Home Blog Page 53

ගැබිනි සමයේ මවගේ අපහසුතා වෙනුවෙන් භෞතචිකිත්සාවෙන් සහනයක්

සෑම ගැබිනි මවකගේම පැතුම වේදනාවෙන් තොර සාර්ථක ප්‍රසූතියක්. ඒ වගේම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පැටියෙක්. 

ප‍්‍රසවය හරියාකාරව සිදුවීමට බලපාන කරුණු 

  • ගර්භාෂයේ ඇති වන ශක්තිමත් සංකෝචනය
  • දරුවාගේ පිහිටීම හා ප‍්‍රමාණය
  • මවගේ ශ්‍රෝණී මේඛලාව හා ඒ අවට පිහිටි පටක වල තත්ත්වය 

එබැවින් ශ්‍රෝණී මේඛලාව අවට පේශී ශක්තිමත් කරන ව්‍යායාම හා මනස සංයමයට පත් කරන ව්‍යායාම කිරීම මගින් සංකූලතාවයකින් තොරව දරුවා බිහි කළ හැක. බොහෝදුරට නියම අන්දමින් ගර්භණී කාලය තුළ එයට අදාල වෛද්‍ය විශේෂඥවරුන්ගේ සායනවලට ගොස් එම වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින කාන්තාවන්ට ප‍්‍රසවය ගැටලුකාරී නොවන අතරම සංකූලතාවයකින් තොරව නිම කළ හැක. 

පෙර සඳහන් කළ පරිදිම සායනවලදී වෛද්‍යවරුන් ලබා දෙන වෛද්‍ය උපදෙස් මෙන්ම භෞතචිකිත්සක උපදෙස්ද ප්‍රසූතියේදී ඉතා වැදගත් වේ. ශ්‍රෝණී මේඛලාව අවට ඇති පේශීන් සංකෝචනය හා ඉහිල් කිරීම් වැනි ස්ථිති (Static exercises) ව්‍යායාම මගින් එම පටක ශක්තිමත් කළ හැක. බොහෝ මව්වරුන් තුළ ප‍්‍රසවය ගැන ඇති අනිසි බිය නිසා ඇති වන මානසික පීඩනය දරුවා බිහි කිරීමේ ක‍්‍රියාවලිය ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් පසු පහව යන අතරම ගැබිනි මව මානසිකවද සන්සුන් වේ.

කොන්දේ කැක්කුම

තවද ගැබිනි සමයේදී කොන්දේ කැක්කුම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම ශරීරයේ බර වැඩිවන නිසා පේශී කණ්ඩරා, බන්ධනී ඇදීමට ලක්වන බැවින් නොයෙකුත් වේදනා ඇති විය හැක. තාප ප‍්‍රතිකාර මගින් මෙම වේදනා අඩු කරගත හැක. එමෙන්ම ස්ථිති ව්‍යායාම මගින් කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීමෙන් මෙම වේදනා අඩු කරගත හැක. 

කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීම සඳහා සරල ව්‍යායාමයක් ලෙස,

  • දණහිස නොනවා උඩුබැලි අතට හාන්සි වී පය අඟල් 4 ක් පමණ ඉහළට ඔසවා තත්ත්පර 20 ක් පමණ දරා සිට පහතට දමන්න.
  • මාරුවෙන් මාරුවට එක් පයකට 10 බැගින් දිනකට දෙවරක් පමණ සිදු කරන්න.

උදෑසන අවදි වී ප‍්‍රථමයෙන් විලුඹ බිම තබන විට ඇති වන වේදනාව 

හෝමෝන වෙනස්කම් මත විලුඹ ආවරණය වන ප්ලාන්ටර් ෆැෂියා නම් වන ව්‍යුහය ආසාධනය වීම එයට හේතු වේ. 

මේ සඳහා

  • මද රස්නය ඇති වතුර පිරි බේසමකට දෙපා දමාගෙන විනාඩි 10 ක් පමණ සිටින්න.
  • එසේ නොවුනහොත් භෞතචිකිත්සක අංශයට යොමු වී අල්ට‍්‍රා සවුන්ඩ් ප‍්‍රතිකාරය ලබාගෙන සම්පූර්ණයෙන් සුව කරගන්න. 
  • විශාල අපහසුතාවයකින් පෙළේ නම් Cushion heel pad නමින් හැඳින්වෙන ජෙල් අඩංගු ආවරණයක් සපත්තු වලට පැළඳ වේදනාව අවම කරගත හැකිය.

අතේ ඇඟිලි හිරිවැටීම (කාපල් ටනල් සින්ඩ්‍රෝමය)

කාපල් ටනල් සින්ඩ්‍රෝටයද ගැබිනි කාන්තාවන් අතර දක්නට ලැබෙන තත්ත්වයකි. මේ තත්ත්වය බොහෝ දුරට දරු ප‍්‍රසූතියෙන් පසු ඉබේම නැතිව යයි. විශාල අපහසුතාවයකින් පෙළේ නම් මේ සඳහා විද්‍යුත් උත්තේජනය ලබාදෙමින් භෞතචිකිත්සකවරු රෝගියාට සහනය ලබාදේ. 

පාද ඉදිමුම හා පාදයේ නහර ගැට ගැසීම

මෙය අඩු කරගැනීමට නිදා ගැනීමේදී පාද කොට්ට මත, හෘදයට වඩා උසින් පිහිටන පරිදි තබා ගන්න. එම ඉරියව්වේම තබාගෙන පතුල ඉහළට පහළට චලනය කරන ව්‍යායාමයක නිරත වී පාද එලෙසම තබා නිදන්න. බොහෝ දුරට එවිට උදෑසන වන විට ඉදිමුම නැතිවී යයි. 

කැස්ස, කිවිසීම ඇති වන විට නොදැනීම මුත‍්‍රා ස්වල්පයක් පිට වීම

ගැබිනි සමයේදී දැකිය හැකි මේ තත්ත්වය ඇතැම් කාන්තාවන්ට දරු ප‍්‍රසූතියෙන් පසුවද තිබිය හැකිය. මෙහිදී සිදුවන්නේ ලිංගික අවයව ආශ‍්‍රිත ප‍්‍රදේශවල මාංශ පේශී දුර්වල වීමයි. මේ තත්ත්වය ශ්‍රෝණී පත්ලේ පේශී ශක්තිමත් කිරීම මගින් නැති කරගත හැක. ඔබට මෙවැනි රෝග තත්ත්ව ඇත්නම් තමන්ගේ වෛද්‍යවරයා හරහා භෞතචිකිත්සක අංශය වෙත යොමු වෙන්න.

භෞතචිකිත්සක උපදෙස් අනුව ගැබිනි මවගේ තත්ත්වය මත තව තවත් ව්‍යායාම ක‍්‍රම වෙත යොමු විය හැකිය.

 

ලිපිය සකස් කළේ:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

 

බබා ලැබුණු අම්මට තැම්බුම් හොද්දෙන් ලැබෙන ගුණ

දරුවකු ප‍්‍රසූත කළ මවක් සිටින නිවසක මුළුතැන් ගෙයි සෑදෙන තැම්බුම් හොද්ද නොහොත් කායම් හොද්ද ගැන පැරැන්ණන් හොඳින් දනී. අදටත් ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනයාට මෙය අලුත් දෙයක් නොවේ. දරුවකු බිහි කළ මවගේ ඇගේ පතේ වේදනාව දුරු වීමට මේ කායම් හොද්ද උපකාරී වන බව නොරහසකි. එමෙන්ම කායම් හොද්ද පානයෙන් මවකගේ අරුචිය තුරන් කර කුසගින්න ඇති කරයි. මීට අමතරව දේශීය වෛද්‍ය විද්‍යානුකූලව විශේෂයෙන්ම එය ගර්භාෂය පිරිසිදු වී අපවිත‍්‍ර කොටස් පිට කිරීමටත් උපකාරී වේ.

මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ මෙකී තැම්බුම් හොද්ද සාදාගැනීමට අවශ්‍ය දේ, සාදන ක‍්‍රමය සමග ප‍්‍රධානවම එමගින් ලැබෙන සුවිශේෂී ගුණ පිළිබඳවයි.

කාන්තාවක් ගර්භණී මවක් ලෙස දරුවකු පිළිසිඳ ගැනීමේ සිට මාස 10 කට ආසන්න කාලයක් හොඳින් පෝෂණය වී සෑම විටම නිරෝගීව සිටීමට උත්සහ කරයි. එලෙසම දරු ප‍්‍රසූතියෙන් පසු කාලය හෙවත් සූතීකා සමයේදී තම කිරි කැටි බිළිදුට අවධානය දෙන අතරතුර තම නිරෝගී බව පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. මෙසේ සූතිකා සමයේ මවගේ නිරෝගීතාවය වර්ධනය කිරීමට කායම් හොද්ද මහත් සේ උපකාරී වේ.

දරුවකු ප‍්‍රසූත කළ පසු නොහොත් සූතිකා සමයේ මවකට මුහුණදීමට සිදුවන සෞඛ්‍ය ගැටලු පොදුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ”සූතිකා ව්‍යාපත්” ලෙස දක්වන අතර මෙම සංකූලතා බෙහෝමයක් ඇතිවීම වැලැක්වීමට භාවිත කළ හැකි විශේෂ ඖෂධයක් ලෙස මෙම කායම් හොද්ද ද දේශීය වෛද්‍ය ක‍්‍රමයේ දක්වා ඇත. කායම් හොද්ද ඖෂධීය ගුණ ඇති හෙයින් එය ඖෂධයක් ලෙස මෙන්ම දියරමය ආහාරයක් ලෙසද දැක්වීම වැරදි නැත.

ලංකාවේ ඇති විවිධ දේශීය වෙද පරම්පරා හා පළාත් ප‍්‍රදේශ අනුව මෙම කායම් හොද්දට යොදන ද්‍රව්‍ය එකිනෙකට වෙනස් විය හැකි නමුත් පොදුවේ ඒ සඳහා අනිවාර්යයෙන්ම යොදන ද්‍රව්‍යයන් දැක්විය හැක.

වියළි ඉඟුරු, සුදු ලූණු, පෙරුම්කායම්, ගම්මිරිස්, එනසහල්, කරාබු නැටි, මුරුංගා පොතු, ගොරකා, කුරුඳු පොතු, කොත්තමල්ලි, සූදුරු, සියඹලා ඊට උදාහරණයි.

ඉපැරණි කල්හි සූතිකාවකට දරු ප‍්‍රසූතියෙන් පසු මාසයක් හෝ දෙකක් දිනපතා ආහාර වේලකට එක් වන මෙම තැම්බුම් හොද්ද වර්තමානයට යොදා ගැනීම තර්කානූකූල බැවින් එය ක‍්‍රමවත්ව සාදා ගන්නා ආකාරය පහත පරිදි වේ.

 

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වනුයේ,

  • ගම්මිරිස් ඇට 10-15
  • සුදු ලූණූ බික් 5
  • බැදින ලද කොත්තමල්ලි තේ හැඳි 1
  • බැදින ලද සූදුරු තේ හැදි 1
  • බැදින ලද උළුහාල් ස්වල්පයක්
  • පිට සුඹුල හැර සෝදාගත් මුරුංගා පොතු කැබැල්ලක් (අඟල් 2 ක පමණ)
  • පිට පොත්ත හැරගත් අමු ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
  • ගොරකා කැබලි 2
  • කරපිංචා ඉති 2
  • අමු කහ කැබැල්ලක්
  • අවශ්‍ය පමණ දිය ලුණු
  • පෙරුම්කායම් ස්වල්පයක්
  • වතුර කොප්ප 4 ක්

පිරිසිදු මැටි භාජනයකට වතුර කෝප්ප 4 දමා ඊට ඉහත ද්‍රව්‍ය යොදා එය මද රස්නයෙන් පිසෙන්නට හැර කෝප්ප 2 ක් දක්වා සිඳවා ගත යුතුය.

ඉහත යොදා ගත් ද්‍රව්‍ය පොදුවේ ගත් කළ ඒවායින් ලබා දෙන ගුණය කායම් හොද්දේ විශේෂ ගුණ ලෙස අත්විය හැක. සාමාන්‍ය දරු ප‍්‍රසූතියෙන් පසුව ගර්භාෂය තුළ ඉතිරි වී පවතින අපද්‍රව්‍ය කොටස් යෝනි මාර්ගය හරහා ඉවත් කිරීමට අවශ්‍ය ගර්භ සංකෝචන ගුණය ඇති කිරීමේ හැකියාව මෙය සතුය. ප‍්‍රසූතියේදී ඇතිවන අස්ථි, සන්ධි හා මාංශ පේශී වේදනාව, ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිතව ඇති පටකවලට සිදුවන හානි වීම් නිසා ඇති වන වේදනාව නැති කිරීමට හැක.

සාමාන්‍ය ප‍්‍රසූතියේදී මෙන්ම සිසේරියන් සැත්කම්වලදී ඇති වන තුවාල ආසාදනයට ලක් විය හැක. නමුත් මෙහි ඇති ඖෂධීය ගුණ මගින් එම තුවාල වේගවත්ව සුව කිරීමේ ගුණය හා ප‍්‍රතිජීවක ගුණය ලබාදීමේ හැකියාව ඇත.

ප‍්‍රතිශක්තීකරණය ඉහළ මට්ටමක පවත්වා ගත හැකි අතර එමගින් පොදුවේ රෝග සියල්ලටම ඔරොත්තු දීමේ හැකියාව වැඩි වේ. මෙහි මද විරේචන හැකියාවක් ඇති බැවින් මල බද්ධය දුරලන අතර අරුචිය නැති කර අග්නිය වර්ධනය කර පෝෂණය නිසි ලෙස උරාගැනීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන අතර එමගින් මනා සෞඛ්‍යයක් හිමි සූතිකාවක් නිර්මාණය කරයි. එය වක‍්‍රානුකූලව අලුත උපන් බිළිදාටද සෞඛ්‍ය සම්පන්න ලෙස බලපානු ඇත.

 

ලිපිය සකස් කළේ

මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ බාහිර කථිකාචාර්ය,
ආයුර්වේද වෛද්‍ය කේ. අචලා ද සිල්වා.
B.A.M.S (ගෞරව ) (කොළඹ)
අශ්වින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, අම්බලන්ගොඩ, හික්කඩුව.

 

වැඩිහිටියන්ට පමණක් දර්ශන නව යොවුන් වියට නුසුදුසු මේ නිසයි

ඔබේ දුව පුතා මේ වෙද්දී නව යොවුන් වියේ සිටින දරු දැරියන් විය හැකියි. ඔබ ඔවුන් ගැන නිතර විමසිල්ලේන් සිටින බව අප විශ්වාස කරනවා. නව යොවුන් විය කියන්නේ බොහොම කුතුහලයෙන් ගත කරන කාලසීමාවක්. 

මේ වයස් සීමාවේදී දරුවන්ගේ සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස් කම් මෙයට හේතුවක්. උදාහරණයක් විදියට පිරිමි දරුවන්නේ සිරුරේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වැඩිවීම නිසා ලිංගික කටයුතුවලට ඇති ආවේගශීලී පෙළඹ වීම මෙවැනි තත්ත්වයන්ට හේතු විය හැකියි.

ඒ වගේම පාරිසරික සාධක ඒ කියන්නේ දරුවා සිටින වටපිටාවෙන් ලැබෙන සාමාජීය සාධක නිසාත් යම් පෙළඹවීමක් ඇති විය හැකියි. මෙතැනදී ජීව විද්‍යාත්මක සාධක කෙසේ හෝ පාලනය කරගත්තත් දරුවන්ගේ යහළුවන්ගෙන් ඔවුන්ගෙන් වටපිටාවෙන් ඇතිවන සාදක එනම් සමාජ විද්‍යාත්මක සාධක පාලනය කිරීමට යම් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

නව යොවුන් වියේ දරුවන් වැඩිහිටියන්ට පමණක් දර්ශන නැරඹීම නුසුදුසු ඇයි? 

ඔබේ දරුවා නව යොවුන් වයසට එළැඹුණත් දරුවාගේ වයස ගත් කළ මොළයේ සිදු වී ඇති වර්ධනයේ ප්‍රමාණය ලිංගික ක්‍රියාවලියක් දුටුවහොත් නිවැරදිව එය වටහා ගැනීමට සංවර්ධනය වී නොමැත. මානසික පරිණත බවකින් තොරව එවැනි දර්ශනයක් දැකීම වැරදි අවබෝධයක් ඇති වීමට හේතු විය හැකිය. 

අන්තර්ජාල වීඩියෝ වල දිගහැරෙන එවැනි ලිංගික සම්බන්ධතා දකින දරුවෙක් අප ජීවත් වන පරිසරය තුළ එනම් සැබෑ ලෝකයේත් මේ ආකරෙයේ ලෙස සිතන්නට පෙළඹිය හැකියි. නව යොවුන් විය පා තැබුවත් මෙවැනි වීඩියෝ දර්ශන නිර්මාණ බවත් ඒවායේ සිටින්නේ නළු නිළියන් බවත් ඔවුන් පුහුණු වූ පිරිස් බවත් මේ දරුවන් නොදනී. මානසික පරිණත බවකින් තොරව දරුවන් මෙවැනි දේ දැකීම හේතුවෙන් දරුවන්ගේ මනසට කා වැදෙන්නේ කාන්තා හා පුරුෂ පාර්හවය අතර ඇති බැඳීම්වල කිසිදු වටිනාකමක් නොමැති බවකි. අඹු සැමි යුවළක් එකි නෙකා කෙරෙහි දක්වන විශ්වාස, ගෞරවය, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වැන් සංසිද්ධීන් ගැන අවබෝධයක් එවැනි දරුවන් හඳුනා නොගනී. මෙවැනි මානසිකත්වයක් තුළ දරුවෙක් වැඩිහිටි වූ විට බැඳීමකින් බලාපොරොත්තු වන්නේ ලිංගික කාර්යයන් පමණක් විය හැකි අතරම මානුෂීය වෙනත් බැඳීම් නොමැතිකම හේතුවෙන් සමාජ සබඳතා මෙන්ම පවුල් ජීවිතද බිඳ වැටී යා හැකියි.

මෙවැනි වීඩියෝවල කාන්තාවට හිමි තැන, පෞද්ගලිකත්වයට ගරු කිරීම, ගෞරවය, රැකවරණය, ආදරය වැනි බැඳීම් නොදකින නිසාම ඒවා නරඹන නව යොවුන් වියේ පිරිමි දරුවන් වැඩිහිටි වියට පා තැබූ විට කාන්තාවන්ට ගරු කිරීම, අන්‍යොන්‍ය සුහදත්වය රැකගැනීම, ගෞරව නොකිරීම මෙන්ම ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ පිරිස් බවට පත් විය හැකිය. 

නව යොවුන් වියේ දරුවන් මෙවැනි වීඩියො දර්ශන නැරඹීමේදී මොළයේ පිහිටි රිවෝඩ් පාත්වේ ස්නායු ජාලය මගින් ඩොපමින් නම් වූ ස්නායු සම්ප්‍රේෂකය අධිකව උත්තේජනය වීම නිසා මානසික පරිණත බව නැති මෙවැනි දරුවන් තුළ සැබෑ ලෝකය තුළ කළ යුතු දේ කෙරේ ඇති ඇල්ම නැතිවිය හැකියි. උදාහරණ  විදියට ඉගෙනීම , ක්‍රීඩාව, දෙමාපියන් එක්ක කාලය ගත කිරීම වැනි දේ මූලිකව දැක්විය හැකියි.

ඩොපමින් අනවශ්‍ය ලෙස උත්තේජනය වීම නිසා දරුවන් ලබා ගත යුතු ජයග්‍රහණ ගැන උනන්දුව හීන වී යයි. මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම, කම්මැලිකම, මතකය අඩු වීම, අවධානය අඩු වීම වැනි ලක්ෂණ මෙවැනි දරුවන් පෙන්වයි. විභාග අසමත් වීමට මේ තත්ත්වය හේතු වෙනවා. මන්ද අවශ්‍ය දේ කෙරේ අවධානය රඳවා ගැනීමට නොහැකි වීම හෝ අවධානය රඳවා ගත්තත් අධ්‍යාපන කටයුතු කෙටි කාලීන මතකයෙන්  දිගු කාලීන මතකය තෙක් හොඳින් සම්ප්‍රේෂණය නොවීම නිසා ලකුණු අඩු වීම විභාග අසමත් වීම සිදු විය හැකියි. මෙවැනි දරුවන් දෙමාපියන්ගෙන් තමන්ගේ දේ සඟවා ගැනීමට බොරු කීමට පටන් ගන්නවා. මේ තත්ත්වය විෂාදය තෙක් වුවද වර්ධනය වීමට ඉඩ කඩ ඇත. ‍

මෙවැනි තත්ත්වයකදී කළ යුත්තේ කුමක්ද?

  • දරුවන් සමග මනා බැඳීමක් ඇති කරගන්න

දෙමාපියන් සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් පැවතීම ඉතා වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයන් මැඩ පවත්වා ගැනීමටයි. වයසට සුදුසු පරිදි තම දරුවාට ලිංගික දැනුම ලබා දීම එවැනි සබඳතාවයක් පවත්වා ගෙන යන දෙමාපයින්ට පහසු කටයුත්තකි. මන්ද විශ්වසනීය සමීප වැඩිහිටියන් හරහා එම දැනුම දරුවාට නොලැබුණොත් කුතුහලයෙන් ගෙවෙන මේ නව යොවුන් වියේදී ඔවුන්ට අවශ්‍ය කරුණු අන්තර්ජාලයෙන් හෝ යහළු යෙහෙළියන්ගෙන් හෝ වෙනත් වැඩිහිටි පිරිස් වෙතින් දැනගැනීමට ඔවුන් පෙළඹේ. ඒ හරහා නිවැරදිම දැනුවත් බව නොලැබීම සැබවින්ම ගැටලුකාරී වේ. මන්ද ඔවුන් ද නිසි දැනුමක් නොමැතිව ලබාදෙන තොරතුරු සබෑ ජීවිතය සමග ගත්කළ නිවැරදි නොවිය හැකියි.

  • අන්තර්ජාලය භාවිතයේදී විශේෂ ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්න 

දරුවා භාවිත කරන පරිගණකය සැටම පෙනෙන ස්ථානයක තැබීම මගින් දරුවා එය භාවිත කිරීමේදී තිරය මත ඇති දේ අපේ ද ඇස ගැටෙනවා. අත්දකින දේ දරුවා සමග සාකච්ඡා කිරීමටත් අනවශ්‍ය දේ වෙත යොමු වීමට පෙර අවශ්‍ය දැනුවත් බව ලබා දී අවබෝධ කිරීම ඉතා වැදගත්ය.

  • අවශ්‍ය නම් මනෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න

ඔබේ දරුවා මෙවැනි දේ කෙරේ යොමු වී පාලනය කර ගත නොහැකි හෝ විෂාදය වැනි ලක්ෂන පෙන්නුම් කරයි නම් ළඟම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට ගොස් උපදෙස් ලබාගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 


                

ඔටිසම් දරුවන්ගේත් අයිතීන් සුරකින්න සමාජයක් ලෙස දැනුවත් වෙමු

උණහපුලු අම්මාටත් උගේ පැටියා මැණිකක් කියන්නාහේ අම්මා කෙනෙක්ට දරුවෙක්ගේ වටිනාකම කියන්නට වචන නැත. දස මසක් කුසේ හොවා රැක මෙලොවට බිහිකරන දරු පැටියා, ලේ කිරි කර පොවා උස් මහත් කරන අම්මා ඒ දරුවා ජීවිතය ජයගන්නා අයුරු දකින්නට සිහින දකියි. හිටි හැටියේම මේ සියලු සිහින පය පාමුල කඩා වැටෙමින් දරුවාගේ යම් ආබාධ තත්ත්වයක් එළිදරව් වීම අම්මෙක්ට තාත්තෙක්ට දරාගන්න කොයිතරම් අපහසු වුවත් ඔවුන් ඒ දරුවාගෙන් තොරව හෙට දවසක් දකින්නේ නැත. තම දරුවා මනෝ ආබාධ හෝ වෙනත් සංවර්ධන ඌනතා ඇති දරුවෙකු ලෙස හඳුනා ගත්තත් එතැන් පටන් මව්පිය සිහිනය වන්නේ දරුවා එතැනින් ඉදිරියට රැගෙන යාමම පමණකි.

අද වන විට අප සමාජය තුළ සංවර්ධන ඌනතා ඇති එවැනි දරුවන් අපහසුතාවයට අසරණභාවයට පත් වන්නේ සමාජයේ නොදැනුවත්කම නිසාමය. කරපු අකුසල් තමයි ඔයයන වචන මෙවන් දරුවන් සිටින මාපියන්ට ඇසෙන නෑසෙන ලෙස පවසන්නේ හිත් පතුලටම කා වැදෙන වේදනාවක් එක් කරමිනි. නමුත් යම් දරුවෙක් සංවර්ධන ඌනතාවයකට ලක් වීම කාගේ හෝ වරදකින් සිදුවන්නක් නොවන බව වෛද්‍ය විද්‍යාත්මකව සනාත වී හමාරයි.  

දරුවන් අතර දක්නට ලැබෙන සංවර්ධන ඌනතා තත්ත්ව අතර ඔටිසම් බහුලව දැක ගත හැකියි. මේ තත්ත්වයේ සිටින දරුවෙකුගේ හැසිරීම පිළිබඳ අපි කවුරුත් දැනුවත් වීම වැදගත් වන්නේ එවැනි දරුවන් එදි නෙදා ජීවිතයේදී මුණගැහෙන විට ඔවුන්ව වටහා ගැනීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් සිදුවන අසාධාරණයක් වැළැක්වීමට වැදගත් වන නිසාය. 

ඔටිසම් දරුවන්ගේ හැසිරීම වෙනස් ඇයි?  

ඔසිටම් දරුවන්ගේ වෙනස් හැසිරීම පිළිබඳව දෙමාපියන් ඥාතීන් පමණක් නොවෙයි ගුරුවරුන් යහළුවන් මෙන්ම ආරක්ෂක නිලධාරීන් ඇතුළු මුළු සමාජයමත් දැනුවත් විය යුතුයි. එය ඔවුන්ට සිදුවන අසාධාරණකම් නතර වීමට බොහෝ සෙයින් ඉවහල් වනු ඇත.  එපමණක් නොව එවන් දැනුවත් වීම් මගින් එවැනි දරුවන්ට අවශ්‍ය අවස්ථාවකදී සහය ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත.

ඕටිසම් කියන්නේ පෙර සඳහන් කළ පරිදි සංවර්ධන ඌනතා තත්ත්වයක්. කුඩා වියේ සිටම මොළයේ සිදු වන සංවර්ධනයේදී ස්නායු ජාලාවල පරිණත වීමේ යම් යම් ගැටලුකාරී තත්ත්ව මත ඇති වන සංවර්ධනයේ අඩුපාඩුවකි. එනම් ජානයේ DNAකේතයේ ඇති පුංචි පුංචි වෙනස්කම් දහස් ගණනක එකතුවක් හේතුවෙනි. මේ තත්ත්වයේ දරුවෙක් කලබලයට පත්වීම, දරුණු වීම බොහොම සාමාන්‍ය වන අතරම එය දරුවාගේ හෝ දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ වරදක් නොවන බව සමාජයක් ලෙස අප වටහා ගත යුතුමය. 

ඔටිසම් තත්ත්වයේදී පෙන්නුම් කරන සායනික ලක්ෂණ

  1. සමාජ සන්නිවේදයේ දුර්වලතා
  2. සීමිත පුනරාවර්තී ක්‍රියා (එකම දේකට නැවත නැවත කැමත්ත දැක්වීම)

සමාජ සන්නිවේදයේ දුර්වලතා 

ඔටිසම් දරුවන්ට සමාජය තුළ ඇති වන තත්ත්වය යම්තාක් දුරට අපහසුවකි.උදාහරණයක් ලෙස මෙවැනි දරුවෙක් පොදු ස්ථානයකට පැමිණි අවස්ථාවක ආරක්ෂක නිලධාරියෙක් හෝ වෙනත් අයෙක් හෝ යමක් විමසුවහොත් කලබලයට පත් විය හැකියි. ඒ කතනය හෝ භාෂාව අවබෝධ කරගැනීමේ නොහැකියාව, යමෙකුගේ සිතුවිලි අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව, යන හේතු නිසා විමසන දේ වටහා ගැනීමට නොහැකිව එක්වරම පිළිතුරු දිය නොහැකි එවැනි දරුවන් කලබලයට පත්වීම සාමාන්‍යයි.

උදාහරණයක් කෝ ඔබේ මුව ආවරණය ලෙස යමෙක් ප්‍රශ්නයක් නැගුවහොත් ඔටිසම් තත්ත්වයේ හිඳින දරුවෙකුට මෙය වටහා ගැනීම අසීරු විය හැකියි. එවැනි අවස්ථාවක එවැනි දරුවොක් පිළිතුරු ලබා නොදී මගහරිනවා විය හැකියි. නැතිනම් කලබලයට පත් වනවා විය හැකියි. එවැනි අවස්ථාවකදී සමාජය ඒ දරුවා දෙස වපර ඇසින් බැලීම හෝ හිරිහැර කිරීම එවැනි දරුවන්ට සිදුවන අසාධාරණයක්. මේ දැනුවත් කිරීම ඒ වෙනුවෙන් බව නැවතත් මතක් කරන්නේ සංවර්ධන ඌනතා ඇති ඕනෑම දරුවෙකුට තම අයිතිවාසිකම් එලෙසින්ම හිමිවිය යුතු නිසාමය.

සීමිත පුනරාවර්තී ක්‍රියා (එකම දේකට නැවත නැවත කැමත්ත දැක්වීම)

මේ තත්ත්වයේදී ඔටිසම් දරුවන් එකදේ නැවත නැවත කරන්න හෝ එකම ආකාරයට කරන්නට පෙලඹෙනවා. උදාහරණ විදියට එකම තොප්පිය, එකම ඇඳුම පාවිච්චි කරන්න එහෙමත් නැත්නම් ගමනකදී එකම පාරක පමණක් යන්න එන්න කැමැත්තක් දැක්වීම වැනිදේයි. ඔවුන් ප්‍රිය කරන මේ ආකාරයන්ගේ වෙනසක් ඇති වූ විට එවැනි දරුවන් කලබලයට පත්වනු ඇත. මෙවැනි දරුවන් තුළ ඇති නම්‍යශීලී බව අවම නිසා ඔවුන් එසේ කලබලයට පත්වනු ඇත. එවැනි අවස්ථාවකදී දරුවාට හුරු අයෙක් දරුවා සන්සුන් කරගත යුතුයි.

ඕටිසම් දරුවන්ට සමාජයේ පිළිගැනීම අත්‍යවශ්‍යමයි

පළමුව දෙමාපියන් තමාගේ දරුවා සමාජයට රැගෙන යා යුතුයි. දුකක්, ලැජ්ජාවක් ලෙස නොසිතා තමාට ලැබුණු දරු සම්පතේ වටිනාකම වටහා ගත යුතුයි. එවැනි දරුවෙක් නිවස තුළ සිර කර තබා ගැනීමට අවශ්‍ය නැත. සමාජය කියන දේ දෙස නොව ඔබ ඔබේ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංගනය නොකළ යුතුය. එසේම අවශ්‍ය එවැනි දරුවන්ට අවශ්‍ය මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම, චර්යාමය හැසිරීම් රටා ප්‍රතිකාර ක්‍රම මගින් සාමාන්‍ය ජීවන රටාවක් සඳහා දරුවා දිනෙන් දින හුරු කළ යුතුය. ප්‍රතිකාර හමුවේ සාමාන්‍ය ජීවිතයකට ආසන්න ජීවිතයක් ගත කිරීමට මෙවැනි දරුවන්ට හැකියාව ලබා ගත හැකිය. 

සමාජයක් ලෙස අපි සැවොම මෙවැනි දරුවන් පිළිකුල් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ නොකළ යුතුය. එවැනි දරුවන් සිටින දෙමාපිය යුවළකට හිත හැදෙන්නට හෝ සහය විය හැකි නම් එය අගනා සත් ක්‍රියාවකි. මෙම දරුවන් සාමාන්‍ය මට්ටමේ දරුවන් නොවන බවත් සංවර්ධන ඌනතා ඇති දරුවන් බවත් හොඳින් වටහා ගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට දායක නොවීම සමාජයක් ලෙස අපේ වගකීමකි. 

ලොව පුරා ප්‍රසිද්ධ විද්‍යාඥවරු, සමාගම් අධිපතිවරු, වෛද්‍යවරු අතර ඔටිසම් තත්ත්වයට මුහුණ දුන් බොහෝ දෙනෙක් වේ. නමුත් ඔවුන් මේ තත්ත්වය යටතේ වුවත් සමාජයට අනුවර්තය වී ලොව ජයග්‍රහණය කළ චරිත ලෙස සුප්‍රසිද්ධය. එසේ නම් ඔටිසම් දරුවන් නිවසට කොටු විය යුතුද? සමාජයේ ගැරහුමට හෝ නින්දාවට ලක් විය යුතුද? නැත…අපි ඔටිසම් දරුවන්ගේත් අයිතීන් රැකගනිමු.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

සනුකගේ තරහ පාලනය කරන්න ඩොක්ටර් දීපු උපදෙස් මාලාව

සනුක පොඩ්ඩක් ඇත්නම් තරහා ගන්න දරුවෙක්. පාසලෙනුත් හරියට පැමිණිලි. එයාට දැන් දැන් ඉන්න යාළුවොත් නැති වෙන පාටයි. ගෙදරදි නංගී, අක්කා එක්ක වුණත් පුංචි දේටත් සනුක කෝප ගැන්වෙනවා. සනුකට තරහා ගියාම කරන වැඩවලට එයාගේ අම්මාට තාත්තාටත් බොහොම තරහා යනවා. ඉතිං මුළු ගෙදරම එකම යුධපිටියක් වගේ වෙන දවසුත් තියෙනවා. සනුක ගැන තරහ ගියාම සනුකගේ හැසිරීම ගැන ලොකු කණගාටුවක් අම්මාට දැනුනත් අම්මටත් එන තරහට ගුටියක් දෙකක් නම් වැදෙනවාමයි. ඒත් රෑට නිදාගෙන ඉන්න සනුකගේ මූන ඉඹින අම්මාගේ ඇස්වල කදුළු පිරෙනවා. ඒත් මේකට මොකද්ද කරන්නේ කියලා අම්මාටත් ලොකු දැනීමක් නම් නැහැ.

ඔය අතරෙදි තමයි සනුකගේ පන්තියේ ගුරුතුමියෙන් පණිවිඩයක් ආවේ ඇවිත් මුණ ගැහෙන්න කියලා. පාසැලට ගියාට පස්සේ අහන්න ලැබුණු විස්තර එක්ක සනුකට මොකක් නමුත් අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවද කියලා අම්මටත් සැකයක් ඇති වුණා. 

ගුරුතුමිය කිව්ව විදියට සනුක බොහොම හොඳ දරුවෙක් තමයි. ඒත් එයාගේ කෝපය අසාමාන්‍යද කියලා සැකයක් ඇයටත් ඇති වෙලා තියෙනවා.ඇයටත් ඕනේ වුණේ සනුකට උදව් කරන්න බව තේරුම් ගිය අම්මා ඇගේ වචන සියල්ල හොදින් අසා සිටියා. 

අපි වෛද්‍යවරයෙක් හමුවෙමු. මුලින්ම සනුකව එක්ක යන්න ඕනේ නැහැ. අපි සනුකගේ තත්ත්වය වෛද්‍යවරයාට පැහැදිලි කරලා උපදෙසක් ගනිමු. ගුරුතුමියගේ අදහසට සනුකගේ අම්මා එකඟ වුණේ මේ තත්ත්වය එන්න එන්න වැඩි වුණොත් කියන බයත් ඇගේ සිත තුළ තිබුණු නිසයි. සනුකගේ මව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා තොරතුරු විමසුවා. ඇය සමග සනුකගේ ගුරුවරියත් පැමිණීම මිල කළ නොහැකි උපකාරයක් වුණේ පාසැල තුළදී සනුකගේ හැසිරීම ඇය හොඳින් දන්නා නිසාත් ඒ කරුණු සනුකට යම් ආබාධ තත්ත්වයක් ඇත්නම් නිරාකරණය කරගැනීමට පහසු වන නිසාත්ය. 

ඩොක්ටර්, මේ මගේ පන්තියේ දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඒ දරුවාට හරියට තරහා යනවා. අපි ඔහු වෙනුවෙන් කරන්න ඕනේ මොනවද?

ඇත්තටම කිව්වොත් තරහා යනවා කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්. ඒක දුක සතුට කියන හැගීම් හා සමානයි. නමුත් ඒ දරුවාගේ තරහා තවත් අයෙකුට හිරිහැරයක් එහෙමත් නැත්නම් එයාගේම අධ්‍යාපනයට හෝ දින චර්යාවට බාධාවක් නම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. තව විදියකින් කිව්වොත් හිතේ ඇති යම් මානසික ගැටලුවක් ඉස්මතු වෙනවා නම් හෝ අකටයුත්තක්, දැරුණු අත්දැකීමක් හෝ අත්ම ශක්තිය හීන වීමක් පෙන්වනවා නම් ඒ තත්ත්වයත් අසාමාන්‍යයි.

ඒත් සනුක පුංචි දරුවෙක්… ඒ වගේ දරුවෙක්ට අසාමාන්‍ය තරහක් ඇති වෙන්න පුළුවන්ද?

ඔව්.. තරහා යන්න හේතු වන කාරණා කිහිපයක් තියෙනවා.

  • ජීව විද්‍යාත්මක සාධක
  • මානෝ විද්‍යාත්මක සාධක
  • සමාජ විද්‍යාත්මක සාධක විදියට අපිට ඒ කරුණු වෙන් කරන්න පුළුවන්.

ජීව විද්‍යාත්මක සාධක කියන්නේ අපේ මොළය සැකසී ඇති ආකාරය අනුව ඒ කියන්නේ මොළයේ ස්නායු ජාලාවල වැඩ කරන ස්නායු සම්ප්‍රේෂකවල ඉහළ පහළ යෑමේ අසමතුලිතතාවය නිසා යමෙක්ට තරහා යන්න පුළුවන්.

උදාහරණයක් විදියට ගත්තොත් සමහර දරුවන්ගේ අවධානය සම්බන්ධ ස්නායු ජාලාවල ගැටලු නිසා ආවේග ශීලී විය හැකියි. එවිට පුංචි දේටත් කෝප ගැන්වෙන මේ දරුවෝ අවදානම නොතකා ඇති විය හැකි ප්‍රතිඵලය නොසලකා කටයුතු කරනවා.

මනෝ විද්‍යාත්මක සාධක විදියට ස්වඅභිමානය හීන වීම, ආත්ම ශක්තිය අඩු වීම නිසා එවැනි දරුවෝ විහිළු තහළු, අසාධාරණකම් ඉවසන්නේ නැහැ. ආත්ම ශක්තිය අඩු නිසා පුංචි දේටත් හිත රිදෙන්න පුළුවන්.

සමාජ විද්‍යාත්මක සාධක කියන්නේ දරුවා ඉන්න පරිසරය කිසිම පාලනයක් නැති, වෙනස් වෙන, අපිළිවෙළ තැනක් නම් ඒ වගේම පරිසරයෙන් දරුවාට යම් යම් හිරි හැර සිදු වෙනවා නම් හෝ හිරිහැර කරන අය දරුවාගේ වටපිටිවේ ඉන්නවා නම් එවැනි සමාජයක් හමුවේත් දරුවෙක් කෝප ගැන්විය හැකියි.

ඉතිං ඩොක්ටර් අපි දැන් මොකද අපේ දරුවට කරන්නේ,

  • ඔබේ ගෙදර ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි

දරුවා තරහා ගත්තම අපිත් තරහ අරගෙන හරියන්නේ නෑ. තරහට විසදුම තරහම නෙවෙයි. ඒක වැරදි ආදර්ශයක්. ගෙදර පරිසරය එහෙම වුනොත් දරුවාගේ හිතේ දරුණු ප්‍රතිරූප තැම්පත් වෙනවා. දරුවා වැඩිහිටි වියට පත් වුණාම එයා ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක් විය හැකියි.

  • පැහැදිලි දින චර්යාවක් ඇති කර ගත යුතුයි

පැහැදිලි දින චර්යාවක් මගින් දරුවෙක්ගේ හිතේ ව්‍යූහාත්මකව සංවිධානාත්මකව වැඩ කරන්න පටන් ගන්න නිසා කෝප ගැන්වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මව්පියන් විදියට අපි දැනගන්න ඕනේ දරුවෙක්ට චිත්‍ර අඳින්න කිව්වම එයා ඒක නොකර සෙල්ලම් කරනවා නම් ඒ වගේ දේවල්වලට තරහ නොගෙන ඉන්න. 

  • දරුවා එක්ක තරහ ගන්න එපා

දරුවන්ට තරහා ගියාම දෙමාපියන්ටත් තරහ යනවා. මීට පෙරත් මම කිව්වා දරුවට තරහ ගියාම අපිත් තරහ අරන් හරියන්නේ නැහැ කියලා. මොකද දරුවෙක්ට තරහ ගිහින් කියන්නේ එයාගේ හැඟීම් මොළය ප්‍රබල වෙලා කියන එක. අපිට තරහ ගියොත් අපිට වෙන්නේත් ඒකමයි. අපෙත් හැඟීම් උත්සන්න වෙනවා. එතකොට දරුවට වටින කියන ප්‍රයෝජනවත් දෙයක් එයාගේ මනසට එකතු කරන්න අපිට බැරි වෙනවා. ඒ නිසා දරුවා තරහෙන් ඉන්නවා නම් එයාව මගහරින්න. ඒත් එයාගේ ආරක්ෂාව ගැන වගකීම සිහියේ තබාගන්න. 

  • දරුවා පාලනය වුනාම හොඳ නරක කියා දෙන්න

හොඳ නරක ගැන අවබෝධයක් ලබා දෙන්න දරුවා තරහින් ඉන්න වෙලාවක් තෝරා ගන්න එපා. ඒක අසාර්ථකයි. හැම දරුවෙක්ම එක වගේ නෑ. ඒ වගේම දෙමාපියන්ගේ පිළිවෙළ දරුවන් තුළ නොතිබෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ පෞරුෂත්වය මත ඉඳලා දරුවෙක්ට උපදෙස් දීම අසාර්ථකයි. ඒ වගේම හෙඳ නරක කියා දිය යුත්තේ දරුවන්ගේ වයසට පෞරුෂයට ගැලපෙන විදියටයි.

ඩොක්ටර් මේ දරුවන්ට ඉවසීම පුරුදු කරන්න බැරිද?

ඇයි බැරි, දරුවන්ට ඉවසීම පුරුදු කරන්න ක්‍රම දෙකක් යොදාගන්න පුළුවන්. ඒ මෙන්න මේ විදියට

  1. කෙටි කාලීනව තරහ ගිය විට  යොදා ගන්නා ක්‍රම 5
  2. තරහ නොගිය වෙලාවට වුවත් කළ යුතු තරහ ඇති වීම දිගු කාලීනව පාලනය කරන ක්‍රම 5

කෙටි කාලීනව තරහ ගිය විට  යොදා ගන්නා ක්‍රම 5

මෙම ක්‍රම 5 ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුරු පහෙන් මතක තියා ගන්න පුළුවන්.

A – Awareness – දැනුවත් වීම

  • ශාරීරික වෙනස් කම්

හිසේ වේදනාව, වේගයෙන් හුස්ම ගැනීම, මස්පිඬු දරදුඬු වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම් දරුවා කෝප ගැන්වී ඇති බව වටහා ගෙන කෝපය අඩු කිරීමට උපක්‍රම යෙදිය යුතුයි.

  • මානසිකව ඇති වන වෙනස්කම්

කලබලයට පත් වීම, සිත් තැවුලෙන් සිටීම වැන ලක්ෂණ පිළිබඳව දැනුවත් විය යුතුය. දරුවා සමග කතා කොට සන්සුන් කිරීමට උත්සාහ කරන්න.

B – Breathing –  හුස්ම ගැනීම

ගැඹුරු හුස්ම ගැනීම මගින් කෝපය පාලනය කරරීම

C – Counting  – ගණන් කිරීම

කෝපය පාලනය කිරීමට බිංදුවේ සිට දහයටත් සහයේ සිට බිංදුවටත් ගණන් කරන්න.

(B + C ) – ගැඹුරු හුස්මත් සමගම ගණන් කිරීම ද කෝපය පාලනයට සහය වන ක්‍රමයකි)

D – Distance – ඉවතට යාම

දරුවා කෝප ගැන්වෙන හේතුව, ස්ථානය, පුද්ගලයාගෙන් ඉවත් වීම කෝපය පාලනයට උදව් වේ

E – Express  – හැඟීම් පිට කිරීම

හැඟීම් වචන වලට හරවා පිට කිරීමට දරුවාට අවස්ථාව දෙන්න. දරුවාට හිතුණු දේ දැණුනු දේ ගැන ආදරනේ විමසන්න

තරහ නොගිය වෙලාවට වුවත් කළ යුතු තරහ ඇති වීම පාලනය කරන දිගු කාලීන ක්‍රම 5

A – Adult behavior – වැඩිහිටි ඔබේ හැසිරීම

ඔබේ හැසිරීම ප්‍රචණ්ඩකාරී නොවිය යුතුයි. ඔබ තරහව ඉවත් කළ යුතුයි. කරහා ගත්තාම ඕනේ දෙයක් කරගන්න පුළුවන් කියන සිතුවිල්ල දරුවන් තුළ ඇති වන්නේ ඔබ තරහවෙන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙනු දුටු විටයි. 

B – Believe in self – ආත්ම විශ්වාසය වඩවා ගන්න

පුංචි දේටත් ඉවසීම නැතිව කෝප ගැන්වෙන්නේ ආත්ම ශක්තිය දුර්වල පිරිස්. ඒ නිසා දරුවෙකුගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීමට කටයුත් කළ යුතුයි. ඒ සඳහා මනෝ වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

C –  Coping Skills දරා ගැනීමේ හැකියාව වර්ධනය කරන්න

යම් මානසික ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව හා එම හැකියාව වර්ධනය කිරීමට දරුවාට සහය වෙන්න. පීඩනයක් ඇති වූ විට කෝප ගැන්වෙනවා නම් ඒ කියන්නේ පීඩාවකට ඔරොත්තු දීමේ හැකියාවක් දරුවා තුළ නැති බවයි. අන්න ඒ නිසාම දරුවාට ගැටලු නිරාකරණය කිරීමේ න්‍යායයන් පිළිබඳ අවබෝධ කරවිය යුතුයි. එය දිගුකාලීනව පුහුණු වීම මගින් කෝප ගැන්වීම අවම කරගන්නට විශාල සහයෝගයක් වේ.

D – Deep Breathing – ගැඹුරු හුස්ම 

ආනාපානසති භාවනාව වැනි ක්‍රම මගින් අපේ හුස්ම ගැන සිහිය පිහිට වීම මෙන්ම දිගු කාලීනව මනස සන්සුන් වන මනෝ චිකිත්සක ක්‍රමවලින් ඉවසීම ප්‍රගුණ කළ හැකියි.

E – Emotional understanding – භාවාත්මක අවබෝධය

තමන්ට මෙන්ම අන් අයටත් තරහාව දුක වේදනාව වැනි හැඟීම් ඇති බව දරුවා එක්ක යෙදෙන සංවාදවලදී වටහා දීමට උත්සාහ කළ යුතුය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

ජීවිතේට එක පාරක්වත් ට්‍රයි නොකළ යුතු වීඩියෝ ගේම්ස් 5ක්

වීඩියෝ ගේම්ස් කියන්නේ අද වෙද්දි පිස්සුවක්. නව යොවුන් වියේ තරුණ දරුවෝ විතරක් නෙවෙයි විවාහක අවිවාහක වැඩිහිටි වියේ අයත් මේ වීඩියෝ ගේම්ස්වලට පුදුම විදියට ආදරය කරන්න පටන් අරගෙන. ඇත්තටම කිව්වොත් වීඩියෝ ගේම් එකක් කියන්නේ මොකද්ද? ඒකට පුළුවන්ද අපේ ජීවිතවලට හානි කරන්න කියලා හිතන එකත් මේ ගේම්වලට ඇබ්බැහි වූවන්ටම පොදු සිතිවිල්ලක් කිව්වත් වරදක් නැති තරම්. ඒත් ලොව පුරා මනෝ වෛද්‍ය සමීක්ෂණවලට අනුව වීඩියෝ ගේම් කියන්නේ අපේ ජීවිත අපිටත් හොරෙන් වෙනස් කරන්න පුදුම හැකියාවක් තියෙන ඇබ්බැහියක්. 

Fortnight, League of Legends, World of Warcraft, pubG , Clash of Clans ලොව පුරා බොහොම ප්‍රචලිත වීඩියෝ ගේම්ස් කිහිපයක්. මෙන්න මේ ගේම්ස් සුළු මොහොතක සතුටක් වින්දනයක් අපේ ජීවිතයට එක් කළත් දිගු කාලීනව අප තුළ ඇති කරන්නේ ගැටලුම පමණයි. එය ඔබ වටහා ගන්නා විට බොහෝ සෙයින් ප්‍රමාද විය හැකියි.

වීඩියෝ ගේම්ස් අපේ මනසට බලපෑම් කරන්නේ කොහොමද?

ඇතැම් වීඩියෝ ගේම්ස්වල ප්‍රචණ්ඩත්වය අන්තර්ගත වනවා සේම ඇතැම් ඒවා බොහොම ආකර්ශණීයව නිර්මාණය වී තිබෙනවා. උදාහරණ විදියට Fortnight, World of Warcraft වැනි වීඩියෝ ගේම්ස්වල තියෙන්නේ ප්‍රචණ්ඩත්වය. නිතර නිතර ප්‍රචණ්ඩත්වය ඇතුළත් මෙවැනි ක්‍රීඩාවක නිරත වීම හිත තුළ තරහව, නුරුස්සා බව වර්ධනය කිරීමට හේතු වන බව මනෝ වෛද්‍ය පර්යේෂණ මගින් පෙන්වා දෙනවා. මෙවැනි වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වන පුද්ගලයා කිසි විටෙකත් තමාගේ එම වෙනස්කම් හඳුනා ගන්නේ නම් නැහැ. ඔහු හිතන්නේ ඔහු බොහොම සාමාන්‍ය අයෙක් විදියට වුණත් ඔවුන්ගේ පවුල් වටපිටාවේ සිටින අයට නම් මේ වෙනස් වීම් හොඳින් නිරීක්ෂණය වෙනවා. 

World of Warcraft වැනි වීඩියෝ ගේම්ස් බොහොම ආකර්ෂණීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. මෙවැනි වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වූවන් තමන්ගේ සිරුරේ හැඩය, පෙනුම වෙනස් කරගත හැකි යැයි සිතමින් සැබෑ ලෝකයේ ස්වභාවයෙන් තොරව සිහින ලෝකයක ජීවත් වීමට පටන් ගන්නවා. මේ තුළම ජීවත් වන අයෙක් යම් කාලයක් තුළදී තමා ගැන ඇති අභිමානය බිඳ වැටී දුකට පත් වෙනවා. මෙවැනි ක්‍රීඩාවල දීර්ග කාලීන ඇබ්බැහියෙකු වීම විෂාදය තෙක් ඔබව රැගෙන යාමට පවා හේතු විය හැකියි. මොකද මෙම විඩියෝ ගේම් නිර්මාණය කර ඇත්තේ ඉතා ආකර්ෂණීය ලෙසටයි. ඉතිං ඕනෑම අයෙක් ඇබ්බැහි වෙන සුලුයි. එහිදී සතුටට පත් වුවත් සැබෑ ලෝකේදී ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී ඒ ආකාර වූ උද්දීපනයක් නොමැති නිසා එවැනි පුද්ගලයන් තුළ කලකිරීම් ස්වභාවයක් ඇති වෙනවා. සිතේ සතුට පහව යනවා. නව යොවුන් වියේ දරුවන් මෙවැනි වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීමෙන් ඉගෙනීම පවා කඩා කප්පල් කරගන්නවා. 

Fortnight, Clash of Clans, වගේ තරගකාරීත්වය වැඩි වීඩියෝ ගේම් වල නිරත වීම නිසා ඒවා සාමාන්‍ය ජීවිතයට ඇතුළු වී එම පුද්ගලයන් තුළ ආත්මාර්තකාමී අභිමානයක් නිරායසයෙන්ම උපදවනවා. ඒ හරහා සමාජ සම්බන්ධතා ගිලිහී යන අතරම සමාජ සුහදතාවය පවත්වා ගැනීමට එය විශාල බාධවක්. මේ හේතු මත සාර්ථකව රැකියාවට පවා මුහුණ දීමට ඔවුන් අසමත් වේ.

Fortnight, Call of Duty වැනි වීඩියෝ ගේම්ස් පුරා ප්‍රචණ්ඩත්වය ඇති අතරම දිගු කාලීනව මෙම ගේම්ස්වලට ඇබ්බැහි වූවෙක්ගේ පෞරුෂත්ව ගැටලු මතු වෙනවා. එනම් ආවේගශීලී ඒවගේම ආත්මාර්තකාමී පෞරුෂයන් ඇති වෙනවා. ඒ වගේම නව යොවුන් වියේ බොහෝ පිරිස් යොමුව සිටින PubG වැනි වීඩියෝ ගේම්ස් බොහෝ සෙයින් ආකර්ශනීය නිසා නොදැනුවත්වම ටිකෙන් ටික එයට ඇබ්බැහි වෙනවා. එය ඉතා උනන්දුවෙන් ආසාවෙන් එහි එල්බ සිටින තැනැත්තාට නොවැටහුණත් වැඩකටයුතු සියල්ල අඩාල කරගනිමින් වවීඩියෝ ගේම් එකක නිරත වන බව බාහිර පුද්ගලයන්ට අවබෝධ කරගත හැකියි. නමුත් මෙහි නිරතවන්නා මේ හේතුවෙන් තමාගේ අධ්‍යාපන කටයුතු, කාර්යාල වැඩකටයුතු මගහැරෙන බව හෝ තමාට අධික ලෙස කෝප ගැන්වීම වැනි මානසික සංකූලතා ඇති බව වටහා නොගනී. නව යොවුන් වියේ දරුවන් මෙන්ම වැඩිහිටි පිරිස් වුවද මෙවැනි වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වීම ඉතාම ඛේදනීය තත්ත්වයක්. ඇබ්බැහි වීම වැඩි වීඩියෝ ගේම්ස් ජීවිතයේ එකම එක පාරක්වත් උත්සාහ කරන්න පවා එපා යනුවෙන් මනෝ වෛද්‍යවරු උපදෙස් දෙන්නේ එයද හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම හා සමානම නිසයි.  

මෙන්න මේ වීඩියෝ ගේම් නම් ජීවිතේට එක පාරක්වත් උත්සාහ කරන්න එපා

  • Fortnight
  • league of legends
  • World of Warcraft
  • PubG
  • Clash of Clans 

මෙම වීඩියෝ ගේම් පහ නිර්මාණය කර ඇති ආකාරයට එහි නිරතවන්නා එයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවය ඉහළයි. 

වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද?

  • සැබෑ ජීවිතය ඉතා කම්මැලි සහගත එකක් වීම
  • අධ්‍යාපනය අතර මග නරත වීම
  • ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇතිවීම 
  • නුරුස්නා ස්වභාවය/ආත්මාර්තකාමී බව
  • කනස්සල ඇති වීම පසුව එය විෂාදය තෙක් වර්ධනය වීස
  • සමාජශීලී බව අඩු වීම නිසා සමාජීය කුසලතා නොමැති වීම

මෙවැනි තත්ත්ව මත නිකරුණේ ජීවිත විනාශයට පත් වී අනාගතය ගැටලුකාරී වනු ඇත. අන්න ඒ නිසාම ඔබත් මානසික නිරවුල් බව තුළින් සාර්ථක ජීවිතයක් වෙනුවෙන් වෙහෙසෙන්න. දැනුවත් වෙන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

”ආතතියෙන් තොරව විභාගයට සැරසෙන හැටි” දරුවාට කියවන්න ඉඩ දෙන්න

විභාගයකට මුහුණ දෙන දරුවෙක් ඉන්න ගෙදරක වටපිටාව දරුවාට පුංචිම හෝ බාධාවක් නොවෙන විදියට සකස් කරගන්න දෙමාපියෝ වගේම ගෙදර අනෙකුත් සාමාජිකයොත් සැලකිලිමත් වෙනවා. මොකද හොඳ මානාසික ඒකාග්‍රතාවයක් වගේම මානසික නිදහසක් පවත්වා ගන්න ඉගෙනීමට සුදුසු වටපිටාවක් නිවසක තිබිය යුතුයි කියලා අපි කවුරුත් දන්නවා. ඒත් විභාගයකට දරුවෙක් සූදානම් විය යුතු නිවැරදි ආකාර ගැන දැනුවත් බවක් හැම දෙමාපියෙක් තුළම නැහැ.

අද වෙන විට බොහෝ දෙනෙක් බොහොමයක් කරුණු වෙනුවෙන් අන්තර්ජාලයේ පිහිට පතන්න පුරුදු වෙලා. නමුත් අධාපන ක්‍රමවේදයන් පිළිබඳව සලකා බලද්දී බටහිර රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් අපේ රටට උචිත නොවිය හැකියි. වැඩිහිටි අපි ඇතැම් විට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන්ම වෙන් වුණත් දරුවන්ට ලබා දෙන උපදෙස් නිවැරදිම ඒවා විය නොහැකියි.

බටහිර රටවල අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගන්නා විෂය නිර්දේශය, ක්‍රම සහ විධි වගේම විභාග ක්‍රම අපේ රටේ විෂය නිර්දේශයට, විභාග ක්‍රමවලට හාත්පසින්ම වෙනස් විය හැකි අවස්ථා ඇති නිසාම අන්තර්ජාලය ඔස්සේ බටහිර දරුවන්ගේ ක්‍රම අපේ දරුවන් පිට පැටවීම වැඩිහිටි අප කරනා එක් වරදකි. පිටරට දරුවන් විභාග සඳහා සූදානම් වන ආකාරය අපේ රටට සුදුසු නොවිය හැකියි. 

පාඩම් කිරීමේ හැකියාව වුවත් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එකිනෙකා පාඩම් කරන ක්‍රමය රඳා පවතින්නේ එක් එක් දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව, මතක තබා ගැනිමේ හැකියාව සහ පෞරුෂත්වය මතයි. එසේම පාඩම් කිරීමට යොමු වන කාලයද එසේමය. ඇතැම් දරුවන්ට උදෑසන පාඩම් කිරීම සාර්ථක වුවත් තවත් දරුවෙකුට ඒ වේලාව අසාර්ථක විය හැකියි. මේ සියලු කරුණු සලකා බැලූ කළ විභාගයකට දරුවෙක් සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වැඩිහිටි අපද දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

කොච්චර පාඩම් කළත් මකත හිටිනේ නැහැ

  • පාඩම් කරුණු කෙටි කාලීනව දිගු කාලයක සිට පුහුණු වීම

අපේ සමහර දරුවෝ විභාගේ ළං වෙලා එක දිගට පාඩම් කරන්න පටන් ගන්නවා. නමුත් ඒ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් විදියට හඳුන්වන් බැහැ. කොච්චර පාඩම් කරත් අමතක වෙනවා කියන මැසිවිල්ල පාඩම් කිරීමට නිවැරදි ක්‍රමය යොදා නොගන්නා නිසා ඇති විය හැකි තත්ත්වයක් බව මේ ලිපිය අවසානයේදී ඔබට වැටහේවි. 

මූලිකවම සිදු වෙන්නේ පාසැලේ ගුරුවරයා පාඩම කියා දෙන විට දරුවන් එය සාවදානව අසා සිටීමයි. යම් හෙයකින් දරුවාට පාඩම ගැටලු සහගත නම් එය ගුරුවරයාගෙන්ම යාළුවෙකුගෙන් හෝ විමසා නිරාකරණය කරගත යුතුයි. පාඩම හොඳින් වැටහුණු පසු එදිනම හවස් වරුවේ හෝ නැවත පාඩම කියවා බැලීම ඉතාම වැදගත්. ඉන් පසු සුව නින්දකින් පසු හෝ දින කීපයකින් නැවත පාඩම අධ්‍යයනය කිරීමෙන් කෙටි කාලීන මතකයේ රැදී ඇති එය දිගු කාලීන මතකයට ඇතුළු කරගැනීමට හැකියාව ලැබේ.  (පාඩම හරිහැටි නොවැටහුණත් ඇතැම් විට කටපාඩම් කිරීම මගින් මතකයේ රඳවාගත හැකි බව අපේ දරුවන් සිතුවත් යමක් දිගු කාලීන මතකයට ඇතුළත් කරවීමට නම් ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබිය යුතුමයි. පාඩම් හොඳින් අවබෝධ වුණත් නැවත නැවත අධ්‍යයනය නොකළොත් දිගු කාලීන මතකයට ඇතුළත් කරගත නොහැකි වීමෙන් මතකයෙන් ගිලිහී යාම ඇති ඉඩ කඩ වැඩියි) 

  • එකම පාඩම ක්‍රම කිහිපයකින් මතක තියාගන්න
  1. සවන් දීම

ගුරුවරයා පන්තියේදී කියාදෙන පාඩම සාවදානව අසා සිටිය යුතුය

  1. ලිවීම

පාඩම සඳහා ගුරුවරයා විසින් ලබා දෙන හෝ දරුවා විසින් සකස් කරගන්නා සටහන 

  1. කියවීම

නිවසට පැමිණි පසු නැවත පාඩම කියවීම

 

පාඩම් කිරීමේදී ඉතා වැදගත් මෙන්ම මතකය රඳවා ගන්නා සුවිශේෂී ක්‍රමයක් ලෙස වස්තූන් අවකාශයේ පිහිටා තිබීම (Visual Space Memory) දැක්විය හැකියි.මෙය සුවිශේෂ මතක වර්ගයක් වන අතරම මෙහිදී සිදු වන්නේ පාඩම රූපසටහන් බවට පත් කිරීමයි. පාඩම් කරුණු නැවත මතක් කරමින් වෙනස් කෝණයකින් දැක රූප සටහන් ගොඩ නැගීම මගින් පාඩම මතකයේ රඳවන ප්‍රමාණය වැඩියි. මේ ආකාරයට රූප සටහන් ගොඩනැගීමෙන් පසුකාලීනව රූප සටහන බලද්දි නැවත පාඩම ා පහසුවෙන් මතකයට නැගීමට ඇති ඉඩකඩ වැඩියි.

ආයේ ආයේ පාඩම් කරන්න වෙලාව නැහැ

අද වෙද්දි ඇතැම් දරුවෝ එක විෂයකට එක් අමතර පන්තියකට පමණක් නොවේ අමතර පන්ති කිහිපයට සහභාගී වෙනවා. එතැනදී දරුවන්ට ආයේ ආයේ පාඩමට යොමු වීමට ඇති වෙලාව සීමිතයි තමයි. ඒත් එදා ඉගෙන ගන්න පාඩම ලිපියේ පෙර සඳහන් කළ ආකාරයටම නැවත නැවත අධ්‍යයනය කරන්නට කෙසේ හෝ කාල වේලාවක් වෙන් කර ගත හැකි නම් එය විභාගයට සාර්ථකව මුහුණ දීමට හේතු වෙනවා. අඩුම තරමේ මාතෘකා උපමාතෘකා හෝ කියවා හිතට ගැනීම වැදගත්.

විවිධ පාඩම්වල සංකල්ප අතර සම්බන්ධයක් ඇති කරගැනීම

ඇතැම් විට පාඩම්වල එකිනෙක හා සමාන කරුණු තියෙනවා. පළමු වෙනි පාඩමේ සංකල්පයක් දෙවෙනි පාඩමේ සංකල්පයක් හා සම්බන්ධ විය හැකියි. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ පාඩම් දෙකම හොඳින් කියවා සංකල්ප සම්බන්ධ කිරීමෙන් ස්ථාවර මතකයක් ගොඩ නඟාගත හැකියි.

කාල සටහනක් ඕනෙමද?

ඔව්… කාලසටහනකට අනුව වැඩ කිරීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වනු ඇත.

  • කාලය කළමනාකරණයට

උදාහරණයක් විදියට ගත්තොත් උදෑසන 8 – 9 තෙක් කාලසටහනට අනුව පාඩම් කරන විෂය විද්‍යාව නම් යම් කිසි හේතුවක් නිසා අවධානය පවත්වා ගන්න බැරි වීමෙන් නිසා ඒ පැය මඟහැරුණු දරුවෙක්ට ඊලඟ පැයේදී එනම් 9 – 10 තෙක් අලුත් බලා පොරොත්තුවක් ඇතිව පාඩමට යොමු විය හැකියි. ඒත් කාල සටහනක් නොමැති වීම ඒ පැය කිහිපයම පසුතැවිල්ලෙන් ගත කිරීමට හේතු විය හැකියි. කාල සටහනකට අනුව වැඩ කිරීමෙන් කාලය නිකරුණේ ගත වුණා කියා පසුතැවිලි වීමට සිදු වන්නේ නැහැ.

  • සෑම විෂයකටම නියමිත කාලය වෙන් කිරීමෙන් සෑම විෂයක්ම එක හා සමාන කාලයක් ලැබෙනවා. 
  • බටහිර රටවල මෙන් නොව අපේ රටේ විභාග ක්‍රමය පවතින අකාරයට නම් විෂය කරුණු සියල්ල නොව විභාගයට අවශ්‍ය කරුණු පිළිබඳ පමණක් අවබෝධය තිබීම ප්‍රමාණවත්. අන්න ඒ නිසා කාලසටහනකට අනුව පාඩම කිරීමට යොමු වීම තුළින් එසේ අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් කාලය වෙන් කිරවා ගැනීම පහසුයි
  • කාල සටහන මගින් කාලය නිසි පරිදි කළමනාකරණය වන නිසා මානසික ස්ථාවර බව නිදහස වගේම අවධානය එක් අරමුණක පවත්වා ගැනීමට පහසු වේ

 

විභාගය කියන්නේ අපේ ජීවිතය තුළ වැදගත් එකම දෙය නොවේ. විභාගවලින් ජය ලැබීම අපේ ජීවිත පහසු කරවන නමුත් විභාග අසමත් වීම ජීවිතයම අවසන් වූවා යැයි සිතීම කිසිසේත්ම නිවැරදි සිතිවිල්ලක් නම් නොවේ. සමහර දරුවෝ කුඩා කාලයේ සිටම තමන්ගේ සියලු දේ මව්පියන් විසින් කළ නිසා විභාග පිළිබඳ වගකීමත් දෙමාපියන් මතම පැටවීමට උත්සාහ කළත් විභාගවලින් දරුවෙකු ලබන ජය පරාජය දිගු කාලීනව බලපාන්නේ දරුවන්ගේ ජීවිතවලටමයි. විභාගයකින් ජය ලැබීම සතුටක් වනවා සේම ජය නොලැබීමත් ජීවිතය කලකිරවා ගැනීමට හේතුවක් නොවණු ඇත. ඕනෑම පුද්ගලයෙක්ට තමා තුළ පවතින යම් හැකියාවක් ඔප් නංවා ගනිමින් ජීවිතය ජය ගැනීමට හැකියාවක් ඇත.  

විභාගේ අත ළඟ නම් මානසික ආතතිය අවම කරගැනීමට

  • පැය හයකවත් නින්දක් අත්‍යවශ්‍යයි. 

අපේ මොළයේ හිපොකම්පස් නමින් හැඳින්වෙන මතකය පිළිබඳ කොටසේ ක්‍රියාකාරීත්වය නින්ද අවශ්‍ය වෙනවා. කොයිතරම් පාඩම් කළත් කරුණු දිගු කාලීන මතකය තුළ තැම්පත් වීමට නම් නින්ද අවශ්‍යයි. 

    • අවබෝධ කර ගෙන ඇති පාඩම්වලට මුල් තැන දෙන්න (විෂය ඉගෙනීමට නොව විභාගයට සූදානම් වීමට ප්‍රමුඛත්වය දිය යුතු නිසා) 
    • සුපුරුදු පාඩම් විලාසය වගේම වේලාවන් වෙනස් කරන්න එපා
    • සිත සංසුන්ව පවත්වා ගැනීම මගින් මතකය මෙන්න අවධානය රැකගන්න (ආනාපාන සති භාවනාව/සක්මන් භාවනව හෝ සියුම් සන්සුන් සංගීතයකට සවන් දීම)
    •  විභාගයට රැගෙන යා යුතු දේ කල් තියා සූදානම් කරගන්න(පෑන් පැන්සල්/ඇඳුම්/අනෙක් ලියකියවිලි)

 

  • අවසන් වන විෂය හා සම්බන්ධ යහළු යෙහෙළියන් සමග සාකච්ඡා, පිළිතුරු සැපයීම අපහසු වූ ගැටලුකාරී ප්‍රශන පත්‍ර ගැන සිතීම මෙන්ම පිළිතුරු සෙවීම් අනවශ්‍යය (අන්‍යයන්ගේ පිළිතුරු සහ ඔබේ පිළිතුරු වෙනස් වීම නිසා ඇති වන සිත් තැවුල් ඉදිරි විෂයන්ට නිසි ලෙස මුහුණ දීමට බාධා විය හැක) 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

ගර්භණී සමයේ රුධිර පට්ටිකා අඩුවීම ගැටලුවක්ද?

ගර්භණී සමයේ රුධිර පට්ටිකා අඩුවීම (Gestational/Incidental Thrombocytopenia) යන මේ තත්ත්වය ගර්භණී කාන්තාවන්ට බහුලව ඇතිවන තත්ත්වයකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා ප‍්‍රමාණය 1,50,000/ml 400,000/ml දක්වා වේ. එම ප්‍රමාණය 1,50,000 ට වඩා අඩුවීම මෙලෙස මේ නමින් හඳුන්වයි.

ගර්භණීතාවයේ පළමු ත්‍රෛමාසිකය තුළ සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා ප‍්‍රමාණය 2,50,000/ml දක්වා අඩු වේ. දරු ප‍්‍රසූතියේදී මෙය 2,25,000/ml දක්වා පමණ දක්වා අඩුවිය හැක. නමුත් එම අඩුවීම මගින් මවට හෝ දරුවාට හානියක් සිදු නොවේ. 

සාමාන්‍යයෙන් භෞතවේදිය ලෙස රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩුවන්නේ,

  • රුධිරයේ සාන්‍ද්‍රණය අඩුවීම (Haemadilutium) 
  • ශරීරයේ පර්යන්ත පටකවල රුධිර පරිභෝජනය වැඩිවීම
  • Thromboxane A2 වැඩි මට්ටමක පැවතීම යන හේතු නිසා විය හැකිය.

රුධිර පට්ටිකා ප‍්‍රමාණය 100,000/ml ට වඩා අඩුවීම සමහර විට තීව‍්‍ර වෛද්‍යමය හේතුවක් නිසා ද විය හැක. මීට අමතරව ගර්භණී සමයේදී රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩුවීම සඳහා හේතු වන ප්‍රධාන සාධක දෙකකි.

  1. ඇට මිදුළු (bone marrow) වල රුධිර පට්ටිකා නිෂ්පාදනය අඩුවීම.
  2. රුධිර පට්ටිකා විනාශ වීම වැඩි වීම.

ගර්භණී කාලයේදී භ්‍රෑණයාගේ අපද්‍රව්‍ය මවගේ රුධිරයට විසරණය වේ. මේ නිසා මවගේ ප්ලීහාව අධි ක‍්‍රියාකාරීත්වයට පත් වී විශාල වේ. සාමාන්‍යයෙන් ප්ලීහාව මගින් අපද්‍රව්‍ය පෙරීම හා ඉවත් කිරීම සිදු වේ. අනවශ්‍ය අපද්‍රව්‍ය රුධිරයේ ප‍්‍රමාණයට වඩා වැඩි වූ විට ප්ලීහාව මගින් ඉතා ඉක්මණින් රුධිර සෛල ඉවත් කිරීම හෝ රුධිර පට්ටිකා ගබඩා කිරීම සිදු කරයි. මේ හේතු නිසා අධි ක‍්‍රියාකාරී වන ප්ලීහාව මගින් සංසරණය වන පට්ටිකා ප‍්‍රමාණය අඩු වේ.

ගර්භණීභාවයේදී හෝ වෙනත් අවස්ථාවලදී රුධිර පට්ටිකා අඩුවීමට හේතු

 

  • විටමින් B12ඌණතාවය
  • යකඩ ඌණතාවය
  • නීරක්තිය
  • වෛරස ආසාධන
  • ඖෂධ ප‍්‍රතිකාර (Chemotherapy) (විශේෂයෙන් පිළිකා තත්ත්ව වලදී ලබාදෙන ප‍්‍රතිකාර)
  • මධ්‍යසාර
  • Cirrhosis
  • ලියුකේමියාව

 

රුධිර පට්ටිකා අඩු වූ විට පෙන්නුම් කරන ලක්‍ෂණ

රුධිර පට්ටිකා අඩු වීමකදී සාමාන්‍යයෙන් පහත ලක්‍ෂණ දැකිය හැකිය. 

  • විදුරුමස, නාසයෙන් රුධිරය ගැලීම
  • මුත‍්‍රා හෝ මල සමග රුධිරය පිටවීම
  • තීව‍්‍ර ලෙස ඔක්කාරය හා වමනය
  • දරුවාගේ ක‍්‍රියාකාරීත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වීම
  • දිගටම පවතින හිසරදය, උදර වේදනාව, පෙනීමේ දුබලතා, ඉදිමාව, උණ ඇතිවීමේදී පෙන්වන ලක්‍ෂණ
  • කැපුණු ස්ථානයකින් දිගටම රුධිරය ගැලීම

 

ගර්භණී සමයේදී රුධිර පට්ටිකා වැඩි කිරීමට ගත යුතු ආහාර

 

  • මාළු, කුකුළු මස්වල ප්‍රෝටීන, සින්ක්, විටමින් B12බහුලවම පවතී. මෙය රුධිර පට්ටිකා ප‍්‍රමාණය වැඩි කිරීමට උදව් කරයි.
  • බෝංචිවල B9 (ෆෝලේට් – Folate) යහමින් පවතී. මෙමගින් එක්වර රුධිර පට්ටිකා ප‍්‍රමාණය වැඩි කරයි. මීට අමතරව නිවිති, දොඩම් ආදියේ ද B9 යහමින් පවතී.

 

 

රුධිර පට්ටිකා අඩුවන ආහාර

 

  • Quinine – මේවා tonic water වල පවතී.
  • මධ්‍යසාර
  • එළකිරි

 

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

භෞත චිකිත්සාවේ එන ජල චිකිත්සාව අපේ දරුවන්ට සුදුසුද?

අතීතයේදී මෙන් නොව අද වන විට අපේ රට තුළත් භෞත චිකිත්සාව පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟී හමාරය. ඒ ඒ හරහා බොහොමයක් රෝග තත්ත්ව සඳහා විසදුම් හිමි වීමත් සමගය. අනවශ්‍ය ලෙස ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා ඇතැම් රෝග තත්ත්ව භෞත චිකිත්සාව මගින් සුව කිරීම ඇතැම් විට විස්මය ජනකය. භෞත චිකිත්සාවේ එන ප්‍රතිකාර ක්‍රම එතරම්ම සාර්ථක බව කිව යුතුමය. මේ අත්දැකීම් සමගින් රෝග තත්ත්වයකදී ඉහළ සාර්ථකත්වයක් හිමි ප්‍රතිඵලයක් ලබාදීමට හැකි භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත වැඩිහිටියන් මෙන්ම දරුවන්ද යොමු කිරීම සතුටට කරුණකි. 

භෞත චිකිත්සාවේ එක් එක් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ඇති අතරම මේ ලිපිය වෙන්වන්නේ , වැදගත් ප‍්‍රතිකාර ප‍්‍රභේදයක් වන ජල චිකිත්සාව (Hydrotherapy) පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. ජල චිකිත්සාව (Hydrotherapy) යනු ලංකාව වැනි රටකට ඉතා සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජලය සුලභව ඇත. එය අපට නොමිලේ ලැබේ. ගංගා, ඇල, දොළ, වැව් රට තුල තිබෙන අතර රට වටා මුහුද තිබේ. එබැවින් සුදුසුකම් ලත් භෞත චිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි තමාගේ ඇති  ඕනෑම රෝගයකට ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාගත හැකිය. ජලය ප‍්‍රතිකාරයක් ලෙස ගැනීමේදී දරුවන් ඉතා උද්යෝගයෙන් එම ප‍්‍රතිකාර ලබා ගනිති. එබැවින් එම ප‍්‍රතිකාරවලින් ඉක්මනින් සුවය ලබාගන්නා අය බොහෝය. ජලය සමග කරන ක‍්‍රීඩා ප‍්‍රතිකාර මනස ප‍්‍රබෝධමත් කරන අතර ආතතියද අඩු කරයි.

ජලයේ ඇති උඩුකුරු තෙරපුම මෙම ජල චිකිත්සාවේ භාවිත වන මූලික සිද්ධාන්තයයි. ස්නායු ආබාධ නිසා දෙපා පණ නැති අයට ජල තටාකයක් තුල ජලයේ උඩුකුරු තෙරපුම නිසා ගුරුත්වාකර්ෂණයට එරෙහිව දෙපා එසවිය හැකි බැවින් පහසුවෙන් ඇවිදීමට හැකිය.

සාමාන්‍යයෙන් ජල චිකිත්සාව සඳහා යොදාගන්නා ජල තටාකයේ වතුර ගලන දිශාව විවිධ කෝණ ඔස්සේ වෙනස් කළ හැක. වතුර පහර රෝගියාට වදින දිශාව මෙන්ම වේගය අඩු වැඩි කිරීමට ඒ තුළ උපකරණ ඇත. මෙමගින් දෙපා පණ නැති රෝගියාට දෙපා චලනය කිරීමට අවශ්‍ය ජවය ජලය මගින් ලබාදේ. මෙම ව්‍යායාම ක‍්‍රමය සක‍්‍රීය උදව් ව්‍යායාම (Active assisted exercises) ලෙස හඳුන්වයි. තවද රෝගියාගේ චලනයට විරුද්ධව ද ජල පහර එවීමෙන් රෝගියා එයට එරෙහිව එම චලනය (Resisted exercises) කිරීම නිසා ආදාල පේශී ශක්තිමත් වේ. 

එපමණක් නොව ජල තටාක තුළ පඩි පෙළක් සහ සමාන්තර පොලු ද සවිකර ඇත. පඩි පෙළ නැගීමේදී දෙපා ඉහළට එසවීමට ජලයේ උඩුකුරු තෙරපුම උදව් කරයි. මෙම ජල චිකිත්සාව මගින් ඉතා ඉක්මණින් රෝගියා නැවත යථා තත්ත්වයට පත් කළ හැක.

සාමාන්‍යයෙන් ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීමට ප‍්‍රථම භෞත චිකිත්සකවරුන් විසින් රෝගියා ඇගයීමකට ලක් කර රෝගියාගේ පේශී වර්ගීකරණයක් කරනු ලබයි. මෙම පේශී වර්ගීකරණයට අනුව 3 වන ශ්‍රේණියට පේශිය පැමිණ ඇත්නම් පමණක් ජල චිකිත්සක ප‍්‍රතිකාර වලට යොමු කරනු ලබයි.

 

වර්ගීකරණය නම්

1 වන ශ්‍රේණිය – පේශියේ කිසිම සංකෝචනයක් සිදු නොවේ.

2 වන ශ්‍රේණිය – පේශිය සුළු වශයෙන් සංකෝචනය වේ. නමුත් කිසිදු වලනයක් සිදු නොවේ.

3 වන ශ්‍රේණිය – පේශිය සංකෝචනය වන නමුත් චලනය කළ හැක්කේ පොළවට සමාන්තර තලයක පමණි.

4 වන ශ්‍රේණිය – ගුරුත්වාකර්ෂණයට එරෙහිව වලනය කළ හැකිය.

5 වන ශ්‍රේණිය – බලයකට එරෙහිවද ගුරුත්වාකර්ෂණයට එරෙහිවද චලනය කළ හැක.

6 වන ශ්‍රේණිය – සාමාන්‍ය ශ්‍රේණිය

ආඝාතයකට ලක් වුන සියලූම රෝගීන්ට ජල චිකිත්සාව සඳහා රෝහල් තුළ පහසුකම් නැති වුවත් අප රටේ සෑම ප‍්‍රදේශකයම ගංගා, ඇල, දොළ, වැව් සහ රට වටේට මුහුද ඇත. එබැවින් නිසි භෞත චිකිත්සක උපදෙස් ලබාගෙන තවත් උදව්වට කීප දෙනෙක්ද සමග ආරක්‍ෂා සහිතව රෝගියෙකුට ගංගාවක හෝ මුහුදු වෙරළක මෙම ප‍්‍රතිකාර කරගත හැක.

උදාහරණ ලෙස කලවයේ ඇති පේශිය වන කොඩ්‍රිසෙප් (Quadricep) ශක්තිමත් කිරීමට මුහුදු වෙරළට ගොස් මුහුද දෙසට මුහුණලා ගොඩට එන රැල්ල කකුලට ස්පර්ශ වන විට එයට විරුද්ධව දණහිසෙන් කකුල දිගහැරිය යුතුය. රැල්ලේ වේගය හා ජල ප‍්‍රමාණයේ තීව‍්‍රතාවයට එරෙහිව කකුල දිග හැරීම කොඩ්‍රිසෙන් පේශිය ශක්තිමත් වේ.

එමෙන්ම සක‍්‍රීය උදව් ව්‍යායාමයක් කිරීමට නම් එනම් රෝගියාට දණහිසෙන් කකුල දිග හැරීමට තනිවම නොහැකි නම් මුහුදු වෙරළේ මුහුදට පිටුපා සිටගෙන මුහුදු රැල්ල එන විට එයත් සමග දණහිස දිග හැරීමෙන් එය පහසුවෙන් කළ හැක. එවිට ටික දිනකින් පේශිය ශක්තිමත් වේ.

කැඩුම් බිදුම් හා විකලාංග රෝග තත්ත්වවලදී උදාහරණයක් ලෙස පාදයේ අස්ථියක් භග්න වී ඇති විටද ප්ලාස්ටරයක් දමා සිට එය කපා ඉවත් කළ පසුවද පාදයට බර නොදමා කිහිලිකරු වලින් ඇවිදීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති අවස්ථා වලදීද මෙම ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාගත හැක.

එනම් සාමාන්‍යයෙන් ජල තටාකයක රෝගියාගේ කිහිලි ප‍්‍රදේශය දක්වා ජලය පිරවූ රෝගියා දෙපා වලින් ජලය තුල සිටගෙන සිටියද රෝගියාගේ බරින් 90% ක් රෝගියාට නොදැනේ. මෙම ක‍්‍රමය මගින් කිහිලිකරු නොමැතිව රෝගියාට ජල තටාකය තුල ඇවිදීමට පුහුණු කළ හැක. (Non Weight bearing walking)

එමෙන්ම සමහර අවස්ථාවල වෛද්‍යවරුන් රෝගියාට තමන්ගේ බරෙන් කොටසක් පමණ පයට දමා යන ලෙස අවවාද කරන අතර එවිට රෝගියාගේ උකුල ප‍්‍රදේශය දක්වා ජලය පිරවූ තටාක ඇවිදීමේදී රෝගියාගේ බරෙන් 50% ක් පමණ දෙපා වලට වැටේ. මෙය partial weight bearing walking ලෙස හැඳින්වේ.

 

ආචාර්ය ජාලිය උඩුවැල්ල

භෞත චිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

 

රූපවාහිනියට ඇබ්බැහි වීමේ මුල්ම චුදිතයා දෙමව්පියන්

අපේ පැටව් රූපවාහිනියෙන් ඈත් කරන්නම බැහැ. කොච්චර කිව්වත් අහන්නේ නැහැ.දැන් පංතියේ වැඩත් එන්න එන්නම දුර්වලයි. ඉස්සර හොඳට වැඩ කලා..මේ විදිහට අම්මා තාත්තා කන්කෙදිරි ගෑවත් දරුවන් රූපවාහිනියට ඇබ්බැහි වීමේ මුල්ම චුදිතයා දෙමව්පියන් බව ඔබ සමහර විට නොදන්නා ඇති..

අනේ අපි නම් නැහැ..

ඔව් අපි කවදාවත් දරුවාට පුතේ ටී.වී බලන්න කියා නොකිව්වත්  අම්මා පැටියාට බත් කවන්නේ රූපවාහිනියේ වැඩසටහනක් නරඹමින් වෙන්න පුලුවනි. ඔබ දැන් මෙහෙම කියාවි…උදේ ඉඳන් පාරෙයි කන්තෝරුවෙයි නැහිලා ඇවිත් ටිකක් හරි විවේකයක් තියෙන්නේ ටී.වී බලන පැය ගණන විතරයි. ඒක ඇත්ත වුනත් දරුවන් ඉදිරියේ ඔබ රූපවාහිනිය නරඹමින් දරුවාට කවන්න පොවන්න ගියාම සිද්ධ වෙන්නේ පැටියා නොදැනීම රූපවාහිනියට ඇබ්බැහි වීමයි.

එතැනින් පටන් ගන්නවා..

ඔන්න දරුවාගේ අහැට රූපවාහිනිය ආකර්ශනය වෙන මුල්ම අවස්ථාව. හොඳයි ඔබ නැහැ කියනවාද..? දැන් ඔබ මෙහෙම ඇහුවොත් එතකොට පොඩි දරුවන්ට රූපවාහිනිය පෙන්වන්න හොඳම නැද්ද….?

නැහැ..ඒකටත් වයසක් තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වයස අවුරුදු දෙන වෙන තෙක් දරුවෙකුට රූපවාහිනිය විතරක් නොවෙයි කිසිම විද්‍යුත් මෙවලමක් සමග සම්බන්ධ වීමට අවසර දිය යුතු නැති බවයි.දැන් ලෝකයේ ඉතාම හොද අම්මා කෙනෙක් ලෙස බ්‍රිතාන්‍යයේ ඩියුක් ආදිපාද කේට් කුමරියට සමාජගත වුන පිලිගැනීමක් ලැබී තිබෙන්නේ ඇය තමන්ගේ රජ පැටියන්ට කිසිම විද්‍යුත් මෙවලමක් සමග ගනුදෙනු කිරීමට ඉඩ දී නොමැති නිසයි. 

මේ විදිහට සීමා පනවා ගෙන තිබුනත් වයස අවුරුදු තුනක සිට පහක් පමණ වෙන විට දරුවාට පැයක පමණ කාලයක් රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලබා දීම වරදක් නොවෙයි.

පැයෙන් පටන් ගෙන දවස පුරාම සිටියොත්..

ඔව් ඒක ඇත්ත. මුල්ම කාලයේදී පැයක් වෙනුවෙන් ලැබෙන අවසරය නොදැනීම දීර්ඝ වෙන්න පුලුවනි. මුල් ළමා විය සංවර්ධනය වෙන අවුරුදු පහක් දක්වා කාලයේදී නම් දරුවා මට්ටු කර ගෙන රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න පුලුවන් වුනත් එයින් පසු වයසක් වෙද්දී මේ කාර්යය කිරීම අසීරුයි. ඒ වුනත් වයස අවුරුදු 18 ක් පමණ වෙන තෙක්ම රූපවාහිනිය නරඹන කාලය ගැන සීමා පැනවීම අවශ්‍ය වෙනවා.

කාලය වෙන් කරන්නේ කොහොමද…?

වැඩිහිටියන් විදිහට ඔබ දරුවන් විසින් නැරඹිය යුතු හා නැති වැඩ සටහන් ගැන දන්නවා. ළමා වැඩසටහන් වැනි දේ වෙනුවෙන් අවසරය ලබා දෙන්න පුලුවනි.ඒ වගේම ප්‍රවෘත්ති සහ වෙනත් විශේෂිත සහ දැණුමක් ලැබිය යුතු වයසේදී එවැනි වැඩසටහන් සඳහා දරුවන්ට අවසරය ලබා දෙන්න.නමුත් ඔබ වැදගැම්මකට නැති වැඩ සටහන් නරඹමින් දරුවන්ට එතැනින් පිටවෙන්න යැයි විධාන කරන්න එපා.දෙමව්පියන් වෙන අපට දරුවන් වෙනුවෙන් නොකළ හැකි දෙයක් නොමැති නිසා මෙය ඉතාම පුංචි කැපකිරීමක්.

නැරඹීම අවසානයේදී රූපවාහිනිය ක්‍රියාවිරහිත කරන්න

බොහෝ නිවෙස්වල නිකරුනේ රූපවාහිනිය ක්‍රියාත්මකව වී තිබෙන බැව් අමුතුවෙන් යුතු දෙයක් නොවේ.එක්පැත්තකින් විදුලිය අපතේ යෑමක් මෙයින් සිදු වෙන අතර නිකරුනේ රූපවාහිනිය පවතින විට දරුවන්ගේ ඇසට අනවශ්‍ය දේ පවා ඉබේටම ආකර්ශනය වේ. ඒ නිසා තෝරා ගත් වැඩසටහන් අවසාන වූ සැනින්ම රූපවාහිනිය ක්‍රියාවිරහිත කරන්න. දරුවන් තරබාරුවීම ගැනත් අප රූපවාහිනියට එරෙහිව නගන තවත් චෝදනාවක්.

රූපවාහිනිය නැරඹීමට ලබා දෙන අවස්ථාව ත්‍යාගයක් බවට පත් කරන්න..

දරුවාට රූපවාහිනිය නැරඹීම ඔහු වෙනුවෙන් ලබා දෙන තෑග්ගක් බවට පත් කරන්න. පාසලේ වැඩකටයුතු අවසානයේදී රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලබා දීම පාඩම් වැඩ හොදින් කිරීම  වෙනුවෙන් දෙමව්පියන් විසින් ලබා දෙන තෑග්ගක් බවට පත් කරන්න.කලබලයෙන් වැඩ අවසාන කර රූපවාහිනියට පැමිණීම මෙතැනදී වලංගු නොවන බවත් කියා දෙන්න. එසේ වුනොත් ලැබෙන කාලයත් අවලංගු විය හැකි බවට වූ අවදානමත් කියා දෙන්න. කිසිම දිනක රූපවාහිනිය නරඹා පාසල් වැඩ කටයුතු දෙවනුව කිරීමට නොව පාසල් වැඩ මුල් තැනට ගෙන ඒවා අවසානයේදී රූපවාහිනිය නරඹන කාල වේලාව ලබා දෙන්න.

රූපවාහිනිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂෙප කළ යුතුද ?

නැත.හැම දෙයකම හොද සහ නරක යන දෙපැත්තක් ඇති සේම රූපවාහිනියේද මේ හොද සහ නරක යන ප්‍රතිඵල නොඅඩුව තිබේ. එහෙත්…රූපවාහිනියෙන් ලැබෙන මේ වඩාත් හිකනාමී ප්‍රතිඵල ගැනත් අමතක කරන්න එපා.

  • අධ්‍යාපනයට ආධාර වීම

රූපවාහිනිය මගින් විකාශය වෙන අද්‍යාපණික, විස්තර වාර්තා සහ වෙනත් විවිධ විශේෂාංග මගින් දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය දැණුම උපයා ගැනීමට වඩාත් පහසුවක් වේවි.උදාහරණ වශයෙන් අධ්‍යාපන විකාශය, දැණුම උරගාන වැඩ සටහන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ සටහන්, ඩිස්කවරි වැනි විවිධ වැඩසටහන් මගින් දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය දැණුම ඉතාම පහසුවෙන් යාවත්කාලීන වේ.

  • පවුල සමග එකට එක්වීමට අවස්ථාව ලැබීම..

කෑම මේසය වගේම රූපවාහිනිය එකට එක්ව නරඹන විට පවුලේ සියලු දෙනාට එකට එක්ව සිටිමට අවස්ථාව ලැබේ. වැඩසටහනේ රසවින්දය බෙදා ගැනීම, ඒ ගැන සාකච්චා කිරීම නිසා පවුලේ කතිකාවතක් ගොඩ නැගීමට පහසු වේදිකාවක් ගොඩ නැගෙනු ඇත.

  • දරුවාගේ නිර්මානශීලිත්වය අවදි වීම

රූපවාහනිය මගින් විකාශය වන දරුවන්ට ගැලපෙන වැඩසටහන් නිසා ඔවුන්ගේ නිර්මානශීලී චින්තනය අවදි වීමටත් වඩා සුදුසු තෝතැන්නක් නිර්මානය ගොඩ නැගෙනු ඇත.

එසේනම් රූපවාහිනිය යනු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂෙප කළ නොහැකි විද්‍යුත් මාධ්‍යක් වුනත් එහි හොද නරක දෙමව්පියන් විසින් තෝරා ගෙන දරුවන්ට ගෝචර වැඩ සටහන් මගින්  ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වෙන ලෙසින් බෙදා හදා ගෙන කටයුතු කිරීමට පූර්ණ අවසරය නැත්තේ