SHOW LESS
කේන්තිකාරයා සමග ගණුදෙනු කරමු.
දරුවෙක් යම් වයසකට පැමිණියාම තමන්ගේ අවශ්‍යතාවයන් එහෙම නැත්නම් හැඟීම් වචනයට නගලා අම්මාට තාත්තාට එහෙම නැත්නම් තමන් රැකබලා ගන්නා අය සමග සන්නිවේදනය කරන්න පුලුවනි.දරුවාගේ ඒ ඉල්ලීම මේ අය ප්‍රතික්ෂෙප කලොත් එය සාධාරණ කිරීමට කරුණු ඉදිරිපත් කරන්නත් යම් වයස් සීමාවකදී දරුවා දන්නවා.
නමුත්, තමන්ගේ හැඟීම් සහ අදහස් නිසි පරිදි සන්නිවේදනය කරන්න බැරි නම්…
අපි මෙහෙම හිතමු. හදිසියේ නගරයට යන දරුවා සාප්පුවේ තිබෙන සෙල්ලම් කාර් එකක් දැක එය ඉල්ලා සිටිනවා.නමුත් වෙලාවේ හැටියට එය මිළට ගැනීමේ වත්කමක් නැත්නම් ඔබ දරුවාට එය මිළට ගැනීමට නොහැකි බැව් කිව්වත් දරුවාට මේ කියමන සාධාරණ නැහැ. ඒ නිසා දරුවාගේ කෝපය මේ විදිහට ප්‍රකාශ වෙන්න පුලුවන්.
- බිම පෙරලීම
- හයියෙන් හැඬීම
- පහර දීම
- තමාව සපා ගැනීම
- අතට හසු වෙන දේ පොලවේ ගැසීම
- ඇඳුම් ඉරා ගැනීම
මේ වගේ විවිධ අන්දමින් දරුවා ප්‍රතිචාර දක්වන්න පුලුවන්.ඒ සියල්ලටම හේතුව දෙමව්පියන් කියන දෙය සහ තමාගේ අවශ්‍යතාවය දෙමව්පියන්ට දැණුම් දීමට තරම් වපසරියක් නොමැති වීමයි.මනෝ වෛද්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාට වැඩිහිටියන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම අපහසුයි. ඒ නිසා දරුවා කියන දෙය වැඩිහිටියන්ටත්,වැඩිහිටියන් කියන දේ දරුවන්ටත් නොතේරෙන නිසා මේ තත්වය නොදැනීම ඇති වෙනවා.
දරුවා නොසලකා ඉන්න එපා
දෙමව්පියන්ගේ වැඩ කටයුතු සමග දරුවා නොදැනීම අතපසු වෙන අවස්ථා තිබෙන්න පුලුවන්.ඒත් මහ ලොකුවට නොවෙයි, පුංචි පුංචි අවශ්‍යතාවයන් ගැන අම්මාට,තාත්තාට අමතක වෙන්න පුලුවනි. මේ වේලාවට දරුවා කෝපයට පත් වෙන්නේ ඒ විදිහට කෝප වීමෙන් තමන්ගේ ඉල්ලීමට හොද ප්‍රතිචාරයක් ලැබෙන බව ඔවුන් දන්නා නිසයි.
පුංචි කාලයේ අත්දැකීම් මතකත් ඇති
තොටිල්ලේ සිටින කාලයේදී බඩගින්න, මල මුත්‍ර පිටවීම,ශාරිරික අපහසුතාවය යන මේ හැම දෙයක්ම දරුවා මව්පියන්ට සන්නිවේදනය කළේ හැඬීමෙන්.දරුවා හඬන සැනින්ම අම්මා හෝ තාත්තා එතැනට ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය සොයා බලා කටයුතු කළා. තවමත් දරුවාගේ බලාපොරොත්තුව ඒ විදිහට මේ සියල්ල සිදු වෙයි කියලා. ඉතින් දැන් හඬන්නේ නැහැ.ඒ වෙනුවට සැර ගතියක් පෙන්වලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නා තැනට දරුවා පත් වෙනවා.
ඉතින් කේන්තියත් සමග ඉදිරියට යන්න දෙන්නත් බැහැ.
දරුවා කේන්තිකාරයෙක් කියලා අම්මා,තාත්තාට ඇස් වහගෙන ඉන්නත් බැහැ. කේන්තිය සමග දරුවාට ජීවත් වෙන්න ඉඩ දෙන්නත් බැහැ. කේන්තිය ඒ තරම් සුබවාදි සංකල්පයක් නොවෙයි.දරුවෙකු තුලින් නිරන්තරව කෝපය පිටවීම ඔවුන්ගේ ජීවිතයටත් සුදුසු දෙයක් නොවෙයි.
ඒ නිසා දරුවාටත් සැලසුමක් අනුව කටයුතු කිරීමට පුරුදු කරන්න.ආහාරපාන ලබා දෙන ,නිදා ගන්න, සෙල්ලම් කිරීමට රටාවක් ඇති නම් දරුවාද ඒ අනුව කටයුතු කරන්න පුරුදු වෙනවා. ඉඳහිට මේ රටාව දෙමව්පියන්ගේ කටයුතු සමග මග හැරෙන්න පුලුවන්.නමුත් දරුවා කෝප ගැනෙන තරම් පමාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ.
දරුවාගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න
දරුවාගේ අවශ්‍යතාවයන් ගැන දෙමව්පියන් තරම් දන්නා කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ බඩගින්න ඇති වෙන වේලාවට ආහාරපාන සකස් කර අවසාන කිරීම වගේම නින්ද අවශ්‍ය වේලාවට දරුවා නිදි කිරීම ඉතාම වැදගත්.එහෙම වුනාම දරුවාට කෝප වීමට කරුණු කාරණාවන් ඉතිරි වෙන්නේ නැහැ.
”බබාගේ භාෂාව” හදුනා ගන්න
දරුවා සහ දෙමව්පියන් අතර සන්නිවේදනයේ හොඳම මාධ්‍ය භාෂාවයි.ඒත් බබාගේ භාෂාව අම්මා තේරුම් නොගතහොත් දරුවා කේන්ති ගන්න පුලුවන්.ඊට හේතුව දරුවා කියන දේ මව්පියන්ට නොතේරෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ.ඒ නිසා දරුවාගේ භාෂාව සහ සංඥාවන් වටහා ගැනීමත් වැදගත්.සමහර විට දරුවා ”වතුර”,”මල”,සෙල්ලම් කාර් එක” හඳුන්වන විවිධ වචන තියෙන්න පුලුවන්.ඒ නිසා අම්මා,තාත්තාත් මේ ”බබාගේ භාෂාව” දැන ගෙන සිටීමත් දරුවාගේ කේන්තිය පාලනයට හොඳ මාර්ගයක්.
දරුවාටත් තීරණ ගැනීමට ඉඩක් දෙන්න
දරුවා පුංචි වුනත් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස දෙන්න. ඔවුන්ගේ මට්ටමින් තැමති ඇඳුම තෝරා ගන්න,කැමැති සෙල්ලමට ඉඩ දෙන්න බාධාවක් නැහැ.හැම දෙයක්ම දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් අනුව හැසිරවීමට නොයා දරුවාගේ මටට්මින් හෝ තීරණයක් නොව කැමැත්තක් කිරීමට අවසරයක් ලබා දෙන්න.
පුංචි වෙනස්කම් වගේම හොඳ දෙය අගයන්න
දරුවාගේ කේන්තිය වෙන අතකට යොමු කිරීමටත් ඔබට පුලුවනි. කේන්ති ගන්නා විට ඒ වෙනුවට වෙනත් දෙයක් පෙන්වන්න. එහෙම නැත්නම් දරුවා කැමැති සෙල්ලම් බඩුවක් ,ආහාරයක් අතට දෙන්න.කේන්තිය නොදැනීම මග හැරේවි. ඒ වගේම දරුවාගේ හොඳ දෙය අගයන්න.සුලුවෙන් හෝ ඇගයීමට දරුවා ප්‍රිය කරනු ඇති.
කෝපය ආයුධයක් කර ගන්න ඉඩ දෙන්න එපා
දරුවා කෝප වීමත් ඒ සමග ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වීමත් සමාන්තරව සිදු වුනොත් දරුවා කෝපය ආයුධයක් ලෙසින් පාවිච්චි කරනු ඇති. ඒ නිසා දරුවා කෝප වී යමක් ඉල්ලන විට ”ඔහොම ඉල්ලුවොත් දෙන්නේ නැහැ..ලස්සනට ඉල්ලන්න ..” යැයි කියන්න.එයිනුත් මෙල්ලනොවන විට දෙමව්පියන් විසින්ද සැර බවක් පෙන්වන්න.මේ සැර ගතිය සමග දරුවා සන්සුන් විය හැකියි.දරුවා සන්සුන් වූ පසුව කේන්තියේ ආදිනව පැහැදිලිව කියා දෙන්න.
කේන්ති ගන්නා දරුවන්ට කවුරුවත් කැමැති නැහැ…කේන්ති ගත්තාම දරුවා කැත වෙනවා..කවුරුවත්ම ආදරේ නැති වෙනවා.. මේවා දරුවාගේ කේන්තිය නිවුන පසුව ආදරයෙන් කියා දෙන්න.
පැටියාගේ මුහුණ හාපුරා දකින අවසරය තාත්තාටත් දෙමු
කාන්තාවක් අම්මෙක් බවට පත් වීම ජීවිතයේ බොහොම සුන්දර වගේම ජීවිතයත් මරණයත් අතර සටනක් කිව්වත් වරදක් නැහැ. දරුවාගේ ජීවිතය වගේම අම්මාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නිළධාරීන් දරණ වෙහෙසට අම්මාගේත් සහය අවශ්‍ය වෙනවා.හැම කාන්තාවක්ම මේ අවස්ථාවට එක අන්දමින් මුහුණ දෙන්නේ නැහැ. එක් එක් අයගේ ප්‍රතිචාරත් වෙනස්.නමුත් තමන්ගේ සැමියා හෝ ජීවිතයට හයිය දෙන පුද්ගලයෙක් ඇය සමග සිටිනවා නම් ප්‍රසුත කාර්යේදී ගැබිණි අම්මාට ඇත්තටම සහයෝගයක් ලැබෙයි නේද..
මේ සංකල්පය අපේ රටට නම් අලුත්..
අපේ රටේ තවමත් මේ වෙනුවෙන් අවසර නැති වුනත් ලෝකයේ බොහෝ රටවල බිරිදගේ දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී සැමියාට ඒ අසල සිටීමට අවසර තිබෙනවා. දැනට පෞද්ගලික රෝහල්වල නම් සැමියාට තමන්ගේ බිරිද දරු ප්‍රසුතිය සිදු කරන අවස්ථාවේදී ඇය සමග රෝහලේ රැදී සිටින්න පුලුවනි.නමුත් රජයේ රෝහල්වල තිබෙන තදබදය නිසා මෙ තත්වයක් වෙනුවෙන් අවස්ථාව සැලසීම ඇත්තටම අපහසුයි.ඒ වුනත් දරුවා ලැබෙන අවස්ථාවේදී අම්මා සමග ඇගේ හිතවත්ම සැමියා, සැමියාගේ අම්මා තමන්ගේ අම්මා හෝ පුංචි අම්මා ,සහෝදරියක් වැනි අයෙකුට රැඳී සිටින්නට අවස්ථාවක් ලැබෙනවා නම් මොන තරම් අගෙයිද කියලා ඔබට හිතෙනවාද…?
අපේ රටේ සංස්කෘතියේ එහෙම නැහැ.
ඔව් ඒක ඇත්ත. අපේ රටේ දරු ප්‍රසුතිය වෙනුවෙන් අතීතයේ පටන්ම සම්බන්ධ වුනේ කාන්තාවන් පමණයි.නිවසේ දරු ප්‍රසුතිය සිදුවුන යුගවලදී පවා සැමියා හිටියේ ඒ කාමරයේම පිටතින්.දරුවා ලැබුන වහාම කම්බායක් හෝ සරමක් යනුවෙන් ඔහු පියපදවිය ලද බවට වූ පණිවිඩය දැණුම් දෙනවා.මෙතැනදී නම් බිරිඳට තමන්ගේ සැමියා කාමරයෙන් පිටත හෝ සිටින බව දන්නවා.ඒත් කිලෝමීටර් ගණනාවක් දුරින් වූ රජයේ රෝහලකදී ඇය තනියම මේ බර සැමැල්ලු කර ගත යුතුයි.
රජවරුන්ටවත් තිඹිරි ගෙදර ඉන්න අවසර තිබුනේ නැහැ.
රජකතාවක වුනත් පියරජතුමා හිටියේ සුතිකාගාරයට පිටතින්.ඔබ බලන චිත්‍රපටයකම වුනත් පියාට දරුවා ප්‍රසුත කරන තැනට පැමිණීමට අවසරයක් තිබුනේ නැහැ.අද සිංහල චිත්‍රපටවල වුනත් මේ සම්ප්‍රදාය චිත්‍රපටයටවත් කඩ කරන්නේ නැහැ.උදාහරණයක් විදිහට ගම්පෙරලිය වැනි චිත්‍රපට නරඹන විටත් ඔබට මේ බැව් දැක ගන්න පුලුවනි.නමුත් පියා තම බිරිඳ දරුවා ප්‍රසුත කරන පණිවිඩය ලැබෙන තෙක් දැනෙන මානසික අපහසුතාවය මේ චිත්‍රපටවලදී වුනත් පෙනෙනවා ඇති. ඒ චිත්‍රපටයට විතරක් නොවෙයි..
ඇත්තටම මේ මානසික තත්වය සැබෑ ජීවිතයටත් පොදුයි. සැමියා වුනත් මේ අවස්ථාවේදී දරන්නේ නොසෑහෙන පීඩනයක්.ඔහු බිරිඳ සමග සිටිනවා නම් මේ මානසික අපහසුතාවයෙන් සැමියාටත් නිදහස් විය හැකියි. සුතිකාගාරයේ අසල ඇති දැන්වීම් පුවරුවේ බිරිඳගේ නම ප්‍රදර්ශනය වෙන තෙක් තිබෙන නොඉවසිල්ල ගැන මේ අත්දැකීම ලත් පියවරුන් දන්නවා ඇති.
බිරිදටත් හයියයක්
තමන්ගේ කියා කවුරුන් හෝ මේ අවස්ථාවේදි තමා වෙත සිටිනවා නම් ඇයට ඇති චිත්ත ශක්තිය ගැන කියන්නට වචන ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ තරමටම ඇය සුරක්ෂිතයි.
වේදනාව දරා ගන්නත් පුලුවන් වේවි
සමහර විට බොහෝ දෙනෙක් මේ විදිහට කියන්න පුලුවනි.කවුරු සිටියත් ගැබ සැහැල්ලු කරන වේදනාව දරා ගන්න එපායැ. ඒක ඇත්ත ඒ වුනත් තමන්ගේ හිතේ ගොඩනැගෙන ශක්තිය නිසා වේදනාව දරා ගැනීමේ මානසික ශක්තිය නිසාම දරු ප්‍රසුතිය පවා පහසු වේවි
බිරිඳ ගැන වටිනාකම් ගොඩ නැගෙන්නත් පුලුවනි.
නිවසේ බොහොම සැප විහරනයෙන් ගෙවන, පුංචි තුවාලයක්වත් දරා ගත නොහැකිව සුරතල් වෙන තමන්ගේ බිරින්දෑ සුතිකාගාරයේදී දරණ වෙහෙස හා වේදනාව සැමියාගේ ඇස් ඉදිරිපිටම දැක ගැනීමට ලැබෙනවා.ඒ නිසා තමන්ගේ බිරින්දෑ මේ තරම් වේදනාවක් දරන්නට තරම් ශක්ති සම්පන්නදැයි වූ බිරිඳ මුල් කර ගත් අභිමානයක්ද ඇති වෙනවා.
දෙමව්පියන් පමණට වඩා දරුවන්ට ආධිපත්‍ය දක්වන්න එපා.
අම්මා ,තාත්තා දරුවන්ට සැරට ඉන්නේ ඇත්තටම ආදරය නැතුවාම නොවෙයි.සමහර දෙමව්පියන් හිතන්නේ දරුවන්ට පමණට වඩා ලං වුනොත් ඔවුන්ගේ බය සැක නැති වෙලා යහ මගට ගැනීමටත් බැරි වෙන තරම් නරක දෙයක් කියලා.තවත් දෙමව්පියන් නිතරම තමන්ගේම අණසක යටතේ දරුවන් මට්ටු කර ගැනීමට උත්සාහ ගන්නවා.
දෙමව්පියන්ගේ පැත්තෙන් මේ රටාව හරිද..?
ඔව්..හැම දෙමව්පියෙකුටම උවමනා වෙන්නේ තමන්ගේ දරුවාට අනාගතයක් සූදානම් කිරීම. ඒ නනිසාම දරුවා බාල කාලයේ පටන්ම පාලනයක් යටතේ ඔවුන් ගොඩ නැගීමට දෙමව්පියන් උත්සාහ කරනවා.ඒ වුනත් මේ දැඩි පාලනය දරුවාගේ මානසිකත්වයට වගේම ඔවුන්ගේ පෞරෂය වෙනුවෙන් එතරම් ඵලදායී නොවන බව වර්ජිනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙනවා.අද දවසේ දෙමව්පියන්ගේ දැඩි පාලනයට නතු වුනත්
මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි..
මේ අධ්‍යනයේ නියැදිය බොහොම සාර්ථකයි.දැන් ඔබ හිතයි ඇයි එහෙම කියන්නේ..මේ අධ්‍යනය දවසකින් දෙකකින් අවසාන වුනේ නැහැ.අධ්‍යනය වෙනුවෙන් තෝරා ගත්තේ ඇමරිකා ගිණිකොන දිග ප්‍රදේශයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වුන දරුවන්184 ක් සම්බන්ධ කර ගත්තා ඔවුන් මේ අධ්‍යනයේදී දරුවාගේ වයස 13 අවුරුදු සිට 32 දක්වා වසර 19 ක තරම් වූ කාලය පුරා දිගටම ඔවුන්ගේ තොරතුරු එක් රැස් කළා. මේ පර්යේෂන ”අන්වා යැමේ “ක්‍රමවේදයට සිදු වූවක්. මෙතැනදී හැම වසරකදීම නිවසේ තත්වය,දරුවාගේ මානසිකත්වය, දෙමව්පියන් සහ දරුවා අතර පවත්නා සම්බන්ධතාවය පර්යේෂක කණ්ඩායමේ අවධානයට පත් වුණා.
ආදර සම්බන්ධතාවයන්හිදී සාර්ථක වුනේ නැහැ.
අද දරුවා හෙට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගත යුතු චරිතයක්.ඒ නිසා දරුවන්ට වුනත් ආදරය ගැන හැඟීම් දැනීම් ඇති වෙනවා.එය අමුත්තක් නොවෙයි.මෙතැන ගැටළුව ඇති වෙන්නේ නිසි වයසට පෙරාතුව ආදර සම්බන්ධතාවයන් පටන් ගැනීමයි.සමහර විට දෙමව්පියන්ගේ දැඩි පාලනයට හසු වෙලා ඉන්න නිසාම දරුවා ඒ පැත්තට යොමු වෙන එකක් නැහැ.ඒත් නිසි වයසේදී ඔවුන් පවුලක් ගොඩ නගා ගත්තාම මොකද වෙන්නේ..?
ආදර සම්බන්ධතාවයන් පවත්වා ගැනීමට නොහැකි වීමත් ගැටළුවක්..
දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් වෙලා තමන්ගේම ජීවිතයක් පටන් ගන්නවා.ඒ ජීවිතයේදී ඔහු වැඩිහිටියෙක්.නමුත් වයස අවුරුදු 13 ක් වැනි කාලයේදී පවා දෙමව්පියන්ගේ දැඩි තීරණ මත යැපුන දරුවෙකුට තම සැමියා හෝ බිරිඳ සමග ආදරයෙන් ජීවිතය ගොඩ නගා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙනවා.ඒ නිසා යම් වයසකදී දරුවන් වෙනුවෙන් පනවා තිබෙන දැඩි පාලනයෙන් ටිකක් දුරස් වීමත් වඩාත් හොදයි.
ඉගෙනීමේ හැකියාවන් දුර්වල වීම
මේ දරුවන්ට ඉගෙනීමේ හැකියාවන් නැතුවා නොවෙයි.නමුත් බාල කාලයේ මුහුණ දුන් දැඩි පීඩනය නිසා ඉගෙනීමේදී සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ.ගණිතය වැනි විෂයන්හිදී තාර්තික ඥානයෙන් දුර්වලයි. සෞන්දර්ය කටයුතු පැත්තෙන් පවා මේ දරුවන් හැකියාවන් පෙන්වන්නේ නැහැ..නමුත් ඔවුන් සහජ බුද්ධියෙන් දුර්වල පිරිසක් නොවෙයි.බාල කාලයේදී දෙමව්පියන්ගේ දැඩි පාලනය නිසාම මේ දරුවන්ගේ ඉගෙනීමේ හැකියාවන් නොදැනීම පසුගාමී තත්වයකට පත්ව ඇති බැව් වර්ජිණියා පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
මහජන සම්බන්ධතාවයන්හිදී ඉතාම දුර්වලයි.
අපි කාටවත් තනිවම ජීවත් වෙන්න බැහැ.සමාජ සම්බන්ධතාවයන් අවශ්‍ය වෙනවාමයි.ඒ වගේම සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නා ශිල්පයත් දැනගෙන සිටම වැදගත්.දෙමව්පියන් සමග සිටින විට නම් ඒ අනුව හැසිරෙන නිසා මේ සම්බන්ධතාවයන් ගැන දරුවන්ට දැණුමක් නැහැ. නමුත් ඔවුන් ස්වාධීනව ජීවිතය ගොඩ නගා ගත් දිනට සමාජ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම ජීවිතයේ අවශ්‍යතාවයක් බව අමතක කරන්න එපා.නමුත් පුංචි කාලයේ පටන්ම දෙමව්පියන්ගේ අණසකට යටත්ව,ඔවුන් විසින්ම මෙහෙයවන සහ දෙවියන්වහන්සේ කිව්වත් දරුවන් වෙනුවෙන් ගත් තීරණ වෙනස් නොකරන දෙමව්පියන් යටතේ සිටින දරුවන්ට පසුකාලයකදී සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම අපහසු වෙනවා.
වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන පත්‍රිකාවක තොරතුරු ඇසුරිනි
දරුවන්ගේ අනාගතය ලොක්ඩවුන් විය යුතු නැහැ.
කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂාව සදහා ලෝකයේ සෑම රටක්ම පාහේ අනුගමනය කළ ලොක්ඩවුන් ක්‍රියාවලියේ පසුවිපාක ගැන දැන් කතා බහ පටන් ගෙන තිබෙනවා. සමාජ දුරස්ථබව ඇති කිරීම වෙනුවෙන් ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය සාර්ථක වුනත් මේ නිසා තරුණ කණ්ඩායම්වල අනාගතයේ පැවැත්ම ගැන නම් එතරම් සුබවාදී ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ.
තරුණ පිරිස්වල මානසික පීඩනය වැඩි වීමට ඉඩ
වයස අවුරුදු 10 සිට 24 පරාසයේ පිරිස් අතර අන්තර් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්. මේ ඔවුන්ගේ මොළයේ වර්ධනය සිදු වෙන කාලයක්.ඒ නිසාම මේ දරුවන් සමාජය ප්‍රිය කරනවා.ඔවුන් සෘජු අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නග ගැනීමට බොහොම කැමැත්තෙන් සිටිනවා.
ඒ වුනත් පැවැති තත්වය නිසා වෙනත් කිසිදු විකල්පයක් නොවුන තැන සිදු වුන ලොක්ඩවුන් තත්වය නිසා තරුණ දරුවන් නොදැනීම හුදෙකලා වුණා. මේ වෙනුවෙන් හැම රටක්ම බොහොම උජාරුවෙන් සදහන් කරන්නේ මාර්ගගත අන්දමින් එහෙමත් නැත්වම් වර්චුවල් තාක්ෂණය මගින් සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට කටයුතු සිදු කළ බවයි.නමුත් මේ අතථ්‍ය ලෝකයේ සම්බන්ධතාවයන් දරුවන්ගේ වැඩෙන මොළයේ සංවර්ධනයට සාර්ථක විසදුමක් නොවන බැව් පර්යේෂකයන් පෙන්වා දෙනවා.
හුදෙකලාව
ලොක්ඩවුන් සීමා සහ පාසල් වසා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන්ට සිදු විය හැකි මානසික බලපෑම් පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවති.හුදෙකලා වීම (Isolate) සහ සිය සගයන්ගෙන් වෙන්ව සිටීම ඔවුහු ඊට හේතු වශයෙන් පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය (Unicef) පවසන පරිදි වසංගතයේ මුල් කාලයේ සමීක්ෂණ සඳහා යොදා ගත් දරුවන් සිය පවුලෙන් සහ මිතුරන්ගෙන් හුදෙකලා වී සිටීම පිළිබඳ පසුතැවිල්ලෙන් පසු වුණා.ඒ වගේම කොරෝනා වෛරසය ආසාදනය වීම සහ එයින් තමන් සහ පවුලේ අය මරණයට පත් වනු ඇතැයි බියකින්ද දරුවන් පීඩාවට පත්ව සිටියා.
නිරිත දිග ජර්මනියේ ගුරුවරියක් වන උර්සුලා ග්‍රාස් සඳහන් කරන්නේ” පළමු සතියේ එය විනෝදයක් වුනා. මොකද පාසල් යන්න නැති නිසා. ඒත් ඉතාමත් ඉක්මනින් ළමයි කනස්සල්ලට (Anxious) පත් වෙනවා,ඒ වගේම නිවසේදී, හුදෙකලා වීම කියන ප්‍රශ්නයත් එක්ක ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වුණා.
ඔන්ලයින් මගින් උගන්වනවානේ..
“ගුරුවරු උගන්වන්නේ ගණිතය, භාෂා සහ වෙනත් විෂයන් පමණක් නොවෙයි. සමාජගත වෙන්නේ කොහොමද, වෙනත් අයගේ ගැටලුවක් දෙස ඔවුන්ගේ පැත්තෙන් සිතා බැලීම, අන් අය සමග සෙල්ලම් කරන ආකාරය වගේ දේවල් ඔවුන් ළමුන්ට කියා දෙනවා ,” යනුවෙන් උර්සුලා ග්‍රාස් සදහන් කරනවා. ඒ නිසා ලොක්ඩවුන් වීම සමග දරුවන්ට අහිමි වුනේ පාසල විතරක් නොවෙයි.
දරුවන් කැමැත්තක් දක්වන්නේ සමුහයක් සමග සිටීමටයි.
බැඩ්මින්ටන් පිට්ටණියක් ආහ්‍රිතව සිදු කරන ලද එක් අධ්‍යනයකදී අනාවරණය කර ගත් පරිදි වැඩි පිරිසක් ඉදිරියේ ක්‍රිඩා කරන විට පිරිසක් අඩුව ක්‍රිඩා කිරීමේදී දක්වන දක්ෂකමට වඩා වැඩියෙන් ප්‍රදර්ශනය කරන බව හදුනාගෙන තිබෙනවා.මේ අනුව පර්යේෂකයන් සදහන් කරන්නේ සමාජය සමග සම්බන්ධවීම එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් බවයි.
වැඩිහිටි මානසිකත්වයට වඩා දරුවෙකුගේ මානසික තත්වය බොහොම වෙනස්.ඔවුන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ නැහැ. නිහඬව විඳවනවා. මේ තත්වය නිසා දරුවන්ගේ මානසික ගැටළු ඔවුන් සමගම ඉදිරියට යෑම ඉතාම අනතුරුදායකයි.ලෝකයේ කිසිම කෙනෙකු බලාපොරොත්තු නොවුන කොවිඩ් 19 වසංගත තත්වය නිසා සිදු වුන ලොක්ඩවුන් තත්වයේ පසුවිපාක ඉදිරි පරමිපරාවට ඉතාම අනතුරුදායක ලෙසින් බලපෑමට ඉඩ ඇති බැව් දැන් අලුත්ම අධ්‍යනයක් මගින් හදුනා ගෙන තිබෙනවා. ඒ නිසා දෙමව්පියන් විසින් දරුවන් සමග සමීප වී කොවිඩ් 19 පාරිසරික මානසිකත්වය නිසා ඔවුන්ගේ අනාගත ජීවිතයත් ලොක්ඩවුන් වීමට ඉඩ දිය යුතු නැහැ.
චූටියාට අවුරුදු තුනකුත් උනා. දැන් මෙතන ඉදලා කොහොමද?
දැන් නම් අම්මාට චූටි පැටියා ගැන හොඳ අවබෝධයක් වගේම දැනුවත් බවකුත් තියෙනවා. චූටියා උස් මහත් කරගන්න එක නම් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි වුණත් මේ හුරතල් මැද්දේ අම්මාට දැනෙන වෙහෙස නම් නිකම්ම නැති වෙලා යනවා. දවසින් දවස අලුත් අලුත් දේවල් චූටියා ඉගෙන ගන්නේ කොහොමද කියලා හිතද්දී පුදුමත් හිතෙනවා නේද?
දැන් අපි බලමු මේ චූටියාගේ අවුරුදු තුනේ ඉඳලා අවුරුදු පහ වෙකන් කාලය ගත වෙන්නේ කොහොමද කියලා වගේම මොනවද චූටියාගේ ශාරීරික හා මනසික ක්‍රියාකාරකම් කියලත්
වයස අවුරුදු 3 සිට 5 දක්වා චූටියාගේ කායික ක්‍රියාකාරකම්
- ඇඳුම් ගැලවීම, ඇඳුම් ඇඳීම සිදු කරයි. නමුත් පුංචි සහයෝගයක් චූටියාට අවශ්‍ය වෙනවා.
- පහසුවෙන් තනි කකුලෙන් පැනීම, දිවීම කරයි.
- කකුල් මාරු කර පඩි නගියි.
- බර යමක් විසි කරයි.
- අත් දෙකෙන් බෝලය ඇල්ලීමට උත්සහ කරයි.
- සෙල්ලම් පිටිවල ඇති උස් ස්ථානවලට තනිව නගියි.
- මහපටඟිල්ල හා දබරඟිල්ල අතර පැන්සල රඳවයි.
- විවිධ වර්ගයේ හැඩතල ඇඳීම අනුකරණය කරයි.
- කතුර හසුරවමින් කඩදාසි කපයි.
- වැසිකිලි යාම තනිව කරයි.
- සරල දේවල් ඉගෙනීමෙන් සතුටු වේ.
චූටියාගේ සමාජීය සංවර්ධනය
- අන් ළමුන් සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටු වේ.
- විශේෂිත යහලුවෙකු සිටිය හැක.
- සම වයස් අය සමඟ බෙදාහදා ගැනීම, සිනහසීම කරයි.
- සම වයස් දරුවන් එකෙකු හෝ දෙදෙනෙක් සමඟ යම් වස්තුවක් එකිනෙක සම්බන්ධ කරයි.
චූටියාගේ භාෂාව හා සන්නිවේදන හැකියාවන්
- විරුද්ධ පද හඳුනාගනී. උදා: ලොකු – කුඩා, ස්ථාන හඟවන පද, මැද, අවසානය
- යම් යම් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ගොඩනැඟීම් කරයි. උදා: වැලි, වතුර, බ්ලොක්ස්
- බ්ලොක් 8 – 10 උපයෝගී කරගෙන කුලුණක් සාදයි.
- සරල ප්‍රශවලට පිළිතුරු දෙයි.
- දීර්ඝ අවධානයක් පවතී.
- සෙල්ලම් කරන විට තනිව කතා කරයි.
- සරල උපදෙස් අනුගමනය කරයි.
- සරල ඉල්ලීම් අනුගමනය කරයි. උදව් කිරීමෙන් සතුටු වේ.
- සමහර අංක හා අකුරු ලියයි.
- චරිත බොරුවට මවාපාන් රඟදක්වයි.
- යම් යම් අවස්ථා මතක් කරයි.
- යම් යම් දේවල් ගණන් කරමින් අල්ලයි.
චූටියා වයස අවුරුදු 4 – 5 වන විට
- තනිව ඇඳුම් අඳියි.
- තනි කකුලෙන් පනියි.
- සරල මිනිස් රුව අදියි.
- සෙල්ලම් කරන විට අන් අය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරයි.
- ක්‍රියා පදය අතීත, වර්තමාන, අනාගත කාලවලට අනුව නිවැරදිව භාවිත කරමින් පින්තූර විස්තර කරයි.
- තම නම, වයස ප්‍රකාශ කළ හැක.
චූටියාග් මානසික වර්ධනය සඳහා
- තනි කකුලෙන් පැනීමට අවස්ථාව දෙන්න.
- සෙල්ලම් බඩු එකට ගොඩගැසීමට හා ක්‍රමානුකූලව අසුරා තැබීමට අවස්ථාව සලසන්න.
- නොයෙක් රූප හා වර්ණ හඳුනා ගැනීමට අවස්ථාව දෙන්න.
- තනිව තම කකුල් සෝදා පිස ගැනීමට අවස්ථාව දෙන්න.
- පින්තූර කැපීමට අවස්ථාව දෙන්න.
- තම ඇඳුම්වල බොත්තම් දමා ගැනීමට හුරු කරන්න.
- “ස්තූතියි, කරුණාකර” වැනි වචන භාවිත කළ යුතු සමාජ ආචාර හුරුකරන්න.
- දරුවා අසන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න. බොරු පිළිතුරු හෝ පිළිතුරු දීම ප්‍රමාද කිරීමෙන් වළකින්න.
- කඩේට යාම, ආහාර පිසීම, සෙල්ලම් බඩු පිළිවෙළකට අසුරා තැබීමට සහභාගී කරවාගන්න.
ඔන්න, චූටියාගේ දෙමාපියන්ට උපදෙස්
- ධනාත්මක මඟපෙන්නවීම් කරන්න. සෘණාත්මක මඟපෙන්වීම් වලින් වළකින්න.
- දරුවන්ගේ වැරදි ඔවුනට ඇසෙන සේ වෙනත් කෙනෙකුට කීමෙන් වළකින්න. එවිට දරුවා වේදනාවක් ඇතිවන අතර දෙමාපියන් පිළිබඳව පිළිකුලක්ද ඇති විය හැක.
- දරුවාට යම් ප්‍රශ්නයක් ඇති වූ විට වහා මැදිහත් වීමෙන් හා එය විසදීමෙන් වළකින්න. ඒ වෙනුවට දරුවා සමඟ එකතු වී ගැටලුව විසඳගන්න.
- දරුවා වෙනත් දරුවෙකු සමඟ සැසදීමෙන් වළකින්න.
- දරුවාගේ අයහපත් චර්යාවන් ප්‍රතික්ෂේප කරන්න. යහපත් චර්යාවලට අවධානය දක්වන්න.
- දෙමාපියන් තම ළමුන් හික්මවීමට යොදාගන්න ක්‍රම පිළිබඳව එකඟත්වයක් තිබිය යුතුය
- එකම වැරැද්ද සඳහා දෙන දඬුවම සියලු දරුවන්ට සමාන විය යුතුයි.
- පුහු තර්ජන කිරීමෙන් වළකින්න. කියන දේ කරන්න. කළ හැකි දේ පමණක් කියන්න.
- දරුවන්ගෙන් අසාධාරණ ඉල්ලීම් නොකරන්න.
- ළමුන් සමඟ කතා කරමින් අන්තර් සබඳතා පවත්වන්න. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පැහැදිලිව පවසන්න. වැඩිමහලු ළමුන් සමඟ තර්කානුකූල සංවාදයක යෙදෙන්න.
චූටියාගේ හැඟීම් හා ආවේග ශක්තිමත් කිරීමට නම්
- පැහැදිලි සාධාරණ නීති දරුවාට ලබාදෙන්න. දරුවා හොඳින් හැසිරෙන විට ප්‍රශංසා කරන්න.
- හැඟීම් ප්‍රකාශ කිරීමට උනන්දු කරවන්න. ඔබ පොත පත කියවන්න. එහි ඇති චරිතවල හැඟීම් කර පෙන්වන්න.
- රූපවාහිනී, Smart phone පරිගණකවලින් දරුවා ඈත් කර තබන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
හුරතල් පූස් පැටියාගෙනුත් ගැබිනි මවට අවදානමක් ඇති විය හැකි බව ඔබ හිතලා නෑ නේද?
සුරතල් සතුන්ට අපි කවුරුත් ආසයි. පුංචි පූස් පැටියෙක් ගෙදර ඉන්නවා නම් අපේ තුරුලට ඇවිත් හුරතල් වෙන්න එයා කැමතියි වගේම මේ පුංචි සුරතලා අතේ තියාගෙන හුරතල් කරන්න ලොකු පොඩි භේදයක් නැතිව අපි කවුරුත් ආසයි. විශේෂයෙන්ම ගැහැනු දරුවෝ. හොඳින් පිරිසිදු කරලා, එන්නත් ලබාදීලා තමන්ගේ ගෙදර ආදරෙන් ඇති කරන පුංචි සුරතලාගෙන් තමන්ට අනතුරක් ඇති කියලා හිතන්න අපි කවුරුත් අකමැති. ඒත් අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. අද කතා කරන්න යන්නෙත් ඒ වගේ වැදගත් කරුණක් ගැන.
තනි සෛලයින් යුතු Toxoplasma Gonadi නම් පරපෝෂිතයා පූසන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බව ඔබ අසා ඇති. එම පරපෝෂිතයා එම සුරතලුන්ගේ මලපහවලට මුසු වන අතරම ඒ හරහා පිටතට පැමිණීමත් සමග ඒ වෙත අප නිරාවරණය වීම නිසා රෝගී තත්ත්ව ඇති විය හැකියි.
ලෝකය පුරාම මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන අටකට පමණ මෙම පරපෝෂිත ආසාධනය පවතී. මෙම පරපෝෂිතයා මිනිස් සිරුරේ මෙන්ම වෙනත් සතුන්ගේ සිරුර තුළද බොහෝ කාලයක් පැවතිය හැක. සමහරවිට රෝග තත්ත්වය පෙන්නුම් නොකර ජීවිත කාලය පුරාවට මෙම ජීවියා ශරීර ගත වී සිටිය හැකි සේම රෝගය සෑදුනද ඉතා සුළු රෝග ලක්‍ෂණ පෙන්විය හැකියි. නිරෝගී පුද්ගලයෙකුගේ ප‍්‍රතීශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වන තරමටම රෝග ලක්‍ෂණ නොපෙන්වා සිටී. නමුත් ගර්භණී කාලයේදී යම් තරමකට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය පහත වැටෙන නිසා රෝග ලක්‍ෂණ පෙන්විය හැක. මවට ඇති වන මෙම රෝගය පෙකණිවැල හරහා මවගෙන් දරුවාට පරපෝෂිතයන් ඇතුළු විය හැක. මෙම තත්ත්වයට මුහුණ දිය හැකි අවදානම් අය ලෙස ගර්භණීතාවයට පෙර හෝ ගර්භණී කාලයේදී ආසාධන වූ මව්වරුන් හා දරුවන් මෙන්ම ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තද බල ලෙස දුර්වල වූ එනම් පිළිකා රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, ඒඩ්ස් රෝගීන් දැක්විය හැකිය.
ගැබිනි සමයේ මුල් සති 10 – 24 කාලයේදී රෝගය වැළඳුනහොත් දරුවාට ඇති වන බලපෑම අඩුවන අතර මාස 9 දී ඇති වුවහොත් බලපෑම වැඩිය.
Toxoplasma Gonadi ආසාදනයේ ලක්‍ෂණ
- ඉදුමුණු වසා ගැටිති
- හිසරදය
- මද උණ
- පේශී වේදනාව
- අධික වෙහෙස
- ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නියමිත ලෙස ක‍්‍රියාත්මක නොවූ නිසා වෙනත් ලක්‍ෂණ
- ව්‍යාකූල බව
- සම්බන්ධීකරණ කිරීම අඩු වීම
- ආක්ෂේප
- ස්වසන අපහසුව
- දෑස් බොඳවීම
මෙම ජීවියා මගින් ළදරුවෙකු තීව‍්‍ර ලෙස ආසාධන වුවහොත් ඔහුගේ/ඇයගේ මොළය, ඇස් යන ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති විය හැකි අතරම ගැබිනි මවක් මේ තත්ත්වයට ගොදුරු වීම ගබ්සාවන් හෝ මළ දරු උපත් ඇති වීමට හේතු විය හැකිය. ආසාධිතව සිටි දරුවෙකු උපදින විට සැලකිය යුතු හානියක් ඇති නොවුනත් පසු කාලයේදී මොළයේ හා ඇස් වල ගැටලු ඇති වීමට හැකියාව ඇත.
සුරතල් සතුන් මගින් හැර මෙම පරපෝෂිතයන් ඇතුළු විය හැකි වෙනත් මාර්ග
- නොපිසන ලද අපිරිසිදු තත්ත්වයේ ඇතැම් සත්ව ආහාර වර්ග
විශේෂයෙන් ඌරන්, බැටලූවන්, කටුව සහිත මාලූ (දැල්ලා, කකුලූවා) වැනි සතුන් මගින්
- අපිරිසිදු දෑත් මගින් ආහාර ගැනීම/ඇල්ලීම
- දූෂිත අමු මාළු, මස් මගින් දුෂණය වූ පිහිය කැපුම් ලෑල්ල වැනි උපකරණවලින් වෙනත් ආහාර වර්ග කැපීමෙන්.
- අපිරිසිදු ජලය මගින්
- උපතේදී මවගෙන් ළදරුවාට
- ආසාධිත පුද්ගලයකුගේ අවයව බද්ධ කිරීමෙන්
- ආසාධිත රුධිර පාරවිලයනය මගින් (ඉතා කලාතුරකින්)
මෙම තත්ත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට
- ආහාර නියමිත ආරක්‍ෂිත උෂ්ණත්වයක පිසීම
- කෑමට ගන්නා එළවළු, පළතුරු හොඳින් සේදීම හෝ පොතු ඉවත් කිරීම
- නොපිසින ලද දැල්ලන්, කකුළුවන් ආහාරයට නොගැනීම. අමු මස්, බැටළු, ඌරන්
- පැස්ටරීකරණය නොකළ එළු කිරි ආහාරයට ගැනීම.
- අමු මස්, මාළු කපන ලද පිහිය, ලෑල්ල හොඳින් සබන් යොදා සේදීම
- ගෙවතු වගාව, මල් වගා කිරීමේදී අත් මේස් පැළඳීම හෝ අත් හොඳින් සේදීම
- බළලූන් නිදන ස්ථානවල රෙදි ආදිය නිතර පිරිසිදු කර මාරු කිරීම
- දඩාවතේ යන බළලූන් ඇල්ලීමෙන් වැළකීම
- ආහාර පිසින ස්ථානවලින් බළලූන් ඉවත් කිරීම
- නිතර අත් සේදීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.
චූටියාට අවුරුද්දයි. මෙතන ඉඳලා ඉස්සරහට කොයි විදියට වෙනස් වෙයිද?
චූටියා දවසින් දවස ලොකු වෙන හැටි අම්මා බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් සමහර වෙලාවට එයාගේ පුංචි පුංචි වෙනස්කම් අම්මාට නුහුරුයි. ඉතිං අම්මා බය වෙනවා. කෑම හිරවෙයිද? ඇවිදින්න උත්සාහ කරද්දී චූටියා වැටෙයිද? අම්මාට ප්‍රශ්න ගොඩක්. ඉතිං අම්මා කැමති ඇති චූටියාගේ ශාරීරික වගේම මානසික ක්‍රියාකාරකම් ගැනත් දැනගන්න. අපි අද කතා කරන්නේ චූටියාට අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය තුළ සිදුවන වෙනස්කම් ගැන.
අවුරුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා කාලය මොනවද චූටියාගේ ශාරීරික ක්රියාකාරකම්
දැන් නම් ඔන්න බෑ කියලා කිසිම දෙයක් මේ චූටියා අතඅරින්නේ නෑ. මොනවා දැක්කත් එතනට යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් ඔන්න අපේ චූටියා,
- නැවතී ඇති වස්තුවක් දෙසට ඇවිද යයි.
- මොහොතක් උදව් නැතිව සිට ගනී.
- තනිව පියවර 2- 3 ක් ඇවිද යයි.
- උදව් නැතිව වාඩි වෙයි.
- කැරැව් කරයි. (Crawls)
- අත් හා දණහිසින් බඩගායි.
- යමක් අල්ලා ගැනීමට මහපටඟිල්ල හා දබරඟිල්ල උපයෝගී කරගනී.
- යමක් බඳුනක් තුළට දමයි, බඳුනින් ඉවතට ගනියි.
- ඇඳුමක් අන්දන විට පාද හා අත් දිගහැර උදව් කරයි.
- යමක් සවේඡචාවෙන් අතහරියි.
- සරල වාචික ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි.
- වචන අනුකරණයට උත්සහ කරයි.
- යම් යම් වස්තුන් සෙලවීම, අතහැරීම, විසිකිරීම, බිම දැමීම කරයි.
- සැඟවූ යමක් පහසුවෙන් සෙයා ගනී.
- රූපයක් නමක් කීවිට ඒ දෙස බැලීම පුද්ගලයන් අනුකරණය කරයි.
- යම් වස්තුවක් නිවැරදිව භාව කිරීමට පටන් ගනී.
උදා: දත් මැදීම, කෝප්පයකින් බීම, දුරකතනය ගැනීම
- වැටෙන්නේ නොමැතිව දිවීමට පඩි පෙලක ඉහළ පහළ යාමට අවු.2-3 දී දරුවා හුරු වේ.
චූටියාගේ භාෂාව හැසිර වීම හා සන්නිවේදනය
- වචන 2 – 3 ක උපදෙස් අනුගමනය කරයි. උදා: දත් මැදීම
- එක් වරකට වාක්‍ය 2 – 3 භාවිත කරයි. සාකච්ඡාවක යෙදේ.
- සර්ව නාම භාවිතය පිළිබඳව අවබෝධ කරගනී. උදා: මම, අපි
- සමහර බහු වචන ඉගෙන ගනී. උදා: බළලුන්, කාර්
- පොදු වස්තූන් නම් කර උඩ, යට ආදී වචන අවබෝධ කරගනී.
- පැහැදිලිව කතා කරයි. අමුත්තන් පවා හඳුනාගනී.
චූටියාග් චලනයන් හා කායික හැකියාවන්
- නැඟීම හා දිවීම හොඳින් සිදු කරයි.
- පැනීම හා තනි කකුලෙන් සිට ගැනීම කරයි.
- ට්‍රයිසිකල් පැදීම කරයි.
- එක් කකුලක් භාවිත කරමින් පඩි නැඟීම බැසීම කරයි.
චූටියාගේ සමාජීය හා චිත්තවේගීය දක්ෂතා (Emotional Skills)
- වැඩිහිටින් හා යහළුවන් කරන දෑ කරයි.
- උදව් ඇතිව ඇඳුම් ගලවයි.
- මගේ, ඔහුගේ, ඇගේ යන වචන පිළිබඳව අදහසක් ඇත.
- ගෙදර වැඩවලට උදව් කිරීමට කැමතියි.
- ආදරය විවෘතව පෙන්වයි.
- දිනපතා කරන දේවල්වලට කැමතියි. වෙනසක් වුවහොත් ගැටලුවක් වේ.
- යහළුවන් තරහ වූ විට ඒ ගැන අවධානය වැඩි වේ.
- විශාල පරාසයක හැඟීම් පෙන්වයි.
චූටියාගේ සීතිමේ හා මානසික දක්ෂතා (Thinking and Mental Skills)
- බ්ලොක්ස් 2 – 3 යොදාගෙන කුලුණක් සාදයි.
- රවුම් පිටපත් කරයි.
- දෙක යන්න හඳුනයි.
- කතාන්දර සාදයි. රඟපායි.
- පාටවල් නම් කරයි.
- දැති සහිත බඳුනක පියන කරකවා ඇරීම හා වැසීම කරයි. දොරක සොයිබය කරකවයි.
චූටියා බලාගන්න අය මෙන්න මේ දේවල් දැනගන්නම ඕනේ
- යම් යම් දෙයට ඇඟිල්ල දිගුකර ඒවා නම් කරන්න. චූටියා සමඟ නිරතුරුව කතා කරන්න. සෙල්ලම් කරන්න.
- ආහාර ගන්නා විය පවුලේ අන් අය සමග අන්තර් සබඳතා ඇති කර ගැනීමට උනන්දු කරවන්න.
- චූටියාගේ වර්ධනය සෙමින් සිදුවන්නේ නම් හෝ කායික දුබලතාවයක් ඇත්නම් චූටියාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරන්න. චූටියා අමතර උත්තේජනය හා අන්තර් ක්‍රියා සඳහා අවස්ථාව සලසන්න.
- චූටියා එකම ඉරියව්වක එක දිගට පැය කිහිපයක් නොතබන්න.
- අනතුරු වැළැක්වීම සඳහා චූටියා සිටින ප්‍රදේශය හැකි පමණ ආරක්ෂා කරන්න.
- මව් කිරිදීම නොකඩවා සිදු කරන්න. චූටියාට ප්‍රමාණවත් ආහාර ලබාදෙන්න. ආහාර වේලට විවිධත්වයක් එක් කරන්න.
- හැන්දක් හා කෝප්පයක් යොදාගෙන ආහාර ගැනීම අත්හදා බැලීමට අවස්ථාව දෙන්න.
- ඉහත උපදෙස් චූටියාට අවුරුදු 1 – 2 අතර කාලයට වැදගත් වේ.
චූටියාට අවුරුදු 2 වන විට
- චූටියා සමඟ පොත පත කියවන්න. ගී ගයන්න. නැතහොත් සෙල්ලම් කරන්න.
- අනතුරුදායක උපකරන හා ද්‍රව්‍යවලින් චූටියාට ඈත්ව සිටීමට උගන්වන්න.
- චූටියා සමඟ සාමාන්‍ය ලෙස කතා කරන්න. තොඳොල් වචන භාවිතයෙන් වළකින්න.
- මව්කිරි දීම නොනවත්වා කරගෙන යන්න. චූටියාට ප්‍රමාණවත් තරම් හා විවිධ ආහාර, පවුලේ ආහාර වේල තුලින් ලැබෙන බවට වගබලා ගන්න.
- ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. නමුත් බල කිරීමෙන් වළකින්න.
- සරල නීති පනවන්න. එසේම සාධාරණ අපේක්ෂාවන් තබාගන්න.
- චූටියා ලබන ජයග්‍රහණ හැකියාවන් ප්‍රශංසාවට ලක් කරන්න.
චූටියාට අවුරුදු 3 වන විට
- දරුවා සමඟ පොත් කියවීම හා බැලීමේ යෙදෙන්න. පිංතූර ගැන කථා කරන්න.
- දරුවාට කතාන්දර කියන්න. නැලවිලි ගී හා ගීත ගායනා කරන්න.
- චූටියා ආහාර දීමේදී ඔහුට ඇයට අයත් භාජනය, පිඟාන ලබාදෙන්න.
- ආහාර ගැනීමට චූටියා උනන්දු කරවන්න. ඒ සඳහා හැකි තරම් කාලයක් ලබාදෙන්න.
- චූටියාට ඇඳුම් ඇඳීම, දෑත් සේදීම, වැසිකිලි භාවිතය යනාදිය ඉගෙනීමට උනන්දු කරන්න.
චූටියා උදව් කිරීමේදී
- සෙල්ලම් කරන්න චූටියාට ඇති තරම් කාලයක් ලබාදෙන්න.
- චූටියා වාහනයක ගමන් කරන විට හෝ නිවසින් පිටතට ගිය විට ඇය/ඔහු දකින දේ ගැන විමසන්න.
- නින්දට පෙර කරන දෑ පිළිබඳව දැනුවත් කරන්න.
- යහලුවන් සමඟ සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලබාදෙන්න.
- දිනපතා කතාන්දර කියාදෙන්න. ඒවායෙන් ප්‍රශ්න අසන්න.
- පාට කිරීම, ඇඳීම ආදී ක්‍රියාකාරකම්වලට චූටියා උනන්දු කරවන්න.
- චූටියා සමඟ කතා කරන්න. ඇහුම්කන් දෙන්න. උදා: දවල් දවසේ යහලුවන් සමඟ සෙල්ලම් කරන විට සිදු වූ දෑ විමසන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.
