Home Blog Page 47

දඬුවමක් දෙන්න තරම් වයසකුත් නැත්නම් …මොකද කරන්නේ..?

පුංචි දරුවන්ගෙන් වැරදි වැඩ කිරීම බොහොම සාධාරණයි. ඒ ඇයි කිව්වොත්  හොඳ සහ නරක අතර වෙනස පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ.ඒත් අම්මා,තාත්තා හරි වැරැද්ද අතර වෙනස හොදින්ම දන්නවානේ. ඒ නිසා පුංචි දරුවා වැරැද්දක් කලොත් ඔබ මොකද කරන්නේ…?

දරුවාගේ වැරැද්ද ඔබ සාධාරණ කරන්නේ කොහොමද…?

  • තව ඉතින් හයක් හතරක් තේරෙන්නේ නැහැනේ..ලොකු වෙද්දී හරි යාවි.
  • සමහර  විට මේ තත්වයත් ඇත්ත. දරුවාට යමක් කමක් තේරෙන විට වැරැදි ගැන වැටහීමක් ලැබෙනවා. ඒ නිසා දරුවා විසින්ම වැරැද්ද තේරුම් ගන්නත් පුලුවනි.

හැබැයි මේ සිතුවිල්ල එතරම්ම සාධාරණ නැහැ…

ඔබ මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී දරුවා කරන වැරැදි ඔවුන් සමගම වැඩෙන්න පුලුවනි.ඒ නිසා වැරැද්ද දුටු විට නම් එය අනාගතයට කල් තැබීම එතරම් සුදුසු නැහැ. මේ ගැන අද බොහෝ උදවියගේ පාපොච්චාරනයන්ගෙන් පවා සඳහන් වෙනවා. ඇතැම් බන්ධනාගාරගත පුද්ගලයන් පවා සඳහන් කරන්නේ ඔවුන් බාල කාලයේ පටන්ම මේ වැරැදි ක්‍රියාවන් සමග ජීවත් වුන බවයි. නමුත් කවුරුන් හෝ වැඩිහිටියන් විසින් අතීතයේදී ඔවුන්ගේ වැරැදි හැසිරීම වැරැදි බැව් පෙන්වා ඔවුන් ඒ වැරැදි ක්‍රියාවෙන් මුදවා ගත්තා නම් අදටත් ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයන් මෙන් ජීවත් වෙනු ඇති. ඒ නිසා වරදකට දඬුවම් කිරීමට වයස ගැටළුවක් නැහැ. වරදට අද ලැබෙන දඬුවම ඔබෙන් නොලැබුනොත් ඔබේ දරුවා හෙට සමාජයෙන් දඬුවම් ලබනු ඇති.

දරුවා කරන ක්‍රියාව වරදක් නම්, එයට දඬුවමක් දෙන්න තරම් වයසකුත්නැත්නම් …මොකද කරන්නේ..?

ඒත් වරදක් නම් නිශ්ශබ්ද වෙන්න එපා. දරුවා පුංචි නම් පුංචි දඬුවම් දෙන්න..ඔහු කැමැති රූපවාහිනී වැඩසටහනක් නරඹන්න ඇති අවස්ථාව අදට තහනම් කරන්න.එහෙම නැත්නම් සිහින් කෝටුවකින් පහරක් දෙන්න. තමා කරන ලද්දේ වරදක් බැව් දැනගැනීමට එය හොදටම අදට ප්‍රමාණවත් වේවි.

හැබැයි එතැනින් ඔබ නවතින්න එපා..

සමහර විට දෙමව්පියන් විසින් ලබා දුන් දඬුවම නිසා දරුවා වැරැදි ක්‍රියාවෙන් මිදෙන්න පුලුවනි. ඒත් සහතික වෙන්න බැහැ. පුංචි අය වුනත් විශ්වාස කිරීම එතරම් පහසු නැහැ. ඒ නිසා දරුවා විසින් කළ වැරැදි කටයුත්තට දඬුවමක් දුන් තැන පටන් ඔබ ඒ ගැන පසු විපරමෙන් සිටින්න.ඔවුන් නැවතත් ඒ වැරැදි ක්‍රියාවම සිදු කරන්නේදැයි විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

දරුවන්ට බය වෙන්නත් එපා..

එක් එක් දෙමව්පියන්ගේ පෞරෂයත් වෙනස්. ඒ නිසා ඇතැම් අම්මලා දරුවන්ට යම් බියක් දක්වනවා. එය බියක් කියන්නත් බැහැ.සමහර විට අනුකම්පාවක් වගේ හැගීමක්. ඒ නිසාම දරුවා වරදක් කළත් ඊට ගැලපෙන දඬුවමක් ලබා දෙන්නත් බයයි.ඒත් මේ කතාව අමතක කරන්න එපා. හැදි නොගා හදන හොද්දයි..ගුටි නොගහා හදන දරුවයි.. දෙකම ඉක්මනින් නරක අතට හැරෙනවානේ. හැබැයි ..මෙතැන කියන්නේ රජකාලේ දඬුවම් ගැන නම් නොවෙයි.වරදට සහ දරුවාගේ වයසට ,මනසට ගැලපෙන දඬුවමක් ලබා දීම වැදගත්.

හැබැයි නිකරුනේ දඬුවම් කරන්නත් එපා..

ඔබ දරුවෙකුට අනවශ්‍ය අන්දමින් සැර පරුෂ වීම හෝ සුලු දෙයටත් දඬුවම් කිරීම කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය කට වහරට කියන්නා සේ කම්මලේ සිටින බල්ලා හෙණ හඬටත් බිය නැති වෙන්නා සේ…නිතරම සිදු කරන දඬුවම් නිසා දරුවාට වරදක් වෙුනවෙන් දඬුවම් ලබා දෙන විට එහි කිසිදු විශේෂයක් නැත.ඒ නිසා දඩුවම් ලබා දෙන විට වරදේ බරපතල බව ගැනත් සීමාවන් අවශ්‍ය වේ.

දරුවාගේ වරදක් කිව්වොත් ඒ අය සමග අමනාප වෙන්න එපා..

ඔබේ දරුවා ගැන ඔබ දකින කෝණයට වඩා පිටස්තරයන් දකින්නේ වෙනස් අන්දමකින්.සමහර විට දරුවාගේ පංතියේ මිතුරෙකුගේ මවක් එබේ දරුවා ගැන පැමිණිල්ලක් කළොත් පසුදා සිට ඒ අම්මාගේ මුහුණවත් නොබල සිටින්න එපා. ඒ වෙනුවට වරදක් ගැන පැමිනිල්ල කළ කාන්තාවට ”ස්තුතියි ” කියන්න.

අනේ අපේ පුතාට ඉරිසියාවට කියන දේවල් යැයි…නිශ්ශබ්ද වෙන්නත් එපා.

ඒ වගේම ඔබේ ආවේගයට නිවසට පැමිණි විටම ආවේශ වී දරුවාට දඬුවම් කරන්නත් එපා.සමහර විට දරුවා ගැන සිදු කරන ලද පැමිණිල්ල මුසාවක් වෙන්නත් පුලුවනි. ඒ වුනත් නොසලකා සිටින්නත් එපා.දරුවා ඉදිරියේ පැමිනිල්ල කළ මව ගැන විවේචනය කරන්නත් එපා. මේ පැමිනිල්ල ඇත්තක්දැයි ඔබම නිරීක්ෂනය කරන්න.වරද තහවුරු වුන විට දඬුවම ගැන හිතන්න.

දරුවාට අල්ලස් දෙන්න එපා..

ඔබේ පහසුවට බොහෝ අවස්ථාවන්හිදී දරුවා වෙනුවෙන් ඔබ අල්ලස් දෙන්නත් පුරුදු වෙලා සිටින්න හැකියි.ඔයා ඇත්ත කිව්වොත්..මං ටෙනිස් බෝලයක් අරගෙන දෙනවා. ඇත්තම කියන්න..නමුත් මේ අන්දමින් බෝනස් හෝ අල්ලස් දීම නම් නුසුදුසුයි. එවිට සිදු වෙන්නේ දරුවා නිතරම වරද නිවරැදි කර ගැනීමේදී අල්ලසක් බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒ නිසා වරද ඔබ නිතරම වරදක් සේ දකින්න. එය අල්ලසින් පිරිසිදු කරන්න එපා.

දරුවා ඉදිරියේ ඔබ වැරදි වැඩ කරන්නත් එපා..

ඔබ දරුවා වැරැද්දෙන්  මුදවා ගන්න නම් මුලින්ම ඔබ නිවරැදි වෙන්න.දරුවාට බොරු කියන්න එපා යැයි ඔබ කියනවා නම් ඊට මුලින්ම ඔබ දරුවා ඉදිරියේ බොරු කීමෙන් වැලකී සිටීම ඉතාම වැදගත්.ඔබ දරුවා සමග එක්ව ඇතැම් අවස්ථාවලදී බොරු කියනු ඇති.

නිවසට යාචකයෙක් පැමිණි විට ගෙදර කවුරුවත් නැහැයි කියන පනිවිඩය යවන්නේ දරුවා අතය…ඔබට අනවශ්‍ය දුරකථන ඇමතුමක් ලැබුන විට අම්මා කෝ ඇහුවොත් ගෙදර නැතැයි යන පනිවිඩය ඇමතුම් කරන්නාට කියන්නට දරුවාට උපදෙස් දෙන්නේ ඔබය.මේ ආදර්ශ නිසාම දරුවාටත් බොරුව ගැන ඇති බිය නොදැනීම හිතෙන් දුරස් වෙනු ඇත.

පමණට වඩා වර්ණනා කරන්නත් එපා..

සාමාන්‍යයෙන් මුරුංඟා අත්තේ ඉහලින් තැබූ විට අත්ත කැඩී වැටෙන්නා  සේ ඔබේ දරුවා ගැන පමණට වඩා සිදු කරන වර්ණනාවන් නිසාම ඔවුන් වැරැදි කටයුතු වෙත නොබියව යොමු වීමට ඉඩ තිබෙනවා.ඒ නිසා දරුවා ගැන අනවශ්‍ය අන්දමින් වර්ණනා කිරීමත් එතරම් ගැලපෙන කාර්යක් නොවන බැව් දෙමව්පියන් වශයෙන් ඔබ මතක තබා ගන්න.

එහෙමනම්..දරුවා වරදක් කළ විට නොසලකා සිටිනවාට වඩා වරදට අදාල දඩුවමක් ලබා දීමෙන් ඔවුන් සුමගට යොමු කිරීමට තිබෙන අවස්ථාව මග හැරීමෙන් අනාගතයේදී දරුවාගේ වැරැදි වෙනුවෙන් දෙමව්පියන්ට පසුතැවිලි වීමට සිදු වේ.

 

 

 

කොරෝනාත් එක්ක වෙනස්ම විදියකට බැඳීම් අලුත් කරගනිමු

”අපිට කොරෝනා නැහැ.. ඔව්.. අපිටත් නැහැ..” ඒත් ඒක නිවැරදි කළොත් අපිට තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ… මෙන්න මේ අදහස බොහොමයක් දෙනා තුළ නැහැ. කොරෝනාව මේ සා හිස ඔසවන්න ඒකත් හේතු වෙන්න ඇති. සාමාන්‍ය ජීවිතයේ තමන් ගැන අධි තක්සේරුවෙන් කටයුතු කරන ඇතැම් පුද්ගලයන්ගේ ඒ අදහස කොරෝනාත් එක්ක බද්ධ වුණාම ඉස්මතු වෙන්නේ ”අපිට ඕවා හැදෙන්නේ නෑ..” කියන ආඩම්බරකාර සිතුවිල්ලක්. මේ විදියට හිතන එක්කෙනක් දෙන්නෙක්ට රටේ කී දෙනෙක්ට නම් අවාසනාව කැන්දන් එන්න බැරි නැද්ද? ඉතිං කොරෝනා කාලේ අලුත්ම විදියකට අපේ බැඳීම් වෙනස් කරගන්නවා විනා උදම් ඇනීම හෝ තරහ මරහ වීම හෝ හොඳ නැහැ. ඉතිං අපි උත්සාහ කරමු අපේ බැඳීම් අලුත් විදියට හිතලා අලුත් කරගන්න. මේ ඒ වෙනුවෙන් පුංචි අදහස් ටිකක් විතරයි ඔන්න.

අනේ ඒ මිනිස්සු මොනවා නොහිතයිද? එහෙම එන්න එපා කියන්න පුළුවන්ද?
ඔබ කොරෝනාවට කොච්චර බය වුණත් නෑ හිතවත්කම් නැති වෙනවාට ඊටත් වඩා බයයි. අන්න ඒකයි, අසල්වැසියෝ, නෑ හිතවතුන් නිවසට එන එක නවත්තගන්න බැරි. ඔබ ජීවත් වෙන්නේ තට්ටු නිවාස/කුලී නිවාස හෝ නිතර වැඩි පිරිසක් මුණ ගැහෙන ස්ථානයක නම් ඔබේ ආරක්ෂාව සලස ගන්න බැරි ලොකුම හේතුව අනෙක් නිවාසවල දරුවෝ වැඩිහිටියෝ වෙනදා පුරුද්දට අදටත් ඔබේ නිවසට එන එක වෙන්න පුළුවන්. ”අනේ අපි ටිකක් මේ දවස්වල එහෙ මෙහෙ නොයා ඉන්න එක නේද හොඳ” කියලා ඔබ නොකියා කිව්වත් ඇතැම් විට ඔවුන් වටහා නොගන්නවා වෙන්න පුළුවන්. එහෙම අයට කෙලින්ම කියන්න වෙනවා. ඒත් හිත නරක් කරන්න බැරිකමට කරබා ගෙන ඉන්නවා. ඉතිං ඔබට ඔබේ ආරක්ෂාව සලසගන්න බැරිව ලතවෙනවා ඇති. ”කට්ටිත් එක්කම කොරෝනා හදාගන්න හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ” කියලා ඔබට හිතුණු වාරත් ඕනේ තරම් ඇති.
එහෙමත් නැත්නම් ඔබ අසල්වැසි නිවෙස්වලට නිතර යන අයෙක් විය හැකියි. හිතවත්කම මත ඔබේ පැමිණීම නතර කරන ලෙස ඒ නිවැසියන්ට පැවසීමට නොහැකිව ලතවෙනවා විය හැකියි. දැන් ඔබට වැටහෙනවා ඇති රට තුළ පවතින මේ වතාවරණය හමුවේ අපි අපිට මෙන්ම අන්‍යයන්ටත් හිරිහැරයක් නොවන සේ හැසිරිය යුතු බව. අපි සැවොම මතක තියාගත යුතු වැදගත්ම දේ වෙන්නේ කොරෝනාව අවසන් වූ දවසක අපි කාටත් වෙනදාටත් වඩා ළංව හමුවීමට විනෝද වීමට අවස්ථාව උදා වෙන බවයි. හැකි තරම් එවැනි අයට ඒ ගැන අවබෝධ කරවන්න උත්සාහ කරන්න. තනි තනිව ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට සැලකිලිමත් වෙන්න. ඔබේම ආරක්ෂාව වෙනුවෙන් ඔබේ මේ කැපවීම අපේ මුළු රටම වෙනුවෙන් ඔබ ඉටුකරන මෙහෙයක් බව මතක තබාගන්න.

අනේ මේ පොළේ ගිහිං එන ගමන්… මෙතනින් යද්දී නොදැක්කා වගේ යන්න හිතුණේ නෑ….
නිවසින් පිටතට ගොස් පැමිණි පසු සියලු ඇඳුම් ඉවත් කර නා පිරිසිදු වී නිවස තුළට යාමට හැකි නම් ඉතා උචිත බව වෛද්‍යවරු පුන පුනා පවසන අවස්ථාවක පොළට/වෙළඳ සැලට හෝ රෝහලට ගොස් එන අතරමග නෑ හිතවතුන්ගේ නිවෙස් වෙත පිවිසීම කොතරම් දුරට සාධාරණීයද යන්න ගැටලුවක්. ඔබ නිරාවරණය වූ පිරිස අතර කොරෝනා ආසාධිතයෙකු සිටියහොත් ඔබට පමණක් නොව ඔබ ගොඩවැදුණු නිවසේ පිරිසට ද අපහසුතාවයට පත් වීමට සිදුවනු නිසැකය. ඉස්සර පුරුදු විදියට ජීවිත ගමන යන්න අපහසු බව මුලින්ම කිව්වේ අන්න ඒ නිසයි. මේ කාලයේ අපි පුරුදු වෙන්න ඕනේ තනිව ජීවත් වීමට මිස තවත් කෙනෙකු හෝ අපිවම හෝ අපහසුතාවයට පත්කරවීමට නොවේ.

අම්මා තාත්තා බලන්නවත් කාලෙකින් ගියේ නැහැ
ඇත්ත… නගරයේ ඉඳලා ගමට යනවා කියන එක මේ කාලයේ අවදානමක්. අම්මා තාත්තා දකින්න ආසාවක් නැතිකම නෙවෙයි. ජීවිතයේ සැඳෑසමය ගත කරන ඔවුන්ට දුකක් කරදරයක් දෙන්න තියෙන අකමැත්ත. දෙමාපියන් බලාගන්න අනෙක් සහෝදර සහෝදරියෝ තව කෙනෙක්ට එන්න බැරි වුණා කියලා මේ වගේ වෙලාවක උරණ වෙන එක නම් නරකයි. මොකද ඒ පැමිණීම දෙමාපියන්ට වගේම නිවසේ සිටින අනෙක් අයටත් යම් අවදානමක් වෙන්න බැරි නැති නිසා.

පුංචි දරුවෝ වෛරක්කාරයෝ කරන්න එපා
එකට එක්කාසු වෙලා සෙල්ලම් කරපු පුංචි දරුවන්ට වෙන් වෙන්න වෙලා තමයි. ඒත් ඒ කාගෙත් හොඳට මිසක් තරහකට නෙවෙයි. ඒත් සමහර වැඩිහිටියෝ මේ තත්ත්වයත් එක්ක දරුවන්ගේ හිත් හදන්න නෙවෙයි, වෛරය පුරවන්න උත්සාහ කිරීම නම් බොහොම නරකයි. ”දැක්කද ඔයාලා මහ ලොකුවට ගියාට මේ අපිට නැති ලෙඩක් ගැන හිත හිත බය වෙලා ඔයාලව කොන් කරන හැටි” මේ කොරෝනාවත් එක්ක අලුත් විදියට දරුවන්ට හිතන්න පුරුදු කරනවා මිසක් සදාකාලිකව වෙන්කරන තරමට දරුණු වෙන්න හොඳ නැහැ. පුංචි වුණත් ඒ දරුවන්ට වයසට අනුව අවබෝධ කරවිය යුත්තේ මේ රෝගය සීග්‍රයෙන් පැතිරෙන ආකාර හා අපි, අපේ ගෙදරටම වෙලා ඉන්න එක අපිටමයි හොඳ බවයි.

ආයෙ යන්නේ නෑ ඔය පැත්ත පලාතේ.. අපිටත් කොරෝනා කියලද කොහේ හිතේ
එක් නිවසකින් එක් අයෙකු හෝ රැකියාව වෙනුවෙන් හෝ නිවසින් පිටත්ව යනවා ඇති. සමහර විට ඔවුන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරනවාත් ඇති. ඉතිං එවැනිනෙක් කොරෝනාව ගෙදරට අරන් එන්න බැරිකමක් නැහැ. ඒත් ”අපිට කොරෝනා නෑ අපිට කොරෝනා නෑ” කියමින්, කොරෝනාවෙන් ආරක්ෂා වීමට උත්සාහ දරන පිරිසට බාධාවක් වන අයුරින් හැසිරෙනවාට වඩා ”අනේ අපි එළියට යනවා” යන්නේ එන්නේ බස් එකේනේ ඉතිං කොහොවත් යන්නේ නෑ.. කාටවත් ගෙදරට එන්න දෙන්නෙත් නෑ” කියන්න අදිමදි කරන්න එපා. මේ වෙලාවේ හැටියට ඒක තේරුම් ගන්න කෙනෙක් ඔබ එක්ක තරහා වෙන්නේ නෑ. මේ වෙලාවේ හැටියට ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් තරහා වෙනවා නම් ඒ වගේ දෙයක්වත් නොතේරෙන කෙනෙක් අවශ්‍යත් නැහැ.

මේ පෑන් කේක ටිකක් හැදුවා… නොදී කන්න මොකද්ද වගේ
කෑම බෙදා හදා ගැනීම අපේ රටේ පුරුද්දක් තමයි. පෑන් කේක් එකක් හැදුවත් උඩ ගෙදරට එහෙමත් නැත්නම් යට ගෙදරට නොදී කන පුරුද්දක් අපේ බොහොම දෙනෙක්ට නැහැ. බෙදාහදා ගැනීම කොච්චර හොද පුරුද්දක්ද? ඒත් නිවසින් පිටතට යන ඔබ, කොරෝනා වෛරස ආසාදිතයන් හමු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති රැකියාවක නිරත අයෙක් වන්නේ නම් වඩා වටින්නේ ඔබ අන්‍යයන් සමග මුහුවීම හැකිතාක් සීමා කිරීමයි. කොරෝනා එලවලාම අපි කෑම බීම බෙදන් හදන් කමු නේද?

ඈත ඉඳන් අත වනන්න අමතක කරන්න එපා
ලංකාවේ අපේ මිනිස්සු අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. දුකකදී කරදරයකදී වුණත් මිනිස්සු එකතු වෙන්නේ ඒ මනුස්සකම නිසා. කන්න නැති කෙනොට කන්න ටිකක් දෙන්න අපේ රටේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් මේ කොරෝනා එක්ක බොහොම සමගියෙන් ජීවිතේ බෙදාහදා ගත්ත අයගේ හිත් හරියට නොහොඳ නෝකක්ඩු වෙලා. ඒ එක්කෝ එයාලව බලන්න එන්නෙවත් නෑ කියලා හිතලා. නැත්නම් එයාලා බලන්න එන්න හැදුවම ඒකට හොඳ ප්‍රතිචාරයක් නොදක්වපු නිසා. ඒත් මේ කාලේ නම් හමු වීම් ඕනෙම නැති තරම්. අන්න ඒ නිසා අපි යන එන ගමනෙදි ඇස ගැටුනම ඈත ඉඳන් අතවනමු. දුරකතනයෙන් සැප දුක් විමසමු. ඩේටා තියෙනවා නම් වීඩියෝ කෝල් එකක් අරගෙන මීටරයේ දුරට වඩා ළඟින් ටිකක් කතා බහ කරමු.

අලුත ඉපදුන නොදරුවෙක් බලන්න යන්න කලබල වෙන්න එපා
සමහරු ඉන්නවා දරුවෙක් ලැබුණම මුලින්ම යන්න ඕනේ කියලා හිතන. කොරෝනා තිබ්බත් නැතත් ඒක එහෙමමයි. අනේ අලුත ඉපදුන බබත් අපහසුතා ගොඩක් එක්ක ඉන්න අම්මත් ගැන දෙතුන් වතාවක් හිතන්න. දරුවෙක් ඉපදුණු ගමන් බලන්න දුවන්න එපා, මේ දවස්වල කොහොමත්. ඔබ මොන විෂබීජ අරන් යනවද කියලා දන්නේ නෑනේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. දරුවෙක් ලැබුණා බලන්නවත් ආවේ නෑ කියලා කා එක්කවත් තරහා වෙන්නත් එපා. මොකද මේ දවස්වල කවුරු කවුරුත් නොඑන තරමට තමා වඩා හොඳ.

මේ, අපි හැමෝම කොරෝනා අවදානමෙන් ගැලවෙන්න උත්සාහ කළ යුතු කාලයක්. ඒ ගැන නොහිත ඒකෙන් බේරෙන්න ලේසි නෑ. ඉතිං අපි ගැන වගේම අනිත් අය ගැනත් හිතලා හිතලා කල්පනාවෙන් වැඩකරන එක තමා හොඳම. එතකොට මේ රෝගය පාලනය කරන්න නොදැනුවත්වම අපි සහය වෙනවා කියන ආඩම්බරය අපි තුළම ගොඩනැගේවි.

අම්මාගේ නීතිවලට ආච්චීගෙන් නිදහස ලැබෙන එක දරුවාගේ සංවර්ධනයට බාධාවක්ද?

අද වෙද්දී තාත්තා වගේම අම්මාත් රැකියාවල නිරත වෙන නිසාම දරුවන් වෙනුවෙන් අම්මා තාත්තාගේ වගකීම්වලින් වැඩි කොටසක් ඉටු වෙන්නේ ආච්චී සියා අතින්. ඒ තමන්ගේ දරුවන් බාරදෙන්න අම්මට තාත්තට වඩා වැඩි කෙනෙක් දරුවන්ගේ දෙමාපියන්ට නැති නිසා. ආච්චි සීයා කියන්නේ දරුවන්ට පණ වගේ ආදරය කරන දෙන්නෙක්. ආච්චී සීයා එක්ක ඇති දැඩි වෙන දරුවෙකුට ලැබෙන සුන්දර අත්දැකීම්වල නම් නිමක් නැහැ. රසවත් කෑම බීම, කතාන්දර, පුංචි පුංචි සෙල්ලම්, අතීත ආවර්ජන එක්ක මැවෙන සුන්දර කතාබහ වගේ බොහොම ලස්සන කාලයක් ආච්චිලා සීයලා නිසා අපේ දරුවන්ට හිමි වෙනවා. ඇත්තටම දරුවෙක්ගේ මානසික සංවර්ධනට මේ අත්දැකීම් බොහෙවින් ඉවහල් වෙනවා. ඒත් ඇතැම් විට මේ කාර්යයේදී දෙමාපියන් සහ ආච්චි සීයා යන චරිත අතර යම් යම්  ගැටීම් ඇති වෙන්නත් බැරි නැහැ. අන්න ඒ නිසාම මේ ලිපිය ලියන්නේ අම්මලා තාත්තලාට වගේම හැකිනම් ආච්චිලා සීයලාටත් කියවලා දැනුවත් වෙන්න.

ඇතැම් දරුවන්ට හැසිරීමේ සන්නිවේදනයේ යම් යම් ගැටලු හට ගන්නා අවස්ථාවන් අපි ඕනෙ තරම් දැක තිබෙනවා. මෙන්න මේ අවස්ථාවලදී ඒ සඳහා උපදෙස් ගන්න දෙමාපියන් බොහෝ විට පවසන්නේ ”දරුවා ඉන්නේ ආච්චි සීයා එක්ක. ඒ නිසා ඔය දේවල් කරන එක ටිකක් අමාරුයි. මොකද එයාලා කැමති නැහැ දරුවන්ව වෙහෙස කරවන්න”… එහෙමත් නැත්නම් ආච්චි සීයා කියන්නේ ”අපි මේ ගැන අපේ දරුවන්ට නිතරම කියනවා. ඒත් එයාලා ගණනකට ගන්නේ නැහැනේ..” කියලයි. දෙපැත්තෙන්ම නැගෙන මෙන්න මේ වගේ පුංචි පුංචි චෝදනා එක්ක දරුවාගේ වැඩේ තමයි මගහැරෙන්නේ. ඒත් දරුවාට යම් පුහුණු කිරීමක් අවශ්‍ය නම් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ තත්ත්වය වටහා ගෙන කටයුතු කිරීම හරිම වැදගත්. ඒක දරුවාගේ අනාගතයට ඉතා වැදගත් වෙනවා වගේම මතු දිනෙක යහපත් පුරවැසියෙක් ලෙස සාමාජයට පිවිසෙන්නත් දරුවෙක්ට බොහෝ සෙයින් වැදගත් වෙනවා.

මෙන්න මෙතැනදී දෙමාපියන් වගේම ආච්චිලා සීයලත් දැනුවත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. අපි ඒ ගන කතා කරමු.

  • දරුවන්ට හැමදේම කරලා දෙන්න එපා

දරුවෙක් දෙයක් ඉල්ලුවම ආච්චිලා සීයලාට නම් බලා ඉන්න පුරුද්දක් නෑ. දරුවා ඉල්ලන්නේ මොකක්ද ඒ සැනින් දරුවාට ඒක ලැබෙනවා. අම්මා තාත්තා මේ ගැන විරුද්ධත්වයක් පෑවත් දරුවා ඉල්ලපු දේ කරලා දීලා මිසක් ආච්චි සීයා නම් අහක බලන්නේ නෑ. ඒ ආච්චි සීයාගේ තියෙන ආදරයේ උපරිමය තමයි. එයාලා ඒක වැරැද්දක් විදිට හිතන්නේ නැහැ. මේක දරුවාට ලොකු සතුටක් වුණත් මේකෙන් සිදුවන ඍණාත්මක බලපෑම තමයි මට ඕනේ දේ ගන්න ආච්චිට සීයට කිව්වම හරි. මෙතැනදී දරුවෙක් ස්වාධීනව හිතන්න, ස්වාධීනව තීරණයක් ගන්න ස්වාධීනව ක්‍රියාකරන්න කටයුතු කරන්නේ නැහැ. අම්මයි තාත්තයි පනවපු සීමාවන් අබිබාවා යන්න ආච්චි සීයාගේ සහයෝගය ලැබෙන බවට දරුවා සිතනවා. ඒත් දරුවන්ගේ ආච්චි සීයා වශයෙන් මේ දෙය ගැන ඔබ සිතිය යුතුමයි. එසේ නොවුණහොත් දරුවා දිනෙක දෙමාපියන්ගෙන් නොලැබෙන නිදහස ආච්චි සීයාගෙන් ලබා ගන්න උත්සාහ කරනවා පමණක් නෙවෙයිදෙමාපියන් එක්ක එක විදිකටත් ආච්චි සීයා එක්ක තව විදියකටත් ජීවත් වෙන්න පුරු වෙනවා.

  • දරුවන්ගේ ආකල්ප වර්ධනයට ඔබේ අතීත ආවර්ජන යොදාගන්න

ආච්චි සීයා දෙන්නාගේ රසවත් කතා අහන්න පුංචි දරුවෝ කොහොමක් ආසයි. ඉතිං එයාලට එයාලගේ අම්මාගේ නැත්නම් තාත්තාගේ අතීත සිදුවීම කතා විදියට කියන්න ආච්චිට සීයට පුළුවන්. ”ඔයාගේ අම්මා පුංචි කාලේ…” කියලා ආච්චි කතාව පටන් ගනිද්දිම පොඩ්ඩෝ සේරම වැඩ නවත්තලා ඒ පැත්තට හැරෙන්නේ ඒ කතාබහට ඔවුන් ප්‍රිය නිසයි. ආච්චිට සීයට පුළුවන් මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන නොදැනුවත්වම යහපත් දේ දරුවාගේ සිත තුළට කාවද්දන්න. බැඳීම් ගැන අවබෝධ කරවන්න. දඟ වැඩ කළාම කියන දේ ඇහුවේ නැති වුණාම අම්මා තාත්තා විදියට ඔබ දුකට පත්වුණු ආකාරය හොඳ වැඩි කළාම අම්මා තාත්තා විදිට ඔබ සතුටු වුණු ආකාරය එකට සිනාසුණු හැටි අතීත මතක කතා ඔස්සේ දරුවාගේ හිතට ඇතුළු කරන්න ආච්චිට සීයාට පුළුවන්. ඒ හරහා තමන් එසේ හැසිරුණහොත් තමාගේ අම්මාටත් තාත්තාටත් දැනෙන්නේ එලෙසම බව දරුවා වටහා ගනිවී. ඒ වගේම දරුවාගේ අම්මාට තාත්තාටත් පුළුවන් මේ කතා බහට එක් වෙන්න. දරුවෝ විදිට එයාලා ඒ කාලේ හිතපු විදිය ගැන ආච්චි සීයා මුණුපුරෝ ඉස්සරහා සුන්දර කතාබහකට එකතු වෙන්න. 

  • දෙමාපියන්ට දරුවන්ගේ ලෝකයේ විරුවන් වෙන්න ඉඩ සලසන්න

වැඩිහිටියන් විදියට ඔබ කිසිම විටෙක දරුවන් ඉදිරියේ දෙමාපියන් විවේචනයට ලක් කරන්න එපා. ඒ කියන්නේ අම්මාගේ තාත්තාගේ වැරදි දරුවන් ඉදිරියේ පැවසීම කිසිසේත්ම සුදුසු නැහැ. යම් ගැටලුවක් තියෙනවා නම් දරුවන් නැති අවස්ථාවක ඒ ගැන ඔබට කතා කළ හැකියි. එසේ නොවුණහොත් දරුවා තුළ ඍණාත්මක ආකල්ප වර්ධන වීම වළක්වන්න බැහැ.

  • විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඉන්නවා නම් වඩාත් සැලකිලිමත් වෙන්න

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් අපේ නිවසේ සිටිනවා නම් අපි උත්සාහ කරන්නේ අඩු තරමේ යම් දවසක තමන්ගේ කටයුතු ටික හෝ කරගත හැකි අයුරින් දරුවා සංවර්ධනය කරන්නයි. මේ කාර්යයේදීත් ආච්චිලා සීයලාගේ සහයෝගය ඉතාම වැදගත් වෙනවා.

දරුවාට යම් සන්නිවේදනයේ ගැටලුවක් ඇත්නම් නිවස තුළ දරුවාට සන්නිවේදනය සඳහා අවස්ථාව හිමිවිය යුතුමයි. උදාහරණක් විදියට දරුවාගේ ආහාර වේල් ගත්තොත් නියම වෙලාවට ඒවා ළඟට දීමට වඩා දරුවාට ඒක ඉල්ලා ගැනීමට අවස්ථාවක් ලබාදීම හරිම වැදගත්. අපි හරි වෙලාවටම දරුවාට මේ දේවල් ලබාදීම තුළින් දරුවාට කුසගින්න දැනීමටත් ඒ පිළිබඳව අපෙන් විමසන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතැනදී දරුවට අහිමි වෙන්නේ සන්නිවේදනයට ඇති අවස්ථාවක්. මෙන්න මෙතැනදි ආච්චිලා සීයලාට ලොකු වගකීමක් පැවරෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ”අනේ හරියට ඔනේ දේ එපා දේ කියාගන්නවත් බැරි නොදරුවා..බඩගිනි වෙලා කෑගහනකන් ඉන්න ඕනෙද කන්න ටික දෙන්න” කියලා. ඇත්ත, ඔබේ සිතේ දරුවා කෙරෙහි ඇති අසීමිත ආදරය එක්ක ඔබ දරුවාව වෙහෙසට, පීඩාවට පත්කරන්න කිසිසේත්ම කැමති නැහැ. ඒත් වැඩිහිටි අපි මොලොව නැති දවසක දරුවා තනිව ජීවත් වීමට හුරුකර වීම අපේ යුතුකමක් නිසාම අකමැත්තෙන් හෝ මෙවැනි අවස්ථාවකදී ඔබට ලැබෙන වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වීම වැදගත් බව සිහි තබාගන්න.

  • කියන කියන දේ කරන්න එපා

යම් දරුවෙක්ගේ හැසිරීමේ ගැටලු තියෙනවා නම් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීම බොහොම වටිනවා. උදාහරණයක් විදියට ”අ අ අ” කියලා දරුවෙක් යමක් ඉල්ලුවම ඒ දේ ලබාදීම සුදුසු නැහැ. මොකද අපට අවශ්‍ය වෙන්නේ දරුවාගෙන් වචනයක් ගැනීමට නිසා ඒ වෙනුවෙන් දරුවාට අපි අවස්ථාව ලබාදීම හෝ යොමු කරවීම සිදුකළ යුතුමයි. මෙන්න මේ තත්ත්වයේදී බොහෝ ආච්චිලා සීයලා ඔවුන් දරුවාට ඇති ආදරය නිසාම, දරුවා වෙහෙසට පත්කරවන්න ඇති අකමැත්ත නිසාම දරුවා ඉල්ලන දේ ඉක්මනින් ලබා දෙනවා. ඒත් ඔබ ඒ කරන්නේ දරුවාගේ ආබාධය නිවැරදි කරගැනීමට සහයෝගය දැක්වීමක් නොවන බව වටහා ගත් යුතුයි. එසේ නොකළ හොත් ”මම කතා නොකරොත් මේ දේ ලැබෙන්නේ නෑ” යන පණිවිඩය දරුවාට වැටහෙන නිසා වචනයක් පිටකිරීමට යම් උත්සාහයක් දැරීමට දරුවා පෙළඹෙනවා. ඒ වගේම තමයි අඬලා දේවල් ලබාගන්න උත්සාහ කරන දරුවෝ. හැඬීමෙන් තමාට අවශ්‍ය සියල්ල ලබාගත හැකි බව ඔවුන් දන්නවා. අපි දරුවාගේ තත්ත්වය අවබෝධ කර නොගෙන කටයුතු කිරීම දරුවාගේ සංවර්ධනයට විශාල බාධාවක් බව වටහා ගත යුතුයි. 

දරුවන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙන් ඉටුවන මෙහෙය අපිරිමිතයි. අද වන විට පවතින ආර්ථක දුෂ්කරතා හේතුවෙන් නිවසක එක් අයෙකු පමණක් රැකියාවක නිරත වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මාසිකව ලැබෙන මුදලින් දරුවන් දෙදෙනෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමට හැකියාවකුත් නැහැ. මෙවැනි වටපිටාවක තමන්ගේ දරුවන් තමන්ගේ දෙමාපිය සෙවණේ තියා නිවසින් පිටවන්නට ලැබීම තරම් භාග්‍යයක් අම්මා කෙනෙකුට තවත් නැහැ. තමන්ටත් වඩා හොඳින් තමන්නේ දරුවන් රැක බලාගන්නා බවට ඇති විශ්වාසය මිල කළ නොහැකියි. අන්න ඒ වටිනාකම නිසාත් දරුවන්ට ආච්චි සීයා ඇසුරේ වැඩෙන්නට ඇති අවස්ථාව නිසාත් සැවොම අවබෝධයෙන් කටුයුතු කිරීම වඩා වැදගත් වේ. යම් සංවර්ධනයක් අවශ්‍ය දරුවන් සායන වෙත රැගෙන ඒමේදී ඔවුන් රැක බලාගන්නේ අච්චී සීයා නම් ඒ සායන සඳහා ඔවුන් ද කැටුව ඒමට අපි අවස්ථාව ලබාදෙන්නේ ඒ නිසයි.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් සහ ඉන් ඉටුවන කාර්යන් ගැන ඔබ දැන සිටියාද?

ජීවීයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා තම වර්ගයා බෝ කළ යුතු වන අතරම එම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ  ප්‍රජනනය නමිනි. මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලි ලිංගික ප්‍රජනන ක්‍රියාවලියක් එසේත් නැතිනම් පුරුෂ ප්‍රජනක සෛලයක් (ශුක්‍රාණුව) හා කාන්තා ප්‍රජනක සෛලයක් (ඩිම්බය) සමග සංසේචනය වීමෙන් නව ජීවියෙකු බිහිවේ. ශුක්‍රාණු හා ඩිම්බ නිපදවීම සඳහා පිරිමි හා කාන්තාවන් තුළ සුවිශේෂී වූ ප්‍රජනක පද්ධති පිහිටියත් මව්පියන් වෙන්නට සිහින දකින අපි, අපේ කුස තුළ දරුවෙකු ඇති වන්නට සහය වන ඉන්ද්‍රිය පද්ධති පිළිබඳ දැනුවත් නැහැ. අන්න ඒ නිසාම මේ ලිපය තුළින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳව දැනුවත් වීමට ඔබ සූදානම් වෙන්න.

කාන්තාවගේ ප්‍රජනක පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකි. 

  • බාහිර ප්‍රජනක අවයව
  • අභ්‍යන්තර ප්‍රජනක අවයව

බාහිර ප්‍රජනක අවයව

මෙහිදී බාහිර ලිංගික පද්ධතිය සමස්ථයක් ලෙස භගමනිය (Vulva) ලෙස හඳුන්වයි. මෙහි කොටස් කිහිපයකි.

  • රතිපීඨය (Mons veneris) – උපරියුනිකාස්ථය (fuprapudic bone) මත ආස්තරණය වී ඇති මේදමය පෑඩයකි.
  • බාහිර තොල් (Labia Majora) – භගමනිය දෙපස පිහිටා ඇති ඝනකම් සමෙහි නැවීම් දෙකකි. මෙය රති පීඨයේ සිට විටපය (perineum) දක්වා විහිදී ඇත. මෙහි සම, මේද පටක, තන්තු පටක, රුධිර වාහිනි ස්නායු අඩංගු වේ. මෙහි ඍජුවන පටක පිහිටයි. මෙය අඟල් 3 දිගුවේ. මෙහි ස්නේහ ශ්‍රාවි ග්‍රන්ථි (Sebaceous glands), ඇපෝක්‍රයින් (Apocrine) ග්‍රන්ථි අඩංගු වේ.
  1. අභ්‍යන්තර තොල් (Labia Minora) – බාහිර තොල් අතර පවතින සමෙන් ඇති වූ නැවීම් දෙකකි. මෙය අධික ලෙස වාහිනීමත් වේ. විශාල වශයෙන් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි අඩංගුය. මෙමගින් වට වූ ත්‍රිකෝණාකාර ව්‍යූහය vestibule ලෙස හඳුන්වන අතර ඒ තුළ මුත්‍රා මාර්ගයේ හා යෝනියෙහි විවර දැකිය හැකිය. 
  2. මනිකය (Clitoris)

පිරිමින්ගේ ශිෂ්ණයට සමාන වූ ඍජු විය හැකි කුඩා ව්‍යූහයක් වන මෙය පූර්වයෙන් vestibule තුළ පිහිටයි. මෙහි ස්නායු බහුලව පිහිටයි. භගමනියේ වඩාත් සංවේදීම කොටසයි.

  1. කන්‍යා පටලය

යෝනි විවරය ආරක්ෂා වෙමින් පවතින තුනී පටලයකි. මෙහි මධ්‍යයේ පවතින සිදුර හරහා ඔසප්වීමේදී රුධිරය ඉවතට පැමිණේ.

මෙම බාහිර ලිංගික ප්‍රදේශයෙහි බාර්තෝලියන් ග්‍රන්ථි පිහිටන අතරම ඒවා කන්‍යාපටලය හා අභ්‍යන්තර තොල් අතරට විවෘත වේ. මෙමගින් අවර්ණය ශ්ලේෂ්මල ශ්‍රාවයන් පිටකරන අතරම ලිංගික සංසර්ගයේදී විශාල ලෙස ශ්‍රාවයන් නිකුත් වීම සිදු කෙරේ. මෙමගින් භගමනිය මත ලිහිසි ගතියක් ඇති කරයි. මීට අමතරව මෙම බාහිර ප්‍රදේශයේ ශ්ලේෂ්මල ශ්‍රාවය වන skene’s  ග්‍රන්ථි පිහිටයි. 

  1. විටපය

දරු ප්‍රසූතියේදී සැලකිය යුතු ඇදීමකට ලක්විය හැකි ගුදය හා යෝනිය අතර පවතින ත්‍රිකෝණාකාර කොටසයි. 

අභ්‍යන්තර ප්‍රජනක අවයව

  • යෝනිය 

ගර්භාෂයේ ගැබ්ගෙලෙන් පසුව ඇති කොටස යෝනියයි. යෝනියේ අපර බිත්තිය 7.5 cm –  8cm පමණ දිගුවන අතර පූර්ව බිත්තිය ඊට වඩා කෙටිය. ඊට හේතු වන්නේ  ඉහළ කෙලවරට ගැබ්ගෙල නෙරා තිබීමයි. අභ්‍යන්තර ජගන ධමනි හා ගර්භාෂයික ධමනි මගින් යෝනිය වෙත රුධිරය සපයන අතරම එයට අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු සැපයුමක් ද පවතී. 

  • යෝනි මාර්ගය 

ගර්භාෂයේ සිට බාහිර ලිංගික අවයව දක්වා පිහිටා ඇති පේශීමය නාලයක් වන යෝනි මාර්ගය, යෝනි විවරයෙන් බාහිර පරිසරයට විවෘත වේ. සංසර්ගයේදී පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගය දිගේ පිහිනා ගොස් පැලෝපීය නාලයේදී ඩිම්බය හා සංසේචනය වේ. යෝනි මාර්ගය ගර්භාෂය වෙත ශ්‍රක්‍රාණු ගමන් කිරීමට ඉඩ සැලසීම මෙන්ම ප්‍රසූතියට අවශ්‍ය උපත් මග සකසා දීමද සිදු කරයි.

  • ගර්භාෂය 

ශ්‍රෝණි කුහරය තුළ පිහිටන පෙයාස් ගෙඩියක හැඩැති කුහර ව්‍යූහයක් වන ගර්භාෂය විශාල ඝනකම් පේශිමය බිත්තියකින් සමන්විතය. වැඩිහිටි කාන්තාවකගේ ගර්භාෂය දිගින් 7.5 cm පමණ ද පලල 5 cm පමණ ද ඝනකම 2.5 cm පමණ ද වේ. ගර්භාෂය බුද්නය (Fundus), දේහය (Body) හා ගැබ්ගෙල (Cervix) ලෙස කොටස් තුනකි.

පැලෝපීය නාල දෙක අතර පිහිටි ගර්භාෂයේ ඉහළ කොටස බුද්නය වන අතරම දේහය ගර්භාෂයේ විශාලම කොටසයි. එය ගැබ්ගෙල දක්වා විහිදේ. ගැබ්ගෙල ගර්භාෂයේ පහළ කොටසයි. 

ගර්භාෂ බිත්තියේ ප්‍රධාන ස්ථර තුනකි.

  • පරිචත්වාලය (Perimetrium) – ගර්භාෂ බිත්තියේ බාහිරින් පිහිටි ආස්තරයයි
  • වහිරුචත්වාලය (Myometrium) – මධ්‍යයේ පවතින සිනිඳු පේශී තන්තුවලින් සමන්විත පටලයයි.
  • අන්තෝචත්වාලය (Endometrium) – ගර්භාෂයේ අභ්‍යන්තර ආස්තරය වන මෙහි ඝනකම ඔසප් චක්‍රයේ අවස්ථා අනුව වෙනස් වේ.

ගර්භාෂය සාමාන්‍යයෙන් පුරෝවර්ති (ante version) එනම් ඉදිරියට ද සමහර කාන්තාවන්ගේ අපරවර්තිත (retroversion) එනම් පිටුපසට වන්නට තිබිය හැක. ගර්භාෂය, බන්ධනී යුගල් හතරකින් හා ශ්‍රෝණී පත්ලේ පේශී මගින් රැඳවී ඇත. ගර්භාෂික ධමනියෙන් රුධිරය සපයයි. අනුවේගී හා ප්‍රත්‍යානුවේගී රුධිර සැපයුමක් පවතී. 

ගර්භාෂයේ කාර්යයයන් ලෙස  සංසේචිත ඩිම්බ වෙනුවෙන් ගර්භාෂ අභ්‍යන්තරය පිළියෙල කිරීමත් වැඩෙන කලලය දරා සිටීම හා පෝෂණය සැපයීමත්  ගර්භණී සමය අවසන් වූ පසු පේශීමය බිත්ති සංකෝචනය කර භ්‍රෑණයා පිටතට යැවීමත් (සාමාන්‍ය ප්‍රසූතිය) දැක්විය හැකිය.

  • පැලෝපීය නාල

පැලෝපීය නාල දෙකකි. එම එක් එක් නාල සෙන්ටිමීටර 10 පමණ දිගු වේ. ඩිම්බ කෝෂයට ආසන්න කෙළවර පුනීලාකාර වන අතර ඒ වටා කඩරැලි (fimbriac) නම් ඇඟිලි වැනි නෙරීම් පවතී. ඒවා ඩිම්බය පැලෝපීය නාලය තුළට ඇතුළු කර ගැනීමට වැදගත් වේ. පැලෝපීය නාලය කොටස් හතරකි.

  • ගර්භාෂ බිත්තිය හරහා තිරස් අතට විහිදෙන පටු නාලය (Interstitial (intramural) part)
  • ගර්භාෂයෙන් විහිදෙන ඍජු පටු කොටස හෙවත් ඉස්මසය (Istmus)
  • නාලයේ තුනී හා පලල කොටස (Ampulla)
  • නාලයේ පරිතාන කුහරයට විවෘත වන පුනීලාකාර හැඩැති කොටස (The infundibulum) – මෙහි දිගු කඩ රැල්ල ඩිම්බ කෝෂය හා ස්පර්ෂව පිහිටන අතර එය Fimbria Ovarica ලෙස හඳුන්වයි.

පැලෝපීය නාල මගින් ඩිම්බ කෝෂයේ සිට ඩිම්බය ගර්භාෂය වෙත ගෙනයාම මෙන්ම නාලය තුළ සංසේචනයට ඉඩ සැලසීම සිදුකරයි.

  • ඩිම්බකෝෂ

දිග සෙන්ටිමීටර් 3.5 පමණ ද පළල සෙන්ටිමීටර් 2ක් පමණ ද සෙන්ටිමීටර් 1 ක් පමණ ඝනකමකින් යුක්ත වන කුඩා ව්‍යූහයන් දෙකකි. උදර කුහරය තුළ පිහිටා ඇති මෙම කෝෂ සුදු පැහැයෙන් යුක්ත අතරම අණ්ඩාකාර හැඩක් ගනී. මේවා තුළ සියුනිකා හෙවත් කූප පිහිටා ඇත. ඩිම්බ මේරීම සිදුවන්නේ මෙම කූප තුළයි. සෑම කූපයක් තුළම ඩිම්බයක් ඇති අතර ඩිම්බ වටා සෛල සමූහයක් ගොනු වී ඇත. ඒවා ඩිම්බ ආරක්ෂා කරමින් වැඩෙන ඩිම්බයට පෝෂණය සපයයි. ගැහැනු දරුවෙකු උපදින විට නොමේරූ ඩිම්බ මිලියන දෙකක් පමණ පවතින අතරම වැඩිවිය පත්වන විට එම ප්‍රමාණ ලක්ෂ තුනක් පමණ දක්වා වර්ධන වේ. ඒවා අතරින් පරිනත ඩිම්බ බවට මෝරන්නේ 500ක පමණ ප්‍රමාණයකි. ඩිම්බ වර්ධන වන විට එය තුළ තරල එක් රැස් වේ. ඉන්පසු එය ඩිම්බ කෝෂ බිත්තිය ආසන්නයට පැමිණ බිබිලක් සේ මතු වී අවසානයේ ඩිම්බය මුදා හරී. නොමේරූ ඩිම්බ මේරූ ඩිම්බ බවට පත් කිරීම මෙන්ම ඩිම්බ මුදා හැරීමත් ඩිම්බ කෝෂවල කාර්යයන් වේ. ඊස්ට්රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය කිරීම (සුළු වශයෙන් androgen මෝනයද ශ්‍රාවය කරයි) එහි කාර්යක් වේ.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

ආර්තව චක්‍රයේදී ඩිම්බ කෝෂවල සහ ගර්භාෂය තුළ සිදුවන වෙනස්කම් ගැන දන්නවාද?

ලිංගික වශයෙන් පරිණත වූ එනම් වැඩිවියට පත් වූ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ශ්‍රිතව සිදුවන ක්‍රානුකූල ක්‍රියාවලිය ආර්තව ක්‍ර ලෙස හඳුන්වයි.  ආර්තව ක්‍රයක් සම්පූර්ණ වීමට ආසන්න ලෙස දින 28 ක් ගතවේ. ආර්තව ක්‍රයේ සිදුවීම් මාලාව ප්‍රධාන ස්ථාන දෙකක් ශ්‍රිතව සිදුවන අතර ඒවා නම්,

  • ඩිම්බ කෝෂය තුළ සිදුවන වෙනස්කම්
  • ගර්භාෂය තුසිදුවන වෙනස්කම් ලෙස දැක්විය හැකියි. 

ඩිම්බ කෝෂය තුළ ඇතිවන වෙනස්කම්

ඩිම්බ සෛල වර්ධනය කර ඒවා ඩිම්බ කෝෂයෙන් මුදාහැරීම ඩිම්බ කෝෂය මඟින් සිදුවන බව අපි දන්නා කරුණක්. මෙයද මූලිකවම අවධි දෙකක් යටතේ සිදුවෙයි. එනම්,

  • ස්‍යූනික අවධිය
  • ලුවියල් අවධිය යන අවධීන් දෙක යටතේයි.

ස්‍යූනික අවධිය (Follicle stage)

මෙය ආරම්භක අවධියයි. හයිපොතැලමසයෙන් GnRH  ශ්‍රාවය වන අතරම එමගින් පිටියුටරියෙන් ශ්‍රාවය වන කූප උත්තේජන හෝමෝනය (FSH) හේතුවෙන් ඩිම්බ කෝෂය තුස්‍යූනිකා වර්ධනය උත්තේජන කර ප්‍රාථමික ස්‍යූනිකා, ග්‍රාෆිය ස්‍යූනිකා දක්වා වර්ධනය කරවයි. ග්‍රාෆිය ස්‍යූනිකා ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය කරන අතරම ඒ මගින් පිටියුටරියෙන් ශ්‍රාවය වන කූප උත්තේජන හෝමෝනය (FSH) ශ්‍රාවය වීම පහළ බසී. මේ සඳහා දින 14 කාලයක් ගත වේ. 14 වන දිනය වන විට ඊස්ට්‍රජන මගින් LH ශ්‍රාවය වීම ඉහළ නංවයි. මේ අතර ඩිම්බය මුදාහැරී හැකි තත්ත්වයට පත්වේ

ලුවියල් අවධිය

මෙය දෙවන එනම් අවසාන අවධියයි. ග්‍රාෆිය ස්‍යූනිකා පරිණත වූ පසු පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය කරන ලුවියල් කාරක හෝමෝනයේ (LH-Lutririzing Hormone) බලපෑම යටතේ පිපිරී එය තුඇති ඩිම්බය, ඩිම්බ කෝෂයෙන් පැලෝපීය නාලය වෙත මුදාහැරීම සිදුවන අතරම එසේ මුදාහල ඩිම්බය පැලෝපීය නාල හරහා එහි පක්ෂමවල ආධාර ඇතිව ඉදිරියට (ගර්භාෂය දෙසට) ගමන් කරයි. පැලෝපීය නාල තුළ ඉතා සියුම් පක්ෂම පිහිටයි. මෙම පක්ෂම ගර්භාෂය දෙසට ඩිම්බය තල්ලුවන අයුරින් චලනය වන අතරම මේ කාලයේදී යම් හෙයකින් ශුක්‍රාණුවක් පැලෝපීය නාලය තුළට ඇතුළු වුවහොත් ඩිම්බය ශුක්‍රාණුව හා එක්ව  ඩිම්බ සංසේචනය සිදුවේ. (පැලෝපීය නාලයන් තුළ ඩිම්බයක් සජීවීව පවතින්නේ පැය 72කි. නමුත් එය සංසේචන විය හැකි තත්ත්වයේ පවතින්නේ ඉන් හරි අඩකටත් අඩු කාලයකි. ශුක්‍රාණුවකට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළ සජීවීව පැවතිය හැක්කේ පැය  48කි. මේ අනුව ගැහැණියකගේ පැලෝපීය නාලය තුළ වූ ඩිම්බ සංසේචනයට ඇති හැකියාව පැය 120 වඩා අඩු කාලයකි. සරු කාලය ලෙස හඳුන්වන්නේ මේ කාල සීමාවයි) ඩිම්බය සංසේචනය නොවුනි නම් ග්‍රාෆිය කූපයේ ඉතිරි කොටස පීත දේහය බවටත් පසුව ශ්වේත දේහය බවටත් පත්වී අවසානයේදී පරිහානියට පත්වීම මෙම අවධියේදී සිදුවේ. මේ සඳහා දින 14 ක් ගතවේ. මෙම අවධිය තුදී ඩිම්බ කෝෂයෙන් ප්‍රොජෙස්රෝන් හෝමෝනය ශ්‍රාවය වේ.

ප්‍රජනක හෝමෝනවල කාර්යභාරය

  • ඊස්ට්‍රජන් සහ  ප්‍රොජෙස්ටරෝන් – ස්ත්‍රී ද්වීතියික ලිංගික ලක්ෂණ ඇතිකිරීමත් ඒවා පවත්වා ගෙනයාමත් මෙම හෝමෝන දෙකේ ප්‍රධාන කාර්ක් වන අතරම ඊස්ට්‍රජන් මගින් ප්‍රගුණන අවධියේදී ගර්භාෂයික එන්ඩොමෙට්‍රියමේ ඇති පටක, රුධිර වාහීනී සහ ශ්ලේෂ්මල ග්‍රන්ථි වල වර්ධනයන් උත්තේජනය කරයි. ප්‍රොජෙස්ටරෝන් මගින් ඝ්‍රාවීය අවධියේදී ශ්ලේෂ්මල ග්‍රන්ථි ඇතිවීම, එහි වර්ධනය සහ පටකවල ඝණකම වැඩිවීම උත්තේජනය කරවයි.
  • GnRH (Gonadotropin-releasing hormone) පූර්ව පිටියුටරි හෝමෝන වන FSH සහ LH හෝමෝන ඝ්‍රාවය උත්තේජනය කරයි.
  • FSH (Follicle-stimulating hormone) – ස්‍යුනික උත්තේජක හෝමෝනයයි. එය ප්‍රාථමික ස්‍යුනිකා අතරින් එකක් පමණක් ග්‍රාෆිය ස්‍යුනිකාවක් ලෙස වර්ධනය වීම උත්තේජනය කරවයි.
  • LH (Luteinizing hormone) – ලුටෙයිනිකරණ හෝමෝනයයි. ග්‍රාෆිය ස්‍යූනිකා මත ක්‍රියාත්මක වී ඩිම්බ මෝචනය සිදුකරවයි. 

ගර්භාෂය තුළ සිදුවන වෙනස්කම්

ඩිම්බ සෛල සංසේචනය සිදු නොවුන විට ගර්භාෂය තුසිදුවන වෙනස්කම් ප්‍රධානඅවධි 3 කට බෙදේ. එනම්

  • ආර්තව අවධිය
  • ප්‍රගුණන අවධිය
  • ශ්‍රාවී අවධිය 

ආර්තව අවධිය – මෙය ආරම්භක අවධියයි. සංසේචනයක් සිදුනොවුනේ නම් රුධිරය ප්‍රොජෙස්රෝන් හෝමෝන මට්ටම පහත වැටීම හේතුවෙන් එන්ඩොමෙට්‍රියමේ රුධිර වාහිනී සන්කුන්චනය වේ. ඒ හේතුවෙන් එන්ඩොමේට්‍රියමට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වන අතරම එයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයද පහළ බසී. මේ හේතුවෙන් වර්ධනය වූ ගර්භාෂ බිත්තිය බිඳ වැටී එම කොටස් රුධිරය සමයෝනි මාර්ගය ඔස්සේ පිටතට යන අතරම මෙය සාමාන්‍යයෙන් දින හතරක පහක පමණ කාලයක් පවතී.

ප්‍රගුණන අවධියදෙවන අවධියයි. බිඳ වැටී ඇති ගර්භාෂ බිත්තිය ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑමෙන් ක්‍රමයෙන් වර්ධනය වීම ඇරඹේ. ඝනකම වැඩි කරයි. රුධිර වාහිනී නැවත වර්ධනය වන අතරම ගර්භාෂයික ග්‍රන්ථි වර්ධනය කරවයි.මෙහිදී ගර්භාෂ බිත්තියේ නව සෛල තට්ටුවක් ඇතිවීම හා වාහිනී මත්වීම (රුධිර කේශනාලිකා සුලභ වීම) සිදුවේ. මේ සඳහා දින 10 ක් පමණ ගතවේ

ශ්‍රාවී අවධියඅවසාන අවධියයි. වර්ධනය වූ ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම, රුධිර සැපයුම වැඩිවීම හා ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ශ්‍රාවී තත්ත්වයට පත්වීම සිදුවේ. මෙය ප්‍රොස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා සිදුවේ. මේ සඳහා දින 14 ක් ගතවේ. මෙම අවධියේදී සිරුරේ උෂ්ණත්වයද සුළු වශයෙන් ඉහළ යා හැකිය. 

සාමාන්‍යයෙන් මෙසේ සිදුවන ආර්තව චක්‍රය කාන්තාවකට වයස අවුරුදු‍ 50 – 55 යන කාලසීමාවට පැමිණෙන විට නතර වේ. එය ආර්ථවහරණය (Menopause) ලෙස හැඳින්වෙන අතරම එසේ සිදුවන්නේ ඒ වයස් සීමාව වන විට ඩිම්බකෝෂ සහ ගර්භාෂයික එන්ඩොමෙට්‍රියම FSH සහ LH යන හෝමෝනවලට ඇති සංවේදී බව අඩුවීමෙන්. ආර්ථවහරණ ආර්ථවහරණයට පෙර කාලය (Perimenopause), ආර්ථවහරණය (Menopause), ආර්ථවහරණයට පසු කාලසීමාව (Postmenopause) ලෙස පිවර තුනක් යටතේ සිදුවේ. සාමාන්‍යයෙන් ආර්ථවහරණයට (ආර්ථවහරණ පිළිබඳව සම්පූර්ණ ලිපියක් ඉදිරියේදී ගෙ ඒමට බලාපොරොත්තු වෙමු) ලක්වන කාන්තාවක් මෙම පළමු අදිරේදී එනම් ආර්ථවහරණයට පෙර කාලයේදී අක්‍රමවත් ඔසප් චක්‍රයක් පෙන්නුම් කරන අතරම රුධිර වහනය පෙර තත්ත්වයෙන් වෙනස් වී ඊට වඩා අඩු හෝ වැඩි තත්ත්වයක් දැකිය හැකිය. ආර්ථවහරණයේ ආරම්භත් සමගම යෝනි මාර්ගය අවට වියළ ගතිය, බර වැඩිවීම, පියයුරු වේදනාකාරී වීම, හන්දි වේදනාව, හිසේ වේදනාව, හැසකෙස් ගැලවී යාම වැනි ලක්ෂන වගේම මානසික ආතති ස්වභාවයක්ද පෙන්නුම් කරනවා විය හැකිය. මෙහිදී සිදු විය යුත්තේ මෙම ස්වභාවික සංසිද්ධිය පිළිබඳව දැනුවත් වෙමින් අපහසුතා සඳහා අවශ්‍ය නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් මේ තත්ත්වයට සතුටින් මුහුණ දීම පමණයි. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි මේ රෝග ගැන ඔබ දැනුවත්ද?

ඇතැම් අවස්ථාවල කාන්තාවන් බාහිර ප්‍රජනක ඉන්ද්‍රියයන් හා ආශ්‍රිත යම් යම් රෝග තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳින්නේ වෛද්‍යවරයෙකුට හෝ තමන්ගේ අපහසුතා පැවසීමට ඇති ලැජ්ජාව හේතුවෙන් ඇති වන මැලිකම නිසයි. නමුත් බාහිර ප්‍රජනක පද්ධතිය හා ඒ අවට ඇති වන රෝග තත්ත්ව සඳහාත් අවශ්‍ය අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. එය ලැජ්ජාවට කරුණක් ලෙස නොසැලකිය යුතු අතරම  සැමවිටම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම සහ පිරිසිදුව සිටීම ප්‍රජනක පද්ධතියේ බාහිරින් ඇති විය රෝග තත්ත්ව මගහරවා ගැනීමට ඉතා වැදගත් වනු ඇත.

බාහිර ප්‍රජනක පද්ධතිය හා ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්ව

  1. භගයෝනිදාහය (Vulvovaginitis)

මෙහිදී යෝනි විවරය හා ඒ ආශ්‍රිතවත් භගමනිය ආශ්‍රිතවත් ඇති වන ප්‍රදාහයකි. මෙයට හේතුව වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම හෝ නැතිවීමයි. ඒ හේතුවෙන් යොවුන් වියට එළැඹීමට පෙරත් ආර්ථවාභාවයෙන් පසුත් යෝනියේ ඇති ග්ලයිකෝජන් අඩුවීම සිදුවේ.

යොවුන් වියට එළැඹීමට පෙර නම් මේ තත්ත්වය දෙමාපියන්ගෙන් හා වෙනත් දරුවන්ගෙන් ඇති විය හැකි අතරම එය අපිරිසිදුකම, යෝනියට ආගන්තුක දේ දැමීම, නිදන්ගත මුත්‍රා ආසාධන, ආසාධිත ඇඳ ඇතිරිලි හේතුවෙන් Gonococcus නම් බැක්ටීරියා මඟින් ඇති විය හැකිය.

යොවුන් වියට එළැඹීම හා ආර්තවාභාවය අතර මේ තත්ත්වය ඇති විය හැක්කේ ප්‍රසවය, යෝනි ල්‍යකර්ම, ගබ්සාව වැනි තත්ත්ව නිසා භගමනියට හෝ යෝනියට අනතුරු වීම් මගින් සිදුවිය හැකි ආසාධනය තත්ත්වයන් හේතුවෙනි.

ආර්ථවාභාවයට පසු ගර්භාෂය පහත් වීම සඳහා මුදු (Pressary) භාවිත කිරීමත් ඒවා වැඩිකලක් යෝනියේ තිබීමත්, නියමිත කාලයට මාරු නොකිරීමත් නිසා ආසාධන ඇති වේ. දියවැඩියා තත්ත්වයේ සංකූලතාවයක් ලෙස භගයෝනිදාහය (Vulvovaginitis) ඇති විය හැක. 

භගයෝනිදාහයේදී (Vulvovaginitis) පෙන්නුම් කරන ලක්ෂණ

  • ශ්‍රාවය (සැරව හෝ රැධිරය මිශ්‍රිත ශ්‍රාවයන්) ඇති වීම
  • යෝනි ප්‍රදේශයේ බරක් දැනීම
  • මුත්‍රා පහකරන විට අපහසුව
  • භගමනිය ප්‍රදේශයේ උද්දීපනය හා කැසීම

භගයෝනිදාහය තත්ත්වයට ප්‍රතිකාර

  • පිරිසිදුකම
  • වේදනාව සඳහා වේදනානාෂක ඖෂධ
  • වෛද්‍යවරයා විසින් රෝගකාරක ජීවියාට අනුව ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ
  • ඊස්ට්‍රජන් අඩංගු ඖෂධ ගැනීම
  1. යෝනිදාහය – Vaginits

යෝනිය ආශ්‍රිතව ඇති වන ආසාධන තත්ත්වයකි.  උදාහරණ ලෙස  Tricommonas protozoa, candida Albicuns දැක්වි හැකිය.

යෝනිදාහය ඇති වූ විට පෙන්නුම් කරන ලක්ෂණ

  • දුඟදක් සහිත ශ්‍රාවයක් පිටවීම
  • භගමනියේ දැවිල්ල හා ඉදිමුම
  • යෝනි බිත්ති ආසාදනයට ලක්වීම
  • සංසර්ගයේදී වේදනාවක් ඇති වීම

යෝනිදාහය ඇති වූ විට ප්‍රතිකාර

  • පිරිසිදු බව පවත්වා ගැනීම අනිවාර්ය වේ
  • වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබාගැනී
  • වෛද්‍ය උපදෙස් මත ඊස්ට්‍රජන් අඩංග්‍ර ඖෂධ ගැනීම
  1. භගමනියේ ඇතිවන රෝග
  • කූපභගදාහය (Follicular Vulvitis) – භගමනියේ රෝම කූප ගණනාවක් ආසධනය වීමෙන් ඇති වන තත්ත්වයකි. සම මතුපිටින් රෝම කූල ආශ්‍රිතව සැරව ගෙඩි ඇති වේ
  • භගමනියේ කුඩා බිබිලි ඇති වීම (Erysipelis Chanlli) හෝ භගමනියේ ගෙඩි (vulvar tumor/ Papilloma) ඇතිවීම 
  • කුඩා ඉන්නන් ඇති වීම – මෙය වෛරසයක් හේතුවෙන් ඇති වන තත්ත්වයක් වන අතරම භගමනියේ තෙත ගතිය නිසා ආසාධන ඉක්මණින් පැතිරිය හැකිය.
  • බාර්තෝලියන් ග්‍රන්ථිවල ආසාධන – මේ තත්ත්වය ශ්‍රාවයන් නාලය තුඑකතු වීම නිසා ඇති වේ.

භගමනියේ ඇති වන රෝග සඳහා ප්‍රතිකාර

  • කුඩා පැලුමක් ඇති කර සැරව ඉවත්කර ඖෂධ ගැල්වීම (Incision & Dressing)
  • ප්‍රතිජීවක ඖෂධ ලබාදීම
  • සමට සම්බන්ධ කර මැස්මක් යෙදීම
  1. Leucoplakia Vulvae

මෙය වයස්ගත කාන්තාවන්ට ඇතිවන නිදන්ගත රෝගයක් වන මෙය පූර්ව පිළිකා තත්ත්වයකි. මේ තත්ත්වයේදී අපිචර්මයේ සුදු පැහැ ලප ඇති කරයි

  1. භග කණ්ඩකිය – Praritis Valualae

එනම් භගයේ ඇතිවන උද්දීප්යතාවය සහ කැසීමය. මෙහිදී ඇති වන කැසීම ඉතා තදින් දැනෙන අතරම රාත්‍රී කාලයේදී අධිකව දැනෙන්නට පටන් ගනී

අභ්‍යන්තර ප්‍රජනක පද්ධතිය හා ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්ව

  1. Hydatidiform Mole – H-moll

සංසේචිත ඩිම්බය, ගර්භාෂයේ රෝපණය වූ පසුව භ්‍රෑණයාගේ වර්ධනය අබිබවා අසාමාන්‍ය ලෙස වර්ධනය වන ගැටිති (ජිල්ලිකා) හේතුවෙන් භ්‍රෑණ වර්ධනය අතරමඟ ඇණහිටී. මේවා පිළිකා සෛල විය හැකි අතර සති හයකදී වර්ධනය ආරම්භ වේ. මෙම ගැටිති සති 12 දී උපරිම වර්ධනයක් දැකිය හැකි අතර මෙය තුළ තරලයක් පවතී. මෙම ගැටිතිවලින් අධික ලෙස HCG හෝමෝනය ශ්‍රාවය වේ. සති 12 න් පසු ගැටිති පරිහානියට පත්වේ

Hydatidiform Mole – H-moll තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • සති 12 දී යෝනි රුධිර වහනය (තද රතු හෝ දුඹුරු පැහැති කැටිති ලෙස පිටවේ
  • ස්පර්ෂ කිරීමේදී ඇති වන වේදනාව
  • අධික උදාවමනය

Hydatidiform Mole – H-moll තත්ත්වයට ප්‍රතිකාර

  • සති 12 අඩු නම් කලලය ඉවත් කරයි. (D&C)
  • සති 12 වැඩි නම් උදර විච්ජේදනය (laparotomy) සිදුකර ඉවත් කරයි.
  • අවු 40 වැඩි නම්, දරුවන් තිදෙනෙකු සිටින කාන්තාවක් නම් ගර්භාෂය ඉවත් කරයි. (Hysterectomy)
  1. Ectopic Pregnancy (බහිෂ්කේනතික ධාරණය)

සංසේචිත ඩිම්බය ගර්භාෂයේ රෝපණය වීමේ ක්‍රියාවලියට බාහිරව වෙනත් ස්ථානයක රෝපණය වීම මේ තත්ත්වයයි. සාමාන්‍ය ගර්භනීතාවයකදී භ්‍රෑණයාගේ වර්ධනය සමඟ ගර්භාෂයේ වර්ධනය සිදුවුවත් වෙනත් ස්ථානවලට එසේ විශාල වීමේ හැකියාවක් නොමැති නිසා ගැබ මේරීමට පෙර විනාශ වේ. බහුලව ඇති වන ස්ථාන වන්නේ පැලෝපීය නාල, ඩිම්බ කෝෂවල පරිතාන කුහරය, ගැබ් ගෙල යන ස්ථානයි. මෙයිනුත් සුලබව ඇතිවන්නේ පැලෝපීය නාල තුලය.

 Ectopic Pregnancy (බහිෂ්කේනතික ධාරණය) තත්ත්වයේ ලක්ෂණ

  • ඔසප් හට නොගත් කාලයේ (අනාරථවයේ) ලක්ෂණ (සති 8 – 10)
  • පහළ උදරයේ අපහසුතාවය
  • වමනය හා කරකැවිල්ල
  • ගර්භණීභාවයේ ලක්ෂණ
  • යෝනිය මඟින් සුළු රුධිරවහනය
  • උදරය ස්පර්ෂ කිරීමේදී ඇති වන වේදනාව

නාලය පිපිරීමකට ලක් වුවහොත් තියුණු උදර වේදනාව, පෙකණිය පෙදෙස නිල්පැහැ වීම මෙන්ම කම්පන ලක්ෂණ පෙන්නුම් කරයි.

Ectopic Pregnancy (බහිෂ්කේනතික ධාරණය) සඳහා ප්‍රතිකාර

උදර විච්ජේදනය කර පැලෝපීය නාල පුපුරා ඇත්නම් පැත්තේ ඩිම්බාධාරද ඉවත් කිරීම (Salphyngo Oopharectomy) සිදුකරයි

  1. ගර්භෂය පහත් වීම – Uteriene Prolapse

ගර්භාෂය රඳවා ඇති බන්ධනීන්ගේ හා පේශීන්ගේ දුබලතාවය නිසා ගර්භාෂය යෝනි කුහරය තුලින් පහළට ඇදේ. යෝනියේ පූර්ව බිත්යෙන් මුත්‍රාශයද අපර බිත්තියෙන් ගුදයද නෙරා එයි

ගර්භෂය පහත් වීමේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • භගමනිය ප්‍රදේශයෙන් යමක් පහළට එල්ලෙන ලෙස දැනීම.
  • නිතර මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවය
  • තදින් සිනාසෙන විට පාලනයකින් තොරව මුත්‍රා ස්වල්යක් පිටව
  • මලබද්ධයේ ලක්ෂණ
  • පිට කොන්දේ වේදනාව
  • මුත්‍රා දැවිල්ල
  • යෝනි විසර්ග පිටවීම

ගර්භෂය පහත් වීම සඳහා ඇති ප්‍රතිකාර

  • Pressary (වළලු) දමා තාවකාලිකව ගර්භෂය පහත් වීම වළක්වයි
  • ගර්භාෂය ඉවත්කිරීම (Hysterectomy) – ගර්භාෂය උදර විච්ජේදනය මඟින් හෝ (Abdominal Hysterectomy) යෝනිය මඟින් (Vaginal Hysterectomy) මඟින් ඉවත් කරයි.
  1. එන්ඩෝමෙට්‍රියෝසිස් (Endometriosis)

ගර්භාෂය තුළ ඇති අභ්‍යන්තර ස්ථරය (endometrial) ගර්භාෂයෙන් පිටතට වර්ධනය වීමයි. මෙම වර්ධනයන් ඩිම්බ කෝෂ, පැලෝපීය නාල හා සම්බන්ධ වේ. එසේම මෙසේ පිටතට වර්ධනය වීමේදී කුඩා අන්තක, ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටසේ අවයව, ගුදය හා ගර්භාෂය අතර ප‍්‍රදේශයට පැතිර යා හැක.

එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ

  • ආර්තවයට පෙර හා පසු වේදනාව
  • නිසරුභාවය
  • ඔසප් චක්‍රයේදී අධික රුධිර වහනය
  • සංසර්ගයේදී වේදනාව

එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයට ප්‍රතිකාර

  • හෝමෝන ප්‍රතිකාර
  • ශල්‍ය ප්‍රතිකාර
  • දරුවන් අපේක්ෂා කරන අයට තාවකාලික ශල්‍ය ප්‍රතිකාර කරයි

උදා: Chocalate cyst ඉවත් කිරීම

  • ඩිම්බාධාර දෙකම සම්බන්ධ වී ඇත්නම් ගර්භාෂය, පැලෝපීය නාල හා ඩිම්බ කෝෂ ඉවත් කරයි.
  • ගර්භාෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම (Total Abdominal Hysteretomy)
  • TAH + BSO – (Bilateral Salphingo Oopharetomy)ගර්භාෂය, පැලෝපීය නාල හා ඩිම්බ කෝෂ සියල්ල ඉවත් කරයි 
  1. ගර්භාෂ පිළිකා

අසාමාන්‍ය ලෙස යෝනිය හරහා රුධිර වහනය මෙන්ම ගර්භාෂ තුළ මස්දලු, ගෙඩි වැනි අසාමාන්‍ය වර්ධනයන් ඇති වීම සිදු විය හැකිය.

ගර්භාෂ පිළිකා තත්ත්වයේදී ප්‍රතිකාර

  • ශල්‍ය ප්‍රතිකාර
  • විකිරණ ප්‍රතිකාර 
  • ඖෂධ ප්‍රතිකාර (ගැබ්ගෙල පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා සඳහා ලබාදේ)

ඉහත තත්ත්ව දෙකේදීම ශල්‍ය ප්‍රතිකාර මෙන්ම, ඖෂධ හා විකිරණ ප්‍රතිකාරලබාදේ.

  1. Cystocele

 පූර්ව යෝනි බිත්තිය තුළින් මුත්‍රාශය පහතට පැමිණීමයි. මුත්‍රාශයේ ගෙල, මුත්‍රා මාර්ගය වෙන වෙනම ඉවතට පැමිණිය හැක.

Cystocele තත්ත්වයේ ලක්ෂණ

  • ශ්‍රෝණියේ බර ගතිය හෝ පීඩනය
  • කෝනදේ වේදනාව
  • මුත්‍රා ඉක්මනින් පිට කිරීමේ අවශ්‍යතාවය

Cystocele තත්ත්වයට ප්‍රතිකාර

  • ඊස්ට්‍රජන්  හෝමෝන ලබාදීම
  • වලලු (Pressary) දැමීම
  • ශල්‍ය ප්‍රතිකාර
  1. Vaginal Fistula

අභ්‍යන්තර කුහර ඉන්ද්‍රියන් දෙකක් අතර හෝ අභ්‍යන්තර කුහර ඉන්ද්‍රියන් හා බාහිරව ඇති වන කුහර සහිත මාර්ගයක් ඇති වීමකි. මෙය යෝනිය හා මුත්‍රා මාර්ගය අතර (Urethro Vaginal Fistula), යෝනිය හා මුත්‍රාශය අතර (Vesico Vaginal Fistula), යෝනිය හා ගුදය අතර (Reeto Vaginal Fistula) ලෙස ආකාර 3 කි

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 


                

නිවසේ ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය ඖෂධ වර්ග

පවුල, ඔබ සතු වටිනාම සම්පත බව අපි දනිමු. එනිසාම ඔබ ඒ වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කරන බවද අපි දනිමු. ඒ නිසාම එදිනෙදා ජීවිතයේදී ඔබගේ පවුලේ ආරක්ෂාවට වැදගත් වන කාරණයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. නිවසේ සිදුවිය හැකි හදිසි අනතුරකදී වැදගත්වන ප්‍රථමාධාර සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? ඒ වෙනුවෙන් අවශ්‍ය වන ද්‍රව්‍ය ඔබ සතුව පවතීද? මේ ඒ ගැනයි. 

ඔබේ නිවසේ ප්‍රථමාධාර පෙට්ටියක තිබිය යුතුම කළමනා කිහිපයකින් මෙසේ කතාව ආරම්භ කරමු. එදිනෙදා ජීවිතයේදී නිවසේ අයගේ සිදුවන කැපීම්, තදබල සිරීම් වැනි තුවාල බොහෝ හුරුපුරුදු ඒවාය. විශේෂයෙන්ම ඔබේ නිවසේ කුඩා දරුවන් සිටීනම් මෙය සුලබ අත්දැකීමක් වනවාට සැක නැත. එවැනි මොහොතක ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු දේ ගැන අනිවාර්යෙන්ම ඔබට දැනුවත් බවක් තිබිය යුතුය.

ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු දේ

  • ගෝස් 

දිග, පළල අඟල් 1 X 2, අඟල් 3 X 4, අඟල් 4 X 5 වැනි ප්‍රමාණවලින් 

  • වෙළුම් පටි සහ ක්රේප් බැන්ඩේඡ්

ඔබේ ශරීරයේ විවිධ ප්‍රමාණවලින් යුතු ස්ථාන වෙලීමට අවශ්‍ය වියහැකි නිසා අඟල් 1, 2, 3, 4, 5, 7 වැනි පළලින් යුතුව 

  • උණ කටුවක්
  • අත්වැසුම්
  • විවිධ ප්‍රමාණයේ පැලැස්තර 
  • පුළුන්
  • රෙදි මීටරයක් දෙකට නවා සාදාගත් ත්‍රිකෝණාකාර වෙළුම් පටි දෙකක්
  • ප්‍රමාණ කිහිපයක ඉටි බෑග් – හදිසියේම ඔබේ දරුවෙකුගේ වමනය කිරීමකදී එහි සාම්පලයක් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ විටක භාවිතයට ගැනීමට 
  • විදුලි පන්දමක් – උගුර වැනි ස්ථානයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන ලෙස 
  • කුඩා සටහන් පොතක් හා පෑනක් නිවසේ කුඩා දරුවන් අසනීප වන විටක උණ තත්ත්වයන්, මුත්‍රා ප්‍රමාණ, පානය කළ ජලය ප්‍රමාණය වැනි දෑ සටහන් කිරීමට 
  • කොට්න් බඩ් – ඇසට යමක් ගිය විට ප්‍රවේශමෙන් එය ඉවත් කර ගැනීමට (කන සුද්ද කිරීමට නොවන බව වගකීමෙන් යුතුව වටහා ගන්න)
  • පතුරු ලෙස භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය කිහිපයක් (අස්ථි බිඳීමකදී රෝහල වෙත ගෙන යාමට පෙර ප්‍රථමාධාරයක් ලෙස එම ස්ථානයට පතුරු තබා බැඳීමට) 
  • මොට්ට තුඩක් සහිත කතුරක් (තුවාලයක් පිරිසිදු කිරීමකට)
  • බෙහෙත් දැමීමට භාවිත කළහැකි අඬුවක්
  • ඇණුන කටු ඉවත් කිරීම යොදා ගත හැකි අඬුවක්

නිවසේ ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය ඖෂධ වර්ග

වෛදවයෙකු විසින් අප වෙත හෝ දරුවන්ට නියම කරන සෑම ඖෂධ වර්ගයක්ම නිවසේ ප්‍රථමාධාර පෙට්ටියේ තබාගත නොහැකි වුවත් වේදනා නාෂක වර්ග වැනි යම් යම් සුළු ඖෂධ අපහට නිවසේ ප්‍රථමාධාර පෙට්ටියේ තබාගත හැකියි. නමුත් ඒවා ද වැඩිහිටි අයෙකු හෝ නිවසේ තබා භාවිත කිරීමට වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රාව පිළිබඳවත් කල් ඉකුත්වීම් දිනය සම්බන්ධවත් අවබෝධයක් ඇතිව ඖෂධ වර්ග තෝරාගත යුතුය. 

  • ්‍රතිජීවක ඖෂධ (වෛද්‍ය උපදෙස් මත)
  • වේදනා නාශක (වැඩිහිටි/ළමා)
  • උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි එදිනෙදා ජීවිතයේ අපට අවශ්‍ය ඖෂධ
  • සිරප් වර්ග
  • තුවාල සෝදන ද්‍රාවණ 

මේ වනවිටත් ඔබ නිවසේ ප්‍රථමාධාර පෙට්ටියක් ඇත්නම් අඩුපාඩු සම්පූර්ණ කරගන්නට ඔබට හැකියි. ඉතාම වැදගත් වන්නේ ඔබේ ප්‍රථමාධාර පෙට්ටිය දූවිලි නොයන, වතුර කාන්දු නොවන, නොබිඳෙන එකක් වීමයි. එමෙන්ම එය යතුරු දමා වසා තැබිය හැකි විය යුතුයි. 

කුඩා දරුවන්ට විවර කළ නොහැකි වනසේ තැබීම වඩාත් උචිත වන අතරම පෙට්ටියේ පිටතින් එහි අඩංගු බෙහෙත් පිළිබඳ හා ඒවා ගබඩා කර ඇති ස්ථාන පිළිබඳ දැනගත හැකි වන අයුරින් ලැයිස්තුවක් අලවා තැබීම පහසුවක් වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


                

ක‍්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබේ දරුවාට භෞත චිකිත්සක උපදෙස් අවශ්‍ය බව දැන සිටියාද

 පුංචි කාලේ ඉඳලම ඇතැම් දරුවෝ එක් එක් ක්‍රීඩාවන්ට දස්කම් පෙන්වනවා. එවන් දරුවෝ මතු දිනෙක ලොව ජය ගත් අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. කුඩා වියේ සිටම ලොවක් ජය ලබන්නට යන ගමනේදී එම දරුවාට පුහුණුකරුවෙකු සිටිනවා සේම භෞත චිකිත්සකවරයෙකු සිටීමද ඉතා වැදගත් වන්නේ ආබාධයන්ට ලක් නොවී බාධාවකින් තොරව තම ඉදිරි ගමන යා යුතු නිසාමය. ඕනෑම ක්‍රීඩකයෙකුට ආබාධවලට ලක් නොවී ක්‍රීඩා දිවිය ඉදිරිට රැගෙන යාමට නම් භෞතචිකිත්සාව ඉතා වැදගත් වේ.

උදාහරණයක් ලෙස ආසන්නතම සිදුවීමක් වන පසුගිය දිනවල ක්‍රීඩාලෝලී සැවොම ඉතා නොඉවසිලිමත්ව නැරඹූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවාලිය දැක්විය හැකියි. මේ වනවිටත් එය ඔබේ මතකයේ ඉහළින්ම ඇති බවට ද සැක නැත.  ඉතා උණුසුම්ව පැවති ඒ තරගවාලියේදී ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීය. අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල කලම්බූ කින්ස් පරදා ගෝල් ග්ලැඩියේටර්ස් ජයග‍්‍රහණය කර අවසන් සුදුසුකම් ලැබීය. මෙහිදී කලම්බු කින්ස් පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධවලට පත්වීම ඔවුන් පසුබෑමට ලක්වීමට ප්‍රබල හේතුවක් වූ බවට සැකයක් නැත. 

කෙසේ වුවද විදේශ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් තරග පිටියේ බොහෝ කාලයක් රැඳී සිටියද ඔවුන්ගේ සමකාලීනයන් වන අපේ රටේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාවට සමු දී සිටීම කණගාටුදායක තත්ත්වයකි. උදාහරණයක් ලෙස අවසන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන් රැසකට පෙරලා දිවයිනට පැමිණීමට සිදුවූයේ ආබාධවලට ලක්වෙමින්. එම තරගාවලියේදී වැඩියෙන්ම ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් සිටි කණ්ඩායම ශ්‍රී ලංකා කාණ්ඩායම විය.

දක්‍ෂ ක‍්‍රීඩකයෙකුට තම දක්‍ෂතාවයන් සමග බොහෝ කාලයක් ක‍්‍රීඩාවේ නිරත වීමට නම් සුදුසුකම් සපිරි පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය බව අප කියන්නේ එබැවිනි. විද්‍යාත්මකව ක්‍රීඩක/ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සිදුවන්නේ භෞතචිකිත්සකවරයාගේ සහ පුහුණුකරුගේ එකඟතාවය මතයි. ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ශෛලිය මේ දෙදෙනා අතින්ම නිරීක්‍ෂණය විය යුතුය.

 

ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හා සම්බන්ධව භෞතචිකිත්සකවරයාගේ කාර්යය භාරය

ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සිරුරේ භෞතික තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීම

එහිදී පුහුණුකරුවාට ක්‍රීඩක/ක්‍රීඩිකාවගේ පෞද්ගලික වූ සුවිශේෂ ශක්තීන් හඳුන්වා දෙන අතරම  පුහුණුකරුවා ඒ ශක්තීන් ක්‍රීඩාවට ආදාල ලෙස යොදා ගැනීමට උපායශීලී වේ. දක්‍ෂ ක්‍රීඩක/ක්‍රීඩිකාවන්  බිහිවීමේ විද්‍යාත්මකව පදනම වන්නේ එයයි. 

ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ආවේණික ඉරියව් හා පවතින ඉරියව් වෙනස් කිරීම

මේ සඳහා භෞතචිකිත්සකවරයාට මැදිහත් වීමට සිදුවේ. ක‍්‍රීඩකයෙකුගේ දරාගැනීමේ ශක්තිය, වඩාත් වෙහෙස කළ යුතු ස්ථාන එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. ඒ අනුව යම් ක්‍රීඩාවක නිරත වන ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ඉරියව්ව හා එම ඉරියව් තුළ වඩාත් ක්‍රියාකාරී පේශීන් පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව එම ඉරියව්වේ වලංගු අවලංගුතාවය තීරණය කිරීමට භෞතචිකිත්සකවරයාට හැකිය. 

එක් එක් ක්‍රීඩකාගේ පේශිවල ප‍්‍රමාණයන්, එය වර්ධනය කළ හැකි උපරිමයත් හඳුනා ගැනීම

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම උස, බර, වයස වැනි කාරණා මතත් මේ තත්ත්වයේ සිදුවන වෙනස්කම් පිළිබඳ භෞතචිකිත්සකවරයාට ඇත්තේ මනා අවබෝධයකි. පේශීවල ශ්‍රේණිගත කිරීම් අනුව දුර්වල පේශී මුලදීම හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය භෞතික ව්‍යායාම ලබාදිය යුතුය. එම උපදෙස් අනුව ව්‍යායාමවල නිරත වීමෙන් ක‍්‍රීඩාවේදී අනතුරට ලක් නොවී දිගටම ක‍්‍රීඩා කටයුතුවල නිරත විය හැකිය. 

ක‍්‍රීඩකයන්ගේ අභ්‍යන්තර හෝ වෙනත් ආබාධ හඳුනාගැනීම

භෞතචිකිත්සකවරයෙක් ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව මනාව හදාරා ඇති බැවින් ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තර හෝ වෙනත් ආබාධ ඇත්නම් ඒ පිළිබඳව පුහුණුකරුට වඩා හොඳ අවබෝධයක් ලබා දීම වැදගත් වේ. සමහර ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේදී එක දිගට යොදා නොගන්නේ එවැනි හේතූ නිසා එක දිගට වෙහෙසට පත් නොකොට ආරක්‍ෂා කරගැනීමටය. 

මේ ආකාරයට ගත් කළ සියලු ක්‍රීඩාවල ජාතික කණ්ඩායම්වලටත් පාසල් මට්ටමේ ක්‍රීඩා කණ්ඩායම්වලටත් භෞතචිකිත්සකවරු යොදා ගන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවන අතරම අප රටේ සියලු ජාතික පාසල්වලටද භෞතචිකිත්සකවරයෙකු අනුයුක්ත කරන්නේ නම් කුඩා කාලයේ සිටම ජාතික තලයට එන ක්‍රීඩක/ක්‍රීඩිකාවන් විද්‍යාත්මකව බිහි කළ හැකි බව ද විශ්වාසයි. එමෙන්ම භෞතචිකිත්සකවරු ක්‍රීඩාවේදී මොළය හා සම්බන්ධ වෙන ස්නායු සමායෝජනය, සමබරතාවය, පීඩනය දරා ගැනීම, මනස සංයමයට පත් වෙන ව්‍යායාම වෙතද ක්‍රීඩක/ක්‍රීඩිකාවන් යොමු කරනු ඇත. 

පාසල් මට්ටම් ක‍්‍රීඩක/ක්‍රීඩිකාවන් මුල් කාලයේ සිටම 

  • ක්‍රීඩාව ඇරඹීමට පෙර ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාමත්
  • දිග ඇදුම් අභ්‍යාසත්
  • ක්‍රීඩාව අවසානයේදී ශරීරය සිසිල් කරන ව්‍යායාමත් කළ යුතු බව මතක තබාගන්න

ඔබ දැනටමත් ආබාධයකට ලක්වී ඇත්නම්, 

  • අයිස් තෙරපි
  • තාප ප‍්‍රතිකාර
  • අල්ට‍්‍රා සවුන්ඩ්
  • ඉන්ටර්ෆැරුන්ෂ්ල්
  • ටේපින් ක‍්‍රම
  • භෞතික ව්‍යායාම යන ක්‍රම අතරින් සුදුසු ක්‍රමයන්ට යොමු වී එවැනි ආබාධ සුවඅතට පත් කරගත හැක.

කෙසේ වුවද මේ වන විටත් ව්‍යාජ භෞතචිකිත්සකයන් විශාල ප‍්‍රමාණයක් ලංකාවේ ඇති නිසා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය විමසීම ඔබගේ අයිතියකි. ප‍්‍රතිකාර ගැනීමට පෙර ඔබගේ භෞතචිකිත්සකවරයා සුදුසුකම්ලත් අයෙක්දැයි සොයා බලන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

කොවිඩ් ආසාදිත පවුලේ සාමාජිකයා නිවසට පැමිණි පසුව..

කොවිඩ් 19 රෝග තත්වයට ගොදුරු වුන පුද්ගලයෙකු සුවය ලබා නිවසට පැමිණියාට පසුව වුනත් බොහෝ දෙනෙකු රෝගියා සමග ගණුදෙණු කරන්න බියක් දක්වනවා. අසල්වැසියන් වුනත් මේ නිවස සමග පවත්නා සමාජ සම්බන්ධතාවයෙන් දුරස් වෙනවා. කොවිඩ් රෝගියෙකු සුවය ලැබී නිවසට පැමිණීමත් සමග අපි ඔවුන් සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේද…, මේ ගැන අදහස් දක්වමින් මහනුවර මහ රෝහලේ  ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා 

කොවිඩ් 19 රෝගයට පුද්ගලයෙකු ආසාදිත වෙන්නේ ඔවුන්ගේ අඩුපාඩුවක් හෝ නො සැලකිලිමත්කමක් ලෙස නො සලකන්න. එය සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්  පමණයි.

 දවස් දහහතරක පමණ ආයතනගත සුපරික්ෂාවකින් සහ පැය විසිහතරකින් පසු සිදු කළ ඍණාත්මක ප්‍රතිඵල සහිත පී.සී.ආර් පරික්ෂා දෙකකින් පසුව රෝගියා නිවසට පැමිණෙන්නේ තවදුරටත් වෛරසය පැතිරවිය හැකි රෝග වාහකෙයකු ලෙස නොව, ඔබ මා මෙන් ම නීරෝගී පුද්ගලයෙක් ලෙසයි. එනිසා කිසිවෙකුත් ඒ අයගේ පැමිණීම ගැන අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැහැ.

 ඒත්… සෞඛ්‍ය නිර්දේශ අනුව තවදුරටත් සති දෙකක් නිවසට වී කාලය ගත කිරිමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත. ඒ කාලය තුළ නිවැසි සැම අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්..

  • අදාල  රෝගියාට  සෑම විට ම වෙනම කාමරයක් හා වැසිකිළියක් ලබා දෙන්න. එසේ නොමැති අවස්ථාවල, නිවසේ  වැසිකිළිය භාවිතා කරන්න පුලුවනි. එහෙත් එය භාවිතා කළ  සෑම අවස්ථාවක දී ම බ්ලිච් දියරය (1 1000) භාවිතා කොට පිරිසිදු කරන්න. එහිදි සෑම මතුපිටක් ම එක හා සමානව පිරිසිදු කිරීමට අමතක නො කරන්න.
  • සෑම විටකදි ම ,සෑම නේවාසිකයෙකු ම මුව ආවරණ පැළඳිම සිදු කරන්න. රෝගියා ශල්‍ය මුව ආවරණ භාවිතා කරන්නේ නම් වඩා සුදුසුය . නිවසේ සෙසු සාමාජිකයන් රෙදි වලින් තැනු මුව ආවරණ පැළඳිමට පුළුවනි.. එවැනි ආවරණයක් භාවිතා කළ හැකි උපරිම කාලය පැය අටකි. ඊට පෙර එය තෙත් වුවහොත්, ආරක්ෂිතව මාරු  කරන්න.. ඒ සඳහා අවශ්‍ය  භාජන වෙන් වෙන්ව තබා ගන්න. ඉවත් කළ වහා ම අලුත්  මුව ආවරණයක් පළදින්න. මුව ආවරණ  සෞඛ්‍ය උපදෙස් අනුව බැහැරලන්න.
  • අවැසිම උපකරණ කිහිපයක් පමණක් කාමරය තුල තබා ගන්න. අනවශ්‍ය පරිදි භාණ්ඩ තබා ගැනීම පිරිසිදු කිරිමට බාධා ඇති කරයි.
  •  නිවසේ ඇති නිතර අතපත ගාන  සෑම පෘෂ්ඨයක් ම මනාව මධ්‍යසාර අඩංගු විශබීජ නාශක දියරයකින් පිරිසිදු කරන්න.
  •  රෝගියාගේ ඇඳුම් වෙනම සෝදා වේලා ගන්න.  සෑම විටක දී ම දැඩි අව්වේ ඇඳුම් වේලා ගන්නේ නම් ඉතා හොඳය.  සෑම දිනක දී ම පිරිසිදු ඇඳුම් ඇඳීමට වග බලාගන්න.
  •  හැකි අවම පැළඳුම් භාවිතා කරන්න. ඔරලෝසු, කණ්නාඩි භාවිතෙන් පසු සැනිටයිසර් මඟින් පිරිසිදු කර ගන්න.
  •  නිවසේ ඇති ජනෙල් දොරවල් විවෘතව තබා ගන්න. හිරු  එළිය ලැබෙන පරිදි විවෘතව තැබිමට හැකි නම් ඉතාම හොඳයි.
  •  නිවසේ බල්ලන් සහ බළලුන් සිටී නම්,මේ සති දෙකක කාලය තුල ඔවුන් ද වෙන්කර තැබීමට කටයුතු කරන්න.
  •  රෝගියාගේ කාමරයට හෝ රැඳි සිටින තැනට නිතර ගමන් කිරීම සිදු නො කරන්න. එසේ යාමට අවශ්‍ය නම්, නිවසේ සිටින තරුණ නිරෝගි අයකු විසින් එය සිදු කරන්න.
  •  හැකි සෑම විට ම සමබල ආහාරයක් ලබා ගන්න. ආහාර ගෙන යන බඳුන් වෙන වෙන ම තබා ගන්න. ඒවා වෙනම පිරිසිදු කර ගන්න. හොඳින් සබන් යොදා පිරිසිදු කර ගැනීම පමණක් සෑහේ. එහෙත් ඒවා වෙන ම තබා ගන්න. හොඳින් ඇවැසි  පමණ ජලය භාවිතා කරන්න.යම් කිසි අසනීප තත්වයක් ඇතිවුහොත් වහා ම වෛද්‍යවරයෙක් අමතන්න. දිගු කාලීන රෝගයකින් පෙළෙන්නේ නම් කිසිදු අවස්ථාවක එම බෙහෙත් නැවැත්විය යුතු නොවේ.
  • මේ කාල සිමාවේදී  නිවසේ සිටින අනෙකුත් අය ද අවැසි ම කරුණකදි හැරුනු විට නිවසින් පිටතට නො යන්නේ නම් අගනේය.. නිවසින් පිටව  යාමට ඇවැසි නම් එක් අයකු පමණක් යන්න.
  • නිර්දේශිත කාලය නික්ම යන තෙක් ආසාදිත පුද්ගලයා සමග අවදානම් කාණ්ඩවලට අයත් අය නිරාවරණය විම හැකි පමණ අඩු කරන්න.  ගර්භණි මවුන්,කුඩා දරුවන් දිගු කාලින බෙහෙත් ගන්නා රෝගින් සහ වැඩිහිටියන් මෙලෙස අවදානම් කාණ්ඩ ගණයට අයත් වෙනවා.

 මෙම සියලුම  උපදෙස් ලබා දෙනුයේ  මෙම ආසාදිතයා මඟින් රෝගය බෝවිමක් සිදු වෙන නිසා නොව, රජයේ සුව අංශ මඟින් නිකුත් කර ඇති නිර්දේශ වලට අදාලව පමණකි. කිසිදු අවස්ථාවක අදාල රෝගියා මඟින් රෝගය බෝවේ යැයි නො සිතිය යුතුය.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහනුවර මහ රෝහලේ  ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා 

 

 

 

 


 

මොකද්ද මේ Amniotic Fluid Embolism (AFE) කියන්නේ

Parenting.lk අපේ වෙබ් අඩවියට බොහොමයක් මාතෘකා පිළිබඳ සාකච්ඡා කොට ලිපි ඵල කරන මෙන් එවන ඉල්ලීම් අතරේ මෙන්න මේ තත්ත්වය ගැනත් දැනුවත් කරන මෙන් සඳහන් වී තිබුණා. මෙය ඉතාම කලාතුරකින් එනම් මව්වරුන් දසදහසකින් එක් අයෙකුට පමණ ප්‍රතිශතකින් ඉතා කලාතුරකින් සිදුවි හැකි තත්ත්වයක් වුවත් ඒ ගැන නිරවද්‍ය ‍තොරතුරු විමසා දැනුම බොදා ගත යුතු බව අපි තීරණය කළා. 

අම්මාගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියෙක් වටා උල්බ තරලය නමින් හඳුන්වන තරලයක් ඇති බව අපි කවුරුත් දන්නවා. උල්බ තරලය හෝ දරුවාගේ එහෙමත් නැතිනම් භ්‍රෑණයාගේ කොටස් (Fetal materials) මවගේ රුධිර සංසරණයට එකතු වීම තමයි මෙන්න මේ තත්ත්වය විදියට හඳුන්වන්නේ.  බොහෝ විට මේ තත්ත්වයට හේතු විදියට දැක්විය හැක්කේ භ‍්‍රෑණ පටල ඉරී යාමයි. මෙසේ එක්වන කොටස් මගින් ආසාත්මික ප‍්‍රතික‍්‍රියාවක් (Allergic reaction) ඇති විය හැකි අතරම එය මව හා දරුවා එකවර අඩපණ (අභිපාත) තත්ත්වයකට (Collapse) පත්වීමට හේතු විය හැකියි. මෙම තත්ත්වය බලාපොරොත්තු නොවන අවස්ථාවක එකවරම ඇති විය හැකි තත්ත්වයක් වන අතරම මවගේ හා දරුවාගේ ජීවිත තර්ජනයට ලක්කළ හැකි (ජීවිතය අහිමි වූයේ මේ තත්ත්ව මත බව ස්ථිරව නිගමනය කළ හැකි වන්නේ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව පමණි) තත්ත්වයකි. එසේ වුවද මෙය බොහෝ විට උපතේදී හෝ උපතින් පසු ක්ෂණිකව ඇති විය හැක.

මෙම තත්ත්වයේදී අවස්ථා දෙකකදී ප‍්‍රතිචාර ඇති වේ.

මෙහිදී වේගයෙන් ස්වසන අකරණීය (Respiratory failure) ඇති වී එමගින් හෘදය (Cardiac arrest) ඇණ හිටීම හෝ අපරාව ගර්භාෂයට සම්බන්ධ වී ඇති ස්ථානයෙන් හෝ සිසේරියන් ශල්‍යකර්මය කළ විවරය තුළින් රුධිරය විදිමින් වහනය වීම හෝ විය හැකියි. මෙම තත්ත්වය DIC එනම් Disseminated Intravascular Coagulation (මින් අදහස් වන්නේ ශරීරය පුරාම රුධිර කැටි ඇති වී එමගින් කුඩා රුධිර වාහිනී අවහිර වී රුධිර සංසරණය අවහිර කිරීමයි) දක්වා වර්ධනය වේ. 

Amniotic Fluid Embolism (AFE) හේතූ

  • මේ වන විටත් නිවැරදිම හේතුව නොදනී. 

ආසන්නතම හේතූ  

  • මවගේ වයස අවුරුදු 35 ට වඩා වැඩිවීම
  • අපරාව (Placenta/වැදෑමහ) ආශ‍්‍රිත හේතූ
  • ප‍්‍රශ්චිත අපරාව (Placenta Previa) – අපරාව මගින් ගැබ්ගෙල සම්පූර්ණයෙන් හෝ අර්ධ ලෙස වැඩී තිබීමයි. 
  • අපරාවේ ඇතුළු ස්ථරය ගැලවී යාම (Placental abruption)
  • පූර්ව එක්ලැම්සියාව (Pre eclampsia) – ගර්භණීතාවයේ සති 20 දී පමණ මවගේ රුධිර පීඩනය වැඩිවීම හා මුත‍්‍රාවල ප්‍රෝටීන පැවතීමය. 
  • ප‍්‍රසවය ඇති කරවන ශල්‍ය පිළිවෙත්

උදා:       සිසේරියන් ශල්‍යකර්ම 

Forcep delivery (අඩු ප‍්‍රසවය)

Vaccum delivery (රික්ත ප‍්‍රසවය)

 

Amniotic Fluid Embolism (AFE) තත්ත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ 

පූර්ව ලක්‍ෂණ

  • කලබලකාරී බව (Agitation)
  • මරණය/ඉරණම ඉතා ආසන්නව ඇති වන බව දැනීම (Impending sense of doom)
  • ව්‍යාකූලභාවය (Confusion)
  • ඔක්කාරය හා වමනය (Nausea & Vomitiray)
  • වෙව්ලීම (Chills)
  • සම අවපැහැගැන්වීම (Discoloration of skin)
  • ස්වසන අපහසුව (shortness of breathing) (පෙනහලු තුළ තරලය එකතු වීම නිසා)
  • භ‍්‍රෑණ අපහසුතා (Fetal distress) – දරුවාගේ හෘද ස්පන්දනය අඩුවීම හෝ හද ගැස්මේ අසාමාන්‍යතා ඇති වීම
  • ජෛව ලක්‍ෂණවල වෙනස්කම්
  • හෘද ස්පන්දනය වැඩිවීම හෝ හෘද ස්පන්දන රිද්මයට බාධා ඇතිවීම.
  • රුධිර පීඩනය අඩුවීම

 

මෙම ලක්‍ෂණ වර්ධනය වීමෙන් මවගේ

  • සිහි තත්ත්වය නැතිවේ. (loss of conscious)
  • ආක්ෂේප (convulsions)
  • හෘද ස්වසන ඇණහිටුම (Cardiac- respiratory arrest)
  • සිසේරියන් කැපුම ඇතිතැන හෝ කැනියුලාව ඇති ස්ථානයෙන් (Invsite) රුධිර වහනය

මෙහිදී ජීවිත තර්ජන ගැටලු ඇති වන්නේ රුධිර කැටි ඇති වීමත් සමගමය. ගබ්සාවකදී (caption) වුවද ඉතා කලාතුරකින් මෙම තත්ත්වය ඇති විය හැක. 

 

Amniotic Fluid Embolism (AFE) තත්ත්වයට අවදානම් සාධක

  • දරුවන් වැඩි ගණනක් ලද මවක් වීම
  • අපරාවේ අසාමාන්‍යතා (Placental abruption)
  • පූර්ව එක්ලැම්ෂියාව (Pre eclampsia)
  • උල්බ තරල ප‍්‍රමාණය වැඩිවීම (Poly hydraminiosis
  • ගැබ්ගෙල ඉරීම (Cervical tears)
  • ඖෂධ ඇතුළු කිරීම හෝ ශල්‍ය පිළිවෙත් වලදී (උදා – LSCS, Forceps, Vacuum delivery)

 

Amniotic Fluid Embolism (AFE) තත්ත්වයෙන් පසු ඇති විය හැකි සංකූලතා

  • මෙම තත්ත්වය සුව වුවද දීර්ඝ කාලීනව සංකූලතා මවට හා දරුවාට ඇති විය හැක. මෙහි සුළු මට්ටමේ සිට තීව‍්‍ර මට්ටම දක්වා ස්නායු අක‍්‍රීයතාවයන් ඇති විය හැකිය. 

 

මවට ඇති විය හැකි ආබාධ තත්ත්ව

  • මතකය නැතිවීම
  • ස්ථිර හෝ තාවකාලිකව හෘදයට හානිවීම
  • අවයව අක‍්‍රීය වීම
  • ගර්භාෂය සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙසහෝ ඉවත් කිරීමට සිදු වීම
  • Sheehan’s syndrome (දරු ප‍්‍රසූතියේදී ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි ලෙස රුධිර පරිමාවක් පිටවීම නිසා හෝ ඉතා තීව‍්‍ර ලෙස දරු ප‍්‍රසූතියේදී හෝ ප‍්‍රසවයෙන් පසු රුධිර පීඩනය අඩුවීම මගින් ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීමයි. මෙමගින් පිටියුටරි ග‍්‍රන්ථයට හානි වීම මේ තත්ත්වයයි. 
  • මව හා දරුවා දීර්ඝ කාලයක් රෝහල් ගත වීම
  • මවගේ ජීවිතය අවධානමට ලක්වීම

 

දරුවාට ඇති විය හැකි ආබාධ තත්ත්ව

  • මොළයට හානි වීම නිසා සුළු මට්ටමේ සිට සිට තීව‍්‍ර මට්ටම දක්වා ස්නායු ආබාධ ඇති වීමේ අවධානමක් ඇති අතරම මොළයට සැපයෙන ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම නිසා hypoxic Ischemic encephalopathy – HIE ඇති විය හැකිය.
  • මස්තිෂ්ක ආඝාතය cerebral palsy

මොළයට ඇතිවන අනතුරක් හෝ ගැටලුවක් නිසා ප‍්‍රමාණවත් රුධිරය ඔක්සිජන් හා අනෙක් පෝෂක මොළයට නොලැබීයාමෙන් ඇති වේ.මෙය උපතට පෙර, උපතේදී හෝ ඉපදී මුල් අවුරුදු 2-3 අතර කාලයේදි ඇති විය හැක.

 

මවට හා දරුවාට  දෙදෙනාටම ඇති විය හැකි වෛද්‍යමය තත්ත්ව 

බොහෝ විට මෙම තත්ත්ව මානසික ගැටලු වන අතරම මෙවැනි තත්ත්වයකදී මානසික ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

  • ව්‍යාකූලභාවය
  • වරදක් කළ ලෙස දැනීම
  • වෙන්වී සිටීම
  • කාංසාව
  • මානසික අවපීඩනය
  • Mood disorders
  • Post traumatic stress (මෙම තත්ත්වයේදී රුධිරය හෝ රුධිර නිෂ්පාදන පාරවිලයනය කිරීමෙන් තත්ත්වය පාලනය කරගත හැකිය) 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල