Home Blog Page 61

ඔබේ දරුවා සමාජගත කිරීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න

අම්මා තාත්තා තුරුලේ වැඩෙන දරු පැටියා වයසින් මුහුකුරා යත්ම තමන්ගේ වටපිටාවට සමාජයට හුරු කළ යුතුයි. එය වයස් සීමාව අනුව පෙර පාසැල, පාසැල, අමතර පන්ති වගේම විභාග කඩඉම්වලට මුහුණ දීමේදී දෙමාපියන් වශයෙන් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු වගේම ඒ මගින් දරුවාට හිමි වන ප්‍රතිලාභ පිළිබඳවත් අපි දැනුවත් වෙමු.

 

සම වයස් ආශ්‍රය හා ළමා පරිසරය

 

පෙර පාසැල්

  • නිවසේ තම අයිතිවාසිකම් තනිව භුක්ති විඳිමින් සිටින දරුවා අයිතීන් බෙදාගැනීමට පුරුදු විය    යුතුය.
  • සම වයස් ආශ්‍රයේදී දරුවාට එකමුතුව කටුයතු කිරීමට හුරු කරවන අතර කණ්ඩායමක පවතින විවිධත්වය හඳුනාගනී.
  • ඉවසීම, විනය හුරු කරවයි.
  • කාණ්ඩයක් ලෙස කටයුතු කිරීමේදී ජය පරාජය බාරගැනීමට හුරු වේ.
  • දරුවන් තුළ වූ කුතුහලය හොඳ ක්‍රියාවල යෙදවීමට අවස්ථාව ලැබේ.
  • අත්වලට, ඇඟිලිවලට අවශ්‍ය ව්‍යායාම විවිධ අත්වැඩ හා ක්‍රියාකාරකම් වලින් ලබාදිය හැක.
  • දෙමාපියන්ගෙන් දරුවා වෙන්ව සිටීමටත් දරුවාගෙන් දෙමාපියන්ට වෙන්ව සිටීමටත් හුරුකරවීමට අවස්ථාව ලැබේ.
  • අනාගතයේදී යා යුතු පාසැල් පරිසරයට දරුවා හුරු කරවීමේ ඉඩ ප්‍රස්ථාව ලැබේ.
  • පෙර පාසැලඅකුරු උගන්වීමේ තරඟයකට දරුවන් යොමු කරන තරඟ බිමක් නොවිය යුතුය.

 

පාසැල් යාම

  • විවිධ ගතිගුණ සහිත ළමුන් සමඟ වැඩ කටයුතු කිරීමට සිදු වේ. මෙය තරමක අභියෝගකාරී තත්ත්වයකි. මෙම විවිධත්වය වයස අනුව අවබෝධ කර දෙන්න.
  • සමහර අවස්ථාවලදී ඔබ දරුවාට පුහුණු කළ හොඳ ගුණාංග පාසැලේ සිටින අනෙකුත් ළමුන්ගේ ගුණාංග අනුව අවාසිදායක වීමට ඉඩ ඇත. පුහුණු කළ හොඳ ගුණාංග නිවසේදීවත් භාවිත කිරීමට උත්සහ ගන්න.
  • නව පරිසරයකට හැඩගැසෙන අවස්ථාවක් බැවින් දරුවා මානසික, කායික පීඩාවලට ලක් වීමට ඉඩ ඇත. අනෙක් ළමුන්ගේ හා ගුරුවරුන්ගේ යම් යම් ක්‍රියාකලාප පීඩාකාරී තත්ත්වයන් ඇති කරවිය හැක. මෙවැනි අවස්ථාවලදී ඉතා සංවේදීව හා දුරදිග බලා කටයුතු කරන්න.
  • හැකිතාක් දුරට අධ්‍යාපනය ආරම්භයේදීම නීරස නොවීමට වගබලා ගන්න. දරුවාට අධ්‍යාපනය ක්‍රම ක්‍රමයෙන් ලබාදීම මඟින් පීඩාකාරී තත්ත්ව අඩු කරගත හැක.
  • දරුවාගේ වයස අනුව ඔහුට අවශ්‍ය විවේකය හා විනෝදය අත් විඳීමට අවස්ථාව ලබාදෙන්න.
  • දරුවා ආශාවෙන් බලන රූපවාහිනී වැඩසටහනක් ආරම්භයේදී හෝ සෙල්ලම් කිරීමට සැරසෙන විටම ගෙදර වැඩ කරන ලෙස ඉල්ලා නොසිටින්න.
  • පාසැල, මඟතොට සිදුවන දේවල් පිළිබඳව විමසිලිමත් වන්න. එසේම පාසැලේදී සිදු වූ දෑ දරුවාගෙන් ඉඳහිට හෝ විමසන්න
  • නොදන්නා පුද්ගලයන් සමඟ කටයුතු කළ යුතු ආකාරය ආරම්භයේදීම තේරුම් කරදෙන්න
  • පාසැලත් නිවසත් අතරතුර ගත කරන කාලයේ බොහෝ දරුවන් නොමඟ යා හැකි බව මතක තබාගන්න.

 

අමතර ඉගැන්වීම්

 

  • මෙයද අද සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත. මුලින්ම ඔබගේ දරුවාට අමතර ඉගැන්වීම අවශ්‍ය දැයි සිතා බලන්න.
  • දෙවනුව දරුවාට වයස හා දින චර්යාව අනුව වැය කළ හැකි කාලය වටහා ගන්න.
  • ඉන්පසු සුදුසු ආකාරයට අමතර පන්ති යොදා ගන්න. සාර්ථකත්වය රඳා පවතින්නේ දරුවා අමතර පන්ති යන ප්‍රමාණය මත නොව දරුවා ප්‍රබෝධමත්ව වටහා ගත් ප්‍රමාණය මත බව මතක තබාගන්න.
  • මෙමඟින් ඇති විය හැකි අතුරු ප්‍රශ්න පිළිබඳව විමසිලිමත් වන්න.

 

ශිෂ්‍යත්ව සහ වෙනත් විභාග

  • අද පවතින තරඟය තුල ඔබගේ දරුවාටද මෙම පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා ඇත.
  • ක්‍රමානුකූල ඉගෙනීමකින් තොරව එකවර විභාග සඳහා සූදානම් කරවීම ඉතා පීඩාකාරී විය හැක.
  • ඔබ සමඟ ප්‍රකාශ කළ නොහැකි මානසික පීඩාවකින් දරුවා පෙළෙන්නේ නම් එම තත්ත්වය කායික රෝග ලක්ෂණ ලෙස ප්‍රකාශ වනු ඇත.
  • අනිසි බලපෑම් මත හා දරාගත නොහැකි පීඩාකාරී තත්ත්වයන් තුල අධ්‍යාපනය ලැබූවන් උගත් මානසික රෝගීන් ලෙස හැසිරෙනු ඇත. ඔවුන්ගෙන් සමාජයට එතරම් ප්‍රයෝජනයක් නැත.
  • කිසිවිටකත් විභාගය දරුවාගේ හා පවුලේ අයගේ අභාග්‍ය නොවිය යුතුය. උගත් මානසික රෝගීන් සමාජයට හානි කරයි.

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

නව යොවුන් වියේ සිටින ඔබේ දරුවාත් මේ ලක්ෂණ පෙන්නුම් කරනවාද?

සතියෙන් සතිය අම්මාගේ කුසේ වැඩෙද්දී චුටියා ගැන දැනුන පුදුම සහගත ආදරය දැන් කියලා වෙනසක් වෙලා නෑ. එයා ලොකු වෙන්න වෙන්න අමම්ගෙයි තාත්තාගෙයි හිතේ බර වැඩි වෙනවා වගේ. මොකද දැන් දැන් වගකීම වැඩියි. අන්න ඒ නිසාම හැම අම්මා කෙනෙක්ටම වගේ අපේ චූටියාගේ අම්මාටත් නව යොවුන් වියට එළැඹි තමන්ගේ දරුවාගේ වර්ධනය කොය ආකාරද කියලා දැනගන්න උනන්දු ඇති. 

අවුරුදු  13 – 18 දක්වා තරුණ වැඩිහිටිවිය

පූර්ව යොවුන් විය

  • වැඩිවියට පත්වීම පිළිබඳව අත්දැකීම්, අවබෝධය ලබාගනී.
  • දෙපාර්ශ්වයේම විශේෂ ශාරීරික වර්ධනයන් සිදුවන අතර ලිංගික උනන්දුව වැඩි වේ.

 

පිරිමි දරුවන්

  • ලිංගික මේරීම සිදු වේ. මාස කිහිපයක් තුළ අඟල් කිහිපයකින් උස යන අතර පසුව සෙමින් වර්ධනය වේ.
  • මුලින්ම සිදුවන්නේ වෘෂණ කෝෂවල වර්ධනයයි. වැඩිවියට පත්වීමේ මූලික ලක්ෂණයයි. (අවු. 9 ½ – 14) වෘෂණ විශාල වී අවුරුදු 1 කින් පසු ශිෂ්ණය විශාල වේ.
  • අවුරුදු 13 ½ වන විට ලිංගික ප්‍රදේශයේ රෝම වර්ධනය ආරම්භ වේ.
  • අවුරුදු 14 දී රාත්‍රියට ශුක්‍රාණු පිටවීම සිදු වේ
  • අවුරුදු 15 දී කිහිලි, ඉකිලි, ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රෝම වර්ධනය ඇරඹේ. මුහුණේ රැවුල ඇතිවීම, කුරුලෑ ඇති වීම, කටහඬ වෙනස්වීම ආදියද සිදු වේ.

 

ගැහැනු දරුවන්

  • එකම වයසේ පිරිමි ළමුන්ට වඩා කලින් වැඩිවියට පත් වේ. එක් එක් ගැහැනු දරුවන් වෙනස් වන අතර ඇතිවන වෙනස්කම්ද වයසත් සමග වෙනස් වේ.
  • අවුරුදු 8 – 13 දී වැඩිවියට පත්වීම ඇරඹේ.
  • මුල්ම ලක්ෂණය වන්නේ පියයුරු වර්ධනයයි. මෙය තරමක ක්‍රමාණුකූලව සිදුවන ක්‍රියාවකි.
  • ශරීරයේ රෝම වර්ධනය ඇරඹේ. අවුරුදු 12 වන විට කිහිලි, ඉකිලි, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම වර්ධනය වේ.
  • මීලඟට ඔසප් වීම ඇරඹේ.

 

මධ්‍ය යොවුන් විය

  • වැඩිවියට පත්වීම සම්පූර්ණ වේ. කාන්තාවන්ගේ ශාරීරිකව වර්ධනය සෙමින් වන අතර පිරිමින්ගේ අඛණ්ඩව සිදු වේ.
  • මෙම කාලයේදී දිගු කාලීන අරමුණු ඇති කරගැනීමට පටන් ගනී. ජීවිතය පිළිබඳව අර්ථය, උනන්දුව, සදාචාරාත්මක පැවතුම් ඇති කර ගනී.
  • සමාජීය හා මානුෂික වෙනස්කම් සංවර්ධනය වේ. ස්වයං මැදිහත් වීම, නිදහස සොයා යාමට උනන්දු වේ.

 

තරුණ වැඩිහිටි (අවුරුදු 18 – 24)

  • තර්කානුකූල අදහස්, අනාගතය සැලසුම් කිරීම ආදිය අරඹයි.
  • මානසික ස්ථාවරභාවය හා නිදහස වැඩි කරගනී.

 

චිත්තවේගීය හා සාමාජීය සංවර්ධනය

  • ශාරීරික පෙනුම, ප්‍රතිරූප, ඇඳුම් පිළිබඳව අවධානය යොමු කරයි.
  • සම වයස් කණ්ඩායම් කෙරෙහි වඩා උනන්දුවක් හා බලපෑමක් ඇති කරයි.
  • දෙමාපියන්ට ආදරය පෙන්වීම අඩුවන අතර තරහ යයි.
  • අභියෝගාත්මක පාසැල් ජීවිතය තුලදී ආතතිය වැඩි වේ.
  • මත්ද්‍රව්‍ය, ඖෂධ භාවිතය, අනාරක්ෂිත ලිංගික කටයුතු හා වෙනත් ගැටලු ඇති වේ.

 

සිතිවිලි හා ඉගෙනීමේ සංවර්ධනය

 

  • සංකීර්ණ සිතුවිලි පවතී.
  • කතා කිරීම තුලින් හා හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව වැඩි වේ.
  • හරි වැරදි දේ පිළිබඳව ශක්තිමත් අවබෝධයක් පවතී
  • සාමාජීය සංවර්ධනය
  • අලුත් අභියෝග බාරගැනීමට උනන්දු වේ.
  • කණ්ඩායම් සබඳතාවන් තවදුරටත් අලුත් වේ.
  • වඩා විශ්වාසනීය වැඩිහිටියන් සමඟ සමාජීය ගැටලු ඉදිරිපත් කිරීමට උනන්දු වේ.
  • ආතතිය පාලනය කරන ආකාරය ගැන කතා කරයි.

 

දෙමාපියන්,

 

  • ඇල්කොහොල්, දුම්බීම, ලිංගිකත්වය, මත්ද්‍රව්‍යය, ඖෂධ පිළිබඳව විමසන විට අවංකව හා සෘජුව සිටින්න.
  • යහලුවන් ගැන දැනගන්න.
  • පාසැල් ජීවිතය පිළිබඳව උනන්දුවක් ඇති කරවන්න.
  • තනිව තීරණ ගැනීමේදී උනන්දු කරවමින් නිවැරදි දේ තේරීමට උනන්දු කරවන්න. උදව් කරන්න.
  • ඔවුන්ගේ අදහස්වලට ගරු කරන්න. හැඟීම්, සිතුවිලි පිළිබඳව විමසන්න. වඩා වැදගත් වන්නේ ඔබේ ඇහුම්කන්දීම බව මතක තබා ගන්න

 

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.

හෙලිකොප්ටර් අම්මා

දරුවන්ට හොඳම දේ දන්නා අම්මාගේ, කිරි වලට හැරවුන අසමසම ලේ ෆෝමියුලාව මේ ලෝකයේ ජීවගුණය පවත්වාගෙන යන මිහිරි අධිකාරය වන්නේය . ප්‍රාණවායුව ඔබට මුලින්ම පිඹින්නේ අම්මාය. ඒ ඔබ ඇය සමඟ මින් ඉදිරියට, දස මසක්ම එකට හුස්ම ගන්නට ගිවිසගත් අසිරිමත් පළවෙනි නිමේශයේ සිටය. ඔබට හඩන්නටද, තැවෙන්නටද, සැනසුමේ නිදන්නටද හැකි අති උණුසුම් ආදරණීය උරහිස ඇත්තේ අම්මා ළඟ පමණය. අම්මා අහස සේ අනන්ත බව ඇගේ  කුසෙන් ළමැදටද, ළමැදෙන් උකුලට, උකුලෙන් පොළවට ද බට ඕනෑම දරුවෙකුට සිතෙනු නොඅනුමානය.

අම්මා තම දරුවන් සක්විති රජෙක් කරන්නට, රැජිනක් කරන්නට පතන බව නොදන්නා කෙනෙක් නැත . කිසිදු චිත්ත හෝ ශාරීරික පීඩාවක් තම දරු පැටියාට නොදැනෙන්නට, නොවන්නට ඕනෑම පරිත්‍යාගයක් කළ හැකි අන් අයෙක් වේ නම් මේ මිහිමත, ඒ අම්මා පමණමය. උනහපුලුවා පවා තමන්ගේ පැටියා මැණිකක් සේ රකින බව කියන්නේ ඒ නිසාය. 

ඉතින් ඒ අම්මගෙන් සිදුවෙන්නට පුළුවන් පුංචි අත්වැරදීමකින් පවා ඔබේ දරු පැටියාගේ ජීවිතයේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බව ඔබ කවදාවත් සිතුවා ද?

 

අද කතාව ඒ ගැනයි.

 

තමන්ගේ පුංචි පැටියා වැටෙයි, තුවාල වෙයි, එයාට කරදරයක් වෙයි කියලා ඕනෙම අම්මා කෙනෙක් ඉන්නේ හිතේ කරදරෙන්. ඒක එහෙම වෙන්නේ, ඔබ ඔබේ දරුවාට දක්වන දැඩි ආදරය නිසා. පුංචි පැටියා ටික ටික ලෝකේ අඳුනගන්න කොට ඔබ ඔහුට හෝ ඇයට මග පෙන්වන්න, හරි දේ කියා දෙන්න උවමනා බව ඇත්තයි. පුංචි පැටියා හැමදේකින්ම දිනන්න ඕනි කියල ඔබ හිතන එකත් සාධාරණයි. ඒත් ඔබ මේ දේ වුවමනාවටත් වැඩිය කළොත්, දිගින් දිගටම කලොත් සිද්ධවෙන්නේ වෙන්නේ මොකක්ද කියල ඔබ හිතුවද?

එතකොට ඔබ නිකම්ම helicopter mom කෙනෙක් බවට පත් වෙනවා.

 

කවුද මේ helicopter mom කියන්නේ?   

 

තමන්ගේ දරුවන්ට තිබෙන දැඩි ආදරය නිසාම ඔවුන්ගේ ජීවිත වලට වගේම තීරණ වලට දැඩිව බලපෑම් කරන මව්වරුන්ට තමයි helicopter moms කියන්නේ.

 

Helicopter mom කෙනෙක් නොවී ඉන්නේ කොහොමද?

  1. ඔබේ දරුවන්ගේ පුංචි පුංචි අරගල ඔබේ අරගල බවට පත්කරගන්න එපා.

හිතන්න ඔබේ පුංචි පුතා හොදම යාලුවා එක්ක බහින්බස්වීමක් වෙලා. දැන් කදුළු පුරවගෙන ඔබට පැමිණිලි කරනවා. දැන් ඔබ ඉක්මනින්ම පුතාගේ යාලුවගේ     අම්මට දුරකතනයෙන් කතා කරලා මේ ගැන දන්වන්න හිතනවා නම් ඒක කවදාවත් කරන්න එපා. ඒ වෙනුවට පුංචි පැටියට ආවේග කළමනාකරණයේ පුංචිම පාඩම කියලා දෙන්න. අන් මත දරාගන්න ඉගෙන ගත යුතු බව කියල දෙන්න . ඉවසීමෙන් සැනසීම ලැබෙන බව කියලා දෙන්න.

 

 

  • දරුවාගේ පාසලෙන් ලැබෙන පැවරුම් කවදාවත් ඔබ කරන්න එපා.

 

පෙරපාසල් යන පුංචිත්තට ගුරුතුමිය ඇඳලා එවපු දොඩම් ගෙඩියේ උඩ පරිප්පු ඇට ටික හරි තාරාවාගේ උඩ අලවන් එන්න කියපු පුලුන් ටික හරි  පොඩිත්තා වෙනුවෙන් කවදාවත් ඔබ අලවන්න එපා. 1 ඉඳන් 500ට ලියන් යන්න ඕනි පොඩිත්තන්ගේ කොටුරූල්  පොතේ 375 ඉඳන් 475 වෙනකම් ඔබ අංක ලියන්න එපා. පාසල් පැවරුම් වලින් දරුවෙකුට දැරිය හැකි ප්‍රමාණයේ ඉතා කුඩා පීඩනයක් ලැබීම, ගැටළු විසඳීමේ හැකියාව (problem solving skill) වර්ධනය කරන බව විශේෂඥ මතයයි. ඉතින් ඔවුන්ට ඔවුන්ගේ මාර්ග සොයා ගන්න ඉඩ දෙන්න. අසීරු පැවරුමක් උත්සාහයෙන් අවසන් කළ සෑම විටකම අගය කිරීමක් කරන්න .

 

 

  •  දරුවාගේ පුහුණුකරුවන්ට / ගුරුවරුන්ට ඔබ උගන්නන්නට යන්න එපා.

 

ඔබේ දරුවා කලාප ක්‍රීඩා උළෙලක අත්පන්දු කණ්ඩායමක ක්‍රීඩා කරනවා කියා සිතන්න. ඔබට අම්මා විදියට හොඳටම අයිතිය තියෙනවා ප්‍රේක්ෂකාගාරයේ  ඉඳලා දරුවාට ජය ජය ඝෝෂා නගන්න. නමුත් ඊළගට දරුවා යොමුවිය යුතුයි කියල ඔබ හිතන තාක්ෂණික පහර ගැන කියලා කෑ ගහල දරුවගේ අවධානය බිඳින්න එපා, ඔබ ජාතික තලයේ අත්පන්දු ක්‍රීඩිකාවක් උනත්. මොකද එය සාමූහික ක්‍රීඩාවක්. අනෙක දරුවාට හෝ කණ්ඩායමට උදව් අවශ්‍යය නම් එය පුහුණුකරුවා/ගුරුවරයා විසින් ලබා දේවි. දරුවන්ගේ ගුරුවරුන්ව දරුවන් ඉදිරියේ අවතක්සේරු කිරීමෙන් වළකින්න. ඔබ කොයිතරම් ජගතෙක් උනත්. අනෙක අම්මා අහස තරම් බැනුම් අහනවා කියන කියමන මුසාවක් කරන්න පුළුවනුත් ඔබටම තමයි.

 

 

  • හැම විටම දරුවාට නීති හෝ සීමා පනවන්න එපා.

 

ඔබේ දරුවාට ඔබගේ අසල්වැසියන්ගේ දරුවන් සමග සෙල්ලම් කිරීමට අවශ්‍ය බව කියන සෑම සාධාරණ අවස්ථාවකම එය වළක්වන්නට එපා. ඔබේ නිවසෙන් එපිට නමුත් ආරක්ෂිත සීමාවේ දරුවාට කෙලිදෙලෙන් පසුවෙන්නට අවසර ලබා නොදී ඉන්න එක නම් කවදාවත් කරන්න එපා. ඔබේ දරුවාට නිදහසේ වැඩෙන්න ඉඩ දෙන්න. ස්වාධීන මිනිසෙක් වීමට බාහිරතා බලපාන බව ඔබ මවක් ලෙස  තේරුම් ගන්න. 

 

 

  • ඔබ ඔබේ නිවසේ මෙහෙකාරිය වෙන්න එපා.

 

නිවසේ සියලුම රාජකාරි ඔබ විසින් සිදු කළ යුතු බවට නියමයක් නැහැ. ඔබේ පොඩ්ඩා ටික ටික වැඩෙනකොට ඔහුට හෝ ඇයට නිවසේ ඉතා කුඩා කාර්‍යයන් පවරන්න. එය ඉටුකළ විට පසසන්න. තමන්ගේ ඇඳුම් නමා ගැනීම, පාසල් බෑග් ඒ පිළිවෙළට සාදා ගැනීම වගේ පුංචි කාරණාවලදී දිරි දෙන්න. දරුවන් වගකීම් සහගතව සහ ආත්ම විශ්වාසය ඇතුව වර්ධනයට එය මහත් රුකුලක් වේවි.  

 

 

  • ජයග්‍රහණය පමණක්ම සෑමවිටම වැදගත් හා අත්‍යවශ්‍ය බව ඒත්තු ගන්වන්න එපා.

 

පන්තියේ පළමුවැනියා වීමට හැම දරුවෙක්ටම හැකියාවක් නෑ. දුර දිවීමේ තරගයක වුණත් ත්‍යාග හා කුසලාන ලබාදෙන්නේ පළමු දෙවන හා තෙවන ස්ථාන වලට පමණයි. ජයග්‍රහණය කළ වගේම නොකළ නමුත් සහභාගීවූ සියලුම දෙනාම  වැදගත් බව ඒත්තු ගන්වන්න. පැරදෙන්න ඉඩ අරින්න. වැරදෙන, පැරදෙන වාරයක් වාරයක් පාසා නැවත නැගී සිටිය යුතු බවට ධෛර්යය දෙන්න.

 

අපේ දරුවන්ගේ ජීවිත වලට අනවශ්‍ය තරම් වන මේ මැදිහත්වීම් දරුවන්ගේ ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය පිළිබඳව ගැටලු ඇති කරවන්නක් බව දැන් ඔබට තේරෙන්නට ඕන. අනාගතයේ තීරණ ගැනීමේදී හෝ ජීවිතයේ මුහුණ පාන්නට වෙන යම් කිසි ගැටළුකාරී තත්ත්ව වලදී පිළිතුරු සොයා ගන්නට බැරුව දරුවන්  අසරණ වෙන විට ඒ සහය දෙන්න, ඔබ මේ ලෝකේ නොසිටින්නත් පුළුවන්. දරුවන් ස්වාධීන පෞරුෂ ලෙස ගොඩනැඟිය යුතු බව අපි යෝජනා කරන්නේ ඒ නිසයි. දරුවන්ගේ පෞරුෂ වර්ධනයට කුඩා කාලයේ දෙමාපියන්ගෙන් සිද්ධ වෙන බලපෑම ප්‍රාමාණික ව ගත්තොත් ඉතාම විශාලයි. ඒ නිසාම දරුවන්ගේ කායික වගේම මානසික සංවර්ධනයටත් අපි වගකීමෙන් බැඳී සිටිනවා. Helicopter mom සංකල්පය මවගේ පැත්තෙන් ඇතැම් විට මවට යම් සහනයක් ගෙන දෙන්න පුළුවන් . “හැමදේම හොඳින් සිද්ධ වෙනවා” වගේ තාවකාලික සහනදායීභාවයට පත් වෙන්න ඔබට හැකි උනත් දිගුකාලීනව ඔබේ  දරුවාට එය හානිදායක වන බවත් ඒ හානිය කිසිදා පූරණය කළ නොහැකි බවත් ඔබ තේරුම් ගත යුතුයි. 

 

ඉතින් ලස්සනම මල් පුබුදුවන අම්මා ඔබ වෙන්න. මල් පිපෙන්න ඕනෑම කරන හිරු එළියත්, ජලයත් , පෙරලූ නැවුම් පසත්, සරු පොහොරත් සම්පාදනය ඔබට අයිති නමුදු, මල්වත්තේ සදාතනික පරිපාලනය ඔබට අයිති නැති බව තේරුම් ගන්න. මන්ද නිදහසේ  හැදෙන ඒ හැම මලක්ම එයට අනන්‍ය සුවඳවත් භාවයෙන් ලෝකය ආනන්දය කරා ගෙන යන බවද ලෝකය වඩා සුන්දර තැනක් කරනු ඇති බවද අපි විශ්වාස කරන නිසාය.

අම්මලාට ආදරයෙනි…

 

කුඩා දරුවෙකුට ඇපෙන්ඩිසයිටිස් ඇතිවුනොත් මොකද කරන්නේ?

දරුවෙකු ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයට පත් වුවහොත් මව්පියන් ඒ තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද? ඇපෙන්ඩිසයිටිස් තත්ත්වය කියන්නේ ඉක්මනින් ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් බව ඔබ අසා ඇති. ඒත් ගෙදරදී මෙවැනි තත්ත්වයක් හඳුනා ගන්න අපිට බැහැ. ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙමු නේද? Appendicitis.

මානසික රෝග තත්වයකදී දරුවන්ට ඖෂධ ලබාදීම සුදුසුද? | Dr. Yashodha Rohanachandra

දරුවන්ට ඇති වන මානසික රෝග තත්ත්වවලදී ඖෂද ලබාදීම සුදුසුද? ඔය පුංචි පුංචි වෙනස්කම් වලට මනෝ වෛද්ය වරු ළඟට දරුවෝ උස්සගෙන ගියාම එයාලා බෙහෙත් දෙනවා. ඊට පස්සේ දරුවෝ ඒවට හුරු වෙනවා. එහෙම හිතන ඔබ අනිවාර්යෙන්ම මේ වීඩියෝව නරඹන්න.

අති භයානක, මාරාන්තික ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගය ගැන ඔබ දැනුවත්ද?

අති භයානක, මාරාන්තික ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගය ගැන ඔබ දැනුවත්ද? ඔබේ නිවසේ සුරතල් සතෙකු ඉන්නවාද? සුරතල් සතුන් ඇති කිරීමේදී ඔබ පිලිබඳ මෙන්ම අන්‍යයන්ගේද ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්. එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු. Rabies guidelines Sri Lanka.

දරුවන්ට එන්නත් ලබා දීමට වඩා සුදුසු රජයේ සායනයද? පෞද්ගලික රෝහලද?

දරුවන්ට ලබා දියයුතු එන්නත් මාලාව පිළිබඳව නිසි අවබෝධයක් ඔබට තිබෙනවාද? ඇතැම් විට ඔබේ දරුවාට එන්නත් ලබා දෙන්නේ රජයේ සායනයෙන් විය හැකියි. නැතිනම් පෞද්ගලික රෝහලකින් විය හැකියි. මේ එන්නත් වල යම් වෙනසක් තිබෙනවාද යන ගැටලුව ඔබටත් ඇති. දරුවන්ට එන්නත් ලබා දීමට වඩා සුදුසු රජයේ සායනයද? පෞද්ගලික රෝහලද? එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි ඒ ගැන විමසුවා. Sri Lanka immunization schedule.

මානසික රෝග තත්වයකදී දරුවන්ට ඖෂධ ලබාදීම සුදුසුද?

දරුවන්ට ඇති වන මානසික රෝග තත්ත්වවලදී ඖෂද ලබාදීම සුදුසුද? ඔය පුංචි පුංචි වෙනස්කම් වලට මනෝ වෛද්ය වරු ළඟට දරුවෝ උස්සගෙන ගියාම එයාලා බෙහෙත් දෙනවා. ඊට පස්සේ දරුවෝ ඒවට හුරු වෙනවා. එහෙම හිතන ඔබ අනිවාර්යෙන්ම මේ වීඩියෝව නරඹන්න.

 

පොඩි දරුවන්ටත් OCD තත්ත්වය ඇතිවෙන්න පුළුවන්ද? | Dr. Yashodha Rohanachandra

පොඩි දරුවන්ටත් ඕසීඩී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්ද? අපි හැම නිතරම හිතන්නේ හැම දේම වෙන්නේ වැඩිහිටි අපිට විතරයි කියලා. ඒ නිසා ගොඩ දෙනෙක් දරුවාට ඇති වෙන යම් යම් ප්රනශ්න ගැන ගානකට ගන්නේ නෑ. ඉතිං මේ අදහස මානසික ගැටලු එක්ක වර්ධනය වෙන දරුවෙකුගේ අනාගතය ගැටලුකාරී වෙන්න හේතු වෙන්න පුළුවන්. දෙමාපියන් විදියට අපි දරුවෙකුගේ මානසික සුවතාවය ගැනත් සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි. Obsessive-compulsive disorder (OCD)

යොවුන් වියේ සිටින ඔබේ දරුවාත් ඩිප්‍රෙස් වෙලාද?

කොයි තරම් අපේ තුරුල්ලේම ඇති දැඩි වුණත් යොවුන් වියට එළැඹීමත් එක්කම අපේ දරුවන්ගේ සිතිවිලි හැසිරීම් රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන විදියේ ගැටලුවලට දරුවා මුහුණ දෙනවා වෙන්නත් පුළුවන්. යොවුන් වියට එළැඹි ඔබේ දියණියගේ හෝ පුතුගේ වෙනස්කම් තිබුණත් ඔබට ඒවා නොවැටහෙනවා හෝ එය ඔබ අවබෝධ කරනගැනීමට උත්සාහ නොකරනවා වෙන්නත් පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ සැබැවින්ම අපගේ නොදැනුවත්කම නොඑසේ නම් අප තුළ පවතින සාම්ප්‍රදායික අදහස් විය හැකියි. කෙසේ වුවත් දරුවෙකුගේ අනාගතය සාර්ථක කරනු වස් ශාරීරිකව මෙන්ම මානසිකවත් දරුවා ඉහළ මට්ටමක සිටීම බොහෝම වැදගත් කරුණක්. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් යොවුන් වියේ විෂාදය තත්ත්වය ගැන දැනුවත් විය යුතුමයි.

මොකද්ද මේ ඩිප්‍රෙෂන් එහෙමත් නැත්නම් විෂාදය කියන්නේ?

විෂාදය කියන්නේ සායනික ලක්ෂණ රාශියක එකතුවක්. උදාහරණයක් විදයට දීර්ඝ කාලීනව පවතින දුක ගතිය, තරහා යාම, විඩාව/මහන්සිය, නින්ද පිළිබඳ ගැටලු, ආහාර රුචියේ ඇති වන වෙනස්කම්, හානි දායක සිතුවිලි වගේ බොහොමයක් දේ මේ තුළට ඇතුළත් වෙනවා.

ඒ කියන්නේ යොවුන් වියේ දරුවෙක් දුකෙන් ඉන්නවා නම් ඒ දරුවාට විෂාදයද?

නෑ.. දුක කියන්නේ විෂාදය නෙවෙයි. දුක කියන්නේ සාමාන්‍ය මානූෂීය හැඟීමක්. දුක ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන කරදර/බාධක නිසා ඇති වෙනවා. 

එතකොට කලින් සඳහන් කළ විදියට දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයිද?

සැමවිටම දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයි. ඒක් දිගු කාලීනව දුකෙන් පසුවීම විෂාදයේ ලක්ෂණයක්. ඒ කියන්නේ දුක්බර ස්වභාවය දින/සති ගණනක් එක දිගට පවතිනවා නම් එය විෂාදයේ ලක්ෂණයක් විය හැකියි.

ඒත් අපි කොහොමද යොවුන් වියේ ඉන්න අපේ දරුවෙක් විෂාදයට ලක්වෙලා කියලා අඳුනගන්නේ

යොවුන් වියේ දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවය අනෙක් වයස් සීමාවන්ට වඩා වෙනස්. ඒ දරුවන්ගේ සාමාන්‍ය භාවය ඒ කියන්නේ මූඩ් එක ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා විෂාදය තත්ත්වයට පත් වුණා කියලා මේ දරුවන්ගේ භාවයන් වෙනස් වෙලා කියන දේ ඉක්මනින් හඳුනා ගැනීම නම් දෙමාපියන් වන ඔයාලට විතරක් නෙවෙයි වෛද්‍යවරුන්ටත් අපහසුයි.

එහෙම නම් කොහොමද මේ තත්ත්වය හඳුනාගන්නේ?

ඔව්. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු විදියට අපි නව යොවුන් දරුවන්ගේ විෂාදය ගැන සොයා බලද්දි සැලකිලිමත් වෙන කරුණු තුනක් තියෙනවා.

  1. තරහා යෑම වැඩි වීම – ඒ කියන්නේ වෙනදාට වඩා වැඩි නුරුස්නා ගතිය, පුංචි පුංචි දේටත් තරහා ගැනීම 
  2. අධ්‍යාපනය හා සාමන්‍ය හැසිරීමේ වෙනස – පාසැල් ජීවිතය හොඳින් ගත කළ දරුවෙක්ගේ ඒ තත්ත්වය පහළ වැටීම
  3. දිගු කාලීන දුක, බර අඩු/වැඩි වීම, නින්ද අඩු /වැඩි වීම

අනෙක් වයස් සීමාවන්වලදීට වඩා යොවුන් වියේ දරුවන්ගේ විෂාදය තත්ත්වය වෙනස් නිසා වැඩිපුර මේ ගැන සැලකිලිමත් විය යුතුයි. 

යොවුන් වියේ විෂාදය තත්ත්වය අපේ රටේ දරුවන් අතරත් බහුලව දැකිය හැකි තත්ත්වයක්ද?

පහුගිය දශක කීපයක් තුළ ලොව පුරා කළ පරීක්ෂණවලින් සොයා ගත් දෙයක් තමයි නව යොවුන් වියේ විෂාදය එන්න එන්නම වැඩි වෙනවා කියන එක. සමහර රටවල් අගයන් අනුව 13%ක් හෝ වැඩි ප්‍රමාණයක් මේ තත්ත්වයේ දරුවෝ ඉන්නවා. 

යොවුන් වියේ දරුවන් විෂාදයට ගොදුරු වීමට හේතුව මොක්කද?

‍මේ තත්ත්වයට බලපාන්නේ එක හේතුවක් නම් නෙවෙයි. කාරනා කීපයක් එකතු වෙලා තමයි කෙනෙක් විෂාදයට ගොදුරු වන්නේ.

  1. ජීව විද්‍යාත්මක සාධක – මොළයේ ස්නායු ජාල සම්ප්‍රේෂක කොටස්වල ජාන සම්බන්ධව ඇති වන වෙනස්කම්
  2. මනෝමීය ලක්ෂණ – ආත්ම ශක්තිය හීන වීම/ ඕනෑවට වඩා පිළිවෙළට වැඩ කිරීමට යාම/පොඩි දේටත් තරහා යාම/ පෞරුෂත්ව ලක්ෂණ යන කරුණු විෂාදය ඇති කිරීමේ ප්‍රවණාවය වැඩි කරවනවා.
  3. සමාජීය සාධක – දරුවෙකුට තම සාමාජයෙන් සිදුවන හිරිහැර/අසාධාරණකම්/අකටයුතුකම් වගේම කුඩා කාලයේදී යම් අකටයුත්තක්/අතවරයක් වී නම් ඒ පිළිබඳ බලපෑම නිසා විෂාදය ඇති වෙන්න පුළුවන්

මෙන්ම මේ ආකාරයට ගත්තම යොවුන් දරුවෙකුගේ විෂාදය තත්ත්වය වටහා ගැනීම අපහසු නැහැ

යොවුන් වියේ දරුවෙක් විෂාදයට ලක්වුණාම ඒ සඳහා ප්‍රතිකාර නැත්ද?

ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තියෙනවා. මූලිකම ප්‍රතිකාර ක්‍රමයක් වෙන්නේ මනෝ චිකිත්සක ප්‍රතිකාර (Psychotherapy) ක්‍රම. ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින් කතා කිරීම මගින් නව යොවුන් වියේ දරුවෙකුට ලබාදෙන ප්‍රතිකාරය. ඊට අමතරව,

Cognitive behavioral therapy – දරුවන්ගේ සිතුවිලි, ඒ කියන්නේ හැඟීම් අනුව හැසිරීම මත සම්බන්ධය මගින් මේ තත්ත්වය මගහැරීමට ලබා දෙන ප්‍රතිකාරය

උදා : ඍණාත්මක සිතුවිලි මගින් දුක්ඛිත හැඟීම් ඇති වීම සහ ඒ හරහා ඍණාත්මක හැසිරීම් ඇති වීම. මම මෝඩයි කියන සිතුවිල්ල මගින් දුක ඇති වීම ඒ හරහා කම්මැලිකම ඇති වීම, මේ ප්‍රතිකාර ක්‍රමයේදී සිතුවිලි, හැසිරීම, හැඟීම යන කරුණු වෙනස් කරන්නට උපක්‍රම යොදනවා

ඒ වගේම Interpersonal Therapy/Attachment-based Family Therapy යන ප්‍රතිකාර ක්‍රමත් යොදාගන්නවා.

මෙවැනි දරුවන් උපදේශනය මගින් සුව කළ හැකියි නේද?

ලෝකය පුරාම යම් ප්‍රතිකාර ක්‍රමයකින් රෝගය සුව වෙනවද කියලා නිගමනයකට එන්නේ දහස් ගණනකට සිදු කරන ලද පරීක්ෂණ ක්‍රම මගින්. සාමාන්‍යයෙන් සමහර වෙලාවට කියනවා මෙහෙම වුණාම උපදේශන සේවාවන් මගින් සුව කළ හැකියි කියලා. නමුත් විෂාදය සුව කිරීමට නම් ප්‍රතිකාර ලෙස පරීක්ෂණවලින් විද්‍යාත්මකව ඔප්පු වූ ක්‍රම යොදා ගත යුතුයි. ඒ ඇරුණම රෝගයේ උග්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. කවුන්සිලින් එහෙමත් නැත්නම් උපදේශනය කිරීම මගින් විෂාදය සුව කිරීම සිදු නොවේ.

මානසික රෝගවලට ඖෂධ ගත්තම ඒකට ඇබ්බැහි වෙන බව කියනවා නේද? ඉතිං ඖෂධ වර්ග ලබාදීම සුදුසු නෑ නේද?

යොවුන් වියේ දරුවෙකුගේ විෂාදය තත්ත්වය උග්‍ර තත්ත්වයක් නම් අපි බොහෝ විට ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වෙනවා. මේ සඳහා ලබා දෙන්නේ antidepressants ඖෂධ වර්ග. ඒ කියන විදියේ ඇබ්බැහි වීමක් හෝ රෝගය උත්සන්න වීමක් සිදු වෙන්නේ නැහැ.‍ අනික මේ ඖෂධ වර්ග ලොව පුරා පරීක්ෂණ මගින් සාර්ථක බව සොයාගත් ලක්ෂ ගණනක් රෝගීන් සුවපත් කර ඇති අවසර ලත් ඖෂධ වර්ග. ඉතිං හානිදායක තත්ත්වයක් මේ ඖෂධ වර්ගවල නැහැ. ඒ වගේම යොවුන් වියේ දරුවෙකු මෙවැනි තත්ත්වයකදී ප්‍රතිකාර ලැබිය යුත්තේ ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය සහ නිරීක්ෂණය මත නිසා එහි ප්‍රතිඵලය සාර්ථකත්වයෙන් ඉහළයි.

විෂාදයෙන් පෙලෙන යොවුන් වියේ දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයේ විය යුතුද?

මේ තත්ත්වයේදී අති සාර්ථක ප්‍රතිඵල හිමිවීමට නම් දරුවාගේ වටපිටාවේ දායකත්වය බොහොම වැදගත්‍‍ වෙනවා. ආතතියට අදාල සාධක පාලනය කිරීමට පවුලේ අයට උපදෙස් ලබාදීම සිදු වෙන අතරම මෙහිදී පවුල, පාසැල යන සියල්ලන් එකම කණ්ඩායමක් වීම හරිම වැදගත්. ඒ වගේම දරු‍වන්ට අපි සමීප වීමත් අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදියට කුඩා කාලේ දරුවෙකුට යම් අතවරයක්/කරදරයක් වුණාම මව්පියන් දරුවා සමග ඒ ගැන කතා බහ කිරීමත් අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ යුතුයි. ඒ කාලය තුළ අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම නිසා යොවුන් වියට පැමණීමත් සමගම මානසික ව්‍යාකූලතාවයන් ඇති වීමට අතීත සිදුවීම බලපෑ හැකියි.

මොන රෝගයට බෙහෙත් ගත්තත් මානසික රෝග තත්ත්වයක් නිසා දරුවෙක් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න අම්මලා ටිකක් අදිමදි කරනවා නේද?

ඔව්. සාම්ප්‍රදායික අදහස් රාමුවක හිර වෙලා වගේම මිත්‍යා මතවල එල්ලිලා තමන්ගේ දරුවාගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩ හැරීම අනුවණකමක්. මෙතැනදී දෙමාපිය වැඩිහිටියන් නිවැරදිම වෛද්‍ය වෘත්තිකයා වෙත යොමු වීමට දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. මෙවැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්නේ ටික දෙනෙක් වුවත් ඔවුන් හැමදෙනාම පාහේ උපරිම සේවාවක් ලබාදෙනවා. එවැනි වටපිටාවක යොවුන් වියේ දරුවෙකුගේ ජීවිතය මානසික ගැටලුවක් හේතුවෙන් විනාෂ වීමට ඉඩ නොහැරිය යුතුයි. එවැනි වෛද්‍යවරයෙකු හමුවිය නොහැකි නම් අවම වශයෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ උපදෙස් ලබාගත යුතුයි.

යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් මෙවැනි තත්ත්වයකදී හැසිරිය යුත්තේ කෙසේද?

ඇත්තටම මව්පියන් තත්ත්වය තේරුම් ගත යුතුයි. අපේ සිරුරේ ඇති වෙන වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගන්නවා සේම‍ මේ පිළිබඳවත් සිතීම ඉතාම වැදගත්. මානසික රෝගයක් කියන්නේ සමාජයෙන් කොන්වීමට හෝ ලැජ්ජා වීමට හේතුවක් නොවෙයි. මව්පියන්ට මේ තත්ත්වය නොතේරෙන තාක් දරුවාට ප්‍රතිකාර කොට සුව කිරීමට අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එය හරිම දුක්ඛිත තත්ත්වයක්. ඒකෙන් වෙන්නේ ලස්සන ජීවිත විනාෂ වීම පමණයි. මොකද අප වෙත එන්නේ වයස අවුරුදු 18 දක්වා දරුවන් පමණයි. ඒ වයස් සීමාවේ දරුවන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර හෝ ඖෂධ ලබාදිය හැක්කේ මව්පියන්ගේ අවසරය මත පමණයි. ඇතැම් මව්වරුන් යල්පැන ගිය අදහස් නිසා ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. එය හරිම අවාසනාවන්ත තීරණයක්. මව්පියන් එහෙම ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කළාම අපි වෛද්‍යවරු විදියට එයට එකඟ විය යුතුයි.

නමුත් දෙමාපියන් මේ තත්ත්වය වටහා ගෙන, අවබෝධ කොට ගෙන කටයුතු කරනවා නම් හරිම වටිනවා. මොකද මෙවැනි තත්ත්වයන් උත්සන්න වෙන්න වෙන්න ඇති වෙන අතුරු ආබාධ තත්ත්වයන් වැඩියි. ආත්ම ශක්තිය හීන දුර්වලයෙකු බවට පත් කොට දරුවා‍ගේ ජීවිතය අසාර්ථක කරවනවාද නැති නම් නිසි වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා දී දරුවා සුව කොට අනාගතය සාර්ථක කරනාවද යන්න තීරණය වන්නේ දෙමාපියන්ගේ අතින් බව නම් අමතක නොකළ යුතුයි.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග සකසන ලද ලිපියකි.