Home Blog Page 62

යොවුන් වියේ සිටින ඔබේ දරුවාත් ඩිප්‍රෙස් වෙලාද?

කොයි තරම් අපේ තුරුල්ලේම ඇති දැඩි වුණත් යොවුන් වියට එළැඹීමත් එක්කම අපේ දරුවන්ගේ සිතිවිලි හැසිරීම් රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන විදියේ ගැටලුවලට දරුවා මුහුණ දෙනවා වෙන්නත් පුළුවන්. යොවුන් වියට එළැඹි ඔබේ දියණියගේ හෝ පුතුගේ වෙනස්කම් තිබුණත් ඔබට ඒවා නොවැටහෙනවා හෝ එය ඔබ අවබෝධ කරනගැනීමට උත්සාහ නොකරනවා වෙන්නත් පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ සැබැවින්ම අපගේ නොදැනුවත්කම නොඑසේ නම් අප තුළ පවතින සාම්ප්‍රදායික අදහස් විය හැකියි. කෙසේ වුවත් දරුවෙකුගේ අනාගතය සාර්ථක කරනු වස් ශාරීරිකව මෙන්ම මානසිකවත් දරුවා ඉහළ මට්ටමක සිටීම බොහෝම වැදගත් කරුණක්. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් යොවුන් වියේ විෂාදය තත්ත්වය ගැන දැනුවත් විය යුතුමයි.

මොකද්ද මේ ඩිප්‍රෙෂන් එහෙමත් නැත්නම් විෂාදය කියන්නේ?

විෂාදය කියන්නේ සායනික ලක්ෂණ රාශියක එකතුවක්. උදාහරණයක් විදයට දීර්ඝ කාලීනව පවතින දුක ගතිය, තරහා යාම, විඩාව/මහන්සිය, නින්ද පිළිබඳ ගැටලු, ආහාර රුචියේ ඇති වන වෙනස්කම්, හානි දායක සිතුවිලි වගේ බොහොමයක් දේ මේ තුළට ඇතුළත් වෙනවා.

ඒ කියන්නේ යොවුන් වියේ දරුවෙක් දුකෙන් ඉන්නවා නම් ඒ දරුවාට විෂාදයද?

නෑ.. දුක කියන්නේ විෂාදය නෙවෙයි. දුක කියන්නේ සාමාන්‍ය මානූෂීය හැඟීමක්. දුක ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන කරදර/බාධක නිසා ඇති වෙනවා. 

එතකොට කලින් සඳහන් කළ විදියට දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයිද?

සැමවිටම දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයි. ඒක් දිගු කාලීනව දුකෙන් පසුවීම විෂාදයේ ලක්ෂණයක්. ඒ කියන්නේ දුක්බර ස්වභාවය දින/සති ගණනක් එක දිගට පවතිනවා නම් එය විෂාදයේ ලක්ෂණයක් විය හැකියි.

ඒත් අපි කොහොමද යොවුන් වියේ ඉන්න අපේ දරුවෙක් විෂාදයට ලක්වෙලා කියලා අඳුනගන්නේ

යොවුන් වියේ දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවය අනෙක් වයස් සීමාවන්ට වඩා වෙනස්. ඒ දරුවන්ගේ සාමාන්‍ය භාවය ඒ කියන්නේ මූඩ් එක ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා විෂාදය තත්ත්වයට පත් වුණා කියලා මේ දරුවන්ගේ භාවයන් වෙනස් වෙලා කියන දේ ඉක්මනින් හඳුනා ගැනීම නම් දෙමාපියන් වන ඔයාලට විතරක් නෙවෙයි වෛද්‍යවරුන්ටත් අපහසුයි.

එහෙම නම් කොහොමද මේ තත්ත්වය හඳුනාගන්නේ?

ඔව්. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු විදියට අපි නව යොවුන් දරුවන්ගේ විෂාදය ගැන සොයා බලද්දි සැලකිලිමත් වෙන කරුණු තුනක් තියෙනවා.

  1. තරහා යෑම වැඩි වීම – ඒ කියන්නේ වෙනදාට වඩා වැඩි නුරුස්නා ගතිය, පුංචි පුංචි දේටත් තරහා ගැනීම 
  2. අධ්‍යාපනය හා සාමන්‍ය හැසිරීමේ වෙනස – පාසැල් ජීවිතය හොඳින් ගත කළ දරුවෙක්ගේ ඒ තත්ත්වය පහළ වැටීම
  3. දිගු කාලීන දුක, බර අඩු/වැඩි වීම, නින්ද අඩු /වැඩි වීම

අනෙක් වයස් සීමාවන්වලදීට වඩා යොවුන් වියේ දරුවන්ගේ විෂාදය තත්ත්වය වෙනස් නිසා වැඩිපුර මේ ගැන සැලකිලිමත් විය යුතුයි. 

යොවුන් වියේ විෂාදය තත්ත්වය අපේ රටේ දරුවන් අතරත් බහුලව දැකිය හැකි තත්ත්වයක්ද?

පහුගිය දශක කීපයක් තුළ ලොව පුරා කළ පරීක්ෂණවලින් සොයා ගත් දෙයක් තමයි නව යොවුන් වියේ විෂාදය එන්න එන්නම වැඩි වෙනවා කියන එක. සමහර රටවල් අගයන් අනුව 13%ක් හෝ වැඩි ප්‍රමාණයක් මේ තත්ත්වයේ දරුවෝ ඉන්නවා. 

යොවුන් වියේ දරුවන් විෂාදයට ගොදුරු වීමට හේතුව මොක්කද?

‍මේ තත්ත්වයට බලපාන්නේ එක හේතුවක් නම් නෙවෙයි. කාරනා කීපයක් එකතු වෙලා තමයි කෙනෙක් විෂාදයට ගොදුරු වන්නේ.

  1. ජීව විද්‍යාත්මක සාධක – මොළයේ ස්නායු ජාල සම්ප්‍රේෂක කොටස්වල ජාන සම්බන්ධව ඇති වන වෙනස්කම්
  2. මනෝමීය ලක්ෂණ – ආත්ම ශක්තිය හීන වීම/ ඕනෑවට වඩා පිළිවෙළට වැඩ කිරීමට යාම/පොඩි දේටත් තරහා යාම/ පෞරුෂත්ව ලක්ෂණ යන කරුණු විෂාදය ඇති කිරීමේ ප්‍රවණාවය වැඩි කරවනවා.
  3. සමාජීය සාධක – දරුවෙකුට තම සාමාජයෙන් සිදුවන හිරිහැර/අසාධාරණකම්/අකටයුතුකම් වගේම කුඩා කාලයේදී යම් අකටයුත්තක්/අතවරයක් වී නම් ඒ පිළිබඳ බලපෑම නිසා විෂාදය ඇති වෙන්න පුළුවන්

මෙන්ම මේ ආකාරයට ගත්තම යොවුන් දරුවෙකුගේ විෂාදය තත්ත්වය වටහා ගැනීම අපහසු නැහැ

යොවුන් වියේ දරුවෙක් විෂාදයට ලක්වුණාම ඒ සඳහා ප්‍රතිකාර නැත්ද?

ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තියෙනවා. මූලිකම ප්‍රතිකාර ක්‍රමයක් වෙන්නේ මනෝ චිකිත්සක ප්‍රතිකාර (Psychotherapy) ක්‍රම. ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින් කතා කිරීම මගින් නව යොවුන් වියේ දරුවෙකුට ලබාදෙන ප්‍රතිකාරය. ඊට අමතරව,

Cognitive behavioral therapy – දරුවන්ගේ සිතුවිලි, ඒ කියන්නේ හැඟීම් අනුව හැසිරීම මත සම්බන්ධය මගින් මේ තත්ත්වය මගහැරීමට ලබා දෙන ප්‍රතිකාරය

උදා : ඍණාත්මක සිතුවිලි මගින් දුක්ඛිත හැඟීම් ඇති වීම සහ ඒ හරහා ඍණාත්මක හැසිරීම් ඇති වීම. මම මෝඩයි කියන සිතුවිල්ල මගින් දුක ඇති වීම ඒ හරහා කම්මැලිකම ඇති වීම, මේ ප්‍රතිකාර ක්‍රමයේදී සිතුවිලි, හැසිරීම, හැඟීම යන කරුණු වෙනස් කරන්නට උපක්‍රම යොදනවා

ඒ වගේම Interpersonal Therapy/Attachment-based Family Therapy යන ප්‍රතිකාර ක්‍රමත් යොදාගන්නවා.

මෙවැනි දරුවන් උපදේශනය මගින් සුව කළ හැකියි නේද?

ලෝකය පුරාම යම් ප්‍රතිකාර ක්‍රමයකින් රෝගය සුව වෙනවද කියලා නිගමනයකට එන්නේ දහස් ගණනකට සිදු කරන ලද පරීක්ෂණ ක්‍රම මගින්. සාමාන්‍යයෙන් සමහර වෙලාවට කියනවා මෙහෙම වුණාම උපදේශන සේවාවන් මගින් සුව කළ හැකියි කියලා. නමුත් විෂාදය සුව කිරීමට නම් ප්‍රතිකාර ලෙස පරීක්ෂණවලින් විද්‍යාත්මකව ඔප්පු වූ ක්‍රම යොදා ගත යුතුයි. ඒ ඇරුණම රෝගයේ උග්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. කවුන්සිලින් එහෙමත් නැත්නම් උපදේශනය කිරීම මගින් විෂාදය සුව කිරීම සිදු නොවේ.

මානසික රෝගවලට ඖෂධ ගත්තම ඒකට ඇබ්බැහි වෙන බව කියනවා නේද? ඉතිං ඖෂධ වර්ග ලබාදීම සුදුසු නෑ නේද?

යොවුන් වියේ දරුවෙකුගේ විෂාදය තත්ත්වය උග්‍ර තත්ත්වයක් නම් අපි බොහෝ විට ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වෙනවා. මේ සඳහා ලබා දෙන්නේ antidepressants ඖෂධ වර්ග. ඒ කියන විදියේ ඇබ්බැහි වීමක් හෝ රෝගය උත්සන්න වීමක් සිදු වෙන්නේ නැහැ.‍ අනික මේ ඖෂධ වර්ග ලොව පුරා පරීක්ෂණ මගින් සාර්ථක බව සොයාගත් ලක්ෂ ගණනක් රෝගීන් සුවපත් කර ඇති අවසර ලත් ඖෂධ වර්ග. ඉතිං හානිදායක තත්ත්වයක් මේ ඖෂධ වර්ගවල නැහැ. ඒ වගේම යොවුන් වියේ දරුවෙකු මෙවැනි තත්ත්වයකදී ප්‍රතිකාර ලැබිය යුත්තේ ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය සහ නිරීක්ෂණය මත නිසා එහි ප්‍රතිඵලය සාර්ථකත්වයෙන් ඉහළයි.

විෂාදයෙන් පෙලෙන යොවුන් වියේ දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයේ විය යුතුද?

මේ තත්ත්වයේදී අති සාර්ථක ප්‍රතිඵල හිමිවීමට නම් දරුවාගේ වටපිටාවේ දායකත්වය බොහොම වැදගත්‍‍ වෙනවා. ආතතියට අදාල සාධක පාලනය කිරීමට පවුලේ අයට උපදෙස් ලබාදීම සිදු වෙන අතරම මෙහිදී පවුල, පාසැල යන සියල්ලන් එකම කණ්ඩායමක් වීම හරිම වැදගත්. ඒ වගේම දරු‍වන්ට අපි සමීප වීමත් අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදියට කුඩා කාලේ දරුවෙකුට යම් අතවරයක්/කරදරයක් වුණාම මව්පියන් දරුවා සමග ඒ ගැන කතා බහ කිරීමත් අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ යුතුයි. ඒ කාලය තුළ අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම නිසා යොවුන් වියට පැමණීමත් සමගම මානසික ව්‍යාකූලතාවයන් ඇති වීමට අතීත සිදුවීම බලපෑ හැකියි.

මොන රෝගයට බෙහෙත් ගත්තත් මානසික රෝග තත්ත්වයක් නිසා දරුවෙක් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න අම්මලා ටිකක් අදිමදි කරනවා නේද?

ඔව්. සාම්ප්‍රදායික අදහස් රාමුවක හිර වෙලා වගේම මිත්‍යා මතවල එල්ලිලා තමන්ගේ දරුවාගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩ හැරීම අනුවණකමක්. මෙතැනදී දෙමාපිය වැඩිහිටියන් නිවැරදිම වෛද්‍ය වෘත්තිකයා වෙත යොමු වීමට දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. මෙවැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්නේ ටික දෙනෙක් වුවත් ඔවුන් හැමදෙනාම පාහේ උපරිම සේවාවක් ලබාදෙනවා. එවැනි වටපිටාවක යොවුන් වියේ දරුවෙකුගේ ජීවිතය මානසික ගැටලුවක් හේතුවෙන් විනාෂ වීමට ඉඩ නොහැරිය යුතුයි. එවැනි වෛද්‍යවරයෙකු හමුවිය නොහැකි නම් අවම වශයෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ උපදෙස් ලබාගත යුතුයි.

යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් මෙවැනි තත්ත්වයකදී හැසිරිය යුත්තේ කෙසේද?

ඇත්තටම මව්පියන් තත්ත්වය තේරුම් ගත යුතුයි. අපේ සිරුරේ ඇති වෙන වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගන්නවා සේම‍ මේ පිළිබඳවත් සිතීම ඉතාම වැදගත්. මානසික රෝගයක් කියන්නේ සමාජයෙන් කොන්වීමට හෝ ලැජ්ජා වීමට හේතුවක් නොවෙයි. මව්පියන්ට මේ තත්ත්වය නොතේරෙන තාක් දරුවාට ප්‍රතිකාර කොට සුව කිරීමට අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එය හරිම දුක්ඛිත තත්ත්වයක්. ඒකෙන් වෙන්නේ ලස්සන ජීවිත විනාෂ වීම පමණයි. මොකද අප වෙත එන්නේ වයස අවුරුදු 18 දක්වා දරුවන් පමණයි. ඒ වයස් සීමාවේ දරුවන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර හෝ ඖෂධ ලබාදිය හැක්කේ මව්පියන්ගේ අවසරය මත පමණයි. ඇතැම් මව්වරුන් යල්පැන ගිය අදහස් නිසා ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. එය හරිම අවාසනාවන්ත තීරණයක්. මව්පියන් එහෙම ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කළාම අපි වෛද්‍යවරු විදියට එයට එකඟ විය යුතුයි.

නමුත් දෙමාපියන් මේ තත්ත්වය වටහා ගෙන, අවබෝධ කොට ගෙන කටයුතු කරනවා නම් හරිම වටිනවා. මොකද මෙවැනි තත්ත්වයන් උත්සන්න වෙන්න වෙන්න ඇති වෙන අතුරු ආබාධ තත්ත්වයන් වැඩියි. ආත්ම ශක්තිය හීන දුර්වලයෙකු බවට පත් කොට දරුවා‍ගේ ජීවිතය අසාර්ථක කරවනවාද නැති නම් නිසි වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා දී දරුවා සුව කොට අනාගතය සාර්ථක කරනාවද යන්න තීරණය වන්නේ දෙමාපියන්ගේ අතින් බව නම් අමතක නොකළ යුතුයි.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග සකසන ලද ලිපියකි.

 

Covid 19 සහ නිවසේ සිට රාජකාරි කරන අම්මලා

Covid 19 මුළු ලෝකයේම අම්මාවරුන්ගේ හිත් ගිනි අවුලුවා දැන් මාස අටකටත් වඩා වැඩිය.

රෝ බිය, අවිනිශ්චිත ඊළග පැය, දරු පැටවුන්ගේ සුරක්ශිතභාවය සහ සෞබ්‍යාරක්ශාව , පැය විසිහතර මුළුල්ලේම ඔබව දවනා බවද ඔබව පෙළනා බවද දනිමි.

සියළු නපුරු, දැඩිව  රිදුම් දෙන හැඟීම් මැඩලමින් ජීවන අරගලය ඉදිරියට ගෙනියන කාන්තා ඔබ, තම පැටවා බේරා ගන්නට බිඳෙන් බිඳ සාගර ජලය වලිගයෙන් ගෙන හින්දවන්නට  සිතූ ධෛර්යමත් ලේන් අම්මාගේ කුළයේ යැයි අදහන්නට මම කැමතිය මෙළොව අසමසම යමක් ඇත්තම් එය අම්මාගේ ආදරය පමණක්ම  බව මම විශ්වාස කරන නිසාය

 

තොටිල්ල නළවන අත ලොව ආණ්ඩු කරවන බව සත්‍යාපනය කෙරූ….

රැකියාවල යෙදුන, යෙදෙන දහසකුත් එකක් මවුවරුන්ගේ  ජීවිතය covid 19 වසංගතකාලයේ වෙනසකම් වලට භාජනය උනාද

ඔවුන් එය කළමණාකරනය කරගත්තේ / කරගන්නේ කොහොමද

ඔබ ගැන හිතුවද?

අද කතාව ගැන….

නිවසේ සිට රාජකාරී කිරීම ( Work From Home)  දුරස්ථ ඉගැනීම් ( Distance Learning ) පසුගිය දශක දෙක තුනක කාලය තුළ අන්තර්ජාලයේ අඛණ්ඩ විකසනය සමඟ ජනගත වුන සංකල්ප ලෙස හැඳින්විය හැක. මෙය ශ්‍රී ලාංකික අපිට මෑතකදී ඉතාම සමීප කරවන්නට සමත් වූයේ Covid 19 වසංගත තත්ත්වය බවට කිසිදු සැකයක් නැහැ.

දෛනිකව රාජකාරියට ගිය අම්මලාට ගෙදර ඉදන් අම්මා, බිරිඳ , දියණිය කියන භූමිකාවන්ට අමතරව දේවකාරිය වගේ කරපු තමන්ගේ රැකියාවේ වගකීමුත් ගෙදර ඉදන් දරන්න උනාම මොන වගේ මානසික අරගලයක් වෙන්න ඇති කියලද ඔබ හිතන්නේ

 

මාර්තු මාසේ මැද ඉදලා Work From Home දඬුවමට යටත් වෙලා ඉන්නවා. මට නම් මේක දඬුකදක්.මගේ අවුරුදු හතරේ පොඩි දඟමල්ල. එක්ක ගෙදර ඉදන් වැඩ කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්” 

සත්‍යා අමරනාථපරිඝණක ඉංජිනේරු, ශ්‍රී ලංකාව

 

පවුල එකට ඉන්න ලැබුනු Covid නිසා කොම්පියුටර්  තුනකට කොටු වෙච්චි  අපේ ජිවිතේ දරැවන් උදේ ඉදන් zoom එකෙන් ස්කෝලේ යද්දී..මමත් zoom එකෙන්ම ඉස්කෝලෙට ගියාපැන්ඩමික් එක ගෙනාපු work from home මට හොද වුනාට මගේ පාසලේ දෙමාපියෝ ඇහුවෙම ස්කෝලේ අරින්නෙ කවද්ද කියලා

භාග්‍යා බමුණුආරච්චිගුරුවෘත්තිය, ඇමරිකා එක්සත් ජනපදය

 

ලෝක ජනගහනයෙන්  විශාල ප්‍රමාණයක් එකම විටක විරැකියාවට පත් කල, නිවාස වලට කොටුකරමින් work from home හොඳම විකල්පය බවට පත් කල, සමාජ දුරස්ථභාවය වගේම දුරස්ථ ඉගැනීම් වලට දරුවන් යොමු වුන මේ කාලයේ ඕනෑම අම්මා කෙනෙක්ගේ තත්ත්වය මාර්ගෝපදේශනයක් නොමැතිව නොදන්නා දේශසීමාවකට නොදැනුවන්තව ඇතුළු වූ විදේශ සංචාරයෙක්ට වගේ කුතුහලය, ත්‍රාසය, භීතිය ඇතුළු ඕනෑම මිශ්‍ර හැඟීමක් (mixed emotions) දනවන්නක් වෙන්න පුළුවන්

ඉතින් Covid 19 එන්න කළින් අපට තිබූ ලස්සන වසන්ත කාලයට කවදා යා හැකිද යන්න නිශ්චිතවම කීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අසමත් මොහොතක, Covid 19න් රැකී, රැකියාවත් රැකගෙන, පුංචි පැටවුනුත් එක්ක ඔබට කරන්න පුලුවන් දේවල් අපි කතා කරමු.

ඔබ ඔබට කාරුණික වෙන්න.

පුංචි පැටවුන්ගේ දාන්ගලේ, එකතැන ඉන්න බැරි එයාලගේ දුරස්ථ ඉගැනීම් , පැවරුම්ඉගැනීම් අතරේ එයාල වැසිකිළි දුවන්න හදන බොරු උවමනා, එයාලට එන දුකහිතෙන නිදිමතවල්, වගේම පොඩි බඩගිනිත් නිවන ගමන් සමහර විට ඔබේ ව්‍යවෘද්ධ අම්මා තාත්තා වගේම දැන් දැන් දිගටම රැකියාවට යන සැමියා ගැනත් හැමදෙයක්ම සොයා බලමින් ඔබ කරන මෙහෙය සුළු පටු නෑ අතරේ රාජකාරි කටයුතුත් නියමිත විදිහටම කරන්න උත්සහ කරන ඔබ තරම් විශිෂ්ඨ කළමනාකාරිණියක් වෙන නෑ. ඉතිං පොඩි අතපසු වීම් වලදි ඔබ ඔබට සමාව දෙන්න. කණ්ණාඩිය ඉදිරිපිටට ගිහින් ඔබවම අගය කරන්න

මොකද ඔබ,ඔබට කරන්න පුළුවන් උපරිමයටත් වඩා ඉශ්ඨ කරන ආදරණීය අම්මා කෙනෙක්, බිරිඳක් වගේම ඔබ සේවය කරන ආයතනයට සම්පතක්.

ඔබ ඔබට කාලයක් වෙන් කරගන්න

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..” කියල සිතීම සාධාරණයි. බොහෝ කාන්තාවන්ගේ පොදු මැසිවිල්ල නම් ඔවුන්ට දවසේ පැය විසිහතර ප්‍රමාණවත් නොවන බවයි. ඉතිං ඇයි කියල හිතලා බැලුවද? අද කළයුතු දේ අදම කරන්න කිව්වට ඔබ දැඩි ආයාසයක් අරගෙන, ඔබේ මනස නිරවුල් නැති ඉතා පීඩාකාරී මොහොතක ඔබ අද කළයුතු දේ අදම කරන්න යන්න එපා. ඔබේ මනසට කුඩා විවේකයක් දෙන්න. ඔබ කැමතිම මුහුණට කරන සත්කාරයක් ( face pack ) හෝ හිස ගල්වන තෙල් සාත්තුවක් ( head / oil massage) . විනාඩි විස්සක පුංචි නින්දක් (nap) ඔබේ මනස ඉල්ලා සිටිනවා නම් ඇයි ඔබ එය නොදෙන්නෙ. මුළු ලෝකෙටම හුස්ම පිඹින ගෙදර අම්මා ඔබ, ඉතිං ඔබ ඔබටම පුංචි විවේකයක් දෙන්න

පොඩි කාලසටහනකට වැඩ කරන්න

එන එන විදිහට ගහ උළුවස්සා (spontaneous) ජීවිතයෙන් ඔබට මේ තරම් කාලයක් අවැඩක් උනේ නැති බව ඇත්ත. ඒත් දැන් පාසැල් කාලසටහනට පාසලේ වැඩකරපු පොඩ්ඩන්ව මෙහෙයවන්න වෙලා තියෙන්නෙත් ඔබට. ඉතින් ඔබට දෛනිකව කරන්නට තිබෙන රැකියා ස්ථානයේ රැස්වීම්, නියමිත දිනට භාර දීමට තිබෙන ව්‍යාපෘති ආදිය ගැන ඔබ කලින්ම දැනුවත් වෙන නිසා ඇයි ඔබ විනාඩි දහයක් අරගෙන පොඩි පිලිවළකට එය පෙළගස්වා ගන්නේ නැත්තේ. එහෙම කලොත් හැමදෙයක්ම නිවැරදි පිළිවලට වෙන බව දැනිලා ඔබේ සිත ප්‍රබෝධයෙන් පිරේවි. ඔබට වෙහෙසබව ඇත්තයි. ඒත් ඔබ තමා ඔබේ නිවසේ සියල්ල දරා සිටින කොඳුනාරටිය. අඩුම තරමේ ඔබ ඊළග පැයේ සිද්ධ කරන්නට යන කාරණා ගැන පැහැදිළි අවබෝධයකින් සිටීම ඔබේ මානසික සමබරතාවයට උදව්වක් වේවි.

ඔබේ දරුවන්ට ඔබේ රාජකාරී ලෝකය ගැන කියලා දෙන්න

වෙනදාඅම්මා ඔෆිස් ගියාකිව්ව පුංචිත්තන්ට, දැන් තමන්ගේ අම්මා ගෙදරට වෙලා ඉදගෙන මේ කරන ඔෆිස් යෑම ගැන නම් අපමණ ප්‍රශ්න ඇති. ඉතින් මේ ප්‍රශ්න අසමින් ඉගන ගන්න පොඩ්ඩන්ට ඔබේ රාජකාරියේ ස්භාවය පොඩ්ඩක් කියල දුන්නට වරදක් නෑ. ඒවගේම කියන්න එයාලගේ අනාගතය වෙනුවෙන් අම්මා එයාලත් එක්ක ඉන්න තියන මේ පොඩි පොඩි වෙලාවන් කැප කරගෙන රාජකාරිය අකුරට ඉෂ්ඨ සිද්ධ කළයුතු බව. අම්මට කරදර නොකරනවා නම් අම්මාට ළඟින් සෙල්ලම් කරමින් සිටිමට ඉඩ දිය හැකි බව.

මේ හැමදෙයක්ම තවමත් කරන්න බෑ කියල ඔබට හිතෙනවා උනත් ඔබ වටහා ගත යුතු එකම එක කාරණාවක් තිබෙනවා. තමයි ඔබ මේ ලෝකයේ හොඳම අම්මා බව. ඔය හිස දරන් ඉන්නහොඳම අම්මාකිරුළ පැහැරගන්න කිසිදු වසංගතයකට, දුක්පීඩාවකට හෝ නපුරු කාලයකට නොහැකි බව

අම්මාගේ ආදරය සුවපත් නොකළ තුවාලයක් මිහිමත නැත. අම්මාගේ ආදරය පිරියම් නොකළ බිඳුනු හදවතක් මෙළොව නැත. අම්මාගේ ආදරය තරම් අසමසම සුවදායක මිහිරක් මෙළොව නැත. Covid 19 මින් ඉදිරියට එන්නට නියමිත සියළු සුළි, කුණාටු , චණ්ඩ මාරුත සහ සුනාමි මත දරුවෙක්ට විශ්වාස කල හැකි යමක් වේ නම් අම්මාපමණය.

රාජකාරියට යන / නොයන සියළු අම්මලාට ආදරයෙනි.

 

ඔබේ දරුවාගේ මනස දියුණු කරවන චිත්‍රපට 15ක්

රූපවාහිනියේ යන ඕනෙම චිතුපටයක් බලන්න අපේ පුංචි දරුවෝ පුරුදු වෙලා. මේ නිවාඩු කාලෙත් එක්ක වැඩිහිටි අපේ වගේම පුංචි දරුවන්ගේත් කාලසටහන් ටිකක් වෙනස්. එහෙමයි කියලා බැහැ, වැඩිහිටියන් විදියට අපි අපේ දරුවන්ට ඕනේම දෙයක් නරඹන්න අවස්ථාව ලබා දීලා හරියන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් අපි තෝරා දෙන හැමදේකින්ම වගේම අපේ දරුවාට ප්‍රයෝජනයක් තිබිය යුතුයි. බොහෝ දෙමාපියන් සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ලබා දීමෙන් දරුවා ලබන පෝෂණ ගැන සිය දහස් වරක් සිතුවත් දරුවා නිරාවරණය වන අනවශ්‍ය වීඩියෝ පට චිත්‍රපට නිසා දරුවාගේ මනසට සිදුවන හානිය ගැන හිතන්නේ නැහැ. අන්න ඒ නිසාම අපි හිතුවා දරුවන් වෙනුවෙන් නිර්මාණය වන ළමා චිත්‍රපට කිහිපයක් තෝරාගෙන ඒවා දරුවාගේ මානසික දියුණුවට බලාපාන ආකාරය ගැන කතා කරන්න

  1. හෝ ගානා පොකුණ

මෑත කාලයේ බොහොමජනප්‍රිය වූ දරැවන් එක් වතාවකට වඩා බලන්නට ප්‍රිය කරන හෝගානා පොකුණ පරිකල්පනය ගැන හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දෙනවා. ජීවිතයේ කිසිම දිනක නොදැකපු දෙයක් ගැන හිතමින් හීන දකිමින් ඒ කරා ලංවීම ඒ දරුවන් තුළ ගොඩ නැගෙන ආසාව උනන්දුව මේ කතාව තුළ ඉතාමත් සුන්දර විදියට කතාවෙනවා. ඉතා කැපවීමෙන් දරුවන්ගේ මේ හීනය සැබෑ කරගන්නට සහය වෙන ඉතාම පරමාදර්ශී චරිතයක් වන ගුරුවරිය මේ දරුවන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ ජීවිතත් වෙනස් කිරීමට පාදක වන ආකාරය මේ තුළින් විස්තර කරනවා.

  1. UP 

මේ කතාවේ ඉන්න ඉතා දැඩි දෘඩ අයෙක් වූ වයෝ වෘද්ධ පුද්ගලයා තම බිරිඳ මිය යාමෙන් පසුව ඇයගේ සිහිනයක්ව තිබුණු සුන්දර ස්ථානයකට යාමට තීරණය කරනවා. ඒ රසල් නම් වූ බාල දක්ෂයෙකු සමග. රසල් ඉතා ඉතා මෘදු අයෙක්. මේ වයෝවෘද්ධ පුද්ගලයා රසල් නම් වූ බාලදක්ෂයා හේතුවෙන් වෙනස් වෙනවා. පවුලක සැනසීමට නම්‍යශීලී බව බොහොම වැදගත් බවත් අලුත් අලුත් දේ පිළිබඳව දැනගන්න ඒ දේවල් බොහෝ සෙයින් වැදගත් වන බවත් මේ කතාව තුළින් කියවෙනවා. සැබෑ ආදරය, සැබෑ සතුට කියන්නේ අපි යන විනෝද ගමන් ගණනවත් අපි ලබාගන්නා ඡායාරූප ගණනවත් නොව බව වගේම එය අප එක්ව ගත කරන සුන්දර අවස්ථා මගින් අපට හිමිවන බව මේ කතාවෙන් පැහැදිලි කෙරෙනවා.

  1. Inside out

චිත්‍රපටයේ පුරාම මනෝ විද්‍යාවේ ලක්ෂණ විහිදී ඇති මේ නිර්මාණයේ වයස අවුරුදු 11ක දියණියකගේ  හිතේ හැගීම් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරනවා. මේ දියණියගේ හිතේ ඇතිවන හැඟීම් වලට ඇයගේ හිස තුළ එක එක ආකාරයේ චරිත ගොඩනගා ඇති අතරම ඇය තමන්ගේ හැඟීම් අවබෝධ කරගනිමින් ඒවා පාලනය කරන ආකාරය ඉතාමත් රසවත්ව මේ කතාව පුරා දිගහැරෙනවා. මේ නිර්මාණය මගින් දරුවන්ට හැඟීම් පිළිබඳව අවබෝධය වගේම හැඟීම් පිළිබඳ බුද්ධිය වැඩි කරගන්න අදහසක් ලැබෙනවා. ඒ වගේම තමා ගැන සිතන ආකාරයටම තවත් කෙනෙක් ගැන හිතන්න ඒ කියන්නේ සහකම්පනය වර්ධනය වීමටත් මේ චිත්‍රපටය උදව් වෙනවා. 

  1. දංගල්

මෙම ඉන්දියානු චිත්‍රපටය කාන්තාවන් හා පිරිමින් අතර බෙදී ගොස් ඇති හැකියාවන් පිළිබඳ වූ අදහසට අභියෝග කරන්නක්. සමාජ රාමුවෙන් පිටතට යමින් ජීවිතය දිනිය හැකි බව මේ චිත්‍රපටය හරහා කියාදෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ දීර්ඝකාලීන හොඳම ගුරුවරුන් දෙමාපියන් බවත් මේ තුළ මානාව කියවෙනවා. ඒ අත්දැකීම් සමගින් ප්‍රවීණ මල්ලව පොර ශූරයෙක් තමන්ගේ දියණියන් තම ක්‍රීඩාවෙන් ජයග්‍රාහකයන් බවට පත්කරන ආකරය චිත්‍රපටය පුරා ඉතාමත් සිත්ඇදගන්න සුලු අයුරින් පෙන්වනවා.

  1. Paddington

කැලයේ ජීවත් වුණු වලස් පැටියෙක් නගරෙට ඇවිත් සාමාන්‍ය මිනිස් පවුලක් එකක් ජීවත් වෙන කතාවක් ඇතුළත් මේ කතාවෙන් අවංකකම නිසා අමාරුවේ වැටුණත් දීර්ඝ කාලීනව එය ලොකු යහපතක් වන බවත් තමාට යමෙක් යම් උදව්වක් කළහොත් ඒ සඳහා කළගුණ සැලකීම ඉතා වැදගත් යන ආදර්ශයක් දරුවන්ට මේ නිර්මාණය හරහා කියා දෙනවා.

  1. Ratatouille

මේ කතාවේ ඉන්නේ ඉහළ පෙළේ හැකියාවක් ඇති සූපවේදී මීයෙක් ගැන. පැරීසියේ ඉන්න මේ මීයාට කෑම හදන්න පුළුවන්. ලොව ප්‍රසිද්ධ අවන්හලක ප්‍රධාන සුපවේදියා වෙන්නත් මේ මීයාට අවස්ථාව ලැබෙනවා. මෙය සත්‍ය විය හැකි කතාවක් නොවුණත් පරිකල්පනය හරහා විෂමතා පිළිගැනීමට දරුවන් උනන්දු කිරීමත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු බවත් මේ හරහා කියවෙනවා. සත්වයෙක් වුණත් දක්ෂතා වලට තැනක් ලැබීම ගැනත් චිත්‍රපටය තුළින් කියවෙනවා.

  1. The blind side

අකුරු ලියන්න කියන්න අපහසු ඉගෙනගන්න බැරි දුක්ඛිත සමාජ පරිසරයක ජීවත් වුණු දරුවෙක් තමන්නේ වාසනාව නිසා අලුත් පවුලකට එකතු වෙලා එයාගේ සැඟවුණු හැකියාවන් සොයාගන්න බව මේ කතාවේ කියනවා. මේ දරුවාගේ කුඩා විය ගැන මේ චිත්‍රපටයේ පෙන්වන ආකාරය දුක්ඛිත වුවත් අනාගතය ගැන කියද්දි දැනෙන සතුට අපමණයි. ඉලක්කම් අකුරුවලට එහා ගිය බහුවිද දක්ෂතා බහුවිද බුද්ධීන් බවත් සමාජ පරිසරය මත කොයිතරම් දුරට දේවල් වෙනස් වෙනවාද තියාත් මේ චිත්‍රපටයෙන් කියවෙනවා.

  1. සූරිය අරණ

ඉතාමත් විවිධ අරමුණ හැඩතල ඇති පරිසර දෙකක දරුවන් දෙදෙනෙක් මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නා ආකාරයත් මිත්‍රත්වයන් තුළින් අපි අනුකූල විය යුතු සහ නොයුතු දේවලුත් ඇති බවත් මේ නිර්මාණය හරහා මනා ලෙස පෙන්නුම් කරනවා. මේ මගින් ඔබේ දරුවාටත් සැවොම ඇසුරු කළද දමා ගත් යුත්තේ මොනවාද නොගත යුත්තේ මොනවාද ලෙස කොටස් දෙකක් ඇති බව අවබෝද වනවා.

  1. Babe 

පුංචි ඌරු පැටියෙකුගේ කතාවක්. මේ ඌරු පැටියා බැටලුවන් බලාගන්න බල්ලන් සමග එක්ව ඉන්න ගමන් තමන්ට ජානවලින් ලැබී නැති අලුත් හැකියාවක් හොයාගෙන බැටලුවන් පාලනයට ඉගෙන ගන්නා ආකාරය තමයි මේ කතාවේ කියවෙන්නේ. ඒ වගේම තමන් වගේම අනුන්ටත් දුක දැනෙන බවත් අනුකම්පා කළ යුතු බවත් මේ කතාවෙන් දරුවන්ට කියා දෙනවා.

  1. Queen of Katwe

උගන්ඩාවේ ඉතා දරිද්‍ර පවුලක ඉපදිලා තම පියාණන් පවා නැති කාලෙක තමන්ගේ හැකියාව හොයාගෙන ඒ පසු පස ගොස් සාර්ථකත්වය ලබාගන්නා ගැහැනු දරුවෙකුගේ කතාවකමේ චිත්‍රපටය තුළින් කියවෙනවා. ගුරුවරයෙකුට සිය විෂය නිර්දේශයට අදාල අධ්‍යාපනයට එහා යමින් දරුවෙකුගේ ජීවිතය ලස්සනට වෙනස් කළ හැකි බව මේ කතාවේ කියවෙනවා.  මැය පසු කලෙක උගන්ඩාවේ ජාතික චෙස් ශූරියක් පිළිබඳ සත්‍ය කතාවක්.

  1. The Jungle Book

ජනප්‍රිය Jungle Book කෘතිය පාදක කරගනිමින් නිපද වුණ මේ චිත්‍රපටයේ මෝගලි කියන දරුවා තමන්ට වනාන්තරේදී එරෙහි වන කොටියා සමග ගැටී දැඩි ආත්ම විශ්වාසයකින් ජය ගන්න තකාවක් ඇතුළත්. යමක් උපක්‍රම ශීලීව ජය ගත හැකි බව මේ කතාවෙන් කියවෙනවා.

  1. Children Of Heaven

ඉරානයේ සැකසුණු මේ කතාව පුරාම දිවෙන්නේ තමා අතින් නැති වූ තම නැගණියගේ සපත්තු කූට්ටම වෙනුවෙන් සපත්තු දෙකා දිනා ගැනීම වෙනුවෙන් අයියා කෙනෙක් කරන කැපවීමයි. මේ තුළින් සහෝදර බැඳීම වගේම අප සතු පුංචි පුංචි දේවල් රැක ගත යුතු බවත් මේ හරහා දරුවන්ට කියාදෙනවා. 

  1. Finding Nemo

ලෝකය පුරාම ජනප්‍රිය චිත්‍රපටයක්. ව්‍යාපාරයක් ලෙස නිර්මාණය වූවත් මෙවැනි චිත්‍රපට මගිනුත් ලබාගත හැකි ආදර්ශයක් බොහෝයි. තාත්තාගේ ආදරය අම්මාට වඩා වෙනස්. තාත්තාගේ ආදරයෙන් දරුවෙක්ට ලැබිය යුතු ප්‍රවේශම, ආරක්ෂාව බැඳීම ගැන මේ නිර්මාණය තුළින් කියවෙනවා. කිසිම දේකින් නොසැලී ඉදිරියට යා යුතු බවත් මේ කතා මගින් කියා දෙනවා. දෙමාපියන් දරුවන් අතර බැදීම කොයිතරම්ද කියා කියවෙන මෙවැනි චිත්‍රපට හරහා දරුවන්ට එවැනි බැඳීම් වටහා ගැනීමට පහසු කරනවා.

  1. Rabbit Proof Fence

ඕස්ට්‍රේලියානු කතාවක් වන මේ නිර්මාණයේ යුරෝපීයන් ඕස්ට්‍රේලියාවට පැමිණී ඇබොරජීනුවන් සමූල ඝාතනයෙන් පසු සමහර දරුවන් ගම්වලින් ඇත් කර බලහත්කාරයෙන් කදුවුරු රඳවා තබාගැනීමේදී එවුන් ඒ තැන්වලින් පන යාමේ සිද්ධියක් මේ නිර්මාණයට ඇතුළත්. අපි දකින ලස්සන පාරවල් ගොඩනැගිලිවලින් එහා ගිය සැබෑ ලෝකයේ කුරිරුකම් ගැන මේ නිර්මාණයෙන් කියනවා. තමාගේ පැවැත්ම වෙනුවෙන් මේ දරුවන් කළ ඉතා දැඩි සටනක් ගැනතමේ නිර්මාණයේ කියවෙනවා.

  1. තාරේ සමීපර්

සැවොම කොන් කළ, ඉගෙනීමට දුර්වල බවට කියවෙනඅතහැර දැමූ දරුවෙක් තම දක්ෂතාවයක් පරමාදර්ශී ගුරුවරයෙක් නිසා සොයාගනිමින් එය ඉදිරියට ගෙන ගියආකාරය මේ නිර්මාණයෙන් කියවෙනවා. අපි අපේ දරුවන් තුළ ඇති නිර්මාණගීලීත්වය හඳුනාගත යුතුයි. ඒ වගේම අනෙකාට ගරු කළ යුතු බවත් වටහා ගත යුතුයි. මේ සියල්ල අපේ දරුවන්ට අවබෝධ කළ යුතුයි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


                

අධ්‍යාපනය ලබන ඔබේ දරුවා ටත් වෙහෙස වැඩිද ?

ද්විතියික අධ්‍යාපනය ලබන දරුවන් සාංකාව වැනි අඩු මනෝභාවයන්ගෙන් පීඩා විඳින බව එංගලන්තයේ යෝක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් දරුවන් 6300 ක් සම්බන්ධ කර ගෙන ඇති අතර අවසානයේදී ලබා ගත් විශ්ලේෂනයන්ට අනුව පෙනී ගියේ සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු සාංකාව වැනි මානසික පීඩාවන්ගෙන් පසුවෙන බවයි. ඔවුන් ද්විතියික කාණ්ඩයට ගෙන ඇත්තේ හය වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පංති වල ඉගෙණුම ලබන දරුවන්.ඒ අතර මේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ 11 වන ශ්‍රේණියේ  ඉගෙනුම ලබන ගැහැණු දරුවන් අතර මෙම මානසික තත්වය වඩාත් උග්‍ර ලෙසින් දක්නට ලැබෙන බවයි.

සාංකාවට පත් දරුවෙකුගේ ලක්ෂණ

  • හදවතේ වේගවත් ගැස්ම
  • වේගයෙන් හුස්ම ගැනීම.
  • ප්‍රචණ්ඩත්වය සහ ඉක්මනින් කේන්ති යෑම
  • දහඩිය දැමීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවය
  • සිරුරේ වේදනාවන් සහ අපහසුතාවයන්

සමහර විට ඔබේ දරුවා වුනත් මේ අන්දමේ අපහසුතාවයන් ගැන පැමිණිළි කරන්න ඉඩ තිබෙනවා.එහෙම නැත්නම් දරුවාගේ හැසිරීම් රටාවෙන් ඔබට යම් අසාමාන්‍යතාවයක් පෙනී යනවා විය හැකියි.

දරුවන් මෙම මානසික තත්වයට පත් වෙන්නේ ඇයි…?

දරුවන්ගේ සාංකාව වැනි අඩු මනෝභාවයන් ඇති වීමට අද පාසල් පරිසරය වැඩියෙන්ම බලපානවා.අපි හිතන්නේ දරුවන් මෙවැනි මානසික පීඩනයට පත් වෙන්නේ විභාග මුල් කර ගත් මානසිකත්වයම  නිසා පවයි.ඒත් අපි නොදකින තත්වයකට දරුවා පාසලේදී මුහුණ දෙනවා.අද පංති කාමරය එහෙම නැත්නම් පාසල තුළ දරුවන් බියවැද්දීමේ ,තර්ජනය කිරීම වැනි පරිසර තත්වයන් නිර්මානය වී තිබෙනවා.ඒ වගේම මත් ද්‍රව්‍ය භාවිතය වගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන කණ්ඩායමට මකතු කර ගැනීම වෙනුවෙන් ඇති බලපෑම් සහ ඇතුළු නොවුන විට සිදු කරන අඩන්තේට්ටම් ඉතාම දරුනු විදිහට දරුවන්ගේ අඩු මනෝභාවයන් වෙනුවෙන් බලපානවා.

විෂය වෙනුවෙන් මුල් තැන..

දරුවන්ගේ අධ්‍යාපනයේදී පංතිය.පෙළපොත සහ විෂය නිර්දේශය මත පමණක් සීමි වීම එතරම් සුදුසු නැහැ. ඇත්තටම ජීවිතය කියන්නේ ”සිලබස්” එක නොවෙයි.ඒ නිසා ඔවුන්ට ”අ” යන්න කියන්න වගේම නටන්න..දුවන්න..ගැලපෙන ඉඩ පරිසරයක් පාපල වෙතින් ලබා දීම ඉතාම වැදගත්.විෂය මුල් කර ගෙන නිතරම ගැටෙන විට ඇති වෙන වෙහෙස දුරු කිරීමට ශාරිරිකව ක්‍රියාකාරී වීම ඉතාම වැදගත්.එවිට මොළයට යහපත් පරිදි ඔක්සිජන් පරිවහනය වීම නිසා දරුවා මනසින් අලුත් වෙනවා.ඒ වගේම නටන,ගයන සෞන්දර්ය ක්‍රියාකාරකම් නිසා දරුවාගේ වින්දනාත්මක බව වගේම සංවේදී සහ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය සමබර ලෙසින් පෝෂණය වෙනවා.

ආහාර රටාව

අද බොහෝ දෙමව්පියන්ගේ කාර්යබහුල ජීවන රටාව නිසා දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය පරිදි ආහාර රටාව ගැලපී නැහැ.සිරුරට අනවශ්‍ය පරිදි මේද ගබඩා වෙන ආහාර නිසා දරුවාගේ තරබාරුබවත්,අක්‍රියශිලී ජීවන රටාවත් නිසා ඔවුන්ගේ මානසික සතුට නොදැනීම අහිමි වීමට ඉඩ තිබෙනවා.ම් නිසා එළවළු,පළතුරු සහ තන්තු ආහාර වැඩියෙන් දරුවන්ගේ ආහාරයට එකතු කරන්න.

ජීවන රටාව වෙනස් කරන්න

එකාකාර ජිවන රටාවෙන් අත් මිදුනේ නැත්නම් ජිවිතයේ කිසිම රසවත් බවක් නැතැයි අපි දන්නා කරුණක්. වෙනස අපි අපේක්ෂා කරන්නේ විවිධ අත්දැකිම් උපයා ගැනිමටයි. අපේ දෛනික කටයුතු මොළයේ සෛල සමගත් සම්බන්ධයි. එකාකාරව කටයුතු කරන විට මෙම සෛලවල හැසිරිමත් එකාකාර රටාවකට සිදු වෙනවා.නමුත් ජිවන රටාවේ වෙනස්කම් සිදුවෙන විට සෛලවලින්ද අලුත් බවක් ගොඩ නැගෙනවා.ඒ නිසා දරුවන්ටත් එකකාර ජීවන රටාව මදකට හෝ වෙනස් කරමින් අලුත් බවක් ඇති වෙන අන්දමට දවස සැලසුම් කරන්න.

දරුවා හුදෙකලා චරිතයක් නොවිය යුතුය.

දරුවා හොදින් අධ්‍යාපනය ලැබීම ඔහුගේ ස්ථාවරත්වය හේතු වෙනවා යැයි ඔබ හිතනවා ඇති. ඒ නිසා අධයාපනයෙන් තොර ලෝකයක් නැති නිසා දරුවාගේ මානව සම්බන්ධතාවයන් ගැන දෙමව්පියන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන්න පුලුවනි. නමුත් දරුවා  ගොඩ නගා ගන්නා මානව සම්බන්ධතාවයන් නිසා ඔවුන්  සුරක්ෂිතය යන ධනාත්මක ආකල්පය ගොඩ නැගෙන අතර එය ස්නායු සෛල වෙනුවෙන් යෝග්‍ය ව්‍යායාමයක්ද වෙනවා.

.ඒ වගේම මුලින්ම දැක්වෙන අන්දමේ රෝග ලක්ෂණ ගැන දරුවා වාර්තා කලොත් එහෙම නැත්නම් ඔබට යම් සැකයක් හෝ නිමිත්තක් දැක්කොත් දරුවාගේ හැසිරීම ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න.ඔවුන්ගේ මෙම අඩු මනෝභාවයන් දුරු වෙන පරිදි කටයුතු සැලසුම් කිරීම එතැනින් හෝ පටන් ගන්න.

අම්මා තාත්තා වගේ ඉගෙන ගන්න

ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ දෙමව්පියන් උසස් අධයාපනයෙන් යම් මට්ටමක සිටිනවා නම් ඔවුන්ගේ දරුවන් අතර මානසික පීඩනය වැඩියෙන් දක්නට ලැබෙන බවයි.ඊට හේතුව වන්නේ නිතරම දෙමව්පියන් විසින් දරුවන්ට කියා සිටින්නේ ”අම්මා තාත්තා වගේ ඉගෙන නොගත්තොත් අපට ලැජ්ජයි…මේ නිසා ද්විතියික අධයාපනයේ පටන් දරුවන් මේ වෙහෙසකර තත්වයට පත් වෙන බැව් බොන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා.විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන නවක සිසුන් 70ක් තෝරා ගෙන ඔවුන්ගේ හිස්කබල ආසන්නයේ කෙස් ගස් තුනක් ලබා ගත්තා. එහිදී මෙම දරුවන්ගේ කෝටිසෝල් මට්ටම ඉහලින් තිබුණා.මෙම දරුවන්ගේ දෙමව්පියන් උසස් අධ්‍යාපනයක් ලබා සිටීම ඊට හේතුවක්.ඒ නිසා දරුවන් නිතරම තමන්ට දෙමව්පියන්ට සමාන උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වේදැයි වූ ආතතියෙන් පසු වෙන අතර දෙමව්පියන් උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා නැති දරුවන් අතර මේ ආතතිමය තත්වය දක්නට නොලැබීමත් තවත් විහේෂයක්.ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ ගමන නිදහසේ යෑහට ඉඩ දෙනු විනා අම්මා තාත්තා වගේ අධ්‍යාපනය ලැබිය යුතුය යන ඉලක්ක ලබා දීමත් නුවණට හුරු නැහැ. 

 

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

සිඟිති දියණියගේ කන විදීමට පෙර ඔබ දැන සිටියයුතුම දෙයක් | Dr. Samantha De Silva

සිඟිති දියණියකගේ කන විඳින්න සූදානම් දෙමව්පියන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? පුංචි දෝනිගේ කන විදින්න හොදම දවස මොකද්ද? දුවෙක් ලැබෙනවා කියන්නේ පවුලකට වගකීම් රාශියක් එකතු වීමක්. ඇයව ලස්සනට තියන්න අම්මලා ගොඩක් වෙහෙසෙනවා. ඔය අතරෙදි මුල් තැන ලැබෙන්නේ මේ පුන්චි සුරතලීගේ කන් පෙති වලට. එහෙමයි කියලා අපිට ඕනේ ඕනේ විදියට එයාගේ කන විදින්න පුලුවන්ද?

අසාමාන්‍ය කලලයක් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද? | Prof. Tiran Dias

නිරෝගී දරු පැටියෙක් කියන්නේ අම්මා තාත්තට වගේම රටට දැයටත් සම්පතක්. හැම අම්මා කෙනෙකුගේම එකම පැතුමත් ඒකමයි. ඒත් යම් ගැටලුවන් නිසා කුසේ වැඩෙන පුංචියාගේ තත්ත්වයේ වෙනසක් අහන්න වුනොත් අම්මා කෙනෙක්ට ඒක දරාගන්න නම් බැහැ. ඒත් වෛද්‍ය විද්‍යාවේ දියුනුවත් එක්ක අද වෙද්දි කුස තුල වැඩෙන දරුවාටත් ප්‍රතිකාර කළ හැකි ක්‍රම තියෙනවා.

නිවුන් දරුවන් පිළිසිඳ ගෙන නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න | Prof. Tiran Dias

නිවුන් දරුවන් ලැබෙන්නට ඉන්න ගැබිනි මවත් දැනුවත් විය යුතු කරුණු මොනවාද? එක දරුවෙක් කුසේ ඉද්දී දැනෙන සතුට වගේ දෙතුන් ගුණයක සතුටක් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට දැනෙනවා ඇති කියලා කවුරුත් හිතනවා. කී දෙනෙක් වුණත් දරුවෝ කියන්නේ සම්පතක්. අන්න ඒ නිසාම ගැබිනි මවකට දැනුවත් බව බොහොම වැදගත් වෙනවා. මේ උපදෙස් නිවුන් දරුවන් කුසේ දරාගෙන ඉන්න අම්මලාට.

මම තාත්තෙක් වෙන්න යන්නේ..

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනි…” යනුවෙන් ප්‍රේමකීර්ති අල්විස් ශූරීන් අකුරු ඇමිණුයේ  ආදරය වෙනුවෙනි.

අම්මා උපමා ලැබුයේ සඳටය. ඒ සඳට එළිය දෙන සදාතනික ආදරයේ හිරුඑළිය තාත්තාගෙනි.

මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ ” ( I’m pregnant ) හී සිටඅපි දෙමාපියන් වෙන්නයි යන්නේ” ( We are pregnant) දක්වා උණුසුම් ආදරණීය පණිවිඩය වෙනස් වුන විවෘත සමාජයක සිට ලියමි.

අළුතෙන්ම තාත්තෙක් වෙන්න යන කෙනෙක්ට ඇති වෙන හැඟීම් මොන වගේද? 

අද කතාව ඒ ගැන…

පිරිමි හිත් දැඩි බව අපි විශ්වාස කරන්නේ  අනාධිමත් කාලයක ඉදන්. උනත් තමන්ගේ ලේ  වලින් හැදුන පුංචි පැටියෙක් තමන්ගේ  ජීවන සහකාරියගේ කුසේ වැඩෙනවා කියන ආරංචිය ඔහුට දැනෙන්නෙ කොහොමදකවදාවත් ඔබ හිතුවදඅම්මෙක්  කුස දරන මුත් තාත්තෙක් සදහටම හිතේ දරන පියවත්කම වචන වලට හරවන්නේ කොහොමද?

 

“මට එක පාරටම මතක් උනේ මීට අවුරුදු තිස් පහකට කලින් මගේ තාත්තා එයාගේ දිනපොතේ ලෝකෙට හොරෙන් තියපු , මම මේ මෑතකදි දැකපු අකුරු පේලි කීපයක්…… ” පුතෙක් උපන්නා…. රන්කැටි පුතෙක් උපන්නා…”… එදා තාත්තා වින්ඳ ඒ හැඟීම… ඒ විදියටම ඊට වඩා වැඩියෙන් මටත් දැනුණා..කඳුලුත් එක්කම… ඔව්…. සමහරවිට තාත්තා එදා අඬන්නත් ඇති…. සතුටට…”

කුශාන් ප්‍රේමසිරි- පුංචි දුවෙක්ගේ තාත්තා

 

ඔබ තාත්තෙක් වෙන්න යන බව දැන ගන්නේ නොසිතූ මොහොතක නම්, ඔබ මෘදු කම්පනයන්ට ලක්වෙන බව, වික්ශිප්තභාවයට පත් වෙන බව හෝ බොහෝ විට කිසිම දෙයක් සිතා ගත නොහැකි සිතුවිලි රික්තයකට යන බව අපිට වටහා ගන්න පුලුවන්

ඔව් ඔබ ඒක සත්‍යයක් බව තේරුම් ගන්න පියවි ලෝකෙට එන්න යන පුංචි කාලසීමාවෙදීම ඔබ තාත්තා කෙනෙක්. ඒක කොයිතරම් සුන්දර හැගීමක්ද?

ඒත් සමහරවිට ඔබ තාත්තෙක් වෙන්න යන බව දැනගන්නේ ඔබේ  සහ ඔබේ සහකාරියගේ  සම්බන්ධතාවය දෙදරා ගිය හෝ යම් අභියෝගයකට ලක් වූ නපුරු නරක වෙලාවක නම් සමහර විට ඔබ තේරුම් ගන්න ඉගන ගනීවි ලේ බැඳීම් වතුර වලට වඩා බොහෝ ඝණකම්බව. ඔබට හිතේවි පළුදු වුන හිත් පිරියම් කරගෙන තමන්ගේ  පුංචි පැටියා වෙනුවෙන් ඉදිරියට යායුතු බව. එහෙම නැතිනම් දරුවාට මවයි පියයි දෙදෙනාම වී ( single parenting) වගකීම ගන්න ඔබට සිතේවි. මොන තෝරාගැනීම  ඔබ කලත්, ඔබ ආදරය යනු හුදෙක් නෛතික බැඳීමක් නොවන බවට ඔප්පු කරන හොඳ තාත්තා කෙනෙක් බවට පත් වේවි.

කාලයක්ම දරු සුරතල් බලන්න පෙරුම් පුරමින්  සාපල්‍යතාව ( fertility) සඳහා වන විවිධ ප්‍රතිකාර අත්හදා බැලූ , තම සහකාරියගේ මාසික ඔසප් වීමෙන් කැබළි වලට බිඳී ගිය හිත දරාගෙන උන්නු ස්වාමිපුරුෂයෙක් නම් ඔබ

අපේ පුංචි පැටියා එන්නයි යන්නෙ ආරංචිය තරම් ඔබව අමන්දානන්දයට පත් කල වෙනත් ආරංචියක් ඇතැයි අපට සිතා ගන්නට බෑ. ඔබ තරම් මේ මොහොතේ ආනන්දයෙන් පසුවෙන පිරිමියෙක් ඇත්තම් තවත් තාත්තා කෙනෙක් පමණයි.

 

පුංචි පැංචාගේ  ආගමනය ගැන බාහිර සමාජයට සන්නිවේදනය

———————————————————————

පුංචි පැටියට සති 12ක් වෙනකම් නිදහසේ කුස තුළ වර්ධනය වෙන්න ඉඩ හැරලා, ටික කාලයක් නිහඩව ඉන්නත්, පැංචා එන බව අන් අයට දැනුම් දීම කාලයේ ප්‍රමාද කිරීමත් සම්බන්ධයෙන් අළුත් තාත්තා කෙනෙක් විදිහට ඔබ ගත්ත තීරණයට සමාජයේ  අපි ගෞරව කරනවා.එය පොඩ්ඩක්වත් වැරදි නැහැ.

ඇතැම්විට පළමු ත්‍රයිමාසිකයේදී  සිදුවන ගබ්සාවීම්, විවිධ සංකූලතා, වැනි දේවල් දෙන්නා දෙමහල්ලොම තනිව දරාගනිමින් , වෛද්‍යවරයාට හෝ අනුබද්ධ කාර්‍ය්මණ්ඩලයට හැර වෙන කිසිවෙකුට නොපැවසීමට ඔබ ගත් තීරණය සමහර විට එසේ සිදුවන නරකම නපුරකින් පස්සෙ ඔබ සහ ඔබේ සහකාරියව සමාජය විසින් කරන දරුණු ප්‍රශ්න කිරිම් වලින් මුදවන බව අපිට විශ්වාසයි.

සහකරුවා හැටියට ඔබ තාත්තෙක් වෙන්න යන බව සමාජයට මුදා හැරියම,

සුභ පැතුම් මචං

දැන් ඉතින් උඹට party දාන්න වෙන්නෙ නෑ. දරු සුරතල් තමා…”

ආපෝ මොකට හදිස්සි උනාද?”

වගේ ප්‍රතිචාර වලට මුහුණ දෙන්න සිද්ධ වුනත් විවිධාකාර පුද්ගල වටහාගැනීම් සහ මතිමතාන්තර ගැන අළුත් තාත්තෙක් වෙන්න යන ඔබ මැදහත් සිතින් බලන බව අපට විශ්වාසයි.

 

පුංචි පැටියා මේ ලෝකෙට එනකම් අළුත් තාත්තාට පුළුවන්……

  • ජීවිත කාලය පුරාම දරන්න වෙන අළුත් වගකීමට මනස සකසා ගන්න.
  • තමන්ගේ සහකාරියගේ අවශ්‍යතා/උවමනා/ අපහසුතා වගේම ගර්භණී කාලයේදී හෝර්මෝන්  වෙනස්කම් නිසා ඇතිවන මානසික ස්භාවයන්ගේ වෙනස්කම් ( mood swings) ගැන දැනුවත් වෙන්න.
  • අම්මට දීර්ඝ ප්‍රසූත නිවාඩුවක් ලැබුනට තාත්තට එහෙම ලැබෙන්නෙ නැහැනේ. රාජකාරියයි, තමන්ගේ පුංචි පැටියයි නිසා ඉදිරියට වෙනස් වෙන්න යන ජීවිතේ දැන් ඉදන්ම කළමණාකරනය කරගන්න හෙමින් හෙමින් පටන් ගන්න.
  • සමහර ගැබ්දැරීම් ඉතා සංකීර්ණයි. අසීරූ සංකූලතා සහිතයි.ඔබ තමයි ඔබේ  සහකාරියට තිබෙන විශාලම ශක්තිය. ඉතින් අභියෝග ගැන දැනුම එකතු කරන්න.

 

අළුත් තාත්තෙක් වෙන්න යන ඔබේ වචන , හැසිරීම් සහ ආවේග සෘජුවම ඔබේ  සහකාරියටත් දෙවනුව ඇගේ  ගැබේ වැඩෙන පුංචි පැටියටත් බලපානවා. ඉතින් පුංචි පැටියා ගෙදර එනතුරු ගතවෙන මේ  කාලයේ  පීතෲභාවයේ අරුමැසිභාවය විදගන්න සූදානම් වෙන්න. ඔබේ හොඳම සහ විශ්වාසවන්තම මිතුරා දැනටමත් තාත්තෙක් වෙන අත්දැකීම විඳලා නම් ඔහු සමඟ ඔබේ අදහස් සහ සිතුවිලි බෙදාගෙන බලන්න.ඔබ නොසිතුවාට සමහරවිට මේ  කාලයේ ඔබට හොඳ ඇහුම්කන්දෙන්නෙක්ගේ  සහය අවශ්‍යය ඇති.

වගේම  කිසිම ගර්භණී කාලයක් තව කෙනෙක්ගේ  ගර්භණී කාලයට සමාන වෙන්නෙ නැහැ. ඔබ අන් අයගේ අදහස් අහනවා වගේම, ඒවා කිසිදිනෙක සංසන්දය නොකිරීමට වග බලාගන්නා වගකීම් සහගත සහකාරයෙක් වන බවත් අපි විශ්වාස කරනවා.

පුංචි පැටියාට, ඔබත් ඔබේ  සහකාරියත් සමාන අයිතිවාසිකම් වගේම සමාන වගකීම් දරනවා. නිසා දෙදෙනාගෙම අදහස් වලින් වඩා හොඳම අදහස ඔබ තෝරාගන්න මුල් වෙන බව අපිට විශ්වාසයි.

 

තාත්තෙක් වීම මොනතරම් වටිනා තෑග්ගක්ද? කාලය ඔබට උගන්නාවි.

 

අළුත් තාත්තට අපෙන් සුභ පැතුම් !!!!!

 

පුංචි දරුවන්ටත් ඩිප්‍රෙෂන් (විෂාදය) තිබෙනවාද? | Dr. Yashodha Rohanachandra

පුංචි දරුවන්ට ඩිප්‍රෙෂන් (විෂාදය) එනවා කියන්නේ ඇත්තක්ද? පොඩි දරුවන්ට මොන ඩිප්රේෂෙන්ද අනේ… වැඩිහිටියෝ පොඩි දරුවන් ගැන හිතන්නේ අන්න ඒ විදියට වුණත් පුංචි දරුවන්ට depreciation නෑ කියලද ඔබත් හිතන්නේ?

ඔබේ දරුවා අසාමාන්‍ය ලෙස දඟකාරයිද? | Dr. Yashodha Rohanachandra

දරුවෝ කොහොමත් දඟයි. ඒත් ඒ දඟකම් අසාමාන්‍යදැයි (අධි ක්‍රියාකාරී සහ අවධාන ඌනතා ඇති දරුවන්) මව්පියන් වන ඔබට හඳුනා ගන්නේ කොහොමද? මේ කතා කරන්නේ ඔබේ පුංචි දුව/පුතා ගැන වෙන්න බැරි නැහැ. ඒ නිසා බොහොම සාවදානව සවන් දෙන්න. ගැටලුවක් ඇත්නම් අවශ්යු උපදෙස් ප්ර තිකාර වෙත යොමු වෙන්න. Hyperactive Children | Attention deficit disorder