Home Blog Page 43

ඩවුන් සින්ඩ්‍රොම් දරුවෙකු සන්නිවේදනයට හුරුකළ නොහැකිද?

පවුලකට සාමාන්‍ය නොවන තත්ත්වයේ දරු‍වෙකුගේ ආගමනය සැබවින්ම වේදනාකාරී අත්දැකීමක් සේම එය සාමාන්‍ය දිවි පෙවෙත කණ පිට හැරවීමක් වැනියි. එය එසේ වුවත් අපේ ආරාධනයෙන් එන දරු පැටියා කුමන තත්ත්වයේ සිටියත් දෝත පා ආදරෙන් වැලඳ ගන්නට අපේ රටේ මිනිසුන් මනුස්සකමින් උපරිමය. මෙවන් අත්දැකීමක් ලද මාපිය යුවළක් එතැන් පටන් වෙහෙසෙන්නේ ඒ දරුවාගේ අනාගතය සවිමත් කිරීමේ අරමුණෙනි. 

මේ ලිපිය තුළින් ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයේ සිටින දරුවෙකුගේ සන්නිවේදන කුසලතා සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කරගත්තේ  මෙවැනි දරුවන් සිටින මව්පියන් ඔවුන්ගේ හෙට දවස ගැන සැබවින්ම වෙහෙසෙන නිසාමය. 

ඩවුන් සින්ඩ්‍රොම් යනු ජානමය විකෘතිතාවයක් වන අතරම 21 වන ක්‍රෝමසෝමයේ පිටපත් තුනක් ඇති වීම මේ තත්ත්වයට හේතුවයි. මෙහිදී එයටම ආවේනික වූ මුහුණේ ඉරියව්, විවිධ කොටස්වල විවිධ වෙනස්ම් හඳුනා ගත හැකි අතරම උදාහරණයක් ලෙස නාසයේ පිහිටීමේ වෙනස්කම්, කන්වල වෙනස්කම් මෙන්ම අත්පාවල ඇඟිලිවල වෙනස්කම් ද සාමාන්‍ය උසට වඩා අඩු උසකින් යුක්ත බෙල්ල, ප්‍රමාණයෙන් කුඩා කට සහ විවෘත වූ තොල් දැකිය හැකියි. මේ තත්ත්වයේ සිටින දරුවෙකුහට ඉගෙන ගැනීමේ අපහසුතා වැඩි නිසාම එවැනි දරුවන්ගේ නව කුසලතා ඉගෙනීම සංවර්ධනය කිරීමේදී සාමාන්‍ය තත්ත්වයේ දරුවන්ට වඩා වැඩි සහයෝගයක් අවශ්‍යය.

එසේම මේ තත්ත්වයේ සිටින දරුවන්ගේ මාංශ පේශී මුදු බවින් වැඩි නිසාම ක්‍රියාකාරීත්වයේ ගැටලුද බහුලය. ඒ නිසාම දිව, තොල්, තල්ල චලනයේදී වෙනස්කම් නිසා ශබ්ද උච්චාරණයේදී අපහසුතා ඇති වීමත් ආහාර ගිලීමේදී අපහසුතා ඇති වීමත් මෙවැනි දරුවන් අතර බහුලව දැකිය හැකිය.

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙකුගේ සන්නිවේදන කුසලතා වර්ධනය වෙනුවෙන් කළ හැක්කේ මොනවාද?

මූලිකවම සන්නිවේදනයේදී මෙවැනි දරුවන්ගේ වචන රහිත සන්නිවේදය හොඳින් වර්ධනය කරගත හැකි නම් එය විශාල සහයෝගයක් වන අතරම මුහුණේ ඉරියව්, අත පය චලන එක් කිරීමෙන් අවාචික (වචන රහිත) සන්නිවේදනය දියුණු කළ හැකියි. මෙවැනි තත්ත්වයකදී කළ යුත්තේ දරුවාට වචන ඉගැන්වීමට උත්සාහ කිරීම නොව සංකල්ප හරහා දරුවාට සන්නිවේදන අවස්ථාව සලසා දීමයි. එනම් පින්තූර සහ ද්‍රව්‍ය පමණක් භාවිතයෙනි. මෙන්න මේ ආකාරයට දරුවාගේ සන්නිවේදන හැකියාව වර්ධනය උදෙසා යම් තල්ලුවක් ලබා දුන් විට මොළයේ  භාෂාව ප්‍රකාශ කරන කොටස උත්තේජනය වීම සිදු වේ. එවිට සිදුවන වේගවත් ක්‍රියාකාරකම් සමග දරුවාගේ වාචික ප්‍රකාශ ලබාගැනීම පහසු වන අතරම වචන ප්‍රකාශ කිරීමේ ඌනතාවයක් ඇත්නම් කළ යුතු හොඳම දේ වන්නේ අනෙකුත් ක්‍රම හරහා දරුවාට අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමයි. ඒ සඳහා කථන චිකිත්සකවරයෙකු හමු වී උපදෙස් ගත යුතුයි. මන්ද එය ඔබට හඳුනා ගැනීම අපහසු විය හැකි නිසාත් නිසි ක්‍රමවේදයකට අනුව දරුවා සමග කටයුතු කළ යුතු නිසාත්ය. ඒ නිසා පළපුරුදු කථන චිකිත්සකවරයෙකුගේ මගපෙන්වීම දෙමාපිය වැඩිහිටියන්ට අත්‍යවශ්‍යය.

ඒ වගේම මේ තත්ත්වයේදී වැදගත් වන තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ මෙවැනි දරුවන්ගේ මුඛයේ මාංශ පේෂී උත්තේජනය කිරීමයි. එය සරල ක්‍රියාකාරකම් යොදා ගනිමින් සිදුකළ හැකි අතරම දිවේ චලන තොල් නිවැරදිව ස්ථානගත වීම වැනි ගැටලුකාරී තත්ත්ව මගහරවා ගැනීමට අදාල මාංශ පේශීන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ව්‍යායාමවල යෙදවීම වගේම ස්වසන අභ්‍යාසවලත් දරුවා යෙදවිය හැකියි. මේවා හරහා කථනයට වගේම ආහාර ගිලීම සඳහාත් දරුවාට සහයෝගයක් ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස මවගෙන් කිරි උරා බොන දරුවෙක් නම් තන පුඩුව සමග හොඳින් සම්බන්ධ විය යුතුයි. නමුත් මේ තත්ත්වයේ සිටින දරුවෙක්ට එය අපහසු නිසා හරිහැටි කිරි උරාබීම අපහසු විය හැකියි. මෙවැනි අවස්ථාවකදී ඩවුන්ස් සින්ඩ්‍රෝම් තත්ත්වයේ සිටින දරුවෙක් නිවැරදි චිකිත්සක ක්‍රම යටතේ ක්‍රියාත්මක වීමෙන් පළමු අවස්ථාවේ සිටම පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකියි. ඒ නිසා ඔබේ අලුත උපන් බිළිඳාට මෙවැනි ගැටලුවක් ඇති බව වෛද්‍යවරයා පැවසූ විට වගකීම් සහගත මව්පියන් ලෙස ඔබ කළ යුත්තේ කලබල වීම හෝ දුක්වීම නොව අවශ්‍ය උපදෙස් ලබාගනිමින් අවශ්‍ය ක්‍රියාකාරකම් වෙත වහා යොමු වීමයි.

ඩවුන්ස් සින්ඩ්‍රෝම් තත්ත්වයේ සිටින දරුවෙක් කතා කිරීමේදී නිවැරදිව දිව තොල් තල්ල ස්ථානගත නොකිරීම නිසා ඇතැම් විට නිවැරදිව වචන උච්ඡාරණය නොකිරීම හෝ වෙනත් ගැටලු ඇති විය හැකියි. මෙවැනි අවස්ථාවකදී හිතුමතේ තීරණ ගැනීම නුසුදුසු වන අතරම ඔබ කළ යුතු වැදගත්ම කාරණය වන්නේ දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී හෝ පවතින තත්ත්වය හඳුනා ගනිමින් කථන චිකිත්සකවරයෙකු වෙත යොමු වීමයි. ඉන්පසුව කථන චිකිත්සකවරයා විසින් දරුවාගේ තතත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව ලබාදිය යුතු ක්‍රියාකාරකම් අනුව සැලැස්මක් සකස් කරයි. මාපියන් ලෙස ඔබ වගනීමෙන් යුතුව මේ කාර්යය නිවැරදිව ඉටු කළ යුතු අතරම කථන චිකිතසකවරයා පවසන ආකාරයට නිවසේදීද දරුවා ක්‍රියාකාරකම්වල යෙදවිය යුතුයි. එසේත් නැතිනම් කථන චිකිත්සකවරයා හමුවීමට පැමිණෙන දිනයේදී පමණක් දරුවා ක්‍රියාකාරකම්වල යෙදවීම ප්‍රමාණවත් නොවේ.  මෙවැනි දරුවෙකු සිටින මව්පියන් සැලකිලිමත් විය යුතු අනෙක් කරුණ වන්නේ කථන චිකිත්සකවරයා විසින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් ක්‍රියාත්මක වීම සහ දරුවා සමග සරල බසින් අඩු වේගයකින් සන්නිවේදනයේ යෙදීමයි. එවිට මෙවැනි දරුවෙකුගේ සන්නිවේදන කුසලතා සීග්‍රයෙන් දියුණුවට පත් කරගත හැකිය. 

එසේම මෙම තත්ත්වයේම සිටින තවත් දරුවෙකුගේ ක්‍රිකාරකම් රටාව එවැනිම ලක්ෂණ පෙන්නුම් කරන තවත් දරුවෙකුට නොගැලපෙන නිසා කිසිවිටෙකත් වෙනත් දරුවෙකුට ලබාදුන් ක්‍රියාකාරකම් සිදු නොකළ යුතුය. අන්න ඒ නිසාම වඩාත් සුදුසු වන්නේ කතන චිකිත්සකවරයෙකුගේ උපදෙස් මත ක්‍රියාත්මක වීම බව තරයේ සිහි තබාගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

පොස්ටිනෝර් හිතුමතේට ගන්න හොඳද?

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනුවත් කරමින් ලිපි කිහිපයක්ම අප වෙබ් අඩවියේ පල වූවා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ක්‍රමානුකූල පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රමයක් නොවන නමුත් හදිසියේ ඇති වන ගැබ් ගැනීම් වළක්වා ගැනීම භාවිත කළ හැකි ක්‍රමයක් වන පොස්ටිනෝර් ගැනයි. 

දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු නොවන යුවළක් අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයකින් පැය 72 ක් ඇතුළදී පොස්ටිනෝර් (Postinor) ලබා ගැනීමෙන් පසු හදිසි ගැබ් ගැනීම් වළක්වා ගත හැකි බව ඔබ අසා ඇති. මෙය වඩාත් ඵලදායී ප්‍රතිඵල සඳහා නම් සංසර්ගය සිදු වූ වහාම ගත යුතුයි. 

පොස්ටිනෝර් ගැනීමට වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා

  • දියවැඩියාව – මෙහිදී වකුගඩු, ඇස් හෝ ස්නායු වලට හානි සිදු වීම, රුධිරවාහිනී වලට හානි සිදුවීම
  • හෘද රෝග – උදාහරණ ලෙස IHD හෘද පේශියට සැපයෙන රුධිර ප‍්‍රමාණය අඩුවීම. 
  • ආඝාතය (Stroke -)
  • පියයුරු පිලිකා
  • දැනටමත් ගැබ් ගෙන තිබීම

පොස්ටිනෝර් නොගත යුතු අවස්ථා

  • ආහාර මාර්ගය ආශ‍්‍රිත රෝග

උදා: මහාබඩවැල් ව ඇති වන රෝග තත්ත්e

  • අක්මාවේ රෝග තත්ත්ව
  • ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් (Ectopic pregnancy)
  • පැලෝපීය නාල වල ආසදන (Salphingitis)
  • පෙර ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් හෝ පැලෝපීය නාල වලආසාදනයක් ඇතිවී ඇත්නම් අලුතින් ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් ඇතිවීමේ අවදානමක් වැඩිය. 
  • වමනය හෝ පාචනය ඇත්නම්
  • පියයුරු පිලිකා ඇත්නම්
  • යෝනි රුධිර ගැලීම් පවතීනම්
  • ආසාත්මිකතා ඇත්නම්

පොස්ටිනෝර් සමග අන්තර් ක්‍රියා කළ හැකි ඖෂධ 

  • අපස්මාරය (වලිප්පුව) සඳහා ගන්නා ඖෂධ

Barbiturates, phenytion Na, Carbamazepine

  • ක්‍ෂය රෝගය සඳහා ගන්නා ඖෂධ 

Rifampian, Rifambutin

  • ඒඞ්ස් රෝගය සඳහා ගන්නා ඖෂධ

Ritonavir, Efarirenz

  • දිලීර ආසාධන සඳහා ගන්නා ඖෂධ

උදා: Grisefulvin

ඉහත ඖෂධ සමග ගැනීමේදී පොස්ටිනෝර් ඖෂධයේ ක‍්‍රියාව යටපත් කරන අතර එහි ප‍්‍රතිඵලයක් නොලැබේ. එනම් ගැබ් ගැනීම් ඇති විය හැක.  එසේම ඔබ කිරි දෙන මවක් නම් මෙම ඖෂධ ලබා ගත හොත් දරුවාට ගමන් කළ හැකි බැවින් දින තුනක්වත් මව්කිරි නොදීමට වග බලාගත යුතුය.

පොස්ටිනෝර් ලබා ගත් පසු ඇති විය හැකි අතුරු ආබාධ

  • වෙහෙසකර බව
  • ඔක්කාරය හා වමනය
  • උදර වේදනාව
  • පාචනය
  • කරකැවිල්ල
  • පියයුරු අල්ලන විට වේදනාව
  • රුධිර ගැලීම් වැඩිවීම
  • සමේ ප‍්‍රතික‍්‍රියාව
  • යෝනිය මගින් බිංදු ලෙස රුධිර වහනය සමහර විට ඔසප් චක‍්‍ර 2 ක් අතර රුධිරවහනය වීම ඇතිවිය හැක. 

පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය වන්නේ පවුලකට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව නිසි පරතරය ඇතිව සාදා ගැනීම වෙනුවෙනි. අනාරක්ෂිත සංසර්ගයක් හේතුවෙන් යම් පිළිසඳ ගැනීමක් ඇති වුවහොත් එය ඔබේ ජීවිතයේ සැලසුම වෙනත් මානයකට රැගෙන යනු නිසැකය. පොස්ටිනෝර් වැදගත් වන්නේ එවැනි අවස්ථාවකදීය.

නමුත් අපේ ඇතැම් කාන්තාවන් දිගින් දිගටම පොස්ටිනෝර් ලබාගන්නේ එය දීර්ඝ කාලීන පවුල් සංවිධාන ක්‍රමයක් නොවන බවට දැනුවත් වීමක් ඔවුන් තුළ නොමැති නිසා විය හැකියි. 

පොස්ටිනෝර් 1 සහ 2 වශයෙන් මිලදී ගත හැකි වන අතරම පොස්ටිනෝර් 1හි අඩංගු වන්නේ එක් පෙත්තක් පමණි. පොස්ටිනෝර් 2 පෙති දෙකක් ඇති අතරම මෙහි ස්ත්‍රී හෝමෝනයක් වන ප්‍රොජෙස්ටරෝන් අන්තර්ගත වේ. පෙති දෙක ලබා ගන්නා විට එක් පෙත්තක් ගෙන නැවත පැය 12කින් අනෙක් පෙත්ත ලබාගත යුතු වේ. 

කෙසේ වුවද සිහි තබා ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ දීර්ඝ කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස මෙය භාවිතය සුදුසු නොවන බවත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් මත එසේත් නොමැති නම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය මුණ ගැසී හෝ උපදෙස් ලබා ගත යුතු බවයි. 

 

කුරුණෑගල, පළාත් මහ රෝහලේ නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)  ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය   

නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

පියයුරුවල ඇති වන සාමාන්‍ය මෙන්ම අසාමන්‍ය තත්ත්ව සහ ඒවාට හේතු මෙන්න

පියයුරු ඇති වන යම් යම් රෝග තත්ත්ව පිළිබඳව බොහෝ කාන්තාවන් දක්වන්නේ බියක්. ඒ යම් ගැටිත්තක් හෝ වේදනාවක් ඇති වූ විගස එය පියයුරු පිළිකාවක් ද යන සැකය ඔවුන් තුළ ඇති වන නිසයි. එය එසේ වුවත් පියයුරක යම් යම් අසාමාන්‍ය තත්ත්වයන් ඇති වන්නේ පිළිකා වර්ධනයක් නිසාම පමණක් නම් නොවේ. පියයුරු ආශ්‍රිතව වෙනත් රෝග තත්ත්වයන්ද ඇති විය හැකියි. ඒ වගේම තන පුඩුවලත් යම් යම් අසාමාන්‍යතා මෙන්ම රෝග තත්ත්වත් ඇති විය හැකියි. මේ එවැනි තත්ත්ව කිහිපයක් පිළිබඳව සිදුකරන දැනුවත් කිරීමකි.

පියයුරුවල වේදනාව

සාමාන්‍යයෙන් ඔසප් කාලය තුළ සිරුරේ සිදුවන හෝමෝන වෙනස් වීම හේතුවෙන් පියයුරුවල වේදනාවක් හට ගත හැකියි. එසේම පවුල් සැලසුම් පෙති, හෝමෝන ප‍්‍රතිකාර ලබාගන්නා විටද එවැනි වේදනාත්මක අත්දැකීම් ඇති විය හැකි අතරම මෙම වේදනාව උරහිස, බෙල්ල, අතයට යන ප්‍රදේශ ආශ්‍රිතවද දැකිය හැකියි. ඇතැම් අවස්ථාවලදී ඇති වන තදබල වේදනාව නිසා වෛද්‍ය උපදෙස් පැතීමට සිදුවන අවස්ථාද දැකිය හැකියි.

මෙම වේදනාව මගහැරවීමට

  • නිදා ගැනීමේදී පවා උපකාරකයක් ලෙස තනපට ඇදීම/තනපට නොඇඳීම හෝ බුරුල් තනපට ඇඳීම.
  • Caffeine අඩු කිරීමට හෝ තේ, කෝපි පානය නොකිරීම
  • ලුණු, මේදය ආහාරයට නොගැනීම.
  • විටමින් B6-B1 ගැනීම
  • පියයුරු උණුසුම් තැවීම/ සිසිල් තැවීම/ සම්භාහන ක‍්‍රම
  • වේදනානාෂක ඖෂධ ගැනීම

හෝමෝන වෙනස්කම්

මේ නිසා පියයුරු ඉදිමුම, ගෙඩියක් ලෙස අතට දැනීම, ස්පර්ෂ කිරීමේදී වේදනාත්මක වීම වැනි ලක්ෂණ ඔසප් ඇති වීමට දිනකට දෙකකට පෙර සිට ඇති වි හැකියි. 

Cyst – දිය ගෙඩි ඇති වීම

මෙහිදී පියයුරු පටකවල තරලය පිරුණු තුනී ගෙඩි ඇති වේ. අවුරුදු 30 – 50 කාන්තාවන් අතරම බහුලව දැකිය හැකි තත්ත්වයක් වන මෙය සාමාන්‍යයෙන් ආර්ථවාභාවයේදී නොපෙනී යයි. නමුත් හෝමෝන ප‍්‍රතිකාරවලදී ඇති වේ. මේවා එකකට වැඩි සංඛ්‍යාවක් ඇති විය හැකි අතරම මෘදුව අතට දැනෙයි. ස්පර්ෂයේදී වේදනාව අඩු වී යන මෙම තත්ත්වය පිළිකා තත්ත්වයක් නොවේ. 

Fibro adenoma

ග‍්‍රන්ථිමය පටක හා තන්තුමය පටකවල ඇති වන හානිකර නොවන ගෙඩි විශේෂයකි. අවුරුදු 20 – 40 වයසේ කාන්තාවන් අතර බහුලව දැකිය හැකිය. මේවා තදට රබර් මෙන් අතට දැනේ. මේවා ආර්ථවයට පෙර වේදනාකාරී වේ. මේ තත්ත්වයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආර්ථවාභාවයේදී නැතිව යන නිසාම  මේ සදහා ඊස්ට‍්‍රජන් හෝමෝනයේ බලපෑම ඇතැයි විශ්වාස කෙරේ.

පොදුවේ ඇතිවන ගෙඩි (Common lump)

කලින් කරන ලද පියයුරු ශල්‍යකර්ම හෝ අනතුරකින් (පටක කොටස් ගැනීම වැනි) ඝන බවට පත්වූ කැලැල් පටක මෙයට හේතු වේ. රූපලාවන්‍ය කටයුතු වලදී පියයුරු වලට සිලිකොන් එන්නත් කිරීමෙන්ද ඇති වේ. 

Paget’s Disease (ECzeema)

අවුරුදු 45 ට වැඩි කාන්තාවන්ට ඇති වේ. ස්ථිර හේතුවක් නැති අතර පියයුරුවල කළු පැහැති කොටසේ දැකිය හැක. 

ලක්‍ෂණ

  • සුළු දැවිල්ලක් ඇති වීම
  • කළු පැහැති කොටස තුවාල වීම හෝ පුපුරා යාම
  • ඇරියෝලා කොටස පැහැදිලිව නැත
  • පිළිකාවකටද හේතු විය හැකි අතර Biopsy අනුව ශල්‍ය ප‍්‍රතිකාර කරයි. 

පියයුරු වල ආසාධන 

Mastetis – බැක්ටීරියා ආසාධනයක් නිසා ඇති වන වේදනාත්මක තත්ත්වයකි. මෙය කිරිදෙන කාලයේ කාන්තාවන්ට මෙන්ම උපතින් සති 2 – 6 කාලයේදී කුඩා දරුවන්ටද ඇති වේ. පියයුරු රතුපැහැවීම, උණුසුම, ඉදිමුම, වේදනාව, ශරීර උෂ්ණත්වය වැඩිවීම ආදී ලක්‍ෂණ පෙන්වයි. සිසිල්, උණුසුම් රඳන යෙදීම, ප‍්‍රතිජීවක ඖෂධ ලබාදීම ආදිය ප‍්‍රතිකාර ලෙස සිදු කරයි. කිරිදෙන මව්වරුන්ට දරුවාගේ මුහුණේ, මුඛයේ, ඇස්වල ආසාධන මගින් ද මේ තත්ත්වය ඇති විය හැකිය. බොහෝ විට ඇතිවන්නේ Staphylococcus බැක්ටීරියාව හේතුවෙනි. මව ගේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීමෙන් මෙය වළක්වා ගත හැකියි. (කිරිදෙන මව්වරුන්ට ඇරුණු කොට දියවැඩියාව, දුර්වල ප‍්‍රතිශක්තියක් තබීම මෙන්ම දුම් පානය කරන කාන්තාවන්ටද මේ තත්ත්වය ඇති විය හැකිය.)

මේ සඳහා ප‍්‍රතිකාර ලෙස මුල් අවස්ථාවේදී,

  • ප‍්‍රතිජෛවක ලබාදීම
  • මවට විවේකය ලබාදීම
  • ආසාධිත පියයුරුවලින් කිරි නොදිය යුතුය
  • සුදුසු තනපට වල් ඇඳීම
  • දියර වර්ග අවශ්‍ය පමණ ලබාදීම 
  • Lactation abscess ඇත්නම් එහි සැරව ඉවත් කළ යුතු වේ. 

Adenosis

මෙහිදී සමේ හෝ පුඩුව තුලින් ගෙඩියක් වැනි යමක් අතට හසුවේ. මෙය කැල්සියම් තැන්පත් වීමෙන් සිදු වන්නකි. 

Ducta ectasia

ක්‍ෂිරධර නාල පළලින් ඝණකමින් වැඩි වී තරල රැඳීම නිසා අවහිර වීම මේ තත්ත්වයි. මේ තත්ත්වය ආර්ථවාභාවයට ආසන්නයේ කාන්තාවන්ට ඇති වේ. 

Fact Necrosis & Oil cyst

පියයුරුවල මේද පටකවලට හානි වීමෙන් ඇති වන මේ තත්ත්වයේදී Oil cyst මගින් කැලැල් පටක ඇති නොවී ඒවා මිය යන අතර ඒවායේ අඩංගු දෑ නිදහස් වීම හේතුවෙන් රතු වී, ඉදිමී ඇති වන තත්ත්වයකි. 

Lympoma

මේදමය ගෙඩියක් වන මෙය පිළිකා නොවන වර්ධනයකිමේ සඳහා ශල්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේ. 

Radial Scar

තරුවක ආකාරයේ වර්ධනයක් වන මෙහි විවිධ පටක අඩංගුව ඇත. මේවා 6 – 7mm දක්වා විශාල වේ. පිළිකා හා පිළිකා නොවිය හැකි අතරම පටක කොටස් පරීක්‍ෂා කිරීම සිදු කරයි. 

Intraductal Papilloma

මෙය ක්‍ෂීරධර නාල ඇතුලත ඇති වන පිළිකා නොවන ගෙඩියකි. 1cm පමණ වර්ධනයක් සමහර විට එය 5cm 6cm දක්වා වර්ධනය විය හැකිය. මෙහි තන්තු පටක, ග‍්‍රන්ථිමය පටක, රුධිරවාහිනී අඩංගු වේ. අවුරුදු 30 – 50 අතර කාන්තාවන්ට ඇති වේ. මේ තත්ත්වයේදී තනපුඩුවේ රුධිරය හෝ පැහැදිලි ශ‍්‍රාවයක් දැකිය හැක. සම මත ගෙඩියක් ලෙස පවතී. ශල්‍යකර්ම මගින් ඉවත් කරයි. 

Phyllodes tumour`

පියයුරු වල සම්බන්ධක පටකවල ඇති වන ගෙඩියකි. සමහරවිට ග‍්‍රන්ථිමය පටකද අඩංගු වේ. අවුරුදු 40 කාන්තාවන්ට බහුලය. කලාතුරකින් පිලිකා තත්ත්වයන්ද දැකිය හැකි වේ. 

Haemangroma – නොමේරු රුධිරවාහිනී වල ඇති වන ගෙඩියකි. 

Haematoma – අභ්‍යන්තර රුධිරවහනය නිසා රුධිරය එක්වීමෙන් ඇති වන ගෙඩියකි. 

Hamartoma – වේදනා සහිත මේදය, තන්තු, ග‍්‍රන්ථි සෛල අඩංගු ගෙඩියකි. 

Naurofibroma – ස්නායු සෛල අඩංගු ගෙඩියකි. 

තනපුඩුවල තත්ත්ව

  1. තනපුඩු පිපිරීම – Fissure in Nipple

කිරිදෙන මවකගේ පියයුරු වල ඇති වන තත්ත්වයකි. ක‍්‍රමානුකූලව පිළියෙල නොකළ මවකගේ මේ තත්ත්වය ඇති වේ. දිග අතට පිපිරී යයි. දරුවා කිරි උරන විට වේදනාව ඇති වේ. මෙහිදී ආසාධනයට ලක් වීම, වේදනාව ඇති වීම මෙන්ම රුධිර වහනයක් හෝ ශ‍්‍රාවයක් ඇති වීම දැකිය හැකිය. ප‍්‍රතිකාර යටතේ මේ තත්ත්වය වළක්වා ගැනීම වැදගත්ය. ගර්භනී සමයේදී තනපුඩුව සකස් කිරීම කිරි දීමට පෙර හා පසුව තන පුඩුව සේදීම මෙහිදී ඉතා වැදගත් වේ.

2.ඇතුලට නෙරා ගිය තනපුඩු  – Inverted Nipple  

කිරි දීමෙන් පසු හෝ ගර්භණීතාවයකදී සිදුවිය හැකි මේ තත්ත්වයේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. පිලිකාමය තත්ත්ව වලදීද මෙසේ ඇති විය හැකි බැවින් ප‍්‍රතිකාර ගැනීම අනිවාර්ය වේ. 

3.අමතර තනපුඩුව Extra Nipple  

ප‍්‍රධාන තනපුඩුවට අමතරව තවත් තනපුඩුවක් ඇති වීමයි. ශල්‍යකර්මයක් ම`ගින් ඉවත් කළ හැක. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

පරීක්ෂාකාරීව පියයුරු පිළිකාව මුල් අවධියේදීම හඳුනාගන්නට සැලකිලිමත් වෙන්න

 අතීතයේදී හෙළ සාහිත්‍යයේ කාන්තාවකගේ පියයුරු කවිවලින් වර්ණනා කෙරුණේ රණ හංසයින්ට සම කරමිනි. ස්ත්‍රී රූප සම්පත්තියට වැඩි වටිනාකමක් එක් කරන මේ පියයුරු තවත් ජීවිතයක් පෝෂණය කරන්නටද සමත්ය. එය එසේ වුවද ලොව කාන්තාවන් අතර බහුලතම පිළිකාව ඇති වන්නේද පෙර කී ඒ පියයුරු ආශ්‍රිතවය. එනම් පියුරු පිළිකාව ශ්‍රී ලංකාවේද කාන්තාවන් අතර දැකිය හැකි පිළිකා අතරින් පළමු තැන සිටී. එය එසේ වුවද පියයුරු පිළිකාව වැළදෙන්නේ කාන්තාවන්ට පමණක්ම යැයි කිව නොහැකිය. කලාතුරකින් පුරුෂ පාර්ශවයද පියයුරු පිළිකා තත්ත්වයට ගොදුරු වේ. පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වුවත් එසේ නොවී ඛේදීය අවසානයකට මුල විය හැකි බව කිව යුතුමය. ඒ මූලිකවම නොදැනුවත්කම සහ නොසැලකිලිමත් බව නිසාමය.

පියයුරු පිළිකාව වර්ධනය වන්නේ පියයුරු පටක තුළ වන අතරම පියයුරු පිළිකාවක මූලික ලක්‍ෂණය ලෙස පියයුරෙහි හටගන්නා කුඩා ගෙඩියක් (lump) දැකිය හැකියි. එය එසේ වුවත් පියයුරේ ඇති වන ගෙඩි සියල්ලම පිළිකා විය නොහැකියි. මන්ද පිළිකා නොවන ගෙඩි ද පියයුරුවල බහුලව ඇති විය හැකියි. එය එසේ වුවත් වැදගත්ම කාර්යය වන්නේ පියයුරේ යම් ගෙඩියක ස්වභාවයක් දැණුනු විට ඒ පිළිබඳව සැලකිලිමත් වී පරීක්‍ෂණ වෙත යොමු වී වෛද්‍ය උපදෙස් අනුව යමින් තත්ත්වය සැක හැර දැනගැනීම සහ අවශ්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීමයි. ඒ එම ගෙඩිය බාහිරින් පරීක්ෂා කොට සාමාන්‍ය තත්ත්වයේ එකක්ද නැතිනම් පිළිකාවක්ද යන්න හඳුනා ගත නොහැකි නිසයි. 

පියයුරු පිළිකාවේ පූර්ව ලක්‍ෂණ

  • පියයුරේ හෝ අත යට (කිහිල්ලේ) ගෙඩියක් ඇතිවීම
  • පියයුරේ කොටසක් ඝනකම් හෝ ඉදිමීම
  • පියයුරේ ඇරියෝලා කොටස (කළු පැහැති කොටස) ආශ‍්‍රිතව දොඩම් ලෙල්ලක හැඩය ගැනීම
  • තනපුඩුව (Nipple) ආශ‍්‍රිතව රතු පැහැවීම
  • පියයුරේ පුඩුව ඇතුළට නෙරා තිබිය හැක
  • පියයුරෙන් කිරි වැනි ශ‍්‍රාවයන් වෑස්සීම
  • පියයුරේ හැඩය වෙනස්වීම්

පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම් සාධක

  • කාන්තාවක් වීම
  • තරබාරු බව
  • ව්‍යායාම අඩුකම
  • ආර්තවාභාවය කාලයේදී හෝමෝන ගැනීම
  • විකිරණ වලට නිරාවරණය වීම
  • අඩු වයසින් වැඩිවියට පත්වීම
  • දරුවන් නොමැති වීම
  • ප‍්‍රමාද වී දරුවන් ඇතිවීම
  • මවට පියයුරු පිළිකාවක් වැලඳී තිබීම (පවුල් ඉතිහාසය)
  • ඇල්කොහොල්, දුම්පානය, සිසිල් බීම අධික ලෙස භාවිතය
  • උපත් පාලනය සඳහා හෝමෝන ගැනීම. 

පියයුරු පිළිකා තත්ත්ව හඳුනා ගැනීම (Diagnosis)

  • පටක කොටසක් ගෙන පරීක්‍ෂාව – tissue biopsy
  • Mammogram 
  • පියයුරුවල ස්කෑනින් පරීක්‍ෂණ

පියයුරු පිළිකා වර්ග

  1. Ductal Carcinoma in Situ

ක්‍ෂීරධර නාල ආස්තරයේ මෙම පිලිකා සෛල දැකිය හැක. ආක‍්‍රමණකාරී නොවේ(Non invasive). ප්‍රාථමික අවස්ථාවකි.

2.Invasive Ductal Carcinoma 

ක්‍ෂීරධර නාලිකා තුලින් ආරම්භ වන අසාමාන්‍ය පිලිකා සෛල පියයුරු පටකවල අනෙක් කොටස් වලටද පැතිරී පසුව මෙම ආක‍්‍රමණකාරී සෛල ශරීරයේ වෙනත් කොටස් වලටද පැතිරේ. 

3. Lobular Carcinoma in Situ

පියයුරු වල ඇති ගැටිති, පිණ්ඩ (lober) වල මෙම අසාමාන්‍ය සෛල දැකිය හැක. මේවා පිණ්ඩ වලින් පිටතට වර්ධනය නොවන අතර පියයුරු පටක වටා පවතී. 

4.Invasive lobular cancer

ක්‍ෂීරධර ග‍්‍රන්ථි වලින් ආරම්භ වී අවට ඇති සාමාන්‍ය පටකවලටද පැතිරේ. ශරීරයේ අනෙක් කොටස් වලට පැතිරෙන්නේ වසා හා රුධිරය මගිනි. 

5.Inflammatory Breast Cancer

මෙය ඉතා දරුණු ලෙස වේගයෙන් වර්ධනය වී පිලිකා සෛල සම, වසාවාහිනී (පියයුරු තුල) තුලට ගමන් කරයි. 

6.Metastatic Breast cancer

මෙය සිව්වන මට්ටමේ පියයුරු පිලිකාවකි. ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් වෙත සීග්‍රයෙන් පැතිරේ. විශේෂයෙන් යෙන් පෙනහලු, අක්මාව, අස්ථි, මොළය ආදියට ඉක්මනින් පැතිරිය හැකියි. 

පියයුරු පිළිකා වළක්වා ගැනීමට

  • පියයුරු පිලිකා පවතීද යන්න දැනගැනීම සඳහා ආදාල පරීක්‍ෂණ සිදු කිරීම.

උදාහරණ ලෙස Mammogram පරීක්ෂාව

  • සෑම මසකට වරක් ස්වයං පියයුරු පිලිකා පරීක්‍ෂාව සිදුකිරීම 
  • ඇල්කොහොල් පරීභෝජනයෙන් වැළකීම/අවම කිරීම
  • සතියකට වැඩි දින ගණනක් ව්‍යායාමවල යෙදීම
  • ආර්තවාභාවයෙන් පසු හෝමෝන ප‍්‍රතිකාර නොගැනීම
  • නිසි බර මට්ටමක් පවත්වා ගැනීම
  • සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ගැනීම

පියයුරු පිළිකා හඳුනා ගැනීමට සිදුකරන පරීක්‍ෂණ

  1. Mammography

පියයුරුවල රෝග ලක්ෂණ හඳුනා ගැනීමට යොදා ගන්නා මේ ක්‍රමයේදී 1cm වඩා කුඩා ගැටිති පවා හඳුනාගත හැක. මෙහිදී ආකාර කිහිපයකින් X-ray ලබාගනී. පහළට එල්ලා වැටෙන පියයුරු, මේද සහිත පියයුරු පරීක්ෂා කිරීමට මෙම ක්‍රමය විශේෂයෙන් යොදා ගනී. පිළිකාවක් ඇති බවට සැකයක් ඇති විටද මේ සඳහා යොමු විය හැකියි. වයස අවුරුදු 35 අඩු අයට මේ පරීක්ෂණය නිර්දේශ නොකරයි. 

Mammography සඳහා රෝගියෙකු යොමු කරන්නේ‍

  • ඇල්ලීමේදී අතට අසු නොවන ගෙඩි හඳුනාගැනීමට 
  • පියුයුරු Biopsy (ජෛවීක්‍ෂාව) පෙර හා පසු
  • පියයුරුවල ගෙඩි (පිළිකා හෝ පිළිකා නොවුණද) පැවති පවුල් ඉතිහාසයක් ඇත්නම්
  • පිළිකා ඉවත් කිරීමෙන් පසු

2.Ultrasonography

ශ්‍රෝණි කුහරයේ පරීක්‍ෂණ සඳහා ද බොහෝ විට යොදා ගන්නා මේ ක්‍රමයේදී අධි සංඛ්‍යාත ශබ්ද තරංග විවිධ ඝනකම් ඇති පටක තුලින් ගමන් කොට එම ශබ්ද තරංග පරාවර්තනය වී ප‍්‍රස්ථාර ගත වීමෙන් අසාමාන්‍යතා හඳුනා ගැනීම සිදු කෙරේ. වේදනා රහිත ක්‍රමයක් වන මේ ක්‍රමය මගින් රෝගියාට හානියක් නැත. මේද පටක බහුල අවස්ථාවේදී මේ ක්‍රමය අසාර්ථක විය හැකි අතරම ස්කෑන් පරීක්ෂණයක් ආකාරනේ සිදුවන අතරම මේ සඳහා විශේෂ සූදානමක් අවශ්‍ය නොවේ.

3. Biopsy (ජෛවීක්‍ෂාව)

  • FNAB-Fine Needle Aspiration Biopsy – අදාල ස්ථානය නිර්වින්දනය කොට ඉඳිකටුවක් ඇතුළු කර රුධිරය, පටක තරලය, සැරව ගෙන පරීක්‍ෂා කරයි. 
  • Cut Biopsy – ශල්‍යකර්මයක් මගින් සැක සහිත ගෙඩියෙන් කොටසක් කපා පරීක්‍ෂණයට යවයි. සිහි නැතිකිරීමෙන් හෝ හිරි වැට්ටවීම මගින් සිදු කරයි.

4.පියයුරු ස්වයං පරීක්‍ෂාව – Breast Self Examination

ආර්තවයෙන් සතියකට පසු කළ හැකි නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වන අතරම මසකට වරක් සිදු කළ යුතුය. ආර්තවාභාවයට පත් වූ කාන්තාවන් නම් නියමිත දිනයක සෑම මසකම කළ යුතුය. මෙය ඇඟිලි තුඩුවලින් සිදු කරයි.

  • පියයුරේ ප‍්‍රමාණයේ, තනපුඩුවේ හැඩය වෙනස්දැයි බැලීම. Nipple මට්ටම දකුණු පස 1cm පහළින් පිහිටයි. 
  • හාන්සි වී උරහිස යටින් කොට්ටයක් තැබිය හැක. දකුණු පස පරීක්‍ෂා කරන විට දකුණු අත හිස යටින් තබා වම් අතින් පරීක්‍ෂා කළ යුතුය. වම් පස පරීක්‍ෂා කරන විට වම් අත හිස යටින් තබා දකුණු අතින් පරීක්‍ෂා කර යුතුය. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට (දකුණු පැත්තට) පිට පැත්තේ සිට ඇතුලට වන්නට වක‍්‍රාකාරව පරීක්‍ෂා කරන්න. තනපුඩුව තද කර ශ‍්‍රාව ඇති දැයි පරීක්‍ෂා කරන්න. 

පියයුරු පිළිකාව මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර වෙත යොමු වී සම්පූර්ණයෙන් සුවය ලැබිය හැකි අතරම සැමවිටම තමන්නේ ශරීර සෞඛ්‍ය පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීම අප කාගේත් වගකීමකි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ලැපරොස්කොපි, රෝග හඳුනාගන්නද? සැත්කම් කරන්නද?

වෛද්‍ය විදාවේ දියුණුවත් සමගම අද වන විට රෝගීන් වෙනුවෙන් ඉතා පහසු ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දෙනවා. සැත්කම් සඳහා වුවත් එවැනි පහසු සංකූලතා අවම ක්‍රම යොදා ගන්නවා. ඒ අතරින් Laparoscopy එහෙමත් නැති නම් Key Hole Surgery කියන්නේ උදරයේ අභ්‍යන්තර අවයව පරීක්‍ෂා කිරීමට සමත් නවීන ශල්‍යමය රෝග විනිශ්චය ක්‍රමයක් මෙන්ම ප‍්‍රතිකාර සිදු කරන ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් කැපුම් තුවාලවලින් තොරව සංකීර්ණ ශල්‍යකර්ම වුවත් සිදුකිරීමට හැකිය. අද වන විට අපේ රට තුළ මේ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම පුහුණු වෛද්‍යවරු සිටීමත් සතුටට කරුණකි.

ස්කෑනින් පරීක්‍ෂණ (ultra sound, CT Scan, MRI Scan) ආදිය මගින් හඳුනාගත නොහැකි තත්ත්වවලදී බොහෝ විට යොදාගැනෙන්නේ Laparoscopy ක‍්‍රමයයි. විශේෂයෙන් මද සරු බව ආශ්‍රිත ගැටලු හඳුනා ගැනීම වගේම ගර්භාෂගත ගෙඩි, ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීම, ගර්භාෂයෙන් පිටත සිදු වන පිළිසිඳ ගැනීම් සඳහා අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට වගේම ශ්‍රෝනි කුහරයේ හා උදර කුහරයේ වේදනාවක් ඇත්නම් ඊට හේතුව හඳුනාගැනීම වැනි කාර්යන් Laparoscopy ක්‍රමය හරහා සිදුකළ හැකියි. අවදානම අවම, වේදනාව අවම මෙම ක්‍රමයේදී කුඩා කැපුම් මගින් laparoscope නම් වූ (සිහින් දිගු නලයක් වන අතර එහි කෙළවර අධික සංවේදීතාවයක් සහිත බල්බයක් හා කැමරාවක් ඇත) උපකරණය උදර බිත්තියේ සිදු කරන කුඩා කැපුමක් හරහා ශරීරය තුළට ඇතුළු කරයි. එය අභ්‍යන්තරයට ගමන් කරමින් කැමරාව හරහා ඡායාරූපයක් ලබාදේ. එසේම මෙම උපකරණය මගින් අදාල කොටසේ පටක කොටසක් ඉවතට ගෙන පරීක්‍ෂණ වෙත යොමු කිරීම සිදු කරයි.

උණ්ඩුක පුච්ඡය, පිත්තාශය, අක්මාව, අග්න්‍යාශය, අන්තක, ප්ලීහාව, ආමාශය වැනි අවයව ලැපරොස්කෝප් උපකරණය මගින් පරීක්‍ෂා කොට උදරය තුළ පවතින ගෙඩි, උදර කුහරයේ තරලය පවතීද යන්න, අක්මාවේ රෝග, පිළිකාවක වර්ධනයක් පෙන්නුම් කරනවාද යන කරුණු මෙන්ම  ප‍්‍රතිකාරවල ඵලදායීතාවයක් තිබේද යන්නත් මෙමගින් පරීක්ෂා කළ හැකිය.

Laparoscopy ක්‍රමය හරහා මූලිකව හඳුනා ගත හැකි තත්ත්වයන් 

  1. අවහිරතා, වර්ධනයන්, ගෙඩි (tumor)
  2. හේතුවක් නොදත් රුධිර ගැලීම්
  3. ආසාධිත කාන්තාවන් සඳහා රෝග විනිශ්චය හා ප‍්‍රතිකාර ලෙස
  • Fibroids – ගර්භාෂය තුළ ඇති වන ගෙඩි විශේෂයක් වන මෙය බොහෝ විට පිළිකා තත්ත්ව නොවේ.
  • Ovarian cyst – තරලය පිරුණු කුඩා මලු වැනි ව්‍යුහ වන මේවා ඩිම්බ කෝෂ මත හෝ ඇතුළත පිහිටයි. 
  • Endometriosis – ගර්භාෂය අභ්‍යන්තරයේ ඇති පටක පිටතට නෙරා ඒම. 
  • Pelvic Prolapse – ප‍්‍රජනක පද්ධතියේ අවයව යෝනිය මගින් ඉන් පිටතට හෝ අභ්‍යන්තරයට ගමන් කිරීමේ තත්ත්වයයි. 

මීට අමතරව පහත අවස්ථාවලදී ප‍්‍රතිකාර සඳහා ද Laparoscopy ක්‍රමය යොදා ගනියි. 

  • ගර්භාෂයෙන් පිටත සිදුවුණු පිළිසඳ ගැනීම් ඉවත් කිරීම

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් වලදී බොහෝමයක් සිදුවන්නේ පැලෝපීය නාලයක් තුළය. එහිදී මෙම ගර්භණීතාවය තවදුරටත් පවත්වාගෙන යාම අපහසු නිසා නාලය පිපිරී යාමට පෙර කලලය ඉවත් කිරීම මෙම ක‍්‍රමය හරහා සිදු කරයි.  

  • ගර්භාෂය ඉවත් කිරීම (Hysterectomy)

පිළිකාවට ප‍්‍රතිකාර ලෙස උදර රුධිරවහනයක් හෝ වෙනත් රෝග තත්ත්වවලදී ගර්භාෂය ඉවත් කිරීම කරයි. 

  • පැලෝපීය නාල ගැට ගැසීම 

ගැබ් ගැනීම වැළැක්වීම සඳහා සිදු කරන ලබන ප‍්‍රතිකාර ක‍්‍රමයකි. (LRT කිරීම) 

  • හදිසියේ හෝ නොදැනුවත්ව මුත‍්‍රා පිටවීමට ප‍්‍රතිකාර ලෙස

පහත අවස්ථා වලදී මෙම පරීක්‍ෂණය සඳහා යොමු කළ හැක. 

  • උදරයේ හෝ ශ්‍රෝණිය තුල කාලයක් පවතින හෝ තීව‍්‍ර වේදනාව 
  • උදරයේ ගෙඩියක් ඇති බවක් දැනෙන විට
  • උදර පිළිකාවක් ඇති විට
  • ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය වේ නම්
  • ශල්‍ය උපත් පාලන ක‍්‍රමයක් ලෙස (LRT)
  • ගැබ් ගැනීම නොමැති විට හෝ ප‍්‍රමාද විට නාල වල අවහිරතා පරීක්‍ෂාවට 

මෙම පරීක්‍ෂණය බොහෝ විට ශල්‍යකර්මය කිරීමට පෙර සිදු කරයි. මෙම පිළිවෙතට පෙර පහත ඖෂධ ගන්නන්හට එහි වෙනස්කම් (අඩු කිරීම, නතර කිරීම්) සිදු කරයි. 

  • රුධිරය තුනී කරන ඖෂධ – Heparin, warfarin
  • වේදනානාෂක ඖෂධ – Brufen, Aspirin
  • රුධිර කැටි ගැසීම ඇති කරවන ඖෂධ – Vitamin K

ශල්‍යකර්මයෙන් පසු වෙව්ලීම හෝ උණ, උදර වේදනාව, රතුවීම, ඉදිමීම, රුධිර වහනය හෝ කැපුම් ස්ථානයේ ශ‍්‍රාවයන් ගැලීම, අඛණ්ඩ ඔක්කාරය හා වමනය, ස්වසන අපහසුව, මුත‍්‍රා පිටකරීමට නොහැකි වීම වැනි ආසාධනයක ලක්‍ෂණ ඇති වේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය.

Laparoscopy පරීක්‍ෂණය සඳහා සූදානම

මෙම පරීක්‍ෂණය සිදු කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා විසින් රුධිර පරීක්‍ෂණ, මුත‍්‍රා පරීක්‍ෂණ, ECG, පපුවේ X-ray ඡයාරූප ගැනීමට නියම කළ හැක. සමහර අවස්ථාවලදී USS, CT, MRI වැනි ස්කෑනින් පරීක්‍ෂණද නියම කරන අවස්ථා පවතී. මෙම පරීක්‍ෂණවලින් ලැබෙන ප‍්‍රතිඵල, ලැපරස්කොපි උපකරණය මගින් කරන පරීක්‍ෂණවලදී අසාමන්‍යතා හඳුනාගැනීමට උපකාරී වේ. එමගින් මෙම පරීක්‍ෂණයේ ඵලදායීභාවය වැඩි කරයි.  සමහරවිට මෙම පරීක්‍ෂණයට පෙර පැය 8 ක් පමණ නිරාහාරව සිටිය යුතු විය හැක. මෙම පරීක්‍ෂණයේදී සර්ව නිර්වින්දනය (General anesthesia) ලබාදෙන බැවින් පරීක්‍ෂණයෙන් පසු නිදිමත ගතිය ඇති විය හැක. සමහර අවස්ථා වලදී ස්ථානික නිර්වින්දනය (Local anesthesia) ලබාදේ. එනම් එම අදාල කොටස හිරිවැටීමකට ලක් කරයි. 

එසේම රෝහල් ගත නොවී නිවසේ සිට ගොස් බාහිර රෝගියෙකු ලෙසද මෙම පරීක්‍ෂණය කරගැනීමේ හැකියාවක් පවතී. සර්ව නිර්වින්දනය (General anesthesia) ලබාදීමෙන් පසු පරීක්‍ෂණය පුරාවට ඔබට හොඳින් නින්ද යනු ඇත. වේදනාවක් නොදැනේ. මේ සමගම තරලය ලබාදෙමින් රෝගියා සජලනය කරයි. 

මෙම පරීක්‍ෂණයේදී උදරයේ නාභියට යටින් කුඩා කැපුමක් කර එය තුළට කැනියුලාවක් ඇතුළු කරයි. එමගින් උදරය CO2 වාතයෙන් පිම්බීමක් කරයි. මෙම වාතය මගින් වෛද්‍යවරයාට උදර ඉන්ද්‍රියන් පරීක්‍ෂාව පැහැදිලි කරයි. ඉන්පසුව උදරය පිම්බීමත් සමග එම කැපුම හරහා මෙම උපකරණය ඇතුළු කරයි. එහි කෙළවර ඇති කැමරාව මගින් ඡායාරූපයක් තිරය මත දිස්වේ. මෙසේ කැපුම් 1 – 4 ක් අතර ප‍්‍රමාණයක් සිදු කරන අතර එම කැපුමක් 1 – 2cm දිගකින් යුක්තය. එසේම වෛද්‍යවරයා අවශ්‍ය නම් අභ්‍යන්තර පටක කොටසක් ගැනීමද සිදු කරයි. පරීක්‍ෂණයෙන් පසු එම කැපුම්වලට මැහුම් යොදන අතරම පැය කිහිපයක් යන තුරු ස්වසනය, හදගැස්ම, රුධිර පීඩනය පරීක්‍ෂා කිරීම සිදු කරයි. 

පරීක්‍ෂණයෙන් පසුව ඇති විය හැකි බහුල තත්ත්ව වන්නේ උරහිසේ වේදනාවයි. පරීක්‍ෂණය සඳහා යොදාගත් CO2 වායවු මගින් ඔබේ මහා ප‍්‍රාචීරය උද්දීපනය කිරීම ඊට හේතුවයි. එවිට උරහිසට යන ස්නායු උද්දීපනය වේ. දින කිහිපයකින් මෙම තත්ත්වය මගහැරී යයි. සතියක් තුළ ඔබට ඔබගේ සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි අතර සති 2 කින් පසු නැවත වෛද්‍යවරයා මුණ ගැසී පසු විපරමක් ලබාගත යුතුය. 

Laparoscopy ක්‍රමය මගින් රෝගියාට ඇති වන වාසි

  • සැත්කමකදී මෙන් විශාල කැපුම් තුවාල සහිත විවරයන් ඇති නොවන අතරම ඒ නිසා රෝගීයාට දැනෙන වේදනාව අවම වේ
  • විශාල කැපුම් තුවාල අවම නිසා රෝගියාට ඉක්මනින් ඇවිදීමට අවස්ථාව ලැබෙන අතරම එමගින් තුවාල සුව වීම ඉක්මන් වේ. තුවාල ආසාදනයට ලක් වීමේ අවදානම අවමයි.
  • ඉතා ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට යොමු වීමට අවස්ථාව උදා වේ
  • විශාල කැලැල් නොමැති නිසා රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු ඇති නොවේ

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

ඔයා ගෙනත් දුන්නේ සුරංගනාවක්..නංගී අහුලාගත්තේ කුණු කාණුවෙන්

එකම අම්මාගේ දරුවන් වෙනුවෙන් අම්මලාගේ ආදරයේ වෙනසක් නැහැ. වැලේ ගෙඩි වැලට බර නැහැ කියන්නා සේම හැම දරුවෙක්ම දෙමව්පියන්ට වටිනවා.ඒ අතරේ සමහර වේලාවදී ඔයා ගෙනත් දුන්නේ සුරංගනාවක්..නංගී අහුලාගත්තේ කුණු කාණුවෙන් වගේ ඔබ දරුවන්ට කියනවා ඇති.

ඒ කියන්නේ බොරුවට…

ඔව් ඇත්ත…දරුවන් කියන්නේ අපේ සම්පත්.කුණු කාණුවලින් අහුලාගන්න දරුවන් ඉන්නවායැ. අපේ පණ වගේ දරුවන් රකිද්දී මේ වගේ පුංචි බොරුවක් අපිත් කියනවා..

ඒ බොරුව දරුවාට බලපාන්නේ කොහොමද..?

දරුවන් ලං කර ගෙන ඔබ එක් එක් දරුවා වෙනුවෙන් මේ විදිහට වෙන වෙනම තක්සේරු කරද්දී දරුවන්ගේ හිතේ ඔවුන් ගැන ඇති වෙන්නේ කිසියම් හීනමානයක්. ඇත්තටද අම්මා මෙහෙම කියන්නේ දරුවා තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා.

ඇත්තම ඇත්ත වෙන්නැති..ඒකයිනේ අම්මා,තාත්තා මට හැමවේලාවේම බනින්නේ..සැරකරන්නේ..අයියට අක්කාට අම්මා ,තාත්තා හරිම ආදරෙයි.මට ඒ විදිහට ආදරේ කරන්නේ නැහැ..

ඔයා ඉතින් කුණු කානුවේ ළමයානේ..ඒකයි කියන දේ අහන්නේ නැත්තේ..

මේ විදිහට ඔබ දරුවන්ට ලේබල් ඇලෙව්වාම ඔවුන්ගේ හිතේ ඇති වෙන මානසික ගැටුම නිසා දරුවාගේ හැසිරීම වෙනස් වෙන්න පටන් ගන්නවා.ඔවුන් නිතරම ගැටුම්වලට මුල පුරනවා. අයියා,අක්කාට ඊර්ශ්‍යා කරනවා.දරුවාගේ හැසිරීම වෙනස් වුනාමත් දෙමව්පියන් ඔවුන්ට පහර දෙන්නේ කුණු කාණුවේ කථාන්දරයෙන්.

මං මොකටද අම්මාට,තාත්තාට ආදරේ කරන්නේ..

දැන් දරුවාගේ හිතේ තමා ගැන ඇති වෙන ආත්මීය ශෝකය නිසා ඔහුගේ හිතේ යම් සංකුලතාවයක් පෙරලි කරන්න පටන් ගන්නවා. මේ මගේ අම්මා,තාත්තා නොවෙයි නම් මම මොකටද මෙයාලට ආදරේ කරන්නේ..ඔන්න දැන දරුවාගේ හිතේ ගැටුමක්..

ගැටුම ලේසියෙන් අවසාන වෙන්නෙත් නැහැ.

මේ අන්දමේ මානසික ගැටුමක් දරුවෙකුගේ හිතේ ගොඩ නැගුනොත් එය දවසකින් දෙකකින් දුරස් වෙන්නේ නැහැ.ඒ සිතුවිල්ල දරුවා සමග වැඩෙනවා.දරුවා තමන්ගේ දෙමව්පියන් ගැන නිතරම සිතන්නේ සැකයෙන්. මේ මගේ අම්මා..තාත්තා නොවෙයි කියන සංකල්පය නිසා ”සැබෑ මව්පිය සෙනහස” පිලිබද ඌනතාවයක් සමග දරුවාගේ හිත පීඩා විදිනවා.

මගේ අම්මා කවුද..මං එයාලව හොයන්න ඕන..

සමහර අවස්ථාවන්හිදී දරුවන් වැඩිහිටි වෙද්දීත් මේ මානසික ගැටුම සමග ජීවත් වෙනවා. විටෙක ඔවුන් තමාගේ සැබෑ මව්පියන් සොයන තරමටම ප්‍රශ්නය දුර අරගෙන යනවා.

ඔයාට පිස්සුද..? ඔයා අපේ..

දැන් ඔන්න දෙමව්පියන්ටත් ඇස් ඇරෙනවා. දරුවා වයස සමග ජීවිතය තේරුම් ගනිද්දී පුංචි කාලයේ අම්මා,තාත්තා දරුවා ගැන කියන ලද දේ හිතේ හොල්මන් කරනවා. 

මට පුංචිකාලයේ ඉදලම ඔයගොල්ලන් වෙනස්කම් කලේ මං ඔයාලගේ නොවන නිසානේ..

අයියට, අක්කට ඔයාලා ආදරේ වුනාම මට කවදාවත් ආදරේ කළේ නැහැ..

ඔයා පුංචි කාලයේ හරිම දඟයි…ඒකයි අපි එහෙම කිව්වේ..

ඔබ දරුවා ඒ විදිහට වෙනස් කරමින් විශේෂණ ලබා දුන්නේ ඔවුන් මෙල්ල කිරීමට බව ඇත්ත.එහෙත් එය දරුවන් හැඩගැස්වීමේදී සාර්ථක උපායක් නම් නොවෙයි.මේ විදිහට දරුවන් ගැන විවිධ සංකල්ප ගොඩ නැගීමෙන් සිදු වෙන්නේ අනාගත පවුල් ගැටුමක් වෙනුවෙන් මුල පිරීමක්..

දරුවාගේ වැරැද්දට කථා කරන්න

ඔබේ දරුවා වරදක් කරනවා නම් ඒ වැරැද්ද ගැන පමණක් ආමන්ත්‍රනය කරන්න.දරුවා වැරදි කරන්නේ ඔවුන් කැලෙන්, කාණුවෙන් අහුලා ගත් නිසා නොවන බැව් ඔබ හොදින්ම දන්නා නිසා එවැනි චෝදනාවන් දරුවන්ට නැගීම කිසිසේත්ම වටින්නේ නැහැ.වැරැද්දක් කළ තැනදී වරදට දඬුවම මිසක අයියා…අක්කා..ට දරුවා සමාන කරන්න එපා. සහෝදරයන් අතරත් ගති පැවැතුම් වෙනස්කම් තිබෙන නිසා ඔබේ දරුවා පවුලේ සෙසු දරුවන්ට සමාන ආකෘතියක් වෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙකුට චෝදනා කරන විට ඒ වරදට මිසක තවත් අය සමග සංසන්දනාත්මකව කිරා මැන බැලීමක් නොකරන්න. එවිට දරුවා කිසිම දිනක වරද නිවරැදි කර ගැනීමට වඩා ඔබ අගය කළ සහෝදරයන්ට ඊර්ශයා කිරීමට යොමු වෙනු ඇත.

ඊර්ශ්‍යාවේ විෂබීජය දුන්නෙත් ඔබ

බාලකාලයේ දරුවන් අතර මේ අන්දමින් දෙමව්පියන් විසින්ම විෂබීජ වගා කිරීම නිසා අනාගතයේදී ඔවුනොවුන් අතරත් විවිධ විරසකකම් ගොඩ නැගෙනවා.

මං කොහොමද..? ඔයාගේ නංගියෙක් වුනේ..

මගේ දේවල්වලට ඇගිලි ගහන්න ඔයාලට අයිතියක් නැහැ..

පවුලක සතුට ගොඩ නගා ගැනීමට දරුවන් අතර සහයෝගය  ඉතාම වැදගත්.ඒ වුනත් මේ විදිහට විසංවාදී අදහස් ඇති නිවසක කිසිම සහජීවනයක් ගොඩ නැගෙන්නේ නැහැ.

වචන පරිස්සමින් පාවිච්චි කරන්න…

දරුවන්ගේ පුංචි කාලයේදී ඔවුන්ට හය හතර නොතේරෙන නිසා ඔබ මේ විදිහට පුංචි පුංචි අපහාස කරන්නට ඇති.ඒවා දරුවා සමග වැඩෙන බැව් ඔබ සිහිනෙන් හෝ නොසිතුවා විය හැකියි.ඒත් අපි හිතනයාට වඩා දරුවන් අපේ වචන ග්‍රහණය කර ගැනීමට බොහොම සමර්ථයි.ඔවුන් ඒ වචන හිතේ තබා ගෙන අවශ්‍ය වේලාවට ආයුධ සේ පාවිච්චි කිරීමට තරමටම දරුණුයි.

දෙමව්පියන් විදිහට ඔබ දරුවන් ඉදිරියේ වචන පාවිච්චි කිරීමේදී ප්‍රවේසම් වෙන්න.

  • කිසිම දවසක දරුවන්ගේ ශාරිරික අඩුපාඩු වලට අපහාස කරන්න එපා.
  • දරුවන්ගේ දුබලතාවයන් විවේචනය කරන්න එපා.
  • දරුවන් ගැන තවත් අයට සාපේක්ෂ කරමින් අවමන් කිරීමත් ඉතා දරුණුයි.

දරුවා කියන්නේ වෙනම ආකෘතියක්..

ඔබට දරුවන් කීපදෙනෙකු සිටින මවක් විය හැකියි. ඔබේම වුනත් මේ සෑම දරුවෙකුම ඔවුන්ට අනුව ඒකීයයි. කිසිම දිනක වැඩිමහල්දරුවන්ට හෝ සහෝදරයාගේ,මිතුරියගේ, අල්ලපු ගෙදර දරුවාට ඔබේ දරුවා සමාන වෙන්නේ නැහැ. මෙම සිද්ධාන්තය හොඳින් වටහා ගත් දිනකදී දරුවන් යනු දෙවියන් විසින් දුන් තිලිනයන් බැව් ඔබ තේරුම් ගනු ඇත.

 

LRT සැත්කම ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

පවුල් සැලසුම් ක්‍රම ගැන අප බොහෝ අවස්ථාවන්වලදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. දරුවන් අතර පරතරය පවත්වා ගැනීමට එසේත් නැතිනම් මවගේ සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු මත හෝ වෙනත් හේතු මත දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට ඒ ක්‍රම භාවිත කළත් දරුවන් ගණන ප්‍රමාණවත් වූ යුවළවල් විසින් යොදාගන්නා පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස LRT (Ligation and Resection of tubes) සැත්කම හඳුන්වා දිය හැකියි. එනම් LRT (Ligation and Resection of tubes) හෙවත් වන්ධ්‍යකරණය යනු තවදුරටත් දරුවන් අනවශ්‍ය යුවළවල් සඳහා භාවිත කළ හැකි ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයකි. එය ඉතා ආරක්‍ෂිතවූත් වියදම් අඩු සුළු සැත්කමක් මඟින් සිදු කරන පවුල් සැලසුම් ක්‍රමයකි. පුරුෂයන් සඳහා ද වාසෙක්ටමි නමින් ක්‍රමයක්ද,ස්ත්‍රීන් සඳහා ටියුබෙක්ටමි හෙවත් LRT (Ligation and Resection of tubes) නමින් ක්‍රමයක්ද පවතී.

මෙහිදී පැලෝපීය නාල දෙක අවහිර කිරීමෙන් ඩිම්බය හා ශුක්‍රාණුව එකතුවීම වළක්වයි. මෙම සැත්කම සඳහා සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 10-15 ක පමණ කාලයකි. 

පැලෝපීය නාල ගැට ගැසීම, පැලෝපීය නාල ගැට ගසා නාල කොටසක් කපා ඉවත් කිරීම හෝ ක්ලිප්ස් හෝ මුදු (clips or ring) යොදා පැලෝපීය නාල අවහිර කිරීම යන ක්‍රමවලින් එක් ක්‍රමයක් උපයෝගී කරගනිමින් පැලෝපීය නාල අවහිර කිරීම මෙහිදී සිදුකරයි.

මෙම සැත්කමේදී ක්‍රම කිහිපයක් උපයෝගී කරගනිමින් පැලෝපීය නාල වෙත ලඟා වේ. 

  1. මිනි ලැපරටොමි ක්‍රමය (Mini Laparatomy)

මෙහිදී උදර කුහරයේ 5cm අඩු කැපුමක් මගින් විවෘත කර කරනු ලබයි. එහිදී ද ක්‍රම 2 කි. එනම් ප්‍රසූතියෙන් පැය 48 ක් ඇතුළතදී නාභියට පහතින් උදර කැපුමක් මගින් කෙරෙන සැත්කම මගින් හෝ ප්‍රසූතිය සිදුවී ගර්භාෂය නියම ලෙස හැකිලීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී කරන සැත්කමිනි. මෙහිදී යටි බඩ පෙදෙසේ (Symphysis pubis) කරන කැපුමක් හරහා පැලෝපීය නාලවලට ලඟා වේ. 

2.සිසේරියන් ශල්‍යකර්ම කරන අවස්ථාවේදී

3.ලැපරොස්කොරික් ක්‍රමය

ලැපරස්කෝප් නැමැති උපකරණය භාවිත කර මෙම සැත්කම සිදු කරයි. නාභියට පහතින් කුඩා (2.5cm පමණ) කැපුමක් තුළින් ලැපරස්කෝපය ඇතුළු කර එමඟින් clips හෝ මුදු යොදා පැලෝපීය නාලය අවහිර කරයි. සැත්කම සඳහා සුළු වේදනානාශකයක් (Sedatires) ලබාදී අදාල ස්ථානය හිරිවට්ටවා සාමාන්‍යයෙන් සිදු කරයි. සමහර අවස්ථාවලදී සාමාන්‍ය නිර්වින්දනය (General anesthesia සිහි නැති කිරීමෙන්) ද සිදු කිරීමට සිදු වේ. 

ලංකාවේ මෙම සැත්කම කරනු ලබන්නේ නාරිවේදී විශේෂඥ වෛද්‍යවරු හා ඒ සම්බන්ධ ක්‍ෂෙත්‍රයේ නියැලෙන ප්‍රවීන ජේෂ්ඨ වෛද්‍යවරු විසින් වන අතරම ලැපරොස්කොපි වන්ධ්‍යාකරණය සිදු කරන්නේ ඒ සඳහා පුහුණුවලත් නාරිවේදීය විශේෂඥයන් විසිනි. 

මෙම වන්ධ්‍යකරණ සැත්කමේදී බොහෝ විට සමට යොදන්නේ අවශෝෂණය වන මැහුම් (දිය වෙන මැහුම්) වන අතර කලාතුරකින් නයිලෝන් යොදා ඇත්නම් අදාළ රෝහලින් ඒවා ඉවත් කරගත යුතුය.

LRT සැත්කම සඳහා සුදුසු අය

  1. අවශ්‍ය දරු සංඛ්‍යාව ලබා ඇති පවුල්වල කාන්තාවන්
  2. දරුවන් ලැබීමේදී වැඩි අවදානමක් සහිත කාන්තාවන්
  • පෙර ප්‍රසව අවස්ථාවලදී තදබල ප්‍රසව සංකූලතා ඇති වූ කාන්තාවන්
  • සිසේරියන් ශල්‍යකර්මය කිහිපයකට බඳුන් වූ කාන්තාවන්

3.ගැබ් ගැනීමට නුසුදුසු සෞඛ්‍ය ගැටලු ඇති සහ වෙනත් පවුල් සංවිධාන ක්‍රමයක් භාවිතයට නුසුදුසු ස්ත්‍රීන්

4.උපතින් ඇති විය හැකි ආබාධ තත්ත්ව (congenital anomalies) ඇති දරුවන් බිහි කිරීමේ අවදානම සහිත කාන්තාවන්

LRT සැත්කමට නුසුදුසු අවස්ථා

සැත්කමට නුසුදුසු අවස්ථා නොමැත. තාවකාලිකව දැක්විය හැකි එවැනි නුසුදුසු අවස්ථා ලෙස,

  • ගැබ්ගෙන සිටීම
  • ශ්‍රෝණී පෙදෙස් තීව්‍ර ආසාධන (PID – Pelvic Inflammatory Diseases), ගර්භාෂය, පැලෝපීය නාල හා ඩිම්බ කෝෂවල ඇති වන ආසාධන තත්ත්ව පැවතීම 
  • ශල්‍යකර්ම සිදු කරන කොටසේ සමෙහි ආසාධන
  • ප්‍රතීක ගබ්සාවන් (Septic abortion) සිදු වූ විගස
  • විවාහ ජීවිතයේ අසමගිතා ඇති අවස්ථාවලදී සමථයකට පත්වන තුරු වන්ධ්‍යාකරණය නොකළ යුතුය. 

පහත සඳහන් කිසියම් තත්ත්වයක් පවතී නම් පැය 48 ක් ඇතුළත සිදු කරන පසු ප්‍රසව වන්ධ්‍යකරණය ප්‍රමාද කළ යුතුය. 

  • ආසාධිත,සූතිකා උණ
  • වෝටර් බෑගය කැඩී යාමට වැඩි වේලාවක් ගතවීම 
  • පසු ප්‍රසව සයිකෝසියාව
  • පෙකෙණිය ආශ්‍රිතව ඇති වන හර්නිය අවස්ථා (Umbilical Hernia)

LRT සැත්කමට පෙර සිදුකරන පරීක්ෂණ

වන්ධ්‍යකරණය කිරීමට ප්‍රථම සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය පරීක්ෂා කරන අතරම රෝග විනිශ්චය පිළිබඳව සටහන් පතක් තිබිය යුතුය. එසේම ගැබ් ගෙන නැති බව සානථ කරගැනීමට රසායනාගාර පරීක්‍ෂණයකට ‍යොමු කෙරේ. 

LRT සැත්කමට පෙර හා පසු පිළිපැදිය යුතු කරුණු  

සැත්කමට පෙර හා පසු පිළිපැඳිය යුතු උපදෙස් පැහැදිලි ලෙස තේරුම් කරදීම වැදගත් වන අතර සෑමවිටම ලිඛිත උපදෙස් ලබාදිය යුතුය. ශල්‍යකර්මයෙන් පසු රෝග විනිශ්චය කාඩ්පතක් ලබාදේ. පැලෝපීය නාල දෙකෙහිම සැත්කම කිරීමට අපහසු වූයේ නම් හෝ නොහැකි වූයේ නම් ඒ පිළිබඳව රෝග විනිශ්චය කාඩ්පතෙහි දක්වා අදාල කාන්තාවද දැනුවත් කරයි. සැත්කම සාර්ථක නොවුණි නම් වෙනත් විකල්ප මාර්ගයන් ලබාදිය යුතුය. 

LRT සැත්කමේ සාර්ථකත්වය 

මෙම ශල්‍යකර්මය සාර්ථවක සිදුකළ හොත් 100ක්ම සාර්ථක වන අතරම සැත්කම කළ දින සිටම එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වේ. ඇතැම් විට කලාතුරකින් එනම් 3%ක පමණ අවම ප්‍රතිශතයක් ආසාර්ථක වන අවස්ථා දැකිය හැකියි. 

LRT සැත්කම අසාර්ථක වීමට හේතු ලෙස පැලෝපීය නාල හොඳින් හඳුනා නොගැනීම හේතු කොටගෙන නිසියාකාරව සැත්කම සිදු නොවීම මෙන්ම පැලෝපීය නාල නැවත ඉබේම සම්බන්ධ වීම වැනි තත්ත්ව දැක්විය හැකිය.

LRT සැත්තමෙන් පසු ඇති විය හැකි සංකූලතා සහ අතුරු ආබාධ

LRT සැත්කමේදී තදබල සංකූලතා ඇති වීමේ අවස්ථාවන්  අල්පය.

  • විෂබීජ නාශක හෝ හිරිවැට්ටවීම සඳහා යොදාගන්නා ඖෂධ (lignocaine භාවිතය)  හේතුවෙන් ආසාත්මිකතා හෝ විෂවීම් ඇති විය හැකි බව සොයාගෙන ඇත. 
  • තුවාලයෙහි රක්තවාතය – මතුපිට ඇති කුඩා රුධිර කැටියක් නම් සාමාන්‍යයෙන් ඉබේටම රුධිරය පිටවීමට හෝ නැවත අවශෝෂණය වීම සිදු වේ. එයට ප්‍රතිකාර අවශ්‍ය නැත. විශාල රුධිර කැටියක් නම් එය ඉවත් කර රුධිර වහනය වන තැන් නවතා නැවත තුවාලය වැසිය යුතුය. 
  • තුවාලය ආසාධනය වීම – සාමාන්‍යයෙන් ශල්‍යකර්මයෙන් තුන්වන දින මෙය සිදුවිය හැක. වේදනාව, ඉදිමීම, තුවාලයේ සැරව ගැලීම හා උණ ඇති වීම මෙහි ලක්‍ෂණ වේ. තුවාලය වසන සැරසුම නිතර නිතර මාරු කිරීම බොහෝ විටම සුවය සඳහා උපකාරී වේ. කලාතුරකින් සැරව ඉවත් කිරීම සිදුකළ යුතු වේ. මෙවිට ප්‍රතිජීවක ඖෂධ රෝගියාට ලබාදේ. 

LRT සැත්කමේදී ඇති විය හැකි අතුරු ආබාධ/ සංකූලතා වැළක්වීම සඳහා මූලිකම ක්‍ෂෙත්‍ර මට්ටමින් හා සායන මට්ටමින් අඹුසැමි යුවළට නිසි දැනුවත් බවක් ලබා දිය යුතුය. එමගින් ඔවුන්ගේ බිය,කනස්සල්ල මෙන්ම පැවති මිත්‍යා මත දුරුවී ඉතා විශ්වාසයකින් යුතුව සැත්කමට මුහුණ දීමට ඔවුන්ට හැකියාව ඇතිවේ. 

LRT සැත්කමට පෙර රෝහලේදී 

  • අදාල කාන්තාවගේ වෛද්‍ය ඉතිහාසය ගැනීම
  • රුධිර සංසරණ පද්ධති/ස්වසන පද්ධතිය/උදරය/උකුල ආශ්‍රිතව (ශ්‍රෝණිය) පරීක්‍ෂාව
  • නිසි ලෙස සංවිධානය කරන ලද ශල්‍යාගාර පහසුකම් හා පුහුණු වෛද්‍ය සේවකයන් සිටීම
  • ශල්‍යකර්මයට පෙර නියමිත ඖෂධ හා හිරිවැට්ටවීම සඳහා ඖෂධ ලබාදීම.
  • ප්‍රවේසම් සහිතව ඉතා කල්පනාකාරීව පටකයන් පරිහරණය කිරීම. 
  • පැලෝපීය නාල කැපීමට,ගැට ගැසීමට පෙර නිවැරදිව හඳුනා ගැනීම. 
  • සැත්කමින් පසු, පසු විපරම.
  • ශල්‍යකර්මයට පෙර හා පසු පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග තේරුම් කරදී ඒවා පිළිපැදීම තහවුරු කළ යුතුය. 

LRT සැත්කමේ වාසි 

  • සරල එමෙන්ම එක්වරක් පමණක් කරන සැත්කමකි.
  • වැයවන මුදල ප්‍රතිඵලාදයක වන අතර ඉන්පසුව මව හෝ සේවාදායකයා විසින් නැවත නැවත දැරිය යුතු වියදමක් නැත.
  • ශල්‍යකර්මය කළ අවස්ථාවේ සිටම ප්‍රතිඵලදායකය. 
  • ස්ථිර ක්‍රමයක් නිසා ස්ත්‍රී පුරුෂ සබඳතාවයේදී වැඩි තෘප්තියක් ලැබේ. 

LRT සැත්කමේ අවාසි

  • පවුලට අවශ්‍ය දරු සංඛ්‍යාව ලැබෙන තුරු මෙම ක්‍රමය සිදු කරගත නොහැක. 
  • උපකරණ නිසි අයුරු පවත්වාගෙන යා යුතු අතර වැඩි සංවිධානයක් අවශ්‍ය වේ. 
  • ලැපරොස්කොපි වැනි ක්‍රමවලදී වැඩි මුදලක් වැය වේ. 
  • ශල්‍යකර්මයෙන් පසු නැවත පැලෝපීය නාල යථා තත්ත්වයට පත් කළ නොහැක. 
  • කලාතුරකින් අසාර්ථක වේ. 
  • ශල්‍යකර්මය සඳහා පුහුණුව ලත් නාරිවේදීය ශල්‍ය වෛද්‍යවරයෙක් අවශ්‍ය වේ.

වන්ධ්‍යකරණය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම. 

මෙම ශල්‍යකර්මය සඳහා ස්ත්‍රිය හා පුරුෂයාගේ ලිඛිත කැමැත්ත අත්‍යවශ්‍ය වේ. වන්ධ්‍යාකරණය පිළිබඳව දැනුවත් වී කැමැත්ත ප්‍රකාශ කිරීම යනු ශල්‍යකර්මය සිදු කරන ක්‍රම, ප්‍රතිඵල පිළිබඳ සම්පුර්ණ තොරතුරු ලබාගෙන වන්ධ්‍යාකරණය කරගැනීම සඳහා ස්වේච්ඡාවෙන් තීරණයක් ගත් බවය. 

කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රිකාවේ ශල්‍යකර්මයකින් සිදු කරන බවත් ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් බැවින් මින් ඉදිරියට දරුවන් ලබාගත නොහැකි බවත් ඉතා කලාතුරකින් මෙම ක්‍රමය අසාර්ථක විය හැකි බවත් ඇතුළත් වේ.

තවද මෙම පත්‍රිකාවේ කරුණු සනාථ කිරීමට විශේෂයෙන් දරුවන් ගණන සනාථ කිරීමට අවුරුදු දෙකට වැඩි දරුවන් දෙදෙනෙකුගේ උප්පැන්න සහතික හෝ ළදරු කාඩ්පත් රැගෙන යා යුතුය. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

ඔබේ දරුවාගේ “ශ්‍රවණය” පිළිබඳ ඔබ සැලකිලිමත් ද?

දරුවෙකු ගේ පුර්ණ වර්ධනයක් උදෙසා “ශ්‍රවණය” ඉතා වැදගත් වේ. මන්ද, ශ්‍රවණය යනු දරුවාගේ භාෂා වර්ධනය ට අත්‍යවශ්‍ය වන මූලික ම සාධකයක් වන නිසාවෙනි.  ඒ නිසාවෙන් ම කුඩා කාලයේ සිට දරුවාගේ “ශ්‍රවණය” නැතහොත් “ඇසීම”  පිළිබඳ දෙමව්පියන් වශයෙන්  උනන්දු වන්නේ ඒ පිලිබඳ දැන හෝ නොදැන විය හැකිය. තවද ඔබ ඔබගේ කුඩා දරුවා ට විවිධ ශබ්ධ නගන සෙල්ලම් බඩු ගෙනවිත් දෙන්නේ එම ශබ්ධ වල ට දරුවා හැරී බලා වි යන අදහසිනි.

ඔබේ දරුවාට කුඩා කාලයේදී ශ්‍රවණ ඌනතාවයක් ඇති බව හඟවන කරුණු මොනවාද?

  • දරුවා නමට ප්‍රතිචාර නොකරයි නම් 
  • දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයේ ප්‍රමාදයක් ඇති නම් 
  • දරුවාට ඔබ දෙන විධාන අනුගමනය කිරීම අපහසු වේ නම් 
  • රූපවාහිනිය නරඹන විට ඊට ආසන්නම වාඩි වී ශ්‍රවණය කරයි නම් 
  • කතාව ආරම්භ කර ඇති දරුවෙකු නම් උච්චාරණ දෝෂ ඇති නම් 
  • ඔබ දරුවාට ලබා දෙන විධාන දරුවා විසින් නැවත නැවත විමසයි නම් ඔබ මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. 

තවද ඉහත සඳහන් ලක්ෂණ පවතී නම්  දරුවා ශ්‍රවණ  පරීක්ෂණයක් සඳහා යොමු විය යුතු අතර එමඟින් එමගින් දරුවාට ශ්‍රවණ ඌනතාවක් පවතී ද? පවතී නම් එම ඌනතාවය කොපමණ ප්‍රමාණයක්ද? යන්න ත් ශ්‍රවණ  ඌනතාවක් පවතී නම් ඒ සඳහා සවන් වහලක් පැලදීම අවශ්‍ය ද? අවශ්‍ය නම් ඊට අදාල සුදුසුම තාක්ෂණයෙන් යුත් සවන් වහල කුමක්ද? ඒ සියල්ල ඔබට ශ්‍රවණවේදියෙකු හරහා සිදු කර ගත හැකියි. 

මෙම තත්ත්වය 1.පූර්ණ ශ්‍රවණ ආබාධිත (බිහිරි) හෝ

                      2.ශ්‍රවන ඌනතා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි.

එමෙන්ම ශ්‍රවණ ඌනතාවය ද ඇසෙන ප්‍රමාණය අනුව තවත් අනු කොටස් කිහිපයකටම බෙදනු ලබයි.

මෙහිදී වඩා වැදගත් වන්නේ දරුවාගේ ශ්‍රවණ මට්ටම ඉහළ නංවාලීමට සුදුසු තාක්ෂණයෙන් යුත් සවන් වහලක් පැලදිම  හා සවන් වහල පැළඳ සිටින විට දරුවාට කොපමණ ප්‍රමාණයක් ඇසෙනවාද යන්න නැවත ශ්‍රවණ පරීක්ෂණයක් හරහා හඳුනා ගැනීම හෝ කර්ණශංඛ බද්ධය  සුදුසු බව තීරණය කළ අවස්ථාවකදී එම ශල්‍යකර්මයෙන් පසුව කර්ණශංඛය  සමඟ සිදුකළ ශ්‍රවණ පරීක්ෂණය කින් දරුවාට කොපමණ ඇසෙනවා ද යන්න හඳුනා ගැනීමයි. එම පරීක්ෂණ ප්‍රතිඵල මත සිට දරුවාගේ කතාව, භාෂාව හා සන්නිවේදනය දියුණු කිරීම  විවිධ චිකිත්සක ක්‍රම ඔස්සේ සිදු කළ හැකිය. 

තවද අතීතයේ ශ්‍රවණ ඌණතා සහිත දරුවන්ට සංඥා භාෂාව හෝ අංග චලන භාවිතයෙන් කතා කිරීම පමණක් ප්‍රචලිතව තිබූ අතර වර්තමානය වන විට මෙම දරුවන්  විට මෙම දරුවන් වාචිකව කථා කිරීම, සවන් දීම ප්‍රගුණ කිරීම හා තොල් කියවීම ද සන්නිවේදනයේ ප්‍රචලිත ක්‍රම  ලෙස හඳුනාගෙන ඇත. 

අද වන විට සිදු කරන පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ශ්‍රවණ ඌණතා සහිත දරුවන් අඩු වයසින් හඳුනාගැනීම (Early detection)  හා ක්ෂණික ව සවන් වහල් පැලදීම (Early amplification) අරමුණු ගත චිකිත්සනය (Early intervention)  සමග ම දෙමාපියන්ගේ සක්‍රීය දායකත්වය තුළ 80% ශ්‍රවණ  ඌනතා සහිත දරුවන් මෙන්ම බිහිරි දරුවන් සාමාන්‍ය පන්ති කාමරය තුළ ඉගෙනීමේ කටයුතු සිදු කළ හැකි බවයි (Lim & Simser,2005). මෙහිදී දරුවා තුළ ශ්‍රවණ ඌණතාවක් ඇත්නම් කල්තියා හඳුනා ගැනීම, ඊට සුදුසු තාක්ෂණයෙන් යුත් සවන්  වහලක් පැළඳීම හා නිවැරදි තක්සේරු කරණයෙන් පසු සිදුකරන චිකිත්සාවන් ලබා දීම කළ යුතුම දේවල් ලෙස හඳුනා ගෙන ඇත.

එම නිසා කුඩා කාලයේ සිට ඔබගේ දරුවාගේ ශ්‍රවණ කුසලතා අධ්‍යයනය කිරීමත් ශ්‍රවණය සම්බන්ධ යම් ගැටළුවක් ඇතැයි ඔබට සැකයක් ඇත්නම් ඒ සම්බන්ධ පරීක්ෂණ සඳහා යොමු වීම හා  ඊට අදාළ කථන චිකිත්සාව හැකි විගස ආරම්භ කිරීමත් තුළින් දරුවාට ඇති විය හැකි ගැටළු අවම කර ගැනීමටත් නිසි සංවර්ධනයක් කරා ළඟා වීමටත් හැකියාව පවතී.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

ඔසප් චක‍්‍රයේ ගැටලු ඇතිකරන හේතු 16ක්

ඔසප් චක‍්‍රය හෙවත් ආර්තව චක‍්‍රය (Memstural cycle) ලෙස හැඳින්වෙන්නේ එක් ඔසප්වීමක් පළමු දිනයේ සිට ඊලඟ ඔසප් වීම ආරම්භ වීමට ගතවන කාලයයි. මෙය දින 21 – 35 ක පරාසයක පවතී. ඩිම්බ මෝචනය (Ovulation) සිදු වූ පසු ස්‍යුනිකාව පිපිරූ තැන කැළලක් ඇති වේ. කහපැහැති මෙම කැළල පීත දේහය ලෙස හඳුන්වයි. මෙමගින් ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන ශ‍්‍රාවය වේ. මෙම ශ‍්‍රාවය උත්තේජනය කරන්නේ පූර්ව පිටියුටරියේ ලූටයෝ ට්‍රොෆික් (LTH) හෝමෝනය හා ලූටෙයිනීහාරක (LH) හෝමෝනය මගිනි. ස්‍යුනිකා මේරීමේදී ශ‍්‍රාවය වූ ඊස්ට‍්‍රජන් හෝමෝනය හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් ගර්භාෂයේ ඇතුළු බිත්ති වර්ධනය කරයි. මෙහිදී ගර්භාෂ කුහරය ඉතා සියුම් මෙලෙක් ආවරණයකින් වැසී යන අතර මෙම ඇතුළු ආවරණය ඝන වේ. එය රුධිරවාහිනීවලින් පිරී යයි. මෙලෙස ගර්භාෂය සූදානම් කරන්නේ යම් හෙයකින් ඩිම්බයක් සංසේචනය වූවහොත් එය අධිරෝපනය (Implantation) වීම සඳහාය. බොහෝ විට ඩිම්බය සංසේචනය නොවුනේ නම් පැය 72 ක් කින් ඩිම්බය මිය යනු ඇත. එවිට ගර්භාෂය තුළ සැකසුන ස්ථරයෙන් ඵලක් නොවේ. මෙහිදී පීත දේහය පිපිරී ප්‍රොජෙස්ටෙරෝන් ශ‍්‍රාවය පහළ යයි. ආවරණ බිඳී ගැලවී රුධිරයත් සමග පිටවේ. ගැහැනු දරුවෙකුගේ මෙලෙස සිදුවන මුල්ම අවස්ථාව ඇය වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි. ඉන්පසු මාසිකව මෙම සංසිද්ධියට ඇය මුහුණ දෙයි. මෙය ඔසප් චක‍්‍රයයි. මෙහිදී සාමාන්‍ය රුධිරයක් ශ්ලේෂ්මල, කැඩි බිඳී ගිය ගර්භාෂ ඇතුළු බිත්ති කොටස් පිටවේ. මෙය සාමාන්‍යයෙන් දින 3 – 5 ක කාලයක් පවතී. නමුත් එය දිනක් දක්වා අඩුවීමටද දින 8 ක් දක්වා වැඩි වීමටද ඉඩ ඇත. සාමාන්‍යයෙන් ළමයෙකු වැඩිවියට පැමිණ අවුරුදු 2 – 3 යන තෙක් අක‍්‍රමවත් ඔසප් වීමක් සිදුවිය හැක. පසුව ක‍්‍රමානුකූල වේ. 

අක්‍රමවත් ඔසප් චක්‍රයට හේතු 

  1. ගර්භණීභාවය

මෙහිදී ගර්භණීභාවය සම්පූර්ණ වන තුරු එනම් දරුවා බිහි වන තුරු ඔසප් වීම සිදු නොවනඅතර ප්‍රසූතියෙන් පසුව බොහෝ කාන්තාවන්ට මාසක් දෙකක් පමණ යනතුරු ද ඔසප් වීම සිදු නොවවිය හැකිය. 

2.උපත් පාලන පෙති සහ උපත් පාලන ක‍්‍රම ලෙස ගර්භාෂය තුළ තැන්පත් කරන උපත් පාලන උපකරණ (IUCDs) (Intra Uterine Contraceptive Devices)

  • උපත් පාලන පෙති මගින් සාමාන්‍යයෙන් ඔසප් චක‍්‍රය පැවති දින ගණන අඩු වන අතර එතෙක් පැවති අධික
    රුධිරවහනය ද අඩු වේ. 
  • ගර්භාෂයේ තැන්පත් කළ උපකරණ මගින් අධික රුධිරවහනයක් ඔසප් වීමකදී සිදුවන අතර දින ගණනද
    වැඩිවිය හැක.  

3. මව් කිරි දීම

Prolactin හෝමෝනය මගින් කිරි නිපදවේ. මෙමගින් ප‍්‍රජනක පද්ධතියේ හෝමෝන (ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්) ක‍්‍රියාව අඩපණ කරන බැවින් ඔසප් වීම අඩු දින ගණනක් හෝ රුධිරවහනයක් නොමැති විය හැකියි.

4.ආර්තවාභාවය (Menopause)

  • කාන්තාවකගේ වයස අවුරුදු 45 – 55 අතර කාලයේදී ඔසප් චක‍්‍රය නැවතීමට ආසන්නයේදී ඊස්ට‍්‍රජන් හෝමෝන මට්ටම වරින්වර වෙනස් වන නිසා ඔසප් චක‍්‍රය දිගු හෝ කෙටි විය හැක. 

5.Polycystic Ovary Syndrome (PCOS)

මෙහිදී ඩිම්බ කෝෂය මගින් පිරිමි හෝමෝනයක් වන ඇන්ඩ‍්‍රජන් හෝමෝනය විශාල ලෙස නිපදවයි. ඩිම්බ කෝෂය තුළ දියර පිරුණු කුඩා ගෙඩි ඇති වේ. මේවා ස්කෑනින් පරීක්‍ෂණ මගින් හදුනාගත හැක. මෙම හෝමෝන වෙනස්කම් නිසා ඩිම්බ මේරීම, ඩිම්බ මෝචනය වළකී. සමහර කාන්තාවන්ට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වී නැවතිය හැක. මීට අමතරව මෙම තත්ත්වය සමග තරබාරු බව, නිසරු බව, අධික ලෙස රෝම හා කුරුලෑ ඇති වීම සිදු විය හැක. මින් හෝමෝන අසමතුලිතභාවයක් ඇති වේ. අක‍්‍රමවත් රුධිරවහනයක් ඇති වීමට මෙම හේතුව බහුල හා පොදු වන අතර බොහෝ විට අධික රුධිරවහනයක් වේ. ස්ථිර හේතුවක් නොදනී.

6) තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු

  • තයිරොයිඩ් ග‍්‍රන්ථියේ  ක‍්‍රියාව අඩපණ වීමෙන් තයිරොයිඩ් හෝමෝන ශ‍්‍රාවය අඩු වීමයි. මෙය මන්ද පරාභතාවය (Hypothyroidism) ලෙස හඳුන්වයි. මෙහිදී පහත ලක්‍ෂණ ද ඇති වේ. 
  • දින කිහිපයක් පවතින අධික රුධිරවහනය
  • වේදනාව
  • තෙහෙට්ටු බව
  • සීතල දැනීම
  • බර වැඩිවීම
  • තයිරොයිඩ් ග‍්‍රන්ථියෙන් තයිරොක්සීන් හෝමොනය අධිකව ශ‍්‍රාවය වීමක් සිදු වේ. මෙය අතිපරාභතාවය (Hyperthyroidism)  ලෙස හඳුන්වයි. මෙහිදී පහත ලක්‍ෂණ ඇති වේ. 
  • හදිසියේ බර අඩුවීම
  • කාංසාව (anxiety)
  • ඉක්මනින් කලබල වන ගතිය. (Nervousness)
  • හෘද ස්පන්දනය (palpitation)
  • ඔසප් චක‍්‍රයේ රුධිරවහනය වන දින ගණන අඩු වන අතර රුධිර ප‍්‍රමාණයද අඩු වේ.

7) ගර්භාෂය තුළ ෆයිබ්‍රොයිඩ් හෝ මස්දලු ඇති වීම

ගර්භාෂ බිත්තියේ පේශිමය අර්බුදයන් (muscular tumor) ලෙස වර්ධනය වේ. බොහෝමයක් පිළිකා නොවන අතර කලාතුරකින් පිළිකා විය හැක. මිදි ගෙඩියක ප‍්‍රමාණයේ සිට ඇපල් ගෙඩියක ප‍්‍රමාණය දක්වා මේවා වර්ධනය වේ. මෙහිදී ඔසප් වීම වේදනාත්මක වන අතර රුධිරවහනය අධික වේ. නීරක්තිය වුවද ඇතිවිය හැක. මෙහිදී ඇති වන අනෙක් ලක්‍ෂණ ලෙස,

  • ශ්‍රෝණි කුහරය තුළ වේදනාව හෝ පීඩනය.
  • කොන්ද පිටුපස වේදනාව
  • කකුලේ වේදනාව
  • සංසර්ගයේදී ඇති වන වේදනාව දැක්විය හැකිය.

මෙම චර්මයන් විශාල වන විට ගුදයට සහ මුත‍්‍රාශයට බලපෑමෙන් අපහසුතා ඇති වේ. 

8) එන්ඩෝමෙට්‍රියෝසිස් (Endometriosis)

දරුවන් ලබන වයසේ සිටින කාන්තාවන් 10:1 ට ඇති වේ. මෙහිදී සිදු වන්නේ ගර්භාෂය තුළ ඇති අභ්‍යන්තර ස්ථරය (endometrial) ගර්භාෂයෙන් පිටතට වර්ධනය වීමයි. මෙම වර්ධනයන් ඩිම්බ කෝෂ, පැලෝපීය නාල හා සම්බන්ධ වේ. එසේම මෙසේ පිටතට වර්ධනය වීමේදී කුඩා අන්තක, ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටසේ අවයව, ගුදය හා ගර්භාෂය අතර ප‍්‍රදේශයට පැතිර යා හැක. මෙහිදී පෙන්නුම් කරන ලක්ෂණ ලෙස,

  • අධික රුධිරවහනය
  • ඔසප් චක‍්‍රය වැඩි දින ගණනක් පැවතීම
  • ආමාශ ආන්ත‍්‍රික වේදනාව
  • වේදනාත්මක අන්තක චලනයන්
  • සංසර්ගයේදී හා ඉන් පසුව ඇති වන වේදනාව 
  • දරුවන් නොමැති වීම

9) Pelvic Inflammatory Diseases (PID)

කාන්තා ප‍්‍රජනක පද්ධතිය තුළ බැක්ටීරියා ආසාධනයක් ඇති වීමයි. සංසර්ගයේදී බැක්ටීරියා යෝනි මාර්ගය තුළට ඇතුළු වේ. ඒ හරහා ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය මෙම බැක්ටීරියා ගමන් කර ආසාධන ඇති කරයි. මීට අමතරව නාරිවේදීය පිළිවෙත්, දරු උපත් ගබ්සා වීම් හරහා ද මෙම බැක්ටීරියා ඇතුළු විය හැක. මෙහිදී,

  • දුඟද සහිත ආසාමන්‍ය ශ‍්‍රාවයක් ඇති වීම
  • අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය
  • පහළ උදර වේදනාව
  • උණ, ඔක්කාරය, වමනය හෝ පචනය දැකිය හැකිය.

10) Premature ovarian insufficiency 

අවුරුදු 40ට අඩු කාන්තාවන් සමහරකගේ ඩිම්බ කෝෂ නියම ලෙස ක්‍රියාකාරී නොවීමයි. මෙහිදී ඔසප් චක්‍රය නැවතී යන අතර ආර්ථවහරණයට සමානයි

11) බර වැඩිවීම 

තරබාරු බව අක‍්‍රමවත් ඔසප් චක්‍රයට පැහැදිලි හේතුවකි. මෙමගින් හෝමොන හා ඉන්සියුලින් මට්ටම අතර ගැටුමක් ඇති වේ. එය ඔසප් චක‍්‍රයට බලපායි. 

12) අධික ලෙස බර අඩුවීම හා කෑම ගැනීමේ ගැටලු

අධික ලෙස බර අඩු වීමෙන් ඔසප් චක‍්‍රය අක්‍රමවත් වේ. ඊට හේතුව වන්නේ ඩිම්බ නිෂ්පානදයට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් කැලරි නොමැති වීමයි. ශරීර ස්කන්ද දර්ශකය 18.5 අගය වඩා අඩුවීමත් සමග ඔසප් චක‍්‍රය නවතී. මීට අමතරව තෙහෙට්ටුව, හිසරදය, හිසකෙක් ගැලවීම,  අධික කුස ගින්න හා කෑම අරුචිය ඇති වේ.

13) අධික ව්‍යායාම

ඔසප් චක‍්‍රය හා බැඳුනු හෝමෝනවලට බලපෑම ඇති කරයි. කාන්තා මලල ක්‍රීඩිකාවන්ට, බැලේ නැටුම් ශිල්පිනියන්ට ඔසප් චක්‍රය නතර විම හෝ සුළු වශයෙන් අැති විය හැකිය.

14) ආතතිය 

මෙමගින් මොළයේ කොටසකට තාවකාලිකව ඇති වන බලපෑම නිසා හෝමෝන නිෂ්පාදනය පාලනය වීමෙන් ඔසප් චක‍්‍රයට බලපෑම් ඇති කරයි.

15) ඖෂධ

සමහර ඖෂධ ඔසප් චක‍්‍රයට බාධා ඇති කරයි.

  • ප‍්‍රතිකාර සඳහා ගන්නා හෝමෝන.
  • රුධිරයේ ඝණකම අඩු කරන ඖෂධ (ප‍්‍රතිකාරක) 
  • තයිරොයිඞ් රෝග සඳහා ගන්නා ඖෂධ
  • අපස්මාරය සඳහා ගන්නා ඖෂධ
  • මානසික අවපීඩනය සඳහා ගන්නා ඖෂධ
  • පිළිකා සඳහා ගන්නා ඖෂධ
  • ස්ටිරොයිඩ නොවන ඖෂධ

ඉහත ඖෂධ වලින් ඔසප් දින ගණන් අක‍්‍රමවත් වන අතර රුධිරවහන ප‍්‍රමාණයද අඩු වැඩි වේ. 

16) ගැබ් ගෙල හා ගර්භාෂ පිළිකා

අධික රුධිරවහනය, ඔසප් චක‍්‍රය අතර රුධිරවහනය, සංසර්ගයේදී හා පසු රුධිරවහනය, අසාමාන්‍ය ශ‍්‍රාව පිටවීම ඇති වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

දරුවන් අතර සහජීවනය ගොඩ නගන්න.

පවුලක් වුනාම අඹු සැමියන් අතර වගේම දරුවන් අතරත් සමගියක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. අද සමහර දෙමව්පියන් අතර සමගිය සාමදානය උපරිමව තිබුනත් දරුවන් අතර සහජීවනයක් නොමැති නම් ඒ පවුල සැබැවින්ම ප්‍රසන්න පවුලක් නොවෙයි. එහෙමනම් පවුලේ දරුවන් අතර සමගියක් වගේම සහජීවනයක් පවත්වා ගන්නේ කොහොමද…?

පුංචි කාලයේ පටන්ම විය යුතුයි.

දරුවන් අතර සහජීවනය හෙවත් එකිනෙකා සමග සමගියෙන්,සාමයෙන් කටයුතු කිරීමේ පුරුද්ද ඔවුන්ගේ බාල කාලයේ පටන්ම ගොඩ නැගීම ඉතාම වැදගත්.විශේෂයෙන් පවුලක දරුවන්ගේ ආගමනය වැඩි වීම සමග වැඩිමහල් දරුවන් වෙනුවෙන් පැවැති අවධානය නොදැනීම නැති වෙනවා. ඒ තත්වය නිසාම වැඩිමහල් දරුවන් හිතන්නේ තමන්ගේ නංගී එහෙම නැත්නම් මල්ලිගේ ආගමනය නිසා නිවසේ තමන් වෙනුවෙන් තිබුන පිලිගැනීම සහ අවධානය අහිමි වූ බවයි. ඒ නිසා දරුවන් කී දෙනෙක් සිටියත් ඒ සෑම දරුවෙක් වෙනුවෙන් සමාන ආදරයක්, අවදානයක් දැක්වීම ඉතාම වැදගත් වෙනවා.

අක්කාට..මල්ලිට..නංගීට..අයියාට වැඩ සීමා කරන්න එපා..

අද බොහෝ දරුවන් අතර දකින්න ලැබෙන්නේ දැඩි බෙදීමක්.ගෙදරක් අතු ගාන්න කිව්වොත් එය අක්කාට අයිති වැඩක්.නිවසේ ඇති කරන බලු පැටියාට ආහාර ටිකක් දෙන්න කිව්වොත් එය අයියාගේ වැඩක් විදිහට දරුවන් විසින්ම ලේබල් කර ගන්නවා. නමුත් එය නොකල යුත්තක් බැව් දරුවන්ට ආදරයෙන් කියා දෙන්න.එක වහලක් යට ජීවත් වෙන එකම බතක් බුදින දරුවන් අතර වැඩ වෙනුවෙන් සීමාවන් පනවා ගැනීම එතරම් සුබවාදී නොමැති බැව් කාරුණිකව පහදා දෙන්න.

තමන්ගේ වැඩ පමණක් නොව සහෝදරයන්ගේ වැඩටත් උදව් වෙන්න.

බාලකාලයේ පටන්ම තමන් පමණක් නොව සහෝදරයන් වෙනුවෙනුත් උදව් කිරීමේ කලාව දරුවන්ට හුරු කරන්න.පවුලක් කියන්නේ එක් කෙනෙක් නොවන බව ඒත්තු ගැන්වීම ඉතාම වැදගත්.පවුලක් තුළ හැම දෙනාම එක සේ සංවර්ධනය වීම වැදගත් බැව් දරුවන්ට කියා දෙන්න. එකම මව්කුස උපන්නත් ඇතැම්  අවස්ථාවලදී දරුවන් අතර පවා ඇත්තේ තරඟයක්.පංතියේ වැඩකටයුතුවලදී වුනත් කැපී පෙනෙන සේ වැඩ කිරීම මිසක බාල දරුවන්ට උදව් කිරීමේ සහෝදරකම් අද දකින්නටත් නැති තරම්.හදිසියකටවත් බාල දරුවෙකුගේ අධ්‍යාපනයට උදව් නොකරන සහෝදරයන් ගැන අත්දැකීම් ඔබටත් ඇති.උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන වැඩිමහල් දරුවෙකුට සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන බාල සහෝදරයෙකුගේ ගණිත දුර්වලතාවයකට උදව් කිරීමේ හැකියාව තිබුනත් කිසිසේත්ම උදව්වක් වෙනුවෙන් සූදානම් නැති සහෝදරයින් ඕනෑ තරම් සිටිති.

අපට කවුරුත් උදව් කලේ නැහැ. පංතියේ කියලා දෙන දේ තමා මමත් ඉගෙන ගත්තේ….කියන දූ පුතුනුත් සිටින බැව් කනගාටුවෙන් වුනත් දැන ගැනීම වැදගත්.

පුංචි පුංචි වගකීම් ලබා දෙන්න.

අද බොහෝ පවුල්වල වගකීම් ඇත්තේ දෙමව්පියන්ට පමණයි.දරුවන් බොහොම සැහැල්ලුවෙන් කල් ගෙවන අතර දෙමව්පියන් අනවශ්‍ය විදිහටත් වගකීම් මත පැටලී මානසිකවත් මහත් සේ වෙහෙසට පත්ව සිටිති. ඒ නිසා දරුවන්ටත් යම් යම් වගකීම් පවරා දෙන්න.

  • උදේට අක්කාට නැගිටින්න එලාම් එක තියන්න..
  • නංඟීගේ අල්මාරිය අස් කර ගන්න උදව් වෙන්න.

මේ අන්දමින් දරුවන්ගේ වයසට අනුව ඔවුන්ටත් කළ හැකි යම් යම් කටයුතු වෙනුවෙන් ඔවුනොවුන් අතර උදව් කිරිමේ පුරුදු ගොඩ නගන්න. එවිට දරුවන් අතර නොදැනීම සහජීවනයක් ගොඩ නැගෙනු ඇත.

දරුවන් අතර සහජීවනය ගො නගා ගැනීමේ වාසි තිබෙනවාද..?

  • වැඩට හුරුවක් ලැබෙනවා

ඇත්තටම තිබෙනවා.බාල කාලයේ පටන්ම නිවසේ ඔවුනොවුන් අතර සිදු වෙන සහයෝගය නිසා දරුවන්ට යම් යම් කටයුතු ගැන හුරුවක්  ලැබෙනවා.ඒ නිසාම හදිසියේවත් දෙමව්පියන්ට දරුවන්ගේ කටයුතු මග හැරී ගියත් දරුවන් විසින් ඒ කටයුතු ඉටු කර ගනු ඇත.උදාහරණයක් ලෙස කිවහොත් අම්මා අසනීප වූ දිනක රාත්‍රි පාඩම් කරන අයියා වෙනුවෙන් ආහාරපාන සකස් කිරීම වගේම අම්මා නිවස පැමිණීමට ප්‍රමාද වෙන විට බාල දරුවන් වෙනුවෙන් ආහාරපාන සකස් කර දෙන්නට තරම් සංවේදී සහෝදර පුරුක් මේ නිසා ගොඩ නැගෙනු ඇත.

  • අනාගත පවුල් ජීවිතයට පෙර හුරුවක්

බාල කාලයේදී තම සහෝදරයන් වෙනුවෙන් උදව් කරමින් ජීවත් වෙන සහෝදරයන් අනාගතයේදී සිය පවුල් ජීවිතයේදී පවා බිරිඳ සමග මනා සහයෝගයකින් කටයුතු කරන දයාබර සැමයෙකුගේ චරිතය වර්තමානයේ පටන්ම ගොඩ නගා ගනු ඇත.

  • පවුලට ආශිර්වාදයක්

පවුලක් තුළ සහෝදරයන් අතර ඇති සහජීවනය නිසා ඒ පවුලට ඇති ශක්තිය සැබැවින්ම ආශිර්වාදයක් යැයි කිවහොත් එයද සත්‍යකි.එකිනෙකා අතර කලකෝලාහල නැති මේ සහෝදර බන්ධනය පවුලට ශක්තියකි.දෙමව්පියන්ට සැනසීමකි.

ඒ නිසා බාල කාලයේදී දරුවන් අතර පුංචි පුංචි හෝ පංගු කිරීම් ඇත්නම් ඒවා සමග දරුවන්ට උස් මහත් වීමට ඉඩ නොදෙන්න.මේ අන්දමින් තමන්ගේ සහෝදරයන්ට වෙනස්කම් කිරීම වෙනුවට ඔවුන් සමග ආදරයෙන්,කරුණාවෙන් කටයුතු කරමින් සහජීවනය ගොඩ නගා ගැනීමේ වැදගත්කම කියා දෙන්න. අද එහොම වුනාට හෙට හරියාවි යැයි සිතනවාට වඩා අද දකින වරද අදම නිවරැදි කිරීම වඩාත් යෝග්‍ය බැව් අමතක කරන්න එපා.