Home Blog Page 14

මන්ද පෝෂණය ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද?

මන්ද පෝෂණය, අද වන විට වටපිටාවෙන් නිතර ඇසෙන වචනයක් බවට පත් ‍ වී තිබෙන්නේ රට තුළ උද්ගතව ඇති තත්ත්වයන් හමුවේ ඇති වන ආහාර හිඟතාවයන් හේතුවෙන්  මන්දපෝෂණ තත්ත්වයට පත් වුණු දරුවන් ගණන ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති නිසාය. සිරුරේ වර්ධන ක‍්‍රියාවලිය හා බැඳී ඇත්තේ පෝෂණයයි. එනම් ශරීර අවශ්‍යතා වලට අනුකූලව සියලුම පෝෂණාංගවලින් සමන්විත සමබර ආහාරයක් ලැබීම පෝෂණය ප‍්‍රශස්ත ලෙස වර්ධනය කරයි. එහෙත් ලැබෙන්නා වූ පෝෂකාංග අඩු වූ විට මන්ද පෝෂණ තත්ත්වය ඇති වීමට එය හේතුවක් වෙයි. 

මන්ද පෝෂණය යනු ශරීරයේ උස, බර මගින් පමණක්ම නොව හෝමෝන, ඉන්‍ද්‍රියයන් ක‍්‍රියාකාරීත්වය සමග ද බැඳී ඇති තත්ත්වයකි. මෙසේ හෙයින් සෑම විටම මන්ද පෝෂණයේදී ඌන වූ පෝෂකාංග කුමක් ද යන්න සහ එය ලබාදීමට ක‍්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට වැදගත් වේ. 

පෝෂක හිඟවීම මෙන්ම අධික වීමද දුර්වල සෞඛ්‍ය තත්ත්වයට හා විවිධ රෝග වලටද හේතුවක් වේ. පෝෂක ඌන වීම හෙවත් ඌනතාවය ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල උග‍්‍ර  ප‍්‍රශ්නයක් හෙයින් ශරීර අවශ්‍යතා වලට අනුව සියලුම පෝෂකාංග හා ශක්තිය නිවැරදි ප‍්‍රමාණයෙන් හා නිවැරදි අනුපාතයෙන් ලබාගැනීම මන්ද පෝෂණය වළක්වා ගැනීමට හේතුවක් වේ. 

ජීවිතයේ විවිධ වයස් හිදී පෝෂණ අවශ්‍යතා වෙනස් වේ. එසේ වෙනස් වන්නේ වර්ධන වේගයන් පවත්වා ගැනීමට විවිධ අවස්ථා වලදී අවශ්‍යතාවයන්ද වෙනස් වීම නිසයි. ළදරුවෙකුගේ වර්ධන වේගය වැඩිවන අතර ළමා කාලයේදී එය තරමක් අඩු වේ. එසේම වැඩිවිය පැමිණෙන කාලයේදී නැවතත් සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම කාල සීමා වලදී ඊට අනුරූප ලෙස පෝෂණය සැපයීම වැදගත් වේ. එසේම ජීවිතයේ වෙනස් වූ අවස්ථාවන් වලදී එනම් ගර්භනී මවක, කිරි මවක වැනි අවස්ථාවකදී සාමාන්‍ය කාන්තාවකට වඩා පෝෂණය අවශ්‍ය වේ. මීට අමතරව වයස, ස්ත‍්‍රී/පුරුෂ භාවය, නිරත වී ඇති කාර්යයන් හෝ රැකියාව අනුව ද අවශ්‍ය පෝෂණ අවශ්‍යතා වෙනස් වේ. 

දරුවකු කුස දරා සිටින මවකගේ පෝෂණය දුර්වල වූ විට එම මවගෙන් පෝෂණය සැපයෙන දරුවාට ද සැපයෙන පෝෂණය දුර්වල වීම නිසා කුස තුලදීම දරුවාගේ වර්ධනය බාලවීමට ලක්වීය හැකියි. එසේම උපන් සිඟිත්තා නිසි පරිදි පෝෂණය නොකලහොත් ඔහුද මන්ද පෝෂණයට ලක් වෙයි. මෙම දරුවා විශේෂයෙන් ගැහැණු දරුවකු නම්, එම දරුවා මවක වන විට ඇයගේ දුර්වල පෝෂණය නිසා ඇය උපදවන දරුවාද මන්ද පෝෂණයට ලක් විය හැකියි. එය චක‍්‍රයක් ලෙසින් පරම්පරාගත වීමට වුවද හැකියාවක් ලබයි. 

අපගේ එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. මේ ශක්තිය ලබාගැනීම කාබෝහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන ආහාර මගින් සිදුවේ. මේ ආහාර අවශ්‍ය පමණ නොලැබීම නිසා කායික ක‍්‍රියාවලියට අවශ්‍ය ශක්තිය මුදා හැරීම සඳහා සිරුරේ තැන්පත්ව ඇති මේදය උපයෝගී කරගනී. මේ නිසා සිරුර කෘෂ වේ. එනම් වයසට සරිලන බරක් නොමැති වේ. මේ නිසා ශාරීරික ක‍්‍රියාවලි කරගැනීමට අපහසු වේ. එසේම අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ශක්තිජනක ආහාර ලැබුනහොත් ඒවා තෙල් ලෙස ශරීරයේ තැන්පත් වීම නිසා තරබාරුව ඇති වේ. මෙවිට පෙර ලෙස ශාරීරික ක‍්‍රියාවලි කිරීමට අපහසු වීම හේතුවෙන් මෙන්ම බර දරා සිටීමේ අපහසුව හේතුවෙන්, රෝග තත්ත්ව වලට ගොදුරු වේ. විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම මෙන්ම පිළිකාව වැනි බෝ නොවන රෝග වලට තරබාරුව හේතුවක් වේ. 

ලවණ ඌණතාවය 

මෙය තවත් මන්ද පෝෂණ ගැටළුවකි. ශරීරයේ සියළු අවයව ක‍්‍රියාකාරීත්වය සමබරව පවත්වා ගැනීමට ලවණ මගින් කෙරෙන මෙහෙය අති විශාලය. මෙසේ ශරීර ක‍්‍රියාකාරීත්වයට බලපාන ලවණ අතර යකඩ, කැල්සියම්, අයඩීන් මෙන්ම පොස්පරස්, සින්ක් ආදී ලෝහද වේ. මේවා සියල්ලක්ම ශරීර ක‍්‍රියාකාරීත්වයන් හා බැ`දී පවතී. 

යකඩ ඌනතාවය

යකඩ ඌනතාවය නිසා ශරීරයේ ලේ හිඟ වීම සිදු වේ. සිරුරේ සියළු ඉන්‍ද්‍රියයන් සජීවීව පවත්වා ගෙන යාමට ඒ ඒ ඉන්‍ද්‍රියයන් වෙත හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වේ. එහෙත් ආහාරයේ යකඩ ඌන වූ විට රුධිරයේ ඇති රතු සෛල  ප‍්‍රමාණය අඩු වීම නිසා සිරුර පුරා ඔක්සිජන් බෙදාහැරීමේ යාන්ත‍්‍රණය දුර්වල වේ. මේ නිසා අධික ලෙස මහන්සිය, තෙහෙට්ටුව ඇති වන අතරම මතක ශක්තිය පවා දුර්වල වේ. මොළයට අවශ්‍ය පමණ ඔක්සිජන් සැපයීමට රුධිරයේ රතු සෛල හොඳින් පැවතීම හේතුවක් වේ. එසේ නොවීම නිසා හෘදය වස්තුවටද දරන්න සිදුවන පීඩනය හේතුවෙන් හෘදය ක‍්‍රියාකාරීත්වය පවා දුර්වල විය හැකියි. එසේ හෙයින් යකඩ ඌනතාවය බරපතල මන්ද පෝෂණ ගැටළුවකි. 

අයඩීන් ඌනතාවය

මෙයද ශරීරයේ සියළු කටයුතු හා බැඳී පවතී. තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රධාන ඛනිජය අයඩීන් වේ. මෙය මොළයේ වර්ධනය, සුවය මෙන්ම පරි වෘත්තිය සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරයි. අයඩීන් ඌනතාවය නිසා තයිරොයිඩ් ග‍්‍රන්ථියට ශරීර ක‍්‍රියාකාරීත්වය ප‍්‍රමාණවත් තරම් තයිරොක්සීන් හෝමෝන නිෂ්පාදනයට නොහැකි වේ. මේ නිසා ගර්භනී මවක් නම් ඇගේ දරුවාට දරුණු සංකූලතා ඇති විය හැකියි. එසේම 

  • හිසකෙස් සහ සමේ ගැටළු
  • අනපේක්‍ෂිත ලෙස බර වැඩිවීම
  • තෙහෙට්ටුව හා දුර්වල බව
  • මානසික අවපීඩනය හා කාංසාව
  • බෙල්ලේ තයිරොයිඞ් ග‍්‍රන්ථියය ඉදිමුම
  • හෘද ස්පන්දන වේගය මන්දගාමී බව
  • ඉගෙනීමේ ගැටළු සහ මනස දුර්වල වීම
  • මද සරු බව සහ ගැබ් ගැනීමේ ගැටළු
  • හෘදයාබාධ හෝ පිළිකා වැනි දරුණු රෝග තත්ත්ව (ප‍්‍රතිකාර නොකලහොත්) 

කැල්සියම් ඌනතාවය

කැල්සියම් යනු සැකිලි පද්ධතිය සම්බන්ධ වූ විශේෂිතම ලවණයයි. සිරුරේ සියලු බර දරා සිටීමට හැකි සේ ශක්තිමක් සැකිල්ලක් උරුම වීමට නම් කලල අවධියේ සිටම නිසි පරිදි කැල්සියම් ලවණය ලැබිය යුතුයි. මෙසේ නොවීම තුලින් අස්ථි කෙටි වීම හේතු කොටගෙන කුරු වීම සිදු විය හැකිවා සේම දත්, නිය ආදියට බලපෑම් එල්ල විය හැකියි. වයසට සරිලන දිගක්/ උසක් නොමැති වීම කැල්සියම් ඌනතාවයේ ලක්‍ෂණයක් ලෙසත් හඳුනාගත හැකි මන්ද පෝෂණ ගැටළුවකි. 

විටමින්

විටමින් A,B,C,D,E,K ආදී ලෙසින් නම් කර ඇති අතර මේ විටමින් වර්ග මගින් ශරීර අවයව හොඳින් ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය මග සාදයි. 

විටමින් A – ප‍්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීම මගින් ලෙඩ රෝග වලින් ආරක්‍ෂා වීමට ඇති හැකියාව ඇති කරයි. එසේම ඇස්වල පෙනීමේ ක‍්‍රියාකාරීත්වය සඳහා ප‍්‍රබල ලෙස බලපෑම් එල්ල කරයි. පෙනහළු ආශ‍්‍රිත ශ්වසන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහාද විටමින් A බහුල ලෙස බලපායි. සමෙහි ගොරෝසු බව, කොරල සහිත වීම, රැලි වැටීම, කුරුලෑ ඇති වීම, දහදිය ග‍්‍රන්ථි වල ක‍්‍රියාකාරීත්වය, දද, වණ, කුෂ්ඨ සුව වීමට කල් ගත වීම, නියපොතු පහසුවෙන් කැඩීම මෙන්ම රාත‍්‍රී අන්ධතාවය ඇති වීමටද විටමින් A ඌනතාවය බලපායි. 

විටමින් B –  B1, B2, B3, ආදී ලෙසින් B කාණ්ඩයේ විටමින් වර්ග බොහොමයක් වේ. මේවා ඌනතාවය හේතු කොටගෙන ශරීරයට සිදුවන බලපෑම් හේතුවෙන් ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මේ නිසා අලස බව, වෙහෙස, කෙණ්ඩ පෙරලීම, ක්ලාන්තය, හෘදය ක‍්‍රියාකාරීත්වයේ දුර්වලතා, හිසරදය, බෙරි වෙරි රෝගය, අවපීඩනය, අමතක වීම, කට දෙකොණ වන වීම, ආලෝකය දෙස බැලීමේ අපහසුව, ඇස් වල කැසීම දිවේ/තොල් වල තුවල, තොල් ඇලීම, සමේ සංවේදී බව අඩු වීම, අකලට හිසකෙස් යාම, වර්ධනය බාල වීම, ලේ ගමනාගමනය නිසි පරිදි සිදු නොවීම, පේශී දුර්වලතාවය, නින්ද දුර්වල වීමි, ඉක්මන් කේන්තිය, වලිප්පුව, මස්පි`ඩු පෙරලීම, ලේ හිඟකම (නීරක්තිය), ස්නායු ආබාධ, අඩු බර දරු උපත්, ස්නායු ආබාධ සහිත දරු උපත් ආදිය මෙන්ම පාචනය වැනි රෝග තත්ත්ව පවා ඇති විය හැකියි. විටමින් B ඌනතාවය හේතු කොටගෙන ඇති වන තත්ත්ව වළක්වා ගැනීමටද සියළු ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාකාරීත්වයට හේතුවක් වේ.

විටමින් K – ලේ කැටි ගැසීමේ ක‍්‍රියාවලිය සඳහා බෙහෙවින් වැදගත් වේ. ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි වල ඛනිජ ඝනත්වය අඩු තත්ත්ව වලදී එහි ඝනත්‍වය වැඩි කිරීම සඳහා ද මෙය හේතූ කාරක වේ. අවශ්‍ය පමණට විටමින් K  නොමැති වීම නිසා එනම් විටමින් K ඌනතාවය නිසා අධික ලෙස ලේ ගැලීම් පාලනය අපහසු වේ. 

මේ කෙසේ වුවද විටමින් වර්ග (B හා C) සමහරක් ජලයේ ‍ දියවේ. අනෙක් විටමින් වර්ග ජලයේ දිය නොවන අතර මේදයේ දියවේ. මෙසේ හෙයින් විටමින් B හා C සිරුරට වැඩිපුර ලැබුණු විට ඒවා මුත‍්‍රා මගින් පිටවන නමුදු ජලයේ දිය නොවන (A,D,E හා K) විටමින් වර්ග ශරීරයට වැඩිපුර ලැබුණු විට ඒවා ජලයේ දිය නොවන නිසා අක්මාව තුල තැන්පත් වීම සිදුවන අතර අතුරු ආබාධ ඇති විය හැකියි. එසේම පිත්තාශය, අක්මාව හා අග්න්‍යාශය කියන ඉන්‍ද්‍රියයන් වල නිසි ක‍්‍රියාකාරිත්වය නිසා මේදයේ දියවෙන විටමින් නිසි ලෙස ශරීර ගත වීමත් දීර්ඝ කාලීන ලෙස රඳා පැවතීමත් නිසා ඌනතාව දක්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් ජලයේ දියවෙන විටමින් B හා C සිරුරේ සෑම පටකයකටම පැතිරි යයි. එසේම ශරීරයේ සෛලවලට අවශ්‍ය වන ශක්තිය නිපදවීමේ ක‍්‍රියාවලියට ද දායක වේ. ඒ නිසාම නිරතුරුවම ආහාරය සමග විටමින් B හා C ලබාගත යුතුමයි. එසේම මීට අමතරව ආහාරයේ තන්තු බහුල නොවීමත් ආහාර ජීර්ණ ක‍්‍රියාවලියට බලපානු ලබයි.

විටමින් C – ප‍්‍රතිශක්ති පද්ධතියට බෙහෙවින් බලපාන විටමිනයකි. රුධිර වාහිනී පද්ධතිය ආරක්‍ෂා කිරීමට මෙන්ම රක්තහීනතාවය වැළක්වීමටද විටමින් C ප‍්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම සමේ සෞඛ්‍ය වෙනුවෙන්ද මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබයි. විටමින් C මගින් යකඩ උරාගැනීම පහසු කරන හෙයින් හා එය යකඩ උරාගැනීමට හැකි උත්ප්‍රේරකයක් ලෙස ක‍්‍රියාත්මක වන හෙයින් විටමින් C යකඩ ඌනතාවය වැළැක්වීමටද හේතුවක් වේ. සමෙහි වියලි ගතිය/රළු ගතිය මෙන්ම සන්ධි වේදනා සඳහාද හේතුවක් ලෙස විටමින් C ඌන වීම හඳුනාගත හැකියි. 

විටමින් D – කොණ්ඩය, දත්, අස්ථි හා නියපොතු වල මෙන්ම සමේ සෞඛ්‍ය සඳහාද විටමින් D බලපානු ලබයි. කැල්සියම් ලවණයේ ක‍්‍රියාකාරීත්වයටද විටමින් D බලපෑමක් එල්ල කරනු ලබන හෙයින් විටමින් D ඌනතාවය අස්ථි රෝග ඇති කිරීමටද හේතුවක් වේ. ඔස්ටියෝපොරෝසිස් හා අධික රුධිර පීඩනය සමගද විටමින් D සම්බන්ධතාවක් පවතින හෙයින් විටමින් D ඌනතාව ඒ හා සම්බන්ධ රෝග වලදී වැදගත් වේ. 

විටමින් E – සමේ නිරෝගීභාවයට වැදගත්ය. එම නිසා විටමින් E ඌනතාවය සමේ රෝග තත්ත්ව ඇති කරයි. ප‍්‍රමාණවත් තරම් විටමින් E සිරුරට ලැබෙන්නේ නම් රෝග නාශක ගුණයක් හෙවත් රෝගයනට එරෙහිව ප‍්‍රතිශක්තියක් ඇති කරයි. ලප කැලල් ඉක්මණින් සුවපත් කිරීමටත්, හිරු රැස් නිසා ඇති විය හැකි සමේ පිළිකා වළැක්වීමට විටමින් E බොහෝ සේ උපකාරී වේ. දද හා කුෂ්ඨ රෝග සුවපත් කිරීමටද හැකියාවක් ඇති අතරම සමේ පැහැපත්භාවයට විටමින් E උපකාරී වේ. 

ඒ අනුව විවිධ පෝෂක කොටස් බහුලව අඩංගු ආහාර පිළිබඳව පහත වගුව මගින් හඳුනා ගනිමු. 

 

පෝෂකාංග අඩංගු ආහාර
කාබෝහයිඩ්‍රේට් බත්, ධාන්‍ය, ආප්ප, ඉඳි ආප්ප, අල වර්ග, කොස්, දෙල් (පිටි ආහාර)
ප්‍රෝටීන මස්, මාළු, බිත්තර, කිරි, පියලි ඇට වර්ග, 
තෙල් හා මේද පොල්, පොල්තෙල්, බටර්, ඔලිව් තෙල්, එළවළු තෙල්, තල, කොට්ටම්බා මද, රටකජු, කජු
යකඩ මස්, මාළු, තද කොළ එළවළු, පලා වර්ග, ඇට වර්ග, අලි පේර, කජු, (රතු පැහැති ආහාර- මාළු, තම්පලා), මුරුංගා
අයඩීන් මුහුදු මාළු, මුහුදු පැලෑටි, මුහුදු ලූණු, ඉස්සන්, බෙල්ලන්, දැල්ලන්, පලා වර්ග, බිත්තර, හරක් මස්, කිරි, බටර්, ධාන්‍ය, තක්කාලි, නිවිති, සලාද කොළ, රාබු, කෙසෙල්, දොඩම්, ලෙමන්, අන්නාසි
කැල්සියම් කිරි හා කිරි නිෂ්පාදන, කුඩා මාළු, සැමන්, බෝංචි, පරිප්පු (රනිල කුලයේ ඇට වර්ග), තල, පොල් වතුර, දිවුල්, බිත්තර
විටමින් A තැඹිලි/කහපාට එළවළු, පළතුරු, තද කොල පළා වර්ග, බිත්තර කහ මද
විටමින් B හාල් නිවුඩ්ඩ, කව්පි, සෝයා වැනි රනිල් බෝග, පීකුදු, ගව මස්, මාළු, කිරි, බිත්තර, පලා වර්ග, අර්තාපල්, යීස්ට්, හතු, රටකජු, කජු (ඇට වර්ග පෑහීම මගින් මෙන්ම             පැල වීමට සැලැස්වීමෙන් විටමින් B වැඩිපුර ලබාගත හැක)
විටමින් C නෙල්ලි, පේර, අඹ, දෙහි, දොඩම්, නාරං (ඇඹුල් රසැති පලතුරු), පලා වර්ග
විටමින් D මාළු, බිත්තර කහ මද, හතු, කිරි, කතුරුමුරුංගා
විටමින් E අලි පේර, රටකජු, කොල පැහැති එළවළු, ධාන්‍ය,  ආමන්ඩ්, කොට්ටම්බ මද, මස්, මාළු, 
විටමින් K වියලි පළතුරු, ලූණු, පලා වර්ග, ගෝවා කොල, ඔලිව් තෙල්, කුළු බඩු
තන්තු බහුල නිවුඩ්ඩ සහිත හාල්, නිවුඩ්ඩ සහිත ඇට වර්ග, පලා, එළවළු (වැටකොළු, කොහිල, කෙසෙල් මුව, කරවිල, කොස්), පළතුරු

 

මෙසේ බලන කල ආහාර වල අඩංගු සියළුම පෝෂක කාණ්ඩ සියළු පද්ධතීන් හා සම්බන්ධව පවතින හෙයින් අඩු වීමක් වූ විට විවිධ ඉන්‍ද්‍රිය පද්ධතියකට බලපෑම හේතුවෙන් මන්ද පෝෂණ තත්ත්වයකට ලක්වීමට හේතු වන අතරම මන්ද පෝෂණය වළක්වා ගැනීමට දැනුවත්ව අවශ්‍ය ආහාර කාණ්ඩ තෝරා ගැනීම වැදගත් වේ. තවද ආහාර වර්ගයන්හි විවිධත්වය ආහාර වලින් අවශ්‍ය පෝෂකාංග බහුල ලෙස ලබාදීමට හේතුවක් වේ. එසේ හෙයින් මන්ද පෝෂණය වළක්වා ගැනීමට නම් ප‍්‍රධාන ආහාර කාණ්ඩ වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද අඩංගු ආහාර කාණ්ඩ මෙන්ම ඛනිජ ලවණ හා විටමින් අඩංගු ආහාර කාණ්ඩ ද දිනපතා ආහාරයට එකතු විය යුතුයි. ආහාරයේ විවිධත්වය තුල එකතු කිරීම් සිදු කල විට බොහෝ විට මන්ද පෝෂණය වළක්වා ගත හැකියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අලුත් බබාගේ ඇස්වලින් කබ එන්නේ ඇයි?

අලුත් පැටියාගේ රෝස මලක් වගේ සුමුදු මුහුණේ තරු කැට වගේ දිලිසෙන පුංචි ඇස් දෙක දකින ඕනෙ කෙනෙක්ට ආදරේ හිතෙනවා කිව්වොත් හරි. රෝහලෙන් නිවසට ඇවිත් බබා‍ගේ අලුත් වැඩවලට හුරු‍ වෙන්න පටන්ගන්න අම්මට බබාගේ එක ඇහැක් හෝ ඇස් දෙකම ටිකක් විතර පුංචි වෙලා වගේ, කබ ඇවිත් වගේ පෙනෙන්න ගත්තොත් ටිකක් හිතට දුකයි. ඕනෙම අම්මා කෙනෙක් මේ ගැන කලබල වෙනවා. ඊළඟට දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යනවා. අන්න ඒ වගේම අලුත උපන් බබාලගේ ගැටළු ගැන අම්මලා කොච්චර වද වෙනවද කියන එක හිතාගන්නවත් බැරි තරම්. මොකද මේ බබාලගේ ප‍්‍රශ්න වලදී අම්ම තාත්තා වගේම ගෙදර අනෙක් අයත් සැලෙනවා. එහෙම වෙන්නේ නිවැරදි අවබෝධය, දැනුම නොමැති නිසා. 

අලුත උපන් බබාලගේ ඇස් වලින් කබ එන්නේ ඇයි?

අලුත උපන් බබාලගේ අස්වලින් කබ එන එය ගැටලුවක් කියා ඔබ සිතනවා නම් එය නිවැරදියි. නමුත් එය බිය විය යුතු තත්ත්වයක් නොවෙයි. ඒ, එය විසදුමක් ඇති ගැටලුවක් නිසයි. 

අලුත උපන්  දරුවාගේ අසෙන් කබ, කදුළු ගලන විට පළමුව ඒවා සෝදා පිරිසිදු කිරීම කළ යුතුයි. ඒ සඳහා මවගේ දෑත් හොඳින් පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව පුළුන් මාත්තු කීපයක් ගෙන උතුරුවා නිවාගත් ජලයෙන් පොඟවා ජලය මිරිකා හැර අදාල ඇසේ කන පැත්තේ සිට ඇතුලට පිස දැමීම කළ හැකියි. මේ සඳහා ඇස් දෙකට පුළුන් මාත්තු කීපයක් ගත හැකි අතරම එකම පුළුන් කැබැල්ල යොදා ගනිමින් ඇස් දෙකම පිහි දැමීම නොකල යුතුයි. සාමාන්‍යය සෞඛ්‍ය තත්ත්වයේ සිටින දරුවෙක් දිනපතා නෑවිය හැකි අතරම මෙසේ කිරීමේදීත් දිගින් දිගටම කබ,කදුළු ගලයි නම් ඉන්‍ද්‍රියයන් පරිනත වීමේ සංසිද්ධිය පිළිබඳව සලකා බැලිය යුතු වෙයි.  

දරුවෙක් මෙලොවට බිහිවන විටම සියලුම ඉන්‍ද්‍රියයන් පරිනත නොමැත. එය අසාමාන්‍ය තත්ත්වයක් නොවන අතර ස්වභාවික තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. ඇස් වලින් කබ ගැලීඹද එවැනිම වූ ස්වභාවික තත්ත්වයකි. කුඩා ඇසෙහි කබ/කදුළු නාසය ඔස්සේ පිටකරන කාලය (නාස ඇස‍්‍රැ ප‍්‍රනාලය) සම්පූර්ණයෙන්ම විවෘතව නොතිබීම නිසා මේ තත්ත්වය ඇති විය හැකියි. ඇස් වලින් කබ ගැලීම දැකිය හැකි වන්නේ ඒ නිසයි.  එසේ වන විට දරුවාගේ ඇසේ කෙළවර එනම් ඇසේ කබ ස‍්‍රාවය වන ස්ථානය (Lacrimal Carci) විවෘත කිරීමට උපකාර වන සම්බාහනයක් කල හැකියි. මේ සඳහා ඇසේ කබ වල පිහිටා ඇති කෙලවර නාසය මුල මවගේ අතේ කුඩා ඇඟිල්ල තබා (සියුම් ග‍්‍රන්ථියක් ඇඟිල්ලට දැනෙනු ඇත) දස වතාවක් වමටත් දස වතාවක් දකුණටත් රවුමට සම්භාහනය කිරීමෙන් නාල විවෘත වීමට උත්තේජනයක් සැපයිය හැකියි. එසේ දිනකට තුන් වරක් බැගින් සම්බාහනය කිරීමේදී මේ තත්ත්වය මගහැරී යනු ඇත. 

දරුවාගේ ඇස අග සම්භාහනයේදී මව, දරුවාට විෂබීජ ඇතුළ නොවීමට වගබලා ගත යුතු අතරම දෑත් පිරිසිදුව තබා ඒ සඳහා දෑත් පිරිසිදුව තබා ගැනීම පමණක් නොව නියපොතු කොටට කපා තිබීමත් වැදගත්. නියපොත් කොටට කපා තිබීම නිසාත් විෂබීජ අවම වන අතරම නියපොතු වලට දරුවා සිරීම නිසා තුවාල වීඹ වළක්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා.  

උපතේදී සම්පූර්ණයෙන් පරිනත නොවූ අවස්ථාවක ඉහත ලෙසින් දෑසින් කබ/කදුළු ගැලීම සිදු වූ විට ඉහත අයුරින් ක‍්‍රියාත්මක වීමෙන් එම ගැටලුව විසඳා ගත හැකි වුවත් ඒ හේතුව හැර වෙනත් හේතු කරාරණා නිසාද දරුවෙකුගේ ඇසින් කබ/කදුළු ගැලිය හැකියි. එනම්, විෂබීජයක් ආසාදනයක් වූ විටක හෝ ඇස් ලෙඩ පැතිරෙන කාල සීමාවකදී දරුවා ආසාධනයට ලක් වූයේ නම් කබ, කදුළු ගැලීම පැවතිය හැකියි. එහෙත් එය පිස දැමීම, සම්බාහනය මගින් නිරාකරණය කරගත නොහැකියි. මෙවන් අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යයයි. ඇසි පිය ඉදිමීම, සුදු ඉංගිරියාව ප‍්‍රදේශය රතු වීම, කබ/කදුළු ගැලීම ආසාධනයක ලක්‍ෂණ විය හැකියි. මෙවිට පිටවන කබ වල පැහැය, ප‍්‍රමාණය, සාන්‍ද්‍රණය ආදිය පිළිබ`දවද සැලකිලිමත් වීම කළ යුතු අතරම වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර ලබාදීමද වැදගත් වේ. 

ඇස යනු ශරීරයේ පිහිටා ඇති ඉතා කුඩාම ඉන්‍ද්‍රියයක් වගේම ඉතාමත් සංකීර්ණ සැකැස්මක් ඇති ඉන්‍ද්‍රියකි. ඒ වගේම පංච ඉන්‍ද්‍රියන්ගෙන් එකකි. පංච ඉන්‍ද්‍රියන් උත්තේජනයෙන් ලැබෙන හැකියාවන්, කුසලතාවයන් ජීවිත මග හෙලිකරන නිසාම ඒවා ජීවීතයට ඉතා වැදගත් වේ. 

සෑම දෙයක්ම දකින්න ඒ අනුව හිතන්න, ඉගෙන ගන්න අවස්ථාවන් ලැබෙන නිසා ඇස හරිම වැදගත්, ඒ වගේම මේ සියලු ඉන්‍ද්‍රියයන් සඳහා අවශ්‍ය පෝෂණය සැපයීමත් මව් කුස තුල සිටම ආරම්භ කළ යුතු වන්නේ ඒවා විකසනය වී වර්ධනය වීමට පටන් ගන්නේ මව්කුස තුල සිටමයි. ඒ නිසා ඇසේ ක‍්‍රියාකාරීත්වයට විටමින් A මගින් කෙරෙන මෙහෙය අති විශාලයි. ඒ නිසා දරුවන්ගේ ආහාරයේ විටමින් A බහුල කිරීමට උනන්දු වීමත් ඇස් වල නිරෝගීභාවයට ඉතා වැදගත් වේ. 

එසේම දරුවන්ගේ ඇති ආබාධවලට පෝෂණ ඌනතා වගේම ජානගත බලපෑමත් හේතු විය හැකි නිසා දෙමාපියන් තුල ජානගත වූ අක්‍ෂි ආබාධ ඇති විට දරුවන්ගේ ඇස් පිළිබඳ අවධානය යොමු කිරීමත් ගැටළු ඇති දැයි සැක ඇති විට වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීමත් වැදගත්. එසේ විය යුත්තේ මෙවැනි දුර්වලතා බොහොමයක් කුඩා කලදිම නිට්ටාවට සුව කරගැනීමට හැකි නිසයි.

දරුවෙකුගේ ශරීරයේ ප‍්‍රධාන පාලක මැදිරිය වන්නේ මොළයයි. මේ මොළය හා ඇස් අතර ස්නායු ජාල සම්බන්ධතා වර්ධනය වීම වසර දහයක් පමණ කාලයකදී සිදුවෙනවා. එසේම මොලයේ සංවර්ධනය මුල් වසර තුනදී 80% ක ප‍්‍රමාණයකින් සම්පූර්ණ වන හෙයින් ඇස් වල වර්ධනයත් බොහෝ විට වසර තුනකදී පමණ සම්පූර්ණ වේ. 

උපන් විගස කුඩා දරුවන් ආලෝකයට සංවේදී බව දක්වන්නේ ඇස් පියා ගැනීමෙන්. ඒත් මාස දෙක තුන වන විට සෙලෙවන දේ දෙස දිහා බලන්නත් ඒවාට ප‍්‍රතිචාර දක්වන්නත් පුරුදු වේ. එසේ වන්නේ ඇස් වල වර්ධනය සිදු වන නිසයි. 

මෙසේ හෙයින් මේ වර්ධනය හැඳින ගැනීමත් ඒවායේ ස්වභාවික තත්ත්ව තේරුම් ගෙන ඒවාට සුදුසු පරිදි ක‍්‍රියාත්මක වීමත් වැඩිහිටි ඔබ සතු කාර්යභාරයක් මෙන්ම පුංචි ඉන්‍ද්‍රියයේ ක‍්‍රියාකාරීත්වය මුළු ජීවිතයටම බලපෑමක් එල්ල කල හැකි හෙයින් අවශ්‍ය පරිදි ගැටළු හඳුනා ඊට සුදුසු පිළියම් යෙදීමත්, අවශ්‍ය මැදිහත් වීම මෙන්ම අවශ්‍ය විටදී වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමත් දරුවාගේ අනාගතයට අතිශයින් සුබදායක වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරුවන් මල් වගේ ….වචනයට අර්ථයක් සපයමු.

පුංචි දරුවන් මල් වගේ ලස්සනයි. ඒ සංකල්පයේ පිලිගැනීම වචනයටම ගැලපෙන විදිහට විය යුතුයි. දරුවන්ගේ වචනත් ඇත්තටම මිහිරි මී පැනි වගේ වුනොත් එවැනි දරුවන් ගැන කවුරුත් ගරුත්වයෙන් කතා කරනවා.

දරුවන්ගේ වචන නිසාම ඔවුන් සමාජයට අප්‍රිය චරිත වෙනවා නම් ඒ ගැන සෘජුවම චූදිතයන් වෙන්නේ දෙමව්පියන් බැව් අමතක කරන්න එපා.හොඳ දරුවෙක් ගැන සමාජය කථා කරන්නේ ඔවුන්ගේ සෙමව්පියන්ටත් යම් ඇගයීමක් පබා දෙමින් බැව් සහතික ඇත්ත.රහෙමනම් ඔබේ දරුවා සමාජයට ප්‍රිය චරිතයක් විදිහට ගොඩ නගන්නේ කොහොමද…?

දරුවන් සංවරව ගොඩ නගන්න…

දරුවෙකු වෙනුවෙන් කායික වගේම වාචසික සංවර බවත් අවශ්‍ය වෙනවා. නිතරම තවත් කෙනෙකුට බාධාක් නොවන අන්දමින් හැසිරෙන ආකාරය ඔවුන්ට කියා දෙන්න. අද බොහෝ දරුවන් පාසල් අවසාන වී දෙමව්පියන්ගේ කන්තෝරුවට ඇවිත් හවස නිවසට යන තෙක් කාලය ගත කරනවා. එවැනි අවස්ථාවන්හිදී කන්තෝරුවේ නිළධාරීන්ට වගේම උපකරණවලට බාධාවක් කරන්න එපාය යන අවවාදය ලබා දෙන්න.ඇතැම් දරුවන් නිසා කන්තෝරුවේ නිලධාරීන්ට පරිගණකය ඔවුන්ගේ අවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් පවා වෙන් කර ගැනීමට තරම් අපහසු අවස්ථාවන් තිබෙනවා.ඒ වගේම හැම දෙනාගේ පුටුවල දරුවාට ඉඳගැනීම වලක්වන්න. සේවා ස්ථානයක නිලධාරියාට හිමි ආසනය යනු ගරුත්වයක් ඇති අසුනක්. ඇතැම් විට ඔබේ දරුවා ඔවුන්ගේ ආසනයේ වාඩි වීම නොදත්කමට සිදු වෙන්නක් වුනත් වැඩිහිටියන් විදිහට එය අවිනීත සහ නොකළ යුතු දෙයක් බැව් කියා දෙන්න.

අවස්ථාවට ගැලපෙන අන්දමින් හැසිරෙන්න..

දරුවා යනු අනාගතයේ සමාජයට අනුගත විය යුතු සාමාජිකයෙක්. ඒ නිසා නිවසේ දක්වන හැසිරීම සමාජය අනුමත නොකරන බැව් කියා දෙන්න. විනෝද විය යුතු තැනදි විනෝද වුනත් පන්සල, පල්ලිය, අවමගුල යන විවිධ ස්ථානයන්හිදී අදාල තැනට ගැලපෙන අන්දමින් හැසිරන ආකාරය කියා දෙන්න. සමහර විට ඔබේ දරුවා පන්සලට ගිය විට කෑ කෝ ගසමින් බෝ මලුවේ දුව පැන ඇවිදින්න පුළුවනි. එය ඔවුන්ගේ ළමා වියට ගැලපෙන ළමාකම බව ඇත්ත. ඒ වුනත් එයින් සෙසු අයට ඇති වෙන බාධාව ගැන දෙමව්පියන්ගේ අවධානය යොමු වීම වැදගත්. ඒ නිසා පන්සලේදී වගේම ඔබ යන තැනට ගැලපෙන අන්දමින් හැසිරෙන ආකාරය දරුවාට බාල කාලයේදී පටන්ම් කියා දෙන්න. එසේ නොමැති වුවහොත් ඔවුන් අනාගතයේදී පවා තැනට ගැලපෙන ලෙසින් හැසිරෙන කලාව ඉගෙන ගන්නේ නැත.

සවන් දීම…

දරුවන් වුනත් හොඳ සවන් දෙන්නෙක් පවට පත් කරන්න. වැඩිහිටියන්ගේ අවවාද ගැන අවධානය ලබා දීමේ වැදගත්කම කියා දෙන්න. බොහෝ දරුවන් හිතන ආකාරයට 

වැඩිහිටියන් යනු යල් පැන ගිය පිරිසක් නොව අත්දැකීම්වලින් ශක්තිය ලද පිරිසක් බැව් කියා දෙන්න. ඒ නිසා නිතරම සමාජ හැසිරීමේදී හොඳ සවන්දෙන්නෙක් ලෙසින් කටයුතුකිරීමේ අවශ්‍යතාවයත් දරුවාට කියා දෙන්න.

ඔබ සංවර දරුවෙක් බිහි කළොත් දරුවාට ලැබෙන අනාගත වාසි..

  • සමාජයේ ගෞරවය ලැබෙනවා…

ගරුත්වය ලැබීමට අපි කවුරුත් කැමැතියි. පුංචි දරුවන් වුනත් ගරුත්වය ගබන්න කැමැතියි. නමුත් ඔබේ දරුවාට සමාජය ගරු කරන්නේ එවැනි ගරුත්වයක් ලැබීමට සුදුසු ගති පැවුතුම් දරුවා වෙතින් ප්‍රදර්ශනය වුනොත්  පමනි. සමහර දරුවන් සමග කථා කිරීමට පවා බොහෝ දෙනා අකමැති වෙන අවස්ථා තිබෙනවා.අනේ දරුවෙක් වගේ නොවෙයි.. කතා කරන්නේ මම නම් කැමැති නැහැ කථා කරන්නවත්..මේ අන්දමින් දරුවා ගැන නරක ප්‍රතිරූපයක් ගොඩ නැතුනොත් ඔවුන් සමාජයේ ගරුත්වය නොලබන පිරිසක් ලෙසින් ලියාපදිංචිය ලබනු ඇත.

  • නායකත්වයට පෙර සූදානමක්..

අද දරුවා යනු හෙට රටේ නායකයා බව අමතක කරන්න එපා. ඒ නිසා බලා කාලයේදී පටන් අනාගත නායකත්වය වෙනුවෙන් සුදුසු පසුබිම ලබා ගැනීම ඔවුන්ගේ යහපත් හැසිරීම නිසාම ලැබෙන අතිරේක වාසියක් බවත් මතකයේ තබා ගන්න. නායකත්වය යනු න්‍යායින පුහුනුවක් නොව තමන්ගේ සංව චරිතය තුළින්ම ගොඩ නගා ගත යුතු වටිනාකමක් නිසා දරුවා තුළ ඔබ විසින් ගොඩ නගන සංවර බව දරුවා අනාගත නායකත්වට පුහුණු කරන අත්තිවාරමත් නොදැනීම ගොඩ නැගුනා විය හැක.

  • සමාජයේ ප්‍රසාදය ලැබෙනවා..

සංවර දරුවාට සමාජයේ ප්‍රසාදය ලැබීම රහසක් නොවේ. අනේ හරිම හොඳ දරුවෙක් යැයි හැම දෙනාම ඔබේ දරුවා මුල් කර ගෙන කිසිදු ලෝබ කමක් නැතුවම ඇගයීමක් ලැබෙනවා.

  • පුද්ගල සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා..

යහපත් දරුවාට සමාජයේ අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම පහසුයි. ඒ වගේම ඔවුන් ගොඩ නගා ගන්නා අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ද ඉතා යහපත් බැව් අමතක කරනන් එපා. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තක එකතු වෙන පරිද්දෙන්ම හොඳ දරුවා සමග එකට පෑහෙන්නේද හොඳ දරුවන් වීමත් විශේෂයක්.ඉතින් අපේ දරුවන් මල් වගේ කියන වචනයටම ගැලපෙන අන්දමින් දරුවන් සමාජගත කරමු. එය අද ඔබේ කාර්යක්. එවිට දරුවන් හෙට දවසේදී සමාජය සමග ඔවුන්ගේ ගනු දෙනු ඉතාම හොදින් පවත්වා ගෙන යන බව සැකැයක් නැහැ.

 

 

අලුත උපන් දරුවා ගැන මිත්‍යා මත

සියලු දේ සූදානම් කරගෙන දහසක් බලාපොරොත්තු මැද්දේ ප‍්‍රසූතිය සිදු කර දරුවා නිවසට රැගෙන එන්නේ බිය සැක සමග මුහු වුණු පුදුමාකාර වූ සන්තෝෂයකින්. ඒ වගේම මේ අලුත උපන් දරුවා රැකබලා ගන්නා එක දෙමාපියන්ට පැවරුණු විශාල අභියෝගයක්. ඒ එක්කම නිවසේ, වටාපිටාවේ දෙමාපිය වැඩිහිටි වගේම අසල්වැසි සැමගේම ගුණදොස් විවේචන මතිමතාන්තර එළියට එන්නත් පටන් ගන්න වෙලාවක්. මේ වගේ වෙලාවට දෙමාපියන් විදියට නිවැරදි දේ දැනගෙන නොසිටියොත් ඔබ අසරණ වෙනවා. කම්පාවට පත්වෙනවා. මානසිකව වියවුල් බවට පත්වෙලා දරුවා රැකබලා ගන්න එකත් ඔබගෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ හින්දා පූර්ව ප‍්‍රසව සමයේ සිටම දරුවාගේ විකසනය වගේම වර්ධන පියවරයන් එක්ක දක්වන වෙනසක්ම් පිළිබඳව දැනුවත් වීම වැදගත්. 

අලුත උපන් දරුවාගේ හිස

දින සම්පූර්ණ වෙලා ප‍්‍රසූතිය සිද්ධ වෙනකොට සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී දරුවගේ හිස ශ්‍රෝණි කුහරයේ ප‍්‍රමාණයට සරිලන ලෙස හැඩ ගැසෙනවා. එතකොට හිසේ හැඩය දික් හැඩයක් ගන්නවා. මෙහෙම වෙන්නේ ප‍්‍රසූතිය පහසු වෙන්න. ඒ එක්කම මේ හැඩය නිසා හිසේ අස්ථි පොඞ්ඩක් එහා මෙහා වෙලා තරල එක තැනකට එකතු වෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ හැඩගැසීම් කියලා. ඒත් මේක දැකපු ගමන් වැඩිහිටියෝ කියන්න ගන්නේ ඔළුව දිගයි, අපලෙට,  ඕව හදන්න  ඕන වගේ කියමන්. ඒත් ඒක එහෙම අපලයක් නොවන බව වේලාසන දැනන් හිටියොත් ඔබ කලබල වෙන්නේ නෑ. ටික දිනකින් හිස සාමාන්‍ය විදියට හරියනවා. 

අලුත උපන් දරුවාගේ අත පය

අලුත උපන් දරුවෙකුගේ අත පයත් තියෙන්නේ එයා කුස තුල හිටිය ඉරියව්වේ හිටියට. වැඩිහිටි අය හිතන්නේ අත පය ඇදයි කියල. ඒව හදන්න  ඕන කියල. එහෙම හිතල සාමාන්‍ය වර්ධනයට ඉඩක් නොදී අතගාලා හදන්න ගියොත් ඒ ක‍්‍රියාව වැරදියට සිදු වුනොත් ඇත්තටම දරුවගේ අත පය වල ඇදයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දරුවා වර්ධනයත් එක්කම අතපය ක‍්‍රියාත්මක වෙනකොට ඒවා නිසි පරිදි හැඩගැසීමයි. දරුවා පය බිමට තබා සිරුරේ බර රඳා සිටින ඉරියව් වලට පැමිණෙන කාලයේදී ගුරුත්වාකර්ෂණයට අනුව සිදුවන ක‍්‍රියාවන් නිසා පාදයේ කෙණ්ඩා නිසි පරිදි චලනය වීම මගින් පාද වලට නියමිත හැඩය ලැබේ. 

මුහුණ, නාසය

දරුවෙක් උපන් ආකාරයටම සිටින්නේ නැත. පැයෙන් පැය, දිනෙන් දින දරුවා වැඩෙන අතර ඔබේ පරම්පරාවේ ආරය අනුව ඒ අවයව නිසි පරිදි සැකසේ. හිසේ රවුම් හැඩයත් එසේමයි. එය ප‍්‍රසූතියත් සමග හැඩගැසේ. සීසර් ශල්‍යකර්මය මගින් ප‍්‍රසූතිය සිදු වූ දරුවන්ගේ හිස දිගටි හැඩයක් නොගන්නා අතර සාමාන්‍ය ප්‍රසූතියේදී දරුවාට බිහි වීමට පහසු වීමට හිස හැඩ ගැසීම නිසා දිගටි හැඩයක් ගනී. එය දරුවා වැඩෙත්ම මේ දිගටි හැඩය නැතිව යයි.

දරුවා හඬන්නේ කිරි මදි නිසා

පුංචි දරුවන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ එකම ක‍්‍රමය හැඬීමයි. දරුවෙක් හැඬීම මගින් මවගේ අවධානය යොමු කරගනිමින් සිය අවශ්‍යතා ඉටු කරගනී. දරුවෙකු හඬන්නේ කුසගිනි නිසා හෝ කිරි මදිකම නිසා හෝ කියා වැඩිහිටියන් කාන්තාවන් පැවසූ විට අලුත් අම්මාගේ හිත කඩා වැටෙනවා සේම ඇය කනස්සල්ලට පත් වෙනවා. මව්කිරි කියන්නේ හෝමෝනමය ක‍්‍රියාවලියක්. ඒ සඳහා මවගේ නිරවුල් මනස බොහෝ සෙයින් වැදගත් වෙනවා. දරුවා ‍හොඳින් කිරි බොනවා නම් සතුටින් නිදියනවා නම් එය මවට සැනසීමක් වන අතරම ඒ සැනසීම කිරි නිෂ්පාදනයටත් රුකුලක් වනු ඇත. මව තුල ඇති වන වික්‍ෂිප්තභාවය කිරි එරීමේ යාන්ත‍්‍රනම මන්දගාමී කරනවා. ඒ නිසා දරුවා හඬන සෑම විටම කිරි මදි යැයි සිතන සිතුවිල්ල නැති කරගන්න. දරුවා වරකට විනාඩි 20 ක් පමණ කිරි උරනවා නම්, දිනකට 6, 7 වතාවක් මුත‍්‍රා පිටකරනවා නම් බිය විය යුතු නැත. 

දරුවෙක් හඬන්නට එකම හේතු මව්කිරි නොවෙයි. දරුවටත් බඩගින්න පමණක් නොව උණුසුම/දහඩිය, මල/මුත‍්‍රා පහවීම නිසා ඇති වන අපහසුතාවය, නිදමත ඇති වීම, කලබලකාරී පරිසරය, නිවසේ පිරිස වැඩිකම, තෙහෙට්ටුව, නින්දෙන් අවදිවන විට සමීපයේ කිසිවකු නැති වීම නිසා ඇති වන බය හෝ සාංකාව, නෑවීම වගේම අම්මගේ ආදරය අවශ්‍ය බව පෙන්වීමටත් කල හැකි එකම දේ හැඬීමයි. මේ නිසා දරුවාගේ දින චරියාව හා අනුගත වීම තුලින් අවශ්‍යතා හඳුනාගැනීමට හැකි වේවී. ඒ නිසා දරුවා හඬන සෑම විටම එය කුසගින්නටම සීමා නොකළ යුතුය. 

එසේම කිරි මදි කියා දරුවාට වෙනත් ආදේශක ආහාර වලට යොමු කිරීමෙන් වැළකීමද ඉතා වැදගත්. එසේම පිටිකිරි, බත් කැඳ, කොත්තමල්ලි වතුර හෝ වතුර දීමෙන් වැළකීමද ඉතා වැදගත්. 

උණුසුම් දින වලදී දරුවාට වතුර දිය යුතු යැයි පවතින මතයද මිත්‍යාවකි. මව්කිරි වල 80% ක්ම ඇත්තේ ජලයයි. මේ නිසා අමතරව ජලය ලබාදුනහොත් දරුවාගේ පෝෂණයට පාඩුවක් සිදු වීම නිසා වර්ධන වේගය අඩු වී දරුවාගේ සංවර්ධනයද ඇණ හිටිය හැකියි. 

නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිබඳව දැනුවත් වීමද වැදගත්. මව්කිරි පමණක් දරුවාගේ ප‍්‍රශස්ත වර්ධනයට මුල් මාස 6 ටම ප‍්‍රමාණවත් වන නිසා වැඩෙන විට කිරි මදියැයි පවසමින් බත් කැඳ හෝ වෙනත් පිටිකිරි ලබාදීම නොකළ යුත්තක්. මේ මිත්‍යා මත ඉවත් කිරීමට මවට/පියාට පුහුණු සෞඛ්‍ය සේවකයෙකුගේ එනම් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකගේ උපදෙස් ලබාගැනීම වැදගත්. ඒ වගේම ඇයට පුළුවන් මේවායේ විද්‍යාත්මක තහවුරු කිරීම් වැඩිහිටියන්ට පවා ඒ්ත්තු ගන්වන්න. 

දරුවෙකුගේ මුල් මාස 6 තුල ජීර්ණ පද්ධතිය සැකසී ඇත්තේ කිරි දිරවීමට පමණක් වන නිසා වෙනත් ආහාර හෝ පාන වර්ග ලබාදීම අජීර්ණය වගේම ආසාත්මිකතාවයටත් හේතු විය හැකියි. කිරි පමණක් මදිද යන්න නොව අවශ්‍ය පමණට දරුවාට කිරි ලබාගැනීමට ඇති බාධක, මව හා දරුවා අතර සම්බන්ධය, දරුවා ස්ථාපිත කර ගැනීමේදී ඇති බලපෑම්, හඳුනා නොගත් පියයුරු ගැටළු, නොමේරු ළදරුවන් වීම යන මේ කිසිවක් ගැටලු නොවේ. දරුවා ලබන කිරි ප‍්‍රමාණය පිළිබඳ තක්සේරු කිරීමට මුත‍්‍රා කරන වාර ගණන වගේම දරුවාගේ බර කිරා බැලීමෙන්ද අදහසක් ලබාගත හැකියි. 

අලුත උපන් දරුවන්ගේ ශරීරයේ බිබිලි 

රතු බිබිලි/රතගාය නමින් වැඩිහිටියන් හඳුන්වනවා. ඒවාට ඖෂධ ප‍්‍රතිකාර කළ යුතු බවටත් ඒවාට හේතු වන රත් පැහැයට ඇති ආහාර හෝ උෂ්ණ අධික ආහාර මවට ලබා නොදිය යුතු බවටත් මතයක් පවතී. මවට ලබාදෙන ආහාර  මවගේ ශරීරය තුලදී දිරවීමට ලක් වන අතර ඒවායේ අවශ්‍ය පෝෂක කොටස් මවගේ රුධිර සැපයුම මගින් මව පෝෂණය කරන අතරම දරුවාට බලපෑමක් ඇති නොකරයි. දරුවන්ගේ ශරීරය තුල කුඩා බිබිලි හටගැනීම සාමාන්‍ය සිදු වීමක්. එසේ සිදුවන්නේ කුස තුල සිටියදී දරුවා සිටි පරිසරයත් දැන් සිටින පරිසරයත් අතර ඇති වෙනසට අනුවර්තනය වීමක් ලෙසයි. එනම් බිබිලි පිට දැමීම මගින් දරුවාගේ සමේ ක්‍ෂෙත‍්‍රඵලය වැඩි වීමක් සිදුවන අතරම දරුවා දිනපතා නෑවීමේදී මේ බිබිලි පහව යයි. ඖෂධ ලබාදීමෙන් විය හැක්කේ වෙනත් ආසාධන තත්ත්ව දරුවාට ඇති වීමයි. 

අලුත උපන් දරුවන්ගේ ඇඳුම්/රෙදි සේදීමේදී මිරිකන්න එපා

දරුවාගේ රෙදි මිරිකුවාම දරුවන් ඇඟ අඹරන බවට අදහසක් අප සමාජයේ පවතිනවා. එය අසත්‍යයක්. දරුවාගේ සෝදන රෙදි මිරිකීමත් දරුවා ඇඹරීමක් අතර සම්බන්ධයක් නැහැ. නමුත් විය හැක්කේ දරුවන් සඳහා තෝරා ගන්නා රෙදි සියුම් තුනී රෙදි බැවින් අනවශ්‍ය ලෙස මිරිකීම නිසා ඉක්මණින් ඉරීමට/දිරීමට හැකි නිසා භාවිත කල හැකි කාලය අඩුවීම, හැඩය වෙනස් වීම නිසා ඇන්දවීමට අපහසු වීම වැනි දේ සිදුවීමයි. 

දරුවන්ගේ ඇඬීම හා බාලගිරි දෝෂය

දරුවෙක් හැඞීමට හේතුවිය හැකි කරුණු මීට පෙර ලිපිවලදී සාකච්ඡා කළා. නිවසක බාලගිරි දෝෂය අද නොව හෙට ලෙස දැන්වීම දුටු විට නිවසට පැමිණීම අඩු වීම හෝ පැමිණෙන්නන්ගේ උස් ශබ්ද වලින් කරන කතා බහ අඩු වීම තුලින් දරුවාට දැනෙන කලබලකාරී හෝ ඝෝෂාකාරී හැඟීම් අඩු වීම මගින් හිමිවන සහනදායී වටපිටාව මින බාලගිරි දෝෂය නමින් දෝෂයක් නොමැත. 

පුංචි දරුවන්ගේ කොණ්ඩය කැපීම 

දරුවාගේ කොණ්ඩය කැපීම නිසා කතා බහ කිරීම අඩු වෙනවා හෝ ගොත ගැසීම වැනි කථන ගැටළු ඇති වේ යැයි ඇති සැකය විද්‍යාත්මකව තහවුරු කර නැත. නමුත් කොණ්ඩය දිගට පවතින විට දහදිය දැමීම, දහදිය රැඳී තිබීම නිසා සිදුවන අපහසුතා නිසා සමේ ගැටළු ඇති විය හැකියි. ඒවා නිසා ඇති වන නොසන්සුන්තා මිස වෙනත් ගැටළු ඇති නොවේ. එහෙත් කුඩා කල සිට වරින් වර කොණ්ඩය කෙටි කිරීම දරුවාට අනතුරක් නොවන සේ ප්‍රවේසමෙන් සිදු කළ යුතුය. දිගු කෙස් ගස් නිසා දරුවාට  ඇති වන අපහසුතා එවිට මග හරවා ගත හැකියි. 

මෙසේ යම් යම් මිත්‍යා මත පැවතියද ඒවා පිළිබඳව නිවැරදි ලෙස විග‍්‍රහ කිරීම හා පුහුණු සෞඛ්‍ය සේවකයෙකු සමග සාකච්ඡා කොට නිවැරදි තීන්දු වලට එළඹීමට ඔබට හැකිවනවා සේම සමාජයට යහපතක් ලෙස ඒවා පිළිබඳව ඇති සත්‍ය අසත්‍යතාව හා විද්‍යාත්මකව ඇති හේතු පැහැදිලි කිරීමට ඔබ ලබාගන්නා දැනුම භාවිත කිරීමද වැදගත් වේ. ඒ මගින් ඔබට මෙන්ම අන් අයටද ඒ දැනුම ලැබීම තුලින් දරුවන්ගේ වර්ධනයට වගේම සංවර්ධනයටද ඇති බාධාවන් ඉවත්ව යයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

මානසික රෝගයකින් හෝ ගැටළුවලින් පෙලෙන අයෙක් පෙන්නුම් කරන ලක්ෂණ 

ඔබ හෝ හිතවතෙකු මානසික රෝගයකින් හෝ ගැටලුවකින් පෙලේ නම් එය හඳුනාගන්නේ කෙසේද?

මානසික සුවය කොතරම් වටිනවාද යන්න පිළිබඳව අපි කෙතෙකුත් ඔබව දැනුවත් කර ඇති. යමෙක් මානසිකව රෝගී වෙයිද එය එම තැනැත්තාගේ ජීවිතය එපා යැයි සිතෙන මට්ටම දක්වා යා හැකිය. එවන් අවසානයක් කරා යොමු වීමට ප්‍රථම අපි අපේ මෙන්ම අප වටපිටාවේ වෙසෙන පුද්ගලයන්ගේ මානසික සුවය ගැන සැලකිලිමත් විය යුතුව ඇත. අන්න ඒ නිසාම අපි, අපිටම හෝ එසේත් නැතිනම් අපේ සමීපතමයෙකුට හෝ මානසිකට පීඩාවක් ගැටලුවක් ඇති බව වටහා ගැනීමට උත්සාහ කළ යුතුයි.

ශාරීරික ව  ඉතා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වුවද මානසික ව යම්කිසි රෝගයකින් හෝ ගැටලුවකින් පීඩා  විඳීමට හැක. ඇසට නොපෙනෙන මෙම මානසික රෝග මූලික අවස්ථාවේ දීම හඳුනාගත හැක්කේ නම් එම පුද්ගලයාගේ අදාළ රෝගී තත්ත්වය ඉක්මනින් සුව කිරීමටත් ඔහුට සහනයක් වීමටත් අප හට පුළුවනි. යම්කිසි මානසික රෝගයකින් හෝ මානසික ගැටළුවලින් පීඩා විඳින පුද්ගලයෙකු තුළ දිගින් දිගට පැවතෙන ලක්ෂණ කිහිපයක් සමීක්ෂණ ඇසුරෙන් දක්වා ඇත.

මානසික රෝගයකින් හෝ ගැටළුවලින් පෙලෙන අයෙක් පෙන්නුම් කරන ලක්ෂණ 

  • උදරයේ වේදනාව
  • කල්ගත වූ වේදනා තත්වය
  • ධනාත්මක සිතුවිලි වල හිඟකම
  • උමතු ස්වභාවයකින් යුක්ත වීම
  • නොරුස්නා ස්වභාවය
  • නින්ද නොයාම හා තනිව කරුවලේ සිටීමට උත්සාහ කිරීම

උදරයේ වේදනාව – අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ මිනිසකුගේ අන්ත්‍රය සහ මොළය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව යි. ඔබ ආතතියෙන් පෙලෙන අවස්ථාවල මොළයෙන් ආහාර ජීර්ණය ප්‍රමාද කරන ලෙස පණිවිඩයක් ලබා දෙන නිසා මෙම ආහාර ජීරණය ප්‍රමාද වීම සිදුවන අතර මොළය මෙලෙස පණිවිඩයක් ලබා දෙනුයේ ආහාර ජීර්ණය සඳහා වැයවන ශක්තිය රඳවා ගෙන එම ශක්තිය ආතතිය ගෙන දෙන ප්‍රශ්නය විසඳීම සඳහා යොදා ගැනීමටයි. මේ හේතු කාරණා මත උදරයේ වේදනාවක් බඩ පිපුම වැනි කාරණා මතු විය හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

කල්ගත වූ වේදනා තත්වය – කෙනෙක් දිගින් දිගට මානසික පීඩනයකින් පෙළේ නම් කල් ගත වූ කාංසා හා ආතති තත්වයක් නිසා මෙම කල්ගත වූ කායික වේදනා තත්ත්වයන්  උද්දීපනය වීමට ප්‍රබල ම හේතු සාධකය වන්නේ කල්ගත වූ මානසික වේදනා තත්ත්වයයි. එම නිසා මෙම රෝගී තත්ත්වය පලවා හැර  ගැනීම සඳහා ඔවුන් දිගින් දිගටම  වේදනානාශක ඖෂධ ලබාගැනීමට පෙළඹීමක් සිදු කෙරේ.

ධනාත්මක සිතුවිලි වල හිඟකම – කාංසාවේ මූලික ලක්ෂණය දවස පුරාම දුකින් අලසකමින් ගත කිරීමයි. කාංසාව යනු ඉතා සංකීර්ණ කාරණාවකි. එම තත්ත්වය කෙනෙකුගේ ශරීරයෙන් විවිධාකාර ලෙස පෙන්නුම් කළ හැක. මෙම කාංසාවේ ප්‍රධාන ලක්ෂණය නිතරම සෘණාත්මක සිතුවිලි වලින් කල් ගත කිරීමයි. මේ නිසා නිතරම අලසකමින් වැඩ කල් දමමින් ක්‍රියා කරයි.

උමතු ස්වභාවයකින් යුක්ත වීම – යම් අයකු විටෙක ඉතා උද්දීපන තත්ත්වයකින් ක්‍රියා කරන අතර විටෙක අධික සතුටකින් ක්‍රියා කිරීමයි.

ආහාර අරුචිය හෝ අධිකව ආහාර ගැනීම – කොතෙක් රසවත්, ආස කරන ආහාරයක් දුන්නද එය ප්‍රතික්ෂේප කිරීම හා ආහාර ගැනීමට මැලි වීම මෙන්ම අධිකව වරින් වර ආහාර ගැනීම හා නො නවත්වා වේගයෙන් ආහාර ගැනීම මෙහිදී දැකිය හැකිය.

නොරුස්නා ස්වභාවය – නිතර වරින් වර සිදුවන පුංචිම දේට පවා යටිගිරියෙන් කෑ ගසා රණ්ඩු වීම හා කෑගසා ඇඩීම.

නින්ද නොයාම හා තනිව කරුවලේ සිටීමට උත්සාහ කිරීම – කොතෙක් නින්ද ගියත් නින්ද නොයන බව පැවසීම සේම ඇත්තටම නින්ද නොයන ස්වභාවයක් ද පැවතිය හැක. නිතර සියලු දෙනාගෙන් දුරස් වී තනිව සිටීමට දැඩි උත්සාහයක යෙදීම හා අඳුරු ස්ථානවලට වී කාලය ගත කිරීමට වරෙන් වර පෙළඹීම.

මෙම කාරණාවලින් අවම කාරණා තුනක් හෝ යම් පුද්ගලයෙකුගෙන් එකවර පෙන්වන්නේ නම් එම පුද්ගලයා යම් කිසි මානසික පීඩන තත්වයකින් පෙලෙන බැවින්එය දැනගත් විගස ඔබ මනෝ උපදේශකයෙකු හෝ මනෝ වෛද්‍ය වරයෙකු වෙත එම පුද්ගලයාව යොමු කිරීම තුලින් මූලිකම අවස්තාවේදී ම එයින් මිදිය හැක .

ඔබේ සිත සතුටු කල හැකි හොදම පුද්ගලයා ඔබමයි ..

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිශ්ලේශන හා මනෝ චිකිත්සක උපදේෂිකා

නිරෝෂා රත්නප්‍රිය

0705137000

 


                

දිලීර හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්ව

අපට රෝග තත්ත්ව ඇති වන්නේ කුමන හේතුවක් නිසා කුමන අවස්ථාවේද යන්න පිළිබඳව සිතා ගත නොහැකත එය එසේ වුවද ඕනෑම අවස්ථාවකදී ඇති විය හැකි රෝග තත්ත්වයක් පිළිබදව යම් දැනුවත් බවක් පැවතිම රෝගය වළක්වා ගැනීමටද හේතුවන වැදගත් කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැත. වෛරස ආසාදන තත්ත්ව පිළිබදව අපි බොහෝ සෙයින් දැන්වත් වුවත් දිලීර හේතුවෙන් අපිට ඇති විය හැකි රෝග ගැන වැඩි දැනුමක් අප සතුව නැත. අන්න ඒ නිසාම දිලීර හේතුවෙන් හටගත හැකි රෝග දෙකක් සම්බන්ධව මේ ලිපිය තුළින් කතා කිරීමට බලාපොරොත්තු වේ. එනම් අළුහම් සහ Vulvovaginitis සම්බන්ධවයි.

අළුහම් 

අළුහම් යනු පරපෝෂි ශාකයක් නිසා සම මත ඇති වන රෝග තත්ත්වයකි. දිලීර නම් පරපෝෂිතයා හේතුවෙන් මෙම අළුහන් ඇති වේ. මේවා ශාක වන නමුත් ප‍්‍රභාසංස්ලේශණය නොකරයි.  ඕනෑම පුද්ගලයෙකු මෙම රෝගයෙන් ජීවිතයේ කෙදිනක හෝ අත්දැකීම් ලබා ඇත. 

අළුහම් මතුපිට, මධ්‍යස්ථයේ (Intermediate) මෙන්ම ගැඹුරු ලෙස ඇති විය හැකිය. කෙසේ වුවද ඇති වූ ස්ථානයෙන් දිලීරය ඉවත් වුවද කලක් යන තෙක් සමේ පැහැය වෙනස් නොවේ. 

අළුහම් ඇති වූ විට දැකිය හැකි ලක්‍ෂණ

  • රවුම් ලප – මෙම ලප තඹ පැහැති ආකාරයේ, සමේ පැහැයට වඩා අඩු පාටක හෝ රෝස පැහැයක් ගනී. 
  • විවිධ මාස වලදී පැහැය වෙනස්වීම
  • සම ගැලවී යාම
  • සමහරවිට කැසීම 

මෙය ඇති කරන ජීවියා Malassezia furfur වේ. මෙය දිලීරයෙකි. මෙම ජීවියා සම මතුපිට රෝග නොසාදමින් ජීවත් වේ.  මෙම රෝගය ස්පර්ශය හරහා කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවේ. මෙම රෝගයෙන්  ඕනෑම වයසක අයට ඇතිවිය හැකි අතර බහුලව දැකිය හැක්කේ තරුණ වැඩිහිටි අය අතර වේ. 

මෙම රෝගය ඇති කරවීම ඉක්මන් කරවන සාධක 

  • අධික උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය
  • තෙල් සමේ ගැල්වීම
  • අධික ලෙස දහදිය දැමීම
  • ප‍්‍රතිශක්තීකරණය අඩු කරවන ප‍්‍රතිකාර

අළුහම් ප‍්‍රතිකාර මගින් තුරන් කල හැකි වුවද ඉහත තත්ත්ව හේතූවෙන් නැවත ඇති වීම තීරණය වේ. 

අළුහම් ඇති වීමට හේතූ

මූලක ආකාරයට (mycelial) වර්ධනය වන දිලීරයක් වන අතර මෙහි ඝනය Malassezia. මෙම දිලීරය සාමාන්‍ය සමෙහි දැකිය හැක. මොවුන් ලිපිඩ මත ජීවත් වේ. මොවුන්ගේ ආකාර 4 ක් දැකිය හැක. වඩාත් සුලබ වර්ගය වන්නේ M furfur වේ. මොවුන් සාමාන්‍යයෙන් ස්නේහ ශ‍්‍රාවී ග‍්‍රන්ථි ආශ‍්‍රිතව ජීවත් වේ. Seborrhoeic ප‍්‍රදේශ වන හිස මත (හිසකබලේ), මුහුණ හා පපුව මත සිටී. මෙහිදී සුදු පැහැති හෝ වර්ණය අඩු (hypopigmented) වර්ගයේ රසායනිකයක් නිපදවන අතර එය අපිචර්මය හරහා ගොස් සමේ මෙලනින් වර්ණක සාදන ෙසෙල වල ක‍්‍රියාව අඩපණ කරයි. 

රෝග විනිශ්චය

  • කහ, කොල පැහැති Fluorescence ආලෝකය (black light) උපයෝගී කරගෙන රෝගය පවතින ප‍්‍රදේශ නිරීක්‍ෂණය. 
  • පොටෑසියම් හයිඩ්‍රොක්සයිස් භාවිත කරමින් සමේ සෛල සූරා ඉවත් කර ඒවා අන්වීක්‍ෂය ආධාරයෙන් පරීක්‍ෂා කිරීම මගින් . 

අළුහම් සඳහා ප‍්‍රතිකාර

  1. සුළු තත්ත්වයේ (ස්ථාන 1 – 2 පමණක්) පවති න අළුහම සඳහා ප‍්‍රති දිලීරනාශක කාරක ගැල්වීම කළ හැක. 

උදා: Selenium sulfide shampoo

Topical azole cream/shampoo (Econazole, ketoconazole)

Terbinafine gel

මෙම ඖෂධ නිකට මට්ටමේ සිට පහලට ගල්වා විනාඩි 5 – 15 කාලයක් තබා සෝදා හරින්න. සතියක්, දිනපතාද ඉන්පසුව මාසයක තුල සතියකට වතාවක් ද කල යුතුයි. 

2. ශරීරය පුරාම පවතී නම් පෙති ආකාරයට බීමට දිය යුතු වේ. 

උදා: Fluconazole, Itraconazole

මෙම පෙත්ත බී පැයක් පමණ තද බල ලෙස ව්‍යායාම කිරීමෙන් පසු දහදිය මගින් ඖෂධය සම මතට පැමිණේ. එවිට මෙම දිලීරය පහසුවෙන් ඉවත් කල හැක. පැය කිහිපයක් යනතුරු නෑම නොකල යුතුය. දින කිහිපයක් මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් දිගු කාලයක් පැවතුන අළුහම මාස කිහිපයකට සීමා කල හැක. 

අළුහම් ඇති වීම වළක්වා ගැනීමට 

Selenium sulfide shampoo මසකට වරක් එම පැල්ලම් මත ගැල්වීමෙන් නැවත නැවත ඇති වීම වළක්වා ගත හැක.

Vulvovaginitis

Vulvovaginitis ඇති වීමට ප‍්‍රධාන හේතුව බැක්ටීරියාවක් වුවද යීස්ට් (දීලිර), වෛරස, පරපෝෂිතයන්, පාරිසරික සාධක, ලිංගික සම්ප්‍රේෂණ රෝග, රසායනික හේතුද බලපෑ හැක. මෙම තත්ත්වය බහුලව ඇති කරවන බැක්ටීරියා වන්නේ Gardnerella යන ඒවාය. බැක්ටීරියා නිසා ඇති වන මෙම තත්ත්වයේදී අළු, සුදු පැහැති දුර්ගන්ද ශ‍්‍රාවයක් දැකිය හැක. මෙම ආසාධනය ඇති කරන දිලීර අතරින් බහුල වන දිලීරය වන්නේ Candida albicans යි. රසායනික ද්‍රව්‍ය ගැන සැලකීමේදී පහත රසායනිකයන් (Parabens, Sodium Sulfate, Fridosan, Dioxane වැනි රසායනික) හේතු විය හැකි අතර ඒවා සබන් වල, උපත් පාලන රසායනික ඵල අඩංගු වේ. එසේම අසාත්මිකතාවයන්ද දක්වයි. 

Vulvovaginitis තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ

මෙම ආසාධනය සඳහා හේතු වන කාරකය මත ඇති වන ලක්‍ෂණ වෙනස් වේ. පොදු වේ ඇති විය හැකි ලක්ෂණ ලෙස 

  • ලිංගික ප‍්‍රදේශයේ ඇති වන උද්දීපනය
  • අධරය හා පිටවීය කොටසේ ඇති වන ප‍්‍රදාහය – අධික ගන්ධන සහිත අධික ශ‍්‍රාවයන් 
  • මුත‍්‍රා පහ කිරීමේදී ඇති වන අපහසුව
  • දැවිල්ල
  • ඉදිමුම
  • වියළි බව
  • දදයක් හෝ දිය බුබල ඇති වීම

එසේම

  • මුත‍්‍රා පහ කිරීමේදී අපහසුව
  • ලිංගික සංසර්ගයේදී වේදනාව
  • සුළු රුධිරවහනයක් පැවතීම
  • ගන්ධය සහිත ශ‍්‍රාවයක් ඇති වීම 

Vulvovaginitis තත්ත්වය සඳහා ප්‍රතිකාර

මේ සඳහා ලබාදෙන ප‍්‍රතිකාරය මෙම ආසාධනය ඇති කිරීමට හේතු වූ ජීවියා මත පදනම් වේ. 

Candida albicansමෙමගින් ලිංගය ආශ‍්‍රිතව කැසීමක් ඇති වන අතර සුදු පැහැති ඝන යෝනි ශ‍්‍රාවයක් ඇති කරයි.

මෙම ආසාධනය ඇති කරන වෛරස ලෙස හර්පිස් හා මානව පැපිලෝමා වෛරසය (Human Papilloma virus HPV) දැක්විය හැකිය. 

පාරසරික සාධක ලෙස දුර්වල ස්වස්ථතාව හා ආසත්මිකකාරක හේතු වේ. තද ඇදුම් ඇදීමෙන් එම ස්ථාන වල සම ඇතිල්ලීමෙන් උද්දීපනයක් ඇති වන අතර තෙත රැුදීමද හේතුවේ. උද්දීපනයට ලක් වූ සම නිරෝගී සමකට වඩා මෙම තත්ත්වයට පත්වීමට ඉඩකඩ වැඩියි. 

ලිංගික ආශ‍්‍රිතව බෝවන රෝග ගැන සැලකීමේදී Trichomonas vaginitis එක් හේතුවකි. මෙහිදී ලිංගික පෙදෙස අපහසුතාවය, කැසීම, අධික ශ‍්‍රාවයන් ඇති වේ. මෙම ශ‍්‍රාව කහ, කොල හෝ අළු පැහැ විය හැක. අධික ගන්ධයක් පවතී. මීට අමතරව Chlamydia, Gonorrhea නිසාද ඇති වේ. 

වැළැක්වීමි

  • සුවද විලවුන් ගල්වන ලද සනීපාරක්‍ෂක නිෂ්පාදන වලින් වැළකීම. 
  • උණුසුම හා සිතල රැුදෙන ආකාරයට තදට ඇ`දුම් ඇදීමෙන් වළකින්න. 
  • ලිංගික සංසර්ගයේදී condoms භාවිතය
  • ජලය වි`ද සෝදා හැරීම නොකල යුතුය. එවිට යෝනි මාර්ගයේ ස්වභාවික බැක්ටීරියා ගහනය විනාශ වේ. 
  • උණුසුම දින වලදී කපු යට ඇ`දුම, භාවිතා කරන්න. 
  • ලිංගික සහකරුවන් එක් කෙනෙකුට වඩා ඇසුරු නොකරන්න. 
  • වැසිකිලි භාවිතයෙන් පසු ප‍්‍රවේසමෙන් පිස දමන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය

අපේක්ෂා රෝහල , මහරගම.

 

 

 


                

කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි කෑම දරුවන්ට දීම නුසුදුසුද?

මෙලොව උපන් සෑම දරුවකුගේම මුල්ම අහාරය මව්කිරි. මව් කිරි දරුවාට දෙන්නේ දරුවාගේ වර්ධන අවශ්‍යතාවයන් සියල්ල ඒ තුල අඩංගු නිසයි. ඒ නිසාම මුල් මාස 6 දරුවාට වෙනත් ආහාර අවශ්‍ය  නොවේ. ඒ, මව්කිරි වල දරුවාගේ වර්ධනයට, රෝග වලින් ආරක්‍ෂාවට, මනෝ සමාජීය සංවර්ධනයට ඒ කියන්නේ ජීවිතයකට අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් සමගම ආදරය, කරුණාවත් මුසු වී ඇති නිසයි. මව්කිරි බොන මව් ඇකය තරම් ආරක්‍ෂිත තැනක් දරුවෙකුට තවත් නැත. මෙවන් වූ සියලු අවශ්‍යතා මව්කිරි වලින් සපිරුණු දරුවා වැඩෙත්ම එයාගේ ක‍්‍රියාවලි වන ශක්ති ප‍්‍රමාණයන් වැඩි වන විට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවන අතරම එසේ වැඩිපුර අවශ්‍ය වන ශක්ති ප‍්‍රමාණයන් පියවීමට මාස 6 සම්පූර්ණ වූ විගස අමතර ආහාර ආරම්භ කරයි. 

අමතර ආහාර යනු මව්කිරි වලින් නොසපිරෙන අවශ්‍යතා සඳහා අමතරව ලබාදෙන පෝෂකාංග සපිරි ආහාරයි. මේ පෝෂකාංග සපිරි ආහාර,

  • ශක්තිය සපයන ශක්ති ජනක
  • ශරීරය වර්ධනය වෙමින් ගෙවී යන කොටස් අලුත්වැඩියා කරන වර්ධක
  • රෝග වලින් ආරක්‍ෂා කරමින් ක‍්‍රියාවලි නිසි පරිදි සිදු කරන ආරක්‍ෂක 

යන කොටස් තුනෙන් සමන්විත ආහාරයි.

අපි අහාර තෝරාගැනීමේදී මේ පෝෂණ අවශ්‍යතා සපිරෙන ලෙසින් ආහාර සකස් කළ යුතුයි. මීට අමතරව කුඩා ප‍්‍රමාණයකින් ආහාර ලබා දීමේදී ගුණාත්මක බව වැඩි ආහාර වර්ග තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය.

එහිදී,

  • ශක්තිය සැපයීම සඳහා – බත්, පාන්, අල, කොස්, දෙල් වැනි ආහාර. 
  • වර්ධන අවස්ථා සඳහා – මස්, මාළු, කරවල, බිත්තර, පියලි ඇට වර්ග
  • ආරක්‍ෂක ආහාර ලෙස – පළතුරු, එළවළු, පළා වර්ග

කොස්, දෙල්, මඤ්ඤොක්කා අමතර ආහාර පටන් ගැනීමේදී ලබා දීම සුදුසුද?

කොස්, දෙල්, මඤ්ඤොක්කා යනු පිෂ්ඨය වැඩි ප‍්‍රමාණයක් ඇති ආහාර වර්ගයි. ආසාත්මිකතා නැතිනම් වැඩි ශක්තියක් අවශ්‍ය දරුවන්ට මේ ආහාර වර්ග කුඩා කාලයේ සිටම ලබා දීමට හැකියි. එමගින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයද සපිරෙනු ඇත. අමතර ආහාර  අරඹා මසක් පමණ යන විට රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ඕනැම ආහාරයක් ලුණු, සීනි නොමැති ව ඕනෑම ආහාරයක් දරුවන්ට දිය හැකියි. 

මේ නිසා මාස 7, 8 වන විට මේ ආහාර දරුවන්ට ලබාදිය හැකියි. ඒ ප‍්‍රධාන ආහාර වේල සමග හෝ අමතර ආහාර වේලක් ලෙසයි. 

මඤ්ඤොක්කා/කොස්/දෙල් ප‍්‍රධාන ආහාරයට එකතු කරන්නේ නම් බත් සමග එකතු කර සාදා ගත හැකි අතරම කෙටි ආහාර වේලක් ලෙස දෙන්නේ නම්,

  • තම්බාගත් මඤ්ඤොක්කා/කොස්/දෙල් – පොල් සමග
  • මාළු/මස්/බිත්තර සමග – ඩෙවල් ලෙස
  • මාළු/මස්/බිත්තර සමග – කොත්තු ලෙස ලබා දිය හැකියි.                                             
  • මාස 7 වන විට දරුවන්ගේ ආහාරයට පොල් තෙල් එකතු කරන නිසාත් මේ ආහාර හොඳින් පොඩි කර ගත හැකි නිසාත් ආහාර වේල් සඳහා එකතු කිරීම පහසු වේ. 
  • මාස 9 පමණ වන විට කොස් සමග කිරි හොදි ලෙසද ලබාදිය හැකියි. 

කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි මේ ආහාර වල පිටි වලට අමතරව කෙඳි යම් ප‍්‍රමාණයක් අඩංගු නිසා ආහාරයේ ජීර්ණ ක‍්‍රියාවලියට ද පහසුවක් එක් කරයි. 

වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්ව හමුවේ දරුවන්ගේ ආහාර වේල් පිළිබඳව සැලකිලිමත් වීමේදී ගෙවත්තෙන් සපයා ගත හැකි ආහාර කෑම වේලට එකතු කිරීම තුලින් ආර්ථික වශයෙන්ද සහනයක් ලබාගත හැකිවා සේම එහි පෝෂණීය අගය වැඩි දියුණු කිරීම සඳහා එළවළු, පලා වර්ග එකතු කර පොල්, පොල් කිරි හෝ පොල්තෙල් එකතු කිරීම කල හැකියි. 

ප‍්‍රධාන වේල සඳහා බත් පමණක්ම ලබා දිය යුතු නැති වන අතරම බත් සමග මිශ‍්‍ර කරගැනීමෙන් ආහාර වේලේ පෝෂණ ගුණය මෙන්ම රසවත්භාවයත් ආකර්ශණීය බවත් ලෙසින් විවිධ ලෙස සකස් කරගැනීමට හැකිය. 

එසේම කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි දේ යොදා ගනිමින් ආහාර ස්නැක් ලෙස සකස් කර ගැනීමට ද හැකියාව ඇත. කට්ලට්, පැටිස් වැනි ආහාර සඳහා පිරවුමක් ලෙසට භාවිත කිරීමට ඇති හැකියාවත් ආහාර රුචිය ඉහළ දැමීමට හේතුවක් වනවා මෙන්ම ආහාරයේ විවිධත්වය ලෙසින්ද විශේෂිත බවක් පෙන්නුම් කරයි. එසේම කොස්, දෙල්, මඤ්ඤොක්කා යනු පහසුවෙන් පිස ගැනීමට ඇති හැකියාව නිසා දරුවන්ට සකස් කර දීමද පහසු වේ. 

අතීතයේ අපේ රටේ ප‍්‍රධාන ආහාර ලෙසින් සලකා ඇති මෙම කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි ආහාර අපේ දරුවනටද ඒ අයුරින් ලබාදීමට උත්සුක වීම තුලින් දරුවන්ගේ ශක්ති අවශ්‍යතා පරිපූර්ණ කිරීමට හැකියාව ලැබේ. නැවුම් ලෙසින් පිළියෙල කරගැනීමට ඇති හැකියාව නිසා ආහාරයේ රසවත් බව වැඩි වේ. 

කොස්, දෙල්, මඤ්ඤොක්කා වැනි ආහාර වතුරෙන් තැම්බීමට මෙන්ම හුමාලයෙන් තැම්බීම ද කල හැකි හෙයින් බත් පිසින අතරම වුවද සකස් කරගත හැකිවීමත් කිරිබත්, පිට්ටු, රොටී, හැලප, වණ්ඩු මෙන්ම කේක්, කොකිස් වැනි ආහාර සදහා වුවද යොදා ගැනීමට හැකි වීම තුලින් දරුවන්ගේ ආහාරයට විවිධත්වයක් එක්කල හැකි වේ. 

සෑම විටම දරුවන්ගේ ආහාර රුචිකත්වය වැඩි කිරීම සඳහා ආහාර වර්ගය, පෙනුම, පැහැය, රසය වගේම ගුණාත්මකභාවය වැඩි කල යුතු හෙයින් මෙවැනි විවිධත්වයෙන් යුතු ආහාර දරුවාගේ ආහාරයට එක් කිරීම පෝෂණ අගය වගේම ආර්ථිකයටද පහසුවක් වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

අළුත උපන් දරුවා වෙනිවැල්ගැට වතුරෙන් නෑවීම සුදුසුද?

මොනවද මේ වෙන වෙනිවැල්ගැට කියන්නේ.

උද්භිද විද්‍යාත්මකව Coscinium Fenestratum යන නාමයෙන් හඳුන්වන විශාල ශාකමත වැතිරී වැඩෙන වැලක් වන වෙනිවැල් ගැට ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වනාන්තර තුල දැකිය හැකිය. ශ‍්‍රී ලාංකීය පාරම්පරික හා ආයුර්වේද වෙදකමේදී මෙන්ම හෙල වෙදකමේදී මෙයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එසේ වන්නේ මෙම ශාකයේ ඇති අසීමාන්තික වූ ඖෂධ ගුණයන් නිසයි. 

සෙම් ප්‍රතිශ්‍යාව, උණ, ආසාත්මිකතා, ගෙඩි, සර්ප විෂ, මුඛ රෝග, දද, කුෂ්ඨ ආදි රෝග මෙන්ම අධික ලේ වහනය, සෙංගමාලය, පණු රෝග සඳහාත් ආහාර අජීර්ණය නිසා ඇති වන ආහාර අරුචිය සඳහා පමණක් නොව සිරුරේ සර්ව අංග ආශ‍්‍රිතව ඇති වන රෝග තත්ත්ව සඳහා ඖෂධයක් ලෙස භාවිත කිරීමට හැකි වන්නේ මෙම ශාකයේ වූ මේ අසීමාන්තික ගුණය හේතු කොටගෙනය. මෙහි ඖෂධීය ගුණය ගැන සිතද්දී අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ගලපා ගැනීම සඳහා මව්වරුන් උනන්දු වීම අරුමයක් නොවේ. දේශීය වෙදකම තුල නවජ දරුවන් සඳහා නෑවීමට ජලයට වෙනිවැල් ගැට එකතු කිරීම වරදක් සේ නොදකින්නේ ඉහත හේතූ නිසයි. එනම් සමට ආරක්‍ෂාවක් සැපයීම මෙන්ම ඒ මගින් සමේ රෝග සඳහා ප‍්‍රතිශක්තියක් ලැබීමට මෙය හේතුවක් විය හැකි හෙයිනි. 

අලුත උපන් දරුවෙකු වෙනිවැට ගැට තැම්බූ වතුරෙන් සේදීම සුදුසුද?‍

එසේ වුවද කුඩා දරුවා උපන් විගස මෙලොවදී තමන්ගේ පරිසරය වෙනස් වීම පෝෂණය සදහා අමතර වෙහෙසක් දැරීමට සිදුවීමට නිතැතින්ම සිදු වේ. ඒ මව්කුස සිටියදී ජලජ පරිසර වටා පිටාවක සිටීම මෙන්ම පෝෂණය වැදෑමහ හරහා සැපයෙන හෙයින් ආහාර අවශ්‍යතා සදහා අමතර වෙහෙසක් දැරීමට සිදු නොවේ. 

ළදරුවෙක් මෙලොව එළිය දුටු විගස පරිසර වෙනස, මවට ප‍්‍රසවයේ ඇති වෙහෙසකාරී බව මෙන්ම මව හා දරු සම්බන්ධතාවය හොඳින් ගොඩනඟා ගැනීමට ගත වන කාලය තුල දරුවාට ලැබෙන මව්කිරි ප‍්‍රමාණය අඩු වීම හෝ දරුවා උරාබොන මව්කිරි ප‍්‍රමාණය අඩුවීම නිසා ශරීරය කහ පැහැ වීම සිදු විය හැකියි. මෙසේ සිදු වන්නේ රතු රුධිර සෛල බිඳ වැටීම සමග එයින් ඇති වන බිලි රුබින් වර්ණකය නිසයි. මෙය දරුවාගේ ඇස්, නියපොතු මෙන්ම ශරීරය තුලින්ද දැකිය හැකියි. සමෙහි කහ පැහැය ඇති වීම මගින් දරුවාට ලැබුණු මව්කිරි ප‍්‍රමාණය අඩු වීම හෝ රුධිර ඝණ නොගැලපීම මතින් ඇති වන කහ පැහැවීමක් හෝ වෙනත් ආසාධන තත්ත්වයක් නිසා විය හැකියි. මෙය හඳුනා නොගත හොත් එය දරුවාට අනර්ථයක් විය හැකි තත්ත්වයක් හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

මෙසේ හෙයින් නවජ දරුවා වෙනිවැල් ගැට වලින් නෑවීමෙන් සම මත කහ පැහැයක් ඇති විය හැකි නිසා එය රෝගී තත්ත්වයක් ලෙස වටහා ගැනීමට හේතු විය හැකියි. වෙනිවැල්ගැට වතුරේ තැම්බෙන විට කහ පැහැයක් ඇති වේ. මේ කහ පැහැය සම මතට වැටීම නිසා සම කහ පැහැයක් ගැනීම සුළු වශයෙන් ඇති විය හැකිවා සේම දිගටම මෙසේ සිදු වීමෙන් එය දරුවා කහ වීමක් ලෙසින් තීරණය කොට වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීමටත් අනවශ්‍ය ලෙසින් රසායනාගාර පරීක්‍ෂණ වෙත යොමු කිරීමටත් හේතු විය හැකියි. ඒ වගේම දරුවාට කහ පැහැ වුවහොත් එය වෙනිවැල් ගැට වතුරෙන් සේදීම නිසා යැයි සිතා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවී සිටීමටද ඉඩ ඇත. මේ කරුණු දෙක නිසාම පළමුව දරුවා හොඳින් මව් කිරි උරා බොන්නේද යන්න හොඳින් තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. එය හොඳින් හඳුනාගත හැක්කේ දරුවා හොඳින් කිරි උරාබීම, කිරි උරා බිව් පසු දරුවා සංතෘප්තිමත්ව සිටීම, දිනකට 7, 8 වතාවක් මුත‍්‍රා පහ කිරීම යන කරුණු මෙන්ම සති 4 කදී පමණ බර කිරා බැලීමේදී දරුවාගේ වර්ධන රේඛාව නියමිත දිශාව වෙත යොමුව පිහිටීම යන කරුණු මගිනි. මේ කරුණු තහවුරු කර ගැනීම සිදුවන තෙක් දරුවා නෑවීම සඳහා පිරිසිදු ජලය පමණක් භාවිත කිරීම වඩාත් සුදුසු වේ. වෙනිවැල් ගැට මගින් දරුවාට වෙනත් අහිතකර තත්ත්වයක් ඇති වන බවක් සොයාගෙන නැතිමුත් කහ වීම යන්න දරුවාගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එක්කල හැකි තත්ත්වයක් හෙයින් අනවශ්‍ය ලෙස සම්මත කහපැහැය ඇති කරවිය හැකි දෙයින් මුල් කාලයේ ඈත්වීම වැදගත්ය. 

එසේම නවජ දරුවා සිටින කාමරයේ බිත්ති වල කහ පැහැය, දොර ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි, දරුවාගේ ඇඳුම් වල කහ පැහැය පවා ඇති විට අපට ඒ ඒ පරිසරය තුලදී දරුවා කහ පැහැයෙන් දැකිය හැකියි. මෙසේ හෙයින් දරුවා සඳහා කාමරය සකස් කිරීමේදීද මෙය ඉතා වැදගත් විය හැකියි. එසේම දොර ජනෙල් මෙන්ම ඇඳ ඇතිරිලි වල පැහැය පවා මේ දින වලදී ඉතා වැදගත්. එසේ හෙයින් මුල් දින වලදී දරුවා සදහා පිළියෙල කරන රෙදි පිළි සුදු පැහැති වීම වැදගත්. එසේ සුදු පැහැය යොදා ගැනීම කහ පැහැය පමණක් නොව, වෙනත් පැහැයක් හඳුනා ගැනීමට පවා වැදගත් වේ. උදාහරණයක් ලෙස හෘද රෝගයක් ඇති දරුවකු නිල් පැහැ වීම, දරුවාගේ මල සමග රුධිරය පිටවීම, ආදී අවස්ථාවන් වලදී වුවද ඒවයේ පැහැය හඳුනා ගැනීමට සුදු පැහැයෙන් දරුවාගේ රෙදි පිලි තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. 

එසේම මව ගැන සැලකුවහොත් ඇයටද පූර්ව ප‍්‍රසව සමයේ ඇඳුම් සකසා ගැනීමේදී ලා පැහැති ඇඳුම් සකසා ගැනීමට උපදෙස් ලබාදෙන්නේ මවගේ රුධිර වහනයක් වුවද හඳුනාගැනීමට පහසු වන ලෙසිනි. 

වෙනිවැල් ගැට නුසුදුසු දෙයක් නොව එය නිසා ඇති වන වැරදි වැටහීමක් නිසා දරුවාට අනර්ථයක් විය හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති. මේ නිසා එහි ඖෂධීය ගුණය පසුව දරුවාට ලබාදිය හැකි හෙයින් මුල් මාසය වත් පසුවන තුරු වෙනිවැල් වතුරින් දරුවා නෑවීම නොකල යුතුයි. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය හා බටහිර වෛද්‍ය ක‍්‍රමය අතර පවතින දුරස්ථභාවය නිසා සමහර මතිමතාන්තර ඇති වුවද වෙනිවැල්ගැට නෑවීම සම්බන්ධව ඇති විය හැකි තත්ත්වය ඉහතින් විස්තර කල දෙයම හෙයින් මේ පිළිබව නිවැරදි නිගමනයකට එළඹීමට ඔබට මේ කරුණු උදව් උපකාර කරගැනීමට හැකි වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

මස්දලු ලෙස පැවසෙන පොලිප්ස් ගැන ඔබ දන්නවාද?

 ඇතැම් අවස්ථාවල අයෙකුගේ සිරුරේ යම් ස්ථානයක මස් දල්ලක් ඇවිත් ඇති බව අපි නිතර අසා තිබෙනවා. මොකද්ද මේ මස්දල්ලක් කියන්නේ? එය ඇති විය හැක්කේ සිරුරේ කුමන තැන්වලද? 

මස් දල්ලක් ලෙස එය අප අසා ඇතත් වෛද්‍ය විද්‍යාත්මකව එය හඳුන්වන්නේ පොලිප්ස් ලෙසයි. පොලිප්ස් යනු  කුඩා, පැතලි ඉහළට මතු වී ඇති හෝ නටුවක ආකාරයට ඇති කුඩා බිම් මලක් වැනි පටක වර්ධනයකි. බොහෝ ඒවා කුඩා වන අතර අඟල් ½  ක් පමණ පළල වේ. ගර්භාෂය හා අන්තක වල පොලිප්ස් බහුලව ඇති විය හැකි අතරම ඊට  අමතරව කන හා ගැබ් ගෙලෙහිද ඇති විය හැක. 

මෙවැනි තත්ත්වයකදී Colonoscopy හෝ Endoscopy යන ක්‍රම උපයෝගී කරගනිමින් ඒවා ඉවත් කරන අතරම එම කොටස් පටක ජෛවීක්‍ෂාව (biopsy) සඳහා යොමු කරයි. කෙසේ වුවද බොහොමයක් පොලිප්ස් තත්ත්ව පිළිකා නොවන අතර කලාතුරකින් පිළිකා විය හැකි අතර රෝගියා යොමු කෙරෙන ප‍්‍රතිකාර ක්‍රමය රඳා පවතින්නේ එම පොලිප්ස් හෙවත් මස් දල්ලේ පිහිටීම, ප‍්‍රමාණය හා පිළිකාවක් ද නැද්ද යන කරුණු මතය.

පොලිප්ස් ඇති වීමට හේතුවක් නිශ්චිතව නොදන්නා නමුත් ආරයේ බලපෑමෙන් හෝ ආගන්තුක ද්‍රව්‍යයකින් ඇති වන ආසාධනයක් නිසා ද ඇති විය හැකි බවට විශ්වාස කෙරේ. ඒවායේ පිහිටීම මත ඇති වීමට අදාල වන හේතූ විවිධ වේ. ඊට අමතරව කුඩා ගෙඩියක් (Cyst), අර්බුදයක් (tumor) ද මෙයට හේතු විය හැකි බව පැවසේ.

පොලිප්ස් පිහිටි ස්ථානය අනුව රෝග ලක්‍ෂණ වෙනස් වේ. 

වර්ගය පිහිටීම ලක්‍ෂණ
1. ගුද මහන්තක පොලිපස (colorectal polyp) මහන්ත, ගුදය මළ වල රුධිරය තිබීම, උදර වේදනාව, මළ බද්ධය/පාචනය
2. ගර්භාෂය (Uterine endometrial polyp) ගර්භාෂ ආස්ථරය හා ගර්භාෂය තුල වඳභාවය, අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය, යෝනි රුධිර වහනය.
3. ගැබ් ගෙල (cervical polyp) ගැබ්ගෙල
  • බොහෝ විට ලක්‍ෂණ නොපෙන්වයි. 
  • සමහර විට අධික ලෙස ආර්තව රුධිර වහනයක් හෝ ලිංගික සංසර්ගයේදී රුධිර වහනය හෝ අසමාන් රාවයන් ඇති විය හැක.
4. ආමාශය ආමාශයික ස්ථරය හා ආමාශය තුල ඔක්කාරය, වේදනාව, වමනය, රුධිර වහනය
5. නාසය තුල (Nasal polyp) නාසය හෝ කෝටරක ආසන්නයේ හිසරදය, නාසයේ වේදනාව, ගඳ සුවඳ නොදැනීම 
6. කනේ – aural polyp කන තුල කන් නොඇසීම, කනෙන් රුධිරය ගැලීම
7. ස්වර තන්ත‍්‍ර (උගුර) ස්වර තන්ත‍්‍ර වල දවස් කිහිපයක, සති කිහිපයක් දක්වා පැවති කටහඬ ගොරෝසු වීම. 
8. මුත‍්‍රාශය මුත‍්‍රාශ ආස්තරය මුත‍්‍රා සමග රුධිරය පිටවීම, වේදනාත්මක මුත‍්‍රා පහ කිරීම, නිතර නිතර මුත‍්‍රා පහ කිරීමට සිදු වීම
9. පිත්තාශය පිත්තාශ ආස්තරය උදරයේ දකුණු පැත්තේ වේදනාව, ඔක්කාරය, කෑමේ අපහසුව

 

පොලිප්ස් ඇති වීමේ අවදානම් සාධක

බඩවැල් ආශ්‍රිතව ඇති වන පොලිප්ස් 

  • විශේෂිත ජානමය ලක්‍ෂණ
  • ආරය 
  • අධික මේදය හා තන්තු අඩු ආහාර
  • අවුරුදු 50 ට වඩා වැඩි වීම
  • පුරුෂයෙකු වීම
  • දුම්කොල හා මත්පැන් භාවිතය
  • අන්තක වල ආසාධිත  තත්ත්ව පැවතීම 

උදරය ආශ්‍රිතව ඇති වන පොලිප්ස්

  • වයසට යාම
  • පටක වල ඇති වන ආසාදන 
  • ආමාශය තුල බැක්ටීරියා ආසාධන

ගර්භාෂය ආශ්‍රිතව ඇති වන පොලිප්ස්

  • වයස අවුරුදු 60 වඩා වැඩි වීම
  • රුධිරයේ ඊස්ට‍්‍රජන් මට්ටම අධික වීම
  • ආර්තවහරණය වී තිබීම
  • රුධිර වහනය
  • Polycystic Ovarian Syndrome තත්ත්වය

ගැබ්ගෙල ආශ්‍රිතව ඇති වන පොලිප්ස්

  • ආර්තවහරණයට පත් නොවීම
  • එක් දරුවෙකු හෝ දරුවන් වැඩි ගණනක් බිහි කිරීම
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැවතීම

නාසය ආශ්‍රිතව ඇති වන පොලිප්ස්

  • කෝටර තුල ආසාධන
  • ආසාත්මිකතා
  • ඇදුම
  • Cystic fibrosis
  • Aspirin වලට දක්වන සංවේදී බව

ස්වර තන්ත්‍ර ආශ්‍රිතව ඇති වන පොලිප්ස් 

  • ස්වර තන්ත‍්‍ර  වෙහෙසට (හයියෙන් කෑ ගැසීම) පත්වීම  
  • දුම්පානය
  • රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය
  • ආමාශයක යුෂ උගුරට පැමිණීම

මුත්‍රාශය ආශ්‍රිතව ඇති වන පොලිප්ස්

  • පවුල් ඉතිහාස
  • හෙපටයිටීස් B ඇති වීම
  • නිතර නිතර පිත්තාශයේ ආසාදනයන් ඇති වීම

Polyp ඇති වීම වැළැක්වීම සඳහා සති දෙකක් සඳහා මිනිත්තු 150 ක කාලයක් ව්‍යායාමවල යෙදී පේශි ශක්තිමත් කිරීමත් දිනකට වාර අවමව 3 – 5 අතරක පලතුරු හා එළවළු අනුභව කිරීමත් මේදය සහිත ආහාර වලින් වැළකීම හා රතු මස් සහිත ආහාර අධික ලෙස නොගැනීම මෙන්ම ඇස්ප්‍රින් අඩු මාත‍්‍රාවක් ගැනීම (ගුද මහන්තක පිළිකා හා පොලිපස ඇති වීම අඩු කිරීම) ලබා ගැනීමට ද සැලකිලිමත් විය යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

වයසේ වැරැද්ද කියල ඉන්න එපා…

ඔබේ පුංචි පැටියා උස් මහත් වෙලා නව යොවුන් වයසට පැමිණියාම ඔවුන්ගේ හැසිරීමේ බොහෝ වෙනස්කම් ඇති වෙන්න පුලුවනි.ඉස්සර කාලයේ මව්පියන් මේවා අනේ ඉතින් වයසේ වැරුද්ද කියල ඔවුන්ගේ හැසිරීම් රටාව  සාධාරන කලා. එක් පැත්තකින් ඔවුන්ගේ පිළිගැනීමත් සාධාරණයි. විද්‍යාත්මකව සලකා බලන විටත් මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය අනුව නව යොවුන් දරුවන්ගේ හැසිරීම තුළ මේ අන්දමින් විවිධ ගැටුම් , හැලහැප්පීම් ඇති වෙන්න පුළුවනි.

මොළයේ ජීව විද්‍යාත්මක සැකැස්ම

වයස අවුරුදු 10 – 19 ක් අතර කාලයේදී මිනිස් මොළයේ වර්ධනය සිදු වෙන අතර දරුවා ශාරිරික ලෙසින්ද වර්ධනය වෙනවා. මේ කාලයේදී දරුවාට දැණුම වගේම සමාජ අත්දැකීම් උපයා ගත හැකි කාලයක්. මොළයේ බිලියන ගණනින් ස්නායු වර්ධනය වෙන අතර පවතින ස්නායු ශක්තිමත් වීම වගේම ක්ෂය වීම්ද සිදු වෙනවා.ක්ෂය වෙන ස්නායු නිසා අලුත් ස්නායුවලට වැඩන්න ඉඩ පරිසරය ඇති වෙනවා.ඒ සමග ස්නායු උත්තේජනය වගේම මොළයේ වර්ධනය සිදු වෙන අතරවාරයේ දරුවන් තරුණ කාලයේදී ලබන දැණුම සහ අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට බලපානවා.

මොළයේ පිටුපස කොටස

මොළයේ පිටුපස කොටස ඉව, ආවේග, චිත්තවේග හා ආක්‍රමණශීලී හැසිරීම සඳහා බලපාන අතර දරුවන්ගේ මෙම කොටස මුලින් වර්ධනය වෙනවා.

මොළයේ ඉදිරිපස කොටස

 ‘‘ලලාට කණ්ඩිකාව ‘‘හෙවත් මොළයේ ඉදිරිපස කොටස දියුණු කොටස ලෙසින් සැලකෙන අතර සන්සුන්බව,ප්‍රඥාව, තර්කානුකූලබව වෙනුවෙන් මෙම ලලාට කන්ඩිකාව සංවර්ධනය වීම බලපානවා. ඒ අවස්ථාවන්හිදී ප්‍රතිවිපාක ගැන සිතන්න, චිත්තවේග පාලනය,නැවත හිතා බලන්න වැනි ජීවිතයේ ගැටුම් සහ ගැටලු කළමනාකරනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.මොළයේ මෙම කොටස දරුවෙකුගේ වයස අවුරුදු 24 පමණ වෙන විට වර්ධනය වීමක් සිදු වෙනවා.

දැන් බොහොම තැන්පත්..

සමහර විට අම්මා, තාත්තා වුනත් එදාට වඩා අද ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්න පුරුදු වී තිබෙන්නේ ඔබේ ලලාට කණ්ඩිකාව දැන් සම්පූර්ණ වී අවසානයි. ඒ නිසා ආපස්සට හැරී බලන විට එදා ඔබේ  පැවැති ගති අද බොහොම සුමට ‍වී ඇති අන්දම අදහා ගන්නත් අපහසු ඇති.සමහර විට ඔබේ දරුවා අද හැසිරෙන ආකාරය හෙට දවසේ එනම් ලලාට කණ්ඩිකාව වර්ධනය වුන දිනකදී වෙනස් වීමට පුලුවනි. ඒ නිසා දරුවන් අතර ඔබ මේ වගේ ගති පැවැතුම් සහ හැසිරීම් දකින්න පුළුවනි.

නින්ද පිලිබඳ වෙනස්කම්

අද බොහෝ දරුවන් අතර මේ හැසිරීම ඉතාම පොදුයි. ඒ චෝදනාව ඔබ විද්‍යුත් මෙවලම් වෙත එල්ල කරනවා. රාත්‍රි කාලයේ අවදිව සිට උදේ දහය පමණ වෙන තෙක් නිදා ගැනීම අද තරුණ දරුවන්ගේ සාමාන්‍ය රටාවක් බවට පත් වී තිබෙනවා.සුවදායක නින්දක් නොලැබීම නිසා දරුවන් වෙතින් මේ වගේ ගති පැවැතුම් ප්‍රදර්ශනය වීමටත් ඉඩ තිබෙනවා.

  • නුරුස්නාබව
  • ඉවසීමක් නැහැ
  • හැකියාවන් අඩුයි
  • ඉගෙණුමට උනන්දු නැහැ.

 දෙමව්පියන් කරදරකාරයන් ලෙස සිතන්න පටන් ගන්නවා.

නව යොවුන්  වයසට එන විට තමන්ගේ ආදරණීය දෙමව්පියන් පවා කරදරකාරයන් ලෙස සිතන්නට දරුවන් පෙළඹෙනවා. අම්මා , තාත්තා මහත් වූ ආදරයෙන් කරන දෙය පවා ඔවුන්ට හිරිහැරයක් විදිහට සිතනවා. දැන් අපි ස්වාධීන කණ්ඩායමක් නිසා දෙමව්පියන්ගේ අවධානය ඔවුන්ට හිරිහැරයක්. ඒ නිසා දරුවා වෙත මහත් සෙනහසින් ආදරයෙන් කරන හැම දෙයක්ම දරුවා දකින්නේ මහත් වූ වධයක් විදිහටයි. ඉතින් ඒකටත් හේතුවක් තිබෙනවා. තවමත් ඔවුන්ගේ ලලාට කණ්ඩිකා කොටස වර්ධනය වී නැති නිසා අනේ අම්මා..තාත්තා අපට මේ දේවල් කරන්නේ ආදරයෙන් කියන විශ්වාදය ගොඩ නගා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැති වී තිබෙනවා. 

නීති කඩන්න…සමාජයේ ඉස්මතු වෙන්න කැමැතියි

නව යොවුන් දරුවන් සමාජයේ පවතින නීති රීති ගැන එතරම් තැකීමක් නොකරන අවස්ථා තිබෙනවා. හැම දරුවෙක්ම නොවුනත් ඔවුන්ගේ වයස නිසා නීතිවලට වෙනස් අන්දමින් කටයුතු කරන්න පෙළඹෙන්න පුළුවනි. කොටින්ම පෝලිමක වුනත් මැදින් පනින්න ඔවුන් කැමැතියි. එය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් එහෙම නැත්නම් නව යොවුන් වයසේදී ලබා ගත යුතු අත්දැකීමක් විදිහට සිතනවා. එය ඔවුන්ගේ වරදක් නොවෙයි. තවමත් සමාජ හැසිරීම්වල ප්‍රතිවිපාක ගැන සිතන්න තරම් මොලයේ ඉදිරිපස කොටස වර්ධනය වෙලා නැහැ.

ඇබ්බැහි වීම් දරුනුයි.

අපේ ජීවිතයේ සතුටට හේතු වෙන දෙයක් කරන විට සතුටු හෝර්මෝනය හෙවත් ‘‘ ඩොෆමින් “ උත්තේජනය වෙනවා. නව යොවුන් දරුවන් තුළ මෙවැනි සතුටු හෝර්මෝනයන් උත්තේජනය වෙන විට ඔවුන් දිගින් දිගටම ඒ කටයුතු වෙනුවෙන් යොමු වෙනවා. ඒ නිසා මේ කුනාටු සමය බොහොම ප්‍රෙව්සමින් ගනු දෙණු කළ යුතුයි. යම් විදිහකින් මත් වතුර , මත් කුඩු හෝ වෙනත් සමාජ විරෝධී කටයුත්තකින් දරුවා සතුටක් ලබන්නට යොමු වුනොත් ඒ වෙනුවෙන් ඇබ්බැහි විමක් ගොඩ නගා ගැනීමට තිබෙන ඉඩ කඩ වැඩියි.

දරුවන්ට සතුටත් අවශ්‍යයි.

වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් සතුට අවශ්‍යයි. ඒ නිසා දරුවන් වැරදි කටයුතුවල යෙදී ඒවාට ඇබ්බැහි වීමට පෙරාතුව ඔවුන්ගෙ ජීවිතයේ සතුට වෙනුවෙන් අවශ්‍ය මාර්ගයක් සාදා දෙන්න. සමහර විට දරුවා සංගීතය, චිත්‍ර වැනි දෙයක් ප්‍රිය කරාවි. ඒ වගේම ව්‍යයාම වෙනුවෙන් දරුවන් උනන්දු කරන්න. ව්‍යායාම කිරීමේදී මොළයට යහමින් ඔක්සිජන් පරිවහනය වෙන නිසා දරුවාගේ මානසික නිරෝගිතාවය ගොඩ නගා ගැනීම ඉතාමත් ඉතා පහසුයි.

තමා ගැනම ශෝක වීම

නව යොවුන් දරුවන්ගේ මානසික ගැටුම් අප දකිනවාට වඩා ප්‍රබලයි.සමාජ ඇසුරේදී ඔවුන් නිතරම තමා ගැනම බොහෝ සේ දුක් වෙනවා. පංතියේ මිතුරෙක් අමනාප වුනොත්..ආදර සම්බන්ධතාවයක් බිඳ වැටුනොත්..පංතියේ ගුරුවරයා හෝ දෙමව්පියන් දඬුවම් කලොත් ඒවා ගැන විශාල ලෙසින් පසුතැවීමට පත් වෙනවා. සමහර විට සිය දිවි හානි කර ගැනීම, පංතිය පාසල එපා වීම වැනි දරුණු තීන්දු තීරණ ගැනීමට පවා යොමු වෙනවා. ඒ සියල්ලටම හේතුව නිවරැදි ලෙසින් තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොළය සංවර්ධනය වී නැහැ. ඒ නිසා දරුව්නගේ ඉක්මන් තීරණ ගැන අනේ…මේච්චර මෝඩ ළමයි කියල හිතුවත් ඔබ හිතන විදිහට සාධාරණ තීන්දු තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොළයේ ඉදිරිපස කොටස සංවර්ධනය වී නැහැ.ප්‍රතිවිපාක හදුනා ගැනීම, නිවරැදි තීරණ ගැනීමට තරම් ඔවුන්ගේ මොලයේ ලලාට කන්ඩිකාව වර්ධනය වී නැති නිසාම ඔවුන්ගේ ආවේග සහ තීන්දු තීරණ බොහොම දරුණු වෙන්න පුළුවනි. අතීතයේ පවා වැඩිහිටියන් තරුණ වයසේ දරුවන්ගේ හැසිරීම්වලදී ‘‘ වයසේ වැරැද්ද….වෙන්නැති ‘‘  කිව්වෙත් මේ නිසාම වෙන්නත් ඇති.

නමුත්…අපට දරුවන්ගේ මොළයේ සංවර්ධනය නිසා මේ විදිහට හැසිරෙනවා කියල නිහඩව ඉන්නත් බැහැ.දරුවන්ට වයස නිසා වරදින්න ඉඩ දිය යුතු නැහැ. නමුත් දරුවන්ගේ ඇතැම් හැසිරීම්වලදි ඔබ දරුවන් සමග ගැටෙනවා වෙනුවට ඔවුන්ගේ චිත්තවේග බෙදා හදා ගත හැකි චරිතයක් බවට පත් වෙන්න.එවිට දරුවාට තමන්ගේ චිත්තවේග සුරැකියාව වෙනුවෙන් ඇති  ශක්තිය නිසා ඔබ සමග සමීපව ගැටුම් සහ ගැටලු කළමනාකරණය කර ගනිමින් ජීවිතයට මුහුණ දෙනු ඇති. අපට අවශ්‍ය වෙන්නේද එයයි.