Home Blog Page 48

IVF ප්‍රතිකාරය කා සඳහා ද?

විවාහක යුවළක් දරු පැටියෙක් ගැන සිහින දකින්නේ බොහොමත්ම ආදරෙන්. දරුවෙකු පිළිසිඳ ගැනීමට කාන්තාවකට සුදුසුම වයස් සීමාව ලෙස වෛද්‍යවරුන් අවුරුදු 21ත් 35 ත් අතර කාල සීමාව දක්වන්නේ ඒ වයස් සීමාව තුළ මවට මෙන්ම දරුවාටත් සංකූලතාවන් අවම විය හැකි නිසාය. සාමාන්‍යයෙන් දරු පැටිකෙු වෙනුවෙන් උත්සාහ කරන පළමු මාසය තුළ කාන්තාවක් ගැබ් ගැනීමේ සම්භාවිතාවය 20% ලෙසද මාස හයක් තුළ 75%ක් ලෙසද වසරක් පුරා 80%ක් ලෙසද දැක්වෙනවා. ගැබ් ගැනීම සඳහා සුදුසුම වස් සීමාවේ සිටින යම් යම් රෝග තත්ත්ව නොමැති කාන්තාවන් වසරක් පුරා පිළිසිඳ ගැනීමට උත්සාහ දැරිය හැකියි. අක්‍රමවත් ඔසප් චක්‍රයක් හෝ වෙනයම් සංකූලතාවයන් ඇති කාන්තාවන් මාස හයක් උත්සාහ කිරීමෙන් අනතුරුව අසාර්ථක වූ තැන වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

මෙසේ දරු පිළිසිඳ ගැනීම සඳහා උත්සාහ දරා තවත් ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීමෙන්ද අසාර්ථක වූ තැන එවන් කාන්තාවක් අවසානයට IVF (Invitro Fertilization) ප‍්‍රතිකාරය සඳහා යොමු කෙරේ. මෙහිදී කාන්තාවගේ ඩිම්බයක් සහ පුරුෂාගේ ශුක‍්‍රාණුවක් බාහිරව සංසේචනය (රසායනාගාරයක් තුළ දී ) සිදුකර ගර්භාෂයේ තැන්පත් කිරීම සිදු කරයි. මෙසේ ශුක‍්‍රානුව හා ඩිම්බය  බාහිරව සංසේචනය වී සෑදෙන්නේ යුක්තානුවයි. ඉන්පසු එය ගර්භාෂය තුළ  වර්ධනය හා සංවර්ධනය වේ. මෙහිදී ඩිම්බ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඖෂධ ලබාදීමක් සිදු කෙරේ. 

IVF ප්‍රතිකාර ක්‍රමය ක‍්‍රියාත්මක වන ආකාරය

මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ සහ පුරුෂාගේ ඩිම්බ සහ ශුක‍්‍රාණු වෙනම ගෙන බාහිරදී සංසේචනය කරන කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි.  

  • ජන්මාණු දායක කිරීම (Egg donation)

වෙනත් කාන්තාවකගේ ඩිම්බ අදාල කාන්තාවගේ සහකරුගේ ශුක‍්‍රාණු සමග රසායනාගාරයේදී මිශ‍්‍ර කරයි. එයත් අසීරු නම් වෙනත් කෙනෙකුගේ ශුක‍්‍රාණු මෙලෙස ලබාගෙන එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනිත වත කළලය කාන්තාවගේ කුස තුල තැන්පත් කිරීම.

  • කළලය දායක කිරීම Embryo donation – 

මෙහිදී ඩිම්බය හා ශුක‍්‍රාණුව යන මූලික තැනුම් ඒකක දෙකම බාහිර වෙනත් දෙදෙනෙකුගෙන් ලබාගෙන ඉන් ලැබෙන කළලය කාන්තාවගේ කුස තුළ තැන්පත් කිරීමයි.

මේ ආකාරට දායක කළල අවශ්‍ය වන පුද්ගලයන් ලෙස‍,

  • දරුවන් සෑදීමට නුසුදුසු අය
  • ප‍්‍රවේණිගත රෝග ඇති අඹු සැමියන් (ප‍්‍රවේණිකව තමාට දරුවා අයත් නොවුනද ඔවුන්ගේ එම රෝග දරුවන්ට නොයාමට ඇති විකල්ප මාර්ගයක් වන අතරම කුස තුළ තබා හදා ගැනීමේ හැකියාව ඇති බැවින් දරුවාගේ කිසියම් වූ ජීව විද්‍යාත්මක අයිතියක් දෙමාපියන්ට පවතී) 
  • විවාහය වීමට අකමැති, ස්වාමිපුරුෂයෙකුට අකමැති නමුත් දරුවෙකු හදාගැනීමට කැමති කාන්තාවන් දැක්වි හැකිය.

IVF ප්‍රතිකාර ක්‍රමය සිදුකරන අවස්ථා 

  • පැලෝපීය නාලවල අවහිර වීම්/හානි වීම් ඇති විය (Fallopian tube damage or blockage)

මේ තත්ත්වයේදී ඩිම්බයට සංසේචනය වීමේ දුෂ්කරතාවයන් ඇති වීම හෝ කළලය ගර්භාෂය දක්වා ගමන් කිරීමේ දුෂ්කරතාවයන් ඇති විය හැකි බැවිනි.

  • ඩිම්බ මෝචනයේ අක‍්‍රමවත් බව (Disorders of ovulation)

ඩිම්බ මෝචනය කලාතුරකින් සිදුවීම/ඩිම්බ මෝචනය නොවීම/ඩිම්බ ප‍්‍රමාණය අඩුවීම 

  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Uterine Fibroids)

මේවා ගර්භාෂ බිත්තියේ ඇති වන පිළිකා නොවන වර්ධනයන් (ගෙඩි) වන අතර අවුරුදු 30 – 40 අතර කාන්තාවන්ට බහුලව ඇති වේ. මෙමගින් සංසේචිත ඩිම්බය ගර්භාෂයේ අධිරෝපණයට බාධා ඇති කරයි. 

  • පැලෝපීය නාල ඉවත් කිරීම හෝ ගැටගසා තිබීම (Previous tubal sterilization or removal)

පැලෝපීය නාල ගැට ගැසීම වැනි වන්ධ්‍යකරණයක් (Sterilization) හෝ පැලෝපීය නාල කපා ඉවත් කිරීම හෝ අවහිර කිරීම මගින් ස්ථිර ලෙස ගැබ් ගැනීම් වැළැක්වීමේ ක‍්‍රම කර ඇති විට, එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි වේ. මෙවැනි අවස්ථාවකදී දරුවන් සාදා ගැනීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රම වැදගත් වේ.‍ෙ

  • ශුක‍්‍රාණු නිෂ්පාදනයට නොහැකි වීම/ශුක‍්‍රාණුවල ක‍්‍රියාකාරීත්වය නොමැති වීම (Impaired sperm production or function)

සංසේචනය සඳහා ශුක‍්‍රාණු සාන්‍ද්‍රණය ප‍්‍රමාණවත් නොමැති විට, ශුක‍්‍රාණුවල චලන හැකියාව දුර්වල වූ විට, ශුක‍්‍රාණු ප‍්‍රමාණයේ හා හැඩයේ අසාමාන්‍යතා ඇති විට මෙම ශුක‍්‍රාණුවලට ඩිම්බය හා සංසේචනය දුෂ්කර වේ. (ඔබේ සහකරුගේ ශුක‍්‍ර තරලයේ යම් අසාමාන්‍යතාවයක් ඇත්නම් එය නිවැරදි කරගත හැකි එකක් ද යන්න දැනගැනීමට වෛද්‍ය උපදෙස් ගත යුතුය)

  • හේතුවක් නොදත් නිසරුභාවය හෙවත් වඳභාවය (Unexplained Infertility)

වඳභාවය සඳහා පැහැදිලි හේතුවක් සොයා ගත නොහැකි කාන්තාවන් සඳහා

  • ජාන අසාමාන්‍යතා 

ඔබට හෝ ඔබේ සහකරුට ප‍්‍රවේණිකව උරුම විය හැකි රෝගයක අවධානමක් පවතී නම් අදාල ජානමය පරීක්‍ෂණයන් මෙම පිළිවෙතට පෙර සිදු කළ යුතුයි. ඉන්පසුව ඩිම්බය හා සංසේචනය වී ඇති වන කළලය ජානමය පරීක්‍ෂණ වලට බදුන් කර එහි ප‍්‍රවේණික රෝග ඇති වීමේ ප‍්‍රවණතාවය කොහෙත්ම නොමැති නම් එය තහවුරු කරගැනීමෙන් පසු ගර්භාෂයේ තැන්පත් කිරීම සිදුකරයි.

  • පිළිකා හෝ වෙනත් වෛද්‍යමය හේතුවක් නිසා දරුවන් සෑදීම පමා කරන අයට 

ඔබට පිළිකා රෝගවලදී විකිරණ, ඖෂධ ආදී ප‍්‍රතිකාර ලබාගැනීමට සිදු වුවහොත් ඉන් සරුභාවයට හානි විය හැක. මේ නිසා ප‍්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඩිම්බ කෝෂයෙන් ඩිම්බය ඉවත් කර අධි ශීතකරණයක තබා පසුව භාවිතයට ගත හැක. එසේම කළලය සාදා එය ආනාගතයට ප‍්‍රයෝජනයට ගත හැකි ලෙස අධිශීතකරණයෙහි තැබිය හැක. 

  • ක‍්‍රියාකාරී ගර්භාෂයක් නොමැති විට හෝ වෙනත් වෛද්‍යමය හේතූ මත

මෙවැනි තත්ත්වයන්හිදී ගැබ් ගැනීම අපහසු වේ. එවිට තමාගේ සහ තම සහකරුගේ ශුක‍්‍රාණු හා ඩිම්බ මගින් සෑදු කළලය (gestational carrier) වෙනත් කාන්තාවකගේ ගර්භාෂය තුළ තැන්පත් කළ හැක.

IVF ප්‍රතිකාර ක්‍රමයේදී ඇති විය හැකි අවධානම් අවස්ථා

  • බහු දරු උපත් (Multiple births)

දරුවන් එක්කෙනකුට වඩා වැඩි ගණනක් ඇති වීම බහු දරු උපත් ලෙස හඳුන්වන අතරම එක් කලලයකට වඩා වැඩි ප‍්‍රමාණයක් කලල ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් මෙසේ දරුවන් එක්කෙනෙකුට වඩා වැඩි ගණනක් ඇති විය හැක. මෙහිදී නොමේරු දරුවන් හෝ බර අඩු දරුවන් බිහිවීමේ සුලූ අවධානමක් පවතී. ‍

  • Ovarian hyper stimulation syndrome 

ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම සඳහා දෙනු ලබන HCG වැනි ඖෂධ මවට එන්නත් කළ විට එමගින් මෙම තත්ත්වය ඇති විය හැක. මෙහිදී ඩිම්බ කෝෂ ඉදිමීම හා වේදනාව ඇති වන අතරම උදර වේදනාව, ඔක්කාරය හා වමනය, පාචනය වැනි ලක්‍ෂණත් සතියක කාලයක් පමණ පවතී. ගැබ්ගෙන ඇත්නම් මෙම ලක්‍ෂණ සති කිහිපයක් පවතී. මෙම අධි සංවේදීතාවය තීව‍්‍ර ලෙස ඇත්නම් බර වැඩිවීම, ශ්වසන අපහසුවද ඇති විය හැක. 

  • ගබ්සාවීම් (Miscarriage)
  • ඩිම්බ ලබාගැනීමේ ක්‍රියාවලිය (Egg – retrieval procedure complication)

ඉදිකටුවක් අධාරයෙන් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් ඉවත් කිරීමේදී රුධිරවහනයක් ආසාධනයක් හෝ අන්තක (බඩවැල්), මුත‍්‍රාශය, රුධිරවාහිනීවලට අනතුරක් ඇති විය හැක. එසේම ඩිම්බ ගැනීමේදී කාන්තාවට ලබා දෙන නිර්වින්දන ඖෂධ හෝ වේදනා නාශක ඖෂධ හේතුවෙන් යම් යම් සංකූලතා ඇති විය හැකිය. 

  • බහිෂ්කේතනික ගැබ්ගැනීම් (Ectopic pregnancy)

2% – 5% කාන්තාවන්ට IVF මගින් ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් ඇති විය හැක. මෙය බොහෝවිට ඇති වන්නේ පැලෝපීය නාල තුළය. සංසේචිත ඩිම්බයට ගර්භාෂයෙන් පිටත ජීවත් විය නොහැක. මේ නිසා ගර්භණීභාවය පවත්වාගෙන යා නොහැක. 

  • උපතේ ඇති වන ආබාධ (Birth defects)

මවගේ වයසත් සමග උපත් ආබාධ ඇතිවීමට යම් අවදානමක් ඇත. දරුවා IVF ආධාරයෙන් ගැබ් ගැනීමක් සිදු කළද මෙම උපත් ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ අවශ්‍ය වේ. 

  • පිළිකා (Cancer)

ඩිම්බ වර්ධනය හා සංවර්ධනයට යොදා ගන්නා සමහර ඖෂධ මගින් ඩිම්බ කෝෂවලට විශේෂිත වූ අර්බුධයන් (ගෙඩි) ඇති වන බවට පර්යේෂකයන් මගින් පෙන්වා දී ඇත. පියයුරු, ගර්භාෂ, ගැබ්ගෙල හා ඩිම්බ කෝෂවල පිළිකා ඇති වීමේ අවධානමක් පවතී. 

  • ආතතිය (Stress)

IVF පිළිවෙත අනුගමනය තුළ මූල්‍යමය, ශාරීරික හා මානසික අපහසුතාවයට පත් වේ. 

දරු සම්පත් ලැබීමට IVF තාක්‍ෂණය ඇසුරු කරගන්නා අඹු සැමියන් ස්වකීය ප‍්‍රතිකාර චක‍්‍රය අසාර්ථක වූ විට නැවත ප‍්‍රයෝජනයට ගැනීම පිණිස මෙන්ම ඇතැම් විට අනාගතයේදී තවත් දරුවකු ලබාගැනීමේ අරමුණින් හෝ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ අධිශීතන තත්ත්ව යටතේ කළල සුරක්‍ෂිත කරගන්නා අතර (ඇතැම් විට මේ ආකාරයෙන් වසර 10 ක් පමණ සාඵල්‍යතා මධ්‍යස්ථානවල සංරක්‍ෂණය කර තබාගනී) තමන් අරමුණු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන කල්හි මේ ආකාරයෙන් දරු සම්පත් ලැබීමේ අවස්ථා ගිලිහුණු යුවලකට පරිත්‍යාග කරන අවස්ථා තිබේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහලේ

 

 


 

ප්‍රති පිළිකා ආහාර හෙවත් පිලිකාවෙන් ආරක්ෂාව ලැබීමට හේතු වෙන ආහාර

පිළිකාව කියන්නේ මරණ වරෙන්තුවක් වග හැම දෙනාම දන්නවා. හැම පිළිකා රෝගියෙක්ම මරණයට පත් නොවුනත් මෙම ඖෂධීය ප්‍රතිකාර වලදී පවා ඇති වෙන වේදනාවන්, අපහසුතාවයන් සහ අතුරු සංකුලතාවයන්  සීමාවක් නැහැ. ඒ නිසා අපි පිළිකාවෙන් ආරක්ෂා වීමට නම් දෙමව්පියන් විදිහට පවුල තුලින්ම එය පටන් ගත හැකියි. බොහෝ දෙනා පිලිකා කාරක ආහාර ගැන බොහෝ සේ දැණුවත්ව සිටියත් පිළිකාවෙන් ආරක්ෂාව ලබා දෙන ප්‍රති පිළිකා ආහාර ගැනත් දැනසිටීම ඉතාම වැදගත්.එහෙමනම් පිලිකාවකින් කල් තබා ආරක්ෂා වීමට නම් අපේ එදිනෙදා ආහාර රටාවට එක් විය යුතු ආහාර වර්ග මොනවාද…? 

ශාඛමය ආහර

එලවළු, පළතුරු සහ කුළුබඩු පිළිකා මර්ධන ශක්තිය ඇති ආහාර විදිහට දැන් හඳුනා ගෙන තිබෙනවා. මෙතැනදී වැඩි වැදගත්කමක් ලැබෙන්නේ එළවළු සහ පළතුරු වැනි ආහාර වලටයි. 

අපේ සිරුරේ Reactive Oxygen Species  (ROS) නම් වූ සංයෝග නිතරම නිෂ්පාදනය වෙනවා. මේවා සිරුරට ඉතාම හානිකරයි. මෙම ROS මගින් සෛලවල තිබෙන කාබොහයිඩ්ඩ්‍රේට, ප්‍රෝටීන්, විටමින් ,DNA සහ RNA වලට හානි කිරීම වගේම  විකෘති කිරීම සිදු වෙනවා. මෙම DNAසහ RNA වල ඇති වෙන ඇතැම  විකෘති තත්වයන් පිළිකා දක්වා වර්ධනය විය හැකිය.  පිළිකා ඇති වීමේ හේතු කාරක  ROS අඩපණ කිරීමේ හැකියාව ශරීරයේ ස්වභාවිකව පවතින ඇතැම් එන්සයිමයන්ට තිබෙනවා. විවිධ හේතු මත මෙම ආරක්ෂක යාන්ත්‍රණය ඇතැම් අවස්ථාවලදී ප්‍රශස්තව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ආහාර මගින් ROS මර්දනයට සමත් ප්‍රතිඔක්සිකාරක ^ Antioxidants & ලබා ගත යුතුයි. ප්‍රතිඔක්සිකාරක ශක්තියෙන් ඉතා ඉහළ විටමින් සී, විටමින් ඒ, විටමින් බී වැඩිපුර අඩංගු ආහාර ගැනීම වැදගත්.

බී කාණ්ඩයේ විටමින් අතුරින් ෆෝලික් අම්ලය පිළිකා මර්දනයෙහි ලා සුවිශේෂී කාර්යක් කරන විටමිනයකි. ෆෝලික් අම්ලය බහුල එලවළු වර්ග අතර බ්‍රෝකෝලි වැදගත්. නමුත් ලංකාවේ බහුලව වගා නොකෙරේ. මල්ගෝවා වලද ෆෝලික් අම්ලය අඩංගු වේ.

තේ

catechin කැටිචින් යනු ප්‍රධාන වශයෙන් තේ තුළ අඩංගු ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයකි.  වැඩි මාත්‍රාවක් තේ වලින් ලබා ගැනීමට පුලුවන්. තේ කෝප්පයක් පානය කිරීමෙන්  විනාඩි 30 ක් වැනි කාලයකදී රුධිරගත ප්‍රතිඔක්සිකාරක මට්ටම ඉහළ යනවා. කහට තේ වගේම කිරි තේ වලින් මේ වාසිය ලැබෙනවා. නිරෝගී වැඩිහිටියන් දිනකට තේ කෝප්ප 3 සිට 5 ක් අතර ප්‍රමාණයක් රස විඳීම සෞඛ්‍යට තර්ජනයක් නොවේ. අඩුවෙන් හෝ සීනි නැතිව තේ පානය ගුණයි.

පළතුරු

පළතුරුවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. දෙළුම්, දම්, ගස්ලබු, රතු මිදි, නෙල්ලි, කහ පළතුරු වල විශාල වශයෙන් ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතයි. ඒ නිසා මෙම පළතුරු වලින්  ROS පිළිකා ජනකයන්  ශරීරයට වන හානිය වලක්වා ගැනීමට පුලුවන්.

එලවළු

පිළිකා ජනකයන් මර්ධනය කිරීමට එලවළු විශේෂ ශක්තියක් ලබා දෙනවා. 

තක්කාලිවල අඩංගු ලයිකොපින්( Lycopene ) රසායනය කැරට් වැනි කහ පැහැති එලවළුවල බහුලව අඩංගු විටමින්  ”ඒ ” කැරටොයිඩ  වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම මගින් පිලිකා වැළඳීමේ හැකියාව අඩු කර ගත හැක. මීට අමතරව එළවළුවල අන්තර්ගත phenolic සංයෝග බොහොමයක් එළවලුවල මෙන්ම පළතුරුවලත් phenolic සංයෝග රැසක් අඩංගු වන අතර බොහෝ phenolic සංයෝග ප්‍රතිඔක්සිකාරක ගුණ පෙන්වයි. කැටචින් , දම්, රතු සහ නිල් වර්ණ පළතුරුවල ඇති ”ඇන්තොසයනින්(Anthocyanin&, phenolic අම්ල උදාහරණ වේ. 

මීට අමතරව ධාන්‍ය වර්ගවල පිට පොත්තේ (bran) පවතින  phenolic අම්ල, විටමින් සහ මැන්ගනස් වැනි ඛණිජ ලවණ පිළිකා නිශේධනයෙහි ලා උපකාරී වේ.

පිලිකා සෛල නාශනය කිරීමේ ජෛව රසායනයන් අඩංගු ආහාර

  • කරවිල බීජවල ඉලියොස්ටරික් අම්ලය Eleosteric acid  අඩංගුයි.මෙයින් පිළිකා සෛල නාශනය කරන බව තහවුරුවී තිබෙනවා.
  • දෙළුම් බීජ වල ඇති punicic acid වලින් පිලිකා සෛල විනාශ කරව බවට තහවුරුව තිබෙනවා. 
  • මඤ්ඤොක්කාවල අඩංගු සයිනයිඞ්  මේ ශක්තියෙන් යුක්තයි.
  • කිරි සහ කිරි ආහරවල අඩංගු CLA (Conjugated Linoleic Acid )
  • කිරි සහ කිරි ආහාරවල, CLA 2% ක ප්‍රමාණයක් තිබෙනවා. මෙම සංයෝගය පිලිකා ජනනයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • සැමන්, ලින්නා, මැකරල්, සාඩිං ඔමේගා 3 මේද අම්ල බහුල මත්ස්‍ය වර්ග ප්‍රති පිළිකා ආහාර කාණ්ඩයට ඇතුලත්.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


                

දරුවන්ට රණ්ඩු කරන්න ඉඩ දුන්නොත්

අයියෝ අම්මේ ’’

අම්මේ ’’

අයියෝ’’

අම්මේ… අයියා ගහනෝ’’

නෑ මෙයා මගේ පොත් අදිනෝ’’

අම්මේ… අයියා මගෙ පිටට ගැහුව්වා’’

හිතන්නකො මේ ගෝරනාඩුව දවස පුරාවටම අම්මෙක් වුණ ඔබේ නිවස පුරා දෝංකාර දෙන විට හිතට දැනෙන අවිවේකී කරදරකාරී බව. ගැටුම ඇති වුණ මොහොතේ ඔබ ගන්න ක්‍රියාමාර්ගයක් ගන්නෙත් හිතලා මතලා නෙමෙයි. හිතේ නොරිස්සුමත් සමග ඇති වූණ කෝපයකින් ඒ මොහොතේ ඔබ ගන්න තීන්දුව වරදින්න පුලුවන්.

අපේ නිවසෙ ඔය ගහගෙන බැනගෙන විනාඩි කිහිපයකට පසු ඔය අයියා මලෝ හැමදාමත් හිටියටත් වඩා කිරියි පැණියි වගේ ආදරෙන් ඉන්නවා. සමහර වෙලාවට අම්මා ඇයි අපේ ප්‍රශ්න වලට මැදිහත් වන්නේ කියන චෝදනාවත් ලබන්න සිදු වුණ අතීතයක් මටත් තිබුණා. ඒ නිසාම ඔබේ නිවසෙත් දරුවන්ගෙ රණ්ඩු සරුවල් අපි ඉවසන්න පුරුදු වෙන්න.

ඒත් කොහොමද ඉවසන්නෙ ?

ඔව්, ඔබ වගේම මමත් ඔය පැනයට මුහුණ දුන්නා. කලින් ප්‍රකාශ කළ ආකාරයටම දරුවන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් වුණා. මගෙ මැදිහත් වීම් තුලින් සිදු වුණේ තත්ත්වය බරපතල වුණු එක විතරමයි. බොහෝ විට අම්මලා විදිහට අපි ගන්නේ පොඩි දරුවගෙ පැත්ත. ගැටලූව හරියමට කිරලා මැනලා බැලූවම වරදත් අපි බේර ගත්ත පොඩි දරුවගෙමයි. එවිට වැඩිමල් දරුවා තුල අම්මා ගැන වගේම මල්ලි පිළිබදවත් ඇතිවන්නේ තරහවක්. දිගු කාලයක් මෙලෙස සිදු වන විට වැඩිමල් දරුවා මගෙන් ඈත් වන බව මම අත්දුටුවා. අම්මගේ තීන්දු නිසා හැමදාමත් ලොක්කට අසරණ වෙන්න තනිවෙන්න සිදු වුණා. ඈත් වුණු පුතාව මම ආයෙත් ළං කරගත්තා. 

ඉතින් ඔබත් දරුවන්ට රණ්ඩු වෙන්න ඉඩ දෙන්න

මොනවා රණ්ඩු වෙන්න දෙන්න? ඔව්, දරුවන් රණ්ඩු වෙන්න ප්‍රධාන හේතුව ඔවුන්ගේ අදහස් නොගැලපීමයි. අනෙකාගේ මතයට පටහැනි වීමයි. තමන් පිළිබඳව පමණක් සිතීමයි. නිවසේදීම අනෙකාගේ නොගැලපීම හමුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබද යම් දැනීමක් ලබා ගැනීමට දරුවන් අතර සිදු වන මේ රණ්ඩු සරුවල් උපකාරී වෙනවා. දරුවන්ගේ රණ්ඩු සරුවල් වලට අපි මැදිහත් නොවුණ හොත් දරුවන්ගෙ සමාගම තුලදී ඔවුන්ට මුහුණදීමට සිදුවන ගැටලූ වලට හොදම පිළිතුර සොයා ඔවුන්ම වෙහෙසේවී, ගැටලූවක් මගහැරයාම ඉගෙන ගනීවී, නැවත නැවත එකම ගැටලූව ඇති වන විට ඊට ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයක සොයා ගනීවී, අනෙකාගේ මතයට ඇහුම් කන් දෙන්නටත් ගරු කරන්නටත් ඉගෙන ගනීවී. දරුවන් ඔවුන්ගේ ජීවිත පොත රචනය කරන්නේ ඔවුන් සෑම මොහොතකම ලබන අත්දැකීම් තුලින්ය. පවුල යන කුඩා සමාජ ඒකකය තුලදී ගැටලූ වලට සාර්ථකව මුහුණ දෙන දරුවා පවුල තුලින් ඔබ්බට ගිය පසුද සමාජය සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබදව අවබෝධයෙන් පෝෂණය වනු ඇත. දරුවාත් නොදැනීම ඔවුන් තුළ ගැටලූ විස`දා ගැනීමේ කුසලතාවත් වර්ධනය වනු ඇත.

රණ්ඩු කරද්දි අපි මොකද කරන්නෙ ?

 රණ්ඩුවක් ඇහෙද්දිම ඔබේ සිතත් දෙසවනුත් නිදහස් කරගන්න. ඔබ කැමතිම ගීතයක් මුමුණන්න. කැමතිම දෙයක් ගැන සිතන්න.  නමුත් අවදානයෙන් සිටින්න. ගුටි හුවමාරුවක් තරමටම දුර දිග යන බවක් පෙනෙනවා නම් වහාම මැදිහත් වන්න.

ගැටලූව විසදීම ඔබට අයිති නැති බව මතක තබා ගන්න . සටන පමණක් නතර කර ඔබ ඔබගේ කාර්්‍යයක නිරතවන්න. කිසිම විටෙක එක් පාර්ශවයකට පක්ෂපාතී නොවන්න. ගැටලූව ඇතිවන්නට හේතුව අසන්නට සොයන්නට නොයන්න. දරුවන් සන්සුන් කළ හැකි දෙයකට ඔවුන්ව යොමු කරවන්න. 

දරුවන් තුල අනෙකා පිළිබඳව ආදරයක් ගොඩ නංවන්න. 

මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාගේ පොත් මේසෙත් අස් කළා. අන්න ඔයාට මල්ලි චොක්ලට් කෑල්ලක් තිබ්බා. මල්ලි ඔයා ගැන ගොඩක් හිතනවා.

අනේ අයියා ඔයා චූටී කාලේ ආදරෙන් බලා ගත්තා. ඔයාව උකුලෙ තියලා නළවලා බලා ගත්තෙත් අයියා. ඔයාට ඇවිදින්න උදව් කළෙත් අයියා. අයියා ඔයාට ගොඩාක් ආදරෙයි.

මෙන්න මේ වගේ කතා මගේ පොඩ්ඩන්ට නම් මම වෙන වෙනම කියනවා. ඒ වෙලාවට ඒ ඇස් වල තමන්ගෙ සහෝදරයා ගැන ඇති වන ආදරය මම අත්විදලා තියෙනවා. ඔය මොන දේ වුණත් අදත් මේ ලියන මොහොතෙත් අයියලා මල්ලිලා රණ්ඩුවක්. මම නෑසුනා වගේ ලිපියක් ලියනවා.

 

දරුවාගේ සන්නිවේදන හැකියා වර්ධනට ගැබිනි සමයේදීම සැලකිලිමත් විය යුතු කරුණු 3ක්

දරු පිළිසිඳ ගැනීමත් සමගම මවගේ පෝෂණය ආරක්ෂාව ගැන ඇය මෙන්ම ඇයගේ නැදෑ හිත මිතුරන් පවා දක්වන්නේ ලොකු අවධානයක්. ඒ නිරෝගී දරු උපතක් පිළිබඳ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් ගැබිනි සමය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාම වටිනා කාලසීමාවක් කිව්වොත් නිවැරදියි. නිසි පෝෂණය ගැන වගේම නුසුදුසු ආහාර සම්බන්ධයෙන් වුවත් ගැබිනි මව සැලකිලිමත් වන්නේ අම්මාගේ බණ්ඩියේ වැඩෙන පුංචි පැටියට ඒක අහිතරකර වෙයි කියන බයට. බැර ලෝහ අඩංගු ආහාරවලින් වගේම හානිකර විකිරණවලට නිරාවරණය වෙන්නත් සුදුසු නැති බව අම්මා වගේම තාත්තත් දන්නවා. ඉතිං ඒ කරුණු ගැන වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕනේ තවත් වැදගත් සුවිශේෂී කරුණු කිහිපයක් තියෙනවා.  

  • සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීම, අවබෝධය සහ සහයෝගය
  • මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය
  • මව, පියා සහ දරුවා අතර අන්තර් ක්‍රියාකාරිත්වය

කෙසේ වුණත් මෙන්න මේ කරුණු තුන ගැන නම් වැඩි අවධානයක් ඇතැම් දෙමාපියන් තුළ දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. නමුත් දරුවෙකුගේ කතාව සහ භාෂාව සන්නිවේදය දියුණු කරන්නට නම් ඒවා ඉතාම වැදගත් වන බව සිහියේ තබා ගත යුතුයි. 

සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීම, අවබෝධය සහ සහයෝගය

සැමවිටම ගැබිනි මවට අවශ්‍ය සහයෝගය සැමියාගෙන් උපරිමයෙන් බලාපොරොත්තු වන අතරම ඒ ඒ අයුරින්ට ඉටුකිරීම තාත්තෙක් වෙන්නට දින ගනින ඔබගේ යුතුකමක් බව අමතක නොකරන්න. ඒ වගේම නිවසේ කටයුතු සඳහාත් සැමියාගේ සහයෝගය ඇයට හිමිවිය යුතු අතරම ගැබිනි මවගේ අපහසුතා හඳුනාගනිමින් ඇයට සහනය සැලැස්වීමට කටයුතු කළ යුතුය. සහයෝගයෙන් යුතුකම් ඉටුකරමින් සන්තෝසෙන් ගත කරන මේ කාලය ගැබිනි මවකගේ සිතේ ඇති කරන සතුට සමගින් ඇයත් කුස තුළ වැඩෙන දරු පැටියාත් ඉතා සතුටින් සිටින බව කිව යුතුය. ඒ සතුට වෙනුවෙන් සැමියාගේ සහයෝග උපරිමයෙන් වැදගත් වන බව කිව යුතුමය. ඒ වගේම ගැබිනි සමයේ ඇතැම් අවස්ථාවලදී මවගේ සිත දුක සතුට යන දෙක අතරේ දෝලන වන අවස්ථා බොහොමයක් ඇති විය හැකියි. එවිට ඇයට මානසිකව සහනය සලසමින් ඇයව අවබෝධ කරගනිමින් එයින් මිදීමට උපරිම සහයෝගය ලබා දිය යුතුයි. එය කුස තුළ වැඩෙන දරුවාගේ මානසික සංවර්ධනයට ද බොහෝ සෙයින් බලපාන කරුණකි.

මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය 

අම්මාගේ කුස තුළ වැඩෙන දරුවාට අම්මාව හොඳින් දැනෙන අතර අම්මාගේ සතුට කුස තුළ වැඩෙන දරුවාගේ සතුට වන අතරම අම්මාගේ වේදනාව දරුවාගේත් වේදනාව වනු ඇත. මන්ද මව සතුටින් සිටින විට ඒ හා සම්බන්ධ ධනාත්මක හෝමෝන ශ්‍රාවය වන අතරම වේදනාවට පත්ව සිටින විට ඒ හා සම්බන්ධ ඍණාත්මක හෝමෝනයන් ශ්‍රාවය වනු ඇත. උදාහරණයක් ලෙස මව මානසික ආතතියට පත්ව සිටිනවා නම් ඇය තුළ ශ්‍රාවය වන්නේ ඍණාත්මක හෝමෝනයි. එය කුස තුළ වැඩෙන දරු පැටියාට ඇති කරන්නේ නුසුදුසු තත්ත්වයකි. ගැබිනි සමයේදී කාන්තාවක් මානසික සුවතාවයෙන් සිටිය යුතු බව පවසන්නේ අන්න ඒ නිසයි. ගැටුම් පිරුණු වටපිටාවක සිටින ගැබිනි මවකට නිසි මානසික සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම අපහසු බැවින් එය කුස තුළ වැඩෙන දරු පැටියාට ඇති කරන්නේ අහිතරකර බලපෑමකි. අන්න ඒ නිසාම මව සහ පියා අතර මනා අන්තර් සබඳතාවයක් පැවතිය යුතු අතරම ඒ හරහා මව නිසි මානසික සුවයෙන් කාලය ගත කළ යුතුමය. 

මව, පියා සහ දරුවා අතර අන්තර් ක්‍රියාකාරිත්වය ‍

සන්නිවේදනය යනු දෙදෙනෙක් අතර තොරතුරු හුවමාරුවයි. එය වාචිකවත් අවාචිකවත් සිදු විය හැකි අතරම යහපත් සන්නිවේදනයට දෙදෙනා අතර අන්තර් සබඳතාව ඉතා වැදගත් වනු ඇත. ගැබිනි මවක් සමග තම සැමියාගේ යහපත් සන්නිවේදනය කුස තුළ වැඩෙන දරුවාට ප්‍රතිලාභ රැසක් අත් කරදෙනු ලබයි. මෙන්න මේ විදියට අම්මාගේ තාත්තාගේ ආදරය මැද්දේ කුසේ වැඩෙන පුංචි පැටියෙක්ට සති 14 පමණ වන විට ශ්‍රවණ හැකියාව ඇති වෙනවා. ඉතිං මෙන්න මෙතන ඉඳලා අම්මටයි තාත්තටයි වැඩ ටිකක් වැඩි වෙනවා. මොකද දැන් පුංචි පැටියා එක්ක කතා කරන්න ඕනේ. එයාට ඇහෙන්න ලස්සන සින්දු කියන්න මෘදු සංගීතවලට සවන් දෙන්න අම්මාට වෙලාව වෙන් කරන්න වෙනවා. අම්මාගේ කුස පිරිමැදලා තාත්තට පුළුවන් පුංචි පැටියාගේ විස්තර අහන්න. ලස්සන සිංදුවක් කියන්න. එයා ගැන තාත්තාගේ හිතේ තියෙන බලාපොරොත්තු ගැන කියන්න. මෙන්න මේ විදියට දවසින් දවස ගත වෙලා පුංචි පැටියට සති 20 සම්පූර්ණ වුණාම එයාට පුළුවන් අම්මා තාත්තාගේ, ඒ කිව්වේ එයාට ළඟින්ම ඉන්න අයගේ හඬවල් අඳුරගන්න. තාත්තා අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා කතා කරාම පුංචි පැටියත් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාම අම්මා තාත්තා අතර වගේම පුංචි පැටියා එක්කත් හොඳ සන්නිවේදනයක් තිබීම බොහොම වැදගත් වෙනවා. 

අපේ බලාපොරොත්තු ඉටු කරන්න මේ ලෝකෙට එන මේ පුංචි පැටියා ශාරීරිකවත් මානසිකවත් යහපත් මට්ටමකින් මේ ලෝකෙට ගේන වගකීම පැවරෙන්නේ එයාගේ අම්මටයි තාත්තටයි. අන්න ඒ නිසාම අම්මාගේ පෝෂණය, වෛද්‍ය පරීක්ෂාවන්, විටමින් වර්ග ගැන දක්වන අවධානය කුසේ වැඩෙන මේ පුංචි පැටියටත් සිය දහස් ගුණයකින් අවශ්‍ය වෙන බව අම්මයි තාත්තයි වටහා ගත යුතුමයි. දරුවෙකුගේ කතන සහ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට ගැබිනි සමයේ සිටම ඔබ අවධානය යොමු කළ යුතුයි. අන්න ඒ නිසාම කුසේ ඉන්න කාලේ ඉඳලම පුංචි පැටියා එක්ක කතා බහ කරන්න අමතක කරන්න එපා. ඒ අවස්ථාව මගහරවා ගත්තොත් ඒ සුන්දර අත්දැකීම ඔබට වගේම කුසේ වැඩෙන පුංචි පැටියාටත් අහිමි වෙන බව මතක තබාගන්න. 

 

කථන හා භාෂා ව්‍යාධිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි

 

 

පැටියාගේ ඉවරක් නැති ප්‍රශ්න පත්තරේ..

පුංචි පැටවුන්ගේ වැඩයි..ගෙදර වැඩයි…රැකියාවේ වැඩයි..මේ සේරමත් සමග හැල හැප්පෙන අපේ දෙමව්පියෝ කරන්නෙත් ලෙහෙසි පහසු යුද්ධයක් නොවෙයි. ඉතින් ඔය අතරේ පුංචි පැටවුන්ගේ අතෝරක් නැති  ප්‍රශ්නවලට පිලිතුරු දීමත් අපි හිතන තරම් පහසු කාර්යක් නොවෙයි…

පොඩිත්තන්ගේ ප්‍රශ්නවලට වැඩිහිටියන්ට පිළිතුර දීම අපහසු ඇයි…?

අද වැඩිහිටියන් වුනත් අපේ පොඩි කාලය අපට මතක නැහැ. මේ වගේම ප්‍රශ්න අපටත් නැගෙන්න ඇති. නමුත් අද පොඩි  පැටියා අහන ප්‍රශ්නවලට අපි පිලිතුරු දෙන්න බොහොම උදාසීනයි.ඊට එකම හේතුව තමයි වැඩිහිටි ලෝකය ඉදිරියේ පැටියාගේ ප්‍රශ්න වැදගම්මක් නැතුවා වගේ අපට දැනෙනවා.

ඒ විතරක් නොවෙයි…

සමහර විට පුංචි දරුවෝ අහන ප්‍රශ්න වලට පිලිතුරු දීමත් පහසු නැහැ.අම්මේ අර වළාකුල යන්නේ කොහාටද…වැස්ස වහින්නේ කොහොමද…? ඉතින් මේ වගේ වෙලාවක ජල චක්‍රයේ පාඩම දරුවාට කියා දෙන්න තරමට ඔවුන්ගේ මනස මෝරා නැහැ. සමහර දෙමව්පියන් නම් ඉර මාමා පොළවේ වතුර අරගෙන ගිහිං ආයේම ඒවා පොළවට වැස්ස වගේ එවනවා..පුංචි මනසට යාන්තම් අදහසක් ලැබෙන විදිහට කියා දෙනවා.

අවසානයකුත් නැහැ. 

පුංචි දරුවන්ගේ ප්‍රශ්නවලට අවසානයක් නැහැ. ඔවුන් ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයක් පටන් ගන්නවා. 

  • අම්මේ මං මෙහාට කොහොමද ආවේ…
  • දෙවියෝ ගෙනත් දුන්නා..
  • ඉතින් ඒ දෙවියෝ කෝ..? 
  • එයා දිව්‍ය ලෝකේ..
  • දිව්‍යලෝකේ කොහෙද තියෙන්නේ…?

ඔන්න ඉතිං උත්තර කෝ..උත්තර දුන්නත් එතැනින් නවතින්නේ නැහැ. තවත් ප්‍රශ්නයකට එතැනින් ආරම්භයක් දරුවාට තියෙනවා.

පුංචි අයට මෙච්චර ප්‍රශ්න ඇයි…?

පැටියා වයසින් පුංචි වුනත් ඔවුන් ලෝකය දිහා බලමින් අත්දැකීම් සහ දැණුම උපයා ගන්නවා.දරුවන්ගේ ලෝකය බොහොම කුතුහලෙයෙන් යුක්තයි. ඒ කුතුහලය නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න නගන්න ඔවුන් කැමැතියි. එක අතකට අපටත් පුංචි දවස්වල වැස්ස, අව්ව, දවල්, රාත්‍රිය ගැන පුංචි ප්‍රශ්න හිතට නැගුනා වගේම අපේ දරුවන්ගේ හිත්වලටත් ඒ වගේ කුතුහලයෙන් දැවෙන දේවල් තිබෙනවා.

මේ ප්‍රශ්න අහන වේලාවට ඔබ මොකද කරන්නේ..

පුංචි පැටියා ප්‍රශ්න අරගෙන අම්මා ලගට එනවා..යන්න පුතා තාත්තා කාමරේ ඉන්නවා..ගිහිං අහගන්න. පැටියා තාත්තා ළගට යනවා.තාත්තා වැඩක්..පුතේ අක්කාගෙන් අහන්න. දැන් අක්කා ළගට යනවා. අක්කා කියන්නෙත් පැටියාට වඩා අවුරුදු දෙක තුනක වෙනසක් නේ..ඉතිං එයාගේ ප්‍රතිචාරය අර දෙන්නාටම වඩා වෙනස්..අම්මේ මේ මල්ලිට යන්න කියන්න මට වැඩක් කර ගන්න නැහැ. සමහර විට අක්කාගෙන් ගුටිපාරකුත් කාලාම හැරෙන්නත් වෙනවා.

තවත් වේලාවක ඔබ කේන්තියෙන් හෝ වැඩ අධික වෙලාවක් නම් යනවා යන්න.. මල විකාර අහ ගෙන එනවා..කියමින් ඔබ දරුවා පලවා හරින්න පුලුවනි.

එහෙම වුනාම මොකද වෙන්නේ…?

ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන පිලිතුර දන්නා නිසා කිසිම දෙයක් ගැන විමසිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ විචක්ෂන බවත් නොදැනීම බිඳ වැටෙනවා.ඒ වගේම කුතුහලයෙන් යම් යම් දෑ සොයන විමසන හැකියාවටත් ඉඩ නැති වෙනවා. ඒවා ගැන විමසිලිමත් වුනත් ඵලක් නොවන බව දරුවා දන්නා නිසා නිශ්ශබ්ද වෙනවා.

දරුවන් ප්‍රශ්න අහන්නේ ඇයි…?

  • දරුවන්ට ප්‍රශ්න ඇසිම අහිංසක විනෝදයක්.

පුංචි හිත් කොහොමත් අහිංසකයි. ඉතිං ඒ අහිංසක හිතට නැගෙන්නෙත් අහිංසක සිතුවිලි. මේ වගේ සිතිවුලි නැගුනාම ඒවා ගැන විමසීම දරුවන්ට විනෝදයක්.

  • දරුවන් අධ්‍යාපනයක් ලබනවා.

මේ අහන ප්‍රශ්නවලත් විද්‍යාත්මක පැත්තක් තියෙනවා.බළලෙක් පුරු පුරු ගාන්නේ ඇයි කියල අහද්දී අපි දරුවාට කියා දෙන්නේ පැටියාට බළල්හාමි ආදරෙයි නේ…ඒකයි. මෑතකදී සිදු කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දෙන අන්දමට බළලුන්ගේ මෙම පුරු පුරු ගෑමේ යාන්ත්‍රනය සමග තුනී අස්ථි සමුහයක් සම්බන්ධව තිබෙනවා. මෙම අස්ථි බළලුන්ගේ හිස් කබලේ පාදයේ සහ දිවේ මුල අතර පිහිටා ඇත.බළලුන්ට යම් උත්තේජනයක් ඇති වුන විට මුලින් සදහන් කළ මාංශ පේශි හැකිලෙන අතර ස්වර තන්තු කම්පනය වෙනවා.එහෙම නම් බළලුන් ආදරය පුරු පුරු ගානවා කියන කියමනත් නිවරැදියි නේද…?ඉතින් ඔබ දරුවාට මේ කියාදෙන්නේ පුංචි පහේ විද්‍යා පාඩමක් නේද..?

  • කථනය දියුණු වෙනවා..

සාමාන්‍ය ගැමි වහරට වුනත් කියනවානේ ගේ දොරකඩ ගස්වල ඵලදාව වැඩිවෙන්නේ කටහඩ ඇහෙන නිසා කියලා. ඉතින් අපේ පැටියන්ටත් එහෙමයි. කථා කරන තරමට ඔවුන්ගේ කථන හැකියාව දියුනු වෙනවා.මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන්ගේ කථාව කියන්නේ ඔවුන් තමන්ගේ කටහඩ සමග කරන ක්‍රීඩාවක්.

හැබැයි ප්‍රශ්නය මෙතැන..

කථනය දියුනු වුනත්,දරුවාට කටහඬ සමග මෙය ක්‍රිඩාවක් වුනත් එය ඒකපාර්ශවීය වෙන්න බැහැ. පැටියා අහන ප්‍රශ්නවලට පිලිතුරු අවශ්‍ය වෙනවා. සන්නිවේදනය දෙපැත්තටම සාර්ථක අන්දමින් ගලා ගෙන යෑම අවශ්‍යයි. බබා ප්‍රශ්න අහනවා…අම්මා/තාත්තා/වැඩිහිටියෙක් උත්තර දෙනවා.මේ ගණුදෙණුව දෙපැත්තටම හොදින් ගලා ගෙන යන තරමටම ප්‍රතිඵල සාර්ථකයි.එහෙම නැතුව දරුවාගේ ප්‍රශ්න ඉදිරියේ ඔබ නිරුත්තර වුනොත් කථනය වෙතින් දරුවා ලබන වාසි සියල්ලම ඔවුන්ට අහිමි වේවි.

දරුවන් ප්‍රශ්න නගන විට දෙමව්පිය ප්‍රතිචාරය කොහොමද..?

  • ප්‍රශ්නයක් අරගෙන දරුවා ඔබ වෙතට පැමිණෙන්නේ ඔවුන්ගේ ලොකුම විශ්වාසවන්තයා ඔබ නිසයි. එවැනි වේලාවකදී දරුවා ආදරයෙන් වැළඳ ගන්න.
  • දරුවාට ගැලපෙන අන්දමින්,ඔබේ දැණුමේ තරමින් ප්‍රශ්නයට ගැලපෙන පිලිතුරක් ලබා දෙන්න.
  • පැහිච්ච ප්‍රශ්නත් අරගෙන පැමිණියොත්..මොනවදා මේ පැහිච්ච තථා කියමින් පගලවා හරින්න එපා. කාලය සමග දරුවා ඒ ගැන අවබෝධය ලබාවි. නමුත් තැනට ගැලපෙන සේ යම් පිලිතුරක් ලබා දෙන්න.
  • හය හතර තේරෙන දරුවෙකුට නම් ඔවුන් නගන ප්‍රශ්නවලට සම්බන්ධ පොත් පත් හෝ තව තවත් දැණුම් ද්‍රව්‍ය ලබා දෙන්න.උදාහරණයක් විදිහට සමහර දරුවන් කුඩා කලෙය් පටන්ම තාරකා නිරීක්ෂනයට කැමැත්තක් දක්වනවා.එවැනි අවස්ථාවන්හිදී තරු රටා ගැන පෙන්වන වීඩියෝ පට වැනි දේ ලබා දිය හැකියි. අවස්ථාවක් ලද තැනක ග්‍රහලෝකාගාරය වැනි නිරීක්ශන මධ්‍යස්ථාන වෙත දරුවා කැටුව යන්නත් ඔබට අවස්ථාව තිබෙනවා.සමහර විට අද මේ තරු ගැන විමසන පොඩිත්තා අනාගත තාරකා විද්‍යාඥයෙකු වෙන්නත් බැරි කමක් නැහැ.

 

 

දරුවන් ලස්සනට තියා ගැනීමේ වාසි සහ සිතන්න යමක්..

හැම දරුවෙක්ම ලස්සනයි.ඒ වගේම තමන්ගේ දරුවා ලස්සනට තියා ගැනීමේ වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි. දරුවා ලස්සනට තියා ගන්නවා කියන්නේ අල්ලපු ගෙදර දරුවාට වඩා වියදම් අධික ඇදුම් අන්දවන එක නම් නොවෙයි. තමන්ගේ වත්කමේ හැටියට පිලිවෙලට පිරිසිදුවට දරුවා තබා ගැනීමේ වටිනාකම දෙමව්පියන්ට බාරයි.දරුවා  තබා ගැනීමේ ඔබ නොදන්න වාසි බොහොමයක් තිබෙනවා.

දරුවන් තුළ ධනාත්මක චින්තනය ඇති වෙනවා.

ලස්සනට පිරිසිදුවට සිටින දරුවන් දෙස හැම කෙනෙක්ම බලන්නේ ආදරයෙන්.ඒ නිසා දරුවාගේ හිතේ තමා ගැනත් යම් අභිමානයක් ඇති වෙනවා. ඒ වගේම මෙහි විරුද්ධ පැත්තත් ඒ වගේමයි. පංතියක වුනත් අපිරිසිදු සහ අපිළිවෙලක් ඇති දරුවා ගැන ආකර්ශනය ඇති වෙන්නේ බොහොම  මන්දගාමී විදිහටයි.

ආත්ම විශ්වාසය ඇති වෙනවා..

ලස්සනට සිටින දරුවා වෙනුවෙන් නොදැනීම ලැබෙන ආකර්ශනය නිසා තමන් මුල් කර ගත් ආත්ම විශ්වාසයක් ඔවුන්ගේ හිතේ ගොඩ නැගෙනවා.මටත් යමක් කළ හැකිය යන විශ්වාසයෙන් දරුවා පසු වෙන්න පටන් ගන්නවා. එය ඉතාම සුබවාදී තත්වයක්. ඔහු වෙතින්ම ඇති වෙන මෙම ආත්ම විශ්වාසය හෙට දවස වෙනුවෙන් දරුවාගේ පෞරෂයට ඉතාම වැදගත්.

නායකත්ව ගති ලක්ෂණ වෙනුවෙන් පෙර සූදානමක්

තමා මුල් කර ගෙන ඇති වෙන සුබවාදී  ආකල්පයත්, ඒ වගේම හෙට දවස වෙනුවෙන් ගොඩ නැගෙන ආත්ම විශ්වාසයත් නිසා දරුවා වෙතින් නොදැනීම නායකත්ව ගති ලක්ෂණ ගොඩ නැගෙන්න පටන් ගන්නවා.

පවුල් පසුබිම ගැනත් දැනගන්න පුලුවන්.

දරුවා ලස්සනට සිටිනවා නම් ඒ ගරුත්වයේ කොටස්කරුවන් බවට දෙමව්පියන්ද පත් වෙනවා. දරුවාගේ අඳින,පළඳින පිලිවෙල නිසා දෙමව්පියන්ගේ වටිනාකම්ද ගොඩ නැගනෙවා. එසේ නොවුන තැනත් සෘජු චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන් වෙතටයි. දරුවන් ගැන කිසිම උනන්දුවක් නැති දෙමව්පියන්ගේ කොටසට ඔබත් අයත් වෙනවා. ඒ කොහොම වුනත් ඔබ දරුවා ලස්සනට තබා ගත යුත්තේ ඔබ මුල් කර ගත් පිලිගැනීමට නොව දරුවාගේ ජීවිතය ගොඩ නැගීම කෙරෙහි දරුවා ලස්සනට, පිලිවෙලකට තබා ගැනීම වැදගත් නිසයි. 

දෙමව්පියන් හැඩ බලද්දී දරුවන් කැමැතියි.

දෙමව්පියන් තමා ගැන හැඩ බලද්දී දරුවන්ටත් තමන් ගැන මව්පියන් දක්වන ආදරය සහ ආරක්ෂාව ගැන තහවුරුවක් හිතේ නොදැනීම ගොඩ නැගෙනවා. මේ සුරක්ෂිතතාවය දරුවාගේ ජීවිතයට විශාල ආලෝකයක්.

  • ඒත් දරුවන් ලස්සනට තබා ගැනීමේදී මේවා ගැනත් අවධානය දක්වන්න..

දරුවාට අපහසුනම්

දරුවාගේ ඇදුම් ඔබ ජීවත්වෙන පරිසරයට අනුව තෝරා ගන්න. අධික උණුසුම් ප්‍රදේශයක ඔබ ජීවත් වෙනවා නම් කොතරම් ලස්සන වුනත් නයිලෝන් වැනි කෘතිම රෙදිවලින් සකස් කළ ඇදුම් දරුවාට ගැලපෙන්නේ නැහැ. එවැනි පරිසරයකදී දරුවාට වඩාත් ගැලපෙන්නේ කපු රෙදි ඇදුම්. ඇඳුම් විලාසිතාවන් වුනත් ඒ අන්දමින් ඔබ ජීවත්වෙන පරිසරයට ගැලපෙනවාදැයි සලකා බලන්න ඕන. අත් නැති ඇදුම් සීතල පරිසරයකදී දරුවාට ගැලනේනේ නැහැ. එවැනි පරිසරයකදී දරුවාට ගැලපෙන සිරුර උණුසුම් කරන ඇදුම් ගැන වැඩි අවධානයක් දක්වන්න අවශ්‍යයි.

වත්කම් ප්‍රදර්ශනය එපා.

ඔබේ වත්කම් ප්‍රදර්ශනයට දරුවා නියෝජිතයෙක් කර ගන්නත් අවශ්‍ය නැහැ.ඔබේ වත්කමේ හැකියාව අනුව දරුවා ලස්සනට තබා ගැනීමට බාධාවක් නැහැ.එහෙත් ඔබට දරන්න බැරි අන්දමින් විය පැහැදම් කරමින් දරුවා සැරසීමත් අවශ්‍ය නැහැ.දරුවන් ඉතා ඉක්මනින් උස් මහත් වෙන නිසා ඇඳුමක් මිළට ගැනීමේදී ඒ ගැනත් සලකා බැලීම අද වගේ යුගයකදී ඉතා වැදගත්.

විවිධ මෙවලම් එපා..

හය හතර නොතේරෙන දරුවන් වෙනුවෙන් ඇදුම් මිළට ගැනීමේදී එහි තිබෙන අතිරේක ගැනත් සලකා බැලීම ඉතාම වැදගත්. ඇතැම් ඇදුම්වල තිබෙන රිදී කුඩු වැනි දිස්නය දෙන දේවල්, ආකර්ශණීය පදක්කම් වැනි දේ දරුවාට අහිතකර අන්දමින් බලපාන්න පුලුවනි. මෙම කුඩු වර්ග දරුවාගේ ආශ්වාසය  සමග එක් වී ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි. පහසුවෙන් ගැලවෙන බොත්තම්, විවිධ ප්ලාස්ටික් කැබැලි දරුවා විසින් ගලවා ගෙන කටේ දා ගැනීමේ අවදානමත් තිබෙන බව අමතක කරන්න එපා.

ඔබ ඇඳුමක මෙවැනි කොටස් ඇතොත් ඒවා ගැන වැඩි අවධානයක් දක්වන්න. ඒ වගේම මේ අන්දමේ මෙවලම් නිසා නින්දේදී සහ දරුවාගේ විවිධ හැසිරීම්වලදී සම සීරී තුවාල වීමේ අවදානමත් තිබෙනවා.

පුංචි අයට වටිනා ආභරණත් එපා

පුංචි දරුවන්ට පංචායුධ වැනි ආභරණ පළඳවන විටත් එයින් දරුවාට අපහසුවක් නොවන ලෙසින් දිග නූලක අමුනන්න.සමහර විට මාස එකොළහේදී කරට දමන ලද නූල හෝ දම්වැල දැන් දරුවාගේ කරටම හිර වී තිබෙන්න පුලුවනි. ඒ නිසා ආභරණයට වඩා දරුවාගේ පහසුව ගැන හිතන්න.

තවත් අයගේ තෑගි විදිහට දරුවන්ට පළදවන රන් මුදු දරුවා වැඩෙන විට පුංචි ඇගිල්ලට වඩාත් වේදනාකාරියි. එම ස්ථානයේ වතුර,සබන් ,දහඩිය රැදී ආසාත්මිකතාවයන් ඇති කිරීමටත් ඉඩ තිබෙනවා.ඒ නිසා පුංචි දරුවන්ට රන් මුද්දක් ඇගිල්ලට පළඳනවාට වඩා ඒ වියදමෙන් වෙනත් තෑග්ගක් ලබා දෙනවා නම් වඩාත් සුදුසුයි.ඒ ඇයි කිව්වොත් මෙවැනි ආභරණ වලින් පසුකාලයකදී ප්‍රයෝජන ගැනීමත් සිදු වෙන්නෙත් නැහැ.ඉතා සීමිත කාලයක් තුළ දරුවා අපහසුවෙන් පසු වෙනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් නම් සිදු නොවෙන බැව් ඔබටත් තේරෙනවා ඇති නේද..?

එහෙමනම් දරුවා ලස්සනට තියා ගැනීම වගේම ඒ ලස්සන දරුවාට අපහසුවක් නොවන සේ පවත්වා ගැනීමේ වගකීමත් අමතක කරන්න එපා.

 

පිළිකාකාරක ආහාර

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සමග සිදු කරන ලද සාකච්ඡාවක් ඇසුරින්…..

පිළිකාවක් කියන්නේ  සිරුරේ කොතැනක හෝ සෛලවල   සිදු වෙන අසාමාන්‍ය බෙදීමක්.  කිසිම පාලනයක යටත් නොවී අනවශ්‍ය අන්දමින් සෛල විභජනය වීමක්. සිරුරේ විවිධ ස්ථානවල පිළිකා ඇති වෙනවා . ඇතැම් පිළිකා ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒත් ඇතැම් පිළිකා සිරුරේ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙනවා. 

පිළිකා ඇති වීමට බලපාන හේතු

    • දුම්පානය සහ බුලත්විට කෑම 
    • පරිසර දූෂණය
    • විකිරණවලට නිරාවරණය වීම.
    • ආහාර මගින් ශරීරගත වෙන වෙන විෂ රසායන
    • වෛරස ආසාදන
    • ඇස්බැස්ටෝස්

ලංකාවේ පිළිකා රෝගය පසුගිය වකවාණුව තුළ වර්ධනයක් පෙන්නුම් කරයි.2000 වර්ෂයේ 10,000 ක් පමණ වූ නව රෝගීන් සංඛ්‍යාව 2010 වසර වෙන විට 17,000 දක්වා වර්ධනය වී ඇත. අද වන විට මීට වඩා වැඩි අගයයක් දක්වා වර්ධනය වී තිබෙන බව පැහැදිළිය.

පිළිකා සම්බන්ධයෙන් දැනට ලබා ගෙන ඇති දත්ත අනුව පිළිකා වර්ගවලින් 30% සිට 50% අතර ප්‍රමාණයක් වැළඳීමට බලපාන ප්‍රධාන සාධකය අපේ ජීවන රටාවේ අයහපත් පුරුදු බැව් හඳුනාගෙන තිබෙනවා. ජීවන රටාව ගැන සඳහන් කලොත් වැඩියෙන්ම බලපාන්නේ අපේ ආහාර. අප විසින් ආහාරයට ගන්නා සමහර ආහාර  මගින්  පිළිකා කාරක අපේ සිරුරට ඇතුළු වෙනවා. 

පිළිකා සඳහා බලපාන ආහාර

  • සීනි අධික ආහාර

තන්තු අඩු ,සීනි වැඩි  ආහාර  අධිකව පරිභෝජනය නිසා පියයුරු පිළිකා, ආමාශ සහ මහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකා රෝග තත්වයට ගොදුරු වීමට පුලුවනි. අධික විදිහට මේවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ වගේම ඊට සමගාමීව ඉන්සියුලින් ස්‍රාවය වැඩි වෙනවා. පර්යේෂණ මගින් හඳුනා  ගෙන තිබෙන අන්දමට දියවැඩියාව ඇති රෝගීන්ට මහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 22% කින් ඉහළයි. 

අධික සීනි නිසා  ස්ථුලතාවය, බර වැඩිවීම, වැනි අතුරු හේතු පිළිකා වර්ධනයට ඉතා සමීපව බලපානවා. තරබාරු සහ අධිබර අයගේ මේද තැන්පත් වීම වැඩියි. ඒ නිසා පටකවල ප්‍රදාහයන් ^ Inflammation) තත්වයන් ඇති වෙන්න පුලුවනි. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය ( Insulin resistance ) වැඩි වෙනවා.

  • සකස් කළ මස්

හැම්, බේකන්, සෝසේජස්, මීට් බෝල්ස් වැනි සකස් කරන ලද මස් කල් තබා ගැනීමේ සහ රසය, වර්ණය වෙනුවෙන්  පදම් කිරීමේ ක්‍රියාවලියේදී සෝඩියම් නයිට්රයිට් භාවිතා කරනවා. කාලයකට පෙරාතුව භාවිතා කළේ සෝඩියම් නයිට්රයිට් විතරයි.  නයිට්රයිට් භාවිතා Nitrsoamines නැමැති සංයෝග විශාල ගණනක් නිපදවන බවත්  ඒවායින් බොහොමයක් පිළිකා කාරක  බව තහවුරු වීම  නිසා පසුකාලීනව මස් සකස් කිරීමේදී සෝඩියම් නයිට්රේට්වලට අමතරව Erythrobate  හෝ Ascorbate යෙදීම සිදු වුණා.එහිදි Nitrsoamines ජනනය වීම විශාල විදිහට අඩු වෙන බව දක්නට ලැබුණා. මේ නිසා වර්තමානයේදී මස් පදම් කිරීමේදී අනිවාර්යෙන්ම Erythrobate  හෝ Ascorbate යෙදිම සිදු කරයි. කෙසේ වෙතත්  මේවා පවා යොදන මාත්‍රාව වෙනස් වුවහොත් පිලිකා කාරක ජනනය වීමේ හැකියාවක් ඇති වේ. එබැවින් මේ අන්දමට  සකස් කරන ලද ආහාර නිරන්තරයෙන් විශාල ප්‍රමාණවලින් ආහාරයට ගැනීම එතරම් සුදුසු නැත.ඇතැම් පර්යේෂණයන් මගින් පෙන්වා දෙන්නේ දිනකට සකස් කළ මස් ග්‍රෑම් 50 ක් ආහාරයට ගැනීම පිළිකාවට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති කරන බවයි. 

  • රතුමස්

රතුමස් කාණ්ඩයට ගැනෙන එළුමස්, හරක් මස් පිළිකා තත්වයට හේතු වෙන බවට ආන්දෝලනයක් තිබුනත් එය නිශ්චිත වශයෙන් තවම තහවුරු වී නැහැ.

  • බාබක්‍යු කරන ලද සහ ග්‍රිල් කරන ලද සහ දුම් ගස්වන මස් සහ අනෙකුත් ආහාර

ග්‍රිල් කරන ලද සහ පමණට වඩා පිළිස්සීමට ලක් කරන ලද  විශේෂයෙන්ම විවෘත දැල්ලට යොමු කොට සකසා ගන්නා මස් සහ අනෙකුත් ආහාරවල තිබෙන  තද දුඹුරු හෝ කලු පැහැයට හැරී ඇති ආහාර  කොටස් සහ පුළුස්සන ලද ආහාර, දුම් වද්දවා සකසා ගන්නා මස් (smoked meat) මාළු ආහාර නිසා පිළිකා රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කරනවා.

ගින්නට අසු වි කළු පැහැය ගැනුන කොටස්වල  PAH (Polycyclic aromatic Hydrocarbons ) නම් වූ කාරකයක් ජනනය  වෙනවා. ඊට අමතරව බැදුම් තෙල් නැවත නැවත පාවිච්චි කරන විට තෙල්වර්ගවල නිෂ්පාදනය  වෙන විෂ රසායනයන් ඒ තෙල් මගින් පිසින  ආහාරවලට එකතු වෙනවා. මේ නිසා වරක් හෝ දෙවරක් භාවිතා කළ තෙල් ඉවත දැමීම සිදු කුළ යුතු අතර විකල්පයක් ලෙස air frier භාවිතා කළ හැක.

  • කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම

කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමත් පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වගේම කාන්තාවන්ට පියයුරු පිළිකා තත්වයට හේතු වෙනවා. කිරිවලින් ස්‍රාවය වෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය සහ  IGF 1 (Insulin-like Growth Factor-1) නැමැති සංයෝගය පිළිකා ඇති වීමට  හේතු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි ඇතැම් රටවල් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම  සඳහා ගවයන්ට හෝර්මෝන ලබා දීම නිසා IGF 1 සංයෝගය කිරිවල වැඩි වශයෙන් නිෂ්පාදනය වුණා. නමුත් දැන්  බොහෝ රටවල් හෝර්මෝන ලබා දීම නවතා දමා තිබෙනවා. ලංකාවේ සමස්ත කිරි පරිභෝජනය පහළ මට්ටමක පවතින බැවින් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ. 

  • විකිරණශීලී ආහාර

දූෂිත මුහුදු ජලයෙන් ලබා ගන්නා මත්ස්‍ය විශේෂයන්ගේ විකිරණ ද්‍රව්‍ය වැඩියි. විකිරණශීලි ද්‍රව්‍ය පිළිකා වැළඳීමට හේතු වෙනවා. ලංකාවේ ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය විකිරණශීලීභාවය  සඳහා පරීක්ෂාවට ලක් වෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට නුසුදුසු ආහාර නැවත විවිධ විවිධ ක්‍රම වලින් ලංකාවට ඇතුල් වෙනවාද යන්න පිලිබඳ ප්‍රවේසම්විය යුතුය. මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන,විකිණශීලී අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශ සහ ඒ අවට වගා කරන බෝග සහ ඇති කරන සතුන්ගෙන් ලබා ගන්නා ආහාරවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වීමට ඉඩ කඩ පවතී.මීට අමතරව විවිධ දෑ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මෙන්ම ඇතැම් ආහාර ආකලන ද්‍රව්‍ය ( Food Additives ) ද පිළිකා ඇති වීමට හේතු වෙනවා.

මීට අමතරව ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල ඇති සංයෝග  පිළිකාකාරක විය හැකි බව අනාවරණය වී ඇත.ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් ඇසුරුම් බොහොමයක ප්ලාස්ටික් නිපදවීමේදී යොදා ගන්නා PlasticiZersFillers වැනි ද්‍රව්‍ය ආහාරවලට සංචරනය වේ.මෙවැනි සංයෝග බොහොමයක් මේදයේ දියවෙන අතර මේ නිසා මේදය වැඩි ආහාරවලට මේවා පහසුවෙන් ගමන් කරයි. එමෙන්ම බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් රත්කිරීම හෝ උණුසුම් ආහාර ප්ලාස්ටික් බඳුන්වල ගබඩා කිරීම මගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ද්‍රව්‍ය සංක්‍රමනය වේ.

එමෙන්ම ජලබෝතල් ප්ලාස්ටික් බීම බෝතල් අව් රශ්මියට නිරාවරනය කිරීමට සැලැස්වීම නිසාද පිළිකා ජනකයන් ඉතා සිඝ්‍රයෙන් ආහාරයට ගමන් කරයි.තද හිරු එළිය වැටෙන ලෙසට මෙම බෝතල් ගබඩා කිරීම,තද හිරු එළිය ඇති උණුසුම් දිනවල වාහන තුළ ප්ලාස්ටික් ජල හෝ බීම බෝතල් තබා යෑමද නුසුදුසුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශය.

 

 


 

 

දරුවන් තුළ පවතින “කථන හා භාෂා ප්‍රමාදය ” හඳුනාගන්නේ කෙසේද?

දරුවෙකු ගේ වයසට ප්‍රමාණවත්  ලෙස කතාව හා භාෂාව වර්ධනය නොවීම “කථන හා භාෂා ප්‍රමාදය”  (Speech and Language Delay) ලෙස සරළව ම හඳුන්වා දිය හැකිය. මෙහිදී ඇතැම් දරුවන් “කථන ප්‍රමාදයක්” (Speech Delay) පමණක් පෙන්වන අතර ඔවුන්ගේ භාෂා වර්ධනය සාමාන්‍ය වෙයි.. එමෙන්ම, ඇතැම් දරුවන් “භාෂා ප්‍රමාදයක්” (Language Delay) පෙන්නුම් කරන අතර එහිදී භාෂාවේ මෙන්ම  කථනයේ ද ප්‍රමාදයක් පෙන්නුම් කරයි.  

වර්තමානයේ සුලභව ම දැක ගත හැකි තත්වයක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැකිය. මේ සඳහා බලපෑ හැකි කරුණු කිහිපයකි. ඒවා නම්, 

  • ශ්‍රවණ අපහසුතා, 
  • දරුවා අඩු මාස ප්‍රමාණයකින් ඉපදීම 
  • නිවසේ  භාෂා දෙකක් හෝ කිහිපයක් භාවිතා කිරීම,  
  • දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනයේ ගැටලු,
  • දරුවන් තුළ පවතින වෙනත් සුවිශේෂී තත්වයන් (ඔටිසම්, මස්තිෂ්ක අඝාදය ආදී ) 
  • ප්‍රමාණවත් ලෙස භාෂා වර්ධනය ට අවශ්ය උත්තේජන  නොලැබී යාම හඳුන්වා දිය හැකිය.

බොහෝ විට මෙම තත්වය හඳුනාගනු ලබන්නේ  දරුවාගේ මව විසිනි. තම දරුවාගේ වයසේ වෙනත් දරුවන්ගේ කතාව හා සැසදීම තුළින් ඇය මෙම තත්වය හඳුනා ගැනීමට පෙලබිම සුවිශේෂී කරුණකි. නමුත් දරුවන්ගේ වර්ධන අවධීන් අනුව කථන හා භාෂා ප්රමාදය හඳුනා ගැනීමට පහත නිර්ණායක සලකා බැලීම අත්යාවශ්ය වේ. එනම්,

  • මාස 12  පමණ වන විට තනි වචන කතා නොකිරීම.
  • මාස 15 – 18 පමණ වන විට වැඩිහිටියන් නම් කරන දේ නොපෙන්වීම.
  • මාස 24 පමණ  වන විට වචන 50 කට ආසන්න ව ප්රකාශ නොකිරීම හෝ වචන 2 – 3 ඇතුළත් වාක්ය ගොඩ නැගීමට අපහසු වීම.
  • මාස 36 පමණ වන විට වචන 3 – 4 ඇතුළත්  වාක්ය ගොඩ නැගීමට අපහසු වීම හෝ විධාන අනුගමනය කිරීමට අපහසු වීමයි.

තවද, දරුවාගේ සෞක්‍ය වර්ධන සටහන නිවැරදිව පිරික්සීමෙන් ද ඔබට නිවරදි වැටහීමක් ලබා ගැනීමට හැකියාව පවතී.

දෙමාපියෙකු වශයෙන් ඔබගේ දරුවාගේ කතාව, භාෂා අවබෝධය හා භාවිතය පිළිබඳ යම්කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රථමයෙන්න ම ඊට හේතු වූ කරුණු සොයා බැලීම හා ඊට  නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වන අතර  මේ පිළිබඳ ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත (Speech and Language Therapist) ගොස් නිවැරදි තක්සේරුවක් (Assessment) කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මේ වන බොහෝ රජයේ හා පුද්ගලික අංශ වල කථන හා භාෂා චිකිත්සකවරු දිවයින පුරා විසිරි සිටිති. 

නමුත්, දරුවා බොහෝ කාලයක් ගත කරන්නේ තම දෙමාපියන් සමඟ නිසාවෙන්ම දෙමාපියන්  වශයෙන් ඔබටත් නිවසේදී මේ සඳහා කටයුතු කිරීම සිදුකල හැකිය. එහිදී, 

  • නිවසේදී දරුවා සමඟ සරල වචන භාවිතයෙන් කතා කිරීම
  • දරුවා සමඟ  නිතර කතා කිරීම
  • සෙල්ලම් කිරීම තුළින් අලුත් වචන දරුවාට කියා දීම
  • වචන පවසන විට මුහුණ හොදින් දරුවාට පෙනෙන අයුරින් කතා කිරීම
  • දරුවා තිර (Screen) සමඟ වැඩි කාලයක් ගත කරනවා නම් එම කාලය ක්රමයෙන් වෙනත් ක්රියාකාරකම් සඳහා යොදා ගැනීම 
  • නිතර පරිසරය සමඟ  සම්බන්ධ වෙමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගැනීමට දරුවා යොමු කිරීම දරුවාගේ කතාව හා භාෂා වර්ධනය ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

තවද, වඩාත් වැදගත් වන්නේ මෙම තත්වය නිසි වයසට හඳුනාගැනීම හා නිවැරදි ක්‍රමවේද කෙරෙහි යොමු වීමයි. එමෙන්ම, කථන චිකිත්සාව තුළින් දරුවා ගේ කථන හා භාෂා වර්ධන ප්රමාදය නිවැරදි කර ගත හැකිය.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

දිවයිනේ පළමු වරට බැක්ටීරියා නාශක අභ්‍යාස පොත් සහ පෑන් වෙළඳපොළට

0

දිවයිනේ පළමු වරට බැක්ටීරියා නාශක අභ්‍යාස පොත් සහ පෑන් වෙළඳපොළට හඳුන්වා දෙමින්, රටේ සුවහසක් දුවා දරුවන්ගේ අනාගතය තවත් යහපත් කිරීමේ උදෙසා ඇට්ලස් ශ්‍රීලංකා පසුගියදා තවත් ඉදිරි පියවරක් තැබුවා . 99.9% දක්වා බැක්ටීරියා විනාශ කරන බවට සහතිකලත් මේ නිෂ්පාදන නිසා දැන් ඔබේ දරුවාටත් බැක්ටීරියා වලින් අමතර ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ?‍♀️

நாட்டில் முதல் முறையாக பாக்டீரியா எதிர்ப்புச்சக்தி கொண்ட புத்தகங்கள் மற்றும் பேனாக்களை சந்தைக்கு அறிமுகப்படுத்தி, நாட்டின் ஆயிரக்கணக்கான பிள்ளைகளின் எதிர்காலத்தை மேம்படுத்த அட்லஸ் இலங்கை சமீபத்தில் இன்னமொரு நடவடிக்கை எடுத்தது. இத் தயாரிப்புகள் 99.9% பாக்டீரியாக்களை அளிக்கக்கூடியது என உத்தரவாதம் அளிக்கப்பட்டுள்ளதால், இப்போது உங்கள் பிள்ளை பாக்டீரியாவிலிருந்து மேலதிக பாதுகாப்பைப் பெறலாம். ?‍♀️

Introducing ATLAS Anti-Bacterial Product Range that kills 99.9% bacteria! Give your kid extra protection with Atlas Anti Bacterial products. Certified by Veritas, Bureau of Consumer Products and Services.

අලුත ඉපදුණු පුංචි පැටියාගේ හිසේ තියෙන තෙල් වල ගැන ඔබ දන්නවාද

අලුත ඉපදුණු පුංචි දරුවෙකුගේ හිසේ ඉදිරි කොටස ඉතා මෘදු ගතියකින් යුක්තයි. අලුත් අම්මලාට දරුවා ලැබුණු මුල් කාලයේ මේ ගැන පුංචි බියකුත් ඇති වෙනවා. ඇයි මෙතන මේ තරම්ම මෘදු කියලා හිතෙන නිසා දරුවාට අනතුරක් වෙයි කියන බය අම්මලාගේ හිතේ ඇති වෙනවා. හිසේ මුදුනේ ඇති මෙම මෘදු ස්ථානය හඳුන්වන්නේ තෙල් වල කියලා. මෙන්න මේ ගැන මව්වරුන් කිහිප දෙනෙක්ම අපෙන් විමසා තිබුණා. 

ඉතිං මොකද්ද මේ තෙල් වල කියන්නේ?

දරුවෙකුගේ හිසේ/කපාලයේ අස්ථි 8 ක් පවතිනවා. මෙම අස්ථි බොහෝමයක් එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කියතක දැති වැනි ආකාරයටයි. දරුවා ඉපදෙන විට කපාලයේ වූ පැතලි අස්ථි අතර හිදැස් පවතින අතරම ඒවා රන්ද්‍ර (fontanelles) ලෙස හඳුන්වනවා. කපාල අස්ථිවල එවැනි රන්ද්‍ර 6 ක් පිහිටනවා. මේවා නිසා දරුවා ඉපදෙන විට අවහිරයකින් තොරව හිස අවශ්‍ය ආකාරයට හැඩගැසෙමින් උපත් මග හරහා ඉවතට ඒමට උපකාර වෙනවා. මෙම අස්ථි අතර පවතින හිදැස් හාවී ඇත්තේ ඉතා සියුම් සිවි වලින් වන අතරම ඒවා සීවන (suture) ලෙස හඳුන්වනවා.

ප‍්‍රධාන වශයෙන් රන්ද්‍ර දෙකකි.

  • පූර්ව රන්ද්‍රය (Anterior fontanelle/soft spot)
  • අපර රන්ද්‍ර (Posterior fontanelle)

අපර රන්ද්‍ර දරුවා ඉපදී මුල් මාස 1 – 2 අතරදී වැසී යනවා. බොහෝ විට මෙය දරුවා උපදින විටත් වැසී තිබිය හැකියි. පූර්ව රන්ද්‍ර දරුවා ඉපදී මාස 9 – 18 අතර කාලයක් ගත වූ පසු වැසී යයි. මෙම රන්ද්‍ර හා සීවනි පිහිටීම දරුවාගේ මොළයේ වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍යයි. මෙම පිහිටීම නිසා දරුවා වේගයෙන් වැඩෙද්දී මොළයද වේගයෙන් වැඩීමට එය පහසුවක් වෙනවා.

පූර්ව රන්ද්‍ර සමාන්‍ය තදකින් තරමක් වක් වූ ස්වභාවයක් (කුඩා වලක) ගනී. මෙහි සෙලවීමක් මව්වරුන් දකින අතරම එය නාඩි වැටෙන ආකාරයයි. 

නමුත් මෙම පූර්ව රන්ද්‍රයේ ස්වභාවය අනුව එනම් ඇතුළතට අධික ලෙස ගිලා බැස තිබීම (sunken) හෝ ඉහළට එසවී තිබීම (bulging) මත රෝග තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

පූර්ව රන්ද්‍රය ඇතුළට නෙරීම/ගිලා බැස තිබීම 

පූර්ව රන්ද්‍රය ඇතුළට නෙරීම/ගිලා බැස තිබීම (sunken) මගින් විජලන ලක්‍ෂණ පෙන්වයි. දරුවාට අධික ලෙස වමනය හෝ පාචනය ඇති වීමේදී මෙම තත්ත්වය දැකිය හැක. දරුවාට වහාම තරල ලබාදී විජලනය තත්ත්වයෙන් මුදා ගත යුතුය.

පූර්ව රන්ද්‍ර ඉහළට නෙරීමට බලපෑ හැකි වෙනත් හේතු

  1. මොළයේ අර්බුධයක්/සැරව ගෙඩියක් (Tumour/Abscess)
  2. Addison’s disease – අධි වෘක්ක ග‍්‍රන්ථියේ (Adrenal gland) ප‍්‍රමාණවත් ලෙස හෝමෝන ශ‍්‍රාවය නොවීම නිසා ශරීර ක‍්‍රියාවන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
  3. Congestive Cardiac Failure – සංචයන හෘද අකරණීය. හෘදයට ප‍්‍රධානම ලෙස රුධිරය පොම්ප කිරීමට නොහැකි වීම හෝ ශරීර කොටස්වල රුධිරය හා තරලය අනවශ්‍ය ලෙස රැඳීමයි.
  4. ලියුකේමියාව-රුධිර සෛලවල ඇතිවන පිළිකාමය තත්ත්වයකි.
  5. Electrolytes Imbalance – විද්‍යුත් ශ්ලථක අසමතුලිතාවය. රුධිරයේ සෝඩියම් හා පොටෑසියම් අතර අසමතුලිතතාවය
  6. අතිපරාභතාවය (Hyperthyroidism)  

අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිපුර තයිරොයිඩ් ග‍්‍රන්ථියෙන් හෝමෝන නිපදවීමයි.

පූර්ව රන්ද්‍රය ඉහළට එසවී තිබීම නිසා ඇති විය හැකි රෝග තත්ත්ව

පූර්ව රන්ද්‍රය ඉහළට එසවී තිබීම  (bulging) විවිධ හේතූ නිසා ඇතිවිය හැක. 

  1. Encephalitis – නිදිකර්පරදාහය

වෛරස හෝ බැක්ටීරියා ආසාධන නිසා මොළයේ ඇති වන ප‍්‍රදාහිත (Inflammation) තත්ත්වයකි. ඉදිමීමකි.

2.Hydrocephalus – ජලකර්පරදාහය

උපතේදී හෝ අනතුරකදී, ආසාධනයකදී මොළය තුළ අධික ලෙස තරලය එකතු වීමයි.

3.Hydrocephalus – ආවෘතිදාහය

වෛරස හෝ බැක්ටීරියා ආසාධන නිසා මොළයේ හා සුෂුම්නා පටකවල ඇතිවන ප‍්‍රදාහිත (Inflammation) තත්ත්වයකි.

4.Hypoxic Ischemic Encephalopathy (HIE)

දරුවා ඉපදීමට පෙර හෝ උපදින අවස්ථාවේදී දිගු වේලාවක් ඔක්සිජන් නොලැබී යාමෙන් දරුවාගේ මොළයේ ඉදිමීම හෝ හානිවීමක් සිදුවීමය.

5.Intracranial hemorrhage – අන්තර් කපාල රක්තපාතය 

මොළය තුල රුධිරය වහනය වීමේ තත්ත්වයයි

6.හිසට අනතුරක් වීම – Head trauma

මෙම තත්ත්ව වලදී දරුවාට,

  • නිදිමතගතිය (Drowsiness)
  • ශරීර උෂ්ණත්වය වැඩි වීම
  • නොරිස්සුම්භාවය (Irritability)

මෙම පූර්ව රන්ද්‍රය ඉහළට එසවී තිබීමේ (bulging) තත්ත්වයට ප‍්‍රතිකාර නොකළහොත් මොළයට ස්ථිර ලෙස හානි විය හැක. ජීවිතය පවා තර්ජනයට ලක් විය හැකිය.

පූර්ව රන්ද්‍රයේ සාමාන්‍ය ප‍්‍රමාණය 2.1cm වේ. මීට වඩා විශාල පූර්ව රන්ද්‍රයක් පිහිටීම හෝ පූර්ව රන්ද්‍රය නොවැසීමට හේතු ලෙස පහත තත්ත්ව දැක්විය හැකිය.

  1. Congenital hypothyroidism

උපතේදී සිටම තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ප‍්‍රමාණවත් ලෙස හෝමෝන ශ‍්‍රාවය නොවීමයි

2.Down syndrome 

21 වන වර්ණදේහය දෙකට බෙදීම

3.අන්තර් කපාල පීඩනය වැඩිවීම

4.Achondrophasia 

ජානමය ඇතිවන තත්ත්වයකි. මෙහිදී අගුටුමිටි/කුරුමිටි බවේ ලක්‍ෂණ පෙන්වයි. 

උදා: අත්/පා කෙටි වීම

උස අඩුවීම

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.