Home Blog Page 2

දත් එද්දි දරුවන්ට උණ ගැනෙනවා කියන්නේ ඇත්තක්ද?

කිරි සිහින දකින්නට පෙරුම්පුරන සෑම මවකගේම බලාපොරොත්තුව නිරෝගී දරු උපතක්. ඒ කියන්නෙ සියලු අගපසග සම්පූර්ණ දරුවෙක්. එහෙම බලාපොරොත්තු වෙන දරු උපතකට සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම කල ලෑස්ති වෙන්න් බලාපොරොත්තු ගොන්නක් හිත දරාගෙන. ඒ බලාපොරොත්තු මල්පල ගැන්විලා දරුවන් එක්ක ගතකරන ජීවිතයේ ඊලග පියවරයන් වෙන්නෙ දරුවගෙ හැකියාවන් දක්ශතාවන් වගේම ඒවට ඕන අවයව වල වර්ධනය දැක්ම. ඒ කියන්නෙ අම්මා එක්ක හිනා වෙන එක, අම්මා තාත්තා ආච්චි සීයා අදුරන එක, වටපිටාව පිළිබදව අවධානය යොමුකරන එක, මාස 6ක් සම්පූර්ණ වුන ගමන් ආහාර ගන්න පටන් ගන්න එක, ඒ වෙනකොට දරුවන් අම්මා තාත්තා කෑම කන දිහා බලාන ඉන්නවා, අත දික්කරනවා, එහෙම කරලා එයාත් කෑම කන්න සූදානම් වෙනවා. එතකොට අපිත් සූදානම් ඊට. මෙන්න මේ ආහාර පටන් ගන්න කාලෙ එහෙමත් නැත්තම් ආහාර පටන් අරන් ටික දිනකින් ඒ කියන්නෙ මාස 6, 7 වෙනකොට තමයි දරුවගෙ මුල් දත් මෝදු වෙන්නෙ.

මේ දත මෝදුවෙන්න එච්චර කාලයක් ගියාට දත් නිර්මාණය පටන් ගන්නෙ මව් කුස තුල සිටියදීමයි. සංසේචනය වෙච්ච කලලයක් ගර්භාෂයේ තැන්පත් වෙන්නෙ සෛල ගොනුවක් හැටියට. කලලය සති 4 – 6 යනකොට අනෙක් අවයව නිර්මාණය පටන් ගන්නවා. ඒ නිසා මව්කුස තුලදී දත් නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙම නිර්මාණය වෙච්ච දත් මෝදු වෙන්න පටන් ගන්නෙ මාස 6 – 7 දී. එතකොට දරුවා ආහාර පටන් අරන්.

මේ දත් මෝදුවෙන්න කලින් අපිට දකින්නට ලැබෙන දේ තමයි දරුවා හපන්න උත්සහ කරනවා. අහුවෙන හැම දේම කටේ දාගන්න බලනවා. එහෙම වෙන්නෙ දත් මෝදු වෙන්න කිට්ටු වෙනකොට විදුරු මස තුනී වෙනවා. මේ නිසා දරුවට දැනෙන සංවේදනය නිසා විදුරුමස් වල කසන ගතියක්, පුපුරු ගහන ගතියක් වගේ වේදනාවක් දැනෙන්න පුලුවන්. මෙන්න මේ වේදනවා තමයි අපි දකින්නෙ දරුවා හපන්න උත්සහ කරන එකෙන්. අත කටට දානවා, අම්මා කිරි දුන්නම අම්මගෙ තනපුඩු පවා හපන්න ගන්නවා, එහෙම කරන්නෙ ඒ එයාට දැනෙන සංවේදනය හින්දා.

ඒ විතරක් නෙමෙයි සමහර විට කට දෙපැත්තෙන් කෙල වැක්කෙරෙනවා දකින්න පුලුවන්. එහෙම වෙන්නෙ දත් මෝදු වෙද්දි දැනෙන සංවේදනය නිසා දරුවා විදුරුමස් තද කරමින් කරන ක්‍රියාකාරකම් නිසා. තදින් විදුරුමස් තද කරලා ඒ වේදනාව විදගන්නයි උත්සහ කරන්නෙ. මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනෙ.

මේ විදියට වේදනා විදින දරුවගෙ විදුරුමස් ටිකක් තද ගතියෙන් යුක්ත විය හැකියි. විදුරුමස් තුනී වෙලා දත මෝදුවෙන්නෙ විදුරුමස් පලාගෙන. විදුරුමසේ තද ගතිය නිසා මේ ක්‍රියාවලිය සිදුවෙද්දි දරුවට තද වේදනාවක් දැනෙනවා. විදුරුමසින් පමණක් නෙමෙයි මේ වේදනාව දැන්නෙ හක්ක දෙපසිනුත් දැනෙනවා. මේ වේදනවා නිසා දරුවට උණ ගන්න පුලුවන්. මෙහෙම කිව්වට හැම දරුවටම උණ එන්නෙ නෑ. ඒක තීරණය වෙන්නෙ විදුරුමසේ තද ගතිය නිසා ඇතිවන වේදනාව අනුව. දතක් මෝදුවෙද්දි සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යයනය කරාම ඒ දිනවල දරුවා වේදනාවෙන් ඉන්නවනම් උණ ගන්නවනම් දෙමව්පියන් මේ තත්ත්වය තේරුම් ගන්න ඕනෙ. දරුවට උණ 100°C වලට වඩා වැඩි වෙනව නම් පැරසිටමෝල් දෙන්න පුලුවන්. එහෙම දුන්නත් උණ වැඩි වෙනව නම් හෝ වැඩි අගයක් එනම් 100°C වඩා වැඩි වෙනව නම් දරුවා වේදනාවෙන් ඉන්නවා තේරෙනව නම් හොදම දේ වෛද්‍ය උපදෙස් ගැනීම. ඒ වගේම මේ දිනවල දරුවට ටිකක් බුරුලට මලපහ පිටවීමක් වෙන්නත් පුලුවන්. ඒකත් මේ තත්ත්වයට හේතුවක් වෙන්න පුලුවන්. ඒ ශරීර වේදනාවන් නිසා ඇතිවන ක්‍රියාකාරිත්වයක් වගේම නිතර නිතර අතට හසුවෙන දේවල් කටේ දමා ගැනීම නිසා විශබීජ ශරීර ගත වෙලා නිසා වෙන්නත් පුලුවන්. මේ වගේ ලක්ශණ අධ්‍යානය කිරීම හරිම වැදගත්. මොකද ඒක දරුවා ඉන්න අපහසුතාවය තේරුම් ගැනීමට එක් හේතුවක් වෙනවා.

දත් නිර්මාණය කලලයේ සති 4 – 6 දි වගේම මුල්ම දත මෝදුවෙන්නෙ දරුවට මාස 6-7 වගෙ.බොහෝවිට මුලින්ම එන්නෙ කෘන්තක දතක්. ඒක උඩු ඇන්දේ හෝ යටි ඇන්දේ වෙන්න පුලුවන්. හරිම හුරතල් බවක් පෙනෙන හරිම සුන්දර දසුනක් මේක. ඇත්‍තටම දරුවා මේ දත පෙන්නා සිනාසෙද්දි මව්වරුන්ට දැනෙන ප්‍රීතිය ගැන කියන්න වචන නෑ.

මුල් දත මතු වූ පසු ක්‍රමයෙන් කෘන්තක දත් 4ක් රදනක දත් දෙකක් හා චාර්වක දත් 4ක් ලෙසින් එක ඇන්දක දත් 10 ලෙසින් දත් 20 වයස අවුරුදු  2 1/2 දි පමණ දකින්නට පුලුවන්. එහෙම වුනත් දරුවා ගර්භාෂය තුලදී ලද පෝෂණය, පෝෂකාංග උරාගැනීමෙ හැකියාව මත දරුවා‍ගෙන් දරුවාට මේ කාලයන් වෙනස් විය හැකියි. ඒ සදහා විශේසිත වූ හේතු දෙකක් දැක්විය හැකියි.

  • පාරම්පරිකව බලපෑම
  • පෝශණීය ගැටලු

පාරම්පරික ලක්ෂණ නිසා දත් ඒම ප්‍රමාද වෙන්න පුලුවන්. ඒක ඒ දරුවගෙ ආරය වගේම නිසි පරිදි ගර්භණී කාලය තුලදී මවට අවශ්‍ය පෝශණය නොලැබීම නිසාත් විය හැකියි. දත්, නිය ආදී සියල්ල නිර්මාණයට අවශ්‍ය  ප්‍රෝටීන් ආහාර වගේම කැල්සියම් වැනි ලවණ ඒ වගේම ප්‍රෝටීන් හා කැල්සියම් සමග සම්බන්ධ වන විටමින් C, විටමින් D වැනි විටමින් ඌණතා මවට දැඩි ලෙස වී නම් එහි ප්‍රතිපල දරුවාට බලපෑමක් ලෙස දත් ඒම ප්‍රමාද වෙන්න පුලුවන්. මේ නිසා ගර්භනී සමය පුරාවටම මවට අවශ්‍ය පෝෂණය සැපයීම සැමියාගේ මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේද වගකීමක් මෙන්ම එය සමාජයීය වගකීමක්ද වෙනව. ඒ වගේම මේ කාලය තුල මවගේ රුචි අරුචිකම් අනුව පෝශණය පහසුවෙන් ලබාගත හැකි ආහාර පිළිබදව අවශ්‍ය දැනුම මවට, පවුලට ලබාදීම වැදගත් වනවා.

මෙම මාස 6න් 7න් පටන් ගෙන එන දත් අපි හඳුන්වන්නෙ කිරිදත් ලෙසිනුයි. කිරිදත් ස්ථිරවම තියෙන්නෙ නෑ. මේ දත් අවුරුදු 7 දි 8දි  කටෙන් ඉවත් වෙනවා. ඊට පස්සෙ අපිට ස්ථිරවම දත් ලැබෙනවා. ඒ කලින් තිබුණු දත් 20 වෙනුවට නව දත් 32ක්. මේ ස්ථිර  දත් වලින් පළමු දත අවුරුදු 6දී පමණ එනවා වගේම අවුරුදු 9 දී පමණ කිරිදත් ගැලවී ස්ථිර දත් මතුවෙනවා. කිරි දත් ගැලවී ගියද ඒ දත් පවතින කාලය තුලද දන්ත සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් විය යුතුමයි. පළමු දත මතු වූ දා සිටම දත් පිරිසිදු කිරීම පටන් ගත යුතුයි. ඒ දත මතුපිට රැදෙන ආහාර නිසා දත ඉක්මනින් දිරවීමකට ලක්විය හැකි නිසා දත් නිසි වේලාවට දත මතුපිට සිහින් රෙදි කඩකින් පිසදැමීම කල යුතුයි.

දත් කිහිපයක් මතුවූ පසු කුඩා බුරුසුවකට දත් බෙහෙත් යොදා දත් මැදීමත් දරුවා ඊට සහභාගී කර ගැනීමත් කලයුතු වනවා සේම දත් මැදීම හෝ දත් පිරිසිදු කිරීම දරුවාට කරදරයක් නොවන ලෙසට හා එය විනෝදාංශයක් ලෙස සලකා පුරුදු පුහුණු කිරීමත් දරුවන් සඳහා ආදර්ශයක් වන සේ වැඩිහිටියන්ද මේ ක්‍රියාවලියේ යෙදීම වැදගත්. එසේම දරුවා අතට බුරුසුවක් ලබාදීමත් දරුවාට තනියම දත් මැදීමට පුරුද්දක් හා හුරුවක් ඇති කිරීමත් එකසේ වැදගත් වනවා. බුරුසුව දරුවාට හානි නොවන සේ භාවිත කිරීමට උනන්දු කරමින් නිරන්තර ආරක්ෂා සැපයීමත් වැඩිහිටි අප සැමගේම වගකීමක්.

දතක බාහිරයෙන් පිහිටා ඇති එනමලය කිරිදත් වල තුනීවට ඇති අතර ස්ථිර දත්වල ඊට වඩා ඝනව සැකසී ඇත්තෙ ජීවිත කාලයටම දතේ ආරක්ෂාවට වැදගත් හෙයින් සේම කිරිදත් වල මුල් කෙටි හා ඇතුලත විහිදී නැති අතරම ස්ථිර දත්වල මුල් එකිනෙක යටට විහිදී තිබීමත් දතේ ආරක්ෂාකාරී පැවැත්මට බලපැවැත්වෙන ලෙසටයි. එසේ වුවද කිරිදතක් ආරක්ෂා කිරීම වැදගත් වනවා.එසේ වන්නෙ අකාලයේ කිරිදත් දිරීමට ලක්ව  කැඩී ගියහොත් ඒ නිසා හනුවේ විවරයට සිදුවන බලපෑම නිසා ස්ථිර දත් පැමිණීමේදී එහි පිහිටීමේ යම් යම් දෝෂ ඇතිවිය හැකි නිසායි.එසේ වුවද වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුව නිසා ගැලවෙන දත් නැවත සිටුවීමට ද දත්වල පිහිටීම වෙනස් කිරීමට හනුවේ ස්වාභාවය වෙනස් කිරීමට හැකිලෙස වෛද්‍ය විද්‍යාව දියුණුව තිබෙනවා.

කුඩා වියේ සිටම දත් රැක ගත යුත්තේ ඇයි?

දත්, ජීරණ ක්‍රියාවලියට පහසු වනසේ ආහාරය කුඩා කැබලි වලට කැඩීම, ඉරා ගැනීම ආදිය සිදු කරන්නේ දත් වලිනි. එසේ ආහාරය කුඩා කැබලි බවට පත්වී මුඛය තුළ දීම ජීරණ ක්‍රියාවලිය ආරම්භ වනවා සේම  ආහාර මාර්ගය දිගේ එය ගමන් කිරීමටද පහසුව සලසනවා.

දත්වල පිහිටීම අපේ කතන හැකියාව ඇති කරමින් වචන, ශබ්ද උච්චාරනය සදහා ද බලපෑම් එල්ල කරනු ලබනවා.

මුහුනේ ස්වරූපය හා ස්වාභාවය ඇති කිරීම වෙනුවෙන්ද දත්වල පිහිටීම බලපෑමක් එල්ල කරනු ලබනවා. එසේ හෙයින් මුහුණේ ස්වරූපයේ වෙනසක් සිදුකිරීමට අවැසි වූ විට හනුවේ ශල්‍යකර්ම මගින් එය කිරීමට හැකියාව තිබෙනවා.

මෙසේ සලකා බලන කල දරුවෙකු මෙලොව එළිය දැකීමේදී වේදනාවට මුහුණ දෙන්නේ යම් සේද දත් මෝදුවීමේදීද වේදනාකාරි අත්දැකීමකට මුහුණ නෙු ඇත. ශරීර පද්ධති හා සලකා බලන කල වැදගත් අංගයක් ලෙස දත් හා මුඛ සෞඛ්‍යද සැලකිය හැකියි. සෑම රෝහලකටම දන්ත සායනයක්, වාට්ටුවක් පිහිටුවීම මගින් මෙන්ම වෙනම දන්ත රෝහලක් පිහිටුවීම තුලින්ද එය අපට මනාව පැහැදිලි වනවා.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දුව දැන් ටිකක් මහතයි.. බෙල්ලත් කලු වෙලා… මූණේ පිම්පල්ස්… ?????

දුව එන්න එන්නම මහත් වෙනවා වගේ .. කෑම ටිකක් අඩු කරන්න ඕනේ

ඔය හැදෙන වයසට ඔහොම තමයි .. තාම අවුරුදු 13යි. කෑම පාලනය කරන්න පුළුවන්ද? දරුවට ආස කෑමක් බීමක් කන්න බොන්න දෙන්න

දියණියගේ මහත වැඩිවීම ගැන අම්මා කලබල වුවත් තාත්තා දැරුවේ එවැනි අදහසක්. ආච්චි අම්මා පැවසුවේ ගෑනු දරුවෙක් පිරිලා ඉද්දි හරි හැඩයි කියාය.

ඒ අදහස් කෙසේ වෙතත් නව යොවුන් වියේ මුල් අවධියේ සිටි මේ දියණිය ඇය‍ගේ ගෙල, අත් යට, දෙපා අතර සම කලු වීම සහ ඝනකම් වීම ගැන සිටියේ කණස්සල්ලයකිනි. අම්මාගේ ඇයට ලැබුණු උපදෙස වූයේ හොඳින් කුණු අතුල්ලා පිරිසිදු කළ යුතු බවයි. දිනෙන් දින ගත වෙද්දී මුහුණේ කුරුලෑ ඇතිවීම, නිකට ප්‍රදේශයේ රෝම වැඩීම නිසා ඇය මානසිකව ඉතා අසරණ තත්ත්වයකට පත් වූයේ පාසැලේ මිතුරියන්ගේ උසුළු විසුළුවලට ලක් වීමට සිදු වූ නිසාමය. අවසානයේ ඇය තමාට චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හමු විය යුතු බව මවට පැවසීය. 

වෛද්‍යවරිය ඇයගේ උස සහ බර මැන බලා ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කර ඇය අධි බර තත්ත්වයේ සිටින බවත් ඇගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, කුරුලෑ, ගෙල කළු වීම සහ උඩු තොලේ රෝම යන සියල්ලම බර මට්ටම සමග බැඳී ඇති වව පැවසුවා. පියා දියවැඩියා රෝගය සහිත අයෙක් නිසා ඇයගේද රුධිර පරීක්ෂණ කිපයක් සිදු කළා. ඒවායින් තහවුරු වූයේ ඇ පූර්ව දියවැඩියා තත්ත්වයේ සිටින බවයි. ඊට අමතරව අක්මාවේ තෙල් තැන්පත් වීමක් ඇති බවට ද සැකයක් වෛද්‍යවරයාට පැණ නැගුණ නිසා ඒ සඳහා ඇයට ස්කෑන් පරීක්ෂණයකට යොමු කෙරුණා. ඇය පෝෂණවේදියෙකු වෙත යොමු කෙරුණේ  දැනට ලබාදුන් ප්‍රතිකාර වලට අමතරව බර පාලනය කරගැනීමටත්, වඩා ක්‍රියාශීලී ජීවන රටාවකට යොමු වීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහායි.

අධි බරට එකම හේතුව ආරය හෝ වැඩියෙන් කෑම නොවන අතර සමහරවිට හෝමෝන ක්‍රියාකාරිත්වයේ ගැටළුවක් එයට හේතුවිය හැකියි. 

අධි බර සමගින් ඔබ පසුපස එන කරදර

අද වන විට ආහාර පුරුදු වල වෙනස්කම්, ආර්ථික තත්ත්වය සහ ක්‍රියාශීලී බවින් අඩු ජීවන රටාව යන හේතු මත අධි බර හෙවත් ස්ථුල භාවය වැඩිහිටියන් මෙන්ම දරුවන් අතරත් එකසේ දැකිය හැකියි. ස්ථුල බවත් සමග දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, හෘද රෝග, ආඝාතය වැනි තත්ත්වයන් අත්වැල් බැඳගෙන අප වෙත එයි. 

  • අධි බර සහිත කාන්තාවන් සහ තරුණියන් අතර මාසික ඔසප් වීම අක්‍රමවත් වීම හා මදසරුබව ඇතිකරන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් නම් තත්ත්වය සුලබව දක්නට ලැබෙනවා.
  • අක්මාවේ තෙල් තැන්පත් වීම හෙවත් ෆැටි ලිවර් රෝගයද අධිබර සමග ඇති විය හැකියි
  • ස්ථුල අයකුගේ සමට යටින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඝන තෙල් තට්ටුවක් පවතින අතර මෙය නිසාම සම වඩාත් ඝන වීම සහ අවපැහැවීම දැකිය හැකියි. මෙය වඩාත් පැහැදිලිව දැකිය හැක්කේ ගෙල සහ කිහිලි ඉකිලි වැනි සිරුරේ නැමෙන ස්ථාන වලයි. සමහරවිට ඇඟිලිවල පිටුපස තද කළු පැහැති ඝනවීම්ද මෙම තත්ත්වයේදී දැකිය හැකියි.
  • වැඩිහිටි අයගේ නම් මුහුණේ නළල සහ කම්මුල් පෙදෙසේ තද කළු පැහැයක් ඇතිවීම දැකිය හැකියි. එවැනි විටක සිරුරේ පැහැයට වඩා මුහුණ  අවපැහැ ගැන්වී තිබීම මානසික ආතතියට පවා හේතුවක් විය හැකියි.
  • අධික ලෙස කුරුලෑ ඇතිවීම සහ උඩුතොල සහ නිකට ප්‍රදේශයේ ඝන රෝම ඇතිවීම මෙම තත්ත්වයේදී සුලබයි.
  • සිරුර මහත් වීමත් සමග සම ඇදීම සිදුවන නිසා සමෙහි ඇදීම් ලකුණු (තරුණ දරුවන් ඉක්මණින් උසින් වැඩිවීම නිසාද මෙවැනි ඇදීම් ලකුණු ඇතිවිය හැකියි) ඇතිවිය හැකියි. 

ඔබේ දරුවාට හෝ ඔබට මෙවැනි ගැටලු ඇත්නම් කළ යුත්තේ මොනවාද?

  • වෛද්‍යවරයෙකු හමුවන්න
  • අධි බර පාලනය කර ගන්න (වෛද්‍ය උපදෙස් මත තමා මසක් තුළ අඩු කරගත යුතු බර ප්‍රමාණය අඩු කරන වැඩපිළිවෙලක් අනුව බර පාලනයකට යොමුවිය යුතුයි)
  • යම් හෝමෝන ගැටළුවක් හඳුනා ගතහොත් එයට වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්න.
  • හෝමෝන ගැටළුවක් නොමැති අයකුට වුවත් රුධිර සීනි මට්ටම, ලිපිඩ මට්ටම සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර ගැනීම වැදගත්. මෙම පරීක්ෂාවන් දරුවන් සඳහාත් සිදු කළ යුතු වනවා.
  • මෙම තත්ත්වයේදී බෝ නොවන රෝග සඳහා අවදානමක් ඇති නිසාත් බර පාලනය කරගත යුතු නිසාත් සමබල ආහාරයක් ගැනීම ඉතා වැදගත්. ආහාරයේ අඩංගු කාබොහයිඩ්‍රේට ප්‍රමාණය අඩු කිරීම සහ එළවළු පලතුරු සහ පලා වර්ග වැඩියෙන් ආහාරයට එක් කර ගන්න
  • සීනි, ලුණු සහ තෙල් භාවිතය හැකිතාක් සීමා කරන්න.
  • ක්‍රියාශීලී දිවි පෙවෙතකට හුරු වෙන්න
  • අධිබර අයගේ සම අවපැහැ ගැනීමක් හෝ ඝනවීමක් සිදුව ඇත්නම් සම ඇතිල්ලීම කිසිසේත් නොකළ යුත්තේ එයින් සම තවත් ඝන විය හැකි නිසයි‍. ඒ සදහා අවශ්‍ය ආලේපන වෛද්‍ය උපදෙස් මත ලබාගන්න
  • සුදු වීමට භාවිත කරන “නයිට් ක්‍රීම්” වැනි ආලේපන භාවිතයෙන් වළකින්න
  • අධි බර ඇති තරුණ තරුණියන්ට කුරුලෑ ඇතිවීම සුලබ වන අතර එම කුරුලෑ ප්‍රතිකාර මගින් සුව වීමද තරමක් ප්‍රමාද විය හැකියි. මෙවැනි අයට බර පාලනය සහ හෝමෝන ගැටළුව පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ නොමැතිව කුරුලෑ සුව කිරීම අපහසු විය හැකියි. මෙහිදී සමහරවිට හෝමෝන සමතුලිත කිරීම සඳහා ප්‍රොජෙස්ටරෝන් සහිත උපත් පාලන පෙති ලබාදීමට සිදුවිය හැකි අතර තරුණ දියණියන්ට වෛද්‍ය උපදෙස් මත මෙම ඖෂධ ලබා දීමට බිය විය යුතු නැහැ.
  • උඩු තොලේ සහ නිකටේ ඝන රෝම ඇති වීම මෙවැනි තත්ත්වයකදී ඇතිවිය හැකි තවත් ගැටළුවක් වන අතරම එම රෝම තාවකාලිකව ඉවත් කිරීමට වඩාත් සුදුසු ක්‍රමය වන්නේ ත්‍රෙඩින් ක්‍රමයයි. රෝම ඉවත් කිරීමට භාවිත කරන ක්‍රීම් වර්ග මුහුණේ ආලේප කිරීම නුසුදුසුය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි රේසරයක් භාවිතයෙන් රෝම ඉවත් කිරීම ඒවා වඩාත් ඝනව වැඩීමට හේතු නොවන අතර සෞඛ්‍යාරක්ෂිත ලෙස එසේ කිරීමට වගබලා ගත යුතුයි. මේ සියලුම ක්‍රම තාවකාලික වන අතර ස්ථිරව රෝම ඉවත් කිරීමට නම් ලේසර් වැනි ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වනවා. නමුත් බර පාලනය සහ හෝමෝන සමතුලිතතාව නොමැතිව ලේසර් ප්‍රතිකාර වලට යොමුවුවහොත් නැවත රෝම වැඩීම සිදුවිය හැකියි. අභ්‍යන්තර රෝග තත්ත්ව  පාලනය නො වීම නිසා රෝම නැවත ඇතිවීම මෙයට හේතුවයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට 


                

අහන අහන හැමෝටම උණ, කැස්ස, හෙබිරිස්සාව… මේ මොකද මේ

වෙනස් වන කාලගුණික තත්ත්වයන් සේම පරිසරය හා බද්ධව විවිධ රෝග හිස ඔසවන බව අපි හැමෝම දන්නා කරුණක්. ඒ වගේම ඒ ඒ කාලවලදී එම රෝග නිසා අපි හැමෝටම පීඩා විදින්නට සිදුවීමත්, ඒ හේතූන් නිසා කරණ කියන දේවල් වෙනස් කරන්නටත් ඒ සදහා අවශ්‍ය ලෙස හැඩගැහෙන්නත් අපිට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ දිනවල මුහුණ දෙන්න සිද්ධ වෙලා තියන උණ රෝගයත් ඒ වගේමයි.

උණ කියන්නෙ රෝගයක රෝග ලක්ශණයක් එහෙමත් නැත්තම් වෛරසයක් හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා මතුවන රෝග ලක්ෂණයක්. ඒක නිසා උනක් හැදුනම හිතාගන්න බැහැ මොකක් නිසාද උණ ඇතිවුනෙ කියලා. බොහෝ වෛරස් ආසදන වලදී උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හතිය වගේ තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඒ වගේ ලක්ෂණ ඇතුව හෝ නැතුවත් උණ ඇති වෙන්න පුලුවන්. බැක්ටීරියා ආසාදනයකදී සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස නැතිව ඇඟපත රිදීම, ඇඟ ශීතල කිරීම ආදී ලක්ෂණ ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම තුවාල පැසවීමකදී මීට අමතරව තුවලය වටා ඇති වසා ගැටිති ප්‍රදාහයට පත්වීම නිසා කුද්දෙටි ඉදිමීම දකින්න පුලුවන්. ඒ වගේම වෙනත් ඕනෑම තැනකදී සිදුවන විශබීජ ශරීර ගතවීම නිසා ඒවා පැසවීමට ලක්වීම මගින් උණ ඇතුවෙන්න පුලුවන්. ඒ බොහෝවිට අනතුරු නිසා ඇතිවන තුවාල, මුත්‍රා ආසාදන, ශල්‍ය කර්ම තුවාල ආදී ලෙසින් සිදුවිය හැකියි.

එහෙත් මෑතකදී ඇතිවූ උණ රෝගය සීඝ්‍රව පැතිර යන්නට වුණා. එය වෛරස් ආසාදනයක් එනම් ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක්. පරිසරයේ ඇති වු තද උණුසුම්, ශීත දේශගුණයත් මෙම රෝගී තත්ත්වය පැතිරෙන්නට හේතුවක්. පසුගිය වසර වලදී තදබල ලෙස පැතිර ගිය වෛරස් ආසාදනය එනම් කොවිඩ් ආසාදනට සඳහාත් පාරිසරික හා දේශගුණිකව තිබුණු ලක්ශණ බලපෑමක් වූ බව අපි දන්නවා. ඒ ශීත දේශගුණික රටවල එය සීඝ්‍රව පැතිර ගියා සේම ඒ වනවිට අපෙ රටේ පැවති වියළි දේශගුණික තත්ත්වය එය පැතිරීම සෙමෙන් සිදුවීමට හේතුවක් වූ බවයි.

වර්තමානයේ පැතිර යන මේ වෛරස් ආසාදනයද ආසාදනයක මූලික ලක්ශණ පෙන්වමින් පැතිරෙන උණ තාවයක් බවද පැහැදිලිය. මෙය  ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන ආසාධන තත්ත්වයකි.

රෝගයේ අනෙකුත් ලක්ෂණ 

  • නාසයෙන් සොටු දියර ගැලීම/සෙම්ප්‍රතිශ්‍යාව
  • උගුරු කැසීම/වේදනා දීම
  • කැස්ස
  • ශ්වසනය අපහසුතාවය/ හතිය 
  • හිසේ බරගතිය/වේදනවා
  • ඇස් දැවිල්ල/කැසීම
  • මස්පිඩු වේදනාව සමගින් ඇති වන හන්දි වේදනාව
  • කෑම අරුචිය
  • වමනය/පාචනය 
  • අවසානයේදී විජලනයට පත් වීමට ද ඉඩ ඇත.

සාමාන්‍ය උණ තත්ත්වයකදී පැරසිටමෝල් ලබාදීම පමණක් කලහැකි වුවද දින තුනකට වඩා උණ පවතින විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වෙනවා.

  • නාසයෙන් හොටු දියර ගැලීම, කිවිසුම් යාම වැනි තත්ත්වයන් වලදී සෙම තත්ත්වය වැඩිවන හෙයින් සැලකිලිමත් විය යුතුයි. දිගින් දිගටම පැවතීම නිසා ශ්වසන මාර්ගය අවහිර වීම මගින් හතිය ඇතිවනවා. එවන් විටකදි හතිය සදහා ඉන්හේලර් ලබාගැනිම හෝ වෛද්‍ය ප්‍රතිකාර පරිදි නෙබියුලයිස් කිරීම කලයුතු වෙනවා.
  • උගුරු කැසීම හා රිදීම පවතින විට ගිලීමෙ අපහසුව උගුරේ වේදනාව හෝ දැවිල්ල ඇති වීම නිසා උගුරේ ආසාදන තත්ත්වයන් සදහා මද උණුසුම් ලුණු මිශ්‍ර වතුරෙන් උගුර සේදීම වඩාත් සුදුසුයි.
  • උණුසුම් දියර සහිත ආහාර ලබාගැනීමද වැදගත් වනවා.
  • සෑම විටම ශීතල සුලගින් ආරක්ශා වීමත් වැදගත් වනවා.
  • තද හිරු රශ්මිය නිසාද හතිය වැඩිවිය හැකි බැවින් එලිමහනට යනවිට ඇග හොදින් ආවරණය වන සේ ඇදුම් ඇදීමද,වැදගත් වන සේම ශීතල හෝ වැසිසහිත පරිසරයට නිරාවරණය නොවීමටද වගබලාගත යුතුවනවා.
  • ආහාර රුචිය අඩුවන හෙයින් රුචිකත්වය පරිදි සුදුසු ආහාර ලබාගැනීම, ලබාගන්නා ආහාර උණුසුම් විටද ලවණ හොදින් ලැබෙන සේ සකස් කරගත් කැද, පලතුරු යුශ වැනි දියර ආහාර ලබාගැනීම තුලින් ශරීරයෙන් පිටවන ලවණ මෙන්ම ජලය ප්‍රමාණයද පාලනය කර ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය.
  • ආහාර රුචියට අනුව සකස් කරනවා මෙන්ම පහසුවෙන් දිරවිය හැකි සේ හුමාලයෙන් තැම්බීම වැනි ක්‍රම වලින් සකසන ලද ආහාර ලබාදීම වඩාත් පහසුවක් වනවා. ආහාරයේ පෝශණීය අගයද සැලකිල්ලට ගැනීම වැදගත් වන්නෙ රෝගී වූ අවස්ථාවේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවන නිසයි.
  • පාචනය,වමනය වැනි තත්ත්වයන් ඇතිවේ නම් ශරීරයෙන් පිටවන තරල ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් පිටතින් ලබාදීම වැදගත් වෙන හෙයින් ඒ සදහා බැදි හාල් කැද, සුප් වැනි ආහාර ලබාදීමත් ඒවා ලබාදීමට අපහසුනම් රෝහල් ගතකර සේලයින් මගින් ඖෂධ හා ශරීරය සජලනය කිරීම සදහා අවශ්‍ය තරල ප්‍රමාණය ලබාදිය යුතුවනවා.
  • වෛරස් උණ බිදිති ආසාදනයක් හෙයින් නාසයෙන් හෝ මුඛයෙන්  පිටවන බිදිති මගින් මෙම රෝගය වැලදීම බොහෝවිට සිදුවන හෙයින් රෝග ලක්ශණ සහිත රෝගීන්ගෙන් ඈත්ව සිටීම/මුඛ ආවරණ පැලදීම/අත් ලේන්සු භාවිතය වැදගත් වෙනවා.
  • නිවෙස් තුල හෝ කණ්ඩායම් ලෙස හැසිරෙන අවස්ථාවලදී  එකට ආහාර පාන ගන්නා විටදී වෛරස් ආසාදන ඉක්මනින් සිදුවනවා. එසේ හෙයින් Covid ආසාදන වලදී මෙන්ම නිරතුරු දෑත් සේදීමට නිරතුර mask පැලදීමෙන්, රංචු ගැසී ආහාර ගැනීම හෝ එක්ව කටයුතු කරන අවස්ථාවලදී දුරස්ථභාවය පවත්වා ගැනීම වැදගත් වනවා. 
  • විශේෂයෙන්ම පෙර පාසල් ගා ප්‍රාථමික පන්තිවල දරුවන් නිරතුරුව සෑම දෙයක්ම අතපත ගෑමට හා බැලීමෙ පුරුද්දක් ඇති හෙයින් මෙවන් රෝගවලට නිරන්තරයෙන් ගොදුරු වීමට හේතුවක් වනවා. එසේ හෙයින් පන්ති කාමර තුල රෝග ලක්ශණ පෙන්වන දරුවන් සිටී නම් ගුරුවරුන් දෙමව්පියන් දැනුවත් කර එම දරුවන් හොදින් සුවවන තුරු පෙර පාසලට හෝ පාසලට කැදවා ගෙන ඒම වළක්වන ලෙසින්  උපදෙස් ලබාදීම කළ යුතු වනවා. එසේම දෙමව්පියන්ගේද යුතුකම වන්නෙ අසනීප තත්ත්වයන් පෙන්වන මුල් අවස්ථාවේදී දරුවා පෙර පාසලට හෝ පාසලට රැගෙන යාමෙන් වැලකී සිටීමයි. එය දරුවාගෙ රෝගී තත්ත්වය වැඩිවීමට මෙන්ම අන්දරුවන්ටද එය වැළදීමට හේතුවක් වන නිසයි.
  • රෝගී වූ විට ශරීරයේ දුර්වලතාවයන් පවතින හෙයින් රෝගය සුව වීම සදහා ඖෂධ, පෝෂ්‍යදායී ආහාර මෙන්ම ශරීරයට විවේකයද අවශ්‍ය වනවා. එසේ හෙයින් ඇඟ වෙහෙසෙන ක්‍රීඩාවල නොයෙදී විවේකීව සිටීමට අවශ්‍ය පසුබිම සකසා දීමද රෝගය ඉක්මනින් සුවවීමට හේතුව වනවා.
  • බොහෝ විට මෙම රෝගී තත්ත්වයන් ඉක්මනින් ඇතිවිය හැකි කණ්ඩායම් වන්නේ
  • ගර්භනී මව්වරු
  • කුඩා දරුවන්
  • වැඩිහිටියන්
  • නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්.
  • එසේ හෙයින් මෙවන් රෝග බෝවන කාලවලදී සෙනග එක්රොක්වන ස්ථාන උත්සව අවස්ථාවන් සදහා බෝවිය හැකි කාණ්ඩයේ අය සහභාගී නොවීම වැදගත් වනවා.
  • බෝවීම වළක්වාගැනීමට උත්සහ ගැනීම වැදගත්වනවා මෙන්ම යම් හෙයකින් මෙම වෛරස් ආසාදනයට ගොදුරු වුවහොත් හිතුමතේ ප්‍රතිකාර නොකර තම පවුලෙ වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වෙනවා. 
  • හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමද නොකළ යුතුවනවා සේම වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ඖෂධ නිසි පරිදි  නිසි ප්‍රමාණයට ලබාගැනීමද වැදගත් වෙනවා.
  • ඖෂධ මෙන්ම විවේකීව සිටීම පෝෂ්‍යදායී ලෙස රුචිකත්වය ඇති කරන ආහාර ලබාගැනීමද අන් අයට බෝනොවන සේ සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමද වැදගත් වෙනවා.

සමහර අවස්ථාවලදී පවතින දේශගුණික තත්ත්වයන් නිසා ශාරීරික ලක්ශණ වලට අමතරව සමේ දද  ඇතිවීම, කැසීම, තුවාල වීම් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳව දැනුවත් වී සිටීම වැදගත් වනවා. එසේ වන්නෙ බොහෝ විට වියළි කාළගුණය ඇති වීම, සුළං මගින් විසිරෙන් දූවිලි අංශු සම මත රැදීම නිසායි. මේ නිසා සම මත දුවිලි අංශු රැදී නොසිටින ලෙසට ඇදුම් ඇදීම මෙන්ම දූවිලි පිරිසිදු කර ගැනීමද වැදගත් වෙනවා.

එමෙන්ම මෙම දූවිලි අංශු පරිසරය තුල මෙන්ම නිවස තුලද පැවතිය හැකි නිසා සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන ගමන්ම ඇඳ රෙදි හා කොට්ට උර ආදිය සෝදා පිරිසිදු කර ගැනීමත් කොට්ට ද පිරිසදුව තබා ගැනීමත් වැදගත්. එසේම දොර ජනේල් රෙදි නිතර පිරිසිදු කිරීම මගින් දූවිලි රැදීම වළක්වාගත හැකියි.

නිදන් ගත රෝගවලින් පෙලෙන අය සදහා ලබාගන්න ඖෂධද නිවැරදි ලෙස පාවිච්චි කිරීම තුලින් ඔවුන්ගේ ප්‍රතිශක්තිය හොදින් පවත්වාගත හැකිවනවා.

එසේම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා නියුමෝනිය තත්ත්වයට පත්විය හැකි හෙයින් හැකිතරම් රෝගය බෝවීමෙන් වැළකී සිටීමට අවශ්‍ය පිලිවෙත් හදුනා ගෙන හොදින් ප්‍රගුණ කිරීමත්, යම් හෙයකින් බෝවූයෙ නම් ශරීරයට විවේකයක් ලබාදීමත්, වෛද්‍ය උපදෙස් පරිදි නිවැරදි ඖශධ ප්‍රතිකාර ලබාගැනීමත් කලයුතු වනවා. එසේම රෝගී වූ විට අන් අයට බෝවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමත් රෝගියෙක්ගේම වගකීම වනවා.

කොවිඩ් රෝගය සඳහා බියවූයේ යම්සේද, සූදානම් වූයේ කෙසේද සිදුකරන ලද පිළිවෙත් මොනවාද  නිරන්තරයෙන් සිහියට ලබාගැනීම  වෛරස් උනෙන් වැලකීමටත් හේතුවක් වනවා. කොවිඩ් රෝගය සදහා වූ රෝග ලක්ෂණම මේ වෛරස් උණේදීත් ඇතිවන අතර එම රෝගය ව්‍යාප්ත වන ආකාරයෙන්ම ව්‍යාප්ත වීමද සිදු වේ. එසේම යම් රෝගියෙක් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වුවද ඒ අයුරින්ම සිදුවිය හැකිය. කොවිඩ් සමයේ අනුගමනය කල ක්‍රියාපිලිවෙත මේ  සඳහා ද වලංගු වනවා. 

තවදමේ දිනවල පවතින අධික රස්නයද බොහෝ ලෙඩ රෝග වලට හේතුවිය හැකිවනවා. අධික රස්නය නිසා ඇඟ වේලීම හේතුවෙන් ශරීරයේ ජල ප්‍රමාණය මෙන්ම ලවන ප්‍රමාණය අඩුවීම මගින් ස්නායු ක්‍රියාකාරිත්වයට කරනු ලබන බලපෑම හේතුවෙන් රෝගී වීම සිදුවෙනවා සේම සම මත හිරු රශ්මිය මගින් ඇතිකරන බලපෑම හේතුවෙන් සමේ නිරෝගී භාවයද නැතිව යනවා.

විශේෂයෙන්ම නාගරීකරණයේදී කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි දෙනෙකු සිටීමත් නිවාස තුල අනවශ්‍ය ලෙස බඩු මුට්ටු ගොඩගසා තිබීමත් වාතාශ්‍රය අඩුවීමට මෙන්ම දූවිලි රැදීමට මෙය හේතුවක් වනවා. එවිට නිවාස ඇතුලට උෂ්ණත්වය ඉහළ යනවා. එමෙන්ම නාගරීකරණයේදී සියලු මං මාවත් මෙන්ම නිවාස තුල මිදුල් පවා කොන්ක්‍රීට් නිමවුම් යෙදී තිබීම මෙන්ම පරිසරයේ තිබෙන ගස් කොලන් ප්‍රමාණය අඩුවීමද පරිසර උශ්ණත්වය බොහෝ සෙයින් ඉහළ යාමට හේතුවී තිබෙනවා.

මෙසේ පවතින තත්ත්වය තේරුම්ගෙන රෝග බෝ වීමට ඇති ඉඩ ප්‍රස්ථා හදුනාගෙන ඒවායින් වැළකීමට අවශ්‍ය මූලික පියවර ගැනීම තුළින් රෝගය බෝවීම තුලින් ශාරීරිකව මානසිකව හා සමාජයීයව  ඇතිවන දුර්වලතා මෙන්ම ආර්ථිකමය වශයෙන් සිදුවන දුර්වලතාවයන්ද තේරුම්ගෙන කටයුතු කිරීම තුලින් ඔබට යහපත් හෙටක් නිර්මාණය වනු නොඅනුමානය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

ක්‍රීඩාවල නිරත ඔබේ දරුවාගේ පෝෂණය ගැන ඔබ සැලකිලිමත්ද?

අම්මා අද ටෙනිස් ප්‍රැක්ටිස්

කලින් කියන්න එපැයි ළමයෝ.. ම කෑම හැදුවෙත් නැහැ

කමක් නෑ කමක් නෑ.. මම කැන්ටින් එකෙන් මොනවා හරි ගන්නම්.. සල්ලි දෙන්නකෝ..

ඔය අනම් මනම් කාලා පුළ්‍රවන්ද දරුවෝ සෙල්ලම් කරන්න. 

කමක් නෑ අම්මා රෑට ගෙදර ඇවිත් කනවනේ

පුතා උදේ කෑම වේලවත් හරියට ගන්‍නේ නැහැ. ඉන්ටර්වල් එකට ගෙනියන දේත් එහෙමම ගේනවා. කඩෙන් කන්නම තමයි හිත. මෙහෙම ගිහින් මේ ළමයා අසනිප උනොත් දක්ෂකම්වලින් ප්‍රයෝජනයක ගන්න වෙන්නේ නෑ. කෑම ගැන එයාට ටිකක් තදින් ඉන්න ඕනේ.

නිමල්ගේ අම්මා නිමල් කෑම කෙරේ දක්වන අකමැත්ත ගැන එහෙම හිතුව නිසාම ඇය විශේෂයෙන්ම ක්‍රීඩාවල නිරත වෙන දරුවන්ට ලබා දිය යුතු ආහාර පිළිබඳව සොයා බැලුවා. ඒ සොයා බැලීම්වලින් දැනුවත් වුණු දේවල් හිතුවම ඇයට ඇති වු‍ණේ දරුවා ගැන කණගාටුවක්. දරුවන් කොයිතරම් එපා කිව්වත් අපි අපේ වගකීමක් සහ යුතුකමක් ලෙස එයාලගේ පෝෂණය ගැන තදින් ක්‍රියාත්මක විය යුතු බව නිමල්ගේ අම්මා සිතුවා.  

ක්‍රීඩාව දරුවෙකුගේ ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ ක්‍රීඩාව දරුවෙකුගේ වර්ධනයට මෙන්ම මානසික සමබරතාවය පවත්වා ගැනීමටත් උපකාර වන නිසාමය. එවගේම කණ්ඩායම් හැඟීම්. එක්ව වැඩ කිරීමේ කුසලතාවය, නායකත්වය වැනි බොහෝ කුසලතා ක්‍රීඩාව තුළින් දරුවෙක් තුළ වර්ධනය වන බව කිව යුතුමය. 

එසේම අපේ දරුවන්ට ක්‍රීඩාවෙන් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නම් එයට උපකාරීවන පෝෂණ රටාවක් ලබාදීම ඉතාම වැදගත් වන අතරම නැතහොත් වර්ධනය වීම වෙනුවට මාංශපේශී වෙහෙසට පත්වීම, පටක වලට අනතුරු වීම ආදි තත්ත්වවලට මුහුණදීමට සිදු විය හැක. ක්‍රීඩාවක නියැලෙන ඕනෑම දරුවෙකුට එයට අවශ්‍ය පෝශණය ලැබෙනවාදැයි බැලිය යුතුය.එසේම ක්‍රීඩාවෙ ඉහළ යාමට පුහුණුවට අමතරව පෝශණය ඉතා වැදගත්ය.

ක්‍රීඩා සදහා සහභාගී වීමට පෙර දරුවෙකුට හිමි විය යුතු පෝෂණය

විජලනය හෝ ඕනෑවට වඩා වතුර බීමද ක්‍රීඩාවෙ කාර්යක්ෂමතාව අඩුකළ හැක.

ක්‍රීඩාවකට/තරගයකට පැය 2 – 3 පෙර.

  • වතුර 400ml – 600ml වත් පානයට ලබා දිය යුතුය.
  • මාංශපේශී වලට ශක්තිය ලබා දෙන, ආමාශ අපහසුතා වළක්වන, පහසුවෙන් දිරවන කාබෝහයිඩ්‍රේට් බහුල, තන්තු සහ මේදය අවම, මධ්‍යම ප්‍රමාණයට ප්‍රෝටීන අන්තර්ගත ආහාර වේලක් දරුවාට ලබාදිය යුතුය.

උදාහරණ ලෙස

  • නිවුඩ්ඩ අඩු කුඩා බත් ඇට ඇති හාලක් සමග මස්/මාලු සමග පහසුවෙන් දිරවන එළවළු කිහිපයක් ගත හැක.
  • පැස්ටා බිත්තර සමග මාලු/මස්
  • ටොස්ට් කරන ලද පාන් සමග බිත්තර/මස්/මාළු.
  • හොඳ ආහාරවේලක් ගැනීමෙන් දිර වීමට වෙලාව ඇති අතරම එසේ ලබා දිය නොහැකි වුවහොත් පැය 1 – 2 ප්‍රථම පාන් ටෝස්ට්, කෙසෙල් ගෙඩි, අඩු මේද යෝගට් හෝ රොටි වැනි ආහාරයක් ලබා දෙන්න

ඔබේ දරුවා යම් ක්‍රීඩා තරගයකට සහභාගී වන අවස්ථාවකදී නුපුරුදු ආහාරපාන ලබා නොදී දරුවාට සුපුරුදු ආහාර පාන ලබාදීමට වගබලා ගන්න. එසේ නොවන්නට ඇතැම් අවස්ථාවලදී උදරය ආශ්‍රිත ඇති විය හැකි යම් යම් ආබාධ ඇති වීමට හැකියාව ඇති අතරම එය එවැනි තත්ත්ව මගහැරීමට වැදගත් වේ. බැදපු අල පෙති, අයිස් ක්‍රීම්, චොකලට්, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සොසේජස්, හොට් ඩෝග් වැනි තෙල් හෝ මේද බහුල ආහාර ක්‍රීඩාවකට පෙර නුසුදුසුය.

ක්‍රීඩා සඳහා සහභාගී වන අතරතුර දරුවෙකුට ලබාදිය යුතු දේ

සැම පැයකටම වරක් ජීවනී, දොඩම් වැනි ශක්තිය දෙන කාබෝහයිඩ්‍රේට් සහ ලවණ වලින් යුතුවිය යුතුය. පැයකට වඩා ක්‍රීඩාව පුහුණු වනවා නම් හෝ ක්‍රීඩා තරග ඇත්නම් ක්‍රීඩකයා පැයකට පසුව කාබෝහයිඩ්‍රේට සහිත (30 – 60g) කෙටි ආහාරයක් (ආනමාලු කෙසෙල් ගෙඩියක්, වියළි මිදි මේස හැඳි දෙකක්)  ලබාගත යුතුය.

ක්‍රීඩා සඳහා සහභාගී වීමෙන් පසුව දරුවෙකුට ලබාදිය යුතු දේ

ක්‍රීඩාවේ නිරත පැය 1/2 ක් පමණ ගත වන විට දරුවාට කාබෝහයිඩ්‍රේට සහ ප්‍රෝටීන සහිත ආහාරයක් ලබා ගැනීමෙන් (Crab loading) මාංශ පේශීවලින් වැය වුණු  පෝණෂ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඉතාම වැදගත් වනු ඇත. එසේ නැතහොත් වෙහෙස වූ දරුවාගේ මාංශ පේශීන් විඩාවට පත්වීම සිදුවේ. ඒ සඳහා මාළු/මස් සමග පාන්පෙති දෙකක් ලබා දීම වුවද සෑහේ. එසේම ශරීරය හොඳින් සජලනය කිරීම ද වැදගත් බව සිහි තබාගන්න‍. ඒ සදහා 250ml – 500ml ජල ප්‍රමාණයක් ලබා ගැනීමට දරුවාට උපදෙස් දෙන්න. 

දරුවෙකුගේ සජලන තත්ත්වය පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට මුත්‍රාවල පැහැය වැදගත් වේ‍. මුත්‍රා ලා කහ හෝ පැහැදිලි පැහැයක් එන තෙක් ජලය පානය කිරීම සුදුසුය.

මේ ආකාරයට දරුවෙක් ක්‍රීඩා පුහුණු වීම්වල පෙර. පුහුණු වීම් අතර මැද සහ පුහුණු වීම් අවසාන වු පසුව මනා පෝෂණයක් ලබා දීම ඉතාම වැදගත් වනු ඇත. නිවැරදි පුහුණුව ,හොඳින් සජලනය වී තිබීම සහ නිසි පෝසණය හිමි වීම නිසා අ‍පේ දරුවන්ට කාර්යක්ෂම මෙන්ම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිවාන් සේ ඉදිරියට යෑමට ඇති ප්‍රවණතාවය ඉතා ඉහළය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය මනෝජි ගමගේ
පෝෂණ විශේෂඥ
රිජ්වේ ආර්‍යා ළම රෝහල

සෙප්සීස්

අපේ ශරීරයට ආගන්තුව ඇතුලු වෙන වෛරස, බැක්ටීරියා, දිලීර එහෙම නැත්නම් පුස් වැනි ආගන්තුක ආසාත්මික අංශුවක් අපේ සිරුරට ඇතුලු වූ  විට  ඊට එරෙහිව සටන් කර  එම රෝගවලින් ආරක්ෂා කිරීමේ හැකියාව අපේ ශරීරයට තිබෙනවා. මේ සඳහා රුධිරයේ තිබෙන සුදු රුධිර සෛල වගේම ප්‍රතිදේහ කියන රසායනික ද්‍රව්‍යත් මුලික වෙනවා. මේ විදිහට බෝවන රෝග වලින් අපව ආරක්ෂා කිරීමේ ඇති හැකියාව ප්‍රතිශක්තිය නමින් හැඳින්වෙනවා.

නමුත්…සමහර පුද්ගලයන්ට මේ අන්දමින් සිරුරට ඇතුලු වෙන ආගන්තුක බැක්ටීරියා හෝ වෛරස වෙනුවෙන් ස්වභාවික ප්‍රතිශක්තියක්  නැහැ. ඒ නිසාම ඉහතින් සඳහන් කළ ආගන්තුක ආසාත්මිකතා අංශු ඔවුන්ගේ ශරීරයේ ගුණනය වෙමින් ප්‍රතික්‍රියා දැක්වීමට පටන් ගන්නවා. අපි ඒ තත්වය සෙප්සිස් ” (sepsis) යනුවෙන් හැඳින්වෙනවා. ඒ නිසා අපට ප්‍රතිශ්‍යාව ඇති කරන රයිනෝ වෛරසය , එසේත් නැත්නම් පුස් හෝ දිලීර වැනි ආසාදනයක් පවා රෝග අවදානමක් ඇති පුද්ගලයෙකුගේ ශරීරය තුලදී ප්‍රතික්‍රියා කරමින් දරුණු සංකුලතාවයන් ඇති කිරීමට තරම් දරුණු වීමට පුළුවනි.

පෙනහළු, මුත්‍රා මාර්ගය, සම  සහ ආහාර ජීරණ මාර්ග පද්ධතිය ආශ්‍රිතව ආසාත්මිකතාවයන් නිසා සෙප්සීස් ඇති වීමට පුළුවනි. සෙප්සිස් තත්වයේදී රෝගියාගේ සිරුරට ඇතුලු වෙන රෝග කාරකයන් ගුණනය වීම නිසා පටක හානි වී ඉන්ද්‍රියන් අකර්මන්‍ය වීම නිසා මරණය පවා ඇති වෙන්න පුළුවනි.නමුත් සෑම රෝගියෙකුටමත් එසේ වෙන්නේ නැහැ.

ඒත් අවදානම් කණ්ඩායමක් ඉන්නවා

  • දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින්
  • වයස අවුරුදු 65 සහ අවුරුද්දට වඩා අඩු දරුවන්
  • නිදන්ගත රෝග ( දියවැඩියාව, පෙනහළු ආබාධ, පිළිකා, වකුගඩු රෝග )
  • අසාධ්‍ය තත්වයෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්
  • ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගත් පුද්ගලයින්- අපි සෑම රෝගයක් වෙුනවෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නේ නැහැ. නමුත් ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයෙකුගේ ශරීරයේදී ආසාත්මිකතා කාරකයන් ගුණනය වෙන නිසා ඉතා පහසුවෙන් ඔවුන්ගේ රෝග තත්වයන් දරුණු වීමට පුළුවනි. මේ නිසා වයස්ගත පුද්ගලයන් වෙනුවෙන් බටහිර රටවල නිව්මෝනියාව වැනි රෝග තත්වයන් සඳහාත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනවා.

ප්‍රතිකාර ලබන අවස්ථාවලදීත් සෙප්සිස් ඇති වෙන්න පුළුවනි…

සමහර අවස්ථාවලදී රෝගියා ප්‍රතිකාර ලබන්නේ සෙප්සිස් රෝග තත්වය සඳහා නොවේ. එහෙත් ප්‍රතිකාර ලබන රෝග තත්වයේ අතුරු ප්‍රතිඵලයක් විදිහට සෙප්සීස් රෝගයේ ගොදුරක් වෙන අවස්ථාවන්ද තිබෙනවා. උදාහරණයක් වහයෙන් කිවහොත් දියවැඩියාව, පිළිකා, ඉන්ද්‍රියන් බද්ධ කිරීම, වැනි රෝග සඳහා ප්‍රතිකාර ලබන විට ප්‍රතිශක්තිය දුර්වල කරනවා. ඒ වගේම ඉන්ද්‍රියන් බද්ධ කිරීමේදී ආගන්තුක ඉන්ද්‍රිය ශරීරය පිලිගැනීමට සඳහා ප්‍රතිශක්තිය දුර්වල කරනවා. එවැනි අවස්ථාවන්හිදීත් ඉතා පහසුවෙන් සෙප්සීස් තත්වය ඇති වෙනවා.

ඇතැම් අවස්ථාවලදී රෝග ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ප්‍රතිජීවක (steroids) පිළිකා ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ඖෂධ  ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ නිසාත් ආසාදන තත්වයන් ඇති වීම.

ජීවිත බේරා ගැනීම සඳහා වූ ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ශල්‍ය කර්ම, මුත්‍රා කැතීටියර් (urinary catheters) සහ බට වර්ග මාර්ගයෙන්ද සෙප්සීස් ආසාදන ඇති වීමට ඉඩ තිබෙනවා. 

පිළිකා රෝගීන්ට සෙප්සීස් තත්වය ඇති වීමට වැඩි අවදානමක් තිබෙනවාද…?

පිළිකා රෝග ප්‍රතිකාරවලදී ලබා දෙන රසායනික චිකිත්සාව  (chemotherapy ) ප්‍රතිකාර නිසා සෙප්සිස් තත්වයට පත් වීමේ වැඩි අවදානමක් තිබෙනවා. පිළිකා සෛල මර්ධනය කිරීමේදී අපේ සිරුරේ සුදු රුධිරාණු  අඩු  වෙනවා. එයින් වැදගත්ම සුදු රුධිරාණු වර්ගය වන්නේ නියුට්රොපිල් (Neutrophil  ) වර්ගයයි.ඒ නිසා රෝගියාගේ ප්‍රතිශක්තිය දුර්වල වීමත් සමග සෙප්සීස් රෝග තත්වයන්ට ගොදුරු වේ.

ඔබත් neutropenia අවදානමක සිටිනවාද…?

ඔබේ සුදු රුධිරාණු ගිණුම පරීක්ෂාවකින් වෛද්‍යවරයාට ඔබ බැමඑරදචැබස් තත්වයේ පසුවෙන බව හඳුනා ගැනීමට පුළුවනි.

ඔබට විෂබීජ ඇතුලු වන්නේ කාගෙන්ද?

  • ඔබගේම සිරුරෙන්
  • වෙනත් රෝගීන්ගෙන්
  • සෞඛ්‍ය සේවකයන්
  • රෝගීන් බැලීමට එන අමුත්තන් 
  • නිවසේ සාමාජිකයන්ගෙන්

බොහො විට රෝහල්වල රෝගින් බැලීමට අමුත්තන් සීමා කළ විට අපි මැසවිලි නගනවා. ඒ වගේම කොවිඩ් කාලයේදී සෞඛ්‍ය සේවකයන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත්  ලබා දීමේදී අපි චෝදනා කළා. නමුත් සෞඛ්‍ය සේවකයා සැබැවින්ම නිරෝගි විය යුතුයි. ඔවුන් විෂබීජවලට ඔරොත්තු  දෙන හැකියාවක් ඇති ශක්තිමත් පුද්ගලයෙක් බව ඇත්ත…..නමුත් ඔවුන්ට එන්නත් ලබා දීමෙන් සහ මුව ආවරණ පැළඳීමෙන් රෝගීන් බේරා ගත හැක. ඒ වගේම රෝගින් බලන කාලවේලාවේදී වාට්ටුව පිරෙන්න අමුත්තන් එන විට රෝගියාටත් සතුටක්. එහෙත් නිරෝගි පුද්ගලයෙකුගේ සිරුරේ ඇති විෂබීජ යම් විදිහකින් ප්‍රතිකාර ලබන රෝගියාගේ සිරුරට ඇතුලු වුනොත් ඔහු ප්‍රතිකාර ලබන රෝග තත්වයටත් වඩා විෂබීජ ආසාදනය වී ඇති වෙන සෙප්සීස් රෝගයේ සංකුලතාවයන් වඩාත් දරුණු වීමට පුළුවනි.

සෙප්සිස් සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද…?

විෂබීජවලට  පියඹන්න බැහැ. ඒ නිසා වෛරසයක් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන අවස්ථා කීපයක් තිබෙනවා.

  • පුද්ගලයාගෙන් පුද්ගලයාට
  • පරිසරයෙන්
  • වෛද්‍ය උපාංඟ  

සමහර අවස්ථාවලදී විෂබීජ රැඳුන පෘෂ්ඨයක් ස්පර්ශ කිරීමෙන් හෝ පසුව විෂබීජ අවදානම් පුද්ගලයෙකුට ඇස්, නාසය හෝ මුඛය ඔස්සේ ශරීරගත වීමට හැකියාව තිබෙනවා. එවැනි අවස්ථාවකදී අවදානම් පුද්ගලයෙකු ඉතා පහසුවෙන් උණසන්නිපාතය , කොළරාව  (Typhoid, cholera  වැනි රෝග ත්වයන්ට පත් වීමට හැකියාවක් තිබෙනවා.

කැස්ස සහ කිවිසුම මගින් පිටවෙන බිඳිති නිසා – විෂබීජ අංශු වායුගෝලයේ වැඩි දුරක් සහ කාලයක් නොනැසී පවතිනවා. කැස්ස, කිවිසුම හෝ කතාව මගින් වායුගෝලයට එක්වුන මෙම බිඳිති අපි ආශ්වාස කිරීමේදී ශරීරගත වීමට පුළුවනි. ක්ෂය රෝගය මේ සඳහා උදාහරණ වේ .කොවිඩ් කාලයේදී සමාජ දුරස්ථබව පව පවත්වා ගැනීමට දැඩි ලෙසින් උපදෙස් ලබා දුන්නේ මේ නිසා බැව් ඔබට දැන් පැහැදිලි ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන සම සිදුරු කරන ඉදිකටු, තියුණු උපකරණ නිසා රුධිරයෙන් සම්ප්‍රේෂණය HIV, HBV, HCV වැනි රෝග කාරකයන් නිසා පුද්ගලයන් ආසාදිත බවට පත් වෙන්න හැකියාව තිබෙනවා.

සෙප්සිස් රෝග ලක්ෂණ

  • හෘද වේගය වැඩි වීම
  • උණ, වෙව්ලීම සහ තද සීතල
  • සිහිය වෙනස් වීම/ ව්‍යාකුල බව
  • වේගයෙන් හුස්ම ගැනීම
  • අධික දහඩිය සහ සිරුර තෙත් වීම

සෙප්සීස් බව තහවුරු කර ගැනීම

සෙප්සීස් හඳුනා ගැනීම සඳහා විවිධ පරීක්ෂණ සිදු කරනවා.

  • රුධිර පරීක්ෂණ සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා
  • එක්ස්රේ, ස්කෑන් වාර්තා
  • බැක්ටීරියා සහ කොවිඩ් ඉන්ෆුලුවන්සා වෛරස ආසාදන තත්වයන් හඳාුනා ගැනීම සඳහා ඡක්‍ඍ වැනි පරීක්ෂණ ආසාදිත බව සඳහා පරීක්ෂණ
  • ආසාදන තත්වය සහ ඉන්ද්‍රියන් ආශ්‍රිත සංකුලතාවයන් හඳුනා ගැනීම

සෙප්සීස් සඳහා වූ ප්‍රතිකාර

සෙප්සීස් රෝග තත්වයට පත් රෝගියෙකු වෙනුවෙන් ඉතාම ඉක්මනින් ප්‍රතිකාර ලබා දීමග අවශ්‍ය වෙනවා. සමහර විට දැඩි සත්කාර අංශයක ප්‍රතිකාර සඳහා පවා යොමු කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව රෝගියාගේ ආසාදන තත්වය පිළිබඳව දැඩි සේ නිරීක්ෂනය කරමින් ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සිදු කරනවා. රුධිර පීඩන තත්වය, ශ්වසන පහසුකම් ලබා දීම, රුධිර මටට්ම පරීක්ෂා කිරීම , ඔක්සිජන් ලබා දීම මගින් අතුරු අවදානම් තත්වයන්ද පාලනය කිරීම සිදු වෙනවා.

සෙප්සිස් සඳහා වැදගත්ම දෙය ප්‍රතිජීවක හැකි ඉක්මනින් ලබා දීමයි.නමුත් සමහර අවස්ථාවලදී රෝගියා ප්‍රතිජීවක වෙනුවෙන් ප්‍රතිරෝධීතාවයක් දැක්වීමට පුළුවනි. සමහර විට ඒවා සමේ ඇති වෙන කුෂ්ට, ඔක්කාරය, වමනය සහ පාචනය වැනි සුලු අපහසුතාවයන් විය හැකියි. ඊට අමතරව ප්‍රතිජීවක  නිසා  C. difficile  වැනි ජීවිතයට තර්ජනයක් ඇති වෙන තත්වයන් දක්වා සංකුලතාවයන් වර්ධනය වීමටත් පුළුවනි.

නමුත් ප්‍රතිජීවක අවශ්‍ය වූ විට එයින් ලැබෙන ප්‍රතිලාභය ඖෂධය නිසා ඇති වෙන අතුරු ආබාධ වගේම ප්‍රතිරෝධයට වඩා වැදගත්. ඒ නිසාම වෛද්‍ය වෘත්තිකයන් විසින් රෝගියා ප්‍රතිජීවක නිසා ප්‍රතිරෝධක තත්වයකට පත් වුවොත් ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් සූදානමින් සිටිනවා.

සෙප්සීස් රෝග තත්වයට අවදානමක් ඇති පුද්ගලයෙක්  ආරක්ෂා වන්නේ කෙසේද..?

  • නිතරම අත් සෝදන්න. මුව ආවරණ පළඳින්න ඔබ ඇසුරේ සිටින අයටත් එසේ කිරීමට දැණුවත් කරන්න.
  • අවදානම් සහිත පුද්ගලයන් සෙනග රැස් වෙන ස්ථානවලින් දුරස්ව සිටින්න.
  • අවශ්‍ය ප්‍රතිශක්තිකරන එන්නත් ලබා ගන්න.
  • සමේ තෙතමනය සඳහා ආලේපන භාවිතා කරන්න.
  • දත් මැදීමට මාදු කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතා කරන්න
  • ආහාර, පිඟාන, කෝප්පය, සහ වෙනත් පුද්ගලික පරිහරණය කරන උපකරණ වෙන් කර පාවිච්චි කරන්න.
  • අමු එළවලු සහ පළතුරු හොඳින් සෝදා ගන්න. මස් සහ බිත්තර හොඳින් පිස ගෙන ආහාරයට ගන්න.
  • සතුන්ගේ මළ මුත්‍රා සිරුරට ස්පර්ශ වීම වලක්වා ගන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රුධිර පිළිකා පිලිබඳ විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන


                

දතක් ගලවන්න පෙර සිතන්න දෙයක්

දතක් ගලවනවා කියන විටත් යම් සැකයක් බියක් අපේ හිතේ ඇති වෙනවා. නමුත් අද දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාෙව් පවතින දියුනුව නිසා දතක් ගලවා ඉවත් කරනවාට වඩා වෙනත් විකල්ප තිබෙනවා. දත් සිටවීම, ස්නායු පිරවීම , බ්‍රිජ් ක්‍රමයට දත් සිටුවීම වැනි විකල්ප තිබෙනවා. සමහර විට රෝගියා මෙවැනි විකල්ප වෙත නොයා දත ගලවා දැමීම ට ප්‍රමුඛතාවය ලබා දීමට පුළුවනි. ඊට අමතරව දතක් ගලවා ඉවත් කිරීමට නොහැකි අවස්ථාවන් කීපයක් මේ විදිහට පෙන්වා දෙන්න පුළුවනි.

  • දත ස්නායු පිරවීම වැනි වෙනත් විකල්ප මගින් සකස් කිරීමට නොහැකි සේ දිරාපත් වීම
  • විකලාංඟ දත් සකස් කිරීමට
  • දත සමග සම්බන්ධ අස්ථි රෝග
  • දතට සම්බන්ධ අස්ථිය ආසාදනය වුන විට
  • මුඛ පිළිකා වෙනුවෙන් වූ කිරණ ප්‍රතිකාර ලබා දීම
  • ඥාන දත මතු නොවී අවහිර වීම
  • අනතුරකින් පසුව සිදු වෙන හකු ඇට පිපිරීම
  • මුහුණේ පෙනුම ලස්සන කිරීමට

දතක් ගැලවීමට තීරණය කිරීමෙන් පසුව…

දන්ත ශල්‍ය වෛද්‍යවරයා විසින් දත ගැලවීමට තීරණය කලොත් ඔබ ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු පියවර කීපයක් තිබෙනවා.

  • දත ආසාදනය වීම නිසා වේදනාව අදිකව තිබේ නම් ගැලවීමට පෙරාතුව වෛද්‍යවරයාගෙන් වේදනා නාශක සහ ප්‍රතිජීවක ලබා ගන්න.
  • ඒ වගේම ඔබ වෙනත් රෝග තත්වයකින් පසු වෙනවා නම් ( හදවත් රෝග, රුධිරය සම්බන්ධ රෝග, රුමැටික් ආතරයිටිස්, දියවැඩියාව  ) ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කරන්න. රුධිරය කැටි නොගැසීම සම්බන්ධයෙන් මේ වෙන විට ලබා ගන්නා ඇස්ප්‍රින් වැනි ඹෟෂධ ගැනත් වෛද්‍යවරයා දැණුවත් කරන්න.
  • ඔබේ සායනික වාර්තා සියල්ල රැගෙන යන්න.
  • දුම්පානයෙන් සහ මද්‍යාසාර  භාවිතයෙන් වලකින්න.
  • දත් හොඳින් මැද මුඛය උණුසුම් ලුණු ද්‍රාවණයකින් සෝදන්න

දත ගැලවීමෙන් පසුව රෝගියාගේ පැත්තෙන් කළ යුතු පිළිවෙත් …

දත මුඛයෙන් ගලවා ඉවත් කිරීමෙන් පසුව මෙම ක්‍රියාවලිය අවසාන නැත. අපරීක්සාකාරීව කටයුතු කලොත් එයින් රෝගියා දැඩි අපහසුතාවයට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දතක් ගැලවීමට පෙරාතුව වගේම දත ගලවා ඉවත් කිරීමෙන් පසුවත් රෝගියාගේ පාර්ශවයෙන් යම් දායකත්වයක් අවශ්‍ය වෙනවා. පැයක් පමණ වෙන තෙක් මෙම ස්ථානයේ තබා ඇති පුළුන් වැස්ම ඉවත් කරන්න එපා. රුධිරය කැටි වී එම සිදුර තුළින් ලේ වහනය වීම නැවතෙන තෙක් ප්‍රෙව්සම් වන්න.

රුධිරය කැටි ගැසීම වලක්වන කාණ්ඩයේ ඖෂධ දැනට ලබා ගන්නාව නම් ඒවා නැවත ලබා ගත යුතු කාලය වෛද්‍යවරයාගෙන් විමසා දැන ගන්න. එවැනි ඖෂධ ඔබේ හිතුමතයට නොබී සිටීම මෙන්ම ලබා ගැනීම සිදු කළ යුතු නැහැ.

  • පුළුන් වැස්ම ඉවත් කිරීමෙන් පසුව තවත් රුධිරය ගලන බවක් දැනෙනවා නම් වෙනත් පුලුන් වැස්මක් තබා ගන්න.
  • උණුසුම් සහ කැබලි සහිත සැපීමට අපහසු ආහාර නොගන්න.
  • දත ගැලවූ පැත්තෙන් දින කීපයක් යන තෙක් ආහාර සැපීම නොකළ යුතුයි.
  • පැය දොළහක් පමණ ගත වුනාම ලුණු මිශ්‍ර ද්‍රාවණයකින් මුව සෝදන්න.
  • දතක් ගැලවීමෙන් පසු යම් යම් අතුරු ආබාධ ඇති වෙන්නත් පුලුවනි…
  • අධික ලෙස ලේ ගලනවා නම් අව්වට නිරාවරනය නොවන්න.වෙහෙසකර කටයුතු වලින් දුරස් වන්න.
  • තුවාල ස්ථානයට පිටතින් අයිස් බෑගයක් තබන්න
  • එයිනුත් සුවයක් නොමැති නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමු වෙන්න.

කම්මුල ප්‍රෙද්ශයේ ඉදිමුම…

දත ගැලවීමෙන් පසුව දින දෙක තුනක් වෙන තෙක් කම්මුල ප්‍රෙද්හයේ ඉදිමුම තිබෙන්න පුළුවනි. එවැනි අවස්ථාවකදී අයිස් බෑගයකින් කම්මුල තවන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොමැති නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමු වෙන්න.

ගර්භණී මවක් නම්…

ගර්භණී මවකගේ මුඛ සෞඛ්‍ය පිලිබඳව දැන් වැඩි අවධානයක් දක්වනවා. ගැබිණි සමයේ මවගේ දිරා ගිය දත්වලින් දරුවා බිහි වූ පසුව බැක්ටීරියා සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙන නිසා දරු කළලයට හත් වන මාසය පිරීමට පෙරාතුව ගැබිණි මවගේ දිරාගිය දත් ගලවා ඉවත් කිරීමටබාධාවක් නැහැ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරී සමන්ත කුමාර කිතලවආරච්චි 

නියෝජ්‍ය අධ්‍යක්ෂ මුඛ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය

ශකුවි දන්ත ශල්‍යාගාරය

කුරුණෑගල

සංස්කෘතිය/සදාචාරය ගැන සිතමින් නිවැරදි ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වෙන්න එපා

පාසලක් තුළ ගුරුවරියක් අවුරුදු 14 – 15 වගේ ළමයින්ට ඉතාම නිවැරදි ආකාරයට ලිංගික අධ්‍යාපනය ජීවි විද්‍යාත්මකව පැහැදිලි කරනවා. එහෙම උගන්නන අවස්ථාවක ඒ පන්තියෙ දැරියකට අසනීප තත්ත්වයක් ඇතිවෙලා ඒ දැරිය වැසිකිළියට යනවා. ඒ ගියාම ඒ දැරිය දැනගන්නවා ඒ දැරියට සනීපාරක්ෂක තුවායක අවශ්‍යතාව ඇති වෙලා කියලා. ඇයට දැන් එළියට එන්න බැහැ මේ තත්ත්වය නිසා. ඇය ජනේලයෙන් බලනවා උපකාර ගන්න කව්රුත් ඉන්නවද කියලා. මෙහෙම ටික වෙලාවක් යද්දි අඩි ශබ්දයක් ඇහෙනවා, ඒත් ඒ, ඒ වයසෙම පිරිමි දරුවෙක්. ඇයට උපකාර ඉල්ලන්න බැහැ. පිරිමි දරුවෙක් නිසා ඇය පැකිළෙනවා.

ගැහැනු දරුවා : කරුණාකරලා ගැහැනු ළමයෙක්ට එන්න කියන්න පුළුවන්ද?

මද ‍වේලාවකට පසු……

පිරිමි දරුවා :  ආ මෙන්න 

පිරිමි දරුවා දැරියගෙ අවශ්‍යතාවය හදුනා ගෙන පාසලේ ප්‍රතිකාර මධ්‍යස්තානයෙන් ඇයට සනීපාරක්ෂක තුවායක් ගෙනත් දෙනවා.

පිටතට පැමිණෙන ගැහැනු දරුවා ලැජ්ජාවෙන් : ස්තූතියි

පිරිමි දරුවා : ගැහැණු ළමයින්ට පාලනය කරගන්න බැරි අවස්ථා එන බව පිරිමි ළමයි දැනගෙන ඉන්න එක තමයි හොදම. ඔයාගෙ uniform එකේ පිටිපස්සෙ පැල්ලමක් තියනවා මේ මගේ කමිසයෙන් වහගෙන යන්න.

මෙය සම්මානයට පත්‍ර වූ ඉන්දියානු කෙටි චිත්‍රපටයක ඇතුළත් වූ කොටසකි.

ගැහැනු දරුවාගේ ගවුමේ පිටුපස පැල්ලමක් ඇති බව දකින පිරිමි දරුවා ඇයට ඔහුගේ කමිසය ගලවා දෙන මේ පිරිමි දරුවාට ඒ බුද්ධිය, අනෙකා ගැන වටහා ගැනීමේ හැකියාව ලැබුණෙ පාසලෙන් ලබාදුන් නිවැරදි ලිංගික අධ්‍යාපනය නිසයි. මේ පිරිමි දරුවා ගැහැණු දරුවෙක්ගෙ ඔසප් චක්‍රය අතිශයින්ම ජීවිවිද්‍යාත්මක කාරණයක් බව දැන සිටියේ ඒ නිසයි. ඒත් ඒ පිරිමි දරුවා දැනගෙන හිටියා තමන් ඒ අධ්‍යාපනය තුලින් ලැබූ හික්මීම සමාජය තුල නැති බව. ගැහැනු දරුවාගේ ඇඳුමේ පැල්ලම වසා ගැනීමට ඔහුගේ කමිසය ගලවා දුන්නේ ඒ නිසයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය ඇයි කියා දැනුවත් වෙන්නට එය ඔබට කදිම උදාහරණයක් බව කිව යුතුය.

ලිංගික අධ්‍යාපන සංකල්පය අවශ්‍යමද?

ඇල්බට් අයින්ස්ටයින් නම් වූ මුළු ලෝකයම දන්න විද්‍යාඥයා ලිංගික අධ්‍යාපනය යන සංකල්පය ගැන කතා කළේ “Regarding sex education no secret” ලෙසයි. එනම් ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේදී හා ඉගෙනීමේදී පැහැදිලි කිරීමට නොහැකි කිසිම අවස්ථාවක් තිබිය නොහැකි බවයි. ඒ සංකල්පය බොහොම විවෘතව ඉගෙන ගැනීමටත් ඉගැන්වීමටත් හැකියාවක් තිබිය යුතුය යන්න ඔහුගේ අදහසයි. 

ඔබ මෙන්ම මාත් මේ ලෝකයට ජනිත වෙන්නේ ලිංගිකත්වය මුල්කරගෙන නම් මේ ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ ඒ තුළ නම් ඉදිරියට බිහිවන එහෙම නැත්තම් අපේ ලෝකය ඉදිරියට ගෙනියන දරුවන් බිහිවන්නේ ඒ තුළින් නම් එහි සැගවිය යුතු කාරණා තිබිය හැකිද?

බොහෝ රටවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මතුපිටින් ඉගැන්වීම, පාසල් අධ්‍යාපනයට අවශ්‍ය  නොවනවා යැයි ඉවත් කිරීමට සූදානම් වන තත්ත්වයන් අද වන විට දැකගන්නට ලැ‍බෙනවා. ඒ වගේම මේ දේවල් උගන්වන එකට ඉගෙනගන්න එකට විරුද්ධ පිරිසක් අපේ සමාජය තුළ සිටියත් ලිංගික අධ්‍යාපනය යනු කුමක්ද යන්න හරිහැටි අවබෝධ කරගතහොත් ඒ පිරිස එයට විරුද්ධ වන්නේ නැති බව විශ්වාසයි. නොඑසේ නම් දරුවෙක්ට එය අවබෝධ කරගැනීමට සිදුවන්නේ කවදා හෝ තම ජීවන අත්දැකීමෙන්ම විය හැකියි.  

ලිංගික අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට පුද්ගලයාට දැනුම ලබාදීමයි. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන්න ඇති බිය, පැකිලීමට මූලික හේතුව වන්නේ මේ ලිංගිකත්වය මැජික් එකක් ලෙස සිතීම නිසයි. එය පරම්පරාවෙන් පරම්පරාවට ඒ ආකාරයෙන්ම ගමන් කරනවා. නමුත් අද වන විට ඒ අදහස ඉවත් කරගැනීමට කාලය එළැමී තිබෙන බව වැඩිහිටියන් ලෙස අපි අවබෝධ කරගත යුතුමයි.

ලිංගික අධ්‍යාපනය තුල උගන්වන කරුණු අතර

  • පුද්ගලයෙකුගේ ලිංගික ක්‍රියාකාරිත්වය සිදුවන්නේ කෙසේද?
  • පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම සිදුවෙන්නේ කෙසේද?
  • සාමාන්‍ය / අසාමාන්‍ය ලිංගික හැසිරීමක් යනු කුමක්ද?
  • ලිංගිකත්වය තුල ඇති ශාරීරික/මානසික සමාජීය ක්‍රියාවලිය
  • ලිංගික අක්‍රමිකතා
  • ලිංගික රෝග
  • ලිංගික අපචාර යනාදී තොරතුරු රැසක් දරුවන්ට අවබෝධ කරවීමට උත්සාහ ගන්නා අතරම ඒ කරුණු අපේ දරුවන් අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කාරණා බව අමතක නොකළ යුතුයි.

අපේ ලාංකික සමාජය තුල පවතින සංස්කෘතියෙන් එන මාපිය දූදරු සම්බන්ධය දෙස බැලූ විට ඇතැම් මව්පියන් දරුවන් සමග මේ මාතෘකාව පිළිබඳව කතා කිරීමට පැකිලෙනවා. ඒත් අපි අපේ දරුවන්ව නිවස තුළදීම දැනුවත් කිරීම වැදගත් වන්නේ වැරදි ක්‍රම හරහා දරුවා ඒ පිළිබඳව දැනුවත් වීමට යාමේදී එහි අවදානමක් පවතින නිසයි. එය නිවස තුළදී ඔබට වටහා දීම අපහසු නම් අඩුම තරමේ පාසැල් විෂය නිර්දේශය තුළ මෙය දරුවන්ට ඉගැන්වීමේදී විරෝධය දැක්වීමෙන් වැලකීමට වගබලාගන්න. 

ලිංගික අධ්‍යාපන සංකල්පය පාසැල් විෂය නිර්දේශය තුළ විද්‍යාව හා සෞඛ්‍ය අධ්‍යාපනය යන විෂයන්ට ඇතුළත් කොට තිබෙනවා. එය ධනාත්මක ලක්ෂණයක් වන අතරම බාධක මැද හෝ යම් කිසි සීමාවක් තුළ ඒ අධ්‍යාපනය ලබා දුන්නත් එහි යම් යම් අඩු පාඩු පවතින බව කිව යුතුයි. එම සීමාවන්ට හේතු වන්නේ පෙර සඳහන් කළ සංස්කෘතිය ගැටලු, ඇතැම් ආගමික මතවාද හා විශ්වාසයන්, පාරිසරික හේතු වැනි කරුණු නිසා විය හැකියි.

ඇතැම් විට ඒ කරුණු ඇති වීමට හේතු කාරනා වන්නේ මව්පියන් වන ඔබම විය හැකියි. නමුත් මව්පියන් ලෙස ඔබ සිහිතබා ගත යුතු වන්නේ ඒ අවහිර කිරීම තුළ මතු දිනක එහි විපාක අත්දකින්නේ ඔබේම දරුවා විය හැකි බවයි. අන්න ඒ නිසාම අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කළ යුත්තක් පමණක් නොව එය නිවැරදි  ආකාරයෙන්ම දරුවන්ට ලබාදීමට ඇති බාධා හඳුනා ගැනීමත් ඉතා වැදගත් වනු ඇත. 1999 කයිරෝ නුවර පැවති සාකච්ඡාවකදී ලිංගික අධ්‍යාපනය මිනිසුන්ගේ අයිතියක් ලෙස සලකන්න තීරණය කොට ඇති අතරම එහිදී යහපත් ලිංගික සෞඛ්‍යකයට ප්‍රවේශ වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව අයිතියක් බවට පත්කල යුතු බව සඳහන් වී තිබුණා. අපි ජ්‍යාත්‍යන්තර වශයෙන් අයිතීන් ගැන කතා කරත් ඒවා අපිට ආදේශ කරගන්න උත්සහ කරත් ප්‍රායෝගික තලයේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී පසුබෑමට ලක් වෙනවා. 

පාසැල් සිසුන් වෙනුවෙන් සැකසුණු ලිංගික අධ්‍යාපනය පිළිබඳ ඇතුළත් පොත හඳුන්වා දීමේදී විශාල ලෙස විරෝධය දැක්වූවා. අපිට අපේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට සිදුව ඇත්තේ එවැනි වටපිටාවක් තුළ වීම ඛේදනීයයි.  දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිමට සිදුව ඇත්තේ මෙවැනි විරෝධයන් මධ්‍යයේ සිටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පුද්ගලයෙක් පරිපූර්ණ ලිංගික තෘප්තියකට පැමිණෙන්නෙ යහපත් ලිංගික සම්බන්ධතාවලින් පමණක්ය යන බව වසර ගණනාවක් පුරා  විශාල වශයෙන් සාකච්ඡා කළ කරුණක් වූවා. මනා  ලිංගික තෘප්තියකින් සිටින පුද්ගලයෙක් සමාජයට හොද පෞරුෂයකින් හා තාර්කික හැකියා වලින් යුක්තව පිවිසෙනවා. පෞරුෂය හා තාර්කික හැකියාව 21වන සියවසේ  පුද්ගලයෙකුට තිබිය යුතු එක් කුසලතාවක් පලස හැඳින්විය හැකියි. ලිංගික තෘප්තිමත් පුද්ග‍ලයෙකු වීමට පදනම නිවැරදි ලිංගික අධ්‍යාපනයයි.

ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලිංගික තෘප්තිය ගැන පමණක් නොවෙයි අතෘප්තිමත් පුද්ගලයන් මගින් සමාජයට ඇති වන අහිතකර බලපෑම ගැනත් කතා කරනවා. වද හිංසාව, බාධා කිරීම්, ළමා අපචාර, කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ මේ සියල්ල සිදුවෙන්නෙ ලිංගිකව අතෘප්තිමත් පුද්ගලයන් හරහා බව එහිදි සාකච්ඡා කෙරුණා. එයට හේතු වන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් නොවීම බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා යහපත් ලිංගික සම්බන්ධතා යනු කුමක්ද කියාවත් එවැනි පුද්ගලයන් නොදනී. 

ලිංගික අධ්‍යාපනය තුළින් ඉගැන්වෙන්නේ මොනවාද කියා ඔබ දැනුවත්ද?

බොහෝ අය සිතා සිටින පරිදි ලිංගික අධ්‍යාපනය තුළින් ඉගැන්වෙන්නේ ලිංගික ක්‍රියාවලිය එසේත් නැති නම් අඹුසැමි සබඳතාවය පිළිබඳවයි. නමුත් ලිංගික අධ්‍යාපනය නම් වූ විෂය පතය තුළ ඉතා වැදගත් බොහොමයක් කරුණු ඇතුළත් වෙනවා. එසේ සිතනවා නම් ලිංගික තෘප්තිය කියන කරුණු බොහෝ ඈතින් ඇති බව කිව යුතුමය.  වැඩිහිටි ඔබේ පාසැල් සමයේ ඩෙස් බංකු යටින් එහා මෙහා ගිය මල්පත්තර හරහා ඔබ ලබා ගත් ලිංගික දැනුම ඔබේ දරුවනුත් ඒ ආකාරයෙන්ම ලබා ගනී යැයි ඔබ සිතනවා නම් එය අවසනාවකි. මන්ද ඒ හරහා නිවැරදි ලිංගික අධ්‍යාපනය හිමි නොවන නිසාය. ඔබ එවැනි අධ්‍යාපනයක් ඔබේ දරුවා ලබා ගනී යැයි සිතා සිටින්නේ නම් එය දරුවාට අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රථිපල හා සමාන ප්‍රථිපල ඔබටත් අත්කර දෙන තරමේ බරපතල කාරණාවක් බව කිව යුතුමය. 

සැබෑ ලිංගික අධ්‍යාපනයක් ලැබූ දරුවෙක් නිසි වයසේදී නිසි සබඳතාවලට යොමු වීමට පෙළඹෙන අතරම ගැටලු නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමටත් අනවශ්‍ය දේ නිවැරදි ලෙස ප්‍රතික්ෂේප කිරීමටත් දැනුවත් වෙන අතරම හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන වෙනස්කම් වැනි දේ පවා පීඩාවකින් තොරව ඒ සියල්ල පොදු සාමාන්‍ය දේවල් බව හඳුනා කළමනාකරණය කරගැනීමට සමත් වේ. නිවැරදි ලිංගික අධ්‍යාපනය තුළින් ජීවිතයට සමබරව මුහුණ දීමේ හැකියාව දරුවන්ට හිමිවෙනවා. එවැනි දරුවන් සියදිවි නසා ගැනීම් තමාටම හිරිහැර කරගැනීම් වැනි දේට පෙළඹීමක් නැත. 

බොහෝ විට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධව විරෝධයට දැක්වීමට හේතු වන්නේ මව්පියන්ගේ ආකල්ප වෙනස් කිරීමට ඇති අකමැත්තයි. දීර්ඝ කාලයක් පුරා සංස්කෘතිය විසින් තාර්කිකව සිතා යමක් කිරීමේ අවස්ථාව අපිට අහිමි කර තිබෙනවා. කෙටියෙන්ම සඳහන් කළොත් සංස්කෘතියෙ වහලෙක් වෙලා. මව්පියන් ලෙස අපි ඒ මති මතාන්තරවලින් මිදී අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ලිංගික අධ්‍යාපන සංකල්පය දරුවන්ට ලබා දීම සඳහා විරෝධය දැක්වීමෙන් වළකිමු. පිරිපුන් මානසිකත්වයක් හිමි දරුවන් සමාජයට දායාද කරන්නට දරුවන්ට නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දීමට අපි සහය වෙමු.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

රේණුකා තෙන්නකෝන් මහත්මිය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාථිකාචාර්ය


                

ඇතැම් දරුවන් මුහුණ දෙන වකුගඩු රෝග ගැන ඔබ අසා තිබෙනවාද?

දරුවන්ගේ නිරෝගී බව තරම් දෙයක් මව්පියන්ට නැහැ. ළඟකදි ඉඳන් පුතාගේ මුත්‍රා සමග ලේ පිටවෙනවා වගේ දුටුව නිසාම සමීරගේ අම්මා ගොඩක් නොසන්සුන් වුණා. ඇය බොහොම ඉක්මනින් දරුවා වෛද්‍යවරයා වෙත ගෙන ගියා. අද වෙද්දි බොහොමයක් රෝග තත්ත්ව බාල මහලු කියලා භේදයකින් තොරව ඇති වන බව අපි කවුරුත් දන්නවා. ඒත් පුංචි දරුවෙක්ට වකුගඩු රෝගයක් කියලා අහන්න ලැබීම ඒ අම්මා තාත්තාට කොයිතරම් නම් වේදනාවක්ද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ. 

වකුගඩු මගින් අපේ සිරුරේ සිදු වෙන්නේ මොනවද කියා බැලුවොත් වකුගඩු කුඩා රුධිර වාහිනී ජාලයකින් යුක්තයි. එහි ඇති ගුච්චිකා (glomerulus) මගින් රුධිරයේ අපද්‍රව්‍ය පෙරා මුත්‍රාවලට ලබා දීම සිදු කරයි. මෙහිදී මෙම රුධිර වාහිනී ප්‍රදාහය ඔස්සේ එන රුධිරය මගින් මෙම අපද්‍රව්‍ය පෙරා වෙන්කිරීම සිදුකරයි.

දරුවන් තුළ වකුගඩු රෝග ඇති වීමට බලපෑ හැකි හේතු මොනවාද?

    • systemic autoimmune diseasesමෙහිදී සිදුවන්නේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදීමකින් ශරීරයයේ ඇති නිරෝගි සෛල වලට පහර දීමයි. මෙහි systemic යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ බොහෝ කොටස්වලට මේ තත්ත්වය  බලපාන බවයි. SLE (systemic lupus erythematosus) මේ සඳහා උදාහරණයක් ලෙ දැක්විය හැකියි. 
    • Polyarteritis nodosa – ධමනිවල ඇති වන ප්‍රදාහ තත්ත්වයකි.
    • Granulomatosis with polyangiitis (GPA) – මෙය ක්‍රමයෙන් වැඩිවන රෝගයක් වන අතර ශරීරයේ සියලුම අවයව වලට මෙම ප්‍රදාහමය තත්වය පැතිරයයි.
    • Henoch schonlein purpuraමෙහිදී කුඩා හෝ විශාල රත්පැහැති සීරීම් වැනි පැල්ලම් සමේ මෙන්ම අභ්‍යන්තර අවයවවල ඇති වේ. මෙමගින් අවයව කීපයක ලප මතු විය හැක.
    • Alport syndrome මෙය ආරයෙන් ඇතිවන ගුච්ඡිකා වක්ක ප්‍රදාහයකි. ගැහැනු ළමුන්ට මෙන්ම පිරිමි ළමුන්ටද බලපාන නමුත් පිරිමි ළමුන්ට වකුගඩු ගැටලු ඇති වීමේ ප්‍රවණතාවය ඉහළය. මේ සඳහා සිදු කරන ප්‍රතිකාරවල අරමුණ වන්නේ අධික රුධිර පීඩනය වැලැක්වීම හා ප්‍රතිකාර කිරීම මගින් වකුගඩු වලට සිදුවන හානිය වැළැක්වීමයි.
  • Streptococcal Jnkecha – දරුවන්ගේ ඇතිවන වකුගඩු ප්‍රදාහයට නිතරම හේතුවන්නේ උගුරේ ඇතිවන හෝ ඉහල ස්වසන මාර්ගවල ඇතිවන මෙම බැක්ටීරියා ආසාධනයයි. ආසාදනයෙන් සතියකට හෝ ඊට වැඩි දින ගනකින් පසුව මේ තත්ත්වය දැකිය හැකිය.
  • Hepatitis B – මෙම රෝගය මවගෙන් දරුවාට ඇති වෙන අතරම කලාතුරකින් රුධිර පාරවිලනය මගින්ද ඇතිවිය හැක.

වකුගඩු රෝග ඇති වීමේ වැඩි අවධානමක් ඇත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති දරුවන්ටය. 

වකුගඩු රෝගයට ගොදුරු වු දරුවෙකු පෙන්නුම් කළ හැකි ලක්ෂණ

මේ ලක්ෂණ දරුවාගෙන් දරුවාට වෙනස් විය හැක.

  • මුත්‍රා සමග රුධිරය සහ ප්‍රෝටීන පිටවීම
  • උගුරේ ආසාදන
  • මුත්‍රා ප්‍රමාණය අඩුවීම
  • තෙහෙට්ටුව
  • ස්වසන අපහසුතා
  • හිසරදය
  • අධික රුධිර පීඩනය
  • අධි රුධිර පීඩනය හේතුවෙන් ආත්ශේප (Lids) ඇතිවීම.
  • පාදවල දද ඇතිවීම
  • සන්ධි වේදනාව
  • සුදුමැලි පැහැති සම
  • ඉදිමුම

දරුවෙකු වකුගඩු ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බව විනිශ්චයට යොදාගන්නා පරීක්ෂණ මොනවාද?

මූලිකව දරුවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ, දරුවාගේ සෞඛ්‍ය තත්‍ත්වය, පවුල් ඉතිහාසය, ශාරීරික පරීක්ෂණ මේ සඳහා සොයා බැලෙන අතරම ඊට අමතරව පහත පරීක්ෂණද සිදුකල හැක.

  • Throat Culture – උගුරු පිස්නයක් මගින් දරුවාගෙ උගුර මෘදු ලෙස පිසදමා බැක්ටීරියා එකතුකර වගාකිරීම.
  • රුධිර පරීක්ෂණ – FBC, Serum electrolytes (SE), වකුගඩු ක්‍රියාකාරිත්වය පෙන්වන Blood, urea, serum creatinine වැනි පරීක්ෂණ
  • මුත්‍රා පරීක්ෂණ – මුත්‍රාවල ප්‍රෝටීන හා රුධිරය ඇති දැයි දැන ගැනීමට සිදු කරන පරීක්ෂාව
  • ECG – මෙමගින් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය පරීක්ශා කරයි. අසාමාන්‍ය හද ගැස්ම හා හෘද පේශියට වූ හානිය මෙමගින් හදුනාගත හැක.
  • Renal ultrasound (Sonography) – වේදනා රහිත පරීක්ෂණයක් වන මෙය සිදු කිරීමේදී ධ්වනි තරංග භාවිතයෙන් ස්වසනය හරහා ශරීර පටකවල ඡායාරූපයක් ලබාගනී.
  • Renal biopsy – සම හරහා ඉදිකටුවක් වකුගඩුතුලට ඇතුළු කර එහි පටක ගෙන පරීක්ෂා කරයි.

දරුවන්ට ඇති වන වකුගඩු රෝග සඳහා ලබා දෙන ප්‍රතිකාර මොනවාද?

දරුවාගේ රෝග ලක්ශණ, වයස සහ රෝගයේ තීව්‍රතාව මෙන්ම රෝගයට හේතු වූ කරුණ යන තත්ත්වයන් මත ලබා දෙන ප්‍රතිකාර මොනවාද යන්න රඳා පවතී. මෙහිදී ප්‍රතිකාර ලබා දීමේ අරමුණ වන්නේ රෝග තත්ත්වය වැඩි වීම පාලනය හා සංකුලතා වලක්වා ගැනීමයි. එසේම ප්‍රතිකාර මගින් මුත්‍රා පිටකිරීම වැඩි කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, රුධිරයේ පොස්පරස් මට්ටම ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීම වැනි දේ සිදු කරයි. 

ප්‍රතිකාරවලට ආහාර රටාව වෙනස් කිරීමද ඇතුලත් වන අතරම එහිදී පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.

  • ප්‍රෝටීන – ප්‍රෝටීන යනු ඉතා වැදගත් ශරීර වර්ධක පෝශකයක් වුවත් අධික ප්‍රෝටීන භාවිතය නිසා ඇතිවන අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට ශරිරය අපොහොසත් වේ. ඒ නිසා සීමාකල යුතුය.
  • පොටෑසියම් – ඉතා වැදගත් මුලද්‍රව්‍යකි. වකුගඩු හොඳින් ක්‍රියා නොකරන විට අධික පොටෑසියම් ශරීරයෙන් ඉවත් නොවී ශරීරය තුල එකතු වේ. පොටෑසියම් සමහර ආහාර වලින් මෙන්ම පළතුරු වලින්ද ලැබේ. කෙසේ වුවද පොටෑසියම් අඩංගු දෑ සීමාකිරීම හෝ නතර කිරීම සුදුසුය.
  • පොස්පරස් වකුගඩු මගින් අමතර පොස්පරස් ශරීරයෙන් ඉවත් කරයි. වකුගඩු ක්‍රියාකාරීත්වය නිසි ලෙස නොවන විට ඒවා ශරීරය තුල එකතු වේ. එවිට සමහර අස්ථිවල පවතින කැල්සියම් ඉවත් වී අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩීයයි. මෙම මුලද්‍රව්‍ය අඩංගු ආහාර සීමාකල යුතුය.
  • සෝඩියම් – අඩු සෝඩියම් ශරීරය තුල තරලය එකතු වීම අඩු කරයි. එවිට ඉදිමුම ඇති නොවන අතරම ඒ සඳහා සෑම විටම සෝඩියම් සීමා කිරීම අවශ්‍ය වේ.

වකුගඩුවලින් සාමාන්‍ය ලෙස ඉවත් වෙන මෙම ඛණිජලවණ රුධිරයේ හානි කර ලෙස එකතු වී ශරීරය තුල තරලය අසාමාන්‍ය ලෙස රැස් වේ. එවිට කාන්දු පෙරීම (Dialysis) කිරීමට සිදු වන අතරම එයින් සිදු වන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය හා අමතර තරලය පෙරා ඉවත් කිරීමයි.

කාන්දු පෙරීම ආකාර 2කින් සිදුවන අතරම ඒවා පහත පරිදි වේ.

  1. පරිතාන කාන්දු පෙරීම (peritoneal dialysis)

අක්මාව, ආමාශය දරා සිටින කුහරය පරිතානය ලෙස හදුන්වයි. ශල්‍ය වෙද්‍යවරයා විසින්  ඉතා තුනී, නම්‍යශීලී කැතිටරයක් දරුවාගේ උදරයට ඇතුළු කර එය ස්ථානගත කර පිරිසිදුකාරක දියර (sterile dialysate)මෙම කැතිටරය හරහා පරිතාන කුහරයට ඇතුළු කරයි. ඉන්පසු මෙම තරලය යම් කාලයක් පරිතාන කුහරය තුල තබයි. එවිට මෙම තරලය මගින් අපද්‍රව්‍ය අවශෝෂණය කර ගනියි. ඉන්පසුව මෙම තරලය උදරයෙන් ඉවතට ගලා ඒමට සලස්වා ඒවා මැන ඉවත් කරයි.

2. රුධිර කාන්දු පෙරීම (hemodialysis)

කුඩා ශල්‍යකර්මයක් ආධාරයෙන් arteriovenous (Ar) මාර්ගයක් සාදයි. මෙමගින් ධමනියක් හා ශිරාවක් එකට සම්බන්ද කරයි. බොහෝදුරට මෙය දරුවාගේ අතක සිදු කරයි. ඉන්පසු රුධිර කාන්දු පෙරන යන්ත්‍රයකට එම අමතර මාර්ගය හරහා සම්බන්ධ කරයි. මෙම මාර්ගය හරහා රුධිරය පොම්ප කරයි. එහිදි අපද්‍රව්‍ය සහ අමතර තරලය පෙරීමක් සිදුකරයි. මෙම පෙරන ලද රුධිරය තවත් නලයක් ආධාරයෙන් ශරීරය තුලට ඇතුළු කරයි. සාමාන්‍යයෙන් සතියකට කිහිපවරක් සිදු කළ යුතු විය හැකි අතරම එක් වාරයක් සදහා පැය 4 – 5 කාලයක් ගත වේ. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල


                

උපත් පාලන හෝමෝන කරල් තැන්පත් කිරීම ඔසප් චක්‍රයට බලපාන්නේ කෙසේද?

සෑම ගර්භණී බාවයක්ම අත්‍යවශ්‍ය දරු උපතක් නැතහොත් පවුලට අවශ්‍ය ගර්භණී බාවයක් විය යුතුය යන සංකල්පය මත පිහිටා ක්‍රියාත්මක වීම අප සැමගේ වගකීමක්. එසේ හෙයින් පවුල් සංවිධානය යන්න දරුවන් ලබාගැනීමට මගපෙන්වන ක්‍රමවේදයයි. මෙහිදී මෙම ක්‍රමවේදය තුල සැළසුම් සහගත ගර්භණීබාවයක් මෙන්ම අවශ්‍ය පරිදි දරුවන් අතර පරතරයක් තබා ගනිමින් තම පවුලේ සංවිධානයක් ඇතිකර ගැනීම තුලින් සුරක්ෂිත මාතෘත්වයක් දරුවනට සුන්දර වූ අත්දැකීම් සපිරි මුල් ළමාවියක් මෙන්ම ළමා කාලයේ කෙලිදෙලෙන් ඉගෙනුම් අවස්ථා හිමිකර ගැනීමටත් ඉඩහසර ලැබේ.

මෙවන් වූ සාර්ථකත්වයට මගපෙන්වන පවුල් සංවිධාන ක්‍රම අතර තම දරුපවුල සම්පූර්ණ කරගත් අය සදහා ස්ථීර පවුල් සංවිධාන ක්‍රම ඇති අතර පළමු දරුවා පමා කිරීම හෝ දරුවන් අතර පරතරය තබාගනිමින් කටයුතු කිරීමට හැකිවන සේ භාවිත කලහැකි තාවකාලික පවුල් සංවිධාන ක්‍රමද වේ. මෙම තාවකාලික පවුල් සංවිධාන ක්‍රම ලෙස අන්තර් ගර්භාෂික උපකරණ එනම්  ලූපය, ඩිප්‍රොවේරා එන්නත, ගිලින පෙති, හෝර්මෝන තැන්පතුව හා කොන්ඩම් භාවිත කල හැකි වේ. මෙම තාවකාලික ක්‍රම අතර හෝමෝන ක්‍රම හා හෝමෝන නොවන ක්‍රම අන්තර්ගත වේ. ඉන් හෝමෝන ක්‍රම අතරට ගැනෙනුයේ ඩිප්‍රොවේරා එන්නත, ගිලින පෙති හා හෝමෝන කරල් තැන්පතුව යන ක්‍රමයි.

මෙම ක්‍රම තුනම තුළ අඩංගු වන්නෙ ස්ත්‍රියකගේ ශරීරය තුළ ඇති ප්‍රජනන ඉන්ද්‍රියන්හි ක්‍රියාකාරීත්වය හා සබැදුණු  හෝමෝනයි. එනම් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන දෙවර්ගයයි. ඉන් බොහෝ ගිලින පෙතිවල ඊස්ට්‍රජන් සමාන හෝමෝනයක් අඩංගු අතරම හෝමෝන තැන්පතුව හා ඩිප්‍රොවේරා එන්නත තුල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් අඩංගු වේ. එසේම ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝන අඩංගු ගිලින පෙතිද තිබුනත් සුලබව ඇත්තෙ ඊස්ට්‍රජන් වලට සමාන හෝමෝන අඩංගු ගිලින පෙතිය.

හෝමෝන තැන්පතුව හා ඩිප්‍රොවේරා එන්නත තුල ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් අඩංගු අතරම ඩිප්‍රොවේරා එන්නත මාස තුනකට වරක් ලබාගත යුතු වේ. හෝමෝන තැන්පතු වර්ග දෙකක් පවතී. එනම් ඉම්ප්ලනෝන් හා ජඩෙල් නමිනි. මෙම ඉම්ප්ලනෝන් වසර තුනක් සදහා වන අතර ජඩෙල් වසර පහක් සඳහා භාවිත කරනු ලබයි.

මෙම හෝමෝන කරල් තුළ අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමාන හෝමෝනයක් හෙයින් දීර්ඝ කාලීනව බලපෑම් එල්ල කරන එනම් වසර 3, 5ක කාලයකට බල පැවැත්වේ. මෙම හෝර්මෝන කරල් අතේ උඩ බාහුවේ ඇඟ පැත්තට වන්නට සමට යටින් තැන්පත් කරනු ලබයි. වෛද්‍යවරයකු විසින් මෙය සිදුකරනු ලබන අතර ස්ථානීය හිරිවැටීමක් සිදු කොට මෙම ක්‍රියාවලිය වන්ද්‍ය කෘත බව ආරක්ෂා කරමින් සිදුකරනු ලබයි. අඟල් 0.5 සෙන්ටිමීටර 1ක පමණ කුඩා කැපුමක් සිදුකර ඒ හරහා මෙම කරල් සම යට තැන්පත් කරනු ලබයි. මෙම කරල් ගිනිකූරක හැඩය මෙන්ම සමේ ඝනකමට සමාන හැඩයකින් යුක්ත වේ. ස්ථානීය හිරිවැටීමක් සිදුකර ඇතිහෙයින් මෙම දැමීමේදී දැනීමක් පමණක් ඇති අතර වේදනා රහිත වේ. මෙය තැන්පත් කිරීමෙන් පසු ප්ලාස්ටික් කවරයක් මගින් ආවරණය කරන අතරම පසුව හිරිවැටීම ඉවත් වීමෙන් පසු ඇතිවිය හැකි වේදනාව හා විෂබීජ ඇති වී පැසවීමට ලක්විය හැකි හෙයින් ඒ සදහා ප්‍රතිජීවක ඖෂධද ලබාදෙයි.

මෙම ක්‍රමය ලබාගත් අයගේ හෝමෝන ශරීරයට මුදා හරිනු ලබන මුල් අවස්ථාවේදී කැරකිල්ල, හිසරදය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතරම පසුව එය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. එයට හුරුවූ පසුව එය ක්‍රමයෙන් පහව යයි. සම යට හා ඇඟ පැත්තට වන්නට තැන්පත් කර ඇති නිසා එය එළියට නොපෙනෙන ස්පර්ශ කළ බැලීමේදී අතට දැනේ.

මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මෙහි සාර්ථකත්වය 99%ක් පමණ වේ. මේ මගින් ක්‍රමයෙන් හෝමෝන පිටකරන හෙයින් ශරීරයේ එනම් ලේ වල හෝමෝන මට්ටම පවත්වා ගැනීම මගින් ඩිම්බ මේරීමක් හෝ ඩිම්බ පිටවීමක් සිදුනොවන හෙයින් සංසේචනය සදහා ඇති අවස්ථාව අහිමි වේ. එම නිසා ගර්භණී භාවයක් ඇතිවීම වැලකේ. මෙම ක්‍රියාකාරිත්වය නිසා ගර්භණී බාවයක් ඇතිවීම  99% පමණ ඉහළ ප්‍රතිශතයකින් වැලකේ. එසේ හෙයින් අනවශ්‍ය ගර්භණී භාවයන් වළක්වා ගැනීමට මෙය මහත් සේ උපකාර වේ.

මෙය තැම්පත් කිරීමට ප්‍රථම අනෙක් ක්‍රමවලදී මෙන්ම ගැබ් ගෙන නොමැති බවට ස්ථිිරව දැන ගෙන හෝ මාසික ශුද්ධ වීම එනම් ඔසප් සිදුවී මුල් දින කිහිපය තුලදී සිදු කළ හැකියි. වසර 3ක් හා වසර 5ක් වැනි කලයකට මෙය බලපැවෙත්වෙන හෙයින් එවන් කාලයක් දරුවන් බලාපොරොත්තු නොවන යුවල් සදහා මෙම ක්‍රමය වඩාත් යෝග්‍ය වේ. අන් ක්‍රම හා සසදන කල මෙය තරමක් මිල අධික ක්‍රමයකි. එහෙත් රෝහල්, වෛද්‍ය නිළදාරිනී කොට්ඨාස සායන මගින් මෙන්ම පවුල් සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන ලියාපදිංචි පුද්ගලික රෝහල් හෝ බෙහෙත් ශාලා මගින්ද මෙම ක්‍රමය ලබාගත හැකිවේ. රජයේ රොහල් තුල නාරිවේද සායනයෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාල තුළ ක්‍රියාත්මකවන පවුල් සංවිධාන සායන තුලින් නොමිලේ මෙම ක්‍රමය ලබාගත හැකිවේ.

මෙම ක්‍රමය යොදා ගත් කාන්තාවක් දරුවෙකු බලාපොරොත්තු වනවිට මෙය ඉවත් කරවා ගැනීමෙන් නැවත දරුවෙකු ලබාගත හැකිවේ. මෙම ක්‍රමයේදී ක්‍රියාත්මකවන හෝමෝනය නිසා ඩිම්බ මේරීමක හෝ ඩිම්බ පිටවීමක් සිදුනොවන හෙයින් බොහෝ දෙනාට ඔසප් වීමක් සිදුනොවේ. ඔසප් සිදුවීමේදී ඩිම්බ මේරීමක්, මේරූ ඩිම්බ පිටවීමක් සිදුවී එය සංසේචනය නොවීම නිසා යෝනි මාර්ගය හරහා ඒවා ගර්භාෂ බිත්තියේ තැන්පත් වීමට සුදුසු ලෙස වර්ධනය වූ සෛල ස්ථර බිදී පිටවීම යන සිද්ධිය ඔසප්වීම නමින් හදුන්වන හෙයින් මේ සදහා ඩිම්බ මේරීම හෝ ඩිම්බ පිටවීම බලපානු ලබනවා. එසේ හෙයින් මෙම ක්‍රමය භාවිත කරන කාලය පුරාවට ඔසප් සිදුනොවී තිබීමටත් ක්‍රමය නවතා මාසකීපයක් යන තෙක්ම එසේ සිදුවීමටත් එම හේතුවම බලපැවැත්විය හැකියි. මෙය කෘතිමව ලබාදෙන හෝමෝනය මගින් ශරීරය තුල සිදුකරන ක්‍රියාවලිය හෙයින් ඒ පිලිබදව අනවශ්‍ය බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවේ. හෝමෝනයේ ක්‍රියාත්මක වීම  සමාන්‍යව සිදුවන හෙයින් ඒ පිළිබදව අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අනවශ්‍යයි.

එසේ වුවද සමහර දෙනෙකුට මෙම ක්‍රමය හෝ ඩිප්‍රොවේරා එන්නත ලබාගන්නා විටද

  • ඔසප් ඇති වීම නරත වීම
  • මාස තුනකට වරක් හෝ බලාපොරොත්තු නොවන මොහොතක හෝ ඔසප් සිදුවීම
  • දිනපතා ඉතා සුලු වශයෙන් රුධිර වහනයක් සිදු වීම
  • දීර්ඝ ලෙස අක්‍රමවත්ව රුධිරය වහනය වීම (සුලු/වැඩි ලෙස සිදුවිය හැකිය. සුලුව සිදුවන රුධිර වහනය පිළිබදව එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නොවුවද  දිගටම එසේ සිදුවන්නෙ නම් ක්‍රමය දිගටම භාවිතා කරන අතරතුර පිටවන රුධිර ප්‍රමාණය නැවත නිශ්පාදනයට පහසුවන සේ යකඩ පෙති අතිරේක ලෙස ගත යුතුය) වැනි තත්ත්ව ඇති විය හැක.

බොහෝ විට එක දිගට වසර 3/ 5ක් තබා ගැනීමේ අවශ්‍යතාවය  හා ඒ සදහා වැයකරන මුදලද  සැලකිල්ලට ගෙන එසේම දරුවන් අතර පරතරය වසර දෙක තුනකට සීමා විය යුතු හෙයින් මෙම ක්‍රමය වඩාත් භාවිත කරනු ලබන්නෙ අඩුවයස් විවාහ වලට එලබෙන තරුණියන් සදහාය. බාල වයස් විවාහ වලදි නොදැනුවත්කම නොතේරුම්කම මත ඔවුන් විසින් ගන්නා තීරණවලදී, ඔවුනට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට හා ගර්භනී වීමට සුදුසු කාලය වනතෙක් කායික වර්ධනයට අවස්ථාව සැලසීම මූලික අරමුණ කරගෙන සිදුකරන අවස්ථාවලදී භාවිත කරනුයේ හෝමෝන තැන්පතු ක්‍රමයයි. නව යෞවනයන් සදහා මෙම ක්‍රමය තෝරාගනු ලබන්නෙ ඔවුන්ගෙ වයස් සීමාවන් සුදුසු පරිදි වනතෙක් මෙම ක්‍රමය භාවිතා කරමින් ගර්භණී භාවයට පත්නොවී බලාපොරොත්තු වන අධ්‍යාපනික හෝ සමාජීය තත්ත්වයන් වෙත ලගාවීමට අවස්ථාව පසුබිම සකස්කර ගැනීමට ලබාදෙන උදව්වක් ලෙසිනි.

ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමට පෙර,

  • අදාල ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක්
  • එය සිදුවන අන්දම
  • වාසි අවාසි පැහැදිලි කර දීම 
  • අතුරු ආබාධ
  • සාර්ථකත්වය

යන කරුණු පිළිබඳව උපදේශනයක් ලබාදී ඒ තුලින් තම කැමැත්ත පරිදි ක්‍රමයක් තෝරාගැනීමට උදව් කිරීම සෞඛ්‍ය සේවක සියලු දෙනාගේම වගකීමයි.

අමතරව හෝමෝනමය පවුල් සංවිධාන ක්‍රම වලදී ශරීරයට හෝමෝනය බලපාන අන්දම අනුව ඇතිවිය හැකි අතුරු ආබාධ ලෙස කෑම රුචිය වැඩි වීම එනම් නිතර නිතර කුසගිනි ඇති වීම ඇති වෙනවා නම් බර කිරා බැලීම මගින් එය හදුනාගෙන ආහාර ගන්නා ක්‍රමවේදය විමර්ශනාත්මකව සිදුකල යුතුයි. එසේ නොවුනහොත් පවුල් සංවිධාන ක්‍රමය නිසා තරබාරු වූ බව ඔබට සිතෙයි. එවන් තත්ත්වයකදී ආහාරයෙන් ලබාගන්නා අධික තෙල් හෝ පිටි සහිත තරබාරුවට හේතුවන ආහාර සුදුසු පරිදි සීමා කිරීම කල හැකි අතරම එහි අඩුව සදහා ප්‍රෝටීන, විටමින හා ඛණිජ ලවණ අඩංගු ආහාර මගින් සම්පූර්ණ කරගැනීම මගින් සන්තෘප්ත විය හැකියි.

එසේම සෑම පවුල් සංවිධාන ක්‍රමයකදීම

  • මවගේ හා දරුවන්ගෙ වයස
  • දරුවන් අතර පරතරය
  • මවගේ රෝගී තත්ත්ව යන කරුණු කාරණාද සැලකිල්ලට ගැනීම කලයුතු වනවා.

මේ සියල්ල පිලිබදව දැනුවත්ව පැහැදිලි අවබෝධයකින් තමන්ට තමන්ගෙ සිරුරට ගැලපෙන පරිදි ක්‍රමයක් තෝරාගැනීම තුලින් අතුරු අබාධ අවම කර ගනිමින් පැහැදිලි හා පසුතැවීමක් ඇති නොවන ලෙසින් සුදුසු පරිදි පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත කිරීමට හැකිවනවා. එසේම පවුල තුල සතුට සමාදානය එකමුතුව රජයන පසුබිමක් සදහා පවුල් සංවිධානය වැදගත් වන්නෙ තමනට දරාගත හැකි ප්‍රමාණය තුල සීමා මායිම් සාදා පවුල තුල ප්‍රමුඛ වූ ලිංගික ජීවිතයේ සාර්ථකභාවය සමගින් අනෙක් සියලු අවශ්‍යතා එක්තැන් වන හෙයිනි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

දතක් ගලවන්න පෙර සිතන්න දෙයක්

දතක් ගලවනවා කියන විටත් යම් සැකයක් බියක් අපේ හිතේ ඇති වෙනවා. නමුත් අද දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙ පවතින දියුනුව නිසා දතක් ගලවා ඉවත් කරනවාට වඩා වෙනත් විකල්ප තිබෙනවා. දත් සිටවීම, ස්නායු පිරවීම , බ්‍රිජ් ක්‍රමයට දත් සිටුවීම වැනි විකල්ප තිබෙනවා. සමහර විට රෝගියා මෙවැනි විකල්ප වෙත නොයා දත ගලවා දැමීම ට ප්‍රමුඛතාවය ලබා දීමට පුළුවනි. ඊට අමතරව දතක් ගලවා ඉවත් කිරීමට නොහැකි අවස්ථාවන් කීපයක් මේ විදිහට පෙන්වා දෙන්න පුළුවනි.

  • දත ස්නායු පිරවීම වැනි වෙනත් විකල්ප මගින් සකස් කිරීමට නොහැකි සේ දිරාපත් වීම
  • විකලාංඟ දත් සකස් කිරීමට
  • දත සමග සම්බන්ධ අස්ථි රෝග
  • දතට සම්බන්ධ අස්ථිය ආසාදනය වුන විට
  • මුඛ පිළිකා වෙනුවෙන් වූ කිරණ ප්‍රතිකාර ලබා දීම
  • ඥාන දත මතු නොවී අවහිර වීම
  • අනතුරකින් පසුව සිදු වෙන හකු ඇට පිපිරීම
  • මුහුණේ පෙනුම ලස්සන කිරීමට

දතක් ගැලවීමට තීරණය කිරීමෙන් පසුව…

දන්ත ශල්‍ය වෛද්‍යවරයා විසින් දත ගැලවීමට තීරණය කලොත් ඔබ ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු පියවර කීපයක් තිබෙනවා.

  • දත ආසාදනය වීම නිසා වේදනාව අදිකව තිබේ නම් ගැලවීමට පෙරාතුව වෛද්‍යවරයාගෙන් වේදනා නාශක සහ ප්‍රතිජීවක ලබා ගන්න.
  • ඒ වගේම ඔබ වෙනත් රෝග තත්වයකින් පසු වෙනවා නම් ( හදවත් රෝග, රුධිරය සම්බන්ධ රෝග, රුමැටික් ආතරයිටිස්, දියවැඩියාව  ) ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කරන්න. රුධිරය කැටි නොගැසීම සම්බන්ධයෙන් මේ වෙන විට ලබා ගන්නා ඇස්ප්‍රින් වැනි ඹෟෂධ ගැනත් වෛද්‍යවරයා දැණුවත් කරන්න.
  • ඔබේ සායනික වාර්තා සියල්ල රැගෙන යන්න.
  • දුම්පානයෙන් සහ මද්‍යාසාර  භාවිතයෙන් වලකින්න.
  • දත් හොඳින් මැද මුඛය උණුසුම් ලුණු ද්‍රාවණයකින් සෝදන්න

දත ගැලවීමෙන් පසුව රෝගියාගේ පැත්තෙන් කළ යුතු පිළිවෙත් …

දත මුඛයෙන් ගලවා ඉවත් කිරීමෙන් පසුව මෙම ක්‍රියාවලිය අවසාන නැත. අපරික්ෂාකාරීව කටයුතු කලොත් එයින් රෝගියා දැඩි අපහසුතාවයට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දතක් ගැලවීමට පෙරාතුව වගේම දත ගලවා ඉවත් කිරීමෙන් පසුවත් රෝගියාගේ පාර්ශවයෙන් යම් දායකත්වයක් අවශ්‍ය වෙනවා. පැයක් පමණ වෙන තෙක් මෙම ස්ථානයේ තබා ඇති පුළුන් වැස්ම ඉවත් කරන්න එපා. රුධිරය කැටි වී එම සිදුර තුළින් ලේ වහනය වීම නැවතෙන තෙක් ප්‍රවේසම් වන්න.

රුධිරය කැටි ගැසීම වලක්වන කාණ්ඩයේ ඖෂධ දැනට ලබා ගන්නාව නම් ඒවා නැවත ලබා ගත යුතු කාලය වෛද්‍යවරයාගෙන් විමසා දැන ගන්න. එවැනි ඖෂධ ඔබේ හිතුමතයට නොබී සිටීම මෙන්ම ලබා ගැනීම සිදු කළ යුතු නැහැ.

  • පුළුන් වැස්ම ඉවත් කිරීමෙන් පසුව තවත් රුධිරය ගලන බවක් දැනෙනවා නම් වෙනත් පුලුන් වැස්මක් තබා ගන්න.
  • උණුසුම් සහ කැබලි සහිත සැපීමට අපහසු ආහාර නොගන්න.
  • දත ගැලවූ පැත්තෙන් දින කීපයක් යන තෙක් ආහාර සැපීම නොකළ යුතුයි.
  • පැය දොළහක් පමණ ගත වුනාම ලුණු මිශ්‍ර ද්‍රාවණයකින් මුව සෝදන්න.
  • දතක් ගැලවීමෙන් පසු යම් යම් අතුරු ආබාධ ඇති වෙන්නත් පුලුවනි…
  • අධික ලෙස ලේ ගලනවා නම් අව්වට නිරාවරනය නොවන්න.වෙහෙසකර කටයුතු වලින් දුරස් වන්න.
  • තුවාල ස්ථානයට පිටතින් අයිස් බෑගයක් තබන්න
  • එයිනුත් සුවයක් නොමැති නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමු වෙන්න.

කම්මුල ප්‍රෙද්ශයේ ඉදිමුම…

දත ගැලවීමෙන් පසුව දින දෙක තුනක් වෙන තෙක් කම්මුල ප්‍රෙද්හයේ ඉදිමුම තිබෙන්න පුළුවනි. එවැනි අවස්ථාවකදී අයිස් බෑගයකින් කම්මුල තවන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොමැති නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමු වෙන්න.

ගර්භණී මවක් නම්…

ගර්භණී මවකගේ මුඛ සෞඛ්‍ය පිලිබඳව දැන් වැඩි අවධානයක් දක්වනවා. ගැබිණි සමයේ මවගේ දිරා ගිය දත්වලින් දරුවා බිහි වූ පසුව බැක්ටීරියා සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙන නිසා දරු කළලයට හත් වන මාසය පිරීමට පෙරාතුව ගැබිණි මවගේ දිරාගිය දත් ගලවා ඉවත් කිරීමටබාධාවක් නැහැ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරී සමන්ත කුමාර කිතලවආරච්චි 

නියෝජ්‍ය අධ්‍යක්ෂ මුඛ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය

ශකුවි දන්ත ශල්‍යාගාරය

කුරුණෑගල