ඔබේ දරුවාට ආදරය හා රැකවරණය සමගින් එන “The Hope”

දරුවා යනු දෙමව්පියන්ට, පවුලට සහ සමස්ත සමාජයට ඉතාමත් වටිනා සම්පතකි. මව් කුස පිළිසිඳ ගත් පටන් දෙමව්පියන් තම දරුවා පිළිබඳ සිහින මවන්නට පටන් ගනියි. මෙලොවට බිහිවූ දා සිට යහපත් පුරවැසියෙකු ලෙස වැඩෙනවා දැකීමට පෙරුම් පුරයි. මේ ලෝ වාසී සෑම දෙමව්පියකුගේම ඒකායන ප්‍රාර්ථනය එයයි.

නමුත් වර්තමානයේ තරගකාරී ලෝකය තුළ මව සහ පියා යන දෙදෙනාම රැකියාවක් කිරීම තම පවුල් සංස්ථාව විධිමත් මට්ටමක රඳවා ගැනීමට අත්‍යවශ්‍ය  කාරණාවක් බවට පත් වී ඇත. එවැනි සමාජයක තම දරුවන් රැකබලා ගැනීම යනු ඇතැම් දෙමව්පියන්හට ප්‍රබල ගැටලුවක් වේ. ඇතැම් දෙමව්පියන් තම දරුවන් ආච්චි හෝ මෙහකාරියක් භාරයේ තබයි. නමුත් මෙවැනි පිළියම් කෙතරම් දරුවාහට ආරක්ෂිවතද යන්න සිතා බැලීම වැදගත් වේ.

වැඩෙන දරුවෙකු හට පෝෂණය, ආදරය සහ කිසියම් රැකවරණය යනු ඉතාමත් වැදගත් සාධක වේ. අනාගතයේ දරුවාගේ මනා ශාරීරික සහ මානසික වර්ධනය සඳහා එය පිටුවහලක් වේ. එපමණක් නොව දරුවාගේ සනීපාරක්ෂාරව සහ නිසි වයසේදී දරුවාගේ මොළයේ වර්ධනය නිසි පරිදි සිදු වීමට අවශ්‍ය අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදු කිරීමද අත්‍යවශ්‍ය කාරණයකි.

මේ සියලු දෑ හට පිළියමක් වශයෙන් මහනුවර ප්‍රදේශයේ දෙමව්පියන් වෙනුවෙන්ම “ද හෝප්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය පිටුවහලක් වන බව නොඅනුමානය.

දරුවාගේ මානසික වර්ධනයට අවශ්‍ය විධිමත් බාහිර සහ අභ්‍යන්තර පරිසරයක් එහි සතුය. වායු සමීකරණය කරන ලද නිදන කාමරය සහ දවස පුරාම ඔවුන්ගේ ආරක්ෂා ව අධ්‍යයන කිරීම වෙනුවෙන් CCTV  කැමරා පද්ධතියක්ද ක්‍රියාත්මක කර ඇත. දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂාක කිරීම උදෙසා ඉතා පිරිසිදු සෙල්ලම් බඩු සහ අධ්‍යාපනික උපකරණ විවිධ වයස් කාණ්ඩවලට අදාලව වෙන් වෙන්ව සපයා ඇත.

දරුවාගේ ආහාර යනු රැකියාවක යෙදෙන මවකට ඇති ප්‍රධාන ගැටලුවක් වේ. “ද හෝප්” ආයතනය මගින් දහවල් ප්‍රධාන ආහාර වේලට අමතරව උදෑසන සහ සවස කෙටි ආහාර වේල් ද ඉතාමත් පිරිසිදුව දිවා සුරැුකුම් මධ්‍යස්ථානය තුළ දී පිළියෙල කර ඔබේ දරුවාට ලබාදීම දෙමව්පියන්ගේ කාර්යබහුල දෛනික වැඩ පිළිවෙළ සඳහා සහනයක් වන බව නිසැකය. උදෑසන දරුවා භාර දුන් පසු සවස් වන තෙක්ම ඔබගේ දරුවාගේ සියලුම කටයුතු පිරිසිදුව සහ කාල සටහනකට අනුව ඉතා පිළිවෙළින් සිදු වේ. මධ්‍යස්ථානය තුළ සිටින ප්‍රාථමික පාසල් දරුවන්ගේ පාසල් වැඩ කටයුතු සඳහා ද සහයෝගයක් මෙම මධ්‍යස්ථානය මගින් සිදු වේ. මීට අමතරව මනා පුහුණුවක් ලද ගුරුවරු සහ අනෙක් සේවකයන් ඔවුන් සතු වේ.

දරුවන් 20 වැනි සිමීත ප්‍රමාණයක් බඳ වා ගැනීම සුවිශේෂී වන අතර සෑම දරුවෙකු කෙරෙහිම විශේෂ අවධානයක් ලබාදීමට හැකි වීම එහි අරමුණ වේ. උදෑසන 7 ට ආරම්භ කරන මධ්‍යස්ථාන සවස 5.30 වන තෙක්ම විවෘතව පවතින අතර දෙමව්පියන්ගේ පහසුව උදෙසා ඊට අමතර කාල පරාසයක්ද ඔබ හට සහනයක් වන ලෙස යොදා ඇති බව කිව යුතුය.

විවිධ වයස් සීමාවන්ට අදාලව මනෝ චාලක ක්‍රියාකාරකම් සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපයෝගී වන ක්‍රියාකාරකම්ද වැඩසටහන් ගත කර ඇත්තේ ඔබේ දරුවා වෙනුනේමය. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තුළ සාමාන්‍ය පරිදි සිදුවන කෑම, බීම, පිරිසිදු කිරීම, නිදාගැනීම යන කාරණාවලට අමතරව මෙවැනි සුවිශේෂී ක්‍රියාකාරකම් පෙර පාසලක් තුළ සිදුවන ලෙසම කාල සටහනකට අනුව සිදු කිරීම “ද හෝප්” ආයතනය තම දරුවා වෙනුවෙන් තෝරගැනීම සඳහා ප්‍රබල හේතුවක් වනු ඇත.

ඉතා කාර්යබහුල ඔබ සඳහා “ද හෝප්” යනු සහනයක් බව නිසැකය. නිදි යහනේ සිට “ද හෝප්” වෙත එන ඔබගේ දරුවාට මෙම මධ්‍යස්ථානය ඔවුන්ගේ දෙවෙනි නිවහන ලෙස හැඟෙනු ඇත. පැරණි මහනුවර – පේරාදෙණිය මාර්ගය සහ නව මහනුවර – පේරාදෙණිය මාර්ගය යන මාර්ග ද්විත්වයෙන්ම මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමේ හැකියාව සහිත වීම “ද හෝප්” ආයතනය සතු සුවිශේෂී වරප්‍රසාදයකි.

2019 පෙබරවාරි මස 03 වන දා සවස පුරාම “ද හෝප්”  දිවා සුරැකුම් මධ්‍යස්ථානය මහනුවර ඔබ සඳහාම විශේෂ විවෘත දියක් ලෙස යොදා ඇත. එදිනට පැමිණ මධ්‍යස්ථානය අධ්‍යයනය කරන ලෙස ඔබ සැම හට විවෘත ආරාධනයක් කරමු.

වැඩි විස්තර සඳහා,
අමතන්න : 0773178628 / 0814203646
ඊ මේල්  : thehope.childdev.kandy@gmail.com
ලිපිනය : 859/3/A, පේරාදේණිය පාර, මහනුවර (කිංග්ස්වුඩ් විද්‍යාලය අසල)

 

තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකනවා

විවාහ වෙන කලවයසට ආවාම දෙමව්පියන් පවා තමන්ගේ දූදරුවන් විවාහ කර දීමට විශාල උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ ඇවෑමෙන් තමන්ගේ දරුවන්ටත් ස්වාධීන ජීවිතයක් ගොඩ නගා ගැනීම අවශ්‍ය නිසයි. සම්ප්‍රදායික විදිහටම පැවැතෙන මේ සංසිද්ධිය අපේ පරම්පරාවේ පැවැත්ම කිව්වත් වරදක් නැහැ.

මේ නිසාම විවාහයකින් පසුව අපේ අපේක්ෂාව දරුවෙකුගේ කිරි සුවද දැකීමයි. බොහෝ දෙනෙකුට මේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටු වුනත් සමහර අයට ප්‍රමාද වී හෝ මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඒ මුලින් පමා වුනත් එයින් පසුව දරුවන් දෙතුන් දෙනෙක් බිහි කිරීමට තරම් ඔවුන් වාසනාවන්තයි. තවත් අයට කොටින්ම කිව්වොත් “හනිමුන් බේබි” ලා ලැබුනත් එතැනින් පසුව නැවත දෙවැනි දරුවෙක් වෙනුවෙන් මොන තරම් උත්සාහ ගත්තද ඒ බලාපොරොත්තුව ඉටු නො‍වෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. තවත් අයට නම් පැදුර පෑගුනත් ඇති කියන තැනට වගේ කිසිම අඩුවක් නැතුව දරුවන් හතර පස් දෙනෙක් වුනත් ලබන්න වාසනාව ඔවුන්ගේ පෙර පින් බලයෙන්ම ලැබිලා තිබෙනවා. මේ නිසාම සමහර අම්මලා වැලේ ගෙඩි වැලට බර නැතැයි යන සංකල්පයේ රැදී කුස පිලිසිඳ ගන්නා දරුවන් බොහොම සතුටින් බාර ගැනීමට සූදානම්. ඒ වගේම ඔවුන්ගේ බලාපොරොත්තුවත් අනේ දුක් විඳල හරි දරුවන් උස් මහත් කර ගත්තොත් “අපිට බැරි ගැහෙන දවසට බලයිනේ…” අදහසත් හිතේ නැතුවාම නොවෙයි.

ඒත් මෑතකදී බර්ලිනයේ සමාජ විද්‍යාව පිලිබඳ පර්යේෂක මාර්ෂල් රාබ් Marcel Raab විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔහුගේ ගැටලුව වුනේ දරුවන් රැසක් සිටි පමනටම මේ දෙමව්පියන්ට වියපත් වුන කාලයකදී රැකවරණයක් ලැබේවිද යන්නයි. ඔහුගේ මේ අධ්‍යනයට “බැම්බර්ග් විශ්ව විද්‍යාලයේ” හෙන්රිට් එන්ජෙල්ඩ්ට් සහ තෝමස් ලියෝපේඩ්ද සම්බන්ධ වුනා.

ඔවුන්ගේ මේ අධ්‍යනයට පවුල් 641 ක දත්ත සම්බන්ධ කර ගත්තා. එහිදී හදුනා ගත් කරුනු මේ වෙන විටත් Journal of Marriage and Family මගින් ප්‍රකාශයට පත් කර අවසානයි. දැන් ඔබ කැමැති ඇති නේද මේ අධ්‍යනයේ අවසාන වාර්තාව ගැන දැනගන්න.

අධ්‍යනය අවසානයේදි ඔවුන්ට ලැබුන නිගමනය වුනේ දරුවන් කීප දෙනෙක් සිටින දෙමව්පියන්ට වඩා තනි දරුවෙක් සිටින දෙමව්පියන්ට ඒ දරුවාගෙන් රැකවරණය නොඅඩුව ලැබෙන බවයි. මේ ගැනත් හේතු නැතුවාම නොවේ.

තනි දරුවාට අනිවාර්යෙන්ම  වගකීමක් තිබෙනවා…

දෙමව්පියන් නම් කිසිම දවසක දරුවන්ට වෙනසක් නැහැ. දරුවන් කී දෙනෙක් හිටියත් ඔවුන් හැම දෙනාටම ආදරෙයි. ඒ වගේම තනි දරුවාටත් තමන්ට තිබෙන යුතුකම වෙනත් අයෙකුට පවරා කර අරින්න බැහැ. ඔවුන් අනිවාර්යෙන්ම මේ වෙනුවෙන් බැඳී සිටිනවා. එක පැත්තකින් ඒ නිසාමදෝ තනි දරුවා දෙමව්පියන්ට හොදින් සලකන තත්වයට පත් වීම සාමාන්‍ය සිදුවීමක්.

දරුවන් අතරත් ගැටුම් ඇති වෙනවා…

දරුවන් කීප දෙනෙක් පවුලක සිටිද්දී පුංචි කාලයේ නම් වෙරලු ගෙඩිය හරි අටකට කපා ගෙන කෑම සාමාන්‍ය සිද්ධියක් වුනත් කර දඬු උස් මහත් වෙද්දී මේ තත්වය නොදැනීම අහෝසි වෙනවා. ඊට පසුව මුල් තැනට එන්නේ දේපල බෙදීමේදී අයියට… අක්කට… නංගිට… මල්ලිට ලැබුන පංගුව ගැනයි. එහෙම නැත්නම් බෙදූ වපසරියේ ඵලදායක කොටස් මුල් කර ගෙනත් විවිධ අමනාපකම් ඇති වෙනවා. මේ විරසක නිසා දෙමව්පියන්ගෙන් දුරස් වීමට එය ආසන්න වගේම ප්‍රබල හේතුවක් කර ගැනීමට දරුවන් පිරිසක් ඉන්න පවුල්වල සාමානයයෙන් සිදුවෙන දෙයක්.

දරුවන් දිහා බලන කණ්නාඩිය අනුව…

සමහර අවස්ථාවලදී නොදැන හෝ දෙමව්පියන් අතිනුත් සිදු වෙන වැරැදිත් ඔවුන්ගෙන් දරුවන් දුරස් වීමට බලපානවා. සමහර විටක දෙමව්පියන් එසේ නොකලත් දරුවන්ගේ හිතේ තමාට වඩා අයියට.. නංගිට… මල්ලි… අක්කට ආදරෙයි යන සිතුවිල්ල ඇති වෙන්න පුලවනි. දරුවාගේ හිතේ මෙවැනි සංකල්පයක් ඇති වුනොත් එය සාධාරණ සැකයක් බවට පත් කරමින් දෙමව්පියන්ද ඒ හැසිරීම මත සිටියොත් මේ දරුවන්ගේ හිතේ ඇති වෙන කලකිරීම යටි හිතේ තදින් තැන්පත්ව තිබිල කාලයක් ගිය පසුව අවදි වීමට පුලුවනි. “මට මොනවාද කලේ…වෙනස්කම් විතරයි…ඒ කාලේ ඇහේ මුහුණේ තියාගෙන හිටියේ…අයියා..” වැනි විදිහට කියමින් දෙමව්පියන්ගෙන් දුරස් වීමට ඒ හේතුව පසුබිම බවට පත් කර ගන්නා දරුවන් ගැනත් ඔබ අසා ඇති.

ඔබ බියවෙන්න එපා…

සමහර විට ඔබේ හිතේ මේ වගේ සංකල්පයක් මෙතෙක් තියෙන්න ඇති. පවුලක දරුවෝ හතර පස් දෙනෙක් හිටියා නම් එකෙක් නැතැත් අනිත් දරුවා හරි වතුර පොදක් දෙයි කියල අපිට සැහීමට පත් වෙන්න පුලුවනි. ඒත් එකා..යකා…කියන්නා වගේ මේ දරුවා අපිට අනාගතයේදී නොසලකා හිටියොත්…ඒත් මේ ගැන හිත කලබල කර ගන්න එපා..වගකීමෙන් මිදෙන්න බැරි කම හෝ වේවා.. තනි දරුවා දෙම්පියන්ට නොසලකා අත් නොහරින තැනක නවතීවි. මෙනවා වුනත් දරුවන් විදිහට තමන් හදා වඩා ගෙන පොලවේ පය ගසා ජීවත්වීමට ශක්තිය දුන් දෙමව්පියන්ට නොසැලකීම ගැන විවිධ හේතු පාඨ අවශ්‍ය නැහැ. තමන්ගේ ශක්ති පමනින් දෙමව්පියන්ට සැලකීම ඔවුන්ගේ හදවතට බැඳී තිබෙන යුතුකමක් බව සිහියේ තබා ගැනීම වැදගත්. ඒවා පෙන්වා දීමට ඒ ගැන අවවාද කිරීමට අවශ්‍ය නැහැ.

– science daily ඇසුරිනි –

 

ආහාර අනුකරණය අන්ධානුකරණයෙන් එපා…

අනුකරනය අපි අතර ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් දක්වනවා. මේ රටාව බාල කාලයේ පටන්ම අපේ ජීවිතයට සම්බන්ධ සිද්ධියක්. ඒ වගේම මෑතකදී ඉදිරිපත් කරන ලද අධ්‍යන වාර්තාවකින් පෙන්වා දෙන්නේ මිනිසුන් අනුන් කන බොන රටාව බොහොම ඉක්මනින් අනුකරනය කරන බවයි.

මෙම අධ්‍යනය සිදු කරනු ලද්දේ තුර්කි විශ්ව විද්‍යාලයේ “ඩෝසෙන්ට් හැනා” විසින්. එම අධ්‍යනයට පවුල් 16, 500 ක දත්ත ලබා ගත්තා. මේ පිරිස අතරින් 7704 ක් පවුල් අදාල අධ්‍යනයට වසර හයක් ඇතුලත පදිංචියට පත් වූ අය වූ අතර සෙසු පිරිස මෑතකදී අදාල ප්‍රදේශයට පැමිණ පදිංචි වූ පවුල් වීමත් විශේෂයක්.

මෙම අධ්‍යනය අවසානයේදී පෙනී ගියේ බොහෝ දෙනා අනුන්ගේ ආහාර  රටාවන් අනුගමනය කරන බවයි. ඒ අතරින් මේ අන්දමින් අනුන්ගේ ආහාර වර්ග අනුගමනය කරන බොහෝ දෙනෙක් අඩු ආදායම්ලාභී සහ වැඩිදුර අධ්‍යාපනයක් නොලත් පිරිසක් වීමත් විශේෂයක්. මේ නිසාම ඔවුන් අතර අනුන්ගේ ආහාර වර්ග අනුකරණය කිරීම තාම තදින් සිදු වුණා. මේ අධ්‍යනයට ලබා ගත් දත්ත  අනුව විශේෂයෙන් පිෂ්ටය සහිත ආහාර සහ බාල වර්ගයේ මද්‍යසාර වර්ග අඩු ආදායම්ලාභී පිරිස් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වීමත් ඔවුන් හඳුනා ගත්තා. බාල වර්ගයේ මද්‍යසාර නිසා ඇතැම් අවස්ථාවන්හිදී මරණය පවා සිදුවීමට තරම් තත්වය බරපතල වී තිබුනා. ඇතැම් අවස්ථාවලදී ඇස් ඉදිරිපිට සාක්ෂි තිබුනත් බොහෝ දෙනක් මේ අනුන් අනුකරණය කිරීම මිස අහිතකර ආහාරවලින් දුරස් වීමට උනන්දු වෙන්නේ නැහැ.වතුකරයේ ජීවත්වෙන බොහෝ පිරිස් අතරත් මද්‍යසාර විෂ වීමෙන් විවිධ අවස්ථාවන්හිදී මරණ පවා සිදු වුන බවට වාර්තාවන් අපේ රටේත් අඩුවක් නැහැ.

ඒ වගේම තවත් පිරිසක් තමන්ට නැති සමාජ පංතිය ඇති කර ගැනීමටත් අනුන්ගේ ආහර රටාවන් අනුකරණයට පුරුදුව සිටිනවා. මේද, තෙල් සහිත බර්ගර්, පිට්සා, ආදිය නිතරම ආහාරයට ගන්නේ උසස් මධ්‍යම පංතිය යැයි හිතන ඔවුන් තමන්ද ඒ පංතියට පිවිසීමට නම් මේ ආහාර අනිවාර්යෙන්ම තමාගේ නිවසටත් ලැබීම දැඩි අවශ්‍යතාවයක් බව සිතන්නට තරම් මොළය නොමේරූ කොටස් අපේ ඇසුරු කරන අය අතරත් සිටිනවා. උදාහරණ විදිහට අල්ලපු ගෙදරට පිට්සා ‍බෙදා හරින වාහනය දුටුවොත් පහුවදාට තමන්ගේ නිවසටත් ඊටත් වඩා වටිනා පිට්සා ඇනවුම් කරන පිරිස් නැතුවා නොවේ. ඒ තරමටම අනුන් කන බොන පිලිවෙල අනුකරණයට අපි අතර ඇත්තේ විශාල නැඹුරුතාවයක්.

අපි හිතන විදිහට ආහාර වලට පංතියක් නැහැ. මේ සියල්ල විසින්ම ගොඩ නගා ගත් සංකල්ප පමණයි. අද වෙන විට බටහිර ලෝකයේ රටවල් තෙල් , සීනි සහ පිටි ආහාරවලින් දුරස් වෙන ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා. ඊට හේතුව මේ ආහාර සංස්කාතිය නිසා දියවැඩියාව, අධිරුධිරපීඩනය, පිලිකා, රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මටට්ම ඉහළ නැගීම වැනි මරණයට පවා හේතු වෙන බෝනොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මේ ආහාර සංස්කෘතියෙන් දුරස් වෙද්දී  අපේ දේශීය ඇවැතුම් පැවැතුම් සමග බද්ධව තිබෙන හිතකර ආහාර සංස්කාතිය පසෙක තබා මේ අහිතකර ආහාර සංස්කාතිය වැලඳ ගැනීමේ හිස්කම අපිට පාරාවලල්ලක් බවට පත්ව තිබෙනවා.

අපි කන්නේ ඇයි…

අපි ආහාර බුත්ති විදින්නේ ජීවත්වීමටයි. එසේ නම් ආහාර නිසා අපේ ජීවිතයේ නීරෝගී පැවැත්ම බිලිදීමට අවශ්‍ය නැත. ක්ෂනික ආහාර, පැණිබීම, ලුණු , අදික සීනි යෙදූ ආහාර එදා අප අතර තිබුනේ නැත. පළතුරු ගෙඩියක් හොදින් විකා අනුභව කළ අතර තෙල් දැම්මා නම් එයට නැවත මිටිකිරි යොදන්නේ නැත. බොහෝ විට පොල් අඹරා ගෙන ආහාර පිලියෙල කරනු ලැබුවේ ආහාර නිසා රෝගී වීමෙන් ආරක්ෂාවටයි. ඒත් අද ඇත්තේ අනුකරණයයි. සිරුරට අගුණ වුනත් ප්‍රශ්නයක් නැත අහල පහල හැම දෙනාම රාත්‍රි ආහාරය සපයා ගන්නේ නයිට් කඩවලින්ය. අපිත් එසේ නයිට් කඩයකින් රාත්‍රි ආහාරය සපයා ගැනීමට පටන් ගනිමු. මේ අන්දමේ අදහස් ඔබේ හිතට ආවත් ඒ ගැන දෙවරක් හිතන්න. අපි අනුන් කන බොන දේ වෙුවෙන් යොමු වී රෝගී වෙනවාද…? එසේ නැත්නම් අපේ පුරුදු ආහාර රටාව මත යැපී ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙනවාද…? විකල්ප අතරින් එකක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත.

මාර්ක් සකර්බර්ග් කියන අදහස…

මාර්ක් සකර්බර්ග් ලොවේ වාර්තා තැබූ බිලියනපතියෙක්. ඔහුට අවශ්‍ය විදිහට ඉතාම සුඛෝපභෝගී ආහාර රටාවක් අනුගමනය කිරීමට හැකියි. සමහර විට ඔහු අනුභව කරන ආහාර මුවාවෙන් ඉතා හොඳ වෙළද ප්‍රචාරනයන් ලබා ගැනීමටද අපහසු නැත. එහෙත් ඔහු  මේ ගැන කරන සදහන මදකට අසන්න… “අපි ඔය රූපවාහිනීවලින් දකින ජීවිත සැබෑ ලෝකයේ නැහැ. කෝපි බොන, දිනපතාම විශේෂ ආහාර පාන බුත්ති විදින, රෝස්ට් කරන ලද මස් සහ බාබකියු ආහාරයට ගන්නා පිරිස් ඇත්තේ රූපවාහිනී නාලිකාවන්හි පමනි.” මේවා දකින ඔබ නොසතුටට පත් වෙන්නේ අනේ “අපිට එහෙම ජීවිතයක්…” ඒත් මේ තත්වය ඔබට  ග්‍රහණය කර ගත නොහැකි ජීවිතයක් වෙනුවෙන්ය. මේ පෙන්වන සුඛෝපභෝගී ලෝකයට පිවිසීමට නම් අපි අඩුම වශයෙන් මේ විදිහට කන්න බොන්නවත් එපායැ.

ඒත් පෙන්වා ඇති ලෝකය මිථ්‍යාවකි. ඔබ ඒ මිථ්‍යාවට  හසු වෙන්න එපා.අනුන් අනුකරණය කළ යුත්තේ එයින් යහපතක් සිදු වෙනවා නම් පමනි. ආහාර වුවත් ප්‍රශ්නයක් නැත. එය ඔබේ ජීවිතයේ  යහපැවැත්මට හේතු වෙනවා නම් කිසිම ගැටලුවක් නැත ඔබට ඒවා අනුකරණයට කිසිම බාධාවක් නැත. එහෙත්… මේ ආහාර නිසා ඇතිවෙන්නේ අහිතකර ප්‍රතිඵලනම් ඔබත් මේ රැල්ලටට නතුව රෝගියෙක් ලෙස අනාගතය මේ වෙනුවෙන් කැපකරනවාද…?

ඔහු වීරයෙක්…

නවනාදන් රාමරාජ්  යටිනුවර වීදියේ රන් ආලේප කර්මාන්තයක නියැලී සිටියේය. පවුලක් වුනොත් එක්ව ජීවත්වීම වඩාත් සැපතක් වුනත් ආර්ථික ප්‍රශ්න නිසා මහනුවර වැනි ප්‍රදේශයක මේ සියලු දෙනාට එකම වහලක් සොයා ගැනීමේ ගැටලු තිබුන නිසාවෙන් ඔවුන්ට මෙසේ විතැන්ව ජීවත්වීමට සිදු විය.

එහෙත්… කුඩා පුතුන් තිදෙනාත් තරුණ බිරිඳ රාදිකාත් දුර බැහැර සිටීම ඔහුගේ හිතේ කනස්සල්ලට හේතුව බව දැනගත් සේවය කළ ආයතනයේ අධිපතිතුමා සිවුමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක දරුවන් සමග ගත කිරීමට අවසර දුන්නෙන් නවනාදන් රාමරාජ් බෙහෙවින් සතුටට පත් වූයේය. මේ වෙන විට ලොකු පුතා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ අතර නවනාදන්  මහනුවර විවේකානන්ද පාසලේ විදුහල්පතිතුමා මුණ ගැසී ලොකු පුතා එම පාසලට ඇතුලත් කිරීමට අවශ්‍ය විධිවිධාන පවා සලසා ගත්තේය.

සිද්ධිය වුන දිනට පෙරදා නවනාදන් ත්‍රිරෝද රථයෙන් බන්ඩාරවෙල බලා ගොස් පුතුගේ අස්වීමේ සහතිකයත් ලබා ගත්තේය. එතැනින් නැවත මහනුවර පැමිනියේ දරු තිදෙනා සහ බිරින්දෑත් සමගයි. මහනුවරට පැමිනෙන විට රාත්‍රි එක පමණ වී තිබුනි. දරුවන් තුන්දෙනාම නින්දේය. මේ වෙන විට අසල වූ “චම්පා ස්ටෝර්ස්” ආයතනයේ ආරක්ෂක නිළධාරී ( ඔහු අන්කල් යැයි අමතන ) හමු වී “අන්කල්  පුතාලට නින්ද ගිහිං … මම හෙට උදෙන්ම අයින් කරනකම් වීල් එක මෙතැන පාක් කරන්නද…?” ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබුණි.

රාජු සහ බිරිඳ දරුවන්ද වඩා ගෙන ඔවුන්ගේ නවාතැන පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යත්ම වීඩියෝ ආයතනයේ කුමාර අයියාද සුව නින්දේ සිටිනු වීදුරුවෙන් දුටුවේය. ඔහු අවදි කිරීමටත් අවශ්‍යතාවයක් නැති නිසා ඔවුන් නිවසන කාමරයට ගොස් දරුවන් ඇඳ තබා මේ දෙන්නා දෙමහල්ලන්ද නින්දට සූදානම් විය.

පසුවදා උදෙන්ම අවදි වී නවත්වා තිබූ වීල් රථය පාක් එකට දැමීමට යන විට මුලින් නිදා සිටි කුමාර අයියා අවදිව එම ගොඩනැගිල්ලෙන් පිටව යෑමට සූදානමින් සිටියේය.

“ආ..රාජු..කීයටද ආවේ… මේ ඔයාට ප්ලේට් කරන්න බඩු වගයක් ගෙනැත් දීලා ගියා..” නවනාදන්ට හැම දෙනාම ආමන්ත්‍රණය කළේ “රාජු” යන කෙටි නමින්ය. ඔහු ඒ බඩුත් රැගෙන වීල් එකත් අදාල තැන නවත්වා නැවත මහල් ගොඩනැගිල්ලට පැමිනෙන විට එහි වූ තවත් ආයතනයක යමෙක් සිටිනු දුටුවේය. කෙසේ හෝ මෙම පුද්ගලයාගේ යම් අමුත්තක් දුටු අතර ඔහු දන්නා හදුනන අයෙක්ද නොවීය.

උඩුමහලට ගිය නවනාදන් ආයතනයේ අයිතිකරුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ ඔවුන්ගේ ආයතනයේ ආගන්තුකයෙක් සිටින බව දන්වා සිටීමටයි. ඒත් ප්‍රතිචාර ලැබුනේ නැත. ඔහු කුමාර අයියා යැයි ආමන්ත්‍රණය කරන පුද්ගලයා අමතා “කවුදෝ අපේ ගොඩනැගිල්ලේ බියුටි සැලුන් එක ඇතුලේ ඉන්නවා. කඩ ඇරලත් නැහැ. ඉක්මනට එන්න…” යැයි දන්වා සිටියේය. ගමන් මහන්සිය නිසාම නැවතත් ඇදේ ඇලවී බිරිඳ සමග කතා බහ කරමින් සිටියේ දරුවන්ගේ පාසල් ගමන ගැනයි. බිරිඳ උදේ ආහාර පිළියෙල කිරීමට අවදි වීමට සූදානම් වුනත් “ටිකක් ඉන්න ඔයාටත් මහන්සි ඇති.. පොඩි එවුනුත් තවම නිදි…අ පි හෙමින් මොනවා හරි හදමු..” යැයි කීවේය.

මේ අතර බිරිඳ එක් වරම “මේ ඔයාට සද්දයක් ඇහෙන්නේ නැද්ද….? හරි සද්ද කරන්න එපා… පොඩි අයත් බයවේවි…” ඔහු රාදිකාට කියා ගෙවුනේ සැනකි. විශාල දුමාරයකින් ගොඩනැගිල්ල පිරී ඇත. වහා පැන දරුවන්ද වඩා ගෙන පිටවෙන්නට උත්සාහ කළත් කිසිවක් පෙනේනේ නැත. මහල් නිවාසයෙන් පිටවීමට වෙන දොරටුවක්ද නැත.

දුමේ සැරට ජනේල පිපිරී යද්දී ඔහු දරුවන්ද වඩා ගෙන පාරේ සිටි මිනිසුන්ට ආයාචනා කළේ “අනේ මේ දරුවන් බේරා ගන්න…” යනුවෙනුයි.

එහෙත් ගින්න සමග කිසිවෙකුට ගනුදෙණු කිරීමට නොහැකිය. බලා සිටීමට සහ ජංගම දුරකථනයෙන් විඩියෝ කිරීම වෙනුවට හැම දෙනාම ජාති, කුල ආගම් භේද නොසලකා සැදී පැහැදී සිටියහ. රාජු මෙට්ටය බිමට වීසි කලේ දරුවන් ඒ මතට වීසි කිරීමටයි. ඒත් මෙට්ටය මත අතරමග රැඳී උත්සාහය නිරර්ථක  විය. ඔහු වෙනත් රෙදි පෙරදි බිමට දැම්මේය. මේ රෙදි දැලක් සේ එලා දරුවන් ඒ මතට විසි කිරීම ඔහුගේ උත්සාහය විය.

“අනේ තාත්තේ මට බයයි… විසි කරන්න එපා…” දරුවන්ගේ ආයාචනය එයයි. “පුතේ මෙතැන හිටියොත් අපි ඔක්කොම පිච්චලා මැරෙනවා… අතක් කකුලක් කැඩිලා හෝ ඔයාලා ජීවත්වෙන්න ඕන…” මේ අතර බිම සිටින පිරිසෙන් කොටසක් “දරුවන් දාන්න…” යැයි හඩ නගන අතර තවත් අය “එපා… දරුවන් බිමට දාන්න එපා” යැයි හඩ නගන්න වුහ. එහෙත් ගින්නට අනුකම්පාවක් නැත. දුමාරයෙන් පිරී ගොස් දැන් හුස්ම ගැනීමටත් අපහසුය.

ඔහු දෙවැනි දරුවා ගෙන බිමට වීසි කරත්ම ඔහු ඉලක්කයටට නොව එතැන සිටි තරුණයෙක් කෙසේ හෝ ර‍ඳවා ගැනීමට තරම් දරුවාගේ ජීවත්වීමේ වාසනාව ඉදිරියට පැමිණ ඇත. දැන් ඉතිරි දරුවන්ද විසි කලේ කිසිම තුවාලයක් හෝ සිදු නොවන තරම් ආශිර්වාදයෙන්ය. එක් දරුවෙක්ගේ පමණක් ඇස ළග පුංචි තුවාලයක් සිදු විය.

හාස්කමක මහිමයෙන් දරුවන් තුන්දෙනාම දැන් බේරී සිටිති. “රාදිකා අපි දැන් මැරැණත් කමක් නැහැ. දරුවන් ජීවත්වේවි…”

“එතකොට මේ අස්විමේ ලිපි ලේඛන…” රාදිකාගේ ගැටළුව එයයි. සියල්ල දැවී යද්දී තමන්ගේ ජීවිතය කොයි මොහොතකදීත් නොදැන තිබියදී ඇයට මේ ලිපිලේඛන සිහියට නැගුනේ ඔවුන් දරුවන් මුල් කර ගෙන මොනතරම් බලාපොරොත්තු තබා සිටියේද යන වග ඔබට සිතාගැනීමට පුලුවනි.

රාජු වීදුරුවක් කඩා ‍තුන්වැනි මහලට ඇතුලු විය. “මම පනින්නද…?” රාදිකා අසත්ම “එපා…ටිකක් ඉවසන්න.. දැන් කකුල ඉස්සර වෙලා දාන්න…” රාජු තුන්වැනි මහලේ බාල්කයක එල්ලී රාදිකා අල්ලා ගත්තේය. මේ වෙන විට ඔහුගේ අත වීදුරුවට කැපී ලේ ගලන තුවාලයකි. රාදිකා අල්ලා ගෙන සිටියත් බර සහ තුවාලයේ වේදනාව නිසා ඇය අත හැරී ගොස් කෙසේ හෝ පහළ සිටි පිරිස විසින් රැක ගෙන ඇත.

දැන් රාජු පමනක් මහල් නිවාසයේ ඉතිරිව සිටී. ඔහු කෙසේ හෝ මහලින් මහල වීදුරු කඩා ගෙන බිමිට පැමිණ ඇතැත් ඒ ගැන පැහැදිලි  මතකයක් ඔහුට නැත.

තවත් වාසනාවන්ත කරුණක් ඇත. පුංචි දරුවන්ටවත්, බිරිඳට හෝ කිසිදු පසු කම්පනයක් නැත.

“මහනුවර ඉන්නේ ඇත්තටම දෙවිවරු… මගේ පවුල ආරක්ෂා කර ගත්තා…මට එකක් සහතිකයි. අපි නැතැත් අපේ දරුපැටවුන්ට මහනුවර හැම දෙනාම දෙමව්පියෝ…” ඉවසීම, තැනට ගැලපෙන නුවණ සහ පවුලට තිබුන බැඳීමෙන් රාජු පමණක් නොව පවුලම නැවත එක් තැනක ජීවත්වීමට වාසනාව ලබා ඇත.

ඉගෙන ගනිමින් වැඩ කරමු

දරුවෙක් පාසලට ඇතුලු කිරීමෙන් දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ පොත පත දැනුම ලබා දීම පමණයි. ඒත් පාසලෙන් මග දකින හොඳම දරුවා බවට ඔබේ දරුවා පත් කිරීමට අපේක්ෂාවක් තිබෙනවා නම් පංති මට්ටමින් සිදු වෙන මෙවැනි කටයුතු වෙනුවෙන් ඔබේ දරුවාගේ සම්බන්ධ වීමට නොපැකිලව ඉඩ දෙන්න. ඒත් අද දෙමව්පියන් බාහිර ක්‍රියාකාරකම් සහ පාසලෙන් සිදු වෙන ව්‍යාප්ත සේවාවන්ට දරුවන් සම්බන්ධ කිරීමට දක්වන්නේ පුදුමාකාර මැලි කමක්. ඒත් අධ්‍යාපනයේ පවතින “ඉගෙන ගනිමින් වැඩ කිරීම” සංකල්පයට අනුව දරුවා පහත දක්වන කටයුතු වෙනුවෙන් සම්බන්ධ කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මෙවැනි කටයුතු වලින් දරුවාගේ පෞරෂය වැඩි දියුණු වෙන නිසා ඔහු කවදා හෝ දිනක “පාසලෙන් මග දකින හොඳම දරුවා” බවට කිසිම අපහසුවක් නැතුව පත් වේවි.

පිළිවෙල

දැන් ඔන්න අලුත් පංතියක්. අලුත් පංතිය ලස්සනට තබා ගැනීමට පංති භාර ගුරුතුමිය දරුවන්ට වගකීම පැවරුවාම එය ඔවුන් ඉතාම සතුටින් භාර ගනීවි. මේ සඳහා එක් එක් දරුවාට යම් යම් වගකීම් පැවැරෙන්න පුලුවනි. ඒ නිසා ඔබේ දරුවාට සමහර විට කාලසටහනක් පිළියෙල කරන්න, පංතියේ අතුගාන ලැයිස්තුව නිර්මානශීලීව  සකස් කරන්න, එහෙමත්  නැත්නම් ගුරු මේසයට මල් ටිකක් අරගෙන එන්න පුංචි වැඩ කොටසක් පැවරේවි. එක් පංතියක දැරියක් මල් පෝච්චියට මල් අරගෙන එන වගකීමෙන් මිදී ඒ වෙනුවෙන් නිදහසට කරුණු කිව්වේ මෙහෙමයි.

“අපේ අම්මා කිව්වා අපේ ගෙදර මල් නැහැ කියන්න කියලා…” ඒ සමග තවත් දැරියක් නැගිට කිව්වේ “ටීචර් මෙයා කියන්නේ බොරු…. එයාලගේ ගෙදර මල් ගොඩාක් තිබෙනවා…” දැරිය නිරුත්තර වුනා. ඒත් අම්මාට මල් මිටක් එවන්න බැරි කමක් තිබුනේ නැහැ. මේ වගේ දරුවන්ට පවරන වගකීම් දෙමව්පියන් මැදිහත් වෙලා ඒවා කඩා විසුරුවා දැමීම එතරම් සුදුසු දෙයක් නම් නොවෙයි.

චාරිකා

පංතියෙන් යම් තැනක චාරිකාවක් යන විට ඇතැම් දෙමව්පියන් ඒවා වලක්වන්නේ “අපි ගෙදර අයත් එක්ක යමු…” යන තීරණය අනුවයි. ඒත් නිවසේ අය සමග චාරිකා යනවාට වඩා පංතියේ සම වයස් කන්ඩායම් සමග යන විට ඇති වෙන වටිනාකම් වෙනස්. යම් තැනක ඓතිහාසික වටිනාකම් ගැන පා‍සලක අධ්‍යාපන චාරිකාවකින් වැඩි ප්‍රයෝජනය ලබා ගත හැකි අන්දමට ඒවා සැලසුම් වෙනවා. මේ වෙනුවෙන් දෙපාර්තමේන්තු මට්ටටමින් ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයන් මත එම ස්ථානයන්හි තොරතුරු දරුවන්ට දැන ගැනීමට ලැබෙනවා. ඒ වගේම නටමින්, ගයමින් යන චාරිකාව බොහොම විනෝදජනකයි. මේ අත්දැකීම් දෙමව්පියන් සමග ගිය විට දරුවන්ට ලබා ගැනීමට කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. අද මුහුණුපොත ඔස්සේ පවා හුවමාරු වෙන කලු සුදු වුනත් 1980 වැනි දශකයේ දරුවන් ( අද වැඩිහිටියන් බවට පත්ව සිටියත් ) ඒවායින් ලබන්නේ අපූරු වින්දනයක්.

සම්මන්ත්‍රණ

අද දරුවන්ගේ ධනාත්මක සිතුවිලි , ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සහ මනෝවිදයාත්මක සංවර්ධනය වෙනුවෙන් විවිධ සම්මන්ත්‍රණ පවත්වනවා. ඒත් දෙමව්පියන්ගේ උනන්දුව තිබෙන්නේ හිස්‍යත්ව හෝ වෙනත් විභාග මුල් කර ගත් උපකාර සම්මන්ත්‍රණ ගැන පමණයි. මේ ආකල්පයෙන් දෙමව්පියන් වන ඔබ මිදීම අත්‍යවශයයි. මෙවැනි සම්මන්ත්‍රණ වෙනුවෙන් පාසලෙන් සහභාගීත්වය ලබා දෙන්නේ ඒ වෙනුවෙන් වූ වටිනාකමක් තිබෙන නිසයි. නමුත් ඔබ එදාට දරුවා නිවසේ රඳවා ගැනීමෙන් ආකල්ප සංවර්ධනය වෙනුවෙන් වටිනා උපදෙස් ලබා ගැනීමට ඇති අවස්ථාව දරුවාට ගිලිහෙන බව දෙමව්පියන් ලෙස ඔබ නොදන්නවා ඇති.

ප්‍රදර්ශන

පාසලේ පවත්වන ප්‍රදර්ශනයක් වැනි කටයුතු වලදී දරුවාගේ නිර්මාණශීලීත්වය අවදි වෙන බව අමතක කරන්න එපා. මේ වෙනුවෙන් යම් උපකරණ ස්වශක්තියෙන් දරුවාගේ ස්වශක්තියෙන් තැනීමට අවස්ථාව ලබා දෙන්න. යම් කෙනෙකුගේ නිර්මාණයක් එහෙම නැත්නම් මුදලට ගත් යමක් ප්‍රදර්ශනය තැබීමට උපදෙස් දීම කිසිදු විටක නොකල යුතු දෙයක්. ඒ වගේම ප්‍රදර්ශනය වෙනුවෙන් ඉවත යන සහ අඩුම මිළකින් නිර්මාණ තැනීම වැදගත් බැව් ඔවුන්ට කියා දෙන්න.

සමාජ කටයුතු

පාසල් මටට්මින් විවිධ සමාජ කටයුතු සහ ආගමික වැඩසටහන් පැවැත්වීම ආකල්ප සංවර්ධනය වෙනුවෙන් වගේම ඉගෙන ගනිමින් වඩ කරන සංකල්පය නොදැනීම ගොඩ නැගෙනු ඇත. පාසලේ ශිල සමාදාන වැඩසටහනක්, දන්සැලක් එසේත් නැත්නම් ශ්‍රමදානයක් තිබෙන දිනක දරුවා නිවසේ රඳවා ගැනීම එතරම් සුදුසු නැහැ.

පුස්තකාල

පාසල් පද්ධතියේදී දරුවන් අඩුවෙන්ම පාවිච්චි කරන්නේ පුස්තකාලයයි. ඒත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී පුස්තකාලය තරම් සමීප සම්පත් මධ්‍යස්ථානයක් තවත් නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට පුස්තාකලය පොත් පත් කියවීමෙන් ලැබෙන දැණුම, තොරතුරු සොයා ගෙන ස්වයං ඉගෙනුමට ලැබෙන පිටුවහල ගැන දරුවන් දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ නිසා නිතරම ස්වයං ඉගෙනුම වෙනුවෙන් පුස්තකාලය සමග සම්බන්ධ වීමට දරුවා උනන්දු කරන්න.

ආයුර්වේද ප්‍රතිකාර එක්ක හැමදාටම හැඩට ඉන්න ඔබත් කැමතිද?

අපි හැමෝම කැමතියි අපේ රූපය ලස්සනට පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් අද නොකරන දෙයක් නැති තරම්. ඈත අතීතයේ පටන් විශේෂයෙන් කාන්තා පාර්ශ්වය බාහිර අලංකරණය සඳහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කර තිබෙනවා. උදාහරණයක් ලෙස කුංකුම, චන්දන ආදී ඖෂධ ද්‍රව්‍ය ඇඟ ගැල්වීම, ධූම වර්ග භාවිතය, ඖෂධීය ජල ස්නානය, වර්ණකාරක ලේප ආලේප යනාදිය ඒ අතරට අයත් වෙනවා. ඒත් අද වන විට බාහිර අලංකරණය වැඩි දියුණු කිරීමට ශරීරයට හානිකර වූ කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රම භාවිතයට යොමු වීම නම් කණගාටුවට කරුණක්. එය තමන්ගේ ස්වභාවික අලංකාරයට හානි කරනවා විතරක් නෙවෙයි වෙනත් භයානක රෝග තත්ත්වවලටත් අත වැනීමක්. ඒ නිසා නිවැරදි ආයුර්වේද රූපලාවන්‍ය ක‍්‍රම තුළින් ස්වභාවික අලංකාරය ඔප්නැංවීට හැකි කෙසේද යන්න ගැන පැහැදිලි කිරීම අද වන විට අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා.

වර්තමානයේ බහුලව පවතින රූපලාවන්‍ය ගැටලු

  • සම දුර්වර්ණ වීම
  • ඇස් යට කළු වීම
  • කුරුලෑ / ඇතිවීම
  • ලප කැලල්
  • සම රැලි වැටීම
  • අකලට හිසකෙස් ගැලවීම හා සුදුවීම
  • ඉන්නන්
මොකක්ද මේ ආයුර්වේද රූපලාවන්‍ය

ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලෙස හඳුන්වන්නේ හුදෙක් ඖෂධ මිශ‍්‍රණයක් මුහුණේ හෝ ශරීරයේ ආලේප කිරීම පමණක් නොවේ. එය කායික, මානසික සමබරතාවය ඇති කරමින් සිදු කරනු ලබන ඉතා පුළුල් වූ චිකිත්සා ක‍්‍රමයක්. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ ගත කරුණුවලට අනුව පුද්ගල අලංකාරය වර්ධනය ප‍්‍රධාන කරුණු 03 ක් අරමුණු කරගෙන සිදු කරනවා.

  • රූපම් – පුද්ගල බාහිර අලංකරණය වර්ධනය කිරීම
  • ගුණම් – පුද්ගල අභ්‍යන්තර අලංකරණය වර්ධනය කිරීම
  • වයස්න්‍යාග – වයසට යෑම පාලනය කිරීම (රසායනය) වේ
රූපම් / බාහිර අලංකරණය වර්ධනය කිරීම

බාහිර අලංකරණය වර්ධනය සිදුවන්නේ මනා නිරෝගීතාවක් පවත්වා ගැනීම තුළිනුයි. ආයුර්වේද ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයක් වන සුශ‍්‍රැත සංහිතාවට අනුව සම ස්ථර 7 කින් සමන්විත වේ. අප ශරීර අභ්‍යන්තරයේ දෝෂ අසමතුලිත වීම මගින් එම ස්ථර 07 සමග විවිධ අයුරින් ප‍්‍රතික‍්‍රියා කරන අතර එය විවිධ සම ආශ‍්‍රිත ගැටලු ඇති කිරීමට හේතු වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා හා ශුක‍්‍ර ලෙසට ධාතු 07 ක් පිළිබඳ කියවෙනවා. ස්ථර 07 කින් යුත් සම පෝෂණය ලබන්නේ මාංශ ධාතුවෙන් (Muscle Tissue), මාංශ ධාතුව පෝෂණය ලබන්නේ රක්ත ධාතුව මගින් ඒ කියන්නේ රුධිරයෙන්. රක්ත ධාතු පෝෂණය ලබන්නේ ඊට පෙර ධාතුව වන රස ධාතුව මගින් (Plasma Tissue). එම කරුණු සලකා බලන විට නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ බාහිරින් ආලේප කරන කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ක‍්‍රීම් වර්ග භාවිතය නොවේ. අප කළ යුත්තේ හොඳ තත්ත්වයකින් යුත් රස හා රක්ත ධාතූන් පවත්වා ගැනීමයි.

ඒ සඳහා,

  • නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීම
  • ශරීරයේ අග්නිය නිවැරදිව පවත්වා ගැනීම තුළින් ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය නිවැරදිව පවත්වා ගැනීම
  • පුද්ගල ජීවන රටාව නිවැරදිව පවත්වා ගැනීම

නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීමෙන් එම ආහාර හොඳින් ජීර්ණය කර පෝෂ්‍ය කොටස් හොඳින් අවශෝෂණය කර පරිතාන වන රස හා රක්ත ධාතු මගින් සම පෝෂණය කර නිරෝගීව දිදුලන සමක් ලබාගත හැකිවනවා. වර්තමානයේ බොහෝමයක් අපේ ආහාර වර්ග සෝඩා, විනාකිරි, චට්නි, ආදිය දැමූ ආහාර ලබාගැනීම වැඩි නැඹුරුයක් පවතින බැවින් අනෙක් රෝග මෙන්ම සම ආශ‍්‍රිත රෝගද බහුලව පවතිනවා.

ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණුන විටදී ප‍්‍රධානව ආහාර රටාව පිළිබඳ මෙන්ම රෝගියාගේ අග්නිය හෙවත් ආහාර ජීර්ණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී එය වර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර චිකිත්සා පද්ධතියක් යෙදීමට සිදුවනවා. එමෙන්ම ආහාර ගත් විගස ශීත ජල පානය, ශීත අතුරු පස ආහාරයට ගැනීම නොකළ යුතු වන්නේ එමගින් ආහාර ජීර්ණය අඩු වන නිසයි.

පුද්ගල ජීවන රටාව සැලකිල්ලට ගත් විට වර්තමානය වන විට ඉතාමත් කාර්යබහුල සමාජයක් තමයි අපට තියෙන්නේ. නිසිලෙස ආහාර ගැනීමටවත් කාලයක් නොමැති තරම්. මේ හේතුවෙන් කුපිත වන දෝෂ හේතුවෙන් චර්මාශ්‍රිත ගැටලු ඇති වේ. ඒ සඳහා පහත උපදෙස් වැදගත් වේ යැයි සිතනවා.

උපදෙස් :

  • ප‍්‍රධාන ආහාර වේල් සඳහා මනා පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ලබාගැනීම
  • රාත‍්‍රී ආහාරය රාත‍්‍රී නින්දට පැය 2-3 කට පෙර ගැනීම හා ඉතා සැහැල්ලු ආහාරයක් ලබාගැනීම
  • රාත‍්‍රී නින්දට පෙර උණුසුම් වතුරෙන් ඇඟ සේදීම
  • ඉරමුසු, බෙලිමල් වැනි ඖෂධීය පානයක් පානය කර නින්දට යාම
  • නිදන කාමරය සුවදායක, මානසික විවේකය ඇති කරන තැනක් ලෙස පිළිසකර කිරීම
  • හැකි සෑම දිනම උදේ ශරීරයේ තල තෙල් අඟනාග කර පැය 2 පමණ සිට ශරීරය සේදීම
  • තෙල්, මිරිස් අධික ලෙස ආහාරයට නොගැනීම
  • උෂ්ණ ආහාර, අච්චාරු, සෝස් වර්ග ආදිය නිතර ආහාරයට නොගැනීම
  • මාස 3 කට වරක් හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී විරේක ඖෂධ ලබාගැනීම
  • හොඳින් ජල පානය (සෑම ආහාර වේලකටම පසු උණු වතුර ස්වල්පයක් පානය)
රූපලාවන්‍ය ගැටලුවලදී ආයුර්වේද චිකිත්සාව සිදුකරන අයුරු

සෑම පුද්ගලයකුටම එකම චිකිත්සා ක‍්‍රමයක් යෙදීම සුදුසු නොවේ. මෙහිදී රෝගී තත්ත්වයට අනුව රෝගී පුද්ගලයාට අනුව චිකිත්සාව පෙළ ගැස්විය යුතුය.

  • රෝගියා පරීක්‍ෂා කර බලා ශරීර අභ්‍යන්තරයට ඖෂධ යෙදීම
  • රක්තය පිරිසිදු කිරීමට
  • අග්නිය වර්ධනයට
  • රෝගී තත්ත්වය අදාල රෝග කාරක ඉවත් කිරීමට
  • බාහිර හානිකර ලෙස රෝගයට හා රෝගියාට අනුව
  • ඖෂධ ආලේපන වර්ග යෙදීම
  • ධූම වර්ග යෙදීම
  • අවගාහ
  • පරිශේක (ඖෂධීය ක්‍ෂාය වර්ග මුහුණට ඉසීම)
  • අවශ්‍ය විට නස්න කර්ම හා රක්ත මෝක්‍ෂණ , අග්නිකර්ම වැනි ප‍්‍රතිකාර යෙදීම

Ayurveda-treatment

ගුණම් /පුද්ගල අභ්‍යන්තර අලංකරණය වර්ධනය

නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ රූපලාවන්‍ය සායනය වෙත යොමුවන රෝගීන් පිළිබඳ අවධානය යොමු කළ විට පෙනී ගිය කරුණක් වන්නේ බාහිර අලංකරණය කොපමණ වර්ධනය කළද එම පුද්ගලයා මානසික ආතතිය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි ගති ලක්‍ෂණවලින් යුක්ත නම් ප‍්‍රතිකාරවලින් රෝගය සුවපත් වුවද නැවත ඇති විය හැකි බවයි. එබැවින් සාර්ථක ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා කායිකව පමණක් නොව මානසිකවද නිරෝගී විය යුතු වේ.

ඒ සඳහා,

  • භාවනා ක‍්‍රමවල යෙදීම
  • මනෝ උපදේශන
  • ශිරෝ පිචු ශිරෝ අභ්‍යන්ග , ශිරෝ ධාරා වැනි ප‍්‍රතිකාර ක‍්‍රමද වැදගත් වේ
වයස්ථාපනම් – වයසට යෑම පාලනය කිරීම

වයසට යෑම පාලනය කිරීම සඳහා ආයුර්වේද ශාස්ත‍්‍රය තුළ අඩංගු වූ වෙනම චිකිත්සා ක‍්‍රමවේදයක් තමයි රසායන චිකිත්සා සායනයට යොමුවන රෝගීන් අතර වර්තමානයේ තරුණ පරපුරේද සම රැලි වැටීම, වියළි යාම, වියපත් ලක්‍ෂණ බහුලව දක්නට ලැබේ. ඒ සඳහා චිකිත්සක පද්ධතියක් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ලබාගත යුතු වෙනවා. මෙබදු වූ ඉතා පුළුල් චිකිත්සා ක‍්‍රමයක් තමයි රූපලාවන්‍ය චිකිත්සාව කියන්නේ. එය ආයුර්වේද යම් නම් දැරූ ඖෂධීය චූර්ණ ඇඳ ගැල්වීමක් මගින් පමණක් හෝ ක‍්‍රීම් වර්ග ආලේපය පමණක් මගින් රූපලාවන්‍ය ගැටලුවලට විසදුම් සෙවීම සුදුසු වන්නේ නෑ. ඊට වඩාත්ම සුදුසු වන්නේ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වී අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබාගැනීමයි.

 

Dr. Hansani

ආයුර්වේද වෛද්‍ය හංසනී සෝමවීර
බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය,
නාවින්න

 

ඔබත් කැමතිද මේ පුංචි බලු සුරතලා ගැන දැනගන්න

අද වෙනකොට හැම ගෙදරකම පාහේ සුරතලෙක් ඇති කරනවා. ඒ හුරතලේට, ආරක්ෂාවට, උදව්වට වගේම ඉව ප‍්‍රයෝජනයට වගේ විවිධ හේතු නිසා. ඒ වගේම සුනඛ වර්ග අතර ඉහත එක් එක් හේතුවලටම ගැලපෙන සුනඛ විශේෂත් ලෝකයේ හඳුනාගන්න පුළුවන්. කොහොම වුණත් සුරතලේට ඇති කරන සුනඛයා ආරක්‍ෂාව වෙනුවෙන් සුදුසු නොවෙනන්නත් පුළුවන්. සමහර විට ඒ දෙකටම ගැලපෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසාම අවශ්‍යතාවය මත කැමති සුනඛයෙක් තෝරාගන්න කොයි කාටත් අවස්ථාව තියෙනවා.

ඔන්න ඉතිං අපි මේ කියන්න යන්නේ හුරතලේට ඇති කරන්න පුළුවන් පග් කියන සුනඛ වර්ගය ගැන.

pug_dog

පග් (PUG) කියන්නේ රැලි වැටුණු පුංචි හොම්බක් තියෙන, පලල් මුහුණකින් යුතු හොම්බ මුහුණට තැලී ගොස් ඇති ලෙසින් දිස්වෙන පුංචි ඇඟක් තියෙන දැක්කම හුරතල් පාට, ඇත්තටම හුරතල් සුනඛයෙක්. ඒ වගේම මෙයාලා හරිම ආඩම්බර පාටයි. ඒ පග් සුනඛ වර්ගය රාජකීය පවුල් එක්ක හැදී වැඩුණු සුනඛ වර්ගයක් නිසා වෙන්නත් පුළුවන්.

 

පග් සුනඛ වර්ගයේ අතීතය…

පග් කියන මේ හුරබුහුටි හුරතල් සුනඛ වර්ගයේ මුතුන් මිත්තෝ, දහසය වෙනි සියවසට පෙර සහ දහසය වන සියවසේ දි චීනයේ රාජකීය පවුල්වල සුරතලුන් විදියට ඉඳලා තියෙනවා. චීනයේ මින්ග් රාජවංශය කාලයේ තමයි පග් සුනඛ වර්ගය වැඩි වශයෙන් ඇති කළා කියලා සඳහන් වෙන්නේත්. ඉතින් රජ පවුලේ අය විශේෂ අවස්ථාවන්වලදි විශේෂ අයට මේ පග් සුනඛයන්ව තෑගි දුන්නා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ කාලේ විදිහට පග් සුනඛයෙක් තෑගි ලැබෙන එක ඉතාමත් විශේෂ දෙයක් විදිහට චීන සමාජයේ අය සළකලා තියෙනවා.

මෙයාට පග් කියන නමට අමතරව තවත් නම් කිහිපයක්ම තියෙනවා. චීන පග් (Chinese pug) ලන්දේසි බුල්ඩෝග් (Dutch bulldog) ලන්දේසි මස්ටීෆ් (Dutch mastiff) මිනි මස්ටිෆ් (Mini mastiff) සහ මොප්ස් (Mops) කියලත් මෙයාලව හදුන්වනවා. එහෙම එක එක නම්වලින් හඳුන්වන මෙයා ටිබෙටියන් මස්ටිෆ් (Tibetan Mastiff) කියන සුනඛ විශේෂයෙන් පැවත එනවා කියලත් කියනවා. ඒ වගේම මේ වගේ හොම්බ තැලුණු පුංචි සුනඛ වර්ග තුනක එකතුවක් කියලත් සමහරු කියනවා.

ඒ වංශ තුන විදිහටත් විවිධ වූ සුනඛ වර්ග සඳහන් කරනවා. ඒ අතර ටිබෙටියන් මස්ටිෆ් (Tibetan Mastiff) එල්. ඕ.සී (LOSZE) සහ පෙකින්ගීස් (Pekingese) කියන වර්ගය අනෙක් අතින් සිංහ බල්ලන් එහෙමත් නැත්නම් චොව් චොව් (Chow Chow) කියන සුනඛ වර්ගය සහ පෙකින්ගීස් (Pekingese) වර්ගයත් එල් ඕ සී (LOSZE) කියන සුනඛ වර්ගයත් සමග මුහුන් කරල පග් සුනඛයන් බිහිවුණා කියලත් කියවෙනවා.

චීනේ රජ පවුල්වල ඉඳන් මෙයා කෙමි කෙමින් ටිබෙට් බෞද්ධ පුජකවරුන් එහෙමත් නැත්නම් ටිබෙට් සංඝයා වහන්සේ අතර හැදී වැඩුණු බවත් සඳහන් වෙන්වා. ඊට පස්සේ දහසය දහහත ශතවර්ශවල තැඹිලි පාට නෙදර්ලන්ත පාලන සමයේ ඉදන් ස්පාඥය සහ ප‍්‍රංශයෙත් පග්ලා ඇති කළ බවයි කියවෙන්නේ.

එංගලන්ත වික්ටෝරියා රැජින පග් සුනඛයින් කිහිප දෙනෙක්ම ඇති කළ බවත් කෙනල් ක්ලබ් නම් සුනඛයින් මුහුන් කිරීමේ සහ සංදර්ශන පැවැත්වීමේ සංවිධානය බිහිකරන්න රැජිනගේ මේ ප‍්‍රියතාවය මුල් වුණ බවත් කියවෙනවා.

වික්ටෝරියා රැජිනගෙන් පසු පග් සුනඛයින් පස්වන ජොර්ජ් රජුත්, පේ‍්‍රමය නිසා රජකම අත්හල අට වෙනි එඩ්වර්ඩ් රජු දක්වා එංගලන්ත රාජකීයන් සමග හැදී වැඞී තියෙනවා. කොහොම හරි ඔහොම ඔහොම ගිහින් පග් ඇමරිකාවට යන්නේ දහ නව වන ශතවර්ශයේදී.

ඇමරිකානු බලු කූඩු සංගමය එහෙමත් නැත්නම් ඇමරිකානු කෙනෙල් ක්ලබ් එකෙන් පග්ලව හඳුන ගන්නේ එක්දහස් අටසීය අසූ පහේදි. එක්දහස් නවසීය තිස් එකේදීත් පග් ඩෝග් ක්ල්බ් නමින් පග් සුනඛයින් සඳහාම සංගමයක් පිහිටවනවා ඇමරිකාවේ. ඊට පස්සේ ගොඩක් අය පග් සුනඛයන්ව හඳුනගත්තේ ඇමරිකානු සුනඛ විශේෂයක් විදිහට.

1981 වර්ෂයේදි වෙස්ට් මිනිස්ටර්, කෙනල් සංගමය මගින් පවත්වපු සුනඛ සංදර්ශනයෙන් පග් කෙනෙක් ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව ලෝක ශූරතා සුනඛ සංදර්ශනයට පග් සුනඛයන් ඉදිරිපත් වෙන්නේ 1877 සිට වුණත් ලොව හොඳම සුනඛයා හැටියට පග් සුනඛයෙක් තේරිලා තියෙන්නේ 2004 වර්ෂයේදි බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වුණු ලෝක සුනඛ සංදර්ශනයේදි පමණයි.

පග් සුනඛයෙක් ඔබේ සුරතලා ලෙස තෝරාගන්නේ නම්…

ඉතිහාසය එහෙම වෙද්දි පග් බල්ලන් පෙර කියූ පරිදිම සෙල්ලක්කාර හුරතල් සුනඛ විශේෂයක් කියන තැන ඉඳන් ආයෙමත් වර්තමානයට ආවහම පග් සුනඛයෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති කළොත් අවුරුදු 12 ත් පහලොවත් අතර කාලයක් ජීවත් වෙන සුනඛ වර්ගයක් කියලා සඳහන් කළ යුතුමයි.

පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් කරන්න ආස පවුලේ අය එක්ක හුරතල් වෙන්න ප‍්‍රිය කරන සුනඛ විශේෂයක් නිසා මුලින්ම නැත්නම් හාහාපුරා කියලා බල්ලෙක් ඇති කරන්න හිතන් ඉන්න කෙනෙක්ට ඔන්න බය නැතුව ඇති කරන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් බල්ලෙක් තමයි පග් කියන්නේ.

යුරෝපීය රටවල නම් දරුවෙක් ඉපදෙන කොට පග් සුනඛයෙක්වත් අරන් හදාගෙන පුංචි දරුවත් එක්කම පග්ව ලොකු මහත් කරන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. ඒ පග් බල්ලන් පුංචි දරුවන්ට තියෙන දැඩි කැමැත්ත නිසා.

පග්ලා කුඩා දරුවන්ට ඉතාමත් ප‍්‍රිය කරන නිසාම තමයි යුරෝපා රටවල කුඩා දරුවන් සිටින නිවෙස්වල සුරතලා හැටියට පග් සුනඛයා තෝරා ගැනීම ඉතාමත් ඉහළ ගොස් තිබෙන්නේ.

කොහොම වුණත් සෙල්ලක්කාර නිසා පුංචි කාලේ ඉඳන්ම අනිත් බල්ලන්ට වඩා හපන්න, ගොරවන්න, පනින්න හොඳටම දඟ කරන්න බලනවා මේ පග්ලා. ඒ නිසා මෙයාලව හොඳට පුහුණු කරන්න ඕනේ. පග් පැටව් තමන් ආදරේ කරන කෙනා ලඟට වෙලා නිදාගන්න ඉතාමත් ප‍්‍රිය කරනවා. ඒ වගේම ඒ කාලේ මෙයාලගේ සෙල්ලම් දිහා බලන් හිටියොත් අනුන්ගේ බල්ලෙක් වුණත් අරන් ගිහින් ගෙදර තියන් හදන්න හිතෙන තරම් පග් පැටවු හරි හුරතල් වගේම දඟයි.

pug-sleeping

ටිකක් විතර ආරක්ෂාවට හොඳ වුණත් මෙයා හුරතල් බල්ලෙක් විදිහට තමයි ඉතාමත්ම හොඳ. නිවසට එන අමුත්තෙක්ට දකින මුල්වතාවේදි ටිකක් බිරුවත් ඕනම අමුත්තෙක් එක්ක ඉක්මනින්ම මිත‍්‍ර වෙන්න පග්ලට පුළුවන්. ඒ නිසා පග්ලව ආරක්ෂාවට නම් කිසිසේත් නොගැලපෙන සුනඛ විශේෂයක්.

පග්ලට දෙයක් එකපාර තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙයාලව පුහුණු කරද්දි ටිකක් ඉවසීමෙන් පුහුණු කරන්න වෙනවා. ගැහැනු සහ පිරිමි සතුන් දෙගොල්ලොම කිලෝ දහයකට අඩු බරක් මිසක් බර වැඩි වෙන්නේ නෑ. ඒ නිසා මෙයාලව පුංචි දරුවෙක්ට පවා අත් දෙකෙන් වඩා ගන්න පුළුවන්.

පිරිමි සතෙක් අඟල් 12 ත් 14 ත් ප‍්‍රමාණයකට උස යනවා. ගැහැනු සතෙක් අඟල් 10 ත් 12 ත් අතර උසක් ගන්නවා. ක‍්‍රීම් පාටට හුරු ලා දුඹුරු පාටින් තමයි වැඩිපුරම පග්ලා දැකගන්න පුළුවන් වුණත් තනි කළු පග්ලත් ඉන්නවා. මෙයාලගේ හොම්බ නම් කොහොමත් කළු පාටයි. ඒ වගේම ක‍්‍රීම් පාට පග්ලගේ කන් දෙකේ අගිස්සත් කළුයි. කළු පාට පග්ගේ ඉතින් කොහොමත් හැමදේම කළුයි නේ.

පග් සුනඛයන්ගේ සෞඛ්‍ය….

ඒ තරම් ලෝම නැතිවුනත් මෙයා සීත දේශගුණයට තමයි වැඩියෙන්ම ඔරොත්තු දෙන්නේ. මේ පග් විශේෂයේ සුනඛයින්ට වැඩියෙන්ම හැදෙන ලෙඬේ තමයි හෙම්බිරිස්සාව. ඊට අමතරව විවිධ සමේ ආසාත්මිකතා ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

විශේෂයෙන්ම පග් සුනඛයින්ටම විශේෂිත මොළයේ රෝගයකුත් වැළදෙනවා. ඒ නිසා පග් සුනඛයෙක් හුරතලේට හදනවා නම් ඒ තත්ත්වයන් පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න වෙනවා.

ඒ විතරක් නෙවෙයි, පග් සුනඛයෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු නම් ආහාර ගැන සැලකිලිමත් වෙන්නත් වෙනවා. ඒ වගේම පග් සුනඛයෙක්  ඕනවට වඩා මහතින් වැඩි වුණොත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩියි.

පග් සුනඛයාගේ පැටවුන් බෝ කරනවා නම්…

පග් ගැහැනු සතුන්ට ස්භාවිකව පැටවුන් බිහිකිරීමට අපහසු අවස්ථා තමයි වැඩියෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුවෙන් වැඩියෙන්ම පග් පැටවුන්ව සිසේරියන් සැත්කම් මගින් තමයි බිහිකරලා තියෙන්නේ. ඒ නිසා ඔබ පග් ගැහැනු සතෙකු ඇති කරන්න හිතනවා නම් ඇයගෙන් පැටවු ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැනත් සැලකිල්ලෙන් සිටිය යුතු වෙනවා. එහෙම නැත්නම් අලුතින් පග් පැටවු කෙසේ වෙතත් ඔබට ඔබේ පග් සුරතලා ද නැතිව යන්න පුළුවන්.

හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පග් සුනඛයෙක් ඇති කරන්නේ නම් ඒ පග් සුනඛයා වසර 12 ත් පහළොවත් අතර කාලයක් ජීවත් වේවි. ඒ වගේම ඔබට ඉතාමත් හොඳ, කීකරු, සුන්දර, හුරතල්, දඟ ඔබත් ගොඩක් ආදරේ කරන ඔබටත් ගොඩක් ආදරේ ලැබෙන හුතරලෙක් ලැබේවි.

– සුනෙත් වෙඩිවර්ධන විසින් සකසන ලද ලිපියකි –

 

පුංචි පැටවුන්ට දිගින් දිගටම රෑට කිරි පෙව්වොත් වෙන්නේ මොකද?

අලුත ඉපදුණු පුංචි පැටියෙක්ට සාමාන්‍යයෙන් මාසයක් වගේ වෙනකන් පැය 2-3 ට වරක් කිරි පොවන්න. ඒක දිවා රාත්‍රී කියලා වෙනසක් නැතුව කරනවා. ඒත් දිගින් දිගටම රාත්‍රී කාලයේත් මේ විදියටම කිරි දෙන්න ඕනෙද කියලා ගැටළුවක් අපේ අම්මලාට තියෙනවා. මුල් මාසය වගේ ගෙවුනම මේ විදියට පය 2 – 3 කට වරක් කිරි දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ වෙද්දී දරුවෙකුට හොඳ නින්දක් ලබා ගැනීමට අවස්ථාව දීම තමයි වැඩියෙන් වටින්නේ. ඒ නිසා මාසයක් පමණ ගත වුනාට පස්සේ රාත‍්‍රියට වැඩිපුර නිදාගන්න දරුවට ඉඩ දෙන්න ඕනේ.

රාත‍්‍රියට පැය 5 ක පමණ අඛණ්ඩ නින්දක් දරුවාට දීමට උත්සහ කළ යුතුයි. දරුවාගේ බර වැඩිවීම වැඩිපුර සිදු වන්නේ නිදාගත් කාලය තුළයි. ඒ නිසයි හොඳ නින්දක් වඩා ප‍්‍රයෝජනවත් වෙන්නේ. දරුවාට රාත‍්‍රියට කිරි පෙවීම අවම මට්ටමක තබාගන්නත් දරුවා අවදි වු විගස කිරි පෙවීමට වඩා නිදි කිරිමට උත්සහ ගත යුතුයි. දරුවා අවදි කර කිරි පෙවීමට උත්සහ කිරීම අනවශ්‍යයි. රෑ තිස්සේ දරුවෙකුට කිරි දීමේදී පුංචි පුංචි ගැටලු ඇති වෙන්නත් බැරි නැහැ.

රාත‍්‍රිය පුරා කිරි පෙවීමේ අහිතකර ප‍්‍රතිඵල

  • දරුවාගේ කායික වර්ධනයට බලපෑම් ඇති කර බර වැඩි වීම අඩු වේ.
  • දරුවාට හා මවට නින්දක් ලැබීමට කාලයක් නොමැති වීම.
  • මවට තෙහෙට්ටුව හා මානසික පීඩනය.
  • දරුවාගේ උදරය අනවශ්‍ය ලෙස පුරවා දමයි. මෙම අපහසුව නිසා ඊලඟ දිනයේ කිරි ප‍්‍රතික්‍ෂෙප කිරීම.
  • දත් එන කාලයේදී ඉදිරිපස දත් දුඹුරු පැහැවී පසුව කළු පාට වී කැඩි යයි.
අනවශ්‍ය ලෙස කිරි පෙවීමෙන්….

  • දරුවා නිතර වමනය කිරීම. මෙම වමනය පිට උගුරේ යාම. (උත්ස්වසනය- Aspiration) නිසා මරණය පවා සිදු විය හැක.
  • දවස තුළ වැඩි වාර ගණනක් මලපහ වීම, මල බුරුල් තත්ත්වයක් ගනී. කිරි පොවන හැම විටම මලපහ කරයි. කොළ පැහැයට හුරුව මල පිටවිය හැක.
  • දරුවාගේ බඩ පුරවා දමා හුස්ම ගැනීමට අපහසු වීම.
  • දරුවාගේ බර අධික ලෙස වැඩි වීම.
  • දරුවා ප‍්‍රධාන ආහාර වේල් ප‍්‍රතික්‍ෂෙප කිරීම.
  • වරින් වර කිරි උගුරට ඒම නිසා කැස්සද, එම කිරි නාසය තුළට යාම නිසා නාසය සිරවීමද ඇති විය හැක.
දරුවාට ප‍්‍රමාණවත් පරිදි කිරි පෙවේ නම්…

  • දිනකට වාර 8 කට වඩා වැඩි වාර ගණනක් මුත‍්‍රා පිට කිරීම.
  • කිරි ඉරීමෙන් පසු පැය 3 ත් පමණ දිගටම නිදා ගැනීම.
  • කිරි පෙවීමෙන් පසු බඩ පිරුණු ආකාරයක් නිරීක්‍ෂණය කළ හැක.
  • මුල් මාස කිහිපය තුළ දිනකට 25ට බැගින් බර වැඩි වීම.
කිරි පෙවීමේ ක‍්‍රම

පළමු ක‍්‍රමය : 

  • දරුවා මවගේ පියයුරු මට්ටම දක්වා ඔසවන්න.
  • ඉන්පසු දරුවා සම්පූර්ණයෙන් හිස සමග මව දෙසට හරවන්න. මවගේ පපුව හා දරුවාගේ පපුව සමග ස්පර්ශ විය යුතුය.
  • දරුවාගේ හිස මවගේ අත්ල මතද නිතඹ මවගේ වැලමිට මත ද රඳා පැවතිය යුතුය.
  • මවගේ අනික් අත පියයුර දරුවාට ලං කර දීමට හා අල්ලා සිටීමට භාවිත කරන්න.

දෙවන ක‍්‍රමය :

  • දරුවාගේ හිස වැලමිට මතද, නිතඹ අල්ල මතද සිටින ලෙස දරුවා වඩා ගන්න.
  • දරුවා පියයුරු මට්ටම දක්වා ඔසවන්න. සම්පූර්ණ පපුවට පපුව ගෑවෙන ලෙස සමීප කරන්න.
  • මවගේ අනික් අත, පියයුර ඔසවා තන පුඩුව කටට ඇතුළු කිරීමට භාවිත කළ හැක.

තෙවන ක‍්‍රමය :

  • දරුවා පාපන්දු බෝලයක් මෙන් කිහිල්ල යටට ගන්න. දරුවාගේ පා පිටුපසට සිටින ලෙස හා දරුවාගේ මුව තන පුඩුව දෙසට හරවා දරුවා අල්වා ගන්න.

සිව්වන ක‍්‍රමය :

  • මව ඇඳ මත හාන්සි වී දරුවා තමන් දෙසට හරවා කිරි පෙවීම කළ හැක. මෙහිදී මව නිදාගැනීම නොකළ යුතු වන අතර නින්ද ගියහොත් දරුවා මවගේ ශරීරයට යට වීමට ඉඩ ඇත.
ගුඩුස් යැවීම

කිරි පෙවීම අවසානයේදී ගුඩුස් යැවීම කළ යුතු අතර එසේ නොවුනහොත් වමනය වීම නිසා කිරි පිට උගුරේ යා හැක. කිරි පෙවීමේදී වාතය ඇතුළු වීම නිසා මෙම ගුඩුස් යැවීම කළ යුත්තේ එම වාතය ඉවත් කිරීමට වේ.

පළමු ක‍්‍රමය :

  • දරුවා මවගේ උරහිස මට්ටම දක්වා ඔසවා උරහිසට හේත්තු කරගන්න. දැන් දරුවාගේ බඩ මවගේ උරහිස මත රැඳේ. ඉන්පසු පිටට සෙමින් තට්ටු කරන්න. අනෙක් අත දරුවා ඇල්ලීමට භාවිත කරන්න.

KandyMatara@199

දෙවන ක‍්‍රමය :

  • දරුවාගේ හිස මවගේ වම් කකුල මත සිටින ආකාරයට හා බඩ දකුණු කකුල මත රඳන ආකාරයට තබාගන්න. සෙමින් පිටට තට්ටු කරන්න.

img02

තෙවන ක‍්‍රමය :

  • දරුවා උකුල මත වාඩි කරවා තබාගෙන පිට සෙමින් පිරිමදින්න. වම් අත දරුවාගේ පිට කෙලින් තබාගැනීමට භාවිත කරන්න. දකුණු අතින් බඩ සෙමින් තද කරන්න.

img03

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

චූටි පැටියට කිරි දෙද්දී ඔබටත් මේ ගැටලු ඇති වුණාද?

හාහාපුරා දරුවෙකු බිහි වීම ඕනෑම කාන්තාවකට නවමු අත්දැකීමක් බව නොරහසකි. අත්දැකීම් නොමැතිකම මත හෝ නොදැනුවත්කම මත ඕනෑම කාන්තාවකට මව්කිරි දීම සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකිය. අලුත උපන් දරු පැටියාට නිවැරදිව කිරි ලබා දීම සම්බන්ධව ඇති දැනුම අල්ප වීම නිසා මවකට මුහුණ දීමට සිදුවිය හැකි අපහසුතා, වේදනාකාරී අත්දැකීම් කිහිපයක් පිළිබඳවත් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ ලිපිය හරහා සාකච්ජා කෙරෙනු ඇති.

තන පුඩුව කෙළවර තුවාල වීම

වැරදි ආකාරයට දරුවා අල්වා ගැනීම හා තන පුඩුව නිසි ආකාරයට දරුවාගේ මුඛයට ඇතුළු නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වේ. මේ සඳහා නිවැරදි ප‍්‍රතිකාරය වන්නේ දරුවා අල්ලා ගන්නා ක‍්‍රමය හා කිරි පොවන ක‍්‍රමය සකසා ගැනීමයි.

  • තුවාල වී ඇති ස්ථානය විවෘත කර සුළඟ මගින් වියළීමට ඉඩ හරින්න. නැතිනම් සූර්යා ලෝකයට විවෘත කර වියළීමට ඉඩ දෙන්න.
  • කිරි ටිකක් දොවා තන පුඩුව හා තුවාලය මත අතුල්ලන්න. ඉන් පසු වියළීමට ඉඩ හරින්න.
  • කිරි පෙවීමට පෙර අයිස් කැටයක් ඒ මත තබා වේදනාව අඩු කරගන්න.
  • අදාල පියයුරට දිනක පමණ විවේකයක් ලබා දෙන්න. එම දින තුළ එහි ඇති කිරි දොවා ඉවත් කරන්න.
  • තද ඇඳුම් හා තද බ්‍රෙසියර් ඇඳිමෙන් වළකින්න.
  • අනෙක් පියයුරෙන් නියමිත ආකරයට කිරි ලබාදෙන්න.
කිරි නාල සිරවීම හා ගැටිති ඇති වීම

මෙහිදී පියයුර ස්පර්ශ කළ විට කුඩා ගැටිති ලෙස අතට දැනේ.

  • උණුසුම් තෙත රෙදි කඩකින් විනාඩි 5 ක් පමණ සම්භාහනය කරන්න.
  • ඉන්පසු සම්භාහනයකර කිරි ඉවතට ගන්න.
  • ඉන්පසු එම පැත්තේ කිරි ගලාගෙන එන ලෙස දරුවාට කිරි පෙවීම කරන්න
  • එක දිගට කිහිප වාරයක් එම පැත්තෙන් කිරි පොවන්න. ඉතිරි කිරි දොවා ඉවත් කරන්න.
පියයුර ඇතුළත සැරව සහිත වීම

මෙය අහිතකර තත්ත්වයකි. වහාම ප‍්‍රතිකාර ඇරඹිය යුතුය. මවට උණ ඇතිවන අතර පියයුර ඇතුළත තද ගෙඩියක් මෙන් අතට දැනේ. රතු පැහැවී ඉතා වේදනාකාරී විය හැක.

ප‍්‍රතිකාර :

  • වැඩිපුර දියර වර්ග පානය කරන්න.
  • උණුසුම් තෙත රෙදි කඩකින් තෙමන්න.
  • වැඩිපුර කිරි දොවා ඉවත් කරන්න.
  • දරුවාට කිරි පෙවීම.
  • සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය නිර්දේශයට අනුව ප‍්‍රතිජීවක ඖෂධ ගැනීම ආරම්භ කළ යුතුය.මෙම තත්ත්වය අසතුටුදායක වුවහොත් සැරව ගෙඩි නිසා සැත්කමකට පවා බඳුන් විය හැක.
එක් පියයුරකින් වැඩිපුර කිරි උරා බීම

සමහර විට දරුවන් එක් පියයුරකින් කිරි උරාබීමට වැඩි කැමැත්තක් දක්වයි. මෙය දරුවා අල්ලන ක‍්‍රමය, කිරි බොන ප‍්‍රමාණය සහ දරුවාට පහසුවීම වැනි හේතු නිසා සිදු වේ. මෙය නිවැරදි කිරීමට දරුවා අල්ලන ක‍්‍රමය වෙනස් කර බලන්න. සෑම විටම අඩු කැමැත්තක් ඇති පියයුරෙන් කිරි පෙවීම අරඹන්න

කිරි උරා බිම ප‍්‍රතික්ෂේප කිරීම

මාස 3 පසු වූ විට මවගේ අවශ්‍යතාවයට වඩා දරුවා තමන්ට අවශ්‍ය නම් හෝ බඩගිනි නම් පමණක් කිරි උරා බොයි. මව්වරු මෙය දකින්නේ කිරි උරා බීම ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසය. අම්මා කන කෑම වල ඇති රසය කිරිවලින් දැනීම හා එම රසයට දරුවා අකමැති වීම නිසා ද මෙම තත්ත්වය ඇති විය හැක. සමහර දරුවන් පැය 4-5 ක් පමණ කිරි නොබී සෙල්ලම් කරමින් සිටී. මෙය ස්වභාවිකය. පියයුරුවලින් කිරි ගලා ඒම අධික වීම නිසා කිරි ගිලීමට අපහසු වීමද හේතුවක් විය හැක. එවිට වැඩිපුර කිරි දොවා ඉවත් කර නැවන පොවන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, නාසය හිරවීම, කනේ කැක්කුම හෝ දත් ඒම වැනි කරුණු නිසාද මෙම තත්ත්වය ඇති වේ. අවට පරිසරය හා මවගේ ශරීරය ඉතා උණුසුම් වීම නිසා දරුවාට අපහසු තත්ත්වයක් ඇති වීමද දරුවාගේ වර්ධනය නිසා අවට පරිසරයේ සිදුවන සිදුවීම්වලට වැඩිපුර අවධානය යොමු කිරීම නිසා ද ඇතැම් විට මේ තත්ත්වය ඇති වීමට ඉඩ ඇත.

තන පුඩුව සැපීම

දත් එන කාල වලදී මෙය සිදු විය හැක. එවිට එපා කියා පැහැදිලිව හා සංසුන්ව කියන්න. තන පුඩුව මුඛයෙන් ඉවත් කරන්න. සුළු වේලාවක් කිරි නොදී සිටින්න. නැවත කිරි පෙවීම අරඹන්න. දින කිහිප දිනකින් මෙය නවතී.

කිරි මැලියම් ඇති වීම

දිව මත පමණක් ඇති වන කිරි මැලියම් ඉවත් කිරීම අවශ්‍ය නැත. තොල්, විදුරු මස් හා කම්මුල්වල ඇතුළු පැත්තේ කිරි මැලියම් ඇති වේ නම් ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වේ. වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගන්න.

පැතලි තන පුඩු පිහිටා තිබීම

මෙය දරුවා ඉපදීමට පෙර පරික්‍ෂා කර බලන්න. එම තත්ත්වය පවති නම් තන පුඩුව වටා ඇති කළු කොටස (ඇරියෝලාව) පපුව තුළට තද කරන්න. එවිට තන පුඩුව ඉදිරියට නෙරයි. එසේ නොවේ නම් ඒවා පැතලි හෝ ඇතුළට නෙරා ගිය තන පුඩු වේ. ඇඟිලි තුඩු මගින් තන පුඩුව දිනකට කිහිප වතාවක් රෝල් කිරීම කරන්න.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අම්මාගේ පියයුරේ දරු පැටියා වෙනුවෙන් කිරි නිපදවෙන්නේ කොහොමද?

දස මසක් කුස හොවා මෙලොවට බිහිකරන කිරි කැටියාගේ පෝෂණය වෙනුවෙන් අම්මාගේ රුහිරු කිරට හැරෙන බව අපි ඕනේ තරම් අහලා තියෙනවා. සොබා දමේ විස්මය ජනක සිදුවීමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැහැ. දසමසක් කුස හොවා සිටි කිරි කටියා මෙලොවට බිහිවීමත් සමගම දරුවා දැකීමෙන් දරුවාගේ හඬ ඇසීමෙන් දරුවා කෙරෙහි උපදින ආදරය නිසාවෙන් ඔක්සිටොසින් ප‍්‍රතීකය උත්තේජනය වී කිරි නිපදවීම ඇරඹෙනවා. රුධිරයේ ඇති ඔක්සිටොසින් නම් හෝමෝනය කිරි ධාරාව ඇති වීමට මුල පුරයි. කිරිදෙන අවස්ථාවේදී හෝ ඊට ප‍්‍රථම ක‍්‍රියාත්මක වේ.

කිරි උරාබීමේදී තන පුඩුව මගින් නිපදවෙන සංවේදී උත්තේජනය මගින් රුධිරයේ ප්‍රෝලැක්ටික් ශ‍්‍රාවය වේ. සෑම කිරි වේලකටම පසුව ප්‍රෝලැක්ටින් හෝමෝනය ශ‍්‍රාවය වී එමගින් ඊලඟ කිරි වේල නිපදවයි. ප්‍රෝලැක්ටින් ශ්‍රාවය වීම වැඩිපුර සිදුවන්නේ රාත‍්‍රියේදී ය. නමුත් මවක් අසහනය, කම්පනය, මානසික පීඩනය, වේදනාව, සැකය ආදි තත්ත්වයන් ඔක්සිටොසින් ශ‍්‍රාවයට බාධා ඇති කරවන අතරම ඒ හේතු මත කිරි නිපදවීම අඩුවීම හෝ නැතිවීම සිදු විය හැක.

breastfeeding-img01

ඔක්සිටොසින් ප‍්‍රතීකය ක‍්‍රියාත්මක වීමේදී,

බිළිඳාට කිරි දීමට පටන් ගැනීමට ඉතා ආසන්නව හෝ කිරි දෙන කාලය තුළ තම පියයුරු මිරිකෙන ස්වභාවයක් හෝ නලියන ස්වභාවයක් මවට දැනේ. බිළිඳා ගැන සිතන විට හෝ හැඬිම ඇසෙන විට පියයුරුවලින් කිරි ගලා ඒම සිදුවේ. දරුවා එක් පියයුරුකින් කිරි උරණ විට අනෙක් පියයුරෙන් කිරි ගලා ඒම, බිළිඳා කිරි බී අත්හල විට සිහින් ධාරාවක් ලෙස පියයුරුවලින් කිරි ගලා ඒම මෙහිදී දැකිය හැකියි. දරු උපතට පසු පළමු වන සතියේදී දරුවා කිරි බොන විට ගර්භාෂය සංකෝචනය වන නිසා මවට වේදනාවක් දැනීම හා සමහරවිට වේගවත් ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම සිදු විය හැකිය.

කිරි නිපදවීම උත්තේජනයට මෙන්ම අඩු කිරීමට එනම් නිශේධනයට (යටපත් කිරීම) සමත් ද්‍රව්‍යද මව්කිරිවල අඩංගු වේ. එනම් පියයුරක කිරි වැඩි ප‍්‍රමාණයක් ඉතිරිව තිබෙන විට, තවත් ශ‍්‍රාවය කිරීම මෙම නිශේධක මගින් වළක්වයි. පියයුරෙහි අනවශ්‍ය ලෙස කිරි එකතු වීම පියයුරට පීඩාවකි. එම පීඩනවලින් ආරක්‍ෂා වීම නිශේධක (යටපත් කර රසායනික ද්‍රව්‍ය) නිසා සිදු වේ. බිළිඳා මිය යාම හෝ වෙනත් හේතුවකට කිරි උරා බීම නැවැත්වුවහොත් ස්වභාවයෙන්ම මෙසේ සිදුවිය යුතුය. කිරි උරා බීම හෝ කිරි දොවා හැරීම මගින් පියයුරෙන් කිරි ඉවත් කළ හැකි නම් නිශේධකය ද ඉවත් වේ. එවිට කිරි නිෂ්පාදනය වැඩිපුර සිදුවේ. බිළිඳා එක් පියයුරකින් උරා නොබන විට එහි කිරි නොමැති විටත් එක් පියයුරකින් කිරි වැඩිපුර උරා බොන විට එහි වැඩි කිරි ප‍්‍රමාණයක් නිපදවා අනෙක් පියයුරට වඩා විශාල වීම නිශේධක ක‍්‍රියාත්මක වීමට කදිම නිදසුනකි. මේ නිසා නොකඩවා කිරි නිපදවේ නම් එම පියයුර හිස් කළ යුතුය. (කිරි ඉරීම හෝ දොවා ඉවත් කිරීම මගින්) තවද දරුවාට කිරි ලබා නොදෙන විට දෙතනෙන්ම කිරි දොවා ඉවත් කළ යුතු වේ.

ළදරුවෙක්,
  • යමක් තොලේ ගෑවුණු විට මුඛය විවර කර දිව පහළට හා පෙරට දමයි. මෙය රූටීන් ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.
  • යමක් තල්ලේ වැදුණු විට දරුවා උරයි. මෙය ඉරීමේ ප‍්‍රතීකයයි.
  • මුඛය කිරිවලින් පිරුණු පසු ගිලීම, ගිලීමේ ප‍්‍රතීකය ලෙස හඳුන්වයි.

breastfeeding-img-02

දරුවාට කිරි පෙවීමේදී,
  • මව සුව පහසු අයුරින් පුටු ඇන්දට හේත්තු වී වාඩි වීම කළ යුතුය.
  • දරුවා ඔතා ඇති අනවශ්‍ය ඇඳුම් ඉවත් කළ යුතුයි.
  • දරුවාගේ හිස හා කඳ එකම තලයක තිබිය යුතුයි.
  • දරුවා පියයුර දෙසට මුහුණලා ඔහුගේ නාසය මවගේ තන පුඩුව මට්ටමට සිටින සේ අල්ලා ගැනීම
  • දරුවාගේ ශරීරය මවගේ ශරීරයට ඉතාම සමීප වන සේ (ලයට-ලය) දරුවා අල්ලාගෙන සිටීම.
  • පියයුරේ මුලට ආධාරකයක් වශයෙන් පළමු ඇඟිල්ල සිටින සේ මවගේ අතෙහි ඇඟිලි පියයුරට යටින් පසු බිත්තිය මතින් තබාගැනීම.
  • පියයුර මද වශයෙන් තෙරපෙන සේ තම මහපට ඟිල්ල පියයුර මත තබාගැනීම, ඉතිරි ඇඟිලි හතර පියයුර යටින් තබා ආධාර කිරීම, දරුවා පියයුරට පහසුවෙන් සම්බන්ධ කිරීමට උපකාර වන පරිදි පියයුරෙහි හැඩය C අකුරක් ලෙස ගෙන කිරි පෙවීම, තන පුඩුවට ඉතා ආසන්නව ඇල්ලීම නොකළ යුතුය.
  • දරුවාගේ මුඛය ඇරෙන පරිදි තන පුඩුවෙන් තොල ස්පර්ශ කරන අයුරු තේරුම් කර දෙන්න. මෙහිදී දරුවා මුඛය හොඳින් අරින තෙක් තන පුඩුව තොලේ ස්පර්ශ කරන්න.
  • මුඛය හොඳින් විවෘත කරන තෙක් බලා සිට දරුවා පියයුර වෙතට ආ යුතු බව පහදා ගන්න. මුඛය තුළට පියයුරෙන් සෑහෙන ප‍්‍රමාණයක් ඇතුළු කරගැනීමට දරුවාගේ මුඛය සම්පුර්ණයෙන් විවෘතව තිබීම අවශ්‍ය වේ. දරුවා පියයුර වෙත ගෙන එනවා මිස මව හෝ මවගේ පියයුර පමණක් දරුවාට ලං නොකළ යුතුය.
  • දරුවාගේ නිකට තම පියයුරු සමග ස්පර්ශ කරවීමට මවගේ තන පුඩුවට පහළින් දරුවාගේ යටි තොල යොමු කළ යුතුය.
  • මවගේ ප‍්‍රතිචාර නිරීක්‍ෂණය කරන්න. ඇය වේදනාකාරීද නැතිද යන්න විමසා ආධාර කරන්න.
මවට ප‍්‍රයෝජනවත් වෙන ඉරියව්…

අත යටින් දරුවා ස්ථාපිත කිරීම : මෙම ස්ථාපිතය පහත අවස්ථාවලදී ප‍්‍රයෝජනයට ගත හැක.

  • නිවුන් දරුවන් දෙදෙනාට එකවර පියයුරු දෙකෙන් ලබා දීමේදී
  • සිසේරියන් සැත්කමින් පසු
  • විශාල පියයුරු ඇති විට
  • මව හා දරුවා අතර නිසි සම්බන්ධය අසීරු විට

පියයුරට විරුද්ධ පැත්තෙහි ඇති බාහුවේ ආධාරකය දරුවා ස්ථාපිත කිරීම :  

  • ඉතා කුඩා බිළිදුන්
  • අසනීප වූ දරුවන් සඳහා ප‍්‍රයෝජනවත් වේ
දරුවාට ලැබෙන මව්කිරි ප‍්‍රමාණවත් නොවන විට,
  • දරුවාගේ වර්ධනය දුර්වල වේ (මසකට 500g ට වඩා අඩුවෙන් බර වැඩි වීම)
  • ස්වල්ප වශයෙන් සාන්‍ද්‍ර වූ මුත‍්‍රා (තද පාට) පහවීම. කහ පැහැති තද ගඳකින් යුතු මුත‍්‍රා දිනකට වාර 6 කට වඩා අඩු වේ
  • දරුවා මව්කිරි බීමෙන් පසු සෑහීමකට පත් නොවේ
  • දරුවා නිතර හඬයි
  • නිතර නිතර මව්කිරි උරා බීමට අවශ්‍ය වේ
  • කිරි වේලක් උරා බීමට දිගු කාලයක් ගත වේ
  • දරුවා මවගෙන් කිරි බීම ප‍්‍රතික්‍ෂෙප කරයි
  • දරුවා වියළි කොළ පැහැති තද මල පිට කරයි
  • මව්කිරි දෙවීමට තැත් කළ ද කිරි ගලා නොයේම
කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

මව්කිරි සහ වෙනත් කිරි වර්ග අතර වෙනස ඔබ දන්නවාද?

දරුවෙකු උපන් පසු බොහෝ මව්වරු මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක් ලෙස මව්කිරි ලබාදීම දැක්විය හැක. මව්කිරි නොමැතිවීම, අඩුවීම හෝ නිවැරදි ක‍්‍රමයට කිරි ලබා නොදීම යන ගැටලු මේ අතර ප‍්‍රධාන වේ.

මව්කිරි ලබාදීමේ වැදගත්කම

  • දරුවාගේ ශරීරයට යෝග්‍යතම ආහාරය මව්කිරි වන අතර එය සියලු පෝෂක ගුණයන්ගෙන් පරිපූර්ණය.
  • පහසුවෙන් ජීර්ණය වේ.
  • දරුවා ආසාධනවලින් (විෂබීජ වලින්) ආරක්‍ෂා කරයි.
  • දරුවාගේ වර්ධනයටත් මව හා දරුවා අතර බැඳිමටත් උපකාරී වේ.
  • නැවත ගැබ් ගැනීම ප‍්‍රමාද කරයි.
  • මවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්‍ෂාවීම.
  • ඩිම්බ කෝෂ, පියයුරු පිළිකා ඇති වීමේ අවදානම අවම කරයි
  • දරුවාට ඇතිවන සෙම් රෝග හා ආසාත්මිකතා වළක්වා ගැනීමට උපකාරී වේ.
  • පසු කාලයක දරුවාට දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ඕනෑම ස්ථානයකදී ඕනෑම වේලාවකදී ලබාදීමට හැකිය.
  • මවගේ පියයුරු පිළිකා අවධානම අඩු කරයි.
  • මවගේ සිරුරේ ඇති අනවශ්‍ය තෙල් හා මේද දහනය වීම මගින් මවගේ බර පාලනය වේ.
  • මුදල් වියදම් නොවේ. උණුසුම් කිරීම අවශ්‍ය නොවේ.
  • ආසාධනවලින් ආරක්‍ෂා වීම – ආසාධනයෙන් පෙළෙන මවගේ ශරීරයේ ඇති ශ්වේතාණු (සුදු රුධිරාණු) මගින් ආසාධනවලින් මව ආරක්‍ෂා කිරීම පිණිස ප‍්‍රතිදේහ නිපදවයි. සමහර ශ්වේතාණු (සුදු රුධිරාණු) පියයුරු කරා ගොස් එහිදී ප‍්‍රතිදේහ නිපදවයි. මවගේ ආසාධනයට එරෙහිව නිපදවනු ප‍්‍රතිදේහ මව්කිරි සමග ශ‍්‍රාවය වී දරුවා ආරක්‍ෂා කරයි.

table

මව්කිරිවල සංයුතියේ විවිධත්වය

ප‍්‍රසූතියෙන් පසු පළමු දින කිහිපය තුළ ස‍්‍රාවය වන මව්කිරි කොලෙස්ට‍්‍රම් ලෙස හැඳින්වේ. මේවා සාමාන්‍ය කිරිවලට වඩා ඝනය. පැහැයෙන් කහ පහැයට හුරුය නැතහොත් පැහැදිලිය. දින කිහිපයකට පසු ස‍්‍රාවය වන කිරි මේරූ කිරි ලෙස හැඳින්වේ. මේ කාලයේදී කිරි ප‍්‍රමාණය වැඩිවේ. පියයුරු පිරුණු ස්වභාවයක් ගනී. එසේම තද හා බර ගතියක් දැනේ. කිරි දෙන අවස්ථාවේ පළමුව ස‍්‍රාවය වන කිරි, පෙර කිරි (For Milk) වේ. පසුව ස‍්‍රාවය වන කිරි පසු කිරි (Hind Milk) ය. පසු කිරිවල මේදය වැඩි ප‍්‍රමාණයක් අඩංගු වන අතර පෙර කිරිවලට වඩා සුදු පැහැතිය. මව්කිරිවලින් ලැබෙන ශක්ති ප‍්‍රමාණයෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මේදය මගිනි. මේ නිසා දරුවා අවශ්‍ය ප‍්‍රමාණයට බීමට පෙර පියයුරෙන් කිරි ඉවත් කළහොත් කිරෙහි අඩංගු මේදය කොටස් දරුවාට නොලැබී යයි.

කොලෙස්ට‍්‍රම්වල වැදගත්කම :

  • ප‍්‍රතිදේහවලින් සාරවත් බැවින් ආසාධනවලින් හා ආසාත්මිකතාවලින් ආරක්‍ෂා කරයි.
  • ශ්වේතාණු සුලබ බැවින් ආසාධනවලින් ආරක්‍ෂා වේ.
  • විරේකයක් (මලපහ පිටවීම පහසු කරවන) ලෙස ක‍්‍රියා කරන බැවින් දරුවාගේ මුල් මලපහ (ඔක්කසය – Meconium) ඉවත් කරයි. මේ නිසා දරුවා කහ පැහැවීම වැළකේ.
  • ශරීර වර්ධකකාරක තිබීම නිසා බඩවැල් මේරීමට උපකාරී වේ. ආසාත්මිකතා හා ජීර්ණ අපහසුතා වළක්වයි.
  • විටමින් A සුලබය. ආසාධනයකදී එහි උග‍්‍රභාවය අඩු කරන අතර අක්‍ෂි රෝග වළක්වයි.
 මව්කිරි දීමේ විද්‍යාත්මක වාසි

මව්කිරි දීමෙන් මව හා දරුවා අතර ඉතා සමීප ආදර සබඳතාවයක් ගොඩනැගේ. මවගේ සිතෙහි ගැඹුරු තෘප්තිමත් භාවයක් ඇති කිරීමට ඉවහල් වේ. දරුවා උපන් විගස මවට ලබාදීම මගින් මව හා දරුවා අතර කිට්ටු ස්පර්ශයක් ඇති වීම මෙම සබඳතාවය වර්ධනයට රුකුලකි. මෙම ක‍්‍රියාවලිය උද්වේගකාරී බැඳිම (Bounding) ලෙස නම් කරයි. ප‍්‍රසූතිය අවසන් වූ විගසම ළදරුවා මවට ලබාදීම මගින් දරුවාගේ හැඬිම අඩුවේ. වර්ධනය ඉක්මන් වේ. මව්කිරි නිපදවීම ඉක්මණින් ආරම්භ වේ.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

MRI ස්කෑන් පරීක්ෂණය කුමක් ද? කුමක් සඳහාද ?

යම් යම් රෝග තත්ත්වයන් පිළිබඳව නිශ්චිත නිර්ණයකට එළැමීම සඳහා MRI ස්කෑන් පරීක්‍ෂණය වෙත වැඩිහිටියන් මෙන්ම ඇතැම් අවස්ථාවල පොඩි දරුවන්ද යොමු කෙරෙන බව අප කොතෙකුත් අසා ඇති. නමුත් එම ස්කෑන් පරීක්‍ෂණය කුමක්ද? කෙරෙන ආකාරය කුමක්ද? යන කරුණු පිළිබඳව රෝගීන්ගේ ඇති නොදැනුවත්කම නිසාම ඔවුන් බියෙන් පසුවෙයි.

MRI (Magnetic Resonance Imaging) යනු වෛද්‍යමය හෝ ශල්‍ය තත්වයන් විනිශ්චය කිරීම සඳහා භාවිත කරන වේදනාත්මක නොවන වෛද්‍ය පරීක්‍ෂණයකි. ඉතා ප‍්‍රබල චුම්බක ක්‍ෂේත‍්‍රයක්, ගුවන් විදුලි තරංග සහ පරිගණකයක් භාවිත කරමින් ශරීරයේ අභ්‍යන්තර අවයව හෝ ව්‍යුහයක විස්තරාත්මක හරස්කඩක ප‍්‍රතිබිම්බයකි.

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් (Radiologist) දීප්තිමත් හා අඳුරු ප‍්‍රදේශවල ප‍්‍රමාණය හා පැතිරී ඇති ආකාරයේ අනුව සංසන්දනය කරමින් එම පටකය හෝ අවයවය රෝගී ද, නිරෝගී ද යන්න තීරණය කරයි. මේ සඳහා X-කිරණ හෝ අයනීකරණය වූ විකිරණ (Ionizing radiation) PET, CT, CAT යන ස්කෑන් පරීක්‍ෂණවලට මෙන් සම්බන්ධ නොවීම විශේෂත්වයකි.

MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකරන අවස්ථා

  • මොළයේ හා සුෂුම්නාවේ අසාමාන්‍යතා – උදාහරණ : මොළයේ අර්බුද (Brain tumouis) ක්‍ෂතිය නිසා මොළයට ඇතිවන අනතුරු (Traumatic Brain Injury)
  • ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන අර්බුද (Fumours) සැරව ගෙඩි (Cyst) හා වෙනත් අසාමාන්‍යතා
  • පියයුරු පිළිකා (පියයුරු පිළිකා ඇති වීමේ අවදානම් සහිත කාන්තාවන් සඳහා පරීක්‍ෂා කිරීම* (Breast Screenince)
  • කොන්ද, දණහිස වැනි සන්ධිවල අනතුරු හෝ අසාමාන්‍යතා
  • විශේෂ ආකාරයේ හෘදයේ ගැටලු
  • අක්මාව වැනි උදර ඉන්ද්‍රියයන්ගේ රෝග
  • කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇති වන රෝග තත්ත්ව :Fibroids, Endometriosis වැනි හේතු නිසා ශ්‍රෝණියේ ඇතිවන වේදනාවන් ඇගයීම සඳහා
  • වඳ භාවයට හේතු වන ගර්භාෂයේ අසාමාන්‍යතා හැඳිනීමට
  • ආඝාතය (Stroke)
  • මානසික රෝග :  ස්නායු සෛලවල ඇති වන වෙනස්කම් නිසා.උදාහරණ Dementia, Alzheimer
  • ආසාදන (Infection)
MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා රෝගියා සූදානම් කිරීම

MRI ස්කෑන් පරීක්‍ෂණය සඳහා යොමුවන රෝගියා සතුව පහත දේවල් ඇත්නම් ඒවා ඉවත් කළ යුතුයි.

  • ජංගම දුරකථනය/කාසි/කෘතිම දත්/කණ්ණාඩි/ශ‍්‍රව්‍ය ආධාරක/යතුරු/අත් ඔරලෝසු/කෘත‍්‍රිම කොණ්ඩා/ආභරණCredit Card
MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමේදී

  • Caffine අඩංගු බීමවලින් වැලකී සිටින්න.
  • පරීක්‍ෂණය සිදු කරන්නේ උදරරැුශ්‍රෝණි ඉන්ද්‍රියන් පරීක්‍ෂා කිරීමට නම් පරීක්‍ෂණයට පෙර පැය 6 ක කාලයක් නිරාහාරව සිටිය යුතුයි. ශරීරයේ වෙනත් ස්ථානයක නම් නිරාහාරව සිටීම අත්‍යවශ්‍ය නොවන නමුත් මෙහිදී ලබාදෙන පාරාන්ධ වර්ණකය (Contrast dye) නිසා ඇතිවන ඔක්කාරය වලක්වා ගැනීමට පරීක්‍ෂණයට පෙර පැය 2 ක කාලයක් නිරාහාරව සිටීම වැදගත් වේ.
  • රෝහලෙන් විශේෂ ගවුමක් ලබාදේ නම් එය ඇඳීම සුදුසු වේ. විනාඩි 30 ක් පමණ කාලයක් වැතිරී සිටීමට සිදුවන නිසා පහසු ඇඳුමකින් සැරසීඹ වඩාත් යෝග්‍ය වේ. පෞද්ගලික ඇඳුමකින් පරීක්‍ෂණයට මුහුණ දෙන්නේ නම් ලෝහ, බොත්තම්, බෙල්ට්, බකල් නොමැති ඇඳුමක් විය යුතුයි.
MRI ස්කෑන් පරීක්‍ෂණය සිදුකෙරෙන ආකාරය

  • ඇතැම් රෝගීන් MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීමට බියෙන් පසු වන අතරම ඒ ආකාරයේ  අධික බියක් කාංසා තත්ත්වයක් වේ නම් හෝ එවැනි තත්ත්වයක් සඳහා පෙර ඉතිහාසයක් ඇත් නම් වෛද්‍යවරයාට එය පැවසිය යුතුයි. එවිට රෝගියාට සුලූ සමනත ඖෂධ (Mid sedatives) පරීක්‍ෂණයට පෙර ලබා දේ. එවිට ඇති වන අනිසි බිය වළක්වා ගත හැකිය. ස්කෑන් පරීක්‍ෂණය පුරාවට රෝගියාට ඉහිල් භාවයකින් යුතුව සිටිය හැකි වේ.
  • පරීක්‍ෂා කළ යුතු කොටසේ දර්ශනය වඩාත් තීව‍්‍ර කිරීම සඳහා අන්තඃශෛලිය එන්නතක් (Intravenous injection) ලබාදේ. මෙහිදී Gadolinium නම් පාරාන්ධ වර්ණකයක් (Contrast dye) IV ලෙස ලබාදේ.
  • Scan යන්ත‍්‍රයෙන් ඇතිවන විශාල ශබ්ද ඇසීම වැලැක්වීම සඳහා රෝගියාට Earplugs හෝ Headphone ලබාදේ.
පරීක්‍ෂණය සිදුකරන අතරතුරදී….

  • චලනය කළ හැකි ඇඳක රෝගියාට වැතිරී සිටිමට ඉඩ සලසයි. හිස තොටිල්ලක් වැනි ආධාරකයක් (Cradled head rest) මත  තබා දෑත් දෙපසට කර තබයි.
  • ඇන්ටනාවක් ලෙසින් සැදු  උපකරණයක් (Coil) ප‍්‍රතිබිම්බය ලබා ගැනීමට අවශ්‍ය කොටස මත හෝ වටා තබයි. වඩාත් පැහැදිලි ජායාරූපයක් ලබා ගැනීමට නම් එය එම ස්ථානය මත තැබීම සුදුසු වේ.
  • ශල්‍ය සැලසුමක් සඳහා MRI ස්කෑන් භාවිත කරයි නම් විකිරණ ශිල්පියා කුඩා සලකුණ කිහිපයක් (Fiducial) නළල, මුහුණ, කන පිටුපස තබයි. මේවා ජීවිත ආරක්‍ෂා කරන උපකරණ (Life Savers)  ලෙසින්  පෙනෙන අතර, ප‍්‍රතිබිම්බය භාවිත කරමින් ශල්‍යකර්මය කිරීමට ශල්‍ය වෛද්‍යවරයාට උදව් වේ.(Image guided – Surgery) මේවා ඉවත් නොකළ යුතු අතර, තෙත් වීමට ද ඉඩ නොතබයි.
  • ඔබ පහසු ස්ථාපිතයක සිටින විට මේසය ඉතා සෙමින් චුම්බක ක්‍ෂෙත‍්‍රය තුළට ඇතුළු කරයි. විකිරණ ශිල්පියා සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහd Intercom පද්ධතියක් භාවිත කරයි.
පරීක්‍ෂණය සිදුකරන විට…

Stereo System හරහා සංගීතයකට සවන්දිය හැකිය. මෙම ශබ්දය ඇතිවන්නේ ඡයාරූප ගැනීමේදී වේ. මෙම ශබ්දය මගින් හෝ පරීක්‍ෂණයෙන් වේදනාවක් ඇති නොවේ. මෙම පරීක්‍ෂණය සඳහා විනාඩි 20-30 ක කාලයක් ගත වේ. වඩා වැදගත් වන්නේ රෝගියාට පහසු ඉරියව්වකින් වැතිර සිටිය යුතු වීමයි. මෙය සිදුකරන අතරතුරදී රෝගියා චලනය වුවහොත් ගැටලූවක් නිසා ජායාරූපය ගන්නා විට හුස්ම ගැනීම නැවැත්වීම ද කළ යුතු වේ. පරීක්‍ෂණය සිදු කරන අතරතුරදී රෝගියාට අපහසුවක් දැණුනි නම් Intercom හරහා පරීක්‍ෂණය සිදුකරන කාර්මික ශිල්පියාට කතා කර පරීක්‍ෂණය නවත්වා ගත හැකිය.

පරීක්‍ෂණයෙන් පසු…

විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් එම ප‍්‍රතිබිම්භ පරීක්‍ෂා කිරීමෙන් පසු තවත් අවශ්‍ය නොවේ නම් හෝ වෛද්‍යවරයා එම ජායාරූපවලින් සෑහීමකට පත් වේ නම් රෝගියාට රෝහලෙන් නික්ම යා හැකිය. පරීක්‍ෂණය අවසන් වූ පසුව යොදා ඇති කැනියුලාව ඉවත් කරයි. මෙම ඩයි වර්ගය වකුගඩු ඔස්සේ මුත‍්‍රා සමග ශරීරයෙන් ඉවත්වන නිසා වැඩිපුර තරලය පානයට උපදෙස් දිය යුතුයි. මෙහි ප‍්‍රතිඵල ලබා දීම විශේෂඥ වෛද්‍යවරයා මත රඳයි. පැය කිහිපයකින් හෝ දිනක් තුළදී වාර්තාව ලබා ගත හැකිය.

අවධානම් තත්ත්ව…

මෙම පරීක්‍ෂණය ඉතාමත් ආරක්‍ෂාකාරී වේ. චුම්භක ක්‍ෂෙත‍්‍රයක් හා Radio Waves භාවිත කරමින් සිදුකරන පරීක්‍ෂණයක් මගින් සෞඛ්‍යයට අහිතකර අවදානමක් ගැන දක්වා නැත. නමුත් සමහර පුද්ගලයන් මෙහිදී ලබාදෙන ඩයි වර්ගයට අධි සංවේදීතාවයක් දැක්විය හැකි බැවින් ආසාත්මික ප‍්‍රතික‍්‍රියාවක ලක්‍ෂණ ඇතිවිය හැකිය. උදාහරණ සමෙහි පලූ ඇති වීම, කැසීම නමුත් මෙම ඩයි වර්ග අනුමත ආරක්‍ෂාකාරී ඒවා වේ.

මධුමේහය හෝ වකුගඩු ක‍්‍රියාකාරීත්වයෙහි ගැටලූකාරී තත්ත්ව ඇත්නම් වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි. සමහර අවස්ථාවලදී වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීමට අදාල පරීක්‍ෂණ MRI ස්කෑන් පරීක්ෂණය සිදු කිරීමට පෙර කළ යුතු වේ. ඊට හේතුව වන්නේ ලබාදෙන ඩයි වර්ගය පරීක්‍ෂණයෙන් පසුව ශරීරයෙන් ඉවත් කිරීමට වකුගඩුවලට හැකිදැයි පැහැදිලි කර දැනගැනීමට අවශ්‍ය වන නිසාය.

සමහර විශේෂ අවස්ථාවලදී චුම්භක ක්‍ෂෙත‍්‍ර භාවිතය සීමා කරන අවස්ථා ද පවතී. පහත උපකරණ පැළඳ ඇත්නම් වෛද්‍යවරයාට ඒ බව දැන්විය යුතුය.

  • Cardiac pace maker හා කෘති‍්‍රම හෘද කපාට (Artificial Cardiac Valve)
  • ලෝහ පතුරු (Metal plate) ඇණ (Pin) හෝ වෙනත් ඕනෑම ලෝහ කොටසක් තැන්පත් කර ඇත්නම් (Metalic Imlant)
  • විනිවිද යා හැකි දේවල් (Piercngs)
  • අන්තර් ගර්භාෂධික උපකරණ (Intra Uterine Devices)
  • Insulin හෝ වෙනත් ඖෂධ Pump
  • Aneurysm Clips
  • කලින් සිදුවී ඇති වෙඩි වැදීමක්
  • ඇසීමට භාවිත කරණ උපකරණ
  • ස්ථීරව යොදන ලද Tattoo
  • ලෝහකරුවෙකු ලෙසින් රැකියාවක් කළ බවට ඉතිහාසයක් ඇත්නම්ශරීරය තුළ ඇති ඕනෑම ලෝහ වර්ගයක් මෙම ප‍්‍රතිබිම්බයේ (Image) ගුණාත්මක භාවයට බලපෑම් ඇතිකළ හැකිය. එසේම ඔබ චුම්බඛ ක්‍ෂෙත‍්‍රය තුළ සිටින විට ලෝහ වර්ග නිසා අනතුරක් හෝ අපහසුතාවයක් ද ඇතිවිය හැකිය.
  • ගර්භණී මවක් නම් ඒ බව වෛද්‍යවරයාට දැන්වීම අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ගර්භණීභාවයේ මුල් මාස 3 තුළදී MRI ස්කෑන් පරීක්‍ෂණයට යොමු නොකළ යුතු අතර ඉන් පසුව සිදු කිරීමෙන් අවදානමක් ඇති නොවන නමුත් නාරිවේදීය විශේෂඥ වෛද්‍යවරයාගෙන් මෙම පරීක්‍ෂණය සඳහා ලිඛිත අවසරයක් තිබිය යුතු වේ.
  • X-ray, PET Scan, CT Scan වල අයනීකරණය වූ විකිරණ භාවිතය නිසා DNA වලට හානි වීම නිසා පිළිකා ඇති වීමේ අවදානමක් පවතී. නමුත් MRT Scan හා Ultra Sound Scan වල විකිරණ භාවිත නොවන නිසා පිළිකා ඇති වීමේ අවදානමක් නොමැත.
අතුරු ආබාධ (Side effects)

ඉතාමත් කලාතුරකින් මෙහිදී භාවිත කරන ඩයි වර්ගය නිසා

  • ඔක්කාරය (Nausea)
  • හිසරදය (Headache)
  • එන්නත් ලබාදුන් ස්ථානයේ වේදනාව හෝ දැවිල්ල
  • ශරීරයේ පලු ඇතිවීම (Hives)
  • සම කැඞීම (Pruritis of skin)
  • ඇස් කැසීම Itchy eye වැනි තත්ත්ව ඇතිවිය හැකිය.

සමස්ථයක් ලෙඩ ගත්විට රෝගියෙකු මෙම පරීක්‍ෂණයට මුහුණ දීමට බිය නොවිය යුතු අතර, වේදනාවක් ද ඇති නොවේ. අද වන විට පවතින්නේ ඉතා ආරක්‍ෂාකාරී දියුණු තාක්‍ෂණයකි.

කරාපිටිය, ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ආර්. එම්. එන්. කේ. රණතුංග මහතා සහ හෙද නිලධාරිනී ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.