චූටි පැටියට කිරි දෙද්දී ඔබටත් මේ ගැටලු ඇති වුණාද?

හාහාපුරා දරුවෙකු බිහි වීම ඕනෑම කාන්තාවකට නවමු අත්දැකීමක් බව නොරහසකි. අත්දැකීම් නොමැතිකම මත හෝ නොදැනුවත්කම මත ඕනෑම කාන්තාවකට මව්කිරි දීම සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකිය. අලුත උපන් දරු පැටියාට නිවැරදිව කිරි ලබා දීම සම්බන්ධව ඇති දැනුම අල්ප වීම නිසා මවකට මුහුණ දීමට සිදුවිය හැකි අපහසුතා, වේදනාකාරී අත්දැකීම් කිහිපයක් පිළිබඳවත් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ ලිපිය හරහා සාකච්ජා කෙරෙනු ඇති.

තන පුඩුව කෙළවර තුවාල වීම

වැරදි ආකාරයට දරුවා අල්වා ගැනීම හා තන පුඩුව නිසි ආකාරයට දරුවාගේ මුඛයට ඇතුළු නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වේ. මේ සඳහා නිවැරදි ප‍්‍රතිකාරය වන්නේ දරුවා අල්ලා ගන්නා ක‍්‍රමය හා කිරි පොවන ක‍්‍රමය සකසා ගැනීමයි.

  • තුවාල වී ඇති ස්ථානය විවෘත කර සුළඟ මගින් වියළීමට ඉඩ හරින්න. නැතිනම් සූර්යා ලෝකයට විවෘත කර වියළීමට ඉඩ දෙන්න.
  • කිරි ටිකක් දොවා තන පුඩුව හා තුවාලය මත අතුල්ලන්න. ඉන් පසු වියළීමට ඉඩ හරින්න.
  • කිරි පෙවීමට පෙර අයිස් කැටයක් ඒ මත තබා වේදනාව අඩු කරගන්න.
  • අදාල පියයුරට දිනක පමණ විවේකයක් ලබා දෙන්න. එම දින තුළ එහි ඇති කිරි දොවා ඉවත් කරන්න.
  • තද ඇඳුම් හා තද බ්‍රෙසියර් ඇඳිමෙන් වළකින්න.
  • අනෙක් පියයුරෙන් නියමිත ආකරයට කිරි ලබාදෙන්න.
කිරි නාල සිරවීම හා ගැටිති ඇති වීම

මෙහිදී පියයුර ස්පර්ශ කළ විට කුඩා ගැටිති ලෙස අතට දැනේ.

  • උණුසුම් තෙත රෙදි කඩකින් විනාඩි 5 ක් පමණ සම්භාහනය කරන්න.
  • ඉන්පසු සම්භාහනයකර කිරි ඉවතට ගන්න.
  • ඉන්පසු එම පැත්තේ කිරි ගලාගෙන එන ලෙස දරුවාට කිරි පෙවීම කරන්න
  • එක දිගට කිහිප වාරයක් එම පැත්තෙන් කිරි පොවන්න. ඉතිරි කිරි දොවා ඉවත් කරන්න.
පියයුර ඇතුළත සැරව සහිත වීම

මෙය අහිතකර තත්ත්වයකි. වහාම ප‍්‍රතිකාර ඇරඹිය යුතුය. මවට උණ ඇතිවන අතර පියයුර ඇතුළත තද ගෙඩියක් මෙන් අතට දැනේ. රතු පැහැවී ඉතා වේදනාකාරී විය හැක.

ප‍්‍රතිකාර :

  • වැඩිපුර දියර වර්ග පානය කරන්න.
  • උණුසුම් තෙත රෙදි කඩකින් තෙමන්න.
  • වැඩිපුර කිරි දොවා ඉවත් කරන්න.
  • දරුවාට කිරි පෙවීම.
  • සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය නිර්දේශයට අනුව ප‍්‍රතිජීවක ඖෂධ ගැනීම ආරම්භ කළ යුතුය.මෙම තත්ත්වය අසතුටුදායක වුවහොත් සැරව ගෙඩි නිසා සැත්කමකට පවා බඳුන් විය හැක.
එක් පියයුරකින් වැඩිපුර කිරි උරා බීම

සමහර විට දරුවන් එක් පියයුරකින් කිරි උරාබීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙය දරුවා අල්ලන ක‍්‍රමය, කිරි බොන ප‍්‍රමාණය සහ දරුවාට පහසුවීම වැනි හේතු නිසා සිදු වේ. මෙය නිවැරදි කිරීමට දරුවා අල්ලන ක‍්‍රමය වෙනස් කර බලන්න. සෑම විටම අඩු කැමැත්තක් ඇති පියයුරෙන් කිරි පෙවීම අරඹන්න

කිරි උරා බිම ප‍්‍රතික්ෂේප කිරීම

මාස 3 පසු වූ විට මවගේ අවශ්‍යතාවයට වඩා දරුවා තමන්ට අවශ්‍ය නම් හෝ බඩගිනි නම් පමණක් කිරි උරා බොයි. මව්වරු මෙය දකින්නේ කිරි උරා බීම ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසය. අම්මා කන කෑම වල ඇති රසය කිරිවලින් දැනීම හා එම රසයට දරුවා අකමැති වීම නිසා ද මෙම තත්ත්වය ඇති විය හැක. සමහර දරුවන් පැය 4-5 ක් පමණ කිරි නොබී සෙල්ලම් කරමින් සිටී. මෙය ස්වභාවිකය. පියයුරුවලින් කිරි ගලා ඒම අධික වීම නිසා කිරි ගිලීමට අපහසු වීමද හේතුවක් විය හැක. එවිට වැඩිපුර කිරි දොවා ඉවත් කර නැවන පොවන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, නාසය හිරවීම, කනේ කැක්කුම හෝ දත් ඒම වැනි කරුණු නිසාද මෙම තත්ත්වය ඇති වේ. අවට පරිසරය හා මවගේ ශරීරය ඉතා උණුසුම් වීම නිසා දරුවාට අපහසු තත්ත්වයක් ඇති වීමද දරුවාගේ වර්ධනය නිසා අවට පරිසරයේ සිදුවන සිදුවීම්වලට වැඩිපුර අවධානය යොමු කිරීම නිසා ද ඇතැම් විට මේ තත්ත්වය ඇති වීමට ඉඩ ඇත.

තන පුඩුව සැපීම

දත් එන කාල වලදී මෙය සිදු විය හැක. එවිට එපා කියා පැහැදිලිව හා සංසුන්ව කියන්න. තන පුඩුව මුඛයෙන් ඉවත් කරන්න. සුළු වේලාවක් කිරි නොදී සිටින්න. නැවත කිරි පෙවීම අරඹන්න. දින කිහිප දිනකින් මෙය නවතී.

කිරි මැලියම් ඇති වීම

දිව මත පමණක් ඇති වන කිරි මැලියම් ඉවත් කිරීම අවශ්‍ය නැත. තොල්, විදුරු මස් හා කම්මුල්වල ඇතුළු පැත්තේ කිරි මැලියම් ඇති වේ නම් ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වේ. වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගන්න.

පැතලි තන පුඩු පිහිටා තිබීම

මෙය දරුවා ඉපදීමට පෙර පරික්‍ෂා කර බලන්න. එම තත්ත්වය පවති නම් තන පුඩුව වටා ඇති කළු කොටස (ඇරියෝලාව) පපුව තුළට තද කරන්න. එවිට තන පුඩුව ඉදිරියට නෙරයි. එසේ නොවේ නම් ඒවා පැතලි හෝ ඇතුළට නෙරා ගිය තන පුඩු වේ. ඇඟිලි තුඩු මගින් තන පුඩුව දිනකට කිහිප වතාවක් රෝල් කිරීම කරන්න.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අම්මාගේ පියයුරේ දරු පැටියා වෙනුවෙන් කිරි නිපදවෙන්නේ කොහොමද?

දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන කිරි කැටියාගේ පෝෂණය වෙනුවෙන් අම්මාගේ රුහිරු කිරට හැරෙන බව අපි ඕනේ තරම් අහලා තියෙනවා. සොබා දමේ විස්මය ජනක සිදුවීමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැහැ. දසමසක් කුස හොවා සිටි කිරි කටියා මෙලොවට බිහිවීමත් සමගම දරුවා දැකීමෙන් දරුවාගේ හඬ ඇසීමෙන් දරුවා කෙරෙහි උපදින ආදරය නිසාවෙන් ඔක්සිටොසින් ප‍්‍රතීකය උත්තේජනය වී කිරි නිපදවීම ඇරඹෙනවා. රුධිරයේ ඇති ඔක්සිටොසින් නම් හෝමෝනය කිරි ධාරාව ඇති වීමට මුල පුරයි. කිරිදෙන අවස්ථාවේදී හෝ ඊට ප‍්‍රථම ක‍්‍රියාත්මක වේ.

කිරි උරාබීමේදී තන පුඩුව මගින් නිපදවෙන සංවේදී උත්තේජනය මගින් රුධිරයේ ප්‍රෝලැක්ටික් ශ‍්‍රාවය වේ. සෑම කිරි වේලකටම පසුව ප්‍රෝලැක්ටින් හෝමෝනය ශ‍්‍රාවය වී එමගින් ඊලඟ කිරි වේල නිපදවයි. ප්‍රෝලැක්ටින් ශ්‍රාවය වීම වැඩිපුර සිදුවන්නේ රාත‍්‍රියේදී ය. නමුත් මවක් අසහනය, කම්පනය, මානසික පීඩනය, වේදනාව, සැකය ආදි තත්ත්වයන් ඔක්සිටොසින් ශ‍්‍රාවයට බාධා ඇති කරවන අතරම ඒ හේතු මත කිරි නිපදවීම අඩුවීම හෝ නැතිවීම සිදු විය හැක.

breastfeeding-img01

ඔක්සිටොසින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීමේදී,

බිළිඳාට කිරි දීමට පටන් ගැනීමට ඉතා ආසන්නව හෝ කිරි දෙන කාලය තුළ තම පියයුරු මිරිකෙන ස්වභාවයක් හෝ නලියන ස්වභාවයක් මවට දැනේ. බිළිඳා ගැන සිතන විට හෝ හැඬිම ඇසෙන විට පියයුරුවලින් කිරි ගලා ඒම සිදුවේ. දරුවා එක් පියයුරුකින් කිරි උරණ විට අනෙක් පියයුරෙන් කිරි ගලා ඒම, බිළිඳා කිරි බී අත්හල විට සිහින් ධාරාවක් ලෙස පියයුරුවලින් කිරි ගලා ඒම මෙහිදී දැකිය හැකියි. දරු උපතට පසු පළමු වන සතියේදී දරුවා කිරි බොන විට ගර්භාෂය සංකෝචනය වන නිසා මවට වේදනාවක් දැනීම හා සමහරවිට වේගවත් ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම සිදු විය හැකිය.

කිරි නිපදවීම උත්තේජනයට මෙන්ම අඩු කිරීමට එනම් නිශේධනයට (යටපත් කිරීම) සමත් ද්‍රව්‍යද මව්කිරිවල අඩංගු වේ. එනම් පියයුරක කිරි වැඩි ප‍්‍රමාණයක් ඉතිරිව තිබෙන විට, තවත් ශ‍්‍රාවය කිරීම මෙම නිශේධක මගින් වළක්වයි. පියයුරෙහි අනවශ්‍ය ලෙස කිරි එකතු වීම පියයුරට පීඩාවකි. එම පීඩනවලින් ආරක්‍ෂා වීම නිශේධක (යටපත් කර රසායනික ද්‍රව්‍ය) නිසා සිදු වේ. බිළිඳා මිය යාම හෝ වෙනත් හේතුවකට කිරි උරා බීම නැවැත්වුවහොත් ස්වභාවයෙන්ම මෙසේ සිදුවිය යුතුය. කිරි උරා බීම හෝ කිරි දොවා හැරීම මගින් පියයුරෙන් කිරි ඉවත් කළ හැකි නම් නිශේධකය ද ඉවත් වේ. එවිට කිරි නිෂ්පාදනය වැඩිපුර සිදුවේ. බිළිඳා එක් පියයුරකින් උරා නොබන විට එහි කිරි නොමැති විටත් එක් පියයුරකින් කිරි වැඩිපුර උරා බොන විට එහි වැඩි කිරි ප‍්‍රමාණයක් නිපදවා අනෙක් පියයුරට වඩා විශාල වීම නිශේධක ක‍්‍රියාත්මක වීමට කදිම නිදසුනකි. මේ නිසා නොකඩවා කිරි නිපදවේ නම් එම පියයුර හිස් කළ යුතුය. (කිරි ඉරීම හෝ දොවා ඉවත් කිරීම මගින්) තවද දරුවාට කිරි ලබා නොදෙන විට දෙතනෙන්ම කිරි දොවා ඉවත් කළ යුතු වේ.

ළදරුවෙක්,
  • යමක් තොලේ ගෑවුණු විට මුඛය විවර කර දිව පහළට හා පෙරට දමයි. මෙය රූටීන් ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.
  • යමක් තල්ලේ වැදුණු විට දරුවා උරයි. මෙය ඉරීමේ ප‍්‍රතීකයයි.
  • මුඛය කිරිවලින් පිරුණු පසු ගිලීම, ගිලීමේ ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.

breastfeeding-img-02

දරුවාට කිරි පෙවීමේදී,
  • මව සුව පහසු අයුරින් පුටු ඇන්දට හේත්තු වී වාඩි වීම කළ යුතුය.
  • දරුවා ඔතා ඇති අනවශ්‍ය ඇඳුම් ඉවත් කළ යුතුයි.
  • දරුවාගේ හිස හා කඳ එකම තලයක තිබිය යුතුයි.
  • දරුවා පියයුර දෙසට මුහුණලා ඔහුගේ නාසය මවගේ තන පුඩුව මට්ටමට සිටින සේ අල්ලා ගැනීම
  • දරුවාගේ ශරීරය මවගේ ශරීරයට ඉතාම සමීප වන සේ (ලයට-ලය) දරුවා අල්ලාගෙන සිටීම.
  • පියයුරේ මුලට ආධාරකයක් වශයෙන් පළමු ඇඟිල්ල සිටින සේ මවගේ අතෙහි ඇඟිලි පියයුරට යටින් පසු බිත්තිය මතින් තබාගැනීම.
  • පියයුර මද වශයෙන් තෙරපෙන සේ තම මහපට ඟිල්ල පියයුර මත තබාගැනීම, ඉතිරි ඇඟිලි හතර පියයුර යටින් තබා ආධාර කිරීම, දරුවා පියයුරට පහසුවෙන් සම්බන්ධ කිරීමට උපකාර වන පරිදි පියයුරෙහි හැඩය C අකුරක් ලෙස ගෙන කිරි පෙවීම, තන පුඩුවට ඉතා ආසන්නව ඇල්ලීම නොකළ යුතුය.
  • දරුවාගේ මුඛය ඇරෙන පරිදි තන පුඩුවෙන් තොල ස්පර්ශ කරන අයුරු තේරුම් කර දෙන්න. මෙහිදී දරුවා මුඛය හොඳින් අරින තෙක් තන පුඩුව තොලේ ස්පර්ශ කරන්න.
  • මුඛය හොඳින් විවෘත කරන තෙක් බලා සිට දරුවා පියයුර වෙතට ආ යුතු බව පහදා ගන්න. මුඛය තුළට පියයුරෙන් සෑහෙන ප‍්‍රමාණයක් ඇතුළු කරගැනීමට දරුවාගේ මුඛය සම්පුර්ණයෙන් විවෘතව තිබීම අවශ්‍ය වේ. දරුවා පියයුර වෙත ගෙන එනවා මිස මව හෝ මවගේ පියයුර පමණක් දරුවාට ලං නොකළ යුතුය.
  • දරුවාගේ නිකට තම පියයුරු සමග ස්පර්ශ කරවීමට මවගේ තන පුඩුවට පහළින් දරුවාගේ යටි තොල යොමු කළ යුතුය.
  • මවගේ ප‍්‍රතිචාර නිරීක්‍ෂණය කරන්න. ඇය වේදනාකාරීද නැතිද යන්න විමසා ආධාර කරන්න.
මවට ප‍්‍රයෝජනවත් වෙන ඉරියව්…

අත යටින් දරුවා ස්ථාපිත කිරීම : මෙම ස්ථාපිතය පහත අවස්ථාවලදී ප‍්‍රයෝජනයට ගත හැක.

  • නිවුන් දරුවන් දෙදෙනාට එකවර පියයුරු දෙකෙන් ලබා දීමේදී
  • සිසේරියන් සැත්කමින් පසු
  • විශාල පියයුරු ඇති විට
  • මව හා දරුවා අතර නිසි සම්බන්ධය අසීරු විට

පියයුරට විරුද්ධ පැත්තෙහි ඇති බාහුවේ ආධාරකය දරුවා ස්ථාපිත කිරීම :  

  • ඉතා කුඩා බිළිදුන්
  • අසනීප වූ දරුවන් සඳහා ප‍්‍රයෝජනවත් වේ
දරුවාට ලැබෙන මව්කිරි ප‍්‍රමාණවත් නොවන විට,
  • දරුවාගේ වර්ධනය දුර්වල වේ (මසකට 500g ට වඩා අඩුවෙන් බර වැඩි වීම)
  • ස්වල්ප වශයෙන් සාන්‍ද්‍ර වූ මුත‍්‍රා (තද පාට) පහවීම. කහ පැහැති තද ගඳකින් යුතු මුත‍්‍රා දිනකට වාර 6 කට වඩා අඩු වේ
  • දරුවා මව්කිරි බීමෙන් පසු සෑහීමකට පත් නොවේ
  • දරුවා නිතර හඬයි
  • නිතර නිතර මව්කිරි උරා බීමට අවශ්‍ය වේ
  • කිරි වේලක් උරා බීමට දිගු කාලයක් ගත වේ
  • දරුවා මවගෙන් කිරි බීම ප‍්‍රතික්‍ෂෙප කරයි
  • දරුවා වියළි කොළ පැහැති තද මල පිට කරයි
  • මව්කිරි දෙවීමට තැත් කළ ද කිරි ගලා නොයේම
කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

මව්කිරි සහ වෙනත් කිරි වර්ග අතර වෙනස ඔබ දන්නවාද?

දරුවෙකු උපන් පසු බොහෝ මව්වරු මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක් ලෙස මව්කිරි ලබාදීම දැක්විය හැක. මව්කිරි නොමැතිවීම, අඩුවීම හෝ නිවැරදි ක‍්‍රමයට කිරි ලබා නොදීම යන ගැටලු මේ අතර ප‍්‍රධාන වේ.

මව්කිරි ලබාදීමේ වැදගත්කම

  • දරුවාගේ ශරීරයට යෝග්‍යතම ආහාරය මව්කිරි වන අතර එය සියලු පෝෂක ගුණයන්ගෙන් පරිපූර්ණය.
  • පහසුවෙන් ජීර්ණය වේ.
  • දරුවා ආසාධනවලින් (විෂබීජ වලින්) ආරක්‍ෂා කරයි.
  • දරුවාගේ වර්ධනයටත් මව හා දරුවා අතර බැඳිමටත් උපකාරී වේ.
  • නැවත ගැබ් ගැනීම ප‍්‍රමාද කරයි.
  • මවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂාවීම.
  • ඩිම්බ කෝෂ, පියයුරු පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි
  • දරුවාට ඇතිවන සෙම් රෝග හා ආසාත්මිකතා වළක්වා ගැනීමට උපකාරී වේ.
  • පසු කාලයක දරුවාට දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ඕනෑම ස්ථානයකදී ඕනෑම වේලාවකදී ලබාදීමට හැකිය.
  • මවගේ පියයුරු පිළිකා අවධානම අඩු කරයි.
  • මවගේ සිරුරේ ඇති අනවශ්‍ය තෙල් හා මේද දහනය වීම මගින් මවගේ බර පාලනය වේ.
  • මුදල් වියදම් නොවේ. උණුසුම් කිරීම අවශ්‍ය නොවේ.
  • ආසාධනවලින් ආරක්‍ෂා වීම – ආසාධනයෙන් පෙළෙන මවගේ ශරීරයේ ඇති ශ්වේතාණු (සුදු රුධිරාණු) මගින් ආසාධනවලින් මව ආරක්‍ෂා කිරීම පිණිස ප‍්‍රතිදේහ නිපදවයි. සමහර ශ්වේතාණු (සුදු රුධිරාණු) පියයුරු කරා ගොස් එහිදී ප‍්‍රතිදේහ නිපදවයි. මවගේ ආසාධනයට එරෙහිව නිපදවනු ප‍්‍රතිදේහ මව්කිරි සමග ශ‍්‍රාවය වී දරුවා ආරක්‍ෂා කරයි.

table

මව්කිරිවල සංයුතියේ විවිධත්වය

ප‍්‍රසූතියෙන් පසු පළමු දින කිහිපය තුළ ස‍්‍රාවය වන මව්කිරි කොලෙස්ට‍්‍රම් ලෙස හැඳින්වේ. මේවා සාමාන්‍ය කිරිවලට වඩා ඝනය. පැහැයෙන් කහ පහැයට හුරුය නැතහොත් පැහැදිලිය. දින කිහිපයකට පසු ස‍්‍රාවය වන කිරි මේරූ කිරි ලෙස හැඳින්වේ. මේ කාලයේදී කිරි ප‍්‍රමාණය වැඩිවේ. පියයුරු පිරුණු ස්වභාවයක් ගනී. එසේම තද හා බර ගතියක් දැනේ. කිරි දෙන අවස්ථාවේ පළමුව ස‍්‍රාවය වන කිරි, පෙර කිරි (For Milk) වේ. පසුව ස‍්‍රාවය වන කිරි පසු කිරි (Hind Milk) ය. පසු කිරිවල මේදය වැඩි ප‍්‍රමාණයක් අඩංගු වන අතර පෙර කිරිවලට වඩා සුදු පැහැතිය. මව්කිරිවලින් ලැබෙන ශක්ති ප‍්‍රමාණයෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මේදය මගිනි. මේ නිසා දරුවා අවශ්‍ය ප‍්‍රමාණයට බීමට පෙර පියයුරෙන් කිරි ඉවත් කළහොත් කිරෙහි අඩංගු මේදය කොටස් දරුවාට නොලැබී යයි.

කොලෙස්ට‍්‍රම්වල වැදගත්කම :

  • ප‍්‍රතිදේහවලින් සාරවත් බැවින් ආසාධනවලින් හා ආසාත්මිකතාවලින් ආරක්‍ෂා කරයි.
  • ශ්වේතාණු සුලබ බැවින් ආසාධනවලින් ආරක්‍ෂා වේ.
  • විරේකයක් (මලපහ පිටවීම පහසු කරවන) ලෙස ක‍්‍රියා කරන බැවින් දරුවාගේ මුල් මලපහ (ඔක්කසය – Meconium) ඉවත් කරයි. මේ නිසා දරුවා කහ පැහැවීම වැළකේ.
  • ශරීර වර්ධකකාරක තිබීම නිසා බඩවැල් මේරීමට උපකාරී වේ. ආසාත්මිකතා හා ජීර්ණ අපහසුතා වළක්වයි.
  • විටමින් A සුලබය. ආසාධනයකදී එහි උග‍්‍රභාවය අඩු කරන අතර අක්‍ෂි රෝග වළක්වයි.
 මව්කිරි දීමේ විද්‍යාත්මක වාසි

මව්කිරි දීමෙන් මව හා දරුවා අතර ඉතා සමීප ආදර සබඳතාවයක් ගොඩනැගේ. මවගේ සිතෙහි ගැඹුරු තෘප්තිමත් භාවයක් ඇති කිරීමට ඉවහල් වේ. දරුවා උපන් විගස මවට ලබාදීම මගින් මව හා දරුවා අතර කිට්ටු ස්පර්ශයක් ඇති වීම මෙම සබඳතාවය වර්ධනයට රුකුලකි. මෙම ක‍්‍රියාවලිය උද්වේගකාරී බැඳිම (Bounding) ලෙස නම් කරයි. ප‍්‍රසූතිය අවසන් වූ විගසම ළදරුවා මවට ලබාදීම මගින් දරුවාගේ හැඬිම අඩුවේ. වර්ධනය ඉක්මන් වේ. මව්කිරි නිපදවීම ඉක්මණින් ආරම්භ වේ.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

MRI ස්කෑන් පරීක්ෂණය කුමක් ද? කුමක් සඳහාද ?

යම් යම් රෝග තත්ත්වයන් පිළිබඳව නිශ්චිත නිර්ණයකට එළැමීම සඳහා MRI ස්කෑන් පරීක්‍ෂණය වෙත වැඩිහිටියන් මෙන්ම ඇතැම් අවස්ථාවල පොඩි දරුවන්ද යොමු කෙරෙන බව අප කොතෙකුත් අසා ඇති. නමුත් එම ස්කෑන් පරීක්‍ෂණය කුමක්ද? කෙරෙන ආකාරය කුමක්ද? යන කරුණු පිළිබඳව රෝගීන්ගේ ඇති නොදැනුවත්කම නිසාම ඔවුන් බියෙන් පසුවෙයි.

MRI (Magnetic Resonance Imaging) යනු වෛද්‍යමය හෝ ශල්‍ය තත්වයන් විනිශ්චය කිරීම සඳහා භාවිත කරන වේදනාත්මක නොවන වෛද්‍ය පරීක්‍ෂණයකි. ඉතා ප‍්‍රබල චුම්බක ක්‍ෂේත‍්‍රයක්, ගුවන් විදුලි තරංග සහ පරිගණකයක් භාවිත කරමින් ශරීරයේ අභ්‍යන්තර අවයව හෝ ව්‍යුහයක විස්තරාත්මක හරස්කඩක ප‍්‍රතිබිම්බයකි.

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් (Radiologist) දීප්තිමත් හා අඳුරු ප‍්‍රදේශවල ප‍්‍රමාණය හා පැතිරී ඇති ආකාරයේ අනුව සංසන්දනය කරමින් එම පටකය හෝ අවයවය රෝගී ද, නිරෝගී ද යන්න තීරණය කරයි. මේ සඳහා X-කිරණ හෝ අයනීකරණය වූ විකිරණ (Ionizing radiation) PET, CT, CAT යන ස්කෑන් පරීක්‍ෂණවලට මෙන් සම්බන්ධ නොවීම විශේෂත්වයකි.

MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකරන අවස්ථා

  • මොළයේ හා සුෂුම්නාවේ අසාමාන්‍යතා – උදාහරණ : මොළයේ අර්බුද (Brain tumouis) ක්‍ෂතිය නිසා මොළයට ඇතිවන අනතුරු (Traumatic Brain Injury)
  • ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන අර්බුද (Fumours) සැරව ගෙඩි (Cyst) හා වෙනත් අසාමාන්‍යතා
  • පියයුරු පිළිකා (පියයුරු පිළිකා ඇති වීමේ අවදානම් සහිත කාන්තාවන් සඳහා පරීක්‍ෂා කිරීම* (Breast Screenince)
  • කොන්ද, දණහිස වැනි සන්ධිවල අනතුරු හෝ අසාමාන්‍යතා
  • විශේෂ ආකාරයේ හෘදයේ ගැටලු
  • අක්මාව වැනි උදර ඉන්ද්‍රියයන්ගේ රෝග
  • කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇති වන රෝග තත්ත්ව :Fibroids, Endometriosis වැනි හේතු නිසා ශ්‍රෝණියේ ඇතිවන වේදනාවන් ඇගයීම සඳහා
  • වඳ භාවයට හේතු වන ගර්භාෂයේ අසාමාන්‍යතා හැඳිනීමට
  • ආඝාතය (Stroke)
  • මානසික රෝග :  ස්නායු සෛලවල ඇති වන වෙනස්කම් නිසා.උදාහරණ Dementia, Alzheimer
  • ආසාදන (Infection)
MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා රෝගියා සූදානම් කිරීම

MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා යොමුවන රෝගියා සතුව පහත දේවල් ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි.

  • ජංගම දුරකථනය/කාසි/කෘතිම දත්/කණ්ණාඩි/ශ‍්‍රව්‍ය ආධාරක/යතුරු/අත් ඔරලෝසු/කෘත‍්‍රිම කොණ්ඩා/ආභරණCredit Card
MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමේදී

  • Caffine අඩංගු බීමවලින් වැලකී සිටින්න.
  • පරීක්‍ෂණය සිදු කරන්නේ උදරරැුශ්‍රෝණි ඉන්ද්‍රියන් පරීක්‍ෂා කිරීමට නම් පරීක්‍ෂණයට පෙර පැය 6 ක කාලයක් නිරාහාරව සිටිය යුතුයි. ශරීරයේ වෙනත් ස්ථානයක නම් නිරාහාරව සිටීම අත්‍යවශ්‍ය නොවන නමුත් මෙහිදී ලබාදෙන පාරාන්ධ වර්ණකය (Contrast dye) නිසා ඇතිවන ඔක්කාරය වලක්වා ගැනීමට පරීක්‍ෂණයට පෙර පැය 2 ක කාලයක් නිරාහාරව සිටීම වැදගත් වේ.
  • රෝහලෙන් විශේෂ ගවුමක් ලබාදේ නම් එය ඇඳීම සුදුසු වේ. විනාඩි 30 ක් පමණ කාලයක් වැතිරී සිටීමට සිදුවන නිසා පහසු ඇඳුමකින් සැරසීඹ වඩාත් යෝග්‍ය වේ. පෞද්ගලික ඇඳුමකින් පරීක්‍ෂණයට මුහුණ දෙන්නේ නම් ලෝහ, බොත්තම්, බෙල්ට්, බකල් නොමැති ඇඳුමක් විය යුතුයි.
MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකෙරෙන ආකාරය

  • ඇතැම් රෝගීන් MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමට බියෙන් පසු වන අතරම ඒ ආකාරයේ  අධික බියක් කාංසා තත්ත්වයක් වේ නම් හෝ එවැනි තත්ත්වයක් සඳහා පෙර ඉතිහාසයක් ඇත් නම් වෛද්‍යවරයාට එය පැවසිය යුතුයි. එවිට රෝගියාට සුලූ සමනත ඖෂධ (Mid sedatives) පරීක්‍ෂණයට පෙර ලබා දේ. එවිට ඇති වන අනිසි බිය වළක්වා ගත හැකිය. ස්කෑන් පරීක්‍ෂණය පුරාවට රෝගියාට ඉහිල් භාවයකින් යුතුව සිටිය හැකි වේ.
  • පරීක්‍ෂා කළ යුතු කොටසේ දර්ශනය වඩාත් තීව‍්‍ර කිරීම සඳහා අන්තඃශෛලිය එන්නතක් (Intravenous injection) ලබාදේ. මෙහිදී Gadolinium නම් පාරාන්ධ වර්ණකයක් (Contrast dye) IV ලෙස ලබාදේ.
  • Scan යන්ත‍්‍රයෙන් ඇතිවන විශාල ශබ්ද ඇසීම වැලැක්වීම සඳහා රෝගියාට Earplugs හෝ Headphone ලබාදේ.
පරීක්‍ෂණය සිදුකරන අතරතුරදී….

  • චලනය කළ හැකි ඇඳක රෝගියාට වැතිරී සිටිමට ඉඩ සලසයි. හිස තොටිල්ලක් වැනි ආධාරකයක් (Cradled head rest) මත  තබා දෑත් දෙපසට කර තබයි.
  • ඇන්ටනාවක් ලෙසින් සැදු  උපකරණයක් (Coil) ප‍්‍රතිබිම්බය ලබා ගැනීමට අවශ්‍ය කොටස මත හෝ වටා තබයි. වඩාත් පැහැදිලි ජායාරූපයක් ලබා ගැනීමට නම් එය එම ස්ථානය මත තැබීම සුදුසු වේ.
  • ශල්‍ය සැලසුමක් සඳහා MRI ස්කෑන් භාවිත කරයි නම් විකිරණ ශිල්පියා කුඩා සලකුණ කිහිපයක් (Fiducial) නළල, මුහුණ, කන පිටුපස තබයි. මේවා ජීවිත ආරක්‍ෂා කරන උපකරණ (Life Savers)  ලෙසින්  පෙනෙන අතර, ප‍්‍රතිබිම්බය භාවිත කරමින් ශල්‍යකර්මය කිරීමට ශල්‍ය වෛද්‍යවරයාට උදව් වේ.(Image guided – Surgery) මේවා ඉවත් නොකළ යුතු අතර, තෙත් වීමට ද ඉඩ නොතබයි.
  • ඔබ පහසු ස්ථාපිතයක සිටින විට මේසය ඉතා සෙමින් චුම්බක ක්‍ෂෙත‍්‍රය තුළට ඇතුළු කරයි. විකිරණ ශිල්පියා සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහd Intercom පද්ධතියක් භාවිත කරයි.
පරීක්‍ෂණය සිදුකරන විට…

Stereo System හරහා සංගීතයකට සවන්දිය හැකිය. මෙම ශබ්දය ඇතිවන්නේ ඡයාරූප ගැනීමේදී වේ. මෙම ශබ්දය මගින් හෝ පරීක්‍ෂණයෙන් වේදනාවක් ඇති නොවේ. මෙම පරීක්‍ෂණය සඳහා විනාඩි 20-30 ක කාලයක් ගත වේ. වඩා වැදගත් වන්නේ රෝගියාට පහසු ඉරියව්වකින් වැතිර සිටිය යුතු වීමයි. මෙය සිදුකරන අතරතුරදී රෝගියා චලනය වුවහොත් ගැටලූවක් නිසා ජායාරූපය ගන්නා විට හුස්ම ගැනීම නැවැත්වීම ද කළ යුතු වේ. පරීක්‍ෂණය සිදු කරන අතරතුරදී රෝගියාට අපහසුවක් දැණුනි නම් Intercom හරහා පරීක්‍ෂණය සිදුකරන කාර්මික ශිල්පියාට කතා කර පරීක්‍ෂණය නවත්වා ගත හැකිය.

පරීක්‍ෂණයෙන් පසු…

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් එම ප‍්‍රතිබිම්භ පරීක්‍ෂා කිරීමෙන් පසු තවත් අවශ්‍ය නොවේ නම් හෝ වෛද්‍යවරයා එම ජායාරූපවලින් සෑහීමකට පත් වේ නම් රෝගියාට රෝහලෙන් නික්ම යා හැකිය. පරීක්‍ෂණය අවසන් වූ පසුව යොදා ඇති කැනියුලාව ඉවත් කරයි. මෙම ඩයි වර්ගය වකුගඩු ඔස්සේ මුත‍්‍රා සමග ශරීරයෙන් ඉවත්වන නිසා වැඩිපුර තරලය පානයට උපදෙස් දිය යුතුයි. මෙහි ප‍්‍රතිඵල ලබා දීම විශේෂඥ වෛද්‍යවරයා මත රඳයි. පැය කිහිපයකින් හෝ දිනක් තුළදී වාර්තාව ලබා ගත හැකිය.

අවධානම් තත්ත්ව…

මෙම පරීක්‍ෂණය ඉතාමත් ආරක්‍ෂාකාරී වේ. චුම්භක ක්‍ෂෙත‍්‍රයක් හා Radio Waves භාවිත කරමින් සිදුකරන පරීක්‍ෂණයක් මගින් සෞඛ්‍යයට අහිතකර අවදානමක් ගැන දක්වා නැත. නමුත් සමහර පුද්ගලයන් මෙහිදී ලබාදෙන ඩයි වර්ගයට අධි සංවේදීතාවයක් දැක්විය හැකි බැවින් ආසාත්මික ප‍්‍රතික‍්‍රියාවක ලක්‍ෂණ ඇතිවිය හැකිය. උදාහරණ සමෙහි පලූ ඇති වීම, කැසීම නමුත් මෙම ඩයි වර්ග අනුමත ආරක්‍ෂාකාරී ඒවා වේ.

මධුමේහය හෝ වකුගඩු ක‍්‍රියාකාරීත්වයෙහි ගැටලූකාරී තත්ත්ව ඇත්නම් වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි. සමහර අවස්ථාවලදී වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීමට අදාල පරීක්‍ෂණ MRI ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර කළ යුතු වේ. ඊට හේතුව වන්නේ ලබාදෙන ඩයි වර්ගය පරීක්‍ෂණයෙන් පසුව ශරීරයෙන් ඉවත් කිරීමට වකුගඩුවලට හැකිදැයි පැහැදිලි කර දැනගැනීමට අවශ්‍ය වන නිසාය.

සමහර විශේෂ අවස්ථාවලදී චුම්භක ක්‍ෂෙත‍්‍ර භාවිතය සීමා කරන අවස්ථා ද පවතී. පහත උපකරණ පැළඳ ඇත්නම් වෛද්‍යවරයාට ඒ බව දැන්විය යුතුය.

  • Cardiac pace maker හා කෘති‍්‍රම හෘද කපාට (Artificial Cardiac Valve)
  • ලෝහ පතුරු (Metal plate) ඇණ (Pin) හෝ වෙනත් ඕනෑම ලෝහ කොටසක් තැන්පත් කර ඇත්නම් (Metalic Imlant)
  • විනිවිද යා හැකි දේවල් (Piercngs)
  • අන්තර් ගර්භාෂධික උපකරණ (Intra Uterine Devices)
  • Insulin හෝ වෙනත් ඖෂධ Pump
  • Aneurysm Clips
  • කලින් සිදුවී ඇති වෙඩි වැදීමක්
  • ඇසීමට භාවිත කරණ උපකරණ
  • ස්ථීරව යොදන ලද Tattoo
  • ලෝහකරුවෙකු ලෙසින් රැකියාවක් කළ බවට ඉතිහාසයක් ඇත්නම්ශරීරය තුළ ඇති ඕනෑම ලෝහ වර්ගයක් මෙම ප‍්‍රතිබිම්බයේ (Image) ගුණාත්මක භාවයට බලපෑම් ඇතිකළ හැකිය. එසේම ඔබ චුම්බඛ ක්‍ෂෙත‍්‍රය තුළ සිටින විට ලෝහ වර්ග නිසා අනතුරක් හෝ අපහසුතාවයක් ද ඇතිවිය හැකිය.
  • ගර්භණී මවක් නම් ඒ බව වෛද්‍යවරයාට දැන්වීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගර්භණීභාවයේ මුල් මාස 3 තුළදී MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු නොකළ යුතු අතර ඉන් පසුව සිදු කිරීමෙන් අවදානමක් ඇති නොවන නමුත් නාරිවේදීය විශේෂඥ වෛද්‍යවරයාගෙන් මෙම පරීක්‍ෂණය සඳහා ලිඛිත අවසරයක් තිබිය යුතු වේ.
  • X-ray, PET Scan, CT Scan වල අයනීකරණය වූ විකිරණ භාවිතය නිසා DNA වලට හානි වීම නිසා පිළිකා ඇති වීමේ අවදානමක් පවතී. නමුත් MRT Scan හා Ultra Sound Scan වල විකිරණ භාවිත නොවන නිසා පිළිකා ඇති වීමේ අවදානමක් නොමැත.
අතුරු ආබාධ (Side effects)

ඉතාමත් කලාතුරකින් මෙහිදී භාවිත කරන ඩයි වර්ගය නිසා

  • ඔක්කාරය (Nausea)
  • හිසරදය (Headache)
  • එන්නත් ලබාදුන් ස්ථානයේ වේදනාව හෝ දැවිල්ල
  • ශරීරයේ පලු ඇතිවීම (Hives)
  • සම කැඞීම (Pruritis of skin)
  • ඇස් කැසීම Itchy eye වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

සමස්ථයක් ලෙඩ ගත්විට රෝගියෙකු මෙම පරීක්‍ෂණයට මුහුණ දීමට බිය නොවිය යුතු අතර, වේදනාවක් ද ඇති නොවේ. අද වන විට පවතින්නේ ඉතා ආරක්‍ෂාකාරී දියුණු තාක්‍ෂණයකි.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

ආහාර දිවට නොව ඇසටයි…

ආහාරයක් පුංචි පැටවුන්ට දැක්ක ගමන් කන්න හිතෙන විදිහට පිලියෙළ කරන්න පුලුවන් නම් අම්මලා දිණුම්. අපි ගුණය ගැන හිතුවත් පුංචි පැටවුන්ට ඒ ගැන කිසිම දැනීමක් නැහැ. ඒ නිසා නිතරම අම්මලා සමග ඇති කර ගන්නේ ගැටුම්. ජපන් ජාතිකයන්ගේ සංකල්පයට අනුව ආහාර දිවට නොව ඇසටයි… එයින් ඔවුන් අදහස් කරන්නේ ආහාරයක පැවැතිය යුතු ප්‍රියමනාප බවයි.

ඉතින් අපිටත් මේ ගැන ටිකක් අවධානය දක්වන්න පුලුවනි. ඒ විතරක් නොවෙයි, මේ විදිහට වර්ණවත්ව ආහාර පිළියෙළ වුනොත් ඔබටත් නොදැනීම බොහෝ ගුණදායක විදිහට දරුවාගේ ආහාර පිලියෙල කර දෙන්නත් පුලුවනි.

ස්වභාව ධර්මය හරිම අපුරුයි. අපිට නොපෙනෙන සහ අපි නොසලකා හැරියත් ස්වභාව ධර්මයෙන් දුරස්ව අපිට ජීවිතය පවත්වා ගැනීම එතරම් පහසු නැහැ. එලවලු සහ පළතුරු වෙනුවෙන් වර්ණ ලැබී තිබෙන්නෙත් ස්වභාව ධර්මයේ අපුරු හාස්කමක් විදිහටයි. මේ වර්ණවල අන්තර්ගත “ෆයිටෝ කෙමිකල්ස්” අපේ ජීවිතයේ නීරෝගී පැවැත්මට අවශ්‍ය බොහෝ ගුණ උපයා ගැනීමට පුලුවන්. ඒ නිසා දැන් පෝෂණ විද්‍යාඥයින්ගේ අලුත්ම සංකල්පයකට අනුව ආහාර දේදුනු පැහැයෙන් සකස් කර ගැනීමට උපදෙස් ලැබෙනවා. ඉති පුංචි පැටියාගේ ආහාරයට දේදුන්නක් පායන විදිහට ආහාර සකස් කරන්න අම්මලාට එතරම් අපහසුවක් නැහැ.

රතු පැහැය…

රතු පැහැය කී සැනින් ඔබේ මතකයට නැගෙන්නේ තක්කාලි ගෙඩියක් ගැනයි. එය ඇත්ත. මේ රතුපැහැයේ අන්තර්ගතව තිබෙන්නේ “ලයිකොපෙන්”  ( Lycopine ) රසායනයයයි. මේ රසායනය මගින් අපේ සිරුරේ සෛල විකාති වීමට නොදී ආරක්ෂා කරනවා. සෛල විකාති වීම නිසා පිලකා ඇති වීමට තිබෙන අවදානම ඉතා ඉහලයි. ඒ නිසා දරුවන්ගේ ආහාරයට තක්කාලි, බීට්, දෙලුම්, ලොවි, රතු පේර, කොමඩු වැනි ආහාර වැඩි පංගුවක් එක් කරන්න. පැටියාට විතරක් නොවෙයි, පවුලේ අයටත් මේ රතු පැහති එළවලු සහ පළතුරු බොහෝ සේ ගුණ දෙනවා. වැඩිහිටි වියේදී රුධිර කැටිති නිසා දමණීන් ආශ්‍රිත අවහිර වීම් ඇති වෙන්න පුලුවනි. ඒ තත්වය වලක්වන්න වගේම අවුරුදු වලින් වයස ගෙවුනත් පෙනුමෙන් තරුණයි වගේ ඉන්නත් මේ ආහාරවලින් ගුණ ලැබෙනවා.

කහ සහ තැඹිලි…

කහ සහ තැඹිලි වර්ණය විටමින් “ඒ” බහුල බැව් අපේ පුංචි උදවිය වුනත් දන්නවා. මේ කහ පැහැයෙන් “බිටා කැරටින්” අපේ සිරුරට ලැබෙනවා. ඇස්වල පෙනුම වගේම සමේ පෙනුම සහ පිලිකා වැනි මාරාන්තික රෝගවලින් අපිව ආරක්ෂා කර ගැනීමේ හැකියාව කහ , තැඹිලි පළතුරු සහ එළවලුවල අන්තර්ගත බිටා කැරටින් සංයෝගයෙන් අපිට ඉතා පහසුවෙන්ම ලබා ගන්න පුලුවනි. ඒ නිසා වට්ටක්කා, දොඩම්, පැපොල් වැනි පළතුරු සහ එළවලු දරුවාගේ ආහාරයට එක් කිරීමට අමතක කරන්න එපා.

කොළ පැහැය…

කොළ කී සැනම අපේ මතකයට එන්නේ පලා වර්ගයි. ඒ වගේම දරුවන්ට පලා කවන්න ගියාම පුදුම යුද්ධයක්. ශාඛවලට ආවේනික මේ chlorapy කොළ පැහැයේ අඩංගුව තිබෙනවා. ඉතින් පලා වර්ග ව‍ගේම අලිගැට පේර, කොළ ඇපැල්, වෙරලු වැනි කොළ පැහැයෙන් යුකත් එලවලු සහ පළතුරු දරුවාගේ ආහාරයට එකතු කිරීමට පසුබට වෙන්න එපා. මේවායේ අන්තර්ගතව තිබෙන කැරටොනොයිඩ්, ( carotenoids )  indoles සහ saponies රසායනයන් මගින් පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීමට පුලුවනි. අස්ථි සහ දත්වල ශක්තිමත් පැවැත්ම වෙනුවෙනුත් කොළ පැහැති එලවළු සහ පළතුරු පංගු දරුවන්ගේ ආහාර වෙනුවෙන් එකතු කරන්න.

නිල් සහ දම්…

නිල් සහ දම් වර්ණවල ශාඛ රසායනයන් බහුලයි. වම්බටු, මිදි, රාජාල , බෙරි වර්ග, නිල් වෙරළු වැනි එළවලු සහ පළතුරු ඉතා පහසුවෙන් ආහාරයට එකතු කිරීමට අම්මලාට පුලුවනි. මේ එළවලු සහ පළතුරු අධි රුධිර පීඩනය, දියවැඩියාව, වගේම පිලිකාවට එරෙහිව වැට බදින්න තරම් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිය වර්ධනය වෙන නිසා විවිධ ආසාදන සහ ආසාත්මිකතාවයන්ගෙනුත් ආරක්ෂාව ලබා ගැනීමට පුලුවනි. මේ නිල් දම් පැහැයේ ලැබෙන්නේ මේ එළවලු සහ පළතුරුවල ආවේණික Anthocyoni රසායනය නිසයි. ඒත් සමග මේ ආරංචියට නම් දෙමව්පියන්ගේ ආකර්ශනය ඇති වෙන්න පුලුවනි. නිල් දම් වර්නයේ ආහාර දරුවන්ගේ මතකය සහ ධාරණයට හිතකර බවටත් පෝෂණ විද්‍යාඥයින් විසින් දැන් හදුනාගෙන තිබෙනවා.

සුදු…

සුදු කී සැනින් හිතේ ඇති වෙන්නේ විවිධ වර්ගයේ ළූණු…. එය රහසක් නොවේ… ඒ වගේම මේ සුදු පැහැයේ තිබෙන ශාඛ රසායනයන් මගින් ආසාදන හා බෝ නොවන රෝග වලින් ආරක්ෂාව ලබා දෙනවා. විශේෂයෙන් සුදුළෑණු අහිතකර කොලස්ටරෝල් වලින් වගේම පිලිකාවන්ගෙනුත් ආරක්ෂාව ලබා දෙනවා. ඒ නිසා ආහාර පිසින විට මේ ගැන අම්මාගේ උනන්දුව වැඩි වශයෙන් දැන් ලබා දෙන්න පුලුවන් නේද…?

– web med හි පළවූ  Eat a Food Rainbow ලිපිය ඇසුරින් –

 

පුංචි පුතා ඉස්කෝලේ ගිය මුල්ම දවස අදයි…

ළදරු පාසලේ පරිසරයෙන් වෙනස් වෙලා අලුත් මිතුරු මිතුරියන් වගේම අලුත් ගුරුතුමියක් සමග එක්කාසු වෙන දවසක් ඇවිත්. අවුරුදු දහතුනක දිගු කාලයක් දැන් පුංචි පැටියා මේ දිනපතා පාසල සමග සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මේ කාලසීමාවේදී ඇති වෙන සහ ගොඩ නැගෙන විවිධ හැලහැප්පීම් දරුවාගේ මානසිකත්වයට වගේම පෞරෂයට තදින්ම බලපාන්න පුලුවනි.

හැබැයි දැන් නම් දිනපතා පාසලේ වුනත් මුල් මාසයක් පමණ කාලයක් ළදරු පාසල් මානසිකත්වයටම ගැලපෙන විදිහට කටයුතු සිද්ධ වෙනවා. සෙල්ලම් ගෙවල්, නෑගම් යෑම වැනි විවිධ ක්‍රියාකාරකම් නිසා දරුවාට පාසලත් බොහොම ආකර්ශණීය විදිහට සැලසුම් කර තිබෙනවා. ඒත් මේ න්‍යායාත්මක කටයුතු අතර ප්‍රායෝගිකව දරුවා විවිධ අර්බූදවලට මුහුණ දෙන්න පුලුවනි.

අනවශ්‍ය විදිහට බිය ගන්වන්න එපා…

අද බොහෝ අම්මලා දරුවා දිනපතා පාසලට යෑමට පෙරාතුව පටන්ම ඔවුන්ගේ මනසට ඇතුලු කරන සංකල්පය ‍එතරම් සුදුසු නැහැ. “දැනෙයි…ඉස්කෝලේ ගියාම…මොන්ටිසෝරියේ වගේ හුරතල් නැහැ…අකුරු බැරි වුනොත් වේවැලෙන් තමයි ගහන්නේ…” මේ විදිහට ඇති කරන සංකල්ප නිසා දරුවාගේ හිතේ ඇති වෙන බිය දිනපතා පාසල අප්‍රසන්න පරිසරයක් බවට පත් වීමට හේතුවක් වේවි. ඒ නිසා පාසල රන්දෙවොලක් බවට දරුවාට කියා දීම ඉතාම වැදගත්. ළදරු පාසලේ මානසිකත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීමට යෑම එතරම් සුදුසු නැහැ. දරුවන් ක්‍රමයෙන් දිනපතා පාසලට අනුගත වෙන නිසා එතෙක් ඔබ ඉවසා සිටින්න.

වැසිකිලි කැසිකිලි ප්‍රශ්න…

විශේෂයෙන්ම ළදරු පාසලකට වඩා දිනපතා පාසලක තත්වය වෙනස්. පංති භාර ගුරුතුමියට අවම වශයෙන් දරුවන් හතළිහක්වත් බලා කියා ගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසා ඉහත අන්දමේ අවශ්‍යතාවයන් දරුවන්ට අනිවාර්යෙන්ම අවශ්‍ය වුනත් ඒ අවස්ථාවේදී දරුවාට ඒ වෙනුවෙන් පුහුණුවක් ලබා දීම වැදගත්. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දිනපතා පාසලට ඇතුලු කරන කාලසීමාව වෙත්ම දරුවාට තමන්ගේ හැකියාවෙන් මේ කටයුතු කර ගැනීමට හැකියාව ලබා දීම වැදගත්.

පාසලේ පණිවිඩ…

අලුත්ම පරිසරයකදී වෙනදා වගේ අම්මාට ගුරුතුමිය මුණ ගැහිලා පංති කටයුතු වෙනුවෙන් අවශ්‍ය දේ දැන ගැනීමට බැහැ. පංතියේ පණිවිඩවල සන්නිවේදනකරුවා වෙන්නේ දරුවා පමණයි. එක අතකින් මේ පණිවිඩ දරුවාටම රැගෙන යෑමට කටයුතු සිදු කරන්නේ ඔවුන්ගේ සවන්දීමේ හැකියාවට වගේම ස්ව ශක්තියෙන් කටයුතු කර ගැනීමට පෙරහුරුවක් විදිහටයි. ඒත් දරුවන් හැම දෙනාම එක වගේ නැහැ. ඒ නිසා අම්මා , තාත්තා විදිහට ඔබත් පංතියේ ගුරුතුමිය සමග සන්නිවේදනය ගොඩ නගා ගැනීම වැදගත්. එහෙම නැත්නම් අවශ්‍ය පනිවිඩ දරුවා වෙතින් ගිලිහුනත් ඒ ගැන දැනගැනීමට පුලුවනි.

මේ පණිවිඩ දැනගන්නා බව දරුවාට කියන්න එපා…

හැබැයි පංතියේ ගුරුතුමිය වෙතින් මේ පණිවිඩ ගැන දැනගන්නා බව දරුවාට අඟවන්න එපා. එහෙම වුනොත් ඔවුන් ඒ මත යැ‍පෙනවා මිස නිවරැදි ලෙසින් පණිවිඩ නිවසට ගෙන යෑමට උනන්දු වෙන්නේ නැහැ. ඒත් දරුවාගේ පංතියේ දෙමව්පියන් හෝ ගුරුතුමිය එසේත් නැත්නම් වැඩිමහල් සහෝදරයෙක් ලවා නිවරැදි පනිවිඩය ලබා ගෙන එය දරුවා කියන පනිවිඩය සමග කොතරම් දුරට ගැලපෙනවාදැයි බලන්න. ඔහුගේ අඩුපාඩු එහිදී නිවරැදි කර ගැනීමට වගේම පංතියේ අවශ්‍යතාවයන් දරැවාට ඉටු කර දීමටත් එය හේතුවක් වේවි.

දරුවාගෙන් තොරතුරු අසන්න…ඔහුට සවන් දෙන්න…

අනේ පුදුම යුද්ධයක් කරල හොදම ඉස්කොලේට දා ගත්තා… දැන් ඉතින් හුස්ම ගන්න පුලුවනි… දෙමව්පියන් විදිහට මේ උදාන වාක්‍ය කිව්වත් ඔබට එයින් සැහීමට පත් වෙන්න බැහැ.දරුවා සමග පාසලේ තොරතුරු ගැන විමසන්න… සමහර විට ඔවුන් තොරතෝංචියක් නැතුව යම් යම් දේ දොඩවනු ඇති. නිවසේ තිබෙන වැඩ කටයුතු සමග මේ කතා බහ ගැන උනන්දුවක් නොදක්වා ඉන්න එපා. සමහර විට මේ තොරතුරු අතර යම් වැදගත් හේතු සාධක සැගවී තිබෙන්න පුලුවනි. ඒවා දරුවා හිතේ සිරකර ගෙන තබා ගන්නවාට වඩා ඔබ සමග දොඩමලු වීමෙන් යම් නිදහසක් ලබනු ඇත.

  • සහයෝගය කියා දෙන්න…

එදා දරුවන්ට අම්මා, තාත්තා දුන් උපදේශය වුනේ එක පැන්සල දෙකට කඩා ගෙන හෝ සහයෝගයෙන් කටයුතු කිරීමටයි. ඒත් අද දරුවාට කියන්නේ ” මේවා කාටවත් දෙන්න එපා…” යන උපදේශයයි.ඒත් සමහර අමුද්‍රව්‍ය පංතියට යවන විට වැඩිමනත් දේ ඇතනම් ඒවා නැති අයෙකුට දෙන ලෙසට උපදෙස් දෙන්න. ඉරටු කූරු වැනි දේ සමහර දරුවන්ට සොයා ගැනීමට අපහසු ඇති. ඒත් ඔබගේ දරුවාට මේවා වැඩිපුර ලබා දීමට පුලුවන් නම් එයින් කොටසක් නැති අයෙකුට දෙන්නට උපදෙස් දෙන්න. ඔවුන් සහයෝගය ඉගෙන ගන්නේ එවිටයි.

සහයෝගය කියා දෙන්න…

එදා දරුවන්ට අම්මා, තාත්තා දුන් උපදේශය වුනේ එක පැන්සල දෙකට කඩා ගෙන හෝ සහයෝගයෙන් කටයුතු කිරීමටයි. ඒත් අද දරුවාට කියන්නේ “මේවා කාටවත් දෙන්න එපා…” යන උපදේශයයි. ඒත් සමහර අමුද්‍රව්‍ය පංතියට යවන විට වැඩිමනත් දේ ඇතනම් ඒවා නැති අයෙකුට දෙන ලෙසට උපදෙස් දෙන්න. ඉරටු කූරු වැනි දේ සමහර දරුවන්ට සොයා ගැනීමට අපහසු ඇති. ඒත් ඔබගේ දරුවාට මේවා වැඩිපුර ලබා දීමට පුලුවන් නම් එයින් කොටසක් නැති අයෙකුට දෙන්නට උපදෙස් දෙන්න. ඔවුන් සහයෝගය ඉගෙන ගන්නේ එවිටයි.

තමන්ගේ දේ පරිස්සම් කර ගැනීමත් වැදගත්…

ළදරු පාසලේදී මෙන් නොව  දැන් දරුවා භාරයේත් යම් යම් සම්පත් තිබෙනවා. මේවායේ ආරක්ෂාව දරුවා විසින්ම සලසා ගැනීමේ වගකීම ඔවුන්ට බාර ගත යුතු කාලය ඇවිත්. දරුවා වගකීම ඉගෙන ගන්නේද එවිටයි. ඒ නිසා පොත් පත් පැන්සල්, පාට කූරු ආදිය පරිස්සමින් පාවිච්චි කිරීමට වගේම, නැවත නිවසට ගෙන ඒමේ අවශ්‍යතාවය දරුවාට කියා දෙන්න.

දරුවාගේ බිඳ වැටීම සුලුපටු නැහැ…

දිනපතා පාසලේ පරිසරය නිසා දරුවා ඒ මුල් කර ගෙන යම් පසුබෑමක් සහ මානසික ගැටුමක් ඇති වුනොත් එය එතරම් පහසු කටයුත්තක් ‍නොවේ. පාසල් යන්න බැරිය කියන තැනට පත් වීමට වෙනත් විකල්ප සෙවීම පහසු නැත. පාසල් යන්නට බැහැ කියන තැනට පත් වුන විට දිනපතා පාසලේ ඉගෙනුම් කටයුතු අතර ඔහු පසුගාමී තත්වයට පත් වීමට ඉඩ ඇත. ඒ වගේම තමාගේ මනසට අප්‍රසන්න පරිසරය වෙත යෑමට දක්වන මැලි කමත්, ඒ වෙනුවෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන පීඩනයත් දරුවාට දරා ගැනීමට අපහසු වෙනවා පමණක් නොව ඒ මුල් කර ගෙන දරුවාද මනසින් රෝගී වීමටත් ඉඩ තිබෙනවා.

ඒ නිසා පුංචි පුතා ඉ‍ස්කොලේ යන මුල් දවසට පෙරාතුව පටන්ම මව්පියන් ඒ වෙනුවෙන් දරුවාගේ මනස හුරු කිරීම ඉතාම වැදගත්.

දරුවාට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුනොත්….

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත්  වුනා. දැන් ඉතින් දරුවන්ටයි දෙමව්පියන්ටයි බොහොම තීරනාත්මක කාලයක්. උසස් ලෙස සමත් වුන දරුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන සහතික වෙද්දී තවත් පිරිසක් බොහොම දෝලනාත්මක තත්වයට පත් වෙලා. තමන් ලබා ඇති ප්‍රමුඛතාවය අනුව අනාගතයේදී විහ්ව විද්‍යාල වරම තමන්ට ලැබෙයිද…? නොලැබෙයිද….? යන සැකයෙන් පීඩාවට පත්ව සිටිනවා.

ඒ වගේම යම් හෙයකින් මේ පිරිසට විශ්ව විද්‍යාල  අධ්‍යාපනය  නොලැබුනා කියමුකෝ…. ඒත් ඔවුන් අදක්ෂයින් නම් නොවෙයි.

විභාගයක පැය තුනක හෝ නියම කරන ලද කාලසීමාවකදී ඔවුන්ගේ දැණුම ආවර්ජනයෙන් ලබා දෙන මෙම ඇගයීම නිසා දරුවන්ගේ බුද්ධිය තීරණය වෙනවායැයි කියන්න බැහැ. දරුවා මේ සීමිත කාල සීමාවේදී හැසිරෙන සහ ඔවුන්ගේ ආවර්ජන හැකියාව මත ප්‍රතිපල රැදී තිබෙනවා.කොහොම වුනත් ශ්‍රී ලංකාවේ පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන්නේ, 14% ක් තරම් සුළු ප්‍රතිශතයකි.

උදාහරණයක් ලෙස ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2001 වසර සම්බන්ධයෙන් දක්වා ඇති දත්ත අනුව එම වසරේදී පළමු වසර සඳහා දරුවන් 330,385 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම වසරේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් සංඛ්‍යාව 48061 කි.

එසේ නම්, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන ඉතිරි 86% ක ප්‍රතිශතයක් නියෝජනය කරන දරුවන් බුද්ධිමත් නොවේද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ බී.බී.සී පුවත් සේවයට අදහස් ඉදිරිපත් කරමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට මොළය හෙවත් බුද්ධිය මැනීම සඳහා බොහෝ විට සිදු කරනුයේ, විභාග පැවැත්වීමයි. ලෝකයේ සෑම රටක ම විභාග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යන කඩඉම් විභාග සෑම වසරක ම පවත්වයි.මෙවැනි විභාගවලින් ජය ගැනීමට අපොහොසත් වන දරුවන් මානසික අවපීඩනයන්ට ලක්ව අධ්‍යාපනයෙන් පළා යන බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි. විශේෂ ආබාධයක් නොමැති නම් බුද්ධියක් නොමැති කිසිදු දරුවෙකු ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ නොමැති බව ළමා මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. ඒ නිසා විභාගයකින් මනින්නේ දරුවා‍ගේ බුද්ධිය නොව ආවර්ජනයේ ඇති හැකියාව බැව් ඇය සඳහන් කරනවා.

හැම දරුවෙක්ම බුද්ධිමත්. ඔවුන්ගේ බුද්ධිය ප්‍රදර්ශනය වීමේදී යම් යම් වෙනස්කම් තිබෙනවා. දරුවන් අතර මේ තත්වය ඉතාම සුලබයි. සමහර දරුවන්ගේ බාල කාලයේදී පටන් පෙනෙන විශේෂ බුද්ධිමත් හැසිරීම් තිබෙනවා. ඒ නිසා අපිම වෙලාවකට මෙහෙම කියනවා.

පුංචි කාලේ ඉදලාම පුදුම මොළයක් තිබුනේ…

ඒත් සමහර දරුවන්ගේ බාල කාලයේදී නම් ඒ විදිහට විශිෂ්ට හැසිරීම් නොතිබුනත් කාලයත් සමග ඔවුන්ගෙනුත් යම් යම් විශේෂ හැසිරීම් ප්‍රදර්ශනය වෙනවා. මෙන්න මේ ‍කාලය ඉතාම වැදගත්. ඒ අන්දමින් විශේෂ හැකියාවන් ප්‍රදර්ශනය කරද්දී අපෙනුත් දරුවන්ට යම් අභිප්‍රේරණයක් ලබා දීම වැදගත් එවිට ඔවුන්ගේ හැකියාවන් තව තවත් ඉස්මතු වෙන්න පුලුවනි. ඒ වගේම පුංචි කාලයේ විශිෂ්ට හැකියාවන් තිබුනත් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රතිචාර ඉදිරියේ මේ තත්වය වෙනස් වීමටත් ඉඩ තිබෙනවා. ළමා මනෝ විද්‍යා විශේෂඥ ස්වර්ණා විජේතුංග මහත්මිය සඳහන් කරන අන්දමට සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.

ඒ නිසා කිසිම දවසක පංතියේ ලකුනු අඩු වුනොත් “මේ ළමයා නම් උපන්ගෙයි මෝඩයෙක්…” කියල ලේබල් කරන්න එපා. “අනේ අපේ සල්ලි…” යැයි පසුතැවිලි වෙන්නත් එපා.පුංචි කාලයේදී නොපෙන්වූ හැකියාවන් කාලයත් සමග දරුවා හැදෙන වැඩෙන පරිසරයෙන් ලැබෙන උත්තේජන මගින් වැඩි දියුනු කර ගැනීමට පුලුවනි. උසස් පෙළ කඩඉමත් ඒ විදිහටම විසදා ගන්න පුලුවනි. අපේක්ෂිත ප්‍රතිඵලය තුන්වැනි වතාවටත් නොලැබුනොත් එතැනින් ජීවිතය පටන් ගත යුතුයි.

බොහෝ දෙමව්පියන් සහ දරුවන් මානසික බිඳ වැටිල මෙතැනින් ඔබ්බට ජීවිතයක් නැතැයි යන තරම් සංකුලතාවයන්ට පත් වෙනවා. ඒත් අපි නැවත මෙතැනින්ම නැගී සිටිය යුතුය යන සිතුවිල්ල ඇති කර ගැනීමට වෙහෙසෙන්නෙත් නැහැ. ඒත් එය ඉතාම වැරැදි සහ අනුවණ ක්‍රියාවක්.

ඒ නිසා උසස් පෙළ කඩඉමේදී යම් පසුබෑමක් තිබුනොත් එතැනින් සියල්ල අවසාන නැහැ. දරුවන්ට ඔවුන්ගේ කැමැත්තට අනුව වෙනත් විකල්පයක් වෙත යොමු වෙන්න පුලුවනි. නොලැබුන දෙය හොඳම දෙය යැයි නොසිතා ජීවිතය ජය ගැනීමට හැකියාව ඇති මාර්ගයක් වෙත යොමු වීම වඩාත් සුදුසුයි. සෝද සෝද මඩේ දානවා වගේ පෙර වැරැදි දැන් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ විශ්ව විද්‍යාලයට තේරීමේදී දැනෙන  අවදානමක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් යොමු විය යුතු මගක් තෝරා ගෙන ඒ අනුව කටයුතු කිරීම මිස තව තවත් ලතැවෙමින් කාලය ගෙවීම නොවේ.

“සතුට” වැඩදායී දරුවෙක් බිහිකරන්නේ මේ විදියට

දරුවෙක් සතුටින් සිටිනවා නම් දෙමව්පියන් විදිහට අපි නොදැනීම ඔවුන්ගේ පෞරෂයේ බොහෝ සංවර්ධනයන් සිද්ධ වෙන්න පුලුවනි. ඒවා අවවාද වලටත්, දඬුවමටත් කළ නොහැකි වගේම දරුවෙකුගේ ජීවිතයට වඩාත් ශක්තිමත් අත්තිවාරමක් වගේම ඔවුන් මනසින් නීරෝගී පුද්ගලයන් බවට පත් වීමටත් හේතු වෙනවා.

සතුටින් සිටින දරුවාගේ මනස නිතරම නිරවුල්…

සතුටින් සිටින විට දරුවාගේ මනස බොහොම නිරවුල්. වැඩිහිටියන් විදිහට අපිටත් එහෙමයි නේ.ඔහුට කිසිම සංකාවක් හෝ ශෝකතුල බවක් නැහැ. දරුවන්ටත් දුක දැනෙ න අවස්ථාවන් නැතුවාම නොවෙයි.

  • දෙමව්පියන්ගේ දුරස් වීම හෝ මව එහෙම නැත්නම් පියාගේ මරණය
  • අපයෝජන
  • ලිංගික අපචාර

මව පියාගේ මරණය පාලනය කළ නොහැකි හේතුවක් වුනත් අපයෝජන, දෙමව්පියන් දුරස් වීම සහ ලිංගික අපචාර වැනි කටයුතුවලට දරුවා ගොදුරක් නොවෙන සේ කටයුතු කිරීම අපේ පැත්තෙන් සිදු විය යුත්තක්. ඒ නිසා නිතරම දරුවාගේ ආරක්ෂකයින් විදිහට දෙමව්පියන් ඔවුන් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වැසීම කිසි සේත්ම පලක් නැහැ. දරුවා ලිංගික හෝ වෙනත් අපචාරයක ගොදුරක් වුනොත් ඒ පුද්ගලයා මරණ කොටන චේතනාවට වඩා තමන්ගේ දරුවා රැකබලා ගැනීම වැදගත්. එවිට ඔබේ දරුවා නිරවුල් මනාසිකත්වයකින් හෙට දවසට ලෝකයට එක් වේවි.

හොඳ පුරවැසියෙක් බවට පත් වීම…

අතීතයේදී යම් පුද්ගලයෙක් වැරැදි සහගත සේ හැසිරුන විට ඒ තැනැත්තා මුල් කර ගෙන දෙමව්පියන්ට චෝදනා නැගීම සාමාන්‍යයෙන් සිදු වුන දෙයක්. එහි වැරැද්දක් ඇත්තෙත් නැහැ. බාල කාලයේ පටන්ම දරුවාට හොඳ නරක කියා නොදුන් විට ඔවුන් නොමගට යෑමේ ප්‍රවනතාවයක් තිබෙනවා. ඒ නිසා දරුවන්ට යා යුතු මග නොමග කියා දෙන්න. එවිට ඔවුන් අනාගතයේදී ලෝකයටම ආශිර්වාදයක් වේවි.

මූලික පහසුකම් ලබා දෙන්න….

අම්මා තාත්තාට හැකියාව තිබෙනවා නම් ඔවුන් තමන්ගේ දරුවාට අවශ්‍ය හැම පහසුකමක්ම ලබා දෙනවා. එය ඇත්ත. ඒත් සමහර දෙමව්පියන් මේ ගැන වැඩිමනත් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ආහාරපාන වුනත් එතරම් සැලකිල්ලකින් ලබා දීමට වගේම හැකියාව තිබුනත් දරුවාගේ අවශ්‍යතාවයන් ගැන මුල් තැන නොදෙන අවස්ථාවනුත් තිබෙනවා. පාසලේ වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය පවා ඇතැම් දෙමව්පියන්ගෙන් නොදැනීම මග හැරෙනවා. එවන් අවස්ථාවන් නිසා බොහෝ විට දරුවන් අසරණ වෙනවා. පංතියේදී ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය දේ නැති වුනාම වගේම සෙසු දරුවන් අතර ඒ දේවල් තිබෙනවා නම් ඔබේ දරුවා එතරනදී නොදැනීම අසරණබවට පත් වෙනවා. ඒ නිසා හිතට ඇති වෙන්නේ තමන් ගැනම අනුකම්පාවක්. පුංචි හිතට මේ වගේ මානසික තත්වයක් ඇති වීම එතරම් හොඳ තත්වයක් නොවෙයි. ඒ නිසා දරුවා සතුටින් තැබීමට නම් ඔබට හැකි අන්දමින් මූලික පහසුකම් ලබා දෙන්න. එසේ නොමැති නම් මේ පහසුකම් සලසා දීමට දෙමව්පියන් විදිහට ඔබ උනන්දුවක් දක්වන බව ඔවුන්ට ඒත්තු ගැනෙන සේ කටයුතු කරන්න.

එලිමහනේ සෙල්ලමට ඉඩ දෙන්න…

දරුවන්ට එලිමහනේ සෙල්ලම්  කිරීමට හැකි හැම විටම ඉඩ දෙන්න. ඒ තරම් සැහැල්ලුවක් දරුවාගේ මනසට තවත් නැහැ. ගස් කොල සෙලවෙන අන්දම, කුරුළු ගී නාදය, ඇල දොල ගලන හඬ මේවා දරුවන්ගේ මනසට මහත් වූ වින්දනාත්මක අත්දැකීම් ලබා දෙන ස්වභාවධර්මයේ දායාදයන් බව අමතක කරන්න එපා. ඒ නිසා අවස්ථාවක් ඇති විකෙවත් එලිමහනට දරුවන් කැටුව ගොස් රිසි සේ දුව පාන ඇවිදීමට අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න.

මිතුරනුත් එපා කියන්න එපා…

වයස අවුරුදු දහතුනක් පමණ වෙන විට දරුවන්ට මිතුරන්ට වඩා හොඳ සමාගමක් නැති වෙන්න පුලුවනි. ඒ නිසා අම්මා, තාත්තා නිතරම දරුවන් සමග සමීපව සිටින අතරම ඔවුන්ටත් මිතුරු සමාගමක් වෙනුවෙන් යම් අවස්ථාවක් ලබා දෙන්න.මිතුරු සමාගමක කටයුතු කරන විට ඔවුන් සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගෙන ගන්නා බැවින් ඔබේ අවධානය යටතේ හෝ මිතුරන් ඇසුරටත් දරුවන්ට ඉඩ දෙන්න. එය දරුවාගේ සතුටට හේතුවක්.

හැම ජන කොටසක් සමගම සහ‍යෝගයෙන්…

අද පාසලක එහෙම නැත්නම් පංතියක හැම ජන කොටසකම දරුවන් එකට ඉගෙන ගන්නා යුගයක්. ඒත් මේ දරුවන්ට මාලයක මුතු ඇට වගේ කිසිදු භේද බින්න  වීමක් නොමැතිව සහජීවනයෙන් කටයුතු කිරීම වැදගත් බැව් පහදා දෙන්න. මෑතකාලයේ ගොඩ නැගී ඇති විවිධ වාද භේද බොහොමයකට හේතුව වී තිබෙන්නේ අපේ හිත් සාමකාමී නොවීමයි. ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවන්ට ඇසුරු කරන අය අතර වර්ගීකරනයන් ගොඩ නගා ගැනීම සුදුසු නොවන කටයුත්තක් බැව් පහදා දෙන්න. එයින් සමාජයේ ජීවත්විය යුත්තේ කෙසේදැයි දරුවා තේරුම් ගනු ඇත.

දරුවා රටේ සම්පතක්…

දරුවා රටේ සම්පතක් බැව් අපේ දෙමව්පියන්ටත් වැටහිමක් නැහැ. එහෙම තිබුනත් ඒ ගැන වැඩි අවධානයක් ලබා දීමටත් දෙමව්පියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දරුවා හෙටට ලෝකයේ වටිනාම සම්පත බැව් ඔවුන්ගේ හදවතට ඒත්තු ගිය දිනකදී තමා වැදගත් යන සංකල්පයෙන් කටයුතු කිරීමට දරුවාගේ හිතේ යම් පෙළඹවීමක් ඇති වෙනවා. ඒ නිසා දරුවා හෙට දවසේ සම්පත බැව් ඔවුන්ට දැනෙන සේ දෙමව්පියන් කටයුතු කිරීම ඉතාම වැදගත්.

අවුරුද්දකට දිනපොත් කැලන්ඩර කීයක් ඕනෙද?

මොනවද ඔය බරටම…. පුතාට පොත් ගත්තද….? ඇගේ මල්ල පිරී තිබුනේ පිලිවෙලක් නැති කඩදාසි රෝල් වලින්. ඒ අතර තවත් පොත් කීපයකුත් තිබුනා. දැනට පාසල් යන වයසේ දූ දරුවනුත් නැති මේ කාන්තාවගේ මේ තරම් කඩදාසි ගොන්නක්  මොකටදැයි මට හිතුනා. ඒත් මේ ප්‍රශ්නය ඇහුනේ ඇය මහත් අසීරුවෙන් මේ කඩදාසි ගොන්න සමග තිබුන අරගලය නිසයි.

නෑ අනේ කැලැන්ඩරයි…දින පොතුයි.

සමහර විට කැලැන්ඩර් සහ දිනපොත් ව්‍යාපාරයක් කරනවාදැයි අහන්න හිතුනත් මැදිවියත් ඉක්මවා සිටින ඇයගෙන් එවන් ප්‍රශ්නයක් ඇහුවොත් එය ඇගේ ගරුත්වයට හානියක් වෙන්න පුලුවන් නිසා මම නිහඩ වුණා.

ඒත් මේ තරමටම දිනපොත් සහ කැලැන්ඩර් මොකටදැයි මට තනියම හිතුනා. එක් දිනපොතක් වසරටම ඇති. ඒ වගේම උපරිම විදිහට කැලැන්ඩර් දෙකක් හෝ තුනක් නිවසකට මදිද…? නමුත් අද මේ වෙනුවෙන් ඇති අරගලය ඔබටත් මේ දිනවල සුලබ දසුනක් වෙන්න පුලුවනි.

සමහර විට හොඳ හිතත් නැති වෙනවා…

විශේෂයෙන් කන්තෝරුවල නම් මේ තත්වය ඉතාම සුලබයි. ගණුදෙණුකරුවන් ඒ ආයතනයට කැලැන්ඩර් සහ දිනපොත් ගෙනැවිත් දෙන්නේ කාර්යාලයේ හැම දෙනාටම බෙදා හදා ගන්න. ඒත් මේවා බොහොම වටිනා විදිහට සලකමින් සමහ අය තවත් කෙනෙකුට ඒවා බෙදා දීමක් කරන්නේම නැහැ. රහසේම සගවා ගෙන තුමූ පරිභෝජනයට පමණක් යොදා ගන්නවා. එය හෙලිදරව් වූවොත් එකම ආයතනයේ සේවයේ යෙදෙන අය අතර පවා මත ගැටුම් ඇති වෙනවා කියන්නේ වසර පුරාවටම කටයුතු කිරීමට සිද්ධ වෙන්නේ මේ නොහොඳ නෝක්කාඩු හිතත් සමගයි.

එකතු කිරීමටත් යනවා…

විශේෂයෙන් රජයේ කන්තෝරුවල උදවිය වසර අවසානයේදී සැපයුම්කරුවන් වෙතට ගොස් දිනපොත් සහ කැලැන්ඩර් ඉල්ලා සිටිනවා. එය එක් තැනකින් නවතින්නේ නැහැ. සියලු සැපයුම්කරුවන් වෙතට යන අතර ඒ වෙනුවෙන් වැය වෙන්නේ රජයේ ඉන්ධනයි. මෙසේ ලබා ගන්නා දිනපොත් සහ කැලැන්ඩර් ආයතනයේ අය අතර බෙදා  දීමකුත් නැහැ.

මේ වගේ ප්‍රශ්නත් අහනවා…

සමහර අය අනවශ්‍ය විදිහට කැලැන්ඩර් එකතු කරන විට “ගෙදර බිත්තිවල හිදැස් වහන්නද….?” වැනි උපහාසාත්මක ප්‍රශ්නත් නැගෙනවා. ඒත් එකතු කරන අයට නම් ලැජ්ජාවක් නැහැ. සාමාන්‍ය කට වහරට කියනවා වගේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා වැඩියිනේ… හැබැයි යාන්තමින් හෝ විනයක් තිබෙනවා නම් මේ එකතුකිරීම එතැනින් නවත්වනවා. ඒත් මේ කැලැන්ඩර් සහ දිනපොත් එකතු කරන අයගේ ඇබ්බැහිවීම නිසා උපහාස සහ අපහාස ඉදිරියේ වුනත් ඔවුන් තමන්ගේ පුරුද්ද නවත්වන්නේ නැහැ.

මේ තරම් කැලැන්ඩර් සහ දිනපොත් පුරවාගෙන මොකද කරන්නේ….

කැලැන්ඩරයක් සහ දිනපොතකින් ලැබෙන ප්‍රයෝජනය ඒ අවුරුද්ද ගෙවුනාම අවසානයි. අනවශ්‍ය විදිහට මේ ගොඩගැසීම නිසා කාලයත් සමග නිවසේ කුණු කසල ගොඩ ගැසෙනවා.. ඒ නිසා කෘමි සතුන් විතරක් නොවෙයි, අඳුරු අහු මුළු නිසා මදුරුවනුත් බෝවෙනවා. අනවශ්‍ය විදිහට ගොඩ ගසා ගැනීම් නිසා විශ්ව ශක්තියටත් බාධා ඇති වෙන බවටත් යම් යම් අදහස් තිබෙනවා. ඒ කොහොම වුනත් වටපිටාවේ තිබෙන කුණු කසලත් නිවසේ පුරවා ගෙන ඇති වෙන්නේ ඉතාම අපිළිවෙලක්.

දිනපොත් දරුවන්ට කුරුටු බලි අදින්න…

සමහර නිවෙස්වල පුංචි දරුවන්ට කුරුටු බලි අඳින්න, කෙටි සටහන් ලියන්න, කටුවැඩවලට කළමනාකරණ දිනපොත් පවා ලබා දෙන අවස්ථා තිබෙනවා. වසර මුලින් බොහොම දුක් කරදර විදගෙන ලබා ගත්තු දිනපොත් පාවිච්චියට ගත නොහැකි තැනට පත් වුනාම රුපියල් දහය දොළහකින් සිද්ධ වෙන කටයුතු වෙනුවෙන් ආදේශක විදිහට යොදා ගන්නවා.

ඒත් මේ වෙනුවෙන් වැය බරක් දරනවා…

ඉවක් බවක් නැතුව දකින දකින තැනින් දිනපොත් කැලැන්ඩර් එකතු කර ගෙන අන්තිමේදී නිකම්ම කුනු බක්කියට එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට විනාස කිරීම එතරම් හොඳ දෙයක් නොවෙයි, ඊට හේතුව මේ වෙනුවෙන් ආයතන විසින් වැයක් දරනවා. ඔවුන් මේ විදිහට දිනපොත් සහ කැලැන්ඩර් පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ බොහාම සද්බාවයෙන් ඔවුන් වෙනුවෙන් යම් ඇගයීමකින්. ඒ නිසා අපි ආයතන හිමියන්ගේ පාර්ශවයෙනුත් හිතන්න අවශ්‍ය වෙනවා.

නරක ආදර්ශයක්…

සමහර අවස්ථාවලදී තමන්ගේ දරුවන් සමග මේ තැන්වලට ගිහින් කැලන්ඩර් , දිනපොත් ඉල්ලමින් ආයතනවලට කරදර කරන වැඩිහිටියනුත් සිටිනවා. ඒත් මේ ආදර්ශය එතරම් සුදුසු නැහැ. සීමාවක් නැතුව මේ විදිහට කරන ලුහුබැඳීමට අනාගතයේදී දරුවනුත් හුරු වෙනවා. ඒ නිසා දිනපොත්, කැලැන්ඩර් සිඟමන ඔබේ අභිමානයටත් ගැලපෙන දෙයක් නොවෙයි. ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට වුනොත් එතැනින් නවතින්න. එක දිනපොතක් … උපරිම කැලැන්ඩර් දෙකක් හොඳටෝම ඇති.

දරුවාගේ අධ්‍යාපනයට උදව් වීමට දැන් හොඳම කාලයයි

අලුත් පාසල් වාරයක් විතරක් නොවෙයි, අලුත් පංතියක්… අලුත් පංතියේ වැඩ මුල පටන්ම ආරම්භ කළොත් කිසිම කරදරයක් නැතුව අවුරුද්ද අවසානයේ විතරක් නොවෙයි, කඩඉම් විභාග වුනත් පහසුවෙන්ම ජයගන්න පුලුවනි. මේ නිසා දෙමව්පියන් විදිහට දරුවාගේ අධ්‍යාපනයට සහයෝගය ලබා දෙන්න. එවිට ඔබේ දරුවා අධ්‍යාපනයට ඇල්ල බැල්ම ඇති දරුවෙක් බවට නොදැනීම පත් වේවි.

අපි කිසිම කෙනෙක් නිරතම ඇනුම් බැණුම් මැසවිලි අහන්න කැමැති නැහැ. දරුවන්ටත් මේ තත්වය සාධාරණයි. ඒ නිසා නිතරම පාඩම් කරනන් යන විධානයට වඩා ඉගෙනීමේ අගය දරුවාගේ හදවතට ඒත්තු ගන්වන්න. අද දවස ඉගෙණුම වෙනුවෙන් කැප නොවුනොත් හෙට දවස ඔවුන් බලාපොරොත්තු වෙන ලෝකයට යෑම අපහසු බවත් සෙමින් සීරුවට කියා දෙන්න.

නිර්මාණශීලිත්වය ඇගයීම…

දරුවන්ගේ නිර්මාණශීලීත්වය සැගවී තිබෙන්නේ ඉතාම සියුම් අපිට නොපෙනෙන විදිහටයි. නිවසේ ඇති මෝටර් රථයේ දෝෂ ඔබට වඩා දරුවා දනන්වා ඇති. එවන් අවස්ථාවලදී දරුවාටත් යම් තක්සේරුවක් ලබා දෙන්න. දරුවාගේ පැවරුම් වෙනුවෙන් ඔබත් සහයෝගය ලබා දෙන්න. අවශය පොත් පත් සහ කරුණු පමණක් නොව අමුදද්‍රව්‍ය පවා සපයා දෙන විට එවැනි අධ්‍යන කාර්යන් වෙනුවෙන් දරුවාට නොදැනීම ධෛර්යක් ලැබෙනු ඇති.

අධ්‍යාපනයට බාධා…

අපි නොදකින විදිහට ඉගෙනුම් කටයුතු තුළ දරුවාටත් හැලහැප්පීම් ඇති. සමහර විෂයන් ඔහුට ගැටලු සේ දැනෙනවා මෙන්ම පෙනිම, ඇසිම සහ තේරුම් ගැනීමේ දෝෂ පවතිනන් පුලුවනි. නිතරම ලකුණු වෙනුවෙන් ඔට්ටු නොවී දරුවාට ඇති අපහසුතාවයන් ගැනත් විමසා දැන ගන්න. එවිට මුලින්ම මේ ගැටලු වලට පිලියම් ලැබුනොත් දරුවාට ඉදිරියට යෑම එතරම් අපහසුවක් වෙන්නේ නැහැ.

පොත් පත් කියවන්න…

කියවීම මිනිසා සම්පූර්ණ පමණක් නොව සර්ව සම්පූර්ණ මිනිසෙක් බවට පත් කරනු ඇති. ඒ නිසා නිතරම අතිරේක කියවීම් වෙනුවෙන් පොත් ,පත් සඟරා ලබා දෙන්න. විද්්‍යුත් මාද්‍ය මගින් පවා ඉගෙනුමට අවශ්‍ය ඇප්, සිඩී සහ වෙනත් විවිධ මෘදුකාංග අද තිබෙන නිසා ඒවා වුනත් දරුවාට ලබා දීමෙන් ඔවුන්ගේ දැණුම් වපසරිය පුලුල් කිරීම ඉතා පහසුවෙන් සිදු වේ. විශේෂයෙන් ධම්මපද නිදාන කථාවන් අද බාගත කර ගැනීමට තිබෙන පහසුකම් හා සමානවම වෙනත් විෂයන්ටත් තිබෙන පහසුකම් ගැන විපරම් කොට දරුවාටත් ඒ පහසුකම් සලසා දීම ඉතාම වටිනවා. එවිට ස්වයං ඉගෙනුම වෙනුවෙන් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

දරුවන්ටත් ඉලක්ක…

මිනිසුන් ජීවත් කරන්නේ බලාපොරොත්තු නිසා දරුවාටත් අරමුණු අනුව කටයුතු කිරීමට හුරු කරන්න. ඒත් ඉලක්ක ගොඩ නගා ගැනීමෙන් පමණක් සැහීමට පත් වෙන්න බැහැ. එය දීකිරි වෙළෙන්දියගේ සිහිනයට සමානයි. ඒ නිසා දරුවා ගොඩ නගා ගත් ඉලක්කයට සෙමෙන් සීරුවට සම්බන්ධ වීමට අවශ්‍ය මාර්ගය පාදා දීමටත් ඔබට සහයෝගය දක්වනන් පුලුවනි.

සාර්ථකත්වය අගයන්න… දුර්වලතාවයන්ට දොස් එපා… 

දරුවාගේ සාර්ථකත්වයක් දකින විට එය අගය කරන්න. ඔබේ ඇගයීම නිසා දරුවා විශාල ශක්තියක් ලබනු ඇති. නිවරැදි  දෙයට “හරි” ලකුණ තරු සහ හිනා මුහුණු දරුවාගේ ප්‍රගමනය වෙනුවෙන් යොදා ගත් සරල උපක්‍රමයකි. මේ නිසා නිතරම කිසියම් සංවර්ධනයක් වෙතොත් එම ඇගයීම දරුවා දිරිගැන්වීමට හේතු වෙන බව අමතක නොකරන්න.

ඒ වගේම දරුවාගේ දුර්වලතාවයන්ට දොස් නැගීමත් එතරම් සුබවාදී නැහැ.පොතක වැරැදි ලකුණට , පංති‍ මට්ටමින් ලකුණු අඩු වුන විට දොස් නගනන් එපා. ඒ පසුගාමීත්වයට හේතුව කුමක්දැයි සොයා ගන්න. එයින් අනතුරුව සොයා ගත් හේතුව වෙනුවෙන් පහසුකම් සලසා දෙන්න.

සාර්ථක ඉගෙනුම් ක්‍රම සොයනන්න…

දරුවන්ගේ ඉගෙණුම් පුරුදු එක් එක් අයට වෙනස්. ඇතැම් දරුවන් සවන්දීමෙන් බොහෝ දේ උගනී. ඇතැම් දරුවන් කෙටි සටහන් තබා ගනිති. තවත් අය එලිමහනේ පාඩම් කටයුතු කිරීමට කැමැත්තක් දක්වති. මේ අන්දමින් සාර්ථක ක්‍රම දරුවාට සොයා ගැනීමට ඉඩ දෙන්න.

නිවසේ බාධාවන්…

සමහර විට දරුවාගේ ඉගෙණුමට බාධාව ඔවුන් ජීවත්වෙන නිවසේ නම් ඒ ගැනත් යම් අවධානයක් දැක්වීම ඉතා වැදගත්. අම්මාගේ නාට්‍ය… තාත්තාගේ සංවාද සහ වෙනත් වැඩසටහන් නිසා දරුවාට පාසලේ වැඩ කටයුතු වුනත් නිදහසේ කර ගැනීමට නොහැකි පරිසරයක් ඇති වීමට පුලුවනි. රාත්‍රි ආහාරය වුනත් කල් තබා සකස් කර දීම වැනි පහසුකම් පවා ඔබට දරුවාගේ ඉගෙණුමට විශාල පිටුවහලක් වේවි. බොහෝ නිවෙස්වල රාත්‍රි ආහාරය ප්‍රමාද වෙන විට දරුවාට අදාල කටයුතු කිරීමට අපහසු වෙනු ඇති.

දරුවාගේ ඇසුර ගැනත්…

දරුවා ඇසුරු කරන සමාගම අනුවත් ඉගෙනුමට තිබෙන අනන්දුව අවදානය නැති වීමට පුලුවන්. ඒ නිසා නිතරම දරුවා ඇසුරේ සිටින සමවයස් කණ්ඩායම් ගැනත් සොයා බලන්න. එවන් නොමග යෑම් වලින් දරුවා මුලින්ම මුදවා ගැනීම ඉතාම වැදගත්.

පරිසරය සමබර වීම…

දරුවන් පොත පතටම ඇලී ගැලී සිටිය යුතු යැයි දෙමව්පියන්ගේ සිතුවිල්ල වුනත් එය සාධාරණ නැහැ. ඔවුන්ට නිදහසේ ජීවත්වීමට අවසර දෙනන්. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියන දරුවන් නිවසේ සිරකරුවන් බවට පත් වෙන බව නොරහසක්. ඒත් දරුවන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ දෙන්න.

ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය ගැන සැළකිලිමත්ද?

දරුවන්ගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කල හැකිද යන්න අද වනවිට බොහෝ මව්වරුන්ට පැන නගින ගැටලුවකි. ඒ පිළිබද ඔබේ දැනුවත් වීම උදෙසා මෙවර ලිපිය දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීම සම්බන්ධව සාකච්චා කිරීමට අපි තීරණය කළෙමු. සාමාන්‍යයෙන් දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින අතර එය බිලිඳු වියේ සිටම ආරම්භ විය යුත්තකි. නමුත් ඒ හා සමානවම පැන නගින ගැටළුවක් වන්නේ කුඩා බිලින්දෙකුගේ බුද්ධි වර්ධනය කුමන ආකාරයෙන් සිදුකල යුතුද යන්නයි.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීමේ පළමු පියවර වන්නේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනය කිරීමයි. එය සරලව මෙසේ පැහැදිලි කල හැක. දරුවෙකු උපන් මොහොතේ පටන් ඇස්, කන් ආදී ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වීමට පටන් ගන්නා නමුත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නමුත් දකින හෝ අසන යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව බිළිඳුන් සතුය. එය ප්‍රයෝජනයට ගනිමින් දරුවාගේ ඉන්ද්‍රීය සංවේදීතාවය උත්තේජනයට ලක්කිරීමේ හැකියාවක් පවතී. තොටිල්ලක නිදන කුඩා දරුවෙකු තමන්ට ඉහලින් එල්ලා ඇති කුරුළු කොට්ටය දෙස බලමින් ඇතැම්විට එහි නැගෙන හඬට ප්‍රතිචාර දැක්වීමක් උදාහරණ ලෙස ගත හැකිය. එදෙස බලමින් තනිව සිනාසෙන අතරතුර කටින් විවිධ ශබ්ද නගමින් ප්‍රතිචාර දැක්වීම හරහා ඔවුන්ගේ මොළයේ ඇති ප්‍රතීක (Synapses) ක්‍රියාත්මක වෙමින් බුද්ධි වර්ධනයට අදාළ මුලික සංසිද්ධීන් සකසනු ලබයි. එලෙසම සියුම් ලෙස කිති කැවීම් වැනි විවිධ ස්පර්ශකයන් ලබාදීමේදී දරුවන් දක්වන ප්‍රතිචාර මගින්ද ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ වර්ධනයක් සිදුකරයි.

දරුවන්ගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා අභියෝගවලට මුහුණ දීම වැනි චින්තනය දියුණු කරවීමේ ක්‍රියාකාරකම්ද ඉතා වැදගත් වේ. දරුවාගේ අවකාශමය බුද්ධිඵලය, භාෂාත්මක බුද්ධිඵලය, ගණිතමය බුද්ධිඵලය හා තාර්කික බුද්ධිඵලය යන කොටස් හතරම වර්ධනය උදෙසා එය බලපෑම් ඇති කරයි. ඒ හරහා තමන්ට ආවේනික ලෙස සිතමින් ඒ ඔස්සේ තම මොළයේ ජෛවමය හා ව්‍යුහාත්මක වර්ධනයක් ඇති කරගැනීමටත් දරුවන්ට අවස්ථාව උදාවේ.

දේශගුණික සහ කාලගුණික අපදා අවම වූ රටවල දරුවන්ට තමන් ජිවත්වන පරිසරයෙන්ම බුද්ධිඵලය ඉහල නැංවීම සඳහා ඉතා විශාල පිටුවහලක් ලැබේ. අතීතයේ කුඩා දරුවන් සිදු කල කෝම්පිට්ටු සැදීම, වැලි බත් ඉවීම වැනි ක්‍රීඩාවලින් දරුවන්ගේ මොළයේ ව්‍යුහය තුල වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්ව තිබෙන බවද මේ වනවිට සොයාගෙන තිබේ. තාක්ෂණයේ දියුණුවත් දෙමව්පියන්ගේ කාර්යබහුල ජිවන රටාවත් හේතුවෙන් අද වනවිට දරුවන් සම්පුර්ණයෙන්ම එවැනි ක්‍රීඩාවලින් ඈත්වී රුපවාහිනී, දුරකථන වෙත යොමුව ඇති නමුත් එමගින් සියල්ල සම්පුර්ණ නොවන බව දෙමව්පියන් මතක තබා ගත යුතුයි. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල වැලිකෙලියට සහ කෝම්පිට්ටු සෑදීමට සමාන මනෝකායික ක්‍රියාකාරකම් ඇතුලත් විශේෂ ක්‍රීඩාවන් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත. එලෙසම ලංකාවට තරමක් වෙනස් අත්දැකීමක් වුවත් එක් එක් වයස් කාණ්ඩවල දරුවන් සඳහා නිර්දේශිත වෙනස් වෙනස් ක්‍රීඩා භාණ්ඩද මේ වනවිට ලොව බොහෝ රටවල දක්නට ලැබෙන්නේද මෙම ගැටලුවට පිළිතුරක් ලෙසය.

දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය කිරීම උදෙසා මොළය හා පරිසරය සම්බන්ධ අන්තර්ක්‍රියා (Interactive Activities) වල බලපෑමද ප්‍රධාන තැනක් ගනියි. එහිදී තමන් ජිවත්වන පරිසරය සම්බන්ධ පුද්ගලයන්, සතුන්, ස්වභාවික වස්තූන්, ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධිය වඩවා ගැනීමට දරුවාට උදව් වියයුතුය. එමගින් දරුවාගේ බුද්ධිඵලය විශාල පරාසයක් කරා යොමුවන අතර එය පරිසරය හා තම පැවැත්ම පිලිබඳ මූලික අවබෝධයක් ලැබීමටත් පරිසරයෙන් අත්වන හිරිහැර පිලිබඳ තේරුම් ගැනීමටත් අවස්ථාව ලැබීමකි. ගින්නෙන් පිච්චෙන බව, බළලුන් සූරන බව, තියුණු ආයුධවලින් කැපෙන බව ආදී කරුණු රාශියක් තම මොළයේ ගබඩා කර ගැනීම මගින් ජෛව රසායනික සහ ව්‍යුහාත්මක වශයෙන් මොළයේ දැනුම් පරාසය පුළුල් වීමක් එහිදී සිදු වේ. එලෙසම කතාන්දර ඇසීම තුළින්ද තම දැනුම් පරාසය පුළුල් කරගැනීමේ සහජ ආශාවක්ද දරුවන් තුල පවතියි.

වර්තමානය වනවිට අප රටේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ බුද්ධිඵලය වර්ධනය වීමට අවශ්‍ය බොහෝ කරුණු අන්තර්ගත නමුත් නූතන විෂයානුබද්ධ අධ්‍යාපන ක්‍රම තුළ මනෝකායික ක්‍රියාකාරකම්වලට ඇති ඉඩ ප්‍රස්තාවේ මදිකම නිසාදෝ ඇතැම් දරුවන් තුල මෙම බුද්ධිඵලය  නිසි අයුරින් ගොඩනැගී නැති අවස්ථාවන්ද අපට දක්නට ලැබේ. එනිසා සෑම විටම පොත පතේ අධ්‍යාපනයට පමණක් දරුවන් සීමා නොකර යම් කාලයක් ක්‍රීඩා ඇතුළු කායික ක්‍රියා සඳහාද ඔවුන් යොමු කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුයි. දරුවෙකුගේ බුද්ධිඵලය රැඳී පවතින්නේ පොත පතේ දැනුම මත බව බොහෝ දෙමව්පියන් වැරදි වැටහීමක සිටින නමුත් එය සැබෑ ලෙසම දරුවාගේ මනස සහ කය ඇසුරින් මොළයේ ප්‍රතීක ක්‍රියාකාරිත්වය නිසා හටගන්නා ජෛව රසායනික සහ ව්‍යුහාත්මක තත්වයකි. එසේ හෙයින් ඔබේ දරුවාගේ බුද්ධිඵලය නැතිනම් IQ වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය මානසික අභ්‍යාස ලබාදීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම දෙමව්පිය ඔබේ වගකීමක් බව මතක තබාගත යුතුය.

ඔස්ට්‍රෙලියාවේ  (University of Queensland Technology  ) ප්‍රජා වෛද්‍ය එස්. ජේ. සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. 

 

බබාට කෑම හදමු – ලිපි අංක 5

මම බබාට වට්ටක්කා දුන්නේ මෙහෙමයි…


ඔව්, මේ ලිපියෙන් මම වට්ටක්කා ගැන ලියන්න හිතුවා. ඔයාලා දන්නවනේ වට්ටක්කා කියන්නේ මාස 6 න් ඉහළ ඕනෑම බබෙක්ට දෙන්න පුලුවන් එළවලුවක් කියලා. එහෙමත් නැත්නම් මාස 6 පහුවෙලා මූලික ඝණ ආහාර හඳුන්වා දෙන බබාලට මුලින්ම දෙන්න කියන දෙයක් තමයි වට්ටක්කා. සමහර රටවලනම් මේවා පළතුරක් විදියට සලකනවා. අපේ රටේ නම් මේක හොඳ එළවලුවක්. ඇටයේ ඉඳලා පොත්ත වෙනකම් ම ගුණ සපිරි දෙයක්.

වට්ටක්කා වල විටමින් A සහ බීටා කැරොටීන් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම යකඩ​, පොටෑසියම් සහ ප්‍රෝටීන් අන්තර්ගතයි. තන්තුමය ගතිය වැඩි එළවලුවක් වන වට්ටක්කා වල කැලරි සහ මේදය අඩුයි. ඔබේ දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් වට්ටක්කාවල අඩංගු වෙනවා. මෙය බබාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට එයාගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි මම හිතනවා.

වට්ටක්කා වර්ග කීපයක් අපේ වෙළඳ පොලේ තියෙනවා. ඒ ඕනෑම වර්ගයක් බබාලට සුදුසුයි. ලංකාවේ වැවෙන කාබනික වට්ටක්කා හොයා ගන්න පුලුවන් නම් තවත් හොඳයි. වට්ටක්කා ඇට වලත් යකඩ සහ ප්‍රෝටීන් ගොඩක් අන්තර්ගත නිසා ඉතා ගුණදායකයි. විශේෂයෙන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණ දායකයි කියා කියනවා. මම සොයා බැලූ තොරතුරු අනුව වට්ටක්කා ඇට පුංචිම බබාලට ඒ කියන්නේ ආහාර මුලින් හඳුනා ගමින් ඉන්නා බබාලට එතරම් සුදුසු නැති බව කියනවා. ඒත් එහි වැඩි යකඩ ප්‍රමණය නිසා ටිකක් ලොකු බබාලට නම් සුදුසු බව කියනවා. කොහොම වුනත් පුංචි බබාලට ඒ වගේ අලුත්, මතභේදාත්මක දෙයක් කවන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මම අම්මලා තාත්තලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දැන් මම කියන්නම් වට්ටක්කා බබාට හදල දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක්:-

වට්ටක්කා තලපය වට්ටක්කා හොඳින් සෝදා පුංචියට කෑලි කපල වාශ්පයෙන් තම්බා , පොඩි කරගෙන බබාට කවන්න​. මෙම තලපයේ ඝනකම වෙනස් කිරීමට ඔබට වතුර හෝ කිරි භාවිතා කරන්න පුලුවන්. මෙය හොඳ උදාසන ආහාරයක් ලෙසද නැතිනම් අමතර ආහාරයක් ලෙසද දෙන්න පුලුවන්. කිරි භාවිතා කරන්නේ නම් බබාගේ වයස අනුව මව් කිරි, ළදරු පිටි කිරි හෝ නැවුම් එළකිරි භාවිතා කරන්න​.

වට්ටක්කා බත් සමග එකට උයා ගන්න​.

වට්ටක්කා බේක් කරලා – මේ ක්‍රමය මාස 9 න් වගේ බබාලට අතින් අල්ලන් කන්න පුරුදු කරන්න සුදුසුයි. වට්ටක්කා හොඳින් සෝදලා කෑලි කපලා අවන් එකේ බේක් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය රසයට වඩා වැඩි රසයක් වට්ටක්කා වලට ලැබෙනවා. මේවා හොඳින් නිවලා, බබාට අතින් අල්ලා කන්න දෙන්න​. හැබැයි බබාගේ ළඟින්ම ඉන්න ඕන.

වට්ටක්කා සුප් මේක වට්ටක්කා තම්බලා හදන්නත් පුලුවන්. නමුත් හුඟක් රස වෙන්නේ වට්ටක්කා බේක් කරලා ගත්තොත්. මේ ඕන ක්‍රමයකට මෙලෙක් කර ගත්ත වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා, මස්/මාලු/එළවලු තම්බපු වතුර එක්ක මිශ්‍ර කරලා (පොඩි තෙම්පරාදුවක් දා ගන්නවනම් තවත් රසයි) වට්ටක්කා සුප් හදන්න පුලුවන්. අම්මා කෙනෙක් එයා සුප් හදා ගත්ත විදිය කියලා එවපු රෙසිපියක් ඇති..ඒකත් ඔයාලා මේ සටහනෙන් පස්සේ දීලා ඇති ලින්ක්ස් ක්ලික් කරලා බලන්න.

වට්ටක්කා , තවත් එළවලුවක් හෝ කීපයක් සමග – වෙනත් එළවලු සමඟ වට්ටක්කා තම්බලා පොඩි කරලා බබාට කවන්න පුලුවන්.. කැරට්, කෝලිෆ්ලවර්, අල​, බීට් රූට්, බතල මේ වගේ ඕනැම එළවලුවක් සුදුසුයි.

වට්ටක්කා , තවත් පළතුරක් සමඟ – ඇපල්, පෙයාස් වගේ පළතුරු සමඟ වට්ටක්කා දෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් ඇපල් සහ වට්ටක්කා එකට තම්බාගෙන , පොඩි කරල සාදික්කා/කුරුඳු කුඩු ටිකකුත් දාලා රසවත් කෑමක් හදලා බබාට දෙන්න පුලුවන්.

වට්ටක්කා සම්ඟ බිත්තර , මස්, මාලු වැනි දෙයක් එකතු කරලා බබාට කවන්න​.

වට්ටක්කා වලින් පෑන් කේක් හදලා දෙන්න පුලුවන්

වට්ටක්කා රොටි – පූර්ණ තිරිඟු පිටි වලට​, පොඩියට ලියා ගත් ඉදුනු වට්ටක්කා එකතු කරලා රොටී සාදා ගන්න පුලුවන්. මේවා ලොකු බබාල ආසාවෙන් කාවි.

Article No 23:-බේක් කල වට්ටක්කා කෑලි – baked pumpkin pieces as a finger foodඔන්න අද බබාට අමතර ආහාරයක් විදියට වට්ටක්කා…

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Monday, September 3, 2018

Pumpkin soup option- for babies over 6 months

Posted by බබාට කෑම හදමු – Lets make Baby Food on Tuesday, September 4, 2018

මේ වගේ, වෙනස් වෙනස් විදියට හිතලා අපිට එක එක විදියට බබාලට මේ ගුණදායක එළවලුව ලබා දෙන්න පුලුවන්. අනේ අපේ බබා වට්ටක්කා කන්නේ නැහැනේ කිය කිය ඉන්න එපා අම්මලා..ඔන්න මම අදහස් ගොඩක් ඔයාලට කියලයි තියෙන්නේ.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .