Home Blog Page 32

ගර්භණීත්වය, ගර්භණී කාඩ්පත සහ රතු ලේබලය

කාන්තාවක් විසින් තමා ගැබ්ගත් පුවත දැනගැනීමත් සමග ඇගේ කුස පිලිසිඳගත් දරුවාගේ මෙන්ම තමාගේ නීරෝගිබව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීම සිදු වෙනවා. ඊටත් අමතරව ඇය තමා ජීවත්වෙන ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සායනයේ  ලියාපදිංචිය  ලබා ගැනීමත් ඉතා වැදගත්. පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ගර්භණී කාන්තාවකට ලබා ගත හැකි සේවාවන් රාශියක් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සායනයේදී ගර්භණී මවගේ පුර්ව ප්‍රසව සෞඛ්‍ය තත්වය, පසු ප්‍රසව සෞඛ්‍ය තත්වය වගේම දරුවා හදා වඩා ගැනීමට අවශ්‍ය උපදස් ලබා දෙනවා. 

පූර්ව ප්‍රසව සේවාවන්…

ගර්භණී මවක් වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සායනය වෙතින් උපදෙස් වගේම ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. ඒ අතර ගර්භණීත්වයේ යම් අවදානම් තත්වයක් හදුනා ගැනීමෙන් පසු එම අවදානම් තත්වය සඳහා වැඩිදුර ප්‍රතිකාර ලබා දෙමින් නිරෝගී දරුවෙකු බිහි කිරීම සදහා මවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කරනවා.

ඒ වගේම ගර්භණී මවක් ලෙසින් ඇගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය පෝෂණය වෙනුවෙන් උපදෙස් ලබා දිම සහ ගර්භණී කාලයේදී කළ යුතු ව්‍යායාම වෙනුවෙන් දැණුවත් කිරීමත් පවුල් සෞඛ්‍ය සායනයකදී මවකට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. 

පසු ප්‍රසව අවස්ථාව වෙනුවෙන් ලබා දෙන උපදෙස්…

ගර්භණී කාන්තාවක් මව් පදවිය ලැබීමෙන් පසුවත් ඇය ගේ වගේම උපත ලද දරුවාගේ සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. දරුවෙක් හදා වඩා ගැනීම ගැන හෙවත් ”දෙමව්පියකරණය ” ගැන දැණුවත් කිරීම,  දරු ප්‍රසුතිය සමග ඇති වෙන ආසාදන, මව්කිරි දීමේ ගැටළු සහ පසු  ප්‍රසව මානසික ගැටළු හෙවත් විශාදය තත්වයට නිසා  නව ජන්ම දරුවා මෙන්ම මව ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීමත් වැදගත්.පසු ප්‍රසවයෙන් පසුව පවුල් සැලසුම් ක්‍රම අනුගමනය කිරීම ගැනත් දැනුවත් වීමක් ලබා දෙනවා.

පරීක්ෂණ සිදු කිරීම

මෙම මධ්‍යස්ථානය මගින් මවගේ උස, බර පිළිබඳව සටහන් කිරීම මගින් නිරෝගි බර මටට්ම පවත්වා ගැනීමට ඇයට උපදෙස් ලැබෙනවා

  • මුලික රුධිර පරීක්ෂණ,  (රුධිර ඝනය පරික්ෂා කිරීම, රුධිරගත සීනි ,රක්තහීනතාවය හඳුනා ගැනිම, කළලය සඳහා බලපානු ලබන ලිංගාශ්‍රිත රෝග හඳුනා ගැනීම) 
  •  මුත්‍රා පරීක්ෂණ සිදු කිරීම
  • පෝෂණ සම්බන්ධ ගැටළු හඳුනා ගැනීම, දත් සහ මුඛ පරික්ෂා සිදු කිරීම
  • හෘද ඇතුළු වෙනත්  කායික,  මානසික සහ සමාජීය ගැටළු හඳුනා ගැනීම මෙම සායන වලදී සිදු කරනු ලබයි. එහිදී ගැටළු හඳුනා ගෙන ඉක්මනින්  ඒවාට පිළියම් යෙදීම සිදු කරනු ලබන අතර වැඩි දුර පරීක්ෂණ කිරීමට හෝ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත්, ඒ සඳහා වෙනත් සායන හෝ රෝහල් වෙත යොමු කරනු ඇත.
  • අවශ්‍ය එන්නත් ලබා දීම ( පිටගැස්ම, කොවිඩ් )
  • ත්‍රිපෝෂ ලබා දීම.

ඖෂධ ලබා දීම

ගර්භණී මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් අවශ්‍ය විටමින්, කැල්සියම්, යකඩ වැනි ඖෂධ සායනය මගින් ලබා දීම.

ගර්භණී මවක් විවිධ අවස්ථාවන්හිදි අවදානම් විය හැකියි.

ගැබ්ගත් කාන්තාවක් එම අවස්ථාවේ පටන් දරුවා බිහි කිරීම සහ පසු ප්‍රසව අවධිය දක්වාම විවිධ අන්දමින් අවදානමට පත් විය හැකියි. එවැනි අවදානම් සාධක හදුනා ගෙන ඒ වෙනුවෙන් පුර්ව ආරක්ෂාව සලසා දීම පවුල් සෞඛ්‍ය සායනකයක් වෙතින් ලැබෙන විශේෂ වාසියක්.

ගර්භණීත්වයට පෙර පටන් පවතින අවදානම

  • මවගේ වයස අවුරුදු 19 ට අඩු වීම හෝ 35 ට වැඩි වීම.
  • ගර්භණී මව බෝනොවන රෝග හෙවත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, අපස්මාරය,
  •  රුධිරයේ රිසස් සාධක වැනි අවදානම් කාණ්ඩයකට අයත් වීම
  • මවගේ බර අඩුවීම වැඩිවීම, , උස අඩු වීම , රක්තහීනතාවය, වැනි තත්වයන්

පෙර ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව දරු ප්‍රසුතියක් සිදු කර ඇත්නම් ඒ අවස්ථාවේදී ඇගේ දරු ප්‍රසුතිය සමග ඇති වුන පෙර ප්‍රසව තත්වයන් ගැනත් සලකා බැලීම සිදු වෙනවා.

  • මීට පෙරාතුව ගැබ් ගත් අවස්ථාවන්හිදි සිදු වුන ගබ්සා වීම.
  • පෙර දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් සිදු වීම.
  • නොමේරූ දරු උපත්
  • මළ දරු උපත්.

වර්තමාන ගර්භණීත්වය සමග ඇති අවදානම් සාධක

ගර්භණී මවක් මීට පෙරාතුව අවදානම් කාණ්ඩයකට අයත් නොවී දරු ප්‍රසුතියක් සිදු කළත් මේ අවස්ථාවේදී ඇය යම් සංකුලතාවයකට පත්ව සිටින්නට හැකියි.

  • දරුවා පමණට වඩා විශාල වීම.
  • දරුවා පමණට වඩා කුඩා වීම
  • තට්ටමෙන් පිහිටිම.
  • අධි රුධිර පීඩනය, දියවැඩියාව, වැනි බෝ නොවන රෝගයකට ගොදුරු වීම
  • නිවුන් දරුවන් පිහිටීම.
  • ගර්භණි සමයේ ඇති වෙන රුධිර වහනය

පවුල් සෞඛ්‍ය සායනය වෙතින් ලැබෙන ගර්භණී කාඩ්පත 

ගර්භණී කාන්තාවක් අදාල පවුල් සෞඛ්‍ය සායනයේ ලියාපදිංචිය ලැබීමෙන් පසුව ඇයට කාඩ්පතක් ලබා දෙනවා. මේ කාඩ්පතේ අදාල කාන්තාවගේ සියලු විස්තර ඇතුලත් කරනු ලබනවා.

. මෙම ගර්භණී කාඩ්පතේ කුළුදුල් දරු ප්‍රසුතිය ලබන මවක් නම් නිල් ලේබලයක් අලවනවා. ප්‍රථම දරු ප්‍රසුතියේ වුනත් අවදානමක් ඇත්නම් නිල් ලේබලයට අමතරව එහි රතු ලේබලයක්ද අලවනවා.

රතු කියන්නේ අනතුරක් නොවේ…

මෙම රතු ලේබලයෙන් හැඟෙන්නේ ඔබේ දරු ප්‍රසුතිය අවදානම් බවක් නොවේ. නමුත් ඔබේ ඉතිහාසයේ ඇති යම් යම් රෝග තත්වයන් සහ ගර්භණිත්වය සමග ඇති යම් ගැටලු සහගත බවක් එයින් දන්වා තිබෙනවා. මේ නිසා ගර්භණී කාන්තාව පරීක්ෂා කරන තවත් වෛද්‍යවරයෙකුට හෝ දරු ප්‍රසුතියේදී රෝහල්ගත වීමෙන් පසුව ඇය පරීක්ෂා කරන වෛද්‍යවරුන්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම ඇගේ තත්වය ගැන වැඩි අවදානයක් යොමු කිරීම නිසා දරුවා ප්‍රසුත කිරීමේදී මවගේ සහ දරුවාගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමත් සිදු වෙනවා.

ගර්භණී කාඩ්පත ළඟ තබා ගන්න…

ගර්භණී මවක් විසින් මෙම ගර්භණී කාඩ්පත නිතරම තමා  සමීපයේ තබා ගැනීම වැදගත්.දරු ප්‍රසුතිය ආසන්න නොවුනත් යම් යම් ගැටළු ඇති වූ විට ඇගේ රෝග ඉතිහාසය මේ කාඩ්පතේ දක්වා තිබෙන නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී කාඩ්පත රැගෙන යෑම ඉතාම වැදගත්. ඒ වගේම දරු ප්‍රසුතියට ආසන්න නොවුනත් ඔබ දුර ගමනක් හෝ  යන විටත් මේ කාඩ්පත රැගෙන යෑමට අමතක කරන්න එපා. හදිසියේ හෝ ඔබට පදිංචි ප්‍රදේශයෙන් බැහැර රෝහලක රෝහල්ගත වීමට සිදු වුනොත් ඔබේ වෛද්‍ය ඉතිහාසය මෙහි සටහන් වී තිබීම වඩාත් පහසුවක් වෙනු ඇති. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ ගාමිනී පෙරේරා මහතා

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

 

 


                

දරුවාට දැනෙන්න ආදරය කරන්නේ කොහොමද?

අම්මා තාත්තා මට ආදරේ නැහැ….මේ බොහෝ දරුවන්ගේ හිතේ ඇති වෙන මානසික තත්වයක්. ඒ වුනත් හැම මවක් පියෙක්ම තමන්ගේ දරුවාට පණටත් වඩා ආදරෙයි කිව්වොත් නිවරැදියි.නමුත් මෙතැන ඇති හිස්තැන කුමක්ද…? දෙමව්පියන්ගේ ආදරය දරුවාගේ හදවත ආමන්ත්‍රණය නොකිරීමයි.එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ මේ වැරැදි නිවරැදි කර ගන්නේ කොහොමද…?

දරුවාට දැනෙන්න ආදරය කරන්න…

ආදරය තිබෙන්නේ හිතේ බව ඇත්ත. ඒත් හිතේ තිබෙන ආදරය දරුවාට දැනීම ඉතාම වැදගත්.ඒ නිසා නිතරම දරුවාගේ මානසික නිරෝගිතාවය වෙනුවෙන් ඔබ දරුවාට ආදරය බව දැනෙන්න ඉඩ දෙන්න. දරුවා සමග කාලය ගත කරන්න, සෙල්ලම් කරන්න. සිප වැළඳ ගන්න.

පුංචි වුනත් ගෞරවය වැදගත්…

දරුවා පුංචි වුනත් ඔවුන්ටත් ආත්ම ගරුත්වයක් තිබෙන බව අමතක කරන්න එපා. බොහෝ දෙමව්පියන් විසින් නොදැන කරන මේ කටයුතු නිසා දරුවා මානසිකව බිඳ වැටෙනවා. දරුවාට යම් ගරුත්වයක් පවුල තුලින්ම ගොඩ නැගෙන්න ඕන. ඔබ නිතරම දරුවා නිගරුවට පත් කරනවා නම් අම්මා…තාත්තා මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතේ නොදැනීම ගොඩ නැගෙනවා. එය නැවත ගොඩ නැගීමත් එතරම් පහසු නැහැ.

සහයෝගය දෙන්න..

දරුවාගේ වයස සහ ඔබේ වයස අතර ලොකු පරතරයක් තිබෙන බව ඇත්ත. නමුත් දරුවාගේ කටයුතු නිසා විටෙක ඔබ දරුවාගේ තැනට පත් වීම වැදගත්. ඒ අන්දමින් දරුවාගේ කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වීම ඉතාම වැදගත්. අපේ අම්මා…තාත්තා..මා සමග සිටින්නේ මට ආදරේ නිසා බැව් දරුවා එවිට ඒත්තු ගන්නවා. එය ඉතාම සුබවාදී  තත්වයක්.එතැනින් ඔබ්බට දෙමව්පියන් මට ආදරේ නැහැ යන සිතුවිල්ල ඔවුන්ගේ හිතට ඇති වෙන්නේ නැහැ.

දරුවාට ශක්තියක් වෙන්න…

දෙමව්පියන් විදිහට ඔබ නිතරම දරුවාට ශක්තියක් වීම වැදගත්. ඔවුන්ගේ ජයග්‍රහණවලදී සතුටු වීම වගේම පරාජයන් ඉදිරියේදී ඔවුන්ට වැටෙන්නට ඉඩ නොදී රැකගැනීම ඉතාම වැදගත්. පරාජය දරා ගැනීම දරුවාට අපහසුයි.

නමුත් අද බොහෝ විට සිදුවන්නේ දරුවන්ගේ පරාජයන් ඉදිරියේදී ඔවුන්ටත් පෙරාතුව දෙමව්පියන් මානසික වැටෙන නිසා දරුවන් වෙනුවෙන් ශක්තියක් ඇති කිරීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ.

දොස් නැගීම පලක් නැත..

දරුවන් බොහෝ විට ඔබ අකමැති දේ කිරීම සාමාන්‍ය තත්වයක්. ඔබේ ප්‍රතිචාර නිසා දරුවා සහ ඔබ අතර පවත්නා ආදර බන්ධනය පවා දුරස් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මනෝවිද්‍යත්මක ලෙසින් ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්.විටෙක ඔබේ අවධානය දිනා ගැනීමට අවශ්‍ය වූ විටත් දරුවා විවිධ හැසිරීම් වෙත යොමු වෙන අවස්ථාවන් තිබෙනවා.එවන් අවස්ථාවලදී අනවශ්‍ය ලෙසින් කෝප ගන්න එපා.

අම්මා පුතාට ආදරෙයි…පුතා අම්මට ආදරෙයි නම් අම්මා එපා කියන දේවල් කරන්නේ නැහැ..ආදි ලෙසින් දරුවාගේ හදවතට සමීප වෙන්න.

ප්‍රසිද්ධියේ සමච්චල් එපා..

ඇතැම් දෙමව්පියන්ට දරුවන්ගේ අඩු පාඩු දුර්වලකම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් විනෝදයක් ලබා ගැනීමේ දුර්වල මානසිකත්වයක් තිබෙනවා. ඔබ නොදැන කරන මේ කටයුත්ත දරුවාට යම් පිඩාකාරි තත්වයක් ඇති වීමට පුලුවනි.විකෙ දරුවාගේ ගොත ගැසීමක්…එහෙම නැත්නම් දරුවා කලුවරට…සතුන්ට දක්වන බිය ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කිරීම එතරම් සුදුසු නැහැ.

සසඳන්නත් එපා…

ඔබේ දරුවාගේ වයසට සාපේක්ෂව බලන විට සෙසු දරුවන්ට වඩා ඔබේ දරුවා ඉතාමත් දුර්වලයෙක් ලෙසින් ඔබට හිතෙනු ඇති. නමුත් එවැනි උපකල්පන ගොඩ නගා ගැනීම කොහෙත්ම නොකල යුතුය. ඔබට සාපේක්ෂව තවත් අයෙකු ගැන හිතන්න. ඔවුන් ඔබට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනු ඇති.දරුවාත් ඊටම සමාන බව හිතන්න. ඒ නිසා වෙන දරුවන් සමග සසදමින් ඔබේ දරුවාගේ ආත්ම අභිමානය බිඳ දැමීම කිසිදු ලෙසින් කළ යුත්තක් නොවේ.

ප්‍රශංසාවටත් කැමැතියි…

දරුවන් ප්‍රශංසා ලබන්න කැමැති කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අගයන්න. ඒවාට ප්‍රශංසා කරන්න. දරුවා විසින් නිවස අතුගා ඇත. ඒත් බොහෝ අඩුපාඩු ඒ අතර තිබුනත් මුලින්ම අඩුපාඩු ගැන ඇගිල්ල දිගු කරන්න එපා. දරුවා විසින් කළ දේ ගැන අගයන්න. දරුවාගේ හිතේ සතුට එතැනයි.එතැනින් පසුව අඩු පාඩු කියා දෙන්න. පුතා අනිත් දවසේ අතුගාන කොටකෛාස්ස දාලා ඇඳ ඇතුලේ කුණු ටිකත් පිටතට ගන්න…පුතා ලස්සනට අතුගාලා…අම්මට හරි සතුටුයි…මේ විදිහට දරුවා අගයන්න.

පුංචි වුනත් පුංචි තීරණ ගැන අහන්න..

ඔබේ පුංචි දරුවා හැමදාම අම්මට තාත්තට පොඩිත්තෙක්. ඒ නිසා හය හතර නොතේරෙන පොඩි පැටියාගෙන් තීන්දු තීරණ ගැනීම ගැන විමසීම අවශ්‍ය නැතැයි ඔබ සිතනු ඇති.ඊටත් ඔවුන්ට ඒ ගැන දැනුමක්, තේරුමක් නැතැයි ඔබ විසින්ම උපකල්පනය කරනු ඇති.

නමුත්…පවුලේ යම් තීරණයක් ගැනීමේදී දරුවාගෙන් විමසන්න. ඒ ගැන එතරම් වෙහෙසෙන්න එපා. දවල් ආහාරය සූදානම් කරන විට අද මොනවද උයන්නේ…මෙන්න ගෙදර තියෙන එලවලු..පුතා තෝරන්න අද අපි මොනවද දවල්ට උයන්නේ..

මෙතැනදී දරුවා ගොටුකොළ සහ මුකුණුවැන්න යන දෙකම තෝරා ගත්තා යැයි සිතමුකෝ..එවැනි අවස්ථාවකදී පුතේ මේ දෙකම මැල්ලුම්.ඒ නිසා මෙතැනින් එකක් ගනිමු. දැන් මේ දෙකෙන් එකක් තෝරන්න…

මේ අන්දමින් තිරණ ගැනිමේදී දරුවා සම්බන්ධ කර ගත් විට මමත් වැදගත් චරිතයක්…මට මේ විදිහට අම්මා තාත්තා වැදගත් කමක් දෙන්නේ මට තියෙන ආදරය නිසානේ…යන ආත්ම තෘප්තිය හිතේ ගොඩ නැගෙනු ඇත.එයින් පෙනේනේ ඔබ දරුවාට දැනෙන්න ආදරය කරන මවක්…පියෙක් බවයි.

 

ගැබිනි හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම දරුවන්ට රසානික ද්‍රව්‍යවලින් ඇති බලපෑම් මොනවාද?

ගැබිනි සමයේදී රසයානික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් වැඩෙන කලලයට හානි දායකද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම අප අදහස් කළේ ඒ පිළිබඳව ඇති දැනුම අවම යැයි සිතුණු නිසාමය. අපරික්ෂාකාරී හැසිරීම් තුළින් කුස තුළ වැඩෙන කලලයට මෙන්ම කිරි බොන වියේ සිටින ඔබේ ළදරුවාට හානි දායක විය හැකි අවස්ථා ගැන මව්වරුන් වශයෙන් අප දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ. 

ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකය තුළ යම් රසායනික ද්‍රව්‍ය වෙත වැඩි කාලයක් නිරාවරණය වීමෙන් උපත් ආබාධ ඇතිවිමේ ප්‍රවණතාවය වැඩි බව මෙන්ම යම් රසායනිකයක් ගිලීමෙන් හෝ ආශ්වාස වීමෙන් ඒවා රුධිරයට එකතු වී පෙකණිවැල හරහා දරුවාට ඇතුළු වීමේ අවදානම ඇති බව ඔබ අසා තිබෙනවාද? 

අහිතකර රසයානික ද්‍රව්‍ය 

කෘමිනාශක හා වල් නාශක/නිවෙස්වලට භාවිත කරන පිරිසිදු කිරීම් කාරක/ඊයම් සහිත තීන්ත වර්ග/ප්ලාස්ටික්/මඳුරු දඟර/රසදිය/ආසනික්/දැව ආරක්‍ෂක/නියපොතු පොලිෂ් කාරක/ඇස්බැස්ටෝස්/ කපුරු බෝල/ඇතැම් හිස‍කේ වර්ණක/BPA

කෘමිනාශක හා වල් නාශක – සමහර කෘමි නාශක විශේෂයෙන් මකුණන් විනාශ කරන ඒවා සහ වල් නාශක මගින් වැඩෙන කලලයට හා මවට බලපෑම් ඇති කරයි. 

පිරිසිදුකාරක – බොහෝ පිරිසිදුකාරක ආරක්‍ෂිත ලෙස සලකනු ලැබූවද නිවෙස්වල සමහර පිරිසිදුකාරක මගින් කුඩා දරුවන්ට ස්වසන අපහසුතා ඇදුම වැනි දේ ඇති වූ බවට වාර්තා වේ. මේ නිසා උඳුන් හා ටයිල් පිරිසිදුකාරක භාවිතයේදී අත්වැසුම් පැලදීම, ආශ්වාස වීමෙන් වළකන්න ගැනීම (මුව වැසුම් භාවිතය) කිරීම වඩාත් ආරක්‍ෂාකාරී වේ. 

තීන්ත වර්ග – බොහෝ තීන්ත වර්ග ආරක්‍ෂාකාරී වුවද, ඊයම් අඩංගු ඒවා මගින් මවට හා දරුවාට (කළලයට) අවදානම වැඩි කරයි. water base ඒවා අහිතකර නොවේ. 

මදුරු දඟර – මඳුරු දඟරවල පවතින DEET/ Picaridin වැනි රසායනික සම තුලට ඇතුළු විය හැක. මේ නිසා මුල් මාස 3 තුලදී ප‍්‍රවේශම් වීම වඩා යෝග්‍ය වේ. මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට මදුරු දැල් භාවිතය, අත් වැසෙන සේ දිගට ඇඳුම් ඇඳීම වඩා යෝග්‍ය වේ. 

රසදිය – අධික සාන්‍ද්‍රනයන් සහිත රසදියවලට නිරාවරණය වීමෙන් සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැක. විශේෂයෙන් මෙහිදී මොළයට හානි වීම, ඇසීමේ හා පෙනීමේ ගැටලු වැඩෙන දරුවාට ඇති කරයි. සමහර මාළු වර්ග (මෝරා, තලපත් ආදි මාළුන්ගේ) රසදිය පවතින බැවින් ගර්භනී කාලයේදී ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම වඩා වැදගත් වේ. 

ආසනික් අඩංගු දැව ආරක්‍ෂක – දැව, දීලිර වර්ග, දැව දිරීමෙන් කුඩු ඇති වීම, පුස්, වේයන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා තඹ, ක්‍රෝමියම් හෝ ආසනික් ආලේප කරයි. මේවා මගින් සමහර පිලිකා, දියවැඩියාව, ගබ්සා වීම, මළ දරු උපත් ඇති විය හැක.

නිය ආලේපන – නිය ආලේපන, සමහර රූපලාවන්‍ය කටයුතු හා හිසකෙස් සෘජු කිරීම (straightening) සඳහා ෆෝමැල්ඩිහයිඞ් මිශ‍්‍ර නිෂ්පාදන භාවිත කරයි. නිය ආලේපනවල කුඩා ප‍්‍රමාණයකින් ෆෝමැල්ඩිහයිඞ් අඩංගු වන අතර ශරීරය මගින් ඉතා ඉක්මණින් බිඳ හෙලයි. එයින් දරුවාට වන අහිතකර ප‍්‍රතිඵල නිශ්චිත ලෙස දක්වා නොමැති නිසා ෆෝමැල්ඩිහයඞ් අඩංගු නොවන ආලේපන භාවිත කිරීම සුදුසු වේ. 

ඊයම් සහිත තීන්ත නිෂ්පාදන – අධික සාන්‍ද්‍රනයකින් යුතු ඊයම් මගින් නූපන් ළදරුවන්ගේ හා දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. අධික සාන්‍ද්‍ර ඊයම් සහිත තීන්ත වර්ග හා නිෂ්පාදන මගින් ගර්භනී මව්වරුන්ට නොමේරූ දරු උපත්, අඩු බර දරු උපත්, මළ දරු උපත් හෝ ගබ්සා වීම් ඇති කරවයි. මේ නිසා වඩා වැදගත් වන්නේ ඊයම් නිෂ්පාදන වලට නිරාවරණය නොවීම හෝ හැකිතාක් අවම කරගැනීමයි. 

Flame retardant – ගෘහ උපකරණවල දීප්තිය ඇති කිරීම සඳහා යොදා ගන්නා රසයානික ද්‍රව්‍ය මගින් දරුවන්ගේ ඉගෙන ගැනීමේ ආබාධයන් ඇති වීම හා සම්බන්ධයක් පවතී. 

වියලි පිරිසිදු කිරීමේ රසයානික ද්‍රව්‍ය (Dry cleaning chemicals) – මෙම ක‍්‍රමය ඇඳුම් වියලි ලෙස පිරිසිදු කිරීම් සිදු කරන ස්ථානවල භාවිත කරන රසයානික ද්‍රව්‍ය වල බොහෝ සේ නිරාවරණය වීමෙන් ගබ්සා ඇති වීමේ තර්ජනයක් පවතී. 

ඇස්බැස්ටෝස් – ගොඩනැගිලි කර්මාන්තයේදී භාවිත කරන Asbestos මගින් දරුණු පෙනහලු රෝග ඇති කරවයි. උදා: පෙනහළු පිළිකා, mesothelioma

ඇස්බැස්ටෝස් මගින් ගර්භනී මව්වරුන්ට සෘජු බලපෑමක් ඇති වන බවට සාක්‍ෂි නොමැති වුවද ඉන් ඈත්වී සිටීම වඩා හිතකර වේ. 

BPA – Bisphenola A  – බොහෝ ප්ලාස්ටික්වල මෙම සංයෝගය දැකිය හැක. මෙම රසායනිකය මවගේ පෙකණිවැල හරහා ගර්භාෂයේ සිටින දරුවාට ගමන් කළ හැක. මෙමගින් දරුවා තුළ මොළයේ ගැටළු, හැසිරීමේ වෙනස්කම් සමහර දරුවන්ට ඇති විය හැක. 

කපුරු බෝල – කපුරු බෝල වල naphthalene නම් රසයානිකය අඩංගු වන අතර එමගින් පුද්ගලයන්ට හිසරදය, ඔක්කාරය, හිසේ කරකැවිල්ල, වමනය ඇති කරවයි. කුඩා දරුවන් මේවා මුඛය තුලට දමා ගැනීමෙන් ඔවුන්ට ඉතා දරුණු සෞඛ්‍ය ගැටළු ඇති කරවයි. අවුරුදු තුනට අඩු දරුවන්ට කපුරු බෝල ඇස නොගැටෙන ලෙස ආරක්‍ෂාකාරීව ගබඩා කළ යුතුය. 

රසයානික ද්‍රාවණවල බලපෑම – මේවා ආශ්වාස වීමෙන් මවගේ අක්මාව, වකුගඩු, මොලය ආදී ඉන්‍ද්‍රියන්ට හානි වී මරණය පවා සිදුවිය හැක. ගර්භනී කාලයේදී මව මෙම ද්‍රාවක වලට නිරාවරණය වීමෙන්,

  • ගබ්සා වීම් – සති 20 පෙර කළලයක් ඉවත්වීම
  • දරුවාගේ වර්ධනය සෙමින් සිදුවීම
  • නොමේරු දරු උපත් සිදුවීම (සති 37ට පෙර දරුවා ඉපදීම)
  • උපත් ආබාධ – මෙහිදී ශරීරයේ හැඩය හා ක‍්‍රියාකාරීත්වය වෙනස් කරයි. 

සමේ සාත්තුවේදී ගනු ලබන රසයානික ද්‍රව්‍ය – සමට කරන සාත්තුවලදී භාවිත කරන Benzoyl/ peroxide සහ salicylic acid සහිත සමේ ගල්වන ආලේපන ගැබිනි සමයේදී භාවිත නොකළ යුතුය. විශේෂයෙන් කුරුලෑ සඳහා භාවිත කරන බොහෝ ආලේපනවල මෙම රසයානික අඩංගු වේ. 

රූපලාවන්‍ය කටයුතුවලදී භාවිත කරන ගැබිනි මව නිරාවරණය නොවිය යුතු රසයානික ද්‍රව්‍ය

  1. Retin A, Retinol iy Retinyl palmitate – විටමින් A අඩංගු මෙම නිෂ්පාදන මගින් උපදින දරුවාට උපත් ආබාධ ඇති කරයි. එනම් විටමින් A ව්‍යුත්පන්න මගින් එනම් tazorac සහ accutane මේවා නියම කරන්නේ ඖෂධ ලෙස පමණි. වෛද්‍ය උපදෙස් නොමැතිව භාවිත නොකළ යුතුය.

2.Essential oil රූපලාවන්‍ය කටයුතු වලදී භාවිත වේ. 

3.Hydroquinone – සමේ ඇති වන අවර්ණ වීම් (ලප, pigmentation/ melasma) සඳහා ප‍්‍රතිකාර ලෙස භාවිත වේ. 

4.Aluminum chlorideදහදිය දුර්ගන්ධය වළක්වන ද්‍රාවණවලදී මෙම ද්‍රව්‍ය භාවිත කරයි. මේවා Aluminum chloride සාන්‍ද්‍රණය ඉතා අඩුව පවතින නිසා භාවිත කළ හැකි වුවද අධික සාන්‍ද්‍රණ සහිත නිෂ්පාදනයන්ට නිරාවරණය නොවීම වැදගත් වේ. 

5.Formaldehyde – නිය ආලේපන, සමහර හිසකෙස් සඳහා ලබාදෙන සාත්තුවලට භාවිත කරන නිෂ්පාදනවල අඩංගු වේ. මෙමගින් ගබ්සා වීම්, සරු භාවයේ ගැටළු ඇති විය හැක. 

6.Chemical sunscreen – හිරු එළියෙන් ආරක්‍ෂා වීමට ගල්වන ආලේපන (oxybenzone/ arobenzone වැනි රසයානික ද්‍රව්‍ය) මගින් හෝමෝන වලට බාධා ඇති කරයි. මෙමගින් දරුවාගේ ස්නායු පද්ධතියට හානි සිදු විය හැක. 

7.Tetracycline – සමේ විවිධ රෝග තත්ත්වවලදී භාවිතා කරන සුලභ ප‍්‍රතිජෛවකයකි. Tetracycline හා එහි ව්‍යුත්පන්න (doxycycline/ minocyclene) වලින් මවට හා දරුවාට හානි ඇති විය හැකි බැවින් භාවිතයෙන් වැළකිය යුතුයි. 

8.Dihydroxy acetone – මේවා සුවඳ විලවුන් වල (ස්ප්‍රේ ආකාරයෙන් යොදා ගැනෙන ඒවායේ) භාවිත වේ. ශරීරයට අවශෝෂණය වීමක් සිදු නොවුනද ආශ්වාස වීම තුල ගැටළු ඇති වේ. 

ගබ්සා වීම් ඇති කරවන රසයානික ද්‍රව්‍ය

  • බැර ලෝහ (heavy metals) – කර්මාන්ත වල වැඩ කරන්නන්, දත් බැඳීම් වල
  • කාබනික ද්‍රාවක – රසයනාගාර වල, කර්මාන්ත හා වියලි පිරිසිදු කිරීම් කාරක සමග කටයුතු කරන්නන් හට
  • වියළි පිරිසිදු කිරීම් වල කටයුතු කරන්නන් (dry cleaning workers) – Tetrachloroethylene භාවිතයෙන්.
  • Glycol ethers
  • ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයේ 2 – Bromopropane
  • Petrochemicals
  • Ethylene oxide (දන්ත සහායක)
  • නිර්වින්දක වායු – ශල්‍ය කටයුතු සඳහා සහාය වන කාර්ය මණ්ඩලය
  • පිළිකා සඳහා ලබාදෙන ඖෂධ (එම ඖෂධ හා සම්බන්ධව කටයුතු කරන කාර්ය මණ්ඩලය)

රසයානික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම වළක්වා ගැනීමට

  • දරුවන්ට ළඟා විය නොහැකි ලෙස කරකවා වැසිය හැකි පියන් සහිත බදුන් වල ආරක්‍ෂාකාරීව ගබඩා කළ යුතුය. 
  • ගබඩා කිරීමේදී ලබාදී ඇති උපදෙස් පිළිලැදිය යුතුය
  • පිරිසිදු කිරීම් (උදුන් හා ටයිල්) සඳහා විකල්ප රසායනික භාවිත කරන්න. උදා: ආප්ප සෝඩා, විනාකිරි
  • භාවිතයෙන් පසු හොඳින් අත් සේදීම හා අත් වැසුම් භාවිතය
  • නිවෙස් හොඳින් වාතාශ‍්‍රය ලැබෙන ලෙස නිරාවරණය කර තැබීම. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)

නවජ සූති දැඩි සත්කාර ඒකකය

පළාත් මහ රෝහල, කුරුණෑගල

 

 

 

 


                

ගැබිනි මවට නිවසෙන් හා සාමාජයෙන් ඉටු විය යුතුකම්

මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්ම ස්භාවධර්මයා විසින් දායාද කරන ලද ස්වභාවිකවම වූ සංසිද්ධියකි ගර්භනීභාවය. එහෙත් මිනිසාගේ පරිණාමය සමගම සිදුවූ තාක්‍ෂණික දියුණුවත් සමගම විද්‍යාත්මක, සංස්කෘතික ලෙස හා සාමාජීය වශයෙන් විපර්යාසයනයට ලක්වීම හේතු කොටගෙන වර්තමානයේදී සංකීර්ණමය තත්ත්වයකට ගර්භනීභාවය පත්ව ඇත. මේ නිසා ගර්භනී කාලය තුල කාන්තාවක විසින් මුහුණදෙන සංකීර්ණ ගැටළු ඇය අවදානමකට ලක් කරයි. මේ නිසා කායික, මානසික හා සාමාජීය වශයෙන් ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට නම් ඒ සඳහා ඇයට ශක්තිය හිමිවිය යුතුයි. මේ ශක්තීන් මොනවාද ඒ ශක්තීන් ලාබදිය යුත්තේ කා විසින් කෙලෙසද කොයි කාලයේද යන්න පිළිබඳව අපි විමසා බලමු. 

විස්කෘත පවුල් සංස්කෘතියක උරුමකම් කියූ අපේ පැරණි ජන සමාජය තුල නිවසේ සිටි සාමාජීක සංඛ්‍යාව වැඩි වු අතර එනම් අම්මා, තාත්තා, ආච්චි, සීයා ආදී ලෙසින් පරම්පරා 2 කට අධික ප‍්‍රමාණයක් සිටීම මත සාමාජීය වශයෙන් පවුල් අතර බෙදී ගිය කාර්යභාරයන් සමගම හිමි වූ පිළිගැනීම හා ගෞරවය තුල ගර්භනී මවක කෙරෙහි විශේෂ සැලකිලි දැක්වීම නිතැතින්ම සිදුවුනි. නිවසට සෞභාග්‍යයක් ලෙසින් සැලකූ ගර්භනී මවකට සලකන්නන් ඇය සහා සුවිශේෂී වූ රැකවරණයක් ලබාදීමත් වැඩිහිටියන් මෙන්ම අසල්වැසියන් ගෙනුත් නොඅඩුවම සිදුවූවවක්. 

ගර්භනී වූ කාන්තාවක් තුල ඇති වන හෝමෝනමය වෙනස්කම් හේතුවෙන් ඇගේ ශරීරය තුල ඇතිවන වෙනස්කම් නිසා ඇගේ ශරීරය තුල ඇතිවන වෙනස් වීම් සමහර අවස්ථාවලදී දරාගැනීමට අපහසු වන අතරම රෝහල් ගත කර ප‍්‍රතිකාර ලබාදීමට සිදුවන අවස්ථාද ඇත. ගර්භනී වූ වහාම මේ වෙනස්කම් නිසා නිතර කටට කෙල ඉනීම, ඔක්කාරය, වමනය, ක්ලාන්තය, කරකැවිල්ල මෙන්ම කෑම අරුචිය වැනි තත්ත්ව මෙන්ම ඇගට දැනෙන වෙහෙස, විඩාව, කම්මැලිකම මෙන්ම සිතට දැනෙන බර ගතිය ආදිය මව නොසන්සුන් බවට පත් කරයි. එසේම ලබාගන්නා ආහාර අඩුවීම හා ජල පානය අඩුවීම නිසා මව විජලනයට පත්වීමත් සිදු වේ. 

එසේම සංසේචිත කලලය ගර්භාෂ බිත්තියේ තැන්පත් වීම සමග ගර්භාෂ පේශී ක‍්‍රියාකාරීත්වය නිසා යටිබඩ ප‍්‍රදේශයේ ඇතිවන වේදනාව, දියර පානය අඩුවීම නිසා ඇති වන මුත‍්‍රා දැවිල්ල ආදියද මව තවත් අසහනයට පත් කරයි. මේ ආදී වූ සුවිශේෂී අපහසුතාවයන් ඇය කායිකව මෙන්ම මානසිකවද දුර්වලතාවට පත් කරයි. 

මෙවන් අවස්ථාවකදී මේ මවගේ අපහසුතා පිළිබඳ සොයා බලා ඇය පිළිබද අවධානය යොමු කිරීම මෙන්ම ඇගේ රුචිකත්වය අනුව ආහාර පාන සපයා දීම හා ඇය හා එක්ව කටයුතු කිරීම වැදගත් වේ. ඒ අනුව ඇයට හැකි උපරිම අයුරින් පහසුකම් සලසා දීමත් ඇයගේ මනස සැහැල්ලූ වනසේ පාරිසරික සාධක ළඟා කරදීමත් හැකි සෑම වීටම සිදු කල යුතුයි. මේ ශාරීරික මානසික වෙනස්කම් නිසා ඇයට මානසික සහනය, ඇය පිළිබදවද දක්වන ඇල්ම, ආදරය හිතෛෂී බව මෙන්ම ඇයගේ වැඩ කටයුතු සඳහා දක්වන සහායද වැදගත් වේ. 

කාන්තාවක ගර්භනී වුවද ඇය නිවස තුල ගෘහණියක් ලෙස කටයුතු කරන හෙයින් ඇයට ගර්භනීභාවය සමග මේ ගෘහණියගේ කාර්යභාරයද කිරීමට සිදු වේ. මේ නිසා ඇයට දිරි ගැන්වීමක් ලෙස නිවසේ වැඩකටයුතු බෙදා හදා ගැනීම තුලින් ඇයට විවේකයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකියි. 

ඇයගේ රුචිකත්වය අනුව සුදුසු කෑමක් බීමක් සකස් කරදීමට/ ගෙන දීම ඇයගේත් ඇය කුස තුල දරුවාගේත් සෞඛ්‍යයට බෙහෙවින් බලපායි. අඩුවන හෝ ඌනතා ඇති විය හැකි පෝෂණ සංඝටක සම්බන්ධ විටමින් වර්ග ලබාගැනීම සඳහාද ඇයට උනන්දු කිරීම නිවැරදිව ලබාගන්නේදැයි සොයා බැලීම මෙන්ම අවශ්‍ය වේලාවන් වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය රසායනික පරීක්‍ෂණ සඳහා යොමු කිරීම මෙන්ම සායන සංරක්‍ෂණ කටයුතු සඳහා යොමු කිරීමත් ඒවා සඳහා ඇය සමගම සහභාගී වීමත් ඇයගේ හා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය නිළධාරීන් සමග මෙන්ම ඇය සමගත් සාකච්ජා කිරීම ඇය වෙනුවෙන් ස්වාමිපුරුෂයාට හෝ නිවැසියන්ට සිදු කළ හැකිම කරුණකි. 

අවදානම් තත්ත්වයන් මව තුල වේ නම් ඒවා පිළිබඳ නිරන්තර සොයා බලමින් සෞඛ්‍ය උපදෙස් අනුව ඇය රැකබලා ගනිමින් මානසික සෞඛ්‍ය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු සමග සම්බන්ධ වීමත් වැදගත් වේ. මෙවැනි සංස්කෘතික, ආගමික, සහජීවනය ඇගේ මනස සැහැල්ලූ වීම තුලින් කායික නිරෝගීභාවයටද යහපත් වූ බලපෑමක් ඇති කරයි. 

දරුවා වැඩෙත්ම උදරය විශාල වීමත් සමග බර වැඩි වීම නිසා මවට උසුලාගෙන සිටීමට ඇති බර නිසා කොන්දේ වේදනාවත්, පාදවල වේදනාවත් සමහර විට නහර ගැට ගැසීම නිසා සිදුවන අපහසුතාවන් නිසා ඇයට විවේකය අවශ්‍ය වෙයි. නිවසේ කටයුතු වලදී ඇයට සහයෝගය ලබාදීම තුලින් යම් අස්වැසිල්ලක් ඇයට ලැබේ. මවට දරුවාට ඇඳුම් පැලඳුම් සැලසුම් කිරීම මෙන්ම රෝහල් ගත වන විට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා උදව් කිරීමත් ඒවා පිරිසිදු කර සකසා ගැනීම සඳහා උනන්දු කර සහය දීමත් ඇය සලසාලන මහඟු වූ සහනයකි. 

දරුවා ලැබුණු පසු නිවසේ දරුවා සඳහා සුදුසු ස්ථානයක් පිළියෙල කිරීමත් එය මුල් ළමා විය සත්කාරයට ඉඩ ලැබෙන පරිදි සැලසුම් කිරීමටත් ඇය හා අත්වැල් බැඳ ගැනීම පියෙකු ලෙස කළ හැකි තවත් මහඟුම වූ යුතුකමකි. දින ආසන්න වන විට රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් පිළිබඳව කතිකා කර තැබීමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර තබාගැනීමත් ඒ පිළිබඳව මව දැනුවත් කිරීමත් ඇයගේ හිතට ලැබෙන සහනයක් මහත් වේ. 

මෙසේ නිවැසියන්ගේ සහය මවට ලැබෙන විට සමාජයටද මේ මව රැකබලා ගැනීමේ වගකීම නිතැතින්ම හිමි වේ. රැකියාවක් කරන මවක් නම් රැකියා ස්ථානයේදී ඇයගේ රාජකාරී කටයුතු වලදී සහනයක් පහසුවක් සලසා දීමත්, රාජකාරියට පැමිණෙන හා පිටව යන විට ඒ සඳහා භාවිත කරන ක‍්‍රමවේද පිළිබඳව ඇයට සහනයක් සැලසෙන සේ කටයුතු කිරීම ඉතාමත් වටිනා වූ යුතුකමකි. මේ සඳහා රජයේ මැදිහත් වීමෙන් සකසා ඇති චක‍්‍රලේඛ අනුව හෝ ඇයට සහනයක් උදා කරදීමත්, අධික බර/ වෙහෙසකර රාජකාරී වලින් ඇය මුදවා සැහැල්ලූ රාජකාරියකට  ඇය යොමු කිරීමත් වටිනාකමක් ඇති කරයි. ආයතනය කෙරේ ඇයගේ ඇතිවන පැහැදීමත් ඇයගේ මානසික සෞඛ්‍යයට වැදගත් වේ. සමහර පුද්ගලික ආයතන වල ගර්භනී මව්වරු සඳහා අමතර ආහාර වේලක් පවා ලබාදීමට සැලසුම් කර ඇත්තේ මවට සලකන සුවිශේෂී වූ රැකවරණයක් පරිද්දෙනි. 

එසේම පොදු ප‍්‍රවාහන සේවය භාවිතයේදී ඇයට වාහනයට නැගීමට හා බැසීමට උදව් කළ යුතුවා මෙන්ම ආසනයක් ලබාදීමට කාරුණික වීමද මාතෘත්වයට සිදු කරන සමාජීය වගකීමකි. 

ගැබිනි මවට නිවසේද සමාජයේද පිළිගැනීමක් ඇති කිරීම ගෞරව කිරීම ඇයට අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය පරිදි උදව් ලබාදීම තුලින් ඇයට ඇතිවන පිබිදීම ඇයගේ දරුවාටද නිරෝගී ශක්තිමත් නිර්මාණශීලී නිදහස් සිතුවිලි සහිත දරුවකු වීමට මගපාදයි. 

සමාජයට යහපත් දරුවකු තනනා මවට සියලු තන්හිදී එක්ව සහයෝගය දැක්වීම තුලින් ඇයට දක්වන කරුණාබරිත බදන් සැලකීම් තුලින් සමාජය කෙරේ ඇයට ඇතිවන ප‍්‍රශංසනීය හැඟීම ඇගේ දරුවාද නිවුනු දරුවකු වීමේ අඩිතාලම ඇති කරයි. පොදු ස්ථාන වලදී පෝලිම් වලින් තොරව ඇයට සේවය සලසා දීමත් සාමාජීය වගකීමක් වේ. 

ගැබිනි මව වෙත නගනා සෙනෙහස මුදු මොලොක් හැඟීම් දැනීම් මවක් කායික, මානසික, සාමාජීය හා අධ්‍යාත්මික ලෙසින් ප‍්‍රබෝධයට පත් කරයි. මෙම ප‍්‍රබෝධය කුස තුල සිටිනා දරුවාද අත්විඳින හෙයින් ඔහු හෝ ඇයද එළිය දකින මෙලොව පිළිබඳව ප‍්‍රසන්න හැඟීම් ඇති කරනවා සේම වෛර ක්‍රෝධ සිතුවිලි වලින් තොරවූ ප‍්‍රසන්න සිතුවිලි ඇති ලොවට වැඩදායී පුද්ගලයෙකු වනු නොඅනුමානයි. එය මා පිය පදවිය දරන සියළුම දෙමාපියන්ට යහපත් වූ ආරංචියක් වනවා සේම ලොවෙහි පැවැත්මටද සමබර වූ ශක්තියක් එක් වේ. 

එසේ හෙයින් ලද සෑම අවස්ථාවකම උත්තරීතර මාතෘත්වයට නිවසින් සාමාජයෙන් කළ හැකි වූ යුතුකම් නොපිරි හෙලා ඉටු කිරීම තම රට ජාතිය වෙනුවෙන් කළ හැකි වූ උදාරතම වූ යුතුකම හා වගකීම වන්නේය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

දරු ප‍්‍රසූතියට දින සකසන්නේ කෙසේද?

දරු උපතක් තරම් ප‍්‍රීතිමත් හැඟීමක් යුවලකට තවත් නොමැති තරම්. විවාහ ජීවිතයත් සමගින් සැමගේම ඊලඟ අපේක්‍ෂාව දරුවකු තම ජීවන ගමනට එක් කර ගැනීමයි. මෙම බලාපොරොත්තුව සඵල කරගන්නට ඇඟිලි ගනිනවා සේම එම ප‍්‍රීතිමත් ආරංචිය දැනගත් මොහොතේම ඊලඟ අපේක්‍ෂාව එම දරුවා මෙලොව එළිය දකින දිනය දැනගැනීමයි. මෙම දිනය සකස් කරගන්නට අපේ මව්වරු දැන සිටීම ඉතා වැදගත්. ඒ නිසාම මේ උත්සාහය ඔබට ඒ පිළිබඳව දැනුවත් කිරීමයි. 

සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි මිනිසාගේ ගැබ් කාලය සති 40 ක් එහෙමත් නැතිනම් දින 280 ක් ලෙස ගණන් ගැනෙනවා. මාස 9 ක් කුස තුළ දරා සිටිනවා ලෙසත් මෙය හඳුන්වනවා. මේ කාලය ගැබ් කාලය නම් අපි මේ දිනය හදාගන්නේ කෙසේද? එහෙමත් නැත්නම් ප‍්‍රසූතිය සිදුවන දිනයට දින සකසා ගන්නේ කෙසේද? 

මේ සඳහා අපිට වැදගත් වන්නේ කාන්තාවගේ මාසික ඔසප් චක‍්‍රයයි. ඒ අනුව අවසාන ශුද්ධ වීම ආරම්භ වූ දිනයේ සිට තමයි මේ ගණන් සැකසීම ආරම්භ වෙන්නේ. ඒ අනුව අවසාන ශුද්ධ වීම ආරම්භ වූ දිනයට මාස 9 යි දින 7 ක් එකතු කිරීම අප කළ යුතුයි. එනම් අවසාන ශුද්ධ වීම ආරම්භ වූ දිනය ජනවාරි 01 වෙනිදා නම් ඊට මාස 9 ක් එකතු කළ විට ඔක්තෝබර් මාසය ලැබෙනවා. ඊට දින 7 ක් එකතු කළ විට ඔක්තෝබර් 08 දිනය ලැබෙනවා. එය.

වර්ෂය මාසය දින

අවසන් ඔසප් ආරම්භ වූ දිනය 2021 01 01

මාස 9 දින 7 ක් එකතු කිරීම 09 07

බලාපොරොත්තු ප‍්‍රසව දිනය 2021 10 08

මෙසේ නැතහොත් අවසන් ශුද්ධ වීම ආරම්භ වූ දිනයේ සිට සතියෙන් සතිය දින දර්ශනයකින් බලා සති ගණන් කිරීමෙන් එය ලබාගත හැකියි. 

එය මෙලෙස සටහන් කර ලබාගන්න. 

සාමාන්‍යයෙන් කලලයේ වර්ධනය පිළිබඳව කතා කරන්නේ සති ගණන්වලින් නිසා මවකට තම කුසයේ සිටින දරුවාගේ වයස බලාගැනීමට මේ ක‍්‍රමය යොදා ගත හැකියි. පෙර සේම අවසන් ශුද්ධ වීම සෑදුනු දින සිට සතියෙන් සතිය ගණන් කර හෝ දින ගණන් කර එය 7 න් බෙදීමෙන් සති ගණන් සදාගත හැකියි. මෙසේ මවක විසින් දරුවා කුස තුළ තබාගෙන කරන කටයුතු දරුවාගේ බුද්ධි වර්ධනයට බලපාන නිසා මෙසේ කටයුතු කර මව්වරුන්ගේ දරුවන් ගණිත හැකියාව හා නර්තන ශක්තිය අතින් ඉහළ අගයක් ගන්නවා. මෙයත් දරුවන්ට කුස තුල සිට ඉගෙනීමට ලැබෙන මහඟු අවස්ථාවක්. 

අප විසින් සාදන දින ගණන්වල සුළු වෙනස් වීමක් ස්කෑන් පරීක්‍ෂණයේදී පෙන්විය හැකියි. එසේ වන්නේ දරුවාගේ වර්ධනය තාක්‍ෂණික වශයෙන් මැනීමෙන් ලබාගන්නා දත්ත මෙන්ම එය පෙන්නුම් කරන්නේ සංසේචනය වූ දිනයේ සිටම පෙන්වන වර්ධනය අනුව නිසයි. එය ඔබට සායන පරීක්‍ෂාවේදී දැනගත හැකි වනවා. 

සෑම කාන්තාවක්ම තමන්ගේ ඔසප් චක‍්‍රයේ දින සටහන් කරගැනීමට ඉතා වැදගත්. ඔසප් චක‍්‍රය ක‍්‍රියාත්මකව පවතින සෑම කාන්තාවක්ම දින සටහන් කරතබා ගන්නේ නම් මෙසේ දරුවා ලැබෙන දිනය සකස් කරගැනීමට කලලයේ වර්ධන සති ගණන් සාදා ගැනීමට එය පිටුවහලක් වනවා. 

දරුවකු බලාපොරොත්තු නොවන කාන්තාවක් වුවද, දරු උපත් සීමා කිරීමට හෝ උපත් අතර පරතරය සඳහා යම් හෝ ක‍්‍රමයක් පාවිච්චි කළද තමන්ගේ ඔසප් චක‍්‍රය සටහන් තබාගැනීම වැදගත්. මෙලෙස පවත්වා ගන්නා සටහන් තුලින් අනවශ්‍ය ගැබ් ගැනීම් වේලාසන හඳුනා ගැනීමටත් ඔසප් චක‍්‍රයේ ක‍්‍රමවත් හෝ අක‍්‍රමවත් භාවය හඳුනා ගැනීමටත්, භාවිත කරන පවුල් සංවිධාන ක‍්‍රමයේ සාර්ථක අසාර්ථකභාවය මෙන්ම එහි අතුරු ආබාධ හඳුනාගැනීමටත් අවස්ථාව උදා වෙනවා. මේ තුලින් ඇති වන සෞඛ්‍ය තර්ජන වළක්වා ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර වෙත කල් තියා යොමු වීමටත් අවස්ථාව ලැබෙනවා. 

මෙසේ නිශ්චිත ලෙස ප‍්‍රසූත දිනය දැන ගැනීම තුලින් ඔබට පූර්ව සූදානම සඳහා අවස්ථාව ලැබෙනවා. එනම් රෝහල් ගත වීමේදී මවට හා දරුවාට අවශ්‍ය දෑ සකස් කරගැනීමට, ප‍්‍රවාහන පහසුකම් සලසා ගැනීමට, හදිසි අවස්ථාවකදී අවශ්‍ය මුදලක් ඉතිරි කර තබාගැනීමට, ඥාති මිත‍්‍රයින් දැනුවත් කර තැබීමෙන් හදිසි අවස්ථා සඳහා උපකාර ලබාගැනීමට, ඔබේ තව දරුවන් සිටී නම් ඔබේ රෝහල් ගත වීම පිළිබඳව ඔවුන් දැනුවත් කර තැබීමට ඔවුන්ගේ ආහාර, රැකවරණය ආදිය පිළිබඳව සැලසුම් කිරීමට මෙන්ම අධ්‍යාපන කටයුතු/රැකියාවේ කටයුතු පිළිවෙළකට සකස් කරගැනීමට ඔබට මේ තුලින් හැකියාව ලැබේ.

සැහැල්ලූවෙන් රෝහල් ගත වීමටත් ප‍්‍රසූතිය සඳහා හොඳින් මුහුණදීමටත් ඔබට හැකි වනවා සේම ඔබේ ස්වාමි පුරුෂයාට, නිවැසියන්ට හා දරුවන්ටත් සහනදායී වටපිටාවක් නිර්මාණය වීම තුලින්, ඔබේත් ඔබ පවුලේත්, ඔබගේ ප‍්‍රසූතිය සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයටත් ලැබෙන සැහැල්ලූව සැමගේම ජීවිතයනට ආලෝකයක් වනවා නොඅනුමානයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

ඔබේ නිවසේත් පාකින්සන් රෝගයෙන් පෙලෙන වැඩිහිටියෙක් සිටිනවාද?

ඇතැම් විට ඔබේ මව/පියා පාකින්සන් රෝගයට මුහුණ දී සිටිනවා වුණත් ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම මත එය ඔබට වටහා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිකාර වෙත වැඩිහිටි පුද්ගලයා යොමු කිරීමටත් නොහැකි විය හැකියි. පාකින්සන් රෝගය නිට්ටාවට සුව කළ නොහැකි තත්ත්වයක් වුවත් රෝගී පුද්ගලයාගේ එදානෙදා ජීවිතයේ අපහසුතා අවම කර ගැනීමට නිසි ප්‍රතිකාර ක්‍රම හමුවේ අවස්ථාව උදා වන නිසාම පාකින්සන් රෝග තත්ත්වය පිළිබඳව අපි දැනුවත් වීම වැදගත් වේ. මේ ලිපිය තුලින් පාකින්සන් රෝගී තත්ත්වයත් සමග ඇතිවන සන්නිවේදනයේ ගැටලු සහ ආහාර ජීර්ණයේ ගැටළු පිළිබඳව සකච්ඡා කරමු. 

පාකින්සන් රෝග තත්ත්වයේදී ප‍්‍රධාන වශයෙන්ම සිදුවෙන්නේ මොළයේ චලන සම්බන්ධ සමායෝජනය අඩු වීමයි. එත් සමගම බොහෝ අවස්ථාවලදී කටහ‍ඩේ ගැටලු සහ කතාව උච්චාරණය වීමේ ගැටලු ඇති විය හැකියි. බොහෝවිට කටහඩ ගෝරෝසු විය හැකියි. සමහර විට කතා කරන විට කතාවත් සමග හුස්ම පිටවන (breathy voice) ආකාරයක් දැකිය හැකියි. කටහ‍ඩේ ස්වභාවය (quality) වෙනස් විය හැකියි. 

පාකින්සන් රෝගය ඇති බොහෝමයක් රෝගීන්ගේ,

  • කටහඩේ නාදය (tone) වෙනස් නොවේ. 
  • ඔවුන් එකම තීව‍්‍රතාවයකින් කතා කරයි. 
  • දිව, තොල, තල්ල චලනය කර අදාල නිවැරදි ශබ්ද නිවැරදි ලෙස උච්චාරණය කිරීමට විශාල ආයාසයක් දරයි. 
  • මුහුණේ ඉරියව්වල ඇති යම් යම් වෙනස්කම් නිසා ඇතැම් විට හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව අවම විය හැකියි. 
  • ඇතැමෙක් වචන ගැලපීමේ අපහසුතාවයකින් (word finding difficulties) එනම් නිවැරදිම වචනය තෝරා ගැනීමේ අපහසුතාවයක් තිබිය හැකියි.

ඔබේ මවට/පියාට මේ තත්ත්වය ඇත්නම් ඔබ කළ යුත්තේ කේන්ති ගැනීම නොව ඔවුන්ව වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔවුන්ට වඩාත් හොඳින් ඇහුම්කන් දීමයි. 

පාකින්සන් රෝගයත් සමග ඇති වන තවත් තත්ත්වයත් ලෙස කෑම ගිලීමේ අපහසුතාවය දැක්විය හැකියි. ආහාර ගිලීමට මුඛයේ චලන මාංශ පේශීන් අත්‍යවශ්‍යයි. පාකින්සන් රෝගියෙකුට යම්හෙයකින් තොල් එක ආකාරයකින් තබා ගැනීමේ අපහසුතාවය (lip seal) හේතුවෙන්,

  • කෑම, කෙළ මුඛය දෙපසින් පිටතට පැමිණිය හැකියි. 
  • ඇතැමෙකුට කෑම ගිලීමේදී අපහසුතාවය ඇති විය හැකියි.
  • ඇතැමෙකුට දියර ජාති ගිලීමේදී සාමාන්‍ය ව්‍යවහාරයේ කියවෙන ආකාරයට ඉස්මෝල්ලේ යෑම (පිට උගුරේ) සිදුවිය හැකියි. 

පාකින්සන් රෝගී තත්ත්වය සහිත වැඩිහිටියෙක් සායනයට පැමිණි විට,

රෝගියාගේ තත්ත්වයට අනුව රෝගියා සතු හැකියා සහ නොහැකියා තක්සේරු කිරීම සිදුකරන අතරම එහිදී  කතාව, භාෂාව, සන්නිවේදනය වගේම ආහාර ජීර්ණයේ ගැටලු ගැනත් සොයා බලනවා. ඉන් පසුව අදාල රෝගියාගේ තත්ත්වයට අනුව සැලසුමක් සකස් කොට කටහඩේ ගැටලු ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ශ්වසන අභ්‍යාස කරනවා. එමඟින් කටහඩේ ගැටළු අවම කරගැනීමට සහයා ලබා දෙනවා. ඒ වගේම දිව, තොල්, තල්ල යන මුඛය සම්බන්ධ මාංශ පේශී වල යම් ගැටලුවක් ඇත්නම් ශක්තිය (areas strength) කොපමණ පරාසයකට චලනය කළ හැකිද යන්න පරීක්ෂා කොට එය දියුණු කරවීමට ක‍්‍රියාකාරකම් සිදු කරනවා.

තොල් එක ආකාරයකින් තබා ගැනීමේ අපහසුතාවය (lip seal) ඇති රෝගියෙක් නම් ඒ තත්ත්වය නිවැරදි කරගැනීමට දහය වෙන ආකාරයේ ක‍්‍රියාකාරකම් ලබා දෙනවා. තවද ආහාර ගිලීම සම්බන්ධ ගැටලු  අයෙකුට නම් රෝගියාට හැකි කුමන වර්ගයේ ආහාරද එනම් ඝන ආහාරද ද්‍රව ආහාරද නැත්නම් අර්ධ ඝන ආහාරද යන්න තක්සේරු කොට රැකබලාගන්නා පුද්ගලයන්ට ඒ ගැන දැනුවත් කරනවා. ඒ වගේම මවට/පියාට ගැලපෙන විදියේ ආහාර සහ  සකසා ගන්නේ කෙසේද ඒ වගේම දියර වර්ග ලබාදීමේදී එය ඝනව සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් කථන සායනයේදී පැහැදිලි කරනවා. 

සන්නිවේදනයේ ගැටලුවක් ඇති වැඩිහිටියෙක් නම් personal microphone, touch pad පාවිච්චි  කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන අතරම මේ සියලුම දේ හරහා ඔවුන්ගේ ගිලිහී ගිය සන්නිවේදන කුසලතා ඔවුන්ට නැවත ලබාගන්නට උදව් කිරීම මේ සියලු කාර්යයන්වල අරමුණයි. ඒ වගේම ඔවුන්ට ගැලපෙන පරිදි වෘත්තිය චිකිත්සක ප්‍රතිකාර, භෞත චිකිත්සක ප්‍රතිකාර සහ නිවැරදි ඖෂධ ප‍්‍රතිකාර භාවිත කිරීම මගින් රෝගී තත්ත්වයේ ගැටළු අවම කරගැනීමට සහය වේ. 

පාකින්සන් රෝගී තත්ත්වය 100% සුව කිරීමට ඖෂධ සොයාගෙන නැතත් එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ අපහසුතාවන් අවම වන ආකාරයේ සැලැසුමක් ලබාදිය හැකියි. ඔබේ වැඩිහිටි මව/පියා පාකින්සන් රෝගී තත්ත්වයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඔවුන් නිවැරදි චිකිත්සන ප‍්‍රතිකාර සඳහා යොමු කිරීම ඔබේ යුතුකමයි. ඒ නිසාම රෝග ලක්ෂණ පෙන්නුම් කරන වැඩිහිටියෙක් සිටී නම් ළඟම රෝහලේ කථන චිකිත්සක සායනයට යොමු කරන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 


                

මොකද්ද මේ Saturday Night palsy කියන්නේ?

සැටඬේ නියට් ෆෝල්සි (Saturday Night palsy) කිව්වම එක පාරටම ෆිල්ම් එකක නමක් වගේ දෙයක් මතකයට එන්නේ. එහෙම නේද? සැටඩේ නයිට් ෆෝල්සි කියන්නේ අසනීපයක නමක් කිව්වම ගොඩක් අයට  පුදුමත් හිතෙයි. ගොඩ දෙනෙක් නොදන්නවා උනාට  මේ නම පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. 

විවිධ රටවල  ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන රටාවන් වෙනස් කියලා අපි හැමෝම දන්නවා. එක එක සංස්කෘතීන්  ඇතුලේ ජීවත් වෙනකොට මිනිසුන්ගේ පුරුදු හැසීරීම් වගේම ආකල්පත් එකිනෙකාට  වෙනස්. සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක අපේ රටේ වගේම බොහෝ රටවලත්  නිවාඩු දිනයන් බව කව්රුත් දන්නවා. ලංකාව වගේ රටවල නම්  සෙනසුරාදා කියන්නේ බොහෝ දෙනෙක්ට  ගෙදර දොර අස්පස් කරලා රෙදි සෝදගෙන  විවේකයෙන් ගත කරන්න කැමති දවසක් උනාට බටහිර රටවල මිනිස්සුන්ට නම් මේ දින දෙක හොඳට කාලා බීලා විනෝද වෙන දින දෙකක්. විශේෂයෙන් සෙනසුරාදා රාත්‍රිය කියන්නේ ගැහැනු පිරිමි දෙපාර්ශවයටම  හොඳට මධුවිත පානය කරලා  විනෝද වෙන දවසක් . බොහෝ විට සෙනසුරාදා  රාත්‍රියේ විනෝද වීමට නිවෙස් වලින් එළියට යාම ඔවුන්ගේ  පුරුද්දක්. ඒකට හේතුව පසුදින ඉරිදා රාජකාරි කටයුතුවලට යාමට අවශ්‍ය නැති නිවාඩු දිනයක්  නිසා හොඳට නිදා ගැනීමට හැකි බව සිතන  නිසයි. ඒ නිසා හොදට මත් වී විනෝද වීමෙන් පසු  බොහෝ දෙනෙකු උන් හිටි තැන්වලම  නින්දට වැටෙනවා. බොහෝ දෙනෙකුගේ පුරුද්දක් ලෙස පුටුවේ ඇන්දට උඩින් අත්  දමාගෙන වාඩි වී සිටින අන්දමින්ම නින්දට වැටීම සුලබව දැක ගත හැකි දසුනක්. රාත්‍රියේදී නිවෙස්වලට පැමිණියත් පුටු උඩට වැටී මේ ආකාරයෙන් නිදා ගැනීම පුරුද්දක් වී තිබෙන්නේ මත් වී සිටින නිසා වෙන්නත් බැරි නැහැ. මෙවැනි ජීවන රටාවක් හිමි රටවල් අතර එංගලන්තය විශේෂයි. 

මෙන්න මේ විදියට පුටු උඩ වැරදි ඉරියව්වලින් නින්දට වැටීම නිසා තමයි මේ  සැටඩේ නියට් ෆෝල්සි කියන රෝගය නැතිනම් ආබාධය ඇති වෙන්නේ. මෙහිදී අතේ ඉහළ කොටසේ දිව යන රේඩියල් ස්නායුව (radial nerve) තෙරපීමකට ලක් වීමෙන් අතේ පේෂීන් කීපයක්ම අඝාතයට පත් වීම නිසා  මේ රෝගය ඇති වෙන බව පැවසෙනවා. 

මෙන්න මේ කියන  රේඩියල් ස්නායුව මගින් වැලමිට සන්ධිය ක්‍රියාකාරී වන නැතිනම් වැලමිට  දිග හැරීමට උපකාරී වන ත‍්‍රී ශීර්ෂ පේශියෙන් (Triceps) ට‍්‍රයිසෙප්ස් පේශිය වගේම මැණික් කටුව සන්ධිය ඇතුළු ඇගිලි දිග හැරීමට උදව් වෙන  පේශීන් වන එක්ස්ටෙන්සෝස් (Extensors) පාලනය කෙරෙනවා. මේ පුටු උඩ වැරදි ඉරියව්වලින් නින්දට වැටීම හෝ වෙනයම්  දෙයකින් මෙම ස්නායුව අනතුරට පත්වුවහොත් අර කලින් සදහන් කරපු  මාංශ පේශීන් පණ නැතිව යනවා. එවිට අත මැණික් කටුව සන්ධියෙන් නැවී පිහිටනවා. ඒ විතරක් නෙමෙයි,  අතේ පිටපැත්තේ සංවේදනය පවා නැතිව යන බව තමයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ රෝගය  බොහෝ විට  බටහිර රටවල සෙනසුරාදා රාත්‍රියේ  බීමත්ව වැරදි ඉරියව්වලින් නින්දට වැටෙන අයට වැලදෙන නිසා මෙම රෝගය “සැටඩේ නියට් ෆෝල්සි”  යනුවෙන්  හදුන්වලා තියෙනවා.

ඒත් මෙම රේඩියල් ස්නායුවට අනතුරු සිදුවන්නේ දැඩිව නින්ද ගිය විට ඇතිවන තෙරපුමකදී විතරක් නෙමෙයි. අතේ උඩ කොටසේ  ආසන්නයේ අස්ථි බිදවැටීමකදීත්, කිහිලිකරු  ආදිය වැරදියට භාවිත කිරීමක් වැනි  අවස්ථා වලදීද  එය සිදු වන්න පුලුවන්. මෙම ස්නායු තෙරපීම නිසා ස්නායුවට අනතුර සිදුවිය හැකි ආකාර 3 ක් ලෙස වෛද්‍ය විද්‍යාවේ සදහන් වෙනවා.

  • නියුරෝෆ්රුක්සියා (Neurophaxia) 
  • ඇක්සනෝට්මීසිස් (Axonotmesis)
  • නියුරොට්මීසිස් (Axonotmesis)

මේ අනතුරේ ස්වභාවය අනුව සුව වීමට ගතවන කාලය වෙනස් කියලා තමයි වෛද්‍යවරුන් නම් කියන්නේ. මෙම රෝගය ඇති වී ප්‍රතිකාර ගැනීමට ගිය විට වෛද්‍යවරු බොහෝ දුරට සිදුකරන්නේ මෙවැනි රෝගීන් භෞතචිකිත්සකවරු වෙතට යොමු කිරීමයි. එහිදී  භෞතචිකිත්සකවරු මෙම රෝගියා ඇගැයීමකට ලක්කර කළ  යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාරය කුමක්ද යන්න  තීරණය කරනවා. 

භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් සිදු කරන්නේ 

විද්‍යුත් ධාරාවක් මගින් ආඝාතයට පත් වූ ස්නායුව උත්තේජනය කිරීමයි. Electrical Stimulation කියලා හදුන්වන්නේත් එයමයි. මෙහිදී ස්නායුවේ ස්වභාවිකව ආවේග ගෙන යන විද්‍යුත් ආවේගය කෘතිමව ස්නායුවට ලබා දීම සිදු වෙනවා. එවිට ස්නායුවේ ගමනාගමනය යථා තත්ත්වයට පත්වීම සිදුවෙනවා. භෞතික චිකිත්සක ලබාදිය යුතු විද්‍යුත් උත්තේජනය තීරණය කරන්නේ අනතුරේ ස්වභාවය අනුවයි. ඒවගේම විවිධ විද්‍යුත් උත්තේජන ක්‍රම මේ සදහා භාවිත කරනවා.

මේ  ස්නායු තෙරපුමට දෙන ප්‍රතිකාර ක්‍රමය සදහා මුලින්ම ලබාදෙනු ලබන්නේ ගැල්වනික් (Galvanic current)  නම් වූ චිකිස්සක ක්‍රමයයි. පසුව සුව වෙන විට  ලබා දෙන්නේ ෆැරඩික් (Faradic) current යන ක්‍රමයයි.  බොහෝ වෙලාවට  ස්නායු වෛද්‍ය විශේෂඥවරුන්  මෙම රෝගයට ලක්වූ රෝගීන් EMG (Electro Myography)පරීක්‍ෂණයට යොමු කරනවා. එමගින් ලබා ගන්නා  දත්ත අනුව ස්නායුවට වී ඇති හානියේ තරම දැනගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව භෞතචිකිත්සක ප‍්‍රතිකාර  ක්‍රම වෙනස් වෙනවා.

මේ සැටඩේ නියට් ෆෝල්සි රෝගය සදහා  විවිධ  ප‍්‍රතිකාර ක්‍රම අනුගමනය කරන අතර  ව්‍යායාම (Therapeutic exercises) කරවීමද  විශේෂත්වයක් ගනු ලබනවා.  මෙම ව්‍යායාම මගින්  පේශී සිහින් නොවී පවත්වා ගැනීමටත් සන්ධි වල තද වීම වලක්වා එය පවත්වා ගැනීමටත් පේශී ශක්තිමත් කිරීමටත් උපකාරයක් සිදුවෙනවා. ඒ  වගේම අප හොදින් දන්න පතුරු ක‍්‍රම (splinting) මගින්ද, ටේපින් (Taping) ක්‍රම  මගින්ද මේ සදහා  ප‍්‍රතිකාර කරනු ලබනවා. එවැනි ක්‍රම මගින්  අත දිග හරින ඉරියව්වේම තබා ගැනීමට උපකාරී වෙනවා.

මේ අනුව බලන විට මේ අතේ  රේඩියල් ස්නායුව තෙරපීමකට ලක්වීමෙන්  අතේ පේෂී වලට සිදුවන හානිය සුළුකොට  සැලකිය යුතු දෙයක් නම්  නෙමෙයි. නිදා ගැනීමේදී  විවිධ ඉරියව්වල පිහිටීම ගැන  විතරක් නෙමෙයි අපගේ ඕනෑම ක්‍රියාවකදී නිවරදි ඉරියව්වල පිහිටීමේ වැදගත්කම ගැනත්  සිහියෙන් සිටීම වැදගත් වෙනවා. එමගින් මෙවැනි රෝගවලට ලක් නොවී සිටීමට හැකිවෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 


                

ඔබේ දෙමාපියනුත් දැන් මහලු වියේ නම් මේ ලිපිය මගහරින්න එපා

අපි පුංචි කාලේ ඇවිදින්න බැරි කාලේ කෑම ටික කන්න බැරි කාලේ අපිව ආදරයෙන් බලා ගත්තේ අම්මයි තාත්තයි. අපිව අසනීප වෙච්ච වෙලාවට අම්මයි තාත්තයි ගොඩක් කලබල වුණා. රටේ ඉන්න හොඳම වෛද්‍යවරු හොයාගෙන රැගෙන ගියා. හැබැයි ඒ අම්මයි තාත්තයි අසනීප වුණාම ඒ අය බලන්න යන්න අපිට වෙලාවක් නැහැ. මොකද අපි ඒ තරම් කාර්යබහුලයි. ඒ වගේම ඒ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න, එයාලා එක්ක කාලය ගත කරන්න වෙලාවක් නැහැ. මොකද අපිට තියෙනවා ලෝකයේ බොහෝ වැදගත් දේ සමග සාකච්ඡාවේ යෙදෙන්න, කාලය ගත කරන්න. ඒ වගේම තමයි ඒ අම්මයි තාත්තයි අද සුන්දර විදියට අදින්නේ පළඳින්නේ නැති නිසා සමහරක් වෙලාවට මදිකමක් ඇති ඔවුන්ව රැකියා ස්ථානයට ගෙනියන්න, යහළුවන්ට හඳුන්වලා දෙන්න. ඒත් මතක තියාගන්න අපි අද මෙතැන අපේ දෙමව්පියන් නිසා බව. 

සමහරක් වෙලාවට දරුවෝ හිතනවා මොනවද අපේ අම්මලා තාත්තලා අපට කළේ. අපි හැමදේම හොයාගත්තේ අපේ මහන්සියෙන්. අපිට කිසිදෙයක් කරේ නැහැ කියලා. ඒත් මතක තියාගන්න අද අපි මෙතැන ඉන්නේ අපි උපන් දවසේ ඔවුන් අපිව පාරට විසික් කරපු නැති නිසා. අතපය කඩන්නේ නැතුව හදපු නිසා. ඒ වගේම දුකක් නොදී ඔබට කන්න බොන්න දීලා ආරක්‍ෂා කරපු නිසා. ඒ නිසා මහාලොකු දේවල් කරන්න  ඕන නැහැ ඔවුන්. ඔවුන් දැනටමත් අපි වෙනුවෙන් මහාලොකු කර්තව්‍යයක් කර අවසන්. ඉතින් කවදාවත් ඒ යුතුකම අමතක කරන්න එපා. අපේ දෙමව්පියෝ මේ වෙනකොටත් ජීවත්ව ඉන්නව නම් තව ටික කාලයක් වෙන්න ඇති ඔවුන් ජීවත් වෙන්නේ, අදම ඔවුන් සමග කාලය ගත කරන්නට, ඔවුන්ට සුවිශේෂී බව දැනෙන්නට අවස්ථාවන් ලබා දෙන්න. ඔවුන් අපේ ජීවිතයේ වැදගත්ම සාමාජීකයන් බව ඔවුන්ට දැනෙන්නට අවස්ථාව උදා කර දෙන්න. මොකද ජීවිතයේ අවසාන භාගයේ ඔවුන්ට ලබන්න පුළුවන් ලොකුම සතුට එයයි.  

ඉතින් වියපත් දෙමව්පියන් රැකබලා ගන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු.

වයසට ගිය අම්මලා තාත්තලා රැකබලා ගන්න පුළුවන් හොඳම ක‍්‍රමය විදියට ගොඩක් වෙලාවට අපි හිතන්නේ අවශ්‍ය ආහාර, ඖෂධ ඒ හැමදේම ළඟට ගෙනත් දීලා, රැකබලා ගන්න පුළුවන් කෙනෙක්ව ළඟට ගෙනත් දීලා එහෙමත් නැත්නම් ඔවුන්ට ඉතාම හොඳ සුපෝඛභෝගීව ජීවත් වෙන්න පුළුවන් ස්ථානයකට ඇතුළත් කිරීම ඉතාම යෝග්‍ය විදියටයි. එතැනින් අපේ කර්තව්‍ය ඉෂ්ඨ කළා කියලා ඇතැම් විට අපිට හිතෙන්න බැරි නැහැ. 

අපිට අපේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් කළ හැක්කේ මොනවාද?

වියපත් වුනත් ඔවුන්ට කැමති දේවල් ඔවුන්ට රසවිඳින්නට අවස්ථාව සලසා දෙන්න ඔවුන් ඉතාමත් සතුටු වෙයි. සමහරක් වෙලාවට ඔවුන් කැමති ආහාර පිසින්න වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ක‍්‍රීඩාවක නියැලෙන්න වෙන්න පුළුවන්, ඒ වගේම ඇතැමෙක් කැමති වෙන්න පුළුවන් ධාර්මික කාරණා පිළිබඳ කතා බහ කරන්න ධර්ම සාකච්ඡා අහන්න, ඒ වගේම තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් තමන්ගේ මුණුපුරු මිණිබිරියන් සමග කාලය ගත කරන්න. ඉතින් මේ වගේ අම්මා තාත්තා කැමති දේවල් මොනවද කියලා ඔබට අඳුරගන්න පුළුවන් නම් අන්න ඒ කර්තව්‍යයන් වල නියලෙන්න ඔවුන්ව යොමු කරන්නට ඔබට අවකාශය තියෙනව නම් ඇත්තටම ඔවුන්ගේ ජීවිතය තුළ සතුට වර්ධනය කරන්න ඒක අනිවාර්‍යෙන් උපකාරයක් වෙනවා. ඒ වගේම පොත්පත් කියවන්න, පත්තර කියවන්න ආස දෙමව්පියෙක් ඉන්නව නම් ඔවුන්ට පොත් පත් ගෙනත් දීලා පත්තර කියවන්නට අවකාශය නිවස තුල සලසා දෙන්න පුළුවන් නම් ඔවුන් අනිවාර්යෙන් සතුටෙන් ඉන්නවා. මව්පියෝ වයසට ගියාට ඔවුන් කැමති සහ අකමැති දේවල් තියෙනවා. ඉතින් අපි සූක්‍ෂම වෙන්න ඕන ඔවුන්ගේ කැමැත්ත හඳුනාගෙන ඒ කැමැත්තට ගැලපෙන පරිදි නිවස ඇතුළු කර්තව්‍යයන් ටික සංවිධානය කරන්න. ඒ වගේම මෙහිදි ඔබට මතක් කරන්න  ඕන එක කාරණාවක් තියෙනවා.

ඔබේ දෙමව්පියෝ ඔබේ දරුවෝ රැකබලා ගන්න පුද්ගලයන් බවට පත් කරන්න එපා.

ගොඩක් පවුල් වල වයසට ගිය අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට කරන දේ තමයි උදේ ඉදන් හවස් වෙනතුරුම දරුවන්ගේ දරුවෝ රැකබලා ගන්න එක. හැබැයි ඔබ අමතක කරන්න එපා ඔබේ දෙමව්පියෝ අවුරුදු ගාණක් ඔබව රැකබලාගත්තා. ඔබට කන්න බොන්න දුන්නා. ඔබට ඉගැන්නුවා. ඊට පස්සේ ඔවුන් තවදුරටත් ඔබේ දරුවන් රැකබලා ගන්නවා නම් ඔවුන්ට නිදහසේ ඉන්න කාලයක් නැහැ. ඉතින් වගකීමක් තියෙන දෙමව්පියෝ විදියට ඔබේ වගකීම වෙන්නේ ඔබේ දරුවන් රැකබලා ගැනීමට වෙනත් සුදුසු ක්‍රමයකට යොමු වීම. නැතිව වියපත් වූ ඔබේ දෙමව්පියෝ අතට ඔබේ දරුවෝ පත් කිරීම නොවෙයි. එය වගකීම ඇතැම් විට ඔවුන් කැමැත්තෙන්ම බාර ගනිවී. නමුත් එය ඔවුන්ට ලොකු වගකීමක් සහ ඔවුන්ට දැරිය නොහැකි මට්ටමේ වගකීමක් සහ ඔවුන්ට පීඩනයක් ඇති කරන් පුළුවන් වගකීමක් බව ඔබ වටහා ගත යුතුයි. 

කෙසේ වුවත් ඔබේ දරුවන් එක්ක ඔවුන් සතුටින් නම් දරුවන්ට ආච්චිලා සීයලත් එක්ක ඉන්න කාලයක් වෙන්කරන්න ඔබට පුළුවන්. කිසිම වෙලාවක ආච්චිලත් සීයලත් එක්ක දරුවන්ට මුහු වෙන්න එපා කියලා දරුවන්ට නීති දාන්න යන්න එපා. මොකද දරුවන්ට ගොඩක් දේවල් ආච්චිලා සීයලගෙන් ඉගෙන ගන්න පුළුවන් වගේම දරුවොත් එක්ක ඉදිද්දී ඔවුන්ගේ මානසික සතුට බොහෝමයි. 

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය

මීට අමතරව අපි මතක තබාගත යුතු වැදගත්ම කාරණාවක් තමයි ඔවුන් වයසින් මුහුකුරා යන්න යන්න සෞඛ්‍ය මට්ටමින් එන්න එන්න පහළ වැටෙනවා. ඒක නිසා වයසට ගිය දෙමව්පියන් පිළිබඳව ඔබ වඩාත් අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනව නම් අනිවාර්යෙන්ම සෞඛ්‍ය සායන වෙත රැගෙන ගොස් සෞඛ්‍ය තත්ත්වය පිරික්සීමට ඒ වගේම ඔවුන් දීර්ඝකාලීනව වෛද්‍ය ප‍්‍රතිකාර ලබනවා නම් ඒ සඳහා අදාල සායන වෙත ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමු කිරීම අමතක නොකළ ‍යුතුයි. එය ඔබේ කළ යුතු වැඩ ලැයිස්තුවේ මුල්ම ස්ථානයක සටහන් විය යුතුයි. 

දෙමව්පියන්ගේ පෝෂණය

ඒවගේම ඔබේ දෙමව්පියන්ගේ පෝෂණය ගැන දෙමව්පියෝ ලබන ආහාර ගැන ආහාර රටා ගැන වැඩි අවධානයෙන් සිටීමත් ඔබ විසින් කළ යුතු තවත් කර්තව්‍යයක්. මොකද සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබීමෙන් ඔවුන්ට මහත් පිටුබලයක් ලැබෙනවා. 

ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ව්‍යායාමවල යෙදීමට අවස්ථාව සලසා දීමද ඔබට තවත් කළ හැකි කාර්යයක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඔබව අද මේ ඉන්න තත්ත්වයට රැකබලා ගත්ත දෙමව්පියෝ ඔබට පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතයේ අවසනාය තෙක් රැකබලා ගන්නට ඔබ ඔබේ දෙමව්පියන් වෙනුවෙන් කළ හොඳම ත්‍යාගය ඔබ ඔබේ දෙමව්පියෝ වෙනුවෙන් කළ හැකි හොඳම කර්තව්‍යය එය වෙනවා. ඒ වගේම ඔබ ඔබේ දෙමව්පියන්ට සලකනවා දකින ඔබේ දරුවෝ අනිවාර්යෙන්ම හෙට දවසේ ඔබ වියපත් වුණහම ඔබව ආදරයෙන් රැකබලා ගනිවී. මෙය චක්‍රයක් වගේ. ඔබ හොඳ කරොත් ඔබේ දරුවෝ හොඳ කරනවා. ඔබේ දරුවෝ හොඳ කරොත් ඔබේ දරුවොන්ගේ දරුවෝ හොඳ කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ චක්‍රය වටා ධනාත්මකව ගමන් කිරීමට හැකිවන්නේ ඔබටයි. එහෙම නම් අදම පටන් ගන්න. ඔබව ආදරයෙන් රැකබලා ගත්ත ඔබේ ආදරණීය මව්පියන්ට ආදරය බෙදන්න, සෙනෙහස බෙදන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය නිමීර වීරරත්න මහතා 

භාෂා හා කථන ව්‍යාධිවේදී

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ 

 

 


                

අතේ ඇඟිලි නවද්දී ලොක් වෙනවද?

අපි බොහෝ විට කාන්තාවන්ගේ කතා බහවලදී ඔවුනොවුන් තම තමන්ගේ ලෙඩ දුක් ගැනත් කතා වෙනවා. ඒ අතරේ තමන්ට ඇති වුණු රෝග තත්ත්ව වගේම ඒවා සුව වීමට කළ දේවල්, හමුවුණු වෛද්‍යවරු කවුද කියලා මොවුන්  කතා වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදි අහන්නම ලැබෙන තත්ත්වයක් තමයි මේ අතේ ඇඟිල්ල දිග ඇරගන්න බැරිව ලොක් වෙන කතාව. අපි අද ඒ ගැන කතා කරමු.

බහුලව දක්නට ලැබෙන ටි‍්‍රගර් ෆින්ගර් (Trigger finger) රෝග තත්ත්වයේදී ඇති වන රෝගයේ ලක්ෂණය වන්නේ අතේ ඇඟිලි නැවීමට අපහසු වීමයි. ඒ කියන්නේ ඇඟිල්ල නවන විට එක් තැනකදී ඇඟිල්ල හිර වීමයි. ඉන්පසු දැඩි ආයාසයක් ගෙන නවන්න උත්සාහ කරන විට ක්‍ෂණියකින් එය නැවේ. 

මෙම තත්ත්වය ඇති වන්නේ ඇඟිලි චලනය කිරීමට උපකාරී වන මාංශ පේශීවල කණ්ඩරාවල ඇති වන නොයෙකුත් වැදීම් නිසාය. මෙම මාංශ පේශී කණ්ඩරා චලනය වනුයේ කණ්ඩරා කොපුවක් තුළය. මෙම කණ්ඩරා කොපු තුළ ඇති වන ප‍්‍රදාහ තත්ත්ව නිසා නොයෙකුත් තැන්පත් වීම් එය තුළ ඇති වේ. එය ඔබ දන්නා කරගැට වැනි තත්ත්වයකි. මෙම තත්ත්ව නිසා කණ්ඩරාව චලනය වන විට එම ගැටය අසලදී කණ්ඩරාව කොපුව තුළ හිර වේ. මේ නිසා ඇඟිල්ල නවන්න හදන විට එක්තරා තැනකදී ඇඟිල්ල ලොක් වෙනවා නැතිනම් හිර වෙනවා මෙන් දැනේ. දැඩි ආයාසයක් ගෙන නවන විට එම හිරවෙන තැනෙන් එකවර කණ්ඩරාව නිදහස් වී චලනය වේ. එවිට ඇඟිල්ල නැවේ. 

මේ ටි‍්‍රගර් ෆින්ගර් තත්ත්වයට හේතු ලෙස

  • නිතර නිතර යලි යලි සිදු කරන ඇඟිලි නැවීමේ ක‍්‍රියාකාරකම්(Repeated gripping)
  • දියවැඩියාව
  • රූමටොයිඞ් ආතරයිටීස්
  • ආර්තවහරණය  
  • සමහර ශල්‍යකර්මවල සංකූලතාවයක් ලෙස (කාපල් මහල් සින්ඩ්‍රෝම ශල්‍යකර්ම වැනි)

උදෑසනට වැඩි වශයෙන් රෝග ලක්‍ෂණ පෙන්වන මේ තත්ත්වයේදී ඇඟිලි ලොක් වීමට අමතරව ඒ ඇඟිල්ල අල්ලට සම්බන්ධ වන තැන ඉහළට එසවුණු ගැටිත්තක් බෝහෝ විට දැකිය හැක. නැතිනම් තෙරපා බලා නිරීක්‍ෂණය කළ හැක. එම ගැටිත්ත තෙරපන විට අධිකව රිදුම් දේ. තවද ඇඟිල්ල අත්ලෙන් පිටතට දිග හරින විට එම ගැටිත්ත ළඟ වේදනාකාරී වේ. මේ රෝග තත්ත්වයට වෛද්‍ය සහ ශල්‍ය ප‍්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ඇති අතර බොහෝ විට වෛද්‍යවරු රෝගියා භෞතචිකිත්සක ප‍්‍රතිකාර සඳහා යොමු කරති. එවිට භෞතචිකිත්සකවරු රෝගියා ඇගයීමකට ලක් කර කළ යුතු භෞතචිකිත්සක ප‍්‍රතිකාර තීරණය කරති. 

ටි‍්‍රගර් ෆින්ගර් (Trigger finger) භෞතචිකිත්සක ප‍්‍රතිකාර

  • ඉටි චිකිත්සාව (Wax therapy)

බොහෝ විට ඉටි චිකිත්සාව (Wax therapy) ප‍්‍රථමයෙන් කරයි. එමගින් තාපයක් ලබාදේ. මෙහිදී ද්‍රව ඉටි ඇඟිල්ල සහ අල්ලට දමනු ලැබේ. එම ද්‍රව ඉටි ඝන ඉටි බවට පත් වන විට ඇති වන ශක්තිය ගුප්ත තාපය (Latent heat) ලෙස හඳුන්වයි. මෙම ගුප්ත තාපය මගින් රෝගියාගේ රුධිර ගමනාගමනය වැඩි වී අවශේෂිත ද්‍රව්‍ය උරා ගනී. එමගින් ගැටිත්ත අවශෝෂණය කිරීමට උදව් දේ. එමෙන්ම තාපය මගින් වේදනාවද අඩු වේ. ඒ අපගේ මොළයට වේදනාව ගෙන යන කිරණවලට වඩා වේගයෙන් තාප වෙනස ගෙන යන කිරණ යන බැවින් රෝගියාට වේදනාව ගැන දැනීම නවතී. 

  • අධි ධ්වනි තරංග (ultra sound) මගින් කණ්ඩරා කොපුව තුළ තිබෙන කරගැටය බිඳ හෙලිය හැක. නැතිනම් තුනී කළ හැක. එය යාන්ත‍්‍රික තරංගයකි. කම්පන විරලන මගින් මෙය ඉටු වේ. 
  • ඉන්ටර්ෆැරැන්ෂල් ප‍්‍රතිකාර ක‍්‍රම (Interferential therapy)  

 ඉන්ටර්ෆැරැන්ෂල් ප‍්‍රතිකාර ක‍්‍රම මගින්ද භෞතචිකිත්සකවරු මෙය පාලනය කරති. ඉටි චිකිත්සාව (Wax therapy) නැතිනම් අධෝරක්ත කිරණ (Infra Red) ඒ සඳහා ලබාදීමද කළ හැක. රෝගයේ අවධිය අනුව කෙටි තරංග (short wave) ලබාදීමද සමහර විට සිදු කරයි. 

  • ටේපින් ක‍්‍රමය (Taping) මගින් රෝගියාට ඇති වන වේදනාව අඩු කරන ක‍්‍රමද භෞතචිකිත්සකවරු කරති. 

 

ඔබට මේ තත්ත්වය ඇත්නම් ගෙදරදී කළ හැකි ප‍්‍රතිකාරයක් ලෙස මද උණුසුම් වතුර කෝප්පයකට අත දමාගෙන විනාඩි 10 ක් පමණ සිට ඇඟිල්ල සම්බන්ධ වන අත්ලේ ඇති රිදුම් දෙන ගැටිත්ත අනෙක් අතේ ඇඟිල්ලකින් තෙරපාගෙන රවුමට රවුමට සම්භාහනය කරන්න. ඉන්පසු ඇඟිල්ල හොඳට දිග හැරගෙන තත්පර 30 ක් පමණ සිටින්න. මෙමගින් සුව නොවුනොත් භෞතචිකිත්සක අංශයට පැමිණ ප‍්‍රතිකාර ලබා ගත හැක.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්ස අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල 

කොළඹ

 

 

 

 


                

දරුවන්ගේ මාලිමාව අහිමි කරන්න එපා

දරුවන්ගේ පරිකල්පන ලෝකය තේරුම් ගැනීමේදී ඔවුන් වටා තිබෙන සංකේත ලෝකය තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ සංකේත ලෝකය පුළුල් වෙන්න පුළුල් වෙන්න පරිකල්පන ලෝකයේ සීමාව පුළුල් වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සතුට වැඩියි. මන්ද වැඩිහිටියෝ වගේ ඔවුන් සිතන පතන කිසිම දෙයක් කප්පාදු නොකරන නිසයි. ඒ කියන්නේ සංස්කරණය වූ සිතුවිලිවලින් තොර මේ දරුවන්ගේ  රූප පිරිසිදු විදියට එකට සමපාත වෙනවා. උදාහරණයක් විදියට කුඩා දරුවෝ පාට පෙට්ටියෙන් වැඩියෙන්ම ගන්නේ දීප්තියෙන් වැඩි වර්ණ. ශෝකජනක සිදුවීමක් වුවත් ළමයින්ට දීප්තියෙන් වැඩිම වර්ණ ඕනේ වෙනවා එය නිර්මාණය කරන්න. චිත්‍ර අඳින පොඩි දරුවන් සමග වැඩ කිරීමෙන් කුඩා දරුවන් හිතන විදිය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ දරුවන් සතුට අනුභව ආකාරය හරිම රසවත්. ලෝකයේ දියුණුම වැඩේ වෙන්න ඕනේ දරුවන් සම්බන්ධව තීරණ ගැනීමයි, ළමා මනසේ විද්‍යාව අනුව, එය දියුණු ආකාරයට තේරුම් නොගත්තොත් පරම්පරා ගණනාවක් මුල් අහිමි වූ පරම්පරාවක් වී බිහි විය හැකියි. 

දරුවන් කුරුටු ගාන විදිය සහ සංකල්ප රූප මවන ආකාරය අවධි හයකට බෙදිය හැකියි.

(01).අවරුදු 2 සිට 4 දක්වා – Scribbling

(02) අවරුදු 4සිට 7දක්වා – Pre – schematic 

(03)අවරුදු 7සිට 9දක්වා – Schematic 

(04) 9 සිට 11 දක්වා – Drawing realism 

(05) අවරුදු 11 සිට 13 දක්වා – Pseudo-realism 

(06)අවරුදු 13 සිට 17දක්වා – Stage of decision 

 

පැබ්ලෝ පිකාසෝ වරෙක මෙසේ ප්‍රකාශ කළා.

මට වයස අවුරුදු 16දි රෆායල් වගේ අදින්න පුළුවන් වුණා , ඒත් දරුවෝ චිත්‍ර අඳින්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මට මගේ මුළු ජීවිත කාලයම අවශ්‍ය වුණා. “

පිකාසෝ කියන්නේ කලා ඉතිහාසය තුළ ඇකඩමියාව තුළ පිළිවෙළට දේවල් හදාරලා ඔහු විසින්ම එය විසංයෝජනය කරපු සිත්තරෙක්. නිදහසේ සිතීමත්, නිදහසේ ඇඳීමත් එකතු වූ තැන දරුවෙකුගේ ළමා මනස හරි අපූරුවට ඒ තුළ අන්තර්ගත වෙනවා.

දරුවෙකුගේ සංකේත ලෝකය තුළ සුන්දර වස්තු වැඩියි. සතුට වැඩියි. අපි අපේ හිත් වල පුරෝගෙන ඉන්න බර පැස්ටල් කූරුවලින් එළියට එනවා. පොඩි පැටවුන්ගේ හිත් හරිම නිර්මලයි, බලෙන් දාර්ශනික වෙන්න යන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රකාශනාත්මක බව පැහැදිලියි. චිත්‍ර වගේ විෂයක් දරුවන් සමග හුවමාරු කරගැනීමේ දී සිදු විය යුත්තේ ඉගැන්වීමට වඩා ඒ දරුවාට අදාල පරිසරය සකස් කර දීමයි.

දරුවා, කලාව සම්බන්ධ පරිසරයකට ඇතුළු වී එහි සැරිසරනවා. ඔවුන්ට ඒ තුළ නිදහසේ සැරිසරන්න ඉඩ හරින්න ඕනි. තීන්ත ඇගේ ගාගන්න, කොළ ඉරන්න, කපන්න, අලවන්න,දේවල් ගොඩනගන්න, පාට තවරන්න, මඩ අතගාන්න මෙන්න මේ වගේ ව්‍යූහයකට ඇතුළු කළාම ඒ ව්‍යූහයේ ගුණයන් ටික ඇඟට එනවා. ඊට පස්සේ ඒ ව්‍යූහයේ ගුණයන් ඔවුන් කරපින්නා ගන්නවා. ඊට පස්සේ ඔවුන් හීන දකින්නේ ඒකෙන්. නිදහස් ඇඳීමත් නිදහස් සිතීමත් තුළ තිබෙන නිදහසමයි, පොඩි දරුවන්ගේ චිත්‍රවල තියෙන්නේ. ඒ කියන්නේ පිරිසිදු අර්ථයෙන්ම තියන බව අපට කිව හැකියි. චිත්‍රය කියන්නේ දරුවාගේ ජීවිතය කියවන කැඩපත. සමහර වෙලාවට ගෙදර බිත්තිවල දරුවෝ චිත්‍ර අඳින එක වැරැද්දක් හැටියට දකින්න  වැඩිහිටියෝ පෙළඹෙන අවස්ථා තියෙනවා. ඒක ටිකක් බරපතල කාරණාවක්. 

දරුවෝ ගෙදර බිත්තිවල චිත්‍ර අඳින එක වැරදිද?

කොහොමද ඒක වැරදි වෙන්නේ? දරුවෝ කියන්නේ දරුවන්ට. වැඩිහිටියෝ නිසා මේ ලෝකෙට ආපු අහිංසක පිරිසිදු කොට්ටාශයක් තමයි දරුවෝ කියන්නේ. ඉතිං අපි දෙමව්පියන් හැටියට ඒ දරුවන්ට බිත්තිය කිළිටි කරන්න එපා කියනවා නම් ඒ වෙනුවෙන් වෙන යම් මතුපිටක් සකස්කරන්න වෙනවා. කුඩා කාලයෙන් පස්සේ දරුවා බිත්තිවල හෝ තමන්ගේ උසට සරිලන සෑම තැනකම බලි කුරුටු ගාන එක නවත්වනවා. නමුත් ඒ වයසේදී ඔවුන්ගේ ආශාව කප්පාදු කළොත් ඔවුන්ට අහිමි වන දෙයට අපිට කවදාවත් වන්දි ගෙවන්න බැරි වෙයි. කුඩාම කාලයේ රේඛාවලින් කුරුටු ගාන දරුවා පසුව වර්ණවලින් ලස්සන චිත්‍ර හදන්න පුරුදු වන වැඩ බිම තමයි ගෙදර බිත්තිය හෝ කුමන හෝ අවකාශයක් කියන්නේ. බිත්ති කිළිටි වුනාට දරුවා පිරිසිදු වෙනවා, දියුණු වෙනවා, සතුටු වෙනවා. බිත්ති කිලිටි වෙනවා නම් ඒ වෙනුවෙන් විකල්පයක් සකසන්න වෙනවා. සමහර වෙලාවට පුංචි කාලයේ දරුවන් තුළ එකතු වන දේවල් පොලා පනින මොහොත හා ස්වරුපය තමන්ට පුංචි කාලයේ අහිමිවන දේවල් අනුව වෙනස් වෙනවා.

කලාවට ආශාවක් තියන අයට උත්තේජනයක් ලබා දීම වැදගත්. ඒ නිසාම අපි ඔවුන්ට අවකාශයක් නිර්මාණය කළ යුතුය. ලොකු පොඩි හැමෝටම art සහ life දෙස රසයක් ඇතිව බලන්න පුරුදු කරන අවකාශයක් හැදීම ඉතා වැදගත්. ඒ අවකාශය තුළ තමයි දරුවන් නිදහස් වන්නේ . විශේෂයෙන්ම වැදගත් වන්නේ දරුවන් දෙස දරුවන් ලෙස දකින්න උත්සහ ගැනීමයි. ගොඩක් වැඩිහිටියෝ දරුවන් දෙස බලන්නේ වැඩිහිටියන්ගේ මානසික ලෝකය හරහා. අපිට දරුවන්ව තේරුම් ගන්න නම් ඔවුන් හිතන විදිය ස්පර්ශ කළ යුතු වෙනවා. අපේ ආශාව අයින් කරලා දරුවන්ගේ ආශාව දෙසට අපි හැරෙන්න ඕන. ඒ වෙනුවෙන් කාලයක් හදාගැනීම ඔක්කොටම වඩා වැදගත්. මේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා තේරුම් ගන්න අමාරුයි. ක්‍රමය බලවත් වෙලා දේවල් වෙනස් කරලා තියෙන්නේ. වැඩිහිටියන්ගේ ආශාව දරුවන් තුළින් දකින්න උත්සහ ගන්න කාලයක් මේක. ඉතිංදරුවන්ගේ ළමා කාලය වැඩිහිටියන් වෙනුවෙන් තරග කරන කාලයක් බවට පත් කරලා. සමහර දෙමව්පියන් දරුවන්ට චිත්‍ර උගන්වන්න හදන්නේ චිත්‍ර තරගවලින් ජයග්‍රහණ ලබා දෙන්න. තේරෙනවා නේද ප්‍රශ්නය කෙතරම් බලවත්ද කියල? ගොඩක් වැඩිහිටියන් සහ ගුරුවරුන් දන්නේ නෑ දරුවන්ව අගයන්න. එයාලව වර්ණනා කරන්න. ඒක පුංචි දරුවෝ වෙනුවෙන් විශේෂ කාරණාවක් බව අමතක කරන්න එපා

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන

 චිත්‍ර කලාවේදී ප්‍රගීත් රත්නායක මහතා

 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

චිත්‍ර කලාවේදී ප්‍රගීත් රත්නායක මහතා