා දරුවා තුල ධනාත්මක චින්තන හා ආකල්ප ඇති කිරීම මීට උදාහරණයකි. දෙමාපියන් මතක තබා ගත යුතු තවත් කරුණක් නම් දරුවන්ගේ සමාජ හා අධ්‍යාපනික ගැටලු නිරාකරණය කිරීම සඳහා විසඳුම් පවතින බවයි. එම ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබා ගැනීමට දරුවාට ඉඩ දෙන්න. ඔහුගේ උත්සාහයෙන් හා නිර්භයව ඊට මුහුණ දීමෙන් තමාට තමාව වෙනස් කල හැකි බව පහදා දෙන්න.

බුද්ධිමත් හා කාර්යක්ෂම ලෙස මෙයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

මෙම බල අරගලය දරු-දෙමාපිය දෙපාර්ශවයම ඍණාත්මක චක්‍රයකට ඇද දමයි. නිතරම කෑ කෝ ගැසීමෙන්, රණ්ඩු කිරීමෙන්, හඬා වැලපීමෙන් සිදුවන්නේ ඔබ දෙපල නිකරුණේ වෙහෙසීමයි. ආවේග හා ආතතිය පසෙක ලා ඔබගේ ඉදිරි වගකීම් හා විසඳුම් ගැන ක්‍රමවත් ලෙස සිතන්න. දරුවාට මෙන්ම ඔබට මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා කල හැකි දෑ පිළිබඳ ක්‍රමවත් විශ්ලේෂණයක් කර විසඳුම් සොයා ගන්න.

මෙම තත්ත්වය වෙනස් කල හැකි ආකාරය.

1.ඔබගේ දරුවා මෙස පාසල් යාමට මැලි කමක් දැක්වීමට හේතුව සොයා බලන්න. බොහෝ අවස්ථාවන්හි දී ප්‍රශ්නය සමඟ නිසි ලෙස ගණුදෙණු නොකිරීම තත්ත්වය බරපතල වීමට හේතු වෙයි. දරුවා පාඩම් කෙරෙහි අවධානය යොමු නොකිරීම සැබෑ ප්‍රශ්නය නොවිය හැකි තර එය තමාට ගුරුවරයාගෙන් හෝ සම වයසේ තම මිතුරන්ගෙන් සහාය ලබා ගැනීමට ඇති මන්දගාමි බව විය හැකියි. දරුවා සමඟ කතා බස් කොට ප්‍රශ්නයේ නියම ස්වරූපය හඳුනා ගන්න. ඔහු/ඇය පාසලේදි මුහුණ දෙන අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සරල ප්‍රශ්න විමසන්න. ඔබට ගුරුවරුන්ගෙන් හා උපකාරක මණ්ඩලයෙන් වැඩි දුර සහාය ලබා ගත හැක, මන්ද ඔවුන් ඔබේ දරුවා ඔබට නොපවසන දෑ පිළිබඳ දැන ගෙන සිටීමයි.

2.පාසල් හා නිවසේ මට්ටමින් විසඳුම් ක්‍රියාත්මක කරන්න. ඔබට මෙන්ම ගුරුවරයාටත් තම ශිෂ්‍යයා අධ්‍යාපනික හා පෞද්ගලික වශයෙන් නිවැරදි මඟට යොමු කිරීමේ පරම බලාපොරොත්තුව ඇති බව ඔබට වැටහේ. ‍ගුරුවරුන් හා කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ සම්බන්ධ වී ප්‍රශ්නය සඳහා ස්ථාවර විසඳුම් පිළිබඳ සාකච්ඡා කරන්න. සමහර දෙමාපියන් දරුවාගේ පාසලේ ගැටලු විසඳීමේ තනි වගකීම ගුරුවරයාට භාර දෙයි. පාසලේ කාර්ය මණ්ඩලයෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන සහාය දරුවාව මෙම අරගලයෙන් මුදවා ගැනීම සඳහා උපකාරි වෙයි. ගුරුවරුන් සමහර අවස්ථාවලදි මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඵලදායි යෝජනා ඉදිරිපත් කරයි. එම නිසා ගුරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අමතර සහාය මේ සඳහා ලබා ගැනීමට නොපැකිලෙන්න.

3.නමුත් මෙම තත්ත්වය වෙනස් විය හැකිය. දරුවන් හා ඔහුගේ ගුරුවරුන් සමඟ නිරන්තරව සන්නිවේදනය කිරීමෙන් ඔබට දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා ඔහුව නිවැරදි මගට යොමු කල යුතු ආකාරය පිළිබඳ අදහසක් ගත හැක. අභියෝග ජය ගැනීම සඳහා නිර්භීත බව හා ආත්ම විශ්වාසය අත්‍යවශ්‍ය ගුණාංග දෙකකි. දරුවෙකු තවත් දරුවෙකුට තරවටු හෝ අපහාස කල විට ඔහු ඊට ප්‍රචණ්ඩකාරිව හැසිරෙන්නේ නම් ඊට හේතුව ඒ දරුවා එවන් අවස්ථාවල කෙසේ කටයුතු කල යුතුද යන්න නිසි අවබෝධයක් නොමැති නිසාය. දරුවන් අතර භුමිකා නිරූපණය (role-playing) තුලින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වන අතර මෙම තත්ත්වය යම් දුරට පාලනය කල හැක.

4.ධනාත්මක පෙළඹවීම් හා දරුවාට ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමෙන් මෙම අභියෝගය ජය ගත හැක. දරුවාගේ හැසිරීමේ සිදුවන කුඩා හෝ යහපත් වෙනසක් ඇත්නම් ඔබ එය හඳුනාගෙන ඔහුගේ ඒ ප්‍රයත්නය අගය කල යුතුය. ඔහුගේ අරගල වලින් හෝ හඬා වැලපීම් වල අඩුවක් ඇතොත් ඒ බව පවසා දරුවාව දිරිමත් කරන්න. ධනාත්මක පෙලඹවීම් වලින් සමන්විත වගකීමක් ඇති පාලන ක්‍රමයක් සකසන්න. උදහරණයක් ලෙස ” හැමදාම ඔයා මේ දේ කලොත් ඔයාට වැඩිපුර විනාඩි 15ක් ලැප්ටොප් එකේ ගේම් ගහන්න පුලුවන් වැනි ඔබ මේ දේ කලොත් මේ දේ ඔබට ලැබෙයි යන ධනාත්මක පෙළඹවීම් හා කොන්දේසි තුලින් දරුවා ඔවුන්ට අපහසු දේ කිරීමට වෑයමක් යොදයි.  මෙම ක්‍රමය ODD හා මානසික ආතතියෙන් පෙලෙන දරුවන් සඳහා යෝග්‍ය වේ. සතියක් නොකඩවා පාසල් ගියොත් සති අන්තයේදි ඔබට මේ දේ ලැබෙයි යන ප්‍රතිලාභ දරුවාට ලබා දීමෙන් මෙම අයහපත් හැසිරීමෙන් දරුවා ගලවා ගත හැක.

5.තත්ත්වය තුලනය කර, ප්‍රශ්න හඳුනාගෙන නිසි පියවර ගත යුතුය. සතියක් හෝ දෙකකට පසුවත් ඔබට දරුවාගේ ප්‍රචණ්ඩකාරි හැසිරීමේ වෙනසක් දක්නට නොලැබෙන්නේ නම් හෝ ඉහත සඳහන් කල පාලන ක්‍රමයන්ට දරුවා ධනාත්මක ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම්, විශේෂඥ මනෝ වෛද්‍ය උපදෙස් හෝ උපදේශකයෙක්ගේ සහාය පතන්න. රටේ, පලාතේ හෝ පාසලේ කට්ටි පැනීමේ නීති සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම අනිවාර්ය වේ. සමහර දෙමාපියෝ තම දරුවන් පාසල මඟ හැර කට්ටි පැනීම පිළිබඳ මහත් කනස්සලකින් පසු වෙති. නමුත් මෙය නිතරම පැන නඟින ප්‍රශ්නයක් නොවේ. ඔබට උසාවිය හා පාසලේ පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට දරුවාගේ පැමිණීම, උසාවියේ බාල වයස්කාර අපරාධ හා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ගැන යම් දැනුවත්වීමක් ලබා ගත හැක.

පාසලට නොපැමිණෙන සිසුන්ගේ වාර්තාවක් හා එසේ නොපැමිණීමට හේතු දක්වා ඇති වාර්තාවක් තබා ගැනීමෙන් ඔබට දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් මැනවින් හඳුනා ගත හැක. එලෙසම දරුවා පාසලට නොයන සෑම දිනයකදීම (අසනීප වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා) ඒ පිළිබඳව පාසලට හේතුත් සමඟ දැනුම් දීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාව ඔහුගේ වැරදිවලින් ආරක්ෂා කිරීම නුවණට හුරු නොවේ. දරුවාගේ හැසිරීම කෙරෙහි ඔබගේ ක්‍රියා කලාපය ඔබ අවංක, කැපවුණු , ක්‍රියාශීලි දෙමාපියෙක්ද යන්න තීරණය කරන බව මතක තබා ගන්න.  එය දරුවාගේ නීති උල්ලංඝනය කිරීම් වලින් ගැලවීමට උපකාරි නොවේ.

ඉහත සඳහන් කල සියලුම පියවර ජේම්ස් ලේමන්ගේ “විශේෂ අවධානය” Selective Attention යන සිද්ධාන්තය සමඟ අනුගත වේ. ඔබ යම් දේකට වැඩි අවධානයක් යොමු කරනවාද, එයින් ඔබට වැඩි ප්‍රතිලාභයක් හිමිවේ. මෙයින් අදහස් කරන්නේ දරුවන්ගේ යහපත් හැසිරීම් රටාවන් හඳුනාගෙන ඔවුන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම හා දරුවන් තුල ඇති අයහපත් හැසිරීම් රටාවන් සමඟ සාර්ථකව ගණුදෙනු කිරීම සඳහා ඔවුන්ව හුරු කරවීම කල යුතු බවයි.

ප්‍රවීණයන්ගේ අත්දැකීම් වලට අනුව සති ගණනාවක් දුෂ්කරතා සමඟ ගැටුණු ළමයින් විශ්වාස කල නොහැකි අන්දමට වෙනස් වී ඇත. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේ බාධක හා ප්‍රමාද වීම් පැවතුණි. ළමයින් ස්වභාවයෙන්ම ප්‍රතිරෝධි බවක් පෙන්නුම් කරත්, ක්‍රමක්‍රමයෙන් තම දෙමාපියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී එය ජය ගත හැකිය. අවශ්‍ය නම් සමාජ සේවකයින්ගේ, පාසල් උපදේශකවරුන්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නාට නොපැකිලෙන්න. ඔවුන්ගේ වටිනා අවවාද මෙම ගමනේදි ඔබට රුකුලක් වනු ඇත.  ස්වෝත්සාහයෙන් මෙම අරගලය ජයගන්නවාට වඩා ඔබට කණ්ඩායම් වශයෙන් එක්ව සමාජ සම්පත් පරිශීලනය කරමින් උපරිම ප්‍රතිඵල ලබා ගත හැක. එබැවින්, අන් අයගේ සහාය හා උපදෙස් පැතීමට බැගෑපත් නොවන්න. මන්ද, ඔබට ලැබෙන ඒ රුකුල දරුවාගේ ඉදිරි ගමන සඳහා මහඟු ලෙස වැදගත් විය හැකි බැවිනි.

ඔබගේ දරුවාව මීලඟ වෝල්ට් ඩිස්නි බවට පත් කල හැකි රහසක්

ඔබ කුඩා කාලයේදි ඇලිස්ගේ විස්මලන්තය හෝ හැරි පොටර් කියවා තිබේද? ( සංඛ්‍යා ලේඛන වලට අනුව හැරි පොටර් යනු දෙමාපියන් මෙන්ම දරුවන් එකසේ කියවූ ප්‍රසිද්ධ පොත් මාලාවකි. ඔබ පොත කියවා ඇත්නම් මෙම පොත් මත පදනම් වූ චිත්‍රපට වල ඇති Rabbit Hole, Hogawarts, Bill the Lizard හෝ Dumbledore ඔබ මනසෙහි මවා ගත් රූපයට හාත් පසින් වෙනස් බව ඔබට හැඟෙනු ඇත. පොත් කියවූ බොහෝ උදවිය එකඟ වන කරුණක් නම් පොත් කියවීමෙහි තරම් තෘප්තියක් එම චිත්‍රපටය නැරඹීමෙන් නොලැබෙන බවයි. හැරී පොටර් චිත්‍රපටය එම පොත් මාලාවේ එන චරිත වලට නිසියාකර සාධාරණයක් ඉටු කර නැත. චිත්‍රපටය නැරඹීමට පෙර පොත කියවන ලෙස මට අවවාද කල මාගේ මිතුරියට මම මෙම අවස්ථාවේදි ස්තූතිවන්ත වෙමි.

ලෝක ප්‍රාසාදායට හා සම්මාන වලට පාත්‍ර වූ බොහෝ චිත්‍රපට උසස් ලෙස නිර්මාණය කර ඇතත්, එය, ඊට පදනම් වූ පොත් මාලාවට සම කල නොහැක. ඊට හේතුව, පොතක් කියවීමෙන් අප ලබන ඒ තෘප්තිය හා අප සිත් තුල නිර්මාණය කර ගන්නා වු ලෝකය, නවීන තාක්ෂණයකින් නිපදවන උසස් Universal Studios චිත්‍රපටයකින් ලබා ගත නොහැකි බැවිනි.

කෙසේ වෙතත්, තාක්ෂණයේ වර්ධනය අප වෙත පිරි නැමූ පැතලි තිර දසුන් රූපවාහිනි, iPad හා ස්මාට් ෆෝන් කෙමෙන් කෙමෙන් අපව කියවීමෙන් ඈත් කොට ඇත. දරුවන් මෙන්ම වැඩිහිටියන්ද කාටූන් නැරඹීමට කැමැත්තක් දක්වයි. අද කාලයේ රොබින් හුඩ්, ටොම් සෝයර් වැනි වීර චරිත පමණක් නොව ජේසු තුමා, සිදුහත් කුමරු ගේ ජීවිත කතා පදනම් කොට ගෙන නිමවූ වැඩසටහන් දක්නට ලැබේ. නවීන තාක්ෂණය කෙතරම් විනෝදජනක හා සිත්ගන්නාසුලු වූවත් එය අපගේ නිර්මාණාත්මක හා පරිකල්පන ශක්තිය හීන කරවයි. ලමාක් ගේ සිද්ධාන්තයට අනුව අපගේ නිර්මාණාත්මක හා පරිකල්පන ශක්තිය පවතින්නේ යටිකුරු සර්පිලයකට අනුවය. එනම් අප ඉදිරි පරම්පරාව සඳහා ලබා දෙන්නේ අපගේ නිර්මාණාත්මක හැකියාවෙන් ඉතා කුඩා ප්‍රතිශතයකි. එසේම අප විවිධ පරිසරයන් අනුව හැඩ ගැහෙන ආකාරය පවා අපගේ දරුවන් වෙත ගමන් කර බව ලමාක් පවසන ලදී.

අප පාසල් යන කාලයේ බිත්තියේ, දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කට තිබූ ෆ්‍රැන්සිස් බීකන්ගේ ප්‍රසිද්ධ කියමන ඔබට මතක ඇති. “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” අපව කුඩා කාලයේ පටන් කියවීම සඳහා පොළඹවන ලදී. අප පාසල් යන කාලයේදි වෙනම පුස්තකාල පරිච්ඡේදයක් තිබුණු අතර පොත්පත් එදා සැලකුණේ දැනුම් සම්භාරයක් ලබා දෙන උතුම් සම්පතක් ලෙසය. කෙසේ වෙතත් මා උසස් අධ්‍යාපනය ලැබූ කාලයේදි මාගේ කියවීමේ හා නිර්මාණාත්මක හැකියාවන් මට මහත් සේ උපකාරි වුණි. Benzene චක්‍රයේ සිට, පරමාණු හා එහි ඉලෙක්ට්‍රෝන වල හැසිරීම, සත්ත්ව සෛල වල ක්‍රියාකාරිත්වය, Bernouilli නියමයට අනුව අහස් යාත්‍රයක් ගමන් කරන්නේ කෙසේද යන්න මා ඉගෙන ගත්තේ මාගෙ පරිකල්පන ශක්තිය උපයෝගි කර ගනිමිනි. අන්තර්ජාලය වගේම නවීන තිමාණ දසුන් තාක්ෂණයට, මිනිසි පරිකල්පන හා නිර්මාණත්මක ශක්තිය අභිබවා යා නොහැකි බව මගේ අදහසයි. පර්යේෂණ හා ප්‍රවර්ධන (Research & Develpoment) මත ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන ක්ෂේත්‍රයක කටයුතු කරන මා හට නිරන්තරයෙන්ම නිර්මාණාත්මක හැකියාවන් සහිත උදවිය මුණ ගැසීම අභියෝගයක් වී ඇත. අවසාන වශයෙන්, නව නිපැයුම් හා නිර්මාණාත්මක නිමවුම් සඳහා මූලික වන්නේ පුද්ගලයෙකුගේ පරිකල්පන ශක්තියයි. ඉතිහාසයේ නොමැකෙන උසස් නිර්මාණ බිහි කල වෝල් ඩිස්නි, හෙන්‍රි ෆෝඩ්, රයිට් සහෝදරයින් මෙන්ම ෆේස්බුක් හි නිර්මාතෲ මාක් සකර්බග් වැනි කෝටිපතියන් ගේ සාර්ථකත්වය පිටුපස සිටියේ ඔවුන්ගේ පරිකල්පන ශක්තියයි. මිනිසාගේ පරිකල්පන ශක්තිය ප්‍රගුණ කල හැකි එකම ආම්පන්නය කියවීමයි.

එම නිසා තාක්ෂණයේ දි‍යුණුව හා එහි අනර්ඝ ප්‍රතිඵල භාවිතා කරන අතරේම අපි කියවීමේ පුරුද්ද ජීවිතයට එකතු කර ගනිමු.
අපගේ දරුවන්ටත් කියවිමේ ප්‍රතිලාභ උගන්වා පෙර නොවූ විරූ අයුරින් ලෝකය දෙස බලන්නට ඔවුන්ට අපි උපකාර කරමු. එසේම කියවීමේ අතුරු ප්‍රතිඵල වන ව්‍යාකරණ දැනුම වර්ධනය කිරීම හා පුළුල් වාග් මාලාවක් ලබා ගැනීම ගෙන දැක්විය හැක.

දරුවන් තුල කියවීමේ ආසාව ඇති කරන්න. ඔවුන් නින්දට යාමට පෙර පොතක් කියවන්න. මෙය ඔබට සාමකාමීව දරුවා සමඟ එකට කාලය ගත කල හැකි මොහොතකි. මාගේ පියා ලවා එකම කතාව කියවීමට සැලැස්වීමෙන් ඔහු තුරුලට වී නින්දට වැටුණු ඒ සුන්දර ළමා කාලය මට අද වගේ මතකයි.

චිත්‍රපටය නැරඹීමට පෙර දරුවන්ට පොත කියවන ලෙස අභියෝග කරන්න.ඔවුන් කියවන පොත් වල ලැයිස්තුවක් සකස් කරන ලෙස පවසන්න. කියවා සම්පූර්ණ කරන සෑම පොතකටම ඔබ ඔවුන්ට යම් දීමනාවක් ලබා දීම දිගු කාලයේදි වැදගත් වේ. මන්ද ඔවුන් කියවීමේ ඔවුන්ගේ දෛනික ජීවිතයේ පුරුද්දක් කර ගන්නා බැවිනි.

ලෝකයේ තවත් වෝල්ට් ඩිස්නි හා හෙන්‍රි ෆෝඩ් කෙනෙක් බිහිවීමට ඉඩක් ඇති බව අමතක නොකරන්න. ඔහු/ඇය ඔබේ දරුවා විය හැකියි.

ඔබගේ දරුවා අසරණ අවස්ථාවන්හිදී, ධෛර්යමත්ව ඊට මුහුණ දෙන්නේද?

සත්තු වත්තකදී හෝ අලි අනාථාගාරයක හොඳින් වැඩුණු අලියන්  දැක තිබෙනවා ඇති. මෙම සද්ධන්ත සිව්පාවන් බොහෝ විට දම්වැලකින් හෝ රඳවනයකින් අසල ඇති ගසකට හෝ කුළුනකට බැඳ ඇත.මෙම රඳවනයට කිසි සේත් අලියාව ආරක්ෂා කල නොහැක. අවශ්‍ය නම් අලියාට පහසුවෙන් මෙයින් ගැලවී යා හැක. නමුත් අලියා එසේ කරන්නේ නැත. මෙය සර්කස් අලි සහලක්ෂණය ලෙස හැඳින්වේ.  (Circus Elephant Syndrome)
අලි පැටවකු සාමාන්‍යයෙන් පිටතට පැන යාම වැලැක්වීම සඳහා කණුවකට හෝ ගසකට දම්වැලකින් බැඳ දමයි. මෙම කුඩා අලි පැටවා එයින් මිදී යාමට නොයෙකුත් වෙර දරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අලියාගේ කකුල දම්වැලේ ස්පර්ෂය නිසා සීරිමකට හා තුවාල වීමට ලක් වේ. ඇත් ගොව්වා උවමනාවෙන්ම මෙම තුවාලය තවත් පැස වෙන්නට ඉඩ දේ. මෙසේ දිගින් දිගටම දම්වැලේ ග්‍රහණයෙන් පැන යාමට තැත් කරන අලියා එයින් හෙම්බත්ව තම උත්සාහය අත් හරී.
අලියා කෙතරම් වැඩුණත්, ඌව මෙවැනි රඳවනයකින් හා දම්වැලකින් අසල ඇති ගසකට බැඳ ඇත්නම්, අලි පැටවකුව සිටියදී තමා ලත් ඒ අසරණ අත්දැකීම හේතු කොට ගෙන සද්ධන්ත අලියා එයින් පැන යාමට තැත් නොකරයි. කුඩා කාලයේදි දම්වැලට හසුවීමෙන් හටගත් තුවාලය පැසවීම වැඩුණු අලියාගේ මතකයට නැඟෙයි. සර්කස් අලි සහලක්ෂණය ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වයයි.
මෙම සහලක්ෂණයෙන් පීඩා විඳින්නේ අලියන් පමණද?
යම් විෂයක් උගන්වන ගුරුවරයා ට අකමැතිවීම නිසා එම විෂයම එපා වූ දරුවන් ඔබ දන්නවාද? සමහර පලතුරු කන්නට පුද්ගලයින් අප්‍රිය බවක් දක්වන්නේ ඒවා ඔවුන්ව අසනීප තත්තවයකට පත් කල බැවිනි. සුවඳ ජාති හෝ විළවුන් සමරහක් අපට අසුන්දර මතකයන් අවදි කරන්නට ඉවහල් වේ.මේ සියල්ලන්ම දම්වැලට බියවූ අලියන් වැනිය. අපව ග්‍රහණය කරගෙන සිටින මෙම දම්වැල් නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය. අප මෙම දම්වැලත් සමඟ කාලාන්තරයක් ජීවත් වූවත් ඒ බව හා ඊට හේතුව අප නොදන්නවා වන්නට පුළුවන.
මෙම අසරණ හා අසුන්දර හැඟීම අපව කිසියම් කටයුත්තක් සඳහා උත්සාහයක් දැරීමෙන් වලක්වයි. සමහර විට අප පෙර සිදුවූ ඒ අසහනකාරි මතකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තාවකාලිකව අමතක කර හෝ යටපත් කර තිබෙන්නට පුලුවන. දැන් අප ජීවත් වන්නේ මෙම උත්තේජකවලට අප මෙසේ ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන්න හරිහැටි අවබෝධයක් නොමැතිවය.
ජීවිතයේ මුල්ම අවධිය අපගේ පෞර්ෂත්වය හැඩගැස්වීමෙහි ලා මෙන්ම අපගේ අනාගතයේ මූලික අඩිතාලම සකස්කිරීමෙහි ලා වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙම කාලය අපගේ දක්ෂතා ඉස්මතු කරන අතර සීමාවන් පිළිබඳව ද ඉඟි කරයි.අපගේ දෙමාපියන්, මුත්තන්, පෙර පාසල් ගුරුවරයින්, සමීප ඥාතීන් අපගේ ජීවිතයේ වැදගත් පැතිකඩක් නිර්මාණය කරයි. මිතුරන් ගෙන් මෙම අවධියේදි සැලකිය යුතු කාර්යයක් ඉටුවන්නේ නැත. එබැවින් දරුවාගේ මුල් අවධියේදි ඇත් ගොව්වාගේ රාජකාරිය තිබෙන්නේ දෙමාපියන් සතුවයි.
තමා කුඩා කාලයේදි දෙමාපියන් ගස් ලබු බලෙන් කැවීම නිසා අපහසුතාවයට පත් සිදුවීම හේතුකොට ගෙන වර්තමානයේදි වැඩිහිටියෙකු ලෙසත් ගස් ලබු නොකන මිතුරෙකු මට මුණ ගැසුණි. වසර ගණනාවකට පෙර සිදුවූ මෙම අප්‍රියජනක අත්දැකීම  ඔහුව යොවුන් වියේදී ද ගස් ලබු කෑමෙන් වැලකී සිටින පුද්ගලයෙකු බවට පත් කලේය. ගස් ලබු යනු ජීවිතයට එතරම් වැදගත් නොවන දෙයක් නමුත් මෙම ප්‍රතික්ෂේප කිරීමේ පුරුද්ද සැම විටම පලතුරකින් කෙලවර වන දෙයක් යැයි අපට තහවුරු කල නොහැක.
දම්වැලේ ග්‍රහණයෙන් සිටින අලි පැටවාගේ කතාව අප සෑම දෙනාටම ආදර්ශයකි. දරුවාගේ මුල් අවධියේදි සිදුවන පෞර්ෂත්ව වර්ධනයේදි දෙමාපියන්ගේ කාර්ය භාරය කොතරම් වැදගත් ද යන්න දැන් අපට වැටහේ. දෙමාපියන් පමණක් නොව දරුවා සමඟ ගැවසෙන සෑම වැඩිහිටියකුම දරුවා සමඟ දෛනිකව සන්නිවේදනය හෝ කටයුතු කරන ආකාරය මීට බලපායි.
එසේම අප දරුවාව රැක බලාගන්නා සහායක ගැහැණුන්, මෙහෙකාරියන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතුය. දරුවාට අහිතකර බලපෑමක් හෝ බියක් ගෙන දිය හැකි දේවල් වලින් ආරක්ෂා කර ගැනීමද අපගේ වගකීමකි.ඔවුන් කුඩා කාලයේදීම මෙම දම්වැලට බිය වුව හොත්, අනාගතයේදි, ඔවුන්ගේ දියුණුවට එම බිය බාධකයක් වනු නොඅනුමානය.

ඉතිරි කිරීමේ පුරුද්ද දරුවන් තුල වර්ධනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉතිරි කිරීමේ පුරුද්ද ආරම්භ කිරීම සඳහා සුදුසුම වයස කුමක්ද? මෙය බොහෝ දෙමාපියන් හට පැන නැඟෙන ප්‍රශ්නයකි. මීට දිය හැකි හොඳම පිළිතුර නම් ඉතිරි කිරීමේ පුරුද්ද හැකි තාක් කුඩා කාලයේම දරුවා තුල වර්ධනය කිරීම යෝග්‍ය බවයි. ඔබගේ දරුවා සුපිරි වෙළඳසලට ගොස් “අම්මේ, මට මේකත් අරන් දෙන්න පුලුවන්ද?” ‍යැයි පවසමින් ඔබට කරදර කරන අවස්ථාව අපි ගනිමු. මෙම සිදුවීම දරුවාට ඉතිරි කිරීමේ පුරුද්ද ආරම්භ කිරීමටත් එහි වැදගත්කම පිලිබඳ ඉගෙන ගැනීමටත් හොඳ කාලයක් බව ඔබට අඟවන අවස්ථාවකි.

අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස දරුවා කුඩා කලදීම ඉගෙන ගත යුතුය. තමන්ගේ මූලික අවශ්‍යතා පලමුවත් අනෙකුත් වුවමනා සපුරා ගැනීම සඳහා තමා කිසියම් කාලයක් බලා සිටිය යුතු බවත් දරුවන් තේරුම් ගැනීම අනිවාර්ය වේ. අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීම ආරම්භ කල හැකිය. ඔබට මෙසේ විස්තර කල හැකිය. “හාල් හා එළවලු මිලදී ගැනීම අවශ්‍යතාවයකි. ඇඳුම් පැලඳුම් මිලදී ගැනීම අවශ්‍යතාවයකි. නමුත් සුපිරි වෙළඳසලේ ඇති අනෙකුත් දෑ වුවමනා වන අතර ඒවා ඔබට පසු කාලයකදී මිලදී ගත හැකිය. ඉන්පසු ඔබට දරුවාට “අපි ශොපිං යන සල්ලි ඉතුරු කරලා ඒක ඔයාගේ කැටේට දාමු” යනුවෙන් පැවසිය හැකිය.

කැටේ පිරුණු පසු, එම මුදල් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීම සඳහා දරුවා කැටුව බැංකුව වෙත යාමට අමතක නොකරන්න. දරුවෝ වැඩිහිටියන් ලෙස තමාට සලකනු දැකීමට බොහෝ කැමැත්තෙන් පසුවෙති. තමා කාලයක් තිස්සේ ඉතුරු කල මුදල් ද රැගෙන බැංකුව වෙත ගොස් එය ගිණුමක තැන්පත් කිරීම, ඔවුන්ට චොක්ලට එකකට එම මුදල් වියදම් කරනවාට වඩා තෘප්තියක් ලබා දෙනු නියතය. මුදල් ගණුදෙනු කිරීමට බැංකුව වෙත පැමිණෙන අනේක වැඩිහිටියන් මධ්‍යයේ තමාත් ගිණුමක් විවෘත කිරීම දරුවන්ට මහත් කර්තව්‍යයකි. ඔවුන්ට එය පාසලේ මිතුරන් සමඟ බෙදා ගැනීම සඳහා තවත් එක් දිග කතන්දරයකි.

ඉතිරි කිරීම දිරිමත් කිරීම සඳහා ඔබට ලේබල් කරන ලද පෙට්ටි තුනක් දරුවන්ට ලබා දිය හැකිය. ඉතිරි කිරීම, මිලදී ගැනීම හා දාන මාන සඳහා ලෙස ඔබට මෙම පෙට්ටි තුන් ආකාරයකින් වර්ග කල හැක. දරුවාට සල්ලි ලැබෙන සෑම මොහොතකදීම, ඔහුට/ඇයට එම මුදලින් යම් ප්‍රමාණයක් මෙම පෙට්ටි තුනටම දැමීමට පොළඹවන්න. මෙම ක්‍රමය දරුවාට මිල ගණන් (expensive/cheap) වල හා මිලදී ගැනීමේ ශක්තිය (affordability) පිළිබඳ යම් අදහසක් ගැනීමට උපකාරි වේ.

තවද මුදල් එකතු කරනවා සේම මුදල් දාන මාන කිරීමද  එකසේ වැදගත් බව දරුවාට පහදා දෙන්න. මගේ සැමියා හා මා අපගේ පවුලේ වාහනයේ මාරු කාසි දැමීමට යෝගට් කෝප්ප්යක් තබා ඇත. වාහන තදබදයකදී හෝ මාර්ග සංඥා අතර කාලයේදි වාහනය වෙත පැමිණෙන හිඟන්නන් හට එයින් කිහිපයක් ගෙන දීමට අපි පුතාව දිරිමත් කරන්නෙමු. මාගේ අට හැවිරිදි පුතණුවන් පහේ කාසියක් ගෙන හිඟන්නෙකුට දෙන මොහොත ඔහුට ජීවිතයට වැදගත් පාඩම් දෙකක් ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දේ. එනම්, ඔබට හිඟා කෑමට වඩා හොඳ ජීවනෝපායක් සොයා ගැනීම සඳහා හොඳින් ඉගෙන ගත යුතු බවත්, ඉදිරි අනාගතයේදි ඔබට රැකියාවේ මාසික පඩිය අහිමි වූ විට ඒ සඳහා ඉතුරුම් අවශ්‍ය වන බවත් ය.

ඔබ සුපිරි වෙළඳසලකට යන අවස්ථාවේදි දරුවා කිසියම් දෙයක් ඉල්ලා කරදර කල විට, නෑ ඔයාට එක අරන් දෙන්න බෑ” යනුවෙන් නොපවසන්න. ඒ වෙනුවට දරුවාට එම සෙල්ලම් බඩුවේ මිල ලාංචනය දෙස බලන්නට ඉඩ දී “ඔයාගේ “මිලදී ගැනීම” පෙට්ටියේ තියෙන සල්ලි වලට වඩා මේ සෙල්ලමු බඩුව කොච්චර ගණන්ද?” යන්න අසන්න. එම මිල 10 ගුණයකට වඩා වැඩි නම් දරුවා එම සෙල්ලම් බඩුව මිල අධික එකක් බව තේරුම් ගන්නා අතර, එය ඔහුට/ඇයට වර්තමානයේදි මිලදී ගත නොහැකි බවද වටහා ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවා එම “මිලදී ගැනීමේ” පෙට්ටියට දැමීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ඉතිරි කිරීමට පෙළඹේ. දරුවාගේ උපන් දිනය දා ඔබට මේ මුදලට සමාන මිලක් වටිනා තෑග්ගක් දරුවාට ලබා දී, දරුවා “මිලදී ගැනීමේ” පෙට්ටියේ ඉතිරි කල මුදල බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කල හැකිය.

බොහෝ දෙමාපියෝ දරුවන් සමඟ  “සල්ලි වැදගත්” යන මාතෘකාව පිළිබඳ කතා බස් කිරීමට අනවශ්‍ය ලෙස බිය වෙති. මාගේ අදහසට අනුව, ඔබ මුදල් වල වටිනාකම, ඉතිරි කිරීමේ හා දාන මාන කිරීමේ වැදගත්කම ගැන දරුවාට පහදා දීම තුලින් අනාගතයේදි රටට වැඩදායි , වගකිව යුතු පුරවැසියෙක් බිහි කල හැකිය.

ArticleBanner01

පාලනය කිරීමට අපහසු ළමුන් සමග කටයුතු කරන්නේ කෙසේද?

බොහෝ සිඟිත්තන් තම දෙමාපියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාවන්හි නිරත වෙයි.ඔවුන්ගේ නිදහස ප්‍රකාශ කිරීම පිණිස ඔවුන් සිතැඟි පරිදි හැසිරේ.මෙය අකීකරුකමක් ලෙස වරදවා තේරුම් නොගත යුතුය.මෙවැනි සිඟිත්තන් සමග කටයුතු කිරීමට ඉවසීම අවශ්‍ය වේ.

දරුවා අකීකරු හෝ නොසන්සුන් ලෙස සිටින අවස්ථාවන්
බොහෝ සිඟිත්තන් දෙමාපියන්ගේ අවධානය ලබා ගැනීම පිණිස නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙති.මෙම ක්‍රියාකාරකම්වලට පහර දීම,හැඬීම හෝ වැඩිහිටියන්ව පීඩාවට පත්කිරීම වැනි දේ ඇතුලත් වේ.දෙමාපියන්ගේ අවධානය ලබා ගන්නා තෙක් ඔවුන්ගේ මෙම හැසිරීම් හොඳද නරකද යන්න ඔවුන්ට අදාල නැත.දෙමාපියන් මේවාට ප්‍රතිචාර දැක්වූ විට ඔවුන්ද ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වනු ඇත.ස්වාධීනත්වය ලබා ගැනීම පිණිස ළමුන් තම සිතැඟි පරිදි හැසිරේ.මෙවැනි ක්‍රියාවන් වැලැක්වීමට දෙමාපියන් උත්සාහ නොකල යුතු අතර ළමුන්ගේ අකීකරුකම ප්‍රකාශ කිරීමක් ලෙස නොසැලකිය යුතුය.මේවාට විරුද්ධව ක්‍රියා කිරීම, අනාගතයේදී දරුවාට ඍණාත්මක හැඟීම් වර්ධනය වීමට හේතු විය හැක.ළදරුවන්ගේ සිතේ ස්වභාවයන් නිරන්තරයෙන් වෙනස් වේ.වරෙක කෝපයද තවත් විටෙක ආදරයද ප්‍රකාශ කරනු ලබයි.කාලය සමග දරුවන් මෙම රඟ දැක්වීමේ කලාවේ උද්යෝගිමත් හවුල්කරුවකු වනු අතර මෙය දෙමාපියන්ට හොඳ ඉගැන්වීමේ අවස්ථාවක් ලෙස යොදා ගත හැක.

දඟකාර ළමුන් සමග කටයුතු කිරීම.
දඟකාර ළමුන් හොඳ දේ කුමක්ද නරක දේ කුමක්ද යන්නෙහි වෙනස දනී.කෙසේ වෙතත් ඔවුන්ට හැසිරීම සම්බන්ධව නිවැරදි මග අනුගමනය කිරීම කෙරෙහි බලපාන ඥානය,පරිණතභාවය සහ පාලනය පිලිබඳව ඇති දැනුම අල්පය.මෙම කාලයේ පසුවන ළමුන් ඉහත කී කරුණු සම්බන්ධව හසුවූ විට ඔවුන් ක්ෂණයකින් සමාව අයදින තත්ත්වයකට පත් වේ.බොහෝ ළමුන් කෙතරම් බැණුම් ඇසුවද පරණ හැසිරීම්වලට නැවත යොමු වේ.දඟකාර ළමුන් සමග කෙසේ ඉවසිලිවන්තව සිටිය යුතුද යන්න දෙමාපියන් ඉගෙනගත යුතු කරුණකි.ඔවුන් සමග නිතර කථා බස් කිරීම සඳහා අනුකම්පාසහගත සමීප වීමක් යොදා ගන්න. මෙම ක්‍රමය හරි නොගියහොත් දඬුවමකට යාම ඊලඟ පියවරයි. කරුණාකර ශාරිරිකව දඬුවම් කිරීමෙන් වලකින්න. තමුන්ගේ වරප්‍රසාද වලින් ඈත්වීම සහ සීමා කිරීම තුලින් වඩාත් ඵලදායිත්වයක් ලබා ගත හැක.

දරුවා ඇහුම්කන් නොදෙන අවස්ථාවක.
අකීකරු ළමුන් හිතා මතාම බලය අවඥාවට ලක් කරයි.මෙය වැඩිහිටියකුගේ ඉවසිලිවන්තකම පරීක්ෂා කරනු ලබයි.මෙවැනි ළමුන් සමාව අයදිනු ලබන්නේ කලාතුරකිනි.අකීකරුකම දෙමාපිය- දරු ගැටීමකට මුල පිරීමක් විය හැක.ශාරිරික දඬුවම් පැමිණවීම වඩා චණ්ඩභාවයකට මුල පිරිය හැකි බව දෙමාපියන් සිහි තබා ගැනීම වැදගත්ය.ධනාත්මක වෙරගැන්වුම් සහ හේතුකාරක වලට සම්බන්ධවන උපා නැණ භාවිතා කිරීම බොහෝ ඵලදායි වේ.

“Terrible Twos” (අවුරුදු දෙක ලබන කාලයේදි දරුවකු තුල සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දඩබ්බර හැසිරීම.) අවස්ථාවකදී තමුන්ගේ දරුවා සාමන්‍ය දරුවන්ට වඩා අසීරු තත්වයක සිටින්නේයයි බොහෝ දෙමාපියන් කල්පනා කරයි.එහෙත් එය එසේ නොවන බව ස්ථිර කරයි.මෙම අවස්ථාවේ පසුවන දරුවකු තම උත්සාහයෙන් යම් දේවල් කිරීමට ඉගෙන ගනී. උදව් ඉල්ලා සිටීම සහ ස්ව උත්සාහයෙන් යම් දෙවල් කරගැනීමට ඇති උවමනාව පිලිබඳව ඔවුන් නිරන්තරයෙන්ම දෙගෙඩියාවෙන් පසු වෙයි.මෙම වයසේදී ඉතා ඉක්මනින් භංගත්වයද ඇති වේ.ළමුන් උපකාර නොඉල්ලා සිටිය හැකි නමුත් ඔවුන්ට පිහිටාධාර අවශ්‍ය වේ.මෙය ළමුන් සහ දෙමාපිය දෙදෙනාටම ඉතා දුෂ්කර කාලයක් වනුයේ දරුවා ස්ව ශක්තියෙන් නැගී සිටීමට ඉගෙන ගන්නා නිසාය.

ගර්භනී අවධිය තුල ව්‍යායාම් වල නිරත වීමේ වැදගත්කම

ගර්භනී අවධියේදි පවා මනා සිරුරක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පහල වීම කාන්තාවකු ලෙස ඔබට දැනිය හැකි සාමාන්‍ය දෙයකි. ව්‍යායාම් වල නිරත වීම මඟින් කාන්තාවන්ට ක්‍රියාශීලි මෙන්ම සෞඛ්‍යමත් දිවි පෙවතක් ගත කල හැකි වේ. ගර්භනී සමයේදී, කල හැකි සුදුසු ව්‍යායාම් අභ්‍යාස පිලිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් පතන්න. මෙ මඟින් ඔබට ව්‍යායාම් වල සුරක්ෂිත බව හා කාර්යක්ෂමතාව තහවුරු කර ගත හැකිවේ. ගර්භනී මවක් අනුගමනය කල යුතු පොදු උපදේශ කිහිපයක් පහත සඳහන් වේ.

ඔබ කෙතරම් කාලයක් ව්‍යායාම් වල නිරත විය යුතුද?
සාමාන්‍ය නීතියේ හැටියට, කාන්තාවක් මිනිත්තු තිහක කාලයක් එතරම් සංකීර්ණ නොවන මධ්‍යම මට්ටමේ ව්‍යායාම්වල නිරත විය යුතුය. මෙම ව්‍යායාම් චර්යාව ඔබගේ හෘද ස්පන්දන වේගය හා හුස්ම ගැනීමේ වේගය වේගවත් කරන අතර ඔබව හති දමන තත්ත්වයකට පත් නොකල යුතුය. සංකුලතා ඇති ගර්භනී මව්වරුන් සංකීර්ණ ව්‍යායාම් මාලා වල නිරත වීම නුවණට හුරු නොවේ. කෙසේ වෙතත් මෙය වෛද්‍ය උපදෙස් මත වෙනස් විය හැක. ගර්භනී භාවයට පත්වීමට පෙර මවක් ව්‍යායම් වල නිරත නොවූවත්, ඔවුන්ට ගර්භනී අවධියේදී ක්‍රියාශීලි දිවි පෙවතක් ආරම්භ කල හැක. වෛද්‍ය උපදෙස් විමසා ඔබට සුදුසුම ව්‍යායාම් රටාව ලබා ගන්න.

පූර්වාරක්ෂාව.
ගර්භනී අවධියේ කාන්තාවකගේ ශරීරයේ බොහෝ විපර්යාසයන් සිදුවේ. ශරීරයේ හැඩයේ වෙනස් වීම මෙහි පැහැදිලි වෙනස්වීම ලෙස හැඳින්විය හැක. ගර්භනී කාන්තාවකගේ බර වැඩිවත්ම, දිවීම හා සමබරතාවය වර්ධනය කරන ව්‍යායාම කිරීම අසීරු විය හැකිය. මේ සම්බන්ධයෙන් ඔබ පසු තැවිය යුතු නොවේ. මන්ද ව්‍යායාම්වල මූලික අරමුණ ශරීරයට වේදනාවක් හෝ අපහසුතාවක් ඇති කිරීම නොවන නිසාවෙනි.

ගර්භනී අවධියේ කාන්තාවකට නිරත විය හැකි ව්‍යායාම්.
බර වැඩිවීම, ශරීරයේ හැඩය වෙනස් වීම, අධි රුධිර පීඩනය වැනි කාන්තාවකගේ ශරීරයේ සිදුවන විපර්යාසයන් සැලකිල්ලට ගෙන ආරක්ෂිත ව්‍යායාම් රටා කිහිපයක් පහත සඳහන් කර ඇත.

ඇවිදීම.
ඇවිදීම යනු ඕනෑම කාන්තාවකට නිර්දේශිත යෝග්‍යම ව්‍යායමයකි. මෙය හෘදයට වේගය නිසි ලෙස පවත්වා ගෙන යාමට ඉඩ සලසන මධ්‍යස්ත මට්ටමේ, සරල ව්‍යයාමයකි. කිසි විටෙකත් ව්‍යායාම් නොකල උදවියට පවා ඇවිදීම යනු ඉතා අගනා ව්‍යායාමයකි. ඔබට තවත් මිතුරකු සමඟ හවුලේ ඇවිදීමෙන් මෙය ඉතා උද්යෝගිමත්ව කල හැක.

ජල ක්‍රීඩා.
ඔබ ජලයට කැමති පුද්ගලයකු නම්, පිහිනීම, ජල ව්‍යායාම (Aqua aerobics) වැනි සන්ධි වලට එතරම් ආතතියක් නොදෙන ක්‍රීඩා වල නිරත විය හැක. කකුලේ හෝ හන්දිපත් රුදාවෙන් පීඩා විඳින මව්වරුන්ට ජල ක්‍රීඩා ඉතා යෝග්‍ය වේ.

සයිකල් පැදීම.
බයිසිකලයෙන් වැටීමේ අවදානම අඩු නම් පමණක් ගර්භනී අවධියේ පලමු කාර්තුවේදී කාන්තාවකට මෙම කායික ක්‍රියාකාරකමේ නිරත විය හැක. කුසෙහි ප්‍රමාණය වැඩිවත්ම වැටීමේ හා ගර්භාෂයට වේදනාවක් ඇති වීමේ අවදානමක් ඇති හෙයින් ගර්භනී අවධියේදි බයිසිකල් පැදීම දිගින් දිගටම නොකල යුතුය.

ප්‍රතිරෝධි ව්‍යායාම්.
ගර්භනී බවට පත්වීමට පෙර මෙම ව්‍යායාම් වල නිරත වූ අය සඳහා පමණක් මෙය අනුමත කරනු ලැබේ. කෙසේ වෙතත්, කාන්තාවන් අධික බර ඉසිලීමෙන් වැලකී සිටිය යුතුය. හැකිනම් අඩු බර ඉසිලීමේ ව්‍යායාම්වල නිරත වන්න. ජොගිං සඳහාද මෙම නීති අදාල වේ.

ගර්භනී අවධියේදි වැලකි සිටිය යුතු ව්‍යායාම් වර්ග.
ගර්භනී අවධියේදි හුස්ම පාලනය කර ගත යුතු ව්‍යායාම් වලින් වැලකී සිටීම යහපත් වේ. කාන්තාවක් උඩුබැලි අතට සිටිය යුතු ව්‍යායාම් වල නිරත වීම නුවණට හුරු නොවේ. මන්ද මේ තුලින් කලලයට රුධිරට සංසරණය වීමේ බාධා ඇතිවිය හැකි නිසාවෙනි. මෙම නීති උදරය ඇදීමේ නම්‍යශීලි ව්‍යායාම් සඳහා ද අදාල වේ.

පාපන්දු, පැසිපන්දු හා රෙස්ලිං වැනි එකිනෙකා සමඟ ගැටීම් ඇතිවන කණ්ඩායම් ක්‍රීඩා වලින් වැලකී සිටිය යුතු වේ. මෙම නීතිය කඳු නැගීම, අශ්වයා පිට යාම වැනි ත්‍රාසජනක ක්‍රියාකාරකම් සඳහාද අදාල වේ. උස් ස්ථාන වල ව්‍යායාම් වල නිරත වීමෙන්ද වැලකී සිටිය යුතුය. දිය යට කිමිදීම (Scuba diving) යනු විසම්පීඩන අපහසුතා හේතුවෙන් ගර්භනී අවධියේදි නොකල යුතු ජල ක්‍රීඩාවකි.

ගර්භනී බවට පත්වීම, ව්‍යායාම් නතර කිරීම සඳහා නිදහසට කාරණයක් නොවේ. කෙසේ නමුත් සාමාන්‍ය දැනීමක් ඇතිව, අඩු රුධිර පීඩනයක් සහිත, ශරීරයේ රුධිර සංසරණය වර්ධනය කරන, සන්ධි, කොන්දට හා උදරයට අඩු ආතතියක් ගෙන දෙන සරල ව්‍යායාම් වල පමණක් නිරත වීමෙන් ඔබට ක්‍රියාශීලි ගර්භනී අවධියක් ගත කල හැක.

එසේම ඕනෑම ව්‍යායාම් මාලාවක් අනුගමය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය සේවා විශේෂඥයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම යහපත් ය.

ගර්භණී අවධියේදි හිසේ කෙස් හැලීම ඔබට ගැටලුවක්ද?

ගර්භණී කාලය තුල සහ පශ්චාත් ගර්භණී කාලය තුල සිදුවන කෙස් හැලීම කෙරෙහි හෝමෝනවල අඩු වැඩි වීම බලපානු ඇත.
ගර්භණී කාලය තුල සහ දරු ප්‍රසූතියෙන් පසු මාස කිහිපයක කාලය තුල කාන්තාවකගේ කෙස්වල ඝනත්වය සහ දීප්තිය, නිරතුරුවම වෙනස්වීම්වලට ලක් වේ.

කෙස්වල වර්ධන අවධියක් සහ අක්‍රිය අවධියක් දක්නට ඇත.මෙහි 90%ක් පලමුව සඳහන් කාලය තුල දැකිය හැකි අතර 10% ක ප්‍රමාණයක් දෙවනුව සඳහන් කාලය තුල දැකිය හැක.ගර්භණීභාවය, එස්ට්‍රජන් හෝමෝන අගයන්හි වර්ධනයකට හේතුවන අතර එය කේශ වර්ධනයකට අනුබල දෙයි.මෙම කාලය බොහෝ ගර්භනී මාතාවන් ඉතා පෝෂිත කෙස් කලඹක් ලබා ගැනීමට භාග්‍යවන්ත වන අතර 60%ක පමණ ප්‍රමාණයකගේ සැලකිය යුතු කෙස් අඩුවීමක් වාර්තා වී ඇත.

ගර්භණී කාලය
ගර්භණීභාවයේදී, 80%ක පමණ කෙස් ප්‍රමාණයක් අක්‍රිය අවධියට ගමන් කරන අතර රෝම කූප කෙස් හැලීමේ චක්‍රයකට අවතීර්ණ වේ.මෙම කාලය තුලදී සිදුවන කෙස් හානිය පිලිබඳව බොහෝ කාන්තාවන් බිය උපදවා නොගත යුතු වන්නේ ගර්භණී කාලය තුල මෙවැනි සිදුවීමක් බලාපොරොත්තුවෙන් සිටිය යුතු නිසාවෙනි.මේ හේතුවෙන් හිසේ මුඩු තැන් ඇතිවීමක් නොවන අතර එසේ සිදු වූවද එම ප්‍රදේශ ඉක්මනින් කෙස්වලින් වැසී යනු ඇත.සමහර කාන්තාවන් තමන්ගේ කෙස් හැලී ‍යාමේ ප්‍රමාණය පිලිබඳව ඉතා සැලකිලිමත් වන්නේ නම් අඩු විටමින් අගයන් තිබීම එයට හේතුවයි.ගර්භනී මාතාවන්ට පූර්ව ප්‍රසව විටමින් වර්ග සමග ෆෝලික් අම්ලය ගැනීමට බොහෝ වෛද්‍යවරු නිර්දේශ කරති. කේශ චක්‍රය මාස 6 සිට 12 දක්වා කාලයකදී යථා තත්වයට පත් වේ.

ගර්භනී කාලයෙන් පසු
බොහෝ කාන්තාවන්, ගර්භනී කාලයෙන් පසු අධික කෙස් හැලීමක් පිලිබඳව වාර්තා කරයි.හෝමෝන් අගයන්හි අඩු වැඩි වීම් මෙයට හේතුවයි.දරු ප්‍රසූතියෙන් පසු එස්ට්‍රොජන් අගයන් අඩු වීමට පටන් ගන්නා අතර ඉතුරු හෝමෝන තුලනය කර ගැනීමට, ශරීරයට යම් කාලයක් ගත වේ.දිනකට හිසකෙස් 110ක පමණ ප්‍රමාණයක් හැලී යාම සාමාන්‍ය දෙයක් වූවත් මින් දෙගුණයක ප්‍රමාණයකින් සමහර කාන්තාවන්ගේ කෙස් හැලීම සිදු විය හැක.මුඩු සහිත සහ සිහින් කෙස් ඇති ස්ථාන ඇතිවීම සාමාන්‍ය දෙයක් වන අතර මෙය තාවකාලික සිදුවීමකි.

ගර්භනී කාලය තුල සහ පසු හිස කෙස් හැලීම වලක්වා ගැනීමට උපදෙස්.
මේ සඳහා පහත සඳහන් උපාය මාර්ග සහ නිර්දේශ අනුගමනය කිරීම වැදගත්ය.
* හෝමෝන තුලනය කර ගැනීම පිලිබඳව වෛද්‍යවරයකු සමග කථා කරන්න.ඔහු හෝ ඇය අතිරේක ඖෂධ ගැනීම පිලිබඳව උපදෙස් දෙනු ඇත.
* රෝම කූප සහ කෙස් පට ශක්තිමත් කර ගැනීමට උණුසුම් තෙල් වර්ගයක් හිස ගල්වා සම්බාහනය කරන්න.
* පෝනිටේල් දැමීම සහ කොණ්ඩය බැඳීමට රබර් පටි පාවිච්චි කිරීමෙන් වළකින්න.හිසකෙස් හැලීම සහ හිස කෙස් ඇදීම වලක්වා ගැනීම සඳහා “ක්ලින්චර්ස්” කොණ්ඩ රඳවන (Crocodile Clips) භාවිතා කරන්න.
*ප්‍රෝටීන් අධික ආහාර, එළවළු සහ පලතුරු අනුභව කරන්න.මෙය හිස කෙස් වර්ධනය සඳහා අනුබල දෙයි.
* හිස පීරීම සඳහා පළල් දැති ඇති පනාවක් පාවිච්චි කිරීමෙන් කෙස් අග පැලීම වළක්වා ගත හැක.
*කොණ්ඩා වියලන සහ කොණ්ඩා දිග හරින උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න.
*ගර්භනීභාවයෙන් පසු හිස කෙස් යථා තත්වයට පත්වීමට යම් කාලයක් ගත වේ.හිස කෙස් තරමක් තුනීව සහ දීප්තියකින් තොරව තිබීම ගැන නොරිස්සුම් ගතියක් නොදක්වන්න.
*මනා කෙස් කලඹක් තබා ගැනීමට ඉහත සඳහන් උපදෙස් සමහරක් පිළිපැදීමට වග බලා ගන්න.

ළදරුවාගේ පළමු වසර තුල අත්‍යවශ්‍ය දේවල් මෙන්න

දරුවාගේ ජීවිතයේ පලමු වසර තුලදී නිතරම ඇඳුම් මාරු කිරීමේ අවශ්‍යතාවය මතු වේ. දරුවාගේ වර්ධන වේගය පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් ඉහල යාම හා නිරන්තරයෙන් මුත්‍රා, මලපහ පිට කිරීමේ සිදුවීම් ඇතිවීම මීට හේතුව ලෙස සඳහන් කල හැක. අද වෙලඳපොලේ තේරීම් ගණනාවක් යටතේ විවිධ විලාසිතාවන්ගෙන් පිරි සිඟිති ඇඳුම් ලබා ගත හැක. මේ නිසා බොහෝ මව්වරු තම සිඟිති දරුවාට ඇදුම් මිලදී ගැනීමට කැමත්තක් දක්වති. නමුත් දරුවා පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් වැඩෙන බැවින් මෙසේ තම සිත්ගත් සියලුම ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරු දෙයක් නොවේ.
පලමු වසර තුලදී, දරුවාට අවශ්‍ය කරන මූලික ඇඳුම් මොනවාද?
පෙර සඳහන් කල පරිදි , ඉපදී වසරක් පිරෙන කාලය තුලදී දරුවා සීඝ්‍ර වර්ධන වේගයක් පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට නිතරම වැඩෙන සිරුරට සරිලන ඇඳුම් ඇන්දවිය යුතු වේ. ඔබ බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි, එකම ප්‍රමාණයේ ඇඳුම් ගණනාවක් මිලදී ගැනීමෙන් වැලකී සිටින්න. කෙසේ වෙතත් අමතර ඇඳුම් වල අවශ්‍යතාවය නිතර පහල වුවත්, තරමක ලොකු ප්‍රමාණයෙන් යුතු ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරුය. තවද බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි එහි මෘදු බව, නිම වී ඇති රෙද්දේ තත්ත්වය (සැහැල්ලු කපු ඇඳුම් වඩාත් සුදුසුය.) පිලිබඳ ඔබ සැලකිලිමත් විය යුතු වේ.

අලුත උපන් දරුවාගේ සම ඉතා මෘදු බවින් යුක්ත වේ. මේ නිසා ඉපදී පලමු මාස කිහිපය තුලදී බිළිඳාට සැහැල්ලු, අලුත් හා පිරිසිදු රෙදිපිළි වලින් නිමවූ ඇඳුම් ඇන්දවිය යුතුය. ඉන්පසු කෙමෙන් කෙමෙන්, ඔබට මදක් පාවිච්චි කල, වෙනත් හිතවත් දරුවකුගේ ඇඳුම් භාවිතා කල හැක. පොලියෙස්ටර් වැනි සින්තටික් තන්තු වලින් නිපදවූ කෘතිම රෙදිපිලි වලින් නිමවූ ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. ඉලාස්ටික් පටි සහිත මේස් හා කලිසම් ඇන්දවීමේදි, එවා සිඟිති සිරුරට තද නොවන සේ ලිහිල් ලෙස තිබේ දැයි පරික්ෂා කරන්න.

නැපී රෙදි මිලදී ගැනීම මීලඟට කල යුතු ප්‍රධානම දෙයකි. පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි,දැන් වෙලඳ පොලේ වෙලඳ නාම ගණනාවක් යටතේ මිලදී ගත හැක. කාර්යබහුල ඔබට මෙය ඉතා සුදුසු විකල්පයක් වුවත්, මිලෙන් අධික විය හැක. මීට හොඳම ක්‍රමය, සැහැල්ලු තුනී රෙදිපිළි වලින් නිපදවූ නැපී රෙදි භාවිතා කිරීමයි. අලුත උපන් බිළිඳාට දිනකට අඩුම තරමේ නැපී රෙදි තිහක් පමන අවශ්‍ය වේ. හදිසි අවස්ථාවකදි අමතර නැපී රෙදි නිවසේ නිතරම තිබේ දැයි වග බලා ගන්න. මේ සමඟම නැපී කටු, නැපී ලයිනර්, වතුරට ඔරොත්තු දෙන කලිසම් මිලදී ගන්න. ජීවානුහරණය කල පිරිසිදුකාරක හා පියරු කුඩු ලබා ගැනීමද අනිවාර්ය වේ.
බිළිඳාට මිලදී ගත යුතු රෙදිපිලි සහ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය දේ සහිත ලැයිස්තුවක් පහත දැක්වේ.
රෙදිපිළි.
රාත්‍රි ඇඳුම් කට්ටල 5ක්.
වෙස්ට් 5ක්.
බිළිඳු පාවහන් (baby booties) හෝ කපු රෙදි වලින් නිමවූ මේස් කුට්ටම් 4ක්.
බිබ් පහක්.
ගෙත්තම් හිස්වස්නයක්. (baby bonnet)
මෘදු බ්ලැන්කෙට්ටුවක් හෝ සළුවක්.
ස්වෙටරයක්, සීතලට අන්දවන වූල් රෙද්දෙන් නිමවූ කාඩිගන් කෝට් එකක්.
ළදරු ඩයපර් ඇතුලු අනෙකුත් දෑ.
පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි.
කපු රෙදි රෝලක්.
බිළිඳු ක්‍රීම්.
පැම්පස් නිසා සමෙහි ඇතිවන උෂ්ණ පලු සඳහා ක්‍රීම්, එඬරු තෙල්, සින්ක් හෝ වැස්ලීන්.
නෑවිම සඳා අවශ්‍ය කරන දෑ.
ස්පන්චියක්.
මුහුන පිසීම සඳහා සැහැල්ලු තුවා.
දිව පිරිසිදු කරන උපකරණයක්.
බිළිඳු දත් බුරුසු තුනක්.
මෘදු කෙඳි සහිත කෙස් බුරුසුවක්.
බිළිඳු නියපොතු කපන කතුරක්.
ඉහත ලැයිස්තුව සම්පූර්ණ කර ගත හොත්, දෙමාපියන්ට කිසිදු බාධාවකින් තොරව තම බිළිඳාගේ ප්‍රසූතිය සඳහා සූදානම් විය හැක.