Home Blog Page 102

වපුරන දේ තමයි ලැබෙන්නේ කියා කිව්වේ කට කහනවට නෙවෙයි

මතිෂ, හය වසරේ ඉගෙන ගන්න දරුවෙක්. එයාගේ පන්තියේම ඉගෙන ගන්න සේසත් හැමදාම වගේ මතිෂ ගැන ගෙදර ඇවිත් පැමිණිලි කරන්න පටන් ගත්තා.

“අම්මා, මතීෂ නම් හරිම නරකයි. එයාට ඕනේ විදියට තමයි අපි හැම දේම කරන්න ඕනේ. එයා අපිට කතා කරන්නේ හරිම තරහෙන් වගෙයි. අනික එයා හිතන් ඉන්නේ අපි එයාගේ වැඩ ටික කරන්න ඉන්න අය කියලා…”

“ඕවා ගණන් ගන්න එපා පුතා… එක එක ළමය එක එක විදියයි. එයා ඔයාට කොයි විදියට කතා කළත් ඔයා ඔයාගේ විදිය වෙනස් කරන්න එපා. ඔයා ඔයාගේ ගති ගුණ එයාගේ විදියට වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. පුළුවන් හැම වෙලේම අනිත් අයට ආදරෙන් කතා කරන්න එයාට කියලා දෙන්න.”

“අම්මෝ… අම්මා නම් කියයි… මට ගුටිත් කාලා එන්න වෙයි එයාට කතා කරන හැටි උගන්නන්න ගියොත් නම්. අපිත් දැන් එයාව එච්චර ගණන් ගන්නේ නැ.”

“එහෙම නෙවෙයි පුතා, එය ඒ විදියට හැසිරෙන්න හේතුවක් ඇති. ඔයාට එයාව හදන්න බැ තමයි. ඒත් ඔයා එයාට කාරුණික උනොත් එයාට කවදාවත් බෑ ඔයාට අකාරුණික වෙන්න…”

අපි වැඩිහිටියෝ විදියට මෙහෙම කිව්වත් දරුවන්ට මේ වගේ අවස්ථාවක් කළමනාකරණය කර ගැනීම එතරම්ම පහසු කටයුත්තක් නෙවෙයි.  මොකද ඕනෙම පුංචි දරුවෙක්ගේ හිත රිදෙනවා වගේම තමන්ට තරහෙන් සලකද්දී ඒ විදියටම අනෙක් කෙනාට සලකන්න පොඩි නම් දරුවෙක් දෙපාරක් හිතන්නේ නැ. ඉතිං මේ දෙයින් වෙන්නේ අනෙක් දරුවන් අතරේ ඒ වගේම හුරතල් තවත් දරුවෙක් තනි වෙන එක. එතනින් එහාට දවසින් දවස තමා යහළුවන්ගෙන් ඈත් වෙන නිසාම යහළුවන්ගේ පැමිණිලි නිසා දවස පුර තමන් ගුරුවරුන්ගේත් දඬුවමට ලක්වීම වගේ හේතු නිසා ඒ දරුවට පාසැල, පන්තිය අප්‍රසන්න ස්ථාන බවට පත්වෙන්නත් බැරි නෑ.

අන්න ඒ නිසාම අපි මේ දේවල් ආරම්භ කළ යුත්තේ ගෙදරින්මයි කියලා මව්පියන් සිතිය යුතුමයි.

ආදරය කරුණාව ගෞරවය අත්දකින දරුවා සමාජයට ආදරය, කරුණාව, ගෞරවය පුද කරයි. වෛරය, අගෞරවය අත්දකින දරුවාගෙන් පවා සමාජයට ලැබෙන්නේ වෛරය හා අගෞරවයම පමණි.

ඕනෑම මවක්/පියෙක් තමන්ගේ දරුවන්ට බැන වැදීම/කෑ කෝ ගැසීම/වරදට දඬුවමක් දීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් මව්පියන් දරුවන් කෙරේ තම ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට ආදරණියව කතා බහ කිරීමෙන් වගේම ආදරණියව සැලකීමෙන්ද ඈත්ව සිටී.

ආදරණීය, බොහොම නිහතමානී ඒ වගේම අනෙකාට ගරු කරන ගොඩක් දරුවෝ අපිට අපේ දරුවන්ගේ යහළු යෙහෙලියන් අතරේ අනන්තවත් මුණ ගැහෙනවා. ඒ හා සමානවම යහළුවන් පහත් කර සලකන, කිසිම ගෞරවයක් ඇති වන පරිද්දෙන් අනෙකාට කතා බහ කරන සැර පරුෂ දරුවනුත් මේ අතරේ මුණ ගැහෙනවා. ඇතැම් දරුවෝ මම තමයි සේරම දන්නේ, මට තමයි හොඳම අත්දැකීම් තියෙන්නේ කියන හැඟීමෙන් තමන්ගේ යහළු යෙහෙලියන් අතරේ රජා වෙලා අනවශ්‍ය ලෙස කැපී පෙනෙන්න උත්සාහ ගන්න අවස්ථා මට නම් ඕනෙවටත් වඩා මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම තමන් යන එන ලොකු ලොකු තැන් ගැන අනෙක් දරුවන් ඉස්සරහා වර්ණනා කරමින්  අනෙක් දරුවන්ට ඒ අවස්ථා නැති බව හඟවන දරුවොත් මේ අතරේ ඉන්නවා.

මේ තත්ත්වයන් ඇත්තටම ඇති වෙන්නේ මේ දරුවන්ගේ වරදක් නිසාද? නැහැ, ඔවුන්ට වටපිටාවෙන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. පුංචි මල් පෙති වගේ මේ ලෝකෙට බිහිවෙන අපේ දරුවෝ හැම හොඳක් වගේම හැම නරකක්ම ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්.

පුංචි දරුවෝ මේ සමාජයට අලුත්. ඉතිං එයාලගේ වැරදි මේ සමාජයෙන් ඔවුන්ට ලැබුණු ඒවා කියල යමෙක් කියනවා නම් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි.

තාපස තුමා ළගට වැටුණු ගිරවාගෙයි හොරා ළගට වැටුණු ගිරවගෙයි වෙනස අපි කවුරුත් දන්නවනේ. දරුවන්ටත් මේ දේ ආදේශ කරගත යුතුමයි. අපි අපේ දරුවෙකුට ආදරෙන් කතා කරන තාක් කල් දරුවෙක්ට බෑ අපිට සැර පරුෂ විදියට කතා බැහැ කරන්න. අපි අපේ ගෙදරින්ම ඒ දේ දරුවට ලබා දෙනවා නම් දරුවාගෙන් සමාජයට ලැබෙන්නෙත් ඒ දේම තමයි. ආදරය, කරුණාව විතරක් නෙවෙයි පුංචි දරුවෙක් උනත් ගෞරවය පවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් නොලැබෙන තැන දරුවගෙනුත් ඒ දේවල් තවත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි තමන් වපුරන දේ තමයි අස්වැන්න විදියට ඔබට ලැබෙන්නෙත්.

ආදරය විඳින දරුවා අනෙකාට ආදරය ලබා දෙනවා. වෛරය ලබන දරුවා අනෙකාට වෛර කරනවා. සැලකිල්ල ලබන දරුවා අනෙකා කෙරේ සැලකිල්ල දක්වනවා. පිළිගැනීම, ගෞරවය ලබන දරුවා අනෙකාට පිළිගැනීම වගේම ගෞරව ලබා දෙනවා. ඒ නිසා ඔබේ දරුවාට හැමවිටම ආදරය, කරුණාව, පිළිගැනීම ලබාදෙන්න. දරුවාටත් ආත්ම ගෞරවයක් ඇති බව වැටහ ගන්න.

අපේ කාලයේ අවුරුදු අද දරුවන්ට නැතැත්….

අද බොහෝ දෙමව්පියන් සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගෙන කතා බහ කරන්නේ බොහොම පශ්චත්තාපයෙන්. ඊට හේතුව එදා ඔවුන් වගේම ඔවුන්ගේ මව් දෙමව්පියන් විසින් වින්දනීය කරනු ලබන සිංහල අලුත් අවුරුද්ද අද ඔවුන්ගේ දරුවන්ට නොමැති වීමේ පසුතැවිල්ල හිතේ කොනක තිබෙනවා.සිංහල අලුත් අවුරුද්ද කිව්වාම අපිට අදින දශක තුනකට පමණ පෙරාතුව තිබුන අවුරුදු සිරිය අද ලබා ගන්න බැහැ. පරිසරයේ වගේම මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වුන නිසා ඒ අතීතය අද නැති වුනත් පවතින තත්වයේ වුනත් අපි අලුත් අවුරුද්දක ආශ්වාදය ඒ අයුරින්ම වින්දනය කිරීමට පුලුවන් වෙන විදිහට පරිසරය සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව එදා අවුරුදු මෙහෙමයි… කිව්වාටම අපිට මේ නැවුම් අත්දැකීම වින්දනය කරන්න බැහැ.

නිවස පිරිසිදු කිරීම

එදා අවුරුදු කාලයට ගොම මැටි ගාලා , බිත්ති හුනු ආලේප කරල සූදානම් කරනවා.  අපි වගේම එදා උදවියත් නිරන්තරව තමන්ගේ නිවස හොදින් පිරිසිදුව තබා ගත්තා. ඒත් අලුත් අවුරුදු උණුසුම ඉදිරියේ ඔවුන් තම තමන්ගේ නිවෙස් සුද්ද පවිත්‍ර කර ගත්තේ මානසිකව අලුත් බවක් ලැබීමටයි.අද දවසේ මේ තත්වයක් නැහැ. ඔබ මෙහෙම කියාවි..අපේ ගෙවල් ඉතින් හැමදාම මොප් කරනවා. සතිපතා මකුළුදැල් කඩනවා…ඒ වුනත් අපි අවුරුද්දට ගෙවල් පිරිසිදු කර ගැනීම  අවශ්‍යද..? මේ පිරිසිදු කිරීම් රටාව ඇත්ත වුනත් අපි මේ සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දක් අලුත් විදිහට පිලිගන්න. ඒ  මානසික සතුට ඇති වෙන්නේ ඒ වෙනුවෙන්ම වූ සූදානම නිසයි.

කැවිලි පිලියෙල කිරීම

අවුරුදු ලං වෙත්ම හැම ගෙදරකම තෙල් තාච්චිය ලිප තිබ්බේ කැවුම්, කොකිස් පිළියෙල කරන්නයි. අවුරුදු කැවිලි අතර මේවා ප්‍රධාන වුණා. ඒත් අද අවුරුද්ද වෙනුවෙන් කැවිලි පිළියෙල කරන්නත් බොහෝ දෙනක් දැන් කම්මැලියි. එක් අතකට සීනි, කොලස්ටරෝල් නිසා කැවුම්, කොකිස් අගුණයි. ඒ එක පැත්තක්. තවත් පැත්තකින් ගින්දර කාගෙන කැවිලි පිළිලෙ කිරීමත් එතරම් පහසුව වැඩක් නොවෙයි. ඒ නිසා කේක්, බිස්කට් ටිකක් ගෙනත් අවුරුදු මේසය සකස් කලාම අවුරුදු වෙනුවෙන් අපේ සූදානම සිද්ධ වුණාය යන සහනය ඇති කර ගන්නවා. ඉස්සර නම් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චියක් ලිප නොතිබීම අඩුපාඩුවක් විදිට සැලකුනා. හැම නිවසකම තෙල් තාච්චිය අලුත් අවුරුද්ද වෙනුවෙන් ලිප තිබ්බා. අදට වුනත් අපේ දරුවන්ට සිංහල කැවිලි ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් මේ කැවලි නිවසේ පිලියෙල විය යුතුමයි.

ඔබ පහසුව තකා වෙළදපොලෙන් මේ කැවලි මිලදී ගැනීම සිදු කලාට එයින් අවුරුදු සිරියක් ඇති වෙන්නේ නැහැ. ඔබේ දරුවා පවා බාල කාලේ අත්දැකීම් උපයා ගන්නේ අම්මා එහෙම නැත්නම් නිවසේ වැඩිහිටියන් විසින් කැවිලි පිළියෙල කිරීම නිසා බව තරයේම සිතට ගන්න.

තෑගි බෝග

අවුරුදු වෙනුවෙන් තෑගි බෝග ගැනීමත් අද බොහෝ දුරට සීමා වෙලා.තැග්ගක් නිසා ලබන්නා සතුටට පත් වෙනවා ‍වගේම දෙන අයටත් සතුටක්.ඒත් අද මේ තෑගි බෝග දීම බෙහෙවින්ම මග ඇරිලා. එක අතකට පුද්ගලයන්ගේ රුචි අරුචිකම් අනුව තෑගි තෝරන්න තිබෙන අපහසුවත් එක් හේතුවක්. ඒ වුනත් දිය යුතු අය වෙනුවෙන් කුමන හෝ යමක් ලබන තැනැත්තාට වැදගත් වන සේ ලබා දිය හැකි නම් එය ඉතාම වැදගත්.

අවුරුදු පිඟන් හුවමාරුව

අවුරුද්ද මුල් කර ගෙන සෑම ගෙදරකම අවුරුදු කැවිලි හදන බව ඇත්ත.හදන කැවිලි එකාකාර බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ ගැනත් විවිධ අදහස් තිබෙනවා. හැම ගෙදරකම කෑම බීම තිබෙන නිසා මුස්ලිම්, සහ කතෝලික ගෙවල්වලට විතරක් අවුරුදු කැවිලි දුන්නාම ඇති කියන මතයක් අපි ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් අපි මේ කැවිලි හුවමාරු කර ගන්නේ සුහදතාවයටයි.ඒ නිසා තමන්ගේ වාසියට සීමාවන් පනවා ගැනීම වගේම මේ සිරිත් නොවැදගත් යැයි තර්ක විතර්ක වෙනුවට ගමේ සහජීවනයෙන් ජීවත්විය හැකි පරාසරයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්.

පරණ කෝන්තර අමතක කිරීම

ඉස්සර කාලයේත් අහල පහල උදවිය අතර පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා. අපි මිනිස්සු නිසා‍ මේ තත්වය අමුතු නැහැ. ඒ වුනත් ඒ හැම තරහ, මරහ, සිත්  අමනාපකම් අවුරුද්දට බුලත් දුංකල දීම හෝ කැවිලි හුවමාරුව සමග අවසාන වුණා. අද මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වෙලා. පුංචි අමනාපය වුනත් මනාපයක් බවට පත් කර ගැනීමට සූදානම් නැහැ. සිංහල අලුත් අවුරුද්දක් නොව මරණයක් වුනත් නිවසට නොයන තරමටම තරහ මරහ ප්‍රබලයි. ඒවා අමතක කරන්න කිසිම සූදානමක් නැහැ. ඒ නිසා අද සිංහල අලුත් අවුරුද්ද එදාට වඩා වෙනස් වෙන්නේ අපේ හිත්වල කිසිම තෙතෙමනයක් නැති නිසයි. මිනිසුන් විදිහට තවත් කෙනෙක් සමග කෝන්තර දිගින් දිගටම ගෙන යෑම නුසුදුසුයි යන බව තේරුම් නොගැනීම නිසා මානව දයාව අපෙන් නොදැනීම ඇතට ගිහින්.

වැඩිහිටියන් පිදීම

එදා සිංහල අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් විදිහට වැඩිහිටියන්ට පිදීම සිද්ධ වුනා. අම්මා, තාත්තා, නැන්දා මාමා යන සෑම වැඩිහිටියෙක් වෙතටම බුලත් අතක් අරගෙන ගිහින් වැද ආශිර්වාද ලබා ගත්තා. අද නම් පවුලක මේ සම්බන්ධතාවය ඉදිරියට ගෙන යෑම අසීරුයි. එදා ගමේම ජීවත්වුන පවුල්වලට නෑදෑකම් වෙනුවෙන් අවුරුදු සිරිත් ඉටු කිරීම අපහසු වුනේ නැහැ. අද මේ සිරිත බොහෝ විට කෙටි පනිවිඩයකට සීමා වෙලා. අඩුම තරමින් තමන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන්වත් යුතුකම් ඉටු කිරීමට කාලය නැතැයි කියන තැනට දරුවන් පත්වීම නම් එතරම් සුදුසු නැහැ.මොන තරම් කාර්ය බහුල වුනත් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අලුත් අවුරුද්දේ පුංචි හෝ ඉඩක් ලබා ගැනීම ඉතාම වැදගත්.

අපේ ළමයි පරිප්පු කන්නේම නැහැ…

“අපේ ළමයි පරිප්පු තිබ්බොත් බත් පිගාන දිහා බලන්නෙත් නැහැ. ඔව් ඉතින් හැම එකටම පරිප්පුනේ අපි හදන්නේ…”

ඇත්තටම පරිප්පු අපේ ආහාර රටාව තුළ නැතුවම බැරි තැනට පත්ව තිබෙන්නේ විවිධ හේතුන් නිසා. පරිප්පු ඕනෑම ආහාරයක් සමග ගැලපෙනවා. කොටින්ම කිව්වොත් පාන්, බත්, ඉදිආප්ප, රොටී වැනි ඕනෑම ආහාරයක් සමග පරිප්පු ගැලපෙනවා. ඒ වගේම පිළියෙල කර ගන්නත් පහසුයි. වියදම පැත්තෙන් බැලුවත් බොහොම සාධාරණ මුදලකින් ආහාර වේලක් සම්පූර්ණ කර ගන්න පුලුවන්.මේ හැම දෙයටම වඩා පරිප්පු වලඇතිපෝෂණ ගුණය ගැන ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුලුවන්.

පරිප්පු රනිල කුලයට අයත් අතර “lens esculenta” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. මෙහි ඉතිහාසය දිගු අතීතයකට හිමිකම් කියන අතර චරක සංහිතාව වැනි වේද ග්‍රන්ථයන්හි පවා පරිප්පු ගැන සදහන් වෙනවා.මයිසූරයේ ද්‍රවිඩ වෙළෙන්දන් විසින්ලංකාවට එවන ලද රතු පරිප්පු විශේෂය අපි “මයිසූර්” යනුවෙන් හැදින්වුවත් එහි නියම උච්චාරනය “මසූර්” ලෙසින් වෙනස් විය යුතුයි.

කිරට, මිරිසට, සුදට වගේම මැල්ලුමක් විදිහට පවුලේ අයගේ රුචි අරුචිය අනුව පරිප්පු පිලියෙල කර ගන්න අම්මාට නිදහස තිබෙනවා. කුඩා දරුවන්ට පිළියෙල කරන විට මිරිස් නොදමා අමුමිරිස්, කහ, කරපිංචා සහ තුනපහ යොදා ගෙන කිරට පිසගගන්න පුලුවන්.පතෝල, නිවිති, සාරණ සහ කොහිල දලු වැනි එළවලු සමග සංයෝගයක් විදිහටත් පරිප්පු යොදා ගන්න පුලුවනි. සුප් පිලියෙල කරන විට පරිප්පු එක් කර ගැනීමෙන් රසය වගේම ගුණය ඉහලින්ම ලබා ගත හැකියි.

පරිප්පු ග්‍රෑම් 100 ක පෝෂණය

පෝෂණය ප්‍රතිශතය
ශක්තිය ග්‍රෑම් 343
තෙතමනය ග්‍රෑම් 12.4
මේදය ග්‍රෑම් 0.7
කාබොහයිඩ්රේට ග්‍රෑම් 59.0
ඛණිජ මිලිග්‍රෑම් 4.8
කෙදි මිලිග්‍රෑම් 1
කැල්සියම් මිලිග්‍රෑම් 69
පොස්පරස් මිලිග්‍රෑම් 295
කැරොටින් මයික්‍රොග්‍රෑම් 275
තයමින් මයික්‍රොග්‍රෑම් 450
රිබොක්පැක්ස් මයික්‍රොග්‍රෑම් 200
නයසින් මිලිග්‍රෑම් 2.6

මීට අමතරව කහ පැහැයෙන් යුක්ත තෝර පරිප්පු විශේෂය නිවර්තන හා උපනිවර්තන කලාපයන්හි වගා වෙනවා. රතු පරිප්පු ඉක්මනින් තැම්බුනත් තෝර පරිප්පු තම්බා ගැනීමට කාලය ගත වෙන නිසා පිසින්නට පෙරාතුව තෝර පරිප්පු පොගවා ගන්නවා.ඒත් පීඩන උදුනක ඉතාම පහසුවෙන් තැම්බෙන නිසා පොඟවා  ගැනීම අවශ්‍ය නැහැ.

මෑතකදී පරිප්පු පිලිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ මැනිසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යනයේදී පර්යේෂකයන් විසින් මීයන්ට පරිප්පු ආහාරයට ලබා දුන් අතර එම මීයන්ගේ අධිරුධිර පීඩන රෝග තත්වය පාලනය වීමට අවශ්‍ය පරිසරය ඔවුන්ගේ සිරුරෙන්ම ඇති වී තිබුනා. එහිදී රෝගී මීයන්ගේ වෙනස්කම් පාදක කර ගෙන පරිප්පුවල ගුණ පිලිබදව සහතිකය පහසුවෙන් ලබා ගැනීමට හැකි වුණා. මෙම අධ්‍යනයට සම්බන්ධ වුන මීයන්ගේ පාද වෙත රුධිරය ගමන්ගන්නා ධමණියක් අවහිර වී තිබුන අතර පරිප්පු මිශ්‍රණයක් සමග ආහාර ලබා දීමෙන් අනතුරුව එම රෝගී මීයන්ගේ පාද දක්වා රුධිරය ගමන් කිරීමේ තිබුන අවහිරතාවයන් ඉවත් වුණා.මෙම අධ්‍යනයේ ප්‍රධානී විදිහට කටයුතු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පීටර් සහරංකා විසින්. ඔවුන් විසින් අනාවරනය කර ගත් තොරතුරු ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඇමරිකානු හෘද රෝග සංගමය් වාර්ෂික සම්මේලනයට ඉදිරිපත් කරනු ලැබුවා.

අධිරුධිර පීඩනය නිහඩ මාරයෙක් සේ සැලකෙන නිසා අපි කවුරුත් මේ ගැන අවධානයෙන් සිටීම වැදගත්. ඒ නිසා පරිප්පු ආහාරයට ගැනීමෙන් කිසියම් සහනයක් ලැබෙනවා නම් අපි ඒ ගැන අමතක කිරීමට අවශ්‍ය නැහැ. පරිප්පු කන්න බැහැ කියලා ගෝරනාඩු තිබෙනවා නම් සුප් පිළියෙල කරන විට පරිප්පු එක් කරන්න අමතක කරන්න එපා. එයින් පෝෂණ ගුණය දරුවාට නොදැනෙන විදිහට ලබා දෙන්න පුලුවන්.පවුලේ දරුවන්ගේ ආහාරයට පරිප්පු එක් කර ගැනීමට අම්මලා ටිකක් උනන්දු වුනොත් හොදයි නේද…?

-Daily Express ඇසුරින්-

පවුලේ බහින් බස්වීම් අඩු කරගනිමු

දොඩා දොඩා බස් බෝවේ යන සිතුවිල්ලේ  පිහිටා එදා අම්මා පවුලේ ගැටුම් වලදී ඉතාම අපූරු විදිහට කට පරිස්සම් කර ගත්තා.ඒත් අද අම්මා ඊට ටිකක් වෙනස්. පවුලක් වුනාම අඹු සැමියන් සහ දූ දරුවන් අතර පුංචි පුංචි මතවාද, අදහස් හුවමාරු ඇති ‍නොවෙනවාම නොවෙයි. මේවායේදී සමහර වේලාවට වචනත් ටිකක් සැරපරුෂ වෙන්න පුලුවන්. මේ තත්වය බොහොම සාමාන්‍ය වුනත් අපි ඒවා බහින් බස් වීම් දිගින් දිගටම පවත්වාගෙන යා යුතු නැහැ.ඇත්තටම ගෙදර ඇතුලේ ඇති වෙන පුංචි හබයක් දුර දිග යන්නේ කොහොමද..?

වරද පිලිගන්න කැමැතිම නැහැ…

පවුලක් වුනාම අපි අතින් පුංචි පුංචි වැරදි සිද්ධ නොවෙනාම නොවෙයි. සමහර වේලාවට ඔබෙන් සිද්ධ වුනේ වැරැද්දක් බව ඔබත් දන්නවා ඇති. ඒ වුනත් එතැන තිබෙන එකම අඩුපාඩුව එය ඔබෙන් වුන අතපසුවීම වැරැද්දක් විදිහට පිලිගැනීමට තිබෙන මැලිකමයි.ඒත් පවුලක් වුනාම ඔබ සියලුදෙනා අතර විවිධ මානයන් තිබෙන්න බැහැ. එක් වහලක් යට ජීවත් වෙනවා නම් ඔබ හැම දෙනාම එකම පවුලක්. ඒ නිසා මේ වාගේ හිතේ අහංකාරකම් නොතබා වරද දුටු විට එය පිළිගන්න. එවිට කිසිම විදිහකින් ප්‍රශ්න දුරදිග යන්නේ නැහැ.බොහෝ දෙමව්පියන් මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී ඔබේ වැරැදි ඔබට නොපෙනෙන්න පුලුවනි.දරුවන් එය පෙන්වා දුන් විට ඇත්තටම එතැන වරදක් තිබෙන බව තේරුම් යනු ඇති. එය දරුවන් පෙන්වා දුන් නිසා පිලිගැනීමට මැලි වෙන්න එපා.

දරුවන්ටත් අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න…

බොහෝ විට අපි කල්පනා කරන්නේ යම් වරදක් ඉදිරියේ දරුවන්ගේ අදහස් ඉදිරිපත් කිරීම කියන්නේ ඔවුන් විසින් එකටෙක කීමක් විදිහටයි. ඒත් දරුවන්ටත් තමන්ගේ නිදහසට කරුනු තිබෙන නිසා ඒවා විවෘතව ඉදිරිපත් කිරීම එතරම් වැරැදද්ක් නොවෙයි. එයින් පසුව දරුවන්ගේ පැත්තටත් යම් වාසියක් ලබා දීලා නිවරැදි තීරණයක් ගැනීමට අම්මා තාත්තාට ඕනෑ තරම් නිදහස තිබෙනවා. ඒ නිසා දරුවන්ට සම්පූර්නයෙන්ම කටවහ ගෙන සිටීමට ලබා දෙන අණසක එතරම් ගැලපීමක් නැහැ. ඇත්තටම ප්‍රශ්න ඉදිරියේ අපි නොදකින පැත්තක් ඔවුන් තර්ක බුද්ධියෙන් බලනවා. ඒ නිසා දරුවන්ගේ තර්ක අම්මලා තාත්තලාගේ නිර්මාණශීලීත්වයෙන් සකසා ගන්න පුලුවනි.

මීට පෙර අවස්ථා මොකටද දැන්…

සමහර මව්පියන් ප්‍රශ්නයක් හෝ ගැටුමක් ඇති වුන විට ඒ වෙනුවෙන් අතීත සිදුවීම් වැලක් පාදක කර ගන්නවා. එදත් එහෙමයි…අදත් එහෙමයි…ඒ නිසාම ඔබ හෙටත් එහෙමයි…මේ තීන්දුව අම්මා තාත්තා ලබා දෙන විට දරුවාගේ හිතට නැගෙන්නේ මගේ වෙනස්වීමක් එහෙමනම් අවශ්‍ය නැති බවයි. ඒ නිසා ඔබ දරුවාට කියා දිය යුත්තේ ඔබ එදා සහ අද මේ වරද කරන්නේ නම් හෙට අනිවාර්යෙන්ම නිවරැදි වීම අවශ්‍ය බවයි.

වෙනත් අය සම්බන්ධ කර ගන්න එපා…

ප්‍රශ්නයක් ඇති  වුනොත් වෙනත් කිසිම කෙනක් ඒ වෙනුවෙන් සම්බන්ධ කර ගන්න එපා. සමහර දරුවන්ට දොස් නගන්නේ “ගහේ කටු උල් කරන්න ඕනැයැ..තාත්තා වගේම ගතිගුණ…සැමියා මුල් කර ගෙන නම්” අම්මා..නංගී වගේමයි..ඒ විදිහට පවුල් ගහ අවශ්‍ය නැහැ. ප්‍රහ්නයක් නම් ඒ ගැන විතරක් කතා කරන්න. එයින් ඔබ්බට තවත් චරිත සම්බන්ධ කර ගැනීම කියන්නේ මුල් ප්‍රශ්නය වෙනුවට වෙනත් වෙනත් ප්‍රශ්න ඇවිත් ගැටුම තව දුරටත් ඉදිරියට යෑම පමණයි. අන්තිමේදී ඔබේ විසඳා ගත යුතු ප්‍රශ්නය එතැනම ඉතිරි වෙනවා.

ගැටුම එතැනින් අවසාන කරන්න…

සමහර අම්මලා තාත්තාලාට කිසිම දෙයක් එතැනින් අවසාන කරනන් බැහැ. සමහර විට ඇති ප්‍රශ්නයකුත් නැහැ. ඒත් ඔවුන් බුම්මාගෙන සිටින්නේ මුලින් ඇති වුන සහ විසදුම් ලබා ගත් ප්‍රශ්නයේ පසු පසුතැවිම නිසයි. එය කිසිම විටෙකත් නොවිය යුතු දෙයක්. ප්‍රශ්නයක් සිද්ධ වුන විට එය එතැනින් අවසාන කරන්න. පවුලක සතුට තිබෙන්නේ එවිටයි. එහෙම නැතුව නිතරම මුහුණූ නරක් කර ගෙන ගෙවන ජීවිතය නිසා කිසිම දවසක පවුලක ප්‍රසන්න පරිසරයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම විසදා ගෙන ඉදිරියට යනු විනා ඒවායේ අස් කොන් ඉතිරි කර ගෙන ජීවිතය හෙම්බත් කර ගැනීම අවශ්‍ය නැහැ.

නිවාඩු දුන්නා…. දැන් යුද්දේ පටන් ගත්තා

පාසල් නිවාඩුව සමග දෙමව්පියන්ට ඇති වෙන තවත් එක් ප්‍රශ්නයක් තිබෙනවා. වෙනදා උදේට පාසලට ඇරලලා හැන්දෑවට නිවසට ගෙන්වා ගන්න චණ්ඩි පැටව් දැන් තනියම නිවසේ තියන්නේ කොහොමද යන ගැටළුව ඇති වෙනවා. කන්තෝරු යන අම්මාට හැමදාම දරුවා එහි අරගෙන යන්නත් බැහැ. එහෙම වුනාම දරුවාටත් ඉතින් නිදහසක් නැහැ. ඒ එක පැත්තක්. තවත් දරුවන්ට නම් නිවසේ ආරක්ෂාවක් තිබෙනවා. අත්තම්මා, එහෙම නැත්නම් අක්කා , අයියා වගේ ආරක්ෂකයෙක් ඉන්නවා. කොහොම වුනත් නිවාඩු කාලයේ අම්මලා තාත්තලාට ඇති වෙන මේ ප්‍රශ්නවලටත් අපි පිලිතුරු ටිකක් හොයමු..

අවුරුදු නිවාඩුව නම් එතරම් ගැටලුවක් නැහැ…

අවුරුදු නිවාඩුව දැන් ඉතාම සීමිතයි. එහෙ බලලා මෙහෙ බලන විට අවසානයි. මේ සුලු කාලයේදී වුනත් නිවාඩුව ඵලදායී විදිහට දරුවා යොමු කරන්නේ කොහොමද..?

පුංචි පුංචි අත්උදව් ගන්න…

අලුත් අවුරුදු ළග ළඟම එන නිසා දරුවාගෙනුත් යම් යම් උදව් ලබා ගන්න දැන් පුලුවන්. නිවස පිරිසිදු කරන කටයුතු දැන්ම පටන් ගත්තාම ඉතාම පහසුයි. ඒ නිසා දවසේ කළ යුතු වැඩ කොටසක් දරුවාටත් බෙදා දෙන්න. උදාහරණයක් විදිහට පොත් මේසය, නිවසේ තිබෙන ඡායාරූප මේ වගේ දේවල් පිරිසිදු කිරීමට ඔවුන්ටත් බෙදා දෙන්න. එවිට දරුවාටත් කාලය ගෙවන මගක් ඇති වෙනවා වගේම නිවසත් නොදැනීම පිරිසිදු වෙනවා.

ඇඳුම් මහනවා නම් උදව් ගන්න…

ඉස්සරනම් අලුත් අවුරුදු වෙනුවෙන් ඇඳුම් නිවසේම මසා ගත්තා. අද ඒ වෙනුවෙන් යොමු වෙන අය ඉතාම අඩුයි. වෙන‍ දෙයක් තබා කොට්ට උරයක් තරම් දෙයක් වත් මහ ගන්න පිරිසක් අද නැහැ. ඒත් ගැහැණු දරුවන්ට නිවාඩු කාලයට කොට්ට උරයක මල් මහන්න අවස්ථාවක් ලබා දෙන්න. අද පාසල් ව්‍යාපෘති මගින් කතිර මැස්මෙන් බිත්ති සැරසිලි කිරීම විෂය සමගාමී කටයුත්තක් විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා දරුවන්ට මේවා ගැන හුරුව තිබෙන නිසා කතිර මෝස්තර යොදා ගෙන කොට්ට උරයක්, අත්පිස්නාවක් මහන්න අවශ්‍ය වෙන පසුබිම සකස් කර දෙන්න. කතිර මහන විට ඉවසීම, බුද්ධිය වගේම දරුවාගේ නිර්මානශීලීබවත් වැඩි දියුනු වෙනවා. ඒ නිසා නිවාඩු කාලයට ඒ වගේ මැහුම් ගෙතුම් කලාවන්ට යොමු කරනවා නම් ඉතාමත් අගෙයි.

ඉවුම් පිහුම්…

ගැහැණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන්ට වුනත් උයන්න පිහන්න කියා දීම කිසිම වරදක් නැහැ. අලුත් අවුරුදු කාලයට දරුවන් ලවා රසකැවිල්ලක්, එහෙම නැත්නම් අච්චාරුවක් වගේ දෙයක් සාදා ගන්න. එය තනියම කිරීමට පුලුවන්. ඒ විතරක් නොවෙයි, ඔබ කැවිලි හදන විට ඒවා කපා ගැනීමට, ඇසිරීමට දරුවන්ගේ සහය ලබා ගන්න. කුස්සිය පැත්තටවත් එන්න එපා කියමින් තහංචි පැනවීම කිසිසේත්ම සුදුසු නැහැ.අද බොහෝ දෙමව්පියන් දරුවන්ට මුලුතැන්ගෙය තහනම් කලාපයක් බවට පත් කරනවා. ඒ නිසාම ඔවුන්ට ඉවුම් පිහුම් ගැන කිසිම දැණුවත් බවක් හෝ අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. එයින් පසුව අම්මලාම නගන චෝදනාව වෙන්නේ අපේ දරුවන්ගෙන් කිසිම උදව්වක් නැහැ..මේ නිවාඩු කාලයේදී දරුවන්ගෙන් උදව් ගනන්. ලැබෙන සහයෝගය ඔබට පහසුවක් වගේම දරුවාට අත්දැකීම් ලබා ගැනීමට ගැලපෙන පරිසරය නිර්මානය වෙන බවත් අමතක කරන්න එපා.

ගමන් බිමන්…

පාසල, පංතිය අතර සිරගතව සිටි දරුවන්ට දැන් නිවාඩු ලැබිලා.කන්තෝරු යන අම්මා තාත්තාට නම් ඒ අවසරය නැහැ. ඒත් දරුවන් සමග නෑ ගමනක් හෝ වෙනත් චාරිකාවක් වෙනුවෙන් කාලය දැන් ලබා ගත හැකියි. අද දරුවන් වෙනුවෙන් නැගෙන බරපතලම චෝදනාව වෙලා තියෙන්නේ මිනිස් ආශ්‍රයක් නැහැ..ජංගම දුරකථනය විතරයි…මේ කථාව ඇත්ත. ඊට බලපාන තවත් හේතු තිබෙනවා. අම්මලා තාත්තලා වුනත් මිනිස් ඇසුරට කැමැති නැහැ. එදා කියපු විදිහට කෝච්චියෙන් ගමට යනවා.. කිරියි පැණියි කාලා එනවා..වැල්ලේ පදිමු රං ඔන්චිල්ලා.. යනුවෙන් සතුටු වෙන්න බැහැ. අඩුම ගනනේ අම්මාගේ තාත්තාගේ මුල් ගම් කොහෙද කියලා වත් දරුවන් දන්නේ නැහැ. ඒ තරමටම පවුල් සම්බන්ධතාවයන් ගිලිහී ගිහින්. මේ විදිහට බිදවැටුන පවුල් සම්බන්ධතාවයන් නැවත ගොඩ නගා ගැනීමට මේ හොඳම කාලය දැන් ඔබ ඉදිරියේ තිබෙනවා.

සෙල්ලමටත් අවසර…

නිවාඩු කලාය දරුවන්ට නිවාඩුවක් විදිහට ගෙවන්න ඉඩ දෙන්න. සෙල්ලමක යෙදුනාම මහ විනාශයක් සිද්ධ වුනා වගේ ආවේග ගන්න එපා. සෙල්ලමත් දරුවාට අවශ්‍යයි. ශාරිරිකව වැඩුනත් මානසිකව සතුටක් ලබන්න, ක්‍රියාශීලීජීවිතයක් වෙනුවෙන් දරුවන්ට සෙල්ලම අවශ්‍යයි. ශිෂ්‍යත්වය, සාමාන්‍යපෙළ, උසස් පෙළ වැනි විභාග නිසා ඔවුන්ගේ සෙල්ලම් වයස වැඩිහිටියන් විසින් උදුරා ගැනීම ඉතාම අසාධාරණයි. ඉගෙණුම වෙනුවෙන් අවධානය සහ කැපවීම අවශ්‍ය බව ඇතත්. ඒ වුනත් නිවාඩු කාලයේදී සෙල්ලම වෙනුවෙන් යම් අවසරයක් ලබා දෙන්න. එය කිසිම විටෙක වැරැද්දක් නොවෙයි. බොහෝ අම්මලා නිවාඩු කාලයටවත් දරුවන්ට සෙල්ලමට ඉඩ නොදෙන්නේ ඒ වෙනුවෙන් හුරු වුනොත් නැවත පාඩමට ඇද ගැනීමට බැරි වේය යන බය නිසයි. අක්‍රීයශීලිව කාලය ගෙවන දරුවන් නොදැනම ඇබ්බැහි වෙන්නේ ජංගම දුරකථනයටයි. අද මත්ද්‍රව්‍යවලටත් වඩා දරුනු තත්වයක් ඇති වී තිබෙන්නේ ජංගම දුරකථන නිසා. සෙල්ලම් කිරීමෙන් දරුවන් සමාජය සමග සුහදතාවය ගොඩ නගා ගන්නවා. එය ජීවිතයට සතුට ලැබෙන මගක්.

ඉතින් … මේ සරල කටයුතු අනුගමනය එතරම් අපහසු නැහැ. ඔබත් මේ නිවාඩු කාලයේදී ඔබේ දරුවන් සමග මේ විදිහට ගත කරල බලන්නකෝ..

දුවලා ඉන්න අම්මලාට…

විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භයත් එක්කම ගිය ආත්මයේ හෝ ඊට පෙර මගේ සහෝදරියන්ව සිටින්නට ඇතැයි විශ්වාස කළ හැකි තරමේ සොයුරියන් හය දෙනෙක් මට හමු වුණා. එකම බෝඩිමේ බොහොම සුහදව, ආදරයෙන් අපි කාලය ගත කළා. ඇත්තටම අපි අපිටම නොදැනුවත්ව හෝ අපේ ආරක්ෂකයෝත් උණා. අද වෙනකොට අපි හැමෝම විවාහ වෙලා. දරුවෝ ලබලා. ජිවිතයට මුහුණ දෙනවා. ඉතිං මේ අතරින් එක සොයුරියකගේ නව කතාවක සෝදුපත් පරික්ෂා කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ කතාවේ මගේ හිතට තදින්ම කා වැදුණේ කතා නායක යුවළගේ මදුසමයේ ඇරඹුමක් ලෙස බොහොම සුන්දරව රසවත්ව සටහන් කළ කොටසයි. මම ඇයට ඇමතුමක් දීලා, “ඒ ටික හරිම ලස්සනයි.. ඇයි අක්කේ එතනින් නැවැත්තුවේ…?” කියලා ඇහුවත් ඒ නතර වීම ඔබ, ඔබේ මංගල රාත්‍රිය දක්වා ආපස්සට රැගෙන යන්න  සමත් වෙන්නේ ඒ හේතුව නිසාම බව මට හිතිලා තිබුණා.

මේ සියල්ල සිදුවෙමින් පවතිද්දී මගේ තවත් යෙහෙලියක් නිවසට ආවා. මේ කියවීමත් සමගම අතීත මතකයන් එක්ක අමුතු හැඟීමක් හිතට දැනුණු නිසාමදෝ ඒ රසවත් බව අය සමග බෙදා ගන්න හිතාගෙන මම මේ පොත පිළිබඳවත් එය කාගේද යන්න පිළිබඳවත් මගේ හිතට කා වැදුණු මේ කොටස පිළිබඳවත් පැවසූවා.

ඒ කොටස කියවූ ඇය, “ඔව්… කෙල්ලෙකුගේ ජිවිතේ කොච්චර ලස්සන දවසක්ද? ඒත් මට නම් මගේ හනිමුන් එකේ මතක් කරන්න දෙයක් නැ.” කියලා පොත ආයේ මගේ අතට දුන්නා.

“ඇයි එහෙම කියන්නේ…,”

පොඩ්ඩක් ලජ්ජාවෙන් උනත් ඇය ඇගේ කතාව කියන්න පටන් ගත්තේ මේ විදියට…

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක්. අනික ඔයා අම්මලා දැනුවත් කරන්න ගොඩක් ලිපි ලියන කෙනෙක්. මේ කතාව දුවලා ඉන්න හැම අම්මා කෙනෙක්ටම කොයි විදියකින් හරි වැදගත් වේවි. ඒකයි මම මේක මේ වෙලේ මෙහෙම කියන්නේ… අනේ වැරදියට හිතන්න එපා.”

“අපි දෙන්නටම අපේ මංගල රාත්‍රියේ කිසිම සුන්දරත්වයක් තිබුනේ නෑ. මොකද ඒ වෙනකොට ඒ දේවල් අපිට අලුත් දේවල් වුනේ නෑ. ඔය කියන විදියට ඇස් දිහා ආදරෙන් බලන්න අපිට හිතුණේ නැ. තරුණ වයසේදී අපි හිතට හිතෙන දේ කරනවනේ.. ඒ දේවල් 100%ක් වැරදියි කියන්නත් බැ.  ඒ කොහොම වුනත් අපි අපිට අවංකව ආදරය කළ නිසා ගැටලුවක් උනේ නැ. වාසනාව වුණේ ඒකයි. ඒත් බොහොම සුන්දරව ගෙවන්න පුළුවන්කම තිබුණු මංගල රාත්‍රිය නම් අපිට නැති උණා. අපි දෙන්නම එදා පසුතැවුනා.”

ඒකේ ප්‍රථිපලයක් විදියට තමයි, අද අපේ දුව අනවශ්‍ය විදියට අපේ ආරක්ෂාවට නතු කරගෙන ඉන්නේ. ඒක දුවට නොදැනෙන්න අපි කළත් එයා ගැන අපිට දුකයි. අපි දෙන්නම අද අපේ දුව ගැන හරිම බයකින් ජිවත් වෙන්නේ. මට මගේ පෙම්වතා ගැන 100%ක විශ්වාසයක් තිබුණා. අපි අපේ සම්බන්ධය ආදරයත් එක්කම විවාහය දක්වාම අරන් අවා. ඒත් අද කාලේ ඒ විදියටම වෙයි කියන විශ්වාසය අපිට නැහැ. මගේ දුව කවදා හරි තෝරගන්න පෙම්වතා ඒ විදියට විශ්වාස කරන්න පුළුවන් වෙයිද? මගේ දුව එයාගේ පෙම්වතා එක්ක හෝටල් කාමරයකට ගියොත් කියලා හිතද්දී මගේ ඇඟ කීරි ගැහෙනවා. මම එයා එක්කම ඉන්නේ ඒ බය මගේ හිතේ තියෙන නිසා. අපි දෙන්නාගෙන් කෙනෙක් නැතිව එයාව කොහෙවත් යවන්නේ නැ. යාලුවෝ එක්ක ගමනක් ගියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් යනවාමයි. වෙලාවකට ”අනේ අම්මා කාගෙවත් අම්මල එන්නේ නැ.. ඇයි ඉතිං අම්මලා එන්නේ…” කියල අහන වෙලාවල් තියෙනවා. එතකොට එයාට අපිව කරදරයක් කියලා හිතෙනවත් ඇති. මම ආස මගේ දුව ලස්සන මනමාලියක් වෙලා අලුතෙන්ම එයාගේ යුග දිවිය පටන් ගන්නවට. එයා ජිවිතේ දුකක් ඇති වෙන්න යමක් කරගන්නවාට අපි දෙන්නම අකමැතියි.

“ඉතිං අම්මලා බැලුවේ නැද්ද ඔයා යන එන තැන්…?”

අම්මලාගේ මේ සම්බන්ධයට විරුද්ධත්වයක් තිබුනේ නැ. ඉතිං මම එයා එක්ක යනව නම් තමයි කොහේ උනත් යැව්වේ. මොකද අම්මටයි තාත්තටයි මම යන යන හැම තැනම එක්ක යන එක කරදරයිනෙ. ඉතිං මම හැම තැනම ගියේ එය එක්ක තමයි. ඒ නිදහස අපි දෙන්නම අයුතු විදියට ප්‍රයෝජනයට ගත්තා කියලා මේ ඔයා පෙන්නපු කාතාවේ ඒ කොටස දැක්කම මට පොඩි පසු තැවීමක් ඇති උණා.

ඒත් ඔය දෙන්නටත් ඒ විදියට හරි අලුත් දවසක් තියෙන්න ඇතිනේ, ඒක නේද ඔයාලගේ පලවෙනි දවස?

ඒ අත්දැකීම එහෙම විස්තර කරන්න බැ… කාට හරි පෙනෙයි, කරදරයක් වෙයිද? මේ කරන වැඩේ හරිද? කියන වරදකාරී හැඟීම් ගොඩක් එක්ක අම්මා තාත්තාගේ මුහුණු මතක් වෙද්දී ඒ අවස්ථාවේ අපි විඳපු සුන්දරත්වයක් නැ කියලා මට දැන් හිතෙනවා. ලස්සන මනාලියක් වෙලා හැමෝගෙම ආශීර්වාදය මැද්දේ සැමියා එක්ක අරඹන ජීවිතය සිය දහවරක් ලස්සන ඇති කියලා තමයි මට හිතෙන්නේ.

ඉතිං හිතන්න, මේ කතාව ඇතුලේ වැරදිකාරයන් කීදෙනෙක් ඔබට මුණ ගැහෙනවද? තාරුණ්‍යයේ සිතුවිලි “වැරදි” කියන වචනයට සමාන කරන්න පුලුවන්ද? දියණියන් ඉන්න ඔබත් හිතන්න,

තරුණයෙක් සහ තරුණියක්, ඔවුන්ගේ ආදරය ඔස්සේ ආසාවන් සොයා යනවා. යෞවන යෞවනියන්ට නිදහස උපරිමයෙන් ලැබෙන විට ඔවුන්ගේ සිතුවිලි ඔස්සේ ගලායාමට ඉඩ හැරීම වරදක්ද?

වරදට පෙළඹිය හැකි තරුණ වියේ සිටින දියණියකගේ ආරක්ෂකයා ලෙස සම වයසේ තරුණයෙක් යෙදවූ දෙමාපියන් නිවැරදිද?

තාමාගේ අනාගතය පිළිබඳව මේ තරම් අවදානමක් ගත් තම දෙමාපියන්ගේ විශ්වාසය බිඳ දැමූ දියණිය නිවැරදිද?

තමා විශ්වාස කර ඔවුන්ගේ දියණියගේ වගකීම පැවරු කළ, ඒ වැඩිහිටි යුවළගේ විශ්වාසය බිඳ දැමූ තරුණයා වැරදිද?

තම පෙම්වතිය හෝටල් කාමර වෙත රැගෙන ගිය පෙම්වතා නිවැරදිද? එය ප්‍රතික්ෂේප නොකළ ඇය වැරදිද?

මේ සියල්ල හමුවේ, තම තරුණ විය දෙමාපියන්ගේ අනවශ්‍ය අවධානයට ලක් වූ දියණියට ඉටු වන්නේ සාධාරණයක්ද?

හිතන්න ගොඩක් දේවල් එකතු වුණා නේද?

ඔබට හිතෙන දේ අපිට කියන්න. දියණියන්ගේ රැකවරණය වෙනුවෙන් ඔබේ අදහස් සියල්ල හැම මවකටම වැදගත් වනු ඇත.

ඔබේ දරුවා නිවැරදි ඉරියව් පවත්වා ගන්නවාදැයි ඔබම පරීක්‍ෂා කරන්න

දරුවන් යනු සෑම මොහොතකම ක‍්‍රියාශීලී පිරිසක් ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත. විශේෂයෙන්ම වයස අවුරුදු තුනක් පහත් අතර සිටින දරුවන් එනම් පෙර පාසැල් විය ඇරඹූ දිනයේ පටන් දරුවන් සැමවිටකම පාහේ නොයෙකුත් ක‍්‍රියාකාරකම්හි නිරත වනු නිසැකය. ඔවුන් දුවන්න, පනින්න වගේම චිත‍්‍ර අඳින්න, ගීත ගයන්න නටන්නත් ප‍්‍රිය කරනවා. මව්පිය සෙවණේ මෙතෙක් කල් නිවසේ සිටි දරුවා පළමුවෙන්ම නිවසින් පිටතට යන්නේ පෙර පාසැල වෙත යොමු වීමත් සමගයි. මෙතැන් පටන් දරුවන් නිවසේදීට වඩා ක‍්‍රියාකාරකම් රැසකට යොමුවෙනවා. සාමාන්‍යයෙන් නිවසේදීට වඩා මෙම ක‍්‍රියාකාරකම් වෙනස් විය හැක්කේ අධ්‍යයන කටයුතු වෙනුවෙන්ද පෙර පාසැල හරහා දරුවෙකුට යොමු වීමට සිදු වන බැවිනි.

මෙසේ පෙර පාසැල් ජීවිතය ආරම්භයත් සමගම යොමු වන ක‍්‍රියාකාරකම් හේතුවෙන් විවිධ වූ ගැටලු සහගත තත්ත්වයන්ට බඳුන් වූ දරුවන් ද සිටින අතරම එවැනි ගැටලු සහගත තත්ත්වයන්ට උදාහරණ ලෙස මාංශ පේශී වේදනා, සන්ධි වේදනා, මෘදු පටක වේදනා ආදී තත්ත්වයන් දැක්විය හැකිය. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මූලික හේතුවක් ලෙස මෙම කුඩා දරුවන් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වලදී නිවැරදි ඉරියව්ව පවත්වා නොගැනීම දැක්විය හැකිය.

මොකද්ද මේ නිවැරදි ඉරියව් කියන්නේ…?,

ඉහත දැක්වූ ගැටලූ මගහරවා ගැනීම සඳහා සැමවිටම නිවැරදි ඉරියව්ව වැදගත් බව අප කලිනුත් පැවසූවා. නිවැරදි ඉරියව්වක් පවත්වා ගෙන යාම සඳහා දැනුවත් වීමට නම් අපගේ කොඳු ඇට පෙළ පැවතිය යුතු ආකාරය පිළිබඳව සැළකිල්මත් වීම වගේම ඒ ගැන දැනුවත් වීමත් ඉතාම වැදගත් වන්නේ නිවැරදි ඉරියව් පවත්වා ගෙන යාම සඳහා කොඳු ඇට පෙළෙන් විශාල බලපෑමක් සිදු කරන නිසයි.

කොඳු ඇට පෙළේ ඇති වන වක‍්‍රයන් ප‍්‍රධාන වශයෙන් කොටස් 3 ක් ලෙස දැක්විය හැකි අතරම එම කොටස් තුනෙහි පැවතිය යුතු වක‍්‍ර ගතිය යම් වැරදි ඉරියව්වක් හේතුවෙන් වැඩි හෝ අඩු වී සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වුවහොත් වේදනාකාරී තත්ත්වයක් ඇති විය හැකිය. එය දිගින් දිගටම පැවතිය යුතු ආකාරයෙන් වෙනස්ව පැවතීම යම්තාක් දුරට ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. අන්න ඒ නිසාම කොඳු ඇට පෙළේ සාමාන්‍ය ස්වරූපය පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

කොඳු ඇට පෙළේ පිටුපස ස්වරූපය:

img-01

කොඳු ඇට පෙළ පැත්තෙන් බැලූ විට ස්වරූපය :

img-02

දරුවන්ට පමණක් නොව වැඩිහිටි ඔබටද වැරදි ඉරියව් හේතුවෙන් බොහොමයක් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති. වැරදි ඉරියව් හේතුවෙන් එසේ ඇති වන තත්ත්වයන් ඉතා ඉක්මණින් නිවැරදි කරගැනීම එතරම්ම පහසු නොවන නිසා මව්පියන් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරමින් නිවැරදි ඉරියව් වෙත දරුවා යොමු කිරීම පමණක් නොව දරුවන්ට ආදර්ශයක් වන්නට සැමවිටම ඔබේ ඉරියව්ද නිවැරදිව පවත්වාගැනීමට සැලකිල්මත් වන්න. අපි එදි නෙදා ජීවිතයේදී භාවිත කරන වැරදි ඉරියව් සහ ඒවා නිවැරදි විය යුත්තේ කොයි ආකාරයෙන්ද යන්න ඡයාරූප සහිතව ඊළඟ ලිපියෙන් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සක උදය පී. චන්ද්‍රසේන මහතා සමග සකසන ලද ලිපියකි.

 

හිමොග්ලොබින් අඩු ගැබිනි ඔබට ඉතා වටිනා පෝෂණ පණිවිඩයක්

අද වන විට රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම වීම ගැබිනි මව්වරුන් අතර සුලබව දැකිය හැකි තත්ත්වයක්ව පවතිනවා. සාමාන්‍යයෙන් අපේ සිරුරේ පටක සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප‍්‍රවාහනය කිරීමේ කාර්යභාරය සිදුවන්නේ මේ හරහායි. යම් හෙයකින් රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම වීම ගැටලු රැසකට මුල් විය හැකිය.

රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අඩු වීමට මූලික මෙන්ම වැඩිපුරම හේතු විය හැකි සාධකය ලෙස දැක්විය හැකිකේ යකඩ ඌනතාවයයි.

යකඩ ඌනතාවයට අමතරව රුධිරගත හිමොග්ලොබින් අඩු විය හැකි අවස්ථා :

  • ෆෝලික් ඇසිඞ් විටමිනය අවම වීම
  • නිසි පෝෂණය නොලැබීම
  • තැලසීමියා වාහකයෙකු වීම
  • පණු රෝගවලට ගොදුරු වූවෙකු වීම
  • ලියුකේමිය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීම

යකඩ ඌනතාවය හේතුවෙන් රුධිරගත හිමොග්ලොබින් මට්ටම අවම වූ ගැබිනි මවක් තම ආහාර රටාව සකස් කර ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ඔවුන් සැමවිටම තමන් ලබාගන්නා යකඩ ප‍්‍රමාණය නිසි ආකාරයෙන් සිරුරට අවශෝෂණය කරගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස යකඩ ලබාගන්නේ ප‍්‍රධාන කෑම වේල් ආශ‍්‍රිතව නම් ඒ ලබාගත් යකඩ ආහාර සමග ප‍්‍රතික‍්‍රියා කිරීම නිසා නිසි ලෙස සිරුරට අවශෝෂණය වීමක් සිදු වන්නේ නැත. මේ හේතුව මත යකඩ පෙති ලබාගැනීමේදී ඒවා හිස්බඩ ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන්නේ එවිට යකඩ වැඩි ප‍්‍රමාණයක් සිරුරට අවශෝෂණය වන නිසයි. එවිට රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය ඉහළ යයි.

රුධිරගත හිමොග්ලොබින් ප‍්‍රමාණය අවම මව්වරුන් සඳහා යකඩ පෙති දෙක බැගින් ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබයි. එසේම යකඩ පෙත්ත සමග විටමින් C ලබාගැනීමට උපදෙස් ලබා දෙන්නේ එහි ඇති ආම්ලික ස්වභාවය යකඩ අවශෝෂණය ඉහළ දමන බැවිනි. එසේම කැල්සියම් පෙත්ත හා යකඩ පෙත්ත එකට ලබා නොගන්නා ලෙසත් ගැබිනි මව්වරුන්ට වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ එමගින්ද යකඩ අවශෝෂණය අඩාල කරන බැවිනි.

taking-pills

යකඩ ඌනතාවය හේතුවෙන් රුධිරගත හිමෝග්ලොබින් ප‍්‍රමාණය අවම වීම සඳහා සැමවිටම සමබල ආහාර වේලක් ලබාගන්න.

යකඩ බහුල ආහාර වර්ග අතරින් පහසුවෙන් අවශෝෂණය වන යකඩ අඩංගු රතු පැහැති මස්/මාළු/පීකුදු යන මාංශ ආහාර වර්ග, බිත්තර, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග සහ කතුරුමුරුංගා සහ මුරුංගා කොළ පැහැති පලා වර්ග ගැබිනි මවගේ ආහාර වේලට එක්කිරීම වඩාත් සුදුසුය. ඔබ නිර්මාංශ ගැබිනි මවක් නම් යෝගට්, කිරි, මී කිරි වැනි දේ ආහාරයට ලබා ගැනීම වඩාත් සුදුසුය.

healthy-food

රුධිරගත හිමොග්ලොබින් අවම ගැබිනි මවකට ආහාර සැකසීමේදී මේ උපදෙස් පිළිපැදීමෙන් ඇයගේ සිරුරට යකඩ අවශෝෂණය හොඳින් සිදු වේ.

  • මස්/මාළුවලට සියඹලා, ගොරකා වැනි ඇඹුල් දේ එක් කරන්න
  • මැල්ලුම් වර්ග සෑදීමේදී නිවුණු පසු දෙහි ස්වල්පයක් එක් කරගන්න
  • ආහාර වේලෙන් පසුව විටමින් ක්‍ බහුල පළතුරු ආහාරයට ලබාදෙන්න
  • ආහාර ගත විගස එනම් පැය දෙක තුනක්වත් යාමට පෙර පසු තේ/කෝපි වැනි යකඩ අවශෝෂණයට බාධා කරවන පාන වර්ග ලබානොගන්න
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා සමග සකසන ලද ලිපියකි.

 

නින්දට පෙරාතුව දරුවාට කිරි වීදුරුවක්

කිරි ඉතාම පෝෂ්‍යදායී සහ රසවත් ආහාරයක් බව අතීතයේ පටන්ම සමාජගතව පැවැති අදහසකි. ඒ නිසාම අපි පානයක් ලෙසින් කිරි වෙනුවෙන් යොමු වීමේ උනන්දුව සහ අවශතාවය ඉතාම හොඳින් හදුනාගෙන සිටිති.

අපි සාමාන්‍යයෙන් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න පුරුදුව සිටින්නේ උදේට විතරයි. මේ කිරි වීදුරුයි, උදේ ආහාරයයි අතර කාලපරාසයේ තිබෙන කෙටි බව නිසා කිරි වීදුරුවෙන් පසුව දරුවා උදේ ආහාරය ප්‍රතික්ෂෙප කරනවා. අම්මලා මේ වෙනුවෙන් බොහෝම දුක්ගන්නේ “අනේ අපේ දරුවා උදේට බත් කටක්වත් කන්නේ නැහැ..” කියන හිතේ අමාරුවෙන්. කිරි වීදුරුවෙන් බඩ පිරුනාම දරුවාට කෙටි වෙලාවක් තුළ තවත් ආහාරයක් වෙනුවෙන් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

ඒත් රාත්‍රි නින්දට පොතුව කිරි වීදුරුවක් ලබා දුන්නොත් එයින් බොහෝ ගුණ ලැබෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අද්‍යනයක් මගින් හඳුනාගෙන තිබෙනවා.

හෘදයාබාධයන්ට ගුණයි

අපේ ආහාර රටාව සහ වයායාම මදිකම නිසාම සිරුරේ මේද ගබඩා වීසෙන් ඇති වෙන කොලස්ටරෝල් ගැටළුවට කිරි පානයෙන් ගුණ ලබා ගත හැකියි. කිරි දරුවන්ගේ අස්ථි වර්ධනයට හේතු වෙන බව මෙම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

අමතර ශක්තිය

පාසල, අමතර පන්තිය වගේ දවසේම හෙම්බත්ව සිටින දරුවන්ට තිබෙන මානසික පීඩනය නිසා නින්දට පෙරාතුව කිරි වීදුරුවක් ලබා දීමෙන් ගුණ ලැබෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.දවසේ වැය වෙන ශක්තිය ලබා ගැනීමටත් කිරි ඉතා හොඳ පානයක් බව දැන් හදුනාගෙන තිබෙනවා.

සුවදායක නින්දක්

නින්ද තරම් මානසික ඖෂධයක් තවත් නැහැ. දවසේ ඇති වෙහෙස නින්දෙන් දුරු වෙනවා. මේ නිසා සුවදායක නින්දක් අපිට අවශ්‍යයි. ඒ නිසා රාත්‍රී නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කරන්න දුන්නොත් දරුවා සුවසේ සැතපෙනු ඇති.

මේ උපදෙස අම්මලාට හා තාත්තලාටයි

අද බොහෝ අයට ඇති ගැටළුව නම් තමාගේ උසට සරිලන පරිදි බර පවත්වා ගැනීමේ ගැටළුවයි. මේ නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන අවදානම යාන්තම් වයස අවුරුදු තිහ හතලිහටත් පෙරාතුවම ඇති වෙනවා. ඒ නිසා බොහෝ අය අඩු මේද එමෙ නැත්නම් මේද රහිත කිරි වෙනුවෙන් යොමු වී සිටිනවා.රාත්‍රි ආහාරය වෙනුවෙන් මේ වගේ චෝදනා ඇති අය කිරි වීදුරුවකින් පමණක් සෑහීමට පත් වෙනවා නම් සිරුරේ බර අඩු කරන්න පුලුවන්.

ආහාර ජීරණ පද්ධතියට හිතකරයි

රාත්‍රි නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන සංකුලතාවයන් අවම වෙන පවත් මෙම අධ්‍යනය මගින් අනාවරනය වී තිබෙනවා.මේ කිරි පානය නින්දට පැය දෙක තුනකට පෙරාතුව ලබා ගැනීම හොදබවටයි උපදෙස් ලැබෙන්නේ.

දියවැඩියා රෝගීන්ටත් ගුණයි

අද දියවැඩියා රෝගය උන හෙම්බිරිස්සාව තරමටම සාමානයයි. පසුගිය දිනක පවත්වන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දුන්නේ පුද්ගලයන් 11 දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝග තත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි. රාත්‍රි නින්දට පෙරාතුව සීනි නැතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් දියවැඩියා රෝගය පාලනය වෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දුන්නා.

අස්ථි නිරෝගීවීම

කිරිවල කැල්සියම් සහ විටමින් “ඩී” අන්තර්ගත නිසා අස්ථිවල ශක්තිය ආරක්ෂා කරනවා වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබනවා. ඒ වගේම සමේ නිරෝගී බවට සහ ඇසේ පෙනීම වෙනුවෙන් කිරි වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

News com ඇසුරින්

 

ගැබිණිවියේ මානසික අසහනය දරුවාට බලපානවා…

ගැබිණි මවකට කොත්තුරොටී පිළියෙල කරන විට නැගෙන හඩ පවා නුසුදුසුයැයි වෛද්‍යවරුන් විසින් පවසද්දී පසුගිය දිනයන්හි මහනුවර ප්‍රදේශයේ සිදුවුන අවාසනාවන්ත සිදුවීම් ගැබිණි මව්වරුන්ට මහත් සේ තැතිගැන්මක්, පසුතැවිල්ලක් ඇති කළ බව නොරහසක්. හදිසියේ ඇඳිරිනීතිය පනවන විට හැල්මේ යන්නට සිදුවීම වැනි අනපේක්ෂිත සිදුවීම් ඉදිරියේ ඔවුන් බෙහෙවින් අසරණ වූහ. මේ නිසා ගැබිණිමවකට පරිසරයේ මුහුණදීමට සිදු වෙන සිදුවීම් ඉදිරියේ දරු කලලය අනාගතයේදී ප්‍රතිචාර දක්වන බව අමතක කළ යුතු නැහැ.

දරුවෙක් ලැබෙන්න සිටින අම්මා කෙනෙක් සතුටින් තබන්න පවුලේ උදවියගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. ඉස්සරකාලයේ පටන්ම මේ පුරුද්ද අප අතරේ පැවැතුනා. අසුබ දේ දකින්න, ඇසෙන්න නොදී මවගේ ගැබ ආරක්ෂා කර ගැනීම එදා පටන්ම පැවැතුන සහයෝගයේ ඇති විද්‍යාත්මක පැත්ත අපි නොදන්නවා වෙන්න පුලුවන්. මහාචාර්ය ඩී.එච්. ස්වොට් විසින් එංගලන්තයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ මානසික අසහනයට ගොදුරුවුන මව්වරුන්ගේ දරුවන් ශාරිරික හා මානසිකත් පසුගාමී තත්වයෙන් පසුවුන බවයි.

ගැබිණිමවට පීඩාදායක පරිසරයක් බලපාන්නේ කෙසේදැයි මුල් කර ගෙන එස්. ‍පෝල් නැමැති විද්‍යාඥයා විසින් 1935 වසරේ අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. (පරණගම, ඩී. ඇම්.පරණගම ජීවිතය හා විද්‍යාව පි. 45) එහිදී ගැබිණි මීයන් තෝරා ගෙන ඔවුන් වෙනුවෙන් පරිසර තත්වයන් දෙකක් තෝරා ගත්තා. එක් මීයන් පිරිසක් ඉතා නිදහසේ හැසිරෙන සේ කූඩුවක ඉඩ වපසරිය ඇතුවත් අනෙක් මීයන් කිසිදු ඉඩක් නොමැතිව හිතකර පරිසරයක් නොමැති සේ තවත් කූඩුවකටත් ඇතුලත් කළා. මෙම මීයන් පැටව් ලද පසුව ඒ පිළිබඳව යෙදුන අධ්‍යනයෙන් පෙනී ගියේ හිතකර පරිසර තත්වයක සිටි මීයන්ගේ පැටවුන් මෙන් නොව පීඩාකාරී පරිසරයේ සිටි මීයන්ගේ පැටවුන්ගේ ඇඩ්රිනල් ග්‍රන්ථිය විශාල වී තිබුන අතර එයින් සෙසු අවයවයන්ටත් බලපෑම් ඇති වුන බව පෙනී ගොස් තිබුණි. ඩබ්ලිව්. ඇෆ් ගේබර් සහ ටී. ඒ ඇන්ඩර්සන් යන විද්‍යාඥයින් විසින් සුදු කරන ලද අද්‍යනයන් මගින්ද පෙනී ගියේ අධික ලෙස බියට සහ පීඩනයට පත් කරන ලද හාවුන්ගේ හෘදයවස්තුව , වකුගඩු, සහ ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වී තිබුන බවයි. මෙම අධ්‍යනයන් පාදක කර ගෙන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගැබිණිකාලයේ මවට ඇති වෙන මානසික තත්වයන් දරු කලලයට බලපෑම් ඇති කරන බවයි. එහෙම නම් අපි ගැබිණිමවක් සතුටින් තබා ගන්නේ කොහොමද…?

අඹුසැමියන්ගේ සමගිය

දරුවෙක් ගැබ් ගත් පුවත සතුටින් අත්විදින්නා සේම මෙම කාලය පුරාවටම සැමියා විසින් ගැබ් ගත් බිරිය වෙනුවෙන් වඩාත් ආදරය, සෙනෙහස හා ආරක්ෂාව ලබා දීම ඉතාම වැදගත්ය. අද දරු ප්‍රසුතිය සිදු වෙන විට පියවරුන් වෙනුවෙනුත් නිවාඩු පවා අනුමත වී ඇත්තේ මේ අවස්තාවේදී සැමියාගේ ආරක්ෂාව බිරිඳට ලැබීමේ මානසික සුවතාවය නිසාය. ඒ නිසා අඹුසැමියන් අතර වූ සමගිය, සමාදානය හා සතුට දරු කලලයට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

අඹුසැමියන් වෙන් වීම

විවාහ වී දරු මල්ලන් ලද විට පවා පවුල් කඩා ඉහිරුවා ගන්නා අඹුසැමියන් අප අතර නැතුවාම නොවේ. කුස සිටින දරුවා ගැන පවා නොතකා ඇතැම් සැමියන් බිරිදගෙන් වෙන්වීමේ තීන්දු තීරණ ගන්නා අවසුතාවන් ඇත. මෙය ගැබිණියක ලෙසින් දරා ගැනීම ඉතාම අසීරු තත්වයකි. අද දරුවාගේ  තාත්තා නොමැතිව රෝහලකින් පිටවීම පවා අසීරුය. දරු උපත ලියාපදිංචියට විවාහ සහතිකය ඉල්ලා සිටින පරිසරයකදී සැමියාගේ වෙන්වීම ගැබ්දරණ මවට දැඩි පීඩනයක් වෙනු ඇත. ඒ සියල්ල දරු කලලලයට බලපාන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසින්ය.

පවුලේ සාමාජිකන්ගේ ප්‍රශ්න

විවාහයකින් පසුව බිරිදක් ලෙසින් ඇය ආගන්තුක පරිසරය සමග යහපත් සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුය. එහෙත් නැන්දම්මා, නෑනාවරුන් සමග ගෙවන මේ ජීවිතය තුළ අසීරුවට පත් වෙන කාන්තාවන්ද සිටින බැව් නොරහසකි. ඇතැම් නැන්දම්මලා, නෑනලා කිසිදු වෙනසක් නොමැතිව අලුත් ලේලිය එසේ නැත්නම් නෑනා සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගත්තද තවත් තැනක ඇත්තේ ඉතාම ශෝචනීය පරිසරයකි. එවන් වූ පරිසරයකදී මුහුණ දෙන අප්‍රසන්න සිදුවීම් නිසා ඇති වෙන මානසික පීඩනය සෘජු ලෙසින්ම දරු කලලයට බලපානු ඇත. ඒ නිසාම උපත ලබන දරුවාගේ විවිධ අඩුපාඩුකම් ප්‍රදර්ශනය වෙනු ඇත.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් නොමැති වීම

ආදරයකින් ඇති වෙන බැඳීම විවාහයකින් ඉෂ්ට සිද්ධ වේ නම් එතැන ඇතත්ටම ගැටළුවක් නැත එහෙත් ඇතැම් ආදර සම්බන්ධතාවයන් වෙනුවෙන් ඇති වෙන විරුද්ධතාවයන් නිසා මහත් අපහසුතාවයන්ට පත් වෙන පෙම්වතුන් අප අතර බොහෝය. “චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ…” යි යන සිතුවිල්ල මතම රැඳී ඔවුන් කෙසේ හෝ විවාහය සිදු කර ගත්තද සනුහරේ විසින්ම ඔවුන් ප්‍රතික්ෂෙප කරනු ඇත. එහෙත් මේ ආදරවන්තයින් තමන්ගේ ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යන ශක්තිය ගොඩ නගා ගත්තද දරුවෙක් ගැබ් ගැනීම වැනි තීරනාත්මක අවස්ථාවන්හිදී වැඩිහිටියන්ගේ එසේත් නැත්නම් තමාට ආදරය සෙනෙහස දක්වන පවුලේ සම්බන්ධතාවයන් වඩාත් සමීප වීම වැදගත් වේ.

එහෙත් අද බොහෝ විවාහ හිතුවක්කාර විවාහ ලෙසින් සලකා තම පවුලෙන් පිටමං කරන ලදැයි වූ ස්ථාවරයේ සිටියත් දරුවෙක් ලද තැන මේ පවුල් අතර විරසකය මග හැරී යනු ඇත. එහෙත් තමාගේ දියණිය, ලේලිය වෙනුවෙන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙනුයේ මේ කාලයේදීය. ඒ නිසා කිසිදු ලෙසකින් ඇය හුදෙකලා කළ යුතු නැත නමුත් අද බොහෝ පවුල්වලදී විවාහය මුල් කර ගෙන ඇති වෙන මතගැටුම් නිසා ගැබිණිවියේදී තමා අසරණය යන ආත්මානුකම්පාව දරු කලලයට බලපෑමක් ඇති කරන බව අමතක කළ යුතු නැත.