Home Blog Page 71

අම්මට, දරුවට සෙත් දෙන පිරිත් ගාථා

මවක් වෙන්න පෙරුම් පුරන හැම කාන්තාවක්ම තමන්ගේ දරු පැටියා නිදුක් , නිරෝගීව ලැබෙන්නත් කිසිම අනතුරක් නොවෙන්න කියන මානිකසත්වය ගොඩ නගා ගැනීම අවශ්‍ය වෙනවා.ඒ නිසා ආගම, ජාතිය කුමක් වුනත් තමන් අදහන ඉෂ්ටදේවාතාවුන් හෝ වෙනත් ආගමික විශ්වාස අනුව හිතේ ශක්තිය ගොඩ නගා ගන්නවා. බෞද්ධාගමික  වටපිටාවට අනුව දරුවා ලැබෙන්න පෙරාතුව අංගුලිමාල පිරිත් දේශනය පැවැත්වීම අනිවාර්යෙන්ම සිදු වෙනවා.පිරිතේ බලය කියන්නේ බුදුරජාණන්වහන්සේගේ සත්‍ය වචනයයි.උන්වහන්සේගේ අධිෂ්ටාන ශක්තිය හා වචනයක බලය හෙවත් සත්ක්‍රියාවයි.

  • අංගුලිමාල සුත්‍රෙය් නිදාන කතාව…

 

දරුවන් ලැබෙන්න ප්‍රසව වේදනාවෙන් පසු වුන අම්මා කෙනෙකුට දරු ප්‍රසවය පහසු කිරීමට අංගුලිමාල තෙරුන් වහන්සේ විසින් මෙම පිරිත් දේශනාව පවත්වන ලදී. ප්‍රසව වේදනාවෙන් පසු වෙන මව ගැන අංගුලිමාල තෙරුන් වහන්සේ බුදුරජාණන්වහන්සේට දන්වා සිටි විට බුදුරජාණන්වහන්සේ විසින් මේ දේශනාව අංගුලිමාල තෙරුන්වහන්සේට දේශනා කළහ.

‘‘යථෝ භං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංවිච්ච ලාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති… මේ පිරිත් දේශනාව සමග පෙරහනයකින් පෙරී ගියා සේ කිසිම අපහසුවක් නැතුව කාන්තාවගේ දරු ප්‍රසුතිය සිදු වුණා. මෙම ආනුභාවය ඉර හඳ පවත්නා තෙක්ම පවතින බව විශ්වාස කරනවා. තවමත් අංගුලිමාල තෙරුන්වහන්සේ පිරිත් දේශනා කළ ස්ථානයේ පවා එම අනුහස පැවැතේ යැයි විශ්වාසයේ තිබෙනවා.

ගැබිණිය මෙම ආසනයේ නිදි කරවූ විට දරු ප්‍රසුතිය පහසුවෙන් සිදු වෙන බවත් විශ්වාසයේ පවතිනවා.එතැනට පැමිනීමට අපහසු ගැබිණි කාන්තාවන්ට ආසනය සෝදා පැන් පානයට දුන් විට ප්‍රසුතිය පහසු වූ බව විහ්වාසයේ පවතිනවා.තිරිසන් සතුන් පවා මෙතැනට ගෙනැවිත් තැබූ විට සුවසේ පැටවුන් ප්‍රසුත කළ බවටත් සැලයි.

ඒ වගේම ඇස් වහ කටවහ දෝෂවලටත් අංගුලිමාල පිරිත ගුණදායකයි. අටුවාවෙහි දැක්වෙන අන්දමට ‘‘ඉමඤ්ච පන පරිත්තං න කිඤ්චි පරිස්සයං න මද්දති මහා පරිත්තං නාමෙතං“ යනුවෙන් දක්වා ඇත්තේ පැන් හෝ තෙල් හෝ නූල්වලට පිරිත් කර ගැනීමයි. පිරිත ගැයෙන වාර ගණණ අනුව අනුහස් ලැබෙන නිසා සත්වරක්, අටවරක් හා දහස් වරක් ලෙසින් පිරිත් කෙරේ.

පිරිත් දේශනාවේ අනුහසින් ප්‍රසුත කාර්යට අවශ්‍ය ශක්තිය, නිරෝගිතාවය , ජීවිත ආරක්ෂාව ලැබෙනවා.පිරිත් නූලක් පැළඳීම සමග පිරිත් ආශිර්වාදය මවට හා දරුවාට සම්බන්ධ කරනවා.පිරිත් නූලක් ස්වාමින්වහන්සේ ගැට ගසන්නේ මහා කරුනාවකින්. පිරිත් අනුහස් දරුවාටත් මවටත් ලැබේවා කියන උතුම් අරමුණින්. තරංග ඔස්සේ මේ ශක්තිය දෙපාර්ශවයටම ගමන් කරනවා.

 

අම්මලා දරුවන් නලවන්න පවා පිරිත් ගාථා ගායනා කරනවා. මේ ආධ්‍ය්තිමක ශක්තිය දරුවාට ආශිර්වාදයක්.

 

  • කුඩා දරුවන් සිහිනෙන් බියවීම

.කුඩා දරුවන් සිහිනෙන් බයවීම, කිරි වමනය දැමීම, සිහිනෙන් ඇඬීම , නිතර අඬන විට පිරිත් ඇසුරින් විිවධ ආරක්ෂාවන් සලසා ගන්නවා.දරුවා නාවන විටත් පිරිත් පැන් දරුවා නාවන ජලයට සංයෝග කරනවා.

බාලගිරි දෝෂ අවස්ථාවේදී සදුන් තෙල් ස්වල්පයකට රතන සුත්‍රෙය් සදහන්  යං කිඤ්චි චිත්තං ඉදවා හුරංවා ගාථාව 108 වාරයක් ගායනා කිරීමෙන් පසුව එම තෙලෙන් තිලකයක් තබනවා.

  • ළදරුවන්ට රන්කිරි කට ගාන විට

යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා

සග්ගේසු වායං රතනං පණීතං

නනෝ සමං අත්ථි තථාගතේන

ඉදම්පි බුද්ධේ රතනං පණීතං

 

ළදරුවන්ට රන්කිරි කට ගාන  විට මෙම ගාථාව 108 වාරයක් කිර මතුරනු ලැබේ.

 

  • ඇස්වහ, කටවහ දෝෂවලට

විවිධ ඇස්වහ, කටවහ දෝෂවලට  ‘‘යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා“ ගාථාවෙන් නූල් පොටක් මතුරා දරුවා ඉණ බැඳීම.

  • බිය සහ අනතුරුවලදි..

පුංචි අත දරුවන්ට නොව ටිකක් වැඩිහිටි කෙනෙක් වුනත් බල්ලෙක් සපා කෑ විට ප්‍රතිකාරවලට අමතරව ‘‘යං කිඤ්චි විත්තං ඉදවා හුරංවා“ගාථාවෙන් පිරිත් කරන ලද නූලක් ඉණ ගැට ගැසීම. මෙය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට අතිරේකවයි. ඒ වගේම කිල්ලෙන් ආරක්ෂා කර ගැනීම වැදගත්.සර්ප බියටත් ඒ වගේමයි.

  • නිවස ආරක්ෂාවට

නිවස ආරක්ෂාවට පරතන සුත්‍රෙය් එන පහත ගාථාව 108 වාරයක් ගයමින් පිරිත් කරන ලද පැන් නිවස පුරා ඉසීම.

යම්බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං

සමාධිමානාන්තරිකඤ්ඤමාහු

සමාධිනාතේන සමෝන විජ්ජති

ඉදම්පි බුද්ධෙ රතනං පණීතං

 

ඉදම්පි ධම්මේ රතනං පණීතං

ඉදම්පි සංඝෙ රතනං පණීතං‍ෙ

ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

  • දරුවන් නිතර අඬනවා නම්..

අතදරුවන්ට අඬන්න හේතු අපට තේරුම් ගන්න බැහැ. බඩගිනි, නිදිමත, බිය සහ වෙනත් අපහසුතාවයන් නිසා දරුවා අඩන්න පුලුවනි. ඒ වගේ අවස්ථාවන්හිදී

යානීධ භූතානි සමාගතානි

භුම්මා නිවා යා නිවඅන්තලික්ඛේ

තථාගතං දේවමනුස්ස පූජිතං

බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

සංඝං නමස්සාම සුවත්ථි හෝතු…..මෙම ගාථා 108 වාරයක් ගායනා කරමින් පිරිත් කරන ලද ජලයෙන් දරුවාගේ මුුහණ සෝදන්න.

  • විභාග ජය ලැබීමට..

දරුවන් විභාගයක් වෙනුවෙන් සූදානම් කරද්දී ඔවුන්ගේ චිත්ත ශක්තියත් සංවර්ධනය කිරීම ඉතා වැදගත්. ඒ නිසාම අද හැම දෙමව්පියෙකු විසින් තමන්ගේ දරුවන්ට විභාගයකට මුහුණ දීමට පෙරාතුව පිරිත් දේශනාවක් කරමින් ආශිර්වාද ලබා දෙනවා.ඊට අමතරව ඔබට නිවසේ සිට මේ පිරිත් ගාථා ගායනා කරමින් විභාගයට යන දරුවන්ට සෙත් පතන්න පුලුවනි.

යානීධ භූතානි සමාගතානි

භුම්මා නිවායානි නිව අන්තලික්ඛේ

සබ්බේව භූතා සුමනා භවන්තු

අථොපිසක්කච්ච සුනන්තු භාසිතං

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ

මෙත්තං කරොථ මානුසියා පජාය

දිවාච රත්තොච  හරන්ති යේ බලිං

තස්මාහි නේ රක්ඛත අප්පමත්තා

මේ ගාථා තුනෙන් 108 වරක් පිරිත් කරන ලද පැන්වලින් ටිකක් බොන්න දී  පිරිත් පැනින් මුහුණ සෝදන්න.

තොරතුරු ලබා ගත්තේ-දැනට අසනීපයෙන් පසුවෙන බෝගමුවේ ඉන්දරතන ස්වාමින් වහන්සේගෙනි.උන්වහන්සේට දීර්ඝායුෂ  පතමු.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

ඩවුන්ස් සහ ලක්ෂණය හඳුනා ගැනීමේ NIPT පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාවේත්

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම අද වන විට කලලයේ ඇති වන අසාමාන්‍යතා මෙන්ම මවට ඇති විය හැකි සංකූලතා සඳහා ඇති අවදානම කල්තියා හඳුනා ගැනීමට හැකි වටපිටාව සැකසී ඇති බව අපි කවුරුත් දන්නා කරුණක්. අද වන විට මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගැනීමට හැකි සංවේදී පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළත් සිදු කෙරෙනවා. ඒ අතරින් නිරාක‍්‍රමණික පූර්ව ප‍්‍රසව පරීක්‍ෂණය (NIPT) මගින් බිහිවන්නට සිටින දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙක්ද යන්න 99% ප්‍රතිශතයකින් හඳුනා ගැනීමට අවස්ථාව සලසා දෙනවා.

NIPT පරීක්ෂණය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළහොත් මෙය ඩවුන්ස් සහ සහ ලක්ෂණය ඇතුළු ජාන සම්බන්ධ රෝගී තත්ත්වයන් රැසක් හඳුනා ගැනීමට සිදු කෙරෙන තරමක් මිල අධික රුධිර පරීක්ෂණයකි.

 

වෛද්‍යතුමනි, NIPT පරීක්ෂණය සිදු කෙරෙන්නේ කොහොමද?

මේක රුධිර පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ, සෛලවල නිපදවෙන DNA අන්තර්ගත වෙනවා වගේම ගැබිනි මවකගේ රුධිරයේ 80% පමණ මවගේ DNA ත් ඉතිරි 20%ක පමණ ප්‍රමාණය කලලයේ DNA ත් වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා ගැබිනි මවකගේ රුධිර සාම්පලයක් හරහා ලැබෙන්න ඉන්න දරුවාගේ DNA පිළිබඳව අවබෝධයක් ලබාගෙන මෙවැනි අසාමාන්‍යතා හඳුනා ගත හැකියි.

NIPT පරීක්ෂණය මගින් අණාවරණය කරගත හැකි අසාමාන්‍ය තත්ත්ව මොනවාද?

සාමාන්‍ය ගණනට වඩා වැඩි/අඩු වර්ණදේහ ගණනක් පැවතීම හේතුවෙන් ඇති වන අසාමාන්‍යතා පිළිබඳව මෙම පරීක්‍ෂණයෙන් මූලිකව හඳුනා ගනී.

 

  • ඩවුන් සින්ඩ්‍රෝම් (අංක 21 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • එඩ්වඩ් සින්ඩ්‍රෝම් (අංක 18 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • පැටඔ සින්ඩ්‍රෝම් (අංක 13 වන වර්ණදේහ යුගලයට අමතරව තවත් වර්ණ දේහයක් පැවතීම)
  • ටර්නර් සින්ඩ්‍රෝම් (X වර්ණදේහයේ එක වර්ණ දේහයක් පමණක් තිබීම)
  • ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් – (XX වර්ණදේහ යුගලයක් සමග Y වර්ණදේහයක් එනම් XXY ලෙස පැවතීම)
  • ටි‍්‍රපල් එක්ස් සින්ඩ්‍රෝම් – (X වර්ණදේහ 3 ක් XXX තිබීම)
  • ජෙකොබ්ස් සින්ඩ්‍රෝම් – X වරණදේහයක් සහ Y වර්ණදේහ යුගලයක් එනම් XYY තිබීම)

 

NIPT පරීක්‍ෂණය ආරක්ෂිතද?

ඔව්. බොහොම ආරක්ෂාකාරී පරීක්ෂණයක්. ගබ්සා වීමේ අවදානමක් කිසිසේත්ම නැති 99.9%ක් නිවැරදිව ඩවුන් සින්ඩ්‍රෝම ප‍්‍රවණතාවය හඳුනා ගත හැකි පරීක්ෂණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා ලබාගන්නේ මවගේ රුධිර සාම්පලයක් පමණයි. ඒ නිසා කලලයට කිසිදු ආකාරයක බලපෑමක් සිදුවෙන්නේ නැහැ.

සෑම ගැබිනි මවක්ම මේ පරීක්ෂණය යොමු කරනවාද?

ගැබ් ගැනීමෙන් සති 10 – 25ත් අතර ඕනෑම ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු විය හැකියි. නමුත් අර පෙර සඳහන් කළ පරිදිම මේ පරීක්ෂණය මිල අධික පරීක්ෂණයක්. ඒ නිසා බොහෝ විට

  • පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්
  • පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණ වලින් අසාමාන්‍යතා ප‍්‍රවණතාවය වැඩි දරුවෙකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරුන්
  • පළමු ත්‍රෛමාසිකය තුළ දී අසාමාන්‍යතා හඳුනා ගැනීමේ අනෙකුත් පරීක්‍ෂණ ලබාගත නොහැකි වූ මව්වරුන්
  • නල දරු තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්
  • යම් යම් අවදානම් තත්ත්ව ඇති පරීක්‍ෂණ ප්‍රතික්ෂේප කරන මව්වරුන් මේ පරීක්ෂණයට යොමු කළ හැකියි.

අපේ රටේ මෙවැනි පරීක්ෂණයක් සඳහා රසායනාගාර පහසුකම් තියෙනවාද?

ඔව්. කොළඹ රසායනාගාරවල පහසුකම් තියෙනවා. ලංකාවේ වෙනත් ප්‍රදේශවල රුධිර එකතු කරන මධ්‍යස්ථානවලින් මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබාදීමට ගැබිනි මව්වරුන්ට හැකියාව තියෙනවා.

අධික මිලක් කියන්නේ සාමාන්‍ය ගැබිනි මවකට මේ පරීක්ෂණයට යොමු වීම අසීරුයි නේද?

මේ පරීක්ෂණය මින් පෙර ශ්‍රී ලංකාවේ සිදු කෙරුණේ නැහැ. රුධිර සාම්පල හොංකොං, ස්විස්ටර්ලන්තය කියන රටවලට යවලා තමයි වාර්තා ලබාගත්තේ. ඒ වෙද්දී රු.100,000/= කට ආසන්න මුදලක් වැය වුණා. ඒත් අද වෙද්දී අපේ රටේත් මේ පරීක්ෂණය සිදුකරන නිසා වැය වෙන්නේ රු. 40,000/= කට ආසන්න මුදලක්.

මෙවැනි මුදලක් සෑම අයෙකුටම දරාගන්න අපහසුයි. මේ වෙනුවෙන් කළ හැකි වෙනත් පරීක්ෂණයක් නැත්ද?

මේ හා සමානවම ප්‍රතිඵල නොලැබුණත් මෙවැනි අසාමන්‍යතා පිළිබඳව 80%ක ප්‍රතිශතයකින් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් හඳුනා ගත හැකියි. මූල්‍යමය අපහසුතා තියෙන මව්වරුන්ට ඒ සඳහා යොමු වෙන්න පුළුවන්.

NIPT පරීක්ෂණය මගින් තමන්ට ලැබෙන්න ඉන්න දරුවා අසාමාන්‍යතා සහිත දරුවෙක් බව තහවුරු වූ පසුව ක්‍රියාත්මක වෙන්නේ කෙබඳු වැඩසටහනක්ද?

ඩවුන්ස් සහලක්ෂණය වැනි අසාමාන්‍යතා දරුවෙකුගේ මානසික සංවර්ධනයට ඍජුව බලපෑම් කරනවා. වයසින් මුහුකුරා ගියත් එවැනි දරුවෙක්ගේ මනස කුඩා දරුවෙක් හා සමානයි. ඒ වගේම මෙවැනි දරුවන්ට ප්‍රතිශක්තිකරණ හැකියාවත් අවම විය හැකිය. ඒ වගේම හදවතේ සිදුරු වැනි තත්ත්වයන් ඇති විය හැකියි. එවැනි දරුවෙක් මොලොවට බිහිවීම ඒ දරුවාටත් මව පියා ඇතුළු පවුලේ සැමටත් විශාල දුකක් වේදනාවක්. ඒත් අපේ රටේ ගබ්සාව නීතිගත කර නොතිබීම නිසා මෙවැනි තත්ත්වයක් කලින් හඳුනාගත්තත් විසදුමක් නැහැ. වෛද්‍යවරු විදියට අපිට කරන්න පුළුවන් මේ තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිමත් බව වෙනුවෙන් මෙවැනි දරුවන්ගේ පවුල්වලට සවියක් වීම පමණයි.

 

 

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.

 

මොකද්ද මේ ඩවුන්ස් සහ ලක්ෂණය කියන්නේ

ලොව දැනට බහුල මන්ද මානසික තත්ත්වය විදියට හැඳින්විය හැකි ඩවුන්ස් සහ ලක්ෂණය ජානමය ගැටලුකාරී තත්ත්වයක් මත ඇති වන මන්ද මානසික තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. කලලය විකසනය වන අවස්ථාවේදී වර්ණ දේහ වැඩි හෝ අඩු වශයෙන් බෙදීම මෙයට හේතු වෙනවා.

ශුක්‍රාණු හා ඩිම්බ දෙමාපියන්ගේ ශරීර තුළ නිපදවීමේදී ඇති වන දෝෂයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී. ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයේදී මෙසේ සිදුවන්නේ 21 වන වර්ණ දේහය (Trisomi 21) සම්බන්ධවයි.

මෙවැනි දරුවන්ගේ මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගන්නා නිසා මොවුන් වයස අවුරුදු පහලොවක් විස්සක් වුවත් ඔවුන්නේ මානසික ක්‍රියාකාරීත්වය වයස අවුරුදු පහක පමණ දරුවෙකුගේ ආකාරයක් ගන්නවා.

ඩවුන්ස් සහ ලක්ෂණයට පත් වූ දරුවන්ට යමක් ඉගෙනීමේ ඇති නොහැකියාව (learning difficulties ) මූලිකව ඇති නමුත් සෞන්දර්ය විෂයයන් කෙරේ දැඩි ඇල්ම මෙන්ම හැකියාවකින්ද (නිරෝගී දරුවෙකු හා සමානවම නොවේ) යුක්තයි.

 

ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ

  • මානසික සංවර්ධනය පහළ මට්ටමක් ගනී
  • මුහුණෙන් අසාමාන්‍ය බවක් පෙන්වයි.
  • පැතලි නාසය
  • උඩු අතට ඇලට පිහිටි ඇස්/කුඩා නැමුණු කන්
  • අතේ සුලැඟිල්ල කෙටියි, පලලින් වැඩියි
  • පාදයේ පළවෙනි සහ දෙවෙනි ඇඟිලි දුරින් පිහිටයි
  • අත්ල හරහා තනි රේඛාවක් පමණක් ඇත
  • විවර වූ මුව (දිව පිටතට පැමිණ තිබේ)
  • කෙටි හා පළල් ගෙල

 

ඩවුන්ස් සහ ලක්ෂණ තත්ත්වයට පත් වූ දරුවෙකුට ඇති විය හැකි වෙනත් ආබාධ මොනවාද?

 

මානසික ආබාධ තත්ත්වයට අමතරව තවත් කායිත රෝග තත්ත්වයන්ද මෙවැනි දරුවන් පෙන්නුම් කරනවා.

  • හෘදය ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්ව
  • ඩිමෙන්ෂියා
  • දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාවේ දුර්වලතා
  • වියළ සම
  • ශ්‍රවණ ආබාධ
  • දෘෂ්‍ය ආබාධ
  • තෛයිරොයිඩ් ආබාධ
  • ආමාශය/බඩවැල් ආශ්‍රිත ගැටළු

ඩවුන්ස් සහලක්ෂණය සහිත දරුවෙක් ඉපදීමට අවදානම ඇත්තේ කුමන තත්ත්වවල සිටින මව්වරුන්ටද?

  • මව අවුරුදු 35ට වඩා වැඩි හෝ 25 ට අඩු නම් (ඩවුන්ස් සහ ලක්ෂණය ඇති දරුවෙකු බිහිවීමට ඇකි අවදානම 700 ට1යි)
  • පෙර ගැබිනි අවස්ථාවලදී වර්ණදේහ අසාමාන්‍යතා ඇති දරු උපතක් සිදුකළ මව්වරුන්
  • පළමු ත්‍රෛමාසික පරීක්‍ෂණ වලින් අසාමාන්‍ය ප්‍රවණතාවය වැඩි දරුවෙකු පිළිසිඳි බවට හඳුනා ගත් මව්වරු
  • නල දරු තාක්‍ෂණය හෝ දායක ඩිම්බ තුළින් ගැබ් ගත් මව්වරුන්

 

ගැබිනි මවකට ලැබෙන්න ඉන්න දරුවා ඩවුන්ස් සහ ලක්ෂණය සහිත දරුවෙකුද යන්න ප්‍රසූතියට පෙර දැනගන්න හැකියාවක් නැද්ද?

මේ සඳහා අද වන විට NIPT රුධිර පරීක්ෂණය ලංකාවේදීත් සිදු කෙරෙනවා. ඒ හරහා මේ තත්ත්වය හඳුනා ගැනීමට විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම NIPT පරීක්ෂණය තරම් නොවණත් NT ස්කෑන් පරීක්ෂණය හරහාත් යම්තාක් දුරකට මෙවැනි තත්ත්වයන්ට ඇති අවධානම හඳුනා ගත හැකියි.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ, වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සැකසූ ලිපියකි.

 

සිසේරියන් සැත්කම ගැන සරලව කෙටියෙන් දැනගනිමු

යම් යම් සංකූලතා මත සාමාන්‍ය ප්‍රසූතිය මගින් දරුවා බිහි කළ නොහැකි මව්වරුන් සැලසුම් සහගතව හෝ හදිසි සිසේරියන් සැත්කමට යොමු කෙරේ. එනම්,

  • වැදැමහ යටින් සවි වී තිබීම
  • ළදරුවා ඉතා කුඩා වීම
  • සාමාන්‍ය ප්‍රසූතියේදී දරුවා හිර වීම/හද ගැස්ම අඩුවීම
  • සාමාන්‍ය ප්‍රසූතියේදී මවගේ රුධිර පීඩනය ඉහළ යාම
  • මවට/දරුවාට හානිදායක හදිසි අවස්ථා
  • පෙර ප්‍රසූති සීසර් සැත්කමකින් සිදුකළ මවව්රුන්
  • උපත් මාර්ගය අවහිර වන අයුරින් වැදැමහ පිහිටා ඇති මව්වරුන්
  • උපත් මාර්ගය ප්‍රමාණවත් නොවන මව්වරුන්
  • දරුවා නිවැරදි ආකාරයට උපත් මාර්ගයට යොමු වී නැති මව්වරුන්

ශල්‍යකර්මයෙන් අනතුරුව

  • රුධිර වහනයක් ඇත්දැයි පරීක‍ෂා කිරීම
  • වේදනා නාශක ඖෂධ ලබාදෙනවා.
  • පැය 12 කට පමණ පසු මුත්‍රා පිටවීමට ඇති බටය ඉවත් කිරීම (දෙපාවල හිරි ගතිය පැය 4 ක් පමණ ගත වන විට පහව යන අතර) සිදු කරනවා.
  • සිසේරියන් සැත්කම සිදු කළ මව්වරුන් හැකි ඉක්මණින් ඇදෙන් බැස තනිව ඇවිදීම ඇරඹිය යුතුය.
  • සංකූලතාවයක් ඇති නොවුනහොත් දින 3 – 5 ත් අතර කාලයේදී නිවසට යා හැකිය.

කැපුම යෙදූ ස්ථානයේ

  • සම ඈත් වී ඇත්නම්
  • රුධිර වහනය/සැරව ගැලීමක් දිගින් දිගටම ඇත්නම්
  • පපුවේ වේදනාවක් ඇත්නම්
  • තුවාලය කැපුම වටා රත් පැහැව ඉදිමී ඇත්නම්
  • වේදනාකාරී නම්
  • උණ
  • නොනවත්වා රුධිරය වහනය (යෝනි මාර්ගයෙන්) ඇතිනම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

සිසේරියන් සැත්කමේ වාසි හා අවාසි

සිසේරියන් සැත්කම ළදරුවාට වාසි සහගතය. නමුත් මවට යම්තාක් දුරට අවාසි සහගතයි.

  • ප්‍රමාණයෙන් විශාල ළදරුවෙකු වුවත් කිසිදු ගැටලුවකින් තොරව බිහි කළ හැකිය.
  • සිසේරියන් සැත්කමට යොමු වුණු කාන්තාවකට ‍ඊළඟ ප්‍රසූතියේදී සාමාන්‍ය ප්‍රසූතියකට යොමු වීම අවදානම් (ගර්භාෂයේ කැලලක් ඇති නිසා සංකෝචනය වන පිට පිපිරී යාමේ අවදානමක් ඇත)
  • සැත්කමේදී බඩ වැල්, මුත්‍රාශය වැනි ස්ථානවලට හානි විමේ අවදානම්ක් පවතිනවා
  • පසු ප්‍රසව රුධිර වහනය වැඩියි.
  • සාමාන්‍ය දිවිපෙවෙතට හුරු වීමට වැඩි කාලයක් ගතවේ
  • කැපුම් තුවාල සුව වෙන තුරු වේදනාව පවතී
  • නැවත ගැබ්ගැනීමකදී ප්ලැසෙන්ටා ප‍්‍රීවියා, ප්ලැසෙන්ට ඇකී‍්‍රටා තත්ත්වවලටගොදුරු වීමේ අවදානම

සිසේරියන් සැත්කමට භාජනය වූ ඔබ

  • සාමාන්‍ය පරිදි ඇවිදින්න
  • සති 2 ක් පමණ යන තුරු බර එසවීම නොකරන්න
  • අනවශ්‍ය ලෙස පඩිපෙල භාවිත නොකරන්න
  • තුවාලය පිරිසිදුව තබාගන්න (පිරිසිදු කළ පසු වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කරන්න)
  • සැත්කමෙන් සති හයකට පසුව මවගේ කැමැත්ත මත සුදුසු උපත් පාලන ක්‍රමයක් යොදාගන්න (දරුවන් දෙදෙනෙකු අතර පරතරය අවම අවුරුදු දෙකක්වත් විය යුතු අතර ඔබේවෛද්‍යවරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න)
  • කොන්දට ලබා දෙන එන්නත නිසා කොන්දේ වේදනාවක් ඇති වන බවට ඇත්තේ දුර්මතයකි. එසේ සිදුවන්නේ ඔබ නිවැරදි ඉරියව් භාවිත නොකිරීම නිසා බව සිහිතබාගන්න.

කෙසේ වුවද අද වන විට සිසේරියන් සැත්කම බොහෝ සෙයින් ප්‍රචලිතව ඇති අතරම මව්වරුන් ප්‍රසූතිය සඳහා තමාව සිසේරියන් සැත්කමට යොමුකරන මෙන් ඉල්ලා සිටින අවස්ථාද වේ. ඔබ සාමාන්‍ය ප්‍රසූතිය මගින් දරුවා බිහිකළ හැකි තත්ත්වයක සිටී නම් නිකරුණේ සිසේරියන් සැත්කමට යොමු වීමෙන් වළකින්න.

 

බලපිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

 

පුංචි හිතට සතුට ගෙනෙන නත්තල් ගස

නත්තල් සැරසිලි සමග දරුවන්ගේ නෙත් ඉබේටම ඇදෙන්නේ ‘‘නත්තල් ගහ“ දිසාවටයි.පොඩි හිතට සතුට ගෙනෙන තෑගි වගේම වර්ණවලින්. විදුලියෙන් අලංකාර වුන නත්තල් ගහේ ආරම්භයේදී නම් මේ තරම් විසිතුරක් තිබුනේ නැහැ.

මුල්ම වතාවට නත්තල් ගහ පිළිබඳ සංකල්පය ඇති වුනේ මෙහෙමයි. ජර්මානු ජාතිකයෙක් දීප්තිමත් කොළ පැහැයෙන් බබලන ගසක් කපා ගෙන නිවසට ගෙන ගොස් ඒ අබියස වන්දනාමාන කිරීමට පටන් ගත්තා.ක්‍රි.ව 700 දී පමණ මේ ගස හඳුන්වනු ලැබුවේ ‘‘ක්‍රිස්තු ගස “^christ tree) යනුවෙනුයි.ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කිරීම වෙනුවෙන් යොදා ගන්නා ලද නත්තල් ගස උන්වහන්සේ ජීවමානව සිටින්නා සේ විශ්වාස කරනවා.

මේ තවත් ජනප්‍රවාදයක්..

ක්‍රි.ව 719 දී ශාන්ත බොනිෆස් තුමා ජර්මනියට පැමිණි අතර එතුමා විසින් ජර්මානු ජාතිකයන්ට වන්දනාමාන කිරීම පිණිස ගසක් කපා දමන ලදී.මිනිසුන් මිථ්‍යාවන්ට යොමු වෙන නිසා බොනිෆස් තුමා විසින් ගසක් කපා දැම්මත් එතැනින් සුදු ලොම් සහිත ගසක් මතු වුණා. මේ ප්‍රාතිහාර්ය නිසා ඒ ගස ඇදහීම එතැන් පටන් ආරම්භ වුණා.

බ්‍රතාන්‍යෙය් නත්තල් ගස

බ්‍රතින්‍ය ජාතිකයන් විසින් පවුගේ සියළු දෙනාම අත ගසා එක් අත්තක් නිවස තුළට ගන්නවා. මෙය ‘‘Yule log“ සම්ප්‍රදාය යනුවෙන් හැදින්වෙනවා.මේ අත්ත ගිනි උදුනක් ඇති තැනක තබනවා. ඒ අළු සහ අඟුරු නිවසට ආරක්ෂාවක් ලෙසින් සැලකෙනවා.

ස්පාඤ්ඤය

ස්පාඤ්ඤ ජාතිකයන් නත්තල් ගස ඉදිකටුවලින් සරසනවා.එවිට යක්ෂ ආත්ම පලවා හැරීමේ හැකියාව ඇතැයි අදහස් කරනවා.

බටහිර ජර්මනිය

අද අපට පුරුදු නත්තල් ගසේ ආරම්භය බටහිර ජර්මනියේ උපත ලබා තිබේ. මධ්‍යකාලීන නාට්‍යක් අනුව ‘‘ආදම් “ සහ ‘‘ඒව“ පුවත වස්තු කර ගෙන මේ සංකල්පය බිහි වුන  අතර ‘‘ඒඩන් “උද්‍යානයේ පාරාදීසියේ ගස විදිහට යොදා ගෙන තිබුනේ නත්තල් ගසයි.

කාලයක් යන විට දෙසැම්බර් 24 වැනි දා ‘‘පාරාදීසියේ ගස “ ලෙසින් හැම නිවසකම නත්තල් ගසක් ඉදි කරනු ලැබුවා. එදිනට ඇපල්වලින් මේ ගස සරසනු ලබනවා. එයින් නිරූපනයවන්නේ තහනම් ගසේ ගෙඩි කෑමේ සංකල්පයයි. රතු සහ කොළ ඇපල් මේ වෙනුවෙන් යොදා ගන්නා අතර මේ අවස්ථාව ‘‘Christmas Eve “යනුවෙන් සලකනු ලැබේ.

රෝම ජාතිකයන් නත්තල් ගස යොදා ගත්තේ ‘‘සැටර්න් ““ දෙවියන්ගේ උත්සවය වෙනුවෙන්. මේ සදහා සදාහරිත හාඛ යොදා ගත් අතර ගස තහඩු කැබලිවලින් සරසන ලදී. ශීත සෘතුවේ උත්සවය ලෙසින් මේ අවස්ථාව හදුන්වන ලදී.

16 වන සියවස වෙන විට නත්තල් ගස අද දක්නට ලැබෙන අන්දමින් තෑගි බෝග එල්ලා අලංකාර විය.1605 වසර වෙන විට මනාව සරසන ලද නත්තල් ගසක් ගැන ජර්මනියේ ‘‘ස්ට්‍රාස්බර්ග් “ නගරයෙන් වාර්තා වේ. එම ගස කඩදාසි රෝස මල් සහ රසකැවිලිවලින් අලංකාර කරන ලදී. ජේසු තුමාගේ එඬේර යෂ්ටිය සිහිපත් කිරීමට ‘‘සීනි කෙවිට““ යොදා ගෙන තිබේ. 19 වැනි සියවසේදී ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ වාසය කළ රසකැවිලි වෙළෙන්දෙක් යෂ්ටිය ඉංග්‍රිසි ‘‘j“ අකුරක හැඩයෙන් නිර්මානය කළ අතර එයින් ජේසු තුමාගේ නම අර්ථවත් විය.

නත්තල් ගසට රතු මේස් කකුල් එල්ලන්නේ ඇයි…?

නත්තල් ගසට රතු මේස් කකුල් එල්ලන්නේ ශාන්ත නිකුලස්තුමා විසින් දුගී දැරියන්ට ත්‍යාග පිරිනැමීමේ සිදුවීම සිහිපත් කිරීමටයි. එතුමා දුගී දියණිවරුන් වෙනුවෙන් තෑගි දමා එම නිවසේ දුම් කවුළුවක් අතරින්ය. ඒ මුදල් තෑගි වැටී තිබුනේ දර මැස්සේ එල්ලා තිබුන රතු මේස් කකුලකටයි. එම සිදුවීම සිහිපත් කිරීම පිණිස රතු මේස් කකුල් නතත්ල් සැරසිලි අතරට එක්ව තිබේ.

ජේසු තුමාගේ උපත සමග බැදුන වල්ගාතරු සිහිපත් කිරීමට නත්තල් සැරසිලි අතරට එක්ව තිබේ. මාර්ටින් ලූතර් පියතුමා විසින් නත්තල් ගස සංකේතවත් කිරීමට ඉටිපහන් යොදා ගන්නා ලදී.මෙම ඉටිපහන් රතු සහ සුදු වර්ණවලින් යුක්තයි.මෙම සිරිත ජර්මනියෙන් ඇමරිකාවටත් ,එතැනින් ඇමරිකාවටත් සංක්‍රමනය විය.  අද ඒ වෙනුවෙන් විදුලි බුබුලු යොදා ගැනේ.

නතත්ල් සැමරුම වෙනුවෙන් නත්තල් ගස 18 වන සියවසේදී සම්බන්ධ කර ගෙන ඇති අතර 19 වන සියවස වෙන විට වික්ටෝරියා රැජිනගේ ස්වාමිපුරුෂයා වූ ඇල්බට් කුමරු විසින් නත්තල් ගස බ්‍රිතාන්‍යයට හදුන්වා දී තිබේ.එහිදී වින්ඩ්සර් කාසල් රජපවුල විසින් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් ගස යොදා ගෙන තිබේ.

1851 වසර වෙන විට නත්තල් ගස වෙනුවෙන් වාණිජ මුහුණුවරක් ලැබී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ‘‘කාට් කීල්ස් “ විසින් මෙම නත්තල් ගස නිව්යෝක් නගරයට ගොස්  අලෙවි කරන ලදී. 1880 වසර වන විට ජර්මනිය තුළ පැවැති යුධමය වාතාවරණය නිසා ගස් කැපීම තහනම් වූයෙන් කෘතිම නත්තල් ගස් සමාජගත වී තිබේ.

ඔබේ ළදරුවාට මව්කිරි මෙතරම්ම වැදගත් වන්නේ ඇයි?

දස මසක් පුරා කුස තුළ අම්මාගෙන් පෝෂණය වූ කිරිකැටියා මෙලොවට බිහිවීමත් සමග එම පෝෂණ මාර්ගය නතර වන අතරම එතැන් පටන් දරුවා පෝෂණය වන්නේ අම්මාගේ කිරෙනි. මන්ද මොලොවට බිහි වූ විගස කිරිකැටියෙකුගේ සිරුර ආහාර මගින් පෝෂණය වීමට අවශ්‍ය පරිදි සකස් වී නොමැත. අන්න ඒ නිසාම සොබා දහමේ අපූර්වත්වය කියාපාන්නට මෙන් දරුවෙකු බිහිකරන සෑම මවකටම තම දරුවා පෝෂණය කිරීමට මව්කිරි නිපදවීමේ හැකියාව ලබා දී ඇත.

මව්කිරි නිපදවීමේ ක්‍රියාවලිය

අම්මාගේ මොළයේ පිහිටා ඇති පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය විමෙන් ප්‍රෝලැක්ටීන් නම් හෝමෝනය ස්‍රාවය වන අතරම එමගින් මවගේ පියයුරේ ඇති කිරි නිපදවන ග්‍රන්ථියේ බිත්තියේ ඇති සෛල උත්තේජන කරයි. එමගින් කිරි නිපදවීම ආරම්භ වේ. ප්‍රෝලැක්ටීන් හෝමෝනය ශ්‍රාවය වන ප්‍රමාණය මත නිපදවෙන කිරි ප්‍රමාණය තීරණය වේ.

දරුවා කිරි උරා බීම, හැඬීම, දැකීම, මවගේ සිරුරේ ස්පර්ශ වීම වැනි තත්ත්ව මවගේ ප්‍රෝලැක්ටීන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීමට හේතු වේ. එසේම රාත්‍රියට ප්‍රෝලැක්ටීන් හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වේ.

මවට ඇති වන අසතුට, වේදනාව, ඍණාත්මක සිතුවිලි හේතුවෙන් ප්‍රෝලැක්ටීන් හෝමෝනය ශ්‍රාවය වීම අඩු විය හැකිය. කෙසේ වුවද මවගේ වයස, සිරුරේ ප්‍රමාණය, පියයුරුවල ස්වභාවය, පියයුරුවල ප්‍රමාණය කිරි නිපදවීමට කිසිලෙසකින් බාධාවක් නොවේ.

මව්කිරි ලබාදීම

ප්‍රසූතියෙන් පසු පැයක් ඇතුළත ළදරුවාට මව්කිරි ලබා දීම සිදු කරන අතරම මේ සඳහා මවට රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම සහයෝගය ලැබෙනු ඇත. මෙහිදී නිවැරදිව දරුවා පියයුරට ස්ථිපිත කිරීම සම්බන්ධයෙන් මව දැනුවත් වීය ඉතා වැදගත් වේ.

දරුවාට කිරි පෙවීමේදී දරුවාගේ මුව තුළට තන පුඩුව පමණක් නොව ඇරියෝලාවෙන් (පියයරේ කලු පැහැති කොටස) වැඩි කොටසක් ඇතුළත් විය යුතුය. දරුවාගේ මුව හොඳින් විවර වී යටි තොල පිටතට පෙරලී තිබීම දරුවා නිවැරදි ලෙස පියයුරට සම්බන්ධ වී ඇති බවට හොඳ සාධකයකි.

ළදරුවා වෙත පියයුර ළං කළ විට ළදරුවා කිරි ඉරීමට පටන් ගන්නා අතරම ඒ හා සමගම මවගේ මොලයේ පිටියුටරි ග්‍රන්ථියේ අපරභාගයෙන් නිපදවෙන පෝලැක්ටින් හෝමනය ශ්‍රාවය වී කිරි නිපදවීමට පටන් ගන්නා අතරම ළදරුවා හොඳින් කිරි උරා බීමේදී කිරි නිපදවීමත් ගලා ඒමත් හොදින් සහ වේගවත්ව සිදු වේ.

ළදරුවෙක් දිනයකට වාර හත අටක්ම කිරි උරා බොයි. ළදරුවාට ලබාගන්නා කිරි ප්‍රමාණවත් බවට හොඳම සාධකය වන්නේ වාර හත අටක්වත් දිනකට මුත්‍රා පිටකිරීමයි. එසේම දරුවාගේ වර්ධන සටහනට අනුව නිසි පෝෂණයක් සිදුවනවාද යන්න පිළිබඳව දැනුවත් විය හැකියි.

මව්කිරෙහි අන්තර්ගත පෝෂක පිළිබඳව

මවගේ රුධිරයෙන් නිපදවෙන ජීවී දියරයක් වන මව්කිරෙහි රුධිරගත රතු රුධිරාණු හැර සුදු රුධිරාණු ඇතුළු අනෙකුත් ජීවී සෛල සියල්ල අන්තර්ගතය. මවගේ පියයුරෙන් මුලින්ම ශ්‍රාවය වන කොලෙස්ට්‍රම් ලා කහ පැහැති ඝනකම ශ්‍රාවයකි. මෙය ශ්‍රාවය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුවත් ළදරුවා ඒ හරහා ලබාගන්නා පෝෂණය සහ රැකවරණය ඉතා ඉහළයි.

  • විටමින් ඒ බහුල කොලෙස්ට්‍රම් දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කර බෝවන රෝගවලින් රැක ගනී.
  • නොමේරූ ආන්ත්‍රය මත ආස්තරයක් සේ පැතිර උදරය වෙත ඇතුළු වන බැක්ටීරයා විනාශ කරයි.
  • විරේකයක් ලෙසද ක්‍රියා කරමින් කලු පැහැති මළපහ සිරුරින් බැහැර වීම ඉක්මන් කර පිත්ත ලවණ අවශෝෂණය කරගැනීමට සහය වේ.

මව්කිරිවල ස්වභාවය මෙන්ම සංයුතිය

මව්කිරිවල ස්වභාවය මෙන්ම සංයුතිය වරින් වර වෙනස් වේ. ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් ලෙස කිරිකැටියාට මුලින්ම ලැබෙන කිරි වල 90% ක ප්‍රමාණයක්ම ජලය ඇති අතරම එමගින් සිරුරට අවශ්‍ය ජල ප්‍රතිශතය ලබා දීමත් මුත්‍රා පිටවීමත් සිදුකෙරේ. දෙවනුවට ශ්‍රාවය වන කිරි සුදු පැහැති මෙන්ම ඝණකමින් යුක්ත කිරි දරුවාගේ වර්ධනයට දායක වන්නේ පෝෂණයට සඳහා අවශ්‍ය මේදය සහ ප්‍රෝටීන ලබා දෙමිනි. මේ දොකොටසින්ම දරුවෙකුට අවශ්‍ය සියලු දේ හිමි වන නිසා එක් පියයුරකින් අවසන් වන තුරු කිරි ලබා දීම අත්‍යවශ්‍යය.

මව්කිරිවල ලැක්ටෝස් සහ ලිපිඩවලට අමතරව තවත් එක් සුවිශේෂී ව්‍යූහාත්මකව විවිධ වූ ඔලිගොසැකරයිඩ වර්ග අන්තර්ගත වීම දැක්විය හැකියි. මෙම මව්කිරිවල අන්තර්ගත වන ඔලිගෝසැකරයිඩ, (HMO – Human Milk Oligosaccharides) සුවිශේෂී සංඝටක වර්ගයක් වන අතරම, ළදරුවාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීමට ද සැමවිටම සහය වේ. මෙය මව්කිරිවල පමණක් අන්තර්ගත වුවද, අද වන විට විද්‍යාවේ දියුණුවත් සමගම ඇතැම්  ළදරු නිෂ්පාදන සඳහාත් යොදා ගැනීමට හැකියාව ලැබී ඇත.

මව්කිරෙන් මවට මෙන්ම දරුවාට ලැබෙන වාසි

  • මවත් දරුවාත් සතුටෙන් තබයි.
  • රුධිර වහනය අවම වේ.
  • පසු ප්‍රසූති සමයේ ඇති විය හැකි මානසික ව්‍යාකූලතා අවම කරයි.
  • මවට අධික තරබාරු බවින් වළක්වාලයි (මව‍ගේ සිරුරේ තැම්පත්ව ඇති මේදය බවත්වන නිසා)
  • පසුකාලීනව මවට ඇතිවිය හැකි පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සහ අස්ථි දුර්වල වීම වැනි දේ පිළිබඳව ඇති අවධානම අවම කරයි.
  • ළදරුවා තුළ කුසගිනි නිවා ගැනීමට තමා වෙහෙස විය යුතුය යන සිතිවිල්ල වර්ධනය වේ
  • කුස පිරුණු විට පියයුරෙන් ඉවත්වන ළදරුවා වයසින් වැඩෙත්ම ඇති පමණට පමණක් ආහාර ගැනීමට හුරු වන අතරම එය අධික තරබාරුව, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වැළක්වීම දායක වන සංකල්ප වේ
  • මව් කිරී බී වැඩෙන බිළිදෙකු ශාරීරිකවත් මානසිකවත්හොඳ පෝෂණයක් ලබයි.

ලිංගික අධ්‍යාපනය දරුවන්ට අවශ්‍යමද?

පුංචි දරුවෝ ජීවිතය ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්. අපේ සමාජය තුළ මව්පියන් සිය යුතුකම් අකුරටම ඉටු කළත් ඔවුන්ට මඟහැරෙන, ඇත්තටම කිව්වොත් ඇතැම් විට හිතා බලාම මඟ හරින පැතිකඩක් විදියට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම කියන පැත්ත දක්වන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් දරුවෙක් තමන්ගේ පෞද්ගලික අවයවයන් දෙස බලන්න යොමු වන්නේ වයස අවුරුදු දෙක වෙනවිටයි. මේ වයසේ දරුවෝ තමන්ගේ ශරීරය දෙස කුතුහලෙන් බලන්න පටන් ගන්නවා. තමන්ට සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඒ අයගේත් පෞද්ගලික ප්‍රදේශ දිහා කුතුහලෙන් බලන්න පටන්ගන්නවා.

 

මේ වයසේ දරුවන්ට මුහුකුරා ගිය බුද්ධියක් නැති වුනත්, එයාලගේ පෞද්ගලික අවයව එයාලටම  පමණක් අයිති දෙයක් බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කරවීම වැඩිහිටි අපේ වගකීමක්. ඒ වගේම වයස අවුරුදු 3 – 4 වෙද්දී තමන්නේ මේ අවයව නම් වශයෙන් හඳුනා ගන්න උදව් කිරීමත් ඒ වගකීම් අතරින් එකක්.

 

තම පෞද්ගලික ප්‍රදේශ වෙනත් අය ස්පර්ෂ නොකළ යුතු බව දරුවන්ට අවබෝධ කළ යුත්තේ ඇයි?

 

ඇස්, කන,නාසය, දිව සහ සම වගේම ලිංගික අවයවයනුත් මනුස්සයන්ගේ සංවේදක අවයවයන්. රස, සුවඳ අත් දකිනවා වගේම දරුවන් ක්‍රමයෙන් ස්පර්ශයෙන් සතුටක් ලබන්න පෙලබෙන එක සාමාන්‍ය දෙයක්. අපි වැඩිහිටියෝ විදියට වගකීමක් ඇතිව අපේ හැසිරීම් දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ දරුවන්ගේ හැමදේටම, මග පෙන්නමින් අවවාද කරන නිසා ඔවුන් සිතන්නේ දෙමාපියන් කරන හැමදේම නිවැරදි බවයි. ඒ නිසාම මේ දරුවෝ අම්මයි තාත්තයි කරනවා නම්, මටත් තව කෙනෙක් එක්ක එබදු දෙයක් කිරීම වරදක් නැතැයි  සිතන්න පෙළඹෙනවා. ඉතින් අපි දරුවන් තමන්ගේ පෞද්ගලික අවයව ගැන දැනුවත් කිරීමෙන් සහ ඒවා අන් අයගෙන් ආරක්ෂා කරන්න කියා දීමෙන් දරුවන්ට වෙන්න පුළුවන් මහා ව්‍යයසනයන්ගෙන් ඔවුන්ව බේරාගත හැකියි.

 

ඉතින් අවුරුදු දහයේ පමණ සිටම දරුවෙක්ට ලිංගික අධ්‍යාපනය දීම ඉතාම වැදගත්. එය ඉතා මූලික කාරණාවලින් පටන් ගෙන ක්‍රමත් ක්‍රමයෙන් වයසට අනුකූලව පහදා දිය යුතුයි. උදාහරණයක් විදියට අවුරුදු දහය කියන්නේ දරුවෙක් බොහෝවිට අනෙක් දරුවන් සමග තමන්ගේ කුතුහලය බෙදාහදා ගන්න කාලයයි. ඒ කාලය තුළ ඔවුන්ට පූර්ණ විස්තර නැති වුවත්, දෙදෙනෙක් අතර ලිංගික ක්‍රියා සහ මුලින්ම වැඩිහිටියෙක් වූ පසු පමණක් කළ යුතු බව අවබෝධ කර යුතුයි. ඒ ඔවුන් තමන්ගේ කුතුහලය ගවේෂණාත්මකව අනෙක් අය මාර්ගයෙන් විසඳගන්න පෙළඹිය හැකි නිසයි. ඒ වගේම වයස අවුරුදු 13 – 14 සිටම ගැබ් ගනීමේ අවදානම, සමාජ රෝග සහ අකාලයේ ජීවිතය අවදානමේ දැමීමෙන් තමන්ගේ ජීවිතයට වෙන අනතුරු පිළිබඳව දරුවන්ට  පහදා දිය යුතුයි.

 

දරුවා ස්වයං වින්දනයේ යෙදෙනවා දුටුවොත් ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

 

වයස අවුරුදු හතරක ඔබේ දරුවා තම රහස් ප්‍රදේශ අල්ලා ඒවා ගවේෂණය කිරීමත් වයස අවුරුදු දහයේ දරුවා එයින් තෘප්තියක් ලබනවා දැකීමත් දෙමාපියෝ විදිහට ඔබව ඉතාම පීඩනයකට යටත් කරවන කරුණත් විය හැකියි.

 

දරුවන් ළමයින් ස්වයං වින්දනයට පෙළඹෙන්නේ ඇයි ?

පෙර සදහන් කළ පරිදිම දරුවන් ස්පර්ශයෙන් ආස්වාදයක් ලබන්න පෙළඹෙන්නේ වයස අවුරුදු 4 – 5 අතරම කාලයේදී වුවත් එය සම්පූර්ණ ක්‍රියාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අරඹන්නේ වයස අවුරුදු 10 පමණ වන විටයි.

 

මෙවැනි අවස්ථාවකදී දරුවාට කෑගසා බැන වැදීමෙන් දරුවාගේ සිතේ විශාල ලැජ්ජාවක්, ආතතියක් ඇති කරවී දෙමාපියන් වෙත මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්වුවහොත් එය දරුවාට තදබල මානසික කම්පනයක් විය හැකියි. එය ඔබ සමග තිබෙන බැඳීම පලුදු වී තව දුරටත් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රශ්න ඔබ සමග බෙදා නොගැනීමට තරම් හේතුවක් විය හැකියි. ඒ නිසා කලබලයට පත්ව දරුවා අසරණ කිරීම නොව ඉතාම කල්පනාකාරීව ඉවසීමෙන් සහ ආදරයෙන් දරුවාට පහදා දිය යුත්තේ,

  • එය ඉතාම ස්වභාවික දෙයක් බවත්
  • ඒ දෙය කිරීම ගැන ලැජ්ජා හෝ කම්පා නොවිය යුතු බවත්
  • මව/පියා සමග ඕනෑම වෙලාවක ඒගැන කතා කිරීමට අවසර ඇති බවත්
  • විශේෂයෙන්ම එය අන් අය ඉදිරියේ නොකළ යුතු බවත් යන කරුණුය.

 

මේ සම්බන්ධයෙන් ඔබ තහංචි බාධක දැමීම දරුවන් තව දුරටත් ඒවා රහස් වශයෙන් සඟවා තබගැනීමටත් මෙවැනි ක්‍රියාකාරකම් අනාරක්ෂිත අයුරින් අන් අය සමගත් අත් හදා පෙලඹීමටත් හේතු විය හැකියි.

 

මේ සියලු දේ ගැන දැනුවත් කළද ඕනෑම දරුවෙක් වයස අවුරුදු 10 සිට මොනයම් හෝ ලිංගික ගවේෂණයක නියැලීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම වැඩිහිටියන් ලෙස අපි සැලකිලිමත් විය යුත්තේ දරුවන් වැඩිහිටියන්ගෙන් අපයෝජනයට ලක් වීම වැලක්වා ගැනීම සම්බන්ධවයි.

 

බොහෝ රටවල අවුරුදු 14 ඉහළ දරුවන්ට තමන් ගැන තීරණ ගැනීමට නීතියනකූලව අවසර ලැබුණත්  අවුරුදු 18 වඩා අඩු දරුවෙක් අවුරුදු 18 වැඩි පුද්ගලයෙක් විසින් ලිංගික ක්‍රියාවලට ලක්කිරීම බොහෝ රටවල නීති විරෝධීයි. ඒ නිසා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හැම විටම තමන් විසින් දැඩිව තහවරු කළ යුතුයි. එය එසේ වුවද නව යොවුන්වියේ සමකාලීනයන් සමග ප්‍රේම සම්බන්ධතා සහ ලිංගික ගවේෂණ කිරීම බොහොම සාමාන්‍ය දෙයක්. අපි ඔවුන් දැනුවත් කළ යුත්තේ උපත්පාලන ක්‍රම, අනාරක්ෂිත ස්ථාන (Hotel Rooms) සහ සමාජ රෝග සම්බන්ධවයි.

 

මේ තත්ත්වයන් මෙසේ වුවද සෙනෙහසින්, ගෞරාවාන්විතව ඔබ සහ දරුවන් අතර ගොඩනගා ගන්නා ආරක්‍ෂිත බැඳීම මත දරුවන්ගේ අභිමානය රැකගනිමින් ජීවිත ගමන් මගට පහන් ටැබැක් සේ පාර කියන්න ඔබටත් හැකිවේවි.

 

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

 

අද දරුවා හෙට ලෝකයේම නායකයා බවට පත් වෙනු ඇති.

අද දරුවා හෙට ලෝකයේම නායකයා බවට පත් වෙනු ඇති.එය අනිවාර්ය සංසිද්ධියකි.ඒ වුනත් ඔබේ දරුවා අද දවසේ හැඩගසන, හික්මවන සහ ශාරිරික ලෙසින් මෙන්ම මානසිකව ගොඩ නැගීම ඉතාම වැදගත්. ඔබේ දරුවාට නිසි හැඩගැස්ම අද දවසේ ලබා නුදුන් විට හෙට දිනයට ජීවත්වීමට අවශ්‍ය පෞරෂය තුළ නොමැතිව දරුවා බෙහෙවින් පසුගාමී චරිතයක් බවට පත් වෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ පෝෂණය පමණක් නොව දැණුම, ආකල්ප සහ කුසලතාවයන්ගෙන් දරුවා ගොඩ නගා ගැනීමත් අනිවාර්යෙන්ම සිදු වුනොත් ඉතාම යහපත් අන්දමින් ඔබේ දරුවා හෙට දවසට පියනගනු ඇත. එසේ නම්…පහත දැක්වෙන අන්දමින් ඔබත් කටයුතු කරන දෙමව්පියන් වීම වැදගත්.

 

  • දරුවන් අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම

අපි ඉතින් කාටවත් කරදැයක් නැහැ. අපේ පාඩුවේ ගේට්ටුවත් වහගෙන ඉන්නවා. අහල පහල කා එක්කවත් ආශ්‍රයක් නහැ. මේ වගේ සිතුවිල්ලෙන් ඔබත් තෘප්තිමත්ව කතා කළත් ඒ තත්වය ටිකක් වෙනස් කරන්න වෙනවා. අපි කාටවත්ම හුදෙකලාව ජීවත්වීම එතරම් සුබදායක නැහැ. ඒ නිසාම යම් පමණකින් සමාජ සම්බන්ධතාවයන් තබා ගැනීමත් අවශ්‍ය වෙනවා. මෙය දරුවන්ගේ ජීවිතයට ඉතා හොද බලපෑම් ගොඩ නගන බැව් මනෝ විද්‍යාඥයින්ගේ අදහසයි. අසල්වැසියන් සමග ගැටෙනවා වෙනුවට තමන්ගේ පාඩුවේ ජීවත්වීම වඩාත් හොඳ බව ඔබ සිතුවත් යම් තරමකින් හෝ අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම දරුවන්ගේ ජීවිතයට ශක්තියක් බව අමතක කරන්න එපා.

  • ගෙදර දොර වැඩ පුරුදු කරන්න

දරුවන්ට තමන්ගේ වැඩ තමන් කර ගැනීමට ඉඩ දීම වගේම ගෙදර දොර වැඩත් යම් තරමකින් හෝ ඔවුන්ගේ වයසේ පමණට කර ගැනීමට පුරුදු කරන්න.පිරිමි දරුවන්ට වුනත් හදිසියේවත් බතක්, සම්බෝලයක් හසා ගැනීමට පුරුද්දක් තිබුනොත් වරදක් නැහැ.ඊට හේතුව කොයියම් මොහොතක හෝ ඔවුන්ට නිවසේ අවශ්‍යතාවයකදී තමන්ගේ දැනුමෙන් ප්‍රෙයා්ජන ලබා ගැනීමට හැකියාව ලැබේවි.

  • ප්‍රංශසාව වැදගත්

දරුවන් හොද දෙයක් කළ විට ඒ වෙනුවෙන් ප්‍රංශසාව ලබා දෙන්න. දරුවා නොගැලපෙන දෙයක් කළ විට දොස් නගනවාට සමගාමී විදිහටම යහපත් දෙයක් කළ විට ඒ වෙනුවෙන් ප්‍රශංසාව ලබා දීම ඉතාම වැදගත්.

  • ඉහළ බලාපොරොත්තු දෙන්න

මිනිසුන් ජීවත් කරන්නේ බලාපොරොත්තුව බව ඇත්ත. අපේ හිතේ නිතරම හෙටක් ගැන බලාපොරොත්තු තිබෙනවා.දරුවන්ගේ හිතටත් මේ බලාපොරොත්තුව ලබා දීම වැදගත්. හෙට දවස ඉතාම රසවත්ව ගත කිරීම ගැන බලාපොරොත්තු ලබා දෙන්න. එවිට දරුවා ජීවිතයේ හෙට දවස වෙත තමාගේ දෑස් දල්වාගෙන ජීවිතය ගොඩ නගා ගනු ඇත.

  • පොත්පත් කියවීම, ප්‍රෙහලිකා පිරවීම පුරුදු කරන්න

දරුවෙක් ශාරිරිකව පෝෂණය කරන අන්දමින්ම ඔවුන්ගේ දැනුම සහ කුසලතාවයන්ගෙන්ද පරිපුර්ණ කිරීම ඉතාම වැදගත්. ඒ නිසා පුංචි කාලයේ පටන්ම පොත් පත් කියැවීමට දරුවා හුරු කරන්න. පුංචි පුංචි ප්‍රෙහලිකා, තේරවිලි, ගණිත ගැටුලු ආදිය දරුවාට ලබා දෙන්න. මොළයේ ක්‍රියාකාරිත්වය සංවර්ධනය සදහා මෙවැනි කටයුතු ඉතාම වැදගත්. ඒ නිසා පුංචි වයසේ පටන්ම මෙම ක්‍රියාකාරකම් ආරම්භ කිරීම ඉතාම ඵලදායකයි.

  • නිර්මානශීලී වෙන්න

දරුවන් නිර්මානශීළී බව මුලින්ම තේරුම් ගන්නේ අම්මා..තාත්තා..ඒ නිසා බාලකාලයේ පටන්ම දරුවාගේ නිර්මානශීලී කුසලතාවයන් අවදි කරන්න. සමහර විට දරුවා ගීත ගායනය, රංගනය, අනුකරණය, ලිවීම වැනි විවිධ හැකියාවන් තිබෙන්න පුලුවන්. ඒ නිසා දරුවාගේ නිර්මානශීලීබව අවදි කිරීමත් වැදගත්.

  • සිරිත් විරිත් හා චාරිත්‍ර

දරුවන්ට සිරිත් , විරිත් හා චාරිත්‍ර පුරුදු කිරීමේ හොඳම තෝතැන්න නිවසයි. සිංහල අලුත් අවුරුදු කාලයේදී අදාල චාරිත්‍ර, වෙසක් සමයේදී සීල සමාදාන වැඩ සටහන් ආදියට දරුවා සම්බන්ධ කරන්න. ආගන්තුකයෙක් පැමිනි විට, ආගන්තුක තැනකට ගිය විට, පාසල, පන්සල ආදි තැන්හි හැසිරෙන අන්දම ගැන දරුවා දැණුවත් කිරීම පමණක් නොව ප්‍රාෙයා්ගිකව  ඔවුන් හැසිරෙන අන්දම ගැන අවධානයෙන් සිටින්න. මෙහිදී  න්‍යාය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. දරුවන් යනු එතරම් දැනුම් තේරුම් සහිත කණ්ඩායමක් නොවන නිසා වැරදීම් වීමට තිබෙන අවස්ථාවන් ඉතා ඉහලින් ඇති නිසා ඔවුන් දෙස අවධානයෙන් බලා සිටීම සහ වරද දුටු විට නිවරැදි කිරීම වැදගත්.

  • දෙමව්පියන් සතුටින් සිටින්න

දරුවන්ගේ සතුට දෙමව්පියන්ගේ සතුට සේම, දෙමව්පියන්ගේ සතුට දරුවන්ගේ සතුටයි. ඒ නිසා නිතරම මත ගැටුම්, අඬවැඬියාවන් සහිත නිවසේ පරිසරය දරුවාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. පියා මත්පැන් පානය කොට නිවසට පැමිණ මව සමග අඩදබර වෙනවා නම්, පවුලේ එකම නිවස යට ජීවත්වෙන පිරිස් අතර විවිධ හැලහැප්පීම් ඇති වෙනවා නම් එයින් වඩාත්ම පීඩාවට පත් වෙන්නේ දරුවා බව තරයේ සිහියේ තබා ගැනීම වැදගත්.

  • නීරෝගීබව

දරුවාගේ නිරෝගිබව දෙමව්පියන්ගේ  වගකීමක්. ඒ වගේම බාලකාලයේදී දරුවාට නිසි පෝෂණය ලබා නුදුන් විට ඔවුන් අනාගතයට පිට නගන්නේ රෝගී පුද්ගලයන් විදිහට නිසා පුංචි කාලයේ පටන්ම ආහාරපාන, ප්‍රතිශක්ති එන්නත් වේල්,හොද සෞඛ්‍ය පුරුදු ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා එබේ දරුවා අනාගතය වෙනුවෙන් හැඩගැසිය යුතු රටාව තුළ දරුවාගේ නීරෝගීබවත් ඉතාම වැදගත්.

ඔබ මළ දරු උපතක අත්දැකීමක් ලද යුවළක්ද ?

දහසතුත් එකක් බලාපොරොත්තු මැද කුස තුළ වැඩෙන දරුවා දෝතට ගන්න පෙරුම් පුරන මාපිය යුවළකට මෙවැනි පුවතක් දරා ගත නොහැකි බව සැබෑවකි. නමුත් යථාර්ථයට මුහුණ දීමට අපි කාටත් සිදු වේ. ඒ නිසාම ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත්ය

මල දරු උපතක් යනු

කුස තුළ බිළිඳා මිය ගොස් බිහිවීමේ තත්ත්වයයි. එනම් සති 28 පසු හෝ ග්‍රෑම් 500ට වැඩි දරුවෙකු කුස තුළ මිය යාමයි.  සාමාන්‍යයෙන් මළ දරු උපත් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ වේ. උදරය ක්‍රමානුකූලව වර්ධනය නොවීම මෙන්ම භ්‍රෑණ චලන නොදැනීම කලලය මිය ගොස් ඇති බවට සැක කළ හැකි තත්ත්ව වුවත් වෛද්‍යවරයෙකු සමගින් එය තහවුරු කරගත යුතුය.

මළ දරු උපත් ඇති වීමට හේතු

  • කලලයේ අසාමාන්‍යතා
  • මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලු
  • වැදැමහේ ගැටලු
  • මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ)
  • මවගේ රුධිරයේ ඇති ගැටලු
  • ගර්භාෂයේ යම් යම් ගැටලු
  • ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලු
  • වැදැමහ හරහා කලලයට රුධිරය ගමන් කිරීමේ ගැටලු (නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි මව්වරුන්ට මේ හේතුව ඉදිරිපත් කළත් එයට මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ)

මළ දරු උපතක් තහවුරු වූ විගස

  • මවට, පියාට/ඥාතීන්ට දැනුම් දේ. (සැවොම කල්පනාකාරීව, සන්සුන්ව අවස්ථාවට මුහුණ දිය යුතුයි)
  • මෙය සිදු වූයේ මවගේ රෝග තත්ත්වයක් මත ද යන්න සොයා බැලේ
  • කලලයේ මිය යාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න සොයා බැලේ

මළ දරු උපත සිදු වූ හේතුව සොයා බැලීමට

  • මවගේ රුධිර සාම්පල පරීක‍ෂාව
  • වැදැමහ පරීක‍ෂණ සඳහා යොමු කිරීම
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණයට යොමු කිරීම

ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ මෙවැනි මව්වරුන් නැවත රුධිර පරීක‍ෂාවට යොමුකරයි. තවද ළදරු මරණ පරීක‍ෂණයේ මෙන්ම වැදැමහ පරීක්ෂණයේ වාර්තාව මගින් ආසන්නතම තත්ත්වය පිළිබඳව දැනුවත් වී මේ සඳහා බලපෑ හේතුව (30%ක ප්‍රතිශතයක් පමණි) සොයා ගත හැකිය.

ප්‍රසූතිය

සාමාන්‍ය ප්‍රසූතියට මෙහිදී මූලිකත්වය ලබා දෙන අතරම ( සිසේරියන් සැත්කම යොදා ගන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ ඇය දැඩි මානසික ආතතියකට පත්ව සිටිනවා නම් පමණි. එය ඉතා කලාතුරකින් සිදුවන තතත්වයකි) මෙවැනි මවකට අධික මානසික ආතතිය හේතුවෙන් වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති නිසා නිරෝගී දරු උපතකදී මෙන් නොව (නිරෝගී දරු උපතකදී ප්‍රබල වේදනා නාශක භාවිත නොකරන්නේ ළදරුවාට බලපැමක් ඇති වේය යන බිය නිසාය) මලදරු උපතකදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට උත්සාහ කරයි. ප්‍රසූතියෙන් පසුව මෙවැනි මව්වරුන් සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කර තබාගනී.

මෙහිදී,

  • අවම කාලයක් ඇතුළත ප්‍රසූතිය සිදු කරයි.

මවගේ මානසිකත්වය මෙන්ම ප්‍රමාද වීම නිසා කලලය දිය වී අවශොෂණය වුවහොත් මරණ පරීක‍ෂණය මගින් මළදරු උපතට හේතු වූ කරුණු සොයා ගත නොහැකි වන නිසාය.

  • මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බිය නිසාය.

ළදරු මරණ පරීක‍ෂණය

ජීවිතයෙන් සමුගත් පුංචි දරුවෙක් සම්බන්ධයෙන් ගත් කළ මේ කටයුත්ත එතරම් සුදුසුද යන්න ඔබටත් සිතෙන්නට පුළුවන්. නමුත් යම් මව්පිය යුවළක් මරණ පරීක්ෂණයට විරුද්ධ වීමෙන් ඊළඟ ගැබ් ගැනීමේදීත් ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් හඳුනා අවම කරගැනීමට ඇති අවස්ථාව මගහරවා ගනියි. විශේෂිත පුහුණුව ලත් පිරිස් අතින් බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකෙන සේ සිදු කෙරෙන මෙවැනි පරීක්ෂණයකදී ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමට අවස්ථාව උදා විය හැකියි.

මූලිකව බිළිඳාගේ සිරුර පිටතින් පරීක්ෂා කෙරෙන අතරම ඉන්පසුව සැත්කමක ආකාරයෙන් සිරුර තුළ වෙනස්කම් පවතීද යන්න පරීක්ෂා කෙරෙන අතරම අභ්‍යන්තර අවයවවල පටක පරීක්ෂණ සඳහා යොමු කිරීමත් සිදු කෙරේ. සැත්කමින් පසුව සැත්කමක කිසිදු ලකුණක් නොමැති වන ලෙස ළදරු සිරුර සකස් කෙරේ.

දරු ප්‍රසූතියෙන් පසුව

  • මවට වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදේ
  • කිරි එරීම නතර කිරීමට ඖෂධ ලබාදේ
  • බිළිඳු සිරුර මරණ පරීක‍ෂණය (මවගේ කැමත්ත මත) වෙත යොමු කරයි.
  • වැදැමහ ද පරීක‍ෂණ සඳහා යොමු කරයි
  • අවශ්‍යතාවය මත මව/පියාගේ උපදේශන වැඩසටහන් වෙත යොමු කරයි

නැවත ගැබ් ගැනීමට පෙර

  • මව කායිකවත් මානසිකවත් නිසි තත්ත්වයේ සිටිය යුතුය
  • පෙර ප්‍රසූතියේ සියලු වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසීම වැදගත් වේ
  • පූර්ව ගර්භණී සායන වෙත යොමු විය යුතුය
  • ෆෝලික් ඇසිඩ් 5mg ලබා ගත යුතුය.

ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන මෙවැනි මවක් කිසිදු විටෙක අපහසුතාවයට,වේදනාවට පත් නොකර අවධානය, ආදරය උපරිමයෙන් ලබාදෙමින් ඇය හා එක්ව මේ දුක්බර අවස්ථාවට මුහුණ දීමට තරම් සැමියා ඇතුළු නිවැසියන්ද කාරුණික විය යුතුය.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ සහ ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප‍්‍රසව විශේෂඥ, ලංකා එන්ඩොමෙට්‍රියෝසිස් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දන ජයසුන්දර මහතාගේ ලිපියකි.

 

ප්‍රමිතියෙන් තොර කාටූන් දරුවන්ගේ මනසට බලපෑම් කරන බව ඇත්තක්ද?

කාටූන් නරඹන්න පුංචි දරුවෝ බොහොම කැමතියි. දරුවන්ගේ සිත රිදවන්න බැරිකම, ගෙදර වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය නිදහස ලබාගන්න වගේ නොයෙක් හේතු නිසා මේ වෙද්දි සමහර අම්මලා දරුවන්ට කාටූන් බලන්න තහනම් කරන්නේ නැහැ. මේ ලිපිය තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාටූන් බැලීම  පුරුද්දක් බවට පත්වුණු දරුවෙකුට ඒ තත්ත්වය කොයිතරම් දුරට අවාසි සහගත විය හැකිද යන්න පිළිබදවයි.

සාමාන්‍යයෙන් කාටූන් බැලීමට  වඩාත් ප්‍රිය කරන්නේ ප්‍රාථමික පන්තිවල දරුවන්ය. කෙසේ වුවද අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට අනුව මේ වයස් සීමාවේ දරුවන්ට වුවත් පාසැලේදීත් අමතර පන්තිවලදීත් පැය ගණන් එක දිගට වඩා වී අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වෙයි. එක දිගට පැය ගණන් මනස වෙහෙස වන මේ දරුවෝ නිවසට පැමිණි පසුව විවේකයක් ලබාගැනීමට සිදු කරන්නේත් කාටූන් බැලීමයි. එයද මනස වෙහෙසවන කාර්යයකි. මනසට විවේකයක් අවශ්‍ය අවස්ථාවේදී කළ යුත්තේ කායික ක්‍රියාකාරකමක යෙදීමයි. තව තවත් මනස වෙහෙස වීමත් කායික ක්‍රියාකාරකම් නොමැති වීමත් නිසා මනස හා සිරුර අතර පැවතිය යුතු සමබරතාවය බිඳී යයි. දීර්ග කාලීනව මේදේ සිදුවන විට මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාම, මනස දුවන ගතිය, අලස බව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි.

අද වන විට පවතින කාටූන් ඝෝෂාකාරී බව, වේගවත්ව රූප රාමු මාරු වීම, හඬ වෙනස් වීම්, තද පැහැති වර්ණ සමගින් එන රූප රාමු වැනි ප්‍රයෝග යොදමින් දරුවන් රඳවා ගැනීමට ප්‍රයත්න දරයි. එවැනි කාටූන් නිෂ්පාදනයන් තුළින් එම නිෂ්පාදකයන් බලාපොරොත්තු වන්නේ අඩුම මහන්සියකින් දරුවා ඒ හා සමග රඳවා ගැනීමටයි. මනස දිගින් දිගටම මේ ආකාරට හුරුවීම මගින් අවශ්‍ය දෙයක් වෙනුවෙන්වත් දරුවාගේ මනස එක තැනක රඳවා ගැනීමට නොහැකි වීම එයින් ඇති වන අවදානම් තත්ත්වයයි.

කෙසේ වුවද හොද තත්ත්වයේ සුමටව ගලා යන කතාවක් සහිත කාටූන කිසිදු විටෙක දරුවෙකුගේ මානසික ඒකාග්‍රතාවය පලුදු කිරීමට හේතු නොවේ. දරුවන්ට සුදුසු කාටූන ලෙස හැදින්විය හැකි වන්නේ පණිවිඩයක් ලබා දෙන ආදර්ශමත් උපදෙසක් මෙන්ම යම් කතාවක් සමාජගත කරන මනසට සුදුසු ආකාරයෙන් නිපද වූවකි. පිස්සු පූසා, දොස්තර හොඳ හිත වැනි කාටූන මේ තත්ත්වය මනාව කළමනාකරණය කර ගනිමින් වැදගත් පණිවිඩයක් සමාජ ගත කළද මේ වන විට මාධ්‍ය ආයතන අතර ඇති තරගකාරී ස්වභාවය නිසාම තම නාලිකාව වෙත වැඩි පිරිසක් අද්දවා ගැනීමටත් ඔවුන් රදවා ගැනීමටත් කාටූන් උපරිමව ප්‍රයෝජනයට ගන්නවා. ”Attention Economy” (අවධානය රදවා ගැනීමේ ආර්ථික ක්‍රමය) සංකල්පය කාටූන් ඇතුළුව තවත් බොහෝ දේ අතීතයේදීට වඩා වෙනස් මුහුණුවරක් ගන්නට හේතු වූ තත්ත්වයකි.

අතීතයේදී නැරඹූ කාටූන බොහොම සෙමින් ගලා යන කතා මලාවක් සමගින් අනවශ්‍ය කලබලයකින් තොරව උපදෙසක් ආදර්ශයක් සමාජගත කරමින් පොතක් බලන ආකාරයට ගලා ගියා. මේ තත්ත්වය මත දරුවන්ට හිතන්න යමක් ඉතිරි වුණා. සෙනෙහස, දුක, සතුට කියන හැගීම් වටාහා ගන්න දරුවන්ට අවස්ථාව ලැබුණා. නමුත් අද විකාශය වෙන කාටූන් දරුවන්ට හිතන්නට යමක් ඉතිරි කරන්නේ නැහැ. හැගීම්වලට දෙන තැන අවමයි. ඉතිං දරුවාට කිසිදු වෙහෙසක් නොදී අවධානය පැහැරගන්න මෙවැනි තත්ත්වයේ කාටූන් සමත් වෙනවා. ඒ පහසුවත් සමගින් දරුවන් එවැනි කාටූන් වෙත ඇදී යනවා. එවැනි දරුවන්ට තමාට අත්‍යවශ්‍ය දේ වෙනුවෙන්වත් අවධානය යොමු කිරීමට හැකියාවක් නැහැ. මන්ද දීර්ඝ කාලීනව දරුවාගේ මනස කලබලකාරී, ඝෝෂාකාරී බවට හුරු වී අවසන්.

ඔබේ දරුවාට දවසේ යම්කිසි කාලයක් කිසිදු ක්‍රියාකාරකමක නොයෙදී තමාම සමග ගත කරන්නට යම් කාලයක් ලබාදෙන්න. එවිට එසේ ගත වන කාලය තුළ යමක් කිරීමට දරුවා වෙහෙසෙයි. නව නිර්මාණ මෙන්ම අධ්‍යයනයන් සමගින් ඉදිරියට එන්න දරුවාට එම කාලය හේතුවක් වනු ඇත. නමුත් දවසේ පැය විසිහතරම යම් යම් දෙයින් පිරුණු දරුවෙකුට මේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ නිසාම දරුවෙක්ට තමන්ගේ සිතුවිලිවලට වටිනා කමක් එක්කරගන්නට අවස්ථාව ලබාදීම ඔබේ යුතුකමක් බව හිතට ගන්න. වැඩිහිටි වියේදීත් මානසික ඒකාග්‍රතාවය නොමැතිකම නිසා රැකියා ස්ථානයේදී පවා අපහසුතාවයට පත් වන පිරිස් බිහිවන්නට මූලික හේතුවක් ලෙස මේ තත්ත්වය දැක්විය හැකියි. ඔබ ඔබේ දරුවාට සාර්ථක අනාගතයක් උරුම කරවන්නට වෙහෙසෙන මාපිය යුවළක් නිසාම කාටූන්වලින් දරුවාගේ දවස ආරම්භ කරවන තැන සිටම වෙනස් වන්න.

දඹදෙනිය මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා සමග සකසන ලද ලිපියකි.