Home Blog Page 54

පුංචි පැටියා ආත්මාර්ථකාමීද….?

දරුවන් කියන්නේ මොනවා තේරෙන අයද යන ස්ථාවරයේ අපි හිටියත් සමහර විට දරුවන්ගේ සිතුම් පැතුම් බොහොම සංකීර්ණයි.තමන්ගේම ලෙයින් උපත ලැබුවත් දෙමව්පියන්ට නැති ගති පැවැතුම් දරුවන් වෙතින් ප්‍රදර්ශනය වෙන අවස්ථාවන් තිබෙනවා. මේ ඇවතුම් පැවැතුම් දරුවන් සමගම වැඩී අනාගතයේදී ඔවුන් සමාජයට එක් වෙන්නේ ඉතාම ආත්මාර්ථකාමී චරිත විදිහටයි. නමුත් මේ ආත්මාර්ථකාමී ගති ගුණ බොහොමයක් දරුවන්ගේ බාලකාලයේ පටන්ම ප්‍රදර්ශනය වෙන බවත් අමතක කරන්න එපා. ඒ නිසා මේ ගති ලක්ෂණ ඔබේ දරුවා වෙතින් පෙන්ණුම් කරනවා නම් දරුවා ගැන දෙමව්පියන් විදිහට දරුවා ආත්මාර්ථකාමීද..නැතිද යන බැව් ඔබටම  තක්සේරු කරන්න පුලුවනි.

පවුලේ අය පීඩාවට පත් කිරීම

ඇතැම් දරුවන් හේතුවක් නැතුව වුනත් නිතරම තමන්ගේ සහෝදරයන් පවා දැඩි සේ පීඩාවට පත් කරනවා.ඔවුන් සමග ගැටීම්,පහරදීම් හේතු නැතුවම සිදු වෙනවා.ඒ නිසාම මෙවැනි දරුවන් වුනත් නිතරම සිටින්නේ නොසතුටින්.තමන් මුල් කර ගෙන පමණක් හිතන නිසා තවත් කෙනෙකු පීඩාවට පත් කිරීම ඔවුන්ට ඉතාම සුලු දෙයක්. මල් වගේ මුදු මෙලෙක සිත් ඇති දරුවන් අතර කලාතුරකින් වුනත් මේ වගේ ගති පැවැතුම් ඇති දරුවෙක් ඔබේ සමීපයේ සිටිනවා නම් එයින් කියැවෙන්නේ ඔවුන්ගේ හදවතේ තිබෙන ආත්මාර්ථකාමී බවයි.

නිතරම තමා ඉදිරියෙන්..

ආත්මාර්ථකාමී දරුවා උත්සාහ ගන්නේ තමා පමණක් ඉදිරියෙන් සිටීමටයි. ඒ නිසා සහෝදර සහෝදරියන් සමගත් නිතරම ගැටුම්. අවශ්‍ය වුනත් නැතැත් තමා පමණක් මුල් කර ගෙන හැම දෙනාගේම අවධානය ලබා ගැනීමේ උත්සාහයක මේ දරුවන් නිරත වෙනවා. සමහර විට පවුලේ වැඩිමහල් දරුවා වුනත් බාල දරුවාගේ තත්වයට පත් වෙන්නේ නිතරම ඉදිරියෙන් සිටිය යුතුය යන ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසයි.

වාසිය වෙනුවෙන් බොරු කීම

දරුවන් අතර බොරු කීම සුලබ සිදුවීමක් වුනත් බොරුවෙන් ජීවත් නොවන දරුවන් නිර්මානය කර ගැනීම එතරම් අපහසසු කටයුත්තක් නොවෙයි.නමුත් ආත්මාර්ථකාමී දරුවන් තමන්ගේ වාසිය වෙනුවෙන් බොරු කීමට බොහොම හපන්නු.ඔවුන් නිතරම තමා ගැන පමණක් සිතන නිසා බොරුවෙන් හෝ තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීමට අදහස් කරනවා.

විවේචනයේදී දරුණුයි

ආත්මාර්ථකාමී දරුවා නිතරම හිතන්නේ තමා ගැන පමණක් නිසා තමා නිවරැදිය යන ස්ථාවරයේම රැදී සිටිනවා. ඒ නිසාම සාධාරණ විවේචනය වුනත් ඉවසන්නේ නැහැ.ඒ නිසා දෙමව්පියන් වුනත් තමාගේ ගති පැවැතුම් වවේචනය කිරීමේදී ඔවුන්ගේ ප්‍රතිචාර බොහොම දරුණුයි.

වරදක් වූ විට එය අනුන් මත..

ආත්මාර්ථකාමී දරුවා තමාගෙන් සිදු වෙන වරද කිසිම දිනක පිලි නොගනී. ඇස් ඉදිරිපිට සිදු වුනත් එම වරදේ කොතැන හෝ කොනක නංඟී,මල්ලී සිටින්න පුලුවනි. ඕක වුනේ අක්කා නිසා..අයියා නිසා..යැයි කියන්න දිව නැමෙනවා මිසක වරදේ කොටස්කරුවෙක්ය යන්න කිසිම විටෙක පිලි නොගනී.

සහයෝගය, බෙදා හදා ගැනීම නැත

ආත්මාර්ථකාමී දරුවන් තවත් කණ්ඩායමක් සමග කටයුතු කිරීමට කැමැත්තක් නැත. ඊට හේතුව ඔවුන්ට අවශ්‍ය වන්නේ තමා මුල් කර ගෙත් ලෝකය පමනි.පැන්සල,මකනය පවා තවත් අයෙකු සමග බෙදා ගැනීමක් නැත.

ඔබේ දරුවාගේ මේ ගති ලක්ෂණ තිබුනොත්..

ඔබේ දරුවා වෙතින් මේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය වුනොත් හැබෑ නේන්නම් අපේ දරුවා ආත්මාර්ථකාමියි සිතා ලේබලය අලවා පැත්තක තබන්න එපා. පුංචි පැලේ ගස වෙන නිසා මේ දුර්ගුණ පැලය අවධියේදීම දුරු කළ යුතුයි. ඒ නිසා නිතරම සංවේදී බව පුරුදු කරන්න. දයාව වැනි ගුණාංග සිතට ඇති කරන්න.කරුණාවන්ත දරුවාගේ ගති ලක්ෂණ ගැන කියා දෙන්න. තමාට රිදවන විට නොකමැති සේ දරුවා විසින් අනුන් රිදවන විට ඔවුන්ටත් ඒ අන්දමින් රිදෙන බැව් පැහැදිලිව කියා දෙන්න.

බෙද හදා ගන්න කියා දෙන්න..

වෙරලු ගෙඩිය වුනත් බෙදා හදා ගත හැකි බව කියා දෙන්න. මෙතැනදී වැදගත් ලොකු පංගුව නොව ලැබෙන දේ බෙදා හදා ගෙන ප්‍රයෝජනයට ගැනීම බැව් කියා දෙන්න.

සංවේදී කටයුතුවලට සම්බන්ධ කර ගන්න

ආත්මාර්ථකාමී දරුවාට ලෝකය විවෘත කරන්න. ඔබ සපත්තුවක් නැතුව හඩන විට දෙපා නැති දරුවන් ලෝකයේ සිටින බැව් ඔවුන්ගේ මනසට විවෘත කරන්න. නිවසේ වපසරියට වඩා දරුවා ජීවත්වෙන ලෝකය පුලුල් බැව් කියා දී මේ ලෝකයේ ජීවත්වෙන විට සංවේදීබව වඩාත් වැදගත් බැව් කියා දෙන්න.අසරණයන්ට පිහිටි වීමේ වටිනාකම ගැනත් දරුවන්ට වචනයෙන් කියා දීම සමග ප්‍රායෝගිකවත් එවැනි කටයුතුවලට දරුවා සම්බන්ධ කරන්න.

දරුවා සමාජයට හුරු කරන්න

අද බොහෝ දරුවන් දැඩි ලෙසින් ආත්මාර්ථකාමී වී සිටින්නේ ඔවුන් ජීවත්වෙන රටාව අනුවයි. පාසල,පංතිය හා නිවස මුල් කර ගත් මේ රටාවටත් වඩා අධ්‍යාපනයේ තරඟය නිසා දෙමව්පියන් විසින් නිතරම දරුවන්ට කියා දෙන්නේ ලකුණු වෙනුවෙන් හඹා යන අරමුණයි. ඒ නිසා පොත පත බෙදා හදා ගෙන පාඩම් කටයුතුවල නිරත වීමට කිසිසේත්ම ඉඩක් නොදෙන්නේත් යම් හෙයකින් මේ විෂය කරුනු වෙනත් දරුවෙකු විසින් ඩැහැ ගත හැකිය යන තණ්හාව නිසයි. ඒ නිසාම දෙමව්පියන් විසින් ලබා දෙන මාර්ගෝපදේශකත්වය අනුව යන දරුවා දැඩි ආත්මාර්ථකාමී චරිතයක් ලෙසින් ගොඩ නැගීම යනු අරුමයක්ද නොවේ.

කෙසේ හෝ වේවා අපි දරුවෙකු වෙතින් දැකිය යුත්තේ දරුවෙකුගේ ගති පැවැතුම් පමණි.ඒ නිසා ඔබේ දරුවාට මලක් සේ ලෝකයට විකසිත විය හැක්කේ දරුවා මලක් මෙන් සුන්දර ගති පැවැතුම් වලින් බැබලුනොත්

 

අඬන්න අවසර දෙන්න

අපේ පුංචි පැටවුන්ට අඬන්න වෙලාවක් වගේම හේතුවක් අවශ්‍ය නැහැ.ඒත් උපත ලද මොහොතේ පටන්ම දරුවන්ගේ අවශ්‍යතාවයන් සන්නිවේදනය වෙන්නේ ඇඬීමෙන්.නමුත් අඬන්න අවසර දීම සහ දරුවාගේ අඬන හේතු සොයා පිලියම් ලබා දීමේත් අදියර කීපයක් තිබෙනවා.

මුල් මාස හයේදී නම් ඉක්මන් ප්‍රතිචාර අවශ්‍ය වෙනවා…

බිලිදු දරුවෙක් අඩන්නේ කුසගින්න, මල මුත්‍ර පිට කිරීමෙන් පසු අවස්ථාව, දහඩිය, ඇත්ම් විට නිදිමත වැනි හේතු බව දන්නා අපේ දෙමව්පියන් අඩන සැනින් දරුවාගේ අවහ්‍යතාවය හඳුනා ගෙන ඒ වෙනුවෙන් පිලියම් ලබා දෙනවා.මුල් මාස හයක් දක්වා වූ කාලයේදී දරුවා අඩන විට ඒ වෙනුවෙන් ඉක්මන් ප්‍රතිචාර ලැබී තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු වෙනවා නම් දරුවා සතුටට පත් වෙනවා.මේ සතුට නිසා දරුවාගේ වයස අවුරුද්දක් පමණ වෙන විට ඔවුන් වඩාත් ප්‍රිතිමත් සහ ස්වාධින දරුවන් බවට පත් වෙන බව දැන් හදුනා ගෙන තිබෙනවා.

නමුත් අඩන විටම ප්‍රතිචාර දැක්විය නැති අවස්ථාවනුත් තිබෙනවා.

කාලය සමග තොටිලි වැටෙන් පනින දරුවාතමන්ගේ වටපිටාව සමග සම්බන්ධ වෙනවා. එවිට දරුවාගේ ලෝකය වෙනදාට වඩා විසිතුරුයි.ඒ නිසා දරුවාගේ ඉල්ලීම් වැඩියි. අන්න ඒ වගේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විසින් සැලකිලිමත් විය යුතු කරුනු කීපයක් තිබෙනවා.

අඩන පමාවෙන් දිය යුතු නැහැ.

යම් දෙයක් ඉල්ලා දරුවා අඩනවා නම් එය අඬන පමාවෙන් දිය යුතු නැහැ.එහෙම වුනාම දරුවා එය ආයුධයක් කර ගන්නවා.සමහර දේ ඔබට දිය හැකියි. ඒත් සමහර අඩන හේතු වෙනුවෙන් දරුවාගේ අවශ්‍යතාවයන් ඉටු කර දීමට නොහැකියි. ඒ නිසා මෙම හේතු අතර ඇති හිදැස මත ක්‍රියාකිරීම ඉතාම වැදගත්.

සීමාවක් නැතුව දිය යුතු නැහැ.

සමහර විට දරුවාගේ අඩන හේතු දන්නා නිසා සීමාවක් නැතුව ලබා දීමත් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි.අපි මෙහෙම කියමු. දරුවාගේ ආහාර වේලට සොසේජස් නැත්නම් කෑ මොර දෙන නිසා හැමදාම ආහාර වේලට සොසේජස් එක් කිරීම ඔබ කළ යුතු නැහැ.

අහිතකර දේ නොදිය යුතුයි.

දරුවා අඩන නිසාම ඔවුන්ට අහිතකර දෙය නොදිය යුතුය. අඩනවා යැයි කියමින් දරුවාට අහිතකර දෙයක් ලබා දීම නම් නොකළ යුතුයි.බොහෝ දෙමව්පියන් තම දරුවාට අඩන නිසා ජංගම දුරකථනය අතට දී නිහඩ කිරීමට පුරුදුව සිටින බැව් දැන් සිරිතක්.

ඉස්සරකාලයේ අඬන්න අවසර දුන්නා..

සමහර අවස්ථාවලදී නම් දෙමව්පියන් විසින් දඬුවම් ලබා දුන්නාම දරුවන් ගේ ඇඬීම සාධාරණයි. අතීතයේදී නම් දරුවන් අඬන විට දෙමව්පියන් විසින් ඒ වෙනුවෙන් ඕනෑ තරම් අවසර දුන්නා. ”ඔන්න එහෙ අඬපුදෙන්..”ඇති වෙන්නේ නැතෑ. එදා දෙමව්පියන් විසින් ඒ විදිහට කිව්වත් අද දවසේ ඇතැම් දෙමව්පියන් දරවනට අඩන්න අවසර දෙන්නේ නැහැ. වහ ගන්නවා කට..ආයේ ”හ්ම් ” කියන්නේ නැහැ. මේ විදිහට ආධිපත්‍ය පැමෙන් දරුවාගේ ඇඩීම නතර කිරීම එතරම් සුබවාදී දෙයක් නම් නොවෙයි.පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන අන්දමට දරුවෙකුගේ ඇඬීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා.

එහෙම නම් දරුවාට අඬන්න අවසර දෙමු.

පිට්ස්බර්ග් සරසවියේ සිදු කරන ලද මෙම අධ්‍යනයේ ප්‍රධාණී මහාචාර්ය ලෝරන්ස් පෙන්වා දෙන්නේ අඬන දරුවාට අඩන්න ඉඩ දෙන්න…ඇඬීම නිසා දරුවාගේ හිතේ ඇති වේදනාව සමනය වෙනවා. ඒ නිසා හිත් වේදනාව අවසාන වෙන තෙක්ම අඬන්න අවසරය දීම ඉතාම වැදගත් බැව් මේ අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.අඬන අයට හිතේ දුක නිවෙන තෙක් අඩන්නට අවසරය ලබා දෙන්න.

ඇඬීම නිසා අලුත් වෙනවා

දරුවන්ටත් ගැටලු නැතුවා නොවෙයි. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගනු වස් ඔවුන් අඬන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවක ඔන්න ඇඬියාව පටන් ගත්තා..දැන් මම කෝටුවක් ගත්තොත්..වගේ දරුවාට තර්ජන කරනවා වගේම සමහර විට කෝටු පාරවල් දෙන්නත් ඉඩ තිබෙනවා.

නමුත් දෙමව්පියන් විදිහට කිසිම දිනක ඒ අන්දමින් අඩන දරුවාට තර්ජනය කරන්න එපා. ඇඬීම සමග දරුවාගේ මානසිකත්වය අලුත් වෙන්න පුලුවනි.ඉහත අධ්‍යනය මගින් පෙන්වා දෙන අන්දමට අඩන්න පටන්ගත් දරුවාට වඩා ඇඬීමෙන් පසුව අප ඉදිරියේ සිටින්නේ අලුත් දරුවෙක් විය හැකියි. ඇඬීම නිසා දරුවාගේ අලුත්වීම මොන තරම් ප්‍රබලද යන්න දැන් ඔබට පැහැදිලි වේවි.

හිතවත් අය සමීපයේ සිටීම

දරුවෙකු අඩන විට නිවසේ සිටින සියළු දෙනාම එක්වී දරුවාට තවත් දොස් නගන්න, තර්ජනය කළ යුතු නැහැ.නිවසේ කවුරුන් හෝ අඩන දරුවාගේ පැත්තේ සිටීමත් වැදගත් අපේ බබා අඩන්නේ නැහැ..අඩන බබාලා අපට නැහැ..ආදි විදිහට යම් ආකාරයකින් දරුවා සැනසීම හෝ ඔහුගේ ශක්තියට පිරිසක් සිටින බැව් පෙන්වීම ඉතාම වැදගත්ඒ වගේම අඬන හේතුව දෙස සාධාරණ ඇසකින් බැලීමටත් දරුවාගේ පැත්තෙන් කවුරුන් හෝ සිටීමත් ඉතාම වැදගත් වේවි. එසේ නොමැතිව දරුවාගේ ගැටලු දෙස කිසිවෙකුගේ අවධානය යොමු නොවීම නම් නොවිය යුත්තක්. එවැනි අවස්ථාවකදී දරුවාගේ හිතේ ඇති වෙන පසුබැස්ම, මානසික හිස්බව නිසා ඇති වෙන හිතේ වේදනාත්මක බව තුනී කිරීමට සඳහා කාගේ හෝ සමීප වීමක් අවශ්‍ය වේ.

ඇඬීම සනීපාරක්ෂක දියරයක්

ඇඬීම නිසා ඇස් පිරිසිදු වෙන නිසා එය සනීපාරක්ෂක දියරයකට සමාන බැව් පිට්ස්බර්ග් සරසවියේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

එහෙමනම් සැබැවින්ම ඔබේ අඬන දරුවාගේ ඇඬීම තරවටුවෙන් නැවතීම එතරම් සුබවාදී දෙයක් නොවන බැව් දැන් ඔබට හේතුඵල සාධක ඇතුවම පැහැදිලි වෙනු ඇති.

 

දරුවා බිම ඉඳගන්නේ W හැඩයට නම් එය අදම වෙනස් කළ යුත්තේ මේ නිසයි

බොහොමයක් පුංචි දරුවෝ බොහොම පහසුවෙන් බිම ඉඳ ගන්නේ මෙන්න මේ කියන විදියට W හැඩයට පාද නමාගෙන. ඒත් ඒ ඉරියව්ව දරුවා ක්‍රමයෙන් වැඩෙද්දී පාදවල විකෘතිතා ඇති කරන්න හේත් වෙන බව ඇතැම් මව්පියන් දන්නේ නැහැ. 

කුඩා දරුවන්ගේ පාද ආශ්‍රිත ඇති වන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක් ලෙස දණහිස් එකට ගැටීම නැතහොත් නොක් නී (Knock Knees) තත්වය දැක්විය හැකියි. වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ ජීනූ වැල්ගස්  (Genu Valgns) ලෙසයි.

දරුවෙක් දණහිස් දෙක එකට ගෑවෙන සේ සිටගත් විට පාද දෙකේ වළලූකර අතර පරතරය අඟල් 3 ට වටා වැඩි නම් ඒ තත්ත්වය ජීනූ වැල්ගත් ලෙස සැලකිය හැකියි. බොහෝ විට ශරීරය තුළට දණහිස් සන්ධිය හැරී පවතින ආකාරය දැකගත හැකියි. බෙහෝ කුඩා දරුවන් අතර දැකිය හැකි මේ තත්ත්වය ප‍්‍රතිකාර නැතිවම ඉබේම අවුරුදු 5 ක් විතර වෙන විට සාමාන්‍ය අතට පත් වේ. සුළු ප‍්‍රතිශතයකට ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

වෛද්‍යවරු පවසන ආකාරයට දණහිස් එකට ගැටීමට හේතූ

  • අධික ස්ථූලභාවය (සිටගන්නා වයසේදී අධික බරකින් යුක්ත වීම)
  • දණහිසේ ආතරයිටීස් තත්ත්ව
  • විටමින් D සහ කැල්සියම් ඌණතාව
  • දණහිසට වෙන අනතුරු සහ ආසාධන 

මේ තත්ත්වයට තවත් එක් විශේෂ හේතුවක් ලෙස වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ළදරු අවධියේදී බිම ඉඳ ගත් විට දණහිස් උඩ ඉඳගන්නා දරුවන් නැතහොත් W අකුර හැඩයට දෙපා පිටුපසට දමා ඉඳගන්නා දරුවන්ගේ බන්ධනී ඇදීමට ලක්වී දණහිස ශරීරය තුළට නැඹුරු වීමයි. එම නිසා කුඩා අවධියේදී තම දරුවා ක‍්‍රියාකාරකම්වල යෙදෙන විට නිරන්තරයෙන්ම දරුවා සිටින ඉරියව් ගැන දෙමාපියන් ලෙස සැලකිලිමත් විය යුතුය.

ඉහත කී හේතුවලට අමතරවනිසි වයසට කලින් එනම් දරුවා ස්වෝත්සාහයෙන් සිට ගැනීමට ප‍්‍රථම දරුවන් සිටවා තැබීම එසේත් නොමැති නම් වෝකර් වල දැමීම වැනි නොයෙකුත් හේතූ මත දරුවාගේ දණහිස අවට පේශී දුර්වල වීම නිසාද දණහිස අස්ථාවර වී දණහිස් එකට ගැටීම නැතහොත් නොක් නී (Knock Knees) නම් වූ මෙම විකෘතිය ඇති විය හැක.

මෙම විකෘතිතාව නිසා අප ශරීරයේ බර වැටෙන රේඛාව වෙනස් වන බැවින් පාදයේ පතුලටද මෙම තත්ත්වයේ බලපෑම දැනෙයි.

බොහෝ විට පාදයේ පතුලේ ලොකු ඇඟිල්ල ඇති දාරය පොළවට බර වී පිහිටයි. ඊවර්ටඩ් ෆුට් (Everted foot) ලෙස හැඳින්වෙන මේ තත්ත්වය නිවැරදි කිරීමට භෞතචිකිත්සකවරු විසින් ඇතුළු දාරයට අඩ සඳක් සේ කුඩා නෙරුවක් සපත්තුවට පළඳින ලෙස නිර්දේශ කරයි. 

එවිට එම පතුලේ විකෘතිය මෙන්ම දණහිසද ශරීරයෙන් ඉවතට තල්ලූ කිරීමක්ද සිද්ද වේ. මෙම බර වැටෙන රේඛාව වෙනස් වන බැවින් දණහිස් සන්ධිය මෙන්ම වලලූකර සන්ධියද රිදුම් දීමක් පසු කාලයකදී ඇති විය හැක. එමෙන්ම කකුල ඇද්දවීමක් නැතිනම් කොරගැසීමක් (Limp) ද පසු කාලයකදී නිරීක්‍ෂණය වේ. 

මෙම තත්ත්වය සුව කිරීම සඳහා වෛද්‍ය සහ ශල්‍ය ප‍්‍රතිකාර මෙන්ම භෞතචිකිත්සක ප‍්‍රතිකාර ඇත.

ඉබේ සුව නොවේ නම් බොහෝ විට වෛද්‍යවරු මෙම විකෘතිය නිවැරදි කිරීමට භෞතචිකිත්සාව සඳහා රෝගීන් යොමු කරති.

භෞතචිකිත්සකවරු එවිට මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම සහ නිවැරදි කරන ව්‍යායාම කරමින් නිර්දේශ කරන අතරම ඊට අමතරව පතුරු සහ විශේෂ සපත්තු ක‍්‍රමයද යොදා ගනිමින්  සුව කිරීමට උපදෙස් ලබාදෙයි.

දණහිස් එකට ගැටීම නැතහොත් නොක් නී (Knock Knees) තත්වය මඟහරවා ගැනීමට නිවසේදී ඔබට කළ හැකි සරල ව්‍යායාමයක් ලෙස උඩුබැලි අතට හාන්සි වී දණහිස නොනවා පය අංශක 450 ක් පමණ ඉහළට ඔසවා ඉහළ දරාගෙන සිටින්න. එය වරින්වර එක් වරකට 20 බැගින් දිනකට 2 වරක්වත් කරන්න. එසේම පාපන්දුවකට පයින් ගැසීම, බයිසිකල් පැදීම වැනි දේ ද මේ සඳහා නිර්දේශ කළ හැක.

 

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

ළමයින්ගේ ළමයින් බලා ගැනීම- LLB

විශ්‍රාම වැටුප් ගන්න බැංකුවට ගියාම එහෙම නැත්නම් මාසිකව පැවැත්වෙන චිකිත්සාගාරයට ගියාම අපේ වැඩිහිටියන්ට පරණ මිතුරුන් මුණ ගැහෙනවා. දැන් මොකද කරන්නේ..මේ විදිහට සුහද කතා බහ ඇති වුනාම ”අපි දැන් LLB කරනවා. ඉතින් ඔබ හිතතන්නේ අවුරුදු හැටක් වෙලත් මේ අයට මොන විභාගද කියල වුනත් ඔවුන් මේ කෙටි විදිහට දෙන පිලිතුරට අනුව වර්තමානයේදී මේ දෙමව්පියන් ගේ කාර්යය වන්නේ ”ළමයින්ගේ ළමයින් බලා ගැනීමයි..”

මේ පිලිතුර ඉදිරියේ විවිධ අදහස් ගොඩ නැගෙන්න පුලුවනි..

අනේ තවමත් නිදහසක් නැද්ද? එහෙම අහද්දී අපේ මුනුපුරෝ බලා ගැනීම මොන තරම් සතුටක්ද..? ඔබේ පිලිතුර ඒ විදිහට ලැබෙන්න පුලුවනි.

අනේ ඉතින් අපි පුංචි පැටව් රැකබලා ගන්න එපායැ. නැත්නම් කවුද ඉතින් මේ නොදරුවෝ රකින්නේ..සැබැවින්ම වැඩිහිටි දෙමව්පියන් විදිහට ඔබේ පිලිතුර බොහොම ගාම්භීරයි.

වැඩිහිටියන් සමග සිටින දරුවන්ට වාසි බොහොමයි..

වැඩිහිටි දෙමව්පියෙක් නිවසේ සිටිනවා කියන්නේ ඉතාම ලොකු හයියක්. ඒ දරුවන් රැක බලා ගැනීමේ මෙහෙකාරයා යන අදහසින් නම් නොවෙයි.වැඩිහිටියන් සමග කාලය ගෙවන දරුවන්ට ලැබෙන වාසි මුල් කර ගෙන මේ වෙන විට විවිධ අධ්‍යනයන් පවා සිදු වී තිබෙනවා. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් මේ සංසිද්ධිය ඒ කියන්නේ වැඩිහිටි මව්පියන් සමග වැඩෙන මුනුපුරන්ගේ පෞරෂය මුල් කර ගෙන අධ්‍යනයන් සිදු වී තිබෙනවා. ඒ වෙනුවෙන් දරුවන් 1500 ක් සම්බන්ධ කර ගත්තා.

අධ්‍යනය අවසානයේදී පර්යේෂකයන්ට පෙනී ගියේ වැඩිහිටි දෙමව්පියන් ඇසුරේ වැඩෙන දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ඉතා ඉහළ මට්ටමක පැවැති බවයි.ඒ වගේම මේ දරුවන් තුළ සහයෝගය, සමාජ සම්බන්ධතාවයන් වගේම තමාගේ වයසේ කණ්ඩායම් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැනි සාර්ථක ලක්සණ බොහොමටක් දැක ගන්නට ලැබුන බැව් මෙම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.

අපේ අතීතය ගැන හිතමු..

අද නම් හැම පවුලක්ම අම්මා,තාත්තා සහ දරුවන්ට සීමා වුනත් අතීතයේදී නම් අත්තම්මා සහ සීයා මේ පවුලේම කොටස් කරුවන් බවට පත්ව සිටියා. ඒ නිසා දරුවන්ට රසවත් අත්දැකීම් ලැබුණා.

කථන්දර අහන්න..

හැන්දෑ වෙද්දී අත්තම්මා සහ සීයා තුරුලට වෙලා කථන්දර අහන්න දරුවන් බොහොම ප්‍රිය කළා.දැන් නම් අම්මලාට වුනත් කථන්දර කියා දෙන්න වෙලාවක් නැති බව ඇත්ත. ඒ නිසාම රූපවාහිනියේ ටෙලි නාට්‍ය සමග දරුවන් යොමු වීමේ ප්‍රවනතාවයත් ඇති වුනත් අතීතයේ වගේ වැඩිහිටි දෙමව්පියන් සමග එක්ව කථන්දර අහන්න අවස්ථාවක් තිබෙනවා නම් ඔවුන් එයින් ප්‍රයෝජන ගනීවි.

කථන්දර ඇහීමේ වාසිත් තිබෙනවාද..?

ඔව් අද දරුවන්ට පංතියක වුනත් අවධානය දැක්වීමේ ගැටලු තිබෙනවා.නමුත් කථන්දර අහන්න හුරු පුරුදුව සිටි දරුවන්ට සවන්දීමේ හැකියාව ඉතා හොඳින් ප්‍රගුණ වෙනවා. මේ කුසලතාවයන් උපයා ගන්න වෙන කිසිම අවස්ථාවක් දෙමව්පියන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම වැඩිහිටියන් සමග එකට එකතු වෙලා කථන්දර අහන්න පුලුවන් පරිදරයක් අදත් තිබෙනවා නම් ඔබේ දරුවා වෙතින් හොඳ සවන් දෙනේනෙකුගේ ගති පැවැතුම් නිර්මානය වේවි.

නිර්මානශීලියි..

ඔබ මේ පුංචි කවිය අසා ඇති. ”මට මතකයි..මට මතකයි..සීයා අපේ තුම්- මිදුල පුරා කෝටුවකින් ගෝනෙකු ඇඳ දුන්..

අතීතයේදී වැඩිහිටි දෙමව්පියන් තමන්ගේ මුනුපුරු මිනිපිරියන් බොහෝ නිර්මානශීලී කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගත්තා. පුංචි අත්කම්.ගෙත්තම් වගේම කොස් කොළයකින් වුනත් තොප්පියක් හදන්න, පොල් පිති ගොනෙක් අරගෙන දක්කන්න..පොල් කටු පය ලා ගෙන ඇවිදින්න..මේ හැම දෙයක් වෙනුවෙන්ම පුර්ව මග පෙන්වීම ලැබුනේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසා දරුවන්ගේ නිර්මානශීලීත්වය වැඩිහිටි දෙමව්පියන්ගේ ආභාෂය නිසා තව දුරටත් වැඩි දියුනු වුනා.

සාරධර්ම කියා දීම

වැඩිහිටි දෙමව්පියන් විදිහට අත්තම්මා ,සීයා යන තනතුරට පත් වීමත් සමග ලෝකයේ හොඳ සහ නරක පිලිබඳව මනා අත්දැකීමක් ඔවුන් තුළ තිබෙනවා.තරුණ දෙමව්පියන්ට වඩා ජීවිතයේ පරිණත බව සමග ඇති වුන මේ නිවුන බව නිසා තමන්ගේ මුනුපුරු පරම්පරාවටත් අර්ථයෙන් සහ ධර්මයෙන් ලබා දෙන අනුහාසනාවන් නිසාම ඔවුන්ගේ ජීවිතය බාල කාලයේ පටන්ම හැඩ ගසා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගුණදහම් වගාව නිසාම මතු දවසේ බිහිවෙන්නේ නිවුන සිත් ඇති වැඩිහිටියක් . ඒ තරම් ආශිර්වාදයක් සමාජයට වෙන කිසිදු තැනකින් උපයා ගැනීමට නොහැකියි.

දැන් බලමු මුනුපුරන් සමග කාලය ගෙවන වැඩිහිටියන්ට ලැබෙන වාසි මොනවාද…?

පුද්ගලයෙකුගේ ජීවිතයේදී මුනුපුරන් දකින වයස එළැඹෙන විට අවම වශයෙන් පණහ දශකයට ඔවුන් පැමිණ සිටිනවා. මේ වයසත් සමග කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් ඔසප් චක්‍රයේ අවසාන වීම සිදු වීම සාමාන්‍යයි. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද මේ අධ්‍යනයට ආර්තවහරණයට පත් කාන්තාවන් 186 දෙනෙක් සම්බන්ධ කර ගත්තා.

ආර්තවහරණය සමග කාන්තාවන්ගේ සිරුරේ ඇති වෙන හෝර්මෝන අසමතුලිතතාවය නිසා මානසික සෞඛ්‍යත් නොදැනීම පිරිහෙනවා. ජීවිතයේ ඇති හුදෙකලා බව දරා ගැනීමට පවා අපහසුයි. පවුල් බැඳීම් ලිහී යෑම නිසා ඇති වෙන මේ කාංසාව සහ වෙනත් මානසික ව්‍යාකූලතාවයන්ට ඉතා හොඳ පිලිතුරක් මේ අධ්‍යනය මගින් ලබා දෙනවා.

මේ පර්යේෂකයන් හදුනා ගත් අන්දමට ආර්තවහරණයට පත් කාන්තාවන් අවම වශයෙන් සතියකට වරක්වත් තමන්ගේ මුනුපුරන් සමග කාලය ගෙවනවා නම් මේ වැඩිහිටියන් යහපත් මානසික සුවතාවයක් ඇති වැඩිහිටියන් බවට පත් වෙන බවයි.

ඒ වගේම ව්‍යායාම කරන්න වෙලාවක් නැති වුනත් මේ දරුවන් සමග කාලය ගෙවන විට ඔවුන් නොදැනීම ක්‍රියාශීලි චරිත බවට පත් වෙනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් නිවසේ වුනත් එහා මෙහා ඇවිදිම, ඔවුන් සමග කඩපිලට,පල්ලියට,පන්සලට  යෑම පුංචි පැටව් වෙනුවෙන් ආහාරයක් පිළියෙල කිරීම වැනි යම් යම් ක්‍රියාකාරකම් ඇති වෙනවා.

 

එහෙමනම් වැඩිහිටි දෙමව්පියන් සමග ඔබේ දරුවන් වැඩෙනවා කියන්නේ හරියට එකම කාසියක දෙපැත්තක් වගෙයි. ඒ වාසිය දරුවන්ට වගේම වියපත් දෙමව්පියන්ටත් අත් වෙන බැව් දැන් ඔබටත් පැහැදිලි වේවි….

 

 

යෞවන දරුවෝ…

 යෞවනත්වයට එළඹෙන දරුවෝ එහෙමත් නැතිනම් teenagersලා කියන අවධිය වැඩිහිටියෝ උන අපිත් පහුකරලා තියෙනවා. ඒත් අපිට අපේ දරුවෝ එක්ක ගණුදෙනු කරද්දි අපි ඒ වයස පහුකරපු හැටි අමතක වෙනවා. 

#එකටෙක කියාගෙන ගියපු හැටි

#රහසින් කොදුරමින් ඇනුම්පදයක් කියපු හැටි

#රවපු හැටි

#කට ඇදකරපු හැටි

#හැමඑකටම ඇඟිලි ගහනව මෙයාලා කියල හිතපු හැටි

#අම්මලා ආදරේ නෑ.. අහවල් කෙනාගේ අම්මලා නම් ඒ අතින් හරිම ග්‍රේට් කියලා හිතපු හැටි

හරි මේ මොකක් හරි අපි අපේ යෞවන කාලයේදී කරලා හෝ හිතලා හෝ තියෙනවා. ඒකට හේතුව වැඩිහිටි අපේ දෙමාපියන්ගෙත්, යෞවනෝදය ලබපු ඒ කාලේ අපෙත් සිතුවිලි ක්‍රියාකරන ආකාරය.ඉතින් ඇයි අපි මේක හෙමින් හෙමින් ටීනේජර් කෙනෙක් වෙන්න පුංචි අඩි තිය තියා යන අපේ දරුවන් සම්බන්ධයෙන් කල්පනා නොකරන්නේ. එයාලත් ඒවගේමයි. ශාරීරික හා මානසික වෙනස්වීම් වලට මේ කාලයේ මූණ දෙනවා.

යෞවන කාලයේ මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා, වැඩිහිටි අපත් සමඟ එයාලගේ අදහස් ගැටෙන තැනකට ආවම මේ අය සුලබව කරන දෙයක් තමයි, වැඩිහිටි අපිට තරහ යන, අපහාසවෙන හෝ අගෞරව වෙන විදිහට හැසිරෙන එක. දඩබඩාං ගාල දොරවල් වහන, පිඟන් හඩ නැගෙන්න එහෙට මෙහෙට තල්ලු කරන එක වගේම එයාලගේ වචනෙන්ම කියනවා නම් ” Don’t care” එකේ ඉදීම වගේ දේවල්. ඇත්තටම අපිරිමිත ආදරයෙන් එයාලගේ පුංචි හැඩුමකට පවා කළබල උන අපි, එයාළගේ මේ වගේ හැසිරීමකදි කැළඹෙන එක සාධාරණයි. හැබැයි මේ කැළබීම අතරේ අපිට පොඩි සුබදායි සංඥාවකුත් ලැබෙනවා. 

ඒ තමයි අපේ දරුවෝ දැන් හෙමින් ස්වාධීන වෙන්න උත්සහ දරන බව සහ එයාල තනිව තීරණ ගන්න ආරම්භ කර ඇතිබව. අපි මඟපෙන්වුවත් කවදා හෝ ඔවුන් ස්වාධීන වියයුතුයිනේ. ඉතින් මේ පාර කැපෙන්නේ ඒකට. හැබැයි දරුවො මේ විදිහට හැසිරෙන එක ” හනේ ශෝක් හරි තාම පොඩියිනේ ” කියලා හරි නොසලකා හැරලා අපේ පාලනයෙන් තොර වෙන්න දෙන්න ගියොත්, දරුවා ස්වාධීන වෙන එක වෙනුවට බොහොම දඩබ්බරයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි බුද්ධිමත්ව හොද සන්නිවේදනයක් හරහා හරවත් සංවාදයක් දරුවා එක්ක පවත්වන් යන බවට දරුවාට මේ අවස්තාවේදී තහවුරු කරන්න ඕන. ඒ කියන්නේ දරුවාගේ අවශ්‍යතාවය හා හැඟීම් අපි වටහා ගත් බවත් දරුවාට තේරුම් කරන ගමන් එයාව සාමාන්‍යකරණය කරගන්න එක තියෙන්නේ අපේ අතේ.

මේක කරන්නේ කොහොමද?

 

  • ඕනවට වඩා කළබල වෙලා ප්‍රතිචාර දක්වන්න එපා ( Do not overreact ) 

 

යොවුන් වියට පා තබලා ඉන්න දරුවාට, ඔබ ළවා යමක් කරගන්න ඕන උනාම එහෙමත් නැත්තම් එයා කැමති දේකට ඔබව අවනතකරගන්න අවශ්‍ය  වුනාම කළහකාරි හෝ ඔබට අපහාසාත්මක වෙන විදිහට හැසිරෙන්න පුලුවන්. ඔවුන් මේවා බොහෝ විට කරන්නේ හිතාමතා. ඔබව රිදවන්න සහ ඔබේ අවධානය ගන්න කියන කාරණා දෙකටම බව ඔබ තේරුම් ගන්න ඕන. සමහර විට ඔබ කැමතිම මල් ගහේ අත්තක් කඩලා බිම දාන්න එහෙමත් නැත්තම් ඔබේ පරණම සිහිවටනයක් බිඳ දමනවා වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට මුලින් කළ යුත්තේ ඔබ පාලනය වෙන එකයි. පහරදීම්, පරුශ වචනයෙන් බැනවැදීම් ඔබ කරන්න පටන් ගත්තොත් ඔබත් නොමේරුනු යෞවන දරුවාත් අතර කිසිම වෙනසක් නැති වෙනවා. ඒ නිසා සන්සුන්ව දරුවාට ආදරයෙන් කතා කරන්න. ඔබ හොඳම වර්ගයේ ඇහුම්කන්දෙන්නෙක් බවට සපත කරවන්න. 

 

  • ලෝකේ ඉන්න හැම මනුස්සයම වැරදි බවට දොස් කියන්න එපා ( Do not bad-mouth other people )

 

සමාජයේ ඉන්න කොයිකවුරු උනත් මිනිස්සු. ඉතින් අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා දරුවන් ඉස්සරහදී ඔබ විවේචනය කිරීමෙන් වැලකෙන්න ඕන. මොකද ඔය විවේචනයම පාරාවළල්ලක් වෙලා ඔබේ දරුවාම ඔබට එවනවා. ” අනේ ඔයා එනවද මට උගන්නන” කියලා දරුවෝ එකටඑක කියාගෙන එන්න එක හේතුවක් මේක. ඔබ අනෙක් අයට ගෞරව කරන්නෙ කොහොමද කියන එක ඔබේ දරුවා බලාගෙන ඉන්නවා, ඒක කවදාවත් අමතක කරන්න එපා.

 

  • හැමවෙලේම දරුවා හරියි හෝ හොඳයි කියන්නත් එපා ( Do not take your child’s side)

 

” මේ ටීචර් ගොඩක් වැඩ දෙනවා අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ ” කියන දවසක “අනේ ඔව් මේ ටීචර්ට පිස්සු මෙහෙම ළමයි මරව මරව හෝර්ම්වර්ක් දෙන්න වගේ දේවල් ” ඔබ දරුවා ඉදිරිපිට කියන්න එපා. ඒ ඔබ කරන්නෙ දරුවාට වෙනකෙනෙක්ට අගෞරව වෙන විදිහට කතා කරන්න අනියමින් අනුබල දීම. ඒ වෙනුවට ඔබ පුද්ගලිකව ගුරුවරයා හමුවෙලා කතා කරන්න. එහෙමත් නැති නම් “පුතාට පුලුවන් තරම් කරන්නකො. මමත් දන්නෙ නැති දේවල් කියලා දෙන්නම්” එහෙමත් නැතිනම් ” අදට පුතා කරන්නකෝ අපි හෙට ටීචර්ට කියමුකො පොඩ්ඩක් වැඩ අඩුකරන්න කියලා හොඳද” වගේ වචන වලින් දරුවා සනසවන්න. මොකද නපුරේ බීජ අපි විසින් එයාලගේ මනසේ පැල නොකල යුතුයි. ගෞරවය ලැබෙන්නෙ ගෞරවය දෙන්නාට පමණයි. දරුවාට අනාගතයේදි ඔහුට හෝ ඇයට  එකඟ වෙන්නෙ නැති ,  දරුවා අකමැති ඕනෑතරම් වැඩිහිටියන් හා සමකාලීනයන් මුණ ගැසේවි. ඔබ මේ පාඩම දරුවාට උගන්නලා තිබ්බොත් දරුවා ඒ අයව හොඳින් කළමනාකරණය කර ගනීවී.

 

  • දරුවාගේ හොඳ ගතිගුණ අගය කරන්න පසුබට වෙන්න එපා ( Do not forget to notice their good behavior )

 

දරුවන්ට විතරක් නෙමෙයිනේ නිතරම අපේ වැරදිම කවුරුහරි කියනවා නම් අපිට තරහා යනවා. ඔබ හැමවෙලාවෙම දරුවාගේ වැරදි සහ එයා පැරදුන තැන් ගැන විතරක් කතා කරනවා නම් කෝ ඉතින් දරුවට ජයග්‍රහණය කරන්න අවස්තාවක්? වැරදි තැනකදිත් ඉවසීමෙන් තේරුම් කරන ගමන් හොඳ නිතර පසසන්න පුරුදු වෙමු. පැසසුම් ලැබීමෙන් දරුවන් හොඳ හැසිරීම් වඩ වඩාත් වර්ධනය කරගන්න එක රහසක් නෙමෙයිනේ.

 

  • දරුවාට බල කරලා ගෞරවය ලබා ගන්න එපා (  Do not demand respect )

 

හැම යෞවනත්වයට පත්වෙන දරුවෙක්ටම එන පොදු හැඟීම ” අනේ අම්මලට තේරෙන්නෙ නෑ මේවා” කියන එකයි. අනෙක් අතට ” මම අම්මා ඔයා මට උඩින් යන්න එපා ” වගේ අපිත් කියනවා නම් මේ ඝට්ටනය අපිට සමනය කරන්න බැරි තරම් අවුල් සහගත වෙනවා. 

දරුවෙක් ඔබට ස්වයංක්‍රීයව ගෞරව කරන්නේ නැහැ. ගෞරවය කියන්නේ හැඟීමක් ඒක දරුවන් තුළම ඇතිවෙන්න ඕන. ඔබ අම්මා හෝ තාත්තා වූ පමණින්ම දරුවෝ තුළ ගෞරව ඇති වෙන්නෙ නැහැ. දරුවො කියන්නේ දරුවන්ට. ඔබෙන්, මගෙන්, වැඩිහිටි ලෝකයෙන් ඉගන ගන්නා පිරිසකට. ඉතින් අපේ හැසිරීම් සහ කළමණාකරණයට වඩා දරුවෙක්ට බලපෑමක් කල හැකි අන් යමක් මේ ලෝකයේ නැහැ.

යෞවනත්වයට ඔබ පත් වූ කාලය ඔබට අමතක නම් දැන් සිහියට නඟා ගන්න. අම්මේ, තාත්තේ ඔබේ දරුවා සෙමින් යෞවනත්වයට පත්වෙමින් සිටියි.

දෙමාපියන්ට ආදරයෙනි. 

 

දරුවන්ගේ යාලුවෝ

දරුවන්ගේ යාලුවෝ 

වැඩිහිටි අපට, අපේ දරුවන්ගේ යාළුවන් තෝරලා බේරලා දෙන්න බැහැ, නමුත් හොඳ මිතුරන්  හා නිවැරදි මිතුරන් තෝරා ගන්නේ කොහොමද කියන එක අපිට එයාලට කියලා දෙන්න පුළුවන්. හොද නැත්තම් කළ්‍යාණ මිත්‍රයෙක්ට තියෙන්න ඕන ගුණාංග මොනවද ? ඒවගේම කළ්‍යාණ මිත්‍රයින් ආශ්‍රයට තෝරාගන්නේ කොහොමද? කියන එකට මඟපෙන්වන එකයි අපි විසින් කළ යුත්තේ.

දරුවාට නිවැරදි සන්නිවේදනය, මිත්‍රත්වයේ පක්ශපාතීත්වය පවත්වාගෙන යාම,  අනොන්‍ය සහයෝගය, විරුද්ධමත ඉවසීම වගේම රිදවන හැඟීම්වලින් වලින් මිදෙන හැටි උපායශීලීව කියාදීම තිබෙන්නෙ අපි අතේ. ඉතින් ඒක කරන්නේ කොහොමද? 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 4-5 වෙනකොට තමයි අපේ දරුවන්ට යාළුකම් ගොඩනගා ගැනීම සහජ ඉව ලැබෙන්නේ. පන්තියේ මිතුරන්, අසල්වැසි ළමයින්, ඥාති සහෝදර සහෝදරියන් වගේ මේ ඕනම කෙනෙක් එක්ක මේ වයසෙදි යාලුකම්පටන් ගන්න අපේ දරුවෝ උත්සහ කරනවා.

වයස අවුරුදු හතර ලබන්න කළින් නම් අපේ  දරුවෝ කැමති  එකිනෙකාගෙන් වෙන්වෙලා තනිව ගොඩනැගෙන්න. සෙල්ලම් බඩු උනත් බෙදාහදාගන්න වැඩි කැමැත්තක් නැත්තේ ඒ නිසයි.  එයාලා එයාලගෙම ලෝක වල එක එක සෙල්ලම් කරමින් ජීවත් වෙනවා. මේවා ඇත්තටම ගත්තොත් එයාලගෙ වයසට හරිම ගවේශණාත්මකයි..

ඒත් අවුරුදු හතරෙන් පස්සේ දරුවෝ යාලුවෙක් එක්ක  සමඟ සුහදව වැඩ කරන්නේ කොහොමද?  තව කෙනෙක් කැමති දේකට එකඟ වෙන්නේ කොහොමද?  කොටින්ම කිව්වොත් සහකම්පනය  සහ සංවේදනය හෙමින් ඉගන ගන්න පටන් ගන්නවා.

ඔන්න මේ අවස්තාවේ තමයි දෙමාපියන් විදිහට අපේ මැදිහත්වීම් ඕන කරන්නේ. අපි වැඩිහිටියන් විදිහට අපේ යාළු මිත්‍රයන් ආශ්‍රය කරන්නේ කොහොමද? විශ්වාසය සහ ගෞරවය ලබා දෙන්නෙ කොහොමද කියන කාරණා අපි නොදන්නවා උනාට අපේ පුංචි දරුවෝ ගවේශණය කරනවා.දරුවන් ඉන්න තැන්වල විවේචන, පුද්ගලික අපහාස, බේදබින්න කිරීම් කරන්න එපා කියන්නෙ ඒ නිසයි. 

අපි අපේ මිතුරන් එක්ක සන්නිවේදනය කරන්නේ කොහොමද?  අදහස් බෙදාහදා ගන්නේ කොහොමද? මේ හැමදෙයක්ම අපේ දරුවන්ගේ නිරීක්ශණයට අපි නොදැනුවත්ම ලක්වෙනවා. දරුවන්ගේ මුල් ගුරුවරු වෙන්නෙ දෙමාපියන් නිසා මෙතනින් තමා ඔබේ දරුවාගේ ඉදිරි කාලයේ යාලුමිත්‍රකම් වලට මූලික පදනම වැටෙන්නෙ.

 

  • එක වර්ගයේ කුරුල්ලො වහන්නේ එක අත්තේයි. ( Common interests tie friends together )

 

මේක සරළ පාඩමක්, අපිට පුලුවන්  අපේ දරුවාව ඔහු හෝ ඇය කැමතිම නැටුම් පන්තියට, සංගීත පන්තියට හෝ පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් වලට යොමු කරන්න.එකම දෙයකට කැමැත්ත තියෙන අයගෙන් බොහෝ විට දරුවා ප්‍රතික්ෂේප වෙනවා අඩුයි. ඉතින් ඔහුට හෝ ඇය ආසම කැමතිම දේකදි එයාට ගැළපෙන මිත්‍ර සන්ධානය එයා හදාගනීවි.

  • මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී. ( True  friends  offer  support in good times and bad)  

ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ මිතුරාගේ ජයග්රහණයේදී සතුටු වීමටත්, පරාජයේදි මිතුරා හැර නොයෑමටත් කියා දෙන්න. මිතුරාගේ ජයග්රහණයකදි අවංකව සුභ පැතීම හොඳ දරුවෙකුගේ ලක්ෂණයක් කියලා දරුවාට ඒත්තු ගැන්විය හැක්කේ අපටම පමණයි. දරුවාගේ හොඳම යාලුවා පන්තියේ පළමුවැනියා වෙලා නම්, ඔබ දෙමාපියන්ගෙන් කෙනෙක් විදිහට දරුවාගේ මිතුරාගේ දෙමාපියන්ට දුරකතන ඇමතුමක් දීලා ඔබේ දරුවා ඉදිරිපිටම සුභපතන්න තරම් නිරහංකාර ඊර්ෂ්යාවකින් තොර කෙනෙක් උනොත් නොවරදවාම ඔබේ දරුවාත් ඔබව අනුගමනය කරනවාමයි.

 

  •   මිතුරෝ අනිකාව පහත හෙලන්නේ නෑ. ( Friends do not gossip)

 

ෙන්න මේක නිසයි ඔබ දරුවන් ඉදිරියේ කිසිම කෙනෙක් හෙළා දැකලා පහත හෙළලා කතා නොකළ යුතු. ඒවගේම කෙනෙක් නැති තැනක ඒ කෙනාගේ වැරැද්දක් විවේච්නය නොකළ යුතු. ඔබේ දරුවා වෙන මිතුරෙක්ගේ යම් දෙයක් ඔබ ඉදිරියේ විවේචනය කරන්න ආරම්භ කල වහා එය නවත්තන ඉදිරිපත් වෙලා ඒ වෙනුවට ඒ මිතුරාව අගය කරන්න ඔබ මූලික වෙන්න. නැත්නම් අනාගතේදී ඔබේ දරුවන් අනිවාර්යයෙන්ම හිත හදන්නෙක් වෙනුවට හිතකඩන්නෙක් වෙයි. එතකොට ඉස්සෙල්ලම කැඩෙන්නේ ඔබේ හිත වෙන්නත් පුළුවන්.

 

  • විරුද්ධ මත දරාගන්න ඕනෙමයි. ( Help kids correctly handle the disagreements)

 

නිවසේ සහෝදර සහෝදරියන් දෙන්නෙක් අතර වුනත් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් යාලුවො     අතර මේ දේ සිද්ධ වෙනවා. නිවසේදී මත ගැටුමක් ඇති වුනාම ඔබ දෙමව්පියන් විදියට එය හසුරවන විදිහ ඉතාම වැදගත්. දෙපාර්ශවයටම හොඳින් ඇහුම්කන් දෙන බවත් ,දෙපාර්ශවයේම අවශ්යතා ගැන අසා හොඳ සන්නිවේදනයක යෙදෙන බවත් දරුවාට ඒත්තු ගන්වන්නට ඕනේ. ආන් එතකොට දරුවෝ ඉගෙන ගනීවි හොද සංවාදයකින් සහ සන්නිවේදනයකින් විරුද්ධ මත කළමනාකරණය කරගත හැකි බව

 

 කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ ඉතා වටිනා කිරුළක්. ඔබේ දරුවාගේ අත ඔබට ජීවිත කාලය පුරාම අල්ලගෙන ඉන්න බෑ. ඔහුව හෝ ඇයව සමාජයට ගැටෙන්න අපි මුදා හරින්න ඕන.  ඔබේ දරුවාගේ හොඳම මිත්‍රයා, හොඳම මිතුරිය වෙන්න හැමදාම  ඔබට  බෑ. ඒ පරම සත්‍යය දෙමාපියන් විදියට අපි තේරුම් ගත යුතුයි. සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මුල් පාඩම් අපි කියලා දෙන්න ඕනේ අන්න ඒ නිසයි. දරුවාට අවශ්‍ය කෑම බීම, රැකවරණය, ආදරය වගේම කල්‍යාණ මිත්‍රත්වයත් ගොඩනඟා ගන්න හැටි අපි දරුවාට කියලා දෙන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට හොඳ ඇහුම්කන් දෙන මිත්‍රයෙක් හිදීම මූල්‍යමය වටිනාකමට ලඝු කරන්න බැරි තරම් විශාල සහනයක්. ඉතින්  ලෝකයේ හොඳම දේ අපේ දරුවන්ට නම්, ඒ අයට  ලෝකයේ වටිනාම කළ්‍යාණ  මිත්‍රත්වයත් ලඟා කරගන්නා හැටි අපි කියලා දෙමු.

දෙමාපියන්ට ආදරයෙනි.

 

  

               

 

   

 

පුංචි හිතට නැගෙන දරුණු සිතුවිලි

අම්මා ආදරේ මල්ලිට එහෙම නැත්නම් අයියට…දියණිවරුන් මේ විදිහට කියද්දී පුත්තුන්ගේ චෝදනාව එල්ල වෙන්නේ තාත්තට

තාත්තා ආදරේ නංගිට එහෙම නැත්නම් අක්කට…ඒත් දෙමව්පියන් මේ අදහසට එකග වෙන්නේ නැහැ.

අපිට දුව පුතා වෙනසක් නැහැ දෙන්නම අපේ දරුවෝ..

ඔව් ඒක ඇත්ත…දරුවෙක් කියන්නේ සංසාරගත බැදීමක්. ඒ නිසා දෙමව්පියන්ට දුව හෝ පුතා කියන වෙනසක් නැතුව ඔවුන් දරුවන්ට එක සමානව ආදරේ කළත් දරුවන්ට මේ විදිහට හිතෙන්නේ ඇයි…?

දරුවන් කියන විදිහට පුංචි හෝ වෙනසක් තියෙනවාද…?

දරුවන්ගේ හිත්වල මේ අන්දමේ සිතුවිලි වගා වීම එතරම් හොද දෙයක් නොවෙයි. බාල කාලයේ පටන්ම අම්මා මට වෙනස් විදිහට සැලකුවේ..එහෙම නැත්නම් තාත්තා මට ආදරේ කළේ නැහැ කියන ස්ථාවර ගොඩ නගා ගැනීමත් එතරම් හොද දෙයක් නොවෙයි.

මනෝවිද්‍යාත්මක පදනමක් තිබෙනවා..

මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන ”සිග්මන් ප්‍රොයිඩ් ” සදහන් කරන අන්දමට  දරුවෙකුගේ උපතින් වසර හතරක් හෝ පහක් වැනි කාලයේදී ඔවුන් තමන්ගේ ලිංගික අවයවයන් වෙත යොමු වෙනවා මිසක විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් ආකර්ශනයක් ඇති කර ගන්නේ නැහැ. ඒ නිසාම මේ අවධිය ”ලිංග රූප ” අවදිය යනුවෙන් හැදින්වෙනවා.

ඔන්න ඉරිසියාව පටන් ගන්නවා

දරුවෙකුගේ පෞරෂ වර්ධනය සමග පිරිමි දරුවන් තමන්ගේ පියාට ඊර්ශ්‍යා කරන්න පටන් ගන්නවා. මෙම ඊඩිපස් සංකීර්ණය ”ඉලෙක්ට්‍රා මානසිකත්වය ” යනුවෙන් හැඳින්වෙනවා. ගැහැණු දරුවාගේ  ඊඩිපස් සංකීර්ණයේදී තමන්ගේ මව කෙරෙහි ඊර්ශ්‍යාවත්, පියා කෙරෙහි ඇළුම් කිරීමටත් පටන් ගන්නවා. 

සැඟවුන අවදියේදී හැසිරීම

ප්‍රොයිඩ් පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු පහෙන් පසුව පිරිමි ළමයාගේ වගේම ගැහැණු දරුවන්ගේ මනෝලිංගික ක්‍රියාකාරකම් තාවකාලිකව සැගවෙනවා.

අයෙත් පටන් ගන්නේ..

දරුවන්ගේ ප්‍රජනන ලිංගික අවධියේදී ඔවුන්ගේ ශාරිරික වගේම මානසික වෙනස්කම් ඇති වෙනවා. මේ කාලයේදී දරුවන් අතර විරුද්ධ ලිංගිකයන් වෙනුවෙන් ඇල්ම අති වෙනවා.

ඒත් මනෝවිද්‍යාවටම ඉඩ දී සිටින්න බැහැ

අපේ මනසේ හැසිරීම මේ විදිහට සිදු වුනත් සිග්මන් ප්‍රොයිඩ් පවා සදහන් කරන්නේ  ලිංගරූප අවධියේදී දරුවන්ගේ මානසික තත්වය දෙමව්පියන් තේරුම් ගත යුතු බවයි.දරුවන්ගේ මනසේ හැදිරීම ඒ විදිහට සිදු වුනත් අම්මා..වගේම තාත්තා අක්කට..අයියට..මල්ලිට..නංගිට සමානව ආදරෙයි කියන ආකල්පය දරුවන්ගේ හදවතේ ගොඩ නැගීම අනිවාර්යෙන්ම සිදු වුය යුතුයි.

එහෙම සිදු නොවුනොත් මොකද වෙන්නේ..?

  • දරුවන් අතර අම්මා සහ තාත්තා වෙනුවෙන් ගොඩනැගෙන විරෝධය-

ඇතැම් පවුල්වල වැඩිහිටි දරුවන් පවා ඔවුන්ගේ ළමා කාලයේ අත්දැකීම් පාදක කර ගෙන දෙමව්පියන්ට දොස් නගන අවස්ථා ගැන ඔබ අසා ඇති. ඒ අන්දමින් දෙමව්පියන් මුල් කර ගත් අප්‍රසාදයන් දරුවන් තුළ ගොඩ නැගී පසුකාලයකදී ඒවා දෙමව්පියන්ට පහර දීමේ ආයුධ වශයෙන් යොදා ගන්නවා.

  • සහෝදරයන් අතරත් ගැටුම්

පවුලක සහෝදරයන් අතර සමගියක් නැති වීම දෙමව්පියන්ට ඉමහත් වේදනාවක්. බාලවයසේදී දරුවන් අතර සිගිති සණ්ඩු සරුවල් තිබුනත් ඒවා දරුවන් සමග ලොකු මහත් වීම නිසා පවුලක ප්‍රසන්න වාතාවරණයක් ගොඩ නැගෙන්නේ නැහැ. මේ තත්වය ඇති වීමට බාලකාලයේදී ඔවුන්ගේ සිත්වල ගොඩ නැගෙන මනෝභාවයන් වඩාත් හේතු වෙන බැව් අමතක කරන්න එපා.

සිග්මන් ප්‍රොයිඩ් සදහන් කරන ඔහුගේම  මේ අත්දැකීම කියවන්න…

ප්‍රොයිඞ්ගේ බාල කාලය අලලා අර්නස්ට් ජෝන්ස් සඳහන් කරන කරුණු කීපයක් අනුව ඔහුගේ චරිතය වෙනුවෙන් බාලකාලයේ සංසිද්ධීන් මොන තරම් බලපෑමක් කලේද යන්න පැහැදිලි වේ.  සිග්මන් ප්‍රොයිඞ්ගේ පියා දෙවැනි කසාදයක් කර ගත් අයෙකි. ඔහුට පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිටියේය. මේ වන විට ඔහුගේ පියාගේ වයස අවුරුදු 42 ක් වූ අතර මවගේ වයස 21 කි. දෙවැනි විවාහයේ කුළුදුලේ උපන් සිග්මන් ප්‍රොයිඞ් බාල සහෝදර ජුලියස්ගේ උපතට බෙහෙවින් වෛර කොට ඇත්තේ මෙතෙක් මවගෙන් ලත් ආදර උණුසුම ඔහු වෙතින් දුරස්ථ වී ගිය නිසාය.මෙම සිතුවිල්ල ඔහුට මොන තරම් බලපෑමක් කළේද කිවහොත් මාස අටක් ගෙවුන තැන මියගිය ජුලියස් වෙනුවෙන් ප්‍රොයිඞ් මහත් සතුටට පත් වුයේ යාන්තම් කරදරය හමාරයි….. යන මානසිකත්වයෙන් යැයි පසුකාලයේ ඔහු මහත් කම්පනයෙන් සඳහන් කොට ඇත.

එහෙමනම් දරුවන් නොදරුවන් කාලයේදී ඔවුන්ගේ හිතේ ඇති වෙන මේ මානසිකත්වය මොන තරම් දරුණුද කියලා අපේ දෙමව්පියන්ට දැන් හිතේවි. නමුත් මෙය සිතුවිල්ලකට පමණක් සීමා කරන්න එපා.ඔබ දරුවන් තුළ එවැනි මානසිකත්වයක් ගොඩ නැගීමට නම් ඉඩ නොදෙන විදිහට හැසිරීම ඉතාම වැදගත්

 

 

මමයි.. මගේ බඩයි…

මම වසර ගණනක් පවත්වාගෙන ආ සිහින් සිරුරද, පැතලි උදරයද ලබා ගැනීමට,  මට මගේ දරු ප්‍රසූතියෙන් වසර ගණනාවක් ඉක්ම යන තෙක්ම නොහැකි විය. තම පළමු, දෙවන සහ තෙවන දරු උපත් වලින් පසු වසරකටත් අඩු කාලයකදී තම ශරීරයේ පැරණි ප්‍රතිරූපයම දර්පණ තලයකින් දකින්නට වාසනාවන්ත වූ මිතුරියෝ මට සිටියහ.  අවාසනාවකට මා ඒ කුලකයේ කෙනෙක් නොවීය.  ( everybody is different) 

කලකට පෙර මා විසින් අදින්නට යෙදුනු ශරීරයේ හැඩය ඔප්නැංවෙන ඇඳුම් දැකීම පවා මා අධෛර්යට පත් කරළීය.  මගේ දරුවා ප්‍රසූත කල පසුද,  මිනිසුන් විශ්වාස කළේ මා තවමත් ගර්භනීබවය. 

දෙවනි දරුවකු ලැබෙන්න නේදැයි? අසමින්  ඔවූහු මා කෝප ගැන්වූහ.  ඇතැම් අයෙක් කුස පිළිසිද සිටින දෙවනි දරුවාට සුබ පතන්නට තරම් අකාරුණික වීය. දරු ප්‍රසූතියෙන් පසු ඉතා ඉක්මනින්ම තම  සිහින් ශරීර ප්‍රදර්ශනය කරමින් රතු පලස් මතින් ඇවිද යන සිනමා තාරකාවන්ටද, ඔවුන් බිකිනි විලාසිතා වලින් සැරසී සමාජ මාධ්‍ය ගත කරන පිංතූර වලටද මම අධිකව ඉරිසියා කළෙමි.

පශ්චාත් ප්‍රසව කාලයේ සිරුර ගැන වදවීම, සමාජයේ ප්‍රශ්න කිරීම් සහ උපහාස වලින් මිදීමට එන්න අපි එකතු වෙමු. එකිනෙකා රිදවනවා වෙනුවට අපි අපිට ආදරේ කරන්නට ඉගෙන ගනිමු.

  • අපි අපේ ශරීරය දෙස පිළිකුලෙන් සහ අත් අනුකම්පාවෙන් බැලීම නවත්වමු.( focus on body acceptance )
  • “මේකිගේ  ඇඟේ ශේප් එක බලපන්කෝ මාර ලස්සනයි බං උඹට සාරිය ඇන්දහම  ”  අතීතයේ මෙසේ වර්ණනා කළ මිතුරු කවය දැන් ඔබව වර්ණනා නොකරන බව ඇත්තය. ජීවිතය ඔබට මගහැරෙන බව දැනෙන අසාමාන්‍ය දුර්වල සිතුවිලි ඔබ ළඟ ඇති බව ඇත්තය. ඔබට ඔබ ගැනම ගැනම වෛරයක් දැනෙන ඕනෑම වෙලාවක, ඔබ මෙලොවට ගෙනා පුංචි ජීවියාගේ අසිරිමත් උපත ගැන සිතන්න. ඒ පුංචි කුසුම පිපුනේ ඔබේ උයනේ වගද එය පෝෂණය කරමින් රැක ගත් සහ රැක ගන්නා උයන් පල්ලා ඔබ බවද සිතන්න . ලොවේහි අසීමාන්තික වේදනා දරමින් ඔබද මේ පුංචි ජීවියාවද මෙළොවට රැගෙන ආ ශරීරයට ස්තූතිවන්ත වෙන්න.
  • දරුවකු දැරීමෙන් සහ දරුවා පෝෂණය කිරීමෙන් වෙහෙසට පත් ඔබේ ශරීරයට සුවපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න. එය මාසයක් වසරක් හෝ වසර කිහිපයක් විය හැකියි.එයට අවශ්‍ය වන්නේ ඉවසීම සහ ඔබේ ඒකාග්‍රතාව පමණයි.
  • ඔබේ  ශරීරය අන් අයට දැකීමට ප්‍රිය වන ආකාරය නොව ඔබ නිරෝගී වන ආකාරය ගැන සිතන්න. සාදයකදී හෝ සුහද හමුවකදී ඔබේ ශරීරය ගැන “අරගොල්ලෝ මොනවා හිතෙයිද? මේගොල්ලෝ මොනව හිතෙයිද ?” කියමින් පසුතැවීම නවත්තන්න. වඩා වැදගත් වන්නේ ඔබ සිතන ආකාරය මිස අන් අය සිතන ආකාරය නොවන බව මතක තබා ගන්න.
  • පැරණි සිහින් සිරුර ලබා ගැනීම පමණක්ම අරමුණු කිරීම නවත්වන්න. ඔබේ වෙනත් විනෝදාංශ සහ ඔබ තුළ සිටින විනෝදකාමියාව අවදි කරගන්න . ඔබේ ජීවිතයේ පෙර සිටි සිනමාරසිකයා හෝ පොත් ගුල්ලාට නැවත ඔබව ආක්‍රමණය කරන්න ඉඩ දෙන්න.
  • ඉතා සීරුවෙන් ප්‍රමාණයෙන් කුඩා ඇඳුම් ඇඳීමේ සහ ශරීරය සිහින් කර පෙන්වන විවිධාකාරයේ යට ඇදුම්වල රසිකයෙක් වීම නවත්තන්න. එයින් ඔබ තවත් අපහසුතාවයකට පත් වෙනවා මිස, ඔබේ ශරීරයට වේදනාවක් ලැබෙනවා මිස මහා විසාල උත්තේජනයක් ඔබට ඇති නොකරන බව තේරුම් ගන්න. සැහැල්ලු සහ පහසු  ඇදුමකින් ඔබ ලබන සැනසීම මෙනෙහි කරන්න.
  • කඩිසර සහ ක්‍රියාශීලී කෙනෙක් වෙන්න. සුළු ව්‍යායාම, නර්තනය හෝ ඔබව දවස පුරා ක්‍රියාශීලිව තබන කාර්යයකට යොමු වෙන්න.කලකදී අතහැරුනු බයිසිකල් පැදීම, සංචාරය වැනි මනස ප්‍රබෝධමත් කරන දෙයකට යොමු වෙන්න.
  • ඔබේ ශරීරයට හොඳින් සලකන්න. සමබර ආහාර ප්‍රමාණවත් තරම් ජලය පානය කරමින් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබව දරා සිටින, ඔබේ ශරීරයට සම්භාහනයක් , හිසට තෙල් සාත්තුවක් හෝ පාද හා නියපොතු සත්කාරයකට යොමු වෙන්න.
  • ඔබව අධෛර්යයට පත් කරන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. ඒ අය ඔබට සිදුකරන යහපතක් ඇත්තේ නැත. නිතර දෙවේලේ ඔබ ඉස්සර තරම් හැඩ නැති බව කියන හෝ දැන් දරුවන් සිටින නිසා ඔවයින් පලක් වේදැයි අසන දුෂ්ඨ ආත්ම වලින් හැකි තරම් මිදී ඉන්න. අනුන්ගේ සෘණාත්මක වචන ඔබේ කන් වල දෝංකාර දෙන එක නවත්වගන්න.
  • ඔබේ සැමියාගෙන් පවුලේ අයගෙන් සහය ඉල්ලන්න. ඔබ ව්‍යායාම් හෝ පාද සත්කාරයක් කරන්නට යන විටක දරුවන් බලාගැනීම සැමියාට පවරන්න. 
  • වැඩිපුර කැම පිගානට එළවළු බෙදාගන්නා ඔබට, ඉඳහිටක එල්ල වන එල්ලවන උපහාසයක් මැදහත් සිතින් ඉවසන්න.කෑම මේසයේ ඇති වැඩිපුර එළවලු ගැන පැමිණිලි කරන පොඩ්ඩන්ව සංයමයෙන් එයට හුරු කරගන්න. 
  • ” ඔන්නඔහේ අද කනවා හෙට ඉඳන් හෙට ආයෙ ඩයට් කරනවා ” බාලගිරි දෝෂය අතහරින්න. 

“නැහැ ” සහ ” බැහැ ” බොහෝ විට ඇත්තේ අපේ සිතුවිලි වලය. ඉතින් මේ වචන දෙකම අතහරින්න. ඒ වෙනුවට ” මට පුළුවන් ” බව පමණක් අදහන්න. ඔබව ජයග්‍රාහිකාව ක හෝ වීරවරියක කිරීමට තරම් ඒ වචන දෙක ප්‍රබල බව ආගමක් සේ විශ්වාස කරන්න. 

මහත, කෙට්ටු සැමට ආදරයෙනි.

 

පුංචි පැටව් හොරකම් කරන්නේම නැද්ද…?

පුතා ගෙදර ආවාම සෝදිසියෙන් ඉන්න.පංතියේ දරුවන්ගේ පුංචි පුංචි බඩු ගන්නවා වගෙයි.මං කීප සැරයක්ම දැක්කා. අම්මත් ටිකක් බලන්න.ගුරුතුමීගේ ප්‍රකාශයට අම්මා නම් එකග වුනේ නැහැ.

වෙන්න බැහැ…අපේ පුතාට හොරකම් කරන්න ඕන නැහැ.

අපේ පුතා හොරකම් කරන්නේ නැහැ. ඊටත් එයාට කිසිම අඩුවක් නැහැ. හැමදේම අපි අරගෙන දෙනවා. මට නම් විශ්වාස නැහැ…අම්මාගේ තර්කය එයයි. 

පුංචි පැටව් හොරකම් කරන්නේම  නැද්ද…?

පුංචි පැටවුන්ට හොරකම කියන සංකල්පය ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් අනුන්ගේ ලස්සන දේවල් දකින විට පුංචි හිත්වල යම් ඇල්මක් ඇති වෙනවා. ඒ නිසාම ඔවුන් තවත් කෙනෙක් සතුව තිබෙන දේ ගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයක්.මෙම ලබා ගැනීම විවිධ විදිහට වෙන්න පුලුවනි.

  • ඉල්ලා ගැනීම
  • හොරකම් කිරීම
  • බලහත්කාරයෙන් ගැනීම

නමුත් මේ තත්වය දිගින් දිගටම සිදු වුනොත් එය දරුවාගේ කීර්තියට එතරම් හොද දෙයක් නම් නොවෙයි. ඒ නිසා පුර්ව ළමා විය සංවර්ධන අවධියේ පටන්ම මේ ගැන අවදියෙන් සිටීම ඉතාම වැදගත්.

නිවසේ දේවල් හොරකම් නොකරන්න පුලුවනි.

සාගරේට තිබුනට ඇල්පෙනෙත්තක් තරම් දෙයක් අපේ දරුවා හොරෙන් ගන්නේ නැහැ. එය ඇත්ත. නමුත් නිවසේදී ඒ අයුරින් හැසිරෙන දරුවා පංතියේදී..පාසලේදී අසල සිටින මිතුරාගේ මකනය. පැන්සල සොරෙන් නොගන්නවා කියන්න බැහැ.ඉතින් ගෙදර සාගරයට තිබුනත් 

ඇත්තටම අනුන්ගේ දෙය හොරෙන් ගන්නේ ඇයි…?

  • නිතරම දරුවාට තමන්ගේ දෙයට වඩා අනුන් අත ඇති දෙය වටිනාකමෙන් ඉහල වීම.
  • සමහර විට තම මිතුරා වෙත ඇති දෙය අලුත් හෝ  තමන් ප්‍රිය කරන දෙයක් වීම.
  • එම භාණ්ඩය අයිති දරුවා  විසින් ඒ ගැන ප්‍රදර්ශනය කිරීම.

ඉතින් මේ වගේ සංසිද්ධින් නිසා තමන්ට අනවශ්‍ය වුනත් අනුන්ගේ දෙය ලබා ගැනීමේ සාමාන්‍ය ආශාව දරුවාගේ හිතේ පහළ වෙනවා.

හදිසියේවත් දරුවා යමක් හොරකම් කළොත්..

ඔව් එය සාමාන්‍ය සිදුවීමක් වුනත් නියපොත්තෙන්ම කඩා ගත යුතුයි.දරුවා සමග මේ තත්වය වැඩිදියුණු වුනොත් ඔවුන් අනාගතයේදී සොරකමට හුරුව ලබන්න ඉඩ තිබෙනවා. අද බන්ධනාගාරගතව සිටින බොහෝ පුද්ගලයන් විසින් සිදු කරන පාපොච්චාරනයන්හිදී සඳහන් කරන අන්දමට ඔවුන් මහාපරිමාන වැරදිවලට හසුව ඇත්තේ බාලකාලයේදී ඔවුන්ගේ වැරදි නිවරැදි නොකළ නිසාය.

දරුවා සොරකම් කරන්නේ නැහැ..ඔබට සහතික වෙන්න පුලුවනිද..?

ඇත්තටම බැහැ. ඒ නිසා පංතියේදී හෝ අසල්වැසියන්ගෙන් හෝ ඔබේ දරුවා සොරකමක් කළ බවට යම් තොරතුරක් ලැබුනොත් දරුවා සුද්ධ කිරීම වෙනුවට ඒ ගැන සවන් දෙන්න. අනේ බොහොම ස්තුතියි. මං ටිකක් හොයලා බලන්නම් කීමට පුරුදු වෙන්න.

එතැනින් නවතින්නත් බැහැ..

ඔබට ලබා දුන් තොරතුර ඔස්සේ දැන් විමසිලිමත් වීම වැදගත්.ඔබේ දරුවා ගැන දැන් විමසිල්ලෙන් සිටින්න.ඔවුන්ට අයිති නැති දෙයක් තිබුන විට එය ලැබුන මාර්ගය ගැන විමසන්න.සමහර විට දරුවා මෙතැනදී තවත් බොරුවක් කියන්නත් පුලුවනි. වැටිලා තිබී හම්බ වුණා..එහෙම නැත්නම් යාළුවෙක් දුන්නා. මේ දරුවන් විසින් තමන්ට අයිති නැති දෙයක් වෙනුවෙන් ලබා දෙන බොහොම සමාන පිළිතුරුයි.

මම අහන්නම්කෝ..

ඔබට දරුවා ලබා දෙන පිළිතුරෙන්ම සෑහීමට පත් වෙන්න එපා. හොඳයි මම අහන්නම් කෝ..යනුවෙන් ඔබ කියන විට දරුවාගේ ප්‍රතිචාර හදුනා ගත හැකියි.යම් ලෙසකින් මෙම දෙය සොරකමක් බැව් ඒත්තු ගියොත් එය වරදක් බැව් කියා දෙන්න.සොරකමේ බරපතල බව වටහා දෙන්න. සොරකම් වෙනුවෙන්  දඬුවම් ලබා දෙන බවත් කියා දෙන්න.

විමසිල්ලෙන් ඉන්න..

නිතරම දරුවාගේ පාසල් බෑගය ගැන විමසිලිමත් වෙන්න.සමහර විට ඔබේ දරුවා සොරකම් නොකළත් සොරකම් කරන දරුවන්ට උදව් වෙනු ඇති. එසේත් නැත්නම් නිවසේ ඇති දේ පාසලට ඔබ නොදැනුවත්ව ගෙන යනු ඇති.ඒ නිසා ඔහුගේ පොත් බෑගය නිතරම පරීක්ෂා කරන්න. නිවසේ යම් දෙයක් අරගෙන යනු දුටුවොත් ඒ ගැන ප්‍රශ්න කරන්න. අම්මා,තාත්තා නොදැණුවත්ව නිවසෙන් යමක් රැගෙන යෑම වරදක් බැව් දරුවාට කියා දෙන්න.

මුදල් වුනත් සොරකම් කළ හැකියි..

සමහර විට අද ලෝකයේ ඇති විසිතුරු බව නිසාම දරුවන්ට යම් යම් දේ මිළට ගැනීමට ඇල්මක් ඇති වීම ඉතාම සාධාරණ සිතුවිල්ලකි. ඒ වෙනුවෙන් තමා සතුව මුදල් නොමැති නිසා අම්මා,තාත්තාගේ මුදල් පසුම්බියට බැසීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම ඔබ ගණන් හිලව් ඇතුව මුදල් තබා ගන්න. එවිට යම් අඩුවක් දැනුන විට එතැනින්ම පරීක්ෂණය ආරම්භ කරන්න පුලවනි.

සොරකමට පෙර කළ හැකි දෙයක් නැද්ද..?

දරුවෙක් සොරකම ආරම්භ කිරිමෙන් පසුව එය වලකනවාට වඩා සොරකමට යොමු වීමට ඇති ඉඩ අසුරා ගැනම ඉතාම වැදගත්. ඒ නිසා සොරකමේ ආදීනව හය හතර දන්නා දිනයේ පටන්ම දරුවාගේ හදවතට දැනෙන සේ කියා දෙන්න.කුඩා කාලයේ තල අහුරක් සොරෙන් කෑම නිසා දඬුවම් ලද කුමාරයා පසුව රජබවට පත්ව තම ගුරුවරයාට දඬුවම් කිරීමට සුදානම් වුනත් සොරකමෙන් මුදවා ගත් නිසා තුමාරයා රජ වුන බව සහ එදා සොරකමට ඉඩ දුන්නා නම් සොරෙකු බවට පත් වෙන බවත් දරුවාට කියා දෙන්න.

ඒ නිසා දරුවා සොරකම් කළ විට එය දැනුම් දෙන පුද්ගලයා සමග අමනාප සිත් ඇති කර ගැනීම සහ දරුවා  එසේ නොකරන බවට දෙමව්පියන් වන ඔබ සහතික ලබා දීම නොකළ යුතුය.ඔබට ලද ඉඟිය ඔස්සේ කටයුතු කරන්න.එසේම ඔබේ දරුවා සොරසිත් ඇත්තේ නම් එය මුලින්ම දැනගත යුත්තේ ඔබය. පිටස්තරයන්ගෙන් මේ පනිවිඩය ලැබීම යනු ඔබ දරුවා ගැන තවමත් නිසි අවබෝධයක් ලබා නැති බවයි.

එසේනම්..අපි කාගේත් එකම අරමුණ කාගේත් ආදරය සහ කරුණාව ලබන නීර්තිමත් දරුවෙකු නිර්මානය කිරීමයි. ඒ නිසා ඔබ නිතරම දරුවා යහමගට යොමු කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්.

 

 

ගැබ් ගැනීමට සුදුසු කාලය වන සරු කාලය හඳුනා ගන්නේ කොහොමද?මහාචාර්ය හේමන්ත සේනානායක

බොහොමයක් තරුණ යුවළවල් ලිංගික අධ්යායපනය කෙරේ වැඩි අවධානයක් යොමු නොකිරීම දරු පිළිසිඳ ගැනීමටකට බාධාවක් වෙන්න බැරි නැහැ. දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින සෑම යුවළක්ම දරුවෙකු පිළිසිඳ ගැනීමට සුදුසුම කාලය ඒ කියන්නේ සරු කාලය ගැන දැනුවත් විය යුතුයි. මේ ඒ පිළිබඳවයි.