Home Blog Page 45

දරුවන් ගේ “වචන පැටලීම” එනම් “ගොත ගැසීම ” (Stuttering/ Stammering) හදුනා ගනිමු.

“ගොත ගැසීම ” යනු කථනයේ ඇතිවන එක ගැටලුවකි. එහිදී සිදුවන්නේ කතාව සියුම් ලෙස ගලා යාම සිදු නොවීමයි (Disruption of normal flow of speech). මෙම තත්වය දරුවන් වචන ඉගෙන ගැනීමේදී ශබ්ද පුන පුනා කීමට වඩා එහා ගිය තත්වයක් වන අතර ගොතය සහිත දරුවෙකු ට තවත් කෙනෙකු සමග සන්නිවේදනයේ දී ද ගැටළු ඇති කරයි.

“ගොත ගැසීම ” හි වර්ග කිහිපයකි.

  1. වර්ධනයත් සමග ඇති වන ගොත ගැසීම
  2. ස්නායු හා සම්බන්ධ ගොත ගැසීම
  3. මනෝ විද්‍යාත්මක හේතුන් නිසා ඇති වන ගොත ගැසීම
  1. වර්ධනයත් සමග ඇති වන ගොත ගැසීම  යනු,

මෙය දරුවන් අතර බහුලවම දැක ගත හැකි තත්වයකි. මෙය වයස අවු 2 -5 අතර දරුවන් තුලින් පෙන්නුම් කරයි. මෙම තත්වය බොහෝ පවුල් ආශ්‍රය කරගන ඇති විය හැකි අතර පරම්පරාවෙන් පරම්පරාව ට යාමේ හැකියාවක් ද පවතී. මෙහි අනු කොටස් ප්‍රමාණයක් ම පවතී. 

  1. ස්නායු හා සම්බන්ධ ගොත ගැසීම යනු,

මෙම තත්වය ඇති වන්නේ ස්නායු හෝ මොලයට සිදුවන හානියක් මගින් කතා කිරීමට අවශ්‍ය වන්නා වූ මාංශ පේශි වලට අවශ්‍ය නිවැරදි ස්නායු සංවේදන/ signals නොලැබී යාම නිසාවෙනි. මෙය බොහෝ විට වැඩිහිටියන් ට අංශභාගය හෝ මොලයට සිදුවන හානියකින් පසුව ඇතිවම සුලබව දක්නට හැකිය.

  1. මනෝවිද්‍යාත්මක හේතුන් නිසා ඇති වන ගොත ගැසීම යනු,

මෙහි දී ගොත ගැසීමට හේතුව වන්නේ මානසිකව ඇති වන ගැටළු එනම් හැගීම් සමග ඇති වන ගැටළු , අධික ලෙස සිතීම ආදී හේතු කාරණාය.

තවද, දෙමවුපියන් වශයෙන් දරුවා ගේ ගොත ගැසීමත් සමඟ මෙවන් සාධක ද පෙන්නුම් කරයි නම් වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුය.

  • පවුලේ කෙනෙකුට හෝ පවුල හා සම්බන්ධ කෙනෙකුට මෙම තත්වය පැවතීම
  • දරුවාගේ ගොත ගැසීම මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් පැවතීම
  • දරුවා ට වෙනත් කථන හෝ භාෂා ගැටළු පැවතීම
  • මානසික, චිත්තවේග, බය  හෝ පෞෂය ගැටළුත් දරුවාගේ ගොත ගැසීම සමග සම්බන්ධ යැයි සිතීම

ගොත ගැසීම ඇතැම් අවස්ථා වල සාමන්‍ය තත්වයක් විය හැකි අතර එය තහවුරු කර ගත හැක්කේ කථන හා භාෂා චිකිත්සකවරයෙකු විසින් කරනු ලබන නිවැරදි තක්සේරුවකින් ය. මන්ද, ඇතැම් දරුවන් භාෂා වර්ධනයේ කොටසක් ලෙසින් ම මෙම ගොත ගැසීම පෙන්නුම් කරන නිසාවෙනි. ඇතැම් දරුවන් ගේ ගොත ගැසීම ඇති වීම දිනයේ වේලාවන් අනුව, විවධ වූ අවස්ථා වල, විවධ පුද්ගලයන් සමග අඩු වීම මෙන්ම වැඩි වීමක් ද නිරීක්ෂණය කර ගත හැකිය. ඒ අනුව, පහත සදහන් කර ඇත්තේ ඉන් ප්‍රධානව ම දැක ගත හැකි ලක්ෂණ කිහිපයකි.

1.වචනයක ශබ්දයක්, අකුරක් හෝ වචනයම පුන පුන කියවීම

උදා: අ -අ -අම්මා

2.වචනයක ශබ්දයක් ඇදගෙන කතා කිරීම

උදා: අ …………..ම්මා

  1. කතා කරන විට වචන හිරවීම හෝ එකවර කතාව නැවතීම

4.කතා කරන විට ඒ අතරතුර අනවශ්‍ය ලෙස /හ්ම්/, /ආ/ ආදී ලෙස විරාම ගැනීම

5.නැවතීම් සහිත ව කතා කිරීම

6.කතා කරන විට වේගයෙන් ඇස් ගැසීම හෝ තොල් වෙව්ලීම ආදී බාහිරින් ලක්ෂණ පෙන්නුම් කිරීම

7.කතා කිරීම් මග ඇරීම හෝ ඒ සදහා බියක් දැක්වීම

ඒ අනුව මෙවන් ලක්ෂණ පවතී නම් කථන හා භාෂා චිකිත්සකවරියක වෙත යොමු වීම ඉතාමත් වැදගත් වන අතර එමගින් දරුවා තක්සේරුවක ට ලක් කර මෙය සාමන්‍ය භාෂා සංවර්ධනයේ අවදියක් ද නැතහොත් ගොත ගැසීම් තත්වයක් ද යන්න දැන ගැනීමට හැකියාව පවතී.

ගොත ගැසීම් තත්වයට මග හරවා ගැනීමට චිකිත්සක ක්‍රම බොහොමයක් පවතී. ඒවා දරුවාගේ වයස, ගොත ගැසීමේ ප්‍රමාණය, එහි ස්වාභාවය ආදිය පදනම් කර ගනියි. වඩා වැදගත් වන්නේ නිසි වයස ට නිවැරදිව හදුනා ගැනීම හා ඒ සදහා මැදිහත් වීමයි.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දරු පිළිසිඳ ගැනීමට බාධා විය හැකි පුරුෂ පාර්ශවයේ හේතු

පුරුෂ මූලික සමාජයක් වන අපේ රටේ විවාහක යුවළකට දරුවන් නොමැති වුවහොත් සමාජයෙන් නෑ හිත මිතුරන්ගෙන් එන සියලු චෝදනා එල්ල වන්නේ කාන්තාව දෙසටයි. එය එසේ වුවත් දරු පිළිසිද ගැනීමකට බාධා විය හැකි හේතු කාරණා ඒ කියන්නේ මද සරුභාවයට හේතු ස්ත්‍රී පුරුෂ පාර්ශව දෙකටම පැවති හැකියි. මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ මද සරුභාවයට හේතු විය හැකි පුරුෂ පාර්ශවයේ ගැටලු පිළිබදවයි. 

ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු

මෙහිදී අසාමාන්‍ය ශුකාණු නිෂ්පාදනය වගේම අසාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයත් මද සරුභාවයට හේතු ලෙස දැක් විය හැකියි. මේ සදහා හේතු ලෙස ගොනෝරියාව, ක්ලැමීසියාව, ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්ත්ව මෙන්ම දියවැඩියාව, කම්මුල්ගාය, පිළිකා වැනි රෝග තත්ත්වත් පිළිකා තත්ත්වයන්වලදී ලබා දෙන ප‍්‍රතිකාරත් හේතු විය හැකිය. 

එසේම දරු පිළිසිඳ ගැනීමක් සිදු වීමට නම් ශුක්‍ර තරලය මිලිලීටරයක් තුළ ශුක්‍රාණු මිලියන 15ක පමණ ප්‍රමාණයක් පැවතිය යුතු අතරම එය ඒසේ නොපැවතීම, ශුක්‍රාණුවේ ව්‍යූහයේ වෙනස්කම් සහ ගමන් කිරීමේදී ඇති දුර්වලතාත් බාධා විය හැකිය. තවත් අයුරකින් ගත් කළ නොදැනුවත්කමද මේ සඳහා හේතු වීමට ඉඩ කඩ පවතී.

ශුක‍්‍රාණු නිෂ්පාදනයේ හා ක‍්‍රියාකාරීත්වයේ ගැටලු ඇති වීමට හේතු විය හැකි කරුණු

  1. varicocele (VAR-ih-koe-seel) – වෘෂණ වල ශිරාවන් විශාල වීමයි. 
  • ජානමය ආබාධ – Klinefelter Syndrome 

පිරිමින්ගේ 47 වන වර්ණ දේහයේ වැඩිපුර X වර්ණ දේහ පැවතීමයි. මෙහි මූලික ලක්‍ෂණය වන්නේ වඳභාවය, වෘෂණ කුඩා හා ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමයි.

  • ශුකාණු බෙදාහැරීමේ ගැටළු

ශුකාණු බෙදාහැරීමේ ගැටළු නිසා සංසේචනය අසීරු වේ. මෙයට හේතු ලෙස

  • ජානමය තත්ත්ව (Cystic fibrosis) බහුල වශයෙන් පෙනහලුවලට බලපාන අතර අගන්‍යාශය, අක්මාව, වකුගඩු හා අන්කත වලට බලපායි. මෙහිදී ස්වසන අපහසුව, කැස්ස, නිතර ඇතිවන පෙනහලු ආසාධන වේ.
  • නොමේරු ශුක්‍රාණු මෝචනය
  • වෘෂණවලට හානි වීම
  • වෘෂණ කෝෂවල ව්‍යූහමය අවහිරතා

පුරුෂ පාර්ශවයේ මදසරුභාවයට හේතු වන අවදානම් සාධක  

මදසරුභාවයට හේතු වන අවදානම් සාධක බොහෝමයක් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදු වේ.

  • වයස අවුරුදු 40 ට වැඩිවීම.
  • බර වැඩිවීම හා අඩුවීම
  • මත්ද්‍රව්‍ය (මර්ජුවානා), දුම්කොල භාවිතය
  • අධික ලෙස මත්පැන් පානය
  • අධික ලෙස ශාරීරික හා මානසික ආතතිය
  • විකිරණවලට නිරාවරණය
  • ඇතැම් රෝග තත්ත්ව සඳහා ලබා ගන්නා ඇතැම් ඖෂධ
  • පාරිසරික විෂ වලට නිරාවරණය. උදා: ලෙඞ්, කෘමිනාශක

පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාවයට හඳුනා ගැනීමට සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් උචිතය. එහිදී පුරුෂයාගේ ලිංගික ඉතිහාසය, ශාරීරික පරීක්‍ෂණ එනම් ලිංගික අවයව පරීක්‍ෂාව සිදු කරනු ලබයි. එසේම, ශුකාණු තරල විශ්ලේෂණය (Semen Analysis), ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම පරීක්‍ෂාව යන පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කෙරේ. 

පුරුෂ පාර්ශවයේ ඇති මදසරුභාව‍යට වෛද්‍ය පරීක්ෂණ‍ වෙත යොමු වීමේදී තමාගේ සැබෑ තොරතුරු නොසඟවා පැවසීම වැදගත් වන අතරම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම , උෂ්ණත්වය රැ‍‍දෙන යට ඇඳුම් භාවිතයෙන් වැලකීම ඉතා වැදගත් වන්නේ එවැනි කරුණු ශුකාණු නිෂ්පාදනය හා ශුකාණුවල චලන හැකියාවට බලපෑම් කළ හැකි බැවිනි. එසේම දුම්පානය, විෂ දුම, දූෂිත වාතය මෙන්ම අද වන විට අපට මිලදී ගන්නට සිදු වී ඇති අධික ලෙස රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ද්‍රව්‍ය හේතුවෙන් ශුක්‍රාණුවල ගුණාත්මක බව අවම විය හැක. මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමෙන් ලබා ගත හැකි වන අතරම වෛද්‍යවරයාගේ උපදෙස් මත අවශ්‍ය ඖෂධ මෙන්ම ප‍්‍රතිකාර ක්‍රම තීරණය වේ. 

මදසරුභාවය සඳහා පුරුෂ පාර්ශවය වෙත ලබාදෙන ප‍්‍රතිකාර ක්‍රම

  • මදසරුභාවයට හෝ නිසරුභාවයට මුල් වූ හේතු සාධක ඉවත් කිරීම
  • ශල්‍යකර්ම මගින් වෘෂණවල අවහිරතා ඉවත් කිරීම හා අලුත්වැඩියාව
  • වෘෂණවල ක‍්‍රියාකාරීත්වය, ශුකාණු ප‍්‍රමාණය හා ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ප‍්‍රතිකාර ලබාදීම
  • ශුකාණු විසර්ජනයේ ගැටලු හෝ ශුක‍්‍ර තරලයේ ශුකාණු අඩංගු නොවීම සඳහා ප‍්‍රතිකාර (Sperm retrieval technique) වෙත යොමු කිරීම
  • Assisted Reproductive Technique (ARI) – ශුකාණුවල සරුභාවය ඇති කිරීම සඳහා ලබාදෙන ප‍්‍රතිකාර 
  • IVF – වඩා සුලභ ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ශුකාණු හා ඩිම්බ පිටතදී සංසේචනය කර කළලය ගර්භාෂය තුල තැන්පත් කරයි
  • IUI මගින් ශුකාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද වන විට දරුවෙකු පිළිබඳ සිහිනයක් සෑම යුවළකටම හදෙහි රඳවා ගැනීමට ඇති හැකියාව ඉහළ ගොස් ඇති බව කිව යුතුමය. අවශ්‍ය වන්නේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්ත්වය හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ස්ක්‍රීන් ටයිම් වැඩි දරුවන් වර්චුවල් ඕටිසම් තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ

අද කාලේ දෙමාපියන් බොහොම කාර්ය බහුලයි. ආර්ථික සටනත් එක්ක හරිහරියට තරග වදින්න තාත්තට විතරක් බැහැ. ඉතිං අම්මලත් ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. මේ කාර්ය බහුල බවත් එක්ක අපේ දරුවෝ ස්මාර්ට් දුරකතනයට, පරිගණකට එහෙමත් නැත්නම් ටීවී එකට වැඩිපුර ආදරය කරන්න පටන් අරගෙන. ඒ වගේම තමයි දරුවන්ට කාටූන් එකක් දාලා දීලා වැඩ ටික ඉවර කරගන්න සමහර අම්මලත් පුරුදු වෙලා. නොදැනුවත්ව උනත් වැඩිහිටි අපි අතින් මේ සිද්ධ වෙන්නේ කොයි තරම් නම් ලොකු වරදක්ද කියලා මේ ලිපිය කියවගෙන යද්දී වැටහේවී. 

ස්ක්‍රීන් ටයිම් ඒ‍ කියන්නේ ටීවී, පරිගණක, දුරකතන තිරයේ සිටින කාලය වැඩි වීම වර්චුවල් ඕටිසම් ((Virtual Autism)) තත්ත්වයට හේතු විය හැකියි. මේ හරහා දරුවන්ගේ සන්නිවේදයේ භාෂාවේ හැසිරීමේ ගැටලු ඇති විය හැකියි. පැය තුනකට වැඩි කාලයක් තිරයේ ගත කරන දරුවෙකුට බොහොමයක් සංකූලතාවලට මිහුණ දීමට සිදුවි හැකියි.

මේ සංකූලතා‍ හේතුවෙන් සුව නින්දක් සඳහා අවශ්‍ය මෙලටනීන් හෝමෝනය වගේම සතුට සඳහා අවශ්‍ය  ඩොපමීන් හෝමෝනය ශ්‍රාවය වන ප්‍රමණයේ අඩු වැඩි වීම් සිදු වනවා වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අවශ්‍ය ඇසිටයිල් කෝලීන් හෝමෝන‍ය ශ්‍රාවයේත් යම් යම් වෙනස් වීම් ඇති විය හැකියි. 

මේ හෝමෝන ශ්‍රාවයන්ගේ සිදුවන වෙනස්කම් හේතුවෙන් අපේ දරුවන් තුළ …

  • ආවේගශීලී හැසිරීම් රටා 
  • යමක් විමසූ විට එය වටහා ගෙන නිවැරදි ප්‍රතිචාරය දැක්වීමේ නොහැකියාව
  • යමක් විමසූ විට ප්‍රතිචාර දැක්වීමට යන කාලය වෙනස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

‍මෙවැනි දරුවන් කොටස් කිහිපයකම ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි.

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු

යමෙක් සමග ඇසට ඇස බලා කතා කිරීමේ (eye contact) නොහැකියාව වගේම වාචික හෝ අවාචික සන්නිවේදනය අවම (තමාගේ අවශ්‍යතාවයන් අන් අය ලවා ඉටුකරගැනීමට උත්සාහ කළත් එය වාචිකව/අවාචිකව පැවසීමට උත්සාහ නොකරයි) තත්ත්ව‍යේ පැවතීම යන සන්නිවේදනයේ ගැටලුකාරී තත්ත්ව නිසා මෙවැනි දරුවන්ගේ හැසිරීම් රටාවේ ගැටලු බොහොමයක් ඇති විය හැකියි. සමස්ථයක් ලෙස ගත් කළ භාෂාව වටහා ගැනීමේ නොහැකියාව සහ තැනට ගැලපෙන අයුරින් භාවිතයට ඇති නොහැකියාවයි. උදාහරණක් ලෙස ඇතැම් දරුවන්ගෙන් යමක් විමසූ විට එයට පිළිතුරු දෙනවා වෙනුවට ඒ ප්‍රශ්නයම නැවත නැවත පවසනවා. ඒ ඔහුට/ඇයට විමසන දේ වටහා ගැනීමට නොහැකි නිසායි.

සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු

වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක් වැඩි කැමැත්තක් දක්වන්නේ පාඩුවේ තනිව තමාගේ ලෝකයේ වෙන්වෙලා කාලය ගත කිරීමටයි. ඒ සමාජ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට ඔවුන් කැමැත්තක් නොදක්වන නිසයි. උදාහරණයක් විදියට මෙවැනි දරුවන් තමගේ සෙල්ලම් බඩුවක් ගෙන ඒ හරහා තනිව විනෝද වීමට ප්‍රියතාවයක් දක්වයි. පිරිසක් හමුවේ වුවත් මෙවැනි දරුවන් කැමැත්තක් දක්වන්නේ අන්‍යයන්ගෙන් වෙන්ව තනිව කාල ගත කිරීමටයි. මොවුන් තුළ සමාජශීලී බව අඩුයි. ඔවුන්ට යමෙක් කතා කළත් සිනාසී ප්‍රතිචාර දක්වන්න ඔවුන් තුළ රුචියක් නැහැ. එසේම මොවුන් යමක් තවත් අයෙකු සමග බෙදා හදා ගන්න, යහළු යෙහෙළියන් ඇති කරගන්න කැමැත්තක් දක්වන්නේ නැත. මේ තත්ත්වය මත පෙර පාසැලකදී එහෙමත් නැත්නම් පාසැලකදී වුණත් මෙවැනි දරුවන් කිසිවෙකු සමග සම්බන්ධ නොවනවා සේම මෙවැනි දරුවන් යහළුවන් ලෙස තෝරා ගැනීමට අනෙක් දරුවනුත් කැමැත්තක් දන්වන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දරුවන්ට යහළු යෙහෙළියන් ඇති වන්නේ නැහැ.

 හැසිරීමේ ගැටලු පෙන්නුම් කරනවා. 

මෙවැනි දරුවන් සෙල්ලම් කිරීමේදී එකම දේ එක දිගටම කිරීම ‍විශේෂයෙන් දැකිය හැකියි. උදාහරණයක් ලෙස සෙල්ලම් වාහනයක් මෙවැනි දරුවෙක් අත ඇති විට ඒ සමග එකම ආකාරයකට සෙල්ලම් කරයි. උදාහරණක් විදියට රෝද කරකැවීම වැනි දෙයක්. ඒත් සාමාන්‍ය දරුවෙක් එම භාණ්ඩයම තෝරා ගත හොත් එ නිර්මාණාත්මකව ‍‍යොදාගන්නා ආකාරය දැක ගත හැකියි. නමුත් වර්චුවල් ඕටිසම් තත්ත්වයේ සිටින දරුවෙක්ගේ හැකියාවන් සීමාසහිත නිසා ඔවුන් සැමවිටම එකම ක්‍රියාව දිගින් දිගටම සිදුකරනවා. 

  • හැසිරීම සහ සිතුවිලි සම්බන්ධ ගැටලු

කතාව භාෂාව හා සන්නිවේදනයේ ගැටලු නිසාත් සමාජ කුසලතා/අන්තර්සම්බන්ධතා හා සම්බන්ධ ගැටලු නිසාත් මේ තත්ත්වයේ සිටින දරුවෙකුගේ හැසිරීමේ මෙන්ම සිතුවිලි සම්බන්ධ වෙනස්කම් පැන නැගිය හැකියි. එසේම මෙවැනි දරුවන් පෙර සඳහන් කළ පරිදිම ආවේගශීලී හැසිරීම් රටා පෙන්නුම් කරන අවස්ථාවන් දැකගත හැකියි. උදාහරණයක් ලෙස කුඩා ශබ්දයකට විශාල ලෙස ප්‍රතිචාර දැක්වීම එනම් එවැනි අවස්ථාවකදී කලහාකාරී හැසිරීම් රටා පෙන්වීම දැකිය හැකියි. ඒ වගේම මෙවැනි ඇතැම් දරුවන් මුදු පිරිමැදීම් රුචි කරන අතරම ඇතැම් දරුවන් දැඩි පිරිමැදීම් ප්‍රියකරනවා. ඇතැම් දරුවන් සුවඳ සම්බන්ධවත් වෙනස් ගති පැවතුම් පෙන්නුම් කරන අවස්ථා දැක ගත හැකියි. එය සරලවම පැවසුවහොත් මොවුන් දෙයකට ඇලුම් කරන්නේ ප්‍රියකරන්නේ එක් අන්තයක සිට පමණක් බවයි.  මේ මගින් ද හැසිරීමේ ගැටලු ඇති වේ. 

ඔබේ දරුවාත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබ කළ යුත්තේ බියට පත්වීම හෝ ‍කණගාටුවට පත්වීම නොවන බව තර‍යේ සිතට ගන්න. පළමුවෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී දරුවාගේ තත්ත්වය පවසා ඔහු/ඇය පත්ව සිටින තත්ත්වය පිළිබදව සැක හැර දැනගන්න. ඉන්පස්ව ඔබ කළ යුතු දේ පිළිබඳව නිසා මාර්ගෝපදේශනය ලැබෙන නිසා එතැන් සිට ඒ අනුව ක්‍රියාත්මක වන්න. දරුවා පත්ව සිටින තත්ත්වයට අනුව කතාව හා සම්බන්ධ ගැටලුවක් නම් කතන හා භාෂා ව්‍යාධිවේදීවරයෙක් වෙත ද සංවේදී බව ආශ්‍රිත ගැටලුවක් නම් වෘත්තීය චිකිත්සකවරයෙකු වෙතද හැසිරීමේ ගැටලු නම් චර්යා චිකිත්සකවරයෙකු වෙතටද වශයෙන් නියමිත අංශ වෙත ඔබට ‍යොමු කෙරෙනු ඇත. එහිදී ලබා දෙන උපදෙස් අනුව යමින් කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.

මෙවැනි තත්ත්වයකදී ‍වගකීම් සහගත දෙමාපියන් ලෙස ඔබ 

  • ඔබේ දරුවා තිරය ඉදිරියෙන් ඉවත් කරන්න
  • හැකි උපරිම වේලාවක් දරුවා සමග කාලය ගත කිරීමට වෙන්කරගන්න
  • දරුවා සමග සෙල්ලම් කරන්න (බිල්ඩින් බ්ලොක්ස්වලින් දරුවාගේ මට්ටමට යමින් එක්ව සෙල්ලම් කරන්න)
  • ගීත ගායනය, කතාන්දර කීම, පින්තූර පොත් හරහා වචන හඳුන්වා දීම

අද වන විට අපි කවුරුත් ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක් නිසා බාහිරින් අප වෙත උදව් උපකාර ලබාගැනීමේ හැකියාව අවමයි. ඒ කෙසේ වුවත් ඔබේ දරුවාගේ යහපත වෙනුවෙන් තාක්ෂණික මෙවලම් ඔවුන්ගෙන් ඈත් කළ යුතුම දෙයක් බවත් එය දෙමාපියන් වන ඔබට පැවරෙන විශාල වගකීමක් බවත් සිත්හි තබාගන්න. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී පෙන්නුම් කරන ලක්‍ෂණ ගැන ඔබ දැනුවත්ද?

පෙර ලිපි තුළින් ගර්භාෂයෙන් පිටත සිඳුවන පිළිසිඳ ගැනීම් එසේත් නැතිනම්  Ectopic pregnancy තත්ත්ව‍ය පිළිබඳව ඔබ මනාව දැනුවත් බවක් ලබන්නට ඇති බව අපගේ විශ්වාසයයි. Ectopic pregnancy තත්ත්ව‍යේදී පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව මේ ලිපිය තුළින් දැනුවත් වෙමු. Ectopic pregnancy තත්ත්ව‍යේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය වන්නේ කලල වර්ධන වීමත් සමගම ඇති වන ඉඩ කඩ අවම වීමෙන් අදාල ස්ථානය පුපුරා යාමයි. Ectopic pregnancy තත්ත්ව‍යට මුහුණ දුන් කාන්තාවක් එම පිපිරීමට පෙර සහ පසු පෙන්නුම් කළ හැකි ලක්ෂණ වෙන්වෙන්ව හඳුනා ගනිමු.

Ectopic pregnancy තත්ත්ව‍යේදී (පිපිරීමකට පෙර) පෙන්නුම් කරන ලක්ෂණ

  • ගැබ් ගත් බව හඟවන ලක්ෂණ

මෙහිදී බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණවලට උදාහරණ ලෙස ඔපස් වීම නතර වීම, ඔක්කාරය, වමනය මෙන්ම නිතර නිතර මුත්‍රා පහවීම දැක්විය හැකි අතරම ඊට අමතරව යෝනි මාර්ගය හා අවට ප්‍රදේශය නිල් පැහැවීම, ගර්භාෂය මඳ වශයෙන් විශාල වීම, ගැබ්ගෙල මෘදු වීම වැනි ලක්ෂණත් ඇති වේ.

  • යෝනි මාර්ගයෙන් මඳ වශයෙන් රුධිරය වහනය
  • යටි බඩ පෙදෙසේ වේදනාව/බඩ කොරවීම

Ectopic pregnancy තත්ත්ව‍යේදී පිපිරීමක් සිදු වූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • හදිසියේ ඇති වන උදර හෝ යටි බඩ ප්‍රදේශයේ වේදනාව/කොරවීම දිගින් දිගටම ඇති වේ 
  • ශරීරය දුර්වල වීම හා සිහිසුන් වීම/ක්ලාන්තව ඇද වැටීම.
  • නාඩි දුර්වල වීම හා වේගවත් වීම (විනාඩියට වාර 100 වැඩි)
  • රුධිර පීඩනය අඩුවීම
  • සිරුරේ රුධිර ප්‍රමාණය අඩුවීම
  • සුදුමැලි වීම
  • උදරය ඉදිමීම
  • උදරය පරීක්ෂාවේදී තද වේදනාවක් ඇති වීම
  • උරහිවල වේදනාව
  • යෝනි මාර්ග පරීක්ෂාවේදී ගැබ් ගෙල ප්‍රදේශයෙන් තද වේදනාවක් ඇති වීම

ගබ්සා වීම, ගර්භාෂයේ හා ඒ ආශ්‍රිතව ඇති වන විවිධ ආසාධන තත්ත්ව, ඩිම්බ කෝෂ තුළ ඇති ගෙඩියක් පුපුරා යාම හෝ ඩිම්බ කෝෂ ඇඹරීම (Ovarian torsion) මෙන්ම උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (Appendicitis) වැනි තත්ත්වවලදීත් ඉහත ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.

Ectopic pregnancy තත්ත්ව‍ය හඳුනා ගැනීම

  • රුධිරයේ B-HCG මට්ටම පරීක්ෂාව

පළමු පරීක්ෂණයෙන් පැය 48ක් ඇතුළත නැවත පරීක්ෂා කිරීමේදී මුල් අගයට වඩා අඩු නම් හෝ දෙගුණ නොවේ නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් බවට සැක කළ හැක

  • Ultra Sound Scanning

වඩා සාර්ථක වන්නේ උදරය මඟින් සිදු කරන ස්කෑනින් පරීක්ෂණය නොව යෝනි මාර්ගය හරහා සිදු කරන ස්කෑනින් පරීක්ෂණයයි. එහිදී ගර්භාෂය තුළ ගර්භයක් ඇතිද යන්න හඳුනාගත හැක.

Ectopic pregnancy තත්ත්ව‍යේදී සිදුකරන ප්‍රතිකාර 

  • ඖෂධ ප්‍රතිකාර
  • ශල්‍යමය ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර

පැලෝපීය නාලය පුපුරා නොමැති නම් ගර්භණීභාවය සඳහා කාලයක් ගත නොවී ඇත්නම් (ගර්භණීභාවයට සති ගණන අඩු නම්) Methotrexate ඖෂධ මාත්‍රාවක් ලබාදී එමඟින් සෛල වර්ධනය නවත්වයි. පසුව එම කොටස් ශරීරය තුළටම අවශෝෂණය වේ

ශල්‍ය ප්‍රතිකාර

මෙහිදී ලැපරොස්කොපි මෙන්ම ලැපරටොමි (උදර විච්ඡේදනය) න ක්‍රම දෙකම ‍යොදා ගන්නා අවස්ථාවන් තිබේ. 

උදරයේ ඉතා කුඩා කැපුම් කිහිපයක් සිදු කර එය තුළින් සිහින් නැවෙන සුලු laparoscope නම් උපකරණය ඇතුළු කර එමගින් ගර්භය ඉවත් කිරීම සිදු කරයි. මෙසේ කළ හැක්කේ රුධිර වහනය අඩුවෙන් ඇති විට පමණි. 

නාලය පිපිරී යාම නිසා අධික රුධිර වහනයක් සිදු වී ඇත්නම් උදර කැපුමක් මගින් නාලය හා කලල කොටස් ඉවත් කරයි. ඇතැම් විට මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය අනුව අවශ්‍ය නම් රුධිරය පාරවිලයනය කිරීමට වුවද සිදු විය හැකිය. පැලෝපීය නාලයට හානි සිදුවී නැතිනම් කලල කොටස පමණක් ඉවත් කර නාලය අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇත. මෙසේ අලුත්වැඩියා කිරීමෙන් පැලෝපීය නාලයේ කැලලක් ඇති වේ. නැවත වරක් ගැබ් ගැනීමේදී කලලය ගර්භාෂයෙන් පිටත පැලෝපීය නාලයේ කැලල පිහිටි ප්‍රදේශයේ තැන්පත් වීමට ඇති අවදානම වැඩිය. නිසා පැලෝපීය නාලය සම්පූර්ණයෙන් ඉවත් කර දැමීම ආරක්ෂාකාරී වේ. එහෙත් එක් පැලෝපීය නාලයක් අහිමි වූ විට නැවත දරුවෙකු ලැබීමේ හැකියාව තරමක් දුරට අඩු වේ

ලැපරස්කොපි මෙන්ම ලැපරටොමි යන ක්‍රම දෙකේදීම සිදු කළ හැකි නමුත් ඉතාම කලාතුරකින් සිදුවන තවත් ප්‍රතිකාරයක් වන්නේ අදාල සෛලය මිරිකමින් පිටතට රැගෙන ඒමයි. 

රෝහලෙන් පිටව යාමට පෙර කාන්තාවට තිබූ රෝග තත්ත්වය, සැත්කමේ ස්වභාවය, පසු කලෙක ඉන් ඇති විය හැකි අතුරුඵල පිළිබඳව පැහැදිලි කරදීම කළ යුතුය. නැවත මෙවැනි ගර්භනීභාවයක් ඇති වීමේ හැකියාව හා සරුභාවයේ අඩුවීම පිළිබඳව දැනුවත් කිරීමද අවශ්‍ය වේ. කාන්තාව හොදින් සුව වන තෙක් සුදුසු උපත් පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නම් මාස 6 ක් යනතුරු යකඩ පෙති භාවිතයට උපදෙස් දිය යුතුය

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

නව යොවුන් දරුවන්ගේ හැසිරීම සමග දෙමව්පිය කාර්යභාරය

නව යොවුන් දරුවන්ගේ හැසිරීම සමග දෙමව්පිය කාර්යභාරය

ගැහැණු දරුවෙක් වගේම පිරිමි දරුවෙක් නව යොවුන් වයසට පත් වෙන විට ඇති වෙන ශාරිරික ලක්ෂණ ගැන අපේ දෙමව්පියන් ඉතාම හොඳාකාරව දන්නවා. ඒ නිසාම තමන්ගේ දියනිය මල්වර වෙන්නේ කවදාදැයි විමසිල්ලෙන් අම්මාවරු පසු වෙනවා. පිරිමි දරුවන්ගේත් ඇති වෙන ශාරිරික ලක්ෂණ අනුව ”අපේ පුතා දැන් ඉලන්දාරියෙක්..” කියන සතුටක් දෙමව්පියන්ගේ හිතේ ඇති වෙනවා. ඉතින් ශාරිරික ලක්ෂණ අනුව දෙමව්පියන් තෘප්තියට පත් වෙන අතර නව යොවුන් දරුවන්ගේ මානසික හැසිරීම ගැනත් අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

ඉස්සර වගේ දැන් කෝටුවෙන්..වචනයෙන් මට්ටු කරන්න බැහැ

ඇත්ත…පුංචි කාලයේ ඔබේ වචනයට එහෙම නැත්නම් වේවැලට බයෙන් සිටිය දරුවා නව යොවුන් වයසට පත් වුනාම ඒ විදිහට මට්ටු කරන්න අපහසුයි.ඔවුන් දැන් තර්කානුකූලව හිතනවා.

  • මේ…යාලුවොත් එක්ක රවුම් ගහන්න යන්න අවසර ගන්න එන්න එපා..මගෙන් ඕවාට ඉඩ නැහැ..නව යොවුන් දරුවාට ඔබ එහෙම කිව්වාම
  • ඇයි එපා කියන්නේ..මට යන්න ඕන..ඔහු ඒ විදිහට ප්‍රකාශ කිරීමෙන් ඇති වෙන ගැටුම දුරදිග යනවා.මේ වගේ ගැටුම් ඇති වීමට ඉඩ නොදී කටයුතු කිරීම ඉතා වැදගත්.

දරුවා දැන් තර්කානුකූලව හිතනවා..

නව යොවුන් වියට පත් ඔබේ දරුවා දැන් තර්කානුකූලව සිතන්න පටන් ගන්නවා. ඒ නිසා හැම දෙයක් ගැනම විමසිලිමත්  නිසා ඉස්සර වගේ නිහඩව සිටින්නේ නැහැ. ඒ නිසා ඔබ දරුවාට යම් දෙයක් එපා කියනවාට වඩා ඒ දෙය එපා කියන්නේ ඇයි යන තැනට හේතු කියා දෙන්න.

  • ඔයාගේ යාලුවා ඉන්නේ කොහෙද කියලවත් අපි දන්නේ නැහැ. එයා කොයි වගේද දන්නෙත් නැහැ. ඒ හින්දා මුලින්ම ඔයාගේ යාළුවා ගැන අපි දැන හදුනාගන්න ඕන..ඒ හින්දා මගෙ පුතා පස්සේ දවසක යන්න.  මේ දවස්වල එහෙ මෙහෙ ඇවිදන එකත් එච්චර හොද නැහැ..යනුවෙන් ඔබ එපා කියන දෙය සාධාරණ කරන කරුණු ගැනත් කියා දෙන්න.

විද්‍යාත්මකව සිතනවා..

නව යොවුන් දරුවන් පහසුවෙන් මුලා කිරීමත් අපහසුයි. අතීතයේදි ඔබ විවිධ මිථ්‍යාවන්ගෙන් දරුවා මුලා කළත් දැන් ඔවුන් විද්‍යාත්මකව සිතන්න පටන ගන්නවා. ඒ නිසා ඔබේ මිථ්‍යාවන් දැන් ඔවුන්ට ගැලපෙන්නේ නැහැ. අම්මා කියන්නේ බොරු ..ඒක කොහෙමද එහෙම වෙන්නේ කිව්වාම ….

  • මේ දෙමව්පියන් කියන දේ අහගෙන ඉන්නවා..ළමයි වුනාම ඒ විදිහටයි හැදෙන්නේ..කට ගහගෙන එනවා මෙතැන..යනුවෙන් චෝදනා කරන්න එපා. ඔබ අතීතයේ සිතුවාට වඩා ඔවුන් දැන් විදයාත්මකව සිතන යුගයක් ඇස් ඉදිරියේ තිබෙන නිසා දරුවන්ගේ විදයාත්මක චින්තනය ඔබේ ආධිපත්‍යයෙන් අහුරන්න එපා.

නිර්මානශීලියි..

දරුවා දැන් අලුත් ලෝකයකට විවෘතයි.ඔවුන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක ආරම්භ සමග නිර්මානශීලිත්වයත් නොදැනීම අවදි වෙනවා.ගැහැණු දරුවන් මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් වැනි කටයුතු වෙත යොමු වෙන අතරවාරයේදී පිරිමි දරුවන් විවිධ උපාංඟ නිපදවීම, විද්‍යුත් මෙවලම් වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන යුගයක්. ඒ නිසා ඔවුන්ගේ නිර්මානශීලිත්වය අවදි කිරීමට ඉඩ දෙන්න. ඒ නිසාම ඔවුන් අලුත් දේවල් අත්හදා බැලීමට වැඩි උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා.

නව යොවුන් වියේදී ඇති වෙන සාමාජයීය වෙනස්කම්..

නව යොවුන් වියේදී දරුවන් විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරට වැඩි කැමැත්තක් දක්වනවා. ඉස්සර අම්මා ,තාත්තා පමණක් ජීවත්වුන ඔවුන්ගේ ලෝකයේ දැන් ප්‍රේමය, ආදරය වැනි හැඟීම් අවදි වීමට පටන් ගන්නවා. මේ අවදියේදී දරුවා යම් ආදර ගැටුමකින් පරාජය වුනොත් එය දැඩි මානසික පීඩාවක් බවට පත් වීමේ ඉඩ කඩ ගැනත් ඇති අවදානම දෙමව්පියන්ගේ අවධානයට ලක් විය යුතු කරුණක්.

සමවයස් කණ්ඩායම් සමග ඇසුර..

දැන් දරුවා වඩාත් කැමැත්තක් දක්වන්නේ සමවයස් කණ්ඩායම් සමග ඇසුරු කිරීමටයි. නමුත් මේ අවස්ථාවන් සමග දරුවා නොමගට යෑමට ඇති ඉඩ කඩ වැඩියි. මේ සමවයස් කණ්ඩායම් අතරත් විවිධ සමාජවිරෝධී කටයුතුවල නිතර දරුවන් සිටින්නට ඉඩ තිබෙනවා.ඒ නිසා දරුවා ඇසුරු කරන සම යස් කණ්ඩායම ගැනත් දෙමව්පියන්ගේ දැඩි අවධානය ඉතා වැදගත්.

අසාධාරණයට එරෙහි වීම

නව යොවුන් වියේදී දරුවා තමා දැන් ස්වාධීන චරිතයක් ලෙසින් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා තර්කානුකූලව සිතන ඔවුන් අසාධාරණය, අයුක්තිය වැනි සංකල්ප ඉදිරියේ නැගී සිටින්න පටන් ගන්නවා. ඒ නිසා පවුල තුළ වුනත් යම් යම් අසාධාරණකම් ගැන දරුවා කතා කිරීම ඔවුන්ගේ යොවුන්වියේ ජවය සමග ඇති වෙන ලක්ෂණයක්.

නායකත්වය..

මේ අවධිය වෙත්ම දරුවා නායකත්වයෙන් කටයුතු කිරීමට සූදානම්. ඒ නිසා පවුල තුළ දරුවාට යම් නායකත්වයක් ලබා දෙන්න. නිවසේ තීන්දු තීරණ ගැනිමේදී ඔවුන්ගේ අදහස් විමසන්න. 

  • ඔයාට ඒවා තේරෙන්නේ නැහැ..ඔයා හම්බ කරන කාලෙක ඒ විදිහට කරන්න..දැන් මේ ගෙදර වැඩ වෙන්නේ අපට ඕන විදිහට..යනුවෙන් දරුවන්ගේ අදහස් ඉවත දමන්න එපා. ඒ අදහස් වෙතින් ගත යුතු යමක් වේ නම් එය බාර ගන්න. නොගත යුතු දේ නොගැනීමට හේතු පහදා දෙන්න.

පොදු කටයුතු වෙනුවෙන් කැමැත්ත..

නව යොවුන් වියේදී දරුවන් පොදු කටයුතු වෙනුවෙන් කැමැත්තක් දක්වන අවදියක්. පාසලේ සමිති සමාගම්වල පටන් ගමේ පොදු වැඩ කටයුතු දක්වා මේ කැමැත්ත විහිදී යනවා.එවැනි කටයුතු වෙත දරුවන්ගේ මැදිහත් වීම ඔවුන්ගේ අනාගත පෞරෂ තත්වයේ සංවර්ධනයට ඉතාම හිතකර තත්වයක්.ඒ නිසා දරුවෙක් පොදු කටයුත්තක් වෙනුවෙන් සහය දැක්වීමේ යෝජනාවක් පළ කළොත්.

  • ඇයි…? කාලා බීලා ගෙදර ඉන්න බැරිද..?. යන්නේ එහෙම  යන්නේ නෑ..මේ අවුරුද්දේ විභාගේ…ලෙසින් දරුවා පොදු කටයුත්තක් වෙනුවෙන් දක්වන කැමැත්ත ලත් තැනම ලොප් කරන්න එපා. එයට ඉඩක් දෙන්න.එවැනි කටයුතුවලින් දරුවා ඔවුන්ගේ ජීවිතයට අවශ්‍ය බොහෝ දේ ඉගෙන ගන්නා බව අමතක කරන්න එපා.

එහෙමනම්…ගැහැනු දරුවෙක් වැඩිවිය පත් වූ තැනදී සතුටට පත් වෙන…පිරිමි දරුවාගේ ගැටවර විය ගැන ආඩම්බර වෙන දෙමව්පියන් ඔවුන්ගේ නව යොවුන් ජීවිතයේ මානසික සහ සමාජයීය වෙනස්කම්ද තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.

 

 

දරුවන් සමග චිත්තවේග සමබරව පවත්වාගෙන පවුලක් තුළ කටයුතු කරන්නේ කෙසේද..?

චිත්තවේගයක් යනුවෙන් අප හදුන්වන්නේ බාහිර හෝ අපේ හිතේ සැනින් ඇති වෙන මානසික ක්‍රියාවලියක්. ඒත් හැම දෙනාටම පොදු මේ මානසික තත්වයේදී විශේෂයෙන් මව්පියන් විදිහට ඔබ කටයුතු කරන්නේ කොහොමද…? 

ඔබ දරුවන් සමග මේ චිත්තවේග සමබරව පවත්වාගෙන පවුලක් තුළ කටයුතු කරන්නේ කෙසේද..? 

අනේ මට නම් තරහ යන්නේ නැහැ..කවුරුන් හෝ එසේ කියනවා නම් ඒ තරම් සාධාරණ නැහැ. අපි හැම දෙනාටම තරහ, සහ ආවේග ඇති වෙනවා. නමුත් එක් එක් අයගේ මෙම ආවේග පාලනය කිරීමේ හැකියාව වෙනස්. දෙමව්පියන් විදිහට ඔබ පවුල තුළ විශේෂයෙන් දරුවන් සමග කටයුතු කරද්දී ඔබේ චිත්තවේග පාලනය කර ගන්නේ කොහොමද…?

චිත්තවේග සමබරතාවයෙන් කටයුතු කරන්න පුලුවනිද…?

චිත්තවේග සමබරතාවය අපි මේ විදිහට හදුන්වමු. චිත්තවේගයක් ඇති වූ විට ඒ ගැන බුද්ධිමත්ව සලකා බලා යහපත්ව ප්‍රතිචාර දක්වමින් ඔබේ හැසිරීම හොදින් පවත්වා ගැනීමට ඔබට පුලුවනිද…? සමහර විට මේ ගැන ඔබත් නොදන්නවා ඇති.අපි මෙහෙම කිව්වොත්

හිතට ආවේගයක් ඇති වුනාම ඔබ කටයුතු කරන්නේ කොහොමද…?

  • කෑ ගහන්න පුලුවනි.
  • හඩන්න
  • පහරදීම
  • බඩු මුට්ටු පොළවේ ගහන්න

එහෙමනම් ඉහතින් ඇති කුමක් හෝ අවස්ථාවක් ඔබේ ජීවිතයේදී සිදු වී නැත්ද..? ඒ ගැන ඔබ දන්නවා ඇති.

දරුවෙක් වැරදි වැඩක් කරද්දී ඔබ මහත් සේ ගෝරනාඩු දෙමින් කෑ ගසන්න පුලුවනි. එය සමහර විට බැනීමක්..දොස් නැගීමක් වෙන්න පුලුවනි. මේ වේලාවේදී ඔබ පාවිච්චි කරන වචන ගැනත් හිතුවොත් ඒවා ඉතා දරුනු වෙන්නත් පුලුවනි.

දරුවන්ට ආමන්ත්‍රනය කරන වචන

ඔබට චිත්තවේගයක් ඇති වුනාම දරුවන්ට ඉතා දරුණු විදිහට වචනයෙන් පහර දෙන දෙමව්පියන් නැත්තේම නැහැ. නමුත් ඔවුන් දරුවන්ට ආදරේ නැතුවා නොවෙයි.එකම හේතුව හිතේ ඇති වුන චිත්තවේග පාලනය කර ගැනීමට දෙමව්පියන්ටත් හැකියාවක් නැහැ. ඒ නිසා දරුවාගේ ආත්මයටම පහර වැදෙන විදිහට කාලකණ්නියා..හිතුවක්කාරයා..මෝඩයා…වැනි විශේෂණයන්ගෙන් ඔබටත් නොදැනීම දරුවා ආමන්ත්‍රණය වෙන්න පුලුවනි. 

දරුවන්ට ආමන්ත්‍රණය කරන ආකාරය

ඔබේ චිත්තවේග දරුවන් මතින් පිටකිරීම ඉතාම පහසුයිනේ..ඒ නිසා දරුවෙකුගේ වරදට ඔබ ඉතාම තර්ජනාත්මකව ආමන්ත්‍රණය කරන්න පුලුවනි.ඒ වගේම අතීතය..වර්තමානය පාදක කර ගෙන දරුවන්ගේ අනාගතය ගැනත් සමහර විට ඔබ අනාවැකි කියන්න ඉඩ තියෙනවා.

මං දන්නවා කවදාවත් ඔයාට නම් ජීවිතයක් නැහැ. පාරේ හිඟා කන්න තමයි වෙන්නේ..කොච්චර වියදම් කළත් ගඟට ඉනි කපනවා වගේ..මෙතැනින් ප්‍රදර්ශනය වෙන්නේ දෙමව්පියන්ගේ චිත්තවේග වුනත් එයින් මානසිකට පීඩාවට පත් වෙන්නේ ඔබේම දරුවා බැව් නොදන්නවා වෙන්නත් පුලුවනි.

තවත් අයට සංසන්දනය කිරීම

අද සමාජයේ තියෙන්නේ පුදුමාකාර තරගයක්.මේ තරගයේදී දරුවන්ද කොටස්කාරයන් බවට නොදැනීම පත් වෙනවා. ඒ නිසා දෙමව්පියන් තමන්ගේ සමාජ තරාතිරමට දරුවන්ගෙන් ආලෝකය ලබා ගැනීමට සූදානම්. ඒ නිසා නිතරම දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් දෙමව්පියන්ගේ මහත් වූ වෙහෙසක් දරනවා. ඒ නිසාම දරුවන්ගේ යම් යම් අසාර්ථකවීම් පරාජයන් ඉදිරියේදී මුලින්ම චිත්තපිඩාවට පත් වෙන්නේ දෙමව්පියන්. ඒ නිසාම දෙමව්පියන්ට තමන්ගේ චිත්තවේග පාලනය කර ගැනීමට  හැකියාවක් නැහැ.

ඔවුන්ටත් නොදැනීම දරුවන්ට දොස් නගන්න පටන් ගන්නවා. මේ දොස් නැගීමේදී තවත් දරුවන් සමග සිදු කරන සංසන්දනය ඉතාම බරපතල විදිහට ඔබේ දරුවාට බලපානවා.

බලන්න අල්ලපු ගෙදර ගිම්හානි.. ගෙදර වැඩත් කර ගෙන, නංගිලා මල්ලිලාත් බලාගෙන ඒ සේරමත් එක්ක විභාගෙත් හොදටම පාස්..ඔයාලාට මොනවද පුලුවනි. ඒ වගේ දරුවෙක් අපට හිටියා නම් කොච්චර වාසනාවක්ද..හැම ළමයෙකුටම මොකක් හරි හැකියාවක් තිබෙනවා. ඔයාට මොනවද හරියට කරන්න පුලුවන්..? මේ අන්දමින් දොස් නැගීම සිදු වෙන්නේ ඔබටත් නොදැනීම ඔබේ චිත්තවේග මුදා හැරීමක්.

හැඬීම

අපි හිතන්නේ හඩන්නේ දරුවන් විතරයි කියලද..? නැහැ. දෙමව්පියන්ද හඬා වැටෙනවා. ඇතැමුන් හදවතින් හඬා වැටෙද්දී තවත් අය කඳුළු පිටකරමින් හඬා වැටෙනවා. ඔබේ හිතේ තිබෙන චිත්තවේග පාලනයට ඇති අපහසුතාවය නිසා මේ අන්දමින් හඬා වැටීම් සිදු වෙනවා. සැබැවින්ම කදුළු පිට කරමින් චිත්තවේග මුදා හැරීම චිත්තවේග හිතේ දරාගෙන දුක් විදිනවාට වඩා යහපත්. මේ නිදසා දරුවන්ගේ, සැමියාගේ කරදර ඉදිරියේ ඔබ හඬනවා කියන්නේ ඔබේ චිත්තවේග පිටකරන තවත් එක් ආකරයක්..

පහරදීම..

ඔබ දරුවන්ට පහර දෙන සෑම අවස්තාවක්ම ඔවුන්ගේ වරද නිවරැදි කිරීමට වඩා ඔබේ චිත්තවේග මුදා හැරීමට අවස්ථාවක් කර ගෙන ඇති. විටෙක දරුවාට දඬුවම් නොකළ යුතු දෙයට පවා ඔබ පහර දෙන්න ඇති. 

නිවසේ බඩු මුට්ටු පොළවේ ගැසීම

සිතට ඇති වෙන ආවේග ඉදිරියේ ඔබ නිවසේ බඩු මුට්ටු පොළවේ ගසන්න ඇති. දරුවාගේ පොත් පත්, සෙල්ලම් බඩු විසි කරන්න හෝ ඉරා දමන්න ඇති. චිත්තවේග ඉදිරියේ මේ අන්දමින් සිදු වුනත් ටික මොහොතකින් සිදු වී තිබෙන විනාශය ගැන ඔබ පසුතැවිලි වේවි.

එක් මවක් තම දියණිය සමග ඇති වුන කේන්තියට නිවසේ පිගන් කෝප්ප පොළවේ ගැසුවා. දියනිය කිසිවකුත් කතා නොකර සිට මෙහෙම කිව්වා..දැන් ඉතින් ඔය බිඳපු පිඟන් කෝප්ප වලට ඔයාම අලුත් ඒවා ගේන්න වෙයි..සැබැවින්ම එයිනුත් අලාබය සිදු වුනේ තමන්ටම බව අම්මාට ඒත්තු ගියේ එවිටයි.

ආවේග ඇති වුනොත් කාටවත් හානියක් නොවන විදිහට පාලනය කර ගන්නේ කොහොමද..?

ආවේග ඇති වුනාම ඒවා පිට කිරීමටයයි කියා අනවශ්‍ය ගැටළු ඇති කර ගැනීමට වඩා සාර්ථක වූත්, කිසිවෙකුටත් හානිකර නොවූත් පියවර කීපයක් තිබෙනවා..

  • අවස්ථාව මග හරින්න. යම් ගැටුමක් සිදු වෙන විට එතැනම රැදී තව තවත් බහින් බස් වෙනවාට වඩා එතැනින් වෙනස් වී වෙනත් කටයුත්තකට යොමු වෙන්න.
  • කඩදාසියක් අරගෙන එය කැබැලි කරන්න
  • 1 සිට 10 ට ගනින්න.
  • වතුර වීදුරුවක් ගෙන එය සෙමින් පානය කරන්න
  • ගීතයක් අසන්න
  • ජංගම දුරකථනයෙන් ක්‍රිඩාවක් හෝ නිතර වෙන්න.

චිත්තවේග පාලනය අපට අපහසු බව ඇත්ත. නමුත් ස්ථාවරයේ රැඳී ප්‍රශ්නය තව තවත් දිගු ගැස්සීම වෙනුවට කෙසේ හෝ ඔබේ ආවේග පාලනය කර ගැනීමට උත්සාහ කරන්න

 

බෝවන රෝගවලින් දරුවන් රැකගන්න ඔබේ වගකීම හඳුනාගන්න

අන් කවරදාටත් වඩා සෞඛ්‍ය වෙත විශේෂ අවධානයක් යොමුවීම පසුගිය වසර පුරාවට ලෝකය පුරාම දක්නට ලැබුණා. විශේෂයෙන්ම අපේ පුංචි දරුවන් රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නොයෙක් ආකාරයේ උපක්‍රම මව්පියන් සොයන්නට වෙහෙස වුණා. ඒ හෙට ලොව බාරගන්නට සිටින අපේ පුංචි පැටවුන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටි අපේ මූලිකම අරමුණ නිසයි 

දරුවන් යනු ඔබ අප සැමගේ වගකීමක් වන නිසාම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර සැලකිලිමත් වීම වැඩිහිටි සැමගේම වගකීමක්. වර්තමානයේ උද්ගත වී ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ දරුවන්ගේ සනීපාරක්ෂාව සහිත සුරක්ෂිත ඉගැනුම් පරිසරයක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා ඉස්මතුවී ඇත.  විශේෂයෙන්ම පාසල් නැවතත් විවෘත වී ඇති පසුබිමක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ දෙමව්පියන්ගේ අවධානය වෙනදාටත් වඩා යොමුව ඇති බව පැවසිය යුතුමය. දරුවන් නිවසේ වෙසෙන කාලය තුළ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව දෙමාපියන් අවධානයෙන් සිටියත් පාසැල තුළ, පෙර පාසැල තුළ ගත කරන කාලය දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද තරමක අභියෝගාත්මක එකකි. එනිසාම දරුවන් පාසැල වෙත යැවීමට තවමත් දෙමව්පියන් තරමක මැලිකමක් දක්වන බව නොරහසකි. නමුත් දරුවන්ගේ අධ්‍යාපනය එලෙස මගහැරෙන්නට ඉඩදීමද නුදුරු දිනකදීම ඔබ සිතනවාටත් වඩා විශාල අවධානමකට දරුවා ඇද දමනවා විය හැකිය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන දැඩි අවධානයක් දෙන අතරතුරදීම අධ්‍යාපන කටයුතු අතපසු නොවන්නට ඔවුන් පෙළඹවීම දෙමව්පිය ඔබගේ වගකීමකි. 

බැක්ටීරියා ආසාදන යනු පාසල් යන වයසේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාවට දැඩි ලෙස තර්ජන එල්ල කරන රෝගවාහක තත්ත්වයකි. දුවන පනින වයසේ දරුවන් බොහෝවිට විෂබීජවලට නිරාවරණය වීම ඉහළ මට්ටමක පවතින නිසාම ඉක්මනින්ම බැක්ටීරියා අසාදනවලට ලක්වීමේ අවධානමක් ද පවතී. එලෙසම පාසල් කාලය තුළ දෙමව්පියන් ලෙස ඔබේ අවධානය දරුවා වෙනුවෙන් ලබා දීමේ හැකියාවක් නොමැති නිසාම ඔවුන් වෙත ළඟාවන අසාදන තත්ත්වයන් පිළිබඳව ඔබට අවබෝධයක් නොමැති වීම සාමාන්‍ය කරුණකි. එනිසාම පෙර සූදානම සෑම විටම ඔබේ දරුවා රෝග තත්ත්වයන්ගෙන් අරක්ෂා කරගනිමින් අවධානම අඩු කරවයි.

විශේෂයෙන්ම බෝවන රෝග බහුල මෙවැනි සමයක නිරන්තරයෙන්ම දරුවා ගැන අවධානයෙන් සිටීම වැදගත් වන අතර පාසලේ සිට නිවසට ආ මොහොතේම ඔවුන් පිරිසිඳු කිරීමට වගබලාගත යුතුය. එලෙසම ඔවුන්ගේ චර්යාවේ කිසියම් අසනීප සහගත බවක් දැනුනු වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම වැදගත් වන අතර දරුවා සමග එදිනෙදා පාසලේ තොරතුරු විමසමින් පිළිසඳරක යෙදීමටද අමතක නොකරන්න. යම් හෙයකින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් විය හැකි කිසිවක් වුවහොත් එය මුලදීම හඳුනා ගැනීමේ අවස්ථාව එවිට ඔබට හිමිවේ. එලෙසම ප්‍රතිශක්තිය වඩවන ආහර වෙත දරුවා යොමු කරවීමද වැදගත්ය.

පිරිසිඳුකමේ අගය ගැන සෑමවිටම දරුවා දැනුවත් කරන්න. පවතින තත්ත්වය හමුවේ සියලු පාසල් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම ඔබට තරමක් පහසුවක් වුවත් එහි ඇති වටිනාකම ගැන නිරන්තරයෙන් දරුවන් දැනුවත් කරන්න. පාසලට ඇතුළු වීම පෙර පාසලෙන් සපයා ඇති පහසුකම් යටතේ දෑත් පිරිසිඳු කරගැනීමට උපදෙස් දෙන්න. කෑමට පෙර, කෑමට පසු නිවැරදිව දෑත් සේදීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. විවේක කාලය තුළ සෙල්ලම් කිරීමෙන් අනතුරුව නැවතත් පන්තියට පැමිණීමට පෙර දෑත් හොඳින් පිරිසිඳු කරගන්න ලෙස කියාදෙන්න. සෑමවිටම තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීමේ වටිනාකම ඔවුන්ට පහදා දෙන්න. වෙනදාට වඩා අවට වටපිටාව රෝගකාරක විෂබීජවලින් පිරී ඇති බව කියාදෙන්න. 

දරුවන්ගේ අධ්‍යාපනය, අනාගතය හමුවේ මෙවැනි අභියෝගයකට මුහුණ දීමේ අවශ්‍යතාවය විනා ඊට බියව නිවසටම වී සිටීම ප්‍රයෝගික නොවන බව තේරුම්ගත් ඇට්ලස් ආයතනය දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සලකමින් දෙමුපියන්ගේ සිත් තුළ ඇතිවන්නා වූ බිය නැතිකර දමමින් කාලයට ගැළපෙන අගනා විසඳුමක් සොයාගෙන ඇති බව අපි සතුටින් මතක්කර සිටින්නෙමු. ඒ අනුව ඇට්ලස් සමගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැක්ටීරියා නාශක ලිපිද්‍රව්‍ය පෙළක් හඳුන්වාදී ඇත. ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය සන්නාමය ලෙස ඇට්ලස්  ආයතනය දරුවන්ට සුරක්ෂිත ඉගැනුම් පරිසරයක් නිර්මාණය කළ හැකි පාසල් උපකරණ රැසක් මෙලෙස හඳුන්වාදීමෙන් දරුවන් වෙනුවෙන් තවදුරටත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින්නේය.

ඒ අනුව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය (SLINTEC) සමග අත්වැල් බැඳගනිමින් ඇට්ලස්  ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම පොත් සහ පෑන් පෙළ බැක්ටීරියා නාශක නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇත. ඇට්ලස් අභ්‍යාස පොත්වල පිට කවරයේ වානිෂ් ස්ථරයේ සහ ඇතුළත පිටුවල අඩංගු සුවිශේෂී බැක්ටීරියා නාශක සංයෝගය එම පෘෂ්ඨයන් මත ගැටෙන බැක්ටීරියාවන් පැය 24ක් ඇතුළත 99.9%ක්ම විනාශ කර දමන බව VERITAS පාරිභෝගික සහ නිෂ්පාදන කාර්යාංශය මගින් තහවුරු කර ඇති අතරම මෙම නිෂ්පාදන පෙළ පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්දර්ශනයේදී නිළ වශයෙන් හඳුන්වා දී ඇත. 

වසර 60කට අධික කාලයක් තිස්සේ මෙරට මිලියන ගණනක් වූ දරුවන්ගේ අධ්‍යාපනයට නිබඳ සවියක් වූ ඇට්ලස් සමගම විසින් හඳුන්වාදෙන මෙම නිෂ්පාදන පෙළ ඔබේ දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ඔබ තුල පවතී ගැටලුවට සහනයක් වන බව නොරහසකි. එනිසා අදම ඔබේ දරුවාත් බැක්ටීරියා වලින් අමතර ආරක්ෂාවක් ලබා දෙන මෙම පොත් සහ පෑන් පෙළ වෙත යොමු කිරීමට කටයුතු කරන්න. සෞඛ්‍යාරක්ෂිතව සිටිමු. බැක්ටීරියා ආසාදනවලින් වළකිමු.

දරුවාගේ කතාව සහ භාෂාව වර්ධනයට අවශ්‍ය වන ලෙස නිවසේ පසුබිම සකසමු.

දරුවන් තුළ පවතින කථන හා භාෂා වර්ධනයේ ප්‍රමාදය වර්තමානයේ සුලබ තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය පහසුවෙන් මග හරවා ගැනීමට හැකි අතර මෙවන් තත්ත්වයන් ඇති නොවන ලෙස පසුබිම සකසා ගැනීමටත් දෙමව්පියන්ට ලෙස ඔබට කළ හැකි දේවල් බොහොමයක් පවතී.

දරුවාගේ කතාව හා භාෂාව වර්ධනය ප්‍රමාද වීමට බොහෝ හේතු බලපාන අතර ඉන් ප්‍රධානම කාරණය වන්නේ කතාව හා භාෂා වර්ධනය ට  අවශ්‍ය නිසි උත්තේජන දරුවාට නොලැබි යාමයි. එමෙන්ම, දෙමවූපියන්ගේ අධික කාර්යබහුලත්වයත් සමඟ දරුවා සමඟ නිවස තුළ ගත කරන කාලය අවම වීමත් බොහෝ විට දරුවා රැක බලා ගන්නා අයෙක්  පමණක් නිවසේ රැදීමත් නිසා භාෂා භාවිතයෙන් පෝෂිත පරිසරයක් නිර්මාණය නොවීමත් ප්‍රධාන කාරණයක් බවට පත්ව ඇත. එමනිසා, කුඩා කාලයේ සිට සන්නිවේදනයේ  යෙදීමට සිටින පිරිස අවම වීම තුළින් දරුවාට කතාව හා භාෂාව නිතර ඇසෙන පරිසරයක් නිර්මාණය නොවීමත් හේතුකරගෙන දරුවාගේ භාෂා වර්ධනය ප්‍රමාදයක් ඇති වීමට ඉඩකඩ ඇත. එමනිසා, කුඩා කාලයේදී දරුවාට භාෂාව පිරුණු පසුබිමක් නිවස තුළ නිර්මාණය කර දීම දෙමාපියන් වශයෙන් ඔබට සිදු කිරීමට හැකි ප්‍රධානම කාර්යකි. 

තවද දරුවා කුඩා කාලයේ ඉගෙන ගනු ලබන්නේ පරිසරය හා බැඳී මෙන් හා ලබා ගන්නා අත්දැකීම් තුළිනි. දෙමවුපියන් වශයෙන්  ඔබගේ ළමා කාලය සිහිපත් කළ හොත් එය ඉතාමත් සුන්දර බව බොහෝ දෙනෙක් අවිවාදයෙන් පිළිගනු ඇත. මන්ද දඟකාරකම් වලින් පිරුණු, සෙල්ලම් ගෙවල් ඇතුලේ කෝම්පිට්ටු හදපු, ගස් වැල් සමඟ ගත කරපු කාලයක් ඔබට තිබෙන්නට ඇත. නමුත් අද වැඩෙන දරුවන්ට පරිසරය හා සමඟ බද්ධ වෙමින් ඉගෙනීමේ යෙදීමට තිබෙන ඉඩකඩ සීමා වී ඇත.  එමනිසා, ඔබත් ඔබේ දරුවාට පරිසරය හා සමඟ බද්ධ වෙමින් පරිසරයේ ඇති දේ හදුනා ගැනීමට, ඒ සමඟ විවිධ නිර්මාණශීලි ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාව ලබා දීම තුළින් දරුවාගේ භාෂාව උත්තේජනය නිසි අයුරින් සිදු වීමට තිබෙන බාධා ඉවත්වනු ඇත.

තවද, අද වන විට දරුවන් දුරකතන හා රූපවාහිනී තිරය ඉදිරියේ ඉතාමත් කාර්යබහුල වී කටයුතු කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක් වී ඇත. එමගින් දරුවාගේ චින්තනය මෙන්ම භාෂා වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඇතැම් කාරණා ගිලිහි යාමට ඉඩ කඩ පවතී. දරුවාගේ කුඩා කාලයේ ප්‍රධානම වෘත්තිය ලෙස සෙල්ලම් කිරීම සහ හඳුනාගත හැකි අතර දරුවා රූපවාහිනී තිර හා ජංගම දුරකථන තිරය ඉදිරියේ කාලය ගත කිරීමෙන් සිදු වන්නේ දරුවාගේ කුඩා කාලයේ වෘත්තිය ද වෙනස්කමක ට ලක්වීමයි. එමනිසා ඔබේ දරුවා ජංගම දුරකථන හා රූපවාහිනී තිරය ඉදිරිපත් ඉදිරිපිට කාර්ය බහුල වී සිටී නම් ඒ වෙනුවට ආදේශක හඳුන්වාදීම තුළින් දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයට අවශ්‍ය ලෙස ඔබගේ නිවසේ පසුබිම සකස් කර ගැනීමට හැකියාව පවති. ඒ සඳහා ආදේශක ලෙස ඔබට දරුවාට විවිධ වූ ක්‍රියාකාරකම් හඳුන්වාදීම, විවිධ වූ සෙල්ලම් බඩු හඳුන්වාදීම හා සෙල්ලම් කිරීම, දරුවා අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුළ නිරත කරවීම, දරුවා ට කතන්දර/ගීත කියා දීම හා ඒ ඇසුරෙන් ප්‍රශ්න ඇසීම මෙන්ම තිර වෙනුවට ආකර්ශනීය පොත පත හදුන්වා දීම ත් සිදු හැකි ය.

තවද, දරුවන් සෙල්ලමේ යෙදීම තුළින් බොහෝ අත්දැකීම් ලබා ගනිති.  ඒ තුළින් ඔවුන් භාෂාව වර්ධනය කර ගන්නා බව අද වන විට සොයාගෙන ඇත. එමනිසා, දරුවාගේ වයස ට සරිලන ලෙස සෙල්ලම් බඩු තෝරා ගැනීමත් දරුවා සමඟ සෙල්ලම් බඩු ආශ්‍රය කරගෙන සෙල්ලම් කිරීමත් ඒ තුලින් සන්නිවේදනයේ යෙදීමත් ඔබට සිදු  කිරීමට හැකියාව පවතී.

නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරිම කථන හා භාෂා වර්ධනය ප්‍රමාදයට හේතුවක් බව බොහෝ දෙනා සැලකුවත් නිසි ලෙස කතාව හා භාෂාව වර්ධනය වන දරුවෙකුට එය ගැටලුවක් නොවන බව වර්තමානයේ පිළිගන්නා කරුණකි. එම නිසා දරුවා හට එක හා සමාන මට්ටමින්  භාෂා දෙකේම උත්තේජන ලබා දීමට ඔබට හැකියාව පවති නම් නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරීම ගැටළුවක් නොවනු ඇත. නමුත් දැනටමත් ඔබේ දරුවාට කතාව හා භාෂා වර්ධනයේ ප්‍රමාදයක් පවතී නම් භාෂා දෙකක් භාවිතා කිරීම පිළිබඳ කථන හා භාෂා චිකිත්සකවරයෙකුගෙන් විමසා උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

 

 කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි.

රවින්ද්‍රනාත් තාගෝර් දරුවන් ගැන අපුරු සටහනක් තබා තිබෙනවා. එනම්…දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි. සැබැවින්ම මලක් සේ සුන්දර දරුවෙකුගේ සුන්දරත්වය තව තවත් ඔප් නැංවීමට මලේ සුවඳ ලෝකයට වහනය විය යුතුය. ඒත් මේ සුන්දර නෙළුම්මලේ පෙති විහිදවීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය දෙමව්පියන්ගෙන් ලබා දීමේ වගකීම සැබැවින්ම ඔවුන් දරණවාද..?එසේ නම් දරුවෙකු සුවඳ දෙමින් පිපෙන්නට රුකුල් දෙන ගුණදහම් මොනවාද…?

පරාර්ථකාමී වීම.

දරුවෙකුගේ පරාර්ථකාමි බව ඔවුන්ගේ ගුණ සුවඳ අලංකාර කරන යහ ගුණයකි. අද දරුවාගේ පරාර්ථකාමී ගති ගුණ මෝදු කලොත් ඔවුන් හෙට දිනයේ බෙහෙවින් සංවේදී චරිත ලෙසින් සමාජගත වෙනු ඇත.දෙමව්පියන් විදිහට ඔබ පරාර්ථකාමී ගති ගුණ දරුවාට ආරෝපනය  කිරීම මෙතැනදී ඉතා වැදගත්..

  • ඔයාගේ පොත කාටවත් දෙන්න එපා…
  • අනිත් අයට කියලා දෙනවා එහෙම නොවෙයි.
  • එතකොට ඔයාට තමයි ලකුණු අඩු වෙන්නේ..

මෙවැනි සංකල්පවලින් දරුවන්ගේ හිත පුරවන දෙමව්පියන්ද අද නැතුවා නොවේ. ඒ වෙනුවට 

  • ඔයාගේ පොත් අනිත් අයටත් දෙන්න..බෙදා හදා ගන්න..ඕවා දුන්නාම අකුරු අඩු වෙන්නේ නැහැ…

යන සංකල්පය දරුවාට දායාදා කරනවා නම් මොනතරම් අගෙයිද..?

රසඥතාවය..

සාහිත්‍යයෙන් වැඩැක් නෑ ගණිතය, විද්‍යාව ,ඉංග්‍රිසි තමයි වැදගත්.කවි, සින්දු අහල කාටද හරි ගියේ..මේ විදිහට දරුවාගේ සාහිත රසය හෙවත් වින්දනාත්මක රස වින්දනය උපන්ගෙයිම නැති කරන්න එපා. හිත නිවුන සංවේදී  සොදුරු මිනිසෙකු ලෙසින් හෙට දවසේ දරුවා  සමාජයේ පුරුකක් පවට පත් වීමට අද දවසේ ඔබ විසින් දරුවන්ට රසඥතාවය පුරුදු කළ යුතුය.එවිට හෙට දවසට පිවිසෙන්නේ  සැබෑම සුන්දර මිනිසෙක් බැව් අමතක කරන්න එපා.

ගරු කරන්න..

ඔබ ගරුත්වය ලබන්නට නම් ඔබ සෙසු අයට ගරු කළ යුතුය.එය නියතයක්. ඒ නිසා දරුවාටත් සමාජයේ ජීවත්වෙන විට අනිත් අයට ගරු කිරීමේ වැදගත්කම කියා දෙන්න.සෑම පුද්ගලයෙක්ම වටිනා බැව් කියා දෙන්න.ඔවුන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය කියා දෙන්න. බොහෝ දෙමව්පියන් දරුවන්ට ගරු කිරීම වෙනුවෙන් යම් යම් සීමාවන් පෙන්වා දෙනු ඇත.

  • රුවන්ගේ අත්තම්මා ඉස්සර අපේ අත්තම්මාගේ ගෙදර වැඩ කලා..

මේ පරම්පරා තුනකටත් පෙර සිදු වීමකි. එය මුල් කර ගෙන අද දවසේ රුවන්ගේ මව්පියන් සහ එම පවුල් මුල් කර ගෙන ඔබ මවන අවතක්සේරුව දරුවෙකුගේ සිතට එතරම් සුබදායක නොවේ.ඔබ විසින් පෙන්වන මග ඔස්සේ යන දරුවාද පුද්ගලයන් දෙස පාට පාට කණ්නාඩිවලින් බැලීම එතරම් සුබවාදී නැත එයින් දරුවා වැඩිහිටිය්ට ගරු කිරීම ගැන පාඩම ඔබෙන් ඉගෙන ගන්නේ නැත.

මානසිකව සමබර වීම

දරුවෙකුගේ කායික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැත.ඔවුන් සියලු හාරිරික රෝග ගැන දෙමව්පියන්ට පැමිණිලි කරනු ඇත.එහෙත් මානසික රෝග ගැන එවැනි විවෘත කතා බහ සිදු වෙන්නේම නැත.  විටෙක තමා පීඩා විදින්නේ මානසික ගැටුමකින් බැව් දරුවා පවා නොදන්නවා විය හැක.

දරුවෙකුගේ මානසික සමබරතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්.මානසික සමබරතාවය නොමැති නිසා අද දරුවන් පත්වෙන අවාසනාවන්ත ඉරණම් ගැන ඔබ ටත් නිතරම ඇසෙනවා ඇති.මේ වෙනස ගැන සිතන්න..

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටකට ඒ සාමාර්ථ ලබා ගත්තද, අහිමි වුන එක් ඒ සාමාර්ථයන් නිසා දරුවෙක් සියදිවි හානි කර ගනිද්දී…තවත් දරුවෙක් විෂයන් පහක් එකදු සම්මානයක් හෝ නොමැති ප්‍රතිඵලයක් ලබා ගෙන මම තවත් වතාවක් විභාගයට පෙනී සිටිනවා යන ශක්තිමත් තිරණය ගැනීමට සූදානම්ව සිටින්නේ ඇයි..

උසස් ප්‍රතිඵලයක් නොලද නමුත් මේ දරුවා මානසිකව සමබරතාවයෙන් යුක්තව සිටින නිසා ජීවිතයේ අභියෝග ඉදිරියේ ඔහු ශක්තිමත්ය.ඒ නිසා දරුවන්ගේ මානසික සමබරතාවය ගැන දෙමව්පියන්ගේ අවදානය දැක්වීම ඉතාම වැදගත් වේ. අධ්‍යාපන තරඟය නිසා අද බොහෝ දරුවන් මානසිකව බිද වැටෙන තත්වයට පත් වුනත් එවැනි අවාසනාවන්ත තත්වයකට ඔබේ දරුවා පත් නොවන්නටත් වග බලා ගැනීම ඉතාම වැදගත්.

චිත්තවේග පාලනය..

දරුවන්ගේ චිත්තවේගත් අප හිතන තරම් පහසු නැත විටෙක ආවේගශීලිය. තවත් විටෙක ප්‍රචණ්ඩය.තවත් තැනකදී බෙහෙවින් දොම්නසට පත්ව සිටින ස්වභාවයකි. මෙවැනි චිත්තවේග හොදින්ම හදුනන්නේ දෙමව්පියන්ය.ඒ නිසා මෙවැනි චිත්තවේග ඉදිරියේ ඒවා පාලනය කර ගෙන ජීවිතයට මුහුණ දෙන පාඩම දරුවා උගත යුත්තේ දෙමව්පියන්ගෙන්ය. යම් ලෙසකින් ඔබට දරුවා වෙනුවෙන් මේ පාඩම අද කියා දෙන්නට නොහැකි වුනොත් හෙට දවසේ ඔවුන් චිත්තවේගපාලනය කර ගත නොහැකි ව ජීවිතයේ විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙනු ඇත.

නිර්මානශීලිත්වයට අවස්ථාව දෙන්න..

දරුවන්ගේ නිර්මානශීලිත්වය ඔබ සෙමෙන් හදුනා ගත යුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ නිදා සිටින යෝධයෙකි. මේ යෝධයා සෙමෙන් අවදි කර ගත යුතුය. අවදි වෙන්නට  නොදී සිටියොත් එම හැකියාවන් නිදිගතවම සිටිනු ඇත.අවදි වෙන හැකියාවන් ඔබ ඇගයීමක් නොකළ විට නොදැනීම අහෝසි වෙනු ඇත.දරුවාගේ නිර්මානහීලිත්වය යනු ඔබ විසින් අපේක්ෂා කරන ආකෘතිය නොවේ. ඒ නිසා දරුවාගේ නිර්මානහීලිත්වය අවදි කර ගැනීමට ඔවුන්ට අවසර දෙන්න.ඔබට ඇත්තේ දරුවාට ධෛර්ය ලබා දීම පමණි.

පරිකල්පය

ජීවිතය දෙස සුන්දරව බැලීමට නම් පරිකල්පන හැකියාවෙන් දරුවා පොහොසත් විය යුතුය.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට අලුත් විදිහට සිතන්න ඉඩ දෙන්න. ඉර,හද,වලාකුලු..ගංගා ඇල දොළ ගලන රිද්මය..මලක සුවද මෙලෙක .සතා සිවුපාවාගේ හැසිරීම ගැන කියා දෙන්න. ඒ ගැන ඔවුන් සමග කතා කරන්න.දරුවාගේ අදහස් ඔබබ සමග හුවමාරු කරන්න.දරුවා සමග විවෘත සංවාදයක් ගොඩ නගන්න.සිංහල සාහිත්‍ය පෝෂණය කළ යුගයේ මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විටෙක සදහන් කළේ..

මගේ ප්‍රබන්ධ සාහිත්‍ය පෝෂණයට හේතු වූයේ කොග්ගල ගමේ සුන්දර පරිසරය බවයි.පුද්ගලයෙකුගේ පරිකල්පය දියුනු වීමට පරිසරයෙන් ලැබෙන දායකත්වය ගැන කථා කිරීමට තවත් වචන අවශ්‍ය නැත. වික්‍රමසිංහ ශූරින්ගේ මේ ප්‍රකාශය හොදින්ම සෑහේ..

එසේනම්..ඔබ අත ඇති නෙළුම් පොහොට්ටුවේ සෑම පෙත්තක්ම හෙට විකසිත විය යුතුය.එය විකසිත විය යුත්තේ ලෝකයට සුවඳ විහිදුවමින්ය. දරුවන් මල් මෙන් සුවදය යන්න වචනයට පමණක් සීමා විය යුතු නැත.එය දරුවන්ගේ ක්‍රියාවෙන්ම සත්‍යක් විය යුතුය. 

 

දරු පිළිසිඳ ගැනීමකට බාධා කරන කාන්තා පාර්ශවයේ ගැටලු

නොතේරෙන පුංචි වයසේ ඉඳලම බෝනික්කෙක් තුරුළු කරන් නලවන්න හුරතල් කරන්න පුංචි ගැහැනු දරුවන් ආසා කරන්නේ මව්පදවියට ස්වභාවයෙන්ම ඔවුන් වරම් ලබන නිසා වෙන්න ඇති. ඒත් වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් නිසි වයසේදී විවාහ දිවියට එළැඹිලා දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරද්දී ඒ හීනය දවසින් දවස දිග් ගැහෙද්දී ඒ දේ නම් දරාගන්න අමාරුයි. ඒ සඳහා හේතු වන කරුණු රුසක් තිබුණත් අද වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසාම බොහොමයක් ගැටලු නිරාකරණය කරගැනීමේ වාසනාව හිමි වී තිබීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. කෙසේ වුවත් දරු පිළිසිඳ ගැනීමකට බාධා වෙන කරුණු ඒ කියන්නේ කාන්තාවක් මද සරුභාවයට පත් වීමට හේතු පිළිබඳව අපි දැනුවත් වෙමු. 

මද සරුභාවය යනු ගැබ් ගැනීම ප‍්‍රමාද වීමයි. මෙහිදී ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව තිබුණත් ඒ සඳහා දීර්ඝ කාලක් ගත විය හැකියිත. එසේම වඳභාවය/ නිසරු භාවය (Sterile) යනු වසරක් පමණ උත්සහ කළද ස්වභාවික ලෙස ගැබ් නොගැනීමයි. පර්යේෂණවලට අනුව බොහෝ විවාහක යුවල් අනාරක්‍ෂිත ලිංගික එක්වීමකදී මාස 12 ක් (වසරක්) ඇතුළත ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාවක් පවතිනවා.

මද සරුභාවයට හේතූ

බොහෝ හේතූ වඳ භාවය/නිසරු භාවය සඳහා හේතු වන හේතුම වේ. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි තත්ත්වයන්ද තිබිය හැක. ගැබ් නොගැනීම සඳහා  කාන්තාවගේ පමණක් නොව ඇතැම් විට පිරිමියාගේ හේතූ ද බලපෑ හැක.  මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ කාන්තා පාර්ශවයට ඇති විය හැකි හේතු පිළිබඳවයි.

  1. ඩිම්බ මෝචනයේ ගැටලු

මෙය කාන්තාවන් සඳහා බහුලව බලපානු ලබන සුලබ ගැටලුවකි. ඩිම්බ මෝචනය නොවන විට සංසේචනය සඳහා ඩිම්බයක් නිදහස් නොවේ. මේ සඳහා හේතූ ගණනාවක් පවතී.

  • Polycystic Ovary Syndrome (PCOS) – මෙහිදී ඩිම්බ මෝචනය වැළැක්වීම හෝ අක‍්‍රමවත් ඩිම්බ මෝචනයක් සිදුවේ.
  • Diminish Ovarian Reserve (POR) – මෙහිදී කාන්තාවගේ ඩිම්බ ප‍්‍රමාණය අඩු කරන අතර මෙයට වෛද්‍යමය හේතූ, වයස හෝ ඩිම්බ කෝෂ ශල්‍යකර්ම හේතු වේ.
  • Premature Ovarian Insufficiency (POI) – ආර්තවාභාවය සාමාන්‍ය වයසට වඩා කලින් සිදුවීමය. මෙයට වෛද්‍යමය හේතු, පිළිකා තත්ත්ව සඳහා සිදුකෙරෙන ප‍්‍රතිකාර හේතුවෙන් ඩිම්බ මෝචනය ඇණ හිටිය හැක. 
  • හයිපොතැලමසේ හා පිටියුටරි ග‍්‍රන්ථියේ තත්ත්ව – සාමාන්‍ය ඩිම්බකෝෂ ක‍්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කිරීමේ හැකියාවට බාධා ඇතිවීම සිදු වේ.
  • පැලෝපීය නාල අවහිරතා – පැලෝපීය නාල අවහිර වීම මගින් ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් හමුවීම වළක්වයි. මෙයට පහත කරුණු හේතු වේ. 
  • Endometriosis
  • පෙර කරන ශල්‍යකර්ම වල කැළැල් පටක තිබීම. උදා: Ectopic pregnancy
  • ගොනෝරියාව, ක්ලැමීඩියා වැනි ලිංගිකව සම්පේ‍්‍රෂිත රෝග ඉතිහාසයක් තිබීම
  1. ගර්භාෂ අසාමාන්‍යතා

ගර්භාෂයේ ආබාධ හෝ අසාමාන්‍යතා ගර්භණීභාවය ඇති වීමට බාධා කරයි. මෙම ගැටලු උපතේ සිට  ඇතිවන හා පසුව ඇති වන ලෙස ආකාර 2 කි.

  • Septate uterus – කුඩා ආවාරයක්/පටියක් මගින් ගර්භාෂය කොටස් 2 කට බෙදීමයි.
  • Bicornuate Uterus – එක් කුහරයක් වෙනුවට කුහර 2 ක් තිබීමයි. ඒවා හෘදයක හැඩය ගනී.
  • Double Uterus – ගර්භාෂය කුඩා කුහර දෙකක් ලෙස පැවතීම හා ඒවාට වෙන වෙනම විවෘත වීම් පැවතීම.
  • Fibroids – ගර්භාෂය මත හෝ ඇතුළත අසාමාන්‍ය වර්ධනයන් ඇතිවීම.

මදසරුභාවයට හේතු වන අවදානම් සාධක 

  • වයස කාන්තාවන් අවුරුදු 35 ට වැඩිවීම
  • බර වැඩිවීම හා අඩුවීම
  • මත්ද්‍රව්‍ය (මර්ජුවානා), දුම්කොළ භාවිතය
  • අධික ලෙස මත්පැන් පානය
  • අධික ලෙස ශාරීරික හා මානසික ආතතිය
  • විකිරණවලට නිරාවරණය
  • සමහර ඖෂධ
  • පාරිසරික විෂවලට නිරාවරණය. උදා: ලෙඩ්, කෘමිනාශක

මදසරුභාවය හා සම්බන්ධ තත්ත්වය හඳුනා ගැනීම

මේ සඳහා සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍යය.

  • කාන්තාවගේ ලිංගික ඉතිහාසය
  • ශාරීරික පරීක්‍ෂණ
  •  ශ්‍රෝණි පරීක්‍ෂණ     

සිදුකරන පරීක්ෂණ

  • TVS Scan ලිංගික ප‍්‍රජනක පද්ධතිය ස්කෑනින් පරීක්‍ෂාව
  • රුධිර පරීක්‍ෂණ – හොමෝන මට්ටම පරීක්‍ෂාව (ඩිම්බ මෝචනයට අදාලව)
  • Hysterosalpingography (HSG)පැලෝපීය නාල හා ගර්භාෂයේ තත්ත්ව පරීක්‍ෂාව
  • Ovarian reserve test – මෙමගින් ඩිම්බවල ප‍්‍රමාණය හා ගුණාත්මකභාවය පරීක්‍ෂා කරයි.

මදසරුභාවය සඳහා ප‍්‍රතිකාර

ස්ත‍්‍රීන්ගේ සරුභාවය ඇති කිරීම සඳහා විවිධ වූ ප‍්‍රතිකාර ඇත. ඉන් එකක් හෝ නැතිනම් කිහිපයක් සම්බන්ධකර ප‍්‍රතිකාර ලබාදේ. 

  • සරුභාවය ඇති කිරීමේ ඖෂධ ප‍්‍රතිකාර
  • ගර්භාෂ ගත ගැටලුවලට ශල්‍ය ප‍්‍රතිකාර
  • IUI මගින් ශුකාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම
  • Assisted Reproductive Technique (ARI) – ශුකාණු හෝ ඩිම්බවල සරුභාවය ඇති කිරීම සඳහා ලබාදෙන ප‍්‍රතිකාර හා පිළිවෙත
  • IVF – වඩා සුලභ ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ශුකාණු හා ඩිම්බ පිටතදී සංසේචනය කර කළලය ගර්භාෂය තුල තැන්පත් කරයි. 

විවාහ වී වසරක් යනතුරු පවුල් සැලසුම් ක‍්‍රමයන් අනුගමනය නොකර ගර්භණීභාවයට පත් නොවීම ප‍්‍රාථමික මදසරුභාවය ලෙස හැඳින්විය හැකි අතරම අඩුතරමින් එක් දරුවෙකු සිටී නම් ඉන්පසුව දරුවන් නොමැති වීම එසේත් නැතිනම් ප‍්‍රමාදවීම ද්වීතියික මදසරුභාවය ලෙස හඳුන්වයි. කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් සඟවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත ‍යොමු නොවීම දරුවෙකු පිළිබඳ ඔබේ සිහිනය තව තවත් දුරට රැගෙන යන අතරම නිසි කාලය තුළ සුදුදුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරයෙකු හමු වීම වඩා වැදගත් බව සිහි තබාගන්න. 

 

කුරුණෑගල, පළාත් මහ රෝහලේ නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)  ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.