Home Blog Page 33

පුංචි පැටියා මොකද මේ කන ඇද ඇද අඬන්නේ… කන රිදෙනවා වත්ද?

දරුවෙක් අඬනකොට අම්මලාට නොහිතෙන දෙයක් නෑ. පුංචි දරුවෙක්ට හරියට තමන්ගේ අපහසුවක් කියන්න තේරුමක් නෑ. අන්න ඒ නිසාම අම්මලාට තේරුම් ගන්න වෙනවා දරුවා මොකද මේ එක දිගට අඩන්නේ කියලා. සමහර වෙලාවට බඩ රිදෙනවා ඇති. එහෙමත් නැත්නම් කන රිදෙනවා වෙන්නත් බැරි නැහැ. අපි අද දරුවන්ට ඇති වන කනේ ආසාදන ගැන කතා කරමු. 

කනේ ආසාධනයන් විදියට බොහොම වෙලාවට මැද කනේ ඇති වන ප‍්‍රදාහමය තත්ත්වය(inflammation) දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්වයට හේතුව වන්නේ බැක්ටීරියා.  ඕනෑම පුද්ගලයෙකුට කනේ ආසාධන ඇති වෙන්න පුළුවන් වුණත් දරුවන් අතර මේ තත්ත්වය වඩා සුලබයි. මැද කනේ ඇතිවන මෙම ආසාධනය මධ්‍යශ්‍රෝත දාහය (otitis media) ලෙස හඳුන්වනවා. 

ළමුන්ට හා ළදරුවන්ට ඇතිවන කනේ වේදනාව බාහිර හා මැද කනේ ආසාධන නිසා ඇතිවේ. මෙම වේදනාව දරුවා නොසන්සුන් කරන අතර සෙම්ප‍්‍රතිශ්‍යා ලක්‍ෂණ ද ඇති විය හැක. 

උදා: උගුරේ අපහසුව, සොටු දියර ගැලීම

ස්ථානය අනුව ප‍්‍රධාන ආසාධන වර්ග 2 කි. 

  1. මැද කනේ ආසාධන (Middle ear infection/Otitis media)

කන්බෙරය පිටුපස තරලය එකතු වීම නිසා කන්බෙරය ඉදිමීමකට/ඉහළට නෙරීමකට පත්වේ. වේදනාව ඇති වේ. කලාතුරකින් මෙම කන්බෙරය පුපරා යා හැක. එවිට කහ පැහැති තරලයක් කනෙන් වෑස්සේ. මෙම පුපුරා යාමෙන් පසු දරුවාට එකවර සුවපහසුවක් දැනේ. ඉදිරියට නෙරීම නවතී. පුපුරාගිය කන්බෙරය ප‍්‍රතිකාර නොමැතිව සුව වේ. මෙහිදී උණ ඇති වේ. 

2.බාහිර කනේ ආසාධන (Otitis external)

  • කනෙන් ශ‍්‍රාවයක් වෑස්සිය හැක. කන තුළ පිරුණු ස්වභාවයක් දැනේ. (කන් අගුල් වැටීම)
  • කන ඉදිමුන, රතු වූ ස්වභාවයක් ගනී
  • කන් ඇල්ලීම, චලනය වේදනාකාරියි
  • උණ ඇති විය හැක. 

කනේ ඇති වන වෙනත් ආසාදන තත්ත්ව ලෙස පහත අවස්ථා ද දැක්විය හැකියි

තීව‍්‍ර මධ්‍ය ශ්‍රෝත දාහය Haite Otitis media (AOM)

මෙය වඩා බහුලව ඇතිවන ආසාධනයකි. මැද කන කොටස මෙහිදී ආසාධනයට ලක්වන අතර මෙහිදී ඉදිමීමක් හා කන් බෙරයට පිටු පසින් තරලය එකතු වීමක් දැකිය හැක. මෙහිදී ඇති වන වේදනාව ”කනේ කැක්කුම” ලෙස (earache) පොදුවේ හඳුන්වයි. මෙහිදී දරුවාට උණ ඇතිවිය හැක. 

Otitis media with effusion

තරලය එකතුවීමත් සමග කනේ ආසාධන ඇති වේ. කන් බෙරය පිටුපස තරලය එකතු වේ. ලක්‍ෂණ නොපෙන්වයි. නමුත් විශේෂිත උපකරණයක් කනට ඇතුළු කිරීමෙන් කන් බෙරයට පිටුපස තරලය ඇති බව දැකිය හැක. 

Chronic Otitis media with effusion

තරලය එක්වීම සමග ඇතිවන කාලීන මධ්‍යශ්‍රෝත මැද කනේ දීර්ඝ කාලයක සිට තරලය එකතු වීමයි. වරින් වර තරලය එකතු වීම සිදු වේ. මෙහිදී ආසාධනයක් නොතිබුණද තරලය එකතුවීමක් දැකිය හැක. මෙහිදී ඇසීමට බලපෑම් ඇති විය හැක. 

 

කනේ ආසාධන තත්ත්වයකදී දරුවන් ළදරුවන් පෙන්නුම් කරන රෝග ලක්‍ෂණ

  • කන්පෙත්ත ඇදීම
  • සුවබර නින්දක් නොලැබීම 
  • ශරීර උෂ්ණත්වය වැඩිවීම (විශේෂයෙන් ළදරුවන්ගේ හා කුඩා ළමුන්)
  • කලබල කිරීම හා හැඩීම
  • කනෙන් තරලය ඉවතට ඒම
  • ශරීර සමබරතාවයේ ගැටලු
  • ඇසීමේ බාධාවන් ඇතිවීම

කනේ ආසාධන ඇති වීමට හේතූ

  • කනේ ආසාධනවලට බහුලවම හේතු වන්නේ බැක්ටීරියා වන අතර බොහෝ විට කනේ ආසාධන ඇතිවන්නේ උගුරේ ආසාධන, සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ ඉහළ ස්වසන කාර්ශ්වයේ ආසාධනයකින් පසුවයි. ඉහළ ස්වසන කාර්ශ්වයේ රෝග තත්ත්වයට හේතුව වූයේ බැක්ටීරියාවක් නම් මෙම බැක්ටීරියා මැද කන දක්වා පැතිරී යයි. 
  • ඉහළ ස්වසන කාර්ශ්වයේ රෝග තත්ත්වයට හේතුව වයිරසයක් නම් උදාහරණ ලෙස සෙම්ප‍්‍රතිශ්‍යාව ඊට දෙවනුව ද්වීතියීක ආසාධනයක් ලෙස බැක්ටීරියා ආසාධනයක් ඇති වේ. මීට හේතුව වන්නේ කන් බෙරය පිටුපස එක්වී ඇති තරලයෙහි මෙම බැක්ටීරියා වර්ධනය වීමයි. 

වැඩිහිටියන්ට වඩා ඉක්මණින් ළමුන්ට කනේ ආසාධන ඇතිවීමට හේතූ

  • යූෂ්ටේකීය නාලය ළමුන්ගේ වැඩිහිටියන්ට වඩා කුඩා වීම හා මට්ටම් වීම එයට හේතුවයි. මේ නිසා එහි ඇති ශ‍්‍රාවයන් ඉවතට ගලා ඒමට අපහසු වීම සාමාන්‍ය තත්ත්වයේදී වුවද මෙම පිහිටීම නිසා නොහැකි වේ. එසේම සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ වෙනස් ස්වසන රෝගවලදී ශ්ලේෂ්මය මගින් අවහිර වීම හෝ යූෂ්ටේකීය නාලය ඉදිමීම සිදුවුවහොත් එහි ඇති තරලය ඉවතට ගලා ඒමට නොහැකි වේ. 
  • ළමුන්ගේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තවමත් වර්ධනය වන අවස්ථාවේ පසුවන නිසා ආසාධනයන්ට එරෙහිව සටන් කිරීමට තරමක් අසීරු වේ. 
  • ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ කොටසක් ලෙස ඇසිනොයිඩ බැක්ටීරියා නාසය හා මුඛය හරහා ගමන් කිරීම සඳහා අනුකූලතාවයක් දක්වයි. සමහරවිට බැක්ටීරියා මෙම ඇසිනොයිඩ වල රැඳුන විට එමගින් කාලීන ආසාධන ඇති කරවන අතර ඒවා යූෂ්ටේකීය නාලය හා මැද කන දක්වා ගමන් කරයි. 

රෝගය විනිශ්චය කිරීම

  1. වෛද්‍යවරයා විසින් සායනික ඉතිහාසය පිළිබඳ තොරතුරු ගැනීම
  • මෑතකදී සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ උගුරේ ආසාධන පැවතුනිද
  • කන් පෙත්ත ඉවතට ඇදීමක් කරයිද
  • නින්දට බාධා ඇතිවෙයිද

මෙම ප‍්‍රශ්න වලට ලැබෙන පිළිතුරු සලකා බලා කන පරීක්ෂා කරන උපකරණය මගින් කන් බෙරය නිරීක්‍ෂණය කොට රතු වූ, ඉදිමුණු කන් බෙරයක් පවතී නම් ආසාධන ඇති බවට නිගමනය කරයි. 

2. වෛද්‍යවරයා විසින් pneumatic otoscope නම් උපකරණය ආධාරයෙන් වායු ධාරාවක් ශ‍්‍රවණ නාලයට තුලට පිඹියි. මෙමගින් කන් බෙරයට පිටුපස තරලය ඇති දැයි දැනගැනීමට හැකිවේ. සාමාන්‍ය කන්බෙරයක ඉදිරියට හා පිටුපසට පහසුවෙන් චලනය වන අතර තරලය ඇත්නම් චලනය අපහසු වේ. 

3. Tympanometry

මෙහිදී ශබ්ද ධ්වනියක් (sound tune) සහ වායු පීඩනයක් මගින් පරීක්‍ෂණ සිදු කරයි. මෙය සිදු කරන්නේ ඉහත ක‍්‍රම දෙකම ආසාර්ථක වූ විටය. Tympanometer යනු කුඩා මෘදු පේනුවක් වන අතර එහි කුඩා මයික්‍රෝෆෝනයක් හා ස්පීකරයක් අඩංගු වේ. එමගින් කන තුල විවිධාකාරයේ වායු පීඩනයන් යවා විවධ පීඩනයන් යටතේ කන් බෙරයෙන් නම්‍යතාවය පරීක්‍ෂා කරයි. 

කනේ ආසාදන තත්ත්වවලදී ලබා දෙන ප‍්‍රතිකාර

  • පවතින තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් Amoxicillin වැනි ප‍්‍රතිජෛවක ඖෂධ නියම කරයි. ඒ වගේම ප‍්‍රතිජෛවක බිංදු ලෙස කනට දැමීමට ද ලබා දිය හැකියි. 
  • වේදනා නාශක ලබාදීම. කනට බිංදු දැමීම (ear drops) මෙමගින් උණ හා වේදනාව අඩු කරයි. 

කනේ ආසාදන තත්ත්ව වළක්වා ගැනීම

  • එන්නත් කිරීම – (pneumococcal conjugate vaccine)
  • අත් හොඳින් සේදීම- සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ ඇතිවීම වළක්වයි. 
  • දරුවන් සිගරට් දුමට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම (අධ්‍යයනයක් මගන් ඔප්පු කර ඇත්තේ දුම් බොන්නන් ආශ‍්‍රිතව සිටින දරුවන්ට කනේ ආසාධන වැඩි බවයි) 
  • රෝගී දරුවන්ගෙන් ඔබේ දරුවා ඈත් කර තබන්න. 
  • කෙටි නින්දකට වුවද බිම නිදි කරවීමෙන් වළකින්න. 
  • දරුවාට මව්කිරි ලබාදීම – මව්කිරිවල අඩංගු වන ප‍්‍රතිදේහ මගින් කනේ ආසාධන ඇතිවීමේ අවදානම අඩු කරයි. 

කනේ ආසාධන ඇතිවීමට වැඩි අවධානමක් ඇත්තේ, 

  • වයස අවුරුදු 5ට අඩු දරුවන්
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැදෙන දරුවන් (සෙම්ප‍්‍රතිශ්‍යාව ඇතිවීමේ ප‍්‍රවණතාවය වැඩි නිසා) 
  • ආසාත්මිකතා ඇති දරුවන්
  • සිගරට් දුමට නිරාවරණය වන දරුවන් 
  • මව්කිරි ලබා නොදෙන දරුවන්
  • බෝතලය මගින් කිරි බොන දරුවන්
  • විදිලිත තල්ල (Cleft palate) සහිත දරුවන්

වෛද්‍ය උපදෙස් ගත යුත්තේ

  • තදබල ලෙස වෛද්‍යමය ගැටලු පවතී නම්
  • රෝගී ස්වභාවය
  • වරින්වර වමනය ඇති වේ නම්
  • මාස 6 ට වඩා අඩු දරුවෙකු නම්
  • පැය 48 වඩා උණ පවතී නම්
  • කන පිටුපස ඉදිමීමක් තිබේනම්
  • දරුවා තදබල ලෙස නිදිමත ගතියකින් පෙළෙයි නම්
  • දරුවා නුරුස්සනා ස්වභාවයක් පෙන්වයි නම්
  • සමේ දදයක් පෙන්වයි
  • ශ්‍රවණ ගැටලු ඇත්නම්

ප‍්‍රතිකාරවලදී ප‍්‍රතිජෛවක ලබාදෙන්නේ, 

  • 390C ට වඩා ශරීර උෂ්ණත්වය අධික නම්
  • තදබල වේදනාවක් පවතියි නම්
  • පැය 48 ගත වූවත් මෙම තත්ත්වයේ වෙනසක් නොමැති නම්
  • ශ‍්‍රවණ නාලයේ අලුතින් තරලය ඇත්නම්

 

තම වේදනාව, අපහසුව පැවසීමට නොහැකි දරුවෙක්ට හේතුවක් නොපෙන්වා උණ ඇති වේ නම් නොසන්සුන් බව/කලබල පෙන්වයි නම් වෙනදා මෙන් එක දිගට නිදා නොගෙන වරින් වර අවදි වේ නම් කන් පෙත්ත ඉවතට අදියි නම් කන් ඇසීමේ අඩු බවක් පෙන්නුම් කරයි නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ගැබිනි මව්වරුන් කොවිඩ් රෝගය ගැන දැනගත යුතුම කරුණු

ලොව පුරා පැතිර යන කොවිඩ් රෝගය හේතුවෙන් මුළු මහත් ලෝකයකම ජනාතාව පත්ව සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකටයි. වයස් භේදයකින් තොරව කොවිඩ් රෝගයෙන් ජීවිත දහස් ගනනින් අහිමි වන වටපිටාවක අප අපේ ආරක්ෂාව සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ අතරින් තවත් ජීවිතයක් තම කුස තුළ හොවා සුරකින ගැබිනි මව ගැන අපි සිය දහස් වරක් සිතිය යුතුය. ඒ ගර්භණී බව ස්වභාවික ක‍්‍රියාවලියක් වුණත් ගර්භණී කාන්තාව කියන්නේ අපිට විශේෂ පුද්ගලයෙක් නිසාත් ගර්භණී සමය විශේෂ අවස්ථාවක් නිසාත්ය.

ගර්භණී බව සහ කොවිඩ් 19 රෝගය ගැන කතා කරද්දී ගර්භණී කාන්තාව පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරය පිළිගත් අවධානම් පිළිබඳ වර්ගීකරණයේදී (risk classification) මේ ගර්භණී කාන්තාව අයත් වන්නේ සුළු අවධානමට වඩා ටිකක් වැඩි අවධානමක් (Moderate Risk) ඇති අයෙක් ලෙසටයි. නමුත් එමගින් ගර්භණී කාන්තාව ගර්භණී නොවන කාන්තාවකට වඩා කොවිඩ් රෝගය සෑදීමේ වැඩි අවධානමක් ඇති බවක් අදහසක් නොවුණත් ගර්භණී කාන්තාවක් සුළු අවධානමට වඩා ටිකක් වැඩි අවධානමක් (Moderate Risk) ඇති අය ලෙස වර්ගීකරණය කෙරෙන්නේ ආරක්ෂක පියවරක් ලෙසටයි.

උදාහරණයක් ලෙස මේ තත්ත්වය පැහැදිලි කළහොත් ගැබිනි කාන්තාවක් ඇතැම් විට දියවැඩියාව/ දීර්ඝ කාලීන අධි රුධිර පීඩනය වගේම මේ කාලයේදී ඇතැම් විට ප‍්‍රතීශක්තීකරණයේ අඩුකමක් සමග කාලය ගත කරනවා විය හැකියි. එවැනි තත්ත්වයක සිටින ගැබිනි කාන්තාවක් කොවිඩ් රෝගයට ගොදුරු වූවොත් එය යම්තාක් දුරට ගැටලුකාරී වීම, තත්ත්වය බරපතල වීමට වුවත් ඉඩකඩ වැඩියි. ඇතැම් විට දැඩි සත්කාර ඒකකයන් වලද ප‍්‍රතිකාර ලැබීමට සිදුවිය හැකියි. අන්න ඒ නිසාම ගැබිනි කාන්තාවන් විශේෂයෙන්ම මේ කාලය තුළ පරිස්සම් විය යුතුයි. ඒ සඳහා රජය මගින් උපදෙස් ලබා දී ඇති පරදි සියලුම සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග, ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වේ. උදාහරණයක් විදියට මුඛ ආවරණ පැළදීම, නිතර දෑත සේදීම, සමාජ දුරස්ථභාවය වගේම අවට සමාජයට නිරාවරණය වීම හැකි තරම් අවම කිරීමත් බොහෝ සෙයින් වැදගත් වෙනවා සේම ඉහත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තම සායනික කටයුතු නිසි පරිදි සිදු කරගැනීමත් ඉතාම වැදගත්. 

ගැබිනි කාන්තාවක් කොවිඩි රෝගය ගැන විශේෂ අවධානයක් දිය යුත්තේ කෙසේද?

ගැබිනි කාන්තාවක් ලෙස ඔබට හිතෙනවා නම් ඔබ කොවිඩ් රෝගියෙකුට නැත්නම් ඒ අවස්ථාවකට නිරාවරණය වූවා කියා ඔබ, ඔබ ගැනම තක්සේරු කිරීමක් සිදු කරගැනීම ඉතාමත්ම වැදගත්. ඒ විශේෂයෙන්ම ගැබිනි සමයේදී ඇති වන ඇතැම් ලක්‍ෂණ මේ කොවිඩ් රෝගයෙත් රෝග ලක්‍ෂණ වෙන නිසයි. 

උදාහරණ ලෙස,

  • වමනය
  • ඇඟපත වේදනාව
  • මාංශ පේශී විඩාව 
  • ගර්භණී සමයේ තෙවන ත්‍රෛමාසිකය ගත කරන විශේෂයෙන්ම ස්ථූල කාන්තාවන්ට එක දිගටම කතා කිරීමේදී හෝ යම් දුරක් ඇවිදීමේදී ඇති වන ශ්වසන අපහසුවතාවය කොවිඩ් රෝගයෙත් රෝග ලක්‍ෂණ වෙනවා. 

අන්න ඒ නිසාම ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඔබ මේ ලක්‍ෂණ නොතිබුණු ගැබිනි කාන්තාවක් නම් ඒ ලක්‍ෂණ අලුතින් ඇති වෙනවා නම් හෝ ගැබිනි සමයේ මේ ලක්‍ෂණ තිබුණු ගැබිනි කාන්තාවකට මේ ලක්‍ෂණ වැඩි වෙනවා නම් ගැබිනි මවක් ලෙස ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. 

ගැබිනි කාන්තාවක් තමන් රෝගයට නිරාවරණය වී ඇතැයි සැක කරනවා නම් හෝ නිරෝධායනයට යොමු වී සිටිනවා නම් තමා ආසාදිතයෙක්ද යන්න ගැන අදහසක් ලබා ගන්නේ කෙසේද?

කොවිඩ් රෝගය ප‍්‍රධානවම ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගයක් වුවත් ඇතැම් අවස්ථාවලසී වකුගඩු, හෘදය යන තවත් පද්ධතීන් මෙයට සම්බන්ධ විය හැකියි. කොවිඩ් රෝගය ආසාධිත ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඇතැම් ගැබිනි කාන්තාවන් වුවත් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වනවා විය හැකියි. ඇතැමුන් ඉතාමත් සුළු වශයෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන අතරම තවත් සමහරක් අය මධ්‍යස්ථව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පසුව එය වර්ධනය වී රෝග ලක්‍ෂණ තීව‍්‍ර අවස්ථාවට පත්විය හැකියි. ගැබිනි කාන්තාවක් මේ තීව‍්‍ර අවස්ථාව දක්වා උග‍්‍ර වීමට පෙර මුල්ම අවස්ථාවේදීම රෝහල් ගත වීම අනිවාර්යයි.

විශේෂයෙන්ම උණ රෝග ලක්‍ෂණය නොපෙන්වන ගැබිනි කාන්තාවක්ගේ කොවිඩ් රෝගය තීව‍්‍ර විය හැකි බව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ගැබිනි කාන්තාවක් නිරෝධායනයට යොමු වී ඇත්නම් හෝ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බවට සැකයක් ඇත්නම් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. 

කොවිඩ් රෝගය මුල්ම අවස්ථාවේදී,

  • සාමාන්‍ය කැස්ස (නින්දට බාධා නොවන)
  • උගුරේ වේදනාවෙ
  • ගඳ, සුවඳ, රස නොදැනී යාම යන ලක්ෂණ පෙන්නුම් කරයි. 

රෝග තත්ත්වය උත්සන්න වන විට

  • දිනකට කැස්ස ඇති වෙන වාර ගණන වැඩි වේ (නින්දට බාධා වේ)
  • හුස්ම ගැනීම අපහසු වේ (නිවස තුළ ඇවිදීමට/වැඩ කරගැනීමටවත් බාධා නොවේ)
  • සාමාන්‍ය ව්‍යායාම වල යෙදුනු ගැබිනි කාන්තාවක් නම් ව්‍යායාමවල නිරත වීමට අපහසු වේ
  • වෙනදා පඩි පෙළ නැගීමේදී අපහසුවක් නොදැනුනත් මේ තත්ත්වයේදී පඩි පෙළ නැගීමට අපහසුයි

මේ තත්ත්වය තීව‍්‍ර වන විට මේ අපහසුතාවයන් තව තවත් තීව්‍ර වේ.

  • පුටුවක වුණත් වාඩි වී සිටීම පවා අපහසු විය හැකියි.
  • එදිනෙදා කටයුතු කරගැනීම පවා අපහසුයි.
  • හුස්ම ගැනීමේදී පපුව තද වෙන ගතියක් දැනිය හැකියි
  • සම්පූර්ණ වාක්‍යයක් එක දිගට කතා කරගැනීමද අපහසු විය හැකියි
  • හුස්ම ගැනීමේදී මුව විවර කොට තබාගැනීමට අවශ්‍ය වේ

 

 මෙවැනි තත්ත්වයකදී තමා විසින්ම රෝගය හඳුනා තීව‍්‍ර තත්ත්වයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමට පෙර මුල්ම අවස්ථාවේදීම රෝහල් ගතවීම ගැබිනි කාන්තාවක් වන ඔබේත් කුස තුළ වැඩෙන කිර කැටියාගේත් ආරක්ෂාවට ඉතා වැදගත් වන බව සිහි තබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

සුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි

කාසල් වීදිය කාන්තා රෝහල

කොළඹ 08

 

COVID එන්නත සහ ගැබිනි මව

වර්තමානය වන විට ලොවම මුහුණ දී ප‍්‍රබලතම සෞඛ්‍ය අභියෝගය කොරෝනා හෙවත් COVID වසංගතයයි. මෙය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්පේ‍්‍රෂණය සිදුවන ක‍්‍රමය වන්නේ කෙළ බිඳිති ආශ‍්‍රයෙනි. ඒ නිසා ශ්වසනය ආශ‍්‍රිතව පැතිර යා හැකියි. එසේම කැස්ස, කිවිසුම මගින්ද පිටවන බිඳිති පරිසරයට නිරාවරණය වීම නිසා රෝගය බෝවිය හැකියි. 

මෙම රෝගය නිසා ආසාධ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව බහුලවම ඇති කණ්ඩායම් වන්නේ බෝ නොවන රෝග ඇති හෝ ඒ සඳහා අවදානමක් ඇති කණ්ඩායම් වන අතරම අපේ ගර්භනී මව්වරුන්ද මේ අවදානම් කණ්ඩායම තුලට ගැනේ. මන්ද යත් ගර්භනී කාලය තුල මවට ඇති ප‍්‍රතිශක්තිය අඩු වීම නිසා රෝග බීජනයට නිරාවරණය වුවහොත් ගර්භනී මව්වරුන්ටද මෙය සෑදිය හැකියි. ගර්භනී සමයේ මුල් තුන් මස යනු දරුවාගේ අවයව විකසනය වන අවස්ථාවයි. 

ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකය තුළ කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්

  • දරුවාගේ වර්ධනය බාල විය හැක
  • ගබ්සා වීම් මගින් කලලයට හානි විය හැක

ඉන් පසු කාලය තුලදී මවට COVID වැලදුණහොත්

  • කුස තුල දරුවාගේ වර්ධනය බාල වීම
  • අඩු මාසයෙන් දරුවා බිහිවීම
  • මළ දරු උපත් ඇති වීම වැනි භයානක සංකූලතා ඇති විය හැක 
  • මවට උග‍්‍ර ලෙස ඇති වන හුස්ම ගැනීමේ අපහුසතාවය සමග ඇතිවන සෙම තත්ත්වය නිසා නියුමෝනියා තත්ත්වයට පත් වී උග‍්‍ර සංකූලතා ඇති වීම මෙන්ම මාතෘ මරණ අවදානම ඉහළය 

 

මෙවන් තත්ත්ව වළක්වා ගැනීමට,

  • ගැබිනි මව්වරු සෑම විටම සෞඛ්‍ය පුරුදු හොඳින්ම පවත්වා ගැනීම
  • සෙනඟ එක් රැස්වන ස්ථාන වෙත ගමන් කිරීමෙන් වැලකීම
  • වෛද්‍ය උපදෙස් මත සෑම විටම කටයුතු කිරීම
  • පළමු තුන් මාසයට පසුව COVID එන්නත් ලබාගැනීම

 

COVID එන්නත් ලබාගැනීම තුලින් මවගේ ශරීරය තුල ඇති වන ප‍්‍රතිශක්තිය හේතුවෙන් මවටත් දරුවාටත් ආරක්‍ෂාව ලැබේ. සමහරවිට මවට එන්නත ලබා තිබියදීම COVID වැළදුණහොත් COVID නිසා ඇති වන උඝ‍්‍ර සංකූලතාවයන් ගෙන් ආරක්‍ෂා වීමට මවට එන්නත නිසා ලැබුණු ප‍්‍රතිශක්තිය පිහිට වේ. මේ නිසා ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය වරුන්ගේ මතය වන්නේ ලැබුණු පළමු අවස්ථාවේදීම ගර්භනී මව්වරු COVID එන්නත ලබාගැනීම සුදුසු බවයි. 

දීර්ඝකාලීන ලෙස පර්යේෂණ සිදු නොකර එන්නත් නිපදවා තිබුණද මේ වන විට බොහෝ ගර්භනී මව්වරු මෙම එන්නත ලබා COVID අවධානමට හොඳින් මුහුණදී ඇත.

මෙසේ හෙයින් වඩාත් ආරක්‍ෂාකාරී නුවණැති පියවරක් ලෙස ගර්භනී මව්වරු COVID එන්නත ලබාගැනීම සුදුසු වේ. මේ පිළිබඳව තොරතුරු සඳහා තම ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය, මහජන සෞඛ්‍ය හෙද සොයුරිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන් ඔබට ඇමතිය හැකියි. තවදුරටත් තොරතුරු අවශ්‍ය යැයි හැ‍ගේ නම් ඔබව පරීක්‍ෂා කරන ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය තුමා ඇමතීමටද ඔබට හැකියි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

 


                

තෑග්ගක් දීමෙන් මොකද වෙන්නේ…

මෙන්න අපේ පුතාට තෑග්ගත්…

පුංචි අය විතරක් නොවෙයි, වැඩිහිටි දරුවන් වුනත් කාගෙන් හෝ සුලුවෙන් වුනත් යම් තෑග්ගත් ලබා ගන්න කැමැතියි. තෑග්ගක් කියන්නේ එක්තරා ආකාරයක මානසික අල්ලසක් කිව්වත් වරදක් නැහැ. තෑග්ගක් ලැබෙන අවස්තාවන් අනුව දරුවාගේ හිතේ ඇති වෙන සතුට වචනයෙන් විස්තර කරන්නත් බැහැ. නමුත් නිතරම දරුවන්ට තෑගි දුන්නොත්..තෑගි නැතුව යමක් කර ගන්න බැරි තැනට දරුවන් පත් වෙන්න පුලුවනිද..?

තෑග්ගක් දෙන්න නිමිත්තක් ඕන…

දරුවාට තෑග්ගක් ලබා දීමට නම් ඒ වෙනුවෙන් නිමිත්තක් තබා ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් දරුවන්ට පංතියක වුනත් රතු ලකුණු සහ කලු ලකුනු ලබා දීමෙන් වුනත් සිදු වෙන්නේ ඔවුන්ට ඇගයීමක් ලබා දීමයි. මේ ඇගයීම නිසා දරුවා යම් අභිප්‍රේරණයක් හෙවත් උත්තේජනයක් ලබනවා.

පංතිය අතු ගෑවොත්…පංතියේ ගුරු මේසයේ  මල් පෝච්චිය පිළියෙල කලොත්..දරුවාට රතු ලකුණු දැන් කාලයේ නම් ” හිනා මුහුණක් ” ලබා දෙනවා. ඒ වගේම ගෙදරදී කිරීමට ලබා දෙන ගෙදර වැඩ කිරීම , සියළුම ගණන් නිවරැදිව සැදීමත් රතු ලකුණු ලැබීමට අවස්ථාවක්.

ඒ වගේම පංතියේ හැසිරෙන රටාවේ පුංචි වුනත් වරදක් ඇත්නම් රතැනදී දරුවාට කළු ලකුණක් ලැබීමට හේතුවක්. මේ වර්ගකිරීම නිසා දරුවා කලු ලකුනුවලින් දුරස් වෙලා රතු ලකුණු ලැබීමට අවශ්‍ය අන්දමින් තමන්ගේ හැසිරීම ගොඩ නගා ගන්නවා.

නිවසේදීත් මේ රටාව…

ඉතින් නිවසේදී වුනත් දරුවාගේ හොද වැඩක් වෙනුවෙන් පුංචි වුනත් තෑග්ගක් ලබා දෙන්න දෙමව්පියන්ට පුලුවනි. තමන්ගේ කාමරය පිලිවෙලට තබා ගැනීම, පාසල් වැඩ කටයුතු වෙනුවෙන් උනන්දු වීම වැනි කටයුතු නිසා දරුවාට තෑග්ගක් ලබා දීමට දෙමව්පියන්ට පුලුවනි.

තෑග්ගක් වෙනුවෙන් වියදම්…

තෑග්ගක තියෙන්නේ මුදල්මය වටිනාකමක් නොවෙයි.දරුවාගේ හිතට සතුටක් ලැබෙනවා නම් නියම තෑග්ග එයයි. තෑග්ගක් වෙනුවෙන් දෙමව්පියන් විශාල වැයක් දැරුවත් එය දරුවාගේ මනසට උත්තේජනයක් නොවුනොත් සැබැවින්ම එය තෑග්ගක් නොවෙයි. සමහර විට ඔබ රුපියල් දහස් ගණනක් වැය කර මිලට ගන්නා සෙල්ලම් බයිසිකලයට වඩා නිවස අසලින් ගලා ගෙන යන ඇලක දොලක නෑමට දරුවා කැටුව යෑම එවුන්ට විශාල සතුටක් ලැබෙන කටයුත්තක් වේවි. එහෙම නැත්නම් දරුවා ප්‍රිය කරන රස කැවිල්ලක් හෝ වෙනත් අතුරුපසක් පිළියෙල කර දුන්නොත් රතරම් වටිනා තෑග්ගක් දරුවාට තවත් නොමැති වෙන්න පුලුවනි.

තෑග්ගක් දෙන්න පොරොන්දු වුනොත්…?

ඔබ දරුවාට තෑග්ගක් දීමට පොරොන්දු වුනොත් එය හෙටට කල් තබන්න එපා. සමහර විට හෙටටකල් තැබීම සමග එය නොලැබී ඔබට අමතක වෙන්නත් පුලුවනි. වචනයට පමණක් තැග්ගක් ලබා දෙනවාය යන පොරොන්දුව තබන්න එපා. ඔබ දරුවා ඉදිරියේ තෑග්ගක් දෙන බවට පොරොන්දු කර ගෙන යමක් ඉටු කර ගත්තේ නම් ඒ පොරොන්දුව මග හරින්න එපා.එසේ වුනොත් ඔබ ගැන දරුවාගේ හිතේ ඇති විහ්වාසය නොදැනීම බිඳ වැටෙන්න පුලුවනි.

අපේ අම්මා/තාත්තා හරිම බොරු කාරයෝ…තෑග්ගක් දෙනවා කිව්වා දැන් කොච්චර දවසක් වුනාද..? තවම නැහැ..ඔබ මුල් කර ගෙන දරුවාගේ හිතේ මෙවැනි මානසිකත්වයක් ගොඩ නැගුනොත් එය ර් තරමටම සුබවාදී වැහැ.

තෑග්ගක් පොරොන්දු වෙන්න පෙරාතුව..

ඔබ දරුවාට තෑග්ගක් දෙන්න පෙරාතුව ඒ තෑග්ග ලබා දීමට ඔබට හැකියාවක් ඇත්දැයි ඔබෙන් විමසා බලන්න. දෙවනුව දරුවාට පොරොන්දු වෙන්න. ඔබට දරුවා ඉදිරියේ ඉර, හඳ ගෙනත් තැබීමට නොහැකි බව දැන දැන එවැනි ඔබට ලබා දීමට නොහැකි ත්‍යාග ගැන බලාපොරොත්තු ඇති කරන්න එපා.

ඔබට තෑග්ගක් ලබා දීමට ඇති හැකියාව, අවස්ථාව ආදි සියල්ල ඔබ විසින් තක්සේරු කරන්න. ඔබට මෙවර මාසික වැටුපෙන් දරුවාට තෑග්ගක් මිලට ගැනීමට අවස්ථාවක් නොමැති නම් 

” මේ මාසයේ මම ඔයාට අහවල් තෑග්ග අරගෙන දෙනවා…” යැයි කියන්න එපා. ඒ නිසා තෑග්ගක් දීමට පෙරාතුව ඔබට ඇති හැකියාව ගැන හිතන්න.

තෑග්ගක් දීමෙන් මොකද වෙන්නේ…

සාමානයයෙන් පුංචි දරුවන්ට තැග්ගක් ලැබුනොත් එය ධනාත්මක ප්‍රතිචාරයක් වෙනවා. වයස අවුරුදු තුන හතරක දරුවන් තුළ ඔවුන්ගේ අකමැතිම කටයුතු තිබෙනවා. දත් මදින්න..නියපොතු කපන්න වගේ දරුවා අකමැති ක්‍රියාවන් වෙනුවෙන් ඔවුන්ගේ හිතේ ධනාත්මක ප්‍රතිචාර ඇති කිරිමට තැග්ගක් ලබා දීමෙන් ඉටු කර ගත හැකියි.

අද ඔයා දත් මැදලා..නියපොතු කපලා..හිටියොත් අපි හැන්දෑවට පාක් එක්ක යනවා.ළමා උදයානය දරුවා වඩාත් ඇළුම් කරන පරිසරයක් නිසා ඒ වෙනුවෙන් ඇති ඔහු අකමැත්තක් දක්වන කටයුතුවලට වුනත් නොදැනීම ධනාත්මක ප්‍රතිචාරයක් ගොඩ නගා ගන්නවා.

දරුවාගේ හිතේ සතුටක්…

පුංචි දරුවන්ගේ හිතේ සතුට ඇති කිරීමට දෙමව්පියන් කැමැතියි. තෑග්ගක් දීම නිසා ඔවුන්ගේ හිතේ අහංසක සතුටක් ඇති වෙනවා.සමහර විට දෙමව්පියන් ලෙස ඔබ මේ අත්දැකීම ලබා ඇති. බොහොම කුතුහලයෙන් තෑග්ග විවෘත කරන විට දරුවාගේ මුහුණේ ඇති වෙන වෙනස දෙමව්පියන්ටම දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

උනන්දුවක්…

සාමාන්‍ය වයස අවුරුදු පහ ඉක්මවු දරුවන්ගේ ඉගෙණුම් කටයුතු සංවර්ධනය කිරීමට තෑග්ග රහස් මෙවලමක් විදිහට භාවිතා කරන්න පුලුවනි. අකුරු ලියන්න, රචනාවක් ලියන්න අකමැති දරුවෙකුට ” ඔයා දවස ගෙවන්න කැමැති විදිහ / එහෙම නැත්නම් ඔයා යන්න කැමැති විනෝද චාරිතාවක් ….ගැන..ලියන්න..දරුවා එය ලිවීමෙන් පසුව තෑග්ගක් ලෙසින් ඔබට ඒ අවස්ථාව දරුවාට ලබා දීමට පුලුවනි.

තෑග්ග ආයුධයක් කර ගන්නා නම්…

දරුවන් වුනත් එකිනෙකා අතර වෙනස් අන්දමේ හැසිරීම් තිබෙනවා. සමහර විට දරුවාට තෑග්ගක් නැත්නම් යමක් ඉටු කර ගැනීමට බැරි තැනට පත් වුනොත් එවැනි අවස්ථාවන්හිදී තෑග්ගක වටිනාකම ගිලිහෙන්න පුලුවනි. ඒ නිසා දෙමව්පියන් ලෙස දරුවා තෑග්ග ආයුධයක් බවට පත් කර ගන්නා තැනට පත් කරන්නත් එපා.

 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මනෝ වෛද්‍ය විශේෂඥ එස්.සී.ඒ අරඹේපොල මහත්මිය

මහනුවර ජාතික රෝහල

 

 

 


                

ඔබේ නව යොවුන් දරුවා අයිති වන්නේ කුමන කාණ්ඩයටද…?

දරුවෙක් පුංචි කාලයේදී  දෙමව්පියන් සමග හැසිරෙන ආකාරයට වඩා ඔවුන් හැදුන වැඩුන පසුව බොහොමත්ම වෙනස්. සමහර විට මගේ කුසින් බිහි කර ගෙන හදා වඩා ගත්තු දරුවාද කියන තරමටම දරුවාගේ ගති පැවැතුම් වෙනස් වෙන්න පුලුවනි.විශේෂයෙන්ම  නව යොවුන් හෙවත් කුනාටු සමය ලෙසින් හැදින්වෙන මේ කාලයේදී දරුවන් සමග බොහොම පරිස්සමින් ගනුදෙනු කිරීමට සිදු වෙනවා.ඉතින් ඔබේ දරුවා ගේ මේ ගති පැවැතුම් ගැනත් ඔබ උනන්දුවක් දැක්වීම ඉතාම වැදගත්…

සාපරාධී හැසිරීම…

ඉතින් සාපරාධී කි සැනින් ඔබ බියක් ඇති කර ගන්න එපා. ඔවුන් මිනිමරුවන් එහෙම නොවෙයි. ඒ වුනත් ඔවුන්ගේ මානසිකත්වය බොහොම වෙනස්. කොටින්ම ඔවුන්ගේ හිත් සාමකාමී නැහැ. කවුරුන් හෝ  සමග හෝ අරගලයක පැටලීමට වැඩි නැඹුරුතාවයක් ඇති මේ දරුවන් නොමගට ඇදීමේ වැඩි ප්‍රවනතාවයක් තිබෙනවා.

උපන්නාට මේ ලොව වැනෙනවා විනා…

මෙවැනි නව යොවුන් කණ්ඩායම් අතර කිසිම අරමුණක් නැහැ.කොටින්ම තමාගේ අනාගතය මුල් කර ගෙන ගොඩ නගා ගත් ඉලක්කයක් නැති නිසා නිතරම දෙමව්පියන් සමග අරගල ඇති කර ගැනීමට යොමු වෙනවා මිසක තමා මුල් කර ගෙන ස්වයං වටිනාකමක් හෝ ඔවුන් තුළ ගොඩ නැගී නැහැ.දෙමව්පියන් විසින් දරුවාගේ අනාගතය ගොඩ නගා ගැනීම වෙනුවෙන් කොතරම් උත්සාහයක් ගත්තත් දරුවා වෙතින් ඒ සදහා කිසිදු අභිප්‍රේරණයක් ඇති වෙන්නේ නැහැ.මෙවැනි ගති පැවැතුම් ඇති දරුවෙකු සිටිනවා නම් එවැනි දෙමව්පියන් දැඩි ලෙසින් පිඩනයකට පත් වෙන්න පුලුවනි. ඊට හේතුව දරුවා තුලින් ඔවුන්ගේ අනාගතය ගොඩ නගා ගැනීමට කිසිදු සූදානමක් නොමැති විටෙකදී දෙමව්පියන්ද සැබැවින්ම අසරණ වෙනවා.

දෙමව්පියන්ගේ ඉලක්කයට යා ගත නොහැකි දරුවන්..

දරුවෙකු වෙනුවෙන් දෙමව්පියන්ගේ හිතේ ලොකු වටිනාකමක් ගොඩ නැගෙනවා.එය සාධාරණ සිතුවිල්ලක්.කවදා හෝ මගේ දරුවා විශිෂ්ටයෙක් බවට පත් කරනවාය යන සිතුවිල්ල මත රැඳී දෙමව්පියන් කටයුතු කළත්, දරුවා විසින් දෙමව්පියන්ගේ ඉලක්කයට කිසිසේත්ම සමීප නොවන අවස්ථාවන් තිබෙන්න පුලුවනි.

  • නමුත් ඒ ගැන කලකිරෙන්න එපා

ඔබේ ඉලක්කගත අරමුණට දරුවා සමීප නොවනවා නම් ඒ ගැන කලකිරෙන්න එපා. දරුවාට හැකි දුරක් පියඹන්න දෙන්න. ඔබට තිබෙන්නේ ඒ හැකි දුර පියඹා යෑමට අත්තටු සවිමත් කිරීම පමණයි.දරුවා ඔහුට හැකි දුර නිදහසේ පියඹා යාවි එය දෙමව්පියන් විසින් ගොඩ නගා ගත් ඉලක්කය නොවුනත් දරුවෙකු විසින් ස්වාධීනව ගමන්කරන සාර්ථක මාවතක් බවට පත් වෙනු ඇති.

බලාපොරොත්තු මටට්මට පැමිණෙන දරුවන්..

මුලින් සදහන් කළ විදිහට දෙමව්පියන්ගේ අපේක්ෂිත අරමුණට පත් නොවන දරුවන් වගේම දෙමව්පියන් විසින් බාල කාලයේදී අරමුනු කළ ඉලක්කයට පත් වෙන දරුවන්ද අප අතර සිටිනවා. මේ තත්වය නම් දෙමව්පියන්ගේ සෑහීමට හේතුවක් බව රහසක් නොවේ.

  • දෙමව්පියන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා වැඩි තැනකට පත් වෙන දරුවන්..

සමහර දරුවන් බාල කාලයේදී එතරම් ප්‍රභාවක් පෙන්නුම් නොකලත් ඔවුන් තුළ හදිසියේම වාගේ විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය වීමට පටන් ගැනේ. කොටින්ම ඔවුන්ගේ නිදිගත යෝධයන්ගේ පිබිදීම සමග ජීවිතයේ එවැනි හැරවුම් ලක්ෂයන් බිහි වීමට පටන් ගැනේ.අද දවසේ ශ්‍රි ලංකාවේ ඉතා වැදගත් තනතුරක් දරණ සහ පෞරෂයකින් යුක්ත ඔහු බාලකාලයේදී ඉතා පසුගාමී චරිතයකි. ඉගෙනුම් කටයුතු වෙනුවෙනුත් දුර්වලය. ඒ නිසා ඔහුගේ දෙමව්පියන් මේ දරුවා උසස් අධ්‍යාපනයක් ලබනු ඇතැයි හෝ බලාපොරොත්තු වූයේ නැත. ඒත් මේ දරුවාගේ නිදිගත යෝධයා අවදි විය. සාමාන්‍ය පෙළ විභාගය එතරම් ඉහළ අන්දමින් සමත් නොවුනත් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා මුල් වතාවෙන්ම අදාල ඉසෙඩ් අගය ලබා විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එතැනින්ද නොනැවතී පශ්චාත් උපාධි පවා ලබා ගෙන අද ඉහළ පෙළ කළමනාකරුවෙකු ලෙසින් සිය ජීවිතය ගොඩ නගා ගෙන ඇත.

විශ්වීය දරුවන්..

අද ලෝකයේ දරුවන් අතරින් 10% ක් පමණ දෙනා විශ්වීය දරුවන් බවට පත්ව සිටිති. ඔවුන් සැබැවින්ම අසිරිමත්ය.අදහා ගත නොහැකි හැකියාවන්ගෙන් සමන්විතය. මේ ගැන ඔබටත් යම් ඇසු පිරූ තැන් තිබිය හැක.වයස අවුරුදු 9 දී මහාචාර්යවරයෙකු බවට පත් දරුවෙකු ගැන තොරතුරු මේ දිනවල සමාජ මාධ්‍යජාලාවන්හි හුවමාරු වේ. ඒ වගේම මේඝ විජේවර්ධන නැමැති ශ්‍රි ලාංකික පුතනුවන්  නාසා ආයතනයේ NASA Space App Challenge ව්‍යාපෘතියට  සම්බන්ධ වී භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරුන් සමග රාත්‍රි දේශන වලට පවා සම්බන්ධ වුන මේඝට අවශ්‍ය වී තිබෙන්නේ වයස අවුරුදු 15 වන විට රොකට් විද්‍යාඥයෙකු වීමයි.මේ වෙන විට පුංචි මේඝ ”නාසා ආයතනයේ NASA Space App Challenge ව්‍යාපෘතියේ මෙහෙයුම් තානාපති තනතුර වෙනුවෙන් සුදුසුකම් සපුරා තිබේ.

  • ඔබේ දරුවා කොතැන වුනත් බිය වෙන්න එපා…

ඉහතින් සදහන් කරන ලද කරුනු අනුව ඔබේ නව යොවුන් දරුවා මේ කුමන හෝ කාණ්ඩයකට ඇතුලත් විය හැකියි. ඔහු විශ්වීය දරුවෙකු නොවනු ඇත. ඒ ගැන කම්පා නොවන්න. විශ්වීය දරුවෙකු යනු ආශ්චර්යමත් සංසිද්ධියක් නිසා නොලද දෙයට කම්පා නොවන්න.

නමුත් ඔබේ නව යොවුන් දරුවා සාපරාධී ගති පැවැතුම්වලින් යුක්ත නම් ඒ ගැනත් බිය නොවන්න. මේ දරුවා ඉතාම පහසුවෙන්ඔහුට යා හැකි ඉලක්කයක් වෙත යොමු කිරීමට හැකියාවක් තිබේ. නමුත් ඒ ඉලක්කය කිසිදු දිනක ඔබේ ඉලක්කය නොවිය යුතුයි.

ඔබේ දරුවා උපන්නාට මේ ලෝකයේ ජීවත්වෙන දරුවෙකු නම් ඔහුගේ මනස උත්තේජනය කරන්න.සතුට විනෝදය දරුවාගේ මනසට සමීප කරන්න. ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩ නගන්න.ඔහුට ජීවිතය ප්‍රබෝධයක් වේවි.

එහෙමනම්…නව යොවුන් දරුවන් සමග ගණුදෙනු කරන දෙමව්පියන් කොටින්ම දරුවාගේ හිත විමසන රහස් පරීක්ෂයෙක් බවට පත් වීම ඉතා වැදගත්.මේ කුනාටු සමයේදී දරුවාගේ පිබිදීම සහ බිඳවැටීම යන අවස්ථාවන් අතර පවතින දෝලනය මැනවින් පවත්වා ගන්න. එවිට දරුවාත්…ඔබත් …දිනුම්.

 

දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්වැලක් වන මූලික කුසලතා 10ක්

අපේ දරුවන්ගේ වර්ධනය අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවල වර්ධනය තීරණය වන්නේ ඔවුන් සතුව තියෙන කුසලතා සහ හැකියාවන් මත. ඉතින් ඔවුන්ගේ කුසලතාවන් වර්ධනය කරන්න පුළුවන් නම් අපිට ඔවුන්ගේ සන්නිවේදන ක‍්‍රියාවලිය ශීඝ‍්‍ර කරන්නට අනිවාර්යයෙන්ම පිටුබලයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්වැලක් වෙන්න පුළුවන් මූලික කුසලතා ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. මේ කුසලතා පිළිබඳ නිසි දැනුවත් බව දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් බොහෝ වැදගත් වෙයි.

අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්‍යාවශ්‍ය වන පෙර කුසලතා මොනවද?

1. අවධානය
ඕන කෙනෙකුට ඕනම දෙයක් ඉගෙන ගැනීමට අවධානය තිබිය යුතුයි. උදාහරණයක් විදියට පාඩම් කරද්දී නැත්නම් කාර්යාලයේ වෙනත් වැඩකදී එහෙමත් නැත්නම් වත්තේ පිටියේ වැඩකදී වුණත් ඒ කාරයය හරිම විදියට කරන්න නම් අපි ඒ ක‍්‍රියාවලියට අවධානය දිය යුතුමයි. ඉතින් අපේ දරුවන්ගේ අවධානය කියන කුසලතාවය හොඳින් තිබ්බොත් අපිට අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවය වර්ධනය කරන්නට ලොකු අත්වැලක් සපයන්න පුළුවන්. ඒක නිසා අපි දරුවන්ගේ සන්නිවේදන කුසලතා දියුණු කිරීමේදී අවධානය යොමු කළ යුතු ප‍්‍රධානම කුසලතාවයක් වන්නේ අවධානයේ මට්ටම දියුණු කිරීම.

2.පොදු අවධානය
දෙවන කුසලතාවය විදියට joint attention එහෙමත් නැත්නම් යමක් වෙනුවෙන් පවතින පොදු අවධානයයි. උදාහරණයක් විදියට මම ඔබට කිව්වොත් අර බලන්න, ඔබ මගේ ඇඟිල්ල දිහා බලලා ඒ ද්‍රව්‍ය දිහා බලනවා. ඉතින් යම් කිසි දරුවෙකුට මෙන්න මේ කියන කුසලතාවය නැත්නම් ගොඩක් වෙලාවට ඔහුට භාෂාව අවබෝධ කරගන්නට, එහෙම නැත්නම් සන්නිවේදන කුසලතාව වර්ධනය කරගන්නට ලොකු බාධාවක් විය හැකියි.

3. ඇසට ඇස බැලීම
අපි තවත් කෙනෙකු එක්ක කතා කරද්දි ඇසට ඇස නොබලා වෙනත් පැත්තක් බලාගෙන කතා කරනවා නම් අනිත් කෙනත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නේ නැහැ. ඔබට පුළුවන් නම් ඔබ කතා කරන පුද්ගලයාගේ ඇස දිහා බලාගෙන කතා කරන්න ඔබට අනෙත් පුද්ගලයත් එක්ක සම්බන්ධතාවය ගොඩනඟා ගන්න ඉතාමත්ම පහසුයි. ඉතින් අපේ දරුවන්ගේ eye contact එහෙමත් නැත්නම් ඇසට ඇස බැලීමේ කුසලතාවය වර්ධනය කිරීමත් සන්නිවේදන කුසලතා දියුණු කිරීමේ මූලික ආරම්භක කුසලතා වල එන තවත් එක් කුසලතාවක් වෙනවා.

4. තේරුම් ගැනීමේ හැකියාව
මෙය සන්නිවේදන කුසලතාව වර්ධනය කිරීමේදී විශාල කාර්යයභාරයක් ඉටු කරනවා. මේක අපිට අදියර කීපයකින් හඳුනා ගත හැකියි.
පරිසරයේ සිදුවන සිදුවීම් තේරුම් ගැනීමේ හැකියාව
උදාහරණයක් විදියට කෝච්චියක් ගත්තොත්, කෝච්චියක් යනවා, කෝච්චිය එන්නේ මේ පැත්තේ ඉදලා මේ පැත්තට කියලා අවබෝධය දරුවට තියෙන්න ඕන. ඒ වගේම අපි හිතුවොත් බස් එකක ශබ්දයක් අපිට ඇහෙනව නම් ආ බස් එක එන්නේ මේ පාරේ, මෙන්න මේ දිශාවට තමයි බස් එක යන්නේ. කෝච්චියේ ශබ්දයෙන් බස් එකේ ශබ්දය වෙනස් කරලා හඳුනාගැනීමට හැකිවීම වැදගත්. අන්න ඒ වගේ පරිසරයේ සිදුවන විවිධ විවිධ ශබ්ද තේරුම් ගැනීම සහ ඒවට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව දරුවාගේ සන්නිවේදන කුසලතා වර්ධනයේදී ඉතාමත්ම රුකුලක් වෙනවා.
විවිධ පුද්ගලයන් හඳුනාගැනීම සහ ඔවුන්ට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව
අපි හිතුවොත් කුඩාම වයසේ දරුවන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් හඳුනාගන්න අමාරුයි. හැබැයි වයසින් මුහුකුරා යද්දී කුසලතාව වර්ධනය වෙද්දී දරුවට පුළුවන් මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ පවුලේ සාමාජිකයෙක්, මේ අපේ පවුලේ සාමාජිකයෙක් නොවන කෙනෙක් කියන අවබෝධය ලබාගන්න. මෙන්න මේ විදියට විවිධ පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති හැකියාවත් ඒ ඒ විවිධ පුද්ගලයින්ට විවිධ අයුරින් ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවත් දරුවන්ගේ සන්නිවේදන කුසලතාව වර්ධනයට අත්වැලක් වන මූලික කුසලතායි.

5. විවිධ ශබ්ද හඳුනාගැනීම හා එම ශබ්ද අනුකරණය කිරීමට දරුවට ඇති හැකියාව
ගොඩක් වෙලාවට අපි දරුවොත් එක්ක සෙල්ලම් කරද්දී විශේෂයෙන්ම කුඩාම වයසේ දරුවොත් එක්ක සෙල්ලම් කරද්දී අපි සෙල්ලම් කරනවා සතුන්ගේ ශබ්ද භාවිත කරලා, එහෙමත් නැත්නම් වාහනවල ශබ්ද භාවිත කරලා. ඉතින් අපිට මේ වගේ ශබ්ද එක්ක කරන සෙල්ලම් අපි කියනවා vocal play කියලා. මෙන්න මේ ක‍්‍රියාකාරකම් වලදී දරුවට පුළුවන් නම් මෙන්න මේ ශබ්දය එන්නේ මෙන්න මේ සතාගෙන්, මෙන්න මේ ශබ්දය අදාල වෙන්නේ මෙන්න මේ වාහනයට කියන දේ ගලපගන්න සහ ඒ ශබ්ද නැවත නැවත අනුකරණය කිරීමට එයත් සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට දරුවන්ට මහත් රුකුලත් වෙනවා.

6. එකිනෙක ගැලපීමේ හැකියාව
මෙයත් සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට රුකුලක් වෙන කුසලතාවක් වෙනවා. උදාහරණයක් ‍විදියට පෑනක් පෙන්නලා මොකක්ද කියලා විමසූ විට එය පෑනක් ලෙස හඳුනාගෙන, එය පෑනක් ලෙස නම් කිරීමට නම් මොළයේ භාෂාව සම්බන්ධ කොටසේ ක‍්‍රියාවලීන් කීපයක් සිද්ධ වෙනවා. පළවෙනිම දේ තමයි මෙන්න මේ දකින දේ මොළයේ ද්‍රව්‍ය පිළිබඳ මතකය තැන්පත්ව ඇති කොටසේ තිබෙන ද්‍රව්‍යත් එක්ක ගලපගන්න දරුවට හැකියාව තියෙන්න ඕන. ඒ ගලපගත්ත පින්තූරයට ගැලපෙන වචනය අඳුරගන්න ඕන. පැන්සල, පෑන, පිඟාන, කෝප්පය කියන මේ වචන ගොන්න අතුරින් මේ දෙය මොකද්ද ඒකට ගැලපෙන වචනය පෑන කියන වචනයයි කියලා දරුවට ගලප ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ මොළය මගින් කටට අවශ්‍ය සංවේදනය, පණිවිඩය එවනවා පෑන කියන වචනය කියන්න කියලා. ඉතින් ඒ අතින් බලද්දී ගලපා ගැනීම සන්නිවේදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයක්.

7. වාචික නොවන සන්නිවේදන ක්‍රම (non verbal communication strategies) හඳුනා ගැනීම
මුහුණේ ඉරියව්, අත්වලින් පෙන්වන දේවල්, චලනවලින් පෙන්වන දේවල් පින්තූර වලින් පෙන්වන දේවල් හඳුනාගැනීමට ඇති හැකියාවයි. අපි හිතුවොත් දරුවෙක්ට දුක මූණක් දැක්කම මෙයාට දුක හිතෙන සිද්ධියක් සිද්ධ වෙලා, දැන් මෙයා ඉන්නේ දුකෙන්. එහෙමත් නැත්නම් අපිට කේන්ති ගිහින් ඉන්න වෙලාවට දැන් නම් අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ, මේ වෙලාවේ මං අම්මට කතා කරන්න ගියොත් බැනුම් අහන්න වෙනවා. මේ කියන අවබෝධය දරුවෙක්ට ගන්න පුළුවන් නම් ඒ non verbal communication පිළිබඳ තියෙන අවබෝධයයි. ඒක නිසා non verbal communication ගැන දරුවා යම් කිසි මට්ටමකින් කුසලතාවයක් දක්වනව නම් ඒ කුසලතාවය දියුණු කිරීමට අත්වැලක් සපයන එක අනිවාර්යයෙන්ම සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමට දරුවාට අත්වැලක් වීමට හැකි කාර්යයක් වෙනවා.

‍8. සරල විධාන සහ කුඩා වාක්‍ය තේරුම් ගැනීමට ඇති හැකියාව
යම් කිසි දරුවෙකු වචන භාවිත කරනව නම් වචන කතා කරන්න පුළුවන් නම් යම් කිසි මට්ටමකට අවබෝධය තියෙනව නම් අපේ ඊලඟ පියවර විය යුත්තේ සරල වාක්‍ය සහ සරල විධාන තේරුම් ගැනීමට දරුවාට තියෙන හැකියාව දියුණු කිරීමට ක‍්‍රියාකාරකම් කිරීම. අපිට පුළුවන් පොඩි පොඩි ද්‍රව්‍ය දීලා දරුවට කියන්න පුළුවන් මේක අම්මට දෙන්න, මේක තාත්තට දෙන්න එහෙම නැත්නම් මට ඔයාගේ ඇස් පෙන්නන්න. අපිට දේවල් ඇහෙන්නේ මොකෙන්ද, බෝතලය අරගෙන කෝප්පය උඩින් තියන්න. මෙන්න මේ වගේ විවිධ විධාන දීලා විවිධ විධාන වලට කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ කියන එකට දරුවාව හුරු කළ හැකියි.

9. වාර ගනිමින් සෙල්ලම් කිරීම
interactive play activities වලට යොමු වීමත් දරුවගේ සන්නිවේදන කුසලතාවන් දියුණි කිරීමට අපිට තවත් අත්වැලක් වෙන්න පුළුවන්. අපි හිතුවොත් බෝලය එකිනෙකා අතර පාස් කරමින් සෙල්ලම් කරන විට එය නිකම්ම පාස් කරනවාට වඩා තාත්තගේ වාරේ, බබාගේ වාරේ, තාත්තාගේ වාරේ බබාගේ වාරේ මේ විදිහට වාර ගනිමින් අපට ඒ වාර ගන්න කෙනාගේ නම කියමින් බෝලය පාස් කළ හැකි නම් එකිනෙකා අතර වාර ගැනීම පිළබඳ දරුවට අවබෝධය තියෙනවා. ඒ වගේම මේ එකිනෙකා අතර වාර ගැනීම පිළිබඳ අවබෝධය සන්නිවේදන කුසලතා වලට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එතකොට තමන් විතරක් කතා කරනවා වෙනුවට මම කතා කලාට පස්සේ මගේ කතාවට ප‍්‍රතිචාර දක්වන්න තව කෙනෙක් ඉන්නවයි කියන අවබෝධය දරුවට ලබෙනවා.

10. චරිත නිරූපණය
ඔබට පුළුවන් පොඩි පොඩි ක්‍රියාකාරකම්වල යෙදෙන්න. උදාහරණ විදියට මම තමයි අම්මා, බබා තමයි තාත්තා. ඒ විදියට අපිට නොයෙක් සංවාද ගොඩනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මම තමයි ටීචර්. බබා තයි පන්තියේ ‍ඉගෙන ගන්නේ. ඔන්න අම්මා තමයි ලෙඩ වෙලා ඉන්නේ. බබා තමයි ඩොක්ටර්. මෙන්න මේ විදියට එදිනෙදා ජීවිතයේ අපි මුහුණදෙන අත්දැකීම් විවිධ විවිධ සෙල්ලම් ආශ‍්‍රයෙන් දරුවා සමග සිදු කළ හැකියි.

කථන චිකිත්සකවරයෙක් වෙත ඔබ ඔබේ දරුවා රැගෙන යන්නේ කතාවේ ඇති අඩුපාඩුවක් නිවැරදි කරගන්න වුණත් ඇතැම් විට ඔවුන් දරුවා සමග සෙල්ලම් කරනවා, බෝල දානවා, සබන් බෝල පුම්බනවා, කතන්දර කියලා දෙනවා දකිද්දි එය ගැටලු සහගත අත්දැකීමක් විය හැකි වුවත් එතැනදී සිදුවන්නේ කතාවේ දියුණුව වෙනුවෙන් දරුවෙකුගේ පෙර කුසලතා වර්ධනය කිරීම බව වටහා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ භාෂා හා කථන ව්‍යාධිවේදී, ආචාර්ය නිමීර වීරරත්න මහතා 

 


                

දරුවන් ස්වාධීන වෙන්න කැමැතියි…

මේ පුංචි කතාව ඔබ කියවන්න..එයින් පසුව ඔබත් දරුවා සම්බන්ධව මෙවැනි සිදුවීමකට මුහුණ  දුන්නොත් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද..?

අපි මේ දරුවා ”මයික්” යැයි නම් කරමු. ඔහු වයස අවුරුදු අටක් වැනි පුංචි වයසක දරුවෙක්.සෑම පාසල් නිවාඩුවකදීම දෙමව්පියන් සමග සීයා බැලීමට යන මයික් මේ වතාවේ අපුරු ඉල්ලීමක් කලේය.

මට මේ නිවාඩුවේ සීයා බලන්න තනියම යන්න ඕන.

ඔයා කොහොමද යන්නේ..?

කෝච්චියේ..

හරි.. එහෙමනම් ලෑස්ති වෙන්න. අපි නැතුව ඔයාට තනියම යන්න පුලුවනිද..?

ඔව්..

හොදටම විශ්වාසයි..

ඔව් මට පුලුවනි..

මයික්ගේ දෙමව්පියන් ගමනට අවශ්‍ය සියලුම දේ සූදානම් කලා. දැන් මයික් පිටත්වෙන්න සූදානම්.

පුතා පරිස්සමෙන් යන්න..මේ ලියුම ඔයාගේ සාක්කුවේ තියා ගන්න. හදිසියක් වුනොත් ලියුම කඩලා බලන්න..අලවන ලද ලියුම් කවරයක් මයික්ගේ සාක්කුවේ තබා අම්මා එහුට ගමනට අවසර දුන්නාය.

මයික් පිටත්ව ගියේය. ඒත් දුම්රියපොළ අසලට යන විට ඔහුට හිතුනේ පාරේ යනෙන සියලු දෙනාම තමා වෙත බලා සිටින ආකාරයක්.දැන් මයික්ගේ හිතට බියක් ඇති විය. ඇස් කදුලින් පිරී ගියේය.දෙපා පණ නැති වෙන්නා සේ දැනිනි.

කමක් නෑ..බයක් වුනොත් කරන දේ මේ ලියුමේ ඇති.ඔහු කවරය විවෘත කළේය.

පුතේ…බයවෙන්න එපා. අපි කෝච්චියේ ”සී ” පෙට්ටියේ…එහි ලියා තිබුනේ එපමණකි.

තනියෙන් ගමට යන්නට පැමිණි මයික්ගේ බිය දැන් අවසානයි.තමා පරාජය වුනේ නැතැයි යන හැඟීම හිතේ විය.

පුංචි දරුවන් වුනත් පුංචි කමට යම් යම් විදිහට ස්වාධීනත්වයක් අපේක්ෂා කරනවා.එතැන ඇති වරදක් නැහැ.නමුත් පුංචි වෙනසක් තියෙනවා.දෙමව්පියන්ගේ පැත්තෙන් බලන විට ඔවුන් දරුවන්ට යම් ආකාරයකින් ස්වාධීනත්වයක් ලබා දීමට පුංචි බියක් දක්වනවා.

ගැටුමකට මුල පුරන්නත් පුලුවනි…

දරුවා තමන්ගේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන ආරම්භ කරන විට දෙමව්පියන් විදිහට ඔබ ඒ වෙනුවෙන් විරෝධයක් ඇති කරනවා නම් ඔන්න…දැන් දෙපාර්ශවයම සටනට ආයුධ අරගෙන අවසානයි. මට කැමැති දෙයක් කරන්න අම්මා ඉඩක් දෙන්නෙම නෑ… කියද්දී ඔයා තවම පුංචියි…අපේ කෑම ඇඳිම යටතේ ඉන්නේ…ඒ හින්දා ඔයාට ඕන විදිහට හැසිරෙන්න බැහැ..මේ විදිහට විරෝධය පාන අවස්ථාවන් ඔබේ ජීවිතයේ ඕනෑ තරම් ඇති.ඒ වගේම ඔබේ බාල කාලයේදී ඔබේ දෙමව්පියන් විසින් මේ විදිහට ඔබේ ඉල්ලීම් ප්‍රතික්ෂෙප කරන්නත් ඇති.

එතැනත් සාධාරණයි…

දරුවන් ස්වාධින වෙන්න ගසේ යම් අනතුරක් කර ගත්තොත් සමහර විට එය ජීවිතයෙන් වන්දි ගෙවන තරම් අවදානම් කටයුත්තක්. අපි මෙහෙම කියමු. වාහනයක් පදවන පිපාසයෙන් පසුවෙන නව යොවුන් දරුවෙන් ඒ ගැන නිසි පුහුනුවක් නොමැතිව වාහනය පදවන්න ගියොත් එය අවදානම් සහිත දෙයක්. ගොඩ ඉඳන් පීනන්න බැහැ කියනවා වගේ පදවන රියට අනතුරු සිදු වෙන බව ඇත්ත. ඒත් මෙතැනදී රථයත් දරුවාත් යන දෙදෙනාගේම ආරක්ෂාව සහතික වීම වැදගත්. තවත් අන්දමකින් කිවහොත් යකඩ ගොඩක් නම් නැවත් පිළිසකර කර ගන්න පුලුවනි. මුදලින් හානියක් වුනොත් එය නැවත ලබා ගන්න පුලුවනි. ඒත් දරුවාගේ ජීවිතය ඒ විදිහට තක්සේරු කරන්න බැහැ.

මේ නිසා දරුවාගේ හැකියාවන් සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුලුවනි.

මනෝ විද්‍යාඥයින් පවා පෙන්වා දෙන අන්දමට දරුවෙකුගේ බොහෝ කුසලතාවයන් සැගවී තිබෙන අතර නිදිගත් යෝධයන් අවදි වෙන්න පුලුවනි. ඒ අතර දැවැන්ත යෝධයන් සිටින්න පුලුවනි.නමුත් මේවාට අවදි වෙන්න ඉඩ නොදුන්නහොත් උපන්ගෙයිම මියයන්න පුලුවනි. 

එහෙමනම් දෙමව්පියන් විදිහට ඔබ කටයුතු කරන්නේ කොහොමද…?

දරුවෙක් ස්වාධීනව යමක් කිරීමට ඉඩ ඉල්ලා සිටිනවා නම් ඒ වෙනුවෙන් පෙර සූදානම දෙමව්පියන් විසින් ලබා දීම වැදගත්. එසේ නොමැතිව දරුවාට ඔහුගේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂෙප කිරීම වගේම ඔහුගේ මනාපයට එය සිදු කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සුදුසු නැත.

දෙමව්පියන්ගේ උදව්ව දරුවාට ශක්තියක්…

දරුවා ස්වාධීනව යමක් කිරීමට දරන උත්සාහයේදී දෙමව්පියන්ගේ උදව්වක් ඒ වෙනුවෙන් ලැබෙනවා නම් එය දරුවාට විශාල ශක්තියක්. තමාට ධෛර්ය වෙනුවෙන් දෙමව්පියන්ගේ උදව්ව ලැබෙන නිසා දරුවාගේ ආත්ම ශක්තිය වර්ධනය වෙනවා.එමෙන්ම යම් අපහසුතාවයක් හෝ බිඳවැටීමක් සිදු වුන විට තමා පිටිපසින් දැවැන්ත ශක්තියක් ඇති බැව් දරුවා ඒත්තු ගන්නවා.

එහෙමනම්…ඔබේ දරුවාගේ ස්වාධීනත්වය වෙනුවෙන් යම් දායකත්වය දීම වැදගත් බැව් ඉහත දැක්වෙන සිදුවීමෙන්ම පෙනෙනවා නේද..?මයික්ගේ ඉල්ලීම මව්පියන් ඉවත දැම්මේ නැත. නමුත් ඔහුගේ ආරක්ෂාව ගැනත් ඔවුන් සහතික විය.ඉතින් ඔබේ දරුවා සම්බන්ධවත් මෙවැනි සිදුවීම් ඇති වුනොත් මත ගැටුමකට මුල පුරන්න එපා. ස්වාධීන වීමට ඉඩ දෙන්න. ආරක්ෂාව ගැන සහතික වෙන්න.එවිට දරුවා වගේම ඔබත් දිනුම්..

 

 

ගුණ ධර්ම වලින් හෙබි හොඳ පුරවැසියෙක් රටට දායාද කරන්නට බලාපොරොත්තුවන දෙමාපියන්ටයි

අපි කවුරුත් කැමති අපේ දරුවන් ගති පැවතුම්, ගුණ ධර්ම අතින් ඉහළින්ම ඉන්නවා දකින්නයි. ඒත් මෙහිදී වැදගත් කරුණ වන්නේ දරුවන්ගේ අනාගතය ඔබවත් කිරිමට නම් වැඩිහිටි අපගේ මගපෙන්වීම අවශ්‍ය වන බවයි. අපේ දරුවෝ බොහෝ දෙනෙකක් අනුගමනය කරන්නේ අපි කියන දේට වඩා අපි කරන දේයි. ඒ කුඩා දරුවෝ අනුකරණයට ඉතාම දක්ෂ නිසයි. 

”අනේ ඒ දරුව නම් රත්තරන් වටින පුතෙක්, අනේ ඒ දරුව නම් රත්තරන් දුවෙක්” කියන මෙන්න මේ වචන ටික ඔබේ කනට ඇහෙන්න ලැබීම පුදුම වාසනාවක් කියලා ඔබට හිතෙනවා. ඉතින් අපේ මේ පුංචි පැටවුන්ට හොඳ ගතිගුණ ඒ වගේම ගුණ ධර්ම කියලා දෙන්න සුවිශේෂී ක‍්‍රම තියෙනවද? 

  • කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වන්න

ඇත්තටම මුලින් සඳහන් කළ විදියට අපේ දරුවෝ ගොඩක් දෙනෙක් අපි කියන දේට වඩා අපි කරන දේයි අනුගමනය කරන්නේ. ඔබ බොහෝමයක් දේවල් ඔබේ දරුවන්ට කියනවා ඇති. හැබැයි ඒ කියන බොහෝමයක් කාරණා වලට වඩා ඔබ කරන දේ පිළිබඳව දරුවෝ බොහෝ විමසිලිමත්ව බලාගෙන ඉන්නවා. අනන් ඒ නිසාම වැඩිහිටි අපි සිහි තබා ගත යුතු ප‍්‍රධානම දේ වන්නේ වැඩිහියන් ලෙස අපි මොනවද කරන්නේ, අපේ හැසිරීම කොහොමද කියන කරුණයි.

අපේ දරුවෝ හරිම රෞද්‍ර ලෙස හැසිරෙනවා නම්, අපේ දරුවෝ නිතැතින්ම ප්‍රචණ්ඩ නම් එයට ප‍්‍රධාන හේතුව ඔවුන් දකින, හැදෙන පරිසරය. ඉතින් එතැනදී දෙමව්පියන් විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා යහපත් ගුණ ධර්ම වලින් හෙබි දරුවෙකු රටට දායාද කරනවා නම් අනිවාර්යෙන්ම නිවසේ පරිසරය ඊට ගැලපෙන සහ ඊට අනුගත වන පරිදි සකසා ගැනීම සම්බන්ධව. 

උදාහරණයක් ලෙස ගතහොත් ඔබ, ඔබේ දෙමව්පියන්ට සලකනවා නම් දරුවන්ට ඔබට සලකන්න කියා දීම අවශ්‍ය නැහැ. අසරණව සිටින පුද්ගලයන්ට ඔබ උදව් කරනවා නම්, ඔබේ දරුවාත් එය ඔබෙන් උකහා ගනීවි. ඔබ, ඔබේ සහෝදර සහෝදරියන් සමග ඉතාමත් මිත‍්‍රශීලීව කාලය ගත කරනව නම්, ඔබේ දරුවනුත් තම සහෝදර සහෝදරියන් සමග මිත‍්‍රශීලිව කාලය ගත කරාවි. ඒ ඔබේ දරුවා තම පරිසරයෙන්ම ඒ දේ අත්දිමින් ඉගෙන ගන්නා නිසයි. අන්න ඒ වගේ අ‍පේ ක්‍රියාවන්වලට අනුව අපේ දරුවෝ හරි දේ වගේම වැරදි දේත් ‍තම මනස තුළ රෝපණය කර ගත හැකියි. 

හිතන්න, ඔබ ඔබේ දරුවගෙන් යම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. එය සිදු කළ පසු ඔබ අනිවාර්යෙන්ම දරුවාට ස්තුති කළ යුතුයි. එවිට අනිවාර්යෙන්ම ඔබේ දරුවත් නිතැතින්ම එය ඉගෙන ගන්නවා. කවුරු හෝ ඔබට උදව්වක් කළොත් ස්තුතිය කියන්න කියා ඔබ දරුවාට කියා දුන්නට වඩා ඔබ එය ක්‍රියාවෙන් සිදු කළොත් එය ඉතා ශීඝ‍්‍රයෙන් දරුවාගේ මොළය මගින් උකහා ගන්නවා. අපි දෙමව්පියෝ විදියට බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතාම වැදගත්. දරුවන්ට යහගුණ, හරි වචන, හොඳ පුරුදු කියලා දෙනව නම් එය ක‍්‍රියාවෙන් පෙන්වන්න. එවිට දරුවෝ නිරායාසයෙන්ම එය ඉගෙන ගන්නවා. 

  • ආදර්ශමත් කතා පොත් කියවන්න ඉඩදෙන්න

ජාතක කතා ආශ‍්‍රයෙන්, ආගමික ඉගැන්වීම් ආශ‍්‍රයෙන් වගේම විවිධ විවිධ පණිවිඩ රැගත් විවිධ පොත් ඇති අතරම එවැනි ආදර්ශමත් කතා දරුවාට කියවීමට දීමෙන් නිතැතින්ම යහ පුරුදු ඉගෙන ගැනීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. 

  • දහම් පාසල් යවන්න

ඔබ මොන ආගමේ වුණත් ඉරිදට ගොඩක් ආගමික ස්ථානවල විවිධ විවිධ දහම් පාසල් පැවැත්වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ දරුවා දහම් පාසලට යොමු කරන්න, නැත්නම් ඔබේ දරුවට පූජ්‍ය පක්‍ෂය ආශ‍්‍රය කරන්න අවස්ථාව සලසා දෙන්න. මෙමගින් දරුවාගේ චරිත සංවර්ධනය කරන්න ඔබට දායක වෙන්න පුළුවන් ප‍්‍රමාණය අතිමහත්. දහම් පාසලකින් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් ඒ ඒ ආගමික පසුබිම සම්බන්ධ දේවල්ම විතරක් නෙවෙයි. දහම් පාසලකින් චරිත සංවර්ධනයට, යහ පුරුදු ඉගෙන ගැනීමට, ඒවා භාවිත කිරීමට ලොකු අත්වැලක් ලැබෙනවා. ඉතින් අනිවාර්‍යයෙන්ම ඔබේ දරුවා ඔබට අවශ්‍ය නම් යහපත් පුරවැසියෙක් විදියට රටට දායාද කරන්නට දහම් පාසලත් සමග එක්කාසු කිරීම වැදගත් තීරණයක් බව කිව යුතුමයි

  • දරුවගේ යහපුරුදු දැක්කම ඒවා අගයන්න

ඇගයීම දරුවන්ගේ හොඳ ලක්‍ෂණ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට ඔවුන්ට රුකුලක් බව අමතක කරන්න එපා. යම් කිසි හොඳ දෙයකදී හොඳ/ධනාත්මක ප‍්‍රතිචාරයක් දරුවාට දක්වන්න ඔබට පුළුවන් නම් වගේම එය අගය කරමින් එය කතා කරන්නත් අනිත් පුද්ගලයින් ඉදිරියේ එය වර්ණනා කරමින් කතා කරන්නත් ඔබට පුළුවන් නම්  දරුවා නිතැතින්ම ඒ වගේ හැසිරීම් රටා ඉදිරියට පවත්වාගෙන යන්නට ලොකු රුකුලක් වනවා. 

  • අපේ ජීවිත පාඩම් දරුවන් එක්ක බෙදාහදාගන්න

අපිට පුළුවන් නම් දරුවන්ට අපේ ජීවිතයේ විවිධ වැදගත් සිදුවීම් අලලා අපි පාඩම් ඉගෙන ගත්ත තැන් අලලා දරුවන් සමග කතා කරන්නට එමගින් දරුවන්ට ගොඩක් දේවල් ඉගෙන ගත  හැකියි. අපිට පුළුවන් අපි චූටි කාලේ මේ වගේ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා, ඒ වගේ සිදුවීමකදී මම මේ විදියට තමයි කටයුතු කළේ, මට ඒකෙන් මේ වගේ ප‍්‍රතිචාරයක් ලැබුණේ යනාදි වශයෙන් දරුවා සමග ඔබට කතා කරන්න අවස්ථාව සලසා ගත්තොත් දරුවාගේ චරිතයසංවර්ධනය වෙනුවේ ඔබට අනිවාර්යෙන්ම ලොකු අත්වැලක් විය හැකියි. 

  • දරුවට ඇහුම්කන් දෙන්න

ඔබ, ඔබේ දරුවාට ඇහුම්කන් දෙන අම්මෙක් තාත්තෙක් නම් පාසලේ සිදුවන සිදුවීම්, නිවසේ සිදුවන සිදුවීම් පිළිබඳව නිතැතින්ම දරුවා හරහා ඔබට අවබෝධයක් ලබාගත හැකියි. දරුවා වැරදි ක‍්‍රියාමාර්ගයකට යොමු වී නම් ඔහුව නිවැරදි කරන්නටත් ඒවගේම දරුවා විසින් යම් කිසි හොඳ දෙයක් කර ඇත්නම් එය ඇගයීමටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. 

වැඩිහිටි අපි සැමවිටම වටහා ගත යුතු දෙයක් වන්නේ අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ කියන කරුණයි. ඔබ කෙහෙත්ම අකැමතියි  ඔබේ දරුවා හිරගෙදරක, මහමග දුක්විඳිනවා දකින්න. එසේ නම් ඔබ අද කළ යුත්තේ ඔබ අද දවසේ ගත යුතු නිවැරදි තීරණය ගැනීමයි. අද වන විට අපි අපේ ජීවිත තරගයට නොදැනුවත්වම අවතීර්ණ වෙලා. ඒ තරගය නිසා හොඳ පුරුදු/යහපත් ගති පැවතුම් අපිට අමතක වෙලා. ඒත් අපි ඒවා අපේ දරුවන්ට ඉගැන්නුවොත්  අනාගතයේ අපේ දරුවෝ ලස්සන ජීවිත ගත කරනවා දකින්නට හැකියි. 

ඉතින් අපේ දරුවන්ට පුංචි කාලයේදීම එකිනෙකාට ගරු කරන්න ඉගැන්නුවොත් අනිවාර්යෙන්ම ඔවුන් වැඩිවියේදී අනෙකාට ගරු කරන්න පුරුදු වෙනවා. ඉතින් මේ විදියට පුළුවන් නම් හරිදේ මොකක්ද වැරදි දේ කුමක්ද, කියලා දරුවන්ට කුඩා කාලයේම හඳුන්වලා දෙන්න, ක‍්‍රියාවෙන් පෙන්නලා දෙන්න දරුවෝ අනිවාර්යෙන්ම ඔබව අනුකරණය කරමින් ඔබට අවශ්‍ය මාර්ගයේ ගමන් කරාවි. කක්කුට්ටා ඇදේ යන ගමන් ඔවුන්ගේ දරුවන්ට කෙලින් යන්න කියලා හරි යන්නේ නැහැ. ඒක නිසා අපි ඉස්සෙල්ලා කෙලින් යන්න  ඕන. එහෙම වුණොත් අපේ පැටවු අපි පිටිපස්සේ කෙලින් එයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ භාෂා හා කථන ව්‍යාධිවේදී, ආචාර්ය නිමීර වීරරත්න මහතා 

 

 

 

 


                

ආහාර විස වෙන්නේ ඇයි…..

විශාල පිරිසකට ආහාර පිසින විට වගේම දුර ගමන් සංචාරයේ යෙදෙන විට අපි ගන්නා ආහාර විෂ වෙන අවස්ථාවන් ගැන නිතරම අපට අසන්නට ලැබෙනවා. පාසල් දරුවන්ගේ ආහාර වේල්, ඇගලුම් කම්හල්වල, වෙනත් උත්සව අවස්තාවන්හිදී ආහාර විෂ වීම ගැන පුවත් බොහොම සුලබයි. ඒ වගේම මේ තත්වය අද ඔවුන්ට නම් හෙට මටද විය හැකියි…ඒ නිසා ආහාර විෂ වීමට බලපාන හේතු කාරණාවන් ගැන දැණුවත් බවක් ලබා ගත්තොත් අපේ ආරක්ෂාව අපටම සලසා ගත හැකියි. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා විසින් 

ජීවත්වීමට ආහාර අවශ්‍ය බව ඇත්ත. එත් අපි ගන්නා ආහාර විෂ වීම නිසා ඇති වෙන මරණ පිලිබඳවත් අපිට නිතරම අසන්නට ලැබෙනවා. විශාල පිරිසක් එක්ව ආහාර ගැනීමේදී වගේම විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිළියෙල කරන අවස්ථාවන්හිදී මෙවැනි තොරතුරු අපිට වාර්තා වීම නිතරම සිද්ධ වෙනවා. ආහාර විෂ වීමට බලපාන කරුණු ගැන අපි දැණුවත් වුනොත් ආහාර විෂවීම නිසා ඇති වෙන ජීවිත අහිමිවීම් වලක්වා ගැනීම එතරම් අපහසු නැහැ.

ක්ෂුද්‍ර ජීවින් ආහාර සමග ශරීරගතව මුලින්ම හානි කරන්නේ මහ අන්ත්‍රවලට. මේ නිසා ආහාර ගැනීමෙන් පැය බාගයක සිට පැය තුනක් අතර කාලයේදී උදරයේ දැඩි අපහසුතාවයක් දැනෙනවා. ඒ සමගම හිසරදය,උණ , වමනය වැනි රෝග ලක්ෂණ පහල වෙන්නත් පුලුවන්. මේ තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එකම ආහාර විෂ වුනත් සමහර අය රෝග ලක්ෂණ කීපයක් පමණක් පෙන්වන අතර  තවත් අයට මරණය පවා සිද්ධ විය හැකියි.

විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිසින විට මේ තත්වය ඇති වෙන්නේ ඇයි….

විශාල පිරිසක් වෙනුවෙන් ආහාර පිසීම සහ අනුභවය අතර සෑහෙන කාලයක් ගත වෙනවා. එය පැය හතරේ සිට පැය හයක් වැනි දීර්ඝ කාලයක්.මේ කාලයේදී බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ඇති වෙනවා. විශාල පිරිසකට ආහාර පිලියෙල කරන නිසා භාජන පවා ප්‍රමාණයෙන් විශාලයි. ඒවා කිලෝග්‍රෑම් පණහ හැටක් වැනි ප්‍රමාණයක්. එයින් පසුව පිසින ලද බත එම භාජනයේම නිවෙනවා. පැය කීපයක් යන විට මතුපිට බත් සිසිල් ගතියක් දැනුනත් ආහාර සමග භාජනයේ මධ්‍ය උෂ්ණත්වය ඒ ආකාරයෙන්ම පවතිනවා. සාමාන්‍යයෙන් භාජනයේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 65 ට අඩු උෂ්ණත්වයේ පිසින ලද සහල් ඒ භාජනයේම තිබෙන විට බැක්ටීරියා වර්ධනයට හිතකර තත්වයක් ඇති වෙනවා.

විනෝද හෝ වන්දනා චාරිකාවන්හිදී අපි ආහාර පිලියෙල කරන්නේ අලුයම පහට පමණ. ඒවා අනුභව කරන්නේ දවල් එකට දෙකට පමණ. මේ වෙන විට පැය දොළහක් පමණ ගත වෙලා. බොහෝ අය පිසින ලද ආහාර තබා ගන්නේ ගමන් ගන්නා වාහනයේ වහලය කොටසේ. එවිට ආහාර බහාලූ භාජනයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහල නගිනවා. එතකොට බැක්ටීරියා ක්‍රියාත්මක වෙලා ආහාර නරක් වීමට පුලුවන්.

එහෙමනම්  දිගු ගමනක් යන විට සුරක්ෂිත විදිහට ආහාර ගබඩා කර ගන්නේ කොහොමද…..?

මේ වෙනුවෙන් හොඳම දෙය පිසින ලද ආහාර ශීතාගාරයක තැබීමයි.ඒත් විදුලිය වගේම මේ වෙනුවෙන් පහසුකම් අපේ රටේ සීමිතයි.දියුණු රටවල විදුලි බිල අඩු නිසා විශාල පිරිසකට පිළියෙල කරන ලද ආහාර ගබඩා කිරීමට ශීතකරන දෙකක් පමණ එම ස්ථානයන්හි තබා තිබෙනවා. අපේ ආහාර කොන්ත්‍රාත් ගන්නා ව්‍යවසායකයින්ට ඒ පහසුකම් නැහැ.

ඒ වගේම බාල වර්ගයේ භාණ්ඩවල ආහාර පිසීමත් මෙම විෂ වීමට බලපාන තවත් හේතුවක්. අද බහුතරයක්ම ආහාර පිසින්නේ ඇලුමිනියම් භාජනවලයි. දෙහි, විනාකිරි, අඹ, බීට්රූට් වැනි ආහාර මෙම ඇලුමිනියම් භාජනවල පිලියෙල කරන විට ඒවා රත්වීමේදී ඇති වෙන ප්‍රතික්‍රියාවන් නිසා සිරුරට ඇතුළු වෙන ආහාර විෂ වීමට පුලුවන්.තවත් කරුණක් තමයි, මේවා ආහාර පිසීමට පෙරාතුව නිසි විදිහට පිරිසිදු නොකිරීම. තැලුන ඇලුමිනියම් භාජනවල තැලුන ස්ථානයේ රැඳෙන ආහාර පල්වී ක්ෂුද්‍ර ජීවින් රැඳෙන නිසා ඒවා ආහාර සමග ශරීරගත වීමට පුලුවන්.

ආහාර විෂ වීමට බලපාන තවත් කරුණක් වෙන්නේ ප්‍රමිතියෙන් තොර බාල අමුද්‍රව්‍ය යොදා ගැනීමයි.ආහාර වෙනුවෙන් ටෙන්ඩර් ලබා ගැනීමේදී අඩු ටෙන්ඩරයේ අමුද්‍රව්‍ය වෙනුවෙන් අනුමැතිය ලැබෙනවා.ඔවුන් ලාභයක් ලැබීමට නම් ප්‍රමිතියෙන් බාල ද්‍රව්‍ය සැපයීම සිදු වෙනවා. අඩු මිළට හාල්, තේරී ඉතිරි වුන අල, ලූණු වැනි දේ සැපයීම මෙහිදී සිද්ධ වෙනවා.

පොල් කිරි යෙදූ ආහාර ඉක්මනින් නරක් වෙන ප්‍රවනතාවයක් තිබෙනවා. අපි පොල් කිරි යෙදූ ආහාර වෙනුවෙන් කැමැත්තක් දැක්වුවත් මිරිස් යෙදූ ආහාර වලින් සිද්ධ වෙන ක්ෂුද්‍ර ජීවි පාලනය පොල්කිරි යොදා ගත් ආහාර මගින් ඇති වෙන්නේ නැහැ.

ආහාර පිළියෙල කරන විට ඇති අපිරිසිදුබව බලපාන්නත් පුලුවන් නේද…?

ඔව්…. බොහෝ විට රාත්‍රි ආහාර පිළියෙල කරන විට අපි දකින්නේ එලවලු කපන ලෑල්ලෙම මස් කපනවා. මස් කපන ලෑල්ල එලවලු කපන්න යොදා ගැනීම අහිතකරයි. ඒත් මේ තත්වය සිද්ධ වෙන්නේ නැහැ. කොත්තු පිළියෙල කරන විට ඒවා තබන්නේ ප්‍රදර්ශනයට. මේ නිසා දූවිල වහනවා. සතුන්ගේ මල, මුත්‍රා වගේම සතුන් ගැවසෙන විට ආහාර වලට එකතු වෙනවා.

අපි බොහෝ උත්සවවලදී දකිනවා මැටි භාජනවල ආහාර උණුසුම්ව තබා ගැනීමට යටින් ඉටිපන්දම් දල්වා තිබෙනවා…මේ තත්වය ආරක්ෂිතද….?

මැටි භාජනවල සිදුරු තිබෙනවා. ඒවා ඇතුලට ආහාර සාමාන්‍යයෙන් ආහාර ගමන් කරනවා. මේවායේ ආහාර පිළියෙල කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කරන්නේ වෙනත් භාජනවල සකස් කරල මේ මැටි භාජනවල ප්‍රදර්ශනය කිරීමක්. භාජනයේ තිබෙන ආහාර රත් වෙන්නේ බැක්ටීරියා වර්ධනයට හිතකර සෙල්සියස් අංශක 65 ට අඩු උෂ්ණත්වයකයි. ඒ වගේම බොහෝ වේලා රත් වෙන විට බැක්ටීරියා වර්ධනය වෙනවා. ඒ වගේම මැටි කුහර තුලට කාන්දු වෙන ආහාර භාජනය සෝදන විට විනාශ වෙන්නේ නැහැ. නිවසකදී නම් මැටි භාජනයේ ආහාර පිසීමේදී ඉහළ උෂ්ණත්වයේ රත් වෙන නිසා බැක්ටීරියා විනාශ වෙනවා. ඒත් හෝටල්වල තිබෙන්නේ ප්‍රදර්ශනාත්මකව නිසා ආහාර අහිතකර තත්වයට පත් වෙන ප්‍රවනතාවය වැඩියි.

මස් වර්ග පහසුවෙන් නරක් වෙන්න අවස්ථාව ඉහල නිසා බොහෝ දෙනෙක් පිටස්තර ස්ථානවලදී මස් ආහාරයට ගැනීමට බියක් දක්වනවා….එය සාධාරණද..?

මස් වර්ග පහසුවෙන්ම නරක් වෙන්න පුලුවන්.ඒවා පෝෂණ ඝනත්වයෙන් ඉහල නිසා ක්ෂුද්‍ර ජීවින් ආකර්ශනය වෙනවා. මස්, මාලු, කිරි, බිත්තර ආහාර ඉක්මනින් නරක් වෙන්නේ ඒ නිසයි. ඒ වගේම මේවායේ ආම්ලිකතාවය අඩු නිසාත් ක්ෂුද්‍ර ජීවින්ට හිතකරයි. අපි රාත්‍රි රසාදවලදී ආහාර ගැනීම බොහෝ වේලාවක් ගෙවන විට අනුභවයට සුදුසු තත්වය නොදැනීම නැතිව ගිහින්.

ඒ වගේම උත්සවයක් කියල අහිතකර විදිහට ආහාර අනුභවය එතරම් සුදුසු නැහැ. මගුල් ගෙවල් වගේම අපේ උත්සවවල කැවුම් කොකිස්, අලුවා  වගේම වෙනත් රසකැවිලි තිබෙනවා. මේවායේ තිබෙන්නේ පිෂ්ඨ, සීනි., පැණි, තෙල් වැනි සිරුරට අහිතකර දේවල්. මේවා ආහාරයට ගත්තාම ග්ලුකෝස් සාන්ද්‍රනය ඉහල යනවා.පොල්තෙල්වල තිබෙන්නේ 90% ත් සංතෘප්ත මේදය. කැවිලි බැදීමට පොල් තෙල් අනෙක් තෙල්වලට වඩා හොඳයි. රසය, වගේම වැඩි ප්‍රමාණයක් බැද ගන්න පුලුවන්. ඒත් එකම තෙලේ දහ දොළොස් වතාවක් බදින ආපනශාලා තිබෙනවා. 

උත්සවයකින් පසුව නිවසේ පිලියෙල කරන කැවිලි වර්ග අපි කල් තබා ගෙන ආහාරයට ගැනීමත් නුසුදුසුද…?

අපි කැවිලි වර්ග කල් තබා ගැනීමේදී ඒවායේ ඇති වෙන පුස් පිලිකා කාරකයි. ලෝකයේ අක්මා පිලිකාවන්ට හේතුවෙන ප්‍රධාන විෂ කාරකයක් වන aflatoxin පොල් ආශ්‍රිත නිෂ්පාදනයනගේ ඇති පුස්  මගින් ශරීරගත වෙනවා.කැවිලි මුට්ටියේ පුස් තිබුනොත් හොඳම දේ සියල්ලම ඉවත් කිරීමයි. අපි පුස් දැක දැක ඒ කොටස ඉවත් කරල ආහාරයට ගන්න අවස්ථා තිබෙනවා.පුස්වල තිබෙන බීජාණු ඇසට පෙනේනේ නැහැ. ඒවා කැවිලිවල සිට භාජනයේ පුරාම තිබෙන්න පුලුවන්. අපිට පෙනෙන්නේ පුස් මතුපිටට ආවිට පමණයි. ඒනිසා නොපෙනීම රසකැවිල්ලේ තිබෙන්න ඉඩ කඩ ඉහලයි. ඒ වගේම අපි දොදොල් , වඩේ වැනි කැවිලිවල තිබෙන තෙල් ගතිය ඉවත් වෙන්න පත්තර පිටුවක දවටන අවස්ථා තිබෙනවා. කිසිම වෙලාවක මුදි්‍රත අකුරු සහිත කඩදාසි ඒ සඳහා යොදා ගැනීම නුසුදුසුයි. මුද්‍රිත කඩදාසි අකුරු මගින් බැරලා්හ ශරීරගත වීමට පුලුවන්. ඒ නිසා නිතරම හිස් කඩදාසියක් ඒ වෙනුවෙන්  යොදා ගන්න.

 

දරු පිළිසිඳ ගැනීමකදී පුරුෂයාගේ සරු බව ද හරිහරියට වැදගත් බව දැන සිටියාද?

දරු පිළිසද ගැනීමකට සඳහා කාන්තාවකගේ මෙන්ම පුරුෂයාගේත් සරු බව මූලික කරුණක් බව අපි හැමෝම දන්නවා. අන්න ඒ නිසාම ශුක්‍රාණුවල නිරෝගී බව ඉතාම වැදගත් සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අද අපි ඒ පිළිබඳව දැනුවත් වෙමු.

සාමාන්‍ය නිරෝගී ශුක‍්‍රාණුවක් ඕව්ලාකාර හිසකින් හා දිගු වලිගයකින් යුක්තයි. ශුක‍්‍රාණු නිපදවන්නේ වෘෂණ කෝෂ තුළයි. කලාතුරකින් කෙනෙකුට එක් වෘෂණ කෝෂයක් පමණක් තිබුණද එය පුරුෂයාගේ සරුභාවයට බාධාවක් නොවේ. එක් වෘෂණ කෝෂයක් පමණක් ඇති විට ශුක‍්‍රාණු නිෂ්පාදනයේම මුළු බර එම වෘෂණ කෝෂය බාරගනී. සමස්ත නිෂ්පාදනය ස්වල්පයක් පමණක් අඩු වුනත්  එය දරුවන් බිහි කිරීමට කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. 

වෘෂණ කෝෂ පිහිටා ඇත්තේ උදර කුහරයෙන් වෙන්වී එල්ලා වැටෙන ලෙසටයි. ඒ ශුක‍්‍රාණු නිෂ්පාදනයට උෂ්ණත්වය බාධා වන නිසාය. උදරයේ  අවයව තුළ පවත්නා උෂ්ණත්වය ශුක‍්‍රාණුවල පැවැත්මට අහිතකර වන අතරම සිරුරෙන් පිටතට එල්ලා වැටෙන ආකාරයට වෘෂණ කෝෂ පිහිටා තිබීම මගින් ශුක‍්‍රාණුවල උෂ්ණත්වය 70F කින් පමණ අඩුයි. 

එවර්ණ දේහාත්මකව  බැලූ විට සෑම ශුක‍්‍රාණුවක්ම පුරුෂ ලිංගිකත්වයක් දරන්නේ නැහැ. මේ ශුක‍්‍රාණුවල X වර්ණදේහ මෙන්ම Y වර්ණදේහ ද පිහිටයි. ස්තී‍්‍ර වර්ණදේහ රැගත් ශුක‍්‍රාණු ශක්ති සම්පන්න බව හඳුනාගෙන ඇත. මෙහි අරුත වන්නේ X වර්ණදේහයකින් ගැබ් ගැන්වීම Y වර්ණදේහයකින් ගැබ් ගැන්වීමට වඩා පහසු බවයි. පුරුෂයා Y වර්ණ දේහයකින් දායක වීමෙන් උපදින්නේ පිරිමි දරුවෙකි. පුරුෂයා සපයන වර්ණදේහය X නම් උපදින්නේ ගැහැනු දරුවෙකි. 

ශුක‍්‍රාණු පිළිබඳව තව දුරටත් පැහැදිලි කරනවා නම්,

ශුක‍්‍රාණු අඩංගු වන්නේ ශුක‍්‍ර තරලය තුළයි. බොහෝ විට මෙම තරලයේ ප්‍රෝටීන, විටමින,ඛනිජ ලවණ, කැල්සියම්, ක්ලෝරින්, සිට්රික් අම්ලය, පෘක්ටෝස්, ලැක්ටික් අම්ලය, මැග්නීසියම්, නයිට‍්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් C, B12 හා සින්ක් අඩංගු වේ. මෙහි ඇති ප්‍රෝටීන, ඛනිජ ලවණ, මේද අම්ල සහ අනෙක් සංයෝග මගින් ශුක‍්‍රාණුවේ චලනයට හා ඩිම්බය තුළට ඇතුළු වීමට අවශ්‍ය ශක්තිය සපයයි.

වෘෂණවල ශුක‍්‍ර තරලය නිෂ්පාදනය කර ඒවා  වෘෂණයෙහි ගබඩා කර තැබෙන අතරම මෙහි ඇති අම්ල, ඛනිජ ලවණ හා ප්‍රෝටීන මගින් ශුක‍්‍රාණුවල සෞඛ්‍යමත් බව පවත්වා ගෙන යයි. තරලයෙන් වැඩි කොටසක් ඇත්තේ පෘක්ටෝස් නම් සීනි වේ. මෙය ඉන්ධනයක් ලෙස ක‍්‍රියා කරන අතරම ශරීරය හරහා ගමනට වැදගත් වේ. ශුක‍්‍ර තරලයේ ඇති තරලයෙන් 25% පුරස්ථි ග‍්‍රන්ථිය මගින් නිෂ්පාදනය කරයි. Zinc යනු මෙහි වඩාත් වැදගත් ඛනිජ ලවණ වර්ගයයි. එමගින් ශුක‍්‍රාණුවේ ඇති DNA ස්ථාවර කරයි. එසේම Zinc මගින් ශුක‍්‍ර තරලයේ පැහැය හා රසය ඇති කරයි. පුරස්ථි ග‍්‍රන්ථිය මගින් ශුක‍්‍ර මෝචනයෙන් පසුව ඒවා ඉතා තුනී තරල බවට කැඩීමට දායක වන ශුක‍්‍ර තරලයේ ඇති PSA නම් ප්‍රෝටීනය සෑදීමට දායක වේ. ශුක‍්‍රාණු ස්වභාවයෙන්ම ඝනකමින් යුක්ත වන අතර එය ගැබ්ගෙලෙහි ඇලීමට දායක වේ. PSA මගින් ශුක‍්‍ර තරලය තුනී කොටස්වලට කැඩීමෙන් ශුක‍්‍රාණු නිදහස් වීම සිදුවේ.

ලිංගික සංසර්ගයේදී ශුක‍්‍රානු පිටවීමට පෙර තරලයක් (Pre-cam) පිටවේ. මෙය ලිංගික සංසර්ගයට සූදානම් වීමේදී නිපදවන අතර මෙම ශ්ලේෂ්මලය ශිෂ්ණයේ පූර්ව කොටස (මුදුන) උත්තේජනය කිරීමට උපකාරී වේ. තවද එමගින් මුත‍්‍ර මාර්ගය හරහා මුත‍්‍රා පැමිණීමද වළක්වයි. මෙයට ආවේණික ගන්ධයක් පවතින නමුත් එය ගන්නා ආහාර හා පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින නිරෝගී බව හා පිරිසිදු බව අනුව වෙනස් වේ. එසේම කුරුදු, අන්නාසි, පැපොල්, දොඩම් වැනි සමහර ආහාර වර්ග මගින් ශුක‍්‍ර තරලයේ රසය වැඩි කරයි. එනම් ආම්ලික ගතිය අඩු කරයි. එසේම තිත්ත රසයක් ගෙන දීමට සුදු ළුෑණූ, ලූණු, ගෝවා, බ්‍රොකොලි, මස් වර්ග, කිරි නිෂ්පාදන, මත්පැන්, සිගරට්, කෝපි උදව් වේ. මෙහි pH අගය 7.26 – 8.40 පමණ වේ. එසේම සමහර පර්යේෂණ මගින් ශුක‍්‍රාණුවල මානසික අවපීඩනය අඩු කිරීමේ ගුණයක්  දැකිය හැකි බව පවසයි.  එමගින්  ලිංගික සංසර්ගයෙන් පසුව මානසික අවපීඩනය අඩු කිරීමටද හේතු වේ. 

ශුක‍්‍ර තරලය මිලි ලීටර 1 ක ශුක‍්‍රාණු මිලියන 15 – 200 වඩා වැඩි ප‍්‍රමාණයක් පවතින බව පැවසේ. ශුක‍්‍රාණු විශ්ලේෂණයේදී ශුක‍්‍රාණු ප‍්‍රමාණය, ශුක‍්‍රාණුවල හැඩය හා ශුක‍්‍රාණුවල චලනය ගැන සලකා බලනවා.

ශුක‍්‍රාණුවල ප‍්‍රමාණය අඩු වීමට හේතු

  • ආරය
  • පෙර කරන ලද ශල්‍යකර්ම
  • ලිංගික සම්පේ‍්‍රෂණය වන රෝග 

ශුක‍්‍රාණුවල ප‍්‍රමාණය අඩු වීමට ප‍්‍රතිකාර ලෙස,

  • ශුක‍්‍ර නාල අවහිරතා ශල්‍යකර්ම මගින් නිවැරදි කිරීම
  • ප‍්‍රතිජෛවක ලබාදීම (බැක්ටීරියා ආසාධනයකදී ශුක‍්‍රාණු ප‍්‍රමාණය අඩු විය හැකි නිසා)
  • උපදේශන (ලිංගික සංසර්ගයේදී ශුක‍්‍රානු ඉක්මණින් පිටවීම හෝ ලිංගික බෙලහීනතාවය)

ශුක‍්‍රාණු ප‍්‍රමාණය වැඩි කිරීම සඳහා පහත ආහාර වර්ග වලින්ද පිටුවහලක් ලබා ගත හැකියි

  • පැඟිරි පලතුරු
  • ධාන්‍ය
  • මාළු
  • විටමින් D අධික කිරි හා කිරි නිෂ්පාදන
  • සුදු ළුණු
  • කෙසෙල්
  • නිවිති
  • බ්‍රොකොලි

ශුක‍්‍රානු ප‍්‍රමාණය අඩු වීමට හේතු,

  • දුම්පානය 
  • මත්පැන් භාවිතය
  • ඇතැම් ඖෂධ වර්ග (ප‍්‍රතිජෛවක ඖෂධ)
  • ආතතිය
  • අධික බර

 

මේ අනුව දරුවෙකු බිහිකිරීමේ ක්‍රියාවලියේදී ගැහැණියකගේ ප්‍රජනන පද්ධතිය මෙන්ම පුරුෂයන්ගේ ප්‍රජනන පද්ධතිය ද සුවිශාල කාර්ය බාරයක් ඉටු කරන බව ඔබට වනු නිසැකය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල