Home Blog Page 22

මිග්රේන් හිසරදය- Migraine

මිග්රේන් හිසරදය සුලබ රෝග තත්වයක්. බොහෝ විට වයස අවුරුදු 10 න් ඉහළ සිට අවුරුදු පණහ පමණ වයස් කාණ්ඩයේදී සුලබවම මිග්රේන් රෝගීන් හඳුනා ගැනීමට පුලුවනි. මිග්රෙන් කියන්නේ තෙරපීමක් සමග ඇති වෙන ඉහිල් වීම (Throbbing-  pain )ක්.

සමහර විට ඔළුවේ එක් පැත්තකින් එන වේදනාවක්. වම් පැත්තෙන් හෝ දකුනු පැත්තෙන් ඇති වෙන්න පුලුවනි. අද දකුනු පැත්නේ ඇති වුනොත් හෙට වම් පැත්තෙන් ඇති වෙන්න පුලුවනි. ඇහැ යටින් වගේම. හිස  පිටුපසින්, ඉදිරියෙන් ඇති වෙන්නත් පුලුවනි.මිග්රේන් ඇති වෙන වාර ගණන සීමා කිරීමටත් අපහසුයි.

මිග්රේන් හිසරදය තත්වය ඇති වෙන්නේ ඇයි…?

මොළයේ රසායනික සංයුතිය වෙනස් වීම නිසා මොළය  ඇතුලත සහ පිටත පිහිටා තිබෙන රුධිර වාහිනී තාවකාලිකව තෙරපීම නිසා ස්නායුවලට බලපෑම් ඇති වෙනවා. බොහෝ විට රුධිර වාහිනී ප්‍රසාරනය වෙනවා. 

  • පවුල් ආරයේ මිග්රේන් රෝගය ගැන ඉතිහාසයක් තිබීම.
  • හෝර්මෝන වෙනස් වීම්

කාන්තාවන් අතර මේ හිසරද තත්වය පිරිමින්ට සාපේක්ෂව වැඩියෙන් දකින්න ලැබෙනවා. ආර්තවහරණයට පත් කාන්තාවන් අතර මිග්රේන් හිසරදය තත්වය අඩු මට්ටමක පවතිනවා.ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් වීමට දින දෙක තුනකට පෙරාතුව ඇති වෙන මිග්රේන් හිසරදය තත්වය ඔසප් දින දෙක තුනක කාලයක් පවතින්නත් පුලුවනි.ගැබිණි කාන්තාවන්ගේ ගැබ් දරණ කාලයේදී මිග්රේන් හිසරදය ඇති වීම අඩුයි.

  • මානසික තත්වයන් බලපානවා…

අද කාලයේ දරුවන් අතර මිග්රේන් හිසරදය තත්වය ඇති වීමට  මානසික ආතතිය, හේතුවක්.

අධික වෙහෙස සහ සෞන්දර්යාත්මක රස වින්දනයක් නොලැබීම

මාර්ගගත අධ්‍යාපනය හෙවත් ඔන්ලයින් වෙනුවෙන් කාලය ගෙවීම.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම.

  • හෝර්මෝන ප්‍රතිකාර

උපත්පාලනය වෙනුවෙන් ගනු ලබන ඖෂධ 

ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෝන් සම්බන්ධ ඖෂධ  (combine- hormone),හෝර්මෝන ප්‍රතිස්ථාපන  (hormone replacement) ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ඖෂධ

ඔබ මිග්රේන් හිසරද තත්වයෙන් පසු වෙනවා නම් සමහර විට හෝර්මෝන ප්‍රතිකාරවලදී මිග්රේන් තත්වය ඇති වෙන්න පුලුවනි. නමුත් ඖෂධ පාවිච්චි කිරීමෙන් මිග්රේන් හිසරදය ඇති නොවේ.

  • ආහාර පුරුදු

අපේ ආහාර පුරුදු මිග්රේන් හිසරදයට බලපාන්න පුලුවනි. දවසේ ආහාර වේල් මග හැරීම හෝ අනවශ්‍ය අන්දමින් බඩගින්නේ සිටීම .

  • සමහර ආහාර වලින් මිග්රේන් ඇති වීම

මිග්රේන් නමුත් ඒ වෙනුවෙන් පොදු වට්ටෝරුවක් නැහැ. එක් එක් අයට විවිධ ආහාර නිසා මිග්රේන් ඇති වෙන්න පුලුවනි. ඒ නිසා මිග්රේන් වෙනුවෙන් පොදු ආහාර ලැයිස්තුවක් සඳහන් කිරීම අපහසුයි.නමුත් යම් ආහාරයකින් තමන්ට මිග්රේන් ඇති වෙන බව දැනෙනවා නම් එම ආහාරයෙන් දුරස් වීම වැදගත්.

පාරිසරික හේතු

පරිසරයේ ඇති ආර්ද්‍රතාවය , සීතලඅධික ශබ්ද, ආලෝකය , විලවුන් සුවඳකූරු වැනි දේවල් වෙනුවෙන් හිසරදය උත්සන්න වීමට පුලුවනි.

කායික ක්‍රියාකාරකම්

අධික ලෙස සිරුර වෙහෙසවීම  සහ අධික ලෙස ව්‍යායාමයන්හි යෙදීම..නමුත් සිරුර වෙහෙසවීම නිසා මිග්රේන් ඇති නොවේ.

මිග්රේන් වර්ග කීපයක් තිබෙනවා

නිමිති පහල වීම-මිග්රේන් හිසරදයට පෙරාතුව ඇස ඉදිරියේ විදුලි කෙටීමක් වැනි යම් පූර්ව ලක්ෂණ ඇති වෙනවා. එවිට රෝගියාට දැන් හිසරදය ඇති වීමට ආසන්න බැව් තේරෙනවා. 

Migraine with out aura- මේ අවස්ථාවේදී හිසරදය තත්වය ගැන කිසිම සංඥාවක් නැහැ. 

මිග්රේන් හිසරදය තත්වය සමග ඇති රෝග ලක්ෂණ

හිසරදය/ ඔක්කාරය/වමනය/ ඇස ඉදිරියේ විදුලි කෙටීම වැනි තත්වයක්/ඇස් නිලංකාර වීම/ පරිසරයේ ආලෝකය සහ ශබ්ද දරා ගැනීමේ අපහසුතාවය/වෙහෙසකර බව/ කතා කිරීමට අකමැත්ත/ කැරකැවිල්ල/ අවදානය දැක්වීමේ අපහසුතාවයක්ලාන්තය : මෙය සාමාන්‍ය ක්ලාන්ත තත්වයක්. ආඝාතය සමග ඇති වෙන විසඥ වීම නොවේ.)දහඩිය දැමීම හෝ සීතල ගතිය/තරහ යෑම/ නොරිස්සුම් ගතිය/ආහාර අරුචිය /මුහුණ,අත, දිව, තොල් වැනි ස්ථානයන්හි හිරිවැටෙන ගතිය

කලාතුරකින් මේ තත්වය ඇති වෙන්න පුලුවනි.

කුඩා දරුවන්ට මිග්රේන් හිසරද තත්වය ඇති වීම බොහොම අඩු තත්වයක පවතී. සමහර විට කුඩා දරුවන්ගේ මිග්රේන් හිසරදය තත්වය සමග උදර වේදනාව, මල බුරුල් වී පිටවෙන්න පුලුවනි.නමුත් උදරයේ වේදනාව හෝ මල බුරුල් වී පිටවීම මිග්රේන් හිසරදය තත්වය යැයි වරදවා වටහා ගත යුතු නැහැ. මෙය එසේ විය හැකි බවට තිබෙන සම්භාව්‍යතාවයක් පමණයි.

මිග්රේන් හිසරදයට ප්‍රතිකාර අවශ්‍යද..?

මිග්රේන් හිසරදය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සාමාන්‍ය වේදනා නාශකයකින් සුවපත් වෙන්නත් පුලුවනි. එසේ නොමැතිව දින ගණනක් පවතින, නිරන්තරව ඇති වෙනවා නම් පවුලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න පුලුවනි.

මිග්රේන් හිසරදයේ අනතුරු සංඥාවන්  හෙවත් red flag

මිග්රේන් හිසරදය තත්වය සමග පහත දැක්වෙන රෝග දක්නට ලැබෙනවා නම් වහාම රෝගියා රෝහල්ගත කිරීම වැදගත්.එය දරුණු අවස්තාවක පෙර නිමිත්තක්. ඒවා red flag ලෙස සැලකිය යුතුයි

හිසරදය සමග රෝගියාගේ සිරුරේ පැත්තක් පණ නැති විම, ආඝාතය Stroke

කථා කිරීමේ අපහසුතාවය හෝ කතාව පැටලිලි සහිත වීම, මානසික ව්‍යාකුලතාවය වෙනදාට වඩා හිසරදය දරුනු සහිත හෝ අසාමාාන්‍ය බව දැනීම, හිසරදය සමග උණ ගතිය, (මොළයට විෂබිජයක් ඇතුලු වීම නිසා උණ වැනි රෝග තත්වයක් ඇති වීමට පුලුවනි.)   පෙනීම ද්විගුණ වී පෙනීම හෝ Fit හෙවත් අපස්මාර  තත්වයක් ඇති බවක් දැනේ නම් රෝගියා නොපමාව රෝහල්ගත කළ යුතුයි.

මිග්රේන් රෝගය නිශ්චිත ලෙස හඳුනා ගැනීමට පරීක්ෂණ…

මිග්රේන් රෝගය නිශ්චිත ලෙස හඳුනා ගැනීමට පරීක්ෂණ නැහැ.රුධිර පරීක්ෂණ මගින් මිග්රේන් රෝගය ගැන තහවුරුවීමක් කරන්න බැහැ. රෝගියා සමග සාකච්ඡා කිරීමෙන් සහ කායික පරීක්ෂා කිරීමෙන් රෝග ලක්ෂණ අනුව තීරණය කරනවා. ඒ නිසා මිග්රේන් රෝගින්ට මිග්රේන් දිනපොතක් (migraine diary) භාවිතා කිරීම වැදගත්.එවිට හිසරදය ඇති වෙන දිනය, වෙලාව සටහන් කරනවා. එම කාල අන්තරය , ආහාර සහ රටාව අනුව තහවුරු වීමක් ලබා ගත හැකියි.

මිග්රේන් හිසරදය ඉතා දරුනු අන්දමට තිබෙනවා නම් ඒ ගැන යම් සැකයක් රෝගියාට ඇති වෙන්න පුලුවනි. ඖෂධ මගින් අඩු නොවේ නම් ස්නායු වෛද්‍යවරයෙක් හමු වෙන්න. CT හෝ  MRI වැනි පරීක්ෂාවක් කරන්න පුලුවනි. මෙම පරීක්ෂන අතුරු රෝග තත්වය ගැන ඇති සැකය මත මිස මිග්රේන් තත්වය හඳුනා ගැනීමට සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂනයක් නොවෙයි.

මිග්රේන් තත්වයට සුදුසු ප්‍රතිකාර

විවේකය ඉතා වැදගත්.

මිග්රේන් තත්වය දරා ගැනීම අපහසු නම් සාමාන්‍ය වේදනා නාශකයක් ලබා ගන්න.පැරසිටමෝල් කාණ්ඩයේ ඖෂධයක් ඒ වෙනුවෙන් සුදුසුයි.

වේදනානාශක ලබා ගැනීමේදී…

වෛද්‍ය අවවාද මත පමණක් ලබා ගන්න.

අවශ්‍ය මාත්‍රාවට වඩා අඩු / වැඩි කරන්න එපා.

පමණට වඩා වේදනා නාශක ඖෂධ පාවිච්චි කිරීම සහ වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන්( medicine over use ) අක්මාවට හානි සිදු වෙන්න පුලුවනි.

ප්‍රති- වමන පෙති- මිග්රේන් හිසරදය සමග ඇති වෙන වමනය තත්වයට සහනයක් ලෙස ප්‍රති- වමන ( anti- vomit ) පෙති නිර්දේශ කරනවා.

මිග්රේන් නිසා අනාගත අවදානමක් තිබෙනවාද…?

මිග්රේන් රෝග තත්වය ඇති අය අනාගතයේදී  Stroke  ආඝාත තත්වයට ගොදුරු විමේ සුලූ අවදානමක් ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

එම්.ටී.එම් රිෆ්සි මහතා..(MBBS,MD,FRCP,(UK) FCCP

ස්නායුරෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සහ හිටපු සභාපති ශ්‍රි ලංකා ජාතික ආඝාත සංගමය 

 

 

 


                

ග්‍රැෆොලොජි, නැතිනම් අත් අකුරුවිශ්ලේෂනය මගින් හෙලිවන ඔබේ පෞරුෂ හෝඩුවාවන් ගැන දන්නවාද?

ග්‍රැෆොලොජි කියු සැනින් කෙනෙකුට එය එතරම් හුරුපුරුදු වචනයක් සේ නොදැනෙන්න පුළුවනි. නමුත් අත් අකුරු විශ්ලේෂණය ලෙසින් ඔබට එය සරල කලහොත් ඒ පිලිබද යම් අදහසක් ඕනෑම අයෙකු තුල ජනිතවන බවට විවාදයක් නැත. සැබැවින්ම ග්‍රැෆොලොජි  එසේත් නැතිනම් අත් අකුරු විශ්ලේෂණය අද බොහෝ රටවල්වල පුද්ගල පෞරුෂය පිළිබඳ හෝඩුවාවන් හෙලිකර දෙන ජනප්‍රිය ක්‍රමයක් ලෙස හදුනාගෙන හමාරය. අත්අකුරු වල භෞතික ලක්ෂණ හා ඒවායේ රටා විශ්ලේෂණය කිරීම තුලින් කෙනෙකු ගැන බොහෝ දේ අවබෝධයට ගත හැකි බව ඔබට මෙම ලිපිය අවසානයේ ඒත්තු යනු ඇත. අතින් ලිවීම යනු අප බොහෝ දෙනෙක් වැඩි කල්පනා කිරීමකින් තොරව කරන දෙයකි, නමුත් අප ලියන ආකාරය තුළින් අපේ පෞරුෂය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.

ඇත්තවශයෙන්ම පුද්ගලයෙකුගේ අත් අකුරු මඟින් ඔවුන්ගේ පෞරුෂත්වය පමණක් නොව ඔවුන්ගේ ජීවිත අහ්‍යන්තරයේ ඇති සැඟවුනු පැතිකඩයන් පවා විශාල වශයෙන් හඳුනාගත හැක. ගුරුවරුන් විසින් පාසලේදි සැමට එකම ආකාරයකින් අත් අකුරු හැඩ ලිවීමට  හුරු කලද ක්‍රමයෙන් අප හැදී වැඩී ජීවන මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපගේ අත් අකුරු අපටම ආවේණික පෞද්ගලික ශෛලියක් ගනී. තැපැල්කරු නිවසට පැමිණ ලබා දෙන ලිපියේ අත් අකුරු දුටු සැනින් ලිපිය එවා ඇති තැනැත්තා කවුරුන්ද යන්න පවා හඳුනාගැනීමට අපට හැකියාව ස්වභාවයෙන්ම ඇත. එසේනම් අත් අකුරු මනාව විශ්ලේෂණය කිරීම තුලින් ජීවිතයේ බොහෝ දෑ අනාවරණය කර ගත හැක.

අත් අකුරු විශ්ලේෂණය තුල ප්‍රධාන වශයෙන් ලක්ශණ කිපයක් මුලීකව සැලකිල්ලට ගෙන විශ්ලේෂණය කරයි.  ඒ අතර,

  • රේඛාවේ ගුණාත්මක බව
  • අකුරු වල ප්‍රමාණය
  • වචන සහ අකුරු වල ඇති පරතරය
  • පෑනට යොදන පීඩනය 

අත් අකුරුවලින් හෙලිවන ගති ලක්ෂණ 

1‍. අත් අකුරු වල ප්‍රමණය හා පරතරය අනුව කෙනෙකුගේ ගති ලක්ෂණ – මූලිකව යමෙකුගේ අත් අකුරු ගැන ඔබට කළ හැකි පළමු හා වඩාත්ම මූලික නිරීක්ෂණය මෙයයි. පිටුවේ රූල තුල තරමක් විශාල ප්‍රමාණයක අකුරු ලියන තැනැත්තා බොහෝ විට සමාජශීලී ගති පැවතුම් ඇති නිතර නිවසින් පිටත කාලය ගත කිරීමට රුචිකත්වයක් දක්වන කෙනෙකි. එම පුද්ගලයා නිතර අවධානයට කේන්ද්‍රගත වීමට තම වටපිටාව සකසා ගනී. ඔහු අන්‍යයන් තුල ව්‍යාජ විශ්වාසයක් ඇති කරලීමටද විශේෂ දක්ෂතාවක් දක්වයි. එසේම රූල තුළ කුඩා අකුරු ලියන තැනැත්තා බොහෝ විට ලැජ්ජාශීලී ගති පැවතුම් ඇති කෙනෙකි. ඔවුන් තුලින් බියජනක බවක් පෙන්නුම් කරන අතර තවත් අයුරකින් සූක්ෂමතාව සහ දැඩි අවධානයකින් සිය කටයුතු සිදුකරයි. ඉහත අන්ත දෙකම නොමැති සාමාන්‍ය ප්‍රමාණයේ අකුරු වලින් අදහස් කරන්නේ එම තැනැත්තා ජීවිතයේ හොඳින් හැඩගැසී ඇති තැනැත්තෙක් බවයි. ඔවුන් ඕනෑම තත්වයකට වහා අනුවර්තනය වීමේ  හැකියාවයක් පෙන්නුම් කරයි. ඔවුන් ජීවිතයේ කාරණාවල ලස්සන මැද බිමක් වාසය කරයි.

 

  1. වචන සහ අකුරු අතර ඇති පරතරයන් පරීක්ෂා කිරීම – සැලකිය යුතු පරතරයන් ඇති වචන වලින් ඇඟවෙන්නේ එම පුද්ගලයා තනිව සිටීමට අකමැති බවයි. ඔවුන් බොහෝ දුරට මිනිසුන් වටා සිටීමට තෝරාගෙන සිටී. එසේම ඔවුන් ස්වාධීනත්වය සහ විවෘත අවකාශය භුක්ති විඳිති. නමුත් විශ්වාසය පිළිබඳ ගැටලු ඇතිවීම නිසා ඔහුට ඔහු වටා සිටින සෙසු මිනිසුන් සමඟ ස්ථාවර සබඳතාවක් ඇති කර ගත නොහැකි බවක් පෙන්නුම් කරයි. එසේම ප්‍රියයන් සමග දැඩි බැඳීමක් මොවුන් තුලින් දිස් වේ. ඔවුන් අධෛර්යයට පත්වීමට කැමති නැති අතර ඔවුන්ගේ නිදහස අගය කරති. ලිපියක වචන සම්පුර්ණයෙන්ම පටලැවී තිබේ නම්, එනම් එකිනෙකට ඇලී පිහිටන්නේ නම් ඒ පිලිබඳ අත් අකුරු විශ්ලේෂණයකින් ඇඟවෙන්නේ එම තැනැත්තා ආක්‍රමණය කළ හැකි හෝ මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රවණතාවක් ඇති අයෙක් බවයි. එසේම අවුල් සහගත අභ්‍යන්තර ජීවිතයක් හෝ සමීපභාවයක අවශ්‍යතාවකින් පසුවන බවක් හගවයි. 
  2. පිටුවේ මායිම් – ලිවීමේදී පිටුවේ වම් පැත්තේ විශාල ඉඩ ප්‍රමාණයක් ඉඩ තබන්නේ නම් ඔවුන් අතීතයේ මඳක් වාසය කරන අයෙකු විය හැකිය. නිතර අතීත ස්මරණ ස්වභාවයක් ඔහුගේ සිත තුල හා ඔහුගේ කතාබහ තුල පෙන්නුම් කරයි. දකුණු අතට ඉඩක් තබා ඇත්නම් ඔවුන් අනාගතය ගැන ඕනෑවට වඩා කනස්සල්ලට පත්විය හැකි අතර ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න ගැන සිතමින් කනස්සල්ලට පත්වේ. පිටුව පුරාම ලියන පුද්ගලයෙකු, ධාවන මනසක් ඇති, තරමක් විස්මයජනක හැසිරීම් ඇති කෙනෙකි.
  3. අක්ෂරවල හැඩය – ලිහිල්, වටකුරු අකුරු භාවිතා කරන ලේඛකයෙකු වඩාත් පරිකල්පනීය ලක්ශණ උසුලයි. එමෙන්ම එම තැනැත්තන් නිර්මාණාත්මක හා කලාත්මක විය හැකිය. එසේම අකුරු පද බැදිමේදී වචනය තුල සියල්ලම අකුරු එකට සම්බන්ධ වන්නේ නම්, ලේඛකයා වඩාත් පිළිවෙල හා විධිමත් තැනැත්තෙකි. එමෙන්ම ආක්‍රමණශීලීත්වය රඳවා තබා ගත හැකි බුද්ධිමත් පුද්ගලයෙකු සතුවද එම ස්වභාවය පෙන්නුම් කරයි.
  4. අත්සන පරීක්ෂා කිරීම – පැහැදිලි අත්සනක් පෙන්නුම් කරන්නේ නම් ඔවුන් වඩා ස්වයං සහතිකයක් සහ තමන් ගැන සෑහීමකට පත්වන බව හගවයි. ඉක්මණින් අවිනිශ්චිතව කළ අත්සනක් නම් ඔහු නොඉවසිලිමත් වන අතර හා කාර්යක්‍ෂමතාව අගය කරයි. ප්‍රවේශමෙන් අත්සන් කිරීමෙන් අත්සන් කරන්නා නිර්වද්‍ය හා ස්වාධීන බව පෙනීයයි.
  5. වචන සහ අකුරු මත ඇති බෑවුම අනුව විශ්ලේෂණය – අකුරු හා වචන දකුණට හෝ වමට නැඹුරු (ඇල) විය හැකිය, නැතහොත් ඒවා පරිපූර්ණ ලෙස කෙළින් විය හැකිය. කෙනෙකු දකුණු නැඹුරුවට අත් අකුරු ලියන්නේ නම් බොහෝ විට නව දේවල් අත්හදා බැලීමට සහ නව පුද්ගලයින් හමුවීමට ඔවුන් තුල උද්යෝගයක් ඇතිකරන ස්වභාවයක් පෙන්නුම් කරයි. වචන හෝ අකුරු වම් පැත්තට නැඹුරු වන ලේඛකයින් ඔවුන්ගේ හුදකලාව සහ නිර්නාමික භාවය භුක්ති විඳීමට කැමත්කක් දක්වයි. එසේම පුද්ගලයෙකුගේ ලිවීම ඉහළට හෝ කෙලින් අතට නම්, ඒය බොහෝ විට තාර්කික මනසක් හෙබි කෙනෙකු අයත් විය හැකිය.
  6. ඔවුන් ලිවීමට භාවිතා කළ පීඩනය – සාමාන්‍යය බරක් පෑනට නොයොදා අධික පීඩනයකින් ලියන අය සාමාන්‍යයෙන් දේවල් ඉතා බැරෑරුම් ලෙස සලකති, එසේම ගුප්ත ස්වභාවයක් දරයි. දෘඩ හා වාෂ්පශීලී සිතුවිලි ඔවුන්ගෙ තවත් ලක්ශණයකි. ඉතා සැහැල්ලුවෙන් ලියන පුද්ගලයින් සාමාන්‍යයෙන් සංවේදී හා දයානුකම්පිත අය වෙති. එහෙත් ඔවුන්ට ශක්තිය හා ජීවනෝපාය සම්බන්ධයෙන් වැඩි තැකීමක් නොමැති අය වෙයි.
  7. ලිවීමේ වේගය – කෙනෙකු තරමක් ඉක්මනින් අක්ෂර ලියන්නේ නම් ඔහු නොඉවසිලිමත් වීමට සහ කාලය නාස්ති කිරීමට අකමැති වීමට බොහෝ ඉඩ ඇත.එසේම ස්වයං විශ්වාසවන්ත බව ද ඔවුන්ගෙ ස්වභාවයකි.  ක්‍රියාශීලි කඩිසරභාවයක් සහ ගතිකභාවයක් ද වේගවත් ලිවීමට උරුම වේ. ඔවුන්ට චතුර ලෙස කථා කිරීමේ හැකියාවද පිහිටයි. පොදු සබඳතා තුල විශිෂ්ටයින් වන මොවුන් බලපෑම්කාරී බැඳීම් පහසුවෙන් ඇති කර ගනී. අණ කිරීමේ හැකියාව ඔවුන්ට ඇති නමුත් යටත් වීමේ කාර්යයන් දුෂ්කරතාවයකින් තොරව කළ හැකිය. අඩු වේගයකින් ලියවෙන තැනැත්තා සන්සුන් හා සංවිධිත අය වෙති. ඔවුන් සිය ක්‍රියාකාරකම් පරිපූර්ණත්වයෙන් හා මන්දගාමීව, සන්සුන්ව දියුණු කරති. ඔවුන්ට විශාල ස්වයං පාලනයක පිළිබිඹුවක් ඇත. බුද්ධියට පෙර තර්කානුකූලව ඔවුන් මෙහෙයවනු ලැබේ. ඔවුන්ගේ තීරණ ගැනීමට ගතවන කාලය තරමක් සාපේක්ෂව වැඩි බවක් ද පෙන්නුම් කරයි.

මැද වේගයකින් ලිවීම ස්වභාවය කර ගත් තැනැත්තා සමබර පෞරුෂයක් හා සම්බන්ධ වන අතර, විටින් විට සහජ බුද්ධිය ක්‍රියාත්මක වන අතර අනෙක් ඒවා තර්කානුකූලව එකමුතු ආකාරයකින් ඒකාබද්ධ වේ.ඔවුන්ට ද අණ දෙන තනතුරු මෙන්ම යටත් වීමද ක්‍රියාත්මක කළ හැකිය

අසත්‍ය ප්‍රකාශ හදුනා ආකාරය,

ලිඛිත ඇති අසත්‍යය ලියවිලි හඳුනා ගැනීමට සෙසු ලිවීම් හා සන්සන්දනය කරන විට අසත්‍ය ලියවිල්ලක් තුල යම්කිසි අවහිරතා පෙන්නුම් කරයි. ලිඛිත බොරුවක් ඉක්මන් විලාශයක් දක්නට ඇත. එනම් පැවසීමට අවැසි කරණ ඉක්මණින් ප්‍රකාශ කර ඇති බව පෙන්නුම් කරයි. එහි ප්‍රකාශ ගලා යෑමේ බාධා ඇති බව දැනෙන්නට ගනී. සමහර විට ලිවීමේ කොටසක් ඉක්මන් වන අතර අනෙක් ඒවා ඉතා සූක්ෂම ලෙස ලියා තිබීමටද පිළිවන.

ලිඛිත බොරුව අනෙක් ලිවීමට වඩා අඩු ලෙස මුද්‍රණය වීම සිදුවන්නකි. 

එල්” සහ “ඊ” අක්ෂර මඟින් නිර්මිත ලූපයන් මඟින් පුද්ගලයෙකුගේ ස්වභාවය යෝජනා කළ හැකිය, උදාහරණයක් ලෙස පුළුල් ලූපයන් යන්නෙන් අදහස් කරන්නේ යමෙකු සැහැල්ලුවෙන් හා ස්වයං සිද්ධව මෙන්ම විවෘත මනසක් ඇති අයෙකු බවයි. පටු ලූප ලියන පුද්ගලයින් අන් අය ගැන සැක පහළ කරන අතර යම් යම් ක්‍රියාකාරකම් වලින් සීමා විය හැකි අතර එමඟින් ආතතිය ඇති වේ.

ඡේදයක විරාම ලකුණ අනුව ස්වභාවය.

ලිපියේ ඡේදවල විරාම ලකුණ පාදයට ඉහළින් පිහිටා තිබේ, ඒ නම් අවසාන අකුරේ පතුලට මඳක් උස්ව තබන්නේ නම්, එයින් ඇඟ වෙන්නේ ලේඛකයාට විශාල පරිකල්පනයක් ඇති බවයි. විරාම ලකුණ පාදයට සමීප නම් ඔහු ජීවිතයේ බොහෝ තැන් වල අනුකම්පා විරහිත ගති පවතුම් ඇති අයෙකි. 

වැඩිපුර විරාම ලකුණු භාවිතා කරන්නෙකු වේ නම් ඔහු තරමක ආවේගශීලී ගති පැවතුම් ඇති අයෙකු සේ හදුනාගත හැක.

එසේම නිසි විරාම ලකුණු නොමැතිව කෙනෙකු ලියවිල්ල සම්පුර්ණ කර ඇත්නම් හෙතෙම ජීවිතය තරමක් ව්‍යාකූල ස්වභාවයක පවත්වාගෙන යන්නෙකි. විරාම ලකුණ තිතක් ලෙස නොව රවුමක් සේ භාවිතා කරන අයෙකු වේ නම් ඔහු තුල ළමා ගති ලක්ශණ නිතර මතුවෙන හා චිත්තවේගී ස්වභාවයක් ඇත.

ලියවිල්ලේ ජේදයේ සම්බන්ධය අනුව ස්වභාව.

ඔබේ ලියවිල්ලේ ඡේදයන් අතර ගොඩනැඟෙන සම්බන්ධය හෝ විසන්ධි වී ඇති ආකාරය අනුව ස්වභාවය වෙන්කොට ගලපා ගත හැක. ඔබ ලියන විට ඔබේ ලිපි ඡේද එකකින් අනෙකට නිතර සම්බන්ධ වේ නම් එයින් අදහස් කරන්නේ එම තැනැත්තා ඉතා තර්කානුකූල වන බවත් එම තීරණ බොහෝමයක් කරුණු හා අත්දැකීම් මත පදනම් වූ ඒවා බවත්ය. එම ලිපි විසන්ධි වී ඇත්නම්, එම තැනැත්තා වඩාත් පරිකල්පනීය හා ආවේගශීලී විය හැකි මෙන්ම තීරණ බුද්ධිය මත පදනම් විය හැකි බවය.

පාඨයේ සෘජුබව අනුව ස්වභාවය.

පිටුව තුල යම් පාඨයක් ලිවීමේදී එම පාඨයේ සෘජුව පිහිටියේ ද නැද්ද යන්න අනුව පුද්ගල ස්වභාවය අනුමාන කල හැක. මූලික රේඛාවේ සිට පාඨය ඉහළට දිවෙන ස්වරූපයක් ගන්නෙ නම්, එනම් පිටුව තුල දිගට යම් පාඨයක් ක්‍රමයෙන් එහි මාර්ගය ඉහලට ගමන් කරයි නම් ශුභවාදී දෘෂ්ටියක් ඇති අයෙක් සේ පෙන්නුම් කරන අතර පහළට අශුභවාදී මනෝභාවයකින් පිරුණු හිත තුල නිතර සැක සැක සංකා මතුවන කෙනෙක් සේ හඳුනාගත හැක.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝවිශ්ලේශන හා මනෝ චිකිත්සක උපදේෂිකා

නිරෝෂා රත්නප්‍රිය

0705137000

 


                

දරුවාගේ කියවීමේ කුසලතා (Reading skills) පිළිබඳ දැනුවත් වෙමු.

දරුවාගේ භාෂා කුසලතා වලම ඉදිරි පියවරක් ලෙස කියවීමේ කුසලතා හඳුන්වා දිය හැකිය. දරුවකු මවු කුස පිළිසිඳ ගත් දා පටන් දරුවාගේ භාෂා කුසලතා දියුණු වීම ආරම්භ වන අතර මෙලොව එලිය දුටු දා පටන් දරුවාගේ කතාව, භාෂාව, සන්නිවේදනය ගොඩ නැගෙන ආකාරය හා එම එක් එක් කුසලතා පිළිබඳ ඔබ බොහෝ දැනුවත්. නමුත් දරුවාගේ වැඩෙත්ම අධ්‍යාපනයට යොමු වීමත් සමඟ දරුවන් ප්‍රගුණ කළ යුතු කියවීමේ කුසලතා පිළිබඳ ඔබ දැනුවත්ද? දරුවාගේ කියවීම කුසලතා එම දරුවාගේ භාෂා භාවිතය, අවබෝධය, සන්නිවේදනය හා අධ්‍යාපන කුසලතා වල ප්‍රගතියටත් හේතුවනවා ඇත. අද අප සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ එය පිළිබඳවයි. 

  1.  දරුවන් කියවීම ආරම්භ කරන්නේ කෙසේද? 

පළමුව දරුවන් ශබ්ද එකතු කර වචන කියවීමට පෙර සිදු කරන්නේ පොතපත පෙරළීමයි. හොඳින් නිරීක්ෂණය කළහොත් ඔබේ දරුවා ද පළමුව සිදු කරන්නේ එයයි. දරුවා මුලින්ම පොත්ගෙන පෙරලමින් රූප කියවීම, තමා දන්නා දේ පෙන්වා ප්‍රකාශ කිරීම ආරම්භ කරනු ලබයි. එමගින් දරුවා ලිඛිත භාෂාව පිළිබඳ පළමු අවබෝධය ලබා ගනියි. එපමණක් නොව තේරුමක් ඇති දේ ප්‍රකාශ කිරීමද ආරම්භ කරනු ලබයි.

දරුවා පෙර පාසල් යාමත් සමග බොහෝ අකුරු හා එහි ශබ්ද අතර ඇති සම්බන්ධය හඳුනා ගැනීම ආරම්භ කිරීමත් සමග දරුවා ශබ්ද හා අකුරු අතර ඇති සම්බන්ධතාවය අවබෝධ කරගනියි (phonological awareness). 

  1. ශබ්ද අතර ඇති සම්බන්ධතාවය පිලිබඳ අවබෝදය (phonological awareness) යනු කුමක්ද?

දරුවෙකුගේ කියවීම හා ලිවීමේ කුසලතා දියුණු වීමට අත්‍යවශ්‍යයෙන් ම දියුණු විය යුතු පළමු කුසලතාවය මෙයයි. phonological awareness යනු විවිධ ශබ්ද හඳුනා ගැනීම හා ඒවා එකතු කරමින් වචන සෑදෙන අයුරු හඳුනා ගැනීමයි. දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් තුළින් මෙම කුසලතා දියුණු කරගෙන ගත හැකිය. පොදු කියවීම් කාලයක් වෙන් කිරීම හෝ වෙනම කාලයක් වෙන් කර විවිධ ශබ්ද වචන ආදිය හඳුන්වා දීම ඔබට සිදුකළ හැකිය. 

  1. කියවීම දියුණුවීමට අවශ්‍ය වෙනත් කුසලතා මොනවාද?

මේ සඳහා අවශ්‍ය වන කුසලතා බොහෝමයක් පවතී. ඒ අතර Print awareness දරුවන් ප්‍රථමයෙන් ම ප්‍රගුණ කරනු ලබයි. එනම් පොතක නිවැරදි දිශාව, පැත්ත හඳුනාගැනීම, නිසිලෙස පොත දිග හැරීම ආදිය යි. මෙහිදී දරුවන් පොත්වල පවතින ලාංඡන, රූප ආදිය නිවැරදි දිශාවට හරවා පෙන්වමින් නම් කරයි නම් දරුවා මෙම කුසලතාවය ළඟා වී ඇති බව ඔබට තහවුරු කරගත හැකිය. 

ඇතැම් දරුවන් පොත් නිවැරදි නොවන පැත්තට හරවාගෙන සිටිනවා ඔබ දැක තිබෙන්නට ඇත. පින්තූර උඩ යටට සිටින සේ පෙරලීම, පොත අග සිට මුලට සිටින සේ පෙරලනවා නම් දරුවාගේ මෙම Print awareness තවම දියුණු වී නොමැති බව පවසන සංඥාවේ. මේ සඳහා දරුවා පොත් වල ඇති වචන වාක්‍ය කියවීමට පෙර ඔබ දරුවා සමඟ පොත නිවැරදිව පෙරළෙන අයුරු, නිවැරැදි පැත්තට දිශාවට තබා ගන්නා අයුරු ආදිය පුහුණු වන්න.

ඉන් පසුව දරුවාගේ දියුණු විය යුතු කුසලතාවය වන්නේ වමේ සිට දකුණට ඇස ගෙනයාම යි. මෙය ඔබට ඔබේ දරුවාට කියා දිය හැකි සරල කුසලතාවයකි. මන්ද අප කියවන්නේ වමේ සිට දකුණට බව ඔබ දන්නා කරුණකි. ඒ සඳහා ඔබ පොත පෙරලා දරුවාගේ ඇඟිල්ල වචන මත තබා වමේ සිට දකුණට පෙන්වමින් ඇඟිල්ල ගෙන යමින් පොත කියවීම තුලින් දරුවට මුල්කාලයේ කියවීම පහසු වනු ඇත. 

පසුව දරුවාගේ අක්ෂර දැනුම, අක්ෂරයට අදාල ශබ්දය තහවුරු කර ගැනීම යන කුසලතා දියුණු විය යුතුය. එහිදී දරුවාගේ අකුරු හැඳිනිම, එම අක්ෂරයට අදාල ශබ්දය උච්චාරණය කිරීමත් එම අක්ෂර වලට අදාල ශබ්ද එකතු කර අදාල වචනය කියවීමත් යන කුසලතා වෙත ළඟා වනු ඇත. මේ ආකාරයට පළමුව ශබ්ද එකතු කර වචනත්, වචන එකතු කරමින් වාක්‍යයත්, වාක්‍ය එකතු කරමින් පරිච්ඡේදත් දරුවා ක්‍රමයෙන් කියවීම ට හුරු වනු ඇත. තවද දරුවා කාලයත් සමඟ අක්ෂර වින්‍යාසය, පිල්ලම්, ව්‍යාකරණ ආදිය ද ඉගෙන ගනු ලබයි.

අවසානයේදී කියවීමේ අවබෝධය (reading comprehension) යන කුසලතා ද දියුණු වීම අවශ්‍ය වේ. මන්ද දරුවා කොතරම් හොඳට කියවීම සිදුකළ ද කියවීමෙන් පසුව තමා කියවූ දේ පිළිබඳ අවබෝධය මනා අවබෝධයක් තිබිය යුතුමය. උදාහරණ ලෙස දරුවා කතන්දරයක් කියෙව්වොත් එම කතන්දරය ආශ්‍රයෙන් යම් ප්‍රශ්නයක් ඇසුවහොත් ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දීමට දරුවාට හැකියාව තිබිය යුතුය. මෙම කුසලතාවය දියුණු කිරීම සඳහා ඔබට දරුවා සමග නිතරම කියවීම් එය පරීක්ෂා කිරීමට ද හැකිය. 

  1. දරුවකුගේ කියවීමේ කුසලතා වල ඇති වටිනාකම කෙබඳුද?

කියවීම යනු දරුවකුගේ ජීවිත කාලයටම බලපාන කුසලතාවයකි. මෙමගින් දරුවන් අධ්‍යාපන කුසලතා, සමාජීය කුසලතා, බුද්ධිමය කුසලතා මෙන්ම නිර්මාණශීලීත්වය කෙරෙහි ද භාෂා භාවිතය කෙරෙහි ද බලපෑම් සිදු කරනු ඇත. තවද කියවීම තුළින් දරුවා අලුත් වචන, දැනුම ද සොයා ගනු ලබයි. එපමණක් නොව කියවීම දරුවන්ගේ ලිවීමේ කුසලතා කෙරෙහිද බලපාන සිදුකරනු ලබයි.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.  

 

පුංචි බණ්ඩියේ ඉඩ නැතිනම්..

හැම දෙමව්පියෙකුගේම එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවා ඉක්මනින් උස් මහත් කර ගැනීම වගේම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විදිහට සමාජයට දායාද කිරීමයි. ඒ නිසාම දරුවාගේ ආහාරපාන ගැන දෙමව්පියන් මහත් සේ වෙහෙසෙනවා. ඒත් පුංචි පැටියා අම්මා , තාත්තාගේ උනන්දුවට සරිලන අන්දමින් ප්‍රතිචාර දක්වන්නේ නැහැඒ නිසාම හැම නිවසකම දරුවන්ට ආහාරපාන ලබා දීමේ ඇති වෙන ගැටුම් අඩුවක් නැහැ.ඒත් අපේ හිත වගේම දරුවාගේත් හිත පිනන අන්දමින් කටයුතු කරන්නේ කොහොමද…?

එකාකාර ආහාර රටාවෙන් දුරස් වෙන්න…

නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල සුදු පාටට පේනවා වගේ හැමදාම එකම විදිහට ආහාරපාන සකස් කරන විට දරුවාටත් ඒ ගැන ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ. පුංචි කාලයේ පුංචි පැටව් උස් මහත් කරගන්න කාබොහයිඩ්ඩ්‍රෙට ආාහර වැඩි පංගුවක් ලබා දෙන්න අම්මා උත්සාහ කරන බව ඇත්ත. නමුත් මෙතැනදී එකාකර රටාවෙන් ටිකක් දුරස් වුනොත් දරුවාටත් ආහාර ගැන ප්‍රියාවයක් ඇති වෙනවා.උදාහරණයක් විදිහට හැමදාම එකම විදිහට බත් සහ එළවලු වෙනුවට එළවලු මිහ්‍ර බතක්, කහ බතක් , එහෙමත් නැත්නම් වර්ණවත් විදිහට බත සකස් කිරීමෙන් ඇසට වගේම දිවටත් අලුත් රසයක් දැනේවි.

ආහාර වේලක් මග හරින්න එපා…

අද කාලයේ බොහෝ දරුවන් උදේ ආහාර වේල , එහෙම නැත්නම් රාත්‍රි ආහාර වේල මග හරිනවා. අම්මාගේ කාර්යබහුල ජීවිතය සමග දරුවාට පාසල් යන්න ප්‍රමාද වෙන නිසා උදේ ආහාරය මග හැරෙන්න පුලුවනි. ඒ වගේම කන්තෝරු ඇරිලා නිවසට පැමිණීමෙන් පසුව රාත්‍රි ආහාරය පිලියෙළ කරන විට දරුවා නින්දට ගිහින්. ඉතින් මේ වගේ පුංචි ප්‍රමාදයන් නිසා දරුවා ආහාරවේලක් මග හරින රටාවට හුරු පුරුදු වුනොත් එය දරුවාගේ වර්ධනයටත් බාධාවක්.

පැණිරස පමණට වඩා එපා..

පුංචි පැටවුන් පැණිරසට ප්‍රිය බව ඇත්ත. නමුත් දරුවාගේ දිව පැනිරසට හුරු කරන්නේ අපේම වැඩිහිටියෝ බවත් අමතක කරන්න එපා. ටොෆි, චොකලට් වෙනුවෙන් දරුවාගේ දිව බාල කාලයේ පටන් අපි පුරුදු කරනවා. සමහර විට එය අල්ලසක් බවටත් පත් වෙනවා. බත් කෑවොත් ටොපියෙක් දෙනවා. මේ වගේ පුරුදු නිසා දරුවා නොදැනීම පැණිරසට හුරු වෙනවා.දරුවන්ට පැණිරස තහංචි නැහැ. ඒ වුනත් අනවශ්‍ය අන්දමින් පැණිරසට යොමු වීම නිසා දරුවා තුළ පැණිරසට ඇබ්බැහි වීමක් ඇති වෙනවා. ඒ නිසා බාලකාලයේ පටන්ම ප්‍රමාණය ඉක්මවා පැණි රස ලබා දීමෙන් වලකින්න. 

පැනිරස වැඩියෙන් දීම නිසා ඇති වෙන සෞඛ්‍ය තර්ජනත් තිබෙනවා. දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිරිහෙන්න වගේම දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීමටත් අධික පැණිරස හේතු වෙනවා. ඒ නිසා ප්‍රදාන ආහාර වේලකින් පසුව වගේම පැණිරස ලබා දුන් හැම අවස්ථාවකදීම දත් මැද මුඛය පිරිසිදු කර ගැනීමේ පුරුදු දරුවා තුළ ගොඩ නැගීමත් ඉතාම වැදගත්.

පෝෂණය ගැන උනන්දු වෙන්න..

අපි පෝෂණය ගැන උනන්දු වුනත් ගුණයි කියන ආහාරයක් කවන්න පොවන්න බැහැ කියලා ඔබ දුක්ගැනවිලි කියන්න පුලුවනි. ඒක ඇත්ත. එය දරුවන්ගේ ස්වභාවයක්. නමුත් පෝෂන ප්‍රභව උපයා ගත හැකි ආහාර දරුවා ප්‍රතික්ෂෙප කරනවා නම් ඒ වෙනුවෙන් පුංචි උපායන් සොයා ගන්න. බිත්තර ප්‍රතික්ෂෙප කරනවා නම් නූඩ්ල්ස්, පැස්ටා සමග බිත්තර එකතු කරන්න. බෝංචි කඩල වැනි දේ එපාම කියනවා නම් සුප් පිලියෙළ කරන විට එකතු කරන්න. ඕට්ස් වැනි ආහාරත් සමහර විට අප්‍රිය කරනවා නම් කැඳක් ලෙසින් හෝ ඔම්ලට් විදිහට සකස් කර ගත්තොත් පැමිණිලි නැතුවම දරුවා ඒවා ආහාරයට ගනිවි.

පළතුරු ගැනත්…

දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය විටමින්, කැල්සියම්, තන්තු සපුරා ගැනීමට නම් පළතුරුත් ආහාරයට ලබා දීම ඉතා වැදගත්.ඔවුන්ගේ මළපහ පිලිබඳවත් අපි උනන්දු වීම අවශ්‍යයි. මලබද්ධය වගේම බඩ වියලීමේ පිඩාවෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට නම් පැපොල්, කෙසෙල් වැනි පළතුරු ලබා දීම වැදගත්. ඒ වගේම විටමින් ”සී ” වෙනුවෙන් දරුවාට දොඩම්, ලෙමන්, පේර වැනි පළතුරු ලබා දෙන්න හැකියාව තිබෙනවා. මේවා ඉතා පහසුවෙන් සොයා ගැනීමටත් හැකියාව තිබෙනවා.නමුත් අපේ දෙමව්පියන් ගෙවත්තේ තිබෙන පේර, දෙලුම් ගෙඩියට වඩා ආනයනය කරන මිදි, ඇපල් ගැන වෙහෙසෙනවා.ඒ වුනත් ගෙවත්තේ හැදෙන වස විස නැති පළතුරක් ලබා දීමට හැකි නම් ඔබ සැබෑම වාසනාවන්ත මවක් පියෙක් බැව් කියන්න හැකියාව තිබෙනවා.

දරුවාට ප්‍රමාණවත් පරිදි ජලයත්…

දරුවාගේ බඩ පිරෙන්න වගේම දෙමව්පියන්ගේ හිත පිරෙන්න බත් කැව්වාට බොහෝ දෙමව්පියන් දරුවාට ප්‍රමාණවත් තරම් ජලය ලබා දීමට නම් එතරම් උනන්දු නැහැ. ආහාරයෙන් පසුව වගේම  විටින් විට ජලය සහ කැඳ, පළතුරු යුෂ වැනි පානවර්ගත් දරුවාට ලබා දෙන්න.

තර්ජන එපා…

දරුවාට බත් කවන විට එය තර්ජනයක් බවට පත් කරන්න එපා. බත් පිගාන සමග වේවැල නොව ආදරය ළං කර ගන්න.දරුවාගේ පුංචි බණ්ඩියටත් දරා ගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා දරුවාගේ රුචි අරුචි බව, වගේම බඩගින්නේ තරම ගැනත් යම් ඉවක් අවශ්‍යයි. ප්‍රධාන ආහාර වේලට ආසන්නව අතිරේක යමක් ආහාරයට ගත් විටෙක දරුවාගේ කුසගින්න නැති වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවක දරුවා ආහාර ප්‍රතක්ෂෙප කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. ඒ නිසා දෙම්විපයන් විදිහට නිතර ප්‍රධාන ආහාර වේලට ආසන්නව අතිරේක ආහාර ලබා දම නොකල යුතුයි. එවැනි යමක් ඇත්නම් ප්‍රධාන ආහාර වේලට යම් කාල අන්තරයක් ඇතුව ලබා දීම ඉතාම වැදගත්.

 

 

ස්පර්ශය තුලින් සංවේදන හඳුනා ගැනීමට දරුවාට අවස්ථාව ලබා දිය යුත්තේ ඇයි?

අප සැමගේ ක‍්‍රියාකාරකම් පාලනය කරන ප‍්‍රධානම ඉන්‍ද්‍රිය වන්නේ මොළයයි. ඇසීම, දැකීම, රස දැනීම, ගඳ සුවඳ දැනීම හා ස්පර්ශය දැනීම අපගේ සංවේදන ඉන්‍ද්‍රියයන් හරහා සිදු වේ. මෙම ඉන්‍ද්‍රියයන් වන්නේ ඇස, කන, නාසය, දිව හා සම නම් පංච ඉන්‍ද්‍රියයන්ය. මේවා කලල විකසන අවස්ථාවේ විකසනය ආරම්භ කරන අතරම ගැබ් කාලය තුලදීම ඉන්‍ද්‍රියයන් ක‍්‍රියාත්මක වීම සිදු වේ.

කිසියම් සංවේදන ඉන්‍ද්‍රියයකට උත්තේජනයක් ලැබුණු විට එම ඉන්‍ද්‍රියය මගින් අදාල උත්තේජනයට මොළයේ ඒ සඳහාම වෙන් වූ කොටස වෙත යවනු ලබන පණිවුඩය මගින් හඳුනා ගන්නා අන්දමට ප‍්‍රතිචාර දක්වනු ලබයි. එසේ හෙයින් කුස සිටින දරුවාගේ සිට උපන් සියළු දරුවනටම තම ළමා කාලය තුලදී සංවේදන පිළිබඳ අත්දැකීම් නිවැරදි ලෙස හඳුනා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම කිරීම අප සැමගේ යුතුකමයි. 

මේ අනුව බලන විට පංච ඉන්‍ද්‍රියයන් හරහා ලැබෙන සියලු උත්තේජන ඉගෙනීම් අවස්ථා ලෙස අප තේරුම් ගත යුතු අතරම එම උත්තේජන අවස්ථා මත මොළයේ ස්නායු සෛල හරහා උපාගම සම්බන්ධතා ආරම්භ වීම හා ඒ හා සම්බන්ධ ස්නායු පරිපථ නිර්මාණය වීම ඉගෙනීම නම් ක‍්‍රියාවලිය වේ. 

මොළය තුල උපාගම හට ගැනීම වැඩිපුරම සිදුවන්නේ ගර්භණී සමයේ 25 වන සතියේ සිට ඉපදී මුල් අවුරුදු තුන කාලය තුලයි. ස්නායු සෛල (නියුරෝන) බිලියන 100ක් පමණ මොළය තුල රඳවා ගෙන උපත ලබන දරුවන් ස්නායු සෛල අතර ගොඩනැගෙන සම්බන්ධතා මත ඒ හැකියාවන් වර්ධනය කරගන්නා සේම භාවිත නොවන හෝ ඉඳහිට භාවින වන ස්නායු පරිපථ ක‍්‍රමයෙන් දුර්වල වීම හෝ අකර්මණ්‍ය වීම මත දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතා ගිලිහී යයි. 

කුස තුලදී මව විසින් කුස පිරිමැදීම මගින් දක්වන සෙනෙහස දරුවා ස්පර්ශය ලෙසින් හඳුනා ගන්නා අතරම බිහි වූ මොහොතේ සිටම මවගේ දෑත, පපුව, මුහුණ ස්පර්ශ වීම මත මේ මගේ මව යන්නත් ඇගේ උණුසුම, ආදරය, රැකවරණය පිළිබඳ සුවිශේෂී බවත් විඳ ගනී. මවගේ සමට දරුවාගේ සම ගැටීම තුලින් මේ සංවේදනය ලබාගනී. එසේම මුඛය අසලට ස්පර්ශයක් දැනුන වහා කිරි ලැබෙන සංඥාවක් සේ හඳුනාගනී. මෙසේ හෙයින් ඇඟිල්ලක් හෝ මුවට ලංවෙන  ඕනෑම දෙයක් ඒ අනුව දරුවා උරන්නට ගනී. එහෙත් එය පියයුර නොවන බව හඳුනාගත් පසු හඬන්නට පටන් ගනී. 

දරුවා සිප වැළඳ ගැනීම ආදරයෙන් තුරුළු කරගැනීම තුලින් හා ස්පර්ශය දරුවාට ආරක්‍ෂිත ආදරණීය හැඟීම් ඇති කරයි. 

මෙසේ දැනෙන ස්පර්ශය ක‍්‍රමයෙන් සංකීර්ණ ක‍්‍රියාවලියක් දක්වා ක‍්‍රමයෙන් වර්ධනය වේ. අතින් අල්ලන්නට යමක් හැකි වූ විට එය අල්ලා ගැනීමට පෙළඹේ. මෙසේ අල්ලා ගන්නා උපකරණයේ ස්වභාවය මගින් දරුවාට උණුසුම, ශීතල, රළු බව සිනිඳු බව හඳුනා ගැනීමට ලැබේ. එසේම ගැටෙන දෙය අත්ලින් තද කිරීම, ගුලි කිරීම මගින් එහි ස්වභාවය වෙනස් කළ හැකි බව ඉගෙනීමට හැකි වේ. 

අල්ලා ගන්නා දෙය අත හැරෙන බව දැනේ නම් තදින් ග‍්‍රහණය කරගන්නට පෙළඹේ. මෙහි ප‍්‍රතිඵලය ලෙස අල්ලාගෙන නැගිටීමට හෝ ආධාරයක් මත ඇතිව ඇවීදීමට හැකි වයසේදී එම ආධාරකය අත නොහැරීම හෝ අත්හැරුණු විට වෙනත් යමක එල්ලීම හෝ නිරායාසයෙන් සිදු වේ. මෙයින් හඳුනා ගැනෙනුයේ ස්පර්ශය මතින් දරුවා ලබාගන්නා වූ අත්දැකීම් වල සංවර්ධනයයි. 

පරිසරයේ ඇති දේශගුණික වෙනස්වීම් හඳුනා ගැනීමට දරුවා පෙළඹෙන්නේ හමට දැනෙන ඒ ස්පර්ශය නිසයි. මේ නිසා ශීතලට හොඳින් ආවරණය කර උණුසුම්ව තැබූ විට දරුවා හොඳින් නිදා ගනී. එහෙත් උණුසුම් සහිත විටකදී ආවරණ ඉවත් කරමින් දරුවන් කෑගසන්නේ එම සංවේදනය හේතුවෙනි. උපන් මොහොතේ සිට දරුවා අත පත ගෑම මගින් ඇති වන ස්පර්ශීය හැඟීම දරුවා තුල ජනිත කරන හැඟීම් මෘදු මොළොක් ලෙස මෙන්ම ආදරණීය බවින් පිරී යයි. ස්පර්ශය තුල මව හඳුනා ගැනීම පියා හඳුනා ගැනීම හෝ රැකබලාගන්නන් හඳුනා ගැනීම දරුවා තුල ඇති වන්නේ සංවේදනය පිළිබඳ ඇති කරනු ලබන උත්තේජනයන් හෙයිනි. 

මීට අමතරව අලුත උපන් දරුවාගේ මවගේ සම දරුවාගෙ සමට ස්පර්ශ වීම තුලින් මවගේ හමමත ඇති ආසාදන පාලන හැකියාව දරුවා වෙත නිතැතින් ගමන්කිරීම  මගින් දරුවා ආරක්ෂා කිරීමද එලෙසින්ම ඉටුවේ.

දරුවකුගේ හිස අතගෑම, කර වටා අත යවා තුරුළු කරගැනීම, මවගේ ලයට තුරුළු කරගැනීම, අතින් අල්ලා ගැනීම ආදී ලෙසින් ආදරණීය බව දැනීම මෙන්ම කේන්තිය නිසා අසහනකාරී ලෙසින් තදින් අල්ලා ගැනීම, අනවශ්‍ය ලෙස සෙලවීම ආදිය මගින් දරුවා තුලද ආතතියක් ඇති වීමට මෙන්ම දුරස්ථභාවයක් ඇති වීමටත් එය හේතුවක් විය හැකියි. 

කුඩා කල සිට අතින් අල්ලා ගැනීමට හෝ අතෙහි ස්පර්ශය තුලින් සංවේදන හඳුනා ගැනීමට අවස්ථාව ලබාදීමද මොලයේ සංවර්ධනයට මහත් රුකුලකි. ලැබෙන ක‍්‍රීඩා භාණ්ඩ අතින් අල්වා ගැනීමේදී සංවේදන ලබාදීම සඳහා මෙම ක්‍රීඩා භාණ්ඩයේ නිර්මාණය පිළිබඳව විමසිලිමත් වීම වටී. එහිදී සුරතල් සතෙකු නම් බඩ පැත්ත සිනිඳු පිට පැත්ත ගොරෝසු බව ආදී ලෙසින් මෙන්ම ඒ ඒ ලැබෙන සංවේදන අනාගත ජීවිතයට මහත් රැකුලකි. දරුවන් ඉගෙනුම ලබන්නේ මේ සංවේදන ලැබෙන අයුරින් හා ඒ හා ගැටීමට ඉඩ හසර ලැබෙන අයුරිනි. 

එසේම මවත් සමග මව කරන ක‍්‍රියාකාරකම් හා එකතු වීම තුලින් ස්පර්ශය සඳහා අත්දැකීම් ලබාගත හැක. එළවළු හෝ පලාවර්ග, ඇට වර්ග ආදී ලෙසින් ඒවායේ අතට දැනෙන සංවේදන කෙඳි ස්වභාවය, දාරමය ස්වභාවය, හැඩය හෝ හැඩතල ආදියද හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. කැපීම්, කෙටීම් වැනි ක‍්‍රියාකාරකම්ද, පොල් කුඩු මිරීකීම, මැටි ඇනීම වැනි ක‍්‍රියාකාරකම් තුලින්ද ඇඟිලි පුරුක්, අත්ල හා සම්බන්ධ පේශී හරහා ලබන සංවේදන පසුව දරුවාගේ අතින් පෑන්, පැන්සල් හුරු වීම සඳහාද ඇති හැකියාව වැඩි දියුණු කරයි. 

ජලය, සබන් ආදී දේවල් සමග ගැටීම තුලින්ද ලිහිසි බව, ගලා යන විට අතට දැනෙන සංවේදන, උණුසුම, සීතල බව ආදියද ස්පර්ශය හරහා හොඳින් හඳුනා ගැනීමට දරුවන්ට අවස්ථාව උදා වේ. 

මෙසේ බලන කල සෑම ක‍්‍රියාවලියක්ම දරුවා සම්බන්ධීකරණය කර කිරීම තුලින් දරුවාගේ ස්පර්ශය සමග ඇති උත්තේජනය වඩාත් තීව‍්‍ර කරයි. ස්පර්ශය යනු ආදරය, කුතුහලය හා සම්බන්ධ වූ ධනාත්මක මෙන්ම කෝපය, අප‍්‍රසන්න බව කැටි වූ සෘණාත්මක හැඟීම්ද වර්ධනය හෝ මර්දනය කළ හැකි ක‍්‍රියාකාරකම් බවට හඳුනාගත හැකියි. එසේම මේවා සම්බන්ධ අත්දැකීම් ලබන දරුවා හොඳ සමාජානුයෝගී දරුවකු කිරීමට ඇති ඉඩ කඩ වඩාත් ප‍්‍රබල හෙයින් අප සැමගේ යුතුකම විය යුත්තේ ඉගෙනුම් අවස්ථා ලබාදීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලි මනා ලෙස හසුරුවා හොඳ පුරවැසියෙකු බිහිවීමට හැකි ඉඩ ප‍්‍රස්ථා ලබාදීමයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

බබාගේ ආහාර වේලට බිත්තර එකතු කරගන්නේ කවදාද? කොහොමද?

අලුත උපන් දරුවාගේ කායික පෝෂණයට නිරෝගී හා ශක්තිමත් වර්ධනයක් මෙන්ම බුද්ධිමය වර්ධනය ප‍්‍රශස්ත ලෙස සිදුවීමට මුල් මාස හය මව්කිරි පමණක් වුව හේතුවක් වේ. මාස 7 ආරම්භයේ සිටම මව්කිරි සමග අමතර ආහාර ආරම්භ කිරීමෙන් වර්ධනය නිසි ලෙස සිදුවීමත් ලෙඩ රෝග වලින් ආරක්‍ෂා වීමත් සිදු වේ. දරුවකුගේ ශක්ති පරතරය පියවීම සඳහා ප‍්‍රධාන ආහාරයට අනෙකුත් පෝෂණ පදාර්ථ අඩංගු ආහාර එකතු කිරීම මගින් ප‍්‍රශස්ත වර්ධනයක් දරුවාට අත්කර ගත හැකි වේ. ආහාරයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා වයසත් සමග අනෙකුත් පෝෂක අඩංගු ආහාර එකතු කිරීම සාර්ථක පියවරකි. 

ආරම්භයේදීම ප‍්‍රධාන අපගේ ආහාරය වන බත් වලින් පටන් ගැනේ. බත් ලබාදීමේදී උකු ස්වභාවයෙන් ඇරඹීම මගින් වැඩි ශක්තියක් හා පෝෂණයක් ලබාදෙයි. මීට පසුව මෙම ආහාරයේ ගුණාත්මකභාවය සඳහා ඊට පරිප්පු/පියලි ඇට වර්ගයක් එකතු කිරීම සිදු කරනු ලබයි. මුලදී දින 3 ක් බත් පමණක්ද, ඊට පසු දින 3 ක් පමණ බත් සමග පරිප්පු දීමෙන් පසුව එම ආහාරයට මාළු, සත්ව ආහාරයක් එකතු කරනු ලබයි. මේ සමගම තෙල් එකතු කිරීම තුලින් රසය හා ශක්ති අවශ්‍යතාවය තවත් වැඩි කරනු ලබයි. මීලගට ආහාරයට කහ පැහැති එළවළුවක් එකතු කරනු ලබයි. මෙසේ සිදු කරනු ලබන්නේ ක‍්‍රමයෙන් වේගවත් වර්ධනයට ඇවැසි ප්‍රෝටීන සැපයීමට, අමතර ශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටට හා විටමින් හා යකඩ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමටයි. ඒ සමගම විටමින් ඒ අවශ්‍යතාවය සඳහා කහ පැහැති එළවළු එකතු කළ යුතුය.

ආහාර පටන් ගෙන දින 16 දී විටමින් A හා ප්‍රෝටීන් සපිරි බිත්තර ආහාරයට එක් කළ හැකියි. ආරම්භයේදී හොඳින් තම්බාගත් බිත්තර කහ මදයෙන් තේ හැඳි ½ ක් ආහාරයට එකතු කිරීම කළ හැකියි. බිත්තරය තැම්බීමට පෙර හොඳින් සේදීම කළ යුතු අතර හොඳින් තැබ්බීමද කළ යුතු වන්නේ සල්මොනොල්ලා විෂබීජයෙන් ආරක්‍ෂා වීමටයි. මෙය ක‍්‍රමයෙන් වැඩි කල යුතු අතරම මුලින් දෙනු ලබන්නේ කහමදයයි. දරුවාට අළුත් ආහාරයක් පටන් ගත් විට එය දින 3 ක් පමණ එක දිගට දීම සුදුසුයි. දින 16 දී පටන් ගත් බිත්තර ආහාරයට එකතු කිරීම ක‍්‍රමයෙන් ප‍්‍රමාණය වැඩි කරමින් ලබාදී මාස 7 දී කහමදයෙන් ¼ ක් දිය හැකියි. මාස 7 වනවිට බිත්තර කහමදයෙන් 1/2ක් දක්වා දිය හැකියි. මාස 9 වන විට බිත්තර කහමදය සමග සුදු මදද ලබාදිය යුතුයි. ක‍්‍රමයෙන් ප‍්‍රමාණය වැඩි කරමින් බිත්තරයක්ම දරුවාට ලබාදිය හැකි අතර හොඳ ප්‍රෝටීන ප‍්‍රභවයක් නිසා දරුවාට නිතර ලබාදිය හැකියි. බර අඩු දරුවන් සඳහා නම් දිනපතා වුවද බිත්තර ලබාදීම සුදුසු වන්නේ ප්‍රෝටීන අවශ්‍යතා වර්ධනයට මහඟු බලපෑමක් කරන හෙයිනි. මාස 7 දී මස්/මාළු/බිත්තර වේල් 1 ක් ද මාස 9 – 11 දී වේල් 1 ක්ද වයස මාස 12 – 23 දී වේල් 1 – 2 ක් ලෙසද අවුරුදු 2 – 5 දී වේල් 2 ක් ලෙසද දිනකට ග‍්‍රෑම් 50 ක් වන ලෙස සුදුසු වේ. 

සත්වමය ප්‍රභවයක් ඇති ආහාර වල ප්‍රෝටීන වලට  අමතරව යකඩ හා සින්ක් බහුලවම අඩංගු අතර විටමින්ද බහුලව ඇත. මස්, මාළු, පීකුදු වල යකඩ බහුලව අඩංගු වේ. එහෙත් මුදවපු කිරි, චීස්, බටර් හා බිත්තර වැනි සත්වමය ප‍්‍රභවයන් ඇති ආහාර වල ක්‍ෂුද්‍ර පෝෂක බහුලව අඩංගු වුවද ඒවායේ යකඩ අවශෝෂණය දුර්වල නිසා යකඩ අවශ්‍යතාවය සැපයීමට ඒවා හොඳ ආහාර නොවේ. 

බිත්තර වලින් හොඳ ප්‍රෝටීන් ලබාගත හැකිවා මෙන්ම අනෙකුත් ක්‍ෂුද්‍ර පෝෂක විශේෂයෙන්ම කහමදයේ විටමින් ඒ ද බහුලව අඩංගු වේ. බිත්තර හා ශාකමය සම්භවයක් ඇති රනිල ශාක, ධාන්‍ය, ඇට වර්ග, එළවළු හා පලා වර්ග වල ඇති යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීමට විටමින් C අඩංගු පලතුරු/එළවළු/මාළු/කරවල/හාල්මැස්සන් කුඩු/උම්බලකඩ කුඩු සුළු ප‍්‍රමාණයක් සමග එකතු කිරීම කළ යුතුයි. බිත්තර ආහාරයට එකතු කිරීමේදී පළමුව හොඳින් තම්බාගත් බිත්තර කහමදයෙන් තේ හැඳි ½ ක් පටන්ගෙන ක‍්‍රමයෙන් වැඩි කරන්න. 

ආහාරයට බිත්තර එකතු කිරීමේදී සකස් කල බතට තැම්බූ බිත්තර එකතු කිරීම. කෙටි ආහාරයක් ලෙස දීමේදී තම්බා පොඩි කරගත් හා තම්බා පොඩිකරගත් පියලි ඇට, අල සමග බිත්තර එකතු කර තෙම්පරාදු කර දීම කළ හැකියි. එළවළු/මිශ‍්‍ර බත් සඳහා බිත්තර එකතු කිරීම, ආප්ප වැනි කෙටි ආහාර, රොටි සඳහා එකතු කිරීම මෙන්ම කෙටි ආහාරයක් ලෙස බිත්තර ඔම්ලට් එකක් ලෙසද දරුවන්ට ලබාදිය හැකිය. මීට අමතරව බිත්තර කිරි හොඳි රතු ළුෑණු/එළවළු මිශ‍්‍ර කර වණ්ඩුවේ තම්බා සකස් කරගත් කැබලි ලෙස හෝ වෑංජන ලෙස සකස් කරදීම ආහාර රුචිය වැඩි කරයි.  මෙසේ විවිධ අයුරින් බිත්තර ආහාරයට ලබාදීම වැඩෙන දරුවන්ගේ වර්ධනයට අමතරව ප්‍රතිශක්තිය වැඩිකර රෝගාබාධ වලින් ආරක්ෂා වීමටද පිටුවහලක් වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

‘කියවීම’ දරුවාට සමීප කරවීමට ක්‍රම 5ක්

‘කියවීම මිනිසා සම්පුර් න කරයි’ යන කියමන අප සියලු දෙනාම හොඳින් අසා ඇති වදනකි. තවද කුඩා කල සිට පොත පොතපතට ඇලුම් කරන, පොත පත කියවන දරුවාගේ දැනුම හා චින්තනමය කුසලතා, භාෂා කුසලතා දියුණු වන්නේ අප පුදුම කරමිනි. එමනිසා පොත පත කියවීම ඉතාමත් වැදගත් දෙයක් ලෙස හැඳින්විය හැකිය. තවද එය ඉගෙනීමේ කොඳුනාරටිය බඳු ය. 

දරුවා විධිමත් අධ්‍යාපනයට යොමු වූ විට දරුවා ප්‍රගුණ කරන විෂයන් වන සිංහල, විද්‍යාව, භාෂාවන්, ගණිතය හා ඉතිහාසය ආදි විෂයන්හි වඩාත්  හොද ප්‍රවීණතා පෙන්වීමට මෙන්ම භාහිර දෙනුම කෙරෙහිද දරුවාට අමතර පොතපත කියැවීම හා ඇසුරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍යවේ. නමුත් අද වන විට දරුවාන් කියවීමෙන් ඈත් වී යන බව බොහෝ විෂයන් හි ප්‍රවීණයන්ගේ අදහසයි. කියවීම වෙනුවට බොහෝ දරුවන්ට ආදේශක පැමිණ ඇති බව ඔවුන් පෙන්වාදෙයි. ඒ අතර ජංගම දුරකථන, වීඩියෝ ගේම්, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ආදී බොහෝ දේ ඇති බව ඔවුන්ගේ අදහසයි. 

දෙමව්පියන් වන ඔබෙන් ඔබේ දරුවා පොත පත කියවනවාද ඇසුවොත් බොහෝ දෙමව්පියන් ගේ පිළිතුර නැත යන්නයි. නමුත් ඔබ එහි වටිනාකම පිළිබඳ බොහෝ දැනුවත් වුවද දරුවා හට ඒ සඳහා නිසි මග පෙන්වීමක් කරවීම හා එය ප්‍රගුණ කරවීමට ඔබටද ගැටළුකාරී වී තිබිය හැකිය. ඔබ ඔබේ දරුවා කියවීම සඳහා යොමු කරන්නේ කෙසේද? දරුවන්ගේ කියවීමේ කුසලතා දියුණු කරන්නේ කෙසේද? මෙම ප්‍රශ්න වලට පිළිතුරු පහත ක්‍රම ක්‍රියාත්මක කිරීම තුළින් ඔබට ලඟා කරගත හැකිය. 

  1. දරුවාට කියවීම සඳහා පොත් තෝරා ගැනීමට අවස්ථාව දෙන්න. 

දරුවා කියවීමට යොමු කිරීමට ඔබට ප්‍රථමයෙන්ම කළ හැක්කේ දරුවා කැමති ලෙස කියවීම ආරම්භ කිරීමට දීමයි. ඕනෑම දෙයක් පටන් ගැනීමට කොතැනින් හෝ  එය පටන් ගත යුතු බව අප අසා ඇත. ඒ ආකාරයෙන්ම කියවීම ආරම්භ කිරීමට දරුවාට කොතැනින් හෝ කුමන පොතකින් හෝ ආරම්භ කිරීමට අවස්ථාව දෙන්න. දරුවාගේ මෙම ආරම්භය ඔහු හෝ ඇය මේ සඳහා ඇති අභිරුචිය වඩවනු ඇත. දෙමාපියව්පියන් වශයෙන් ඔබ දරුවාගේ මෙම තෝරා ගැනීමට ප්‍රථමයෙන්ම බාධා නොකරන්න. බොහෝ දෙමව්පියන් හට අවශ්‍ය වනුයේ දරුවා අධ්‍යාපනික පොතපත කියවීම වුවද, ඔබේ දරුවා වෙනත් කාණ්ඩයකට අයත් පොතක් තෝරා ගතහොත් ඒ පිළිබඳ ඔබ පසුතැවිලි නොවන්න. දෙතුන් වතාවක් එකම පොත කියෙව්වද  ඔබ ඒ පිළිබඳ පමණට වඩා නොසිතන්න. මෙම සංඥා වලින් කියවෙන්නේ දරුවා තුළ කියවීමට රුචියක් ඇති බවයි. කාලයත් සමග දරුවා නව පොතපත මෙන්ම සුදුසු පොත්පත් තෝරා ගැනීමට යොමු වනු ඇත.

  1. ඔබ දරුවාට කියවීමේ ආදර්ශයක් වන්න.

අවවාදයට වඩා ආදර් ශය උතුම් බව අප දන්නා කරුණකි. බොහෝ මට දෙමව්පියන් වන ඔබට ඔබගේ කාර්යබහුලත්වයත් සමඟ පොත්පත් සමඟ ගත කිරීමට කාලය ඉතාමත් අවම විය හැකිය. නමුත් ඔබ පොත්පත්වලට ආදරය කරන කෙනෙකු බව දරුවන් හට හැඟුන විට දරුවන් ද ඒ සඳහා යොමුවන්නේ නිතැතින්මය. කාලය ලැබුනු විට ඔබට දරුවන් සමඟ පොත්පත් කියවන්න. මසකට වරක් හෝ දරුවන්ට පොතක් මිලදී ගෙන ලබාදෙන්න. ඔබ දරුවාට ත්‍යාගයක් ලබාදෙන විට ඒ සඳහා පොත් පත් තෝරා ගන්න. මේ ආදී ලෙස ඔබ ද කියවීම සඳහා උනන්දු වන ඒ සඳහා කැප වෙන ආදර්ශමත් කෙනෙකු වීම තුළින් ඔබ අනුගමනය කරන ඔබේ දරුවාද ඒ සඳහා යොමු වනු ඇත. 

  1. සතියට එක්  දවසක රාත්‍රියක් කියවීම වීම සඳහා වෙන් කරන්න.

දිනපතා රාත්‍රියට රූපවාහිනිය නැරඹීම, video game සෙල්ලම් කිරීම ආදිය වෙනුවට සතියක එක් දිනයක් හෝ රාත්‍රී කාලය කියැවීමට වෙන් කරන්න. එදිනට රූපවාහිනිය, video game, ජංගම දුරකථන ඉවත් කර පවුලේ සියලු දෙනාම කියවීමට යොමු වන්න. මෙය පවුලේ නීතියක්, ක්‍රමවේදයක් කරගන්න. කෙටි කාලයක් ගතවන විට මෙය ඔබගේ පුරුද්දක් බවට පත් වනු ඇත.

මේ සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරන්න. සියලු දෙනාම වෙන් වෙන් ව කියවීම, වැඩිමල් සහෝදරියන් බාල සහෝදරයින්ට ඇසෙන ලෙස කියවීමට අවස්ථාව දීම, පවුලක් ලෙස පොදු කියවීම, හඬ නගා කියවීම ආදි ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කරන්න.

  1. දරුවාට කුමක් හෝ දෙයක් දිනපතා ලිවීමට අවස්ථාව දෙන්න.

දරුවන් ලිවීමට පෙළඹුන විට ඔවුන්ට කියවීම අත්‍යවශ්‍ය බව වැටහෙනු ඇත. මන්ද ලිවීමට දරුවන්ගේ චින්තනය මෙන්ම සිතිමේ කුසලතා, භාෂා කුසලතා, අක්ෂර වින්‍යාසය ආදී බොහෝ දේ අවශ්‍ය වේ. දරුවාට සරල කතා ලිවීමට, කතන්දරයක් ගොඩනැගීමට, දින පොතක් ලිවීමට ඔබ අවස්ථාව ලබා දෙන්න. මෙයද දරුවා කියවීමට යොමු කිරීමට ඔබට හැකි තවත් එක් ක්‍රමවේදයකි.

  1. දරුවන් සමඟ පුස්තකාලයට යාමට කාලයක් වෙන් කරන්න.

ඔහු දරුවන් සමග සතියට එක් වතාවක් හෝ Park එකට, මුහුදු වෙරළට යනවා විය හැකිය. එමෙන්ම දරුවන් සමග එක් සතියක හෝ පුස්තකාලයට යාමට ද ඔබ සැලසුම් කරගන්න. දෙමව්පියන් බොහෝ විට මේ පිළිබඳ නොසිතනවා විය හැකිය. ඔබේ දරුවා ඔබ සමග අනෙකුත් ස්ථාන වලට යාමට ප්‍රිය කරනවා සේම ඔබ පුස්තකාලයට යාමද ආරම්භ කළහොත් දරුවා ඒ සඳහා ද කැමැති වනවා නොඅනුමානයි. ඒ තුළින් තුලින් දරුවාට පුස්තකාලය පෙන්වීම, පොත්පත් පෙන්වීම, පොත්පත් ලබා ගැනීම හා නැවත භාර දෙන  ආකාරය පෙන්වීම , පොත් තෝරා ගැනීම ආදී බොහෝ කුසලතා දියුණු වනවා මෙන්ම දරුවාගේ කියවීම කුසලතා දියුණු වීම හා අභිරුචිය වැඩි වීම කෙරෙහි ද රුකුල් දෙනු ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.  

 

X කිරණ ගැන මේ දේවල් අහලා තියෙනවද?

X-ray එකක් ගන්න කිව්වම හිතට පුංචි චකිතයක් ඇති වෙනවා. ඒ X කිරණ ඒ තරම් සුදුසු නොවන බව පැවසෙන නිසා විය යුතුයි. ඒ ‍කෙසේ වුවත් අවශ්‍ය අවස්ථාවකදී අපේ රෝගී තත්ත්වය නිසා අවශ්‍ය පරීක්ෂණ වෙත යොමු වෙන්න අපි කාටත් සිදු වෙනවා. 

X-ray මගින් අපේ ‍ශරීරය තුල ඇති ව්‍යුහයන්ගේ (විශේෂයෙන් අස්ථි වල) ඡායාරූපයක් ලබාගැනීඹ සිදු කෙරෙනවා. මෙය ඉතා ඉක්මණින් සිදු කළ හැකි වේදනා රහිත පිළිවෙතක් වන අතරම X-කිරණ ශරීරය හරහා ගමන් කරන අතර ඒ ගමන් කරන ද්‍රව්‍යයයේ ඝනත්වය අනුව විවිධ ප‍්‍රමාණයන්ගෙන් X– කිරණ එම වස්තුවට උරාගැනීඹ සිදු වෙනවා. ඝනකම් සහිත ද්‍රව්‍ය (අස්ථි, වානේ) ආදියේ X-ray සුදු පැහැයට පෙන්නුම් කරන අතරම පෙනහළු තුල පවතින වාතය කළු පැහැයෙන් පෙන්නුම් කරනවා. එසේම මේදය හා පේශී අළු පැහැති සෙවනැල්ලක ආකාරයට පෙන්වනවා. X-ray පරීක්‍ෂණ දේහයේ අස්ථි හා මෘදු පටක ආශ‍්‍රිත අධ්‍යයනයන් මෙන්ම කුහර සහිත ඉන්‍ද්‍රියන්, වාහිනී වැනි ස්ථානයන්ගේ ව්‍යුහයන් පිළිබඳව අධ්‍යයනයන් සඳහා බහුලව යොදා ගැනීම යොදා ගනී. X-ray ගැනීම විකිරණ රේඛණය (Radiographs) නැතහොත් රොන්ට්ජනෝ ග‍්‍රෑමය (Roentgenograms) ලෙසද හඳුන්වයි. 

X කිරණ නිපදවනුයේ ටන්ග්ස්ටන් (Tungsten) නම් රසායනික ද්‍රව්‍ය යෙදු රක්තක නලයක ඉලෙක්ට්‍රෝන ධාරාවක් යෙදීමෙනි. දෘෂ්ඨීක ආලෝක කිරණ වලට පාරාන්ධ වන බොහෝ ද්‍රව්‍ය තුලින් X කිරණ ගමන් ගැනීම මෙහිදී සුවිශේෂී වේ. ඇතැම් X-ray පරීක්‍ෂණ සඳහා පාරාන්ධ (Contrast) මාධ්‍යයක් ලබාදී (අයඩින්, බේරියම් ශරීරයට ලබාදී) X-ray ගනී. 

සාමාන්‍යයෙන් X-ray ලබා ගන්නා ස්ථාන  

  • අස්ථි බිඳීම් (fracture) සහ ආසාධන වලදී.
  • සන්ධි වල ප‍්‍රදාහමය තත්ත්ව (Arthritis)
  • දත් වල කුහර වලදී (Dental decay)
  • අස්ථි රෝග (Osteoporosis)
  • අස්ථි වල ඝනත්වය මැනීම (විශේෂිත ආකාරයේ X-ray මගින් අස්ථි වල ඝනත්වය මැනිය හැක) 
  • අස්ථි වල පිළිකා/ගෙඩි වල

 

උරස් කුහර ආශ‍්‍රිතව (Chest)

  • පෙනහලු ආසාධන හා රෝග – නියුමෝනියාව, ක්‍ෂය රෝගය, පෙනහලු පිළිකා
  • පියයුරු පිළිකා – Mammography යනු විශේෂිත X-කිරණ පරීක්‍ෂාවකි. එමගින් පියයුරු පටක පරීක්‍ෂාවට ලක් කරයි. 
  • විශාල වූ හෘදය – සංචයන හෘද අකරණිය තත්ත්වයට (Congestive Cardiac Failure) හඳුනාගැනීමට භාවිත වේ. 
  • රුධිර වාහිනී අවහිරතා – අයඩින් මූලද්‍රව්‍ය සහිත පාරාන්ධ ද්‍රව්‍යයක් එන්නත් කර X-ray ලබාගනී. 

 

උදරය

  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ‍්‍රිත ගැටලු – පාරාන්ධ ද්‍රව්‍යයක් වන බේරියම් බීමට හෝ වස්ති ආකාරයට ලබාදී X-ray ලබාගනී. 
  • දරුවෙකුට කාසියක්, යතුරක් වැනි යමක් ගිළුනු විට X-ray මගින් එම ද්‍රව්‍ය පවතින ස්ථානය පෙන්නුම් කරයි. 

 

X – කිරණ පරීක්‍ෂණ ගැන දැනගත යුතු කරුණු. 

සාමාන්‍යයෙන් X-කිරණ ඡායාරූප ලබාගන්නා ආකාර 2 කි. 

  • Plain X-ray – සාමාන්‍ය X-කිරණ ඡායාරූප

මේවා භාවිත කරනුයේ අස්ථි පිළිබඳ වූ අධ්‍යයනයන්ට, උරස් හා උදර කොටස් හි දළ අධ්‍යයනයන්ට වේ. 

  • Contrast Studies – පිළි සැසඳුම් අධ්‍යයනය

මෙහිදී වාතය හෝ පාරාන්ධ රසායනිකයන් දේහ කුහර තුලට ඇතුල් කොට අවශ්‍ය විස්තර ලබාගැනීම සිදු කරයි. රසායනික පාරාන්ධ ද්‍රව්‍ය යොදා (බේරියම් ආහාරය – Barium Meal,බේරියම් වස්තිය – Barium enema) කුහර සහිත ඉන්‍ද්‍රියන් වල විකිරණ ප‍්‍රතිරූපයන් ගත හැකිය. එසේම සුෂුම්නා ආලිය තුලට අදාල වායු හෝ ඩයි වර්ගය ඇතුල් කර අවශ්‍ය ඡායාරූප ගනී. 

එසේම සමහර විකිරණ පාරාන්ධ ද්‍රව්‍ය ඇතුළු කිරීම මගින් නිශ්චය කරගන්නා ලද ඉන්‍ද්‍රිය කොටසක ප‍්‍රතිරූප ලබාගත හැකිය. මුඛයෙන් හෝ අන්ත:ශෛරීකව අදාල විකිරණ පාරාන්ධ ද්‍රව්‍ය ඇතුල් කොට අක්මාව හෝ පිත්තාශය, මුත‍්‍රල පද්ධතිය යනාදියේ ප‍්‍රතිරූපණ ලබාගැනීම සිදු කරයි. 

මෙහිදී බහුලව භාවිත කරන පිලි සැසඳුම්කාරකයක් වන්නේ හයිපැක් (hypaque), පැන්ටොපැක් (Pantopaque), කාඩියෝ ග්‍රාෆ් (Cardiograph), රෙනෝ ග‍්‍රැෆින් (Renografin), බේරියම් සල්ෆේට් ආදිය වේ. 

සාමාන්‍යයෙන් X-කිරණ කෝණ දෙකකින් ගැනේ. එක් කෝණයකින් ගන්නේ අඩු ගහණයකින් යුතු ව්‍යුහයන්ගේ පමණි. අනෙක් ඒවා කෝණ 2 කින් ගත යුතුය. ඒවා නම්, 

  • පූර්ව අපර කෝණ (Anterior Posterior – AP)
  • පාර්ශ්වීය කෝණය (Lateral view) එය දකුණු පාර්ශ්වය හෝ වම් පාර්ශ්වය වේ. 

 

X – කිරණ ලබා ගැනීමේදී අනුගමනය කරන පොදු කරුණු

  • X-කිරණ පරීක්ෂාව සඳහා යොමු කරන ලද රෝගියා ස්ථිර කරගත යුතුය. 
  • පිළිවෙතට පෙර රෝගියාට පැහැදිලි කර (වේදානාත්මක නොවන බව) බිය දුරු කළ යුතුය. 
  • Contrast ලබාදීමේදී අයඩින් සහිත සංයෝග ශරීරයට ඇතුල් කිරීමට පෙර ආසාත්මිකතාවයක ඉතිහාසයක් ඇති දැයි දැනගත යුතුය. 
  • ඔක්සිජන් ලබාදෙන රෝගියෙකු නම් X-කිරණ ලබාගැනීමට ආසන්නතම අවස්ථාවේදී අදාල උපකරණ, මුව වැස්ම ඉවත් කළ යුතු අතරම X-ray ගෙන අවසන් වූ වහාම නැවත සම්බන්ධ කළ යුතුය. 
  • පපුවේ X-කිරණ ගැනීමේදී හුස්ම අල්ලාගෙන සිටීමේ වැදගත්කම පහදන්න. 
  • X-ray ගන්නා විට කපු ඇඳුම් ඇඳ සිටිය යුතු අතර සිල්ක් ඒවා නුසුදුසුය. ඇඳුම් වල යකඩ (ලෝහ වලින් තැනූ කොකු) කටු, බොත්තම් ආදිය නොතිබිය යුතුය. 
  • දිගු කොණ්ඩයක් සහිත රෝගියෙකු නම් කොණ්ඩය උස් කොට තදින් බැඳ ගත යුතු වන අතර කොණ්ඩ කටු භාවිතය නුසුදුසුය. 
  • ආභරණ පලඳා සිටීම නුසුදුසුය. ලෝහමය කොටස් විනිවිද X-කිරණ ගමන් නොගනී. එවිට ලෝහමය කොටස් ප‍්‍රතිරූපණ පලයේ සටහන් විට හැක. ඒ නිසා දේහ කොටස් එමගින් වැසී යා හැක. 
  • ගර්භනී කාන්තාවක් නම් X-කිරණ වලට අනාවරණ නොවිය යුතුය. ගර්භනී කාලයේ දෙවෙනි මස සිට හය වැනි මාසය දක්වා කාලයේදී ප‍්‍රජනක කොටස් X-ray වලට අනාවරණය වීමෙන් සංජානීය පළුදු ඇති විය හැක. 
  • නැවත නැවත X-ray වලට අනාවරණය වීම නුසුදුසු වන අතරම ඇට මිදුළු අවපීඩනය (Bone Marrow Depression), ලියුකේමියාව, පිළිකා ඇතිවීමේ අවධානම, ලියුකොෆිනියා (සුදු රුධිරානු), වද භාවය, උපත් ආබාධ වැනි නොයෙකුත් සංකූලතා ඇති වීමට අවදානමක් ඇති බව අවබෝධ කරගත යුතුය.

 

X-ray හඳනා ගැනීම සඳහා ලබාදෙන පාරාන්ධ ද්‍රව්‍යවල අතුරු ආබාධ 

  • උණුසුමක් දැනීම/සම රත් පැහැවීම. 
  • කටට ලෝහ රසක් දැනීම. 
  • සුළු හිසරදය
  • ඔක්කාරය
  • කැසීම

 

කලාතුරකින් තීව‍්‍ර ප‍්‍රතික‍්‍රියා ලෙස, 

  • රුධිර පීඩනය අඩුවීම
  • සංරක්‍ෂිත ප‍්‍රහාරය (Anaphylactic shock)
  • කන්තුක ඇණහිටුම (Cardiac arrest)

ඇති විය හැක. නමුත් මෙවැනි අවස්ථා ඉතාමත් කලාතුරකින් වන අතර මෙවැනි අවස්ථා ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පරීක්ෂණයට දින ත්‍රනකට පමණ පෙර සිට ඖෂධ ලබාදී රෝගියා සූදානම් කරවයි. එසේම  ඕනෑම වෛද්‍යමය තත්ත්වයකට අවශ්‍ය ලෙස මුහුණදීමට ඖෂධ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. 

 

විකිරණ වලට අනාවරණය වීමෙන් ඇති වන අවදානම් තත්ත්ව. 

සියලුම විකිරණ පරීක්‍ෂණ අධ්‍යයනයන් අවදානම් තත්ත්වයන් ගෙනදේ. මෙම විකිරණයන් ලිංගික සෛල හා අනෙක් සෛල යනාදියට අතුරු ඵලයන් ඇති කළ හැක. වර්ධනය වන සහ භ‍්‍රෑණ සෛල විශේෂයෙන්ම විකිරණ වලට සංවේදී වේ. ඒ නිසා ළමුන් වැඩිහිටියන්ටද වඩා අවදානම් බවක් දක්වයි. ඒ නිසා මෙම පරීක්‍ෂණයන් කළ යුත්තේ අත්‍යාවශ්‍ය නම් පමණක් බව මතක තබාගත යුතුය. 

විකිරණ නිසා ඇති විය හැකි තත්ත්වයක් වන්නේ ජානමය හුවමාරු වීම හා වෙනස්වීම, පිළිකා ඇතිවීම හා සංජානනීය අසාමාන්‍යතා ඇති වීමයි. නැවත නැවත එක්ස් කිරණ වලට අනාවරණය නොවන ලෙසට පත් කිරීමේ අටියෙන් රෝගීන් එක්වරම පරීක්‍ෂණ සඳහා සූදානම් කිරීම් අත්‍යවශ්‍ය වේ. ඒ නිසා X-කිරණ වලට අනාවරණය වීම අවම කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන්ද ආරක්‍ෂිත පලිහකට මුවා විය යුතුයි. මේ සඳහා ඊයම් ඒප‍්‍රන් හා අත් වැසුම් යෙදිය යුතුය. කාන්තාවන් ගර්භනී නම් X– කිරණ වලට අනාවරණය නොවිය යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

IUI එකකින් කරන්නේ මොකද්ද?

සාමාන්‍ය ලෙස පිළිසිඳ ගැනීමක් සිදු නොවන අවස්ථාවන්හිදී එවැනි කාන්තාවන්ට සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අන්තර් ගර්භාෂයික ගැබ් ගැන්වීම (Intra Uterine Insemination) එහෙමත් නැත්නම් IUI ප්‍රතිකාර ක්‍රමය හැඳින්වි හැකියි. මෙහිදී සිදුවන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය කරවීමයි. මෙමඟින් ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම මගින් සංසේචන පහසුකම් ලබාදේ. මෙහි අරමුණ වන්නේ පැලෝපීය නාලය තුළට ඇතුළුවන ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීම මගින් සංසේචනය වීමේ අවස්ථා වැඩි කරවීමයි. මෙම පිළිවෙත සිදු කිරීමේ තවත් අරමුණු වන්නේ ශුක්‍රාණුවල ප්‍රමාණය අඩුවීමත් එහි චලන හැකියාව අඩු වීමත් විය හැකිය. IUI ප්‍රතිකාර ක්‍රමය යනු IVF (In Vino fertilization) සමග සංසන්දය කිරීමේදී වියදම් අඩු, වේදනාව අඩු ප්‍රතිකාර ක්‍රමයකි. 

IUI ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමට බලපෑ හැකි හේතු

  • පැහැදිලි හේතුවක් නොදත් නිසරුභාවය (Unexplained Infertility)

මෙහිදී පළමු ප්‍රතිකාරය ලෙස ඩිම්බ මෝචනය උත්තේජනය වන සේ ඖෂධ ලබාදී ඉන් අනතුරුව IUI ප්‍රතිකාර ක්‍රමය කරයි. 

  • Donor Sperm

පුරුෂයාගේ ජනන හැකියාව ජීවිත කාලය පුරා පැවතුණත් අවුරුදු 55 පමණ වන විට ශුක්‍රාණුවල ගුණාත්මකභාවයේ අඩුපාඩුකම ඇති විය හැක. එවැනි හේතු මත දරුවාගේ උත්පත්ති දෝෂ, අංගවිකලතා ඇති වීමේ අවදානමක් පවතී. මේ හේතූ නිසා ශුක්‍රාණු ගබඩා කරන තත්ත්වය හරහා ශුක්‍රාණු ලබාගැනීමද කළ හැක. 

  • Endometriosis

නිසරුභාවයට හේතූ වන මෙම රෝගයේදී නිරෝගීමත් ඩිම්බයක් ලබාගැනීමේ අරමුණෙන් ඖෂධ භාවිත කරමින් පළමු ප්‍රතිකාරය ලෙස IUI ප්‍රතිකාර ක්‍රමය සිදුකරයි. 

  • නිසරුභාවයට හෝ මඳ සරුභාවයට හේතුවන පුරුෂ සාදක

මෙහි පළමු පියවර වන්නේ ශුක්‍රාණු විශ්ලේෂණයයි. මෙහිදී ශුක්‍රාණුවල ප්‍රමාණය හා එහි චලන හැකියාව පිළිබඳ අසමානතා ඇත්නම් මෙම පරීක්‍ෂණය සිදු කරයි. මෙම ගැටලු මඟහැර ගැනීම සඳහා ශුක්‍රාණු අතරින් ගුණාත්මක ශුක්‍රාණු තෝරාගැනීම සිදුකරයි. 

  • නිසරුභාවයට හේතුවන ගැබ්ගෙල සාධක

ගර්භාෂය පහළ කෙළවර ගැබ්ගෙල පවතින අතර යෝනී මාර්ගය ගර්භාෂය අතර පවතින විවෘත වීම වන්නේ ගැබ්ගෙලයි. ඩිම්බ මෝචනය සිදුවීමට ආසන්න කාලයේදී ගැබ්ගෙල මඟින් ශ්ලේෂමල ශ්‍රාවයන් නිකුත් කරන අතර එමඟින් ශුක්‍රාණුවලට යෝනී මාර්ගය හරහා පැලෝපීය නාලය තුළට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසයි. නමුත් ශ්ලේෂ්මය ඉතා ඝනකම් නම් ශුක්‍රාණුවල ගමනට බාධා කරයි. එසේ ගැබ්ගෙල කොටස් ගැනීම (biopsy) වැනි පිළිවෙත් සිදු කිරීමෙන් පසුව එම ස්ථානවල කැළැල් පටක ඇති වේ. එවිටද ශුක්‍රාණු ගමනට බාධා ඇති වේ. මෙවිට ගැබ්ගෙල ඝනකම් වේ. IUI මඟින් ගැබ්ගෙල මඟහැර ගර්භාෂය තුළ ශුක්‍රාණු තැන්පත් කිරීම සිදු කරන අතර ඩිම්බය වෙත ‍යොමු වන ශුක්‍රාණු ප්‍රමාණයද වැඩි කරයි. 

  • නිසරුභාවයට හේතුවන ඩිම්බ මෝචනය හා සම්බන්ධ සාදක

ඩිම්බ මෝචනය නැවතීම හෝ ඩිම්බ ප්‍රමාණය අඩුවීම වැනි තත්ත්වවලදී මෙම පිළිවෙත සිදු කරයි. 

  • ශුක්‍රාණු තරලයේ අසාත්මිකතාවය

කලාතුරකින් කාන්තාවකට ඇගේ සහකරුගේ ශුක්‍ර තරලයේ ඇති ප්‍රෝටීනවලට ආසාත්මිකතාවයක් ඇති කරයි. යෝනිය තුළට ශුක්‍රාණු මෝචනය වීමේදී එහි රතුවීම, දැවිල්ල, ඉදිමීම ආදී තත්ත්ව මෙන්ම ශුක්‍ර තරලය සමේ ස්පර්ශ වීම නිසා ද යම් යම් ගැටලු ඇති වේ. මෙම තත්ත්වය IUI මඟින් මඟහරවා ගත හැක. 

IUI සිදු කිරීම අනුමත නොකරන අවස්ථා

  • පැලෝපීය නාල වල රෝග තත්ත්ව 
  • ශ්‍රෝණි ආසාධන පිළිබඳ ඉතිහාසයක් තිබීම
  • ගර්භාෂයේ Endometriosis වැනි රෝග තත්ත්ව තීව්‍රව පැවතීම

IUI ප්‍රතිකාර ක්‍රමය සූදානම

  • ශුක්‍රාණු සාම්පල ලබාදීම 

මෙහිදී ශුක්‍රාණු සාම්පල ලබාදීම සිදුවන්නේ වෛද්‍යවරයාගේ කාමරය තුළදී හෝ සායනික කාමරය තුළදීය. ශීතකරණ තුළ ගබඩා කර ඇති ශුක්‍රාණු ද එහි කාමර උෂ්ණත්වයට පත් වූ විට ලබාගත හැක. ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොවන කොටස් මඟින් කාන්තාවන් තුළ ප්‍රතික්‍රියා ඇති කරයි. මේ නිසා සාම්පලය සෝදා එහි ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර දුර්වල ශුක්‍රාණු අතරින් නිරෝගී, ක්‍රියාකාරී ශුක්‍රාණු වෙන්කර ගනී. 

  • ඩිම්බ මෝචනය සිදු කිරීම

ඩිම්බ මෝචනයේදී ඇති වන රූප හා ලක්‍ෂණ පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතරම ඩිම්බ මෝචනය තීරණය කරන උපකරණ (Kit) මඟින්ද රුධිරයේ LH හෝමෝන මට්ටම අධික වීම මඟින්ද යෝනි මාර්ගය හරහා කරනු ලබන ස්කෑනින් පරීක්‍ෂණය මඟින්ද වෛද්‍යවරු ඩිම්බ කෝෂයේ ඇති ඩිම්බවල මේරූභාවය හා නිදහස් වීමට ගතවන දින පිළිබඳව අවබෝධයක් ලබාගනී. HCG හෝමෝනය හෝ වෙනත් ඖෂධ එන්නත් කිරීම මඟින් නිවැරදි කාලයේදී ඩිම්බ මෝචනය සිදු කරගත හැක. ඩිම්බ මෝචනය සිදුවී පැය 24 – 36 අතර කාලය තුළදී IUI සිදු කළ යුතුය. කාමරයක් තුළ සිදුකර හැකි මෙම ප්‍රතිකාරය සඳහා විනාඩි 15 – 20 ක පමණ කාලයක් ගත වේ. වේදනානාශක හෝ වෙනත් ඖෂධ අවශ්‍ය නොවේ. මෙය සුසුදුකම් ඇති වෛද්‍යවරයෙකුට හෝ විශේෂ පුහුණුව ලද හෙදියකට වුවද සිදු කළ හැක. 

IUI ප්‍රතිකාරය සිදු කිරීම

පරීක්‍ෂණ මේසය මත වැතිර සිටින කාන්තාවගේ තට්ටම් ප්‍රදේශය මේසයේ කෙළවර මත සිටින සේ, පාද එසවෙන සේ (lithotomy position) තබයි. එසේ තබා කුඩා නැමෙන සුලු කැතීටරයක් යෝනි මාර්ගය හරහා ගර්භාෂයට ඇතුළු කරයි. එහි කෙළවර ශුක්‍රාණු සාම්පලය සම්බන්ධ කර තිබිය යුතුය. ගර්භාෂය තුළට ශුක්‍රාණු ඇතුළු කිරීමෙන් පසු Speculum හා කැතීටරය ඉවත් කරගනී.

IUI ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු,

ප්‍රතිකාර පසුව කෙටි වේලාවක් එම ස්ථාපිතයේ සිට පසුව සාමාන්‍ය වැඩෙහි නිරතවිය හැක. ශුක්‍රාණු හැලීමක් සිදු නොවේ. 

IUI ප්‍රතිකාරයේ අවදානම් සාධක

  • ආසාධන – සුලු වශයෙන් ඇති විය හැක.
  • Spotting – කැතීටරය ඇතුළු කිරීමේදී යෝනි මාර්ගයේ සුලු හෝ රුධිර වහනයක් සිදුවිය හැක. නමුත් එය ගර්භණීභාවයට හානියක් නොවේ. 
  • බහුගර්භණීතාවයන් (Multiple Pregnancies) – මෙම තත්ත්වය බොහෝ විට ඇති වන්නේ ඩිම්බ මෝචනයන් සඳහා ඖෂධ ලබාගත් කාන්තාවන්ට වේ. මෙහි අවාසිය වන්නේ දරුවකු ඉක්මණින් බිහිවීම හා අඩු දරු උපත් සිදුවීමයි. 

IUI ප්‍රතිකාරය සිදුකර සති දෙකක කාලයක් ගත වූ පසු ගර්භණීභාවය පරීක්‍ෂා කරන පරීක්‍ෂණය සිදු කළ හැක. නමුත් ඊට පෙර සිදුකිරීමෙන් පහත ප්‍රතිඵල ලැබේ. ‍‍

False Negative – මේ වන විට ගර්භාෂයේ ගර්භණී හෝමෝන ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසා Negative ලෙස වැටුණද සත්‍ය ලෙස ගැබ් ගෙන සිටීමටද අවස්ථාව ඇත. ‍

False positive – HCG වැනි හෝමෝන ප්‍රතිකාර ලෙස භාවිත කර ඇත්නම් රුධිරයේ එම හෝමෝන මට්ටම පවතින නිසා ප්‍රතිඵලය Positive විය හැක. නමුත් සත්‍ය ලෙස ගැබ් ගෙන නොමැති විය හැකිය.

IUI ප්‍රතිකාරනේ පසුව යෝනිය හරහා ස්ථාපිතක (Suppository) ලෙස කාන්තාවට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ලබා දෙන අතරම ඉන් සතියකට පසු ප්‍රොජෙස්ටරෝන් මට්ටම, ඊස්ට්‍රජන් මට්ටම හා HCG මට්ටම පරීක්ෂා කරන අතර ගැබ් ගැනීමක් සිදුව ඇත්නම් සාමාන ලෙස එහි ලක්ෂණ පෙන්නුම් කරයි. එතැන් පටන් සාමාන්‍ය ගර්භණීබාවයක් ලෙස එ පවත්වා ගෙන යා හැකිය. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


                

දරුවා හුදෙකලා වීමත් ගැටළුවක්

සමාජ ජිවින් විදිහට අපි කවුරුත් සමාජශීලිත්වය ප්‍රිය කරනවා. එය මානව පරිණාමයේ පටන්ම අපේ ජීවිත සමග සම්බන්ධ සංසිද්ධියක්.ඒ වගේම යම් අවස්ථාවලදී අපි හුදෙකලාව සිටින්නත් ප්‍රිය කරනවා. හුදෙකලාව සිටිම සමහර අයගේ විනෝදාංශයක්.  ඒ තත්වයත් ඉතාම සාමාන්‍යයි.

සමාජය සමග ගැටෙන පුද්ගලයන් දවසේ යම් විනාඩි කීපයක් හෝ හුදෙකලාව සිටින්නට උත්සාහ කරනවා. ගීතයක් අසන්න…ලස්සන සිතුවමක් දෙස බලන්න..එහෙම නැත්නම් පරිසරය නරඹන්න…මෙවැනි කුමන හෝ අවස්ථාවකින් ඔවුන් ජීවිතයට යම් වින්දනයක් ලැබීමට බලාපොරොත්තු වෙනවා. ගසක කොළයක් සෙලවෙන හැටි…සීතල වතුර පාරක් ගලන රටාව..එහෙම නැත්නම් කුරුල්ලෙක් ලේනෙක් අත්තක් උඩ ඉඳගෙන පළතුරක් රස විඳින හැටි බලා සිටින විට අපේ හිතේ යම් සුවදායක සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් හිමිදිරියේ තමන්ගේ දවස ආරම්භ කිරීමට පෙරාතුව පරිසරය සමග මේ විදිහට ගොඩ නගා ගන්නා සම්බන්ධතාවයෙන් දවසට නැවුම් nවක් ලබා ගන්නවා. මේ විදිහට ඔවුන් හුදෙකලා වී පරිසරය වින්දනය කරනවා. එහෙමත් නැත්නම් ගීතයක්, නැටුමක් වැනි සෞන්දර්යාත්මක කටයුත්තක යෙදෙන්න පුලුවනි. එවැනි කටයුත්තකින් දරුවාගේ පවා ජීවිතය අලුත් වෙනවා. වෙහෙසකර බව දුරු වෙනවා. ඔවුන්ගේ මනස ප්‍රබෝධමත් වෙනවා. ඒ නිසා අන්දමට හුදෙකලා වීම නිසා අපේ ජීවිතයට සෘණාත්මක බලපෑමක් ඇති කරන්නේ නැහැ.

මානසික හුදෙකලා බව…

නමුත් ඔබ නිතරම මානසිකව හුදෙකලා බවෙන් පීඩා විඳිනවා නම් එය ඔබේ මානසික නිරෝගිතාවයට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.මට කවුරුත් නැහැ…මට කිසිකෙනෙක් සලකන්නේ නැහැ…මෙවැනි සෘණ සිතුවිලි ඔබේ හිතේ පවා ඇති වෙන්න පුලුවනි. බොහෝ විට ඔබ විසින් ඇති කර ගන්නා මේ මනස් සිතුවිළි පිටුපස කිසිදු සාධාරණත්වයක් නැහැ.ඒත් මානසිකව හුදෙකලා වුන පුද්ගලයා තමන්ට කිසිම කෙනෙක් නැහැ කියන මානසිකත්වයෙන් නිරන්තරව පීඩා විදින්න පටන් ගන්නවා.

දරුවන් අතරත් මානසික හුදෙකලා වීම ඇති වෙනවා…

දරුවන්ට කෑම ඇඳීම , ආහාරපාන ලබා දීමෙන් ඔවුන් තෘප්තිමත්ය කියන ස්ථාවරය දෙමව්පියන් විදිහට ඔබේ හිතේ තිබුනත් ඇත්තටම එය සාධාරණ නැහැ.  දරුවන්ගේ මානසිකත්වය තේරුම් ගැනමත් හිතන තරම් පහසු නැත. වැඩිහිටියන් විදිහට ඔබේ මානසික පසුතැවිල්ල සමහර විට ඔබේ වචනවලින්ම පිට වුනත් දරුවන් තමන්ගේ සිතුවිළි වචනයට නගනවා බොහොම අඩුයි. ඔවුන් ඒවා තමන්ගේ හිතේ දරාගෙන පීඩා විඳිනවා.

දරුවන් අතර මානසික හුදෙකලාබව ඇති වෙන්නේ කොහොමද..

දරුවන් නිතරම වැඩිහිටියන්ගේ ආදරය, ආරක්ෂාව අපේක්ෂා කරනවා. දරුවන්ගේ මෙම මානසික අවශ්‍යතාවය වැඩිහිටියන් විදිහට ඔබ තේරුම්ගත යුතුයි.දෙමව්පියන්ගේ පාර්ශවයෙන් යම් අඩුවක් සිදු වුනොත් එහි බලපෑම නිසා දරුවා මානසිකව හුදෙකලා වීමට පටන් ගන්නවා.

අලුත් අමුත්තෙක් නිවසට පැමිණි විට…

කුළුඳුලේ දකින දරුවාට පවුල් පරම්පරාවම ආදරය කරනවා.එය සාමාන්‍ය දෙයක්. මේ අන්දමට හැම දෙනාගේම ආදරය , අවදානය සමග හැදී වැඩෙන පරිසරයක පවුලට අලුත් අමුත්තෙක් එකතු වීම සමග වැඩිමිහල් දරුවාට පැවැති අවධානය නොදැනීම බිඳ වැටෙනවා. එසේ සිදු වෙන්නේ වැඩිමිහල් දරුවා ගැන අනාදරයෙන් හෝ ඔවුන් නොසලකා සිටිමෙන් නොවෙයි. දෙවැනි දරුවෙක් වෙනුවෙන් නිවස සහ මවගේ සූදානම නිසා පුංචි පුංචි අතපසු වීම් සිදු වෙන්න පුලුවනි.දරුවෙක් කියන්නේ වැඩිහිටියෙකුගේ කුඩා කළ අනුරුවක් විදිහට දකින්න අපි සූදානම් විය යුතු නැහැ.ඒ නිසා දෙවැනි දරුවෙක් එහෙමත් නැත්නම් අලුත් අමුත්තෙක් වෙනුවෙන් සූදානම් වෙන දෙමව්පියන් නිතරම ඔබේ වැඩිමහල් දරුවා මානසිකව හුදෙකලා වීමට ඉඩ තබන්න එපා.

මට කවුරුත් දැන් ආදරේ නැහැ…

දරුවෙක් මානසිකව හුදෙකලා වීම සමග , මට කවුරුත් ආදරේ නැහැ…කියන සිතුවිල්ලෙන් පීඩා විඳින්න පටන් ගන්නවා. ඒ නිසා ඇති වෙන වෙහෙසකර මානසිකත්වය කාලයත් සමග විශාදය හෙවත් depression  තත්වයට පත් වෙන්නත් පුලුවනි.හුදෙකලාබවට පත් වුන දරුවා වෙතින් යම් යම් චර්යාත්මක වෙනස්කම් දකින්නත් පුලුවනි.

  • වෙනදා වගේ සතුටක් නොමැති විම.
  • තරහ , නිකරුනේ ඇඬීම, ආවේගශීලිත්වය
  • ආහාර වැඩියෙන් ගැනීම හෝ ආහාර ප්‍රතික්ෂෙප කිරීම

මෙවැනි චර්යාත්මක වෙනස්කම් දුටු විට දෙව්පියන් විදිහට ඔබ දරුවා ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත්. දරුවා තුළ ඇති වෙන මෙවැනි සෘණාත්මක ආකල්ප නිසා ජීවිතයේ ඉදිරිගමන තුළ දැඩි බලපෑම් ඇති වෙන්නත් පුලුවනි.

දරුවා නිතරම දුකින් සහ තරහෙන් සිටින නිසා මානසික සතුට පිරිහි ගිය චරිතයක් නිසාම දුර්වල පෞරෂ ලක්ෂණ ඇති වීමට ඉඩ තිබෙනවා.

  • සමාජය සමග සම්බන්ධ වීමට බියක් සහ කුලෑටි බව
  • තමන් ගැන ආත්ම විශ්වාසයක් නොමැති වීම.

දරුවන් මානසිකව හුදෙකලා චරිත වීමට ඉඩ තැබිය යුතු නැහැ…

දෙමව්පියන් ලෙස Tබේ දරුවා මානසිකව හුදෙකලා චරිතයක් වීමට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා නිතරම දරුවාට ආදරය දක්වන්න. දෙමව්පියන්ගේ ආදරය සීමාවක් නැහැ. දරුවන් තුළ ශක්තිය ගොඩ නගා ගැනීමට දෙමව්පියන්ගේ ආදරය දිව්‍ය මන්තරයක්. හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවාට ආදරය බව ඇත්ත. නමුත් දෙමව්පියන්ගේ ආදරය ගැන දරුවාගේ හදවතේ ගොඩ නැගෙන විශ්වාසය වඩාත් වැදගත්.ඒ නිසා නිතරම දරුවා පවුලේ වැදගත් සාමාජිකයෙක් බව ඒත්තු ගන්වන්න.