Home Blog Page 46

බබා ලැබෙන්න එන්නත් කලින් ඉදලම ෆෝලික් ඇසිඩ් එක ගන්න ඕනෙමද?

දරු පිළිසිද ගැනීමක් පතන නව යුවලකට තමන්ට එක්වීමට පෙරුම් පුරන දරුවාගේ යහපත උදෙසා ගත යුතු තවත් වැදගත් පියවරක් අද වෛද්‍ය ලෝකය තුළ තහවුරු වී ඇත. දරු පිළසිද ගැනීමක් සිදුවනුයේ කවර මොහොතකදැයි කීමට කිසිවෙකුට නොහැක. සාමාන්‍යයෙන් මාසික ආර්තවය නතර වී ඇති බව දැණුන දින සිට දින 14 ට පෙර සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැක. මේ නිසා දරුවාගේ ස්නායු නාල අඩුලූහුඩුකම් (Neural tube defects) ඇති වීම වළක්වාලීමේ සූදානම් පියවරක් ලෙස දරු පිළිසිද ගැනීමට පෙර සිටත්, ඒ වෙනුවෙන් උත්සාහ කරන කාලය තුළත් ගැබ් ගැනීමෙන් පසුවත් ෆෝලික් අම්ලය දිනපතා ගැනීම කාන්තා ඔබේ ජීවිතයට එක්කර ගත යුතු පුරුද්දක් බදුය. 

මොකද්ද මේ ෆෝලික් අම්ල විටමිනය කියන්නේ

විටමින් B කාණ්ඩයට අයත් ප‍්‍රමුඛ විටමින් හතෙන් එකක් ලෙස ෆෝලික් අම්ලය සැලකෙයි. න්‍යෂ්ටික අම්ල ජෛව සංසේලෂණය සදහා ෆෝලික් අම්ලය අත්‍යවශ්‍ය බැවින් ශරීරයේ සෑම සෛලයකම සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය මූලිකාංගයක් බවට පත්වී ඇත. එසේම රතු ෙසෙල මේරීම හා ඒවායේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වය සදහාද ෆෝලික් අම්ලය අත්‍යාවශ්‍ය වේ. ටෙට‍්‍රා හයිඩ්‍රො, ෆෝලික් අම්ලයේ සහ එන්සයිමයක් ලෙසද ක‍්‍රියා කරයි.

ගර්භණී සමයේ මුල සති හතරක කාලය තුළ කුස තුළ වර්ධනය වන දරුවාට සුවිශේෂ වූ කාල පරිච්ජේදයකි. මොළය, සුසුම්නාව හා හිස් කබල වර්ධනය සිදුවන්නේ මෙම සමයේදී වීම ඊට හේතුවයි. ආර්තවය නැවතී ඇති බව දැනගන්නා විට කුස තුළ වැඩෙන දරුවාට අඩුම තරමින් සති 2 ක් වත් ගෙවී අවසන්ය. මේ නිසා පිළිසිදීමකට ලක් වන තුරු නොසිට ඒ අපේක්‍ෂා කරන දා සිට ෆෝලික් අම්ලය ගැනීම දරුවා සදහා කරන ආයෝජනයක් බදුය. ගැබ් ගැනීමෙන් සති 12 ක් පමණ යනතුරුවත් ෆෝලික් අම්ලය ගතහොත් 70% ක පමණ ස්නායු ආබාධ වළක්වා ගත හැක. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් රාශියකම සිය ප‍්‍රජනන වයසේ පසුවන කාන්තාවන් බොහෝ දෙනෙකු තුළ ඉතා ඉහළ මට්ටමක ෆෝලික් අම්ල විටමිනයේ ඌනතාවයක් ඇති බව හෙලි වී ඇත. කුඩා ළමුන්ද මේ අතර අවදානමට ලක්වී සිටිති. 

ස්නායු නාල ආබාධ යනු,

දරුවාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ගර්භණී කාලයේ මුල් මාසයේදී වර්ධනය ආරම්භ වේ. පළමුව ස්නායු ඵලක (Neural plate) ලෙස නිර්මාණය වී පසුව ඒවා නලයක් ලෙස වර්ධනය වේ. ස්නායු ආබාධයක් යනු සාමාන්‍යයෙන් ස්නායු නාලයේ විවෘත වීම් සති 6 කදී පමණ වැසී යන නමුත් මෙම අවස්ථාවේදී මෙම ස්නායු රජ්ජුවේ විවෘත වීම් එසේ වැසී නොයයි. පැහැදිලිව ඇතිවන ස්නායු නාල නිර්මාණයේ අඩුලූහුඩුකම් ලෙස පැහැදිලි වනුයේ මොළයේ හා සුසුම්නාවේ දුස්රූපණ තත්ත්වයන් මතුවීමයි. මේ හේතුව නිසා spina bifida, anencephaly (encephalocele) තත්ත්ව ප‍්‍රතිඵල වේ. 

Spina Bifia යනු සරල වශයෙන් දැක්වුවහොත් ස්නායු රජ්ජුව හා කශේරුකාවේ අසම්පූර්ණ වර්ධනයකි. මෙලෙස උපත ලබන දරුවන් අතරින් 7% ක් පමණ එතරම් ආබාධිත තත්ත්වයකින් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ලැබුණද ඉන් වැඩිදෙනෙකුට 

  • මානසික ඌණ වර්ධනය
  • අපස්මාරය
  • අන්ධභාවය
  • මුත‍්‍රා ආසාධන
  • චලනයේ ගැටලු

ආදී සංකූලතා පැවතීමටත් රෝද පුටුවකට, ඇදකට, තොටිල්ලකට සීමා වූ ජීවිත ගත කරන්නට සිදුවීමටත් හැක.

anencephaly (encephalocele) යනු මොළයේ ප‍්‍රධාන කොටස් වල හිස්කබලේ අසම්පූර්ණ වර්ධනයකි. මෙහිදී නොවැඩුණු හිස්කබල හරහා මොළයේ පටක හිස්කබලේ විවෘත වීම් තුලින් පිටතට නෙරා ඒමයි. 

ගර්භනීභාවයට සති 16 – 19 ක් වන කාලයේ සිදු කරන මවගේ රුධිරය තුල පවත්නා ෆෝටෝ ප්‍රෝටීන මට්ටම මැනීම හා අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්‍ෂණ මගින් පූර්ව ප‍්‍රසව සමයේදී මෙම තත්ත්වය හදුනාගත හැක. උපද්‍රව්‍යමය පත් පූර්ව කළලයක් සොයා ගත්තද ලංකාවේ නීතිය මගින් ගබ්සාවක් කරගැනීමට ඉඩ සලසා නැත. මේ නිසා පූර්ව ප‍්‍රසව සමයේදී එම ආබාධිත කළල සොයා ගැනීමට වඩා ඇති වීම වළක්වා ගත යුතුය. 

ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් වන්නේ,

  • සහකරු හෝ සහකාරිය ලේ ඥාතීන් වීම
  • දියවැඩියාව, අපස්මාරය, අක්මා රෝග හෝ ප‍්‍රදාහිත ආන්ත‍්‍රික රෝග ඇතිවීම
  • ආමාශයේ ශල්‍යකර්ම කර තිබීම
  • අධික ලෙස මත්පැන් පානය
  • පෙර ගර්භණී අවස්ථාවල මල දරු උපත් සිදුවීම
  • වකුගඩු රෝග හා ඒ සදහා පරිතාන කාන්දු පෙරීම (Peritoneal dialysis), රුධිර කාන්දු පෙරීම (Haema dialysis) සිදුකරන කාන්තාවන්.
  • දෑකැති හැඩ රක්තහීනතාවය ඇති ස්ත‍්‍රීන්
  • පොතු කබර (Psorisis), සන්ධි රෝග, ඇදුම ආදී තත්ත්ව සහිත වීම. 

දැනට ස්නායු ආබාධ ඇති වීමේ අධි අවදානම් සහිත මව්වරුන් 5mg වැනි අධි මාත‍්‍රාවක් ගත යුතු බවට වෛදවරුන් උපදෙස් ලබාදේ. 

ෆෝලික් අම්ලය ලැබෙන ආහාර

පෝෂණවත් ආහාර වේලක් තුලින් දෛනිකව ෆෝලික් අම්ලය ලබාගත හැකි බව පිළිගැනෙයි. පළා වර්ග හා කොළ පැහැති එළවළු, යෝගට්, තෙල් රහිත මස්, බිත්තර, මාළු, පිරිප්පු, කව්පි වැනි පියළි ඇට වර්ග, තිරිඟු, දොඩම් පවුලේ පළතුරු, අලිගැට පේර, යීස්ට්, පැපොල්, කෙසෙල්, තක්කාලි, සුදු සහල්, බෝංචි ආදියේ බහුලව පවතී. එසේම සාමාන්‍ය ප‍්‍රමාණයේ බිත්තර කහමදයක් තුළ ෆෝලික් අම්ලය 75mg (මයික්‍රෝ ග‍්‍රෑම්) පමණ අඩංගු වන බව පැවසේ. මාළු, පරිප්පු, කව්පි, මැල්ලුම් අඩංගු ආහාර වේලක් ගෙන අතුරුපසට යෝගට් එකක් ගැනීමෙන් ෆෝලික් අම්ලය අවශ්‍යතාවය ඉන් සපුරා ගත හැක. 

ආහාර බොහෝ වේලාවක් පිසීම නිසා මෙම සංවේදී විටමිනය විනාශ වී යා හැක. මේ නිසා මැල්ලූම් හෝ එළවළු බොහෝ වේලා ලිප මත තබා නොගත යුතුය. ඉහත දැක්වූයේ ගර්භනී නොවන සමයේ සාමාන්‍ය අයෙකුගේ ෆෝලික් අම්ලය අවශ්‍යතාවයකි. එහෙත් පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ දරු පිළිසිඳීමත් සමග මෙම අවශ්‍යතාවය තවත් 400mgකින් ඉහළ යන බවයි. එසේ නම් ස්නායු නාල දුස්සරූපණය වැළැක්වීම සඳහා 600mg ප‍්‍රමාණයක් ෆෝලික් අම්ලය පෙති ගත යුතු වේ. 

මේ නිසා දරු පිළිසිඳ ගැනීමකට පෙර ෆෝලික් අම්ලය පෙති නොගත් කාන්තාවක් ඒ බව දැනගත් වහාම ෆෝලික් අම්ල පෙති ගැනීම ආරම්භ කර ගර්භනීභාවයේ සති 12 දක්වා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ගර්භනී කාලයේ Multivitamin මගින්ද මෙම ෆෝලික් අම්ල අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක. ෆෝලික් අම්ලයය අඩංගු Multivitamin අහිතකර නොවූවද මිල අධික නිසා සාමාන්‍ය ෆෝලික් අම්ලය ප‍්‍රමාණවත් වේ. නමුත් මතක තබාගත යුතු කරුණ වන්නේ විටමින් A අඩංගු Multivitamin භාවිත නොකළ යුතුය. එසේම පීකුදු හෝ ඔමේගා 3 නොගත යුතුය. විටමින් A අධික මාත‍්‍රාව ගැනීම ගර්භනී සම‍යේ මුල් මාස තුන තුළ ගැටළු ඇති කරයි. එසේම ඔබ ගර්භනී වීමට බලාපොරොත්තුවෙන් සිටින එහෙත් ෆෝලික් අම්ලය ගැනීම අතපසු වූ අයෙක් නම් ගැබ් ගැනීම මාස 3 – 4 ක් ප‍්‍රමාද කර ෆෝලික් අම්ලය ලබාගෙන ගැබ් ගැනීමක් පිළීබඳව සිතීම වඩාත් සුදුසුය. 

නිසි අයුරින් ෆෝලික් අම්ලය ලබාගත් මවකට දරුවාට ඇති විය හැකි විදිලිත තොල හා තල්ල (hair lip & cleft palate), නොමේරූ දරු උපත් ඇතිවීම, බර අඩු දරු උපත් ඇතිවීම, ගබ්සාවන් ඇති වීම, ගැබ තුල වර්ධනය දුර්වල වීම වැනි තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැකියි. 

එසේම ෆෝලික් අම්ලය මගින් මවට, ගර්භනී සම‍යේ සංකූලතා එනම් දෙවන, තුන්වන මාසයේ ඇති විය හැකි පූර්ව එක්ලැම්ප්ෂියාව (ගර්භ වලිප්පුව) සඳහා අවදානම, හෘද රෝග, අඝාත රෝග, ඇතැම් පිළිකා වර්ග, Alzheimer රෝගය ආදී ස්නායු රෝග වලින් වැළකීමට අවස්ථාව උදාවේ. 

එසේම ෆෝලික් අම්ලය පිරිමින්ගේ සරුභාවය සඳහා ද බලපායි. පිරිමියෙකුගේ ශරීරයේ සෑම තත්ත්පරයකදීම අලුත් ශූක‍්‍රාණු 1500 ක් පමණ නිපදවයි. මෙහිදී ශුක‍්‍රාණු සෛල ඇති වීමට දින 30 පමණ ගත වේ. එහිදී සෛල  බෙදීම හා DNA නිෂ්පාදනයට ෆෝලික් අම්ලය අවශ්‍ය වේ. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ අවධානම ඇත්තේ කාටද?

කාන්තාවක් මව්පදවිය වෙනුවෙන් ‍දකින සිහිනවල නම් නිමක් නැහැ. විවා‍හයෙන් පසු සෑම කාන්තාවක්ම දකින්නේ හව් පදවියේ සිහිනය යැයි කීවොත් එය නිවැරදියි. ඒත් ඇතැම් කන්තාවන්ට දරු පිළිසිඳ ගැනීමකදී නොහිතන ආකාරයේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ඒ සඳහා එක් උදාහරණයක් ලෙස අපිට නිතර අහන්න දකින්න ලැබෙන තත්ත්වයක් වන Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමේ තත්ත්වය (Extra uterine pregnancy) දැක්විය හැකියි. 

Ectopic Pregnancy (බහිෂ් කේතනික ධාරණය), එහෙමත් නැත්නම් ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමකදී 90% ක්ම මෙම පිළිසිඳ ගැනීම් සිදුවන්නේ පැලෝපීය නාලය තුළ වන අතර කලාතුරකින් ගැබ් ගෙල (Cervix) ඩිම්බ කෝෂ (Ovary) උදර කුහරය (abdomen) තුළ ද පිහිටන අවස්ථාත් දැක ගත හැකියි. පැලෝපීය නාල සාමාන්‍ය තත්ත්වයේ නොමැති වීම එනම් සැත්කම්, තුවාල, ආසාධන ඇති වීම වැනි අවස්ථාවලදී පැලෝපීය නාලය තුළ සංසේචිත සෛලය  තැන්පත් වීමේ ඉඩකඩ ඉතා වැඩිය

කලලයක් වර්ධන වීමට අවශ්‍ය ඉඩකඩ හා සුදුසු පෝෂණය ලැබෙන්නේ ගර්භාෂ කුහරය තුළදී පමණි. ගර්භාෂයෙන් පිටත කිසිදු ස්ථානයක කලලයක් වර්ධන වීමට අවශ්‍ය හවැනි පරිසරයක්, ඉඩක් හෝ පෝෂණයක් ලබාගැනීමට අවස්ථාව නොමැත. කෙසේ වුවද පැලෝපීය නාලය තුළ තැන්පත් වූ කළලය එතුළ වැඩෙන විට, යම් අවස්ථාවක ඉඩකඩ මදිවීම නිසා නාලය පුපුරා යා හැකි අතරම සාමාන්‍යයෙන් මෙසේ සිදුවිය හැක්කේ අවසාන ඔසප් වීමෙන් සති 8 – 10 ක් අතර කාලය තුළදීය. එය යම්තාක් දුරට අවදානම් තත්ත්වයක් වන්නේ නාලය පිපිරූ ස්ථානයෙන් අධික රුධිර වහනයක් සිදුවිය හැකි නිසාය. එය  රෝගියාගේ ජීවිතය පවා අවදානමට  ලක්විය හැකි අවස්ථාවකි.  මේ අවස්ථාවේ සිදු විය හැකි අනෙක් භයානක ලක්ෂණය වන්නේ ගර්භාෂයෙන් පිටත දරු ගැබ පිහිටීම හා එය පුපුරා යෑමේදී පැහැදිලි රෝග ලක්ෂණ නොමැති වීම හෝ රෝග ලක්ෂණ ඉතා අඩු වශයෙන් පෙන්නුම් කිරීමයි. නිසා මෙම තත්ත්වය රෝග ලක්ෂණවලින් හඳුනා ගැනීම පහසු නොවේ. මෙම තත්ත්වයක් පිළිබඳව යම්තම් හෝ සැකයක් පවතී නම් පළපුරුදු වෛද්‍යවරයෙකු වහාම හමුවිය යුතුය. මෙය නාරිවේදීය ඉතා හදිසි (Gynaecological emergency) තත්ත්වයකි.

Ectopic Pregnancy තත්ත්වයට හේතූ

පැලෝපීය නාලයේ අවහිරතාවයක් නිසා සංසේචිත වූ ඩිම්බය ගර්භාෂය දක්වා පැමිණීමට නොහැකි වී පැලෝපීය නාලයේ හෝ වෙනත් ස්ථානයක රැදී එම ස්ථානයේ අධි රෝපණය (Implantation) වීම මේ තත්ත්වයට හේතුවයි.

Ectopic Pregnancy තත්ත්වයට පත්විය හැකි අවධානම් සාධක

  • වයස

ලිංගික වශයෙන් ක්‍රියාකාරී, ඩිම්බ මෝචනය සිදුවන කාන්තාවකට ඕනෑම වයසකදී ඇති විය හැකි නමුත් අධි අවධානමක් ඇත්තේ වයස අවුරුදු 35 – 44 කාන්තාවන් 

  • ඉතිහාසය 

Ectopic pregnancy තත්ත්වය සඳහා අධික අවධානමක් මීට පෙර පැවති කාන්තාවන් මෙන්ම පෙර Ectopic pregnancy තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන් 

  • පෙර  සිදුකරන ලද නාරීවේදීය ශල්‍යකර්ම

පැලෝපීය නාල ආශ්‍රිතව සිදු කරන ලද පැලෝපීය නාල හැඬ ගැසීම හෝ එසේ ගැට ගැසූ නාල යළි යථා තත්ත්වයට පත් කිරීම වැනි ශල්‍යකර්මවලින් පසුව නාලවල සිදුවිය හැකි ව්‍යූහමය වෙනස්කම් පැවතීම 

  • ආසාධන 

ශ්‍රෝනි කුහරය තුළ ඇති වන ආසාධන (Pelvic Inflammatory Disease – PID) තවත් අවධානම් සාධකයක් වන අතර ශ්‍රෝණී ආසාධනයක් සඳහා සාමාන්‍යයෙන් හේතූ වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණ ජීවීන් රෝග තත්ත්වයි. උදාහරණ ලෙස Chlamydia හෝ Nisseria gonorro දැක්විය හැකියි. මෙම ජීවීයා මඟින් ගොනෝරියා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය ඇති කරයි. මීට අමතරව ලිංගිකව සම්ප්‍රේෂණය නොවන බැක්ටීරියා මඟින්ද ශ්‍රෝණිය ආශ්‍රිත රෝග ඇති විය හැකි අතර Ectopic pregnancy ඇති වීමේ අවධානම වැඩි කරයි. මෙසේ ඇති වන ආසාධනයක් මඟින් පැලෝපීය නාලවලට අනතුරු හා අවහිරතා ඇති කරයි

තවද ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සමග සම්බන්ධ වීමත් කාන්තාවට ශ්‍රෝණී ආසාධන තත්ත්ව ඇති වීමට ඇති අවධානම වැඩි කරවන අතරම Ectopic pregnancy ඇති වීමට ලිංගික සහකරුවන් කිහිප දෙනෙකු සිටීමද හේතු විය හැකිය. 

සාමාන්‍යයෙන් පැලෝපීය නාලයේ ඇතුළු ආස්තරණයේ කුඩා රෝම වැනි ව්‍යූහයන් රාශියක් පවතී. මේවා පක්ෂම (cilia) ලෙස හඳුන්වන අතරම ගර්භාෂය දෙසට චලනය වන මෙම පක්ෂම මගින් ඩිම්බය, ඩිම්බ කෝෂයේ සිට පැලෝපීය නාලය හරහා ගර්භාෂය දක්වා (තල්ලු කර හැරීම) ගමන් කරවීම සිදු කරයි. ආසාධන මඟින් මෙම පක්ෂමවලට හානි වුවහොත් ඩිම්බය ගමන් කරවීමට නොහැකි වේ. එවිට ඩිම්බය සංසේචනය වීමෙන් පසු එය ගර්භාෂයට ළඟා නොවී පැලෝපීය නාලය තුළ තැන්පත් වේ. එසේම මෙම ආසාධන නිසා ඇති වන කැළැල් පටක නිසා පැලෝපීය නාල අර්ධ ලෙස අවහිර වි හැකි අතරම එමඟින්ද සංසේචිත ඩිම්බය ගර්භාෂය තුළට යාම වළක්වයි

  • නාරිවේදීය තත්ත්වයන්

Endometriosis, ගර්භාෂය තුළ ෆයිබ්‍රොයිඩ් ඇති වීම හෝ කැළැල් පටක පැවතීම නිසා සංසේචිත ඩිම්බය ගර්භාෂය දක්වා ගමන් කරවීමට බාධා ඇති කරයි

  • අන්තර් ගර්භාෂයික උපත් පාලන උපකරණ (Intrauterine Contraceptive Devices – IUCD)

උපත් පාලන ක්‍රම ලෙස ගර්භාෂය තුළ තැන්පත් කරන ලූප නියමිත ස්ථානයේ නොමැති වීමෙන් ගැබ් ගැනීම් සිදුවන අතරම එවැනි ගැබ්ගැනීම් Ectopic pregnancy තත්ත්ව‍යේ විය හැකිය. 

  • ඍජුව හෝ වක්‍රව සිගරට් දුමට නිරාවරණ වීම

සමහර කාන්තාවන් පුරුද්දක් ලෙස දුම්පානය කරයි. ඇතැමුන් වක්‍රාකාරව සිගරට් දුමට නිරාවරණය විය හැකියි. මෙහි අවධානම ගන්නා සිගරට් ප්‍රමාණය මත රඳයි. මෙම දුම මඟින්ද පැලෝපීය නාලය තුළ ඇති පක්ෂම (Cilia) විනාශ කරයි. ඒ හේතුවෙන් ගර්භාෂය තුළට සංසේචිත ඩිම්බ රැගෙන යාමේ හැකියාව අවම විය හැක.

  • වඳ භාවය – Infertility

වඳභාවය පිළිබඳව ඉතිහාසයක් ඇත්නම් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කලයක සිට දරුවන් නොමැති නම් එයද Ectopic pregnancy තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි කරයි.

  • සරුභාවය ඇති කිරීම සඳහා ගනු ලබන ඖෂධ (ඇතැම්) ලබාගන්නා කාන්තාවන් 
  • සාමාන්‍ය ක්‍රමයට පිළිසිඳ ගැනීමක් සිදු නොවන නිසා IVF ප්‍රතිකාර වෙත යොමු වූ කන්තාවන්

Ectopic pregnancy තත්ත්වයකදී පෙන්නුම් කරන ලක්ෂණ පිළිබඳව තවත් ලිපියකින් බලාපොරොත්තුවන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

පොරොන්දුවලින් පොඩ්ඩන් රවටන්න එපා.

පුංචි අය රවටන්න හරිම ලේසියි. ඉර,හඳ ගෙනත් ළගට දෙන්නම් කිව්වත් ඒවා ඔවුන්ට ඇත්ත.ඒ වගේම දෙමව්පියන් වුනත් බය සැක නැතුව පොඩ්ඩන්ට විවිධ පොරොන්දු ලබා දෙන්නේ ඒවා ඉටු වුනත් ,නැතැත් කිසිම ගැටළුවක් නැති නිසයි.නමුත් පුංචි පැටියාට නොතේරෙන නිසා ඔබ අද දවසේ මේ වගේ බොරු පොරොන්දු දුන්නත් එහි ආදිනව හෙට දවසේ ඔබ වගේම දරුවාටත් පෙරලා ලැබෙන බැව් මොහොතකට හෝ සිතුවාද…?

අපි පොඩ්ඩන්ට පොරොන්දු දෙන්නේ ඇයි…?

පුංචි අයත් සමග කටයුතු කිරීම එතරම් පහසු කාර්යක් නොවෙයි.අපි කියන දෙයට ඔවුන් එකහෙලාම අවනත වෙන්නේ නැහැ. ඒ දරුවන්ගේ ස්වභාවයයි.මේ වගේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විදිහට අපි කරන්නේ දරුවාට කුමක් හෝ පොරොන්දුවක් ලබා දෙනවා.මේ පොරොන්දු දෙන්නෙත් නිකම් නොවෙයි. දරුවා ප්‍රිය කරනම දෙයක් මුල් කර ගෙන පොරොන්දුව දෙන්න දෙමව්පියන් බොහොම උනන්දුයි.

  • මං ඔයාට අපේ ගෙදර තරම් ලොකු කාර් එකක් ගෙනත් දෙනවා…හැබැයි බත් ටික සේරම කන්න ඕන.

අම්මා දන්නවා..පැටියා දන්නේ නැහැ.

හැබැයි ගෙදර තරම් විශාල කාර් එකක් නැති බව අම්මා දන්නවා. ඒත් පැටියාට එය තේරෙන්නේ නැහැ. තවම ඔවුන්ගේ ලෝකයේ ලොකුම සමාජය දෙමව්පියන් පමණයි. ඒ නිසා අම්මා,තාත්තා විසින් ලබා දෙන පොරොන්දුව පිලිගන්නවා. ඒත් මේ පොරොන්දුව කවදාවත්ම ඉටු නොවන බැව් පැටියා දන්නේ නැහැ.

එහෙමනම් ඉටු කරන්න පුලුවන් පොරොන්දුවක් දුන්නොත්…?

ඔව් ඒක ඇත්ත. පොරොන්දුව නිතරම ලබා දිය හැකි අන්දමේ වුනොත් එය වටිනවා.දරුවා කැමැත්තක් දක්වන පුංචි දේවල් වගේම දෙමව්පියන්ට පහසුවෙන් ඉෂ්ට කිරීමට හැකියාව ඇති පොරොන්දුත් තිබෙනවා.ඒ වගේ පොරොන්දුවක් ලබා දෙන්න කිසිම අපහසුවක් නැහැ.

මම ඔයාව පාක් එකට එක්ක යනවා…එහෙම නැත්නම් ලස්සන පින්තූර පොතක් අරගෙන දෙනවා. මේ වගේ පොරොන්දු ලබා දීම අපහසු නැහැ. ඒ විතරක් නොවෙයි, ඒ පොරොන්දු ඉෂ්ට කිරීමත් පහසුයි.

පොරොන්දුව ඉටු කරන කාලය ගැනත් උනන්දු වෙන්න..

ඔබ දරුවාට පොරොන්දුවක් ලබා දෙනවා නම් එය ඉටු කිරීමට හැකි කාලය ගැනත් අවදියෙන් සිටින්න. ඒවා ”දැන් “, ”අද ” යනුවෙන් ඉක්මනින් ඉටු කරන්නට බැදෙන්න එපා.අම්මාට පුළුවන් දවසක..එහෙම නැත්නම් අම්මාට සල්ලි ලැබුන දවසක..වගේ අනාගතයට කල් තබන්න.

හැබැයි බොරු පොරොන්දුත් එපා..

නමුත් මේ පොරොන්දු හැමදාම අනාගතයට කල් තබන බාලගිරි දෝෂයක් නම් නොවිය යුතුයි.කවදා හෝ දිනක දෙමව්පියන් විසින් ලබා දුන් පොරොන්දුව ඉටු වෙන බවට විශ්වාසය දරුවාගේ හිතේ ගොඩ නැගෙනවා නම් ඔබ සාර්ථක චරිතයක්.

පොරොන්දු යනු වචන පමණක් නොවේ..

පොරොන්දුවක් යනු වචන කීපයක් පමණක් නොවේ. එය දරුවාගේ සතුට විතරක් නොවේ. දරුවා සහ මව්පියන් අතර විශ්වාසය තහවුරු කරන ශක්තිමත් අත්තිවාරමක්.

පොරොන්දු කඩවුනොත් මොකද වෙන්නේ…?

දෙමව්පියන් විසින් ලබා දෙන පොරොන්දු කඩ වුනොත් එය ඔබ නොසිතන අන්දමින් දරුවාට බලපානවා.

දරුවාගේ හිතේ සතුට නැති වෙනවා.ඔබ දරුවාට යමක් දෙන බවට පොරොන්දු වුනොත් එය නොලැබෙන ලකුණු ඇති විට දරුවාගේ හිතේ සතුට නොදැනීම පිරිහෙන්න පටන් ගන්නවා. ඒ වගේම යටිහිත විසින් තමාගේ අහිමි වුන පොරොන්දුව ගැන දැඩි ලෙසින් පීඩාවට පත් වීමත් සාමාන්‍ය ස්වභාවයක්.

දෙමව්පියන් ගැන ඇති විශ්වාසය-දෙමව්පියන් විසින් දරුවාට ලබා දෙන ලද පොරොන්දු ඉෂ්ට නොකිරීම නිසා දරුවාගේ හිතේ දෙමව්පියන් මුල් කර ගෙන කිසිම විශ්වාසයක් නොමැති තත්වයකට පත් වෙනවා. අම්මා/තාත්තා කිසිම දිනක තමාට වුන පොරොන්දු ඉටු නොකල බැව් දරුවා දන්නවා.

අද පොරොන්දු ඉටු නොවුන බැව් දන්නා දරුවා හෙට දවස ගැනත් උපකල්පනය ගොඩ නගා ගන්නවා. හෙටත් එය ඉටු නොවන පොරොන්දුවක් බැව් දරුවා විසින්ම තහවුරුවක් ගොඩ නගා ගන්නවා.

කේන්තිය

පුංචි අයටත් කේන්තිය සාධාරණයි. තමා වෙනුවෙන් වූ පොරොන්දුව ඉටු නොවන විට හිතේ ඇති වෙන කේන්තිය විවිධ ආකාරයෙන් පිට කරන්න පටන් ගන්නවා.සමහර විට මේ කේන්තිය පොරොන්දු කඩ වීම නිසා බැව් දෙමව්පියන්ටවත් තේරෙන්නේ නැහැ. ඒ තරම් සියුම් අන්දමින් දරුවා තමන්ගේ කේන්තිය පිට කරන්න පටන් ගන්නවා.

ඒ නිසා බැරි පොරොන්දු දෙන්න එපා..

එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ කවදාවත් දරුවන්ට ඉටු කිරීමට නොහැකි පොරොන්දු දෙන්න එපා.පොරොන්දුවක් ලබා දීමට පෙරාතුව ඒ ගැන හිතන්න.

යටිහිතේ තැන්පත් වෙනවා

දරුවාගේ ළමාකාලයේ අත්දැකීම් ඔවුන්ගේ යටිහිතේ තැන්පත් වෙනවා. සියල්ලම නොවුනත් තමාගේ ජීවිතයට ශාරිරික හෝ මානසික පීඩාවක් ඇති වුන සිදුවීම් මේ අන්දමින් හිතේ තැන්පත් වෙනවා. ඒවා දරුවා සමග අනාගතයටත් ගමන් කරනවා.

මං පුංචි කාලයේ අම්මා/තාත්තා බොරු පොරොන්දු දීලා මාව රැවට්ටුවා..කවදාවත් පොරොන්දු වුන දෙයක් මට ලැබුනේ නැහැ..මෙවැනි පරාජිත සිතුවිලි දරුවාගේ හිතේ ඇති වුනොත් එතරම් සුබවාදී නැහැ.ඒ නිසා බොරු පොරොන්දුවලට වඩා පොරොන්දුවක් නොවී සිටීම වඩාත් වටිනවා.

පොරොන්දුව කියන්නේ අල්ලසක්ද නොවේ..

ඔබ නිතරම දරුවාට යම් යම් පොරොන්දු ලබා දෙන විට එය අල්ලසක තත්වයකටත් පත් වෙන්න පුලුවනි. ඒ නිසා නිතරම පොරොන්දු මත යැපෙන තැනට දරුවා පත් වුනොත් එය මානසික අල්ලසක් බවට පත් වෙනවා.එතැන් පටන් කිසිම දෙයක් පොරොන්දුවක් නොමැතිව කරන්නට බැරි තරම් තත්වය දරුණු වෙන්නත් පුලුවනි.

ඒ නිසා ඔබ කිසිම දිනක දරුවාට කඩවුනු පොරොන්දු දෙන්න එපා.පොරොන්දුව සමග දෙමව්පියන් සහ දරුවා අතර විශ්වාසය තහවුරු වීම අවශ්‍යයි.ඒ නිසා ඔබ දෙපාර්ශවය අතර ගැටුමක් වෙනුවෙන් ඔබ දරුවාට ලබා දෙන පොරොන්දුව හේතු විය හැකි බවත් අමතක කරන්න එපා.

 

  

කොවිඩ් සමයේ අපේ පරෙස්සම

ගිනි පෙලෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කනාමැදිරියාටත් බයයි කියනවා කොවිඞ් වසංගතය ඉදිරියේ අපට ආහාරපාන.ගමන් බිමන්, යන හැම දෙයක් ගැනම යම් සැකයක් තිබෙනවා. ඒ නිසා මේ කාලයේදී අපේ ආහාර ගැන සුරක්ෂිතතාවය ඇති කර ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

කොවිඞ්  කියන්නේ ආහාරයෙන් බෝවන රෝගයක් නොවේ. ඒ වගේම ආහාර මත ගුණනය වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ වුනත් ශීත ආහාර මත මේ වෛරසය දිගු කාලයක් ජීවත් වෙන්න පුලුවනි.ඒ වගේම වායුසමීකරණය කරන ලද කාමරවල වෛරසයේ ස්ථායිතාවය ඉහළ මට්ටමක පවතිනවා.

දැන් කාලයේ වැඩි දෙනෙක් ආහාර මිලට ගන්නේ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වලින්…එවිට අවදානමක් තිබෙනවාද…?

ශීතකරණ හෝ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වල සීතල ප්‍රදර්ශනකුටිවල ගබඩා කර ඇති ආහාර මත වෛරසයේ අධික මාත්‍රාවක් තිබෙන්න පුලුවනි. ඒ වගේම බොහෝ ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශවල වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වල ශීත කළ ආහාර සහ ශීත කල ආහාර පැකේජ් මත වෛරසය පැවතීමේ හැකියාවක් තිබෙනවා.

මේ අවදානමෙන් අප ආරක්ෂා වෙන්නේ කොහොමද…?

ආහාර මගින් හෙවත් ශීත කරන ලද ආහාර මගින් අපට වෛරසයේ සම්ප්‍රේෂනය වලක්වා ගැනීමට නම් පියවර කීපයක් ගත හැකියි. ඒවා සාමාන්‍යයෙන් ඉතා සරල සහ පහසුවෙන් අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගැනීමට පුලුවනි.

ඔබ ආහාර මිලදී ගැනීමේදී අදාල වෙළඳ ආයතනයේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන තහවුරු වීම අවශ්‍යයි. විශේෂයෙන් මස්,කිරි, යෝගට් , අයිස්ක්‍රිම් මිළට ගන්නවා නම් නිසා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන වෙළඳසැල් වෙතින් පමණක් මිළට ගැනීම වැදගත්.

ඒ වගේම ඔබ නිවසට මෙම ආහාර ද්‍රව්‍ය ගෙන ආ පසුව සැනින් ඒවායේ දැවටුම් සහ ඇසුරුම් ගලවා නිසි පරිදි බැහැර කරන්න.

සාමාන්‍යයෙන් අසුරා ඇති භාජන නම් විෂබීජහරණය කිරීමට පුලුවනි. ඒ වෙනුවෙන් ඔබට ක්ලොරොක්ස්,පවර් බ්ලීච් වැනි ගෘහස්ත බ්ලීච් භාවිතා කරන්න පුලුවනි.ඊට පෙරාතුව මේ ඇසුරුම් පිටත ප්‍රදේශය නල ජලයෙන් සෝදන්න. අත්වැසුම් පළඳා ගන්න. දැන් බ්ලීච් ද්‍රාවනයෙන් තේ හැන්දක් : මිලි ලීටර් 5 ක් ) ජලය මිලි ලීටර් 250 කට එකතු කරන්න.දැන් ස්පොන්ජියක් තෙමා මේ ද්‍රාවණය ආහාරයට ඇතුළු නොවන සේ බහාලුම් පිටත පිරිසිදු කරන්න. මිනිත්තු පහකින් පසුව වතුරෙන් සෝදා ශීතකරණයේ ගබඩා කරන්න. පිරිසිදු කරන අවස්ථාවලදීත් ඔබේ මුහුණ,නහය ආදී ස්ථාන ස්පර්ශ නොකිරීමත් වැදගත්.
ආහාර හොඳින් පිසින්න..

කොවිඞ් 19 වසංගත කාලයේදී වඩාත් සුදුසු වෙන්නේ හොඳින් පිසින ලද ආහාරයි. තාපයේදී වෛරසය පහසුවෙන් විනාශ වෙනවා. ඒ නිසා මේ කාලයේදී මස්.මාලු ආහාරයට ගැනීමේදී හොඳින් පිස ගන්න. අඩක් පිසින ලද මස්.මාලු ආහාරයට ගැනීමෙන් ඈත් වෙන්න.

අමුවෙන් මාලු ආහාරයට ගැනීම..?

අමුවෙන් මාලු ආහාරයට ගැනීම චීනය සහ කොරියාව වැනි රටවල සිදු වුනත් ඒවා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස් කර තිබෙන නිසා ඒ රටවල්වලදී අමුවෙන් මාලු ආහාරයට ගැනීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ නැහැ.නමුත් නොපිසූ මාළු ආහාරයට ගැනීම අපේ සංස්කෘතියේ ආහාරපුරුද්දක් නොවෙයි.අපේ කොරෝනා පොකුරක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් පටන් ගත්තා.ඒ නිසා මේ වෛරසය මත්ස්‍යයන් සමග දූෂනය වී තිබෙන නිසා අමුවෙන් හෝ බාගෙට පිස මස් සහ මාලු ආහාරයට නොගත යුතුයි.

පිසින ලද සීත කළ ආහාර..

ඔබ ආපනශාලාවකින් පිසින ලද ආහරයක් මිලට ගන්නවා නම් නිවසට ගෙන ගොස් පරිභෝජනයට පෙරාතුව රත් කර ගන්න.බටහිර රටවල නම් සලාද, සැන්ඞ්විච්, පැස්ටා ආදිය ශීත කැබිනෙට්ටුවල ගබඩා කර තිබුනත් අපේ රටේ මෙවැනි ආහාර බහුලව දකින්න නැහැ. ඒ වගේම වන සතුන් වෙත කොවිඞ් 19 වෛරසයේ සම්ප්‍රේෂනය වීමේ අවදානමක් තිබෙන නිසා සම්ප්‍රදායික නොවන ඉබ්බා, ඉගුවානා,වවුලන් වැනි සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් ඉවත් වෙන්න.

විටමින් D අඩංගු ආහාර ගැනීමෙන් COVID -19 අපට ආරක්ෂාවක් ලැබෙනවාද…?

විටමින් D ඌනතාවය ඇති අයට COVID 19 රෝගය පහසුවෙන් වැලඳෙන බව විවිධ අධ්‍යනයන් මගින් සොයා ගෙන තිබුනත් විටමින් D ඌනතාවය සහ  COVID -19 රෝගය අතර පවත්නා සම්බන්ධතාවය ගැන තවම නිශ්චිත තහවුරු වීමක් නැහැ. විටමින් D මගින් ශ්වසන රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන බැව් තහවුරු වී තිබෙනවා. විටමින් D ප්‍රතිශක්තිය වැඩි කරන බැව් අප දන්නා කරුණක්. ඒ නිසා කොවිඞ් වසංගතයටමත් සීමා නොවී විටමින් D මට්ටම යහපත් පරිදි පවත්වා ගැනීම වැදගත්.

අපි විටමින් D ලබා ගන්නේ කොහොමද..?

සාමාන්‍යයෙන්  ආහාර නොමැතිව අපට අවශ්‍ය විටමින් D හිරු එළියෙන් ලබා ගන්න පුලුවනි. වැඩිහිටියෙකුට දිනකට  විටමින් D මයික්‍රොග්‍රෑම් 20 සිට 25 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.අපේ සිරුරේ ඇති කොලස්ටරෝල් මගින් හිරුඑළිය පවතින විට විටමින් D ජනනය කරනවා.වඩාත් නිවරැදිව කියනවා නම් අක්මාව තුළ ඇති කොලස්ටරෝල් 7 ඩි හයිඞ්රෝ කොලස්ටරෝල් බවට පරිවර්තනය වෙනවා. එයින්  පසුව එය විටමින් D -3(කොලකාල්සිෆෙරෝල් ) පරිවර්තනය වීම සූර්යාලෝකයේ පාරජම්බුලකිරණ ( UV ) මගින් සිදු වෙනවා.

ඒ නිසා අප උදෑසන හිරු එලියට නිරාවරනය වුනොත් විටමින් D නොමිලයේම ලබා ගන්න පුලුවනි.නමුත් කොවිඞ් සමග බොහෝ දෙනා නිවෙස්වලට සීමා වීම නිසා හිරු එලියට නිරාවරනය වීමත් සීමා වී තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50% ක් පමණ පිරිසකට ප්‍රමාණවත් පරිදි සූර්යාලෝකය නොලැබෙන බැව්  බැව් ගණන් බලා තිබෙනවා.

ආහාර මගින් විටමින් D ලබා ගැනීමට නම්….

විටමින් අඩංගු ආහර අතරට ගැනෙන සැමන්, බලයා, කෙලවල්ලා, බිත්තර කහමදය, කිරි සහ මාගරින් වැනි ආහාර මගින් ඔබට අවශ්‍ය විටමින් D ලබා ගත හැකියි.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

දෙමාපියන් වන අපේ සීමාවන් දරුවන්ගේ ජීවිතයට බලපෑම්කරන්නේ කොහොමද?

“අද දවසෙම සෙල්ලම. දැන් යන්න පොතක් පතක් බලා ගන්න” කොයි අම්මා තාත්තත් දරුවන්ට මේ ටික නම් කියනවාමයි. දෙමාපියෝ විදියට අපේ මේ කියමන දරුවෙකුට කොයිතරම් නම් දුරට සාර්ථකද කියලා අපි විමසමු.

දෙමාපියන් වන අපේ බලාපොරොත්තුවලට දරුවන් තල්ලු කිරීම හරිද?

දෙමාපියන් විදියට අපි හැමදෙයක්ම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ වගේම අපේ හැමදේම කැප කරන්නෙත් ඔවුන් වෙනුවෙන්. ඒත් වෙලාවකට මේ දේවල් පුන්චි හිත්වලට බර වැඩිද කියලත් හිතෙනවා. ඇත්තටම දෙමාපියන් වන අපේ බලාපොරොත්තුවලට දරුවන් තල්ලු කිරීම හරිද?

දෙමාපියන්ගේ ගැටුම් දරුවන්ට බලපානවද? ඒ කොයි විදියටද ?

ඕනෑම යුවළක් අතර යම් යම් මත ගැටුම් ඇති වීම බොහොම සාමාන්යේ දෙයක්. මේ දේවල් ඉතා සුළු මොහොතකින් නතර වුවත් ඇතැම් අ අතර දීර්ග කාලීනව ගැටුම් පවතින අවස්ථා අපි දැකලා තියෙනවා. ඇතැම් විට ඒ ඔවුන් විවාහයට සූදානමක් නොමැතිව විවාහ වීම වගේ හේතු නිනෙ වෙන්නත් පුළුවන්. ඒත් අපිට දරුවෝ ඉද්දී නම් මේ ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා. අන්න ඒ නිසාම දෙමාපියන්ගේ ගැටුම් දරුවන්ට බලපානවද? ඒ කොයි විදියටද කියලා අපි අද කතා කරමු.

දරුවන් ඉන්න නිසා වැඩිහිටි අපි තරහවා, වේදනාව සඟවා ගත යුතුද?

දුක සතුට වගේම තරහව කියන්නෙත් බොහොම සාමාන්යා හැඟීම්. දුකක් ආවම අඩන්නත් සතුටක් ආවම සිනා සෙන්නත් වගේම තරහක් දැනුනම ඒකටත් මොකක්ම හෝ විසඳුමක් තිබිය යුතුමයි. ඒත් දරුවෝ ඉන්න වගකීම් සහිග දෙමාපියන් විදියට හිතුමතේ හැසිරෙන්න අපිට බැහැ. එහෙමයි කියලා අපේ හැඟීම් යටපත් කර ගැනීමත් සුදුසු නැහැ. එහෙම නම් මොකද කරන්නේ.

 

වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා මනෝවෛද්‍ය විශේෂඥ විශ්වවිද්යානල මනෝවෛද්ය ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල

“ ඔටිසම් තත්වය” සහිත දරුවෙකුගේ සන්නිවේදන කුසලතා දියුණු කිරීමට “කථන චිකිත්සාව” වැදගත් වන්නේ ඇයි?

“ඔටිසම් තත්වය” යනු ස්නායු සංවර්ධය හා සම්බන්ධ ගැටළුවක් (Neurodevelopmental) ලෙස සරලව ම හදුන්වා දිය හැකිය. මෙහි දී, දරුවාගේ සන්නිවේදනයේ හා අන්තර් පුද්ගල සම්බන්ධතා වල ගැටළු ඇති කරයි. 

මිට අමතරව තවත් බොහෝ ලක්ෂණ මේ හා බැඳී පවතී. එනම්, ඇසට ඇස නොබැලීම, එකම ක්‍රියාකාරකමක් හෝ යම් චර්යාවක් නැවත නැවත සිදු කිරීම, නොගැලපෙන ලෙස සෙල්ලම් කිරීම, සමාජනුයෝජනයේ ගැටළු, යම් දෙයක් හෝ ක්‍රියාකාරකමක් සදහා අවධානය දීමේ ගැටළු හා සංවේදන ගැටළු ඉන් ප්‍රධාන වේ. නමුත් මෙම ලක්ෂණ විවිධාකාරයෙන් දරුවන් තුල පෙන්නුම් කරන අතර ඔටිසම් තත්වය සහිත දරුවන් ද එකිනෙකට වෙනස් වූ ආවේණික ලක්ෂණ පෙන්නුම් කරති.

ඔටිසම් තත්වය සහිත දරුවකු ගේ කතාව, භාෂාව හා සන්නිවේදනයේ ඇතිවන ගැටළු ලෙස,

  • සම්පුර්ණයෙන් ම වාචිකව කතා නොකිරීම, ශබ්ද, තනි වචන හෝ කෙටි වැකි කතා කිරීම 
  • ඇතැම් විට වචන වල මුල ශබ්දය පමණක් උච්චාරණය කිරීම
  • සිංදුවක් කියන ලෙස යම් කිසි තාලයකට කතා කිරීම 
  • වෙනත් භාෂාව වචන මෙන් කතා කිරීම
  • ඇසෙන දේ ඒ අයුරින් ම නැවත ප්‍රකාශ කිරීම
  • කතාවට මුල පිරිම අඩු වීම
  • කතා කරන විට ඇසට ඇස නොබැලීම 
  • නිර්මාණාත්මක ව භාෂාව හසුරු වීම අපහසු වීම ඉන් සුලබ සන්නිවේදනය හා සම්බන්ධ ගැටළු ලෙස හදුන්වා දිය හැකිය.

මෙවන් දරුවන්ගේ ඇතිවන සන්නිවේදන ගැටළු අවම කර ගැනීමටත්, සන්නිවේදන කුසලතා දියුණු කර ගැනීමටත් කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) වෙත යොමු වීම ඉතාමත් වැදගත්ය. එමගින්, 

  • දරුවාගේ සන්නිවේදනය (වාචික/ අවාචික) දියුණු  සදහා කටයුතු කිරීම
  • දරුවා ගේ භාෂාව සංවර්ධනය සදහා අවශ්‍ය වන්නා වූ පුර්ව භාෂා සංවර්ධන කුසලතා සංවර්ධනය කිරීම
  • දරුවා ගේ වාග්මාලාව දියුණු කිරීම 
  • දරුවා සදහා ම සුවිශේෂී වූ සන්නිවේදන ක්‍රම හදුන්වා දීම හා ඒවා භාවිතයට දරුවා පුහුණු කිරීම
  • දරුවාගේ සමාජීය කුසලතා හා play skills සංවර්ධනය කිරීම ආදී වැදගත් වූ සේවයක් මේ හරහා ලබා ගැනීමට ඔබට හැකියාව පවති. 

ඔටිසම් තත්වය සහිත දරුවෙකු කථන චිකිත්සාව ආරම්භ කල යුතු හොදම වයස කුමක්ද යන්න බොහෝ දෙමවුපියන් ට ඇතිවන ගැටළුවකි. සාමාන්‍යයෙන් ඔටිසම් තත්වය අවුරුදු 03 ට පෙර හදුනා ගැනීමට හැකියාව පවතින අතර මෙම දරුවන් බොහෝ විට මාස 18 පමණ වන විට කථන හා භාෂා ප්‍රමාදයක් පෙන්නුම් කිරීම සුලබ කරුණකි. ඒ අනුව, හදුනා ගත් විගස හැකි ඉක්මනින් කථන චිකිත්සාව වෙත යොමු වීම ඉතාමත් වැදගත් වේ. එමගින්, දරුවා නිවැරදි තක්සේරුවකට ලක් කරන අතර එම ප්‍රතිපල මත දරුවා සදහා සුවිශේෂී වූ කථන චිකිත්සක ප්‍රතිකාර ලබා දීම ආරම්භ කල හැකිය. මුල් කාලයේදීම තහවුරු කරගැනීම හා ක්‍රියාකිරීම (Early Intervention) තුලින් දරුවාගේ සාධනීය වර්ධනයක් කරා ලගා වීමට හැකියව පවතී.

කථන හා භාෂා චිකිත්සකවරුන් (Speech and Language Therapist) විසින් ඔටිසම් තත්වය සහිත දරුවන් සදහා විවිධ වූ  කථන චිකිත්සක ක්‍රම උපයෝගී කර ගනිමින් කටයුතු කරති. මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. මෙහිදී සිදුවන්නේ දරුවා තක්සේරුවකට ලක් කර ලබා ගත් ප්‍රතිපල මත සිට ලග කරගත හැකි කෙටි කාලීන හා දිගු කාලීන අරමුණු පදනම් කරගත් සැලැස්මක් අනුව චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් කටයුතු කිරීමයි.

ඔටිසම් තත්වය සදහා ලබා දෙන කථන චිකිත්සාව පරියේෂණ මඟින් තරවුරු වූ විවිධ ක්‍රමවේද (Approaches) මත පදනම් වුවකි. ඒ අතර, මුලික භාෂා උත්තේජනය (Early Language Stimulation), පින්තුර  හා පින්තුර පොත් ඇසුරු කරගත් ක්‍රමවේද (AAC) / (PECS), හැසිරීම් තක්සේරුකරණය තුලින් සිදු කරන ක්රමවේද (ABA) ආදීය  ප්‍රධාන ව පවතී. ඒ අනුව, ඔබටත් ඔටිසම් තත්වය සහිත දරුවකු සිටි නම් දරුවාගේ කථනය, භාෂාව හා සන්නිවේදනය දියුණු කර ගැනීම උදෙසා කථන චිකිත්සක ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වේ.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

දඬුවමක් දෙන්න තරම් වයසකුත් නැත්නම් …මොකද කරන්නේ..?

පුංචි දරුවන්ගෙන් වැරදි වැඩ කිරීම බොහොම සාධාරණයි. ඒ ඇයි කිව්වොත්  හොඳ සහ නරක අතර වෙනස පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ.ඒත් අම්මා,තාත්තා හරි වැරැද්ද අතර වෙනස හොදින්ම දන්නවානේ. ඒ නිසා පුංචි දරුවා වැරැද්දක් කලොත් ඔබ මොකද කරන්නේ…?

දරුවාගේ වැරැද්ද ඔබ සාධාරණ කරන්නේ කොහොමද…?

  • තව ඉතින් හයක් හතරක් තේරෙන්නේ නැහැනේ..ලොකු වෙද්දී හරි යාවි.
  • සමහර  විට මේ තත්වයත් ඇත්ත. දරුවාට යමක් කමක් තේරෙන විට වැරැදි ගැන වැටහීමක් ලැබෙනවා. ඒ නිසා දරුවා විසින්ම වැරැද්ද තේරුම් ගන්නත් පුලුවනි.

හැබැයි මේ සිතුවිල්ල එතරම්ම සාධාරණ නැහැ…

ඔබ මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී දරුවා කරන වැරැදි ඔවුන් සමගම වැඩෙන්න පුලුවනි.ඒ නිසා වැරැද්ද දුටු විට නම් එය අනාගතයට කල් තැබීම එතරම් සුදුසු නැහැ. මේ ගැන අද බොහෝ උදවියගේ පාපොච්චාරනයන්ගෙන් පවා සඳහන් වෙනවා. ඇතැම් බන්ධනාගාරගත පුද්ගලයන් පවා සඳහන් කරන්නේ ඔවුන් බාල කාලයේ පටන්ම මේ වැරැදි ක්‍රියාවන් සමග ජීවත් වුන බවයි. නමුත් කවුරුන් හෝ වැඩිහිටියන් විසින් අතීතයේදී ඔවුන්ගේ වැරැදි හැසිරීම වැරැදි බැව් පෙන්වා ඔවුන් ඒ වැරැදි ක්‍රියාවෙන් මුදවා ගත්තා නම් අදටත් ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයන් මෙන් ජීවත් වෙනු ඇති. ඒ නිසා වරදකට දඬුවම් කිරීමට වයස ගැටළුවක් නැහැ. වරදට අද ලැබෙන දඬුවම ඔබෙන් නොලැබුනොත් ඔබේ දරුවා හෙට සමාජයෙන් දඬුවම් ලබනු ඇති.

දරුවා කරන ක්‍රියාව වරදක් නම්, එයට දඬුවමක් දෙන්න තරම් වයසකුත්නැත්නම් …මොකද කරන්නේ..?

ඒත් වරදක් නම් නිශ්ශබ්ද වෙන්න එපා. දරුවා පුංචි නම් පුංචි දඬුවම් දෙන්න..ඔහු කැමැති රූපවාහිනී වැඩසටහනක් නරඹන්න ඇති අවස්ථාව අදට තහනම් කරන්න.එහෙම නැත්නම් සිහින් කෝටුවකින් පහරක් දෙන්න. තමා කරන ලද්දේ වරදක් බැව් දැනගැනීමට එය හොදටම අදට ප්‍රමාණවත් වේවි.

හැබැයි එතැනින් ඔබ නවතින්න එපා..

සමහර විට දෙමව්පියන් විසින් ලබා දුන් දඬුවම නිසා දරුවා වැරැදි ක්‍රියාවෙන් මිදෙන්න පුලුවනි. ඒත් සහතික වෙන්න බැහැ. පුංචි අය වුනත් විශ්වාස කිරීම එතරම් පහසු නැහැ. ඒ නිසා දරුවා විසින් කළ වැරැදි කටයුත්තට දඬුවමක් දුන් තැන පටන් ඔබ ඒ ගැන පසු විපරමෙන් සිටින්න.ඔවුන් නැවතත් ඒ වැරැදි ක්‍රියාවම සිදු කරන්නේදැයි විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

දරුවන්ට බය වෙන්නත් එපා..

එක් එක් දෙමව්පියන්ගේ පෞරෂයත් වෙනස්. ඒ නිසා ඇතැම් අම්මලා දරුවන්ට යම් බියක් දක්වනවා. එය බියක් කියන්නත් බැහැ.සමහර විට අනුකම්පාවක් වගේ හැගීමක්. ඒ නිසාම දරුවා වරදක් කළත් ඊට ගැලපෙන දඬුවමක් ලබා දෙන්නත් බයයි.ඒත් මේ කතාව අමතක කරන්න එපා. හැදි නොගා හදන හොද්දයි..ගුටි නොගහා හදන දරුවයි.. දෙකම ඉක්මනින් නරක අතට හැරෙනවානේ. හැබැයි ..මෙතැන කියන්නේ රජකාලේ දඬුවම් ගැන නම් නොවෙයි.වරදට සහ දරුවාගේ වයසට ,මනසට ගැලපෙන දඬුවමක් ලබා දීම වැදගත්.

හැබැයි නිකරුනේ දඬුවම් කරන්නත් එපා..

ඔබ දරුවෙකුට අනවශ්‍ය අන්දමින් සැර පරුෂ වීම හෝ සුලු දෙයටත් දඬුවම් කිරීම කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය කට වහරට කියන්නා සේ කම්මලේ සිටින බල්ලා හෙණ හඬටත් බිය නැති වෙන්නා සේ…නිතරම සිදු කරන දඬුවම් නිසා දරුවාට වරදක් වෙුනවෙන් දඬුවම් ලබා දෙන විට එහි කිසිදු විශේෂයක් නැත.ඒ නිසා දඩුවම් ලබා දෙන විට වරදේ බරපතල බව ගැනත් සීමාවන් අවශ්‍ය වේ.

දරුවාගේ වරදක් කිව්වොත් ඒ අය සමග අමනාප වෙන්න එපා..

ඔබේ දරුවා ගැන ඔබ දකින කෝණයට වඩා පිටස්තරයන් දකින්නේ වෙනස් අන්දමකින්.සමහර විට දරුවාගේ පංතියේ මිතුරෙකුගේ මවක් එබේ දරුවා ගැන පැමිණිල්ලක් කළොත් පසුදා සිට ඒ අම්මාගේ මුහුණවත් නොබල සිටින්න එපා. ඒ වෙනුවට වරදක් ගැන පැමිනිල්ල කළ කාන්තාවට ”ස්තුතියි ” කියන්න.

අනේ අපේ පුතාට ඉරිසියාවට කියන දේවල් යැයි…නිශ්ශබ්ද වෙන්නත් එපා.

ඒ වගේම ඔබේ ආවේගයට නිවසට පැමිණි විටම ආවේශ වී දරුවාට දඬුවම් කරන්නත් එපා.සමහර විට දරුවා ගැන සිදු කරන ලද පැමිණිල්ල මුසාවක් වෙන්නත් පුලුවනි. ඒ වුනත් නොසලකා සිටින්නත් එපා.දරුවා ඉදිරියේ පැමිනිල්ල කළ මව ගැන විවේචනය කරන්නත් එපා. මේ පැමිනිල්ල ඇත්තක්දැයි ඔබම නිරීක්ෂනය කරන්න.වරද තහවුරු වුන විට දඬුවම ගැන හිතන්න.

දරුවාට අල්ලස් දෙන්න එපා..

ඔබේ පහසුවට බොහෝ අවස්ථාවන්හිදී දරුවා වෙනුවෙන් ඔබ අල්ලස් දෙන්නත් පුරුදු වෙලා සිටින්න හැකියි.ඔයා ඇත්ත කිව්වොත්..මං ටෙනිස් බෝලයක් අරගෙන දෙනවා. ඇත්තම කියන්න..නමුත් මේ අන්දමින් බෝනස් හෝ අල්ලස් දීම නම් නුසුදුසුයි. එවිට සිදු වෙන්නේ දරුවා නිතරම වරද නිවරැදි කර ගැනීමේදී අල්ලසක් බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒ නිසා වරද ඔබ නිතරම වරදක් සේ දකින්න. එය අල්ලසින් පිරිසිදු කරන්න එපා.

දරුවා ඉදිරියේ ඔබ වැරදි වැඩ කරන්නත් එපා..

ඔබ දරුවා වැරැද්දෙන්  මුදවා ගන්න නම් මුලින්ම ඔබ නිවරැදි වෙන්න.දරුවාට බොරු කියන්න එපා යැයි ඔබ කියනවා නම් ඊට මුලින්ම ඔබ දරුවා ඉදිරියේ බොරු කීමෙන් වැලකී සිටීම ඉතාම වැදගත්.ඔබ දරුවා සමග එක්ව ඇතැම් අවස්ථාවලදී බොරු කියනු ඇති.

නිවසට යාචකයෙක් පැමිණි විට ගෙදර කවුරුවත් නැහැයි කියන පනිවිඩය යවන්නේ දරුවා අතය…ඔබට අනවශ්‍ය දුරකථන ඇමතුමක් ලැබුන විට අම්මා කෝ ඇහුවොත් ගෙදර නැතැයි යන පනිවිඩය ඇමතුම් කරන්නාට කියන්නට දරුවාට උපදෙස් දෙන්නේ ඔබය.මේ ආදර්ශ නිසාම දරුවාටත් බොරුව ගැන ඇති බිය නොදැනීම හිතෙන් දුරස් වෙනු ඇත.

පමණට වඩා වර්ණනා කරන්නත් එපා..

සාමාන්‍යයෙන් මුරුංඟා අත්තේ ඉහලින් තැබූ විට අත්ත කැඩී වැටෙන්නා  සේ ඔබේ දරුවා ගැන පමණට වඩා සිදු කරන වර්ණනාවන් නිසාම ඔවුන් වැරැදි කටයුතු වෙත නොබියව යොමු වීමට ඉඩ තිබෙනවා.ඒ නිසා දරුවා ගැන අනවශ්‍ය අන්දමින් වර්ණනා කිරීමත් එතරම් ගැලපෙන කාර්යක් නොවන බැව් දෙමව්පියන් වශයෙන් ඔබ මතක තබා ගන්න.

එහෙමනම්..දරුවා වරදක් කළ විට නොසලකා සිටිනවාට වඩා වරදට අදාල දඩුවමක් ලබා දීමෙන් ඔවුන් සුමගට යොමු කිරීමට තිබෙන අවස්ථාව මග හැරීමෙන් අනාගතයේදී දරුවාගේ වැරැදි වෙනුවෙන් දෙමව්පියන්ට පසුතැවිලි වීමට සිදු වේ.