යම් හේතුවක් මත විදෙස් ගතවන්නට ඔබ සූදානම් වනවා විය හැකියි. ගමන සඳහා අත්‍යාවශ්‍ය දේ මෙන්ම නිරෝගී බව සඳහාද සූදානම් වීම අත්‍යාවශ්‍ය බව ඔබ දන්නවාද? එක් එක් රටවල පවතින රෝග තත්ත්ව මත, ඒ ඒ කාලපරාසවලදී ලබාදිය යුතු එන්නත් පිළිබඳව දැනුවත් වීම අනිවාර්ය වන්නේ ඒ නිසයි. වෛරස් සහ එන්නත් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි දැන් විමසන්න යන්නෙ මෙන්න මේ සංචාරක එන්නත් වල ඇති වැදගත් කම පිළිබඳවයි. Sri Lanka immunisation schedule
පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දීම සහ Hexavalent ක්‍රමයට ලබා දීමේ වෙනස
ඔබේ දරුවාට එන්නත් ලබාදීමේදී පෝලියෝ මුඛ එන්නත වෙනම ලබා දෙනවාද? එසේත් නැතිනම් Hexavalent එන්නතේම සංඝටකයක් ලෙස ලබා දෙනවාද? මේ ක්‍රම දෙක අතර වෙනස කුමක්ද? මේ ගැන අපි අහමු එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන්. Sri Lanka immunisation schedule
Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනගත යුතුම කරුණු
මව්කුස වැඩෙන කළලයක ඇති අසාමාන්‍ය තත්වයන් පිලිබඳ සැකහැර දැනගනිමින් ඒ සඳහා අවශ්‍ය වන පිළියම් යොදා සංකුලතා අවම කරගැනීමේ හැකියාව තාක්ෂණයේ දියුණුවත් සමගම අපට හිමි වූ අගනා අවස්ථාවක්. කළලයේ යම් අසාමාන්‍යතා තිබේද යන්න පිළිබඳව සිදු කෙරෙන Anomalies Scan පරීක්ෂණය පිලිබඳ ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. සති 20ත් 24ත් අතර සිදුකෙරෙන Anomalies Scan පරීක්ෂණයක් වැදගත් වන්නේ ඇයි? එවැනි පරීක්ෂණයකින් මගහරවා ගතහැකි සංකුලතා මොනවාද? උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි මේ ගැන විමසුවා.
ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය
ගැබිණි මවකට ගර්භනී සමයේදී නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. ගර්භනී සමයේදී ඇති විය හැකි අධික රුධිර පීඩනය තත්වය; එහෙමත් නැත්නම් ගර්භ විෂ රෝග තත්ත්වය එවැන්නක්. මේ තත්ත්වය කලින් හඳුනා ගත හැකිද? පාලනය කල හැකිද? වලක්වා ගත හැකිද? අපි දැන් ඒ ගැන විමසමු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන්. High blood pressure in pregnancy. Prof. Tiran Dias
දරුවාගේ හෙට දවස අද ගොඩ නගන්න.
දරුවන් හදන වඩන හැම දෙම්පියෙකුගේම අනාගත බලාපොරොත්තුව වෙන්නේ තමන්ගේ දරුවා පෞරෂයෙන් පිරුන සහ මහපොළවට බරක් නොවුන පුද්ගලයෙක් බවට පත් කිරීමයි.ඒත් දෙමව්පියන් නොහිතන විදිහට දරුවා වෙතින් විවිධ දුර්වලතාවයන් ඇති වෙන්න පුලුවන්.බොහෝ දෙනෙක් විසින් දරුවාගේ බාලකාලය ගැන එතරම් අවධානයක් යොමු නොකලත් වැඩිහිටියෙකු ලෙසින් ඔවුන් අනාගතයට පිවිසෙන දිනකට ගැලපෙන සුන්දර පරිසරයක් අද දවසේ පටන් නිර්මානය කිරීම ඉතාම වැදගත්.ඒ වෙනුවෙන් දෙමව්පියන් අද පෙළ ගැසිය යුත්තේ කෙසේද…?
චර්යා දුර්වලතාවයන් ඇති වැඩිහිටියෙකු බවට පත් වීම
දරුවෙකුට ළමා කාලය සුන්දර අත්දැකීමක් ලෙසින් ගෙවන්නට අවසර ලබා දීම වැඩිහිටියන්ගේ වගකීමක් විය යුතුයි.ඒත් අද බොහෝ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය සුන්දර අන්දමින් ගෙවන්නට අවසරයක් ලැබෙන්නේ නැහැ.ඒ නිසා වැඩිහිටියන් ලෙසින් ඔබ දරුවාගේ බාල කාලය සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්නට අවසර නුදුන්නොත් ඔවුන් අනාගතයේදී විවිධ චර්යා දුර්වලතාවයන් සහිත පුද්ගලයන් බවට පත් විය හැකියි. ඒ නිසා අනාගතයේදී ඔබේ දරුවා චර්යා දුබලතාවයන් නැති වැඩිහිටියෙකු ලෙසින් ජීවත් වෙනු දකිනු රිසි නම් ඔවුන්ගේ ළමා කාලය නිදහසේ ගෙවන්න අවසර ලබා දීම ඉතාම වැදගත්. ඇතැම් වැඩිහිටියන් අතර වුනත් සමාජය ප්‍රිය නොකරන, සහජීවනය ගොඩ නගා ගැනීමට අපහසු ගති ලක්ෂණයන් ඔබටත් හුරු පුරුදු ඇති. මේ අන්දමින් විවිධ දුර්වලතාවයන් සහිත හැසිරීම් ඇති වැඩිහිටියන් සමාජයේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන නිසා බාල කාලයේ පටන්ම දරුවාගේ හැසිරීම් ගැන දෙමව්පියන් ගේ අවදානය යොමු වීම ඉතාම වැදගත්.
ජීවිතය අසතුටින් ගෙවන වැඩිහිටියෙක් වුනොත්..
දරුවන්ට ළමා කාලය ඉතාම සතුටින් ගෙවීමට ඉඩ දීම ඉතාම වැදගත්. යම් ලෙසකින් ඔවුන්ට ළමා කාලය දුක් සහිත අත්දැකීමක් බවට පත් වුනොත් එහි ප්‍රතිචාර ඉතාම අයහපත් ලෙසින් අනාගතයට බලපානු ඇත.ළමා කාලයේ අසතුටින් ගෙවන දරුවන් අනාගතයේදීත් දුක් වේදනාවන් නොමැති වුනත් කනස්සලු සහගතව ගෙවන පුද්ගලයෙක් බවට පත් වෙනු ඇත. ඒ නිසා දරුවාට ඔවුන්ගේ ළමා කාලය සතුටින් ගෙවන්නට ඇවැසි පරිසරයක් සලසා දීම ඉතාම වැදගත්.
පූර්ණ පෞරෂයක් නැති විය හැකියි.
ළමා කාලයේදී දරුවාට අවශ්‍ය වන්නේ ආදරය, ආරක්ෂාව හා රැකවරණයයි. මේ පරිසරය නොමැති වූ විට දරුවාගේ ආත්ම ශක්තිය, ආත්මාභිමානය සහ තමන් අනාරක්ෂිතය යන සිතුවිලිවලින් සන්නද්ධ වෙනු ඇත. ඒ නිසා ඔවුන් තුළින් ගොඩ නැගෙන හීනමානය, ආත්ම විශ්වාසයක් නොමැති වීම වැනි පෞරෂ දුබලතාවයන් නිසා වැඩිහිටි අවධියේදී වුනත් දරුවාට සමාජයේ පූර්ණ පෞරෂයකින් යුක්ත චරිතයක් ලෙසින් සිය ශක්තිය ගොඩ නගා ගැනීම අපහසු විය හැකිය.
බෝනොවන රෝගයන්හි ගොදුරක් වීම
අද බෝනොවන රෝගාබාධයන්ගෙන් බොහෝ දෙනා පීඩා විදින්නේ ඔවුන්ගේ ළමා කාලයේදී දෙමව්පියන් විසින් නිසා හැඩ ගැස්මක් නොවුන නිසයි. දරුවන්ගේ ආහාරවේල සහ ජීවන රටාව බාල කාලයේදී පටන්ම හැඩ ගැසිය යුතුයි.. ඒත් අද දෙමව්පියන් තමන්ගේ පහසුව මුල් කර ගෙන දරුවන්ට ක්ෂණික ආහාර වගේම රසකාරක සහ වර්ණකාරක යෙදූ ආහාරපාන වෙනුවෙන් ඇති නැඹුරුතාවය නිසාම බොහෝ දරුවන් අතරත් දියවැඩියාව , කොලස්ටරෝල් වැනි රෝග තත්වයන් ඇති වී තිබෙනවා. ඒ වගේම දරුවන් අතර සෙල්ලමට කිසිම අවසරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ නැහැ.මීටර් සියයක දුරක්වත් පයින් යෑමක් නැහැ. මේ තත්වයන් නිසා අද දරුවන් බෝනොවන රෝගාබාධයන්ට ගොදුරු වෙන ප්‍රවනතාවය ඉතාම ඉහලයි.
උසස් අධ්‍යාපනය කඩා වැටීම
දරුවෙක් උපන්දිනයේ පටන්ම දෙමව්පියන්ගේ අපේක්ෂාව වන්නේ අධායාපනයෙන් ඉහළම තැනකට දරුවන් පත් කිරීමයි. ඒ අරමුණ ඔස්සේ ඔවුන් බාල කාලයේ පටන්ම දරුවා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් මෙහෙයවීමට පටන් ගන්නවා. නමුත් දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිද දමමින් දරුවන් තමන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරුවා ගන්නා තත්වයට පත් වෙනු ඇත.
අපයෝජනයට පත් වීම
ඔබ ඇහේ මුහුණේ තබා ගෙන දරුවන් හදා වඩා ගත්තත් සමාජය් හෝ නිවසේදී හෝ ඔවුන් අපයෝජනයට පත් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් අමතක නොකළ යුතුයි. ඔබ දරුවාට ආරක්ෂාව උපරිම ලෙසින් ලබා දුන්නත් ඔබෙන් දුරස් වුන තැනදී ඒ සුරක්ෂිතබව දරුවාට අහිමි වීමට පුලුවන. උදාහරණයක් විදිහට අද දවසේ බොහෝ දරුවන් අපයෝජනයට පත් වන්නේ ඔවුන්ගේ පවුලේ හිතවතුන් සහ ඥාතීන්ගෙන් නිසා මොනතරම් හිතෛෂී වුනත් එයින් දරුවාගේ ජීවිතයට ඇති අවදානම ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
දරුවන් මල් මෙන් මෘදුය. සුන්දරය. ඒ නිසා මේ මුදු මොලොක් මල් සුලු දෙයින් වුව තැලීමට, රිදවීමට පත් විය හැකිය. දරුවන්ට දඬුවම් කිරීම සාමාන්‍ය දෙයක් වුවත් එය ආදරයෙන් මිසක අනාදරයෙන් නොවිය යුතුය.නමුත් බොහෝ විට නිවස තුළ පියාගේ බීමත්කම, මවගේ පීඩනය දරුවා වෙතින් මුදා හරින මානසිකත්වය නිසා දරුවන් නිවසේදීම දැඩි ප්‍රචන්ඩත්යකට පත් වෙන අවස්ථාවන් ගැනත් අමතක කරන්න එපා. බාල කාලයේදී ප්‍රචන්ඩත්වයට පත් වෙන දරුවන් අනාගතයේදී ඉතාම දරුණු මානසිකත්වයක් සහිත පිරිසක් බවට පත් වීමත් නොවැලැක්විය හැකි නිසා නිවසේ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් දරුවාට ප්‍රසන්න තැනක් බවට පත් කිරීම ඉතාම වැදගත්.
අම්මට, දරුවට සෙත් දෙන පිරිත් ගාථා
මවක් වෙන්න පෙරුම් පුරන හැම කාන්තාවක්ම තමන්ගේ දරු පැටියා නිදුක් , නිරෝගීව ලැබෙන්නත් කිසිම අනතුරක් නොවෙන්න කියන මානිකසත්වය ගොඩ නගා ගැනීම අවශ්‍ය වෙනවා.ඒ නිසා ආගම, ජාතිය කුමක් වුනත් තමන් අදහන ඉෂ්ටදේවාතාවුන් හෝ වෙනත් ආගමික විශ්වාස අනුව හිතේ ශක්තිය ගොඩ නගා ගන්නවා. බෞද්ධාගමික වටපිටාවට අනුව දරුවා ලැබෙන්න පෙරාතුව අංගුලිමාල පිරිත් දේශනය පැවැත්වීම අනිවාර්යෙන්ම සිදු වෙනවා.පිරිතේ බලය කියන්නේ බුදුරජාණන්වහන්සේගේ සත්‍ය වචනයයි.උන්වහන්සේගේ අධිෂ්ටාන ශක්තිය හා වචනයක බලය හෙවත් සත්ක්‍රියාවයි.
- අංගුලිමාල සුත්‍රෙය් නිදාන කතාව…
දරුවන් ලැබෙන්න ප්‍රසව වේදනාවෙන් පසු වුන අම්මා කෙනෙකුට දරු ප්‍රසවය පහසු කිරීමට අංගුලිමාල තෙරුන් වහන්සේ විසින් මෙම පිරිත් දේශනාව පවත්වන ලදී. ප්‍රසව වේදනාවෙන් පසු වෙන මව ගැන අංගුලිමාල තෙරුන් වහන්සේ බුදුරජාණන්වහන්සේට දන්වා සිටි විට බුදුරජාණන්වහන්සේ විසින් මේ දේශනාව අංගුලිමාල තෙරුන්වහන්සේට දේශනා කළහ.
‘‘යථෝ භං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංවිච්ච ලාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති… මේ පිරිත් දේශනාව සමග පෙරහනයකින් පෙරී ගියා සේ කිසිම අපහසුවක් නැතුව කාන්තාවගේ දරු ප්‍රසුතිය සිදු වුණා. මෙම ආනුභාවය ඉර හඳ පවත්නා තෙක්ම පවතින බව විශ්වාස කරනවා. තවමත් අංගුලිමාල තෙරුන්වහන්සේ පිරිත් දේශනා කළ ස්ථානයේ පවා එම අනුහස පැවැතේ යැයි විශ්වාසයේ තිබෙනවා.
ගැබිණිය මෙම ආසනයේ නිදි කරවූ විට දරු ප්‍රසුතිය පහසුවෙන් සිදු වෙන බවත් විශ්වාසයේ පවතිනවා.එතැනට පැමිනීමට අපහසු ගැබිණි කාන්තාවන්ට ආසනය සෝදා පැන් පානයට දුන් විට ප්‍රසුතිය පහසු වූ බව විහ්වාසයේ පවතිනවා.තිරිසන් සතුන් පවා මෙතැනට ගෙනැවිත් තැබූ විට සුවසේ පැටවුන් ප්‍රසුත කළ බවටත් සැලයි.
ඒ වගේම ඇස් වහ කටවහ දෝෂවලටත් අංගුලිමාල පිරිත ගුණදායකයි. අටුවාවෙහි දැක්වෙන අන්දමට ‘‘ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චි පරිස්සයං න මද්දති මහා පරිත්තං නාමෙතං“ යනුවෙන් දක්වා ඇත්තේ පැන් හෝ තෙල් හෝ නූල්වලට පිරිත් කර ගැනීමයි. පිරිත ගැයෙන වාර ගණණ අනුව අනුහස් ලැබෙන නිසා සත්වරක්, අටවරක් හා දහස් වරක් ලෙසින් පිරිත් කෙරේ.
පිරිත් දේශනාවේ අනුහසින් ප්‍රසුත කාර්යට අවශ්‍ය ශක්තිය, නිරෝගිතාවය , ජීවිත ආරක්ෂාව ලැබෙනවා.පිරිත් නූලක් පැළඳීම සමග පිරිත් ආශිර්වාදය මවට හා දරුවාට සම්බන්ධ කරනවා.පිරිත් නූලක් ස්වාමින්වහන්සේ ගැට ගසන්නේ මහා කරුනාවකින්. පිරිත් අනුහස් දරුවාටත් මවටත් ලැබේවා කියන උතුම් අරමුණින්. තරංග ඔස්සේ මේ ශක්තිය දෙපාර්ශවයටම ගමන් කරනවා.
අම්මලා දරුවන් නලවන්න පවා පිරිත් ගාථා ගායනා කරනවා. මේ ආධ්‍ය්තිමක ශක්තිය දරුවාට ආශිර්වාදයක්.
- කුඩා දරුවන් සිහිනෙන් බියවීම
.කුඩා දරුවන් සිහිනෙන් බයවීම, කිරි වමනය දැමීම, සිහිනෙන් ඇඬීම , නිතර අඬන විට පිරිත් ඇසුරින් විිවධ ආරක්ෂාවන් සලසා ගන්නවා.දරුවා නාවන විටත් පිරිත් පැන් දරුවා නාවන ජලයට සංයෝග කරනවා.
බාලගිරි දෝෂ අවස්ථාවේදී සදුන් තෙල් ස්වල්පයකට රතන සුත්‍රෙය් සදහන් යං කිඤ්චි චිත්තං ඉදවා හුරංවා ගාථාව 108 වාරයක් ගායනා කිරීමෙන් පසුව එම තෙලෙන් තිලකයක් තබනවා.
- ළදරුවන්ට රන්කිරි කට ගාන විට
යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා
සග්ගේසු වායං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ළදරුවන්ට රන්කිරි කට ගාන විට මෙම ගාථාව 108 වාරයක් කිර මතුරනු ලැබේ.
- ඇස්වහ, කටවහ දෝෂවලට
විවිධ ඇස්වහ, කටවහ දෝෂවලට ‘‘යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා“ ගාථාවෙන් නූල් පොටක් මතුරා දරුවා ඉණ බැඳීම.
- බිය සහ අනතුරුවලදි..
පුංචි අත දරුවන්ට නොව ටිකක් වැඩිහිටි කෙනෙක් වුනත් බල්ලෙක් සපා කෑ විට ප්‍රතිකාරවලට අමතරව ‘‘යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා“ගාථාවෙන් පිරිත් කරන ලද නූලක් ඉණ ගැට ගැසීම. මෙය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට අතිරේකවයි. ඒ වගේම කිල්ලෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්.සර්ප බියටත් ඒ වගේමයි.
- නිවස ආරක්ෂාවට
නිවස ආරක්ෂාවට පරතන සුත්‍රෙය් එන පහත ගාථාව 108 වාරයක් ගයමින් පිරිත් කරන ලද පැන් නිවස පුරා ඉසීම.
යම්බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානාන්තරිකඤ්ඤමාහු
සමාධිනාතේන සමෝන විජ්ජති
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඉදම්පි සංඝෙ රතනං පණීතංෙ
ඒතෙන සච්චේන සුවත්ථි හෝතු
- දරුවන් නිතර අඬනවා නම්..
අතදරුවන්ට අඬන්න හේතු අපට තේරුම් ගන්න බැහැ. බඩගිනි, නිදිමත, බිය සහ වෙනත් අපහසුතාවයන් නිසා දරුවා අඩන්න පුලුවනි. ඒ වගේ අවස්ථාවන්හිදී
යානීධ භූතානි සමාගතානි
භුම්මා නිවා යා නිවඅන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු
සංඝං නමස්සාම සුවත්ථි හෝතු…..මෙම ගාථා 108 වාරයක් ගායනා කරමින් පිරිත් කරන ලද ජලයෙන් දරුවාගේ මුුහණ සෝදන්න.
- විභාග ජය ලැබීමට..
දරුවන් විභාගයක් වෙනුවෙන් සූදානම් කරද්දී ඔවුන්ගේ චිත්ත ශක්තියත් සංවර්ධනය කිරීම ඉතා වැදගත්. ඒ නිසාම අද හැම දෙමව්පියෙකු විසින් තමන්ගේ දරුවන්ට විභාගයකට මුහුණ දීමට පෙරාතුව පිරිත් දේශනාවක් කරමින් ආශිර්වාද ලබා දෙනවා.ඊට අමතරව ඔබට නිවසේ සිට මේ පිරිත් ගාථා ගායනා කරමින් විභාගයට යන දරුවන්ට සෙත් පතන්න පුලුවනි.
යානීධ භූතානි සමාගතානි
භුම්මා නිවායානි නිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථොපිසක්කච්ච සුනන්තු භාසිතං
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවාච රත්තොච හරන්ති යේ බලිං
තස්මාහි නේ රක්ඛත අප්පමත්තා
මේ ගාථා තුනෙන් 108 වරක් පිරිත් කරන ලද පැන්වලින් ටිකක් බොන්න දී පිරිත් පැනින් මුහුණ සෝදන්න.
තොරතුරු ලබා ගත්තේ-දැනට අසනීපයෙන් පසුවෙන බෝගමුවේ ඉන්දරතන ස්වාමින් වහන්සේගෙනි.උන්වහන්සේට දීර්ඝායුෂ පතමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා
ඩවුන්ස් සහ ලක්ෂණය හඳුනා ගැනීමේ NIPT පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාවේත්
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම අද වන විට කලලයේ ඇති වන අසාමාන්‍යතා මෙන්ම මවට ඇති විය හැකි සංකූලතා සඳහා ඇති අවදානම කල්තියා හඳුනා ගැනීමට හැකි වටපිටාව සැකසී ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. අද වන විට මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගැනීමට හැකි සංවේදී පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළත් සිදු කෙරෙනවා. ඒ අතරින් නිරාක‍්‍රමණික පූර්ව ප‍්‍රසව පරීක්‍ෂණය (NIPT) මගින් බිහිවන්නට සිටින දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙක්ද යන්න 99% ප්‍රතිශතයකින් හඳුනා ගැනීමට අවස්ථාව සලසා දෙනවා.
NIPT පරීක්ෂණය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළහොත් මෙය ඩවුන්ස් සහ සහ ලක්ෂණය ඇතුළු ජාන සම්බන්ධ රෝගී තත්ත්වයන් රැසක් හඳුනා ගැනීමට සිදු කෙරෙන තරමක් මිල අධික රුධිර පරීක්ෂණයකි.
වෛද්‍යතුමනි, NIPT පරීක්ෂණය සිදු කෙරෙන්නේ කොහොමද?
මේක රුධිර පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ, සෛලවල නිපදවෙන DNA අන්තර්ගත වෙනවා වගේම ගැබිනි මවකගේ රුධිරයේ 80% පමණ මවගේ DNA ත් ඉතිරි 20%ක පමණ ප්‍රමාණය කලලයේ DNA ත් වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා ගැබිනි මවකගේ රුධිර සාම්පලයක් හරහා ලැබෙන්න ඉන්න දරුවාගේ DNA පිළිබඳව අවබෝධයක් ලබාගෙන මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගත හැකියි.
NIPT පරීක්ෂණය මගින් අණාවරණය කරගත හැකි අසාමාන්‍ය තත්ත්ව මොනවාද?
සාමාන්‍ය ගණනට වඩා වැඩි/අඩු වර්ණදේහ ගණනක් පැවතීම හේතුවෙන් ඇති වන අසාමාන්‍යතා පිළිබඳව මෙම පරීක්‍ෂණයෙන් මූලිකව හඳුනා ගනී.
- ඩවුන් සින්ඩ්‍රෝම් (අංක 21 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
- එඩ්වඩ් සින්ඩ්‍රෝම් (අංක 18 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
- පැටඔ සින්ඩ්‍රෝම් (අංක 13 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
- ටර්නර් සින්ඩ්‍රෝම් (X වර්ණදේහයේ එක වර්ණ දේහයක් පමණක් තිබීම)
- ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් – (XX වර්ණදේහ යුගලයක් සමග Y වර්ණදේහයක් එනම් XXY ලෙස පැවතීම)
- ටි‍්‍රපල් එක්ස් සින්ඩ්‍රෝම් – (X වර්ණදේහ 3 ක් XXX තිබීම)
- ජෙකොබ්ස් සින්ඩ්‍රෝම් – X වරණදේහයක් සහ Y වර්ණදේහ යුගලයක් එනම් XYY තිබීම)
NIPT පරීක්‍ෂණය ආරක්ෂිතද?
ඔව්. බොහොම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. ගබ්සා වීමේ අවදානමක් කිසිසේත්ම නැති 99.9%ක් නිවැරදිව ඩවුන් සින්ඩ්‍රෝම ප‍්‍රවණතාවය හඳුනා ගත හැකි පරීක්ෂණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා ලබාගන්නේ මවගේ රුධිර සාම්පලයක් පමණයි. ඒ නිසා කලලයට කිසිදු ආකාරයක බලපෑමක් සිදුවෙන්නේ නැහැ.
සෑම ගැබිනි මවක්ම මේ පරීක්ෂණය යොමු කරනවාද?
ගැබ් ගැනීමෙන් සති 10 – 25ත් අතර ඕනෑම ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු විය හැකියි. නමුත් අර පෙර සඳහන් කළ පරිදිම මේ පරීක්ෂණය මිල අධික පරීක්ෂණයක්. ඒ නිසා බොහෝ විට
- පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්
- පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණ වලින් අසාමාන්‍යතා ප‍්‍රවණතාවය වැඩි දරුවෙකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරුන්
- පළමු ත්‍රෛමාසිකය තුළ දී අසාමාන්‍යතා හඳුනා ගැනීමේ අනෙකුත් පරීක්‍ෂණ ලබාගත නොහැකි වූ මව්වරුන්
- නල දරු තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්
- යම් යම් අවදානම් තත්ත්ව ඇති පරීක්‍ෂණ ප්‍රතික්ෂේප කරන මව්වරුන් මේ පරීක්ෂණයට යොමු කළ හැකියි.
අපේ රටේ මෙවැනි පරීක්ෂණයක් සඳහා රසායනාගාර පහසුකම් තියෙනවාද?
ඔව්. කොළඹ රසායනාගාරවල පහසුකම් තියෙනවා. ලංකාවේ වෙනත් ප්‍රදේශවල රුධිර එකතු කරන මධ්‍යස්ථානවලින් මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබාදීමට ගැබිනි මව්වරුන්ට හැකියාව තියෙනවා.
අධික මිලක් කියන්නේ සාමාන්‍ය ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු වීම අසීරුයි නේද?
මේ පරීක්ෂණය මින් පෙර ශ්‍රී ලංකාවේ සිදු කෙරුණේ නැහැ. රුධිර සාම්පල හොංකොං, ස්විස්ටර්ලන්තය කියන රටවලට යවලා තමයි වාර්තා ලබාගත්තේ. ඒ වෙද්දී රු.100,000/= කට ආසන්න මුදලක් වැය වුණා. ඒත් අද වෙද්දී අපේ රටේත් මේ පරීක්ෂණය සිදුකරන නිසා වැය වෙන්නේ රු. 40,000/= කට ආසන්න මුදලක්.
මෙවැනි මුදලක් සෑම අයෙකුටම දරාගන්න අපහසුයි. මේ වෙනුවෙන් කළ හැකි වෙනත් පරීක්ෂණයක් නැත්ද?
මේ හා සමානවම ප්‍රතිඵල නොලැබුණත් මෙවැනි අසාමන්‍යතා පිළිබඳව 80%ක ප්‍රතිශතයකින් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් හඳුනා ගත හැකියි. මූල්‍යමය අපහසුතා තියෙන මව්වරුන්ට ඒ සඳහා යොමු වෙන්න පුළුවන්.
NIPT පරීක්ෂණය මගින් තමන්ට ලැබෙන්න ඉන්න දරුවා අසාමාන්‍යතා සහිත දරුවෙක් බව තහවුරු වූ පසුව ක්‍රියාත්මක වෙන්නේ කෙබඳු වැඩසටහනක්ද?
ඩවුන්ස් සහලක්ෂණය වැනි අසාමාන්‍යතා දරුවෙකුගේ මානසික සංවර්ධනයට ඍජුව බලපෑම් කරනවා. වයසින් මුහුකුරා ගියත් එවැනි දරුවෙක්ගේ මනස කුඩා දරුවෙක් හා සමානයි. ඒ වගේම මෙවැනි දරුවන්ට ප්‍රතිශක්තිකරණ හැකියාවත් අවම විය හැකිය. ඒ වගේම හදවතේ සිදුරු වැනි තත්ත්වයන් ඇති විය හැකියි. එවැනි දරුවෙක් මොලොවට බිහිවීම ඒ දරුවාටත් මව පියා ඇතුළු පවුලේ සැමටත් විශාල දුකක් වේදනාවක්. ඒත් අපේ රටේ ගබ්සාව නීතිගත කර නොතිබීම නිසා මෙවැනි තත්ත්වයක් කලින් හඳුනාගත්තත් විසදුමක් නැහැ. වෛද්‍යවරු විදියට අපිට කරන්න පුළුවන් මේ තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිමත් බව වෙනුවෙන් මෙවැනි දරුවන්ගේ පවුල්වලට සවියක් වීම පමණයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.
මොකද්ද මේ ඩවුන්ස් සහ ලක්ෂණය කියන්නේ
ලොව දැනට බහුල මන්ද මානසික තත්ත්වය විදියට හැඳින්විය හැකි ඩවුන්ස් සහ ලක්ෂණය ජානමය ගැටලුකාරී තත්ත්වයක් මත ඇති වන මන්ද මානසික තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. කලලය විකසනය වන අවස්ථාවේදී වර්ණ දේහ වැඩි හෝ අඩු වශයෙන් බෙදීම මෙයට හේතු වෙනවා.
ශුක්‍රාණු හා ඩිම්බ දෙමාපියන්ගේ ශරීර තුළ නිපදවීමේදී ඇති වන දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයේදී මෙසේ සිදුවන්නේ 21 වන වර්ණ දේහය (Trisomi 21) සම්බන්ධවයි.
මෙවැනි දරුවන්ගේ මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගන්නා නිසා මොවුන් වයස අවුරුදු පහලොවක් විස්සක් වුවත් ඔවුන්නේ මානසික ක්‍රියාකාරීත්වය වයස අවුරුදු පහක පමණ දරුවෙකුගේ ආකාරයක් ගන්නවා.
ඩවුන්ස් සහ ලක්ෂණයට පත් වූ දරුවන්ට යමක් ඉගෙනීමේ ඇති නොහැකියාව (learning difficulties ) මූලිකව ඇති නමුත් සෞන්දර්ය විෂයයන් කෙරේ දැඩි ඇල්ම මෙන්ම හැකියාවකින්ද (නිරෝගී දරුවෙකු හා සමානවම නොවේ) යුක්තයි.
ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ
- මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගනී
- මුහුණෙන් අසාමාන්‍ය බවක් පෙන්වයි.
- පැතලි නාසය
- උඩු අතට ඇලට පිහිටි ඇස්/කුඩා නැමුණු කන්
- අතේ සුලැඟිල්ල කෙටියි, පලලින් වැඩියි
- පාදයේ පළවෙනි සහ දෙවෙනි ඇඟිලි දුරින් පිහිටයි
- අත්ල හරහා තනි රේඛාවක් පමණක් ඇත
- විවර වූ මුව (දිව පිටතට පැමිණ තිබේ)
- කෙටි හා පළල් ගෙල
ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයට පත් වූ දරුවෙකුට ඇති විය හැකි වෙනත් ආබාධ මොනවාද?
මානසික ආබාධ තත්ත්වයට අමතරව තවත් කායිත රෝග තත්ත්වයන්ද මෙවැනි දරුවන් පෙන්නුම් කරනවා.
- හෘදය ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්ව
- ඩිමෙන්ෂියා
- දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාවේ දුර්වලතා
- වියළ සම
- ශ්‍රවණ ආබාධ
- දෘෂ්‍ය ආබාධ
- තෛයිරොයිඩ් ආබාධ
- ආමාශය/බඩවැල් ආශ්‍රිත ගැටළු
ඩවුන්ස් සහලක්ෂණය සහිත දරුවෙක් ඉපදීමට අවදානම ඇත්තේ කුමන තත්ත්වවල සිටින මව්වරුන්ටද?
- මව අවුරුදු 35ට වඩා වැඩි හෝ 25 ට අඩු නම් (ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවෙකු බිහිවීමට ඇකි අවදානම 700 ට1යි)
- පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්
- පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණ වලින් අසාමාන්‍ය ප්‍රවණතාවය වැඩි දරුවෙකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරු
- නල දරු තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්
ගැබිනි මවකට ලැබෙන්න ඉන්න දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙකුද යන්න ප්‍රසූතියට පෙර දැනගන්න හැකියාවක් නැද්ද?
මේ සඳහා අද වන විට NIPT රුධිර පරීක්ෂණය ලංකාවේදීත් සිදු කෙරෙනවා. ඒ හරහා මේ තත්ත්වය හඳුනා ගැනීමට විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම NIPT පරීක්ෂණය තරම් නොවණත් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් යම්තාක් දුරකට මෙවැනි තත්ත්වයන්ට ඇති අවධානම හඳුනා ගත හැකියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.
සිසේරියන් සැත්කම ගැන සරලව කෙටියෙන් දැනගනිමු
යම් යම් සංකූලතා මත සාමාන්‍ය ප්‍රසූතිය මගින් දරුවා බිහි කළ නොහැකි මව්වරුන් සැලසුම් සහගතව හෝ හදිසි සිසේරියන් සැත්කමට යොමු කෙරේ. එනම්,
- වැදැමහ යටින් සවි වී තිබීම
- ළදරුවා ඉතා කුඩා වීම
- සාමාන්‍ය ප්‍රසූතියේදී දරුවා හිර වීම/හද ගැස්ම අඩුවීම
- සාමාන්‍ය ප්‍රසූතියේදී මවගේ රුධිර පීඩනය ඉහළ යාම
- මවට/දරුවාට හානිදායක හදිසි අවස්ථා
- පෙර ප්‍රසූති සීසර් සැත්කමකින් සිදුකළ මවව්රුන්
- උපත් මාර්ගය අවහිර වන අයුරින් වැදැමහ පිහිටා ඇති මව්වරුන්
- උපත් මාර්ගය ප්‍රමාණවත් නොවන මව්වරුන්
- දරුවා නිවැරදි ආකාරයට උපත් මාර්ගයට යොමු වී නැති මව්වරුන්
ශල්‍යකර්මයෙන් අනතුරුව
- රුධිර වහනයක් ඇත්දැයි පරීකෂා කිරීම
- වේදනා නාශක ඖෂධ ලබාදෙනවා.
- පැය 12 කට පමණ පසු මුත්‍රා පිටවීමට ඇති බටය ඉවත් කිරීම (දෙපාවල හිරි ගතිය පැය 4 ක් පමණ ගත වන විට පහව යන අතර) සිදු කරනවා.
- සිසේරියන් සැත්කම සිදු කළ මව්වරුන් හැකි ඉක්මණින් ඇදෙන් බැස තනිව ඇවිදීම ඇරඹිය යුතුය.
- සංකූලතාවයක් ඇති නොවුනහොත් දින 3 – 5 ත් අතර කාලයේදී නිවසට යා හැකිය.
කැපුම යෙදූ ස්ථානයේ
- සම ඈත් වී ඇත්නම්
- රුධිර වහනය/සැරව ගැලීමක් දිගින් දිගටම ඇත්නම්
- පපුවේ වේදනාවක් ඇත්නම්
- තුවාලය කැපුම වටා රත් පැහැව ඉදිමී ඇත්නම්
- වේදනාකාරී නම්
- උණ
- නොනවත්වා රුධිරය වහනය (යෝනි මාර්ගයෙන්) ඇතිනම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.
සිසේරියන් සැත්කමේ වාසි හා අවාසි
සිසේරියන් සැත්කම ළදරුවාට වාසි සහගතය. නමුත් මවට යම්තාක් දුරට අවාසි සහගතයි.
- ප්‍රමාණයෙන් විශාල ළදරුවෙකු වුවත් කිසිදු ගැටලුවකින් තොරව බිහි කළ හැකිය.
- සිසේරියන් සැත්කමට යොමු වුණු කාන්තාවකට ඊළඟ ප්‍රසූතියේදී සාමාන්‍ය ප්‍රසූතියකට යොමු වීම අවදානම් (ගර්භාෂයේ කැලලක් ඇති නිසා සංකෝචනය වන පිට පිපිරී යාමේ අවදානමක් ඇත)
- සැත්කමේදී බඩ වැල්, මුත්‍රාශය වැනි ස්ථානවලට හානි විමේ අවදානම්ක් පවතිනවා
- පසු ප්‍රසව රුධිර වහනය වැඩියි.
- සාමාන්‍ය දිවිපෙවෙතට හුරු වීමට වැඩි කාලයක් ගතවේ
- කැපුම් තුවාල සුව වෙන තුරු වේදනාව පවතී
- නැවත ගැබ්ගැනීමකදී ප්ලැසෙන්ටා ප‍්‍රීවියා, ප්ලැසෙන්ට ඇකී‍්‍රටා තත්ත්වවලටගොදුරු වීමේ අවදානම
සිසේරියන් සැත්කමට භාජනය වූ ඔබ
- සාමාන්‍ය පරිදි ඇවිදින්න
- සති 2 ක් පමණ යන තුරු බර එසවීම නොකරන්න
- අනවශ්‍ය ලෙස පඩිපෙල භාවිත නොකරන්න
- තුවාලය පිරිසිදුව තබාගන්න (පිරිසිදු කළ පසු වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කරන්න)
- සැත්කමෙන් සති හයකට පසුව මවගේ කැමැත්ත මත සුදුසු උපත් පාලන ක්‍රමයක් යොදාගන්න (දරුවන් දෙදෙනෙකු අතර පරතරය අවම අවුරුදු දෙකක්වත් විය යුතු අතර ඔබේවෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න)
- කොන්දට ලබා දෙන එන්නත නිසා කොන්දේ වේදනාවක් ඇති වන බවට ඇත්තේ දුර්මතයකි. එසේ සිදුවන්නේ ඔබ නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසා බව සිහිතබාගන්න.
කෙසේ වුවද අද වන විට සිසේරියන් සැත්කම බොහෝ සෙයින් ප්‍රචලිතව ඇති අතරම මව්වරුන් ප්‍රසූතිය සඳහා තමාව සිසේරියන් සැත්කමට යොමුකරන මෙන් ඉල්ලා සිටින අවස්ථාද වේ. ඔබ සාමාන්‍ය ප්‍රසූතිය මගින් දරුවා බිහිකළ හැකි තත්ත්වයක සිටී නම් නිකරුණේ සිසේරියන් සැත්කමට යොමු වීමෙන් වළකින්න.
බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.
