Home Blog Page 56

හෙට වියපත් වෙන දෙමව්පියන් අපි..

වැඩිහිටියන්ට දරුවන් නොසලකන සිදුවීම් ගැන අපි නිතරම කතා කරමු.ඒ ගැන දරුවන්ට චෝදනා එල්ල කිරීමත් සිදු වෙනවා. ඒ වගේම දරුවන්ගේ ආදර සැලකිලි නොමැතිව වැඩිහිටි නිවාසයන්හි දැවෙන තැවෙන වැඩිහිටියන් ගැන අපි නිතරම සංවේදීව කතා කරනවා.

වැඩිහිටියන් බවට පත්වීම සාමාන්‍ය සංසිද්ධියක්

අද දරුවා හෙට වැඩිහිටියෙකු බවට පත් වීම ස්වභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක්.මෙම වියපත් වීම සමග සම්බන්ධව තිබෙන තවත් අතිරේක හේතු කාරනා කීපයක් තිබෙනවා.

  • වියපත් වීම සමග කායික ශක්තිය පිරිහීම.
  • විශේෂයෙන් බෝනොවන රෝගවල ගොදුරක් බවට පත් වීම.
  • දරුවන් ස්වාධීන ජීවිත ආරම්භ කිරීම නිසා දෙමව්පියන් හුදෙකලා වීම.
  • ආර්ථික ගැටළු හෙවත් ආදායම් මාර්ග නැති වීම
  • සමාජ සම්බන්ධතාවයන් අඩු වීම

දරුවනුත් වැඩිහිටියන් බවට පත් වෙනවා…

කාලය සමග ඔබේ තුරුලේ සිටි දරුවන් නොදැනීම වැඩිහිටි දරුවන් බවට පත් වෙලා ඔවුන්ගේ ජීවිතයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා.

  • දරුවන්ගේ අධ්‍යාපනය සහ රැකියාවන්හි නිරත වීම.
  • විවාහ වීම.
  • දරුවන් ලබා ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගැනීම.
  • සමාජ සම්බන්ධතාවයන් නිසා දරුවන් කාර්ය බහුල වීම.

එහෙමනම් දෙමව්පියන් වියපත්වම සහ දරුවන් ස්වාධීන ජීවිතයක් ආරම්භ කිරීම අතර ඇති හිදැස පුරවන්නේ කොහොමද…?

උස් මහත් වෙලා දීග තල ගිහින් තමන්ගේම දරුවන් හදා වඩා ගෙන ජීවිතය පටන් ගත් දූ දරුවන්ට තමන්ගේ දෙමව්පියන් ගැන සොයන්න බලන්න වෙලාවක් නැති තරම් කාර්යබහුලයි කියන එකකාර ගීතයක් තිබෙනවා. මේ නිසා අද දෙමව්පියන් මහගෙදර තනි වෙන රටාව නොවැලැක්විය හැකි සාධාරණ හේතුවක් විදිහට අර්ථකථනය කරනවා.

නමුත් මෙය නිදහසට කරුණක් නොවෙයි..

අතීතයේදී දෙමව්පියන් දරුවන් දහ දොළොස් දෙනා හදා වඩා ගත්තේ මුවින් එක වචනයක්වත් නොකියා. ඔවුන්ට ඇත්තටම දරුවන් බරක් වුනෙත් නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් බරක් වුනෙත් නැහැ.

මෙතැන පුංචි වෙනසක් තිබෙනවා…

අතීතයේදී දෙමව්පියන්ගේ ජීවන රටාව බොහොම සරලයි.ඒ නිසා ඔවුන්ගේ කාලය ඉතිරියි. මේ සරල පැවැත්ම නිසා තමන්ගේ දරුවන් වගේම දෙමව්පියන්ද රැක බලා ගැනීම කිසිම විදිහකින් ගැටළුවක් වුනේ නැහැ. අද දෙමව්පියන්ගේ එකම අරමුණ තමන්ගේ දරුවන් වෙනුවන් අනාගතය සූදානම් කිරීමයි. ඒ මතම වෙහෙසෙන ඔවුන් තමන්ග් දෙමව්පියන්ට සලකන්න, රැකබලාගන්න වෙලාවක් නැතැයි කියමින් තමන් සාධාරණ කර ගන්නවා.

ලෝකය විවෘත වීම නිසාත් දෙමව්පියන් අසරණ වෙනවා..

අද හැම දරුවෙක්ම බාල කාලයේ පටන් තමන්ගේ අනාගත සිහිනය ගොඩ නගා ගන්නේ විදේශයක ජීවත් වීමයි. පුද්ගල අරමුණු වෙනුවෙන් බාධා කරන්නත් බැහැ.දරුවන් විදේශගත වුනත් දෙමව්පියන් තමන්ග් උපන් ගම රට දමා යන්න කැමැත්තක් නැහැ.ඒ නිසාම ඇතැම් දෙමව්පියන්ගේ අවසාන කටයුතු වෙනුවෙන්වත් දරුවන්ට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ලෝකයේ කොහේ හිටියත් දෙමව්පියන් වෙනුවෙන් අවධානයක් දැක්වීම අවශ්‍ය වෙනවා..

දරුවන් කොතැනක හිටියත් දෙමව්පියන් හදවතින් තනි කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. අද අපි මහපොළව මත පය ගසා සිටිනවා නම් ඒ ගෞරවය අත් වෙන්නේ දෙමව්පියන්ට බව සහතිකම ඇත්ත.

දෙමව්පියන්ගේ පැත්තෙන් පුංචි ඉවසීමක්..

දරුවන්ගේ ජීවන රටාව සමග තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට නම් දෙමව්පියන්ගේ පාර්ශවයෙනුත් පුංචි ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඇතැම් දෙමව්පියන් තමන්ගේම මතයේ සිටිනු විනා කිසිසේත්ම නම්‍යශීලි නොවන තැනුත් නැතුවාම නොවෙයි. දරුවන් සමග රැඳෙන්නට අසනීප තත්වයකදීවත්සූදානම් නොවන දෙමව්පියන්ද සිටිනවා. මේ මුරන්ඩු ගති පැවැතුම් නිසා දරුවන්ද අපහසුතාවයට පත් වෙන බවත් දෙමව්පියන් අමතක කරනවා.

 

අතීතය පාදක කර ගෙන නැගෙන චෝදනා හරිම දරුණුයි..

බොහොමයක් දරුවන් උස් මහත් වී තමන්ගේ ජීවිත ගොඩ නගා ගත් දිනට දෙමව්පියන් වෙනුවෙන් චෝදනා නගන්නට ආයුධ කීපයක් සූදානම් කරනවා..

  • අපිට පුංචි කාලයේ කිසිම සැපක් තිබුනේ නැහැ.
  • ඉඩම් පංගුවේ වැඩි කොටස දුන්නේ අයියාට..
  • අපි මේ තැනට ආවේ අපේම උත්සාහයෙන්…

මේ සියල්ලම ඇත්ත විය හැකියි. නමුත් මේ දරුණු ආයුධ වලින් දෙමව්පියන්ගේ හදවතට පහර දිය යුතු නැහැ.මේ කරුණු සාධාරණ කරමින් දෙමව්පියන්ට නොසලකා සිටින දරුවන් වෙනුවෙන්නම් කිසිම සමාවක් දිය යුතු නැහැ.

ඔබේ හෙට දවස..

අද දෙමව්පියන් ලෙසින් කාලය ගෙවන හෙට දවසේ ඔබත් වියපත් වෙනවා. එවිට ඔබේ දරුව්නගේ ආරක්ෂාව,රැකවරණය ඔබට අවශ්‍ය වෙනවා. ඒ ආදරය, ආරක්ෂාව ලබා ගැනීමට නම් ඔබ අද දවසේ ඔබේ දෙමව්පියන්ට සලකන රටාවෙන් දරුවන් අත්දැකීම් උපයා ගන්නවා.

මේ වෙනුවෙන් වූ ඇති ආදර්ශ කතාවක් ඔබටත් මතක ඇති. තමන්ගේ පියාට නිවසේ තිබෙන බෙලෙක් තැටියක ආහාරපාන දෙන අමුසැමියන් යුවලක් සිටි අතර එක් දිනක් පියාගේ බෙලෙක් තැටිය සොයා ගැනීමට නොහැකි වුණා. අම්මා සහ තාත්තා දෙන්නාම එකතුව පියාගේ පිගාන සොයන විට පුංචි පුතු පිලිතුරු දුන්නේ

”තාත්තා වයසට ගියාම බත් දෙන්න මම සීයාගේ පිගාන අරගෙන තිබ්බා…”

මෙහි වරදක් නැහැ.දරුවා ඉදිරියේ ඔබ දෙමව්පියන්ට සලකන ආකාරය ඔස්සේ  ඇති සිතුවමෙන් ඔහු තමාගේ අනාගතය ගොඩ නගා ගන්නවා. ඒ නිසාම දරුවන් ඔබට හෙට දවසේ සලකන ආකරයත් අද ඔබේ දෙමව්පියන්ට  ඔබ සලකන ආකරය මත රදා පවතිනු ඇත.

ඇහේ මුහුණේ තියාගෙන හැදුව දරුවන් අද ඇහැක් ඇරලා බලන්නේ නැහැ..

අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය,ආරක්ෂාව ලැබුන විට ඔවුන් අනාගතයේදී දෙමව්පියන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා බවයි. එහෙත් දෙමව්පියන් මේ සියල්ල ලබා දුන්නත් අනාගතයේදී දෙමව්පියන්ට නොසලකන දරුවන් බිහි නොවෙනවාමත් නොවෙයි ඒ වෙනුවෙන් හේතු කීපයක් බලපානව.

  • නරක ආශ්‍රය
  • අයහපත් ආදර්ශ
  • සාරධර්ම නොමැති වීම
  • ජනමාධ්‍ය මගින් මවන මව්පිය  දූ දරුවන්ගේ ගැටුම්

එසේ නම් ඔබත් හෙට දවසේ වියපත් වැඩිහිටියෙක් බවට පත් වෙනු ඇත. ඔබේ දරුවන්ද  ස්වාධීන ජීවිත ගොඩ නගා ගනු ඇත. මේ තත්වය කිසිසේත්ම වලක්වා ගත නොහැකි සංසිද්ධියක්. එහෙත්.. මේ වෙනුවෙන් දරුවන්ට දොස් නොනගන සහ දෙමව්පියන් මානසිකව කම්පනයට පත් නොවන හෙට දවසක් ගොඩ නැගීමට නම් ඒ වෙනුවෙන් අද දවස සැලසුම් කර ගත යුතුයි.එවිට හෙට දවස ඉතාම යහපත් වෙනු ඇත.

 

 

අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ

“ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ගුරුවරයා ජෝන් ගැන උගත යුතුයි….”

මේ ඇඩම්ස් ස්මිත් නැමැති ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකුගේ කියමනක්.එය අපේ දෙමව්පියන් වෙනුවෙනුත් බොහොම සාධාරණ අදහසක් විය හැකියි. එක පැත්තකින් දරුවාගේ මුල්ම ගුරුවරයා වෙන්නෙත් දෙමව්පියන්. ඒ නිසා ලතින් නොව ජීවිතය කියවන්න දරුවාට උගැන්වීමට පෙරාතුව අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ බොහොමයක් තිබෙනවා.

හැම දරුවෙකුම එක වගේ නැහැ

අතේ ඇඟිලි පහ වගේම දරුවන් අතරත් එක සමානකම් නැහැ. එකම අම්මාගේ තාත්තාගේ වුනත් දරුවන් අතර තිබෙන්නේ වෙනස් ගතිපැවතුම් බැව් අමතක කරන්න එපා.සමහර විට ඔබ මේ විදිහට දරුවන්ට චෝදනා නගනු ඇති

”අයියා වගේ නොවෙයි මේ ළමයා හරිම මුරණ්ඩුයි..කාගේ ගතියක්ද දන්නේ නැහැ..එකම බඩවැල කඩා උපන් දරුවන් අතර මේ අන්දමේ වෙනස්කම් තිබිය හැකියි.

 ඒ නිසා මව්පියන් ලෙස ඔබ දරුවාගේ ගති පැවැතුම් තේරුම් ගත යුතුයි. එය හරියට ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ජෝන් තේරුම් ගැනීමට සමානයි.

දරුවා තේරුම් ගන්නේ ඇයි?

හැම අම්මා තාත්තා කෙනෙකුගේම එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවා තමන්ගේ හැකියාවේ උපරිම ධෛර්යෙන් ඔවුන් තැබිය හැකි ඉහළම තැනක සමාජගත කිරීමයි. මේ වෑයම නිසාම දෙමව්පියන් විදිහට ඔබ උදේ හවස වෙහෙසන බව සැබෑව.දරුවා යහමගට ගැනීම වෙනුවෙන් ඇප කැප වීමේ සීමාවක් නැහැ.නමුත් අවසානයේදී ඔබට පාලනය කළ නොහැකි තැනකට දරුවා පත් වුනොත් ඔබේ සමස්ත වෙහෙසම නිරර්ථක උත්සාහයක් බවට පත් වේවි.

එකම රටාවත් බැහැ

ඔබ දරුවන් දෙතුන් දෙනෙක් සිටින දෙමව්පියන් නම්…එහෙම නැත්නම් බාල කාලයේදී සහෝදර පිරිසක් සමග කාලය ගෙව්වා නම් මොහොතක් හිතන්න.ඔබේ දරුවන්ට එකම අවවාදය එකම අන්දමින් ප්‍රතිචාර දක්වයිද…?ඒ ගැන ඔබටම අත්දැකීම් ඇති.විටෙක ඔබ ඉතා කාරුණික අවවාද කිරීමෙන් දරුවාගේ වැරදි කටයුතු වෙනස් කළ හැකියි. හොඳින් කියා නොහැකි තැනදි සමහර විට ඒ වෙනුවෙන් දඬුවම් ලබා දී ඇති.

හොඳින් කිව්වා….ආයේ කියන්න ඉඩ තියන්න එපා. මේ දෙවැනි අවවාදයට අවනත වෙන දරුවනුත් ඇති. ඒ අවස්ථා දෙකම වෙනුවට දඬුවමින් පමණක් මෙල්ල වෙන දරුවන්ද ඔබේ පවුලේම සිටිය හැකියි.ඒ නිසා දරුවාට අවවාද ලබා දෙන විට ඒ වෙනුවෙන් දරුවා දක්වන ප්‍රතිචාර ගැන අවබෝධයක් දෙමව්පියන් ලබා සිටීම ඉතාම වැදගත්.

හැම වේලාවේම කෝටුව අවශ්‍යද…?

ඇතැම් දෙමව්පියන් හැම වරදක් වෙනුවෙන්ම කෝටුව පෙරට ගන්නා අවස්තා තිබෙනවා. ඒත් කෝටුව නොමැතිව බොහොම මෘදු ස්වරයෙන් අවවාද ලබා දී දරුවාගේ වැරදි නිවරැදි කර ගැනීමත් පහසුයි. ඒ සියල්ල පසෙක තබා කෝටුව පමණක් පෙරට ගැනීමට හේතුව වී තිබෙන්නේ දෙමව්පියන් විසින් දරුවා ස්වභාවය ගැන තවමත් දැණුවත් වී නැති නිසාම නොවන්නේද…?

කෝටුවටත් බය නැති වෙන දවසක් එනවා.

ඕනෑ දෙයටත්,එපා දෙයටත් කෝටුවෙන් ලබා දෙන පහර නිසා පසුකාලයකදී දරුවා කෝටු පාරටත් බිය නැති වෙනවා.නමුත් අවවාදයෙන් බැරිම තැනකදී කෝටුවෙන් සංග්‍රහයක් ලැබෙද්දී නම් දරුවාගේ හිත කෝටු පහරේ වේදනාව සිහියට නැගෙන නිසා වැරැද්දෙන් දුරස් වෙන්න උත්සාහ ගන්නවා.දරුවා ගැන නිසි අවබෝධයක් ඇති දෙමව්පියන් කෝටුව නිතරම ඉස්සර කිරීමට සූදානම් නැහැ.

දඬුවමත් දරුවාගේ ස්වභාවය අනුවයි.

දඬුවම් ලබා දෙන විටත් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න. ආවේගශීලී දරුවෙකුට දඬුවම් කරද්දී ඔබත් ආවේගශීලී නොවන්න.ඔබ දරුවාගේ මව,පියා බව ඇත්ත වුනත් දරුවාගේ මානසිකත්වයේ බලපෑම දෙමව්පියන්ගේ ස්ථානය අභිභවා යන බව අමතක කරන්න එපා.එවැනි අවස්ථාවකදී ඔබ සන්සුන් වී අවවාද ලබා දීම ඉතාම වැදගත්.

දරුවන්ට යටත් වෙන්න පුලුවනෑ

මේ ගැන වරදවා හිතන්න එපා. එය දරුවාට යටත් වීමක් නොවේ. ඔබ දරුවා තේරුම් ගැනීම පමණි.ඔබ දරුවාගේ පූර්ව ගුරුවරයාය.ජීවිතය නැමැති තක්සලාවෙන් දරුවා බොහෝ දේ අනාගතයේදී උගත යුතුය. ඒ වෙනුවෙන් වූ ශික්ෂනය, සංවරය ගොඩ නගන්නේ ඔබය. ඒ ඔබ දරුවාගේ ගුරුවරයා නිසාය.

දරුවා කරන වැරැද්ද නොව වැරැද්දට හේතුව දැන ගන්න.

රෝගයක නිදානය සොයා ගන්නා වෛද්‍යවරයෙකු මෙන් දෙමව්පියන් ලෙසින් ඔබද දරුවා විසින් සිදු කරන වරද නොව වරදට හේතුව සොයා ගන්න. පාසල් යන්නට නොහැකි යැයි හඩන දරුවාට පාසල් නොයන නිසා දඬුවම් කිරීම වෙනුවට පාසල් නොයන්නට හේතුව සොයා ගන්න. දරුවාගේ පැත්තෙන් ඒ වෙනුවෙන් හේතු සාධක බොහොමයක් තිබෙන්නට හැකියි. සාර්ථක දෙමව්පියන් විසින් මුලින්ම ගත යුතු පියවර වන්නේ දරුවාගේ ප්‍රතික්ෂෙප වීමට බලපාන පරිසර සාධක හදුනා ගැනීමයි.

මව්පිය,දූ දරු ගැටුම් ඇයි..?

අද බොහෝ විට ඇසෙන දරුවන් සහ දෙමව්පියන්ගේ ගැටුම් වෙනුවෙන් වූ පරිසරයක් ගොඩ නැගී ඇත්තේ ඇයි? සැබැවින්ම ගැටෙන්නට දෙයක් නැත. ගැටීමට හේතුව මෙම දෙපාර්ශවය අතර ඇති අනවබෝධය පමණි.දරුවන් ඔබේ ලෙයින් මසින් උපන් බැව් සැබෑය.එහෙත් කාලය සමග ඔවුන්ගේ මනස සිතුවිලි හැසිරෙන අන්දම ගැන දෙමව්පියන්ට අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වේ. ඒ නිසා හැම දෙයක් වෙනුවෙන්ම ”මම අම්මා…මම තාත්තා…” යන ආයුධය පෙරට නොගන්න. එයින් ඔබ්බට ගොස් දරුවාගේ  හිත හැසිරෙන රටාව දැන හඳුනන දෙමව්පියෙකුගේ තැනට පත් වෙන්න.

පැංචන්ට හොඳම පෝෂණය දෙන්න අම්මලා වෙහෙසෙන්නේ මේ නිසයි

දස මසක් පුරා කුසේ වැඩෙන පුංචි දරුවෙක් එයාට අවශ්‍ය හැම පෝෂකයක්ම උරා ගන්නේ අම්මාගෙන්. ඒ දරු පැටියා මෙලොවට බිහිවීමත් එක්කම මව්කිරෙන් පෝෂණය කරන්නේත් අම්මාමයි. දවසින් දවස වැඩෙන පුංචි පැටියාගේ නිසි පෝෂණය ගැන අම්මා කෙනෙක් වද වෙන්නේ නිරෝගී යහපත් දරු පැටියෙක් වෙනුවෙන් නිසි පෝෂණය අත්‍යවශ්‍ය බව ඇය දන්නා නිසයි. තමන්ගේ දරු පැටියා ආහාර ප්‍රතික්ෂේප කරද්දී තව තවත් ආහාර අලුත් අලුත් විදියට හදා කවන්නට වෙහෙස වන්නේත් ඒ නිසාමයි.

පුංචි දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු පහ කියන්නේ සීග්‍ර වර්ධනයක් සිදුවන කාලසීමාවක්අන්න ඒ නිසාම මානසික වර්ධනයට අදාල වටපිටාව හා ක්‍රියාකාරකම් වගේම ශාරීරික වර්ධනයට අවශ්‍ය සියලු පෝෂකත් දරුවෙකුට නොඅඩුව ලබා දෙන්න හැම අම්මෙක් තාත්තෙක්ම දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් පුංචි දරුවෝ කෑම කන්න නම් බොහොම අදි මදි කරනවා. ඒ කොහොම වුණත් තමන්ගේ පුංචි පැටියට ඉහළ පෝෂණයක් ලබා දීම අම්මා තාත්තාගේ වගකීමක් කියලා ඔවුන් දන්නවා. 

පුංචි පැටියට නිසි පෝෂණ නොලැබුණොත් වෙන්නේ මොකද්ද?

ඔව්… පුංචි පැටියට නිසි පෝෂණය නොලැබුණොත් එයා පෝෂණ ඌනතාවයන්ට ගොදුරු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒක දරුවාගේ සමස්ථ වර්ධනයටම බලපෑම් කරනවා. 

‍පෝෂණ ඌණතාවය කියන්නේ මොකද්ද?

ඒ කියන්නේ සුවිශේෂී එක් පෝෂකයක හෝ පෝෂක කිහිපයක් හිඟ වීම. අපේ රටේ ගත්තොත් අද වෙන විට දැකිය හැකි ප්‍රධාන පෝෂණ ඌනතාවයක් තමයි යකඩ ඌනතාවය. සෞඛ්‍ය අමාත්‍යංශයේ සමීක්ෂණ වාර්තාවලට අනුව නම් වයස අවුරුදු පහ දක්වා දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් යකඩ ඌනතාවයෙන් පෙලෙනවා.

ඉතිං මේ යකඩ ඌනතාවය භයානක තත්ත්වයක්ද?

ඒක භයානක තත්ත්වයක් වෙන්න බැරි නැහැ. මොකද සාමාන්‍යයෙන් දරුවෙකුගේ පළමු අවුරුදු පහ තුළ මොළයේ 90% ප්‍රතිශතයක් වර්ධනය වෙනවා. ඒ වෙනුවන් නැතිවම බැරි පෝෂකයක් තමයි යකඩ. ඒ වගේම අපේ පුංචි පැටවුන්ගේ සාමාන්‍ය සංජානන වර්ධනයටත් මධ්‍ය ස්නායු පද්ධතියේ වර්ධනයටත් යකඩ අත්‍යවශ්‍යයි. මේ දේවල් සාර්ථකව සිදු වෙන්න යකඩ පෝෂකය අත්‍යවශ්‍යයි.

යකඩවලින් අපේ සිරුරට ලැබෙන සේවාව මොකද්ද?

අපේ සිරුරේ විවිධ කොටස් වෙත ඔක්සිජන් අරගෙන යන්නතත් හිමොග්ලොබීන් නිපදවන්නත් යකඩ නැතිවම බැහැ. යකඩ අඩු වු‍ණොත් මතක ශක්තිය වගේම අවධානය අඩු වීම, ශාරීරික හා මානසික සංවර්ධනය බිඳ වැටීම නිසා දරුවෙක්ට බොහෝ අපහසුතාවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. දරුවාගේ නිසි සංවර්ධනයක් දැක ගන්නත් ඔබට බැරි වෙනවා. අන්න ඒ නිසා දරුවාගේ ආහාර වේලේ යකඩ ප්‍රමාණය ගැන ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. 

ඉතිං අපේ දරුවට යකඩ ඌනතාවයක් තියෙන බව දැනගන්නේ කොහොමද?

ඔබේ දරු පැටි යකඩ ඌනතාවයෙන් පෙලෙනවා නම්,

  • සම සුදුමැලි ස්වභාවයකින් යුක්තයි
  • නුරුස්නා ස්වභාවයක් පෙන්නුම් කරයි
  • කැරකැවිල්ල ගැන පැමිණිලි කරයි
  • ස්වසන අපහසුතා පෙන්නුම් කරයි
  • හැසිරීමේ යම් යම් වෙනස්කම් පෙන්වයි
  • වාචික හැකියාව අඩුයි
  • දුර්වල බව/අලස බව/ තෙහෙට්ටු මෙන්ම නිදිමත ස්වභාවයෙන් කාලය ගත කරයි

දරුවෙක්ට අවශ්‍ය නිසි යකඩ ප්‍රමාණය ලබා ලබා දෙන්නේ කොහොමද?

  • සැමවිටම දරුවාගේ ප්‍රධාන ආහාර වේල සමබල ආහාර වේලක් බවට පත් කරන්න
  • යකඩ බහුල ආහාර දිනපතා ලබා දෙන්න
  • යකඩ පරිපූර්ණ කිරි වීදුරුවක් ලබාදෙන්න

යකඩ අඩංගු ආහාර වර්ග මොනවද?

මස්, මාළු, හාල් මැස්සන්, පීකුදු, සැමන් වැනි සත්ත්වමය ආහාරවල අඩංගු යකඩ සිරුරට පහසුවෙන් උරා ගන්නාවා. ඒ වගේම තද කොළ පැහැති පලා වර්ග/සහල්, කව්පි, කඩල, පුං ඇට, පරිප්පු වැනි ධාන්‍ය වර්ග වගේම යකඩ පරිපූර්ණ කිරි ලබාදීම මගිනුත් යකඩ ඌනතාවයට ලක් වීම මගහරවා ගන්න පුළුවන්.

ඒ වගේම සිරුරට යකඩ හොඳින් අවශෝෂණය වීමට නම් දරුවාගේ ආහාර පිසින විටදී දෙහි, සියඹලා වැනි දෑ එක් කළ හැකියි. විටමින් සී බහුල අලුත් එළවලු සහ පළතුරු වැඩියෙන් දරුවාට ලබා දෙන්න ඔබට පුළුවන්. ආහාර වේලක් ලබාදී පැයක්වත් ගත වන තුරු තේ, කෝපි වැනි ටැනින් අඩංගු දේ දරුවාට ලබා නොදිය යුතුයි. තවත් වැදගත්ම දෙයක් වෙන්නේ දරුවාගේ වෛද්‍යවරයා හමු වෙලා නිසි කලට පණු ප‍්‍රතිකාරය ලබා දීම.

අපේ දරුවා කෑම ප්‍රත්ක්ෂේප කරනවා. ඒ නිසා මේ ආහාර වර්ග එයාට ලබා දෙන්න අමාරුයි. ඒකට විදුමක් නැද්ද?

වයස අවුරුදු පහ දක්වා කාලය කියන්නේ දරුවෙකුගේ පෝෂණය වෙනුවෙන් පූර්ණ අවධානයක් යොමු කළ යුතු කාලයක්. යම් පෝෂණ ඌනතාවයක් ඇති වුවහොත් එය නිවැරදි කර ගැනීමටත් අපහසු විය හැකියි. අන්න ඒ නිසා කෑම නොකන පොඩ්ඩන්ගේ යකඩ අවශ්‍යතාවය සපුරන්න යකඩ පරිපූර්ණ කිරි වීදුරුවක් දරුවා වෙනුවෙන් ලබාදීම තමයි එකම විසඳුම වෙන්නේ.

දරුවා ගැන දරුවෙකු ලෙස සිතන්න

පුංචි පැටව් කියන්නේ ඇත්තටම මල් වගේ බොහොම මුදු සුමුදු යස්තුවක් කිව්වත් නිවරැදියි. මේ පුංචි මල්වලට අපි කවුරුත් ආදරෙයි. ඒ ආදරය සෑම දරුවෙකුටම එක හා සමානව ලැබෙන්නේ නැහැ. අම්මලා,තාත්තලාගේ ගති පැවැතුම් අනුව මේ තත්වය එකිනෙකාට වෙනස් වෙනවා.

ආදරය ලබා දෙන්න මිළ මුදල් අවශ්‍ය නැහැ..

දරුවන්ට ආදරයයි කියන්නේ ඔවුන් ඉල්ලන හැම දෙයම ඉල්ලන පමාවෙන් ලබා දීම නම් නොවේ. නමුත් ඉල්ලන දෙය ප්‍රතික්ෂෙප කරන රටාවක් තිබෙනවා. යමක් ඉල්ලු සැනින්ම ඒ ගැන දොස් නගමින් දරුවාට කඩා පනින්න එපා. දරුවාගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි හේතු ගැන කාරුණිකව ඔවුන්ට පහදා දෙන්න. ඒ අතර මේ වගේ හේතු ඇති.

  • අම්මා තාත්තා ළඟ දැන්  මුදල් නැහැ.
  • මේ මුදල වියදම් කිරීම අද දවසේ හැටිය අපහසුයි.
  • මුදල් ලැබුන දිනක අරගෙන දෙන්න උත්සාහ කරන්නම්.
  • පුතාට මේ දෙය අරගෙන ඕනමද කියලා තව වතාවක් හිතන්න

මේ විදිහට කරුණු කාරණා පහදා දුන්නොත් දරුවා විසින්ම එය තමාට අනවශ්‍ය බවට වූ තීරණය ගනු ඇති. එහෙම නැතුව ”කොහෙ තියෙන සල්ලිද..? මෙහෙ එනවා යන්න කියමින් දරුවාගේ කණෙන් ඇදගෙන යෑම නම් කිසිසේත්ම අනුමත කළ යුතු නැහැ.

තාත්තා කෙනෙක් නම් දුවත් එක්ක කථා කරන්න…පුතා සමග සෙල්ලම් කරන්න..එහෙම නැති වුනොත්…?

බොහෝ තාත්තලා තමන්ගේ දියණිවරුන් සමග කතාව අම්මාට පවරා නිහඬ වෙනවා. දූගේ ප්‍රශ්න අම්මාට කිව්වත් තාත්තාගේ කතා බහ දූටත් අවශ්‍යයි. දූවරුන්ගේ මල්වරවීම සහ එයින් පසුව ඇති වෙන මාසික ඔසප්වීම වැනි කටයුතු පියවරුන් සමග කථා කිරීමට නොහැකි වුනත් එදිනෙදා ජීවිතයේදී තමන්ගේ දියණිය සමග කතා බහට තාත්තාගෙන් අවස්ථාවක් ලැබීමත් ඉතා වැදගත්. 

ඒ වගේම පුතා සමග සෙල්ලම් කිරීමටත් තාත්තාට වේලාවක් තිබෙනවා නම් තාත්තා සහ පුතා අතර බොහොම සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. අද සමහර නිවෙස්වල පුතා සහ තාත්තා අතරත් ඇත්තේ බොහොම දුරස් බවක්.කන්න දෙනවා..අඳින්න දෙනවා..ඉගෙන ගන්න වියදම් කරනවා..තවත් මොනවාද..? තාත්තා කෙනෙක් විදිහට ඔබ එහෙම හිතුවත් දරුවන්ගේ හදවත ස්පර්ශ කිරීමට මුලින් කී කිසිම දෙයකින් නොහැකි බැව් හිතන්න.දරුවාගේ වැඩීමට ආහාරපාන අවශ්‍ය බව ඇත්ත. එහෙත්..දරුවාගේ හිතට සතුට, සැනසිල්ල, ආරක්ෂාව ඇති වීමට නම් තාත්තා යන චරිතයත් සමීපව සම්බන්ධව සිටීම ඉතාමත් වැදගත්.

දරුවා යනු කුඩා කරන ලද වැඩිහිටියෙකු  නොවේ.

සැබවින්ම දරුවෙකු යනු වැඩිහිටියෙතුගේ ප්‍රමානයෙන් ශාරිරිකව වෙහෙසවිය හැකි සහ වගකීම් දරණ පුද්ගලයෙකුගේ මට්ටමට ලා සැලකිය හැකි තැනැත්තෙක් නොවේ.ඔවුන්ගේ ලෝකය බොහොම සුන්දරයි. නමුත් ඒ සුන්දරත්වය අත්විදින්න අවසරය වැඩිහිටියන් වෙතින් ලැබිය යුතුය. දරුවාගේ ළමා ලෝකයම විනාශ කරන දෙමව්පියන්ද නැතුවාම නොවේ. ඇතැම් දෙමව්පියන් විසින් දරුවාට දැරීමට අපහසු තරම් වැඩකටයුතු පවරන අවස්ථාවන් තිබේ. මේ නිසාම ජලය,ගින්දර වැනි දෙයින් දරුවන් අනතුරු ලබන අවස්ථාවන් එමටය. ඒ නිසා ස්වයං ආරක්ෂාව ගැන දරුවාට අවබෝධයක් ලබා දීම මිසක අනවශ්‍ය අන්දමින් අවදානම් කටයුතු වෙනුවෙන් යොමු කිරීම ආදරණීය දෙමව්පියන් විසින් කිසිම දිනක සිදු කරන කාර්යක් නම් නොවේ.

දෙමව්පියන් දරුවන්ට නොසලකන්නේ ඇයි..?

නොදැණුවත්බව

අද ලෝකය පුංචි ගම්මානයක් බව ඇත්ත.ඒත් මේ ගම්මානයේදී දෙමව්පියකරණය හෙවත් දරුවන් හදා වඩා ගැනීම මුල් කර ගෙන පවත්නා සංවාදයන්,සන්නිවේදනයන් ඇත්තේම නැති තරම් කිව්වොත් නිවරැදිය. මෑතබාගයේ පටන් ගර්භණී මාතාවන්ගේ පටන් දෙමව්පියකරණය ගැබිණි සායනයන්හිදී අම්මාට වගේම තාත්තාටත් ලලබා දීම නම් සතුටට කරුණක්.

ආර්ථික ගැටළු

වතුර ගලන්නේ මිටි තැනින් කියන්නා සේ දෙමව්පියන්ගේ ආර්ථික ගැටළුවලින් නිතරම පීඩා විදින්නේ දරුවන්ය. ඇතැම් තාත්තලාට දරුවාගේ කිරි පැකැට්ටුවට මුදල් නොමැති වුනත් දුම්වැටියට, අරක්කු බෝතලයට ලෝබ නැතුව ලැබෙන මුදල වැය කරන අවස්ථාවන් ඇත. නමුත් මේ පියවරුන් දරුවන්ගේ ඒනෑ එපාකම් සියල්ලම මුදල් නැහැ…යන පොදු වගන්තියෙන්ම කප්පාදු කිරීමට තරම් ගොරෝසු හිත් ඇත්තන් බැව් කිව යුතුමය.

කාලය

කාලටය හැල්මේ ගෙවෙද්දී ඒ සමග පොර බදින අම්මා තාත්තාටත් දරුවන්ගේ ලෝකයට සම්බන්ධ වීමට අවස්ථාවන් නැති බවත් ඇත්ත. එහෙත් වෙලාව යනු අවශ්‍යතාවය ඇත්නම් නොදැනීම උපයා ගත හැකි දෙයක් බැව් නොරහසකි. ඒ වෙනුවෙන් ඇත්තේ එකම සාධකයකි. එනම් දරුවන් අපේම වස්තුවක් බව සිතීම පමණි. රැකියාව, අතිකාල ඉපැයීම,සමාජ සම්බන්ධතාවයන් හමුවේ දරුවා සමගත් කාලය ගෙවීමට දවස් නැතැත් පැය ගණනින් හෝ කාලය උපයා ගැනීම දයාබර දෙමව්පියන්ගේ කාර්යක් විය යුතුය.

ඔබ ආදරණීය අම්මෙක්..තාත්තෙක් නම්..දරුවා ගැන දරුවෙකු ලෙස සිතනවා නම් ඉහත දැක්වෙන අන්දමින් ඔබ දැනටමත් කටයුතු කරන බව ඔබටම තේරුම් යනු ඇති.

 

මගේ අම්මාට මම ආදරේ ඇයි?

ලෝකයේ සියළු නපුරෙන් මා රකිමින් හොඳම දේ මට පෙරා දුන් මගේ අම්මා ලෝකයේ හොඳම අම්මාය. මට අපැහැදිලි සහ අසීරු සෑම ගැටළුවකදීම මට පෙනුන එකම පැහැදිලි පිළිතුර වූයේ මගේ අම්මාය ( all knowing mom-ness).

කඳුළේ ලුණු රසකදීද , අසරණකමේ අඳුරු පත්ලේදීද, ඒ අසමාන ලෙස  උණුසුම් උරහිස මා වෙනුවෙන් විසිහතර පැයේම දරා සිටියේ මගේ අම්මාය. හිස අත ගෑ සැනින් බොහෝ වේදනාවන් ගෙන් මා මුදාහළ මායාකාරී ස්පර්ශන් හිමි මගේ අම්මාටය ( gentle touch ). ඇයට මම ආදරේය.

කාශ්ඨක අව්වේද, ගිනිලන පොළවකද, සැඩදිය පහරකද අප්‍රතිහත දෛර්‍යවන්තභාවයෙන් නැඟී සිටිය හැකි කෙනෙක් වේද , ඒ  නම් මගේ අම්මාය. ජීවිතයේ ආර්ථිකමය පරිහාණින්වලට වලට නොපැකිළව නමුත් තාර්කිකව මුහුණ දුන්නේ මගේ අම්මාය.(ability to rationalize and work through  any tough situation ) යසද,  අයසද සමව විදින්න ඉගැන්වූයේ අම්මාය.  මම ඇයට ආදරේය.

දසමසක් මා වෙනුවෙන් ඇගේ සියුමැලි නාරි දේහයම කැපකර ඉන් බිඳකුදු  නොනැවතී, ලේ බිංදුව පවා කිරි වලට පරිවර්තනය කරන්නට නිර්ලෝභී වී, ඉනික්බිති ජීවිතයම පවුල වෙනුවෙන් දිය කර හරින්න තරම් අයෝමය කැපකීරිමක් කළේ  අම්මාය ( generosity ). මම ඇයට  ආදරේය.

මා වෙනුවෙන් ආශා කල බොහෝ දේද, සුව නින්දද, සැපවත් ජීව්තයද, සැනසුම්දායක දවස් ගණනාවක්ද අහිමි කරගත් ඇය, ඒ සියල්ල එක මුදු සිනහවකින් අමතක කරදමා මගේ ආදර චුම්බනයකින් , මගේ සිනහවකින් පමණක් සැනසෙන්නට දන්නීය. ඒ මගේ අම්මාය. ( selflessness ) මම ඇයට ආදරේය.

රතුබත් කන්නටද, කොළකැද බොන්නටද, එළවලු කන්නටද ඇවිටිලි කරමින් දවස පුරා මා පීඩාවට පත් කරන්නී ඇයය. කුඩා පෝච්චි වල වස විස නැති එළවලු වවමින් සියුමැලි දෑත් වල කරගැට එනතුරු ඒවාට සාත්තු කළේ මගේ අම්මාය. ඒ සියක් ආයු ඇයට නොව මට ලබා දෙන්නටය. ( health conscious ) ඒ මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

එහෙමත් දවසකදී හැදෙන අමතර කෑමක් ටිකක් වැඩිපුරද , බත්පතට වැඩිපුර මාළුපිණිද, වැඩිපුර බිත්තරයක්ද  මගේ යහලුවන් වෙනුවෙන් එකතුකල ලෝකයේ ප්‍රණීතම රසමසවුළු පිසින්නියද, අන් දරුවන් කෙරෙහි අපිරිමිත දයාවෙන්ද බැලූ ( empathy) උදාර ගැහැණිය වන්නීද මගේ අම්මාය. මම ඇයට ආදරේය.

නවීන ජංගමයා හසුවරන්නට කොතෙක් කියාදුන්නද, මාගේ මිතුරන්ට හිටි අඩියේ අහේතුකව  happy birthday එමොජි සහ ස්ටිකර් යවමින් ඔවුන්ව සිනහගන්වන්නීද,  මගේ ඇමතුමකදී, I’m at a meeting.pls call me later කියා කුස්සියේ සිට පණිවිඩ එවමින් මා කෝප ගන්වන්නීද ඇයය.  හවස් කාලයේ මේ සියලු වීරක්‍රියා සිහිකරමින් කිරිදරුවෙකු සේ සිනා නඟන්නීද ඇයය. ( silly sense of humor) ඇය මගේ අම්මාය. ඇයට මම ආදරේය.

ෆීනික්ස් කිරිල්ලියක් මෙන් අළුද දූළිද මතින් නැගී සිටීමින් එහි  මූලික පාඩම කියා දුන්නේ ඇයය. තාත්තාද අපවද ආදරයෙන් රඳවාගෙනවුන් ආදරයේ බන්ධනය ඇයය. බිඳුණු හදවත් සීරුවෙන් සුවපත් කළ, විසිරෙන පවුල එකට එකතු කළ, කළ නොහැක්කක් නොමැති ගැහැණිය මගේ අම්මාය ( dedication to the family ). මම ඇයට ආදරේය. 

තවත් වැඩිපුර නිදන්නට ඇස ඉල්ලන මිනිත්තු දෙකක කාලයෙන් මා මුදවමින් අවදිවන්නට බලකල සොදුරු ආඥාදායකයත්වය ඇයගේය. ඉර එළියට පෙර මගේ කාමරය දීප්තියෙන් දැල්වූ ඒ අසිරිමත් දෑස්ද, ආදරණීයම ඇමතීමද ඇයගේය ( lighting up my room with her smile and eyes ) ඈ මගේ අම්මාය. මම ඇයට ආදරේය.

සුළු සෙම්ප්‍රතිශ්‍යාවක සිට අසීරු රෝගයක් දක්වාම සහනය සළසන සුකුමාර වැළදගැනීම ඇත්තේ ඇගේ පපුතලයේය. සුවපත්බවේත්,  මානව දයාවේත් උත්තම චුම්භනයන් අයිති ඇයටය. මම කැමතිම හාදු ඇත්තේ ඈ ළගය ( comforting hugs) ඈ මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

” චූටි දුව ” ලෙස මා ඇමතිය හැකි ලෝකයේ ලාලිත්‍යවත්ම හඬ ඇත්තේ ඇයටය. අතිශය ආවේගකාරී, ප්‍රකෝපකාරි මොහොතක පවා මා වළක්වාලන අමෘතමය වචනද සන්සුන් පැහැබර මුහුණද ඇත්තේ ඇයටය ( calming presence ). ඇය මගේ අම්මාය.  ඇයට මම ආදරේය. 

යන්න බැරි බව කියා නවතන, දැන් අතැර දැමිය යුතු බව සිතන, බොහෝ කාරණා වලදී මා අල්වාගෙන සිටින, පැටලුම් ලෙහමින් මා අස්වස්සාලන, නවත්තන්නට සැරසුන ඒ බොහෝ දේ අවසානය හා ජයග්‍රහණය දක්වාම කැන්දාගෙන යන රූපරම්‍යාව ඇයය ( stuck with me through  thick and thin ).  ඇය මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

මගේ හිතුවක්කාරකම් සීතළ කදුළකින් දරමින්ද, තාත්තාගේ කුඩා දඩුවමින් මා මුදවමින්ද, එකටෙක කියූ එහෙමත් නරක නපුරු දවසක මෘදුව රවමින්ද, මා සනසන්නට මා කැමතිම රසකැවිල්ලක් සඟවාගෙන අවුත් දුන් නොහිම් ආදරය ඇයගේය ( unwavering love) . ඈ  මගේ  අම්මාය. 

ලෝකයේ හොඳම, ආදරණීයම අරක්කැමියා ඇයය ( amazing cooking skills ). සියලුම කුළුබඩු සමඟ ඇය මුසු කරන ඇයගේ ආදරයේ තුනපහ මිශ්‍රණය ලොවේ අන් කිසි තැනක ඔබට සොයා ගැනීමට නොහැකිය. එය ඇත්තේ ඇය ළඟම පමණය. ඒ මගේ අම්මා ළගය. මම ඇයට ආදරේය. 

සෙවණැල්ල වුව ඇතැර යන එහෙමට දුෂ්කර දිනවලදී තාත්තාට සෙවණැල්ල වෙමින්, දුකද, සැපද සමසිතින් දරමින්, මරණයට පවා වෙන් නොකළ හැකි ලෙස කොන්දේසි විරහිතව රැදි හිදින්නී ඇයය. තාත්තාගේ පරම්පරාව ගෙන යෑම ප්‍රාණ  පරිත්‍යාගයෙන් දරුවන් වැදූයේද හැදූයේද ඇයය. කිසිදු ප්‍රතිලාභයක් නොපතා ආදරයම බෙදන, ආදරයේ විසල් වෘක්ෂය ඇයය ( unconditional love for my father ). ඒ මගේ අම්මාය. ඇයට මම ආදරේය.  

අසමසම ලෙස දුක නිවාරණය  කරන, අසාධාරණ ලෙස ඕනෑම කෙනෙක්ට  සමාව දෙන බවට අපෙන් චෝදනා ලබන ප්‍රශස්‍ය හදවත හිමි ඇයටය  ( epic capacity for forgiveness ). ලෝකයේ අසමසම කෙනෙක් ඇත්තම් මට, ඒ මගේ අම්මාය. මම ඇයට ආදරේය.

හේතුකව හෝ අහේතුකව මම ඇයට බැඳෙමි. ආදරය කරමි. ඇය ඉගැන්වූ මාර්ග වල යමි. ඇගේ කිරට හැරවුන ලේ වල අයිතිය සුරකිමි. “අම්මා” , අප්‍රතිහත කැපකිරීම් වල පර්‍යාය පදයක් බව අදහමි. හේතු දහසක්, දසදහසක් හෝ බිලියනයක් සොයාගෙන ඇයව අගයමි. අම්මා අසමසම නිර්මාණයක් බව විශ්වාස කරමි. මගේ අම්මාට මම ආදරේ කරමි.

මගේ අම්මාටද ලෝකයේ සියලු අම්මලාටද ආදරයෙනි. 

 

ජනනිගේ දිනපොත 02

වෙන් වෙන් වශයෙන් තම මාර්ගයන් වල ගමන් කල ස්වාධීන ගැහැණියක් සහ මිනිසෙක් පළමුව දෑසින්ද , දෙවනුව හදවතින්ද බැඳී , දැන් ඉතින් එකට දිවිමඟ යන්නට ඕනෑයි තීරණය කළ අතීත ජනවාරියක ඔවුන්නොවුන්ගේ දෑගිළි එකම රන්හුයකින් බැඳෙන්නට ඉඩ හළේය. ඒ අය නමින් ජනනි සහ සුසාර වන්නෝය. 

මේ අද ඔබට පිරිනැමෙන ජනනිගේ දිනපොතේ පිටු කිහිපයයි…

ඒ තුළ ඔබට ඔබ හෝ, මට මා හෝ, අපිට අප හෝ හමු වනු ඇත.

 

ජනනිගේ දිනපොත 02 

පෙබරවාරි 24: 

මේ ලෝකේ හැමදේම එකම පිළිවලකට වෙනවා නම් හොදයි කියලා මට හැමවෙලාවෙම හිතෙනවා. සුසාර පවුලේ එකම ළමයා වෙච්චි එක කොච්චර හොඳද කියලා අපේ අම්මලා කල්පනා කරේ එයාට ලැබෙන යම් දේපල උරුමයක් ගැන හිතලා වෙන්න ඕන. සුසාර කියන්නේ මනුස්සයෙක් විදිහට පුදුම තරමේ හොඳ කෙනෙක්. එයා හොඳම ප්‍රේමවන්තයෙක්. ආදරණීය කෙනෙක්. ඒත් ගෙදරදි එයා හුරතල් පොඩි බබෙක්. අම්මාගේ සහය නැතුව කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක්. ඇදන් ඉන්න කලිසමත් ගස්බඩ ගාපු මනුස්සයාගේ වළල්ල වගේ ගලවන්නේ කොතනද? ආන් එතන බිමට දානවා. Towel එකට කරන්නෙත් ඒ සන්තෑසියම තමයි. මම දැන් කීපදවසක්ම ඔය තැන් තැන් වල රෙදි ගළවලා දාන්න එපා කියලා සුසාරට කිව්වම , සුසාර කිව්වේ “අනේ බබාහ් අම්මා අස්කරල වැලට දායි.. ඔයා නිදහසේ ඇදගන්නකෝ” කියලයි. අම්මා කොහොමටත් තේ උස්සගෙනයි, අතොරක් නැති හේතු හදාගෙනයි අපේ නිදන කාමරේ ගාව හිටන් ඉන්න එක මන් ආපු දා ඉදලා කරනවා. 

කාමරේට දොරක් තියෙන්නෙ හොඳ වෙලාවට. දවසක් රෑ party එකකට යන්න තිබ්බ නිසා අපි දෙන්න දවල් පොඩි නින්දක් දැම්මා. මට දවල්ට ලොකුවට නින්ද යන්නෙ නැහැ. පැය බාගයක් ඇහැ පියවෙන්න ඇති. මට bathroom යන්න ඕනා නිසාත් සුසාරට ඇහැරුනොත් පව්නේ drive කරන්නත් තියෙනවනේ මම සද්ද නොනැගෙන විදිහට අඩිය තියලා ගිහින් එකපාරට දොර ඇරියා. බුදු අම්මෝ ! අම්මා දොරලඟ. ඒ පට්ට දවාලෙත් මම හොඳටම බය වුනා. “ඇයි අම්මේ ?” කියන එක නොවුනත් මම අහන්න ඕන ප්‍රශ්නේ මම ඇයි කියලා ඇහුවා. 

” ආ.. අහ් … මේ සද්දක් නැත්තේ මොකද බලන්න ආවා.. පුතාට තේකක් ඕනද දන්නෙ නෑනේ “

මේවට උත්තර විදිහට මොනවා දෙන්නද? මම “තේ එපා එයා නිදි අම්මේ කිව්වා”. මටයි අක්කටයි වෙනම කාමර අපේ තාත්තා දීලා තිබ්බා. තට්ටු නොකර කෙල්ලන්ගේ කාමර වලට යන්නෙපා කියලා තාත්තා අම්මටත් නීති දැම්මේ අපිට අවුරුදු 16,17 වෙනකොට. මට මේ ජීවිතේ හරි අමුතුයි. හැමදේටම කළබලවෙන්න එපා කියලා ඉගැන්නුවත් තාත්තාමනේ. තව ටිකක් බලනවා. සුසාරගේ අම්මා ඇත්තක් කිව්වා වෙන්න පුලුවන්නේ.

 

පෙබරවාරි 27:

මට premenstrual symptoms එන්න පටන් අරන්ද කොහෙද. ඇඟේ වෙහෙසයි, තරහා යන එකෙයි, ඇඩෙන එකෙයි නම් කිසි අඩුපාඩුවක් නෑ. මටම මාව control නැති ගතියක් දැනෙනවා. හිස කැක්කුම ඊට හපන්. හෙටවත් මේක හැදුනොත් හොඳයි. කෑම පිරියත් නිකම් තියෙනවා නැති ගානයි. මේ දවස් වල නම් අම්මා දොර ළගද? උයනවද ? කනවද? බොනවද? මම කිසිදෙයක් හෙව්වේ  නෑ. මට වෙහෙසයි. වැඩට යනවා නෙමේ යැවෙනවා. මොකද ජනනිට ? කියලා සාලේ පැත්තෙන් අහනවා මට ඇහුනා.  සුසාර මොනවද කිව්වා. මම නිකම්ම නින්දට වැටුනා. කබඩි තරඟෙට ගියා වගේ මගේ ඇඟ. 

පෙබරවාරි 28::

නිවාඩු දාන්නම හිතෙනවා. ගිය මාසෙ wedding එක ගත්ත නිසා නිවාඩු ඉල්ලන්නත් බෑ  වගේ. අද සිකුරාදනේ ඔන්න ඔහේ අදත් අදිනවා. හෙටම rest එකක් ගන්නවා. මීට වඩා අමාරුවක් ආවොත් ගන්නත් නිවාඩු එපෑ. අනික මේ පෙබරවාරිනේ තාම. 

ගෙදර එනකොට අම්මා bedsheets මාරු කරලා තිබ්බා ඇදේ. අනේ මන්දා…එක්කෝ කමක් නෑ මට ඇඟට අමාරු එකේ ඔන්න ඔහේ නිදා ගන්න විතරනේ තියෙන්නේ. අද නම් ගෙදර කෑම එපා ! කොත්තුවක් සැරට කන්න තිබ්බා නම් හොඳයි. මම සුසාරගේ number එක dial කළා.

සුසාර ගෙට ගොඩ වෙද්දි හතට කිට්ටුයි. මම හිටියේ නින්දයි නොනින්දයි අතර. වාහනේ සද්දෙට ඇහැරුනත්, මාව ඇදෙන් බැස්සෙව්වේ කොත්තු සුවඳ. 

” ඊයා මේ මොන ජරාවල්ද? අපි නම් ගෙවල් හරියේ ගෙනල්ල කාල නෑ පිටි ගොඩවල්… අපේ පුතා කාලත් නෑනේ.. මේවා කොහොම හදනවද ? කවුද  දන්නේ ජරාව..” අම්මා කියෙව්වේ මම ඉවසිල්ලක් නැතුව කොත්තුව ලෙහාගෙන පිස්සෙක් වගේ කන්න පටන් ගත්තම. ” අම්මේ කොත්තුව ගෙනාවෙ මට.. මට මේවා කාල හොඳට පුරුදුයි… සුසාරට ඔයා උයපු දෙයක් බෙදලා දෙන්නකෝ” කියල කියන ගමන්  ” අනේ මළසමයං අපි බඳින්න කළින් ඉදන්ම මාවත් ඇදගෙන කොත්තු කන්න කඩවලට රින්ගුවේ ඔයාගේ පුතා තමා කියලා” හිතින් හිතුවා. මොකද සමහර වචන කටින් පිටකරලා වැඩක් නෑ.  ඒක නියම කොත්තුවක් ….

ලබන සතියේත් හමුවෙමු.

කියවන සැමට ආදරයෙනි.

 

ගැබිනි සමයේ හිසකෙස් වර්ණ ගැන්වීම ආරක්‍ෂිතද ?

අකලට හිසකෙස් පැසීම යනු වයස් ගත වීමත් සමඟම නියත වශයෙන්ම සිදු වන ස්වභාවික සංසිද්ධියකි. නමුත් පුද්ගලයෙකුගේ හිසකෙස් පැසීම නොහොත් සුදු පැහැ වීම අකලට සිදුවන්නේ නම් පිළිබඳ අවධානය යොමු කළ යුතු වන අතර එය මානසිකව බලපෑම ඇති කරන ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. සඳහා අභ්‍යන්තරික වශයෙන් හේතු සාධක ඇති නමුත් ඒවා නිවැරදි කිරීමට මත්තෙන් කෙනෙකු ක්ෂණිකව යොමු වන්නේ බාහිරින් වර්ණ ගැන්වීම කෙරෙහිය. සුදු පැහැ වුනු කෙස් ගසක අභ්‍යන්තරයෙන් නැවත කලු වර්ණක ඇති කිරීම සිදු කිරීමට අපහසු කරුණක් බැවින් බාහිරින් වර්ණ ගැන්වීම එකම විසඳුම ලෙස පෙනේ.

නමුත් ගර්භණී මව්වරුන්ට මෙය වඩාත් ගැටලුකාරී වේ. ගර්භණී කාලයේ හිසකෙස් වර්ණ ගැන්වීම ආරක්ෂිතද නැද්ද යන වග සහ එසේ ආරක්ෂිත නොමැති නම් සඳහා පවතින විසඳුම කුමක්ද යන්න ඊට හේතුවයි. මේ සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට පෙර කේෂ වර්ණක සහ වර්ණ ගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.

 

වෙළඳපොලෙහි රසායනික සහ ස්වභාවික කේෂ වර්ණක පවතින අතර මූලිකවම ඒවා වර්ග 4 කට බෙදා දැක්විය හැක. එනම්,

  1. Temporary colors
  2. Semi permanent colors
  3. Demi permanent colors
  4. Permanent colors

වර්ණක ආලේප කිරීමට ප්‍රථම  “Temporary hair colors” හැර අනෙකුත් වර්ණක වර්ග 3 (Patch test) ආසාත්මිකතාව පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මේ සියලුම වර්ණ වර්ගයන්ට ආවේණික වූ රසායනික සංයුතියන් පවතින අතර එමඟින් කෙස් සඳහා ලබාදෙන වර්ණය සහ එය කෙතරම් කාලයක් රඳා පවතින්නේද යන්න තීරණය කරයි.

Temporary colors

අපගේ හිස කෙස් නිර්මාණය වී ඇති ආකාරය අනුව පිටතින්ම පවතිනුයේ cuticle නොහොත් උච්චර්මයයි. ඊට ඇතුලතින් cortex නම් ස්ථරය සහ අභ්‍යන්තරයෙන්ම Medulla නොහොත් මජ්ජාව වේ. Temporary colors වලදී කෙස් ගසේ පිටතින්ම පවතිනුයේ cuticle layer එක හරහා ගමන් නොකරයි. කෙස් ගස වටා තැන්පත් වීම පමණක් සිදු වේ. එමඟින් කෙස් ගසෙහි රසායනික වෙනස් කම් කිසිසේත් සිදුවන්නේ නැත.

Semi permanent colors

සේදුම් වාර කීපයකදී තුනි වී යන මෙම වර්ණක කෙස් ගසෙහි cuticle layer තුළට ඇතුළු වන නමුත් ඔක්සිකරණ ක්‍රියාවක් සිදු කිරීමට තරම් රසායනිකව ප්‍රබල නැත.

Permanent hair color 

ඇමෝනිය, ඇමෝනියා අඩංගු සෙසු සංඝටක, පෙරොක්සයිඞ් ආදී ශරීරයට අහිතකර විය හැකි රසායනික සංයෝග මෙහි අඩංගුය. කෙස් ගසෙහි අභ්‍යන්තරයටම ඇතුළු විය හැකි වර්ණක වන අතර බොහෝ කාලයක් වර්ණය හිස කෙස්හි රඳවාගෙන සිටී.

පොදුවේ සමහර කේෂ අලංකරණ සඳහා භාවිත කරන රසායනික සංයෝග පිළිකා කරක බව වාර්තා වී ඇතත් වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කේෂ වර්ණක ගැබ තුළ සිටින දරුවාට හානි කර වූ අවස්ථා ගැන සඳහන් වී නැත. එසේම මේ සියලුම වර්ණකවල ඇති රසායනික සංයෝග යම් යම් මට්ටමින් කේෂ තුළට ඇතුළු වුවද ඒවා රුධිර සංසරණ පද්ධතියට එකතු වී කලලය කෙරෙහි හානි කර නොවූවත් ඇතැම් වර්ණක ගර්භණී කාලයේදී භාවිත කිරීම නිසා හිස් කබලේ චර්මයේ ආසාත්මිකතා ආදී සංකූලතා ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත. එබැවින් ගර්භණී කාලයේදී කෙස් වර්ණ ගැන්වීමේදී ප්‍රවේශම් විය යුතු කාරණා බොහෝමයක් ඇත

වෛද්‍ය නිර්දේශය අනුව වෙළඳපොලෙහි පවතින වර්ණක අතුරින් Semi permanent සහ temporary hair colors පමණක් ගර්භණී මව්වරුන්ට සුදුසු බවත් permanent bleach අඩංගු වර්ණක භාවිතය නුසුදුසු බවත් ගැබිනි මව්වරුන් විසින් දැනගත යුතුය.

එසේ නම් ගර්භණී මවකට පහසුවෙන් භාවිත කළ හැකි හානි කර නොවන temporary colors යනු බොහෝ කාලයක් කෙස්වල රැඳී නොතිබෙන මාසයක වඩා අඩු කාලයකදී තුනි වී යන වර්ණකයි. බෙහෝමයක් natural hair dye නොහොත් ස්වභාවික වර්ණක මේ ගණයට අයත් වේ. Henna යනු එවැනි ස්වභාවික කේෂ වර්ණයකි. මෙමඟින් ඉතා පහසුවෙන් සුදු පැහැති කෙස් කලු පැහැයෙන් ආවරණය කරගත හැක. එසේම විවිධ ස්වභාවික වර්ණක ලෙස බීට් රූට්, කැරට්, තක්කාලි, කෝපි ආදී දේ විවිධාකාරයෙන් සකසා භාවිත කළ හැක.

සුදු කෙස් වර්ණ ගැන්වීමට ආයුර්වේදයෙහි භාවිත වන ඉතා සුප්‍රකට ස්වභාවික වර්ණකය වනුයේ නිල් අවරිය චූර්ණයයි. නිල් අවරිය (Indigofera Tinctoria) කොළ හොඳින් වියලා කුඩු කරගන්නා අතර එයට ආධාරක ලෙස ආමලීක චූර්ණය, හෙනා චූර්ණය ආදී ස්වභාවික ද්‍රව්‍ය යොදා සාදා ගන්නා මිශ්‍රණය කෙස්වල ආලේප කිරීමෙන් ඉතාමත් ලස්සන ස්වභාවික වූ කෙස් සඳහා ආවේණික තද නිල් කලු වර්ණයක් ලබාගත හැක. නිල් අවරිය චූර්ණය වෙළඳපොලෙහි මිලදී ගැනීමටද ඇත. 100% ස්වභාවික වන මෙම ක්‍රමය ගර්භණී මව්වරුන්ට ඉතාමත සුදුසු ක්‍රම වේදයකි

ආයුර්වේදයේ සඳහන් වන නීල්යා නම් වූ තෛල නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේද මෙම නිල් අවරිය යන පැලෑටියයි. බොහෝමයක් පුද්ගලයින් සිතනුයේ වර්ණ ගැන්වීම සුදු පැහැ කෙස් සඳහා එකම විසඳුම බවයි. නමුත් එය තාවකාලික විසඳුමක් බවත් නොකඩවා එම වර්ණ ගැන්වීම සිදු කරන්නට වන බවත් අපි දනිමු. විවිධ රසායනික වර්ග භාවිත කර කෙස් වර්ණ ගැන්වීමේ අවධිය වන තෙක් නොසිට ඊට පෙර සිටම විවිධ ප්‍රතිකාර ක්‍රම මඟින් හිසකෙස් හි කාල වර්ණය දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සඳහා අකලට හිසකෙස් පැසීම සහ පෝෂණය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මඟපෙන්වයි.


ලිපිය සකස් කලේ

මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ බාහිර කථිකාචාර්ය,
ආයුර්වේද වෛද්‍ය කේ. අචලා ද සිල්වා.
B.A.M.S (ගෞරව ) (කොළඹ)
අශ්වින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, අම්බලන්ගොඩ, හික්කඩුව.


                

ඔබේ දරුවාත් ආවේගශීලී දරුවෙක්ද? නැතිනම් සන්සුන් තැම්පත් දරුවෙක්ද?

එක්තරා ගමක ලස්සන පුංචි පාසලක් තිබුනා. මේ පාසලේ එක යාලුවෙක් තමයි නෙහාරා. එයා බොහොම සංවිධානාත්මක ඉවසිල්ලෙන් පිළිවෙළට වැඩ කරන ළමයෙක්. එයාගේ හොඳම යාළුවා යි තෙනුජ. එයා බොහොම ඉක්මනට තරහා යන අවේගශීලි  අයෙක්. ඉතින් නෙහාරා බොහොම පිළිවෙළට ඉවසීමෙන් වැඩ කරන හින්දා එයාට නිතරම ලැබුනේ ප්‍රශංසා සහ තෑගි. තෙනුජ බොහොම අවේගශීලිව අපිළිවෙළට වැඩකරන හින්දා එයාට නිතරම බැනුම් රණ්ඩුවීම් සහ කරදර ඇතිවුණා.

ඉතින් පන්තියේ ගුරුතුමියගේ නම තමයි කාන්ති. එයා දරුවන්ට හරිම ආදරේ කරන අකුරු සහ ඉලක්කම්වලට වැඩිය දෙයක් පාසලෙන් ලබාදෙන්න ඕන කියලා හිතන ඉතාමත් බුද්ධිමත් ගුරුවරියක්. ඉතින් මේ එක යාලුවෙක් බොහොම පිළිවෙලට පැහැදිලිව වැඩ කරන්නත් අනික් යාලුවා බොහොම අවේගශීලි වෙන්නත් හේතුව මොකක්ද කියලා ගුරුතුමිය කල්පනා කළා. ඇයට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ ගුරුතුමිය තෙනුජ ගැන විස්තර හොයනකොට එයා දැනගත්තා තෙනුජට සතියේ හැම දවසකම ටියුෂන් පන්ති තියනවා කියලා. එයාට සෙල්ලම් කරන්න, සින්දුවක් කියන්න, චිත්‍රයක් අඳින්න වේලාවක් නෑ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල නිරතත වෙන නිසා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. එතකන් තෙනුජ කරන්නේ වීඩියෝ ගේම් ගහන එකයි ටීවී බලන එකයි. 

ඉතින් මේ කාන්ති කියන ආදරණීය ගුරුතුමිය එයා අඳුනන ළමා මනෝවෛද්‍යවරකට කතා කරලා මේ දෙන්නගේ මේ වෙනසට හේතුව ඇහුවා. එතකොට මේ මනොවෛද්‍යවරයා ඇයට කිව්වා අපේ මොළයේ ඉතාමත් වැදගත් කොටස් දෙකක් තියනවා.

  1. සිතුවිලි මොළය

සිතුවිලි මොළයෙන් තමයි අපිට බොහොම සාමකාමිව සන්සුන්ව හිතලා බලලා හොඳ තීරණ ගන්න පුළුවන්.

  1. හැඟීම් මොළය

හැඟීම් මොළයෙන් තමයි අපේ අවේගශීලි බව, තරහව සහ රණ්ඩුවීම් ඇති කරන්න පෙළඹවන්නේ. 

ඉතින් නෙහාරායි තෙනුජයි ගත්තම කොහොමද මේ හැඟීම් මොළයයි සිතුවිලි මොළයයි ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ?

තෙනුජගේ හැඟීම්  මොළය බොහොම ප්‍රබලයි. සිතුවිලි මොළය ප්‍රබලතාවය අඩුයි. ඉතින් එයාට ඉක්මනටම දුක හිතෙනවා. කව්රුහරි එයාට නමක් කිව්වොත්, හිරිහැරයක් කළොත් ඉක්මනටම එයාට දුක හිතිලා තරහා වෙනවා. නෙහාරට අනෙත් අය හිරිහැර කළත්, කොන්ඩෙන් ඇද්දත් එයාගේ සිතුවිලි මොළය ප්‍රබල හින්දා ඉක්මනට තරහා යන්නේ නෑ. එයා තරහා ගියත් ඉවසලා අනෙත් අයට ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. 

එතකොට තෙනුජ ඉක්මනටම රණ්ඩුවලට පැටලෙන්න අවස්ථාව වැඩියි. මොකද කව්රුහරි එයාව තල්ලු කළොත් එයාගේ හැඟීම් මොළය ප්‍රබල හින්දා එයාට ඉවසගෙන ඉන්න අමාරුයි. එයා ඉක්මනටම ප්‍රතිචාර දක්වනවා. ඒත් නෙහාරා අනෙත් අයගෙන් හිරිහැර ආවත් ප්‍රතිචාර දක්වන්නේ සන්සුන්ව බොහොම හිතලා බලලා. එයා හැමවිටම එයාගේ සිතුවිලි මොලයෙන් අනෙත් අයගේ හැඟීම් ගැන සැළකිලිමත් වෙනවා. ඉතින් ගුරුතුමිය ළමා මනෝවෛද්‍ය විශේෂඥගෙන් අහනකොට එයා තමයි කිව්වේ තෙනුජගේ හැඟීම් මොළය ඉතාමත්ම ප්‍රබලයි. එයා මොළය වර්ධනය වෙනකොටත් තම ප්‍රාථමික අවධියක තමයි පසුවෙන්නේ. එයාගෙම වයසේ එයාගෙම හොඳම යාලුවා වුන නෙහාරගේ දැන් සිතුවිලි මොළය කෙමෙන් ප්‍රබල වෙමින් පසුවෙන්නේ. එයා බොහොම සංසුන්ව, සංවිධානාත්මකව තීරණ ගන්න හේතුව තමයි එයාගේ හැඟීම් මොළයට වැඩිය සිතුවිලි මොළය ප්‍රබල වීම.

ළමා මනෝවෛදවරයා පැවසූ විදියට අපේ ජිවිතයේ සාර්ථකත්වයට අපිට ඉගැනීම පිලිබඳ බුද්ධිය, අපේ IQ එක ඉලක්කම් සහ අකුරු පිලිබඳ බුද්ධියට අමතරව ඉතාම වැදගත් වන දෙයක් තමයි අපේ පෞරුෂත්වය. ඊටත් වැඩියෙන් අපිට ඉක්මනින්ම වෙනස් කරගන්න පුළුවන් දෙයක් තමයි අපේ EQ එක එහෙමත් නැත්නම් හැඟීම් පිළිබඳව තියන බුද්ධිය. අපේ හැඟීම් අවබෝධ කරගැනීම, අනෙත් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම තමයි හැඟීම් පිලිබඳ බුද්ධිය කියන්නේ. 

ඉතින් නෙහාරා හොඳම හැඟීම් පිලිබඳ බුද්ධියක් ඇති දරුවෙක්. ඉතින් මේ විදිහට අවේගශීලිව ඉක්මනට තරහා යන තෙනුජත්, සංසුන්ව සංවිධානාත්මකව කටයුතු කෙරන නෙහාරාත් අනාගතයේ මොනවගේ පුරවැසියෝ වෙයිද?

සමහරවිට බොහොම අවේගශීලි, මාර්ග නීති පිළිපදින්නේ නැති, බැංකුවක පෝලිමේ ඉන්න අමාරු කෙනෙක් වෙයිද? එහෙම නැත්නම් බොහොම පිළිවෙලට වැඩ කරන අනෙක් අයට ගෞරව කරන බොහොම සහකම්පනය සහිත පුරවැසියෙක් වෙයිද? ඉතිං මේ අවස්ථාවේදී ළමා මනෝවෛද්‍ය උපදෙස් මගින් ජිවිතේ වෙනස් කරගන්න හැටි ගුරුතුමිය හොඳටම ඉගන ගත්තා. 

ඔබේ දරුවාටත් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව සැලකිලිමත් වෙමින් අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබාගෙන දරුවා නිසි මගට යොමු කිරීම සමාජය ඉදිරියේ දරුවා පත්වන අපහසුතා මෙන්ම සහකම්පනය සහිත දරුවෙකු දැයට දායාද කිරීමට ඔබට ඉවහල් වනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

දරු පැටියාගේ ශාරීරික මානසික නිසි සංවර්ධනයට තාත්තාගේ දායකත්වය නැතිව බැරිද?

දස මාසයක් පුරා කුසේ වැඩෙන දරු පැටියා දැක ගන්න අම්මා වගේම තාත්තත් දින ගනින්නේ නොඉවසිල්ලෙන්. දරු පැටියා අම්මාගේ කුසේ වැඩෙන කල්ම අම්මාගේ අපහසුතා වෙනුවෙන් සහය වෙමින් ඇයව හොඳින් රැක බලා ගත්ත නිසාම සතුටින් ගෙවුණු අම්මාගේ ගැබිනි සමය නිරෝගී දරු පැටියෙක් වෙනුවෙන් තාත්තාගෙන් ලැබුණු වටිනා තෑග්ගක් කිව්වොත් වඩාත් නිවැරදියි. තාත්තාගෙන් ගැබිනි සමයේ අම්මා වෙත ඉටු වුණු හැම යුතුකමක්ම ප්‍රසූතියෙන් පසුවත් දරු පැටියාටත් අම්මාටත් හිමි වෙන්නේ නිරායාසයෙන්මයි. ඒත් කාර්ය බහුල බව එහෙමත් නැතිනම් නොදැනුවත්කම මේ හැමදේටම හරස් වෙන්න බැරි නැහැ. ඒ කොහොම වුණත් උපතේ සිට දරු පැටියෙකුගේ මුල් දින දහස තුළත් කායිකවත් මානසිකවත් නිසි සංවර්ධනයක් සිදු වෙන්න නම් තාත්තාගේ දායකත්වය බොහොම වැදගත් වෙනවා.

මෙන්න මේ කාරණාව ගැන හරියටම දැන ගන්න අවශ්‍ය නිසාම අපි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකෙයේ ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය හමුවුණා.

වෛද්‍යතුමියනි, සමාජයේ බහුතර අදහසට අනුව තාත්තා කියන්නේ ගෙදර වියපැහැදම් වෙනුවෙන් වෙන් වුණු පුද්ගලයා නේද?

කොහෙත්ම නැහැ. දරුවාගේ ශාරීරික මානසික සංවර්ධනයට වැදගත් වෙන තාත්තා කෙනෙක් අතින් දරුවන් වෙත ඉටුවිය යුතු තවත් වැදගත් කරුණු රැසක් තියෙනවා.

ඒ කියන්නේ වෛද්‍යතුමියනි,

දරුවාගෙයි තාත්තාගෙයි සම්බන්ධය දරුවාගේ අනාගත හැසිරීම, හැඟීම් පාලනය කරගැනීමට ඇති හැකියාව, මානසික සෞඛ්‍ය හා අධ්‍යාපන කුසලතා යන සියලුම අංශ කෙරෙහි බලපානවා. ඒ විතරක් නෙවෙයි, අම්මා හා තාත්තා අතර ඇති සම්බන්ධයත් දරුවෙක්ගේ අනාගතයට බලපානවා.

දරුවන් ඇති දැඩි කිරීම ගැන දන්නේ අම්මලානෙ. ඉතිං තාත්තෙක් කොහොමද දරුවෙකුගේ ජීවිතයට එකතු වෙන්නේ?

නෑ… අම්මට වගේම තාත්තටත් පුළුවන් ඉපදුණු දවසේ ඉඳලම දරුවාගේ එදිනෙදා වගකීම් දැරීමට සහය වෙන්න. ඒ මගින් තාත්තා හා දරුවා අතර සම්බන්ධය දියුණු වෙනවා.

දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 80%ක් පමණ සම්පූර්ණ වන්නේ දරුවාගේ ජීවිතයේ මුල් දින දහස ඒ කියන්නේ මුල් අවුරුදු තුන ඇතුළත. නව කුසලතාවයන් ඉගැන්වීමට සුදුසුම හා පහසුම කාලය මෙය වන නිසා දරුවෙකුගේ සංවර්ධනයට මෙම කාලය ඉතාම වැදගත්. එමනිසා මුල් ළමා වියේදී දෙමාපියන් දෙදෙනාම දරුවා සමග කිට්‍ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙන් දරුවාගේ කුසලතා වර්ධනය වැඩිදියුණු කළ හැකියි.

විශේෂයෙන්ම වර්තමාන කාලයේ, පියා මෙන්ම මවත් බොහෝවිට ‍රැකියාවක නිරත වෙනවා. ඒ නිසා ‍රැකියාව, ගෙදර වැඩ සියල්ල අතරතුර මවට දරුවා හා ගත කිරීමට ඇති කාලය අඩුයි. එමෙන්ම වර්තමානයේ පවුල් බොහෝ විට ජීවත් වන්නේ වෙන්වෙන්වයි. එමනිසා දරුවන් ‍රැකබලාගැනීමට අත්තම්මා, සීයා හා අනෙකුත් නෑදෑයන්ගෙන් ලැබෙන සහයත් අඩුයි. මෙවැනි තත්ත්ව යටතේ පියාට දරුවා ‍රැක බලාගැනීමේදී වැඩි කාර්යභාරයක් සිදුකිරීම අවශ්‍යයි.

එහෙම නම් වෛද්‍යතුමියනි, තාත්තෙක්ට දරුවා එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද?

ඔව්, උපතේ ඉඳලා වැඩිහිටි වෙනකම්ම දරුවන්ගේ වැඩ කටයුතුවලට තාත්තා කෙනෙක්ට සම්බන්ධ වෙන්න ගොඩක් අවස්ථාවන් තියෙනවා.

  • දරුවා අඬන කොට ප්‍රතිචාර දක්වීම

දරුවෙකු කුඩා කාලයේ තම දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාවය අනුව, අනාගතයේ සමාජය ගැන සුභවාදීව හෝ අසුභවාදීව සිතීමට පදනම වැටෙනවා. උදාහරණයක් ලෙස, දරුවා අඬන විට දෙමාපියන් එයට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේ නම්, තමාගේ දුකට, අසහනයට දෙමාපියන් ප්‍රතිචාර දක්වන බව දරුවා ඉගෙන ගන්නවා. එවිට දරුවා සමාජයේ අනෙකුත් පුද්ගලයන්ද තමාගේ කරදරයකට ප්‍රතිචාර දක්වනු ඇතයි සමාජ ගැන සුභවාදී හැඟීමක් ඇතිකර ගන්නවා. නමුත්, දෙමාපියන් දරුවා හඬන විට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, තමාගේ දුකට, අසහනයට ප්‍රතිචාර දක්වන්නට කෙනෙක් නැති බව දරුවා ඉගෙන ගන්නවා. එවිට දරුවා සමාජය ගැන අසුභවාදී ලෙස බලන්නට පුරුදු වෙනවා. අඬන විට තාත්තා දරුවා වඩාගැනීම හෝ නැලවීම, තමාගේ දුකකදී, කරදරයකදී තමාට උදව් කරන්නෙකු ලෙස තාත්තා හඳුනා ගැනීමට දරුවාට උදවු වෙනවා. එමගින් තාත්තා සමග දරුවාට වඩා සුරක්ෂිත බවක් දැනෙනවා. මෙවැනි දරුවන් වයසින් වැඩුණත් තමන්ගේ දුකකදී කරදරයකදී තාත්තාගේ සහය ලබාගැනීමට මැලි වෙන්නේ නැහැ. එමෙන්ම ඔවුන් සමාජය දෙස සුභවාදි ලෙස බලනවා.

  • දරුවාගේ වැඩ කටයුතුවලට සහය වීම

අලුත උපන් දරුවෙක් ඉන්නවා කියන්නේ තවත් කෙනෙක්ගේ සහය අවශ්‍යම අවස්ථාවක්. ඉතිං තාත්තාගේ දායකත්වය අම්මාටත් සහයෝගයක් වන නිසාම සාමූහිකත්වය මත ඇති වෙන සතුට පිරුණු කැදැල්ල මූලිකවම දරුවාගේ සුව මනසට හේතුවක් වෙනවා. මෙතැනදී තාත්තට පුළුවන් අම්මා පැටියට කිරි දුන්නට පස්සේ ගුඩුස් යවන්න, පැටියා නාවන්න අවශ්‍ය බඩු බාහිරාදිය එක්තැන් කරලා සහය වෙන්න. අම්මාට වෙහෙස නම් විවේක ගන්න, පැටියව ටිකක් බලාගන්න. කිරි දෙන වෙලාවට අම්මාට වතුර වීදුරුවක් බොන්න මතක් කරන්න.

  • සෑම දිනකම, දරුවන් සමග විනෝදාත්මකව කාලය ගත කරන්නට විනාඩි 30ක් වත් වෙන් කරගන්න

තාත්තා හා අම්මා දරුවා සමග සෙල්ලම් කරන ආකාරය වෙනස්. තාත්තා වඩාත් විනෝදාත්මක ලෙස දරුවන් සමග සෙල්ලම් කරනවා. සෙල්ලමේදී දරුවාට වඩාත් ස්වාධීන වීමටත්, අවදානම ගැනීමටත් ඉඩ හරිනවා. මෙය දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට උදව් වෙනවා. මෙවැනි විනෝදාත්මක ක්‍රියාවල නිරත වීම තාත්තාත් දරුවාත් අතර ඇති සම්බන්ධය දියුණු කිරීමට උපකාරී වේ. එමෙන්ම මව්වරුන්ට වඩා පියවරු දරුවන් සමග වඩාත් ශාරීරික ක්‍රියාකාරකම් හා ක්‍රීඩාවල යෙදෙනවා. මෙසේ දරුවා සමග ක්‍රීඩාවල නිරත වීමෙන් දරුවාට ජය පරාජය දරා ගැනීමටත්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම උගැන්වීමටත් අවස්ථාවක් ලබාගැනීමට හැකියි. මෙය දරුවාගේ සමාජ කුසලතා දියුණු කිරීමටත්, හැඟීම් පාලනය ප්‍රගුණ කිරීමටත් උපකාරී වේ.

  • සැමවිටම තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරෙන්න

අවවාදවලට වඩා දරුවෙකු අවධනය යොමු කරන්නේ තාත්තාගේ හැසිරීම වෙතයි. උදාහරණයක් ලෙස තමන්ගේ තාත්තා අන් අයට සලකන ආකාරය,  කෝපයට පත් වූ විට හැසිරෙන ආකාරය, මුදල් පරිහරණය කරන  ආකාරය සහ ජිවිතයේ ප්‍රිතිමත් අවස්ථා සහ ආතතිය සහිත අවස්ථා හසුරුවන ආකාරය වැනි දේ දරුවන්ගේ හැසිරීම කෙරෙහි බොහෝ ලෙස බලපායි. තාත්තා කෝපයට පත් වූ විට කෑ ගැසීම, බඩු විසිකිරීම හෝ පහරදීම වැනි ක්‍රියාවල නිරත වන්නේ නම්, ඒ දෙස බලා සිටින දරුවාද තමා කෝපයට පත් වූ විට එවැනි හැසිරීම් පෙන්නුම් කරයි.

  • දරුවන් සමග නිවසේ වැඩ කටයුතු සම්බන්ධ වීම‍

උදාහරණයක් ලෙස රාත්‍රි ආහාරයෙන් පසු පිගන් සේදීම, ගෙවත්ත පිරිසිදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත විය යුතුය. මෙලෙස දරුවන් සමග එකට එක්ව සිදු කරන ක්‍රියාකාරකම් මගින් දරුවන් තුළ වගකීම පිළිබඳ හැගීමක් ඇති කරවන බව අධ්‍යයනයන් මගින් නිරන්තරයෙන් පෙන්නුම් කොට ඇත.

  • දරුවන්ගේ විනය පාලනය කිරීමටද සහභාගී වෙන්න

දරුවාගේ හොඳ හැසිරීම් අගය කිරීමත්, නරක හැසිරීම්වලට සුදුසු දඬුවම් ලබාදීමත් තාත්තාගේ වගකීමක්. නමුත් දරුවන්ට දඬුවම් කිරීමේදී පළමුවෙන්ම ඔබේ හැගීම් පාලනය කරගත යුතුය. තම දරුවන්ට කෑ ගසන, මේස හෝ වෙනත් භාණ්ඩවලට පහර දෙන හෝ දරුවන්ට පහර දෙන පියවරුන්, දරුවන්ගේ විනය/ හික්මීම ගොඩනැගීමට අසමත් වේ. මෙයට හේතු වනුයේ පියාත් හැඟිම් පාලනය කරගත නොහැකිව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට දරුවා එම හැසිරීම් අනුකරණය කිරීමත්, දරුවන් තුළ තාත්තා කෙරෙහි ඇති ගෞරවය පළුදු වීමත් යන කරුණු නිසාය.

  • මුල්‍යමය සහයට පවුලට ආරක්ෂාව සැපයිම

දරුවා කුඩා කලදී දරුවාට ඉතා ආරක්ෂාකාරී වට පිටාවක් ඇති පරිසරයක් නිවස තුළ නිර්මාණය කිරීමේ සිට දරුවා තරමක් වයසින් මුහුකුරා යන විට දරුවාට අනෙකුත් ළමයින්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් තර්ජනයක් ඇති නොවන බවට වග බලාගනිමින්  දරුවන් සුරක්ෂිත කිරීම දක්වා ඉතා වැදගත් කාර්යභාරයක් පියවරුන් වෙතින් ඉටු විය යුතුයි.

  • දරුවාගේ අනාගතය සූදානම් කිරීම

දරුවෙක් වයසෙන් වැඩෙත්ම තමාගේ ජීවිතයේ අත්දැකීම් දරුවා සමග බෙදා ගැනීමෙන් පියවරුන්ට දරුවන් අනාගතය සඳහා සූදානම් කළ හැකිය. නව යොවුන් වියේ දරුවන් සිටින පියවරුන් විසින් යම් යම් දේවල් පිළිබඳව තම මූලික විශ්වාසයන් සහ තම ජීවන අත්දැකීම් පිළිබඳ තොරතුරු, දරුවන් හා සිදු කරන එදිනෙදා සාමාන්‍ය කතාබහට ඇතුළත් කළ හැකියි. දරුවන්ට ඔවුන් ඇසුරු කරන සම වයස් මිතුරු මිතුරියන්ගෙන් ඇති වන අනිසි පෙළඹවීම්වලදී ක්‍රියාකළ යුතු ආකාරය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ආදීනව, නිසි වයසට එළඹීමට පෙර ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමේ හානිකර තත්ත්වය සහ අන් අය වද හිංසාවට පත්කිරීමේදී ඇතිවිය හැකි අනිසි විපාක පිළිබදව දරුවන් සමග සාකච්ඡා කළ යුතුය.

පියවරු සමග මනා සබඳතාවයක් පැවතීම මගින් දරුවන් අතර මානසික ආතතිය, කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වීම සහ බොරු කීම වැනි තත්ත්ව අවම වන බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. පියවරුන් සමඟ කිට්‍ටු සම්බන්ධතාවයක් ඇති දරුවන් තුළ  වඩාත් සමාජ හිතකාමී හැසිරීම් රටාවක් දක්නට ලැබේ. එමෙන්ම මෙබදු පියවරුන් සිටින පිරිමි දරුවන් පාසලේදී ගැටලු ඇති කරගැනීමට ඇති ප්‍රවණතාවය අඩුය. මෙවැනි ගැහැනු දරුවන් හොඳ ආත්ම අභිමානයකින් යුතුව හැසිරෙන දරුවන් බවට පත්වන බවට අධ්‍යයන මගින් හෙලි වී ඇත. මෙයට අමතරව පියවරුන් සමග යහපත් සබදතාවයක් සහිතව ජීවත්වන දරුවන් හොඳ මානසික සහ ශාරීරික සෞඛ්‍යයකින් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය වැනි වැරදි හැසිරීම්වලින් වැලකී සිටින අය වීමට වැඩි ඉඩ කඩක් ඇති බවට බොහේ අධ්‍යයනවලින් හෙළිවී ඇත.

වෛද්‍යතුමියනි, යහපත් දරුවකු ගොඩනැගීමට අම්මා හා තාත්තා අතර බැඳීම කෙබඳු විය යුතුද?

මවගේත් පියාගේත් සබඳතාවයේ ගුණාත්මක බව දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරනවා.

තම දරුවන්ගේ මවට ගෞරවයෙන් යුතුව සලකන, පවුල තුළ ගැටලු ඇතිවෙන අවස්ථාවලදී ඒවා වැඩිහිටියන් ලෙස වගකීම් සහගතව සහ කතාබහ කොට විසඳා ගන්නා පියවරු සිටින පිරිමි දරුවන්, අනාගතයේදී කාන්තාවන් හා සුහදව කටයුතු කරන ආකාරය සහ කාන්තාවන්ට අගෞරවයක් සිදුවන අකාරයට හැසිරීමෙන් වැලකී සිටීමට පුරුදු වෙයි. එමෙන්ම එබදු ආදර්ශමත් පියවරු සිටින ගැහැනු දරුවන්, පිරිමින් සමග අහිතකර, හිංසාකාරි සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වැළකී සිටී.

පියා සහ මව අතර සබදතාවය තුළ පවත්වා ගෙන යන සෙනෙහස ,රැකවරණය, ගෞරවය සහ පරිත්‍යාගශිලි බව වැනි ගුණාංග අත්දකින දරුවන්, තම අනාගත සහකරු හෝ සහකාරියට ද මෙසේ සෙනෙහසින් සැලකීමට වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම තම පියා තම මව කෙරෙහි දක්වන‍  කෝපය හෝ අවතක්සේරුබව අත්දකින දරුවන් හට මානසික අවපීඩනය, ආක්‍රමණශීලි බව සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇත.

එමෙන්ම දෙමාපියන් අතර හොඳ සම්බන්ධයක් තිබීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බලපායි. දෙමාපියන් අතර ගැටලු හෝ කලහකාරී පවුල් පරිසරයක සිටිනා දරුවන් නිතරම සිටින්නේ බියෙන් හා ආතතියෙන්. මෙවැනි නිවසක දරුවෙකුට ඉගෙනීමට සුදුසු පරිසරයක් නැති අතරම මෙසේ බියෙන් හා ආතතියෙන් සිටිනා විට දරුවාට තම අධ්‍යාපනය කෙරෙහි නිසි අවධානයක් යොමුකිරීමට නොහැකි නිසා පාසැල් වැඩ අඩාල වීමට ඉඩ තිබෙනවා.

මේ තත්ත්වයේදී පියවරුන්ට ඇති ලොකුම බාධකය වන්නේ කාර්ය බහුල බව වුවත් අසීරුවෙන් හෝ දරුවා වෙනුවෙන් කාලය වෙන් කළ හැකි නම් එය ඔබේ දරුවා වෙනුවෙන් වූ මහඟු ආයෝජනයකි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකෙයේ ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය සමග සකසන ලද ලිපියකි.

Sponsored

 

ජනනිගේ දිනපොත 1

වෙන් වෙන් වශයෙන් තම මාර්ගයන් වල ගමන් කල ස්වාධීන ගැහැණියක්  සහ මිනිසෙක් පළමුව දෑසින්ද , දෙවනුව හදවතින්ද බැඳී , දැන් ඉතින් එකට දිවිමඟ යන්නට ඕනෑයි තීරණය කළ අතීත ජනවාරියක ඔවුන්නොවුන්ගේ දෑගිළි එකම රන්හුයකින් බැඳෙන්නට ඉඩ හළේය. ඒ අය නමින් ජනනි සහ සුසාර වන්නෝය. අද පටන් parenting.lk හීදී සතියකට දවසක් , ජීවන ගීතයේ ජනනය වන විවිධ ස්වර ඔවුන් විසින් සුසර කරනු ඇත. 

ඒ තුළ ඔබට ඔබ හෝ, මට මා හෝ, අපිට අප හෝ හමු වනු ඇත.

 

නනිගේ දිනපොත 1

පෙබරවාරි 20:

සුසාරයි, මායි කසාඳ බැදලා අදට හරියටම මාසයයි. තාම ඉතින් නෑදෑ ගෙවල් වල යෑමයි, යාලුවන්ගේ ගෙවල් වල යෑමෙයි ඉවරයක් නෑ. හැම සතියෙම දවස් හතේම ගමනෙමයි. ඔෆිස් යෑමක් නොතිබුනා නම් මේක හරිම ජොලි වැඩක් වෙන්න තිබ්බා.

ඒත් ඇඟපත තලල දාල වගේ. මාර වෙහෙසක් දැනෙනවා. “මේ ළමයි ගමනෙමයි ” කියලා සුසාරගේ අම්මා මූණ එල්ලගන්න පටන් අරන් දැන් දවස් හත අටක් වෙනවා. එයාටත් අපිව ඉස්සරකරන් නෑදෑ ගෙදරක යනකොට කිසි හිතට අමාරුවක් නෑ. අපි යාලුවෙක්ගේ ගෙදර එයාල නැතිව ගියොත් ඔන්න මූණ එල්ලෙන්න පටන් ගන්නවා. ඒ ලෙඩේ නම් අම්මට හැදිලා වැඩි දවසක් නෑ. මම ඇවිල්ලත් මොකෝ මහ කාලයක් ගියායෑ.

පෙබරවාරි 21:

ඊයේ අමාලිලාත් එක්ක dinner out එකක්. මාත් ඉතින් යුතුකමනේ කියලා, කැරට් කිරට උයලා, මෝර කරවල යහමින් කෑලි මිරිස්, ලූණු එක්ක තෙල් දාලා, කොළපාටට මොකුත් නෑ වගේනේ කියලා බෝංචි ටිකකුත් යන්තම් මිටි කිරෙන් මළවලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා, බතකුත් rice cooker එකේ ගැහුවේ සුසාරගේ අම්මට පහසුවෙන්නත් එක්කයි. අනෙක එයා මම ආවා නාවා, උදේට කෑම හදනවා අපිට ඔෆිස් ගෙනියන්නත් එක්කම. කොහොමත් එයාට උදේම කන්නත් ඕනනේ. මේ මට මළා වගේ නින්ද ගිය දවස් අතෑරියම පහුගිය මාසෙටම මම උදේට  උයන්න නැඟිට්ටෙත් දවස් දෙකයි තමයි ඉතිං. මහන්සීනේ. 

ඊයේ එනකොට රෑ දෙකයි. ඇවිල්ලා මහසෝනා ගැහුව වගේ ඇදේ දපල බුදියගත්තේ, මොකද ඉතිං ඉරිදා රෑ වෙනකම් party දැම්මා කියල boss සඳුදට වැඩට එන්න එපා කියල කියන එකක්යැ. පහමාරේ එලාම් එකට bathroom දිව්වේ සුසාරට කලින් bathroom යන්න. අපේ සුසා bathroom එක අස්සට ගියාම වරුවකට එලියට එන්නෙ නෑ පැළවෙනවා. මම සාරිය ඇඳගන්නත් එපෑ.” 

වළං වලට අත තියලවත් නෑ. කෑම එහෙමමයි. පිලුණු ගඳ එන්නේ මේ කැරට් හට්ටියෙන්. මම කෝප්පෙට වතුර එකක් පුරව ගත්තා.

” ඇයි අම්මේ මේ කෑම ? ” ගොඩ වෙලාවක් මගේ දිවඅග දහාට පාලිය නටපු වචන ටික ඔන්න එළියට පැන්නා.

” මේවා කන්න පුලුවන්ද? තාත්තාට සීනී, මට අක්මාවේ තෙල් නිසා ඔය තෙල් පෑදුන එව්ව කන්න හොඳ නෑ. ඉතින් අපි බඩගින්නේ නිදාගත්තා.. කෝ එහාට  වෙන්න මේ කේතලේට වතුර පුරවන්න. පුතා නැඟිටලත් ඇති..තේ හදන්න එපෑ”. අම්මා කිව්වේ මගේ මූණ මඟ ඇරලා.

“අනේ මළසමයං ! වෙනදට ඔය කිරට , මිරිසට ,තෙලට හැම ජාතියටම අඩව් අල්ලපු එළවලු,  මස් මාළු අපේ බත් එකේ තියෙන්නේ” කියලා කටට ආපූ වචන කුණු කෙළ එක්කම ගිළලා මම bathroom  එකට රින්ග ගත්තා.

පෙබරවාරි 22:

අනේ අපේ office වල ඉන්න කලිසම් යටින් චීත්ත පටලන් ඉන්න පිරිමි සෙට් එක.  මම බැන්ඳ දා ඉදලා උන්ට මම බබා ගේනකම් හදිස්සියි. මොකෝ පෝරුවෙදි ready made ළමයෙක් අතට දෙනවද?  එක දවසක් දෙකක්ද? මළවිකාර. තැනේදියි නොතැනදියි හරිම joke එක ඒක. මට පෙරේදා ඉදන් හරිම ඔලුවේ කැක්කුමයි. තේ බොන ගමන් මම ඔලුව තියන් හිටියා. මං හිතන්නේ migraineද කොහෙද?  ඔන්න හැදුනා අර සෙට් එකට ලෙඩේ. ” පාන් කරවෙන්න කලින් බාගන්න ඕන ජනනි…… ඒවට පළපුරුද්ද ඕන… සුසාරයට තාම පුරුදු නැතුව ඇති.. රේන් කෝට් කියන්නෙත් තෙමෙන්නෙ නැති ක්‍රමයක්” 

අපෝ ඒ චීත්ත පිරිමි සෙට් එක. තේ කෝප්පේ නෙමේ,  තේ ජොග්ගුවම ඔලුව ඉදන් යන්න හලන්න තිබ්බේ මට.  උන්ට එපා වෙන්නෙ නැද්ද මන්දා, 

” ඔයාලගේ පියාණන්වරු පාන් කර වෙන්න කලින් බාන සාත්තරේ දැනන් ඉදල නැති වෙන්න ඕන. දැනන් හිටියා නම් උපුලුත් නෑ කවිඳුත් නෑ.. නැද්ද මන් අහන්නේ” මම කිව්වේ බැරිම තැන. 

පෙබරවාරි 23:

ඔලුවේ කැක්කුම තාම අඩුවක් නෑ. අද නම් උදේම ඇහැරුනා මට. ඇත්තටම හරියකට නින්ද ගියේ නෑ. සුසාර කිව්වේ හවසට බෙහෙත් ටිකක් අරන් එමු කියලයි. මට හිතෙනවා තව ටිකක් බලන්න. එහෙම උනොත් සති අන්තේ යනවා. Personal files කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මට එපා වෙලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ට විශ්‍රාම  යනකම් මතක් වෙන්නෙ නෑනේ තමන්ගේ file එක සම්පූර්ණ කරගන්න. අරක අඩුයි. මේක අඩුයි. ඒ මදිවට නම් වලත් වෙනස්කම්. ඒවට දිවුරුම් පෙත්සමුයි. මේ රටේ මිනිස්සු කොහොමත් අනෙක් අය ගැන හෙන උනන්දුයි තමන්ගේ ඒවට වඩා. 

සුසාරල ඉන්නේ එයාගෙ සීයා, සුසාරගේ තාත්තලාටයි, බාප්පලාටයි බෙදලා දීපූ ඉඩමක. ගේ වටේම නෑයෝ පදිංචි කරන එක කොටින්ම කිව්වොත් සීයගේ ප්ලෑනක්. මගේ අම්මේ! ගෙවල් වටේ නෑයෝ ඉදීමේ රඟ දැනෙන්න නම් එහෙම තැනක පදිංචි වෙලාම බලන්න ඕන. සුසාරලගේ ගෙවල් වලට පිටිපස්සෙ ගෙදර එයාලගේ මද්දු බාප්පගේ , ඒ කියන්නේ තාත්තාගේ දෙවනි මල්ලි. එයාට  දුවලම තුන් දෙනෙක්, දෙන්නෙක් ස්කෝලේ ගිහින් ඉවරයි. එක්කෙනෙක් රූපලාවණ්‍යය ඉගනගන්නයි, අනෙක් එක්කෙනා කළමණාකාර සහකාර විභාගෙට ඉගන ගන්නයි කියල පන්ති යනවා. බාලම දුව තාම ස්කෝලේ දහයේ වසරේ කිව්වා. ඔය තුන් දෙනා මෙහෙමයි වැඩි හරියක් ඉන්නේ. බාප්පල වැඩට යනකොට කෙල්ලො තුන්දෙනා බලල දීල තියෙන්නේ සුසාරගේ  ආච්චියි, සුසාරගේ අම්මයිලු. ඒකලු ඔය මෙහෙටම වෙලා ඉන්නේ. 

කතාවේ රසවත්ම කෑල්ල ඒක නෙමෙයි.  එක දවසක් මම හදිස්සියේ short leave එකක් දාල ගෙදර එනකොට දෙවනි ගෑනු ළමයා මගේ අල්මාරිය ඇරගෙන අදිනවා. සුසාරගේ අම්මා හිටියේ නෑ. එයා නානවා. එයා හිටියත් ලොකු වෙනසක් නැති වෙයි. තාම පුංචි කෙල්ලො කියලනේ අම්මා හුරතල් කරන්නේ. මම එක පාරටම කාමරේට එයි කියල මධූ හිතුවේ නෑ. දෙවනි ගෑනු ළමයා මධුවන්ති.  “මධූ” කිව්වම ගැස්සිලා ගිහින් එයාගේ ලොකු අම්මාගේ  අල්මාරියෙන් පරණ සාරියක් හෙව්වා කියලා නිදහසට කරුණු කිව්වත්, මීට මාසෙකට කලින් මාත් එක්ක මේ ගෙදරට ආපු අල්මාරියට එයාගේ ලොකු අම්මාගේ සාරි එර්දියෙන් වැඩ්ඩද කියල මම ඇහුවේ නෑ. සුසාර කිව්වෙ යතුර දොරේම තියල ගිය එක මගේ වැරැද්ද කියලා. කොහොමත් වැටයි නියරයි නම් ගොයම් කන්නේ… කාට කියන්නද ඉතිං ඒ අමාරුව නැද්ද මන් අහන්නේ?.

ජනනිගේ දිනපොතෙන් ලබන සතියේ හමුවෙමු..

කියවන සැමට ආදරයෙනි.