Home Blog Page 50

ඔන්න ආයේම පාසල් පටන් ගන්නවා..

ඔන්න ආයේම පාසල් පටන් ගන්නවා.. අම්මලා, තාත්තලා බයෙන් වුනත් දරුවන් පාසල් යවන්නම ඕන.කොවිඞ් සමග අපි දැන් ජීවත් විය යුතුයි.

මහනුවර මහ රෝහලේ  ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා….

ඔබට ඔබේ දරුවා ඉතාම වැදගත්.ඒත් පාසල පටන්ගත්තාට පසුව කිසිම අවස්ථාවක අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා.සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබෙන පණිවිඩ මත ක්‍රියාත්මක වීමට පෙරාතුව එහි සත්‍යාසත්‍යතාවය ගැන  හිතා බලන්න. මේ වැරදි පුවත් කටකතා ( disinformation) සහ ප්‍රචාරයන් මේ නිසා පංතිභාර ගුරුවරයා සමග වැඩි සම්බන්ධතාවයක් ඇති කර ගන්න.

සම්බන්ධතාවය මේ විදිහට ගොඩ නගා ගන්න..

  • පංති භාර ගුරුවරයාගේ දුරකථන අංකය හෝ SMS කෙටි පනිවිඩ සක්‍රිය කරන්න.
  • ඒ විතරක් නොවෙයි…හැම දෙමව්පියෙකු සහ ගුරුවෘත්තිකයෙකුම කොවිඞ් 19 වසංගත තත්වය ගැන දැන සිටීම ඉතාම වැදගත්.රෝගය ගැන උපදෙස් වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් ලබා ගන්න පුලුවනි.

දුරස්ථ බව

දරුවන්ටත් සමාජ දුරස්ථබව ආරක්ෂා කිරීමට පුරුදු කරන්න.එය පංතියේදී පමණක් නොව පාසල් පද්ධතියේ හැම තැනකදීම වැදගත් බවත් කියා දෙන්න.

රථවාහනවල ගමන් කරන විට වගේම වැසිකිලි, කැසිකිලි පාවිච්චියේදීත් තමන්ගේ ආරක්ෂාව ගැන සිහිපත් කරන්න.නිතරම සබන් යොදා අත් සෝදන්න එහෙම නැත්නම් hand sanitizer භාවිතා කිරීමට පුරුදු කරන්න.මේ විදිහට දරුවා කටයුතු කරනවාදැයි නිවසේ පටන්ම නිරීක්ෂනය (Monitor)කරන්න.

සනීපාරක්ෂාව

වැසිකිලිවල පිරිසිදුබව ඉතාම වැදගත්. මේ වෙනුවෙන් PHENOL/ Cresol වැනි විෂබීජ නාශක දියර  භාවිතා කරන්න.

දරුවන්ට නිතරම තමන්ගේ මුහුණ,ඇස් ඇල්ලීමේ පුරුදු ඇති.නිතරම මුහුණ ඇල්ලීම නොකල යුතු බව කියා දෙන්න. එවන් අවශ්‍යතාවයක් ඇති වුනොත් අත සෝදා ගෙන හෝ sanitizer භාවිතයෙන් පසුව තම අවශ්‍යතාවය කර ගැනීමට කියා දෙන්න.

කිසිම විටෙක sanitizer ඇස්වලට ගෑවෙන්න ඉඩf දෙන්නත් ඒවායේ සුවඳ බැලීමත් නොකල යුතු බැව් කියා දෙන්න.

දරුවා නිතර ස්පර්ශ කරන පෘෂ්ට සහ දේවල් හොදින් පිරිසිදු කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය දේවල් සපයා දෙන්න.

දරුවාට තැනින් තැන කෙල ගැසීමට ඉඩ දෙන්න එපා.

මුව වැසුම්-Mask

දරුවාට මුව වැසුම් කීපයක් ලබා දෙන්න.ඒවා සනීපාරක්ෂක අන්දමින් භාවිතා කරන අන්දම කියා දෙන්න.රෙදි වලින් සකස් කරන ලද මුව වැසුම් මේ වෙනුවෙන් යෝග්‍යයි.සෞඛ්‍ය කාර්ය මණ්ඩල භාවිතා කරන මුව ආවරණ මේ වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ.එහෙම වුනොත් මේ මුව ආවරණ මිලට ගැනීමට නොහැකි දරුවන් සහ දෙමව්පියන් අතර යම් සැකයක් ඇති වෙන්න පුලුවනි.

දවස පුරා එකම මුව වැසුම භාවිතා කිරීම අපහසු විය හැකියි.දහඩිය නිසා මුව ආවරණ මාරු කිරීමට අවශ්‍යයි. ඒවා මාරු කිරීමට වගේම මාරු කරන ලද මුව වැසුම් වෙනම බෑගයක දමා ගෙන ඒමට හුරු කරන්න.

පාසල් යැවීම

හැම දවසකදීම පාසල් යවන්න පෙරාතුව උදේ අසනීප ගතියක් තිබෙනවාදැයි දරුවාගෙන් විමසා බලන්න.එහෙම ඇත්නම් සුවය ලැබෙන තෙක් පාසල් යවන්න එපා.එය ඔබේ දරුවාට මෙන්ම හැම දරුවෙකුගේම ආරක්ෂාවට වැදගත්.පාඩම පසුව ඉගෙන ගත හැකියි.සුවය ඊටත් වඩා වැදගත්.

දරුවා පාසල් නොගිය දින වැඩ කොටස් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න.

කොවිඞ් 19 වෛරස තත්වය සුලු චර්යාවෙනස්කම් මගින් සිදු කරන්න පුලුවනි.ඒ වෙනුවෙන් සැම දෙනාම එක්ව එකාවන්ව කටයුතු කිරීම ඉතා වැදගත්

මහනුවර මහ රෝහලේ  ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ මහේන් කොතලාවල මහතා විසින් දක්වන ලද අදහස්.. 

 

පවුලේ අරගල දරුවාට බලපාන්නේ කොහොමද..?

පවුලක අම්මා,තාත්තා අතර පුංචි පුංචි මත ගැටුම් ඇති නොවෙනවාමත් නොවෙයි. එහෙම නොවෙනවා කිව්වොත් ඒකත් විශ්වාස කරන්න අපහසුයි. නමුත් මේ හැම මත ගැටුමක්ම අතීතයේදී කියන්නා වගේ බත් හැලිය ඉදෙනකම් විතරක් සීමා කර ගන්නවා නම් හොඳයි.සමහර විට ඊටත් පෙරාතුවම විසඳා ගන්න ලැබෙනවා නම් තවත් සුබයි.

අම්මා තාත්තා රණ්ඩු වුනාට කමක් නැහැ දරුවන්ට බලපාන්නේ නැත්නම්…

අම්මා,තාත්තා කියන්නේ පවුලේ වගකිව යුතු චරිත දෙකක්.පවුල නැමැති භූමිකාවේ නියමුවන් විදිහට මේ දෙදෙනා කටයුතු කරද්දී ඔවුන් ඉදිරියේ ඇති වෙන අභියෝග නිසා මතවාද ඇති වීම සාමාන්‍යයි.නමුත් ඒවා නිසා දෙමව්පියන් අතර නිරන්තරව ගැටුම් ඇති වෙන විට එයින් පීඩාවට පත් වෙන්නේ දරුවන් බව අමතක කරන්න එපා.

අපි දරුවන්ට අඩුවක් කරන්නේ නැහැ..මේ සේරම දරුවන් නිසා..

ඇත්ත..ඔබ දරුවන් විෂයෙහි කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ. සමහර විට ඔබ සහ සැමියා එහෙම නැත්නම් බිරිඳ අතරේ ගැටුම්වලට මුල පුරන්නෙත් දරුවන්ගේ උවමනාවන් ඉටු කිරීමේදී ඇති වෙන හැලහැප්පිලි  විය හැකියි.උදාහරණයක් විදිහට කිව්වොත්..පුතාව අලුත් පංතියකට යවන්න ඕන…ඒ ඔබේ අදහසයි.

ඇයි..? ඔය යවන පංති මදිද..? ඒවාට කොහෙද සල්ලි..මං සල්ලි ගස්වලින් කඩන්නේ නැහැ…තමන්ගේ හැටියට වැඩ කරන්න ඉගෙන ගන්න..

ඔන්න පුංචි අදහස දුර යන ලකුණු පටන් ගත්තා. නමුත් මෙතැනින් ප්‍රශ්නයට කොමාවක් නොව නැවතීමේ තිතක් තබන්න..

දරුවන්ට අවශ්‍ය වෙන්නේ මානසික සතුටයි..

දරුවන්ගේ ලෝකය ආහාරපාන, ඇඳුම් පැළදුම්වලට වඩා සතුටෙන් සුන්දර වෙනවා.ඔවුන්ට නිවස ප්‍රසන්න පරිසරක් විය යුතුයි.එහෙම නැතුව නිවසේ යුධ පිටියක් තිබුනොත් එයින් දරුවන්ගේ සුන්දර ළමාකාලාය නිරපරාදේම විනාශ වෙනවා..

නංගී…තාත්තාට තරහ ගිහින්..

මේ එක් සත්‍ය සිදුවීමක්.මේ පවුලේ පියා තරහ ගිය වේලාවට හැසිරෙන්නේ රා කළ සොලොස  පානය කළ නාලාගිරි ඇතා  වගෙයි.ඔහුට හසුවෙන හසුවෙන දේ පොළවේ ගසන තරමටම තත්වය දරුණුයි. එක් දිනක් දරුවන් දෙදෙනා සාලයේ සෙල්ලම් කරමින් සිටියදී තාත්තා අම්මා සමග බහින් බස් වෙන බැව් ලොකු දරුවාට තේරුනා. ඔහු වහාම නංගීට කිව්වේ තාත්තාට කේන්ති ගිහිං..සෙල්ලම් බඩු ටික එකතු කරන්න..නැත්නම් මහ විනාශයක් වෙන බවයි.පියාගේ හැසිරීම ඒ තරමටම දරුණු බැව් දරුවන් දන්නවා.

ඔවුන්ගේ කම්පනය මොනතරම්ද..?

සෙල්ලම් වයසේ සිටින වයස අවුරුදු හත,අටක් වුන මේ දරුවන්ගේ හිතේ නිතරම ඇති බිය,සැක මොනතරම්දැයි ඔබට තේරුම් ගත හැකියි.පියා ආවේශ වෙන වෙලාවට දරුවන් සීරුවෙන් සිටින්නේ එහි පසුවිපාක දන්නා නිසයි.ඒ නිසා සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසින් ඔබටත් කේන්ති යන බව සැබෑය. එහෙත් එහි දරුණු ප්‍රතිචාර දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම නම් කොහෙත්ම සුදුසු නැහැ.

දරුවන් පිටින් කේන්තිය පිට කිරීම..

සාමාන්‍යයෙන් වතුර ගලන්නේ මිටි තැනින්නේ..ඒ වගේම පවුලේ සිටින කුඩාම ඒකකය සහ ඔබට අවශ්‍ය අන්දමින් හසුරුවන්න පුලුවන් හැකියාව ඇති දරු පැටවුන් ඉදිරියේ ඔබේ කේන්තිය පිට කරන්න එපා.ඔබ හිතට තට්ටු කරන්න. කී දවසක් ඔබ සැමියාගේ හෝ බිරිදගේ කේන්තිය දරුවන් ඉදිරියේ පිට කර තිබෙනවාදැයි ඔබේ හිතෙන් අසන්න.සමහර විට බඩු මුට්ටු පොළවේ ගසන කේන්තිකාරයෝ සිටිනවා. කේන්තිය නිවුන පසුව ඔවුන් තමන් විසින් සිදු කළ ක්‍රියාවේ අලාබය ගැන දැනගන්නවා.නමුත් ඔබේ කේන්තිය නිසා දරුවාට සැර වැර කිරීම,ඔවුන් පලවා හැරීම (යනවා යන්න..මට වැඩක් කරගන්න දීලා ..මං දැන් කෝටුවක් ගත්තොත්..) ඔවුන්ට පහර දීම නිසා සිදු වෙන මානසික අලාබය නම් තක්සේරු කරන්න බැහැ.

දෙමව්පියන් විවේචනය කරන්න එපා..

ඔබ අතර ඇති වෙන ගැටුම සමග කේන්තිය පිටකිරීමට කිසිම දිනක සැමියා,බිරිඳ දරුවන් ඉදිරියේ විවේචනය කිරීම කිසිසේත්ම සුදුසු නැත.

  • තාත්තා මහ බොරුකාරයෙක්..හැමදාම ඉතිං වංචාව තමයි..
  • අම්මා දන්නේ ගෙදරට වෙලා මම ගෙනත් දෙන දේ විනාස කරන්න තමයි..ඊට වඩා මොනවද එයා කරන්නේ…

මෙවැනි විවාදාත්මක  ප්‍රශ්න දරුවන් ඉදිරියේ තැබීම සුදුසු නැහැ.ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ සැමැයි බිරිඳ මුල් කර ගත් ක්ෂනික කෝපය නිසා බැව් සැබෑය. එහෙත් දරුවන්ගේ හිතේ තමාගේ මව,පියා මුල් කර ගෙන ගොඩ නැගෙන සිතුවම එතරම් සුබවාදී නැහැ.ඇත්තටම තාත්තා වංචාකාරයෙක්ද..?අම්මා විනාසකාරියක්ද..?යන අපැහැදිලි සිතුවම් නිසා මව,පියා මුල් කර ගත් ගෞරවණීය සංකල්ප දරුවාගේ හිතෙන් බැහැර වීමට ඉඩ තිබේ.

පවුල් ගහ එපා..

ඔබට යම් ප්‍රශ්නයක් මුල් කර ගෙන මතවාදයක් හෝ ගැටුමක් ඇත්නම් එය ඒ ප්‍රශ්නයට පමණක් සීමා කරන්න.ඒ වෙනුවෙන් පවුල් ගස සම්බන්ධ කර ගන්න එපා.

  • ‘ඔයාගේ අම්මා තමයි මේ සේරටම මුල..එයා අපේ ගෙදර ඇවිත් ගියොත් විනාසයි..
  • ඇයි අර ඉන්නේ මහ ලොකු අක්කණ්ඩි..එයා තමයි ඔය අදහස් ඔළුවට දාලා අපේ පවුල විනාස කරන්නේ..
  • ඔව් අපේ පවුල තමයි වැරදි..ඔයාගේ පවුලේ ඉන්නේ බෝධිසත්වයෝ..නිකම් ඉන්න මං දන්නේ නැති පවුල..

ප්‍රශ්නය ඇත්තේ ඔබේ නිවසේ.නමුත් අහලකවත් නැති අයත් පටලවා ගෙන ඔබේ මේ බහින්බස් වීම් දරුවාගේ මනසට මහත් අපහසුතාවයක් ගොඩ නගන්නට හේතු වේ..

පවුලේ අරගල දරුවාට බලපාන්නේ කොහොමද..?

අම්මයි,තාත්තායි නිතරම රණ්ඩු සරුවල් වෙන විට දරුවාට නිවස ආරක්ෂිත පරිසරයක් නොවන තැනට පත් වෙනවා. කොයි මොහොතේ තාත්තා දුම්මල වරම අතට ගනීද..? අම්මාගේ ශබ්දකෝෂය කොයි මොහොතේ දිග හැරෙයිද..? වැනි හිතේ ඇති නොසන්සුන්තාවය නිසා දරුවාට නිවස එතරම් ප්‍රසන්න තරනක් බවට පත් නොවේවි.

  • සමීපතාවය දුරස් වීම

තාත්තාට කේන්ති ගිය වේලාවට දරුවා ඔහුට සමීප වෙන්නේ නැහැ. කේන්තිකාර මානසිකත්වය නිසා තාත්තාගේ ලෝකයේ දරුවන් සමීප කර ගෙන සිඹ සුරතල් කරන්න තරම් සුදුසු වාතාවරණයක් නැහැ. ඒ නිසා දරුවා නිතරම දෙමව්පියන්ගෙන් දුරස් සාමාජිකයෙක් බවට පත් වෙනවා.

  • බියෙන් ජීවත්වීම

සාමාන්‍යයෙන් මත්පැන් පානය නිසා පවුල්වල අරගල ඇති වෙනවා කිව්වත් ,මත්පැන් නොබොන පියවරුන්ගේ අඩන්තේට්ටම්ද සුලුපටු නැහැ. ඔවුන්ගේ කේන්තිය දින ගනන් පැසවන තරම් දිගින් දිගට යනවා. අම්මාත් දෙවැනි වෙන්නේ නැහැ. උදේ තේ කෝප්පය පවා දරුවා අත යවද්දී එය සැනින් අරගෙන කෝප්පය කුඩු පට්ටම් කරන පියවරුත් අපේ නැතුවා නොවේ.මෙවැනි අවස්ථාවක දරුවා පියට  පත් වීම සාමාන්‍යයි.කෝපප්ය කැට කැබිලිති වුන වේගයෙන්ම පියාගේ ආවේගය දරුවාට තේරුම් ගත හැකියි. ඒ නිසා ඔහුගේ හිතේ ඇති වෙන බිය අනාගතයටත් ගමන් කරන නිසා අම්මාගේ,තාත්තාගේ රන්ඩු සරුවල් සමග පවුලේ ගනුදෙණුවලට දරුවන් හවුල් කර ගැනීමත් සුදුසු නැහැ.

එහෙමනම් ඔබේ පුංචි පුංචි මතගැටුම් දරුවාගේ ජීවිතයට මොනතරම් අහිතකර අන්දමින් බලපානවාදැයි තේරුම් ගන්න.සැමියා බිරිද යනු එකිනෙකාට නොදෙවෙනි විය යුතු චරිත නොව,එකිනෙකා තේරුම් ගත යුතු වගකිව යුතු චරිත බව හිතන්න.ඔබ දෙදෙනා දරුවන්ගේ දෙවියන්ය…ඔබේ ප්‍රසන්න නිවස අප්‍රසන්න පරිසරයක් බවට පත් කර ගත යුතුම නැත

 

දරුවාගේ කොදුඇටපෙල නීරෝගීව තබාගැනීමට අප කල යුත්තේ කුමක්ද?

0

අපිට කැමති කැමති විදියට අපේ සිරුර හසුරුවන්න ගියොත් බොහොමයක් රෝග තත්ත්වවලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද වැරදි ඉරියව් වගේම වැරදි හැසිරීම් රටා තමයි අපේ සිරුරේ අසාමාන්‍ය තත්ත්වවලට හේතු වෙන්නේ. මේ පැහැදිලි කිරීම ඔබේ දරුවා වෙනුවෙන් ගෙන එන්නේ අන්න ඒ නිසාමයි.

කසුනි චන්දිමා මහත්මිය,භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

කොරෝනා වෛරසයට මඟ අහුරන හොඳම මාස්ක් එක මොකද්ද?

කොරෝනා වෛරසය අපේ රටට එන්න කලින් නම් මාස්ක් එක එහෙමත් නැත්නම් මුව ආවරණය අපිට ඒ තරම් හුරු දෙයක් නෙවෙයි. සෞඛ්‍ය කේෂත්‍රයට සම්බන්ධ අය හැරුණු කොට මාස්ක් පලදින පිරිස් දකින්න ලැබුණේ හරිම අඩුවෙන්. මේ මාස්ක් එක පැළදීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ ආසාධිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝග පැතිරීම වැළැක්වීම වගේම බාහිර වායුගෝලයේ පවතින අපට අහිතකර අංශූ, වායු ආදිය අපගේ ස්වසන මාර්ගයට ඇතුල්වීම වැළැක්වීමටයි.

මෙම කාලය තුළදී දැඩිව කතාබහට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට රෝගය පැතිරී යාම වැළැක්වීමට ලොකු කුඩා, බාල මහලු, පොහොසත් දුප්පත් සියලු දෙනාම වර්ග වාදයකින් තොරව කුමන හෝ මුව ආවාරණයක් පළදින්න පුරුදු වෙලා. ආසාධිත පුද්ගලයෙක් මුව ආවරණ පැළඳීමෙන් තමන්ගේ වෛරසය පිටතට මුදා හැරීම ඉතාම අවම වන අතර නිරෝගී පුද්ගලයෙක් මුව ආවරණ පැළඳීමෙන් පරිසරයේ වාතයට මුසුව ඇති වෛරසය තමන්ගේ ශරීරයට ඇතුළු වීම වළක්වනවා. 

ප‍්‍රධාන වශයෙන් ලංකාවේ මුව ආවරණ වර්ග 3 ක් පවතී.

  • ශල්‍ය මුව ආවරණ (Surgical Mask)

අතීතයේ සිටම මෙම මුව ආවරණ සුලභව භාවිත කළේ ශල්‍යකර්මවල යෙදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. මෙම වර්ගය වරක් භාවිත කර (Disposable) ඉවත දැමිය යුතුය. මෙම මාස්ක් විශේෂය මගින් නාසය, කට, නිකට වැසෙන අතර මෙය පැළඳගෙන සිටින විට වෙනත් කෙනෙක් නාසයෙන් හෝ කිවිසුම් යාමෙන්, කතා කරන විට මුදාහරින විශාල කෙළ බිඳිතිවලින් ආරක්‍ෂාව ලැබේ. මේවා පැතලි, තුනී, කඩදාසි වැනි ආකාරයට පවතින අතර සාමාන්‍යයෙන් සුදු පැහැති හෝ ලා නිල් පැහැයෙන් පවතී. මෙමගින් ආශ්වාස විය හැකි කුඩා අංශූ පෙරීමේ හැකියාව ඇත. පොදු ජනයා ගැවසෙන ස්ථානවලදී භාවිත කිරීමෙන් පැහැදිලි ලෙස ස්වසන ආසාධන පැතිරීම වළක්වයි. 

  • N-95/KN95 මුඛ ආවරණ

වෙනදා ලංකාවේ මෙම මාස්ක් මිලදී ගැනීම අතිශයින් විරල වුවද වර්තමාන කොරෝනා වසංගතය හමුවේ පෙරට වඩා කළඑළි බැස ඇත. කොරෝනාවෙන් නියම ආරක්‍ෂාව ලැබෙන්නේ මෙම වර්ගයෙනි. නාසය හා මුඛය වඩා හොඳින් සීල් වී පවතින මෙම මුව ආවරණ කුඩා අංශූ 95% කට නාසය හා මුඛය වෙත ඒම වැළැක්වීමේ හැකියාව ඇත. විශේෂයෙන් කොවිඩ් රෝගීන් බලාගන්නා අය භාවිත කළ යුතු වන්නේ මෙම වර්ගයයි. 

  • රෙදිවලින් මසාගන්නා මුව ආවරණ

මේ වන විට ලංකාවේ ජනප‍්‍රියව ඇත්තේ මෙම මුහුණු ආවරණ විශේෂයයි. මෙහි වාසිය වූයේ නිවසේදීම සකසා ගත හැකි වීමයි. නමුත් රෙදි මුහුණු ආවරණ මගින් කොවිඩ් – 19 රෝගියෙකුගේ බිඳිති මගින් අපට කොරෝනා වෛරසය ආසාධනය වීමට ඇති ඉඩකඩ අඩු කරගැනීමේ හැකියාවක් නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතන මගින් තහවුරු වී ඇත. සත්‍ය වශයෙන්ම මෙම රෙදි මුහුණු ආවරණවලින් එය පළඳින පුද්ගලයාගේ කිවිසීම හෝ කතා කිරීමේදී ඒ ඔස්සේ එන බිඳිති අනිත් ඉදිරියේ සිටින පාර්ශවයට ගමන් කිරීමට ඇති හැකියාව අවම මට්ටමක පවතී. නමුත් ඉහත වර්ග දෙක හා සැසඳීමේදී මෙහි ඇති ආරක්‍ෂාව වඩා අඩුය.

මුව ආවරණ නිවැරදිව පළඳින ආකාරය 

  • නාසය හොඳින් ආවරණය වී තිබිය යුතුය.
  • නිකට ප‍්‍රදේශය හොඳින් ආවරණය වී තිබිය යුතුය.
  • මුහුණට හොඳින් ස්පර්ශව තිබිය යුතුය.
  • මුඛ ආවරණ පැළදි පසු කිසිම අවස්ථාවක ආවරණ කොටස් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුය, වැරදීමකින් එය ස්පර්ශ වුවහොත් වහාම අත් සෝදා පිරිසිදු කරගත යුතුය.

මුව ආවරණ පැළඳීමේදී නොකළ යුතු දෑ

  • නාසය, මුඛය වැසී තිබුණද නිකට නිරාවරණය වී තිබීම.
  • නාසය නිරාවරණය වී මුඛය හා නිකට පමණක් වැසී තිබීම. (මෙහිදී ඉතා වේගයෙන් වෛරසය ස්වසන පද්ධතියට ඇතුළු විය හැකිය)
  • නාසය, මුඛය නිරාවරණය කර නිකට පහළ රඳවා තිබීම.

කිසිදු අවස්ථාවකදී මුව ආවරණය නිකටින් පහළට නොගත යුතුය. මීට හේතුව වන්නේ මුව ආවරණය පැළඳ සිටින මොහොතේ පරිසරයේ ඇති වෛරස නිකට, බෙල්ල ප‍්‍රදේශයේ තැන්පත්ව තිබිය හැක. යම් අවස්ථාවකදී නිකට පහළ බෙල්ල දෙස තබා ඇති මුව ආවරණය නැවත නිවැරදි ලෙස පැළඳි විට බෙල්ල ආසන්නයේ තිබූ  වෛරස කොටස් මුව ආවරණයේ ඇතුළත තැවරී ඉතා පහසුවෙන් මුඛය හෝ නාසයේ තැවරී ශරීරයට ඇතුළු විය හැක.

  • මුව ආවරණය පැළඳ ආහාර පාන ගැනීම.

යම් අවස්ථාවකදී ආහාර පාන ලබා ගැනීමකදී හෝ එය ඉවත් කිරීමට සිදු වූ අවස්ථාවක සම්පූර්ණයෙන් ඉවත්
කර ආහාර පාන ගෙන අවසන් වූ පසු නැවත පැළඳීම වඩාත් උචිතය.

මුව ආවරණ පැළඳීමේදී අනුගමනය කළ යුතු පියවර

  • පැළඳීමට පෙර අත් සෝදන්න
  • දෙපස පටි දෙකෙන් පමණක් අල්ලා පළඳින්න
  • නිකට හා නාසය හොඳින් වැසෙන සේ සකස් කරගන්න. 

මුව ආවරණය ඉවත් කිරීමේදී

  • ඉවත් කිරීමට පෙර හොඳින් අත් සෝදන්න
  • දෙපස පටි දෙකෙන් පමණක් අල්ලා ගලවන්න
  • පියන වැසිය හැකි කසල බඳුනකට දමන්න
  • හොඳින් අත් සෝදන්න

සේදිය හැකි මුඛ ආවරණ නැවත භාවිතයට පෙර

  • සබන් යොදා උණු වතුරෙන් සෝදා ගන්න
  • මද අව්වේ වියළා ගන්න
  • නැවත භාවිත කිරීමට හැකි ලෙස ආරක්‍ෂිතව (බඳුනක බහා) තබන්න.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

රිය පදවන කොයි කවුරුත් දැනගත යුතු කරුණු රැසක්

නීතිගරුක බව, අවධානය, සැලකිලිමත් බව වගේම නිවැරදි ඉරියව් භාවිතයත් අපේ ජීවිතයට ලොකු අස්වැසිල්ලක් කිව්වොත් නිවැරදියි. ඒ ඉහත සඳහන් කළ සියල්ලම අපේ එදිනෙදා ජීවිතයට බාධා කරන නිසයි. අප අතින් සිදු වන ඇතැම් වැරදි මුළු මහත් සමාජයටම හානිදායක විය හැකිවනවා පමණක් නොවෙයි. එවැනි තත්ත්වයන් අපි කාගේත් එදි නෙදා වැඩකටයුතු සියල්ල අඩාල කරනවා. අද වන විට කාන්තා පුරුෂ පාර්ශවයන් දෙපිරිසම රිය පැදවීමට බොහෝ සෙයින් යොමු වෙලා ඉන්න නිසා රිය පැදවීම ගැන දැනුවත් කිරීම බොහොම වැදගත් කියලා අපි හිතුවා.

රිය පැදවීමට පෙර ඔබට,

  • රිය පැදවීම සඳහා අදාල සුදුසුකම් සපුරා තිබිය යුතුය
  • කායික ආබාධ තත්ත්ව නොතිබිය යුතුය 

උදාහරණ ලෙස අඝාත තත්ත්ව, හිරි වැටීම්, පේශී දුර්වලතා 

  • නිසි මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතුය
  • මානසික ව්‍යාකූල තත්ත්වයන්වලදී රිය පැදවීම නොකළ යුතුය

උදාහරණ ලෙස යම් මානසික පීඩනයක්, තද බල ප‍්‍රශ්නයක්, කෝප ගැන්වීම සිටීම, අධික දුක/සතුටකින් පසුවීම 

  • මත්පැන් බී ඇත්නම් කිසිවිටකත් රිය පැදවීම නොකළ යුතුය. 

එය තමා මෙන්ම අන් අයගේද ජීවිත අනාරක්‍ෂිත කරන අතරම සැමවිටම එය වැළැක්විය යුතුය. මත්පැන් භාවිත කරන උත්සවවලදී ඒවා භාවිත කරන අය රිය එදින රිය පැදවිය යුතු නොවන්නේ නම් පමණක් ඒවා ලබාදීම සංවිධායකයන්ගේද වගකීමක් සහ යුතුකමකි. එසේ නොවන්නේ නම් දැන දැනම එම අය අනෙක් අයත් අනාරක්‍ෂිත කිරීමට අනියම් අන්දමින් වගකිව යුතුය.

  • රියදුරන්ගේ විනය, නීතීගරුක බව තදින්ම තිබිය යුතුය.

අද ලංකාවේ මාර්ග අනතුරු වලින් මිය යන ප‍්‍රමාණය අධික බැවින් සැම විටම මාර්ග නීති පිළිපැදිය යුතුමය

රිය පැදවීම සූදානම් ‍වීමේ අපේ සිරුරේ ඉරියව්ව නිසි ලෙස පවත්වා ගන්නේ කෙසේද?

රිය පැදවීමේදී නිවැරදි ඉරියව් අනුගමනය නොකිරීම නිසා ඇති වෙ ආබාධ තත්ත්ව හේතුවෙන් අද වන විට බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ගේ වගේම භෞතචිකිත්සකවරුන්ගේ උපදෙස් පතනවා. මේ තත්ත්වයේදී කොන්දේ වේදනා, උරහිසේ වේදනා, දණහිස් කැක්කුම්, බත් කෙන්ද පේශියේ වේදනා, නොයෙකුත් හිරි වැටීම් සහ සන්ධිවල තද වීම් වැනි ආබාධ තත්ත්ව හේතුවෙන් කාන්තා පුරුෂ කවුරුත් රෝහල් වෙත පැමිණෙනවා. අන්න ඒ නිසාම මේ කරුණු ගැන සැලකිලිමත් වෙමු.

  1. තමන්ගේ රියැදුරු අසුන සකස් කළ (adjust)යුතුය

එය කිරීමේදී පළමුව බ්‍රේක් පැඩලය යටටම පාගන්න. එවිට ඔබේ දණහිස 1200 ක් පමණ නැවී තිබෙන ලෙසට රියදුරු අසුන ඉදිරියට හෝ පසුපසට ගෙන එන්න. 

  1. සුක්කානමට උඩින් ඉදිරිය පෙනෙන ලෙස අසුන උස් පහත් කරගත යුතුය. 
  2. අසුන සහ ඔබගේ කඳ අතර හිඩැසක් නැති වන සේ හොඳින් හේත්තු වී අසුනේ පසුපසට වන සේ ඉදගෙන 

අසුනේ කෝණය (950 – 1100 පරාසයක් වන්නේ නම් සුදුසුය) සකස් කරගත යුතුය. 

  1. සුක්කානම තමාගේ ශරීරයට සමාන්තරව තිබේ නම් වඩාත් සුදුසුය. එය ඩෑෂ් බෝඩ් එකට වඩා උස්ව තිබේ නම් ඉදිරිය තමාට හොඳට පෙනෙන ලෙස එය සකස් විය යුතුය. ඉන් අනතුරුව සුක්කානම සහ තමා අතර පරතරය සකස් විය යුතුය. එනම් සුක්කානමට අත් තැබූ විට වැලමිට සන්ධිය 1200 ක් නැවී තිබෙන ලෙසය. තවද අත් අතර පරතරය සුක්කානමේ මැද සිට අඟල් 10 ක් විය යුතුය. 
  2. හිස රඳනය (Head restraints) ඔබගේ ඇස් බැමි මට්ටමට වඩා උසින් එය තිබිය යුතුය. 

පහත රූපයේ ඇති පරිදි ඔබගේ ඉරියව් පවත්වා ගතහොත් ඔබට ආබාධවලින් තොරව රිය පැදවිය හැක.

රථ වාහන අනතුරු අවම කරගැනීමට

  • චලනය වන වාහනයක් නවතා ගැනීමට කොපමණ කාලයක් ගත වේද්‍ර යන්න ගැන රියැදුරාට අවබෝධයක් තිබිය යුතුය.
  • විභව උපද්‍රවයක් හඳුනාගැනීමට තිරිංග යෙදීම හොඳම ක‍්‍රියාමාර්ගය බව තීරණය කිරීමට ගත වන කාලය රියදුරු අනිවාර්යයෛන් දැන සිටිය යුතුය.
  • මෝටර් රථයේ වේගය, පාරවල්වල තෙත් බව, තිරිංගවල ගුණාත්මකභාවය යන කරුණු වෙත අවධානය යොමු කළ යුතුය.
  • යම් දෙයක් අනතුරක් ලෙස හඳුනාගැනීමට හැකියාව පැවතිය යුතුය (පුද්ගලයෙකුගේ මොළයට කොපමණ කාලයක් ගතවේද යන්න සාමාන්‍යයෙන් තක්සේරුව තත්පරයෙන් ¾ කි)
  • හැකි හැම විටම නියමිත වේගය පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුය.

රියදුරුගේ ප‍්‍රතික‍්‍රියා කාලය ඇතුළත් කළ විට පැයට සැතපුම් 20 ක වේගයෙන් යන වාහනයක් රියදුරු තිරිංග පැඩලය පෑගූ පසු නැවත්වීමට අඩි 20 ක පමණ ගතවනු ඇතත් පැයට හැතැප්ම 40 ක වේගයෙන් යන වාහනයක් නතර කිරීමට පෙර අඩි 80 ක ඉඩ ප‍්‍රමාණයක් ආවරණය කිරීමට අවශ්‍ය වේ. මේ තත්ත්වය පාරේ සුමට රළු තත්ත්වය අනුව තව වෙනස් වේ. එබැවින් අඩු වේගයකින් යන්නේ නම් අනතුරු අඩු කරගත හැක.

  • මාර්ග නීති රීති අකුරටම පිළිපැදිය යුතුය

අපේ රටේ රියදුරන් නීති උල්ලංඝනය කිරීම සුලභ දසුනකි. මං තීරු නීතියට අනුගතව නොවන බොහෝ රියදුරන් වාහන තදබදයක් ඇති විට වැරදි පැත්තෙන් ඉස්සර කිරීම, විරුද්ධ තීරුවේ වාහන පැදවීම, කහ ඉරි මතින් ඉස්සර කිරීම නිතර දක්නට ලැබේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

දරුවෙකුට බඩ එළියේ යාම/වමනය ඇති වෙන්න හේතු මොනවාද?

0

බඩේ අමාරුවක් කියන්නේ පුංචි දරුවෙක්ට ටිකක් අපහසු තත්ත්වයක්. දිගින් දිගටම වමනය බඩඑළියේ යාම ඔවුන්ට දරාගන්න බැහැ. මේ වගේ වෙලාවක කෑම කන්න, දියර වර්ගයක් පානය කරන්න දරුවෝ කොහෙත්ම කැමති නැහැ. ඉතිං අම්මලා විදියට අපි මොකද කරන්නේ?

ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

සැදෑ සමයට බර වැඩිවන දරුවන්ගේ දරුවෝ

අයන්ති කියන්නේ විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරිනියක්. ඇය තම කාර්යාලය තුළ ආදර්ශවත් චරිතයක් වෙන්නේ ඉතා අඩු වයසකින් විධායක ශ්‍රේණියක් කරා  උසස්වීම් අරගෙන ආව නිසාම නෙවේ. එයාගේ වෘත්තීය කැපවීම නිසා . අයන්ති බැංකුවේ සෑම ක්‍රියාකාරකමක් සඳහාම සහභාගී‍‍ වෙනවා. අනෙක් අයවත් දිරි ගන්වනවා. ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. කවමදාකවත් සති අන්තයේ කාර්යාලයට එන්න මැළි වෙන්නේ නෑ. තමන්ගේ දරුවන්ගේ කටයුතු ඉදිරියට දාලා රාජකාරියට කරන කැපවීම අඩු කළේ නෑ. පසුගිය වසරේ අයන්ති බැංකු ක්ෂ්‍රේත්‍රයේ දක්ෂතම කාන්තාව විදිහට සම්මාන ලැබුවා. එදා සම්මාන රාත්‍රියේ අයන්ති තමන්ගේ සාර්ථකත්වය පැමිණ සිටි අමුත්තන් සමග සතුටින් ගැන කතා කළා.

“ මගේ අම්මා තමයි මට මේ හැම දේකටම උදව් කරන්නේ.. තාමත්  අපේ ගෙදර උයන්නේ අම්මා.. මගේ දරුවෝ බලන්නේ අම්මා..  අපි දෙන්නට තියන්නේ හවසට ගෙදර ගියාම දරුවෝ  එක්ක කතා කර කර ඉන්න විතරයි..  අපේ ගෙදර සේවකයෝ නැහැ.. මම සෙනසුරාදා ඉරිදා මගේ අධ්‍යාපන වැඩ වගේම සමාජ සේවා කටයුතුත් කරගන්නවා. මම ව්‍යායාම, රූප ලාවන්‍ය කටයුතුත්  කරගන්න අතරම මගේ යාළුවෝ නෑදෑයෝ හම්බවෙන්නත් අමතක කරන්නේ නෑ.. මම ඇත්තටම සමබර චරිතයක්..” 

අයන්තිගේ ආත්ම සාක්ෂාත්කරණය තුළ තියන ඇයට නොපෙනෙන පැත්ත ඔබට පෙනෙනවා ඇති. එයා  ජීවිතයේ සාර්ථකත්වයේ හිණිපෙත්තට නඟින්නේ තමන්ගේ මවගේ නිදහස කැපකරලා. ඇය කියන විදිහේ සමබර චරිතයක් අයන්ති තුළින්  අපට දක්නට ලැබෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගේ කටයුතු සහ අනෙකුත් ගෘහස්ථ කටයුතු සියල්ල තම මව වෙත පවරලා ඇය තමන්ගේ නිදහස ඉතා හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නවා. මෙය අප සියලුම දෙනා අවධානය යොමු කළ යුතු කාරණයක්.

දරුවන්ගේ දරුවෝ රැක බලාගැනීමට දෙමාපියන්ගේ සහාය පැතීමට සිදු වුවත් ඔවුන්  වෙත ඒ වගකීම සහමුලින්ම පැවරීමට පෙර අපි සිතා බැලිය යුතු කරුණු බොහොමයක් තියනවා.

 

  • වගකීම වියපත් දෙමාපියන්ට ඔරොත්තු නොදෙන බව වටහාගන්න

 

තම දරුවන්ට දරුවෝ ලැබෙන කාලය කියන්නේ දෙමාපියන් වියපත් වුණු කාලයක්. ශාරීරික අපහසුතා වගේම වෙනත් දුර්වලතා රාශියක් මේ කාල‍යේ ඇති වෙනවා. මානසික විපර්යාස, විවිධ රෝගාබාධ සහ වියපත් වීම ආශ්‍රිතව ඇති වන විවිධ සංකූලතා හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂම බව අඩු වී යනවා. සැබවින්ම මේ ඔවුන්ට විවේකය, මානසික සහනය, අවධානය සහ අසීමිත රැකවරණය ලැබිය යුතු කාලයක්. එහෙත්, ලංකාවේ බොහොමයක් දෙමාපියන්ට සිදුවන්නේ මේ කාලය තුළ තම දරුවන්ගේ දරුවන් බලමින් මේ අපහසුතා විඳ දරාගෙන ජීවත් වන්න. මෙය වදනින් නොකියවෙන සුලබ මැසිවිල්ලක්.  දරුවන්ගේ දරුවන් බැලීම ඔවුන් පිට පැටවිය යුතු වගකීමක් නොවේ. එය තෝරා ගැනීමක් විය යුතුය. කුඩා දරුවන් රැක බලාගැනීම ඉතා වෙහෙසකර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන්ගේ කුදු මහත් සියලුම කාර්යයන් ඉටුකර ලීම වියපත් මවකට හෝ පියකුට කෙතරම් විඩාබර දෙයක්ද කියා වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුයි. මෙහි වඩාත්ම ශෝචනීය තත්ත්වය වන්නේ සතියේ දින හතම අවුරුද්දේ දින තුන්සිය හැට පහම මේ කටයුත්ත සඳහා වෙන් කරන්නට සිදු වීමයි. වෛද්‍යරයකු හමුවීමට, පෝය දිනට පන්සලකට යාමට හෝ අවම වශයෙන් තම නෑදැයෙක් බැලීමට යාමට නොහැකිව දරුවන්ගේ දරුවන් බලමින්  අත්අඩංගුවේ පසුවෙන දෙමව්පියන් බොහොමයක් අප අතර සිටිනවා. ඔබේ දරුවන් නිසා දෙමාපියන්ගේ සැදෑ සමය අවිවේකී සහ අසහනයෙන් පිරුණු එකක් වීම වැලැක්වීම ඔබ අනිවාර්යයෙන් කළ යුත්තක්.

 

  • දරුවන්ගේ වගකීම ඔබ දෙදෙනාගේ බව සිතට ගන්න

 

දරුවන්ගේ කටයුතුවලදී  තම දෙමාපියන්ගේ අදහස් ඉතා වැදගත් වන්නේ ඔවුන් එහි ප්‍රායෝගික සත්‍ය දන්නා බැවිනි. එහෙත් ඒ හේතුවෙන් තම දරුවන්ගේ හදා වඩා ගැනීමේ වගකීම හෝ ඔවුන්ගේ පාලනය ඔබෙන් ගිලිහී යාම සිදු නොවිය යුතු දෙයක්. ඔවුන්ගෙන් එල්ල විය හැකි බලපෑම් පාලනය කර ගනිමින් දරුවන්ගේ රැකවරණය, ඔවුන් සම්බන්ධව තීරණ ගැනීම සහ ඔවුන්ට නිවැරදි මාවතේ යැවීමේ අයිතිය දෙමාපියන් සතු වන්නේ දරුවන්ට ඉතා සමීපතමයන් වන්නේ ඔබ දෙදෙනා බැවිනි. පවුලේ මව සහ පියා සතු වන මේ සුන්දර වගකීම සතුටින් බාර ගන්න. ඒ වෙනුවෙන් ඔබේ කාලය, ධනය, නිදහස සහ පෞද්ගලික අපේක්ෂාවන් වැය වීම කිසිසේත්ම ඔබට හානිදායක වෙන්නේ නැහැ. එය අනාගත ආයෝජනයක් .

 

  • පාලන ක්‍රම දෙකකට දරුවා එකවර යටත් වන බව අවබෝධ කරගන්න

 

දෙමව්පියන්ගේ දෙමාපියන් සමග හැදෙන දරුවන්ට තම දෙමව්පියන් සමග එක් පාලන ක්‍රමයකටත් සීයා සහ ආච්චි සමග සිටින විට තවත් ආකාරයේ පාලන ක්‍රමයකටත් හැඩ ගැසීමටත් සිදුවනවා. මෙවැනි නිවෙස්වල ඇති වන කුඩා දරුවන් යම් ‍ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙනවා. සමහර අවස්ථාවන්වල තම දෙමව්පියන් ඉතා තදබල ලෙස නොඉවසන කාරණා සම්බන්ධයෙන්  සීයා හෝ ආච්චි ඉතා ළිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර අවස්ථා දරුවන් අත් දකිනවා. එසේම එහි අනෙක් පැත්ත ලෙස සීයා සහ ආච්චී බලවත් ලෙස ප්‍රතික්ෂේප දේ තම දෙමව්පියන් ඉතා සමාන්‍යකරණය කොට කටයුතු කරන ආකාරය දරුවන් දකිනවා. මෙවැනි දේ නිතර නිතර නිවසේ සිදුවන විට ජීවිතයේ වටිනාකම්, සමාජ සම්ප්‍රදායන්, ආකල්ප තුළින් ජීවන අත්දැකීම් එකතු කරන දරුවාගේ මනස ඝට්ටනකාරී අවස්ථාවන්වලට මුහුණ දෙනවා. මෙය සෑම දරුවකුටම සුබවාදී ලෙස කළමනාකරණ කරගත නොහැකි බවත් අප මතක තබා ගත යුතු කරුණකි.

 

  • දරුවා ඉදිරියේ දී  විවේචනය සුදුසු නොවේ

 

දෙමව්පියන් තම දරුවන්ට ඔවුන්ගේ දරුවන් හදා වඩා ගැනීම පිළිබඳ බොහෝ විට උපදෙස් ලබා දෙන්නේ  කුඩා දරුවන් ඉදිරියේදීමයි. මෙම උපදෙස්  කිසිසේත්ම  දරුවන් කෙරෙහි හෝ දරුවන්ගේ දරුවන් කෙරෙහි හෝ විවේචනාත්මක නොවිය යුතුය. එසේම ඍණාත්මක ද නොවිය යුතුය. කිසි විටකත් කුඩා දරුවන් සමඟ ආච්චී හෝ සීයා වි‍වේචනය නොකිරීමට දෙමාපියන් වගබලා ගත යුතු වනවා සේම  මුණුබුරු මිණිපිරියන්  සමඟ  ඔවුන්ගේ දෙමාපියන් විවේචනය නොකිරීමට වැඩිහිටි පරම්පරාව වග බලාගතයුතු වෙනවා. තමන් දරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න දෙමව්පියන් පැහැදිළිව සන්නිවේදනය කිරීමට සමත් වේ නම් මෙවැනි විවේචනාත්මක සිදුවීම් හා ප්‍රකාශයන් අවම කර ගැනීමට හැකියාව  ලැබෙනවා.

 

  • ඉවසීම වැදගත්

 

බොහෝ අවස්ථාවන් වල ආච්චී හෝ සීයා තම මුණුබුරු මිණිපිරියන්ගේ දඟකාරකම් බරපතල විනය විරෝධී හැසිරීම් ලෙස දකිනවා. එහෙත් ඔවුන්ගේ දෙමාපියන්ට ඒවා සුරතල් හැසිරීම් විය හැකියි. ඒවා ඒ අවස්ථාවේ ම නිවැරදි කිරීමට  වැඩිහිටි පාර්ශවයට අවශ්‍ය වුව ද එය තම දරුවාට හානි දායක විය හැකි බව දෙමාපියන් දැන සිටිය යුතුය. එම හැසිරීම් ක්‍රමයෙන් අතහැරී යන බවත් සමහර හැසිරීම් දරුවන් සිතා මතා කරන බවත් ආච්චී සහ සීයාට මේ වයසේ දී අමතක වී තිබිය හැකි බව ඔබ මතක තබා ගන්න. එවන් අවස්ථාවල ඉතා ඉවසීමෙන් දෙපාර්ශවය කෙරෙහිම කටයුතු කිරීමෙන් අනවශ්‍ය සිත් රිදවීම් වගේම අනවශ්‍ය ගැටළුත් වලක්වා ගැනීමටත් හැකි වෙනවා.

 

  • ගැටුම් අවස්ථා නිර්මාණය විය හැකිය

 

මේ තත්ත්වයකට ඉතා හොඳ උදාහරණයක් රුපවාහිනිය නැරඹීමේ ඇති වන ගැටුම් . දරුවන් කාටුන් වැඩසටහන් බැලීමට ඉතා ප්‍රිය කරන අතර වැඩිහිටි දෙමාපියන් ආගමික වැඩ සටහන් සහ ප්‍රවෘත්ති වැඩ සටහන් බැලීමට ප්‍රිය කරනවා. දරුවන් සමඟ නිවසටම කොටු වී සිටින දෙමාපියන්ට ඉතා කුඩා විවේකයක් වෙනුවෙන් රූපවාහිනිය නැරඹීම අවශ්‍ය විය හැකිය. එහෙත් දරුවන් රූපවාහිනිය තම තනි අයිතියට තබා ගෙන සිටිනවා නම්  එය ගැටුමක් දක්වා වර්ධනය වීමට ඉඩකඩ සැලසෙනවා . එවැනි අවස්ථාවක බලවත් පිළට ජයග්‍රහණය හිමි වුවත් මෙවැනි දේ නිතර නිතර සිදුවීමට ඉඩ හැරීම තුළින් සිත් රිදවීම් ඇතිවීමේ අවස්ථා නිවස තුළ නිර්මාණය වනවා. මෙවැනි ගැටළුවක මැදිවන ඔබ දෙපාර්ශවයට ‍ඇති රුචි අරුචි කම් වටහා ගෙන කටයුතු කළ යුතු වෙනවා. කිසිදු විටක එක් පාර්ශවයකගේ රුචිය නොසලකා හරින්නට එපා. දෙමව්පියන්ගේ රුචිය, විවේකය සහ විනෝදාංශ වෙනුවෙන් කාලය සලසා ‍දීමට ඔබ විශේෂ අවධානය යොමු කල යුත්තේ දරුවන් බලාකියා ගැනීමෙන් ඇතිවන මානසික හා කායික තෙහෙට්ටුවට පිළියමක් ලබා දිය යුතු බැවිනි. එවැනි අවස්ථාවක දරුවා සමඟ වෙනත් ක්‍රියාකාරකම යෙදීමට ඔබ කාලය නිදහස් කර ගැනීම හොඳ පිළියමක්.

දෙමාපිය දූ දරු සබඳතා යනු එක් පාර්ශවයක් පමණක් ප්‍රතිලාභ ලබන ගනුදෙනුවක් නොවේ. එය අනෙක් පාර්ශවය කෙරෙහි ඇති අසීමිත ආදරය, කැපවීම සහ අවබෝධය තුළින් ගලා යන ආදරණීය බැඳීමකි. දෙමව්පියන් තුළ  තම දරුවන් කෙරෙහි ඇති සෙනෙහෙස දෙගුණ වන්නේ දරුවන්ට ද දරුවන් ලැබුණු පසුය. එහෙත් ඒ සෙනෙහස හේතුවෙන්ම දරු මුණුබුරන් රැකබලාගනිමින්  වයසට ඔරොත්තු නොදෙන වගකීමක් ඔවුන්ට  දැරීමට සිදුවන්නේ නම් එය කෙතරම් සාධාරණදැයි සිතා බැලිය යුතු කරුණකි.

ලිපිය සකස් කළේ

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය, රේණුකා තෙන්නකෝන් මහත්මිය විසිනි.

අපේ ගෙදරට ගෝනිබිල්ලන් එන්නේ නෑ

පුංචි පැටවු බියගන්වන්න දෙමව්පියන්ටත් ආයුධයක් එපායැ. ඉතින් හැම වෙලාවේම සැර වැර කරන්නත් බැරි හින්දා ඔවුන් ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඉතිං මේ වගේ උපායන් ඔබ අතරත් ඇති.

  • ගෝනිබිල්ලට දෙනවා.
  • පොළිසියේ අන්කල් මේ ළමයා අරගෙන යන්න..
  • ආන්න…මකුලුවා… එන්න..එන්න.. මේ බබා හරිම නෝටියි..

ඉතින් මේ වගේ පුංචි පුංචි උපායන් මගින් ඔබ දරුවා බය ගන්වනවා ඇති.

ඔබ මේ වගේ උපායන් අනුගමනය කරන්නේ ඇයි.

  • පැටියා බත් නොකන විට
  • නින්දා ගන්නේ නැති වුනාම
  • ඔබේ වැඩකටයුතුවලදී දරුවා කරදර කරන විට
  • දරුවා ඔබට අවශය අන්දමින් පාලනය කර ගන්න..

ඉතින් මේ උපායන් ඔබට සාර්ථකද…?

අපොයි ඔව්..පැටියා බත් නොකා කලබල කරද්දී ආන්න..මකුලුවා මෙහාට එන්නේ..බබා බත් කැවේ නැත්තං අරගෙන යයි..

නිදාගන්න ගිහින් දරුවා එයාගේ ලෝකයේ..අම්මට දහසක් වැඩ..ඉතින් පැටියා නිදි නොකර යන්නත් බැහැ.

ඉක්මනට නිදාගන්න. අන්න ගෝනිබිල්ලා ඇවිත් ගේට්ටුව ලග ..නිදා ගන්නේ නැති ළමයි ඔයාගේ මල්ලට දාගන්නවලු..අපේ පැටියා නිදාගන්නවා..ගෝනි බිල්ලා යන්න..

දැන් අම්මාගේ වැඩපිලිවෙල හරියටම හරි..

ඔව් මකුලුවාට බයෙන් බයෙන් පුංචි පැටියා ”හ්ම් ” නැතුව බත් පිඟානම ඉවර කරන්නැති.ගෝනිබිල්ලට බයෙන් වහ ගත්තු පුංචි ඇස් දෙක නින්දක් යන තෙක්ම ආයේනම් අරින්නේ නැතුව නැති.ඉතින් අම්මා සතුටු වේවි..ඇයි පැටියාගේ කරදර අවස්ථාවන් යාන්තම් ගෝනිබිල්ලටයි..මකුලුවාටයි පිංසිද්දවෙන්න අවසාන වුනානේ..

ඒත් පුංචි හිතේ ඇති වෙන බය,කම්පනය ගැන ඔබ හිතුවාද..?

දරුවන්ගේ ලෝකයේ ඉන්න වගේම ඔහු දකින සුන්දරම චරිත විදිහට ඉන්නේ තමන්ගේ දෙමව්පියෝ, එහෙම නැත්නම් එක වහලක් යට ජීවත්වෙන ඤාතීන්. ඉතින් මේ අයගේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය නිසා දරුවා හිතින් බොහොම ශක්තිමත්.එය සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මොනතරම් වැඩිහිටි වුනත් අපිත් අපට ශක්තියක් සිටින අය සමග ගණුදෙනු කරන්නේ සාමාන්‍ය සමාජයේදී කටයුතු කරන විදිහිට නොවෙයි. ඉතින් අපේ පුංචි අයත් එහෙමයි.

දවල්ට කරදර නැහැ..අපිත් එක්ක තමා යුද්ධය..

ඔබටත් දරුවාගේ මේ හැසිරීම හොදින්ම පුරුදු ඇති. ඔබ රැකියාවට යද්දී දරුවා තබා යන්නේ සේවිකාවක් සමග නම් ,දරුවාගේ කටයුතු දවල් කාලය පුරාම ඇයට කරදරයක් නැතුව සිදු කිරීමට ඉඩ දෙනව ඇති.ඒත් ඔබ නිවසට පැමිනි තැන පටන් දරුවාගේ යුද්ධය පටන් ගන්නවා.ඒ ඇයි දන්නවාද.. දැන් දරුවාගේ හිතේ ශක්තිය..විශ්වාසය තිබෙනවා.මගේ අම්මා..තාත්තා..ගෙදර ඇවිත්..

දෙමව්පියන් විදිහට ඉවසමු..

දැන් දරුවා දවල්ට නැති විදිහට දගකරාවි..බත් කන්න බැහැම කියලා කරදර කරාවි..නින්දක් ගැන හිතන්නේම නැතුව සෙල්ලම් කරාවි.ඒ සියල්ල ඔහුගේ රැකවරනය හෙවත් අම්මා,තාත්තා තමා ළග නිසයි.

ඉතින් රැකවරනය නැති කරන ගෝනිබිල්ලෙක් ඇයි..?

මේ විදිහට බොහොම සතුටින් සිටින දරුවාගේ සුන්දර ළමා ලෝකය ගෝනිබිල්ලෙකුගේ නපුරු දර්ශනයකින් විනාශ කරන්න එපා.ගෝනිබිල්ලා ඔබත් දැක නැති වුනත් මේ අත්දැකීම පරම්පරාවෙන් ඔබගේ ළමාකාලයේදීත් වැඩිහිටියන් මවපු දර්ශනයක්.නමුත් මේ නපුරු දර්ශනය නිසා දරුවා බියට පත් වෙනවා.ඔහු සිහිනෙනුත් ගෝනිබිල්ලා ගැන බියෙන් පසුවෙනවා.ඒ නිසා දරුවාගේ නින්ද වුනත් සුවදායක නැහැ.සිහිනෙන් පවා බිය වී ඇහැරේවි.

තැතිගන්නවා..

ඉතින් ඔබ විසින් මවන මේ අසුන්දර දර්ශන නිසා දරුවා නිතරම බියෙන් පසුවෙනවා.කෙටිකාලීනව ඔබේ කටයුතු පහසු වුනත් දරුවාගේ හිතේ ඔබ මවන බිය සමග ජීවත්වෙන දරුවාට හිතේ ඇති වෙන මේ සංකල්ප නිසා ළමා ලෝකයේ නිදහස නොදැනීම ඇහිරී යනවා. සෙල්ලමක් කරන තැනදි මකුලුවෙක් දුටුවොත් ඔවුන්ගේ සෙල්ලම් ලෝකයම සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා.

බිය ජීවිතය සමග ඉදිරියට යනවා..

දරුවන් බිය කිරීමට ඔබ යොදා ගන්නා මෙවැනි ආයුධ නිසා දරුවන්ගේ හිතේ ඇති වෙන බිය දවසින් දෙකින් හෝ ළමා වයසත් සමග අවසාන වෙන්නේ නැහැ.මේ දරුවන් වැඩිවියට පත් වුනත් මකුළුවා..පොළිස් නිළධාරීන් දුටු විට නොදැනීම බියට පත් වෙන මානසින තත්වයක් ඇති වෙනවා.එවැනි බිය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට පවා ඉතාම හිරිහැදායක අන්දමින් බලපානවා. ඒ නිසා ඔබගේ පහසුව වෙනුවෙන් දරුවාගේ හිතේ ගොඩ නගන මේ බියකරු සිතුවම් දරුවාගේ අනාගතයට ඉතාම අහිතකරයි.

කොහොමද..අපි දරුවන් හසුරුවන්නේ..

දරුවන්ගේ හිරිහර සහ අනවශ්‍ය කලබල ඉදිරියේ මෙවැනි බියජනක තත්වයන් හිතේ මවනවාට වඩා විකල්ප අනුගමනය කරන්න පුලුවනි.ආහාර නොගන්නා දරුවෙකුට ඔහුගේ හිත වෙනතකට යොමු කරන කතාන්දරයක් කියා දෙන්න කිසිම අපහසුවක් නැහැ. බත් ටික හොඳින් අනලා පුංචි කුරුළු පැටවුන්ගේ ලස්සන කතාවක් කියමින් බත් කට කට දරුවාට දෙන්න පුලුවනි.අතීතයේදී අම්මා බත් කවන විට

හබුං කටයි-බත් දෙකටයි

මගේ හොඳ පුතු _ඔක්කොම කයි 

කීවා මිසක දරුවා රැගෙන යන්න ඇනකොන්ඩා/ඩයිනෝසර්ට ආරාධනා කළේ නැත.නිදා ගන්න ගිය විටත් ලස්සන කතාන්දර කියමින් හෝ නැලවිලි ගී ගයමින් දරුවා නිදි කලා මිසක ඔහුගේ හිත බියගැන්වූයේ නැත.

හැන්දෑවෙන කොට මල්ලක්  අරගෙන දූ ගෙනියන්නට බිල්ලෙක් එන බැව් අම්මාගේ මුවින් එදා කියැවුනේ නැත.ඔවුන්ගේ මියුරු නැලවිලි ගී රිද්මයට දරුවා සුවසේ නිදා ගත් අතර සුවසේ අවදි විය. ඔහු සිහිනෙන් දුටුවේ නපුරු මුහුනු නොව අම්මා විසින් මවන ලද සුරංගන සිහිනයි.

එහෙමනම්..අම්මා..තාත්තා ලෙසින් ඔබ අතිශයින් රාජකාරි බහුලය.ඒ අතරට මැදිහත් වෙමින් ඔබට කරදර කරන දරුවාගෙන් අස්වැසිල්ලක් ලැබීමත් අවශ්‍යය.කොටු පාර දෙන්න තරම් වදක්ද නැත.පලවා හරින්නත් නොහැක.නමුත් ඔබ විසින් දරුවාගේ හිතට ඇති කරන බිය නැමැති මේ සංකල්පයෙන් ඔහුට ඇති වෙන මානසික ගැටුම දරුවාගේ ජීවිතය පිටුපසින් ඇදෙන බියකරු සෙවනැල්ලක් බවට පත් විය හැක.

 

පොඩ්ඩාට දත් බුරුසුවක්

වෙළඳපොල මවන විසිතුරු අතර නිරන්තරව අතරමං වන අපි ඇස රවටන බොහෝ දේ මිළට ගෙන සැනසුනත් දත්බුරුසුවක් මිළට ගැනීමේදී අපි ඒ ගැන දෙවරක් නොව කිහිප පැත්තකින් සිතීම අවශ්‍යයි. දත් බුරුසුවක් නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රි ලංකා ප්‍රමිති පිරිවිතර තිබෙනවා. කොහොම වුනත් නිසි ප්‍රමිතියකින් යුක්ත දත් බුරුසුවක් භාවිතා නොකලොත් දන්ත සෞඛ්‍යය වෙනුවෙන් අපේ බලාපොරාත්තු දත් මැදීමෙන් පමණක් ඉටු කරගැනීමට නොහැකියි. මේ නිසා පොඩ්ඩාට දත්බුරුසුවක් මිළට ගැනීමේදි අපේ අවධානය යොමු විය යුතු අංග කිපක් තිබෙනවා.

දත් බුරුසුවකින් දත් මදින්නේ දරුවෙකුගේ කිරි දත් මතුවුනාට පසුවද ?

දරුවෙකුගේ පළමු දත මතුවූ දැන පටන් දත්මැදීම අවශ්‍යයි.කිරි බැඳීමෙන් දතට ඇති වෙන හානිය වලක්වා ගැනීමට වගේම ආහාර වෙනුවෙන් හුරුව ලද පසු මෙම ආහාර කැබලි දත් අතර රෑඳීමෙන් සිදු වෙන දිරායෑමට විසඳුමක් ලෙසින් ප්‍රමිතියෙන් යුක්ත දත් බුරුසුවක් භාවිතා කළ යුතුයි.ඇඟිල්ලට දමන දත් බුරුසුව පිලිබඳව වෛද්‍ය නිර්දේශයක් දැන් නැහැ.ඒ වෙනුවට ළමා දත්බුරුසු භාවිතා කල හැකියි. ලෝකයේ බොහෝ රටවල දරුවන් වෙනුවෙන් වූ ළමා දත්බුරුසු තිබුනත් ශ්‍රි ලංකාවේ මෙම ළමා දත්බුරුසු එතරම් සුලබ නැහැ.

දරුවන්ට වගේම වැඩිහිටි දැන් අනිවාර්යෙන්ම දත්බුරුසු පාවිච්චි කරනවා. ඒත්…අපි තෝරා ගත යුත්තේ කුමන ආකාරයේ දත් බුරුසුවක්ද ?

කුඩා දරුවන්ට  ( age appropriate ) අවශ්‍ය කුඩා හිසක් ඇති දත් බුරුසුවක්. වැඩිහිටි දත් බුරුසුවක් කුඩා දරුවන්ට භාවිතා කළොත් දත් නිසි විදිහට පිරිසිදු වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ මුඛයේ මෘදු පටක වලටත් හානි සිද්ධ වෙනවා. 

දෙමව්පියන් දරුවන් වෙනුවෙන් විවිධ මාදිලියේ දත්බුරුසු හොයන්නේ දත්මැදීම නිවසේ යුද්ධයක් නිසාද….?

දරුවන්ට දත්මැදීම අමිහිරි කටයුත්තක් වෙන්නේ දෙමව්පියන්ගේ වරද නිසයි. දත්මැදීම දවසේ සාමාන්‍ය කටයුත්තක් විදිහට පත්වුනොත් කිසිම යුද්ධයක් නැහැ. දෙමව්පියන් දරුවන්ගේ දත්මැදීම ආරම්භ කරන්නේ ඔවුන්ගේ බොහෝ දත් මෝදු වුනාට පසුවයි. ඒ නිසා දරුවන්ට දත්මැදීම ආගන්තුක අත්දැකීමක් බවට පත්වෙනවා. එහෙත් අපි දරුවන් වැසිකිලියට හුරු කරනවා වගේම දත්මැදීමත් සාමාන්‍ය කටයුත්තක් බවට පත් කරන්න පුලුවන්.

විද්‍යුත් දත්බුරුසුව හා අතින් හසුරුවන දත් බුරුසුවක වෙනසක් තිබෙනවාද…?

බැටරි හෝ විදුලියෙන්  ක්‍රියාකරන දත්බුරුසුවකින් දත් මැදීමේ කාර්යය අපේ මෙහෙයවීමක් නොමැතිව සිද්ධ වෙනවා. තමන්ගේ කටයුතු ඉටු කර ගැනීමට අපහසු තැනැත්තෙක් වෙනුවෙන් විද්්‍යුත් දත්බුරුසුව ගැලපුනත් සාමාන්‍ය අයට අතින් හසුරුවන දත්බුරුසුවකින් මේ කටයුත්ත සිදු කර ගැනීම අපහසුවක් නැහැ.මෙම දත්බුරුසු දෙකෙන්ම එක්ම කාර්යය ඉටු වෙනවා.

දත් බුරුසුවක් තෝරා ගැනීමේදී අපේ අවධානය යොමු යුත්තේ ….?

දත් බුරුසුවක් තෝරා ගැනීමේදි සැලකිය යුතු කරුණු කීපයක් තිබෙනවා. දත්බුරුසුවක කාර්ය විය යුත්තේ දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන සේ දත් මතුපිට හා දාරයේ රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්ෂම විදිහට ඉවත් කිරීමයි. මේ කාර්ය ඉෂ්ට කර ගැනීමට නම් අපි තෝරා ගන්නා දත් බුරුසුවේ පැවැතිය යුතු ගුණාංග තිබෙනවා.

දත්බුරුසුවේ හැඩය

■ හිසේ ප්‍රමානය

■ කෙඳිවල ස්වභාවය

■ මිට එහි දිග හා හැඩය

දත් මැදීමේදී දතක මැදිය යුතු පැති තුනක් තිබෙනවා. එනම් පිටත ,ඇතුලත හා හපන පැත්ත යනුවෙන්.

මේ කාර්යන් කිරීමේදි දත් බුරුසුවේ හිස කුඩා වීමේ වාසියක් තිබෙනවා. කුඩා හිස සහිත දත් බුරුසුව දතේ හැම පැත්තක්ම මදින්න හැකියාව තිබෙනවා. ඒ වගේම දන්ත විකලාංග නිසා කම්බි යොදා සකස් කිරීම කරන අවස්ථාවන්හිදී කම්බි අතරින් දතේ රෑඳුන කොටස් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ  inter dental brushes දත්බුරුසුවක්. ඒ වගේම dental floss කෙදි යනුවෙන් හැඳින්වෙන වැක්ස් නූලක් මගින් දත් අතර බැඳි ඇති කුණු සහ මැලියම් ඉවත් කිරිමේ පහසුව තිබෙනවා.  ඒ වගේම හිස කෙළවර රවුම් හැඩයෙන් යුක්ත වුනොත් මුඛය තුවාල නොවන විදිහට දත් බුරුසුව හසුරුවන්න පුලුවන්.

ඒ වගේම කෙඳි සවි කරන ලද දත් බුරුසුවේ හිස කොටස වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් වෙනස් වෙනවා..දත් බුරුසුවක් නිතරම දත් එකක් හෝ දෙකක් මැදීමට හැකි පළලකින් යුක්ත වෙන්න අවශ්‍යයි. දත්බුරුසුවේ හිස පළල් වුනොත් බුරුසුව පැතිරෙන පරාසය විශාල නිසා දත් හොඳින් මැදීමක් සිද්ධ වෙන්නේ නැහැ.

 ඒ අතරම මෙම හිස කොටස වසා තැබීමේ ආවරණයක් තිබීමද අවශ්‍යයි. ඔබේ නානකාමරයේ තබා ඇති බුරුසුව විවිධ කෘමිසතුන්ට නිරාවරනය විය හැකි නිසා නිතරම දත්බුරුසුව වෙනුවෙන් ආවරණයක් අවශයි. එහෙත් මෙම ආවරණයට වාතය ඇතුළු නොවුනොත් ඒ තුළ බැක්ටීරියා වගා විය හැකි නිසා වාතය ඇතුළු වීමට සිදුරක් තිබීමත් අවශ්‍යයි.

කෙඳි 

දත් බුරුසුවක කෙඳි විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්තයි. දාඪ , මධ්‍ය සහ මෘදු ( soft ) ප්‍රභේද කීපයක් තිබුනත් අපි නිතරම තෝරා ගත යුතු වෙන්නේ මෘදු කෙඳිවලින් යුක්ත දත් බුරුසුවක්. මෙම කෙඳි සමතලව පිහිටීම ගැටළුවක් නැහැ.දත් කහට ඉවත් කිරීම වෙනුවෙන් බොහෝ දෙනා දෘඪ කෙඳි සහිත බුරුසුවක් වෙත යොමු වුනත් මෙම දෘඪ කෙඳි නිසා දතේ එනැමලයට හානි සිදු වෙනවා.

මෙම කෙඳි සමතලව පිහිටා තිබිම වගේම ඒවා නයිලෝන් වලින් නිපදවා තිබීමත් වැදගත්. මෙම කෙඳි අග රවුම් ස්වභාවයකින් යුක්ත වුනොත් එයින් විදුරුමසට හානි සිද්ධ වෙන්නේ නැහැ.

පවුලේ බැඳීම මොනතරම් ප්‍රබල වුනත් එකම දත් බුරුසුව පවුලේ අය අතර හුවමාරු විය යුතු නැහැ. අද පවතින කාර්ය බහුලතාවය නිසා පවුලේ අය අතර දත්බුරුසු නොදැනම මාරු වෙන්න පුළුවන්. මේ නිසා පවුලේ අය අතර පහසුවෙන් හඳුනාගත හැකි විදිහට විවිධ වර්ණයන් සහිත මිට සහිත දත් බුරුසු තෝරා ගත යුතුයි.

දත් බුරුසුමිට

දත් බුරුසුවක මිට අතට පහසු සේ නිපදවා තිබිම නිසා දත් මැදීම එතරම් වෙහෙසකර කටයුත්තක් වෙන්නේ නැහැ. මිට අල්ලා ගත හැකි දිගකින් වගේම පැතැලි මිටකින් යුක්ත විය යුතුයි. දත් මදින විට ලිස්සා  ( frim grip ) නොයන සේ පහසුවෙන් හසු කර ගත හැකි වීම අවශ්‍යයි. මේ නිසා දත්බුරුසුවේ මිටෙහි කිසියම් ඝර්ෂනයක් අවශ්‍යයි.ඒ වගේම දරුවාට දත් බුරුසුව අල්ලන විට එය අත්ලෙන් මිට (PALM GRIP ) මොලවා ගැනීමට නොව,පෑනක් අල්ලන ආකාරයෙන් බුරුසුවේ මිට  (PEN GRIP ) අල්ලා ගැනීමට පුරුදු කිරීමත් වැදගත්.එහෙමනම් දත් මදින්න ගියාම කෙලවරක් නැති කරදර කරන එබේ පැටියාගේ අතට දත් බුරුසුවක් දෙන්න ඕන ආකාරය දැන් අම්මලා දන්නවා ඇති.

මහරගම,මුඛ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ (ප්‍රජා දන්ත වෛද්‍ය )ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි  එච්. එච්. එම්. ධනප්‍රියංකා  ( පශ්චාත් උපාධි පුහුණු ) සමග වූ සාකච්ඡාවක් ඇසුරින්

 

ගර්භණී අම්මාගේ මානසික සෞඛ්‍ය නිසා දරු පැටියා නිරෝගී වේවි..

බඩදරු අම්මාගේ ගැබ හෑල්ලු කරනකම් හිතට බරක් දෙන්න හොද නැහැ….. මේ අතීතයේ පටන් අපේ ජන සමාජයේ පැවතුන සංකල්පයක්.අපි මේ ගැන මතුපිටින් කතා බහ කළත් මේ පැවැත්ම අම්මාගේ වගේම දරුවාගේ අනාගතය වෙනුවෙන් මොනතරම් බලපානවාද යන්න ගැන දැන් විවිධ අධ්‍යනයන් පැවැත්වෙනවා.ඒත් අපේ අම්මලා, අත්තම්මලා මේ වගේ දැනමුතුකම් කිව්වේ මානසික විද්‍යාව ගැන දැනගෙන නම් නොවෙයි.ඒත් අත්දැකීමෙන් ඔවුන් උගත් සහ අපව දැණුවත් කළ දේ අද මොනතරම් මනෝවිද්‍යාව සමග ගැලපෙනවාදැයි ඔබත් දැන ගන්න කැමැතිද..? කැමැත්ත විතරක් නොවෙයි,ඔබේ ගර්භණීත්වයත් ඒ අනුවම හසුරුවා ගැනීමත් ඉතාම වැදගත්..

මේ අධ්‍යනය සිදු වුනේ ඔස්ට්‍රේලියාවේ….මෙම අධ්‍යයනයට මව්වරුන් 900 ක් සහ දරුවන් 978 ක් තෝරා ගත්තා.මේ අම්මාවරුන්ගෙත් විශේෂත්වයක් තිබුනා. ඒ ඔවුන් තමන් ගැබ් දරණ කාලය්දී අඩුම වශයෙන් එක් වතාවක් හෝ මානසික අවපීඩන තත්වයට පත් වුන අයයි. ඒ අතරින් 11% ක් එක් වතාවකට වඩා මානසික අවපීඩන තත්වයට පත් වුන අයයි.

මානසික අවපීඩන තත්වය කිව්වාම බියක් ඇති කර ගන්න එපා.

මානසික  අවපීඩනය කිව්වාම ඔබ දැනටමත් ගැබිණි මවක් නම් බියක් ඇති කර ගන්න එපා. මෙතැන මානසික අවපීඩනය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අපේ බලාපොරොත්තුවක් බිඳ වැටුනාම ඇති වෙන මානසික තත්වය නොවෙයි.අපි මෙහෙම කියමු. ඔබ පුල පුලා බලා සිටි ක්‍රිකට් මැච් එකකින් ඔබේ කණ්ඩායම පැරදුනොත් හිතේ ඇති වෙන දුක ටික වේලාවකින් ඉබේම නැති වී යනවා. 

නමුත් මානසික අවපීඩනයේදී තත්වය ඊට වෙනස්

depression යනුවෙන් ඉංග්‍රිසියෙන් හැඳින්වෙන මානසික රෝගී තත්වයය සිංහලෙන්  අපි  හඳුන්වනවා නම් “විශාදය ”එහෙම නැත්නම් මානසික අවපීඩනය යනුවෙන් සරලව දැක්විය හැකියි. විශාදයේදී සිද්ධ වෙන්නේ මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවයක් ඇති වීමයි. විශාදය යන රෝග තත්වයට පත් වුන පුද්ගලයෙකුගේ මොළයට යන රුධිරය, ඔක්සිජන් සැපයුම සහ ග්ලුකෝස් වැනි පරිවෘත්තිය ක්‍රියාවල අඩු පාඩු පර්යේෂණ මට්ටමේදී පෙන්නුම් කරනවා.මේ නිසා ඇති වෙන රෝග ලක්ෂණ කීපයක් තිබෙනවා.

  • සිරුරේ ශක්තිය නැති වීම වැනි උදාසීන බව
  • හිත වගේම සිරුරත් කඩා වැටුනා වගේ දැනීම.
  • දුක
  • දැඩි කනස්සල්ල
  • ජීවිතය ගැන බලාපොරොත්තු නැති වීම

ගැබිනි මවක් මේ වගේ රෝගයක් නොමැති රෝග ලක්ෂණ හෝ අපහසුතාවයන් ඇති වෙනවා නම් ඒ ගැන නොසලකා සිටින්න හොද නැහැ.

නොසලකා හිටියොත්..

ගැබිනි මවකටමේ වගේ අපහසුතාවයන් දැනුනාම ඇයට වත් ඒ ගැන තේරෙන්නේ නැහැ.වැඩිහිටියෙකුට කිව්වාම වුනත් එතරම් තැකීමක් නොකරන්න පුලුවන්.නමුත් මේ මානසික තත්වයෙන් ගැබිණි මව දිගින් දිගටම පසු වුනොත් ඇගේ මානසික තත්වයෙන් අනාගතයේදී පීඩාවට පත් වෙන්නේ ඇගේම කුසින් බිහි වෙන දරුවා බව කවමදාවත් අමතක කළ යුතු නැහැ.

දරුවාගෙන් මේ වගේ ලක්ෂණ දකින්න පුලුවනි..

අම්මා ගැබ් දරණ කාලයේදී මානසිකව කනස්සල්ලෙන් සිටිය නිසා දරුවා වෙතින් යම් යම් හැසිරීම් වෙනස්කම් දකින්න ලැබෙන්න හැකියි.

  • නිතරම දුකින් පසු වීම
  • සමාජ ඇසුරට ප්‍රිය නොවීම
  • හුදෙකලා වීම
  • බියගුලුබව
  • වයසට සාපේක්ෂව පරිණත නොවීම.

ඉතින් මේ වගේ මානසික තත්වයන් දරුවාගෙන් පෙන්නුම් කරන්න පුලුවනි.

ප්‍රතිකාර වෙනුවෙන් කාලයක් අවශ්‍ය නැහැ.

ඔබ ගැබිනි මවක් නම් මේ මානසික තත්වයක් තිබෙනවා නම් හෝ ඔබේ සමීපතම ඇසුරු කරන ගැබිණි මවකට මේ තත්වයන් තිබෙනවා නම් හෝ කවුරුන් හෝ අනේ..මං දන්නා බබා හම්බ වෙන ඉන්න අම්මෙක් මේ වගේ පැමිනිලි කරනවාය යන ආරංචිය ලැබුනොත් ඒ අයට මානසික උපදේශන වෙතට යොමු වෙන්න අවශ්‍ය බැව් පැහැදිලිව කියා දෙන්න.ඒ වෙනුවෙන් කල් වැඩියි…එහෙම නැත්නම් දැන් ප්‍රමාදයි කියන උපකල්පන ඇති කර ගන්නත් එපා.අද කළ යුතු දේ අදම කරන්න. එවිට හෙට දවසේ මානසිකව නිරෝගි දරු පැටියෙකුගේ මවක වීමට ඔබ ප්‍රමාද වන්නේ නැහැ.