Home Blog Page 49

ලිංගික ජීවිතයට බාධ ගෙනෙන Vaginismus ගැන දන්නවාද?

විවාහක කාන්තාවන් මුහුණ ‍දෙන එක් ගැටලුකාරී තත්ත්වයක් ලෙස ලිංගිකව සම්බන්ධ වීමට ඇති බිය, නොහැකියාව දැක්විය හැකියි. මේ තත්ත්වයේදී කාන්තාව ඉච්ඡාභංගත්වයට, මානසික අසහනයට පත් වේ. ඈත අතීතයේ සිට වුවත් මෙවැනි ගැටලු පවතින්නට ඇති බව අප සිතුවත් අද වන විට කාන්තාව සමාජයට විවෘතව බොහෝ කටයුතු කරන නිසා මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් පැතීමට පසුබට නොවේ. 

Vaginismus යනු ශ්‍රෝණී පත්ලේ ඇති පේශී වල ගැස්මක් මුල් කරගෙන ඇති වන තත්ත්වයකි. මෙය  ලිංගික සංසර්ගයේ යෙදීමට දුෂ්කර හෝ අපහසු තත්ත්වයක් ඇති කරයි. එනම් යෝනි මාර්ගය තුළට ශිෂ්ණය ඇතුළු කිරීමේදී ඇති වන තත්ත්වයකි. මේ සඳහා ශ්‍රෝණී පත්ලේ ඇති pubocoaygeus නම් පේශී කාණ්ඩය සහය වන අතරම යෝනිය තුළට කුමක් හෝ ඇතුළු කිරීමට උත්සහ දැරීමේ දී මෙම පේශීවල අනිච්චානුගව ඇති වන ගැස්මක් නිසා ඇති වන තද ගත්ය සමග බියක් ඇති කරවයි. එවිට වේදනාවක් අති වේ. මෙම වේදනාව තාවකාලික වන අතර එම අවස්ථාවෙන් ඉවත් වූ විට එම වේදනාව පහව යයි. මෙම pubococcygese පේශී කාණ්ඩය මුත‍්‍රා පිට කිරීම, සංසර්ගයේ යෙදීම හා සුරාන්තයට පත් වීම, අන්තවල ක‍්‍රියාව, දරු උපත ආදිය සඳහා වැදගත් වේ. 

 

Vaginismus තත්ත්වයේ අවස්ථා

  1. Primary Vaginismus (ප‍්‍රාථමික අවස්ථාව)

මෙය නිතරම ඇති වන්නේ කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගය සිදු කිරීමට උත්සහ දැරීමේදීය. මීට අමතරව නාරිවේදීය පරීක්‍ෂණ කිරීම සඳහා යෝනිය තුළට උපකරණ ඇතුළු කිරීම ද අපහසු වේ. සහකරු ඔහුගේ ශිෂ්ණය යෝනි මාර්ගය තුළට ඇතුළු කිරීමට අපහසු වේ. යෝනි මාර්ගය තුළට ඇතුළු කිරීමට දරණ උත්සහය බිත්තියක හැප්පීමක්/වැදීමක් (hitting a wall) ලෙස දැනේ. මෙහිදී කාන්තාවගේ ශරීරය පුරාම පේශී ගැස්මක් නිසා ඇති වන තද ගතිය ඇති කරයි. ස්වසනය ද තාවකාලිකව ඇණ හිටී. මෙම ලක්‍ෂණ පහව යන්නේ යෝනි මාර්ගයට ඇතුළු වීමට උත්සහ දැරීම නැවැත්වූ පසුවය. 

  1. Secondary Vaginismus (ද්විතීයික අවස්ථාව)

දැනටමත් ලිංගික සංසර්ගයේ යෙදෙන කාන්තාවන්ට ඇතිවිය හැකි තත්ත්වයයි. මේ තත්ත්වය හැමවිටම ඇති නොවුණත් ජීවිතයේ ඕනෑම අවස්ථාවක ඇති විය හැක. මෙසේ ඇති වීමට ආසාධන, අර්ථාභාවය, අනතුරු, වෛද්‍යමය තත්ත්ව, ශ්‍රෝණී ශල්‍යකර්ම හෝ දරු ප‍්‍රසූතිය වැනි විශේෂ අවස්ථා බලපෑ හැකිය.

  1. Global Vaginismus (උපකරණ ඇතුළු කිරීමේ අවස්ථාව) 

මෙම තත්ත්වය සෑමවිටම ඇති විය හැකි තත්ත්වයකි. එනම් ඕනෑම උපකරණයක් (නාරිවේදීය පරීක්‍ෂණ සඳහා) ඇතුළු කිරීමට යාමේදී මෙම තත්ත්වය ඇති කරයි.

  1. Situational Vaginismus (අවස්ථාව අනුව ඇති වන තත්ත්වය)

මේ තත්ත්වය ඇති වන්නේ ගැබිනි සමයේ ලිංගික සංසර්ගයේදී පමණී. නාරිවේදීය පරීක්‍ෂණ හෝ උපකරණ ඇතුළු කිරීමේදී ඇති නොවේ. 

Vaginismus තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්‍ෂණ

මෙහිදී පෙන්නුම් කරන ලක්ෂණ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්විය හැක.

  • ලිංගික සංසර්ගයේදී තද ගතියක් සමග පිළිස්සීමෙන් හෝ යමකින් අනින ආකාරයට ඇති වන වේදනාව (Dyspareunia)
  • යෝනි මාර්ගය වෙත ශිෂ්ණය ඇතුළු කිරීමට දුෂ්කරවීම හෝ කළ නොහැකිවීම.
  • ලිංගික සබඳතාවයකදී හේතුවක් ඇතිව හෝ නැතිව දිගු කලක් පවතින වේදනාව 
  • නාරිවේදීය පරීක්‍ෂණ සිදු කිරීමේදී වේදනා ඇති වීම 

උදා: යෝනි මාර්ගය තුලින් ඇඟිල්ලක ඇතුළු කිරීම.

  • නාරිවේදීය උපකරණ ඇතුළු කිරීමේදී වේදනාව ඇති වීම 

උදා: Speculum, tampon

  • ලිංගික සංසර්ගයට උත්සහ දැරීමේදී ශිෂ්ණය පුරා පේශීවල තද ගතිය/ගැස්ම ඇති වීම හෝ ස්වසනය තාවකාලිකව නැවතීම

මෙහිදී ඇති වන වේදනාවක් සුළු (mild) අවස්ථාවේ සිට තීව‍්‍ර (Severe) දක්වා වන අතර වේදනාවේ ස්වභාවය, අපහසුතාවයේ (discomfort) සිට දැවිල්ල (burning) දක්වා වේ. ලිංගික සංසර්ගය පිළිබඳ අනිසි බියක්, සැකයක් ඇති වීම තුළ ලිංගිකව එක්වීම වළක්වයි. 

Vaginismus තත්තවයට හේතූ

  1. මානසික සෞඛ්‍ය හා සම්බන්ධ සාධක
  • වේදනාවට හෝ ගර්භණීභාවයට ඇති බිය
  • කාංසාව (වරදක් වූ බවට දැනීම නිසා)
  • ඥාතීත්වය සම්බන්ධ ගැටලු 
  • නින්දා සහගත/පීඩාකාරී සහකරුවෙකු සිටීම
  • ජීවිතයට ලිංගික අපයෝජනයන්ට (දූෂණ/අපචාර) ලක්වීමේ අත්දැකීම් පැවතීම
  • ළමා කාලයේ අත්දැකීම් (ලිංගික අපහරණයට ලක්වීම)
  • 2.ශාරීරික සෞඛ්‍ය හා සම්බන්ධ සාධක 
  • ආසාධන (මුත‍්‍රා ආසාධන, දිලීර ආසාධන)
  • රෝග තත්ත්ව (පිළිකා, සමේ පටක ඝනවීම)
  • දරු ප‍්‍රසූතිය
  • ආර්ථවාභාවය
  • ශ්‍රෝණී කුහරය තුළ සිදුකරන ශල්‍යකර්ම
  • ප‍්‍රමාණවත් ලිංගික උත්තේජනයක් (foreplay) නොමැතිවීම.
  • යෝනියේ ලිස්සන සුලු (lubricant) ශ‍්‍රාවී ගතියක් නොමැති වීම.
  • ඖෂධවල අතුරු ආබාධ
  • යෝනි මාර්ගය ආශ‍්‍රිත කුඩා ගෙඩි/සැරව ගෙඩි ඇති වීම.
  • යෝනි බිත්ති හැකිලී තිබීම.

ලිංගික ගැටලු කාන්තාවන්ට මෙන්ම පුරුෂ පාර්හවයටද ඇති වන අතර එය කාගේවත් වරදකින් සිදුවන්නක් නොවේ. ඒ නිසා එවැනි තත්ත්ව සඳහා ප්‍රතිකාර වෙත යොමු වීමට සඳහා ලැජ්ජා විය යුතු නොවේ. 

Vaginismus තත්ත්වය සඳහා ප‍්‍රතිකාර

හඳුනාගත් Vaginismus තත්ත්වයේදී වෛද්‍යවරයා විසින් වෛද්‍යමය ඉතිහාසය උපයෝගී කර ගනිමින් යෝනී පරීක්‍ෂණ සිදු කරයි. මේ තත්ත්වයට බලපා ඇති හේතුව අනුව විවිධ විශේෂඥ වෛද්‍යවරු සහභාගි කරවා ගැනීමට සිදුවේ. ප‍්‍රතිකාරවල අරමුණ වන්නේ ස්වභාවිකවම පේශිවල තද ගතිය හා වේදනාවට ඇති බිය අඩු කිරීමයි. ආසාධන වැනි පැහැදිලි හේතු වලදී එය හඳුනාගෙන පළමුව ආසාධනයට ප‍්‍රතිකාර කළ යුතුය. 

ප‍්‍රතිකාර ක්‍රම

  • ශ්‍රෝනි පත්ලේ පේශී පාලනය සඳහා ව්‍යායාම – මෙහිදී පේශී හැකිලීම හා ඉහිල් කිරීම සිදු කරයි. එමගින් පේශී පාලනය වැඩි කිරීමට හැකි වේ.
  • අධ්‍යාපනය හා උපදේශනය – ලිංගික අවයවවල පිහිටීම හා ලිංගික උත්තේජන, ප‍්‍රතිචාර පිළිබඳව තොරතුරු කියාදෙමින් එහිදී ඇති වන වේදනාව හා ක‍්‍රියාවලිය පිළිබඳව අවබෝධය ලබාදීම. 
  • මානසික ව්‍යායාම – මෙමගින් පුද්ගලයා හඳුනාගැනීම, ප‍්‍රකාශ කිරීම හා මේ තත්ත්වයට හේතුවන  ඕනෑම මානසික සාධකයක් නිරාකරණය කිරීමට ක්‍රියාත්මක වීම
  • ඇතුළු කිරීම සඳහා ඇති සංවේදීතාවය අඩු කිරීම – වේදනාව ඇති නොවන ආකාරයට කාන්තාවට තමාගේ ලිගේන්ද්‍රිය පෙදෙස යෝනි විවරය ආදිය දිනපතා ස්පර්ශ කිරීමට උනන්දු කරවීමට උපදෙස් දීම. ඇයට එම ප‍්‍රදේශය ඇල්ලීමට හැකිවූ විට යෝනිය වටා එහි තොල්, මණිකය ආදිය ස්පර්ශ කිරීමට උපදෙස් දීම. එහිදී ඇති වන සුවහපසුභාවය හෝ උත්තේජනය සමග ඊලඟ පියවර වන්නේ යෝනිය තුළට තම ඇඟිල්ල ඇතුළු කිරීමට උපදෙස් දීම හා උනන්දු කරවීමයි. මෙහිදී ඇඟිල්ලෙහි ලිහිසි ද්‍රව්‍යයක් තවරා ගැනීමෙන් පසු, ඇතුළු කිරීමේදී ඇතිවන අපහසුතා තවත් මගහැරී යයි. 
  • ඇතුළු කිරීම හෝ විස්තාරණය කිරීමේ පුහුණුව – ඇඟිල්ල ඇතුළු කිරීමෙන් පසුව ලබන ලද අත්දැකීමෙන් පසුව ප්ලාස්ටික් උපකරණයක් (ශිෂ්ණයට සමාන) ඇතුළු කිරීමට, උනන්දු කරවිය යුතුය. එය ඇතුළු කළ පසුව යෝනිය තුල විනාඩි 10 – 15 කාලය තබාගෙන සිටීමට උනන්දු කළ යුතුය. එවිට ශ්‍රෝණි පේශී එම පීඩනය දරා සිටීමට හුරු වේ. ඉන්පසු එය තම සහකරුවා මගින් ඇතුළු කරවාගැනීමට උනන්දු කරවිය යුතුය. එවිට ඇයට දැනෙන සුවපහසුව සමග ඇය තම සහකරුට ශිෂ්ණය යෝනි මාර්ගය අසලට ගෙන ඒමට ඉඩ ලබාදේ. නමුත් ඇතුළු කිරීම නොකළ යුතුය. ඉන් ඇතිවන ලිංගික උත්තේජනය මගින් ඇයට දැනෙන සුවපහසුව සමග ලිංගික සංසර්ගය සඳහා උත්සහ කළ හැක. මෙය සහකාරියගේ කැමැත්තට අනුව ක‍්‍රමයෙන් ඇතුළු කළ යුතුය. 

ඇතුළු කිරීම් සිදු නොකරමින් සිදු කරන ලිංගික උත්තේජනවලදී (මුඛ ලිංගික උත්තේජන/සම්බාහනය/ ස්වයං මෛතූන්‍ය) මෙම තත්ත්වය ඇති නොවේ.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         

හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ,පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

වැජිනිස්මස් තත්ත්වයට භෞත චිකිත්සාවෙත් ප්‍රතිකාර ඇති බව ඔබ දැන සිටියාද?

වැජිනිස්මස් ගැන ඔබ අසා ඇති. සමහර විට ඔබ ඒ තත්ත්වයට මුහුණ දුන් අයෙක් විය හැකියි. එසේත් නැතිනම් කිසිවෙකුට කියාගත නොහැකිව හිතේ හිර කරන් ඉන්න විසදුමක් නැති වේදනාත්මක අත්දැකීමක් විය හැකියි. ඇතැම් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට නම් මූලිකව සිදු විය යුත්තේ ඒ පිළිබඳව අදාල විශේෂඥයන් වෙත යොමු වීමයි. කෙසේ වුවද වැජිනිස්මස් තත්ත්වය සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර ඇති බව බොහෝ දෙනෙකු නොදැනුවත්ය. 

වැජිනිස්මස් යනු, කාන්තාවකගේ යෝනි මාර්ග විවරය හා ඒ ආශ්‍රිත මාංශ පේශීන් අසාමාන්‍ය ලෙස තද වීම (Muscle spasm) නිසා ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගය විනිවිද යාම කාන්තාවට වේදනාකාරී වීම හෝ අපහසු වීම හෝ සංසර්ගයේ යෙදීමට නොහැකි වීමයි. 

මෙය මූලිකව ප්‍රාථමික සහ ද්වියිතික ලෙස ආකාර දෙකකි.

කාන්තාවක් පළමු වරට සංසර්ගයේ යෙදීමේදී ඇති වන වැජිනිස්මස් තත්ත්වය ප්‍රාථමික වැජිනිස්මස් (Primary Vaginismus) තත්ත්වය ලෙසද  යම් කාන්තාවක් සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරමින් සිට පසුකාලීනව වැජිනිස්මස් තත්ත්වයට පත් වීම ද්විතියික වැජිනිස්මස් (Secondary Vaginismus) තත්ත්වය ලෙසද හඳුන්වනවා.

වැජිනිස්මස් තත්ත්වයට බලපෑ හැකි විවිධ හේතු

  • අතීතයේ අමිහිරි මතක

උදාහරණ ලෙස ලිංගික අපහරණයට ලක්වීම, අතීතයේ ලිංගික ක්‍රියාවක් සම්බන්ධ අමිහිරි මතකය හෝ  වේදනාකාරී සංසර්ගයක අත්දැකීමක් තිබීම

  • මානසිකව ඇති වන විශ්වාසයන්/බියවීම

උදාහරණ ලෙස ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසු ගැබ් ගැනීම ගැන බියෙන් පසු වීම වගේම පළමු ලිංගික එක්වීම වේදනාකාරී/අපහසු යැයි බියකින් පසුවීම

  • වෙනත් හේතු

තවද මුත්‍රා ආසාදන, ශ්‍රෝණිය ආශ්‍රිත ශල්‍යකර්ම, යෝනි ශ්‍රාවයන් අඩු වීම, ඇතැම් පිළිකා තත්ත්ව ආදියද බල පෑ හැක.  මේ තත්ත්වය හඳුනා ගැනීමට නාරි රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කළ යුතුයි.

කෙසේ වුවද වැජිනිස්මස් තත්ත්වයට පිළියම් යෙදීමේදී නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ ව්‍යෛ විශේෂඥ වෛද්‍යවරයෙකුත් භෞත චිකිත්සක නිලදාරියෙකුත් සිටීම වැදගත් වනු ඇත.

වැජිනිස්මස් තත්ත්වයට භෞත චිකිත්සාවෙන් සිදුකරන ප්‍රතිකාර ක්‍රම

මූලිකවම සිදු කරන්නේ මේ තත්ත්වයට පත්ව ඇති කාන්තාව තක්සේරු කිරීමකට (Patient assessment) ලක් කරීමයි. ඒ හරහා අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ක්‍රම වෙත යොමු කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ අවස්ථාවට කාන්තාව මෙන්ම ඇගේ ස්වාමි පුරුෂයාද දැනුවත් විය යුතු නිසාම ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ක්‍රමවලදී සහභාගී වීම ඉතා වැදගත් වේ. 

වැජිනිස්මස් තත්ත්වයේදී යොදාගන්නා භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමවල අරමුණු (Treatment Goals) 

  • සංසර්ගයේදී කාන්තාවගේ යෝනිය අවට මාංෂ පේශීන් තද වීම/හැකිලීම සිදු වෙනවා නම් එය සාමාන්‍ය කිරීම
  • සංසර්ගය අපහසු නම් එය පහසු කරවීම.
  •  සංසර්ගයේ වේදනාත්මක බව අවම කිරීම.
  • සංසර්ගයේදී කාන්තාව නොසන්සුන් තත්ත්වයට පත් වනවා නම් ඇය සන්සුන් (Relaxation) කිරීම
  • නොසන්සුන්කම නිසාම ඇති වන හුස්ම ගැනීමේ අපහසුතාවය මගහැර වීම

වැජිනිස්මස් තත්ත්වය නිසා ලිංගික සංසර්ගයට යොමු වීමට උත්සාහ දැරීමටවත් නොහැකි එනම් යෝනි පෙදෙස ස්පර්ශ කිරීමටවත් අපහසු තත්ත්වයේ සිටින කාන්තාවකට අභ්‍යාස ලබාදෙන පිළිවෙළ මෙසේය.

Progressive Desensitization (වැජිනිස්මස් තත්ත්වයේදී ප්‍රතිකාර කරන පිළිවෙළ)

1.තමන්ගේම ඇඟිලිවලින් යෝනි මග ස්පර්ෂ කිරීමට සැලැස්වීම

  1. තම ඇඟිලාවලින් යෝනි මාර්ග ඇතුළත ස්පර්ශ කිරීමට සැලැස්වීම
  2. යෝනි මාර්ගය තුළට තම ඇඟිල්ලක් ඇතුළු කිරීමට සැලැස්වීම
  3. අදියරෙන් අදියර ඉදිරියට යමින් ඊළඟ පියවර වන විට මේ සඳහා සහකරුගේ සහය ලබාගන්නා ලෙස උපදෙස් දීම
  4. තත්ත්වය කෙමෙන් නිරාකරණය වන විට අදාල කාන්තාවට වැජයිනා කෝන්ස් යන උපකරණය කුඩා ප්‍රමාණයේ කෙමෙන් ප්‍රමාණයෙන් වැඩි වෙන ආකාරයට මෙම උපකරණය යෝනි මාර්ගය තුළට ඇතුළු කිරීමට හැකියාව ලැබෙන (අපහසු නම් ඇඟිලි දෙකක් යෝනි විවරයට ඇතුළු කිරීමට උපදෙස් ලබා දෙනවා) අතරම මේ තත්ත්වයේදී හැකි නම් කාන්තාව තෘප්තිමත් කොට සංසර්ගයේ යෙදීමට උත්සාහ කරන ලෙස යුවළට උපදෙස් ලබා දීම සිදුකරනවා. 

‍ඉහත සඳහන් කළ පියවර ඔස්සේ ඉදිරියට ගමන් කිරීම මගින් කෙමෙන් කෙමෙන් වේදනාකාරී තත්ත්වය පහව යන අතරම යෝනි මාර්ගයේ මාංෂ පේශී තද වීම වළක්වා ගැනීමට තමා විසින්ම කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව දැනුවත් කිරීමත් මෙහි එක පියවරක්. ඒ සඳහා,

  • කේගල් ව්‍යායාම (kegal exercises)

එය මාංශ පේශී සැහැල්ලු කර ගැනීමට සහය වන අතරම තම ඇඟිල්ල යෝනිය තුළට ඇතුළු කර ව්‍යායාම කිරීමටත් මෙහිදී අදාල කාන්තාවට උපදෙස් ලබා දෙනවා

  • ලිංගික ඉරියව් (correct sexual position)

ප්‍රතිකාර අතරතුර සුදුසු ලිංගික ඉරියව් පිළිබඳව යුවළ දැනුවත් කරන අතරම එහිදී කාන්තාවට පාලනය කළ හැකි ක්‍රමයක් වන කව්ගර්ල් ඉරියව්ව මූලිකව යොදාගන්නට ඔවුන් දැනුවත් කරයි. මෙසේ තත්ත්වය සුව අතට හැරෙද්දී අනෙක් ලිංගික ඉරියව් වෙත යොමු වීමට අවස්ථාව සැලසෙනු ඇත.

  • විද්‍යුත් ක්‍රම මගින්

Biofeedback (ජෛව ප්‍රතිපෝෂණය) යනු යෝනි මාර්ගය ආශ්‍රි මාංශ පේෂීන්ගේ අවබෝධයක් ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේදයකි. මේ සමගම ව්‍යායාමවල යෙදීමෙන් මේ තත්ත්වය වඩාත් සුව කරගත හැක.

  • ස්වසන ව්‍යායාම

වැජිනිස්මස් තත්ත්වයේදී ස්වසන අපහසුතා ඇති වන බව ලිපියේ මුල් කොටසේදීත් අපි සඳහන් කළා. ඒ සඳහා සුදුසු ස්වසන අභ්‍යාස මෙහිදී ලබා දෙනවා. එහි නිරත වීමත් සමග ස්වසන අපහසුතා මගහැරී යනු ඇත

  • මානසික සන්සුන් බව

තමාට සන්සුන් විය හැකි ඕනෑම ආකාරයක් හෝ සතිමත් බව, යෝගා ව්‍යායාම වෙත යොමු කිරීම

වැජිනිසම් යනු සුව අතට පත් කළ නොහැකි තත්ත්වයක් නොවන අතරම මූලිකවම සිදුවන්නේ මෙවැනි තත්ත්වයක් තමාට ඇති බව පිටස්තරයෙකුට පැවසීමට කාන්තාවාන් ලැජ්ජා වීමයි. මෙය ලැජ්ජා විය යුතු තත්ත්වයක් නොවේ. එසේම මෙය අදාල කාන්තාවගේ වරදක් නිසා සිදුවන තත්ත්වයක්ද නොවේ. එබැවින් නිසි වෛදය උපදෙස් සමගින් භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත යොමුවන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කසුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08

 

 

 


 

අඩි උස සපත්තුව මේච්චර ලොකු ප්‍රශ්න ඇති කරයි කියලා හිතුවේ නෑ නේද?

කාන්තා අපි අපේ සුන්දරත්වය ගැන බොහොම දුරට හිතනවා. ඒ වෙනුවෙන් නොයෙක් විලාසිතා තෝරා ගන්නවා. ගමනට බිමනට හැඩට වැඩට යන්න විශේෂයෙන්ම කාන්තාවන් බොහොම කැමතියි. ඒ නිසාම ලස්සනට ඉන්න වැයවෙන මුදල ගැන වුණත් ඒ තරම් දුරට හිතන්නේ නැති වෙන්නත් පුළුවන්. ඇත්ත තමයි. කාන්තාවක් කියන්නේ ඕනෙම තැනක බොහොම සුන්දරව සිටිය යුතු අයෙක්. අන්න ඒ නිසා කාන්තාවක් සුන්දරව ඉන්න ඕනේ කියන සිතුවිල්ලේ කිසිම වරදක් නම් නැහැ. ඒත් සුන්දරත්වය පසුපසින් ලෙඩ රෝග කරදර වේදනාත් එනවා නම් අපි ඒ ගැන දෙතුන් පාරක් හිතන්න ඕනේ. 

උස අඩි සපත්තු කියන්නේ කාන්තාවන් බොහොම ප්‍රියකරන දෙයක්. ඇත්තටම පැතලි පාවහන් දෙකකට වඩා උස අඩි පාවහන් යුවලක් පැලදුවම කාන්තාවකගේ සිරුරේ හැඩය වඩාත් හොඳින් ඉස්මතු වෙලා පෙනෙනවා. ගමන් විලාසයත් බොහොම සිත්ගන්නා සුලු වෙනවා. දකින හැමෝටම බොහොම ප්‍රිය දසුනක් කියලා කියන්නත් පුළුවන්. ඒත් මේ උස අඩි සපත්තුව කාන්තාවකගේ සිරුරට ගෙන එන සුන්දරත්වය හා සමානවම වේදනාවකුත් මතු දිනක ඇති කරන්න බැරි නැහැ. අපි ඒ ගැන කතා කරමු.

මොකද්ද මේ උස අඩි සපත්තුවේ තියෙන ප්‍රශ්නය

සාමාන්‍යයෙන් අපේ සිරුර සැකසිලා තියෙන්නේ පොළවට ඍජුව සිටින විදියට කියලා අපි කවුරුත් දන්නවා. අපේ සිරුරේ බර වැටෙන රේඛාවන් සාමාන්‍යයෙන් පවතින්නේ දණිස් මැදින් වලලුකර දෙසට උකුළු ඇටය ළගින්, උරහිස මැදින් කරට කියන ආකාරවලටයි. අපේ බර දරාගන්නා ආකාරය පවතින්නේ රේඛාවන් විදියට. සාමාන්‍යයෙන් අපේ බරෙන් 55%ක් විළුඹටත් ඉතිරි 45% කොටස පාදයේ ඇගිලිවලටත් විහිදෙනවා. පාදයේ ඇති වක්‍රය හේතුවෙන් මේ බර මාරු වෙමින් පවතිනවා. ඒ අප ස්වභාවිකවම පරිණාමය වී ඇති ආකරය වුවත් අපේ පාදයේ විළුඹ යම් ප්‍රමාණයකින් හෝ එසවීමක් සිදු වුවහොත් මේ ප්‍රතිශතයන් සියල්ල වෙනස් වී ස්වභාවිකව අප පරිණාමය වී ඇති ආකාරයේ වෙනසක් ඇති කරවනවා.

උදාහරණයක් ලෙස ගත්තොත් අපේ විළුඹ අඟලක පමණ ප්‍රමාණයකින් එසවුණහොත් විළුඹට යෙදෙන බර 45%ක් ලෙසත් පාදයේ ඇඟිලි වෙත යෙදෙන බර 55% ක් ලෙසත් වෙනස් විය හැකියි. ඒ වගේම අඟල් තුනක පමණ ප්‍රමාණයකින් විළුඹ එසවුණ විට මේ ප්‍රතිශත තවත් වෙනස් වෙනවා. එය විළුඹ වෙත 10%ක් සහ ඇගිලි වෙත 90%ක් ලෙස වෙනස් වෙනවා. 

මෙන්න මෙතැනදී අපේ සිරුර ස්වභාවිකව පරිණාමය වී ඇති ආකාරයෙන් වෙනස් වීමකට ලක් වුවත් අදාල පේශීන්ට ඒ වෙනස් වීමට ඔරොත්තු දීමට හැකියාවක් නැහැ. මේ තත්ත්වයේදී එම පේශී වෙහෙසට පත් වීමට පටන් ගන්නවා. ඒ හේතුවෙන් වේදනාත්මක අත්දැකීමක් පමණක්ම නොවෙයි අධික බර දරා ගැනීමට නොහැකි වීම මත බොහෝ ආබාධවලට ලක්වීමටත් ඉඩ කඩ තියෙනවා.

ඒ වගේම උස අඩි පාවාහන් පැලඳීම හේතුවෙන් ශරීරයේ ඇති වක්‍ර ප්‍රමාණය වැඩි වීම නිසාත් යම් යම් ආබාධ ඇති වෙනවා. උදාහරණයක් ලෙස ගත් විට විළුඹේ උස වෙනස් වීම නිසා කශේරුකාවේ ලම්බ වක්‍රය වැඩි වෙනවා. අඩි උස සපත්තු පැළඳීමේදී උදරය ඉදිරියටත් තට්ටම් පෙදෙස පිටපසටත් සැකසෙන ආකාරය ඔබ දැක ඇති. එය සිරුරට සුන්දරත්වයක් එක්කරත් සිරුරේ වක්‍රවල සාමාන්‍ය පැවැත්ම වෙනස් කරවන නිසා යම් යම් ආබාධ ඇති කරවනවා. තවද බත් කෙන්ඩ පේෂිය මෙම නව හැඩයට අනුව වර්ධනය වී ශක්තිමත් වීම හේතුවෙන් තවත් ආබාධවලට ඔබට මුහුණ දීමට සිදු වෙනවා. 

අඩි උස පාවහන් පැළඳීම හේතුවෙන් වක්‍රාකාරව ඇති විය හැකි ආබාධ තත්ත්ව

  • ඇඟිලිවල යම් යම් විකෘතිතා ඇති වීම

උදා : hallux valgus & lordosis වැනි මහපට ඇඟිල්ල සිරුර දෙසට නැමීම

  • කොන්ද හා ආශ්‍රිත යම් යම් ආබාධ
  • උකුළු ඇටේ හන්දිය ආශ්‍රිත ආබාධ
  • දණහිසේ ගැටලු

අඩි උස පාවහන් ඔබේ සිරුරට සුන්දරත්වයක් එක් කරන බව සැබෑවකි. එය එසේ වුවද ඒත් සමගම ඔබ වෙත එන වේදානාත්මක අත්දැකීම් සහිත ආබාධ තත්ත්වද රැසකි. ඔබගේ විලාසිතා, ශාරීරිකව ඔබව පීඩාවට පත් කරනවා වගේම ආබාධවලට මුල නම් ඒ වෙනුවෙන් ඔබ අද සිටම තීරණයක් ගැනීමට නුවණට හුරුය. ඔබේ රුව ඔප් නංවා ගැනීමට ඔබ යොදා ගන්නා මෙවන් දෑ එදිනෙදා භාවිතයට නුසුදුසු බව දැන් ඔබට වැටහෙනවා ඇති. එම නිසා සුවිශේෂී අවස්ථාවන්වලදී පමණක් අඩි උස පාවහන් පැලඳීමට ඔබට හැකියි. ඔබ කෙතරම් සුන්දර කාන්තාවක් ලෙස සමාජය ඉදිරියේ සිටියත් කාලයත් සමග ඇති වන ඉහත කී ආබාධ හේතුවෙන් විඳීමට සිදුවන පීඩාකාරී අත්දැකීම් සමග ඔබේ සාමාන්‍ය දිවි පෙවෙත පවා වෙනස් වීමට ඉඩ ඇති බව සිහි තබාගන්න. සැමවිටම ඔබේ ශාරීරික සෞඛ්‍යයට මුල් තැන දෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

ගැබිනි මවට ලිංගික සබඳතා අකැපද?

ගැබිනි සමය බොහොමයක් දේ සඳහා සීමා පනවන කාලයක් විදියට ඇතැම් කාන්තාවන් හඳුන්වනවා කොතෙකුත් අසන්නට ලැබෙනවා. ඒ දැනෙන අපහසුතා සමග පෙර ගෙවූ නිදහස් ජීවිතය ගෙවීමට ඇති බාධා නිසා විය යුතුයි. ගැබිනි සමයේ මුල් කාලය තුළ වමනය, ඔක්කාරය, කෑම අරුචිය නිසා අපහසුතාවයට පත්ව සිටින කාන්තාවන් කාලය ගත කරන්නේ කළකිරුණු ස්වභායෙන් වෙන්නත් බැරි නැහැ. ඒ කොහොම වුණත් ගැබිනි සමයේ ලිංගික සබඳතා පැවැත්වීම දරුවාට යම් බලපෑමක් ඇති කරනවාද කියා දැන ගන්න අවශ්‍ය හැම කෙනෙක්ම වෙනුවෙන් මේ ලිපිය සකස් කරන්න අපි හිතුවා.  

මවගේ කුස තුළ වැඩෙන දරු පැටියා එහිදී ආරක්‍ෂා වන්නේ කලලය වටා පිහිටි වැදෑමහ/අපරාව (Placenta) තුළ ඇති උල්බ තරලය (Amniotic fluid) හා ගර්භාෂ පේශී මගිනි. වෛද්‍ය අදහසට අනුව නම් සාමාන්‍ය තත්ත්වයේ සිටින ගැබිනි මවකට ලිංගික සබඳතා පැවැත්වීමේ ගැටලුවක් නැහැ වගේම එමගින් ගැබිනි මවට වාසි සහගත වටපිටාවක් සැලසෙනවා. 

ගැබිනි සමයේ ලිංගික සබඳතා පැවැත්වීමේ වාසි

  • සහකරු හා සහකාරිය අතර බැඳීම වර්ධනය වේ
  • ශාරීරික සෞඛ්‍ය සඳහා වැදගත් වේ (එක් මිනිත්තු 30 ක ලිංගික සංසර්ගයක් මගින් කැලරි 50 ක් දහනය වේ) 
  • වේදනාව, අපහසුතා අඩුවේ.
  • සුරාන්තයේදී ඔක්සිටොක්සින් හෝමෝනය නිදහස් වීම මගින් කොන්දේ වේදනාව හා ගර්භණීභාවය හා බැඳුණු අනෙක් වේදනාවන් දරාගැනීමේ හැකියාව වර්ධනය වේ. 
  • නින්ද වැඩිදියුණු කරයි. 
  • ගර්භණීභාවය පිළිබඳව අධික බියක් පවතී නම් කරදරකාරී හෝමෝන මගින් කාංසාව, අධෛර්යමත් බව ඇති කරයි. නමුත් ලිංගික කටයුතුවල යෙදීමේදී ඔක්සිටොක්සින් හෝමෝනය මගින් ආදරය, සතුට පිළිබඳව හැඟීම වැඩි කරවයි.
  • ප‍්‍රසවයට ආසන්නයේ සිටින මවකට නම් ලිංගික සංසර්ගය නිසා ප‍්‍රසවය පහසු වේ. සුරාන්තයට පෙළඹ වීමෙන් ගර්භාෂය සංකෝචනය වේ. දරුවා බිහි කිරීමට සූදානම් ආසන්නතම අවස්ථාවේ සිටින මවක් සාමාන්‍ය ප්‍රසූතියට මෙය උදව් වේ. 
  • ලිංගේන්ද්‍රිය සඳහා රුධිරය ගලා ඒම වැඩිවන නිසා ගැබිනි මව අවස්ථා කිහියක් සුරාන්තයට පත් වේ.
  • ලිංගික කාර්ය මගින් ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ IgA ප‍්‍රතිදේහ වැඩි කරවන අතර ඉන් සෙම්ප‍්‍රතිෂ්‍යාව හා වෙනත් ආසාධන වලින් ආරක්ෂා වේ

ගැබිනි සමයේ ලිංගික සබඳතා වෙනුවෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

  • ගැබ්ගෙලෙහි ගැටලු සමග ගබ්සා වීම හෝ ඉක්මන් ප‍්‍රසවයක් සඳහා යා හැකි වීම
  • නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම
  • සම්පූර්ණ හෝ අර්ධ ලෙස අපරාව මගින් ගැබ්ගෙල වැසී ඇති බව වෛද්‍යවරු පැවසීම
  • ගැබ්ගෙල (Cervical incompetence) නොමේරූ දරු උපත් සඳහා විවෘත වීමට අවධානමක් පැවතීම
  • කලින් නොමේරූ දරු උපත් ඇති වූ බවට ඉතිහාසයක් තිබීම
  • උල්බ තරලය කාන්දු වීමක් (වෝටර් බෑගය කැඩීම) ඇත්නම්. මෙහි ආසාධන ඇති වීමේ අවදානම වැඩි බැවිනි 
  • යෝනි රුධිර වහනයක් හෝ අසාමාන්‍ය යෝනි ශ‍්‍රාවයක් පැවතීම

විශේෂයෙන් ගර්භනීභාවයේ දෙවන ත්‍රෛමාසිකයේ ලිංගික සංසර්ගයේදී හෝමෝන නිදහස් වීම ඉක්මන් වේ. මෙම හෝමෝන මගින් ලිංගේන්ද්‍රියට එන රුධිර සැපයුම වැඩිවීමෙන් ලිංගික සංසර්ගයට ඇති කැමැත්ත වැඩි වේ. සමහර කාන්තාවන්ට හෝමෝනවල සිදුවන අඩු වැඩි වීම් නිසා ලිංගික කාර්යයට ඇති කැමැත්ත අඩු කරයි. තවද අපහසුතා ඇති වේ. ශක්ති මට්ටම පහළ යන අතර ශාරීරික වේදනා ඇති කරයි. සමහර අවස්ථාවලදී වේදනාව, පීඩාකාරී  බව ලිංගික කටයුතුවලට ඇති කැමැත්ත අඩු කරයි. ලිංගික සංසර්ගය පිළිබඳව දෙදෙනාම කතා කළ යුතු අතර එය දෙදෙනාටම සුවපහසුව, සතුට ගෙන දෙන අවස්ථාවක් විය යුතුය. 

ලිංගික සබඳතා මගින් ප‍්‍රසවය උත්තේජනය

  • පියයුරු පුඩුව හා ලිංගේන්ද්‍රිය උත්තේජනය නිසා ඔක්සිටොක්සින් හෝමෝනය අපර පිටියුටරියෙන් ශ‍්‍රාවය වේ. ඉන් ගර්භාෂය සංකර්ෂණය කරයි. 
  • ගැබ්ගෙලෙහි ඇතිවන යාන්ත‍්‍රික උත්තේජනය මගින් Prostaglandin නිදහස් වේ. එමගින් ගැබ්ගෙල දරු ප‍්‍රසූතියට සූදානම් වේ. 
  • ශුක‍්‍ර තරලයෙහි ඇති ප්‍රොස්ටොස්ලැසිස් මගින් ගැබ්ගෙල දරු ප‍්‍රසූතියට සූදානම් කරයි. 

ගැබිනි සමයේ ලිංගික සංසර්ගය සඳහා සුදුසු ස්ථාපිත

ගැබිනි සමයේ අවසාන මාසවලදී ගර්භණී උදරයට පීඩනයක් ඇති නොවන ස්ථාපිත තෝරාගත යුතුය. 

  • ගර්භණී කාන්තාව සහකරු මත සිටීම
  • දෙදෙනාම පැත්තකට හැරී සිටීම
  • ඇඳෙහි කෙලවර වාඩි වීම
  • මුඛ හා ගුද සංසර්ගය

 

මෙහිදී මුඛ සංසර්ගය ගර්භණී කාලය පුරාවටම භාවිත කළ හැකි ආරක්‍ෂිත ක‍්‍රමයකි. එසේ නමුත් සහකරු ගර්භණී කාන්තාවගේ යෝනි මාර්ගය තුළට වාතය (හුලං) පිඹීමෙන් වැළකිය යුතුය. එසේ වුවහොත් වායු නික්ඛිත්තයක් (air embolism) ඇති වී රුධිර වාහිනී අවහිර වේ. කලාතුරකින් මෙය මවට හා දරුවාට හානිකර විය හැක. ගුද මාර්ගයද භාවිතා කළ හැකි අතර ඒත් සමගම නැවත යෝනි මාර්ගය භාවිත කළ විට බැක්ටීරියා ආසාධන ඇති විය හැකිය. එවැනි කරුණු පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

පොඩි දරුවන්ට මාස්ක් දාන්න හොඳ නැද්ද?

අද වෙන කොට මාස්ක් එක කියන්නේ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ලොව පුරාම සීග්‍රයෙන් පැතිර යන මේ කොරෝනා වෛදරස බාල මහලු කියලා නෑ කාටත් නිදහසේ හුස්මක් ගන්න තියෙන නිදහස නැති කරලා කියලා කතා වුණත් මාස්ක් එක කියන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම පමණක් නොවෙයි බොහොමයක් ස්වසන රෝග, වෛරස ආසාදන වළක්වා ගැනීමට හොඳම පියවරක්. මුව ආවරණය අපේ රටට නුහුරු වුවත් මේ වෙද්දී බොහොම හුරු වෙලා. ඒත් අම්මලා අතර පොඩි ගැටලුවක් වෙලා තියෙනවා පුංචි දරුවන්ට මුව ආවරණ පැලඳීම සුදුසුද කියලා. අපි අද ඒ ගැන කතා කරමු. 

පෙර සදහන් කළ විදියටම වර්තමානයේ පවතින කොරෝනා වසංගතය හමුවේ දරුවන් අතරත් මුව ආවරණ පැළඳීම අවශ්‍ය වෙලා.

දරුවන්ට මුව ආවරණ භාවිතයේදී එයට

  • දරුවාගේ වයස
  • ආරක්‍ෂිතව පැළඳීමේ හැකියාව
  • රෝගී කෙනෙකු සමග ස්පර්ශ වීමට ඇති හැකියාව යන කරුණු මත රඳා පවතිනවා.

WHO හා UNICEF උපදෙස්වලට අනුව වයස අවුරුදු 5 හෝ ඊට අඩු දරුවන්ට මුව ආවරණ භාවිත නොකළ යුතුය. නමුත් දරුවා යම් රෝගී තත්ත්වයකින් පෙළෙයි නම් වෛද්‍ය උපදෙස් මත මුව ආවරණ භාවිත කළ යුතුය.

වයස අවුරුදු 6 – 11 දක්වා අතර වයසක දරුවකු සිටී නම් ඔහු/ඇය මුව ආවරණ පැළදීම පහත කරුණු මත රඳා පවතියි.

  • දරුවා වෙසෙන ප‍්‍රදේශය COVID-19 පැතිරෙන ප‍්‍රදේශයක් වීම
  • දරුවාට ආරක්‍ෂිත ලෙස හා නිවැරදි ලෙස භාවිතයට හැකියාව පැවතීම
  • වැඩිහිටියෙකුට දරුවා මුව ආවරණ පැළඳීම අධීක්‍ෂණය කළ හැකි වීම
  • මුව වැස්ම සේදීම හා ආරක්‍ෂිතව ගබඩා කරගත හැකි වීම
  • දරුවාට මුව ආවරණය ආරක්‍ෂිතව දැමීම හා ගැලවීම පිළිබඳව අවබෝධයක් තිබීම
  • විවිධ වෛද්‍ය තත්ත්ව ඇති වැඩිහිටි පුද්ගලයන් අතර ස්පර්ශ වීම

අවුරුදු 12 වැඩි දරුවන්ට

  • වැඩිහිටියන් පළඳින ආකාරයට පැළඳීමට උපදෙස් දිය යුතුය
  • මහජනයා ගැවසෙන මීටරයේ දුර පවත්වා ගත නොහැකි අවස්ථාවල, පොදු ස්ථානවල මුව ආවරණය අනිවාර්ය බව වටහා දිය යුතුය
  • දරුවා නිවසේ සිටින විට සහ රෝගී පුද්ගලයෙකු නිවසේ නොමැති නම් මුව ආවරණ අවශ්‍ය නැත
  • හැමවිටම අනෙකා සමග මීටරයේ දුර තබාගත හැකි නම් මුව ආවරණය භාවිතය ඒ තරම්ම අවශ්‍ය නැත.

 

රෙදිවලින් සාදන ලද මුඛ ආවරණ

මේවා සාමාන්‍යයෙන් කපු රෙද්දෙන් සාදයි. විවිධ වර්ගවලින්, හැඩවලින්, ප‍්‍රමාණවලින් යුතු වන අතර සෝදා නැවත නැවත භාවිත කළ හැක. වඩා ඵලදායී වන්නේ අවම ලෙස රෙදි ස්ථර තුනක් සහිත මුඛ වැස්මක්ය. WHO සංවිධානය මෙම රෙදි මුඛ වැස්ම භාවිතය අනුමත කරයි. දිනපතා සබන් මිශ‍්‍ර ජලයෙන් සෝදා (භාවිතයෙන් පසු) වියළා භාවිත කළ යුතුය. නිවසේදී සාදාගත හැක.

ශල්‍ය මුඛ ආවරණ (Surgical/Medical Mask) භාවිතා කළ යුතු වන්නේ වෛද්‍යමය රෝග, රෝග ලක්‍ෂණ හෝ රෝගය ඇති බවට ස්ථිර වූ විට හෝ තමා අවට රෝගීන් සිටී නම් යන තත්ත්ව මතය. මේවා සෝදා භාවිත කළ නොහැකි අතර පැය 8 කින් පසු ඉවත් කළ යුතුය.

දරුවන්ට මුව ආවරණ පැළඳීමේදී

  • දරුවාගේ ප‍්‍රමාණයට ගැලපෙන ඒවා තෝරාගැනීම පළමුව කළ යුතුය.
  • දරුවාගේ මුඛය, නාසය, නිකට හොඳින් සීල් වී තිබිය යුතුය
  • මුඛය, නාසය, නිකට හා මුඛ ආවරණය අතර හිදැසක්/පරතරයක් නොතිබිය යුතුය.
  • පෙනීම අවහිර නොවිය යුතුය.
  • මුව ආවරණය ප‍්‍රමාණයට වඩා විශාල වී දරුවාගේ දෑස් වැසී පෙනීම අවහිර නොවිය යුතුය.
  • දරුවා වේගයෙන් ඇවිදීමේදී හා කතා කිරීමේදී හුස්ම ගැනීමට පහසු විය යුතුය.
  • දරුවා මුව ආවරණය පැළඳීමට පෙර හා භාවිතයෙන් පසු අත් සේදීම ගැන දැනගත යුතුය
  • මුව ආවරණය තබා ගැනීමට වෙනම බෑගයක් තබාගත යුතු අතරම බෑගයෙන් ඉවතට ගැනීමේදී සහ පැලදීමේදීත්  පටි දෙකෙන් අල්ලාගත යුතු බව දරුවාට කියා දිය යුතුය. 
  • මුව ආවරණයේ මතුපිට නොඇල්ලීමට උපදෙස් දිය යුතුය.
  • නැවත මුව වැස්ම පැළඳීමේදී අත සෝදාගත යුතුය.

පහත පොදු වැරදිවලින් දරුවා වැළැක්විය යුතුය.

  • නාසයට පහළින් මුව ආවරණය තබා ගැනීම 
  • නිකට නිරාවරණය කිරීම
  • නිකට පහළට මුව ආවරණය ගැනීම
  • මුව ආවරණය පැළඳ සිටින විට ඇල්ලීම
  • බුරුල් මුඛ ආවරණ පැළඳීම
  • අපිරිසිදු, පළුදු වූ හෝ තෙත් මුව ආවරණ පැළඳීම
  • අන් අය සමග මුව ආවරණය හුවමාරු කිරීම
  • ව්‍යායාම කිරීම, ක‍්‍රීඩා කිරීමේදී මුව ආවරණ භාවිත නොකිරීම(දහදිය දැමීම නිසා මුව ආවරණය තෙත් වී හුස්ම ගැනීමට අපහසු වන අතර පහසුවෙන් විෂබීජ වර්ධනය විය හැකි බැවිනි)

 

දරුවන්ට මුව ආවරණ භාවිතයේදී දෙමාපියන් බියට පත්වන හේතු කාරණා කිහිපයක් වන අතරම ඒවා මිත්‍යා මත ලෙස හැඳින් වීමේ වරදක් නැත. උදාහරණ ලෙස මුව ආවරණය පැලඳීම නිසා දරුවාට හුස්ම ගැනීමට අපහසු වනු ඇතැමි ඇතැම් මව්වරුන් බියට පත්වූවද එහි ඇති සත්‍යතාවයක් නොමැත. ලිපියේ මුල සිට දක්වා ඇති උපදෙස් අනුව මුව ආවරණ තෝරා ගැනීම මගින් එවැනි අපහසුතා ඇති වීම වළක්වා ගත හැකි වේ. එසේම මුව ආවරණ පැලඳීම දරුවාගේ පෙනහලු සංවර්ධනයට බාධාවක් විය හැකි යැයි ඔබ සිතන්නේ නම් එහි කිසිදු නිරවද්‍යතාවයක් නොමැති බව කිව යුතුමය. තවද ප‍්‍රාශ්වාසයේදී පිටකරන CO2 එහි රැඳී තිබීම, මුව ආවරණ පැලඳීමෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම යන මිත්‍යා මතවලට එළැඹ කොරෝනා වෛරස ආසාදන ඇතුළු ස්වස මාර්ග ආශ්‍රිත බොහොමයක් රෝගවලින් ඔබේ දරුවාට ආරක්ෂාව සලසන මුව ආවරණය නොපැළඳීම අනුවණ ක්‍රියාවකි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

මුරණ්ඩු පැටියන් සමග ගණුදෙනු කරමු..

පුංචි පැටවුන්ගේ ලෝකය හරිම හුරතල්..ඒත් මේ හුරතල් අස්සේ පුංචි පුංචි මුරණ්ඩුකමුත් නැත්තේම නැහැ.පොඩි වුනත් මේ අයටත් කැමැති ,අකමැති දේවල් තිබීම සාධාරණයි. නමුත් ඒවා ලබා ගැනීමට  කරන අරගලයන්හිදී දක්වන ගති පැවැතුම් ගැන නම් සමහර වේලාවට සතුටු වෙන්න බැහැ.

පොඩ්ඩන්ගේ මුරණ්ඩු ගති පැවැතුම් දැන ගන්නේ කොහොමද…?

සාමාන්‍යයෙන් පුංචි පොඩිත්තන්ගේ ගති පැවැතුම් බැලු බැල්මට පේන්නේ නැහැ. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට වගේ ඒවා ප්‍රදර්ශනය වෙන වේලාවක් තිබෙනවා.

  • තමන් කැමැති දේ ලබා ගන්න.
  • අකමැති දේ නොකර ඉන්න.
  • සමහර වේලාවට දරුවා දන්නෙත් නැති හේතු වෙන්නත් පුලුවනි.

මේ වගේ වෙලාවට දරුවාගේ හැසිරීම..

දරුවන්ගේ මුරණ්ඩු ගති පැවැතුම් හැම දරුවෙකු සම්බන්ධයෙන්ම එක සමාන නැහැ.එක එක දරුවාගේ ප්‍රතිචාර වෙනස්

  • අඩන්න /කෑගහන්න/යටිගිරියෙන් කෑ ගහන්න
  • පොළවේ හැපෙන්න/ඇදුම් ඉරාගන්න/දෙමව්පියන්ට පහර දෙන්න
  • බඩු මුට්ටු පොලවේ ගහන්න/තමන්ව හපා ගන්න
  • රවාගෙන ඉන්න
  • කතා නොකර සිටීම
  • ආහාර වර්ජනය

ඔන්න ඔය විදිහට එක එක දරුවා තමන්ගේ මුරන්ඩුකම් පෙන්වන්නේ වෙනස් වෙනස් විදිහටයි.

දරුවාගේ මුරණ්ඩුකම් සමග දෙමව්පියන්ගේ ගණුදෙණුව කොහොම විය යුතුද..?

පොඩි එකා මුරණ්ඩුයි කියලා අහක දාන්නයැ. පැටියා සමග ජීවිතය ඉදිරියට ගෙන යන්නම ඕන. ඊටත් අද දවසේ හයක් හතරක් නොතේරෙන නිසා මුරණ්ඩුකම් ප්‍රදර්ශනය කළත් හෙට වෙද්දී ඕවා ඇරිලා යාවි කියලාම නිශ්ශබ්ද වෙන්නත් බැහැ. දරුවෙකු මේ හය හතර නොතේරෙන වයසේදී ප්‍රදර්ශනය කරන ගතිගුණ සමග හෙට දවසටත් ගමන් කරනවා. ඒ නිසා නියපොත්තෙන් කඩන්න ඇහැකි දෙය පොරවෙන් කපන තැනට පත් කර ගත යුතුත් නැහැ.

අකමැති දේ නොදී හිටියොත්..කැමැති දේ දුන්නොත්..

ඔබගේ වාසියට එසේ කළත් එයින් වාසියට වඩා සිදු වෙන්නේ අවාසියක්.දරුවා අකමැති දේ නොදී සිටීම ඔබට පහසුවක් විය හැකියි. ඒත් කවදා හෝ දරුවා මේ අකමැති දේ සමගත් ජීවත් විය යුතුයි.උදාහරණයක් විදිහට දරුවා දත් මදින්න අකමැතියි. යුද්ධය පටන් ගන්නේ එතැනදී..ගේ වටේ දුවනවා..අඩනවා.ඒත් දරුවාගේ දත් නොමැද ඉන්න පුලුවනිද..? කොහොමටත්ම එය කරන්න බැහැ. ඒ නිසා අකමැති දේ වුනත් නොකර ඉන්න බැරි අවස්ථාවන් අපේ ප්‍රායෝගික ජීවිතයේදී ඕනෑ තරම් තිබෙනවා.ඒ නිසා අකමැති දෙය ඉදිරියේ දරුවා කැමැති කරවා ගැනීම මිසක ,ඔහු අකමැති දේ නොකර සිටින්නට ඉඩ දීම කිසිසේත්ම විසදුම නොවෙයි.

කැමැති දේ දුන්නොත්…

දරුවා කැමැති දේ ලබා දීම දරුවාගේ වයස සමග එතරම් අපහසුවක් නොවෙන්න පුලුවනි.ඔවුන්ගේ පුංචි ලෝකයේ තියෙන්නේ පුංචි පුංචි ඉල්ලීම්.නමුත් මේ ඉල්ලීම් වුනත් ඉල්ලන පමාවෙන් ලබා දීම සුදුසු නැහැ.සමහර විට දරුවාගේ මුරණ්ඩුකම් ප්‍රදර්ශනය පටන් ගැනීමට පොරාතුව විසඳුමක් විදිහට ඔබ මේ විදිහට දරුවා අවශ්‍ය දේ, අවශ්‍ය වේලාවට ලබා දෙන්න පුලුවනි.

දරුවා කැමැත්තක් දක්වන ආහාර පමණක් දීමෙන් ඔහු සනසවා ගන්නා සුත්‍රය ඔබ දන්නවා. ඒ නිසා දරුවා ”මට බිත්තරයක් ඕන”…. කිව්වොත් එය නොපමාව ලබා දීම එතරම් ගැටළුවක් නොවෙයි. ඒත් ඔහු හෙට ඔහු අහසේ තිබෙන ඉර,හඳ, තරු ඉල්ලා  සිටියොත් ඔබට එය ගෙන දිය හැකිද..?

ඉර,හඳ, තරු දෙන්න පුලුවන් වුනත් ලබා දීම ප්‍රමාද කරන්න..

ඔබට දරුවා ඉල්ලන දෙය ඉල්ලන පමාවෙන් ලබා දීමට හැකි වුනත් ඔවුන් එය ඉල්ලා සිටින ස්වරය අනුව ඉල්ලන සැනින් ලබා දීම සුදුසු නැහැ. එවිට ඔවුන්ට අවශ්‍ය ලෙසින් දෙමව්පියන් හැසිරවිය හැකි බැව් තේරුම් ගන්නවා.ඒ නිසා මුරණ්ඩු ගතියෙන් නොව සාමකාමී ලෙසින් තමන්ගේ ඉල්ලීම් ජයගත හැකි බැව් දරුවන්ට ඒත්තු ගන්වන්න.

මම නම් ටවුමට එක්කගෙන යන්නේ නැහැ..

ඔබ සමග නගරයට පැමිණෙන දරුවා නගරයේ දකින දකින දෙය ඉල්ලා කරන සටන දෙමව්පියන් ලෙසින් දරා ගැනීම පහසු නැත. ඒ නිසා ඔබ දරුවා නිවසේ තබා යෑම පුරුද්දක් කර ගෙන ඇති.සැබැවින්ම එය විසදුමක් නොවේ.ඊට හේතුව එහිදී සිදු වෙන්නේ ඔවුන්ගේ මුරණ්ඩු ගති පැවැතුම් අඩු වීමක් නොව,දරුවා ලෝකයට නිරාවරනය නොවී සිටම පමනි.

දැක්කොත්නේ ඉල්ලන්නේ…

ඒක ඇත්ත.නමුත් කවදා හෝ දිනක ඔවුන් සමාජයට සම්බන්ධ විය යුතුයි. එවිට පසුගිය කාලය පුරාවට නුදුටු ලෝකය දරුවා දකිනු ඇත. එතැනදී ඇති වෙන ගැටුම තවත් දරුණු අතට හැරෙන්න පුලුවනි. ඒ නිසා නිතරම දරුවා සමාජය සමග සම්බන්ධ කරන්න. දකින දකින දෙය ඉල්ලා වැලපෙන්නට දරණ උත්සාහය ඔබට සීමා කර ගත වන්නේ ඔවුන් සමගම සමාජය වටහා ගැනීමෙන් පමණි.

මුරණ්ඩුකම් පාලනය කළ යුත්තේ ඇයි…?

අද ඔබ සමග ගෙවන විසිතුරු ලෝකයම හෙට දිනයේ දරුවා ඉදිරියේදී ලැබෙන්නේ නැහැ.ඔවුන්ට එහිදී වඩාත් සංකීර්ණ ලෝකයක් සමග ගනුදෙණු කිරීමට සිදු වේවි.අද දවසේ තමන්ගේම කැමැත්තට ,තමන්ට අවශ්‍ය අන්දමට පුංචි පවුල් ඒකකය පාලනය කර ගත් නමුදු හෙට දවසේ ආගන්තුක ලෝකය ඔවුන් වෙනුවෙන් එලෙස ප්‍රතිචාර දක්වන්නේ නැත.එහිදී ඔවුන්ට හමු වෙන්නේ විවිධ ගති පැවැතුම් ඇති පුද්ගලයන්. ඒ සියලු දෙනා සමගම සහජීවනයෙන් කටයුතු කිරීමට සිදු වේ.

එහෙමනම් මොකද කරන්නේ..

ඔබ නිතරම දරුවාට අකමැති දේ සමග මෙන්ම කැමැති දේ සමගත් කටයුතු කරන ආකරය පෙන්වා දෙන්න.ඔවුන් අකමැති දෙය වසා තබා කැමැති දෙයට පමණක් නිරාවරනය නොකරන්න.කැමැත්ත සහ අකමැත්ත සමග ජීවත් වෙන පාඩම දරුවා ඉගෙනගන්නේ එවිටය.

 

 

දරුවන්ගේ මනස කොවිඩ් භීතිකාවේ ගොදුරක් කළ යුතු නැත.

අපේ සමාජයේ පුංචිම ඒකකය පවුලයි.පවුලක සතුට,සාමය දරුවන්ගේ ලෝකයයි. මේ පුංචි කැදැල්ලේ තිබුන සතුට දැන් දවසින් දවසම ඈත් වෙනවා. ඒ අම්මාගේ තාත්තාගේ වරදක්වත් දරුවන්ගේ වරදක්වත් නිසා නොවෙයි.අපේ ලෝකය පුරාම පැතිරෙන දරුණු කොවිඩ් වසංගත තත්වය නිසා පුංචි කැදැල්ලේ මීට වසරකට පමණ පෙර පැවැති සතුට සම්පූර්නයෙන්ම නැති වෙලා..

අම්මා තාත්තා දැන් කතා ඉන්නේ බියෙන්..

අම්මා,තාත්තා දැන් නිතරම ඉන්නේ ආසාදිතයෝ කී දෙනාද..? තවත් කොවිඩ් මරණයක්ද..කියන පසුතැවිලි හිතෙන්.ඔවුන්ගේ හිතේ බියක් තිබීමත් සාධාරණයි. කිරිසප්පයෝ ඉන්න ගෙදර,වැඩිහිටි අම්මා,තාත්තා දැන් වයසයි. ඒ අය ජීවත් වෙන්නෙත් බේත් හේත්වල බලයෙන්.රැකියාවට යන්නත් ඕන.මගතොටත් ආරක්ෂාවක් තියෙනවාද..? නැත්ද දන්නෙත් නැහැ..ඉතිං දෙමව්පියන්ගේ මේ මානසිකත්වය නිසා අද පවුලක් තුළ ඇත්තේ අනාගතය ගැන බියක්.

ඉස්සර මෙහෙම වුනේ නැතිද..?

මීට සියවස් ගණනාවකට පෙරාතුවත් විවිධ වසංගත තත්වයන් ලෝකයේ ඇති වී නැති වී ගියා. ඒ කාලයේ සන්නිවේදනයේ දියුණුවක් අද වගේ නොතිබුන නිසා මිලියන ගණනින් සිදු වුන මරණ ගැන දැනගන්න ලැබුනේ නැහැ.නමුත් අද හැම පුවතක්ම සැනින් ඔබේ ආලින්දයට ලැබෙනවා.

ඉතින් දරුවෝ මේවා දැන ගත්තාම මොකද…?

දරුවන් කියන්නේ වැඩිහිටියන්ගේ මානසිකත්වයෙන් ලෝකය බලන පිරිසක් නොවෙයි.නිරන්තරවම මේ විදිහට මරණ ගැන ඇහෙද්දී, දෙමව්පියන් තැති ගෙන ජීවත් වෙද්දී ඔවුන්ගේ හිතේ යම් බියක් ඇති වෙනවා. අනේ අපේ අම්මා,තාත්තා, අත්තම්මා,සීයා අපට නැති වුනොත්..? මේ වගේ සාධාරණ බියක් දරුවන්ටත් ඇති වෙනවා.ඒ නිසා මේ වසංගත කාලයේ දරුවන්ගේ මානසික සුවතාවය ගැනත් දෙමව්පියන්ගේ අවදානය වීම වඩාත් වැදගත්.

දෙමව්පියන් විදිහට ඔබ මොකද කරන්නේ..

දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ට කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂා විය යුතු ක්‍රමවේදයන් ගැන දැණුවත් බව ලබා දීම නම් ඉතාම වැදගත්.ඒ අතරේදීම කොවිඩ් 19 වසංගත තත්වයේ අසුබ සහ අසත්‍ය පුවත් නිතරම පවුලේ මාතෘකාව බවට පත් කර ගන්න එපා. 

දරුවන් සමග වැඩිපුර කාලය ගෙවන්න..

දැන් පාසලත් නිවාඩු.අතිරේක පංතිත් නැහැ. ගෙදරට කවුරුත් එන්නෙත් නැහැ. අපි ගෙදරින් පිටට යන්නෙත් නැහැ.ඉතින් එකාකාර පුංචි ලෝකය තුළ දෙමව්පියන් විදිහට නිතරම දරුවන්ට සමීප වෙන්න.ඉස්සර වගේ හැන්දෑවට වැඩ ඇරිලා නිවසට එන තාත්තා, අම්මා එන පෙර මගට දුවලා අතේ එල්ලෙන්නත් බැහැ.සමාජ දුරස් බව නිසා ඔබ දරුවන්ගේ ලෝකයෙන් දුරස් වෙන්න එපා. දැන් වෙනදා වගේම සමාජ උත්සව නැති නිසා දරුවන්ට සමීපව කටයුතු කිරීමට කාලය යොදා ගන්න.

මානසික සතුට ගැන උනන්දු වෙන්න..

උදේ පටන් හවස් වෙන තුරු වසංගතය ගැන අඳෝනාවන ගායනා කිරීමට වඩා දරුවන්ගේ සතුට ගැන දෙමව්පියන්ගේ අවධානය යොමු කරන්න.ඔවුන්ගේ සතුට සදන දේ වෙනුවෙන් ඔබත් සමීප වෙන්න.සමහර විට දරුවන්ගේ විනෝදාංශ වෙනුවෙන් දැන් ඔබටත් උදව් විය හැකියි.දරුවාගේ මුද්දර ඇල්බමය සකස් කරන්න,කාසි එකතුව පිලිවෙලක් කිරීම වැනි ඔවුන්ගේ කුමන හෝ විනෝදාංශයට ඔබත් උදව් වෙන්න.

මේ කාලය නැවත ලැබෙන්නේ නැහැ..

කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඔබට ලැබී ඇති විවේකය නැවත කිසිම දිනක ඔබට නොලැබෙනු ඇත.කොවිඩ් කවදා හෝ දිනක ලෝකයෙන් තුරන් වෙනු ඇත.ඒ නිසා අද ලැබී තිබෙන විවේකයෙන් ඔබ ප්‍රයෝජන ගැනීම ඉතාම වැදගත්.දරුවාගේ අතපසු වී ඇති වැඩ කටයුතු වෙනුවෙන් ඔවුන්ට සහය ලබා දෙන්න. ඉස්පිලි,පාපිලි ගැන අවබෝධයක් නැති දරුවාට දැන් බොහොම සෙමින් ඒ අඩුපාඩු සකස් කර දීමේ හැකියාව ඔබට ලැබේවි.

පොත් පත් කියවන්න, මැහුම් ගෙතුම් හෝ ගෙවත්ත ලස්සන කරන්න පුලුවනි

ඔබ හැමදාම කියන වෙලාවක් නැති ගැටළුව දැන් තාවකාලිකව හෝ අවසානයි.අතිරේක පංති ආදිය නොමැති නිසා දරුවාට පොත් පත් කියවීමට අවස්ථාව සලසා දෙන්න. මැහුමක් ගෙතුමක් කිරීමට ඔවුන් උනන්දු කරන්න. ගෙවත්තේ ඇති මල් ගහකට, එළවලු පැලයකට සාත්තු කිරීමේදී දරුවාගේ සහයෝගය ලබා ගන්න.

ව්‍යායාම කිරීමටත් පුලුවනි

මානසික සුවතාවය වෙනුවෙන් ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. දැන් ඇවිදින මංතීරු /ජිම් වැනි බාහිර පරිසරයට සම්බන්ධ වීම අවදානම් නිසා දරුවා ඔබ  සමග පුංචි ව්‍යායාම කිරීමට සම්බන්ධ කර ගන්න.ව්‍යායාම නිසා මොළයට ඉතා හොදින් ඔක්සිජන් පරිවහනය වීමෙන් යහපත් මානසික සෞඛ්‍ය තත්වයක්ද ගොඩ නගා ගත් හැකියි.

රසවත් සහ සමබර ආහාර වේලක් 

දරුවන්ට පෝෂණීය අන්දමින් ආහාර පිලියෙල කිරීමට දෙමව්පියන්ට වෙලාවක් නැති වීම නිරන්තරව නැගුන ගැටලුවක්.උදේ හය ,හයහමාර වෙද්දී දරුවා නිවසෙන් පිටව යද්දී මේ කාර්යය කිරීමට එදා තිබුන අපහසුතාවය අද නැහැ. ඒ නිසා දරුවා වෙනුවෙන් පෝෂණීය විදිහට කොළ කැඳ කෝප්පයක්, කව්පි,කඩල කෝප්පයක් පිළියෙල කර දීමට දැන් අවස්ථාව තිබෙනවා. ඒ වගේම අලුත් විදිහට රස බලන්න යමක් දැන් පිලියෙල කරන්නත් අම්මාට වෙලාව තිබෙනවා.

එහෙමනම් අපි ගෝලීය වසංගතයක් ඉදිරියේ සිටින බව ඇත්ත. මෙය සරලව සිතිය යුතුද නැත.එහෙත් අප කොවිඩ් සමග ජීවත් විය යුතුය.එහෙත් දරුවන්ගේ මනස කොවිඩ් භීතිකාවේ ගොදුරක් කළ යුතු නැත.දරුවන්ගේ සුන්දර ලෝකයට කොවිඩ් ආගන්තුක බව සැබෑවකි. එහෙත් කොවිඩ් ඉදිරියේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය  ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ යුතුකමකි.

 

ඔබත් පුංචි දරුවාට හිතුමතේ බෙහෙත් දෙනවාද?

වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරද්දි කෑමට පෙර පසු කියලා සඳහන් කරනවා. ඒ වගේම දින ගාණක් නිසි මාත්‍රාවක් සටහන් කරනවා. සමහර වෙලාවට අමතක වීම් අතපසු වීම් නිසා අපි මේ දේවල් නොසලකා හරිනවාත් විය හැකියි. ඒත් අපිට හිතෙන හිතෙන විදියට දරුවන්ට බෙහෙත් දෙන්න සුදුසු ද කියලා දැනගන්න එක හරිම වැදගත්.

ළමා රෝග විශේෂඥ, රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

ඇවිදීම ආරම්භ කරන මුල්කාලයේදී දෙපාවල ඇතිවන සන්කූලතා මොනවාද?

0

ඔබේ පුංචි පැටියා මුල් පියවර ඔසවන දවස දෙමාපියන් විදියට ඔබ ලබන්නේ අපිරිමිත සතුටක්. ඒත් යම් යම් සංකූලතා හේතුවෙන් ඇතැම් දරුවන්ගේ ඇති විය හැකි ගැටලුකාරී තත්ත්ව පිළිබඳව අපිට නොසලකා හරින්න බැහැ. දෙමාපියන් විදියට අප කළ යුතු වන්නේ එවැනි සංකූලතා හඳුනා නිසා අවස්ථාවේ වෘත්තීමය සුදුසුකම් සපිරි අයෙකුගෙන් උපදෙස් පැතීමයි.

කසුනි චන්දිමා මහත්මිය -භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

කුද්දැටි ඉදිමීම නොසලකා හැරිය හැකි තත්වයක්ද?

0

කුද්දැටි ඉදිමීම ගැන අපේ ලොකු අවධානයක් නම් නැහැ. තුවාලයක් නිසා වෙන්න ඇති. ඔළුවේ උකුණෝ ඉන්න නිසා වෙන්න ඇති කියලා අපි නොසලකා හරිනවා වෙන්න පුළුවන්. ඒත් දිගින් දිගටම ඒ තත්ත්වය පවතිනවා නම් හෝ ඇති වෙනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.