Home Blog Page 71

පුංචි හිතට සතුට ගෙනෙන නත්තල් ගස

නත්තල් සැරසිලි සමග දරුවන්ගේ නෙත් ඉබේටම ඇදෙන්නේ ‘‘නත්තල් ගහ“ දිසාවටයි.පොඩි හිතට සතුට ගෙනෙන තෑගි වගේම වර්ණවලින්. විදුලියෙන් අලංකාර වුන නත්තල් ගහේ ආරම්භයේදී නම් මේ තරම් විසිතුරක් තිබුනේ නැහැ.

මුල්ම වතාවට නත්තල් ගහ පිළිබඳ සංකල්පය ඇති වුනේ මෙහෙමයි. ජර්මානු ජාතිකයෙක් දීප්තිමත් කොළ පැහැයෙන් බබලන ගසක් කපා ගෙන නිවසට ගෙන ගොස් ඒ අබියස වන්දනාමාන කිරීමට පටන් ගත්තා.ක්‍රි.ව 700 දී පමණ මේ ගස හඳුන්වනු ලැබුවේ ‘‘ක්‍රිස්තු ගස “^christ tree) යනුවෙනුයි.ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කිරීම වෙනුවෙන් යොදා ගන්නා ලද නත්තල් ගස උන්වහන්සේ ජීවමානව සිටින්නා සේ විශ්වාස කරනවා.

මේ තවත් ජනප්‍රවාදයක්..

ක්‍රි.ව 719 දී ශාන්ත බොනිෆස් තුමා ජර්මනියට පැමිණි අතර එතුමා විසින් ජර්මානු ජාතිකයන්ට වන්දනාමාන කිරීම පිණිස ගසක් කපා දමන ලදී.මිනිසුන් මිථ්‍යාවන්ට යොමු වෙන නිසා බොනිෆස් තුමා විසින් ගසක් කපා දැම්මත් එතැනින් සුදු ලොම් සහිත ගසක් මතු වුණා. මේ ප්‍රාතිහාර්ය නිසා ඒ ගස ඇදහීම එතැන් පටන් ආරම්භ වුණා.

බ්‍රතාන්‍යෙය් නත්තල් ගස

බ්‍රතින්‍ය ජාතිකයන් විසින් පවුගේ සියළු දෙනාම අත ගසා එක් අත්තක් නිවස තුළට ගන්නවා. මෙය ‘‘Yule log“ සම්ප්‍රදාය යනුවෙන් හැදින්වෙනවා.මේ අත්ත ගිනි උදුනක් ඇති තැනක තබනවා. ඒ අළු සහ අඟුරු නිවසට ආරක්ෂාවක් ලෙසින් සැලකෙනවා.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤ ජාතිකයන් නත්තල් ගස ඉදිකටුවලින් සරසනවා.එවිට යක්ෂ ආත්ම පලවා හැරීමේ හැකියාව ඇතැයි අදහස් කරනවා.

බටහිර ජර්මනිය

අද අපට පුරුදු නත්තල් ගසේ ආරම්භය බටහිර ජර්මනියේ උපත ලබා තිබේ. මධ්‍යකාලීන නාට්‍යක් අනුව ‘‘ආදම් “ සහ ‘‘ඒව“ පුවත වස්තු කර ගෙන මේ සංකල්පය බිහි වුන  අතර ‘‘ඒඩන් “උද්‍යානයේ පාරාදීසියේ ගස විදිහට යොදා ගෙන තිබුනේ නත්තල් ගසයි.

කාලයක් යන විට දෙසැම්බර් 24 වැනි දා ‘‘පාරාදීසියේ ගස “ ලෙසින් හැම නිවසකම නත්තල් ගසක් ඉදි කරනු ලැබුවා. එදිනට ඇපල්වලින් මේ ගස සරසනු ලබනවා. එයින් නිරූපනයවන්නේ තහනම් ගසේ ගෙඩි කෑමේ සංකල්පයයි. රතු සහ කොළ ඇපල් මේ වෙනුවෙන් යොදා ගන්නා අතර මේ අවස්ථාව ‘‘Christmas Eve “යනුවෙන් සලකනු ලැබේ.

රෝම ජාතිකයන් නත්තල් ගස යොදා ගත්තේ ‘‘සැටර්න් ““ දෙවියන්ගේ උත්සවය වෙනුවෙන්. මේ සදහා සදාහරිත හාඛ යොදා ගත් අතර ගස තහඩු කැබලිවලින් සරසන ලදී. ශීත සෘතුවේ උත්සවය ලෙසින් මේ අවස්ථාව හදුන්වන ලදී.

16 වන සියවස වෙන විට නත්තල් ගස අද දක්නට ලැබෙන අන්දමින් තෑගි බෝග එල්ලා අලංකාර විය.1605 වසර වෙන විට මනාව සරසන ලද නත්තල් ගසක් ගැන ජර්මනියේ ‘‘ස්ට්‍රාස්බර්ග් “ නගරයෙන් වාර්තා වේ. එම ගස කඩදාසි රෝස මල් සහ රසකැවිලිවලින් අලංකාර කරන ලදී. ජේසු තුමාගේ එඬේර යෂ්ටිය සිහිපත් කිරීමට ‘‘සීනි කෙවිට““ යොදා ගෙන තිබේ. 19 වැනි සියවසේදී ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වාසය කළ රසකැවිලි වෙළෙන්දෙක් යෂ්ටිය ඉංග්‍රිසි ‘‘j“ අකුරක හැඩයෙන් නිර්මානය කළ අතර එයින් ජේසු තුමාගේ නම අර්ථවත් විය.

නත්තල් ගසට රතු මේස් කකුල් එල්ලන්නේ ඇයි…?

නත්තල් ගසට රතු මේස් කකුල් එල්ලන්නේ ශාන්ත නිකුලස්තුමා විසින් දුගී දැරියන්ට ත්‍යාග පිරිනැමීමේ සිදුවීම සිහිපත් කිරීමටයි. එතුමා දුගී දියණිවරුන් වෙනුවෙන් තෑගි දමා එම නිවසේ දුම් කවුළුවක් අතරින්ය. ඒ මුදල් තෑගි වැටී තිබුනේ දර මැස්සේ එල්ලා තිබුන රතු මේස් කකුලකටයි. එම සිදුවීම සිහිපත් කිරීම පිණිස රතු මේස් කකුල් නතත්ල් සැරසිලි අතරට එක්ව තිබේ.

ජේසු තුමාගේ උපත සමග බැදුන වල්ගාතරු සිහිපත් කිරීමට නත්තල් සැරසිලි අතරට එක්ව තිබේ. මාර්ටින් ලූතර් පියතුමා විසින් නත්තල් ගස සංකේතවත් කිරීමට ඉටිපහන් යොදා ගන්නා ලදී.මෙම ඉටිපහන් රතු සහ සුදු වර්ණවලින් යුක්තයි.මෙම සිරිත ජර්මනියෙන් ඇමරිකාවටත් ,එතැනින් ඇමරිකාවටත් සංක්‍රමනය විය.  අද ඒ වෙනුවෙන් විදුලි බුබුලු යොදා ගැනේ.

නතත්ල් සැමරුම වෙනුවෙන් නත්තල් ගස 18 වන සියවසේදී සම්බන්ධ කර ගෙන ඇති අතර 19 වන සියවස වෙන විට වික්ටෝරියා රැජිනගේ ස්වාමිපුරුෂයා වූ ඇල්බට් කුමරු විසින් නත්තල් ගස බ්‍රිතාන්‍යයට හදුන්වා දී තිබේ.එහිදී වින්ඩ්සර් කාසල් රජපවුල විසින් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් ගස යොදා ගෙන තිබේ.

1851 වසර වෙන විට නත්තල් ගස වෙනුවෙන් වාණිජ මුහුණුවරක් ලැබී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ‘‘කාට් කීල්ස් “ විසින් මෙම නත්තල් ගස නිව්යෝක් නගරයට ගොස්  අලෙවි කරන ලදී. 1880 වසර වන විට ජර්මනිය තුළ පැවැති යුධමය වාතාවරණය නිසා ගස් කැපීම තහනම් වූයෙන් කෘතිම නත්තල් ගස් සමාජගත වී තිබේ.

ඔබේ ළදරුවාට මව්කිරි මෙතරම්ම වැදගත් වන්නේ ඇයි?

දස මසක් පුරා කුස තුළ අම්මාගෙන් පෝෂණය වූ කිරිකැටියා මෙලොවට බිහිවීමත් සමග එම පෝෂණ මාර්ගය නතර වන අතරම එතැන් පටන් දරුවා පෝෂණය වන්නේ අම්මාගේ කිරෙනි. මන්ද මොලොවට බිහි වූ විගස කිරිකැටියෙකුගේ සිරුර ආහාර මගින් පෝෂණය වීමට අවශ්‍ය පරිදි සකස් වී නොමැත. අන්න ඒ නිසාම සොබා දහමේ අපූර්වත්වය කියාපාන්නට මෙන් දරුවෙකු බිහිකරන සෑම මවකටම තම දරුවා පෝෂණය කිරීමට මව්කිරි නිපදවීමේ හැකියාව ලබා දී ඇත.

මව්කිරි නිපදවීමේ ක්‍රියාවලිය

අම්මාගේ මොළයේ පිහිටා ඇති පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය විමෙන් ප්‍රෝලැක්ටීන් නම් හෝමෝනය ස්‍රාවය වන අතරම එමගින් මවගේ පියයුරේ ඇති කිරි නිපදවන ග්‍රන්ථියේ බිත්තියේ ඇති සෛල උත්තේජන කරයි. එමගින් කිරි නිපදවීම ආරම්භ වේ. ප්‍රෝලැක්ටීන් හෝමෝනය ශ්‍රාවය වන ප්‍රමාණය මත නිපදවෙන කිරි ප්‍රමාණය තීරණය වේ.

දරුවා කිරි උරා බීම, හැඬීම, දැකීම, මවගේ සිරුරේ ස්පර්ශ වීම වැනි තත්ත්ව මවගේ ප්‍රෝලැක්ටීන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීමට හේතු වේ. එසේම රාත්‍රියට ප්‍රෝලැක්ටීන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වේ.

මවට ඇති වන අසතුට, වේදනාව, ඍණාත්මක සිතුවිලි හේතුවෙන් ප්‍රෝලැක්ටීන් හෝමෝනය ශ්‍රාවය වීම අඩු විය හැකිය. කෙසේ වුවද මවගේ වයස, සිරුරේ ප්‍රමාණය, පියයුරුවල ස්වභාවය, පියයුරුවල ප්‍රමාණය කිරි නිපදවීමට කිසිලෙසකින් බාධාවක් නොවේ.

මව්කිරි ලබාදීම

ප්‍රසූතියෙන් පසු පැයක් ඇතුළත ළදරුවාට මව්කිරි ලබා දීම සිදු කරන අතරම මේ සඳහා මවට රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම සහයෝගය ලැබෙනු ඇත. මෙහිදී නිවැරදිව දරුවා පියයුරට ස්ථිපිත කිරීම සම්බන්ධයෙන් මව දැනුවත් වීය ඉතා වැදගත් වේ.

දරුවාට කිරි පෙවීමේදී දරුවාගේ මුව තුළට තන පුඩුව පමණක් නොව ඇරියෝලාවෙන් (පියයරේ කලු පැහැති කොටස) වැඩි කොටසක් ඇතුළත් විය යුතුය. දරුවාගේ මුව හොඳින් විවර වී යටි තොල පිටතට පෙරලී තිබීම දරුවා නිවැරදි ලෙස පියයුරට සම්බන්ධ වී ඇති බවට හොඳ සාධකයකි.

ළදරුවා වෙත පියයුර ළං කළ විට ළදරුවා කිරි ඉරීමට පටන් ගන්නා අතරම ඒ හා සමගම මවගේ මොලයේ පිටියුටරි ග්‍රන්ථියේ අපරභාගයෙන් නිපදවෙන පෝලැක්ටින් හෝමනය ශ්‍රාවය වී කිරි නිපදවීමට පටන් ගන්නා අතරම ළදරුවා හොඳින් කිරි උරා බීමේදී කිරි නිපදවීමත් ගලා ඒමත් හොදින් සහ වේගවත්ව සිදු වේ.

ළදරුවෙක් දිනයකට වාර හත අටක්ම කිරි උරා බොයි. ළදරුවාට ලබාගන්නා කිරි ප්‍රමාණවත් බවට හොඳම සාධකය වන්නේ වාර හත අටක්වත් දිනකට මුත්‍රා පිටකිරීමයි. එසේම දරුවාගේ වර්ධන සටහනට අනුව නිසි පෝෂණයක් සිදුවනවාද යන්න පිළිබඳව දැනුවත් විය හැකියි.

මව්කිරෙහි අන්තර්ගත පෝෂක පිළිබඳව

මවගේ රුධිරයෙන් නිපදවෙන ජීවී දියරයක් වන මව්කිරෙහි රුධිරගත රතු රුධිරාණු හැර සුදු රුධිරාණු ඇතුළු අනෙකුත් ජීවී සෛල සියල්ල අන්තර්ගතය. මවගේ පියයුරෙන් මුලින්ම ශ්‍රාවය වන කොලෙස්ට්‍රම් ලා කහ පැහැති ඝනකම ශ්‍රාවයකි. මෙය ශ්‍රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ළදරුවා ඒ හරහා ලබාගන්නා පෝෂණය සහ රැකවරණය ඉතා ඉහළයි.

  • විටමින් ඒ බහුල කොලෙස්ට්‍රම් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කර බෝවන රෝගවලින් රැක ගනී.
  • නොමේරූ ආන්ත්‍රය මත ආස්තරයක් සේ පැතිර උදරය වෙත ඇතුළු වන බැක්ටීරයා විනාශ කරයි.
  • විරේකයක් ලෙසද ක්‍රියා කරමින් කලු පැහැති මළපහ සිරුරින් බැහැර වීම ඉක්මන් කර පිත්ත ලවණ අවශෝෂණය කරගැනීමට සහය වේ.

මව්කිරිවල ස්වභාවය මෙන්ම සංයුතිය

මව්කිරිවල ස්වභාවය මෙන්ම සංයුතිය වරින් වර වෙනස් වේ. ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් ලෙස කිරිකැටියාට මුලින්ම ලැබෙන කිරි වල 90% ක ප්‍රමාණයක්ම ජලය ඇති අතරම එමගින් සිරුරට අවශ්‍ය ජල ප්‍රතිශතය ලබා දීමත් මුත්‍රා පිටවීමත් සිදුකෙරේ. දෙවනුවට ශ්‍රාවය වන කිරි සුදු පැහැති මෙන්ම ඝණකමින් යුක්ත කිරි දරුවාගේ වර්ධනයට දායක වන්නේ පෝෂණයට සඳහා අවශ්‍ය මේදය සහ ප්‍රෝටීන ලබා දෙමිනි. මේ දොකොටසින්ම දරුවෙකුට අවශ්‍ය සියලු දේ හිමි වන නිසා එක් පියයුරකින් අවසන් වන තුරු කිරි ලබා දීම අත්‍යවශ්‍යය.

මව්කිරිවල ලැක්ටෝස් සහ ලිපිඩවලට අමතරව තවත් එක් සුවිශේෂී ව්‍යූහාත්මකව විවිධ වූ ඔලිගොසැකරයිඩ වර්ග අන්තර්ගත වීම දැක්විය හැකියි. මෙම මව්කිරිවල අන්තර්ගත වන ඔලිගෝසැකරයිඩ, (HMO – Human Milk Oligosaccharides) සුවිශේෂී සංඝටක වර්ගයක් වන අතරම, ළදරුවාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීමට ද සැමවිටම සහය වේ. මෙය මව්කිරිවල පමණක් අන්තර්ගත වුවද, අද වන විට විද්‍යාවේ දියුණුවත් සමගම ඇතැම්  ළදරු නිෂ්පාදන සඳහාත් යොදා ගැනීමට හැකියාව ලැබී ඇත.

මව්කිරෙන් මවට මෙන්ම දරුවාට ලැබෙන වාසි

  • මවත් දරුවාත් සතුටෙන් තබයි.
  • රුධිර වහනය අවම වේ.
  • පසු ප්‍රසූති සමයේ ඇති විය හැකි මානසික ව්‍යාකූලතා අවම කරයි.
  • මවට අධික තරබාරු බවින් වළක්වාලයි (මව‍ගේ සිරුරේ තැම්පත්ව ඇති මේදය බවත්වන නිසා)
  • පසුකාලීනව මවට ඇතිවිය හැකි පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ අස්ථි දුර්වල වීම වැනි දේ පිළිබඳව ඇති අවධානම අවම කරයි.
  • ළදරුවා තුළ කුසගිනි නිවා ගැනීමට තමා වෙහෙස විය යුතුය යන සිතිවිල්ල වර්ධනය වේ
  • කුස පිරුණු විට පියයුරෙන් ඉවත්වන ළදරුවා වයසින් වැඩෙත්ම ඇති පමණට පමණක් ආහාර ගැනීමට හුරු වන අතරම එය අධික තරබාරුව, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වැළක්වීම දායක වන සංකල්ප වේ
  • මව් කිරී බී වැඩෙන බිළිදෙකු ශාරීරිකවත් මානසිකවත්හොඳ පෝෂණයක් ලබයි.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට අවශ්‍යමද?

පුංචි දරුවෝ ජීවිතය ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්. අපේ සමාජය තුළ මව්පියන් සිය යුතුකම් අකුරටම ඉටු කළත් ඔවුන්ට මඟහැරෙන, ඇත්තටම කිව්වොත් ඇතැම් විට හිතා බලාම මඟ හරින පැතිකඩක් විදියට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම කියන පැත්ත දක්වන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් දරුවෙක් තමන්ගේ පෞද්ගලික අවයවයන් දෙස බලන්න යොමු වන්නේ වයස අවුරුදු දෙක වෙනවිටයි. මේ වයසේ දරුවෝ තමන්ගේ ශරීරය දෙස කුතුහලෙන් බලන්න පටන් ගන්නවා. තමන්ට සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඒ අයගේත් පෞද්ගලික ප්‍රදේශ දිහා කුතුහලෙන් බලන්න පටන්ගන්නවා.

 

මේ වයසේ දරුවන්ට මුහුකුරා ගිය බුද්ධියක් නැති වුනත්, එයාලගේ පෞද්ගලික අවයව එයාලටම  පමණක් අයිති දෙයක් බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කරවීම වැඩිහිටි අපේ වගකීමක්. ඒ වගේම වයස අවුරුදු 3 – 4 වෙද්දී තමන්නේ මේ අවයව නම් වශයෙන් හඳුනා ගන්න උදව් කිරීමත් ඒ වගකීම් අතරින් එකක්.

 

තම පෞද්ගලික ප්‍රදේශ වෙනත් අය ස්පර්ෂ නොකළ යුතු බව දරුවන්ට අවබෝධ කළ යුත්තේ ඇයි?

 

ඇස්, කන,නාසය, දිව සහ සම වගේම ලිංගික අවයවයනුත් මනුස්සයන්ගේ සංවේදක අවයවයන්. රස, සුවඳ අත් දකිනවා වගේම දරුවන් ක්‍රමයෙන් ස්පර්ශයෙන් සතුටක් ලබන්න පෙලබෙන එක සාමාන්‍ය දෙයක්. අපි වැඩිහිටියෝ විදියට වගකීමක් ඇතිව අපේ හැසිරීම් දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ දරුවන්ගේ හැමදේටම, මග පෙන්නමින් අවවාද කරන නිසා ඔවුන් සිතන්නේ දෙමාපියන් කරන හැමදේම නිවැරදි බවයි. ඒ නිසාම මේ දරුවෝ අම්මයි තාත්තයි කරනවා නම්, මටත් තව කෙනෙක් එක්ක එබදු දෙයක් කිරීම වරදක් නැතැයි  සිතන්න පෙළඹෙනවා. ඉතින් අපි දරුවන් තමන්ගේ පෞද්ගලික අවයව ගැන දැනුවත් කිරීමෙන් සහ ඒවා අන් අයගෙන් ආරක්ෂා කරන්න කියා දීමෙන් දරුවන්ට වෙන්න පුළුවන් මහා ව්‍යයසනයන්ගෙන් ඔවුන්ව බේරාගත හැකියි.

 

ඉතින් අවුරුදු දහයේ පමණ සිටම දරුවෙක්ට ලිංගික අධ්‍යාපනය දීම ඉතාම වැදගත්. එය ඉතා මූලික කාරණාවලින් පටන් ගෙන ක්‍රමත් ක්‍රමයෙන් වයසට අනුකූලව පහදා දිය යුතුයි. උදාහරණයක් විදියට අවුරුදු දහය කියන්නේ දරුවෙක් බොහෝවිට අනෙක් දරුවන් සමග තමන්ගේ කුතුහලය බෙදාහදා ගන්න කාලයයි. ඒ කාලය තුළ ඔවුන්ට පූර්ණ විස්තර නැති වුවත්, දෙදෙනෙක් අතර ලිංගික ක්‍රියා සහ මුලින්ම වැඩිහිටියෙක් වූ පසු පමණක් කළ යුතු බව අවබෝධ කර යුතුයි. ඒ ඔවුන් තමන්ගේ කුතුහලය ගවේෂණාත්මකව අනෙක් අය මාර්ගයෙන් විසඳගන්න පෙළඹිය හැකි නිසයි. ඒ වගේම වයස අවුරුදු 13 – 14 සිටම ගැබ් ගනීමේ අවදානම, සමාජ රෝග සහ අකාලයේ ජීවිතය අවදානමේ දැමීමෙන් තමන්ගේ ජීවිතයට වෙන අනතුරු පිළිබඳව දරුවන්ට  පහදා දිය යුතුයි.

 

දරුවා ස්වයං වින්දනයේ යෙදෙනවා දුටුවොත් ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

 

වයස අවුරුදු හතරක ඔබේ දරුවා තම රහස් ප්‍රදේශ අල්ලා ඒවා ගවේෂණය කිරීමත් වයස අවුරුදු දහයේ දරුවා එයින් තෘප්තියක් ලබනවා දැකීමත් දෙමාපියෝ විදිහට ඔබව ඉතාම පීඩනයකට යටත් කරවන කරුණත් විය හැකියි.

 

දරුවන් ළමයින් ස්වයං වින්දනයට පෙළඹෙන්නේ ඇයි ?

පෙර සදහන් කළ පරිදිම දරුවන් ස්පර්ශයෙන් ආස්වාදයක් ලබන්න පෙළඹෙන්නේ වයස අවුරුදු 4 – 5 අතරම කාලයේදී වුවත් එය සම්පූර්ණ ක්‍රියාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අරඹන්නේ වයස අවුරුදු 10 පමණ වන විටයි.

 

මෙවැනි අවස්ථාවකදී දරුවාට කෑගසා බැන වැදීමෙන් දරුවාගේ සිතේ විශාල ලැජ්ජාවක්, ආතතියක් ඇති කරවී දෙමාපියන් වෙත මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්වුවහොත් එය දරුවාට තදබල මානසික කම්පනයක් විය හැකියි. එය ඔබ සමග තිබෙන බැඳීම පලුදු වී තව දුරටත් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රශ්න ඔබ සමග බෙදා නොගැනීමට තරම් හේතුවක් විය හැකියි. ඒ නිසා කලබලයට පත්ව දරුවා අසරණ කිරීම නොව ඉතාම කල්පනාකාරීව ඉවසීමෙන් සහ ආදරයෙන් දරුවාට පහදා දිය යුත්තේ,

  • එය ඉතාම ස්වභාවික දෙයක් බවත්
  • ඒ දෙය කිරීම ගැන ලැජ්ජා හෝ කම්පා නොවිය යුතු බවත්
  • මව/පියා සමග ඕනෑම වෙලාවක ඒගැන කතා කිරීමට අවසර ඇති බවත්
  • විශේෂයෙන්ම එය අන් අය ඉදිරියේ නොකළ යුතු බවත් යන කරුණුය.

 

මේ සම්බන්ධයෙන් ඔබ තහංචි බාධක දැමීම දරුවන් තව දුරටත් ඒවා රහස් වශයෙන් සඟවා තබගැනීමටත් මෙවැනි ක්‍රියාකාරකම් අනාරක්ෂිත අයුරින් අන් අය සමගත් අත් හදා පෙලඹීමටත් හේතු විය හැකියි.

 

මේ සියලු දේ ගැන දැනුවත් කළද ඕනෑම දරුවෙක් වයස අවුරුදු 10 සිට මොනයම් හෝ ලිංගික ගවේෂණයක නියැලීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම වැඩිහිටියන් ලෙස අපි සැලකිලිමත් විය යුත්තේ දරුවන් වැඩිහිටියන්ගෙන් අපයෝජනයට ලක් වීම වැලක්වා ගැනීම සම්බන්ධවයි.

 

බොහෝ රටවල අවුරුදු 14 ඉහළ දරුවන්ට තමන් ගැන තීරණ ගැනීමට නීතියනකූලව අවසර ලැබුණත්  අවුරුදු 18 වඩා අඩු දරුවෙක් අවුරුදු 18 වැඩි පුද්ගලයෙක් විසින් ලිංගික ක්‍රියාවලට ලක්කිරීම බොහෝ රටවල නීති විරෝධීයි. ඒ නිසා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හැම විටම තමන් විසින් දැඩිව තහවරු කළ යුතුයි. එය එසේ වුවද නව යොවුන්වියේ සමකාලීනයන් සමග ප්‍රේම සම්බන්ධතා සහ ලිංගික ගවේෂණ කිරීම බොහොම සාමාන්‍ය දෙයක්. අපි ඔවුන් දැනුවත් කළ යුත්තේ උපත්පාලන ක්‍රම, අනාරක්ෂිත ස්ථාන (Hotel Rooms) සහ සමාජ රෝග සම්බන්ධවයි.

 

මේ තත්ත්වයන් මෙසේ වුවද සෙනෙහසින්, ගෞරාවාන්විතව ඔබ සහ දරුවන් අතර ගොඩනගා ගන්නා ආරක්‍ෂිත බැඳීම මත දරුවන්ගේ අභිමානය රැකගනිමින් ජීවිත ගමන් මගට පහන් ටැබැක් සේ පාර කියන්න ඔබටත් හැකිවේවි.

 

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

 

අද දරුවා හෙට ලෝකයේම නායකයා බවට පත් වෙනු ඇති.

අද දරුවා හෙට ලෝකයේම නායකයා බවට පත් වෙනු ඇති.එය අනිවාර්ය සංසිද්ධියකි.ඒ වුනත් ඔබේ දරුවා අද දවසේ හැඩගසන, හික්මවන සහ ශාරිරික ලෙසින් මෙන්ම මානසිකව ගොඩ නැගීම ඉතාම වැදගත්. ඔබේ දරුවාට නිසි හැඩගැස්ම අද දවසේ ලබා නුදුන් විට හෙට දිනයට ජීවත්වීමට අවශ්‍ය පෞරෂය තුළ නොමැතිව දරුවා බෙහෙවින් පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ පෝෂණය පමණක් නොව දැණුම, ආකල්ප සහ කුසලතාවයන්ගෙන් දරුවා ගොඩ නගා ගැනීමත් අනිවාර්යෙන්ම සිදු වුනොත් ඉතාම යහපත් අන්දමින් ඔබේ දරුවා හෙට දවසට පියනගනු ඇත. එසේ නම්…පහත දැක්වෙන අන්දමින් ඔබත් කටයුතු කරන දෙමව්පියන් වීම වැදගත්.

 

  • දරුවන් අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම

අපි ඉතින් කාටවත් කරදැයක් නැහැ. අපේ පාඩුවේ ගේට්ටුවත් වහගෙන ඉන්නවා. අහල පහල කා එක්කවත් ආශ්‍රයක් නහැ. මේ වගේ සිතුවිල්ලෙන් ඔබත් තෘප්තිමත්ව කතා කළත් ඒ තත්වය ටිකක් වෙනස් කරන්න වෙනවා. අපි කාටවත්ම හුදෙකලාව ජීවත්වීම එතරම් සුබදායක නැහැ. ඒ නිසාම යම් පමණකින් සමාජ සම්බන්ධතාවයන් තබා ගැනීමත් අවශ්‍ය වෙනවා. මෙය දරුවන්ගේ ජීවිතයට ඉතා හොද බලපෑම් ගොඩ නගන බැව් මනෝ විද්‍යාඥයින්ගේ අදහසයි. අසල්වැසියන් සමග ගැටෙනවා වෙනුවට තමන්ගේ පාඩුවේ ජීවත්වීම වඩාත් හොඳ බව ඔබ සිතුවත් යම් තරමකින් හෝ අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම දරුවන්ගේ ජීවිතයට ශක්තියක් බව අමතක කරන්න එපා.

  • ගෙදර දොර වැඩ පුරුදු කරන්න

දරුවන්ට තමන්ගේ වැඩ තමන් කර ගැනීමට ඉඩ දීම වගේම ගෙදර දොර වැඩත් යම් තරමකින් හෝ ඔවුන්ගේ වයසේ පමණට කර ගැනීමට පුරුදු කරන්න.පිරිමි දරුවන්ට වුනත් හදිසියේවත් බතක්, සම්බෝලයක් හසා ගැනීමට පුරුද්දක් තිබුනොත් වරදක් නැහැ.ඊට හේතුව කොයියම් මොහොතක හෝ ඔවුන්ට නිවසේ අවශ්‍යතාවයකදී තමන්ගේ දැනුමෙන් ප්‍රෙයා්ජන ලබා ගැනීමට හැකියාව ලැබේවි.

  • ප්‍රංශසාව වැදගත්

දරුවන් හොද දෙයක් කළ විට ඒ වෙනුවෙන් ප්‍රංශසාව ලබා දෙන්න. දරුවා නොගැලපෙන දෙයක් කළ විට දොස් නගනවාට සමගාමී විදිහටම යහපත් දෙයක් කළ විට ඒ වෙනුවෙන් ප්‍රශංසාව ලබා දීම ඉතාම වැදගත්.

  • ඉහළ බලාපොරොත්තු දෙන්න

මිනිසුන් ජීවත් කරන්නේ බලාපොරොත්තුව බව ඇත්ත. අපේ හිතේ නිතරම හෙටක් ගැන බලාපොරොත්තු තිබෙනවා.දරුවන්ගේ හිතටත් මේ බලාපොරොත්තුව ලබා දීම වැදගත්. හෙට දවස ඉතාම රසවත්ව ගත කිරීම ගැන බලාපොරොත්තු ලබා දෙන්න. එවිට දරුවා ජීවිතයේ හෙට දවස වෙත තමාගේ දෑස් දල්වාගෙන ජීවිතය ගොඩ නගා ගනු ඇත.

  • පොත්පත් කියවීම, ප්‍රෙහලිකා පිරවීම පුරුදු කරන්න

දරුවෙක් ශාරිරිකව පෝෂණය කරන අන්දමින්ම ඔවුන්ගේ දැනුම සහ කුසලතාවයන්ගෙන්ද පරිපුර්ණ කිරීම ඉතාම වැදගත්. ඒ නිසා පුංචි කාලයේ පටන්ම පොත් පත් කියැවීමට දරුවා හුරු කරන්න. පුංචි පුංචි ප්‍රෙහලිකා, තේරවිලි, ගණිත ගැටුලු ආදිය දරුවාට ලබා දෙන්න. මොළයේ ක්‍රියාකාරිත්වය සංවර්ධනය සදහා මෙවැනි කටයුතු ඉතාම වැදගත්. ඒ නිසා පුංචි වයසේ පටන්ම මෙම ක්‍රියාකාරකම් ආරම්භ කිරීම ඉතාම ඵලදායකයි.

  • නිර්මානශීලී වෙන්න

දරුවන් නිර්මානශීළී බව මුලින්ම තේරුම් ගන්නේ අම්මා..තාත්තා..ඒ නිසා බාලකාලයේ පටන්ම දරුවාගේ නිර්මානශීලී කුසලතාවයන් අවදි කරන්න. සමහර විට දරුවා ගීත ගායනය, රංගනය, අනුකරණය, ලිවීම වැනි විවිධ හැකියාවන් තිබෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ නිර්මානශීලීබව අවදි කිරීමත් වැදගත්.

  • සිරිත් විරිත් හා චාරිත්‍ර

දරුවන්ට සිරිත් , විරිත් හා චාරිත්‍ර පුරුදු කිරීමේ හොඳම තෝතැන්න නිවසයි. සිංහල අලුත් අවුරුදු කාලයේදී අදාල චාරිත්‍ර, වෙසක් සමයේදී සීල සමාදාන වැඩ සටහන් ආදියට දරුවා සම්බන්ධ කරන්න. ආගන්තුකයෙක් පැමිනි විට, ආගන්තුක තැනකට ගිය විට, පාසල, පන්සල ආදි තැන්හි හැසිරෙන අන්දම ගැන දරුවා දැණුවත් කිරීම පමණක් නොව ප්‍රාෙයා්ගිකව  ඔවුන් හැසිරෙන අන්දම ගැන අවධානයෙන් සිටින්න. මෙහිදී  න්‍යාය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. දරුවන් යනු එතරම් දැනුම් තේරුම් සහිත කණ්ඩායමක් නොවන නිසා වැරදීම් වීමට තිබෙන අවස්ථාවන් ඉතා ඉහලින් ඇති නිසා ඔවුන් දෙස අවධානයෙන් බලා සිටීම සහ වරද දුටු විට නිවරැදි කිරීම වැදගත්.

  • දෙමව්පියන් සතුටින් සිටින්න

දරුවන්ගේ සතුට දෙමව්පියන්ගේ සතුට සේම, දෙමව්පියන්ගේ සතුට දරුවන්ගේ සතුටයි. ඒ නිසා නිතරම මත ගැටුම්, අඬවැඬියාවන් සහිත නිවසේ පරිසරය දරුවාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. පියා මත්පැන් පානය කොට නිවසට පැමිණ මව සමග අඩදබර වෙනවා නම්, පවුලේ එකම නිවස යට ජීවත්වෙන පිරිස් අතර විවිධ හැලහැප්පීම් ඇති වෙනවා නම් එයින් වඩාත්ම පීඩාවට පත් වෙන්නේ දරුවා බව තරයේ සිහියේ තබා ගැනීම වැදගත්.

  • නීරෝගීබව

දරුවාගේ නිරෝගිබව දෙමව්පියන්ගේ  වගකීමක්. ඒ වගේම බාලකාලයේදී දරුවාට නිසි පෝෂණය ලබා නුදුන් විට ඔවුන් අනාගතයට පිට නගන්නේ රෝගී පුද්ගලයන් විදිහට නිසා පුංචි කාලයේ පටන්ම ආහාරපාන, ප්‍රතිශක්ති එන්නත් වේල්,හොද සෞඛ්‍ය පුරුදු ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා එබේ දරුවා අනාගතය වෙනුවෙන් හැඩගැසිය යුතු රටාව තුළ දරුවාගේ නීරෝගීබවත් ඉතාම වැදගත්.

ඔබ මළ දරු උපතක අත්දැකීමක් ලද යුවළක්ද ?

දහසතුත් එකක් බලාපොරොත්තු මැද කුස තුළ වැඩෙන දරුවා දෝතට ගන්න පෙරුම් පුරන මාපිය යුවළකට මෙවැනි පුවතක් දරා ගත නොහැකි බව සැබෑවකි. නමුත් යථාර්ථයට මුහුණ දීමට අපි කාටත් සිදු වේ. ඒ නිසාම ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත්ය

මල දරු උපතක් යනු

කුස තුළ බිළිඳා මිය ගොස් බිහිවීමේ තත්ත්වයයි. එනම් සති 28 පසු හෝ ග්‍රෑම් 500ට වැඩි දරුවෙකු කුස තුළ මිය යාමයි.  සාමාන්‍යයෙන් මළ දරු උපත් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ වේ. උදරය ක්‍රමානුකූලව වර්ධනය නොවීම මෙන්ම භ්‍රෑණ චලන නොදැනීම කලලය මිය ගොස් ඇති බවට සැක කළ හැකි තත්ත්ව වුවත් වෛද්‍යවරයෙකු සමගින් එය තහවුරු කරගත යුතුය.

මළ දරු උපත් ඇති වීමට හේතු

  • කලලයේ අසාමාන්‍යතා
  • මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලු
  • වැදැමහේ ගැටලු
  • මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ)
  • මවගේ රුධිරයේ ඇති ගැටලු
  • ගර්භාෂයේ යම් යම් ගැටලු
  • ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලු
  • වැදැමහ හරහා කලලයට රුධිරය ගමන් කිරීමේ ගැටලු (නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි මව්වරුන්ට මේ හේතුව ඉදිරිපත් කළත් එයට මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ)

මළ දරු උපතක් තහවුරු වූ විගස

  • මවට, පියාට/ඥාතීන්ට දැනුම් දේ. (සැවොම කල්පනාකාරීව, සන්සුන්ව අවස්ථාවට මුහුණ දිය යුතුයි)
  • මෙය සිදු වූයේ මවගේ රෝග තත්ත්වයක් මත ද යන්න සොයා බැලේ
  • කලලයේ මිය යාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න සොයා බැලේ

මළ දරු උපත සිදු වූ හේතුව සොයා බැලීමට

  • මවගේ රුධිර සාම්පල පරීක‍ෂාව
  • වැදැමහ පරීක‍ෂණ සඳහා යොමු කිරීම
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණයට යොමු කිරීම

ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ මෙවැනි මව්වරුන් නැවත රුධිර පරීක‍ෂාවට යොමුකරයි. තවද ළදරු මරණ පරීක‍ෂණයේ මෙන්ම වැදැමහ පරීක්ෂණයේ වාර්තාව මගින් ආසන්නතම තත්ත්වය පිළිබඳව දැනුවත් වී මේ සඳහා බලපෑ හේතුව (30%ක ප්‍රතිශතයක් පමණි) සොයා ගත හැකිය.

ප්‍රසූතිය

සාමාන්‍ය ප්‍රසූතියට මෙහිදී මූලිකත්වය ලබා දෙන අතරම ( සිසේරියන් සැත්කම යොදා ගන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ ඇය දැඩි මානසික ආතතියකට පත්ව සිටිනවා නම් පමණි. එය ඉතා කලාතුරකින් සිදුවන තතත්වයකි) මෙවැනි මවකට අධික මානසික ආතතිය හේතුවෙන් වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති නිසා නිරෝගී දරු උපතකදී මෙන් නොව (නිරෝගී දරු උපතකදී ප්‍රබල වේදනා නාශක භාවිත නොකරන්නේ ළදරුවාට බලපැමක් ඇති වේය යන බිය නිසාය) මලදරු උපතකදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට උත්සාහ කරයි. ප්‍රසූතියෙන් පසුව මෙවැනි මව්වරුන් සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කර තබාගනී.

මෙහිදී,

  • අවම කාලයක් ඇතුළත ප්‍රසූතිය සිදු කරයි.

මවගේ මානසිකත්වය මෙන්ම ප්‍රමාද වීම නිසා කලලය දිය වී අවශොෂණය වුවහොත් මරණ පරීක‍ෂණය මගින් මළදරු උපතට හේතු වූ කරුණු සොයා ගත නොහැකි වන නිසාය.

  • මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බිය නිසාය.

ළදරු මරණ පරීක‍ෂණය

ජීවිතයෙන් සමුගත් පුංචි දරුවෙක් සම්බන්ධයෙන් ගත් කළ මේ කටයුත්ත එතරම් සුදුසුද යන්න ඔබටත් සිතෙන්නට පුළුවන්. නමුත් යම් මව්පිය යුවළක් මරණ පරීක්ෂණයට විරුද්ධ වීමෙන් ඊළඟ ගැබ් ගැනීමේදීත් ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් හඳුනා අවම කරගැනීමට ඇති අවස්ථාව මගහරවා ගනියි. විශේෂිත පුහුණුව ලත් පිරිස් අතින් බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකෙන සේ සිදු කෙරෙන මෙවැනි පරීක්ෂණයකදී ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමට අවස්ථාව උදා විය හැකියි.

මූලිකව බිළිඳාගේ සිරුර පිටතින් පරීක්ෂා කෙරෙන අතරම ඉන්පසුව සැත්කමක ආකාරයෙන් සිරුර තුළ වෙනස්කම් පවතීද යන්න පරීක්ෂා කෙරෙන අතරම අභ්‍යන්තර අවයවවල පටක පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සිදු කෙරේ. සැත්කමින් පසුව සැත්කමක කිසිදු ලකුණක් නොමැති වන ලෙස ළදරු සිරුර සකස් කෙරේ.

දරු ප්‍රසූතියෙන් පසුව

  • මවට වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදේ
  • කිරි එරීම නතර කිරීමට ඖෂධ ලබාදේ
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණය (මවගේ කැමත්ත මත) වෙත යොමු කරයි.
  • වැදැමහ ද පරීක‍ෂණ සඳහා යොමු කරයි
  • අවශ්‍යතාවය මත මව/පියාගේ උපදේශන වැඩසටහන් වෙත යොමු කරයි

නැවත ගැබ් ගැනීමට පෙර

  • මව කායිකවත් මානසිකවත් නිසි තත්ත්වයේ සිටිය යුතුය
  • පෙර ප්‍රසූතියේ සියලු වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ
  • පූර්ව ගර්භණී සායන වෙත යොමු විය යුතුය
  • ෆෝලික් ඇසිඩ් 5mg ලබා ගත යුතුය.

ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන මෙවැනි මවක් කිසිදු විටෙක අපහසුතාවයට,වේදනාවට පත් නොකර අවධානය, ආදරය උපරිමයෙන් ලබාදෙමින් ඇය හා එක්ව මේ දුක්බර අවස්ථාවට මුහුණ දීමට තරම් සැමියා ඇතුළු නිවැසියන්ද කාරුණික විය යුතුය.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.

 

ප්‍රමිතියෙන් තොර කාටූන් දරුවන්ගේ මනසට බලපෑම් කරන බව ඇත්තක්ද?

කාටූන් නරඹන්න පුංචි දරුවෝ බොහොම කැමතියි. දරුවන්ගේ සිත රිදවන්න බැරිකම, ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය නිදහස ලබාගන්න වගේ නොයෙක් හේතු නිසා මේ වෙද්දි සමහර අම්මලා දරුවන්ට කාටූන් බලන්න තහනම් කරන්නේ නැහැ. මේ ලිපිය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටූන් බැලීම  පුරුද්දක් බවට පත්වුණු දරුවෙකුට ඒ තත්ත්වය කොයිතරම් දුරට අවාසි සහගත විය හැකිද යන්න පිළිබදවයි.

සාමාන්‍යයෙන් කාටූන් බැලීමට  වඩාත් ප්‍රිය කරන්නේ ප්‍රාථමික පන්තිවල දරුවන්ය. කෙසේ වුවද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව මේ වයස් සීමාවේ දරුවන්ට වුවත් පාසැලේදීත් අමතර පන්තිවලදීත් පැය ගණන් එක දිගට වඩා වී අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වෙයි. එක දිගට පැය ගණන් මනස වෙහෙස වන මේ දරුවෝ නිවසට පැමිණි පසුව විවේකයක් ලබාගැනීමට සිදු කරන්නේත් කාටූන් බැලීමයි. එයද මනස වෙහෙසවන කාර්යයකි. මනසට විවේකයක් අවශ්‍ය අවස්ථාවේදී කළ යුත්තේ කායික ක්‍රියාකාරකමක යෙදීමයි. තව තවත් මනස වෙහෙස වීමත් කායික ක්‍රියාකාරකම් නොමැති වීමත් නිසා මනස හා සිරුර අතර පැවතිය යුතු සමබරතාවය බිඳී යයි. දීර්ග කාලීනව මේදේ සිදුවන විට මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, මනස දුවන ගතිය, අලස බව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි.

අද වන විට පවතින කාටූන් ඝෝෂාකාරී බව, වේගවත්ව රූප රාමු මාරු වීම, හඬ වෙනස් වීම්, තද පැහැති වර්ණ සමගින් එන රූප රාමු වැනි ප්‍රයෝග යොදමින් දරුවන් රඳවා ගැනීමට ප්‍රයත්න දරයි. එවැනි කාටූන් නිෂ්පාදනයන් තුළින් එම නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ අඩුම මහන්සියකින් දරුවා ඒ හා සමග රඳවා ගැනීමටයි. මනස දිගින් දිගටම මේ ආකාරට හුරුවීම මගින් අවශ්‍ය දෙයක් වෙනුවෙන්වත් දරුවාගේ මනස එක තැනක රඳවා ගැනීමට නොහැකි වීම එයින් ඇති වන අවදානම් තත්ත්වයයි.

කෙසේ වුවද හොද තත්ත්වයේ සුමටව ගලා යන කතාවක් සහිත කාටූන කිසිදු විටෙක දරුවෙකුගේ මානසික ඒකාග්‍රතාවය පලුදු කිරීමට හේතු නොවේ. දරුවන්ට සුදුසු කාටූන ලෙස හැදින්විය හැකි වන්නේ පණිවිඩයක් ලබා දෙන ආදර්ශමත් උපදෙසක් මෙන්ම යම් කතාවක් සමාජගත කරන මනසට සුදුසු ආකාරයෙන් නිපද වූවකි. පිස්සු පූසා, දොස්තර හොඳ හිත වැනි කාටූන මේ තත්ත්වය මනාව කළමනාකරණය කර ගනිමින් වැදගත් පණිවිඩයක් සමාජ ගත කළද මේ වන විට මාධ්‍ය ආයතන අතර ඇති තරගකාරී ස්වභාවය නිසාම තම නාලිකාව වෙත වැඩි පිරිසක් අද්දවා ගැනීමටත් ඔවුන් රදවා ගැනීමටත් කාටූන් උපරිමව ප්‍රයෝජනයට ගන්නවා. ”Attention Economy” (අවධානය රදවා ගැනීමේ ආර්ථික ක්‍රමය) සංකල්පය කාටූන් ඇතුළුව තවත් බොහෝ දේ අතීතයේදීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට හේතු වූ තත්ත්වයකි.

අතීතයේදී නැරඹූ කාටූන බොහොම සෙමින් ගලා යන කතා මලාවක් සමගින් අනවශ්‍ය කලබලයකින් තොරව උපදෙසක් ආදර්ශයක් සමාජගත කරමින් පොතක් බලන ආකාරයට ගලා ගියා. මේ තත්ත්වය මත දරුවන්ට හිතන්න යමක් ඉතිරි වුණා. සෙනෙහස, දුක, සතුට කියන හැගීම් වටාහා ගන්න දරුවන්ට අවස්ථාව ලැබුණා. නමුත් අද විකාශය වෙන කාටූන් දරුවන්ට හිතන්නට යමක් ඉතිරි කරන්නේ නැහැ. හැගීම්වලට දෙන තැන අවමයි. ඉතිං දරුවාට කිසිදු වෙහෙසක් නොදී අවධානය පැහැරගන්න මෙවැනි තත්ත්වයේ කාටූන් සමත් වෙනවා. ඒ පහසුවත් සමගින් දරුවන් එවැනි කාටූන් වෙත ඇදී යනවා. එවැනි දරුවන්ට තමාට අත්‍යවශ්‍ය දේ වෙනුවෙන්වත් අවධානය යොමු කිරීමට හැකියාවක් නැහැ. මන්ද දීර්ඝ කාලීනව දරුවාගේ මනස කලබලකාරී, ඝෝෂාකාරී බවට හුරු වී අවසන්.

ඔබේ දරුවාට දවසේ යම්කිසි කාලයක් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී තමාම සමග ගත කරන්නට යම් කාලයක් ලබාදෙන්න. එවිට එසේ ගත වන කාලය තුළ යමක් කිරීමට දරුවා වෙහෙසෙයි. නව නිර්මාණ මෙන්ම අධ්‍යයනයන් සමගින් ඉදිරියට එන්න දරුවාට එම කාලය හේතුවක් වනු ඇත. නමුත් දවසේ පැය විසිහතරම යම් යම් දෙයින් පිරුණු දරුවෙකුට මේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම දරුවෙක්ට තමන්ගේ සිතුවිලිවලට වටිනා කමක් එක්කරගන්නට අවස්ථාව ලබාදීම ඔබේ යුතුකමක් බව හිතට ගන්න. වැඩිහිටි වියේදීත් මානසික ඒකාග්‍රතාවය නොමැතිකම නිසා රැකියා ස්ථානයේදී පවා අපහසුතාවයට පත් වන පිරිස් බිහිවන්නට මූලික හේතුවක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. ඔබ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් උරුම කරවන්නට වෙහෙසෙන මාපිය යුවළක් නිසාම කාටූන්වලින් දරුවාගේ දවස ආරම්භ කරවන තැන සිටම වෙනස් වන්න.

දඹදෙනිය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.

රසකාරක නැතුව පොඩ්ඩන්ට ආහාර හදන්න….Monosodium glutamate (MSG)

දිව ඉල්ලන රසයටම ගැලපෙන රසකාරකයක් විදිහට ‘‘ග්ලුටමින් ඇසිඩ් “ හෙවත් Monosodium glutamate (MSG), අද ලෝකය පුරාම ජනප්‍රියයි. අද ඔබේ පුංචි පැටව් වුනත් දිව ඉල්ලන මේ රසයට ඔබටත් නොදැනීම ඇදී ගිහින් අවසානයි.අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන Monosodium glutamate (MSG),තක්කාලි, හතු,චීස් සහ මිදි වැනි ආහාරවල අන්තර්ගතව තිබෙනවා.

  • මුලින්ම මේ රසය හදුනා ගත්තේ කවුද…?

1800 වැනි ඈත කාලයකදී ජර්මනියේ විසූ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම රසය හදුනා ගත්තා.1908 වසරේදී ජපානයේ ජීව රසායන විද්‍යාඥ විසින් මුහුදු පැලෑටි මගින් සකස් කරන ලද ආහාරය රස කිරීමට Monosodium glutamate (MSG), යොදා ගෙන තිබෙනවා.1968 වසරේ පටන් චීන ආපනශාලාවල MSG භාවිතා කිරීම ආරම්භ වුණා.                                                                        

  • මුල් කාලයේදී නම් චෝදනා නැහැ..

MSG භාවිතා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් විවාදාත්මක සංවාද ඇති වුනේ නැහැ. ඊට හේතුව විදිහට බොහෝ දෙනා විසින් පෙන්වා දෙන්නේ නියම මාත්‍රාවකින් මෙම රසකාරක එකතු කළ නිසා කිසිම හානියක් සිදු නොවුන බවයි.

  • චීන අවන්හල් ජාලයට චෝදනා

ඒත් කාලය සමග චීන අවන්හල් ජාලාවලින් මේ ගැන චෝදනා නැගෙන්න පටන් ගත්තා. MSG යොදා සකස් කරන ලද ආහාර අනුභව කිරීමෙන් පසුව හිසරදය හා වෙනත් අපහසුතාවයන් ඇති වුන නිසාම චීන අවන්හල්වලින් ආහාර ගැනීමට පසුව ඇති වෙන අපහසුතාවය “Chinese Restaurant Syndrome” යනුවෙන් හදුන්වනු ලැබුවා.

1979 වසරේ එංගලන්තයේ ‘‘සරේ “ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් තව දුරටත් මේ අධ්‍යනය දියත් කළ අතර එතැන් පටන් ඒ කියන්නේ 1980 දශකයේ පටන් MSG යොදා ගෙන සකස් කරන ලද ආහාර බහුල වෙන්න පටන් ගත්තා.

මුල් කාලයේදී නම් MSGයොදා ගත්තේ සුප් වර්ග සදහා පමණයි. චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල ආහාර රටාව අතර සුප් වැදගත් තැනක් ගත් නිසාම MSG ඔවුන් අතර වඩාත් ප්‍රචලිත වීම සිදු වුනා.

රසකාරක භාවිතා කරන ජාත්‍යන්තර සමාගම්

  • ඇමරිකා එක්සත් ජනපදය- ACSENT
  • ජපානය- අජිනොමෝටෝ
  • නිව්යෝක්-සැසෝන්
  • යුරෝපය-වෙට්සින්

සුළු ප්‍රමාණයකින්  MSG භාවිතාය අහිතකර නොවුනත් පමණ ඉක්මවා MSG භාවිතා කිරීම නිසා ඇති වෙන අහිතකර තත්වයන් ගැන ප්‍රංශය සහ එංගලන්තය විසින් නිකුත් කරන ලද Afasti Assement වාර්තාවේ සදහන් වෙනවා.

  • සිරුර විජලනයට පත් වීම.
  • අධික දහඩිය දැමීම.
  • අධික පිපාසය
  • සිරුරේ කෙඩෙත්තුව
  • නිදිමතගතිය
  • හෘද ස්පන්දනයේ වෙනස්කම්
  • පෙනහළු වේදනාව.

තවත් වැදගත්…

දියවැඩියාව, අධිරුධිරපීඩනය, ස්නායු ආබාධ කොලස්ටරෝල් ,වකුගඩු සහ හෘද රෝග සංකුලතාවයන් වැනි රෝග තත්වයන් තිබෙනවා නම් MSG වලින් හැකි තරම් ඈත්ව සිටීම වැදගත්.

MSG නැතුව ආහාර පිළියෙල කරන්නම බැරිද…?

අපි මොනවා කිව්වත් පොඩ්ඩෝ ඉල්ලන්නේ දිවට රස.ඒ හින්දා අම්මාටත් හරිම කරදරයක්. අහවල් කඩෙන් ගෙනත් දෙන්න කියන යුද්ධය අන්තිමට අවසාන වෙන්නේ පොඩි එකාගේ ඉල්ලීම දිනලා.

ඒත් ඉස්සර කාලයේ මේ වගේ රසකාරක නොතිබුනත් අපේ අම්මලා උයන පිහන විට පුදුම සුවඳක්. ඒ සුවදටම රස නහර පිනා යනවා. හැබැයි MSG දාලා නම් නොවෙයි.

ඇයි දැන් බැරිද…?

කිසිම බැරි කමක් නැහැ.

  • සුප්

සුප් හදන විට රසකාරක වෙනුවට කොත්තමල්ලි, සුදුරු, මහදුරු, කුරුදු කැබැල්ලක්, ගම්මිරිස් ඇට කිපයක් කපු රෙදි ( තුනී රෙදි කඩක් ) කැබැල්ලක දාලා පුංචි පොට්ටනියක් හදන්න. තුනපහ ලිහි ඉහිරිලා නොයන විදිහට ගැටගහලා සුප් එකරටම දාන්න.

සුප් එක ඉදුනාම පොට්ටනිය හොදින් මිරිකා ගෙන තෙම්පරාදු කරන්න. දෙහි යුෂ ටිකක් එකතු කරන්න. තක්කාලි ගෙඩියකුත් ආවොත් හොදයි.දැන් බලන්නකෝ රස කාරක නැතුව බොන්න බැරිද කියලා.

ඒ වගේම සුප් එකට සැරසිල්ලක් විදිහට සැල්දිරි, කොත්තමල්ලි කොළ සහ මිංචි යොදා ගන්න.

 

  • නූඩ්ල්ස් හදන විට

නූඩ්ල්ස්වලට දැන් ඇත්තම කිව්වොත් එකතු වෙන්නේ MSG විතරයි. ඒ වුනත් පොඩ්ඩන්නට ගුණ ලැබෙන්නේ නූඩ්ල්ස්වලට එකතු කරන එලවළු සංයෝගයෙන් බව අමතක කරන්න එපා. ඒ නිසා කැරට්, ලික්ස් වගේ එළවලු එකතු කරන්න. තෙම්පරාදුවට බිත්තරයක් ගසා එකතු කරන්න. ගම්මිරිස් සහ ලුණු ස්වල්පයක් එකතු කරන්න. MSG කැටය වෙනුවට ලුණු එකතු කළත් බොහොම ටිකක්. ඒ ඇයි කිව්වොත් ලුණු එතරම් අපට හිතකර නැහැ.

 

  • කහ බත්, තෙල් බත් එකී මෙකී නොකී සැරසිලි බතට….

අපේ අම්මලා ලේසියට ඉතිං MSG වලින් දිවට රසය හොයනවා. ඒ වුනත් කරන්නන් වාලේ නොකොර මේ විදිහට බලන්නනෝ…

බත මස් ස්ටොක් සාරයෙන් සකස් කර ගන්න. බතටත් සුප් වලට එකතු කරන ලද රස හා සුවඳ පොට්ටනිය එකතු කරන්න. තෙම්පරාදුවට පසුව මුද්දරම්පලම් සහ කජු එකතු කරන්න.

  • සැන්ඩ්විච්

සැන්ඩ්විච් හදනවා නම් බිත්තරයට අබ, ගම්මිරිස් අඹරා ගෙන දා ගත් විට හොඳටෝම ඇති.

  • ඒත් ව්‍යංජනයක් හදනවා නම්…

ඕනම ව්‍යංජයක් පිළියෙල කරන විට රම්පෙ, කරපිංචා, කුරුදු, උලුහාල් එකතු වුනොත් ඔය කියන රස විතරක් නොවෙයි, හොඳ සුවදක් ලැබෙනවා..

 

දරුවන් අනාගතයේදී නිරෝගීව සිටිනු දකිනු කැමැති නම්

පුංචි කාලයේදී නම් දරුවන් තමන්ගේ  පාලනය යටතේ තබා ගෙන , ගුණ විදිහට ආහාරපාන සපයා දෙමින් රැක බලා ගන්න පුලුවන්. ඒ වුනත් සාමාන්‍ය පෙළ අවසානයෙන් පසුව එනම් වයස අවුරුදු 16 ක් විතර ගෙවුනාම දෙමව්පියන්ට මේ පාලනය සහ රැකබලා ගැනීම කිරීම අපහසුයි. ඒ වුනත් දරුවන් මේ කාලයේදී ගොඩ නගා ගන්නා ජීවන රටාව නිසා ඔවුන්ගේ අනාගතයට දැඩි විදිහට බලපෑම් එක් වෙන බැව් බ්‍රිතාන්‍යෙය් සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.අපේ රටේ නම් මේ බලපෑම බොහොම දරුණු වෙන්න පුලුවනි. ඊට හේතුව උසස් පෙළ විභාගය ඉලක්ක කර ගත් දරුවන් අතිරේක සහ උපකාරක පංතිවලට සහභාගී වීම කාටවත්ම පාලනය කළ නොහැකි යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙනවා. ඉතින් තමන්ගේ ඇස් දෙක වගේ ඇති දැඩි කරන දරුවන් අනාගතයේදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා දකින්න මොන අම්මා තාත්තාවත් කැමැත්තක් නැහැ. ඒ වුනත් එක්තරා වෛද්‍යවරයෙක් පසුගිය දා දේශනයකදී සදහන් කළේ වර්තමානයේදී දෙමව්පියන් ඉතාම අවාසනාවන්ත විදිහට තමන්ගේ දරුවන්ගේ මළගමට සහභාගී වීමට තරම් අවාසනාවන්ත වී ඇති බවයි. ඒ තත්වය ඇති වී තිබෙන්නේත් දරුවන්ගේ ජීවන රටාව දෙමව්පියන්ට පාලනය කළ නොහැකි තරම් බරපතල තත්වයකට පත්ව ඇති බවයි.එහෙමනම් මේ අවාසනාවන්ත තත්වයෙන් දරුවන් මුදවා ගන්නේ කොහොමද…?

  • ආහාර

අතීතයේදී නම් දරුවන්ට පාසල් වේලාවෙන් පසුව කිසිම අතිරේක හෝ උපකාරක පංති තිබුනේ නැහැ. ඒ නිසාම ඔවුන් පාසල අවසාන වීමත් සමග එක පිම්මේම ගෙදරට දුවගෙන ඇවිත් දවල් ආහාරය ලබා ගත්තා. ඒ වුනත් අද දරුවන් පාසල අවසානයෙන් පසුව උපකාරක පංතිවලටත් සහභාගී වෙලා නිවසට යන්නේ රාත්‍රි ආහාරයට බව රහසක් නොවේ. නැවත පසුවදා උදෙන්ම පාසලට යා යුතු නිසා ඔවුන් වෙනුවෙන් බොහෝ විට නිසි පෝෂණයක් ඇති දිවා ආහාරයක් පිළියෙළ වෙන්නේ නැහැ. ඒ හින්දා  අහිතකර රස කාරකයන් සහිත කුමක් හෝ පුංචි දෙයකින් බඩ රවටා ගන්නවා. මේ ආහාරයෙන් දරුවාට පෝෂණයක් නොලැබෙනවා වගේ අහිතකර රසායනයන් සිරුරට එක් වෙනවා. ඒ හින්දා දරුවන්ගේ තරබාරුව ඇති වීම සමග අහිතකර විදිහට මේද ගබඩා වීම වයස අවුරුදු 25 ක් පමණ වෙන විට කොලස්ටරෝල් තැන්පත්වීමෙන් හදවත සහ අක්මාව රෝගී වීමේ තත්වයන් ඇති වීමේ අවදානම ඉතාම ඉහලයි.

  • ආතතිය

පුංචි දරුවන්ගේ මනස සමනළ තටුවක් වගේ සැහැල්ලුයි. ඔවුන් ජීවත්වෙන්නේ බොහොම සුන්දර ලෝකයක කිව්වත් සාමාන්‍ය පෙළ අවසානයේදී මේ තත්වය බොහොම දුරට වෙනස් වෙනවා.ඊට හේතුව උසස් පෙළ කඩඉම ඉතාම දරුණු විදිහට දරුවන්ට බලපානවා. ඉසෙඩ් අගයෙන් ජීවිතයේ ඉරණම තීන්දු තීරණය වෙතැයි හිතන නිසාම දරුවන්ගේ හිතේ දැඩි විදිහට ආතතිය ගොඩ නැගෙනවා. උසස් පෙළ ජීවිතය නොවුනත් අද දෙමව්පියන් පවා දරුවන්ට ලබා දෙන අවවාදය නම් ‘‘උසස් පෙළ නැත්නම් ජීවිතයක් නැහැ“ යන පණිවිඩයයි. ඒ හින්දා සාමාන්‍ය පෙළත් සමග ඇති වෙන මානසික ආතතිය නිසා දරුවන් මනසින් රෝගි වීමේ ප්‍රවනතාවයත් ඉතාම ඉහළ බැව් අමතක කළ යුතු නැහැ.

  • අන්තර්ජාල පාලනය

අන්තර්ජාලය , යූ ටියුබ් අද අධ්‍යාපණික මෙවලම් විදිහට වඩාත් ඵලදායී අන්දමින් භාවිතයට ගත හැකියි. ඒ වුනත් මේවායේ නිසි පාලනයක් නොමැති වීම නිසා දරුවන්ගේ ජීවිත නිකරුනේම නාස්ති වෙන අවදානමක්ද තිබෙනවා. ඒ වුනත් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙම මෙවලම් සහ මාධ්‍ය භාවිතයේ කිසිම නරකක් නැහැ. ඒත් යම්කිසි නියාමනයක් අවශ්‍යයි. ඒ නිසාම දෙමව්පියන් විසින් දරුවන්ට මෙම සමාජජාල සහ අන්තර්ජාලය පරිශීලනයේදී නියාමනයක් කිරීම ඉතාම වැදගත්.

  • නින්ද

අද දෙමව්පියන් දරුවන්ගේ අධ්‍යාපනයට දරණ වෙහෙස තක්සේරු කරන්නේ නින්දෙන් බව රහසක් නොවෙයි. දරුවා නිදිමරමින් පාඩම් කරන විට සතුටු වෙන දෙමව්පියන් , දරවා නිදාගෙන සිටිනවා දුටුවොත් දැඩි විදිහට ආවේශ වෙනවා. කොච්චරවත් නිදි…ඔහොම නිදා ගත්තොත් හොදට ප්‍රතිඵල තියෙයි..යනුවෙන් තමන්ගේ කෝපය දරුවන්ට කියන අවස්ථා බොහොමයි. උසස් පෙළ කඩඉම ඉදිරියේ දෙමව්පියන් දරුවන් අවදියෙන් පොතටම යොමුව සිටම ගැන සතුටු වුනත් මේ කාලයේ එනම් වයස අවුරුදු 16 න් පසුව හැදෙන වැඩෙන දරුවාට සුවදායක හා ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි.ඒ නිසාම දරුවා නිදා ගත් විට ඒ ගැන කෝප වෙන්න එපා.

එහෙමනම්….අපේ දරුවන් වයස අවුරුදු 25 ක් පමණ වෙන විටි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන, එහෙම නිරෝගි  ජීවිතයක් වෙනුවෙන් අවශ්‍ය පෝෂණය ලබා දීම ඉතාම වැදගත් බැව් අමතක කරන්න එපා.

පංචායුධයක් පළදින්න දිනයක් තිබෙනවාද…?

දරුවෙකු වෙනුවෙන් පංචායුධයක් පැළදවීම දරුවා උපන් දිනයේ සිට දින පහක් එසේත් නැත්නම් ඉදුල් කට ගාන දිනයේදී පැළදවීම සාමාන්‍ය සම්ප්‍රදායයි. පංචායුධයක් නිර්මානය කිරීමේදී නියමිත දිගක්, පලලක් හෝ බරක් නොමැති නිසා තම තමන්ගේ හැකි පමනින් බොහෝ විට රත්රන් වලින් මේ ආබරණය සකස් කරනවා.

පංචායුධයේ ඉතිහාසය…

ළදරුවන්ට පළදවන පංචායුධය පිලිබඳව දිගු ඉතිහාසයක් තිබේ. අතීතයේදී ‘‘පංචායුධ “ නැමැති කුමාරයෙක් සිප් සතර හදාරා අවසානයේදී තමන් උපන් රාජ්‍ය වෙත යමින් සිටියේය.ගමන්මග වෙහෙස නිසා කුමරු විශාල ගසක් යටට වී නිදා ගත්තේය.ඒ අවස්ථාවේ ගසට අධිගෘහිතව සිටි යක්ෂයෙක් පැමිණ කුමරු මරා මස් කෑමට සැරසෙත්ම පංචායුධ කුමාරයා යක්ෂයාගෙන් එක් ඉල්ලීමක් කරන්නට අවසර ඉල්ලා සිටියේය.පංචායුධ කුමාරයා යක්ෂයා අමතා මෙසේ කීවේය.

ඔබ මා මරා මස් කෑවාට කමක් නැමැ. නමුත් එක් දෙයක් ඔබට කිව යුතුයි. මගේ සිරුරේ ආයුධ පහක් තිබෙනවා. යම් හෙයකින් ඔබ මා මරා මස් අනුභව කළොත් ඒ ආයුධ පහ එබේ සිරුරේ ඇනී නිසැකයෙන්ම ඔබ මරණයට පත් විය හැකියි. එයින් බියට පත් යක්ෂයා පළා ගියෙන් කුමාරයාගේ ජීවිතයට හානියක් සිදු වුයේ නැත. එතැන් පටන් මේ සිද්ධිය පාදක කර ගෙන ළදරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පංචායුධයක් පැළදවීමේ සම්ප්‍රදාය ඇති වී තිබේ.

පංචායුධයේ  සංකේත මොනවාද…?

පංචායුධයක ඇතුගත්ව තිබෙන ආයුධ පහක් තිබෙනවා. ඒ නිසාම සෙය පංචායුධය යනුවෙන් හැදින්වෙනවා. මෙම ආයුධ නම්

ජයසංඛය හෙවත් හක්ගෙඩිය

හක්ගෙඩිය සශ්‍රිකත්වයේ සංකේතයක් විදිහට සලකන නිසාම දෙවියන්ට ආරාධනා කිරීමේදී හක්ගෙඩිය පිඹීම සිදු වෙනවා. දේවකතාවන්ට අනුව විෂ්නු දෙවියන් කිරිසයුර කළඹන විට හමුවුන අනර්ඝ වස්තුන් අතරින් හක්ගෙඩියත් එකක් සේ සැලකෙනවා.

චක්‍රය

සටනකදී ආරක්ෂාව ලැබීමට මෙන්ම ප්‍රතිප්‍රහාරයන් වැලැක්වීමට ඇති ආයුධයයි.

මුගුර

ආරක්ෂාව වෙනුවෙන් වැදගත් ආයුධයකි.

දුන්න

සතුන් දඩයමට මෙන්ම ආරක්ෂාවට ඇති ආයුධයක්.

කඩුව

සටන් බිම ප්‍රධාන ආයුධයක්. රාජ්‍යත්වයේදී කඩු ශිල්පය පිලිබඳව ලබා ඇති හැකියාව රජතුමාගේ වටිනාකම ගොඩ නැගේ.

පංචායුධය පළඳවන්නේ කොහොමද….?

පංචායුධයක් පළදවන විට දරුවාගේ උපත් වේලාවට අනුව  සුබ නැකැත් වේලාවක් බලනවා. පංචායුධය සුවද පැනින් සෝදා ආශිර්වාද කරමින් ගෙල හෝ ඉනෙහි පළදවනු ලබනවා.

පංචායුධයක් පළඳවන විට මේ ගැනත් හිතන්න…

පංචායුධයක් මගින් අපි දරුවාට ආරක්ෂාව ලබා දීම ගැන වඩාත් ආරක්ෂිතව වූ සිතුවිල්ලකින් කරන බව සැබෑය. ඒ සමග තවත් අතුරු කරුණු ගැනත් ටිකක් හිතනවා නම් වඩාත් අගෙයි. හොඳ යැයි සම්මත දෙයක් හොද සිතින්ම පවත්වා ගෙන යෑම වරදක් නැති වුනත් මේ විදිහට පුංචි අවදානම් ගැනත් හිත යොමු කිරීම වැදගත්.

පංචායුධය නිසා  දරුවාගේ සුමුදු හමට තුවාල වීමට පුලුවනි. ඇතැම් විට පංචායුධයේ අයින් දරුවා හැපිම නිසාම කඩතොලු වී තිබුනොත් ඒවා හමේ වැදී තුවාල විය හැකියි.

පංචායුධය පළඳවන කළු පැහැති නූල දරුවාගේ වර්ධනය සමග ගෙලට හිර ගතියක් ඇති වුනොත් එය දරුවාට අපහසුවක් විය හැකියි.ඒ වගේම දහඩිය සමග මෙම නූල ගැටීම නිසා ගෙල ප්‍රෙද්හයේ දහඩිය බිබිලි සහ කුෂ්ට ඇති විය හැකියි.

පංචායුධය දරුවාගේ කටට ගත හැකි මානයේ තිබීමෙන් නිතරම එය හැපීමත් අවදානමක්.

පංචායුධය වගේම ඇතැම් විට එය රත්රන් දම්වැලක බහා පැළදවීම නිසා සොරකම් කිරීමටත් පුලුවනි.

දරුවන්ගේ හැටි ඔහොම තමයි.

දරුවෙකුගේ මුල් වසර පහක කාලයේදී ඔවුන්ගේ මොළයෙන් 80% ක් වර්ධනය වෙනවා. ඒ නිසාම මේ කාලයේදී අලුත් දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ගොඩ නැගෙනවා. ඔවුන් ලබන  අලුත් අත්දැකීම් සමග මොළයේ සෛල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දරුවන් බොහොම අවදියෙන් තමා සමග ගණුදෙනු කරන අයත් සමග එක්ව අත්දැකීම් උපයා ගන්නවා.ඒ නිසා දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබමින් ඉදිරියට යන ශක්තිය දෙමව්පියන් විසින් ගොඩ නැගීම ඉතාම වැදගත්.වයස 13ත් 17ත් අතර ළමයින් ගේ මොළය හුරුවී ඇත්තේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට බව .හාවර්ඩි.කොලොම්බියන් සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයන්හී එකමුතුවෙන් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරනය වී  ඇත. මොළය ස්කෑන් යන්ත්‍රයක් ඇසුරෙන් පරීක්ෂා කරන අතරතුර පින්තූර ආශ්‍රයෙන් කරන ක්‍රීඩාවක් අනුව එම නිගමනයට එලැඹිණි.

 දරුවාගේ ඇගිලි තුඩු වලින් විවිධ ක්‍රියාකාරකම්

විශේෂයෙන් ළදරු පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අත්වැඩ, වැලි සෙල්ලම්, කඩදාසි සමග නිර්මානාත්මක කටයුතුවල යෙදෙනවා.මේ කටයුතු මගින් දරුවාගේ බුද්ධිමය සංවර්ධනය සිදු වෙන නිසා ඇඟිලිතුඩුවලින් සිදු වෙන කටයුතු වලට වැඩි දායකත්වයක් ලබා දීම ඉතාම වැදගත්.කොලාජ් චිත්‍ර, ජලය සමග සෙල්ලම්, වැලි සමග සෙල්ලම් මෙහිදී වඩාත් වැදගත්. ඒ නිසාම අතට හසුවෙන දෙය ඉරන්න, කපන්න පටන් ගන්නත් පුලුවනි.

හැම දෙයම අලුත් විදිහට දකිනවා

යාන්තමින් වටපිට සමග සම්බන්ධ වෙන දරුවාට ඔවුන් දකින හැම දෙයම අලුත්. ඒ නිසාම දකින දකින දේ ඉල්ලන්න පටන් ගන්නවා. සමහර විට දරුවා ඉල්ලන දෙය ඔවුන්ට කිසිසේත්ම ප්‍රායා්ජනයක් නොවන්න පුලුවනි. ඒ වුනත් එය දරුවාට අලුත් දෙයක් නිසා පෙරැත්ත කරමින් ඉල්ලා සිටින්න පුලුවන්. එවැනි අවස්ථාවකදී බිම පෙරලෙන්න, පොළවේ ඔලුව ගහගන්න වැනි ප්‍රතිචාර දක්වන්නත් පුලුවනි. කඩපිල ඉදිරියේ නිදා ගන්න තරම් තත්වය දරුනු වෙන්න පුලුවන්.එහෙම වුනොත් ප්‍රසිද්ධියේ දඬුවම් කරන්නත් එපා. හෙමින් සීරුවේ ඔය ගත මග හරවා ගන්න.

අඩනවා කියලා දෙන්න එපා

දරුවා තමන්ට අවශ්‍ය දේ ඉල්ලමින් ලොකු පෙරලියක් කළත් ඔවුන් ඉල්ලා සිටින හැම දෙයක්ම ලබා දෙන්න එපා.සමහර දෙමව්පියන් විසින් දරුවා සතුටු කරන්න වගේම තමා නිදහස් වීම මුල් කර ගෙන දරුවා ඉල්ලන හැම දෙයක්ම ලබා දෙනවා. ඒත් මෙහි යම් සීමාවක් තිබෙනවා. අද දවසේදී ඔබට දරුවා ඉල්ලා සිටින දේ දෙන්නට පුලුවන් වුනත් තවත් දවසකදී දරුවා ඉල්ලන දේ ලබා දීම ඔබට අපහසුවක් විය හැකියි. ඒ නිසා දරුවා හැඬු පමණටම ඉල්ලන දේ ලබා දීම එතරම් ප්‍රඥාගෝචර නැහැ.

දඟ කරන්නේ අවධානය ගන්න

දරුවෙක් වුනොත් පිළිමයක් වගේ එක තැන තියන්න බැහැ. සාමාන්‍යයෙන් දරුවන් දගයි.එය ස්වභාවයක්. ඒ වුනත් සමහර විට දරුවන් අනවශ්‍ය විදිහට දග කරන්නේ ඔවුන් වෙත අවධානය ගැනීම වෙන්නත් පුලුවනි. ඔබේ දරැවන් ගැන හිතුවොත් මෙය මොනතරම් සාධාරණදැයි හිතේවි. නිවසේ යම් පමණකින් සංවරව සහ එතරම් දගයක් නොමැති දරුවා නිවසට කවුරුන් හෝ පැමිණි විටකදී අනවශ්‍ය විදිහට දග කිරීමට යොමු වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ගේ දඟකාරකම් වුනත් පමණ ඉක්මවා සිදු වෙනවා නම් එයින් පෙනී යන්නේ ඔවුන්ට අවධානය අවශ්‍ය බවයි.

ඉරිසියාවත් තියෙනවා.

පොඩි එවුන්ට ඉරිසියාවත් නැත්තේම නැහැ. විහේෂයෙන් එය ආදරය මුල් කර ගෙන සිදු වෙන්නක්. තමාගේ අයියා අක්කාට දෙමව්පියන්ගේ ආදරය බෙදෙනවාට දරුවන් කැමැති නැහැ.ඒ ඉතින් පොඩි අයගේ හැටි. ඒ නිසා මේ ළමයාගේ ඉරිසියාව කියලා නෝක්කාඩු කියන්න අවශ්‍ය නැහැ. දරුවන්ගේ හිතේ තිබෙන සාධාරණ සිතුවිල්ලක් නිසා ඔබ මේ ගැන හිත කලබල කර ගන්න එපා.

ඉතින් දරුවා ගැන එබේ මට්ටමෙන් නොසිතා ඔවුන්ගේ මට්ටමෙන් හිතන්න තරම් සාධාරණ සිතිවිලි දෙමව්පියන් විදිහට ඔබ විසින් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.