Home Blog Page 21

වර්ණ මගින් දරුවෙකු උත්තේජනය වන්නේ කෙසේද?

දරුවන් උපන් විගස ආලෝකයට සංවේදීයි. ඉපදී මුල් දින කිහිපය තුලදී දීප්තිමත් ආලෝකයක් දුටු විට දෙනෙත් පියා විසිරුණු ආලෝකය දෙසට නෙත් හරවනු දැකිය හැකියි. එහෙත් මාස තුනට අඩු දරුවන්ට වස්තුවක් පිහිටි දුර අනුව ඇස් දෙකම එක එල්ලේ යොමු කල නොහැකියි. එහෙත් සෙන්ටිමීටර 30 ක් පමණ දුරින් පිහිටි වස්තූන් වෙත මාස 3 ට අඩු දරුවන්ට දෑස් යොමු කළ හැකියි. ඉපදී සති 3 ක් පමණ වන විට මව කතා කරන විට, මව්කිරි ලබා දෙන විට මවගේ මුහුණ දෙස බලා සිටින බව දැකිය හැකියි.  

සති 3 ක් පමණ වයස දරුවකුට මවගේ මුහුණ එහා මෙහා චලනය වන විට එය බලා සිටින්නටත් අංශක 900 කෝණයකින් ඇස් හරවා බැලීමටත් හැකිවේ. එහෙත් ආලෝක ප‍්‍රතීකය (ඇසට ආලෝකය වැටුණු විට ඇසෙහි කණීනිකාව කුඩා වීම) කුඩා දරුවකු තුලින් දැකීමට මසක් පමණ ගත වේ. මාසයකට පමණ පසු ජනේලයකින් වැටෙන එළිය හෝ මේස ලාම්පුවක ආලෝකය දකින්නට දෙඇස් හා බෙල්ල හැරවීම දැකිය හැකියි. 

මෙසේ දරුවන් ආලෝකයට සංවේදී වීම උපතින් මාසයක් පමණ ගත වූ තැන සිදු විය හැකි අතරම මුහුණ ඉදිරිපිට දීප්තිමත් වර්ණ සහිත සෙල්ලම් බඩුවක් තැබූ විට ඒ දෙස ඔවුන්ගේ දෑස් යොමු කරයි. එහෙත් එක දිගට බලා සිටීමට නොහැකි අතර තත්පරයක් දෙකක් පමණ එදෙස බලාහිඳී. එසේම මාස 3 ක් පමණ වන විට දෑස් ඉදිරිපිට ඇති සෙල්ලම් බඩුව තිරස් හා සිරස් අතට චලනය වන ආකාරය අංශක 800 ක කෝණයකින් මුහුණ හරවා බැලීමටද හැකියාව ලබයි. 

මෙසේ වර්ණ හා උත්තේජනය ලබන දරුවා මාස 6 ක පමණ වන විට සෙන්ටිමීටර 30 ක් දුරින් ඇති වර්ණවත් සෙල්ලම් උපකරණ දෙස හිස හා ඇසුත් හරවා බැලීමට හැකියාව ලබනවා සේම දෑත් විදා එම සෙල්ලම් උපකරණය අල්ලා ගැනීමටද උත්සහ දරයි. එසේම මෙම දරුවාගේ අතට දුන් සෙල්ලම් බඩුව වැටුණේ නම් එය පෙනෙන ආසන්න තැනක තිබේ නම් ඒ දෙස බැලීමටත් නොපෙනෙන දුරක තිබේ නම් දෙඅත් හා දෑස ඉලක්කයකින් තොරව සොයා බලා එය සෙවීම අත්හරී. එසේම මාස 6 දීද තියුණු ආලෝකය දුටු විගස ඇස් වසා ගනී. 

මාස 6 ආසන්නයේ සිටින දරුවන් අනෙක් අය කරන කියන දේ පිළිබඳව විමසිලිමත්ව බලා හිඳීන අතර මොවුන් ප්‍රතිචාර දැක්වීමේදී ඇස් දෙකම එකට චලනය වේ. එසේ නොවන දරුවන් තුල ඇති දෘශ්‍ය ගැටළු එනම් වපරය මේ වන විට හඳුනාගත හැකි වනවා මෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමද කළ යුතු වේ. 

දරුවා වැඩෙත්ම විමසිලිමත් බව වැඩිවන හෙයින් මාස 9 දී පුද්ගලයින් හෝ සිද්ධීන් දෙස අවධානයෙන් බලා සිටින්නටත් ඒ වෙත ප‍්‍රතිචාර දැක්වීමත් හොඳින් සිදු කරයි. වසරක් වන විට දරුවා දන්නා හඳුනන පුද්ගලයින්ගේ මුහුණු හඳුනා ගන්නටත් ගහකොළ, සතුන්, මල් ආදිය දෙස බලන්නටත් උගනී. එසේම පින්තූර දෙස බලා සිටින්නටත් ඒවා අනුව ප‍්‍රතිචාර දක්වන්නටත් පුරුදු වන්නේ දෘශ්‍ය සංවර්ධනය වැඩි වන හෙයිනි. 

වයස මාස 15 – 18 වන විට හුරු පුරුදු පුද්ගලයන් හඳුනා ගන්නට හැකියාව ලබන අතරම ඔවුන් ඈත් මෑත් වන විට ඒ දෙස බලා සිටී. වයස අවුරුදු 2 ක් වන විට පින්තූර දෙස බලමින් ඒවායේ දේ හඳුනාගන්නටත් දරුවා සමත් වේ. එසේම මවගේ හෝ වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් වරක් පෙන්නූ විට එය නැවත පෙන්වන විට හඳුනා ගැනීමට දරුවා සමත් වේ. 

වයස අවුරුදු 2 ½  දී පොතක ඇති පින්තූර, කතා විස්තර කර දුන් පසු නැවත එය හඳුනා ගන්නට මෙන්ම දරුවාගේම පින්තූරයක් පෙන්වා පසුව නැවත පෙන්වීමේදී හඳුනා ගන්නට හැකිවා සේම වයස අවුරුදු 3 වන විට වැඩිහිටියෙකු තරමටම දුර බැලීමට පුළුවන් වේ. 

උපතේදී කළු හා සුදු වර්ණ පමණක් හඳුනන අතර ක‍්‍රමයෙන් වැඩෙත්ම වර්ණ සඳහා සංවේදන දක්වන මුත් මූලික වර්ණ හඳුනා ගැනීමට වයස අවුරුදු 3 දී පමණ වේ. එහෙත් උපතේ සිටම පැහැදිලි වර්ණවත් ක‍්‍රීඩා උපකරණ දකින්නට සැලැස්වීමත් ඒවායේ චලනයන් දැකීමට සැලැස්වීමත් තුලින් ඇස් වල ස0වේදීතාව වැඩි දියුණු කල හැකියි.

බිත්තර සුදු පාටයි, මැද කහපාටයි, පොල් මද සුදු පාටයි, ආදී ලෙසින් ආහාර ද්‍රව්‍ය පාවිච්චි කරන සෑම අවස්ථාවකම ඒවා දරුවාට ඇසෙන ලෙසින් කීම මගින් පවා වර්ණ පිළිබඳ උත්තේජන වැඩි කල හැකි වේ. එසේම ඇඳුම් අන්දවන විට ඒවායේ පාට ගැන කතා කිරීම ද, කෑම කවන විට ආහාරයේ පාට ගැන කතා කිරීම ද දරුවාගේ වර්ණ පිළිබඳ උත්තේජනයන් වැඩි කළ හැකි වේ. තවද විනෝදාස්වාදය සමගින් ගීත ගායනය කිරීමේදී නිර්මාණශීලී ලෙස වර්ණ හඳුන්වා දීමට හැකි වේ. 

ජම්බු ජම්බු රතු පාටයි

ඉදුණු ජම්බු රතු පාටයි

 

මගෙ පොඩි තාරා- පී. පී. ගෑවා

හොට රතු පාටයි – ඇඟ සුදු පාටයි

 

ගිරවගේ හොට රතු පාටයි – උගෙ බෙල්ලත් රතු පාටයි

තනිකර ඇඟ කොල පාටයි – ලස්සන ගිරවා

 

මේ ආදී ලෙසින් ක‍්‍රීඩාවෙන් මෙන්ම විනෝදයෙන් දරුවන් සඳහා උත්තේජන ලබාදීම තුලින් මොලයට ලැබෙන සංවේදන හරහා දරුවන් වර්ණ පිළිබඳ උත්තේජන ලබා මොලයේ සංවර්ධනය තීව‍්‍ර කරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

Scoliosis හෙවත් පැතිකුදය ගැන තව තවත් දැනුවත් වෙමු

පැතිකුදය යනු කොදු ඇටපෙළේ ඇතිවන ත්‍රිමානාත්මක සහ ව්‍යුහාත්මක අසාමාන්‍යතාවයයි. බාහිරින් බැලූ කල කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමක් පෙන්නුම් කරයි. මෙය වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ කුඩා ළමුන්ගේ හෝ නව යොවුන් වියෙහි දරුවන්ගේය. මෙහි පැතිරීම හා බලපෑම වැඩි වශයෙන් බලපාන්නේ පිරිමි ළමුන්ට වඩා ගැහැණු දරුවන් සඳහාය. කොදුඇටපෙළ එක් පසකට වක්‍ර වීමත් සමගම කොදුඇටපෙළෙහි කශේරුකා (vertebrae) එක් පසකට භ්‍රමණය (rotate) වීමට පටන් ගනී. එවිට ඉළ ඇට කූඩුව (ribcage) උරස් අස්ථිය (scapula) සමඟ  එක් පසකින් කැපී පෙනෙන ලෙස පිටතට නෙරායාමක් පෙන්නුම් කරයි. මෙසේ කොදුඇටපෙළෙහි ව්‍යුහය වෙනස් වීමත් සමගම, පහත ආකාරයට මිනිස් දේහයේ බාහිර වෙනස්කම් හටගනී.

1.ඉණ මට්ටමේ අසමානතාවය සමග උකුලේ එක් පැත්තක් අසාමාන්‍ය ලෙස ඉහළට උස් ව පිහිටයි. 

(Pelvic asymmetry)

  1. උරහිස් මට්ටම අසමාන වන අතර එක් උරහිසක් අනෙක් උරහිසට වඩා ඉහළින් පිහිටයි.

(Shoulder asymmetry)

  1. එක් උරහිස් තලයක් (උරස් අස්ථියක්) ඉහළ හා කැපී පෙනේ.

(Scapular prominence)

  1. අත සහ කද අතර අසමාන පරතරයන් පිහිටයි.

(Asymmetrical arm gap)

  1. ඉදිරියට නැමෙන විට උරස් කූඩුවේ එක් පසක් අනෙක් පසට වඩා ඉහළින් පිහිටයි.

(Rib hump/ Rib prominence)

  1. මුළු සිරුරම එක් පසකට නැඹුරු වීමත් සමගම හිස ශරීරය සමග කේන්ද්‍රගත නොවේ.

(Asymmetrical vertical alignment)

ඔබේ දරුවා කොන්දේ වේදනාවකින් පෙළෙනවා නම්, දෙමව්පියන් වන ඔබ මේ රෝගී තත්ත්වය හා ශරීර වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ. එමගින් දරුවන්ගේ වර්ධනයට සමගාමිව සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම පැතිකුද තත්ත්ව හදුනාගෙන, ඒවාට මූලික ප්‍රතිකාර ලබා එම තත්ත්ව මගහරවා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, බරපතල ලෙස වර්ධනය වන පැතිකුද තත්වයන් වලදී ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට පවා ගැටලු ඇතිවිය හැක. ඔබේ දරුවාට පැතිකුදය  තිබේදැයි නිවසේදීම පරීක්ෂා කල හැක. ඉහත රූපයේ ආකාරයට දණහිස් නොනමා ඉදිරියට නැමීමට සලස්වා අසමානතාවක් ඇත්නම් අදාළ වෛද්‍යවරයකු වෙත හැකි ඉක්මනින් යොමුකල යුතු වේ.

ගැහැණු දරුවන්ගේ ඉතා වැදගත් කාරණය වන්නේ ඔවුන් වැඩිවියට පත්වීමට ආසන්නයේ ඉතා සීඝ්‍ර දේහ වර්ධන වේගයක් පෙන්නුම් කිරීමයි. ඒ හේතුවෙන් පැතිකුද තත්ත්වයක් තිබුණහොත් මෙම කාල සීමාවේදී එය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ. එමනිසා වැඩිවියට පත්වීමට පෙර හෝ වැඩිවියට පත්වන කාලසීමාවේදී මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

පැතිකුදය ඇතිවන හේතු සහ එහි වර්ගීකරණය 

පැතිකුදය එය හටගන්නා හේතුව මත පහත ආකාරයට වර්ගීකරණය කළ හැක.

  • හේතුවක් නොදන්නා පැතිකුද තත්ත්ව (Idiopathic scoliosis)
  • මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුද තත්ත්ව (Neuromuscular scoliosis)
  • සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුද තත්ත්ව (Congenital scoliosis)
  • අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුද තත්ත්ව (Degenerative scoliosis)

මෙයින් පළමුවෙන් සදහන් කළ වර්ග 3 වැඩි වශයෙන් ළමුන් හා සම්බන්ධ පැතිකුද තත්වයන්ය.

 

හේතුවක් නොදන්නා පැතිකුදය (Idiopathic scoliosis)

මෙම පැතිකුද වර්ගය හටගන්නා හේතුව නොදන්නා අතර ඉතා බහුලව දක්නට ලැබෙන වර්ගයයි. එය හටගන්නා වයස් පරතරය අනුව වර්ග 3කට බෙදිය හැක.

1) ළදරු අවදියේ හටගන්නා පැතිකුදය (Infantile Idiopathic Scoliosis) – 0.5%

මෙය උපතේ සිට අවුරුදු 3ත් අතර ළදරුවන්ගේ හටගන්නා පැතිකුද තත්ත්ව වන අතර වෙනත් උපතින්ම හටගන්නා ආබාධ නොමැති අවස්ථාවලදී හඳුනාගනී. 

2) බාල අවදියේ හටගන්නා පැතිකුදය (Juvenile Idiopathic Scoliosis) – 10.5%

මෙම පැතිකුද තත්වය අවුරුදු 4ත් 10ත් අතර බාල දරුවන්ගේ හටගන්නා අතර වැඩි වශයෙන් පිරිමි දරුවන්ගේ දක්නට ලැබේ. මෙම පැතිකුද තත්ත්වය වැඩි වශයෙන් උරස් ප්‍රදේශයේ ඇතිවන අසාමාන්‍යතාවක් ලෙස දක්නට ලැබේ. එමනිසා මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් බරපතල ලෙස හෘදය හා පෙනහලු වලට බලපානු ඇත.

3) නව යොවුන් වියෙහි හටගන්නා පැතිකුද(Adolescent Idiopathic Scoliosis) – 89%

මෙය දරුවන්ගේ ඉතාමත් බහුලවම හටගන්නා පැතිකුද තත්ත්වය වන අතර අවුරුදු 10ත් 18ත් අතර කාලයේදී (අස්ථි පරිණතභාවයට පත් වීමට පෙර) හටගනී. ගැහැනු දරුවන්ගේ බහුලව දක්නට ලැබෙන අතර, 4 – 5% ක ප්‍රමාණයක නව යොවුන් දරුවන්ගේ මෙය හටගනී. කළින්  සදහන් කළ පරිදි වැඩිවියට පත්වන අවදියේ මෙය සීඝ්‍ර ලෙස වර්ධනය වේ.

 

මාංශපේෂි හා ස්නායු පද්ධතියේ වෙනස්කම් නිසා හටගන්නා පැතිකුදය (Neuromuscular scoliosis)

කොදුඇටපෙළ ශක්තිමත්ව සහ ස්ථාවරව තබාගැනීමට උපකාර වන මාංශපේෂි නිසි ආකාරව ක්‍රියා නොකරන රෝගී අවස්ථාවලදී මෙම පැතිකුද තත්ත්වය හටගනී. එනම්, කොදුඇටපෙළ ශක්තිමත්ව තබාගන්නා මාංශපේෂි දුර්වල වූ අවස්ථාවල හෝ ඒවා ප්‍රමාණය ඉක්මවා තද වූ අවස්ථාවල මෙම පැතිකුදය හටගනී. එය පහත දැක්වෙන රෝගී අවස්ථාවලදී හටගත හැකිය.

ස්නායු ආශ්‍රිත ‍රෝග

  • මස්තිෂ්ක ආඝාතය (Cerebral palsy)
  • පෝලියෝ (Poliomyelitis)
  • කොදුඇටපෙළෙහි මාංශපේෂි ක්ෂීණවීම (Spinal muscle atrophy)
  • සුෂුම්නාව හා ස්නායු දේහයෙන් පිටතට නෙරායාමේ තත්ත්ව (Myelomeningocele)
  • කොදුඇටපෙළ ආශ්‍රිතව සුෂුම්නාවට හානිවන අවස්ථා (Spinal trauma)

මාංශපේෂි ආශ්‍රිත රෝග;

  • උපතින්ම සිදුවන හන්දි තදවීම් (Congenital joint contracture/Arthrogryposis)
  • ක්‍රමක්‍රමයෙන් මාංශපේෂි පරිහානි වීමේ තත්ත්ව (Duchenne Muscular Dystrophy)

සංජානනීය හෙවත් උපතේ සිට ඇති පැතිකුදය (Congenital scoliosis)

මෙම පැතිකුදය මිනිසුන්ගේ උපතේ සිටම ඇතිවන තත්වයකි. එයට හේතුව වන්නේ කොදුඇටපෙළ නිර්මාණය වීමේදී නිවැරදි ලෙස අස්ථි නියමිත හැඩයෙන් එකිනෙක සම්බන්ධ නොවීමයි. අලුත උපන් ළදරුවන්ගේ 10,000න් එක් අයෙකුට මෙම රෝගී තත්වය හටගනී. එය ඔබට පහත ආකාරයට සරළව උපකල්පනය කළ හැක.

“සෘජුකෝණාස්‍රාකාර ගඩොල් කැට එක මත එක තැබීමෙන් ලැබෙන සෘජු ආකාර ස්ථම්භය නීරෝගී කොදුඇටපෙළ යැයි උපකල්පනය කළහොත්, මෙම රෝගී තත්ත්වයේදී එහි මැදින් ත්‍රිකෝණාකාර ගඩොලක් පිහිටයි. එමනිසා මුළු කොදුඇටපෙළම එක් පසකට නැමීමක් හෝ වක්‍ර වීමක් සිදුවේ”

අස්ථි පරිහානියට පත්වීමෙන් හටගන්නා පැතිකුදය (Degenerative scoliosis)

වයස්ගත වීමේදී සිරුරෙහි ඇතිවන ස්වභාවික වෙනස්කම් හේතුවෙන් සුෂුම්නාව සහ ඊට ආශ්‍රිත ව්‍යුහයන් පරිහානියට පත්වීම නිසා මෙය හටගනී. සාමාන්‍යයෙන් වයස අවුරුදු 65ක් පමණ වනවිට මේ තත්වය හටගනී.

පැතිකුදය සඳහා වන ප්‍රතිකාර සහ විසදුම්

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණයක් (spinal brace/spinal orthosis) මගින් පැතිකුද තත්ත්වයට ප්‍රතිකාර කිරීම සිදුකල හැක. පැතිකුදය නිවැරදි කිරීම සඳහා ඉතාමත් ඵලදායි සහ සරළම ක්‍රමය වන්නේ ආධාරක උපකරණ (spinal brace) පැළදීමයි. එමගින් කොදුඇටපෙළෙහි ඇතිවන වක්‍රතාවය තවතවත් වැඩිදියුණු වීම අඩාලවීම හෝ නැවතීම සිදුවේ.

Spinal orthosis brace

ඉතාමත් ඵලදායි ප්‍රතිඵල ලබාගැනීම සදහා මෙම උපකරණය අදාල කාලසීමාව තුල අදාල පැය ගණන (දිනකට) පැළඳිය යුතු වේ. අස්ථි වර්ධ‍නය නතර වන කාලසීමාව වන තෙක්ම මෙය පැළදීම වඩාත් යෝග්‍ය වේ. තවදුරටත්, මෙම පැතිකුද තත්ත්වය නිවැරදි කළ හැකි උපරිම මට්ටමට ළගාවීමට නම් භොතචිකිත්සක (physiotherapy) ප්‍රතිකාර ක්‍රම සිදුකිරීම අනිවාර්ය වේ. එමගින් කොදුඇටපෙළෙහි මාංශපේෂි සමබරව පවත්වා ගැනීමෙන් දේහ ඉරියව් නිවැරදි මට්ටමට හැඩගස්වා ගැනීම සිදුකළ හැකිවේ. මෙහිදී එක් එක් රෝගියාට වෙන් වෙන්ව විශේෂිත වූ ක්‍රම ඔස්සේ පැතිකුදයේ වක්‍රතාවය නිවැරදි කිරීමට අදාල ව්‍යායාම සිදුකරන අතර ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු වලදී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙනු ලැබේ. 

කොදුඇටපෙළෙහි පැතිකුදය නිවැරදි කිරීමට සහ කොදුඇටපෙළෙහි නිවැරදි ඉරියව්ව පවත්වා ගැනීමට ශරීරයට පිටතින් පළදන ආධාරක ශල්‍ය උපකරණ (spinal brace/spinal orthosis) පිළිබඳව වැඩි විස්තර ඉදිරි ලිපියකදී බලාපොරොත්තු වන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අංගාදේශක හා ඍජුකරණඥවේදී (Orthotist and Prosthetist) අරුණ මදුරංග මහතා

ජාතික රෝහල

කොළඹ

 

 

මේ හා සම්බන්ධව වැඩි දුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අයෙක් වේ නම් 0774116964 අංකයට අමතන්න. 


                

ආර්තවාභාවය ගැන ඔබ දැනුවත්ද?

කාන්තාවකගේ ජීවිතයේ ආර්තවාභාවය/ ආර්තවාභාවහරණය (Menopause) යනු ඔසප් චක‍්‍රය නැවතීමයි. මෙය සාමාන්‍යයෙන් අවුරුදු 45 – 50 අතරදී සිදු වේ. කාන්තාවගේ ඩිම්බ කෝෂ වලින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන නිෂ්පාදනය කිරීම නැවතීම හේතුවෙන් ආර්තවහරණය සිදු වේ. ආර්තවහරණය සිදුවීමට වසර කිහිපයක පෙර සිට වෙනස්කම් සහ ලක්‍ෂණ ආරම්භ වේ. මෙහිදී පහත ලක්‍ෂණ ඇති වේ. 

ආර්තවහරණය පෙර පෙන්නුම් කරන ලක්‍ෂණ

  • ඔසප් චක‍්‍රයේ වෙනස්කම්
  • මෙහිදී ඔසප් චක‍්‍රය සාමාන්‍ය පරිදි නොව නැවතීමට ආසන්න කාලයේදී දිගු හෝ කෙටි වේ. එසේම රුධිරවහනය අධික වීම හෝ කලින් පැවති ප‍්‍රමාණයට වඩා අඩුවීම. 
  • එසේම ඔසප් චක‍්‍රයන් දෙකක් අතර ඇති වන රුධිර වහනය දැකිය හැක. 
  • ශරීරය උණුසුම්/රත් පැහැවීම හෝ රාත‍්‍රියට දහදිය දැමීම.
  • නින්ද සඳහා ගැටළු ඇති වීම/ බාධා ඇති වීම.
  • යෝනිය ආශ‍්‍රිත වියලි වීම. 
  • මානසික ස්වරූපය වෙනස්කම් (කාන්සාව/මානසික අවපීඩනය)
  • වෙව්ලීම
  • බර වැඩිවීම සහ පරිවෘත්තිය සෙමින් සිදු වීම
  • කෙස් තුනි වීම හා වියලි සම
  • පියයුරු වල පිරුණු ගතිය අඩුවීම හා අල්ලන විට වේදනාව 
  • ලිංගිකත්වයට ඇති කැමැත්ත අඩුවීම 
  • හිසරදය
  • අත් පා හිරි වැටීම 
  • තෙහෙට්ටුව
  • රසයෙහි වෙනස්කම්
  • සන්ධි වේදනාව/පේශී වේදනාව 
  • මතකයේ වෙනස්කම්
  • නොරිස්සුම් ස්වභාවය

ආර්තවාභාවය ප‍්‍රධාන ලෙස අවධි 3 කි. 

  1. Perimenopause – ආර්තවාභාවය ඇති වීම ආරම්භ වන කාලයයි. මෙහිදී හෝමෝන ප‍්‍රමාණය අඩුවීම ආරම්භ වන අතර අක‍්‍රමවත් වේ. සමහර විට ශරීරය උණුසුම් වීම හෝ යෝනිය වියලි වීම ආදී ලක්‍ෂණ ඇති විය හැක. 

2.Menopause – හෝමෝන නිෂ්පාදනය නවතින විට ක‍්‍රමයෙන් මාස 12 ක කාලය තුලදී නැවතීමේ ලක්‍ෂණ ඇති වෙමින් අවසානයේදී නවතී. 

3.Postmenopausal – ආර්තවාභාවයෙන් පසු කාලයයි. ආර්තවාභාවයට පසුව බොහෝ විට සෞඛ්‍ය ගැටළු එනම් අස්ථි දිරායාම (Osteoporosis) හා හෘද රෝග වැනි තත්ත්ව ඇතුළු වීම බහුල වේ. ආර්තවය නැවතී ඉන් විවේකය ගන්නා කාලයයි. 

ආර්තවාභාවයෙන් පසුව රුධිරවහනය 

ආර්තවාභාවයෙන් පසුව රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර එසේ වන්නේ හෝමෝන අඩුවීමේ අතුරු ආබාධ ලෙසය. සමහර අවස්ථාවලදී යෝනියේ මෙම වියලි ගතිය හේතුවෙන් ලිංගික සංසර්ගයෙන් පසුව සුළු රුධිරවහනයක් හෝ රුධිර බිංදු කිහිපයක් පිටවිය හැක. එසේම සමහර අවස්ථාවලදී මෙසේ ඇති වන රුධිර වහනය පහත සෞඛ්‍ය තත්ත්ව නිසා ඇති වේ. 

  • Endometrial hyperplasia/uterine fibroids
  • ආසාධන. (Endometritis)
  • පිළිකා 

මේ නිසා ඉහත ආකාරයේ රුධිර වහනයකදී වෛද්‍ය උපදෙස් ගත යුතුය. 

ආර්ථවාභාවයෙන් පසුව ඇති වන ලක්‍ෂණ සඳහා ප‍්‍රතිකාර 

හෝමෝන ප‍්‍රතිකාර

අවුරුදු 60 අඩු අය සඳහා නියම කරයි. එසේම හෝමෝන ප‍්‍රතිකාරය මගින් රුධිර කැටි ඇතිවීමේ අවදානමක් පවතින අතර එමගින් ආඝාතය (stroke) තත්ත්වය ඇති විය හැක.

  • මානසික අවපීඩනය/ආතතිය සඳහා මානසික ස්වරූප වල වෙනස්කම් සඳහා ලබාදෙන ප‍්‍රති අවපීඩන ඖෂධ (antiDepressant drug)
  • ලිංගික සංසර්ගයේදී යෝනියේ වියලිභාවය නිසා වේදනාව ඇති වේ. මෙය වළක්වා ගැනීමට ක‍්‍රීම් වර්ග ලබා දේ 
  • ශරීරය රතු වීම/උණුසුම් බව අඩු කිරීමට Gabapentin වැනි ඖෂධ ලබාදේ. 

මෙහිදී ඇති වන තත්ත්වයන්/අපහසුතා මගහැරවීමට ගත හැකි ස්වයං ක‍්‍රියාමාර්ග ලෙස ජීවන රටාව වෙනස් කිරීම හෝ නිවසේ විසීමේදී වෙනස්කම් ඇති කරගැනීම තුල මෙම ලක්‍ෂණ මගහරවා ගත හැක. ලිංගික සංසර්ගයේදී ජල මිශ‍්‍රිත ස්නේහකයක් භාවිතය මගින් එම අවස්ථාව වඩාත් ප‍්‍රීතිමත් තත්ත්වයකට පත් කරගත හැක. ස්නේහකය මගින් යෝනි මාර්ගය වියලි බව, වේදනාව මගහරවයි. ක‍්‍රමානුකූල ව්‍යායාම, භාවනා ක‍්‍රම හා වෙනත් ඉහිල් වීමේ ක‍්‍රියාමාර්ග මගින් මානසික අවපීඩනයට පත් වීම හා ආර්තවාහරණයේ අතුරු ආබාධ වළක්වයි. 

  • Phytoestrogen (එනම් Estrogen ලැබෙන පැලෑටි ආශ‍්‍රිත ප‍්‍රභවයන්) ආහාරයට වැඩිපුර එකතු කරගැනීම – ධාන්‍ය වර්ග, flaxseed, chickpeas, legumes
  • alcohol භාවිතය අඩු කිරීම. 
  • Hot flashes – ශරීරය උණුසුම් රත් පැහැවීම වළක්වා ගැනීමට සිසිල් ජලය පානය, විදුලි පංකා අසල නිදාගැනීම/වාඩිවීම. තුනී ඇඳුම් ඇදීම. 
  • ශ්‍රෝනි පත්ල ශක්තිමත් වන ව්‍යායාම සිදු කිරීමෙන් මුත‍්‍රා වහනය වීම වළක්වා ගැනීම 
  • මතකය පිළිබඳ ගැටළු වළක්වා ගැනීමට සමාජීය හා මානසික ලෙස ක‍්‍රියාකාරී වීම. 
  • දුම්පානයෙන් වැළකීම. 

ආර්තවාභාවයෙන් පසු ඇති විය හැකි රෝගාබාධවල අවදානම 

  • රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිත රෝග

ඊස්ට‍්‍රජන් හෝමෝනය මගින් රුධිර සංසරණ පද්ධතිය ආශ‍්‍රිතව ඇති වන හෘද රෝග, ආඝාතය වැනි තත්ත්ව ඇති වීමෙන් ආරක්‍ෂා කරයි. මේ නිසා ආර්තවාහරණයත් සමග ඇති වන අධික කොලෙස්ටෙරෝල් ඇති වීම අධික රුධිර පීඩනය ඇති වීමේ සාමාන්‍ය තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය මගින් රුධිර සංසරණ රෝග තත්ත්ව සඳහා මගපෙන්වයි. 

  • හෘද රෝග

සෞඛ්‍යමත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකීම හා ක‍්‍රමානුකූල ව්‍යායාම මගින් හෘද රෝග ඇති වීම වළක්වයි.

  • Osteoporosis

ඊස්ට‍්‍රජන් හෝමෝනයේ මට්ටම අඩු වීමත් සමග ඇති වන ආරීතවාභවයේදී අස්ථි වල ඝනත්වය 25% කින් අඩු වේ. (දල වශයෙන් වසරකට 1%-2%) අස්ථි වල ඝනත්වය අඩුවීම හේතුවෙන් මෙම ත්තත්වය හා අස්ථි බිඳීම වැඩිවේ. විශේෂයෙන් උකුල, මැණික් කටුව, සුෂුම්නාව ආදියේ අස්ථි බිඳීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇත. 

  • Virginal atrophy

රුධිරයේ ඊස්ට‍්‍රජන් හෝමෝන මට්ටම අඩුවීමත් සමග යෝනි මාර්ගයේ ඇති පටක ඉතා තුනී වේ. එසේම ක්‍ෂය වීම ආරම්භ කර ඇත. මේ හේතුව නිසා යෝනි මාර්ගය වියලි වේ. එසේම ඊස්ට‍්‍රජන් හෝමෝනය අඩුවීම තුල මුත‍්‍රාගර්භය හා මුත‍්‍රාශය තදවීම තුල මුත‍්‍රා වැඩිවීමක් සිදුවිය හැක. 

  • Mental Health issues

ආර්තවාභාවයෙන් පසුව බොහෝ කාන්තාවන්ගේ ස්වරූපයේ වෙනස්කම්, කාංසාව හා මානසික අවපීනය ඇති වේ. මේ තත්ත්ව ඇති වීමට මානසික ආතතිය, ලිංගික ආතතිය හෝ ශරීරයේ වෙනත් අභියෝග පැවතීම මීට හේතු වේ. සමහර කාන්තාවන්ට තමාට දරුවෙකු සෑදීමේ හැකියාව නොමැති වීම ගැන දුකක් ඇති වේ. මෙහිදී මෙම තත්ත්වයන් දිගින් දිගට පවතීනම් උපදේශන සඳහා යොමු කළ යුතුය. 

ආර්තවාභාවයට හේතූ

  • ස්වභාවික ප‍්‍රජනක පද්ධතිය ආශ‍්‍රිතව හෝමෝන අඩුවීම. 

අවු.30 ලඟාවීමත් සමග කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලින් නිපදවන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් ප‍්‍රමාණය අඩුවීම ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරන මෙම හොමෝන අඩුවීම තුල දරුවෙකු සෑදීමේ හැකියාව අඩු කරවයි. 

  • ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම (oophorectomy)

ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් හා ප්‍රොසේටෙරෝන් ඇතුළු හෝමෝන නිපදවයි. මේවා මගින් ඔසප් චක‍්‍රය ක‍්‍රමානුකූල කරයි. ශල්‍යකර්මයකින් ඩිම්බ කෝෂ ඉවත් කිරීම මගින් හදිසියේ ආර්තවාභාවය සිදු වේ. එවිට ආර්තවාභාවයෙන් පසුව ඇති වන ලක්‍ෂණ ඇති වේ. අවුරුදු කිහිපයක සිට ක‍්‍රමයෙන් ඇති වන ආර්තවභාවයට වඩා මෙහිදී ඇති වන ආර්තවාභවය ආශ‍්‍රිතව පවතින ලක්‍ෂණ වඩා තීව‍්‍ර වේ. 

ශල්‍යකර්මයක් මගින් ඩිම්බකෝෂ ඉවත් නොකර ගර්භාෂය පමණක් ඉවත් කළ විට (Hysterectomy) ඉක්මන් ආර්තවාභාවයක් ඇති නොවේ. දිගු කාලීනව ඔසප් චක‍්‍රය නොනැවතුනද ඩිම්බ කෝෂ පවතින නිසා ඩිම්බ සාදන අතර ඊස්ට‍්‍රජන් හා ප්‍රෙජෙස්ටෙරෝන් ශ‍්‍රාවය කරයි. 

  • පිළිකා තත්ත්ව සඳහා ලබාදෙන ඖෂධ ප‍්‍රතිකාර (Chemotherapy) හා විකිරණ ප‍්‍රතිකාර (Radiotherapy)

ප‍්‍රතිකාර ලබාදෙන කාලය තුලදී ආර්තවාභාවය ඇති වීමට පටන් ගන්නා අතර ලක්‍ෂණද ඇති වේ. (ශරීරය උණුසුම් රත්පැහැවීම් – Hot flashes) ඖෂධ ප‍්‍රතිකාර වලින් පසුව ඔසප් චක‍්‍රය නැවතීම ස්ථිර නැත. විකිරණ ප‍්‍රතිකාර ඩිම්බ කෝෂ වල ක‍්‍රියාකාරීත්වයට බලපායි. සෘජුවම විකිරණ ප‍්‍රතිකාර ඩිම්බ කෝෂ වලට ලැබුණහොත් මෙම තත්ත්වය ඇති විය හැක. නමුත් පියයුරු පටක, බෙල්ල, හිස ආදී ස්ථාන වලට විකිරණ ප‍්‍රතිකාර ලබාදීම තුල ආර්තවාභාවයක් ඇති නොවේ. 

  • Primary Orarion insufficiency

කාන්තාවන්ගේ 1% පමණ අවුරුදු 40 පෙර ආර්තවහරණය සිදු වේ. (Premature menopause). මෙසේ වීමට හේතුවන්නේ ඩිම්බ කෝෂ මගින් සාමාන්‍ය ප‍්‍රජනක හෝමෝන මට්ටමක් නිෂ්පාදනයට අපොහොසත් වීමය. 

මෙයට ජානමය හේතුවක් හෝ ස්වයං ප‍්‍රතිශක්තීකරණ රෝගයක් හේතුවිය හැක. 

ආර්තවාභාවය තහවුරු කිරීම

  • සායනික පවතින ලක්‍ෂණ මගින්
  • රුධිර පරීක්‍ෂණ.
  • කූප උත්තේජක හෝමෝනය – Follicle Stimulating Hormone (FSH) ආර්තවාභාවය ආසන්නයේදී රුධිරයේ මෙම හෝමෝන මට්ටම ඉහළ යයි 
  • Estradiol – ඩිම්බ කෝෂ මගින් ඊස්ට‍්‍රජන් සාදන ප‍්‍රමාණය මැනීම
  • Thyroid Hormones – මෙමගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ගැටළු ඇත්නම් හඳුනාගත හැක. එම ගැටළු ආර්තවය සඳහා බලපාන අතර ආර්තවහරණය වැනි ලක්‍ෂණ ඇති විය හැක. 
  • Anti-Mullerian Hormone (AMH) – ප‍්‍රජනක පටක මගින් මෙම හෝමෝනය නිපදවයි. එමගින් ඩිම්බ කෝෂ වල ඩිම් ඇති දැයි අවබෝධ කරගත හැක. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 


                

ගැහැනු දරුවන්ගේ යෝනිය නොපිහිටන අවස්ථා ගැන ඔබ අසා ඇතිද?

කලාතුරකින් නවජ ගැහැනු දරුවන් අතර දක්නට ලැබෙන තත්ත්වයක් ලෙස යෝනි විවරය වැසී තිබීම හෝ යෝනි විවරය නොපිහිටීම මව්වරුන් තරමක් කලබලයට පත්කරන තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වයේදී ඇතැම් විට යෝනිය වර්ධනය වී නොමැති අතර ගර්භාෂයේ කොටසක් වර්ධනය වී හෝ ගර්භාෂය නොපිහිටීම වුවද සිදුවිය හැක. 

මේ තත්ත්වයේදී ගැහැනු දරුවෙකු වැඩිවියට පත්වන තුරු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතරම වයස අවුරුදු 13 – 15 වන විට වැඩිවියට පත් නොවීම නිසා ඒ පිළිබඳ ප‍්‍රතිකාර ගැනීමේදී හඳුනාගනී. 

යෝනි විවරය වැසී ඇති විටපෙන්නුම් කරන ලක්‍ෂණ ලෙස,

  • ගර්භාෂය සහිත ගැහැණු දරුවන්ට වේදනා සහිත දුරාවර්ථය (Amenorrhea) එනම් වේදනා ඇති වන අතර රුධිරය පිටවීමක් (මාසිකව ඔසප් වීමක්) නොමැත. 
  • ගර්භාෂය පිහිටා නොමැති දරුවන්ට ඔසප් චක‍්‍රයක් ඇති නොවන නිසා වේදනා රහිත දුරාර්ථවය එනම් ඔසප් වීමක් සිදු නොවන අතර යටි උදර වේදනාවක් නොපවතී. 

යෝනි විවරය වැසීමට හේතූ

මෙයට පැහැදිලි හේතුවක් නොමැති මුත් විද්‍යාඥයින් අදහස් කරන්නේ ගර්භනී කාලයේ මුල් සති 20 තුල Mullerian ducts මනා ලෙස වර්ධනය වී නොමැති වීමයි. සාමාන්‍යයෙන් මෙම නාල වලින් එකක් ගර්භාෂය හා යෝනිය තුලට වර්ධනය වන අතර අනෙක පැලෝපීය නාල තුලට වර්ධනය වේ. 

යෝනි විවරය වැසීමේ තත්ත්වය හඳුනා ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ මෙන්ම MRI ස්කෑන් පරීක්ෂණ සිදුකරයි.

යෝනි විවරය වැසුණු දරුවෙකුට ලබා දෙන ප‍්‍රතිකාර

සමහර තරුණ කාන්තාවන්ගේ යෝනිය ශල්‍යකර්මයක් නොමැතිව සාදයි. කුඩා නාලයක් විස්තාරන කර එම ස්ථානයේ සම හරහා තද කර දිනකට විනාඩි 15 – 20 ක කාලයක් තබාගනී. මෙය වඩාත් පහසු වන්නේ ස්නානය කිරීමෙන් පසුව වේ. ඊට හේතුව වන්නේ ස්නානයෙන් පසු සම මෘදු වන අතර හා ඇඳීමට පහසු වීමයි. මෙය තමාටම කරගත හැකි වේ. මෙය කල හැක්කේ එම ස්ථානයේ සිදුරක් ඇති කාන්තාවන්ට පමණි. 

එසේතු නැතිනම් ශල්‍යකර්මයක් (Vaginoplasty) මගින් සාදයි. මෙහිදී සම බද්ධ තිරීමෙන් හෝ මුඛයේ හකු පෙදෙස් ශ්ලේෂමල කොටස (කම්මුල ඇතුලත ස්ථරය) ගෙන හෝ මහන්තක කොටසක් ගෙන බද්ධ කරයි. 

සම බද්ධ කිරීමේ ක‍්‍රමයේදී ශල්‍ය වෛද්‍යවරයා රෝගියාගේ තට්ටම පෙදෙසින් ඉතා තුනී සමේ කොටසක් ගෙන එය යෝනියක ආකාරයට සාදයි. කෘත‍්‍රීම ආකාරයේ සමකින්ද මෙය සෑදිය හැකි බවට මෑතකදී නිර්දේශ කර ඇත. වෛද්‍යවරු විසින් යෝනිය සාමාන්‍යයෙන් පිහිටන ස්ථානයේ කුඩා කැපුමක් සිදුකර එනම් ගුදය හා මුත‍්‍රා මාර්ගය අතර කෘත‍්‍රීමව සාදන ලද යෝනිය (mold) කැපුම හරහා ඇතුල් කර යෝනියේ ඇතුලත සාදයි. ශල්‍යකර්මයෙන් සතියක් ගත වන තුරු ඇඳ විවේකය ගත යුතුය. එම රෝගියාට මුත‍්‍රා පිට කිරීම සඳහා කැතීටරයක් ඇතුල් කරයි. මෙම ඇතුල් කරන ලද අච්චුව (mold) එක දින 7 කින් ඉවත් කරයි. 

මහන්තක මගින් සිදු කරන ක‍්‍රමය

මෙය වඩාත් සංකීර්ණ ක‍්‍රමයකි. ශල්‍යකර්මයට පෙර දින අන්තක හිස් කළ යුතු අතර මල හා එහි සිටින බැක්ටීරියා ඉවත් කල යුතුයි. ශල්‍යකර්මය කරන අතර තුරදි මහන්තක වල පහල කොටසක් උදරය හරහා කැපුමක් කර ඉවත් කරගනී. අන්තක වල එක් කොටසක් වසා දමයි. අන්තක වල විවරය යෝනි විවරය වන ලෙසට වැසීමක් කරයි. ශල්‍යකර්මයෙන් පසු අච්චුව (mold) කෘතී‍මව යෝනි විවරයට ඇතුල් කර දින 3 ක් තබයි. මුත‍්‍රා පිට කිරීමට කැතීටරයක් ඇතුල් කරයි. 

ශල්‍යකර්මයෙන් පසු

සම බද්ධ කිරීම මගින් සාදන කෘත‍්‍රීම යෝනියේදී ශල්‍යකර්මයෙන් මාස 3 ක් යනතුරු යෝනි විස්තාරකයක් (Vaginal dilator) පැලඳ සිටිය යුතුයි. එය ඉවත් කල යුත්තේ මළ හෝ මුත‍්‍රා පිට කිරීමේදී, සේදීමේදී/නෑමේදී හා ලිංගික සංසර්ගයේදී පමණි. මාස 3 න් පසු මාස 6 ක් යනතුරු රාත‍්‍රියට පමණක් පැලඳ සිටිය යුතුය. යෝනිය පටුවීම හෝ තදවීම මෙහි ඇති වන අතුරු ආබාධ වේ. 

ප‍්‍රතිකාරයෙන් සති 4 – 6 පසු ලිංගික සංසර්ගයේ යෙදීමට හැක. සාමාන්‍ය යෝනි පටක වල මෙන් ස්නේහක ද්‍රව්‍ය නොමැති නිසා සංසර්ගයේදී කෘත‍්‍රීම ස්නේහකයක් භාවිත කළ යුතු වේ. මෙහිදි වින්දනයක් ලබාගත හැකිවන්නේ මණිකය (clitoris) කොටස උද්දීපනය වීමෙනි. ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය පවතී නම් දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව පවතී.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ඔබේ රුධිර පරීක්ෂණ වාර්තාව ගැන අවබෝධයක් අවශ්‍යද?

යම් යම් රෝග තත්ත්වවලදී රුධිර පරීක්ෂාවන්ට යොමු වීමට සිදු වන අවස්ථා බොහොමයකට අපි කවුරුත් මුහුණ දී ඇත්තෙමු. එය ‍ලොකු කුඩා වයස් භේදයකින් තොරව රෝග නිර්ණයේදී සිදු කරනු ලබන පරීක්ෂාවන් වන අතරම එහිදී ලැබෙන වාර්තාව පිළිබඳව නිසි දැනුමක් අප කා තුළත් නොමැති විය හැකියි. තම රුධිර පරීක්ෂණ වාර්තාව පිළිබඳව යම් දළ අදහසක් ලබා ගැනීමට ඔබට මේ ලිපිය වැදගත් වනු ඇතැයි අපගේ අදහසයි.

රුධිරය ඇසුරු කරගෙන සිදු කෙරෙන පරීක්‍ෂණ අතරින් රුධිර සෛල ප‍්‍රමාණය හා රුධිර මස්තු (Serum) මගින් සිදු කරන පරීක්‍ෂණයන් බොහෝමයක් පවතී.

 

සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (Full Blood Count – FBC)

මෙහිදී රුධිරයේ සම්පූර්ණ සෛල පිළිබඳව ඇගයීමක් සිදු කරයි. සම්පූර්ණ රුධිර පරීක්ෂාවන් වෙත රෝගියෙකු යොමු කරන අවස්ථා පහත පරිදි දැක්විය හැකිය.

  • නව වර්ධකයන් – ප‍්‍රතිශක්තිය රෝග තත්ත්වයන්, අසාමාන්‍යතාවයන්
  • ප‍්‍රවේණික රක්තවේද අසාමාන්‍යතා
  • ආසාධන සම්බන්ධ සැක සහිත තත්ත්වයන් (ස්ථානික/සංසේථමක/තීව‍්‍ර/කාලීන)
  • චිත්තවේගීය හෝ කායික පීඩනයන්ගේ බලපෑම්
  • ඖෂධ ප‍්‍රතිකාර වලට අපේක්‍ෂිත ප‍්‍රතිචාරයන් අනපේක්‍ෂිත ප‍්‍රතික‍්‍රියාවන්ගේ බලපෑම කවර ආකාරයේද යන්න දැනගැනීමට. 
  • රක්තවේද නොවන රෝගවල තත්ත්වය දැන ගැනීමට (පිලිකාමය රෝග, වකුගඩු රෝග ආදී)

 

සම්පූර්ණ රුධිර සංඝටකය අලුත උපන් දරුවන් මාසයකදී මාස 6 කදී අවු.1 – 10 පිරිමි වැඩිහිටි ගැහැණු
රතු රුධිරාණු 4.8-7.1 milionkm3 4.1-6.4 milionkm3 3.8-5.5 milionkm3 4.5-4.8 milionkm3 4.6-6.2 milionkm3 4.2-5.4 milionkm3
Hematocrit (Packed cell volume PCV) 44-64% 35-49% 30-40% 35-41% 40-54% 38-47%
හිමොග්ලොබින් (Hb) 14-24 g/dt 11-20 g/dt 10-15 g/dt 11-16 g/dt 13-18 g/dt 12-16 g/dt
Mcv 96-108mm3 82-91 mm3 80-94 mm3 81-99 mm3
MCH 32-34pg 27-31 pg 27-31 pg 27-31 pg
MCHC 32-33% 32-36% 32-36% 32-36%
Stained Red blood cell Examination වර්ණ ගැන්වූ රතු සෛල අධ්‍යයනය සෑම වයස් කාණ්ඩයකම හා ස්ත‍්‍රී පුරුෂ දෙපක්‍ෂයේම සෛල normochromic and normocytic (සාමාන්‍ය වර්ණය හා සෛලයේ ප‍්‍රමාණය) ගෙනෙ දේ. 
සුදු රුධිර සෛල White blood cell count -WBC 9000-30000mm3 6000-18000 mm3 6000-16000 mm3 5000-13000 mm3 5000-10000 mm3 5000-10000 mm3
Differential Cell 

  1. Neutrophil (N)
<455 මුල් සතියේ <405 මුල් සති හතරේ 32% 60% 54-75% 54-75%
  1. Eosinophilia (E)
0-3% 3-8% 3-8%
  1. Basophils (B)
1-3% 1-4% 1-4%
Monocytes  4-9% 0-1% 0-1%
Lymphocytes වසා සෛල >41‍% මුල් සතියේ  56%මුල් සති හතරේ 61% 59% (අවු.2 පසු) 25%-40% 25%-40%
T lymphocytes T වසා සෛල  60-80% 60-80%
B lymphocytes B වසා සෛල  10-20% 10-20%
රුධිර පට්ටිකා 140000-300000mm3 150000-340000 mm3 200000-473000 mm3 150000-450000 mm3 150000-450000 mm3 15000-450000 mm3

 

හිමැටොක‍්‍රිෂ්ට අගය (Packed Cell volume – PCV)

රුධිරය සමන්විත වන්නේ තරල කොටස් (ප්ලාස්මාව) හා සෛල කොටස් වලිනි. මුළු සෛල  ප‍්‍රමාණයන්ගෙන් 99% ඇත්තේ රතු සෛල වේ. සම්පූර්ණ රුධිර පරිමාවෙන් රතු සෛල කොපමණ පරිමාවක් තිබේද යන්න මෙහි ප‍්‍රතිශතයක් ලෙස දක්වයි. සාමාන්‍යයෙන් Hematocrits රතු සෛල ගණනට සමානය. 

සාමාන්‍ය අගයන්,

  • නව දරු උපත – 44 – 64%
  • මාසයක දරුවකු – 35 – 49%
  • මාස 6 ක දරුවෙකු – 30 – 40%
  • අවු.1-10 දරුවෙකු – 35 – 41%
  • වැඩිහිටි පිරිමි – 40 – 54%
  • ගැහැණු 38 – 47%

 

හිමැටොක‍්‍රිෂ්ට අගය වෙනස්වීමට හේතූ

  • රතු සෛල ප‍්‍රමාණයේ අසාමාන්‍යතාවයන් හා සුදු රුධිර සෛල වැඩිවීම මෙම අගය වෙනස් කරයි. 
  • රුධිර ග්ලූකෝස් හා සෝඩියම් ඉහළ යාම PCV නිපදවීම ඉහළ යයි. ඒ රතු සෛල ඉදිමෙන නිසාය. 
  • රතු රුධිරාණු ගණනය වෙනස් වන සාධක එනම් Hemodilution හා විජලනය කෙරෙහි බලපායි. 

 

රුධිර පට්ටිකා ගණනය (Platelet Count)

සාමාන්‍ය වැඩිහිටියෙකුගේ පට්ටිකා ගණන වන්නේ 1150000 450000mm3 වේ. 

රුධිර පට්ටිකා ප්‍රමාණය මැන බැලීමේ අරමුුණු

  • රුධිරවහනය ආශ‍්‍රිත රෝග ඉතිහාසයක් පැවතීම 
  • නාසයෙන් ලේ ගැලීම, විදුරුමස් වලින් රුධිරය ගැලීම, අධික ඔසප් වීම වැනි අවස්ථා  
  • පට්ටිකා ප‍්‍රමාණය වෙනස් කළ හැකි රෝග තත්ත්ව හා ඖෂධ වර්ග පිළිබඳව සොයා බැලීම. 

 

රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වීමට හේතූ

  • කාලීන ලියුකේමියාව
  • බහු සෛලතාවය (Polycythemia vera)
  • රක්තහීනතාවය
  • ප්ලීහා විච්ජේදනය 
  • ක්‍ෂය රෝගය හා අනෙක් තීව‍්‍ර ආසාධන
  • රක්තපාතය
  • ශල්‍යකර්ම
  • හෘද රෝග
  • සිරෝසියාව
  • අග්න්‍යාශයික රෝග 
  • දරු උපතකදී

 

රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වීමට හේතූ

  • විටමින් B/ෆෝලික් අම්ල ඌනතාවය
  • විකිරණ වලට නිරාවරණය
  • වෛරස් ආසාධන
  • තීව‍්‍ර ලියුකේමියාව
  • ඇට මිදුළු මාත්සරික තත්ත්ව
  • ඖෂධ නිසා

උදා: පිලිකා සඳහා දෙන ඖෂධ

  • මත්ද්‍රව්‍ය
  • රක්තශ්ලථක හීනතාවය
  • අක්මා රෝග නිසා ඇතිවන ප්ලීහා විච්ජේදනය 
  • සංජානීය ආසාධන

උදා: හර්පීස්, උපදංශ, ටොක්සෙප්ලැස්මෝසි

  • පිලිස්සීම

 

රුධිරය වහනය වීමේ කාලය – Bleeding Time

රුධිර පට්ටිකා ඌනතාවය හඳුනාගත හැකි හොඳම දර්ශකය වන්නේ මෙයයි. පට්ටිකා ඌනතාවයේදී රුධිරය වහනය වීමේ කාලය බෙහෙවින් වැඩි වේ. පාලනය කරගැනීම අපහසු වේ. එය කුඩා සිරීමකදි වුවද විය හැක. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 10000mm3  වඩා පහල ගියහොත් රුධිරය වහනය වීමේ කාලය දිගු වේ. 

 

රුධිරය වහනය වීමේ කාලය වැඩිවීමට හේතූ

  • හිංසක නීරක්තීය
  • අක්මා සිරෝසියාව
  • මන්දපරාස තත්ත්ව
  • ලියුකේමියාව
  • මාත්සරික තත්ත්ව (Hodgkin’s Lymphoma)
  • සරම්ප
  • ඖෂධ (Thiazide, Aspirin, Streptokinase, Sulfonamide)

 

රතු රුධිර සෛල ප‍්‍රමාණය මැනීම (Erythrocytes count – RBC)

රතු රුධිර සෙසලවල අගය අධික ව්‍යායාම, කාංසාව, වේදනාව, විජලනය ආදී තත්ත්ව වලදී ඉහළ යයි. අධික ලෙස අන්ත:ශෛරීක ආම්ලයික මගින් තරලය ලබාදීමත්, සාමාන්‍ය ගැබිනි තත්ත්වයකදී රතු සෛල අඩුවීමත් පෙන්වයි. Indomethacin, Chloroquine වැනි සමහර ඖෂධ මගින් සංසරණ රුධිරයේ රතු සෛල ගණන අඩු කරන අතරම Methyldopa (Aldonate) හා Gentamycin වැනි ඖෂධ නිසා රතු සෛල ප‍්‍රමාණය ඉහළ යයි. 

 

රතු රුධිර තත්ත්ව අඩු වීම හඳුනා ගැනෙන අවස්ථා  

  • රක්තහීනතාවය වැන රක්ත වේද රෝග තත්ත්වවලදී
  • තීව‍්‍ර හෝ කාලීන රුධිර හානියක ප‍්‍රතිඵල සම්බන්ධ රෝග තත්ත්වවලදී  
  • රතු සෛල ගණනය වෙනස් කල ඖෂධ වල ප‍්‍රතිචාර පරීක්‍ෂා කිරීමේදී
  • රතු සෛල ගණනය ඉහළ යාම සම්බන්ධ රෝග තත්ත්වවලදී 
  • මන්ද පෝෂණය වැනි රතු සෛල ගණනය පහළ යාම හා සම්බන්ධව පවත්නා රෝග තත්ත්වවලදී
  • අක්මා රෝග, වකුගඩු රෝග, මන්ද පරාගතාවය (Hypothyroidism), අධිවෘක්ක ග‍්‍රන්ථිය අක‍්‍රිය වීම, ඇට මිදුළු දුබලතාවය (Bone marrow failure) වැනි තත්ත්ව වලදී

 

රතු සෛල අවසාධිත වේදය – Erythrocyte Sedimentation Rate (ESR)

ESR මැනීමේදී රතු සෛල ගණනය කරනු ලබන නලයේ පතුලට එකතු වීමේ ප‍්‍රමාණය සැලකිල්ලට ගනී. සාමාන්‍යයෙන් රුධිරය එලෙස පතුලේ එකතු වීම ඉතා සෙමින් සිදුවේ. ඒ ප්ලාස්මාව මගින් රතු සෛලවල ගුරුත්වාකර්ෂණ තල්ලූවට එරෙහිව යොදන උඩුකුරු තෙරපුම මගින් සමතුලනය කරගැනීමට හැකි වන බැවිනි. ප්ලාස්මාව අතිශයින්ම උකු බවට පත්වූයේ නම් හෝ කොලෙස්ටෙරෝල් මට්ටම ඉතාමත් අධික නම් උඩුකුරු තෙරපුම උදාසීන වේ. රතු සෛලවල පහලට තල්ලූවීමේ හැකියාව වැඩි වේ. 

ආසාදිත හෝ සෛල විනාශ වීමේ ක‍්‍රියාවලියකදී රතු සෛල එකිනෙක ඇලීම සිදු වේ. එසේ එකතුවීම නිසා ESR මට්ටම වැඩි විය හැකිය. 

ESR වැඩිවන අවස්ථා

  • ගර්භනීතාවය
  • කොලැජන් රෝග තත්ත්ව (සම්බන්ධ පටක වල)
  • ආසාධනයන්
  • බොහෝ පිලිකා තත්ත්ව 
  • ඖෂධ (theophylline, vitamin A, methyldopa dextran, oral contraceptives)
  • උග‍්‍ර රක්තහීනතාවය
  • වකගඩු රෝග
  • යාකෘතික රෝග තත්ත්ව
  • තයිරොයිඞ් රෝග

 

ESR මට්ටම අඩුවීමට හේතූ

  • බහු සෛල රක්තය (polycythemia vera)
  • සංචයන හෘද අකරණීය
  • දෑකති හැඩ සෛල ඇතිවන රෝග 
  • ඖෂධ විෂවීම

ESR පරීක්‍ෂා කිරීමේ අරමුණු

  • ඉන්‍ද්‍රියක රෝග තත්ත්වයක/සායනික ලක්‍ෂණ නොපැහදිලි අවස්ථාවකදී රෝග තත්ත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට
  • ආසාදිත රෝග තත්ත්වවලදී 
  • ESR වෙනස්වීම් සමග බැඳී තිබෙන රෝග තත්ත්වයන් නිශ්චය කිරීමේ පහසුව සඳහා 

 

හිමොග්ලොබින් පරීක්‍ෂාව (Hemoglobin)

හිමොග්ලොබින් යනු රතු සෛලවල තිබෙන ප‍්‍රධානතම අන්ත: සෛල ප්‍රෝටීනය වේ. මේවායේ මූලික කාර්යය වන්නේ සෛල වෙත ඔක්සිජන් ගෙන යාමත් සෛලවලින් පිටවෙන CO2 පෙනහලු වෙත ගෙන ඒමත් වේ. 

හිමොග්ලොබින් අනුව ප‍්‍රධාන සංඝටක දෙකකි. 

  • හීම් (යකඩ)
  • ග්ලොබින් (ප්‍රෝටීනමය)

හීම් කොටසේ සංයුතියට රතු පැහැති Porphyrin හා යකඩ (Iron) අයත්ය. ඔක්සිජන් සමග ඉහළට සම්බන්ධ වීමේ හැකියාව ඇත. ග්ලොබින් යනු ප්‍රෝටීනමය කොටසයි. මේවා ඇමයිනෝ අම්ල 600 පමණ ආසන්න ලෙස හෙලිපේමයිස දාමයන් හතරකට සංවිධානය වී සෑදී ඇත. අම්ල, භෂ්ම තුලනය පවත්වා ගැනීමේ සම්පූර්ණ කෘත්‍යයක් හිමොග්ලොබින් මගින් ඉටු කරයි. 

 

හිමොග්ලොබින් පැවතිය යුතු සාමාන්‍ය අගයන්

  • අලුත උපන් ළදරුවා 14 – 24g/dl
  • මාස 01 දරුවා 11 – 20g/dl
  • මාස 06 දරුවා 10 – 15 g/dl
  • පිරිමි 13.5 – 18g/dl
  • ගැහැණු 12 – 16g/dl

 

සුදු රුධිරාණු පරීක්‍ෂා කිරීම

සම්පූර්ණ රුධිරයේ සුදු රුධිරාණු ඝන මිලී මීටරයකට කොපමණ ඇතිදැයි නිශ්චය කරගැනීමට කරනු ලබයි. සුදු රුධිරාණු වැඩිවීම (Leukocytosis ලෙසද අඩුවීම Leukopenia ලෙසද භාවිත කරයි) වැඩිහිටියෙකුගේ මෙම අගය 5000 – 10000 දක්වා වේ. 

සුදු රුධිරාණු ඉහළ යාමට හේතූ

  • ගර්භනීතාවය
  • මානසික පීඩා 
  • අධික ව්‍යායාම
  • ඔසප් වීම
  • සීතලට නිරාවරණය
  • පාර ජම්බුල ආලෝකය
  • ඕනෑම ආසාධනයකදී 
  • රක්තහීනතාවයකදී
  • ළදරු රතු සෛල බිඳීමකදී. 
  • රුධිර පාරවිලනයේ ප‍්‍රතික‍්‍රියාවන්වලදී
  • පරපෝෂිත ආසාධන තත්ත්ව වලදී

 

සුදු රුධිරාණු අඩුවීමට හේතූ

  • ඇට මිදුළු අවපීඩනය
  • පිලිකා සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ
  • විකිරණය
  • උග‍්‍ර ආසාධන
  • වෛරස් ආසාධන
  • ස්වයං ප‍්‍රතිශක්තීකරණ රෝග (Systemic Lupus Erythematosus SLE)
  • ආමාශයේ තුවාල
  • ආසාත්මිකතා
  • පිලිකා තත්ත්ව 
  • පරිවෘත්තිය රෝග

ආසාධිත තත්ත්වයකදී, ලියුකේමියාව, ස්වයං ප‍්‍රතිශක්ති රෝග හෝ ආසාත්මිකතා ඇතැයි සැක කරන විට

ඇට මිදුළු අවපීඩනයක් ඇතැයි සැක කරන විට, අවපීඩනය, මන්ද පෝෂණය වැනි තත්ත්ව වලදී ප‍්‍රතිකාර වල ප‍්‍රතිඵල ඇගයීමට සුදු රුධිරාණු පරීක්‍ෂා කිරීම සිදුකරයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

කනේ ආසාදන දරුවන්ගේ කතාවට බලපානවද?

කුඩා කාලයේ දී දරුවන්ගේ කනේ ආසාදන ඇති වීම සුලභ තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. බොහෝවිට පිටත කන තුළ ආගන්තුක දේ රැඳීම, මැද කන ආසාදනය වීම ආදී බොහෝ ගැටළු කුඩා කාලයේ දරුවන් තුළ පෙන්නුම් කරති. දෙමාපියන් වශයෙන් ඔබ එහි ගැටලූකාරී ප්‍රතිඵල පිළිබඳ නොසිතන්නට ඇත. දරුවන් තුළ ඇතිවෙන කනේ ආසාදන දරුවාගේ කතාව, භාෂාව හා සන්නිවේදන ට බලපෑම් කළ හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද? නවතම පරියේෂණ තුළින් සොයාගෙන ඇත්තේ දරුවන්ගේ කුඩා කාලයේ ඇතිවන කනේ ආසාදන සඳහා ප්‍රතිකාර සිදු නොකළහොත් හෝ ප්‍රතිකාර කර ද නිතර නිතර මතු වීමෙන් දරුවන් තුළ ශ්‍රවණ අපහසුතා, කථන ප්‍රමාදයන් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

  1. කනේ ආසාදන දරුවාගේ කතාවට බාධා කරන්නේ කෙසේද?

මෙය බොහෝ දෙමාපියන් හට ඇති ගැටලුවකි. දරුවකු මවු කුස පිළිසිඳ ගත් දා පටන් භාෂාව ඉගැනීම ආරම්භ වන අතර මෙලොව එළිය දුටු පසු ද තම භාෂාව, කතාව, සන්නිවේදනය ඉගෙන ගනු ලබන ප්‍රධාන මාධ්‍යය වන්නේ ශ්‍රවණය යි.

දරුවාගේ කුඩා කාලයේ දී ඇතිවන කනේ ආසාදන මෙම ශ්‍රවණයට බාධා ඇති කරනු ලබයි. ඇතැම්විට ඔබගේ බිලින්දාගේ කනේ ආසාදන  සඳහා ප්‍රතිකාර සිදු නොකර මග හැරියොත් හෝ ඇතැම් විට ප්‍රතිකාර කළ ද නිතර නිතර එම ආසාදන මතුවෙනවා නම් එය දරුවාගේ ශ්‍රවණයට බලපෑම් සිදුකර හැකි අතර එම ශ්‍රවණයට ඇතිවන බලපෑම හේතුවෙන් දරුවාගේ කතාවද භාෂාව, සන්නිවේදනයේද ප්‍රමාදයන් හා ගැටලු ඇති කරනු ලබයි. 

  1. කුඩා කාලයේ දී දරුවන්ගේ කනේ ආසාදන හා ශ්‍රවණය කෙරෙහි උනන්දු විය යුත්තේ කෙසේද?

බොහෝ රටවල දරුවෙකු ඉපදුණු විගස ශ්‍රවණ පරීක්ෂණයට යොමු කිරීම සිදුකරනු ලබයි. ලංකාවේද දැන් වන විට ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඇතැම් රෝහල්වල ඒ කටයුතු සිදුකෙරෙමින් පවතී. නමුත් වඩාත් වැදගත් වන්නේ කුඩා කාලයේ දී දරුවන්ගේ කන පිරිසිදු කිරීමේ දී ඔබ කොට්න්බඩ් හෝ වෙනයම් ආධාරක භාවිතය දී ප්‍රවේශම් වීම, හැකිතාක් මෙවන් ආගන්තුක දෙය කනට ඇතුළු කිරීමෙන් වැළකීම, නිතරම බාහිර කන තුළ යම් යම් ආගන්තුක දේ රැඳී තිබෙන්නේ ඒ පිරික්සීම ( ආහාර,  කෘමි සතුන් ආදී), එවැනි යමක් රැඳී තිබෙනවා නම් ඔබ එය ඉවත් කරනවා වෙනුවට උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම, දරුවන්ගේ කණින් දියර වැනි යමක් පැමිණෙනවා දැයි නිතර සැලකිලිමත් වීම, දරුවා කන තුළට බාහිරෙන් යම් යම් දේ ඇතුළු කර ගනීදැයි නිතර විමසිල්ලෙන් පසුවීම, දරුවා නිතර නිතර කනේ ආසාදන වලට ලක්වෙනවා නම් ලක්වෙනවා නම් ශ්‍රවණවේදියෙකු හමුවීම, ශ්‍රවණ පරීක්ෂණයකට යොමුවීම, දරුවා නිසි වයසට කතා කිරීම ආරම්භ නොකළේ නම් කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත යොමු වීම ආදී දේ දෙමව්පියන් වශයෙන් සැලකිලිමත් විය කලයුතු දේවල් අතර වේ.

  1. කුඩා කල කනේ ආසාදන ඇතිවන සෑම දරුවෙකුටම කථන ප්‍රමාදයන් ඇතිවෙනවාද?

සරලම පිළිතුර නම් ‘නැත’ යන්නයි. කලින් ප්‍රකාශ කළ ආකාරයට ම දරුවන් තුළ ඇතිවන ආසාදන තත්ත්වයන් හා ඒ ඒ ගැටලුවලට අනුව දරුවන්ට ඇතිවන කථන ගැටලු ද විවිධාකාරයි. එමනිසා කුඩා කාලයේ දී ඇතිවන සෑම කනේ ආසාදනයක් හේතුවෙන්ම මෙම තත්ත්වය ඇතිවේ යැයි කිව නොහැකියි. වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ දැනුවත් වීම හා නිසි ක්‍රමවේද අනුගමනය කිරීමයි. 

  1. කුඩා කල සිට කනේ ආසාදන පවතින දරුවෙකුට කතාව හා භාෂාවේ ප්‍රමාදයක් ඇති නොවීමට කටයුතු කල යුත්තේ කෙසේද?

එය තරමක් සංකීර් ණ ප්‍රශ්නයක් වුවද දිය හැකි සරලම පිළිතුර නම් දරුවාගේ ශ්‍රවණය හා කථනය එකිනෙක බැඳී පවතින එකිනෙකට සමාන්තර දෙයක් බවයි. එමනිසා දරුවා පෙන්නුම් කරන කනේ ආසාදන තත්ත්ව, ශ්‍රවණ ගැටළු ආදිය විව්ධාකාරයි. එම තත්ව නිසාවෙන් දරුවන් තුළ පෙන්නුම් කල හැකි වෙනත් ගැටළුද පවතින බැවින් දෙමාපියන් වශයෙන් ඔබ වඩාත් දැනුවත් වීම ඉතා වැදගත් වේ. තවද නිතරම කනේ ආසාදන පවතින දරුවෙකු, ශ්‍රවණ ගැටලු පවතින දරුවෙකු, කතාව භාෂාවේ ගැටලු අවම කර ගනිමින් කටයුතු කිරීමට ඔබට නිතරම උගුර කන නාස නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සම්බන්ධතාවය පවත්වාගෙන යාම, ශ්‍රවණවේදීන් සමඟ සම්බන්ධතාවය පැවතීම මෙන්ම කුඩා කල සිටම කථන චිකිත්සකවරයකු හමු වී  ගැටළුව පැහැදිලි කර ගෙන ශ්‍රවණ වාර් ථා පෙන්වා සුදුසු ලෙස චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ගැටළුව අවම කර ගැනීමට හැකියාව පවතී.

  1. කනේ ආසාදන හා ශ්‍රවණ ගැටලු හේතුවෙන් කතාවේ ප්‍රමාදයන් ඇති වූ දරුවන් හට කතාව දියුණු කර ගැනීමට පවතින ක්‍රමවේද මොනවාද?

මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වන අතර දරුවන් පෙන්නුම් කරන ගැටළු අනුවද වෙනස් වේ. මේ සඳහා හඳුනාගත් චිකිත්සක ක්‍රමවේද බොහෝමයක් පවතී. සම්පූර් න  සන්නිවේදනය (Total Communication), භාෂා උත්තේජක ප්‍රතිකාර (Early Language Stimulation), ශ්‍රවණ පුහුණුව (Auditory Training) ආදී බොහෝ දේ ඒ අතර වේ. එමනිසා වඩා වැදගත් වන්නේ දරුවා පිළිබඳ සැලකිලිමත් වීම හා සුදුසු ලෙස කථන චිකිත්සකවරයකු වෙත යොමු වී ඒ සඳහා සුදුසු චිකිත්සක ක්‍රමවේද ලබා ගැනීමයි.

 

කථන හා භාෂා චිකිත්සක සජිනී  පෙරේරා මහත්මිය විසිනි.

 

අම්මා කෙනෙක් විදිහට ශක්තිමත්ව නැගිටින්න!

“තරුන්දි ”

“හ්ම්…”

“මහන්සිද ?”

“ඔව් අහස් මට හුඟක් මහන්සියි, ඔයා නැතිව අවුරුදු පහළොවක්ම මම දුවත් එක්ක ජීවත් වුණා. ජීවිතේ හැම අභියෝගයකමට තනියම මූණ දුන්නා. ලංකාව වගේ රටක තනි ගෑනියෙක් විදිහට ජීවත් වෙන එක හරිම අමාරුයි කියලා ඔයා හොඳටම දන්නවනේ. මිනිස්සුගෙ ඔලු ගෙඩි හරිම පටු ආකල්ප වලින් පිරිලා තියෙන්නෙ. තනි ගෑනියෙක් දැක්කම පිරිමි හිතන්නෙ උන්ට ඕනී විදිහට නටන්න ලෑස්තියි කියලයි. තවත් අය හිතන්නෙ තනි වෙච්ච ගෑණූයි දරුවෝයි මූසලයි කියලා.”

“මම ඔයයි දුවයි එක්කනේ හිටියේ, ඔයාලට කරදරයක් වෙන හැම තැනකදිම මම හිටියා”

“මමත් එහෙම හිතුවා”

“අද ඔයාට හුඟක් සතුටුයි නේද ?”

“ඔව් හුඟක් සතුටුයි ඔයා දැක්කද අපේ දුවගෙ ලස්සන, දැන් මගේ හිතට බයක් නෑ , කෙමිත් පුතා හොඳ දරුවෙක් හරිම ගුණයහපත් දුවට පණ වගේ ආදරෙයි. ”

“ඔව් දුවට කෙමිත් මුණ ගැහුණු දවසෙ ඉඳලා මම අවධානෙන් හිටියේ. මම කැමතියි ඔයා ඉස්සරහටත් දුව ළඟ ඉන්නව නම්.”

“දුව ළඟට යන්න මට බෑ. එයාලට ජීවිතේ තනියම විඳින්න ඉඩ දෙන්න ඕනී. ඔයාට මතකද අපි බඳින්න කලින්ම දෙමාපියන්ගෙන් වෙන් වෙලා ඉන්න තීරණය කළා, අපිට ඕනී වුණේ අපේ ලෝකයක් , ඉතින් අපේ දරුවොත් එහෙම හිතනවා ඇති. මට තනියක් නෑ අනික බෝඩිමේ ඉන්න ගෑණු ළමයි මට අපේ දුව වගේමයි. දවල් කාලෙටත් ගෙදර වැඩයි මගේ මැහුම් ගෙතුම් වැඩ එක්කයි දවස ගත වෙලා යන එක තේරෙන්නෙ එකක් නෑ.”

“ඔයාගේ කැමැත්තක්, මාත් ඔයත් එක්ක ඉන්නවනේ.”

“මාත් එක්ක ඉන්නවා, අනේ අහස් මාව කේන්ති කරන්නෙ නැතිව ඉන්න හැමදේම සිද්ධ වුණේ ඔයාගේ නොසැලිකිමත්කම නිසා ”

“එහෙම කියන්න එපා තරූ, ඔයාවයි දුවවයි දාලා මම කැමැත්තෙන් නෙමේ ඒ ගමන ගියේ”

“ඒත් ඔයාට හිතන්න තිබුණා අහස්, ඔයා අපි ගැන හෙව්ව නම් දන්නවනේ මම ජීවතේ වින්ද දුක් කන්දරාව. අවුරුදු දහයේ පුංචි කෙල්ලෙක් එක්ක රස්සාවක්වත් නොකරපු මම තනි වුණාම මම කොයි තරම් අසරණ වුණාද? වෙලාවකට මටයි  දරුවටයි මිනිස්සුන්ගෙ අනුකම්පාව මහා වදයක් වුණා. මගුලකට ගියත් මරණෙකට ගියත් තාත්තා නැති දරුවානේද? පව් අනේ ඔයා වුණත් තාම තරුණයිනේ තරුන්දි  කොහොමද මේවා දරාගන්නේ කියලා කියද්දි මට නොදැනෙන අසරණකමක් වටේ මිනිස්සු මගේ ඔලුවට දානවා. ඒ මදිවට මගේ හිත හදන්න කියලා විකාර කියවද්දි අම්මපා මට කියවන අයගේ කටට කොහොලෑ අලවන්න හිතුනා. ඇත්තටම අපි අපේ දුක කාටත් කියන්නේ නැත්නම් අපි ගැන දුක් වෙනවා වගේ මිනිස්සු නිසා ඇත්තටම අපි මානසිකව වැටෙනවා.”

“මං දන්නවා තරුන්දි. මිනිස්සු ඔහොම තමයි.”

“එහෙමයි කියලා උන්ට වටිනවද අනුන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන්න. අපිව දාල ගිය ඔයා මායීම් නොකර ජීවත් වෙන්න හදන හැමවතාවකම මිනිස්සු කළේ ඔයා ගැන කිය  කිය මට වද දීපූ එක. නැගිටින්න නැගිටන්න වට්ටනවා.”

“ඒත් ඔයා සැලුනේ නැහැනේ”

“ඔව් මම අම්මා කෙනෙක් විදිහට ජීවිතේ කඩා වැටෙන තරමට වඩා වැඩි වේගයෙන් නැගිට්ටා. අම්මා තාත්තා කියන චරිත දෙකටම පණ පොවන්න වෙච්ච නිළියෙක් වගේ මම ජීවිත රඟමඩලේ රඟපෑවේ හිතේ හයියට. ලෝකෙටම පේන්න හිනා වුණ මම දු පැටියවත් නිදි කරවලා නානා කාමරේ ජලකාරාමය යටට වෙලා අඬපු තරම්”

තරුන්දි ඈත හිස් අහස දිහා බලාගෙන කිව්වා.

“මං දන්නවා තරුන්දි ඒත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ, මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලගෙ ජීවිත ගෙනියන්න අත්වැලක් වුණා.”

“ඔයා දන්නවද අහස් ඔයාගෙම යාලුවෝ , මගේ යාලුවෝ, නෑදෑයෝ පවා මට අයුතු යෝජනා ගෙනාවා. උං බයක් සැකක් නැතිව රෑට රෑ වෙලා අපේ ගෙදර එනවා. කෝල් කරලා කැත කතා කියනවා. අර කවිෂ්ක අපිට කොයිතරම් හිතවත්ව හිටියද ? සෑහෙන්න උදව් කලානේ. ඒත් දවසක් රෑ ඇවිත් මට කිව්වා මට ඔයා ගැන දුකයි තරුන්දි අචිනි හිටියට ඔයා මට වැඩි නෑ කෙල්ලෙ කියලා මාව බදා ගන්න හැදුවා”

“එතකොටම ඒකගෙ ඔලුවට රැක් එකේ තිබුණු මල් පෝච්චිය පත බෑවුණා. ඒත් එක්කම ඔයා උගේ රහස් පැත්තට දණ හිසෙන් හොඳ පාරක් ගැහැව්වා. ඔයාගේ වෙලාවටම චූටී මල්ලිත් ඒ වෙලාවෙම ගෙදර ආවා. ”

අහස් කිව්වෙ අමුතු තාලෙකට.”

“ඔව් ඔව් ඒත් මට හිතා ගන්න බැහැ අදටත් එච්චර දුර තිබුණු මල් පෝච්චිය ඒකගේ ඔලුවට වැටුණේ කොහොමද කියලා. අනික මම ගහපු පාර, ඒ වෙලාවෙම චූටී මල්ලි ආපු එක”

 

පුදුමයෙන් ඇස් නළලට අරගෙන තරුන්දි අහස්ගෙ නොසෙල්වෙන ඇස් දිහා බලගෙනම කිව්වා.

“මම කිව්වනේ මම ඔයාල ගැන අවධානයෙන් හිටියේ කියලා.”

“ඔයා දන්නවද අහස් අම්මා තාත්තාට සහෝදර සහෝදරියන්ට වුණත් කාලයක් ගියාම අපිව කරදරයක් වෙනවා. මම අපේ ගේ වහලා දාලා අම්මලාගේ ගෙදර ගියේ කවිෂ්කගෙ කරදරයෙන් පස්සෙ. ඒකත් චූටී මල්ලිගෙ කරදරේට. ඒත් ටික දවසක් යද්දි අම්මා කියන්න ගත්තා චූටී මල්ලි බැඳලා ආවම ඉඩ මදි කියලා—ලොකු අක්කා නිතරම කිව්වෙ තව කසාදයක් කරගත්ත නම් කරදර ඉවරයි එයාලටත සැනසීමක් කියලා. මම තීරණය කලා ආත්මාරක්ෂක සටන් ඉගෙන ගන්න. ඒ අතර මම ඇඳුම් මහන්නත් ඉගෙන ගත්තා. මම දැන ගත්තා මට අම්මා කෙනෙක් විදිහට ශක්තිමත්ව නැගිටින්න වෙන බව. සබන් කෑල්ලක්වත් ගන්න කඩේකට නොගිය තරුන්දි කඩවල් ගානේ ගිහින් ඇඳුම් ඕඩර් ගත්තා. මාස හයක් අම්මලලේ පල නොකියා පලා බෙදීම ඉවසගෙන මම හිටියේ තනියෙන් නැගිටින්න ශක්තිමත් වෙනකල්. අවසානේ මම ගෙදර ගියේ මටම කියලා ආදායමක් තනියෙන් උපයන්න පුලුවන් විදිහට. මම සම්පූර්ණයෙන්ම සමාජය ඉස්සරහා නපුරු චරිතයක් රඟපෑවා. අපි දුර්වල බව දැක්කොත් තමයි මිනිස්සු අපිව පාගන්න එන්නෙ.”

“ඔයා හරි තරුන්දි”

“අනේ මන්දා අහස් ඔයා අපෙන් ඈත් වුණ දා ඉඳලා අපි හිතන හැමදේම අඩුපාඩුවක් නැතිව ලැබුණා. ඔයා නැති අඩුව විතරයි තිබුණේ. දවසක් දුව මට කිව්වා අම්මේ මට කොන්ඩෙ දිග රෝස පාට බෝනික්කෙක් අරන් දෙන්න පුලුවන්ද කියලා. ඇත්තටම එදා මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ. අරව මේවා ඉල්ලලා කරදර කරන දරුවෙක් නෙමේනේ අපේ දූව. ඉතින් මම දහ අතේ කල්පනා කරලා මාලෙ උගස් කරලා හරි අරන් දෙන්න යනකොටම ඔයාලගෙ නංගි ආවා. නිකම්ම නෙමේ අර දුව ඉල්ලපු ජාතියේ බෝනික්කෙකුත් අරන්. මට පුදුම හිතුනා.ඇයි ඔයා ඔහොම බලාගෙන ඉන්නෙ?”

“ මම කිව්වනේ මම ඔයාලත් එක්කයි හිටියේ කියලා.”

“ඒ කියන්නෙ…. ”

“තරුන්දි ඉඳගෙන හිටි තැනින් නැගිටලා අහස්ගෙ සීතල අත අල්ල ගත්තා.

“ඔව් ඔයා හිතන එක හරි, ඒත් මට ඉස්සරහට එහෙම කරන්න බැරි වෙයි”

“ඇයි ?”

“මං දැන් යන්න ඕනී තරුන්දි මම දැන් යන්නම යන්න ඕනී, ආයේ මට ඔයාව මුණ නොගැහේවී”

“අනේ අහස්”

තරුන්දිට අහස්ගෙ පපුවට හිස තියාගෙන ඒ සෙනෙහස විඳින්න ඕනී වුණා. ඇය අහස්ට ලංවෙද්දි අහස් පස්සට ගියා. තරුන්දි ආයෙත් ඉදිරියට… අහස් පස්සට… අයෙත් තරුන්දි,  ඒ වතාවේ අහස්ගෙ දෑස් රතු පැහැයට හැරුණා. සුදු මැලි ඒ මුහුණ බලන්නට බැරි බවක් ඇයට දැනුණා. අහස්  හැරුණා වේගයෙන් තරුන්දිගෙන් ඈතට ගියා.

තරුන්දි එතනම බංකුවේ වාඩි වූණා. සිහින් ඉකිබිඳුමත් සමඟ ඇය දුක දිය කරන්න පටන් ගත්තා. 

“නැන්දා මොනවද මේ මිදුලේ කරන්නෙ යමු ඇතුලට තරුන්දිගෙ තනියට හිටි ඇගේ සහෝදරයාගේ දියණිය ඇයව වත්තන් කරගෙන කාමරයට ආවා. තරුන්දිව ඇඳේ ඉන්ද  වූ ඇය තරුන්දිගේ දෙපාමුල ඉඳගත්තා.”

“නැන්දා අපේ ජීවිත වල යාම් ඒම් සුලු නතර වීම් හැරෙන්න සදාකාලික නතරවීම් නෑ. අහස් මාමා නැතිව හිත හදා ගත්ත නැන්දා මේ පොඩි දේකට අඬනවා.”

“නෑ දුවේ අහස් මාමා නැතිව මම හිත හදාගත්තෙ නෑ.අදටත මට එයා නැතිව බෑ. මට මහන්සිය දෝනියෝ ”

හරි නැන්දා නිදා ගන්න”

තරුන්දිගෙ නින්ද ඈතට ගිහින්. මීට අවුරුදු පහළොවකට කළින් අහස් සදහටම මේ ලෝකෙන් ගියේ කන්ටේනර් රථයක කාර් එකේ වැදිලා සිදු වුණ අනතුරින්ය.  එසේ ජීවිතෙන් සමු ගත් තම ආදරණීය සැමියා තමා සමඟ සිටි බව කවුරුන් නම් විශ්වාස කරයි ද? 

 

 

 

රුධිරය ගැන ඔබ දන්නේ මොනවද?

රුධිරය යනු විශේෂිත වූ දේහ තරලයකි. මිනිස් දේහයේ බරින් 8% ක් රුධිරය සඳහා වෙන් වේ. ඒ අනුව වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ (බර 70kg ක පමණ) රුධිරය 5600ml පමණ ඇත. ඉන් 55% ක්ම දියර කොටස වූ ප්ලාස්මාවයි. ප්ලාස්මාව ජලය, ලවණ හා ප්‍රෝටීන වලින් සමන්විතයි. රුධිරය, රුධිර සෛල හා ප්ලාස්මාව ලෙස කොටස් දෙකකි. ප්ලාස්මාව දුර්වර්ණ ලා කහපැහැති පැහැදිලි තරලයකි. මෙම තරලය තුල පාවෙන සෛල දේහ වර්ග 3 කි. එනම්,

  • රතු රුධිර සෛල (Red Blood cells – RBC)
  • සුදු රුධිර සෛල (White Blood cells – WBC)
  • රුධිර පට්ටිකා (Platelets) 

රුධිර සෛල බොහොමයක්, එනම් රතු රුධිර සෛල, පට්ටිකා හා බොහොමයක් සුදු රුධිර සෛල  නිපදවන්නේ රතු ඇටමිදුළු (Red Bone marrow) තුලය. කලල අවධියේදී රුධිර සෛල අක්මාවේ හා ප්ලීහාවේ නිපදවයි. ළමා කාලයේදී සෑම අස්ථි කැබැල්ලකටම මිදුළු තුල රතු රුධිර සෛල නිපදවුවද අවුරුදු 20 පමණ වන විට ඒවා නිපදවන්නේ දිගු අස්ථි වල වූ මිදුළු තුලය. ක‍්‍රියාකාරී සෛලමය මිදුළු රතු ඇට මිදුළු වේ. පසු කලෙක ඒවා අක‍්‍රීය වී තෙල් තැම්පත් වී කහ පැහැ ගැන්වුණු විට කහ ඇට මිදුළු ලෙස හඳුන්වයි. 

රතු රුධිර සෛල (Red Blood Cells- RBC)

මේවා ද්වී අවතලය, පැතිලිය. කාන්තාවන්ගේ රුධිර ඝන මිලි මීටරයක මිලියන 4.2 – 5.4 දක්වාත් පිරිමින්ගේ රුධිර ඝන මිලි මීටරයක මිලියන 4.7 – 5.1 දක්වා දක්නට ඇත. රතු සෛලවලට මෙම රක්ත වර්ණය ලැබී ඇත්තේ හිමොග්ලොබින් නම් වර්ණකය මගිනි. රතු සෛල හිමොග්ලොබින් හා බැඳුනු ඔක්සිජන් ඔක්සි හිමොග්ලොබින් ලෙස පරිවහනය කර ශරීර පටක වලට ඔක්සිජන් ලබාදේ. එසේම පටක වලින් නිදහස් වන CO2 මෙම රතු රුධිරාණු හා බැඳී ප‍්‍රශ්වාසයේදී ශරීරය නිරෝගීමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය ක‍්‍රියාවලදී ශක්තිය බවට පත් වේ. 

රතු රුධිර සෛල Erythrocytes ලෙස හඳුන්වයි. රතු රුධිරාණු වල ප‍්‍රධාන කාර්ය වන්නේ පෙනහළු වල සිට සිරුර පුරා ඔක්සිජන් පරිවහනය කිරීමයි. එසේම පටක වල පරිවෘත්තිය ක‍්‍රියාවේ අපද්‍රව්‍යයක් ලෙස ඇති වන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් ඉවත් කිරීමට පෙනහළු කරාගෙන යාමටද රතු රුධිර සෛල  උපකාරී වේ. රතු රුධිර සෛලවල න්‍යෂ්ටිකාවන් නොමැති නිසා මේවාට ඇත්තේ සීමිත වූ ජීවිත කාලයකි. සාමාන්‍ය ආයු කාලය දින 120 කි (මාස 4 කි). 

රතු රුධිර සෛල ප‍්‍රමාණය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිවීම නිසා ඇති වන රෝග තත්ත්වය බහු සෛලතාවය (Polycythemia) ලෙස හඳුන්වයි. අදාල ප‍්‍රමාණයට වඩා රතු සෛල අඩු වීම නීරක්තිය/රක්තහීනතාවය (Anemia) ලෙස හඳුන්වයි. සාමාන්‍ය හිමොග්ලොබින් ප‍්‍රමාණය වන්නේ 12.18gdl-1 වේ. ඔක්සිජන් පරිවහනයේදී පෙනහලු තුල ඇති වන ඔක්සි හිමොග්ලොබින් සංයෝගය පටක තුලදී ඔක්සි හිමොග්ලොබින් වලින් O2 මුදා හැර නැවත හිමොග්ලොබින් බවට පත් වේ. 

  • O2 + Hb – පෙනහලු තුල දී  – ඔක්සි හිමොග්ලොබින්
  • ඔක්සි හිමොග්ලොබින් – පටක තුලදී – Hb + O2

සුදු රුධිර සෛල – WBC

රුධිර ඝන මිලි මීටරයක (මයික්‍රො ලීටරයක) සුදු රුධිරානු 4000 – 11000 ප‍්‍රමාණයක් පවතී. මේවා Leukocytes ලෙස හඳුන්වයි. මේවායේ න්‍යෂ්ටියක් පවතී. ශරීරය විවේකීව ඇති විට සුදු රුධිර සෛල අඩු අගයක් ගන්නා අතර ශාරීරික වෙහෙස වීමකදී වැඩි අගයක් ගනී.  මේවාට න්‍යෂ්ටියක් පවතින අතර RNA (Ribonucleic Acid) සෑදීමේ හැකියාව ඇත. මේ නිසා ප්‍රෝටීන සංස්ලේෂණයක් සිදු කරයි. 

සුදු රුධිරාණු කනීකාමය සුදු රුධිරාණු (Granulocytes) හා කණීකාමය නොවන සුදු රුධිරාණු (Agranulocytes) ලෙස වර්ග කෙරේ. 

කනීකාමය සුදු රුධිරාණු (Granulocytes) පහත පරිදි වර්ග කිහිපයකි. 

  • නියුට්‍රොෆීල (Neutrophils) – මේවායේ  ප‍්‍රමාණය 12mm 15mm වේ. ඇමීබාකාර චලනයක් ඇත. වැඩිහියන්ගේ දිනකට ඇට මිදුළු තුල මේවා බිලියන 100 ක් පමණ නිපදවයි. මේවා මේරීමට සතියක පමණ කාලයක් ගත වේ. මෙම මේරූ සෛල පටකයට සංක‍්‍රමණය වී පැය කිහිපයක් පමණ ජීවත් වේ. ශරීරය තුල ආසාධනයක් (Infection) හෝ පටක අනතුරක් (Tissue injury) පවතින ස්ථානයට නියුට්‍රොෆීල සංක‍්‍රමණය වේ. බැක්ටීරියාවන් හා අනෙක් ක්‍ෂුද්‍ර ජීවීන් ගිලගන්නා ක‍්‍රියාවක් (Phagocytic action) පවතින අතරම මේවායේ ඇති මයලෝ පෙරෝකසයිඩ් නැමති එන්සයිමය මගින් එසේ  ගිලගන්නා ලද බැක්ටීරියාවන් ජීර්ණය වේ. 
  • ඉයසොනොෆිල (Eosinophils)රතු ඇටමිදුළු තුල නිපදවයි. නියුට්‍රොෆිල වල ප‍්‍රමාණයම වේ. ඉයසනොෆිල ඇට මිදුළු වලින් රුධිර සංසරණයට නිදහස් වී පැයක් තුලදී රුධිර සංසරණයෙන් නිදහස් වී සම, පෙනහළු ආදී අවයව පටක වලට සංක‍්‍රමණය වේ. මේවායේද ගිල ගැනී‍මේ (භක්‍ෂණ) ක‍්‍රියාව පවතී. 
  • බේසොෆිල Basophils – රුධිර සංසරණය නිදහස් වී පැය කිහිපයක් තුලදී සමාශ්ලේෂ්මය ආදී පටක වලට සංක‍්‍රමණය වේ. මේවා Histamine සංස්ලේෂණය ගබඩා කරයි. ප‍්‍රදාහමය තත්ත්වයකදී නිදහස් කරයි. 

කණීකාමය නොවන සුදු රුධිරාණු ද පහත පරිදි වර්ග කිහිපයකි. 

  • මොනොසයිම (Monocytes) – රුධිරයේ ඇති විශාලතම සෛල වේ. එහි විශ්කම්භය 15 18mm වේ. සුදු රුධිරාණු වලින් 7%  පමණ වේ. මේවා සක‍්‍රීය චලනයක් දක්වන අතර ක්‍ෂුද්‍ර ජීවී භක්‍ෂණය කරයි. මේවා සාමාන්‍යයෙන් ප‍්‍රදාහයට පත් පටක තුලට ඇතුළු වන්නේ කණීකාමය සුදු රුධිරාණු පැමිණීමෙන් පසුව වේ. කාලීන ප‍්‍රදාහමය තත්ත්ව වලදී දැකිය හැක. 
  • වසා සෛල (Lymphocytes) – සුදු රුධිරාණු වලින් 28 – 42% ප‍්‍රමාණයක් පවතී. ශරීරයට ඇතුල් වන ආගන්තුක දේහ වලට ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර දැක්වීම මෙහි කාර්ය වේ. බොහෝ වසා සෛල කුඩා වේ. මේවා විශාල ලෙස වසා ගැටිති, ප්ලීහාව, තයිමසය, ටොන්සිල් ග‍්‍රන්ථි, වසා පටක (ආහාර ජීර්ණ පද්ධතිය තුල ඇත) වල දැකිය හැක. මේවා සංසරණයට වඩා නාල හරහා ඇතුල් වේ. මේවා වරින් වර සංසරණය හැර යමින් නැවත ඇතුල් වෙමින් අවුරුද්දක් හෝ ඊට වැඩි කලක් ජීවත් වේ. මෙහි සෛල ආකාර 02 කි. එනම්, ප‍්‍රතිශක්තියට දායක වන immunoglobulin නම් ප‍්‍රතිදේහය නිපදවන B වසා සෛල හා ආගන්තුක ප‍්‍රතිජන්‍ය වෙත පුතිචාර දක්වන (Cell mediated immune Response) T වසා සෛලයි.

මේවා සාමාන්‍යයෙන් නිපදවන්නේ වසා ග‍්‍රන්ථි ලෙස නමුත් දරුවෙකු ඉපදුණු විගස සමහර වසා සෛල  රතු ඇට මිදුළු තුලද යම් කාලයක් නිපද වෙයි. නමුත් වැඩි ප‍්‍රමාණයක් නිපදවන්නේ වසා ගැටිති, තයිමසය හා ප්ලීහාව තුලය. මේවායේද ප‍්‍රමාණය අනුව වර්ග 02 කි. 

  • කුඩා වසා සෛල 
  • මහා වසා සෛල 

ප‍්‍රමාණයෙන් වෙනස් වුවද හැඩයෙන් සමානය. ප‍්‍රතිදේහ නිපදවීම මගින් රෝග මර්දනය කරයි. 

රුධිර පට්ටිකා – Platelets/Thrombocytes

රුධිර සෛලවලට අමතරව ඊට වඩා කුඩා සෛල වර්ගයකි. රතු ඇටමිදුළු තුල නිපදවේ. රුධිරය කැටි ගැසීම සඳහා ඉවහල් වේ. රුධිර වහනයකින් අනතුරකට පත්වී රුධිරය වහනය වන විට එම ස්ථානයට පැමිණ රුධිර කැටියක් සාදා රුධිර වහනය නවත්වයි. සාමන්‍ය පුද්ගලයෙකුගේ මෙම අගය මයික්‍රො ලීටරයකට 1,50,000 – 450,000 දක්වා පවතී. මෙම ප‍්‍රමාණයට වඩා වැඩිවීම thrombocytosis ලෙස හඳුන්වන අතර අඩුවීම Thrombocytopenia ලෙස හඳුන්වයි. රුධිර පට්ටිකා නිපදවන්නේ විශාල ඇට මිදුළු වන Mega Karyocytes වලයි. රුධිර පට්ටිකා අඩු වූ විට වැඩිකර ගැනීමට දෙළුම්, වට්ටක්කා, විටමින් C අඩංගු ආහාර, පැපොල් කොල, බීටී රූට් වැනි එළවළු දායක වේ. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 10,000 – 20,000 දක්වා අඩු වුවහොත් රුධිර ගැලීමක් ඇති විය හැක. 

රුධිර ප්ලාස්මාව – Plasma

රුධිරයෙන් 55% ප්ලාස්මාවට අයත් වේ. රුධිරයෙන් ප්ලාස්මාව වෙන් කළ විට ඒවා ලා කහ පැහැතිය. මේවා මගින් ජලය, ලවණ, එන්සයිම පරිවහනය කරයි. 

රුධිර ප්ලාස්මාව මගින් ඉටුකරන කාර්යය

ද්‍රව්‍ය පරිවහනයේදී වැඩි කාර්යයන් පැවරෙන්නේ රුධිර ප්ලාස්මාවට වේ. 

  • CO2 වායුව බයිකාබනේට අයන වශයෙන් පටක වල සිට පෙනහළු කරා ගෙන යයි.
  • බහිස‍්‍රාවී ද්‍රව්‍ය එහි අවයව වල සිට ඒවා බැහැරලන අවයව දක්වා (අක්මාවේ සිට වකුගඩු දක්වා)
  • නිර්නාල ග‍්‍රන්ථි වලින් නිපදවෙන හෝමෝන ඒවායේ ක‍්‍රියාකාරී ස්ථාන කරා යැවීම
  • ක්‍ෂුද්‍රාන්තයේදී උරාගත් ආහාර සියලුම පටක කරා යැවීම
  • පේශි වල හා අක්මාවේ නිපදවන තාපය ශරීරයේ සෑම කොටස් කරා යැවීම. 
  • දේහ තරල යාමනය සඳහා අයන හා ජලය පරිවහනය. 
  • සුදු රුධිර සෛල හා ප‍්‍රතිදේහ ආසාධිත තැන් කරා යැවීම. 
  • රුධිර පට්ටිකා හා ප්‍රෝටීන අදාල තැන් කරා යැවීම. 
  • ශරීරයේ රුධිර පීඩනය හා පරිමාව පාලනය
  • pH අගය සමබරව පවත්වා ගැනීම. 

රුධිර ඝන – Blood Groups

රුධිර ඝන ප‍්‍රධාන ලෙස 4 කි. 

  • Group A
  • Group B
  • Group AB
  • Group O

දෙමාපියන්ගෙන් ආරමය වශයෙන් ලැබෙන ජාන මගින් රුධිර ඝන තීරණය වේ. එසේම මේවායේ රිසස් සාධකය (Rhesus factor) ඇති නැති භාවය අනුව වර්ග කෙරේ. රුධිර ඝන හඳුනාගන්නේ රුධිරයේ ඇති ප‍්‍රතිජන්‍ය (antigen) හා ප‍්‍රතිදේහ (antibody) අනුව වේ. ප‍්‍රතිදේහ යනු ප්‍රෝටීන වන අතර රුධිර ප්ලාස්මාව පවතී. එය ස්වභාවික ආරක්‍ෂණයකි. ඒවා මගින් ආගන්තුක ද්‍රව්‍ය හඳුනාගනී. උදාහරණ ලෙස විෂබීජ හඳුනා විනාශ කරයි. Antigen (ප‍්‍රතිජන්‍ය) යනු ප්‍රෝටීන අණුවන අතර රුධිර සෛල මතුපිට පිහිටයි. 

ABO System 

මෙම ක‍්‍රමය මගින් රුධිර ඝන 4 ක්ම වර්ග කරයි. 

  • රුධිර ඝන A – මෙහි A ප‍්‍රතිජන්‍ය රතු සෛල මත පවතින අතර anti B ප‍්‍රතිදේහ ප්ලාස්මාවේ පවතී. 
  • රුධිර ඝන B – මෙහි B ප‍්‍රතිජන වන anti A ප‍්‍රතිදේහ සෛල ප්ලාස්මාවේ ඇත. 
  • රුධිර ඝන O – මෙහි ප‍්‍රතිජන්‍ය (antigen) නොමැති අතර anti A හා anti B ප‍්‍රතිදේහ ප්ලාස්මාවේ පවතී. 
  • රුධිර ඝන AB – මෙහි A හා B ප‍්‍රතිජන්‍ය පවතින අතර ප‍්‍රතිදේහ නැත.  

වඩා බහුල රුධිර ඝන වන්නේ O වේ. මෙය සර්ව දායකයා ලෙස හඳුන්වයි. මෙම රුධිර ඝනය සහිත රුධිරය  ඕනෑම රුධිර ඝනයක් සහිත පුද්ගලයෙකුට ලබාදිය හැක. නමුත් ලබාගත හැක්කේ O ගෙන් පමණි. AB සර්ව ප‍්‍රතිග‍්‍රාහකයායි. සියළු රුධිර ඝන සහිත රුධිරය ලබාගත හැකි නමුත් ලබාදිය හැක්කේ AB ට පමණි. රුධිරය ලබාදීමේදී Rh සාධකය සැලකිය යුතුවේ. O රුධිරය ඕනෑම පුද්ගලයෙකුට ලබාදිය හැක. රුධිර කාණ්ඩ කිරීම හා රීසස් සාධකය සම්බන්ධව සැලකූ විට,

  • කාණ්ඩය AB – සර්ව ප‍්‍රතිග‍්‍රාහකයා දිය හැක්කේ AB ට පමණි.
  • කාණ්ඩ A – කාණ්ඩ A හා O ගෙන් ගත හැකිවන අතර AB ට හා A ට දිය හැක. 
  • කාණ්ඩ B – කාණ්ඩ B හා O ගෙන් ගත හැකි වන අතර කාණ්ඩ AB ට හා B ට දිය හැක. 
  • කාණ්ඩ O – සර්ව දායකයා ගත හැක්කේ O ගේ රුධිරය පමණි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

දරුවන්ට එන්නත් ලබාදීමේදී මව දැනුවත් විය යුතු කරුණු මොනවාද?

බෝවන රෝග පැතිර යාම වළක්වා ගැනීම සඳහා සුදුසු ප‍්‍රතිකර්ම සොයා යෑමේදී 1796 දී බ්‍රිතාන්‍ය ජාතික එඞ්වඞ් ජෙනර් නම් විද්‍යාඥයා විසින් සිදු කළ පරීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව රෝග නිවාරණය පිළිබඳව එතෙක් තිබූ දැනුම නව මං පෙතකට හැරීමට හේතුවක් විය. ඒ අනුව දිගින් දිගට සිදු කළ පරීක්‍ෂණ හේතුවෙන් බැක්ටීරියා හා වෛරස් මගින් සෑදෙන රෝග වළකාලීමට හැකි එන්නත් නිෂ්පාදනය කරන ලදී. මේ අනුව බෝවන රෝග වළක්වාලීම සඳහා ලෝක සංවිධානය විසින් 1974 වසරේදී ගෝලීය වශයෙන් ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන ව්‍යාප්ත කරන ලදී. 

මේ ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන මගින් එන්නත් ආවරණය ඉහළ නැංවීම තුලින් බෝවන රෝග විශාල සංඛ්‍යාවක් වැළඳීම පාලනය කිරීමටත්, සමහර රෝග සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් හැකියාව ලැබී තිබේ. 

ශ‍්‍රී ලංකාවේ පළමුවරට 1886 වසරේදී වසූරිය සඳහා එන්නත්කරණය ඇරඹී ඇති අතර මේ සඳහා එන්නත් පිළිබඳ අඥා පනත (Vaccination ordinance) ක‍්‍රියාත්මක වූ අතර ඒ අනුව සෑම පුද්ගලයෙකුම වසූරිය එන්නත ලබාගැනීම අනිවාර්‍යය කෙරුණි. එහි ප‍්‍රතිඵල අනුව ලෝකයේම ක‍්‍රියාත්මක වීම තුලින් වසූරිය රෝගය මේ වන විට ලෝකයෙන්ම තුරන් කළ රෝග අතර ප‍්‍රමුඛ තැනක් ගනී. 

ලෝක ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සහාය ඇතිව 1978 වර්ෂයේදී ලංකාවේ ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන ඇරඹි අතර කාලීන අවශ්‍යතා අනුව යමින් වරින් වර සමාලෝචනයන් සිදුවෙමින් එන්නත් ලබාදීම හා එන්නත් ලබාදෙන වයස් සීමාවන් වෙනස් වීම් අනුව පවත්වාගෙන යනු ලැබේ. 

මේ අනුව මේ වන විට අපගේ ජාතික ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන මෙසේ වේ. 

  • උපතේදී – බි.සී.ජී – ක්‍ෂය රෝගය සඳහා

මාස 2 සම්පූර්ණ වූ විට 

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් – එනම් පංච සංයුජ එන්නත (Penta Valent) පළමු මාත‍්‍රාව
  • මුඛ පෝලියෝ පළමු මාත‍්‍රාව (OPV)
  • අජීවී විදින පෝලියෝ එන්නත (IPV)

මාස 4 සම්පූර්ණ වූ විට

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් – එනම් පංච සංයුජ එන්නත 
  • මුඛ පෝලියෝ දෙවන මාත‍්‍රාව (OPV)
  • අජීවී විදින පෝලියෝ එන්නත (IPV)

මාස 6 සම්පූර්ණ වූ විට 

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හෙපටයිටීස් බී, හිමෝෆිලස්, ඉන්ෆ්ලූවන්සා බී එන්නත් (Peta Valent) තුන්වන මාත‍්‍රාව
  • මුඛ පෝලියෝ තුන්වන මාත‍්‍රාව (OPV)

මාස 9 සම්පුර්ණ වූ විට 

  • සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා එන්නත පළමු මාත‍්‍රාව (MMR)

මාස 12 සම්පූර්ණ වූ විට

  • සජීවී ජැපනිස් එන්සෙෆලයිටීස් එන්නත (LJE)

අවුරුදු 1 ½සම්පූර්ණ වූ විට

  • ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම එන්නත් වල හතර වන මාත‍්‍රාව ත‍්‍රිත්ව එන්නත් (DPT)
  • මුඛ පෝලියෝ හතරවන මාත‍්‍රාව (OPV)

අවුරුදු 3 සම්පූර්ණ වූ විට 

  • සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා එනනත් දෙවන මාත‍්‍රාව MMR

අවුරුදු 05 සම්පූර්ණ වූ විට

  • පිටගැස්ම හා ගලපටලය එන්නත් වල පස්වන මාත‍්‍රාව ද්විත්ව එන්නත (DT)
  • මුඛ පෝලියෝ පස්වන මාත‍්‍රාව (OPV)

අවුරුදු 10 සම්පූර්ණ වූ විට (6 ශ්‍රේණියේදී)

  • ගැහැණු දරුවන් සඳහා ගැබ්ගෙල පිළිකා සඳහා පළමු එන්නත (HPV)
  • පළමු එන්නතින් මාස 6 කට පසු ගැබ්ගෙල පිළිකා දෙවන එන්නත (HPV)

අවුරුදු 11-14 අතර (7 ශ්‍රේණිය)

  • පිටගැස්ම හා ගලපටල එන්නත් වල හයවන මාත‍්‍රාව. වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත (aTd)

මේ අනුව ශ‍්‍රී ලංකාවේ සෑම ප‍්‍රදේශයකදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. 

සෑම මවක්ම තමා ප‍්‍රසූතියට සූදානම් වීමේදී මෙම එන්නත් වැඩසටහන පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි. උපත සිදු වූ රෝහලේදීම බි.සී.ජී (BCG) එන්නත ලබාගත් බවට මව දැනුවත් විය යුතුය. උපතේ සිට ලබන එන්නත් ලබාදීමේ කාලසීමාව හඳුනා ගැනීම වයසට නිසි එන්නත් ලබාදීමේ අවස්ථාව තහවුරු කරන හෙයින් මව්වරුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව උපතේදී ලබාදෙන එන්නත මුල් පැය 24 තුල, මාස 2, 4, 6 එන්නත් සඳහා වයස සම්පූර්ණ දිනයේ සිට සති දෙකක් ඇතුලත මාස 9 න් පසුව ලබාදෙන එන්නත් නිසි වයස සම්පූර්ණ වූ දිනයේ සිට මාසයක් ඇතුලත ලබාදීම, වයසට නිසි එන්නත් ලබාදීම සාර්ථක කරයි. මේ අනුව නිසි පරිදි වයස සපිරීම පිළිබඳ මව දැනුවත් විය යුතුයි.

එන්නත් ලබාදීම ප‍්‍රමාද කළ යුතු අවස්ථා

  • තීව‍්‍ර රෝග තත්ත්වයක් ඇති විට
  • දිනෙන් දින උග‍්‍ර වන ස්නායු ආබාධ ඇති විට
  • ප‍්‍රතිශක්තීකරණ ඌනතා ඇති කරන රෝගයකින් පෙලීම. 
  • උදා: ලේ පිළිකා, ලිව්කෝමා, තීව‍්‍ර පිළිකා අවස්ථා (ලියුකේමියා, HIV)
  • ප‍්‍රතිශක්ති ඌනතා ඇති කරන ඖෂධ ලබාගන්නා අය. 
  • ප‍්‍රතිශක්තී ඌනතා ඇති කරන ප‍්‍රතිකාර ක‍්‍රම වල යෙදී සිටින අය. 
  • උදා: ස්ටිරොටිඞ් කාණ්ඩයේ ඖෂධ වැඩි මාත‍්‍රා ලබාදෙන දරුවන්
  • විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන දරුවන්. 

මෙවන් තත්ත්ව වලදී අදාල වෛද්‍යවරයාගේ උපදෙස් මත ප‍්‍රමාද වී එන්නත් ලබාදීම සිදු කරයි. 

දරුවන් එන්නත් ලබාදීමේදී මවක් තම දරුවාගේ වයස ගැන සැලකිලිමත් විය යුතුයි. එසේම එන්නත් ලබාදීම නුසුදුසු අවස්ථා හෝ ප‍්‍රමාද කළ යුතු අවස්ථා, ලබාදෙන්තේ අතටද, කකුලටද, එන්නත් ලබාදීමෙන් වළක්වන රෝග, එන්නත ලබාදීමෙන් පසු ඇති වන අතුරු ආබාධ පිළිබඳව මවට දැනුවත් වීම වැදගත් වේ. මේ සඳහා මවට ලැබෙන ළදරු වර්ධන සටහන් පොතේ සියලු කරුණු අඩංගු අතර එය කියවා බැලීම තුලින් මවට අවශ්‍ය දැනුම ලබාගත හැකිවා මෙන්ම ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී තුමියගෙන්ද විමසා දැනගත හැකියි. 

එන්නත් ලබාදීමෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ නම් එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම, ගැටයක් ඇතිවීම, උණ ඇති වීම, වේදනාව, වමනය හෝ පාචනය ඇතිවීම, මලානික බව, නොසන්සුන් බව, කෑම අරුචිය, නොනවත්වා හැඬීම ආදිය මෙන්ම උණ වැඩි වී වලිප්පුව ඇතිවීම වැනි තත්ත්ව දක්වාද බලවත් ආසාත්මිකතා තත්ත්වද ඇති විය හැකියි. මෙසේ හෙයින් එන්නත් දීමෙන් පසු සායනය තුල විනාඩි 20 ක කාලයක් රැඳී සිටීමද, ඉන් පසු නිවසේදී දරුවා කල්පනාවෙන් රැකබලා ගැනීමද වැදගත් වේ. 1000C ට වඩා උණ වැඩිවන අවස්ථා වලදී පැරසිටමෝල් ඖෂධය ශරීරයේ බරට අනුව නියමිත කාලාන්තරයන් වලදී ලබාදීම කල හැකිය. 

එන්නත් ලබාදීම ශීත දාමය ආරක්‍ෂා කරමින් කරන ක‍්‍රියාවලියක් හෙයින් එන්නත් ලබාදීමෙන් පසු එන්නත් ලබාදුන් ස්ථානය තැවීම, පොඩි කිරීම නොකළ යුතුයි. ඇග සේදීම / නෑම, වතුරින් තෙමීම හා එන්නත් අතර සම්බන්ධතාවයක් නොමැති හෙයින් එන්නත් ලබාදීමෙන් පසුව පහසුව සඳහා සනීපාරක්‍ෂක ක‍්‍රම භාවිතා කළ හැකියි. උණ ඇති විටදී නෑවීම නොකළ යුතු මුත් දරුවාගේ දහදිය සේදීම මගින් දරුවාට සුව පහසුව ළඟා වේ. පැරසිටමෝල් ලබාදීමෙන් දින දෙකට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු වේ. නොනවත්වා හඬන්නේ නම් දරුවාගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වීම (බඩගින්න, උෂ්ණය, ශිතල) ද සලකා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකර්ම යෙදීමෙන් පසුත් දරුවා හඬන්නේ නම් වෛද්‍ය උපදෙස් ලැබීම සුදුසු වේ. 

  • වරක් එන්නත් ලබාදීමෙන් පසු ඇති වූ අතුරු ආබාධය පිළිබඳව නැවත එන්නත් ලබාදීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම කළ යුතුයි. 
  • ඇති වූ අතුරු ආබාධයේ ස්වභාවය අනුව ඊලඟ එන්නත පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් උපදෙස් පැතිය යුතුයි. 
  • දරුවාට එන්නතකින් මෙන්ම වෙනත් ඖෂධ හෝ ආහාර සඳහා ඇති වූ ආසාත්මිකතා පිළිබඳ ද දැනුවත් කළ යුතුයි. 
  • දරුවාට එන්නතක් ලබාදුන් විට එය කාඩ්තෙහි සටහන් කිරීම පිළිබඳවද මව සොයා බැලිය යුතුයි. 
  • සෑම විටම ලබාදුන් එන්නත පිළිබඳ ලිඛිත සාක්‍ෂි සටහන් මෙන්ම අතුරු ආබාධ පිළිබඳවත් සටහන් තිබේදැයි පරීක්‍ෂාකාරී වන්න. 
  • ජීවිත කාලයටම ලැබෙන ප‍්‍රතිශක්තී ආවරණයක් හෙයින් මෙම කාඩ්පත ආරක්‍ෂාකාරීව තබාගැනීමත්, එය අවශ්‍ය අවස්ථා වලදී ඉදිරිපත් කිරීමත් සෞඛ්‍යමය තීරණ සඳහා වැදගත් වේ. 
  • ලබාදෙන එන්නත් ලබාදිය යුතු වයස් මෙන්ම එම එන්නත් අතර පරතරය පිළිබඳවත් දැනුවත් වීම මවක සතු යුතුකමකි. 

එන්නත් ලබාදීමට පෙරාතුව මවක විසින් ලබාදෙනු ලබන එන්නත් සඳහා අවශ්‍ය වයස් සීමාවන්, ලබාදෙන එන්නත, එන්නත් ලබාදීමෙන් පසු ලබාදිය යුතු රැකවරණය මෙන්ම එන්නතකින් පසු ඇති විය හැකි අතුරු ආබාධ පිළබඳව දැනුවත්ව සිටීම තුලින් පහසු අයුරින් ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රියාවලිය සිදුකරගත හැකිවනවා මෙන්ම ඇති වන සියළුම තත්ත්වයන් සඳහා සැහැල්ලූ මනසකින් මවකට මුහුණ දියහැකි ශක්තිය ලැබේ.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ඩෙංගු රෝගය නිවසේදීම කළමනාකරණය කරගන්නේ කොහොමද?

අද වන විට ඩෙංගු රෝගයත් සීග්‍රයෙන් හිස ඔසවන බව අමුතුවෙන් කිව යුත්තක් ‍නොවේ. එය එසේ වුවත් ඒ පිළිබද බියක් මිනිසුන් අතර නොමැති තරම්ය. රෝහල් වාට්ටු ඩේංගු රෝගීන්නේ පිරී යන්නේ අන්න ඒ නිසාම විය යුතුයි. තම වටපිටාව පිරිසිදුව තබා ගන්නට බොහෝ දෙනෙකු තුළ වැඩි උනන්දුවක් නැති වුවත් මාරාන්තික ඩෙංගු රෝගයෙන් බේරීමට නම් ඩෙංගු මදුරුවා බෝවිය හැකි වටපිටාව පිරිසිදු කිරීම අපි අපේ ජීවිත වෙනුවෙන්ම ඉටු කරගන්නා මහඟු යුතුකමක් බව කිව යුතුමය. අද වන විට රෝහල්වල රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති නිසාම සෑම රෝගියෙකුටම රෝහල් ගත වීමට නොහැකි විය හැකියි. එවැනි තත්ත්වයකදී අපි ගෙදරදීම රෝගය කළමනාකරණය කර ගත යුතු වෙනවා. ඔබ ඩෙංගු රෝගියෙකු බව තහවුරු වූවොත් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත නිවසේ සිට රෝගය කළමනාකරණය කරගැනීමට ඔබට හැකියි. කෙසේ වුවද වෛද්‍ය උපදෙස් මත සිදුකරන රුධර පරීක්ෂණ අනුව ඔබ අනිවාර්යෙන්ම රෝහල්ගත විය යුතු නම් ඒ බව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරාවි. අන්න ඒ නිසාම ඔබ නිවසේ සිටිනවා යැයි සිතා වෛද්‍ය උපදෙස් ලබාගැනීම නතර නොකළ යුතුයි. 

ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් හා නිර්දේශයට අනුව පැය 12 කට වරක් හෝ පැය 8 කට වරක් සම්පූර්ණ රුධිර පරීක්‍ෂාවක්  (Full Blood Count – FBC) සිදු කරන්න. එසේම අදාල වාර්තාව හැකි ඉක්මණින් (අවම පැය 2ක් ඇතුලත) වෛද්‍යවරයාට පෙන්විය යුතුය. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 130,000/mm3 ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය බව මතක තබාගන්න. වෛද්‍යවරයා වෙත පැමැණීමේදී ඔබේ සියලු රුධිර පරීක්ෂණ වාර්තා පිළිවෙළින් රැගෙන එන්න. 

ඩෙංගු වැලදීමත් සමගම ඔබේ ඇඟට දැනෙන අපහසුතාවය මෙන්ම උණ වැඩි වීම දැකිය හැකි අතරම හිත්මතේ වේදනා නාෂක ඖෂධ වර්ග හෝ උණ අඩු කරන ඖෂධ ලබා ගැනීම කිසිසේත්ම සිදුසු නොවන බව හොඳින් මතක තබාගන්න. වෛද්‍ය උපදෙස් මත ඔබට ලබා ගත හැකි එකම වේදනානාශකය වන්නේ පැරසිටමෝල් පමණක් බවත් එය වෛද්‍යවරයා උපදෙස් දුන් මාත්‍රාව හා වාර ගණන පමණක් ලබා ගැනීමට සැලිකිලිමත් වෙන්න. මෙවැනි තත්ත්වයකදී NSAIDs වර්ගයේ වේදනානාශක මෙන්ම ස්ටිරොයිඩ් වර්ගයට අයිති ඖෂධ වර්ග ද නොගත යුතුය. තද උණ ඇත්නම් උණු වතුරෙන් තෙමාගත් පිරිසිදු රෙදි කඩක් වතුර මිරිකා ගෙන ඉවත් කොට උණුසුම යාමට පෙර ශරීරය පිස දැමීම සිදු කළ හැකිය. 

ඩෙංගු රෝගියෙකුට විවේකය අත්‍යවශ්‍ය වේ. රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වන තුරු නිසි ‍විවේකයක් ලබාගැනීඹ අත්‍යවශ්‍ය බව තරයේ සිහිතබා ගන්න.

එසේම හැකිතාක් දියර වර්ග ලබා ගැනීම වැදගත් වන අතරම ආහාර අරුචියක් නැතිනම් සාමාන්‍ය පරිදි ආහාර ලබාගැනීමට ඔබට හැකියි.  මේ තත්ත්වයේදී ආහාරයේ වර්ණ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ රුධිර වහන තත්ත්වයක් ඇති වුවහොත් එය හඳුනා ගැනීමට බාධාවක් නොවිය යුතු නිසාය. 

දියර වර්ග ලබාගැනීමේදී පළතුරු යුෂ, තැඹිලි, කැඳ, ජීවනී වැනි ලවණ සහිත දියර පානය කිරීම ඉතා වැදගත් වන අතරම නිරෝගී දින වලට සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම වැදගත් වේ. 

දියර පානය කිරීමේදී ඔබ විසින් පැයකදී පානය කළ යුතු දියර ප‍්‍රමාණය වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් විය යුතු අතරම දියර මැනීමට නිසි ලෙස ක‍්‍රමාංකනය කරන ලද කෝප්පයක් භාවිත කළ යුතුය. 

ශරීරයේ බර පැයකදී පානය කළ යුතු දියර ප‍්‍රමාණය
5kg 20ml
10kg 40ml
20kg 60ml
30kg 70ml
40kg 80ml
50kg 100ml
50kg ට වඩා වැඩි 100ml

 

මුත‍්‍රා පිටවීම

සාමාන්‍යයෙන් ශරීරයේ බරට (කිලෝග‍්‍රෑම් වලින්) සමාන මුත‍්‍රා ප‍්‍රමාණයක් (මිලි ලීටර වලින්) පැයකට පිටවන තරමට දියර පානය කළ යුතුය. අවම වශයෙන් පැය 4 කට වරක් වත් මුත‍්‍රා පිට කිරීම හා එම ප‍්‍රමාණය මැන බැලීම කළ යුතුය. 

රෝගියාගේ බර පැයකදී පිට කළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය පැය 4 කදී පිට කළ යුතු මුත‍්‍රා ප‍්‍රමාණය
20kg 20ml 80ml
40kg 40ml 160ml
60kg 60ml 240ml

 

මුත‍්‍රා ප‍්‍රමාණය මෙයට වඩා යම් ප්‍රමාණයකින් වැඩි වීම ගැටළුවක් නොවන අතරම යම් හෙයකින් මුත‍්‍රා ප‍්‍රමාණය මෙයට වඩා අඩු නම්, මුත‍්‍රා ප‍්‍රමාණය වැඩි කර ගැනීමට දියර ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි කළ යුතුය. මීට අමතරව පිපාසය ඇත්නම් වැඩිපුර දියර ප‍්‍රමාණයක් දිනකට කිහිප වරක් පානය කිරීමේ වරදක් නැත. එහෙත් පිපාසය දිගින් දිගටම පවතී නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය බව අමතක නොකරන්න. ඔබ වෛද්‍යවරයා හමුවීමට යන විට පහත වගුවේ ආකාරයට තොරතුරු සටහන් කරගෙන යාම ඉතා වැදගත් වනු ඇත. 

දිනය සහ වේලාව පානය කළ දියර ප‍්‍රමාණය දිනය සහ වේලාව පිට කළ මුත‍්‍රා ප‍්‍රමාණය

 

නොනවත්වා පවතින පාචනය හෝ වමනය (එම නිසා ඇති වන විජලනය ඇති වීමේ අවදානම), තද තෙහෙට්ටු ගතිය, ඕනෑම ස්ථානයකින් රුධිර වහනය, තද හිසරදය, උදරයේ තද වේදනාව වැනි තත්ත්ව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඩෙංගු රෝගයේදී උණ බැස යාම යනු රෝගය සුව වූ බවට සාධකයක් නොවිය හැකි බැවින් ඔබට යම් අපහසුතාවයක් ඇත්නම් නොපමාව රෝහලක් වෙත යන්න. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල