Home Blog Page 57

ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය අදයි !!!!

ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය සැප්තැම්බර් 08 දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් භෞතචිකිත්සාව පිළිබඳව දැනුවත් කිරීමට මේ ලිපිය මගින් අරමුණු කෙරේ. සංවර්ධිත රටවල ඉතා ජනප්‍රිය මෙම භෞතචිකිත්සාව තවමත් අප රටේ ජනතාව අතර හොඳ අවබෝධයක් නැත.

භෞතචිකිත්සාව යනු භෞතික විද්‍යාවේ යෙදෙන මූල ධර්ම වන තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, චුම්භක ශක්තිය, ධ්වනිය, ආලෝක ශක්තිය, ගුරුත්වාකර්ෂණය,චාලක ශක්තිය,විභව ශක්තිය වැනි ශක්තීන් සහ භෞතික ව්‍යායාමත් භාවිතා කරමින් රෝගියෙකුට කෙරෙන ප්‍රතිකාර ක්‍රමයකි.කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරමින් කිසිම විකිරණ යක් භාවිතා නොකරමින් කරන මෙම භෞතික චිකිත්සාවේ කිසිම සංකූලතාවයක් (side effects) නැත.

ළමා රෝග, වැඩිහිටි වියේ රෝග, කාන්තා රෝග, ස්නායු රෝග, කැඩුම් බිඳුම් විකලාංග රෝග, රක්තවාත රෝග, ශ්වසන රෝග, ජාන රෝග සහ ක්‍රීඩා අනතුරු වැනි සියලු දේ සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර ඇත.

භෞත චිකිත්සකවරයාට රෝගියා යොමු වූ පසු ඔහු හෝ ඇය විසින් රෝගියා ඇගැයීමකට ලක් කර එම ප්‍රතිකාර තීරණය කරනු ලබයි.

එම ප්‍රතිකාර ප්‍රභේද ගණනාවකට බෙදේ. එනම් ප්‍රතිකාරමය  ව්‍යායාම (Therapeutic exercise), උරස් චිකිත්සාව (chest Physiotherapy), විද්‍යුත් චිකිත්සාව (Electro therapy), ජල චිකිත්සාව (Hydrotherapy), ආධාරක ආශ්‍රයෙන් භෞතචිකිත්සාව(Appliances), ඉරියව් භාවිතයෙන් භෞතචිකිත්සාව(Positioning) ලෙස පෙන්වා දිය හැක.

ප්‍රතිකාරමය ව්‍යායාම ලෙස සන්ධි චලනය පහසු කරවන ව්‍යායාම (Mobilization exercises), මාංශ පේශි ශක්තිමත් කරවන ව්‍යායාම (Strengthening exercises), මෘදු පටක ඇදීමට ලක් කරන ව්‍යායාම (Stretching exercises), සමායෝජන ව්‍යායාම (Co -ordination exercises), සමබරතා ව්‍යායාම (Balance exercises), ස්නායු උත්තේජනය ව්‍යායාම (P.N.F) වැනි ව්‍යායාම ප්‍රධාන තැනක් ගනී.

උරස් චිකිත්සාව මගින් ශ්වසන පද්ධතිය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. නියුමෝනියා, බ්‍රොන්කියෝලයිටිස්, ඇදුම, බ්‍රොන්කියෙක්ටේසිස් වැනි රෝග සුව කිරීමට නිරන්තරයෙන්ම භෞතචිකිත්සාව උපකාරී වන අතරම පෙනහලුවල සෙම ශ්‍රාවයන් ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන පිටතට ගැනීමත්, හුස්ම ගැනීමේ ව්‍යායාමත් මගින් එය සිදුවේ.

විද්‍යුත් චිකිත්සාවේ දී නොයෙකුත් විද්‍යුත් උපකරණ භාවිත කරයි. ඒ අතර තාපය ලබාදීමට අධෝරක්ත කිරණ (Infra Red) උපකරණද, චුම්භකත්වය සදහා කෙටි තරංග(Short Wave) උපකරණද, ධ්වනිය ලබාදීමට අල්ට්‍රා සවුන්ඩ් (Ultra sounds) උපකරණද, විද්‍යුතය ලබාදීමට විද්‍යුත් උත්තේජක (Stimulator) උපකරණ ද ප්‍රධාන තැනක් ගනී.

මෙම උපකරණ මගින් වේදනාව නැති කිරීම, ඉදිමුමක් නැති කිරීම, තද වූ සන්ධියක් බුරුල් කර ගැනීම, ස්නායු උත්තේජනය, මාංශ පේශි ශක්තිමත් කිරීම, රුධිර ගමනාගමනය පහසු කරවීම, බැඳීම් පටක ඉවත් කිරීම වැනි කාර්යයන් සිදු කෙරේ.

ජලයේ උඩුකුරු තෙරපුම මගින් ආඝාතයට පත්වූ රෝගීන්ගේ පණ නැති වූ පේශි ශක්තිමත් කිරීමට ද ඇවිදීම පුහුණු කිරීමටද ජල චිකිත්සාව යොදා ගනී.

වෝකර්, කෝනර් චෙයා, ස්ටෑන්ඩින් ෆ්රේම්, කිහිලි කරු, පතුරු ක්‍රම, විශේෂිත සපත්තු භාවිතයෙන් ද භෞතචිකිත්සක ක්‍රම රෝගීන්ට කරනු ලබයි.

ඉරියව් හඳුන්වා දීමෙන් කරන භෞතචිකිත්සාව ද වැදගත් වේ. වේදනාව අඩු කරන ඉරියව්, ඉදිමුම අඩු කරන ඉරියව්, ප්‍රතීක ක්‍රියා උත්තේජනය කරන ඉරියව් මගින් රෝග සුව කරනවා මෙන්ම නිවැරදි ඉරියව් හඳුන්වා දීමෙන් අනාබාධිතව ක්‍රියාකාරකම් වල යෙදීමට මිනිසාට හැකි වන අන්දම හදුන්වා දෙයි. වැරදි ඉරියව් නිසා බොහෝ දෙනෙකුට ගෙලේ වේදනාව,කොන්දේ වේදනාව ඇතිවේ. එමෙන්ම Kyphosis, Scoliosis, Lodosis වැනි කොඳු ඇට පෙළේ විකෘතිතා ඇති වේ.

ක්‍රීඩකයෙක් ජාතික තලය දක්වා නිර්මාණය කිරීමට භෞතචිකිත්සකයෙකුගේ සේවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මනස සංයමයට පත් කිරීමේ ව්‍යායාම ද කරමින් භෞත චිකිත්සකවරු මානසික ආතතියද අඩු කරයි. තවද ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමට දිවා රාත්‍රී  දැඩිසත්කාර ඒකක වල භෞතචිකිත්සකවරු සේවය කරයි.රෝගියෙකු දැඩිසත්කාර ඒකකයේ සිට නැවත සුව වී ප්‍රජාවට මුදා හැරීම තෙක් භෞතචිකිත්සක වරු කැපවී ක්‍රියා කරති. එමෙන්ම ප්‍රජාවේ පුනරුත්ථාපන වැඩසටහන් වලටද භෞතචිකිත්සක වරු විශාල මෙහෙයක් සිදු කරති.(Community Base Rehabilitation Programme).

අංශ භාගය, පාකින්සන් රෝගය, ගිලන්බාර්  සින්ඩ්‍රෝමය, බෙල්ස් පෝල්සි, අර්බ්ස් පෝල්සි වැනි ස්නායු රෝග වලටද, රුමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, සර්වයිකල් ස්පොන්ඩිලෝසිස්, ෆ්රෝසන් ෂෝල්ඩර් වැනි රක්තවාත රෝග, අස්ථි භග්න, සන්ධි විසන්ධි වීම්, මෘදු පටක අනතුරු වැනි කැඩුම් බිඳුම් විකලාංග රෝග සඳහාත් ඩවුන්ස් සින්ඩ්‍රෝමය වැනි ජාන රෝග සදහා ද නියුමෝනියාව, බ්‍රොන්කයිටිස් වැනි රෝග තත්ත්වයන්ටද භෞත චිකිත්සාව හරහා සහනය සලසා ගත හැකිය.

භෞත චිකිත්සාව පිළිබඳ ඉතිහාසය ගෙන බැලුවොත් හිපොක්‍රටිස්  පවා මෙම ප්‍රතිකාර භාවිත කර ඇත. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ජලය භාවිත කරමින් කල ජලචිකිත්සක ප්‍රතිකාර කල බවට සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය  1957 වසරේදී අරම්භ කර ඇත. 1953 සැප්තැම්බර් 8 ලෝක භෞත චිකිත්සක සම්මේලනය  ( World Confederation of Physical therapy ) පවත්වා ඇති අතර ඉන්පසු එම දිනය එනම් සැප්තැම්බර් 8  ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය ලෙස 2003 දී   ඔවුන් ප්‍රකාශයට පත් කරන ලදි.

ඉස්කෝලේ යන්න බෑ කියලා බබා අඬන්නේ මෙන්න මේ හේතු නිසා වෙන්න බැරිද?

උදේට නැගිටලා ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වුනත් පාසලට ළං වෙද්දී යන්න බෑ කියල සමහර දරුවෝ අඩනවා. එහෙමත් නැත්නම් උදේට බඩ රිදෙනවා/ඔළුව රිදෙනවා කියලා අඩන බබාලත් ඉන්නවා. ඒත් පාසලට නොගිහින් ගෙදර ඉන්න කිව්වම ඒ වේදනාවන් ඉක්මනින් සුව අතට හැරෙනවා. මේ රෝග තත්ත්ව වෛද්‍යවරයෙකු වෙත යොමු කළාම දරුවට ඇති ලෙඩකුත් නැහැ. මෙන්න මේ විදිහට දරුවෙක් පාසලට යන්න බිය වීම/බෑ කියන එක ස්කූල් රෙෆියුසල් (School Refusal) කියල තමයි අපි හඳුන් වන්නේ.

දරුවෙක් පාසල් යන්න බෑ කියන්න ඇතිවන හේතු මොනවද?  

මේ තත්ත්වය කොටස් තුනක් යටතේ සාකච්ඡා කළ හැකියි.

  1. දරුවා හා සම්බන්ධ සාධක
  • දරුවෙකුට අධාපනික කුසලතාවල දුර්වලතාවයක් තිබීම, (අවධානය අඩු දරුවෙකුට පාසලේදී අවධානය තියාගන්න බැරි නිසා ඇහුම්කන්දීම, තමන්ට පවරන වැඩේ හරියට කරගන්න අසීරු වීම නිසා)
  • අකුරු සහ ඉලක්කම් හඳුනා ගැනීමේ විශේෂ අපහසුතා (ඩිස්ලෙක්සියා තත්ත්වයක් තියන දරුවෙකුත්) 
  • විෂාදය තත්ත්වයක් ඒ කියන්නේ හිතේ මනෝභාවය අඩු තත්වයක් (නින්ද යාමේ දුර්වලතාවක්, ඉක්මනට තරහා යෑම) 
  • ශ්‍රවන සහ දෘෂ්ටි දුර්වලතා (පාසලේදී අධාපනය ලැබීමේදී අපහසුතා ඇතිවීම නිසා)

 

දරුවෙකුගේ උඩු හිතේ මෙන්න මේ වගේ මනෝ පීඩනය තියනවනම් ඒ දරුවන් පාසැල් යාම නොයෙක් ක්‍රම මගින් ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. ඒත් මේ පීඩනය යටි හිතේ ඇත් නම් එවැනි දරුවන් පාසැල් යන අවස්ථාවේදී පමණක් හිසේ/උදරයේ වේදනාවන් ගැන පැමිණිලි කරත් ඒ තත්ත්වයන් සති අන්තයේදී ඇති නොවෙයි.  

  1. පාසැල සම්බන්ධ සාධක
  • යම්කිසි දරුවෙක් අලුතින්ම පාසලට ඇතුළු වූ විට විශේෂයෙන්ම එක වසරෙදි, නැත්නම් තමන්ට පුරුදු ගුරුතුමියගෙන් වෙනත් ගුරුතුමියකට මාරු වුනාම, එහෙමත් නැත්නම් පාසලින් වෙනත් පාසලකට මාරු වුනාම නැත්නම් ගුරුතුමියත් එක්ක කටයුතු කිරීමේදී ඇතිවන දුෂ්කරතා හින්දා ඒගොල්ලෝ පාසල් යෑම ප්‍රතික්ෂේප කළ හැකියි. 
  • පාසලේ තියන සමාජ පරිසරයෙන් දරුවන්ට හිරිහැරයක් වෙනවා නම් අනිත් දරුවන් අතින් බුලී වෙනවා නම් දරුවා පාසැල ප්‍රතික්ෂේප කළ හැකියි.
  • ආත්ම ශක්තිය අඩු දරුවෙක් අධි ක්‍රියාකාරිත්වයක් ඇති දරුවෙක් සමග වැටීම නිසා යම් යම් පීඩනවලට ලක්වීම (පැන්සලෙන් අනිනවා, කොන්ඩෙන් අදිනවා) 
  1. නිවසේ ඇතිවන ගැටළු.
  • දෙමව්පියන් අතර ප්‍රචණ්ඩ හැසිරීම (යටිහිතේ ඇතිවන මානසික පීඩනය නිසා ඇතිවන බියක් නැතිනම් දෙමව්පියන්ගෙන් වෙන්වීමේදී ඇතිවන බියක්, විශේෂයෙන්ම මවට හිරිහැරයක් වේය යන බිය)  
  • නිවසේදී දරුවෙකුට ශාරීරිකව මානසිකව හෝ වෙනත් ආකාරයේ අතවරයක් ඇතිවෙනවා නම් එය කාටවත් කියාගත නොහැකි වීම 
  • නිතර හිත කලබලයට පත්වන, කනස්සල්ලෙන් පසුවන දෙමාපියන් නිසා. ඔවුන්ගේ බිය නිසා දරුවට ලැබිය යුතු ස්වාධීනත්වය නොලැබී යාම, අනවශ්‍ය ලෙස පිටුපසින් හිදිමින් ආරක්ෂා කිරීම 

පාසැල් යන්න බෑ කියා හඩා වැටෙන දරුවෙක් ඔබටත් ඉන්නවා නම්,

  1. දරුවාට ශාරීරික අපහසුතාවයක් නෑ කියලා අපි හරියටම දැනගත්තට පස්සේ  දරුවාව දිගටම පාසලට යවන්න අපි උත්සහ කළ යුතුයි. දරුවාව තාවකාලිකව පුංචි මානසික පීඩනයක් ඇති වුනත් එයා අඬලා දොඩලා ඒ ගැන ඔයාලට කිව්වත් ඒ එයාට දිගු කාලීනව ලැබෙන යහපත ගැන හිතල එයාව දිගටම පාසැල් යැවිය යුතුයි. දරුවා පාසැලට පුරුදු වන තුරු අපහසුතාවක් දැක්වුවත් දිගුකාලීනව එයාව පාසැල් යැවීමෙන් එයාගේ මානසික ස්ථාවරත්වය ලබාගත හැකියි. මොකද දරුවන්ට මනෝ සමාජීය පරිසරයක් හැටියට පාසැලෙන් අකුරු ඉලක්කම් වලට වඩා බොහෝ දේ ඉගෙන ගන්නා අතරම අන් අයගේ හැඟීම් අවබෝධකර ගැනීම, සහකම්පනය, අනෙකාට ගෞරවයෙන් සැලකීම වගේ ඉතාමත් වැදගත් කරුණු දරුවන්ට පාසලෙන් ඉගන ගන්න පුළුවන්.
  2. පාසලෙනුත් දරුවන්ට හොඳ සහයෝගයක් ලැබිය යුතුමයි. දරුවාව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් පරික්ෂා කොට වෛද්‍ය උපදෙස් අනුව පාසලේ මුල් කාලෙදි අම්මා හරි තාත්තා හරි දරුවත් එක්ක රැදිය යුතු නම් ඒ සදහා පාසැලෙන් උපඑිම සහයෝගයක් අවශ්‍යයි. 

පාසලේ මුල් සතියේදී අම්මාගේ සහයෝගය ලබාදෙන්න කටයුතු කිරීමත් ක්‍රමයෙන් මව පන්තියෙන් සහ පාසලෙන් පඩිපෙලක ආකාරයට (step by step) ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමත් ඉතාම වැදගත්. ඒ වගේම තමයි පාසලේදී දරුවා ශාරීරික රෝගයක් නැතුවත් නිතරම ඔලුව කැක්කුම බඩේ කැක්කුම කියලා පැමිණිලි කරනවා නම් මේක දැන් වෛද්‍යවරයෙක්ට පෙන්නලා ශාරීරික රෝගයක් නෑ කියලා තහවුරු වෙලා තියනවා නම් පාසලෙන් ලැබෙන්න ඕන ලොකුම සහයෝගය තමයි දරුවාව ඉක්මනින් ගෙදර යවන්නේ නැතුව දිගටම පාසලේ රඳවාගන්න උත්සහ දැරීම.    

දරුවාට අවශ්‍ය සහනයක් එක්කෝ මානසිකව හෝ ශාරීරිකව ලැබෙන්න ඕන උදව්වක් පාසලෙන් කරන්න පුළුවන්. එහෙම නැති උනොත් හිසේ කැක්කුමයි කියන හැම වෙලාවේම අම්මා කැදවා ගෙදර යවනවා නම් දරුවා එයට හුරු විය හැකියි. එහෙම වුනොත් මේ චර්යාව දිගු කාලයක් රැඳෙන්න පුළුවන්. ඉතින් දරුවෝ පාසල් නොයන විට, දරුවෝ පාසල් යන්න බෑ කියනකොට අපිට ඇහැට පේන දේට එහා ගිය දරුවන්ගේ චින්තනයේ, හැඟීම්වල ඇතිවන වෙනස ගැන අපි මනාව අවබෝධ කරගත යුතුයි. 

එහෙම අවබෝධ කරගෙන ළමා සහ යොවුන් මනස පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ මනෝවෛද්‍ය විශේෂඥයෙක්ගේ උපදෙස් ලබාගැනීමෙන් ඔබට දරුවාට වඩා යහපතක් ඇතිදේ කළ හැකියි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

ප්‍රීතිමත් දරුවෝ

සන්තුෂ්ටිය පරම ධනයක්ම වන්නේය. මන්ද ප්‍රීතිමත්ම මිනිසුන්ගේ සිනහවන් වලින් ඔවුන් ලෝකය වර්ණ ගන්වන නිසාය. ප්‍රීතිමත්ම මිනිසුන් ලෝකයාගේ සතුටු හෝමෝන ( serotonin, dopamine, oxytocin and endorphins ) වර්ධනය කරන නිසාය. ලෝකය සුවපත් කරන නිසාය. ලෝකය ජීවත්වීමට වඩා සුදුසු සහ සුන්දර තැනක් කරන නිසාය. කදුළු හා දුක අමතක කරවන නිසාය. 

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය ( human development index ) මනිනු ලබන්නේ උපතේදී ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, සහ ප්‍රතිශීර්ෂ ආදායම යන ප්‍රධාන ශිෂ්‍ය තුන යටතේ වන නමුදු මිනිසාගේ මානව සංවර්ධනයට අත්‍යන්ත හේතු සාධකයක් වන “සතුට ” මැනීමේ නිර්ණායකයක් හෝ පදනමක් නැත. එනමුදු සන්තුෂ්ටිය නැමති මධුවිතෙහි ගිලෙන්නට අකමැති එකදු ප්‍රාණියෙකුද මිහිමත නැත. විටෙක රැඳෙන විටෙක ගිලිහී යන මේ ආනන්දනීය හැඟීම වැඩිහිටි අප විසින් අපේ දරුවන්ට නිතර ප්‍රගුණ කරවිය යුතු උසස් ගුණාංගයක්, මානුෂික දායාදයක්ම වන්නේය. මන්ද යත් අප තුරුලෙහි සිටින කුඩා ප්‍රාණීන් දිනෙක මේ ලෝකය සුවපත් කරන සිනා ගෙනෙන්නෝද, සොඳුරු මනුෂ්‍යයෝද කරවීමේ බරපතළ වගකීම අප සතුව සතුව ඇති හෙයිනි. 

බොහෝ නපුරු සහ දරුණු පන්තියෙහි ලා සැලකෙන වැඩිහිටියන් බොහොමයකගේ අතීත කතාවන් පිටුපස කායිකවත්, මානසිකවත් හිංසාවට හා පීඩාවට වූ අසරණ ළමා කාලයක නටඹුන් ඇත. සුපිරිසිදු සුදුපාට කොළ වැනි පුංචි ප්‍රාණීන්ගේ ජීවිත සීරුවෙන් වර්ණ ගැන්වීමේ වගකීම අප අත ඇති බව අප වටහා ගතයුත්තේ ඒ නිසාය.

“අනේ පොඩි කාලේ ඉඳන් ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දුන්නා ….කිසිම අඩුවක් කළේ නෑ ඇයි අපේ දරුවෝ මෙහෙම ?” ලෙස අකම්පාල වෙන දෙමාපියන්, නූතන සමාජයේ ඉතා සුලබ බව ඔබට ප්‍රත්‍යක්ෂ කරුණක් බව නිසැකය. එසේ නම් සියල්ල සපයා, සපුරා දුන් පසුවද වරදකාරී සහ නපුරු දරුවෙකු සමාජයට දායාද වීමේ හිඩස ඇති වූයේ කොතැනින්ද?

දෙමාපියන් අවසානයට තමන්ගේ හිස අත ගෑවේ කවදාද? හාදුවක් දුන්නේ කවදාද? තුරුලට ගත්තේ කවදාද? සිහියට නගා ගන්නට අසීරු සෑම කුඩා ප්‍රාණියෙක්ම බොහෝවිට පසුවන්නේ අසතුටෙනි. එසේ වන්නේ ඔබ මිලදී ගෙන දුන් මිලාධික අලුත් සෙල්ලම් කාරය, බෝනික්කා, ඔහු හෝ ඇයගේ කැමතිම පිට්සා ඕඩරය හෝ ප්‍රසිද්ධ සන්නාමයකින් එන හිම කිරමෙන් ඔවුන් ලබාගත් තාවකාලික ප්‍රබෝධය ” මට ඉන්නේ ප්‍රීතිමත් දරුවෙක් ” ලෙස ඔබම වැරදි ලෙස  අර්ථකථනය කරගත් නිසාය.

ස්වභාවධර්මයා තරම් දරුවන්ට අලුත් දේ අත්හදා බැලීමට ආරාධනා කෙරෙන වෙනත් පර්යේෂණාගාරයක් නැත. නැවුම් වාතයද, මුදු සුළඟද, නිලි වැසිද , පෙරළූ නැවුම් පසක සුවඳද හඳුනාගන්නට තරම් ඔබේ දරුවාගේ සංවේදන දියුණු කළ යුතු වන්නේය. වායුසමනය කළ සංවෘත කාමරයකදී වඩා එළිමහනේ ගසක් යටදී නැවුම් අශ්වාස ප්‍රාශ්වාසයෙහි මිහිර විඳ ගන්නට ඔබේ දරුවා දත යුතු වන්නේය. ( encourage outdoor play )

ඩිජිටල් තිරයෙන් සතුරන්ගේ දිවි අහිමි කිරීම ඉලක්ක කර ගත් සාමූහික ක්‍රීඩා හෝ ඩිජිටල් තිර හරහාම වගා සංග්‍රාම සෙල්ලම කරනු වෙනුවට ලෝකය කියවන්නට පොතපතේ ආභාෂයේ හුරුව ඔබේ දරුවාට ලබාදිය යුතු වන්නේය. ( limit screen time )

ලෝකයේ සියල්ල තව කෙනෙකුගේ මහන්සියකින් ඉපැදෙන ඒවා බවත්, සියල්ලන්ම අගය කළ යුතු බවත් ඔබේ දරුවාට කියා දෙන්න. තව එකෙකුගේ මහන්සියෙන් ඵල ප්‍රයෝජනයක් ගත් සෑම විටම ස්තූතිවන්ත වීමට උගන්වන්න. ( practice gratitude )

වැඩිපුර කන්නට ඉල්ලන තව බිස්කට්ටුවකදීම, තව පැයක් කාටුන් බැලීමට ඕනෑ යැයි කියන පුංචි බෙරි උන මුහුණක් ලඟදීම, පාසැල් වැඩ කරන්නට පස්සේ පුළුවන් බව කියනා සෑම විටකදීම ඔබේ සිත දරුවන් කෙරෙහි අපිරිමිත ආදරයෙන් තෙත් වන නමුදු ස්වයං විනයක් තිබිය යුතු බව දරුවාට ඔබ විසින් ඉගැන්විය යුතු වන්නේය. අවශ්‍ය යයි හැඟෙන සෑමදේම ඒ මොහොතේ නොලැබෙන බවත් ටිකක් ඉවසීමෙන් බලා හිඳීම නරක නැති බවත් ඔබේ දරුවාට කියා දිය යුතු වැදගත් පාඩමක්මය. ( teach self control )

නිවසේ ඉතා කුඩා වගකීම් දරුවාට පවරන බවත් ( assign chores ), දරුවාගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනාද වැදගත් බවත් අඟවන්න. නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී පවා ඔහුගේ අදහස් ලබා ගන්න. තමන් පවුලේ වැදගත් කොටසක් බව වැටහීයාමෙන්ම දරුවෝ සන්තුෂ්ටියට පත්වෙති.

ඔබ සහ ඔබේ සහකරුවා හෝ සහකාරිය ඇතැම් විට ඇතැම්විට ඉතා කාර්යබහුල, වගකීම් සහගත හා රාත්‍රී වැඩ මුරයන් පවා කිරීමට සිදුවෙන අයවලුන් වීමට  පුළුවන. එනමුදු සතියකට කිහිප වේලක්වත් පවුලක් ලෙසට එකට ආහාර ගැනීමේ පුරුද්දක් ඇතිකර ගන්න. ( eat together ) මන්දයත් දරුවන්ගේ ප්‍රීතිමත් මනෝභාවයන් උත්තේජනය වීමට පවුලක් ලෙස එකට ආදරෙන් බැඳී සිටීම විශාල කාර්යභාරයක් ඉටුකරන බැවිනි ඒ.

ප්‍රීතිමත් දරුවෙක් එළඹෙන සෑම මිනිත්තුවකදීම සිනහා නැගිය යුතු බවට නියමයක් නැත. බිය, සාංකාව, කලකිරීම, පසුතැවීම වැනි මනෝභාවයන් කළමනාකරණය කරගැනීමට ඔවුන් උගත යුතුය. යමක් අහිමි වී යාමේදී හෝ පරාජයකදී ඉඳහිටක දරුවෙක් හෙලන කඳුළක් යනු ඔබේ දෙමව්පිය රැකවරණයේ අඩුලුහුඩු කමක් නොවේය.

ඔබේ දරුවන්ට හැඟීම් පාලනයේ සහ මානව සම්බන්ධතා කළමනාකරණයේ මුලික පාඩම් ඔබ විසින් ක්‍රියා දීම ප්‍රමාණවත්ය. ආදරණීය පරිසරයක වැඩෙන දරුවෝ විශේෂ පරිශ්‍රමයකින් තොරවම අනාගතයේ  සතුටින් ජීවත්වන වැඩිහිටියන් වෙති. එය ඇත්තේ ඔබට එක් පියවරක් ඉදිරියෙන් පමණකි.

මව්පියන්ට ආදරයෙනි. 

මව්පියන්ගේ ලිංගික කටයුත්තක් ඇස ගැටීම දරුවෙකුගේ මනසට හනියක්ද ?

0

අඹු සැමියන් අතර ඇති වෙන සබදතාවයන් බොහොම රහසිගත විය යුතු වුවත් ඇතැම් අවස්ථාවකදී නොසැලකිලිමත් කම නිසා එවැන්නක් දරුවෙක්ගේ ඇස ගැටෙන්න එහෙමත් නැත්නම් දරුවන්ට සැකයක් උපදවන තත්ත්වයක් ඇති කිරීමට පුලුවන්. කෙසේ වුවත් එය නොවිය යුත්තක්. අතපසුවීමකින් හෝ මවගේ සහ පියාගේ ලිංගික කටයුත්තක් ඇස ගැටීම දරුවෙකු තුල ඇති කරන්නේ කෙබඳු බලපෑමක්ද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවන් එක්ක බැලිය හැකි ටෙලි නාට්‍ය හදුනා ගන්නේ කෙසේද?

0

අද වෙද්දී ටෙලිනාට්‍ය වෙලාවට අම්මලා බබාලා කවුරුත් රූපවාහිනය ඉස්සරහා. ඒත් දැන් දැන් විකාශය වෙන බොහොමයක් ටෙලි නාට්‍යවල ප්‍රේම ජවනිකා, ගහමරා ගැනීම්, ප්‍රශ්නවල ඉවරයක් නෑ. මේ වගේ කතා දරුවන්ගේ මනසට සුදුසුද? දරුවන් එක්ක එකට බැලිය හැකි ටෙලි නාට්‍ය අපි හදුන ගන්නේ මෙන්න මෙහෙමයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

ලිංගික අපයෝජනයකට ලක් වූ දරුවෙක් ගැන ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?

0

අපි කවුරුත් පලමු තැන දෙන්නේ ජීවිතයට. ලිංගික අපයෝජනයට ලක් වුනු දරුවෙක්ගේ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙලා ඒ දරුවා මානසිකව ශක්තිමත් කරලා ඉදිරියට යවන්න දෙමාපියෝ උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ වගේ අවස්ථාවක දරුවෙක් සම්බන්ධව අපි ක්‍රියාත්මක විය යුත්තේ මෙන්න මේ විදියටයි. ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

මවගේ / පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට අනිසි බලපෑම් කරනවද?

0

පුංචි දරුවෝ එක්ක අද වෙද්දී අම්මලාට නාන කාමරයට යන්නවත් විවේකයක් නැහැ. බොහෝ අම්මලා දරුවත් අරගෙනම නානකාමරයට යන්න පුරුදු වෙලා. මෙවැනි අවස්ථාවක හෝ ඇඳුම් මාරු කරන අවස්ථාවක හෝ මවගේ/ පියාගේ නිරුවත දැකීම දරුවාගේ මනසට බලපෑම් කරන්නේ කොහොමද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවන් ඉදිරියේ දෙමව්පියන් ආදරය කිරීම කුමන ආකරයකින් විය යුතුද?

0

දරුවන් ඉදිරියේ මව්පියන් ආදරය කිරීම සිප වැලඳ ගැනීම ඔවුන්ගේ මනසට අනවශ්‍ය බලපෑමක් කියලා ඔබටත් හිතුනද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

නව යොවුන් වියේ දරුවන්ට ප්‍රේම කරන්න තහනම් ද?

0

නව යොවුන් වියේ ඉන්න ඔබේ දුවට/පුතාට පෙම්වතෙක්/පෙම්වතියක් ඉන්නවා කියළා දැන ගත්තොත් ඔබ මොකද කරන්නේ ? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

දරුවන් තුලත් හීනමානය ඇතිවෙන්න පුලුවන්ද?

0
ඔබේ දරුවත් අනෙක් දරුවන් ළඟ තියෙන දේම ඉල්ල ඉල්ල කරදර කරනවද? මේ වීඩියෝව බලලම ඒ ගැන ටික්ක් කල්පනා කරමු නේද? ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා